Home Blog Page 83

පොඩිහිටි වැඩිහිටි කියා වෙනසක් නැතිව ඇති විය හැකි හිසරදය

අපට වැළඳෙන නොයෙකුත් ලෙඩ රෝගයන් අතර කිසිම භේදයකින් තොරව ජීවිතයේ එක් වරකදී හෝ හිසරදය ඕනෑම කෙනෙකුට වැළදී ඇති රෝගයකි.

එහෙත් හිසරදය යනු රෝගයක් නොව රෝගයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් බව ඔබ දන්නවාද?ප්‍රධාන වශයෙන් ගත් කළ හිසරදයන් වර්ග 5 ක් වුවත් එය මූලික කොටස් 13 කට වර්ග කළ හැකි රෝගයකි.

  • නිතර නිතර වැළඳෙන හිසරදය (Cluster)
  • ඉරුවාරදය (Migraine)
  • ආතතිජනන හිසරදය (Tension)
  • නැවත සෑදෙන හිසරදය (Rebound)
  • අස්ථි කුහර තුළ හා ඒ ආශ්‍රිතව සෑදෙන හිසරදය (Sinus)

නිතර නිතර වැළඳෙන හිසරදය

මෙහි විශේෂය නම් වරින් වර පොකුරක් ආකාරයට සෑදීමයි. ඊට අමතරව මෙය බොහෝ දෙනෙකුට වැළඳෙන ආකාරයේ හිසරදයකි. මෙය ඉතාමත් දරුණු ආකාරයේ වේදනාවකි. ශරීරය ගින්දරට පිළිස්සීමේදී, අස්ථි බිදීමකදී හෝ දරුවෙකු බිහි කිරීමේදී ඇති වන වේදනාව අභිබවා යන තරමේ වේදනාවක් මෙහිදී ඇති වේ.

මේ වේදනාව දවසේ එකම වේලාවකදී ඇති වීමත්, කෙනෙකු නින්දෙන් අවදි කරවීමට පවා මෙය සමත් වීමත් නිසා මෙය එලාම් ක්ලොක් හෙඩෙක් (Alarm clock Headaches) ලෙසත් අර්ථකථනය කරනු ලබයි. මෙය විනාඩි 15 ක් පැය 3 ක් වැනි කාලයක් වුවද පැවතිය හැක. මෙහි තවත් විශේෂත්වයක් නම් වේදනාව සැරෙන් සැරේ අඩු වැඩි වෙනවාක් මෙන් දැනීමයි. මෙහිදී හිසරදයට අමතරව තවත් රෝග ලක්‍ෂණ දැකිය හැකිය. ඒ නාසය සිරවීම, හිසේ වේදනාව ඇති පැත්තෙන් කදුළු ගැලීම, දහඩිය වැඩිපුර දැමීම, ඇස් රතුවීම, සමහර විට නිදාගත් විට හිසරදය වැඩිවීම, හිටි ගමන් හිසරදය ඇති වීම.

හිසරදය ඇති වීමට හේතුව

  • පරම්පරාවෙන්
  • දුම්පානය
  • උණුසුම් කාලගුණය
  • නිවුන් සහෝදරයන්ගෙන් කෙනෙකුට ඇත්නම් අනෙකාට පැවතීම
  • මත්පැන් පානය කිරීම නිසා
  • ඉතාමත් කලාතුරකින් හෘදයාබාධයට දෙනු ලබන TNT පෙති භාවිතය නිසා
  • ඇතැම් විට සවස නිදා ගැනීම වුවද හේතු විය හැකියි.

 අස්ථි කුහර හා ඒ ආශ්‍රිතව වැළඳෙන හිසරදය

 නාසයේ ශ්ලේෂ්මල පටලවල හා කුහර තුළ මෙය නිපදවීම නිසා මෙය ඇති විය හැක. යම් හේතුවක් නිසා ස්වභාවිකව ගලන සෙම අවහිර වී එකතු වී ඒ හා සමගම වෛරසයක්, බැක්ටීරියාවක් හෝ දිලීරයක් එකතු වීමෙන් සයිනස් (Sinus) හෙවත් අස්ථි කුහර ආශ්‍රිතව සෑදෙන හිසරදය ඇති විය හැක.

රෝග ලක්‍ෂණ

 කම්මුල් මත ඇති වන දැඩි වේදනාව, එම වේදනාව දත් හා නළල ප්‍රදේශයන්ට පැතිරීම, ඔළුව පහත් කිරීමේදී හා බරක් ඉස්සීම වැනි අවස්ථාවලදී ඇති වීම, නාසය/ඇස්/කමමුල් රත් පැහැ වීම, නාසය හිරවීම, වියළි කැස්ස, සෙම පැටලෙනාවක් මෙන් දැනි නිතර උගුර පෑදීම, වේදනාව ඇති ස්ථානය අතින් තද කළ විට දැඩි වේදනාවක් ඇති වීම, හිස පිටුපස හා දෙපැත්තේ වේදනාවක් දැනීම. දීර්ඝකාලීනව පැවතුණ විට ගඳ සුවඳ දැනීම පවා නැතිවී ආහාර අරුචිය ඇති වීම, උගුර කටුවකින් හූරනවා මෙන් දැනීම.

වෛද්‍යවරයෙකු විසින් මෙම තත්ත්වය නිශ්චිතවම විනිශ්චය කිරීමට හේතු ඇත. ඒ කහපාටින් සෙම පිටවීම, මුහුණේ තුවාලයක් හෝ අස්ථි බිදීමක් වූ විට, තද උණ (ගැහි ගැහී), ශ්වසන මාර්ගයේ ආසාධන සතියක් හෝ ඊට වැඩි කලක් සුව නොවී පැවතීම හා දත් නරක් වූ විටයි.

මේ සමග ඇති වන අතුරු ආබාධ

මොළයේ නහරවල ලේ කැටි සිරවීම (Stroke), ඇහැ එළියට තල්ලු වීම, දරුණු වූ විට මොළයේ මස්තිෂ්ක පටලවලට හානි වීම, එක දෙක වී පෙනීම (Double Vision), ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට (දියවැඩියාව, වකුගඩු බද්ධ කළ රෝගීන්) දිලීර ආසාදන ඇති වීම

ප්‍රතිකාරයන් ලෙස ප්‍රතිජීවක ඖෂධ, නහයට බෙහෙත් දැමීම මෙන්ම මොවුන් උගුර, කන, නාසය අංශයට යොමු කරයි. දරුණු තත්ත්වයේ නම් ශල්‍යකර්ම පවා සිදු කරනු ලබයි.

ඊට අමතරව පැවසිය යුතු ප්‍රධානම කරුණ වන්නේ මෙවැනි රෝග ලක්‍ෂණ හෝ සයිනස් හිසරදය ඔබට ඇතැයි සැක සිතෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතුමය. මන්ද යත් මෙය කල් පැවතුණහොත් සුව කිරීමට හෝ පාලනය කිරීමට දැඩිව අපහසු වීමයි.

ආතතිය නිසා ඇතිවන හිසරදය

මෙහි සරල තේරුම නම් ආතති ජනනි හිසරදය යන්නයි. මෙය කිසිදු වයස් හෝ ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරවම ඇති විය හැකි තත්ත්වයක් වන අතර අපගේ සිතට ඇති වන දැරිය නොහැකි ආතතියක් (විභාගයක්, විවාහය, සම්මුඛ පරීක්‍ෂණ) නිසා මෙය ඇති විය හැක.

රෝග ලක්‍ෂණ

  • හිසේ එක පසක හෝ දෙපැත්තේම ඇති වීම
  • පපුවේ ඉහළ මස්පිඬුවලට වේදනාව දැනීම
  • වේදනාව බෙල්ලේ පහළ සිට ඉහළට පැතිරීම
  • වේදනාව ඇති ස්ථානය කෙනෙකු තද කරනවාක් මෙන් දැනීම (නහර ගැහීමක් නොවේ)
  • මෙය දිනක් හෝ දෙකක් පවතී
  • බඩ දඟලා වමනය නොයයි
  • ශබ්දයට හෝ ආලෝකය යන දෙකෙන් එකකට වැඩි වන අතර දෙකටම එකවර ප්‍රතික්‍රියා නොකරයි
  • ආහාර අරුචිය

මෙම රෝගය ඇති වීමට තවත් හේතූ ලෙස බඩගින්නේ සිටීම, අසාමාන්‍ය නිදි ඉරියව්, වැඩි වේලාවක් පරිඝණකයේ සිටීම පෙන්වා දිය හැක. මෙවැනි අවස්ථාවකදී මෙන්ම වේදනාව අඩු වැඩි වීමකින් තොරව එක දිගටම පවතී නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙත යා යුතුය. ඇතැම් විට එලෙස ප්‍රතිකාර නොකළහොත් පැය 48 ක් තුළ ඇස් අන්ධ විය හැකියි. මෙය Giant cellarteritis නම් රෝගී තත්ත්වයයි.

මෙයින් මිදීමට නම් ආතතිය ඇති වන හේතුන්ගෙන් හැකි තරම් ඈත්වීම, නියමිත වේලාවට ආහාර ගැනීම වැනි ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ හැක.

ඉරුවාරදය

මෙය ඉතාමත් බහුලව ඇති අතර ස්නායු පද්ධතියේ හා ධමනිවල ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් හේතුවෙන් ඇති වන තත්ත්වයකි.

රෝග ලක්‍ෂණ 

  • මෙහිදී හිසරදය බොහෝ විට නළල, ඇස් වටා හෝ හිසේ පිටුපස ප්‍රදේශයේ ඇති විය හැක
  • ඇතැම් විට හිසේ එක් පැත්තක පමණක් ඇති විය හැකි තත්ත්වයකි
  • ඔක්කාරය, වමනය, බඩ එළියේ යෑම, සුදුමැලි වීම, දෑත් දෙපා සීතල වීම, නිදිබර ගතිය
  • ඉරුවාරද තත්ත්වය ඇතැම් විට කාන්තාවන්ට මාසික ශුද්ධිය ඇති වීමට දින 2 කට පෙර හෝ මාස් ශුද්ධිය සිදු වී දින 2 කට පසුව ඇති විය හැක

නියමිත වේලාවට ආහාර ගැනීම, දුම්පානයෙන් වැළකීම මෙන්ම තෙල්, මිරිස් අධික ආහාරයන්ගෙන් වැළකීමට මොවුන්ට වෛද්‍ය උපදෙස් දෙනු ලබයි.

නැවත නැවත සෑදෙන හිසරදය

මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔබගේම වැරැද්දයි. එනම් ඔබ හිසරදයක් සෑදුණු විට නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම නිසා හෝ හිතුමතේ ඖෂධ ගැනීම නිසා තාවකාලිකව සුව වන හිසරදය නැවත නැවත මතු වීමට පටන් ගනී. මෙම හේතුව නිසා ඔබට නිතර නිතර හිසරදය මතුවීමට පටන් ගන්නා බැවින් ඔබට වැඩිපුර ඖෂධ හෝ ඖෂධ වල ප්‍රමාණය වැඩි කිරීමට හෝ වෛද්‍යවරයාට සිදු වේ. තවද ඉතාමත් දරුණු තත්ත්වයෙන් මෙම වේදනාව ඇති වීමටද ඉඩ ඇත.

මෙම හිසරදය ඔබට ආතතිය නිසා ඇතිවන හිසරදය හෝ ඉරුවාරදය වැළඳී ඇත්නම් මෙලෙස නිතර නිතර වැළඳෙන හිසරදය දක්වා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත.

මේ සඳහා වේදනා නාශක වර්ග මෙන්ම අනෙකුත් ඖෂධ වර්ග වෛද්‍යවරයා විසින් නිරදේශ කරනු ලබන අතර එම ඖෂධ වෛද්‍ය නිර්දේශ මත නියමිත මාත්‍රාවෙන් නියමිත කාලය තුළ ලබාගත යුතුම වන අතර රෝගියාගේ හිතුමතය පරිදි භාවිතය නොකළ යුතුය.

කෝපි, තේ, සිසිල් බීම හෝ චොකලට් වර්ගයන් වැනි ආහාර නිසා හිසරදය වැඩි වන්නේ නම් එම ආහාර වලින් වැළකී සිටිය යුතුය.

ඉහත සඳහන් පරිදි අපට සෑදෙන නොයෙකුත් ආකාරයේ හිසරදයන් සඳහා වෛද්‍ය නිර්දේශය මත නිවැරදි මාත්‍රාවන්ගෙන් නියමිත පරිදි ඖෂධ ලබාගත යුතුය. එවිට මෙම රෝගයන්ගෙන් මිදීම පහසු වේ.

කාසල් වීදියේ කාන්තා රෝහලේ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා 
සමග සකසන ලද ලිපියකි.

බ්‍රිතාන්‍යයට දක්ෂ දැරිය අපේ රටෙන්

නිෂී උග්ගල්ල තවම කටේ කිරි සුවඳවත් නොගිය දොලොස් හැවිරිදි දැරියක්. දැනට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියත් ඇය ශ්‍රි ලාංකික සම්භවයක් ඇති දියණියක්. නිශීගේ පියා  නීලංග උග්ගල්ල වූ අතර මව  ශිරෝමි ජයසිංහ නම් වූවාය. ඇය පිළිබඳව කතා බහ ගොඩ නැගුනේ පසුගිය දිනක චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනේදී මේ පුංචි දියණිය ලත් ජයග්‍රහණය නිසාය. බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් සමග උරින් උර ගැටුන ඇය ”දක්ෂතම දැරිය” ලෙසින් ජගත් කීර්තිය ලැබුවාය.

තම දියණියගේ හැකියාවන් ගැන නිහතමානී ආඩම්බරයකින් කතා කරන ඇගේ පියා නිලංග උග්ගල්ල සදහන් කරන්නේ තම දියණිය කුඩා කාලයේ පටන්ම ඇගේ වයසේ දරුවන්ට සාපේක්ෂව බෙහෙවින් වෙනස් අන්දමින් කටයුතු කරන ලද බවයි. ඔවුන් දියණිය මුල් කර ගෙන අතීතාවර්ජනයේ යෙදෙමින් කියා සිටියේ ඇය ළදරු පාසලේදී  පවා බෙහෙවින් ඉදිරියෙන් සිටි අතර මේ විශේෂත්වය කොතරම්ද යත් ලදරු පාසල් ගුරුවරියට නිෂී වෙනුවෙන් අලුත් ක්‍රියාකාරකම් සකස් කිරීමට පවා සිදු වුන බවයි.

ඒ වගේම වෙනත් දරුවන් සෙල්ලම් බඩු සමග කාලය ගෙවද්දී අපේ දුවට උවමනා වුනේ ප්‍රහේලිකා හදන්න. පුංචි කාලයේ පටන්ම ඇගේ තිබුන මේ දක්ෂතාවය නිසා පංති තුනක් ඉහළට හෙවත් ඇයට ට්‍රිබල් ප්‍රමෝෂන්  ලැබුන බවත් පියා සදහන් කලේය. ඒ තරමටම අපේ දුව පුංචි කාලයේ පටන්ම විශේෂ දක්ෂකම් පෙන්නුවා…

  • ඇගේ පියාගේ මේ සටහන අපේ දෙමව්පියන්ට නම් බොහොම වැදගත්…

අපි කවදාවත්ම නිෂි ටියුෂන් යැව්වේ නැහැ. ඇයට බොහොම නිදහසේ ඉන්න දුන්නා. ලංකාවේ දෙමව්පියන් වගේ මෙහේදී ටියුෂන් තරගයක් නැහැ. අපි තවම දුවට වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන අභියෝග දීලා නැහැ. එයාට අවශ්‍ය විදිහට එයා යන මාර්ගය එයාගේ හැකියාවෙන්ම හැදේවි…ඒත් නිෂීගේ නම් අනාගත බලාපොරොත්තුවක් තියෙනවා.. ඒ, එයාගේ ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක් වීමටයි.

අපි නිතරම නිෂී සමග එලිමහනේ ඇවිදින්න යනවා. එයාට බයිසිකල් පදින්න නිදහස දෙනවා. ශ්‍රි ලංකාවට ආවාම අනිවාර්යෙන් උඩවලවේ යන්න නිෂීට උවමනායි.

මේ වැඩසටහන වෙනුවෙන් වුනත් අපේ කිසිම බලකිරීමක් තිබුනේ නැහැ. එයාගේ උවමනාවෙන් ඉදිරිපත් වුනේ.

තමන්ගේ ජයග්‍රහණය ගැන අදහස් ඉදිරිපත් කරමින් නිෂී විසින් කරන සිංහල  පුවත් සේවය මගින් නිෂීගෙන් අපේ රටේ දරුවන් වෙනුවෙන් ඇගේ අදහස් ගැන සිදු කරන ලද විමසීමට මේ විදිහට පිලිතුරු දුන්නා.

”දැනුම වැඩි කරන්න හොඳම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්”

“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.”මේ නිෂී අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දෙන පණිවිඩයයි.

බී.බී.සී පුවත් ඇසුරිනි.

ලොව හොඳම ගුරුවරුන් දහදෙනා අතරට පත් යසෝදායි දරුවන් ගැන කියන කතා..

1987 වසරේ ශ්‍රි ලංකාවේ උපත ලද ‘‘යසෝදායි සෙල්වකුමරන් ‘‘ඔස්ට්‍රේලියාව බලා ගියේ ඒ වෙන විට මෙරට පැවැති දේශපාලන වාතාවරණය තුළ ජීවත්වීමට තරම් සුදුසු පරිසරයක් නොවුන නිසාය. ඒ වෙන විට ඇගේ වයස මාස 10 ක් විය. ඇගේ  පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වූ අතර මව ඒ වෙන විට සාමාන්‍ය ගෘහණියක් ලෙසින් තම පවුලේ කටයුතු වෙනුවෙන් කැපව සිටියාය. එහෙත් යසෝදායිගේ මව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියත් ඒ වෙනුවෙන් තේරීමේ අවස්ථාව නොමැති වූ නිසා ගිනුම්කරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තම අධ්‍යාපනික වටිනාකම් උපයා ගෙන සිටියාය. ඔවුන් මේ වෙන විට ජීවත් වුණේ පැරණි ගරාජයක් නිවසක් සේ සකස් කර ගෙනය.

1988 වසරේ සිඩ්නිවලට පැමිනි මේ පවුල මුලින්ම ජීවත් වනේ නගරයෙන් දුරස්ථව ‘හේ’ (Hay) පිහිටි ගම්මානයේය. ඇගේ මවගේද උත්සාහය සුළුපටු නොවීය. ඇය ඉංග්‍රිසි භාෂාව ඉගෙන එතැනින් පසුව වැඩිහිටි සහ ළමා රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක සේවය කළාය. තම දියණිය වෙනුවෙන් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සහ මග පෙන්වීම මෙම දෙමව්පියන්ගෙන් ලැබුන නිසාම යසෝදායි සෙල්වකුමරන්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල් (Rooty Hill High School) නමැති පාසලේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූවාය.

ඇය 2010වසර අගභාගයේ පටන් බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල්හි සේවයේ නිරත අතර2009 වසරේදී  එම පාසලට ඇය මුලින් ම සම්බන්ධ වුයේ  විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලැබීමටයි. එතැන් පටන් ඇය එම පාසලේ අධ්‍යාපනයෙන් ලත් පන්නරය අද මේ තැනට පත් වීමට බලපෑ බැව් කෘතඥ පූර්වකව සදහන් කර සිටින්නීය.

අද වෙන විට  ඇය යසෝදායි ලෝකයේ හොඳම ගුරුවරුන් දහදෙනාගේ ලැයිස්තුවට එක්ව සිටින්නීය. මේ වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හොඳම ගුරුවරයාට පිරිනැමෙන අතර එම අවසාන උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. ලෝකයේ හොඳම ගුරුවරයා තේරීමේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) මගින්ය. කෙසේ හෝ වේවා දැන් යසෝදායි හොඳම ගුරුවරුන් දහ දෙනා අතරට එක්ව සිටින්නීය. මේ ගැන අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ ”ගුරු වෘත්තිය කියන්නේ, ඉතා ම විශිෂ්ට වෘත්තියක්. ඒ වගේ ම එය බලවත් වෘත්තියක්….දරුවන් වෙනුවෙන් කැප වුනාම අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් පවා අතපසු වෙනවා. ඒත් ඒ ගැන නියම ගුරුවරයා කිසිම විටෙක පසුතැවෙන්නේ නැහැ.”

  • දරුවා දිහා බැලිය යුත්තේ පංති කාමරයේදී පමණක් නොවෙයි…

යසෝදායි සදහන් කරන අන්දමට නියම ගුරුවරයා තම ශිෂ්‍ය දරුවන් ගැන අවධානය දක්වන්නේ පන්ති කාමරයේදී පමණක් නොවෙයි. පන්තියේදී වගේම එයින් එපිටදීත් අපි දරුවන් ගැන සොයා බැලීම වැදගත්. එහෙම වුනාම දරුවා ඉතා සාර්ථකව අධ්‍යාපනයට මුහුණ දෙනවා. සාර්ථක දරුවාගේ මම දකින පැහැදිලිම ලක්ෂණයක් තිබෙනවා. ඒ ඔවුන්ගේ වෙතින් පෙනෙන සතුට…නිව්සවුත් වේල්සයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන සැලසුම් අනුව දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද කීපයක් තිබෙනවා. ඒ අතරින්

  • සෑම ශිෂ්‍යයෙකුම හඳුනාගැනීම
  • වටිනාකමක් ලබා දීම
  • ඔවුන්ට රැකවරණය සැලසීම ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසා ගුරුවරයෙක් විදිහට අපි දරුවන්ගේ ලෝකයට සමීප විය යුතුයි. එහෙම වුනාම දරුවාගේ හිතේ විශාල ශක්තියක් ඇති වෙනවා විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් වුනාම ශිෂ්‍ය දරුවන් සමග එක්ව යන ගමනක් වුනොත් අධ්‍යාපනයත් සාර්ථකයි.

  • දරුවාට ඉලක්ක ලබා දීම

හැම පුද්ගලයෙකුටම ජීවිතය ජීවත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ඉගෙන ගන්නා දරුවන්ටත් ඉලක්කයක් අවශ්‍යයි. ගුරුවරන් විසින් මේ ඉලක්ක ගැන වගේම ඒ ඉලක්ක වෙත සමීප වෙන ආකාරය ගැනත් දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්.

  • දරුවන්ට දඬුවම් නොකොලොත්..

දඬුවම අත්‍යවශ්‍ය නැහැ. විනය ඇති වෙන්නේ අපි දරුවාට නැඹුරු වුනොත් වගේම එක් එක් දරුවා හඳුනා ගත්තොත් පමණයි. දරුවන් විවිධයි. ඒ නිසා අපි ඒ හැම දරුවෙක් වෙනුවෙන්ම වෙන් වෙන් විදිහට අවධානය දැක්වීම ඉතාම වැදගත්. ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන්ට දඬුවම් කිරීම අනුමත කරන්නේ නැහැ. ඒ වුනත්… ශිෂ්‍යයින් නුසුදුසු ආකාරයට හැසිරෙනවා නම් ඔවුන් එසේ කරන්නේ ඇයි කියන එක වටහා ගන්න ඕන. ඔවුන්ට ඒ බාධකවලට මුහුණ දීලා ඒවා ජයගෙන ඉදිරියට යන්න උදව් කරන්න ඕන.

  • හැම දරුවෙක්ම එක විදිහට සාර්ථක නැත්නම්..

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේදී නවෝත්පාදන යොදා ගන්නවා. එවිට දරුවන්ට තිබෙන බාධක ඉවත් කර ගෙන හැම දරුවෙක් වෙනුවෙන්ම සාර්ථකත්වයක් ලැබෙන විදිහට අධ්‍යාපනයෙන් යම් මාර්ගයක් පාදා ගැනීමට පුළුවනි. මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ගුරුවරුන් වෙනුවෙනුත් විශේෂ වැඩසටහන් පවත්වමින් ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කරනවා. විවිධ පර්යේෂණ කරමින් ඒවා අධ්‍යාපනයට අදාල කර ගෙන නිතරම දරුවා මුල් කර ගෙන අධ්‍යාපනය හැඩ ගසා ගන්නේ කොහොමද යන සංකල්පයට විශේෂ තැනක් දී තිබෙනවා.

බිබිසි පුවත් ඇසුරින්.

ගැබිණි මව සතුටින් හිටියොත් ලැබෙන සුබ ප්‍රතිපල ගැන ඔබ දන්නවද?

සාමාන්‍ය ජන සමාජයේ වුනත් දරුවෙක් ලැබෙන්න සිටින කාන්තාවක් දිහා බලන්නේ ගරුත්වයකින් වගේම බොහොම හැගීම්බරවයි. අනේ ඉතින් බඩදරු අම්මෙක්නේ…යන සිතුවිල්ල හැම දෙනෙකුගේම හිතේ ඇති වෙනවා. මේ තත්වය අපේ සාමාන්‍ය ජනසමාජයේ ඉතාම සරල වගේම නොදැනීම හදවතට සම්බන්ධව තිබෙන සංකල්පයක් වුනත් විද්‍යාත්මකවත් මෙහි සමීප සම්බන්ධතාවයක් තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න සිටින මවක් බොහොම සතුටින් සිටිය යුතුයි යන සංසිසද්ධිය අලලා ලෝකයේ විවිධ ආයතන මගින් පර්යේෂණ සිදු වී තිබෙනවා. අම්මා කියන්නේ විශ්ව සාධාරණීය සංකල්පයක්. ඒ තත්වය රටක්, ජාතියක් හෝ වර්ගයක් වෙනුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අම්මෙක් වෙන්න සිටින විට ඇය සතුටින් සිටිය යුත්තේ ඇයි වගේම අසතුටින් සිටීමෙන් සිදු වෙන විපාකත් දැන්  හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් ගැබිණි මවකගේ සතුට සහ කලලය අත් පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ගැබිනි මවක් නොසතුටෙන් සිටින විට ඇඩ්රලින් ඝ්‍රාවය නිදහස් වෙන අතර එය මවගේ රුධිර සංසරනයට වගේම කලලයටත් බලපෑම් ඇති කරන බවයි. ඒ නිසාම ගැබිනි මවක් නම් ඇය සතුටින් සිටීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් ලෝකයටම පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී මහාචාර්ය ‘‘ විවට් ග්ලෝබර් “ විසින් අවධාරනයෙන්ම පෙන්වා දෙන්නේ ගර්භණීත්වය සමග සතුට අත්වැල් බැද ගත් සහ සමාන්තරව පවත්වා ගත යුතු පැවැත්මක් බවයි.

ඒ වගේම සියැටල් වෛද්‍ය මධ්‍යස්ථානය මගිනුත් මේ සිද්ධියම අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. එම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙන්නේත් ගර්භණී අවදියේදී මුල් කාලයේ මවගේ හිතේ ඇති වන සතුට වගේම නොසතුට ඇගේ ගැබ් දරණ කාලයේදී ඇති වෙන විවිධ රෝග සහ අපහසුතාවයන්ට බලපාන බවයි. ගැබ්බර අවධියේදී මව අධිරුධිර පීඩන තත්වයට ගොදුරු වුනොත් එයින් ඇති වෙන විපාක දරු කලලයට දරුණු විදිහට බලපෑම් ඇති කිරීමට පුලුවනි. විශේෂයෙන් ගර්භ වලිප්පුව වැනි තත්වයන් ඇති වී දරු කළලයට හානි සිදු වීමට පුලුවනි.  ඒ නිසා කාන්තාවක් ගැබ් දැරූ මුල් කාලයේ පටන්ම ඉතා සතුටින් සිටීම අවශ්‍ය බැව් මෙම අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ මිෂෙල් විලියම්ස් “ විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අතර පිට්ස්බර්ග් මැගී කාන්තා මධ්‍යස්ථානය මගිනුත් මේ ගැන ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවන් දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සතුට වගේම හැසිරීම් රටාවන්ද දරු කලලයේ ආරක්ෂාවට ඉතා වැදගත් ලෙසින් බලපාන බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා. ගර්භ වලිප්පුව වැනි තත්වයන්ට කාන්තාවගේ තරබාරුබවත් බලපාන බැව් අධ්‍යනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ඔවුන් ස‍්හන් කරනවා. සිරුරේ ඇති මේද මගින් හැදෙන රසායනයන් නිසා ගර්භ වලිප්පුව ඇති වී කලලයට හානි සිදුවීමටත් ඉඩ තිබෙන බැව් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ගැබ් ගත් කාන්තාවක් වුනත් ඇවිදීම වැනි සරල හැසිරීම් රටාවකින් හෝ සිරුරට අවශ්‍ය ව්‍යායාම කිරීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

මේ විදිහට අද සාර්ථක අධ්‍යනයන් මගින් ගැබිණි මවක් සතුටින් නොසිටියහොත් ඇති වෙන බලපෑම් ගැන කරුණු අනාවරනය කර ගෙන ිතබෙනවා. ඒ වගේම අතීතයේදී අපේ සමාජයේ ගැබිණි කාන්තාව සතුටින් තැබීමට වැඩිහිටියන් නිතරම උත්සාහ ගත්තා. ඔවුන්ට අසුබ නිමිත්තක්වත් පෙනෙන්න ඉඩ සැලසුවේ නැහැ. ඇය බාහිරවත් ඉතා පිරිසිදු තැබූ අතරම සිතේ සතුට වෙනුවෙන් ඇයට කිසිම රිදවීමක් නොවන විදිහට පවුලේ උදවිය කටයුතු කලා. අනේ ඉතින් පරාණ දෙකක්නේ…ගැබිණි මව දිහා ඔවුන් බැලුවේ සහ සැලකුවේ ඒ විදිහටයි.

ඒ සැලකිල්ල ගෝලීයකරණය වුන යුගයටත් වලංගුයි.ඒ නිසා ජීවවිදයාත්මකව ඕක ඉතින් අමුතු දෙයක්යැ…නොකියා නොසිතා ගැබිණි මවකට හිතේ සතුට ඇති වෙන පරිසරයක් ගොඩ නගා දුන්නොත් මව වගේම දරුවාගේත් ආරක්ෂාව අතුරු අන්තරාවක් නැතුවම සලසා ගන්න පුලුවනි.

පර්යේෂණ පත්‍රිකා කීපයක් ඇසුරිනි.

ඔබේ දරුවා ඉගෙනීමේ කටයුතු වලට උනන්දු කිරීමට ඔබේ ගෙදරත් මේ පුංචි වෙනස කරලා බලමු

දරුවන් පොත් පත් කියවීමට දැන් වැඩි කැමැත්තක් නැති බව හැම දෙමව්පියෙක්ම කථා බහ කරන පොදු මාතෘකාවක්. ඒ වගේම දැන් මොන තරම් පුස්තකාල දියුණු යුගයක්ද…? ඒත් අපේ දරුවන් පුස්තකාලයකින්වත් පොතක් , පත්තරයක් කියවන සිරිතක් නැති හැටි යැයි කිව්වත් අලුත්ම සොයා ගැනීමක් මගින් පෙන්වා දෙන කරුණු ගැන දැන ගත්තොත් දරුවන් වෙනුවෙන් පුංචි පුස්තකාලයක් නිවසේ ගොඩ නගා ගැනීම මොන තරම් වැදගත් දැයි හිතේවි.

නෙවාඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පාදක වූයේ දරුවෙක් වෙනුවෙන් නිවසක් තුළ කියවන සමාජයක් තිබීම මොන තරම් වැදගත්ද යනන්යි. ඒ සදහා ඔවුන් වසර කීපයක් තුළ දරුවන් 1, 60 , 000 ක් සම්බන්ධ කර ගත් නියැදියක් තෝරා ගත්තා. එම අධ්‍යනය අවසානයේ මේ පර්යේෂකයන්ට පෙනී ගියේ නිවස තුළ කුඩා හෝ පුස්තකාලයක් තිබෙන පරිසරයක ජීවත්වෙන දරුවන් එවන් කියවන පරිසරයක් නොමැති සමාජයක දරුවන්ට වඩා අධ්‍යන කටයුතු වලදී 19 % ක් වාසියක් ලබා ඇති බවයි.

  • පුස්තකාලයක් වෙනුවෙන් පොත් කන්දක් අපි කොහෙන් හොයන්නද….?

සමහර විට ඉහත ප්‍රශ්නය ඔබේ හිතටත් නැගේවි. ඒත් කලබල වෙන්න එපා. පුස්තකාලයක් එක දවසකින් ගොඩ නැගෙන්නේ නැහැ.ඒ නිසා ඔබට හැකි විදිහකට දරුවන් වෙනුවෙන් නිවසේ කුඩා පුස්තකාලයක් ආරම්භ කිරීමට උනන්දු වෙන්න.

  • පොත් දකින විටත් ඇල්මක් ඇති වෙනවා..

දරුවෙක් මහජන පුස්තකාලයකින් හෝ පාසල් පුස්තකාලයකින් කියවීමේ හුරුව ගොඩ නගා ගැනීමට පෙරාතුව නිවසේ තිබෙන පොත් පත් දැකීමෙන් ඔවුන්ට ඒ වෙනුවෙන් මුල්ම හැගීමක් ඇති වීමට විශාල ලෙසින් පිටුබල වෙන හේතුවක්. ආගන්තුක පරිසරයට වඩා නිවසේ තිබෙන මේ සම්පත් මගින් මූලික පසුබිම සකසා ගත් විට එතැනින් ඔබබ්ට දරුවාට ඇති වෙන්නේ කියවීමේ පිපාසයක්. එය ඉතාම හොඳ පුරුද්දක්. පිපාසය සංසිදවා ගැනීමට දරුවන් විකල්ප විමසන විදී පුස්තකාලයත් ඔවුන් වඩාත් ප්‍රියකරන තෝතැන්නක් බවට පත් වේවි. ඒත් මේ වෙනුවෙන් මුල්ම අත්පොත් තබන්නේ නිවසේ තිබෙන පුංචිම පුංචි පොත් අල්ලාරිය හෙවත් දරුවාගේ පුස්තකාලයෙන් වෙන්න පුලුවනි.

  • පොත් පත් මිළට ගන්නා විට දරුවා වෙනුවෙනුත් ඉඩක්….

සාමාන්‍යයෙන් පාසලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හෝ පොත් පත් මිළට ගන්නා විට දරුවාගේ කියවීමට අදාල පොතක් පතක් මිළට ගැනීමටත් උනන්දු වෙන්න. ඒ වගේම සාහිත්‍ය මාසයේ වැනි කියවිම ප්‍රවර්ධන කරන කාලසීමාවන්හිදී දරුවාගේ පුස්තකාලයටත් පොතක් පතක් අරගෙන දීමට උනන්දු වීම ඉතාම වැදගත්. ඒ විතරක් නොවෙයි, දරුවාගේ උපන්දිනය එහෙමත් නැත්නම් ඔවුන්ගේ ජයග්‍රහනයක් වැනි විශේෂ අවස්තාවකදීත් සිහිවටනයක් විදිහට පොත් පත් අරගෙන දීම මගින් නිවසේ ඇති පුස්තකාලයට විශේෂ අනුග්‍රහයක් ලබා දීමට පුලුවනි.

  • දරුවා කැමැත්තෙන් කියවන පොතට වැඩි ඉඩක් දෙන්න…

දරුවන් පොත් පත් කියවන විට ඇතැම් පොත් පත් වෙනුවෙන් විශේෂ කැමැත්තක් දක්වනවා.අපි වුනත් බාල කාලයේදී ”උඩගිය බබා “, ”කුඩහොරා ” සහ ” හත්පෙතිමල ” වගේ පොත් ඉතා කැමැත්තෙන් කියවන ලද අතර අදටත් ඒ පොත් ගැන මතකය අමතක වෙන්නේ නැහැ. ඒ නිසා පුතාගේ අම්මා, තාත්තා පුංචි කාලේ කියවන ලද පොත් පත් විදිහට ඔබට දරුවාගේ පුස්තකාලයට මේ පොත් පත් එකතු කරන්න පුලුවනි. ඒ වගේම දරුවා ආසාවෙන් කියවන පොත් පත් පවා ඔවුන් වැඩෙන විට මතකයන් විදිහට විශේෂ තැනක් ලබා දීම දෙමව්පියන් විදිහට ඔබගේ වගකීමක්.

  • කියවීමෙන් ලැබෙන වාසි

මෙම අධ්‍යනයේ ප්‍රධානී විදිහට කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ” ඇනා සිගේරා ” පෙන්වා දෙන්නේ  නිවසක පුස්තකාලයක් තිබීමෙන් දරුවන් තුළ බාලකාලයේ පටන්ම කියවීමේ හුරුව ගොඩ නැගීම නොදැනීම සිදු වෙන බවයි. ඒ නිසා නිවසේ පුංචි පුස්තකාලයක් තිපබන පසුබිමක ජීවත්වෙන දරුවන්ට කියවන හුරුව ගොඩ නැගීම ඒ තරම් අපහසු කටයුත්තක් නොවන බව ඇගේ අදහසයි.

ඒ වගේම කියවන හුරුව ඇති දරුවන් තුළ අවට පරිසරය සංජානනය කර ගැනීමේ හැකියාව ඉතා දියුණු මටට්මක පවතින බවත් මේ අධ්‍යනය මගින් සනාථ වී තිබෙනවා.

ඒ විතරක් නොවෙයි…තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමග ජීවත්වෙන තොරතුරු ලෝකයට කියවීමේ පුරුදු ඇති දරුවන්ට ඉතාම පහසුවෙන් අනුගත වීමට හැකියාව තිබෙනවා.මව්පියන්ට නොතිබුන අන්දමේ තොරතුරු සන්නිවේදන යුගයක දරුවන් ජීවත් වෙන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට වඩාත් සාර්ථක පසුබිමක් කියවීමේ පුරුදු වෙතින් ප්‍රගුන වෙන බවත් මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.

  • ගණිතයටත් හපන්නු…

පොත් පත් කියවීමෙන් දරුවන්ගේ සංවර්ධනය සාහිත්‍ය සහ  විශ්ව දැනුම ට පමණක් සීමා වෙන්නේ නැහැ. මේ දරුවන් තුළ ගණිතයටත් වැඩි හැකියාවක් ඇති බව දැන් පෙනී යන කරුණක්. ඒ නිසා නිවසක අඩුම වශයෙන් පොත් 80 ක වත් පුස්තකාලයක් තිබීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් අවධාරනයෙන්ම පෙන්වා දෙනවා. දරුවන් වෙනුවෙන් නිවසේ පිහිටුවා තිබෙන පුස්තකාලය මොන තරම් වැදගත්ද යන්න ගැන අධ්‍යනයෙන් ලබා ගත් තොරතුරු ” pasific standerd ” මගිනුත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චීන ජනාධිපතිට තාත්තා දුන් අපූරු අවවාදය ඔබේ දරුවාටත් ගැලපෙනවද බලන්න

චීන ජනාධිපති  ‘‘ෂින් ජෙන් පෙන්ග් “ (Xi Jinping ) කුඩා කාලයේදි ඔහුගේ පියා මේ පුංචි පැටියා අනාගත ලෝකයේ නායකත්වය දරණ පුද්ගලයෙක් බවට පත් වෙයි කියලා හාංකාවිසියක්වත් දැන සිටියේ නැහැ. ඒත් ඔහුට අවශ්‍ය වුනේ තමාගේ දරුවා හොඳ මිනිසෙක් විදිහට ලෝකයට දායාද කිරීමටයි. ඒ වෙනුවෙන් පියා විසින් චීන ජනාධිපතිවරයාට බාල කාලයේදී ලබා දුන් දැනමුතුකම් ගැන ඔහු අදටත් කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්.

ජනාධිපතිවරයා කුඩා කාලයේ අද වගේ ආහාර සුලබ නැහැ. ඒවගේම ඇතැම් ආහාර සුඛෝපභෝගී විදිහටත් සීමා වී තිබුනා. අපිට අද නම් බිත්තර ඉතාම සුලබ සහ ආර්ථික අතින් ලාබදායී පෝෂන ප්‍රභවයක් වුනත් එදා බිත්තර කියන්නේ බොහොම සුඛෝපබෝගී සහ නිතරම ආහාරයට නොගත් වටිනාකමින් ඉහළ තත්වයක තිබුණා.

දවසක් ඔවුන්ගේ ආහාරය මව විසින් පිලියෙල කරල මේසය උඩ තිබුණා. එක් ආහාර පිඟානක බිත්තරයක් තිබුණා. පුංචි පැටියා දුවල ගිහින් තාත්තාටත් ඉස්සරින් බිත්තරය තිබුන පිගාන අතට ගත්තා. තාත්තයි පුතයි මේ විදිහට බත් කන අතරවාරයේ පුතාට පෙනුනේ තාත්තාගේ පිගානේ බිත්තර දෙකක් තිබුන බවයි. ”තාත්තාගේ පිගානේ බිත්තර දෙකක්….” පුංචි පුතා ඇහුවා…

ඔව් පුතේ අපි ඇසින් දකින දෙයට වඩා ඇතුලත තිබෙන දේ වටිනවා වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම තමන් ගැන විතරත් හිතන්න එපා.

පුතා බිත්තරය තිබුන පිඟාන ඉක්මනට ගිහින් බදා ගත්තේ ඔයා ගැන හිතලයි. තාත්තාට නැති වුනත් මට බිත්තරය කන්න පුලුවන් කියන සිතුවිල්ල නිසා ඔබ ඉස්සර වුනා. ඒත් පුතේ අපි ආත්මාර්ථකාමී වීමෙන් සමහර වෙලාවට අපිටම එයින් පාඩු සිද්ධ වෙනවා. හරියට මයෙ පුතාට බිත්තර දෙකක් කන්න තිබුන අවස්ථාව අහිමි වුණා වගෙයි නේද…? තාත්තා කිව්වා.

තවත් දවසක මේසයේ බත් පිගන් දෙකක් තිබුණා. එක පිගානක බිත්තරයක් තිබුණා. අනිත් පිඟානේ බිත්තරයක් නැහැ. දැන් පුංචි පුතාට එදා අත්දැකීම මතකයිනේ.. ඔහු බිත්තරය නැති පිගාන අතට ගත්තා. එදා තාත්තාට වගේ මටත් දැන් පිගාන අන්තිමෙන් බිත්තර දෙකක් පෑදෙයි කියල පුංචි පුතා හිතුවා. දැන් බත් සේරම අවසානයි. ”ඒත් කෝ ….එදා තාත්තාට වඩා බිත්තර දෙකක්…” පුංචි පුතාට හිතුනා…

තාත්තේ මේ පිගානේ අවසානයට බිත්තර දෙකක් තියා එකක්වත් නැහැ. පුංචි පුතා කිව්වා..

පුතා බිත්තර නැති පිගාන අතට ගත්තේ එදා මගේ පිගානේ වගේ බිත්තර දෙකක් ඇතැයි කියල හිතාගෙනද…? තාත්තා ඇහුවා.

ඔව් පොඩි එකා ඇත්තම කිව්වා.

පුතේ ජීවිතයත් එහෙම තමයි. අපි ලබන අත්දැකීම් හැම වෙලාවේම එක වගේ නැහැ. එක වතාවක් වැටුනොත් නැවතත් අපිට වැටෙන්න තිබෙන අවස්ථාවන් නැතුවාම නොවෙයි. සමහර විට අපි රැවටෙනවා. මුලින්ම පාඩමක් ඉගෙන ගත්තත් අපිට නැවත වරදින්න තිබෙන අවස්ථාවන් නැතුවා නොවෙයි. එදා බිත්තරය නැති පිගානේ අවසානයට බිත්තර දෙකක් තිබුනත් හැම අවස්ථාවක්ම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි වැරැදි වැරැදි ඉගෙන ගන්න ඕන ඒක හරියට අද පුතාට වැරදුනා වගේ පාඩමක්..තාත්තා කිව්වා..

ඔන්න තවත් දවසක් මේසය උඩ බත් පිඟන් දෙකක් තිබුනා. එකක බිත්තරයක්…අනෙක් පිඟානේ බිත්තර නැහැ. එදා පුංචි පුතා ඉස්සර වුනේ නැහැ. තාත්තා බත් පිගාන ගන්න තෙක් හිටියා. තාත්තා ඇවිත් බිත්තරය තිබුන පිගාන ගත්තා. දැන් ඉතිරි වෙලා තිබ්බේ බිත්තරය නැති බත් පිගානයි. පොඩි එකා හෙමින් සීරුවට ඒ බත් පිගාන අරගෙන කන අතරවාරයේ එහි අන්තිමට බිත්තර දෙකක් තිබෙනවා දුටුවා.

තාත්තේ…බිත්තර දෙකක්..පුතා කිව්වා..

ඔව් මගෙ පුතා හරි…අද පුතා ඉස්සර වුනේ නැහැ. මම පිගාන ගන්නකම් හිටියා. තරගයේදී වුනත් පුතේ පරාර්ථකාමීත්වය තියෙනන්ම ඕන. දැන් පුතාටම තේරෙනවා ඇති නේද..? අද පුතා බිත්තර දෙකක බත් පිඟාන ලැබුනේ තරගය අතරේ යම් විදිහකින් පරාර්ථකාමී වුන නිසා නේද..? තාත්තා කිව්වා.

දෙමාපියන් ළමයින්ට සලකන හැටි දරුවන්ගේ හැසිරීමට බලපාන්නේ කොහොමද?

අම්මලා හරි හොඳයි කිව්වත් සමහර අවස්ථාවල උපන්ගෙයිම තම දරුවාගේ ජීවිතය නැති කරන දෙමව්පියන්  නැතුවාම නොවෙයි. අකමැත්තෙන් වුනත් අපි ඒ ගැනත් මතකයේ තබා ගැනීම වැදගත්. සමහර විට උපත ලබන්නත් පෙරාතුව දරු කලලය විනාශ කර ගන්න බැරි වුනොත්…දරුවා බිහි වුනාම ඒ වෙනුවෙන් උත්සාහ ගන්නවා. එහෙමත් නොහැකි වුනාම දරුවා හැර දමා යන දෙමව්පියනුත් ඉනන්වා. ඒ වුනත් දරුවෙක් කියන්නේ ලොකුම වාසනාවක්. දරුවෙක් ලබන්නත් පෙර පිනක් ඕන. එහෙම නම් අපි දරුවෙකුට සලකන්නේ කොහොමද…?

  • කිසිම දවසක දරුවා හැර යන්න එපා…

ඉස්සර කාලයේ අම්මා කෙනෙක් මොන ගැටුම් ආවත් පවුල හැර ගියේ නැහැ. ඒ හැමදෙයකදීම ඔවුන් කිව්වේ දරුවෝ නිසා ඉවසනවා.. නැත්නම් මෙලහකටත් මම මැරුණ තැන ගසුත් පැලවෙලා කියලයි. ඒ නිසා කිසිම දිනක දරුවන් හැර දමා යෑම නම් අම්මෙක් වගේම තාත්තෙක් විදිහට ඔබ නොකල යුත්තක්.

මෑතකදී රෝහල්ගතව සිටි නව යොවුන් දැරියක්….. ඇය දැන් සුවය ලබා සිටිනවා. එහිදී ඇය කිව් සඳහන ඔබ ඇසුවොත් ඔබ බෙහෙවින් සංවේදී වේවි. ඇය යාන්තම් 11 වසරට පැමිනියා පමනි. පියාගේ අනියම් සම්බන්ධතාවය නිසා මව සිය දිවි හානි කර ගත්තා. තාත්තා එතැනින් නැවතනේ නැහැ. ඔහුගේ අනියම් බිරිඳ දැන් කිසිම බාධාවක් නැතුව නිවසට ගෙන්නා ගත්තා. කුඩම්මාගේ කෙනහිලි නිසා මේ දියණිය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් අතර ඒ සිදුවීම මුල් කර ගෙන  පියා විසින් දියණිය නිවසින් පන්නා දැම්මා. ඇය තමාගේ පෙම්වතාගේ නිවසට ගියත් ඔවුන්ද  ඇයට ඒ  තරම් සැලකිල්ලක් දැක්වුයේ නැහැ. කබලෙන් ලිපට වැටුන නිසා ඇය මානසිකව රෝගියෙක් බවට පත් වුණා. කෙසේ හෝ පියා ඇය රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ නිසා කිසිම දිනක ඔබට දාව උපන් දරුවන් අතරමං කිරීම නම් මවක්, පියෙක් විසින් නොකලම යුතු බැව් අනිවාර්යෙන්ම සමාජගත විය යුතු තත්වයක්.

  • දරුවා කොතැන හිටියත් සෙනහස දක්වන්න…

සමහර දෙමව්පියන් දරුවන්ට දැනෙන් ආදරය කිරීමක් කරන්නේම නැහැ. දැන් ඉතින් ලොකුයිනේ…යනුවෙන් හිතාගෙන දරුවන්ට සමීප වීමක් ඇත්තේ නැහැ. ඒත් දරුවෝ ආදරයට ආදරය කරන පිරිසක්. දිනපතා ඔබගේ ස්පර්ශය ඔවුන්ට අවශ්‍යයි.  ඒ වගේම ඔබ සහ දරුවාගේ කතා බහ අතරවාරයේදී දරුවාගේ ඇස් දිහා බලාගෙන කතා කිරීම  හෙවත් නිසා දරුවා සහ දෙමව්පියන් අතර සමීපබව ගොඩ නැගෙනවා. ඒ වගේම ඔබ සහ දරුවා අතර සමීපතාවය ඇති වීමත් වැදගත්. උදේ පාන්දර දරුවා අවදි වෙන විට, පාසල ඇරී නිවසට පැමිණි පසුව සහ නින්දට යෑමට පෙරාතුව දරුවා සමග කතා බහ කරමින් ඔහුගේ හිතට ප්‍රබෝධයක්  දැනෙන අන්දමින් කටයුතු කිරීම ඉතාම වැදගත්. දරුවාගේ මානසිකත්වය ශක්තිමත් වීමට මේ අවස්ථාවන් වැඩි බලපෑමක් කරනවා. උදේ බොහොම සතුටින් අවදි වීමට නම් දෙමව්පියන්ගේ ලෙන්ගතු හිත දරුවාගේ හදවත ආමන්ත්‍රනය කළ යුතුයි. පාසල ඇරී නිවසට පැමිණෙන දරුවාගේ විඩාබර හිතට මවගේ ආදරබර වචන මහත් වූ විවේකයක්. ඒ වගේම නින්දට යන විට දරුවා සතුටු හිතින් යහනට ගිය විට ඉතා සුවසේ නිදා ගැනීමට බාධාවක් නොමැති වීම පුදුමයක් නොවේ.

මව්පිය සෙනහස අහිමි වුනොත්…ඒ දරුවන්ගේ හැසිරීම කොහොමද…?

දෙමව්පියන්ගේ ආදරය ලැබෙන දරුවන්ට වෛර කරනවා.මව්පිය සෙනෙහස නොමැති වුන දරුවන්ට යම් අවස්ථාවකදී සමාජයේ සෙසු සම වයස් කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා.එවිට ඔවුන්ගේම වයසේ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනහස ලැබෙන අන්දම දකිත්ම මේ දරුවන්ගේ හිත් ආත්මානුකම්පාවෙන් පීඩාවට පත් වෙනවා. අපිට ආදරයක් ලැබෙන්නේ නැතැයි ඇති වෙන පසුතැවීමට වඩා ඔවුන් ආදරය ලබන දරුවන්ට වෛර කිරීමට පටන් ගන්නවා.එය ඉතාම දරුණු අන්දමින් බලපෑමට හැකියි. ඒ නිසා දෙමව්පිය ආදරය අහිමි දරුවන් ඉතාම දරුණු විදිහට හැසිරෙන ආකාරය සුලබ සිදුවීමක් බවට පත් ව ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ අදහසයි.

  • මුරණ්ඩුයි..

මව්පිය සෙනහස නොලද දරුවන් ඉතාම මුරණ්ඩු ලෙසින් කටයුතු කිරීමට පෙළඹ සිටිනවා. ඔවුන්ට ආදරය වැනි සියුම් හැඟීම් තේරුම් ගැනීමට නොහැකියි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුන්ගේ අවධානය ලබා ගැනීමයි. මේ අවධානය ලබා ගැනීමට ඔවුන් යොමු වෙන්නේ දැඩි සේ මුරන්ඩු ගති පැවැතුම් පෙන්වමින්. එය ඔවුන්ගේ යටපත්ව තිබෙන මානසික කම්පවා ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කිරීමක් කිව්වොත් වරදක් නැහැ.

  • අධ්‍යාපනයට අවධානය නැහැ…

මව්පියන්ගේ ආදරය ලබන දරුවන්ට යා යුතු මග නොමග දෙමව්පියන් විසින් ඉතාම හොදින් පහදා දෙනවා. ඉගෙනීමේ අගය මේ දරුවන් දනන්වා. ඒත් සෙනහස නොලබන දරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන දැනමුතුකම් කියා දීමට කෙනෙක් නැහැ. පාසලට ඇතුලත් කළ  පමණටම දරුවෙක් අධ්‍යාපනයට යොමු වෙන්නේ  නැහැ.එහි වටිනාකම හදවත ස්පර්ශ කරමින් වටහා දෙන කෙනකුත් නැති නිසාම මේ දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් උනන්දුවක් දක්වන්නේම නැහැ.

  • මානසික ගැටලු වැඩියි..

දරුවෙක් වෙනුවෙන් හාරිරික වර්ධනයට ආහාරපාන ලබා දෙන්නා සේම මානසික සංවර්ධනයට ආදරය, ආරක්සාව සහ රැකවරණය අවශ්‍යම වෙනවා. මේ හිතකර පරිසරය නොමැති වුනාම දරුවා මානසිකව හුදෙකලාවට පත් වෙන අතර එහි අතුරු ප්‍රතිඵල විදිහට සාංකාව, බිය, ආවේගශීලිවීම වැනි විවිධ මානසික වෙනස්කම්වලටත් ගොදුරු වෙනවා. ඒ නිසා දරුවෙක් බිහි කළ පමනින් ඔබ මවක සහ පියෙකු බවට පත් වන්නේ නැහැ. ඔබ දරුවා ආදරයෙන් රැක බලා ගන්න. සෙනහසින් ස්පර්ශ කරන්න. ආරක්ෂාවෙන් ඔවුන් ශක්තිමත් කරන්න.

හැමදාමත් නාන්න අවශ්‍ය නැහැ

දිනපතා ස්නානය කිරීම හොඳ පුරුද්දක් විදිහට  අපි හිතුවත් ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. මේ ගැන අම්මලාගේත් වැඩි අවධානයක් යොමු වීම ඉතාම වැදගත්. ඊට හේතුව අපේ අම්මලාට දරුවන් නෑවීම ගැන තිබෙන්නේ ලොකු උනන්දුවක්. ඒ නිසාම යාන්තමින් උණක්, හෙම්බිරිස්සාවක් සමහන් වෙද්දීම දරුවා නාවන්නේ අනේ…දැන් දවස් දෙක තුනකින්ම නාවන්න බැරි වුනා කියන පශ්චත්තාපයත් සමගයි. ඒ විතරක් නොවෙයි, අපේ ජනවහරේ දෙයියන්ගේ ලෙඩ විදිහට හැදින්වෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි සංක්‍රාමික රෝග හැදිලා හරියටම දින හත සම්පූර්ණ වුනාද …ඔන්න දරුවා නැවනන් හදිස්සිය පටන් ගන්නවා. ඒ වුනත් දරුවාගේ ඇග යට උන ගතිය ඒ වගේම මලබුරුල් ගතිය තිබුනොත් අතුරු ආබාධ ඇති වෙන අවස්ථාව ඉහලින්ම තිබෙනවා.එක් මවක් මේ වගේ තමන්ගේ දරුවා නාවන්න බැරි වීම ගැන වෛද්‍යවරයාගෙන් දිගින් දිගටම කරුණු විමසද්දී ඔහු කිව්වේ නෑවේ නැතුව තවම කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒත් උණ හෙම්බිරිස්සාව තියෙද්දී නැවොත් නිව්මෝනියාවෙන් මැරෙන්න පුලුවනි. ඒ නිසා නාවන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ..එදා ඔහු මේ ගැන සරලව කිව්වත් අද ස්නානය සහ රෝග තත්වයන් ගැන වැඩියෙන් අවධානයක් දක්වා තිබෙනවා.

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මේ අධ්‍යනය කියවා බැලුවොත් අම්මලාට පසුතැවෙන්න අවශ්‍ය නැහැ.

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පර්යේෂකයින් කීප දෙනෙක්ම සම්බන්ධ වුනා.

මෙම අධ්‍යනයයේ ප්‍රධානී සහ ආසාදිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය එලනි ලාර්සන් සඳහන් කරන්නේ බොහෝ දෙනක් හිතන්නේ දිනපතා ස්නානයෙන් අපිට නීරෝගීව සිටීමට හැකියාව ලැබෙන බවයි. ඒ වුනත් මේ අදහසට දැන් එකග වීමට අපහසු බැව් අය සඳහන් කරනවා. දිනපතා ස්නානයෙන් අපේ හමේ ඇති දුගඳ ඉවත් වෙන බව නම් ඇත්ත. ඒ වුනත් පමණට වඩා ස්නානය කිරීමෙන් හම වියලීම, පැලීම විතරක් නොවෙයි, මේ තුවාල වුන සිදුරු ඔස්සේ විවිධ විෂබීජ අපේ සිරුරට ඇතුලු වෙන්නත් පුලුවනි.

ඒ සමගම මෙම අධ්‍යනයට සම්බන්ධ වුන ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සී. බ්‍රැඩ්සන් පෙන්වා දෙන්නේ නිතරම හම සෝදන විට සමේ ඇති ස්වභාවික තෙල් ගතිය ඉවත් වෙනවා මේ ස්වබාවික තෙල් ගතියෙන් අපිට ලැබෙන ආරක්ෂාව ඉතාම ඉහලයි. ඒ නිසා මේ තත්වය අපි ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. නමුත් ඉවක් බවක් නැතුව නෑමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රතිශක්තියට ආධාර වෙන හිතකර බැක්ටීරියාවන්ද ඉවත් වීම නිසා ඉතාම පහසුවෙන් ආසාදන රෝග තත්වයන්ට ගොදුරු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා දිනපතා ඇඟ සෝදා ගෙන සතියකට වතාවක් පමණ ස්නානය කිරීම ප්‍රමාණවත්  බව ඔහුගේ අදහසයි.

ඒ වගේම සබන් නැතුව නෑවොත් හරියට නොනෑවා වගෙයි කියල අපි හිතුවට චර්ම රෝග වෛද්‍ය විශේෂඥයින් සබන් යොදා ගැනීමත් අනුමත කරන්නේ නැහැ. වෛද්‍ය මිචෙල් සඳහන් කරන්නේ කිහිල්ල, පාද ආදි දහඩිය ඇති ස්ථානවලට පමණක් සබන් යොදා ගැනීමප්‍රමාණවත්  බවයි. ඒ වගේම වියලි  හිසකෙස් නම් නිතරම සේදීම අවශ්‍ය නැහැ. හැබැයි…හිස්හොරි වැනි විවිධ ගැටලු ඇත්තේ නම් ෂැම්පු යොදා සතියකට  දෙවතාවක් පමණ සේදීම ගැටළුවක් නැහැ.

ඒ අතරම පර්යේෂකයින් විසින් බැක්ටීරියා නිසා සමප්‍රේෂනය වෙන රෝග ගැනත් මෙහිදී හදුනා ගත්තා. අපි නොහිතන විදිහට බැක්ටීරියාවන්ට අපි ගොදුරු වෙන්න පුලුවනි.

අපේ පරිගණකය, මවුස්, යතුරුපුවරු වගේම ජංගම දුරකථනයේ මිලියන 10 කටත් වඩා අධික බැක්ටීරියා ගහණයක් ඇති අතර වැසිකිලියේ ආසනයේ මෙම සංඛ්‍යාව මිලියන 400 ක් පමණ විය හැකියි. අපි නොදැනුවත්ම මේ බැක්ටීරියාවන්ට නිරාවරනය වීමට පුලුවනි. ඔවුන්ගේ අධ්‍යනයෙන් හදුනා ගත් අන්දමට  ලොව පුරා මේ අන්දමින් බැක්ටීරියාවන්ට නිරාවනරය වීම නිසා වසරකට මියයන පිරිස මිලියනයක් පමණ වෙනවා.

ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ලිසා ආර්කේලි පෙන්වා දෙන්නේ අපි විසිහතර පැයේම බැක්ටීරියාවන්ට නිරාවරනය වෙන බවයි. මේ නිසා දිනපතා ස්නනායට වඩා තමන් පරිහරනය කරන පරිගණක උපාංග , ජංගම දුරකථන සහ නිවසේ මෙන්ම කාර්යාල වැසිකිලි කැසිකිලි විෂබීජ තොර කලාප කර ගත් විට නීරෝගීව ජීවත්වීම එතරම් අපහසු කාර්යක් නොවන බවයි.  මේ ගැන වැඩි විස්තර MailOnline.වෙබ් අඩවිය පරිශීලනයෙන් ලබා ගන්නත් පුලුවනි.

පවුලේ කෑම බීම ගැන අම්මලාට උපදෙස් ටිකක්

  • කෑම කන විට වතුර බොන්න එපා…

අපේ පොඩි පැටව් කන්න ගියාම ඉවරක් නැතුව වතුර බොනවා.  මේ නිසා ආහාර වෙනුවෙන් තිබෙන අවශ්‍යතාවයත් ඉක්මනින්ම සීමා වෙනවා. සමහර විට අම්මලා වුනත් මේ ගැන එතරම් තැකීමක් නොකලත් වතුර බොන ගමන් ආහාර ගැනීම එතරම් යහපත් දෙයක් නොවෙයි. වතුර බොමින් ආහාර ගත් විට ආමාශ යුෂ තනුක බවට පත් වෙනවා.ඒ නිසා වතුර බොන්න පෙරාතුට ඒ ගැන දරුවාට අවවාදයක් දුන්නොත් හොදයි.

  • තිත්ත දෙයකුත් එක් කරන්න…

අම්මලා විදිහට නිවසේ ආහාර වට්ටෝරුව පිලියෙල කරන විට මේ ගැනත් ටිකක් හිතන්න. තිත්ත දේවල් දරුවන් නම් කැමැති නැහැ. ඒත් තිත්ත ‍දේ ආහාරයට ගැනීමෙන් ආමාශයික යුෂ ඝ්‍රාවය උත්තේජනය වීම වගේම අහිතරක මේදය උරා ගැනීමත් සිද්ධ වෙනවා.

  • ඉක්මනට කන්න දරුවා….

අම්මලා නිතරම දරුවන්ට දෙන පීඩනට ඔබටත් හුරු ඇති. දරුවන්ට කන්න බොන්න ගියාම වෙලාවක් කලාවක් ගැන මිම්මක් නැහැ. ඒවායේ බර ඉතින් අම්මලානේ. අම්මලා සෑහීමට පත් වෙන්නේ හබුං කටයි බත් දෙකටයි…කියල බත් ටික සේරම කැවාමයි. ඒ නිසා ඉත්මනින් කන්න කියන විධානය දරුවාට නිතරම ලැබෙනවා.

නමුත් මෙය නොකල යුත්තක්…ඒකටත් හේතුවක් තිබෙනවා. ඉක්මනින් ආහාර ගැනීමේදී ආමාශයික යුෂ වෙනුවට වෙහෙසකර හෝර්මෝන උත්තේජනය වීමේ ප්‍රවනතාවය ඉහලයි. ඒ නිසා දරුවන්ට ඉක්මනින් කන්න…කියන විධානය නොකරනවා නම් වඩාත් හොඳයි.

  • කාබොහයිඩ්ඩ්‍රෙට සහ සීනි වැඩියෙන් එපා…

අම්මා විදිහට ඔබ නිවසේ ආහාර පිළියෙළ කරන විට මේද , සීනි වෙනුවෙන් වැඩි තැනක් දෙන්න එපා. බාල කාලයේ පටන්ම දරුවන්ට හිතකර විදිහට ආහාර රටාව පිලියෙල කර දීම ආදරනීය මවකගේ වගකීමක්. ඒ නිසා සමබල ආහාර වගේම තන්තු ගැන වැඩි අවධානයක් ‍ලබා දෙන්න. මේදය, සීනි වෙනුවට තන්තු වෙනුවෙන්  වැඩි තැනක් ලබා දීම ඉතාම හොඳයි. එය දරුවාගේ වගේම ඔබේ සහ සැමියාගේ නීරෝගීබවටත් හේතුවක් වෙනවා.

  • පළතුරු යුෂට වඩා විකන එක හොඳයි…

පළතුරු යුෂ කිරීමට වඩා විකා කෑම වඩාත් සුදුසුයි. ඊට හේතුව යුෂ පිලියෙල කරන විට අපි සීනි සහ ලුණු වැනි අතිරේකත් එකතු කුරනවා. ඒ වගේම පැගිරි කුලයේ පළතුරු යුෂ කරන විට ” සිනෙෆින් ” රසායනය මුදා හරිනවා. එවිට රුධිර නාල අවහිර වීම නිසා හිසරදය තත්වය ඇති වෙන්න පුලුවනි.

  • විවිධ පළතුරු දෙන්න…

සමහර විට අපි දරුවන්ට පළතුරු දෙන විට යම් යම් සීමාවන් පනවා ගනන්වා. අපේ පුතා කන්නේ මේ පළතුරු විතරයි.. ඒ වගේම සමහර විට වාරයට තියෙන විට අපි ඒ පළතුරුටම යොමු වෙනවා. ඒත් මෙය නොකළ යුත්තක්. නිතරම පළතුරු වුනත් විවිධත්වයකින් ආහාරයට ගන්න.

  • සුප් ගැනත් සලකා බලන්න…

අපි හිතනනේ සුප් බොන්නේ රෝගීන් විතරයි කියල වුනත් සුප් දියර ඉතාම ගුණ දායකයි. කොලස්ටරෝල් සහිත රෝගීන්ට වගේම තරබාරු උදවියට සුප් වඩාත් ගුණදායකයි. ඒත් මේ ගුණය ලැබෙන්නේ සුප් වෙනුවෙන් ඔබ අන්තර්ගත කරන අමුද්‍රව්‍ය අනුවයි. මේ සදහා කරපිංචා, සේර වගේම වෙනත් කුළුබඩු එකතු කිරීම නිසා වැඩි ගුණයක් ලබා ගැනීමට පුලුවනි. අද බොහෝ අම්මලා සුප් පිලියෙල කරන විට කේාන්ෆලවර් සහ වෙනත් ක්‍රිම් සහ සෝස් වර්ග එකතු කළත් අපේ අතීතයේ සුප් පිළියෙල කිරීමට යෙදූ අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද…? එදා ගෘහනියන් බොහෝ සේ එක් කර ග්තතේ ගොටුකොළ, කැරට්, බෝංචි, හතු, අල වැනි ද්‍රව්‍යන්. ඒ වගේම සුප් දරුවන්ගේ පරිපූරක ආහාරයක්. වැඩිහිටියන්ට වුනත් ආහාර රැචිය ඇති කිරීමට සහ ජීරණ අපහසුතාවයන්ට සුප් බොහෝ සේ ගුණ ලබා දෙනවා.

  • වස විස නැති පලා සහ සලාද කන්න..

පලා වගේම සලාද කොළ මොන තරම් ගුණ වුනත් දැන් හැම දෙනෙක්ගේම සාධාරණ සැකයක් තියෙනවා. මේවාට යොදන පොහොර සහ වෙනත් බෙහෙත් නිසා අගුණ වේවි යන සැකය ඇති වෙලා. එහෙම නම් අපේ ගෙවත්තේම පලා වරග හදා ගනන් පු’චි හෝඩුවාවක් මෙන්න. සලාද කොළ දණ්ඩ වගේම කංකු , ගොටුකොළවල මුල් වතුර වීදුරුවක දමා දින එතක් පමණ වේලා තියෙන විට මුල් ඇදෙනවා. එයින් පසුව පුංචි පෝච්චියක මේ පලා වගා කර ගෙන අපේ පරිභෝජනයට ගැනීමට පුලුවනි.

ඝන ආහාර දීමට කාලය ඇවිත්

පුංචි පැටියා මෙලොව එලිය දුටු දවසේ පටන් අම්මාට තාත්තාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරු පැටියා ඉක්මනින් උස් මහත් කර ගන්නයි. ඒ නිසාම ඉක්මනින් ඝන ආහාර දෙන දවස කවදා උදා වෙයිදැයි අම්මා හීන මවනවා. මේ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදෙස් ලැබෙනවා. කැලැන්ඩර් ක්‍රමයට ඝන ආහාර දෙන දිනය තිබුනත් එක් එක් දරුවාගේ වර්ධන වේගය වෙනස්. ඒ නිසාම දරුවාට හොදින් ආහාර ගිලීමේ හැකියාව ඇති වීමත් අවශ්‍යයි. ඒ නිසාම ඝන ආහාර පටන් ගන්න නම් දරුවාගේ මේ හැකියාවන් තිබෙනවදැයි අම්මාටත් සහතික වීමට පුලුවනි.

දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට පුලුවන්ද ?

දරුවාට හිස කෙලින් තබා ගැනීමේ හැකියාව නැත්නම් ඝන ආහාර ගිලීමේදී පිටඋගුරේ යෑම වැනි අපහසුතාවයන් දරුවාට ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාවක් ලැබීම තාම වැදගත්.

ඒ වගේම ගෙල ප්‍රදේශය පාලනය

අපි ආහාර කවන පොවන විට දරුවාට බෙල්ල පාලනයකින් තබා ගැනීමට නොහැකි නම් එය අපහසුතාවයක්. ඒ නිසා ඝන ආහාර දීම ආරම්භ වන විට බෙල්ල දරුවාට පාලනයකින් තබා ගැනීමට හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

උදව් ඇතුව වාඩිවීමට පුලුවන් වීම

ඝන ආහර ලබා දෙන විට දරුවාට වාඩි වී සිටීමේ හැකියාව තිබීම ඉතාම වැදගත්. නිදා ගෙන සිටින ඉරියව්වෙන් ආහාර දීම සුදුසු නැහැ. එවිට අතරමග සිරවීමට පුලුවන්. ඒ නිසා දරුවා වාඩි කරවා ගෙන දෙනවා නම් ඔවුන්ට ඔබ වාඩි කලාට පසුව ටික වේලාවක් හෝ එම ඉරියව්වෙන් සිටීමේ හැකියාව තිබීම වැදගත්.

ආහාරය දෙසට දරුවා යොමු වීම

සාමාන්‍යයෙන් ආහාරයක් ලබා දෙන විට දරුවාට ඒ වෙතට කට දිගු කිරීමේ හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

ගිලීමට පුලුවන්ද…

මව්කිරි වැනි දයරයෙන් පෝෂණය වුන දරුවාට ආහාර ගිලීමේ හැකියාව තිබෙනවාදැයි දැන ගන්න. සමහර විට දරුවාට ආහාර ගිලින්නේ නැතුව නටේ තබා ගෙනම සිටින්න පුලුවනි. ඒ නිසා ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට ගිලීමේ හැකියාව තිබීමත් වැදගත්.

ආහාර ළං කරන විට කට ඇරීම

ආහාරයක් ලං කරන විට කට ඇරීමේ  හැකියාවත් දරුවාට තිබෙනවා නම් ඝන ආහාර පටන් ගැනීමට  හොඳම කාලයයි.

ඝන ආහාර පටන් ගන්නේ කොහොමද…

ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට එහි රසයක් ගැන තේරුමක් නැහැ. ඒ නිසා මුලින්ම දරුවාගේ තොලේ ටිකක් ආලේප කරන්න. එවිට ඔහු එයින් දැනෙන රසය දිව ඔස්සේ ග්‍රහණය කර ගන්නවා.ඊටපසුව ඝන ආහාරයට ක්‍රමයෙන් සම්බන්ධ වීමට පටන් ගන්නවා.

කුඩා කටවල් දෙන්න..

අම්මාට අවශ්‍ය වෙන්නේ දරුවාට නියමිත මාත්‍රාව කෙසේ හෝ ඔහුගේ කුසයට ඇතුලු කිරීමටයි. ඒ නිසා ඇය ලොකු ලොකු කටවල් හදා ගන්නේ ” අනේ කොහොම හරි මේ ටික කවා ගත්තොත්…යන බලාපොරොත්තුවෙන්. ඒ වුනත් දරුවාට ලොකු කටවල් කවන විට එය අප්‍රිය වීමට පුලුවන්. ඒ නිසා නිතරම කුඩා කටවල් කැවීම දරුවාට ප්‍රිය උපදවන දෙයක් වීමට පුලුවනි.

ආහාර රසය විවිධ කරන්න.

මුලින්ම පටන් ගන්නා බත් තලපය මතම රැදී නොසිට ක්‍රමයෙන් විවිධ රස දරුවාට එක් කරන්න. කාලය සමග දරුවා වැඩෙන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් මත මස්, මාලු, බටර්, පලා වර්ග එකතු කිරීමට පුලුවන්. එකාකාර රසයට වඩා දරුවා විවිධ රසයන්ට ප්‍රිය කරාවි.

සමහර ආහාර අපථ්‍ය වෙන්න පුලුවනි..

අපි පොතේ හැටියට පෝෂණය ගලපා ගත්තත් සමහර ආහාර වෙනුවෙන් දරුවා අප්‍රිය කිරීම විතරක් නොවෙයි, ඔහුට ඒවා ආසාත්මිකතාවයක් දැක්වීමටත් පුලුවනි. උදාහරණයක් විදිහට සමහර දරුවන් බිත්තරවලට ආසාත්මික වීමට පුලුවනි.ඝන ආහාර පිළියෙල කරන විට විවිධ ආහාර වර්ග එක් කරන නිසා එයිනුත් දරුවා ආසාත්මිකතාවයක් දක්වන ආහාරය වෙන් කර හදුනා ගැනීම ඉතාම වැදගත්.එතැනින් පසුව දරුවාට අසාත්මිකතාවය දක්වන ආහාරය එකතු නොකර සිටීමට පුලුවනි.

කුස පිරුනාම ප්‍රතික්ෂෙප කරාවි..

දරුවාට කුස පිරුන විට ඔහු තව දුරටත් දෙන ආහාරය ප්‍රතික්ෂෙප කරාවි.එවිට බලහත්කාරයෙන් දරුවාට කවන්න එපා. එය දරුවාට මානසික වධයක් වේවි. ඒ නිසා දරුවා තරයේම ප්‍රතික්ෂෙප කරනවා නම් එයින් ඔබ්බට ඔහුට වධයක් නොවන්න.

ආහාර කවන විට ඔබ දරුවා අසල සිටින්න…

දරුවාට ආහාර කවන අතරවාරයේ ඔබ වෙනත් කාර්යක නිරත වීම එතරම් සුදුසු නැත. දරුවන් අසලම රැඳී සිටීම තාම වැදගත්. සමහර විට ඔහු හැන්ද ඔබගෙන් ඉල්ලා ගෙන තනියම ආහාර ගැනීමට ඉල්ලා සිටින්නට පුලුවනි. එවිට ඒ වෙනුවෙනුත් ඉඩ දෙන්න. හැන්දටත් දරුවා හුරු වීම වැදගත්. ඒ වගේම දරුවා හුදෙකලා කර ඔබ එතැනින් අයින්ව ගියොත් විවිධ දේ ආහාරයට එක් කර ගැනීමට පුලුවනි. ආහාරය හලා දැමීමට පුලුවන්. ආහාරය දිගු වේලාවක් විවෘතව තබනවාට වඩා ටිකින් ටික බෙදා ගන්න. නිරාවරනය තබන විට ක්ෂුද්‍රජීවින් එක් වීමට වගේම ආහාරය සීතල වීමට පුලුවනි.එවිට ආහාරයේ ප්‍රියතාවය නැති වීමට පුලුවනි.

ඉවසීමත් වැදගත්

දරුවන්ට ආහාර කවන පොවන විට අම්මාගේ ඉවසීමත් වැදගත්.ඉවසීම නැතුව දරුවාට ආහාර ලබා දීම පහසු නැහැ. සැර වැරයෙනුත් මේ දේවල් කිරීම අපහසුයි වගේම ඒ තරම් සුදුසු නැහැ. ඇයි කිව්වොත් අපි දරුවා සෙනෙහසින් පෝෂණය කිරීම ඉතාම අවශ්‍ය නිසයි. අම්මලා විදිහට උයා පිහල කන්න දුන්නාම දරුවාග් රෙලිය ඉදිරියේ තරහත් යන එක ඇත්ත වුනත් අපි ඉතින් අම්මලානේ..ඒ නිසා ඉවසීමෙන් දරුවාගේ පෝෂණයට අවශ්‍ය විදිහට කවා පොවා ඇති දැඩි කර ගනිමු නේද.