මාපියන් ලෙස, දරුවන් වෙනුවෙන් ඔබ සලකිලිමත් විය යුතු කරුණු 11ක්

Parenting.lk අපි, වසර ගණනාවක් මුළුල්ලේ වෘත්තිමය සුදුසුකම් ඇති ප්‍රවීනයන් සමග ජීවිතය, සෞඛ්‍ය, සතුට ඇතුලු බොහෝ දේ සාකච්ඡා කළා. අද වන විටත් ඒ දියුණු වන ලෝකය සමග එක්ව ගමන් කරමින් යාවත්කාලීන තොරතුරු රැගෙන ඒම සිදු කරන්නේ සැබවින්ම සාර්ථක මව්පිය යුවළක් ලෙස ඔබ සාර්ථක දරුවෙක් දැයට දායාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරමිනුයි. දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් සතු වගකීමේ දිගක් පළලක් නැහැ. ඒ වගේම එක මෙසේයි විග්‍රහ කළ හැක්කෙක්ද නැහැ. එය ඉතා වගකීමෙන් සහ ප්‍රවේශමෙන් ඉටුකළ යුතු භාරදූර කටයුත්තක් බව කිව හැකිය. ලංකාව වැනි රටක ඒ හා සම්බන්ධව දෙමාපියන් දැනුවත් කිරීමේ වගකීම අප පවරාගෙන සිටින්නේ සැබවින්ම එය වැඩිහිටි ඔබේ සහ මගේ මෙන්ම ඔබේත් මගේත් දරුවන්ගේ ජීවිත අර්ථවත් කරගැනිමට විශාල සහයක් වන නිසාමය.

  1. දරුවෙක් උස්මහත් කිරීම අභියෝගයක් වුණත් අපි එය ජය ගනිමු.

දරුවකු කුස පිළිසිඳ ගැනීම, දරුවෙකු මෙලොවට බිහිකිරීම මෙන්ම දරුවෙකු කායිකව, මානසිකව නිරෝගී පුද්ගලයෙකු ලෙස සංවර්ධනය කිරීමත් පෙර සඳහන් කළ පරිදිම පහසු කටයුත්තක් නොවේ. දරුවන් වෙත අප සතු වගකීම අපෙන් ගිලිහෙන්නට නම් මේ ජීවිතය අවසන් විය යුතුමය. හැම අම්මෙක් තාත්තෙක්ම ඒ වගේමය. එතෙක් ගමන් මග අභියෝග රැසකි. ආර්ථීක ගැටලු මෙන්ම සහායට ඇයෙක් නොමැති වීමේ සිට රැකියාව ගෙදර දොර වැඩ දරුවන්ගේ අධ්‍යාපන වැඩ ඇතුළු බොහොමයක් දේ සම්බන්ධව ගැටලු තිබුණත් දරුවන් සම්බන්ධ වගකීම පැහැර හැරිය නොහැක. අන්න ඒ නිසාම දරු සෙනෙහසම සවියක් කරගනිමින් සැලසුම් සහගතව කටයුතු කළමනාකරණය කරගනිමින් සාර්ථකව අභියෝග ජයගැනීමට මව්පියන් ලෙස අප දිරිමත් විය යුතුය. 

2. දරුවා පිළිබඳ ඔබේ සිහිනය 

මව්පියන් ලෙස අපේ අපේක්‍ෂාව වන්නේ දරුවාගේ අනාගත වෘත්තීමය හෝ ජයග්‍රහණයන් හෝ පමණක් නොව දරුවා ස්වයං විනයක් සහිත, සාර්ථක පෞරුෂත්වයක් සහිත ගෞරවණීය මෙන්ම තමාට මෙන්ම සමාජයට ආදරය කරන සංවේදී පුදගලයෙකු ලෙස සමාජගත කිරීම විය යුතුය. කිසිදු විටෙක ඔබේ සිහින දරුවාගෙන් සාක්ෂාත් කරගන්නට උත්සාහ නොකරන්න. 

3. දෙමාපියන්ගේ යුතුකම්

දරුවන්ට ආහාර ලබාදී පෝෂණය කිරීම, ඇඳුම් හා අනෙකුත් අවශ්‍යතා ඉටුකිරීම හෝ අධ්‍යාපනය ලබාදීම තුළින් පමණක් මව්පියන් වන අපගේ යුතුකම් කියා නොසිතන්න. එදිනෙදා ජීවිතය තුළ යුතුකම් ඉටුවන ආකාරයට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ යුතුකම් වෙසෙන පරිසරයට, සංස්කෘතියට අනුව වෙනස්විය හැකි වුවත් පොදුවේ ගත් කළ සෑම දරුවෙකු වෙතම දෙමාපියන් විසින් ලබාදිය යුතු දේ සරලව මෙසේය.

  • කායික මෙන්ම මානසික සුවපහසු බව සහ නිරෝගී බව
  • අවධානය යොමු කිරීම, මඟ පෙන්වීම, උපදේශනය සහ දරුවාටත් සවන් දීම 
  • රැකවරණය 
  • පෞරුෂ වර්ධනයට ඇවැසි සහයෝගය ධෛර්යය ලබාදීම.
  • ප්‍රශංසාව හා අගය කිරීම තුළින් ආත්ම විශ්වාසය ගොඩනැගීම.
  • තම වටිනාකම හා වැදගත්කම අවබෝධ වන්නට සැලැස්වීම තුළින් ආත්ම අභිමානය වර්ධනය කිරීම
  • සහකම්පනය වැනි ගුණාංග වර්ධනය කිරීම
  • දරුවාගේ ස්වාධීනත්වයට ගරු කිරීම.
  • පවුල තුළ දරුවාට හිමි තැන ලබා දීම
  • කොන්දේසි විරහිතව දරුවාට ආදරය කිරීම

4. දඩුවම් කිරීමේදී සැලකිලිමත් වෙන්න

දරුවන් අතින් වැරදි සුදු වන්නේ හොඳ හෝ නරක තාර්කිව අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසාය. එය සාමාන්‍ය තත්ත්වයකි. එවන් අවස්ථාවල දරුවන් නිවැරදි කිරීම කායික/මානසික දඬුවම් දීම, බිය වැද්දීම, ලැඡ්ජාවට පත් කිරීම, කොන් කිරීම නොකළ යුත්තේ එවැනි දෑ දරුවා බියගුළු චරිත බවට පත් කරන නිසාය. හොඳ දෙයින් ලැබෙන හොඳ ප්‍රතිඵල දරුවාට භුක්ති විඳින්නට සැලැස්වීම සහ නරක දෙයින් ලැබෙන නරක ප්‍රතිඵල දරුවාට විඳින්නට සැලැස්වීම දරුවාට තත්ත්වය වටහා ගැනීමට හැකියාව සලසන ක්‍රමයකි. හොඳ නරක තෝරාගන්නා ආකාරය වගේම වැරදි දේ නිවැරදි දේ තෝරාගන්නා ආකාරයත් දරුවාට පැහැදිලි කර දෙමින් යමක් තාර්කිකව සිතා බලා තීරණ ගැනීමට දරුවා හුරු ළ යුතුය. සැමවිටම ඔබ ආදර්ශමත් චරිතයක් වෙමින් එම ආදර්ශ දරුවාට ලබා දිය යුතුය.

5. දරුවන් ද ස්වාධීන ඒකකයක් බව හැඳිනගන්න

මොලොවට දරුවා ජනිත කරන්නේත් ජීවත් කරවන්නේත් පවුල තුළ ඔවුන් වුවද ස්වාධීන පුරුක්ය. පවුල් පරිසරය තුළ ස්වාධීන ඒකකයක් ලෙස වැඩෙන්නට ඔබ, ඔබේ දරුවාට ඉඩ නොදෙන්නේ නම් අනාගතයේ දිනක සමාජය තුළ ස්වාධීන චරිත ලෙස ක්‍රියාකාරී වීමට දරුවාට ඇති හැකියාව ගිලිහී යා හැකියි. දරුවන්ට ඔවුන්ගේ කටයුතුවලදී අවශ්‍ය තීන්දු, තීරණ ගන්නට සහය වෙන්න. නමුත් ඔවුන්ට තිරණ ගන්නට ඉඩ තියන්න. ඇඳුම් පැළඳුම්, ආහාර පිළිබඳව ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ක්‍රියා කිරීමට අවසර ලබා දෙන්න. ඉගෙනීමේදී විෂයයන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් හෝ ක්‍රීඩාවන් තෝරාගැනීමට අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න. එයින් තම තීරණවල ප්‍රතිඵල තමන්ගේම බව දරුවාට වැටහෙන අතරම තමා විසින් ලබාගන්නා තීරණවල හොඳ නරක තමාට උරුම වන බව දරුවා අවබෝධ කරගන්නා අතරම තීරණ ගැනීමේදී වගකීම් සහගතව වැඩිහිටි උපදෙස් සැලකිල්ලට ගෙන ඒවා ගත යුතු බව දරුවාට නිතැතින්ම අවබෝධ වන අතරම ඒ හරහා දරුවාට ස්වයං විනය වර්ධනය කරගැනීමටද සහයෝගය ලැබේ. 

6. දරුවා සමග කතාබහ කරන්න

මව්පියන් වන අපට දරුවා හැඳිනගැනීමට ලැබෙන හොඳම අවස්ථාව දරුවා සමග කතාබහේ යෙදෙන අවස්ථාවන්ය. කෑම මේසයේදී හෝ නිවසේ සියලු දෙනා එක්ව ගත කරන මෙහොතක දරුවන් සමග කතාබහේ යෙදෙන්නට අප උනන්දු විය යුතුයි. ඔවිට ඔබ සමග දරුවාට තම අත්දැකීම්, අදහස් හා හැඟීම් බෙදාහදා ගැනීමට අවස්ථාව හිමිවන අතරම එවැනි දරුවන් කිසිදු අපහසුවකින් තොරව දෙමාපියන් වෙත නොපැකිලිව සියලු දේ පැවසීමට යොමු වන නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙනුත් එය විශාල සහයෝගයක් වන්නේ දරුවාගේ යහළු යෙහෙළියන් ඇතුලු බොහෝ දේ සවිස්තරාතමකව දරුවා මව්පියන්ට පවසන නිසාය.

7. සමාජශීලී බව වර්ධනය කිරීම

ඔබ, ඔබේ දරුවා යොමුකරන සමාජ වටපිටාව මත යම් දිනක වැඩිහිටි වන ඔබේ දරුවා සමාජය වෙත ඉටු කරන මෙහෙවර එනම් දරුවාගෙන් සමාජයට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙයි. එතැනදී අත්තම්මා සීයා පමණක් නොව නෑ හිතමිතුරන්‍ගේ ඇසුර ලබාදීම ඉතා වැදගත් වේ. අත්තම්මා/සියාගේ රසබර කතා තුළ දේශීය සිරිත් විරිත් මෙන්ම සංස්කෘතික හරයන්ද නොදැනුවත්වම වාගේ ඇතුළත්ය. සතුන්ට, මිනිසුන්ට ආදරය කරන්න දරුවන්ට අත්තම්මා‍ගේ ජීවිතය තුළින්ම අත්දැකීම් ලබාදෙයි. පරිපූර්ණ පෞරුෂත්වයක් දරුවෙකුහට හිමිවන්නට නම් අනුන් වෙනුවෙන් සංවේදී වන සිතක් තිබිය යුතුමය. 

8. වචන භාවිතය කෙරෙහි අවධානය යොමු කරන්න

දරුවන් රිදවන, කෝප ගන්නව, බිපත් වන වචන කිසිසේත්ම භාවිත කිරීම සුදුසු නැති බව මව්පියන් ලෙස අප මතක තබා ගත යුතුය. එවැනි වදන් දරුවෙකුගේ ආත්ම ශක්තිය හීන කරවන අතරම මව්පියන් කෙරේ ඇති ආදරය හා විශ්වාසය බිඳ දමනවා පඹනක් නොව දරුවාට තම ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසය ද ගිලිහී යයි. ප්‍රීතිමත්, මනා  පෞරුෂයකින් හෙබි ආත්ම විශ්වාසය ඇති පුද්ගලයෙකු දැයට දායාද කරන්නට නම් වාචිකව දරුවාට ඇති වන සිතු රිදීම් ඉවත් කළ යුතුය. 

9. හැගිම් මුදා හරින්න ඉඩ දෙන්න

දරුවන්ටත් ප්‍රශ්න තියෙන බව අප වටහා ගත යුතු සත්‍ය කරුණක්. තරහව, බිය, දුක, කලකිරීම ආදී හැඟීම් දරුවන්ටත් ඇති විය හැකියි. ඒවා මුදා හරින්නට දරුවාට හඬන්නට අවශ්‍ය වුවත් ඔබ එයට ඉඩ නොදෙනවා නම් එය ඉතාම අසාධාරණ බව මතක තබාගන්න. දරුවාට දුක හෝ සතුට හෝ තරහ යන ඕනෑම හැගිමක් මුදා හරින්නට අවස්ථාව ලබා දෙන්න. හැඟීම් ප්‍රකාශනයට දරුවාට ඉඩ දෙන්න. එය ඔබත් දරුවාත් අතර බැඳීම වර්ධනයටත් ඉවහල් වනු ඇත.

10. දරුවන් තවත් දරුවෙක් සම සංසන්දනයෙන් වළකින්න

සෑම දරුවෙක්ම සුවිශේෂීයි. දරුවාගේ අනන්‍යතාවයට ගරු කරන්නට අප පුරුදු විය යුතුය. අක්කා මෙන් මල්ලී ත්‍රීඩාවට හෝ නංගී මෙන් අයියා සංගීතයට හෝ දක්ෂ නොවේ. ඔවුන් එක් එක් දේ වෙනුවෙනු වෙන් වෙන්ව දක්ෂ විය හැකියි‍. ඒ ඔවුන්ගේ හැකියාවන් විවිධාකාර නිසයි. දරුවාට ඇති සැටියෙන් ඔබ, ඔබේ දරුවා පිළිගන්න. දරුවාගේ විශේෂතා හඳුනා දුර්වලකම් අවම කරගනිමින් හැකියාවන් වර්ධනය කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම, සහයෝගය හා දිරිමත් කිරීම ලබාදෙන්න. දරුවා අන්‍යයන් හා සංසන්දනය කර දුර්වලතා පෙන්වීමෙන් ආත්ම දුර්වල නොකරන්න.

11. ඔබ, ඔබ ගැනත් සිතන්න

ඔබ සතුටෙන් නම් ඔබේ දරුවනුත් සතුටෙන් බව අමතක නොකරන්න. ඒ නිසා පළමුව ඔබ, ඔබ කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්ය. මව්පියන්ගේ මානසික සුවතාවය ගැටලු සසහගත වීම දරුවන්ගේ මොළයේ වර්ධනය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු ඇතිවේ. ඒ වගේම දෙමාපියන්ට තමන් සමග වැඩි වේලාවක් ගත කිරීමට හැකියාවක් ලැබෙනවා නම් දරුවන් ඉතා ප්‍රිය කරනු ඇත. මව්පියන් වන ඔබගේ සිතෙහි සැනසීම, සතුට දරුවන්ට කොතරම් බලපාන්නේදැයි යන්න අප වටහා ගත යුතුය. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

අම්මලාට ප්‍රශ්න ගොඩයි. ඩොක්ටර්ගෙන්ම අහමු

අප වෙබ් අඩවිය පරිශීලනය ඔබට ඇති ගැටලු ඉන්බොකස් හරහා හෝ කමෙන්ට් හරහා හෝ අප වෙත යොමු කරන්නේ අප කෙරේ තැබූ විශ්වාසය නිසාම බව දන්නා බැවින් එක් එක් මව්වරුන්ට දරුවන් ගැන ඇති ගැටලුවලට විස්තරාත්මකව පිළිතුරු ලබාදීමට අපි අදහස් කළෙමු. අන්න ඒ නිසාම මේ ලිපිය තුළින් මව්වරුන් විසන් අප වෙත එවා තිබූ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමට සැරසෙමු.

වෛද්‍යතුමනි, මගේ බබා ගොඩක් වෙලා කිරි බොනවා. ඒත් පියයුරෙන් ඉවත් කළ විගස කිරි වමනය කරනවා. මෙය රෝගී තතත්වයක්ද?

දරුවාට කිරි බොන අතර වාරයේ හුළං පෙවීම නිසා බොහෝ විට මේ තත්ත්වය ඇති වීමට හේතු විය හැකියි. ඒත් කිරි වමනය කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. වැදගත් වෙන්නේ දරුවා කිරි වමනය කරන අවස්ථාවේ ඔබ ක්‍රියාත්මක වන ආකාරයයි. ඒ කියන්නේ කිරි වමනය කරන දරුවෙක් කිසි විටෙක උඩට ඔසවන්න එපා. මොකද ඒ කිරි ටික නැවත පහළට ගියොත් ස්වසන මාර්ගය හරහා පෙනහලුවලට ගමන් කළ හැකියි. එය අවදානම් තත්ත්වයක් නිසා මෙවැනි අවස්ථාවකදී කලබලයට පත් නොවි දරුවා පැත්තට හරවා කිරි ටික ඉවත් වන්නට ඉඩ සලස්වන්න. කිරි වමනෙ සාමාන්‍ය තත්ත්වයක්. දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ කරගනිමින් නිවැරදි ස්ථාපිතයේ පවත්වා ගැනීම මගින් දරුවාට හුළං ඇතුළු විම අවම කරගැනීමෙන් මේ තත්ත්වය අවම කරගත හැකියි. ඔබට හැකි නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ බබාගේ වෛද්‍යවරයාගෙන් දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන දැනුවත් වෙන්න. 

වෛද්‍යතුමනි, මගේ බබාට මේ වන විට මාස හතර සම්පූර්ණ වී අවසන්. බබා දිනපතා මලපහ කරන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල දින දහයක් වනතුරුත් මලපහ කරන්නේ නැතිව ඉන්නවා. සමහර වෙලාවට දින හතරක් පහක් වගේ ඇතුලත මලපහ කරනවා. මේ සඳහා දරුවාට ප්‍රතිකාර ලබා දිය යුතුද?

දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දී මලපහ කරන වාර ගණන වෙනස් වෙන්න පුළුවන්. දරුවා දින හතරක් පහක් ඇතුළත මලපහ පිටකරනවා නම් ගැටලුවක් නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්.  ඒත් දින 10 ක් වන තුරුත් දරුවා මලපහ පිටකරන්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ පුතාට දැන් වයස අවුරුදු තුන අවසන් වී ගෙනයි යන්නේ. මේ වන විට දරුවා පෙර පාසැලක ප්ලේ ගෲප් එකකටත් දැම්මා. ඒත් පුතා අදටත් මගෙන් කිරි බොනවා. මේකට මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් දරුවෙකුට වසර දෙකක් යන තුරු මව්කිරි ලබාදීම හොඳයි කියලා තමයි අපි කියන්නේ. අවුරුදු දෙකෙන් පස්සෙත් දරුවා කිරි බොනවා කියලා ඒකෙන් හානියක් වෙන්නෙත් නැහැ. දරුවා විසින්ම කිරි අත්හරින තුරු ඔබට එය ලබා දෙන්න පුළුවන්. නමුත් මව්කිරි ප්‍රධාන ආහාර වේලට බාධාවක් කර නොගත යුතුයි.  ප්‍රධාන ආහාර වේලත් මව්කිරි වේලත් අතර පැයකවත් පරතරයක් නැති වුණොත් දරුවා ආහාර ප්‍රතික්ෂේප කළ හැකියි. 

ඒ වගේම මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් විදියට දරුවාගේ දත් ගැන කිව යුතුමයි. මේ වයසේ දරුවන්ගේ දත් තියෙන නිසා රාත්‍රී කාලය පුරා කිරි බොන්න පුරුදු වීම නම් සුදුසු නැහැ. එහෙම වුණොත් ඔබ අසා ඇති පූර්ව ළමා විය දන්ත ව්‍යසන තත්ත්වයට දරුවා පත් විය හැකියි. අන්න ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය දරුවාගේ ස්ථිර දත් වලටත් බලපෑම් ඇති කරන නිසා රාත්‍රී කාලය පුරා දරුවාට කිරි ඉරීමට නොදී සිටීම වැදගත්. එය වළක්වා ගැනීමට දරුවාට කුස පිරෙන්න රස, ගුණ පිරි රාත්‍රී ආහාර වේලක් ලබා දෙන්න හුරු කරන්න. 

වෛද්‍යතුමනි, මගේ දුවට දැන් මාස නවයක් වෙනවා. ඇය සෑම ආහාර වේලකටම පසුව කිරි බොනවා. රාත්‍රියට ආහාර ගත්තත් මව්කිරිත් බීලා තමයි නින්දට යන්නේ. මේක ගැටලුවක්ද? එමගින් යම් යම් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිද?

මෙය කිසිම ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. මේ වයසේ දරුවෙක් අමතර ආහාරයට පසු මව්කිරි බීම, නින්දට පෙර මව්කිරි බිම බොහොම සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ තමන්ගේ ආහාර වේලට පසු වතුර බොනවා වගේ මේ පුංචි පැටව්න්ට මුල ඉදලම අමතර ආහාර වේලට පසුව ලබා දෙන්නේ මව්කිරි. දරුවන් ඒ ක්‍රමයට හුරු වෙලා. හැබැයි කෑම කෑවට පස්සෙ කිරි බොනවා කියන්නෙ හොද ලක්ෂණයක් වුණත් කෑමට පෙර කිරි බොන එක නම් ගැටලුවක්. මොකද දරුවා කෑමට පෙර මව්කිරි ලබා ගත්තොත් එයින් කුස පිරීම නිසා අමතර ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ වැඩියි. ඒ කෙසේ වෙතත් වසර දෙකක් යනතුරු ඔබට දරුවාට මව්කිරි ලබා දීම කල හැකියි. නමුත් දරුවාගේ කිරි දත් මෝදු වී ඇත්නම් ඒ ගැන සැලකිමත් වීම නම් අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ බබා දැන් අමතර ආහාර පටන්ගත්තා. ඒත් දෙන්න ඕනේ ආහාර වර්ග ගැන මට අදහසක් නෑ. බත් තලපය විතරක් බබාට මදි කියලා මට හිතෙනවා. මොකද එයා කිරි බොන කාලෙත් ගොඩක් කිරි බිව්වා. දවසක් තුළ දරුවෙක්ට අනිවාර්යෙන් දිය යුතු ආහාර වර්ග තියෙනවද? 

එහෙම අවශ්‍ය නැහැ. ඔතන තමයි අපේ බොහොමයක් මව්වරුන් වරද්දා ගන්නා තැන. මොකද අම්මා හිතනවා බිත්තර, මස්/මාළු, පලතුරු, චිස්, යෝගට් වැනි ආහාර වර්ග සියල්ලම එකම දවසේ ලබා දිය යුතුයි කියලා. ඒත් ඒ විදියට අපි දීර්ඝ කාලීනව දරුවාට දේවල් ලබා දෙද්දි කාලයත් සමග දරුවා ඒ ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. මොකද හැමදාම එකම රස. අද මස් දෙනවා නම් ඔබට පුළුවන් හෙට බිත්තර හෝ මාළු වගේම අද යෝගට් දෙනවා නම් හෙට චීස් දෙන්න. ඒ ආකාරයට අවශ්‍ය පෝෂණය දිනපතා ලැබෙන ආකාරයට විවිධත්වයක් ඇතිව ආහාර වේල සකස් කරගැනීමෙන් ආහාරය ප්‍රතික්ෂෙප වෙන්නේ නැහැ. නැතිනම් ඒකාකරී රසය රටාව දරුවාට එපා වෙනවා. වැඩිහිටි අපිට වුණත් එකම දේ හැමදාම කන්න ලැබුණොත් එපා වෙනවා වගේ දරුවටත් එපා වෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් දිය යුතුයි කියා හිතන ආහාර වට්ටෝරුවෙන් මිදී විවිධත්වයක් ඇතිව ආහාර ලබාදීම අනිවාර්ය කරගත යුතුයි. එහෙම නැතිව යම් ආහාරයක් හදුන්වා දුන් මුල් දවසෙ දරුවා ඉතා ආසාවෙන් ආහරය ගත්ත නිසා ඊලඟ දවසේත් ඒ ආහාරයම ලබා දිමත් එදිනත් හොඳින් ආහාරයට ගත් නිසා තුන් වෙනි දිනයේත් එයම ලබා දීමත් කරන්න එපා. අනිවාර්යෙන්ම ආහාරයේ රසයේ පැහැයේ විවිධත්වයක් ඇති කළ යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම දරුවා‍ට දිය හැකි ආහාර පමණක් නොවෙයි ආහාර සකස් කරන ආකාරය ගැනත් සවිස්තරාත්මකව දරුවාගේ වර්ධන සටහන් පොතේ ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ පවුල් සේඛ්‍ය සේවා නිලධාරිනියගෙන් හෝ දරුවාගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන හොඳින් දැනුවත් වෙන්න.

වෛද්‍යතුමනි, දැන් මගේ බබාට වයස මාස 10 සම්පූර්ණයි. එයා දැන් ටික ටික කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මට හිතෙනවා බබාගේ කෑම එකට ලුණු/සීනි ස්වල්ප වශයෙන් හෝ එකතු කළොත් රසය වැඩි වෙන නිසා බබා ආසාවෙන් ආහාර ගනී කියලා. එ්කට කමක් නැද්ද?

එය කිසිසේත්ම නොකළ යුත්තක් බව තරයේ මතක තබාගන්න. දරුවාට ලුණු/සීනි වසරක්වත් පමා කල යුතුයි. ඇතැම් විට ඔබට හිතෙයි ලුනු නොදිම නිසා දරුවාට අයඩින් ඌනතාවයක් ඇති විය හැකියි කියා. නමුත් මව්කිරිවල වගේම එළවළු, පලතුරු, මාළු වැනි දේ හරහා ස්වභාවිකවම දරුවාට අයඩීන් ලැබෙනවා. ඒ වගේම දරුවෙක් ලුණු/සීනි රසයන්ට හුරු වුවොත් එයින් මුදවා ගැනීමටත් අපහසුයි. එවිට දරුවාගේ නිරෝගී බවට බලපෑම් ඇති වෙනවා. අනාගතයේ අපේ දරුවන් බෝ නොවන රෝගවලින් රැක ගැනීමට නම් අද සිටම අපි අපේ දරුවන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් විය යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දරුවාට ආහාර වේල ලබා දීමට පැයක සිටවත් මව්කිරි හෝ වෙනත් දේ ලබා දෙන්න එපා. මව්කිරි වලින් කුස පිරුණම දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක මහතා 

මහරගම අපේක්ෂා රෝහල


                

තරහ යන්නේ නැත්තේ කාටද..?

අනේ මට නම් තරහ යන්නේ  නැහැ..අපි කිසිම කෛනකුට ඒ විදිහට ස්වයං සහතිකයක් දෙන්න බැහැ.ඔබ මේ විදිහට සිතන්න.. ඔබ බස් රථයකට නැගි විට රියදුරාගේ වේගය බාල කරන විට..වාහනය ඔබ පදවන්නේ නම් වෙනත් වාහනයක් ඔබේ වාහනය ඉස්සර කළ විට ඔබට නොදැනීම තරහා යනවා. ඒ නිසා අපි කිසිමි කෙනෙකුට තරහ නොයන බවට සහතික වෙන්න බැහැ. අපේ පවුලක වුනත් දරුවන් මව්පියන් අතර ගණු දෙණු කරන විට තරහ ඇති වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක් වුනත් අපි තරහ සමග ගණු දෙණු කරන ආකාරය අනුව එහි ප්‍රතිචාර වෙනස්.

ඔහොම තරහ ගත්තොත් ඉක්මනටම නාකි වෙනවා…

ඔබට මේ කියමන අසා පුරුදු ඇති. එහි සත්‍යාසත්‍යතාවය දැන් විවිධ පර්යේෂන මගින් පවා තහවුරු වී තිබෙනවා.කොටින්ම අද වෙන විට වැඩි ප්‍රමාණයක් වාහන අනතුරුවලට පවා හේතුව කෝපය බැව් මිචිගන් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබෙනවා. ඉතිං මේ ගැන වැඩි විස්තර ඔබට අවහ්‍ය නැහැ. ගේට්ටුවෙන් එළියට වාහනය ගත් තැන සිට නැවත ගරාජයට වාහනය ගාල් කරන තෙක් මේ සිතුවිල්ල ඔබ සමග හොදින් ගණුදෙණු කරනවා ඇති.

කෝපය අප කාටත් පොදුයි…

කෝපය අපි කාටත් පොදුයි.ඉතින් පොඩ්ඩන්ට කියල එහි වෙනසක් නැහැ.ඔවුන් පොඩි වුනත් අපි වගේම අන්තර් සමාජ සම්බන්ධතාවයන්හිදී ගණු දෙණු කරන පිරිසක්. ඒ නිසා කෝපය ඇති වුනා කියල ඔබ අමුතුවෙන් තැවෙන්න එපා. ඒ වුනත් එක් එක් දරුවාගේ ගති පැවැතුම් වෙනස්. ඒ නිසාම ඔවුන් කෝපය ඉදිරියේ ප්‍රතිචාර දක්වන ආකාරයත් වෙනස්.

සමහර දරුවන් පරාජයට කැමැති නැහැ…

දරුවන් අතරත පරාජය බාර ගන්න අකමැති දරුවන් ඉන්නවා. ක්‍රිඩාවකදී වුන් තමන් ලද පරාජය බාර ගැනීමට අකමැතිව සෙල්ලම් කළ පිරිස සමග ගැටුම් ඇති කර ගන්නා දරුවන් සිටිනවා. කොටින්ම  නව යොවුන් වයසේ පසු වෙන දරුවන් වුනත් නිවාසාන්තර ක්‍රිඩා තරගයේදී, අන්තර් පාසල් ක්‍රිකට් තරඟ වලදී ගැටුම් ඇති කර ගැනීමේ සිදුවීම් ඉතාම සුලබයි. මේ තැනට හේතු වෙන්නේ ඔවුන් තුළ තිබෙන පරාජය බාර ගැනීමට ඇති අකමැත්ත බව අමතක කරන්න එපා.ඒ නිසා ජය වගේම පරාජයත් ජීවිතයේ අපට විදින්න ලැබෙන බැව් දරුවන්ට පුංචි කාලයේ පටන්ම කියා දෙන්න.

ඉලක්කය වැරදීම

අපේ ජීවිතයේ යම් යම් ඉලක්ක තිබෙනවා. දෙමව්පියන්ගේ බොහෝ ඉලක්ක ගොඩ නැගෙන්නේ දරුවන් මුල් කර ගෙන බව ඇත්ත. ඒ වගේම දරුවන්ටත් පුංචි වුනත් ඉලක්ක තිබෙනවා. සමහර අවස්ථාවලදි දරුවන්ගේ අසමත්වීම්, පරාජයන් නිසා මව්පියන් කෝපයට පත් වෙනවා.උදාහරණයක් විදිහට පංතියේ හොද මටට්මක දරුවා නොසිටියොත් මව්පියන්ට දරුවා ගැන කෝපයක් වගේම නිරන්තරව ලබා දෙන අවවාද නිසා දරුවන්ට මව්පියන් ගැන කෝපයක් ඇති වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවන් ගැන මැදිහත් සිතින් ඉවසීම පුරුදු කිරීම ඉතාම වැදගත්.මෙය ඉතාම දැඩි මානසික ප්‍රශ්නයක්. සමහර මව්වරුන්ට තමාගේ ඊළග ඉලක්කය ගැහැනු හෝ පිරිමි දරුවෙක් වුනොත්…දරුවා  ලැබුන පසුව ඇගේ ඉලකක්ගත සිතුවිල්ල ඉටු නොවුනොත් දරුවා  මුල් කර ගෙන පවා කෝපයක් ඇති වෙන අවස්ථාවන් තිබෙන බවට මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඒ නිසා දරුවන්ටත් මෙය කියා දෙන්න. ජීවිතයේ ඉලක්ක ගොඩ නගා ගත යුතුයි. නමුත් ඒවා බිඳ වැටෙන්නත් පුළුවනි. ඉලක්ක කියන්නේ අනිවාර්යෙන්ම ඉෂ්ට වෙන දෙයක් නොවයි. ඒවා අතරමග බිඳ වැටෙන්න පුළුවනි. ඒ නිසා බිඳ වැටීම් ගැන තරහක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට නැවතත් උත්සාහ කරන්න. ඉලක්ක ජය ගැනීමට හැකි වාතාවරණය සකස් කර ගන්න.බිඳ වැටුන තැනින් නැගිටින්න.

කෝපය විවිධ විදිහට ප්‍රදර්ශනය වෙනවා.

කෝපය කී විට අපි හිතන්නේ නාලාගිරි ඇතා වගේ චන්ඩ හැසිරීම් විය හැකියි.නමුත් හැම දෙනාගේම කෝපය ඒ විදිහට සාජුවම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. අද පාසල් දරුවන් අතරත් ගැස්ට්‍රයිටිස් , ඉරුවාරදය වැනි රෝග තත්වයන් බහුල බැව් ස්ටැෆරඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අර්වින් යැලුම් සහ වෛද්‍ය ඩාන් ජැක්සන් සදහන් කරනවා. ඒ නිසා අප ගන්නා ආහාරපානවලට වඩා මෙවැනි රෝගාබාධයන්ට තරහ යෑම නිසා ඇති වෙන අහිතකර හෝර්මෝන ස්‍රාවයන්ගේ බලපෑම ඉතාම ප්‍රබල ලෙසින් හේතු වෙන බැව් දැන් අද්‍යනයන් මගින් හඳුනා ගෙනත් තිබෙනවා.

කෝපය පිට කරන්න

කෝපය එක්රුස් කිරීමට වඩා පිට කිරීම ඉතා වැදගත්. ඔබට කෝපයට හේතු වෙන යම් සිදු විමක් ඇති වුනොත් එය පැසව පැසවා සිතේ තබා ගන්න එපා.බොහෝ අය විවිධ අන්දමින් කෝපය පිට කරනවා. සමහරු අතට අහුවෙන දේ පොළවේ ගසනවා.. එහෙම නැත්නම් දත් මිටි කනවා. හිසකෙස් තමා අතින්ම ඇද ගන්නවා. සමහර විට දරුණු අවස්ථාවන්ට ගිය විට අනුන්ටත් හානි කරන්න පුළුවනි.මේ අතර තවත් පිරිසක් කෝපය පිටතට පෙන්වන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ හිතේ කෝපය ගින්නක් සේ ඇවිලෙනවා.ඒ නිසා තමන්ට කෝපයක් ඇති වුන විට එය එය පාලනය කර ගැනීමට වෙනත් මාර්ගයක් අනුගමනය කිරීම වඩාත් ඵලදායක බැව් මනෝ වෛද්‍යවරුන් පවා සඳහන් කරනවා.

  • කෝපය ඇති වුන විට එතැන ඉන්න එපා.
  • දහයට ගනින්න
  • වෙනත් කටයුතත්ක නිරත වෙන්න.

සමීප පුද්ගලයන් සමග තරහක් ඇති වුනොත්…?

ඔබ සමග සමීප පුද්ගලයෙකු සමග තරහක් ඇති වුනොත් තරහට නිමිති වූ කාරණය ගැන කියන්න. ඒ ගැන සාකච්ඡා කරන්න. දරුවෙකුට වුනත් තාත්තාට තරහ ගියේ ඔයාගේ මේ වැරදි කටයුතත් නිසායැයි කියනන්. බිරිද සමග තරහක් ඇති වුනොත් ඇයටත් ඒ නිමිත්ත කියන්න. හොඳම මිතුරා සමග වුනත් තරහට නිමිති වූ කරුණු කාරනාවන් බෙදා හදා ගන්නට පුළුවනි. ඒ නිසා ඉක්මන් කෝපය හොඳ නැහැ ..කියන සිතුවිල්ල හිතේ තදින් තහවුරු කර ගන්න. ඒ අනුව කටයුතු කරන්න.

 

 

දරුවන් සතුටින් තබා ගන්න

දරුවන් සතුටින් තබා ගැනීමට මව්පියන් නොගන්නා  උත්සාහයක් නැහැ. ඒත්  සමහර අවස්ථාවල දරුවන් සතුටින් නොසිටන විට 

‘‘අනේ මන්දා මේ  දරුවා කොහොම සතුටු කරන්නද මන්දා…යැයි ඔබත් පසුතැවිලි වෙනු ඇති. නමුත් ඔබ දරුවන් සතුටින් තබන මන්තරය ඉගෙන ගත්තා නම් මෙය එතරම් අපහසුතාවයක් නොවනු ඇති.

නිවසේ සාමය….

දරුවාගේ මුල්ම නවාතැන ඔවුන්ගේ නිවසයි. සතුටේ උල්පත ඇත්තේද එතැනයි. ඒ නිසා නිතරම පවුල තුළ සතුට සහ සමාදානය පැවැතීම අත්‍යවශ්‍ය සාධකයක්. බොහෝ මව්පියන් අතර ඇති වෙන අරගල නිසා දරුවන් වෙහෙසට පත් වෙනවා. එය අඹු සැමියන් පමණක් නොව, පවුලේ නැන්දම්මා, නෑනා වැනි චරිත මුල් කර ගෙන පවා ඇති වෙන්න පුළුවනි. සැමියාගේ මව නිතරම ඔබ සමග ගැටෙනවා නම් එයද දරුවාගේ හිතට වෙහෙසක්. ඒ නිසා නිතරම පවුලේ සමගිය සහ සමාදානය ගැන වැඩි තැනක් ලබා දීම ඉතාම වැදගත්.

මේ ගැන සිතන දෙමව්පියන්ද නැත්තේම නැහැ. එක් අඹු සැමි යුවලක් ඔවුන්ගේ පවුලේ ප්‍රශ්න ගැන කථා කිරීම දරුවන් නින්දට යන තෙක් ප්‍රමාද කරනවා. ඊට හේතුව විදිහට මේ දෙදෙනා සඳහන් කළේ දරුවන් ඉදිරියේ අපේ බහින් බස් වීමක් ඇති වුනොත් එය එතරම් සුදුසු නැහැ. සාමාන්‍ය වයසකට පැමිණි පසුව නම් දරුවන්ට පවුලේ පුංචි පුංචි අඩ දබර ඇති වුනත් දරා ගන්න පුළුවනි. නමුත් පුංචි කාලයේදී ඒ අන්දමින් නිවස තුළ නිතරම ගැටුම්කාරී පරිසරයක් නිර්මාණය වුනොත් එයින් දරුවන් වඩාත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා නිතරම පවුලේ සමගිය දරුවාගේ සතුටට හේතුවක් වෙන බැව් අමතක කරන්නත් එපා.

දරුවා රවටන්න එපා…

දරුවන්ගේ හිත් මල් වගේ බැව් අපි දන්නවා. අපි නොසිතන අන්දමේ පුංචි පුංචි සිදුවීම් නිසා හිත් රිදෙන්න පුළුවනි. ඒ නිසා කිසිම දිනක දරුවාට බොරුවට පොරොන්දු නොදෙන්න. ඔබට යමක් කළ නොහැකි නම් නිශ්ශබ්දව සිටිනන්. බොරු පොරොන්දු දී දරුවා මුලා කිරීම නිසා මව්පියන් මුල් කර ගෙන දරුවා තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති. ඒ නිසා පොරොන්වක් ඉටු කිරීමට නොහැකි නම් පොරොන්දු නොදී ඉන්න.

හැම දෙනාටම සමසේ සලකන්න…

පවුලක දරුවන් කීප දෙනෙක් සිටිනවා නම් ඔවුන් තුළ විවිධ ගති පැවැතුම් තිබෙනවා. මේ විවිධ ගති පැවැතුම් නිසා දරුවන් අතර සුවිශේෂීත්වයක් ගොඩ නගන්න එපා. ඇඟිලි පහ එක හා සමාන නොවුනත් සෑම ඇඟිල්ලකම කුමන හෝ වටිනාකමක් ඇති බවත් අමතක නොකරන්න.බාල ාකලෙය්දී පවුලක දරුවන්ට සංග්‍රහ කරන විවිධ ක්‍රම නිසා ඔවුන්ගේ හිතේ යම් යම් දුක් සංකාවන් ගොඩ නැගීමට ඇවැසි පරිසරයක් නොදැනීම නිර්මානය වෙනවා. ඒ නිසා සෑම දරුවාම ඔබේය. ඔවුන්ට විවිධ හැඳි වලින් බෙදන්න එපා. එසේ වුනොත් පුංචි හිතේ අහිංසක සතුට ඔබ විසින් උදුරා ගැනීමක් සිදු වූ බවට කවදා හෝ ඔබේ සිත ඔබටම දොස් නගනු ඇති.

නිවස ප්‍රසන්නව තබා ගැනීම…

නිවසක ප්‍රසන්න බව යනු එහි ගොඩනැගිල්ලේ වටිනාකම නොවේ. නිවසක් යනු මනසට ප්‍රියජනක පරිසරයක් ලෙසින් තබා ගැනීම වැදගත්.අවට පිරිසිදු බව, පිළිවෙළ මෙතැනදී ඉතාම වැදගත්. පලදායිතාවය ගැන කථා කිරීමේදී අපි අද එස් පහ ගැන වැඩි තැනක් දී තිබෙන බැව් ඔබ දනන්වා. එහි සම්පූර්ණ පදම වී තිබෙන්නේ පිලිවෙළයි. පිළිවෙල නිසා කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉබේටම ගොඩ නැගෙනවා. ඒ නිසා ඔබත් නිවස ප්‍රසන්නව තබා ගන්න. එය දරුවාගේ මනසට විවේකයක් ලබා දෙන තෝතැන්නක් කරන්න. දරුවාගේ සතුටේ අත්තිවාරම එතැනින් ගොඩ නැගනෙ බවත් මතකයේ තබා ගන්න.

පුංචි වුනත් යම් යම් වගකීම් ලබා දෙන්න..

දරුවන් පුංචි වුනත් ඔවුන් අනාගතය වෙනුවෙන් දළු,මල්, ඵල දරණ විශාල රුක්ෂ බවට පත් වෙන දිනයක් එළැඹෙනු ඇත. ඒ නිසාමත් අද දවසේ නිවසේ යම් යම් වගකිම් ලබා දීම වැදගත්. ඊටත් වඩා දරුවන්ට පුංචි පුංචි වගකීම් ලැබෙන විට ඔහුත් නිවසේ වැදගත් සාමාජිකයෙක්ය යන සිතුවිල්ල සිතට නැගෙනු ඇති.උදේට ජනේලය අරින්න..හවසට ජනේලය වසන්න…වැනි ඔවුන්ගේ වයසට කළ හැකි කටයුතු පවරා දෙන්න. එවැනි පුංචි වගකීම් නිසා පවුල තුළ තමන් වෙනුවෙන් ඇති භුමිකාව දරුවා විසින් හදුනා ගැනීමත් පුංචි මනසට සතුටක් ලබා දෙන සිදු වීමක් බැව් සිහියේ තබා ගන්න.

 

බබාගේ බර ඔබේ හිතටත් බරක්ද?

මට අද වගේ මතකයි පුංචි පැටියාගේ බර කිරන්න මුලින්ම සායනයට ගිය දවස. දරුවාගේ බර රේඛාව ලකුණු කරලා බර හොඳයි කියලා ඇහෙන එක තරම් සතුටක් එතැන කිසිම අම්මා කෙනෙක්ට තිබුණේ නැහැ. ඒත් පුංචි පැටියාගේ බර අඩු හෝ වැඩි බව සඳහන් වුනු අම්මලා එතැනින් පිටවුණේ හිතේ ලොකු බරක් පටවගෙන. ඒ දරුවන්ට අමතර ආහාර පටන් අරගත් මුල් කාලයේ බව මට එක අම්මා කෙනෙක් පැවසුවා. ඉතිං ඊලඟ මාසේ ඉඳලා පැටියට අමතර ආහාර පටන් ගන්න මගේ හිතටත් පුංචි බරක් දැනෙන් පටන් ගත්තා. ‍මොකද මේ වෙනකං අම්මා කුක්කු ටික ආසාවෙන් බීපු මගේ පැටියාගේ බරේ ගැටලුවක් ඇති වුනේ නැහැ. 

වෛද්‍යතුමනි, අමතර ආහාර පටන් ගනිද්දි පුංචි පැටියාගේ බර අඩු වෙයිද? 

දරුවෙකුගේ නිරෝගී වර්ධනයට බලපාන්නේ බර වැඩි වීම පමණක් නෙවෙයි. බොහෝ දෙනෙක් කැමති බෝල වගේ ඉන්න බබාලට. ඒත් එතැන නිරෝගී බව ගැන ගැටලු ඇති වෙන්න පුළුවන්. දරුවෙක් බෝලේ වගේ වීම අවශ්‍ය නැහැ. දරුවෙක්ගේ බර සම්බන්ධව කතා කිරීමේදී වැදගත් වෙන්නේ නිසි බර ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමයි. එසේ ක්‍රමානුකූලව බර වැඩි වන දරුවෙකුගේ බර වෙනස් වීම අමතර ආහාර ආරම්භයත් සමග සිදු වූවක් නම් එතැන එම ආහාර රටාවේ දෝෂයක් මත එය සිදු වූවා විය හැකියි. 

වෛද්‍යතුමනි, එහෙම නොවෙන්න නම් කළ යුත්තේ මොනවාද?

මුල සිටම දරුවාගේ ආහාර වේල සකස් කිරීමේදී වැඩි අවධානයක් ලබා දීම ඉතාම වැදගත්. දියර ගතිය අවම වන ආකාරයට මත් ගාගත් බත් තලපය දරුවාට ලබා දිය යුතුයි. ඒ කියන්නේ උකුගතියෙන් යුතුව ආහාර වේල ලබා දිය යුතුයි. මේ පුංචි පැටියට තියෙන්නේ ඉතාම කුඩා ආමාශයක් බව අපි කවුරුත් දන්නවා. එහි පරිමාව තේ හැඳි හතරක පහක ප්‍රමාණයක් විය හැකියි. මේ පුංචි ආමාශය මව්කිරෙන් පමනක් පිරෙද්දී මුල් මාස හයේ දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක අවශ්‍යතා මව්කිරෙහි තියෙන නිසාම එය දියරයක් වීමේ ගැටලුවක් නැහැ. නමුත් අමතර ආහාර ලාබා දීමේදී දියර ගතිය වැඩි වීමෙන් පැටියාගේ කුස ඉක්මනින් පිරෙන නිසා අවශ්‍ය පෝෂණය ලබා දීම අපහසු විය හැකියි. එයින් සිදු වන්නේ හොඳින් පවත්වාගෙන ආ පැටියාගේ බර අඩු වීම නිසා වර්ධනය පහළ වැටිමත් පුංචි පැටියා විවිධ රෝග වලට ගොදුරු වීමේත් අවදානමක් ඇති වීමයි. අන්න ඒ නිසාම දියරම ස්වභාවය වැඩි කැඳ, පලතුරු යුෂ වගේම නුසුදුසු ආහාර වෙත පුංචි පැටියා හුරු කරවීම කිසිසේත්ම නොකළ යුතුයි. පුංචි පැටියාගේ මුල්ම කෑම වේල සකස් කරන අකාරය පැටියාගේ සෞඛ්‍ය හා සංවර්ධන සටහන් පොතේ පැහැදිලිව දක්වා තිබෙනවා. බොහොමයක් මව්වරුන්ට ගැටලු ඇති වන්නේ මෙම පොත හරිහැටි පරිශීලනය නොකරන නිසා බව අමතක කරන්න එපා.

වෛද්‍යතුමනි, මේ පුංචි පැටවුන්ට උකු ආහාරයක් ගිලීම අපහසු නැද්ද?

ඔව්.. මේ අදහස් බොහෝ විට දරුවන්ගේ ආච්චිලාගේ අදහස් කිව්වොත් හරි. ඒත් අද වෙද්දී වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම වගේ බොහෝ දේ වෙනස් වී නව සොයාගැනීම් එක්ක ඉදිරියට යනවා. බබා ලැබුණු කාලේ වගේම බබාට කෑම පටන්ගන්න කාලේ වෙනකොටත් අත්තම්මලාගේ නෑදෑයන්ගේ අදහස් බොහොමයකට අම්මාට අවනත වෙන්න සිද්ධ වෙනවා තමයි. ඒත් නිවැරදිම ක්‍රමය දරුවාගේ පොතේ සඳහන් වෙනවා වගේම දරුවාගේ වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රදේශයේ පවුල් සේඛ්‍ය සේවා නිලධාරී මහත්මිය ගෙනුත් ඔබට දැනගන්නට හැකියි. 

අමතර ආහාර පටන් ගැන්මේදීම පැටියට කිසිසේත්ම කැබලි සහිත ආහාර දෙන්නේ නැහැ. මත්ගා ගත් බත් තලපය කැබලි රහිත උකු ආහාරයක් වන අතරම එයට මව්කිරි මිශ්‍ර කිරීමෙන් මුදු බවක් එක්කරගන්නවා. බෙරි බත ගොට්ටකට දමා හැන්දෙන් පොඩි කර යටට එකතු වන කොටස මුල් කාලයේදී දරුවාට ලබා දිම සුදුසුයි. එවිට එහි කැබලි රැදෙන්නේ නැහැ.  පුංචි පැටියෙක්ට එය ගිලින්න කිසිම අපහසුවක් නැහැ. ඒ වගේම හොඳින් ජීරණය විමත් සිදු වෙනවා. 

ඒ වගේම තමයි පැටියට පලතුරු දීමේ දී එය පළතුරු ලෙසම ලබාදෙනවා මිස, යුෂ වශයෙන් ලබා දෙන්න එපා. ඇතැම් මව්වරු රසවත් කිරීම උදෙසා අපි එපා කිව්වත් ලුණු, සීනී, ජලය එකතු කරනවා. එය ආදරයට කළත් පුංචි පැටියාට ඔබෙන් සිදුවන නරකක් බව මතක තබා ගන්න.

කිරි බොන කාලේ වගේ නෙවෙයි, සායනයේදී කියා දුන් පරිදි කෑම දුන්නත් කෑම පටන් ගත්තා විතරයි බබාගේ බර, සටහනේ පහළට ගියා. ඒ ඇයි?

දින 180 එහෙමත් නැතිනම් මාස 6 සම්පූර්ණ දරු පැටියට කෑම පටන් ගෙන සතියක් පමණ ගත වන විටත් ඔබ දරුවාට ලබා දුන්නේ මුල් දිනයේ ආරම්භ කළ ආහාරයම නම් එතැන යම් ගැටලුවක් පවතිනවා. මොකද දරුවාගේ ආහාරයට අවශ්‍ය මේද සහිත ආහාර පැටියාගේ කෑම වේල අරඹා සතියකින් පමණ ආරම්භ කළ යුතුයි. නැතිනම් බර වැඩි වීම සදහා අවශ්‍ය මේද කොටස් (තෙල්/බටර්) පැටියාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊලඟට සත්ත්වයම ආහාර (හාල් මැස්සන් කුඩු) එකතු කරන්න ඕනෙ. එතකොට පැටියාගේ වර්ධනයට අවශ්‍ය යකඩ ලැබෙනවා වගේම ඒ යකඩ හොඳින් අවශෝෂණය සදහා සී විටමින අඩංගු දෑ දරුවාට ලබා දීමත් වැදගත්. ඒ ආකාරයට දරුවාගේ ආහාර වේලේ පෝෂණය වැඩි දියුණු කළ යුතුයි. එවිට දරුවාට නිසි පෝෂණය හිමි වන අතරම වර්ධනය හොදින් සිදු වේ. 

වෛද්‍යතුමනි, පුංචි පැටියාගේ කෑම එක බ්ලෙන්ඩ් කිරීම සුදුසුද?

ගොඩක් මව්වරු මේ දෙය කරනවා. ඒකෙන් වෙන්නේ මේ පුංචි පැටව් කන්නේ මොනවද කියලා හැඟීමක්වත් නැතිව කෑම ගැනීම. පුංචි පැටවුන්ට ආහාර ලබා දීමේදී ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කළ හැකි ක්‍රියාකාරකම් බොහොමයක් තියෙනවා. බ්ලෙන්ඩ් කරලා කැම එක කොහොම හරි දරුවාට ගිල්ලුවා නම් හරි කියන මතයේ ඔබ සිටිනවා නම් එය මේ මොහොතේ සිටම වෙනස් කරගන්න. දරුවෙක්ට ආහාර ලබා දෙනවා කියන්නේ වටිනා අත්දැකීම් ගොන්නක් බෙදාහදා ගැනීමක්. නිසි කාලයට ලබා දෙන ආහාර වෙනස් කරනවා සේම නිසි කාලයට අනුව අදාල අත්දැකීම සිත්ගන්නා සුලු ආකාරයෙන් ලබා දෙන්නත් මව්පියන් සැලකිලිමත් විය යුත්යි. 

පුංචි පැටියෙක්ට ආහාර ලබා දීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු මොනවාද?

ඔබේ පුංචි පැටියා මාස හයක් පුරාම සොබා දහමේ ආශ්චර්යයක් ලෙස දරුවා වෙනුවෙන් මවගේ පියයුරු වල ඉතා ආරක්ෂාකාරීව පිරිසිදුව නිපදවුණු මව්කිරෙන් පෝෂණය වුණා. එය 100%ක් උසස් තත්ත්වයේ පිරිසිදු පෝෂණයක් බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණක්. නමුත් අමතර ආහාර ආරම්භය කියන්නේ ඉන් හාත්පසින්ම වෙනස් කාර්යයක්. මෙය අප ලබා දෙන්නේ පිටතින් සකස් කර. ඒ සඳහා යොදාගන්නා ජලය, භාජන, ආහාරය සකස් කරන්නාගේ පිරිසිදු බව යන සියලු කරුණු ගැන මෙහෙිදී සැලකිලිමත් විය යුතුයි. ආරක්ශිතව ආහාරය සකස් කර එය දරුවාට ලබා දෙන තුරු නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකලොත් පුංචි පැටියා රෝගී විය හැකියි. බබාට ඉතාම දරුණු ලෙඩරෝග වැලදිලා දරුවගෙ ජීවිතේ පවා අවදානමකට ලක් විය හැකියි. 

පුංචි පැටියන්ගේ බර වැඩි වෙන්නත් පුළුවන්ද? එයට හේතු මොනවද? එහෙම දරුවෙක්ගෙ බර අඩු කරගන්නෙ කොහොමද?

අපේ රටේ බර වැඩි පුංචි පැටව් සිටින්නේ සුළු සංඛ්‍යාවක්. බර අඩු වීම වගේම බර වැඩි වීමත් දරුවාගේ බර සටහන් කරන ප්‍රස්ථාරයෙන් දැක ගත හැකියි. මෙසේ බර වැඩි වී ඇත්තේ මුල් මාස හය වයස් සීමාවේ සිටින මව්කිරි පමණක් ආහාරයට ගන්නා පැටියෙක් නම් එවැනි දරුවෙකුගේ බර අඩු කරන්නට අපට කළ හැකි විශේෂ කිසිවක් නැහැ. මොකද ඒ වයස් සිමාවේ පුංචි පැටියෙක්ට පැටියාගේ අවශ්‍යතාවය, ඉල්ලිම මත මව්කිරි ලබා දිය යුතුයි. නමුත් අමතර ආහාර පටන් ගත්ත පැටියෙක්ට නම් යෝගට්, චීස්, බටර්, තෙල් වැනි ආහාර වර්ග වගේම කෘතිම ආහාර ලබා නොදීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පුංචි පැටියාට කෑම දෙනකොට මේදමය කොටස් එකතු කිරීම ටිකක් අඩුකිරීම සුදුසු වුවත් සම්පූර්ණයෙන්ම නතර නොකළ යුතුයි. සෑම දරුවෙක්ටම හැකි තරම් ඔබේ නිවසේ සකස් කරගත්ත ස්වාභාවික වස විසෙන් තොර අහාර වේලක් ලබා දෙන්න. ඒ වගේම දරුවාගේ ක්‍රියාකාරකම් වැඩි කරන්න. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

විදුරුමස් රෝග-(පරිදන්ත රෝග )

පවුලක ලොකු කුඩා භේදයක් නැතුව දත් වගේම විදුරුමස ආශ්‍රිත රෝග දැන් බොහොම බහුලයි.විදුරුමස් (පරිදන්ත රෝග ) ලෙසින් සලකන්නේ මොනවාද කිව්වොත්…

  • දත් මුල් දියවීම
  • දත් මුල් ඉදිමීම
  • දත් මුල් ආශ්‍රිතව ඇති වෙන ආසාදන
  • දත් සෙලවීම

පරිදන්ත රෝග තත්වයක් රෝගියා විසින් හඳුනා ගන්නේ කොහොමද…?

ඔබ කණ්නාඩියක් ඉදිරියට ගොස් දත් මදින විට විදුරුමසෙන් ලේ ගලනවා නම් දත් මුල් ආශ්‍රිත රෝග තත්වයක් විය හැකියි. නමුත් මෙහිදී දත් බුරුසුව වැදීමෙන් රුධිරය ගැලීමක් වෙනවා නම් එය පරිදන්ත රෝග තත්වයක් ලෙසින් සලකන්න බැහැ.

  • මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම
  • විදුරුමස ඇඟිල්ලෙන් තෙරපන විට රුධිරය, සැරව වහනය වීම
  • විදුරුමසේ ආවේණික පැහැය ඉදිමීම නිසා වෙනස් වීම

පරිදන්ත රෝග සඳහා බලපාන හේතු මොනවාද…?

  • නොදැණුවත් බව 

විදුරුමස් ආශ්‍රිත රෝග මුල් අවස්ථාවේදී හඳාුනා ගතහොත් සුව කිරීම ඉතාම පහසුයි. එය ඔබේ සෞඛ්‍යට වගේම ආර්ථික තත්වයටත් වාසියක්. දන්ත ප්‍රතිකාර වෙනුවෙන් වැය වෙන මුදලත් දරා ගැනීමට ටිකක් අපහසුයි. බොහෝ රෝගීන් තමන්ගේ විදුරුමස් ආශ්‍රිත රෝග තත්වයන් ගැන මුලදී හඳාුනා ගැනීමට තරම් දැණුවත් වී නැහැ. 

  • දත් මැදීමේ නිවරැදි තාක්ෂණය නොදැනීම

බොහෝ රෝගින් නිතරම කියන්නේ මම දවසට තුන් වතාවක් දත් මදිනවා… සැබැවින්ම ඔවුන් මුඛ සෞඛ්‍ය ගැන දැනුවත් බවක් ඇති තරුණ වගේම උගත් පිරිසක්. නමුත් දත් බුරුසුවට දන්නාලේපදත් මැදීමේදී නිවරැදි තාක්ෂණයක් තිබෙනවා.  ඒ නිසා පරිදන්ත රෝගවලින් ආරක්ෂා වීමට නම් නිවරැදි අන්දමින් දත් මැදීමත් ඉතාම වැදගත්.

  • වේගයෙන් දත් මැදීම

ඒ වගේම ඔබ දත් මදින විට වේගයෙන් දත් මැදීම නිසා දත මතුපිට එනමලය කැපී යෑමක් සිදු වෙනවා. ඒ වගේම බුරුසුව ගමන් කරන මාර්ගයේ කානුවක් ලෙසින් වූ මාර්ගයක් දකින්න පුළුවනි. එවැනි තත්වයක් නිසාත් විදුරුමස් තුවාල වීම සිදු වෙනවා.

  • විවිධ රෝග සඳහා දිගුකාලීනව භාවිතා කරන ඖෂධ 

අපස්මාරය, සෙම ඇදුම වැනි රෝගාබාධ වෙනුවෙන් ලබා ගන්නා ඖෂධ නිසාත් පරිදන්ත රෝග තත්වයන් ඇති වෙන්න පුළුවනි.

  • මද්‍යසාර සහ දුම්වැටි භාවිතය- 

දුම්වැටිවල අන්තර්ගත නිකොටින් නිසා රුධිර වාහිණීියේ තැන්පත් වීම නිසා රුධිර සංසරනයේ ඇති වෙන ගැටලු නිසා දත් මුල් දිය වී දත සෙලවීමට පටන් ගන්නවා.

මන්ද පෝෂණය නිසා දතක වර්ධනයට අවශ්‍ය පෝෂණ පදාර්ථ නැති වීම 

විටමින් “C ” අඩංගු පළතුරු සහ එළවළු ආහාර මගින් ් ප්‍රමාණවත් පරිදි නොලැබීම 

  • විවිධ පද්ධති ආශ්‍රිත රෝග

සිරෝසිස්, සන්ධි සහ වකුගඩු රෝග පරිදන්ත රෝග තත්වයන් ඇති වීමට බලපානවා.  හදවත් රෝග තත්වයන්හිදීත් විදුරුමස ආශ්‍රිත බැක්ටීරියා හදවතේ කපාට අඩපණ වීමට පුළුවනි. ඒ නිසා හදවත ප්‍රවේසම් කර ගැනීමට නම් ඔබ කට පරිස්සම් කර ගැනීම වැදගත්. මෙැනදී අපි  හිතන්නේ ආහාර ගැන වුනත් තැලසීමියා වැනි රෝග තත්වයන් නිසාත් පරිදන්ත රෝග තත්වයන් ඇති වෙන්න පුළුවනි.

  • දියවැඩියා රෝග තත්වය 

විදුරුමස් ආශ්‍රිිත රෝග තත්වය තමන්ට දියවැඩියා රෝගය නිසා ඇති වෙන උරුමයක් ලෙස රෝගීන් සිතනවා. නමුත් එය වැරදි ආකල්පයක්. නිදන්ගත දියවැඩියා තත්වයකින් පසු වෙන රෝගීන් තමන්ගේ මුඛ සෞඛයය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.දත් මුල් දියවීම නිසා දන්ත අස්ථිියෙන් දත ගැලවී ගියොත් නැවත කෘතිම දතකින් හෝ ඒ හිදැස පුරවන්න අපහසුයි. ඒ නිසා දියවැඩියා රෝගීන් මුඛ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. 

පරිදන්ත රෝග තත්වයන් වලක්වා ගැනීමට නම්… 

නිතරම මුඛ සෞඛ්‍යය සහ දන්තාබාධ ගැන අවධානයෙන් සිටින්න. ඒ වෙනුවෙන් දැන් බොහෝ පොත් පත්, සෞඛ්‍ය ලිපි වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තොරතුරු ලබා ගැනීමට පුළුවනි. ඔබ ලබන දැණුවත් වීම අනුව වැඩිදුරටත් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යන්න. වෛද්‍යවරයා විසින් ඔබට මුලින්ම දන්ත සෞඛ්‍යය ගැන උපදෙස් ලබා දෙනවා. ඒ අනුව රෝග නිශ්චයකට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

  • නිවරැදිව දත් මදින්න.

වසරකට දෙවතාවක් හෝ එසේත් නොහැකි නම් අනිවාර්යෙන්ම වසරකට වරක් හෝ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා ඔබේ දත් පරීක්ෂා කර ගෙන අදාල වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න. ඔබ කොතරම් නිවරැදි ආකාරයට දත් මැද්දත් සමහර ස්ථානවල මැලියම් බැඳි විදුරු මස් රෝග ඇති වීමට පුළුවනි.

  • මුඛ සෝදන දියර පාවිච්චි කරන විට..

බොහෝ විට අපි මුඛ සෝදන දියර ලෙසින් ලුණු භාවිතා කරනවා.නිවසේදී පාවිච්චි කළ හැකි හොඳම ප්‍රතිකාරය ලුණු බව ඇත්ත. නමුත් දත් සෙලවීම, විදුරුමස දියවීම , ඉදිමීම වැනි පරිදන්ත රෝග තත්වයන් පවතින විට ලුණු වතුර ප්‍රමාණවත් නොවන්න පුළුවනි. එවැනි අවස්ථාවලදී දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් රෝගියාට මුඛ සෝදන දියර ලබා ගැනීමට නිර්දේශ කරනවා. බොහෝ රෝගීන් තමන්ගේ හිතුමතයට ඔසුසලකින් මුඛ සෝදන දියර මිළට ගන්නවා.  නමුත්නිතරම වෛද්‍ය නිර්දේශය මත පමණක් මුඛ සෝදන දියර ලබා ගැනීම වගේම එය  පාවිච්චි කිරීමට යම් කාලයක් වෛද්‍යවරයා විසින් නියම කරනවා. එතැනින්  පසුව ඔබේ හිතුමතයට එය දිගින් දිගට පාවිච්චි කිරීම සුදුසු නැහැ.මේවායේ  අන්තර්ගත මද්‍යසාර නිසාත් යම් හානියක් සිදු වෙන්න පුළුවනි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරී සමන්ත කුමාර කිතලවආරච්චි

මුඛ පිළිකා පර්යේෂණ ආයතනය

පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙණිය


                

අම්මා නම් වූ අකුරු තුනෙන් ලොව සුවිශේෂීම කාන්තාව වූ ඔබ හඳුන්වන්නේ ඇයි?

අතීතයේදී දරුවෙක් ලැබුණු අම්මෙක් බොහොම ආදරණීයව රැක බලා ගත්තත් අද වෙද්දී ඒ අම්මා ගැන වැඩි අවධානයක් නැති ගාණයි. මොකද කාර්ය බහුල බව, රැකියා හේතුවෙන් පවුල් වලින් ඈත්ව නගරයට පැමිණ ජීවත් වීම වැනි හේතු මත ප්‍රසූතියෙන් පසුව මවකට ලැබෙන ආදරය අවධානය යම් තරමකට අඩු වෙලා වගෙයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමගින් වගේම නගරාසන්න ජීවිත වෙත යොමු වීම හේතුවෙන් අතීතයේ සිදු කෙරුනු යම් යම් දේ (ප්‍රසූතියෙන් පසුව මව ඖෂධීය කොළ තැබූම්බූ ජලයෙන් නැහැවීම, දුම් ඇල්ලීම, ගුණදායී සෞම්‍ය ආහාර රටාවකට යොමු කිරීම) මගහැරී ඇති  බවක් පෙනී යනවා. එවැනි දේ මගින් මවක් ගැන ඇති ‍අවධානය ඇයට දැනෙන අතරම ඇයට ඒ මගින් විශාල මානසික තෘප්තිමත් බවක් ලැබෙනවා පමණක් නෙවෙයි මේ ආදරය තමාට හිමිවන්නේ දරුවා නිසා බව සිතෙන විට ඇයට දරුවා කෙරේ ඇති ආදරය සෙනෙහසද වැඩි විය හැකියි. අම්මාගේ නිරෝගී සෞඛ්‍යසම්පන්න බව දරුවා පමණක් නොව පවුලක්, සමාජයක් රටක් වගේම ලොව රැකගනී. ඒ නිසාම කවුරුන් කෙසේ වුවත් ඔබ, ඔබ ගැන සිතිය යුතු බව අමතක කරන්න එපා. 

ප්‍රසූතියෙන් පසු ඔබට මානසික ආතිතයක් ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඔබ සාමාන්‍ය පරිදි ගෙවූ ජීවිතය දරු පැටියාගේ පැමිණීමත් සමගම විශාල වෙනසකට ලක් වීම නිසා වගේම වටපිටාවෙන් ඇති විය හැකි යම් යම් අපහසුතා, සිත් රිදීම්, අසරණ විම් ද මේ තත්ත්වයට හේතු විය හැකියි. මවක් සැමවිටම ශක්තිමත් විය යුත්තේ එවැනි තත්ත්වයන්වලදී මානසික කඩා වැටීම වළක්වා ගැනීම සඳහාමයි. දරු පැටියා සමගම දිවි තොර කරගන්නා තත්ත්වයට කිසිසේත්ම ආදාරණීය මවක් පත්විය යුතු නැහැ. ‍මොකද දසමසක් වේදනා විඳ දරුවෙකු මෙලොවට බිහි කරන අම්මා නම් වූ ඔබට ඇති ශක්තිය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බව ඔබ අමතක නොකළ යුතුයි. එවැනි කාර්යයක වගකීම සොබාදහම මගින් කාන්තාවටම පැවරීම තුළින්ම කාන්තාවකට සොබාදහමෙන් ලබාදී ඇති ශක්තිය සම්බන්ධව වටහා ගත හැකියි. 

යම් හෙයකින් සිත් තැවුල් කළකිරීම් වැනි හැඟීම් හේතුවෙන් දෛනික වැඩකටයුතුවල පසු බෑමක් ඇති බව දැනෙනවා නම් කේන්ති යන කෝප ගැන්වෙන අවස්ථා වැඩි නම් ඔබ වැඩි අවධානයක් ඔබ වෙත යොමු කළ යුතුයි. ශාරීරික අපහසුතා නොයෙක් පරීක්ෂණ සඳහා යොමු වී අප මැන බලනා සේම ඔබට, ඔබේ මානසික තත්ත්වය ගැනත් මැන බැලීමට හැකියාව තිබෙනවා. ඒ එඩින්බරෝ පසුප්‍රසව විශාදි මාපකය හරහායි. මෙය ප්‍රශ්න දහයකින් සැකසුණු ප්‍රශ්නාවලියක් වන අතරම එහි පිළිතුරු හතරක් ලබා දී තිබෙනවා. අදාල ගැටලු සඳහා ඔබ තෝරන පිළිතුර අනුව ඔබේ මානසික සුවතාවය පිළිබඳ තක්සේරුවක් ඔබටම ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ප්‍රසූතියෙන් පසු සෑම මවකටම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යසේවා නිළදාරිනියගෙන් මෙය ලබා ගත හැකි අතරම ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුද යන්න ගැන ඔබටම අවබෝධයක් ලබා ගත හැකියි. ගැටලුවක අන්තයට ගොස් පවුලේත් දරු පැටියාගේත් ඔබගේත් ජීවිතය සතුට සැනසුම අහිමි කරගන්නවාට වඩා ශක්තිමක් ගැහැණියක ලෙස ජිවිතයට මුහුණ දිමට ඔබට ලබා දී ඇති මේ අවස්ථා ප්‍රයෝජනයට ගැනීම ඉතාම වැදගත් බව සිහිතබා ගන්න. ඔබේ පසු ප්‍රසව සමය දරුවා සමග සතුටින් ගත කරන්නට ඔබේ මනසට සහය විය යුත්තේ ඔබම බව අමතක නොකරන්න. අම්මා යන අකුරු තුනෙන් ලොව ශක්තිමත්ම ගැහැණිය වන ඔබ හදුන්වන්නේ ඒ නිසයි. 

ගැබිනි සමයේ ඔබට වටපිටාවෙන් හිමි වුණු ආදර සැලකිල්ල ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අත්දැකිමක්. ආදරණීය කතා බහ, රසවත් ආහාර, ගරු සැලකිලි මේ දේවල් දරුවෙක් කුස දරා සිටින සමයේ ‍කාන්තාවකට හිමිවෙන වරප්‍රසාද කිව්වොත් නිවැරදියි. ඒත් ප්‍රසූතියත් සමගම ඇතැම් විට මේ තත්ත්වයන් වෙනස් විය හැකියි. එවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඔබ විසින් දායාද කළ මිල කළ නොහැකි වස්තුව වන දරු පැටියා වෙනුවෙන් විය හැකියි. ඒ අපේ වටපිටාව එදා සිට අද දක්වා පැවත එන ක්‍රමයයි. නමුත් ඔබ ගැබිනියකව සිටින කාලය තුළ ඔබට ලබා දුන් සැලකිලි සත්කාර ප්‍රසූතියෙන් පසුවත් හිමි වනවා නම් කෙතරම් වටිනවාද යන්න ඔබ‍ට අනේක වාරයක් සිතෙනවා ඇත. ආහාර සකසා ගැනීමට නොහැකිව සිටින ඔබට පෝෂණීය ආහාර වේලක්, පිරිසිදු කර ගැනීමට නොහැකි සිටින දරුවාගේ රෙදි බේසමෙන් කොටසක් හෝ සෝදා පිරිසිදු කර දීමට අයෙක් හවස් වන විට දරුවාගේ රෙදි ටික ඇතුළට ගන්නට කෙනෙක් සිටිනවා නම් එය කොතරම් වටිනවාද යන්න වචනයෙන් විස්තර කළ නොහැක. නමුත් අද වන විට කාර්යයබහුල ජීවන රටාවත් සමග හැම අයෙක්ම තම තමන්ගේ රාජකාරි සමග හිර වී ඇති නිසා කිසිවෙකු කෙරේ අමනාප වීම සාධාරන ද නොවෙනු ඇත. එසේ නැතිනම් යමෙකුට එවැනි සිතුවිල්ලක් ඇති නොවනවා විය හැකිය. ඒ කෙසේ වුවත් ශක්තිමත් කාන්තාවක ලෙස ඔබ ඔබේ දරු පැටියාගේ කාර්යයන් අකුරටම ඉටු කරන බව ස්ථිරය. එය ඔබේ වගකීම මෙන්ම යුතුකම බව මවක් කිසි විටෙක අමතක නොකරනු ඇත. ඒ උපතින්ම සවිමත් බව රැගෙන මොලොවට බිහි වූ කාන්තාවකගේ කාරුනික බවයි. අම්මා යන අකුරු තුනෙන් ජීවිතය නම් වූ අකුරු හතර උපරිමයෙන් වටහා ගත හැකි ලොව එකම ගැහැණිය වන ඔබ හඳුන්වන්නේ ඒ නිසයි. 

මව් පදවිය ඔබේ ජීවිතයට ආභරණයක් වුවත් ඔබේ පෞද්ගලික සුන්දරත්වය අත් හැර දමන්න ඔබට කිසිසේත්ම අවස්ථාවක් නැහැ. ගැබිනි සමයේ ඔබ ලබා ගත් විටමින් පෝෂක වර්ග ශාරීරික ව්‍යායාම් වැනි දේ දෛනික ජීවන රටාවෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි. ගැබිනි සමයේ දරුවා වෙනුවෙන් බව සිතා වමනය/ඔක්කාරය ඇතුළු බොහොමයක් අපහසුතා හමුවේ ගිල දැමූ විටමින් පෙති ප්‍රසූතියෙන් පසුව ඔබට අත්හැරෙන්නේ ඔබ, ඔබ ගැන ඇති අවධානය අඩු වූ නිසා බව පැහැදිලියි. දරුවා සිනාසෙන කාලය වන විට මවකගේ කොණ්ඩය ගැලවෙන බවට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන කතාවේ අර්ථයට හේතුව වන්නේ ද අම්මාගේ සිරුරෙන් ඉවත් වෙන පෝෂක කොටස් නැවත නොලැබීම මත ඇති වන ඌනතා තත්ත්වයන්ය. ඔබ, ඔබේ දරුවා කිරෙන් පමණක් පෝෂණය කරන මුල් මාස හයක අවධිය තවදුරටත් ඔබව නිරෝගීව සුන්දරව රැකගන්නත් පෝෂණය අත්‍යවශ්‍යයි. විටමින් වර්ග පමණක් නොව ඔබේ ආහාර වේල් මගහැර ගැනීම ද නොකළ යුතුම දෙයක්. දරුවා ඔබට මැණිකක්. ඒත් ඔබට මගහැරෙන ඔබේ ආහාර වේල/පෝෂණය වක්‍රාකාරව ඒ මැණිකේ දිස්නයටද බලපාන බව ඔබ සිතිය යුතුයි. 

ඒ වගේම මවක් ලෙස ඔබ, ඔබේ පිරිසිදුකම වෙනුවෙනුත් කාලයක් යෙදවිය යුතුයි. ස්නානය, ඇඟපත දේසීම, දත් මැදීම යන කාරණා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි. මවක් ඉතා ප්‍රසන්නව තමාව අන්‍යයන්ට ඉදිරිපත් කළ යුතුයි. ඔබ සැවිටම දරු පැටියාට, ඔබේ සැමියාට, අනෙක් නිවැසියන්ට සුබ දසුනක්ම විය යුතුයි. ඒ ඔබේ ආඩම්බරය බව අමතක නොකළ යුතුයි. ප්‍රසූතිය සිදු වූ ස්ථානය සැර සබන්/සේදුම්කාරක, තද උණුසුම් ජලය යොදා සේදීම හෝ තදින් අතුල්ලා සේදීම කිසිසේත්ම නුසුදුසු බවත් එම ස්ථාන මෘදු සබන් වර්ගයක් වයාදා මද උණුසුම් වතුරෙන් පිරිසිදු කල යුතු බවත් ඔබ දන්නවා. ඒ වගේම ඒ ස්ථාන ඉතා පිරිසිදුව වියළිව පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. නා පිරිසිදු වී විෂබීජවලින් තොර ප්‍රබෝධමත්ව දරු පැටියා ළඟට යන ඔබට හොදින් කිරි එරීම නිසා දරුවාගේ පෝෂණය ගැනවුවත් සතුටු විය හැකියි.

නින්ද වගේම විවේකයත් ඔබට අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න. ඔබ, ඔබ ගැන සිතන තරමටම එහි ප්‍රතිලාභ දරුවාට ඊටත් වැඩියෙන් හිමිවන බව සිහිතබාගන්න. නින්ද සහ විවේකය ඔබේ දව්කිරි යාන්ත්‍රණයට බොහෝ සෙයින් ඉවහල් වනවා. ඒ වගේම ඔබේ මානසික සුවතාවය පවත්වා ගැනීමටත් මේ කරුණු දෙක බොහෝ සෙයින් ඉවහල් වෙනවා. 

ගැබිනි මවක් නෙතට සිතට සුබ ලකුණක් වනවා සේම කිරිකැටියෙකු අතදරා සිටින සුන්දර, පිරිසුදු දැකුම්කලු මවක් මුළු ලොවටම සුබ දසුනක් වනු නිසැකය. මේ කාල සීමාව යම්තාක් දුරට දුෂුකර වුවත් ඔබ, ඔබව අත නොහරින්න. ඔබ, ඔබව බලාගන්න අම්මා යන අකුරු තුනෙන් ලොව සුන්දරම ප්‍රසන්නම ගැහැණිය වන ඔබ හඳුන්වන්නේ ඒ නිසයි. අම්මා ලොව සුවිශේෂිම ආදරණිය චරිතය වන්නේ ද මේ නිසයි.

 

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝග

බොහෝ කාන්තාවන් තුළ ඇති නොදැණුවත්බව, රෝගාබාධ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම හෙටට කල් තැබීම වැනි තමන්ගේම පාර්ශවයේ අඩු පාඩු නිසා ස්ත්‍රි ප්‍රජනන පද්ධතියේ රෝග සංකුලතාවයන් පිළිකා වැනි මාරාන්තික රෝග තත්වයන් දක්වා පැතිරෙන්න පුළුවනි. එහෙමනම් කාන්තාවන් විසින් වැඩි අවධානයක් දැක්විය යුතු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා තත්වයන් මොනවාදැයි විමසා බලමු.

ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන පිලිකා රෝග

ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන පිලිකා රෝග තත්වයන් ගැන සඳහන් කලොත් එය කොටස් තුනකින් පෙන්වන්න පුළුවනි.

  • ගර්භාෂ පිළිකා- Endometriosis  cancer
  • ගැබ්ගෙල පිළිකා- cervical cancer
  • ඩිම්බ කෝෂ පිළිකා ovarian cancer

ගැබ් ගෙල පිළිකා පියයුරු ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොවුනත් එය පිළිකා අතර  දෙවැනි තැනට පත් වෙනවා.

ගැබිගෙල පිළිකාවක රෝග ලක්ෂණ

  • ආර්තවයන්  දෙකක්  අතර රුධිරවහනය සිදු වීම.
  • ලිංගික එක්වීමකින් පසුව රුධිර වහනය
  • ආර්තවයෙන් පසු රුධිර වහනය

ගැබ් ගෙල පිලිකාව කලින් හඳුනා ගන්න පුලුවන්…

ගැබ් ගෙල පිළිකාවන් කල් තබා හඳුනා ගැනීමට පුළුවනි. ඒ වෙනුවෙන් සිදු කරන පැප් පරීක්ෂණ රජයේ රෝහල්වල නාරිවේද සායනයන්හි  සිදු කරනවා. ඹබ වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවක් නම් මෙම සායනයන් මගින් පැප් පරීක්ෂනයක් නොමිලයේ සිදු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. පැප් පරීක්ෂණයකින් පිළිකා රෝග තත්වයක් ගැන සැක ඇති වුනොත්  කොල්පොස්කොපි  (colposcopy) පරීක්ෂණයක් 

මෙවැනි පරීක්ෂනයකින් පිළිකා සෛල පිළිබඳව තහවුරු වාර්තාවක්  ලැබුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කරනවා. අදාල පිළිකාව පවතින ස්ථානය  හඳුනා ගෙන අදාල කොටස් ඉවත් කිරීම හෝ විකිරන ප්‍රතිකාර මගින් සුව කිරීමට පුළුවනි

ගැබ්ගෙල පිළිකා රෝගී කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම අවශ්‍යම නැහැ. ඒ වෙනුවෙන් විකිරණ ප්‍රතිකාර ලබා දීමටත් පුලුවන්. එය පිළිකාවේ පැතිරීම අනුව සිදු වෙනවා.

ගර්භාෂ පිළිකා…

ගර්භාෂය කී සැනින් අපට මතක් වෙන්නේ කාන්තාවකගේ ආර්තවය එහෙම නැත්නම් ඔසප් චක්‍රය ගැනයි. මාසික සුද්ධ වීම මේ හැඳින්වීම ඉතාම නිවරැදි ගැලපීමක්. මාස් පතා සිදු වෙන ඔසප් වීමත් සමග ගර්භාෂයේ ඇතුලු බිත්තිය ගැලවී යනවා. මාසික ඔසප් වීම නිසි පරිදි සිදු නොවුනෙහොත් ගර්භාෂයේ ඇතුලත බිත්ති ඝන වීමට පටන් ගන්නවා. එය පසුකාලීනව පිළිකා තත්වයක් දක්වා වර්ධනය වීමට පුලුවනි.ගර්භාෂ පිළිකා රෝග තත්වයක් හඳුනා  ගැනීමේදී යම් යම් රෝග ලක්ෂන පවතිනවා.

  • ආර්තවහරනයෙන් පසුව සිදු වෙන රුධිර වහනය
  • මාසික ඔසප් වීම ක්‍රමානුකූලව සිදු නොවීම.

තරබාරුව සහ PCOS (Polycystic ovary syndrome) සහිත කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ සිදු වෙන අක්‍රමිකතාවයන්  නිසා පසුකාලීනව ගර්භාෂ පිළිකා ඇති වීමට ඉඩ තිබෙනවා.

ගර්භාෂ පිළිකා රෝග තත්වයක් බව තහවුරුකර ගැනීම

ඉහත රෝග ලක්ෂණ සහිත කාන්තාවන්ගේ මූලික පරීක්ෂණයක් ලෙසින ගර්භාෂයේ Scan පරීක්ෂනයක් ලබා ගන්නවා. නමුත් එයින් පමණක් තීරණයක් ලබා ගැනීම අපහසුයි.Scan පරීක්ෂණයේ යම් සැකයක් තිබුනොත් D&C  (Dilation and curettage   ) පටක පරීක්ෂනයක් ලබා ගන්නවා. ගර්භාෂ බිත්තියේ  පටක පරීක්ෂාවකින් පසුව පිළිකා රෝග තත්වයක් ගැන ගහවුරුවක් ලබා ගැනීමට පුළුවනි.

ගර්භාෂ පිළිකා රෝග තත්වයක් තිබුනොත්…?

ගර්භාෂ පිළිකාවක් ගැන තහවුරුවක් ලැබුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. බොහෝ දෙනෙක් ගර්භාෂය තිබුනොත් පිළිකා තත්වයක් ඇති වෙයි කියන සැකය නිසා අනාගත ආරක්ෂාව වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම ගර්භාෂය ඉවත් කිරීම ශල්‍ය කර්ම සිදු කර ගන්නවා.නමුත් එසේ සිදු කළ පමණින්ම ගර්භාෂ පිළිකාවෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ අන්දමින් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්ටත් ගර්භාෂ පිළිකා ඇති වීමේ අවදානම තිබෙනවා. ඒ නිසා ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේදී ගර්භාෂය පමණක් නොව  වසා ගැටිති  සහ පිළිකාව පැතිරී ඇත්නම් අදාල කොටස් ඉවත් කිරීමටත් සිදු වෙනවා.ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් පසුව විකිරණ ප්‍රතිකාර ලබා දීම අවශ්‍යයි. ගැබ් ගෙල සහ ගර්භාෂ පිළිකා ඉහළ සුව වීමේ අගයක් ඇති පිලිකා රෝග තත්වයක්.

ඩිම්බ කෝෂ පිලිකා… 

මුලින් සඳහන් කළ පිළිකා තත්වයන්ට සාපේක්ෂව බැලුවොත් ඩිම්බ කෝෂ පිළිකා තත්වයන් කල් තබා හඳුනා ගැනීම අපහසුයි. ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවයක් නිසා පහසුවෙන් හඳුනා ගැනීම පහසු නැහැ. බොහෝ විට ඩිම්බ කෝෂ පිළිකාවක  සුවිශේෂී රෝග ලක්ෂන පෙන්නුම් කිරීමක් නැහැ. නමුත් ඩිම්බ කෝෂ පිළිකා තත්වයක් ඇති බවට සංඥාවන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා.

  • යටි බඩ ප්‍රදේශයේ වේදනාව
  • මල පහ පිලිබඳ ගැටළු
  • බඩ පිපුම

නමුත් මේ රෝග ලක්ෂණ ඩිම්බ කෝෂ පිළිකාවකට පමණක් නොව වෙනත් රෝග තත්වයන් සඳහාත් ඇති වෙන්න පුළුවනි. ඒ නිසා ඔබ කලබල විය යුතු නැහැ.

නමුත් ඔබ වයස අවුරුදු පණහ ඉක්මවා ඇති කාන්තාවක් නම්  ඔබේ රෝග තත්වයන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.  ඒ වගේ ඩිම්බ කෝෂ පිළිකාවක් පැප් පරීක්ෂණයකින් හඳුනා ගැනීම අපහසුයි. ඒ නිසා රුධිර පරීක්ෂනයක් ලබා ගැනීමට සිදු වෙනවා. Scan පරීක්ෂනයකින් පසුව ඩිම්බ කෝෂ පිළිකාවක් බව තහවුරු වුනොත්  රෝගියා ශල්‍ය කර්මයක් සඳහා යොමු කරනවා. නමුත් පැතිරීම වැඩි නම් ශල්‍ය කර්මයට පෙරාතුව  විකිරණ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ශල්‍ය කර්මය සිදු කරනවා. 

ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්වයන්ගෙන් ආරක්ෂාව වීමට…

කාන්තාවක් ලෙසින් ඔබ ප්‍රජනන පද්ධතියේ පිළිකා ඇති වීමට තිබෙන අවදානම් සාධක හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා ඔබේ ඔසප් වීම් පිළිබඳ ගැටලු ඇත්නම් ඒවා නොසලකා සිටින්න එපා. ඔසප් ප්‍රමාදය, ඔසප් වාර දෙකක් අතර ඔසප් වීම වැනි රෝග තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.

තරබාරු කාන්තාවන් ඉතා පහසුවෙන් සන්ධි රෝග තත්වයට පත් විය හැකියි. ඒ නිසා ඔබේ ආහාර රටාව, ක්‍රියාකාරී ජීවන රටාව මගින් තරබාරුව පාලනය කර ගන්න. එවිට ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සංකුලතාවයන්ගෙන් මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීමේ ආශිර්වාදය ඔබට ලැබේවි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නාරි සහ ප්‍රසව පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර මහතා

ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල)

මහරගම


                

ළමා මන්දපෝෂණය මැඩලන්න ආහාර සැකසීමේදී සැලකිලිමත් විය කුරුණු 8ක්

කොව්ඩ් ආදී විවිධ වසංගත රෝග වලින් මෙන්ම විවිධ ගැටලු රාශියකට මුහුණ දුන් අප අද වන විට මුහුණ පාන ප්‍රධානම ගැටලුවක් වී ඇත්තේ ළමා මන්දපෝෂණය හේතුවෙන් දරුවන් ඉතා ඉක්මනින් රෝග වලට ගොදුරු වීමයි. පාසල් හා පෙර පාසල් දරුවන් පරික්ෂා කිරීමේදී ඔවුන්ට බොහොමයක් පෝෂණ හා ක්ශුද්‍ර පෝෂක ඌනතා පවතින බව හඳුනා ගත් අතරම එයට හේතුව කුමක්ද කියා සොයා බැලීම ඉතාම වැදගත් කාර්යයක් වන බව කිව යුතුමය. මෙහිදී ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ලෙස අපට වටහා ගත හැකි වූ ප්‍රධානම හේතුව නම් ආහාරයේ වැදගත්කම දෙමව්පියන් විසින් තේරුම් නොගැනීමයි. 

වර්තමානය වන විට අප රට තුල පවතින ආර්ථික අර්බුදයට මෙයට යම් සම්බන්ධතාවයක් දැක්වුවද දරුවන් රැකගැනීම වස් ඒවා ජය ගත හැකි ක්‍රමවේද සොයා ගැනීම අප සතු යුතුකමක් වේ.

ආහාරයේ වැදගත්කම

අද වන විට බඩගිනි දැනෙන විට කුස පුරවාගැනීම යන කරුණ මත පමණක්ම පදනම් වූ කාරණයක් වූවාට ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ වෛද්‍ය ජීවනයනම් ග්‍රන්ථයේ ආහාරය වැදගත්කම දක්වා ඇත්තේ “සුදුසු ආහාර ගන්නා විට ඖෂධ අත්‍යවශ්‍ය නොවේ. නුසුදුසු ආහාර ලබාගන්නා තෙක් කුමන ඖෂධයක් ලබගත්තද පලක් නොවේ” යන ලෙසයි.

අද වන විට ඇත්තේ ආහාර සියල්ල පසෙකලා ඖෂධ පසුපස හඹා යන යුගයකි. කෑම බීම නොගෙන ඖෂධ ලබා ගන්නා අවස්ථා එමට ඇත. වඩා වටින්නේ ආහාරය පිළිබඳ සැලකිලිමත් වීමයි. ආහාර ඖෂධ ලෙස ක්‍රියා කරන අවස්ථාද ඇති බව මතකයේ තබා ගත යුතුය. සෑම මොහොතකම ක්‍රියාකාරී අංශ වන මිනිස් ශරීරය ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධනය වනුයේම ආහාරයයි. 

පෝෂණීය ආහාර වේලක් ලබාගැනීමට ඔබ දැනුවත් විය යුතු කරුණු

  1. ආහාර සපයා ගැනීමේ ගැටළු (ආර්ථික අපහසුතා, ආහාර හිඟවීමේ දුෂ්කරතා)
  2. ආහාර සංස්කරණ ගැටලු (පෝෂණ ගුණය හානි නොවන පරිදි )
  3. ශරීරයට අවශ්‍ය දෛනික පෝෂණය ලැබෙන ලෙස හා ආහාර පහසුවෙන් දිරවා පෝෂණ කොටස් අවශෝෂණය වන ලෙස ආහාර සුසංයෝගය පවතින ගැටලු 

යනාදී කාරණා පිළිබඳ පවතින අල්ප දැනුම තරඟකාරී ජීවන රටාව හා අලසකම හේතුවෙන් ඉහත කරුණු පිළිබඳ අවධානය නොදීම ළමා මන්දපෝෂණය සඳහා තදින්ම බලපා ඇත. නමුත් අතීතයේ ශ්‍රී ලාංකික ජනතාව තුළ පැවති සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ඉතා විද්‍යාත්මක බව එය අධ්‍යනයේදී පෙනී යන කරුණකි. එය හුදෙක්ම දේශීය වෙදකම හා බැඳී තිබුණු ඒ හා අනුකූලව හැදුනු ආහාර සංස්කෘතියකි.

යමෙක් යහපත් වූ සිතින් යුතුව මාත්‍රාව, කාලය විවරණය කර බඩගින්නේ තරමට පහසුවෙන් දිරවන  සාත්මීය වූ ආහාර පාන භෝජනය කළහොත් කිසි රෝගයක් මෙලොවදී නොලබන බවත් ප්‍රිය වූද නිරෝගී වූ ද බොහෝ කල් දීර්ඝායුෂ විඳින්නන් වන බවත් ආයුර්වේද ග්‍රන්ථයක් වූ චරක සංහිතාවේ දක්වා ඇත.

ආහාරයක් පිළියෙල කිරීමේදී සැලකිය යුතු කරුණු අටක් 

එනම් ප්‍රකෘති (natural qualities), කාරණා (preparations), සංයෝග (combinations), රාශි (quantum), දේශ (habitat), කාල (time), උපයෝග සංස්ථා (rules of  use), උපයෝප්තතා (user) ලෙසයි.

ප්‍රකුර්ති (natural qualities)

යම් ආහාරයක පවත්නා ස්වභාවික තත්ත්වය මෙහිදී සලකනු ලැබේ. වර්තමානය වන විට ආහාරයේ ස්වභාවිකත්වය විනාශ කර සාදන විවිධ කෘතිම සංස්කරණ හේතුවෙන් රෝගී වන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. කල් තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණකාරක, රසකාරක ආදිය ස්වභාවික ආහාරවලට එක් කිරීම හේතුවෙන් පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ ආදී කාලීන බෝ නොවන රෝග රැසකට මිනිසුන් ගොදුරු වී ඇත. විශේෂයෙන්ම ළමා පරපුර ගොදුරු වෙමින් පවතී. හැකි තරම් ස්වාභාවික ආහාර ස්වාභාවික තත්වයේම ලබාදීම වඩාත් සුදුසු වේ.

දොඩම් යුෂ – කෘතිම දොඩම් යුෂ වෙනුවට ස්වභාවිකව ගෙදර සාදාගන්න දොඩම් යුෂ ලබාදීම

ධාන්‍ය  අතිරේක ආහාර – වෙළඳපොලෙන් ලබාගත හැකි කෘතිම ආහාර අතිරේක නොමැතිව නිවසේ ධාන්‍ය  අතිරේක ආහාර සකසා ගැනීම

කරණ (preparations)

ස්වභාවික ආහාර, ආහාරයට ගැනීමේදී විවිධ සංස්කරණ සිදු කරයි. එම සංස්කරණ සිදු කිරීමේ දී  ආහාරයේ ප්‍රකෘති ගුණයට හානි නොකර සිදු කිරීමට වගබලාගත යුතුය.

පලා මැල්ලුම් – කොළ සිහින්ව කපා එහි ඇති මේදය/විටමින දියවීමට අවශ්‍ය මාධ්‍ය ලෙස පොල් ස්වල්පයක් එකතු කිරීම පමණක් ප්‍රමාණවත් වේ. එයට රතුළූණු, අමු කහ හොඳින් තමා දමා මද රස්නෙන් ස්වභාවික වර්ණයට හානි  වීමට ප්‍රථම පිස ගත යුතුය. පසුව නිවුණු පසු දෙහි ඇඹුල් දමා ගැන කළවම් කළ යුතුය. නමුත් ඇතැම් පලාත්වල පොල් මෙන්ම තෙල් ද යොදා ගනී. මෙහිදී තෙල් බොහෝ දමා රස්නය වැඩියෙන් කලු පැහැ වන තෙක් පිස ගැනීමේදී එහි තිබෙන විටමින් ඊ හා අනිත් සියලු පෝෂක කොටස් වල ගුණ හානි වීම සිදුවේ.

සංයෝග (combination)

ආහාර ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් මිශ්‍ර කිරීම සංයෝග නම් වේ. මේවා නොදැන මිශ්‍ර වුවහොත් ඒවා රෝග කාරක වේ.

මස් මාලු සමඟ කිරි ආහාර – මේවා වෙන වෙනම ගැනීමෙන් රෝග හට නොගන්නා අතර එකට මිශ්‍රකර ආහාරයට ගැනීම මගින් චර්ම රෝග, කුෂ්ඨ රෝග ඇතිවන බව දක්වා ඇත. 

රාශි (quantum) 

මෙය මාත්‍රාව ලෙසද හැදින්විය හැක. කිසිවිටකත් කුස සම්පූර්ණයෙන් පිරී යනතුරු ආහාර ලබා නොගත යුතු අතරම ආහාර ශාස්ත්‍රය දක්වා ඇත්තේ කුසෙන් හතරෙන් දෙකක් පිරෙන සේ ආහාර ද ඉතිරි කොටස් දෙකෙන් එක් කොටසක් ජලය ද ඉතිරි කොටස ආහාරයට ජීරණයට අදාළ චලනවලට හා වාත සංසරණයට හිස්ව තබාගත යුතු බවයි. ආහාරයෙන් පසු පියවර 100ක් ඇවිදීමට යහපත් බව එහි දක්වා ඇත. එහිදී මාත්‍රාව තම රැකියාව ,රෝග තත්ත්වය, ශරීර බලාබලතාව, ආහාර දිරවීමේ ප්‍රමාණය මත තීරණය වේ. උදේට රජෙක් වගේ, දවල්ට සාමාන්‍ය මිනිසෙකු වගේ, රාත්‍රියට හිඟන්නකු වගේ ආහාර ගන්න කියා සමාජ ව්‍යවහාරයේ දක්වන්නේද මෙයමය. නමුත් කනගාටුවට කරුණ නම් මෙම සංස්කෘතිය වර්තමානය වෙනවිට අපෙන් ගිලිහී යාමය. බොහෝ විට රාත්‍රියට ඉතා සැහැල්ලු ආහාරයක් රාත්‍රි නින්දට පැය 2කට පමණ පෙර ගැනීම බොහෝ රෝගවලින් වැළකීමට හේතු වේ.

දේශ (habitats)

යම් ප්‍රදේශවලට ආවේණික එළවළු/පලතුරු වැනි ආහාර එම ප්‍රදේශවල උපන් පුද්ගලයන් වැඩිපුර ආහාරයට ගත යුතුයි. කාලින වකුගඩු රෝග ,මුත්‍ර ගල් වැනි මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග එවැනි ශුෂ්ක ප්‍රදේශවල ජනතාවට බහුල වේ. මෙවැනි පුද්ගලයන් ආයුර්වේද වෛද්‍යවරු වෙත පැමිණි පසු එම ආහාරම නැවත ඖෂධ ලෙස සංස්කරණය කර ලබාදෙන අවස්ථා ඇත. එවැනි ආහාර පිළියෙල කිරීමේදී අප ජීවත් වන ප්‍රදේශ වල වැඩිපුර හට ගන්නා ආහාර ලබා ගැනීමට වැඩිපුර අවධානයක් යොමු කළ යුතුය.

වියලි පලාත්වල – කොමඩු කැකිරි, පිපිඤ්ඤා, අළු පුහුල් 

කාල (time)

පුද්ගල වයස් කාලය, දේශගුණික විපර්යාසය අනුව උදේ දවල් රාත්‍රී  ලෙස දවසේ කාලය ලෙස බෙදා දැක්විය හැක. 

පුශ්ගල වයසට අනුව කාලය බාල, තරුණ, වෘද්ධ ලෙස වෙන්වෙන අතරම ඒ කාලවලදී ලබා දිය යුතු ආහාර වෙන වෙනම ඇත.

ගර්භණී කාලයට මාසයෙන් මාසයට ගත යුතු ආහාර පිළිබඳව ද ආයුර්වේදයේ වෙන වෙනම දක්වා ඇත.

ළදරු කාලය බොහෝ විට පටක වර්ධනය හා ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් හොඳින් ලැබිය යුතු කාලයකි.

තරුණ කාලය යනු වැඩිපුර හෝමෝන ක්‍රියාකාරිත්වය හා බුද්ධි  වර්ධනය වන කාලයක් බැවින් ඊට අදාළ ගතයුතු ආහාර දක්වා ඇත. 

වෘද්ධ කාලයේ  ශක්තිය රැකගැනීම හා දිරායන පටක කොටස් වළක්වා ගැනීමට රසායනිකව චිකිත්සාවට අයත් ආහාර දක්වා ඇත.

මේ අනුව ආහාර ලබා ගැනීමේදී  කිසිදු රෝගයකට  ගොදුරු නොවී ඉතාමත් ඉහළ ප්‍රතිශක්තියක් ශරීරයට ලැබෙන බව අත්දැකීමෙන් පැවසිය හැක.

උපයෝග (rules of use)

ආහාර ගැනිම පිළිබඳ කරන නියමයන්ය.

  • රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම. 
  • ආහර පිලියෙල කිරීමේදී හා පිලිගැන්වීමේ දී පිරිසිදුව ඉතා ප්‍රිය මනාප ලෙසට පිළිගැන්වීම. 
  • ආහාර ගැනීමේදී ප්‍රිය ප්‍රියමනාප පුද්ගලයා සමඟ ආහාර ගැනීම. 
  • ඉතා ඉක්මනින් කෑම නොගැනීම හා බොහෝ වේලාවක් ඉතා හෙමිහිට කෑම නොගැනීම 
  • ආහාර සෑම විටම උණුසුම්ව ගැනීම ඉතා සුදුසුයි. එමඟින් ආහාර රුචිය උපදවයි. බඩගින්න වඩවයි. ආහාර ඉතා  පහසුවෙන් දිරවීම සිදුකරවයි . 
  • පළමුව ගත් ආහාරය දිරවීමට පෙර තව ආහාරයක් නොගත යුතුය. 
  • ආහාරයට විරුද්ධ ආහාරයක් නොගත යුතුය. (වර්ෂා සහිත ශීත දිනවල ශීත ආහාර ගැනීම)
  • මී පැනි ගිතෙල් සම ප්‍රමාන වලින් නොගත යුතුය. 

උපයෝප්තතා (user)

යම් යම් පුද්ගලයන් යම් ආහාර ලබා ගැනීමේදී ඇති වන ආසාත්මිකතා () අප දැක ඇත. නමුත් ඇතැම් විටක දී යම් ආහාරයක් යමකු විසින් කාලාන්තරයක් සිට ශරීරයට ගැනීමට පුරුදු කර ඇති නම් එය ඔහුට ආසාත්මිකතා ඇති නොකරයි. මෙම සිද්ධාන්තය ආයුර්වේදයේ ඕකසාත්මය ලෙස හඳුන්වයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරු කුඩා දරුවන්ට මාස 6 දී ආහාර පුරුදු කිරීමේ සිට ප්‍රතිශක්ති පද්ධතිය සම්පුර්ණයෙන් වර්ධනය වන අවුරුදු හතක් අටක් කාලය තුළ දී විශේෂයෙන්ම පළමු අවුරුදු එක දෙක තුළදී අසාත්මික විය හැකි පිත බහුල ආහාර අල්ප ප්‍රමාණයක් ලබා දී ශරීරයට හුරු පුරුදු කිරීමට උපදෙස් ලබා දෙයි. 

මෙම කරුණු අට ආහාර සැකසීමේදී  සැලකිලිමත් විය යුතු ලෙස දක්වා ඇත. මෙවැනි ආහාර පිළිබඳ නියමයන් සලකන අපිට සුදුසු ආහාර දෛනිකව සකසා ගෙන ඊට අවශ්‍ය එළවළු පලතුරු ගෙවතු වගාව මඟින් සපයා ගත හැකි නම් අපට අපගේ දරුවන් මෙම පෝෂක හා ක්ශුද්‍ර පෝෂක ඌනතාවලින් ගලවා ගත හැක. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය හංසනී මහීකා සෝමවීර (BAMS col)

ආයුර්වේද  ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි 

මිනිපේ

ඔබත් දරුවා ලැබුණු බිරිඳට ආදරයෙන් සලකන සැමියෙක් වෙන්න

ප්‍රසූතිය හැම අම්මා කෙනෙකුටම දරාගන්න බැරි තරම් සංවේදී සිදුවීමක්. මේ සිදුවීමට මුහුණ දීමට ඇති වන යම් යම් බලපෑම් අම්මගෙ සිතිවිලි එක්ක ගළපා ගැනීමේ දී යම් යම් මත ගැටුම් ඇති වෙනවා. මේවා දරා ගැනීමට ගන්නා උත්සාහයේදී වටපිටාවෙන් ලැබෙන උදව් උපකාර අලුත් මවකට ලොකු පිටුවහලක්.

ජීවනී තම කුළුදුල් දරුවා ලැබීමට නියමිතව පැමිණියා. ඇයගේ කුළුඳුල් අත්දැකීම එක්ක දරා ගන්න වුන වගකීම් ගොන්න ඇයට ගෙනාවෙ මහත් බරක්. මේ නිසා ඇයට කනස්සල්ලක් සාංකාවක්  දැනෙන්න වුණා. ඒත් මේ සිතිවිල්ල යටපත් කරන්න ඇයගේ සැමියාට හැකි වුණා. ඒ ජීවනීගේ සැමියා හැමදාමත් තම බිරිඳ වෙනුවෙන් සිතා බලා කටයුතු කළ නිසයි. ඒ වගේම ගර්භනී වුණ දවසෙ ඉඳලම ඇය සමග සායනයට යන්නත් ඔවුන් සඳහා සකසනු ලැබූ පුහුණු වැඩසටහන් වලට ( පූර්ව ප්‍රසව සැසි ) සහභාගි වෙන්නත් ජීවනීගේ සැමියා අමකත කළේ නැහැ. මේ නිසා ප්‍රසූතියෙන් පස්සෙ අම්මට ඇතිවිය හැකි මානසික ගැටලු ගැන ඔහු දැන සිටියා. ඒ හින්දම ඔහු, ඔහුගේ බිරිඳට දැනෙන්න ආදරය කළා. හැම වෙලාවකදිම ඇයට උදව් කළා. ඒ වගේම කිසිම විටෙක ඔහු තම බිරිඳට අණ කිරීම් කළේ නැහැ. හැමදේම සිදු කළේ යෝජනාත්මක ආකාරයට පමණයි. ඒක කොහොමද කියනවා නම්… ජීවනී, ඔයාට දැන් ටිකක් අමාරුයි නේ… ඔයා ටිකක් හාන්සි වෙන්න, මම දරුවාව බලාගන්නම්… 

ඒ වගේම දරුවාගේ රෙදි ටික සෝදද්දීත් අම්මට විවේකයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි කැමති අකමැති දේවල් ගැන හොයලා බැලුවා. දරුවාට කිරි දෙන කොට වුණත් බබාව අල්ලගන්න උදව් කළා. කිරි දීලා ඉවර උනාමත් බබා අල්ලගෙන ඉඳලා ඔයාගේ අත රිදෙනවා ඇතිනෙ කියලා බබාව අරගෙන ගුඩුස් යවන්න තියා ගත්තා. ඇත්තටම දරුවා තාත්තගේ පපුවට තුරුළු වෙලා ඉන්න විදිය දැක්කහම ඒ බැඳීම් ගැන ඇයට ඇති වුණේ මහත් සතුටක්.

දරුවා අඬන බොහෝ වෙලාවට දරුවාව බලාගන්න සැමියා ඇයට උදව් කළා. ඒ වගේම ලබාගත් සෞඛ්‍ය දැනුම දෙන්නත් එක්ක කතා කරලා බෙදා හදා ගත්තා. ඒ නිසා කිරි දෙන විදිහ, කාලය, ඉරියව් ගැන සාකච්ඡා කරමින් උදව් කළා. ඒ වගේම කිරි දෙන කාලයේ අම්මට ඕනේ කරන අතිරේක පෝෂණය ගැනත් හොයලා බැලුවා. ඒ එක්කම කිරි වැඩෙන ආහාර ගැන සොයා බලා ඒවා ලබාදෙන්නට උනන්දු වුණා. 

සෑම මවකටම ප්‍රසූතියෙන් පසු පෝෂණය ,විවේකය වගේම වැඩපිළිවෙළේදී කාර්යය පහසු කර ගන්නට හැකි ක්‍රමවේද මෙන්ම උදව්ව ද ඉතාමත් වැදගත්. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ සැලසුම් සහගත ලෙස කටයුතු කිරීමයි. සැලසුමක් තුළ වැඩ පිළිවෙළයි. ඒ නිසා කාලය, ශ්‍රමය වගේම මුදලත් ඉතිරි වෙනවා. ඒ විතරක් නෙමෙයි හැමෝගෙම සහභාගිත්වයෙන් කාර්යයන් බෙදා හදා ගැනීමත් මේ සැලසුම් තුළ තියෙනවා. එහෙම උනාම සියලුම දේ පිළිබඳ වගකීම අම්මාට පමණක් එන්නෙ නෑ. පවුල් ජීවිතය තුළ ඇති මේ සංවිධානාත්මක බව මානසික යහපැවැත්මට දැඩි  සේ බලපෑමක් ඇති කරනවා.

රෝහල් පරිසරය තුළ ගොඩනගා ගත යුතු සම්බන්ධතා පිළිබඳව පූර්ව ප්‍රසව සමය තුළදී ලබා ගන්නා දැනුවත්භාවය ද ඉතා වැදගත්. මෙසේ හෙයින් රෝහල තුළ පවත්වන වැඩසටහන් වගේම පූර්ව ප්‍රසව සමය තුළ මවට පියාට රෝහල පිළිබඳව එහිදී ලබා දෙන සේවාවන් හා සම්බන්ධ ස්ථාන මෙන්ම රෝහල තුළදී තමාගේ කාර්යය අන් අයට සහයෝගයක් දක්වමින් කරගන්නා අන්දම පිළිබඳව රෝහල තුළදී දැකබලා අත්විඳීමට ලබා දෙන අවස්ථාවන් වගේම රෝහල් කාර්යමණ්ඩලයේ කාරුණිකව සහයෝගය ලබා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා.

සාමාන්‍ය නිවසක් තුළ තමාට සිතැඟි පරිදි කටයුතු කරන්නට ලැබීමත් සෑම දෙනාගේම ආදරය කරුණාව හා රැකවරණය ලැබෙන බවට සහතික වීමත් සමගින් ප්‍රායෝගිකව පසු ප්‍රසව සමයට සූදානම් විමට ඒ පිළිබඳව ලබාගන්නා දැනුම ආකල්ප මෙන්ම ඒ ඒ අවස්ථාවන්හිදී ඇතිවන බලපෑම් වල ප්‍රතිවිපාක දැන සිටීමත් මගින් මානසික පීඩනය අවම කරවා ගත හැකි මෙන්ම සෑම ගැටලුවක දී ම නිශ්චිත විසඳුමක් සඳහා මගක් ඇති බවත් ඒ සඳහා අත්නොහළ උත්සාහයේ වැදගත්කමත් පවුල තුළ ජනිත කරවීමට හැකි පසුබිමක් සෑම නිවසක් තුළම ගොඩ නැගිය හැකි නම් එය සාර්ථක බවට පිටිවහලක් වනවා නොඅනුමානයි.

එමෙන්ම වේදනාකාරී අත්දැකීමකින් පසුව අවශ්‍ය වේදනා නාශක ලබා දීමත් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුළින් වේදනා සඳහා ප්‍රතිඵලයක් අත් කරගත හැකි බවටත් මව්වරුන් හට දැනුමක් ලැබීම ඉතාමත් වැදගත්.

නින්ද, ආහාර ,ජලය, ඇඳුම් පැළඳුම් ,ස්නානය ආදී ලෙසින් ගත් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි පරිසරයක් ගොඩනගා ගැනීමටත් ඒ ඒ අවස්ථාවන්හිදී සහාය ලැබෙන බවට දැනෙන සහතිකයක් මගින් මවට දැනෙන මානසික අස්වැසිල්ල සුළුපටු නොවෙයි.

හැම ජීවිතයක්ම ජීවත් කරවන්නේ බලාපොරොත්තු ව තුළින් හෙයින් සියලු බලාපොරොත්තු සඳහා සාර්ථක විසඳුම් ලබාගත හැකි පරිසරයක් ගොඩනැගීම එනම් සියලු කටයුතු සඳහා උදව් ලැබෙන බවටත් දුක් වේදනා දරා ගැනීමේ දී සහයෝගය ලැබෙන බවටත් ඒත්තු ගැන්වීම මවගේ මානසික සහනය ඇතිවන බවට හොදම සාක්ෂිය වේවි. මෙසේ හෙයින් අපි සියලු දෙනාම එක්ව අනාගතයට යහපත් දරුවකු තනන මවකට සියලු අවස්ථාවන්හි දී අත්‍යවශ්‍යම පුද්ගලයා වෙමින් දැනෙන සාංකාව කණස්සල්ය නැති කරමින් සිතට දිරියක් වෙමු.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දරුවාගේ ඉගෙනීම එක්වරම පසුබෑම මව්පියන්ට රතු සංඥාවක්ද?

දෙමාපියන්ගේ එකම පැතුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී සමාජයේ හොඳ පුරවැසියෙක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්නට මව්පියන් පසුබට වන්නේ නැහැ. ඒත් දරුවන්ට මොන දේ ලබා දුන්නත් ඇතැම්විට මව්පියන් බලාපොරොත්තුවන තරමේ දියුණුවක් දරුවන් තුළින් දැක ගැනීමට හැකියාවක් නැහැ. ඇතැම් විට දරුවන් සිටින තත්ත්වයෙන් තවත් පහළට වැටී සිටිනවා විය හැකියි. මව්පියන් බොහෝ සෙයින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උනන්දු වන නිසාම නිරෝගි මානසික මෙන්ම කායික සෞඛ්‍ය තත්ත්වයක සිටින දරුවන්ගේ අධ්‍යාපන මට්ටම එක්වරම පහළ වැටීමට හේතු මොනවාදැයි කතා කරමු.  

ඇතැම් දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් උපරිම කැප වෙමින් ඉදිරියට ගියත් නිරෝගි මානසික මෙන්ම කායික සෞඛ්‍ය තත්ත්වයක සිටින ඒ වගේම දුර්වලතාවයන් නොපෙන් වූ දරුවන් වුවත් අධ්‍යාපනය කටයුතුවලදී එක්වරම පහළ බැස්මක් දැකිය හැකියි. මෙය දෙමාපියන් ඉතා කණස්සල්ලයට පත් වෙන තත්ත්වයක්. එවැනි තත්වයකදී අපි ඉතා උනන්දුවෙන් බලන්න ඕනේ ඇයි මේ දරුවා මෙහෙම වෙනස් උනේ කියලා.

හොඳට වැඩ කර කර හිටපු දරුවෙක් එකපාරට වෙනස් වුනොත් එයට හේතුව,

  • දරුවා අපචාරයකට/අතවරයකට ලක්වන භයානක තත්ත්වයක් විය හැකියි
  • පාසලේ දී හෝ නිවසේදී හෝ ඇති ගැටළුවක් නිසා විය හැකියි
  • ඉගෙනීම හොඳින් කරගෙන ගියත් විභාගයකදී මානසික පීඩනය ඇති වන නිසා විය හැකියි
  • යහළුවන් සමඟ ඇති ගැටලුවක් නිසා විය හැකියි (විශේෂයෙන් නව යොවුන් වියේ දරුවන් මව්පියන්ට වඩා යහළුවන් සමග ගැටීම ප්‍රියකරයි. ඒ යහළුවන්ගේ පිළිගැනීම අඩු වුණොත් දරුවෙකුගේ මානසික තත්ත්වය පාහලට වැටෙන්න පුළුවන්)
  • ප්‍රේම සම්බන්ධයක් විය හැකියි (විශේෂයෙන් උසස් පෙළ කරන දරුවන්ගේ ප්‍රේම සම්බන්ධ ගැටළු නිසා අධ්‍යාපනය එක්වර පසුබෑමකට ලක්විය හැකියි)
  • නිවසේ පරිසරය සමග කම්පනයට පත් වන නිසා විය හැකියි (විශේෂයෙන් දෙමව්පියන් අතර ගැටලු/ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය/දෙමව්පියන් වෙන්ව යාම)
  • මත්ද්‍රව්‍ය වලට යොමු වීම නිසා විය හැකියි
  • අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා විය හැකියි

මෙවැනි දරුවන්ගේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය දෙස බැලුවොත් මෙවැනි දරුවන් මේ ගැටළු එක්ක විශාදය වැනි මානසික සෞඛ්‍ය රෝගයකට වුණත් පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් විභාගයට බොහෝ කල් තිබේ නම් දරුවා ටිකක් පාඩම් කරනවා අඩුයි. මොකද එතැන ලොකු ආතතියක් නැහැ. විභාගය ලං වෙත්ම පොඩි ආතතියත් එක්ක දරුවාගේ හැකියාවන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ මානසික ආතතිය නිසා දරුවාගේ දක්ෂතා පෙන්වීමේ හැකියාව අඩු වෙන එක් අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව වෙනකොට අපි ඒකට කියන්නේ මානසික පීඩනයක්. මේක හොඳ ආතතියක් නෙමෙයි. මේක දරුවාට නරක විදිහට බලපාන, දස්කම් පෙන්නන්න අපහසු කරන පීඩනයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ පිටින් එන ආතතිය වැඩි වෙන්න, වැඩි වෙන්න දරුවාගේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. එතකොට දරුවාගේ දක්ෂකම් පෙන්වීමට තියෙන හැකියාව බොහෝ වෙලාවට අඩුවෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අවාසනාවකට තමන්ගේ ජීවිතයට පවා හානි කරගන්න පෙළඹෙන දරුවෝ සිටිනවා. ඒක නිසා ඉගෙනීමේ ගැටලුවක් එනවා නම් අපි ඒක රතු සංඥා සලකුණක් ලෙස බැලිය යුතුමයි. එතැනදී මේ තත්ත්වය කායික ගැටලුවක් නිසා සිදුවෙන දෙයක්ද මානසික ගැටලුවක් නිසා සිදුවෙන දෙයක්ද යන්න පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. 

ඒ වගේම අපි විශේෂයෙන්ම කතා කළ යුතුයි අද වන විට පාසල් දරුවන් බිලි ගන්නට සැරසී සිටින මත්දුව්‍ය උවදුර ගැනත්. මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වී ඇති ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන තත්ත්වයක් සමාජයේ තියෙනවා. එක නිසා දෙමව්පියන් දරුවන් කෙරෙහි අවධානයෙන් ම ඉන්න ඕනේ. දරුවා ටික ටික ලොකු වෙනවා කියලා දරුවත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරල දරුවෝ කොහේද  යන්නේ කියලා සෙවිල්ලෙන් නොසිටියොත් අපිට අපේ දරුවන් රැකගන්න අපහසුයි. දරුවාට යම් ස්වාධීනත්වයක් නිදහසක් දීම අවශ්‍ය නමුත් දරුවා අශ්‍රය කරන පුද්ගලයන් වගේම දරුවා යන එන තැන් කාලය ගත කරන්නේ කා සමගද යන කරුණ සම්බන්ධව මනා දැනුවත් වීමක් මව්පියන් සතු විය යුතුයි. 

අන්තර්ජාලයට ඇබ්බැහි වීමත් අද වන විට බහුල ප්‍රශ්නයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම උසස් පෙළ කරන දරුවන් අතරේ මේ තත්ත්වයය වැඩි වී ගෙන යනවා. සමහර දරුවන් ඉන්නවා අන්තර්ජාල ඇබ්බැහිවීම නිසා එක තැනම වාඩි වෙලා නිරාහාරව මුළු දවසම ගත කරන සමහර දරුවන් සිටිනවා. මෙවැනි තත්ත්වයන් විශ්වාස කිරීමට පවා නොහැකි වුවත් අද පවතින තත්ත්වය ඒ වගෙයි. අන්න ඒ නිසා දරුවෙකු අන්තර්ජාලය භාවිත කරනවා කොපමණ වේලාවක්ද? අන්තර්ජාලයේ දරුවා කරන්නේ මොනවාද යන්න ගැන අවබෝධයක් දෙමාපියන්ට තිබිය යුතුයි.

අපේ දරුවන් අපේ ජීවිතයයි. එක්වරම දරුවෙකුගේ අධ්‍යාපන මට්ටම පහත වැටුණේ නම් ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වනු ඇත. දරුවා නිසි උපදේශන සහ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වන්නේ දරුවාගේ අනාගතය නැවතත් ගොඩ නඟන්නට හැකි ඉක්මනින් දරුවා සුව අතට හරවා ගත යුතු නිසයි. 

දරුවන් වෙනුවෙන් උපරිම අවධානයක් ලබා දිය යුතුම වටපිටාවක අද වන විට අප ජීවත් වේ. අන්තර්ජාලය, මත්ද්‍රව්‍ය ඒ වගේම දරුවන් අපචාරයන්ට ලක් වීම යන ගැටලු දිනපතා අසන්නට ලැබීම සැබවින්ම අවාසනාවකි. දරුවාගේ අධ්‍යාපනය සාර්ථකව සිදු කර ඔහු/ඇය සමාජයට වැඩදායී පුද්ගලයෙකු බවට පත් කිරීමට සහය විය හැක්කේ මෙවන් ගැටලුවලින් දරුවා මුදවා ගැනීමෙන් බව දැන් ඔබට වැටහෙනු ඇත. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය

තද අව්වේ දරුවෝ යවනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

මේ දින වල විටින් විට වැස්සත් වැඩි වේලාවක් අධික සැර හිරු එළියක් තියෙන නිසා දහවල් කාලයේ නිවසින් පිටතට යාම හරිම අපහසුයි. මෙසේ වෙනස් වන කාළගුණික තත්ත්වයත් එක්ක ඇතැම් රෝග ව්‍යාප්ත වෙන ආකාරයත් දැකගන්න පුළුවන්. ඒ ලෙඩ රෝග වගේම සැඩ හරු රැස්වලට නිරාවරණය වීම නිසා සමේ රෝග ඇති වීමේ ප්‍රවණතාවයත් වැඩියි. කාලගුණික වෙනස් කම් අපේ සමට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා අපි දැනුවත් වෙමු.

වෛද්‍යතුමියනි, සැඩ හිරු රැස් අපේ සමට බලපාන්නේ කොහොමද?

මේ  දිනවල බොහෝ දුරට තියෙන්නේ වියළි උෂ්ණත්වය සහිත කාලගුණයක්. හිරු රැස් සැඩයි. මේ හේතුවෙන් වැඩිපුර දහඩිය දැමීම වගේම සැඩ හිරු රැස්වලට නිරාවරණය වීමත් සිදු වෙනවා. මේ හේතු දෙක නිසා අපේ සමේ යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි. 

හිරු කිරණ හැම විටම සමට අහිතකරද?

හිරු කිරණ හැම දෙනාටම සහ හැම විටම සමට අහිතකර නෑ. අපට අවශ්‍ය විටමින් ඩී විශාල වශයෙන් නිපදවන්නේ දහවල් හිරු කිරණ සමට පතිත වීම මගින්.  අප රටේ බහුතරයක් දෙනා විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව පරීක්ෂණ මගින් පෙන්වා දී  තිබෙනවා. එනිසාම අපේ ජනතාවගෙන් වැඩි පිරිසකට උදේ 10 සහ සවස 3 අතර විනාඩි 15 – 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම මගින් දෛනික විටමින් ඩී අවශ්‍යතාව සපුරා ගත හැකියි. නමුත් හිරු රැස් ඉතා තදින් පතිත වන විට සහ වෛද්‍ය උපදෙස් මත හිරු කිරණ වලට නිරාවරණය වීම නුසුදුසු අයට මෙම ක්‍රමයට විටමින් ඩී ලබා ගැනීමට උත්සාහ කිරීම සුදුසු නෑ.

දැඩි හිරු රැස්වලට නිරාවරණය වීම නිසා සමට සිදුවිය හැකි හානි මොනවද? 

දැඩි හිරු රැස්වලට නිරාවරණය වීම නිසා සමේ වියළි ගතිය වැඩි වෙනවා. ඒ වගේම දහඩිය දැමීම වැඩි වන නිසාත් සමේ තෙතමනය අඩු වෙලා සම වියලි වෙනවා. ඒ විතරක් නෙවෙයි, දහඩිය දැමීම වැඩි වුණාම දහඩිය බිබිලි ඇති වෙනවා වගේම තෙත් ගතිය වැඩි නිසා බිබිලි තෙත් ආසාදනය විය හැකියි. ඊට අමතරව විශේෂ හේතු මතත් සමට හානි විය හැකියි. 

සමට හානි විය හැකි විශේෂයෙන් ඇති වන තත්ත්ව මොනවද?

වියලි බව සහ වැස්ස නිසා සමහර කෘමීන් බෝ වෙනවා වැඩියි. මදුරුවන් වගේ ලේ උරා බොන සතුන් වැඩිපුර මේ කාලයේදී වැඩි වශයෙන් බෝ වෙනවා. මේ කෘමීන් දෂ්ට කිරීම නිසා අසාත්මිකතා ඇති විය හැකියි. සාමාන්‍යයෙන් අපපේ වැඩිහිටියෝ මදුරු බිබිලි, මදුරු ලප කියලා හඳුන්වන්නේ මේ වගේ තත්ත්ව. මේවා දරුවන්ගේ වගේම වැඩිහිටයන්ගේත් දකින්න පුළුවන්.

වියළි සුලඟ එක්ක වැලි දූවිලි ගෙදරට එනවා වගේ බල්ලෝ බළල්ලු වගේ සත්තූ නිවස තුළ නොසිටියත් මිදුලේ ඉන්නවා නම් ඒ සතුන්ගේ ඇ‍ගේ සිටින මැක්කෝ/කිනිතුල්ලෝ වගේ සත්තූ ගේ ඇතුලට එනවා ඉතින් ඒ වගේ අය නිසා ඇතිවන දශ්ට කිරීම් වුනත් මේ කාලයේදි දකින්න පුලුවන් . 

ඊටත් වඩා අපි දකිනවා දැන් සාමාන්‍ය විදුලු බල්බ විදුලි ආලෝකය බල්බය වටේට කැරකෙන චූටි කෘමී සත්තූ. මේ කෘමීන් අපේ ශරීරය මතුපිට පොඩි උනොත් (බොහෝ විට මෙය එසේ සිදු වන්නේ මදුරු දැලක් භාවිතා නොකිරීම නිසයි) හෝ නොදැනුවත්ව සතෙක් හමේ ගෑවුනොත්/ වැහුවොත් නින්දෙදි වුනත් ස්වභාවික ප්‍රතික්‍රියාවක් විදියට සිද්ධ වෙන්නේ පිස දා ගැනීඹයි. එහෙම නැත්නම් අතේ නැමෙන තැනකට ගියොත් එහෙම නැත්තම් ඇඟට යට වෙලා පොඩි වෙන්න පුළුවන්. මේ විදිහට පොඩි වුනාම පොඩි වතුර බිබිලි ඇති වෙනවා. ඒ බිබිලි ඉතාම තදින් කසනවා. දවස් කිහිපයකින් කෘමි සතා ගෑවුණේ නැති තැන්වලත් සමහර වෙලාවට බිබිලි ඇති විය හැකියි. ‍මෙහෙම වුණාම අපේ වැඩිහිටියෝ බොහෝ විට හිතන්නේ කැරපොත්තෙක් ගෑවිලා එහෙමත් නැත්නම් මුත්‍රා කරලා කියලයි. 

දැඩි හිරු රැස්වලට නිරාකරණය වීම නිසා චර්ම රෝග ඇති වීම වළක්වා ගැනීමට කළ යුත්තේ මොනවාද?

 පුංචි දරුවන්ගේ බොහෝ විට අපි දකින්නේ මුහුණේ සුදු පැහැති කසන සුළු ලප. මේවා අම්මලා හිතන්නේ අලුහම් කියලා. ඒත් මේ අලුහම් නෙවෙයි. අලුහම් කියන්නේ දිලීරයක් නිසා ඇති වෙන තත්ත්වයක්. මේ සුදු පැහැති ලප මුහුනේ උඩ කොටසේ ඒ කියන්නේ ඇස් අවට/කන්/කම්මුල්වල ඇති වෙනවා. බොහෝ විට නිකට පෙදෙසට වෙන්න මේ ලක්ෂණ බොහෝම අඩුයි. ඒත් බාහිරට නිරාවරණය වුනු ප්‍රදේශවල ලක්ෂණ පෙන්නුම් කරනවා.

බොහෝ විට මුහුණේ සුදු ලප ඇති වුණත් සිරුරේ අනෙක් ප්‍රදේශවල අපි අර කලින් කිව්වා වගේ සිරුරේ නිරාවරණය වන තැන්වල කැසීම සහිත බිබිලි ඇති වෙනවා. මෙතැනදී සිදු වන්නේ හිරු එළියට නිරාවරණය වීම නිසා සමේ වර්ණක යම් විනාශ වීමකට පිලිස්සීමකට භාජනය වීමයි. ඒ නිසා ප්‍රධාන දේ හිරු කිරණෙන් ආරක්ෂා වීමට යම්‍ යම් උපක්‍රම යොදා ගැනීමයි. 

දැඩි හිරු රැසෙන් ආරක්ෂා වීමට ‍යෙදිය හැකි උපක්‍රම මොනවාද?

හොඳට මුහුණට සෙවන වැටෙන විදිහට හොඳ තොප්පියක් පාවිචි කරන්න දරුවන්ට ඉගැන්විය යුතුයි. ඒ වගේම හැකි නම් හිරු ආරක්ෂක ආලේපනයක් පාවිච්චි කළ හැකියි. නමුත් හිරු ආරක්ෂක ආලේපන මිල අධිකයි. නිවැරදි විදියට හිරු ආරක්ෂක ආලේප පාවිව්චි කිරීම දරුවන්ට (විශේෂයෙන් කුඩා දරුවන්ට) අපහසුයි. ඒ ආලේපනය ටිකක් ඝනකමට ආලේප කළ යුතුයි. ඒ වගේම හැම පැය දෙකකට වරක් වගේ නැවත ආලේප කළ යුතුයි. කුඩා දරුවන්ට මේ දේවල් ගැන අවබෝධයක් නැහැ. එහෙමයි කියලා දරුවන්ගේ බාහිර ක්‍රියාකාකරම් නතර කළ යුතු නැහැ. ඒවා දරුවන්ගේ සංවර්ධනයට ඉතාම වැදගත් වෙනවා. අන්න ඒ නිසා දරුවන්ට මේ තත්ත්වය තේරුම් කරලා දීලා හිරු එළියෙන් හොඳට ආරක්ෂා වන ලෙස උපදෙස් ලබා දී තොප්පියක් පාවිච්චි කිරීමට හුරු කිරීම වඩාත් සුදුසුයි. වැඩිහිටියන් වුනත් තොප්පි/කුඩ පාවිච්චි කිරීම සහ තමන්ගේ ශරීරය හැකි තරම් ආවරණය වන ඇඳුම් ඇදීමට කල්පනාකාරී විය යුතුයි.

සමහර දෙමව්පියන් හිරු ආරක්ෂක ආලේප ගල්වලාම දරුවන් පාසැලට යවනවා. ඒත් නැවත නැවත මෙය අ‍ාලේප කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඔබ කියන විදියට එය අසාර්ථකයි නේද?

ඔව්.. සාමාන්‍යයෙන් දරුවන් පාසැලෙන් පස්සේ දවල් කාලෙ තමයි ක්‍රීඩා පුහුනු වීම් කරන්නේ. ඒ නිසා  උදේ දරුවා පාසලට යන කොට හිරු ආරක්ෂක ආලේපන ආලේප කර යැවීම තේරුමක් නැහැ‍. ඇත්තටම මේ වෙද්දී පාසැල් මට්ටමේ සිටම මේවා සම්බන්ධව යම් වෙනසක් ඇති විය යුතුයි. දෙමාපියන් විතරක් නෙවෙයි මෙතනදී ගුරුවරුත් උනන්දු විය යුතුයි. ගුරුවරුන්ටත් දරුවෝ එක්ක මේ හිරු එළියේ ඉන්න වෙනවා. ඔවුන්ගේත් ශරීරය හිරු එලියට නිරාවරණය වෙනවා. ඉතින් ගුරුතුමියගේ සිට පටන් ගෙන අපි හිරු ආරක්ෂක ආලේපන භාවිත කළ යුතුයි. දරුවන් හා ගුරුවරුන් මේ කටයුතු සදහා එළියට එන්නේ දහවල් 1.30, 2.00 වගේ නම් හිරු ආරක්ෂක ආලේපන භාවිත කළ යුත්තේ ඒ අවස්ථාවේදීයි. ඒ නිසා ගුරුවරු මේ ගැන දැනුවත් වීමෙන් ගුරුවරයාට තමනුත් ආරක්ෂා වෙලා දරුවනුත් ආරක්ෂා කරගන්න සහය විය හැකියි. 

අපේ ශ්‍රී ලංකා කණ්ඩායම මේකට හොඳම උදාහරණයක්. මොකද ඔවුන් ඉතා නිවැරදි විදියට හිරු ආරක්ෂක ආලේපන හරිම ක්‍රමයට පාවිච්චි කරනවා. ඔවුන් ගැල් වූ ආලේපනය සුදු පැහැයට පේනවා ඔබත් දැක ඇති. අනෙක් ක්‍රීඩාවලදීත් මේ ආකාරයට හිරු ආරක්ෂක ආලේපන භාවිතයට හුරු ‍විය යුතුය. 

දැඩි හිරු රැස් මේ තරම්ම අපේ සමට අහිතකර වෙන්න හේතුව මොකද්ද?

මේ ගැටලු එන්නේ පාරජම්බුල කිරණ නිසා. ඕසෝන් වියනට එන්න එන්නම හානි වෙනවා. ඒ නිසා අහිතකර කිරණ අපේ පොළොවට ළගා වීම එන්න එන්න වැඩි වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ රටවල සමේ පිළිකා හැදෙන ප්‍රමාණය පසුගිය අවුරුදු පනහ වගේ කාලය තුළ හත් අට ගුණයකින් වැඩිවෙලා. ඒ නිසා ඒ වගේ රටවල හිරු ආරක්ෂණ ආලේපන භාවිත කිරීම අත්‍යවශ්‍යම හැමෝටම වගේ දෙයක්. අපිටත් මේක පුරුද්දක් කරගත යුතුව තියෙනවා. මොකද හිරු කිරණින් අපට වෙන හානිය වැඩීයි. අපිට  සොබාදහම වෙනස් කළ නොහැකි නිසා සොබාදහමට අනුගත වෙන විදියට අපි අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට