ත්‍රිපෝෂ සඳහා ආදේශක සකස් කිරීම සහ ත්‍රිපෝෂවලින් රසවත් රෙසිපි

සැමවිටම තම දරුවන්ගේ පෝෂණය ගැන අපේ මව්වරුන් සිටින්නේ කණස්සල්ලෙන්. දරුවාගේ ආහාර වේලේ පෝෂණය වර්ධනයට ප්‍රමාණවත්ද? දරුවා කෙට්ටු වැඩිද ? ක්‍රියාකාරකම් ප්‍රමාද වෙයිද කියන ගැටලු අම්මාගේ හිතේ නිතර නිතර ඇති වෙනවා. දරුවන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීමෙන් ලබා දෙන ත්‍රිපෝෂ ගැන බොහෝ මව්වරුන් විශ්වාසය තබ‍ා සිටින්නේ එය සැබවින්ම දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙන ආහාරයක් නිසාමයි. ඒත් එකම ආකාරයට සකසා දීම නිසා දරුවන් ත්‍රිපෝෂ ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළ හැකියි. අන්න ඒ නිසාම අද මෙම ලිපිය තුළින් දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේදී ඒවා සකස් කර ගත හැකි වෙනස් වෙනස් ආකාරයේ රෙසිපි කිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 

ත‍්‍රිපෝෂ වල බඩ ඉරිඟු, සෝයා බෝංචි, කිරිපිටි අන්තර්ගත වන අතරම අද වෙද්දී ත්‍රිපෝෂ හිඟයක් පැවතුනත් ඒ වෙනුවෙන් ආදේශකයක් සකසා ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී අපිට පහසුවෙන් සපයා ගත හැකි ආදේශක එක් කොට එය සකසා ගත හැකියි. උදාහරණ ලෙස බඩ ඉරිඟු ධාන්‍යයක් නිසා ඒ වෙනුවට සහල්, සෝයා බෝංචි පියලි ඇට ඒ නිසා ඒ වෙනුවට කව්පි/මුං ඇට, කිරි පිටි වෙනුවට  ඕනෑම කිරි පිටි වර්ගයක්/කිරි වැනි ආදේශක යොදා නිවසේදීම එය සකසා ගත හැකියි. 

අපේ දරුවන්ට ත‍්‍රිපෝෂ ලබා දිය හැකි ආකාර  

අවුරුද්දට අඩු දරුවන්ට සීනි හා ලුණු ආහාරයට එකතු නොකරන බව සෑම මවක්ම දන්නා තරුණක්. එසේම ත‍්‍රිපෝෂ පිසූ ආහාරයක් නිසා නැවත රත් කලොත් එහි ගුණාත්මකභාවයට හානියක් විය හැකි බවත් සිහි තපා ගත යුතුයි.

ත්‍රිපෝෂ තලප ලෙස

මෙය මාස 6 ට වැඩි දරුවන්ට දිය හැකි ක‍්‍රමයකි. මේ සඳහා උතුරුවා නිවාගත් ජලය හා ත‍්‍රිපෝෂ මිශ‍්‍ර කර සාදාගත හැකියි. නැතහොත් පොල් වතුර/තැඹිලි වතුර එක්කර සතසා ගත හැකියි.

ත්‍රිපෝෂ පළතුරු සමග

මෙයද කුඩා ළදරුවන්ට සුදුසු වේ. මේ සඳහා පැපොල්, කෙසෙල් හෝ අලි පේර භාවිත කල හැකියි. 

සාදා ගැනීමේදී,

පැපොල් කැබැල්ල සූරා මදය භාජනයට දමා ගන්න. එයටම ත‍්‍රිපෝෂ එක්කර හොඳින් මිශ‍්‍ර කරගන්න. අවශ්‍ය නම් උතුරුවා නිවාගත් ජලය ස්වල්පයක් එක් කරන්න. මේ අයුරින්ම කුඩාවට කපා ගත් කෙසෙල් ගෙඩි සමග මිශ‍්‍ර කර හෝ අලි පේර ගෙඩියකින් භාගයක මදය සූරා එයට ත‍්‍රිපෝෂ එක්කර තලපයක් සේ සාාදාගත හැකියි. 

ත්‍රිපෝෂ හබල පෙති සමග

පොඟවා ගත් හබල පෙති සමග ත‍්‍රිපෝෂ එක්කර මිශ‍්‍ර කර සකසා ගත හැකියි. මෙයට රසවත් වීමට පොල් එකතු කරගත හැකියි. 

ත්‍රිපෝෂ අග්ගලා ලෙස

දරුවාට මාස 8, 9 වන විට කැබලි සහිත ආහාර ලබා දෙන නිසාම පොල් එක්කර අග්ගලා සකසා ගැනීමට හැකියි මේ සඳහා,

  • ගාගත් පොල් සමග ත‍්‍රිපෝෂ එක්කර ගුලි සාදාගැනීම
  • ගාගත් පොල් බැදීම/ඩෙසිකේට් කර එයට ත‍්‍රිපෝෂ එක්කර ගුලි කරගැනීමට අවැසි තරමට උතුරුවා නිවාගත් ජලය ස්වල්පයක් කලවම් කර අග්ගලා සාදා ගැනීම. 

මීට අමතරව දරුවා සඳහා සකස් කරගත් පොල් කිරි සහිත කැඳවලට හෝ කිරි හොද්දකට එකතු කර හෝ ත්‍රිපෝෂ ලබාදිය හැකියි. දරුවාට වසරක් සම්පූර්ණ වූ පස් ලුණු හා සීනි අඩංගු දේ සුළු වශයෙන් එක් කිරීම වරදක් නොවන හෙයින්. 

තලප සෑදීමේදී,

  • ඉදුණු කෙසෙල්/පැපොල්/අලිපේර සමග ත‍්‍රිපෝෂ එක්කර ඊට කිරි එකතු කිරීම  
  • මෙම මිශ‍්‍රණයටම බැද කුඩු කරගත් රටකජු කුඩු/කජු කැබලි/තල ඇට එකතු කිරීම 
  • එසේම මෙසේ සකස් කරන තලපයට පිරිසිදු පොල් පැණි/කිතුල් පැණි/හකුරු කුඩා ප‍්‍රමාණයක් එකතු කිරීමද කල හැකියි. 

අග්ගලා සෑදීම

  • ලියා ගත් හකුරු
  • පොල්
  • ත‍්‍රිපෝෂ
  • බැදගත් හෝ බැද නැති තල ඇට

මිශ‍්‍ර කර ගුලි සාදා ගැනීම

  • මේ සඳහා අමතරව රසවත්භාවය සඳහා හකුරු වෙනුවට කිතුල්/පොල් පැණි එකතු කල හැකියි. 
  • එසේම චොකලට් කුඩු කුඩා ප‍්‍රමාණයක් එකතු කිරීමද වෙනස් රසක් ලබාදීමට හේතූ වේ. 
  • බැද කුඩු කරගත් රටකජු, කජු කැබලි එක් කිරීම මගින් රසය මෙන්ම ගුණයද වැඩි කරගත හැකියි. 
  • හකුරු වෙනුවට, කුඩාවට කපාගත් රට ඉඳි ද යෙදිය හැකියි
  • එසේම වේලපු විදිද එකතු කිරීම කල හැකියි. 
  • හබල පෙති එකතු කිරීමේදී ද ඉහත ආකාරයටම එකතු කරගත හැකිවා මෙන්ම රසවත්භාවයද වෙනස් කරගත හැකියි. 
  • බැදපු මුං ඇට කුඩු කර එකතු කිරීමෙන්ද රසවත්භාවයද වෙනස් කරගත හැකියි. 
  • බැදපු මුං ඇට කුඩු කර එකතු කිරීමද රසවත්භාවයට මෙන්ම ගුණාත්මකභාවය වැඩි කිරීමට හේතුවක් වේ. 
  • රට ඉඳි එකතු කිරීමේදී රට ඉඳි ගෙඩි තුනක් පමණ මද උණුසුම් වතුරේ දියකර එකතු කිරීමෙන් තෙතමනයද පවත් ගත හැකියි. 
  • ආමන්ඩ් එකතු කරනවා නම්, එය උකු පොල් කිරි වලින් විනාඩි 3/4 ක් තම්බා ගෙන ඊට ත‍්‍රිපෝෂ හා රට ඉඳි/මුද්දරපලම් එකතු කර රසවත් ලෙස සකසා ගත හැකියි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ගේ දෙබිඩි චරිත

ඔබේ දරුවා සමහර විට නිවසේදී මුරණ්ඩු, අකීකරු සහ පවුලේ උදවිය සමග සහජීවනයෙන් කාලය ගෙවීමට සූදානමක් නොමැති දරුවෙක් විය හැකියි. ඒ වුනත් එවැනි දරුවෙකු සමාජයේදී ඉතාම යහපත් දරුවෙක් ලෙසින් සමාජානුයෝජනය වී සිටින්න පුලුවනි. ඒ වුනත් නිවසට යහපත් නොවන දරුවා බාහිර ලෝකයට බොහොම යහපත් චරිතයක් ලෙසින් කටයුතු කරන්නේ ඇයි…? අනේ ඔයාගේ පුතා හරිම හොඳ දරුවෙක්. අපේ වැඩට හරියට උදව් කලා… මේ විදිහට කියන විට ඔබේ හිතට සතුටක් දැනෙනු ඇත. නමුත් මේ කථා කරන ඔබේ දරුවා පිඟානක් කෝප්පයක් සෝදන තරම්වත් උදව්වක් ඔබට නොකරන්න පුලුවනි.

නිවස තුළ තමා ආරක්ෂිතයි..

ඔබේ දරුවා නිවසේදී ජීවත් වෙන්නේ ඔවුන්ට ඇවැසි අන්දමට විය හැකියි.දරුවාට නිවසේ මොන අන්දමින් හැසිරුනත් තමාට ආරක්ෂාව ලැබෙන බැව් දරුවා දන්නවා. ඒ නිසා අමුතුවෙන් ‘‘ හොඳ “ යන සංකල්පයක් ඔවුන් මුල් කර ගෙන ගොඩ නගා ගැනීමට දරුවන් තුළ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම දරුවා නිවසේදී තමන්ට ඇති ආරක්ෂාව ගැන තිබෙන සහතිකය නිසාම පවුල තුළ සාමකාමී චරිතයක් බවට පත් නොවන්නට ඉඩ තිබෙනවා.

තමාට අවශ්‍ය දේ ලබා ගත හැකි බැව් දන සිටීම.

නිවස තුළ දරුවාගේ හැසිරීම කෙසේ වුනත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලැබෙන බැව් දරුවා දන්නවා. වරදින්නේ නැති බත් පත අම්මාගෙන් නොවරැදීම ලැබුනත් සමාජයේදී එවැනි සංග්‍රහයක් ලැබීමට නම් දරුවා මුල් කර ගෙන සමාජයේ පිලිගැනීමක් අවශ්‍ය බැව් ඔවුන් තේරුම් ගන්නවා. ඒ නිසාම නිවසට වඩා පිටස්තරයන් ඇසුරු කිරීමේදී යම් හික්මීමක් අවශ්‍ය බැව් දන්නා නිසාම දරුවා  සමාජයට අවනත චරිතයක් ලෙසින් ජීවත් වෙනවා.

සමාජයෙන් නිවස තුලින් ලැබෙන තැන නොලැබීම.

සමහර විට දෙමව්පියන් වෙතින් සිදු වෙන අඩු පාඩු නිසාත් දරුවා නිවසට නොමැති හොඳ ගති පැවැතුම් සමාජයේදී ප්‍රදර්ශනය කිරීමට යොමු වෙනවා. එක් අතකින් සමාජයේදී පුංචි හෝ දෙයක් කිරිමෙන් ලැබෙන ප්‍රශංසාව නිවසේදී විශාල රාජකාරියක් කළත් නොලැබෙන්න පුලුවනි.ඒ නිසාම බොහෝ දරුවන් සමාජයට ඉතා යහපත් චරිත ලෙසින්  ප්‍රසිද්ධියට පත්ව සිටීමත් අමුතු තත්වයක් නොවෙයි.

දරුවන් සමාජයේදී යම් ආකාරයකින් කැප කිරීමක් සිදු කරනවා.

දරුවා නිවසේදී යම් කාර්යක් කළත් නොකලත් එය කා වෙතින් හෝ ඉටු වෙනවා. ඒ නිසා අමුතුවෙන් වෙහෙසීමක් අවශ්‍ය නැහැ. ඒ වුනත් සමාජයේදී හොදක් ලැබීමට නම් යම් කටයුත්තක් කිරීමේදී කැපවීම ඉතාම වැදගත්. තමා කැප වී මේ කාර්යය ඉටු නොකලොත් සමාජයේදී නින්දාවට පත් වෙන බැව් දරුවා හොදින් දන්නවා.

අපි මේ විදිහට උදාහරණයක් ගනිමු. නිවසේදී වෙසක් කුඩුවක් නිර්මානය කිරීමට දෙමව්පියන් විසින් අවශ්‍ය සියලු දේ ගෙනත් දුන්නත් , දරුවා එයින් අඩක් නිම කොට නිශ්ශබ්දව සිටින්නට පුලුවනි. මව්පියන් විසින් වෙසක් කූඩුව අවසාන කරන්නැයි ඉල්ලා සිටියත් දරුවා ඒ ගැන නොසලකා සිටින්න ඉඩ තිබෙනවා. ඒ වුනත් ගමේ හෝ පංතියේදී වෙසක් කුඩුවක් නිර්මානය කිරීමට දරුවාට බාර දුනහොත් එය වගකීමක් ලෙසින් සලකා කැපවීමන් අදාල කාර්යන් ඉටු කිරීමට දරුවා දැඩි උත්සාහයක යෙදනු ඇත.

නිවසට වඩා ඇගයුමක් ලැබීමමේ අන්දමින් තමාගේ කාර්යය අවසාන කිරීම නිසා දරුවාට සමාජයෙන් ඇගයුම් සහ ප්‍රශංසාවන් ලැබෙනු ඇත. නමුත් නිවසේදී කොතරම් අලංකාර ලෙසින් නිර්මාණයක් අවසාන කළත් ඒ ගැන කිසිදු ලෙසකින් ඇගයීමක් නොලැබෙන නිසාම දරුවාගේ උනන්දුව පෙහෙවින් මන්දගාමී වීමටත් ඉඩ තිබේ.

මව්පියන්ගේ පීඩනය

අද දවසේ දෙමව්පියන් ගෙවන පීඩාකාරි පරිසරය නිසාම දරුවන්ට සමීප වීමේ ගති පැවැතුම් බොහෝ දුරට දුරස් වි තිබෙනවා.අපි සියළු දුක් ගන්නේ දරුවන් නිසා කිව්වත් දරුවන්ට හදවතින් සමීප වීම ඉතාම වැදගත්. ඔබ දරුවන්ගේ හදවතින් දුරස් වීම නිසා ඔවුන් ඒ හිස් තැන සමාජයේ හොඳ නම දිනා ගනිමින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. නමුත් සෑම දරුවෙකුම එසේ නැහැ. ඔවුන් සමාජයේ හොද නම දිනා ගැනීමට වඩා සමාජ විරෝධී කටයුතු වෙනුවෙනුත් යොමු වීමට ඉඩ තිබෙනවා.එය ඇසිල්ලකින් සිදු විය හැකි අවදාම් සහිත තත්වයක්. ඒ නිසා නිතරම දරුවාගේ හදවතට සමීප වෙන්න.

හොඳ චරිතයක් වෙන්නේ කොහොමද..?

දරුවන්ගේ මේ දෙබිඩි හැසිරීම ගැන දෙමව්පියන් ලෙසින් ඔබ සිතන්නේ මොනවාද..? දෙව්දත් මවට මැනවි කියන්නා සේ අනේ ගෙදරට නරක් වුනත් කමක් නෑ සමාජයට හොඳින් සිටිනවා නම් ඒ ඇති කියා සිත සනසා ගන්නවාද..? ඔබේ දරුවා සමාජයේදී යහපත් චරිතයක් නම් ඒ තරම් අස්වැසිල්ලක් තවත් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

අනේ හොඳ දරුවෙක්..කියන වචනයේ පරිසමාප්තාර්තයෙන්ම හොඳ දරුවෙකු වීමට නම් ඔහු නිවසටත් හොඳ දරුවෙකු වීම වැදගත්. එසේ නොමැති නම් ඔහු ද්විත්ව රංගනයක යෙදෙන චරිතයක්. සැබෑ හොඳ දරුවෙකු නම් චරිත දෙකක් රගපෑමට අවශ්‍ය නැහැ. ඔහු සමාජයේදී පළදාගෙන සිටිනුයේ වෙස් මුහුණක් විය හැක.

වෙස් මුහුණ ගැලවෙන්න පුළුවනි..

සමාජයට පමණක් හොඳ නම දිනාගෙන සිටින දරුවාගේ මේ වෙස්මුහුණ ගැලවී යෑමේ අවදානමක් තිබෙනවා. සැබෑම යහපත් දරුවෙකු තුළින් මේ අන්දමින් දෙබිඩි ජීවිතයක් අපේක්ෂා කිරීමට බැහැ. එබේ දරුවා මේ අන්දමින් නිවසට එක ලෙසකින් හා සමාජයට තවත් ලෙසකින් වූ චරිත දෙකක් තුළ රංඟනයේ යෙදෙනවා නම් එය අනුමත කරන්න බැහැ. ඒ නිසා නිතරම දරුවා පවුලට, පාසලට, ගමට, රටට එක සේ යහපත් චරිතයක් ලෙසින් කිර්තිනාමය ගෙඩ නගා ගැනීම වැදගත්.දෙමව්පියන් ලෙසින් ඔබත් දරුවාට සමීප වෙන්න. ඔවුන් ආදරය වගේම ඇගයීමට, ප්‍රශංසාවට බෙහෙවින් ආදරය කරනු ඇති. ඒ ආදරය ඔවුන්ට ලබා දෙන්න.දෙමව්පියන් වෙතින් ලැබෙන ඇගයුම නිසාම ඔවුන් තමාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනු ඇත.

 

 

මන්කිපොක්ස් ලංකාවටත් එයිද?

කොවිඩ් 19 රෝගය නිසා පීඩාවට පත්ව සිටි අපි මේ වන විට එයින් යම් අස්වැසිල්ලක් ලබා තිබුණත් එහෙන් මෙහෙන් කන වැටෙන තවත් රෝග කිහිපයක් නිසා නැවතත් බියෙන් පසුවෙනවා. ඒ අතරින් මන්කිපොක්ස් නම් වූ රෝගය කොවිඩ් 19 මෙන් අපේ රට තුළ ව්‍යාප්ත වේද යන කණස්සල්ල මව්වරුන් තුළ පවතිනවා. 

මන්කිපොක්ස් කියන්නේ අලුතින් සොයාගත් රෝගයක්ද?

නැත. මන්කිපොක්ස් රෝගය මුලික්ම හඳුනා ගන්නේ 1958 දී මධ්‍යම හා බටහිර අප‍්‍රිකානු රට වලිනි. පළමු වතාවට නයිජීරියාවට සංචාර කරන ලද පුද්ගලයෙකු මෙම රෝගයෙන් පෙළුනු බවට අනාවරණය වී ඇති බවට කියැවේ. මෙය මේ වන විට යුරෝපීය රටවල පැතිරී යමින් පවතී.

මන්කිපොක්ස් යනු මන්කිපොක්ස් නම් වූ Orthopoxviral ඝනයට හා Poxviridae කුලයට අයත් වෛරසයක් හේතුවෙන් ඇති වන රෝගයකි. ආසාදිත පුද්ගලයෙකු ‍සති 2 – 4 දක්වා කාලයක් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතරම ඇතැම් විට රෝගය දරුණු තත්ත්වයට වුවද පත් විය හැකි අවදානමක් පවතී. මෙම රෝගය ආසාධිත පුද්ගලයෙක් එසේත් නැතිනම් සතෙක් හා සමීපව කටයුතු කිරීම නිසා හෝ වෛරසය මගින් දූෂිත වූ උපකරණ මගින් සම්ප්‍රේෂණය විය හැකිය. පුද්ගයෙකුගෙක් තව පුද්ගලයෙකුට තුවාල, ශරීර තරල, ස්වසන පද්ධතිය ආශ‍්‍රිත බිඳිති, ඇඳ ඇතිරිලි වැනි වෛරසය මගින් දූෂිත වූ ද්‍රව්‍ය වලින් සම්පේ‍ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඇත. 

මන්කිපොක්ස් වෛර ආසාදිතයෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ

  • උණ
  • වෙව්ලීම
  • හිසරදය
  • පේශී වේදනාව
  • තෙහෙට්ටුව
  • වසා ගැටිති ඉදිමීම

මන්කිපොක්ස් වෛරසය ආසාදනයට ලක් වූ ඇතැම් පුද්ගලයින්ට දින කිහිපයකට පසු සම මත පැතලි රතු පැහැති බිබිලි දදයක ආකාරයෙන් මතු විය හැකි අතරම ඒවා වේදනාකාරීය. ඉන්පසු මෙම මතු වූ බිබිලි සැරව බිබිලි බවට පත් වේ. අවසානයේ මෙම සැරව බිබිලි මත කබොල්ලක් ඇති වී පසුව ගැලවී යයි. මෙම ක‍්‍රියාවලිය සති 2 – 4 දක්වා පවතී. මෙම තුවාල මුඛය, යෝනිය හෝ ගුදයේද ඇති විය හැක. 

රෝගය හඳුනා ගැනීම සඳහා විවෘත තුවාලයකින් පටක කොටසක් ගෙන එය PCR පරීක්‍ෂණ (මේ වන විට අප රට තුළ මේ සඳහා පහසුකම් නොමැත) සඳහා යොමු කරන අතර ඊට අමතරව රුධිර පරීක්‍ෂණ මගින් ද වෛරසය/ප්‍රතිදේහ පරීක්ෂා කිරීම සිදු කරයි. 

මන්කිපොක්ස් රෝගය සඳහා ප‍්‍රතිකාර

සති 2 – 4 දක්වා කාලයක් ලක්‍ෂණ පැවතියද ප‍්‍රතිකාර නොමැතිව සුව වේ. මෙම රෝගයේ ලක්‍ෂණ දරුණු ලෙස පැවතියහොත් රෝග ලක්‍ෂණ අඩු කිරීම, රෝගියා විජලනයෙන් වළක්වා ගැනීම හා ද්වීතියීකව බැක්ටීරියා ආසාධනයක් ඇති වීම වැළැක්වීමට ප‍්‍රතිජෛවක ලබාදීම ප‍්‍රතිකාර ලෙස සිදු කරයි. ප‍්‍රතිවෛරස ඖෂධ ලබාදීම කල හැකි වුවද එය තවමත් අධ්‍යයන මට්ටමේ පවතී. 

මන්කිපොක්ස් ආසාදනය වැළැක්වීමට

මෙම රෝගය මගින් ආරක්‍ෂා වීමට වසූරිය සඳහා ලබාදෙන එන්නත ලබාදෙන නමුත් ඒවා සීමා සහිත බැවින් පහත ක‍්‍රියාමාර්ග වෙත යොමු වේ. 

  • ආසාධිත සතුන් (විශේෂයෙන් මිය ගිය හෝ රෝගී වූ) ස්පර්ශයෙන් වැළකීම
  • වෛරසය මගින් දූෂිත වූ ඇඳ ඇතිරිලි හා වෙනත් ද්‍රව්‍ය ස්පර්ශයෙන්/ගැටීමෙන් වැළකීම 
  • ආහාරයට ගන්නා සත්ව මස් හෝ කොටස් හොඳින් පිස ගැනීම 
  • සබන් යොදා නිතර අත් සේදීම 
  • ආසාධිත පුද්ගයන් ගැටීමෙන් වැළකීම 
  • ආරක්‍ෂිත පුද්ගලයන් ගැටීමෙන් වැළකීම 
  • ආරක්‍ෂිත ලිංගික සංසර්ගය (Condom භාවිතය)
  • පිරිස් එකතු වන ස්ථාන වල මුඛය හා නාසය වැසෙන මුඛ ආවරණ පැළදීම 
  • ස්පර්ශ වන මතුපිටවල්  විෂබීජ නාශක ද්‍රව්‍ය යොදා පිරිසිදු කිරීම
  • ආසාධිත පුද්ගලයන් සඳහා සාත්තුව ලබා දෙන විට පුද්ගලික ආරක්‍ෂිත උපකරණ භාවිතය  

මෙම රෝගය මාරන්තික වීම බහුල නොවුනද මෙමගින් ඇති වන සංකූලතා මගින් මාරාන්තික විය හැක. නියුමෝනියාව, මොළයේ ඇති වන ආසාධන (Encephalitis) හා ඇස්වල ආසාධන නිසා තත්ත්වය දරුණු විය හැක. 

රෝගී පුද්ගයෙකු රැකබලා ගැනීමේදී, 

  • උණ සහ වේදනාව අඩු කරන ඖෂධ ලබාදීම 
  • තුවාල, කබොළු, ගැලවී යන තුරු අන් අය සමග ස්පර්ශයෙන් වැලකීම 
  • ගෝස් හෝ බැන්ඩේජ් භාවිත කරමින් තුවාලය වැසීම මගින් බාහිරව පැතිරීම වළක්වයි. 
  • නිවසේ නැවතී විවේක ගැනීම
  • ජලය බහුල ලෙස පානය
  • මුව වැස්ම පැළදීම

පහත ලක්‍ෂණ වර්ධනය වේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

  • ස්වසනය අපහසු වීම
  • අලුතින් ඇති වන/දරුණු වන පපුවේ වේදනාව
  • බෙල්ලෙහි තද ගතිය
  • මානසික ව්‍යාකූල බව
  • කතාව සහ චලනය අපහසු වීම
  • අසිහිය ස්වභාවය 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය

අපේක්ෂා රෝහල , මහරගම.

 

 

 


                

වෙනස කළමනාකරණය කරන්න ඉගෙන ගන්න

කිසිම දවසක අපේ ජීවිතය අපට අවශ්‍ය අන්දමින් ගලා ගෙන යන්නේ නැහැ. කාල විපත්ති වගේම අපට ගලපා ගන්න බැරි විදිහට විවිධ ගැටලු සහ ගැටුම්වලට අපට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි වෙනස කළමනාකරණය කර ගෙන ජීවත් වීම ඉතාම වැදගත්. අඳුරට දොස් නගනවාට වඩා පහනක් දල්වා ගැනීමට අපි පුරුදු වීම ඉතාම වැදගත්.

නව මානසික ආකෘතියක් ගොඩ නගා ගනිමු.

අතීතය අපි ඉතාම සැපවත්ව ජීවත් වුන බව ඇත්ත. දරුවන්ට වුනත් අද දෙමව්පියන් මුහුණ දී සිටින තත්වය නිසා වෙනදා තිබුන සුඛෝපබෝගී ජීවිතය වෙනස් වෙලා ඇති.ඒ තත්වය සාධාරණ කර ගෙන ජීවත් වීමට අපි පුරුදු වීම ඉතාම වැදගත්. කොටින්ම රෝමයට ගිය විට රෝම වැසියෙක් විදිහට ජීවත් වෙනවා වගේ දැන් අපි මුහුණ දී තිබෙන තත්වයට අනුව අපේ ජීවිතය හැඩ ගසා ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව සිතනන්.

අපේ බොහෝ ප්‍රශ්න සහ ගැටළු හැසිරෙන්නේ අපේ මනස අනුවයි. ‘‘පැමිණි දුක් පැණිරසයි ‘‘කියමින් ජීවත් වීමට හැකි පිරිසකුත් සිටිනවා.ඒ වගේම පවතින තත්වයට නිතරම දෙස් දෙවෙල් තබන කොටසකුත් සිටිනවා. මේ දෙපාර්ශවය විසින් වෙනස ගැන සිතන පතන ආකල්ප අපට වෙනස් කිරීමට බැහැ. මොනවා වුනත් අපට ජීවිතයෙන් පලා යන්න බැහැ. පවතින තත්වයේ අපට ජීවත් වීමට අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ නිසා ඔබ මානසික ආකෘතිය වෙනස් කරන්න.

වෙනස තේරුම් ගන්න…

සාමාන්‍ය ජීවන රටාවක් තුළ සිටි අපට වෙනසක් වෙනුවෙන් අනුවර්තනය වීම එතරම් පහසු නැහැ. නමුත් ඔබ මේ ගැනත් අමතක කරන්න එපා. ඕනෑම ජීවියෙක් පරිසරයට අනුවර්තනය වීම අවශ්‍ය බැව් චාල්ස් ඩාවින් පරිණාමවාදයේදී පවා පෙන්වා දී තිබෙන කරුණක්. එසේ අනුවර්තනය නොවුනොත් ඒ ජීවියාට නොනැසී පැවතීමට අපහසුයි. මේ න්‍යාය අද අපටත් ආදේශ කර ගැනීමට සිදු වෙනවා. වෙනස අපි තේරුම් ගෙන ඒ අනුව අනුවර්තනය වීම හැර කළ යුතු දෙයක් අපට නැහැ.

දරුවන්ට වුනත් පවතින වෙනස තේරුම් කර දීම ඉතා වැදගත්. අනුරුද්ධ කුමාරයාට නැති බැරි කම් නොසගවා සිටි නිසා ඔහු කැවුම් නැති බව කී විට ‘‘නැති කැවුම් “ ඉල්ලා සිටි කථාවත් ඔබ දන්නවා ඇති. ඉතින් අද අපි මුහුණ පා සිටින ආර්ථික අසීරුතාවය තුළ දරුවන්ගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් විය හැකි බැව් ඔවුන්ට කරුණු කාරනා ඇතුව පැහැදිලි කර දෙන්න.

වෙනදා තිබුන සැප අද නැති වීම.

මීට පෙරාතුව කෙටි දුරක් හෝ පයින් නොගිය ඔබේ පවුල අද ඉන්ධන හිගය නිසා යම් පිරිමැස්මකින් කටයුතු කිරීමට සිදු වේවි. ඒ ගැන කම්පා වීමට වඩා පෙරලුන පැත්ත හොඳ නැති වුනත් එයින් සිත කළකිරවා ගන්න එපා. ප්‍රශ්න ගැන පමණට වඩා සිතීමත් ප්‍රශ්නයක්. ඒ නිසා අසීරුවෙන් ලබා ගන්නා ඉන්ධන කළමනාකරණයකින් පාලනය කළ යුතු බැව් දරුවන්ටත් තේරුම් කර දෙන්න. ඒ නිසා වෙනදා මෙන් නොව දැන් හැකි දුර පයින් යෑමටත්, හැකි සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහනය තෝරා ගැනීමටත් දරුවන්ට තේරුම් ඇතුව කියා දෙන්න.

විකල්ප සොයන්න…

අපේ ජීවන රටාව දැන් අලුත් වෙනසක් අනුව ගලපා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම විකල්ප වෙනුවෙන් වෙනදා නොමැති අවධානයක් දැක්වීම අවශ්‍යයි.ගෑස් නැති නිසා දර, හෝ වෙනත් විකල්ප ඉන්ධන වෙනුවෙන් යොමු විය යුතු බැව් ඔබ පමණක් නොව දරුවන්ටත් තේරුම් කර දෙන්න.

නිර්මානශීලී අදහස් ඇති වෙන්නත් පුළුවනි..

සමාජයේ ඇති වෙන පීඩනය බොහෝ විට නිර්මානශීලී අදහස් පමණක් නොව නිර්මාණ බිහිවීමටත් ඇවැසි පරිසරයක් නිර්මානය වෙනවා. මැක්සිම් ගෝර්කිගේ අම්මා, ලියෝ ටෝල්ස්ටෝයිගේ ‘‘යුද්ධය හා සාමය “ වැනි වටිනා නිර්මාන බිහි වූයේ යුධ මානසිකත්වයක ජීවත් වුන ලේඛකයන්ගෙන් බැව් අමතක නොකළ යුතුයි. කාර්මික විප්ලවය සමග සමාජයේ වැඩ පහසු කරන මෙවලම් ඇති වූ පරිදි අද පවතින ආර්තික අර්බුද හමුවේ අලුත් නිර්මාණ නිෂ්පාදනය තරුණ දරුවන් උනන්දු කිරීම වැදගත්.මේ පසුබිම තුළින් අලුත් නිර්මාණ හදුනා ගත් තරුණ දරුවන් අප අතර බොහෝ සිටිති.උදාහරණ ලෙස කිවහොත් විදුලිය නොමැති අවස්ථාවන්හි ප්‍රෙයා්ජනයට ගත හැකි පරිදි පරිගණක උපාංගයන්ගෙන් විදුලි ආලෝකය ලබා ගැනීමේ නිෂ්පාදන මේ වෙන විටත් නිර්මානය වී තිබේ.එවැනි නිර්මාන අප සැබැවින්ම අගය කළ යුතුය. ඒ වෙනස තුළුන් නව පරම්පරාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයන් බවත් අමතක නොකරන්න.

මානසික අභිප්‍රේරණ

වෙනස ඉදිරියේ අපේ මනසට අභිප්‍රේරණයන් ලබා දෙන්න. අතීතය පාදක කර ගෙන සුසුම් හෙලීමට වඩා වර්තමාන ගැටලු සහ අභියෝග ජය ගත  යුතු බැව් තේරුම් ගන්න.අභිප්‍රේරණයකින් අදහස් වන්නේ යම් අභියෝගයක් තුළ විසඳුම් සොයමින් ඒ විසඳුම් වෙත සමීප විය යුතුය යන මානසික ජවයයි. බොහෝ උදවිය බොහෝ දේ ගත් තැනම ලොප් හෙවත් එය අසාර්ථක වේවි..එහෙම නැත්නම් අපට ඕක කරන්න බැරි වෙයි..කරලා වැඩක් වෙයිද…? වැනි පසුගාමී මානසිකත්ව ගොඩ නගා ගැනීමට පුරුදු වී සිටිති.

ඒ වුනත් පවතින වෙනස කළමනාකරණය කර ගැනීමට නම් මානසික ලෙසින් ලැබෙන අභිප්‍රේරණයන් ඉතා වැදගත්. එය ජීවිතය ජය ගන්නා වූ ජවයයි.

එසේ නම් අපි මෙතෙක් අතීත උරුමයන් ගැන පාරම් බෑවා මිසක ස්වඋත්සාහයෙන් නැගිටින්නට උනන්දු වූයේ නැත. තවමත් අපි අතීතකාමයේ පිහිටා වර්තමාන තත්වයට දොස් නගනු විනා පැමිණ ඇති බාධක බිදගෙන ඉදිරියට යෑමේ මානසික ජවය ගොඩ නගා ගෙන නැත.එහෙත්…වෙනස කළමනාකරණය කර ගනිමින් ජීවිතය ජය ගැනීමට නම් වෙනස වෙනුවෙන්  විකල්ප හදුනා ගැනීමත්, එම විකල්ප ජය ගැනීමෙහි ලා මානසික අභිප්‍රේරණ ගොඩ නගා ගැනීමත් ඉතාම වැදගත් වේ. එවිට අනාගතයේදී අපි වෙනස කළමනාකරණය කිරීමෙන් දැයක් ජයගත් ජාතියක් වනු ඇත.

 

 

කිරි දෙන අම්මාට කටු මාළු හොඳ නෑ කියන්නේ ඇත්තද?

උත්තරීතර මව් පදවියේ සිහිනය සැබැ වූ සෑම මවකගේම මීලඟ අභිප‍්‍රාය දරුවාගේ පෝෂණය, ආරක්‍ෂාව, රැකවරණය ස්ථිර කිරීමයි. මේ සඳහා ගන්නා වූ පියවරයන් අතරේ එකක් මවගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වීම. ඒ සඳහා මවට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වැදගත් වෙනවා. ඒ ප‍්‍රසූතියේදී මවගේ වැයවූ ශක්තිය, රුධිර ප‍්‍රමාණය වගේම දරුවාගේ සත්කාර සේවාවේදී මවට වැයවන අමතර ශක්තිය වගේම පවුලේ කටයුතු වල යෙදීමට මවට අවශ්‍ය වන ශක්තිය ආදී ලෙසිනි. මේ සඳහා මවට සාමාන්‍ය ආහාර වේලට අමතරව පෝෂණය සැපයීමක් අවශ්‍ය වන්නේ මව විසින් අමතරව වැය කරන පෝෂණ ප‍්‍රමාණයන් ඇයට නැවත ලබාදීමටයි. 

මේ වේලාවේ සීග‍්‍ර වර්ධනයක් දක්වන බිළිඳා සඳහා ලැබෙන හොඳම ආහාරය මව්කිරි. ඒ වගේම මව් කුස සිටින කාලයේ සිටම දරුවාගේ පෝෂණයට අවශ්‍ය සියලු දේ සපිරුණේ මවගේ ශරීරය තුල තැන්පත්ව ඇති පෝෂණ කොටස් මගිනි. මේ සඳහා මව වැය කරන පෝෂණ කොටස් අතරේ ප්‍රෝටීන, යකඩ, කැල්සියම් වගේ පෝෂක කොටස් හරිම වැදගත්. පේශී හා අස්ථි විකසනයට වගේම වර්ධනයට මේ පෝෂක කොටස් මූලික වෙනවා. ඉතින් මේ ප්‍රෝටීන, යකඩ, කැල්සියම් වගේ මූලද්‍රව්‍ය බහුලව අඩංගු ආහාර තමයි මාළු. මාළු කටුවල හොඳ කැල්සියම් ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා කටු සහිත මාළු මගින් ප්‍රෝටීන අවශ්‍යතාවය වගේම යකඩ, කැල්සියම් අවශ්‍යතාවයත් හොඳින් ලබාදෙන්න පුළුවන්. මේ නිසා කිරි දෙන මවකට වඩාත් යෝග්‍ය ආහාරයක් මේ කටු සහිත මාළු. මාළු වල කටුව සමග ආහාරයට ගන්න පුළුවන් නම් කටු වල තිබෙන කැල්සියම් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙනවා. 

වේලකට අවශ්‍ය තරම් කැල්සියම් නොලැබෙනව නම් දරුවගේ ඒ අඩුව පිරවීමට මවගේ අස්ථි වල අඩංගු කැල්සියම් දරුවා වෙතට යන්නේ මවගේ අස්ථි සිහින් කරමින්. ඉතින් දරුවා වැඩෙනවත් එක්කම මවගේ මේ කැල්සියම් ඌනතාවය තදබල උනෝතින් මවගේ අස්ථි දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ නිසා පොඩි කටු සහිත මා, කිරි දෙන අම්මා කෙනෙක්ට ඉතාමත්ම යෝග්‍යයයි. 

තත්ත්වය මෙහෙම උනාට ගෙවල් වල ඉන්න වැඩිහිටි අම්මලා කටු මාළු කිරි අම්මලාට දෙන්න එපා කියනවා. එයාලා කියන්නේ මාළු කටු බඬේ තියෙන තුවාලේ ඇනෙනවා කියලා. ඒ වගේම දරුවා කිරි බොනකොට කිරි එක්ක මාළු කටු යන්න පුළුවන් කියලා. මේක තමයි ඒ මතය. ඉතින් මේ ගැන විග‍්‍රහ කරාම අපි කන කෑම මුඛය හරහා ගලනාලය තුලින් ආමාශයට යන්නේ, එතැන් සිට දිගටම සිද්ධ වෙන්නේ ආහාර අඹරමින් ඒවායේ තියෙන පෝෂණ කොටස් උරා ගැනීම. ඒ වගේම මුඛයෙන් පටන් ගන්නා ආහාර මාර්ගය අතර මැදදී වෙනත් අවයව වලට විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ආහාරයක් ආහාර මාර්ගයෙන් පිටතට යන්නේ නෑ. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය මුඛයෙන් පටන් අරගෙන ගලනාලය, ආමාශය, කුඩා අන්ත‍්‍ර (කුඩා බඩවැල්) මහා අන්ත‍්‍ර හරහා ගිහින් ගුද මාර්ගයෙන් කෙලවර වෙනවා. ආහාර ජීර්න ක‍්‍රියාවලියේ අවසාන අපද්‍රව්‍ය කොටස් ශරීරයෙන්ම බැහැර වෙනව මිසක් ඇතුලත ඉන්ද්‍රියයන් වලට යන්න ඉඩක් නැහැ. මේ නිසා මාළු කටු ගර්භාෂයට වෙතට හෝ පියයුරු වලට යන්න ඉඩක් කොහෙත්ම නැහැ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ රුධිර නාල හා ස්නායු සෛල සම්බන්ධතා මගින්. ඒ නිසා සියලු ඉන්ද්‍රියයන්ට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය රුධිර නාල හරහා ගෙන යන අතර ස්නායු සෛල මගින් අවශ්‍ය කරන පණිවිඩ ගෙන යනු ලබනවා. 

ඒ නිසා කටු සහිත මාළු ආහාරයට ගන්න කිසිම කිරි දෙන මවක් බිය වෙන්න  ඕන නෑ. හැබැයි මේ අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය නොගෙන සිටීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය ඉන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය ලවණ හිඟ වීමෙන් මව්වරුන් ඉක්මණට වෙහෙසට පත්වීම, අවයව දුර්වල වීම නිසා කෙටි කාලීන වගේම දීර්ඝකාලීනව රෝගීතාවයන්ට (විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි) පත්විය හැකියි. 

මෙසේ පහසුවෙන් ලබාගත හැකි එහෙත් මිත්‍යා මත නිසා නොගෙන සිටින පෝෂණ ද්‍රව්‍ය ශරීරයට හිඟ වීමෙන් මවට වගේම මවගෙන් පෝෂණය ලබන දරුවාටද බරපතල වර්ධන ගැටළු ඇති විය හැකියි. මෙසේ හෙයින් විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීම් ලබාගත හැකිව තිබියදීත් මිත්‍යා මතයනට ඉඩ දෙන්නේ නම් එහි බලපෑම මත මවගේ ශක්තිය, පෝෂණය හීන වීම වගේම දරුවාගේ වර්ධනය ඇණ හිටීමෙන් නිරෝගී බව දරුවාට ද අහිමි වී යා හැකියි. එසේ හෙයින් මෙවන් මිත්‍යා මත පිළිබඳ පැහැදිලි ලෙසට නිරවුල් කරගැනීම ඔබට පුහුණු සෞඛ්‍ය සේවකයන් මගින් ගර්භනී පුහුණු සැසි, මව්කිරි සැසි ආදිය තුලදී අවකාශ ලැබනෙවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ඇඟිලි උරන නියපොතු විකන පුරුදු වලින් දරුවා දුරස් කරමු.

ඔබේ පුංචි පැටියා නියපොතු හැපීම හෝ ඇඟිලි ඉරීම මග හැර ගැනීමත් ඔබට මානසිකව පීඩාකාරී ප්‍රශ්නයක් විය හැකියි.පුංචි කාලයේදී නියපොතු හපන දරුවන් වෙතින් ඒ පුරුද්ද වයසත් සමග ක්‍රමයෙන් මග හැරෙනවා. නමුත් සමහර පුද්ගලයන්ට වැඩිහිටි වයසට පැමිණි පසුවත් නියපොතු හපන පුරුද්දෙන් දුරස් වීමට අපහසු බැව් විවිධ අධ්‍යනයන් මගින් පවා පෙනී ගිය කරුණක්. පර්යේෂන සාහිත්‍යයන්හි සදහන් අන්දමට වැඩිහිටි පුද්ගලයන්ගෙනුත් 12 % ක් පමණ දෙනා නියපොතු විකන පුරුද්දට ඇබ්බැහි වී සිටිනවා.

පුංචි  දරුවන් නියපොතු විකන්නේ ඇඟිලි උරන්නේ  ඇයි…?

පුංචි  දරුවන් අතර නියපොතු හපන සහ ඇඟිලි උරන පුරුදු ගොඩ නැගෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට ඇත්තටම පැහැදිලි උත්තරයක් නැහැ. ඒ වගේම හැම දරුවෙක් තුළත් මේ පුරුදු නැහැ. සමහර දරුවන් ඇඟිලි ඉරීමත් පුරුද්දක් විදිහට කරන අතර තවත් අය ඒ වෙනුවට නියපොතු හපන්න පුරුදු වෙනවා.

මානසික ප්‍රශ්නයන් ආවාමත්…

අපට වුනත් හිතේ යම් කිසි ගැටුමක් හෝ හිස් බවක් ඇති වුනාම අනුගමනය කරන විවිධ පුරුදු තිබෙනවා. ඒ වගේ චිත්තවේග වෙනස්වීමකදී සහ මානසිකව ඇති වෙන තනිකම මග හරවා ගැනීමට මේ වගේ පුරුදු අනුගමනය කරන්න පුළුවනි.මනෝවිද්‍යාඥයන්ගේ හඳුනා ගැනීමට අනුව දුර්වල පෞරෂ ගති ලක්ෂන නිසාත් නියපොතු විකන සහ ඇඟිලි උරන පුරුදු දරුවන් තුළ ගොඩ නැගෙන්න පුලුවනි.

නියපොතු විකන සහ ඇඟිලි උරන පුරුදු ගැන අවධානයක් දක්වන්නේ ඇයි…?

දරුවන්ගේ නියපොතු විකන සහ ඇගිලි උරන ඇබ්බැහි වීම් ගැන දෙමව්පියන් ලතැවෙන්නේ නිකරුනේ නොවෙයි. ඇඟිලි උරන පුරුදු නිසා දරුවාගේ ශාරිරික සෞඛ්‍යටත් බලපෑම් ඇති වෙනවා. ආගන්තුක විෂබීජ කෙළ මගින් උදරයට ඇතුලු වීම නිසා නිතරම උදරාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම නියපොතු හපන විට ඇඟිලි අග තුවාල වී විෂබීජ ඇතුළු වීම වගේම විදුරුමස් තුවාල වීමේ අවදානමත් තිබෙනවා. ඒ නිසා දරුවන් වෙතින් මේ පුරුදු මග හැර ගත නොහැකි වූ තැන දෙමව්පියන් කනස්සල්ලට පත් වීමත් බොහොම සාධාරණයි.

පුංචි අයට ප්‍රශ්න කියන්න තේරෙන්නේ නැහැ..

පුංචි දරුවන්ටත් පුංචි වුනත් ඔවුන්ගේ තරමට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒවා ඇත්තටම මානසික පීඩාවන් ගෙන දෙන ගැටුම්  විය හැකියි.පංතියේ මිතුරන්ගේ වෙනස් විම්, අලුත් පාසලක පරිසරය නුපුරුදු වීම , මව්පියන්ගේ දික්කසාද සහ පවුල් ගැටුම්, පවුලේ සමීපතයන්ගේ වෙන් වීම් හෝ මරණය වගේ හේතු නිසා දරුවාගේ මනසේ ඇති වෙන සංකුලතාවයන්ට විකල්ප විදිහට ඇඟිලි ඉරීම හෝ නියපොතු විකන පුරුදුවලට ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා.

දෙමව්පියන් එපා කියන නිසා…

බොහෝ දරුවන්ගේ ඉහත පුරුදු  ඉතාම ඉක්මනින් මග හරවා ගත නොහැකි වුනොත් ඒවා ඇබ්බැහි විම් ලෙසින් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා දෙමව්පියන්ගේ බලපෑම් ඇති වෙන විට දරුවන් ඔවුන්ට නොපෙනෙන ලෙසින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා. 

දරුවාගේ මෙවැනි පුරුදු දුරස් කිරීමට ප්‍රසිද්ධියේ අවමන් කරන්න එපා

දරුවාගේ මෙවැනි පුරුදු දුරස් කිරීමට උපායක් ලෙසින් ප්‍රසිද්ධියේ අවමන් කරන්න එපා. බොහෝ දෙමව්පියන් දරුවාගේ ඇඟිලි උරන සහ නියපොතු විකන පුරුදු ගැන ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීමට පුරුදුව සිටිනවා. ඔවුන් සිතන්නේ එය දරුවාට අපහාස කිරීම මගින් එම  පුරුදු ඔවුන් මුදවා ගැනීමයි. එය  උපායක් ලෙසින් සැලකුවත් අවමානය නිසා දරුවා පුරුදු වලින් මිදුනත් ඊට වඩා මානසිකව  පසුගාමී බවකට පත් වෙන්න පුළුවනි.

එහෙමනම් කටයුතු කළ යුත්තේ කොහොමද..?

  • දඬුවමක් ලබා දෙනවාට වඩා මේ පුරුදු නිසා සිදු වෙන හානිය කියා දෙන්න. 
  • දරුවා රෝගි වීම 
  • සමාජයේ අප්‍රසන්න චරිතයක් වීම
  • ඇඟිලිවල ස්වභාවික ලස්සන නැති වීම
  • අනාගතයේදී දත් නෙරා ඒමේ අවදානම දරුවාට මේ ගැන කරුණු කියා දෙන්න. ලස්සනට ඉන්න අවශ්‍ය නම් මේ අහිතකර සහ අනවශ්‍ය පුරුදු වලින් දුරස් වීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ දැනුම් තේරුම් තරමට කියා දෙන්න. අපහාසයට වඩා එයින් බොහෝ දේ දරුවා ඉගෙන ගනීවි.

ඇඟිලි උරන නියපොතු විකන සෑම අවස්ථාවකදීම අත් සේදීමට නියම කරන්න

දරුවා නියපොතු විකන සහ ඇඟිලි උරනවා දකින සෑම අවස්ථාවකදීම අත් සේදීමට නියම කරන්න. එය එක්තරා ආකාරයකින් දරුවාගේ ශාරිරික පවිත්‍රතාවයටත් ඉතා වැදගත් වෙනවා. අනිත් අතට අත් සේදීම හිරිහැරයක් ලෙසින් දැනෙන නිසා ඒ වෙනුවෙන් වූ නිමිත්ත හෙවත් ඇඟිලි උරන සහ නියපොතු විකන පුරුදුවලින් දුරස් වීමට දරුවා තුලින්ම උනන්දුවක් ඇති වෙනවා. එය දඬුවමට වඩා බලගතු විදිහට ක්‍රියාත්මක වේවි.

තෑග්ගක් දෙන්න…

දරුවාගේ මේ පුරුදුවලින් දුරස් කිරීමට මාර්ගයක් ලෙසින් මෙම පුරුදුවලින් දුරස් වී සිටින අවස්ථාවන් අගය කරන්න. ඒ වෙනුවෙන් රතු සහ කළු තරු  ලබා දෙන සටහනක් භාවිතා කරන්න පුළුවනි. එම සටහන අනුව දරුවා ඇඟිලි ඉරීම හෝ නියපොතු හැපීම නොකරන දිනයන්හි රතු තරුවක්ද, එවැනි ක්‍රියාවන්හි නිරත වන දිනයට කළු තරුවක්ද ලබා දෙන්න. මේ තරුවකින් ඔබට කෝටුවකින් කළ නොහැකි බොහෝ දේ කිරීමට ඉඩ තිබෙනවා. කළු තරුවට නොරිසි දරුවා දවසේ රතු තරුව වෙනුවෙන් වෙහෙසෙනු ඇත. ඒ නිසා මුලින් ආයාසයෙන් හෝ මෙම පුරුදුවලින් මිදී සිටින්නට දරණ උත්සාහය කාලය සමග ඔහුට එය අපහසුවෙන් කිරීමට අවශ්‍ය නැති තරම් සාමාන්‍ය දෙයක් වීම නිසා ඇබ්බැහියෙන් මුදවා ගැනීම අපහසු කාර්යක් නොවනු ඇත.

දරුණු දඬුවම් එපා…

අද කාලයේ ‘‘දෙමව්පියකරණය ‘‘ගැන ඇති දැණුවත් වීම නිසා බොහෝ දෙමව්පියන් දරුවන් ගැන ආදරය, ආරක්ෂාව වගේම රැකවරණය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් අතීතයේදී බොහෝ දෙම්විපයන් මෙවැනි පුරුදුවලින් දරුවන් ගලවා ගැනීමට ඇඟිලිවල කොච්චි මිරිස්, වෙනත් තිත්ත දෑ ආලේප කළ අවස්ථාවන් තිබුනත් අද එවැනි අකාරුණිකම් වලින් බොහෝ දෙමව්පියන් දුරස්ව සිටීම දරුවන්ගේ වාසනාවක් වී තිබේ. ඒ වෙනුවට අද භාවිතා කළ හැකි විවිධ ක්‍රමඋපායන්ද හඳුනා ගෙන තිබෙනවා.  ඒ අතර

  • අතට මේස් එකක් දැමීම
  • ඇඟිලිවලට දිදාලයක් දැමීම
  • තාවකාලික ලෙසින් ප්ලාස්ටරයක් දැමීම 

මේ අන්දමින් ඇති අවහිරතාවයන් නිසා දරුවාගේ කටයුතු නිදහසේ කර ගෙන යෑමට ඇති අවස්ථාව ඇහිරී යෑම නිසා ක්‍රමයෙන් මෙම ඇබ්බැහි විම් වලින් මිදෙන්නට අවස්ථාව සැලසෙනු ඇත.

 

 

හැම දෙනාම කතා කරන ධනාත්මක චින්තනය

ධනාත්මක  චින්තනය එහෙම නැත්නම්  positive thinking ගැන අපි කතා කළත් අපේ ජීවිතයට මේ සංකල්ප ප්‍රයෝගික විදිහට සම්බන්ධ කර ගන්නේ කොහොමද…? සමහර විට ඔබ දැනටමත් ඔබේ ජීවිතය ධනාත්මක ලෙසින් ගොඩ නගා ගත් දෙමව්පියෙක්  විය හැකියි. අපේ අතීත පරම්පරාවන් ධනාත්මක චින්තනය යන වචනය  ගැන නොදැණුවත් වුනත් සැබැවින්ම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රායෝගික පැත්ත බැලූ විට අනේ ඇත්ත නේන්නම් යැයි සිතෙනු ඇති.

ජයග්‍රහනයෙන් වගේම පරාජයෙනුත් ඉගෙන ගන්න

අපේ ජීවිතය සැමදාම ජයග්‍රහණයන්ගෙන්ම පිරී පවතින්නේ නැහැ. අපට පරාජයන් වගේම අහිමිවීම්වලටත් මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා ධනාත්මක ලෙසින් ජීවිතයට මුහුණ දීමට නම් ජයග්‍රහණයන් ඉදිරියේදී ලබන ශක්තිය පරාජය තුලිනුත් ලබා ගැනීමට උනන්දු වෙන්න.

සාර්ථක පුද්ගලයන් අසාර්ථක වුනේ ඇයි..?

පවුලේ අම්මා , තාත්තා ලෙසින් කටයුතු කරන  ඔබට සමාජයේ ආර්ථික හෝ සමාජ ස්ථාවරයක සිටි පුද්ගලයන් හිටි අඩියේම අසාර්ථක චරිත බවට පත් වුන අන්දම ගැනත් අත්දැකීම් ඇති  එවැනි චරිත බිඳවැටෙන්නට ඔවුන් පිටුපසින් දිවෙන යම් හේතුවක් තිබෙන්න පුළුවනි. ඔබ අන්න ඒ හේතුව හඳුනා ගන්න. මේ පුද්ගලයාගේ පරාජයට හේතු වුනේ ඔහුගේ මෙවන් හැසිරීම් රටාවක් නිසා බැව් අවබෝධ වූ විට එය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට මනා පාඩමක් වනු ඇති.

ස්වයං කථනයක යෙදෙන්න

ඔබ විවේකව සිටින විට ඔබ ගැන ඔබම හිතන්න. ඔබට වඩා ඔබ ගැන දන්නා පුද්ගලයෙක් තවත් නැහැ. කොටින්ම ඔබේ මව , පියාටවත් ඔබ නිවරැදිව තේරුම් ගැනීමට නොහැකි අවස්ථා ඇති. ඒ තරමටම මිනිස් සිත ගුප්තයි. නමුත් ඔබ ගැන ඔබෙන් විමසන විට ඔබ තුළ පවතින ශක්තීන් වගේම දුර්වලතාවයන් ගැනත් ඔබටම වැටහෙනු ඇති.ඒ නිසා ඔබේ වැරැදි නිවරැදි කර ගැනීමට මේ අන්දමින් සිදු වෙන ස්වයං කථනය ඉතාම වැදගත් වෙනවා.

මනස පිරිසිදු කර ගන්න.

මවක්, පියෙක් වුනත් ඔබ සාමාන්‍ය මිනිසෙක්. ඒ නිසා ඔබේ සිතේ ඊර්ශ්‍යාව, ක්‍රෝධය වැනි දුර්ගුණ පවතින්න පුලුවනි. ඒවා ආරම්භයේදීම උදුරා ඉවත් කරන්න. මෙවැනි දුර්ගුණ වැඩෙන්නට ඉඩ දුනහොත් එයින් ඔබේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති. ඊර්ශ්‍යවන්තයා නිතරම දුකින් පෙලේ… මේ කියමන ඔබටත් හොඳින් අසා පුරුදු ඇති. ඒ නිසා ඔබ සමාජයේ කුහක චරිතයක් ලෙසින් ලේබල් වනවාටත් වඩා ඔබේ අයහපත් සිතුවිලි ඔබේ ජීවිතයට යම් බලපැමක් ඇති වෙන තත්වයක් දක්වා වගා වීමට ඉඩ නොදීම ඔබේ වගකීමක්.

ආත්ම විශ්වාසය වැදගත්..

ව්‍යවසායකයෙකු ලෙසින් ඔබ සතුව පවත්නා ආත්ම විශ්වාසය ඉතා වැදගත්. අතීත පුද්ගලයන්ගේ ආප්තෝපදේශයකට අනුව ප්‍රශ්නයකට අපි මැදිහත් විය යුතුයි. පනින්න පෙර සිතා බැලිය යුතු ඇත්ත වුනත් ඒ ගැන සිතමින් පමණක් සිටියොත් ඔබට කිසිම දිනක ජයග්‍රහණයක් අත් නොවනු ඇති. ගොඩබිම සිට පීනන්න නොහැකි බැව් ඔබ දන්නවා ඇති. දියේ ගැඹුර දැන ආත්මාරක්ෂාවෙන් කටයුතු කිරීමට වුනත් පිහිනීමේ හැකියාවක් ඔබ සතුව තිබිම වැදගත්. ඒ නිසා නිතරම ‘‘ ඔව්..මට එය කළ හැකියි යන ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න. හැම දෙයම කළ නොහැකි බැව් ඇත්ත. නමුත් කළ හැකි දෙය ගැන විශ්වාසයෙන් කටයුතු කළහොත් ඔබ සැබැවින්ම ධනාත්මක ව්‍යවසායකයෙකු වෙනු ඇති.

බාහිර පෙනුමත් වැදගත්.

බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ මම කවුද කියන්න හැම දෙනාම දන්නවා…  එය ඇත්ත. බොහෝ අඹු සැමියන් විවාහයට පෙරාතුව ඔවුන් බාහිර පෙනුම ගැන දැක්වූ උනන්දුව කාලයත් සමග අතපසු කරනු ඇති. දැන් ඉතින් කාට පෙනෙන්නද…? ඔවුන් ඒ අන්දමින් සාධාරණ කළත් හැම දෙනෙක්ම යටි සිතින් ප්‍රසන්න දෙයට කැමැතියි. කන්නාඩියක් ඉදිරියට ගොස් බලන විට ඔබේ ප්‍රසන්න පෙනුම ඔබටම ආත්මාභිමානයක් ඇති කරන්නට තරම් හේතු වෙනවා. ඒ නිසා නිතරම ප්‍රසන්නව, පිළිවෙලට සිටින්න. එය නොදැනීම පවුල තුළ ආකර්ශනයට හේතු වෙනු ඇති.

කායික නිරෝගිතාවය වැදගත්..

ආරෝග්‍යා පරමා ලාභා සැබැවින්ම නිරෝගිකම පරම ධනයයි. පවුලක මව හෝ පියා නිරන්තරව රෝගි තත්වයට පත් වුනොත් ඒ පවුල බිඳ වැටෙනවා ‘ Tn  නිරන්තරව රෝගි තත්වයට පත් වුනොත් mjqf,a පැවැත්මට එය දැඩි බාධාවක් වීම අරුමයක් නොවේ. ඒ නිසා නිරන්තරව ඔබේ සෞඛ්‍යය ගැන ප්‍රමුඛතාවය ලබා දෙන්න. හදවත් රෝග ” වකුගඩු රෝග සඳහා පාර කියන රුධිරගත කොලස්ටරෝල් මටට්ම, රුධිරගත සීනි මට්ටම හිතකර අන්දමින් පවත්වා ගත හැකි සේ Tබේ ජීවන රටාව සකස් කර ගන්න. සිනි, තෙල් , ආහාර අඩුවෙන් ගැනීම මෙන්ම ව්‍යායාම ගැනත් කාලය යොමු කරන්න. ඔබේ කායික නිරෝගිතාවය ඔබටත් නොදැනීම මානසික සුවතාවයට මග කියනු ඇත.

අතීතය ගැන මධ්‍යස්ථ වෙන්න

ඔබ අතීතයේදී ඉතා සැප පහසු ජීවිතයක් ගත කළ අයෙකු විය හැක. නමුත් අද ඔබට ඒ සියලු සැප සම්පත් අහිමි වී ඇතැත් ඔබ අනිවාර්යෙන්ම වර්තමානයේ ජීවත් විය යුතුය. අතීතය ගැන ලතැවෙන්න අවශ්‍ය නැහැ. අතීතය දැන් ගෙවී ගොස් අවසානය. සමහර විට අතීතයේ අත්දැකීම් මත ඔබට වර්තමානය සැලසුම් කිරීමේ හැකියාව ඇති. ඒ නිසා ගෙවුන අතීතය දෙස මධ්‍යස්ථව බලන්න. නමුත් අතීත අත්දැකීම් වර්තමානය සැලසුම් කිරීමේ මාර්ගෝපදේශ ලෙසින් ජීවිතයට සම්බන්ධ කර ගන්න.

ධනාත්මක පොත පත කියවන්න

කියවීම මිනිසා සම්පූර්ණ කරන බව ඇත්ත. කියවීමෙන් ජීවිතය පෝෂණය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ අතරත් ඔබට ධනාත්මක ලෙසින් කටයුතු කරමින් ජීවිතය ජයගත් පුද්ගල චරිතාපදාන කියවන්න. ඒවා පවුලේ අයට සහ හිත මිතුරන් අතරත් බෙදා හදා ගන්න. ඔබේ දරුවන්ටත් බාල කාලයේ පටන් ධනාත්මක ලෙසින් ජීවිතය ජයගත් පුද්ගලයින් ගැන කියා දෙන්න. ඔවුන් අගය කරන්න.

ජීවන කුසලතාවයන් දියුණු කරන්න.

සමාජයේ වෙනස් වීමට සමගාමීව අපිත් වෙනස් විය යුතුයි. එය අපේ නොනැසී පැවැත්මයි. ඒ නිසා අපේ ජීවන කුසලතාවයන් සංවර්ධනය කර ගැනීම වැදගත්.  ව්‍යවසායකයෙකු ලෙසින් ඔබ බොහෝ දේ උගත යුතුය. අද වෙන විට තොරතුරු සන්නිවේදන තාක්ෂනය ගැන සන්නද්ධ වීම ඉතා වැදගත්. දරුවන් පවා නොමග යෑමට බොහෝ විට හේතු වන්නේ දෙමව්පියන් ලෙසින් ඔබට ඒ පිලිබඳව ඇති නොදැනුවත්කමයි. ඒ නිසා නිතරම ජීවන කුසලතාවයන් සංවර්ධනය කර ගැනීමට උනන්දු වෙන්න.උගත මනා ශිල්පයමයි මතු රැකෙනා…යන උදාන වාක්‍ය ඔබේ ජීවිතයට සම්බන්ධ කර ගන්න.

ඇසුරු කරන අයත් වැදගත්.

අපට සමාජයේ තනියෙන් ජීවත් විය නොහැකි බැව් ඇත්ත. නමුත් බොහෝ විට ආශ්‍රයෙන් අපේ ගති පැවැතුම් වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම ඇසුරු කරන පුද්ගලයන්ගේ ගති පැවැතුම් මත ඔබේ ගති පැවැතුම් වෙනස් විය හැකි නිසා යහපත් චරිත ඇසුරට යොමු වීමත් වැදගත්.

ආගමක් අනුව හැසිරෙන්න

ආගමකින් ඔබේ මනසට ලබා දෙන පනිවිඩය නිසාම ඔබේ ජීවිතය ශක්තිමත් වනු ඇත. සෑම ආගමකින්ම අපට ලබා දෙන්නේ මානව දයාව, සහජීවනය වැනි ගුණාංඟයන්ය. එම ඉගැන්වීම් වෙතින් අපේ ජීවිතයම පෝෂණය කරනු ඇත.

දවස ආගමික වතාවත්වලින් ආරම්භ කරන්න.

ඔබ කුමන ආගමිකයෙකු වේවා දවස ආගමික වත් පිළිවෙත්වලින් ආරම්භ කරන්න. ඔබේ දරුවන්ටත් ඒ අනුව හැසිරෙන්නට හුරු කරන්න. එවිට ඔවුන්ද අනාගතයේ යහපත් චරිත ලෙසින් ගොඩ නැගෙනු ඇත. එහෙමනම් බර වචනයෙන් කියන මේ ධනාත්මක චින්තනය මොන තරම් සරලදැයි ඔබටත් සිතෙනු ඇති.

 

 

ළදරුවාගේ ක්‍රියාකාරකම් පිිළිබදව ඔබත් කණස්සල්ලෙන්ද?

අලුත ඉපදුණු පුංචි පැටියා දවසින් දවස උස් මහත් වෙද්දී අම්මා තාත්තා ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් ඇතැම් විට අහන දකින දේ නිසා හෝ පොත පතින් දැනුවත් වෙන කරුණු කාරනා නිසා හෝ දරුවන්ගේ පෙරලීම, මුනින් සිටින විට හිස එසවීම වැනි ක‍්‍රියාකාරකම් ගැන මවිපියන් වැඩි අවධානයක් යොමු කරනවා. තමන්ගේ දරුවාගේ යම් ගැටලුවක් ඇති ද යන්න පිළිබව කණස්සල්ලෙන් පසුවෙනවා. අන්න ඒ නිසාම ළදරුවන්ගේ ක්‍රියාකාරකම් සහ ඒවායේ ඇති විය හැකි අසාමාන්‍යතා ගැන දැනුවත් වීම බොහෝ සෙයින් වැදගත් වෙනවා.

හැම ළදරුවාම එකම වයසේදී මේ ක‍්‍රියාකාරකම් කරනවද?

නිරෝගී දරුවක් කියන්නේ ශාරීරික පෝෂණය වගේම මානසික පෝෂණයක්ද උපරිමව හිමි වූ දරුවකුයි. නිරෝගී බව බලාපොරොත්තු වන බොහෝ මව්වරුන් සිදු කරන්නේ කායික පෝෂණය ලබාදීමට වැඩි නැඹුරුතාවයක් දැක්වීම වුවත් දරුවා නිරෝගීමත් වීමට නම් මානසික සෞඛ්‍යය ද යහපත් විය යුතුයි. 

ළදරු කාලය යනු උපතේ සිට වසරක් දක්වා වූ කාල සීමාවයි. මේ කාල සීමාව තුලදී උපතේ සිටම දරුවකුගේ සංවර්ධනය ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර හතරක් යටතේ සංවර්ධනය වන අතර ඒවා පහත පරිදි වේ.

  • චාලක හැකියාවන් වර්ධනය
  • සියුම් චාලක හැකියාවන් වර්ධනය
  • කතාවේ සංවර්ධනය
  • සමාජ සන්නිවේදන සංවර්ධනය යන්නයි. 

ළදරුවාගේ මානසික සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී වැදගත් වන්නේ මේ සමාජ සන්නිවේදන සංවර්ධනයයි. මෙම සංවර්ධනය ආරම්භ වන්නේ මව හඳුනාගැනීමත් මව සමග සිනාසීමත් සමගයි. 

උපතේදී දරුවාගේ දෘශ්‍ය හැකියාව අඩුයි. මාස දෙක එනම් සති අටක් පමණ වන විට පෙනීම සම්පූර්ණ වන හෙයින් මාස දෙකේදී දරුවා පෙනීම සඳහා ප‍්‍රතිචාර දක්වයි. එහෙත් මාස දෙකට පළමු සිට උත්තේජන ලබාදීම වැදගත් වේ. 

එමෙන්ම අළුත උපන් දරුවා මුනින් අතට තැබූ විට හිස එසවීමට උත්සහ දරයි. මේ උත්සාහයේදී ගෙල පෙදෙස ආශ‍්‍රිත කොඳු ඇට සඳහා ලැබෙන ව්‍යායාම හේතුවෙන් දරුවා ක‍්‍රමයෙන් හිස එසවීමට පුරුදු වේ. මෙසේ සිදුවන විට එම අස්ථි මගින් ලැබෙන ශක්තිය හේතු කොටගෙන හිස ඔසවා තබා ගත හැකි වෙනවා සේම එසේ මවගේ අධීක්‍ෂණය යටතේ නිතර තැබීමෙන් නිරන්තරවම ගෙල පෙදෙසට ශක්තිය ලැබේ. 

ව්‍යායාම නිසා හිස ඔසවා තබාගැනීමට දරුවා හැකියාව ලබයි. එසේම මුනින් සිටින දරුවා හිස එසවීමට හැකියාව මාස 3 දී පමණ අත්කර ගනී. එසේ හිස එසවීම මගින් වඩා විශාල ප‍්‍රදේශයක් දක්නට ලැබෙන අවස්ථාව මත දරුවා හිස හරවා බැලීමටද පුරුදු වේ. 

එමෙන්ම හිස එසවීමෙන් පමණක් නොනැවතී දෙඅත් මතට බර දෙමින් ක‍්‍රමයෙන් හිස හා පපුව එසවීමටත් හැකියාව ලබයි. මේ වන විට දරුවා මුනින් අතටත්, උඩු අතටත්, පැත්තටත් තැබීම සිදු කල විට උඩු අතට සිටින විටත් හිස එසවීමට උත්සහ දරයි. මාස 3 පසු කරන දරුවන් මෙසේ සිදු කරන හෙයින් දරුවා පෙරලීමටද හැකියාව ලබයි. මේ දරුවන් සඳහා උත්තේජන ලෙස අතේ දුරින් වර්ණවත් සෙල්ලම් උපකරණයක් තැබූ විට එය ලබාගැනීම සඳහා ඒ දෙසට යාමට උනන්දුවක් ඇති වේ. 

මෙසේ ආරම්භයේදී දරුවන් සඳහා ලබාදෙන උත්තේජන මගින් පෙරලීම, මුනින් සිටින විට හිස එසවීම වැනි ක‍්‍රියා සඳහා දරුවන් වේගයෙන් පෙළඹේ. සෑම දරුවෙකුගේම වර්ධන පියවරයන් එකම වුවද දරුවාගෙන් දරුවාට මෙම ක‍්‍රියාකාරකම් සඳහා වයස එකම නොවේ. එසේ වන්නේ දරුවාට උපතින් ලබන හැකියාව මෙන්ම උපතින් පසු ලැබෙන උත්තේජනද මතයි. මේ නිසා සෑම දරුවකුම එකම වයසේදී මේ ක‍්‍රියාකාරකම් සිදු නොකරයි. 

සෑම දරුවකුගේම වර්ධන පියවරයන් එකම වුවද යම් යම් රෝගී තත්ත්වයන් හෝ උපතේදී ලබන පරිසර සාධකයන් මෙන්ම නොමේරූ දරු උපතකදීද මෙම ක‍්‍රියාකාරකම් සඳහා බලපෑම් ඇති විය හැකියි. එමෙන්ම ජානමය බලපෑම් නිසා ඇති වන තත්ත්ව මතද දරුවාට ඇතිවන ආබාධ නිසා දරුවන්ගේ මේ ක‍්‍රියාකාරකම් පසුගාමී මෙන්ම ප‍්‍රමාද වීමට හැකියාවක් තිබේ. 

ළදරුවන්ගේ ක‍්‍රියාකාරකම් ප‍්‍රමාද වීමට හෝ සිදු නොකිරීමට හේතු 

  • පූර්ව ප‍්‍රසව අවධියේ මවට ජර්මන් සරම්ප වැළඳීම. 
  • ප‍්‍රසූතිය ප‍්‍රමාද වීම (ප‍්‍රසූතිය සඳහා ගත වන කාලය වැඩි වීම)
  • තයිරොක්සීන් වැනි හෝමෝන අසමතුලිතතා
  • මොළයට විෂබීජ යාම නිසා ඇතිවන තත්ත්ව
  • බිලි රූබින් වර්ණකය වැඩි වී මොළයට හානි සිදු වීම (කහ වීම නිසා)
  • ජානමය හේතූන්

මේ බොහෝ තත්ත්ව වලදී සිදුවන්නේ මොළයට සැපයෙන ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම නිසා මොළයට සිදුවන හානි හේතුවෙනි. මේවා වළක්වා ගැනීම සඳහා, 

  • පූර්ව ප‍්‍රසව සමයේ ඇති වන රෝග තත්ත්ව නිසි පරිදි වෛද්‍ය උපදෙස් මත කළමනාකරණය කරගැනීම. 
  • ගර්භනී වීමට මාස තුනකට පෙර ජර්මන් සරම්ප එන්නත ලබාගැනීම. 
  • ප‍්‍රසූතිය සඳහා පුහුණු කාර්ය මණ්ඩලය සහිත පහසුකම් සහිත රෝහලක් තෝරාගැනීම.
  • දරුවා කහපැහැ වීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගැනීම. 
  • උපතේදී තයිරොක්සීන් පරීක්‍ෂාව සිදුකරවා ගැනීමද වැදගත් වේ. 

ක‍්‍රියාකාරකම් ප‍්‍රමාද දරුවකු හඳුනාගන්නේ කෙසේද?

ළදරුවෙකු පෙන්නුම් කරන පහත ලක්‍ෂණ වයසත් සමග සසඳා බැලීමෙන් හඳුනාගත හැකියි.

  • මාස 4 – 5 ඉක්ම වූ පසුත් දරුවාගේ හිස කෙලින් තබාගැනීමට නොහැකි වීම 
  • මාස 6 – 7 ඉක්මවා යාමේදීත් දරුවාට තනිව පෙරලීමට නොහැකි වීම 
  • මාස 9 – 12 ඉක්ම වූ පසුත් තනිව වාඩි වීමට නොහැකි වීම
  • වයස අවුරුදු 1 ½ න් පසුත් තනිව ඇවිදීමට නොහැකි වීම

මීට අමතරව මෙවන් දරුවන් තුල,

  • පේශීන් වඩා මෘදු බවින් යුක්ත වීම
  • අත් පා දරදඬු කරගෙන සිටීම
  • පාලනයකින් තොරව අත් පා චලනය වීම/අත් පා වෙව්ලීම
  • මුඛයෙන් කෙල ස‍්‍රාවය වීම
  • නිතර ඇඬීම
  • කතා කිරීමට ප‍්‍රමාද වීම
  • අන්ධභාවය
  • බිහිරි බාවය
  • මන්ද බුද්ධික බව වැනි ලක්‍ෂණද දැකිය හැකියි. 

මේ තත්ත්වයන් මවට හඳුනාගත හැකි වන අතරම ඒ සඳහා වඩාත්ම ආරක්‍ෂාකාරී හා හොඳම ක‍්‍රමවේදය වන්නේ දරුවා උපන් දිනයේ සිටම මේවා පිළිබඳ සැලකිලිමත් වීමයි. එසේම ළදරු වර්ධන සටහනේ මානසික සංවර්ධනය මැන බැලීම සඳහා ලබාදී ඇති පොදු අදහස් කියවා බැලීමත් ඒ අනුව දරුවාට අවශ්‍ය උත්තේජන සැපයීමත් මෙන්ම අපේක්‍ෂිත සංවර්ධනය පිළිබඳව පියවර අදාල තැන්හි ක‍්‍රියාකිරීමයි. මේ සඳහා පහසු වන අයුරින් වයසත් සමග සිදුවිය හැකි ක‍්‍රියාකාරකම් අදාල කොටු තුල සටහන් කිරීම තුලින් දුර්වලතාවය මතු වූ සැනින් හඳුනාගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව අවශ්‍ය පරිදි යොමු වීමටද අවස්ථාව උදාවේ. 

ඔබේ ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය සමග එක්ව මේ කාඩ්පතේ ඇති සංවර්ධන පියවරයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා සටහන් තැබීම තුලින් ඔබට වේලාසන දරුවාගේ ක‍්‍රියාකාරකම් වල දුර්වලතා හඳුනා ගැනීමටත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමටත් අවස්ථාව උදා වනවා සේම, ලබාදිය හැකි චිකිත්සක ප‍්‍රතිකාර මගින් නිවැරදි කරගැනීමටද අවස්ථාව එළඹෙනවා. 

ඇති වන තත්ත්වය අනුව ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ගෙන භෞතික චිකිත්සකවරුන්/වෘත්තික චිකිත්සකවරුන් හෝ භාෂා හා කථන චිකිත්සකවරුන්/විකලාංග චිකිත්සකවරුන්/විශේෂ පුහුණු ගුරුවරුන් ආදී ලෙසින් විශේෂඥ උපදෙස් මත ක‍්‍රියාත්මක වීම තුලින් දරුවා සඳහා ගුණාත්මක ප‍්‍රතිකාරයක් ලබාගත හැකිවීම තුලින් ඇති වූ දුර්වලතාවය ජය ගැනීමට හැකිවනු නිසැකයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවෙකුට වමනය ඇති වීමට හේතු

දරුවන්ට වගේම වමනය වැඩිහිටි සෑම දෙනක්ම පාහේ  අත්විඳ තිබෙන ඉතා සුලබ රෝගි තත්වයක්. අපේ ආමාශයට වෛරසයක් , බැක්ටීරියාවක්, විෂබීජයක් ඇතුලු වීම නිසා ඇති වෙන ආසාත්මිකතාවයේදී එය පිට කිරීමට සිදු වෙන ක්‍රියාවලියක් විදිහටත් වමනය හඳුන්වන්න පුලුවනි. අතීතයේදී පවා විෂ ශරීරගත පුද්ගලයන්ට ආයාසයෙන් පවා වමනය කරවීමෙන් ශරීරගත විෂ ඉවත් කිරීමට උත්සාහ ගත් අවස්ථාවන් තිබෙනවා. ඒ අනුව වමනය සාමාන්‍ය තත්වයක් වගේම ආමාශගත අපහසුතාවයෙන් මිදීමට සිදු වෙන ආරක්ෂිත පියවරක් ලෙස සලකන්න පුළුවනි.වමනය දැමීමත් සමග ආමාශයේ ඇති අපහසුතාවයෙන් සැහැල්ලුවට පත් වීමක් සිදු වෙනවා.

වමනය සමග ඇති වෙන රෝග ලක්ෂණ

දරුවෙකුට වමනය සමග ඔක්කාරය, උදරයේ වේදනාව ඇති වෙන්න පුළුවනි. උණ, කැස්ස නිසාත් වමනය ඇති වෙනවා. වමනය දැමීමෙන් පසුව දරුවා සුදුමැලි වීම, හෘද වේගය වැඩි වීම වැනි තත්වයන් ඇති වෙනවා.

දරුවෙකුට වමනය ඇති වීමට හේතු

  • ආහාර අරුචිය, පමණට වඩා ආහාර ගැනීම, නිසා වරක් හෝ දෙකක් වමනය ඇති වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ඊට වැඩි වාර ගණනක් වමනය සිදු වෙන්නත් පුලුවනි. ආහාර අජීර්ණය නිසා බඩඑළිය සමග වමනය ඇති වෙන්න පුළුවනි.
  • සරල උණ තත්වයේ පටන් කොවිඩ් , ඩෙංගු සහ මොළයේ ආසාදන වැනි රෝග තත්වයන්
  • වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධවල අතුරු තත්වයක් ලෙස 
  • ඕනෑම වයසක දරුවෙකුගේ බඩවැල්වල ඇති අවහිරතාවය
  • වාහනවල ගමන් කරන විට ඇති වෙන වෙන චලනය නිසා
  • නව ජන්ම දරුවෙකු විෂබීජවලට නිරාවරනය වීම 
  • ළදරුවන්ගේ reflux තත්වය ( මෙය බරපතල නොවුනත් බහුල තත්වයක් )කිරි පෙවීමෙන් පසුව දරුවා කෙළින් අතට වඩා ගෙන වාතය ඉවත් වන සේ දරුවා තබා ගන්න. ශරිරය  ඉහළට ඔසවා ගත් විට වාතය කටින් පිටවෙනවා.  සාමාන්‍යයෙන් මෙය “ගුඩුස් ” යැවීම යනුවෙන් අපි හඳුන්වනවා.දරුවාට වමනය යෑමක් ඇති වුවොහොත් දරුවා පැත්තකට හරවා තබන්න.

හිසට ඇති වෙන හානි

  • මොළයේ ඇති වෙන පීඩනය ( පිලිකා වර්ගයේ ගෙඩි )
  • බඩවැල් ආශ්‍රිත තද ආසාදන තත්වයන් ( ඇපෙන්ටිසයිටිස් වැනි )

වමනය සහිත තත්වයකදී දරුවා රැක බලාගැනීම

  • වමනය තත්වයේදී දරුවෙකු විජලන තත්වයට පත් නොවී රැක බලාගැනීම ඉතාම වැදගත්.
  • වමනය යන අවස්ථාවකදී දරුවා ආහාර නොගත්තාට කලබල වියයුතු නැහැ. මේ අවස්ථාවේදී දරුවාට ආහාර අප්‍රියතාවයක් ඇති වෙනවා. නමුත් දරුවා ආහාර ඉල්ලා සිටිනවා නම් සහ ආහාර ගැනීම නිසා වමනය තත්වයේ වෙනසක් නොවෙනවා නම් ආහාර ලබා දීමත් වරදක් නැහැ.
  • ඒ කෙසේ වුනත් දරුවාට දියර ආහාර වැඩියෙන් ලබා දීම වැදගත්. මෙතැනදී වතුරම විය යුතු නැහැ. කැඳ, සුප්, තැඹිලි වතුර සහ ජීවනී වැනි පාන වර්ග ලබා දෙන්න පුලුවනි.
  • දියර ලබා දීමේදී වුනත් එකවර වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න එපා. සුළු ප්‍රමාණවලින් වැඩි   වාර ගණනක් දියර ලබා දෙන්න පුලුුවනි.
  • විවේකයත් වැදගත්

දරුවෙකු වමනය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවන්…

වමනය සුලබ සහ සාමාන්‍ය රෝග තත්වයක් වුනත් ළදරු අවස්ථාවක දරුවෙකුගේ වමන තත්වය ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවනි. 

සාමාන්‍ය වයසක දරුවෙකු වුනත් නැවතීමක් නොමැතිව වමනය කරනවා නම්, කිසිම දියර ආහාරයක් ගත නොහැකි තත්වයකට පත්ව සිටිනවා නම් , දරුවා විජලන තත්වයට පත් නොවන සේ රැකබලා ගැනීම වැදගත් එවැනි අවස්ථාවක දියර නික්ෂේපන ලෙසින් ලබා දීම අවශ්‍ය නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

ඒ වගේම සාමාන්‍යයෙන් දරුවාගේ වෙනදා පැවැති හැසිරීම වෙනස්නම්, මලානිකව සිටිනවා නම් හෝ වෙනදා පැවැති දරුවාගේ ක්‍රියාශීලි හැසිරීම් රටාවේ  යම් වෙනසක් දක්නට ලැබෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යෑම වැදගත්.

ඒ වගේම දරුවාගේ තොල් වියළී ඇත්නම් හෝ මුත්‍රා පිටවීමේ වාර ගණන හෝ මුත්‍රා ධාරිතාවයේ යම් අඩුවක් වෙතොත් එයින් හැඟෙන්නේ දරුවා විජලන තත්වයට පත්ව ඇති බවයි. 

වමනය සමග උණ, ඇති විටදීත් නොසලකා සිටිය යුතු නැහැ.

ඒ වගේම දරුවෙකුගේ බඩවැල් ආශ්‍රිතව ඇති වෙන අවහිරතාවයන් නිසා වමනය ඇති වෙන බව මුලිනුත් සඳහන් කළා.එය බරපතල රෝගි තත්වයක්.උදරයේ ඉහළ කොටසේ අවහිරතාවයක් ඇත්නම් කොළ පැහැයෙන් වමනය ඇති වෙනවා. ඒ වගේම පහළ කොටසේ අවහිරතාවයක් ඇති විට මලපහ සමග රුධිරය පිටවෙන්න පුලුවනි.

  • නොමේරූ වයසේ දරුවන් කිරි නොබි වමනය කරනවා නම් සහ නොනවත්වාම ඇඬීම , නොහඬා සිටීම වැනි හැසිරීමක් ඇති විටත් ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.
  • උණ සමග තද හිසරදයක් තිබීම.
  • හිසට තද පහරක් වැදීම නිසා ඇති වෙන වමනය 

දරුවා කොවිඩ් හෝ ඩෙංගු රෝගී ආසාදිත වුනොත්…

දරුවෙකු කොවිඩ් ආසාදිත වුනොත් උණ, කැස්ස, ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදන තත්වය ප්‍රධානයි. ඊට අමතරව වමනය ඇති වෙන්න පුලුවනි. සමහර විට සෙසු රෝග තත්වයන් නොමැතිව වමනය පමණක් ඇති වෙන්න පුලුවනි. මෙතැනදී පවුලේ සෙසු සාමාජිකයන් කොවිඩ් ආසාදිතදැයි තහවුරු කර ගැනීම වැදගත්. ඒ අනුව දරුවා කොවිඩ් ආශ්‍රිතයෙක් බැව් තහවුරු කර ගෙන ප්‍රතිකාර සිදු කිරීමට සිදු වෙනවා.

ඩෙංගු රෝග තත්වයේදී ලක්ෂණ  ලෙස තද උණ, හිසරදය, සමේ කුෂ්ට, උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. ඩෙංගු රෝගී දරුවෙකු විජලනයට පත් නොකොට හැකි තරම් දියර ලබා දීම අවශ්‍යයි. ඒ නිසා දින දෙක තුනක් උණ තත්වය පවතිනවා නම් රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඩෙංගු රෝගී දරුවෙකු තදබල ලෙසින් වමනය කරනවා නම් දරුවාට මුඛ මාර්ගයෙන් පාන වර්ග ලබා දීම අපහසුයි.එවැනි අවස්ථාවකදී දරුවා විජලනයට පත් වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා.

දරුවෙකු වමනය තත්වයට පත් වුනොත් දෙමව්පියන්ට ලබා දෙන වටිිනා උපදෙස

ඔව්…ඇත්තටම මුලින් සඳහන් කළ අන්දමට වමනය කියන්නේ ඉතා සුලබ රෝගී තත්වයක්. සමහර විිට පැය දෙක තුනක් එහෙම නැත්නම් දිනක් වගේ සුළු  කාලයකින් නිවසේදීම සුවය ලබන්න පුලුවනි. ඒ අතරම බරපතල රෝග තත්වයක අතුරු අවස්ථාවක් විිදිහට වමනය ඇති වුනත් දරුවා විජලනයට පත් නොවී රැකබලා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා “ජීවනී“ වැනි දියර වර්ග ලබා දීමෙන් දරුවා විජලනයට පත් නොවී රැකබලා ගැනීමට පුළුවනි.ඒ නිසා වමනය සහ ප්‍රතිකාර ලබන තෙක් යන අන්තර්කාලයේදී දරුවා විජලන තත්වයෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග පිලිබඳ විශේෂඥ  වෛද්‍ය නිරෝදිකා දයාරත්න මහත්මිය

 

 

 


                

BCG එන්නත ලබා දුන් ස්ථානයේ කැලලක් හට නොගත්තොත් මොකද කරන්නේ?

BCG එන්නත සාමාන්යැයෙන් දරුවෙකු බිහිවී රෝහලෙන් පිටවීමට පෙර ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් මව්පියන්ට බොහොම ගැටලු තියෙනවා. එන්නත ලබා දුන් ස්ථානයේ කැලල නැති වීම, එන්නත ලබා දුන් පසු දරුවා අපහසුවෙන් පසු වීම වැනි තත්ත්වයන් මව්පියන් කලබලයට පත් කරනවා. අපි මේ ගැන දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

ඇඳුම තියෙන දරුවන්ට ඉන්හේලර් ලබාදීම සුදුසුද?

ඇදුම, හතිය, වීසින් එහෙමත් නැතිනම් ඇස්මා ලෙසත් හඳුන්වන මේ රෝග තත්ත්වය නිසා පුංචි දරුවෝ බොහොම පීඩාවට පත් වෙනවා. වෛද්යෙවරු මේ සඳහා ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරනවා. මේ ගැන ඇතැම් මව්පියන් දක්වන්නේ බියක්. එය බිය විය යුතු ප්‍රතිකාර ක්‍රමයක්ද යන්න පිළිබඳව අපි දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වාරිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

පුංචි දරුවන්ට ක්ෂය රෝගය වැළඳුණහොත් එය හඳුනාගන්නේ කොහොමද?

පුංචි දරුවෙක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති බව හඳුනා ගන්න තරම් මව්වරුන් වශයෙන් අපිට ඇති දැනුම අල්පයි. නමුත් නම් සැකයක් මතු වුවහොත් වෛද්‍ය උපදෙස් අනුව මේ තත්ත්වය යම් යම් පරීක්ෂණ මගින් හඳුනා ගැනීම සිදු කළ හැකියි.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල