ඔබේ දරුවා තරබාරු කරන්නේ ඔබමද කියා මේ ලිපියෙන් දැනගන්න

එදා දරුවන්ට එළිමහනේ හොදින් දුව පැන ඇවිදින්න වගේම ගස් නගින්න, පීනන්න වැනි ක්‍රියාශීලී ජීවිතයක් වෙනුවෙන් ඉඩ හසර ඔවුන්වත් නොදැනීම ගොඩ නැගී තිබුණා. ඒ වගේම දෙමව්පියන්ගෙන් වුනත් දරුවන්ගේ මේ ක්‍රියාශීලී ජීවිතයට තහංචි තිබුනේ නැහැ. මේ විදිහට බොහොම ක්‍රියාශීලී ජීවිතයක් ඔවුන්ට නොදැනීම ලැබී තිබුන නිසා දරුවන්ගේ තරබාරුව වගේම අනවශ්‍ය විදිහට තෙල්, මේද ගබඩා වුනේ නැහැ. ඒත් අද මේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් …..

‘‘ජර්නල් ඔෆ් පෙඩියට්‍රික්ස් “ වෛද්‍ය සඟරාවේ දැක්වෙන අන්දමට මේ වෙනුවෙන් සෘජු චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. ඒ ඇයි කිව්වොත් දරුවාගේ ගුණාත්මක ආහාරවේලක් ගැන දෙමව්පියන්ගේ උනන්දුව නොදැනීම හීන වෙලා. ”අනේ…අපි හැදුවාට කන්නේ නැහැ…” කියනවා මිසක දරුවාට ගුණයක් ලැබෙන විදිහට ආහාරපාන ලබා දීමට දැන් දෙමව්පියන්ගේ උනන්දුවක් නැහැ.

ඒ වගේම විද්‍යුත් උපාංග නිසා දරුවන්ගේ ක්‍රියාශීලී ජීවිතය නොදැනීම අහෝසි වෙන වාතාවරණයක් තිබෙන බව මොනතරම් කිව්වත් දෙමව්පියන් විසින්ම දරුවන්ට ලබා දෙන විද්‍යුත් මෙවලම් නිසා ඔවුන්ට වෙනත් වටපිටාවක් නැහැ.

අනිත් අතට…අම්මා, තාත්තා හැන්දෑවට නිවසට ආ තැන පටන් සමාගම් පවත්වන්නේ රූපවාහිනිය සහ සමාජ ජාලා සමග නිසා දරුවන්ට අවවාද කරන්නේ කොහොමද…? අවවාද දුන්නොත් එය මහ කකුලුවා ඇදයට ගිහං පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා වගේ වේවි…

ඒත් මේ ගැන නොසලකා ඉන්න එපා…

අලුත්ම හඳුනාගැනීම්වලට අනුව වයස අවුරුදු හතක් වැනි බාල වයසේ දරුවන්ගේ පවා ක්‍රියාකාරී ජීවන රටාව ඔවවුන්ගේ අනාගත සෞඛ්‍යයට එක එල්ලේම බලපානවා. මේ කාලයේදී අක්‍රියව සහ අලසව ජීවත්වෙන දරුවන්ට යාන්තම් වයස අවුරුදු දහ හතර පහලොව වෙද්දී කොලස්ට්‍රෝල්, රුධිරගත සීනි මට්ටම ඉහළ යෑම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්නත් ඉඩ තිබෙනවා

ලෙඩ්ඩුන්ගේ ලෝකයක් වුනොත්..?

එහෙම වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. උතුරු කැරොලයිනා සරසවියේ සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට 2030 වසර වෙන විට එක්සත් රාජධාණීයේ දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ තරබාරු ප්‍රතිශතයට ඇතුළත් වීමේ අවදානම ඉතාම ඉහළින් තිබෙනවා. ඒ අනුව මේ පර්යේෂකයින් කියා සිටින්නේ අනාගත වැඩිහිටියන් අතරින් නිරෝගී ශරීර බරකට උරුමකමක් කියන්නේ පිරිමින්ගෙන් 10 % ක් සහ කාන්තාවන්ගෙන් 15 % ක් පමණයි.

මේක අපේ ලංකාව..

ඔය වාර්තාව ඉතින් එංගලන්තයේනේ…අපිට අදාල නැහැ කියල නිශ්ශබ්ද වෙන්න දැන් ඔබට බැහැ. අපේ ජන ජීවිත රටාව තුළ තිබුන බොහෝ ක්‍රියාකාරකම් අපේ පැවැත්මට ඉතාම හිතකර විදිහට සැකසී තිබුණත් අපිත් ගෝලීයකරණය සමග නව ජීවන රටාවට බොහොම සතුටින් අනුගත වුනා වගේම තවමත් එයින් මිදෙන්න බැරි තැනක සිටිනවා. ඉතිං ඒ නිසා ඔබේ දරුවාත් ඉහත ප්‍රතිශතයට ඇතුළත් වීමට ඕනෑ තරම් සුදුසුකම් දැනටමත් ලබා ඇති.

හදවත් රෝග නිසා මියයන පිරිස මිලියන 2. 6 ක් පමණ වෙනවා. මේ ගැන සිදු කරන ලද අධ්‍යයනයකදී වයස අවුරුදු 7 සහ 10 අතර දරුවන් පිරිසක් තෝරා ගෙන ඔවුන් ගැන නැවතත් වයස අවුරුදු 14 සහ 17 පමණ වෙන විට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ මේ දරුවන්ගෙන් හරි අඩක් පමණ දෙනා ”පරිවෘත්තික සහසාධක (Metabolic syndrome)”රෝග තත්ත්වයට පත්ව සිටි බවයි. ඒ අනුව මේ ගැටවර පිරිස තුළ රුධිරගත මේද මටට්මේ අහිතකර තත්ත්වයන්, ඉන්සියුලින් ගැටලු, අහිතකර කොලස්ට්‍රෝල් වැනි තත්ත්වයන් නිසා ඔවුන් නොදැනීම හදවත් රෝග සහ දියවැඩියාවේ ගොදුරු බවට පත් වීමේ ඉරණමට පත්ව සිටියා. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් මහාචාර්ය ”රොබට් මැක්මුරේ” සඳහන් කරන්නේ ළමා අවධියේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩිහිටි වියට සම්බන්ධ වෙන අන්දම මුල් කර ගෙන සිදු වුන මුල්ම අධ්‍යයනය මෙයයි. ළමා කාලයේ ගෙවන අක්‍රිය ජීවිතය වැඩිහිටි වියේ නිරෝගීතාවයට බලපාන අන්දම ගැන දැන් ඉතින් දෙමව්පියන්ගේ අවධානය දැක්විය යුතුයි..

ඒ වගේම තරබාරු දරුවන්ට වැඩියෙන් කේන්ති යන බවටත් පර්යේෂකයින් හඳුනා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙනුත් චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. සමහර දෙමව්පියන් දරුවන්ගේ කෝපය පාලනය කිරීමට ඉතාම ඉක්මනින් ඔවුන්ට රසකැවිලි ලබා දෙනවා. මේ නිසා දරුවාත් එය ආයුධය කර ගෙන තමාට අවශ්‍ය අන්දමින් කිසිදු පාලනයක් නොමැතිව රසකැවිලි ආහාරයට ගැනීම නිසා ඔවුන් තරබාරුවේ ගොදුරක් බවට නොදැනම පත් වෙනවා.

එහෙනම්…දරුවාට ක්‍රියාශීලීව නිදහස් ජීවිතයක් ගෙවන්න දෙමව්පියන් විදිහිට අද ඔබෙන් ලැබෙන සහයෝගය නිසා ඔවුන් හෙට දවසේ නිරෝගී පිරිසක් විදිහට සමාජගත වෙනු ඇති. ඒ නිසා දුවන්න, පනින්න, දඟලන්න ඔවුන්ට ඉඩ දෙන්න. කිසිම විටෙක ඒ වෙනුවෙන් තහංචි පනවන්න එපා. ඔබේ තහංචි නිසා අලස බවට පත් වෙන දරුවා අනාගතයේදී බොහොම ඉක්මනින් අහිතකර රෝගීන්ගේ ලැයිස්තුවට එක් වෙන්න පුලුවනි.

ටෙලිග්‍රාෆ් පුවත් ඇසුරිනි

ඔබේ ආදරණීය වැඩිහිටියා වැටීම්වලින් සුරක්ෂිත කරගන්න

අප ලාබාල වියේදී දෙඇස මෙන් අපව රැකගත් ඔවුන් අද වන විට වැඩිහිටි වියට එළැඹ අපේ ආරක්ෂාව රැකවරණය අවැසි තත්ත්වයට පත්ව සිටී. අපි අපේ දරුවන් රැකගන්නවා සේම අපේ දෙමාපියන්ද දරුවන් මෙන් රැකගත යුතු කාලය එළැඹ ඇත. ඒ වගකීමෙන් මිදෙන්නට හෝ පැහැර හරින්නට ශ්‍රී ලංකේය දූ පුතුන් වන අපිට නම් කිසිසේත්ම නොහැක. අපිද ඔවුන්ව දෙඇස මෙන් රැක ගත යුතුමය. වයස්ගත මා පියන්ගේ ආරක්ෂාව පිළිබඳව කතා කිරීමේදී වාරු නැතිකෑම නිසා හෝ ලිස්ස යමක් නිසා හෝ වෙනත් හේතුවක් මට ඇති වන ”වැටීම්” ඔවුන්ට ගෙන එන්නේ අමිහිරි වේදනාත්මක අත්දැකීමකි. ඒ නිසාම ඔබේ නිවස තුළ ඔබේ ආදරණිය වැඩිහිටියා සුරක්ෂිතද යන්න පිළිබඳව ඔබම සොයා බලන්න.

වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කර ඇති අන්දමට වැඩිහිටියන්ගේ අස්ථි බිඳීම් සහ හිස් කබලේ ඇතිවන මරණීය තුවාල සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස වැටීම් හඳුනා ගෙන ඇත. වැටීම් මරණය සහ තුවාල පමණක් නොව වැඩිහිටියාගේ ක්‍රියාකාරකම් සීමා වීමට ද හේතුවක් වේ. වැටීම නිසා ඇති වූ වේදනාකාරී අත්දැකීම් හේතුවෙන් වැඩිහිටියා තම ක්‍රියාශීලී ජීවන රටාව වෙනස් කරයි.  ඔහුගේ සමාජ සම්බන්ධතා සීමා වීම නිසා ඔහු හුදකලා පුද්ගලයෙක් බවට පත්වේ. මෙය ඔහුගේ කායික සහ මානසික සෞඛ්‍ය අංශ දෙකටම ඍණාත්මක බලපෑම් ඇති කරයි. වැටීමක් හේතුවෙන් ආබාධයකට පත්වූ වැඩිහිටියකුට බාහිර පුද්ගලයකුගේ උදව් අවශ්‍ය වේ. එසේම එවන් වැඩිහිටියෙක් රැක බලා ගැනීම සඳහා විශේෂ වෙහෙසක් දැරිය යුතු වන අතර ඒ සඳහාම පුද්ගලයෙකු යෙදවීමට සිදුවනු ඇත.

වැඩිහිටියන් ඇඳ වැටීම්වලට ලක් වීමට සෞඛ්‍යමය හේතු සාධක ඇත. මෙම හේතු බොහෝ විට පුද්ගලානුබද්ධ වේ. විවිධ රෝගාබාධ, ශරීර සමතුලිතතාවය අහිමි වීම, ඖෂධවල අතුරු ආබාධ, අස්ථි සහ මස්පිඞු දුර්වල වීම, පෙනීම අඩු වීම හෝ අන්ධ බව  සහ ශරීර සංවේදීතාවය අඩු වීම මෙම හේතු අතරින් ප්‍රධාන වේ. දෛනිකව ව්‍යායාමවල යෙදීමෙන් ශරීර සමතුලිතතාව ආරක්ෂා ‍වන බැවින් වැඩිහිටියා ක්‍රියාශීලී අයෙක් බවට පත්වේ. එසේම ක්‍රමවත්ව අක්ෂි පරීක්ෂාව සිදුකර නියමිත පරිදි ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමට වැඩිහිටියා යොමු කළ යුතුය. ඖෂධ භාවිතයෙන් ඇති වන ක්ලාන්ත ගතිය නිසා ඇති වන වැටීම් වලක්වා ගැනීම සඳහා ඇ‍ඳෙන් හෝ පුටුවෙන්  ඉතා සෙමින් නැගී සිටීමට වැඩිහිටියා හුරු කරවන්න. අවශ්‍ය අවස්ථාවල ඇවිදීමේ ආධාරක භාවිත කිරීමට උපදෙස් දෙන්න.

මෙම තත්ත්වයන් වැලැක්වීමට අපහසු වන්නේ බොහෝ විට ඒවා වියපත් වීමේ ක්‍රියාවලියේ ඇතිවන ස්වභාවික විපර්යාසයන් වීම නිසාය . එබැවින් අප අවධානය යොමු කළ යුත්තේ මෙම දුර්වලතාවයන් හේතුවෙන් සිදුවන වැටීම්වල අවදානම අඩු කිරීම සඳහා නිවසේ පරිසරය සකස් කිරීමයි. නිවසේ සෑම අයෙකුටම මේ සඳහා පොදු වගකීමක් පවතින අතර වැඩිහිටි නිවාසයක නම් එය ඉදි කරන අවස්ථාවේ සිටම අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැක. නිවසක වෙනස් කම් සිදුකළ යුතු අයුරු පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන.

ගෘහ භාණ්ඩ තැබීම

අනවශ්‍ය පරිදි නිවස තුළ රඳවා තබා ගෙන ඇති ගෘහ භාණ්ඩ හේතුවෙන් පහසුවෙන් එහා මෙහා යාමට වැඩිහිටියාට නොහැකි වනවා පමණක් නොව කොරිඩෝ වැනි නිතර ගමන් කරන මාර්ගවල ගෘහ භාණ්ඩ තබා ඇතිනම් ඔවුන්ගේ පය පැකිලී වැටීමට ඉඩ ඇත. සෑම විටම ඔවුන්ට නාන කාමරයට, කුස්සියට සහ එළිමහනට ප්‍රවේශ වීමට ඇති මාර්ග අවහිර නොවනසේ ගෙතුළ ගෘහ භාණ්ඩ තබන්න. එසේම වැඩිහිටියන් භාවිත කරන ඇඳ, පුටු, කබඩ් වැනි දෑවල ආරක්ෂාකාරී බව පිළිබඳව සැලකිලිමත් වන්න . නිවසේ සෑම ස්ථානයකටම ප්‍රමාණවත් පරිදි ආලෝකයක් ලැබෙන බව තහවුරු කරගත යුතු‍ වේ.

බිම

නිවසේ විදුලි භාණ්ඩ සඳහා භාවිත කරන වයර් කෝඩ් වැනි දෑ නිසා බිම අවහිර වී තිබෙන අවස්ථාවල වැඩිහිටියන් ඒවායේ පැටලීමට ඉඩ ඇති බැවින් ඒවා රෝල් කර හෝ බිමට තදින් සවිකර තබන්න.  නිවසේ ඇති පාපිසි  නොලිස්සන සුලු ඒවා විය යුතු අතර එහි අග දාර ඉර‍, නූල් ඉහිරෙන තත්ත්වයට පත්වී ඇත්නම් ඒවා ඉවත් කිරීම හෝ පිළිසකර කිරීමට අවධානය යොමු කරන්න. අලංකාරය පිණිස යොදා ගන්නා බුමුතුරුණු හේතුවෙන් බොහෝ වැඩිහිටියන්ගේ සැරමිටි හෝ වෙනත් ඇවිදිම සඳහා යොදාගන්නා ආධාරක පැටලෙන අවස්ථා බහුල වේ. පාපිසි හෝ බුමුතුරුණු භාවිතය අවම කළ යුතු අතර අත්‍යවශය තැන්වල ඒවා පොලවට ඉතා හොඳින් අලවා හෝ සවිකර තබන්න.

තරප්පු පෙළ

  • වැඩිහිටියන්ට භාවිත කිරීමට සිදුවන පඩිපෙලෙහි කිසිදු සෙල්ලම් බඩුවක්,පොත්, පත්තර හෝ මල් පෝච්චි වැනි දෑ  නොතබන්න.
  • පඩි කැඩී ඇත්නම් හෝ දාරයට ගසා ඇති පටි, ඇණ බුරුල් වි ඇත්නම් හෝ පඩි පෙළෙහි ආධාරකය ආරක්ෂිත නොවේ නම් ඒවා පිරියම් කරන්න.
  • පඩිපෙළහි කාපට් අතුරා ඇත්නම් එය බිමට හොඳින් සවිකර තබන්න.
  • පඩි පෙළට හොඳින් ආලෝකය ලැබෙන පරිදි ප්‍රමාණවත් ධාරිතාවයකින් යුතු බල්බයක් දැමිය යුතු අතර එය දැල්වීම සඳහා පඩිපෙළේ ඉහල සහ පහළ තැන් දෙකෙහිම ස්විච් යොදන්න
  • වැඩිහිටියාගේ පහසුව සඳහා රාත්‍රියට දිලිසෙන ස්විච් මේ සඳහා යොදා ගන්න. නැතහොත් දිලිසෙන ස්ටිකර් වැනි යමක් මතුපිට අලවන්න.

සුරතල් සතුන් ඇති කිරිම

වැඩිහිටියන් සම්බන්ධව අවධානය දැක්වීමේ දී ඔවුන් පය පැකිලී ඇද වැටීමට  තවත් එක් හේතුවක් ලෙස  නිවසේ ඇති කරන සුරතල් සතුන් පෙන්වා දිය හැක. බල්ලන් සහ පූසන් බොහෝ විට නිදා ගැනීමට තෝරා ගන්නේ තමා වැඩි වශයෙන් ප්‍රිය කරන පුද්ගලයාගේ දෙපා මුලය. අවධානය ලබා ගැනීම සඳහා සිරුරේ සහ ඇඳුම්වල එල්ලීමට ද ඔවුන් ප්‍රියය. එසේම එම සතුන්  කෑමට ලබා දෙන මස් කටු හෝ සෙල්ලම් බඩු තැන් තැන්වල විසි කිරීම ද සිරිතකි. මේ හේතූන් නිසා වැඩිහිටියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වුවද සුරතල් සතුන් ඇති කිරීම‍ට ඔවුන් අධෛර්යමත් කිරීම සුදුසු නොවේ. මක් නිසාද යත් සුරතල් සතුන් යනු ඉතා හොඳ සමාජ මිතුරන් වන බැවිනි. මෙහිදි කළ යුත්තේ,

  • වැඩිහිටියන් දෛනික ක්‍රියාකාරකම්වල යෙදෙන ක්‍රියාශීලි වේලාවන්හි සුරතල් සතුන් එක් ස්ථානයක රඳවා තැබීම
  • දිනපතා සතුන් ගැවසෙන ප්‍රදේශ පිරිසිදු කිරීම
  • සුරතල් සතුන් වැඩිහිටියන් සමඟ නිතර ගැවසේ නම් ඒ පිළිබඳව විශේෂ අවධානයකින් සිටිය යුතුය. එවිට සතෙකු ඇඟේ හැපීමට යන අවස්ථාවක් වේ නම් අනතුරු ඇඟවීමට පුළුවන.

නාන කාමරය

වැඩිහිටියන් පමණක් නොව අන් අයද වැඩි වශයෙන්ම නිවසේ දි ඇද වැටීමට ඉඩ ඇති ස්ථානය වන්නේ නාන කාමරයයි. වතුර , සබන් සහ සේදුම් කුඩු ආදිය නිසා එහි බිම නිතර ලෙස්සන සුළු ස්වභාවයක් ගනී. ආරක්ෂිත නාන කාමරයක් සකස් කර ගන්නේ,

  • නාන කාමරයේ බිම හොඳින් සෝදා හැකි තරම් වියළිව තබන්න. මේ සඳහා විදුලි වියලන යන්ත්‍රයක් සවි කිරීමට ද හැකිය
  • වතුර මල හෝ නාන බේසම අසල, වැසිකිලි පෝච්චිය අසල වැඩිහිටියාට අල්ලා ගැනීමට හැකි පරිදි ආධාරක සවි කරන්න.
  • වතුරට නොලිස්සන රබර් පා පිස්සක් එහි බිම රඳවන්න.
  • නාන බේසම අසල බිම හෝ වතුර මල යට බිමෙහි සිමෙන්ති ඉරි හෝ පිඟන් ගඩොලින් සකසා ඇති ඉරි අලවන්න
  • රාත්‍රියට නාන කාමරයේ විදුලි බුබුල දල්වා තබන්න නැතහොත් අඳුරට සංවේදී බල්බයක් ඒ සඳහා යොදන්න
  • පිටතින් සහ එළියෙන් විවෘත කිරීමට හැකි අගුළු සවි කරන්න. එහෙත් වැඩිහිටියාට නාන කාමරෙයේ සිටියදී දොර අගුළු නොදැමීමට උපදෙස් දිය යුතු අතර වැඩිහිටියා ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙලෙයි නම් දොර අගුළු ස්ථිරවම ඉවත්කර තබන්න.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය, රේණුකා තෙන්නකෝන් මහත්මියගේ ලිපියකි.

දරුවන් අවතක්සේරු කිරීම වගේම අධිතක්සේරුවෙන් ඇගයීමත් නොකළ යුතුයි

දරුවන් ඉදිරියේ අපේ කතා බහ බොහොම පරිස්සමින් සිදු විය යුතුයි. ”හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ” කිව්වත් සමහර අවස්ථාවලදී බාල කාලයේ බොහොම හේ බාලා සිටින දරුවන් වුනත් නොදැනම අළු ගසා දාලා නැගිටිනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි  මේ…

ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතය අපේ හදවතේම මවපු ”කේට් වින්ස්ලට්” ඔබට මතකයි නේද…? අද ඇය සිටින තැනත් නැවත කිමට අවශ්‍ය නැහැ. ඒත් ඇය තමාගේ අතීතය නැවත ආවර්ජනය කරමින් පසුගියා දා පැවැති  British Acadamy of Film & television art සම්මාන උත්සවයේදී කළ සඳහන අපේ දෙමව්පියන්ට ඉතාම වැදගත් පාඩමක් කිව්වොත් නිවරැදියි.

”මං ඉස්කෝලෙ යද්දී රංගනයන් කරන වේලාවක මගේ ගුරුතුමිය කිව්ව සඳහනක් මට තවම අමතක නැහැ..කේට්…ඔයාට නම් කවදාවත් ඇක්ට් කරනන් බැහැ. යාන්තමින් හරි ඔයාට ගැලපෙන්නේ මහත චරිතයක් විතරයි…”

ඒත් කේට් එදා ගුරුතුමියගේ කතාවෙන් සැලුණේ නැහැ. ඇය කෙසේ හෝ ඉදිරියටම ගියා. ඒ නිසා අද ඇය සිටින තැන ගැන අපිටත් ආඩම්බරයි.

  • ඒත් මේ වගේ වුණා නම්…

කේට්ගේ හිතේ තිබුන ශක්තිය නිසා ඇය ඉදිරියට ආවා. සමහර විට  ගුරුතුමියගේ අදහසටම එකතු වෙලා ඇය එතැනින් ඉදිරියට නාවා නම්…අද ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතය මවන්නේ ඇය නොවන්න තිබුණා.

දරුවන්ගේ හයියත් එක් එක් දරුවාට වෙනස්. ඊටත් ගුරුතුමියක් කියන දේ දරුවන්ට බොහොම හොඳින් ගැලපෙන්නේ දරුවාගේ ලෝකයේ සිටින දැවැන්ත චරිතයක් විදිහට ගුරුතුමා ජීවත් වෙන නිසයි. ඒ නිසා ගුරුතුමිය එහෙම කිව්වාම සමහර විට එතැනින් ඉදිරියට නොයන දරුවන් ඉන්නත් පුළුවනි.

ඉතින් මේ සිදුවීම අපේ දෙමව්පියන්ටත් ඉතාම වැදගත්. සමහර අම්මලා තාත්තලා දරුවන්ටත් ඔය විදිහට කියන වෙලාවල් තියෙනවා. වෙලාවකට ඒ අය මේ වගේ දේවල් කියන්නේ හිතින් නොවන්නත් පුළුවනි. නමුත් දරුවාගේ මනසට ඇති වෙන සංකල්පය අනුව ඔහු එතැනින් ඉදිරියට යන්නේ නැහැ.

ඒ නිසා මේ වගේ ප්‍රකාශ කිරීමේදී බොහොම පරිස්සම් විය යුතුයි. දරුවෙකුගේ හිතේ තමන් ගැන විශ්වාසයක් නොමැති විට ඔවුන්ට ඉදිරියට යෑමට තිබෙන හැකියාව නොදැනීම නැති වෙනවා. ඒ වගේම අපිට බාල කාලයේදීම දරුවන් ගැන ඒ විදිහට තක්සේරු කරන්න බැහැ. ඇතැම් දරුවන් පුංචි කාලයේදී විශිෂ්ට විදිහට හැකියාවන් පෙන්නුම් කළත් අනාගතයේදී ඒ තරමටම පැහැදිලි හැකියාවන් පෙන්නුම් නොකරන්න පුළුවනි. තවත් පිරිසක් බාල කාලයේදී දුර්වල චරිත වුනත් ඔවුන් පසුකාලයකදී කැපී පෙනෙන චරිත බවට පත් වීමට පුළුවන්.

ඒ නිසා කිසිම අවස්ථාවක දරුවන් වෙනුවෙන් පූර්ව විනිශ්චයන් ලබා නොදෙන්න. ඒ වගේම මේ විනිශ්චයන් කිසිම දිනක සෘනාත්මක නොවිය යුතුයි.

  • දක්ෂ දරුවෙකු වුනත් පමණට වඩා තක්සේරු කිරීමත් ඒ තරම් හොද නැහැ.

”ඔව්…ඔබට පුළුවනි.. ඒත් ඉදිරියේදී තිබෙන්නේ තරගයක්…” ඔබ තරගය ඉදිරියේදී උනන්දු නොවුනොත් සමහර විට හාවා රේස් එකෙන් පැරදුණා වගේ වෙන්නත් ඉඩ තිබෙන බැව් කියා දෙන්න. සමහර දෙමව්පියන් තමාගේ දරුවා පංතියේ ඉදිරියෙන් සිටියොත් ඒ ගැන තබන තක්සේරුවෙන්ම දරුවාගේ හිතටත් ඇති කරන්නේ අධිතක්සේරුවක්. ඒ වුනත් මේ පුංචි වපසරියෙන් ඔබ්බට අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන්නේ  දැඩි තරගයක් බව ඒත්තු යන සේ කටයුතු කරන්න.

එහෙනම්…දෙමව්පියන් විදිහට ඔබ දරුවාට ”බැහැ” යන ආකල්පය හිතේ වගා කරල ඔවුන් බිඳ වැටීම නොකළ යුතු සේම, අනවශ්‍ය විදිහට අධි තක්සේරුවක් මවමින් දරුවාගේ අභියෝග වෙනුවෙන් හැකියාවන් මන්දගාමී කිරීමත් නොකළ යුතුයි.

දරුවා සතු සුදුසු ක්‍රියාවන් දිරිගන්වන්න අම්මලාට අදහස් 5ක්

ළමා හුරු පුරුදු වර්ධනයේ ප්‍රධානතම කාර්යය වන්නේ දරුවා සතු සුදුසු ක්‍රියාවන් සඳහා දිරිමත් කිරීමත් නුසුදුසු ක්‍රියාවන් නවත්වා ගැනීමට උත්සහ කිරීමත්ය. මෙහිදී අප පළමුවෙන්ම දරුවා සුදුසු ක්‍රියාවන් සඳහා දිරිමත් කිරීමට දෙමාපියන් මෙන්ම දරුවා රැකබලා ගන්නා පුද්ගලයන්ට කළ හැකි කාර්යයන් විමසා බලමු.

1) ප්‍රශංසා කිරීම හා සැලකීම

ප්‍රශංසා කළ විට කුඩා දරුවෙකු වුවද සුදුසු ක්‍රියාව හඳුනා ගනී. සුදුසු ක්‍රියා උනන්දු කරවීමට නම් මුලින්ම දරුවා එය හොඳ ක්‍රියාවක් බව වටහා ගත යුතුය. ප්‍රශංසා කිරීම හොඳ ක්‍රියාව සිදුවන විටම හෝ අවසාන වූ විගසම කළ යුතුය. එවිට දරුවාට එය වටහා ගැනීම ඉතා පහසු වේ. මේ නිසා දරුවාට ආත්ම ආඩම්බරයක් ඇති වේ. මෙය වැඩෙන ළමා මනසට අත්‍යවශ්‍ය කරුණකි. දරුවා කරනු ලබන ඉතා සුළු ක්‍රියාවකට වුවද ප්‍රශංසා කිරීම දරුවාට ප්‍රයෝජනවත් වේ. දෙමාපියන් විසින් දරුවන්ට කරනු ලබන ප්‍රශංසා හැකිතාක් අවංකවම සිදු කරන්න. දරුවන්ට ඔබේ ආවේග, මවාපෑම් වටහා ගැනීමේ හැකියාව ඇත. ඔබ අවංක නොමැති බව දරුවාට වැටහුණහොත් ඔබ කරන ප්‍රශංසා දරුවාට වැදගත් නොවනු ඇත.

වාචික ප්‍රශංසා මෙන්ම කායික ප්‍රශංසා උදා: හිස අතගෑම, සිප ගැනීම

ඔබගේ ප්‍රශංසාව හැකි තාක් දුරට විස්තරාත්මකව සිදු කරන්න. එය දරුවාට එම ක්‍රියාව තේරුම් ගැනීමට පහසු කරනු ඇත. නැතහොත් ඔබගේ ප්‍රශංසාව වෙනත් ක්‍රියාවකට බව දරුවා තේරුම් ගැනීමට ඉඩ ඇත.  ප්‍රශංසා කිරීමත් සමග එවැනි ක්‍රියා තව තවත් කිරීමට පෙළඹෙන අයුරින් දිරිමත් කරන්න. භාවිත කරන වචනවල හා ප්‍රකාශ කරන ආකාරයේ පවා විවිධත්වයක් පවත්වා ගන්න.

උදා: අත්පුඩි ගැසීමෙන්, හයියෙන් සිනාසීම, හයියෙන් ප්‍රශංසාව

කිසිම අවස්ථාවක වැරදි ක්‍රියාවක් නැවැත්වීම සඳහා මෙම උපක්‍රමය භාවිත නොකරන්න. එසේ කළහොත් ඔබගේ දරුවා ප්‍රශංසාව ලබාගැනීම පිණිස එම වැරදි ක්‍රියාව නැවත කරනු ඇත.

ප්‍රශංසා කිරීම හා සැලකීම මගින්දරුවාට ලැබෙන වාසි

  • දරුවා සුදුසු ක්‍රියාව කුමක්දැයි ඔබගේ ප්‍රශංසාව තුලින් හඳුනා ගනී.
  • දරුවාට ආත්ම ආඩම්බරයක් ඇති වේ
  • ඔබ හා දරුවා අතර සුහද සබඳතාවයක් ගොඩනැඟේ. මෙය දෙමාපියන්ට හා දරුවාට වටිනා තත්ත්වයකි.
  • දරුවා ප්‍රශංසාවන් ලබාගැනීමට නව පුරුදු පුහුණු වීමට කැමැත්තක් දක්වයි.

2) ඉල්ලීම් කිරීම

වරකට එක් ක්‍රියාවක් පිළිබඳව අවධානය යොමු කර එය ඉටු කිරීමට දරුවාගෙන් ඉල්ලා සිටින්න. මෙම ඉල්ලීම සරලව, සුහදව හා ආවේගාත්මක මානසික බැඳීමක් ඇති වන ආකාරයට ඉල්ලන්න. මෙම ක්‍රමය භාවිත කළ යුතු වන්නේ දරුවා වැරදි ක්‍රියාවකට පෙළඹීමට පෙර ඊට සමගාමීව හොඳ ක්‍රියාවක් කරන ලෙස ඉල්ලා සිටීමෙනි. දරුවා හුරු කරවීමට යන හොඳ ක්‍රියාව කලින් හඳුනාගෙන ඒවා දරුවාට ඉදිරිපත් කරන ආකාරය කලින් සැලසුම් කරගන්න. ඔබගේ ඉල්ලීම දරුවා සම්පූර්ණයෙන් ඉටු නොකළද එය පිළිපැදීමට ගන්නා වූ උත්සාහය ප්‍රශංසාවට ලක් කරන්න. සෑම විටම ඔබ ඉදිරිපත් කිරීමට සැරසෙන ඉල්ලීම දරුවාගේ වයසට සුදුසුද හා ඔබ එය ඉදිරිපත් කිරීමට සැරසෙන මොහොතේ දරුවාගේ මානසිකත්වය ඒ සඳහා සුදුසුදැයි සලකා බලන්න. නිතර ඉල්ලීම් කිරීම හා නුසුදුසු වේලාවන්වල ඉල්ලීම් කිරීම මෙම ක්‍රමය අසාර්ථක කරයි.

3) ප්‍රදානයක් හා විශේෂ වාසි ලබාදීම

සුදුසු ක්‍රියාව සිදුවන විට හෝ සිදු වූ විගස මෙය කළ යුතුය. ප්‍රදානයක් හා විශේෂ වාසි ලබාදෙනු ලබන සුදුසු ක්‍රියාව විස්තරාත්මකව පවසන්න. නැතහොත් ඉන් අවශ්‍ය ප්‍රතිඵල නොලැබේ. ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන විට කායික ප්‍රශංසාද උපයෝගී කරගන්න.

උදා: හිස අතගෑම

දරුවා වෙනුවෙන් දෙනු ලබන දේවල් සුදුසු ක්‍රියාවන්ට දෙනු ලබන ප්‍රදානයන් බවට පත් කර ගැනීමට උත්සහ කරන්න. ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන ක්‍රියා ඉඳහිට කලින් පැවසීම මගින් දරුවා ඒ කෙරෙහි උනන්දු කරවිය හැක. කරනු ලබන ක්‍රියාවන්ට සමානුපාතිකව ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන්න. දෙමාපියන්ට ඉටු කළ නොහැකි දේවල් ලබා දෙන බවට පොරොන්දු වීම නොකළ යුතුය. එමගින් ඔබ පිළිබඳව දරුවා තුළ ඇති විශ්වාසය බිඳ වැටේ.

4) උපදෙස් දීම

යම් ක්‍රියාවක් ආරම්භ වීමට ආසන්නයේදී හෝ වැරදි ක්‍රියාවක් ආරම්භ වූ විගස මෙම ක්‍රමය භාවිත කළ හැක. තරවටු කිරීමට පෙර මෙම ක්‍රමය අත්හදා බලන්න. උපදෙස් දරුවාගේ වයසට ගැලපෙන ලෙස සුහදව සරලව පවසන්න. උපදෙස් දීම දරුවාගේ වයස හා දරුවාගේ පවතින ලක්‍ෂණ අනුව වෙනස් විය යුතුය. දෙමාපියන්ගේ ළමා විය හා එම අත්දැකීම් හැකිතාක් උපයෝගී කරගෙන උපදෙස් දෙන්න. දරුවාට ද ඔබ ලැබූ අත්දැකීම් පවසා එම නිසා ඔබ මෙලෙස උපදෙස් දෙන බව තේරුම් කරවන්න. ඔබ දෙන උපදෙස් රූපවාහිනියේ හා සමාජයෙන් දරුවාට ලැබෙන උපදෙස්වලට පරස්පර විරෝධී විය හැකි බව තේරුම් ගන්න. එවැනි තත්ත්වයකදී එලෙස වෙනස් වීමට හේතුව හැකි නම් දරුවාට පැහැදිලි කර දෙන්න. සෑම විටම දරුවාට ආදරේ නිසා උපදෙස් ලබාදෙන බව දරුවාට වටහා දෙන්න. ආදරයෙන් දෙන උපදෙස් නීති රීතිවලට වඩා ඵලදායී වේ.

5) පොරොන්දු ලබාගැනීම

යම් දෙයක් කරන බවට පොරොන්දු ලබාගැනීම මගින් කුඩා වයසේ දරුවන්ව විවිධ සුළු හොඳ ක්‍රියාවන්ට යොමු කරවා ගත හැක. මෙම ක්‍රියාව භාවිත කළ යුත්තේ හොඳ ක්‍රියාවන්ට පෙළඹවීම සඳහා පමණි.  පොරොන්දු කඩ කිරීම් නොසලකා හරින්න. එම පොරොන්දු ඉටු කරවා ගැනීම ඔබට අමතක වූ බවක් හඟවන්න. මෙය සුළු හොඳ ක්‍රියාවන්ට පමණක් නිර්දේශ කිරීමට හේතුව එයයි. නිතර පොරොන්දු කඩ කරන්නේ නම් මෙම ක්‍රමය භාවිතය නුසුදුසුය.  පොරොන්දු ඉටු කළ විට එය නොමසුරුව ප්‍රශංසා කරන්න. අවශ්‍ය අවස්ථාවලදී පොරොන්දු නොවීම පොරොන්දු කඩ කිරීමට වඩා සුදුසු බව වටහා ගන්න. ඉතාමත් සුදුසු උපක්‍රමය වන්නේ දරුවාට ගැලපෙන ක්‍රමය වන අතර එය හඳුනාගත හැක්කේ මව, පියා හෝ දරුවා සමග රැඳෙන පුද්ගලයාටයි.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

බබාට කෑම හදමු – ලිපි අංක 6: රුලන්

රුලන්…ඉක්මණින් හදා ගන්න පුලුවන් පහසු වගේම ගුණ දායක කෑමක්.. පුංචි බබාල ඉන්න ගෙදරක තියෙන්නම ඕන ආහාරයක් හැටියට තමයි මම රුලං දකින්නේ. ඒක රුලං වලින් බබාට කෑම හදන ඕනම අම්මා කෙනෙක් පිළිගනීවි.

රුලන් කියන්නේ මොනවද ? කෙටියෙන් කිව්වොත් මෙහෙමයි…..

තිරිඟු ඇටයක පින්තුරයක් බැලුවොත් ඔයාලට පෙනේවි එහි ප්‍රධාන කොටස් 3 ක් තියෙනවා. Germ, Bran සහ Endosperm .එතනින් Endosperm කියන කොටසෙන් තමයි රුලන් හදා ගන්නේ..

තිරිඟු වර්ග කීපයක්ම තියෙනවා.. ඉන් පෝශණ ගුණයෙන් වැඩි වර්ගයක් තමයි ඩුරම් (Durum) තිරිඟු .. ඉතින් මේවගෙන් තමයි රුලන් හදන්නේ.. මේ තිරිඟු වර්ගය පාස්තා වර්ග හදන්නත් ගන්නවා.. රුලන් කියන්නේ කාබෝහයිඩ්රට් සහ ප්රෝටීන් බහුලව අඩංගු ගුණදායක කෑමක්

තව දෙයක් කියන්න ඕන​.. තිරිඟු ඇටයේ පෝශ්‍යදායී බීජ අංකුරය යි (germ ) කුරුඩ්ඩ යි (bran) රුලන් කොටසයි ඉවත් කරගෙන​ අද කාලයේ අපිට පාන් පිටි කියා විකුනන්නේ.. කුරුඩ්ඩේ සහ බීජ අංකුරයේ පෝශක කොටස් විශේශයෙන් විටමින් B අඩංගුයි..නිකන් පාන් පිටි කෑම වලින් කරන්නේ අපිව තරබාරු වන එක සහ වෙනත් ලෙඩ රෝග හැදෙන එක ( දියවැඩියාව වගේ)

රුලන් වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රථිලාභ ගැන සඳහන් කලොත්,

  1. යකඩ සහ පොටෑසියම් අඩංගු නිසා ශරීරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි දියුණු කිරීමට උදව් වේ.
  2. රුලන් අහාරයක් ලෙස ජීර්ණයට පහසු බැවින් එය බබාට මල බද්ධය ආශ්‍රිත ගැටලු ඇති නොකරයි
  3. අඩු කොලෙස්ටරෝල් හා සෝඩියම් ප්‍රමාණයක් අඩංගු නිසා බබාලට විතරක් නෙමෙයි, වැඩිහිටියන්ටත් සුදුසුයි

මාස 6 සිට ඉහලට බබාලට , මූලික ආහාර වර්ග පුරුදු කලායින් පසු රුලන් පුරුදු කිරීම පටන් ගන්න පුලුවන් . රුලන් විනාඩි 5 ක් වගේ සුලු කාලයකින් ඉක්මනට සහ පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසාත්, වෙනත් ඕනම ආහාරයක් සමඟ ලේසියෙන් මිශ්‍ර කරගන්න පුලුවන් නිසාත් අම්මලා අතර හරිම ජනප්‍රියයි. විශේශයෙන් බබාට අසනීප වුන දවස් වලට කෑම බීම හදා ගන්න රුලන් භාවිත කරන්න පුලුවන් ..ඒ වගේම අපිට කාර්‍යබහුල කම නිසා හෝ අපි අසනීප තත්වයකට මුහුන දීම නිසා හෝ බබාට ආහාර වේලක් හදා ගන්න කාලය මදි වුනොත් ඉක්මනින් රුලන් මිශ්‍ර ආහරයක් සකසා බබාට කවන්න පුලුවන් ..රුලන් වලට බබාගේ බරත් වැඩි වෙනවා.

රුලන් හදා ගන්න පුලුවන් මූලික ක්‍රමය තමයි රුලන් බැද හෝ නොබැද වතුර වලින් හෝ පොල්කිරි හෝ නැවුම් එලකිරි වලින් උයා ගෙන බබාට ආහාරයක් ලෙස සැකසීම. මම මෙයට මූලික රුලන් තලපය ලෙස නම් කරන්නම්. මෙම මුලික ක්‍රමයෙන් ඔබ්බට ගොස් මෙම ආහාරයට බබාගේ වයස අනුව රට ඉදි , පැනි, හකුරු, සීනි ස්වල්පයක් , පැණි රස රහිත චොක්ලට් කුඩු  වැනි දේ එකතු කර ආහාර සකසා ගත හැකියි.

මෙම වීඩියෝ එකෙන් මම මේ රුලන් තලපය හදා ගන්න විදිය බලන්න පුලුවන් වේවි

වෙනස් විදියට සිතන අම්මලාට මෙම ආහාරය තව වැඩි දියුණු කර ගන්න පහත අදහස් ද සලකා බලන්න පුලුවන්..

  1. මූලික රුලන් තලපය ට තම්බා ගත් එලවලුවක් හෝ එලවලු කීපයක් එක් කිරීම
  2. මූලික රුලන් තලපය ට පලතුරු එක් කිරීම
  3. මූලික රුලන් තලපයට තම්බාගත් මස්, මාලු, බිත්තර කහමද එකතු කිරීම
  4. මූලික රුලන් තලපයට වෙනත් තම්බගත් ඇට වර්ග එකතු කිරීම
  5. මූලික රුලන් තලපයට නිවිති වැනි පලා වර්ගයක් එකතු කිරීම
  6. මූලික රුලන් තලපයට කුරක්කන් පිටි, කිතුල් පිටි, සෝයා පිටි වැනි පිටි වර්ගයකුත් එකතු කර ගනිමින් උයා ගැනීම

ඉහත පරිදි ආහාර වර්ග සමග මිශ්‍ර කර ගත් විට රුලන් වලින් කෑම ගණනාවක් නිර්මාණය කර ගත හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති නේද? රුලන් සතුව පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ඇතත්, වෙනත් ධාන්‍ය වර්ග වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය හා සැසඳු කල සාපේක්‍ෂව ඇත්තේ අඩු ප්‍රමාණයකි. එබැවින්, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමානය ඉහළ නැංවීම සඳහා  ඉහත සඳහන් කල පරිදි වෙනත් එළවළු, පලතුරු, කිරි වැනි දේ සමගම එකතු කර දෙන්න වග බලා ගන්න​.

ඒ වගේම බබාලා ටික ටික ලොකු වෙද්දී වෙනත් පවුලේ ආහාරත් රුලන් මූලික කරගෙන හදා ගන්න පුලුවන් .

රුලන් වලින් පිට්ටු, රුලන් තෝස, රුලන් රොටී, රුලන් පෑන්කේක් වගේ දේවල් ඒවායින් සමහරක් ..ඊට අමතරව රුලන් පුඩිම්, අලුවා, ටොෆී වගේ ගොඩක් අතුරුපස වර්ග සාදා ගන්නත් පුලුවන් . බබාට අතුරුපස හදනවානන් සීනි භාවිතය අඩුවෙන් සිදු කරනවා නම් හොඳ වේවි.

ඒ වගේම අවුරුද්ද ට වැඩි බබාලට, අතින් කන්න තරමක් පුරුදු නිසා පොඩි පොඩි ස්නැක්ස්  වර්ගත් හදලා දෙන්න පුලුවන් බැදගත් රුලන් වලින්.

  1. බැදගත් රුලන් සහ තල භාවිතයෙන් තල බෝල
  2. සුපෝශ හෝ වෙනත් එවැනි නිශ්පාදනයක් සමග බැදගත් රුලන් එක් කර අග්ගලා වර්ග

මේ විඩියෝ වලින් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි එහෙන ලේසියෙන් හදපු අමතර ආහාරයක්:-

 

 මේ ලින්ක් එක බලන්න පුලුවන් නම් ඔයාලට රුලන් වලින් සෑදූ රෙසිපි කීපයක් ම පින්තූර සමග බලන්න පුලුවන්.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

වෙසක් වෙනුවෙන් අපි…

වෙසක් ගැන කතා කරද්දී පසුගිය දින කීපයේ ඇති වුණු කණගාටුදායක තත්ත්වය නිසා ඒ ගැන තිබුණු උනන්දුව නැති වුණා කිව්වත් ඇත්තටම වෙසක් ගැන අපි අපේ දරුවන්ට කියා දිය යුත්තේ මොනවාද…?

අද පුංචි දරුවෙක්ගෙන් පුතේ…”වෙසක් පොහොයට මොකද කළේ” කියා ඇසුවොත් ඔවුන් හැමදෙනාගේම පිළිතුර ”දන්සැල් ගියා..”. දෙමව්පියන් වුනත් කියන්නේ ”අපි වෙසක් පොහොයට ඉතින් පන්සල් ගිහින් දන්සැලුත් වැඳගෙනම එනවා..” කියන දේ මිස එයින් ඔබ්බට දෙයක් නැහැ. ඒ නිසා මේ වතාවේ වෙසක් පොහොය ගැන බොහෝ දෙනාගේ හිතේ කණගාටුව තියෙන්නේ වත් පිළිවෙත් ගැන නොව දන්සැල් සහ වෙනත් විනෝදවීමට තිබුණු අවස්ථාව අහිමි වීම ගැනයි.

පාස්කු ඉරිදා ජීවිතයෙන් වන්දි ගෙවූ සෑම දෙනාම ආගමික කටයුතු වෙනුවෙන් වූ භක්තිය සමග මෙලොව හැර ගිය අය වූහ. අපිට අදටත් මේ අහිමිවීම් ගැන සුළුවෙන් තැකිය නොහැක. දැන් සියල්ල අවසානයි…අළු ගසා නැගිට සිටීමට ෆීනික්ස් කුරුල්ලාට සේත් නොහැක.

එහෙත් අපිට කළ හැකි බොහෝ දේ තිබේ. ආමිෂ පූජාවන් වුනත් අපේ නිවසේ වපසරිය තුළ ඉටුකිරීමට  නොහැකියාවක් නොමැත. ”පිළිවෙතින් පෙල ගැසෙමු” කිව්වත් හය හතර නොදන්නා දරුවන්ට ඒ ගැන වැටහීමක් නොමැත. ඒ නිසා අඩුම වශයෙන් පහන් කූඩුවක් හෝ නිවසේ දැල්වීමෙන් පුංචි හිතේ බුද්ධාලම්මභන ප්‍රිතියක් ගොඩ නැගීමට කිසිම බාධාවක් නැත.

  • ඉතින් බට පතුරු නැහැ…

ඇත්ත. දැන් ඉතින් බට පතුරු සෙවීම නිකිනි සොයන්නා හා සමානයි. ඒත් මේ වෙනුවෙන් බොහෝ විකල්ප තිබේ. බුදුරැස් මාලාවේ ෂඩ්වර්ණයන්ට ගැලපෙන ”ඒ4” කඩදාසි යොදා ගෙන සකස් කරන අපූරු නිර්මාණයන් ඇත. බීම බට,පොල් මටලු වැනි පරිසරයේ විවිධ දෑ මේ වෙනුවෙන් උපයෝගී කර ගැනීමේ නිර්මාණශීලීත්වය දරුවන්ට කියා දීමට වැඩිහිටියන් තුළ උනන්දුවක් ඇති වීම ඉතාම වැදගත්.

ඒ වගේම සොළොස්මස්ථාන වන්දනා නොකළත් ගමේ පන්සලට ගොස් මලක්, පහනක් පූජා කිරීමට දරුවන් කැටුව යෑමට තවමත් නොහැකියාවක් නැත. ඒ වෙනුවෙන් පෙරටු විය යුත්තේ ඔබය. මහ කකුළුවා හරහට ගොසින් පැටවුන්ට කෙලින් යන්න කීවාට එහි ප්‍රතිඵල නැත. දරුවන් නිතර අනුගමනය කරන්නේ ඔබයි. ඒ නිසා ඔබ දරුවන්ට ඔවුන්ගේ මට්ටමින් යම් යම් පිංකම් වෙනුවෙන් උනන්දු කිරීම ඉතාම වැදගත්.

සමහර විට ඔබට නොහැකි වුනත් ඔබේ දෙමව්පියන් එසේත් නැත්නම් පවුලේ සමීපතයින් මෙදිනට සිල් සමාදම් වෙනු ඇත. ඒ අය වෙනුවෙන් දානයක්, ගිලන්පසක් පිරිනැමීමට දරුවන්ද සම්බන්ධ කිරීම ඉතාම වැදගත්. අතීතයේ බොහෝ දරුවන් බාල කාලයේ පටන් අත්තම්මා, සීයා සමග පන්සලට ගොස් සිල්සමාදම් වූහ. ”පුංචි උපාසක අම්මා…පුංචි උපාසක ඇත්තා” ලෙසින් වැඩිහිටියන් පවා මේ කෝඩුකාර දරුවන්ට ඇගයීම් ලබා දුන්හ. ඔවුන් සිල් ගැනීම ආරම්භ කරනු ලැබුවේද වෙසක් පොහොය දින මුල් කර ගෙනයි. එතැන් පටන් වැදගත් පොහොය දිනයන්හිදී අත්තම්මා හෝ සීයා සමග ශිල සමාදාන වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ වූහ. ඒ නිසාම බාලකාලයේ පටන්ම කුඩා දරුවන්ටත් ශික්ෂණය පිළිබඳ පාඩම නිවසේ අයගෙන්ම ඉගෙන ගැනීමට කිසිම බාධාවක් වූයේ නැත.

මේ වසරේ වෙසක් උත්සවයේදී අපිට මෙවැනි පිංකම් වෙනුවෙන් කිසිම බාධාවක් පැනවී නැත. සිත් නිරායුධකරණයට කවදත් බාධා නැත. ඇති එකම බාධාව ඒ වෙනුවෙන් පවතින උදාසීනතාවයයි.

නිවි දැල්වෙන විදුලි බුබුළු වෙනුවට සිත් පහන් කරන පිංකම් ඹ්නෑතරම් ඇත. දානය දිය යුතු පුද්ගලයින් බොහෝ සේ සිටිති. අපි ඔවුන් හදුනා ගැනීමටවත් උනන්දු නොවෙති. බෞද්ධ කොඩි වනමින්, ආහාර නාස්ති කරමින් කටයුතු කරනවාට වඩා ඔබේ දරුවාගේ පංතියේ උදව් කළ හැකි දරුවෙක් සිටී නම් ඒ වෙනුවෙන් යමක් කිරීම ද දානයකි. අද නිතර ඇසෙන පිළිකා රෝගීන් අතර ඔබේ දැන හඳුනන අය ඕනෑ තරම් සිටිති. උදව් අවශ්‍ය වැඩිහිටියන් නිවස අසල පවා සිටින්නට පුළුවන්. එවන් තැනැත්තන් වෙනුවෙන් කාරුණික සිතින් ආහාරපාන හෝ ඖෂධ වර්ග ඔවුන් වෙතට ගොස් පිරිනැමීමට අවස්ථාව ඇත. ඇතැම් උදවිය කොතරම් නැති බැරිකම් තිබුණත් ඒ බැව් ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒ සියල්ල සඟවාගෙන සිටිති. එහෙත් අඟහිඟකම් බොහෝය. මේ අන්දමේ පුද්ගලයින් සොයා යෑමෙන් ඔවුන්ට උපකාරයක් වගේම ඔබේ දරුවන්ටත් ආදර්ශයක් ලැබෙනු ඇත.

එසේ නම් වෙසක් පුර පසළොස්වක වෙනුවෙන් අපේ දරුවන්ට ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට අපිට හැකි අයුරින් මග පෙන්වනු විනා ”අනේ..මෙදාපාර වෙසක් කෝ…” කියමින් ලතැවිල්ල ඵලක් නැත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරි වලින්ය

මව්ගුණ පිළිබඳව සම්භාවනාව වෙනුවෙන් අවුරුද්දේ එක් දිනක් වෙන් කිරීම සහේතුක යැයි කිසිම කෙනෙකුට කිව නොහැකියි. ඒත් නිම්මා නොවන මේ ගුණ ගැන එසේ හෝ තක්සේරුවක් ලැබීම ගැන අපි එක්තරා ආකාරයකින් සතුටු විය යුතු නොවේද…?

අම්මාවරුන්ගේ දිනය පටන්ගත්තේ මෙහෙමයි..ලෝක මව්වරුන්ගේ දිනය ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයේය. කිතුණු බැතිමතුන් අළු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින හතළිහක කාලය මරියතුමියට ගෞරව දැක්වීම වෙනුවෙන් යොදා ගෙන තිබුණි. මේ නිසා ඉරිදා දිනය ”මාතෘ දිනය” විදිහට තමන්ගේ මව්වරුන් සමග ගත කිරීමට නිදහස ලබා දුන්නා.

මේ කාලයේදී ධනවත් වංශාධිපතිවරුන්ගේ නිවෙස්වල සේවය කළ උදවියට තම තමන්ගේ නිවෙස්වලට ගොස් මව සමග දවස ගත කිරීමට අවසර ලැබුන අතර එදිනට අම්මා බැලීමට රැගෙන යන කේක්ගෙඩිය වංශාධිපතිවරුන් විසින් ඔවුන්ගේ නිවසේදී සාදා මේ සේවකයන්ට දුන්නා.

කිතු දහම ව්‍යාප්ත වීමත් සමග ආධ්‍යාත්මික බලය ලබා දුන් මාතෘ පල්ලි වෙනුවෙනුත් ගරු බුහුමන් දක්වන්න පටන් ගත්තා. අම්මාට වගේම ඔවුන් දේවස්ථානයටත් විශේෂ ගරුත්වයක් දැක්වූවා. බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාව යටත් කර ගෙන ජනාවාස ගොඩ නගා ගැනීමත් සමග මෙම සංකල්පය ඔවුන්ගෙන් ඈත් වුනා.

1872 වසරේදී ”ජුලියා වෝර්ට් හොව්” විසින් නැවතත් මව්වරුන්ගේ දිනය ආරම්භ කළා. 1907 වසරේදී ”ඇනා මාරියා රිච්ස් ජාර්විස්” විසින් ඇමරිකාවේ මෙම සංකල්පය ආරම්භ කරනු ලැබූ අතර ඇගේ මව මියගිය දෙවැනි වසරේදී මව වෙනුවෙන් පවත්වන ලද දේව මෙහෙයේ පටන් මැයි මාසයේ දෙවැනි සතිය ”මව්වරුන්ගේ දිනය” ලෙස සමරන්න පටන් ගත්තා.

රාජ්‍ය මට්ටමින් මව්වරුන්ගේ දිනය ස්ථාපිත කිරීම වෙනුවෙන් දරන ලද උත්සාහයන් විටින් විට බි‍ඳ වැටුණා. 1914 වසරේ ”වුඩරෝ විල්සන්” ජනාධිපතිවරයා විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් තැන පටන් ලෝකයේ බොහෝ රටවල්ද මව්වරුන්ගේ දිනයට විශේෂ අනුග්‍රහයන් දක්වන්න පටන් ගත්තා. අද වෙන විට ඉතාලිය, තුර්කිය, ඩෙන්මාර්කය, පින්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මව්වරුන්ගේ දිනය උත්කර්ෂවත් අන්දමින් සමරනවා.

  • අම්මත් අහස වගේ..

අම්මත් අහස වගේ කියන්නා සේම දරුවන් මුල් කර ගෙන ගිහි ගෙයි ඇය විඳින දුක් සීමාවක් නැතත් මේ සියල්ල ඇය දරන්නේ බෙහෙවින් සතුටු සිතින්ය. වචනයටත් කියැවුණේ ”අම්මා අහස වගෙයි…” ඒත් අම්මා අහස වගේ කිව්වත් වරදක් නැත. වැස්සත්…අව්වත් …අපි දොස් නගන්නේ අම්මාටය. අම්මාගේ චරිතයත් ඒ හා සමානය. දරුවන් නොමග ගිය තැන දොස් අහන්නීත්..චෝදනා ලබන්නීත් අම්මාය…දරුවන්ගෙන් පවා ඇයට බොහෝ විට දොසක් මිස හොඳක් නැත. ඒත් ඇයට ඔවුන් දරුවන්ය.

දරුවන්ගේ කැත කුණු ඇයට කැත කුණු නොවන්නීය. දරුවා කුස හොත් දිනයේ පටන් ඇගේ බලාපොරොත්තුව තමාගේ දරුවා රජෙක් හෝ රැජිණක් කිරිමටය. පෙරදග ශිෂ්ටාචාරයේදීත් ”අම්මා” යන සංකල්පයට ප්‍රධානත්වය දුන්නේ වසරකට දිනයක් සීමා කරමින් නොවේ. බුදුරජාණන්වහන්සේ ”අම්මා” දෙවැනි බුදුන්, නිවසේ බුදුන් යන තනතුරෙහි ලා වදාල සේක

නිවසක ආලෝකය අම්මාය. ගමට කලින් මුළුතැන්ගෙට හිරු වඩින්නේද ඒ නිසාය. සතා සිවුපාවුන් අතර පවා මව්සෙනහසට සීමාවන් නැත. ඇත් පැටවෙක් බිහිවුන තැන ඇතිනි රැළටම කිරි එරෙන්නේ මේ හාස්කම නිසාය.

ඒත් අද බොහෝ දෙනෙක් අම්මා අර්ථකථනය කරන්නේ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසින් වූ දරුවන් බිහිකිරීමේ යාන්ත්‍රණය මුල් කර ගෙන පමණි. මේ නිසාම අද මව්-පිය දූ දරු ගැටුම් සාමාන්‍යකරණය වී තිබේ. විද්‍යුත් මාධ්‍යන් වෙතින් පවා හුවා දක්වන්නේ මධ්‍යම පංතික පවුල් අරගලයන්ය. මේ සියල්ල තුළ අම්මා අසරණ වීම මිස ඇගේ ගුණ කදම්බයන් ඉස්මතු කිරීමක් නැත. ලොව පහළ වුන දිනයේ පටන් දරුවන් හදා උස් මහත් කරන්නේ අම්මාය. අම්මාගේ ලෝකය දරුවන්ය. අතීතයේ දරුවන් අම්මාට දක්වන ලද්දේ අප්‍රමාණ වූ සෙනහසකි. වෙනතක් තබා ඔවුන් අම්මා ආමන්ත්‍රණය කළේ ”අපෙ අම්මා” යන හෘදයංගම සිතින්ය. ඔවුන්ගේ පැතුම වූයේ ”අම්මා බුදුවේවා..” යන භක්තියයි. එය වචනයට සීමා වූයේ නැත. අම්මා මුල් කර ගත් සෙනෙහස දරුවන්ගේ ඇට, මස්, ලේ, නහරවැල් විනිවිදව පැතිරී තිබුණි.

”අම්මා මහමෙරක් වැනිය” කීමත් වරදක් නැත. ඇය අටලෝදහම ඉදිරියේ මහමෙරක් සේ නොසැලී සිටින්නීය. ඒ අතර අම්මාද මහමෙරක් වූවාය.

පාසල පටන් ගත්තාම අම්මලා තාත්තලාගේ කට පරිස්සම් කරගන්න…

වෙනදාට අවුරුදු පාසල් නිවාඩුවෙන් පසුව රසවත් අත්දැකීම් සමග පාසල් ගිය දරුවන් මේ වතාවේ යන්නේ වෙනස්ම මානසික තත්වයකින්. සාමාන්‍ය වයසක සිටින ඉහළ පංතිවල දරුවන්ට නම් ඔවුන්ගේ බාලකාලයේදී ලත් අත්දැකීම් නිසා යාන්තමින් හෝ මතකයක් තිබුනත් පහළ ශ්‍රෙණ්වල ඉගෙනුම ලබන දරුවන්ට නම් මේ අලුත්ම සහ තේරුම් ගැනීමට බැරි අසහනකාරී වටපිටාවක්.

ඒත් දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගෙන අවධානයෙන් සිටිය යුතු කාලයක් වුනත් පමණ ඉක්මවා දරුවන්ගේ හිත් භීතියට පත් කිරීමෙන් ඔවුන් මානසික ගැටලුවක් එහෙම නැතිනම් පශ්චාත් ක්ලමතය (Post-traumatic stress disorder), විෂාදය (Depression), කනස්සල්ල වැනි තත්ත්වයන් ට පත් වෙන්න පුලුවනි.

ඒ නිසා දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විහේෂයෙන් මේ ගැන වැඩි අවධානයක් දැක්වීම අවශයයි. සමහර දෙමව්පියන් දරුවන් ඉදිරියේ කතා කරන්නේ හෙටක් ගැන කිසිම විශ්වාසයක් නැති විදිහටයි. කන්තෝරු ගිහින් ගෙදර එන එකත් විශ්වාස නැති විදිහට ඔවුන් කතා කරද්දී දරුවන්ගේ හිතේ තමා අනාරක්ෂිතය යන සාංකාව ගොඩ නැගෙනවා. පාස්කු ප්‍රහාරයෙන් දරුවන් 40 කටත් අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. ඒ ගැන අපි සුලුවෙන් සලකන්න බැහැ.ඒ වගේම දැනට ජීවත්වෙන දරුවන් නොමැරී මැරෙමින් ජීවත්වෙන තත්වයක් ඇති වුනොත් එයින් ඇති වෙන මානසික තුවාලය සුවපත් කිරීමත් පහසුවක් නොවෙයි.

හයක් හතරක් නොතේරෙන දරුවන්ට මේ ගැන ගැඹුරු දැනුමක් නැහැ.ඔවුන් සාමාන්‍ය විදිහට කාලය ගෙවන නිසා අනවශ්‍ය විදිහට මේ කම්පාවන් ඔවුන්ගේ මනසට ඇතුළු කිරීම එතරම් සුදුසු නැහැ. විශේෂයෙන් දෙමව්පියන් විසින් දක්වන කලබලය සහ නොසන්සුන්බව නිසා ඔවුන්ගේ හිතටත් කුමන හෝ විපතක පෙර නිමිති ඇතැයි යන මානසිකත්වය ගොඩ නැගෙන්න පුලුවනි.

  • පුවත්වලට නිරාවරනය කරන්න එපා…

අද දෙමව්පියන්ගේ වැදග්තම කටයුත්ත මේ සිදුවීම් නැරඹීම වුනත් දරුවන් ඉදිරියේ මේ ප්‍රචන්ඩත්වය දැක්වෙන සිදුවීම් නිරාවරණය නොවනවා නම් වඩාත් අගෙයි. විශේෂයෙන් පූර්ව ළමා වියේ සිටින දරුවන්ට මේ සිදුවීමේ අගක් මුලක් නැති නිසා ඔවුන් දකින්නේ මිනිසුන්ගේ අදෝනාවන් පමණි. එයින් ඇති වෙන කම්පනය ඔවුන්ගේ මනසේ පැලපදියම් වෙන අතර එතැන් පටන් මේ පුංචි දරුවන්ද ජීවත් වෙන්නේ කම්පනයෙන් යුක්ත මානසිකත්වයකින්ය.

  • මතවාද ගොඩ නගන්න එපා…

අද පවතින රටේ තත්වය ගැන දරුවන් කතා කරනවා නම් ඒ වෙනුවෙන් ඉඩ දෙන්න. ඒත් මේ ගැන ඔබේ අදහස්ද ඉදිරිපත් කරමින් සංවාදය දිගින් දිග ගෙන යනවාට වඩා අසන දෙයට දරුවා සෑහීමට පත් වෙන පිලිතුරක් ලබා දෙන්න. ඔවුන් කියන දෙයට හොදින් ඇහුම්කන් දෙන්න. හැබැයි අම්මා , තාත්තා වගේම වටපිටාවත් සුරක්ෂිතයි යන ශක්තිය දරුවාගේ හිතට දෙන්න.ඒ වගේම යම් වැටහීමක් ඇති දරුවන්ට නම් ආත්මාරක්ෂාව වෙනුවෙන් හැසිරෙන අන්දම කියා දෙන්න. සමාජාජාල ඔස්සේ වෛරය වගා කරන පෝස්ටර් නිදහස් කිරීම සහ හුවමාරුව මේ අවස්ථාවේදී විසඳුමක් නොව බැව් කියා දෙන්න.

  • සුහදත්වය

අනේ දැන් ඉතින් අපේ අනාගතයම ඉවරයි. අපිට ඉතින් සතුටක් සැනසිල්ලක් නැහැ යන මානසිකත්වය මත ඔබ කටයුතු කරන බව ඇත්ත. එය සාධාරණ සිතිවිල්ලක් වුනත් දරුවා සමග පෙර සුහදත්වයෙන්ම සිටින්න.වෙනදා වූ ගමන්බිමන් දැන් තාවකාලිකව සීමා වෙන්න පුලුවනි.ඒත් දරුවා සමග පවතින සුහදත්වය අඩු කරන්න එපා.

  • දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවනි.

ඔබ දරුවා අනවශ්‍ය විදිහට බියට පත් කළොත් එවුන්ගෙන් පෙරා දා නැති ලක්ෂණ පහල වෙනන් පටන් ගන්නවා. ඔබ සමග පුවත් බලන දරුවා රාත්‍රි නින්දෙන් බයවීමට පටන් ගන්නවා. වෙනදා වගේ සුවසේ නිදා ගැනීමක් නැහැ. තිගැස්සී ඇහැරේවි.

ඒ වගේම වෙනදාට ඉතා සතුටින් ඔබට කන්තෝරු යන්න සමු දී හැන්දෑවට අවශ්‍ය දේ ලැයිස්තුවක් කියන දරුවා දැන් ඔබට යන්න එපා කියමින් අඬන්න පටන් ගනීවි.එවිට ඔබ තේරුම් ගත යුත්තේ මේ වටපිටාව දරුවාගේ මනසට මොනතරම් දරුනු අන්දමින් කම්පාවට පත්ව තිබෙනවාද යන බවයි.

  • ජාතිවාදීත්වය එපා..

මිශ්‍ර පාසල්වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් මුල් කර ගෙන දරුවාගේ හිතේ විරෝධාකල්ප ගොඩ නැගීමත් මේ අවස්ථාවේ නොවිය යුතු සිදුවීමකි

ඒ වගේම දෙමව්පියන් විසින් දැන් පුවත් මවන්න පටන් ගන්නවා. පාසල් ගේට්ටුව අසල වගේම කන්තෝරුවෙන් පුවත් මල්ලක් ගෙදරට අරගෙන එනවා. රටේ සිදු වෙන සිදුවීම්වලටත් වඩා ඒ තත්වය ඉතාම භයානකයි.

  • ඒ නිසා අම්මලාත් මේ ගැන දැන ගෙන හිටියොත්..

ඔබට බොහෝ පුවත් ඇසෙනු ඇති. ඒත් මේවා ලැබෙන මුලාශ්‍රය ගැන නොදැන ඒවා තවත් අය සමග බෙදා ගන්න එපා.

සමාජාල ඔස්සේ ලැබෙන පුවත් මේ වෙන විටත් කල් ඉකුත්ව තිබෙන්න පුලුවනි. ඒ නිසා ඒවායේ කාලය ගැන නොසලකා බෙදා ගැනීම වගේම කටින් කට ප්‍රචාරයත් එතරම් සුදුසු නැහැ.

සමහර විට සමාජාල ඔස්සේ ලැබෙන පුවත් බොරු සහ විහිලු වීමට පුළුවන්. ඒ ගැනත් වගකීමෙන් කටයුතු කරන්න.

ඒ වගේම පාසලේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට යම් වගකීමක් පවරනු ලැබුවොත් ඒ වගකීම පැහැර හරින නිදහසට කරුණු ගොණු කරනු වෙනුවට අපේ දරුවන් අපි ආරක්ෂා කර ගත යුතුය යන සිතිවිල්ලෙන් කටයුතු කරන්න.

දරුවන්ට දඬුවම් කිරීමට පෙර දෙමව්පියන්ගේ තරහ නිවාගන්න

දරුවන් සමග ගනුදෙනු කරද්දී දෙමව්පියන්ටත් ඉතින් තරහ හිත් ඇති වීම පුදුමයක් නොවෙයි. ඒ නිසා සමහර වේලාවට දරුවන්ට පමණට වඩා එහෙම නැත්නම් ඔවුන්ට ඔරොත්තු නොදෙන විදිහට පවා දඬුවම් කිරීමට සිද්ධ වෙනවා. සමහර  අවස්ථාවලදී  දෙමව්පියන්ගේ සියලුම ආවේග පිට වෙන්නෙත් දරුවන් වෙතින්. ඇයි ඉතින් ලේසියට පහසුවට ඉන්නෙත් මේ පුංචි උදවියනේ. ඒත් මේ තත්ත්වය ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසාම සමහර අවස්ථාවලදී දඬුවම් නොකළ යුතු සුළු සිදුවීමකට පවා අනවශ්‍ය විදිහට දඬුවම් පමුණුවන අවස්ථාවන් තිබෙනවා. ඒ සේරටම මුල්වන්නේ දෙම්ව්පියන්ටත් ඔවුන්ගේ කෝපය පාලනය කර ගැනීමට තිබෙන අපහසුවයි. ඒ හින්දා පුංචි පැටවුන්ට ඔවුන්ගේ පමණට ඔරොත්තු නොදෙන විදිහට ඇනුම්, බැණුම් විතරක් වගේ නොවෙයි, දෙමව්පියන්ගේ කෝපය නැති වෙනතුරම කෝටු පාර කන්නත් වෙනවා.

  • දරුවන්ට දඬුවම් අවශ්‍යයි…

වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට දඩුවම් දිය යුත්තේ ඔවුන්ගේ වයසට අනුවයි. ඒ නිසා ඔවුන්ට බොහෝ විට දිය හැකි දඬුවම් විදිහට රූපවාහිනිය බලන වේලාව අඩු කිරීම, ගෙදර වැඩක් පැවරීම වැනි විවිධ විදිහට පුළුවනි. ඒ වගේම මේ දඬුවම දුන්නේ වරදට බැව් දරුවාට ඒත්තු ගැන්විය යුතුයි.

  • එහෙමනම් දරුවන්ට දඬුවම් පමුණුවන්න පෙරාතුව අම්මා , තාත්තා තමන් පාලනය කර ගන්නේ කොහොමද…?

ඔබ බොහොම ලොකු කේන්තියකින් සිටිනවා නම් ඒ වේලාවට දරුවන්ට දඬුවම් කරන්න සූදානම් වෙන්න එපා. ඒ මොකද කිව්වොත් කොතැනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කල් තබාම මේ වේලාවේ පොඩි කාට දඬුවම් කිරීම ගැලපෙනවාද…නැත්ද කියන තීරණය ගන්න පුළුවනි.

  • ටිකක් කාලය ගන්න…

ඒ හින්දා දඬුවමට පෙරාතුව කාලයක් ගන්න. කාලයත් සමග ඔබේ කෝපය සමනය වෙනවා. මේ වගේ කතන්දර ඔබටත් ඇහිලා ඇති නේද? ”මට ඉන්න තැන නොතැන පේන්නේ නැතුව ගියා” ඒත් පුංචි අයට ඔබේ ජවය සහ කෝපය හිඳෙන තුරු දඬුවම් ලබන්න බැහැ. ඒ නිසාම හොඳම විසදුම තමයි පුංචි හෝ කාලයක් ගන්න එක. එවිට ඔබට ආවේශ වෙලා හිටිය යක්ෂයා ටිකක් මෙල්ල වේවි.

  • තවත් කෙනෙක් ඉන්න වේලාවක දඬුවම් දෙන්න…

ඔබ දරුවාට දඬුවම් දෙනවා  නම් ඒ වෙනුවෙන් අම්මා , තාත්තා දෙදෙනාම දැනුවත්ව සිටිය යුතුයි. බොහෝ නිවෙස්වල තාත්තා බොහෝ දේ දන්නේ නැහැ. ඊට හේතුව වී තිබෙන්නේ සමහර වේලාවට පියාගේ දඬුවම් ඉතාම අමානුෂික විදිහට වගේම ඔහුගේ ඉවසීමේ සීමාවක් නැතුව ලබා දෙන නිසා අම්මා වුනත් ඒ ගැන යම් බියක් දැක්වීමයි.

”මම සේරම වහගෙන හිටියේ තාත්තා ගහන්න ගියාම දරුවා මැරණත් පේන්නේ නැහැ, ඒ තරමටම කේන්ති යනවා” නමුත් එහෙම තමන්ව පාලනය කර ගැනීමට නොහැකි නම් ඔබ, මව/පියා කියන තැනට ගැලපෙන්නේ නැහැ. අපි දරුවන්ට දඬුවම් කරද්දී ටිකක් හිතන්න ඕන.

  • මේ මගේ දරුවා..
  • දරුවාට මේ තරම් දැඩි දඬුවමක් ඔරොත්තු දෙයිද?
  • අපිට ඕන දරුවා සුමගට ගන්න…
  • සත්තුන්ට වගේ දරුවන්ට ගහන්න ඕනද….
  • දඬුවමට පස්සේ…මොකද කරන්නේ…

ඒ නිසා ඔබ කේන්තිය පාලනය කර ගත නොහැකි දෙම්විපිය චරිතයක් නම් දරුවාගේ ආරක්ෂාවට කවුරුන් හෝ සිටීමත් වැදගත්. එහෙම නැතුව පන්න පන්නා ගහන තැනට පත් වුනොත් දරුවා ඉතාම අසරණයි.

කේන්තිය පාලනය කර ගැනීමට දැන් මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක් තිබෙනවා. මේවා විශේෂයෙන්ම දරුවන් සිටින දෙමව්පියන්ට ලබා දෙන උපදස් කීපයක්…

  • ඔබ දරුවන් ගැන තදින් කේන්තියෙන් සිටිනවා නම් එකේ සිට 10 ට ගණන් කරන්න. ඔබේ කෝපය ක්‍රමයෙන්  අඩු වෙන්න පුළුවනි.
  • කඩදාසියක් අරගෙන එය කපන්න. එවිටත් ඔබේ ආවේග ක්‍රමයෙනන් අඩු වේවි.
  • මුහුණ සෝදන්න. කේන්තිය වැඩියි වගේ දැනෙනවා නම් නානා කාමරයට ගොස් මුහුණ සෝදන්න. එවිට මුලින් තිබුණු පුපුරු ගහන කේන්තිය දැන් අඩු වේවි. එතැනින් පසුව දඩුවමට සුදුසු මානසික පරිසරය දෙමව්පියන්ගේ හිතේ ගොඩ නැගේවි.

දරුවාගේ මානසික ගැටුම් අපි දැනගන්නේ කොහොමද..?

ඔබේ දරුවාට මොන තරම් භෞතික සැප සම්පත් තිබුනත් සමහර අවස්ථාවලදී දරුවාගේ මානසික සතුට බොහෝ සේ පිරිහී තිබෙන්න  පුළුවනි. එහෙම වුනාම අපි දැනගන්නේ කොහොමද..?

  • නුරුස්නා බවක්

මීට ඉස්සරින් බොහොම සතුටින් ඔබ සමග සිටි දරුවාට දැන් නිතරම හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහට යම් නොරිස්සම් බවක් දැනෙනවා නම් ඔහුගේ මානසික සතුට පිරිහෙන තත්ත්වයට පත් වී බව අමතක කරන්න එපා. ඒ ගැන දරුවා සෘජුව අපිට කියන්නේ නැහැ. අපිට කියන්න සමහර විට ඔහුටත් මේ ගැන දැනුමක් නැහැ. ඒ නිසා මේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ දරුවාගේ මානසික සතුට පිරිහෙන ලකුණු ක්‍රමයෙන් පහළ වෙන බවයි.

  • හඬන්න පටන් ගන්නවා..

සමහර දරුවන් වෙනදාට වඩා පුංචි දෙයක්  වෙනුවෙන් පවා හඬන්න පටන් ගැනීමේ ස්වභාවයක් ඇත්නම් ටිකක් විමසිලිමත් වෙන්න. එහෙම නැතුව ”කොච්චරවත් ඇඬියාව…අලි හුරතලයක් පටන් අරගෙන” යනුවෙන් චෝදනා නගන්න එපා. ඔහුගේ හෝ ඇගේ හිතේ කොතැනක හෝ කුමන හෝ හිස්තැනක් දැනෙන නිසා මේ අන්දමින් ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා.

  • ඉගෙනුමට උනන්දුවක් නැහැ…

”ඉස්සර පන්තියේ වැඩට…බාහිර වැඩට මොනතරම් ආසාවෙන්ද ගියේ. මේ සේරමත් කර ගෙන පන්තියෙත් හොඳට ලකුණු ගත්තා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ පංතියේ වැඩ ටික..ඒකත් නැහැ” මේ විදිහට හොඳින් ඉගෙනුම කර ගෙන ගිය දරුවෙක් හිටි හැටියේම අධ්‍යාපනයට සහ වෙනත් විෂය බාහිර කටයුතු සඳහා තිබුණු පෙර උනන්දුව නොදක්වනවා නම්, ඒ ගැන චෝදනාවට වඩා ඔහුගේ හැසිරීම මේ විදිහට වෙනස් වුණේ ඇයි යන තැන කරුණු හොයන්න. එහෙම නැතුව පය බරවාට පිටිකර බේත් බඳිනාව වගේ අනවශ්‍ය විදිහට දොස් නගමින් ඔවුන් තවත් අගාධයට පත් කරන්න එපා.

  • හුදෙකලාව ඉන්න කැමැතියි…

දැන් දරුවන් හුදෙකලා වුනාම හැම දෙමව්පියෙක්ම ඒ වෙනුවෙන් හිත හදා ගන්නේ ඔය මොබයිල් ෆොන් එක  නිසා තමයි…ඒ වුනාට වෙනදා නැති විදිහට දරුවා හුදෙකලා වෙන්නේ ඔහුගේ හිතේ තිබෙන යම් අඩුපාඩුවක් එහෙම නැත්නම් සතුට පිරිහී ගිය නිසයි.

  • නින්දට උනන්දුව වැඩියි…

මානසිකව සතුටක් නැති විට දරුවන් නිදා ගැනීමට වැඩියෙන් උනන්දුයි. ඊට හේතුව දැන් වෙනදා වගේ සමාගමත් නැහැ…ඉගෙනුම් වැඩ සහ බාහිර වැඩත් නැහැ…කෑම බීමටත් සමහර විට ප්‍රිය නැහැ. සමහර විට වෙනදාට වඩා වැඩියෙන් ආහාර ගැනීමෙන් ඇති වෙන සිරුරේ තෙහෙට්ටුව මේ වගේ හේතු නිසා නින්දට වැටෙන වේලාව වැඩියි. ඉතින් දරුවාට ”කුම්භකරණයා” යනුවෙන් චෝදනා නගනවාට වඩා මේ නිදාගැනීමට හේතුව විමසා බලන්න.

ඉතින් මානසික සතුට නැති වුනාම දරුවා කාලය ගෙවන්නේ දුකින්..සතුටක් කියන හාංකාවිසියක්වත් ඔහුගේ හිතේ නැහැ. හෙටක් ගැන දරවාට ලොකු බලාපොරොත්තු ඇති නොවෙනවා විතරක් නොවෙයි, සමහර විට ජීවිතය ඇතියි වගේ සිතුවිලි පවා ගොඩ නැගෙන්න පුළුවන්. මේ අයට ජීවිතය දිහා හැම වේලාවේම ඇති වෙන්නේ අසුබ සිතුවිලි පමණයි. ජීවිතය දිනා ගත යුතුයි යන අභියෝග හිතේ නැහැ. ඒ තරමටම ඔවුන් ජීවිතයෙන් හෙම්බත්ව සිටින නිසා ධනාත්මක බවක් ඇත්තේම නැහැ..

  • ඉතින් කලබල වෙන්න එපා…

ඔබේ දරුවාගේ මේ අන්දමින් මානසික හැසිරීම් තිබෙනවා නම් කලබල වෙන්න එපා. හැකි තරම් ඔහුගේ මේ පැවැත්ම ඔහුට වධයක් නොවන සේ වෙනස් කිරීමට උත්සාහ ගන්න. හැබැයි දෙසතියකට වඩා මේ විදිහට සිටිනවා නම් මොළයේ සමතුලිතබව වෙනස්ව ඇති නිසා යම් විදිහකට ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.මේ තත්ත්වය දරුවන්ට විතරක් නොවෙයි, පවුලේ කාට වුනත් ඇති වෙන්න පුළුවනි. අම්මා, තාත්තා, අත්තම්මා, සීයාට වුනත් වෙනසක් නැහැ.

ඒ නිසා ඔබ සමග ජීවත් වෙන අයගේ ගති පැවැතුම් ඉතාම හොඳින් ඔබ දන්නවා. ඒ හැසිරීමට වඩා යම් අන්දමකින් වෙනසක් වෙතොත් ටිකක් විමසිලිමත් වෙන්න. කොතැනක හෝ අඩුවක් නිසා මේ අයගේ මොළයේ රසායනික සමතුලිතතාවය වෙනස්ව තිබෙන්න පුළුවනි. දෙසතියක් ඉක්ම යන තැනැත් හැසිරීමේ වෙනසක් නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම වරදක් නැහැ. එය ඔබේ සමීපතයාට කරන ලොකු උදව්වක්. ඒ නිසා දරුවා පමණක් නොවු පවුලේ එකට ජීවත්වෙන කා වෙතින් හෝ උක්ත ලක්ෂණ දකිනවා නම් දෙසතියකට වඩා කල් දාන්න එපා.

දරුවන්ට බත් කැවීම තරම් යුද්ධයක් තවත් නැහැ

දරුවන්ට බත් කැවීම තරම් යුද්ධයක් තවත් නැහැ. මෙය ඔබට පමණක් සීමා වුන තත්වයක් නොවෙයි. එය ළමාකමේ ලක්ෂණයක්.

ප්‍රංශයේ වර්සල්ස්හි ස්ටාර්ටර් ආයතනයේ මනෝ වෛද්‍ය විද්‍යාඥ බෙරෙන්ජර් රුබියෝ විසින් මේ ගැන අධ්‍යයනයක් පවත්වනු ලැබුවා. එහිදී ඔහු විසින් හඳුනා ගත් තොරතුරු අනුව පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකක් වූ දරුවන්ගෙන් 50 % ක්ම ආහාර ලබා දීම හිරිහැරයක් විදිහට සලකන ලද බවයි. වයස අවුරුදු තුන සපිරුන දරුවන්ගෙන් 17 % පමණ දෙනා මේ අන්දමින් ආහාර  ගැනීමමත් හිරිහැරයක් සේ සලකන ලද බව වෛද්‍ය බෙරෙන්ජ් විසින් පෙන්වා දෙනවා.

එහිදී ඔවුන් විසින් හඳුනා ගත් කරුණු කීපයක් තිබෙනවා.

  • දරුවන් හැම විටම ප්‍රතික්ෂෙප වීම කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේලක්. අතිරේක ආහාර අවස්ථාවන් එක්ක ඒ තරම් යුද්ධයක් නැහැ.
  • පලා, සහ පළතුරු දැඩි විදිහට ප්‍රතික්ෂෙප කරනවා.
  • තෑගි දුන්නොත් ආයුධයක් කර ගනීවි..

නිවසේ දකින්න නැති ආහාර ගැන ඔවුන් උනන්දුවක් දක්වනවා. මේ පර්යේෂකයින් සඳහන් කරන්නේ ‘‘ පුතා බත් ඔක්කොම කෑවොත් මම තෑග්ගගක් දෙනවා කියල කිසිම විටෙක කියන්න එපා…එහෙම වුනාම හැම විටකම ඔවුන් තෑගි අපේක්ෂාවෙන් සිටින බවත් යම් ලෙසකින් එසේ නුදුන් විට ඔවුන්ගේ ප්‍රතික්ශේප වීම දැඩි වීමට පුළුවන් බවයි. ඒ නිසා දරුවන් මෙය ආයුධයක් බවට පත් කර ගැනීමටත් පුළුවනි. ඒ විතරක් නොවෙයි, දෙමව්පියන්ගේ ඇස් වසා ආහාර සියල්ල අනුභව කළ බවට මවා පාමින් දෙමව්පියන් නොමග යවන්නත් මේ තත්වය හේතු වේවි.

ආහාර පිසින්න දරුවන් සම්බන්ධ කර ගන්න..

ඔන්න අම්මා දැන් උයනන් යනවා. ඔයාත් එන්න. හය හතර තේරෙන වයසේ දරුවන් එක්ක මේ විදිහට සම්බන්ධ වුනාමත් ආහාර ගැන රුචියක් සහ උවමනාවක් ගොඩ නැගනේන පුළුවන් බව මේ අධ්‍යයනයේදී හඳුනාගත්තා.

දරුවාගෙන් විමසා සිටින්න..

ආහාර පිළියෙල කරන විට ඔවුන්ගෙන් ඒ ගැන විමසා සිටින්න. සමහර දරුවන් බිත්තර තම්බා පිලිකෙව් කළත් ඔම්ලට් හෝ බුල්-අයි වැනි අන්දමකින් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්න පුළුවන්. ”නෑ..නෑ..බිත්තර තම්බලාම කන්න ඕන..” කියනවාට වඩා දරුවාගේ කැමැත්තටත් ඉඩ දෙන්න.

ආහාර සංයෝග කරන්න.

ආහාර සංයෝග කිරීමෙනුත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවනි. කොළ පැහැති එළවළු අතරට තැඹිලි, රතු වගේ වර්ණ සංකලනයන් කරන්න. ජපන් ජාතිකයින් වගේ ආහාර දිවට නොව ඇසට යන සංකල්පයේ පිහිටා විවිධ වර්ණ එකතු කිරීමෙන් පෝෂණීය ගුණයකුත් ලබා ගන්න පුළුවනි.

විවිධත්වයක් දෙන්න..

හැමදාම පාන් සහ බටර්, ආපප් සහ කෙසෙල් ගෙඩි වෙනුවට පාන් වෙනුවෙන් බිත්තර, මාමයිට්, මිරිස් අඩු සම්බෝලයක් විදිහට වෙනසක් ඇති කරන්න. බත්වලටත් කැරට්, ලීක්ස් එකතු කරමින් එළවළු හෝ වර්ණ බතක් සකස් කර දෙන්න. ගොටුකොළ කන්නම බැහැ කියනවා නම් කට්ලට් එකක්ට හෝ සලාදයක් විදිහට එහෙමත් නැත්නම් කැඳ , සුප්වලට සංයෝග කරන්න.

ආහාරවලටත් හැඩතල දෙන්න…

ආහාරවලින් මවන කලාත්මක බව නිසා දරුවාගේ ආහාර සඳහා වූ ආකර්ෂණය පමණක් නොව රුචියද වර්ධනය වෙනවා. බිත්තරයට ඇස් දෙකක් හා කටක් මවා ලස්සන බිත්තර මාමා කෙනෙක් මවන්න. කැරට් අලයකින් මල් පෝච්චියක හැඩය ගෙන බිත්තර කහමදය එහි පුරවන්න. රටඉදි ඇට ඉවත් කර බටර් පුරවන්න. එවිට වෙනදා පිලිකෙව් කළ කැරට් ඔවුන් නොදැනීම ආහාරයට ගනු ඇත.

 

හරි හරියට විසේ කරන පුංචි දරුවෝ ඉද්දි අම්මලා මේ දේවල් ගැනත් දැනන් හිටියොත් වටිනවා නේද?

දරුවන් විතරක්ම නෙවෙයි එදිනෙදා වැඩකටයුතුවලදී පුංචි අත්වැරදීමකින් හෝ අනතුරු කියන දේවල් අපිට ලග වෙන්නේ නොහිතපු විදියට. පරිස්සම් කරනවා කියලා පොඩි දරුවෝ එකම තැන තියාගන්නවත් වැඩිහිටි අපිට අපේ එදිනෙදා වැඩ කටයුතු නතර කරන්නවත් බැහැනේ. නිවසේදී හෝ රැකියාවේදී හෝ එහෙමත් නැතිනම් ඇද වැටීමකින්හෝ දරුවන්  ක්‍රීඩාවක නියැලීමේදී වගේ එක් එක් අවස්ථාවන්වලදී අපිට මුහුණ දෙන්න සිදු වෙන ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න බැරි නැහැ. මේ ගැන අපි කතා කරන්න හිතුවේ අනිවාර්යයෙන් වෙනවා කියනවාට වඩා වුණොත් මොකද කරන්නේ කියලා කවුරු කවුරුත් දැනුවත් කරන අදහසින්. යම් යම් අවස්ථා අනුව ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් වෙමු.

රයිස් (RICE)  ප‍්‍රතිකාරය

ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයකට පත්වන රෝගියෙකුට පහසුවෙන් කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස රයිස් (RICE)  ප‍්‍රතිකාරය හඳුන්වා දිය හැකියි. මෙය මතක තබාගැනීමේ පහසුව පිණිස මෙලෙස දක්වමු.

R – Rest – විවේකය

I – Ice අයිස්

C – Compression – සම්පීඩනය

E – Elevation – ඔසවා තැබීම

ප‍්‍රථමයෙන් රෝගියාගේ අනතුරට ලක්වූ ප‍්‍රදේශයට විවේකය ලබාදිය යුතුය. එනම් මෙම ප‍්‍රදේශය නොසොල්වා තැබිය යුතුය. දෙවනුව අයිස් කැබලි කීපයක් ගෙන රෙදි කැබැල්ලක ඔතා වරින් වර අනතුරට ලක් වූ පටකය තැවීම කළ යුතුය. මෙවිට රෝගියාගේ බාහිරව හෝ අභ්‍යන්තරව රුධිරය වහනය වීමක් වන්නේ නම් එය නතර වේ.

අපගේ ශරීරයේ ස්වභාවය නම් ශීතලට රුධිරවාහිනි සංකෝචනය වීමයි. එවිට රුධිරය ගැලීම නතර වේ. බොහෝ දෙනා ශරීරයේ තැලීමක් සිදු වූ විට උණු වතුරෙන් තැවීම සිදු කරයි. මෙය වැරදිය. මෙහිදී රුධිරවාහිනී විස්ථාරණය වී පටකය තුළට තවත් රුධිරය ගලා ලේ කැටිය විශාල වේ. නමුත් අනතුර සිදු වී දින 3ට පසුව උණු වතුරෙන් තැවීම සිදු කළ හැක. එහදී අනතුරේ දී වහනය වූ කැටි වී ඇති රුධිරය පටක තුළ තැන්පත් වී ඇත්නම් එය නැවත රුධිරවාහිනීවලට උරාගැනීමට උදව් දේ.

අනතුර සිදු වූ වහාම අයිස්වලින් තැවූ පසූ අදාළ පටකය වෙත යම් පීඩනයක් ඇති කළ යුතුය. එනම් අදාළ ප‍්‍රදේශය කේ‍්‍රප් බැන්ඩේජයකින් හෝ රෙදි පටිවලින් බැඳීම කළ යුතුයි. එවිට අදාළ අවයවය ඉදිමුමට ලක්නොවේ. පටක තරලය එක් රැස් නොවේ. කේ‍්‍රප් බැන්ඩේජය මගින් එල්ල කරන සම්පීඩනය යම් පමණකට දිය යුතුය. ලබාදෙන තෙරපුම වැඩි වුවොත් රුධිර ගමනාගමනයට බාධා ඇති විය හැක.

ඉන් පසු අදාළ ස්ථානය හැකි නම් රෝගියාගේ හෘදයට වඩා ඉහළන් තබාගත යුතුය. ගුරුත්වාකර්ෂණය නිසා එවිට අනතුරට ලක්වූ පටකය දෙසට රුධිරය ගැලීම අඩු වේ. ශිරා රුධිරය එම ස්ථානයෙන් පිට වේ. රුධිර වහනයක් වේ නම් එයද අඩු වේ.

අස්ථි බිඳුමක් ඇතැයි සැක නම් එම ස්ථානය නොසෙල්වන ලෙස පතුරක් බැඳ හැකි ඉක්මනින් රෝගියා වෛද්‍යවරයකු හමුවට ගෙන යන්න. යම් ආකාරයකින් බිඳුණු අස්ථි කැබලි 2න් රුධිරවාහිනිය සහ ස්නායු කැපී ගියහොත් රෝගියාගේ තත්ත්වය සංකිර්ණ වනු ඇත. එසේ වූවොත් සෛල මිය ගොස් එම ප‍්‍රදේශයේ සංවේදනද නොමැති වී යයි. තවද කිසිම විටක කැඩුණු ඇට හෝ විසන්ධි වූ සන්ධි ගෙදරදී නිවැරදි කිරීමට නොයන්න. එමෙන්ම කොඳු ඇට පෙළ අතර අස්ථිවල කැඩිමක් ඇති බවට සැක සහිත නම් එම රෝගියා ලෑල්ලක් මත තබා රෝහලට රැගෙන යන්න. එවැනි රෝගීන්ට ඉඳගැනීමට සැලැස්වීමෙන් වළකින්න. මෙවැනි රෝගීන් හැසිරවීමේදී පුද්ගලයන් සතර දෙනෙකුගේ සහය ලබාගන්න.

අස්ථි භග්නය සුව වීමට වෛද්‍යවරයා විසින් දමන ලද ප්ලාස්ටරය ඉවත් කළ පසු රෝගියා නොසොල්වා සිටි සන්ධියේ චලනය සීමා වී තිබිය හැක. එමෙන්ම එය අවට පේශි සිහින් වීමද දක්නට ලැබේ. මෙය වළක්වා ගැනීමට රෝගියා ප්ලාස්ටරය දමාගෙන සිටින විටද භෞතචිකිත්සක උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතුය. එහිදී රෝගියාගේ අස්ථි භග්නයට හානි නොවන සේ අස්ථි නොසෙල් වන සේ පේශි පමණක් සංකෝචනය කරන ස්ථීති ව්‍යායාම  (Static exercises) කළ යුතුය. එසේම ප්ලාස්ටරය ඉවත් කළ පසුත් පේශි සිහින් වී ඇත්නම් පේශී ශක්තිමත් කරන ව්‍යායාම (Strengthening exercise) කළ යුතුය. තවද  සන්ධිය වලනය වන පරාසය සීමා වී ඇත්නම් භෞතචිකිත්සාවේ යෙදෙන සස්පෙන්ෂන් තෙරපි ලෙස හැඳින්වෙන ගුරුත්වය නොදැනෙන ලෙස ඉරියව් ගත කර කරන ප‍්‍රතිකාරය කළ යුතුය. ව්‍යායාම කළ යුතුය. සන්ධිය ඉතා තද වී ඇත්නම් ඊට පෙර තාප ප‍්‍රතිකාරද ලබාදිය යුතුය.

[වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.]