Home Blog Page 68

ඔබේ දරුවාත් ධූලක ආතතියේ ගොදුරක් වෙන්න පුලුවනි.

ධූලක ආතතිය වගේ බර වචනයකින් කිව්වාම ඔබට මේ තත්වය සමහර විට අපබංශ්රයක් වෙන්න පුලුවනි.නමුත් ඔබේම පුංචි පැටියා මේ මානසික ආතතිමය තත්වයට පත්ව සිටින්න පුලුවනි.හැබැයි මලක් වගේ සුන්දර ඔබේම වස්තුව මේ ධුලක ආතතියට පත් වෙන්නේ ඔබ විසින් දරුවා වෙනුවෙන් දක්වන ප්‍රතිචාර සහ ඔබේම නොමනා හැසිරීම නිසා වෙන්න පුලුවනිඒ නිසා ඔබ නිසා දරුවා ධූලක ආතතියට පත් වෙන හේතු හඳුනා ගන්න.

දරුවා නොසලකා හැරීම

ඔබ හැම විටම දරුවා ගැන දරුවාගේ මට්ටමින් සිතන්න.ඇත්තටම ඔබ කාර්ය බහුල පුද්ගලයෙකු විය හැකියි.ඒත් දරුවාට ඒවා ප්රශ්න නොවෙයි.ඔවුන් හැම විටම දෙමව්පියන් විදිහට ඔබගෙන් අපේක්ෂා කරන්නේ ආදරය,ආරක්ෂාව සහ රැකවරණයයි.මොනයම් හේතුවකින් හෝ ඔබේ අවධානයෙන් සහ ආදරයෙන් දරුවා දුරස් වුනොත් ඔවුන් හිතන්නේ අම්මා ,තාත්තා තමා නොසලකා සිටින බවයි. ඒ නිසාම දරුවා ආතතිමය තත්වයට පත් වෙනවා.

මේ ගැන වැඩියෙන් හිතන්න. පවුලේ වැඩිමහල් දරුවා විදිහට බොහොම හුරතලේට සිටිය දරුවාට බාල සහෝදරයෙකුගේ ආගමනය නිසා තමන් නොසලකා හරින්වාය යන සිතුවිල්ලක් ඇති වෙන්න පුලුවනි.එවන් අවස්ථාවකදී දරුවා තුළ ඇති වෙන වේදනාව තරහ නිසා ධූලක ආතතියට පත් වෙන්න පුලුවනි.

පවුලේ සමීප අයෙකුගේ මරණය

මරණය හෝ දුරස් වීම අප කාටත් දරන්න අපහසු තත්වයක්. දරුවන් මුල් කර ගෙන හිතුවොත් මේ තත්වය ඊටත් වෙනස්.ඔවුන් මානසිකව දැඩි විදිහට කඩා වැටෙන්න පුලුවනි. අම්මා හෝ තාත්තා මියගියොත් එසේ නැත්නම් වෙන්ව ගියොත් තමා අසරණය යන මානසිකත්වයෙන් පීඩා විඳින නිසා දරුවා ධූලක ආතතියට පත් වීම ඉතාම ඉක්මනින් සිදු වෙනවා.

මවට පහර දීම හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

බොහෝ අවස්ථාවන්හි ගෘහස්ථ ප්රචන්ඩත්වය දරුවාට ඉතාම සමීපව බලපාන්න පුලුවනි.මව මුහුණ දෙන දුක්ඛදායක තත්වය ත-ළ දරුවා අසරණ වෙනවා.ඒ වගේම පියා ගැන ඇති වෙන්නේ බියක්.ඔවුන් පියා දකින්නේ දුර්දාන්ත චරිතයක් විදිහටයි.ඒ නිසා නිතරම බියෙන් හා තැතිගැන්මෙන් පසුවෙන දරුවාගේ මානසිකත්වය නොදැනීම විෂ සහිත හෙවත් ධූලක ආතතියට පත් වෙනවා.

මත්පැන් පානය කරන පරිසරයක ජීවත් වීම

පවුලක වැදගත්ම චරිතය පියා.නමුත් මේ පියාගේ චරිතය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පිය චරිතයක් විය යුතුයි.ඒත් හැන්දෑවට තැබෑරුම් අසල වැටෙන,හතර ගාතෙන් නිවසට පැමිනෙන,සහ මිතුරන් සමග මත්පැන් සාද දමන පියෙකු ඇසුරේ වැඩෙන දරුවන්ගේ පෞරෂයට දැඩි බලපෑම් ඇති වෙනවා.

පියා ගැන ගෞරවයක් දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නෙත් නැහැ.ඒ වගේම දරුවාතේ නොදැනීම මත්පැන් බොන පරිසරයට නිරාවරනය වෙනවා.තාත්තා ගමන් කරන පාරේ දරුවා ගමන් කරනවා විතරක් නොවෙයි,ඔවුන්ගේ මානසිකත්වයත් ධූලක ආතතිමය තත්වයට පත් වෙනවා.

මානසික රෝගින්ගේ ඇසුර

ඔබේ නිවසේ මානසික රෝගියෙකු සිටිනවා නම් අපට ඔවුන් ප්රතික්ෂෙප කරන්න බැහැ.නමුත් නිවසේ මානසික රෝගියෙකු විශේසයෙන්ම ප්රතිකාර නොගන්නා මානසික රෝගියෙකු සිටිනවා නම් ඒ තත්වය දරුවාගේ මානසික ධූලක තත්වයට හේතුවක්.ඒ නිසා ඔබේ නිවසේ සාමාජිකයෙකු මානසික රෝග තත්වයට පත්ව සිටින විට රෝගි පුද්ගලයා නොසලකා හරින්න එපා.ඔවුන් වෙනුවෙන් ප්රතිකාර ලබා දී සාමාන්ය ජීවිතයක් ගත කරන පරිසරයක් සකස් කර දීම ඉතාම වැදගත්.එසේ නොවුනොත් දරුවා ඉතාම පහසුවෙන් ධූලක ආතතියට පත් විය හැකියි.

කායික අපයෝජනය

දරුවන්ට දඬුවම් කරන්නේ ඔවුන් යහපත් පරිදි ගොඩ නගා ගැනීමට බව සැබෑවක්.ඒත් මේ ගොඩ නැගීමේදී අනවශ්ය විදිහට කායික වධ හිසාවන්ට නම් පත් කළ යුතු නැහැ. ඇතැම් දෙමව්පියන් තමන්ගේම දරුවාට වුනත් ලබා දෙන දඬුවම් ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.ගහකට තබා බැඳ පහර දීම,අනවශ්ය විදිහට පන්න පන්නා පහර දීම වැනි අමානුෂික පහර දීම් නොකල යුතුමයි.දරුවා ඔබේ බව සැබෑය.ඒත් අමානුෂික විදිහට කායික අපයෝජනයන් වෙනුවෙන් දෙමව්පියන් වුනත් ඔබට අවසර නැහැ.අද ඔබේ දඬුවම මොනතරම් බරපතලද කිව්වොත් මේ නිසාම දරුවා ධූලක මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

ලිංගික අපයෝජනය

අතීතයේදී දරුවාට සීයා,මාමා,බාප්පා ළග තිබුන ආරක්ෂාව අද නැහැ. වෙන දෙයක් තබා තමාගේ පියාගෙන්වත් අද ගැහැණු දරුවා ආරක්ෂිත නැහැ.දැනට සිදු කර තිබෙන සමීක්ෂණ මගින් පෙනී යන්නේ දරුවන් සැම විටම ලිංගික අපයෝජනයට පත් වෙන්නේ ඔවුන්ට ඉතාම සමීප අයගෙන් බවයි.මේ ලිංගික අපයෝජනය නිසා දරුවා ධූලක ආතතියට පත් වීමේ අවාසනාවන්ත තත්වය ඇති වෙනවා.

මානසික අපයෝජනය

අප බොහෝ විට ලිංගික සහ කායික අපයෝජනය ගැන කතා කළත් මානසික අපයෝජනය නිසාත් දරුවා තුළ ධූලක මානසික ආතතිය ගොඩ නැගෙන්න පුලුවනි.දරුවන්ට දොස් නැගීම,විවේචනය,ප්රසිද්ධියේ අපහාස කිරීම නිසා ඇති වෙන මානසික පීඩනය නිසා දරුවා ධූලක ආතතියට පත් වීමට පුලුවනි.

අපි පොඩ්ඩන්ව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද…?

මේ දවස්වල වැඩිහිටියන්ට නම් ලැබුන විවේකයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න
පුලුවනි.ඒත් හයක් හතරක් නොතේරෙන පොඩ්ඩන් එක්ක මේ කාලය ගත කරන එකත්
ලේසි නැහැ.ඒ ඇයි කිව්වොත් මේ වසංගතයේ තරම දරුවන් දන්නේ නැහැ.කිව්වට
තේරුම් ගන්නත් බැහැ.ඒ නිසාම ඔවුන්ද යම් සීමාවක් වෙනුවෙන් සිර වෙලා. වෙනදාට
නම් විවේකයක් ලැබුනාම එලියේ ඇවිදින්න,මිතුරන් සමග සෙල්ලමට, නෑදෑ ගමනක්
යන්න තිබුන අවසරය දැන් අකමැත්තෙන් වුනත් සීමා වෙනවා.කන්න බොන්න වුනත්
වෙනදා වගේ බැහැ.ඇයි දැන් හෙටක් ගැනත් හිතන්න එපායැ.මේ සියල්ල අතර
පොඩ්ඩන්ගේත් මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුලුවනි.

❖ බොරුවට ලෙඩ කියාවි..
වෙනදා තිබෙන ක්‍රියාශීලි ජිවිතය නැති නිසා ඇති වෙන මානසික තත්වය හින්දාම දරුවන්
බොරු හිසරදය, බඩ රිදෙන බව වගේ හොර ලෙඩ කියන්න පුළුවනි.ඒ තත්වය හරියට
උදේට පාසල් යන්න කම්මැලි වුනාම දක්වන රගපෑමට සමානයි.

❖ අවධානය ගන්න බලනවා.
දැන් දෙමව්පියන් විදිහට වෙනදා මානසිකත්වය ඇත්තටම නැහැ. අසල ගෙයක සොරකම්
කලගිය දවසක …තමන්ගේ නිවස රැකගෙන සිටිනවා වගේ ලෝකය පුරා වසංගතයට
ගොදුරු වෙන ප්‍රවනතාවය නිසා ඇති වෙන කම්පනය..ඒ වගේම අපේ රටේ වසංගත
තත්වය ගැන තොරතුරු..ඒ සියල්ල අතර අපේ පවුල සමග හැම දෙනාම ආරක්ෂා
වෙන්නේ කොහොමද..?ඒ වෙනුවෙන් වූ පිලිවෙත් ගැන වැඩි අවධානය සමග ආහාරපාන
ගැනත් උනන්දු වෙන්න වෙලා.මේ එකක්වත් පොඩ්ඩන්ට ප්‍රශ්න නොවෙයි.හැබැයි
..ඔවුන්ට එකක් තියෙනවා.වෙනදා නිවසේ,අසල්වැසියන් අතර වගේම ගමේ තිබුන
සාමාන්‍ය තත්වය අද නැහැ. ඇදිරි නීතිය නිසා හැමදෙනාම ඒ වෙනුවෙන් අනුගතයි.මේ
තත්වය දරුවාට නුහුරු නිසා ඔවුන් වැඩිහිටි අවධානය ගැනීමට විවිධ විදිහට
හැසිරෙන්න පුලුවනි.ඒ නිසා දරුවන් අවධානය ගැනීම වෙනුවෙන් වැඩිහිටියන් කෝප
වෙන්න එපා.

❖ දඩබ්බර වෙන්න පුලුවනි
අවධානය ගැනීම සාර්ථක නොවුන තැන දරුවන් දඩබ්බර ගති පැවතුම් පෙන්වන්න
පුලුවනි.ඒ වගේම බොරුවට අඩන්න..බඩු මුට්ටු පොලවේ ගහන්න වගේ දඩබ්බර
හැසිරීම් පෙන්වන්නත් පුලුවනි.මේවා ගැන දෙමව්පියන් එතරම් උරණ විය යුතු
නැහැ.දරුවන්ට ඔවුන්ගේ සාමාන්ය ජනජීවිතය අහිමි වීම නිසා මේ විදිහට ප්‍රතිචාර
දක්වන්න පුලුවනි.

අපි පොඩ්ඩන්ව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද…?

කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන මේ පරිසර තත්වය තාවකාලික බව
දරුවන්ට පැහැදිලිව කියා දෙන්න.එහෙම නැති වුනොත් දරුවන් අපේක්ෂා භංගත්වයට
පත් වෙනවා.හැම දෙනෙක්ම ජීවත් කරන්නේ බලාපොරොත්තුවයි.දරුවන්ටත් ඔවුන්ගේ
තරමට බලාපොරොත්තු තිබෙනවා.ඒ නිසා හෙටක් නැහැ…යන සංකල්පය ඔවුන්ගේ
හිත්වලට ඇතුළු කරන්න එපා.

තත්වය තාවකාලිකයි..
වසංගත රෝග තත්වයක් නිසා ඇති වුන මේ තත්වය තාවකාලිකයි.ඒ වෙනුවෙන් අපි සහයෝගය දැක්වුවොත් ඉක්මනින්ම ඉස්සර තත්වයට පත් වෙන්න පුලුවන් බව දරුවන්ට කියා දෙන්න.අදටත් ඇදිරි නීති කඩකරමින් රට පුරාම විකාර චරිත බිහිවී තිබෙන්නේ බාලකාලයේදී ඔවුන්ගේ වැඩිහිටියන් රටක නීතියට අවනතව ජීවත් වෙන විනය දරුවන්ට අවබෝධ කර නුදුන් නිසයි.ගෙදර පුංචි පුංචි අඩුපාඩු ඇති වුනත් කඩපිලට ඇදිරි නීතිය ඇති වේලාවට යන්නේ විනයක් නැති අය මිසක පුතාගේ අම්මා..තාත්තා ඒ වගේ වැරදි වැඩ කරන අය නොවන බව පැහැදිලිව පහදා දෙන්න. ඒ නිසා අද හය හතර නොතේරෙන දරුවා ඉදිරියේ වැඩිහිටියන් විදිහට ඔබ ඇදිරි නීතියට අනුගතව කටයුතු කරන්න.දරුවාගේ වයසේ හැටියට නීතියට අනුගත වෙන කලාව කියා දෙන්න.

කාලසටහනක් ගොඩ නගන්න
දරුවාට වුනත් විවේකය වැඩි වුනොත් දවස දිගු වෙන්න පුලුවනි.ඒ නිසා ඔවුන්ටත් යම් කාල සටහනක් හදන්න.අම්මා,තාත්තා දරුවාගේ සෙල්ලමට සහකරු වෙන්න. වෙනදා වගේ අසල්වැසි දරුවන් නොමැති පාඩුව එවිට පිරිමහ ගැනීමට පුලුවනි.මේ කාලසටහනේම පාසලේ වැඩටත් යම් අවස්ථාවක් දෙන්න.අතපසු වුන පාඩම්වල කොටස් නිරවුල් කර ගැනීමට වේලාවක් ලබා දෙන්න.ඒ වගේම විනෝදය සහ සතුට ලැබෙන කුමන හෝ ඉසව්වක් අවස්ථාවේ හැටියට සලසා දෙන්නත් අමතක කරන්න එපා.

නිවසේ කටයුතුවලට සහය
ඔබ නොහිතුවත් පුංචි දරුවන් වැඩිහිටියන්ගේ වැඩ කටයුතුවලට උදව් කරන්න හරිම කැමැතියි.ඒ නිසා ඔබේ වැඩ කටයුතුවලදී දරුවාගෙන් පුංචි පුංචි අත්උදව් ගන්න.නමුත් අනවශ්ය විදිහටවතුර සමග කටයුතු, දූවිලි පරිසරයට නම් දරුවන් නිරාවරනය කිරීම එතරම් සුදුසු නැහැ.හදිසියේවත් උණ,ප්රතිශ්යාව මේ දවස්වල විවිධ විදිහට අර්ථ කථනය වෙන්න පුලුවනි.

ලස්සන කවි.ගීත, කථන්දර අහන්න..
ලද විවේකයෙන් ප්‍රයෝජන අරගෙන දරුවන්ගේ සාහිත්‍ය වැඩි දියුණු කරන්න පුලුවනි.ඔවුන්ට කථන්දර කියා දෙන්න දැන් පුංචි විවේකයක් තියෙනවා.කවියක්,ගීතයක්අහන්න සලසා දී ඒවා කටපාඩම් වෙන තෙක් කටේ හිරි ඇරෙන්න ගයන්න අවස්ථාව දෙන්න. රාමුවක්ට කොටු වී සිටින නිසා ඇති වී තිබෙන ආතතිය එයින් දුරු වේවි..

මයික්රෝවේව් උඳුන සමග ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන්නේ කෙසේද?

වැඩ පහසු කරන මෙවලම් භාවිත කිරීම ගැන කාටවත් දොස් නගන්න අවශ්‍ය නැහැ. එහෙත්…මේ තාක්ෂනික මෙවලම් භාවිතය අපේ සම්ප්‍රදායික මෙවලම් භාවිත කිරීමේදී තිබෙන ආරක්ෂාව නැහැ. ඒ නිසා අප යමක් කිරීමට පෙරාතුව දෙවරක් හිතන්න අවශ්‍යයි.

මයික්‍රෝවේව් උඳුන ගැනත් දෙවතාවක් හිතන්න මේ කරුණු ඔබට ඉතාම වැදගත් වේවි.

  • අර්තාපල්

පෙන් රාජ්‍ය විද්‍යාලයේ කෘෂිකාර්මික විද්‍යව පිලිබඳ ආයතනය සඳහන් කරන අන්දමට අර්තාපල් ආහාරයට ගෙන ඉතිරි ප්‍රමාණයක් වෙතොත් එය හැකි ඉක්මනින් ශීතකරනයේ තබන්න.එසේ නැතිවුනොත් Clostridium botulism (බොටුලිසම්)  බැක්ටීරියාව වර්ධනය වෙනවා.මෙම බැක්ටීරියාව ඉතා අහිතකර විදිහට ආමාශයට බලපාන්න පුලුවනි. මයික්‍රොව්ව් උදුනක තත්පර තිහක් නැවත රත් කළත් මේ බැක්ටීරියාව විනාශ වෙන්නේ නැහැ. 

  • බත්

අප සාමාන්‍ය උෂ්ණත්වයේ සහල් පිසගෙන ආහාරයට ගැනීම සෞඛ්‍යයට බෙහෙවින් හිතකරයි. බත පිසගත් පසුව එය වැඩි වේලාවක් නිරාවරනය වුනොත් බැක්ටීරියා වර්ධනය වෙන බව මහා බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති Food Standards Agency (FSA), පිළිබඳ ආයතනය විසින් සදහන් කරනවා.ඒ වගේම පිසින ලද බත් එලියේ තැබීමේදී ඇතුලු වෙන බැක්ටීරියා මයික්‍රෝවේව් උදුනේ රත් කර ගත් බතෙන් ඉවත් වෙන්නේ නැහැ.ඒ හින්දා මයික්‍රෝවේව් උදුනේ රත්කරානේ කියලා ඔබට සැනසෙන්න බැහැ.

  • සහල් 

සාමාන්‍ය  උෂ්ණත්වයේ දී පිසීමෙන් පසු ආහාරයට ගන්නා විට සෞඛ්‍යයට හොඳයි. ඇත්ත වශයෙන්ම, පිසූ සහල් සාමාන්‍ය  උෂ්ණත්වයේ තැබීමෙන් තත්පර කිහිපයකින් දෙගුණ වන බැක්ටීරියා වර්ධනයක් ඇති වෙන්න පුලුවන්. මයික්‍රොවේව් උදුනේ පිසූ සහල් රත් කිරීමෙන් පවා මෙම බැක්ටීරියා මිය යන්නේ නැහැ. ඒ නිසා පිසූ වහාම බත් අනුභව කිරීම වඩා හොඳයි. පිසීමෙන් දීර්ඝ වේලාවකට පසුව ඔබට බත් අනුභව කිරීමට අවශ්‍ය නම් වහාම එය ශීතකරණයේ තබා ගන්න.


  • කොළ එළවලු

කොළ එළවළු කිව්වොත් එහි කොළ පැහැය තිබීම ඉතාම වැදගත්.කොළ පැහැයෙන් ආහාරයට ආකර්ශනය පමණක් නොවෙයි,පෝෂනයත් අඩංගුයි.නමුත් මේ ලස්සනට තිබෙන කොළ එළවළු මයික්‍රෝවේව් උදුනේ පිසින විට ඇති වෙන නයිට්‍රොසමින් නැමැති විෂ රසායනයක් ඇති වෙනවා. මේ පිළිකා කාරකය ඇති වෙන නිසා කොළ එළවලු මයික්‍රෝවේව් උදුනක රත් කිරීමෙන් අහිතකර රසායනයන් ඇති වෙන්න තිබෙන ඉඩ ගැනත් හිතන්න.


  • රතු බෙල් පෙපර්

රතු බෙල් පෙපර් මයික්‍රොවේව් උදුනක රත් කළ විට ඇති වෙන ඇති වෙන කැප්සායිසින් රසායනය නිසා කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි.ඒ නිසා රතුබෙල් පෙපර්
මයික්‍රෝදවේව් උදුනක රත් කිරීම සුදුසු නැහැ.

  • හතු

හතු ගැන අහන්න ලැබෙන පුදුම හිතෙන තතු මයික්‍රෝවේව් උදුනක රත් කිරීමෙන් අහිමි වෙන්න පුලුවනි. යුරෝපීය ආහාර තොරතුරු කවුන්සිලයට According to the European Food Information Council (EFIC) අනුව හතු නැවත රත් කිරීමෙන් එහි තිබෙන ප්‍රෝටින් ඉතා වේගයෙන් දහනය වෙනවා. සාමාන්‍යයෙන් ශීතකරණයක තබන ලද ආහාරය අංශක 158 ක උෂ්ණත්වයක රත් කිරීමෙන් ආහාරයට ගැනීම අනුමත වුනත් හතු වෙනුවෙන් මේ උපදේශය ගැලපෙන්නේ නැහැ.

ඉතින් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කරන්නේ කෙසේද? මයික්‍රෝවේව් උඳුන තුල ආහාර නැවත රත් කිරීමේදී ආරක්ෂිතව සිටීමට සරල ක්‍රම හතරක් ඇත:

     ඔබේ මයික්‍රෝවේව් උදුන නිසියාකාරව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කරන්න.
     ආහාර නිසි ලෙස පිසින ලද හෝ නැවත රත් නොකළේ නම්, එය වැඩි කාලයක් උයන්න.
     හොඳින් නැවත රත් කිරීම සහතික කිරීම සඳහා ආහාර කුඩා ප්‍රමාණයකට බෙදන්න.
     නැවත රත් කිරීමේ ක්‍රියාවලියේදී උෂ්ණත්වය පැතිරීම සඳහා ආහාර කලවම් කිරීමට වග බලා ගන්න.

 

පෞරුෂ වෙනස්කම්

පුංචි දරුවන් දිහා බැලුවාම ඔවුන් අතරත් විවිධ පෞරුෂ වෙනස්කම් තිබෙනවා.ඒ ගැන
දෙමව්පියන්ට බොහොම අත්දැකීම් තිබෙනවා.වෙන දෙයක් තබා එකම අම්මාගේ දරුවන්
අතර වුනත් පෞරුෂය ගැන වෙනස්කම් දකින්න පුලුවනි.එහෙමනම් මේ වගේ පෞරුෂ
වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද…?
මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් ප්‍රීතිජනක සහ ඔවුන්ගේ මානසික
සුවයට හිතකර තත්වයක් නිවසේ ගොඩ නැගුනොත් ධනාත්මක ලක්ෂණ ගොඩ නැගෙන
අතර දරුවාගේ බාල කාලයේදී අප්‍රසන්න සහ මානසික අසහනකාරී පරිසරයක් ගොඩ
නැගුනොත් දරුවා තුළ සෘණාත්මක හෙවත් දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙන්න
පුලුවනි.

ධනාත්මක ආතතිය ගොඩ නගන්නේ කොහොමද…?

ඔබ ඇසුරේ සිටින ඇතැම් දරුවන් උස් මහත් වුනත් තනියම නිදා ගැනීමට බිය වෙන්න
පුලුවනි. ඒ වගේම තනියම කමිසයේ බොත්තම් දමා ගැනීම, ආහාර පාන ගැනීමට පවා
නොහැකි තත්වයක් ඇති වෙන්න පුලුවනි. මේ තත්වයට දරුවා පත් කරන්නේ
දෙමව්පියන් විසින්මයි. ඔවුන් බාල කාලයේ පටන්ම දරුවාට කිසිම දෙයක් තනියම කර
ගැනීමට ඉඩ නොදී සියල්ලම දෙමව්පියන් විසින් ඉටු කර දීමට දරණ උත්සාහය නිසා
දරුවා තුළ දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙනවා.
ඒ නිසා ඔබේ දරුවාගේ පෞරුෂය ධනාත්මක ලෙසින් ගොඩ නගන්නට නම් බාල
කාලයේ පටන්ම ඔවුන් වෙනුවෙන් යම් අභියෝග ලබා දීම වැදගත්. මෙය මුලදී දරුවාට
අපහසු වුනත් කාලය සමග එය අභියෝගයක් විදිහට බාර ගන්නවා.එය දරුවාට
සතුටක්.උදාහරණයක් විදිහට තමන්ගේ මේස් කකුල තනියම දමා ගැනීමට දුන්නොත් මුල්
අදියරේදී එය ඔහුට අපහසුවක් විදිහට දැනේවි. ඒ වුනත් මේ කාර්යය ගැන හුරුවක්
ලබද්දී දරුවා මේ අභියෝගය බාර ගන්නවා. ඒ නිසා බාල කාලයේ පටන් දරුවා අනවශ්‍ය
විදිහට ‘‘බබා“ කිරීම එතරම් සුදුසු නැහැ.

දරාගත හැකි ආතතිය

දරුවන්ට වුනත් බාල කාලයේදී පටන් දරා ගත නොහැකි අන්දමේ ආතතින් ඇති වෙන්න
පුලුවනි. දරුවන් බොහොම සියුමැලියි. ඒත් අනපේක්ෂිත විදිහට ඇති වෙන පුද්ගලික
හෝ පාරිසරික ප්‍රශ්න දරුවාට ඉතාම අහිතකර විදිහට ආතතියක් ඇති කරන්න පුලුවනි.
උදාහරණයක් විදිහට සුනාමි ව්‍යසනය ගැන ඇසූ සහ දුටු දරුවන් වගේම අද පවතින
කොරෝනා වසංගතය ගැන ඉතා වේදනාත්මක තොරතුරු ගැන අසන දරුවන් දැඩි
ආතතියට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ට මේ තත්වයන්හිදී දෙමව්පියන් විසින් ඒගැන යම් සැනසිලි සහගත අන්දමින් අස්වැසුමක් කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. එවිට
දරුවාට ආතතිය දරා ගැනීමට පුලුවන් මට්ටමකට පත් විය හැකියි.

ධූලක ආතතිය

සමහර අවස්ථාවලදී දරුවාට ඇති වෙන මානසික පීඩනය ඔවුන්ට දරා ගත නොහැකි
තරම් වේදනාකාරී විය හැකියි. ඇතැම් සිදුවීම් පාලනය කළ නොහැකියි. මව,පියා හෝ
පවුලේ සමීපතයෙකුගේ මියයෑම වැනි සිදුවීමක් දරුවාට දරා ගැනීම අපහසුයි. වචනයට
වුනත් අපි කියන්නේ දරුවන් මල් වගේ සියුමැලි බවයි. එසේ නම් දරුවන්ගේ මුදු
මෙලෙක හිත් මේ වගේ ඔවුන්ගේ වයසට දරා ගත නොහැකි සිදුවීමකින් කඩා වැටෙන්න
පුලුවනි.
හදිසියේ හෝ මේ වගේ අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් දරුවන් ගැන වැඩිහිටියන්
විසින් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත්. ඔවුන් තනිවීමට ඉඩ නොදී මේ දරුවන්
සමග ගැවසීම ඉතා වැදගත්. බොහෝ විට ධූලක මානසිකත්වයට පත් දරුවන් පාසල්
යෑම ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. ඔවුන් හුදෙකලාව සිටින්න බලනවා විනා කවුරුන්
සමග හෝ කතාබහ පවා ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. හුදෙකලාව ප්‍රිය කරනවා. තරහ
යෑම වගේම නිතරම බියෙන් පසුවෙන්න පුලුවන්. දරුවාගේ චරිතයෙන් පසුගාමී බවක්
දැනේවි.
ඒ නිසා ඔබේ හෝ ඔබ ඇසුරේ සිටින කාගේ හෝ දරුවෙකු වෙතින් ඉහත ලක්ෂණ
පෙන්වනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා.

මේ විවේක කාලය ගෙවන්නේ කොහොමද…?

මේ දවස්වල හැම අම්මා,තාත්තා කෙනෙක්ම කතා කරන්නේ අනේ..හරිම කම්මැලියි. ගෙදර ඉදලා එපා වෙනවා කියන පොදු අදහසයි.

තවත් සමහර අය මේ විදිහට කියනවා..කනවා..නිදියනවා..ටී.වී බලනවා…ආයෙත් කනවා නිදියනවා..ඒ වගේම මේ අයම තමයි පහුගිය කාලයේ අනේ ඉතිං කන්තෝරුවයි..ගෙදරයි..කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැහැ.කොටින්ම කියනවා නම් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියල මැසවිල්ල කිව්වේ..එහෙම කියපු අයම දැන් කියන්නේ විවේකය වැඩියි..කම්මැලියි..කියන අදෝනාවයි.

ඒත් දැන් කාලයේ විවිධ රාජකාරි සමග යෙදී ආර්ථිකය ගලපා ගත් නිසා මේ විදිහට කිව්වත් අතීතයේ අපේ ජනජීවිතය බැදී තිබුනේ මේ රටාව මතයි.තාත්තා වත්ත,පිටිය සහ කුඹුරු ගොවිතැන් සමග ගැටුනම අම්මා දරු මල්ලන් බලා ගෙන තාත්තාගේ වැඩටත් සම්මාදම් වෙලා ජීවිතය ගෙව්වා.ඒ අය හොදට හුස්ම ගත්තා.ඒ වගේම විවේකයට වෛර කලෙත් නැහැ.

දැන් ඔන්න ඉස්සර හුස්ම ගන්නවත් වෙලාවක් නොතිබුන,දරුවන් සමග එකට ආහාරයවත් බුදින්න අවසර නොතිබුන දෙමව්පියන්ට හොඳම විවේකයක් ඇවිත්.අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදෙන පිරිස හැර බොහෝ උදවිය තමන්ගේ නිවෙස්වල.ස්වයං ආරක්ෂාව වෙනුවෙන් පිටස්තර තැන්වල ගමන් බිමන් සහ චාරිකාවනුත් නැවතී ඉතාම සරල විදිහට දරුවන් සමග කාලය ගෙවන්න දැන් ඔබට කිසිම බාධාවක් නැහැ.එහෙමනම් මේ කාලය ගෙවන්නේ කොහොමද…?

අවුරුදු මානසිකත්වයෙන් නම් අපට මේ තිබෙන වසංගත රෝග තත්වය නිසා ටිකක් දුරස් වෙන්න වේවි.ඒ වුනත් කඩිමුඩියේ සිංහල අලුත් අවුරුද්ද නිසා ගෙවල් දොරවල් අස් පස් කරන සහ පිරිසිදු කරන අයට දැන් ඒ වෙනුවෙන් විවේකය ලැබිලා තිබෙනවා.වෙනදා අම්මා විතරක් තනියම කරන ලද මේ කටයුතු වෙනුවෙන් දරුවන්ගේත් සහයෝගය ලබා ගන්න පුලුවනි.තාත්තාගේ වුනත් උදව් කබා ගන්න මේ වගේ කාලයක් නම් නැවත ලැබෙන්නේ නැහැ.

  • අල්මාරිය අස් කරන්න..

අපේ අම්මලාට අල්මාරිය අස් කර ගැනීමටත් ඇත්තටම වෙලාවක් ඕන.දරුවන්ගේ අදින්න බැරි ඇදුම් ඉවත් කරන්න.ඒවා හදා ගෙන නැවත පාවිච්චි කරන්න පුලුවන් නම් ඒවා අදාල මිම්මට අනුව සකස් කිරීමට මේ විවේකය හොඳින්ම යොදා ගන්න පුලුවනි.

  • උයන පිහන කටයුතුවලට සහය

පාසල් යන්නයි..පංති යන්නයි නිසා කුස්සිය පැත්තට එන්නවත් වෙලාවක් නැති දියණිය දැන් මුළුතැන්ගෙට ගෙන්වා ගන්න හොඳම කාලය ඇවිත්.දුවට විතරක් නොවෙයි,පුතාටත් කුස්සිය නරක නැහැ.ඒ නිසා අම්මා උයන විට අත්උදව් ගන්න මේ කාලයේ දරුවන් සම්බන්ධ කර ගන්න පුලුවනි.ඒ වගේම අමුද්‍රව්‍ය පිරිමහගෙන පාවිච්චි කරන්න අවශ මේ කාලයේදී විවිධ ආහාර අත්හදා බැලුවේ නැතැත් කමක් නැහැ.නමුත් වේලට හදන ආහාර රටාවත් දැන් වෙනස් කරන්න පුලුවනි.ඇයි ඉස්සර කිව්වේ වෙලාවක් නැහැ කියලනේ.දැන් වෙලාව තිබෙනවා.ආප්ප..තෝසේ..පිට්ටු සහ ඉදිආප්ප වගේ එදා වෙලාව නැහැ යන ලේබලයෙන් ඈත් කරපු වෙනස් දේවල් දැන් හදන්න පුලුවනි.මේ ආහාර නිසා එළවලු ,මස්,මාළු ගැන තිබෙන අඩුපාඩුත් මැකෙනවා.තවත් පැත්තකින් ඒකත් ලොකු දෙයක් නොවෙයිද..?

  • මල් වගේම එළවලු පැල..

බොහෝ දෙනෙක් එලවලු වගේම මල් පැල වගාවේ පටන්ගත්ත උනන්දුව නොදැනීම බාල වෙනවා.ඒකට හේතුව විවේකය නැති වීම බව ඇත්ත.ඉදහිට ලැබෙන විවේකයේදී මේවා හැදුවත් එයින් පසුව සාත්තු කරන්න වෙලාවක් නැහැ.දැන් අතපසුවුන මේ වැඩකටයුතු පටන් ගන්න.ඒ වගේම වත්ත පිටියේ එලවලුවක් තිබුනොත් ලැබෙන වාසිය මේ දවස්වල නම් හොදටෝම තේරෙන්නත් ඇති නේද..?ඉතින් අනේ කම්මැලියි නොකියා ඉවත දමන පොහොර උරයක හෝ වෙනත් මල්පෝච්චි හෝ ගැලපෙන දෙයක එළවලුවක් වගා කරන්න ඔන්න අවසර තිබෙනවා.

  • ඇදුමක් මහන්න..

දරුවා උපන් වෙලාවේ ලැබුන රෙදි සේරම අල්මාරියේ.දැන් පැටියා ඉස්කෝලෙත් යනවා.මහන්න වෙලාවක් තිබුනේ නැතුව රෙදි දැන් මදිත් වෙලා.එහෙමනම් දැන් පටන් ගන්න.ඒ විතරක් නොවෙයි.කොට්ට උරයක් දෙකක් මලක් මහලා ලස්සන කරලා හැඩ බලන්නත් බැරි කමක් නැහැ.

  • දරුවන්ගේ අධ්යාපන වැඩකටයුතුවලට උදව් වෙන්න..

ඔබේ පැටියාගේ ඉගෙණුම් කටයුතුවල බොහොම අඩුපාඩු ඔබ දැන සිටියත් ඒ වෙනුවෙන් උදව් වෙන්න මෙච්චර කාලයක්ම වෙලාවක් තිබුනේ නැහැ.එය බොහොම සාධාරණයි.ඒ වුනත් දැන් හොදම වෙලාව ඇවිත්.අකුරු ගලපලා කියවන්න අපහසු පැටියාට පින්තූර ඇසුරු කර ගෙන යමක් කියවන්න උදව් වෙන්න.ඉස්පිලි ,පාපිලි මග හරින පැටියාට බොහොම සෙමින් ඒ වෙනුවෙන් කාලය අරගෙන කියා දෙන්න දැන් වෙලාව තියෙනවා.දවසට පුංචි වෙලාවක් අරගෙන හැමදාම මේ උදව් ලබා දුන්නාම නැවත පාසල පටන් ගනිද්දී පොඩ්ඩාගේ ඉගෙණුම් අඩු පාඩු නොදැනීම මග හැරේවි.

සෙනෙහසේ මුදු පහස ඔබේ පුංචි පැටියාට විශ්වාසයෙන් ලබාදෙන්නේ කවුරුන්ද?

උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් පෙරුම් පුරන ඕනෑම අම්මා කෙනෙකුගේ එකම පැතුම නිරෝගී දරු පැටියෙක්. ඒ වෙනුවෙන් අම්මා හැම කැප කිරීමක්ම කරනවා. අන්න ඒ නිසයි පුංචි පැටියා අම්මාගේ කුසේ ඇති දැඩි වෙන කාලේ ඉඳම පැටියා වෙනුවෙන් බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නේ.

වැඩි සුවඳක් ඇති සුවඳ විලවුන් වර්ග, නිය ආලේපන වර්ග සහ සබන් වර්ග ටිකෙන් ටික අම්මාගේ ජීවියෙන් ඈත් වෙන්නේ නොදැනුවත්වම වගේ. ඒ මුකුත් නිසා නෙවෙයි, කුසේ වැඩෙන පුංචි පැටියට මේ දේවල් වලින් අහිතකර බලපෑමක් වෙයිද කියන බය අම්මාගේ හිතේ තියෙන නිසා.-

අම්මා එයාගේ සුපුරුදු ජීවන රටාවෙන් ඈත් වෙනවා ව‍ගේම පුංචි පැටියා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්නත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඒ ගැන සොයා බලනවා. දැනුවත් වෙනවා. ඉතිං පුංචි පැටියා වෙනුවෙන් තෝරාගන්නා පුංචිම පුංචි දේකත් නියම තත්ත්වය වගේම විශ්වසනීය බවත් සහ ප්‍රමිතිය ගැනත් අම්මා සැලකිලිමත්. ඒ ‍වෙනුවෙන් නිවැරදිම තීරණය ගන්න හැම අම්මා කෙනෙක්ම දක්ෂයි. අන්න ඒ නිසාම තමයි විශ්වාසනීය වෙළඳනාමයක් යටතේ වෙළඳපොළට එන නිෂ්පාදනම පුංචි පැටියා වෙනුවෙන් තෝරගන්න අම්මා කෙනෙක් තීරණය කරන්නේ. බේබි ෂෙරමි නිෂ්පාදන හැම අම්මා කෙනෙක්ගේම පළමු තේරීම වන්නේ ඒ නිසයි.

සෙනෙහසේ මුදු පහස වෙනුවෙන් බේබි ෂෙරමි ක්‍රීම් ඔබේත් පළමු තේරීම විය යුත්තේ පුංචි පැටියට දෙන්න ඕනේ හොඳම දේ නිසයි.

බේබි ෂෙරම් ක්‍රීම්

  • බිලිඳු සමට හිතකරයි

පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි බිලිඳු සමට අහිතරක ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසාම බේබි ෂෙරමි ක්‍රීම් පුංචි පැටියාගේ සමට හිතකරයි. 

  • පුංචි පැටියාගේ සම වෙනුවෙන්ම සැකසී ඇත

පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ක්‍රීම් පැටියා‍ට හොඳම දේ සොයන අම්මලාගේ පළමු වන තේරීම වන බව නිසැකයි.

  • මුදු සුවඳ මුසුව සැකසී ඇත

සෙනෙහසේ සුමුදු පහස බොහොම මුදු නිසාම බේබි ෂෙරමි ක්‍රීම් පුංචි පැටියා වෙනුවෙන්ම ඉතාම මුදු සුවඳකින් යුක්තව සැකසී තිබෙනවා. සැර සුවඳ නිසා පුංචි පැටියා නොසන්සුන් වී චර්යාත්මක ගැටලු ඇති විය හැකි බව දන්නා නිසාම අම්මා කෙනෙක් මුදු සුවඳ පැටියා වෙනුවෙන් තෝරාගන්න දෙපාරක් හිතන්නේ නැහැ.

බේබි ෂෙරම් ක්‍රීම්, බිලිඳු සමට සුමුදු බව සායනිකව සනාථ කර ඇත. පුංචි පැටියාට හොඳම දේ දෙන අම්මලාගේ තේරීම වන බේබි ෂෙරමි ක්‍රීම් නැණවත් මව්වරුන්ගේ මුල්ම තේරීම වන්නේ ඒ නිසයි

එකට ගත හැකි සහ නොගත යුතු ආහාර

අපි ආහාර පිළියෙල කර ගැනීමේදී විවිධ සංයෝගවලින් ආහාර පිළියෙල කර ගැනීමේ කලාව අතීතයේ පටන්ම ඉතාම ජනප්‍රියයි. ඒ නිසාම විවිධ විදිහට අත්හදා බැලීම් වෙනුවෙන් යොමු වෙනවා. අලුත් දේ වෙනුවෙන් යොමු වුනත් ඒවායේ ගුණාගුණ ගැනත් දැන ගෙන හිටියොත් වඩාත් අගෙයි නේද..?

උදේ ආහාරය පුංචි පැටියට වඩාත් හොඳින් දෙන අදහස හැම දෙමව්පියෙක් වෙනුවෙන්ම සාධාරණයි.ඒ නිසා අද බෙහෝ දෙමව්පියන් උදේ ආහාරය වෙනුවෙන් ඕට්ස් සකස් කරනවා. හැබැයි එදාට දොඩම් යුෂ වීදුරුව කපා හරින්න.දොඩම් බිව්වොත් එහි තිබෙන ආම්ලික බව නිසා පිෂ්ටය අවශෝෂණය පමා කරනවා.

ඒ වගේම කෙසෙල් සමග කිරි එක අවස්ථාවකදීම ලබා දෙන්න එපා. මේ වර්ග දෙකම පෝෂණයෙන් ඉහල නිසා ජීරණය පිළිබඳ ගැටළු ඇති වෙන්න පුලුවනි.

තක්කාලි සුප් බිව්වොත් ඒ සමග චීස් අතිරේකත් එපා. තක්කාලිවල ඇති අම්ලගතිය චීස් සමග ප්‍රතික්‍රියා කරන නිසා දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුලුවනි.

 නිවිතිවල ඇති ඔක්සලේට් කිරි සමග ප්‍රතික්‍රියා කරන නිසා මේ සංයෝගයත් ගැලපෙන්නේ නැහැ. බේකන් සහ බිත්තර එකම වේලාවට ලබා දෙන්න එපා. පැටියාගේ ඉල්ලීම සහ පෙරැත්තය ගැනට වඩා මේ ආහාර දෙකම එකට ගැනීම සුදුසු නැහැ.

අපි ගෙදර දොරේ පුංචි පැටවුන්ට කන්න බොන්න දෙන්නත් පිලිලෙත් තියෙනවා.දෙමව්පියන් විදිහට අපේ කැමැත්ත තියෙන්නේ කොහොම හරි දරුවාට කවා පොවා ලොකු මහත් කරන්නයි. ඒත් මේ ආහාර ඔබත් නොදැනීම දරුවාට අපථ්‍ය හෙවත් නොගැලපෙන්න ඉඩ තියෙනවා. ඒ දරුවාගේ වැරැදද්ක් නොවෙයි, ආහාර ජීරණ පද්ධතියෙන් ලැබෙන පනිවිඩයක්. ඒ නිසා පවුලේ අයට ආහාර ලබා දෙන විට ටිකක් අවදානය දැක්විය යුතු කරුණුත් කීපයක් තිබෙනවා.යෝගට් පුංචි පැටවුන්ට නිතරම ලබා දෙන අහාරයක්. 

බොහෝ දරුවන් යෝගට්වලට කැමැත්තක් දක්වනවා. ඒත් ප්‍රදාන ආහාර වේලක් ආසන්නයේදී යෝගට් දීම නම් එතරම් හොඳ නැහැ.එකක් උදරයේ ආම්ලිකතාවයක් ගොඩ නැගෙනවා. ඒ වගේම පළතුරු සමග වගේම තක්කාලි එකතුව යෝගට් දෙන්න එපා. පළතුරු දෙන්න අදහසක් තිබෙනවා නම් යෝගට්ද…එහෙම නැත්නම් පළතුරුද බවට තීරණය කරන්න…දෙකම එකට ලබා දුන්නොත් දරුවාට විතරක් නොවයි, ලොකු අයටත් අහිතකර වෙන්න පුලුවන්.ආහාර පාලනය කරන වැඩිහිටි දරුවෝ වුනත් යෝගට් එකකින් රාත්‍රි වේලා සීමා කරගන්නවා නම් එය හවස හයට හයහමාර වගේ වේලාවට ආහාරයට ගන්න.

ඒ වගේම මස්, මාළු, මිරිස්, වම්බටු සහ අර්තාපල් වගේ ආහාර සමග කිරි එකතු කර ගන්න එපා.

රටකජු නම් අපි කවුරුත් කැමැති ආහාරයක්. රටකජු වුනත් පමණ ඉක්මවා ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඒ වගේම රටකජු පැටියාට දුන්නොත් කිරිවේල ප්‍රමාද කරන්න. එහෙම නැත්නම් අන්තරයක් තියල රටකජු දෙන්න පුලුවනි.

බෝංචි සමග  චීස්, බිත්තර, කිරි සහ යෝගට් එකතු කරන්න එපා.

ඒ වගේම ගිතෙල් සහ මීපැණි එකට සංයෝග කිරීම අගුණයි වගේම මීපැණි රත් කිරීමත් එතරම් හොඳ නැහැ.

  • එකට සංයෝග කරන්න පුලුවන් දේ…

අපට නිවසේ පිළියෙල කරන මැල්ලුම නිවසේ සිටින අයට ප්‍රමාණවත් නැත්නම් කියල හිතුනොත් ඒ වෙනුවෙන් ගොටුකොළ,තම්පලා,මුකුණුවැන්න වගේ තවත් පලා වර්ගයක් එකතු කරන්න පුලුවනි. මේ මැල්ලුම හඳුන්වන්නේ ‘‘කලවම් පලා මැල්ලුම‘‘යන නමිනුයි.

.  කරවල සහ හාල්මැස්සන් තනිකරම හදන්නේ නැතුව වම්බටු,මාළුමිරිස්,බොම්බයි ලූණු වගේම තක්කාලි එකතු කරන්න පුලුවනි. හැබැයි හාල්මැස්සන් සමග තක්කාලි එකට පිස ගැනීම කාලය සමග වකුගඩු ගල් ඇති වීමට හේතු වෙනවා.

කජු වගේ දේ තනිකරම වුනත් ආහාරයට ගැනීම අපහසු නැහැ.ඒත් මිළ ඔරොත්තු නොදෙන නිසා කජු සමග කැරට්,පරිප්පු එකතු කරන්න පුලුවනි.

  • හත්මාළුව

බක් මාසය සමග ඇති වෙන උෂ්ණ කාලගුණ තත්වයේදී සිරුර සමහන් කරන ගුණයක් හත්මාළුවේ ඇතැයි පිළිගැනේ. ඒ අඩුපාඩුව හත් මාලුවෙන් පිරිමැහෙනවා.කැරට්,කජු විටමින් ‘‘ඒ‘‘ අන්තර්ගත නිසා හදවතට ගුණයි. කජුවල මේදය නිසා සිරුරට ශක්තිය ලැබෙනවා.

සම්ප්‍රදායික හත්මාළුව ලෙස සැලකෙන්නේහොද්ද,තැම්බුම,මැල්ලුමනියඹලාව,බැදුම,දිය මස් සහ ගොඩමස් යන හතයි.

තවත් අදහසක් අනුව හොද්ද,තැම්බුම,මැල්ලුම,පැලහුම,නියඹලාව,ආනම සහ බැදුමයි.

සබරගමුවේ හත්මාලුව පිළියෙල කිරීමේදී කජු,තිබ්බටු,කොස් ඇට,වට්ටක්කා ,කොහිල දලු, අලු කෙසෙල්,ලපටි කහට ගෙඩි, නිවිති සහ තම්පලා ඇතුලත් වෙනවා.මේ සියල්ලට මිරිස්,තුනපහ,රම්පෙ,කරපිංචා,රතුළූණු,කුරුඳු පොතු,අමුමිරිස් ආදිය සමග තැම්බෙන්න අවශ්‍ය තරම් දියකිරි දමා හොඳින් තැම්බුනාම මිටිකිරි එකතු කරන්න.-

මේ කාලේ ආතිතයක් නැතුව ඉන්න නම්

කොරෝනා වසංගතය ලෝකය ගිල ගත්තත් පුංචි පැටවුන්ට මේ ගැන වගක් විභාගයක් නැහැ.වෙනදා වගේ අම්මා, තාත්තා එන පෙරමගට ගොස් අතේ එල්ලෙන්න අවසර නැහැ.නිවාඩු දවසකටවත් එලියට ගිහින් විනෝද වෙන්න අද හිතන්නවත් බැහැ.හෙට අනිද්දා ඉවර වෙයි කියලා කාලරාමුවක් නියම කරන්න බැරි මෙම වසංගත උවදුර සමග පොඩ්ඩන්ගේ කෑම බීම ගැන ගැටුම්ද ඇති නොවෙනවාම නොවෙයි.නමුත් මෙතැනදී දෙමව්පියන් විදිහට දරුවන්ගේ සතුට ,පෝෂණය වගේම පවතින තත්වයේ අවදානම හොදින් දැනගෙන දරුවන්ගේ සතුට ගැනත් අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු අරගෙන එන අම්මා,තාත්තා අත් සෝදාගන්නා තෙක් දරුවන් ස්පර්ශ කිරීම පුංචි වේලාවකට සීමා කරන බව ඔවුන්ට තේරුම් කරන්න.හැමදාම නගරයට යද්දී දරුවන් පිරිවරාගෙන ගියත් අද දරුවන් නිවසට සීමා කරලා තාත්තා විතරක් ටවුමට යන්නේ ඇයි කියන බවත් දරුවන් දැනගත යුතුයි.ලෝකය පුරා යන වසංගතයෙන් අපි හැම දෙනෙක්ම ආරක්ෂාවෙන් සිටිය යුතු බවට දරුවන් දැණුවත් කිරීම මිසක ඉහළ යන මරණ ගැන කියමින් පුංචි හිත් බියට පත් කිරීම එතරම් සුදුසු නැහැ.මේ වසංගතයෙන් පුතාගේ අම්මා,තාත්තා මැරෙයි ..එහෙම වුනොත් ඔයාට තනියම ඉන්න වෙයි කියන අසුබ සිතුවිලි දරුවාගේ හිතට ඇතුල් කරන්න එපා.ඒ වෙනුවට අපි විෂබීජවලින් ආරක්ෂා වුනොත් මේ වසංගතයෙන් බේරෙන්න හැකියාවක් තිබෙනවාය යන සුබ සිතුවිල්ල ඔවුන්ගේ හිතට ඇතුළු කිරීම අපහසු නැහැ.මේ සිතුවිල්ල දරුවාගේ හිතට දැණුනාම ඔවුන්ද වෛරසයෙන් ආරක්ෂා වීම ගැන යම් සංකල්පයක් ගොඩ නගා ගන්නවා.

  • ආහාරපාන ගැනත් දැන් සීමාවක් ඕන..

වෙනදාට නම් ඇති හැකි අයට මේ ගැන කිසිම ගැටළුවක් තිබුනේ නැහැ. එක්තරා කතාවක දැක්වෙන ‘‘ධනිය ගෝපාල“සිටුවරයා වගේ පිසින ලද බත් ඇත…දොවන ලද කිරි ඇත..ඒ නිසා වැස්සට වහින්න ආරාධනා කිරීම පමණක් නොව ගංවතුර ගලන තෙක් වැස්සත් කමක් නැත කියන සාහිත්‍ය කතාව අදට ගැලපෙන්නේ නැහැ.සෙනග සමග ගැවසීමට අද අවසර නැති නිසා නිවසට ගෙනෙන කළමනා පරිස්සමින් පාවිච්චි කිරීමත් වැදගත්.ඒ නිසා බත්,ව්‍යංජන පිලියෙල කිරීමේදී යම් පිරිමැස්මක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා.

  • පරිස්සමින් කරන්නේ කොහොමද…?

සාමාන්‍ය බතක් පිළියෙල කළ විට ඒ වෙනුවෙන් ව්‍යංජන දෙක තුනක් අවශ්‍යයි.ඒ නිසා උදේට කිරිබතක්, රාත්‍රියට ඉදිආප්ප, නූඩ්ල්ස් හෝ එලවළු බතක් පිලියෙල කර ගන්න පුලුවනි.ඒ වගේම කොස්, පොළොස් වැනි වත්තෙන් පිටියෙන් හොයා ගත හැකි අයට මේවායින් රසවත් ව්‍යංජන විවිධ විදිහට සකස් කර ගන්න කාගෙන්වත් බාධාවක් නැහැ. කොස් වුනත් මැල්ලුම, ව්‍යංජන හෝ කිරිකොස් වගේ හදාගන්නත් පුලුවනි.

  • බඩු මුට්ටු ගන්න ගියාම ආතතියෙන් මිදෙන්න..

මේ ගැන නම් බොහෝ දේ කතා කරන්න පුලුවනි. මුලින්ම ඔබේ ගමේ තිබෙන පුංචි කඩය අමතක කරන්න එපා. සුපිරි වෙළදසැල්වලින් ද්‍රව්‍ය මිළට ගැනීමේ වාසි තිබෙන බව ඇත්ත.ඒත් කිලෝමීටර් ගණනක දුර පෝලිමේ යනවා වෙනුවට ගමේ කඩයෙන් ගනුදෙණු කරද්දී එබේම අසල්වැසියාටත් ආදායමක් ලැබේවි.ගමේ පළතුරක වුනත් තවම විශ්වාසයක් තියන්න පුලුවනි.ඊටහේතුව පුංචි කඩේ මුදලාලිගේ කඩේට එන්නේ කෙසෙල් කැනක්,පැපොල් ගෙඩි තුන හතරක් ,අනෝදා ගෙඩි කීපයක් වගේ සුලුවෙන් නිසා ඒවා ඉදවන්න බේත් ඇත්තෙත් නැතිබවට පිලිගැනීමක් තිබෙනවා.ඒ නිසා නිවසට අවශ්‍ය හාල්,තුනපහ,සීනි වගේ දේවල් වෙනුවෙන් ගමේ කඩපිළට යන්න පුලුවනි.

  • ගන්නේ මොනවාද…?

සුපිරි වෙළදසැලේ රාක්ක හිස් වෙනකම්ම බඩු ගත්තත් නිවසට ගිහිං බැලුවොත් දවස් දෙක තුනක්වත් පිරිමහ ගන්න බැහැ.ඇයි ඉතිං බඩු දැක්කාම ‘‘පැනික්“ වෙනවා. ඒ නිසා වෙලදසැලට යන්න පෙරාතුව අවශ්‍ය බඩු ලැයිස්තුවක් සකස් කර ගන්න.

  • මේ ලැයිස්තුවට ඇතුළු කරන්නේ..

මේ බඩු ලැයිස්තුවට හාල්වලට අමතරව කල් තබා ගත හැකි නූඩ්ල්ස්,පැස්ටා,ඕට්ස්,සැමන්,කරවල,හාල්මැස්සන් වැනි දේ ඇතුලත් කරන්න.ඉස්සර වගේ පාන්,බනිස් අවශ්‍ය වේලාවට නැති නිසා පාන්පිටි, ආටා පිටි වගේ දෙවල්ද ඇතුලත් කරන්න.හදිසියකට බිස්කට් වර්ගත් මිළට ගත්තොත් හොදයි.ඇයි අපේ බඩගිනි පැටවුන්ට හදිසියකට එපායැ.

  • පවුලට එකට ඉන්න පුලුවනි

මේ දවස්වල පාසල වගේම කන්තෝරුවලටත් නිවාඩු. අම්මා වගේම දරුවන් නිවසේ ඉන්න අවස්තාවක්. රටේ තත්වය නිසා ගමන් බිමන් නැති නිසා අතපසු වුන වැඩකොටස් ලැබුන කාලවේලාවෙන් කර ගන්නත් පුලුවනි. මල්වවන්න, නිවස පිරිසිදු කරන වැඩ කොටස්වලට දරුවනුත් හවුල් කර ගෙන කරගන්න පුලුවන් විරල නිවාඩුවක් දැන් ඔබට ලැබිලා තිබෙනවා.

එදා නිරෝධායනය

ඉස්සර කාලයේ මාර්තු මාසය වෙන විට පැපොල, සරම්ප,සහ කම්මුල්ගාය වැනි බෝවන රෝග ඉතා සුලබයි. අද වගේ පුර්ව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නුදුන්  නිසාම මේ රෝගවලින් වැලකී සිටීම අපහසුයි. ඒත් මේ කතාවේ තිබෙන වැදගත්ම තත්වය නම් නිවසේ එක් සාමාජිකයෙකුට මේ රෝගය වැළඳුනාට නිවසේ අනිත් අය ඒ රෝගයට ගොදුරු වුනේ නැහැ.

  • කොහොමද…?

බෝවෙනවාය කියන ඉහත රෝගය හැදුන පුද්ගලයා කවුරු වුනත් ඒ කියන්නේ තාත්තා,අම්මා,දුව, පුතා වුනත් ඒ තැනැත්තාව වෙන් කරනවා. රෝගියා වෙනුවෙන් පිඟාන, කෝප්පය පවා වෙනම තැබුවා.ඒ වගේම මේ රෝග ‘‘දෙවියන්ගේ ලෙඩ “ විදිහට සලකනු ලැබුවා.දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් විදිහට මේ රෝග සැලකුන අතර දෙවියන්ට ගරු කිරීමක් විදිහට ආහාරවලට තෙල්, කහ එකතු කලෙත් නැහැ.නිවසේ පදිංචි හැම දෙනාම මේ පිලිවෙත් අනුගමනය කළා. රෝගියාගේ අතේ පෙරුම්කායම් බැන්දා.නිදන ඇතිරිල්ල යට කොහොඹ කොළ අතුරා තිබුණා.

 

රෝගීන්ට කණ්ණාඩියෙන් මුහුණ බලන්න අවසර දුන්නෙත් නැහැ.මෙතැන මානසික සාධකයක් තිබෙනවා.මුහුණේ තිබෙන වතුර බිබිලි දුටුවාම රෝගියාට යම් කම්පනයක් ඇති වෙනවා.ඒ නිසා කණ්ණාඩියෙන් මුහුණ නොබලා සිටීම මානසික පැත්තෙන් වඩාත් සුදුසු නිසා කණ්ණාඩිය පවා රෙද්දකින් ආවරණය කරනවා.

  • රෝග පැතිරීම වලක්වා ගත්තේ..

ඒ වගේම නිවසට එන අයට තමන්ගේ නිවසේ බෝවෙන රෝගියෙක් සිටිනවා නම් ඒ බව දැනගැනීමට කොහොඹ අත්තක් නිවසේ දොරකඩ එල්ලා තබනවා.එය ඉතා හොඳ සන්නිවේදනයක්.දෙවියන්ගේ ලෙඩ වැළදුන රෝගින් බලන්න පවා ගියේ් නැහැ.රෝගියාගේ නිවසේ අයත් මේ කාලයේදි මලගෙවල්, දරු උපත් සහ මල්වර දැරියන් සිටින නිවෙස්වලට ගියේ නැහැ.මේ නිසා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට අවස්ථාව  ලැබුණා.

නෑවේ දින හතක් ගෙවුනාම

දින හතක් ගෙවුනාම රෝගියා ස්නානය කරනවා.ඒත් නාන තොටකට, පොදු ළිදකට යෑම වෙනුවට නිවසේ බොහොම පාන්දරින්ම ස්නානය කලා.ඉරිදාට නවය වැනි දිනයක් යෙදී තිබුනොත් එදිනට නෑවේ නැහැ. නවය නපුරුයි යන අදහසක් තිබුනා.රෝගියා ස්නානයෙන් පසුව නැවත පරිසරයට නිරාවරනය වෙන්න පෙරාතුව දේවාල වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීම නිසා මානසික ශාන්තිය ලැබෙනවා.

  • පිරිත් දේශනා

ඒ වගේම ගමේ දායකයෙක් රෝගි වුනාම පන්සලේ හාමුදුරුවන්ට ආරංචි වුනාම උන්වහන්සේ නිවසටම වැඩම කොට රෝගියාට සෙත් පිරිත් දේශනා කොට පිරිත් නූල් ගැට ගසා පිරිත් පැන් පානයට දුන්නා.විසාලා මහනුවර තුන්බිය ඇති වුන විට ‘‘රතන සූත්‍රය “දේශනා කිරීමෙන් රෝග,මරණ සහ අමනුස්ස බිය පහව ගිය බැව් පිරිතේ ආනිශංසයයි.මේ දිනවල වසංගතයක්ව පැතිරෙන කොරෝනා වෛරස ආසාදිතයන් හෙට අනිද්දාට කෙසේ වෙතත් තවමත් මහනුවර,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී නැහැ.මේ වෙනුවෙන් හේතුවක් විදිහට පසුගිය 19 වැනි දින පටන් 25 වැනි දින දක්වා විසිහතර පැයේම මහනුවර දළදා මාලිගාවේ මගුල් මඩුවේදී භික්ෂුන් වහන්සේලා විසින් රතන සුත්‍රය සජ්ජායානා කිරීමත් විය හැකියි.

ඒ නිසා ඔබ හැම දෙනාටම බෞද්ධයන් නම් පිරිත් සජ්ජායනාවක් වගේම වෙනත් ආගමිකයන් නම් ඔවුන්ගේ ආගමික යාඥාවන් මගින් ලෝකයටම සෙත් ශාන්තිය ඉල්ලා සිටින්න පුලුවනි.

ආයුබෝවන්..

අතීතයේදී මග තොට මුණ ගැසුන හැම දෙනාටම අයුබෝවන් යන ආමන්ත්‍රණයෙන් සදහන් වුනේ ආයුෂ බොහෝ වේවා යන්නයි.මෙය නිතර නිතර කියැවෙන විටත් යම් ශාන්තියක් ලැබුණා.මෑත කාලයේදී සිප වැළදගෙන හිතවත්කම් පෙන්වීම වෙනුවට එදා දෑත් එකතු කර ‘‘ආයුබෝවන්“ කීම සිංහල සංස්කෘතියයි.දැන් නැවතත් සමාජ දුරස්ථබව ආරක්ෂා කිරීම සමග අපේ ආචාර විධි ඉතාම වැදගත්.

අපේ දරුවන්ගේ කිසිම පිළිවෙලක් නැහැ.

දරුවන්ට පිලිවෙල නැති වුනාම ඒ චෝදනාව අනාගතයටත් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් දරුවන් පිළිවෙලක් නැතුව හැදුනාම දොස් නගන්නේ දෙමව්පියන්ටයි. ඒ නිසා එබේ දරුවා මුල් කර ගෙන ලෝකයෙන් චෝදනා විදිනවාට වඩා බාල කාලයේ පටන්ම දරුවා පිලිවෙලක් ඇතුව හුරු කිරීම ඉතාම වැදගත්. එහෙමනම් දරුවෙකු පිලිවෙලක් ඇතිව හදා වඩා ගන්නේ කෙසේද…

මුලින්ම ඔබ ආදර්ශමත් වෙන්න

දරුවන් සමාජයට ඇතුලු වීමට පෙරාතුව ඔවුන් අනුගමනය කරන්නේ තමන්ගේ දෙමව්පියන්. ඒ නිසා ඔබ දෙස බලා ගෙන ඔවුන් හැදෙන වැඩෙන නිසා නිතරම තමන්ගේ දෙමව්පියන් අනුකරණය කරනවා.ඒ නිසා ඔබ දරඅවන්ට ආදර්ශමත් විදිහට පිලිවෙලක් ඇති චරිතයක් වීමට ඉටා ගන්න.

දරුවාටත් වගකීම් දෙන්න

බාලකාලයේ පටන්ම දරුවාටත් යම් යම් වගකීම් පවරා දෙන්න.පුංචි හිතට වගකීම් ලැබෙන විට තමා වැදගත් තැනැත්තෙක් බැව් දරුවාටත් ඒත්තු යනවා. තමන්ගේ ඇ‍්ඳුම් අල්මාරිය, සපත්තු රාක්කය, සෙල්ලම් බඩු ආදිය පවත්වා ගැනීම, ආරක්ෂා කර ගැනීම ආදිය ගැන දරුවාටත් වගකීමෙන් කටයුතු කිරීමට ඉඩ දෙන්න.

හැම දෙයම කර දෙන්න එපා

දරුවාට ඔබ ආදරය බව සැබෑය. ඒත් දරුවාගේ සියලු දෙයම දෙමව්පියන් විදිහට කිරීමට වඩා යම් යම් කාර්යන් වෙනුවෙන් දරුවා හුරු කරන්න.අද බොහෝ දරුවන් පිලිවෙලකට තමන්ගේ බත් පිගානවත් හසුරුවා ගැනීමට නොදනී. අද උස් මහත් වුන දරුවන් පවා සරම වළල්ලක් සේ තබා යන තැනට පත්ව සිටින්නේ ඒ පිලිබඳව කිසිදු හුරුවක් නොමැති නිසාය.

වැඩට හුරු කරන්න

දරුවාට කුඩා කාලයේ පටන්ම යම් යම් දේවල් කර ගැනීමට ඉඩ දෙන්න. පුංචි කමට පුංචි වැඩ ඔවුන්ට පවරන්න. මේස් කුට්ටම සෝදා ගන්න, රෙදි වැනීම,අත්පිස්නාවන් සෝදන්න. ලේන්සුව සෝදා ගැනීමට වැනි පුංචි වැඩ කොටස් පවරා දෙන්න.

පිලිවෙළ නිසා ඇති වාසි

පිලිවෙලකට වැඩ කිරීම නිසා කාලය ඉතිරි වෙන බවත් දරුවන්ට කියා දෙන්න.අපිලිවෙලට වැඩ කිරීම නිසා කාලය අපතේ යෑම සිදු වෙන බැව් දරුවන්ට ක්‍රියාවෙන්ම කියා දෙන්න. උදාහරණයක් විදිහට පොත් ගොඩක් කිසිදු පිලිවෙලක් නොමැතිව තබා තිබෙනවාට වඩා විෂයන් අනුව වෙන් කර පිළිවෙලකට ගොඩ කර තිබෙන විට වඩාත් පහසුවෙන් අවශ්‍ය පොත් සොයා ගැනීමට දරුවාට අවස්ථාව ලැබෙන බව කියා දෙන්න.

නිර්මානශීලී වෙනවා.

පිලිවෙලකට වැඩ කරන විට දරුවා නිර්මානශීලීත්වයෙන් හැඩ ගැහෙනවා. එය නොදැනීම සිදු වෙන්නක්. තමන්ගේ කටයුතු පිළිවෙලට කිරීමට අවශ්‍ය උපාංගයන් සොයා ගැනීම එසේත් නැත්නම් විවිධ උපකරණ සකස් කර ගැනීම වැනි කටයුතු නොදැනීම මුවහත් වීම සිදු වෙනවා.

මනස නිරවුල්

අද විශ්ව ශක්තිය පිලිබඳව ඇති පිලිගැනීම පිලිවෙලට බොහොම සමීපයි. පිලිවෙල නිසා විශ්ව ශක්තිය ළගා කර ගැනීමට ඉතාම පහසුයි.පොත් මේසයක වුනත් පිලිවෙල දකින විට පාඩම් කිරීමට යම් උත්ජෙනයක් ලැබෙනවා සේම අපිළිවෙල සහිත මේසයක් නිසා මනසට ඇති වෙන්නේ විඩාවක්.