ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලනවාද

කණිෂ්කගේ වයස අවූරුදු 07යි. තාත්තා වැඩට යන්න කලින් එයා හැමදාම තාත්තාගෙන් මොනවා හරි ඉල්ලනවා. ” තාත්තේ මට අලුත් පාට පෙට්ටියක් ඕනි” තාත්තාට හොදටම කේන්ති ගිහින් ” ඒ මොකටද ගිය සතියෙනි මම ඔයාට අලුත්ම පාට පෙට්ටියක් ගෙනත් දුන්නේ. එක හොදටම ඇති. දැන් ඉන්න ළමයි පුදුම විදියට නාස්ති කරන්නේ. ඒ කාලේ අපි කොච්චර අමාරුවෙන්ද පාට පෙට්ටියක් උනත් ගත්තේ”.

මෙවෙනි කතා නිවෙස් වල නිතර සිදු වෙනවා. සාමානයෙන් දරුවන් දකින දකින දෙය ඉල්ලනවා. ඔවුන්ගේ ඉල්ලීම් නවතින්නේ නෑ. බොහෝ වේලාවන් වලට දෙමාවුපියන්  තමන්ට මුදල් තිබෙන වේලාවන් වලට දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා. නමුත් නිතර නිතර දරුවා දකින දකින දේ ඉල්ලනවා.  එසේ සිදු කරන විට දෙමාවුපියන්ට කේන්ති යනවා. දරුවන්ට අවශ්‍ය දේවල් ඒවා නොලැබෙන විට ඔවුන්ට දුකක් ඇති වෙනවා. ඇතැම් විට දරුවා ඉල්ලන දේ ලබා දීම දිගටම ප්‍රතික්ෂේප කළහොත් එය දරුවාට අමතක වී යා හැකිය.

බොහෝ දෙමවුපියන් දරුවන්ගේ මේ ඉල්ලීම ඉදිරියේ කෝප ගැන්වෙනවා. දරුවන් දකින දකින දේ ඉල්ලීම් නරක ගති ගුණයක් ලෙසයි දෙමවුපියෝ දකින්නේ. නමුත් දරුවන් බොහෝ දේ ඉල්ලන්නේ තමන්ට අවශ්‍ය යැයි හැගෙන නිසාවෙනි. මෙහිදී මව හෝ පියා දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේදී දරුවාට අවශ්‍ය සහ අනවශ්‍ය දේ මොනාද යන්න අවබෝධ කර ගැනීමේ ගැටළුවක් පැන නැගෙනවා.

නමුත් දරුවා ඉල්ලන ඉල්ලන දේ ලබා දීමෙන් ඔහු තව තවත් දේ ඉල්ලන්න පෙළඹෙනවා. දරුවා යම් දෙයක් ඔබෙන් ඉල්ලන විට දරුවාට එය අවශ්‍යද නැද්ද යන්න ඔබට දරුවාට වඩා හොද අවබෝධයක් තියෙනවා. දරුවාට අනවශ්‍ය යැයි හැගෙන දේ ඉල්ලන විට ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කරන්න. එවිට සමහරවිට දරුවාට එය අනවශ්‍ය දෙයක් බව වැටහෙන්න පුළුවනි. දරුවාට එය අනවශ්‍ය දෙයක් බව තේරුම් නොගියොත් ඔබ සමග ගැටුම් ඇති කර ගන්න පුළුවනි.

ඔබ දරුවා ඉල්ලන දේ ප්‍රතික්ෂේප කරන විට එය කේන්තියෙන් සිදු කරන්න එපා. ඔහු ඉල්ලන සියල්ල ඔබට ලබා දිය නොහැකි බව දරුවාට වටහා දෙන්න. මෙහිදී කෙටියෙන් සරලව පැහැදිලි කර දෙන්න. ” මට අද සෙල්ලම කරන්න යන්න ඕනි” බව දරුවා පවසනවා යැයි සිතන්න. නමුත් ඒ අවස්ථාවේදී දරුවාට සෙල්ලම් කිරීමට ලබා දීමට නොහැකිය. දරුවා ඉතාමත් කැමති දෙයක් කරන විට එය කරන්න එපා යැයි කියන විට දරුවාට කේන්ති යනවා. මෙහිදී ඔබ කේන්ති ගන්න එපා. “අපි අද නැතුව හෙට දවසම සෙල්ලම් කරමුකෝ” නමුත් දරුවාට ඔබ කියන දේ වැදගත් නොවෙන්න පුළුවනි. ඔබේ දරුවා ඉල්ලන එත් කල නොහැකි දෙයක් නම් ඊට උපක්‍රමශීලිව පිළිතුරු දෙන්න. දෙමාවුපියන් විදියට ඔබ නිතරම දරුවාට නියෝග ලබා දෙන්න එපා. දරුවාට අසනීප වූ අවස්ථාවක අයිස්ක්‍රීම් ඉල්ලනවා නම් ” ඔයාට සනීප වුනාම අපි අයිස් ක්‍රීම් කමු” යැයි පැවසිය හැකිය. දරුවන් ඔබ කියන දේවල් හොදින් මතක තබා ගන්නවා. නැවත දරුවා හොද තත්වයට පත් වුවාට පසුව ඔබෙන් අයිස්ක්‍රීම් ඉල්ලන්න පුළුවනි. එවැනි අවස්තාවක එය ප්‍රතික්ෂේප කරන්න එපා. එසේ වුවහොත් ඔබ පිලිබදව දරුවාට ඇති විස්වාසය කඩවිය හැකිය.

දරුවන් ස්වාධීන කරමු

ස්වාධීන දරුවෙකු මේ සමාජයට බිහි කිරීම ඔබගේ වගකිමකී. නමුත් අපි දරුවන්ට දක්වන අසීමිත ආදරය නිසාම දරුවන්ට ස්වාධීන වීමේ අවකාශය මග හැරි යන්න පුළුවන්. දරුවන්ට තම කාර්යයන් සිදු කර ගැනීමට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. අපේ දෙමවුපියෝ සිතන්නේ තමන්ගේ දරුවන්ට, ඔවුන්ගේ උදවුවෙන් තොරව කිසිවක් තනිව කර ගත් නොහැකි බවයි. ඒ නිසා ඔවුන් සිදු කරන සියල්ලටම උපකාර කරනවා. ඔබ අනවශ්‍ය විදියට දරුවාගේ සියල්ලටම මැදිහත් වීමෙන් දරුවාට පවතින ස්වාධීනත්වය අඩු වී යනවා. තනිව යමක් කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඉන් පසු පුංචි ගැටළුවක් පැමිණියත් දරුවා ඔබේ පිහිට පවතිනවා. සාමාන්‍ය සිදුවීමකට වුවත් මුහුණ දීමේ ශක්තිය නැති වෙනවා.

දරුවන් කුඩා කල සිටම ස්වාධීන නොකිරිමෙන් ඔහුට අනාගතයේදී ගැටළු ගණනාවකට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලිය. ඇතැම් රටවල දරුවන් අවුරුදු 16න් පමණ පසුව නිවසින් නිදහස් කරනවා. ඔවුන්ට යමක් තේරුම් ගත හැකි කාලයේ සිටම ඔවුන් ස්වාධීන කර හමාරයි. දරුවා ඇවිදින විට වැටුන යැයි සිතන්න. එවිට දරුවාට තනිව නැගී සිටීමට අවස්තාව දෙන්න. ඔබ ඒ අවස්ථාවේ දරුවාට උපකාර කළහොත් ඔහු වැටෙන සෑම අවස්තාවකම නැගී සිටින්න ඔබේ උපකාරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දරුවා තනිව නැගී සිටීමට උත්සහා කරන් නෑ.

මේ නිසා කුඩා කල සිටම දරුවන් ස්වාධීන කල යුතුය. එහිදී දරුවාට,

තෝරා ගැනීමේ අවස්තාව සලසා දෙන්න

ඔබේ දරුවාට ඇදුමක් මිලදී ගන්න යනවා යැයි සිතන්න. එහිදී දරුවාට අවශ්‍ය ඇදුම් තනිව තෝරා ගන්න අවස්තාව දෙන්න. ඔබට අවශ්‍ය දේ නොව දරුවාට අවශ්‍ය දේ තෝරා ගන්න අවස්තාව ලබා දෙන්න. එසේ නොවුනොහොත් දරුවා යම් දිනක ඇදුමක් තෝරා ගැනීමටත් ඔබේ උදව් බලාපොරොත්තු වෙනවා. දරුවාට නොගැලපෙන ඇදුමක් දරුවා තෝරා ගන්නේ නම් ඒ බව දරුවාට පැවසිය හැකිය. නිරන්තරයෙන්ම තෝරා ගැනීම් වලට ඉඩ හරින්න.

දරුවාගේ නොහැකියාව ඉදිරියේ අපහාස නොකරන්න

ඔබේ දරුවාගේ පාසල් ඇදුම තාමත් පිළිවෙල කරන්නේ ඔබ විය හැකිය. එසේ වූ විට දරුවා අපහාසයට පත් නොකර එය සිදු කරන ආකාරය දරුවා දැනුවත් කරන්න. සපත්තු දෙක දා ගන්න, මේස දෙක දාගන්න තමාත් නොහැකි නම් එය සිදු කරන්නේ මෙසේ යැයි පැහැදිලිව නිරවුල්ව කියා දෙන්න. සමහරවිට දෙවන අවස්ථාවේදීත් ඔහුට එය තනිව කර ගැනීමට නොහැකි විය හැකිය. කිහිප වරක්ම කියා දී එය තනිව සිදු කර ගැනීමට සැලැස්විය යුතුය.

නිවසේ වැඩ කටයුතු වලටත් දරුවා කුඩා කාලයේ සිටම සහභාගී කර ගන්න. දරුවාට කල හැකි කාර්යයන් ලබා දෙන්න. දරුවාට එසේ ලබා දෙන කාර්යයන් තනිව කර ගැනීමට නොහැකි නම් ඔබ එය සම්පුර්ණයෙන්ම කරන්න එපා. කරන ආකාරය කියා දී ඔහු ලවාම එය සිදු කරන්න.

අඩුවෙන් ප්‍රශ්න අසන්න

දරුවන්ගෙන් නිතර නිතර ප්‍රශ්න ඇසීම ඔහුට කරදරයක් සේ දැනීමට පුළුවනි. දරුවා සමග සුහදශීලිව කතා කිරීමෙන් ඔහු ඔහුට පවතින ප්‍රශ්න ඔබ නොඅසාම පවසාවි. ” කොහොමද අද දවස” ලෙස ඇසිය හැකිය. දරුවා ගෙදරට පැමිණි විටම ප්‍රශ්න ආසන්න එපා. පොත් වලට මැදි වී නිවසට එන දරුවාට එය කරදරයක් වන්න පුළුවනි.

දරුවාට නිතර නිතර ප්‍රශංසා කරන්න.

දරුවෙකුගේ විස්වාශය, ආත්මගරුත්වය ඉහල යෑමට ප්‍රශංසා කියන දේ බලපානවා. අපි කවුරුත් කැමතියි ප්‍රසංසා ලබන්න. ඇත්තටම ප්‍රශංසා කිරීම ඉතාම සරල දෙයක්. හොද වටිනා අගය කල යුතු දෙයක් කල විට ප්‍රශංසා කිරීම හොදය. ඒ හරහා එම පුද්ගලයා එය වඩ වඩාත් දියුණු කිරීමට දිරි ගැන්වෙනවා. ඇතමුන් ඔබේ ප්‍රශංසාව වැරදි ආකාරයට තේරුම් ගන්නත් පුළුවන්. ඔබ එසේ ප්‍රශංසා කරන්නේ බොරුවට යැයි සිතිය හැකිය. දරුවන්ද එසේය. දරුවා යම් නිර්මාණයක් සිදු කර ඇත්නම් “ෂා හරිම ලස්සනයි යැයි ඔබ කියනවා නොඅනුමානය. නමුත් දරුවා ඔබ බොරුවට කියනවා යැයි සිතිය හැකිය.

ඔබ දරුවා ප්‍රශංසා කිරීම වැඩි වන තරමට ඔහු කරන කාර්යය වැඩියෙන් හොදට කිරීමට පෙළඹෙනවා.  උදාහරණයක් ලෙස ” ඔයා අදින චිත්‍ර හරිම ලස්සනයි යැයි පැවසුවහොත් දරුවා ඊටත් වඩා ලස්සන චිත්‍රයක් ඇද ඔබට පෙන්නාවි. එය දරුවන්ගේ ස්වභාවයයි.

මේ ඔබ දරුවන්ට සිදු කරනු ලබන ප්‍රශංසා දරුවන්ට දිගු කාලීනව මතක තිබෙනවා. මන්ද ඔබේ ප්‍රශංසාව දරුවන්ට එතරම්ම වැදගත් නිසාවෙනි. බොහෝ දෙමාවුපියන් දරුවන් විවේචනය කිරීමට ඉක්මනින්ම පෙළඹෙනවා. ඔවුන් තම දරුවන් ප්‍රශංසා කරන අවස්ථා ඉතාමත් අඩුයි. මේ ප්‍රශංසා හරහා දරුවන් හොද පැත්තට ගැනීමට වුව  ගැනීමේ හැකියාවක් තිබෙනවා.

අද ඔයා ගොඩාක් ලස්සනට අකුරු ලියලා.

අද ගොඩාක් හරි අරන්.

දැන් ඔයාට ඔයාගේ කොන්ඩේ ලස්සන්ට පීරා ගන්න පුලුවන්නි.

මේ චිත්‍රය ගොඩාක් ලසසනයි.

ඔයාට දැන් හොදට ගෙදර අතුගාන්නත් පුලුවන්නි.

දරුවන්ට අණ දිම්, විධාන කිරීම් සිදු කරනවාට වඩා මේ ප්‍රශංසා කිරීම් ගොඩක් වැදගත්. තරමක් දග දරුවන් පාලනය කිරීමට මේ ප්‍රශංසා ක්‍රමය බලපානු ලබනවා. දරුවා හොද දෙයක් සිදු කල් විට එය ඇගයීමට පසුබට වන්න එපා. නැවත නැවත දරුවා එවැනි ක්‍රියා සිදු කිරීමට දරුවන් උනන්දු කරවීම් ඒ හරහා සිදු වෙනවා. දරුවන් දෙමවුපියන් කියන දේ නොකරන විට දෙමාවුපියන් දුක් වෙනවා. එවිට ඔබේ දරුවා කෙසේ හෝ ඔබට ඕනි විදියට හැදිය යුතු යැයි කල්පනා කරනවා. දරුවා එසේ හැසිරීමට ඔබගෙන් යම් කිසි වැරදි කිහිපයක් සිදු වී තිබෙන්න පුළුවනි. ඇතැම් දෙමවුපියන්ට දරුවන් කුමක් කලත් වැරදියි. හැමදෙයකම කුමන හෝ අඩුපාඩුවක් සොයනවා. දරුවන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන විදියක් තිබෙනවා. ආදරයෙන්, ප්‍රිය වචන වලින් ඔබට ඒ දේ සිදු කල හැකිය.

බොහෝ පිරිස් කෙනෙකුගේ හොද දකිනවාට වඩා නරකම දකියි. එසේ සිදු කිරීමෙන් දරුවාට තිබෙන තත්ත්වය පහල වැටෙන්න පුළුවනි. දරුවා විභාගයට ගන්නා ලකුණු ප්‍රමාණය බලා ඔබට දරුවා විස්තරාත්මකව ප්‍රශංසා කරන්න පුළුවනි. ලකුණු දුර්වල උනොත් තවත් මහන්සි වෙන්න එහෙම උනොත් මිට වඩා ඔයාට ලකුණු ගන්න පුළුවන් වේවි යැයි ධනාත්මක සිතිවිලි දරුවාගේ සිතට ඇතුළු කල හැකිය. ඔයා හරිම නරකයි. ඔය දක්ෂ නෑ. ඔයාට තනිවම මොකුත් කර ගන්න බෑ. ලෙස පවන්න එපා. සැමවිටම දරුවා සිදු කරනු ලබන පුංචි කාර්යයක් වුව අගය කරන්න. එය ඉතාමත් හොද දෙයකි.

දරුවාගේ හැගීම් තේරුම් ගන්න

අපිට විවිධාකාර හැගීම් තිබෙනවා. දුක, සතුට. කම්මැලිකම, ආදී වශයෙනි. දරුවන්ටද එසේය. කුඩා දරුවන්ගේ හොද හැගීම් නිසා ඔබ සතුටට පත් වෙනවා. නරක හැගීම් නිසා අසතුටට පත් වෙනවා. ඔබ සහ දරුවන් අතර ඇතිවන හැගීම් පිලිබදව ඔබට අවබෝධයක් තිබීම වැදගත්. දරුවන්ගේ හැගීම් වලට ඔබ දක්වන ප්‍රතිචාර අනුව ඔවුන් තම සිතෙහි හැගීම් සිරකර ගන්නවා. දරුවන්ට ඔවුන්ගේ හැගීම් නිදහසේ ප්‍රකාශ කරන්න අවකාශය ලබා දෙන්න.

දරුවාගේ හැසිරීම් යහපත් වන විට යහපත් හැසිරීමක් බලාපොරොත්තු විය හැකිය. දරුවා තුළ යහපත් හැගීම් ඇති කිරීමට දෙමාවුපියන්ට විශාල වගකීමක් තිබෙනවා. ඔබේ දරුවා කියන ඕනෑම දෙයක් පිලිගන්නවා නම් එක භයානකයි. එය නරක හැගීමක් නම් එය ප්‍රතික්ෂේප කරන්න. ඇතැම් දරුවන් ඉතාමත් කලහකාරියි. නිතරම අනෙක් අය සමග දබර කර ගන්නවා. ඔබේ දරුවා තවත් අයෙකුට පහර දුන් බව පැවසුවහොත් එහි ඇති නරක පැත්ත ඔහුට වටහා දෙන්න. දරුවන් ඔබ සමග පවසන දේවල් වලට හොදින් ඇහුම්කම් දී ඔහුගේ හැගීම් ඔබට අවබෝධ වන බව හගවන්න. ඉන් පසු ඒ හැගීමේ තිබෙන නරක බව දරුවාට කියා දෙන්න.

ඇතැම් දරුවන්ට පුංචි දේටත් කේන්ති ගන්නවා. ඒ වගේම ඔවුන්ට කුඩා දෙයකින් වුවත් විශාල සතුටක් ලැබිය හැකිය. ළමා ලෝකයේ ස්වභාවය එයයි. ඔවුන්ට දැනෙන පුංචි සතුටක් වුවත් දරුවා එය ලොකුවට විදිනවා. එසේම ඔබේ nagatives හැගීම් ඔබේ දරුවාට ප්‍රබල ලෙස බලපානවා.  ඔබ නිතරම අසතුටින්, නැහැ, බැහැ කියන හැගීම වලින් සිටින විට දරුවාට එය අහිතකර ලෙස බලපානවා. දරුවන් යනු ඉක්මනින් අනුකරණය කිරීමට පෙළඹෙන පිරිසකි.

ඔබේ nagatives හැගීම් දරුවන්ගේ හැගීම් වලට වඩා ප්‍රබලයි. දරුවන්ට කේන්තියක්, දුකක්, වේදනාවක් ඇති වූ විට එය ටික මොහොතකින් නැති වී යනවා. නමුත් වැඩිහිටියන්ගේ හැගීම් එසේ නොවේ. එම හැගීම් ගැඹුරුයි. නැති වෙන්න හුග කාලයක් ගත වෙනවා. ඔබ නිතර නිතර දුකෙන්, කලහකාරිව හැසිරෙන විට එය දරුවාගේ හැගීම් බවට පත් වෙනවා. ඔබේ හැගීම් දරුවා සමග  බෙදා ගන්න යන්න එපා. මන්ද ඔබට දැනෙන දෙය දරුවන්ට දැනෙන්නේ වෙනස් ආකාරයකටයි. දරුවා සමාජය ගැන සිතන විදිය ඔබ සිතන විදියට වඩා වෙනස්ය. ඔබේ හැගීම් බෙදා ගත යුත්තේ ඔබේ හැගීම් අවබෝධ කර ගත හැකි සම වයස් කණ්ඩායම් සමගයි.

දරුවන් යනු වැඩිහිටියන් මෙන් අත්දැකිම් තිබෙන පිරිසක් නොවේ. පවුලේ ඇති ගැටළු පිලිබදව දරුවා සමග කතා කිරීම හොදය. එය වරදක් නොවේ. නමුත් හැගීම් බෙදා ගැනීම කොතරම් ප්‍රායෝගිකද  එසේම මෙහිදී කුමන හැගීම් යන්නද වැදගත් වේ. දරුවන්ට ඔබ සමග හැගීම් බෙදා ගන්න විට සහ තම මිතුරෙක් සමග හැගීම් බෙදා ගන්න විට දැනෙන ආකාරය වෙනස්ය. දරුවන් සහ දෙමවුපියන් ජිවත් වෙන්නේ වෙනස්ම ලොවකය. දරුවන් ජිවත් වන ළමා ලෝකයේ දෙමවුපියන්ට ජිවත් විය නොහැකිය. ඒ වෙනස වටහා ගන්න.

දරුවන් එකිනෙකට වෙනස්ය

දරුවන් උප්පත්තියෙන්ම එකිනෙකට වෙනස්ය. ඔවුන්ට උරුම වූ හැකියාවන් එකිනෙකට සුවිශේෂි වේ. දරුවන්ගේ මේ වෙනස අවබෝධ කර ගන්නේ සීමිත දෙමාවුපියන් කිහිප දෙනෙක් පමණි. දෙමාවුපියන් බලාපොරොත්තු වෙන දේවල් දරුවන්ගෙන් නොලැබෙන විට ඔවුන්ට දුකක් ඇති වේ. නමුදු ඔබේ දරුවන්ට තිබෙන හැකියාවන් ඔබට සිටින අනෙක් දරුවාට හෝ ඔබේ මිතුරාගේ දරුවාට තිබෙන හැකියාවන්ට වඩා වෙනස්ය. ඒ හැකියාවන් ඔප මට්ටම් කිරීමට දරුවන්ට ඔබේ උපකාරය අවශ්‍යය. අපේ බොහෝ දෙමවුපියන් සිදු කරන්නේ වෙනත් දරුවෙකුගේ හැකියාවන් තමාගේ දරුවාට අදාල කොට ගෙන එවැනි හැකියාවන් තමාගේ දරුවාටත් තිබිය යුතු යැයි සිතනවා.

සිතන්න ඔබට පුතුන් දෙදෙනෙක් සිටිනවා යැයි කියා. ලොකු පුතා ක්‍රිඩාවට දක්ෂ, දගකාර පුතෙකි. අනෙක් පුතා එසේ නොවේ. ඔහු නිතරම හුදෙකලාවේ ගත කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයෙකි. ඔහු ලොකු පුතාට වඩා ඉගෙනීමට දක්ෂය. මේ දරුවන්ගේ හැකියාවන් එකිනෙකට වෙනස්ය. ක්‍රීඩාවට එක් දරුවෙක් දක්ෂ වුවාට අනෙක් දරුවා මෙන්ම ඉගෙනීමට ඇල්මක් දක්වන්නේ නැහැ. සමහර දෙමාවුපියන් මෙවැනි අවස්ථාවල කරන්නේ දරුවන්ගේ හැකියාවන් එකිනෙකට සංසන්දනය කිරීමයි. ” මගේ ලොකු පුතා නම් ඉගෙනීමට පොඩ්ඩක්වත් දක්ෂ නෑ. එයාට නම් මේ සැරේ විභාගය පාස් වෙන්න වෙන් නෑ. පොඩි පුතා නම් මෙයාට වඩා ගොඩක් දක්ෂයි. මේ දරුවන් දෙදෙනාගේ බුද්ධිය අතර වෙනසක් තිබෙනවා. අපි හැමෝමගේ බුද්ධිය එක හා සමාන නෑ. සමහර දරුවන් ගුරුවරයෙක් දෙයක් කියූ සැනින් වටහා ගන්නවා. නමුත් තවත් දරුවෙකට එකට ටික වෙලාවක් ගත වෙනවා.

ලොකු පුතා  ඉගෙනීමට දක්ෂ නොවුනාට ක්‍රීඩාවට දක්ෂ නිසා ඔබට  දරුවාගේ මේ හැකියාවන් හදුනා ගෙන ඒ හැකියාවන් ඉහලට යන්න උදව් කල හැකිය. ඒ නිසා දරුවන් කිසිදාක සංසන්දනය කරන්න එපා. ඉගෙනීමේ හොදින් නියැලෙන දරුවාට වඩා දගකාර, බාහිර වැඩ වලට දක්ෂ දරුවාට නිර්මාණශීලි හැකියාව වඩා හොදින් තිබෙන්න පුලුවනි. දරුවන් ඉගෙනීමට අදක්ෂ වුවාම ඔවුන් මානසිකව වටටන්න එපා.

එසේම දරුවන්ගේ වර්ධනයේද වෙනස්කම් තිබෙනවා. සමහර දරුවන් ඉක්මනින්ම වර්ධනය වෙනවා. ඇතැම් දරුවන් නම් කොතරම් කෑවත් ශරීරය එතරම් වර්ධන වෙන් නෑ. දරුවන්ගේ සිරුර කුඩා වුවාට ඔබ එතරම් ඒ ගැන සිතිය යුතු නෑ. ” අපේ දරුවන් කොච්චර කෑවත් වැඩක් නෑ. අර අල්ලපු ගෙදර ළමයා බලන්නකෝ. මෙයාට වඩා හතරගුනයක් විතර ඉන්නවා. ආදී ලෙස බොහෝ මව්වරුන් පවසනවා. එය ඔබේ දරුවාගේ ආත්ම ගරුත්වයට හානියක් බව ඔබ දන්නවාද.

දරුවන්ට දරුවන් වන්න ඉඩ දෙන්න. මේ වගේ වෙන්න, අර වගේ වෙන්න ලෙස පවසන්න එපා. ඔබේ දරුවා අනෙක් දරුවන්ට වඩා වෙනස් වන්නේ කුමන කාරනා වලින්දයි වටහා ගන්න. ඒ අනුව ඔහු සමග කටයුතු කරන්න. ඔබ නිතරම ඔබේ දරුවා අනෙක් දරුවන් සමග සංසන්දනය කිරීම හරහා දරුවාට එමගින් හානියක් සිදු වෙනවා. අල්ලපු ගෙදර ළමයා උසස්පෙළට Science, Maths වැනි විෂයන් කලාට ඔබේ දරුවාට එවැනි විෂයන් සිදු කරන්න යැයි පවසන්න එපා. දරුවාගේ හැකියාවන් පිලිබදව මනා අවබෝධයක් ඔබට වඩා තිබෙන්නේ දරුවාටය. එම නිසා දරුවාට අවශ්‍ය දේ තෝරා ගැනීමට ඉඩ හැර ඒ සදහා ඔබට උදව් කල හැකිය. කොතරම් විභාග පාස් කලත් ජිවිත විභාගය සමත් විය හැක්කේ කිහිප දෙනෙකුට පමණි.

දැන් කාලයේ දරුවන්ට හොස්ස අගින් මැස්සා යන්න බැහැ

දස මාසයක් කුසේ කියාගෙන හදා වඩා ගත්තු දරුවෝ මව්පියන් සමග නිරන්තරව මත ගැටුම් ඇති කර ගැනීම අද ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඉස්සර කාලයේ දරුවන් මව්පියන් සමග එකටෙක කියා ගෙන විවිධාකාර මත වාදවලට පැටලුනේ නැහැ. වර්තමානයේ දරුවන්ට එක්තරා වයසකට පැමිණි පසුව දෙමව්පියන් නුරුස්නා තත්වයකට පත් වෙනවා.

දරුවන්ගේ මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන් වියත් සමග ඇති වෙන හෝර්මෝනයන්ගේ බලපෑම නිසා බව ස්නායු වෛද්‍ය විද්‍යාඥ ප්‍රැන්සිස් ඊ ජොන්සන් සඳහන් කරනවා.මෙම වයසට පත් වෙන විට දරුවන්ගේ හෝර්මෝන පිලිබඳ වෙනස්කම් ගොඩ නැගෙනවා. ඒ සඳහා ප්‍රධාන ලෙසින් බලපාන්නේ ටෙස්ටොස්ටරෝන්, ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන වර්ගයි. මොළයේ උද්වේග කලාපයේ මෙම හෝර්මෝන උත්තේජනය වෙන විට දරුවන්ගේ ගති පැවතුම් පිළිබඳ වෙනස්කම් නොදැනම ගොඩ නැගෙන බව මෙම මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එතකොට මව්පියන් මේ විදිහට කියාවි….අපිත් ඔය වයස පහු කලා…අපිට ඔය කියන හෝර්මෝන පිට වුනේ නැත්ද කියලා…ජීව විද්‍යාත්මකව එම සංසිද්ධින් ඒ විදිහටම සිද්ධ වෙන්න ඇති. ඒත් අද සමාජ රටාව බොහොම වෙනස්. එදා දරුවන්ට පැවැති සරල ලෝකය වෙනුවට අද පවතින වේගවත් වෙනස්කම් ඉදිරියේ දරුවන් ගැටෙන විට එහි ප්‍රතිචාර දැනෙන්නේ අම්මාට තාත්තාටයි.

දරුවන්ගේ මෙම ආවේගශීලිත්වයට විශේෂයෙන්ම චෝදනා ලබන්නේ විද්්‍යුත් මෙවලම්. අද මව්පියන් විදිහට අපි හිටියත් එදා මේ වාගේ තාක්ෂණික ලෝකයක් සමග ගණු දෙණු සිද්ධ වුනේ නැහැ. ඇලේ දොලේ පැනලා, ගඩා ගෙඩියක් කඩා ගෙන කාලා , පොල් පිති ගොනෙක් එක්ක එහෙම නැත්නම් වැලි සෙල්ලම් බත් උයපු සුන්දර ළමා ලෝකය බොහාම සරලයි. දවසේ මුලුල්ලේ මේ විදිහට සෙල්ලමින් ගෙවලා හැන්දෑවට මුහුණ කට හෝදාගෙන දෙවියන් බුදුන් හෝ තමන් අදහන ආගමක් සිහිපත් කර ගෙන නින්දට ගියා.

ඒත් අද දරුවන්ගේ එකම ආරක්ෂකයා විද්්‍යුත් මෙවලම් විදහට සැලකෙන ජංගම දුරකථන , ලැප්ටොප් , ටැබ් වැනි මෙවලම්. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තරුණ දරුවන් වෙනුවෙන් නගන චෝදනාවත් ඒකයි.ඉස්සර දරුවන්ගේ රාත්‍රි හීනෙන් බය වෙනවාට කොට්ටය යටින් ගිරයක් වගේ යකඩ කෑල්ලක් ආරක්ෂාවට තිබිබත් අද දරුවන් නින්දට යන තෙක්ම දුරකථනය සමග ගණු දෙණුවෙන් ගෙවනවා.

එහෙත්…..ජංගම දුරකථන සමග රැය ගෙවද්දි දරුවන්ගේ චර්යාත්මක වගේම ජෛව රසායන ක්‍රියාවලියේ වෙනස්කම් සිද්ධ වෙනවා. මෙම කටයුතු සමග dopamine රසායනය නිදහස් වෙනවා.මේ නිසා දරුවන්ගේ මොළයේ ඇති වෙන උත්තේජනය මුල් කර ගෙන ඔවුන් නොදැනම බොහොම ආවේගශීලිත්වයෙන් කටයුතු කරනවා.

ඒ විතරක් නෙවෙයි, මේ දරුවෝ රැය පුරා මෙවලම් එක්ක ඔට්ටු අල්ලලා දවල් පුරා නින්දේ පසු වෙන බවට චෝදනා ඉවරයක් නැහැ.මොකක්ද ….මේ කරදරය බලන වෙලාවක් ඇත්තං නිදි….අම්මා ඒ විදිහට චෝදනා කළත් දරුවා රාත්‍රියට නින්දක් ලබන්නේම නැහැ.මේ වවුල් ප්‍රතිපත්තිය නිසාම දරුවන්ගේ මානසිකත්වය බොහොම අවුල් සහගතයි.

නින්ද අතරින් රාත්‍රි නින්ද මොළයේ නිරෝගි බව වෙනුවෙන් අවශ්‍ය බව රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අපි අවදිව සිටින විට ඇති වෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ විෂ ප්‍රෝටින් ඉවත් කිරිමට රාත්‍රි නින්ද අවශ්‍යයි. ඉතිං මුහුනුපොත, අන්තර්ජාලය, පරිගණකය සමග රැය පහන් කරන දරුවාගේ මනස බොහොම ආවේගශීලියි. මේ නිසාම දරුවාගේ මනස සන්සුන් කළ යුතු අන්දම ගැනත් මේ අධ්‍යනය මගින් කරුණු ඉදිරිපත් කරනවා.දරුවාගේ මෙම වැරැදි පුරැදු නිසා ඔවුන් අනාගතයේදි තරබාරුව, මානසික පීඩනය, අධි රුධිර පීඩනය, කිරීටක ධමණී සංකුලතා වැනි රෝග තත්වයන්ට පත් විය හැකි බවත් මෙම අධ්‍යනයේදී මව්පියන්ට උපදෙස් විදිහට පෙන්වා දෙනවා. එහෙම නම් ඔබ දරුවාගේ නින්ද ගැන කටයුතු කළ යුත්තේ කොහොමද…

නින්දට වේලාවක් තබා ගන්න….ඉස්සර කාලයේ උදවිය ට නිදි පුරුද්දක් තිබුනා. දවසේ රටාව අනුව නිදාගැනීමට වෙලාව ඉබේටම ගැලපි තිබුනා.

කෝලා වර්ගයේ පාන වර්ග නින්ද වලක්වන නිසා නින්ද ආසන්නයේදි මෙම පාන වර්ග පානය කරන්න එපා.

නින්දට පෙරාතුව ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න. මෙම උපාංග නිහඬ කලත් ඒවායේ කම්පනයන් නිසා නින්ද බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

නිදා ගන්න ආසන්නයේ පරිගණක කටයුතු වලින්ද ඈත් වෙන්න. ලැප් ටොප් නිසා අද දරුවන් නිදි යහනේදිත් මෙම උපාංග පරිහරණය කිරීම නිසා නින්දට බාධාවක් ඇති වීම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

නින්දට පෙරාතුව මනස සන්සුන් කර ගැනීමේ භාවනාවකයෙදෙන්න. එවිට හිත සන්සුන් වෙනු ඇත. ඉස්සර කාලයේ මව්පියන් නින්දට පෙරාතුව ආගම දහම සිහිපත් කිරීමට උපදෙස් දුන්නා . ඔවුන් දරුවන්ට නිතරම කියා සිටියේ හොඳ හිතින් නින්දට නොගියොත් නපුරු හීන පෙනි නින්දට බාධා ඇති වෙන බවයි. මේ නිසා දරුවන්ද නිරවුල් මනසකින් නින්දට ගියා. හොඳින් නිදා ගත්තා. හොඳින්ම අවදි වුණා. ඔවුන් නොදැනම මනස සන්සුන් වුණා.

අපිටත් ඔය හෝර්මෝන තිබ්බේ නැද්ද….කියලා අම්මා තාත්තා නගන පැනයට දැන් පිලිතුරු ලැබෙන්න ඇති…කාලයත් සමග ලෝකය මවන ලද අරුමය නිසා අපේ දරුවන් අතරමැදියන් බවට පත් වුනා. ඒත්…මේ අරුමයේ තිබෙන නපුරු විපාකයන්ගෙන් දරුවන් මුදවා ගන්න තවමත් අපිට විකල්ප විසඳුම් තිබෙනවා. ඒ විසඳුම් දෙසට යොමු වෙනවා හැර අපේ දරුවා ‍රෑ තිස්සේ ෆෝන් එකේ කියන අ‍ෙඳෝනාවෙන් නම් පලක් නැහැ.

ජාන විකෘතිතා නිසා උත්පත්තියෙන්ම දරුවන්ට ඇති වන ”ඩවුන්ස් සින්ඩ්රෝමය”

සාමාන්‍ය ජනවහරේදී මොන්ගෝලීයතාවය ලෙස හැඳින්වෙ ඩවුන්ස් සින්ඩ්‍රෝමය ඇති වන්නේ ජාන විකෘතිතා මුල්කරගනිමිනි. ඩවුන්ස් සින්ඩ්‍රෝම තත්ත්වයට පත් වූ දරුවන්  මන්ද බුද්ධික වන අතර ඔවුන්ගේ කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද වේ.

ඩවුන්ස් සින්ඩ්‍රෝමය වර්ග 3කි. එනම්, ට‍්‍රයිසෝමි 21 (Trisomy 21), ලමොසැයිසිට් මොසැයිසිම් (Mosaisit mosaisim) 3 සහ ට‍්‍රාන්ස්ලොකේෂන් (Translocation) ලෙසටයි.

මේ අතරින් බහුලව දක්නට ලැබෙන්නේ ට‍්‍රයිසොම් 21 වර්ගයයි. ට‍්‍රයිසෝමි 21 යනු 21 වැනි ජාන කට්ටලයේ අතිරේක ජානයක් පිහිටීම නිසා ඇති වන තත්ත්වයයි.

මෙම දරුවන්ගේ

  • මුඛය කුඩා වන අතරම උස් වූ වක‍්‍රයක් සහිතව තල්ල පිහිටා ඇත.
  • දිව විශාල වන සේ පිහිටා ඇති නිසා නිතරම මුඛයෙන් එළියට දිව දමාගෙන සිටියි.
  • නාසය පැතලිය. (නාස් අස්ථි සම්පූර්ණයෙන් වැඞී නැත.
  • ඇස් සාමාන්‍යයෙන් උඩ අතට හැරී පිහිටන අතර ඇස්වල ඇතුළු දාරයේ සමේ කුඩා රැුලි පිහිටා ඇත.
  • කන්පෙති කුඩාය. සමහර විට කන් පෙති නැත.
  • බෙල්ල මිටිය.
  • මාංශ පේශීන් ඉතා මෘදුය
  • හිස කුඩාය. හිසේ පිටුපස පැතැලිය.
  • අතේ පස්වන ඇඟිල්ල සාමාන්‍යයෙන් කුඩාය.
  • සම ඝනය, වියළිය.
  • සමහර විට හෘදය ආශ‍්‍රිත රෝග ඇත.
  • උදරය විශාලය.
  • ලිංගික වර්ධනය අඩාලය. වඳය.

මෙවැනි ලක්ෂණ නිසා මොවුන් ”ෆ්ලොපි බේබි” ලෙස හඳුන්වයි. මොවුන් මන්ද බුද්ධිකය.

මෙම දරුවන්ගේ මානසික තත්ත්වය මැන ගැනීමට බුද්ධිය පරීක්ෂා කරන ක‍්‍රමයක් ඇත. එම පරීක්ෂණය අයි කිවු ලෙවල් (I.Q. level) ලෙස හැඳින්වේ. ඩවුන්ස් සින්ඩ්‍රෝම දරුවන්ගේ ෂූ අගය 20 – 50 දක්වා පරාසයක පවතී. කෙසේ වෙතත් මෙම දරුවන් විනෝදයට කැමැතිය. මොවුහු සංගීතය පි‍්‍රය කරති. එමෙන්ම වෙනත් කෙනෙකු අනුකරණය කිරීමට දක්ෂය.

මෙවැනි දරුවන් ඇති වීමට හේතුන් ලෙස උපකල්පනය කරන්නේ :

  • මව විකිරණවලට නිරාවරණය වීම
  • අවු 38ට වැඩි වීම
  • දරුවන් අතර පරතරය අඩු වීම (මෙතෙක් තහවුරු නොවූ හේතුද ඒ අතර වේ)

ඩවුන්ස් සින්ඩ්‍රෝමය සුව කළ නොහැක. මොවුන්ගේ මෘදු මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ශක්තිජනක ව්‍යායාමවල යෙදවිය යුතුවේ. මුල සිටම භෞතචිකිත්සක ව්‍යායාම වෙත යොමු කිරීමෙන් මොවුන්ගේ කායික හා මානසික කි‍්‍රයාකාරකම් වැඩි දියුණු කළ හැකිවේ.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

ආවා… ආවා…ප්‍රතිඵල ආවා…

අගොස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ගේ වගේම දෙමාපියන්ගෙත් සිත් මහා බරකින් නිදහස් වුණත් අද මේ මොහොත වන විට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිසා එක්කෝ බොහෝ සතුටට පත්ව ඇති. එහෙමත් නැති නම් බොහෝ දුකට පත් වෙලා ඇති. දරුවන් හා දෙමාපියන් යන පාර්ශව දෙක ගැනම මම සඳහන් කලේ දරුවන්ගේ ජයග්‍රහණයේ නියමුවන් ගෙස කටයුතු කරන්නේ ආදරණීය දෙමාපියන් නිසාමයි. විභාගය ඉහළින්ම සමත් සතුට භුක්ති විඳින දරුවන්ට හා දෙමාපියන්ට සුභ පතන ගමන් බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල ලබා නොගත් සිතේ දුකෙන් ඉන්න දරුවන්ගෙ දෙමාපියන් වෙත මම සටහනක් තබන්න සිතුවා.

” ඔයා දන්නවද චමින්දගේ පුතාට ශිෂ්‍යත්වයට ලකුණු 171 ලු. ”

” ඉතිං හොඳයිනේ ”

” පොඩ්ඩක් ඉන්නකො කියන කල් ඒ ළමයා රෝයල් එකට යන්නලු හිතාගෙන හිටියේ දැන් ලකුණු මදි නිසා හොඳටම අප්සට්ලු චමින්ද සැරින් සැරේ කතා කරලා පොඩි එකාගේ හිත හැදුවා. ඒත් මිනිහත් හිටියේ හොඳටම අප්සටි වෙලා. ඒත් ඒ බවක් දරුවට නොදැනෙන්න තමයි කතා කලේ.”

ඇත්තටම මගේ හිතට පොඩි දරුවාගෙ හීනය බොඳ වීම ගැන ඇතිවුණේ දුකක්. ඒත් තාත්තා කෙනෙක් විදිහට චමින්ද කොයි තරම් බුද්ධිමත්ද කියලා මට හිතුනා. ජිවීතේ අපි වඩාත් අපේක්ෂා සහිත දෙයක් අපට අහිමි වු කල වැඩිහිටියන් ලෙස අපට ද දරා ගත නොහැකි වන අවස්ථා විරලය. වරු ගණන් දවස් ගණන් අපි ඒ ගැන හිත හිත ළතැවෙනවා. ඉතින් මේ පුංචි පැටවුන්ගේ සමනල හීනයක් බිඳ වැටුනම ඒ හිත් කොයි තරමි රිදුම් දෙනවා ඇත්ද?

” හෙලෝ… දුවට ලකුණු කීයද? ”

” 147 අනේ , හැමදාම පන්තියේ පළවෙනියා. මට නම් හොඳටම කේන්තිත් ගියා ”

” ඉතින් බැන්නද පොඩ්ඩට ”

” නැහැ, නැහැ , මොනවා කරන්නද දැන් බැනලා. කේන්තිය හිතේ පැත්තක දමලා , කමක් නැහැ පුතා ඔයා හොඳයි කියලා කිව්වා. අද ඉස්කොලේ ගියානේ එයාට වඩා පහළින් ඉන්න ළමයි හැමෝම එයාට වඩා ලකුණු අරගෙනලු.  මම මීට වඩා උනන්නදු වුණා නම් හොඳ ලකුණක් ගන්න තිබුණා කියලා දැන් දුක් වෙනවා. ඇත්තටම අපේ උනන්දුවට වඩා දරුවන්ට එයාලගේ හදවතින්ම දැනෙන්න ඕනී මේ දේ කරන්න ඕනී කියන දේ. එහෙම නැතිව අපේ බල කිරීමට විතරක්ම එයාලා ඉලක්ක සපුරගන්න යන්නෙ නැහැ කියලයි මට හිතුනේ. ”

ඇත්තම ජිවිතය කියන්නේ අභියෝගයක්. ඒ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට වර්තමානයේ අප ලබන අත්දැකීම් බොහොමත්ම වැදගත්ය.

” අපේ පුතාගේ ලකුණු 158යි”

” අනේ ඇත්තද හොඳයිනේ ”

” ඔව්, ඒත් කඩඉම් ලකුණ 159යි. එක ලකුණෙන් එහා මෙහා වුනේ. පුතාට හුඟාක් දුක හිතිලා. අපටත් එහෙමයි. ඒත් අපි එයාගේ හිත හදන්න උත්සහා කරනවා.”

දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඔවුන්ව උනන්දු කරවලා ඔවුන්ව දැනුමින් සන්නද්ධ කරන්න දෙමාපියන් වශයෙන් ඔබ දැරූ උත්සහය හා කැපකිරීම අගය කළ යුතුය. දැන් ඔබට පැවරී ඇත්තේ ඊටත් වඩා භාර දූර කටයුත්තකි. ලකුණකින් හිත තැලී මානසිකව ඇද වැටී සිටින ඔබේම දරුවා නැවත මානසික වශයෙන් ශක්තිමත්කර අනාගතයට සුදානම් කිරීම ඔබගේ යුතුකමය. දරුවන් අපි සිතනාවාටත් වඩා සිතනවා. එනිසාම ඔවුන් බෙහෙවින් දුකට පත්වේ. 171 ගත්ත පුතා දුක් වෙන්නේ එයාගේ හීනය බොඳ වුන නිසයි. 147 ගත්ත දුව දුක් වෙන්නේ විභාගයට එයා උනන්දුවෙන් මුහුණ නොදුන්න නිසයි. 158 ගත්ත පුතා දුක් වෙන්නේ කඩ ඉම් ලකුණ පසු කරගන්නට බැරි වීම නිසයි.

දන්නවද මේ දරුවො තුන් දෙනාටම වඩා ලකුණු 97ක් ගත්ත දරුවකු සතුටින් ඉන්න බව. මේ දරුවො තුන් දෙනාටම දෙමාපියන්ගෙ නොමද සහයෝගය වගේම උනන්දු කරවීමත් තිබුණනේ. ඒත් මේ පුංචි සමනලීට එහෙම තිබුණෙ නැහැ. පන්තියේ දුර්වල ළමයෙක් විදිහටයි උන්නේ. ඒත් එයාගෙම උත්හයෙන් උපකාරක පන්තියකටවත් නොයා මේ දරුවාගේම උත්සහයෙන් එයා ලකුණු 97ක්ම ලබා ගත්තා. ඇත්තටම එයාගේ අම්මවත් හිතලා නැහැ මේ විදිහට ලකුණු ගනියි කියලා.

” අම්මා මට ඉගෙන ගන්න පුලුවන් මට මං ගැන සතුටුයි ” කියලා පුංචිකමට එයා කිව්වලු.

එකම හේතුවක් නිසා කෙනෙක් ඇද වැටෙන කොට තවත් කෙනෙක් ඒ හේතුව නිසාම ජීවිතයට පන්නරය ලබා ගන්නවා. දරුවන්ව අභියෝග වලට සූදානම් කලයුත්තේ දුක් සැප සම සිතින් දරා ගන්නට පුරුදු කරමින්ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය … ඇත්තටම පහ වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවකුගේ මුලු අනාගතයම තීරණය කරන සන්ධිස්ථානයක් නෙමෙයි කියන එකයි මගේ මතය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  සිදු වන්නේ දරුවකුට පහසුකම් සහිත පාසලකට යන්න හා ශිෂ්‍යධාර ලබා ගැනීමට සුදුස්සන් තේරීමයි. පැය කිහිපයක් තුල දරුවන් වසර කිහිපයක් උගත් දෑ කොළයකට ගොනු කරද්දි අති දක්ෂ දරුවන් වුවත් කාලයට පරදින්නට පු`ඵවන්. ඇත්තටම තමන්ගෙ දරුවා අපේක්ෂිත ජයග්‍රහණය වෙත ළඟා නොවු නමි තව දුරටත් ඔවුන්ට බැන වදිමින් ඔවුන් නොහැකි පුද්ගලයන් යැයි චෝදනා කරමින් ඔවුන්ව මානසික වශයෙන් අවතැන් කරවන්න උත්සහා නොකරන්න. වැටුන තැනින් නැගී සිටින්නට ඔවුන්ට පන්නරය ලබා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතය පැහැබර වනු නියතය.

වැටුනු විට වරක්

නැගිටින්න අත දෙන්න…

වැටි වැටි නැගිටින කල

ලැබෙනු ඇත ජීවිතයට පන්නරය…

වැටුන තැන වැටුන ලෙස සිටියොතින්

ජිවිතය හැමදාම වැටුන තැනම වැටී

මිලිනව මියැදී යාවී…

ගෙවී ඇත ඊයේ , උදා වී ඇත අද

උදාවෙනු ඇත හෙටක්

ඉතින් කුමට සෝකය…

දරුපැටවුන්ට ජීවිතය පුරා

සතුටින් තටු සලා පියඹා යන්න

පන්නරය ලබා දෙන්න

අම්මේ තාත්තේ සෙනෙහසින් …

ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්රිය හා පියයුරු සම්බන්ධ සුලබ රෝග පිළිබඳ දැනුවත් වෙමු

දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන නිරෝගී දරු පැටියා අම්මාගේ සම්පතයි. ඔබේ දරුවාගේ නිරෝගී බව තහවුරු කරගැනීමට මෙන්ම යම් අසාමාන්‍යතාවයක් ඇත් දැයි දැන වෛද්‍ය උපදෙස් කරා යොමුවීමටත් මවක සතුව යම් දැනුමක් තිබීම ඉතා වැදගත් වේ. දරුවන්ගේ යම් යම් ඉන්ද්‍රියයන් ආශ‍්‍රිතව බහුල වශයෙන් දැකගත හැකි නොයෙක් ආකාරයේ විකෘතිතාවයන් මව්වරුන්ට හ`දුනාගත හැකිවන්නේ එවිටයි. මේ ලිපිය සැකසෙන්නේ ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්‍රිය හා පියයුරු ආශ‍්‍රිතව ඇති විය හැකි යම් යම් විකෘතිතා හ`දුනා ගැනීමට මව්වරුන් දැනුවත් කිරීමේ අටියෙනි.

ගැහැණු දරුවෙකුගේ ලිංගික පද්ධතිය තුළ මුත‍්‍රා මාර්ගය හා යෝනි මාර්ගය ප‍්‍රධානව පිහිටා ඇත. එසේම පිරිමි ශිෂ්ණයට සමාන වූ ක්ලයිටොරිස් ^Clitoris) සහ එම අවයව වට කොට සමෙන් ඇතිවු ආවරණ දෙකක් ද සහිතය. මේ අතරින් තෙතමනය පවතින කොටස ලේබියා මයිනෝරා (Labia Minora) ද වියලි සාමාන්‍ය සම ලේබියා මෙජෝරා (Labia  Majora) ද නම් වේ. ගැහැණු දරුවන්ගේ කන්‍යාපටලය යෝනි මාර්ගය පටන් ගන්නා ස්ථානයෙහි පිහිටයි. යෝනි මාර්ගයට ලිහිසි ද්‍රව්‍ය ශ‍්‍රාවය කරන බාතෝලියන් සිස්ට් (Bartholian Cyst) නම් ග‍්‍රන්ථ දෙකක් යෝනි මාර්ගයේ දෙපස පිහිටා තිබේ. මේ පිහිටීම්වල යම් යම් අසාමාන්‍යතා ඇතැම් විට දැක ගත හැකිය.

ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්රිය ආශිරතව ඇති සුලබ රෝග තත්ත්ව : 

සම්පූර්ණ ලිංගික පද්ධතිය වැසී පැවතීම  (ලේබියල් ඇඞ්හිෂන්ස් – Labial Adhesion)

මෙහිදී සිදුවන්නේ තෙතමනය සහිත ලේබියා මයිනෝරාවන් සුළු සීරීම් හෝ ආසාදන හේතුවෙන් එකට ඇලීම සිදුවේ. මේ නිසා මුත‍්‍රා මාර්ගයේ විවරය හෝ යෝනි මාර්ගයේ විවරය, සම්පූර්ණයෙන්ම හෝ එසේත් නැතිනම් මද වශයෙන් හෝ වැසී යා හැක. එමගින් මුත‍්‍රා පිටකිරීමේදී ඇති වන අවහිරතාවය සහ යෝනි මාර්ගයේ ශ‍්‍රාවයන් පිටතට නොපැමිණීමෙන් ඇති වන විෂබීජ තත්ත්වය නිසා ඒ අවට කැසීමක් ඇති විය හැකිය. එසේම දුර්ගන්දයක් ඇතිවීමටද ඉඩ ඇත. එය මුත‍්‍රාශයේ හෝ වකුගඩුවල ආසාදන තත්ත්වයන් ඇති වීමට හේතුවක් විය හැකිය. මෙවැනි අවස්ථාවන්වලදී  එය ඉතා භයානක තත්ත්වයක් යැයි සිතා දෙමාපියන් බොහෝ සේ කලබලයට පත් වුවද  ඕනෑම තෙතමනය සහිත පෘෂ්ඨ දෙකක් ආසාදනය වී හෝ සිරීම් ඇති වී එක ළග තිබෙන විට ඇලීම් ඇති වීම ස්වභාවික තත්ත්වයකි.

වැඩිවිය පත් වූ  දැරියකට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවන්නේ සිරුරේ පවතින ඊස්ට‍්‍රජන් /ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන මගින් ඇලිම වළක්වාලන බැවිනි. කුඩා ගැහැණු දරුවන්හට මේ තත්ත්වය ඇති වූ විට ඊස්ට‍්‍රජන් හෝමොනය ඇතුළත් ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මත ලබා දේ. ආලේප මගින් 100%ක් මෙම තත්ත්වය සුව අතට හැරණද ගැහැණු දරුවා වැඩිවිය පැමිණෙන තෙක් වරින් වර මේ පිළිබ`ද අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

සැ. යු. හෝමෝන වර්ග අඩංගු ආලේපන වර්ග කිසිදු විටෙක සති තුනකට වඩා වැඩි කාලයක් භාවිත නොකළ යුතුය. මන්ද එහි අන්තර්ගත හෝමෝන නිසා ගැහැණු දරුවා ද්විතියික ලිංගික ලක්‍ෂණ පෙන්නුම් කළ හැකි නිසාය. යම් හෙයකින් දරුවා ද්විතීයික ලාංගික ලක්‍ෂණ පෙන්නුම් රයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවනන.

කන්යාපටලයේ සිවිය වැඩිපුර පැවතීම (Hymnal tags)

මෙය රතු පැහැයෙන් හෝ අසාදනයක් ලෙස හෝ පිහිටිය හැකි අතරම සුළු ශල්‍යකර්මයකින් ඉවත් කළ හැකි වේ.

යෝනි විවරය සම්පූර්ණයෙන්ම විවෘතව නොපැවතීම (Imperforate Hyman)

ඉතා කලාතුරකින් හමුවන මේ අවස්ථාවේදී සිදුවන්නේ ගැහැණු දරුවා වැඩිවිය පැමිණි පසු ඔසප් රුධිරය ගලා යෑමට එමගින් ඇති වන බාධාව නිසා යෝනි මාර්ගය සහ ගර්භාෂය ඔසප් රුධිරයෙන් පිරෙන අතරම අධික වේදනාවක් හට ගැනීමයි. මේ සඳහා සරල ශල්‍ය කර්මයක් මගින් සහනය සලසාගත හැකිය.

බාතෝලියන් ග‍්‍රන්ථ ඉදිමීම

ඉඳහිට වාර්තා වන මේ තත්ත්වය විශේෂිත ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි.

ඊට අමතරව මුත‍්‍ර මාර්ගයේ බිත්තය පහළට වැටීම (Urethral Prolapse) මුත‍්‍ර මාර්ගයේ ඇති වන වතුර ගෙඩි (Urethral Cysts)/ගුද මාර්ගය, යෝනි මාර්ගය ආසන්නයේ පිහිටීම/ ගුද මාර්ගය යෝනී විවරය තුළ පිහිටීම වැනි අවස්ථාද කලාතුරකින් දැකගත හැකි අතරම මේ තත්ත්වයන් ද විශේෂ ශල්‍යකර්ම මගින් යථා තත්ත්වයට පත්කිරීම සිදු කළ හැකිය. එසේම පිරිමි දරුවන් ලිංගිකව, ගැහැණු දරුවන් ලෙසද ගැහැණු දරුවන් ලිංගිකව, පිරිමි දරුවන් ලෙසද පිහිටන අවස්ථා ද දරුවන් අතර වාර්තා වේ. දරුවාගේ අනන්‍යතාවය තහවුරු කිරීම උදෙසා පළමුව දරුවාගේ නිවැරදි ලිංගිකත්වය පරීක්‍ෂා කොට සැත්කම් මගින් නිවැරදි ලිංගිකත්වයට ඉක්මණින්ම දරුවා යොමු කරයි.

මවගේ හෝමෝනවල බලපෑම මත ඉපදුණු විගස දියණියකගේ ගර්භාෂයේ රුධිර වහනයක් ඇති වී යෝනි මාර්ගයෙන් රුධිරය පිටවුවද ඒ තත්ත්වය දින දෙක තුනකින් මගහැරී යයි.

මේ අවස්ථාව හැර යෝනි මාර්ගයේ රුධිරය පිටවිය හැකි අවස්ථා ලෙස දැරියක වැඩිවිය පැමිණීම දැකවිය හැකිය. නමුත් එම වයස් සීමාවට නොපැමිණිනි කුඩා දැරියකට මෙවැනි තත්ත්වවයක් ඇති වන්නේ නම් එය ඉතා කුඩා වයසේදීම සිදුවිය හැකි වැඩිවිය පැමිණීමක් (Precocious puberty) නිසා විය හැකිය. කෙසේ වුවද රුධිරය සමග සැරව හෝ දුගදක් හමන්නේ නම් යෝනි මාර්ගයේ සිරවී ඇති අමතර ද්‍රව්‍ය (Foreign Bodies) තිබේදැයි සොයා බැලීම ස`දහා වෛද්‍ය උපදෙස් පරිදි ස්කෑන්  (US / CT Scan) පරීක්‍ෂණ හා ස්කෝප්  පරීක්‍ෂණ (Cystoscopy/Vaginocsopy) වෙත යොමුවීම වැදගත් වේ.

දරුවන්ගේ පියයුරු අශ‍්‍රිතව දැකිය හැකි සුලබ රෝග තත්ත්ව: 

මවගේ කිරි නිපදවීමේ හෝමෝන දරුවා තුළද ක‍්‍රියාත්මක වීම නිසා දරුවාගේ ද කිරි නිපදවී තනපුඩුවලින් කිරි පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. දරුවාගේ කුඩා තනපුඩුවල ප‍්‍රධාන නාල වර්ධනය වී නැති අවස්ථාවන්හිදී කිරි එකතුවී අසාදනයට ලක්විය හැකිය. මෙවිට කළ යුත්තේ  මද රස්නේ වතුරෙන් තවන ගමන් ඉතා මෘදුව කිරි ඉවත් කිරීමට උත්සාහ ගැනීමයි. තන පුඩු පැසවා සැරව එකතු වී ආසාදනයට ලක් වුවහොත් ශල්‍යකර්මයකට යොමු කිරීමට සිදුවන අතරම ගැහැණු දරුවෙකුගේ නම් ඇයගේ පියයුරුවල මතු ක‍්‍රියාකාරීත්වයට බාධාවක් නොවන පරිද්දෙන් ශල්‍යකර්මය සිදුකිරීම වඩා වැදගත් වේ. (අතීතයේදී දරුවාගේ තනපුඩු මිරිකා කිරි ඉවත් කිරීමට වැඩිහිටියන් පුරුදුව සිටියද එමගින් පියයුරුවල පටක තුවාල වී කිරි සමග මිශ‍්‍ර වී බැක්ටීරියා ආසාදනයක් ඇති විය හැකිය. ඒ හේතුවෙන් සැරව ගෙඩි ඇතිවේ. එබැවින් මිරිකා කිරි ඉවත්කිරීම අවදානම් සහගත විය හැකිය.)

තවද ඇතැම් දරුවන්ගේ කුඩා කාලයේදීම අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනය වන අවස්ථා දැක ගත හැකිය. ගැහැණු දරුවන්ගේ පමණක් නොව පිරිමි දරුවන්ගේද එක් පැත්තක පියයුරක් අසාමාන්‍ය ලෙස වර්ධනය වන අවස්ථා සුලබව දැක ගත හැකිය. පියයුරේ තනපුඩුව යට බොත්තමක් (Breast Disc) සේ ඇති කොටස ඉදිමී වේදනාවක් ගෙනදෙන අතරම මේ තත්ත්වය ඇති වීමට විශේෂිත හේතුවක් ස`දහන් කළ නොහැකිය. එසේම ඇතැම් ගැහැණු දරුවන්ගේ පියයුරුවල ගෙඩි වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම ඔවුන්ට ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය වේ.

මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ පරිණත නොවූ ගැහැණු දරුවන්ගේ පියයුරු එකම ප‍්‍රමාණයෙන් වර්ධනය වන්නේ නම් කුඩා කාලයේදීම වැඩිවිය පත්වීමේ (Precocious puberty) පෙරනිමිත්තක් ලෙස එය දැක්විය හැකිය.

දරුවන්ට ඇති විය හැකි යම් යම් ආබාධ පිළිබදව හ`දුනා ගැනීමට මව්වරුන් ලෙස ඔබ තුළ කෙතරම් දැනුවත් බවක් තිබිය යුතුද යන්න පිළිබ`දව දැන් ඔබට පැහැදිලි ඇති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශල් වෛද් විශේෂඥ ඵස්. කස්තුරි මහතා සමග සකස් කරන ලද ලිපියකි.

අම්මේ මට කතාන්දරයක් කියලා දෙන්න.

පුංචි දරුවන් අත්තම්මලාට කිට්ටු වෙලා කථන්දර අහන්න අතීතයේදී දැක්වූයේ පුදුම කැමැත්තක්.අත්තම්මලාත් දරු මුණුපුරන් ලං කරගෙන කථන්දර කියලා දුන්නේ බොහොම කැපවීමෙන්. එය ඔවුන්ගේ ජීවිතයේ එක් රටාවක් වුණා.

නමුත් අද දවසේ අත්තම්මේ…එහෙම නැත්නම් අම්මේ මට කථන්දරයක් කියාගෙන උකුලට එන්නේ නැහැ. එහෙම එන්න තරම් ඔවුන්ට වෙලාවක් ඇත්තේ නැහැ. අම්මලා අත්තම්මලාටත් ගෙදර දොර වැඩයි…රූපවාහිනි වැඩසටහන් සමග තිබෙන සම්බන්ධතාවයයි නිසා දරු මුණුපුරන් සමග විවේකව කාලය ගෙවන්න අවසරයක් නැහැ.

අපි කථාන්දර අසන දරුවන් ගැන ඒ තරම් දුරට සුබවාදීව නොසිතුවට එයින් දරුවට ලැබෙන වාසි බොහොම ඉහලයි.අද පාසල් වයසේ දරුවන් මුල් කර ගෙන නැගෙන ලොකුම චෝදනාව වෙන්නේ මේ ළමයි කිසිම දෙයකට අවධානය දෙන්නේ නැහැ…ඒත් කථන්දර අහන දරුවන් මීට වඩා වෙනස්..කථාවක් කියා ගෙන යද්දී ඔවුන්ගේ හිතට නැගෙන අදහස නිසාම කථාව සමග දරුවන්ගේ අවධානය මොනතරම්ද වග අපට තේරුම් ගත හැකියි.

ඉතිං ඊට පස්සේ…

ඔන්න එකමත් එක රටක කියලා පටන් ගන්න කථන්දරය අවසාන වෙන තෙක්ම දරුවන් කථාවට සම්බන්ධ වෙනවා. කථාව අහන අතරවාරයේම හූ මිටි තියන්නත් ඕන…මේ නිසා කථාව සමග දරුවාගේ අවධානය මුල සිටම බැ‍ඳීමෙන් සිද්ධ වෙනවා. යම් තැනකදී ඉතිං ඊට පස්සේ මොකද වුනේ කියන ප්‍රශ්නය දරුවාගේ හිතට නැගෙන්නේ ඔහුගේ තිබුන අවධනයේ ප්‍රබලතාවය නිසයි.කතාව තව දුරට කියාගෙන යද්දි දරුවාගේ හිතේ මෙහෙම පැනයක් නැගෙනවා.

පුංචි කුමාරි ‍බේරාගන්න රජතුමාට තිබුනා නේද…

දරුවාගේ හිතේ විකල්ප අදහස් ඇති වෙනවා. මේ නිසාම දරුවා නොදැනම යම් යම් තීරණ ගැන අදහස් බාල කාලයේ පටන්ම ගොඩ නැගෙනවා. අද දරුවන්ට කිබෙන ලොකුම ගැටලුව වී තිබෙන්නේ කන බොන දෙය පවා මව්පියන්ගේ තීරණ මත සිද්ධ සමහර සන්ධිස්ථාන ගැන දරුවන්ගේ හිතේ ඇතිවෙන ගැටළු වලට ඔවුන්ම පිලිතුරු සපයා ගන්නවා.

මෙම විකල්ප විසඳුම් සොයන විට දරුවන්ගේ නිර්මානශීලී සිතුවිලිත් ඉබේටම පෝෂණය වෙනවා. නිර්මානශීලිත්වය එක රැයකින් ගොඩ නගන්න බැහැ. එය ජීවිතයෙන්ම පෝෂණය ලබන්න අවශ්‍යයි. කථාන්දරවලට හොඳින් සවන්දෙන දරුවන් තුළ රසභාවයන් ගොඩ නැගෙන නිසාම ඔවුන්ගේ ජීවිතයට නිර්මාශිලිත්වය අමුතුවෙන් එන්නත් කළ යුතු නැහැ.

මමත් ආසයි වීර කුමාරායා වගේ වෙන්න

අතීතයේදී දරුවන්ගේ ජිවිතය වෙනුවෙන් වටිනා ආදර්ශ ලැබුනේ කතාන්දරවලින්. ගැමුණු කුමාරයාගේ දස මහ යෝධයෝ ගැන, විහාරමහා දේවිය වැනි චරිත විතරක් නොවෙයි කීකරු දරුවන්ට ලැබෙන හොඳ විපාක ගැනත් අපූරු ආදර්ශ ලබා දුන්නා. බොරුවට කොටියා ආවා කියලා ගම රවටන ලද දරුවා කොටියාට බිලිවුන හැටි අහන දරුවාගේ හිතේ එහි විපාක ගැන අදහස් ගොඩ නැගෙනවා. මේ දේ නරකයි…මේ දේ හොඳයි යන අවවාද වලට වඩා කතන්දර දරුවාගේ හිතට සමීප වුණා.

එදා මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්ධ වුන කතන්දර කලාව ගැන අද බොහොම වටිනාකම් ගොඩ නැගිලා තිබෙනවා. මෑතකදී සිදුකරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ කතාන්දර මගින් දරුවන්ගේ අධ්‍යාපනයට 87 % ත පිටුබලයක් ලැබෙන බවයි. මේ නිසා අද ලෝකය පුරා කතන්දර කලාව ගැන බොහොම ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒත් මොනතරම් හිතකර ප්‍රතිඵල ලැබුනත් කාර්යබහුල ජීවිතය නිසාම කතාන්දර අහන්නත් කියන්නත් අද වෙලාවක් නැහැ.අධ්‍යනයට සම්බන්ධ උදවියගෙන් 13% ක්ම කියා සිටියේ දරුවන්ට කථාන්දර කියා දෙන්න ඔවුන්ට වලාවක් නැති බවයි. නමුත් අධ්‍යනය සිදු කරන ලද පර්යේෂකයන් කියා සිටියේ සතියකට එක් දිනයක්වත් මේ වෙනුවෙන් උපයා ගත්තොත් දරුවන් වෙනුවෙන් ඉතා හිතකර වාතාවරණයක් ගොඩ නැගෙන බවයි.

තම දරුවන් වෙනුවෙන් කතාන්දර කියා නොදෙන මව්පියන් වුනත් කියා සිටියේ ඔවුන්නම් බාල කාලයේදී කතාන්දර අසා රස වින්දනයක් ලබා ගත් බවයි.

එහෙමනම් ඔවුන්ගේ දරුවන්ට කතාන්දර කියා නොදෙන්නේ…

අද විද්‍යුත් නාලිකා ඉතා ප්‍රබලයි. ඒ වගේම විසිතුරුයි.දරුවන් වඩාත් කැමැත්තක් දක්වන්නේ මේ නාලිකාවන් සමග සම්බන්ධ වෙන්නයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පහසුකම් නිවසේම තිබෙනවා.

දරුවන් බලන කියන දේ ගැන පසුවිපරම් කරන්නත් බැහැ.

අද දරුවන් තමන්ට ගැලපෙන දෙය සහ නොගැලපෙන දෙය අතර වෙනස තෝරා ගන්න දන්නෙත් නැහැ. ඒවා තෝරා දෙන්න මව්පියන්ටත් අවස්ථාවක් නැහැ. මේ නිසාම දරුවන් තමාට නොගැලපෙන දෙයට දක්වන නැඹුරුතාවය ඉහලයි. ඒත්…වැඩිහිටියෙක් කියා දෙන කතාන්දරයකදී ඔවුන් ඒ ගැන සීමාවන් පනවා ගන්නවා. වෙන දෙයක් තබා නින්දට යන වේලාවට හිතට බිය ගෙන දෙන කතාන්දරයක්වත් දරුවන්ට කියා දුන්නේ නැහැ. ඒ වෙලාවට හිත නිවෙන කතාවක් කියලා දුන්නේ දරුවා හීනෙන්වත් බය වීම හොඳ නැති නිසයි.එදා දරුවන් හැම දෙයම මව්පියන්ගෙන් ඉගෙන ගත්තා. අද තොරතුරු සන්නිවේදන තාක්ෂනයේදී දරුවන් මව්පියන්ට වඩා ඉදිරියෙන්. මේ නිසා ඔවුන් නොමග යන රටාව මව්පියන්ට තේරුම් ගැනීමත් අසීරුයි.

ඒත්…මනෝ විද්‍යාව නොදැන හිටියත් එදා උදවිය අත්දැකීමෙන් ලබා ගත් පන්නරය මහත් ආශ්චර්යක්. අද දරුවන් නන්නත්තාර වීම ගැන අපි චෝදනා කලාට ඒ පිටුපසින් තිබෙන හේතු ගැන තවමත් දන්නේ නැහැ. මේ වගේ සරල රටාවන් මගින් එදා දරුවන්ගේ හිතේ සියුම් තැන් බොහොම සීරුවට වැඩිහිටියන් තේරුම් ගත්තා. අදටත් අපි  මේ වෙනුවෙන් ප්‍රමාද නැහැ.

 

දරුවාගේ හිත කියවන මනෝවිද්‍යාඥයෙකුගේ තැනට ඔබ පත් වෙන්න

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති පිරිසක්. ළමයින් ඉන්න ඕන අපි කියන විදිහට….අම්මලා තාත්තලාගේ ආකල්පය මේ විදිහට සැදුනත් ඇත්තටම අපි අද දරුවාට දක්වන ආදරය සහ කරුණාව අනාගතයේදී දරුවාගේ පෞරෂ ගති පැවැතුම් සකස් වීමට බෙහෙවින් පාදක වෙන බව අමතක කළ යුතු නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවාගේ හිත කියවන්න දන්නා මනෝවිද්‍යාඥයෙකුගේ තැනට පත් වීම අවශ්‍යයි.

එසේ නම් අපි දරුවාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් සූදානම් කරන්නේ කොහොමද ? හැම අම්මා කෙනක්ම තාත්තා කෙනෙක්ම හිතන්නේ හිටු කියන තැන සිටින විදිහට දරුවා හැඩ ගසා ගත්තොත් ඔබ දිනුම් බවයි. එහෙත් ඔබ නොදැන සිටියාට ඒවායේ පසුවිපාක ඉතාම දරුණුයි. මනෝ විද්‍යාඥයන් සඳහන් කරන අන්දමට අද සමාජයේ වැදගත් තැනකට පත් ඇතැම් පුද්ගලයන්ට පවා ප්‍රශ්න වලට මුහුණ දීමේ ආත්ම ශක්තිය නැහැ. මෙම පුද්ගලයන් අලලා සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ එම පුද්ගලයන්ගේ බාල කාලය ඉතාම අමිහිරි අන්දමින් ගෙවුන බවයි. අම්මා තාත්තාගේ අණසක මිස එයින් ඔබ්බට ගිය ආදරය කරුණාව මේ පුද්ගලයන්ට ලැබී කිබුනේ නැහැ. ඒ නිසාමදෝ ඔවුන් සමාජ ගැටළු ඉදිරියේ ඉතාම බෙලහීන චරිත බවට පත් වුණා.

අපි අතර තිබෙන එක් වැරැදි අදහසක් තිබෙනවා ඒ අනුව කියන්නේ දරුවන්ට ආදරය පෙන්වීම අවශ්‍ය නැති බවයි. නමුත් අපි අතර තිබෙන මෙම අදහස දැන් ප්‍රතික්ෂෙප විය යුතුමය. ඇත්තටම දරුවන්ට දැනෙන්න ආදරය තළ යුතු බව දැන් මනෝවිද්‍යාඥයන් පවා පිළිගෙන තිබෙනවා. තමාට මව්පියන්ගේ ආදරය දැනෙන්න ලැබෙන විට තමා ආරක්ෂිතය යන ධනාත්මක සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වන නිසා ඔහු තුල ආත්ම ශක්තිය වර්ධනය වෙනු ඇත.

ඇමරිකානු ජනාධිපතිවර ඒබ්‍රහම් ලින්කන් වරක් සඳහන් කළේ උපත ලබන විට දරුවාගේ හිත පිරිසිදු පුවරුවකට සමාන බවයි. එයින් අනතුරුව ජීවිතය සමග දරුවා ලබන අත්දැකීම් අනුව ඔහුගේ චිත්ත ශක්තීන් වගා වෙනු ඇත. එහි මුල්ම දායකත්වය අම්මා සහ තාත්තාය. එයින් අනතුරුව සහෝදර සහෝදරියන්ය. මෙම පිරිස් සමග දරුවා ගෙවන ජීවිතය තුළ අනාගතයේ සමාජයට මුහුණ දීමේ ශක්තිය ගොඩ නැගෙනු ඇත.මේ නිසාම දරුවාගේ මුල් ළමා විය තුළ ඔහුට අවමන් නොකළ යුතුය. බොහෝ මව්පියන් ඉතාම පහසුවෙන් දරුවන් මෙල්ල කරන්නේ මෙම අවධියේදීය. ඊට හේතුව දරුවා මෙම කාලය ගත කරන්නේ මව්පිය අණසක යටතේය.

අපි කන්න බොන්න දෙනවා නම් දරුවන් අපි කියන විදිහට සිටිය යුතුයි. ඔබ සිතන්නේ එසේය. එහෙත් දරුවාටද යම් ස්වාධීනත්වයක් ඇත. තෝමස් අල්වා එඩිසන් පාසල් කාලයේදී කැපී පෙනන දක්ෂයෙක් වූයේ නැත. ඔහු ඉතා දුර්වල දරුවෙකි. මේ නිසා දිනක් විදුහල්පතිවරයා තෝමස් අත මවට ලිපියක් එව්වේය. එහි තිබුනේ මේ මෝඩ දරුවා පංතියට හිරිහැරයක්….ඔහු ඉගෙන ගන්නා එකෙක් ‍නොවෙයි….ඒ නිසා පාසලට එවන්න එපා යනුවෙන්ය.

මව කිසිදු වෙනසක් නොදක්වා ලිපිය කියවාගෙන ගියාය.

අම්මේ ලොකු සර් මොකද කියන්නේ….තෝමස් ඇසුවේය.

මගේ පුතා හරි දක්ෂයෙක්….ඒ නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා…අම්මා පිලිතුරැ දුන්නාය.තෝමස්ට ආත්ම විශ්වාසය ගොඩ නැගුනේ එතැනදීය. ඔහු පසුකලෙක විද්‍යාඥයෙක් බවට පත් වීමේ පන්නරය අම්මා නිහර්ඬව ලබා දුන්නාය. ඇය එම අවස්ථාවේදී දුම්මල වරම අතට ගෙන කාලකණ්නියා….අපිට උඹ ඉස්කෝලෙ යවලාවත් නිදහස් නැහැ. උඹට වියදම් කරන සල්ලිවලින් ගොනෙක් හැදුවා නම් මීට වඩා හොඳය යනුවෙන් කියමින් අවලාද නැගුවේ නැත එදා අම්මා එසේ තෝමස්ට අවමන් කළා නම් අද විද්‍යාඥයන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම එක්වන්නේ නැත.

කාලය නොදැනම ගෙවී ගියේය. අම්මාගේ මළගම හමාරව එක් දිනක් නිවසේ පැරණි පොත් පත් අවුස්සන විට තෝමස් අල්වා එඩිසන්ට මෙම ලිපිය හමු විය. මෙම ලිපිය දිනක විදුහල්පතිවරයා තමාට දුන් බව ඔහුගේ සිහියට නැගුණි.

එහි වූ දෙය කියවන විට තෝමස්ට අම්මා ගැන ඇති වුනේ අසීමිත ආදරයටත් වඩා ගෞරවයකි. මගේ අම්මා මොන තරම් බුද්ධිමත්ද….? ඔහු සිතුවේය. අම්මාගේ ප්‍රතිචාරය එදා මීට වඩා වෙනස් වුවා නම් …..අද තමා සිටින්නේ කොතැනද යන්න ඔහුටත් සිතා ගත නොහැක.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් ඇතැම් ගස් දෙපෙත්ත නිසරු වුවත් පසු කලෙක හොඳින් දළු ලනු ඇත. රිචඩ් බ්‍රැඩ්සන් අද ලෝකයේ සිටින කෝටිපතියෙකි. පංතියේ ගුරුවරයා දවසක් ඔහුට තර්ජනාත්මකව කියා සිටියේ  උඹ කවදා හෝ ලෝක හොරෙක් වෙනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි. ඇත්තටම ඔහු හොරෙක් නොව කෝටිපතියෙක් බවට පත් වූයේ ගුරුවරයාගේ අනාවැකි පුස්සක් බවට පත් කරමින්ය.

මේ නිසා කිසිදු දිනක දරුවන්ට නිගා දෙන සේ කතා නොකරන්න. ඔවුන්ට යම් අභිමානයක් ඇත.  ඒ අභිමානය අපි දරුවන් වෙනුවෙන් ලබා දීම අවශ්‍යය. දරුවන් පමණක් නොව සතුන් පවා අභිමානය ඉදිරියේ උත්තේජනය ලබන්නේ නම් දරුවන් වෙනුවෙන් අභිමානයක් අවශ්‍ය නැතැයි අපට තර්ක කළ නොහැක. අලියෙක් තමාට රාළහාමි යැයි ඇමතු විට මෙල්ල වෙන බවත් නයා වැනි විස සතුන් පවා ගරුත්වය ඉදිරියේ හීලෑ වෙන බවට සමාජ සම්මතයන් ඇත. එසේ නම් දරුවන් ඉදිරියේ මෙම ආකල්පය බැහැර විය යුතු නැත.

බොහෝ දෙනා හිතන්නේ ප්‍රසිද්ධියේ ලබා දෙන නිගාවන් නිසා දරුවා ලැජ්ජාවට පත්ව ඉදිරියේදී යහ මගට හැරෙන බවයි. විටෙක දරුවා එම වැරැද්දෙන් මිදෙනු ඇත. එය ඇත්තකි. එහෙත් තමාගේ ආත්මාභිමානයට ඇති වුන නිගාව ගැන මානසික ලෙසින් මහත් සේ කම්පාවට පත් වෙනු ඇත. එම කම්පනය හිතේ කොතැනක හෝ පැලපදියම්මව අනාගතයේ මානසික හුදෙකලාවට පත් චරිතයක් තුළ ඔවුන්ගේ ජීවිත ගොඩ නැගෙනු ඇත.

ළමා දිනය සමරන දිනට අපි දරුවන් ගැන මහත් ඉහලින් කතා බහ කරමු. ඔවුන් ජාතියේ ජීවනාලිය බව සිහියට නැගෙන්නේ එදාට පමණි. දරුවා යනු  රැකගත යුතු සම්පතය යන අදහස එදිනට පසුව හෙමෙන්ම අමතක වෙනු ඇත. දරුවාට නිවසේ ආරක්ෂාව නැත එතැනින් එපිටට ගම ගැන කතා කිරීම අවශ්‍යම නැත. දරුවා අපේ නම් අපි දරුවා වෙනුවෙන් සැදී පැහැදී ඔවුන්ගේ පෞරෂය ගොඩ නැගීමට දායක විය යුතුමය. එය ළමා දිනයට සීමා විය යුතු නැත. හෙට දවසේ වීරයන් ඔවුන්ය. මෙම වීරයන් බෙලහීනයන් බවට පත් විය යුතු නැත.

දරුවා නිතරම කෝප ගන්වන්න එපා

මවකට දරුවා සම්පතකි. මේ සම්පත අංග සම්පුරණ කර ගැනීමට නම් අම්මා අත රැදී ඇත්තේ විශාල වගකීමකි. නමුත් මවුවරුන් කොතරම් දරුවන්ට ආදරේ කලත් දරුවන් සමග ක්‍රියා කරන්නේ කොහොමද යන්න ඔවුන්ට ඇත්තේ ඉතාමත් අඩු දැනුමකි. ඔබ එපා කියන දේවල් සිදු කරන විට ඔබ දරුවාට යම් කිසි දඩුවමක් ලබා දිය හැකිය. ඔබ දරුවට දඩුවම් කරන විට හෝ යම් කිසි බැන වැදීමක් සිදු කරන ඔවුනට කේන්ති යන්නට පුළුවනි. පුංචි ළමා සිතකට වුවත් කෝප යෑම සාමාන්‍ය දෙයකි.

දරුවාට ඇති වන කෝපයේ අඩු වැඩි ප්‍රමාණය අනුව දරුවා ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස්ය. දරුවා කෑ ගසනවා, බිම පෙරළෙනවා, තම අත ඇති දේ විසි කරනවා, සෙල්ලම් බඩු කඩා දමනවා ආදී ලෙස විවිධ ස්වරූප ඔස්සේ තම කේන්තිය ප්‍රකාශ කරනවා. ඔබේ දරුවා ඉතාමත් කැමැත්තෙන්, සතුටින් සිදු කරන යම් ක්‍රියාවක් දරුවට හානි කර විය හැකිය. ඇතැම් දරුවන් යකඩ සහිත උපකරණ වලින්, පිහි වැනි දෑ වලින් සෙල්ලම් කිරීමට කිරීමට කැමතිය. එවැනි අවස්ථාවල දරුවාට යම් හානියක් සිදු වේ යැයි බිය නිසා ඔබ එය වලක්වන්න පුළුවනි. දරුවට ඉතාමත් කේන්තියෙන් බැන වැද ඔබ ඒ භාණ්ඩය දරුවාගෙන් උදුරා ගන්නට පුළුවනි. එවැනි අවස්ථාවල දරුවන්ට කේන්ති යන අවස්තා ඔබ දැක ඇත. ඔබ දරුවාගේ ආරක්ෂාව ගැන එසේ සිදු කල බව දරුවට අවබෝධයක් නැත. ඒ නිසා ඔබ එවැනි අවස්ථාවක දරුවාගේ ප්‍රියතම භාණ්ඩ ඉල්ල ගන්නේ නම් දරුවාට සැර කරන්න යන්න එපා.

දරුවන් මෙවෙනි අවස්ථාවල විවිධ ආකාරයට හැසිරිය හැකිය. ඔබට දරුවන්ගේ කේන්තිය ගන්න ගන්නේ නැති වෙන්න පුළුවනි. ” ඕනෑ තරම් අඩපුවාවේ. එයාට ඕනෑ විදියට නටන්න දෙන්න බෑ. ” කියා ඔබ නිහඩ වෙනවා ඇති. මේ හරහා දරුවා තවත් කෝප වෙනවා. සමහර දෙමවුපියන් මෙවැනි අවස්ථාවල දරුවන්ට සුළු පහරක් හෝ ගසනවා. මේ හරහා දරුවා මුරණ්ඩු වෙනවා. එම නිසා දරුවට සෑම දෙයක්ම ආදරෙන් පවසන්න.

දරුවාගේ මෙවෙනි මුරණ්ඩු ගති පැවතුම් සෑම විටම දරුවාගෙන් ඈත් කරන්න. දරුවාට ආවේගයක් ඇති වන විට නිතරම ඔහු අස්වසන අයුරින් ක්‍රියා කර දරුවාට ඔබ  කෙරෙහි විස්වාශය ඇති කරවන්න. ළමයින් උප්පත්තියෙන්ම විවිධ අංශ වලට දක්ෂතා පෙන්වනවා. දරුවාට ක්‍රමයෙන් විවිධ ක්‍රියා කිරීමට, තීරණ ගැනීමට. අත්දැකීම් ලබා ගැනීමට අවස්තාව සලසා දෙන්න.

ඔබේ දරුවාට කේන්තිය ඇති වන විට ඔහුට දඩුවම් ලබා දෙන්න එපා. දරුවාට යම් කිසි ක්‍රියාවකට කේන්ති යන්නේ නම් ඔහුට එම සිදුවීම අමතක වන්නට ඉඩ හරින්න. ඔබ එපා කියන දේම දරුවා සිදු කරන්නේ නම් ඔහුගේ අවධානය වෙන පැත්තකට හරවන්න. දරුවා එපා කියන දෙයක් කරන විට එපා නොකියා ” පුතේ එන්න අම්මා ඔයාට ලස්සන කතන්දරයක් කියලා දෙන්න” ආදී ආදරණිය ලෙස වචන භාවිතා කරන්න. දරුවන් කතන්දර අසන්නට ඉතාමත් කැමතිය. නමුදු දරුවා කිසිම විටෙක රවට්ටන්න එපා. එම නිසා දරුවාගේ ළමා ලෝකය පළමුවෙන්ම හදුනා ගන්න.