ඔබේ ගෙදර බේබි පෘෆ් ද? 1 කොටස

චුටියා දෝතට ලැබිලා… ඉස්පිරිතාලෙන් ගෙදර ආව දවසේ ඉඳන් කුක්කු බන්ඩිය පිරෙන්න කුක්කු දෙන ගමන් අම්මා  සිහින මවන්නේ පැටියා ඉක්මනට ලොකු වෙනවා දකින්න… හිනා කටක් පුරෝගෙන අම්ම එක්ක හිනා වෙනවා දකින්න… පුංචි අත් දෙක එකතු කරලා අත්පුඩි ගහනවා දකින්න…. බස බස ගාල දණ ගාගෙන යනවා දකින්න… අල්ලාගෙන හිට ගන්නවා දකින්න… අම්මගේ හීන වලට කෙළවරක් නෑ… ඒ තමයි අම්මගේ හැටි.

පැන්චා තොටිල්ලෙන් බිමට බැහැලා ගේ පුරාම රවුමක් යන්න සැරසෙද්දී පැන්චා වෙනුවෙන් ඔබ තැනු සුවැති උණුසුම් කැදැල්ල පැන්චාට ආරක්ෂාව සලසන්න සුදානම්ද? එහෙම නැතිනම් ඔබේ ගෙදර බේබි පෘෆ් ද? ඔබේ රන්කැටියට වැඩෙන්නට ඔබේ ගෙදර සුරැකි තැනක් ද? සුරැකි තැනක් බවට පත් කරන්න පටන් ගන්න ඕනේ කවද්ද?

පැන්චා දණ ගාන්න පටන් ගන්න කලින්ම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන ක්‍රමෝපායන් යොදන්න අරඹන්න.

නිදන කාමරෙන් පටන් ගනිමු.

පැන්චාගේ ඇඳුම් – බඩු දාන්න කබඩ් එකක් මිලදී ගනිද්දී ඒක ගොඩක්ම උස නැති හයිය… ඝනකම..පළල පතුලක් ඇති කබඩ් එකක්ද කියලා බලන්න. කබඩ් එක ගන්න ගියාම සාප්පුවෙදීම උඩම ලාච්චුව පොඩ්ඩක් වේගෙන් ඇරලා බලන්න ලච්චුවත් එක්ක කබඩ් එක ඉස්සරහට (ඔබ දෙසට) ඇදිල එනවද කියල. ලාච්චු අරිද්දි ලේසියෙන්ම ලාච්චුව වැටෙන්න බලනවද කියල. ඔබ ගන්න කබඩ් එකත් එක්ක එන ආරක්ෂක උපදෙස් මොනවද කියල බලන්න.කබඩ් එක ගෙනාවට පස්සේ…. කබඩ් එක “L ” බ්‍රකට් එකකින් බිත්තියකට හා පොළවට සවිකරන්න. කිසිම වෙලාවක කබඩ් එක උඩ ඔබේ පැංචාට උඩට නැගල/ ඇදිලා ගන්න හිතෙන… කොහොම හරි ලං වෙන්න හිතෙන ආකර්ශනීය දේවල් (සෙල්ලම්බඩු/ පාට පාට දේවල් )තැබීමෙන් වලකින්න. උඩම ලාච්චුවල බර දේවල් (වැඩිපුර රෙදි/ බඩු)පුරවා තැබීමෙන් වලකින්න.අම්මා පැය ගණනක් තිස්සේ නවපු ඇඳුම් දණ ගාගෙන ගිහින් වාඩි වෙලා ඇදලා ඇදලා එලියට දාන්න පැන්චා හරිම ආසයි.මේ ලාච්චු වලට පුංචි ඇඟිලි අහුවෙන්න පුළුවන් නිසා ඒවා අරින්න බැරි වෙන්න යතුරු ලෑමක් හෝ උපක්‍රමයක් ඇති කරන්න.ඇඳ ගාව බිමට එළපු බුමුතුරුණ ලිස්සනවද බලන්න. non ස්ලිප් මැට් එකක් දාන්න.අල්ලාගෙන හිට ගන්න පටන් ගනිද්දී ලිස්සන සුළු බුමුතුරුණු අනතුරු වැඩි කරාවි.

මැද සාලයේ ඇති කොෆි ටේබල්… ටීපෝ… කෑම මේස වගේ තියුණු දාර ඇති ගෘහ භාණ්ඩ දණ ගාගෙන යන පුංචි කඩියට… විසිවේවි වැටි-වැටි යන ඔබේ පුංචි ආච්චි අම්මට අනතුරුදායක දේවල්. තියුණු  දාර ඇති ගෘහ භාණ්ඩ නිතර දරුවා ගැවසෙන තැන්වලින් ඉවත් කරන්න. නැත්නම් බබල් රැප් වලින් ඒ දාර ඔතන්න. කබඩ් ,පොත් රාක්ක “L” බ්‍රකැට් වලින් බිත්තිවලට සවිකරන්න. pedestal ෆෑන් බඳ යමකට ගැට ගසා තබන්න. දණගාගෙන ගොස් ඇඟට පෙරලගැනීම වළක්වා ගන්නට එය උපකාරී වේවි.සියලු ස්ථාවර නැති(සෙලවෙන /වැනෙන ) ගෘහ භාණ්ඩ… සැරසිලි කලකට ඉවත් කර තබන්න. රුපවාහිනිය ටි වී ස්ටෑන්ඩ් එකට හෝ බිත්තියට සවිකරන්න. එය රුපවාහිනිය ඇඟට පෙරලගෙන සිදුකරගතහැකි ඛේදනීය සිදුවීම් වළකා ගැනීමට උපකාරී වේවි.

අම්ම රෙසිපි හොයලා මහන්සි වෙලා හදල දෙන රස බත් තලාපෙ තු ගාල එලියට දැම්මට.. .බිම තියෙන පෑන් විල්ලක්,සෙල්ලම් කාර් එකක ගැලවුණු රෝදයක් කටේ ඔබා ගන්න මේ පුංචි චණ්ඩියට ගතවෙන්නේ ඇසි පිල්ලමක් ගහන වෙලවක් විතරයි.

අහුවෙන ඕනෙම දෙයක් කටේ ඔබා ගන්න එක මේ වයසේ දරුවෙකුගේ ලොකුම ක්‍රියාකරකමක්. ඒ නිසා දරුවා බිම තියන්න කලින් මුළු ගෙදරම තියෙන දරුවා කටේ දාගන්න පුළුවන් කියල හිතෙන හැම පුංචි දෙයක්ම අයින් කරන්න. පුංචි අය්යෙක්  අක්කෙක් ඉන්නවනම් “මල්ලි මේවා කටේ දා ගෙන ලෙඩ වේවි පුතේ… එයා පොඩ්ඩක් ලොකු වෙනකල් අපි මේ ටික හංගලා තියමු” කියලා පුංචි සෙල්ලම් බඩු… Lego කෑලි අරන් තියන්න.සෙල්ලම් බඩු වල ගැලවෙන්න පුළුවන් කොටස් ගැන නිරන්තර අවධානයක් දෙන්න.

අම්මා කන්තෝරු ගිහින් ආවම…. අත්තම්ම මහගෙදර ඉඳන් නැත්නම් පන්සල් ගිහින් ආවම අත්බෑගය තියන්නේ කොහෙද? අත්බෑගයක් මේතරම් උවදුරු කාරකද කියල හිතුනෙම නැහැ නේද? බෙහෙත්, සිල්ලර කාසි, විලවුන් , ආලේපන, කොන්ඩ කටු, ආයකටු, විටමින් වගේ අත්බෑගයක් තුල ඇති හැමදෙයක්ම දරුවෙකුට විපත්තිකාරකයි. බොහෝ විට වයස්ගත අයගේ බෙහෙත් බහාලන බෝතල් (non-childproof) ඉතා පහසුවෙන් අරින්න පුළුවන් පරිදි සකසා තිබීම අනතුරට තවත් රුකුලක්. බෙහෙත් පමණක් නෙවි වැඩිහිටියන්ට දෙන විටමින් පවා දරුවෙකුට විස වෙන්න පුළුවනි.

පුංචි පැටව් හරි ආසයි ප්ලග් වලට දේවල් ඔබන්න, මේ ඔබන දෙය විද්‍යුත් සන්නායකයක් උනොත් ඔබේ දරුවා විදුලි සැර වැදීමකට ලක් වේවි. සියලු ප්ලග් වහන්න. අවශ්‍ය වෙලාවට ගලවා ඉවත්කළ හැකි ප්ලාස්ටික් පේණු තුඩු වෙලදපොලේ මිලදී ගන්න පුළුවනි. වාඩි වෙලා…හෙමින් සැරේ පොපියන විදුරු මසින් වයර් එකක් හප හපා ඉන්න බැරි වෙන්න බිත්ති අයිනේ බිම ඇති වයර් ටේප් වලින් වසන්න.නැත්නම් දරුවට ළඟා විය නොහැකි පරිදි ගෘහ භාණ්ඩ වලින් මුවා කොට තබන්න.

ඔබේ නිවස මහල් එකකට වැඩි නම් ඉහල මහල්වල දරුවට ළඟ විය හැකි ජනෙල් වල ජනෙල් පියන් අගුලු ලා තබන්න. නැත්නම් ඒ ජනේලවල ආරක්‍ෂිත ගරාදි සවිකරන්න. පුටු ,සෝෆා වැනි දෑ ජනේල වලට ඉතා ලංකොට තැබීමෙන් වලකින්න. උඩ නගින්න පටන් ගන්න වයසේදී ඒවාට නැගලා ජනේලෙන් එලියට පනින්නට හෝ වැටෙන්න පුළුවනි.

ගෙදරක් බේබි පෘෆ් කිරීම ගැන ලියන්න කාරණා අතිවිශාල ප්‍රමාණයක් ඇති නිසා ඒ කරුණු මීලග ලිපියෙන් ගෙනෙන්නම්. නොවැරදීම දෙවෙනි කොටස බලන්න.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


                

දරුවා නිදි කරවිය හැකි ක්‍රම පිළිබඳව ඔබ දැන සිටියාද?

නිදා ගැනීම වැඩිහිටියන්ට මෙන්ම ළදරුවන්ටද පුරුදු පුහුණු කරවිය හැකි ක්‍රියාවලියකි. දරුවාගේ නින්ද සඳහා මවගේ මානසිකත්වය ද බලපායි. සංසුන්, කලබල නොවන, ඉවසීම හා විඳ දරාගැනීමේ ශක්තිය ඇති මව්වරුන්ට දරුවාගේ නින්ද ගැටලුවක් විය හැකි ප්‍රවනතාවය අවමය. නිදාගැනීම සඳහා ළදරුවාට නිශ්ශබ්ද, සන්සුන්, විශ්වාසදායී පරිසරයක් සකස් කර දීම දරුවාගේ සුව නින්ද වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුත්තකි.

දරුවා නිදි කරවීමට පරිසරය සූදානම් කිරීම

සාම්ප්‍රදායික තොටිල්ල (ලීවලින් හෝ රෙදිවලින් සාදා ඇති) හෝ  කුඩා ඇඳක් ද මේ සඳහා යොදා ගත හැකිය. එසේම ආලෝකය පාලනය කළ හැකි වීම, උෂ්ණත්වය පාලනය කළ හැකි වීම මෙන්ම නිහඬ පරිසරයක් තිබීමද ඉතා වැදගත් වේ.

ඔබේ දරුවා නිදි කරවන හා නිදාගන්නා ස්ථානය යන දෙකම එකම ස්ථානයක් විය යුතු නිසා කර මත හෝ කිරි පොවන අතරතුර නිදි කරවීම නොකරන්න. වෙනත් ස්ථානයක නිදි කරවා ඇඳ මත හෝ තොටිල්ල මත දරුවා තැබූ විට හදිසියේ නින්දෙන් අවදි වුවහොත් නුපුරුදු පරිසරයක් බැවින් දරුවා බියවනු ඇත. සෑම මොහොතකම දරුවා ඇඳ මත/තොටිල්ල මත නිදි කරවන්නට පුරුදු කරගන්න. එවිට දරුවා ඇඳ මත හෝ තොටිල්ල මත තැබූ විට නිදි කරවීමට සූදානමක් ලෙස දරුවාට දැනෙන බැවින් දරුවා නින්දට සූදානම් වේ. දරුවාට නිදිමත ඇති වූ විගස නිදි කරවීම ඇරඹිය යුතු අතර අවදිව සිටින මොහොතක බලෙන් නිදි කරවීම නොකළ යුතුය. නින්දට පෙර දරුවා සමඟ අනවශ්‍ය ලෙස සෙල්ලම් නොකරන්න. එය දරුවාගේ නින්දට බාධාවක් වේ. සිංදුවක්, කතන්දරයක් කීම නින්දට පිටුවහලකි. දරුවාට නින්ද ගිය පසු කුඩා කොට්ට දරුවා වටේට තබන්න. ඉතා කුඩා කාලයේදී නම් රෙද්දක් ගෙන වළල්ලක් සේ සකසා දරුවා වටා තැබිය හැක. දරුවා කැමති සෙල්ලම් බඩුවක් පසකින් තබන්න. දරුවා හදිසියේ අවදි වුවහොත් ඇඳ මත තබාම නිදි කරවීම සිදු කරන්න. අතට ගැනීම නොකරන්න.

නිදි කරවීමට භාවිත කරන ක්‍රම

  • සෙමින් සෙලවීම : 
    මවගේ කකුල් මත හෝ තොටිල්ල මත තබා සෙමින් සොලවන්න. එවිට දරුවාට නින්ද යනු ඇත.
  • මවගේ කර මත හෝ ඇඳ මත :
    ඉන්පසු සෙමින් ඇඳ මත තබන්න. සෙමින් දරුවාට තට්ටු කරන්න. එවිට නින්ද යනු ඇත. එවිට සෙමින් ඉවත් වන්න. මෙය සිදු කළ යුත්තේ නිදාගන්නා ස්ථානය ආසන්නයේදී වේ.
  • දිගටම ඇසෙන සියුම් නාද රටා :
    මෙවැන්නකට කන් යොමුකරගෙන සිටින දරුවාට ඉබේ නින්ද යනු ඇත. (උදා:පටිගත කරන ලද සංගීත නාද, පිරිත් දේශනා, රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියා කරන විට ඇසෙන හඬ,මාළු ටැංකියේ මෝටරය ක්‍රියා කරන හඬ,කරකැවෙන විට ශබ්දය ඇති වන සෙල්ලම් බඩු)
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා ඒකකයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අලුත උපන් ඔබේ පැටියාගේ මලපහවලත් මේ වෙනස්කම් තිබෙනවාද?

අලුත උපන් කිරි කැටියෙක් කිරි පෙවීම නිසා දිනකට වැඩි වාර ගණනක් මලපහ කිරීම සිදු කරයි. සමහර දරුවන් සතියකට වරක් මලපහ කිරීම සිදු කරයි. තවත් සමහර දරුවන් දිනකට 7-8 වතාවක් මලපහ කිරීම සිදු කරයි. මල වියලි භාවය රහිත නම් දරුවාට අපහසුතාවයක් නොමැති නම් සතියක් පමණ යනතුරු මලපහ නොකිරීම කලබල විය යුතු තත්ත්වයක් නම් නොවේ.

ළදරුවන්ගේ මලපහ පිටකිරීම හා සම්බන්ධ ගැටලු වලදී දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳව අපි සාකච්ජා කරමු.

වැඩි වාර ගණනක් මළපහ වීම

ඇතැම් අවස්තාවලදී ඇතැම් ළදරුවන් වැඩි වාර ගණනක් මලපහ කරන අතරම එයට හේතුව වැඩි වාර ගණනක් ආහාර ලබාදීම නම් දරුවාගේ බර අධිකව වැඩි වීම, රාත්‍රියට මලපහ කිරීම අඩු වීම වැනි තත්ත්වයන් යටතේ හඳුනා ගත හැකි අතරම මෙහිදී වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වයි.

නමුත් මෙසේ වැඩි වාර ගණනක් දරුවෙකු මලපහ පිට කරන්නේ රෝගී තත්ත්වයක් නිසා නම් පහත දක්වා ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

  • දිනෙන් දින බර අඩු වේ.
  • මව වැඩිපුර ආහාර/කිරි ලබා නොදුන්නද මලපහ වීම සිදු වේ.
  • මලපහ වීමට අමතරව උදර වේදනාව, වමනය, උණ ආදී ලක්‍ෂණ ඇති විය හැක.
  • මල සමග සීදම් හෝ රුධිරය පිටවීම.

මෙවැනි තත්ත්වයකදී දරුවාට ප්‍රතිකාර ප්‍රතිකාර ලබාදීමට පෙර මල පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් (Stool for full report) ලබාගැනීම අවශ්‍ය වේ.

දරුවාට මල සමග සීනි පිටවීම

මෙම තත්ත්වය හේතු 2 ක් යටතේ සිදු විය හැකිය.

  • දරුවාගේ පෝෂණ අවශ්‍යතා සඳහා මව්කිරිවල සීනි අඩංගු වේ. අධික වාර ගණනක් කිරි පෙවීමෙන් මව්කිරිවලින් ලැබෙන සීනි ප්‍රමාණය දරුවාට ජීර්ණයට නොහැකි වේ. මේ නිසා මල සමග සීනි පිටවේ. මෙම තත්ත්වය හඳුනාගත හැකි වන්නේ දරුවා කොතෙක් මලපහ කළද බර ප්‍රමාණයෙන් වැඩි වීමය. ප්‍රතිකාර වන්නේ කිරි ලබාදෙන වාර ගණන අඩු කිරීමය.
  • දරුවාගේ ආහාර මාර්ගය තුළ සීනි ජීර්ණයේ ගැටලු ඇති නම් මෙම තත්ත්වය ඇති වේ. මෙහිදී දරුවාගේ වර්ධනය දුර්වල වන අතර දිනෙන් දින බර අඩුවේ. මෙය බහුලව දැකිය හැකි ගැටලුවක් නොවන අතර මන්ද පෝෂණ තත්ත්වයන් වුවද දැකිය හැක. ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත සීනි අඩංගු නොවන පිටි කිරි වර්ග භාවිත කළ හැක.
දරුවාගේ මල කොළ පාට වීම

මෙම තත්ත්වය හේතූ 2 ක් නිසා ඇති වේ.

  • රෝග තත්ත්වයක් නිසා මල බුරුලට යාම ඇති වූ විට මෙම තත්ත්වය ඇති වේ. මීට අමතරව උණ, වමනය, උදර වේදනාව වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි.
  • අනවශ්‍ය ආකාරයට වැඩි වාර ගණනක් කිරි පෙවූ විට මෙම තත්ත්වය ඇති වේ. එවිට ආහාර මාර්ගය අධි ක්‍රියාකාරිත්වයට පත් වී ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් සිදු නොවී එයට එකතු වූ පිත මල සමග පිට වේ. පිත එකතු වීම නිසා මල කොළ පැහැයක් ගනී. මෙය පාලනය සඳහා කිරි පෙවීම සීමා කළ යුතු වේ.

සමහර දරුවන් මලපහ කරන විට ඇඬීම, තැටමීම, කෙඳිරි ගෑම සිදු කරයි. මලපහ කිරීමට ආසන්නයේ දැනෙන අපහසුව නිසා මෙසේ ඇති විය හැක. බඩ එළිය යාම රෝගයක් ලෙස වැළඳුන විටද සුපුරුදු ආහාර රටාවම ලබා දෙන්න. ආහාර ලබාදීම සීමා නොකරන්න.

මලපහ දියර වශයෙන් දිනකට සාමාන්‍යයෙන් පිටවන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් පිටවීම නිසා දරුවාගේ සිරුරෙන් අනවශ්‍ය ලෙස ජලය ඉවත් වේ. මෙම තත්ත්වය විජලනය ලෙස සරලව හැඳින්විය හැකි අතර එවිට දරුවා පහත ලක්‍ෂණ පෙන්වයි.

  • වියළි තොල්
  • ගිලුණු ඇස්
  • අධික පිපාසය
  • මුත්‍රා පිටවීම අඩුවීම
  • දරුවා නොසන්සුන් වීම
  • දරුවා මළානික වීම

වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙහිදී ප්‍රතිකාර ලෙස ජීවනී ලබාදීම ආරම්භ කරන්න. ඉතාම වැදගත් ප්‍රතිකාරයකි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා ඒකකයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔන්න, දරු පැටියා තුවායෙනුත් ආරක්ෂා කරගන්න වෙයි

පවුලක ළදරු දරුවාගේ තුවායට නම් ඉතාම වැදගත් තැනක් ලැබෙනවා. ඒ අම්මා තාත්තා දරුවාට තිබෙන ආදරය නිසයි. හදිසියේවත් විෂබීජයක් එහෙම නැත්නම් වෙනත් ආසාදනයක් ඇති වුනොත් කියන බිය නිසා දරුවාගේ තුවාය ගැන තිබෙන සැලකිල්ල පවුලේ සෙසු සාමාජිකත්වය වෙනුවෙනුත් දැක්වීම ඉතාම වැදගත්.

ඒ වගේම අපි සමහර අවස්ථාවලදී තුවාය ගැන යම් සැලකිලල්ක් දැක්වීමට උනන්දු අවස්ථා නැතුවා‍ත් නොවෙයි. අලුහම් හෝ සමේ වෙනත් ආසාදනයක් ඇති විට එහෙම නැත්නම් වෙනත් රෝග තත්වයක් තිබෙන විට පවුලේ සාමාජිකයාගේ වුනත් තුවාය වෙන් කර තැබීම සිදු වෙනවා. කුරුලෑ වගේම ඉන්නන් සිටින විටත් අපි තුවාය වෙන් කර ගැනීමට උනන්දු වෙනවා. ඒ වගේම පවුලේ වුනත් ඒ වගේ සමේ රෝග තත්වයන් තියෙන සාමාජිකයා පාවිච්චි කරන තුවාය ඈත් කර තැබීමට උනන්දුයි. අද දවසේ කතා බහ කරන විදිහට තුවාය කියන්නේ බැක්ටීරියාවන්ට ප්‍රවාහන මාධ්‍ය සපයන ආයතනයක්.  ඒ නිසාම තුවාය කියන්නේ විෂබීජ ආකරයක්.

අපි හිතන්නේ මුහුණ පිහින තුවාය ඉතින් කිලුටු වෙන්නෙත් නැති නිසා සතියකට වතාවක් සෝදා පිරිසිදු කර ගත්තාම මදැයි යන අදහස වුනත් එය සම්පුර්ණයෙන් වැරැදි සහගත අදහසක්. ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ මහාචාර්ය “පිලිප් ‍ටර්නෝ” සඳහන් කරන අන්දමට මුහුණ පිහින තුවාය කියන්නේ විෂබීජ ආකරයක්. මුහුණ පිහින තුවාය තෙතමනයෙන් තියෙන නිසා coliform වැනි බැක්ටීරියා වගාවීමට ඉතාහ හොඳ තෝතැන්නක් ඇති වෙනවා. ඒ නිසා බැක්ටීරියා ආසාදනයන්ට අපි නිරාවරනය වීමට තිබෙන අවස්ථාව තුවාය හරහා ඇති වීමට තිබෙන ප්‍රවනතාවය දහස් ගුණයකින් ඉහළ බැව් මෙම මහාචාර්යරයා පෙන්වා දෙනවා.

ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු නැසුවා ප්‍රජා රෝහලේ ආසාදිත සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය “ආරොන් ග්ලේට්” පෙන්වා දෙන අන්දමට මිනිසුන්ට විෂබීජ මගින් රෝග බෝවීමට ඇති අවදානම ඔවුන්ට පාලනය කර ගැනීම පහසුයි. ඒ වෙනුවෙන් වූ සුවපිලිවෙත් ගැන දැන් සමාජය බොහෝ සෙයින්ම දැණුවත්. ඒ වුනත් තමන්ගේ තුවාය මේ විදිහට ලෙඩ රෝග වෙනුවෙන් රෝග බීජ වපුරනවා නම් දැන් අපි තුවාය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට කාලය ඇවිත්.

සාමාන්‍යයෙන් තුවායක බැක්ටීරියා බිලියන පහක් පමණ ජීවත්වෙනවා. අපි තුවාය පාවිච්චි කළාම මේ ප්‍රමාණය බිලියන දහයටත් වඩා වැඩියෙන් ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ගේ උපදෙස වන්නේ තුවාය පාවිච්චියෙන් පසුව සෝදා  වියලා ගැනීම ඉතාම වැදගත් බවයි.

අපි කලබලයට තුවාය නානකාමරයේ තබා යෑමට පුරුදුව සිටිනවා. දරුවන් අතරත් මෙය ඉතාම බහුල සිරිතක්. ඒත් තුවාය තෙතමනය සහිතව මේ විදිහට තිබීම බැක්ටීරියා වගා වීමට හොද පරිසරයක්.

තුවාය සෝදන්න උපදෙස්

අයර්ලන්තයේ එනිස් ආසාදාන රෝග පාලන දෙපාර්තමේන්තුව විසින් තුවාය සෝදා ගැනීමට උපදෙස් කීපයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මුහුණ පිහින තුවාය සෙල්සියස් අංශක 60 ක උණුසුම් ජලයෙන් සෝදා ගැනීම මගින් බැක්ටීරියාවන්ගේ වගාව පාලනය කර ගැනීමට පුලුවනි. ඒ වගේම යාන්තම් තෙත ගියාම මදැයි කියනන්ත් එපා. අඩුම වශයෙන් විනාඩි 45 ක කාලයක්වත් තුවාය වියලා ගැනීම වැදගත්. අපි ඉතින් නිවසෙන් පිටත් වෙද්දී තුවායත් ගෙට දාලා යන්නේ හදිසියේ වැස්සොත් කියන අදහස නිසයි. හවසට ආවාම නැවත්ත මේ තුවායම පාවිච්චි කරද්දී සාමානයයෙන් වියලී තිබෙනන් පුලුවනි. ඒ වුනත් ඒ වියලීම මද පවනේ නිසා බැක්ටීරියාවන්ට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. අව්වේ වියලා ගැනීමට යොමු නොවන උදවිය රෙදි සෝදන යන්ත්‍රයේ වියලන කොටසේදී වුනත් හොදින් වියලා ගැනීම වැදගත්.

ඒ වගේම අපේ මුලුතැන්ගෙදයි තිබෙන අත්පිස්නාවලත් මේ විදිහටම අවදානම තිබෙනවා. තෙතමනය තිබෙන තැන්වල බැක්ටීරියාවන්ට හොඳ තෝතැන්නක් සපයනවා. ඒ නිසා කිසිම විටෙක අත්පිස්නාව තෙතමනයෙන් තබනන් එපා. ස්පොන්ජ් වුනත් නිතරම වියළිව තබා ගැනීමට උනන්දු වීම එබේම සෞඛ්‍යට හිතකරයි.

අ‍පි නොදැනීම විවිධ විෂබීජ පැතිරෙන තවත් ක්‍රමයක් තිබෙනවා. වැසිකිලි කොමඩ් එකට වතුර මුදා හරින විට එහි පියන වසා වතුර ටැංකිය ක්‍රියාත්මක කරනන්. එසේ නැති වුනොත් වතුර පහරේ වේගයට මේ විෂබීජ වැසිකිළියේ කොමඩ් එකේ සිට අවට පරිසරයට පැතිරෙන්න පුලුවනි. ඒ නිසා ටිකක් සැලකිලිමත් වීමත් වැදගත්.

C-net වෙබ් අඩවියේ Richard Nieva ගේ ලිපියක් ඇසුරිනි

 

අපිරිසිදු වාතයට නිරාවරනය වෙන දරුවන් මානසික අවපීඩනයට පත් වෙන්න පුලුවනි

අද කාලයේ බොහෝ දරුවන් අතර ශ්වසන ආබාධ ඉතාම සුලබයි. කැස්ස, පපුවේ හතිය එහෙම නැත්නම් මහන්සිය වැනි රෝගාබාධ ගැන පැමිනිලි සියල්ල එකතු වෙන්නේ  දූෂිත වාතය ශ්වසනය කිරීම කියන ගිණුමටයි.

ඒත් දූෂිත වාතය නිසා ඔය කියන අපහසුතාවයන්ටත් වඩා බරපතල රෝගාබාධයන්ට දරුවන් ගොදුරු විය හැකි බවට නවතම අධ්‍යනයන් සිදු වී තිබෙනවා. ලන්ඩනයේ රාජකීය කොලීජියේ  Helen Fisher විසින් මෙම අධ්‍යනය සිදු කරනු ලැබුවා. ඔහුගේ අධ්‍යනය වෙනුවෙන් දරුවන් 284 ක නියැදියක් තෝරා ගත්තා. ඒ අතරින් 25 %කම දරුවන් වයස අවුරුදු 12 ටත් අඩු කාලයක පටන් දූෂනය වුන පරිසර තත්වයක ජීවත්වුන දරුවන් මානසික රෝගී තත්වයේ ගොදුරු බවට පත් වීමයි.

තත්වය එතැනින් නැවතුනේ නැහැ. මේ අන්දමින් පරිසර දූෂනයට පත් කලාපයන්හි හැදුන වැඩුන දරුවන් පාසලේ ඉතාම හිරිහැරකාරී චරිත බවට පත් වුණා. මේ දරුවන් තමන්ගේ සම වයස් කණ්ඩායමේ දරුවන්ට අඩන්තේට්ටම් කිරීම වැනි හිංසාකාරී හැසිරීම් වෙනුවෙන් යොමු වුණා. පර්යේෂක “හෙලන් ෆිෂර්” සඳහන් කරන්නේ අපිරිසිදු වාතයේ පවතින විෂ රසායනයන් අපිට ශාරිරික ලෙසින් බලපෑම් ඇති කරන බව අපි දැනගෙන සිටියා. නමුත් දරුවන්ගේ මානසිකත්වයට මේ අන්දමේ දරුණු බලපෑමක් කරන බැව් අපි මෙතෙක් දැන සිටියේ නැහැ. දූෂිත රසායනයන් නිසා මොළයේ ඇති වෙන ඉදිමුම සහ දැවිලි ස්වභාවය සෘජු ලෙසින්ම දරුවන්ගේ මානසිකත්යට විශාල ලෙසින් බලපෑමක් ඇති කරන බැව් මෙම පර්යේෂිකාවගේ අදහසයි.

දූෂිත වාතයට වයස අවුරුදු 12 ක් වැනි ලාබාල කාලයේදී නිරාවරනය වෙන දරුවෙක් ඉතා පිරිසිදු පරිසරයක ජීවත්වුන දරුකෙවෙකුට සාපේක්ෂව බලන විට මේ අන්දමේ මානසික ව්‍යාධීන්ට ගොදුරු වීමට ඇති සම්භාව්‍යතාවය හතර ගුණයකින් ඉහළ බැව් ඇය මෙම අධ්‍යනය ඇසුරින් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කරමින් සඳහන් කරනවා.

දරුවෙක් වැඩිවියට පත් වෙනවා යනු සරල ජීව විද්‍යාත්මක සංසිද්ධියක්  නොවෙයි. වයසත් සමග වැඩෙන දරුවා වැඩිහිටි ලෝකයට සම්බන්ධ වීමත් සමග ඔහුට විශාල වගකීම් සමුදායක් ජීවිතයට එක් වෙනවා. ශාරිරික වශයෙනුත් දරුවන්ගේ හෝර්මෝන වෙනස්වීම් ඉදිරියේත් ඔවුන්ට ආගන්තුක අත්දැකීම් ලැබෙනවා. ඒ අතරම  ලෝකය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට සිද්ධ වෙනවා. විභාග මානසිකත්වයට මේ සියලල්ම අතික්‍රමණය කරනවා. එවන් පරිසරයකට මුහුණ දෙන දරුවෙකුගේ මානසික සෞඛ්‍යය ඉතා යහපත්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්. නමුත් බාල කාලයේ පටන්ම දූෂිත පරිසර තත්වයක ජීවත්වෙන දරුවෙකුගේ මානසික ගැටුම සමග බාහිර ලෝකයෙන්ද තමන්ගේ ජීවිතයට එක් වෙන මේ අභියෝග ඉදිරියේ ඉතාම අසරණතාවයකට පත් වීමේ දරුණු ඛේදවාචකයක් ගොඩ නැගෙනවා. මේ මානසික ගැටුම පිටුපසින් දිවෙන පසුබිම ගැන දරුවාටෙ සම්බන්ධව සිටින කිසිම කෙනෙක් දන්නේ නැහැ.

මේ තත්වයට ප්‍රතිකාර කිරීමත් අපහසුයි…

වායු දූෂණය පිලිබඳව මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යනයක් සිදු කළ අතර ඒ සඳහා අංශුමය පදාර්ථ සහ නයිට්ට්‍රජන් ඩයොක්සයිඩ් පාදක කර ගත්තා.  මානසික රෝග වෙනුවෙන් වැඩි දියුණු කරන ලද  ප්‍රතිකාර තිබුනත් පාරිසරික දූෂණය නිසා ඇති වෙන රෝග තත්වයන්හිදී එමොළයට ඇති වෙන බලපෑම  හඳුනා ගැනීමත් අපහසු බැව් මෙම පර්යේෂකයින් සදහන් කරනවා. ඒ වගේම ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය “රොබින් රසල් ජෝන්ස්” සඳහන් කරන්නේ දැනටමත් බ්‍රිතාන්‍යයේ පාරිසරික දූෂණය වැඩියෙන් සිදු වෙන ප්‍රදේශයන්හි මානසික ගැටලු තත්වයට පත්ව සිටින නව යෞවනයන්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවනතාවයක් පවතින බවයි.

Doctors Against Diesel ව්‍යාපාරයේ මහාචාර්ය Chris Griffiths සඳහන් කරන අන්දමට  මේ පාරිසරික ගැටළුව උග්‍ර වීම නිසා  අනාගත පරපුර මානසික රෝගීන් ලෙසින් සමාජගත වීමට ඇති ප්‍රවනතාවයට පිලියම් යෙදීම දැන් අත්‍යවශ්‍ය තත්වයක් බවට පත්ව ඇති නිසා මේ සංසිද්ධිය නොසලකා සිටිය යුතු නැති බැව් මහාචාර්යවරයාගේ අදහසයි. මෙම සිද්ධියට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු වුනත් ඒ ගැන රජය දක්වන උනන්දුව ඉතාම දුර්වල මටට්මක පවතින බව Medact, සෞඛ්‍ය සත්කාර ආයතනයේ  “රෙබෙකා ඩැනියල්” සදහන් කරනවා. මේ ගැන දැඩි උපහාසාත්මකව කරුනු දක්වන ඇය කියා සිටින්නේ එසේනම් රොබෝවරුන් ලවා හෝ මේ දූෂිත පරිසරය පිරිසිදු කර ගැනීම ට යොමු වීම බාල පරම්පරාව මුල් කර ගෙන යහපත් අනාගතයක් දකින හැම දෙනාගේම අපේක්ෂාව විය යුතු බවයි. මේ අධ්‍යනය සිද්ධ වුනේ මහා බ්‍රතාන්‍යයේ වුනත් අපේ දරුවන් පවා මේ අවාසනාවන්ත තත්වයේ ගොදුරු බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන් ජීවත් වෙන පරිසරය වායු දූෂන තත්වයන් හැකිතාක් දුරට වලක්වා ගැනීමට අපේ අවධානය යොමු වීම ඉතාම වැදගත්. විශේෂයෙන් වාහන මගින් නිකුත් වෙන දුම් විශාල ලෙසින් පාරිසරික ගැටළු ඇති කරනවා. ඒ නිසා මේ තත්වයට විකල්ප සෙවීමට නම් “මම” යන සංකල්පය නොව නොව අපි යනුවෙන් හැමදෙනාගේම දායකත්වය අවශ්‍ය වෙනවා.

Science advance –Nature Communication

 

ධාරණයට මගක්…

ඉගෙනගන්නා කටයුතු වල යෙදෙන හැම දෙනෙකුගේම මුවින් නික්මෙන පොදු පසුබෑමක් තිබෙනවා. ඒ තමයි, “කොච්චර පාඩම් කළත් මතක නැහැ…” පාඩම් කරනවාට වඩා එයින් අපි ධාරණය කර ගන්නා කොටස අනාගතයේ විභාග ජයග්‍රහණයට හේතු වෙන අන්දමේ අධ්‍යාපනට රටාවකට අපි හැම දෙනෙක්ම කොටු වී සිටිනවා. කොහොම වුනත් ධාරණය පිලිබඳ ගැටළු ඈත අතීතයේ පටන්ම පැවැතුනා. චුල්ල පන්ථක ස්වාමින් වහන්සේ ධාරණය පිලිබදව ගැටලුවලට මුහුණ දුන් අන්දම අපේ බෞද්ධ සාහිත්‍යය තුලින් මනාව පැහැදිලි වෙනවා.

ඒ නිසාම මතක තබා ගැනීමට මිනිසාගේ මොළයට ඇති අපහසුතාවය මුල් කර ගෙන 19 වන සියවසේ පටන්ම විවිධ අධ්‍යනයන් සිදු වුණා. ජර්මනියේ වාසය කළ දාර්ශණිකයෙක් වගේම මනෝවිද්‍යාඥයෙක් ලෙසින් කීර්තියට පත් “හර්මන් එබින්හව්ස් (Hermann Ebbinghaus)” මේ ගැන අධ්‍යනය කරමින් අලුත් අදහසක් සමාජයට ඉදිරිපත් කළා. ඔහු ඒ වෙනුවෙන් පාදක කර ගත්තේ දැණුම අවශෝෂනය හෙවත් මොළයට උරා ගැනීම සහ කාලය අතර පවතින අන්තර් සම්බන්ධතාවයයි. හර්මන් විසින් ඔහු ලබා ගත් දත්ත ප්‍රස්ථාරයක් මගින් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු විසින් පෙන්වා දුන් කරුණු අපිටත් වඩා අපේ දරුවන්ට ඉතාම වැදගත්. ඒ මොකද කිව්වොත් අපේ අම්මලාට අවශ්‍යතාවය තියෙන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතු ඔරලෝසු කටු අනුව ගණනය කිරීමටයි. “ඊයෙත් කලින් නිදා ගත්තා නේද…? මම බලද්දී හොදටම නිදි…” මේ වගේ චෝදනා  නැගුවත් ඕනෑම කෙනකුට දැනුම උරා ගැනීමේ හැකියාව කාලයට සමාන්තරව ගමන් කරනවා. ආයාසයෙන් වුනත් කාලය සමග මේ ගණුදෙණුව සිදු කලොත් පරිපූර්ණත්වයට පත් වුනත් නව දැණුම වඩාත්ම සාර්ථකව මොළයට ධාරනය වෙන්නේ මුල් පැය විස්සක කාලයේදී බව ඔහු විසින් පෙන්වා දුන්නා.

ඒ වගේම අලුත් දෙයක් අලුත් විදිහට…

තවත් සමීක්ෂණයකට අනුව අලුත් විෂයක් හෝ අලුත් හැකියාවක් වෙනුවෙන් ඉතා ම කාර්යක්‍ෂම ඉගෙනුම් කාලය වන්නේ, පළමු පැය 20 ට ඇතුළත් කාලයයි. කාලය සමග කාලයක් පුරා එක ම උත්තේජන නැවත නැවත හමුවීම තුළ මොළයේ ප්‍රතිචාරය ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග ශීඝ්‍රයෙන් අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය නැවතී යයි.

ඵලදායිතාවය වර්ධනය වන්නේ කෙසේද…?

ඵලදායිතාව වර්ධනය කළ යුත්තේ කෙසේදැයි උගන්වන ඇමෙරිකානු ජාතික ජෝෂ් කෆ්මන් (Josh Kaufman), මෙම මුල් පැය කීපයේ කෙරෙන උකහා ගැනීම කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇති පුද්ගලයෙක්. ඔහු විසින් ලබා ගත් තොරතුරු “පළමු පැය 20 (The First 20 Hours)” ග්‍රන්ථයට පාදක කර ගත්තා.

ධාරනයට පහසු මාර්ග

ජාතික ජෝෂ් කෆ්මන් විසින් ධාරනයට පහසු මාර්ගත් පෙන්වා දී තිබෙනවා. ඔහු පෙන්වා දෙන අන්දමට විෂය කොටස් කීපයකට බෙදෙනවා. ඊට පසුව දිනකට විනාඩි 45 බැගින් මේ සෑම දිනකම අධ්‍යනය කිරීම වැදගත්. එවිට විෂය ගැන විශ්වාසයක් ඔබේ හිතේ ඇති වෙනවා.

පැය පහේ රීතිය…

ඊට අමතරව ඔබට දිනකට පැයක් බැගින් සතියේ දින පහක් පුරා විෂය ගැන අධ්‍යනය යොමු කරන්න. එය “පැය පහේ රීතියයි”. අපි ඇත්තටම යම් විෂයක් කැමැත්තෙන් අධ්‍යනය කරනවා නම් එය ධාරණය කර ගැනීම එතරම් අපහසුවක් නැහැ. ඒ අන්දමට විෂයට ඉතා උනන්දුවෙන් සහ කැමැත්තෙන් කරුණු හදාරන ලද පුද්ගලයෙක් අතරට ‍”බෙන්ජමින් ප්‍රෑන්ක්ලින්ගේ” චරිතය ඉතා වැදගත්. බිල් ගේට්ස්, එලන් මස්ක්, වොරන් බුෆේ සහ  මාර්ක් සකර්බර්ග් වැනි අය සඳහන් කරන්නේ  උවමනාවෙන් කරන හැදෑරීම යනු විෂයට තමන්ගේ ඇති ඇල්මය.

තවත් ඉදිරියට යන්න පුලුවන්…

සාමාන්‍යයෙන් අපි යම් විෂයකට ඇල්මක් ඇති වුනොත් එතැනින් තවත් ඉදිරියට යෑමට පුලුවන්. උදාහරණයක් විදිහට අපි තාරකා විද්‍යාවට උනන්දුවක් ඇත්නම් එතැනින් ඔබ්බට තව තවත් තොරතුරු ගවේශනය කිරීමටත් පුලුවන්. විෂයට ඇති ඇල්ම අනුව මේ තත්වය නොදැනීම ඇති වෙනවා.

ඔබේ සාමාන්‍ය ජීවිතයේදිත් මේ තත්වය ඉතාම සාධාරණයි. ඔබ යම් කටයුත්තක් ඉතා කැමැත්තෙන් කරන විට කාලය ගෙවෙනවා වත් දැනේනනේ නැහැ. ඒත් ඔබ අසතුටු කටයුත්තක් කරන විට ඔබට කාලය ඉතා දිගු සේ දැනෙන්න පුලුවනි. ඒ නිසා නිතරම විෂය ගැනත් ඇල්මක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

සාර්ථක වීමට රහස් තිබෙනවාද…? මේ ලිපියේ සදහන් කරුණු ගැන අවධානය යොමු කලොත් අපිට සාර්ථක වීමට අවශ්‍ය කරුනු කීපයක් හදුනා ගැනීමට පුලුවනි.

  • ඉගෙණුම වෙනුවෙන් ආශාවක් ඇති කර ගන්න.
  • ඉලක්කයක් ගොඩ නගා ගන්න.
  • ස්වයංවිනයක් ගොඩ නගා ගන්න.

අම්මා තාත්තාගේ බලපෑමට නොව මගේ අධයාපනයේ අරමුණු මත පිහිටා මමම කටයුතු කරන බවට වූ ශික්ෂණය ගොඩ නගා ගන්න. ඒ අනුව යමින් කිසිවෙක් රැවටීමට නොව ඔබේ ජයග්‍රහණය ඔබට බව තේරුම් ගන්න. එවිට ධාරණය හෝ පොත පතට අවධානය දැක්වීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

– බී.බී.සී පුවත් ඇසුරිනි –

 

දරුවන් මුල් කර ගත් අපේ විශ්වාස…

බිලිඳු දරුවන් මුල් කර ගෙන ගොඩ නැගුන විශ්වාස අතීතයේදී අපේ වැඩිහිටියන් අතර බහුලව තිබුනා. මේ විශ්වාස අත්දැකීම් සමග තවත් ශක්තිමත් වුනා. නව ජන්ම දරුවෙකුගේ අතේ වදකහ කෑලි කපල වළල්ලක් වගේ නූල් පොටක අමුණලා දරුවාගේ අතේ ගැට ගහනවා. මේ කහ සුවඳට දරුවාට වැදුනාම බඩේ අජීර්ණ වගේම වෙනත් ආබාධ ඇති වෙන්නේ නැතැයි වූ විශ්වාසයක් අපේ අම්මලාගේ තිබුණා. තුනටිය ශක්තිමත් වීමට ඉන වටා කළු නූලක් හෝ පබළු වැලක් ගැට ගැහුවා.

දරුවෙක් බහ තෝරන කාලයේදී කොණ්ඩය කැපුවොත් කථා කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවාය යන විශ්වාසය තදින්ම තිබුණා. ඒ නිසාම උපන් මොහොතේම කෙස් ටිකක් කපා දැමුවා. යම් විදිහකින් එහෙම උපන් ගමන්ම කෙස් ටිකක් කපන්න බැරි වුනොත්  දරුවා හොදින් කථා කරන තෙක්ම කෙස් කැපුවේ නැහැ. ඒ නිසා සමහර පිරිමි දරුවන්ගේත් ගැහැනු දරුවන්ගේ වගේම කෙස් ගොතන තරම් දිගට වැවුනා. දහඩිය දාලා කැසීම්, උකුණෝ ඇති වුනත් බැරි වෙලාවත් මොන තරම් අපහසු වුනත් බැරි වෙලාවත් කෙස් නම් කැපුවේ නැහැ. ගැහැනු ළමයෙකුගේ උපත ලද හැටියේම කෙස් කැපුවොත් අක් බඹරු වගේ හොදින් වැඩෙන බවටත් විශ්වාසයක් තිබුණා.

බිළිදු දරුවන් නින්දේදී සමහර විට අඩනවා. ඒ වගේම හිනාවෙනවා. මේ හැම දෙයකටම පදනම් හේතු තිබුණා. ඒවා අම්මලා හොදින්ම දැනගෙනත් හිටියා. නින්දේ සිටින දරුවාට සුරංගනා‍වියෝ ඇවිත් මේ විදිහට කියනවාලු.

“අන්න…ඔබේ අම්මා පුංචි රන් කළයට රන්කිරි දොවාගෙන ගෙදර එනවා…” මේ විදිහට කිව්වාම පුංචි පැටියා හිනාවෙනවාලු..ඒ වගේම තවත් වේලාවකදී සුරංගනාවියෝ දරුවාට මේ විදිහට කියනවා.”අන්න ඔබේ අම්මා රන් කළයට කිරි දොවාගෙන එද්දී කිරි කොතලය ගගේ ගියා…” ඒ විදිහට කිව්වාම පුංචි දරුවා අඩන බවත් විශ්වාස කලා. පැටියා හිනාවෙන වේලාවට නම් අම්මත් බොහොම සතුටට පත් වෙනවා. ඒ වගේම දරුවා අඩනවාට අම්මා කැමැති නැහැනේ…ඉතින් හනිකට දරුවාට ලං වෙලා මෙහෙම කියනවා…”මගේ පුතුගේ අම්මා ළග ඉන්නවා…පුතුට දෙන්න කිරි මට තියෙනවා…” මේ විදිහට කිව්වාම දරුවාගේ ඇඩීම නවතිනවා. පුංචි පැටියාගේ සතුට අම්මාගේ සතුට බවට පත් වුණා වගේම දරුවාට හඩන්න ඉඩ දුන්නේ නැහැ.තවත් විශාවසයකට අනුව දරුවා හිනාවෙන්නේ පෙර ආත්මයේ තමා ඇසුරු කළ අය සිහිපත් වීම නිසා බවටත් විශ්වාසයක් තිබුණා.

දරුවාට ඉක්කා වැටුනාම කාටවත්ම නොකියා දරුවාගේ ඇඳුමෙන් නූල් පොටක් අරගෙන එය අම්මාගේ හෝ දරුවා සමග ඒ වේලාවට සිටින වැඩිහිටියාගේ කෙළ සමග මිශ්‍ර කරල දරුවාගේ නලලේ තියනවා.

දරුවාට මාස හතකට වගේ ආසන්න වෙද්දී පැටියා තමන්ගේම කකුල අරගෙන එහි මහපටැගිල්ල කටේ දමා උරනවා. අද නම් අම්මලා දරුවාගේ මේ පැවැත්මට බයයි. ඊට හේතුව ඇගිලි ඉරීමේ පුරුද්ද දරුවාට ඇති වෙන නිසයි. “අතේ මදිවට කකුලේ ඇඟිලිත් උරන්න පටන් අරගෙන…” අද අපේ අම්මලා කලබල වෙන්නේ එහෙමයි. ඒත් එදා අම්මලා දරුවා කකුලේ ඇගිලි උරද්දී හරිම සතුටින් මේ විදිහට කියනවා “දැන් අපේ දරුවාට කිරි කළ හත පෙවිලා…” අම්මලාගේ හිතේ සතුට ප්‍රකාශ වෙන්නේ ඒ විදිහටයි.

අපේ සංස්කෘතිය එදා සම්බන්ධව තිබුනේ කෘෂිකර්මාන්තය සමගයි. පුතෙක් කියන්නේ අනාගතයේ පියා සමග හරි හරියට කුඹුරු ගොවිතැන්වලට සහයෝගය දක්වන චරිතයක් වුනා. ඒ නිසාම මුලින්ම කුඹුර කෙටූ දිනයට, නගුලෙන් හෑවාම, වඩු කර්මාන්තයේ යෙදුනාම, මුලින්ම යම් භාණ්ඩයක් හැදුවාම වගේම වන්දනා ගමනක ගිහින් නිවසට පැමිණි විට අම්මා විසින් කැවුම් හදා ඒ උණු කැවුම්වලින් දරුවාගේ අතුල්, පතුල්, පිටි අතුල් සහ පිටි පතුල් තවනවා. අලුතින් යම් කාර්යක් කලාම එය කොඩුකාර වැඩක් විදිහට සලකනවා. මේ සමනල සිරිපා සමයේදි ඔබට කෝඩුකාරයා කියන සංකල්පය හොදින් පුරුදු ඇති. සිරිපාදේ මුලින්ම යන තැනැත්තා හැදින්වෙන්නේ “කෝඩුකාරයා” විදිහටයි.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. ඔවුන් පමනට වඩා දරුවන් ආහාර ගන්නවාට කැමැති වුනේ නැහැ. නිතරම දරුවන්ට උපදෙස් දුන්නේ “ජුජක බමුණා වගේ හිස්මුදුනින් කටක් මවා ගෙන කන්න එපා…” කියලයි. වතුර බොන්නත් බඩෙන් කොටසක් ඉතිරි කර ගන්න කියල ඔවුන් උපදෙස් දුන්නා. දරුවා බාල කාලයේ පටන්ම අම්මලා ඔවුන්ගේ ආහාරයට යම් පාලනයක් පනවා ගන්න කටයුතු කළා. ඒ නිසා සිහින් නූලක් අරගෙන බඩේ බදිනවා. දරුවාට බත් කවන අතරවාරයේ නුල කැඩුනොත් දැන් දරුවාට බඩ පිරිලා කියන විශ්වාසය අම්මලාගේ හිතේ ඇති වෙනවා.

පිරිමි දරුවන්ට බත් පිසින වළදේ ඉතිරි වෙන දංකුඩ ආහාරයට ගැනීමට අවසර දුන්නේ නැහැ. දංකුඩ කැවොත් රැවුල එන්නේ නැතැයි වූ පිලිගැනීම තදින්ම පැවැති අතර රැවුල පිරිමි පෞරසයේ වැදගත් සංකෙත්යක් වුනා. පිරිමි දරුවාගේ මුලින්ම එන රැවුල “දැලි රැවුල” යනුවෙන් හැඳින්වුනා. පිරිමි දරුවන්ට වංගෙඩියේ වාඩි වීමට අවසර නුදුන්නේ වංගෙඩියේ වාඩි වුනොත් ඔවුන්ගේ වෘෂණ කෝෂ විශාල වෙන බවට තිබුන විශ්වාසය නිසයි. ඒ වගේම දරුවා නාවා අවසානයේදී නාවන තැනැත්තිය විසින් ගම්මිරිස් අට දෙක තුනක් විකා හිස්මුදුන,පෙකනිය, කම්මුල දෙපැත්ත,පියයුරු සහ පිරිමි දරුවන්ගේ ශිෂ්ණයට ගම්මිරිස් සැර තුන්වතාවක් පිඹිනවා.

දරුවන් වාඩිවෙන, දණගාන සහ හිටවැටෙද්දී වාරු නැතුව වැටෙන්න පුලුවනි. ඒ වුනාට මේ වැටීමෙන් ඔවුන්ට අනතුරක් නොවෙන බවට එදා තදින්ම විශ්වාසයක් තිබුණා. විද්‍යාත්මකව නම් මේ ගැන තියෙන අදහස වෙනස්. පුංචි දරුවන්ගේ අස්ථි මාංශපේශි මොලොක් නිසා වැටීමකදී අනතුරක් වීමට වගේම හදිසියේවත් අනතුරක් වුනත් නැවත යථා තත්වයට පත් කර ගැනීම පහසු බවයි. ඒ වුනාට අතීතයේදී නම් මේ සිදුවීමත් දෙවියන්ට බාර කලා. දරුවා වැටෙන විට දෙවියන් අත පාල වේගය බාල කරන බවට පිලිගැනීමක් තිබුනා.

(මේ තොරතුරු ඇසු සහ දුටු දේ ඇසුරින් සකසන ලදී.)

 

දක්ෂ දරුවෙක් වෙන ගති ලක්ෂණ නැති වුනොත්…

දරුවෙක් විදිහට දක්ෂ කියන ගති පැවැතුම් නැති වුනොත් මොනද වෙන්නේ…මේ ගැන මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා.

අධ්‍යාපනය අඩාලයි

දක්ෂ දරුවා හැමදාම පාසලට එන්න පෙරාතුව අද කළ යුතු දේ ගැන සොයා බලනවා. ඒ විතරක් නොවෙයි, ඊයේ උගන්නපු දේ ගැනත් ආවර්ජනය කරනවා. සමහර විට ඊයේ පාඩමේ ඔහුට නොතේරෙන දෙයක් තිබුනොත් ඒ ගැටළුවත් කොහොම හරි දන්නා කෙනෙක්ගෙන් අහගෙන හෝ නිරවුල් කර ගන්නවා. ඒ නිසා දරුවාට අද දවස කිසිම වෙහෙසක් නැහැ.නමුත් අදක්ෂ දරුවාට මේ සියලු ගැටලු සමග ඉදිරියට යෑම අපහසුයි. ඒ නිසාම ඔහු නොදැනීම පසුගාමී චරිතයක් බවට පත් වෙනවා.

අප්‍රසන්න චරිතයක්

ප්‍රසන්න චරිතයක් වීම ආලේපන වලින් බැහැ. තරහ නැති, ක්‍රෝධය අඩු, දුක නැති දරුවා ප්‍රසන්නයි. එතකොට මිනිස්සු ඒ වගේ දරුවන්ට කැමැතියි. මත්ද්‍රව්‍ය නිසා හම, තොල් කළු පැහැ ගැනෙවා. අද වෙන විට ‍මිනිසුන්ගේ ජීවිතයට බලපාන අහිතකර රසායන 4000 ක් පමණ හදුනාගෙන තිබෙනවා. සිගරට්වල තිබෙන “ෆෝමැන්ඩි හයිඩ්” රසායනයට නිරාවරන වුනාම හම රැලි වැටෙනවා…ඇස් බොර පාටයි…දත් දුඹුරුයි…පාසලේ කිසිම කෙනෙක් ප්‍රිය නැහැ. ඒ වගේම මේ දරුවන් අතර අනාගතයේදී ලිංගික බෙලහීනතාවයත් ඇති වෙනවා.

හැම දෙනාම අකමැතියි

ඉගෙණුමට උනන්දුව දක්වන දරුවාට ගුරුවරුන් ආදරෙයි. ගුරුවරයා වුනත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒත් ඉගෙනුමට උනන්දු නැති දරුවා පංති කාමරයෙනුත් ප්‍රතික්ෂෙප වෙනවා. විවාහයේදී වුනත් සහකාරියක් හොයා ගැනීම අපහසුයි.ඒ වගේ අයත් සමග ජීවිතය ඉදිරියට ගෙනයන්න බැහැ. ඔබේ ගතිතුණ වෙනුවෙන් සහකරු අකමැති නම් එතැන ගැටුමක්. ඒ වගේම නිතරම දුකින්, නුරුස්නාවෙන් ඉන්න චරිතයකට කිසිම කෙනෙක් ප්‍රිය නැහැ. දුමට , මතට ඇබ්බැහි වුනොත් අනාගතයේ බොහෝ දේවල් අහිමි වෙනවා.

හොඳ රැකියාවක් ලැබෙන්නේ නැහැ

රැකියාවක් වෙනුවෙනුත් ආකර්ශනය බලපානවා. අනාගතයේදී රැකියා වෙළඳපොළ බොහොම සීමිතයි. ඒ නිසා පුද්ගලික අංශයටත් යොමු වීමට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. පුද්ගලික අංශයේදී අධ්‍යාපන සුදුසුකම්වලටත් වගේම දක්ෂයාට වැඩි අවධානයක් දක්වනවා. ඒ නිසා අනාගත රැකියා වෙළඳපොළ වෙනුවෙන් වර්තමානයේ පටන්ම දරුවන් දක්ෂතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

පවුල් ජීවිතය අසාර්ථකයි

දරුවෙක් විදිහට දක්ෂයෙකුගේ ගති ගුණ ගොඩ නගා ගත්තොත් අනාගතයේදී පවුල් ජීවිතය සාර්ථකව ගෙවන්න පුලුවනි. එසේ නොහැකි වුනොත් පවුල් සංස්ථාවන් ඇතුලත ගැටුම් බොහොමයි. ඊට හේතුව පිරිමින් විසින් බිරිඳ පහත් සේ සැලකීමයි. විවාහය කියන්නේ ජීවිතයේ එක්වරක් පමණක් ගත යුතු වැදගත් තීරණයක්. විවාහය වෙනුවෙන් වූ තීරණය වයස අවුරුදු 18 ට කලින් ගත්තොත් ඒ තීරණය පවුල් ජීවිතයට ඉතාම අහිතකර විදිහට බලපානවා.

නිතර රෝගී වීම සහ මරණය ඉක්මන්

දක්ෂ විදිහට ජීවිතය ගොඩ නගා නොගැනීම නිසා දැන් ඔහුට වන්දි ගෙවන්නත් වෙලා. දරුවෙක් විදිහට ඉගෙන ගත්තේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ජීවිතය විනාශ කර ගත්තා. දැන් විවිධ ලෙඩ රෝගත් ඇවිත් ජීවත්වෙන්න තිබෙන බර මදිවාට ලෙඩ දුක් සේරමත් වැලඳිලා. හදවත් රෝග, අක්මාරෝග, පෙනහලු රෝග මේ වගේ මෙකී නොකී බොහෝ මාරාන්තික රෝගාබාධයන්ට ගොදුරක් වෙලා අවසානයි. ඒ නිසා මරණ වරෙන්තුව බොහොම කලින් ලැබෙනවා.

ඔබ දක්ෂ දරුවෙක් විදිහට ජීවිතය ගොඩ නගා ගන්න තවමත් ප්‍රමාද නැහැ.එහෙම නම් දක්ෂ දරුවෙක් වීමට යොමු වෙන්නේ කොහොමද…?

  • තමා ගැන හිතන්න. ඔබ ගැන ඔබ තරම් දන්නා කෙනෙක් නැහැ. ඒ නිසා ඔබේ ගතිගුණ ගැන හිතන්න.
  • ඔබේ දුර්වලතා දකින්න…ඒවා ඔබ විසින්ම දකින විට නිවරැදි කර ගැනීම ඉතාම පහසුයි.
  • දුර්වලතාවයන්ට හේතු ඔබේ හිතෙන් විමසන්න…එවිට ඒ වෙනුවෙන් වූ හේතු ඔබටම පෙනේවි.
  • දැන් මේ හේතු වෙනස් කරන්න උත්සාහ ගන්න.
  • එතැනින් නවතින්න එපා…වෙනස් කළ යුතු හේතු වෙනස් වුනා දැයි බලන්න.
දක්ෂ දරුවෙක් විදිහට අධ්‍යාපනයට යොමු වෙන්නේ කොහොමද…?

පාසල් දරුවෙක් ලෙසින් ඉගෙණුම ලබන කාලය තුළ ඔබ සාර්ථක චරිතයක් නොවුනොත් අනාගතය තුළ මුහුණ දීමට සිදු වෙන ගැටළු බොහෝය. ඒ නිසා අනාගතය මුල් කර ගෙන ඔබ වර්තමානයේ ඉගෙණුම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න.ඒ වෙනුවෙන් මේ පිලිවෙත් අනුගමනය කරන්න.

  • රූපවාහිනී නරඹන කාලය අඩු කරන්න.
  • විනාඩි දහයක් පමණ යොදවා දවසේ කළ යුතු දේ ගැන හිතන්න.
  • ඉගෙන ගන්නා වේලාවට ප්‍රශ්න අසා ඒ ගැන ඇති ගැටලු නිරවුල් කර ගන්න.
  • මාසයක් අවසානයේදී ගෙවුන මාසයේදී ඉගෙන ගත් දේ ආවර්ජනය කරන්න.
  • මත්ද්‍රව්‍ය, මත්පැන් ගැන අසන්න ලැබෙන යම් තොරතුරක් වෙතොත් ඒ බව වැඩිහිටියන්ට දන්වන්න.
  • එලවලු, පළතුරු , ධාන්‍ය ඇතුලත් සමබල ආහාරයක් වෙනුවෙන් යොමු වෙන්න.
  • පැණිබීම වෙනුවට වතුර, කැඳ වැනි පානවර්ග වෙත යොමු වෙන්න.
  • ක්‍රීඩා කරන්න.
  • පොත් කියවන්න.
  • වයස අවුරුදු 18 වෙන තෙක් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග සබඳතාවයන් ගොඩ නගා ගැනීමෙන් වලකින්න.
  • තමන්ට ඇති වෙන අතවර හෝ අතවර පිළිබද යම් සලකුණක් දැනුනොත් දෙමව්පියන්ට, ගුරුවරුන්ට එසේත් නැත්නම් හිතවතෙකුට හෝ කියන්න.
  • දෙමව්පියන්ට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න. හොදින් සලකන්න.
  • දරා ගැනීම, තිරණ ගැනීමේ හැකියාවන් දියුණු කර ගන්න.
  • දරුවෙක් විදිහට අද දවසේ මේ ගුණාංග ගොඩ නැගුනොත් අනාගතයේදී දක්ෂ දරුවෙක් විදිහට ඔබ සමාජයට ආශිර්වාදයක් වේවි.

දරුවෙකුගේ ගති ලක්ෂණ

දරුවන් ගැන ලෝකයම කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්. අද නොදරුවන් විදිහට හිටියත් හෙට ඔවුන් අනාගතය බාර ගනන්වා. ඒ නිසා අපි දරුවා පූර්ණ පෞරෂයකින්  යුක්තව නිර්මාණය නොකලොත් අනාගතයේදී ඔවුන්ට සමාජගත වීම අපහසුයි. එහෙම නම් දක්ෂ දරුවෙකුගේ ගති ලක්ෂණ මොනවාද.. ? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා.

කොන්ද පණ ඇති

දරුවෙක් සමාජයේ හැසිරෙන විට ඔවුන් අනුන්ට අවශ්‍ය විදිහට හැසිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. බොහෝ විට දරුවන් නොමගට යෑමටත් මේ හේතුව බලපානවා. අද දරුවන් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට පෙළඹෙන්නේ පංතියේ එහෙම නැත්නම් වැඩිහිටි දරුවෙකුගේ බලපෑම නිසයි. විද්‍යානුකූලව වුනත් දරුවෙක් වයස අවුරුදු 18 ක් වීමට පෙරාතුව ඔවුන්ට තනි තීන්දු තීරණ ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා දරුවෙක් වුනාම තමන්ට දැනෙන සේ ප්‍රකාශ කිරීමට හැකියාව ගොඩ නගා ගැනීම වැදගත්. තමන්ට දැනෙන දේ අනිත් අයට ග්‍රහණය කළ හැකි විදිහට ප්‍රකාශ කරන්න. පංතියේ විෂය ගැන ගැටළුවක් ඇති විට ඒ ගැන කතා කරන්න පුලුවන් කොන්ද පණ ඇති දරුවෙකුටයි. දරුවාට ඒ හැකියාව නැති වුනොත් ඔහු ඉදිරියට යන්නේ මේ ගැටළුත් සමගයි.

දරා ගැනීම

දරුවන්ගේ ලෝකය පුංචි වුනත් ඔවුන්ට විවිධ හැලහැප්පීම් ඇති වෙනවා. දුක, තරහ, ලැජ්ජාව, බිය වැනි හැඟීම් ඉදිරියේ ඒවා දරා සිටීමේ හැකියාව අවශ්‍යයි. දරුවන් අතරත් තරහ යෑම වැනි හැගීම් දරා ගැනීමට බැරි නිසා විවිධ අනතුරු සිද්ධ වෙනවා. සමහර දරුවන්ට විභාග ප්‍රතිඵල දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි සිදු කර ගන්නවා. තවත් දරුවන් ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ නොසැලී සිටිනවා. හැඟීම් සමග ගණුදෙණු කරන්න පුලුවන් නම් එය දියුණු ලක්ෂණයක්. එහෙම නොහැකි නම් ඒ දුර්වල ලක්ෂණයක්. වයස අවුරුදු 14 සිට 17 දක්වා අතර කාලයේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා හැගීම් සමග බුද්ධිමත්ව ගණුදෙනු කිරීම අවශ්‍යයි. ඒ හැකියාව නැති වුනොත් ජීවිතයම කණපිට හැරෙන තරම් විපාක දරුණුයි.

රැව‍ටෙන ගතිය

දරුවන් අතර තිබෙන නොදියුණු ලක්ෂණයක් විදිහට රැවටෙන ගතිය පෙන්වා දෙන්න පුලුවනි. කාටුන් වැනි චරිත නිසා දරුවන් රැවටෙනවා. මේ චරිත තමන්ට ආදේශ කර ගන්නවා. සමහර දරුවන් බොහොම ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න තරම් මේ කාටුන් චරිත වලට දරුවන් රැවටෙනවා. මත්ද්‍රව්‍යවලට වුනත් දරුවන් රැවටෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙනත් අය මවා පාන සුන්දර ලෝකය නිසයි. දක්ෂ දරුවෙක් මේ වගේ රැවටෙන ගතියට හසු වෙන්නේ නැහැ. අන්තර්ජාල, වට්ස්ඇප්, වැනි විද්‍යුත් මාධ්‍ය මගින් වුනත් දරුවන්ට ඇති කරන මායාවන් නිසා ඔවුන් ජීවත්වෙන්නේ මුලා වුන ලෝකයකයි.

උනන්දුව

දක්ෂ දරුවන් අතර උනන්දුව ඉතාම වැදගත්. ඔවුන් ජීවිතයේ විවිධ දේ වෙනුවෙන් උනන්දු වෙනවා. දරුවෙක් විදිහට අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. පාසල් අධ්‍යාපනය වසර 13 ක්. මේ කාලයේ අනන්දුවක් නැති නම් ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. උදේ නිවසෙන් පිට වෙද්දී අද දවස වෙනුවෙන් අරමුණක් ගොඩ නගා ගැනීම වැදගත්. “අද මම මේ පාඩම සම්පූර්ණ කරනවා…” දවස පටන් ගන්න පෙරාතුව විනාඩි දහයක් කාලය අරගෙන එය කළමනාකරණය කර ගන්න. මේ කළමනාකරණයෙන් ඇති වෙන සැලසුම ඉතාම ඵලදායී විදිහට ජීවිතයට ආදේශ කර ගන්න පුලුවනි. පාඩමට වගේම ක්‍රිඩාවටත් , පොත් පත් කියවීමටත් දරුවන් උනන්දු වීම වැදගත්.

සතුට

දක්ෂ දරුවන් අතර සතුටින් සිටීම ඉතාම වැදගත්. සතුට කියන්නේ දුක නැති කම නොවෙයි. හැම වෙලාවේම සතුටින් ඉන්න උත්සාහ කිරීමයි. සතුටින් සිටින හැම අවස්ථාවකදීම මොළය විවෘතයි. එවිට ධාරණය වැඩියි. දුක, තරහ වැනි සිතුවිලි නිසා අපේ සිරුරේ උත්තේජනය වෙන රසායනයන් ඉතාම අහිතකර විදිහට බලපානවා.

ආදරය

දක්ෂ දරුවා පවුලට ආදරෙයි. අම්මා තාත්තාට සමීපයි. දරුවන් උස් මහත් වෙද්දී ඔවුන්ගේ ආකල්ප අම්මා තාත්තාට ගැලපෙන්නේ නැහැ. දරුවන් හිතන්නේ ඔවුන් දක්ෂයි… දෙමව්පියන් අදක්ෂයි.. දරුවන් බිහි කරල, ඔවුන් රෝගාබාධයන්ගෙන් රැකගෙන, ශිල්ප උගන්වලා සමාජයට එකතු කිරීමට දෙමව්පියන් ඉදිරියේ තිබුන අභියෝගය   සුලුවෙන් සලකන්න බැහැ. දරුවන්ගේ ගෞරවය අනිවාර්යෙන්ම දෙමව්පියන්ට ලැබිය යුතුයි. ආදරය ඇති දරුවාට සමාජයට ගරුත්වය දැක්වීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඒ නිසා දෙමව්පියන් විදිහට සමාජයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්.

බත් වර්ග

වචනයට වුනත් අපි කියන්නේ බත් අපේ ප්‍රධාන ආහාරය බවයි. ඒක ඇත්ත. අද වෙන විට අපේ ජීවන රටාව විවිධ ක්ෂණික ආහාර වෙනුවෙන් ඇබ්බැහි වුනත් බත් ඉතාම ගුණදායක වගේම ශක්තිය ලබා දෙන ආහාරයක්. ඒත් අපි තවමත් බත් කී විට මතකයට නැගෙන්නේ සාමාන්‍යයෙන් ව්‍යංජන සමග බත් විදිහට ගන්නා වේල පිරිමහන ආහාරය ගැනයි.

ඒ වගේම අතීතයේදී බත් ඇටයක්වත් ඉවත දමන්න අපේ අම්මලා සූදානම් වුනේ නැහැ. බත් ඉවත දැමීම බොහොම පව් සිදු වෙන දෙයක් විදිහට ඒ අය සැලකුවා. ඒ විතරක් නොවෙයි, බත් පිරිමසින ආකාරය ගැන විවිධ ජනකතාවන්ද ප්‍රබන්ධ වී තිබුනා. ඒ නිසාම බත් පිරිමැස්ම ඔවුන්ගේ ජීවිතයේ විශාල අවධානයක් යොමු වුන පැවැත්මක් බවට පත්ව තිබුණා.

නානා ප්‍රකාර විදිහට බත් පිසින අන්දම ගැන අපේ අම්මලා හොදින්ම දන්නවා. දරුවන්ගෙන් ඇහුවොත් ඔවුන්ගෙනුත් පිලිතුරු වැලක් ලැබේවි. මේ හැම දෙයක්ම දන්නා අපේ තරුණ අම්මලා වගේම දරුවන් “හීල්බතේ” තිබෙන ගුණ දන්නවාද යන්නත් ගැටලුවක්. ඒක ඉතින් දරුවන්ගේවත් තරුණ අම්මලාගේවත් වරදක් නොවෙයි, බාල කාලයේ පටන්ම මේ අය ජීවත් වුන පරිසරයේදී හිල්බත් ගැන කිසිම දැණුවත් බවක් තිබුනේ නැහැ.

අතීතයේ අද වගේ හැම නිවසකම ශීතකරණය තිබුනේ නැහැ. ඒ නිසා දින ගණනක් අධි ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගැනීමක් සිද්ධ වුනෙත් නැහැ. ඒ විදිහට ආහාර කල් තබා ගැනීමේ පරිසරයට ගැලපෙන මුලුතැන්ගෙයක උපාංගත් තිබුනේ නැහැ. ඒ නිසා රාත්‍රියේ ඉතිරිවෙන බත් පසු දින උදයේ නැවත රත් කිරීමක් නොමැතිවම ආහාරයට ගත්තා. මේ හිල්බත බොහොම ගුණ ලබා දෙන ආහාරයක් වුනා.

රාත්‍රියක් පුරාම තිබෙන බතේ උපස්ථරය මතට යීස්ට් වැනි හිතකර ජීවින් එකතු වෙනවා. ඒ නිසා බත පැසවීමේ ක්‍රියාවලියට පත් වෙන අතර විටමින් “බි” සහ “සි” කාණ්ඩයේ සාන්ද්‍රණය ඉහල යනවා. බත් පිලුණු වුනා යැයි ඔබ කියන්නේ මේ ක්සුද්‍ර ජීවින්ගේ පැසීම කල් ඉකුත් වුන විටයි.

ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය මගින් විටමින් බී 12 ප්‍රභවයන් මිනිස් සිරුරට උරා ගැනීමේ හැකියාව තිබෙනවා. හිගන්නන්ට කොයින්ද උනුබත් කිව්වාට පෝෂණීය වටිනාකම අතින් හීල්බතට ඇති වැදගත්කම ඉතාම ඉහලයි. අපි නානා ප්‍රකාර නම් වලින් හැදින්වෙන බත් වර්ග වගේ තෙල් දැමීමක් නැහැ. විවිධ රසකාරක නැහැ. ඒ නිසා සිරුරට කිසිම අගුණයකුත් නැහැ. හීල්බත සකස් වෙන්නේ ජෛවීය විදිහට නිසා රෝග වෙනුවෙන් හේතුකාරක මේද ගබඩා විම, රුධිරගත සීනි, කොලස්ටරෝල් වැනි කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ.

හීල්බත පිසින්න අමුතු කාලයක් මුදලක් අවශ්‍ය වුනෙත් නැහැ. රාත්‍රියේ පිසින ලද බතේ වැඩි ප්‍රමාණය ඉවත ගියෙත් නැහැ. උදේ පාන්දර පාන්, බනිස් වෑන් එන තෙක් මග බල බලා වැලපෙන්න වුනෙත් නැහැ. උදේට පිළියෙල කර ගත්තු පොල්සම්බෝලයක් එහෙම නැත්නම් රාත්‍රියේ ඉතිරි වුන ව්‍යංජනයක් සමග ආහාරයට ගත්තා.

ඒ විතරක් නොවෙයි, දර හෝ ගෑස් විදුලිය වැනි බත පිසින්න යොදා ගන්නා ඉන්ධනත් නොදැනීම ඉතිරි වුණා. රාත්‍රියේ ඉතිරි බතෙන් උදේ වේල නොදැනීම පිරිමැසුන නිසා වැය පැත්තටත් වාසියක් ලැබුණා.

දියබත ගැන ඔබ අහල තියෙනවාද…?

දියබත් කියන්නේ  බොහොම ඖෂධීය ගුණ ලබා දෙන ආකාරයේ ඉතාම පහසුවෙන් පිළියෙල කර ගත හැකි බත් විශේෂයක්. රාත්‍රියේ බත් උයපු මුට්ටියේම බත් ටිකකට වතුර දමා තබනන්. මේ වෙනුවෙන් වඩාත් ගැලපුනේ කුරුට්ට සහිත තම්බාපු සහලින් පිසින ලද බත්.

පහුවදා උදයට මුට්ටියේ බත් ජලයත් සමගම භාජනයකට දමන්න. දැන් සිහින්ව ලියා ගත් රතුලූණු, අමුමිරිස්, උමම්ලකඩ, ලුණු ආදියත් මේ බත් මිශ්‍රණයට එක් කරන්න. සමහර උදවිය අමුමිරිස් වෙනුවට වියලි මිරිස් කරලක් එක් කරනවා. පොල් කිරි ස්වල්පයක් සමග දෙහි යුෂ දමා ආහාරයට ගනන්. අද දරුවන් අතර ඉතාම බහුලව තිබෙන ගැස්ට්‍රයිටිස් රෝග තත්වයට දියබත හොඳම ප්‍රතිකාරයක්. ඒ වගේම සිරුරේ දාහය නිවන ආහාරයක්.

කිරිබත්

සුබකටයුතු වලදී පඅනිවාර්යෙන්ම පිළියෙල වෙන වගේ නිවාඩු දිනයට උදේ ආහාරය වෙනුවෙන් පිළියෙල වෙන කිරිබත් පෝෂණීය ගුණයෙන් යුක්තයි. සිරුරේ ඇති වෙන දැවිලි සහගත බවට ගැස්ට්‍රයිටිස් තත්වයට, ගිලීමේ අපහසුතාවයන් ඇති විට කිරිබත් ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදු වුණා. කිරිබත මැදට පැණිපොල් තබා ගුලියක් සේ සකස් කර ගත් විට එය “ඉඹුල් කිරිබත්” එහෙම නැත්නම් “කොට්ට කිරිබත්” යනුවෙන් හැදින්වුණා.

සුන්සහල් බත්

අද නම් ගල් වැළි ඉවත් කළහාල් ගන්නා නිසා අපිට සුන්සහල් එකතු වෙන්නේ නැහැ. ඒත් සුන්සහල් ගරා ලිප තබා බත පිස එයට පොල් එකතු කර ගෙන කූරු ගා ගනන්වා. සමහර විට සීනි හෝ හකුරුත් එකතු කරන්න පුලුවනි. හැන්දෑවේ තේ වෙලාවට මේ බත ඉතා ජනප්‍රිය ආහාරයක් වුණා. හැබැයි පිරිමි දරුවන්ට නම් මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති වෙනවාය යන විශ්වාසය නිසා සුන්සහල් බත් ආහාරයට දුන්නේ නැහැ.

පොංගොල් බත්

දෙමළ ජන සංස්කෘතියට සම්බන්ධ පොංගොල් බත පෝෂණීය ගුණයෙන් ඉහලයි. මෙය සාමාන්‍ය බත පිසින තරමට වතුර දමා පිස ගෙන එයට කිරි, තම්බා ගත් මුංඇට , කජු, හකුරු , මුද්දරම්පලම් ආදිය එකතු කරන්න. අවසානයටම මිටි කිරි එකතු කර පැසුන විට ලිපෙන් බා ගන්න.

ඉවතලන බත්

නිවසේ ඉවත ලන බත් වියලා කබලේ බැද ගෙන පැණි සහ පොල් එකතු කර අග්ගලා සාදා ගැනීමටත් පුලුවනි. කිසිම අගුනයක් නැහැ. රසකාරක නැහැ. අවශ්‍ය නම් ගම්මිරිස් ඇට දෙකක් එකතු කර ගන්න පුලුවනි.

ගැබිනි මවකට තහංචි ආහාර

ඉස්සර කාලෙය්දී කාන්තාවක් ගැබ් ගත්තාම ඇගේ ඇවතුම් පැවැතුම් පමණක් නොව ආහාර ගැනත් හැම දෙනාගේම සැලකිල්ල යොමු වුණා. විශේෂයෙන්ම ආහාරපාන ගැන නම් වැඩි සැලකිල්ලක් තිබුනා. ඒත් ගැබ්ගත් කාන්තාවට අවශ්‍ය විදිහට හැම දෙයක්ම ආහාරයට ගැනීමට එදා වැඩිහිටියන්ගෙන් අවසර ලැබුනේ නැහැ. ඔවුන් තුළ ඒ ගැන විද්‍යාත්මක දැණුමක් නොතිබුනත් කුමන හෝ ආශිර්වාදයකට එදා වැඩිහිටියන් තහංචි දමන ලද ආහාර ගැන අද විද්‍යාත්මකවත් යම් යම් හේතු සාධක සපයනවා.

අන්නාසි නම් ගැබිනි මවකට කිට්ටු කරන්නවත් දුන්නේ නැහැ. අනවශ්‍ය දරු උපතකදී බොහෝ දෙනා අන්නාසි ගැට ආහාරයට ගත්තේ ඒ දරු ගැබ ස්වභාවික ගබ්සාවක් බවට පත් කිරීමටයි. ඒ තරම් හේතු සාධක තිබියදී දරු පැටියෙක් ගැබ දරන අම්මාට අන්නාසි කන්න කොහොමටවත් අවසර ලැබෙන එකක් නැහැ. අද විද්‍යාත්මකවත් මේ අදහසේ සත්‍යතාවයක් තිබෙනවා. අන්නාසිවල අන්තර්ගත “ප්‍රොස්ටග්ලැන්ඩින්” සංයෝගයෙන් ගැබිණි මවගේ ගර්භාෂය සංකෝචනය වීමට පුලුවනි. ඒ නිසා එදා වැඩිහිටියන්ගේ උපදෙස වැරැදිමත් නැහැ.

උෂ්ණාධික මාළු විදිහට එදා සමාජයේ සැලකුන බල, කෙලවල්ලා වැනි මාළු වර්ග ආහාරයට තහනම් වුණා. “අපෝ…උෂ්ණ මාළු කන්න හොඳ නැහැ…” අම්මලාගේ උපදෙස වුනේ ඒකයි. මේ මත්ස්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් විවිධ ආසාත්මිකතාවයන් ඇති වීමටත් පුලුවනි. මේ මාලු වර්ගවල අන්තර්ගත “හිස්ටමින්” නිසා හිසරදය, සිරුරේ පලු ඇති විම, කැසිම, දැවිල්ල වැනි අපහසුතාවයන් ඇති වෙන්නත් පුලුවන්. එදා වැඩිහිටියන් මේවායේ අපථ්‍යතාවය ඉවෙන් වගේ දැන සිටියා.

ඉස්සො…දැල්ලෝ…කකුළුවෝ…කිට්ටු කරන්න එපා

මුලින් සඳහන් කළ මාත්ස්‍ය වර්ග සියලල්ම අධික උෂ්ණ බවට විහ්වාසයන් ඔවුන් අතර තිබුනා. ඒ නිසාම සාමාන්‍යයෙන් වුනත් මේවා පිළියෙල කරද්දී මුරුංගා කොළ එහෙම නැත්නම් නිවිති එක් කර ගැනීමට අමතක කළේ නැහැ. මේ මාළුවර්ග ප්‍රෝටීන් බහුල කාණ්ඩයට ඇතුලත්. ඒ නිසාම ආහාරයට ගැනීමෙන් පසුව දිරවීමේ අපහසුතාවයන්, හුස්ම ගැනීමේ අපහසුතාවයන් වගේම සමහර විට වමනය සහ සිරුර කැසීම වැනි විවිධ අන්දමින් අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. ඒ වගේම ගැබ්බර අම්මා මේ කාණ්ඩයේ ආහාර අනුභව කිරීමෙන් දරුවාට රත කුෂ්ට ඇති විය හැකිය යන පිලිගැනීමත් ඔවුන් අතර තිබුනා. වෛද්‍ය විද්‍යාත්මකවත් මෙහි අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. මේවායේ ඇති අසාමාන්‍ය ප්‍රෝටීන ගැබ් දරණ අම්මාගේ මාර්ගයෙන් දරුවාටත් සම්ප්‍රේෂණය වීමට පුලුවන් නිසා හැකි තරම් මෙවැනි උෂ්ණාදික ආහාරවලින් දුරස් වුනොත් හොදයි.

අල වර්ග අතරත්  යම් යම් තහංචි තිබුණා. මඤ්ඤොක්කා වුනත් ආහාරයට නොදී සිටින්න ඔවුන් වග බලා ගත්තේ හදිසියේවත් වමනයක් ඇති වුනොත් ඉගුරු ඉස්ම ටිකක්වත් දෙන්න බැහැනේ… යන අදහස නිසයි. ඒ විතරක් නොවෙයි, කිරි අල යනුවෙන් හැඳින්වෙන අල වර්ගත් ආහාරයට දුන්නේ නැහැ.

පළතුරු කන්න එපා කියන්න බැරි වුනත් පැපොල්  ආහාරයට ගැනීමට නම් කොහෙත්ම අවසර ලැබුනේ නැහැ. මෙතැනදීත් පැපොල් ආහාරයට ගැනීමට අවසර නුදුන්නේ දරු ගැබට යම් අනතුරක් වීමට පැපොල් ආහාරයට ගැනීමෙන් සිදු වීමට ඉඩ ඇති බවට වූ පිලිගැනීම නිසයි. මේ කතාව අද සාධාරණ කර ගැනීමට හේතුත් තිබෙනවා. පැපොල්වල අන්තර්ගත “පැපේන්” නැමැති එන්සයිමය නිසා ගර්භණී කාන්තාවගේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන මටට්ම අසමතුලිතතාවයට පත් වෙන්න පුලුවනි. ඒ තත්වය දරු ගැබට අහිතකර විදිහට බලපානන් පුලුවනි.

නමුත් ගැබිනි කාලයේ ඇති වෙන මලබද්ධයට විසඳුමක් විදිහට වුනත් පැපොල් කුඩා මාත්‍රාවකින් දිනක් ඇර දිනක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වෙනවා.

තැඹිලි සහ දොඩම් වැනි පාන වර්ග ගැබිණි කාලයේදී වැඩියෙන් පානය කිරීමට ගැබිණි මව්වරුන් යොමු වෙනවා. ඒත් වැඩිහිටියන් මෙ පාන වර්ග වුනත් ලබා දුන්නේ වෙලාවක් කලාවක් අනුවයි. විශේෂයෙන් ස්නනාය කිරීමට පසුව මේ පාන වර්ග ලැබුනේ නැහැ. සමහර අවස්ථාවලදී ස්නානය කරනවා නම් මේ පාන වර්ග එදාට සම්පූර්නයෙන්ම තහනම් කලා. මධ්‍යහනය පහු වුනොත් ආයේ ඉතින් මේ පාන වර්ග ලැබෙනවා බොරු… එදා වැඩිහිටියන්ගේ විශ්වාසයට අනුව මේ පාන වර්ග සීතලයි. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව විතරක් නොවෙයි, විවිධ සෙම් රෝගවලට අවේලාවට සීතල පාන වර්ග ගැනීම අහිතකර වෙන්න තිබුනා.

ජාතිකාභිමානයෙන් පෙල ගැසෙමු…

වැදූ මවත් උපන් බිමත් තරම් වටිනා සංකල්පයක් අතීතයේ උදවියට තිබුනේ නැහැ. තමන්ගේ දෙමව්පියන්ට සමාන ආදරයක් ඇල්මක් ඔවුන් තමන්ගේ රටටත් දැක්වූවා. ඒ නිසාම “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” කියද්දී කිසිම කෙනෙක් කටක් ඇරල එහෙම නොවෙයි කියන තර්කය නැගුවේ නැහැ. ඒ උදවිය එතරම්ම ඇල්මක් ගරුත්වයක් තමන්ගේ රට වෙනුවෙන් දැක්වූවා.

නමුත්… 1980 දශකයෙන් පසුව සහ ඒ ආසන්නයේ උපන් බොහොම දෙනෙකුට දැන් අපේ රට අතහැර යන ස්ථාවරය ගොඩ නැගිලා තියෙනවා. ඔවුන්ගේ අදහස අනුව මේ ජීවත් වෙන්න ගැලපෙන රටක් නොවෙයි කියන තර්කය නිතරම නගනවා.

අම්මාට තාත්තාට… ආචිචිට.. සීයාට ජීවත් වෙන්න පුලුවන් වුනා නම් ඔවුන් මිනිසුන් විදිහට ආලෝකයක් අපේ රටේදී ලැබුවා නම් තුන්වැනි පම්පරාවට විතරක් රට නොගැලපෙන්න විදිහක් නැහැ කියන තැනදී මේ අලුත් පරම්පරාව කියන්න අම්මලා… අත්තම්මලා…ලෝකය  ගැරහීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. රටට ආදරයක් නැති පිරිසක් රටේ ජීවත් වෙනවා කියන්නේ ඒනෑම විනාශකාරී දෙයක් වෙනුවෙන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ප්‍රබලයි. රට රැකගැනීමේ කිසිම වගකීමක් මේ අයගේ හිතේ නැහැ. මේ දරුවන් ලොකු මහත් වෙලා පවුලක් විදිහට ගොඩ නැගිල රටේ අනාගතය බාර ගත් දිනකදී වුනත් හිතන්නේ… “මාවත් මගේ අඹුවත් රැකුනොත්” යන සංකල්පය පමණයි. සමහර විට අඹුවත් නොරකින තැනට පත් වීමට තරම් ඔවුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි වඩාත් දරුණු වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුංචි මල් වගේ ඉන්න අපේ දරුවන් තුළ රට , දැය සමය ගැනත් ඇල්මක් ඇති කිරීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද…?

රටට ආදරය කරන්න කියා දෙන්න…

අපි දැන් ජීවත් වෙන්නේ තොරතුරු ලෝකයක. ඒ වුනත් අපිට අද දෙපයින් මේ රටේ ජීවත්වීමට ඉඩ හසර ලබා දුන් අතීත මුතුන් මිත්තන් ගැන දරුවන්ට කියා දෙන්න. අද අපේ දවස වෙනුවෙන් එදා ඔවුන්ගේ ලේ, දහඩිය කඳුළුලින් මේ පොළව තෙත් වුන බව සිහියට නගන්න. අදටත් අපි ඒ වීරවර මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගැති බැව් හදවතට දැනෙන සේ කියා දෙන්න.

දරු නැළවිලිවලදී ජාතිකාභිමානය …

දරුවන් නළවන නැලවිලි ගී මගින් ඔවුන්ගේ හදවතට මේ සිතුවිලි බොහොම සියුම් විදිහට ඇතුළු කරන්න පුලුවනි. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන්ගේ නැලවිලි ගී ගයන විට දරුවන්ගේ හදවතට මේ සිතුවිලි නොදැනීම ඇතුළු වේවි.

“ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ…”
“මුනි සිරිපා සිඹිමින්නේ – සමනොළ ගිරි පෙදෙසින්නේ,
මද සුළඟයි මේ එන්නේ – මගේ පුතා නැලවෙන්නේ..”

 

මෙවැනි දරු නැළවිල්ලකින් නැගෙන ස්වරය දරුවාගේ හදවතටත් නොදැනීම දැනෙන අතර එය ඔවුන්ගේ අනාගතයේ ජීවන ගීතය බවට පත් කිරීම එතරම් අපහසු නැහැ.

කථාන්දර කියා දෙන්න…

එදා අම්මලා අත්තම්මලා  තමන්ගේ දරුවන්ට නින්ද යන තුරු බොහොම ලස්සන කතාන්දර කියා දුන්නා. ඒ අතරේ විහාරමහදේවි, දුටුගැමුණු කුමාරයා වැනි වීර චරිත ගැනත් කියැවුනා. අද අම්මලාට කතන්දර කියා දෙන්න තරම් විවේක මනසක් නැහැ. අත්තම්ලා හිටියත් සමහර ඔවුන් එක වහලක් යට නැහැ. ඒ වගේම දරුවන්ගේ ලෝකය රූපවාහිනිය පමණයි. අත්තම්මලාත්  හරි හරියට මුනුපුරන් සමග රූපවාහිනියට වාඩිවෙනවා මිසක කතන්දර කලාවක් ඔවුන්ටත් නැහැ. ඒ නිසා දරුවන්ට අපේ ඉතිහාසයෙන් කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ.

මේ හොඳම කාලයයි…

71 වැනි නිදහස සමරන මේ වකවානුවේ දරුවන්ට අපේ ඉතිහාසය ගැනත් අපේ ජාතික අභිමානය ගැනත් කියා දීමට මනා පරිසරයක් නොදැනීම සකස් වෙනවා. හැම නිවසකම ජාතික කොඩියක් ඔසවන මේ කාලයේ එතැන් පටන්ම ජාතිකාභිමානය දැනෙන සේ කටයුතු කරන අන්දම දරුවන්ට පෙන්වා දෙන්න.

ජාතික කොඩිය ඔසවන විට එය නිවසේ ඉහළම තැනක ඔසවන්න කියා දෙනන්. සිංහයා උඩු යටිකුරු නොවන සේ අභිමානයක් සහ ජාතික කොඩියට ගරුත්වයක් ඇති වෙන අන්දමින් ඔසවා තැබිය යුතු බව දරුවාට කියා දෙන්න. ජාතික කොඩිය තිබෙන්නේ එල්වරසන් නැගීමට, ඇදගෙන දුවන්න, ස්ටිකර් විදිහට මුහුණේ අලවා ගැනීමට නොවන බැව් පුංචි දරුවන්ට කියා දෙන්න. අද වැඩිහිටි දරුවන් තරඟාවසානයේ ජයඝෝෂා නගන විට ජාතික කොඩියට නිගරු වන සේ හැසිරෙන අන්දමි. අනාගතය භාරගැනීමට පෙල ගැසී සිටින දරුවන්ට නොගැලපෙන බැව් පහදා දෙන්න. ජාතික ගීතය ගායනා කරන විට සිටගෙන සිටීමේ ඉරියව් සහ ඒ වෙනුවෙන් ගරු කරන අන්දම කියා දෙන්න.

ජාතිකාභිමානය යනු ජාතිවාදය නොවේ…

රට , දැය සමයට ආදරය කිරීම යනු ජාතිවාදයක් නොවේ. අපේ රටේ ජාතික හැඟීම ඇති වෙන්නනේ කුමන හෝ උනුහුම් අවස්ථාවක්  ඇති වුන විට පමණි. අපි උපන්නේ එකම රටක බැවින් අපි ලක්මාතාවගේ දරුවන් බැව් අමතකව යෑමට ගෙවෙන්නේ නිමේශයකි.

මේ පුංචි රටේ අපි කවදා කොතැනක හෝ හමුවෙන බව අමතක කළ යුතු නැත. ලංකාමාතාව යනු අපි උපන් රටයි. මේ රටේ විවිධ වර්ග, විවිධ භාෂාවන් ආමන්ත්‍රනය කරන පිරිස් සිටිය හැකියි. ඒත් අප හැමදෙනාගේම සිරුරේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. පටු වාද භේද අවශ්‍ය නැත. එකම මවකගේ කුසින් උපන් දරුවන් සේ ලංකාමාතාවගේ සෙවෙනේ සමගියෙන් සාමයෙන් ජීවත් වෙන පරිසරයක් ගොඩ නගා ගනිමු.