කොවිඩ් නිසා ගෙදරටම කොටු වුණු ඔබත් දරුවනුත් පීඩනයෙන් මුදවන උපදෙස් 10ක්

පසුගිය මාස කිහිපය ලංකාව පමණක් නොව මුළු ලෝකයම උඩුයටිකුරු කළ බරපතල කාල සීමාවකි. චීනයෙන් ඇරඹි කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග බහුතරයක් රටවලට ඉන් සිදුවුණ පීඩාව සුළුපටු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්- 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමත් සමග තත්ත්වය තවදුරටත් බරපතල එකක් විය.  

ශීඝ්‍රව ව්‍යාප්ත වූ වෛරසය ලෝකය පුරා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි කරවමින් ඉදිරියට ඇදෙද්දී ඇස් පනාපිටම උදුරාගත් ජිවිත සංඛ්‍යාවද එසේ මෙසේ නොවිණ. මෙවන් බරපතල තත්ත්වයක් මත ලෝකය පුරා රටවල් බොහෝ ගණනක ඇඳිරි නීතිය පනවන්නට වූයේ වෛරසය ව්‍යාප්තිය පාලනයේ වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නොවුණු තැනය.

ලංකාවේ තත්ත්වයද එසේ වෙද්දී ජනතාව නිවෙස් තුළටම කොටු වූ කාලය මාස තුනකට ආසන්න විය. මතක ඇති කාලයකින් පවුලේ සියල්ලන්ම එකට එකතු වූ සතුටුදායකම කාලය මෙය බව බොහෝ දෙනෙකුගේ අදහසද විය. ආරම්භයේදී එය එසේ වුවත් දිනෙන් දන ගතව මාස ගණන් පසුවෙද්දී තත්ත්වය තරමක් වෙනස් විය. කාර්යබහුල දින චර්යාවකට පුරුදුව සිටි බොහෝ දෙනෙක්ට සියල්ලන්ටම මෙකී දීර්ඝ නිවාඩුව නැති ප්‍රශ්න ඇති කරවන්නක් විය. 

ගෙදරදොර කටයුතු පාලනය ඔබට වෙනදාට වඩා තරමක සංකීර්ණ එකක් වූවාට සැක නැත. රැකියා කටයුතු අඩාල වීම මුල්‍යමය ප්‍රශ්න ඇතිකරවන්නට සමත්වන්නට ඇත. වෙනදා නොවිදි මෙම ඒකාකාරී ජීවිතය බොහෝ දෙනෙකුට තරමක සංකීර්ණ තත්ත්වයක් බවට පත්වද්දී ලොකුම ගැටලුවට මුහුණ දෙන්නට සිදුවූයේ කුඩා දරුවන් සිටිනා දෙමව්පියන්ටය. 

උද්ගතව ඇති තත්ත්වය තේරුම් ගැනීමට ඔවුන්ගේ පුංචි මනසට හැකියාවක් නැත. ඔවුන්ට ඇති එකම බරපතල ප්‍රශ්නය වූයේ වෙනදා මෙන් නිදහසේ දුව පනිමින් එළියේ හැසිරෙන්නට අවස්ථාව නොලැබී නිවසේ සිරවී යාමයි. සමාජ දුරස්ථ භාවය ඔවුන්ට ගෝචර නොවන්නකි.

මේ නිසාම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් දෙමවුපිය ඔබ තුළ ඇති කරන්නට ඇත්තේ අමතර පීඩනයකි. දරුවන්ගේ හැසිරීම් වඩාත් අභියෝගාත්මක වන්නට ඇත්තේ ඔවුන්ගේ  ආහාර ගැනීම සහ නිදාගැනීම වැනි චර්යාවන් තුළ වෙනදාට වඩා ව්‍යාකූල ස්වභාවයක් ඇති කරවමිනි. එබැවින් මතුව තිබෙන මෙම ජාතික ගැටලුව හමුවේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් වැඩිහිටි ඔබ තුළ මතුව පවතින දැඩි පීඩනයෙන් මිදීමටත්, දෙමව්පියන් ලෙස ඔබ වගකීම් සහගත විය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙහි මූලික අරමුණ වේ.  

 

  • ඔබටම කාරුණික වීම 

 

මෙම ඒකාකාරී ජීවිතය පිලිබඳ මැසිවිලි නැගීම වෙනුවට එම කාලය තමන් වෙනුවෙන් යොදා ගැනීමට සිත යොදවන්න. නාන කාමරය තුලදී ඔබට බොහොම නිදහසේ පස් වතාවක් ගැඹුරු දිග හුස්මක් ගෙන පිට කිරීම ඔබේ සිතට තරමක සහනකාරී හැඟීමක් ඇති කරවයි. තමන් කැමතිම ඇඳුම්වලින් සැරසෙන්න. තමන් කැමතිම උණුසුම් පානයක් නිදහසේ රසවිඳින්න. වෙනදා තමන් වෙනුවෙන් නොලැබුණ කාලය මේ මොහොතේ ලබා දෙන්න. 

 

  • අසමත් වීමට ඔබට අවසර දෙන්න

 

කිසිම මොහොතක පරිපුර්ණත්වය යනු සම්මතය නොවන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මෙවැනි හදිසි තත්ත්වයකදී කිසිසේත්ම එවැනි තර්ක පිළිබඳ ඔබ කණගාටුවට පත්විය යුතු නොවේ. ඔබ ඔබේ දරුවා සමග හෝ නැතිව හෝ නියැලෙන කිසිම කාර්යකදී එය අතිශය සාර්ථක වීම මෙවැනි මොහොතක කිසිවෙකුට ප්‍රයෝගික නොවනු ඇත. එනිසා එය ප්‍රශස්ත මට්ටමකින් හැසිරවීමට උත්සහ ගන්න. ඒ පිලිබඳ සතුටු වන්න. මීළඟ අවස්ථාවෙන් වැඩි ප්‍රයෝජන ලබාගැනීමට හැකි බව අමතක නොකරන්න. 

 

  • එතරම් මහන්සි වී වැඩ නොකරන්න 

 

මෙම කාලය නිවසේ අලසව සිටීමට අකමැත්තෙන් දැඩි මහන්සියකින් සියල්ල එකවර අවසන් කිරීමට ලැබුණු කාලයක් බව වරදවා වටහා නොගන්න. ඔබට ඒවා සෙමින් අවසන් කිරීමට ඇතිතරම් කාලය ඇත. නිතර විනෝදාස්වාදයෙන්ම සිටීමද අවශ්‍යම නැත. එය ඔබට පහසු සරළ අයුරින් ඔබේ දරුවන් සමග හෝ නැතිව  තරමක ව්වෙකයක් සහිතව ගත කරන්න. කම්මැලිකම යනු නිර්මාණශීලිතත්වයේ ආරම්භයයි. එනිසා හොඳින් හුස්ම ගනිමින් තරමක් අලස වීමට ඔබට ඉඩ දෙන්න.

 

  • ඔබේ දරුවන් සමග රැඳෙන්න. ඔවුන් ගැන ආඩම්බර වන්න 

 

පෙරකී ලෙසම සමාජ දුරස්ථභාවය ඔබට වඩා ඔබේ දරුවා තුළ තරමක ආතතියක් ඇතිකර ඇති බවට සැකයක් නොවේ. එනිසාම ඔවුන්ගේ දරාගත නොහැකි හැඟීම් සහ අභියෝගාත්මක හැසිරීම් ඔබේ දරුවාට පමණක් අවේණික නොවන බව සිහිතබාගන්න. ඒ පිලිබඳ කලබලයට පත් නොවන්න. ඒ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමයයි. විටෙක ඔවුන්ගේ තොරතෝංචියක් නැති කතාබහ ඔබව විඩාවට පත්කරනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් තෝරාගත් සැනසිලිකරුවා වීමට තරම් ඔබ ආරක්‍ෂිත යැයි සැළකූ නිසා ඔවුන් ඒවා ඔබ සමග බෙදා ගන්නා බව මතක තබා ගන්න. ඒ පිළිබඳව ආඩම්බර වන්න.

 

  •  නිවසින් පිටත ගෙමිදුලට යන්න 

 

සොබාදහම මානසික ආතතියට හොඳ විසඳුමකි. එය සැබවින්ම අපට කළහැකි දේ තවදුරටත් පුළුල් කරමින් මනස විවෘත කිරීමෙහි සමත්ය.

 

  • යම් ආකාරයක දෛනික චර්යාවක් සාදා ගන්න 

 

එය සැකසූ පරිදි අකුරටම පිළිපැදීම කළ යුතු නොවේ. එමගින් ඔබගේ දෛනික දින චර්යාවේ නිශ්චිත භාවය ලිහිල් කරමින් යම් ගලායාමකට පහසු කරවන අතර ඊට යම් රිද්මයක් ඇති කරවයි. මෙහි කොටසක් ලෙස දවස ආරම්භයේ සහ අවසානයේ ඔබේ දරුවන් සමග විශාල වශයෙන් සම්බන්ධතාවයක් ඇති කරවන ක්‍රියාවන් ඇතුළත් කර දවස පුරා විසිරි යන පරිදි නිවසේ අනෙකුත් සම්බන්ධතා ඇතුළත් කරන්න.   

 

  • ඔබේ ශරීරය චලනය කරන්න 

 

ඔබේ මොළයේ ස්නායුවල රසායනික පරිසරය වෙනස් කිරීමට පහසුම හා වඩාත්ම ප්‍රවේශ වියහැකි ක්‍රමය මෙයයි. මෙවැනි ඒකාකාරී දිනකට ඔබ ඔබේ ශරීරය මිනිත්තු 30ක් චලනය කිරීමෙන් හෘද ස්පන්දනය ඉහළ නංවන අතර එය ඔබේ මොළයට ප්‍රීතිමත් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා දෙයි. 

 

  • හැමවිටම ඔබ විශාල බව සිතන්න 

 

මෙහිදී විශාල බව යනු ශරීර ප්‍රමාණය නොවේ. තමන් නිවසේ පරිසරයට වැදගත්ම අයෙක් බව සිතීමයි. මෙවැනි කාලසීමාවක දරුවන්ගෙන් වැල නොකැඩි එන ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම ඔබට මුහුණ දීමට සිදුවී ඇති. මෙවැනි අවස්ථාවක ඔබේ දරුවන්ගේ සියලුම ගැටලුවලට ඔබ පිළිතුරු දැනසිටීම වැදගත් නැත. ඔවුන්ගේ පිළිතුර විය යුත්තේ ඔබයි. මේ මොහොතේ මාර්ගය මදක් නොපැහැදිලි වුවද ඔබට මගක් සොයාගත හැකි බවට විශ්වාසයක් ඇතිකර ගන්න. 

 

  • හැකි පමණ දරුවන් සමග සෙල්ලම් කරන්න 

 

සෙල්ලම් කිරීම යනු දරුවන් විශාල හැඟීම් ක්‍රියාවට නංවන ආකාරය වන අතර  එය දරුවන් සමග ඔබේ සම්බන්ධතාවය තව තවත් ගැඹුරු කිරීම සඳහා උදව්වන්නක් බව දෙමව්පිය ඔබ සිහිතබා ගන්න. 

 

  • අසීරු වුවත් මෙම කාලය තුළින් සිදුවන යහපත ගැන සිතන්න 

 

කිසිවෙක් බලාපොරොත්තු නොවුන මොහොතක මුළු ලෝකයටම බලපෑ කොවිඩ් 19 වෛරසය අප සියල්ලන්වම නිවසේ රඳවා ඇත. ඔබේ දරුවන්ට මෙන්ම ඔබටද එය අලුත් අත්දැකීමකි. මින් පෙර ක්‍රියාත්මක නොවූවකි. මෙකී වෛරස ව්‍යාප්තියේ බලපෑමේ අතුරුපල ලෙස ජන ජිවිත අවුල් සහගත වීම, වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද කිසිදිනක නොවූ පරිදි කාංසාව සහ මානසික සෞඛ්‍ය ගැටළු පැන නැගුනේය. නමුත් ඒ බව සිතමින් තැවී තැවී සිටීමට මෙය කාලය නොවේ. ඔබේ පවුලේ අය සමග නිතර එක්ව රැඳෙන්න. ඇතැම්විට නැවත කිසිදිනක ඔබට ජිවිතයේ මෙවැනි අවස්ථාවක් හමු නොවණු ඇත. වැඩිහිටියන්, දෙමව්පියන් ලෙස වගකීම් සහගත වන්න.  මේ සියලු වසංගත තත්ත්වයන් අවසානයේ ඔබ සැබවින්ම ජිවිතයේ ඉක්මන් විය යුත්තේ මොනවා වෙනුවෙන්දැයි බුද්ධිමත්ව හිතන්න. තීරණය කරන්න.

 

එතෙක් තමන්ගේ පවුල සමගින් එක්ව සිටින්න. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න. ප්‍රවේශම්වන්න!

FRP – BC වෙබ් අඩවියේ ලිපියක් ඇසුරෙන් සකසන ලදී

 

https://frpbc.ca/parenting-during-covid-the-emotional-impact-of-social-distancing/

 

 

 

ගබ්සාවකට හේතු මොනවද?

මින් පෙර ලිපියකදී ස්වභාවික ගබ්සාව පිළිබඳව දැනුවත් කළ ආකාරය ඔබට මතක ඇති. මෙම ලිපිය හරහාද අප බලා පොරොත්තු වන්නේ ස්වභාවිත ගබ්සා වීමට බලපෑ හැකි හේතු, ගබ්සා වර්ග මෙන්ම එවන් අවස්ථාවකදී ලබා දෙන සාත්තුව පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එසේ ගත් කළ ගබ්සාවක් ඇති වීමට මවගේ මෙන්ම ඇතැම් විට කලලයේ යම් යම් තත්ත්වයන්ද හේතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරනවා.

ගබ්සාවකට මුල් විය හැකි මවගේ හේතූ

  • ගර්භණී මුල් සමයේදී ඇති වන උණ සහිත රෝග තත්ත්ව

උදා: මැලේරියාව, වෛරස් ආසාධන

  • මවට පවතින නිධන්ගත රෝග

උදා: දිගු කාලීනව පවතින වකුගඩු රෝග (Chronic Nephritis)

දියවැඩියාව

දිගු කාලීනව පවතින කැස්ස (Chromic cough)

  • පෝෂණ ඌණතා

උදා: නීරක්තිය – Anemia

  • ගර්භණී මුල් සමයේදී ගන්නා ඖෂධ

උදා: මැලේරියා ඖෂධ

  • අධික චිත්ත වේග
  • හෝමෝන අසාමාන්‍යතා
  • මවගේ රුධිර ඝණ නොගැලපීම
  • මවගේ ගර්භාෂය ආශ‍්‍රිත රෝග

උදා: ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීම

  • සංසේචිත ඩිම්බය ගර්භාෂයේ පහළ ඛණ්ඩයේ රෝපණය වීම
  • හදිසි අනතුරු
  • ගැබ්ගෙල අසාමාන්‍යතා

 

ගබ්සාවකට මුල් විය හැකි දරුවාගේ හේතූ (40% පමණ බලපායි)

  • වර්ණදේහ අසාමාන්‍යතා
  • සංසේචිත ඩිම්බය රෝපණයේදී ඇතිවන අසාමාන්‍යතා
  • අපරාවට හානි වීම
  • භ‍්‍රෑණ අසාමන්‍යතා

උදා – විදලිත තල්ල (Cleft Palate), අන්නසෝත්‍රය වැනි නාලවල පටුවීම (atresia) 

  • අවයව පටලයකින් පමණක් වැසී පැවතීම (Exomphollus)

උදා: නාභිය අසලින් උදරයේ කොටස් ඉවතට පැමිණීම

  • Rh නොගැලපීම හා රුධිර ඝන නොගැලපීම 

 

ගබ්සාවන් ප‍්‍රධාන වශයෙන් ආකාර 2 කි.

  1. ස්වයං සිද්ධ ගබ්සාව (Spontaneous abortion)
  2. පේ‍්‍රරිත ගබ්සාව (Induced abortion)

ප්‍රේරිත ගබ්සාවන් ප‍්‍රතිකාරාත්මක හේතූ නිසා හෝ සාපරාධී ලෙස සිදු කරයි. මෙහිදී අප ස්වයං සිද්ධ ගබ්සාවන් ගැන කතා කරමු.

තර්ජිත ගබ්සාව (Threaten abortion)

සති 24 ට පෙර යෝනිය මගින් රක්තවහනය සිදු වේ. ගර්භාණීතාවය අවසන් කිරීමට තැත් කරයි.  මෙහි ලක්‍ෂණ ලෙස,

  • සුළු රක්තවහනය
  • වරින් වර ඇතිවන උදර වේදනාව

 

තර්ජිත ගබ්සා තත්ත්වයකදී ප‍්‍රතිකාර හා සාත්තුව

මේ තත්ත්වයේදී රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. රෝහල් ප‍්‍රතිකාර අවසන්ව නිවසට ගිය පසු පහත ලෙස ආරක්‍ෂා විය යුතුය.

බහිස‍්‍රාවය පිළිබඳව සැලකිලිමත් වීම

  • මලබද්ධයෙන් වැළකීම
  • තැටමීම නොකිරීම
  • මල බද්ධය තිබුනද විරේචක ඖෂධ ලබ නොගැනීම

පෝෂණය

ප්‍රෝටීන අධික විටමින් හා යකඩ අධික ආහාර ලබාදිය යුතුය.

  • වැඩිකලක් ඇඳ විවේකය ගැනීම
  • බර ඉසිලීම, ව්‍යායාම නොකළ යුතුය
  • සංසර්ගයේ නොයෙදිය යුතුය
  • නියම කර ඇති ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතුය
  • පූර්ව ප‍්‍රසව සායනවලට සහභාගි විය යුතුය
  • සුළු රක්තපාතයක් වේ නම් රෝහල් ගත විය යුතුය

 

නොවැලක්විය හැකි ගබ්සාව (Inevitable abortions)

තර්ජිත ගබ්සාව ධාරණ සමය අවසන් වනතුරු රඳවාගත නොහැකි වුවහොත් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී භ‍්‍රෑණයා හා පටල වෙන් වී සම්පූර්ණ හෝ අසම්පූර්ණ ගබ්සාවක් බවට පත් වේ. නොවැළැක්විය හැකි ගබ්සාවකදී,

  • දරු ගැබ සති 16 ට වඩා අඩු නම් සිහි නැති කර ගර්භාෂය තුළ ඇති කළල කොටස් ඉවත් කළ යුතුය. (ERPC)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් දරු ගැබ ඉබේ ඉවත් වනතුරු ඖෂධ දී ඉවත් නොවූ භ‍්‍රෑණ කොටස් පවතී නම් පමණක් සිහි නැති කර ඒවා ඉවත් කරන්න.
  • අවශ්‍ය නම් කලලය ඉවත් කිරීමට ඔක්සිටොසින් (සින්ටොසිනොන්) ඖෂධය සේලයින්වලට දමා ශිරාවක් හරහා ශරීරගත කරයි.
  • ගර්භාෂයෙන් ඉවත් කරන ලද කළල කොටස් පරීක්‍ෂණ සඳහා යැවිය යුතුය. ගබ්සාවට හේතු සෙවීමේදී මේ පටක පරීක්‍ෂා උපකාරී වේ.

 

අසම්පූර්ණ ගබ්සාවක් නම්

  • ලේ වහනය අඩු නම් හෝ දරු ගැබට සති 16 ට වඩා අඩු නම් ඇඟිලි මගින් ගැබ් ගෙල තුළින් එළියට නෙරා ඇති කළල කොටස් ඉවත් කළ හැක.
  • රුධිර වහනය වැඩි නම් හෝ දරු ගැබ සති 16 ට අඩු නම් සිහි නැති කර කළල කොටස් ඉවත් කිරීම ඉක්මණින් කළ යුතුය. නැතහොත් ලේ වහනය අඩු කිරීම සඳහා එර්ගොමෙටි‍්‍රන් නම් ඖෂධය ලබාදේ. (අන්තර් පේශීමය)
  • දරු ගැබ සති 16 ට වඩා වැඩි නම් සින්ටොසිනොන් සේලයින් සමග ශිරා ගත කරයි.
  • කළලය ඉවත් වූ පසු නැවත පරීක්‍ෂා කළ යුතු අතර ඉතිරි කළල කොටස් ඇත්නම් සිහි නැති කර ඉවත් කළ යුතුය.

 

සම්පූර්ණ ගබ්සාවක් නම්

  • සති 8 කට පෙර ඇති වන ගබ්සාව බොහෝ විට මෙය විය හැක. පටල නොකැඞී එක්වර පිටවේ. භ‍්‍රෑණයා පිට වූ පසු රක්තවහනය ක්‍රමක‍්‍රමයෙන්ද උදර වේදනාව එක්වරද නැති වේ. ගර්භාෂයේ  ප‍්‍රමාණය කුඩා වේ.
  • අධික රුධිර වහනයක් වේදැයි පරීක්‍ෂාවෙන් සිටිය යුතුය.

 

ගබ්සාවකින් පසු

  • ඉබේ සිදුවන ගබ්සාවන් ගර්භණී කාන්තාවන් අතර ඉතා සුලබය. හඳුනාගත් සියලුම ගැබ් ගැනීම්වලින් 15% (1/7 ක් පමණ) ඉබේම ගබ්සාවලට ලක් වේ. 
  • ගර්භාෂය ආසාධන වීම හෝ වෙනත් ගර්භාෂ අසාමාන්‍යතා පිහිටීම වැනි කලාතුරකින් ඇතිවන අවස්ථා හැර අනෙක් බොහෝ විට නැවත නිරෝගී දරුවෙකු ලැබීමේ හැකියාව සාමාන්‍ය වේ.
  • නැවත ගැබ් ගැනීමට පෙර, තම විශේෂයෙන්ම තම මනස නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වනතුරු සිටීම මීළඟ දරු ගැබ සාර්ථකව වැඬීමට උපකාරී වේ. ඔබේ මානසික තත්ත්වය යළි ගොඩ නඟා ගැනීමට කාලය අවශ්‍ය නම් නැවත ගැබ් ගැනීම පමා කිරීම සඳහා සුදුසු විශ්වාසදායී උපත් පාලන ක‍්‍රමයක් වහා ආරම්භ කළ යුතුය. 
  • ගබ්සාවෙන් දින 4 – 6 දක්වා කාලයක් සුළු රුධිර වහනයක් පැවතීම ගැටලුවක් නොවේ. වේදනාව පවතී නම් වේදනා නාශක ඖෂධ භාවිත කළ හැක.
  • ගර්භණීභාවයේදී ඇති වන ඔක්කාරය, වමනය, ශරීරයේ අප‍්‍රාණික බව දින 3 කින් පමණ නැති වී යයි. පියයුරුවල වේදනාව දින 7 – 10 දක්වා කාලයකින් අඩු වේ. පියයුරු වල තද ගතිය හා වේදනාවක් පවතී. අල්ලනවිට වේදනාව ඇති වේ. 
  • පියයුරුවලින් කිරි වැනි ස‍්‍රාවයක් පිට වේ. අයිස් පැක් තැබීමෙන් වේදනාවට සහනයක් ලබාගත හැක.
  • වෙව්ලා උණ (1000F) ඇති වේ නම්, අධික රුධිර වහනයක් පවතී නම් (පැයකදී සනීපාරක්‍ෂක තුවාය, අධික ලෙස තෙත් වේ නම්), උදර වේදනාව වේදනා නාශකවලට  සමනය නොවේ නම් වහා වෛද්‍ය උපදෙස් ගත යුතුය.

 

වෙනත් රෝගයක් නොමැති නම් ගබ්සාවෙන් පසු වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත් සමහර විට ෆෝලික් අම්ලය වැනි අතිරේක විටමින් වර්ග දිගු කාලයක් ගැනීමට අවශ්‍ය විය හැක. නැවත ගැබ් ගැනීමක් සිදු වූ විගස වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

 

ගබ්සාවකින් පසු ඊළඟ ගැබ්ගැනීම පමා කිරීමට අවශ්‍ය කාන්තාවන්ට සුදුසු පවුල් සැලසුම් ක‍්‍රම

පහත දැක්වෙන යම් ක‍්‍රමයක් ගබ්සාවෙන් දින 7 ක් ඉක්මවීමට පෙර ඇරඹිය හැකිය.

  • කොන්ඩම්/රබර් කොපු

 ඕනෑම අයෙකුට  ඕනෑම අවස්ථාවක භාවිත කළ හැක.

  • හෝමෝන වර්ග

මේවාද ගබ්සාවෙන් දින 7 ක් තුළ ඇරඹිය හැක

  • උපත් පාලන – ගිලින පෙති 
  • DMPA වැනි එන්නත් (ඩිපොප්‍රොවේරා)
  • ගර්භාෂය තුළට දමන ලූප් (IUCD)

ඔබ නිසි සෞඛ්‍ය තත්ත්වයේ සිටී නම් වෙනත් අසනීපයක් නොමැති නම් ලූපය පැළදිය හැක. එනම් ගර්භාෂයේ ආසාධනයක් ඇත්නම් ලූප් දැමීමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගත යුතුය. එසේම නීරක්තිය ඇති (හිමොග්ලොබින් 7g/dl ට වඩා අඩු නම්) කාන්තාවන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවන තුරු ලූප් දැමීම ප‍්‍රමාද කළ යුතුය.

 

  • යම් අවස්ථාවක ලූප් දැමීම ප‍්‍රමාද වන්නේ නම් කොණ්ඩම් වැනි උපත් පාලන වර්ගයක් ලබාදෙන්න. 
  • ගබ්සාවෙන් පසුව ඉතා කෙටි කලකින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් කොන්ඩම්,
    උපත් පාන පෙති, එන්නත් භාවිතය වඩාත් සුදුසුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

රැකියාවල නියුතු මව්වරුන් දරුවන් සම්බන්ධයෙන් සිතිය යුතුම පැති 5ක්

දරුවෙකු මේ ලෝකයට බිහි කිරීම අම්මා කෙනෙකුට ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එවන් වූ අසීමිත දුක් වේදනාවන් සියල්ලම සැපතක් යැයි සිතා මෙලොවට දායාද කරන දරු පැටියා ආදරයෙන්, දයාවෙන් රැක බලා ගැනීමත් අම්මා කෙනෙකුගේ ජීවිතයේ නොදැනීම සිදු වෙන කටයුත්තක්. අම්මෙක් වූ පමණටම ඔබ අම්මා යැයි සෑහීමට පත් විය නොහැකියි. දරුවන් මුල් කර ගෙන ඔබ අතින් සිදු විය යුතු, ඔබ වැදගත් යැයි නොසිතන අවස්ථාවන් ඇති. ඇතැම් මව්වරුන් දරුවන්ට ළං වන්නේ කෙසේ හෝ දරුවන්ට පාසැල් වැඩකටයුතු කරවීමට පමණි. එයින් පසු ඔවුන් කොහේ කුමක් කරනාව ඇතිද යන්න ගැන මව්වරුන්ට වගක් නැති අවස්ථා අපි කොතෙකුත් දැක ඇති. මේ ලිපිය සකස් වෙන්නේ මෙවැනි කරුණු මත ඔබ නොදැනුවත්ව දරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

  1. දරුවන්ගේ පිරිසිදු බව

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒ වගේම ඕනෑම කෙනෙකු පිරිසිදුව,පිළිවෙළට සිටින දරුවන් දෙස බලන්නේ ආදරයෙන්. එය නොදැනීම සිදු වෙන දෙයක්. අම්මෙක් විදිහට මොන තරම් රාජකාරි බහුල වුනත් දරුවාගේ ශාරිරික පිරිසිදුකම ගැන වැඩි අවධානයක් දැක්විය යුතුම වෙනවා. එතැනදී ඔබට මහමෙරක බරක් පැවරෙන්නේ නැහැ.

උදේට දරුවාගේ දත කට මැද මුහුණ සෝදවා, හිස පීරා පිරිසිදු ඇ‍ඳුමක් ඇන්දවීම දවසේ මුල්ම කාර්යයි. මේ අන්දමින් දරුවාගේ ශාරිරික පවිත්‍රතාවය ගැන අම්මා කෙනෙක් විදිහට සැලකිලිමත් නොවුනොත් දරුවාටත් එවැනි පුරුද්දක් ඇතිවිය හැකිද යන්න ගැටලුවක්. උදේ නැගිටින දරුවා සවස තුන හතර වන තුරු මුහුණ ක නොසෝදා දවස ගත කිරීම සැබවින්ම කණගාටුවට කරුණක්.

  1. දරුවාගේ මල පහ සහ මුත්‍රා ගැන නොසලකා ඉන්න එපා..

දරුවන්ගේ මලපහ පිට කිරීම ගැනත් අම්මාගේ සැලකිල්ල ඉතාම වැදගත්. මල පහ පිටවීමේ පුරුදු සහ අසීරුතාවයන් සමග විවිධ පෙර නිමිති සම්බන්ධයි. සමහර දරුවන්ගේ බඩ වියලීම නිසා දරුවන් මල පහ පිටකිරීමේදී මහත් අපහසුතාවයට පත් වෙනවා. මේ තත්වය මොනතරම් දරුණුද කියනවා නම් සමහර විට එය මානසිකවත් ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථාවලදී බඩවැල් ආශ්‍රිත රෝග නිසා මෙවැනි අපහසුතාවයන් ඇති විය හැකියි. දරුවා මල පහ පිටකිරීමට බියක් දක්වන තරමට මේ ගැටළුව දරුණු වෙන්න පුලුවනි. අම්මා කෙනෙකු විදිහට ඔබ දරුවාගේ මෙම අපහසුතාවය තේරුම් ගත්තේ නම් ඒ වෙනුවෙන් ආහාර සහ වෛද්‍ය උපදෙස් මගින් දරුවාගේ ගැටළුව සැහැල්ලු කරන්න පුලුවනි.

සමහර දරුවන් මුත්‍රා පිටකිරීමේදීත් අපහසුතාවයන්ට පත් වෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල පැහැය විවිධ රෝග තත්වයන්ට හේතු වෙන නිසා ඒවා ගැන කල් තබා දැනගෙන දරුවාට ප්‍රතිකාර කිරීමට  හැකියාව ලැබෙන්නේ අම්මා මේ ගැන අවධානයෙන් සිටියොත් පමණයි.

  1. ලස්සනට අඳින්න…

දරුවා පිරිසිදුවට ලස්සනට අන්දවා තබා ගත් විට දරුවාගේ ධනාත්මක චින්තනය වර්ධනය වෙනවා. ඒ වගේම තමා ගැන ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. හැම දෙනාගේම ආකර්ශනය තමා වෙතට ඇති බැව් දරුවාට ඒත්තු යනවා. මේ නිසා දරුවෙකුට විය පැහැදම් කරමින් නොව තමාගේ ශක්තියෙන් තිබෙන ඇදුම් කීපය වුනත් සෝදා පිරිසිදු කර පිළිවෙළට අන්දවා තැබීමෙන් ඔබටත් නොදැනීම ඉහත හැකියාවන් ඔවුන් තුළ ගොඩ නැගෙනවා.

  1. නිතරම අවධානයෙන් ඉන්න

ඔබ රාජකාරි බහුල අම්මා කෙනෙක් වුනත් ඒ අතර ලැබෙන ඇසිල්ලකදී නිවසේ දරුවන් ගැන සොයා බැලීම වැදගත්. හරි හැටි යමක් කර කියා ගැනීමට නොහැකි වයසේ සිටින දරුවන් මෙන් නොව වයස අවුරුදු තුන හතරක් වුන දරුවන් ගැන අම්මාගේ ඇස ඇය කොතැන සිටියත් යොමු වීම ඉතාම වැදගත්. මෙවැනි වයසක දරුවන් රැකබලා ගැනීමට කවුරු හෝ සිටියත් අම්මා ලෙසින් ඔබ දරුවන් ගැන ලැබෙන විවේකයේදී හෝ විමසා බලන්න. තම කටයුතු කෙසේ හෝ නිමවා රැකියාවට පිටත්ව යාමට වඩා දරුවන් පිළිබඳව නිසි සැලකිල්ල අවධානය යොමු කොට තම කාර්යයට පිටත් වීම ඔබගේ වුවද මනසට සහනයක් බව ඔබට වැටහේවි.

  1. සම්බන්ධ වීමට මාර්ගයකුත් ඕන

සමහර විට ඔබේ දරුවා රැක බලා ගන්නේ ඔබේ මව විය හැකියි. එසේ නොමැති නම් සේවිකාවක විසින් විය හැකියි. මේ කවුරුන් හෝ වේවා ඔබ සම්බන්ධ කර ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන ඔවුන් දැණුවත් කරන්න. මේ වෙනුවෙන් ඔබට සාමාන්‍ය ජංගම දුරකථනයක් තිබුනොත් ඇති. එහි අංකය කොතැනක හෝ සටහන් කර තබන්න. ඔබට ජංගම දුරකථනයක් නොමැති නම් ඔබේ කාර්යාලයේ හෝ ඔබට ඉතාම ඉක්මනින් පනිවිඩයක් ලබා ගත හැකි මිතුරෙකුගේ දුරකථන අංකය හෝ දරුවා සමග  නිවසේ රැදී සිටින අයට ලබා දීමත් වැදගත්.

 

පිහිනීම

ඉස්සර නම් දරුවන්ට පිහිනීම අමුතුවෙන් ඉගැන්විය යුතු පාඨමාලාවක් වුනේ නැහැ.ඒත් අද පිහිනීම වෙනුවෙන් දරුවන්ට ගැලපෙන තැනක් නොවීම නිසාම ඒ වෙනුවෙන් බාහිරව ඉගෙන ගැනීමට සිදු වී තිබෙනවා.ඒ කොහොම වුනත්  පිහිනිමේදී අප විසින් තරයේ මතකයේ තබා ගත යුතු කරුණුත් නැතුවාම නොවෙයි. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශාරිරික අධ්‍යාපනය පිළිබඳ ( විශ්‍රාමික ) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ  නුවරඑලිය දිස්ත්‍රික්කයේ මළලක්‍රිඩා පුහුණුකරු ජේ. ජයලත් මහතා විසින්

පිහිනීම අපිට පුරුදු වෙන්නේ මව්කුස සිටියදීමයි. ඒත් අපි මෙලොව එලිය දුටුවාට පසුව මව්කුසේ සිටියදී තිබුන පරිසරය අපට නැහැ. ඒත් අපේ ජනවහරට අනුව කියනවා බල්ලන්ට පිහිනන්න උගන්වන්න අවශ්‍ය නැහැ කියලා…වතුරට බලු පැටියෙක් දැමූ විට පාද හතර චලනය කර මද වේලාවකින් පිහිනන්න පටන් ගන්නවා. ඒ බල්ලාගේ සහජ හැකියාව නිසයි. දරුවෙක් වුනත් උපත ලද විට ජලයට දැම්මොත් පිහිනීමට උත්සාහ ගන්නවා. ඒ වගේම ජලයේදී ශ්වසනය කිරීමේ හැකියාව දරුවාට තිබෙනවා.

පිහිනීමේ ඇති වාසි මොනවාද..

පිහිනීමෙන් අපට විවිධ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි, සිරුරේ මනා හැඩයක් පවත්වා ගැනීමටත් හෘදය සහ පෙනහළුවල නීරෝගිතාවය වෙනුවෙනුත් පිහිනීම ඉතාම හොඳ ක්‍රිඩාවක්. ඒ විතරක් නොවෙයි, තමන්ගේ ආත්මාරක්ෂාව වගේම තවත් අයෙකුගේ ජීවිතය ගලවා ගැනීමටත් අපි විසින් පිහිනීම ප්‍රගුණ කර සිටීම ඉතාම වැදගත්.

පිහිනීමේ රටාවන් කීපයක් තිබෙනවා.

නිදහස් ආර

සාමාන්‍යයෙන් අනෙකුත් පිහිණුම් ක්‍රමවලට වඩා වේගයෙන් පිහිනිමේ හැකියාව තිබෙනවා. තමාට රිසි ලෙසින් නියමිත දුර පිහිනා අවසාන කළ හැකියි.

පසුපස ආර

මෙහිදී දියට පැනීමෙන්ම ආරම්භය සිද්ධ වෙන්නේ නැහැ. තටාකයට බැස ආරම්භක ස්ථානය අත් දෙකින්ම අල්ලාගෙන දෙපා එම ස්ථානයටම ගෙන පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි පරිදි සූදානම් වෙනවා. මෙහිදි දෙපා, විලුඹ.ඇඟිලි සහ දෙපා ජල මට්ටමින් ඉහළ නොසිටන සේ සිටීමට අවශ්‍යයි.ආරම්භක සංඥාවේදී පසුපසට වේගයෙන් තල්ලු වී යා හැකි අතර තරඟය අවසාන ස්ථානය ස්පර්ශ කරන  තෙක්ම පසුපසටම හැරී සිටීම වැදගත්.

ලය ආර

තරඟ ආරම්භය දියට පැනීමෙන් සිද්ධ වෙනවා. ආරම්භයේදීත්, තටාකයේදී ආපසු හැරීමේදීත් හැර අනෙකුත් හැම අවස්ථාවකම උරහිස්  දෙක දිය මතුපිට සමාන්තරව තිබීම අවශ්‍යයි.

ඩොල්පින් ආර

ආරම්භය දියට පැනීමෙන් සිදු වෙනවා. පිහිනන විට අත් දෙකම එකවර දිය මතුපිටින් ඉදිරියට ගෙන එකවර පසුපසට ඇදිය යුතුයි.

ගොඩ ඉඳන් පිහිනන්න බැහැ …මේ වගේ අය දියට හුරුව ලබා ගන්නේ කොහොමද..?

ජලයට තිබෙන බිය නැති කිරීම ඉතාම උපායහීලීව සිදු වෙන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රම කීපයක් තිබෙනවා.

  • පාද පිහිනීමට හුරු කිරීම
  • දෙපා චලනය හුරු කිරීම
  • දෙඅත් ක්‍රියාත්මක කිරීම
  • හුස්ම ගැනීම පාලනය කිරීම

පිහිනීමට පෙරාතුව මතක තබා ගත යුතු හෙවත් ජීවිතාරක්ෂාවට වැදගත් විය හැකි සහ අනුගමනය කළ යුතු පිලිවෙත් කීපයක් තිබෙනවා.

ආහාර ගත් විගස දියට බසින්න එපා.

කුසගින්නේ දියට බැසීමත් නොකල යුතුයි.

තද සීතල වගේම උණුසුම් අවස්තාවන්හිදී

ශාරිරික ආබාධයන්ගෙන්, තුවාල, මීමැස්මොර තත්වය සහ හෘදරෝග ඇති තැනැත්තන් ප්‍රවේසම් වීම වැදගත්.

පාලු හෝ  කිසිවෙකුගේ අවධානය නැති තැන් වලත් දියට බැසීම නොකල යුතුයි.

බීමත්ව දියට බැසීම අනතුරුවලට හේතුවක්.

පිහිනීමට පෙරාතුව සුළු ව්‍යායාම්වල යෙදීම වැදගත්.

පිහිනීමට සුදුසු ඇඳුමක් අවශ්‍යයි. සරම් වැනි පැටලෙන ඇඳුම් සුදුසු නැහැ.එහි වර්ණය සුදු නම් වඩාත් යෝග්‍යයි.

කටේ යමක් තබා ගැනීම සුදුසු නැහැ.

ජලයට බැසීමට පෙරාතුව සිරුර තෙමා නොගත යුතුයි.

පිහිනීමේදී වුනත් තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගැනීම වැදගත්. ඒ නිසා පිහිනන විට අනවශ්‍ය විදිහට වීරත්වය පෙන්නුම් කිරීම අවශ්‍ය නැහැ. එක් එක් අයගේ පිහිනීමේ හැකියාවන් වෙනස් නිසා තමන්ගේ තරමට අනුව ජලයේදී කටයුතු කලොත් ආරක්ෂාව ගැන එතරම් ගැටළුවක් නැහැ.

ඒ වගේම සිරුරට සීතල දැනෙන තුරු දියේ සිටීමට වඩා කල් වේලා ඇතුව ගොඩට ඒමත් වැදගත්. සීතල වැඩි වීම නිසා කෙණ්ඩා පෙරලීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුලුවන්.ඒ වගේම පිහිනන විට තමන්ට කිසියම් අපහසුතාවයක් දැනනවා නම් කල් වේලා ඇතුව ගොඩට පැමිණීමත් වැදගත්. සමහර අවස්ථාවලදී අපහසුතාවය දැනි දැනීම ජලයේ රැඳී සිටියොත් එයින් ඇති විය හැකි අවදානම ඉතාම ඉහල වගේම පාලනය කර ගත නොහැකි තරම් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ට යාන්තමින් හෝ අපහසුතාවයක් හෝ අමුත්තක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ගොඩට පැමිණීම ඉතාම වැදගත්.

 

වෙළඳපොළට යන දෙමව්පියන්ට උපදෙස්

ටිකෙන් ටික රට විවෘත වෙන මේ වේලාවේ අපේ අම්මලා තාත්තලාටත් විිවධ අවශ්‍යතාවයන් වෙනුවෙන් සමාජය සමග ගැටෙන්න වෙනවාමයි. කොරෝනා කියලා හැමදාමත්  සැගව ජීවත්වෙන්නත් බැහැ.අපි කෙසේ හෝ කොරෝනා සමග ජීවත්වෙමින් වෛරසය පරාජය කළ යුතු කාලය දැන් ඇවිත්..

දැන් තිබෙන අලුත්ම ආරංචිය අනුව සුපර් මාර්කට්වල තිබෙන ඇසුරුම් ට්‍රොලි වල වගේම සුදු යකඩෙන් නිර්මානය කර තිබෙන දොර කොරෝනා බෝ කරන තෝතැන්නක් වීමට පුලුවනි.ඊට හේතුව මේ පෘෂ්ට මත කොරෝනා වෛරසයේ ජීව කාලය දින තුනක් පමණ පවතින්න පුලුවනි.. ඒ නිසා මේ පෘෂ්ට තඹ වලින් නිර්මානය කිරීමෙන් වෛරසයේ ජීවකාලය අවම කර ගැනීම ගැනත් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.එතෙක් අපි කොරෝනා සමග අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙළදපොළ ගනුදෙනු කරන්නේ කොහොමද..?

ඉස්සර වගේ දරුවන් මාර්කට් ගෙන යන්න එපා..

ඉස්සර නම් දෙමව්පියන් සමග පුංචි පැටව් සුපර් මාර්කට් ගිහින්,ඔවුන්ගේ අවශයතාවයනුත් අරගෙන ආ කාලයක් තිබුනත් දැන් නම් පුංචි අය නිවසේ තබා දෙමව්පියන් පමණක් වෙළදපොළට යා යුතුයි. ඒ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් ඔවුන්ටත් කියා දෙන්න.

ඔබත් අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න

ඉස්සර නම් ඔබ අවශ්‍යතාවයන් මිළට ගත්තේ වෙළදපොළ රාක්කයට රකේකයට යමින් වුනත්දැන් ඒ පුරුද්දෙන් මිදෙනන්. එක පැත්තකින් දැන් වෙළදපොලට හෝ ෆාමසියට ගන්නේ සීමිත පිරිසක්.ඔබ අනවශ්‍ය විදිහට කාලය ගෙවීම නිසා පිටත සිටින පිරිසට තවත් වේලාවක් එසේ සිට ගෙන සිටින්න වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් අවශ්‍යතාවයන් සපුරා ගනු පිණිස අවශ්‍ය දේ ලැයිස්තුවක් සකස් කර ගෙන යන්න.මේ ගැන අදහස් ඉදිරිපත් කරන ජර්මනියේ වයඹදිග වෛද්‍ය විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි සඳහන් කරන්නේ ”දැන් ආවේගශීලී සවාරිවලට කාලයක් නොවන බවයි.

ඔබට පිටතට යාමට අවශ්‍ය නම්, “ආවේගශීලී සාප්පු සවාරියක් කිරීමට මෙය කාලය නොවේ” යැයි වයඹදිග වෛද්‍ය විද්‍යාවේ සහකාර මහාචාර්ය ජූන් මැකෝයි පවසයි

දොර අරින්න…ට්‍රොලියක් ගන්න වෙනවා..

සුපර් මාර්කට් යන විට ඔබ මුව ආවරණ වග්ම අත් ආවරණත් පැළඳගෙන යෑම අනිවාර්ය බැව් දැන් දන්නවා. අත් ආවරණ පැළදගෙන ගියත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් මද්‍යසාර අඩංගු සේදුම් දියරයක් පාවිච්චි කරන්න. සුපිරි වෙළඳසැල් මගින් මේවා සපයනු ලැබුවත් දැන් නම් තමන්ගේ පාවිච්චියට සෞඛ්‍යාරක්ෂක සේදුම් දියර ඔබ වෙත තබා ගන්න. එවිට එය ඔබටම පාවිච්චි කරන්න පුලුවනි.

මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා..

සුපිරි වෙළදසැලෙන් එබේ අවශ්‍යතාවයන් ඉස්ට කර ගෙන පිටවෙන තෙක්ම විටින් විට මුහුණ,ඇස්, ස්පර්ශ කරන්න එපා. මුඛ ආවරණය වුනත් නාසය සහ මුඛය වැසෙන සේ පැළද ගන්න අමතක කරන්න එපා.

පිටට පැමිණි පසුවත් අත් සෝදන්න

ඔබේ කටයුතු අවසානයේදී පිටතට පැමිණ නැවත නිවසට යන්නට පෙරාතුවත් අත් සෝදා ගන්න අමතක කරන්න එපා.හදිසියේ හෝ කොරෝනා වෛරසයේ බිදිති ඔබ සමග නිවසට එන්න පුලුවන් නිසා හැකි ඉක්මනින්ම අත් සෝදා ගෙන නිවසට පැමිනීමට පිටත් වෙන්න.

සනීපාරක්ෂක දියර වාහනයේ තබන්න එපා

මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර වාහනයේ හිරු එළියට නිරාවරනය වෙන අන්දමින් තැබීම නිසා ඒවා පුපුරා යෑමේ අවදානමක් තිබෙනවා. පසුගිය දිනක විස්කොන්ස්හි දී උණුසුම් කාලගුණය තුළ මෝටර් රථයක් තුළ මත්පැන් මත පදනම් වූ අත් සනීපාරක්ෂක යන්ත්‍රයක්  පුපුරා ගියා. මේ නිසා විස්කොන්ස්හි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙන්නේ අතේ ගෙන යා හැකි සනීපාරක්ෂක දියර බෝතලයක් තමන්ගේ සාක්කුවේ බහා ගෙන යෑම වඩාත් ආරක්ෂිත බවයි.

 නිවසට එක්වරම ඇතුලු වෙන්න එපා

නිවසට ඇතුලු වීමට පෙරාතුව ඔබේ ඇදුම් සියලල්ම සෝදන්න දැමීම වඩාත් හොදයි. පාවහන් කිසිම විටෙක නිවසේ ඇතුල තබන්න එපා. මුඛ ආවරණයත් ගලවා ඉවත් කරන්න.නැවත පාවිච්චියට ගන්නා ආකාරයේ නම් සෝදා වියලා ගන්න.

පාවහන් පිටතින් තබන්න

ඉතාලියේ කොවිඩ් 19 වසංගත තත්වය ඉතා දරුණු අන්දමින් පැතිරී ගියේ පාවහන් මගින් වෛරසය සම්ප්‍රේෂණය වූ නිසා යැයි සැකයක් පවතී. මේ නිසා ඔබගේ පාවහන් නිතරම නිවසින් පිටත තබා ඒවා සෝදා හෝ වියලා ගෙන නැවත පැය කීපයකින් පසුව ඇතුලට ගන්න.

පැකට් ආහාරවලත් දැවටුම් ඉවත් කරන්න

ආහාර සකස් කරන දේ තැන්පත් කර තිබෙන ඇසුරුම් ඉදිරියේදී නැවත ප්‍රයෝජනය වෙනුවෙන් තබා නොගන්නා ලෙසට දැන් උපදෙස් ලබා දී තිබෙනවා.ඒ නිසා ආහාර ඇසුරුම් වහාම ඉවත් කරන්න. ඉතිරි කොටසක් අසුරා තැබීමට මේ ඇසුරුම නැවත භාවිතා කිරීම එතරම් සුබවාදී නැහැ.

එලවලු සහ පළතුරු ගලා යන ජලයෙන් සෝදන්න

එලවලු සහ පළතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ගලා යන ජලයෙන් සෝදන්න. වතුර පිරිමැස්මට කියමින් එකම ජලයෙන් සේදීම නම් අනතුරුදායකයි.

තොරතුරු-Disease Control and Prevention (CDC),

 

කොරෝනා සමග පාසල් සීනුව නාද වෙන දවසේදී…

ලෝකය ටිකෙන් ටික අපි වෙනුවෙන්ම විවෘත වෙන මේ කාලයේදී නැවතත් පාසල් සීනුවත් දරුවන් වෙනුවෙන් නාද වෙන දවසත් ළගා වේවි. ඉතිහාසගත විදිහට ලද දීර්ඝ නිවාඩුවකින් පසුව නැවත පාසල් විවෘත වුනත් පෙරදා වගේ හිත මිතුරන් සමග සමීපයෙන් සිටීමේ අවස්ථාව දරුවන්ට නැහැ. හැබැයි දරුවන් දුරස් කිරීම බොහොම අසීරු කාර්යක්. ඒ නිසාම බොහෝ රටවල් විසින් මේ වෙනුවෙන් විවිධ නිර්මානශීලී උත්සාහයන් අර ගෙන තිබෙනවා.

ඒ වගේම අනාගතය බාර ගැනීමට සිටින දරුවන් ගැන ලෝකයාම බලන්නේ ආදරයෙන් වගේම කරුණාවෙන්..ඔවුන්ගේ අද දවස වැරදුනොත් හෙට ලෝකයටම වරදින නිසාවෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සංවාදයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතුව යුනිසෙෆ් ආයතනය මගින් කරුණාව බෝවන සුළුයි…යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.එ් අනුව කොවිඩ් 19 නිසා දරුවන් තුළ ඇති වී තිබෙන මානසික ආතතිය දුරස් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වගේම ඒ සඳහා මාර්ගෝපදේශකත්වයත් ලබා දෙනවා.

කොරෝනා බිය දරුවන්ගේ හිතෙන් පහ කිරීමට චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ආකාරයේ ප්‍රකාශන දරුවන් අතර හුවමාරු කිරීම.

මාස ගණනාවක්ම දරුවන්ට නිතරම ඇහුනේ කොරෝනා මිසක වෙනත් කිසිම දෙයක් නොවෙයි.දරුවන්ට වෙනදා වගේ එලිමහනේ ඇවිදින්න,මිතුරු මිතුරියන් සමග සෙල්ලම් කරන්න තිබුන ඉඩ නොදැනීම ඇහිරී ගියා.නමුත් දිගින් දිගටම දරුවන්ගේ මානසිකත්වය මේ අන්දමින් අසුබවාදී සහ අවිනිශ්චිතව තබන්න නොහැකියි.ඊට හේතුව අනාගතයේදී දරුවන් මානසික පසුගාමී තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවන් සමග සමාජයේ සමීප බව ගොඩ නගන්න බැරි නිසා  චිත්‍ර,වීඩියෝ සහ වෙනත් ප්‍රකාශන ඔවුන් අතර හුවමාරු කර ගැනීමෙන් මානසිකව සතුටක් ලබා දෙන වැඩ පිලිවෙලක අවශ්‍යතාවය යුනිසෙෆ් සංවිධානය මගින් දැන් අනුමත කළ එක් මාර්ගෝපදේශයක්.

කැලෑබද ප්‍රදේශවල ඇවිදීම සහ ආහාර පිසීම.

මානසික ආතතිය දුරස් කිරීමට එළිමහන ඉතාම යෝග්‍යයි.පසුගිය දා සතුටු දර්ශකයේ අංක එකට පත්ව සිටින පින්ලන්ත වැසියන් එලිමහනේ වැඩි වේලාවක් කාලය ගත කිරීම ඔවුන් සතුටින් ජීවත්වෙන පිරිසක් බවට පත් වීමේ අවස්ථාවට හේතු වී තිබෙනවා.ඒ අනුව යුනිසෙෆ් සංවිධානය විසින් දැන් යෝජනා කරන්නේ දරුවන් සමග එළිමහනේ කාලය ගෙවීමට වැඩි අවස්ථාවක් සලසා දීම වැදගත් බවයි.ඒ අවස්ථාවේදී කුඩා කණ්ඩායම් ඇති කර ගෙන වනාන්තරයේ එහෙම නැත්නම් ටිකක් නිස්කලංක තැනකට ගොස් තමන්ගේ දිවා ආහාරය පිළියෙල කිරීම වැනි ක්‍රියාකාරකම් කිරීමෙන් දරුවන්ගේ හිතෙන් කොරෝනා බිය දුරු කළ හැකි බැව් ඔවුන්ගේ තවත් යෝජනාවක්.දැනටමත් ජර්මනිය විසින් පාසල් දරුවන් සමග වනාන්තරයේ ගොස් පිට්සා සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.අපේ රටේ දෙමව්පියන්ට වගේම පාසල් මටට්මෙන් වුනත් මේ වගේ අලුත් දෙයක් කරන්න එතරම් අපහසුවක් නැහැ. 

මුව ආවරණ වර්ණ ගැන්වීම මගින්  දරුවන් ඒවා පැළඳීමට හුරුව

මුහුණු ආවරණ ගැනත් දරුවන්ට ඇත්තේ ගැටළුවක්. තමන්ගේ හුරු පුරුදු ජීවිතයේ අංගයක් නොවුන මේ ආගන්තුක පළදනාව බොහෝ විටෙක දරුවන්ට හිරිහැරයක් විදිහට දැනෙනවා ඇති. ඒ වගේම මුහුණු ආවරණයක ඇති වැදගත්කම ගැනත් නොදන්නා නිසාවෙන්ම දරුවන් මේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නත් පුලුවනි. මේ සියල්ලටම විසදුම් විදිහට ජර්මනිය වැනි රටවල් දරුවන් කණ්ඩායම් විදිහට යොදා ගෙන මුව ආවරණ වර්ණ ගැන්වීම වෙනුවෙන් දරුවන් උනන්දු කරනවා. එතැනදී දරුවා මුව ආවරණ පැළඳීමට හුරුව ලබනවා.

දරුවන්ට ඇහුම්කන් දීමේ කලාව දෙමව්පියන්ට හුරු කිරීම.

තමන්ගේ දිහාවට දෙමව්පියන්ගේ අවධානය ලබා ගැනීමට අවශ්‍ය වුනාම දරුවන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඒ නිසා දෙමව්පියන් නොමග යන අවස්ථා ඇති වෙන්නත් පුළුවන්. මේ නිසා දරුවන්ට නිතරම ඇහුම්කන් දීමට දෙමව්පියන් වගේම ගුරුවරුන් යොමු වීම ඉතා වැදගත් බැව් යුනෙස්කෝ ආයතනය මගින් ප්‍රකාශිත මාර්ගෝපදේශයන්ට ඇතුලත් වෙනවා.

නිතර දරුවන් ඇගයීම.

මාස ගණනාවක් පාසල් අධ්‍යාපනයෙන් දුරස්ව ආගන්තුක පරිසර තත්වයක් යටතේ කාලය ගෙවූ දරුවන් නැවත අධ්‍යාපනයට අවතීරණය වීමේදී විවිධ මගහැරීම්,අතපසුවීම් වගේම දුර්වලතාවයන් දැක ගන්න ලැබේවි. එවැනි අවස්ථාවකදී කිසිසේත්ම උරණ සිතක් ඇති කර ගන්න එපා. දරුවා ඇගයීමට ලක් කරන්න.මේ ඇගයීම නිසාම දරුවා නැවතත් පෙර පරිද්දෙන්ම ඉගෙනුම් කටයුතු සදහා යොමු වීමේ උත්තේජනය ගොඩ නගා ගනීවි.

බිබිසි ඇසුරිනි

 

දරුවාගේ හොඳම මිතුරන් තුන්දෙනෙක්..

ඔබේ පුංචි පැටියාගෙන් ඔයාගේ හොඳම යාලුවා කවුදැයි ඇහුවොත් විවිධ පිලිතුරු ලැබේවි. ඒ අතර පැටියාගේ පංතියේ මිතුරන්ගේ නම් වැලක් කියැවේවි…එහෙම නැත්නම් අහල පහල ඉන්න අසල්වැසි දරුවන් මේ ලැයිස්තුවේ සිටින්න පුලුවන්. ඒ වගේම අම්මා…තාත්තා..දරුවාගේ හොඳම මිතුරන්ගේ  ලැයිස්තුවේ ඉන්නත් පුලුවනි.

මේ සේරම දරුවාගේ ලෝකයේ සැබෑම තත්වය. ඒ අතර ඔබ දරුවා වෙනුවෙන් වඩාත් සමීපව සම්බන්ධ කළ යුතු සහ ඔවුන්ගේ සැබෑ මිතුරන් බවට පත් කළ යුතු තවත් කීප දෙනෙක් ඉන්නවා.සමහර විට මේ පැත්ත දෙමව්පියන් විදිහට එතරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්නත් ඇති. ඒත් අද පටන් හෝ මෙන්න මේ පුරුදු කීපය දරුවාගේ හොඳම මිතුරන් බවට පත් කරන්න…

පොත් පත් කියැවීම

පුංචි දරුවන්ට බාල කාලයේ පටන්ම පොත් පත් කියවන පුරුදු නිවසේදී ගොඩ නැගීම ඉතා වැදගත්.එහෙම නොමැතිව පොත් කියවන්න..දරුවා කී පමනින්ම ඔවුන් පොත් පත් කියවන පුරුද්දට යොමු වෙන්නේ නැහැ.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාට පොත් පත් කියවන හුරුව ගොඩ නගන්න.එවිට දරුවා සමග මේ පුරුද්ද නොදැනීම වර්ධනය වෙනවා.ඒ විතරක් නොවෙයි, දරුවා පොත් පත් කියවීමෙන් විශාල දැණුම් සම්භාරයක් උපයා ගන්නවා.එය ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වගේම අධ්‍යාපනයටත් මනා රුකුලක් බවත් අමතක කරන්න එපා.ඒ නිසා පැටියා පුංචි කාලයේ පටන්ම පොත් පත් ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න.

ගහ කොළට ආදරය කරන්න

අද ලෝකය මුල් කර ගෙන ඇති චෝදනා අතර මේ ගැනත් නැගෙන අඳෝනාවන් ඔබට ඇසී ඇති. ගහ කොළට ආදරය කරන්න දන්නේ නැති සමාජයක්..විශේෂයෙන් බාල පරම්පරාව මුල් කර ගෙන මේ චෝදනාව විශාල වශයෙන් නැගෙනවා.ඒත් අපි දරුවන් වෙතට  ඇගිල්ලක් දිගු කරද්දී ඇගිලි හතරක් අප වෙතට යොමු වෙනවා.දරුවන් ගහ කොළට ආදරය කරන්නේ නැත්තේ ඒ වෙනුවෙන් ඔවුන් තුළ හුරුවක් නැති නිසයි. දෙමව්පියන් විදිහට දරුවා කුඩා කාලයේ පටන්ම ගහ කොළට ආදරය කරන්න හුරු කරන්න. මල් කඩලා විනාශ කරන්න ඉඩ දෙන්න එපා. මලටත් ජීවයක් තිබෙන බව කියා දෙන්න. ලෝකය ලස්සන වෙන්නේ ගහ,කොළ,මල් පළතුරු නිසා බැව් පහදා දෙන්න.දරුවා  පරිසරයට නිරාවරණය කරන්න.ඔවුන් සමග පරිසරයේ කාලය ගත කරන්න. අද ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇති පින්ලන්ත වැසියන් ඒ සතුට උපයා ගන්නේ කෙදේසැයි වූ විමසා බැලීමේදී මුල්ම කරුණ ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ජීවිතයේ වැඩි වේලාවක් එළිමහනේ ගත කිරීම මේ සතුට ලැබීමට හේතු වී ඇති බවයි. ඒ නිසා බාලකාලයේ පටන්ම ඔබේ දරුවාගේ හොඳම මිතුරා ලෙසින් ගහ, කොළ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්න.

සතුන්ට ආදරය කරන්න

පසුගිය කාල වකවාණුවේදී සත්ව හිංසනය ගැන නිතර අපට තොරතුරු දැන ගන්න ලැබී තිබෙනවා. සතුන්ට හිරිහැර කිරීමේ විකෘති ආශාවන් ඇතැමුන්ගේ හිතේ පවතින්නේ බාල කාලයේ පටන්ම සංවේදීව ජීවත්වීමේ කලාව පිළිබඳ අත්දැකීම් ඔවුන්ට නොතිබුන නිසයි.සතුන්ද අපේ මිතුරන් බැව් දරුවන්ට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න.නිවසේ ඇති දැඩි කරන බල්ලා,බළලාගේ පටන් මග තොට දකින සතුන් වෙතත් දයාවෙන් බලන හිත් දරුවන් වෙත ගොඩ නගන්න. නිවසේ බල්ලාට අධික ලෙසින් සැප දෙමින් තවත් බල්ලෙක් දුටු තැන කකුල් බිදෙන සේ පහර දෙන වැඩිහිටියන්ගෙන් දරුවන් ලබන පාඩම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් සතුන්ද අපේ මිතුරන් බවට වූ පනිවිඩය බාලකාලයේ පටන්ම දරුවාගේ ඇට,මස්,ලේ ,නහරවැල් ඔස්සේ ගමන් කිරීමට වැඩිහිටියන් ගේ මාර්ගෝපදේශකත්වය ඉතාම වැදගත්.

ඒ නිසා ඔබේ දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප සහ ගුණදහමින් යුක්ත අනාගත යුග පුරුකක් බවට පත් කිරීමට නම් මේ තුන්දෙනා ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න..ඔබටත්..දරුවාටත් වරදින්නේ නැහැ.

 

ඔබේ දරුවාගේ ලෝකයේ වීරයා ඔබ වන්න

මේ බ්‍රසිලයේ.පුංචි දරුවන් තුන්දෙනෙක් මුල් කර ගෙන වුන සිදු වුනත් මේ සිදුවීම අපටත් පොදු සංසිද්ධියක්. ඒ ඇයි කිව්වොත් දරුවන් කියන්නේ ලෝකයේ කොතැන හිටියත් දරුවන්.ඔවුන්ගේ හිතේ තිබෙන සිතුවිලි ඒ තරමටම විශ්ව සාධාරණයි.ඒ නිසා මේ සිදුවීම කියවන ඔබටත් ඔබේ දරුවන් ගැන යම් අවධානයක් දක්වන්න වේවි.

එඬේර පවුලක ජීවත්වුන මේ පිරිමි දරුවන් තුන්දෙනා වයස අවුරුදු 8,10 සහ 12 වැනි පුංචි වයසේ සිටිය එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙක්.මේ තුන්දෙනා ”ස්පයිඩර් මෑන්” ට බෙහෙවින් ආදරය කලා. නිතරම ස්පයිඩර් මෑන් අනුකරනය කරන්න උනන්දු වුනා.බොහොම නිදහස් ජීවිතයක් ගෙවන මේ සහෝදරයන් තුන්දෙනා බැටළුවන් බලා ගන්න ගිය වේලාවක අමුතු සිතුවිල්ලක් ආවා.

මේ පළාතේ සිටින විෂ සහිත මකුළු වර්ගය ලවා ඔවුන්ට දෂ්ට කර ගත්තොත් ස්පයිඩර් මෑන් ඔවුන්ටත් ආරූඪ වෙයි කියලා එක් දරුවෙක් කිව්වා.තුන්දෙනාම මේ අදහසට එකග වුණා. බැටළුවන් ආහාර සොයා කද්දී සහෝදරයෝ තුන්දෙනා මකුළුවා ලවා දෂ්ට කර ගත්තා.

ටික වේලාවක් යද්දී දරුවන්ගේ සිරුර ඉදිමී හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා.මස් පිඩු පෙරලෙන්න පටන් ගත්තා.ඔවුන් ඉක්මනින් ගෙදර ගිහින් දෙමව්පියන්ට මේ බව කිව්වා.ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්න නිසා දරුවන් තුන්දෙනා සුවපත් වුනත් හදිසියේවත් මීට වඩා තත්වය දරුණු වෙන්න ඕනෑ තරම් ඉඩ තිබ්බා.

  • මේක ඉතින් බ්‍රසිලයේ වෙච්ච දෙයක් නේ..

ඒක ඇත්ත.නමුත් ඔබේ දරුවාත් මේ තත්වයේ ගොදුරක් වෙන්න බැහැ.දරුවන් මනංකල්පිත චරිත වෙනුවෙන් දැඩි විදිහට එල්බ ගන්නවා.මේ චරිත මනංකල්පිත යැයි නොහිතන තරම් ඔවුන් ඒ චරිත ආරූඪ කර ගන්නවා.හැබැයි එතැනදී වුනත් දරුවන් වැඩියෙන් ඇදෙන්නේ සත් චරිත වෙතට නොවෙයි. මවා ගත් වීර චරිත වෙතයි.

  • අවධානය දුන්නොත් හොදයි..

ඒ නිසා විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ හෝ කාටුන් මගින් මවන චරිත සමග සමහර විට ඔබේ දරුවාත් ජීවත් වෙනවා. ඇති.ඒ වගේම මේ චරිත වෙනුවෙන් ආදරය කරනවා ඇති.ඒත් ස්පයිඩර් මෑන් වගේ බිත්ති දිගේ ගමන් කිරීම දරුවාට කළ නොහැකි දෙයක් බැව් කියා දෙන්න.එවැනි අවදානම් කටයුතුවලට ගොස් ජීවිතයටත් අනතුරු විය හැකි බැව් දරුවාට පහදා දෙන්න.

  • නිතරම සොයන්න

දරුවා කාටුන් මගින් හෝ වෙනත් සාහිත්‍ය කතාවකින් මවන චරිතය සමග ජීවත් වෙනවා නම් ඔවුන්ගේ අන්තර් ක්‍රියාවන් ගැනත් විමසා බලන්න.දරුවන්ගේ හැටි එහෙමයි.එය අතීතයේ පටන්ම සිදු වුන දෙයක්.බොහෝ දරුවන් මඩොල්දූවේ උපාලි, ජින්නා වීමට කැමැති වුණා. අඹයහළුවෝ ටෙලි නාටයයේදී නිමල්,සුදු අප්පෝ වීමට කැමැති වුණා.එයින් පෙනෙන්නේ දරුවන් මේ චරිත සමග ජීවත් වීමට දක්වන කැමැත්තයි.එය හොඳ අතට යොමු වීමට වඩා අවදානම් කටයුතු වෙනුවෙන් යොමු වීමේ අවදානම ඉතාම ඉහලයි.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ හිතේ මවා ගත් වීර චරිත මුලින්ම හදුනා ගන්න.ඒ චරිත අනුකරනය කරමින් පමණට වඩා මනංකල්පිත ලෝකයක ජීවත්වෙනවා නම් එතැනින් මිදී සැබෑ ලෝකය සමග ජීවත්වෙන මග කියා දෙන්න.දරුවාගේ ලෝකයේ සැබෑම වීරයන්,ආරක්ෂකයන් දෙමව්පියන් බැව් ඔවුන්ට පහදා දෙන්න. ඒ නිසා කිසිම විටෙකවත් දරුවා හුදෙකලාව කරන්නේ මොනවාදැයි විමසිලිමත් වෙන්න.අම්මා,තාත්තාගේ මග පෙන්වීම අනුව හැසිරෙන ,ඔවුන් අනුගමනය කරන දරුවන්ට කිසිදු දිනක ජීවිතය නොවරදින බවත් ඔබේ ලෝකයේ සැබෑම වීරයන් දෙමව්පියන් මිස වෙන කවුරුවත්ම නොවන බවත් කියා දෙන්න.

 

අම්මාගේ පෞරෂය ගැහැණු දරුවාගේ පැවැත්මට වැදගත්

සාමාන්‍යයෙන්  වචනයට වුනත් කියනවා ”නයෙක් වුනත් පෙනය නොකලොත් නයාගේ පෞරෂය නැති වෙනවා…. ඒ නිසා නයා කියන අනන්‍යතාවය දස්ට නොකලත්  ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මේ අදහස අද අම්මා කියන සංකල්පය මුල් කර ගෙනත් ඉතාම වැදගත් වී තිබෙනවා.අම්මා කියන්නේ ආදරයේ,දයාවේ උල්පත වුනත් අම්මා වෙතින් දරුවන් මුල් කරගෙන යම් පමණකින් හෝ සැර පරුෂ බවකුත් තිබීම ඉතා වැදගත් බැව් දැන් පිලිගත් සත්‍යක් වී තිබෙනවා.

බ්‍රතාන්‍යයේ  සසෙක්ස්හි පර්යේෂකයන් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය වෙනුවෙන් 2004 සිට 2010 අතර කාලය තුළ ගැහැණු දරුවන් 15,077 ක් සම්බන්ධ කර ගත්තා. මේ අධ්‍යනය සම්පූර්නයෙන්ම යොමු වී තිබෙන්නේ ගැහැණු දරුවන් සම්බන්ධව අම්මා කෙනෙකුගේ පවතින පෞරෂය ගැනයි.මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ දියණිය වෙනුවෙන් මවක් දක්වන ප්‍රතිචාර එතරම් ප්‍රබල නොවෙනවා නම් ඔවුන් නොමගට යැමේ වැඩි අවස්ථාවන් තිබෙන බවයි.විශේෂයෙන් දියණිවරුන්ගේ පැවැත්ම බාල කාලයේ පටන් ගොඩ නගා ගැනීමට මවක් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත් බවයි. අම්මාගේ අණසකට නතු නොවෙන දියනිවරුන් අඩු වයසින් ගැබ් ගැනීමේ අවදානමක් පවතින බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඇයි එහෙම වෙන්නේ…

දරුවන් වුනත් යම් පාලනයක් අවශ්‍ය වෙනවා.ඔවුන් හොඳ,නරක , යා යුතු මග හෝ නොමග ගැන දැණුම් තේරුම් ඇති අය නොවෙයි.පිරිමි වුනත් ගැහැනු වුනත් දරුවා වෙනුවෙන් මව්පියන්ගේ කොන්දේසි විරහිත ආදරේ අවශ්‍ය බව ඇත්ත.ඒ ආදරයේ සීමා නැති වුනත් ජීවිතයේ වයසට අදාල යම් සීමාවන් තිබෙන බව නම් අවබෝධයෙන්ම දරුවන් දැන ගත යුතුයි.

මේ දැණුම නිකම්ම ලැබෙන්නේ නැහැ..

අතීතයේ පටන්ම පිරිමි දරුවා කොහේ ගිහින් ආවත් සෝදා ගෙට ගැනීමෙන් සියලු කිලි කුනු සෝදා ගන්න පුලුවන් කිව්වත් එයත් ඒ තරම් නිවරැදි සංකල්පයක් නොවෙයි.මේ පිරිමි දරුවා නිසා කොතැනක හෝ ගැහැනු දරුවෙක් ජීවිතයේ අතරමං වෙනවා.ඒ නිසා පිරිමි දරුවා ගැන වුනත් විනයක් සදාචාරයක් ඇතුව හැසිරෙන්න අවශ්‍ය දැණුම ලබා දීම වැදගත්.

ලෝකයේ තත්වය කෙසේ වුනත් අපි තවම ලංකාවේ..

දැන් ලෝකය බොහොම බටහිරකරණයට පත් වෙලා. ඉස්සර වගේ කසාදයෙන් පසුසේ එකතු වෙන්න කියලා නියමයක් නැහැ.බටහිර ටවල්වල විවාහ වෙන්න ඉස්සර ”ලිවින් ටු ගෙදර්” රටාවට අපිත් දැන් යන්න ඕන කියලා හිතුවත් මේ තත්වයෙන් අසරණ වෙන දියණිවරුන් ගේ ජීවිතයේ ශෝකාලාපය ගැන කවුරුන් වග විය යුතුද? කතාවටත් කියන්නා වගේ කොල්ලන් යනු බල්ලන්…මේ විදිහට එකට එකතුව සිටින විට විශ්වාසය නිසාම යම් විදිහකින් ගැහැණු ළමයි ගැබ් ගත් විටෙක ඒ වගකීම බාර ගෙන ඉදිරියට යනු වෙනුවට හදිසියේ හෝ අතරමග දමා ගිය තැනකදී ඇගේ ජීවිතයේ ගැලවුම්කරු වන්නේ කවුද..?මෙවැනි තත්වයක් සිදු වීමට එතරම් කාලයක් අවශ්‍ය නැහැ.

බටහිර ලෝකය මොනතරම් නවීකරණය වුනත්, අනේ සැපයි..සැපයි කිව්වත් ඔවුන් පවා දැන් අඩු වයසින් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ජීවිතයේ කඩා වැටෙන ගැහැණු දරුවන් අලලා මේ වගේ අධ්‍යනයන් කිරීමට යොමු වුනේ නිකම්ම නොවේ.බාල වයසේදී ගැබ් ගන්නා ගැහැනු ළමයි ගැන ඇති ශෝචනීය තත්වය දැන් බටහිරටත් දැනෙන්න ඇති.එහි පිටුපසින් ඔවුන් හදුනා ගත් හේතුව වුනේ  අම්මා දරුවන් වෙනුවෙන් යම් අණසක පතුරුවාගෙන සිටීමයි. මේ සංකල්පය ඇත්තටම අපේ අම්මලාගේ හැදි නොගා හදන හොද්දයි…ගුටි නොගහා හදන දරුවයි..යන සංකල්පයට සමානයි නේද..?

 

පවුලට අලුත් අමුත්තෙක්

පවුලකට අලුත් අමුත්තෙක් එකතු වෙනවා කියන සුබ ආරංචිය අම්මාට තාත්තාට බොහාම සතුටක්.ඒත් කුසට පැමිනි පමණටම දරුවා බිහි කිරීම සාර්ථක දෙමව්පියන්ගේ ගති ලක්ෂනයක් නොවෙයි.දරුවෙකු ලැබෙන පෙර නිමිති පහල වෙලත් මාස නවයක් පමණ කාලයක් පුරා ඒ වෙනුවෙන් සැලසුම් හදා ගන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ පුංචි අමුත්තා වෙනුවෙන් හැඩ ගැහෙන්නේ කෙසේද..?

  • මිළ මුදල් අවශ්‍යතාවය..

පැටියා කුස පිලිසිඳ ගත් තැන පටන් මෙලොව එලිය දකින තුරු පමණක් නොවෙයි,එයින් පසුවත් අපට විය පැහැදම් බොහොම වැඩියි.ඒ නිසා දෙමව්පියන් විදිහට යම් මුදලක් අත මිට තබා ගැනීම ඉතාම වැදගත්.ගැබ දරණ අම්මාගේ වගේම පුංචි පැටියෙක් නිවසේ ඉන්නා විට කොයි වේලාවක මුදල් උවමනා වෙයිද දන්නේ නැහැ.

  • බබාගේ අවශ්‍යතාවයන්..

දරුවෙකු ලැබෙන්න සිටියදී කල් තබා ඇඳුම් පැලදුම් සුදානම් කිරීම ගැන විවිධ මත තිබුනත් රෝහලට යන්න ආසන්න වෙද්දී නම් ළදරු කමිස ,නැප්කින් ආදිය සූදානමින් තබා ගන්නම වෙනවා.එහෙම නැතුව දරුවා ලැබෙන්න සුතිකාගාරයට අම්මා ඇතුලු කලාට පසුව පැටියා වෙනුවෙන් ඇදුම් හොයන තාත්තලාත් ඉන්නවා. ඒ නිසා කල් තබා ඇදුම් සහ අවශ්‍ය දේ සූදානම් කර ගෙන තබා ගන්න.

  • දවස දැන් වෙනස්

වෙනදා සැමියා සහ බිරිඳ මොනවා හෝ රත් කර ගෙන කෑමෙන් පසුව නින්දට ගියත් දැන් එහෙම බැහැ. පුංචි අමුත්තාගේ වැඩ කෝටියයි.එයාට අම්මා තාත්තාගේ වෙලාව ගැන තේරුමක් නැහැ.ඒ හින්දා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා පැටියාගේ වැඩ කොටස් සහයෝගයෙන් කරනවා නම් මොන තරම් අගෙයිද නේද..?

  • ඇහැ පියාගන්න නැහැ..

පැටියා දවල් රෑ දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. පැටියා දවල් කාලයට හොදට නිදා ගෙන රාත්‍රියේ අවදිව ඉන්නවා.මේ වෙලාවට අම්මාටම නිදි මරන්න දෙන්න එපා. තාත්තාත් සලාක ක්‍රමයට හෝ පැටියා වෙනුවෙන් අවදිව ඉන්නවා නම් අම්මාටත් සතුටුයි.

  • අම්මාගේ හෝර්මෝන මට්ටම

දරුවා ලැබුනාට පසුව සිදු වෙන හෝර්මෝන වෙනස්කම් නිසා සමහර විට අම්මාගේ මානසික තත්වයත් වෙනස් වෙනවා.අවිවේකය නිසා මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවනි.ඒ හින්දා තාත්තාත් අම්මාට විවේකයක් දුන්නොත් හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇති වෙන ව්‍යාකූල තත්වය ටිකකින් හෝ පිරිමැසේවි.

  • පැටියා අඬන හේතු..

පුංචි පැටියා අඬන විවිධ හේතු තිබෙනවා.එයාලගේ භාෂාව ඇඬීමයි. අම්මා තාත්තා බබාගේ භාෂාව තේරුම් ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා කුසගින්න,මල මුත්‍ර පිටවීම වගේම බඩ පුරවා දැමීම,ඇදුම්වල අපහසුව වගේ දේවල් නිසාත් අඬන්න පුලුවන්. මේවා ගැන දෙමව්පියන් විදිහට ක්‍රමයෙන්  අවබෝධ කර ගැනීම වැදගත්.

  • වැඩිහිටියන්ගේ අදහස්..

සමහර වෙලාවට වැඩිහිටියන්ගේ උපදෙස් නිසා අම්මා ,තාත්තා අසරණ වෙන වෙලාවල් තිබෙනවා.හැබැයි වැඩිහිටියන්ගේ අදහස් හැම එකක්ම පරණයි කියලා ඉවත දාන්නත් බැහැ.ඒ වගේම පබලු වැල් දැමීම, මුදු දැමීම වැනි සමහර දේවල් නම් කිසිම විදිහකින් ප්‍රායෝගික නැහැ.ඒ විතරක් නොවෙයි, දරුවාට පහසුවක් ඇති වෙන්නෙත් නැහැ.

හැබැයි සවස් කාලයට පෙරාතුව පැටියාගේ ඇදුම් නිවසට ගැනීම, රෙදි මිරිකන්නේ නැතුව වනන්. වැනි යම් යම් දේවල් තුළ විදයාත්මක ඇත්තක් තියෙනවා.ඒ නිසා හරි දේ වැරදි දේ තෝරා බේරා ගෙන ගනුදෙණු කරන්න.

  • හැම දරුවාගේම වර්ධනය එක සමාන නැහැ

සමහර විට ඔබේ පැටියාට මාසයක් එහෙම නැත්නම් සතියක් පමණ ගෙවිලා උපත ලැබූ ඔබේ අසල්වැසියාගේ එහෙම නැත්නම් ඥාතියෙකුගේ දරුවාගේ වර්ධනය ඔබේ දරුවාට වඩා ප්‍රගතියක් පෙන්වන්න පුලුවනි.ඒ ගැන කලබල වෙන්න එපා.යම් විදිහකින් පසුබැස්මක් ඇතැයි හිතෙනවා නම් පවුල් සෞඛ්‍ය නිළධාරී මහත්මියගෙන් මුලික උපදෙස් ලබා ගන්න. එහෙම නැතුව විස්සෝප වෙන්න කරුණු හොයන්න එපා.

  • අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න..

දැන් ඉතින් අපි දෙමව්පියෝ…කියලා ඉස්සර ඔබ දෙදෙනා අතර තිබුන බැදීමත් දුරස් කර ගන්න එපා.දරුවා ඔබේ ලෝකය සම්පූර්ණ කලා සේම දරුවාගේ ලෝකය සම්පූර්ණ වෙන්නේ අම්මාගේ තාත්තාගේ ආදර බැදීම නිසයි.පවුල සොඳුරු කැදැල්ලක් වේනනේ එවිටයි.ඒ නිසා සැමියා සහ බිරිද අතර ආදාර සම්බන්ධතාවය වගේම පැවැත්ම දිගින් දිගටම පවත්වා ගැනීම ඉතාම වැදගත්.දරුවා ඔබේ ජීවිතයට ලබා දුන් සුන්දරත්වය සම්පූර්ණ වෙන්නේ එවිටයි.

 

එක පවුලක වුනත් වෙනස් දරුවන්

එක බඩවැල කඩාගෙන ඉපදුනත් ,එකම  පවුලක සහෝදර සහෝදරියන් අතරත් විවිධ වෙනස්කම් දක්නට ලැබීම අපටත් ඉතාම හුරු පුරුදුයි.මේ නිසාම දරුවන් අතරත් විවිධ අන්දමේ මත ගැටුම්, වාද විවාද වගේම බහින් බස්වීම් ඇති වෙනවා. දරුවන්ගේ ගති ලක්ෂණවලදී දෙමව්පියන් විසින් පවුලේ බඩපිස්සා..එහෙම නැත්නම් අපි මුලින්ම හුරතල් බලපු දරුවා..විදිහට විශේෂණ එකතු කරනවා.මේ විශේෂණ නිසා දරුවන්ගේ පෞරෂය පිළිබඳවත් පසුකාලීනව විවිධ ගැටළු ඇති වෙන්න පුලුවනි.

19 වෙනි සියවසයේ අග භාගයේ සහ 20 වෙනි සියවසයේ මුල් භාගයේ ඔස්ට්‍රියාවේ විසූ භෞතවෛද්‍යවරයෙකු (physician) මෙන්ම මනෝ චිකිත්සකයෙකු(psychotherapist).ලෙසින් කටයුතු කළ ඇල්ප්‍රඩ් ඇඩ්ලර්, දරුවන් සත් දෙනෙකුගෙන් සමන්විත පවුලක මැද සාමාජිකයෙකි. එකම පවුලක හැදී වැදුණු දරුවන්ට එකිනෙක වෙනස් පෞරුෂයන් ඇති බවක් දක්නට ඇත්තේ ඇයිදැයි හඳුනා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහුගේ මෙම අධ්‍යනය සිදු වුනේ 1927 වසරේදී.

දරුවා වැඩිමහල් ද නැති නම් බාලයා ද යන්න සලකා බලා දෙමව්පියන් දරුවන්ට වෙනස් ලෙස සලකන බවට සංකල්පයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මේ දරුවන් මේ අන්දමින් සංසන්දනය කරනු ලැබීම හීනමානය (Inferiority) පිළිබඳ හැඟීමක් ඇති කරන බව ඔහුගේ විශ්වාසය වුණා. එතැන් සිට වැඩිහිටි පිළිවෙල හා සම්බන්ධ චරිත ලක්ෂණ (Characteristics) දෙස පර්යේෂකයන් ගේ වැඩි අවධානයක් යොමු වුනා. 

පවුලේ වැඩිමහල් දරුවා අන් අය සතුටු කරන්නෙකු යැයි විශ්වාස කරනවා. ඉස් ඉස්සෙල්ලාම දුවක බලාපොරොත්තු වෙන්නෙත්  වැඩිමහල් දරුවා වගකීම් සහගත, විශ්වාසය තැබිය හැකි, සුපරික්ෂාකාරී දරුවෙකු ලෙස සලකන නිසයි. නමුත්සමහර විට දෙමව්පියන් අපේක්ෂා කරන දෙයට වෙනස් අන්දමින් විට ඔහු හෝ ඇයගෙන් සිය බලය පෙන්වන (Bossy) සහ අධිකාරිවාදී චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවනි. වැඩිමහල් දරුවා කෙරෙහි දෙමව්පියන්ගේ වැඩි සැලකිල්ලක් යොමු වන අතර දෙවන දරුවා පවුලට එක් වීමත් සමග බොහෝ විට ඔහුට හෝ ඇයට නොසැලකිල්ලක් හෝ ඇති වෙනවා.පවුලේ වැඩිමහල් දරුවන් විදිහට උපත ලැබූ ජාත්‍යන්තර තලයේ චරිත අතරටදෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හොබවන ලද වින්ස්ටන් චර්චිල් සහ හැරි පොටර් කතා මාලාවේ කතෘවරිය ජේ.කේ රෝලින් ඇතුලත් වෙනවා. 

පවුලේ මැද දරුවා අතරමැදියෙකු විදිහට බොහොම පීඩාවට පත් වෙනවා. වැඩිමහල් දරුවාට තිබෙන සැලකිල්ලත්, බඩපිස්සාට තිබන ආදරයත් ඔවුන්ට අහිමියි.මේ නිසා පවුලේ මැද දරුවා බොහෝ විට නොසලකා හැරීම්වලට ලක් වෙනවා.බිල් ගේට්ස් වගේම මැඩෝනා පවුලේ මද්දුම සාමාජිකයන්.

පවුලේ බාල දරුවා තමා ගැනම සිතන (Self-centred), යමක් තම වාසියට හරවා ගනු ලබන (Manipulative), සෙල්ලමට බර, විනෝදකාමී සහ සිත් ඇදගන්නා හැසිරීමක් ඇති පුද්ගලයෙකු බව බොහෝ විට විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් තමාටමඅවධානය (Attention) දිනා ගැනීම සඳහා විශාල අරගලයක යෙදෙන  ස්වාධීනත්වය (Independence) පවත්වා ගෙන යාම සහ සෙසු සහෝදර සහෝදරියන්ට වඩා වෙනසක් පෙන්නුම් කරන පිරිසක්.මහත්මා ගාන්ධි පවුලේ බඩපිස්සා විදිහට උපත ලබා ජගත් කීර්තියට පත් වූ සුවිශේෂී පුද්ගලයෙක්.

එකා යකා කියන්නා වගේම පවුලක එකම දරුවා තමන් ගැනම සිතන (Self-centred) ආත්මාර්ථකාමී චරිතයක්. ලියනාඩෝ ඩා වින්චි සහ හැරී පෝටර් චරිතයට පන පොවන ‘‘ඩැනියල් රැන්ඩ්ලිෆ් “ පවුලේ එකම දරුවා විදිහට උපත ලද අයයි.

1996 වසරේදී ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වන ෆ්‍රෑන්ක් සලොවේ (Frank Sulloway) ඉදිරිපත් කළ මතයකින් කියවුණේ සෑම පවුලකම පැවැත්ම (Survival) සඳහා ඇති තරඟය සහෝදර සහෝදරියන් අතර වෙනස්කම් ඇති වීමට හේතු වෙන බවයි. ඔවුන්ගේ මෙම අරගලය සිදු වෙන්නේ දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා බැව් ෆෑන්ක් සලොවේ සඳහන් කරනවා.

  • ඒකත් ඇත්ත කියලා ඔබට හිතේවි..

සමහර විට ඔබ පවුලේ වැඩිමලාට වැඩියෙන් සලකන්නේ අපි හාපුරා දැක්ක දරුවානේ කියලා.ඒ වගේම මෙහි අනිත් පැත්තත් සිද්ධ වෙනවා. සමහර දෙමව්පියන් දෙවැනි තුන්වැනි දරුවන් පවුලට එකතු වෙද්දී වැඩිමලාව අතහැර දමනවා විතරක් නොවෙයි,පමණටත් වඩා වගකීම් පවරනවා. එවිට වැඩිමහල් දරුවා තමන්ගේ බාල සහෝදරයන් සමග නොදැනම අරගලයක් ඇති කර ගැනීමට සූදානම්.

ඒ නිසා පවුලේ වැඩිමලා,මද්දුමයා සහ බාලයා විදිහට වෙනසක් නැතුව හැම දරුවාම මගේය කියන සිතුවිල්ලෙන් කටයුතු කරන කිසිම ගැටලුවක් නැති වේවි.

 

 

ආදරය අත්විදපු දරුවන් ප්‍රේමය පතුරුවනු ඇති

ආදරයට අපි හැමෝම ආදරෙයි.ඒ ජීවය තිබෙන හැම දෙනාටම පොදු හැඟීමක්.ඉතින් දරුවන් විෂයෙහිදී මේ තත්වයේ කිසිම වෙනසක් නැහැ.මානසික සිතුවිල්ලක් විදිහට ක්‍රියාකරන ආදරේ ගැන දරුවන් දක්වන ප්‍රතිචාරය කොහොමද…?

  • මට කවුරුත් ආදරේ නැහැ..

දරුවන්ට දැනෙන්න ආදරේ කළ යුතුයි කියන සංකල්පය අද මනෝවිද්‍යාඥයින් විසින් පිලිගන්නා තත්වයක්.එහි කිසිම මතබේදයක් නැහැ.දැන් ඔබට හිතේවි අපි දරුවන්ට කොච්චර ආදරෙයිද..? ඉතින් මෙතැන අමුතුවෙන් දැනෙන්න දෙයක් තියෙනවායැ.එය ඇත්ත. ඒත් දරුවාට ඔබ ආදරේ බැව් හිතට නොදැණුන විට ඔවුන් හිතන්නේ මට කවුරුත් ආදරේ නැහැ..ලෙසයි.

  • ඉතින් එහෙම වුනොත්…?

ඔව් ඒකත් ඇත්ත. අපිට මොනවද හිතන්න බැරි.ඒ වගේ දරුවන්ටත් විවිධ සිතුවිලි හිතට නැගෙනවානේ.ඒ වගේ මට කවුරුත් ආදරේ නැහැ..කියන සිතුවිල්ලත් ඔවුන්ගේ සිතට ඇති වේවි.මේ පසුගාමී බව දරුවාගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහැ.නිතරම මේ විදිහට පසුගාමිව හිතන්න පුරුදු වුනොත් දරුවා නොදැනීම පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි.

  • මානසිකව ඇති පසුබෑම කායික රෝගවලටත් වඩා තේරුම් ගන්න අපහසුයි.

වචනයටත් කියවානේ ඇඟේ ලෙඩට බේත් තිබුනට හිතේ ලෙඩට බේත් නැහැ කියලා.දරුවන්ගේ ආදරේ ගැන ඇති වෙන සැකයත් මානසික රෝගයකට නිදාන කතාවක් සපයනවා.දරුවා විවිධ විදිහට ලෙඩ ගැන කිව්වත් ඒවා ඩොක්ටර් අන්කල්ට හෝ ඇන්ටිටත් අහු නොවෙන විදිහට හොර ලෙඩ වෙන්නත් පුලුවන්. මේ සේරම කරන්නේ තමන්ගේ හිතේ තිබෙන හිස්කම මකා ගන්න බව දෙමව්පියන් විදිහට අමතක කරන්න එපා.

  • ආත්ම විශ්වාසයක් නැහැ

ආදරේ ගැන ප්‍රමාණාත්මක හැඟීමක් නැති දරුවන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ.තමන් වෙනුවෙන් ආදරේ කරන කෙනෙක් සිටින විට තමා සම්පූර්ණයි කියන සිතුවිල්ලෙන් ඔවුන් පොහොසත්. ඒ ශක්තිය නිසාම දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා.එය වෙන කිසිම විදිහකින් ගොඩ නගන්න පුලුවන් පහසු දෙයක් නොවෙයි.

  • ප්‍රේමය  පතුරනවා.

දරුවාට නිසි ලෙසින් ආදරය,දයාව,කරුණාව ලැබෙනවා නම් දරුවා අනාගතයේදී ඒ වෙනුවෙන් ප්‍රතිචාර  දක්වනවා. හොදින් ආදරේ විදපු දරුවන් නිතරම සමාජයට ප්‍රේමය පතුරනවා.එය මනෝවිද්‍යාත්මක සත්‍යක්.ඔවුන් සමාජ විරෝධී පිරිස් වෙන්නේම නැහැ.

  • බාලකාලයේ සෙනහස නොලත් දරුවන්

ඔබ් බොහෝ විට සමාජයේ විවිධ අකටයුතු කරන,සමාජ විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන්ගේ බාලකාලය ඇත්තටම ශෝචනීයයි.ඔවුන් බාලකාලයේදී ආදරය නොලත් බැව් සිය අත්දැකීම් විස්තර කරන විටත් පෙනී යනවා. මේ ආත්මීය ශෝකය නිසාම ඔවුන්ට වෛරය,ආවේගය එතරම් ආගන්තුක සිතුවිලි නොවෙයි.

දරුවන් ආදරේට ආදරෙයි. ආදරය  දක්වන්න පසුබසින්න එපා. ඔබට මොනතරම් වැඩ රාජකාරි තිබුනත් ඒ අතර දරුවා ගැන මග හරින්න එපා.ඔවුන්ට ඔබ ආදරේ බව දැනෙන්නේ මේ සියල්ල අතර දරුවා ඔබේ මනසේ සහ ජීවිතයේ ජීවත්වෙන බවට සහතිකය දරුවා ලැබුන විටයි.ආහාරපාන ,ඇදුම් පැළදුම්.සෙල්ලම්බඩු විතරක් නොවෙයි,ආදරයත් දරුවාට අවශ්‍ය නොව අත්‍යවශය බැව් සිතන්න.

  • ආදරේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයට

ඔබ අද දවසේ දරුවාට දක්වන ආදරයේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයටයි.හැමදාම දරුවා ඔබ සෙවනේ සිටින නොදරුවා නොවෙයි.ඔවුන් තව දශක දෙකකින් පමණ සමාජගත පුද්ගලයන් බවට පත් වෙනවා. එවිට ”ආදරය අත්විදපු දරුවන් සමාජයට ප්‍රේමය පතුරුවනු ඇති…”එවන් වූ සමාජයක් මොනතරම් සුන්දරද බැව් මේ සංකල්පය අසන දෙමව්පියන් වන ඔබගේ මනසේ නොදැනීම චිත්‍රනය වෙනු ඇති.