රැකියාවල නියුතු මව්වරුන් දරුවන් සම්බන්ධයෙන් සිතිය යුතුම පැති 5ක්

දරුවෙකු මේ ලෝකයට බිහි කිරීම අම්මා කෙනෙකුට ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එවන් වූ අසීමිත දුක් වේදනාවන් සියල්ලම සැපතක් යැයි සිතා මෙලොවට දායාද කරන දරු පැටියා ආදරයෙන්, දයාවෙන් රැක බලා ගැනීමත් අම්මා කෙනෙකුගේ ජීවිතයේ නොදැනීම සිදු වෙන කටයුත්තක්. අම්මෙක් වූ පමණටම ඔබ අම්මා යැයි සෑහීමට පත් විය නොහැකියි. දරුවන් මුල් කර ගෙන ඔබ අතින් සිදු විය යුතු, ඔබ වැදගත් යැයි නොසිතන අවස්ථාවන් ඇති. ඇතැම් මව්වරුන් දරුවන්ට ළං වන්නේ කෙසේ හෝ දරුවන්ට පාසැල් වැඩකටයුතු කරවීමට පමණි. එයින් පසු ඔවුන් කොහේ කුමක් කරනාව ඇතිද යන්න ගැන මව්වරුන්ට වගක් නැති අවස්ථා අපි කොතෙකුත් දැක ඇති. මේ ලිපිය සකස් වෙන්නේ මෙවැනි කරුණු මත ඔබ නොදැනුවත්ව දරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

  1. දරුවන්ගේ පිරිසිදු බව

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒ වගේම ඕනෑම කෙනෙකු පිරිසිදුව,පිළිවෙළට සිටින දරුවන් දෙස බලන්නේ ආදරයෙන්. එය නොදැනීම සිදු වෙන දෙයක්. අම්මෙක් විදිහට මොන තරම් රාජකාරි බහුල වුනත් දරුවාගේ ශාරිරික පිරිසිදුකම ගැන වැඩි අවධානයක් දැක්විය යුතුම වෙනවා. එතැනදී ඔබට මහමෙරක බරක් පැවරෙන්නේ නැහැ.

උදේට දරුවාගේ දත කට මැද මුහුණ සෝදවා, හිස පීරා පිරිසිදු ඇ‍ඳුමක් ඇන්දවීම දවසේ මුල්ම කාර්යයි. මේ අන්දමින් දරුවාගේ ශාරිරික පවිත්‍රතාවය ගැන අම්මා කෙනෙක් විදිහට සැලකිලිමත් නොවුනොත් දරුවාටත් එවැනි පුරුද්දක් ඇතිවිය හැකිද යන්න ගැටලුවක්. උදේ නැගිටින දරුවා සවස තුන හතර වන තුරු මුහුණ ක නොසෝදා දවස ගත කිරීම සැබවින්ම කණගාටුවට කරුණක්.

  1. දරුවාගේ මල පහ සහ මුත්‍රා ගැන නොසලකා ඉන්න එපා..

දරුවන්ගේ මලපහ පිට කිරීම ගැනත් අම්මාගේ සැලකිල්ල ඉතාම වැදගත්. මල පහ පිටවීමේ පුරුදු සහ අසීරුතාවයන් සමග විවිධ පෙර නිමිති සම්බන්ධයි. සමහර දරුවන්ගේ බඩ වියලීම නිසා දරුවන් මල පහ පිටකිරීමේදී මහත් අපහසුතාවයට පත් වෙනවා. මේ තත්වය මොනතරම් දරුණුද කියනවා නම් සමහර විට එය මානසිකවත් ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථාවලදී බඩවැල් ආශ්‍රිත රෝග නිසා මෙවැනි අපහසුතාවයන් ඇති විය හැකියි. දරුවා මල පහ පිටකිරීමට බියක් දක්වන තරමට මේ ගැටළුව දරුණු වෙන්න පුලුවනි. අම්මා කෙනෙකු විදිහට ඔබ දරුවාගේ මෙම අපහසුතාවය තේරුම් ගත්තේ නම් ඒ වෙනුවෙන් ආහාර සහ වෛද්‍ය උපදෙස් මගින් දරුවාගේ ගැටළුව සැහැල්ලු කරන්න පුලුවනි.

සමහර දරුවන් මුත්‍රා පිටකිරීමේදීත් අපහසුතාවයන්ට පත් වෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල පැහැය විවිධ රෝග තත්වයන්ට හේතු වෙන නිසා ඒවා ගැන කල් තබා දැනගෙන දරුවාට ප්‍රතිකාර කිරීමට  හැකියාව ලැබෙන්නේ අම්මා මේ ගැන අවධානයෙන් සිටියොත් පමණයි.

  1. ලස්සනට අඳින්න…

දරුවා පිරිසිදුවට ලස්සනට අන්දවා තබා ගත් විට දරුවාගේ ධනාත්මක චින්තනය වර්ධනය වෙනවා. ඒ වගේම තමා ගැන ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. හැම දෙනාගේම ආකර්ශනය තමා වෙතට ඇති බැව් දරුවාට ඒත්තු යනවා. මේ නිසා දරුවෙකුට විය පැහැදම් කරමින් නොව තමාගේ ශක්තියෙන් තිබෙන ඇදුම් කීපය වුනත් සෝදා පිරිසිදු කර පිළිවෙළට අන්දවා තැබීමෙන් ඔබටත් නොදැනීම ඉහත හැකියාවන් ඔවුන් තුළ ගොඩ නැගෙනවා.

  1. නිතරම අවධානයෙන් ඉන්න

ඔබ රාජකාරි බහුල අම්මා කෙනෙක් වුනත් ඒ අතර ලැබෙන ඇසිල්ලකදී නිවසේ දරුවන් ගැන සොයා බැලීම වැදගත්. හරි හැටි යමක් කර කියා ගැනීමට නොහැකි වයසේ සිටින දරුවන් මෙන් නොව වයස අවුරුදු තුන හතරක් වුන දරුවන් ගැන අම්මාගේ ඇස ඇය කොතැන සිටියත් යොමු වීම ඉතාම වැදගත්. මෙවැනි වයසක දරුවන් රැකබලා ගැනීමට කවුරු හෝ සිටියත් අම්මා ලෙසින් ඔබ දරුවන් ගැන ලැබෙන විවේකයේදී හෝ විමසා බලන්න. තම කටයුතු කෙසේ හෝ නිමවා රැකියාවට පිටත්ව යාමට වඩා දරුවන් පිළිබඳව නිසි සැලකිල්ල අවධානය යොමු කොට තම කාර්යයට පිටත් වීම ඔබගේ වුවද මනසට සහනයක් බව ඔබට වැටහේවි.

  1. සම්බන්ධ වීමට මාර්ගයකුත් ඕන

සමහර විට ඔබේ දරුවා රැක බලා ගන්නේ ඔබේ මව විය හැකියි. එසේ නොමැති නම් සේවිකාවක විසින් විය හැකියි. මේ කවුරුන් හෝ වේවා ඔබ සම්බන්ධ කර ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන ඔවුන් දැණුවත් කරන්න. මේ වෙනුවෙන් ඔබට සාමාන්‍ය ජංගම දුරකථනයක් තිබුනොත් ඇති. එහි අංකය කොතැනක හෝ සටහන් කර තබන්න. ඔබට ජංගම දුරකථනයක් නොමැති නම් ඔබේ කාර්යාලයේ හෝ ඔබට ඉතාම ඉක්මනින් පනිවිඩයක් ලබා ගත හැකි මිතුරෙකුගේ දුරකථන අංකය හෝ දරුවා සමග  නිවසේ රැදී සිටින අයට ලබා දීමත් වැදගත්.

 

පිහිනීම

ඉස්සර නම් දරුවන්ට පිහිනීම අමුතුවෙන් ඉගැන්විය යුතු පාඨමාලාවක් වුනේ නැහැ.ඒත් අද පිහිනීම වෙනුවෙන් දරුවන්ට ගැලපෙන තැනක් නොවීම නිසාම ඒ වෙනුවෙන් බාහිරව ඉගෙන ගැනීමට සිදු වී තිබෙනවා.ඒ කොහොම වුනත්  පිහිනිමේදී අප විසින් තරයේ මතකයේ තබා ගත යුතු කරුණුත් නැතුවාම නොවෙයි. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශාරිරික අධ්‍යාපනය පිළිබඳ ( විශ්‍රාමික ) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ  නුවරඑලිය දිස්ත්‍රික්කයේ මළලක්‍රිඩා පුහුණුකරු ජේ. ජයලත් මහතා විසින්

පිහිනීම අපිට පුරුදු වෙන්නේ මව්කුස සිටියදීමයි. ඒත් අපි මෙලොව එලිය දුටුවාට පසුව මව්කුසේ සිටියදී තිබුන පරිසරය අපට නැහැ. ඒත් අපේ ජනවහරට අනුව කියනවා බල්ලන්ට පිහිනන්න උගන්වන්න අවශ්‍ය නැහැ කියලා…වතුරට බලු පැටියෙක් දැමූ විට පාද හතර චලනය කර මද වේලාවකින් පිහිනන්න පටන් ගන්නවා. ඒ බල්ලාගේ සහජ හැකියාව නිසයි. දරුවෙක් වුනත් උපත ලද විට ජලයට දැම්මොත් පිහිනීමට උත්සාහ ගන්නවා. ඒ වගේම ජලයේදී ශ්වසනය කිරීමේ හැකියාව දරුවාට තිබෙනවා.

පිහිනීමේ ඇති වාසි මොනවාද..

පිහිනීමෙන් අපට විවිධ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි, සිරුරේ මනා හැඩයක් පවත්වා ගැනීමටත් හෘදය සහ පෙනහළුවල නීරෝගිතාවය වෙනුවෙනුත් පිහිනීම ඉතාම හොඳ ක්‍රිඩාවක්. ඒ විතරක් නොවෙයි, තමන්ගේ ආත්මාරක්ෂාව වගේම තවත් අයෙකුගේ ජීවිතය ගලවා ගැනීමටත් අපි විසින් පිහිනීම ප්‍රගුණ කර සිටීම ඉතාම වැදගත්.

පිහිනීමේ රටාවන් කීපයක් තිබෙනවා.

නිදහස් ආර

සාමාන්‍යයෙන් අනෙකුත් පිහිණුම් ක්‍රමවලට වඩා වේගයෙන් පිහිනිමේ හැකියාව තිබෙනවා. තමාට රිසි ලෙසින් නියමිත දුර පිහිනා අවසාන කළ හැකියි.

පසුපස ආර

මෙහිදී දියට පැනීමෙන්ම ආරම්භය සිද්ධ වෙන්නේ නැහැ. තටාකයට බැස ආරම්භක ස්ථානය අත් දෙකින්ම අල්ලාගෙන දෙපා එම ස්ථානයටම ගෙන පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි පරිදි සූදානම් වෙනවා. මෙහිදි දෙපා, විලුඹ.ඇඟිලි සහ දෙපා ජල මට්ටමින් ඉහළ නොසිටන සේ සිටීමට අවශ්‍යයි.ආරම්භක සංඥාවේදී පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි අතර තරඟය අවසාන ස්ථානය ස්පර්ශ කරන  තෙක්ම පසුපසටම හැරී සිටීම වැදගත්.

ලය ආර

තරඟ ආරම්භය දියට පැනීමෙන් සිද්ධ වෙනවා. ආරම්භයේදීත්, තටාකයේදී ආපසු හැරීමේදීත් හැර අනෙකුත් හැම අවස්ථාවකම උරහිස්  දෙක දිය මතුපිට සමාන්තරව තිබීම අවශ්‍යයි.

ඩොල්පින් ආර

ආරම්භය දියට පැනීමෙන් සිදු වෙනවා. පිහිනන විට අත් දෙකම එකවර දිය මතුපිටින් ඉදිරියට ගෙන එකවර පසුපසට ඇදිය යුතුයි.

ගොඩ ඉඳන් පිහිනන්න බැහැ …මේ වගේ අය දියට හුරුව ලබා ගන්නේ කොහොමද..?

ජලයට තිබෙන බිය නැති කිරීම ඉතාම උපායහීලීව සිදු වෙන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රම කීපයක් තිබෙනවා.

  • පාද පිහිනීමට හුරු කිරීම
  • දෙපා චලනය හුරු කිරීම
  • දෙඅත් ක්‍රියාත්මක කිරීම
  • හුස්ම ගැනීම පාලනය කිරීම

පිහිනීමට පෙරාතුව මතක තබා ගත යුතු හෙවත් ජීවිතාරක්ෂාවට වැදගත් විය හැකි සහ අනුගමනය කළ යුතු පිලිවෙත් කීපයක් තිබෙනවා.

ආහාර ගත් විගස දියට බසින්න එපා.

කුසගින්නේ දියට බැසීමත් නොකල යුතුයි.

තද සීතල වගේම උණුසුම් අවස්තාවන්හිදී

ශාරිරික ආබාධයන්ගෙන්, තුවාල, මීමැස්මොර තත්වය සහ හෘදරෝග ඇති තැනැත්තන් ප්‍රවේසම් වීම වැදගත්.

පාලු හෝ  කිසිවෙකුගේ අවධානය නැති තැන් වලත් දියට බැසීම නොකල යුතුයි.

බීමත්ව දියට බැසීම අනතුරුවලට හේතුවක්.

පිහිනීමට පෙරාතුව සුළු ව්‍යායාම්වල යෙදීම වැදගත්.

පිහිනීමට සුදුසු ඇඳුමක් අවශ්‍යයි. සරම් වැනි පැටලෙන ඇඳුම් සුදුසු නැහැ.එහි වර්ණය සුදු නම් වඩාත් යෝග්‍යයි.

කටේ යමක් තබා ගැනීම සුදුසු නැහැ.

ජලයට බැසීමට පෙරාතුව සිරුර තෙමා නොගත යුතුයි.

පිහිනීමේදී වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගැනීම වැදගත්. ඒ නිසා පිහිනන විට අනවශ්‍ය විදිහට වීරත්වය පෙන්නුම් කිරීම අවශ්‍ය නැහැ. එක් එක් අයගේ පිහිනීමේ හැකියාවන් වෙනස් නිසා තමන්ගේ තරමට අනුව ජලයේදී කටයුතු කලොත් ආරක්ෂාව ගැන එතරම් ගැටළුවක් නැහැ.

ඒ වගේම සිරුරට සීතල දැනෙන තුරු දියේ සිටීමට වඩා කල් වේලා ඇතුව ගොඩට ඒමත් වැදගත්. සීතල වැඩි වීම නිසා කෙණ්ඩා පෙරලීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවන්.ඒ වගේම පිහිනන විට තමන්ට කිසියම් අපහසුතාවයක් දැනනවා නම් කල් වේලා ඇතුව ගොඩට පැමිණීමත් වැදගත්. සමහර අවස්ථාවලදී අපහසුතාවය දැනි දැනීම ජලයේ රැඳී සිටියොත් එයින් ඇති විය හැකි අවදානම ඉතාම ඉහල වගේම පාලනය කර ගත නොහැකි තරම් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ට යාන්තමින් හෝ අපහසුතාවයක් හෝ අමුත්තක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගොඩට පැමිණීම ඉතාම වැදගත්.

 

වෙළඳපොළට යන දෙමව්පියන්ට උපදෙස්

ටිකෙන් ටික රට විවෘත වෙන මේ වේලාවේ අපේ අම්මලා තාත්තලාටත් විිවධ අවශ්‍යතාවයන් වෙනුවෙන් සමාජය සමග ගැටෙන්න වෙනවාමයි. කොරෝනා කියලා හැමදාමත්  සැගව ජීවත්වෙන්නත් බැහැ.අපි කෙසේ හෝ කොරෝනා සමග ජීවත්වෙමින් වෛරසය පරාජය කළ යුතු කාලය දැන් ඇවිත්..

දැන් තිබෙන අලුත්ම ආරංචිය අනුව සුපර් මාර්කට්වල තිබෙන ඇසුරුම් ට්‍රොලි වල වගේම සුදු යකඩෙන් නිර්මානය කර තිබෙන දොර කොරෝනා බෝ කරන තෝතැන්නක් වීමට පුලුවනි.ඊට හේතුව මේ පෘෂ්ට මත කොරෝනා වෛරසයේ ජීව කාලය දින තුනක් පමණ පවතින්න පුලුවනි.. ඒ නිසා මේ පෘෂ්ට තඹ වලින් නිර්මානය කිරීමෙන් වෛරසයේ ජීවකාලය අවම කර ගැනීම ගැනත් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.එතෙක් අපි කොරෝනා සමග අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙළදපොළ ගනුදෙනු කරන්නේ කොහොමද..?

ඉස්සර වගේ දරුවන් මාර්කට් ගෙන යන්න එපා..

ඉස්සර නම් දෙමව්පියන් සමග පුංචි පැටව් සුපර් මාර්කට් ගිහින්,ඔවුන්ගේ අවශයතාවයනුත් අරගෙන ආ කාලයක් තිබුනත් දැන් නම් පුංචි අය නිවසේ තබා දෙමව්පියන් පමණක් වෙළදපොළට යා යුතුයි. ඒ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔවුන්ටත් කියා දෙන්න.

ඔබත් අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න

ඉස්සර නම් ඔබ අවශ්‍යතාවයන් මිළට ගත්තේ වෙළදපොළ රාක්කයට රකේකයට යමින් වුනත්දැන් ඒ පුරුද්දෙන් මිදෙනන්. එක පැත්තකින් දැන් වෙළදපොලට හෝ ෆාමසියට ගන්නේ සීමිත පිරිසක්.ඔබ අනවශ්‍ය විදිහට කාලය ගෙවීම නිසා පිටත සිටින පිරිසට තවත් වේලාවක් එසේ සිට ගෙන සිටින්න වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් අවශ්‍යතාවයන් සපුරා ගනු පිණිස අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න.මේ ගැන අදහස් ඉදිරිපත් කරන ජර්මනියේ වයඹදිග වෛද්‍ය විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි සඳහන් කරන්නේ ”දැන් ආවේගශීලී සවාරිවලට කාලයක් නොවන බවයි.

ඔබට පිටතට යාමට අවශ්‍ය නම්, “ආවේගශීලී සාප්පු සවාරියක් කිරීමට මෙය කාලය නොවේ” යැයි වයඹදිග වෛද්‍ය විද්‍යාවේ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි පවසයි

දොර අරින්න…ට්‍රොලියක් ගන්න වෙනවා..

සුපර් මාර්කට් යන විට ඔබ මුව ආවරණ වග්ම අත් ආවරණත් පැළඳගෙන යෑම අනිවාර්ය බැව් දැන් දන්නවා. අත් ආවරණ පැළදගෙන ගියත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් මද්‍යසාර අඩංගු සේදුම් දියරයක් පාවිච්චි කරන්න. සුපිරි වෙළඳසැල් මගින් මේවා සපයනු ලැබුවත් දැන් නම් තමන්ගේ පාවිච්චියට සෞඛ්‍යාරක්ෂක සේදුම් දියර ඔබ වෙත තබා ගන්න. එවිට එය ඔබටම පාවිච්චි කරන්න පුලුවනි.

මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා..

සුපිරි වෙළදසැලෙන් එබේ අවශ්‍යතාවයන් ඉස්ට කර ගෙන පිටවෙන තෙක්ම විටින් විට මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා. මුඛ ආවරණය වුනත් නාසය සහ මුඛය වැසෙන සේ පැළද ගන්න අමතක කරන්න එපා.

පිටට පැමිණි පසුවත් අත් සෝදන්න

ඔබේ කටයුතු අවසානයේදී පිටතට පැමිණ නැවත නිවසට යන්නට පෙරාතුවත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා.හදිසියේ හෝ කොරෝනා වෛරසයේ බිදිති ඔබ සමග නිවසට එන්න පුලුවන් නිසා හැකි ඉක්මනින්ම අත් සෝදා ගෙන නිවසට පැමිනීමට පිටත් වෙන්න.

සනීපාරක්ෂක දියර වාහනයේ තබන්න එපා

මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර වාහනයේ හිරු එළියට නිරාවරනය වෙන අන්දමින් තැබීම නිසා ඒවා පුපුරා යෑමේ අවදානමක් තිබෙනවා. පසුගිය දිනක විස්කොන්ස්හි දී උණුසුම් කාලගුණය තුළ මෝටර් රථයක් තුළ මත්පැන් මත පදනම් වූ අත් සනීපාරක්ෂක යන්ත්‍රයක්  පුපුරා ගියා. මේ නිසා විස්කොන්ස්හි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙන්නේ අතේ ගෙන යා හැකි සනීපාරක්ෂක දියර බෝතලයක් තමන්ගේ සාක්කුවේ බහා ගෙන යෑම වඩාත් ආරක්ෂිත බවයි.

 නිවසට එක්වරම ඇතුලු වෙන්න එපා

නිවසට ඇතුලු වීමට පෙරාතුව ඔබේ ඇදුම් සියලල්ම සෝදන්න දැමීම වඩාත් හොදයි. පාවහන් කිසිම විටෙක නිවසේ ඇතුල තබන්න එපා. මුඛ ආවරණයත් ගලවා ඉවත් කරන්න.නැවත පාවිච්චියට ගන්නා ආකාරයේ නම් සෝදා වියලා ගන්න.

පාවහන් පිටතින් තබන්න

ඉතාලියේ කොවිඩ් 19 වසංගත තත්වය ඉතා දරුණු අන්දමින් පැතිරී ගියේ පාවහන් මගින් වෛරසය සම්ප්‍රේෂණය වූ නිසා යැයි සැකයක් පවතී. මේ නිසා ඔබගේ පාවහන් නිතරම නිවසින් පිටත තබා ඒවා සෝදා හෝ වියලා ගෙන නැවත පැය කීපයකින් පසුව ඇතුලට ගන්න.

පැකට් ආහාරවලත් දැවටුම් ඉවත් කරන්න

ආහාර සකස් කරන දේ තැන්පත් කර තිබෙන ඇසුරුම් ඉදිරියේදී නැවත ප්‍රයෝජනය වෙනුවෙන් තබා නොගන්නා ලෙසට දැන් උපදෙස් ලබා දී තිබෙනවා.ඒ නිසා ආහාර ඇසුරුම් වහාම ඉවත් කරන්න. ඉතිරි කොටසක් අසුරා තැබීමට මේ ඇසුරුම නැවත භාවිතා කිරීම එතරම් සුබවාදී නැහැ.

එලවලු සහ පළතුරු ගලා යන ජලයෙන් සෝදන්න

එලවලු සහ පළතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ගලා යන ජලයෙන් සෝදන්න. වතුර පිරිමැස්මට කියමින් එකම ජලයෙන් සේදීම නම් අනතුරුදායකයි.

තොරතුරු-Disease Control and Prevention (CDC),

 

කොරෝනා සමග පාසල් සීනුව නාද වෙන දවසේදී…

ලෝකය ටිකෙන් ටික අපි වෙනුවෙන්ම විවෘත වෙන මේ කාලයේදී නැවතත් පාසල් සීනුවත් දරුවන් වෙනුවෙන් නාද වෙන දවසත් ළගා වේවි. ඉතිහාසගත විදිහට ලද දීර්ඝ නිවාඩුවකින් පසුව නැවත පාසල් විවෘත වුනත් පෙරදා වගේ හිත මිතුරන් සමග සමීපයෙන් සිටීමේ අවස්ථාව දරුවන්ට නැහැ. හැබැයි දරුවන් දුරස් කිරීම බොහොම අසීරු කාර්යක්. ඒ නිසාම බොහෝ රටවල් විසින් මේ වෙනුවෙන් විවිධ නිර්මානශීලී උත්සාහයන් අර ගෙන තිබෙනවා.

ඒ වගේම අනාගතය බාර ගැනීමට සිටින දරුවන් ගැන ලෝකයාම බලන්නේ ආදරයෙන් වගේම කරුණාවෙන්..ඔවුන්ගේ අද දවස වැරදුනොත් හෙට ලෝකයටම වරදින නිසාවෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සංවාදයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතුව යුනිසෙෆ් ආයතනය මගින් කරුණාව බෝවන සුළුයි…යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.එ් අනුව කොවිඩ් 19 නිසා දරුවන් තුළ ඇති වී තිබෙන මානසික ආතතිය දුරස් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වගේම ඒ සඳහා මාර්ගෝපදේශකත්වයත් ලබා දෙනවා.

කොරෝනා බිය දරුවන්ගේ හිතෙන් පහ කිරීමට චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ආකාරයේ ප්‍රකාශන දරුවන් අතර හුවමාරු කිරීම.

මාස ගණනාවක්ම දරුවන්ට නිතරම ඇහුනේ කොරෝනා මිසක වෙනත් කිසිම දෙයක් නොවෙයි.දරුවන්ට වෙනදා වගේ එලිමහනේ ඇවිදින්න,මිතුරු මිතුරියන් සමග සෙල්ලම් කරන්න තිබුන ඉඩ නොදැනීම ඇහිරී ගියා.නමුත් දිගින් දිගටම දරුවන්ගේ මානසිකත්වය මේ අන්දමින් අසුබවාදී සහ අවිනිශ්චිතව තබන්න නොහැකියි.ඊට හේතුව අනාගතයේදී දරුවන් මානසික පසුගාමී තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවන් සමග සමාජයේ සමීප බව ගොඩ නගන්න බැරි නිසා  චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන ඔවුන් අතර හුවමාරු කර ගැනීමෙන් මානසිකව සතුටක් ලබා දෙන වැඩ පිලිවෙලක අවශ්‍යතාවය යුනිසෙෆ් සංවිධානය මගින් දැන් අනුමත කළ එක් මාර්ගෝපදේශයක්.

කැලෑබද ප්‍රදේශවල ඇවිදීම සහ ආහාර පිසීම.

මානසික ආතතිය දුරස් කිරීමට එළිමහන ඉතාම යෝග්‍යයි.පසුගිය දා සතුටු දර්ශකයේ අංක එකට පත්ව සිටින පින්ලන්ත වැසියන් එලිමහනේ වැඩි වේලාවක් කාලය ගත කිරීම ඔවුන් සතුටින් ජීවත්වෙන පිරිසක් බවට පත් වීමේ අවස්ථාවට හේතු වී තිබෙනවා.ඒ අනුව යුනිසෙෆ් සංවිධානය විසින් දැන් යෝජනා කරන්නේ දරුවන් සමග එළිමහනේ කාලය ගෙවීමට වැඩි අවස්ථාවක් සලසා දීම වැදගත් බවයි.ඒ අවස්ථාවේදී කුඩා කණ්ඩායම් ඇති කර ගෙන වනාන්තරයේ එහෙම නැත්නම් ටිකක් නිස්කලංක තැනකට ගොස් තමන්ගේ දිවා ආහාරය පිළියෙල කිරීම වැනි ක්‍රියාකාරකම් කිරීමෙන් දරුවන්ගේ හිතෙන් කොරෝනා බිය දුරු කළ හැකි බැව් ඔවුන්ගේ තවත් යෝජනාවක්.දැනටමත් ජර්මනිය විසින් පාසල් දරුවන් සමග වනාන්තරයේ ගොස් පිට්සා සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.අපේ රටේ දෙමව්පියන්ට වගේම පාසල් මටට්මෙන් වුනත් මේ වගේ අලුත් දෙයක් කරන්න එතරම් අපහසුවක් නැහැ. 

මුව ආවරණ වර්ණ ගැන්වීම මගින්  දරුවන් ඒවා පැළඳීමට හුරුව

මුහුණු ආවරණ ගැනත් දරුවන්ට ඇත්තේ ගැටළුවක්. තමන්ගේ හුරු පුරුදු ජීවිතයේ අංගයක් නොවුන මේ ආගන්තුක පළදනාව බොහෝ විටෙක දරුවන්ට හිරිහැරයක් විදිහට දැනෙනවා ඇති. ඒ වගේම මුහුණු ආවරණයක ඇති වැදගත්කම ගැනත් නොදන්නා නිසාවෙන්ම දරුවන් මේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නත් පුලුවනි. මේ සියල්ලටම විසදුම් විදිහට ජර්මනිය වැනි රටවල් දරුවන් කණ්ඩායම් විදිහට යොදා ගෙන මුව ආවරණ වර්ණ ගැන්වීම වෙනුවෙන් දරුවන් උනන්දු කරනවා. එතැනදී දරුවා මුව ආවරණ පැළඳීමට හුරුව ලබනවා.

දරුවන්ට ඇහුම්කන් දීමේ කලාව දෙමව්පියන්ට හුරු කිරීම.

තමන්ගේ දිහාවට දෙමව්පියන්ගේ අවධානය ලබා ගැනීමට අවශ්‍ය වුනාම දරුවන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඒ නිසා දෙමව්පියන් නොමග යන අවස්ථා ඇති වෙන්නත් පුළුවන්. මේ නිසා දරුවන්ට නිතරම ඇහුම්කන් දීමට දෙමව්පියන් වගේම ගුරුවරුන් යොමු වීම ඉතා වැදගත් බැව් යුනෙස්කෝ ආයතනය මගින් ප්‍රකාශිත මාර්ගෝපදේශයන්ට ඇතුලත් වෙනවා.

නිතර දරුවන් ඇගයීම.

මාස ගණනාවක් පාසල් අධ්‍යාපනයෙන් දුරස්ව ආගන්තුක පරිසර තත්වයක් යටතේ කාලය ගෙවූ දරුවන් නැවත අධ්‍යාපනයට අවතීරණය වීමේදී විවිධ මගහැරීම්,අතපසුවීම් වගේම දුර්වලතාවයන් දැක ගන්න ලැබේවි. එවැනි අවස්ථාවකදී කිසිසේත්ම උරණ සිතක් ඇති කර ගන්න එපා. දරුවා ඇගයීමට ලක් කරන්න.මේ ඇගයීම නිසාම දරුවා නැවතත් පෙර පරිද්දෙන්ම ඉගෙනුම් කටයුතු සදහා යොමු වීමේ උත්තේජනය ගොඩ නගා ගනීවි.

බිබිසි ඇසුරිනි

 

දරුවාගේ හොඳම මිතුරන් තුන්දෙනෙක්..

ඔබේ පුංචි පැටියාගෙන් ඔයාගේ හොඳම යාලුවා කවුදැයි ඇහුවොත් විවිධ පිලිතුරු ලැබේවි. ඒ අතර පැටියාගේ පංතියේ මිතුරන්ගේ නම් වැලක් කියැවේවි…එහෙම නැත්නම් අහල පහල ඉන්න අසල්වැසි දරුවන් මේ ලැයිස්තුවේ සිටින්න පුලුවන්. ඒ වගේම අම්මා…තාත්තා..දරුවාගේ හොඳම මිතුරන්ගේ  ලැයිස්තුවේ ඉන්නත් පුලුවනි.

මේ සේරම දරුවාගේ ලෝකයේ සැබෑම තත්වය. ඒ අතර ඔබ දරුවා වෙනුවෙන් වඩාත් සමීපව සම්බන්ධ කළ යුතු සහ ඔවුන්ගේ සැබෑ මිතුරන් බවට පත් කළ යුතු තවත් කීප දෙනෙක් ඉන්නවා.සමහර විට මේ පැත්ත දෙමව්පියන් විදිහට එතරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්නත් ඇති. ඒත් අද පටන් හෝ මෙන්න මේ පුරුදු කීපය දරුවාගේ හොඳම මිතුරන් බවට පත් කරන්න…

පොත් පත් කියැවීම

පුංචි දරුවන්ට බාල කාලයේ පටන්ම පොත් පත් කියවන පුරුදු නිවසේදී ගොඩ නැගීම ඉතා වැදගත්.එහෙම නොමැතිව පොත් කියවන්න..දරුවා කී පමනින්ම ඔවුන් පොත් පත් කියවන පුරුද්දට යොමු වෙන්නේ නැහැ.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාට පොත් පත් කියවන හුරුව ගොඩ නගන්න.එවිට දරුවා සමග මේ පුරුද්ද නොදැනීම වර්ධනය වෙනවා.ඒ විතරක් නොවෙයි, දරුවා පොත් පත් කියවීමෙන් විශාල දැණුම් සම්භාරයක් උපයා ගන්නවා.එය ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වගේම අධ්‍යාපනයටත් මනා රුකුලක් බවත් අමතක කරන්න එපා.ඒ නිසා පැටියා පුංචි කාලයේ පටන්ම පොත් පත් ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න.

ගහ කොළට ආදරය කරන්න

අද ලෝකය මුල් කර ගෙන ඇති චෝදනා අතර මේ ගැනත් නැගෙන අඳෝනාවන් ඔබට ඇසී ඇති. ගහ කොළට ආදරය කරන්න දන්නේ නැති සමාජයක්..විශේෂයෙන් බාල පරම්පරාව මුල් කර ගෙන මේ චෝදනාව විශාල වශයෙන් නැගෙනවා.ඒත් අපි දරුවන් වෙතට  ඇගිල්ලක් දිගු කරද්දී ඇගිලි හතරක් අප වෙතට යොමු වෙනවා.දරුවන් ගහ කොළට ආදරය කරන්නේ නැත්තේ ඒ වෙනුවෙන් ඔවුන් තුළ හුරුවක් නැති නිසයි. දෙමව්පියන් විදිහට දරුවා කුඩා කාලයේ පටන්ම ගහ කොළට ආදරය කරන්න හුරු කරන්න. මල් කඩලා විනාශ කරන්න ඉඩ දෙන්න එපා. මලටත් ජීවයක් තිබෙන බව කියා දෙන්න. ලෝකය ලස්සන වෙන්නේ ගහ,කොළ,මල් පළතුරු නිසා බැව් පහදා දෙන්න.දරුවා  පරිසරයට නිරාවරණය කරන්න.ඔවුන් සමග පරිසරයේ කාලය ගත කරන්න. අද ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇති පින්ලන්ත වැසියන් ඒ සතුට උපයා ගන්නේ කෙදේසැයි වූ විමසා බැලීමේදී මුල්ම කරුණ ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ජීවිතයේ වැඩි වේලාවක් එළිමහනේ ගත කිරීම මේ සතුට ලැබීමට හේතු වී ඇති බවයි. ඒ නිසා බාලකාලයේ පටන්ම ඔබේ දරුවාගේ හොඳම මිතුරා ලෙසින් ගහ, කොළ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්න.

සතුන්ට ආදරය කරන්න

පසුගිය කාල වකවාණුවේදී සත්ව හිංසනය ගැන නිතර අපට තොරතුරු දැන ගන්න ලැබී තිබෙනවා. සතුන්ට හිරිහැර කිරීමේ විකෘති ආශාවන් ඇතැමුන්ගේ හිතේ පවතින්නේ බාල කාලයේ පටන්ම සංවේදීව ජීවත්වීමේ කලාව පිළිබඳ අත්දැකීම් ඔවුන්ට නොතිබුන නිසයි.සතුන්ද අපේ මිතුරන් බැව් දරුවන්ට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න.නිවසේ ඇති දැඩි කරන බල්ලා,බළලාගේ පටන් මග තොට දකින සතුන් වෙතත් දයාවෙන් බලන හිත් දරුවන් වෙත ගොඩ නගන්න. නිවසේ බල්ලාට අධික ලෙසින් සැප දෙමින් තවත් බල්ලෙක් දුටු තැන කකුල් බිදෙන සේ පහර දෙන වැඩිහිටියන්ගෙන් දරුවන් ලබන පාඩම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් සතුන්ද අපේ මිතුරන් බවට වූ පනිවිඩය බාලකාලයේ පටන්ම දරුවාගේ ඇට,මස්,ලේ ,නහරවැල් ඔස්සේ ගමන් කිරීමට වැඩිහිටියන් ගේ මාර්ගෝපදේශකත්වය ඉතාම වැදගත්.

ඒ නිසා ඔබේ දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප සහ ගුණදහමින් යුක්ත අනාගත යුග පුරුකක් බවට පත් කිරීමට නම් මේ තුන්දෙනා ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න..ඔබටත්..දරුවාටත් වරදින්නේ නැහැ.

 

ඔබේ දරුවාගේ ලෝකයේ වීරයා ඔබ වන්න

මේ බ්‍රසිලයේ.පුංචි දරුවන් තුන්දෙනෙක් මුල් කර ගෙන වුන සිදු වුනත් මේ සිදුවීම අපටත් පොදු සංසිද්ධියක්. ඒ ඇයි කිව්වොත් දරුවන් කියන්නේ ලෝකයේ කොතැන හිටියත් දරුවන්.ඔවුන්ගේ හිතේ තිබෙන සිතුවිලි ඒ තරමටම විශ්ව සාධාරණයි.ඒ නිසා මේ සිදුවීම කියවන ඔබටත් ඔබේ දරුවන් ගැන යම් අවධානයක් දක්වන්න වේවි.

එඬේර පවුලක ජීවත්වුන මේ පිරිමි දරුවන් තුන්දෙනා වයස අවුරුදු 8,10 සහ 12 වැනි පුංචි වයසේ සිටිය එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙක්.මේ තුන්දෙනා ”ස්පයිඩර් මෑන්” ට බෙහෙවින් ආදරය කලා. නිතරම ස්පයිඩර් මෑන් අනුකරනය කරන්න උනන්දු වුනා.බොහොම නිදහස් ජීවිතයක් ගෙවන මේ සහෝදරයන් තුන්දෙනා බැටළුවන් බලා ගන්න ගිය වේලාවක අමුතු සිතුවිල්ලක් ආවා.

මේ පළාතේ සිටින විෂ සහිත මකුළු වර්ගය ලවා ඔවුන්ට දෂ්ට කර ගත්තොත් ස්පයිඩර් මෑන් ඔවුන්ටත් ආරූඪ වෙයි කියලා එක් දරුවෙක් කිව්වා.තුන්දෙනාම මේ අදහසට එකග වුණා. බැටළුවන් ආහාර සොයා කද්දී සහෝදරයෝ තුන්දෙනා මකුළුවා ලවා දෂ්ට කර ගත්තා.

ටික වේලාවක් යද්දී දරුවන්ගේ සිරුර ඉදිමී හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා.මස් පිඩු පෙරලෙන්න පටන් ගත්තා.ඔවුන් ඉක්මනින් ගෙදර ගිහින් දෙමව්පියන්ට මේ බව කිව්වා.ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්න නිසා දරුවන් තුන්දෙනා සුවපත් වුනත් හදිසියේවත් මීට වඩා තත්වය දරුණු වෙන්න ඕනෑ තරම් ඉඩ තිබ්බා.

  • මේක ඉතින් බ්‍රසිලයේ වෙච්ච දෙයක් නේ..

ඒක ඇත්ත.නමුත් ඔබේ දරුවාත් මේ තත්වයේ ගොදුරක් වෙන්න බැහැ.දරුවන් මනංකල්පිත චරිත වෙනුවෙන් දැඩි විදිහට එල්බ ගන්නවා.මේ චරිත මනංකල්පිත යැයි නොහිතන තරම් ඔවුන් ඒ චරිත ආරූඪ කර ගන්නවා.හැබැයි එතැනදී වුනත් දරුවන් වැඩියෙන් ඇදෙන්නේ සත් චරිත වෙතට නොවෙයි. මවා ගත් වීර චරිත වෙතයි.

  • අවධානය දුන්නොත් හොදයි..

ඒ නිසා විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ හෝ කාටුන් මගින් මවන චරිත සමග සමහර විට ඔබේ දරුවාත් ජීවත් වෙනවා. ඇති.ඒ වගේම මේ චරිත වෙනුවෙන් ආදරය කරනවා ඇති.ඒත් ස්පයිඩර් මෑන් වගේ බිත්ති දිගේ ගමන් කිරීම දරුවාට කළ නොහැකි දෙයක් බැව් කියා දෙන්න.එවැනි අවදානම් කටයුතුවලට ගොස් ජීවිතයටත් අනතුරු විය හැකි බැව් දරුවාට පහදා දෙන්න.

  • නිතරම සොයන්න

දරුවා කාටුන් මගින් හෝ වෙනත් සාහිත්‍ය කතාවකින් මවන චරිතය සමග ජීවත් වෙනවා නම් ඔවුන්ගේ අන්තර් ක්‍රියාවන් ගැනත් විමසා බලන්න.දරුවන්ගේ හැටි එහෙමයි.එය අතීතයේ පටන්ම සිදු වුන දෙයක්.බොහෝ දරුවන් මඩොල්දූවේ උපාලි, ජින්නා වීමට කැමැති වුණා. අඹයහළුවෝ ටෙලි නාටයයේදී නිමල්,සුදු අප්පෝ වීමට කැමැති වුණා.එයින් පෙනෙන්නේ දරුවන් මේ චරිත සමග ජීවත් වීමට දක්වන කැමැත්තයි.එය හොඳ අතට යොමු වීමට වඩා අවදානම් කටයුතු වෙනුවෙන් යොමු වීමේ අවදානම ඉතාම ඉහලයි.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ හිතේ මවා ගත් වීර චරිත මුලින්ම හදුනා ගන්න.ඒ චරිත අනුකරනය කරමින් පමණට වඩා මනංකල්පිත ලෝකයක ජීවත්වෙනවා නම් එතැනින් මිදී සැබෑ ලෝකය සමග ජීවත්වෙන මග කියා දෙන්න.දරුවාගේ ලෝකයේ සැබෑම වීරයන්,ආරක්ෂකයන් දෙමව්පියන් බැව් ඔවුන්ට පහදා දෙන්න. ඒ නිසා කිසිම විටෙකවත් දරුවා හුදෙකලාව කරන්නේ මොනවාදැයි විමසිලිමත් වෙන්න.අම්මා,තාත්තාගේ මග පෙන්වීම අනුව හැසිරෙන ,ඔවුන් අනුගමනය කරන දරුවන්ට කිසිදු දිනක ජීවිතය නොවරදින බවත් ඔබේ ලෝකයේ සැබෑම වීරයන් දෙමව්පියන් මිස වෙන කවුරුවත්ම නොවන බවත් කියා දෙන්න.

 

අම්මාගේ පෞරෂය ගැහැණු දරුවාගේ පැවැත්මට වැදගත්

සාමාන්‍යයෙන්  වචනයට වුනත් කියනවා ”නයෙක් වුනත් පෙනය නොකලොත් නයාගේ පෞරෂය නැති වෙනවා…. ඒ නිසා නයා කියන අනන්‍යතාවය දස්ට නොකලත්  ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මේ අදහස අද අම්මා කියන සංකල්පය මුල් කර ගෙනත් ඉතාම වැදගත් වී තිබෙනවා.අම්මා කියන්නේ ආදරයේ,දයාවේ උල්පත වුනත් අම්මා වෙතින් දරුවන් මුල් කරගෙන යම් පමණකින් හෝ සැර පරුෂ බවකුත් තිබීම ඉතා වැදගත් බැව් දැන් පිලිගත් සත්‍යක් වී තිබෙනවා.

බ්‍රතාන්‍යයේ  සසෙක්ස්හි පර්යේෂකයන් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය වෙනුවෙන් 2004 සිට 2010 අතර කාලය තුළ ගැහැණු දරුවන් 15,077 ක් සම්බන්ධ කර ගත්තා. මේ අධ්‍යනය සම්පූර්නයෙන්ම යොමු වී තිබෙන්නේ ගැහැණු දරුවන් සම්බන්ධව අම්මා කෙනෙකුගේ පවතින පෞරෂය ගැනයි.මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ දියණිය වෙනුවෙන් මවක් දක්වන ප්‍රතිචාර එතරම් ප්‍රබල නොවෙනවා නම් ඔවුන් නොමගට යැමේ වැඩි අවස්ථාවන් තිබෙන බවයි.විශේෂයෙන් දියණිවරුන්ගේ පැවැත්ම බාල කාලයේ පටන් ගොඩ නගා ගැනීමට මවක් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත් බවයි. අම්මාගේ අණසකට නතු නොවෙන දියනිවරුන් අඩු වයසින් ගැබ් ගැනීමේ අවදානමක් පවතින බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඇයි එහෙම වෙන්නේ…

දරුවන් වුනත් යම් පාලනයක් අවශ්‍ය වෙනවා.ඔවුන් හොඳ,නරක , යා යුතු මග හෝ නොමග ගැන දැණුම් තේරුම් ඇති අය නොවෙයි.පිරිමි වුනත් ගැහැනු වුනත් දරුවා වෙනුවෙන් මව්පියන්ගේ කොන්දේසි විරහිත ආදරේ අවශ්‍ය බව ඇත්ත.ඒ ආදරයේ සීමා නැති වුනත් ජීවිතයේ වයසට අදාල යම් සීමාවන් තිබෙන බව නම් අවබෝධයෙන්ම දරුවන් දැන ගත යුතුයි.

මේ දැණුම නිකම්ම ලැබෙන්නේ නැහැ..

අතීතයේ පටන්ම පිරිමි දරුවා කොහේ ගිහින් ආවත් සෝදා ගෙට ගැනීමෙන් සියලු කිලි කුනු සෝදා ගන්න පුලුවන් කිව්වත් එයත් ඒ තරම් නිවරැදි සංකල්පයක් නොවෙයි.මේ පිරිමි දරුවා නිසා කොතැනක හෝ ගැහැනු දරුවෙක් ජීවිතයේ අතරමං වෙනවා.ඒ නිසා පිරිමි දරුවා ගැන වුනත් විනයක් සදාචාරයක් ඇතුව හැසිරෙන්න අවශ්‍ය දැණුම ලබා දීම වැදගත්.

ලෝකයේ තත්වය කෙසේ වුනත් අපි තවම ලංකාවේ..

දැන් ලෝකය බොහොම බටහිරකරණයට පත් වෙලා. ඉස්සර වගේ කසාදයෙන් පසුසේ එකතු වෙන්න කියලා නියමයක් නැහැ.බටහිර ටවල්වල විවාහ වෙන්න ඉස්සර ”ලිවින් ටු ගෙදර්” රටාවට අපිත් දැන් යන්න ඕන කියලා හිතුවත් මේ තත්වයෙන් අසරණ වෙන දියණිවරුන් ගේ ජීවිතයේ ශෝකාලාපය ගැන කවුරුන් වග විය යුතුද? කතාවටත් කියන්නා වගේ කොල්ලන් යනු බල්ලන්…මේ විදිහට එකට එකතුව සිටින විට විශ්වාසය නිසාම යම් විදිහකින් ගැහැණු ළමයි ගැබ් ගත් විටෙක ඒ වගකීම බාර ගෙන ඉදිරියට යනු වෙනුවට හදිසියේ හෝ අතරමග දමා ගිය තැනකදී ඇගේ ජීවිතයේ ගැලවුම්කරු වන්නේ කවුද..?මෙවැනි තත්වයක් සිදු වීමට එතරම් කාලයක් අවශ්‍ය නැහැ.

බටහිර ලෝකය මොනතරම් නවීකරණය වුනත්, අනේ සැපයි..සැපයි කිව්වත් ඔවුන් පවා දැන් අඩු වයසින් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ජීවිතයේ කඩා වැටෙන ගැහැණු දරුවන් අලලා මේ වගේ අධ්‍යනයන් කිරීමට යොමු වුනේ නිකම්ම නොවේ.බාල වයසේදී ගැබ් ගන්නා ගැහැනු ළමයි ගැන ඇති ශෝචනීය තත්වය දැන් බටහිරටත් දැනෙන්න ඇති.එහි පිටුපසින් ඔවුන් හදුනා ගත් හේතුව වුනේ  අම්මා දරුවන් වෙනුවෙන් යම් අණසක පතුරුවාගෙන සිටීමයි. මේ සංකල්පය ඇත්තටම අපේ අම්මලාගේ හැදි නොගා හදන හොද්දයි…ගුටි නොගහා හදන දරුවයි..යන සංකල්පයට සමානයි නේද..?

 

පවුලට අලුත් අමුත්තෙක්

පවුලකට අලුත් අමුත්තෙක් එකතු වෙනවා කියන සුබ ආරංචිය අම්මාට තාත්තාට බොහාම සතුටක්.ඒත් කුසට පැමිනි පමණටම දරුවා බිහි කිරීම සාර්ථක දෙමව්පියන්ගේ ගති ලක්ෂනයක් නොවෙයි.දරුවෙකු ලැබෙන පෙර නිමිති පහල වෙලත් මාස නවයක් පමණ කාලයක් පුරා ඒ වෙනුවෙන් සැලසුම් හදා ගන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ පුංචි අමුත්තා වෙනුවෙන් හැඩ ගැහෙන්නේ කෙසේද..?

  • මිළ මුදල් අවශ්‍යතාවය..

පැටියා කුස පිලිසිඳ ගත් තැන පටන් මෙලොව එලිය දකින තුරු පමණක් නොවෙයි,එයින් පසුවත් අපට විය පැහැදම් බොහොම වැඩියි.ඒ නිසා දෙමව්පියන් විදිහට යම් මුදලක් අත මිට තබා ගැනීම ඉතාම වැදගත්.ගැබ දරණ අම්මාගේ වගේම පුංචි පැටියෙක් නිවසේ ඉන්නා විට කොයි වේලාවක මුදල් උවමනා වෙයිද දන්නේ නැහැ.

  • බබාගේ අවශ්‍යතාවයන්..

දරුවෙකු ලැබෙන්න සිටියදී කල් තබා ඇඳුම් පැලදුම් සුදානම් කිරීම ගැන විවිධ මත තිබුනත් රෝහලට යන්න ආසන්න වෙද්දී නම් ළදරු කමිස ,නැප්කින් ආදිය සූදානමින් තබා ගන්නම වෙනවා.එහෙම නැතුව දරුවා ලැබෙන්න සුතිකාගාරයට අම්මා ඇතුලු කලාට පසුව පැටියා වෙනුවෙන් ඇදුම් හොයන තාත්තලාත් ඉන්නවා. ඒ නිසා කල් තබා ඇදුම් සහ අවශ්‍ය දේ සූදානම් කර ගෙන තබා ගන්න.

  • දවස දැන් වෙනස්

වෙනදා සැමියා සහ බිරිඳ මොනවා හෝ රත් කර ගෙන කෑමෙන් පසුව නින්දට ගියත් දැන් එහෙම බැහැ. පුංචි අමුත්තාගේ වැඩ කෝටියයි.එයාට අම්මා තාත්තාගේ වෙලාව ගැන තේරුමක් නැහැ.ඒ හින්දා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා පැටියාගේ වැඩ කොටස් සහයෝගයෙන් කරනවා නම් මොන තරම් අගෙයිද නේද..?

  • ඇහැ පියාගන්න නැහැ..

පැටියා දවල් රෑ දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. පැටියා දවල් කාලයට හොදට නිදා ගෙන රාත්‍රියේ අවදිව ඉන්නවා.මේ වෙලාවට අම්මාටම නිදි මරන්න දෙන්න එපා. තාත්තාත් සලාක ක්‍රමයට හෝ පැටියා වෙනුවෙන් අවදිව ඉන්නවා නම් අම්මාටත් සතුටුයි.

  • අම්මාගේ හෝර්මෝන මට්ටම

දරුවා ලැබුනාට පසුව සිදු වෙන හෝර්මෝන වෙනස්කම් නිසා සමහර විට අම්මාගේ මානසික තත්වයත් වෙනස් වෙනවා.අවිවේකය නිසා මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවනි.ඒ හින්දා තාත්තාත් අම්මාට විවේකයක් දුන්නොත් හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇති වෙන ව්‍යාකූල තත්වය ටිකකින් හෝ පිරිමැසේවි.

  • පැටියා අඬන හේතු..

පුංචි පැටියා අඬන විවිධ හේතු තිබෙනවා.එයාලගේ භාෂාව ඇඬීමයි. අම්මා තාත්තා බබාගේ භාෂාව තේරුම් ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා කුසගින්න,මල මුත්‍ර පිටවීම වගේම බඩ පුරවා දැමීම,ඇදුම්වල අපහසුව වගේ දේවල් නිසාත් අඬන්න පුලුවන්. මේවා ගැන දෙමව්පියන් විදිහට ක්‍රමයෙන්  අවබෝධ කර ගැනීම වැදගත්.

  • වැඩිහිටියන්ගේ අදහස්..

සමහර වෙලාවට වැඩිහිටියන්ගේ උපදෙස් නිසා අම්මා ,තාත්තා අසරණ වෙන වෙලාවල් තිබෙනවා.හැබැයි වැඩිහිටියන්ගේ අදහස් හැම එකක්ම පරණයි කියලා ඉවත දාන්නත් බැහැ.ඒ වගේම පබලු වැල් දැමීම, මුදු දැමීම වැනි සමහර දේවල් නම් කිසිම විදිහකින් ප්‍රායෝගික නැහැ.ඒ විතරක් නොවෙයි, දරුවාට පහසුවක් ඇති වෙන්නෙත් නැහැ.

හැබැයි සවස් කාලයට පෙරාතුව පැටියාගේ ඇදුම් නිවසට ගැනීම, රෙදි මිරිකන්නේ නැතුව වනන්. වැනි යම් යම් දේවල් තුළ විදයාත්මක ඇත්තක් තියෙනවා.ඒ නිසා හරි දේ වැරදි දේ තෝරා බේරා ගෙන ගනුදෙණු කරන්න.

  • හැම දරුවාගේම වර්ධනය එක සමාන නැහැ

සමහර විට ඔබේ පැටියාට මාසයක් එහෙම නැත්නම් සතියක් පමණ ගෙවිලා උපත ලැබූ ඔබේ අසල්වැසියාගේ එහෙම නැත්නම් ඥාතියෙකුගේ දරුවාගේ වර්ධනය ඔබේ දරුවාට වඩා ප්‍රගතියක් පෙන්වන්න පුලුවනි.ඒ ගැන කලබල වෙන්න එපා.යම් විදිහකින් පසුබැස්මක් ඇතැයි හිතෙනවා නම් පවුල් සෞඛ්‍ය නිළධාරී මහත්මියගෙන් මුලික උපදෙස් ලබා ගන්න. එහෙම නැතුව විස්සෝප වෙන්න කරුණු හොයන්න එපා.

  • අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න..

දැන් ඉතින් අපි දෙමව්පියෝ…කියලා ඉස්සර ඔබ දෙදෙනා අතර තිබුන බැදීමත් දුරස් කර ගන්න එපා.දරුවා ඔබේ ලෝකය සම්පූර්ණ කලා සේම දරුවාගේ ලෝකය සම්පූර්ණ වෙන්නේ අම්මාගේ තාත්තාගේ ආදර බැදීම නිසයි.පවුල සොඳුරු කැදැල්ලක් වේනනේ එවිටයි.ඒ නිසා සැමියා සහ බිරිද අතර ආදාර සම්බන්ධතාවය වගේම පැවැත්ම දිගින් දිගටම පවත්වා ගැනීම ඉතාම වැදගත්.දරුවා ඔබේ ජීවිතයට ලබා දුන් සුන්දරත්වය සම්පූර්ණ වෙන්නේ එවිටයි.

 

එක පවුලක වුනත් වෙනස් දරුවන්

එක බඩවැල කඩාගෙන ඉපදුනත් ,එකම  පවුලක සහෝදර සහෝදරියන් අතරත් විවිධ වෙනස්කම් දක්නට ලැබීම අපටත් ඉතාම හුරු පුරුදුයි.මේ නිසාම දරුවන් අතරත් විවිධ අන්දමේ මත ගැටුම්, වාද විවාද වගේම බහින් බස්වීම් ඇති වෙනවා. දරුවන්ගේ ගති ලක්ෂණවලදී දෙමව්පියන් විසින් පවුලේ බඩපිස්සා..එහෙම නැත්නම් අපි මුලින්ම හුරතල් බලපු දරුවා..විදිහට විශේෂණ එකතු කරනවා.මේ විශේෂණ නිසා දරුවන්ගේ පෞරෂය පිළිබඳවත් පසුකාලීනව විවිධ ගැටළු ඇති වෙන්න පුලුවනි.

19 වෙනි සියවසයේ අග භාගයේ සහ 20 වෙනි සියවසයේ මුල් භාගයේ ඔස්ට්‍රියාවේ විසූ භෞතවෛද්‍යවරයෙකු (physician) මෙන්ම මනෝ චිකිත්සකයෙකු(psychotherapist).ලෙසින් කටයුතු කළ ඇල්ප්‍රඩ් ඇඩ්ලර්, දරුවන් සත් දෙනෙකුගෙන් සමන්විත පවුලක මැද සාමාජිකයෙකි. එකම පවුලක හැදී වැදුණු දරුවන්ට එකිනෙක වෙනස් පෞරුෂයන් ඇති බවක් දක්නට ඇත්තේ ඇයිදැයි හඳුනා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහුගේ මෙම අධ්‍යනය සිදු වුනේ 1927 වසරේදී.

දරුවා වැඩිමහල් ද නැති නම් බාලයා ද යන්න සලකා බලා දෙමව්පියන් දරුවන්ට වෙනස් ලෙස සලකන බවට සංකල්පයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මේ දරුවන් මේ අන්දමින් සංසන්දනය කරනු ලැබීම හීනමානය (Inferiority) පිළිබඳ හැඟීමක් ඇති කරන බව ඔහුගේ විශ්වාසය වුණා. එතැන් සිට වැඩිහිටි පිළිවෙල හා සම්බන්ධ චරිත ලක්ෂණ (Characteristics) දෙස පර්යේෂකයන් ගේ වැඩි අවධානයක් යොමු වුනා. 

පවුලේ වැඩිමහල් දරුවා අන් අය සතුටු කරන්නෙකු යැයි විශ්වාස කරනවා. ඉස් ඉස්සෙල්ලාම දුවක බලාපොරොත්තු වෙන්නෙත්  වැඩිමහල් දරුවා වගකීම් සහගත, විශ්වාසය තැබිය හැකි, සුපරික්ෂාකාරී දරුවෙකු ලෙස සලකන නිසයි. නමුත්සමහර විට දෙමව්පියන් අපේක්ෂා කරන දෙයට වෙනස් අන්දමින් විට ඔහු හෝ ඇයගෙන් සිය බලය පෙන්වන (Bossy) සහ අධිකාරිවාදී චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවනි. වැඩිමහල් දරුවා කෙරෙහි දෙමව්පියන්ගේ වැඩි සැලකිල්ලක් යොමු වන අතර දෙවන දරුවා පවුලට එක් වීමත් සමග බොහෝ විට ඔහුට හෝ ඇයට නොසැලකිල්ලක් හෝ ඇති වෙනවා.පවුලේ වැඩිමහල් දරුවන් විදිහට උපත ලැබූ ජාත්‍යන්තර තලයේ චරිත අතරටදෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හොබවන ලද වින්ස්ටන් චර්චිල් සහ හැරි පොටර් කතා මාලාවේ කතෘවරිය ජේ.කේ රෝලින් ඇතුලත් වෙනවා. 

පවුලේ මැද දරුවා අතරමැදියෙකු විදිහට බොහොම පීඩාවට පත් වෙනවා. වැඩිමහල් දරුවාට තිබෙන සැලකිල්ලත්, බඩපිස්සාට තිබන ආදරයත් ඔවුන්ට අහිමියි.මේ නිසා පවුලේ මැද දරුවා බොහෝ විට නොසලකා හැරීම්වලට ලක් වෙනවා.බිල් ගේට්ස් වගේම මැඩෝනා පවුලේ මද්දුම සාමාජිකයන්.

පවුලේ බාල දරුවා තමා ගැනම සිතන (Self-centred), යමක් තම වාසියට හරවා ගනු ලබන (Manipulative), සෙල්ලමට බර, විනෝදකාමී සහ සිත් ඇදගන්නා හැසිරීමක් ඇති පුද්ගලයෙකු බව බොහෝ විට විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් තමාටමඅවධානය (Attention) දිනා ගැනීම සඳහා විශාල අරගලයක යෙදෙන  ස්වාධීනත්වය (Independence) පවත්වා ගෙන යාම සහ සෙසු සහෝදර සහෝදරියන්ට වඩා වෙනසක් පෙන්නුම් කරන පිරිසක්.මහත්මා ගාන්ධි පවුලේ බඩපිස්සා විදිහට උපත ලබා ජගත් කීර්තියට පත් වූ සුවිශේෂී පුද්ගලයෙක්.

එකා යකා කියන්නා වගේම පවුලක එකම දරුවා තමන් ගැනම සිතන (Self-centred) ආත්මාර්ථකාමී චරිතයක්. ලියනාඩෝ ඩා වින්චි සහ හැරී පෝටර් චරිතයට පන පොවන ‘‘ඩැනියල් රැන්ඩ්ලිෆ් “ පවුලේ එකම දරුවා විදිහට උපත ලද අයයි.

1996 වසරේදී ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වන ෆ්‍රෑන්ක් සලොවේ (Frank Sulloway) ඉදිරිපත් කළ මතයකින් කියවුණේ සෑම පවුලකම පැවැත්ම (Survival) සඳහා ඇති තරඟය සහෝදර සහෝදරියන් අතර වෙනස්කම් ඇති වීමට හේතු වෙන බවයි. ඔවුන්ගේ මෙම අරගලය සිදු වෙන්නේ දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා බැව් ෆෑන්ක් සලොවේ සඳහන් කරනවා.

  • ඒකත් ඇත්ත කියලා ඔබට හිතේවි..

සමහර විට ඔබ පවුලේ වැඩිමලාට වැඩියෙන් සලකන්නේ අපි හාපුරා දැක්ක දරුවානේ කියලා.ඒ වගේම මෙහි අනිත් පැත්තත් සිද්ධ වෙනවා. සමහර දෙමව්පියන් දෙවැනි තුන්වැනි දරුවන් පවුලට එකතු වෙද්දී වැඩිමලාව අතහැර දමනවා විතරක් නොවෙයි,පමණටත් වඩා වගකීම් පවරනවා. එවිට වැඩිමහල් දරුවා තමන්ගේ බාල සහෝදරයන් සමග නොදැනම අරගලයක් ඇති කර ගැනීමට සූදානම්.

ඒ නිසා පවුලේ වැඩිමලා,මද්දුමයා සහ බාලයා විදිහට වෙනසක් නැතුව හැම දරුවාම මගේය කියන සිතුවිල්ලෙන් කටයුතු කරන කිසිම ගැටලුවක් නැති වේවි.

 

 

ආදරය අත්විදපු දරුවන් ප්‍රේමය පතුරුවනු ඇති

ආදරයට අපි හැමෝම ආදරෙයි.ඒ ජීවය තිබෙන හැම දෙනාටම පොදු හැඟීමක්.ඉතින් දරුවන් විෂයෙහිදී මේ තත්වයේ කිසිම වෙනසක් නැහැ.මානසික සිතුවිල්ලක් විදිහට ක්‍රියාකරන ආදරේ ගැන දරුවන් දක්වන ප්‍රතිචාරය කොහොමද…?

  • මට කවුරුත් ආදරේ නැහැ..

දරුවන්ට දැනෙන්න ආදරේ කළ යුතුයි කියන සංකල්පය අද මනෝවිද්‍යාඥයින් විසින් පිලිගන්නා තත්වයක්.එහි කිසිම මතබේදයක් නැහැ.දැන් ඔබට හිතේවි අපි දරුවන්ට කොච්චර ආදරෙයිද..? ඉතින් මෙතැන අමුතුවෙන් දැනෙන්න දෙයක් තියෙනවායැ.එය ඇත්ත. ඒත් දරුවාට ඔබ ආදරේ බැව් හිතට නොදැණුන විට ඔවුන් හිතන්නේ මට කවුරුත් ආදරේ නැහැ..ලෙසයි.

  • ඉතින් එහෙම වුනොත්…?

ඔව් ඒකත් ඇත්ත. අපිට මොනවද හිතන්න බැරි.ඒ වගේ දරුවන්ටත් විවිධ සිතුවිලි හිතට නැගෙනවානේ.ඒ වගේ මට කවුරුත් ආදරේ නැහැ..කියන සිතුවිල්ලත් ඔවුන්ගේ සිතට ඇති වේවි.මේ පසුගාමී බව දරුවාගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහැ.නිතරම මේ විදිහට පසුගාමිව හිතන්න පුරුදු වුනොත් දරුවා නොදැනීම පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි.

  • මානසිකව ඇති පසුබෑම කායික රෝගවලටත් වඩා තේරුම් ගන්න අපහසුයි.

වචනයටත් කියවානේ ඇඟේ ලෙඩට බේත් තිබුනට හිතේ ලෙඩට බේත් නැහැ කියලා.දරුවන්ගේ ආදරේ ගැන ඇති වෙන සැකයත් මානසික රෝගයකට නිදාන කතාවක් සපයනවා.දරුවා විවිධ විදිහට ලෙඩ ගැන කිව්වත් ඒවා ඩොක්ටර් අන්කල්ට හෝ ඇන්ටිටත් අහු නොවෙන විදිහට හොර ලෙඩ වෙන්නත් පුලුවන්. මේ සේරම කරන්නේ තමන්ගේ හිතේ තිබෙන හිස්කම මකා ගන්න බව දෙමව්පියන් විදිහට අමතක කරන්න එපා.

  • ආත්ම විශ්වාසයක් නැහැ

ආදරේ ගැන ප්‍රමාණාත්මක හැඟීමක් නැති දරුවන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ.තමන් වෙනුවෙන් ආදරේ කරන කෙනෙක් සිටින විට තමා සම්පූර්ණයි කියන සිතුවිල්ලෙන් ඔවුන් පොහොසත්. ඒ ශක්තිය නිසාම දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා.එය වෙන කිසිම විදිහකින් ගොඩ නගන්න පුලුවන් පහසු දෙයක් නොවෙයි.

  • ප්‍රේමය  පතුරනවා.

දරුවාට නිසි ලෙසින් ආදරය,දයාව,කරුණාව ලැබෙනවා නම් දරුවා අනාගතයේදී ඒ වෙනුවෙන් ප්‍රතිචාර  දක්වනවා. හොදින් ආදරේ විදපු දරුවන් නිතරම සමාජයට ප්‍රේමය පතුරනවා.එය මනෝවිද්‍යාත්මක සත්‍යක්.ඔවුන් සමාජ විරෝධී පිරිස් වෙන්නේම නැහැ.

  • බාලකාලයේ සෙනහස නොලත් දරුවන්

ඔබ් බොහෝ විට සමාජයේ විවිධ අකටයුතු කරන,සමාජ විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන්ගේ බාලකාලය ඇත්තටම ශෝචනීයයි.ඔවුන් බාලකාලයේදී ආදරය නොලත් බැව් සිය අත්දැකීම් විස්තර කරන විටත් පෙනී යනවා. මේ ආත්මීය ශෝකය නිසාම ඔවුන්ට වෛරය,ආවේගය එතරම් ආගන්තුක සිතුවිලි නොවෙයි.

දරුවන් ආදරේට ආදරෙයි. ආදරය  දක්වන්න පසුබසින්න එපා. ඔබට මොනතරම් වැඩ රාජකාරි තිබුනත් ඒ අතර දරුවා ගැන මග හරින්න එපා.ඔවුන්ට ඔබ ආදරේ බව දැනෙන්නේ මේ සියල්ල අතර දරුවා ඔබේ මනසේ සහ ජීවිතයේ ජීවත්වෙන බවට සහතිකය දරුවා ලැබුන විටයි.ආහාරපාන ,ඇදුම් පැළදුම්.සෙල්ලම්බඩු විතරක් නොවෙයි,ආදරයත් දරුවාට අවශ්‍ය නොව අත්‍යවශය බැව් සිතන්න.

  • ආදරේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයට

ඔබ අද දවසේ දරුවාට දක්වන ආදරයේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයටයි.හැමදාම දරුවා ඔබ සෙවනේ සිටින නොදරුවා නොවෙයි.ඔවුන් තව දශක දෙකකින් පමණ සමාජගත පුද්ගලයන් බවට පත් වෙනවා. එවිට ”ආදරය අත්විදපු දරුවන් සමාජයට ප්‍රේමය පතුරුවනු ඇති…”එවන් වූ සමාජයක් මොනතරම් සුන්දරද බැව් මේ සංකල්පය අසන දෙමව්පියන් වන ඔබගේ මනසේ නොදැනීම චිත්‍රනය වෙනු ඇති. 

 

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ….

අම්මා,තාත්තා වුනත් නිවසේ සිටින විට පුංචි පුංචි ආරවුල් ඇති කර ගන්නවා.එය සාමාන්‍ය තත්වයක්.දෙන්නා දෙමහල්ලන්ගේ සණ්ඩු සරුවල් බත් හැලිය ඉදෙන තෙක් විතරයි කිව්වත් සමහර දෙමව්පියන් මේවා දිගින් දිගටම ගෙනියනවා.

ඇත්තටම දෙමව්පියෝ රණ්ඩු වෙන්නේ ඇයි…

ආර්ථික හේතු-මේ තත්වය සණ්ඩු සරුවල් වීමෙන් හෝ බහින්බස් වීමෙන් විසඳා ගන්න බැහැ.මුදල් ආදායම වගේම වියදම ගලපා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.නමුත් එය සණ්ඩුවකින් විසඳෙන්නෙත් නැහැ.

පවුල්වල සාමාජිකයන් නිසා-එක හැලියේ බත් කෑවාත් කුසය වෙනස් කියනවා වගේ සමහර පවුල්වල නැන්දම්මා.නෑනා වැනි නීතියෙන් සම්බන්ධ වුන නෑදැයෝ බොහොම සීරුවට දෙන්නා දෙමහල්ලන් අතර අරගල ඇති කරනවා.ඒ වගේ වේලාවට සැමියා ,බිරිඳ මේ ගැන අවබෝධයෙන් කටයුතු කරමින් දෙපැත්තම බේරා ගන්න ඕන.

දරුවන් නිසා-දරුවන් වැරදි කිරීමෙන් පවුල් අතර බොහෝ අරගල ඇති වෙනවා.දරුවා වැරද්දක් කළත්, දරුවාට තදින් අවවාද දුන්නත් අන්තිමේදී දෙමව්පියෝ පැටලෙන පැටලිල්ල දවස් ගණනාවක් අළු යට ගිනි වගේ පුපුරු ගහනවා.

මානසික ආතතිය- බොහෝ වේලාවට මානසික ආතතිය පිටට පේන්නෙත් නැහැ.අඩුම වශයෙන් ආතතියට පත් තැනැත්තාවත් ඒ ගැන දන්නේ නැහැ.නමුත් සිද්ධ වෙන්නේ නිතරම අඩදබර විතරයි.නමුත් ඒවා පිටවෙන්නේ හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහටයි.

වෙහෙස- නිවසක කටයුතු, රැකියාව ,සමාජ සම්බන්ධතාවයන්,දරුවන්ගේ වගකීම් ..මේ

සියල්ලම දරන්න ගියාමත් ටිකක් අපහසුයි.සමහර විට මේ වගකීම් දෙන්නා අතර බෙදා ගැනීමකුත් නැහැ.එහෙම වුනාම ඇති වෙන වෙහෙස පිටවෙන්නේ මත ගැටුම් විදිහටයි.

 

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම්..

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම් ඒ නිවස ප්‍රසන්න නැහැ. සාමාන්‍යයෙන් පවුලේ අයට තමාගේ නිවස තරම් ප්‍රසන්න තැනැක් ලෝකයේ වෙනත් කොතැනකවත් නැති තරම් වුනොත් එය සැබැවින්ම පසන් නිවසක්.ඒ වුනත් අම්මා තාත්තා මත ගැටෙන,බහින් බස් වෙන නිවසක දරුවන්ට මේ පසන් නිවසක අයිතිය නොදැනීම අහිමි වෙනවා.

  • දරුවන් හා දෙමව්පියන් අතර සම්බන්ධතාවය

අම්මා,තාත්තා නිතරම දුම්මල වරම අරගෙන ඉන්නවා නම් දරුවන්ට ඔවුන් සමග මනා සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම අපහසුයි.බොහෝ වේලාවට මේ පීඩනය පිට වෙන්නේ දරුවා වෙතින් නිසා ඔවුන් අම්මා හෝ තාත්තා ආව්ස වෙලා ඉනන්වා නම් කතාවට යන්නත් බයයි.ඒ නිසාම දරුවන් නිතරම ජීවත් වෙන්නේ බිය,සැකය පිරුන පරිසරයකයි.

  • දරුවන්ගේ මානසික තත්වයට ගැලපෙන්නේම නැහැ.

දරුවන්ගේ බාල කාලයේ ලබන සුන්දර අත්දැකීම් මත ඔවුන්ගේ අනාගතය පෝෂණය වෙනවා.දරුවන් සතුටින් ඉන්න කැමැතියි. ආදරය ලබන්න,ආදරය විඳින්න..කැමැතියි.ඒත් නිතර ගැටෙන දෙමව්පියන් සිටින නිවසකදී දරුවාට මේ සියල්ල අහිමි වෙනවා. අම්මා නිතරම ඉන්නේ තමන්ට ජීවිතේ එපා වුණා වගේ..තාත්තාට පොඩ්ඩක් ඇත්තම් තරහ යනවා.එවන් පසුබිමක දරුවා බොහොම අසරණයි.ඔවුන්ගේ සිතුවිලි කියන්න,අහන්න කෙනෙක් නැහැ. මේ නිසා දරුවා බෙහෙවින්ම මානසික කම්පනයකින් කාලය ගෙවනවා.

  • දරුවාගේ අනාගතයට ඇති වෙන බලපෑම

දරුවාට නිවසේ තියෙන්නේ අනාදරය,අනාරක්ෂිතබව නම් ඒ තත්වය දරුවා සමග නොදැනීම වර්ධනය වෙනවා.ඔවුන් සමාජයට නිරාවරනය වුනාමත් මේ පීඩනය නිසා සමාජය සමග පවත්නා සම්බන්ධතාවයන් එතරම් යහපත් පරිදි පවත්වා ගැනීමට අපහසු චරිත බවට පත් වෙනවා.නිතරම මානසිකව පීඩනයෙන්, සිටීම නිසා දරුවාගේ හිතේ ඇත්තේ ප්‍රචන්ඩ සිතුවිලි. තාත්තා නිතරම අම්මාට දොස් නගන, බඩු මුට්ටු පොළවේ ගසන, අම්මා නිතරම තාත්තාව විවේචනය කරන පවුල් පසුබිමකින් දරුවෙකුගේ හිතේ ඇති වෙන්නේ ප්‍රචණ්ඩත්වයයි.ඒ නිසා පවුල තුළ මොන අන්දමේ අරගල තිබුනත් දරුවන් ඉදිරියේ ඒවා ප්‍රචණ්ඩකාරී ලෙසින් මුදා හරින්න එපා.එලෙස පීඩාකාරි පරිසරයක හැදෙන වැඩෙන දරුවා අනාගතයේදී ප්‍රචන්ඩතාරීව හැසිරෙන නිසා දෙමව්පියන් ලෙසින් ඔබ අද දවසේ පවුලේ සමගිය පවත්වා ගැනීමට වඩාත් උනන්දු වෙන්න.එය දරුවන්ට ආදරය කරන දෙමව්පියන්ගේ සැබෑම සෙනෙහසයි.

 

මානසික රෝග

ලෝකයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වෙන්නේ පින්ලන්තයේ. ඒත් මේ විදිහට එක් රටක් පාදක කර ගෙන ලෝකයේ සමස්තය ගැන අනුමාන අපිට ගොඩ නගා ගන්න බැහැ.අල්ජසීරා පුවත් සේවය පවා මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ ලෝකයේ කුමන රටක වුනත්  මානසිකව පීඩනයෙන් සිටින පිරිස් ඕනෑ තරම් සිටින බවයි. ලෝක සෞඛය සංවිධානය සඳහන් කරන විදිහට අනාගතයේදී සෑම පුද්ගලයන් හතර දෙනෙක්ගෙන් එක් අයෙක්ම මානසික සෞඛ්‍යය අතින් පිරිහුන තත්වයක පසු විය හැකි බවයි. අපි හැම දෙනෙක්ම ජීවිතයේ හැම දවසකම මානසිකව යම් යම් ගැටුම්වලට මුහුණ දෙනවා. මේ තත්වය නිසා අපි මානසික රෝගීන් බවට පත් වෙන අතර ඒ වෙනුවෙන් බලපාන තවත් හේතු කීපයක් තිබෙනවා.

ප්‍රවේණිය

ආහාර රටාව

ව්‍යායාම

පරිසර දූෂණය

මානසික ආතතිය

මානසික රෝග බොහෝ දුරට දරුණු තත්වයට පත් වෙන්නේ අපේම වැරැද්දෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට ඌනපූරණය කරමින් වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරනවා..

මානසික රෝග පිළිබඳව අපේ සමාජයේ පවතින දුර්මත නිසා මෙම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම ඇතැම් වේලාවට බොහොම කල් යන අවස්ථා තිබෙනවා. ඒ තත්වය නිසා සිද්ධ වෙන්නේ නියපපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන තරමටම බරපතල තත්වයට පත් වෙනවා. එහෙත් මානසික රෝග තත්වයක් වුනත් කල් තබා හඳුනා ගත් විට ප්‍රතිකාර කිරීම අපහසු නැහැ. එහෙමනම් අපේ රටේ මානසික රෝග හඳුනා ගැනීම ඇත්තටම පරක්කු වෙන්නේ 

බොහොම දෙනා මුලින්ම මානසික රෝග තත්වයන් පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ. සමහර අවස්ථා තිබෙනවා මේවා මානසික රෝග විදිහට තෝරා බේරා ගන්න බැරි තරහටම සාමාන්‍යයයි.සමහර අයගේ අසීමිත පිරිසිදුකම, තනිවම ඉන්න දක්වන බිය, සතුන්ට දක්වන බිය, තමන් මැරෙයි කියලා එහෙම නැත්නම් තමන්ට විපතක් වෙයි කියල හිතෙන අනියත බිය…මේ සාමාන්‍ය හැසිරීම් අතරෙත් මානසික රෝග තත්වයක පෙරනිමිති තිබුනත් අපි ඒවා පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ.

මානසික රෝග වෙනුවෙන් ඔවුන් මුලින්ම රෝහල්ගත වෙන්න තිබුනා නේද…?

ඒ තත්වය ඔවුන්ට පමණක් නොවෙයි. බොහොම දෙනාට සාධාරණයි. එකක් අපි අතර තිබෙන මානසික රෝග ගැන අපිට වැටහීමක් නැහැ. ඒ නිසා ප්‍රතිකාර ගත යුතුද…ප්‍රතිකාර ගන්නේ කාගෙන්ද…. යොමු වෙන්නේ කොතැනටද…..වගේ ප්‍රශ්න රාශියක් නැතුවාම නොවෙයි. 

මානසික රෝග වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාරම ලබා ගත යුතුද…..?

මානසික රෝග වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර වගේම මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය අවස්ථා තිබෙනවා. බොහෝ දෙනා මනෝචිකිත්සක ප්‍රතිකාර පිළිබඳව දැනුවත් නැහැ.ඒ වගේම මානසික රෝග සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පහසුකම් ඉතාම අල්පයි. මේ නිසා මානසික රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා නිසි පහසුකම් නැති වීම නිසාත් මේ රෝගීන්ගේ තත්වය සුව අතර පත් කර ගැනීම අපහසුයි.

මානසික රෝග පිළිබඳව තිබෙන දුර්මත….

බොහොම දෙනා හිතන්නේ මානසික රෝග වැළඳුනාම දැන් ඉතින් සදාකාලිකවම මානසික රෝගියෙක් බවයි. එහෙම වෙන්නේ නැහැ. පුද්ගලයාගේ පවතින අසමතුලිත බවට ප්‍රතිකාර ලබා දීමෙන් ඔහු නැවත සාමාන්‍ය තත්වයටම සමාජගත කළ හැකියි.

මානසික රෝගීන් සමාජයේ අපවාදයට ලක් කිරීමක් වෙනවාද…?

මානසික රෝගියෙක්ය යන ලේබලයෙන් එම තැනැත්තා හඳුන්වන්න පුරුදු පුහුණුව සිටීම ඉතා වැරදියි. ඇතැම් විවාහ යෝජනාවන් පවා පවුලේ යම් කෙනෙක් මානසික රෝග තත්වයෙන් පසු වුන තොරතුරු දැනගත්තාම බිඳ වැටෙනවා. සමාජය මෙම රෝගීන් අවතැන් කරන නිසා ඔවුන් නොදැනම හුදෙකලා චරිත බවට පත් වෙන විට තව තවත් තත්වය නරක අතට හැරෙනවා.

යෝග සහ භාවනාවන් මගින් කාංසාව විශාදය වැනි මානසික රෝගවලට සහනයක් ලැබෙනවාය යන අදහස…

මෑතකදී හාවර්ඞ් විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන ලද පර්යේෂන වාර්තාවක සඳහන් අන්දමට යෝග සහ භාවනාවන් මගින් මානසික රෝගාබාධයන්ට සහනය ලැබෙන බව හඳුනා ගෙන තිබෙනවා. මෙම අධ්‍යනයට කාන්තාවන් 91 දෙනෙක් තෝරා ගෙන මුල් අදියරේදී ඔවුන්ට පැය 12 ක කාලයක් භාවනාවේ යෙදීමට අවස්ථාව ලබා දුන්නා. දෙවැනි අදියරේදී සතියක කාලයක්  යෝග ව්‍යායාමයන්හි යෙදෙන්නට අවස්ථාව සලසා දුන්නා. සැසි වාරය අවසානයේදී ලබා ගත් වාර්තාවන් මගින් පෙනී ගියේ මෙම පිරිස ඉතා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකට පත්ව සිටි බවයි. මේ විදිහට බලද්දී අපිට මානසික ඇති වෙන විවිධ අපහසුතාවයන් වෙනුවෙන් දැන් නොයෙක් පිළියම් තිබෙනවා.

එහෙමනම් මේ රෝගීන් සමාජය පිළිගන්නේ කොහොමද….

ඇත්තටම ඔවුන් සාමාන්‍ය උදවිය විදිහට හිතන්න පුළුවන්. අතීතයේදී ක්ෂයරෝගය , ලාදුරු වැනි රෝගීන් සමාජයෙන් කොන් වුන තත්වයට පත්ව සිටියත් වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනය සහ සමාජය ලබා තිබෙන දැණුවත්බව නිසා මේ රෝගීන් සුවය ලබා ඉතා හොඳින් සමාජය සමග ගණුදෙණු කරනවා. මානසිකව යම් වෙනස්වීමක් ඇති වෙලා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත්තාට පසුව දෙවතාවක් ඒ තැනැත්තා ගැන හිතන්න අවශ්‍ය නැහැ. දැන් ඔහු හෝ ඇය සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙක්…..

අල්ජසීරා පුවත් ඇසුරින්