පවුලේ කෑම බීම ගැන අම්මලාට උපදෙස් ටිකක්

  • කෑම කන විට වතුර බොන්න එපා…

අපේ පොඩි පැටව් කන්න ගියාම ඉවරක් නැතුව වතුර බොනවා.  මේ නිසා ආහාර වෙනුවෙන් තිබෙන අවශ්‍යතාවයත් ඉක්මනින්ම සීමා වෙනවා. සමහර විට අම්මලා වුනත් මේ ගැන එතරම් තැකීමක් නොකලත් වතුර බොන ගමන් ආහාර ගැනීම එතරම් යහපත් දෙයක් නොවෙයි. වතුර බොමින් ආහාර ගත් විට ආමාශ යුෂ තනුක බවට පත් වෙනවා.ඒ නිසා වතුර බොන්න පෙරාතුට ඒ ගැන දරුවාට අවවාදයක් දුන්නොත් හොදයි.

  • තිත්ත දෙයකුත් එක් කරන්න…

අම්මලා විදිහට නිවසේ ආහාර වට්ටෝරුව පිලියෙල කරන විට මේ ගැනත් ටිකක් හිතන්න. තිත්ත දේවල් දරුවන් නම් කැමැති නැහැ. ඒත් තිත්ත ‍දේ ආහාරයට ගැනීමෙන් ආමාශයික යුෂ ඝ්‍රාවය උත්තේජනය වීම වගේම අහිතරක මේදය උරා ගැනීමත් සිද්ධ වෙනවා.

  • ඉක්මනට කන්න දරුවා….

අම්මලා නිතරම දරුවන්ට දෙන පීඩනට ඔබටත් හුරු ඇති. දරුවන්ට කන්න බොන්න ගියාම වෙලාවක් කලාවක් ගැන මිම්මක් නැහැ. ඒවායේ බර ඉතින් අම්මලානේ. අම්මලා සෑහීමට පත් වෙන්නේ හබුං කටයි බත් දෙකටයි…කියල බත් ටික සේරම කැවාමයි. ඒ නිසා ඉත්මනින් කන්න කියන විධානය දරුවාට නිතරම ලැබෙනවා.

නමුත් මෙය නොකල යුත්තක්…ඒකටත් හේතුවක් තිබෙනවා. ඉක්මනින් ආහාර ගැනීමේදී ආමාශයික යුෂ වෙනුවට වෙහෙසකර හෝර්මෝන උත්තේජනය වීමේ ප්‍රවනතාවය ඉහලයි. ඒ නිසා දරුවන්ට ඉක්මනින් කන්න…කියන විධානය නොකරනවා නම් වඩාත් හොඳයි.

  • කාබොහයිඩ්ඩ්‍රෙට සහ සීනි වැඩියෙන් එපා…

අම්මා විදිහට ඔබ නිවසේ ආහාර පිළියෙළ කරන විට මේද , සීනි වෙනුවෙන් වැඩි තැනක් දෙන්න එපා. බාල කාලයේ පටන්ම දරුවන්ට හිතකර විදිහට ආහාර රටාව පිලියෙල කර දීම ආදරනීය මවකගේ වගකීමක්. ඒ නිසා සමබල ආහාර වගේම තන්තු ගැන වැඩි අවධානයක් ‍ලබා දෙන්න. මේදය, සීනි වෙනුවට තන්තු වෙනුවෙන්  වැඩි තැනක් ලබා දීම ඉතාම හොඳයි. එය දරුවාගේ වගේම ඔබේ සහ සැමියාගේ නීරෝගීබවටත් හේතුවක් වෙනවා.

  • පළතුරු යුෂට වඩා විකන එක හොඳයි…

පළතුරු යුෂ කිරීමට වඩා විකා කෑම වඩාත් සුදුසුයි. ඊට හේතුව යුෂ පිලියෙල කරන විට අපි සීනි සහ ලුණු වැනි අතිරේකත් එකතු කුරනවා. ඒ වගේම පැගිරි කුලයේ පළතුරු යුෂ කරන විට ” සිනෙෆින් ” රසායනය මුදා හරිනවා. එවිට රුධිර නාල අවහිර වීම නිසා හිසරදය තත්වය ඇති වෙන්න පුලුවනි.

  • විවිධ පළතුරු දෙන්න…

සමහර විට අපි දරුවන්ට පළතුරු දෙන විට යම් යම් සීමාවන් පනවා ගනන්වා. අපේ පුතා කන්නේ මේ පළතුරු විතරයි.. ඒ වගේම සමහර විට වාරයට තියෙන විට අපි ඒ පළතුරුටම යොමු වෙනවා. ඒත් මෙය නොකළ යුත්තක්. නිතරම පළතුරු වුනත් විවිධත්වයකින් ආහාරයට ගන්න.

  • සුප් ගැනත් සලකා බලන්න…

අපි හිතනනේ සුප් බොන්නේ රෝගීන් විතරයි කියල වුනත් සුප් දියර ඉතාම ගුණ දායකයි. කොලස්ටරෝල් සහිත රෝගීන්ට වගේම තරබාරු උදවියට සුප් වඩාත් ගුණදායකයි. ඒත් මේ ගුණය ලැබෙන්නේ සුප් වෙනුවෙන් ඔබ අන්තර්ගත කරන අමුද්‍රව්‍ය අනුවයි. මේ සදහා කරපිංචා, සේර වගේම වෙනත් කුළුබඩු එකතු කිරීම නිසා වැඩි ගුණයක් ලබා ගැනීමට පුලුවනි. අද බොහෝ අම්මලා සුප් පිලියෙල කරන විට කේාන්ෆලවර් සහ වෙනත් ක්‍රිම් සහ සෝස් වර්ග එකතු කළත් අපේ අතීතයේ සුප් පිළියෙල කිරීමට යෙදූ අමුද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද…? එදා ගෘහනියන් බොහෝ සේ එක් කර ග්තතේ ගොටුකොළ, කැරට්, බෝංචි, හතු, අල වැනි ද්‍රව්‍යන්. ඒ වගේම සුප් දරුවන්ගේ පරිපූරක ආහාරයක්. වැඩිහිටියන්ට වුනත් ආහාර රැචිය ඇති කිරීමට සහ ජීරණ අපහසුතාවයන්ට සුප් බොහෝ සේ ගුණ ලබා දෙනවා.

  • වස විස නැති පලා සහ සලාද කන්න..

පලා වගේම සලාද කොළ මොන තරම් ගුණ වුනත් දැන් හැම දෙනෙක්ගේම සාධාරණ සැකයක් තියෙනවා. මේවාට යොදන පොහොර සහ වෙනත් බෙහෙත් නිසා අගුණ වේවි යන සැකය ඇති වෙලා. එහෙම නම් අපේ ගෙවත්තේම පලා වරග හදා ගනන් පු’චි හෝඩුවාවක් මෙන්න. සලාද කොළ දණ්ඩ වගේම කංකු , ගොටුකොළවල මුල් වතුර වීදුරුවක දමා දින එතක් පමණ වේලා තියෙන විට මුල් ඇදෙනවා. එයින් පසුව පුංචි පෝච්චියක මේ පලා වගා කර ගෙන අපේ පරිභෝජනයට ගැනීමට පුලුවනි.

ඝන ආහාර දීමට කාලය ඇවිත්

පුංචි පැටියා මෙලොව එලිය දුටු දවසේ පටන් අම්මාට තාත්තාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරු පැටියා ඉක්මනින් උස් මහත් කර ගන්නයි. ඒ නිසාම ඉක්මනින් ඝන ආහාර දෙන දවස කවදා උදා වෙයිදැයි අම්මා හීන මවනවා. මේ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් උපදෙස් ලැබෙනවා. කැලැන්ඩර් ක්‍රමයට ඝන ආහාර දෙන දිනය තිබුනත් එක් එක් දරුවාගේ වර්ධන වේගය වෙනස්. ඒ නිසාම දරුවාට හොදින් ආහාර ගිලීමේ හැකියාව ඇති වීමත් අවශ්‍යයි. ඒ නිසාම ඝන ආහාර පටන් ගන්න නම් දරුවාගේ මේ හැකියාවන් තිබෙනවදැයි අම්මාටත් සහතික වීමට පුලුවනි.

දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට පුලුවන්ද ?

දරුවාට හිස කෙලින් තබා ගැනීමේ හැකියාව නැත්නම් ඝන ආහාර ගිලීමේදී පිටඋගුරේ යෑම වැනි අපහසුතාවයන් දරුවාට ඇති වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ හිස කෙලින් තබා ගැනීමට හැකියාවක් ලැබීම තාම වැදගත්.

ඒ වගේම ගෙල ප්‍රදේශය පාලනය

අපි ආහාර කවන පොවන විට දරුවාට බෙල්ල පාලනයකින් තබා ගැනීමට නොහැකි නම් එය අපහසුතාවයක්. ඒ නිසා ඝන ආහාර දීම ආරම්භ වන විට බෙල්ල දරුවාට පාලනයකින් තබා ගැනීමට හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

උදව් ඇතුව වාඩිවීමට පුලුවන් වීම

ඝන ආහර ලබා දෙන විට දරුවාට වාඩි වී සිටීමේ හැකියාව තිබීම ඉතාම වැදගත්. නිදා ගෙන සිටින ඉරියව්වෙන් ආහාර දීම සුදුසු නැහැ. එවිට අතරමග සිරවීමට පුලුවන්. ඒ නිසා දරුවා වාඩි කරවා ගෙන දෙනවා නම් ඔවුන්ට ඔබ වාඩි කලාට පසුව ටික වේලාවක් හෝ එම ඉරියව්වෙන් සිටීමේ හැකියාව තිබීම වැදගත්.

ආහාරය දෙසට දරුවා යොමු වීම

සාමාන්‍යයෙන් ආහාරයක් ලබා දෙන විට දරුවාට ඒ වෙතට කට දිගු කිරීමේ හැකියාව තිබීමත් ඉතාම වැදගත්.

ගිලීමට පුලුවන්ද…

මව්කිරි වැනි දයරයෙන් පෝෂණය වුන දරුවාට ආහාර ගිලීමේ හැකියාව තිබෙනවාදැයි දැන ගන්න. සමහර විට දරුවාට ආහාර ගිලින්නේ නැතුව නටේ තබා ගෙනම සිටින්න පුලුවනි. ඒ නිසා ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට ගිලීමේ හැකියාව තිබීමත් වැදගත්.

ආහාර ළං කරන විට කට ඇරීම

ආහාරයක් ලං කරන විට කට ඇරීමේ  හැකියාවත් දරුවාට තිබෙනවා නම් ඝන ආහාර පටන් ගැනීමට  හොඳම කාලයයි.

ඝන ආහාර පටන් ගන්නේ කොහොමද…

ඝන ආහාර පටන් ගන්නා විට දරුවාට එහි රසයක් ගැන තේරුමක් නැහැ. ඒ නිසා මුලින්ම දරුවාගේ තොලේ ටිකක් ආලේප කරන්න. එවිට ඔහු එයින් දැනෙන රසය දිව ඔස්සේ ග්‍රහණය කර ගන්නවා.ඊටපසුව ඝන ආහාරයට ක්‍රමයෙන් සම්බන්ධ වීමට පටන් ගන්නවා.

කුඩා කටවල් දෙන්න..

අම්මාට අවශ්‍ය වෙන්නේ දරුවාට නියමිත මාත්‍රාව කෙසේ හෝ ඔහුගේ කුසයට ඇතුලු කිරීමටයි. ඒ නිසා ඇය ලොකු ලොකු කටවල් හදා ගන්නේ ” අනේ කොහොම හරි මේ ටික කවා ගත්තොත්…යන බලාපොරොත්තුවෙන්. ඒ වුනත් දරුවාට ලොකු කටවල් කවන විට එය අප්‍රිය වීමට පුලුවන්. ඒ නිසා නිතරම කුඩා කටවල් කැවීම දරුවාට ප්‍රිය උපදවන දෙයක් වීමට පුලුවනි.

ආහාර රසය විවිධ කරන්න.

මුලින්ම පටන් ගන්නා බත් තලපය මතම රැදී නොසිට ක්‍රමයෙන් විවිධ රස දරුවාට එක් කරන්න. කාලය සමග දරුවා වැඩෙන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාවගේ උපදෙස් මත මස්, මාලු, බටර්, පලා වර්ග එකතු කිරීමට පුලුවන්. එකාකාර රසයට වඩා දරුවා විවිධ රසයන්ට ප්‍රිය කරාවි.

සමහර ආහාර අපථ්‍ය වෙන්න පුලුවනි..

අපි පොතේ හැටියට පෝෂණය ගලපා ගත්තත් සමහර ආහාර වෙනුවෙන් දරුවා අප්‍රිය කිරීම විතරක් නොවෙයි, ඔහුට ඒවා ආසාත්මිකතාවයක් දැක්වීමටත් පුලුවනි. උදාහරණයක් විදිහට සමහර දරුවන් බිත්තරවලට ආසාත්මික වීමට පුලුවනි.ඝන ආහාර පිළියෙල කරන විට විවිධ ආහාර වර්ග එක් කරන නිසා එයිනුත් දරුවා ආසාත්මිකතාවයක් දක්වන ආහාරය වෙන් කර හදුනා ගැනීම ඉතාම වැදගත්.එතැනින් පසුව දරුවාට අසාත්මිකතාවය දක්වන ආහාරය එකතු නොකර සිටීමට පුලුවනි.

කුස පිරුනාම ප්‍රතික්ෂෙප කරාවි..

දරුවාට කුස පිරුන විට ඔහු තව දුරටත් දෙන ආහාරය ප්‍රතික්ෂෙප කරාවි.එවිට බලහත්කාරයෙන් දරුවාට කවන්න එපා. එය දරුවාට මානසික වධයක් වේවි. ඒ නිසා දරුවා තරයේම ප්‍රතික්ෂෙප කරනවා නම් එයින් ඔබ්බට ඔහුට වධයක් නොවන්න.

ආහාර කවන විට ඔබ දරුවා අසල සිටින්න…

දරුවාට ආහාර කවන අතරවාරයේ ඔබ වෙනත් කාර්යක නිරත වීම එතරම් සුදුසු නැත. දරුවන් අසලම රැඳී සිටීම තාම වැදගත්. සමහර විට ඔහු හැන්ද ඔබගෙන් ඉල්ලා ගෙන තනියම ආහාර ගැනීමට ඉල්ලා සිටින්නට පුලුවනි. එවිට ඒ වෙනුවෙනුත් ඉඩ දෙන්න. හැන්දටත් දරුවා හුරු වීම වැදගත්. ඒ වගේම දරුවා හුදෙකලා කර ඔබ එතැනින් අයින්ව ගියොත් විවිධ දේ ආහාරයට එක් කර ගැනීමට පුලුවනි. ආහාරය හලා දැමීමට පුලුවන්. ආහාරය දිගු වේලාවක් විවෘතව තබනවාට වඩා ටිකින් ටික බෙදා ගන්න. නිරාවරනය තබන විට ක්ෂුද්‍රජීවින් එක් වීමට වගේම ආහාරය සීතල වීමට පුලුවනි.එවිට ආහාරයේ ප්‍රියතාවය නැති වීමට පුලුවනි.

ඉවසීමත් වැදගත්

දරුවන්ට ආහාර කවන පොවන විට අම්මාගේ ඉවසීමත් වැදගත්.ඉවසීම නැතුව දරුවාට ආහාර ලබා දීම පහසු නැහැ. සැර වැරයෙනුත් මේ දේවල් කිරීම අපහසුයි වගේම ඒ තරම් සුදුසු නැහැ. ඇයි කිව්වොත් අපි දරුවා සෙනෙහසින් පෝෂණය කිරීම ඉතාම අවශ්‍ය නිසයි. අම්මලා විදිහට උයා පිහල කන්න දුන්නාම දරුවාග් රෙලිය ඉදිරියේ තරහත් යන එක ඇත්ත වුනත් අපි ඉතින් අම්මලානේ..ඒ නිසා ඉවසීමෙන් දරුවාගේ පෝෂණයට අවශ්‍ය විදිහට කවා පොවා ඇති දැඩි කර ගනිමු නේද.

කවි, ගීත ඇහුනොත් හිතට සැපයි

කවි, සින්දු ගැන අපේ අම්මලාට කරුණු කියා දීමට අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒ මොකද කිව්වොත් දරුවා උපන් දිනයේ පටන් ”දොයි දොයි දොයිය බබා “යන නැළවිලි ගීතය නොදැනීම අම්මාගේ මුවින් නික්මෙනවා. ඒත් දැන් දැන් නම් නැළවිලි ගීත ගයන අම්මලා බොහොම අඩුයි. නමුත් ගීතයකින් ඇති වෙන මානසික ප්‍රබෝධය පිලිබඳව ලියැවුන මෙම අධ්‍යනය කියවලා බැලුවොත් දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් ගීතයකට සවන් දීමෙන් ලැබෙන කාර්යක්ෂමතාවය මොන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සෑම් පර්ගසන් ” සහ නෙදර්ලන්තයේ ”රඩ්බවුන්ඩ් ” විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ” සයිමන් රිට්ටර් ” විසිනුයි.

මේ මහාචාර්යවරුන්ට අවශ්‍ය වුනේ ගීතයක් මගින් පුද්ගලයාගේ මානසිකත්වය කොතරම් වෙනස් කරන්නේද ගැන අධ්‍යනයකින් සනාථ කර ගැනීමටයි. මේ වෙනුවෙන් ගීත වර්ග තුනක් තෝරා ගත්තා. ප්‍රිතිමත් ගීත, දුක හිතෙන ගීත සහ හිත සන්සුන් කරන ගීත විදිහටයි. ගීත ශ්‍රවණය නොවන තැනකත් තවත්  පිරිසක් සිටියා. එයින් අනතුරුව මෙම පර්යේෂකයින් විසින් සියළු දෙනාටම එක් සිද්ධියක් මුල් කර ගෙන ඔවුන් විසින් ගනු ලබන තීරණය ගැන අදහස් සාකච්ඡා කලා. එහිදී පෙනී ගිය අන්දමට ප්‍රිතිමත් ගීත ශ්‍රවණය කළ පුද්ගලයින් අතරින් වඩාත් සාර්ථක ලෙස තීරණ ගැනීමේ හැකියාව තිබුන බැව් පැහැදිලිව පෙනී ගිය කරුණක්. මෙම සාර්ථක අධ්‍යනය ඔවුන් විසින් ” ප්ලස් වන් ” පර්යේෂන පත්‍රිකාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ එක් සිද්ධි අධ්‍යනයක්. නමුත් මිහිරි සංගීතය හෝ ප්‍රිතිමත් ගීත පුද්ගල සංවර්ධනයට මොන තරම් බලපාන්නේද ගැන දැන් අපිට යම් අදහසක් ඇති වේවා. ඔබටත් මේ ගැන යම් යම් සංකල්ප හිතේ ඇති. දැනටත් ඇතැම් ආයතනයන්හි මිහිරි ගීත සහ සංගීත ශ්‍රවණයට සලසා තිබනවා. එයින් ආයතනයට පැමිනෙන පාරිභෝගිකයන්ටත් වඩා ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසට වඩාත් හිතකාමී පරිසරයක් ගොඩ නැගෙනවා. වැඩ පරිසරය සමග ඔවුන් බොහොම හෙම්බත්ව සිටින විට මේ සංගීත මගින් ආයතනයේ සේවයේ යෙදී සිටින පිරිසගේ විඩාවට යම් නිදහසක් ලැබෙනවා.

අපේ පවුලටත්  නරක නැහැ…

පවුලක් විදිහට හැම දෙනාගේම හිතේ සතුට ඉතාම වටිනවා. ඒ නිසා නිවසක රූපවාහිනිය නොබලන වේලාවටවත් ගීතයක් ඇහෙන්න ඉඩ සලසා දුන්නොත් වටිනා ප්‍රතිඵල ලැබෙන්න පුලුවනි. නිවසේ මුලුතැන්ගෙයටම සිරගතව සිටින අම්මාට වුනත් ප්‍රිතිමත් ගීතයක් ඇහෙන විට හිතට යම් නිදහසක් ඇති වෙනවා.ඊටත් රූපවාහිනියට වගේ ඇස් දල්වා ගෙන බලන්න වෙලාවක් යන්නෙත් නැහැ. වැඩ කරන අතරවාරයේම ගීතයක් ඇහෙනවා නම් කරන කාර්යයයේ තිබෙන බරත් සැහැල්ලු වෙනවා.

ගීතයෙන් මොන තරම් වෙනසක් කරන්න පුලුවන්ද..?

මේ එක්තරා සිදු වීමක්. මෙය සත්‍ය සිදුවීමක් විදිහට එක්තරා සම්මුඛ සාකච්ඡාවක සදහන් වුන සිදුවීමක්. එක්තරා මවක සහ දියණියක් අතර ඇති වුන බහින් බස් වීම කෙළවර වුනේ මව විසින් ඇගේ දියණියට කම්මුල හරහා වැරෙන් පහර දීමයි. මේ සිදුවීමෙන් පසු මව නගරයට ගියේ දියණිය නිවසේ හුදෙකලාව සිටියදී. හිතේ ආවේග පාලනය කර ගත නොහැකි දියණිය නිවසින් යෑමට තීරණය කලා. ඇයට යන්නේ කොතැනකටදැයි අරමුණක් තිබුනේ නැහැ. ඒත් හිතේ තරහ නිසා ඇය තමාගේ ඇදුම්ද බෑගයක දමා ගෙන බස් රථයට නැංගා. ටික දුරක් යද්දී බස් රථයේ තිබුන ගුවන් විදුලියෙන් ගීතයක් ඇසුනා.

ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා…අම්මා වට කර ලිප ගිනි ඇවිලෙනවා…මේ ගීතය ඇසෙත්ම ඇයට තමාගේ අම්මාගේ ගුණ හිතට නැගුනා. මෙතෙක් වේලා සිටි දැඩි තීරනයෙන් මිදුන ඇය නැවත නිවසට ගියා. එම සාකච්ඡාවේ සඳහන් කළ අන්දමට මේ දියණිය දැන් වෛද්‍යවරියක්. මේ සත්‍ය සිදුවීම මගින් අපට පෙනේනේ ගීතයෙන් පුද්ගලයෙකුගේ ජීවිතය මොන තරම් වෙනස් කිරීමට පුලුවන්ද යන්න ගැනයි.

දරුවන්ට ධනාත්ම ගීත ඇසෙන්න ඉඩ සලසන්න…

එක්තරා වයසකදී දරුවන් අවවාද රුස්සන්නේම නැහැ. එවන් ගැටෙන කාලපරිච්චේදයකදී ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීමට ගීතය වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා ඔබේ නිවසේ වුනත් දරුවන්ට ධනාත්මක ගීත ඇසෙන ඉඩ පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්.

ප්‍රිතිමත් ගීත නිසා මොලයේ සතුටු කලාපය උත්තේජනය වෙනවා..මොළයේ සතුටු කලාපය උත්තේජනය වීම ඉතාම වැදගත්. ඒ නිසා අපේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට පුලුවනි. වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම මෙතැනදී වලක්වා ගැනීමට පුලුවනි. අපේ මානසික සෞඛ්‍යය පිරිහීමට බොහෝ සේ බලපාන්නේ මේ වෙහෙසකර හෝර්මෝන  බව අපි දැන සිටියත් ඒවා මට්ටු කරන්නේ කොහොමදැයි දැන්නේ නැහැ. ඔන්න ඒ වෙනුවෙන් ඉතාම හොඳ විකල්පයක් දැන් ඔබේ වෙත තිබෙනවා. නිතරම ප්‍රිතිමත් ගීත හෙවත් ඔබේ හිතට සතුටක් දැනෙන ගීතවලට සවන් දෙන්න. ඔබේ මොළයේ සතුටු කලාපට උත්තේජනය වීමත් සමග ඔබ වගේම පවුලේ හැම දෙනාම ප්‍රිතිමත් පවුලක් බවට පත් වේවි.

Behavioral Health, Blog ඇසුරින්

පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී

අපිට සාමා‍න්‍ය රෝගාබාධයක් හැදුනාම බේත් හේත් ගැනීමට පවුලේ වෛද්‍යවරයෙක් සිටිනවා. ඒ වගේම අපි දැන් බොහෝ සේ උනන්දු වෙන්නේ බේත් මාත්‍රා‍ එක දෙකකින් රෝගාබාධ සුවපත් කරන වෛද්‍යවරුන් ‍ගැනයි. ඇතැම් අවස්ථාවලදී එසේ ඉතාම ඉක්මනින් සුලු සුලු රෝගාබාධ වෙනුවෙන් සුවය ලබා දෙන වෛද්‍යවරුන් සිටියත් අපි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී සලකා බලන නිර්ණායකයන් මොනවාද….? මහනුවර රාජ්‍ය ඔසුසල විසින් ජනතාව දැණුවත් කරන පත්‍රිකාවක දැක්වෙන පරිදි අපි වෛද්‍යවරයෙක් තෝරා ගන්නා විට යොමු විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

ලියාපදිංචි වෛද්‍යවරයෙක්ද….?

වෛද්‍යවරයෙක් කියන්නේ අපේ ජීවිතය ගැන වගකීමකින් කටයුතු කළ යුතු චරිතයක්.ඒ නිසා ඔහුගේ සුදුසුකම් අනුව වෛද්‍යවරයෙක් විදිහට මහජන සේවය වෙනුවෙන් වූ ලියාපදිංචිය ලබා තිබෙනවාදැයි සලකා බැලීම ඉතාම වැදගත්.එසේ නොමැතිව ආකර්ශණීය ආයතනයක ආකර්ශණීය පෙණුම තිබුනාටම අපිට ඔහු වෛද්‍යවරයෙක් විදිහට පිළිගැනීමට බැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී එම තැනැත්තා ලියාපදිංචි ලත් වෛද්‍යවරයෙක්දැයි විමසා බලන්න.

කාරුණිකද…?

වෛද්‍යවරයෙක් කියන්නේ ගාම්භීර වගේම කාර්ය බහුල චරිතයක්.ඒත් වෛද්‍යවරයාගේ කාරුණිකබව ඉතාම වැදගත් වෙනවා. සමහර වෛද්‍යවරුන් සමග කිසිම දෙයක් කතා බහ කිරීමටවත් අපහසුයි.ඒ තරමටම ඔවුන් රෝගියාට සමීප වෙන්නේ නැහැ. ඇත්තටම රෝගියෙකුට අවශ්‍ය වෙන්නේ කරුණාවයි. සමහර රෝගීන් මේ විදිහට කියනවා ඔබටත් ඇහිලා ඇති….”අනේ ඒ දොස්තර මහත්යාගේ කතාවත් ඇති…නිකම්ම ලෙඩ හොද වෙනවා…”ඒ අන්දමින් වෛද්‍යවරයාගේ  කාරුණිකවීමත් ඉතා වැදගත් නිර්නායකයක්.

ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවාද…..?

වෛද්‍යවරයා ඉතා හොඳ සවන් දෙන්නෙක් වීම අවශ්‍යම කරුණක්. සමහර වෛද්‍යවරුන් රෝගියාගේ ප්‍රශ්න දෙස බලන්නේ හිරිහැරයක් විදිහටයි. ඒ වුනත් රෝගියාට ප්‍රශ්න රාහියක් තිබෙනවා. ඔවුන් ඒ හැම දෙයක් වෙනුවෙන්ම පිලිතුරු බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයාගෙනුයි. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා ඔබට හොඳ සවන් දෙන්නෙක් වීම ඉතාම වැදගත්. ඒ නිසා  පවුලේ වෛද්‍යවරයෙක් විදිහට ගණුදෙණු කරන විට හොඳ සවන් දීමක් සමග ඔබට යමක් විමසා දැන ගත හැකි වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේ නිදහස ඔබට තිබෙනවා.

වෛද්‍යවරයා  කලබලකාරී චරිතයක් නොවිය යුතුයි…

වෛද්‍යවරයාගෙන් සිදු වෙන සුලු පමාව වුනත් විශාල ගැටළුවකට මුල පුරන්න පුලුවනි. ඒ නිසා ඔහු ඉතාම සන්සුන් මනසකින් කටයුතු කිරීමේ ගුණාංගයෙන් සමන්විත වීම වැදගත්. ඇතැම් වෛද්‍යවරුන්ගේ අනවශ්‍ය අන්දමින් පවතින කලබලකාරී ගති ස්වභාවය නිසා රෝගීන් අපහසුතාවයට පත් වීමට පුලුවන්. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා අනවශ්‍ය කලබලකාරී චරිතයක් නොවීමත් ඉතාම වැදගත්.

රෝගය සහ සුවපත් වීමට අදාල කරුණු ගැන දැණුවත් කරනවාද…?

බොහෝ විට රෝගීන් තමාගේ රෝගය ගැන නොදැණුවත්කම නිසාම එය තව දුරටත් සංකුලතාවයන්ට පත් වීමට වගේම රෝග තත්වය තවත් නරක අතට හැරෙනන්ට පුලුවනි. ඒ නිසා නිතරම වෛද්‍යවරයෙකුගේ කාර්යය විය යුත්තේ රෝග තත්වය ගැන වගේම සුවය ලැබීමට රෝගියා හැසිරිය යුතු අන්දම සහ රෝගය සමග කටයුතු කරන ආකාරය ගැන දැණුවත් කිරීමයි. ඔබේ වෛද්‍යවරා වෙතත් මේ ගුණාංගය තිබෙනවා නම් ඇත්තටම ඔබට කිසිම අපහසුවක් නොමැතිව රෝග සමග ගණුදෙණු කිරීමට පුලුවනි.

අත්අකුරු පැහැදිලිද…?

සාමාන්‍යයෙන් කියවා ගැනීමට අපහසු අත්අකුරු අපි හදුන්වන්නේ “වෙද අකුරු” විදිහටයි. ඉස්සර කාලයේ වෙදමහත්වරුන් විසින් ලියන ලද බෙහෙත් සීට්ටු වල ඇති අකුරු කියවා ගැනීම ඉතාම අපහසු වුණා. අද මේ තත්වය බටහිර වෛද්‍යවරුන් අතරත් තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඖෂධවේදීන් බෙහෙත් වට්ටෝරු කියවා ගන්නේ ඉතාම අපහසුතාවයෙන්. ඒ නිසා ඔබට වෛද්‍යවරයාගෙන් බෙහෙත් වට්ටෝරුව පැහැදිලි අකුරෙන් ලියන ලෙස ඉල්ලා සිටින්න පුලුවනි. එසේ නොමැති වුනොත් ඇතැම් විට මෙය කියවන ඖෂධවේදියාටත් අපහසුතාවයක් ඇති වේවි.

මිළ

වෛද්‍යවරුන් අතර මිළ තරගයක් ගොඩ නැගී තිබෙන්නේ ජනප්‍රියතාවය සහ විශේෂයෙන් රෝගහඳුනා ගැනීමට තිබෙන හැකියාව අනුවයි. ඒ නිසා මිළ ගැන තීරණය කිරීමේදී අපට වඩාත් වැදගත් වෙන්නේ අඩු මිළ නොව රෝග හදුනා ගැනීම සහ ඒ වෙනුවෙන් වූ ප්‍රතිකාරයන්හි සාර්ථකත්වයයි.

ඔබ වෙනත්  විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම…

වෛද්‍යවරුන් අතරත් එක් එක් රෝග වෙනුවෙන් විහේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. සාමාන්‍ය රෝගයක් නම් අවස්ථාවකදී හෝ දෙකකදී බෙහෙත් ලබා ගෙන සුවය ලැබීමට පුලුවනි. ඒත් මේ අවස්ථාවන්වලින් කිසිම සුවයක් නොලැබෙනවා නම් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම හෝ එසේ දැණුම් දීම ඉතාම වැදගත්. මේ ගුණාංගයෙන් ඔබේ ද්‍යෛවරයා පොහොසත්දැයි ඔබටම තේරුම් ගැනීමට ඉඩ තියෙනවා.

හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට පුලුවන්ද…?

මේ අවස්ථාව නම් තිබීම ඉතාම වැදගත්. අපි බෙහෙත් ගැනීමට යන විට තිබුන තත්වයට වඩා හදිසියේවත් තත්වය වෙනස් වුනොත් ඒ ගැන උපදෙස් හෝ වැඩිදුර ප්‍රතිකාරයක් වෙත යොමු වීමට නම් අපේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබිය යුතුයි. අද බොහෝ වෛද්‍යවරුන් තමන්ගේ සේවා කාලයෙන් පසුව කිසිම විදිහකින් සම්බන්ධ කර ගැනීමට බැහැ. අඩුම වහයෙන් දුරකථනයකින්වත් තොරතුරක් දැන ගැනීමට නොහැකියි. ඒ නිසා නිතරම හදිසි අවස්ථාවකදී අවශ්‍ය තොරතුරක් දැන ගැනීමේ පහසුකම් ඇති වෛද්‍යවරයෙක් තෝරා ගැනීමත් ඉතාම සාර්ථක ක්‍රියාවක්.

ඔබේ දරුවටත් අනවශ්‍ය විදියට තරහ යනවාද ?

“කේන්තිය” සාමාන්‍ය මිනිස් ගතියකි. එය වයසින් වැඩුණු කෙනෙකුට පමණක් නොව කුඩා දරුවන්ට පවා පොදු ලක්ෂණයකි. බාහිරින් එල්ලවන තර්ජන නිසා විටෙක අප සිතේ කේන්තිය හට ගන්නා අතර තවත් විටක සිත තුලම ඇතිවන දුක, ඊර්ෂ්‍යාව, බය, වේදනාව, කලකිරීම, පිළිකුල වැනි හැඟීම් නිසාද කෝපය හටගැනීමට පුළුවන. වැඩිහිටියන් කෙසේ වුවත් කුඩා දරුවන්ගේ මනස තවමත් ස්වයංපාලනයෙන් තොර වීම නිසා මේ කුමන තත්ත්වයේ වුවද කෝප ගැනීම මෙන්ම අවට සිටින්නන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරීමද සිදුවිය හැක. එනිසා ඔවුන්ට සැබෑ තර්ජනයක් එල්ල නොවී අනිසි ලෙස කේන්ති ගන්නා අවස්ථාවලදී ඒවා හඳුනාගෙන තත්ත්වය පාලනයට දරුවට උදව් වීම දෙමව්පියන්ගේ යුතුකමකි.

සාමාන්‍යයෙන් අප යම් තර්ජනයකට ලක්ව කලබලයට පත්වූ විට නොඑසේනම් නොසන්සුන් වූ විට සිරුරේ නිපදවෙන ඇම්රිනලීන් හෝමෝනයෙන් සහ සිදුවන අනෙකුත් රසායනික විපර්යාස මගින් ස්වාභාවිකවම අප සටන් කිරීමට හෝ එරෙහිව නැගී සිටීමට පෙළඹේ. නමුත් කුඩා දරුවන්ට එම තත්ත්වය වැඩිහිටියන් මෙන් දරාගැනීමට ඇත්තේ අඩු හැකියාවකි.පෙර පාසල් යන වයසේ පසුවන දරුවෙකුගේ සිට මෙම තත්ත්වයන් දරාගැනීමට සමත්විය යුතු අතර එම හැකියාවැති දරුවන් තවදුරටත් අනුන්ට රිදවීමකින් තොරව ජිවත් වීමට ඉගෙන ගනියි. එසේ නමුත් පවුලේ තම සහෝදර සහෝදරියන් සමග රණ්ඩු වීම ගහ බැන ගැනීම් තවදුරටත් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවේ.

දරුවන්ට කේන්ති යාම වළක්වාගැනීම සඳහා සුදුසු උපායන් යෙදීම සම්බන්ධව දෙමව්පියන් ලෙස ඔබ වඩාත් සලකිලිමත් විය යුතුය. උදාහරණයක් තම ප්‍රියතම සෙල්ලම් බඩුවක් පවුලේ සහෝදරයෙකු විසින් කඩාදැමූ අවස්ථාවක දරුවාගේ අනෙක් සෙල්ලම් බඩුද පෙර කී සහෝදරයට ළඟා වීමට නොහැකි ස්ථානයක තැබීමට දරුවා උනන්දු කල යුතුය. සාමාන්‍යයෙන් දරුවන් ප්‍රකෝපකාරී අවස්ථාවන්වලදී අනෙක් පාර්ශවය පිලිබඳ සලකා තමා පමණක් නිවැරදිය යන ප්‍රාථමික අවස්ථාවෙන් මිදීමට කාලයත් සමග පුරුදු වෙයි. නමුත් මුල් අවස්ථාවල එවැනි ප්‍රශ්න නිරාකරණය සඳහා දෙමව්පියන්ගේ මැදිහත්වීම වඩා වැදගත් වෙයි. එලෙස ගැටළු නිරාකරණය සඳහා යොමුවිය යුත්තේ දරුවන් සන්සුන් වූ විට පමණක් බව සිහි තබා ගත යුතුය. මෙය වසර ගණනාවක් පුරා ටිකෙන් ටික මගපෙන්විය යුතු තත්ත්වයක් නිසා ඔබේ ඉවසිමද ඉතා කල්පනාකාරී විය යුතුය. දරුවාට තරහ පිට කිරීමට බාධා නොවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරදීම මුලින් සිදුවිය යුතුය. ඉන්පසු විය යුත්තේ කේන්ති ගැනීමට හේතු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීමයි. මේ හරහා තමන්ගේ කේන්තිය පාලනය කරගැනීමට දරුවන්ට සාර්ථක මග පෙන්වීමක් ලැබේ.

දරුවන්ට කේන්තිය ඇතිකරවන හැඟීම් අත්විඳීමට අවස්ථාව සැලසීම මෙහි එන තවත් වැදගත් කරුණකි. දරුවට ඇති දැඩි ආදරය නිසා බොහෝ විට දෙමව්පියන් දුක බිය ඊර්ෂ්‍යාව වැනි හැඟීම් අත්විඳීමට ඉඩ නොදී ඒවායින් ආරක්ෂා කරයි. එය දරුවන්ට කරන අසාධාරණයකි. වරක් එවැනි හැඟීමක් අත්විඳි පසු ඊළඟ වතාවේ එය දරුවන්ට අලුත් අත්දැකීමක් නොවී සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එනිසා දරුවන්ට කරන සැබෑ ආදරය ලෙස හඳුන්වන්නේ එවැනි හැඟීම් අත්දැකීමට ලැබෙන අවස්ථා අහුරා නොතැබීමයි. දෙමව්පියන් විසින් එය දිගින් දිගටම වැළක්වුවහොත් ඒ හරහා කේන්තිය පමණක් හඳුනාගන්නා දරුවා අවසානයේ ඊට බලපෑ හේතුව නිරාකරණය කරගත නොහැකි වැඩිහිටියෙකු බවට පත්විය හැක.

කෝපය පාලනය කිරීම සඳහා වැඩිහිටියන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වන දරුවන් හඳුනා ගැනීමද මෙහිදී අතිශය වැදගත් කාරණාවකි. නිතර කේන්තියෙන් පුපුරමින් කෑගසන, තම සහෝදර සහෝදරියන්ට හැර පිටස්තර පුද්ගලයන්ට පහර දෙන, බඩු මුට්ටු විනාශ කරන, පලිගැනීමට පුරුදු වුන, තමාට අනතුරු කර ගැනීමෙන් අනුන් බියපත් කරන, අවස්ථාවට අනුව හැඩ ගැසීමට තේරුමක් නැතිව නිතර ගැටළු ඇති කරන, තමා හෝ අන් අය පිළිබඳව නිතර කෝපයෙන් පසුවෙන සහ මිතුරන් නැති, තමාට බාල දරුවන්ට පහර දෙන, සතුන්ට හිංසා කරන, වැඩිහිටි අවවාද ප්‍රිය නොකරන දරුවන් වෙත ඒ අනුව දෙමව්පියන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුය.

කේන්තිය පාලනය සඳහා දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්විය යුතුය. එසේනම් එය කරන්නේ කෙසේද යන්න දැන් ඔබට ගැටළුවක් මතුවේවි. එය මෙසේ සිතන්න. මෙහි එන අතිශය වැදගත්ම කරණය වන්නේ අපට දරුවන්ගේ ක්‍රියාවන් පාලනය කළහැකි වුවත් ඔවුන්ගේ සිතුවිලි පාලනය කල නොහැකි බවයි. එහිදී කුඩා දරුවෙකු තම හැඟීම් ප්‍රකාශ නොකර සිතේ සිරකරගත්විට ඒවා සවිඤ්ඤානිකව පාලනය කරගැනීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහී යන අතර ඉන් පසු ඒවා බොහෝවිට හිතුවක්කාර ප්‍රතිචාර ලෙස පිටතට පැමිණේ. එනිසා තමන්ගේ ආවේගයන් සහ හැඟීම් සන්නිවේදනය කිරීමට දරුවාට නිදහස ලැබුණහොත් ඒවා බොහෝ විට පහර දීමකට නොයා වචන මගින් පිට කිරීමට දරුවා පෙළඹේ.

කෝපයට පත් දරුවෙකුට තනිව සන්සුන් විය නොහැකිය. කුඩා දරුවෙකුට දෙමව්පියන්ගේ ආදරය අවශ්‍ය වන්නේ ඔබ නොසිතන, තේරුම්ගැනීමට නොහැකි අවස්ථාවක විය හැක.කෝපයට පත් දරුවෙකුට දරාගත නොහැකි මට්ටමින් දරදඬු දඬුවම් යොදාගැනීම අනුවණ ක්‍රියාවකි. උදාහරණයක් ලෙස කෝපයට පත් දරුවෙකුට දඬුවම් ලෙස තනිව කාමරයකට දමා සිටින්නට ඉඩ සැලැස්වීම නොකලයුතුය. එවැනි අවස්ථාවක තමා තනි වූ බවක් දරුවාට දැනෙන්නට ඉඩ ඇති අතර එය ඔහු තුළ පවතින ගැටලුව තව තවත් වැඩි කරලීමට සමත් වෙයි. තමාට තමාගේ පවුලේ අය සිට බවත් සියල්ල තමන්ට ආදරය කරන බවත් හඳුනාගත් විට දරුවන් ස්වාභාවිකවම තමන්ගේ කේන්තිය පාලනය කරගැන්මට පෙළඹේ.

පෙර සාකච්ඡා කල පරිදි දරුවන්ට හැඟීම් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දීමේදී දෙමව්පියන් සැලකිලිමත්විය යුතුය. නිදහස ලෙස එහිදී අදහස් කරන්නේ ප්‍රකෝපකාරී විනාශකාරී ලෙස හැසිරීම නොවේ. දරුවා කොතරම් කලබල වුවද අන් අයට පහර දීම තම සිමාවෙන් එපිට හැසිරීමක් බව දරුවාට ඒත්තු ගැන්විය යුතුය.එලෙසම ප්‍රකෝපකාරී අවස්ථාවල කෝප වීම, හැඩීම සාමාන්‍ය දෙයක් සේ ඒත්තු යන සේ දරුවා සමග පිළිසඳරක යෙදිය හැක. දරුවාව ආදරයෙන් ස්පර්ශ කරමින් ඔබගේ ආදරයේ වෙනසක් නැති බව පැවසීම ඔවුන්ව යථා තත්ත්වයට පත්කළ හැකි පහසුම ක්‍රමය වේ. එවැනි අවස්ථාවක දරුවා දෙමව්පිය ඇසුර ප්‍රතික්ෂේප කලද ඔවුන් හැර නොයන බවට සපථ වීමෙන්, ලඟින්ම හෝ පෙනෙන මානයක රැඳීමෙන් තත්ත්වය ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත්කරගත් හැකිවේ.

සංගීතයට සවන් දීම, කොට්ටයකට පහර දීම, හුස්ම ගැනීමේ අභ්‍යාස, කේන්ති ගිය කාරණාව කොලයක ලියා එය ඉරා දැමීම, ගණන් කිරීමේ අභ්‍යාස ආදී සාමාන්‍ය ක්‍රම කිහිපයක් කෝපාවිෂ්ට වූ විට සිදු කරන්නට දරුවා දැනුවත් කිරීම තමන්ගේ කෝපය පාලනයට දරුවාට ලැබෙන හොඳ අවස්ථාවක් විය හැක. දරුවෙකු කේන්තියෙන් සිටින අවස්ථාවක තරවටු කිරීම ඔවුන්ගේ නොසන්සුන් බව දෙගුණ තෙගුණ කරයි. වඩා හොඳ දේ තමන්ට ලැබෙන්නේ සන්සුන් වූ විට පමණක්ය යන අවබෝධය ලබාදීම නොසන්සුන් අවස්ථාවක තරවටු කිරීමකට වඩා වටිනාකමින් ඉතා ඉහල වේ. දෙමව්පියන් ලෙස ඔබද ඉතා ඉක්මනින් කේන්ති ගන්න අයෙක්නම් දරුවා ඔබව ආදර්ශයට ගැනීම වැලැක්වීම ඉතා අපහසු කාර්යකි. සාමාන්‍යයෙන් දුක, වේදනාව, බය, කලකිරීම වැනි හැඟීම් එතරම් භයානක නොවන බව දරුවා අවබෝධ කරගන්නේ එවැනි හැඟීම් ඉදිරියේ දෙමව්පියන් දක්වන ප්‍රතිචාරවලට අනුවටය. ඔබ ඒවායින් කලබලයට පත් නොවන විට දරුවන්ද එය සාමාන්‍ය දෙයක් සේ සලකන්නට පටන් ගනියි.

හැඟීම්වලින් අපහසුතාවට පත් නොවන දරුවන් කෝපයද එලෙසම පාලනය කර ගනියි. සමහර දරුවන් වැඩිහිටියන් කෙරෙහි දක්වන වැරදි ප්‍රතිචාර නිසා තම නොසන්සුන් හැඟීම් සන්නිවේදනයට මැලි වෙයි. දරුවන්ගේ හැඟීම් එලෙස අවඥාවට, අවතක්සේරුවට හෝ පිළිකුලට ලක් කිරීම වැරදි ක්‍රියාවකි. මෙලෙස තම හැඟීම් සන්නිවේදනයට ඉඩක් නොලබන දරුවා එම පීඩනය පිටකර හරින්නේ තම සහෝදරයන්ට දරුණු ලෙස පහර දීමෙන් විය හැක. තත්ත්වය එතරම්ම දරුණු වන බව ඔබට වැටහුනහොත් දරුවා උපදේශනය හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ.

දරුවන් වයසින් වැඩෙත්ම කේන්තිය ඇතිවන මුල් අවස්ථාව හඳුනා ගැනීමට ඔවුනට උදව් කිරීමට දෙමව්පියන් උත්සහ ගත යුතුය. එවිට එය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට දරුවට අවස්ථාව ලැබෙයි. පළමුව ඔබ උපකාර කලයුතු අතර පසුව තමාවම හඳුනාගැනීමට දරුවා ක්‍රමයෙන් පුරුදු වේ.

කෝපය පාලනය කරගත නොහැකි දරුවෙකු යනු සරලවම දුක, වේදනාව, ඊර්ෂ්‍යාව, කලකිරීම වැනි හැඟීම්වලින් බියට හා කරදරයට පත්වූ දරුවෙකි. මෙහි එන මූලික ගැටලුව වන්නේ එකී හැඟීම්වලින් ආරක්ෂා වීම සඳහා එවැනි දරුවන් කෝපය මෙවලමක් කොටගෙන තිබීමයි. මෙවැනි දුර්වලතා චිකිත්සා මගින් මගහරවා ගත හැකි අතර දෙමව්පියන්ගේ නිරන්තර අවධානයද වැදගත් වේ. එලෙස කිසියම් අසාමාන්‍ය කේන්තියක් දරුවා තුළ දිගින් දිගටම පවතීනම් වෛද්‍යවරෙකු හෝ සුදුසු උපදේශන සේවාවක් වෙත යොමු කර එම උපදෙස් අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත් වේ.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ගර්භනී භාවයේදී ඇති වන අපහසුතා හා ඊට පිළියම්

ගැබිනි සමයේ කාන්තාවකට නොයෙකුත් අපහසුතා ඇති වන බව අපි කොතෙකුත් කතා කට ඇති. ගැබිනි මවක් ආහාර හා සම්බන්ධව වගේම ඉරියව් පිළිබඳවත් සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ගැබිනි සමයේ ඇතිවන බොහොමයක් සංකුලතා දරු ප්‍රසුතියත් එක්කම මග හැරී යාමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. අපි මේ ලිපියේදී පේෂී පද්ධතිය ආශ්‍රිතවත් ජනන මුත්‍රල පද්ධතිය ආශ්‍රිතවත් ගැබිනි මවකට ඇති විය හැකි අබාධ තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කරමු.

පේශී පද්ධතිය ආශ්‍රිතව ගැබිනි සමයේ ඇති විය හැකි ආබාධ

කොන්දේ වේදනාව – Back Pain :

backe-pain-in-pregnant-mother

ක්‍රමානුකූලව ඇති වන බර වැඩිවීමත් සමගම හා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීමෙන් දුර්වල උදර පේශී ඇදීමත් සමඟ මෙම කොන්දේ වේදනාව ඇති විය හැකිය

මෙම තත්ත්වය යම් ප්‍රමාණයකට මඟහරවා ගැනීම සඳහා,

  • ස්ථාපිත පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වීම
  • ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම පිළිබඳ සැමවිටම කල්පනාකාරී වීම
  • ඉඳ ගැනීම, හිට ගැනීම, වැතිරීම හා සාමාන්‍ය චලනයන් සිදු කිරීම
  • සැමවිටම පහසු ඉරියව් භාවිතය
  • හාන්සි වීමෙන් පසු කකුල යටින් කොට්ට තබා එසවීම

කෙණ්ඩා පෙරලීම :

මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ පාදයේ කෙණ්ඩා පේශියේය. රාත්‍රී කාලයේදී වැඩි විය හැකිය. මෙයද ගැබිනි මව්වරුන් අතර සුලබ තත්ත්ත්වයකි. මෙයට නිශ්චිතවම හේතුවක් කිව නොහැක. නමුත් පහත සඳහන් පහත සඳහන් තත්වයන්ගේ වෙනස් විඅ නිසා මෙය සිදු වන බව විශ්වාස කෙරේ.

  • විටමින් B හා කැල්සියම් අඩුවීම
  • රුධිරය නිසි ලෙස නොලැබීම
  • රුධිරයේ PH අගය වෙනස්වීම
  • විද්‍යුත් ශ්ලඨක (සෝඩියම් පොටසියම් වැනි අයන)

මෙම තත්ත්තවය මඟහැරවීමට නම්,

  • රාත්‍රියට නින්දට පෙර කකුල උණු ජල බඳුනක් තුළ දමා මෘදු ලෙස චලනය කිරීම
  • නිදන විට ඇඳේ පා දෙසින් 20cm-25cm එසවීම
  • වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය විටමින් B සංකීර්ණය හා කැල්සියම් නිසි අයුරින් ලබා ගැනීම
ලිංගික පද්ධතිය හා මුත්‍රල පද්ධතිය :

මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම :

මෙය පළමු වරට ඇති වන්නේ ගැබිනි සමයේ පළමු කාර්තුවේදිය. දිනෙන් දින ගර්භාෂය වැඩෙනවාත් සමගම  එමගින් මුත්‍රාශයට යෙදෙන පීඩනය මෙයට හේතුවයි. පළමු කාර්තුව අවසන් වීමත් සමගම ගර්භාෂය උදරයේ ඉහළට ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඉබේම මඟහැරේ. එසේ වුවද මෙම තත්ත්වය නැවත ඇතිවිය හැකිය. ඒ ප්‍රසුතිය ආසන්නයේදී දරුවාගේ හිස යෝනි කුහරය තුළට ඇතුළු වීම නිසාය. මේ කාලවලදී ගැබිනි මවකට මුත්‍රා ආසාධන වරින් වර ඇති විය හැකි අතර එය හඳුනා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

Leu Korrhoea :

ගැබිනි සමයේදී වේදනාවක්, කැසීමක් ඇති නොවී සුදු පැහැති යෝනි ශ්‍රාවයක් ශ්‍රාවය වීම මේ තත්ත්වයයි. පෞද්ගලික පවිත්‍රතාවය රැකගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් ඒ පිළිබඳව උපරිම අවධානය යොමු කිරීමත් මෙහිදී වැදගත් වේ. සාමාන්‍යයෙන් දිනකට 3-4 වතාවක් සාමාන්‍ය ජලයෙන් පිරිසිදු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකිය. එසේම,

  • කපු යට ඇඳුම් ඇදීම
  • තද යට ඇඳුම් නොඇඳීම
  • කැසීම, වේදනාව ඇත්නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම කල යුතුය.
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ දරුවාත් ඉවරයක් නැතිව TV බලනවද?

මාස නවයක් පුරාවට මව්කුස සිට මෙලොව එලිය දකින ඔබේ දරුවා දිනෙන් දින ගතවන කාලයත් සමග ශාරීරිකව මෙන්ම මානසිකව වැඩෙන්නට පටන් ගනියි. තමන් අවට වටපිටාවෙන් අසන්නට දකින්නට ලැබෙන දේ හරහා විවිධ දේ උගනියි. අත්දැකීම් ලබයි. මෙම කාලය දරුවෙකුගේ මානසික වර්ධනය නොඑසේනම් බුද්ධි වර්ධනය වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම බලපාන කාලසීමාවක් වන අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානයද නිරන්තරව ලැබිය යුතුය. බුද්ධි වර්ධනය යනු දරුවෙකුගේ මොළය නිසි ආකාරව ක්‍රියාකිරීමයි. එනම් දරුවාට දැනීම, කතා කිරීම, සිතීමේ හැකියාව, ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව, නව දැනුම සොයායාම සහ ඉගැනීම ආදිය වර්ධනයයි.

නමුත් වර්තමානය වනවිට බොහෝ මව්වරුන් දරුවන්ගේ මෙම බුද්ධි වර්ධනය සම්බන්ද වැඩි අවධානයක් යොමු කරන බව නොපෙනේ. හඬමින් සිටින දරුවන් වත්තම් කර ගැනීමට ඔවුන් වඩ වඩාත් රූපවාහිනිය වෙත යොමු කිරීම හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීම මෙයට ප්‍රධාන වශයෙන් හේතුවන අතර එය අද වනවිට සෑම නිවසකම පාහේ සුලබව දැකිය හැකි වැරදි පුරුදු අතරින් එකකි. වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග දරුවා නැලවෙන්නේත්, ආහාර ගන්නේත්, තනිය මකා ගන්නේත් රූපවාහිනිය හෝ වීඩියෝ පටයක් සමගය. දිනකට පැයකට හෝ දෙකකට වඩා රූපවාහිනිය අසල සිටින දරුවෙකුගේ ස්නායු සෛල වර්ධනය වීම අඩාළ වන අතර එවැනි දරුවෙකු දක්ෂ දරුවෙකු වීමට පවතින ඉඩකඩද සීමිත වේ. විශේෂයෙන්ම රූපවාහිනිය යනු ළමා මනස ආක්‍රමණය කරන මාධ්‍යක් වන අතර එය දරුවෙකුගේ බුද්ධි වර්ධනය අඩාල කරවන මෙවලමක් බවද මේ වනවිට පරීක්ෂණාත්මකව සනාථ වී ඇත.

සාමාන්‍යයෙන් මොලය සෑදී ඇත්තේ සියුම් අතු ඉති රාශියක් සහිත ස්නායු සෛල බිලියන ගණනාවකිනි. ඒවා අතර පරතරයක් ඇති අතර ස්නායු සෛල දෙකක් අතර ඇති මෙම පරතරයන් එනම් සන්ධි හරහා විදුලි ධාරා ගලායයි. ඒ අනුව සන්ධි ගණන වැඩි වනවිට ඒ හරහා ගමන් කරන පණිවුඩ හුවමාරුව වැඩි වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයද වර්ධනය වේ. සන්ධි සෑදීමට නම් ස්නායු සෛලවල අතු ඉති ලියලීම සිදුවිය යුතු අතර ඒ සඳහා ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරුව වැඩිවන විට ස්නායු සෛල උත්තේජනය වීමක් සිදුවිය යුතුය. එවිට ශීඝ්‍රයෙන් සන්ධි නිර්මාණය වන අතර ඒ මගින් දරුවෙකුගේ බුද්ධි වර්ධනයද වැඩිවීමක් සිදුවේ.

img 01

දරුවෙකුගේ බුද්ධි වර්ධනය සාමාන්‍යයෙන් මව් කුස තුලදීම ආරම්භවන අතර ඔවුන්ගේ ස්නායු සෛල උත්තේජනය වීමට නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පන්චේන්ද්‍රයන් නිසියාකාරව ක්‍රියාකරවීමට සැලැස්විය යුතුය. දරුවෙකු ඉපදීමෙන් අනතුරුව ඔවුන්ට ලබාදෙන උත්තේජන අනුව ඔවුන්ගේ ක්‍රියාරකම්වල වෙනසක් දක්නට ලැබීම සාමාන්‍ය කරුණකි. රූපවාහිනිය නැරඹීමේදී ක්‍රියාත්මක වන්නේ දරුවාගේ ඇසත් කණත් පමණක් බව අප අවධානයට ගත යුතුය. එසේම එයට පෙරළා ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවද දෙමව්පියන් මතකයේ තබා ගතයුතුය. රූපවාහිනිය යනු දැනුම් සම්භාරයක් ලබා ගතහැකි මාධ්‍යක් වුවත් අද බොහෝ දෙමව්පියන් දරුවන් සමග  හිඳ නරඹන්නට පුරුදුව සිටින්නේ අගක් මුලක් නොමැති පවුල් ප්‍රශ්න රැගත් මෙගා ටෙලිනාට්‍ය වීම මෙහි එන බරපතලම කාරණයයි.

වර්තමානය වනවිට රූපවාහිනියේ ප්‍රචාරය වන ළමා කාටුන් යැයි කියාගත් බහුතරයක පෙන්වන්නේද ඊර්ෂයාව, ප්‍රචණ්ඩත්වය, ක්‍රෝධය සහ තවකෙකු පරයා නැගීසිටීම වැනි සංකල්පයන්ය. ඔබේ දරුවන්ගේ මනස පෝෂණය වන්නේ එවැනි දෑ වලින්නම් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දරුවාගෙන් කිසි ලෙසක හෝ අපේක්ෂා නොකළ හැකි බවද දෙමව්පිය ඔබ මතක තබා ගත යුතුය. සාමාන්‍යයෙන් දරුවෙකු මත් පැන් සහ දුම්වටිවලට යොමුවීමට එලෙස රූපවාහිනියේ මවා පෙන්වන දෑ ඉවහල් වන බව සත්‍යකි. එනිසා දරුවා රූපවාහිනිය වෙත හුරු කරවීම වෙනුවට වෙනත් ප්‍රයෝජනවත් කාර්යක ඔහුව හෝ ඇයව යෙදවීමට දෙමව්පියන් උත්සහ ගැනීම වරදක් නැත.

children-at-kitchen

ඒ අනුව දරුවා පුර්ණකලිනව රූපවාහිනිය වෙත යොමු කරවීම හෝ ඈත්කරවීම වෙනුවට තෝරාගත් ප්‍රයෝජනවත් වැඩසටහන් පමණක් නැරඹීමට අවස්ථාව ලබා දිය හැකිය. රූපවාහිනිය නිවසේ සාලයේ තැබීමෙන් වලකින්න. ඔබේ දරුවාට නිවසේදී කල හැකි පුංචි පුංචි රාජකාරී කටයුතු පැවරීමද සිදුකළ හැක. උදහරණ ලෙස  අතු පතු ගෑම, උයන පිහන කටයුතුවලදී දරුවන් එක් කර ගැනීම වැනි ක්‍රියාකාරකම් පෙන්වාදිය හැක. ඔවුන් එම රාජකාරිය සියයට සියයක්ම නිවැරදිව නොකලත් ඔවුන්ව අගයමින් අඩුපාඩු පෙන්වා දෙන්න. මෙවැනි අමතර රාජකාරියක නියැලීම තුලින් දරුවන්ට ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනිය අමතකව යාමක් සිදුවේ. දරුවන් ආහාර ගන්නා විට රූපවාහිනිය ක්‍රියාත්මක කර දීම වෙනුවට පවුලේ සියලු දෙනා එක්ව ආහාර ගන්න. එමගින් පවුලේ අය අතර බැඳීම වර්ධනයටද තව තවත් අවස්ථාව උදාවේ. කතාන්දර පොත් කියවීම මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශ වලට දරුවා හුරු කරවීම මගින් මෙන්ම පරිසරයේ ගහ කොළ සතා සිවුපාවන් දෑසින් දැකීමටත් ශබ්දවලට සවන් දීමටත් අවස්ථාව සලසා දීම මගින් ඔබේ දරුවන් රූපවාහිනිය වෙත ඇබ්බැහි වීම වලක්වා ගත හැකි අතර ඔවුන්ගේ බුද්ධි වර්ධනය වැඩි කරගැනීමටද උදව්වක් කරගත හැකිය. දරුවන්ව සුරතල් කිරීම කතාන්දර කියාදීම මෙන්ම ඔවුන්ට ආදරය දැක්වීම මගින්ද දරුවන්ගේ රස වින්දනය සේම යමක් තාර්කිකව සිතීමේ හැකියාවද වර්ධනය වේ.

මෙවැනි සුළු ක්‍රියාකාරකම් තුලින් දරුවන්ගේ ස්නායු සෛල උත්තේජනය වන අතර ඒ හරහා ඔවුන්ගේ බුද්ධි වර්ධනය ශීඝ්‍රයෙන් වර්ධනය කරගත හැකිය. එනිසා ඔබේ වැඩි පහසුව වෙනුවෙන් දරුවා රූපවාහිනිය වෙත තල්ලු කරනවා වෙනුවට ඔවුන්ට වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමට කුඩා කල සිටම හොඳ පුරුදු වෙනුවෙන් යොමු කරවන්න. එය ඔබෙත් දරුවාගේත් හෙට දවස වඩාත් සුරක්ෂිත කරනවාට සැක නැත.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ගැබිනි සමයේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු අවම කරගනිමු

ගැබිනි සමය කාන්තාවකට යම් තාක් දුරට අපහසුතා ගෙන එන කාල සීමාවක්. එක් එක් කාන්තාවගෙන් කාන්තාවට මේ තත්ත්වයන් වෙනස් වුවත් බහුතරයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුය. පෙර ලිපියකදී ගැබිනි සමයේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන අපහසුතා පිළිබඳව අප සාකච්ජා කළ බව ඔබට මතක ඇති.මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නට බලා පොරොත්තු වන්නේ ගැබිනි මවකට ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි ගැටලු සම්බන්ධවයි.

ක්ලාන්තය – Faintishness

ප්‍රෝජෙස්ටෙරෝන් හෝමෝනයේ බලපෑමෙන් වාහිනී විස්තාරණය වීම නිසා සංසරණය වන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා මේ තත්ත්වය ඇති වේ.සංසරණය වන රුධිර ප්‍රමාණය වැඩි වීමත් සමග මෙම තත්ත්වය අඩු වේ. දිගු කාලයක් වාඩි වී සිටීම, හිටගෙන සිටීම, වැතිර සිටීමේදී මෙය දැනේ.ගර්භනීතාවයේ පසු කාලයේදී මෙම ක්ලාන්තය ඇති වන්නේ ගර්භාෂයේ පේශී මගින් අපරමහා ශිරාවට පීඩනය යෙදීමෙන් හෘදයට යන රුධිර ප්‍රමාණයේ වේගය අඩු වීම නිසාය. මෙහිදී උඩු අතට වැතිර සිටීමෙන් වැළකිය යුතුය.

නහර ගැට ගැසීම – Vericostis

ප්‍රොජෙස්ටෙරෝන් මගින් ශිරාවල සිනිඳු පේශී ඉහිල් වී රුධිරය සෙමින් සංසරණය වී නිසා විස්තාරණය වූ ශිරාවල ඇති කපාටවල කාර්යක්‍ෂමතාවය අඩු වේ. මෙම තත්ත්වය ඇති වන්නේ එවිටයි. පාදයේ, ගුදයේ (අර්ශස්) හා යෝනි ප්‍රදේශයේ දැකිය හැක. ගුදයේ ඇති වන මේ තත්ත්වය අර්ශස් ලෙස හඳුන්වයි.

මෙම තත්ත්වය අඩු කරගැනීමට,

  • කෙණ්ඩා පේශියට ව්‍යායාම ලබාදීම
  • පාදයේ ඇඟිලි ඉහළට එසවීම හා වළලුකර වක්‍රාකාරව කැරකීම
  • තද මේස් පැලදීම
  • මල බද්ධය වළක්වා ගැනීම
පාදවල ඉදිමුම – Oedema

img-001

ශිරා රුධිරය හා වසා වාහිනි තුළ වසා තරලය රැඳීම නිසා මෙම තත්ත්වය හා ගන්නා බව පැවසේ. රුධිරය හා තරලවල ඇති ආස්‍රැති පීඩනය වෙනස් වීම කේශ නාලිකාවල පාරගම්‍යතාවය වෙනස් වීම ද මෙයට හේතු විය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය සිද්ධියක් වුවද මවට අධික රුධිර පීඩනය (Hypertension) පවතින විටද ඇති විය හැකි තත්ත්වයකි. මේ නිසා රුධිර පීඩනය පරීක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වේ.
පාදවල ඇති වන සාමාන්‍ය ඉදිමාව අඩු කරගැනීමට :

  • පාද ඔසවා තැබීම
  • මව වම්පස ස්ථාපිතයට හැරී නිදා ගැනීම
  • වාඩි වී සිටින විට පාද එල්ලා වැටෙන සේ නොසිටීම
සම මත වෙනස්කම්

img-002

සම මත කැසීම, උදරය මත ඉරි ඇති වීම (විලේඛ) ගැබිනි මවකගේ සම මත දැකිය හැකිය. ගර්භනීභාවයේ ඇති හෝමෝන සඳහා අක්මාව දක්වන ප්‍රතිචාරයක් ලෙස මේ තත්ත්වයන් ඇති වන බව සිතයි. එසේම රුධිරයේ පවතින බිලි රුබින් ප්‍රමාණය වැඩි වීමද සම මත කැසීම ඇති වීමට හේතු වන බව පැවසේ. මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත ප්‍රති හිස්ටමින ඖෂධ (Anti histamine) භාවිත කළ හැක.

නින්ද නොයෑම – Insomnia

භ්‍රාණ චලන, මුත්‍රා පිටවීම වැඩිවීම,  සුව පහසු ඉරියව්වක් සෙවීම අපහසු වීම ආදි කරුණු හේතුවෙන් ගැබිනි මවකට සුව පහසු සුපුරුදු නින්ද අහිමි විය හැකිය. එසේම දරු ප්‍රසූතිය පිළිබඳව ගැබිනි සමයේ ඇතිවෙන බිය හා කාංසාව නිසා ද සුව පහසු නින්ද මවකට අහිමි විය හැකිය. මෙම තත්ත්වය තරමක් දුරට මඟහරවා ගැනීමට නම්,

  • හවස් වරුවේ විවේක ගැනීම
  • නින්දට පෙර උණුසුම් පානයක්/උණුසුම් කිරි වීදුරුවක් පානය
  • පැත්තට හැරී වැතිරෙන විට උදරයට කොට්ට තැබීම
  • බිය හා කාංසාව මගහැරීමට ඒ පිළිබඳව දැනුවත් වීම හා කතා කිරීම
අත්ල හිරිවැටීම  – Carpel Tunel Syndrome

img-003

අත්ල හිරි වැටීම, ඉඳි කටුවකින් අනින ලෙස අතට හා ඇඟිලිවලට දැනීම, යමක් අල්ලන විට අතහැරීම ආදිය මෙම තත්ත්වයෙහි ඇති ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් මේ තත්ත්වය දැකිය හැක්කේ උදෑසනයි.  නමුත් දවසේ වෙනත් වේලාවන්වලදී වුවද ඇති විය හැක. තරලය එකතු වීමෙන් ඇතිවන ඉදිමුම හේතුවෙන් මධ්‍ය ස්නායුව (Median Nerve) තෙරපීමට ලක්වීම මෙයට හේතු වේ.

මේ තත්ත්වය අවම කර ගැනීමට :

  • අත කොට්ට දෙකක් තුනක් මත තබා ඔසවා තැබීම.
  • ලුණු සීමා කිරීම.
  • අත හිසට ඉහළින් ගෙන ඇඟිලි නැවීම වැනි වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුය.
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ගැබිනි මවකට ඇතිවන මේ අපහසුතාවලට පිළියම් නැද්ද?

ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා

ගැබිනි සමයේ බහුතරයක් කාන්තාවන් බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. සිරුරේ ඇති වන වෙස්කම් සමගම ඇති වෙන මේ තත්ත්වයන් නිසා ඇතැම් විට දෛනික ජිවිතයේ වැඩ කටයුතු බොහොමයක් වෙනස් වෙන අවස්තාවනුත් ඕනේ තරම් ඇති. ඉතින් අපි බලමු මේ වෙනුවෙන් පුංචිම හරි පිළියමක් නැද්ද කියලා. එහෙනම් අපි ඇද කතා කරමු ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා සහ ඒවා අවම කර ගැනීමට යෙදිය හැකි පිළියම් පිළිබඳව.

ඔක්කාරය හා වමනය – Nausea & Vomiting

img-001

සිරුරේ හෝමෝන හා මව තුළ ඇති වන චිත්තාවේගීය වෙනස්කම් නිසා ඇති වන මෙම තත්ත්වය කාන්තාවන්ගෙන් 50% කට පමණ ගර්භනී සමයේ පළමු කාර්තුව එනම් භාවයට සති 4-16 දක්වා කාලයේදී ඇති වේ. HCG නම් හෝමෝනය (Human chorionic Gonadotropin) මුල් මාස 3 තුළ බහුලව පවතින අතර මීට අමතරව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මෙම උදා වමනයට බලපායි. ඔක්කාරය හා වමනය යන මේ තත්ත්වය බහුලව දැකිය හැක්කේ උදෑසන වුවත් දවසේ ඕනෑම වේලාවකදී ඇති වීමටද හැකියාව ඇත. කෙසේ වුවද ආහාරවල ගඳ සුවඳ, ආහාර පිසීමේදී ඇති වන සුවඳ මෙම තත්ත්වයන් වැඩි කිරීමට බලපායි.

ඔක්කාරය හා වමනය තත්ත්වය උග්‍ර වීම වැළක්වීමට,

  • නිදාගන්නා විට කොටට් කිහිපයක් තබා හිස දෙසින් එසවීම. දකුණට හැරී වැතිරීම.
  • උදෑසන අවධි වී ඇඳෙන් නොබැස කර කළ පාන්, සීනි අඩු බීම, මේදය හා ප්‍රෝටීන අඩු පහසුවෙන් දිරවිය හැකි ආහාරයක් ගෙන පැය ½ පමණ වැතිර සිට ඉන්පසු ඇඳෙන් බැසීම.
  • ගැබිනි මව ගන්නා ලද ආහාර සියල්ලම වමනය නිසා පිට වෙයි නම් ආහාර වේල් ගණන වැඩි කිරීම.
  • අධික කුළු බඩු සහිත ආහාර ගැනීමෙන් වැලකීම.
  • කිරි ආහාර ගැනීමට උනන්දු කිරීම.
  • මෙම තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රති ආම්ලික ඖෂධ (Antacid) ගැනීම.
අධික ලෙස ඛේටය ශ්‍රාවය වීම – Excessive Salivation/Ptyalism

img-002

මේ තත්ත්වය ගර්භයට සති අට පමණ වන විට දී හෝමෝනවල බලපෑම හේතුවෙන් ඇතිවන අතර මාස 3 පසු වූ පසු සාමාන්‍යයෙන් අඩු වීමක් සිදු වේ.

අඟුරු, හාල් වැනි දේ කෑමට රුචි වීම – Pica

මෙයට හේතුවක් නොදන්නා අතර හෝමෝන හා පරිවෘත්තීය වෙනස්කම් මීට හේතු වන බව විශ්වාස කෙරේ. මව ගන්නා දෑ දරුවාට හානියක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

මල බද්ධය – Constipation

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් බඩවැල් ක්‍රමාකුංචනය (හැකිලීම) අඩු කිරීම හේතුවෙන් බඩවැල් තුළ ඇති සිනිඳු පේශී ඉහිල් වීම නිසා මෙම තත්ත්වය ඇති වේ. විශාල වන ගර්භාෂය මගින් මහන්තක තුළට ඇති වන පීඩනය නිසා මෙම තත්ත්වය වැඩි වේ. ගර්භනීභාවයේදී ගන්නා යකඩ පෙති (Fersolate) නිසා ද මල බද්ධය ඇති වේ. මෙම තත්ත්වයන් මඟහැරීම සඳහා,

  • දියර වර්ග වැඩිපුර ගැනීම
  • කොළ පැහැති එළවළු, පළතුරු, ධන්‍ය වර්ග ආහාරයට එක් කිරීම
  • ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදීම
  • උදෑසන ආහාරයට හෝ කිරි වීදුරුවට පෙර උදෑසන උණුසුම් ජලය පානය කිරීම. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වීම නිසා ක්‍රමානුකූල චලන ඇති වේ. මළ හොඳින් පිට වේ
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ දරුවාත් අනවශ්‍ය ලෙස උදාසීනද?

දරුවන් කියන්නේ හරිම ක්‍රියාශීලි පිරිසක්. එක විනාඩියක් එක තැනක ඉන්න බැරි තරමට සමහර දරුවන් හරිම දඟයි. ඒ අතරේ ඔබට ඉන්නේ කාටවත් හිරිහැරයක් නොකරන අහිංසක දරුවෙක් විය හැකියි. එය බොහොම සාමාන්‍ය දෙයක්. සෙල්ලමට හැරුණු විට පොත පතේ වැඩ සඳහා දරුවන් තරමක උදාසීන ගතියක් දැක්වීම එතරම් කලබල වියයුතු කාරණාවක් නොවුනත් ඔබේ දරුවා අනවශ්‍ය ලෙස උදාසීන නම් එය තරමක අවධානය යොමුකළ යුතු කාරණයක් බව මතක් කර සිටිය යුතුය.

එවැනි අවස්ථාවක දෙමව්පියන් ලෙස ඔබ වඩ වඩාත් දරුවන්ට ලංවෙමින් ඔවුන්ව තේරුම් ගැනීමට උත්සහ කරනවා විනා අනවශ්‍ය ලෙස තරවටු කිරීමෙන් පලක් නොවන බව වටහා ගත යුතුය. විශේෂයෙන්ම දරුවන්ට ව්‍යාජ ලෙස තරවටු කිරීමට යාමෙන් වැළකිය යුතුය. “කියන දේ ඇහුවේ නැත්තන් අද ටීවී එක බලන්න දෙන්නේ නෑ” යන්න නිරන්තරයෙන් දෙමව්පියන් පවසන අවස්ථා ඔබටත් ඇසී ඇති. නමුත් එය එසේ කියා ක්‍රියාවට නොනැගුණ විට දරුවන් එය කෙසේ කීවත් කිසිදා නොලැබෙන දඬුවම් ලැයිස්තුවට එකතු කරගන්නවා ඇත. එනිසා නැවත වතාවක් එයම පැවසීමෙන් කිසිදා ඔබට දරුවා අවනත කර ගැනීමක් කල නොහැකිය.එවැනි තරවටුවක් කළහොත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතු අතර රූපවාහිනියට, පරිගණකයට කාලය නොදීම ඒ අතරින් ලබා දිය හැකි හොඳම දඬුවම් ක්‍රම වේ. දරුවා සමග බහින් බස් වීම කිසිවිටකත් සිදු නොකළ යුත්තකි.

දරුවන් සැබවින්ම උදාසීන නොවේ. යම් මොහොතක ඔවුන් එලෙස අක්‍රීය වන්නේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ඇති වූ කේන්තියක් හෝ දෙමව්පියන් තුල බලපෑමක් ඇති කිරීමේ උවමනාවෙන් විය හැක. දරුවන් සමග ගණුදෙනු කිරීමේදී ඔවුන් කෙරෙහි නිත්‍ය පාලනයක් තබා ගත යුතු සේම සුදුසු සුළු දඬුවමක් ලබා දීමේ වරදක් නැති නමුත් උදාසීන දරුවන්ට කිසිවිටක බැන වැදීම් නොකළ යුතුය.

ඔබේ දරුවා උදාසීන වන විටක එකම දෙය නැවත නැවත ඉල්ලා සිටීමෙන්ද වැළකිය යුතුය. දෙමව්පියන් වරක් යමක් ඉල්ලා එයට දරුවන් එකවර ප්‍රතික්‍රියා නොදැක්වූ විට දෙවන වරක් ඉල්ලීමට පෙළඹෙයි. දෙමව්පියන් මෙලෙස එකම දෙය දෙවතාවක් ඉල්ලා සිටින්නේ එය වැදගත් යමක් වන නිසා බව සිතන දරුවන් ප්‍රතිචාර නොදක්වා සිටීමට පෙළඹෙන අවස්ථාද ඇත. එනිසා එම පුරුද්දෙන් වැලකී සෑමවිටම එක්වරක් පමණක් ඉල්ලීම් කර එතනින් නික්ම යන්න. දරුවා එක්වරම ඊට ප්‍රතිචාර නොදැක්වුවත් එහි ප්‍රතිපලයක් තිබිය හැකිය.

උදාසීන දරුවන්ව කිසිවිටක උපහාසයට ලක්කිරීමෙන් වැළකිය යුතුය. ඔවුන් සමග නිතර ළඟ රැඳෙමින් ආදරය දැක්විය යුතු අතර පාසලේදී ලබා දෙන ගෙදර වැඩ කිරීමට නිරන්තර සහයෝගය දෙන්න. ඒ අතරතුර එහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දීමක්ද කල හැක. දරුවාට පාසලෙන් නිවසේදී කිරීමට දෙන ගෙදර වැඩ සඳහා කාලසටහනක් නිර්මාණය කර දිය හැකිය. නියමිත වෙලාවක් වෙන්කර දී එම කාලය තුල වෙනත් ක්‍රියාකාරකමක නියැලීමට ඉඩ ලබා නොදෙන්න. ඒ වෙනුවෙන් දරුවා දිගින් දිගටම මැලිකමක් දැක්වුවත් කිසි ලෙසකින් වෙනත් ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඔවුන්ට අවස්ථාව ලබා නොදීමට වගබලා ගත යුතුය. ඒ සඳහා දෙමව්පියන් වශයෙන් ඔබෙන් ලැබිය යුතු සහයෝගය නොමදවම ලබා දෙන්න.

එලෙසම දරුවන්ගේ හොඳ වර්ණනා කිරීමට නිරන්තරව පෙළඹිය යුතුය. පාසලේ විෂයන් වෙනුවෙන් වැඩියෙන් ලකුණු ලබාගත් අවස්ථාවන් හිදී ත්‍යාගයක් ලබා දීමෙන් ඔවුන් තව තවත් දිරිමත් කරන්න. අසමත්ව්ම් වලදී  බැනවැදීම වෙනුවට දරුවා සමග රැඳෙමින් ඔවුන්ව දිරිමත් කරන්න. දරුවන් පාසලෙන් ලබාදුන් ගෙදර වැඩ කිරීමට මැලිවන අවස්ථාවන් වලදී එහි වගකීම දරුවන්ටම බාර දෙන්න. හොඳින් වැඩ කළහොත් ඉහල ලකුණු මට්ටම් වලට යා හැකි බවටත් එසේ නොමැති විට අසමත් වීමට සිදුවන බවටත් ඔවුන්ට වටහා දෙන්න. කැමති තීරණයක් ගැනීමට එහිදී දරුවන්ට අවස්ථාව ලැබෙන අතර අසමත් වීමට ඇති අකමැත්ත නිසා ඔවුන් වැඩ කිරීම වෙනුවෙන් පෙළඹෙනු ඇත.

ඔබ රැකියාවක යෙදෙන මවක් හෝ පියෙකු නම් සතියට දවසක් හෝ වේලාසන නිවසට ඒමට උත්සහ ගන්න. හැකි සෑමවිටම දරුවා සමග රැඳෙමින් කාලය ගත කිරීමට පෙළඹිය යුතුය. දරුවන් සමග ඇවිදින්නට යාම, ඔවුන් කැමති ක්‍රීඩාවක නිරත වීම, පරිගණකයේ රැඳී සිටීම හෝ රුපවාහිනිය නැරඹීම වැනි ඔවුන් ප්‍රිය කරන ක්‍රියාකාරකම්වලට යොමුවීමද වඩා වැදගත් වේ.

දරුවන් සමග ගනුදෙනු කිරීමේදී ආදරය සහ ඉවසීම මූලික කරගන්න. බැනවැදීම්වලින් තොර වී ආදරයෙන් කරුණු පහදා දෙන්න. නිරන්තරව දරුවා සමග රැඳෙමින් කටයුතු කිරීම ඔවුන්ගේ උදාසීන බව මග හරවා ගැනීමට නිසැක මගක් කරගන්න.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

බබා ලැබුනට පස්සේ කොන්දේ කැක්කුමක් ඇවිත්ද?

අලුත විවහාපත් ඕනෑම යුවලක් තම ආදරය තව තවත් ශක්තිමත් කරමින් පවුල අංග සම්පූර්ණ කරන්නට දරුවෙකු පැමිණෙන තුරු දහසක් බලපොරොත්තු සහගතව බලා හිඳි. දරු පැටියෙකු නිවසට කැන්දන සිහිනය ඉටු වූ දින අසීමිත සතුටකින් කිරි සුවඳකින් පිරෙන නිවස බොහොම සුන්දරයි. නමුත් ප්‍රසූතියෙන් පසු මවකගේ වැරදි ඉරියව් මේ සුන්දරත්වය විඳ ගන්නට බාධාවක් විය හැක්කේ සැබවින්ම නිවැරදි ඉරියව් පිළිබඳව ඇති අනවබෝධය නිසයි.

ගැබිනි මවක් නිවැරදි මග පෙන්වීම යටතේ ව්‍යායාමවල නිරත විය යුතු බව මින් පෙර ලිපිවලදීත් අපි ඔබව දැනුවත් කර සිටියා. ඒ දරු ප්‍රසූතිය පහසු වීම සහ නොයෙකුත් වේදනා නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමටයි. කෙසේ වුවද සාමාන්‍ය ප්‍රසූතියක් හෝ සිසේරියන් සැත්කම මගින් සිදු කෙරෙන ප්‍රසූතියක් වුවද සංකූලතාවන් නොවේ නම් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට ගැටළුවක් නොවේ. ඒ වගේම පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත යමින් ඉතාම සරල පහසු ව්‍යායාම කිහිපයක් සිදු කිරීම උචිතය.

ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඇතැම් විට ඔබ කෙතරම් නිවැරදි ඉරියව් යොදා ගත්තද කොන්දේ වේදනාව වැනි තත්ත්වයන්  ඇති විය හැකි අතරම සාමාන්‍ය ජිවිතයේ කාර්යබහුල බව මෙම වේදනාකාරී තත්ත්වයන් තවත් සංකීර්ණ කරවයි. එනිසා ප්‍රසූතියෙන් පසු දරුවන්ගේ කටයුතුවලදී මෙන්ම එදිනෙදා කටයුතුවලදීත් නිවැරදිම ඉරියව් යොදා ගැනීම මෙන්ම නිවැරදි ව්‍යායාමවල යෙදීමත් අත්‍යවශ්‍යය.

කිරි දෙන මවකගේ බෙල්ලේ සහ කොන්දේ ඇතිවන වේදනාව

ළදරුවා කිරි බීමට ආරම්භ කිරීමත් සමගම මව්වරුන් අනුගමනය කරන වැරදි ඉරියව් නිසා බෙල්ල කොන්ද වැනි ස්ථානවල වේදනාව ඇති විය හැකිය.

ඇඳ මත වැතිර ඇලයට හැරී මවගේ එක් අතක් ගෙල හා හිසට ආධාරකයක් සේ තබා ගැනීමේදී මවගේ ගෙල ප්‍රදේශය හා කොඳු ඇටපෙල අනවශ්‍ය ලෙස වකුටු වීම එතරම් සුදුසු නොවන අතර දරුවාට කිරි උරා බීමට පහසු වන සේ මවගේ ගෙලට හා හිසට ආධාර වන පරිදි තරමක උස කොට්ටයක් යොදාගැනීම වඩාත් පහසුය.  තවත් කොට්ටයක් දරුවාගේ ඇඟට යටින් සිටින සේ භාවිත කරන්නේ නම් දරුවාට මෙන්ම මවටද අපහසුවක් නොදැනෙන අතර මවගේ ගෙල සහ උරහිස ප්‍රදේශයේ වේදනාවක් හට නොගනියි.

img-001

එසේම වාඩිවී දරුවාට කිරි ලබාදීමේදී දරුවා වෙත නැඹුරු වෙමින් කොන්ද කුදුවන ආකාරයේ ඉරියව්වක සිටීම කිසිසේත්ම නිවැරදි ඉරියව්වක් නොවේ. මව දරුවා වෙතට නොනැමී මවගේ ළය පෙදෙසට දරුවාගේ මුඛය ලඟා කර ගත යුතුය.

කොන්දේ වේදනාව

දරුවා වඩා ගැනීමේදී – වර්ධනයත් එක්ක දරුවන්ගේ බර ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ. මව හෝ පියා ලවා වඩවා ගැනීමට හැම දරුවෙක්ම බොහොම ප්‍රිය කරයි. මෙසේ දරුවන් වඩා ගැනීමේදී වැඩිහිටි ඔබ අනුගමනය කරන වැරදි ඉරියව් ඔබට කොන්දේ වේදනා ඇති කරවන්නට සමත් වනු ඇත. දිනෙන් දින වැඩිවන දරුවන්ගේ බර පිළිබඳ තැකීමක් නොකොට වැරදි ඉරියව්වල සිට ඔවුන්ව එසවීම දිගින් දිගටම සිදු වෙද්දී වේදනාව මෙන්ම රෝග තත්ත්වය දෙගුණ තෙගුණ වේ.  මව්වරුන්ට ඇතිවන කොන්දේ වේදනාවට ප්‍රධාන හේතුවක් වන්නේද මේ තත්ත්වයයි. ඇතැම් මව්වරු මේ තත්ත්වය පිළිබඳව සිතන්නේ දරු ප්‍රසූතියෙන් පසු ඇති වන සාමාන්‍ය තත්ත්වයක් ලෙසටයි. නමු එය ප්‍රසූතියෙන් පසු ඔබේ වැරදි ඉරියව් හේතුවෙන් ඇති වන තත්ත්වයක් බව වැටහ ගත යුතුය. ඔබේ ඉරියව් නිවැරදි කර නොගෙන වේදනා නාශක ලබාගැනීමෙන් පමණක් තත්ත්වය සුව කරගත් නොහැක.

img-002

තොටිල්ලක හෝ ඇඳක සිට දරුවෙකු වඩා ගැනීමේදී –  මෙහිදී කොන්දෙන් නැමී පහත් වී දරුවා එසවීමේදී දරුවා මවට මදක් දුරින් සිටින නිසා මවගේ කොන්දට අනවශ්‍ය පීඩනයක් ඇති වේ. එය කාලයත් සමග කොන්දේ වේදනාකාරී තත්වයක් ඇති කිරීමට සමත් වේ. ඒ නිසා තොටිල්ලේ හෝ ඇඳ මත සිටින දරුවා වඩා ගැනීමේදී හැකි තරම් දරුවාට සමීප විය යුතුය. තවද දරුවා සිටින උසට ගැලපෙන ලෙස දණහිසෙන් නැමී කොන්ද කෙලින් තබා  දරුවා ගෙන නැවත සිටගැනීමේ ඉරියව්වට ආ යුතුය. එසේම දරුවා නැවත තබන විටත් උසට ගැලපෙන පරිදි දණහිසෙන් නැවී හැකි තරම් අදාල ස්ථානයට සමීප වී දරුවා තැබිය යුතුය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක, ශ්‍රී ලංකා වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ ගෙදර බේබි පෘෆ් ද? 2 කොටස

නාන කාමරය හා වැසිකිලිය දැන් හැම ගෙදරකම වගේ තියෙන්නේ නිවස තුලමයි. ඒ හැරෙන්නට ප්‍රධාන නිදන කාමරයට ඇඳු නාන කාමර දැන් බොහෝ ගෙවල් වල තියෙන නිසා දනගාගෙන යන,වැටි වැටි ඇවිදින ඔබේ සිගිත්තා නාන කාමරයට ඇතුළු වීම වළක්වාලන්න. ලිස්සා වැටි සිදුවන අනතුරුවලට වඩා බොහෝ අනතුරු නාන කාමරය ආශ්‍රිතව සිදුවෙන්න පුළුවනි. කොමෝඩ් එකට එබෙන්නට ගොස් සිදුවිය හැකි අනතුරු…. රස්නේ වතුරකරාමය  විවෘතකිරීම නිසා ඇතිවියහැකි පිළිස්සීම්…වතුර බේසම් වලට වැටීම් වැනි අනතුරුත් නාන කාමරයට ඇතුළුවීම වැළකීමෙන් නවතගන්නට පුළුවනි. මේ හැරුනාම නාන කාමරය කියන්නේ රසායනික ද්‍රව්‍ය බහුල ස්ථානයක්.පිරිසිදු කිරීම් සදහා යොදාගැනෙන රසායන ද්‍රව්‍ය බොහොමයක් ඔබේ දරුවට නිදහසේ අතපත ගන්නට හැකි තැනක්. මේ නිසා නාන කාමරය දරුවට තනිව ඇතුළුවිය නොහැකි තැනක් බවට පත් කරන්න.

ගෙදර භාවිතා කෙරෙන සියලු රසායනික ද්‍රව්‍ය , පිරිසිදු කිරීම් ද්‍රව්‍ය, ගම් වර්ග , ගෘහස්ත කෘමි නාශක , මදුරු විකර්ශන සියල්ල යතුරු ලන කබඩ් එකක උඩ තට්ටුවක අසුරා තබන්න.ගෙදර සියලු බෙහෙත්, කොලොන් වර්ග දරුවාට ලං වෙන්න බැරි උස කබඩ් එකක අසුරා තබන්න.

කුස්සිය කියන්නේ දරුවන්ගේ ඇස් දෙකට ඉමිහිරි ආකර්ශනීය ලෝකයක්. අඩි 1-2 අතර උසක සිට දකින විටදී  මේ අකර්ශනියත්වය තවත් දෙගුණ තෙගුණ වෙනවා.අම්මා දිය සහ ගිනි එක්ක යමා මහා පෙළහර පානවා දකින දරුවෙකුට කුස්සියට ඇතුල් වෙන්න ඇති කරවන්නේ නොඉවසිලි කුතුහලයක්. මේ නිසා කුස්සියේ දොරටුවට වැටක් හෝ ගේට්ටුවක් දැමිම ඉතා නුවණක්කාර වැඩක්.වැටක් තිබ්බත් නිතරම කුස්සියේ පිහි සහ ආයුද සියල්ල උඩ ලාච්චුවක දමා තබන්න. කෑම වළන් හොදි  භාජන, උණුවතුර ජොග්ගු සියල්ල counter ටොප් එකේ ඇඟ පැත්තට නොවන ලෙස තියන්න.

දන ගාගෙන ගිහින්, වැටි වැටි දුවගෙන ගිහින් කාමරේ දොරවහගන්න පුංචි දගයගේ චූටි ඇඟිලි දොරවල් වලට අහු නොවෙන්න දොරවල් දරුවට තනියම වහන්න බැරි වෙන රඳවුමක් මගින් දොර ඇර තබන්න. නැත්නම් කාමර දොරවල්වල එලිය පැත්තේ අගුලේ කුරුළු කොට්ට හෝ සොෆ්ට් ටෝයි ටිකක් දැමු බෑගයක් එල්ලන්න. පුංචි අය්යා දුවල ගිහින් මල්ලි එනවට කාමරේ දොර වහද්දි මල්ලිගේ හරි අය්යාගේ හරි චුටි ඇඟිලි දොරට අහුවෙන්න නැති වෙන්න එය උදව්වක් වේවි.

දරුවාට අනතුරු දායක තැන්වලට ලඟ විය නොහැකි වන පරිදි ගේට්ටු /වැටවල් දමන්න. තරප්පු පෙලට, නානකමරයට, කුස්සියට , ඉදිරිපසදොරටුවට ආදී ලෙසට ඔබේ නිවසේ පිහිටීම  අනුව ගලපා ගන්න.තියුණු දාර නැති සුමට නිමාවක් ඇති සිරස් අතට ගරාදි ඇති ,ඔළුව කකුල් සිර කරගත නොහැකිතරමේ පරතරය ඇති ගරාදි ඇති ගේට්ටු ගෙදරදී සාදාගෙන හෝ ළදරුවන්ගේ අවශ්‍යතා සඳහා ඇති වෙළඳ සලකින් මිලදීගන්න.

ඔබේ ගෙදර කාර් එක නවතා තබන ගරාජය ගෙදර ඉදිරිපස දොරටුවට අසලින් ඇත්නම් ප්‍රධාන දොරටුවට වැටක් දමන්න. මහත්තය උදේ ගෙදරින් පිටත් වෙද්දී ඔබ අලුත උපන් සිගිත්තට කිරිදිදී ඉන්නවා වෙන්න පුළුවනි. ඊයේ හවස සෙල්ලම් කරද්දී කාර් එක යටට විසිවුණු බොලේ දැකලා ඔබේ අවුරුදු 4 පුතා කාර් එක ලඟට දුවනවා අප්පච්චි උදේ පාන්දර කලබලේදී නොදකින්න පුළුවනි.පුතාලගේ අප්පච්චි හවස ගෙදර එනකොට අම්මා ගේට්ටුව අරින්න දුවද්දී අනිවාර්යයෙන්ම ගෙදර සියලු දරුවන් ප්‍රධාන දොරට යෙදු වැට ඇතුලෙන් තියලා ඉදිරිපස ගේට්ටුව අරින්න යන්න පුරුද්දක් ඇති කරගන්න.

සද්දේ එන කතා පොත් : සුබපැතුම් පත් , උත්සව සැරසිලි ,calculators,සෙල්ලම් බඩු , දුරස්ථපාලක වගේ දේවල් වල තියෙන බොත්තම් බැටරි ඉතා අනතුරුදායකයි.මේ බැටරි යෙදු දෑ ඉස්කුරුප්පු ඇණවලින් තදකොට වැසූ පියනක් සහිත නම් මිස පාවිච්චි කරන්න එපා. දිලිසෙන සුළු හුරුබුටි ස්වභාවය, බෙහෙත්පෙත්තක්/ කාසියක හැඩය ගැනීම නිසා දරුවා මෙලෙස ගැලවුණු බොත්තම් බැටරිය ගිලදමන්නට කන හෝ නහය තුලට දමාගන්නට පොළඹවන සුළුයි.මේ බොත්තම් බැටරි ශරීර ගත වුවිට විදුලිය කාන්දු වීමට හැකි නිසා එයින් දරුවට ඇති විය හැකි විපත ඉතා දැඩි වගේම ඉතා වේගවත්.බොත්තම් බැටරි පමණක් නොවෙයි ඕනෑම උපකරණයෙන් ඉහිල් වුන බැටරියක් දුටු විගස ඉවත් කරන්න. ඕනෑම බැටරි යෙදු උපකරණයක් දරුවාගේ පාවිච්චියට දෙනවා නම් ඒ ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටින්න.

බේබි පෘෆ් කරනවා කියන්නේ හුදෙක්ම උපායමාර්ග ස්ථාපනය කිරීමක් විතරක් නෙවි. ආරක්ෂාව සම්බන්ධව දරුවා තුළ පුංචි කලේ සිටම විනයක් පුරුදු පුහුණු කල යුතුවෙනවා. අපි හැමෝම අතින් වෙන ලොකු වරදක් තමයි ,”දරුවට තේරෙන්නේ නැහැ,”එපා” කියන එක තේරුම් ගන්න තරම් එයා පුංචි වැඩියි” කියා හිතන එක. ඒ නිසාම අපි බොහෝ දෙනෙක් භව්‍ය අනතුරුදායක අවස්ථාවලදීත් එයින් ඉවත් වෙන්න කියල කියා දෙන්නේ උත්සහ ගන්නේ නැහැ. ආරක්ෂාව වෙනුවෙන් උපාය මාර්ග ස්ථාපනය කරනවා වගේම පුංචිම කාලෙදිම දරුවට තේරෙන විදියට අනතුර ගැන කියා දෙන්න පටන් ගන්න. “පුතු ඒක දය්යා” “අල්ලන්න එපා මගේ පුතා ඌවා වෙයි” “එක අම්මගේ” වගේ දරුවට තේරෙන හැටියට කියල දෙන්න.ඔබ නොහිතුවට එය අනතුරු මග හරවා ගන්න උදව්වක්.එත් පුංචි හිත්වල තියෙන කුතුහලය නිසා දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔබේ නිරන්තර අවධානය තිබිය යුතුමයි.

දෙමාපියන් විතරක් නෙවි පව්ලේ සියලු දෙනාම මේ බේබි පෘෆ් සම්බන්ධයෙන් වගකීමෙන් විනයක බැදෙන්න.  පුතාලගේ අප්පච්චි සපත්තු පොලිෂ් කර කර ඉන්න වෙලාවේදී ඔබ තේ එක ගිහින් දුන්නාම… ඉස්සර වගේ සපත්තු පොලිෂ් කරලා ඉවර වෙනකල් ලඟට වෙලා ඉන්න වෙලාව නැත්නම්… ලිපේ හොද්ද බලන්න දුවන්න තියෙනවා නම් කිසිම වෙලාවක ළඟ තිබ්බ මේසේ උඩින් දුම් දාන තේ එක තියල එතනින් යන්න එපා… මේසෙට යන්තම් උස ඔබේ පුංචි පුතාට අම්ම ගෙනාව කෝප්පේ තියෙන්නේ මොනාද කියල බලන්න හිතෙන්නේ කොයි වේලාවේද කියලා ඔබටවත් ඔබේ මහත්තයටවත් හිතාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා ගෙදර ජිවත් වෙන හැමෝම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න හැම මොහොතකම හැම හැසිරිමකින්ම වගකීමෙන් බැදෙන්න.

කොයිතරම් උපායමාර්ගිකව ඔබේ ගෙදර බේබි පෘෆ් කළත් වැඩිහිටියකුගේ නිරන්තර සුපරික්ෂාව,දුර දැකීමේ නුවණෙහි තැන ගන්නට කිසිම බේබි ප්රුෆ් ක්‍රමෝපායක් සමත් වන්නේ නැහැ. ඒ නිසා හැම තත්පරයකම අනතුරක සේයාව දකින්න ඔබේ ඇස හුරුකරගන්න. එය ඔබේ රන්කැටියාට නිදහසේ හපන්කම් පාන්නටත් සුරැකිව වැඩෙන්නටත් රුකුලක් වෙවී.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.