එක රැයකින් දරුවට හොඳ දේ පුරුදු කරන්න පුළුවන්ද?

මොනතරම් ගුණ වුනත්, රස වුනත්, වැදගත් වුනත් දරුවන්ට ඒවායේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. වටිනාකම අපි කියල දුන්නත් ඔවුන් ඒවා පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න තරම් පැසුණු බුද්ධියකින් යුක්තත් නැහැ. අපි පමණට වඩා පෙරැත්ත කලොත් මොන විදිහටවත් ඒ වෙනුවෙන් දරුවා යොමු කිරීමත් අපහසුයි.

අද බොහෝ ළමා මනෝවිද්‍යාඥයින් සඳහන් කරන අන්දමට දරුවාට යම් යම් තෑගි දෙන බවට පොරොන්දු වෙලා ඔවුන්ගෙන් විවිධ කාර්යන් කර ගැනීම එතරම් හොඳ නැහැ. එවිට දරුවන් හිතන්නේ මේ විදිහට බලපෑම් කරන්නේ එහි කුමන හෝ අඩුවක් ඇති නිසාම වෙන්නැති බවයි. ඒ නිසා සමහර විට ඔවුන් තෑග්ග දුන්නත් එය ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. එහෙම නැත්නම් නැවතත් තෑග්ගක් දෙනවා කියන වචනය දෙමව්පියන්ගෙන් නික්මෙන තුරු අදාල කටයුත්ත නොකර සිටින්නත් පුලුවන් බව ලන්ඩන් යුනිවසිටි කොලිජියේ මහාචාර්ය ”ජේන් වෝඩල්” සඳහන් කරනවා. එහෙම නම් අපි හොඳ දේ දරුවාට පුරුදු කරන්නේ කොහොමද…?

  • එක රැයකින් නම් බැහැ…

දරුවාට හොඳ දේවල් පුරුදු කිරීම එක රැයකින් කරන්න බැහැ. ඒවා දැනුම් තේරුම යාන්තමින් ලැබෙන දා පටන්ම සිදු විය යුතුයි. උදාහරණයක් විදිහට අපි දරුවන්ට පුංචි කාලයේ ඔවුන්ගේ කිරිවලට සීනි නොදමා දුන්නොත් ඔවුන් පසුකාලයේදී සීනි රස ඉල්ලමින් කලබල කරන්නේ නැහැ. ඒ ඇයි කිව්වොත් ඔවුන්ගේ දිව සීනි රසය දන්නේ නැහැ. අන්න ඒ වගේ හොද දේවල් දරුවාට බාල කාලයේ පටන්ම හුරු කිරීම වැදගත්. බෙදා හදා ගැනීම වැනි දේ පුංචි කාලයේදී දරුවාට ප්‍රායෝගිකව වටහා ගැනීමට ඉඩ නොදී පසුකාලයකදී ”අනේ දරුවා බෙදා හදා ගෙන කරන්න ඉගෙන ගන්න” කීවාට එය නිෂ්ඵල කාර්යක් වෙනවා.

  • අලුත් විදිහට පටන් ගන්න..

දරුවන් නිතරම අලුත් වෙන්න කැමැතියි. ඒ වගේම අලුත් අත්දැකීම් ලබනන් කැමැතියි. ඒ නිසා හොඳ දේ මෙයයි…නරක දේ මෙයයි…කියනවාට වඩා ඒවා අලුත් විදිහට දරුවාට දිශාගත කලොත් වඩාත් වැදගත් වේවි. ලන්ඩන් විශ්වවිද්‍යාල ආයතනයේ සිදු කළ පර්යේෂණ වාර්තාවක දැක්වෙන අන්දමට වයස අවුරුදු පහක් පමණ වයසේ පසුවෙන දරුවන් සෞඛ්‍යට හිතරක ආහාර දුටු පමනින්ම ඒවා රසයෙන් අඩු බව සලකා ප්‍රතික්ශේප කරන්න බොහොම හපන්නු. අන්න ඒ වගේම දරුවන් නිතරම හොද දේ ප්‍රතික්ශේප කරනවා වගේම නරක දෙයට යොමු වෙන වේගය වැඩියි. ඒ නිසා දරුවාට වඩාත් අගය කළ යුතු දේවල් අලුත් විදිහට ලබා දුන්නොත් ඔවුන් ඒවා අනුගමනයට දක්වන කැමැත්ත වැඩි වෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට උදේ පටන් හවස් වෙනතෙක් ”අනේ පිළිවෙළට වැඩක් කරන්න” කියනවාට වඩා පිළිවෙළකට තිබෙන ඡායාරූප, ඒ වගේ දරුවන් ගැන තොරතුරු අසන්න, දකින්න ලැබුනොත් දරුවා නොදැනීම පිළිවෙළට යොමු වෙන්න පුලුවනි.

  • දරුවන් අගය කරන්න

පුංචි වුනත් තමන් අගය කරනවාට දරුවන් කැමැතියි. ඒ සාමාන්‍ය මිනිස් ස්වභාවය. දරුවන් වෙතින් වුනත් මේ තත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන් කරන නරක දෙයට දොස් නගනවාට වඩා පුංචි වුනත් කරන හොද දෙයට ඇගයීමක් ලබා දෙනවා නම් දරුවන් බොහොම කැමැතියි. අපි නිතරම දරුවා යම් නොකළ යුතු දෙයක් කලොත් ඒ වෙනුවෙන් දොස් නගන්න නම් බොහොම කැමැතියි. සමහර විට ඒ තත්වය සීමාව ඉක්මවා යන තරම්ම දරුණුයි. නමුත් හොඳ දෙය වෙනුවෙන් ඒ තත්වය ඇති වෙන්නේ නැහැ.ඉතින් ඒ නිසා දරුවා පුංචි වුනත් හොඳ දෙයක් කලොත් ඒ වෙනුවෙන් ඔවුන් අගය කරන්න. ඒ ඇගයීම නැති වුනොත් දරුවාට තව තවත් හොඳ දේවල් කිරීමට එතරම් උත්තේජනයක් ඔවුන්ගේ හදවතින්ම ගොඩ නැගෙන්නේ නැහැ.

  • අවවාදයට වඩා ආදර්ශය උතුම්

ඒක ඉතින් අමුත්තක් නොවෙයිනේ.. අර කතාවට කියන්නා වගේ ඔබ හරහට ගොසින් දරුවා කෙලින් යන්න කිව්වාට වැඩක් තියෙනවායැ. ඒ නිසා කාලය පිරිමහින, අනුන්ට උදව් කරන, බෙදා හදා ගෙන වැඩ කරන කටයුතු ගැන ඔබ ආදර්ශයෙන් පෙන්නුම් කලොත් දරුවාත් නොදැනීම ඔබව අනුගමනය කරාවි. එහෙම වුනාම වචන දහස් ගණනකින් ඔබ දරුවාට ලබා දෙන අවවාදවලට වඩා මේ ආදර්ශය උතුම් වෙන්න පුළුවනි. එහෙම නැතුව ඔබ වැරැදි විදිහට කටයුතු කරමින් ”අනේ දරුවා තවත් කෙනෙකුට උදව්වක් වෙන්න පුරුදු වෙන්න” කියද්දී  ”හරි…මට කියන්න අම්මා…තාත්තා කාටවත් උදව් කරනවාද….?” මේ විදිහට ඇහුවොත් ඇත්තටම ඔබ නිරුත්තරයි නේද….?

ටෙලිග්‍රාප් පුවත් ඇසුරිනි

අඬන්න…සිනාවෙන්න…සින්දු කියන්න….. අවසර දෙන්න

ඇඬීම සහ සිනාසීම සිද්ධ වෙන්නේ මොළයේ එකම කොටසකින්. සිනාසීම ගැන නම් අපි බොහොම හොඳ ප්‍රතිචාර දැක්වුවත් ඇඬීම ගැන ඒ තරම් සුබවාදී අදහසක් අපි තුළ නැහැ. ඒ නිසා දරුවන් වුනත් සිනාසී සිටින විට අපේ දෙමව්පියන්ගේ හිතේ ඇති වෙන සතුට ඔවුන් අඬන විට කොහෙත්ම ඇති වෙන්නේ නැහැ.

ඒත් දරුවන් අඬන විට ඔවුන්ගේ චිත්තවේග පිටවෙනවා. මෙය ඉතා යහපත් තත්ත්වයක් බැව් ලෙරිඩාහි ස්නායු විශේෂඥ ජොඩී ඩි ලුකා සඳහන් කරනවා. කඳුළුවලින් දරුවාගේ ආතතිය දුරු වෙනවා වගේම අපේ අවධානයත් දරුවාට ඇති වෙනවා. දරුවා අඬන විට දෙමව්පියන්ට ඔවුන්ගේ චිත්තවේග හඳුනා ගන්න පුළුවන්. එතැනින් පසුව දරුවා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් වගේම දරුවාගේ අවශ්‍යතාවය ඉෂ්ට වීමටත් ඇඬීම බලපානවා. ඇඬීමත් ජානවලින්ම අපට උරුම වුන දෙයක් නිසා එය වළක්වන්න එපා. සමහර දෙමව්පියන් ”වහගනන්වා කට…හ්ම් කියන්නේ නෑ…” කියමින් ඇඬිම වැළක්වීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ වගේම ඕන දෙයටත් ..එපා දෙයටත් කිසිම වෙනසක් නැතුව නිතරම ඇඬියාවෙන් ඉන්න දරුවෙක් ගැනත් ටිකක් විමසිල්ලෙන් ඉන්න. සමහර විට නිකරුනේ අඩන දරුවන්ට කුමන හෝ මානසික ගැටුමක් තියෙන්නත් පුළුවන්.

සිනාව සතුට සමග බද්ධව තිබෙන බොහොම සුබවාදී දෙයක්. දරුවෙක් සිනාසෙන විට දෙමව්පියන්ට ඇති වෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. සිනාසෙන විට අපේ සිරුරේ ඇති වෙන වෙනස්කම් ඉතා යහපත් පරිදි අපේ නිරෝගිතාවයට බලපානවා.

ඉස්සර කාලයේ වැඩිහිටියන් ළදරුවන් නිතරම සිනා ගන්වන්න උත්සාහ ගත්තා. සමහර විට කුචු කවන්න, එහෙම නැත්නම් දරුවාට සිනා නැගෙන විවිධ ශබ්ද , එහෙම නැත්නම් ඉරියව් මේ විවිධ විදිහට ඔවුන් දරුවන් සිනා ගන්වන්න නිතරම උත්සාහ කළා. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විලියම් ෆ්‍රයි සඳහන් කරන අන්දමට සිරුරේ රුධිර සංසරණය වේගවත් වුනාම උදරයේ මාංශපේශින් හැකිලෙනවා. සියවාරයක් සිනාසෙන  විට විනාඩි දහයක් ව්‍යායාමයක නිරත වීමෙන් ලබා ගත් ප්‍රතිඵල ලැබෙන බැව් පෙන්වා දෙනවා.

සිනාව ආතතිය ජයගැනීමට මගක් බව සඳහන් කරන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ලී බර්ක් කියන්නේ විකට කාටුන් බලන විට සිනාසීම පවා  ආතති හෝමෝන අඩු කිරීමට හේතු වෙන බවයි. මේ තත්ත්වය හරියට හදවත් රෝගීන්ගේ රෝග තත්වයට ”බිටා බ්ලොකර්ස්” කාණ්ඩයේ ඖෂධ ලබා දීමට සමාන බවයි. එම ඖෂධ මගින් හදවතට රුධිරය සැපයීමේ ඇති අවහිරතාවයන්ට පිළියම් සලසන්නේ යම් සේද, සිනාසීම නිසාත් රුධිර සංසරණය යහපත් තත්ත්වයට ඉතාම පහසුවෙන් පත් කර ගැනීමට හැකියාව තිබෙන බැව් ඔහුගේ අදහසයි.

මේ වෙනුවෙන් ඔවුන් ලබා ගත් එක් අත්දැකිමකි මේ…

එස්ටින් යැබ්රාගේ වයස අවුරුදු 13 යි. හදිසියේ ඇති වුන අසනීප තත්වයක් වෙනුවෙන් ඔහුට ශල්‍ය කර්මයක් සිදු කිරීමට වුණා. ශල්‍ය කර්මයෙන් පසුව සිහිය ලැබෙන විට වේදනාව ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මේ පුංචි දරුවාටත් වේදනාව ඇති වෙන බව දැන සිටි නිසා සිනහව පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ බිල් මැක්ස් දරුවාගේ ඇඳ අසලට වී විහිළු කතා කියමින් සිටියා. බිල්ගේ විහිළු කතාවලට සිනාසෙමින් සිටි නිසා තමාට කිසිම වේදනාවක් දැනුනේ නැති බැව් එස්ටින් යැබ්රා සඳහන් කළේ ”ඇත්තටම සිනාව විස්මිත ඔසුවක්…. මට එය අත්දැකීමෙන්ම දැනුනා…” යනුවෙන් සදහන් කරමින්ය.

ඒ වගේම දරුවන්ට කටේ හිරි ඇරලා සින්දු කියන්න අවසර දීමත් ඉතාම වැදගත්. සින්දු කීම මගින් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ ඇති ප්‍රතිදේහ ක්‍රියාකරන ඉමියුනෝගොබ්ලින් සහ ප්‍රති-ආතති හෝමෝන ඉහළ යනවා. වෙන දෙයක් තබා දේව මෙහෙයක් වෙනුවෙන් සිදුවෙන පුහුණු කාලයක වුනත් මේ තත්ත්වය දැක ගත හැකි බව ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් විශ්ව විද්‍යාලයේ ගුවෙන්ත බැස්ටියන් විසින් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව පාදක කර ගෙන කියා සිටිනවා. මේ වාර්තාව බිහේවියල් මෙඩිසන් වෛද්‍ය සඟරාව මගින් ප්‍රකාශිතව තිබෙනවා.

රීඩර්ස් ඩයජස්ට්

නිරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවළු සහ පලතුරු මෙන්න

”දවසකට එළවළු සහ පලතුරු පංගු පහක් ආහාරයට ගන්න” මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවළු සහ පලතුරුවලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වළක්වා ගන්න පුළුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

  • නිවිති

නිවිතවල අන්තර්ගත ”ලුටෙයින් (Lutein) සහ සෙක්සතින් (zexanthin)” ශාඛ රසායනයන්වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත් (Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුළුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවළු වර්ග මගින් පෙනහලුවල නිරෝගී බව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවළුවල ”ඉන්ඩෝල්,  කාබිනෝල්” වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. දැනටමත් නිව්යෝක් නගරයේ ”ස්ට්‍රේන්ජ්” පිළිකා මර්දන ආයතනය විසින් හඳුනා ගෙන ඇති අන්දමට ”කාබිනෝල්” රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුළුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ”මැන්ප්‍රෙඩ් කෝනර්” පෙන්වා දෙන අන්දමට සුදුළූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිළිකා සහ හදවතේ නිරෝගීතාවයටත් ඉතාම වැදගත්. Allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් (allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කළොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලිවල අන්තර්ගත ”ලයිකොපෙන්” ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිළිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යයනයේ ප්‍රධානී ”එඩ්වඩ් ජිම්වනුසි” සඳහන් කරන්නේ තක්කාලි පෙනහලු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති ෆිනොලිකා (phenolics) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විද්‍යාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ ”ඔබේ හදවත ආරක්ෂා කර ගැනීමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න, ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න” ලෙසයි.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සඳහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් C බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආශ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යයනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers digest ඇසුරිනි

අලුත් අම්මලා එක්ක කතා කරද්දී පරිස්සමෙන්

අලුත් අම්ම කෙනෙක් වෙනවා කියන්නේ ගැහැණියකගේ ජීවිතයේ තවත් අලුත් ඉපදීමක්. ගොඩක් බිරින්දෑවරු ආසාවෙන් ඉන්න ඒත් අම්ම කෙනෙක් වෙන්න ලං ලං වෙනකොට චුට්ටක් විතර බයක්, චකිතයක් ඇතිවන දෙයක්.. දරුවෙකු ලැබෙන්න ඉන්න කොට අපි නොයෙක් හීන දකිනවා..අනේකවිද සැලසුම් සකස් කරනවා..බබා හම්බුනාම මම මෙහෙම කරනවා..මෙහෙම වෙනවා..ඔය වගේ ගොඩක් දේවල්.. ඉතින් ඔහොම ඉදලා ඉදලා බබා ලැබුනට පස්සේ අලුත්ම අත්දැකීම් ගොඩකට මුහුන දෙන්න වෙනවා එක රැයකින්ම.
මේ වෙනස්වීම අලුත් අම්ම කෙනෙක්ට තදින්ම දැනෙනවා. එයාට ගැටලු ගොඩක් තියෙනවා මුල් වරට..තාම සැකසී නැති පියයුරු වලින් කිරි දීමේ ඉදලා, නොකඩවා නිදි වැරීම්, බබාගේ හැඩුම්, බබාගේ මල පහ කිරීම් වැනි එකී මෙකී නොකී බොහොම දේවල් ඇය මුල් වරට අත් විදිනවා. ඒ විතරක් නෙමෙයි දරුවා ලැබීමේ ක්‍රියාවලිය නිසා වෙනස්වුනු ඇයගේ සිරුරේ ක්‍රියාකාරීත්වය , රිදුම් සහ අපහසුතාවයන් වලටත් ඇය අලුත්.
 මේ සියලු දේයට ඇය දන්න අයගෙන් උපදෙස් පතනවා. සායනවලින් ලබා දෙන දැනුමට එහා ගිය තොරතුරු සොයන්න පෙලබෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ ඇයව දිරිමත් කිරීමක්. හිත ශක්තිමත් කිරීමක්. ඇය නොදන්නා හෝ ඇය තවම හැඩ ගැහෙමින් පවත්නා ජීවිතයේ ඇද කුද, දුර්වලකම් පැවසීම හෝ ඇය නොදන්නා කාරනා ගැන තොරතුරු පවසා ඇයගේ මනස වියවුල් කිරීම හෝ නොකල යුතු කාරණයක්. නමුත් අවාසනාවකට අද සමාජයේ සිදු වන්නේත් මෙයමයි. කෙනෙක් මුහුන දී ඇති යතාර්ථය මානුශිකව සහ සංවේදී ව තේරුම් අරගෙන වචන පරිහරණය කරන අය අද සමාජයේ ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඔබත් මේ ලිපිය අවසානයේ කල්පනා කර බලන්න, ඔබ කුමන වර්ගයේ කෙනෙක්ද කියා.
මම මේ ලිපියෙන් දරුවෙකු ලත් අලුත් අම්මා කෙනෙක් (අලුත් විතරක් නෙමෙයි දරුවන් ලද ඕනම අම්මා කෙනෙක්) අහන්න අකමැති වාක්‍යයන් කීපයක් සදහන් කරන්න හිතුවා. මේවා මගේ අත්දැකීම් පමණක් නෙවෙයි වෙනත් අම්මලාගේ අදහසුත් පදනම් කරගෙන තමයි ලියන්නේ…
*අම්මෝ හරියට මහත් වෙලා/ කෙට්ටු වෙලා නේද?
*බඩ නම් තාම බබා හම්බවෙන්න ඉන්නවා වගේ නේද?
*ඔයා හරියට කලු වෙලා නේද?
*ඇස් වටේ හරියට කලුවෙලා..ඒ මොකද?
*ඔයාගේ බ්‍රෙරෙස්ට් දෙක සයිස් දෙකක් නේද?
මේ ඉහත කාරණා ටික ඉතින් ඒ අම්මාත් හොඳටම දන්න සහ දැනෙන දේවල් නේද? ඉතින් අපි මොකටද  මේවා නැවත නැවත එයාට මතක් කරල දෙන්නේ..? මොකද ඒ අම්මාට වද වෙන්න ඊට වඩා වැදගත් කාරණා එමටයි. විශේශයෙන් එයාට ලැබුනු අලුත් බබා ගැන වද වෙන්න කාරණා ඕන තරම් තියෙනකොට අම්මා එයාගේ ඇග ගැන වදවෙන එක කල් දාලයි තියෙන්නේ…එහෙම නේද? ඉතින් ඔය ටික ඒ අම්මගෙන් අහන්නම ඕනද? ?
අලුත උපන් බබාට කිරි දෙන්න මහන්සි වෙන අම්මා කෙනෙක්ට අහන්න නුසුදුසුම දෙයක් තියෙනවා..
*”ඔයාට කිරි නැහැ වගේ නේද?” * කිරි එන්නේ නැහැ වගේ නේද?” * බබාට කිරි මදි , ඒකයි අඩන්නෙ “
මේවා ඇහෙනකොට ඒ අම්මලාගේ හදවතට ඉදිකටු අනිනවා වගේ. මටත් පෞද්ගලිකව මේ දේ වුනා. දරැවා ලැබුනු ගමන් සීසර් කරපු අමාරැවත් එක්ක කිරි දෙන්න දගලපු මට දිගටම මේ කාරණාව මන්තරයක් වගේ ඇහෙන්න ගත්තාම ආවේ දුකක් නෙවෙයි තරහවක්. මුල් වරට දරැවෙක් ලබපු අම්ම කෙනෙක්ගෙ පියයුරු දරැවාට පහසුවෙන් කිරි උරා ගැන්මට තරම් සැකසී නැහැ . ඒ වගේම දරැවාට කිරි උරන්නට සහයෝගයක් දෙන්න අලුත් අම්මා දන්නේත් නැහැ. එහෙත් ඇයගේ පියයුරැ වල කිරි පිරී තිබේ. බොහෝවිට දරැවාට සහ අම්මා ට මේ වෙලාවට උදව් කරන්නේ රෝහ⁣ලේ හෙද සොහොයුරියන් …අන්න එවන් ධෛර්යමත් කිරීමක් තමයි අලුත් අමමෙක්ට ඕන කරන්නේ..
මේ කාරණා වලට අමතරව අලුත් අම්මලා මුහුණ දෙන ව්ශාලම අභියෝගය තමයි දරැවා⁣ගේ එදිනෙදා කටයුතු සම්බන්දයෙන් එල්ල වන විවේචන. බබාව පිරිසිදු කිරීමේ කටයුතු වල ඉදලා බබාට කවන
පොවන දේවල් , ඒවා කවන ආකාරය වගේ දේවල් ගැන ඕන තරම් දේවල් කියන්න අය තමන්ගේ ගේ ඇතුලේම ඉන්නවා ඇති, එහෙම නේද ? දරුවාගේ සායනයේදී වගේම වෛද්‍යවරයා දුන්න උපදෙස් පරිදි
කටයුතු කරන්න අමාරු අම්මල ඕන තරම් මට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසි උපදෙස් ක්‍රියාත්මක කිරීමට යාමේදී තමන්ගේ මවගෙන් හෝ විශේෂයෙන් නැන්දම්මා ගෙන් එල්ලවන විවේචන සහ බලපෑම් නිසා අලුත් අම්මා හිත් රිදවීම් වලට මුහුණ දෙනවා විතරක් නොවෙයි; ඇයට කුමක්ද හරි විදිය කුමක්ද වැරදි විදිය යන්න තීරනය කර ගැනීමට නොහැකි ව තනිවම අතරමං වෙනවා. මෙවන් මව්වරු දරුවා සම්භන්දයෙන් වැරදි තීරන හුගක් ක්‍රියාත්මක කරන්න පෙලඹෙන අවස්තා ඕන තරම් මම දැක තියෙනවා. එවන් මව්වරු තමයි අවුරුද්දට අඩු දරුවන්ට ලුනු, සීනි දෙන්නේත්, තමන්ගේ රන් හා සමාන මව් කිරි දෙවනුවට තබා පිටිකිරි ( වඩා ගුණ යැයි සිතා) දීමට පටන් ගන්නේත්, දරුවා ඉපදී සති කීපයෙන් වතුර පෙවීමට යන්නේත්, මාස 2,3 පිරුණු දරුවාට ප්ලතුරු යුශ වැනි ආහාර දෙන්න පටන් ගන්නේත්…. ඒ නිසා ඔබ, මෙසේ මව්වරුන්ට සායන වලින් දෙන උපදෙස් අවතක්සේරු කරන කෙනෙක් නම්, ඔබ අනතුරේ හෙලන්නේ අර අහිංසක දරු පැටියෙකු නේද?
මේ කාරණා වලට අමතරව ඔබත් අලුත් අම්මා කෙනෙක්ට මේ වගේ කියමන් පාවිච්චි කරනවාද?
*ඉක්මණට ව්‍යායාම කරන්න; නැත්නම් ඇග කැතවෙයි
*ඔයා ආපහු ඔෆිස් යන්නේ කවද්ද?
*කොච්චර කාලයක් කිරි දෙන්න හිතාගෙන ඉන්නවද?
*දැන් ඊලග බබා හදන්න කාලය හරි .
*දැන් පුතෙක් නේ ඉන්නෙ; ඉක්මණින් දුවෙකුත් හදා ගන්න
*බබාව “ඩේ කෙයා” දාන්නෙ නැහැ හරි හමන් දෙමව්පියෝ. ඔයා මොකද කරන්න ඉන්නෙ..?
*අපරාදේ..බබා නිසා රස්සාවත් නැති වුනා නේද?
*ඔහොම තමයි, ගෑනු ලමයින් ගේ උගත් කම දරුවො ලැබුනට පස්සෙ වැඩක් නැති වෙනවා.
මේ මම ඉහතින් සදහන් කල ඒවා වගේ තවත් කියමන් ඕන තරම්. මේවා නම් ඉතින් සාමාන්‍ය   කියමන් නෙ ..මේවා කිව්වාම ඇයි කාටත් හිත රිදෙන්නෙ කියල අපිට හිතෙයි. මේවා සාමාන්‍ය වුනත් ඒ අදාල ප්‍රශ්නය ට මුහුණ දීලා ඉන්න අම්ම කෙනෙක්ට එයාගෙ සිත අදෛර්‍යමත් වීමට හේතුවක් වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස මම සදහන් කලොත් යම් අම්මා කෙනෙක්ට කුමක් හෝ සංකූලතාවක් නිසා නැවත දරුවන් ලැබිය නොහැකි අවස්තාවක “දැන් ඊලග බබා හදන්න කාලය හරි .” කියල ඔබ කිව්වොත්, කීයෙන් කී දෙනෙක් ඔබට ඇයගේ ප්‍රශ්නය විවුර්තව පවසයිද? කීයෙන් කී දෙනෙක් නිහඩව තමාගේ නොහැකියාව ගැන කදුලු සලයිද? ඉතින් මේ වගේ සාමාන්‍ය වාක්‍යයකට වුනත් කෙනෙක්ගේ හිත සසල කිරීමට පුලුවන් කියන කාරණය තමයි මම පිලිගන්න දෙය.
දැන් අපිටම හිතෙයි මෙහෙම ගියාම කිසිම දෙයක් කතා කරන්න බැහැනේ කියලා.කියන කියන හැම දෙයින්ම වැරැද්දක් ගනීවි කියලා. නමුත් මම හිතන්නේ අපි කවුරුත් අපි යමක් කියන්න කලින් ඒ දෙය අසන්න සූදානම් වන තැනැත්තාගේ සාක්කුවට බැහැලා එයා හිතන පතන විදිය ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වුනොත් ඒ තැනැත්තා එක්ක කතා කරන්න ලොකු අපහසුවක් අපිට දැනෙන එකක් නැහැ . සමහර විට දුර දිග නොබලා කියන වචන 10 කට වඩා අහන කෙනාගේ පැත්තෙන් හිතලා කියන වචන 2,3 කින් ඒ කෙනාගේ ඒ මොහොත සතුටින් පුරවන්න, එයාගේ සිත දිරිමත් කරන්න ඔයාට පුලුවන් වෙයි..
ඉතින්, මෙය කියවන ඔයාලගෙ මේ සම්භන්ද අදහස් සහ අත්දැකීම් දැනගන්න කැමති යි.

පරාජයට ඉඩ දෙන්න

දරුවන් මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයන් කරන්නට නම් ”ජය පරාජය සමසිතින් විඳගන්න හුරු කරන්න ”

”පරාජයට ඉඩ දෙන්න” ලිපියේ මාතෘකාව දකිද්දීම මේ මොකද්ද මේ කියන්නේ කියන සිතුවිල්ල එක්වරම ඔබේ හිතට ඇතුළු වුණා නේද? ඔව්.. ”ජය හා පරාජය” තුළින් දරුවෙකුගේ පෞරුෂත්වය ගොඩ නංවන ආකාරය ගැනයි මේ ලිපිය.

පෞරුෂත්වය කියන්නේ මොකක්ද?

යම් පුද්ගලයෙක් තමා සහ ලෝකය දකින විදිය මෙන්ම තමා සහ ලෝකය සමග ගනුදෙනු කරන ආකාරය  පෞරුෂත්වය ලෙස සරලව හැඳින්විය හැකියි.

ඔබ තුළ මෙන්ම ඔබේ දරුවා තුළත් මනා පෞරුෂත්වයක් ගොඩ නගා ගන්නේ කෙසේද?

සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ මනා පෙනුම එනම් උසට සරිලන මහතින් යුතු පෞරුෂවත් පෙනුම, නායකත්ව හැකියාව,හොඳින් කතා කිරීමේ හැකියාව ඇති අයෙක්   හොඳ පෞරුෂයක් ඇති අයෙකු ලෙසයි. ඒත් හොඳ පෞරුෂත්වයක ලක්‍ෂණ මොනවාද, ඔබ තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරන්නේ කොහොමද, ඔබගේ දරුවා තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරවන්න දිරිගන්වන්නේ කොහොමද කියලා දැනුවත් වීම බොහොම වැදගත් වනවා. මොකද විශේෂයෙන්ම හොඳ පෞරුෂත්වයක් ඇති පුද්ගලයෙක් ලෝකයා සහ තමා සමග ගනුදෙනු කරන විදිය ඉතාම ධනාත්මක වගේම සුබවාදිව සිදු වෙන්නක්. එවැනි පුද්ගලයෙක් හරහා අන්තර් පුද්ගල සබඳතා හොඳින් සිදු වෙනවා වගේම හොඳ පෞරුෂත්වයක් මිනිසුන් සතු වූ විට සමාජය තුළ සිටින අනෙක් පුද්ගලයන්ගේ අයිතීන්වලට සිදුවන හානියත් අවමයි. ඒ නිසාම ජීවිතය සරලයි

හොඳ පෞරුෂත්වයක ප‍්‍රධාන ලක්‍ෂණයක් විදියට,යම්කිසි පුද්ගලයෙක්ට  විවිධ මානසික තත්ත්ව ඒ කියන්නේ විවිධ හැඟීම්   (Emotions)  යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැකි නම් ඒ පුද්ගලයාට හොඳ පෞරුෂත්වයක් ඇති බව කියවෙනවා. ඒ කියන්නේ දුකේදී හා සතුටේදී යන දෙකේදීම නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි.

අපි සතුටින් සිටින අවස්ථාවක ධනාත්මක තීරණ ගැනීම හා ධනාත්මක ලෙස සම්බන්ධතා පවත්වා ගැනීම එතරම් අමාරු දෙයක් නොවෙයි. ඒත් ප්‍රශ්නේ එන්නේ අපේ මානසික තත්ත්වය අපිට තේරෙන සරල විදියට කිව්වොත් අපේ මූඩ් එක හොඳ නැති තත්ත්වයක පවතින විටයි. පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් Compromised Empathy කියන ලක්‍ෂණය පෙන්නු කරනවා.  Compromised Empathy ලෙස හඳුන්වන්නේ මේ පුද්ගලයාට තමා සිටින මානසික තත්ත්වය අනුව තවත් අයෙකු දෙස දකින ස්වභාවය වෙනස් වීම ලෙස කිව හැකියි. එනම් එම පුද්ගලයා හොඳ මානසිකත්වයක සිටිය විට අනෙක් පුද්ගලයා හොඳ වන අතරම ඔහුගේ නරක මානසිකත්වය හමුවේ ඒ පුද්ගලයා නරක් වීමයි. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ සිතට දුක් සහගත සිතුවිලි පැමිණි විට කෙනෙක් පිළිබඳව ධනාත්මකව සිතීමේ හැකියාව ඔහුගෙන් ගිලිහෙනවා. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය තියෙනවා. ඕනෑම මානසික තත්ත්වයක් දරාගෙන ලෝකය දිහා කරුණාව සහ ධනාත්මක සහිත බව ඇතිව දකින්න හැකි නම් එම පුද්ගලයා සතුව හොඳ පෞරුෂයක් ඇති බව කිව හැකියි. මේ තත්ත්වයට Emotion diversity කියලත් හඳුන්වනවා.

ඕනෑම මානසික තත්ත්වයක් හමුවේ ධනාත්මකව සිතීමේ හැකියාව ඔබේ දරුවා තුළ වර්ධනය කරන්නේ කොහොමද?

අපේ සමාජයේ අනවශ්‍ය ලෙස  මුල් තැන දෙන්නේ ධනාත්මක හැඟීම්වලට. ඒක ලොකු දුර්වලතාවයක්. ඒ තුළින්  සෘණාත්මක හැඟීම් නවත්වන්න, යටපත් කරන්න උත්සාහ දරනවා. එයට හේතුව සෘණාත්මක හැඟීම් නුසුදුසුයි කියන සිතිවිල්ල. ඒත් සෘණාත්මක හැඟීම් කියන්නේ ඒ විදියට ඉවත් කළයුතු නරක සිතුවිලි ධාරාවක් නොවෙයි.   සෘණාත්මක හැඟීම් හරහා අපට උගන්වන දේ බොහෝයි.

බාහිර ලෝකයේ සිදුවන දෙය ඔබ තුළින් බලාපොරොත්තු වන දෙයට වඩා වෙනස් වූ විට ඔබ තුළ ඇති වෙන ප‍්‍රතිචාරය හැඟීම්ක් විදියට හඳුන්වනවා. බාහිර ලෝකයේ තියෙන දේ ඔබ බලාපොරොත්තු වන දෙය නොවේ නම් ඊට තරමක් අඩු දෙයක් නම් ඔබට තරමක දුකක් ඇති වෙනවා. ඔබට තරහව හරි දුක හරි පාඩමක් කියලා දෙන්න හදනවා. සමාජයේ ගොඩක් වෙලාවට දරුවන් තුළ මේ සෘණාත්මක හැඟීම්ක් නතර කරන්න දෙමාපිය වැඩිහිටියන් ලොකු උත්සාහයක් දරනවා.

උදා :  කෑගහන්න එපා, තරහගන්න එපා, ඉරිසියා කරන්න එපා

මේ ආකාරයේ සෘණාත්මක හැඟීම් නරක දෙයක් විදියට නම් කරලා යටපත් කරන්න උත්සාහ කිරීම නම් භයානක තත්ත්වයක්. මේ විදියට දරුවෙක් වර්ධනය වෙද්දී ඒ දරුවාට විවිධ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව සහ විවිධ මානසික තත්ත්වයන් යටතේ වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා. මොකද ඒ දරුවට ඒ හුරුව නැහැ. එවිට ඒ දරුවාට විවධ මානසික තත්ත්වයන් යටතේ හැඩගැහීමේ හැකියාව නැතිව යනවා. ඉතින් මේ දරුවා එයාගේ  හැඟීම් යටපත් කරගන්න, සඟවා ගන්න උත්සාහ කරනවා.

මෙයට හේතුව ලෙස මා දකින්නේ අපේ හැඟීම් තෝරාගෙන යටපත් කරන්න ඇති නොහැකියාවයි. දරුවෙක් තමන්ගේ නරක හැඟීම් යටපත් කරන්න හදනකොට ඔහුගේ හොඳ හැඟීම් ද යටපත් වෙනවා. එතකොට ඔහුට සතුට, ආදරයක් තව කෙනෙක්ට දන්වන්න බැහැ. ඒ වගේම තවත් කෙනෙකුගේ හැඟීම් අදුරගන්න අමාරුයි. මේ හැඟීම් නොතේරෙන දරුවෙක් වැඩිහිටි වියට එද්දී ඒ දරුවාගේ අන්තර් පුද්ගල සම්බන්ධතාවලට ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනවා” ලෙසයි.

දරුවෙකුගේ සෘණාත්මක හැඟීම් යටපත් කරන්න දෙමාපියෙක් ඉදිරිපත් වෙන්න මූලික වෙන්නේ සෘණාත්මක හැඟීම් සහිත වට පිටාවක ක්‍රියා කිරීමට දෙමාපියන් තුළ හැකියාවක් නොතිබීමයි. මොකද වැඩිහිටි ඔබට සෘණාත්මක හැඟීමක් ආ විට ඔබ හැසිරෙන ආකාරය කොහොමද කියලා ඔබම නොදන්නා නිසා ඔබ සෘණාත්මක හැඟීමකට ඉඩ දෙන්න අකමැතියි. ඔබට පුළුවන් නම් ඔබ තුළ වගා කරගන්න ”මට සෘණාත්මක හැඟීම ආපු වෙලාවට ධනාත්මක හැඟීමක් ආපු වෙලාවට තරම්ම නොවුණත් යම්කිසි මට්ටමකට මම මාව හසුරුවා ගන්නවා, දරාගෙන ඉන්නවා” කියන දේ එය ඔබේ දරුවාටත් ලබාදෙන්න.

ඔබේ දරුවාටත් සෘණාත්මක මානසික තත්ත්ව යටතේ ක‍්‍රියාත්මක වීමේ හැකියාව වර්ධනය කිරීමට නම් දරුවාට පරාජය වෙන්න ඉඩ දෙන්න. දරුවා පරාජයන්ගෙන් බේරගැනීමෙන් වලකින්න. සාමාන්‍යයෙන් දෙමාපියන් තම  දරුවන් පරාජයට ලක්වීම නතර කිරීමට ලොකු උත්සහයක් ගන්නවා. දරුවාට තමාගේ වැරදි තීරණවල ප‍්‍රතිඵල විඳින්න ඉඩ දෙන්න. නමුත් ඔබ දරුවාගේ පරාජයේදීත්, වැරදීමකදීත්  නොවෙනස්ව දරුවාට ආදරය දක්වන්න. අද වෙද්දී අපේ සමාජය තුළ දකින්න ලැබෙන බොහොමයක් කනගාටුදායක් සිද්ධීන්වලට මේ තත්ත්වය බලපා ඇති බව කිව හැකියි. දෙමාපියන් දරුවන්ට පරාජයට පත්වීමට ඉඩ නොදෙන විට ඒ දරුවා කවදාවත් තමා ගත්ත තීරණවල වැරදි ප‍්‍රතිඵල පිළිබඳව අත්දැකීමක් ලබන්නේ නැහැ. ඒත් අපේ තීරණවල වැරදි ප‍්‍රතිඵල හරහා අපේ තීරණ කොයි තරම්  ප‍්‍රබලද යන්න අපි වටහා ගන්නවා. මෙන්න මෙතැනදී අපේ තීරණවල ප‍්‍රබලතාවය දැනගන්න අපේ තීරණ වැරදෙන එක බොහොම වැදගත් වෙනවා. දරුවෙක් විවිධ මානසික මට්ටම් යටතේ හොඳ තීරණ ගැනීම අවශ්‍ය නම් කළ යුත්තේ දරුවාට පරාජය වෙන්න ඉඩ හැරීමයි. පරාජය දරාගැනීමට හුරු කරවීමයි. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු ලෙස ඔබේ දරුවා සමාජගත කිරීමට නම් ඔබ කළ යුත්තේ ඕනෑම මානසික මට්ටමක් යටතේ හොඳ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමයි. එසේම පරාජයේදීත් වැරදීම්වලදීත් ඔබ ඔබේ දරුවාට එක සේ අසීමිතව ආදරය දක්වන්න.

කිලිනොච්චිය මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

සර්ප්‍රා……..යිස්… මෙය දරුවන් වෙනුවෙන් සුදුසු දෙයක්ද?

දෙමව්පියන් විදිහට අපි විවිධ අවස්ථාවලදී දරුවන්ට විවිධ පොරොන්දු ලබා දෙනවා. සමහර විට අවස්ථාවට අනුව දරුවාගෙන් යම් යම් කටයුතු ඉටු කර ගැනීමට දෙමව්පියන් මේ වගේ පොරොන්දු ලබා දීම සාධාරණයි. ඒ වගේම මේ පොරොන්දු ඉටු කිරීමටත් දෙමව්පියන් බැදී සිටින්නත් ඕන. එහෙම නැත්නම් දරුවා සහ දෙමව්පියන් අතර පවතින සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. ඒත් මේ වගේ දවස්වල නම් අපිට දරුවන් වෙනුවෙන් වුනත් යම් යම් පොරොන්දු ලබා දීම අපහසුයි. කාලයේ තාලයට අනුවත් අපි හැඩගැසෙන්න ඕන. ඒත් දරුවන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න අවශ්‍ය කාලයක් එහෙම නම් අපි මේ ගනුදෙනුව සාර්ථකව කර ගන්නේ කොහොමද..?

මේ අධ්‍යයනය සිදු කළේ නොටින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. ඔවුන් සඳහන් කරන අන්දමට දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් හදිසියේ කොටින්ම කිව්වොත් සර්ප්‍රයිස් වෙන විදිහේ සතුටුදායක කටයුතු සිදු වෙනවා නම් එය ශාරිරික වගේම මානසික නිරෝගීතාවයට හේතු වෙන බවයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. හදිසියේම විනෝද චාරිකාවක් සංවිධානය වුනොත්…? එයින් ඇති වෙන්නේ සතුටක්. කාලයක් පුරා දින ගනිමින් සිටියාට වඩා ”අපි අද හවස ට්‍රිප් එකක් යමු…” කියන යෝජනාව දරුවන්ට බොහොම සතුටුදායක පණිවිඩයක්. ”සති අන්තයට පාර්ක් යමු” කියන සිටිනවාට වඩා ”පුතා…ලෑස්ති වෙන්න අපි පාර්ක් යමු” කිව්වාම දරුවාගේ ඉහේ මලක් පිපෙනවා. ඒ විතරක් නොවෙයි, මේ වේලාවේ දරුවාගේ සතුටට හේතු කරක හෝමෝන ශ්‍රාවය වෙන නිසා ඔහුගේ ශාරීරික නිරෝගීතාවයටත් එය හේතු වෙනවා.

ඉතින් ඒ එක් පැත්තක්…තවත් අතකින් මේ හදිසියේ ලබා දෙන අවස්ථාවන් දෙමව්පියන්ටත් වාසිදායකයි. ඒ ඇයි කිව්වොත් අපි කල් තබා දෙයක් සැලසුම් කළත් හදිසියේම අපේ රාජකාරි ජීවිතය වගේම වෙනත් පුද්ගලික හේතු හින්දා වෙනස් කරන්න වුනොත් එයින් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. මුලින්ම දරුවන්. වැඩිහිටියන්ට නම් මේ හේතු කාරනාවන් සාධාරණීය කර ගැනීමට පුළුවන් වුනත් දරුවන්ට ඒ විදිහට සාධාරණව හිතන්න අපහසුයි. ඔවුන් නිතරම හිතන්නේ තමන්ගේ පසුබිම මුල් කර ගෙනයි. ඒ නිසා ඔවුන් විසින් සිහින මවපු අවස්ථාවන් අහිමි වීමේ පසුතැවිල්ල හිතේ ගොඩ නැගනෙ නිසා එය දරුවාගේ මානසිකත්වයට එතරම් ගැලපෙන දෙයක් නොවෙයි.

දරුවා සහ දෙමව්පියන් අතර විශ්වාසය බිඳ වැටෙනවා…

දරුවාගේ බලාපොරොත්තු අනපේක්ෂිත අන්දමින් බිද වැටුනාම දෙමව්පියන් මුල් කර ගෙන එතරම් සුබවාදී සංකල්පයන් ඇති වෙන්නේ නැහැ. ”අම්මා…තාත්තා හැමදාම කියන්නේ බොරු…අපිව රවටනවා” වගේ සිතුවිලි දරුවාගේ හිතේ ගොඩ නැගෙන නිසා එය මව්පිය දූ දරු සම්බන්ධතාවය වෙනුවෙන් ඒ තරම් ගැලපෙන දෙයක් නොවෙයි.

හැබැයි සර්ප්‍රයිස් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නත් එපා..

ඔබ පවුල මුල් කර ගෙන මේ විදිහට හදිසියේ යම් යම් අවස්ථාවන් ගොඩ නඟා ගත්තත් ඒ වෙනුවෙන් පූර්ව සැලසුම් ගොඩ නඟා ගැනීම අවශ්‍යයි. විනෝද චාරිකාවක් හදිසියේ සංවිධානය කළත් ඒ වෙනුවෙන් හොඳ සැලසුමක් අවශ්‍ය වෙනවා. රෑ බෝවී වී පාරට බහින්න…රාත්‍රියේදී නවතින්න ආරක්ෂිත තැනක්…ආහාරපාන… මේ සියල්ල සමග වූ පූර්ව සැලසුමක් සමග සර්ප්‍රයිස් අවස්ථාවක් ගොඩ නඟා ගැනීම සිදු වෙන්නම ඕන. එහෙම නැතුව දරු මල්ලන් සමග කිසිම සැලසුමක් නැතුව පාරට බැසීමත් එතරම් සුදුසු දෙයක් නොවෙයි.

අනිත් අය අපහසුතාවයට පත් කරන්නත් එපා..

ඇතැම් අවස්ථාවන්හිදී ඔබ නිවසකට යනවා නම් යාන්තමින් හෝ ඔවුන් දැනුවත් කරන්න. එසේ නැතුව හදිසියේ ඔබ එම නිවසට යෑමෙන් දෙපාර්ශවයටම අපහසුතාවයන් ඇති වෙන්න පුළුවනි. සර්ප්‍රයිස් කිරීමට ඔබ හදිසියේ යන විට ඔවුන් නිවසේ නොසිටියොත්…ඒ වගේම ඔබ වෙනුවෙන් කිසියම් සංග්‍රහයක් කිරීමට මේ ගැලපෙන අවස්ථාවක් නොවුනොත් ඔබේ සමීපතයින් එයින් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා යාන්තමින් හෝ ඉගියකින් ඒ බැව් විමසා දැන ගැනීම වැදගත්.

”අපි මේ දුර ගමනක් යන්නයි ඉන්නේ…අද හවසට අපි යනවා…” දැන් ඔබට එතැනින් නැවතිය හැක. එසේ නොමැතිව ”අපි ගෙදර ඉන්නේ කොහෙවත් යන්න නම් තවම අදහසක් නැහැ” කී විට ඔබට තීරණයකට පැමිනිම එතරම් අපහසුවක් නැත.

එහෙම නම්…විශේෂයෙන් දරුවන් මුල් කර ගෙන යම් යම් විශේෂ දෙයක් සංවිධානය කරනවා නම් එය හදිසියේ කිරීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් ඔවුන්ගේ හදවතට බලාපොරොත්තු දී දරුවන් ඒ ඔස්සේ විවිධ සිහින මවන අවස්ථාවකදී ඔබට යම් වෙනසක් කිරීමට සිදු වුනොත් එයින් දරුවා මහත් සේ පීඩනයට පත් වෙනු ඇත. ඒ නිසා නිතරම දරුවන්ට යම් දෙයක් ලබා දෙන විට එය අපූර්වත්වයකින් ලබා දීම නිසා ඇති වෙන සතුටින් ඔවුන් මානසිකව ප්‍රබෝධයට පත්වෙන අතර ඒ තත්ත්වයම ශාරිරික නිරෝගිතාවයටත් හේතු වෙනු ඇත.

දරුවන්ගේ නුසුදුසු ක්‍රියා නතර කරගැනීම ඔබටත් ගැටලුවක්ද?

දරුවන්ගේ හොඳ ක්‍රියාවන් උත්තේජනය කරන ආකාරය ගැන අපි මීට පෙර ලිපිය තුළින් කතා කළා. එසේ දරුවන් කරනු ලබන සුදුසු ක්‍රියාවන් දිරිමත් කිරීම සිදු කරනවා වගේම නුසුදුසු ක්‍රියාවන් වල යෙදීමද වළක්වා ගැනීමත්  දෙමාපියන්ගේ වගකීමක්. මේ ඒ වෙනුවෙන් මව්පියන්ට උපදෙස් කිහිපයකි.

නොසලකා හැරීම

අනවශ්‍ය කටයුතුවල ඔබේ දරුවන් යෙදෙද්දී නොසලකා හැරීම මඟින් නුසුදුසු ක්‍රියා අවබෝධ කරවිය හැකිය. අවධානය නොලැබෙන බැවින් නැවත කිරීමට නොපෙළඹේ. හානිදායක නොවන, සුළු, සුළු නුසුදුසු ක්‍රියා නිසා ඇති වන ප්‍රශ්න මෙමඟින් අඩු කරගත හැක. මුලින් දරුවාගේ නුසුදුසු ක්‍රියාව වැඩිවිය හැක. නමුත් එය ඉවසාගෙන නොසලකා සිටීම මඟින් බොහෝ විට නුසුදුසු ක්‍රියාව නවත්වා ගත හැකි වේ. දෙමාපියන් ලෙස ඉවසා සිටීමට අපහසු නම් වෙනත් ක්‍රියාවකට ඔබගේ අවධානය යොමු කරන්න. දරුවා නුසුදුසු ක්‍රියාව නැවැත්වූ පසු හොඳ ක්‍රියාවකට පෙළඹවීම සඳහා යෝජනාත්මක ප්‍රශංසාව භාවිත කරන්න. එනම් සුදුසු ක්‍රියාවක් යෝජනා කර එය ඉටු කරයි යන බලාපොරොත්තුවෙන් ප්‍රශංසා කිරීමයි.

අපවාද හා තරවටු කිරීම

බහුලව භාවිත කරන ඉතා සරල ක්‍රමයක් වන මෙය නුදුසුසු ක්‍රියාවක ආරම්භයේදී එය නවත්වා ගැනීමට භාවිත කළ හැකි ක්‍රමයකි. නමුත් නිසි පරිදි භාවිත නොකළහොත් මෙම ක්‍රමය ඵලදායී නොවේ. බොහෝ දෙනෙකු මෙම ක්‍රමය අනිසි හා නුදුසුසු ලෙස භාවිත කිරීම නිසා දරුවන් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයකට පත් කරගෙන ඇත. අවවාද කිරීමේදී දරුවන් අවවාද පිළිගැනීමට සුදුසු මානසික තත්ත්වයක සිටින්නේදැයි පරීක්‍ෂා කරන්න. සෑම විටම දරුවාගේ වට පිටාව පිළිබඳව සැලකිලිමත් වන්න. දරුවන් තමන්ව පහත් කර සලකනවාට හෝ අනුන් ඉදිරියේ දොස් කියනවාට කැමති නැත. එසේ කිරීමෙන් සිදු වන්නේ ඔබට ඇති අවනතභාවය අඩු වීමයි. දෙතුන් දෙනෙකු එකවර අවවාද කිරීම සුදුසු නැත. වරකට එක් අයෙකු පමණක් එම කාර්යයෙහි නිරත වන්න.

ප්‍රදානයන් හා වරප්‍රසාද අත්හිටුවීම

නුසුදුසු ක්‍රියාවන් සිදුවන විටම අත් හිටුවන දේ පවසන්න. අත්හිටුවන දේ ක්‍රියාවට සමානුපාතික විය යුතුය. සෑම විටම එකම දෙයක් අත්හිටුවීම නොකළ යුතු අතර යමක් අත්හිටුවන බව පැවසුවහොත් අනිවාර්යයෙන්ම එය ඉටු කරන්න. නැතහොත් ඔබගේ අණ දරුවන් ගණන් නොගනු ඇත.

කායික දඬුවම්

  • අනතුරුදායක ක්‍රියාවන් නැවැත්වීම සඳහා පමණක් භාවිත කළ යුතුය.
  • කායික පහරදීම හැකිතාක් කෙටි විය යුතුය.
  • කලවා දෙසට පහරදීම වඩාත් සුදුසුය. වෙනත් අනතුරු වීමේ ඉඩකඩ අවම වේ.
  • කායික පහරදීම් සිදු කරන විට තර්ජනය කිරීම නොකළ යුතුය.
  • පාලනය කළ නොහැකි අධික කෝපයකින් සිටින විට පහරදීම නොකළ යුතුය. ඉන් අනපේක්‍ෂිත අනතුරු වීමට ඉඩ ඇත.
  • කායික දඬුවමට වඩා අනෙක් ක්‍රම උචිත බව මතක තබාගත යුතුය.
  • කායික දඬුවමකින් පසු ප්‍රතිඵල ගැන දැඩි අවධානමකින් සිටින්න.
  • දෙමාපියන් හා දරුවන් අතර පවතින සම්බන්ධය බිඳ වැටීමට ඉඩ ඇති බව මතක තබාගන්න.
  • කායික දඬුවමෙන් පසු කරන හොඳ ක්‍රියාවන් භාවිත කරගනිමින් දරුවා සමඟ සුහද වන්න.
  • සාමාන්‍යයෙන් සමාජයෙන් ඉවත් වී යන ක්‍රමයක් වන අතර බොහෝමයක් රටවල කායික දඬුවම නීතියෙන් තහනම් කර ඇත. ලංකාවේද එය අනුමත නොකරයි.
  • සැමටම වද දෙන අවස්ථාවක් නිමාකර ගැනීමට භාවිත කළ හැක.

වෙන් කර තැබීම

  • භයානකම නුසුදුසු ක්‍රියාවන්ට පමණක් භාවිත කළ යුතුය.
  • දරුවා වෙන් කර සෙල්ලම් කිරීමට කිසිවක් නොමැති ස්ථානයක තැබිය යුතුය.
  • ක්‍රියාව සිදුවන විටම දරුවා එම ස්ථානයෙන් ඉවත් කර අවධානයක් ලබාගත නොහැකි ස්ථානයක තැබිය යුතුය.
  • දරුවාට මෙම ක්‍රමය භාවිත කළ යුත්තේ සුදුසු කාල සීමාවකට පමණි.
  • එලෙස වෙන් කර තබන විට දරුවාට අවම අවධානයක් ලැබෙන බව දරුවාට තේරුම් යා යුතුය. (අනතුරු පිළිබඳව සැලකිලිමත් වන්න)
  • ලංකාවේ පවතින තත්ත්වය තුළ මෙම ක්‍රමය එතරම් සාර්ථකව භාවිත කළ නොහැක.

සබඳතා නැවැත්වීම

  • නුසුදුසු ක්‍රියාවන් නැවත කිරීම වළක්වා ගැනීමට මෙමඟින් උත්සහ කළ හැක. මෙය සුදුසු වන්නේ කුඩා දරුවන්ට පමණි.
  • දරුවෙකු තරවටු කිරීම අවවාද කිරීම නොසලකා නුසුදුසු ක්‍රියාව දිගටම කරගෙන ගියේ නම් මෙම ක්‍රමය භාවිතා කර නැවත සිදුවීම වළක්වා ගත හැක. මෙහිදී කල යුත්තේ දරුවා ඔබට ඇහුම්කන් නොදීම නිසා දරුවා සමඟ අමනාපයෙන් සිටින බව පෙන්වීමයි.
  • මෙලෙස සබඳතා නැවැත්වීම කළ යුත්තේ ඉතා කෙටි කාල සීමාවකට පමණි. කාලය තුලදී දරුවාගේ ක්‍රියාවන්ට ඔබ ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටිය යුතුය.
  • මෙමඟින් නුදුසුසු ක්‍රියාවන් නැවත කරන්නට පෙළඹීම අඩු කර ගත හැක. මෙය එක්තරා ආකාරයක මානසික දඬුවමකි.
  • එක් දෙමාපියෙක් මෙලෙස කරන විට අනෙක් පුද්ගලයා මැදිහත් වී දරුවාට නැවත එම ක්‍රියාව නොකරන ලෙස අවවාද කර සමාදාන කල හැක. එමඟින් මෙම ක්‍රියාදාමය ගොඩනැංවෙන සුලු ආකාරයට අවසන් කරගත හැක.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

ඔබේ යොවුන් දරුවාට මානසික පිඩා ඇතිවෙන්නේ මේ හේතු නිසයි

ළමා වියේ සිට තරුණ වියට පත්වන පරිවර්තන අවධිය ඉතා ආවේගකාරීය. පහසුවෙන් ගැටලු ඇති කර ගනී. එසේම  දෙමාපියන්ගේ පාලනයෙන් නිදහස අපේක්‍ෂා කරන සහ ඒ පිළිබඳව දෙමාපියන් සමඟ ගැටලු ඇති කරගන්නා අවධියකි. මෙම අවධියෙන් අපේක්‍ෂා කරන වෙනත් වෙනස් තත්ත්වයන් නිසා නව පුරුදු පුහුණු ඇති කර ගැනීමට සිදු වේ. තවද වැඩිහිටිවියට පත්වීමට ආසන්න වීමත් සමඟ ශාරීරික වෙනස්කම්වලට බඳුන් වීමද මානසික ව්‍යාකූල බවක් ඇති වීමට හේතුවක් වේ. මෙලෙස සිදුවන පරිවර්තනයන්ට අවශ්‍ය උපදෙස් හා හැඩගැසීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් නොලැබුණහොත් පහසුවෙන් බාහිර පුද්ගලයන්ගේ ගොදුරු වීම්වලට ලක්විය හැක. මෙම පීඩාකාරී තත්ත්වයන් ඇති වීම උදෙසා බලපාන කරුණු පිළිබඳව අපි සාකච්ජා කරමු.

අධ්‍යාපන

සමාජයේ පවතින අසීමිත අධ්‍යාපන තරඟය ළමුන හට මානසික පීඩා ඇති කරයි. සමහර අවස්ථාවලදී දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත දරුවන්ට තමන් අකමැති විෂයන් හැදැරීමට සිදුවීම අමතර පීඩාකාරී තත්ත්වයකි. හැකිතාක් මහන්සි වී කටයුතු කළද අධ්‍යාපන කටයුතුවලදී වැඩි පිරිසකගේ බලාපොරොත්තු කඩවන බව හා කැපකිරීම්වලට සරිලන ලැබීමක් සමාජයෙන් නොලැබෙන බව යෞවනයන් දකින නිසා සමහර විට ඔවුන් අධ්‍යාපනය පිළිබඳ කලකිරීමට පත්විය හැක.

අධ්‍යාපනය ළමාවියේ අත්‍යවශ්‍ය අංශයක් බව ඔබේ දරුවාට තේරුම් කරවන්න. අධ්‍යාපනය රැකියාවන් උදෙසාම නොව තම ජීවිතය සාක්‍ෂාත් කර ගැනීම සඳහා බව වටහා දෙන්න. අධ්‍යාපනය සාර්ථක කළ හැකි ක්‍රම කියාදෙන්න. දරුවාගේ ඉගෙන ගැනීම් සඳහා අවශ්‍ය සුදුසු පරිසර තත්ත්ව ලබාගැනීමට උත්සහ කරන්න. විභාගවලට සූදානම් වන දරුවන්ට කාලය  අනුව කටයුතු කිරීමට උනන්දු කරවන්න. ඉගෙන ගැනීමේ 3QSR ක්‍රමය දරුවාට හඳුන්වා දෙන්න.

Survey                 –           මතුපිටින් කියවීම

Question          –           ප්‍රශ්න තනා ගැනීම

Read                    –           පිළිතුරු සොයමින් කියවීම

Recall              –           ආවර්ජනය කිරීම

Review            –           නැවත විමර්ශනය

මිතුරු මිතුරියන් ආශ්‍රය

අධ්‍යාපන තරඟය තුළ ලකුණුවලට ඇති කෑදරකම නිසා ආත්මාර්ථකාමීත්වය වැඩි වී අනෝන්‍ය උපකාර කරගැනීමේ ගුණාංගය යටපත් වෙමින් පවතින අතරම තරඟකාරීත්වය තුල අවංක මිතුරන් නොලැබීම නිසා ඉන් ලද හැකි ප්‍රයෝජන නොලැබීම ද අවංක මිතුරන් නොමැති වීම තුල හානිදායක මිතුරන් ආශ්‍රයට පත් වීමෙන් වැරදි ක්‍රියා වලට පෙළඹීම වැනි තත්ත්ව තුළ සතුටුදායක ළමා කාලයක් නොලැබී යාමෙන් පහසුවෙන් ඇබ්බැහි වීම්වලට හා සියදිවි නසා ගැනීමට දරුවෙකු පෙළඹිය හැකිය.

ප්‍රේම සබඳතා හා ලිංගික ක්‍රියා

ළමුන් සමාජයෙන් ඉගෙන ගන්නා දේ හා අත්දකින දේ අත්හදා බැලීමෙන් අඩු වයසින් ප්‍රේම සබඳතා හා ලිංගික ක්‍රියා වලට අවතීර්ණ වේ. විවිධ මාධ්‍යයන් තුල දකින අසන දේ අනුව මෙම වයසේ ළමුන් තුළ ආශාවන් ඇති වීම හා ලිංගික හැඟීම් මතු වීම ඔවුන්ගේ විනයට බාධාවක් වී ඇත.

 ලිංගික අධ්‍යාපනය

 දෙමාපියන් වශයෙන් ඔබ කලින් සැලසුම් කළ ආකාරයට දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව දැනුම දිය යුතුය. පියා මඟින් පිරිමි දරුවන්ටත් මව මඟින් ගැහැණු දරුවන්ටත් මෙම දැනුම ලබාදීම සුදුසුය. දෙමාපියන් ලෙස ලබාදිය නොහැකි දැනුම ලබාදීමට සුදුසු පොත පත භාවිත කරන්න.

පළමුව ගැහැනු පිරිමි වශයෙන් වෙනස්කම් පවතින බව අඩු වයසින් තේරුම් කිරීම අරඹන්න. පළමුව උත්සහ කළ යුත්තේ ගැහැනු පිරිමි දරුවන්ගේ ක්‍රියාවල වෙනස්කම් ඇති බව තේරුම් කරවීමයි. ඊලඟ අවධියේදී ලිංගේන්ද්‍රිය හා අනෙක් කායික වෙනස්කම් තේරුම් කරදීමට පහසුවේ. අවු.6-7 වයස වන විට දරුවන්ට මෙම වෙනස තේරුම් ගැනීමට හැකි වේ.

වැඩිවියට පත්වීම

  • පිරිමි දරුවන් – වෘෂණ කෝෂ වර්ධනය, බාහිර ලිංගේන්ද්‍රිය වර්ධනය, ශරීරයේ රෝම වර්ධනය, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත හා කිහිලි, ඉකිලි රෝම වර්ධනය, මුහුණේ රැවුල, ක්‍රමයෙන් කටහඬ වෙනස් වීම, මුහුණේ කුරුලෑ ඇති වීම
  • ගැහැණු දරුවන් – පියයුරු වර්ධනය, ලිංගේන්ද්‍රිය, කිහිලි, ඉකිලි ආශ්‍රිත රෝම වර්ධනය, ඔසප් වීම

මානසික වෙනස්කම්

 වැඩිවියට පත්වීමේදී සිදුවන හෝමෝන ශ්‍රාවය නිසා දරුවන් තුල පෙරට වඩා වෙනස් සිතුවිලි, ක්‍රියා කලාප ඇති වේ. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් සමඟ හැසිරීමේදී පෙරට වඩා වෙනස් ආකාරයේ හැඟීම් ඇති වන බව දෙමාපියන් වටහා ගත යුතුය. මෙම තත්ත්වය වටහා නොගැනීමෙන් සමහර දරුවන් අඩු වයසින් ලිංගික ක්‍රියා වලට පෙළඹේ. එසේම දරුවන්ට ලිංගික ක්‍රියාවන් පිළිබඳව ආශාවන් පහසුවෙන් ඇති විය හැකි අතර ඒවා අවබෝධ කරදිය යුතුය. දරුවන් හට යොමු විය හැකි බාහිර ක්‍රියාවන් පෙන්වාදීම මඟින් ඔවුන්ව බොහෝ දුරට ලිංගික හැඟීම් ඔස්සේ යාම අඩුකරගත හැක. අද සමාජයේ ඇසෙන දකින දේවල් අනුව මෙවැනි ලිංගික හැසිරීම් පාලනය කරගැනීමට ඉතා අපහසු කාර්යයන් බව වටහා ගත යුතුය. එසේම යෞවන යෞවනියන් ගොදුරු කරගැනීමට මාන බලන පිරිසක් සමාජයේ සිටින බව අවබෝධ කරදිය යුතුය. මේ නිසා ඔබ දරුවන්ට අනුකම්පා සහගතව උපදෙස් දිය යුතුය. දරුවෙකු ලිංගික අධ්‍යාපනය ලැබිය යුත්තේ දෙමාපියන්ගෙන් මිස මඟ තොටේ සැරිසරන පුද්ගලයන්ගෙන් හෝ වෙළඳපොලේ අසභ්‍ය පත්තර වලින් නොවිය යුතුය. අවාසනාවකට මෙන් සමහර දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අධික වීම නිසා එවැනි දරුවන් ලිංගික ක්‍රියාවලින් ආරක්‍ෂා කරගැනීමට අමතර වෙහෙසක් ගැනීමට සිදු වේ.

ප්‍රේම සබඳතා හා ප්‍රතිඵල

ළමා වියේ කුතුහලය ඇති කරන අත්දැකීම අඩුවීම නිසා සුන්දර පැති පමණක් දැකීම හා සමාජයෙන් එන සුන්දරත්වය බලාපොරොත්තු වීම නිසා මෙම කටයුතු වලට පහසුවෙන් පෙළඹේ. සමකාලීනයන් නිතර මේ පිළිබඳව කතා කිරීම එවැනි සබඳතා නැති අයව සමච්චලයට ලක් කිරීම නිසා පහසුවෙන් මෙම තත්ත්වය පෙළඹේ. මෙවැනි ක්‍රියා නිසා ඇති වන මානසික ව්‍යාකූලභාවය මඟින් අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකි වීමෙන් විභාග අසමත් වීම සිදු විය හැක. නුසුදුසු ක්‍රියා වලට පෙළඹීමෙන් පවුලට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරයි. අත්දැකීම් අඩු නිසා පහසුවෙන් රැවටීමත්, දෙමාපියන් සමඟ මෙවැනි දේ සාකච්ඡා කළ නොහැකි නිසාත් ජීවිතයම විනාශ විය හැක. දෙමාපියන් සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතු අතර නිතර දරුවා සමඟ සෙවිල්ලෙන් සිටිය යුතුය. දරුවා යම් වරදක් කර ඇති බව හැඟේ නම් එය හොඳින් තේරුම් කරදෙන්න. දරදඬු ක්‍රියා මාර්ග වලින් දරුවා ඔබෙන් ඈත් වේ.

ඇබ්බැහි වීම හා වළක්වා ගැනීම

වර්තමාන සමාජයේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්බීම වැනි ක්‍රියාකාරකම්වලට සමාජයේ ප්‍රතිචාර වෙනස් වීම හා මාධ්‍යයේ පෙන්වන සමාජ රටාවන් නිසා ඇබ්බැහි වී ඇත. නමුත් මිලදී ගැනීමේ හැකියාව හා නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව මේවා සමාජයේ සුලබ වේ. මේ හේතු මත ලබා ගැනීමේ පහසුව නිසා ඇබ්බැහි වීම ඉක්මන්ය. සාමාන්‍යයෙන් යෞවන වියේදී ඇති වීරත්වය ලබාගැනීමට, සම වයස් කණ්ඩායම අතර සමච්චලයෙන් බේරීමට, දුම්පානය, මත්පැන් පානයට දරුවන් පෙළඹේ. මානසික කලකිරීම්වලදීද මේවාට ඇබ්බැහි වේ. පවුල් ආරවුල්, පියාගේ බීමත්කමද හේතු වේ. ඔබගේ දරුවා ජීවත්වන පරිසරයේ මේ කරුණු වෙත දක්වන ප්‍රතිචාරය ඒ කෙරෙහි යොමු වීම තීරණය කරයි. නිවසේ සාදවල මත්පැන් පානයත්, ලැබෙන ස්ථානය, නිවසේ වැඩිහිටියන් දුම්පානය මෙයට හේතු වේ. දරුවන් අතර අනිසි මුදල් ගැවසීම, ආශ්‍රය කරන මිතුරන්ගේ ක්‍රියා කලාපද මේ තත්ත්වයට හේතු වේ.

මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් ඔබ දරුවාට හැකිතාක් දුරට ආදර්ශයක් ලබාදිය යුතුය. ඉහත තත්ත්ව තේරුම් ගෙන ඉන් ඔබේ දරුවා ආරක්‍ෂා කරගන්න. මෙවැනි දේවල් වලට පොළඹවන ආවස්ථා වලට ඔබේ දරුවා සහභාගී කරවීම අඩු කිරීම හෝ ඒ සඳහා අවධානය පවත්වා ගන්න. දරුවා යම් ඇබ්බැහි වීමකට ලක්වී ඇතැයි සිතුනොත් හොඳින් කතා කර අනිසි ප්‍රතිඵල පැහැදිලි කරදී එම වැරැද්ද නවතා දමන ලෙස ඉල්ලන්න. සෑම විටම දරුවාට විනෝද වීමට හැකි වෙනත් අවස්ථා ලබාදෙන්න.

යෞවනයේ වීරත්වය

යෞවනයේ පවතින නිරෝගී ලක්‍ෂණයන් වන දෙවෙනි නොවීමේ ආශාව නිසා බොහෝ යෞවනයන් නුසුදුසු විනාශකාරී ක්‍රියා වලට යොමු වේ. වීරත්වය අපේක්‍ෂා කිරීමේ මෙම ගුණාංගය සමහර වැඩිහිටියන් තම සමාජ විරෝධී කටයුතුවලට දරුවා යොදා ගැනීමට භාවිත කරයි. දෙමාපියන් ලෙස දරුවා විෂය බාහිර ක්‍රියාවලට යොදවා ඒ තුලින් වීරත්වය ලබාගැනීමට අවස්ථාව සැලසීම වඩාත් උචිත බව ඔබට වැටහෙනු ඇත. එසේම ජය පරාජය හමුවේ එක සේ සිටින්නට දරුවාට උගන්වන අතරේ ජය හමුවේ මෙන්ම පරාජය හමුවේත් ඔබේ දරුවාට එක සේ ආදරය කරන්නට දෙමාපියන් වන ඔබ  හුරු වෙන්න.

ඔබේ දරුවාට නිරෝගී යොවුන් දිවියක් හිමි කර දීම වෙනුවෙන්,

  • ළදරු වියේ සිටම නිසි ලෙස ළමා හුරු පුරුදු වර්ධනයක් පවත්වා ගන්න
  • නිරෝගී පවුල් පරිසරයක් පවත්වා ගන්න
  • සුදුසු කාලවලදී සුදුසු දැනුම හා අවබෝධය ඇති කරවන්න
  • නිරතුරුව සෙවිල්ලෙන් සිටීම හා ඇසුරු කරන මිතුරන්ගේ දෙමාපියන්ද හඳුනාගෙන සිටින්න
  • කාලය ගත කිරීමට සුදුසු ක්‍රම පෙන්වා දීමහා ඊට අවස්ථාවක් ලබාදෙන්න
  • අනවශ්‍ය ලෙස දරුවාට මුදල් දීමෙන් වළකින්න
  • පීඩාකාරී බවින් තොරව අධ්‍යාපනය ලබාදීමට ක්‍රියාකරන්න

දරුවෙකුට යහපත් වටපිටාවක් සමගින් දුක සතුට යන දෙකම සමබරව අත්විදිමටත් ඒ හරහා ලබන අත්දැකීම් තුලින් ජීවිතය ජය ගැනීමටත් දෙමාපිය ඔබේ උපරිම සහයෝගය ඔවුන්ට අවැසි බව වටහා ගන්න.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

ඔබේ දරුවා තරබාරු කරන්නේ ඔබමද කියා මේ ලිපියෙන් දැනගන්න

එදා දරුවන්ට එළිමහනේ හොදින් දුව පැන ඇවිදින්න වගේම ගස් නගින්න, පීනන්න වැනි ක්‍රියාශීලී ජීවිතයක් වෙනුවෙන් ඉඩ හසර ඔවුන්වත් නොදැනීම ගොඩ නැගී තිබුණා. ඒ වගේම දෙමව්පියන්ගෙන් වුනත් දරුවන්ගේ මේ ක්‍රියාශීලී ජීවිතයට තහංචි තිබුනේ නැහැ. මේ විදිහට බොහොම ක්‍රියාශීලී ජීවිතයක් ඔවුන්ට නොදැනීම ලැබී තිබුන නිසා දරුවන්ගේ තරබාරුව වගේම අනවශ්‍ය විදිහට තෙල්, මේද ගබඩා වුනේ නැහැ. ඒත් අද මේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් …..

‘‘ජර්නල් ඔෆ් පෙඩියට්‍රික්ස් “ වෛද්‍ය සඟරාවේ දැක්වෙන අන්දමට මේ වෙනුවෙන් සෘජු චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. ඒ ඇයි කිව්වොත් දරුවාගේ ගුණාත්මක ආහාරවේලක් ගැන දෙමව්පියන්ගේ උනන්දුව නොදැනීම හීන වෙලා. ”අනේ…අපි හැදුවාට කන්නේ නැහැ…” කියනවා මිසක දරුවාට ගුණයක් ලැබෙන විදිහට ආහාරපාන ලබා දීමට දැන් දෙමව්පියන්ගේ උනන්දුවක් නැහැ.

ඒ වගේම විද්‍යුත් උපාංග නිසා දරුවන්ගේ ක්‍රියාශීලී ජීවිතය නොදැනීම අහෝසි වෙන වාතාවරණයක් තිබෙන බව මොනතරම් කිව්වත් දෙමව්පියන් විසින්ම දරුවන්ට ලබා දෙන විද්‍යුත් මෙවලම් නිසා ඔවුන්ට වෙනත් වටපිටාවක් නැහැ.

අනිත් අතට…අම්මා, තාත්තා හැන්දෑවට නිවසට ආ තැන පටන් සමාගම් පවත්වන්නේ රූපවාහිනිය සහ සමාජ ජාලා සමග නිසා දරුවන්ට අවවාද කරන්නේ කොහොමද…? අවවාද දුන්නොත් එය මහ කකුලුවා ඇදයට ගිහං පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා වගේ වේවි…

ඒත් මේ ගැන නොසලකා ඉන්න එපා…

අලුත්ම හඳුනාගැනීම්වලට අනුව වයස අවුරුදු හතක් වැනි බාල වයසේ දරුවන්ගේ පවා ක්‍රියාකාරී ජීවන රටාව ඔවවුන්ගේ අනාගත සෞඛ්‍යයට එක එල්ලේම බලපානවා. මේ කාලයේදී අක්‍රියව සහ අලසව ජීවත්වෙන දරුවන්ට යාන්තම් වයස අවුරුදු දහ හතර පහලොව වෙද්දී කොලස්ට්‍රෝල්, රුධිරගත සීනි මට්ටම ඉහළ යෑම වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන්නත් ඉඩ තිබෙනවා

ලෙඩ්ඩුන්ගේ ලෝකයක් වුනොත්..?

එහෙම වෙන්න හොඳටම ඉඩ තිබෙනවා. උතුරු කැරොලයිනා සරසවියේ සිදු කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන අන්දමට 2030 වසර වෙන විට එක්සත් රාජධාණීයේ දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ තරබාරු ප්‍රතිශතයට ඇතුළත් වීමේ අවදානම ඉතාම ඉහළින් තිබෙනවා. ඒ අනුව මේ පර්යේෂකයින් කියා සිටින්නේ අනාගත වැඩිහිටියන් අතරින් නිරෝගී ශරීර බරකට උරුමකමක් කියන්නේ පිරිමින්ගෙන් 10 % ක් සහ කාන්තාවන්ගෙන් 15 % ක් පමණයි.

මේක අපේ ලංකාව..

ඔය වාර්තාව ඉතින් එංගලන්තයේනේ…අපිට අදාල නැහැ කියල නිශ්ශබ්ද වෙන්න දැන් ඔබට බැහැ. අපේ ජන ජීවිත රටාව තුළ තිබුන බොහෝ ක්‍රියාකාරකම් අපේ පැවැත්මට ඉතාම හිතකර විදිහට සැකසී තිබුණත් අපිත් ගෝලීයකරණය සමග නව ජීවන රටාවට බොහොම සතුටින් අනුගත වුනා වගේම තවමත් එයින් මිදෙන්න බැරි තැනක සිටිනවා. ඉතිං ඒ නිසා ඔබේ දරුවාත් ඉහත ප්‍රතිශතයට ඇතුළත් වීමට ඕනෑ තරම් සුදුසුකම් දැනටමත් ලබා ඇති.

හදවත් රෝග නිසා මියයන පිරිස මිලියන 2. 6 ක් පමණ වෙනවා. මේ ගැන සිදු කරන ලද අධ්‍යයනයකදී වයස අවුරුදු 7 සහ 10 අතර දරුවන් පිරිසක් තෝරා ගෙන ඔවුන් ගැන නැවතත් වයස අවුරුදු 14 සහ 17 පමණ වෙන විට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ මේ දරුවන්ගෙන් හරි අඩක් පමණ දෙනා ”පරිවෘත්තික සහසාධක (Metabolic syndrome)”රෝග තත්ත්වයට පත්ව සිටි බවයි. ඒ අනුව මේ ගැටවර පිරිස තුළ රුධිරගත මේද මටට්මේ අහිතකර තත්ත්වයන්, ඉන්සියුලින් ගැටලු, අහිතකර කොලස්ට්‍රෝල් වැනි තත්ත්වයන් නිසා ඔවුන් නොදැනීම හදවත් රෝග සහ දියවැඩියාවේ ගොදුරු බවට පත් වීමේ ඉරණමට පත්ව සිටියා. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් මහාචාර්ය ”රොබට් මැක්මුරේ” සඳහන් කරන්නේ ළමා අවධියේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩිහිටි වියට සම්බන්ධ වෙන අන්දම මුල් කර ගෙන සිදු වුන මුල්ම අධ්‍යයනය මෙයයි. ළමා කාලයේ ගෙවන අක්‍රිය ජීවිතය වැඩිහිටි වියේ නිරෝගීතාවයට බලපාන අන්දම ගැන දැන් ඉතින් දෙමව්පියන්ගේ අවධානය දැක්විය යුතුයි..

ඒ වගේම තරබාරු දරුවන්ට වැඩියෙන් කේන්ති යන බවටත් පර්යේෂකයින් හඳුනා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙනුත් චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන්ටයි. සමහර දෙමව්පියන් දරුවන්ගේ කෝපය පාලනය කිරීමට ඉතාම ඉක්මනින් ඔවුන්ට රසකැවිලි ලබා දෙනවා. මේ නිසා දරුවාත් එය ආයුධය කර ගෙන තමාට අවශ්‍ය අන්දමින් කිසිදු පාලනයක් නොමැතිව රසකැවිලි ආහාරයට ගැනීම නිසා ඔවුන් තරබාරුවේ ගොදුරක් බවට නොදැනම පත් වෙනවා.

එහෙනම්…දරුවාට ක්‍රියාශීලීව නිදහස් ජීවිතයක් ගෙවන්න දෙමව්පියන් විදිහිට අද ඔබෙන් ලැබෙන සහයෝගය නිසා ඔවුන් හෙට දවසේ නිරෝගී පිරිසක් විදිහට සමාජගත වෙනු ඇති. ඒ නිසා දුවන්න, පනින්න, දඟලන්න ඔවුන්ට ඉඩ දෙන්න. කිසිම විටෙක ඒ වෙනුවෙන් තහංචි පනවන්න එපා. ඔබේ තහංචි නිසා අලස බවට පත් වෙන දරුවා අනාගතයේදී බොහොම ඉක්මනින් අහිතකර රෝගීන්ගේ ලැයිස්තුවට එක් වෙන්න පුලුවනි.

ටෙලිග්‍රාෆ් පුවත් ඇසුරිනි

ඔබේ ආදරණීය වැඩිහිටියා වැටීම්වලින් සුරක්ෂිත කරගන්න

අප ලාබාල වියේදී දෙඇස මෙන් අපව රැකගත් ඔවුන් අද වන විට වැඩිහිටි වියට එළැඹ අපේ ආරක්ෂාව රැකවරණය අවැසි තත්ත්වයට පත්ව සිටී. අපි අපේ දරුවන් රැකගන්නවා සේම අපේ දෙමාපියන්ද දරුවන් මෙන් රැකගත යුතු කාලය එළැඹ ඇත. ඒ වගකීමෙන් මිදෙන්නට හෝ පැහැර හරින්නට ශ්‍රී ලංකේය දූ පුතුන් වන අපිට නම් කිසිසේත්ම නොහැක. අපිද ඔවුන්ව දෙඇස මෙන් රැක ගත යුතුමය. වයස්ගත මා පියන්ගේ ආරක්ෂාව පිළිබඳව කතා කිරීමේදී වාරු නැතිකෑම නිසා හෝ ලිස්ස යමක් නිසා හෝ වෙනත් හේතුවක් මට ඇති වන ”වැටීම්” ඔවුන්ට ගෙන එන්නේ අමිහිරි වේදනාත්මක අත්දැකීමකි. ඒ නිසාම ඔබේ නිවස තුළ ඔබේ ආදරණිය වැඩිහිටියා සුරක්ෂිතද යන්න පිළිබඳව ඔබම සොයා බලන්න.

වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කර ඇති අන්දමට වැඩිහිටියන්ගේ අස්ථි බිඳීම් සහ හිස් කබලේ ඇතිවන මරණීය තුවාල සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස වැටීම් හඳුනා ගෙන ඇත. වැටීම් මරණය සහ තුවාල පමණක් නොව වැඩිහිටියාගේ ක්‍රියාකාරකම් සීමා වීමට ද හේතුවක් වේ. වැටීම නිසා ඇති වූ වේදනාකාරී අත්දැකීම් හේතුවෙන් වැඩිහිටියා තම ක්‍රියාශීලී ජීවන රටාව වෙනස් කරයි.  ඔහුගේ සමාජ සම්බන්ධතා සීමා වීම නිසා ඔහු හුදකලා පුද්ගලයෙක් බවට පත්වේ. මෙය ඔහුගේ කායික සහ මානසික සෞඛ්‍ය අංශ දෙකටම ඍණාත්මක බලපෑම් ඇති කරයි. වැටීමක් හේතුවෙන් ආබාධයකට පත්වූ වැඩිහිටියකුට බාහිර පුද්ගලයකුගේ උදව් අවශ්‍ය වේ. එසේම එවන් වැඩිහිටියෙක් රැක බලා ගැනීම සඳහා විශේෂ වෙහෙසක් දැරිය යුතු වන අතර ඒ සඳහාම පුද්ගලයෙකු යෙදවීමට සිදුවනු ඇත.

වැඩිහිටියන් ඇඳ වැටීම්වලට ලක් වීමට සෞඛ්‍යමය හේතු සාධක ඇත. මෙම හේතු බොහෝ විට පුද්ගලානුබද්ධ වේ. විවිධ රෝගාබාධ, ශරීර සමතුලිතතාවය අහිමි වීම, ඖෂධවල අතුරු ආබාධ, අස්ථි සහ මස්පිඞු දුර්වල වීම, පෙනීම අඩු වීම හෝ අන්ධ බව  සහ ශරීර සංවේදීතාවය අඩු වීම මෙම හේතු අතරින් ප්‍රධාන වේ. දෛනිකව ව්‍යායාමවල යෙදීමෙන් ශරීර සමතුලිතතාව ආරක්ෂා ‍වන බැවින් වැඩිහිටියා ක්‍රියාශීලී අයෙක් බවට පත්වේ. එසේම ක්‍රමවත්ව අක්ෂි පරීක්ෂාව සිදුකර නියමිත පරිදි ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමට වැඩිහිටියා යොමු කළ යුතුය. ඖෂධ භාවිතයෙන් ඇති වන ක්ලාන්ත ගතිය නිසා ඇති වන වැටීම් වලක්වා ගැනීම සඳහා ඇ‍ඳෙන් හෝ පුටුවෙන්  ඉතා සෙමින් නැගී සිටීමට වැඩිහිටියා හුරු කරවන්න. අවශ්‍ය අවස්ථාවල ඇවිදීමේ ආධාරක භාවිත කිරීමට උපදෙස් දෙන්න.

මෙම තත්ත්වයන් වැලැක්වීමට අපහසු වන්නේ බොහෝ විට ඒවා වියපත් වීමේ ක්‍රියාවලියේ ඇතිවන ස්වභාවික විපර්යාසයන් වීම නිසාය . එබැවින් අප අවධානය යොමු කළ යුත්තේ මෙම දුර්වලතාවයන් හේතුවෙන් සිදුවන වැටීම්වල අවදානම අඩු කිරීම සඳහා නිවසේ පරිසරය සකස් කිරීමයි. නිවසේ සෑම අයෙකුටම මේ සඳහා පොදු වගකීමක් පවතින අතර වැඩිහිටි නිවාසයක නම් එය ඉදි කරන අවස්ථාවේ සිටම අවශ්‍ය වෙනස්කම් සිදු කළ හැක. නිවසක වෙනස් කම් සිදුකළ යුතු අයුරු පහත පරිදි හඳුනා ගැනීමට පුළුවන.

ගෘහ භාණ්ඩ තැබීම

අනවශ්‍ය පරිදි නිවස තුළ රඳවා තබා ගෙන ඇති ගෘහ භාණ්ඩ හේතුවෙන් පහසුවෙන් එහා මෙහා යාමට වැඩිහිටියාට නොහැකි වනවා පමණක් නොව කොරිඩෝ වැනි නිතර ගමන් කරන මාර්ගවල ගෘහ භාණ්ඩ තබා ඇතිනම් ඔවුන්ගේ පය පැකිලී වැටීමට ඉඩ ඇත. සෑම විටම ඔවුන්ට නාන කාමරයට, කුස්සියට සහ එළිමහනට ප්‍රවේශ වීමට ඇති මාර්ග අවහිර නොවනසේ ගෙතුළ ගෘහ භාණ්ඩ තබන්න. එසේම වැඩිහිටියන් භාවිත කරන ඇඳ, පුටු, කබඩ් වැනි දෑවල ආරක්ෂාකාරී බව පිළිබඳව සැලකිලිමත් වන්න . නිවසේ සෑම ස්ථානයකටම ප්‍රමාණවත් පරිදි ආලෝකයක් ලැබෙන බව තහවුරු කරගත යුතු‍ වේ.

බිම

නිවසේ විදුලි භාණ්ඩ සඳහා භාවිත කරන වයර් කෝඩ් වැනි දෑ නිසා බිම අවහිර වී තිබෙන අවස්ථාවල වැඩිහිටියන් ඒවායේ පැටලීමට ඉඩ ඇති බැවින් ඒවා රෝල් කර හෝ බිමට තදින් සවිකර තබන්න.  නිවසේ ඇති පාපිසි  නොලිස්සන සුලු ඒවා විය යුතු අතර එහි අග දාර ඉර‍, නූල් ඉහිරෙන තත්ත්වයට පත්වී ඇත්නම් ඒවා ඉවත් කිරීම හෝ පිළිසකර කිරීමට අවධානය යොමු කරන්න. අලංකාරය පිණිස යොදා ගන්නා බුමුතුරුණු හේතුවෙන් බොහෝ වැඩිහිටියන්ගේ සැරමිටි හෝ වෙනත් ඇවිදිම සඳහා යොදාගන්නා ආධාරක පැටලෙන අවස්ථා බහුල වේ. පාපිසි හෝ බුමුතුරුණු භාවිතය අවම කළ යුතු අතර අත්‍යවශය තැන්වල ඒවා පොලවට ඉතා හොඳින් අලවා හෝ සවිකර තබන්න.

තරප්පු පෙළ

  • වැඩිහිටියන්ට භාවිත කිරීමට සිදුවන පඩිපෙලෙහි කිසිදු සෙල්ලම් බඩුවක්,පොත්, පත්තර හෝ මල් පෝච්චි වැනි දෑ  නොතබන්න.
  • පඩි කැඩී ඇත්නම් හෝ දාරයට ගසා ඇති පටි, ඇණ බුරුල් වි ඇත්නම් හෝ පඩි පෙළෙහි ආධාරකය ආරක්ෂිත නොවේ නම් ඒවා පිරියම් කරන්න.
  • පඩිපෙළහි කාපට් අතුරා ඇත්නම් එය බිමට හොඳින් සවිකර තබන්න.
  • පඩි පෙළට හොඳින් ආලෝකය ලැබෙන පරිදි ප්‍රමාණවත් ධාරිතාවයකින් යුතු බල්බයක් දැමිය යුතු අතර එය දැල්වීම සඳහා පඩිපෙළේ ඉහල සහ පහළ තැන් දෙකෙහිම ස්විච් යොදන්න
  • වැඩිහිටියාගේ පහසුව සඳහා රාත්‍රියට දිලිසෙන ස්විච් මේ සඳහා යොදා ගන්න. නැතහොත් දිලිසෙන ස්ටිකර් වැනි යමක් මතුපිට අලවන්න.

සුරතල් සතුන් ඇති කිරිම

වැඩිහිටියන් සම්බන්ධව අවධානය දැක්වීමේ දී ඔවුන් පය පැකිලී ඇද වැටීමට  තවත් එක් හේතුවක් ලෙස  නිවසේ ඇති කරන සුරතල් සතුන් පෙන්වා දිය හැක. බල්ලන් සහ පූසන් බොහෝ විට නිදා ගැනීමට තෝරා ගන්නේ තමා වැඩි වශයෙන් ප්‍රිය කරන පුද්ගලයාගේ දෙපා මුලය. අවධානය ලබා ගැනීම සඳහා සිරුරේ සහ ඇඳුම්වල එල්ලීමට ද ඔවුන් ප්‍රියය. එසේම එම සතුන්  කෑමට ලබා දෙන මස් කටු හෝ සෙල්ලම් බඩු තැන් තැන්වල විසි කිරීම ද සිරිතකි. මේ හේතූන් නිසා වැඩිහිටියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වුවද සුරතල් සතුන් ඇති කිරීම‍ට ඔවුන් අධෛර්යමත් කිරීම සුදුසු නොවේ. මක් නිසාද යත් සුරතල් සතුන් යනු ඉතා හොඳ සමාජ මිතුරන් වන බැවිනි. මෙහිදි කළ යුත්තේ,

  • වැඩිහිටියන් දෛනික ක්‍රියාකාරකම්වල යෙදෙන ක්‍රියාශීලි වේලාවන්හි සුරතල් සතුන් එක් ස්ථානයක රඳවා තැබීම
  • දිනපතා සතුන් ගැවසෙන ප්‍රදේශ පිරිසිදු කිරීම
  • සුරතල් සතුන් වැඩිහිටියන් සමඟ නිතර ගැවසේ නම් ඒ පිළිබඳව විශේෂ අවධානයකින් සිටිය යුතුය. එවිට සතෙකු ඇඟේ හැපීමට යන අවස්ථාවක් වේ නම් අනතුරු ඇඟවීමට පුළුවන.

නාන කාමරය

වැඩිහිටියන් පමණක් නොව අන් අයද වැඩි වශයෙන්ම නිවසේ දි ඇද වැටීමට ඉඩ ඇති ස්ථානය වන්නේ නාන කාමරයයි. වතුර , සබන් සහ සේදුම් කුඩු ආදිය නිසා එහි බිම නිතර ලෙස්සන සුළු ස්වභාවයක් ගනී. ආරක්ෂිත නාන කාමරයක් සකස් කර ගන්නේ,

  • නාන කාමරයේ බිම හොඳින් සෝදා හැකි තරම් වියළිව තබන්න. මේ සඳහා විදුලි වියලන යන්ත්‍රයක් සවි කිරීමට ද හැකිය
  • වතුර මල හෝ නාන බේසම අසල, වැසිකිලි පෝච්චිය අසල වැඩිහිටියාට අල්ලා ගැනීමට හැකි පරිදි ආධාරක සවි කරන්න.
  • වතුරට නොලිස්සන රබර් පා පිස්සක් එහි බිම රඳවන්න.
  • නාන බේසම අසල බිම හෝ වතුර මල යට බිමෙහි සිමෙන්ති ඉරි හෝ පිඟන් ගඩොලින් සකසා ඇති ඉරි අලවන්න
  • රාත්‍රියට නාන කාමරයේ විදුලි බුබුල දල්වා තබන්න නැතහොත් අඳුරට සංවේදී බල්බයක් ඒ සඳහා යොදන්න
  • පිටතින් සහ එළියෙන් විවෘත කිරීමට හැකි අගුළු සවි කරන්න. එහෙත් වැඩිහිටියාට නාන කාමරෙයේ සිටියදී දොර අගුළු නොදැමීමට උපදෙස් දිය යුතු අතර වැඩිහිටියා ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙලෙයි නම් දොර අගුළු ස්ථිරවම ඉවත්කර තබන්න.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය, රේණුකා තෙන්නකෝන් මහත්මියගේ ලිපියකි.

දරුවන් අවතක්සේරු කිරීම වගේම අධිතක්සේරුවෙන් ඇගයීමත් නොකළ යුතුයි

දරුවන් ඉදිරියේ අපේ කතා බහ බොහොම පරිස්සමින් සිදු විය යුතුයි. ”හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ” කිව්වත් සමහර අවස්ථාවලදී බාල කාලයේ බොහොම හේ බාලා සිටින දරුවන් වුනත් නොදැනම අළු ගසා දාලා නැගිටිනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි  මේ…

ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතය අපේ හදවතේම මවපු ”කේට් වින්ස්ලට්” ඔබට මතකයි නේද…? අද ඇය සිටින තැනත් නැවත කිමට අවශ්‍ය නැහැ. ඒත් ඇය තමාගේ අතීතය නැවත ආවර්ජනය කරමින් පසුගියා දා පැවැති  British Acadamy of Film & television art සම්මාන උත්සවයේදී කළ සඳහන අපේ දෙමව්පියන්ට ඉතාම වැදගත් පාඩමක් කිව්වොත් නිවරැදියි.

”මං ඉස්කෝලෙ යද්දී රංගනයන් කරන වේලාවක මගේ ගුරුතුමිය කිව්ව සඳහනක් මට තවම අමතක නැහැ..කේට්…ඔයාට නම් කවදාවත් ඇක්ට් කරනන් බැහැ. යාන්තමින් හරි ඔයාට ගැලපෙන්නේ මහත චරිතයක් විතරයි…”

ඒත් කේට් එදා ගුරුතුමියගේ කතාවෙන් සැලුණේ නැහැ. ඇය කෙසේ හෝ ඉදිරියටම ගියා. ඒ නිසා අද ඇය සිටින තැන ගැන අපිටත් ආඩම්බරයි.

  • ඒත් මේ වගේ වුණා නම්…

කේට්ගේ හිතේ තිබුන ශක්තිය නිසා ඇය ඉදිරියට ආවා. සමහර විට  ගුරුතුමියගේ අදහසටම එකතු වෙලා ඇය එතැනින් ඉදිරියට නාවා නම්…අද ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතය මවන්නේ ඇය නොවන්න තිබුණා.

දරුවන්ගේ හයියත් එක් එක් දරුවාට වෙනස්. ඊටත් ගුරුතුමියක් කියන දේ දරුවන්ට බොහොම හොඳින් ගැලපෙන්නේ දරුවාගේ ලෝකයේ සිටින දැවැන්ත චරිතයක් විදිහට ගුරුතුමා ජීවත් වෙන නිසයි. ඒ නිසා ගුරුතුමිය එහෙම කිව්වාම සමහර විට එතැනින් ඉදිරියට නොයන දරුවන් ඉන්නත් පුළුවනි.

ඉතින් මේ සිදුවීම අපේ දෙමව්පියන්ටත් ඉතාම වැදගත්. සමහර අම්මලා තාත්තලා දරුවන්ටත් ඔය විදිහට කියන වෙලාවල් තියෙනවා. වෙලාවකට ඒ අය මේ වගේ දේවල් කියන්නේ හිතින් නොවන්නත් පුළුවනි. නමුත් දරුවාගේ මනසට ඇති වෙන සංකල්පය අනුව ඔහු එතැනින් ඉදිරියට යන්නේ නැහැ.

ඒ නිසා මේ වගේ ප්‍රකාශ කිරීමේදී බොහොම පරිස්සම් විය යුතුයි. දරුවෙකුගේ හිතේ තමන් ගැන විශ්වාසයක් නොමැති විට ඔවුන්ට ඉදිරියට යෑමට තිබෙන හැකියාව නොදැනීම නැති වෙනවා. ඒ වගේම අපිට බාල කාලයේදීම දරුවන් ගැන ඒ විදිහට තක්සේරු කරන්න බැහැ. ඇතැම් දරුවන් පුංචි කාලයේදී විශිෂ්ට විදිහට හැකියාවන් පෙන්නුම් කළත් අනාගතයේදී ඒ තරමටම පැහැදිලි හැකියාවන් පෙන්නුම් නොකරන්න පුළුවනි. තවත් පිරිසක් බාල කාලයේදී දුර්වල චරිත වුනත් ඔවුන් පසුකාලයකදී කැපී පෙනෙන චරිත බවට පත් වීමට පුළුවන්.

ඒ නිසා කිසිම අවස්ථාවක දරුවන් වෙනුවෙන් පූර්ව විනිශ්චයන් ලබා නොදෙන්න. ඒ වගේම මේ විනිශ්චයන් කිසිම දිනක සෘනාත්මක නොවිය යුතුයි.

  • දක්ෂ දරුවෙකු වුනත් පමණට වඩා තක්සේරු කිරීමත් ඒ තරම් හොද නැහැ.

”ඔව්…ඔබට පුළුවනි.. ඒත් ඉදිරියේදී තිබෙන්නේ තරගයක්…” ඔබ තරගය ඉදිරියේදී උනන්දු නොවුනොත් සමහර විට හාවා රේස් එකෙන් පැරදුණා වගේ වෙන්නත් ඉඩ තිබෙන බැව් කියා දෙන්න. සමහර දෙමව්පියන් තමාගේ දරුවා පංතියේ ඉදිරියෙන් සිටියොත් ඒ ගැන තබන තක්සේරුවෙන්ම දරුවාගේ හිතටත් ඇති කරන්නේ අධිතක්සේරුවක්. ඒ වුනත් මේ පුංචි වපසරියෙන් ඔබ්බට අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන්නේ  දැඩි තරගයක් බව ඒත්තු යන සේ කටයුතු කරන්න.

එහෙනම්…දෙමව්පියන් විදිහට ඔබ දරුවාට ”බැහැ” යන ආකල්පය හිතේ වගා කරල ඔවුන් බිඳ වැටීම නොකළ යුතු සේම, අනවශ්‍ය විදිහට අධි තක්සේරුවක් මවමින් දරුවාගේ අභියෝග වෙනුවෙන් හැකියාවන් මන්දගාමී කිරීමත් නොකළ යුතුයි.

දරුවා සතු සුදුසු ක්‍රියාවන් දිරිගන්වන්න අම්මලාට අදහස් 5ක්

ළමා හුරු පුරුදු වර්ධනයේ ප්‍රධානතම කාර්යය වන්නේ දරුවා සතු සුදුසු ක්‍රියාවන් සඳහා දිරිමත් කිරීමත් නුසුදුසු ක්‍රියාවන් නවත්වා ගැනීමට උත්සහ කිරීමත්ය. මෙහිදී අප පළමුවෙන්ම දරුවා සුදුසු ක්‍රියාවන් සඳහා දිරිමත් කිරීමට දෙමාපියන් මෙන්ම දරුවා රැකබලා ගන්නා පුද්ගලයන්ට කළ හැකි කාර්යයන් විමසා බලමු.

1) ප්‍රශංසා කිරීම හා සැලකීම

ප්‍රශංසා කළ විට කුඩා දරුවෙකු වුවද සුදුසු ක්‍රියාව හඳුනා ගනී. සුදුසු ක්‍රියා උනන්දු කරවීමට නම් මුලින්ම දරුවා එය හොඳ ක්‍රියාවක් බව වටහා ගත යුතුය. ප්‍රශංසා කිරීම හොඳ ක්‍රියාව සිදුවන විටම හෝ අවසාන වූ විගසම කළ යුතුය. එවිට දරුවාට එය වටහා ගැනීම ඉතා පහසු වේ. මේ නිසා දරුවාට ආත්ම ආඩම්බරයක් ඇති වේ. මෙය වැඩෙන ළමා මනසට අත්‍යවශ්‍ය කරුණකි. දරුවා කරනු ලබන ඉතා සුළු ක්‍රියාවකට වුවද ප්‍රශංසා කිරීම දරුවාට ප්‍රයෝජනවත් වේ. දෙමාපියන් විසින් දරුවන්ට කරනු ලබන ප්‍රශංසා හැකිතාක් අවංකවම සිදු කරන්න. දරුවන්ට ඔබේ ආවේග, මවාපෑම් වටහා ගැනීමේ හැකියාව ඇත. ඔබ අවංක නොමැති බව දරුවාට වැටහුණහොත් ඔබ කරන ප්‍රශංසා දරුවාට වැදගත් නොවනු ඇත.

වාචික ප්‍රශංසා මෙන්ම කායික ප්‍රශංසා උදා: හිස අතගෑම, සිප ගැනීම

ඔබගේ ප්‍රශංසාව හැකි තාක් දුරට විස්තරාත්මකව සිදු කරන්න. එය දරුවාට එම ක්‍රියාව තේරුම් ගැනීමට පහසු කරනු ඇත. නැතහොත් ඔබගේ ප්‍රශංසාව වෙනත් ක්‍රියාවකට බව දරුවා තේරුම් ගැනීමට ඉඩ ඇත.  ප්‍රශංසා කිරීමත් සමග එවැනි ක්‍රියා තව තවත් කිරීමට පෙළඹෙන අයුරින් දිරිමත් කරන්න. භාවිත කරන වචනවල හා ප්‍රකාශ කරන ආකාරයේ පවා විවිධත්වයක් පවත්වා ගන්න.

උදා: අත්පුඩි ගැසීමෙන්, හයියෙන් සිනාසීම, හයියෙන් ප්‍රශංසාව

කිසිම අවස්ථාවක වැරදි ක්‍රියාවක් නැවැත්වීම සඳහා මෙම උපක්‍රමය භාවිත නොකරන්න. එසේ කළහොත් ඔබගේ දරුවා ප්‍රශංසාව ලබාගැනීම පිණිස එම වැරදි ක්‍රියාව නැවත කරනු ඇත.

ප්‍රශංසා කිරීම හා සැලකීම මගින්දරුවාට ලැබෙන වාසි

  • දරුවා සුදුසු ක්‍රියාව කුමක්දැයි ඔබගේ ප්‍රශංසාව තුලින් හඳුනා ගනී.
  • දරුවාට ආත්ම ආඩම්බරයක් ඇති වේ
  • ඔබ හා දරුවා අතර සුහද සබඳතාවයක් ගොඩනැඟේ. මෙය දෙමාපියන්ට හා දරුවාට වටිනා තත්ත්වයකි.
  • දරුවා ප්‍රශංසාවන් ලබාගැනීමට නව පුරුදු පුහුණු වීමට කැමැත්තක් දක්වයි.

2) ඉල්ලීම් කිරීම

වරකට එක් ක්‍රියාවක් පිළිබඳව අවධානය යොමු කර එය ඉටු කිරීමට දරුවාගෙන් ඉල්ලා සිටින්න. මෙම ඉල්ලීම සරලව, සුහදව හා ආවේගාත්මක මානසික බැඳීමක් ඇති වන ආකාරයට ඉල්ලන්න. මෙම ක්‍රමය භාවිත කළ යුතු වන්නේ දරුවා වැරදි ක්‍රියාවකට පෙළඹීමට පෙර ඊට සමගාමීව හොඳ ක්‍රියාවක් කරන ලෙස ඉල්ලා සිටීමෙනි. දරුවා හුරු කරවීමට යන හොඳ ක්‍රියාව කලින් හඳුනාගෙන ඒවා දරුවාට ඉදිරිපත් කරන ආකාරය කලින් සැලසුම් කරගන්න. ඔබගේ ඉල්ලීම දරුවා සම්පූර්ණයෙන් ඉටු නොකළද එය පිළිපැදීමට ගන්නා වූ උත්සාහය ප්‍රශංසාවට ලක් කරන්න. සෑම විටම ඔබ ඉදිරිපත් කිරීමට සැරසෙන ඉල්ලීම දරුවාගේ වයසට සුදුසුද හා ඔබ එය ඉදිරිපත් කිරීමට සැරසෙන මොහොතේ දරුවාගේ මානසිකත්වය ඒ සඳහා සුදුසුදැයි සලකා බලන්න. නිතර ඉල්ලීම් කිරීම හා නුසුදුසු වේලාවන්වල ඉල්ලීම් කිරීම මෙම ක්‍රමය අසාර්ථක කරයි.

3) ප්‍රදානයක් හා විශේෂ වාසි ලබාදීම

සුදුසු ක්‍රියාව සිදුවන විට හෝ සිදු වූ විගස මෙය කළ යුතුය. ප්‍රදානයක් හා විශේෂ වාසි ලබාදෙනු ලබන සුදුසු ක්‍රියාව විස්තරාත්මකව පවසන්න. නැතහොත් ඉන් අවශ්‍ය ප්‍රතිඵල නොලැබේ. ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන විට කායික ප්‍රශංසාද උපයෝගී කරගන්න.

උදා: හිස අතගෑම

දරුවා වෙනුවෙන් දෙනු ලබන දේවල් සුදුසු ක්‍රියාවන්ට දෙනු ලබන ප්‍රදානයන් බවට පත් කර ගැනීමට උත්සහ කරන්න. ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන ක්‍රියා ඉඳහිට කලින් පැවසීම මගින් දරුවා ඒ කෙරෙහි උනන්දු කරවිය හැක. කරනු ලබන ක්‍රියාවන්ට සමානුපාතිකව ප්‍රදානයන් හා විශේෂ වාසි ලබාදෙන්න. දෙමාපියන්ට ඉටු කළ නොහැකි දේවල් ලබා දෙන බවට පොරොන්දු වීම නොකළ යුතුය. එමගින් ඔබ පිළිබඳව දරුවා තුළ ඇති විශ්වාසය බිඳ වැටේ.

4) උපදෙස් දීම

යම් ක්‍රියාවක් ආරම්භ වීමට ආසන්නයේදී හෝ වැරදි ක්‍රියාවක් ආරම්භ වූ විගස මෙම ක්‍රමය භාවිත කළ හැක. තරවටු කිරීමට පෙර මෙම ක්‍රමය අත්හදා බලන්න. උපදෙස් දරුවාගේ වයසට ගැලපෙන ලෙස සුහදව සරලව පවසන්න. උපදෙස් දීම දරුවාගේ වයස හා දරුවාගේ පවතින ලක්‍ෂණ අනුව වෙනස් විය යුතුය. දෙමාපියන්ගේ ළමා විය හා එම අත්දැකීම් හැකිතාක් උපයෝගී කරගෙන උපදෙස් දෙන්න. දරුවාට ද ඔබ ලැබූ අත්දැකීම් පවසා එම නිසා ඔබ මෙලෙස උපදෙස් දෙන බව තේරුම් කරවන්න. ඔබ දෙන උපදෙස් රූපවාහිනියේ හා සමාජයෙන් දරුවාට ලැබෙන උපදෙස්වලට පරස්පර විරෝධී විය හැකි බව තේරුම් ගන්න. එවැනි තත්ත්වයකදී එලෙස වෙනස් වීමට හේතුව හැකි නම් දරුවාට පැහැදිලි කර දෙන්න. සෑම විටම දරුවාට ආදරේ නිසා උපදෙස් ලබාදෙන බව දරුවාට වටහා දෙන්න. ආදරයෙන් දෙන උපදෙස් නීති රීතිවලට වඩා ඵලදායී වේ.

5) පොරොන්දු ලබාගැනීම

යම් දෙයක් කරන බවට පොරොන්දු ලබාගැනීම මගින් කුඩා වයසේ දරුවන්ව විවිධ සුළු හොඳ ක්‍රියාවන්ට යොමු කරවා ගත හැක. මෙම ක්‍රියාව භාවිත කළ යුත්තේ හොඳ ක්‍රියාවන්ට පෙළඹවීම සඳහා පමණි.  පොරොන්දු කඩ කිරීම් නොසලකා හරින්න. එම පොරොන්දු ඉටු කරවා ගැනීම ඔබට අමතක වූ බවක් හඟවන්න. මෙය සුළු හොඳ ක්‍රියාවන්ට පමණක් නිර්දේශ කිරීමට හේතුව එයයි. නිතර පොරොන්දු කඩ කරන්නේ නම් මෙම ක්‍රමය භාවිතය නුසුදුසුය.  පොරොන්දු ඉටු කළ විට එය නොමසුරුව ප්‍රශංසා කරන්න. අවශ්‍ය අවස්ථාවලදී පොරොන්දු නොවීම පොරොන්දු කඩ කිරීමට වඩා සුදුසු බව වටහා ගන්න. ඉතාමත් සුදුසු උපක්‍රමය වන්නේ දරුවාට ගැලපෙන ක්‍රමය වන අතර එය හඳුනාගත හැක්කේ මව, පියා හෝ දරුවා සමග රැඳෙන පුද්ගලයාටයි.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.