පුංචි දරුවන්ටත් ක්ෂයරෝගය ඇති විය හැකිද?

ක්ෂය රෝගය පිළිබඳව ඇත්තටම අද වන විට වැඩි අවධානයක් දෙමාපියන් තුළ නෑ කිව්වොත් නිවැරදියි. අන්න ඒ නිසාම අපි හිතුවා අපේ පුංචි දරුවන් ඉන්න අම්මලා ඒ ගැන දැනුවත් කිරීම වඩාත් සුදුසුයි කියලා. අපි සැලකිල්ලක් නොදැක්වුවත් ක්ෂය රෝගය කියන්නේ අදටත් අපේ රටේ පවතින රෝග තත්ත්වයක්. අපි බලමු අපේ පුංචි දරුවන්ටත් ක්ෂය රෝගය ඇති විය හැකිද කියලා.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

අපට හදවතින් සමීපව සිටින අය වුනත් සර්ව සම්පූර්ණ නැහැ

පවුලක් තුළ පුංචි පුංචි අඬ දබර සිදුවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒවායින් හෙම්බත් වෙන්නේ දරුවන් බව අපි දන්නවා සමහර දෙමව්පියන්ට හොස්ස ළගින් මැස්සා යන්න බැරි තරම් කේන්තිකාරයෝ. හොද්දට ලුණු ටිකක් වැඩි වුනොත් , එහෙම නැත්නම් තේ කහට එකට සීනි ටිකක් අඩු පාඩු වුනොත් ඉවසුම් නොදෙන පවුල් තිබෙනවා.

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ආචාර්ය අබ්දුල් කලාම් කියන මේ පුංචි කථාව ඇහුවොත් ඔබටත් මේ ගැන යම් අදහසක් ඇති වේවි.

අබ්දුල් කලාම්ගේ අම්මා එදා රාත්‍රි ආහාරයට රොටී සහ ” සබ්සි ” ( ඉන්දියාවේ ව්‍යංජනයක් ) ව්‍යාංජනයක් සකස් කර තිබුණා. හැබැයි රොටී ටිකක් කර වෙලා.රාත්‍රි ආහාර මේසයේදී අබ්දුල් කලාම්ගේ පියා දවසේ ආ ගිය තොරතුරු විමස ගමන්ම කර වුන රොටී කිසිම වෙනසක් නැතුවම ආහාරයට ගත්තා.

  • අද මගේ අතින් රොටී කරවුණා ( පමණට වඩා පිලිස්සී ) අම්මා බොහොම බැගෑපත්ව කිව්වා….
  • මං කැමැති කර වුන රොටී කන්න….අබ්දුල් කලාම්ගේ පියා කිව්වා…පුංචි අබ්දුල්ට මේ ගැන පුදුම හිතුනා. කර වුන රොටී පුංචි අබ්දුල් වුනත් ආහාරයට ගත්තේ කැමැත්තෙන් නොවෙයි.
  • රාත්‍රි නින්දට පෙරාතුව තාත්තාට සුබ පතන්න කලාම් තාත්තාගේ ඇඳ ළඟට ගියා.
  • තාත්තේ…ඇත්තටම ඔයා කර වෙච්ච රොටි කන්න කැමැතිද…?

පුතේ…අම්මා බොහොම මහන්සි වෙලා රොටී හැදුවේ. ඒක පිලිස්සුනාට ඇයට කරන්න දෙයක් නැහැ. මම ඒ ගැන තරහෙන් කතා කලා නම් රොටියට රිදෙන්නේ නැහැ. ඒත් අම්මාගේ හිත රිදෙනවා.

පුතා දන්නවාද…? ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැහැ…ඒ වගේම තමයි අපට හදවතින් සමීපව සිටින අය වුනත් සර්ව සම්පූර්ණ නැහැ…අබ්දුල් කලාමේගේ පියා ඔහුට එසේ පිලිතුරු දුන්නා.

ඇත්තටම  පවුලක් වුනාම එකිනෙකා වෙතින් අඩුපාඩු සිදු නොවෙනවාම නොවෙයි. නමුත් අපි ඒවා ඉවසා ගෙන සිටීම ඉතාම වැදගත්.

අනවශ්‍ය පෞරෂයක් අවශ්‍ය නැහැ…

පවුලක් තුළ අපි හැම දෙනෙක්ම සහජීවනයෙන් ජීවත් වීම ඉතාම වැදගත්.තාත්තා විදිහට පවුලක් තුළ ලැබෙන ගරුත්වයක් තිබෙනවා. ඒ වගේම අම්මා කියන ආදරණීය චරිතයටත් යහපත් වූ පිළිගැනීමක් තිබෙනවා. නමුත්…තාත්තා තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට යැයි සිතා නිතරම පමණ ඉක්මවා ගිය සැර පරුෂ චරිතයක් වීම අවශ්‍ය නැහැ.

සැර පරුෂ වුන පමණින් පිළිගැනීමක් ඇති වෙන්නෙත් නැහැ…

දරුවන් ගේ ළමා කාලය පවතින්නේ ඉතාම කෙටි කාලයක්. එය අසුරු සැනින් ඉගිලෙනවා. නමුත් බාල කාලයේදී ඔවුන් ලබන රසවත් අත්දැකීම් දරුවන් සමගම ජීවත් වෙනවා. ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ පවුල තුළ නිතරම සුන්දර මතක ඉතිරි කිරීම ඉතාම වැදගත්.

කටුක අත්දැකීම් දරුවන්ගේ අනාගතයට බලපානවා…

බාල කාලයේ නිවස තුළ ලබන අම්හිරි අත්දැකීම් සමග ජීවත්වෙන දරුවන් අනාගතයේදී වැඩිහිටියන් වුනත් ඔවුන්ගේ මානසිකත්වය බෙහෙවින්ම වෙනස් වෙන්න පුලුවනි. අප අතර වුනත් සිටින ඇතැම් වැඩිහිටියන් පවා විවිධ චර්යා රටාවන්ගෙන් යුක්ත බැව් වැඩිහිටියන් විදිහට ඔබ දන්නවා. ඒ වෙනුවෙන් බොහෝ විට ඔවුන් ළමා කාලයේදී ලත් කටුක අත්දැකීම් පාදක වෙන්න පුළුවනි.

ආර්ථික දුෂ්කරතාවයන් තිබෙන්න පුළුවනි…

කටුක අත්දැකීම් කී විට ආර්ථික දුෂ්කරතාවයන් දරුවන්ගේ පෞරෂයට බලපෑම් ඇති කරන්නේ නැහැ.වේලක් ඇර වේලක් කෑවත් දරුවන්ට මානසික සතුට අවශ්‍යයි. අධි සුඛෝපබෝගී නිවසක වුනත් දරුවන්ට දරුවෙකු ලෙසින් ජීවිතයේ සතුට , සැනසිල්ල සහ ප්‍රිතිමත් අත්දැකීම් නොමැති වුනොත් ඒ නිවස සැබැවින්ම දරුවාට අපායක් විය හැකියි.

ළමා විය උදුරා ගත් වේදනාව…

දරුවන් පිලිබදව සිතන විට හැම දරුවෙක්ම එක හා සමානව ජීවිතයට මුහුණ  දීමේ හැකියාවෙන් යුක්ත නැහැ. ඇතැම් අවස්ථාවලදී පවුලේ මව්පියන් නිසා ඇති වුන ගැටුම් මැද ජීවත් වුනත් පසුකාලයේදී දෙමව්පියන් සමග සහජීවනයෙන් ජීවත් වෙන දරුවන් සිටිනවා. ඒ අතරම ඇතැම් දරුවන්ට තමන්ගේ සුන්දර ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට නොමැති වීම හෙවත් ළමා විය අහිමි වීමේ වේදනාව නිසා මව්පියන් සමග දුරස් බවක් ඇති වෙනවා.ඒ නිසා කිසිම විටෙක දරුවන්ට ඔවුන්ගේ නිවස තුළ මව්පියන්ගේ අඩ දබර නිසා බියෙන් ජීවත් වීමට ඉඩ තැබිය යුතු නැහැ.

පවුලක් වුනොත් ගැටුම් නැතුවාම නොවෙයි…

එක වහලක් යට ජීවත් වෙන විට යම් යම් ගැටුම් සහ බහින්බස් වීම් ඇති වෙනවා. ඒවා සාමාන්‍යයි. නමුත් හැකි තරම් දුරට දෙමව්පියන්ගේ මතවාද සහ බහින්බස් විම් දරුවන් ඉදිරියේ සිදු නොවෙනවා නම් වඩාත් යෝග්‍යයි. වචනයෙන් වුනත් එල්ල කරන ප්‍රහාර පවා දරුවන්ගේ මානසික සතුටට දැඩි සේ බලාපන්න පුලුවනි. උණුසුම් වාග් ප්‍රහාර වුනත් දරුවන් බියෙන් ත්‍රස්ත කිරීමට සමත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ අතර ඇති වෙන ගැටුම් දරුවන් ඉදිරියේදී සිදු නොවන තරමට දරුවා පවුල තුළ ප්‍රිතිමත් සාමාජිකයෙක් ලෙසින් ජීවත් වේවි.

එකිනෙකා විවේචනය කරන්න එපා…

සැමියා බිරිඳ වහයෙන් පමණක් නොව පවුලේ තවත් සාමාජිකයන් අතරත් අදහස් හුවමාරු වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවන්හිදී ඔබේ ආවේගය නිසා සිතට නැගෙන අදහස් කිසිදු පාලනයකින් තොරව මුදා හරින්න පුලුවනි. ඒ සෑම අවස්ථාවකදීම පවුලේ කුඩා සාමාජිකයන් වුනත් දුව , පුතා ඉදිරියේදී නිර්දය ලෙසින් විවේචන මුදා හරින්න එපා. බිරිද ලෙසින් ඔබ සැමියාත් ඔහුගේ මව , පියා…සැමියා ලෙසින් ඔබ බිරිඳ ඇගේ මව / පියා විවේචනය කරන විට දරුවන් තුළත් ඔවුන් මුල් කර ගෙන ඇති ගරුත්වය හීන වීමට ඉඩ තිබෙනවා.

පවුල් ගහට නගින්න එපා…

අඹු සැමියන් අතර ඇති වෙන පුංචිම පුංචි සිදුවීමේදී පවා අනවශ්‍ය ලෙසින් පවුල් ගස සම්බන්ධ කර ගන්නා අවස්ථාවන් තිබෙනවා. උදාහරණයක් ලෙසින් ඔබේ ව්‍යංජනයේ යම් අඩුපාඩුවක් කී සැනින් ” මම කොච්චර රසට ඉව්වත් වැඩැක් නැහැ. අම්මා ඇල්වතුරෙන් උයලා දුන්නත් ඒවා දිව්‍ය භෝජන වගේ… යැයි  ආවේශ වෙන්න එපා.

අතීතයට යන්නත් එපා…

පවුල තුළ පුංචි ගැටුමක් වුනොත් එය ඒ අවස්ථාවට පමණක් සීමා කර ගන්න. මීට පෙරාතුව සිදුවුන තවත් සිදුවීම් අද සිදුවීමට ගලපා ගන්න එපා. ඒවා සියල්ල දැන් සිදුවී අවසානය බැවින් අනවශ්‍ය ලෙසින් ගැටුම දුර දිග ගෙනියන්න අවශ්‍ය නැහැ.පවුගේ ගැටුම් නිසා පුංචි හිත් බොහෝ සෙයින් රිදෙන බව දෙමව්පියන් විදිහට ඔබ මතක තබා ගන්න.

 

 

 

කම්මැලිකමෙන් දරුවා මුදවා ගැනීමට උපායන්

පුද්ගලයන් ජයග්‍රාහි හෝ කම්මැලියන් යැයි කණ්ඩායම් දෙකකට බෙදුවොත් මේ කණ්ඩායම් දෙකම කවදාවත් ස්ථාවර නැහැ.සදාකාලික කම්මැලි දරුවන් නැති බව දෙමව්පියන් විදිහට අපි දන්නවා. ඕනෑම දෙයක් පොරවෙන් කපනවාට වඩා නියපොත්තෙන් කඩන තැනදීම වලක්වා ගැනීම වැදගත්. ඒ නිසා නව යොවුන් දරුවන් අතරින් ඔබ දකින කම්මැලි,අලස, කුසීත ගති පැවැතුම් ඇත්නම් ඒ තත්වයෙන් දරුවා ගලවා ගැනීම නොපවාම කළ යුතුයි. නමුත් ඒ වෙනුවෙන් සීරුවෙන් අනුගමනය කළ යුතු උපායන් කීපයක් තිබෙනවා.

වැඩ කොටස් කරන්න

ඔබේ දරුවා යම් කාර්යක් එක දිගට කිරීමට අකමැත්තක් දක්වනවා නම් කුඩා වැඩ කොටස් ලබා දෙන්න. උදාහරණයක් විදිහට ඔබේ ගෙමිදුල වපසරිය විශාල නම් දරුවාට අතුගෑමට යම් කුඩා කොටසක් වෙන් කර දෙන්න. එය දරුවා අකමැත්තක් නොමැතිව කරනවා නම් සීරුවෙන් තවත් කුඩා කොටසක් එක් කරන්න.

පියවරෙන් පියවර කරන්න

ඒ වගේම කම්මැලි දරුවාට යම් කාර්යක් පියවරෙන් පියවර කිරීමට ඉඩ දෙන්න. අද දවසේම ඉටු කිරීමට නොහැකි කාර්යක් වෙනුවෙන් හෙට දවසත් ලබා දෙන්න. නමුත් අදාල දිනයේදී පවරන වැඩ කොටස හෙටට කල් තැබීම එතරම් සුදුසු කාර්යක් නොවේ.වැඩ කල් තැබීම කම්මැලි පුද්ගලයෙකුගේ ගති ලක්ෂනය් බැවින් දරුවාට හැකි හැම විටම අද කළ යුතු දේ අදම කිරීමට උපදෙස් ලබා දෙන්න.

අනාගතය ගැන චිත්‍ර රූප මවන්න

දරුවෙක් යනු හෙට දවසේ වැඩිහිටියෙක් බැව් අපි දන්නවා. දරුවෙකුට අනාගතය ගැන සැලසුමක් නොමැති වුනත් දෙමව්පියන් විදිහට දරුවාට අනාගතය ගැන අදහසක් ලබා දීම ඉතාම වැදගත්. පුතා හොදට ඉගෙන ගෙන…ලොකු රස්සාවක් කරලා…ලස්සන ගෙයක් හදා ගෙන…ලස්සනට ජීවත් වෙන දවසක් ගැන චිත්‍ර රූප මවා දෙන්න.

සාර්ථකත්වයේ වාසි

දැන් ඔබ දරුවාට අනාගතය ගැන දළ සැලැස්මක් හිතට එන්නත් කරන්න ඇති. මේ එන්නතේ වාසි ගැනත් දරුවාට කියා දෙන්න. සැබැවින්ම යම් රෝගයකට අපි එන්නතක් ලබා ගැනීම යම් අන්දමකින් වේදනාකාරී වුනත් ඒ නිසා ලැබෙන ප්‍රතිලාභ අමතක කළ යුතු නැහැ. ඒ වගේම අනාගතය වෙනුවෙන් දරුවා වර්තමානයේ යම් අන්දමකින් වෙහෙක් දැරීම අවශ්‍ය බවත් එයින් ලැබෙන ප්‍රතිලාභ ගැනත් දරුවාට පැහැදිලි ලෙසින් අවබෝධ කර දීම ඉතාම වැදගත්.

අසාර්ථක වීමේ අවාසි

දරුවන්ට සාර්ථකත්වයේ වාසි වගේම අසාර්ථක වුනොත් එයින් ලැබෙන අවාසි ගැනත් කියා දෙන්න. හාවා සහ ඉබ්බාගේ ධාවන තරගයෙන් හාවා පරාජයට පත් වුනේ තක්සේරුව  නිසා බැව් කියා දෙන්න. දරුවෙක් වුනත් අද කළ යුතු දෙය අදට නොකලොත් එයින් ලැබෙන අවාසි ගැනත් පැහැදිලිව කියා දීම ඉතාම වැදගත්.

එකවර එක් දෙයක්  (මල්ටි ටාස්කින් එපා) කිරීම

අද බොහෝ දෙමව්පියන් දරුවන් බහු කාර්ය යන්ත්‍රබවට පත් කිරීමට දරණ අසාර්ථක උත්සාහය නිසාමත් දරුවන් උදාසීන චරිත බවට පත් වීමට ඉඩ තිබෙනවා. එකවර එක් දෙයක් කිරීම නිසා අදාල කාර්යය සාර්ථකව කිරීමට වගේම වෙහෙසක් නොමැතිව අදාල කටයුත්ත ඉටු කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම එහි අවසාන ප්‍රතිඵලයත් සාර්ථක වීම අරුමයක් නොවෙයි. දෙමව්පියන් විදිහට ඔබ දරුවා බහු කාර්ය යනත්‍රයත් බවට පත් කිරීම වෙනුවට එක් වරකට එක් කාර්යක් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ධෙර්ය ලබා දෙන්න.

නින්දෙන් අවදි වී යහනේ සිටීම මිතිත්තු දෙකක් තුල අවදි වෙන්න

ඔබේ දරුවා උදේ නින්දෙන් අවදි වී නිදි යහනෙන් ඇවිත් දවසේ කටයුතු පටන් ගන්නවා වෙනුවට ඇඳට වී අලසව සිටිනවා නම් ඔබේ දරුවා නොදැණුවත්ම කම්මැලි චරිතයක් බවට පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා නි්නදෙන් අවදි වූ පසු නැවත නැවත නිදි යහනේ කාලය ගෙවනවා වෙනුවට දවසේ වැඩ කටයුතු පටන් ගැනීමට දරුවා යොමු කරන්න.

සාර්ථක අය අනුගමනය කරන්න

අද ලෝකයේ සාර්ථකත්වයට පත් පරමාදර්ශි චරිතයන් ගැන දුවාට කියා දෙන්න. ඔවුන්ගේ මේ ගමනේ ආරම්භය එක් කුඩා පියවරකින් බැව් වටහා දෙන්න. එවැනි සාර්ථක පුද්ගලයන්ගේ චරිතයෙන් ලබා ගන්නා ගුනාංඟයන්ගෙන් දරුවාගේ චරිතය පෝෂණය කරන්න.

අඳුරට එපා

සාමාන්‍ය අපේ ජන ජීවිතයට අනුව උදෑසන නිවසේ දොර ජනේල විවෘත කිරීම වාසනාව වගේම පවුලේ නිරෝගිබවට හේතුවක් විදිහට පිලිගැනෙන සම්මතයක්. උදේ පිරිසිදු වාතය අපට නැවුම් හුස්මක් ලබා දෙනවා. ඒත් ඔබේ නව යොවුන් දරුවා නිතරම අදුරේ ඉන්න කැමැති නම්, අඩුම වශයෙන් අදුරට කාමරයේ විදුලි බල්බයවත් දල්වා ගැනීමට උදාසීන නම් එය සැබෑම කම්මැලියෙකුගේ ගති ලක්ෂණයක්.ඒ නිසා දරුවාගේ කාමරයට හොදින් හිරු එළිය ලැබෙන සේ සැලසුම් කරන්න.

පිරිසිදු බව

ඔබේ දරුවා කුඩා වුනත් පිරිසිදු බව පුරුදු කරන්න. මුලුතැන්ගෙයි සින්ක් එකට උස වූ තැන පටන් තමා ආහාර ගත් පිගාන කෝප්පය සෝදන්න පුරුදු කරන්න. ඔබ අපේක්ෂා කරන පමණට ඒවා පිරිසිදු නොවුනත් දරුවාට පිරිසිදු බවේ මුල් පාඩම එතැනින් පටන් ගන්න.

අවට පිලිවෙල

පුද්ගලයෙක් දෙස බැලීමෙන්ම ඒ තැනැත්තාගේ චරිතය ගැන යම් ඉගියක් ලබා දෙන බැව් අපේ පිලිගැනීමයි. ඒ වගේම ඔබේ නව යොවුන් දරුවාගේ කාමරය ඉතාම අපිලිවෙල සහ අපිරිසිදුව ඇත්නම් ඔන්න දරුවාගේ කම්මැළිබව තහවුරු කරන ඉගියක්.

අඩුවෙන් ආහාර ගන්න. හිත නොව කුස පිරෙන්න

අද බොහෝ දරුවන් ආහාර වෙනුවෙන් දක්වන්නේ දැඩි ගිජුබවක්. අතීතයේදී මෙන් නොව අධික තෙල් සහ  ලුණු අඩංගු ආහාර නිසා දරුවන්ට නොදැනීම  නිදිමත ගතියක් ඇති වීම නිසා අනවශ්‍ය අන්දමින් ආහාර වෙනුවෙන් දරුවා ඇබ්බැහි කරන්න එපා.එය අනාගතයේදී බොහෝ කායික රෝග සඳහාද රතු එළියක් වීමට ඉඩ තිබෙනවා.ඒ නිසා නිතරම දරුවාගේ හිත පිරෙන ආහාර නොව කුස පිරෙන ආහාර වෙනුවෙන් යොමු වීම වැදගත්.

 

සදාකාලික කම්මැලි දරුවන් නැහැ.

නව යොවුන් වයසට එලැඹි ඔබේ දරුවා කම්මැලියෙක් යැයි ඔබ විසින්ම අර්ථකථනයන් ලබා දෙන අවස්ථා තිබෙනවා. සැබැවින්ම ඔබ දරුවා කම්මැලියෙක් යැයි ලේබල් කිරීමට ඔවුන්ගේ හැසිරීම් රටාවම සාක්ෂි දරනවා. නමුත් කම්මැලිකම වුනත් සදාකාලික නැහැ.  සමහර විට බාලකාලයේදී ඉතා කාර්යශීලි ඔබේ දරුවා දැන් අලස ලෙසින් කාලය ගෙවන්නට පටන් ගෙන ඇති.කුඩා කාලයේදී ජීවිතයේ අරමුණු, ඉලක්ක, සහ සිහින ගැන කථා කළ දරුවා දැන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් බවට පත්ව සිටිනවා යැයි ඔබට හිතෙනවා ඇති.නමුත් කනස්සල්ලට පත් වෙන්න එපා. කිසිම දිනක දරවා කම්මැලියෙක්…අලසයෙක් යැයි දොස් නගන්න එපා. ඒ හැසිරීම් රටාවෙන් දරුවා වෙනස් කර ගැනීමට පුලුවනි. එහෙමනම් දරුවා කම්මැලියෙක් බවට තීරණය කිරීමට යම් හැකියාවක් ලබා දෙන දරුවන්ගේ කායික සහ මානසික හැසිරීම් රටාවේ ලක්ෂණ කීපයක් මෙන්න.

හිතේ සන්සුන්බවක් නැහැ

අලස , කම්මැලි එහෙමනැත්නම් උදාසීන දරුවාගේ හිතේ කිසිම සන්සුන්බවක් නැහැ. විපිලසර මනස නිසා එකම කාර්යක වුනත් නිරතවීමේ හැකියාව මේ මානසිකත්වය නිසාම දරුවාට අහිමි වෙනවා.ඒ නිසා ඔබේ දරුවා වුනත් සන්සුන් මානසිකත්වයකින් නොමැති ගති පැවැතුම් පෙන්වනවා නම් එය දරුවාගේ අලස සිතුවිලි නිසා පෙන්නුම් කරන ගති ලක්ෂණයක් බැව් මනෝ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මට බැහැ කියන තේමාව

ජීවිතය කියන්නේ නොවැටී සිටීම නොව වැටි වැටී නැගී සිටීමක්. ඒත් නව යොවුන් වයසේ සිටින දරුවා නිතරම අනේ මට ඒ විභාගය කරන්න බැහැ…ඒ රස්සාවට මම කැමැති නැහැ ..ඒ කෝස් එක මට කරන්න අමාරුයි. මේ විදිහට ලැබෙන සෑම අවස්ථාවක්ම ”මට බැහැ …” කියන තේමාව පෙරටුවට ගෙන ප්‍රතික්ෂෙප කරනවා නම් එය දරුවාගේ අලස බව පෙන්නුම් කරන නිමිත්තක්.

වැඩක් පටන් ගැනීමට බයයි.

ජීවිතය දෙස උදාසීනව බලන දරුවා අබියෝග ඉදිරියේ පසුගාමී බවක් දක්වනවා. ඔහු වෙනසට සූදානම් නැහැ. මෙය අපේ දරුවන් අත පවා නොව වැඩිහිටියන් අතරත් දක්නට ලැබෙනවා. බොහෝ උදවිය තමාගේ හැකියාවට ගැලපෙන රුකියාව නොලැබුනත් එහි එල්බ සිටිනවා විනා වෙනසක් වෙනුවෙන් සූදානම් නැහැ.

“මම අසමත් වේවි”

කම්මැලි හෝ උදාසීන දරුවා නිතරම අසමත් වීම ගැන සිතනවා මිසක සමත්වීම ගැන උත්සාහයක් දක්වනේ නැහැ.ඔවුන්ගේ යටි සිත විසින් නිතරම ලබා දෙන පනිවිඩය වන්නේ අසමත්වීම ගැන තිබෙන අවදානම මිසක සමත්වීමේ ආශිර්වාදය නොවේ. ඒ නිසාම ”මම අසමත් වේවි ” යන මානසිකත්වය නිසා නව යොවුන් වයසේදී බොහෝ දරුවන් තමන්ගේ උපරිම හැකියාවෙන් කටයුතු කිරීමට පවා පසුගාමී වීමට ඇති අවස්ථාවන් ඉහලයි.

“මම මෝඩයි”

කිසිම දරුවෙක් මෝඩයෙක් යැයි ලේබල් කිරීමට නොහැකි වුනත් කම්මැලි දරුවා තමා මෝඩයෙක්ය යන ලේබලය ඔහු විසින් ලබා ගන්නවා. ඒ මත සිටින දරුවා මට ඒ දෙය කරන්න බැහැ මට ඒ වෙනුවෙන් හැකියාවක් නැහැ කියමින් හෙමින් සීරුවෙන්ම අවස්ථා මග හැරීමට දක්ෂ වීම නිසා දරුවාගේ ජීවිතය ආපසස්ට යන අවස්ථාවන් ගැන තේරුම් ගැනීමක් ඇත්තේම නැහැ.

“මට මහන්සියි”

සැබැවින්ම දරුවන්ට වෙහෙස මහන්සි දැනීම බොහොම අඩුයි. ඊට හේතුව ඔවුන්ගේ කායික ජවය වගේම නැවුම් මානසිකත්වය, බලාපොරොත්තු පිරුන ජීවිතය, ඉලක්ක ජය ගැනීමේ අරමුණු නිසාම මහන්සිය ගැන එතරම් තැකීමක් නැහැ. පාසල අවසානයේ අතිරේක පංති ගොස් නිවසට පැමිනීමෙන් පසුව වුනත් කෙටි විවේකයකින් පසුව නැවතත් පොත් පත් අතට ගත යුතු වුනත් කම්මැලි දරුවා නිතරම ”මහන්සියි ” කියමින් තමාගේ අධ්‍යාපන කටයුතු කල් තබන අවස්ථාවන් බොහෝය. මේ කිසාම තමාගේ අරමුනු ඉටු කර ගැනීමේදී කාලරාමුව සමග ගැටීමට සිදු වීම නිසාම අවශ්‍ය කටයුතු අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි ඉටු කර ගැනීමට නොහැකි වීම දරුවාගේ ජීවිතයටම බලපාන අවැඩදායක කරුණක් ලෙසින් පෙන්විය හැක.

නොසැලකිල්ල

කම්මැලි දරුවා ජීවිතය ගැන වුනත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙවැනි දරුවන් මත්කුඩු, මත්වතුර භාවිතය වැනි වැරදි හැසිරීම් වෙනුවෙන් පවා යොමු වීමට තිබෙන අවස්ථාවන් ඉතාම ඉහලයි. වැඅරදි කටයුතුවල නිරත වීම නිසා අනාගතයට ඇති වෙන හානිය ගැන කිසිදු ලෙසින් දරුවා තක්සේරු නොකරන නිසා සමාජ විරෝදී කටයුතුවල පවා නිරත වීමට තිබෙන සම්භාව්‍යතාවය ඉහළින්ම තිබෙන බැව් දෙමව්පියන්ගේ අවධානය දැක්විය යුතු කරුණක්.

අතීත වැරදි ගැන පසුතැවීම

අලුත් අදහස් ගැන නොසිතා පරණ අසමත් වීම් ගැනම සිතමින් සිටීමත් කම්මැලි දරුවෙකුගේ ලක්ෂණයක්.  උදාහරණයක් විදිහට උසස් පෙළ කඩඉමෙන් දරුවා අපේක්සිත අරමුණ ඉෂ්ට නොවුන විට ඒ ගැනම සිතමින් පසුතැවිල්ලට පත් වීමත් අලස බව හෙවත් උදාසීනත්වයේ ලක්ෂණයක්.

“මම වයසයි”

ඔබේ දරුවා පමණට වඩා මම දැන් වයසයි…ඉගෙන ගන්න කාලයක් නැහැ යන සංකල්පය පෙරටුවට ගෙන ඉගෙනුමට ඇති උනන්දුව නැති කර ගැනීමට පුලුවනි.විශේසයෙන් බොහෝ දරුවන් තෙවැනි වතාවට උසස් පෙළ විභාගයට වුනත්පෛනී නොසිටන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවක දරුවා තමාට නිදහසට කරුණු ලෙසින් කියන්නේ මට ලැජ්ජයි..අපේ ඉස්කෝලේ නංගිලා එක්ක මට පංති යන්න බැහැ. එවැනි උදාසීනබවක් දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නේ අලස සිතුවිළි නිසාම බැව් තේරුම් ගන්න.

පමණට වඩා විනෝදයට යොමු වීම

චිත්‍රපට, දුරකථනයට, ක්‍රිකට් මැච් වැනි තමාට සතුටක් ලබා දෙන දේ වෙනුවෙන් ඇබ්බැහි වීමත් කම්මැලි දරුවෙකුගේ ලක්ෂණයක්. සමහර විට දුරකථනයටම ඇබ්බැහි වී සිටින දරුවාට ඔබ චෝදනා කරන විට ඔහුගේ පිළිතුර මේ විදිහට ලැබේවි. මට මේචචරයි හිතේ සතුටට තියෙන්නේ…නමුත් එය සැබෑ සතුටක් නොව අලස දරුවාගේ තවත් ගති ලක්ෂණයක් බැව් අමතක කරන්න එපා.

විනයක්

කමමැළි චරිතයක් තුලින් විනයක් බලාපොරොත්තු විමත් දුෂ්කරයි. ස්වයං විනයක් පවා නොමැති වීම කම්මැලිකමේ ලක්ෂණයක්. නිතරම කෙටි මාර්ග සොයනවා විනා තමාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට කම්මැලි දරුවා සූදානම් නැහැ. කොටින්ම කිව්වොත් විභාගයකදී පවා සූදානම් වීම වෙනුවට කොපි කිරීමන් අවම ලකුණක් හෝ ගැනීම ගැන සිතනවා විනා විභාගයට සූදානම් වීමට කැමැත්ක් දක්වන්නේ නැහැ. අද දරුවන්ගේ ස්වයං විනය පිරීහීම නිසා  බොහෝ දරුවන් ගැන වැඩිහිටියන් පවා නොමනාපයෙන් කථා කරන අවස්ථාවන් අපට නිතරම අසන්න ලැබෙනවා.

ඔන්න මෙවැනි ගති ලක්ෂණ දරුවාගේ හැසිරීම තුළින් පෙනෙනවා නම් ඒ ගැන අවධානයක් දක්වන්න. අවධානය දැක්වීම පමණක් ප්‍රමාණවත් නැහැ. කම්මැලිකමෙන් දරුවා මුදවා ගැනීමටත් යම් යම් උපායන් අවශ්‍ය වෙනවා.අපි ඒවා ගැනත් කතා කරමු.

 

පැටියා බඩ රිදෙනවා කිව්වාම නොසලකා ඉන්න එපා

ඔබේ පුංචි පැටියා නිතරම වගේ බඩ රිදෙනවා කියන පැමිණිල්ල ඉදිරිපත් කරනවා ඇති. සමහර අවස්ථාවලදී ඔබ ඒ ගැන ගණනකට නොගෙන සිටින්නත් පුලුවනි. ඒ වුනත් දරුවා බඩ රිදෙන බවට පැමිණිලි කිරීම  සරල සිදුවීමක සිට  සංකීර්ණ රෝග තත්වයක් දක්වාම පවතින ක්‍රියාවලියක් වෙන්නත් පුලුවනි. ඒ වගේම දරුවා තුළ පවතින වෙනත් දරුණු රෝග තත්වයක ලක්ෂණයක් බඩ රිදීම හෝ උදරාබාධ ඇති වෙන්න පුළුවනි.

දරුවා බඩ රිදෙනවා කිව්වාම දෙමව්පියන් විදිහට ඒ ගැන සැලකිය යුතු කරුණු 

දරුවා බඩ රිදෙන බැව් කී විට දෙමව්පියන් විදිහට ඔබේ අවධානය ලක් විය යුතු කරුණු කීපයක් තිබෙනවා. හදිසියේ ඇති වුන උදර වේදනාවක්ද?…. එහෙම නැතුව පැය කීපයක් හෝ දින ,සති, මාස ගණනක් පුරා පවතින උදරයේ වේදනාවක්ද…?

ඒ වගේම උදරයේ වේදනාව සමග දරුවාගේ ක්‍රියාකාරීත්වය ගැනත් අවධානය දැක්වීම වැදගත්. බොහෝ සෙයින් ක්‍රියාශීලීව සිටින දරුවාගේ හැසිරීමේ රටාවේ වෙනසක් උදරයේ වේදනාව සමග ඇති වෙනවාදැයි සලකා බැලීමත් වැදගත්. දරුවා මළානික හෝ සුදුමැලි වීම වගේම බඩේ කැක්කුම දරා ගැනීමට අපහසු විදිහට හැසිරෙනවාදැයි නිරීක්ෂනය කිරීමත් වැදගත්. උදරයේ වේදනාව පිලිබඳව හඳුනා ගැනීමට උදර වේදනාව ඇති වෙන ප්‍රදේශය අනුව කොටස් නවයක් ගැන වෛද්‍යවරුන් අවධානය යොමු කරනවා. උදරයේ වේදනාව ඇති වෙන ප්‍රදේශය අනුව ශරීරයේ පිහිටි අවයව අනුව රෝග තත්වය පිලිබඳව පූර්ව විනිශ්චයක්  ලබා ගැනීමේ පහසුව වෛද්‍යවරයාට ලැබෙනවා.

උදරයේ රිදුම් දෙන ප්‍රදේශ මේ විදිහට බෙදා දක්වන්න පුළුවනි.

  • දකුණු පස උඩ ප්‍රදේශය- අක්මාව, පිත්තාශය
  • උදරයේ වම් පස උඩ ප්‍රදේශය- ප්ලීහාව
  • උදරයේ මැද ප්‍රදේශය-ආමාශය ගැස්ට්‍රයිටිස් ,බැක්ටීරියා හෝ වෛරස ආසාදන
  • උදරයේ දෙපස-වකුගඩු සහ මුත්‍රා නාල
  • උදරයේ  දකුණු පස යට ප්‍රදේශය- ඇපෙන්ටිසයිටිස්
  • උදරයේ වම් පස යට ප්‍රදේශය-මල බද්ධය , බඩ වියලීම
  • උදරයේ යටින් ප්‍රජනන පද්ධතිය සහ මුත්‍රා ආශ්‍රිත ආබාධ

දරුවන්ට බොහෝ විට ඇති වෙන උදරාබාධවලදි උදරයේ මැද රිදුමක් ඇති වෙන්න පුළුවනි. එය බොහොම සුළු රෝග තත්වයක් වගේම සමහර විට  විවිධ රෝග තත්වයන්හි පෙර නිමිත්තක් විදිහටත් දැනෙන හැකියාව තිබෙනවා.

දරුවන්ගේ උදරාබාධ හඳුනා  ගැනීම

දරුවන්ගේ උදරාබාධ හඳුනා ගැනීමේදී ඒ හා සම්බන්ධව පවතින වෙනත් රෝග තත්වයන් ගැනත් සලකා බැලීම වැදගත්. සමහර විට දරුවා පැමිණිලි කරන්නේ උදරයේ වේදනාව වුනත් ඒ පිටුපසින් වෙනත් රෝග තත්වයන් තිබෙන්න පුළුවනි.

බඩේ කැක්කුම සමග මෙවැනි රෝග ලක්ෂණ තත්වයන්ද දරුවා තුළ පවතින්න පුළුවනි.

  • වෛරස ආසාදන සහිත උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව
  • උදරයේ වේදනාව සමග වමනය. පාචනය
  • මුත්‍රා ආසාදනවලදී මුත්‍රාදැවිල්ල , මුත්‍රා සමග රුධිරය පිටවීම
  • බඩ වියලීම , මලපහ සමග රුධිරය පිටවීම
  • සමේ දද කුෂ්ට තිබීම
  • උදරය ඉදිමීම

දරුවන්ගේ බඩේ කැක්කුම ඇති වෙන විවධ වයස් සීමාවන් සමග රෝග තත්වයන් හඳුනා ගැනීම.

දරුවන්ට විවිධ වයස්වලදී උදරාබාධ ඇති වෙනවා. ඒ අනුව දරුවාගේ රෝග තත්වයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

අලුත උපන් දරුවෙකු මුල් මාස කීපයේදී  නිතරම අඬනවා නම් වමනය, මල පිට නොවීම  සහ උදරයේ පිපුමක් ඇත්නම් එය බඩවැල් අවහිර වීමක් විදිහට සලකන්න පුලුවනි.

මාස දෙක තුනක් වයසැති දරුවෙක්  නිතරම හවස් වරුවට අඬනවා නම් දරුවාගේ බඩවැලේ වාතය  පිරීමක් (Infant  colic ) විදිහට සලකන්න පුලුවනි.මෙයට විශේෂ හේතුවක් තවම නැහැ.

අවුරුදු එකට අඩු දරුවෙක් ගේ උදරයේ වේදනාව මලබද්ධය, පාචනය, වෛරස්, හෝ බැක්ටිරියා  ආසාදන , වෛරස් උණ රෝග නිසා ඇති වෙන්න පුළුවනි.

අවුරුදු දෙකට වැඩි දරුවෙකු නම් ඇපෙන්ටිසයිටිස් ආසාදන තත්වය නිසා සහ වෙනත් රෝගවලට ලබා ගන්නා ඖෂධ නිසා බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවනි.

අවුරුදු පහට වැඩි දරුවෙකුගේ කිසිම හේතුවක් නැතුව කාලයක්  (^functional abdomen pain )& නිරන්තරව ඇති වෙන උදරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. මෙහිදී පරීක්ෂණ සිදු කළත් පැහැදිළි රෝගයක් හදුනා ගැනීම අපහසුයි.

ගැහැණු දරුවෙකුගේ නම් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් නිසා උදරයේ යටි ප්‍රදේශයේ වේදනාවන් ඇති වෙන්න පුලුවනි.

නිවසේදීත් ලබා දිය හැකි ප්‍රතිකාර තිබෙනවා.

දරුවෙකු උදරයේ වේදනාව ගැන පැමිණිලි කරනවා නම් ඒ සැනින් වෛද්‍යවරයකු වෙත යොමු වීම අවශ්‍ය නැහැ. දරුණු ප්‍රශ්නයක් නැත්නම් දෙමව්පියන්ට ඒ වෙනුවෙන් ලබා දිය හැකි සරල ප්‍රතිකාර තිබෙනවා.

දරුවා නිරාහරව සිටින කාලය තුළ උදරයේ වේදනාවක් ඇති වුනොත් ගැස්ට්‍රයිටිස් තත්වය නිසා විය හැකියි. ඒ නිසා දරුවාට ආහාර ලබා දෙන්න පුලුවනි.

කිසිම හේතුවක් නොමැතිව බඩේ කැක්කුම ගැන පැමිණිලි කරන දරුවන්ට ඔබේ අවධානය ලබා දෙන්න. ඔවුන් ආදරයෙන් ස්පර්ශ කරන්න. බොහෝ දරුවන් තමන් වෙත අවධානය ලබා ගැනීමට මේ විදිහට ”හොර ලෙඩ ”ගැනත් කියනවා.

දරුවා ඝන ආහාර ගැනීමට අප්‍රියතාවයක් දක්වනවා නම් සරල දියර ලබා දෙන්න. නමුත් හිතුමතයේ විවිධ පාන වර්ග ලබා දීම සුදුසු නැහැ.

වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම

දරුවාගේ  හදිසි බඩේ කැක්කුම පැය විසිහතරකටත් වඩා පවතිනවා නම් හෝ දරුවාගේ හැසිරීම තුළ යම් අපහසුතාවයක් පෙන්වනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්.

 පහත දැක්වෙන රෝග සංකුලතාවයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරන්න එපා.

  • අධික පාචනය,වමනය සමග කිසිම දියර වර්ගයක් පානය කිරීමට නොහැකිවීම.
  • තද බඩේ කැක්කුම ( අදාල ප්‍රදේශයට අතවත් තියන්න නොදෙන තරම් )
  • දරුවා මලානිකව සුදුමැළි ගතියෙන් සිටීම හෝ නිදිමත
  • මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම.
  • මල පහ සමග රුධිරය පිටවීම.
  • බඩේ කැක්කුම සමග සමේ දද වර්ග
  • උණ ,කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග සමේ දද හෝ කුෂ්ට ගතිය
  • වරින්වර එන තද කැක්කුම
  • උදරයේ ඉදිමුම
  • බඩ කැක්කුම සමග සන්ධි වේදනාව

දරුවා උදරාබාධවලින් ආරක්ෂා කර ගැනීමට නම්..

  • දරුවා උදරාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නම් දරුවාගේ ආහාර ගැන වැඩි අවධානයක් දැක්වීම වැදගත්. ඒ නිසා
  • දරුවෙකුට සරල , සමබර ආහාර ලබා දීම
  • දරුවාගේ ආහාර පිරිසිදුව සකස් කර දීම වගේම ආහාර වේල් මග හැරීමට ඉඩ දීම සුදුසු නැහැ. අපිරිසිදු ආහාර නිසා දරුවාට අජීර්ණ තත්වයන් ඇති වෙන්න ඉඩ තිබෙනවා.
  • වැඩි වේලාවක් කුසගින්නේ සිටීම නිසා ඇති වෙන ගැස්ට්‍රයිටිස් තත්වයන් වලක්වා ගැනීමට නම් දරුවාගේ ආාහර වේල් ගැන සැලකීම වැදගත්.
  • කෘතිම ආහාර වගේම රස සහ වර්ණ කාරක ආහාර ලබා නොදෙන්න.
  • වීදි ආහාර නිසා දරුවාට ආහාර ආසාත්මිකතාවයන් වගේම උදරාබාධයන් ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා.
  • තන්තු බහුල ආහාර වගේම දරුවාට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න. මල බද්ධයෙන් වලක්වා ගැනීමට එය ඉතා පහසුවක්.
  • දරුවාට අවුරුද්දක් වුන තැන පටන් වැසිකිළි පුරුදු පුහුණු කරන්න. මලබද්ධයෙන් දරුවා පීඩා විඳින්නට පෙරාතුව වැසිකිලි යෑම හුරු කිරීම වැදගත්.

දරුවන්ට ව්‍යායාම වැදගත්. 

ඒ වගේම ඩෙංගු සහ කොවිඩ් රෝග තත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත්. කොවිඩ් සමග ඩෙංගු රෝග තත්වය අමතක වුනත් දරුවන් ඉතාම පහසුවෙන් ඩෙංගු රෝගයට ගොදුරු වීමේ අවදානම තිබෙනවා.

කොවිඩ් වෙනුවෙන් තවමත් දරුවන් පූර්ණ එන්නත්කරණයට පත් වී නැහැ. ඒ නිසා දරුවන් ගැන දෙමව්පියන්ගේ වැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. දරුවන් සමාජයෙන් දුරස්ථව තැබීම වගේම මුව ආවරණ භාවිතය සහ අත් සේදීම වැනි සනීපාරක්ෂක  පුරුදු හුරු කරන්න.

දරුවන් සමාජයෙන් දුරස් කළත් දෙමව්පියන්ගේ සමාජ සංචරනයන් සීමා කිරීම අපහසුයි. නමුත් දෙමව්පියන් විදිහට ඔබ හැකිතරම් සමාජ දුරස්ථබව සහ සංචරණයන් සීමා කරන්න. ඒ වගේම නිවසට පැමිණි පසුවත් අත් හොඳින් සෝදා ගැනීමට පෙරාතුව දරුවන් ස්පර්ශ කරන්න එපා. කොවිඩ් වසංගතයක් සමග ජීවත්වෙන අද දවසේදී ඔබේ දරුවාගේ නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමව්පියන්ට තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරෝධිකා දයාරත්න මහත්මියගේ සාකච්ඡාවක් ඇසුරිනි.

 

 

පැටියාට නින්ද නේන රාත්‍රිය මව්පියන්ටත් බොහොම දිගයි.

පුංචි පැටියා අම්මා ,තාත්තාගේ තුරුලේ නිදා ගැනීමට ප්‍රිය කරන බව ඇත්ත. නමුත් යම් කාලයක් සමග මේ පුරුද්ද වෙනස් කිරීමත් වැදගත්.බිළිදු අවධියේදී දරුවාට තමන්ගේ අවශ්‍යතාවයන් පැහැදිලිව කියන්න බැරි නිසා  දෙමව්පියන් සමග ඔවුන් නිදි කරවා ගැනීම වරදක් නැහැ.

නින්දෙන් ඇති වෙන මල, මුත්‍ර ආවේග, බඩගින්න ආදි මේ හැම දෙයක්ම දරුවා ප්‍රකාශ කරන්නේ හැඬීමෙන් බව අපි දන්නවා. කොටින්ම බබාගේ ඇඬීම සමග ඒ බඩගින්නටද…එහෙම නැත්නම් මල මුත්‍ර පිටවීම නිසාමද කියලත් අම්මා තේරුම් ගන්නවා.

දැන් අවුරුද්දත් පහු වෙලා…

ඔන්න දැන් අපේ පැටියා අවුරුද්දේ කේක් ගෙඩියත් කපලා ඉවරයි. තතන තතනා හෝ තමන්ගේ අවශ්‍යතාවයන් කියා ගන්නත් පුලුවනි.ඒ වුනත් ඔවුන් තනියහනක නිදා ගැනීමට බියක් දක්වන්නේ ඇයි….

අදුරට බියයි…

දරුවන් වුනත් විවධයි. ඒ නිසා සමහර දරුවන් අදුරුට දැඩි බියක් දක්වනවා. ඒ විතරක් නොවෙයි, ආලෝකය තිබුනත් කාමරයෙන් කාමරයකට යන්න බියක් දක්වන දරුවන් ඉන්නවා. ඒ නිසාම සමහර දරුවන් නිදා ගනින්දී තමන්ගේ ටෙඩි බෙයා එහෙම නැත්නම් බෝනික්කා හෝ තමා සමීපයේ තබා ගන්නවා. ඉතින් පුංචි හිතට බියක් දැනෙනවා නම් දරුවා ඒ වෙනුවෙන් පාවිච්චි කරන සෙල්ලම් බඩුව පිරිසිදු කරලා ඔවුන් සමීපයේ තබන්න. විශේෂයෙන් ටෙඩි බෙයා වැනි සතුන්ගේ ලෝම දරුවාට ආහ්වාස වීම නම් එතරම් හොඳ නැති නිසා ඒ ගැනත් අවධානයක් දක්වන්න වෙනවා. දවල් පුරාවට මිදුලේ වැලි දූවිල්ලේ දමා ඇති බෝනික්කා නම් නිදි යහනට ගෙනියන්න දෙනන් එපා. ඒ වෙනුවට බබාගේ නිදන ඇඳට සීමා වුන බෝනික්කෙක් වෙන් කර තබන්න.

පුංචි හිත ටිකක් ඉරිසියයි…

මෙච්චර කාලයක් තනි ඇදක නිදා ගෙන සිටි පැටියා දැන් ඔන්න අලි හුරතලයක් වෙලා. මල්ලි බබා ගෙදරට ආව දවසේ පටන් අයියාටත් අම්මා, තාත්තාගේ ඇඳට එන්නම ඕන වෙලා. ඉතින් එතැන වරදක් නැහැ. මල්ලි ගැනත් පුංචි හිතේ පුංචියට වුනත් ඉරිසියාවක් නැතුවාම නොවෙයි.ඒ වගේ වෙලාවට තාත්තාට පුළුවන් අපේ අයියා බබා එක්ක නිදි යහන බෙදා ගන්න. එහෙම නැතුව නිදාගන්නවා තනියම..අලි හුරතල් නැතුව කියලා පුංචි හිත රිදවන්නත් එපා.

හීනෙන් බයවෙනවා….

සමහර විට තනියහනේ නිදා ගන්න දරුවන් හීනෙන් බය වෙන අවස්ථා තිබෙනවා. බොහෝ වෙලාවට හීනෙන් බිය වෙන්න බලපාන හේතු තිබෙනවා.දවල් කාලයේදී දරුවා මුහුණ දුන් අත්දැකීම්, පෙර පාසල් දරුවෙක් නම් පාසලේ සිදුවීම්, පවුලට අලුත් අමුත්තෙක් එකතු වීම වගේම පැටියාගේ නිදන පරිසරයේ යම් යම් වෙනස්කම් නිසා නින්දෙන් බියවෙන්න පුලුවනි. සමහර විට නින්දෙන් අවදි වී බලාගෙන සිටීම , එහෙම නැත්නම් ඇඩීම වැනි ප්‍රතිචාර දක්වන්න පුලුවනි. ඒ වගේ වෙලාවට දරුවා සැනසීම ඉතා වැදගත්. සමහර විට දරුවා බියට පත් හේතුව කියන්න පුලුවනි. එය සිහිනයක් වෙන්නත් ඇති. කොහොම වුනත් ඒ වගේ වෙලාවට දරුවා වඩා ගෙන හිස අත ගා සිප සනසන්න පුලුවනි. සමහර අම්මලා නම් පිරිත් සුත්‍රක් වගේ දෙයක් ගායනා කරමින් දරුවාගේ හිස අතගානවා. හැම ආගමක වුනත් ඒ වගේ ආශිර්වාදත් තිබෙනවා.

දරුවා බියට පත් කරන්න එපා..

ඇකැම් දෙමව්පියන් තමන්ගේ දරුවන් මට්ටු කර ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. මකුලුවාට…එහෙම නැත්නම් බිල්ලාට යැයි දරුවාගේ මනසේ විවිධ සංකල්ප ඇති කරමින් දරුවා පාලනය කිරීමේ උපායන් සපයා ගන්නවා.මෙය එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. බටහිර ලෝකයේ මායාකාරියන්, ඇනකොන්ඩාවන් ගැන කියමින් දරුවා බියවද්දන්න එපා.

ඔබ දරුවාට මෙසේ කියන්න..

හැන්දෑවෙනකොට මල්ලක් අරගෙන දූ අල්ලන් යන්නට බිල්ලන් එනවලු…

එපා දුවේ නුඹ  බියවන්නට… මේ නැලවිලි ගී මමයි කියන්නේ 

බොහෝ විට දරුවාට නිදියන විට මේ සංකල්ප ආවරජනය වී හිතේ ඇති වෙන තැතිගැනීම නිසා සුවදායක නින්දක් ලබා ගැනීමට අපහසු තත්වයක් ඇති වෙනන් පුලුවනි.

ඇඳ ඇතිරිලි පිරිසිදු නැති වුනොත්…

දූවිලි මයිටාවන් නිසා අපි කාටත් නින්ද පිලිබඳ ගැටලු ඇති වෙන්න පුලුවනි. බබාගේ නින්දටත් මේ තත්වය පොදුයි. ඒ නිසා පැටියාගේ ඇඳ, ඇතිරිලි, කොට්ට, මෙට්ට නිතරම පිරිසිදුව තබන්න. ඇතිරිලි හොදින් ඉස්ත්‍රික්කකර දමනවා නම් මයිටාවන්ගේ සිදු වෙන හානි අවම කර ගන්න පුලුවනි. මෙවැනි අතරු හේතු නිසා නින්ද නොයන විට දරුවා තනියම නිදා ගැනීමට දක්වන උනන්දුව පවා නැති වෙන තත්වයක් ඇති වෙනවා.

තනියම නිදා ගැනීමේ වාසි…

අම්මාට හදිසියේ හෝ බෝවන රෝග තත්වයක් තිබුනොත් දරුවා එයින් ආරක්ෂා වෙනවා. පුංචි පැටියාට රෝග බෝවීමට තිබෙන අවස්ථාවන් ඉහළ නිසා වෙනම නිදා ගැනීම ඇතත්ටම ආරක්ෂිතයි.

වැඩිහිටියන්ගේ ඉරියව්…

දවස පුරා වෙහෙස මහන්සි වී ඇඳට ගියාම අම්මාට කෙසේ වෙතත් තාත්තාට නම් හොදින් නින්ද යනවා. ඒ වගේ වෙලාවට අත, පය ඉරියව් වෙනස් වෙනවා. මේ නිසා පැටියාගේ නින්දට බාධාවක් වගේම නියපොතු , වැදී අත පය සීරීම් පවා වෙන්නත් පුලුවනි.

මට අම්මා ඕන…

දිගින් දිගටම දරුවා මව සමග නිදා ගැනීම නිසා දරුවා එය නීතියක් බවට පත් කර ගන්නවා. අම්මා නැතුව බබා නිදියන්නේ නැහැ කියන ස්ථාවරය ගොඩ නගා ගන්නවා. ඒ නිසාම හදිසියේ හෝ මවට වෙනත් ගමනක්, රෝහලගත වීමක් වැනි විශේෂ අවස්තාවක් ඇති වුනොත් දරුවා නිවසේ තබා යා නොහැකි තත්වයක් ඇති වෙනවා.

දරුවා බියසුළු වීම

දරුවාගේ හොඳම අිරක්ෂකයා අම්මා බව ඇත්ත.ඒ ශක්තියෙන් දරුවා ජීවත් වෙනවා. ඒ වුනත් දරුවාට මව නොමැති වුන විටෙකදී ස්වාධීනව ජීවත් වීම අපහසු වෙනවා. ඒ වගේම දරුවාට මව නොමැතිව ජීවත් වීමේ අපහසුතාවයක් ඇති වෙන්නත් පුලුවනි. ළදරු පාසලේදී පවා දරුවා මව නොමැතිව සිටින්නට අපහසු චරිතයක් බවට පත් වෙනවා.අත්තටු ලැබුන පසු කුරුලු පැටවුන් පවා ස්වාදීන ජීවිතයක් ආරම්භ කරන්නා සේ අපේ පැටියන්ටත් මව් තුරෙලෙන් මිදී ලෝකය දකින අවසරය ලබා දීම වැදගත්.

මවිපියන්ගේ ලිංගික හැසිරීම් 

දෙමව්පියන්ගේ ජීවිතයේ ලිංගික හැසිරීම් අඹු සැමියන්ට සීමා විය යුත්තක්. ළපටියන් ඉදිරියේ දෙමව්පියන් වැඩියෙන් අවදානයක් දැක්විය යුතු සිදුවීමක්. ඒ වුනත් දරුවා සමග එකම යහනක නිදියන විට මෙවැනි හැසිරීම් දරුවා ඉදිරියේ දර්ශනය වීමත් අනුමත කරන්න බැහැ.

නින්ද පුංචි පැටියාගේ වර්ධනයට අවශ්‍යයි. ඒ වගේම පැටියාගේ නින්ද සුවදායක වීම වැදගත්. තනියහනක දරුවා නිදි කරනවා නම් නිදි පුරුදුවලට බාධා වෙන සිදුවීම් ගැනත් ඔබ දැන සිටීම ඉතාම වැදගත්. පැටියාට නින්ද නේන රාත්‍රිය මව්පියන්ටත් බොහොම  දිගයි.

 

විශ්‍රාම ජීවිතය සතුටින් ගෙවන්න

උපත සමග මරණය ගැනත් සහතිකය තිබෙනවා වගේම අපි යම් වෘත්තියක් වෙනුවෙන් පත්වීම් ලිපියක් ලබන විට ඒ සමගම විශ්‍රාම ලැබීමේ කාලවකවානුවත් තීරණය වෙනවා. නමුත්…බොහෝ වැඩිහිටියන් තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමටත් පෙරාතුව රෝගී තත්වයට පත් වීම හෝ මරණයට පත් වෙන අවස්ථාවන් ගැනත් වාර්තා වෙනවා.නමුත් අපි විශ්‍රාම ජීවිතය ප්‍රිතිමත් අත්දැකීමක් බවට පත් කර ගන්නේ කොහොමද…?

ප්‍රිතිය ඇත්තේ අපි සමග…

යම් පුද්ගලයෙකුගේ ප්‍රිතිමත්බව රඳා පවතින්නේ පුද්ගලයාගේ සෞඛ්‍යය, ආකල්ප, චර්යාව සහ පරිසරය මතයි.සෞඛ්‍යය යනුවෙන් අර්ථවත් වෙන්නේ  හුදෙක් රෝගවලින් මිදීම පමණක් නොව, ශාරීරික, මානසික , සමාජයීය සහ ආධ්‍යාත්මික ගුණ වගාවයි.

 ශාරිරික සෞඛ්‍යය ගැන කථා කලොත්…

ශාරිරික සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් නිසි පෝෂණය අවශ්‍ය වෙනවා. සමතුලිත ආහාර සමග එළවලු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීම, අවශ්‍ය පරිදි ව්‍යායාමවල යෙදීම වැදගත්.

දැන් අපි නිදහස් මිනිස්සු යැයි සිතමින් ඔබේ ජීවිතය රූපවාහිනියට බිළිදෙන්න එපා. අඩුම වශයෙන් ගෙවත්තේ හෝ ඇවිදින්න. මිදුල අමදින්න. මල්පැලවලට සාත්තු සප්පායම් කරන්න. මේ වගේ පුංචි ක්‍රියාකාරකම්වලින් ඔබට යම් අන්දමකින් ව්‍යායාමක් ලැබෙනවා.ඔබ ශාරිරික ලෙසින් ක්‍රියාකාරී පුද්ගලයෙක් වීම නිසා සුව නින්දක් ලබා ගැනීමටත් පුලුවනි. යම් ලෙසකින් වයසත් සමග නින්ද නොයන ගැටලු ඇත්නම් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය ඇයි…?

විශ්‍රාම යන වයසත් සමග බොහෝ විට යම් යම් රෝගාබාධයනුත් ඇති වෙනවා. බෝනොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමත් ඉහලයි. ඒ නිසා ඔබ නිදන්ගත රෝග තත්වයන්ට ප්‍රතිකාර ලබනවා නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න. හිතුමතයේ බෙහෙත් ගැනීම වගේම හිතුමතයේ බෙහෙතේ නොගෙන සිටීමත් සුදුසු නැහැ.

මනස ප්‍රිතිමත්ව තබා ගන්න…

කායික නිරෝගිතාවය වගේම මනසේ නිරෝගිතාවයත් ඉතාම වැදගත්. ප්‍රිතිමත් ජීවිතයක් වෙනුවෙන් ප්‍රිතිමත් මනසක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ නිසා අනුන් මත දොස් පවරනවා වෙනුවට ඔබේ කටයුතුවල වගකීම ඔබ බාර ගන්න.

කාලය කළමනාකරණය කරන්න..

ප්‍රිතිමත් මනසක් ගොඩ නගා ගැනීමට නම් කාලය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්.බොහෝ විට කාලය කළමනාකරණය කර ගැනීමට අපහසුවීම  නිසා ගොඩ නැගෙන කලබල මානසිකත්වය නිසා මානසිකව වෙහෙසකර තත්වයට පත් වීමේ අවදානම ඉතාම ඉහලයි. ඒ නිසාම වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම ඔබ නොදැනීම යම් යම් රෝග තත්වයන්ට හේතුවක් වෙනවා.

හැකියාවන් සහ නොහැකියාවන් හඳුනා ගැනීම…

නිරෝගි මානසිකත්වයක් පවත්වා ගැනීමට නම් කාලය අනුව තමන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් හඳුනා ගැනීම ඉතාම වැදගත්. වියපත් වීම සමග හැම පුද්ගලයෙකුටම යම් යම් දේවල් කිරීමට නොහැකි වුනත් එම නොහැකියාව ගැන කම්පා විය යුතු නැත. ඒ අන්දමින් කම්පා වීම යනු ඉතාම ඉක්මනින් ආතතියට පත් වීමට ඇති අවස්ථාව ඉහළ යෑමක් වේ.

හුදෙකලා නොවන්න

විශ්‍රාම ගන්නා වයසත් සමග බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගෙන් දුරස් වීමේ ස්වභාවයක් ඇති වේ. එය අපේ ජීවන රටාවේ සාමාන්‍ය තත්වයක් බැව් ඇත්ත වුනත් වියපත් දෙමව්පියන් තනියම සිටීමත් යම් ආකාරයකින් ඔවුන් මානසිකව පීඩනයට පත් වෙන අවස්ථාවක් විය හැක.ආර්ථික වශයෙන්ද බොහෝ මව්පියන් දුර්වල තත්වයන්ට පත් වෙන නිසා විශ්‍රාම ජීවිතය සැලසුම් කර ගැනීම වෙනුවෙන් ඔබ ආදායම් ලබන කාලයේදී යම් වැඩපිලිවෙලක් සූදානම් කර ගැනීමත් වැදගත් බව සිතන්න.

සිතට අසහනය ගෙන දේ අමතක කරන්න…

දෙමව්පියන් ලෙසින් ඔබ අතීතයේදී සැලසුම් කළ සුන්දර ජීවිතය අද ඔබට ඒ අන්දමින්ම නොලැබී ඇති. දරුවන් මුල් කර ගෙන ඔබ ගොඩ නගා ගත් බලාපොරොත්තු බොහෝ සෙයින් ගිලිහී ඇති. එහෙත් කම්පා නොවන්න.අහිමිවීම් ගැන ළතැවෙනවා වෙනුවට ලද අවස්ථාවට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න. අහිමිවීම් ගැන කම්පා වෙන සෑම මොහොතකම අහිතකර හෝර්මෝන නිදහස් වීම නිසා ඔබේ මානසික නිරෝගිතාවය පවත්වා ගැනීම අපහසු වෙන බව තරයේම මතක තබා ගන්න.

ධනාත්මක වන්න…

මේ වෙන විට ඔබ ජීවිතයේ සෑහෙන දුරක් ගමන්ගත් ගෞරණීය පුරවැසියෙක් බැව් ඇත්ත. තව ජීවත්වීමට ඇත්තේ ටික කාලයක් යැයි සිතමින් ජීවිතය දෙස සෘණාත්මකව බලනවා වෙනුවට සෑම දවසක්ම අලුත් බලාපොරොත්තුවලින් පුරවා ගන්න.

විනෝදාංශයක්…

වැඩිහිටිවියේ පසුවෙන ඔබට හිතට සතුටක් ලබා දෙන කුමන හෝ කාර්යක් ඇති. සමහර විට මල් වැවීම, ඇඳුම් මැසීම, පොත් පත් බැලීම වැනි ඔබටම අනන්‍ය වූ යම් විනෝදාංශයක් ඇත්නම් එය දිගින් දිගටම පවත්වා ගන්න. මේ අතරවාරයේ තව තවත් අලුත් විනෝදාංශ වෙනුවෙන් ඔබේ හිත යොමු වෙනවා නම් ඒවා ප්‍රතික්ෂෙප කරන්න එපා. විනෝදාංශයක් වෙනුවෙන් ගැලපෙන වයසක් නැත. ඔබට විනෝදය ලබා දෙන කුමන හෝ කාර්යක් යනු ඔබේ ජීවිතයට සතුට උදාහරන අවස්ථාවක් වේ.

සමාජ සම්බන්ධතා අවශ්‍යයි…

කිසිම විටෙක දැන් අපි අවලංගු කාසි යැයි හිතන්න එපා. ඔබ මේ වෙන විට ජීවිතයේ බොහෝ දුරක් පැමිණ සිටී. ඔබ වෙනුවෙන් දරුවන්, මුනුපුරන් ඇති. දරුවන්ගේ පවුල්වලින් සම්බන්ධ වුන ඥාති පරම්පරාවක් වගේම අසල්වැසියන් අතරත් ඔබ ගෞරණීය චරිතයක් විය හැකියි. ඒ නිසා නිතරම සමිති සමාගම් සහ සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට මැලි වෙන්න එපා. එය ඔබේ ජීවිතය ජීවත් කරවන කලාවක් වෙන බවත් තරයේම හිතට ගන්න.

අලුත් දෙයක් ඉගෙන ගන්න..

ජීවිතයේ අපි බොහෝ දේ දිනෙන් දින උගත ගත යුතු පැව් ඔබ දන්නවා. දැන් ජීවිතයේ බොහෝ දුරක් පැමිණි ඇති ඔබ අලුත් යමක් ඉගෙනීමට ඇති අවස්ථාවන් මග හරින්න එපා.අලුත් යමක් ඉගෙනීම නිසා ඔබේ ස්නායු දුර්වල වීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. පර්යේෂකයන් පවා වියපත් පුද්ගලයන් වෙනුවෙන් ප්‍රහෙලිකා පිරවීම මොළයට හොඳ ව්‍යායාමයක් ලෙසින් හඳාුනා ගෙන තිබෙනවා.

මත්වතුර සහ දුම්වැටි…

අපේ පිරිමි වැඩිහිටියන් විශ්‍රාම කාලයේදී ලද නිදහස නිසා මත්වතුර සහ දුම්වැටි වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් දැක්වූවත් එයින් සිදුවන්නේ ඔබ අකාලයේ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමක් පමණි. මතකය දුර්වල වීම, ස්නායු පිලිබඳ ගැටලු ඇති වීමට මෙම වැරදි ජීවන පුරුදු හේතු විය හැකි නිසා හැකි තරම් මත්වතුර සහ දුම්පානයෙන් ඈත් වෙන්න.

මේ අන්දමට විශ්‍රාම ජීවිතය තුළ කායික සහ මානසික නිරෝගිතාවය සමබල ලෙසින් පවත්වා ගැනීම නිසා ඔබ ප්‍රිතිමත් වැඩිහිටියෙක් ලෙසින් සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දීමේ හැකියාව ලබා ගැනීම අපහසුවක් නොවේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝ වෛද්‍ය විශේෂඥ එස්. සී. ඒ අරඹේපොල මහත්මිය

මහනුවර ජාතික රෝහල

 


                

සිංහල අලුත් අවුරුද්ද සහ අපේ ජනජීවිතය

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ තවත් එක් දවසක් කිව්වත්, අපට වගේම අපේ දරුවන්ටත් මානසිකව ම් අලුත් විමක් අවශ්‍යයි.එරබදුමල් පිපිනෙ විට, කොහාගේ නාදය ඇසෙන විට එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද අතීතයේ පටන්ම දරුවන්ගේ ජීවිතයේ මිහිරිම අත්දැකීම් ලබා දුන් දින කීපයක් බැව් ඇත්ත.අස්වනු නෙලා ගැනීමෙන් පසුව නිවසේ ඇති වෙන ආර්ථික ශක්තිය සමග මානසිකව ලැබෙන සැහැල්ලුව නිසාම ”බක් ” මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස සැලකුණා.ඇත්තම කිව්වොත් සිංහල අලුත් අවුරුද්ද පොඩිත්තන්ට විතරක් නොවෙයි, වැඩිහිටි අපටත් ජීවිතය අලුත් කරවන නැවුම් හුස්මක් ලබා දෙනවා කිව්වොත් නිවරුදියි.

කවුද මේ අවුරුදු කුමාරයා…?

අපේ පොඩිතත්න්ගේ මනසේ හැසිරෙන අවුරුදු කුමාරයා පිලිබඳ සංකල්පය සෘග්වේදයේ පටන් පැවැතෙන සංකල්පයක්. ”අදිති ” නම් දෙව්දුව අවුරුදු කුමාරයාගේ මවයි. ඇගේ පුතා ” ආදිත්‍ය ” ලෙසින් සැලකෙන අතර මෙම කුමාරයාට සහෝදරයින් දොළොස් දෙනෙක් සිටිනවා. ”බක් ” මාසය භාරව ඇත්තේ මේ කුමාරයාටයි.

දැරුව කිරුළ හිසකේ සුවඳ තවරා

සරුව බරණ හැඳ ගී නද පතුරා

සරුව කුසුම් තවරා තුග හසරා

මෙළොව පහළ වෙයි ”අවුරුදු කුමරා”

අවුරුදු සූදානම හෙවත් පරණ අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව ලද අස්වැන්නෙන් මුල් කොටස ඉෂ්ට දේවතාවන් වෙනුවෙන් පිදීම සිදු කරන අතර එය අනාගත අස්වැන්න වෙනුවෙන් ආශිර්වාදයක් සේ සැලකේ.සෙංකඩගල රාජ්‍ය කාලයේදී ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා රන්දැකැත්තකින් ගොයම් කැපීම සිදු කර තිබේ. මේ වෙනුවෙන්ම ”තිගුල වෙල ” නමින් වෙල් යායක් පැවැති අතර නුවර වැව ඉදිකිරීමේදී මෙම බිම් ප්‍රදේශය වෙනුවට අලුත් සහල් මංගල්‍ය සඳහා ”ගුරුදෙණිය වෙල ” යොදා ගෙන තිබේ.

අලුත් අවුරුද්දට සඳ බැලීම

සඳ ලොවට ශාන්තිය සලසනු ලැබේ.ඊශ්වර දෙවියන්ගේ අෂ්ට මූර්තිවලින් එකක් ලෙස සැලකෙන සඳ බැලීම වෙනුවන් සුබ නැකැත කලින්ම නියම කර තිබේ.

අවුරුදු පෙර සූදානම

අවුරුදු පෙර සූදානම වෙනුවෙන් ගේ දොර පිරිසිදු කිරීම, කැවිළි පෙවිළි සකස් කිරීම සිදු වේ. අවුරුදු කැවිලි ලෙසින් කැවුම්, කොකිස්, අතිරස වැනි රසකැවිළි පිළියෙළ කෙරේ. තෙල් තාච්චිය ලිප තැබීම සුබ දිනක සිදු වේ. තාච්චිය ලිප තබා තෙල් පුරවා ගෙන කැවුම් හැන්ද සහ තවත් ලී කෝටුවකින් තාච්චිය හතරට බෙදා ”හතර දිසාවෙන් පැමිණෙන උපද්‍රව වලකා දෙවියන්ගේ ආරක්ෂාව ලබා හතර පේරුවට බෙදන්න….මුට්ටිය පිරෙන්න කැවුම් ඉදෙන්න…යැයි ආශිර්වාද කරයි.මුල් කැවුම් තුන ලිග්ගල මත තබා පසුව ” කෝදුරු කැවුම ” ලෙස එල්ලා තබයි.

දර දිය ඇදලා ගොම මැටි ගාලා මහගේ කළ එළි කර ගන්නේ

බොර දග කඩලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ

පෙරයම අලුසල් මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ 

දුර නෑ වරිගෙ බලාගෙන ටපර අවුරුදු කාලය එන්නේ

පරණ අවුරුද්දට ස්නානය

නිවස පිරිසිදු කිරීමෙන් පසුව තමන්ගේ ශාරිරික පවිත්‍රතාවය වෙනුවෙන් පිරිසිදු වීම සඳහා වූ ස්නානයටත් ලිතේ සුබ වේලාවක් වෙන් වී තිබේ.

නොනගතය

පරණ සහ අලුත් අවුරුද්ද අතර කාලය ”නොනගතයයි.සුබ කටයුතු වෙනුවෙන් නොගැලපෙන මේ කාලයේදී පොළවට පතිත වෙන හිරු කිරණ විෂ සහිත නිසා අපල සමනය කර ගැනීමට පුණ්‍ය කටයුතුවල යෙදීම යහපත් වේ.

අවුරුදු උදාව

නොනගත කාලයෙන් පසුව අවුරුදු උදාවේ. මෙහිදී ප්‍රධාන අවස්ථාව වන්නේ ”ලිප ගිනි මෙලවීමයි “” එය පවුලේ අම්මා , අත්තම්මා වැනි චරිතයක කාර්යය වේ.අනුමත වර්ණයෙන් සැරසී අදාල දිසාව බලා ලිප ගිනි මෙලවීම සිදු වේ. ආහාර පිසීමේදී ”කිරිබත ” ප්‍රධාන වේ.

ගණුදෙණු කිරීම සහ වැඩ ඇල්ලීම

වැඩ ඇල්ලීමේදී පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනු ලැබේ.කාන්තාවන් ” වං මෝල් ඇල්ලීම ” ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන සංකේතවත්ව වැඩ ඇල්ලීම සිදු කරයි.

ගණුදෙණු කිරීමේදී පිරිසිදු හදවතක් ඇති යහමින් මුදල් ගැවසෙන තැනැත්තෙකු තෝරා ගැනේ. ඔහු බුලත් කොළයක ඔතන ලද මුදලක් පිළිගන්වන අතර එම මුදලට වැඩි මුදලක් නැවත ඔහු වෙත ලබා දීම සිදු වේ.

ආහාර අනුභවය.

නැකතට ලිප දල්වා පිසින ලද ආහාර නියමිත නැකැත් වේලාවේදී පවුලේ සියලු දෙනා විසින් එකට එක්ව බුත්ති විදිනු ලැබේ. කිරිබත ප්‍රධාන කැවුම් ආදි කැවිලිවලින් ආහාර මේසය පිරී තිබේ. ශ්‍රි ලංකාව පීතෘමුලික සමාජයක් බැවින් ආහාර අනුභවයේ ප්‍රධාන චරිතය පියාය.පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහර පිළිගන්වනු ලැබේ.

හිසතෙල් ගෑම

හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය, කෝවිල, වෙදමහතාගේ නිවස වැනි විශේෂ ස්ථානයක සිදු වේ.හිසතෙල් ගෑම වෙනුවෙන් ”නානු ” පිළියෙළ කර ගනු ලැබේ.තෙල් ගැල්වීමේ ස්ථානය සුදු වියනක් බැඳ, බිමට පිරුවට දමා ඒ මත පිරුවටයක් එලන ලද පුටුවක් තබා තිබේ.තෙල් ආලේප කිරීමේ දිසාව සහ අඳින වර්ණය නියමිතව තිබේ.හිසට සහ පයට තබන ශාඛ පත්‍ර නියම වී තිබේ.හිසතෙල් ගෑමෙන් සෙත් පිරිත් මැද සිදුවේ. නානු ගෑමෙන් පසුව ස්නානය සිදු වේ. ඒ සමග ඇති නුදුරු දිනක රුකිරක්ෂා සදහා පිටත්ව යෑමෙන් පසු සැම දෙනාම නැවතත් තම තමන්ගේ සුපුරුදු ජීවන රටාවට යොමු වීම සිදු වේ.

සිංහල අලුත් අවුරුද්ද නිසා මතු වෙන ගුණධර්ම

කෘතගුණ සැලකීම

සිංහල අලුත් අවුරුදු සංකල්පය සම්පූර්ණයෙන්ම කෘතවේදිත්වය සමග සම්බන්ධව ඇත. ළිඳ සමග ගණුදෙණු කරන සංකල්පයේදී පවා තමන්ගේ ජීවිතයේ පැවැත්මට ජලය ලබා දෙන ලිඳට කෘතගුණ සැලකීම සිදු වේ.ගණුදෙණු කිරීම වෙනුවෙන් ගෘහණිය ලිඳට යන්නේ හිස් අතින් නොව කහ, මිරිස් ,තඔ කාසි ආදිය සමගයි. ඒවා ළිඳට දමා එයින් වතුර කළයක් පුරවා ගැනේ.වසරක් පුරා පානීම ජලය ලබා දුන් ළිදට කෘතගුණ දැක්වීමේ චාරිත්‍රය එයින් අර්ථවත් වේ.

නුවර කාලවිය සමාජයේදී පරණ අවුරුදු දිනයේදී ලිප අතුගා අලු කුල්ලක් එකතු කර ගනී. අවුරුදු උදැසන මෙම අලු කුල්ලට කැවුම්, අතිරස හා බුලත් කොළයක් මත පුවක්,හුණු ආදිය තබයි. ”මීදුම් අම්මාට ” යාතිකා කරමින් ලිපේ ගින්දර නොනිවී දැල්වීමට ලැබේවා යැයි ආහිර්වාද කරනු ලැබේ.

අවුරුදු පණිවිඩය රුගෙන එන කොවුලා වෙනුවෙන් කෘතගුණ දැක්වීමට අලු කුල්ලක් මත කෙසෙල් කොළයක් තබා බත්. ව්‍යංජන , වතුර ආදි කැවිලි තබා පහනක් දල්වා කඩුල්ල අසල තබයි.

වසරක් පුරා රෙදි පෙරෙදි සෝදා දෙන රෙදි නැන්දා, හේන මාමා වැනි වෘත්තින්හි නියැලි අයටත් ” දි්වෙල් දීම ” ලෙස අල, පරිප්පු ,කරවල ,කැවිළි ආදි වියලි සහ වෙනත් ද්‍රව්‍ය ලබා දීම සිදු වේ.

ආගමික වටපිටාව

නොනගතයට ගමේ පන්සලට ගොස් ආහිර්වාද ලැබීමට අමතක නොවීය. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය අනුව කටයුතු කරමින් අලුත් අවුරුද්ද ලැබීමට පෙරාතුව මහා සංඝරත්නය හමුවට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට අමතක කළේ නැත.

මව්පිය වැඩිහිටි වන්දනාව

සිංහල අලුත් අවුරුදු කාලය යුතුකම් වගකීම් සමග බද්ධව ඇත. පැරණි කෝන්තර සියල්ල අමතක කර දමා මප්විය වැඩිහිටියන් වෙත ගොස් බුලත් හුරුලු දී කළ වැරදි ඇතොත් සමාවී නව වසර වෙනුවෙන් ආහිර්වාද ලබති.

විනෝදය සහ සහජීවනය

මේ කාලසීමාව තුළ ලැබී ඇති විවේකය කෙළිදෙලෙන් ගෙවන අතර ඒ සදහා වූ ක්‍රීඩාවන්ද කළ එළි බසිති. සිංහල අලුත් අවුරුදු සමයේ ඇති ජනක්‍රිඩාවන් අතර අං ඇදීම, පොරපොල් ගැසීම, කඹ ඇදීම, තාච්චි පැනීම, කල්ලි ගැසීම වැනි එළිමහන් ක්‍රිඩා මෙන්ම පංචදැමීම, ඔලිද කෙළිය වැනි ගෘහස්ථ ක්‍රිඩාවන්ද වේ.මෙම ක්‍රිඩාවන්ගෙන් ලැබෙන ශාරිරික ව්‍යායාම නිසා මේද දහනය වී ශාරිරික යෝග්‍යතාවය ගොඩ නැගෙනු ඇත.

සිංහල අලුත් අවුරුද්ද මුලුමනින්ම මානව සම්බන්ධතාවයන් මත ගොඩ නැගී තිබේ. හොඳ සිත් ඉදිරියට ගෙන යන , නොහොඳ සිත් හොඳ කරන මේ කාලය තුළින් මානව ජන ජීවිතයට ලැබෙන්නේ ආලෝකයක් පමණක් නොව ආශිර්වාදයක් බවත් අමතක කළ නොහැක. වසරක් පුරා කායික ලෙසින් වෛහස මහන්සි වි උපයා සපයා ගත් අස්වැන්න හැම දෙනා සමග එක්ව ප්‍රිතියෙන් බෙදා හදා ගැනීමත්, එකකාර රටාවට කැත්තේ උදැල්ලේ හැපෙමින් ගෙවුන ජීවිතය සමුහයක් ලෙසින් විනෝදයෙන් ගෙවා තවත් අලුත් වසරක් වෙනුවෙන් ප්‍රබෝධයෙන් මුහුණ දීමට අතීතයේ පටන් අපේ ජනසමාජය හුරුපුරුදුව සිටි බවට මේ හොඳම සාක්ෂියයි.

පුදා පිදුම් දෙවියන්හට දෙන හරිය

හදා බත් මාලු සරිකර හිත පිරිය

මුදා කිරිහට්ටි කිසි අඩුවක් නැතුව

මෙදා කෝණ තනියම කන්නට බැරිය

 

නිවසේ සිටින වැඩිහිටියන් සඳහා ප්‍රථමාධාර අවශ්‍ය වුවොත්

අපේ පුංචි දරුවෝ දවසින් දවස වැඩෙද්දී එයාලගේ ආච්චිලා සීයලා දවසින් දවස වයස් ගත වෙනවා කිව්වොත් නිවැරදියි. වැඩිහිටි වියට පත්ව සිටින දරුවන්ගේ ආච්චි සීයා සමහර විට පුංචි දරුවෙක් වගේ වෙන්නත් පුළුවන්. ගෙදර ඉන්න ආච්චිට සීයට දරුවෝ හරිම ආදරෙයි. ඒ වගේම දෙමාපියන් ඔවුන්ව රැක බලාගන්නා ආකාරයෙන් දරුවන්ටත් වටිනා ආර්ශ ලැබෙනවා‍. කවදාහරි දවසක එයාලත් එයාලගේ දෙමාපියන් වෙනුවෙන් මේ වගකීම් දරන්න හුරු වේවි. ඒ කොහොම වුණත් නිවසේ වෙසෙන වැඩිහිටියන් රැකබලාගැනීම ගැන එක්තරා විදියකින් ලොකු වගකීමක් සහිත රාජකාරියක්. අන් සියළුම දෙනා මෙන්ම වැඩිහිටියන් හදිසි අනතුරුවලට හා තුවාල වලට ගොදුරුවිය හැකි බව දැන ගැනීම ඉතා වැදගත්ය. පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ වැඩිහිටියන්හට හදිසි අනතුරු නිසා මරණයට පත් වීමට හෝ සදාකාලික අබාධිත තත්ත්වයන්ට පත්වීමට ඇති අවදානම වැඩි බැවිනි. වැඩිහිටියන් මුහුණ දෙන පොදු ගැටලු සහ  හදිසි අවස්ථාවන් පිළිබඳව ඔබට ඇති දැනුම එවන් අවස්ථා සඳහා සාර්ථකව මුහුණ දීමට  ඔබට  උපකාරී වනු ඇත.
වැඩිහිටියන් සඳහා ප්‍රථමාධාර ලබා දිය යුතු මූලික අවස්ථා 
  • වැටීම්
  • කැපුම් සහ තුවාල
  • උණුසුම සහ ශීතලට සම්බන්ධ රෝග
  • හෘදය වස්තුව ආශ්‍රිත රෝග
වැටීම්
වැඩිහිටියන් බහුල වශයෙන් ගොදුරු වන අවදානම වන්‍නේ වැටීම්ය. වැටීම් මගින් මොළයට හානි වුවහොත් එය මාරාන්තික විය හැකි බැවින් ප්‍රථමාධාර ලබා දීම ඉතා වැදගත්ය. මෙයට අමතරව අස්ථි බිඳීම් හේතුවෙන් වැඩිහිටියා සදාකාලික රෝගියකු වීමට පුළුවන. වැඩිහිටිවියේ දී  වැටීම් සඳහා පොදු අවදානම් සාධක වනුයේ පෙනීමේ දුර්වලතා, ශරීර දුර්වලතාව, ශාරීරික අකර්මණ්‍ය බව,  හිසරදය ඇති වන තත්ත්වයන් හෝ ඖෂධවල බලපෑම්  සහ  සමබර බව පිළිබඳ ගැටළු වේ. 
වැඩිහිටියකු  වැටී සිටී නම් හා ඔහුට බරපතල අපහසුතා නොමැති නම් පළමුව ඔහු පහසු ස්ථානයක වාඩි කරන්න.  තුවාල සහිත ප්‍රදේශය මදක් උඩින් තබා විනාඩි 10 ක් පමණ අයිස්වලින් තවන්න.  සුළු  තුවාල  ඇත්නම් ඒවාට ප්‍රතිකාර කරන්න. ඔබට බරපතල ලේ ගැලීමක සලකුනු දක්නට ලැබුණහොත්, තැළීමක් හෝ ඉදිමීමක්, අස්ථි භග්නයක් ඇත්නම්  හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. ප්‍රතිකාර ලැබෙන තෙක් ඔවුන්ව උණුසුම් කර තබන්න. ඔවුන් හුස්ම ගැනීම නතර කළහොත් කෘතීම ස්වසනය ලබා දෙන්න.
උලුක්කු  සහ තැලීම්
වැටීම් හේතුවෙන් තැලීම් සහ උලුක්කුවීම් ඇතිවීමට ඉඩ ඇත. වැඩිහිටියාට ඒවා ඉතා වේදනාකාරී විය හැකි බැවින් වේදනාව අඩු කිරීමට අවධානය යොමු කරන්න. අයිස් ප මගින් එම ප්‍රදේශ තවන්න. ඉදිමුම සහ වේදනාව අඩු වන තෙක් මෙය දිගටම කරන්න. 
කැපීම් සහ සීරීම්
සම වියපත්  සමගම වැඩිහිටියන්ට සිදුවන කැපීම් සහ සීරීම් වල අවදානම වැඩිවේ.  ඇතැම් අවස්ථාවල දී මෙම තුවාල ආසාදනය විය හැක. දියවැඩියාව හෝ හෘද රෝග වැනි නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් මඟින් ඔවුන්ගේ  ප්‍රශක්තිකරණ  පද්ධතියේ  ක්‍රියාකාරිත්වය  අඩුවීම මෙම ආසාදන ඇතිවීමට හේතුව වේ. 
  • සුළු කැපීම්  හා සීරීම් සඳහා ප්‍රථමාධාර  
තුවාලය  මත ඇති අපිරිසිදු ද්‍රව්‍ය ජල නලයකට අල්ලා  පිරිසිදු කරන්න. නැත හොත් වතුර වත්කරමින් සෝදා හරින්න. එය රුධිර වහනය වුවහොත් තුවාලය පිරිසිදු රෙදි කඩකින් තදින් වෙලන්න. තුවාලය ඇති වී තිබෙන පෙදෙස පුද්ගලයාගේ හදවතට ඉහළින් තබන්න. පළමුව යෙදූ වෙලුමට උඩින් ලේ ගලා යයි නම් එය ඉවත් නොකර තව වෙළුමක්  අලුතින් දමන්න.  
  • ගැඹුරු කැපීම් හෝ අධික රුධිර වහනය
පුද්ගලයා දරුණු කැපීමක් හෝ අධික රුධිර වහනයක් ඇති නම් හදිසි වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.  ලේ ගැලීම නැවැත්වීමට සහ සබන් හා පිරිසිදු ජලය භාවිතයෙන් තුවාලය සෝදා වෙලුමක් දමන්න .  වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව තුවාලය පිරිසිදුව තබාගැනීම සහ  ආසාදනය පිලිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. 
උණුසුම සහ ශීතල සම්බන්ධ රෝග 
වියපත් වීමත් සමඟ ඇතිවන  නිදන්ගත රෝග තත්ත්වයන් නිසා ශරීරයේ උෂ්ණත්ව පාලනය කිරීම අඩපණ වේ.  මෙම අපහසුතා වැලක්වීමට වැඩිහිටියන්ට උෂ්ණත්ව සමතුලිතතාවය වෙනස් කළ හැකි බෙහෙත් බෙහෙත් ලබා ගත හැකිය. එළිමහනේ සිටින විට වැඩිහිටියන්ට උණුසුම් හෝ ශීත කාලගුණ වලින් ආරක්ෂා වීමට හිරු ආවරණ භාවිතා කිරීම සහ සුදුසු ආරක්ෂිත ඇඳුම් ඇඳීම විශේෂයෙන් වැදගත්ය. 
  • හයිපොතර්මියාව ( ශරීර උෂ්ණත්වය පහළ යාම)
මෙම රෝගය සුළු අවස්ථාවේ  වෙව්ලීම, කුසගින්න, හිසරදය, මානසික ව්‍යාකූල බව, හදවත් ගැස්ම වැඩිවීම, හුස්ම ගැනීම වැඩි කිරීම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. 
එසේම රෝග තත්ත්වය උත්සන්න වන විට ශරීරය වෙව්ලීම, නිදිබර ගතිය, දැඩි මානසික ව්‍යාකූල බව, දුර්වල නාඩි වැටීම, මන්දගාමී හුස්ම ගැනීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. 
මෙවන් තත්ත්වයක් ඇතිවුව හ‍ොත් ඔවුන් සීතලෙන් වහා ඉවත් කර  තෙත් ඇඳුම් ඉවත් කරන්න. උණුසුම් වියළි බ්ලැන්කට්වලින් ආවරණය කරන්න. ක්‍රමයෙන් ඔවුන්ගේ පපු පෙදෙස සහ උදරය පෙදෙස උණුසුම්  කරන්න. ඔවුන් ශ්වසනය නතර කළහොත් කෘතීම ස්වසනය (මෙම ලිපියේ පහතින් කෘිම ස්වසනය ලබාදීම පිළිබඳව සඳහන් කර ඇත) ආරම්භ කරන්න
හදවත් රෝග 
හදවත් රෝග වල මූලික රෝග ලක්ෂණ පහත සඳහන් වේ. 
  • ශරීර උෂ්ණත්වය වැඩිවීම 104 ° F (40 ° C)
  • හුස්ම ගැනීමේ වේගය වැඩි වීම
  • ඔක්කාරය/වමනය
  • හිසරදය
වැඩිහිටියාගේ ශරීර උෂ්ණත්වය වැඩි වේ නම්  වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.  එතෙක් ඔවුන්ව සිසිල් කරන්න. නිදසුනක් වශයෙන්  සිසිල් ජලයෙන් ස්පොන්ජ් කිරීම, අයිස් වතුර බොන්නට දීම, තෙමන ලද ෂීට්වලින් හෝ තුවායකින් ඔවුන්ගේ සිරුර ආවරණය කරන්න. ඔවුන් ශ්වසනය නතර කළහොත් කෘතීම ස්වසනය ලබා දෙන්න. රුධිර වාහිනී ආශ්‍රිත  වෙනස්කම් වැඩිහිටියන් තුල  හෘදයාබාධ ඇති වීමට  හේතුවේ. හෘදයාබාධ ඇතිවීමේ ලක්ෂණ වන ඉහත ලක්ෂණ වැඩිහිටියාට  ඇතැයි ඔබ සිතන්නේ නම් වහා වෛද්‍යවරයකුගේ උපදෙස් පතන්න. එතෙක් ඔවුන්ව උණුසුම් කර තබන්න. ඔවුන් හුස්ම ගැනීම නතර කළහොත් කෘතීම ස්වසනය ලබා දෙන්න.
කෘතීම ස්වසනය ලබා දීම (අත් ආධාරයෙන්)
පියවර – 1 පුද්ගලයාට නාඩි වැටේ දැයි පරීක්ෂා කර බලන්න
ඔහුගේ මැණික් කටුව, ඇතුල් වැලමිට, කලවා තද කර නාඩි වැටෙන්නේදැයි බලන්න. එසේ නැතහොත් හද ගැස්ම පරීක්ෂා කර බලන්න. 
පියවර – 2 පුද්ගලයා හුස්ම ගන්නේදැයි බලන්න.
ඔහුගේ නාසයට සහ මුඛයට අත තබා ස්වසනය දැනේදැයි බලන්න. පපුව උස්පහත් වන්නේදැයි බලන්න. ඒ කිසිත් ඔහු හුස්ම ‍ගන්නා බව නොපෙන්වයි නම්  කෘතීම ස්වසනය දිම ආරම්භ කරන්න. 
පියවර – 3 උඩු කය ඇඳුම් ඉවත් කරන්න
 
 හැකි නම පමණක් පුද්ගලයාගේ උඩු කය ඇඳුම් ඉවත් කරන්න. එය අපහසු නම් එයට උත්සාහ කරමින් කාලය නාස්ති නොකරන්න.  මෙසේ කළ යුත්තේ පීඩනය ලබා දීම පහසු කරලීම සහ හුස්ම වැටීම නිරීක්ෂණය කිරීම සඳහාය.  
පියවර – 4  කෘතීම ස්වසනය ලබා දීම ආරම්භ කරන්න
පපුවේ මැද තෙරපුමට ලක් කිරීම සඳහා  ඔබගේ අත් දෙක එකට බැඳ පපුව මැද තබන්න. 
පියවර – 5 තෙරපන්න.
පපුවේ මැද මිනිත්තුවට 120 වාරයක් වන වේගයට තෙරපන්න. ඔබගේ අත් පමණක් නොව මුළු ශරීරයම මේ සඳහා යොදවන්න. එයින් අත්වලට වඩාත් බරක් ලැබෙන නිසා තෙරපුම සාර්ථක වේ.  පපුව අඟල්  2ක් යටට තෙරපන්න
කෘතීම ස්වසනය ලබා දීම (මුඛය ආධාරයෙන්)
පියවර 1 ශ්වසන මාර්ගය විවෘත කරන්න.
ඔබ කෘතීම ස්වසනය ලබා දීමේ පුහුණුව ලබා ඇත්නම්, ඔබේ හැකියාවන් පිළිබඳ විශ්වාස කරන්න. බෙල්ලේ / හිස / කොඳු ඇට පෙළ තුවාල සිදුවිී ඇතැයි ඔබ සිතන්නේ නම්  පපු සංකෝචන 30 ක්  සිදු කළ පසු ස්වසන මාර්ගය විවෘත කිරීමට  හිස ඇලකිරීම , නිකට -එසවීම  හෝ හකු තෙරපුම(head-tilt, chin-lift technique,[ or the jaw-thrust) යන උපක්‍රම භාවිතා කරන්න.  ඔබේ අත ඔහුගේ නලල මත තබා හිස මදක් ඇල කරන්න.   ඔක්සිජන් ලබා ගැනීමට පහසු වන පරිදි ඔහුගේ නිකට මදක් උස් කර ස්වසන මාර්ගය විවෘත කිරීම සඳහා  ඔසවා තබන්න.
  • ඔහුගේ  සාමාන්‍ය හුස්ම ගැනීම පරීක්ෂා කිරීම සඳහා තත්පර 5 සිට 10 දක්වා ගන්න. පපුවේ  චලනය දෙස බලන්න.ශ්වසනය සිදුකරන්නේ දැයි  සවන් දෙන්න . ඔබේ කම්මුලට හෝ කනට පුද්ගලයාගේ   හුස්ම  ගැනීම දැනේදැයි බලන්න.
  • අපහසුවෙන්  හුස්ම ගැනීම සාමාන්‍ය ස්වශනය   ලෙස සලකනු නොලැබේ.
  • ඔහු දැනටමත් ශ්වසනය කරන්නේ  නම්, ශ්වසන ආධාර අවශ්‍ය නොවේ. 
  • කෙසේ වෙතත්, ඔහු තවමත් හුස්ම නොගන්නේ නම්ස්වසන මාර්ගය විවෘතව තැබීම සඳහා පුද්ගලයාගේ හිස ඉහලට තබන්න. 
පියවර 2 ඔබේ මුඛය පුද්ගලයාගේ මුඛය මත තබන්න
  • පුද්ගලයාගේ  නිකට ඔසවා මුඛය විවෘත වන ස්වසන මාර්ගය අවහිර වන යමක් හිරවී නොමැති බව තහවුරු කරගන්න. ඉන්පසුව, එක් අතකින් පුද්ගලයාගේ  නාස්පුඩු තදකරගෙන   ඔහුගේ  මුඛය සම්පූර්ණයෙන්ම ඔබේ මුඛයෙන් ආවරණය කරගන්න. කෘතීම ස්වසනය ලබා දෙන අවස්ථාවේ පිටත වාතය පුද්ගලයාගේ මුඛයට ඇතුළු වීම වැලැක්වීම මෙහි අරමුණයි.
  • මෙම ක්‍රමයේ දී එක් පුද්ලයකුගෙන් අනික් පුද්ගලයාට‍ෙ  වෛරස් හා බැක්ටීරියා  බෝවීමට ඉඩ ඇති බවට ඔබ දැනුවත් විය යුතුය. 
  • පුද්ලගයාගේ  මුඛයට ඔබේ මුඛය තැබීමට  පෙර, වමනය, ශ්ලේෂ්මල හෝ කෙළ  ඉවත් කරන්න.  
  • පුද්ගලයාගේ කට බරපතළ ලෙස තුවාල වී හෝ විවෘත කළ නොහැකි නම්,  ඔහුගේ නාසට ඔබේ මුඛය තබා ස්වසනය ලබා දීමට සිදුවේ. 
පියවර 3 – ස්වසන වාර දෙකකින් ආරම්භ කරන්න
  • ඔබේ මුඛය අනතුරට පත්වූ   පුද්ගලයාගේ මුඛයට තැබූ පසුව, අවම වශයෙන් එක් තප්පරයක් පමණ  දීර්ඝ ගැඹුරු ස්වසනයක් ඔහුට ලබා දෙන්න . ඉන් පසුව ඔහු හුස්ම හෙලන්නේ ද බලන්න . හුස්ම නොගනී  නම්, දෙවන වරටද ස්වසනය ලබා දෙන්න. පුද්ගලයෙකුගේ ජීවිතය ඔබේ  මත තීරණය වන අවස්ථාවක් වන හෙයින්  ඔබ ධෛර්යමත් විය යුතුය.
  • ඔබ ලබා දෙන ස්වසනය තුල  කාබන්ඩයොක්සයිඩ් අන්තර්ගතව තිබුණත් එහි  අනතුරට පත් පුද්ගලයාගේ ප්‍රයෝජනය සඳහා ප්‍රමාණවත්වන ඔක්සිජන්  ප්‍රමාණයක් පවතී.  මෙහි  අරමුණ  වන්නේ වෛද්‍ය කණ්ඩායමකගේ සහාය ලබන තෙක් පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමයි 
  • වැඩිහිටියන්  සඳහා කෘතීම ස්වසනය ලබා ද‍ීමේ දී   ලෙස පපු තෙරපුම් 30 ක්  හා ජීවිතාරක්ෂක ස්වශන වාර 2 ක් එක්  වටයක් ලෙස සැලකේ.
පියවර 4 – නැවත නැවත චක්‍රය ක්‍රියාත්මක කරන්න
පුද්ගලයා තව දුරටත් ස්වසනය නොකරයි නම් තවත් මෘදු  පපු සංකෝචන 30 ක් සහ කෘතීම ස්වසන දෙකක් දෙන්න. හදිසි වෛද්‍යාධාර ලබා ගත හැකි වන තුරු හෝ පුද්ගලයා ප්‍රතිචාර දක්වන  තෙක්  නැවත සිදු කිරීම අවශ්‍ය වේ. කෘතීම  ශ්වසනය මගින්  ලැබෙන ඔක්සිජන් හේතුවෙන් ශරීිරයේ පටක  මෙන්ම මොළය ද  මිය යාම වළක්වයි.
ප්‍රථමාධාර පෙට්ටියක් සකසා ගැනීම
අවශ්‍ය ද්‍රව්‍
  • විවිධ හැඩයේ සහ ප්‍රමාණයේ ප්ලාස්ටර්
  • කුඩා, මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ගෝස් රෙදි
  • ඇස වැසීමට ගන්නා ආවරණ(sterile eye dressings)
  • ත්‍රිකෝණාකාර බැන්ඩේජ්
  • ක්‍රේප් බැන්ඩේජ්
  • ආයා කටු
  • ඉවත දැමිය හැකි අත්වැසුම්
  • ට්වීසරයක්
  • කතුරක්
  • තුවාල සෝදන දියර
  • තුවාල පිිසින රෙදි කඩක්
  • ප්ලාස්ටර් 
  • උණකටුවක්
  • සමේ තවරණ ක්‍රීම්
  • ප්‍රතිජිවක ක්‍රීම් 
  • වේදනා නාශක
  • කැස්ස සඳහා ඖෂධ
  • ඇස් ‍සෝදන දියර 

ප්‍රථමාධාර පෙට්ටියක් සැකසීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු 

  • ගැලපෙන ඇසුුරුමක් තෝරා ගන්න

අවශ්‍ය නම් වෙළඳ පොළාන් ප්‍රථමාධාර සඳහාම  සකසා ඇති පෙට්ටියක්   මිලදී ගත හැකි අතර එසේ නොමැති නම් නිවසේ ඇති පෙට්ටියක් ඒ සඳහා තෝරා ගන්න. හොඳින් ඉඩ ඇති , විනිවිද පෙනෙන, ජලය උරා නොගන්නා  ප්ලාස්ටික් පෙට්ටියක්   හෝ සිපරයක් දමා වසා දැමිය හැකි ප්ලාස්ටික් බෑගයක් මේ සඳහා සුදුසු වේ. ඇතුලත ඇති දෑ  විනිවිද පෙනීම හදිසි අවස්ථාවක දී  පහසුවකි. එය රැගෙන යාම පහසු විය යුතු අතර පාවිච්චියට ද පහසු විය යුතුය. එහි ප්‍රථමාධාර යනුවෙන්  ලොකු අකුරින් සඳහන් කළ ලේබලක් අලවන්න. 

  • ස්ථිරවම නියමිත තැනක තබන්න.

 ප්‍රථමාධාර පෙට්ටිය සඳහා නිශ්චිත තැනක් තිබිය යුතුය. එහෙත් එය කුඩා දරුවන්ට ළඟා වීමට නොහැකි තැනක් වීම වැදගත් වේ. වඩාත් සුදුසු වන්නේ  නියමිත උසකින් බිත්තියක එල්ලා තැබීමයි. 

  • වැඩිහිටියාට  ප්‍රථමාධාර කට්ටලය ගැන උගන්වන්න.

 ප්‍රථමාධාර පිළිබඳව වැඩිහිටියා දැනුවත් කිරීම රකවරණය ලබා දෙන්නාගේ වගකීමකි.  එහි ඇති අයිතම භාවිතා කිරීමට  උගන්වන්න. ඔහුගේ පහසු භාවිතය උදෙසා  ප්‍රථමාධාර උපදෙස් පොත් පිංචක් එහි තබන්න.

  • අයිතම යාවත්කාලීන කරන්න. 

ඖෂධ වල කල් ඉකුත් වීම , අනෙකුත් දේවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම නිතිපතා සිදුවිය යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය


                

හීල්බත් ගුණ

අද වගේ ශීතකරණ නොතිබුන අතීතයේදී රාත්‍රියේ ඉතිරි වුන බත් උයන මුට්ටියේම තැබීමෙන් පසුව පහුවදා උදේ රත් නොකරම ආහාරයට ගත්තා.”හීල් බත් ” යනුවෙන් හැදින්වූ මේ ගැන වැඩිහිටි පරම්පරාව දැන සිටියත් අද දවසේ තරුණ කණ්ඩායම්වලට නම් ඒ ගැන ලොකු අත්දැකීමක් නැහැ.රාත්‍රියට පිසින බත මේ අන්දමින් පසුවදාට ප්‍රයෝජනයට ගැනීම නිසා යම් ආකාරයක පිරිමැස්මක් ඇති වුණා.පාසල් යන දරුවන්ටගේ උදේ ආහාරයත් හීල්බත්. ඒ නිසා අද වගේ දරුවන් නිරාහාරව පාසලට ගියෙත් නැහැ.රාත්‍රි ඉතුරු බත් නිසා අම්මාටත් පහසුයි. බත් අපතේ ගියෙත් නැහැ. ඒ වගේම බත පිසින්නට භාවිතා කරන ඉන්ධනත් පිරිමසා ගැනීමට හැකියාවක් ලැබුණා.අද දවසේදී රාත්‍රි පිසින බත් ඉතුරු වුනත් ඒවා නැවත රත් කිරීමෙන් ආහාරයට ගන්නා නිසා එය ”හීල් බත් ” යනුවෙන් හදුන්වන්න බැහැ.හීල්බත බොහොම ගුණදායක බැව් සමහර විට ඔබ නොදන්නවා ඇති..ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හීල් බත වාත, පිත, කප කියන තුන්දොසම සමනය කරන ආහාරයක්.

විටමින් බහුලයි…

රාත්‍රි පිසින බත ශීතකරණයක නොතබා තැබීම නිසා පරිසරයේ සිටින යීස්ට් ඇතුලු හිතකර ක්ෂුද්‍ර ජීවින් බතේ උපස්ථරය මත ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රියාකාරිත්වය පමණට වඩා සිදු වුනොත් බත පිළුණු වුනා යැයි කියනවා.

හිතකර අන්දමට ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලියට පත්ව බත පැසීමට ලක් වුනාම  විටමින් B සහ විටමින් C සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ඔබට ඉතාම පහසුවෙන් පෝෂණීය ආහාරයක් ලබා ගැනීමට පුලුවනි.මේ පැසීමේ ක්‍රියාවලිය නිසාම ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ යෑමත් සමග ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවීම සිදු කරනවා.

සත්ව ආහාරවලටත් විටමින් 12 ලැබෙන්නේ මේ විදිහටයි.

සත්ව ආහාර මත මේ විදිහට හිතකර ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය සිදු වෙන නිසාම විටමින් බී 12 උපයා ගැනීම පහසුයි. දැන් ඔබට හිතෙන්නේ මොකක්ද..?මස් මාංශ ආහාරයට නොගන්නා අයටත් හීල් බත් හොදයි කියන අදහස හිතට ආවා නම් ඔන්න ඔබත් නිවරැදියි. ඒ නිසා මස් මාංශ ආහාරයට නොගන්නා අයට හීල්බතින් මනා පෝෂණයක් ලබා ගැනීමට පුලුවනි.

අනවශ්‍ය මේද ගබඩා වීම..

හීල්බත් ආහරයට ගැනීමේදී සකස් කර ගන්නේ පොල් සම්බෝලයක්…ඊටත් අතිරේක ලෙසින් කරවල කෑල්ලක් එකතු කර ගන්නවා.මේ ආහාරවලින් සිරුරට අහිතකර විදිහට මේද ගබඩා වීමක් සිදු වෙන්නේ නැහැ.නමුත් අද බොහෝ දෙනෙක් රාත්‍රියේ ඉතිරිවෙන බත ශීතකරණයේ තබා රත් කර ගෙන එය නැවත තෙම්පරාදු කිරීම විතරක් නොවෙයි, තවත් රසකාරකත් එකතු කරන නිසා හීල්බතකින් ලැබෙන පෝෂණය ඔවුන්ට අහිමි වී තිබෙනවා.

බඩගින්න වැඩි වෙනවා..

හීල් බත ආහාරයට ගැනීම නිසා ”ජටරාග්නිය ” හෙවත් බඩගින්න වැඩි වෙනවා.අපි උදේට රොටී,පිට්ටු වැනි ආහාර ගැනීම නිසා බඩ පිරුන ගතියක් ඇති වුනත් හීල් ඉත් ආහාරයට ගැනීමෙන් සප්ත ධාතුවම සමතුලිතව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.හීල් බතේ ඇති හිතකර බැක්ටීරියා නිසා හොදින් පෝෂණය අවශෝෂණය කර ගත හැකි පරිදි ජීරණ මාර්ගයත් සූදානම් කරනවා.අතීතයේදී නිරෝගී සහ ශක්තිමත් පුද්ගලයන් බිහි වීමේ රහසත් මෙය වෙන්නැති.

මානසික සුවයටත්..

අද බොහෝ දෙනෙකුට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු බොහොමයි. භෞතික සැප සම්පත් කොතරම් තිබුනත් මාසික සුවතාවය නැත්නම් ඒ ජීවිතය සමබල නැහැ.ඉතින් ඔබ නොදන්න රහසක් හිල් බතෙන් ලැබෙනවා. හීල්බත්වල අන්තර්ගත විටිමින් ”බි ” නිසාම ඔබේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට යම් ආකාරයක පහසුවක් ලැබෙනවා.විටමින් ”බි ” ඌනතාවය නිසා ඔබය යම් උදාසීනතාවයක් ඇති වෙන්න පුලුවනි. බොහෝ විට මේ කම්මැලි ගතිය ඇති වෙන්නේ විටමින් ”බි “ඌනතාවය නිසා බව ඔබටත් තේරුම් ගන්න අපහසුයි.නමුත් මේ හිස්තැන ඉතාම හොදින් දියබත් ආහාරයට ගැනීමෙන් සපුරා ගන්න පුලුවන් බවත් අමතක කරන්න එපා.

දියබත්…..

අද කාලයේ ගැස්ට්‍රයිටිස් විදිහට හැඳින්වෙන රෝග තත්වය එදත් අඩු වැඩි වශයෙන් සමාජයේ තිබුණා.බොහෝ විට එය ඔවුන් හැදින්වුයේ බඩේ දැවිල්ල විදිහටයි. සිරුර ගිනියම් වෙලා යැයි සතා දියබත් ආහාරයට ගැනීමෙන් මනා සුවයක් ලබා ගැනීමට මේ අය අතීතයේදී පුරුදුව සිටියා.

ඉතින්…අද දවසේ ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක් ඉන්නවා නම් එය කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාට සමානයි. ඒ වගේ අවස්ථාවලදී ”දියබත් ” ආහාරයට ගැනීම හොඳම ප්‍රතිකාරය ලෙසින් සැලකුණා.දියබත් හදා ගන්නේ මෙහෙමයි.

දියබත් සදා ගන්නේ මෙහෙමයි…

රාත්‍රියේ මුට්ටියේ ඉතිරි වෙන බත් දංකුඩයට වතුර ටිකක් දමා රැය පුරා තබනවා. බොහෝ විට මෙය මැටි මුට්ටියක් වුණා.පසුදිනට මේ බත් ටික සූරා ගෙන භාජනයකට දමා එයට පොල් කිරි එකතු කරනවා.  රතුළූණු, අමුමිරිස් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දමා දියබත් ආහාරයට ගන්නවා.ඉතින් අදටත් දියබත් ගැස්ට්‍රයිටිස් ඇති අයට බොහොම සුවදායකයි. එය ආහාරයට ගෙන බැලීමෙන්ම ඔබට තේරුම් ගන්න පුලුවනි.

ඒ වගේම අද මද සරු බව ලොකු ගැටළුවක් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් ස්ත්‍රි පුරුෂ දෙපක්යේම හේතු බලපානවා.කාන්තාවන්ගේ උෂ්ණාධික බව නිසා ශුක්‍රාණුවල ජීව කාලය ඉක්මනින්ම නැති වෙනවා. ඒ වගේම පුරුෂ සිරුරේ අධික උණුහුම නිසාත් ශුක්‍රානු ගිණුම වගේම සක්‍රිය ප්‍රතිශතය පවත්වා ගැනීම පිලිබද ගැටලු ඇති වෙනවා.

දියබත්වල ඇති සිරුර නිවන ගුණය නිසා කාන්තා සිරුරේදී ශුක්‍රානුවක ජීව කාලය වැඩියෙන් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සිසිල්පව නිසා පුරුෂ ශුක්‍රාණු සම්බන්ධව ඇති ගැටළුවලටත් විසදුම් ලැබෙන නිසා දියබතෙන් ලැබෙන වාසි මත හරින්න එපා.

මහනුවර මුල්ගම්පල ”ඓශ්චර්යා ” රූපලාවන්‍යාගාරයේ අධිපති සහ  පාරම්පරික ආයුර්වේද වෛද්‍ය  රුක්ෂි ජයතිස්ස

 

 

අම්මාටත් පවුලේ ආදරය, ආරක්ෂාව සහ අවධානය ඕන…

දරුවෙක් කියන්නේ අම්මාගේත් තාත්තාගේත් ජීවිතයේ උතුම් බලාපොරොත්තුව ඉෂ්ට වීමක්.දරුවා වෙනුවෙන් උපත ලබා දීම තරම් දුෂ්කර වේදනාකාරී අත්දැකීමක් තවත් නැහැ. ඒ වුනත් අම්මාට මේ සියළුම වේදනාවන් දරුවාගේ මුහුණ දැකීමත් සමග අමතක වෙනවා.

නමුත් සිදුවීම එතැනින් අවසාන නැහැ.නීරෝගි දරු උපතකින් පසුව සියල්ල අවසාන නැහැ. දරුවා නිවසට රැගෙන ආ දිනයේ පටන් පවුලේ ජීවන රටාව වෙනස් වෙනවා.අම්මාට නින්ද, ආහාර වගේම විවේකය අවශ්‍යයි. නමුත්  පවුලේ උදවියගෙන් අලුත් අම්මාට සැලකිල්ල නැති වීම නිසා ඇය පසු ප්‍රසව විශාදය  නැමැති රෝග තත්වයට ගොදුරු වෙන්න පුලුවනි. දරුවා උපත ලබා අවුරුද්දකදී කුමන හෝ අවස්ථාවක මේ තත්වය ඇති වෙන්න පුලුවනි. සමහර විට එක්වරම හෝ ක්‍රමයෙන් ඇති වෙන්නත් පුලුවනි. දරුවා උපත ලබා පළමු සතියේදී ඇති වෙන කාංසාව,පීඩාව වැනි මානසික පසුබෑම ”බේබි බ්ලුම්ස් “ විදිහට හැඳින්වුවත් මේ තත්වය දරුණු විදිහට බලපාන අවස්ථාවනුත් තිබෙනවා.ඒ විතරක් නොවෙයි. සැමියාගේ ආදරය , ආරක්ෂාව සහ අවධානයත් ඉතාම වැදගත්. 

පසු ප්‍රසව විශාද රෝග තත්වයේ ලක්ෂණ

  • දැඩි වෙහෙස
  • හේතුවක් නැතුව දුක්වීම
  • දරුවා අනාරක්ෂිත බව සිතීම

වෙනදා නැති මේ අන්දමේ මානසික තත්වයක් ඇති වීමට ප්‍රධාන වහයෙන් බලපාන්නේ මවගේ හෝර්මෝන සංයුතියේ ඇති වෙන අසමතුලිතතාවයයි. ඇතැම් විට මේ තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. එසේ නොමැති වුනොත් සමහර විට දරුවා විනාශ කිරීම හෝ මන සිය දිවි නසා ගැනීම තරමටම තත්වය බරපතල වෙන්නත් පුලුවනි.

ඖෂධ ප්‍රතිකාර පමණක් මදි..

හැම දෙයටම බේත් විතරක් ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය කියමනට කියන්නා වගේ වෙදකම වගේම හෙදකමත් අවශ්‍ය වෙනවා. හෙදකමේදී අලුත් අම්මා වෙනුවෙන් පවුලේ අයගේ විශේෂයෙන් සැමියා දක්වන ප්‍රතිචාරත් ඉතාම වැදගත්.දරුවන් වැදීම කාන්තාවගේ කාර්යය බව ඇත්ත වුනත් තමන්ගේ බිරින්දෑ පසු ප්‍රසව විශාදය තත්වයෙන් ආරක්ෂා කර ගැනීමට නම් බිරිඳ වෙත සැමියා දක්වන අවධානය ලැබිය යුතු අන්දම ගැනත් ඔබ දැන ගෙන සිටීම ඉතාම වැදගත්.

බිරිඳටත් දරුවාටත් දැනෙන්න ආදරය කරන්න…

එදා ඔබේ පෙම්වතිය අද මවක්. දැන් ඉතින් අම්මා කෙනෙක් වුනාම වෙනදා වගේ ලාමක ලපටි හැසිරීම් බැහැ. දැන් වගකීමක් ඇතුව කටයුතු කළ යුතයි කියන පිලිගැනීමත් වැරදියි. ඒ වගේම දෙවැනි ,තුන්වැනි දරුවා නම් දැන් ඉතින් දරුවන් ලැබීම ගැන අත්දැකීම්ඕනෑතරම් ඇති නිසා සැමියාගේ සහයෝගය අවශ්‍ය නැතැයි හිතන්නත් එපා. ඇයට සැමියාගේ ආදරය මේ කාලයේදී දැනෙන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේම පසු ප්‍රසව විශාදය තත්වයේදී දරුවා අනාරක්ෂිතය යන සිතුවිල්ලෙන් මව පීඩා විඳින්න පටන් ගන්නවා. ඒ නිසා සැමියා විදිහට ඔබ බිරිඳට වගේම දරුවාටත් ආදරය කිරීම ඉතාම වැදගත්.එහෙම නැති වුනොත් බිරිඳගේ හිතේ ඔබ දරුවාට ආදරය නැතැයි යන සැකය ඇති වෙන අතර ඒ මත්තේම ඇය රැඳී සිටීම නිසා කාලයත් සමග විශාදයේ ගොදුරක් බවට පත් වෙන්න පුලුවන්.

විනෝදාංශයකට ඉඩ දෙන්න….

දැන් ඉතින් අම්මා කෙනෙක්…එහෙමත් නැත්නම් දැන් දරුවන් දෙතුන් දෙනෙකුගේ අම්මා කෙනක්. මේ විදිහට ඔබ බිරිඳ ගැන සීමා පැනවිය යුතු නැහැ. ඇය අම්මා කෙනෙක් බව ඇත්ත. ඒ වගේම ඇය සාමාන්‍ය කාන්තාවක්. වෙනදා තිබුන ජීවන රටාවේ තිබුන විනෝදාංශවලටත් අවස්ථාව ලබා දෙන්න. සමහර විට ඇය පොත් පත් කියවීමට කැමැත්තක් දැක්වූ අයෙක් නම් ඒ වෙනුවෙන් විවේකයක් ලබා දෙන්න.ඇය කැමැති රූපවාහිනී කතාවක් හෝ වැඩ සටහනක් නරඹන්න අවසර දෙන්න. ප්‍රසවයෙන් මුල් මාස කීපයක් තුළ ඇති වෙන මේ අපහසුතාවයෙන් ඇය මුදවා ගැනීම ඉතාම වැදගත්. මේ කාලයේදී පිටස්තර ගමන් බිමන් පවා දරුවාගේ පහසුව වෙනුවෙන් සීමා වෙනවා. විනෝද චාරිකාවන්, නෑ ගමන් බිමන් බිලින්දා කැටුව යෑම අපහසු නිසා බිරිඳගේ ජීවිතය එකාකාරී විදිහට ගෙවෙන්න පුලුවන්. නමුත් ඇයට ඉඩ ලැබෙන අන්දමින් පන්සලකට, පල්ලියකට එහෙම නැත්නම් ආසන්න තැනකට හෝ යෑමට අවස්ථාවක් සලසා දීමට සැමියා කාරුණික විය යුතුයි.

බිරිඳ සමග සායනයට යන්න…..

දරු ප්‍රසුතිය සඳහා වූ කාලයේදී බොහෝ විට බිරිඳගේ සායනයට සහභාගී වීම තනියෙන් සිදු වුනත්, දරුවා ලැබීමෙන් පසුවත් ඒ අන්දමින්ම බිරිඳ සායනයට සහභාගී වීම අපහසුයි. ඊට හේතුව දරුවා සමග රැගෙන යන උපකරණ සහ දරුවා වඩා ගෙන සිටීම, කිරි පොවන විට යම් යම් උදව් ලබා ගැනීමට අත්උදව් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් බිරිඳට සිටින හොඳම සහයෝගය ලැබෙන්නේ සැමියාගෙන්. ඒ නිසා හැම අවස්ථාවකදීම නොවුනත් බිරිඳ සමග සායනයට යෑමට සැමියා සූදානමින් සිටින බව ඒත්තු ගියොත් එය බිරින්දෑගේ හිතට විශාල ශක්තියක් .

බිරිඳගේ සහ දරුවාගේ කටයුතුවලට සහය දෙන්න…

අම්මා කෙනෙක් වුනොත් ඇගේ වැඩ කොටස් සහ දරුවාගේ වැට කටයුතු කර ගැනීම සාමාන්‍ය දෙයක් බැව් පවසමින් සැමියා මේ කාර්යන්ගෙන් නිදහස් වීම එතරම් සුබ නැත. ඊට හේතුව මේ කාලයේදී බිරිඳ වඩාත් කාර්ය බහුලයි. දරුවා නිසා රාත්‍රිය කාලයේ සැප නින්දක් නැති වෙන්නත් පුලුවන්.ඒ සමග එක් වෙන වැඩ කොටස් නිසා ඇය මානසිකවත් දැඩි වෙහෙසකට පත් වීම නිසා පසු ප්‍රසව විශාදය තත්වයට ඉතාම පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවන්. මේ තත්වයෙන් ඔබේ බිරින්දෑ මුදවා ගැනීමට නම් හැකි හැම විටම බිරිඳගේ සහ දරුවාගේ වැඩ කටයුතු වෙනුවෙන් සැමියාගේ සහයෝගය ලබා දීම ඉතාම වැදගත්.

නෑදෑ හිතමිතුරන් ඉදිරියේ බිරිඳ අගයන්න…

ඇගයීමට හැම දෙනෙක්ම කැමැතියි.ඒ නිසා සැමයාගේ ඇගයීමත් බිරිඳට වඩාත් විශේෂයි.ඕවා සාමාන්‍ය දේවල්. හැම කාන්තාවක්ම දරුවන් ලබනවා..දරුවන් හදනවා යැයි සාමාන්‍යකරණය කිරීමට වඩා ඇයට ඇගයීමක් ලබා දෙනවා නම් එයින් ලැබෙන සතුට ඇගේ මානසික නීරෝගීතාවයට වඩාත් වැදගත් විය හැකියි.

අතපසුවීම් ගැන කලබල වෙන්න එපා..

සමහර විට බිරිඳගේ ජීවන රටාවේ ඇති අවිවේකීබව නිසා සැමියාගේ කටයුතු හෝ දරුවාගේ කටයුතු පිලිබඳව යම් අතපසුවීමක් ඇති වුනොත් ඒ ගැන ඇයට දොස් පවරන්න එපා. 

ඔයාට ඉතින් දරුවාගෙන් තොර ලෝකයක් නැහැ…මං ගැන කිසිම තැකීමක් නැහැ..මේ එක් ආකාරයක චෝදනාවක්..සමහර විටෙක දරුවා ගැන කිසිම සැලකීමක් නැහැ. මට හිතාගන්න බැහැ ඔයා අම්මා කෙනක්ද…? යැයි චෝදනා නැගීම කිසිම දිනක නොකල යුතුයි. මෙවැනි චෝදනා නිසා ඇති වෙන මානසික පසුතැවිල්ල පසු ප්‍රසව මානසිකත්වයට ගොදුරක් බවට පත් වීම ඉතාම පහසුවෙන් සිදු වෙන්න පුලුවනි.

අනිත් අය සමග සසඳන්න එපා.

මවක් , බිරිඳක් විදිහට ඔබේ බිරිඳ වෙතින් ඔබට වගේම දරුවාට නොදැනීම යම් යම් අතපසුවීම් සිදු වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවන්හිදී වෙනත් කාන්තාවන් සමග සංසන්දනාත්මකව ඇගයීම් නොකරන්න. ඔබේ බිරිඳ යනු එක් චරිතයක් මිස ඇය සෙසු කාන්තාවන්ට ආදේශකයක් නොවෙන නිසා කිසිම විටෙක සංසන්දනය නොකළ යුතු බැව් ඔබ තරයේම සිතට ගන්න.

 

යොවුන්විය මේ වගෙයි.. මව්පියන් ලෙස ඔබත් ඒ ගැන දැන ගන්න

උපන් දා සිට තම තුරුලේ හුරතල් වෙමින් සිටි පුංචි පැටව් දවසින් දවස ලොකු වෙද්දි කොයි අම්මා තාත්තාගෙත් හිත ඇතුළේ පුංචි දුකක් ඇති වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. මෙහෙම වැඩිහිටි වෙන අපේ දරුවෝ වෙනදා වගේම අපේ තුරුල්ලේ ඉන්නේ නැහැ. ඒක දුකක් වුණත් දරුවෙකුගේ ජීවිතයේ එක් එක් අවධීන් ගැන අවබෝධයෙන් වැඩිහිටි අප ක්‍රියාත්මක වීම බොහොම වැදගත්. දෙමාපියන් වන අපි ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු අවධියක් විදියට නව යොවුන් විය හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසාම නව යොවුන් විය පිළිබඳව අවබෝධයක් වැඩිහිටි අප සතුව තිබිය යුතුමයි.

ළමා මනෝ විශේෂඥවරුන් විසින් පෙන්වා දෙන පරිදි වයස අවුරුදු 10 ත්  අවුැරදු 21 දක්වා දිවෙන යොවුන් විය අවධීන් තුනක් යටතේ සාකච්ඡා කළ හැක. හර්ලොක් දක්වන ආකාරයට යොවුන් දරුවෙකු පහත දක්වන අවධීන් තුළ පරිණතිය කරා ගමන් කරයි (Hurlock, 1968).

  • වැඩිවිය පැමිණීම හෙවත් මල්වර වීම (අවුරුදු 10 – 14 දක්වා)
  • සංක්‍රාන්තික අවධිය (අවුරුදු 15 – 16) 
  • පශ්චාත් නව යොවුන් විය (අවුරුදු 16 – 21) 

නව යොවුන් විය අවුරුදු 10 -14 ත් අතර කාලයෙන් ඇරඹෙන බවත්, එය අවුරුදු 16 – 20 ත් අතර පශ්චාත් යොවුන් විය දක්වා විහිදෙන බවත් තවත් පර්යේෂකයින් (Dixon,J, et al., 2015) පෙන්වා දී ඇත. ළමාවියේ සිට පැවත එන මනෝ චර්යා ලක්‍ෂණ ද යොවුන්වියේදී ද දැකිය හැකි අතර, යෞවනයා තුළ ළමා සහ වැඩිහිටි ආදී වශයෙන් ප්‍රතිවිරුද්ධ මනෝ විද්‍යාත්මක ලක්‍ෂණ විද්‍යාමාන වේ (අබේපාල, 2010).

යොවුන් වියේ  වයස් පරතරය පිළිබඳව විවිධ විද්‍යාඥ ගුරුකුල අතර සුළු වෙනස් කම් පැවතියද  යෞවන ගති ලක්ෂණ පිළිබඳව  ඉදිරි පත් කරන ලද අදහස් සමානතාවයකින් යුතු වේ.

 ඇනා ෆ්‍රොයිඩ් ට අනුව යොවුන් විය හඳුන්වන්නේ කුණාටුවලින් ගහන වූ සමයක් ලෙසට ය. තවද යොවුන් විය චිත්තවේගවල  යුධ පිටියක් යනාදී ලෙස කර ඇති හැඳින්වීම්වලින් පවා පෙන්වන්නේ යොවුන් වියේ මානසික ව්‍යාකූලත්වයන්ගේ ස්වභාවයයි.

නව යොවුන් විය පිළිබඳ සංකල්පය සරල ජීව විද්‍යාත්මක සංසිද්ධියකට වඩා සංකීර්ණ මනෝ සමාජීය සංසිද්ධියක් වශයෙන් සැලකිය හැකිය. නිවසේ, පාසලේ හෝ සමාජයේ ගත කරන නව යෞවනයා පිළිබඳ සංස්කෘතියට සපයනු ලබන අර්ථකථන බහුවිධ ස්වරූපයක් දරයි.

 “කිසිවෙකුටත් අයිති නැති භූමියක්, කුණාටුවලින් ගහන වු සමයක්, චිත්තවේගවල යුධ පිටියක්” ආදී වශයෙන් විවිධ අර්ථකථන සපයන නමුත් වේල්සි විසින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් නව යොවුන් සමය අර්බුදකාරී, දෙමාපියන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ පෙළඹීමක් සහිත වකවානුවක් ලෙස සැලකීම සාවද්‍ය බව පළ කළේය. (අබේපාල ආර්. 2010, පිටු 81)

චිත්තවේගීය, ශාරීරික ප්‍රජානන යන සියලු අංශයන්හි සිදුවන සීඝ්‍ර වර්ධනය හේතුවෙන් යෞවනයා ගැටලු රැසකට එකවිට මුහුණදීමට සිදු වෙන ආකාරය හර්ලොක් විසින් පෙන්වා දී ඇත. කායික ගැටලු පාසල හා විෂයාශ්‍රිත ගැටලු වෘත්තීය අපේක්ෂණ පිළිබඳ ගැටලු මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳ ගැටලු යන සියල්ල මීට අයත්ය.

නව යොවුන් විය නම්  උපත ලද මානව ගති ලක්ෂණයන්ට නව උපතකි. එමගින් නව යෞවනයා තුල කායික, ලිංගික, මනෝ විද්‍යාත්මක හා බුද්ධිමය වෙනස්වීම් සිදුවන බව (Stanly Hall, 1924) පැවසේ. ජීව විද්‍යාත්මක අර්ථයට අනුව ළමාවිය පසුකරමින් වැඩිහිටි වියට සුදුසුකම් ලබන සංක්‍රාන්තික වකවානුවක් වශයෙන් නව යොවුන් විය සැලකිය හැකිය. යෞවනත්වය වේගවත් ලිංගික ක්‍රියාකාරිත්වයක් සඳහා ස්වයං පෙළඹවීම් ඇති කරවන ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පැහැදිලි කෙරේ.  එසේම එය කායික ජීව බලයක් හා ප්‍රබෝධයක් ඇති කරවන යුගයක් වන අතර ජීවිතයේ නව පිබිදීමක් සමග වසන්තය අරඹන වකවානුවක් වශයෙන් ද සඳහන් වේ.

17 වන සිය වසේ විලියම් ශේකෂ්පියර් තම වින්ටර් ටේල් කෘතිය තුලින් යෞවනයා පිළිබඳව තම අදහස් තරමක් රළු ලෙස ඉදිරිපත්කර ඇත්තේ මෙසේය. 

වයස අවුරුදු 10 ත් 24 ත් අතර සිටින්නවුන් එක්කෝ මේ කාලය පන්න ගත යුතුය, නැතිනම් මේ කාලය පුරා සම්පූර්ණයෙන්ම නිදාගෙන ගෙවා දැමිය යුතුය. විරුද්ධ ලිංගිකයාව කෙසේ හෝ නතුකර ගැනිමට මාන බලන ඔවුන් ගුටිකෙළ ගැනීම් හොරකම් කිරීම් සිදු කරයි. වයස අවුරුදු 19 -22 අතර සිටින අයගේ මොළේ කොලොප්පංය. ඔවුන්ට ඇබ්බැහිකම් වලට වඩා දෙයක් නැත. දඩයමට කැලේ පැන්න  උන්  සේ ඔවුහු හැසිරෙති’’                                                                                                                                       

යොවුන් විය පිළිබඳව විලියම් ශේක්ෂ්පියර්ගේ දැක්ම මේ ආකාරයට තරමක්  රළුවන්නට ඇත්තේ 17 වන සිය වස වන විට යෞවනයා යන පදය හෝ ව්‍යවහාරයට නොපැමිණිම මෙන්ම විද්‍යාත්මක ඇසින් යොවුන් හැසිරිම් සාධාරණිකරණයකට ලක් කළ නොහැකි අවධියක් වීම නිසාම වන්නට ඇත. කෙසේ වෙතත් මහා ගත්කරු ශේක්ස්පියර් යෞවන චිත්තවේගික ගැටලු වල වින්දිතයෙක් බවට පත්ව සිටි බවට නම් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ.

යෞවුන් වියේ නියුරෝන සම්ප්‍රේෂණ සහ හෝමෝන පද්ධතිය තුල විශාල වෙනස්කම් රැසක් සිදුවන අතරම ඒ පිළිබඳව දැනුවත් වීමද ඉතා වැදගත් වේ. යොවුන් වියට පා තැබීමත් සමඟම මොළයේ සුවිශේෂ කලාපයන්ගේ සිදුවන තවත් සුවිශේෂ ක්‍රියාවලියක් වන්නේ නව නියුරෝන නිෂ්පාදනයේ සිදුවන සීඝ්‍ර වර්ධනයයි. මෙසේ තවමත් ගොඩනැගෙමින්  පවතින  නියුරෝන පරිපත වැරදි තීරණ ගැනීම් හා අතාර්තික සිතුවිලි කෙරෙහි අවධානම් සාධකයක් ලෙස බලපාන බව පෙන්වා දෙයි. 

නව නියුරෝන සැකසීමේ ක්‍රියාවලිය ඔස්සේ නියුරෝන ප්‍රගුණනය වීම නව රැහැන් ඇදීම අනුශාෂිකා පෑහීම යන වැදගත් සංරචක ඔස්සේ නියුරෝන ස්වකාර්යයතාවය සිදුවීම යෞවුන් වියේ සිදුවන වැදගත් ක්‍රියාවලියකි. මෙම සංවර්ධන ක්‍රියාවලිය වයස අවුරුදු 25 තෙක් සිදුවන බව පෙන්වා දෙයි. ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා මෙන්ම නව කුසලතා හා හැකියාවන් ස්ථාපිත වීම කෙරෙහි ද මෙය ප්‍රබලම සාධකයක් වේ. යෞවනයා තුල සීඝ්‍ර විකසිත විමක ආරම්භය ලෙස සිදුවන මෙම නව නියුරෝන පරිපත සැකැස්ම විද්‍යායින් හඳුන්වනුයේ නියුරෝන දෙවන රුල්ල ලෙසිණි. මෙම නව නියුරෝන පරිපත සැකැස්ම විශේෂයෙන් පූර්ව ලලාට ඛණ්ඩිකාව ආශ්‍රිතව සිදු වේ. මෙහිදි අනුශාමිකා හා මයලින වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවේ. මෙම දෙවන රුල්ල පාරිසරික උත්ත්ජනයන් මඟින් සකස් වීම ධනාත්මකව මෙන්ම සෘණාත්මකව සිදු වීමේ අවධානම යොවුන්විය තුල සිදු වේ. මෙය පසු කාලින පුරුදු හා ඇබ්බැහිවිම් කෙරෙහි බලපානු ලබයි.

සුභවාදී පාරිසරික උත්තේජනයන් නව කුසලතා හා හැකියාවන් ස්ථාපිත වීම කෙරෙහි බලපාන සේම රුචිඅරුචිකම් කෙරෙහිද බලපානු ලබයි. එමෙන්ම මේ කාලයේ සිදු වන මෙම සීඝ්‍ර නියුරෝන අනුශාශිකා හා උපාංග වර්ධනය මෙන්ම භාවිතයට නොගැනෙන ස්නායු සෛල කප්පාදුපවීම යන සියල්ල ස්නායු සෛල නියාමනය ලෙස හඳුන්වයි. මෙම නියුරෝන නියාමනයට සාපේක්ෂව සිදුවන මයලීන වර්ධනයන් ඔස්සේ ඇති වන නියුරෝන ස්වකාර්යයතා යන මේ සියල්ල සීඝ්‍ර වර්ධනීය තත්ත්වයක පැවතීම අභියෝගාත්මක මෙන්ම අවධානම් තත්ත්වයක් ලෙස ද ස්නායු විශේෂඥයින් විසින් පෙන්වා දෙයි. එනම් නියුරෝන විකෘතිතා ඇති විමේ තත්ත්වය හෙවත් නියුරෝන ටොක්සීන තත්ත්වය ඇතිවීමේ අවධානමයි. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, නිදන් ගත ආතතින් මෙන්ම සෘණාත්මක භාවයන් සමඟ දීර්ඝ කාලීනව සිටීම වැනි හේතු නිසා ඇති වන අනසි ප්‍රතිවිපාකයක් ලෙස  නියුරෝන ටොක්සීනය හෙවත් නියුරෝන පරිපථ විකෘතීන් ඇති විම  දැක්විය හැකියි. 

නියුරෝටොක්සීන තත්ත්වය සඳහා බලපෑ හැකි වෙනත් සාධක

මෙම තත්ත්වය ඇතිවීමේ අවධානම ඇත්තේ යොවුන් වියේ පමනක්ම නොව පූර්ව හා පසු ප්‍රසව අවදීන් තුල ඇති වන සංකූලතාත් අනවශ්‍ය  දේ වෙත නිරාවරණය වීම් නිසාත්  අහිතකර පාරසරික තත්වයන් මෙන්ම ආරමය සාධකත් මෙසේ නියුරෝටොක්සීන තත්ත්වය සඳහා බලපායි. මෙසේ ඇතිවන නියුරෝන ටොක්සීන තත්ත්වය යොවුන්වියේ විවිධ මානසික හා බුද්ධිමය හැකියාවන් දුබල විමටත් (ප්‍රජානන විකෘතීන්)  විවිධ මානසික රෝගී තත්ත්වයන් මෙන්ම හැසිරිමේ අක්‍රමතා ඇතිවීමටත් බලපායි.  

යෞවනයාගේ චිත්තවේග හා හැසිරීමේ ගැටලු  කෙරෙහි බලපානු ලබන තවත් ප්‍රබල සාධකයක් ලෙස පෙන්වා දෙනු ලබන්නේ මෙම අවධියේ මොළයේ සුවිශේෂ කලාප වල සිදුවන නියුරෝන සම්පේෂණයන්ගේ වෙනස්වීම්ය. විශේෂයෙන් මෙහිදි ඩොපමින් සෙරටොනින් යන නියුරෝන දෙකත් මෙලටොනින් යන හෝමෝනයත් සුවිශේෂ භූමිකාවක් ඉටුකරනු ලබයි.  වැඩිහිටියකුට සාපේක්ෂව මොළයේ අදාල කලාප තුල යෞවනයින්ගේ ඩොපමින් හා සෙරටොනින් ක්‍රියාකාරිත්වය  අවම බව පෙන්වා දෙයි. චිත්වේගාත්මක ප්‍රතිචාර සතුට උල්ලාසය ඉෂට විපාක අභිප්‍රෙරණය වැනි මනෝමූලික සාධක රුසක් සඳහා බලපානු ලබන්නේ මොළයේ ලිම්බික් පද්ධතිය ආශ්‍රිතව නිපද වී ක්‍රියා කරනු ලබන ඩොපමින් නියුරෝන සම්ප්‍රේෂණයයි.

විශේෂයෙන් පිරිමින්ගේ මොළයේ මෙම නියුරෝනය සම්ප්‍රෙෂණය අවම බව පැවසෙන අතරම විවිධ ඇබ්බැහිකම් වලට යොමුවීම අභියෝගාත්මක ක්‍රියාවන්ට පෙළඹීම ඩොපමින් අවම විමේ දී එය සපුරා ගැනීම වෙනුවෙන් සිදුවන පෙළඹවීම්ය. තරුණයින්ගේ බොහෝ ආන්තික හැසිරීම් සඳහා මොලයේ ඩොපමින් ඌනතාවය බල පාන බව පෙනේ. 

ආවේගශීලි බව, උනන්දුව හිදීයාම, අමතක විමේ ස්වභාවය, නොඉවසිලිමත් බව, චිත්තවේග නියාමනයේ දුබලතා ඩොපමින් ඌනතාවයේ ලක්ෂණ කීපයකි. තවද අනවධානි අධික්‍රියාශීලි ලක්ෂණ සහිත ළමුන්ගේ පූර්ව ලලාට ඛණ්ඩිකාව ආශ්‍රිතව ඩොපමින් ක්‍රියාකාරිත්වය නිරෝගී පුද්ගලයෙකුට සාපේක්ෂව අවම බව පෙන්වා දි ඇත.

සෙරටොනින් මඟින් සුභවාදි බව, සතුට, සැහැල්ලුව, විවේකී බව ලබා දෙන අතර සෙරටොනින් අවම වීම මඟින් කාංසා ගති, මනොභාවයේ කැළඹිම්, ආවේග පාලනයේ දුබලතා ඇති වේ. තවද තරුණියන්ගේ මොළය තුල සෙරටොනින් අවම වීම කෙරෙහි වැඩි බලපෑමක් සිදුකරනු ලබන බව පැවසේ. විශාදි ලක්ෂණ කාන්තාවන් තුල බහුලව පවතින්නේ සෙරටොනින් ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

නව යොවුන් විය මව්පියන් වන ඔබට මෙන්ම නව යොවුන් දරුවන්ටද කෙතරම් අභියෝගාත්මකද යන්න වටහා ගැනීමට දැන් ඔබට අසීරු නොවනු ඇත. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවා වටහා ගනිමින් ඔවුන්ගේ ජීවිතයට පහසුවක් සහයෝගයක් වීම දෙමාපිය වැඩිහිටියන් ලෙස අපි කාගේත් යුතුකමක් වගකීමක් බව  අමතක නොකළ යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක

 

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor