අපේ ළමයි පරිප්පු කන්නේම නැහැ…

“අපේ ළමයි පරිප්පු තිබ්බොත් බත් පිගාන දිහා බලන්නෙත් නැහැ. ඔව් ඉතින් හැම එකටම පරිප්පුනේ අපි හදන්නේ…”

ඇත්තටම පරිප්පු අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පත්ව තිබෙන්නේ විවිධ හේතුන් නිසා. පරිප්පු ඕනෑම ආහාරයක් සමග ගැලපෙනවා. කොටින්ම කිව්වොත් පාන්, බත්, ඉදිආප්ප, රොටී වැනි ඕනෑම ආහාරයක් සමග පරිප්පු ගැලපෙනවා. ඒ වගේම පිළියෙල කර ගන්නත් පහසුයි. වියදම පැත්තෙන් බැලුවත් බොහොම සාධාරණ මුදලකින් ආහාර වේලක් සම්පූර්ණ කර ගන්න පුලුවන්.මේ හැම දෙයටම වඩා පරිප්පු වලඇතිපෝෂණ ගුණය ගැන ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුලුවන්.

පරිප්පු රනිල කුලයට අයත් අතර “lens esculenta” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. මෙහි ඉතිහාසය දිගු අතීතයකට හිමිකම් කියන අතර චරක සංහිතාව වැනි වේද ග්‍රන්ථයන්හි පවා පරිප්පු ගැන සදහන් වෙනවා.මයිසූරයේ ද්‍රවිඩ වෙළෙන්දන් විසින්ලංකාවට එවන ලද රතු පරිප්පු විශේෂය අපි “මයිසූර්” යනුවෙන් හැදින්වුවත් එහි නියම උච්චාරනය “මසූර්” ලෙසින් වෙනස් විය යුතුයි.

කිරට, මිරිසට, සුදට වගේම මැල්ලුමක් විදිහට පවුලේ අයගේ රුචි අරුචිය අනුව පරිප්පු පිලියෙල කර ගන්න අම්මාට නිදහස තිබෙනවා. කුඩා දරුවන්ට පිළියෙල කරන විට මිරිස් නොදමා අමුමිරිස්, කහ, කරපිංචා සහ තුනපහ යොදා ගෙන කිරට පිසගගන්න පුලුවන්.පතෝල, නිවිති, සාරණ සහ කොහිල දලු වැනි එළවලු සමග සංයෝගයක් විදිහටත් පරිප්පු යොදා ගන්න පුලුවනි. සුප් පිලියෙල කරන විට පරිප්පු එක් කර ගැනීමෙන් රසය වගේම ගුණය ඉහලින්ම ලබා ගත හැකියි.

පරිප්පු ග්‍රෑම් 100 ක පෝෂණය

පෝෂණය ප්‍රතිශතය
ශක්තිය ග්‍රෑම් 343
තෙතමනය ග්‍රෑම් 12.4
මේදය ග්‍රෑම් 0.7
කාබොහයිඩ්රේට ග්‍රෑම් 59.0
ඛණිජ මිලිග්‍රෑම් 4.8
කෙදි මිලිග්‍රෑම් 1
කැල්සියම් මිලිග්‍රෑම් 69
පොස්පරස් මිලිග්‍රෑම් 295
කැරොටින් මයික්‍රොග්‍රෑම් 275
තයමින් මයික්‍රොග්‍රෑම් 450
රිබොක්පැක්ස් මයික්‍රොග්‍රෑම් 200
නයසින් මිලිග්‍රෑම් 2.6

මීට අමතරව කහ පැහැයෙන් යුක්ත තෝර පරිප්පු විශේෂය නිවර්තන හා උපනිවර්තන කලාපයන්හි වගා වෙනවා. රතු පරිප්පු ඉක්මනින් තැම්බුනත් තෝර පරිප්පු තම්බා ගැනීමට කාලය ගත වෙන නිසා පිසින්නට පෙරාතුව තෝර පරිප්පු පොගවා ගන්නවා.ඒත් පීඩන උදුනක ඉතාම පහසුවෙන් තැම්බෙන නිසා පොඟවා  ගැනීම අවශ්‍ය නැහැ.

මෑතකදී පරිප්පු පිලිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ මැනිසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යනයේදී පර්යේෂකයන් විසින් මීයන්ට පරිප්පු ආහාරයට ලබා දුන් අතර එම මීයන්ගේ අධිරුධිර පීඩන රෝග තත්වය පාලනය වීමට අවශ්‍ය පරිසරය ඔවුන්ගේ සිරුරෙන්ම ඇති වී තිබුනා. එහිදී රෝගී මීයන්ගේ වෙනස්කම් පාදක කර ගෙන පරිප්පුවල ගුණ පිලිබදව සහතිකය පහසුවෙන් ලබා ගැනීමට හැකි වුණා. මෙම අධ්‍යනයට සම්බන්ධ වුන මීයන්ගේ පාද වෙත රුධිරය ගමන්ගන්නා ධමණියක් අවහිර වී තිබුන අතර පරිප්පු මිශ්‍රණයක් සමග ආහාර ලබා දීමෙන් අනතුරුව එම රෝගී මීයන්ගේ පාද දක්වා රුධිරය ගමන් කිරීමේ තිබුන අවහිරතාවයන් ඉවත් වුණා.මෙම අධ්‍යනයේ ප්‍රධානී විදිහට කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පීටර් සහරංකා විසින්. ඔවුන් විසින් අනාවරනය කර ගත් තොරතුරු ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඇමරිකානු හෘද රෝග සංගමය් වාර්ෂික සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුවා.

අධිරුධිර පීඩනය නිහඩ මාරයෙක් සේ සැලකෙන නිසා අපි කවුරුත් මේ ගැන අවධානයෙන් සිටීම වැදගත්. ඒ නිසා පරිප්පු ආහාරයට ගැනීමෙන් කිසියම් සහනයක් ලැබෙනවා නම් අපි ඒ ගැන අමතක කිරීමට අවශ්‍ය නැහැ. පරිප්පු කන්න බැහැ කියලා ගෝරනාඩු තිබෙනවා නම් සුප් පිළියෙල කරන විට පරිප්පු එක් කරන්න අමතක කරන්න එපා. එයින් පෝෂණ ගුණය දරුවාට නොදැනෙන විදිහට ලබා දෙන්න පුලුවන්.පවුලේ දරුවන්ගේ ආහාරයට පරිප්පු එක් කර ගැනීමට අම්මලා ටිකක් උනන්දු වුනොත් හොදයි නේද…?

-Daily Express ඇසුරින්-

පවුලේ බහින් බස්වීම් අඩු කරගනිමු

දොඩා දොඩා බස් බෝවේ යන සිතුවිල්ලේ  පිහිටා එදා අම්මා පවුලේ ගැටුම් වලදී ඉතාම අපූරු විදිහට කට පරිස්සම් කර ගත්තා.ඒත් අද අම්මා ඊට ටිකක් වෙනස්. පවුලක් වුනාම අඹු සැමියන් සහ දූ දරුවන් අතර පුංචි පුංචි මතවාද, අදහස් හුවමාරු ඇති ‍නොවෙනවාම නොවෙයි. මේවායේදී සමහර වේලාවට වචනත් ටිකක් සැරපරුෂ වෙන්න පුලුවන්. මේ තත්වය බොහොම සාමාන්‍ය වුනත් අපි ඒවා බහින් බස් වීම් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු නැහැ.ඇත්තටම ගෙදර ඇතුලේ ඇති වෙන පුංචි හබයක් දුර දිග යන්නේ කොහොමද..?

වරද පිලිගන්න කැමැතිම නැහැ…

පවුලක් වුනාම අපි අතින් පුංචි පුංචි වැරදි සිද්ධ නොවෙනාම නොවෙයි. සමහර වේලාවට ඔබෙන් සිද්ධ වුනේ වැරැද්දක් බව ඔබත් දන්නවා ඇති. ඒ වුනත් එතැන තිබෙන එකම අඩුපාඩුව එය ඔබෙන් වුන අතපසුවීම වැරැද්දක් විදිහට පිලිගැනීමට තිබෙන මැලිකමයි.ඒත් පවුලක් වුනාම ඔබ සියලුදෙනා අතර විවිධ මානයන් තිබෙන්න බැහැ. එක් වහලක් යට ජීවත් වෙනවා නම් ඔබ හැම දෙනාම එකම පවුලක්. ඒ නිසා මේ වාගේ හිතේ අහංකාරකම් නොතබා වරද දුටු විට එය පිළිගන්න. එවිට කිසිම විදිහකින් ප්‍රශ්න දුරදිග යන්නේ නැහැ.බොහෝ දෙමව්පියන් මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී ඔබේ වැරැදි ඔබට නොපෙනෙන්න පුලුවනි.දරුවන් එය පෙන්වා දුන් විට ඇත්තටම එතැන වරදක් තිබෙන බව තේරුම් යනු ඇති. එය දරුවන් පෙන්වා දුන් නිසා පිලිගැනීමට මැලි වෙන්න එපා.

දරුවන්ටත් අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න…

බොහෝ විට අපි කල්පනා කරන්නේ යම් වරදක් ඉදිරියේ දරුවන්ගේ අදහස් ඉදිරිපත් කිරීම කියන්නේ ඔවුන් විසින් එකටෙක කීමක් විදිහටයි. ඒත් දරුවන්ටත් තමන්ගේ නිදහසට කරුනු තිබෙන නිසා ඒවා විවෘතව ඉදිරිපත් කිරීම එතරම් වැරැදද්ක් නොවෙයි. එයින් පසුව දරුවන්ගේ පැත්තටත් යම් වාසියක් ලබා දීලා නිවරැදි තීරණයක් ගැනීමට අම්මා තාත්තාට ඕනෑ තරම් නිදහස තිබෙනවා. ඒ නිසා දරුවන්ට සම්පූර්නයෙන්ම කටවහ ගෙන සිටීමට ලබා දෙන අණසක එතරම් ගැලපීමක් නැහැ. ඇත්තටම ප්‍රශ්න ඉදිරියේ අපි නොදකින පැත්තක් ඔවුන් තර්ක බුද්ධියෙන් බලනවා. ඒ නිසා දරුවන්ගේ තර්ක අම්මලා තාත්තලාගේ නිර්මාණශීලීත්වයෙන් සකසා ගන්න පුලුවනි.

මීට පෙර අවස්ථා මොකටද දැන්…

සමහර මව්පියන් ප්‍රශ්නයක් හෝ ගැටුමක් ඇති වුන විට ඒ වෙනුවෙන් අතීත සිදුවීම් වැලක් පාදක කර ගන්නවා. එදත් එහෙමයි…අදත් එහෙමයි…ඒ නිසාම ඔබ හෙටත් එහෙමයි…මේ තීන්දුව අම්මා තාත්තා ලබා දෙන විට දරුවාගේ හිතට නැගෙන්නේ මගේ වෙනස්වීමක් එහෙමනම් අවශ්‍ය නැති බවයි. ඒ නිසා ඔබ දරුවාට කියා දිය යුත්තේ ඔබ එදා සහ අද මේ වරද කරන්නේ නම් හෙට අනිවාර්යෙන්ම නිවරැදි වීම අවශ්‍ය බවයි.

වෙනත් අය සම්බන්ධ කර ගන්න එපා…

ප්‍රශ්නයක් ඇති  වුනොත් වෙනත් කිසිම කෙනක් ඒ වෙනුවෙන් සම්බන්ධ කර ගන්න එපා. සමහර දරුවන්ට දොස් නගන්නේ “ගහේ කටු උල් කරන්න ඕනැයැ..තාත්තා වගේම ගතිගුණ…සැමියා මුල් කර ගෙන නම්” අම්මා..නංගී වගේමයි..ඒ විදිහට පවුල් ගහ අවශ්‍ය නැහැ. ප්‍රහ්නයක් නම් ඒ ගැන විතරක් කතා කරන්න. එයින් ඔබ්බට තවත් චරිත සම්බන්ධ කර ගැනීම කියන්නේ මුල් ප්‍රශ්නය වෙනුවට වෙනත් වෙනත් ප්‍රශ්න ඇවිත් ගැටුම තව දුරටත් ඉදිරියට යෑම පමණයි. අන්තිමේදී ඔබේ විසඳා ගත යුතු ප්‍රශ්නය එතැනම ඉතිරි වෙනවා.

ගැටුම එතැනින් අවසාන කරන්න…

සමහර අම්මලා තාත්තාලාට කිසිම දෙයක් එතැනින් අවසාන කරනන් බැහැ. සමහර විට ඇති ප්‍රශ්නයකුත් නැහැ. ඒත් ඔවුන් බුම්මාගෙන සිටින්නේ මුලින් ඇති වුන සහ විසදුම් ලබා ගත් ප්‍රශ්නයේ පසු පසුතැවිම නිසයි. එය කිසිම විටෙකත් නොවිය යුතු දෙයක්. ප්‍රශ්නයක් සිද්ධ වුන විට එය එතැනින් අවසාන කරන්න. පවුලක සතුට තිබෙන්නේ එවිටයි. එහෙම නැතුව නිතරම මුහුණූ නරක් කර ගෙන ගෙවන ජීවිතය නිසා කිසිම දවසක පවුලක ප්‍රසන්න පරිසරයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම විසදා ගෙන ඉදිරියට යනු විනා ඒවායේ අස් කොන් ඉතිරි කර ගෙන ජීවිතය හෙම්බත් කර ගැනීම අවශ්‍ය නැහැ.

නිවාඩු දුන්නා…. දැන් යුද්දේ පටන් ගත්තා

පාසල් නිවාඩුව සමග දෙමව්පියන්ට ඇති වෙන තවත් එක් ප්‍රශ්නයක් තිබෙනවා. වෙනදා උදේට පාසලට ඇරලලා හැන්දෑවට නිවසට ගෙන්වා ගන්න චණ්ඩි පැටව් දැන් තනියම නිවසේ තියන්නේ කොහොමද යන ගැටළුව ඇති වෙනවා. කන්තෝරු යන අම්මාට හැමදාම දරුවා එහි අරගෙන යන්නත් බැහැ. එහෙම වුනාම දරුවාටත් ඉතින් නිදහසක් නැහැ. ඒ එක පැත්තක්. තවත් දරුවන්ට නම් නිවසේ ආරක්ෂාවක් තිබෙනවා. අත්තම්මා, එහෙම නැත්නම් අක්කා , අයියා වගේ ආරක්ෂකයෙක් ඉන්නවා. කොහොම වුනත් නිවාඩු කාලයේ අම්මලා තාත්තලාට ඇති වෙන මේ ප්‍රශ්නවලටත් අපි පිලිතුරු ටිකක් හොයමු..

අවුරුදු නිවාඩුව නම් එතරම් ගැටලුවක් නැහැ…

අවුරුදු නිවාඩුව දැන් ඉතාම සීමිතයි. එහෙ බලලා මෙහෙ බලන විට අවසානයි. මේ සුලු කාලයේදී වුනත් නිවාඩුව ඵලදායී විදිහට දරුවා යොමු කරන්නේ කොහොමද..?

පුංචි පුංචි අත්උදව් ගන්න…

අලුත් අවුරුදු ළග ළඟම එන නිසා දරුවාගෙනුත් යම් යම් උදව් ලබා ගන්න දැන් පුලුවන්. නිවස පිරිසිදු කරන කටයුතු දැන්ම පටන් ගත්තාම ඉතාම පහසුයි. ඒ නිසා දවසේ කළ යුතු වැඩ කොටසක් දරුවාටත් බෙදා දෙන්න. උදාහරණයක් විදිහට පොත් මේසය, නිවසේ තිබෙන ඡායාරූප මේ වගේ දේවල් පිරිසිදු කිරීමට ඔවුන්ටත් බෙදා දෙන්න. එවිට දරුවාටත් කාලය ගෙවන මගක් ඇති වෙනවා වගේම නිවසත් නොදැනීම පිරිසිදු වෙනවා.

ඇඳුම් මහනවා නම් උදව් ගන්න…

ඉස්සරනම් අලුත් අවුරුදු වෙනුවෙන් ඇඳුම් නිවසේම මසා ගත්තා. අද ඒ වෙනුවෙන් යොමු වෙන අය ඉතාම අඩුයි. වෙන‍ දෙයක් තබා කොට්ට උරයක් තරම් දෙයක් වත් මහ ගන්න පිරිසක් අද නැහැ. ඒත් ගැහැණු දරුවන්ට නිවාඩු කාලයට කොට්ට උරයක මල් මහන්න අවස්ථාවක් ලබා දෙන්න. අද පාසල් ව්‍යාපෘති මගින් කතිර මැස්මෙන් බිත්ති සැරසිලි කිරීම විෂය සමගාමී කටයුත්තක් විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ට මේවා ගැන හුරුව තිබෙන නිසා කතිර මෝස්තර යොදා ගෙන කොට්ට උරයක්, අත්පිස්නාවක් මහන්න අවශ්‍ය වෙන පසුබිම සකස් කර දෙන්න. කතිර මහන විට ඉවසීම, බුද්ධිය වගේම දරුවාගේ නිර්මානශීලීබවත් වැඩි දියුනු වෙනවා. ඒ නිසා නිවාඩු කාලයට ඒ වගේ මැහුම් ගෙතුම් කලාවන්ට යොමු කරනවා නම් ඉතාමත් අගෙයි.

ඉවුම් පිහුම්…

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ට වුනත් උයන්න පිහන්න කියා දීම කිසිම වරදක් නැහැ. අලුත් අවුරුදු කාලයට දරුවන් ලවා රසකැවිල්ලක්, එහෙම නැත්නම් අච්චාරුවක් වගේ දෙයක් සාදා ගන්න. එය තනියම කිරීමට පුලුවන්. ඒ විතරක් නොවෙයි, ඔබ කැවිලි හදන විට ඒවා කපා ගැනීමට, ඇසිරීමට දරුවන්ගේ සහය ලබා ගන්න. කුස්සිය පැත්තටවත් එන්න එපා කියමින් තහංචි පැනවීම කිසිසේත්ම සුදුසු නැහැ.අද බොහෝ දෙමව්පියන් දරුවන්ට මුලුතැන්ගෙය තහනම් කලාපයක් බවට පත් කරනවා. ඒ නිසාම ඔවුන්ට ඉවුම් පිහුම් ගැන කිසිම දැණුවත් බවක් හෝ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. එයින් පසුව අම්මලාම නගන චෝදනාව වෙන්නේ අපේ දරුවන්ගෙන් කිසිම උදව්වක් නැහැ..මේ නිවාඩු කාලයේදී දරුවන්ගෙන් උදව් ගනන්. ලැබෙන සහයෝගය ඔබට පහසුවක් වගේම දරුවාට අත්දැකීම් ලබා ගැනීමට ගැලපෙන පරිසරය නිර්මානය වෙන බවත් අමතක කරන්න එපා.

ගමන් බිමන්…

පාසල, පංතිය අතර සිරගතව සිටි දරුවන්ට දැන් නිවාඩු ලැබිලා.කන්තෝරු යන අම්මා තාත්තාට නම් ඒ අවසරය නැහැ. ඒත් දරුවන් සමග නෑ ගමනක් හෝ වෙනත් චාරිකාවක් වෙනුවෙන් කාලය දැන් ලබා ගත හැකියි. අද දරුවන් වෙනුවෙන් නැගෙන බරපතලම චෝදනාව වෙලා තියෙන්නේ මිනිස් ආශ්‍රයක් නැහැ..ජංගම දුරකථනය විතරයි…මේ කථාව ඇත්ත. ඊට බලපාන තවත් හේතු තිබෙනවා. අම්මලා තාත්තලා වුනත් මිනිස් ඇසුරට කැමැති නැහැ. එදා කියපු විදිහට කෝච්චියෙන් ගමට යනවා.. කිරියි පැණියි කාලා එනවා..වැල්ලේ පදිමු රං ඔන්චිල්ලා.. යනුවෙන් සතුටු වෙන්න බැහැ. අඩුම ගනනේ අම්මාගේ තාත්තාගේ මුල් ගම් කොහෙද කියලා වත් දරුවන් දන්නේ නැහැ. ඒ තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහී ගිහින්. මේ විදිහට බිදවැටුන පවුල් සම්බන්ධතාවයන් නැවත ගොඩ නගා ගැනීමට මේ හොඳම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා.

සෙල්ලමටත් අවසර…

නිවාඩු කලාය දරුවන්ට නිවාඩුවක් විදිහට ගෙවන්න ඉඩ දෙන්න. සෙල්ලමක යෙදුනාම මහ විනාශයක් සිද්ධ වුනා වගේ ආවේග ගන්න එපා. සෙල්ලමත් දරුවාට අවශ්‍යයි. ශාරිරිකව වැඩුනත් මානසිකව සතුටක් ලබන්න, ක්‍රියාශීලීජීවිතයක් වෙනුවෙන් දරුවන්ට සෙල්ලම අවශ්‍යයි. ශිෂ්‍යත්වය, සාමාන්‍යපෙළ, උසස් පෙළ වැනි විභාග නිසා ඔවුන්ගේ සෙල්ලම් වයස වැඩිහිටියන් විසින් උදුරා ගැනීම ඉතාම අසාධාරණයි. ඉගෙණුම වෙනුවෙන් අවධානය සහ කැපවීම අවශ්‍ය බව ඇතත්. ඒ වුනත් නිවාඩු කාලයේදී සෙල්ලම වෙනුවෙන් යම් අවසරයක් ලබා දෙන්න. එය කිසිම විටෙක වැරැද්දක් නොවෙයි. බොහෝ අම්මලා නිවාඩු කාලයටවත් දරුවන්ට සෙල්ලමට ඉඩ නොදෙන්නේ ඒ වෙනුවෙන් හුරු වුනොත් නැවත පාඩමට ඇද ගැනීමට බැරි වේය යන බය නිසයි. අක්‍රීයශීලිව කාලය ගෙවන දරුවන් නොදැනම ඇබ්බැහි වෙන්නේ ජංගම දුරකථනයටයි. අද මත්ද්‍රව්‍යවලටත් වඩා දරුනු තත්වයක් ඇති වී තිබෙන්නේ ජංගම දුරකථන නිසා. සෙල්ලම් කිරීමෙන් දරුවන් සමාජය සමග සුහදතාවය ගොඩ නගා ගන්නවා. එය ජීවිතයට සතුට ලැබෙන මගක්.

ඉතින් … මේ සරල කටයුතු අනුගමනය එතරම් අපහසු නැහැ. ඔබත් මේ නිවාඩු කාලයේදී ඔබේ දරුවන් සමග මේ විදිහට ගත කරල බලන්නකෝ..

දුවලා ඉන්න අම්මලාට…

විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භයත් එක්කම ගිය ආත්මයේ හෝ ඊට පෙර මගේ සහෝදරියන්ව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි තරමේ සොයුරියන් හය දෙනෙක් මට හමු වුණා. එකම බෝඩිමේ බොහොම සුහදව, ආදරයෙන් අපි කාලය ගත කළා. ඇත්තටම අපි අපිටම නොදැනුවත්ව හෝ අපේ ආරක්ෂකයෝත් උණා. අද වෙනකොට අපි හැමෝම විවාහ වෙලා. දරුවෝ ලබලා. ජිවිතයට මුහුණ දෙනවා. ඉතිං මේ අතරින් එක සොයුරියකගේ නව කතාවක සෝදුපත් පරික්ෂා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කතාවේ මගේ හිතට තදින්ම කා වැදුණේ කතා නායක යුවළගේ මදුසමයේ ඇරඹුමක් ලෙස බොහොම සුන්දරව රසවත්ව සටහන් කළ කොටසයි. මම ඇයට ඇමතුමක් දීලා, “ඒ ටික හරිම ලස්සනයි.. ඇයි අක්කේ එතනින් නැවැත්තුවේ…?” කියලා ඇහුවත් ඒ නතර වීම ඔබ, ඔබේ මංගල රාත්‍රිය දක්වා ආපස්සට රැගෙන යන්න  සමත් වෙන්නේ ඒ හේතුව නිසාම බව මට හිතිලා තිබුණා.

මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී මගේ තවත් යෙහෙලියක් නිවසට ආවා. මේ කියවීමත් සමගම අතීත මතකයන් එක්ක අමුතු හැඟීමක් හිතට දැනුණු නිසාමදෝ ඒ රසවත් බව අය සමග බෙදා ගන්න හිතාගෙන මම මේ පොත පිළිබඳවත් එය කාගේද යන්න පිළිබඳවත් මගේ හිතට කා වැදුණු මේ කොටස පිළිබඳවත් පැවසූවා.

ඒ කොටස කියවූ ඇය, “ඔව්… කෙල්ලෙකුගේ ජිවිතේ කොච්චර ලස්සන දවසක්ද? ඒත් මට නම් මගේ හනිමුන් එකේ මතක් කරන්න දෙයක් නැ.” කියලා පොත ආයේ මගේ අතට දුන්නා.

“ඇයි එහෙම කියන්නේ…,”

පොඩ්ඩක් ලජ්ජාවෙන් උනත් ඇය ඇගේ කතාව කියන්න පටන් ගත්තේ මේ විදියට…

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. අනික ඔයා අම්මලා දැනුවත් කරන්න ගොඩක් ලිපි ලියන කෙනෙක්. මේ කතාව දුවලා ඉන්න හැම අම්මා කෙනෙක්ටම කොයි විදියකින් හරි වැදගත් වේවි. ඒකයි මම මේක මේ වෙලේ මෙහෙම කියන්නේ… අනේ වැරදියට හිතන්න එපා.”

“අපි දෙන්නටම අපේ මංගල රාත්‍රියේ කිසිම සුන්දරත්වයක් තිබුනේ නෑ. මොකද ඒ වෙනකොට ඒ දේවල් අපිට අලුත් දේවල් වුනේ නෑ. ඔය කියන විදියට ඇස් දිහා ආදරෙන් බලන්න අපිට හිතුණේ නැ. තරුණ වයසේදී අපි හිතට හිතෙන දේ කරනවනේ.. ඒ දේවල් 100%ක් වැරදියි කියන්නත් බැ.  ඒ කොහොම වුනත් අපි අපිට අවංකව ආදරය කළ නිසා ගැටලුවක් උනේ නැ. වාසනාව වුණේ ඒකයි. ඒත් බොහොම සුන්දරව ගෙවන්න පුළුවන්කම තිබුණු මංගල රාත්‍රිය නම් අපිට නැති උණා. අපි දෙන්නම එදා පසුතැවුනා.”

ඒකේ ප්‍රථිපලයක් විදියට තමයි, අද අපේ දුව අනවශ්‍ය විදියට අපේ ආරක්ෂාවට නතු කරගෙන ඉන්නේ. ඒක දුවට නොදැනෙන්න අපි කළත් එයා ගැන අපිට දුකයි. අපි දෙන්නම අද අපේ දුව ගැන හරිම බයකින් ජිවත් වෙන්නේ. මට මගේ පෙම්වතා ගැන 100%ක විශ්වාසයක් තිබුණා. අපි අපේ සම්බන්ධය ආදරයත් එක්කම විවාහය දක්වාම අරන් අවා. ඒත් අද කාලේ ඒ විදියටම වෙයි කියන විශ්වාසය අපිට නැහැ. මගේ දුව කවදා හරි තෝරගන්න පෙම්වතා ඒ විදියට විශ්වාස කරන්න පුළුවන් වෙයිද? මගේ දුව එයාගේ පෙම්වතා එක්ක හෝටල් කාමරයකට ගියොත් කියලා හිතද්දී මගේ ඇඟ කීරි ගැහෙනවා. මම එයා එක්කම ඉන්නේ ඒ බය මගේ හිතේ තියෙන නිසා. අපි දෙන්නාගෙන් කෙනෙක් නැතිව එයාව කොහෙවත් යවන්නේ නැ. යාලුවෝ එක්ක ගමනක් ගියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් යනවාමයි. වෙලාවකට ”අනේ අම්මා කාගෙවත් අම්මල එන්නේ නැ.. ඇයි ඉතිං අම්මලා එන්නේ…” කියල අහන වෙලාවල් තියෙනවා. එතකොට එයාට අපිව කරදරයක් කියලා හිතෙනවත් ඇති. මම ආස මගේ දුව ලස්සන මනමාලියක් වෙලා අලුතෙන්ම එයාගේ යුග දිවිය පටන් ගන්නවට. එයා ජිවිතේ දුකක් ඇති වෙන්න යමක් කරගන්නවාට අපි දෙන්නම අකමැතියි.

“ඉතිං අම්මලා බැලුවේ නැද්ද ඔයා යන එන තැන්…?”

අම්මලාගේ මේ සම්බන්ධයට විරුද්ධත්වයක් තිබුනේ නැ. ඉතිං මම එයා එක්ක යනව නම් තමයි කොහේ උනත් යැව්වේ. මොකද අම්මටයි තාත්තටයි මම යන යන හැම තැනම එක්ක යන එක කරදරයිනෙ. ඉතිං මම හැම තැනම ගියේ එය එක්ක තමයි. ඒ නිදහස අපි දෙන්නම අයුතු විදියට ප්‍රයෝජනයට ගත්තා කියලා මේ ඔයා පෙන්නපු කාතාවේ ඒ කොටස දැක්කම මට පොඩි පසු තැවීමක් ඇති උණා.

ඒත් ඔය දෙන්නටත් ඒ විදියට හරි අලුත් දවසක් තියෙන්න ඇතිනේ, ඒක නේද ඔයාලගේ පලවෙනි දවස?

ඒ අත්දැකීම එහෙම විස්තර කරන්න බැ… කාට හරි පෙනෙයි, කරදරයක් වෙයිද? මේ කරන වැඩේ හරිද? කියන වරදකාරී හැඟීම් ගොඩක් එක්ක අම්මා තාත්තාගේ මුහුණු මතක් වෙද්දී ඒ අවස්ථාවේ අපි විඳපු සුන්දරත්වයක් නැ කියලා මට දැන් හිතෙනවා. ලස්සන මනාලියක් වෙලා හැමෝගෙම ආශීර්වාදය මැද්දේ සැමියා එක්ක අරඹන ජීවිතය සිය දහවරක් ලස්සන ඇති කියලා තමයි මට හිතෙන්නේ.

ඉතිං හිතන්න, මේ කතාව ඇතුලේ වැරදිකාරයන් කීදෙනෙක් ඔබට මුණ ගැහෙනවද? තාරුණ්‍යයේ සිතුවිලි “වැරදි” කියන වචනයට සමාන කරන්න පුලුවන්ද? දියණියන් ඉන්න ඔබත් හිතන්න,

තරුණයෙක් සහ තරුණියක්, ඔවුන්ගේ ආදරය ඔස්සේ ආසාවන් සොයා යනවා. යෞවන යෞවනියන්ට නිදහස උපරිමයෙන් ලැබෙන විට ඔවුන්ගේ සිතුවිලි ඔස්සේ ගලායාමට ඉඩ හැරීම වරදක්ද?

වරදට පෙළඹිය හැකි තරුණ වියේ සිටින දියණියකගේ ආරක්ෂකයා ලෙස සම වයසේ තරුණයෙක් යෙදවූ දෙමාපියන් නිවැරදිද?

තාමාගේ අනාගතය පිළිබඳව මේ තරම් අවදානමක් ගත් තම දෙමාපියන්ගේ විශ්වාසය බිඳ දැමූ දියණිය නිවැරදිද?

තමා විශ්වාස කර ඔවුන්ගේ දියණියගේ වගකීම පැවරු කළ, ඒ වැඩිහිටි යුවළගේ විශ්වාසය බිඳ දැමූ තරුණයා වැරදිද?

තම පෙම්වතිය හෝටල් කාමර වෙත රැගෙන ගිය පෙම්වතා නිවැරදිද? එය ප්‍රතික්ෂේප නොකළ ඇය වැරදිද?

මේ සියල්ල හමුවේ, තම තරුණ විය දෙමාපියන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වූ දියණියට ඉටු වන්නේ සාධාරණයක්ද?

හිතන්න ගොඩක් දේවල් එකතු වුණා නේද?

ඔබට හිතෙන දේ අපිට කියන්න. දියණියන්ගේ රැකවරණය වෙනුවෙන් ඔබේ අදහස් සියල්ල හැම මවකටම වැදගත් වනු ඇත.

ඔබේ දරුවා නිවැරදි ඉරියව් පවත්වා ගන්නවාදැයි ඔබම පරීක්‍ෂා කරන්න

දරුවන් යනු සෑම මොහොතකම ක‍්‍රියාශීලී පිරිසක් ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත. විශේෂයෙන්ම වයස අවුරුදු තුනක් පහත් අතර සිටින දරුවන් එනම් පෙර පාසැල් විය ඇරඹූ දිනයේ පටන් දරුවන් සැමවිටකම පාහේ නොයෙකුත් ක‍්‍රියාකාරකම්හි නිරත වනු නිසැකය. ඔවුන් දුවන්න, පනින්න වගේම චිත‍්‍ර අඳින්න, ගීත ගයන්න නටන්නත් ප‍්‍රිය කරනවා. මව්පිය සෙවණේ මෙතෙක් කල් නිවසේ සිටි දරුවා පළමුවෙන්ම නිවසින් පිටතට යන්නේ පෙර පාසැල වෙත යොමු වීමත් සමගයි. මෙතැන් පටන් දරුවන් නිවසේදීට වඩා ක‍්‍රියාකාරකම් රැසකට යොමුවෙනවා. සාමාන්‍යයෙන් නිවසේදීට වඩා මෙම ක‍්‍රියාකාරකම් වෙනස් විය හැක්කේ අධ්‍යයන කටයුතු වෙනුවෙන්ද පෙර පාසැල හරහා දරුවෙකුට යොමු වීමට සිදු වන බැවිනි.

මෙසේ පෙර පාසැල් ජීවිතය ආරම්භයත් සමගම යොමු වන ක‍්‍රියාකාරකම් හේතුවෙන් විවිධ වූ ගැටලු සහගත තත්ත්වයන්ට බඳුන් වූ දරුවන් ද සිටින අතරම එවැනි ගැටලු සහගත තත්ත්වයන්ට උදාහරණ ලෙස මාංශ පේශී වේදනා, සන්ධි වේදනා, මෘදු පටක වේදනා ආදී තත්ත්වයන් දැක්විය හැකිය. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මූලික හේතුවක් ලෙස මෙම කුඩා දරුවන් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වලදී නිවැරදි ඉරියව්ව පවත්වා නොගැනීම දැක්විය හැකිය.

මොකද්ද මේ නිවැරදි ඉරියව් කියන්නේ…?,

ඉහත දැක්වූ ගැටලූ මගහරවා ගැනීම සඳහා සැමවිටම නිවැරදි ඉරියව්ව වැදගත් බව අප කලිනුත් පැවසූවා. නිවැරදි ඉරියව්වක් පවත්වා ගෙන යාම සඳහා දැනුවත් වීමට නම් අපගේ කොඳු ඇට පෙළ පැවතිය යුතු ආකාරය පිළිබඳව සැළකිල්මත් වීම වගේම ඒ ගැන දැනුවත් වීමත් ඉතාම වැදගත් වන්නේ නිවැරදි ඉරියව් පවත්වා ගෙන යාම සඳහා කොඳු ඇට පෙළෙන් විශාල බලපෑමක් සිදු කරන නිසයි.

කොඳු ඇට පෙළේ ඇති වන වක‍්‍රයන් ප‍්‍රධාන වශයෙන් කොටස් 3 ක් ලෙස දැක්විය හැකි අතරම එම කොටස් තුනෙහි පැවතිය යුතු වක‍්‍ර ගතිය යම් වැරදි ඉරියව්වක් හේතුවෙන් වැඩි හෝ අඩු වී සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වුවහොත් වේදනාකාරී තත්ත්වයක් ඇති විය හැකිය. එය දිගින් දිගටම පැවතිය යුතු ආකාරයෙන් වෙනස්ව පැවතීම යම්තාක් දුරට ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. අන්න ඒ නිසාම කොඳු ඇට පෙළේ සාමාන්‍ය ස්වරූපය පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

කොඳු ඇට පෙළේ පිටුපස ස්වරූපය:

img-01

කොඳු ඇට පෙළ පැත්තෙන් බැලූ විට ස්වරූපය :

img-02

දරුවන්ට පමණක් නොව වැඩිහිටි ඔබටද වැරදි ඉරියව් හේතුවෙන් බොහොමයක් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති. වැරදි ඉරියව් හේතුවෙන් එසේ ඇති වන තත්ත්වයන් ඉතා ඉක්මණින් නිවැරදි කරගැනීම එතරම්ම පහසු නොවන නිසා මව්පියන් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරමින් නිවැරදි ඉරියව් වෙත දරුවා යොමු කිරීම පමණක් නොව දරුවන්ට ආදර්ශයක් වන්නට සැමවිටම ඔබේ ඉරියව්ද නිවැරදිව පවත්වාගැනීමට සැලකිල්මත් වන්න. අපි එදි නෙදා ජීවිතයේදී භාවිත කරන වැරදි ඉරියව් සහ ඒවා නිවැරදි විය යුත්තේ කොයි ආකාරයෙන්ද යන්න ඡයාරූප සහිතව ඊළඟ ලිපියෙන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සක උදය පී. චන්ද්‍රසේන මහතා සමග සකසන ලද ලිපියකි.

 

හිමොග්ලොබින් අඩු ගැබිනි ඔබට ඉතා වටිනා පෝෂණ පණිවිඩයක්

අද වන විට රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම වීම ගැබිනි මව්වරුන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයක්ව පවතිනවා. සාමාන්‍යයෙන් අපේ සිරුරේ පටක සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප‍්‍රවාහනය කිරීමේ කාර්යභාරය සිදුවන්නේ මේ හරහායි. යම් හෙයකින් රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම වීම ගැටලු රැසකට මුල් විය හැකිය.

රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අඩු වීමට මූලික මෙන්ම වැඩිපුරම හේතු විය හැකි සාධකය ලෙස දැක්විය හැකිකේ යකඩ ඌනතාවයයි.

යකඩ ඌනතාවයට අමතරව රුධිරගත හිමොග්ලොබින් අඩු විය හැකි අවස්ථා :

  • ෆෝලික් ඇසිඞ් විටමිනය අවම වීම
  • නිසි පෝෂණය නොලැබීම
  • තැලසීමියා වාහකයෙකු වීම
  • පණු රෝගවලට ගොදුරු වූවෙකු වීම
  • ලියුකේමිය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීම

යකඩ ඌනතාවය හේතුවෙන් රුධිරගත හිමොග්ලොබින් මට්ටම අවම වූ ගැබිනි මවක් තම ආහාර රටාව සකස් කර ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඔවුන් සැමවිටම තමන් ලබාගන්නා යකඩ ප‍්‍රමාණය නිසි ආකාරයෙන් සිරුරට අවශෝෂණය කරගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස යකඩ ලබාගන්නේ ප‍්‍රධාන කෑම වේල් ආශ‍්‍රිතව නම් ඒ ලබාගත් යකඩ ආහාර සමග ප‍්‍රතික‍්‍රියා කිරීම නිසා නිසි ලෙස සිරුරට අවශෝෂණය වීමක් සිදු වන්නේ නැත. මේ හේතුව මත යකඩ පෙති ලබාගැනීමේදී ඒවා හිස්බඩ ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන්නේ එවිට යකඩ වැඩි ප‍්‍රමාණයක් සිරුරට අවශෝෂණය වන නිසයි. එවිට රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය ඉහළ යයි.

රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම මව්වරුන් සඳහා යකඩ පෙති දෙක බැගින් ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබයි. එසේම යකඩ පෙත්ත සමග විටමින් C ලබාගැනීමට උපදෙස් ලබා දෙන්නේ එහි ඇති ආම්ලික ස්වභාවය යකඩ අවශෝෂණය ඉහළ දමන බැවිනි. එසේම කැල්සියම් පෙත්ත හා යකඩ පෙත්ත එකට ලබා නොගන්නා ලෙසත් ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ එමගින්ද යකඩ අවශෝෂණය අඩාල කරන බැවිනි.

taking-pills

යකඩ ඌනතාවය හේතුවෙන් රුධිරගත හිමෝග්ලොබින් ප‍්‍රමාණය අවම වීම සඳහා සැමවිටම සමබල ආහාර වේලක් ලබාගන්න.

යකඩ බහුල ආහාර වර්ග අතරින් පහසුවෙන් අවශෝෂණය වන යකඩ අඩංගු රතු පැහැති මස්/මාළු/පීකුදු යන මාංශ ආහාර වර්ග, බිත්තර, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග සහ කතුරුමුරුංගා සහ මුරුංගා කොළ පැහැති පලා වර්ග ගැබිනි මවගේ ආහාර වේලට එක්කිරීම වඩාත් සුදුසුය. ඔබ නිර්මාංශ ගැබිනි මවක් නම් යෝගට්, කිරි, මී කිරි වැනි දේ ආහාරයට ලබා ගැනීම වඩාත් සුදුසුය.

healthy-food

රුධිරගත හිමොග්ලොබින් අවම ගැබිනි මවකට ආහාර සැකසීමේදී මේ උපදෙස් පිළිපැදීමෙන් ඇයගේ සිරුරට යකඩ අවශෝෂණය හොඳින් සිදු වේ.

  • මස්/මාළුවලට සියඹලා, ගොරකා වැනි ඇඹුල් දේ එක් කරන්න
  • මැල්ලුම් වර්ග සෑදීමේදී නිවුණු පසු දෙහි ස්වල්පයක් එක් කරගන්න
  • ආහාර වේලෙන් පසුව විටමින් ක්‍ බහුල පළතුරු ආහාරයට ලබාදෙන්න
  • ආහාර ගත විගස එනම් පැය දෙක තුනක්වත් යාමට පෙර පසු තේ/කෝපි වැනි යකඩ අවශෝෂණයට බාධා කරවන පාන වර්ග ලබානොගන්න
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සකසන ලද ලිපියකි.

 

නින්දට පෙරාතුව දරුවාට කිරි වීදුරුවක්

කිරි ඉතාම පෝෂ්‍යදායී සහ රසවත් ආහාරයක් බව අතීතයේ පටන්ම සමාජගතව පැවැති අදහසකි. ඒ නිසාම අපි පානයක් ලෙසින් කිරි වෙනුවෙන් යොමු වීමේ උනන්දුව සහ අවශතාවය ඉතාම හොඳින් හදුනාගෙන සිටිති.

අපි සාමාන්‍යයෙන් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න පුරුදුව සිටින්නේ උදේට විතරයි. මේ කිරි වීදුරුයි, උදේ ආහාරයයි අතර කාලපරාසයේ තිබෙන කෙටි බව නිසා කිරි වීදුරුවෙන් පසුව දරුවා උදේ ආහාරය ප්‍රතික්ෂෙප කරනවා. අම්මලා මේ වෙනුවෙන් බොහෝම දුක්ගන්නේ “අනේ අපේ දරුවා උදේට බත් කටක්වත් කන්නේ නැහැ..” කියන හිතේ අමාරුවෙන්. කිරි වීදුරුවෙන් බඩ පිරුනාම දරුවාට කෙටි වෙලාවක් තුළ තවත් ආහාරයක් වෙනුවෙන් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

ඒත් රාත්‍රි නින්දට පොතුව කිරි වීදුරුවක් ලබා දුන්නොත් එයින් බොහෝ ගුණ ලැබෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අද්‍යනයක් මගින් හඳුනාගෙන තිබෙනවා.

හෘදයාබාධයන්ට ගුණයි

අපේ ආහාර රටාව සහ වයායාම මදිකම නිසාම සිරුරේ මේද ගබඩා වීසෙන් ඇති වෙන කොලස්ටරෝල් ගැටළුවට කිරි පානයෙන් ගුණ ලබා ගත හැකියි. කිරි දරුවන්ගේ අස්ථි වර්ධනයට හේතු වෙන බව මෙම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

අමතර ශක්තිය

පාසල, අමතර පන්තිය වගේ දවසේම හෙම්බත්ව සිටින දරුවන්ට තිබෙන මානසික පීඩනය නිසා නින්දට පෙරාතුව කිරි වීදුරුවක් ලබා දීමෙන් ගුණ ලැබෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.දවසේ වැය වෙන ශක්තිය ලබා ගැනීමටත් කිරි ඉතා හොඳ පානයක් බව දැන් හදුනාගෙන තිබෙනවා.

සුවදායක නින්දක්

නින්ද තරම් මානසික ඖෂධයක් තවත් නැහැ. දවසේ ඇති වෙහෙස නින්දෙන් දුරු වෙනවා. මේ නිසා සුවදායක නින්දක් අපිට අවශ්‍යයි. ඒ නිසා රාත්‍රී නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කරන්න දුන්නොත් දරුවා සුවසේ සැතපෙනු ඇති.

මේ උපදෙස අම්මලාට හා තාත්තලාටයි

අද බොහෝ අයට ඇති ගැටළුව නම් තමාගේ උසට සරිලන පරිදි බර පවත්වා ගැනීමේ ගැටළුවයි. මේ නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන අවදානම යාන්තම් වයස අවුරුදු තිහ හතලිහටත් පෙරාතුවම ඇති වෙනවා. ඒ නිසා බොහෝ අය අඩු මේද එමෙ නැත්නම් මේද රහිත කිරි වෙනුවෙන් යොමු වී සිටිනවා.රාත්‍රි ආහාරය වෙනුවෙන් මේ වගේ චෝදනා ඇති අය කිරි වීදුරුවකින් පමණක් සෑහීමට පත් වෙනවා නම් සිරුරේ බර අඩු කරන්න පුලුවන්.

ආහාර ජීරණ පද්ධතියට හිතකරයි

රාත්‍රි නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන සංකුලතාවයන් අවම වෙන පවත් මෙම අධ්‍යනය මගින් අනාවරනය වී තිබෙනවා.මේ කිරි පානය නින්දට පැය දෙක තුනකට පෙරාතුව ලබා ගැනීම හොදබවටයි උපදෙස් ලැබෙන්නේ.

දියවැඩියා රෝගීන්ටත් ගුණයි

අද දියවැඩියා රෝගය උන හෙම්බිරිස්සාව තරමටම සාමානයයි. පසුගිය දිනක පවත්වන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දුන්නේ පුද්ගලයන් 11 දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝග තත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි. රාත්‍රි නින්දට පෙරාතුව සීනි නැතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් දියවැඩියා රෝගය පාලනය වෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දුන්නා.

අස්ථි නිරෝගීවීම

කිරිවල කැල්සියම් සහ විටමින් “ඩී” අන්තර්ගත නිසා අස්ථිවල ශක්තිය ආරක්ෂා කරනවා වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබනවා. ඒ වගේම සමේ නිරෝගී බවට සහ ඇසේ පෙනීම වෙනුවෙන් කිරි වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

News com ඇසුරින්

 

ගැබිණිවියේ මානසික අසහනය දරුවාට බලපානවා…

ගැබිණි මවකට කොත්තුරොටී පිළියෙල කරන විට නැගෙන හඩ පවා නුසුදුසුයැයි වෛද්‍යවරුන් විසින් පවසද්දී පසුගිය දිනයන්හි මහනුවර ප්‍රදේශයේ සිදුවුන අවාසනාවන්ත සිදුවීම් ගැබිණි මව්වරුන්ට මහත් සේ තැතිගැන්මක්, පසුතැවිල්ලක් ඇති කළ බව නොරහසක්. හදිසියේ ඇඳිරිනීතිය පනවන විට හැල්මේ යන්නට සිදුවීම වැනි අනපේක්ෂිත සිදුවීම් ඉදිරියේ ඔවුන් බෙහෙවින් අසරණ වූහ. මේ නිසා ගැබිණිමවකට පරිසරයේ මුහුණදීමට සිදු වෙන සිදුවීම් ඉදිරියේ දරු කලලය අනාගතයේදී ප්‍රතිචාර දක්වන බව අමතක කළ යුතු නැහැ.

දරුවෙක් ලැබෙන්න සිටින අම්මා කෙනෙක් සතුටින් තබන්න පවුලේ උදවියගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. ඉස්සරකාලයේ පටන්ම මේ පුරුද්ද අප අතරේ පැවැතුනා. අසුබ දේ දකින්න, ඇසෙන්න නොදී මවගේ ගැබ ආරක්ෂා කර ගැනීම එදා පටන්ම පැවැතුන සහයෝගයේ ඇති විද්‍යාත්මක පැත්ත අපි නොදන්නවා වෙන්න පුලුවන්. මහාචාර්ය ඩී.එච්. ස්වොට් විසින් එංගලන්තයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ මානසික අසහනයට ගොදුරුවුන මව්වරුන්ගේ දරුවන් ශාරිරික හා මානසිකත් පසුගාමී තත්වයෙන් පසුවුන බවයි.

ගැබිණිමවට පීඩාදායක පරිසරයක් බලපාන්නේ කෙසේදැයි මුල් කර ගෙන එස්. ‍පෝල් නැමැති විද්‍යාඥයා විසින් 1935 වසරේ අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. (පරණගම, ඩී. ඇම්.පරණගම ජීවිතය හා විද්‍යාව පි. 45) එහිදී ගැබිණි මීයන් තෝරා ගෙන ඔවුන් වෙනුවෙන් පරිසර තත්වයන් දෙකක් තෝරා ගත්තා. එක් මීයන් පිරිසක් ඉතා නිදහසේ හැසිරෙන සේ කූඩුවක ඉඩ වපසරිය ඇතුවත් අනෙක් මීයන් කිසිදු ඉඩක් නොමැතිව හිතකර පරිසරයක් නොමැති සේ තවත් කූඩුවකටත් ඇතුලත් කළා. මෙම මීයන් පැටව් ලද පසුව ඒ පිළිබඳව යෙදුන අධ්‍යනයෙන් පෙනී ගියේ හිතකර පරිසර තත්වයක සිටි මීයන්ගේ පැටවුන් මෙන් නොව පීඩාකාරී පරිසරයේ සිටි මීයන්ගේ පැටවුන්ගේ ඇඩ්රිනල් ග්‍රන්ථිය විශාල වී තිබුන අතර එයින් සෙසු අවයවයන්ටත් බලපෑම් ඇති වුන බව පෙනී ගොස් තිබුණි. ඩබ්ලිව්. ඇෆ් ගේබර් සහ ටී. ඒ ඇන්ඩර්සන් යන විද්‍යාඥයින් විසින් සුදු කරන ලද අද්‍යනයන් මගින්ද පෙනී ගියේ අධික ලෙස බියට සහ පීඩනයට පත් කරන ලද හාවුන්ගේ හෘදයවස්තුව , වකුගඩු, සහ ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වී තිබුන බවයි. මෙම අධ්‍යනයන් පාදක කර ගෙන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගැබිණිකාලයේ මවට ඇති වෙන මානසික තත්වයන් දරු කලලයට බලපෑම් ඇති කරන බවයි. එහෙම නම් අපි ගැබිණිමවක් සතුටින් තබා ගන්නේ කොහොමද…?

අඹුසැමියන්ගේ සමගිය

දරුවෙක් ගැබ් ගත් පුවත සතුටින් අත්විදින්නා සේම මෙම කාලය පුරාවටම සැමියා විසින් ගැබ් ගත් බිරිය වෙනුවෙන් වඩාත් ආදරය, සෙනෙහස හා ආරක්ෂාව ලබා දීම ඉතාම වැදගත්ය. අද දරු ප්‍රසුතිය සිදු වෙන විට පියවරුන් වෙනුවෙනුත් නිවාඩු පවා අනුමත වී ඇත්තේ මේ අවස්තාවේදී සැමියාගේ ආරක්ෂාව බිරිඳට ලැබීමේ මානසික සුවතාවය නිසාය. ඒ නිසා අඹුසැමියන් අතර වූ සමගිය, සමාදානය හා සතුට දරු කලලයට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

අඹුසැමියන් වෙන් වීම

විවාහ වී දරු මල්ලන් ලද විට පවා පවුල් කඩා ඉහිරුවා ගන්නා අඹුසැමියන් අප අතර නැතුවාම නොවේ. කුස සිටින දරුවා ගැන පවා නොතකා ඇතැම් සැමියන් බිරිදගෙන් වෙන්වීමේ තීන්දු තීරණ ගන්නා අවසුතාවන් ඇත. මෙය ගැබිණියක ලෙසින් දරා ගැනීම ඉතාම අසීරු තත්වයකි. අද දරුවාගේ  තාත්තා නොමැතිව රෝහලකින් පිටවීම පවා අසීරුය. දරු උපත ලියාපදිංචියට විවාහ සහතිකය ඉල්ලා සිටින පරිසරයකදී සැමියාගේ වෙන්වීම ගැබ්දරණ මවට දැඩි පීඩනයක් වෙනු ඇත. ඒ සියල්ල දරු කලලලයට බලපාන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසින්ය.

පවුලේ සාමාජිකන්ගේ ප්‍රශ්න

විවාහයකින් පසුව බිරිදක් ලෙසින් ඇය ආගන්තුක පරිසරය සමග යහපත් සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුය. එහෙත් නැන්දම්මා, නෑනාවරුන් සමග ගෙවන මේ ජීවිතය තුළ අසීරුවට පත් වෙන කාන්තාවන්ද සිටින බැව් නොරහසකි. ඇතැම් නැන්දම්මලා, නෑනලා කිසිදු වෙනසක් නොමැතිව අලුත් ලේලිය එසේ නැත්නම් නෑනා සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගත්තද තවත් තැනක ඇත්තේ ඉතාම ශෝචනීය පරිසරයකි. එවන් වූ පරිසරයකදී මුහුණ දෙන අප්‍රසන්න සිදුවීම් නිසා ඇති වෙන මානසික පීඩනය සෘජු ලෙසින්ම දරු කලලයට බලපානු ඇත. ඒ නිසාම උපත ලබන දරුවාගේ විවිධ අඩුපාඩුකම් ප්‍රදර්ශනය වෙනු ඇත.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් නොමැති වීම

ආදරයකින් ඇති වෙන බැඳීම විවාහයකින් ඉෂ්ට සිද්ධ වේ නම් එතැන ඇතත්ටම ගැටළුවක් නැත එහෙත් ඇතැම් ආදර සම්බන්ධතාවයන් වෙනුවෙන් ඇති වෙන විරුද්ධතාවයන් නිසා මහත් අපහසුතාවයන්ට පත් වෙන පෙම්වතුන් අප අතර බොහෝය. “චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ…” යි යන සිතුවිල්ල මතම රැඳී ඔවුන් කෙසේ හෝ විවාහය සිදු කර ගත්තද සනුහරේ විසින්ම ඔවුන් ප්‍රතික්ෂෙප කරනු ඇත. එහෙත් මේ ආදරවන්තයින් තමන්ගේ ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යන ශක්තිය ගොඩ නගා ගත්තද දරුවෙක් ගැබ් ගැනීම වැනි තීරනාත්මක අවස්ථාවන්හිදී වැඩිහිටියන්ගේ එසේත් නැත්නම් තමාට ආදරය සෙනෙහස දක්වන පවුලේ සම්බන්ධතාවයන් වඩාත් සමීප වීම වැදගත් වේ.

එහෙත් අද බොහෝ විවාහ හිතුවක්කාර විවාහ ලෙසින් සලකා තම පවුලෙන් පිටමං කරන ලදැයි වූ ස්ථාවරයේ සිටියත් දරුවෙක් ලද තැන මේ පවුල් අතර විරසකය මග හැරී යනු ඇත. එහෙත් තමාගේ දියණිය, ලේලිය වෙනුවෙන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙනුයේ මේ කාලයේදීය. ඒ නිසා කිසිදු ලෙසකින් ඇය හුදෙකලා කළ යුතු නැත නමුත් අද බොහෝ පවුල්වලදී විවාහය මුල් කර ගෙන ඇති වෙන මතගැටුම් නිසා ගැබිණිවියේදී තමා අසරණය යන ආත්මානුකම්පාව දරු කලලයට බලපෑමක් ඇති කරන බව අමතක කළ යුතු නැත.

ජාතිවාදය දරු පරපුරට උරුම නොවන්නට, මේ සිමාවන් ඔබට පනවා ගන්න

අපි කාගෙත් සිරුරේ ලේ රතුපාටයි. ඒ ලේ වල සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් විදිහට වෙන් වෙලා නැති වුනත් ජාතිවාදි අරගල වලින් අපි තරම් පීඩා වින්ද පිරිසක් තවත් නැහැ. ඒ නිසාම ජාතිවාදය සනාතනික අරගලයක් විදිහට අපි බද්ධ කර ගෙන සිටීම තරම් මිථ්‍යාවක් තවත් නැහැ. මේ තත්වය පරම්පරාවෙන් පරම්පරාවට අපි ඉදිරියට ගෙන යනවා නම් රටක් විදිහට නැගිටිනන්ට තිබෙන ශක්තිය අපි විහින්ම නැති කර ගන්නවා කිව්වත් වැරැදි නැහැ. අද දවසේ මේ සිදුවීම් දකින් දරුවන් එයින් ලබන අත්දැකීම් ඔවුන් සමගින්ම ඉදිරියට යා හැකි බැවින් අපි පරිස්සම් විය යුත්තේ ඒ ගැනයි. එසේ නම් අපි දරුවන්ට මේ ගැන කියා දිය යුත්තේ මොනවාද…?

කිසිම දවසක තවත් කෙනෙක් ගැන අවතක්සේරු නොකරන්න

මිනිසුන් විදිහට අපි සමානයි කිව්වට බැහැ. ඒ සමානකම දරුවන්ට අපි විසින්ම පෙන්වා දිය යුතුයි. මේ වැරැද්ද බොහෝ විට කරන්නේ අපේම දෙමව්පියන් විසින්. පාසලක, පංතියක වුනත් අහවලාගේ දරුවාගේ…අහවල් පැත්තෙන් ඉස්කෝලෙට එන ළමයි විදිහට වෙන් කරන්න එපා. ඒ වාගේ සිතුවිලි දරුවන්ගේ හිතට ඇතුල් කිරීම ඉතාම වැරදයි. එකට ඉගෙන ගන්නා, එකම පංතියේ, පාසලේ අපි හැම දනාම එකම බව ඔවුන්ට කියා දෙන්න. අපි හැම දෙනාගේ ලේ රතුපාට බව කියා දිය යුත්තේ ඒ පාඩමෙන්ම බව අමතක කරන්න එපා.

හැම කෙනෙකුටම වටිනාකමක් තිබෙනවා

මිනිසුන් විදිහට අපි හැම කෙනෙකුටම වටිනාමක් තිබෙන බව දරුවාට කියා දෙන්න. හැම දෙනා එකට ජීවත් වෙනවා මිසක කිසිම තැනකින් වැඩි කොටසක් ගැන අපිට කතා කරන්න බැහැ. ඒ නිසා හැම දෙනාටම ඇත්තේ සමාන අයිතියක් මිස වැඩි වරප්‍රසාද කිසිම කෙනෙකුට නැති බව කියා දෙන්න.

ජාතිවාදය ගැන දරුවන් ඉදිරියේ කතා නොකරන්න

අතීතයේ පටන්ම ඇති වුන හැලහැප්පීම් වෙනුවෙන් පාදක වුන ජාතිවාදය දරුවන් ඉදිරියේ ප්‍රසිද්ධියේ කතා කිරීම අපේම අනුවණකමකි. අපි රට, දැය, සමය වෙනුවෙන් ආදරය කළ යුතු බව සැබෑ වුනත් එක් එක් ජාතීන් ගැන හෙලා තලා කථා නොකල යුතුය. මේ පුංචි රටේ අපි හැම කෙනෙක්ම ජීවත්විය යුතු බව දරුවන්ටත් කියා දෙන්න. ගහට ගහක් මොරටුවේදී හමු වෙනවාය යන කියමන සේ අපිට කිසිම කෙනෙක් ප්‍රතික්ෂෙප කිරීමට නොහැකියි. මිනිසුන් වහයෙන් අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ය. ඒ නිසා දෙමළ, මුස්ලිම්,බර්ගර් වැනි ජාතීවාදී ලේබලය ගැන දරුවන් ඉදිරියේ කතා නොකරන්න.

සහජීවනය ගොඩ නගන්න

අද වඩාත් අවශ්‍යතාවයක් වී ඇත්තේ සහජීවනයයි. ඒ වෙනුවෙන් විවිධ සංස්කෘතින් ගැන ඔවුන්ට කියා දෙන්න. හැම ආගමික නායකයෙකුගේ ඉගැන්වීම සාමය නම් ගැටෙන්නේ ඇයිද යන තැනට ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීම ඉතාම වැදගත් වේ.

සමාජජාල වලින් බෙදා හරින දේ ගැන බුද්ධිමත් වීම

අද සමාජජාල සමග ඔබේ දරුවාද සම්බන්ධ වී ඇත.එහි කිසිදු වරදක් නැත. තොරතුරු සන්නිවේදනයේදී එබේ දරුවාට පමණක් හුදෙකලා වීමට නොහැකිය. එහෙත් මෙහිදී යා යුතු මග  නොමග තෝරා ගැනීම ගැන කියා දෙන්න. අනවශ්‍ය ලෙසින් සමාජය උණුසුම් කරන පුවත් කියැවීමෙන් පසුව එය බෙදා හදා ගත යුතුද නැත්ද ගැන බුද්ධිමත් වීම මෙන්ම ස්වයංවිනයක් මත කටයුතු කිරීමට උපදෙස් දෙන්න. බෙදාහැරීමට පෙරාතුව දෙවතාවක් හිතන්නට උපදෙස් දෙන්න. කපුටු තට්ටක් වමනය වූ  තැන කපුටන් හත් දෙනෙක් දක්වා එය වර්ධනය වූවා සේ මෙම තොරතුරු වල සත්‍යතාවය නොදැන ඒවා බෙදා හැරීමෙන් වලකින සේ දරුවා මෙහෙයවන්න. පෝස්ට් වෙනුවෙන් මනාප හෙවත් ලයික් සටහන් කිරීම, බෙදා ගැනීම වැනි කටයුතු බුද්ධියෙන් මෙහෙයවා කිරීම ඉතාම වැදගත් බව කියා දෙන්න. දෙමව්පියන් විදිහට ඔබ විසින් දරුවන්ට ලබා දෙන මේ මග පෙන්වීම ඉතාම යහපත් සමාජ මෙහෙවරක් වෙනු ඇත.

ආවේග අඩු කරන්න

බොහෝ දරුවන්ගේ ආවේගශීලිත්වය වගේම අනුකරණය බොහෝ  ආරෝවියවුල් වෙනුවෙන් හේතු වෙනු ඇත. ඇතැම් අවස්තාවලදී ජාතිවාදයේදී අප ආවේග ඇති කර ගන්නේ අපිට කිසිදු දිනක වරදක් නොකළ පුද්ගලයන් වෙනුවෙන්ය. මේ ආවේග නිසා ඇති වෙන ප්‍රතිඵල ඉතා දරුණුය. ඒ නිසා නිතරම දරුවන්ගේ ආවේග පාලනයවන සේ ඔවුන් බාල කාලයේදී පටන් හැඩගැසීම ඉතාමත් වැදගත්.

ළමා වියේ වර්ධන පියවර හදුනා ගනිමු – 3

වයස අවුරුදු හයත් එකොළහත් අතර කාලය තුල දරුවූ තමාගේ සමාජීය වටපිටාව හා ක්‍රමයෙන් වැඩි සම්බන්ධතා ඇතිකර ගැනීමට පටන් ගනී. පසු කලෙක වැඩිහිටියෙකු ලෙස ජිවත් වීමට අවශ්‍ය කුසලතා දියුණු වීම අරබන්න්නේද මේ අවධියේය.

බුද්ධිමය වර්ධනය ගැන සලකා බැලීමේදී මතකය , අවධානය යොමු කිරීම ආදී උසස් බුද්ධිමය කුසලතාවල කැපී පෙනෙන දියුණුවක් මේ කාලය තුල දක්නට ලැබේ. උදාහරණයක් ලෙස වයස පහක දරුවකුට එවෙනත් ළමුන් පිරිසක් එළියේ ක්‍රීඩාවක නිරත වෙද්දී කාමරය තුල සිට අධ්‍යාපනික වැඩකට අවධානය දීම ඉතා අපහසුය. නමුත් වයස අට නවය පමණ වන විට අවධානය දීමේ හැකියාව දියුණු වන බැවින් එසේ අවශ්‍ය දෙයට අවධානය යොමු කිරීමේ හැකියාව ලැබේ. අවධානය යම් දෙයකින් බිදුන ද යලිත් කරමින් සිටි දෙයට අවධානය යොමු කර එය නිම කිරීමට හැකියාව ඇත.

මතක ශක්තිය ක්‍රමයෙන් දියුණු වන බැවින් වයස අවුරුදු 10 පමණ වන විට පියවර කීපයක් සහිත උපදෙසක් මතක තබාගෙන ඊට අනුකුලව ක්‍රියා කිරීමට හැකියාව ලැබේ. නමුත්  වයස අවුරුදු හයක දරුවකුට මෙය අපහසු විය හැක. වයස් කාණ්ඩ දෙකක (උදාහරණ ලෙස වයස හයේ හා දහයේ) දරු දෙදෙනෙකු සිටින පවුල් වල මෙය පැහැදිලිව දැකිය හැකි අතර අතර එය කුඩා දරුවාගේ අවධානය අඩුකමේ ගැටළුවක් ලෙස සැලකීම සුදුසු නොවේ.

මේ කාලය තුල මතකය දියුණු කිරීමට විවිධ කුසලතා භාවිතා කිරීමෙන් (උදා : නැවත නැවත කිරීම , මතක තබා ගත යුතු දෑ යලි යලිත් මතක් කර ගැනීම , කාණ්ඩ වලට බෙදා මතක තබා ගැනීම , මනෝමය චිත්‍ර /සටහන් යොදා ගැනීම ආදී ) දරුවා  අලුත් දෙයක් ඉගෙනීමේදී ඉබේම එවැනි ක්‍රම යොදා ගැනීමේ පුහුණුව ඇතිවේ. මෙය අධ්‍යාපනික කුසලතා  දියුණු කිරීමට විශාල රුකුලකි.

වයස අවුරුදු හය පමණ වනවිට තමාගේ වම , දකුණ හදුනා ගැනීමටද , වයස හත, අට වනවිට අන් අයට සාපේක්ෂව වම, දකුණ හදුනා ගැනීමටද හැකියාව ලැබේ. එමෙන්ම මෙම කාලය තුල දිනය හා වෙලාව පිළිබද අවබෝධය ,තමාගේ වාරය එනතුරු ඉවසීම , හැඩය , විශාලත්වය , පාට ආදියෙන් ද්‍රව්‍ය වර්ග කිරීම ආදී හැකියාවන් දිය වර්ධනය වේ. මීට අමතරව ගැටළු විසදීම , යමකට හේතු දැක්වීම , තමාගේ සිතුවිලි පිළිබද අවබෝධය , අවශ්‍ය දෙයට පමණක් අවධානය දීමේ හැකියාව ආදී උසස් බුද්ධිමය කුසලතා වර්ධනය වීමෙන් කියවීම, ගණිත සංකල්ප අවබෝධ කර ගැනීම ආදී අධ්‍යාපනික කුසලතා දියුණු වීමේ පදනම වැටේ.

මේ කාලය තුල දරුවකු අලුතින් ඉගෙන ගන්නා වචන සංඛ්‍යාව ශීග්‍රයෙන් වැඩි වන අතර භාෂා හා සන්නිවේදන කුසලතා දියුණු වේ. අන් අයෙකු සමග සාර්ථකව දුරකථන  සංවාදයක  යෙදී මට ඔවුන්ට හැකිය.

මෙම කාලය බුද්ධි වර්ධනයට අමතරව ආත්ම විශ්වාසය ඇති කර ගැනීම , අවේග පාලනය කර ගැනීම අන් අයගේ අදහස් තේරුම් ගැනීම හා ඊට නිවැරදිව ප්‍රතිචාර දැක්වීම , සම වයසේ අන් අය හා යහපත් සබදතා ගොඩ නංවා ගැනීම ආදී මනෝ සමාජීය වර්ධන පියවරයන් දියුණු වීමටද එක සේ වැදගත් වේ. මේ වයස් කාණ්ඩයේ දරුවන්ට තමාගේ හැකියාවන් පිළිබද දෙමව්පියන් , ගුරුවරුන් ඇතුළු අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර ආත්ම ශක්තිය වර්ධනය වීමට බල පායි. වැඩිහිටියන් දරුවා උපහාසයට ලක් කරයි නම්, දරුවා  කල සුළු දෙයක් හෝ අගය නොකරයි නම් එය දරුවාගේ ආත්ම විශ්වාසය අඩු වීමට හේතුවක් විය හැක.

මෙම අවධියේ දියුණු වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ තමාව පාලනය කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස පෙර පාසල් වයසේ දරුවකු තමාට යම් අවශ්‍යතාවක් ඇති වූ විට එය අන් අය එවෙලේම ඉටු කර දෙතැයි බලාපොරොත්තු වේ. නමුත් පාසල් අවධියේදී තමාට අවශ්‍ය හෝ තම කැමති දෙයක් වෙනුවෙන් ඉවසා සිටීමේ හැකියාව ඇතිවේ. එසේම අන් අයගේ අවශ්‍යතා හා හැගීම් තේරුම් ගෙන ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමටද , වෙනස් අදහස් ඇති සම වයසේ දරුවන් හා එක්වී ක්‍රීඩා හෝ වෙනත් ක්‍රියාකාරකම්වල දීමටද හැකියාව ඇති වේ.පාසල් වයසේ දරුවන් අතර මෙම කුසලතා නිසි පරිදි දියුණු නොවීම  හැසි රීමේ  ගැටළු ඇති වීමට හේතු විය හැක.

වයස අවුරුදු අටේ පමණ සිට තමා විවිධ චිත්තවේග අත් විදින බව දරුවාට පැහැදිලිව තේරුම් ගත හැක. එමෙන්ම පෙර පාසල් වයසේ දරුවකුට වඩා එම අවේග පාලනය කිරීමේ හැකියාව ඇත. විවිධ චිත්තවේග එනම් තරහ , බය, දුක ආදිය නිසි ලෙස හදුනා ගැනීමට හා එනම් අවස්ථාවල නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම මේ වයසේ දරුවන් තුල දියුණු කල යුතු ගුණාංගයකි.

මෙම වර්ධන අවධිය තුල දරුවා තුල දියුණු වන තවත් වැදගත් ගුණාංගයක් වන්නේ නිවැරදිව ගැටළු විසදා ගැනීමේ හැකියාවයි.මෙම කුසලතාවය නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව් කිරීම මගින් යව්වන වියේ ඇති විය හැකි බොහොමයක් හැසිරීමේ ගැටළු මග හරවා ගත හැක.

මෙසේ සිදුවන බුද්ධිමය , මනෝ සමාජීය හා හැසිරීමේ වෙනස්කම් මගින් ඉන් පසුව එළබෙන යොවුන් විය ට දරුවා හැඩ ගැස්වෙන අතර , විශේෂයෙන්ම තමාගේ අනන්‍යතාවය හදුනා ගැනීමේ මුල් පදනමද වැටේ.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

දුවට පුතා වගේ පුතාට දුව වගේ ඇඳුම් ඇන්දවීම සුදුසු නැහැ

පවුලක් කිව්වාම ගැහැණු සහ පිරිමි දරුවන්ගේ මනා එකතුවක් විය යුතුයි කියන විශ්වාසයෙන් අපි පසු වෙනවා. ඒ නිසාම පවුලට ගැහැණු දරුවෙන් නැත්නම් සිටින පිරිමි දරුවන්ගෙන් අයෙක් ගැහැණු දරුවෙක් විදිහට සරසනවා. ඒ වගේම පිරිමි දරුවෙක් නැත්නම් පවුලේ සිටින ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක් විදිහට සරසනවා.

දැන් ඔබ මෙහෙම ඇහුවොත්…

ඉස්සර රජ කාලයේ වගේම ජාත්‍යන්තර යුද්ධ ඉතිහාසයේ විශේෂයෙන් නාසි ජාතිකයන් අතර වෙස්වලාගෙන ජාතිය, සමය වෙනුවෙන් යුද්ධයට ගිය කාන්තාවන් හිටියා. ඉතින් ඇයි මේ දරුවෙක් වෙනුවෙන් පිරිමි ඇදුමක් එහෙම නැත්නම් ගැහැණු ඇදුමක් ඇන්දුවාම මොකද වෙන්නේ…? මේ ගැන පසුගිය දිනක අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මියයි.

මීට අවුරුදු විස්සකට පමණ එපිට කාලයේදී පවුලේ ගැහැනු දරුවන් වෙනුවෙන් පිරිමි ඇඳුම් ඇන්දවීම වගේම පිරිමි දරුවන් වෙනුවෙන් ගැහැණු ඇදුමක් ඇන්දවීම ඉතා සුලබව තිබුනා. දැන් නම් ඒ තත්වය ඇත්තෙම නැහැ තරම්. කොහොම වුනත් මේ විදිහට අපිට අවශ්‍ය විදිහට දරුවන්ගේ ලිංග විපර්යාසයන් කිරීම නුසුදුසු බව ඇය අවධාරනයෙන්ම කියා සිටියා.

අම්මලාට මේ විදිහේ අවශ්‍යතාවයන් ඇති වෙන්නේ ඇයි…?

බොහෝ අම්මලා ගැහැණු දරුවන් වෙනුවෙන් ඇඳුම් ආයිතත්ම්වලින් සරසන්න ආසයි. ඔවුන්ගේ හැඩ බලන්න කැමැතියි. සමහර අවස්තාවදී වුනත් අපේ අම්මලාගේ කටින් කියැවෙන්නේ “දුවක් හිටියා නම් ඉතින් මෝස්තර ඇඳුම් මහන්න තිබුණා.අපිට ඉතින් ඉන්නේ පුතාලනේ…” මේ වගේ මානසික හිස් තැන් අපේ අම්මලාට තිබෙනවා.

ඒ වගේම පිරිමි දරුවෙක් නැති වුනොත් පවුලේ ඉන්න ගැහැණු දරුවා පිරිමි දරුවෙක් වගේ සරසනවා. කොණ්ඩය කොටට කපල, ගවුම් වෙනුවට කලිසම් කමිස පමණක්ම අන්දවනවා.

ඒත් කාලය සමග මේ දරුවන්ගේ පෞරෂයත් දුර්වල වෙන්න පටන් ගන්නවා. ගැහැණු ඇඳුම් ඇන්ද පිරිමි දරුවා ඉතාම ලැජ්ජාශීලී චරිතයක් විදිහට පෙනෙනන් පුලුවන්. පිරිමි දරුවන් සමග සහජීවනයෙන් කටයුතු කරන්න ඔහු පසුගාමී විය හැකියි.

ඒත් එක්කම අනිත් පාර්ශවයෙන් ගැහැණු දරුවා “මෙයාගේ හැසිරීම කොල්ලෙක් වගෙයි…” කියන තරමටම පිරිමි දරුවෙකුට සමාන වෙන්න පටන් ගන්නවා. ඇඳුම් පැළදුම් පමණක් නොව සෙල්ලම් බඩු, ගමන බිමන, කථා බහ හැසිරීම සියල්ලම පිරිමි දරුවෙකුට සමාන විය හැකියි. දරුවන්ගේ අනුකරණය අපි හිතන තරම් සරල නැහැ. එක්තරා මවක් සේවය කරනු ලැබුවේ මන්ද මානසික දරුවන්ගේ අධ්‍යාපන ඒකකයකයි. ඇයට සිටිය පිරිමි දරුවා ඉතාම හුරුබුහුටියි. සියයට සියයක්ම සාමාන්‍යයි. කාලයත් සමග මෙම ගුරුතුමිය අධයාපන ඒකකයේ පිහිටි නිල නිවාසයේ නැවතුනා. කාලයක් යද්දී ඇයට පුතාගේ ගමන, බිමන , වගේම ගති පැවැතුම් වෙනස් බව තේරුනා. මන්ද මානසික දරුවන් අනුකරණය කරමින් තමාගේ පුතුද ඒ විදිහට හැසිරීම් රටාවන් ගොඩ නගා ගෙන තිබුණා. අන්තිමේදී මේ ගුරුතුමිය නිල නිවාසය හැර දමා නැවත දුර බැහැර නොතකාම තමාගේ නිවසේ පදිංචියට පැමිණියා.

ඒ වගේම තත්වයක් මෙතැනදීත් ඇති වෙන්න පුලුවන්. අපේ මානසික හිස්බවට පිලියම් විදිහට දරුවන් අපට අවශ්‍ය විදිහට සරසා ගෙන හිත සනසා ගත්තත් එය ඔවුන්ගේ අනාගත පෞරෂය වෙනුවෙන් ඉතාම ප්‍රබල විදිහට බලපානවා.

මුලින් කී කතාවට ආයෙමත් යමුකෝ… සෙබල වෙස් අරගෙන යුද්ධයට ගිය කාන්තාවන්ගේ පෞරෂය මේ වෙන විට ගාඩ නැගී අවසානයි. ඒ නිසා ඔවුන්ට එයින් කිසිම බලපෑමක් ඇති වුනේ නැහැ. ඒත් හය හතර නොතේරෙන කිරි සපප්යන්ව මේ විදිහට ලිංග විපර්යාස වෙන විදිහට අන්දවා හැඩ බැලීම නම් එතරම් හොඳ නැති බව මනෝවෛද්‍ය විශේෂඥවරිය විසින් ඇගේ දේශනයේදී පෙන්වා දුන්නා. ඒ නිසා මේ වගේ ආසාවන් තිබෙන අම්මලා දැන් දෙවතාවක් හිතුවොත් හොදයි නේද…?

අපි අම්මලා විදිහට දරුවන් ගැන අවධානය දැක්විය යුතු දේ

දරුවෙක් ගැබ් ගත් පුවත ලද තැන පටන් අම්මා කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ අහස උසට බලාපොරොත්තු .ඒ අතරම කුසේ ඉන්න දරුවා මුල් කර ගෙන පුංචි බයකුත් ඇති වෙනවා. අනේ මගේ දරුවා දුකක් කරදරයක් නැතුව මෙලොව එලිය දකියිද…? මේ සැකයත් හැම අම්මා කෙනෙකුගේම හිතේ තියෙනවා. එතැනින් නතර වෙන්නෙත් නැහැ. හැරෙන, පෙ‍රලෙන, බඩගාන,දණගාන හිටවැටෙන, මේ හැම අවස්ථාවක් වෙන තෙක්ම අම්මා , තාත්තා හරිම චකිතයෙන් ඉන්නවා. ඒ චකිතය එතැනින් අවසාන වෙන්නේ නැහැ. හාරිරිකව අපිට නොපෙනෙන, අපි නොදකින මානසික රෝගාබාධ තත්වයන් දරුවන් අතර තිබෙන්න පුලුවන්. මේ මහනුවර ශික්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මිය විසින් පෙන්වා දුන් කරුණු කීපයක්.

පුංචි දරුවන් අතර දකින ගැටළු ඇතැම් වෙලාවට අපිට පෙනෙන නොපෙනෙන තමට සියුම්. සාමාන්‍ය විදිහට හැසිරුනත් දරුවන්ගේ ඇතැම් දුබලතාවයන් අපිට දකින්න වෙන්නේ ඔවුන් සමාජය සමග ගණුදෙනු කරන විටයි. ගෙදරදී කිසිම වෙනසක් නැතුව හිටියත් පාසල් අධ්‍යාපනය ලබන විට පංතියේදී පසුගාමී දරුවෙක් වෙන්න පුලුවන්. එයින් අදහස් වෙන්නේ මේ දරුවාගේ බුද්ධිය එයාට සාපේක්ෂ අනිත් දරුවන් සමග වර්ධනය වීමේ පසුගාමීබවක් තිබෙන බවයි. ඒ වගේ දරුවන් වෙනුවන් විශේෂ අවධානයක් දැක්වීම අවශ්‍යයි.

ඒ වගේම සමහර දරුවන්ට ලිවීම අපහසුයි. අසා ලිවීමට තරම් මතකය සහ අකුරු ගලපා ගැනීමේ දුෂ්කරතාවයන් තිබෙනවා.

අධික්‍රියාශිලිත්වය

පුංචි කාලයේදී අපි හිතන්නේ දගකාරකමට කරන දේවල් කියල වුනත් දරුවාගේ වර්ධනය සමග හැසිරීමේ ප්‍රචණ්ඩත්වයක් දකින්න ලැබෙනවා. අතට අහුවෙන දේ කිසිම ඉවසිල්ලක් නැතුව කඩා බිඳිනවා. නොසන්සුන්ව හැසිරෙනවා. මේ වාගේ අධික්‍රියාශිලී දරුවන්ගේ හැසිරීම් දකින්න පුලුවන්. වයස අවුරුදු 6 ක් පමණ වෙලා පාසල් අධ්‍යාපනය ලබන විට සෙසු දරුවන් සමග සහජීවනය ගොඩ නගා ගැනීමේ ගැටලු තිබෙනවා නම් අම්මලා ටිකක් විමිසිලිමත් වීම අවශ්‍යයි.මේ අධිකි්‍රයාහීලිත්වය සමහර විට අවුරුදු 15- 16 වෙලත් අවසාන නොවී ප්‍රචණ්ඩත්වය ඉතාම දරුණු විදිහට ඇති වෙනවා. නිවසේ බඩු පොළවේ ගහන්න.. ඇතැම් වෙලාවට අම්මාට තාත්තාට පවා ගහන්න තරම් තත්වය දරුණු අතට පත් වෙනවා.

විශාදය

වැඩිහිටි අපිට විතරක් නොවෙයි. දරුවන්ටත් මානසික ගැටළු තිබෙනවා. ඒවා ඔවුන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ හිත කියවන සාස්තරය දෙමව්පියන් දැනගෙන ඉන්න වෙනවා. වෙනදා බොහොම සතුටින් සෙල්ලමින් හිටිය දරුවා දැන් සෙල්ලම් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් කෑම කන්න උනන්දුවක් නැත්නම් හෝ වැඩි වැඩියෙන් ආහාර ගන්නවා නම් අම්මලා සැලකිලිමත් වෙන්න. කුමක් හෝ වෙනස් හැසිරීමක් ඇති වෙන්න හේතුව මොකක්ද කියල සොයා බැලීම වැදගත්. සමහර විට වෙනදා නැති මහන්සි ගතියක් අලස ගතියක් පෙන්වනන් පුලුවන්.සමහර වෙලාවට දරුවාගේම කටෙන් කියවෙන්න පුලුවන් “මට දැන් ජීවිතය එපා වෙලා..” වගේ වචන.. නොසලකා ඉන්න එපා. බොහෝ වෙලාවට අපි හිතන්නේ කොහෙන් හෝ අහුලා ගත් සංවාද කොටසක් කියල වුනත් එහෙම කියනවා නම් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.

දරුවන්ගේ හැසිරීම් සියුම් විදිහට නිරීක්ෂනය කළොත් විශාදය වැනි තත්වයට පත් වෙන්න පෙරාතුවම දරුවාගේ මානසික තත්වය යහපත් කර ගැනීමට පුලුවන්.

පෞරෂ ගැටළු

දරුවාගේ පෞරෂය ගොඩ නගා ගැනීමට නම් තොටිලි වැටේ පටන්ම අපි උනන්දු වීම වැදගත්. වයස අවුරැදු පහක් වැනි කාලයක් වෙද්දී දරුවාගේ පෞරෂ ගති ලක්සණ පෙනෙන් පටන් ගන්නවා. ළදරු පාසල් අධ්‍යාපනයට එකතු වුනාම සෙසු දරුවන් සමග එකට එක්වීම අපහසු දරුවන් ගැන ටිකක් විමසිලිමත් වීම වැදගත්. මේ අවධිය වෙන විට දරුවා සමාජගත වෙන කාලයයි.

මුත්‍රාපහ කිරීමේ ගැටළු

සාමාන්‍යයෙන් වයසත් සමග දරුවාට තමාගේ මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න පුලුවන්. මුල් කාලයේදී දිවා කාලයට තමන්ගේ ඇදිවතේ මල මුත්‍රා පහ කිරීම සිදු නොවුනත් රාත්‍රියේදී මුත්‍රා පහවීම සිද්ධ වෙනවා. ඒ තත්වය කාලයත් සමග මග හැරිල ඔවුන්ට රාත්‍රියේදී පවා තමන්ගේ අවශ්‍යතාවය කියන්න හැකියාව ඇති වෙනවා.

ඔටිසම්

ළමාවියේ ඇති වෙන ස්නායු වර්ධනීය මානසික ගැටළුවක්. වයස අවුරුදු එකහමාරක් පමණ වුනාම රෝග ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. දරුවා හැම අතින්ම සාමාන්‍ය වුනත්දෙවැනි උපන්දිනය පමණ වෙද්දී කථාබහ තුළ යම් පසුගාමී තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඔහු තනියම සෙල්ලම් කරන්න බලනවා. ඇසට ඇස බලන හැකියාව නැති වෙනවා වගේම ඇගිල්ලෙන් පෙන්වන දිසාව දරුවා තේරුම් ගන්නේ නැහැ. පරිසරයේ වෙනස්කම් දා ගැනීම අපහසුයි.

මේ නිසා අපි නිතරම දරුවන්ගේ කටයුතු. හැසිරීම් ගැන වඩාත් අවධානයෙන් සිටීම වැදගත්. ජීවිතයේ සාමාන්‍ය රිද්ම රටාවට ඔවුන් අනුගත නොවෙනවා නම් එතැනදී පෙනේනේ කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බවයි. ඒ අඩුපාඩුවට හේතුව මානසික කරුණක්ද එසේත් නැත්නම් පාරිසරික හෝ හාරිරිකද යන්න අඳුනා හදුනා ගැනීම වැදගත්. ඒ සියල්ලම අපිට කරන්න පුලුවන් වෙන්නේ දරුවා හැසිරෙන රටාව ගැන අපි අවධානයෙන් සිටියොත් පමණයි. අපි අම්මලා විදිහට එහෙමනම් දරුවා ගැන දැක්විය යුතු අවධානය හිතන තරම් සරල නැහැ.