සතුන්ගෙනුත් දරුවන්ට හානි වෙන්න පුළුවන්

පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයෙන් නිදහස් කරන ලද මෙම පුවත අපි අම්මලාටත් ඉතාම වැදගත් වෙන්න පුලුවන් කියල මට හිතුනා. ඕස්ට්‍රෙලියාවෙන් වාර්තා වුන මෙම පුවතේ සඳහන් වුනේ එක්තරා මවක් තම දරුවාගේ දිවා ආහාරය ගෙනියන කෑම පෙට්ටිය මුලුතැන්ගෙයි අඳුරු ස්ථානයක තබා තිබුන විට එයට සර්පයෙක් රිංගා ඇති බවයි.

අම්මා තම දරුවාගේ ආහාර ගෙන යන පෙට්ටියේ සර්පයා සිටිනු දැක සර්පයන් පාලනය කරන්නෙකු වෙත ඒ බව දැණුම් දුන්නා. සර්ප පාලක “රොලී බරේල් ” විසින් ලබා දුන් උපදෙස් අනුව මේ මවට කෑම පෙට්ටිය නිවසින් බැහැරට ගෙන යෑමට උපදෙස් ලැබුන අතර පසුව ඉතා ප්‍රවේසමෙන් සර්පයා මුදා හරිනු ලැබුවා.

කොහොම වුනත් “රොලී බරෙල්” පෙන්වා දෙන්නේ දරුවාගේ වාසනාවට මව විසින් මෙම සර්පයා කෑම පෙට්ටියේ සිටිනු දුටු බවයි. යම් හෙයකින් දරුවා කෑම පෙට්ටිය පාසලට රැගෙන ගියා නම් මෙම සර්පයාගේ දෂ්ටනයට ඔහු ලක්වීමට ඉඩ තිබුන බවයි. ප්‍රමාණයෙන් කුඩා වුනත් මේ සර්පයා උග්‍ර විෂ සහිත බවත් ඔහු සඳහන් කරනවා. ඔස්ට්‍රෙලියාවේ මුහුදු තීරයේ සහ රට අභ්‍යන්තරයේ මෙවන් විෂකුරු සර්පයින් හමු වෙන අතර 2000 වසරේ පටන් මේ වෙන විට මරණ 23 ක් සිදු වී ඇති  බව 2017 වසරේ ඔස්ට්‍රෙලියානු මරණ පරීක්ෂක දත්ත මගින් පෙන්වා දෙනවා.

මේ සිද්ධිය අපේ රටටත් ඉතාම සාමාන්‍යයි. අපේ රටේ වුනත් උග්‍ර විෂ සහිත සර්පයන්ගෙන් දරුවන්ට හානි සිදු වී තිබෙන බවට බොහෝ වාර්තා තිබෙනවා. ඇතැම් අවස්ථාවල නිදන ඇඳ, කොට්ටය වැනි ස්ථානයන්හි මෙම සර්පයින් රැඳී සිටිනවා.බොහෝ සර්පයින් ක්‍රියාශීලි වෙන්නේ රාත්‍රි කාලයටයි. ඒ නිසා ආලෝකයක් නොමැතිව අදුරු ස්ථානයන් වෙතට යෑම් ඊම් නොකල යුතුයි. ඒ වගේම නිදා ගැනීමට පෙරාතුව කොට්ටය, පොරවනය ආදිය පරික්ෂා කර බලන්න. දරුවාට මේ ගැන කියා දෙන්න. අද බොහෝ නිවෙස්වල දරුවන් නිදා ගැනීමට පෙරාතුව ඇඳ පිළියෙල කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් මදුරුදැල පවා අකුලා තැබීමක් නැහැ.උදේ අවදි වෙන විට මදුරුදැල අකුලා තැබීමට මෙන්ම රාත්‍රි නින්දට යෑමට පෙරාතුව හොදින් පරීක්ෂා කර බැලීමටත් දරුවන් දැණුවත් කරන්න.

එක්තරා තරුණ මවක් රාත්‍රි හතට පමණ බැල්කනියේ තිබුන මල්පෝච්චියක් නිවසට ඇතුළු කිරීමට සූදානම් වෙත්ව ඒ යට සිටි සර්පයෙකුගේ දෂ්ටනයට පත් වුණා. මේ සර්පයා පොල‍ගෙකු බව හදුනා ගත්තද විෂ හරීරගත වීම නිසා තරුණ මව අකාලයේම මියගියා.

සන්ධ්‍යා හෝ රාත්‍රි කාලයේදී එලියට පහලියට යන්නේ නම් ආලෝකයක් සමග යන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

තවත් සිද්ධියක් අනුව වියලි කලාපයේ එක් පාසල් දරුවෙකුගේ සපත්තුවේ රැදී සිටි සර්පයා නොදුටු දරුවා පාවහන් පැළඳ පාසලට යන අතරදී එහි සිරවී සිටි සර්පයා විසින් දෂ්ට කරන ලදුව දරුවා මිය ගිය බව වාර්තා වුනා. ඒ නිසා නිතරම සපත්තුව පයේ දැමීමට පෙරාතුව එය හොදින් පරීක්ෂා කර බැලීම වැදගත්.

සර්පයින් පමණක් නොව අදුරු අහුමුලුවල හැසිරෙන විවිධ සතුන්ද අපේ ජීවිතයට විවිධ හානි සිදු කරන්න පුලුවන්. එක්තරා පුවතක් අනුව මවක් විසින් උදේ පාන්දර දියනියට පළතුරු යුෂ බිලෙන්ඩ් කර ඇත්තේ ඒ ඇතුලත සිටි හූනාද ඇඹරී යන විදිහටයි. රයිස් කුකරයේ පවා හූනන් රැඳී සිටින්න පුලුවන්. භාජනය සේදුවත් ඔවුන් භාජනයේ ඇති කාණු වැනි තැන්හි රැදී සිටින්න පුලුවන්. ඒ නිසා භාජන සේදූ පමණින් ආරක්ෂාව ගැන සහතික වීමට බැහැ.

ඔබේ නිවසේ හරක්, බල්ලන් වැනි සතුන් ඇති කරන විට මෙම සතුන්ගේ මාර්ගයෙන් කිනිතුල්ලන් ඇතුලු වීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන්ද බොහොමයි. කිණිතුල්ලන් කණට රිංගා ගත් විට ඉතාම අපහසු අතර බොහෝ අවස්තාවන්හිදි කණ සේදීමට පවා සිදු වේ. මේ නිසා සතුන් පිරිසිදුව තබා ගැනීමට වගේම නිදන විට දරුවාගේ කණට මේ සතුන් ඇතුළුවීමට තිබෙන අවස්ථාවන් අවහිර කිරීමටත් වග බලා ගන්න.

ඒ වගේම නිවසේ සුරතලයට ඇති කරන බල්ලන්, බළලුන් , ලේනුන් වැනි කිරි බොන වර්ගයේ සතුන්ගෙනුත් සිදු වෙන හානි අඩුවක් නැහැ. මෙම සතුන් හපා කෑම නිසා හෝ කෙළ තැවරීම ජලභීතිකා රෝග තත්වය ඇති විය හැකියි.රෝගකාරක විෂබීජය ශරීරගත වීම නිසා මේ රෝග තත්වය ඇති වෙනවා. මුලින්ම මේ වෛරසය මාංශපේශින්ට බලපෑම් කරන අතර එතැන වර්ධනය වෙමින් වෛරසය ස්නායු ඔස්සේ මොළයට ගමන් කරනු ලැබේ. එහිදී පටකයන්ට සිදු වෙන හානිය ජලභීතිකාවේ උපරිම අවස්ථාව ලෙස සැලකේ.

ජලභීතිකා රෝග ලක්ෂණ

  • බැස නොයන උණ
  • නොනවත්තා ඇති හිසරදය හා තෙහෙට්ටුව
  • සීතල දරා ගැනීමේ අපහසුතාවය
  • ආලෝකය සහ ශබ්දය දරා ගැනීමේ අපහසුතාවය
  • ශ්වසන වේගය ඉහළ නැගීම
  • සැරපරුෂබව හා සංකාව
  • උගුරේ මාංශපේශින් සංකෝචනය වී ඇති නාසා ගිලීමේ අපහසුතාවය
ජලයට බියක් දැක්වීම

මේ නිසා ඔබ නිවැසි සුරතලුන් ඇති කරනවා නම් ඔවුන් වෙනුවෙන් Anti Rabies Vaccination  ලබා දීමත් වැදගත්. එන්නත ලබා ගැනීම වෙනුවෙන් අදාල පලාතේ පලාත් පාලන ආයතන සහ පලාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් ජනතාව දැණුවත් කරනවා. මේ දැණුවත් කිරීම හෝ සිහිපත් කිරීම නොසලකා හරින්න එපා.

අරියාදු (Bullying) සහ අඩන්තේට්ටම් (Harassment)

පාසල රන්දෙවොලක් විදිහට සැලකුනත් මේ දේවාලය ඇතුලත් පුංචි පුංචි කෙනෙහිලිකම් නැතුවාම නොවෙයි. අපි ඒ ගැන විවෘතව කතා නොකලොත් මේ සිද්ධින් කවදා හෝ කොතැනකින් හෝ පිපිරී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ පුංචි පුතා හෝ දුව පාසලේදී අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම්වලට (Harassment) ලක් වෙන අවස්ථා ඔබ නොදැන සිටියාට ඕනෑ තරම් තිබෙන්න පුලුවන්.

ශාරිරිකව සිද්ධ වෙන අඩන්තේට්ටම්වලටත් වඩා මානසිකව සිදු වෙන තත්වයන් ඉතාම දරුණුයි. සමහර පාසල්වල ශිෂ්‍ය නායකයින් විසින් පුංචි පංතිවල දරුවන් අඩන්තේට්ටම්වලට පත් කරමින් ආධිපත්‍ය ගොඩ නගා  ගන්නා අවස්ථාවන් තිබෙනවා. විශේෂයෙන් දිවාආහාර වේලාවට කුඩා දරුවන් කැන්ටිමෙන් මිළට ගන්නා ආහාරපාන වැඩිහිටි දරුවන් අඩන්තේට්ටම් කරමින් ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා.

මෙහිදී පොඩි දරුවා තමාගේ පාසලේ අයියලාට තිබෙන බිය නිසා කිසිම කෙනෙකුට මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, පැමිණිලි කරන්න එපා යැයි කරන තර්ජනය නිසා එතැනින් ඔබ්බට ඔවුන් මේ සියළු දෙයම දරා ගෙන සිටින අවස්ථාවන් තිබෙනවා.

මේ තත්වය තව දුරටත් අපි සුලුකොට සැලකිය යුතු නොවන්නේ ඇයි කියල දෙමව්පියන් අවධාරනයෙන්ම සිතට ගැනීම වැදගත්. මේ අරියාදු සහ අඩන්තේට්ටම් ලිංගික අපචාර දක්වා දුර දිග යන බව අකමැත්තෙන් වුනත් සඳහන් කිරීමට සිද්ධ වෙනවා. වැඩිහිටි පිරිමි පමණක් නොවෙයි, ගැහැණු දරුවන් පවා ලිංගික අපචාර වෙනුවෙන් පහල පංතිවල දරු දැරියන් සම්බන්ධ කර ගැනීම ප්‍රසිද්ධ රහසක් වුනත් අපි කිසිම කෙනෙක් ඒ ගැන කතා නොකර ඉන්නේ හරියට කසාය බීපු ගොලුවන් වගෙයි. ඒ නිසා දරුවන් මානසිකව මේ පීඩන දරා ගෙන සිටිනවා පමණක් නොවයි, ඔවුන්ගේ මල් වගේ පිරිසිදු සහ අහිංසක හදවත් නිරන්තර පීඩාවට පත් වෙනවා.

මේ තත්වයට පත් වුන දරුවෙක් එතැනින් එපිටට කිසිම දෙයක් කරන්නේ නැහැ. කාගෙන්වත් උදව් ඉල්ලා සිටින්නෙත් නැහැ. විරුද්ධ වීමකුත් නැහැ. ඒත් හිතෙන් ඔවුන්ගේ විඳවීම නිසා කාලයත් සමග විශාදය (Depression) වැනි තත්වයට දරුවා නොදැනම ගොදුරු වෙන්න පුලුවනි.

එවන් මානසික තත්වයකට පත් වුන ඔබේ දරුවා වෙතින් මේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.

නින්ද නොයෑම

වෙනදා ඇඳට වැටුන පමාවෙන් නින්දට ගිය දරුවා දැන් ඔබට ඇහැරී බල හැම ‍විටකම ඇ‍ඳේ පෙරලි පෙරලි ඉන්නවා වෙන්න පුලුවන්. දෙමව්පියන් විදිහට මේ ගැන ඔබ එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඔබත් නින්දට වැටුනාම දරුවා ඇහැරී ඉන්නවාද නිදාගෙනද බව නොදන්නා නිසා වෙන්න පුලුවන්.

ආහාර අරුචිය

වෙනදාට කන්න දීලා ඉවරක් නැති දරුවා දැන් පෙරැත්තයෙන් මිසක ආහාර වෙනුවෙන් කිසිම රුචියක් දක්වන්නේ නැතුවා වෙන්න පුලුවන්.

විවිධ රෝග ගැන පැමිණිලි

වෙනදාට වඩා දරුවා ලෙඩ ගැන කරන පැමිණිලි වැඩි වෙන්න පුලුවන්. හිසේකැක්කුම, උදරාබාධ විතරක්‍ නොවෙයි විවිධ රෝගාබාධයන් ගැන පැමිණිලි කරන්න පුලුවනි. මේ විදිහට රෝග ගැන කියද්දී හොර ලෙඩ යැයි චෝදනා කරන්න එපා. හිතේ ලෙඩ නිසා දරුවාටත් නොදැනීම මේ වගේ අපහසුතාවයන් ශාරිරිකව ඇති වෙනවා. ඒ නිසාම දෙමව්පියන් විදිහට සන්සුන් මනසකින් මේ තත්වය දිහා බැලීම ඉතාම වැදගත්.

කතාව සිනාව අඩුයි

ගිරව් වගේ තොරතෝංචියක් නැතිව කතා බහ කරපු , සිගිති රන්ඩු සරුවල් මැද ගෙවුන ජීවිත වෙනුවට දරුවා හුදෙකලාවට යොමු වෙනවා නම් ඔබට හිතන්න යමක් දැන් ඉතිරි වෙලා තිබෙනවා. සමහර විට දරුවාට දොස් නගන්න පුලුවන්. ඒත් දොස් නගනවා වෙනුවට ඇයි මෙසේ හුදෙකලා වෙන්නේ යන්නෙහි නිදාන කතාව සොයා ගැනීම ඉතාම වැදගත්.

දැන් ඉතින් ගැටුමකටත් මුල පුරනවා

නොකා නොබී පැත්තකට වෙලා ඉන්න දරුවාට අම්මා තාත්තා චෝදනා නගන විට දරුවාටත් කේන්ති යනවා. ඔහුට සෙමව්පියන් ගැනත් ඇති වෙන්නේ තරහක්. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම දෙමව්පියන් විසින් විවේචනය කරද්දී. එහෙම නැත්නම් දරුවාට චෝදනා නගද්දී දරුවාටත් කේන්ති යෑම නොදැනීම සිද්ධ වෙනවා. දැන් දරුවා සිටින්නේ නිතරම දුම්මල වරම අතට ගත්තා වගේ හිතේ කේන්තියෙන්.

පාසල් යෑමට මැලිවීම

වෙනදා ලෙඩකට දුකකට නිවසේ රඳවා ගැනීමට නොහැකි වුන දරුවා දැන් විවිධ හේතු කියමින් පාසල් යන්න මැලිවීමට පුලුවන්. ඒ විදිහට පසුගාමී වෙද්දි දඩුවම් කරමින්, තර්ජනය කරමින් පාසලට යවනවා වෙනුවට ඇයි මේ විදිහට දරුවා පාසල් යන්න අදි මදි කරන්නේ යන හේතුව පිටුපසින් ඇති කරුණු ගැන විමිසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

ඉතින් සමහර විට ඔබේ දරුවාටත් පාසලෙන් ඇති වෙන කෙනහිලිකම් සහ අඩන්තේට්ටම් නිසා ඉහත සදහන් මානසික තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවා වෙතින් ඉහත ලක්ෂණ අඩු වැඩියෙන් වුනත් ප්‍රදර්ශනය වෙනවා නම් ඔවුන් සමග සාකච්ඡා කරල මුහුණ දෙන ගැටළු හදුනා ගැනීම ඉතාම වැදගත්.

ළමා වියේ වර්ධන පියවර හදුනා ගනිමු – 2

වයස අවුරු දෙක සහ පහ අතර කාලය තුල දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩවල ශිග්‍ර දියුණුවක් දක්නට ලැබේ. ස්වාධීනව තමාගේ වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේද, තමාගේ පවුලෙන් ඈත්ව පෙර පාසල ඇතුළු බාහිර සමාජයට හැඩ  ගැසීමේ මුල් පියවර් ඇරබෙන්නේද මෙම අවධියේය.

මෙම කාලය තුල පාසල් අධ්‍යාපනය ඇරබීමට අවශ්‍ය බුද්ධි වර්ධනයේ අංශ වන මතකය , යම් දෙයකට දිගු වෙලාවක් අවධානය දීම ,  විසදීමේ හැකියාව , සංවිධාන ශක්තිය ආදිය දියුණු වේ.මේ කාලය තුල හිතින් මවා ගත් යහළුවන්, චරිත ගැන කතා කිරීම හා හිතින් කතා හැදීම ආදිය සාමාන්‍ය තත්වයකි.මේ කාලය තුල වර්ධනය වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ සම වයසේ දරුවන් හා හිතින් මවාගත් සෙල්ලම් ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාවයි. සාමාන්‍ය ජිවිතයේ දරුවා අත්  දකින දෑ එනම්  මව කෑම ඉවීම, තේ හැදීම, දරුවා නෑවීම, බෙහෙත් ගැනීමට වෛද්‍යවරයා හමු වීම ආදී අවස්ථා සෙල්ලම් බඩු යොදාගෙන අන් අය හා අනුකරණය කිරීමට දරුවා පෙළබේ.

මෙම ක්‍රියාකරකම් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම මනෝ සමාජීය වර්ධනයටද මෙහෙවින් ඉවහල් වේ. එබැවින් මෙම කාලය තුල මෙබදු ක්‍රියාකාරකම් වල දරුවා යෙදවිමට දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් ගේ අවධානය යොමු විය යුතුය. කිසියම් දරුවකු ගේ හිතින් මවා ගෙන සෙල්ලම් වල දීමේ හෝ අනුකරණය කිරීමේ කුසලතාවය අඩුබව හැගේ නම් ඒ ගැන විශේෂ අවධානයක් දක්වා දරුවා එවැනි ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් යොදවා ගත යුතුය.එමෙන්ම මෙය ඕටිසම් තත්වයේ ලක්ෂණයක්ද විය හැකි බැවින් විමසිලිමත් වීම වටී.

මෙම කාලය තුල භාෂාව තව දුරටත් වර්ධනය වන අතර  වයස හතර/පහ  වන විට විවිධ සංකිර්ණ වචන , ව්‍යාකරණ, කාලය හගවන ක්‍රියා පද භාවිතයෙන් අන් අයෙකු හා සංවාදයේ යෙදිය හැකිවේ. පෙර පාසල් දරුවන් තනිව කතා කිරීමද සමහර විට දැකිය හැකි අතර එය සාමාන්‍ය තත්වයකි. ගණන් කිරීම, මුලික අකුරු  උච්චාරණය ආදී හැකියාවන් වර්ධනය මේ වයසේදී වර්ධනය වීම ඇරබේ. නමුත් මෙය පවුල් පසුබිම ,සංස්කෘතික පසුබිම, සමාජ තත්වය ආදිය මතද රදා පවතී.

මනෝ සමාජීය වර්ධනයේ ද වැදගත් වෙනස්කම් කිහිපයක් ම මේ කාලය තුල සිදුවේ. පෙර පාසල් වයසේ දරුවන් ස්වාධින විමට උත්සාහ දරන බැවින් වැඩිහිටියන්ගේ නීති වලට අවනත නොවීම , තමාට අවශ්‍ය දෙයක් නොලැබුණහොත් කලහකාරී ලෙස හැසිරීම ආදී ලක්ෂණ දැකිය හැක. විශේෂයෙන් නිවසෙන් පිට ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම දෙමව්පියන්ට අසීරු අත්දැකීමක් විය හැකි නමුදුබොහෝ විට වයසෙන් වැඩෙත්ම එය අඩු වී යයි. තමාගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවශ්‍ය භාෂා කුසලතා දියුණු නොවීම  හා ආවේග හදුනා ගැනීම හා පාලනය අපහසු වීම මේ හැසිරීම වලට බොහෝ විට හේතු වේ.

අනුකම්පාව, සහ කම්පනය වැනි වඩාත් සංකීර්ණ හැගීම් ක්‍රමයෙන් දියුණු වීම තවත් වැදගත් වර්ධන පියවරකි.උදාහරණයක් ලෙස මව කණගාටුවෙන් සිටිනු දුටුවහොත් ඒ ගැන ප්‍රශ්න කිරීමට හා වචනවලින් සැන සවිමට උත්සාහ දැරීම දැකිය හැක. නමුත් හැගීම් ප්‍රකාශ කරන ආකාර ය දරුවා වැඩෙන සංස්කෘතික පරිසරය  මත වෙනස් විය  හැකියි.

දරුවන්ගේ භාෂා කුසලතාවය දියුණු වනවාත් සමග ඔවුන්ට සම වයසේ අන් දරුවන්ගේ ගති ලක්ෂණ සරලව විස්තර කිරීමේ හැකියාව ලැබේ. එසේම වයස පහ වනවිට ආහාර ගැනීම , ඇදුමක් ඇදීම  ආදිය තනිව කර ගැනීමේ හැකියාව ලැබේ.

ගැහැණු පිරිමි වෙනස පිළිබද කුතුහලය, ඒ පිළිබද ප්‍රශ්න කිරීම,ජනක ඉන්ද්‍රිය ස්පර්ශ කිරීම ආදිය මේ වයසේදී දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයන්ය. නමුත් වැඩිහිටි සමීප සබදතා අනුකරණය කිරීම , බලහත්කාරයෙන් අන් අයට සමීප විමට උත්සහ දැරීම ආදිය අපචාර වලට ගොදුරු වූ දරුවන් තුල දැකිය හැකි බැවින් ඒ පිළිබද දෙමාපියන් විශේෂයෙන් සැලකිලිමත්  වියයුතු වේ.

ඇත්තෙන්ම මෙම අවධිය තුල සිදුවන වෙනස්කම්වලින් අපේක්ෂා කරන්නේ වයස අවුරුදු පහ පසු වූ විට පාසල් අධ්‍යාපනය සදහා දරුවා හැඩ ගැස්වීමයි. මේ කාලයේ ඉහත විස්තර කල පරිදී බුද්ධිමය ,භාෂා හා මනෝ සමාජීය වර්ධන පියවර සාර්ථකව පසු කරන දරුවන්ට පහසුවෙන් පාසල් ජිවිතයට හැඩ ගැසිය හැක. කෙසේ වුවද මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. සමහරවිට බුද්ධි වර්ධනය අදාළ ලෙස වර්ධනය වුවද වෙනත් අංශයක් උදාහරණය ලෙස මනෝ සමජිය අංශයෙන් යම් දරුවෙක් පසුගාමී විය හැක. විමසිලිමත් දෙමව්පියන්ට මෙවැනි දෑ කලින් හදුනා ගත හැකි අතර එමගින් දරුවාට අවශ්‍ය අමතර සහය ලබා දිම පහසු වේ.

ප්‍රථමික පාසල් අවධියේ දරුවන්ගේ වර්ධන පියවර ගැන ඉදිරියේ දී සලකා බලමු.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

ඔබේත් බිලිඳාගේත් සම පැහැපත් කරගන්න හොඳම උපදෙස් මෙන්න

හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරු පැටියා නිරෝගීව ඉන්නවා දකින්න ආසයි වගේම ලස්සනට ඉන්නවා දකින්නත් ආසයි. ඉතිං කෑම බීමවලින් හොඳ පෝෂණයක් ලබාදෙන්න වගේම විෂබීජවලින් දරුවා රැකගෙන ලෙඩ රෝගවලින් බේරගන්නත් හැම කෙනෙක්ටම ආසා හිතෙන විදියට ලස්සන කරන්නත් අම්මලා කැමතියි.

ඉතිං මෙතැනදී නම් අම්මා කෙනෙක් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.

ඔබ, ඔබේ දරුවන්ගේ ආහාර පාන ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවා ලස්සන කරන්න කියලා භාවිතයට ගන්න ආලේපන ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. මොකද බිලිඳු සම මල් පෙත්තකටත් වඩා, පිහාටුවකටත් වඩා පුළුන් රොදක් වගේ සිනිඳුම සිනිදු නිසා. මෙන්න මේ හේතුව නිසාම බිලිඳුන් වෙනුවෙන් ස්වභාවික දේවල්ම තෝරාගන්න අම්මලාට පුළුවන් නම් හරිම වටිනවා. රසායන ද්‍රව්‍ය, විෂ වර්ග ළදරු සම හා ගැටෙන්න කොහෙත්ම සුදුසු නෑ. මොකද බිලිඳු සම වැඩිහිටි අපේ සමට වඩා දස වරක් සංවේදී බවින් වැඩියි.

මේ කියන්න යන්නේ ස්වාභාවිකවම බිලිඳු සම පැහැපත් කළ හැකි ක්‍රම කීපයක් ගැනයි. මේ දේවල් එක්ක පැටියට විතරක් නෙවෙයි අම්මටත් ලස්සන වෙන්න පුළුවන්.

ඔබේ බිලිඳාට උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක්

උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් මගින් ඔබේ බිලිඳාගේ සම නිසැකවම පැහැපත් වනු ඇත. එසේම තෙතමනය රැකෙමින් සම වඩාත් සුමුදු කරවයි. මෙම උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනය මගින් අධි සංවේදී බිලිඳු සමේ සෛල තුළ තිබිය යුතු තෙල් ප්‍රමාණය සමබරව පවත්වාගෙන යාමට හැකියාව ලබාදේ. දිනපතා ඔබේ බිලිඳාට මේ ආකාරයෙන් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් ලබා දෙන්නේ නම් දිනෙන් දින බිලිඳු සමට වඩාත් පැහැපත් දිදුලන පෙනුමක් හිමිවනු නිසැකය.

baby-and-mom

සම්බාහනයක් මගින් බිලිඳාට හිමිවන ප්‍රතිලාභ

  • මාපියන් හා බිලිඳා අතර බැඳීම වර්ධනය කරයි

මුල් අවධියේ සිටම බිලිඳාත් මාපියන් අතරත් මනා බැඳීමක් ගොඩ නැංවීමට සම්බාහනය සහය වේ. දරුවා මෘදුව ස්පර්ශ කරමින්, යම් වෙලාවක් බිලිඳා සමග ගත කිරීමට මෙහිදී අවස්ථාව උදා වේ. මේ හරහා දරුවා මාපියන් හොඳින් හඳුනා ගනි. ආදරය වටහා ගනී.

  • යහපත් සෞඛ්‍ය තත්වයක් සඳහා මගපාදයි

සම්බාහනය මගින් ඔබේ බිලිඳාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා ඉතා වැදගත් වන අංගයකි.

  • සන්සුන් බව ඇති කරයි

සම්බාහනයකින් පසුව බිළිඳෙකු ඉතා සතුටින් කාලය ගත කරයි. සුව නින්දකට යොමු වේ.

  • ලිහිල් බව ඇති කරයි

සම්බාහනය හරහා බිලිඳාගේ මස්පිඬු ලිහිල් වීම සිදු වන අතරම ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. ආමන්ඩ් ඔයිල් හොඳින් සමට උරාගැනීම නිසා සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

  • සුව පහසුව සලසයි

උදර සම්බාහනය මගින් කොලික් තත්ත්වයන් සහ මලබද්ධය වැනි අපහසුතා පලවා හැරෙන අතරම බිලිඳාට සුව පහසුවක් ගෙන දෙයි.

බිලිඳු සමේ තෙතමනය රැකගන්න

ආමන්ඩ් ඔයිල් මේ සඳහා වඩාත් සුදුසු වේ. මන්ද ආමන්ඩ් ඔයිල් විටමින් E සාරයෙන් අනූනයි. විටමින් E සම තුළට අවශෝෂණය වෙමින් සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගනී. සම සුමුදු කරවන විටමින් E ආමන්ඩ් ඔයිල් මගින් ඔබේ බිලිඳාට ලැබෙනු ඇත.

almond-oil

ඔක්සිකාරකයක් වන විටමින් E,

  • සමෙහි සෛල රැක ගනී
  • වියලි බව දුරලා පැහැපත් පෙනුමක් සමට ලබා දේ
  • සම මත තෙතමනය රඳවා ගනී
උදෑසන හිරු එළිය ඔබේ බිලිඳාට ලබා දෙන්න

ඔබේ බිලිඳා උදෑසන හිරු එළියට නිරාවරණය කළ හැකි නම් ස්වාභාවිකවම විටමින් D නිෂ්පාදනයට එය විශාල සහයෝගයක් ලබාදේ. නමුත් එක එල්ලේ වැටෙන හිරු එළියට බිලිඳාගේ සම ඍජුව යොමු කිරීම නුසුදුසු බව තරයේ සිහි තබා ගත යුතුය. හිරු එළියට නිරාවරණය වූ බිලිඳා ඇල්මැරුණු ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකියි. ඉන් අනතුරුව මොයිස්චර්රයිසර් එකක් ලෙස ආමන්ඩ් ඔයිල් ආලේප කළ හැකියි.

පැටියට වගේම අම්මටත් ආමන්ඩ් එක්ක ලස්සන වෙන්න නිරෝගී වෙන්න පුළුවන්. ඔබේ බිලිඳාට මේ සත්කාර කරන අතරේම ඔබ වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න.


ගුණ දම් පිරි දරුවෙක් හදන්න, ඔබ කළ යුතු දේවල් මෙන්න

පොඩ්ඩො හැදෙන්නෙ අපි දිහා බලාගෙන.මේ කියමන කොයිතරම් ඇත්තක්ද කියල මේක කියෙව්වම ඔයාලටම තේරුම්ගන්න පුලුවන් වෙයි.

අද සමාජයේ දරුවො වැරදි කරනකොට අම්මල තාත්තල දරුවන්ට සැර වැර කරල ඒ වැරද්ද හදන්න උත්සාහ කරනව අපි ඕන තරම් දැකල තියනව නේද? ඒත් ඔයාල කාට හරි හිතුණද කිසිම දෙයක් නොතේරෙන පොඩි දරුවෙක් උපතින් මේ කිසිම දෙයක් අරගෙන එන්නෙ වත්, එයාල දැනගෙන කරන්නෙවත් නෑ කියල. ඇත්ත කතාවනම් බබාල මේ හැමදේම ඉගනගන්නෙ සමාජයෙන්.එයාල ඒ දේවල් අනුකරණය කරනව.

ඉතිං දෙමව්පියෝ විදියට අපි මූලික අඩිතාලම හරියට නොදැම්මොත් අපේ දරුවො හැදෙන්නෙත් ඉගනගන්නෙත් සමාජෙ එයාලට උගන්නන දේවල්. නොදරුවො කරන දේවල් නෙ කියල ඇස් කන් පියාගෙන හිටියොත් අපිට කවදාහරි ලොකු පසුතැවිල්ලකින් ජීවත් වෙන්න වෙයි.

ඒ නිසා මේ ගැන හිතන්න.එක පාරක් නෙවෙයි සිය දහස් වතාවක්.

thank-you

1. හොඳ පුරුදු පුරුදු කරන්න පුලුවන් ඔයාලට ම තමයි.

“මෙන්න පුතේ මේක කන්න” කියල බබාට කෑමක් දීල හැරිල යන්නෙ නැතුව බබා ඒක ගත්තම “පුතේ අම්මිට thank you කියන්න” බබා thank you කිව්වම පෙරලා අනිත් පැත්තට ඔයා කියන්න “you are welcome” කියල. එහෙම කියද්දී කොයිතරම් හුරතල් ද කියල බලන්නකෝ. දවසට කී වතාවක් නම් අවස්ථා ලැබෙයිද මේ හොද පුරුද්ද බබාට ඉගන ගන්න.

ඔයාගෙ අතින් බබාට හිත් රිදවීමක් හරි,අපහසුතාවයක් හරි වුණොත් මානය බිමින් තියල බබාට “sorry” කියන්න.ඔයාට අත්දකින්න පුලුවන් වෙයි බබා අතින් එහෙම දෙයක් වුණාම එයා ඔයාව අනුගමනය කරමින් පෙරලා සමාව ඉල්ලන දවසට.

අවුරුද්දයි මාස 11ක් වුණත් මට අමතක වෙන වෙලාවටත් ඒ හොද පුරුදු මතක් කරල දෙන්න තරම්,පොතක් වැරදීමකින් ඉරුනත් “I’ m sorry” කියල පොතට වදින්න තරම් මගෙ දුව මේ දේවල් එයාගෙ ඇතුළාන්තයටම ග්‍රහණය කරගෙන ඉවරයි.

drawing

2. බලි කුරුටු බිත්තියේ නොඇන්දොත් ?

ගොඩක් අම්මල ගෙ මතයක් තමයි බිත්තියේ බලිකුරුටු ඇන්දෙ නැත්තම් ළමයට ඒක වැරදියට බලපානව කියන එක.ඒත් ඒක අපිම හදාගත්ත දෙයක්. මගෙ දුව ඉස්සරලම පාට අරගෙන අදින්න පටන් ගත්ත දවසෙ මම එයාට පාට පෙට්ටිය ත් එක්කම ලොකූ චිත්‍ර පොතක් දුන්නා. ලොකු white board එකක් ගෙනත් දුන්නා.එයා දැන් අදින්නෙ ඒවගෙ.බිත්ති වල නෙවෙයි.ලියන්නෙ පොත් වල මිසක් බිත්ති වල නෙවෙයි කියන අවබෝධය එයාට තියනව.ඇයි අපි වැරදි දේවල් වලට අනුබල දෙන්නේ.බලන්න පුංචි බබාලා වටපිටාවෙන් නේද ඉගනගන්නෙ.

child-eating

3. කෑම කන්න නියමිත තැනක්.

ගොඩක් අම්මල බත් කවාගන්න ගම වටේ යනව බත් පිගානත් අරගෙන.ගමේම අය දන්නව ඔන්න අර ගෙදර බබා දැන් කෑම කන්නයි යන්නෙ කියල.ඊටත් වඩා බබා හිතන්නෙ කෑම කන්නනම් ගම වටේ යන්න ඕන කියල. එහෙම කරන්න එපා.කෑම කවන්න අපේ ලේසියට වැරදි දේවල් බබාලාට පුරුදු කරන්න එපා. මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් පස්සෙ බබාම තේරුම් ගන්නව කෑම කන්නෙ මෙතැනදී විතරයි කියල.

පුංචි කමට මගෙ දුව මම කෑම එක පිගානට බෙදනකොට එයාගෙ පොඩි feeding chair එකයි ,කෑම හැලෙනවට එලන mat එකයි සූදානම් කරනව.මේක මට කරන්න පුලුවන් වුණා නම් ඔයාලට බැරි වෙන්නෙ නෑ.

children-at-kitchen

4. බබාටත් වගකීම්.

අද සමාජයේ අම්මල ආදරේට කියල බබාලාට කරන ලොකු වැරද්දක් තමයි ඉතාම පුංචි වැඩ පවා අම්මලම කරල දෙන එක.ඒකෙන් බබාට යහපතකට වඩා වෙන්නෙ අයහපතක්. පුංචි පුංචි වගකීම් බබාලට දෙන්න.

– රෙදි වැලෙන් රෙදි ගේනකොට බබාටත් ටිකක් දෙන්න.
– එලවළු තෝරන්න දෙන්න.
– බබාගෙ සෙල්ලම් බඩු අස් කරන්න දෙන්න.

මේ පුංචි වයසට මගෙ දුව කරන වැඩ ටිකක් ඔයාල එක්ක් බෙදාගන්නම්.

– එයාගෙ සෙල්ලම් බඩු එයාම අස් කරනව.
– ඇඟ සෝදන්න කලින් මාරු කරපු ඇදුම් එයාම බාස්කට් එකට දානව.
– බිම කුණු තිබුණොත් ඒව කුණු කූඩෙට පවා දානව.කවදාවත් තැන තැන කුණු දාල නෑ.

ඉතිං බලන්නකෝ පොඩි දරුවනේ කියල ඔහේ බලාගෙන හිටියනම් මේ දියුණුව මට මගෙ බබාගෙන් දකින්න වෙන්නෙ නෑ නේද?

baby-in-the-toilet

5. වැසිකිළි යන්න නියමිත තැනක්.

අපි දැකල තියනව මොන්ට්සෝරි යන බබාල පවා ඇදුමෙ මූත්‍රා කරගන්නව.නමුත් උත්සාහ කළොත් අපිට ඒක පවා නිවැරදි කරන්න පුළුවන්.

මේ පුංචි වයසට මළපහ කිරීමට  වගේම මූත්‍රා කිරීමට  පවා මගෙ බබා වැසිකිළිය පාවිච්චි කරනව.රාත්‍රියටවත් ඇදේ මූත්‍රා කරන්නෙ නෑ.ඕන වුණා ම එයාම කියල ඇදුම් ඉවත් කරල වැසිකිළි යට යනව.මට තියෙන්නෙ එයාව පරෙස්සමට එක්කගෙන යන්න විතරයි.

මේ පුරුද්ද ඇති කරන්න මම කළේ පුංචි දෙයයි දවස් දෙකක් විතර පැයෙන් පැයට වගේ බබාව වැසිකිළියට එක්කගෙන ගියා.එයා දැම්මෙ නැතත් එක්කගෙන ගියා.ඒකෙන් එය තේරුම් ගත්ත මේ යන්නෙ මෙහෙම වැඩකට,ඒකට නියමිත තැන මෙතනයි කියල.

ඉතිං බලන්න , පුංචි කැපකිරීමකින් අපිට අපේ දරුවන්ගේ ජීවිත වල කොයිතරම් වෙනසක් ඇති කරන්න පුළුවන්ද කියලා.

මවක්, ගෘහණියක් ලෙස ඔබට ඇතිවන කලකිරීම් නැති කරගන්නා ක්‍රම

ගැහැණියක් විදියට ඔයා ගැන කොහොමද හිතාගෙන ඉන්නෙ? දුර්වලයි කියලද? බොළඳ යි කියල ද? එහෙමත් නැත්තම් ජීවිත් වෙන්නෙ ලොකු කළකිරීමකින්ද?

එහෙනම් මේ කතාකරන්නෙ ඔයාටමයි. අලුත් වෙන්න, වෙනස් විදියට හිතන්න, සරල වෙන්න , සතුටින් ජීවිතේ ගෙවන්න මේ ලිපිය උපකාරී වුණොත් ඒක තමයි මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන දේ.

ඔයා කියන්නෙ කව්ද?

ගෙදර වැඩයි, බබාලගෙ වැඩයි, හස්බන්ඩ් ගෙ වැඩයි, ඔෆිස් වැඩයි කර කර ජීවිතේ කළකිරීමෙන් මිරිකිලා ඉන්න  කෙන්කද?

එහෙමත් නැත්තම් උග්‍ර නැන්දම්මා ලේලි හබයකට මැදිහත් වෙලා විදවන කෙනෙක්ද?

එහෙමත් නැත්තම් ඔයා බලාපොරොත්තු වෙන ආදරය, රැකවරණය, අගය කිරීම ඔයාගෙ හස්බන්ඩ් ගෙන් ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්ද?

එහෙමත් නැත්තම් තමන්ගෙ කියල හිතින් අල්ලගෙන ඉන්න ඒත් ඔයා බලාපොරොත්තු වෙන මට්ටමටම ඔයා ගැන හොයල බලන, ඔයාට කතාකරන සහෝදර සහෝදරියන් නෑදෑයන් නැති කෙනෙක්ද?

බොහෝ දෙනෙකුට මෙයින් එකක් හෝ කීපයක් තමන්ගෙ ජීවිතයට සමීප ගැටලුවක් වෙලා ඇති.

ඔයා දන්නවද අපි පිලිගන්න කොයි තරම් අකමැති වුණත් ඔයාගෙ හිතේ තියන ඔය කළකිරීම නැතිකරන්න ඔය කළකිරීමට හේතු පාදක වුණ කරුණු වලටවත්, ඒවට මුල් වුණ අයටවත් පුලුවන් කමක් නෑ කියන එක තමයි ඇත්ත. ඒකට හේතුව එයාලගෙ දෝෂයක් වත් ඔයාගෙ දෝෂයක් වත් නෙවෙයි. කළකිරීමේ විදවීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔයා ඒක අල්ලගන්න විදිය අනුවමයි.

ටිකක් වෙනස් විදියට හිතන්න පුරුදු වුණොත් ඔයාට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලබෙනවාමයි. ඔයා හිතන්න ඔයාගෙ සතුට නිර්මාණය කරන්න පුලුවන් ඔයාටමයි. ඒක කරන හැටි තීරණය කරන්නත් ඕන ඔයාමයි.

හිතන්න ඕන එකම දේ මේ ලෝකෙ කිසිම කෙනෙක් වත්, දෙයක්වත් අපි කැමති විදියට වෙනස් වෙන්නෙ නෑ, අපියි වෙනස් වෙන්න ඕන.

මේ උදාහරණ එකින් එක කියවල ඒක ඔයාගෙ ජීවිතේට ගලපගන්න. බලන්න මේ විදියට එක සතියක් හිතල. කොයිතරම් සැහැල්ලුවක් ඔයාගෙ හිතට දැනෙනවද කියල.

හිතින් දුක් විද විද එක එක්කෙනාට චෝදනා කරන එක පොඩ්ඩකට නවත්තන්නකෝ.

මුලින්ම සතුටින් ඉන්න මාර්ග හොයාගනිමු.

ඔයා ඔෆිස් ගිහින් බබා නිසා අමාරුවෙන් හිත හදාගෙන ගෙදර නැවතුන කෙනෙක් නම් මේ විඩියට දුක හිතෙනව වෙන්න පුලුවන්.

“හස්බන්ඩ් වෙනද වගේ ආදරේ නෑ වගේ දැනෙන්න පුලුවන්”
“නිකන් කුස්සි අම්මෙක් වුණා වගේ හැගීමක් දැනෙන්න පුලුවන්”
“ඉගෙන ගත්ත සේරම වතුරෙ ගියා වගේ හිතෙන්න පුලුවන්”
“මිනිස්සු කවරුත් වෙනද වගේ ගනන් ගන්නෙ නෑ වගේ හිතෙන්න පුලුවන්”

උදේ ඉදන් රෑ වෙනකන් මේකම හිත හිත ඔහේ දුක් වෙනවනම් කවදාවත් සතුට නම් ලං කරගන්න වෙන්නෙ නෑ.

කුස්සි අම්ම කෙනෙක් වෙනවද එහෙම නැත්තම් සාම්ප්‍රදායික 8-5 රැකියාවෙන් ඉවත් වුණ එක විතරයි ජීවිතේ වුණ වෙනස කියල කියන්න පුලුවන්  වටිනාකමක් සහිත මවක් වෙනවද කියන එක තීරණය කරන්න පුලුවන් ඔයාටම විතරයි.

රස්සාවෙන් අයින් වුණා කියල කවුරු හරි ඔයාට කිව්වද උදේ ඉදන් රෑ වෙනකන් වැරහැලි දැලි රෙද්දක් ඇදගෙන, නොකා නොබී, කුණු ගාගෙන, හොටු පෙරාගෙන ඉන්න කියල නෑ නේද?

ගෙදර ඉන්නව කියල ඔහේ මොකක් හරි කර කර ෆෝන් එක ඔබ ඔබ, බබා එක්ක දවසම ඇදට වෙලා නිදියගෙන, ජීවිතේ කම්මැලිකම වගා කරන්න කියල කවුරු හරි කිව්වද? නෑ නේද?

හම්බකරන්නෙ හස්බන්ඩ් විතරයි ඒ හින්ද වෙනද වගේ ලස්සනට අදින්න කරන්න බෑ කියල හේතු හදාගත්තෙ ඔයාමයි නෙද? පිරිසිදුව ලස්සනට ඉන්න අලුත් ඇදුම්, මේක් අප් නැතුවට තියන එකක් හරි ලස්ස්නට ඇදල, ඔලුව පීරල මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන් නේද කියල අමතක කලේ ඔයාමයි නේද?

ගෙදර තියන දේවල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරල, අලුත් අලුත් ලෝකෙ සල්ලි ඉතුරු කරන්න මොනවද කරන්න පුලුවන් කියල හොයල බලල, සල්ලි හම්බනොකෙරුවත් සල්ලි පරෙස්සමට පාවිච්චි කරලත් හස්බන්ඩ් හම්බකරන එක නාස්ති නොකර ඉන්න පුලුවන් නේද කියලත් අමතක කලේ ඔයාමයි නේද?

තමන්ගේ ම අම්මගෙන් බලාපොරොත්තු වෙනව වගේම සමාන ආදරයක් ලේ නෑ කමක් වත් නැති පිටස්තර නැන්දම්මා කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙලා හිත රිද්වගන්න තරම් බොලද වුණේ ඔයාමයි නේද?

පොඩි පොඩි අතපසුවීම්, අමාරුකම්, හිත් රිදවීම් වුණත් ලෝකෙ ඉන්න දාහක් අතරින් තමන්වම කසාද බැදගත්ත හිතේ ඔයා ගැන කොයිතරම් ආදරයක් ඇතිද?, ඇයි මම මේ බොළඳ දේවල් පස්සෙ පන්නන්නෙ කියල හිතන්න බැරිවුණේ ඔයාටමයි නේද?

කාලසටහනකට, ඉලක්කයකට, සකසුරුවමින්, කඩිසරකමින් වැඩ කරල දවසේ වැඩ ටික එපා නොවෙන්න, පටලවාගන්නෙ නැතුව කරන්න බැරි නෑ නේද කියල හිතුනෙ නැත්තෙ ඔයාටමයි නේද?

අවශ්‍ය දේට කතාකරල,හොයල බලල, අනවශ්‍ය දේවල් කතා නොකර පාඩුවෙ තම්න්ගෙ දෙයක් කරගෙන හිටියනම් ඔය පවුල් ආරවුල් නෑදෑයන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ එක්ක තියන ගැටුම් ගොඩාක් අඩු කරගන්න පුලුවන්කම තිබුණ නේද කියල මතක් නොවුනෙ ඔයාටමයි නේද?

හිතින් හිත හිතා දුක හපයක් කරගෙන ඒකම හප හප රසවිදින එකට වඩා තමන් ආස විනෝදාංශයක් කරල, එහෙමත් නැත්තම් තමන් රස්සාව කරන් තැන පාඩුවෙ රස්සාව කරල, ගෙදර ඉන්නව නම් ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන, තැන් තැන් වල ඕප දූප කතාකරන කාලෙ ගෙදර ඉදන් හරි දෙයක් කරල සල්ලි කීයක් හරි හොයාගන්න පුලුවන් නේද කියල මතක් නොවුනෙ ඔයාටමයි නේද?

දකින දකින බඩුව, ප්ලාස්ටික් කෑල්ල, ඇදුම, මෙකී නොකී සියලු දේම අස්සක් මුල්ලක් නෑර ගොඩගහගෙන ගේ අපායක් කරගෙන කොච්චර අස් කලත් ඔච්චරයි කිය කිය, මූණ ත් එල්ලගෙන, ගෙදර මිනිස්සුන්ටත් බැන බැන ඉන්න වෙලේ ඇත්තටම තමන්ට ජීවත් වෙන්න , අදින්න පළදින්න, උයන්න පිහන්න, ඕන මොනවද කියල හිතල අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් පාවිච්චි කරල සරල ජීවිතයක් ගත  කළානම් ගේ අපායක් වෙන්නෙ නෑ නේද කියල හිතන්න බැරි උනේ ඔයාටමයි නේද?

මෙන්න මේ දේවල් ටික හිතල, කල්පනා කරල අද ඉදන් වෙනස් වෙන්න. අලුත් වෙන්න.

කුස්සි අම්මෙක් වගේ මොට නොවී ලෝකෙත් එක්ක හැප්පිලා, ඔප වැටිල ඉස්සරහටම යන යකඩ ගැහැණියක් වෙන්න. ඔයාටම අභියෝග දෙන්න. ඔයාගෙ සතුට ඔයාම හොයාගන්න. සතුටින් ඉන්න මේ ටික කරල බලන්න.

ඒ දැනෙන වෙනස අත්විඳින්න.

ඔබේ දරුවා කුඩා කාලයේම පොත් කියවීමට හුරුකරන අයුරු

පොත් කියවන චූටි දඟයෙක් නුඹටත් ඉන්නවාද ……..?

මාතෘකාව දුටු සැනින් මුවගට සිනහා නැගුණේ නුබේ දඟයා මතක් වීද? ඇතැම් විට පොත් මග හරිනා චූටි පැටියා නිසා ඔබ විඩාපත් වෙලාද? මගේ බොහෝ යෙහෙළියන්ගේ මැසවිල්ලද පොත් නොබලනා දරුවන් ගැන වේ.

කුඩා විශිෂ්ට කියවන්නකු, නුඹට අවැසි නම් පහත කරුණු අනුගමනය කල හැක.

  1. දරුවාගේ කුඩා වයසට ගැලපෙන පොත්පත් ලබාදෙන්න.
  2. – කුඩාම අවදියේදී කලු සුදු රූප අඩංගු සැන පත් (flash cards) හා පොත්
    – Board books, Waterproof books, වර්ණවත් රූප අඩංගු පොත්
    – විවිධ සංගීත, ශබ්ද, අඩංගු පොත්
    – විවිධ රෙදි වර්ග හා කඩදාසි අලවා අලංකාර කල පොත්
    – විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් වූ පොත්

    මෙමගින් දරුවා තුල පොත් කියවීමට ආශාවක් ඇති කළ හැකිය. පොත් කියැවීම දරුවාගේ පලමු මාසයේ සිටම අරඹන්න.

  1. දරුවාට පොත් බැලීමට, පිටු පෙරලීමට අවස්ථාවක් ලබා දෙන්න. එමඟින් ඔහු තුල ආත්ම විශ්වාසය ගොඩ නැගේ, පොතපතට නැඹුරු වේ.
  1. දරුවාගේ කාමරයේ ඔහුගේ උසට සරිලන පොත් රාක්කයක් තබා එහි ළමා පොත් තබන්න. සිත් ඇද ගන්නා පුටුවක්, ඡායාරූපයක් එහි ප්‍රියජනක බව වැඩි කරාවී. ඉවතලන පෙට්ටි, ලී ආධාරයෙන් පහසුවෙන් මෙය සාදා ගත හැකිය. එසේම ඔහු කැමති පොතක් තෝරා ගැනීමටත් ඔබ ලබා දෙන පොත කියවීමටත් දරුවා යොමුකල හැකිය.
  1. දවසේ නිශ්චිත වේලාවක එහි රැඳී සිටීමටත් දරුවා සමඟ එක්වී පොත් බැලීමටත් ඔබේ කාලය වෙන් කර ගන්න. පොත් කියවීම අතරතුර දරුවාගේ හිස අත ගෑම, සිප ගැනීම තුලින් දරුවාට සුන්දර කාලයක් ලබාදීමට උත්සහ කරන්න.
  1. පොතේ ඇති චරිත රඟ දැක්වීම, කවි සින්දු ගායනය, කටහඩ වෙනස්කිරීම් ආදියෙන් දරුවාගේ පූර්ණ අවධානය ඔබ වෙත ලබා ගත හැක. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් දරුවා පොත් කෙරෙහි නැඹුරුවක්  පෙන්වයි.
  1. ඔබේ දරුවාගේ රුචිකත්වයට අදාළ පොතපත මිලදී ගැනීමෙන්ද, දරුවා පොත් වලට ලැදි කළහැක.
    – දරුවා සතුන්ට කැමති නම් එවැනි රූප ඇතුලත් පොත්
    – වාහනවලට කැමති නම් එවැනි රූප ඇතුලත් පොත්
  1. කුඩා දරුවන් නිතරම වැඩිහිටියන් අනුකරණය කිරීමට උත්සාහ කරන බැවින් ඔබද අවස්ථාවක් ලද විට පොත් බැලීමට උනන්දු වන්න. නිතරම ඔබේ අතේ ඇත්තේ ජංගම දුරකතනය නම් දරුවාට අවශ්‍ය වන්නේද එයයි. පොතපතට නිවසේ වැදගත් සථානයක්  ලබා දීම තුලින් දරුවා නිරායාසයෙන් ඒ කෙරෙහි නැඹුරු වේ.
  1. පොත් කියවීමට හෝ එවැනි ක්‍රියාකාරකමකට කිසිවිටක දරුවාට බලපෑම් නොකරන්න. ඔහු ඒ සඳහා පොලබවා ගැනීම ඔබගේ ඉවසිලිවන්තබව හා ධනාත්මක චර්යාව මත රඳා පවතී.
  1. දරුවා කිසියම් දෙයකට මුරණ්ඩු වී සිටිනා විට දඬුවමක් ලෙස පොත්පත් සමඟ තනි නොකරන්න. එවිට දරුවා පොත් වලට ආදරේ නොකරාවී.ඔහු ප්‍රීතියෙන් සිටිනා විට පොත් බැලීම ප්‍රියජනක  අවස්ථාවක්  කරගන්න.
  1. දරුවා පොත් ඉරා දැමීම කලහොත් එයට දඬුවම් කිරීම නොව ඔබ ඒ පිලිබඳව කනගාටුවන බව පවසන්න.

    “ඔයා වගේ හොඳ ළමයෙක් මේ පොත ඉරුවම මට ගොඩාක් දුක හිතුණා… , ඔයා පොතට ආදරේ කරනවනම් මං හරි කැමතියි…”

    දරුවාට ඇති ආදරය නොවෙනස්ව තබාගෙන වරද තේරුම් කිරීමෙන් ඔබ නොසිතූ හොඳ ප්‍රතිපලයක් ලැබෙනු ඇත. එසේම ඉරුනු පොත් ඇලවීම සඳහා ඔහුගේ සහය ලබාගන්න. එය අමාරු කාර්යක් බවත් හැගීමට ඉඩ දෙන්න.

    දිගින් දිගටම පොත් ඉරීම සිදු කරනා විට පොත් ඉවත් කර හැඩුවත් නැවත ලබා නොදෙන්න. ඔහුටම වැරැද්ද අවබෝධ කර ගැනීමට ඉඩ දෙන්න. පොත් ඉරා දැමීම පොඩි දරුවන් කරන ක්‍රියාවක් බව සාධාරනීකරනය නොකරන්න. නිසි වයසට ගැලපෙන පොත් ලබා දීම තුලින් එය මගහරවාගත  හැක. කුඩා කල සිටම පොත පත කෙරෙහි ගෞරවයක් ගොඩ නැගිය යුතුය.

බොහෝ දෙමව්පියන් දරුවන්ට ඉතා මිල අධික සෙල්ලම් බඩු ලබා දී ලාබ පොත්  ගෙනවිත් දෙනු මා අත් දැක   ඇත. නමුත් කුඩා අවදියේදී පොත් සමඟ මනා සබඳතාවයක් පෙන්වන දරුවන් තුල කියවීම පිලිබඳ යහපත් හැඟීම් ජනිත වේ.  එමගින් දරුවා වර්ධනය වීමේදී කියවීම පුරුද්දක් බවට පත් වෙයි.

ඉතින් ඔබගේ දරුවාට වටිනා පොත් කට්ටලයක් තෑගි දීමටත් ඔබගේ කාලයෙන් මදවේලාවක් දීමටත් මැලි නොවන්න….

මවගේ මුළුතැන් ගෙයත් පාසලකි…

දරුවාගේ පිළිසිඳ ගැනීමේ සිටම දරුවාගේ සංවර්ධනය කෙරෙහි උපරිම දායකත්වක් සැපයිය හැක්කේ දරුවාගේ දෙමාපියන්ටය. එයිනිදු  ඔහුගේ දයාබර මවටය. මන්ද යත් දරුවෙකු කුස දරන්නී ද, ලෝකය ගැන කිසිදු අවබෝධයක් නොමැති පුංචි ජිවියෙකු වැඩිම කාලයක් දෑත් දරන්නී ද මව වන හෙයිනි. දරුවා යනු බිජයක් නම් නිසි පොහොර හා වැඩීමට අවශ්‍යත්ව ලබා දීමේදී මවකට කල හැකි දේ බෙහෝය, මන්ද යත් මුල් අවුරුදු 5ක කාලය තුලදි දරුවාගේ බුද්ධි වර්ධනයේද උපරිම වර්ධනයක් සිදු වන බැවිනි.

මාගේ ලිපි පෙලින් අද කතා කරන්නේ  මවගෙ මුළු තැන් ගෙයින් දරුවාගේ පංචෙන්ද්‍රිය දියුණුවට කල හැකි දේ ගැනය. දියුණු ලෝකයේ පිලිගන්නා හා දැන හෝ නොදැන අපගෙ මවුවරුන් හා මිත්තණියන්ද භාවිතා කරන ලද සරල උපක්‍රම ගැනය.

දරුවාගේ බුද්ධි වර්ධනයට තම ගෙතුලින්ම වැඩි මහන්සියකින් තොරවම මෙවැනි ඉගෙනුම් උපකරන සපයා ගත හැකි නම් දරුවා වෙනුවෙන් සුළු කාලයක් යෙදවීමට මවකට හැකියාව  ඇත්තේ  නොවේද?

උදාහරණයකට , එලවළු හා පලතුරු මිලදී ගන්නා අවස්ථාවක් පිළිබද සලකා බලමු.(මෙහිදි මිලදී ගැනීමට යාම සදහා ද දරුවා සහභාගි කරගත හැකි අතර ඒ පිළිබදව පසුව කතා කරමු.)

ඔබ ගෙනා බෑගයේ ඇති දෑ වෙන් කිරිමට, වර්ග කිරිමට දරුවාට අවස්ථාවක් ලබා දෙන්න.මෙහිදි පළමු දින වල දරුවා සිදු කරන දෑ ගැන කලබලකාරි නොවන්න. ක්‍රමයෙන් වර්ග කිරීමට ඔහු ඉගෙන ගනී (එතෙක්, සාලයේ පුටු යටින්ද එලවළු හෝ පළතුරු මතු විය හැකිය.)

ඔහුට / ඇයට  භාජන කිපයක් දී කැරට්, බටු, බෙංචි, හෝ ඇපල් ,අඹ, කෙසෙල් වෙන් කිරීමට අවස්ථාව ලබා දිය හැක. එම අවස්ථාවේදි දරුවාට අදාල එලවලු හෝ පළතුරු වල නාමයන් (nomenclature) නොදැනුවත් විම ගැටළුවක් නැත. මෙසේ වර්ග කිරීමට ඉතා කුඩා කල සිටම දරුවාට හැකියාව ඇත.(මාස 10-11 සිට)

දැන් මවට කල හැකි දේ බොහෝය.

දරුවා නිවැරදිව වෙන් කල පසුව ඔබට එලවළු පලතුරු නාමයන් හදුන්වා දිය හැක.

“පුතේ මේ  තැඹිලි පාට කැරට්” (ඔබට අවශ්‍ය භාෂාවෙන් නිවැරදිව උච්චාරණය කරන්න)
“මේ බෝල වගෙ දෙහි…”
“මෙන්න බබා ආසම කෙසෙල්”

දරුවාගෙ උච්චාරණය ළදරු වුවත් , මව නිවැරදිව උච්චාරනය කිරීම වැදගත් වේ.

දරුවාට දැනීමේ සංවේදනය හදුන්වා දීම සදහා

“පුතේ මේ බලන්න කැරට් – හයියයි නේද…?”
“මෙ අර්තාපල් ම් ම් ……. හයියයි”
“මෙන්න තක්කාලි හරිම මෘදුයි (soft)”
“මෙ බලන්න අන්නාසි පොත්ත හරි රළුයි නේද…?”

ගඳ හා සුවඳ හඳුනා ගැනීමට

“පුතේ අපි අද පළතුරු වල සුවද බලමු… මේ අන්නාසි සුවද ….. ම් ම් හරිම සුවදයි නේද ?”
“මේ බලන්න ඇපල්…. හරිම මිහිරි සුවදක් නේද…?”

(දරුවාට පිළිතුරු දීම් හැකියාව තිබුණ ද, නොතිබුනද  මෙම සංව්දනය දැනේ. ඒ නිසා දරුවාට සුවද විදිමට කුඩා අවධියේ උවද අවස්ථාව ලබා දෙන්න.)

පාට පිළිබද අවබෝධයක් ලබා දීමට

“පුතාට අද හදන කැරට් තැබිලි පාටයි…….මේ බලන්නකෝ මේ තමයි තැඹිලි පාට”
“මේ බලන්න රතු පාට බීට්….. හරි ලස්සන රතු පාටක් නේද?”
“ඔයා අද කන නිවිති නම් කොල පාටයි හොදේ …..”

මුලික ගණිත සංකල්ප දියුණුව

බොහෝමයක්  මව්වරුන් 1-10 දක්වා ගණන් කිරීමට කුඩා දරුවන්ට හුරු කරයි. මුලික ගණිත සංකල්ප දියුණුව සදහා අවබෝධයෙන් ඉගෙනීම ඉතා වැදගත් වේ.

උදාහරණයක් ලෙස :

“පුතේ අපි බලමු අද තාත්ති බඩ ඉරිගු කියක් ගෙනාවද කියලා ඒකයි ,දෙකයි ,තුනයි……. අද තාත්ති බඩ ඉරිගු තුනක් ගෙනල්ලා නේද …?”
“මෙතන ඇපල් ගෙඩි දෙකක් තියෙනවා නේද ?……මේ බලන්නකෝ , එකයි ,දෙකයි ,………”

ප්‍රමාණය පිළිබද අවබෙධයක් ලබා දීමට

“අද තාත්ති ගෙනාපු ඇපල් ගෙඩි දෙක මේ බලන්න එකක් ලොකුයි අනික් එක පොඩියි… ඔන්න පොඩි බබාට පොඩි ගෙඩිය ……”
“මේ කැරට් අලය අනිත් ඒවාට වැඩිය ලොකුයි නේද? හ්ම් …… මේක නම් පොඩි කැරට් අලයක්.”

රස සංව්දනය

“පුතේ අද ඔයාගේ අතුරු පසට පළතුරු….. මේ ඇපල් කෑල්ල කන්නකෝ හරි රසයි නේද… ?”
“මේ බලන්න මේ මිදි වල රස …. ම්  හරිම රසයි නේද ?”

හැඩ තල පිළිබද ,සරල අදහසක් ලබා දිමට හැක

“මේ බලන්නකෝ පුතේ මේ දොඩම් ගෙඩිය රවුම් නේද… ?”
“ආ … මේ බලන්න මේ කාමරංගා කැපුවම තරු හැඩය නේද …?” (star shape)
“මෙන්න මේ අල ගෙඩිය ඕවලාකාරයි…” (oval shape)

දිග ,කොට පිළිබද අවබෝධයක් ලබා ගැනීමට

“මේ මුරුංගා කරල හරිම දිගයි නේද… ?”
“මේ බෝන්චි කරල කොටයි නේද පුතේ..?”

එසේම දරුවාගේ වාග් මාලාව පුළුල් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගැනීමට හැකියාව තිබේ.

“ඔන්න පුතේ මං මේ තැඹිලි පාට කැරට් ගෙඩිය කපනවා, මෙන්න මගේ පුතාට චුටිම චුටි කෑල්ලක් පරිස්සමින් හපන්න ඔනේ හොදද…?”
“පුතේ මෙන්න මං මේ රවුම් දොඩම් ගෙඩිය මිරිකුවා, මෙන්න දොඩම් යුෂ වලට මං සිනි හා ලුණු මිශ්‍ර කරනවා…..මිශ්‍ර කරන්නේ මේ හැන්දෙන් හරිම රසයි දොඩම් යුෂ මගේ දුව බීලා බලන්නකෝ…”

දරුවාගේ සියුම් මාංශ පේශි ක්‍රියාකාරිත්වයට

දොඩම් බෑවකින් යුෂ මිරිකීමට දරුවාට ඉඩ දීමට හැකිය.මෙහිදි දරුවාගේ මුළු අතේම සියුම් හා විශාල මාංශප්ෂි ක්‍රියාකාරිත්වය වැඩි වේ. දරුවකුගේ බුද්ධි වර්ධනයට, අතැඟිලි වල ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ.

එසේම ළුණු පොතු සුද්ධ කිරිම ආදි ක්‍රියාවන් මගින් ඔබේ දරුවාගේ සියුම් මාංශපේෂි ක්‍රියාත්මක වේ.

දරුවාට හොඳ පුරුදු උගැන්වීම

“මේ ළුණු පොතු කුණු කුඩයට දාමු නේද පුතේ…?”
“මේ පොඩි කොස්සෙන් අපි කුණු අතු ගාමුද…?”
“එලවළු සෝදලා අතත් හොදට සොදමු හොදේ…?”

කවි හා ගීත ගායනය

දරුවා සමග එක්වී ගායනය කොතරම් මනරම් වේ ද…. ? එලවළු හා පලතුරු ගැන ඉංග්‍රීසි හෝ සිංහල ළමා ගී ගයන්න.

“Water melon, Water melon, Papaya…..
Peel Banana…..”

එසේ නැතහොත් ඔබ විසින්ම සාදා ගත් ගීත ගායනා කරන්න.

“කැරට්, කැරට්, කැරට්
තැබිලි පාට කැරට්
රසයි ගුනයි කැරට්
කන්න කන්න කැරට්..”

චිත්‍ර අදින පුන්චි සිත්තරා

ඔබත් මමත් කුඩා කල, කල පරිද්දෙන්ම බන්ඩක්කා, ලීක්ස්, අල, ළුණු පොතු හා සුදු ලූනු වැනි මාධ්‍ය මගින් නිර්මාණ කිරීමේ අවස්ථාවක්, ඔබේ දරුවාට ලබා දෙන්නත් පුලුවන් නේද?

ආදරණිය මව්වරුනි ඔබගේ පලතුරු / එළවළු කූඩයට මෙතරම් දෙයක් කිරීමට පුඑවන් බව ඔබ දැන සිටියාද? බොහෝ දෙනෙකු මේ ක්‍රියාකාරකම් සියල්ල හෝ කිහිපයක් දරුවා සමඟ අත්හදා බලා ඇති බව නිසැකය. එසේ නොමැති වුවත් අද සිටම ආරම්භ කල හැක.

ඔබේ මුළුතැන් ගෙයින් දරුවාගේ නැණ මඬල ආලෝකමත් වේවා යනු මගේ පැතුමයි.

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – තෙවන කොටස

වයසින් වැඩෙන්න වැඩෙන්න බබාලගෙ මොළයේ වර්ධනය වගේම කරන ක්‍රියාකාරකම් පවා වෙනස් වෙනව.ඉතිං අපි අපේ පැටවුන්ගේ වයසට අදාළව ක්‍රියාකාරකම් තෝරා බේරා ගන්න ඕන.ඉතිං අද කතාකරන්න යන්නෙ අවුරුදු 1ත් 2ත් අතර පොඩ්ඩො එක්ක ගෙදරදී කරන්න පුලුවන් සරල ක්‍රියාකාරකම් ටිකක්.

මේව සරලයි වගේ පෙනුනට බබාලට මේවගෙන් ලැබෙන පන්නරය නම් නිමක් නෑ. මම මේ කියන්නෙ අත්දැකීමෙන් සහ විශ්වාසයෙන්.

අපි දැන් එකින් එක කතාකරමු.
pic-01

අරුම පුදුම “බිල්ඩින්ග් බ්ලොක්ස් ”

හැම ගෙදරකම බබාල ළඟ මේ බිල්ඩින්ග් බ්ලොක්ස් තියනව.එත් බලන්න ඔයාල කවදාවත් හිතල තිබුනද අපේ පැටවුන්ගේ මොළය වර්ධනයට මේව මේ තරම් වැදගත් කියල.

ගොඩක් අය බබාලාට මේව අරගෙන දීල බබාලට කැමති දෙයක් කරන්න දීල බලාගෙන ඉන්නව .ඒත් මම ඒක පොඩ්ඩක් වෙනස් කරල මෙන්න මේ වගේ දේවල් ටිකක් මගෙ දූත් එක්ක කලා.

වර්ණ හදුනාගැනීමේ ක්‍රියාකාරකම :

  • පාට පාට බිල්ඩින්ග් බ්ලොක්ස් එක ගොඩකට දාල ඒ ඒ පාට වලට අදාළ වර්ණයෙන් යුතු කෝප්ප වලට ඒ ඒ වර්ණයෙන් යුතු බ්ලොක්ස් දැම්මා.
  • ඒ වර්ණය දාන ගමන්ම මම ඒකට අදාළ වර්ණ උච්චාරණය කලා.
  • දිගින් දිගටම මගෙ දුව හරි ආසාවෙන් මේ සෙල්ලම කලා.

ටික දවසක් යනකොට එයාම ඒ වර්ණය කිය කිය දාන්න ගත්තා.දැන් කියන්න සතුටුයි අවුරුදු 2ක් වෙන්නත් කලින් මගේ දුව වර්ණ 10කත් වඩා ප්‍රමාණයක් නම් වශයෙනුත් ,වර්ණ අනුවත් අදුනාගැනීමේ හැකියාවෙන් යුත් දරුවෙක්.

ලොකු පොඩි බේදය: 

ගොඩාක් බබාලාට මොන්ට්සෝරි යන වයසෙදි පවා අදුනගන්න අසීරු දෙයක් තමයි ලොකු පොඩි බේදය වෙන්කරල අදුනගන්න එක.ඉතිං මේ සරල ක්‍රියාකාරකම බබාට සතුටක් වගේම ඉගැන්වීමේ සරල ක්‍රමයක්.

  • එක එක ප්‍රමාණයන්ගෙන් ලොකු පොඩි ගොඩනැගිලි හදල බබාගෙන් අහන්න “බබා කැමති කොයි එකටද? ලොකු එකටද පොඩි එකටද ? ”කියල. කතාකරන්න පුලුවන් බබෙක්නම් අවශ්‍ය එක කියලා ඉල්ලයි.කතාකරන්න අසීරු බබෙක් නම් ඉරියව් වලින් පෙන්නයි.
  • එතකොට ඔයාට පුලුවන් ඒක ලොකු එකද පොඩි එකද කියල කියල දීල බබාට ඒක දෙන්න.ටික දවසක් යනකොට ඉබේම ලොකු පොඩි අදුනගන්න බබාට පුලුවන් වෙනවා.
  • ඊට පස්සෙ බලන්නකෝ බබාල ගෙදර තියන හැමදේම ඒ විදියට වෙන් කරනව.”ලොකු පුටුව , පොඩි  පුටුව , ලොකු පිගාන ,පොඩි පිගාන” යනාදී වශයෙන්.

හසුරු කුසලතා වර්ධනය:

  • බිල්ඩින්ග් බ්ලොක්ස් ඔක්කෝම ලොකු භාජනයකට දාල තවත් පොඩි භාජන කීපයක් ,හැන්දක්  අරගෙන අර ලොකු භාජනයේ තියන බ්ලොක්ස් හැන්දෙන් පොඩි භාජන වලට දාන්න දෙන්න.

මේ ක්‍රියාකාරකම මගින් යම් දෙයකට අවධානය දීල ,ඉවසීමෙන් වැඩක් කරන්න සහ තනිවම තීරණ ගන්න ,ඒව ක්‍රියාත්මක කරන්න බබාලා පුරුදු වෙන්නෙ නිරායාසයෙන්මයි.

හැඩතල හදුන්වා දීම:

  • බබාත් එක්ක එකතු වෙලා ත්‍රිකෝණ,සමචතුරස්‍ර,වෘත්ත,සෘජුකෝණාස්‍ර,වගේ හැඩතල මේ බ්ලොක්ස් වලින් හදන්න.
  • ඒවට කියන නම් කියවන ගමන්ම හදන්න.

පොත් බලාගෙන උගන්නනවට වඩා අති සාර්ථක ක්‍රමයක් තමයි මේක.අම්මල මැසිවිලි නගන්නෙ බබාල ක්‍රියාකාරකම් කරන්න එන්නෙ නෑ කියලනෙ.ඉතිං මේ විදියට සෙල්ලමක් වගේ කරන්න.

pic-02

කුස්සියෙ බඩු එක්කත් ඉගන ගන්න පුලුවන්

හැම අම්ම කෙනෙක්ම බබාලට කුස්සියෙ බඩු එක්ක සෙල්ලම් කරන්න දෙනවනෙ.ඒක මේ විදියට කරල බලන්නකෝ.

  • වෙන් කරන්න බබාටම කියල හාල් ටිකක්,පරිප්පු ටිකක්,පිටි ටිකක්,තේ කුඩු ටිකක්.
  • විවිධ ප්‍රමාණයන්ගේ විවරයන් සහිත බෝතල් ,කෝප්ප ,බාස්කට් වගේ දේවල් වලට හැන්දෙන් පුරවන්න දෙන්න මම මුලින් කියපු කුස්සියෙ තියන හාල්  වගේ දේවල්.
  • අපි නොදනුවත්වම මේකෙන් දියුණු වෙන්නෙ බබාගෙ හසුරු කුසලතාවයන් කියල ඔයාලටම අත්දකින්න පුලුවන් වෙයි.

pic-03

විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බෝල සෙල්ලම්

  • එක එක ප්‍රමාණයන්ගෙන් බෝල ටිකක් එකතු කරගෙන දුර ප්‍රමාණය වෙනස් කර කර බබාට බෝලය විසිකරන්න.බලන්නකෝ එයාල ඒක අල්ලගන්න උත්සාහ කරන ලස්සන.
  • මෙහෙම ටික කාලයක් කරනකොට ඒක බබාට ප්‍රියජනක දෙයක් වගේම ඕනම ප්‍රමාණයක දෙයක් දුරක ඉදල විසිකලාම අල්ලා ගැනීමේ හැකියාව ලැබෙනව.මගේ දුවගෙන් මම ඒක අත් දකිනවා.

pic-04

පිටි බෝලෙයි ,ස්පැගටියි

රෑට කන්න ගෙනාපු ස්පැගටි වලින් පොඩ්ඩකුයි,පාන් පිටි ටිකකුයි අරගෙන ලෑස්ති වෙන්නකෝ.

  • මුලින්ම බබා එක්කම එකතු වෙලා පිටි ටිකට වතුර ටිකක් දාල ගුලියක් හදාගන්න.ඊට පස්සෙ ස්පැගටි කූරු ටික බබාට දීලා අර පිටි ගුලිය වටේට ගහන්න දෙන්න.
  • ඔන්න බලන්නකෝ පිටි ගුලියෙ හිස් තැන් හොය හොය ලස්සනට ස්පැගටි කූරු ටික ගහන හැටි.

මේකෙන් බබාගෙ මොළය වර්ධනය වෙන්නෙ මේ විදියට.

මුලින්ම එයා කුතුහලයෙන් පිටි ගුලිය හදන්න උදව් වෙනව.ඊටප්ස්සෙ ස්පැගටි වලින් මොකක්ද කරන්න යනව ඇත්තෙ කියල චූටි මොළෙන් අනුමාන කරන්න ගන්නව.ඒකෙන් කරන්න යන වැඩේ දැනගත්තම එයා ඒක හිත හිත ඉඩ හොය හොය කරන්න ගන්නව.බලන්න පුංචි ක්‍රියාකාරකමක් වුනාට බබා කොයිතරම් මොළය පාවිච්චි කරනවද කියල.

pic-05

කොල බෝලයි ,බකට් එකයි

පොඩි බකට් එකකුයි පරණ පත්තර පිටු ටිකකුයි අරගෙන වැඩේට ලෑස්ති වෙමුකෝ.

  • මුලින්ම පත්තර පිටුව පිටුව අරගෙන බබාත් එක්ක එකතු වෙලා ගුලි කරල කොල බෝල ටික හදාගන්න.
  • ඊටප්ස්සෙ බකට් එක දුරකින් තියල අර හදාගත්ත බෝල එකින් එක බකට් එකට වැටෙන්න විසිකරන්න,මුලින් බැරි වුනාට, එක එක බකට් එකට  කොල බෝල වැටෙන කොට බබාලා ඉතා උනන්දුවෙන් සහභාගී වෙනව.ඊටප්ස්සෙ බකට් එකේ තියන කොල බෝල හැන්දෙන් අරගෙන ඇවිත් වට්ටන්නෙ නැතුව මුලින් තිබුණ භාජනයටම දාන්න දෙන්න.
  • බලන්නකෝ හරි පරෙස්සමින් කොල බෝලෙ වට්ටන්නෙත් නැතුව හැන්දෙන් අරගෙන එන ලස්සන.

බබාලට බල කරන්නෙ නැතුව එයාලගෙම කැමැත්තෙන් මේ වගෙ ක්‍රියාකාරකම් කරන්න ඕන වෙන්නෙ පුංචි කැපකිරීමක් විතරමයි.තවත් මේ වගේ ක්‍රියාකාරකම් ගැන ඉදිරියේදී කතාකරමු.

මාතෘ නිවාඩු

මාතෘත්වය යනු මෙළොව ඇති උතුම්ම පදවියයි. දරුවකු කුස පිළිසිඳ ගත් දා සිට අනේක විධ ශාරීරික හා මානසික වෙනස්කම් දරාගනිමින් මෙලොවට නීරෝගී දරුවකු දායාද කිරීම සෑම මවකගේම පැතුමය. නූතන සමාජය තුල රැකියා කේෂත්‍රය තුල කාන්තාවගේ භූමිකාව ක්‍රමයෙන් පුළුල්ව ඇත. දරුවන් ලැබුන පසුද තම රැකියාව කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසාවෙන්ම  රැකියා වල නියුතු මව්වරුන් උදෙසා රජය විසින් නොයෙකුත් අණපනත් හඳුන්වා දී ඇත. මෙම අණපනත් පිළිබඳ ඔබ අවබෝධයෙන් සිටීම වැදගත්ය. එනිසාවෙන්ම ඔබටත් ඔබේ දරුවා වෙනුවෙනුත් මෙම අණපනත් හරහා ලැබෙන් ප්‍රතිලාභ පිළිබඳව අප ඔබ දැනුවත් කරන්නෙමු.

සජීවී දරු ප්‍රසූතීන් සඳහා නිවාඩු

පළමු හා දෙවන සජීවී දරු ප්‍රසූතීන් සඳහා වැටුප් සහිතව මාතෘ නිවාඩු දින 84 ක් එනම් සති 12ක් සම්මත කොට ඇත. මෙම නිවාඩු දින 84 හිමිවන්නේ වැඩ නොකරන දින, පෝය නිවාඩු සහ ව්‍යවස්ථාපිත නිවාඩු දිනයන් හැරය. මෙම සති 12න් සති 2 ක් දරු ප්‍රසූතිය සිදුවන දිනයද ඇතුළුව දරු ප්‍රසූතියට පෙර ලබා ගත හැකි අතර ඉතිරි සති 10 දරු ප්‍රසූතිය සිදු වූ දිනයෙන් පසු ලබා  ගත හැකිවේ.

මළදරු උපතකදී හෝ කළල රූපයක් බිහි වූ විට

මෙබඳු දරු ප්‍රසූතියක් සිදුවූ අවස්ථාවක ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණයි. මෙම කාලය ද ගණනය කරන්නේ ඉහත සඳහන් දින ගණනය කල පරිද්දෙන් සියලූම නිවාඩු දිනයන් ඉවත්වන ලෙසයි.

ආයනයේ ස්ථිර තාවකාලික සහ අභ්‍යාසලාභීන් වෙතද මෙම නිවාඩු හිමිවේ. රාජ්‍ය අංශයේ නියුතු  මවකට ඉහත දින අවසන් වූ පසුව අඩ වැටුප් සහිතව දින 84ද වැටුප් රහිතව තවත් දින 84ද ලබා ගත හැකිය. එහිදි දින ගණනය කරනු ලබන්නේ සියලු නිවාඩු දිනයන්ද ඇතුලත්වය.

මාතෘ ප්‍රතිලාභ ආඥා පනත අනුව දරුවාට වයස අවුරුදු 1 ක් වන තුරු වැඩ කරන දිනයක පැය 9 ක කාල පරිච්ඡේදයක් තුළදි අවම වශයෙන් විනාඩි 30 ක් බැගින් කාල පරිච්ඡේද 2ක් කිරි දීම සඳහා ලබා දෙනු ලැබේ.දරුවන්ට කිරි දීම සඳහා අවශ්‍ය පහසුකම් සේවා යෝජකයා විසින් සේවිකාවන් හට ලබා දිය යුතු වේ. සේවායෝජකයා විසින් ඒ සඳහා සුදුසු ස්ථානයක් සපයා දිය යුතුය. ආහාර හෝ විවේකගැනීම සඳහා ලබා දෙනු ලබන විරාම කාලයට අමතරව කිරි විවේක කාලය ලබා දිය යුතු අතර එම කාලය, සේවය කළ කාලයන් ලෙස සලකනු ලැබේ.

අණපනත් වලින් ලැබෙන වෙනත් සහන

  • ගැබිණි බව හේතු කොටගෙන ලබා ගන්නා ප්‍රසූතිකාධාර නිවාඩු කාලය තුලදී සේවයට නොපැමිණීම හෝ වෙනත් කිසිඳු කරුණක් මත සේවායෝජකයා විසින් එම සේවිකාවට සේවයෙන් පහ කිරීමේ නිවේදනයක් දීමද කල නොහැක්කකි.
  • තමන් ගර්භණියක් බව සේවායෝජකයා වෙත දැන්වූ විට, දරු ප්‍රසූතියකට මාස 3 කට පෙර ඇයට හෝ ඇයගේ දරුවාට හානි සිදු විය හැකි ආකාරයේ කිසිදු ක්‍රියාවක ඇයව යෙදවීම තහනම් වන අතර දරු ප්‍රසුතියෙන් මාස 3ක් ගත වන තුරු ඇයව හානිදායක කාර්යයන් වල යෙදවීමද කල නොහැකිය.
  • ප්‍රසූතිය හෝ දරුවෙකු පිළිසිද ගැනීම නිසා ඇතිවන රෝගී තත්වයක් නිසා සේවයෙන් පහ කිරීම තහනම් වේ. එසේම ප්‍රසූත නිවාඩු සිටින කාලය තුලදී සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් දැන්වීම තහනම්වේ.

මෙම ප්‍රතිලාභ  සියල්ල හිමිවන්නේ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත හා සාප්පු හා කාර්යාල සේවක පනත යටතේය.

ළමා වියේ වර්ධන පියවර හඳුනා ගනිමු

දරුවන්ගේ වර්ධනය යනු බොහෝ දෙමව්පියන් දැනගැනීමට උනන්දුවන මාතෘකාවකි. උපතේ සිට දරුවන්ගේ වර්ධනය පිළිබද නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් දරුවාට උදව් කිරීමට අවස්ථාව සැලසෙනවා පමණක් නොව වර්ධනයේ ප්‍රමාද වීම් හෝ ගැටළු හදුනා ගැනීමට අවස්ථාව උදාවේ. එමගින් ප්‍රමාද වීමකින් තොරව වර්ධන ගැටළු සදහා අවශ්‍ය පිළියම් /ප්‍රතිකාර දීමට අවස්ථාව සැලසේ.

දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩ වලට වැඩිපුරම බලපාන්නේ ජානමය බලපෑමද එසේ නැතහොත් පවුල් පරිසරයද යන්න කලක පටන් විවාදයන්ට තුඩු දුන් මාතෘකාවකි. නමුත් විද්‍යාත්මක සාධක වලට දැනට පිළිගත් මතය වනුයේ උපතේදී දරුවකුට ලැබෙන ජානමය පසුබිම හා උපතින් පසු පවුලෙන් හා අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් අතර අන්තර් ක්‍රියාවන් මේ සදහා බලපාන බවයි. මොලයේ වර්ධනය කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියකි. එබැවින් ඉතා කුඩා කල දක්නට ලැබෙන සමහර ගති ලක්ෂණ හා ගැටළු පසු කලෙක වෙනස් වීමේ හැකියාව ඇත.

අනෙක් අතට සමහර වර්ධන පියවර ජිවිතයේ මුල් අවධියේදී දියුණු නොවුනහොත් පසු කලෙක එය දියුණු කර ගැනීමට අපහසු වේ.උදාහරණයක් ලෙස භාෂාව වර්ධනය වීමට ජිවිතයේ මුල් අවුරුදු පහ අතිශයින් වැදගත් වේ. එම කාලය තුල භාෂා හැකියාව වර්ධනය විමට අවශ්‍ය උත්තේජන නොලැබුණහොත් පසු කලෙක එම හැකියාව දියුණු කිරීම අපහසු විය හැක.

මෙහිදී කායික වර්ධනයට අමතරව භාෂාව හා සන්නිවේදනය , ප්‍රජනන/බුද්ධිමය වර්ධනය හා මනෝ සමාජීය වර්ධන පියවරයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල යුතු වේ. බුද්ධිමය වර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්නේ බුද්ධි මට්ටම පමණක් නොවේ. ඊට තර්කානුකුලව සිතීම, ගැටළු විසදීමේ හැකියාව , මතකය හා ආවර්ජනය , සංවිධානාත්මක හැකියාව හා පරිකල්පන හැකියාව ආදියද ඇතුලත්ය.

මනෝ සමාජීය වර්ධනය යන්නෙන් අන් අය හා යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව , අවේග හදුනා ගැනීම හා පාලනය කිරීම , අන් අයගේ හැගීම් හදුනා ගැනීම හා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම හා සමාජයේ පොදු අදහස් අවබෝධ කර ගැනීම ආදී කුසලතා අදහස් වේ.

උපතෙන් පසු ජිවිතයේ මුල් මාස හය තුල දරුවාට ලැබෙන විවිධ සංවේදන එනම් රස, පෙනීම, ස්පර්ශය , ශබ්ද ආදිය හා  දරුවාට ඉතා සමීප වැඩිහිටියන් හා පවත්වන අන්තර් සම්බන්ධතාවයන් දරුවාගේ භාෂා හා බුද්ධිමය වර්ධනයට අඩිතාලම සපයයි.මේ කාලය තුල දරුවාට  සමීප මුහුණු හදුනාගැනීමටද , මුහුණින් ප්‍රකාශ කරන ඉරියව් අනුකරණය කිරීමටද හැකියාව ලැබේ.මේ කාලය තුල දරුවා තම අවශ්‍යතාවයන් හෝ අපහසුකම් ප්‍රකාශ කරන්නේ හැඩීම මගිනි. ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමෙන් දරුවා තුල විශ්වාසය ඇතිවේ.ඊට නිසි පරිදි  ප්‍රතිචාර දැක්වීම එය හදුනා ගැනීම මත පමණක් නොව මවට බලපාන බාහිර සාධක ( එනම් අධික ආතතිය , අමතර සහයක් නොලැබීම )  මතද රදා පවතී. එබැවින් මෙම කාලය තුල මවට අවශ්‍ය  අමතර සහයෝගයද , මානසික සහනයද ලබා දීම පවුලේ අන් අයගේ වගකීමකි.

එසේම මව සමග යම් දෙයකට පොදු අවධානය යොමු කිරීමේ හැකියාවද මේ කාලයේ දියුණු වන වැදගත් වර්ධන පියවරකි.එමෙන්ම මාස හයට කිට්ටු වනවිට “බා බා බා” වැනි මුලික ශබ්ද, ශබ්ද කිරීමට දරුවා පටන් ගනී.මෙය භාෂා වර්ධනයේ මුලික අවස්ථාව ලෙස සැලකේ.

මාස හතේ සිට වයස අවුරුදු දෙක දක්වා කාලය තුල මතකය,අවධානය යොමු කිරීම වැනි කුසලතා ක්‍රමයන් වර්ධනය වීම ඇරබේ. මේ කාලය තුල සිදුවන තවත් වැදගත් වර්ධන අවස්ථාවක්  වනුයේ කිසියම් භාණ්ඩයක්  ආවරණය කලද (කෙලින්ම දරුවාට පෙනීමට නොමැති වුවද ) එය එතන ඇති බව දරුවා තේරුම් ගැනීමයි. සෙල්ලම් බඩුවක් සගවා නැවත සෙවීම වැනි ක්‍රීඩා වල ට මේ වයසේදී දරුවා යොමු කර ගත හැක්කේ මෙම හැකියාව නිසාය.

මේ කාලයේදී විවිධ ශබ්ද කිරීමෙන් හා ඇගිල්ල දිගු කර පෙන්වීමෙන් තම අවශ්‍යතා දැක්වීමට ඔවුන්ට හැකිය. සාමාන්‍යයෙන් වයස අවුරුද්ද පහු වන විට තනි වචනයක් කතා කිරීමේ හැකියාවද ලැබේ. මෙය සන්නිවේදනයේ වැදගත් මුලික වර්ධන පියවරකි.

වයස අවුරුදු එක හමාර පමණ වනවිට  දරුවාට තමාට නොපෙනෙන සෙල්ලම් බඩුවක්  වෙනත් තැන කිහිපයක (පුටුව යට, වෙනත් කාමරයක ආදී ) සෙවීමේ හැකියාව ලැබේ. මේ නිසා වඩාත් සංවිධානාත්මක ක්‍රීඩා වල දරුවා යොදවා ගැනීමේ හැකියාව ලැබේ.එසේම තමා දුටු දෙයක් අනුකරණය කිරීමේ හැකියාව මේ කාලය තුල ඇතිවේ. මතකය ක්‍රමයෙන්  දියුණු වන බැවින් දෛනිකව සිදුවන ක්‍රියාකාරකම්වල  වෙනස්කම් හදුනා ගනියි. මේ කාලය තුල දරුවකුට අලුත් වචන ශීග්‍රයෙන් හදුනා ගත හැක. නමුත් වචන  වචන මාලාව කොතරම් දුරට දියුණු වන්නේද යන්න පාරිසරික උත්තේජන මත රදා පවතී.

වයස අවුරුදු දෙක වනවිට මතකය ,එක දෙයකට අවධානය දීමේ හැකියාව, ගැටළු විසදීමේ හැකියාව තවත් දියුණු වේ. එබැවින්  “බිල්ඩින් බ්ලොක්ස්” භාවිතයෙන් කිසියම්  සැකිල්ලක් නිර්මාණය කිරීම වැනි හැකියාවන් ලැබේ. එසේම සම වයසේ දරුවකු හා සෙල්ලම් කිරීමට මේ වයසේදී පුළුවන. මේ කාලය තුල දෙමව්පියන් අනුකරණය කිරීමෙන් සිතින් මවා ගත්   ක්‍රියාකාරකම්වල  නිරත වීමේ හැකියාව ලැබේ (උදාහරණයක් ලෙස සෙල්ලම් බඩු  භාවිතයෙන් ඉවීම, ආහාර  ගැනීම ,බෝනික්කන් නැලවීම ,සුරතල් සතුන්  බලා  ගැනීම වැනි ) වයස අවුරුදු දෙක වන විට වචන දෙකක් එකතු කර තම අවශ්‍යතාවයක්  ප්‍රකාශ  කල හැක.

ජිවිතයේ මුලික අවධියේ මනෝ සමාජීය වර්ධනය ගැන සැලකීමේදී ඉතා වැදගත් පියවරක් වන්නේ මව සමග (නැතහොත් දරුවාට ඉතා සමිප වැඩිහිටියකු සමග ) ඇති කරගන්නා  මානසික සබදතාවයයි. දරුවකුට පසුකාලීනව පවා ශක්තිමත් සබදතා ඇති කර ගැනීමට අඩිතාලම වැටෙන්නේ මෙම මුලික සබදතාව පදනම් කර ගෙන ඇති වන විශ්වාසය මතය.

ජීව්තයේ මුල් මාස හය තුල දරුවා තම හැගීම් හා හැසිරීම පාලනය හුරු වීමට පටන් ගනී. දෛනිකව ආහාර දීම , නිදි කරවීම වැනි ක්‍රියාකාරකම් එකම වෙලාවකට කිරීමෙන් මෙය පහසු කරවයි.වයස සති හය හය පමණ වනවිට දරුවා මව සමග සිනා සේ. මවගේ හැගීම් වලට ක්‍රමයෙන්  සංවේදී වේ.මාස හය වන විට තරහ ,දුක වැනි විවිධ හැගීම් ප්‍රකාශ කිරීම ඇරබේ.

වයස මාස හයේ පමණ සිට මව තනි කර ගියහොත් නොසන්සුන් වීමට පෙළබේ.ක්‍රමයෙන් විවිධ අලුත් අත්දැකීම් හා අවස්ථාවන්ට මුහුණ දෙන හැටි ඉගෙන ගනී. වයස අවුරුදු එක හමාර වනවිට දරුවාට අන් අයගේ හැගීම් හදුනා ගැනීම ඉගෙන ගනී. උදාහරණයක් ලෙස මව දුකින් සිටින බව හැගේ නම් එය දැනී මව සැනසීමට උත්සහ දරයි.

අවුරුදු එක හමාරේ සිට දෙක අතර කාලය තුල හැගීම් වචන මගින් ප්‍රකාශ කිරීමට හා පාලනය කිරීමට උත්සාහ දරයි.වඩාත් සංකීර්ණ හැගීම් එනම් ලැජ්ජාව , තමා වරදක් කලා යන හැගීම ආදිය දැනේ. මව තනි කර දමා යාමේදී කලබල වීම අඩු වන අතර මව ලග නැති විට වෙන අයෙකුට හුරු කර වීම තරමක් පහසු වේ.

මේ වයසේදී අනුකරණය කරන ක්‍රීඩා වල වැඩි වශයෙන් නිරත විය හැකි අතර ගැහැණු පිරිමි වෙනස්කම් වලට අනුව ක්‍රීඩා භාණ්ඩ තෝරා ගන්නට පටන් ගනී. මේ කාලය තුල ස්වයං පාලනය (උදාහරණයක් ලෙස තමන්  ආසා  කරන ක්‍රියාකාරකම් කල් දැමීමට) ඉගෙන ගනී.

මෙබදු වර්ධන පියවර ගැන නිසි අවබෝධයක් තිබීමෙන් දෙමාපියන්ට තම දරුවාගේ වයසට ගැලපෙන ක්‍රියාකාරකම්වල යෙදිය යුත්තේ කෙසේද,  දරුවාට ලැබිය යුතු උත්තේජන කවරේද , දරුවා බලා ගන්නා අයෙකුට දියයුතු උපදෙස් මොනවාද යන්න පිළිබද තීරණ ගැනීම පහසුවේ. වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ගේ වර්ධන පියවර හා වර්ධන ගැටළු හදුනා ගන්න අයුරු ඉදිරියේදී සාකච්ඡා කරමු.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

අම්මාගේ අවශ්‍යතාවය නිසා දියණිය අසරණයි…

මට හිතුනා මේ සිද්ධිය මේ විදිහට පටන් ගන්න. එක නගරයක පහවසරේ පුංචි දුවක් හිටියා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නාම රජයේ රැකියාවල  නිරත වුණා.

ඉතිං අපි දන්නවානේ ශිෂ්‍යත්වය කියන්නේ අම්මලාගේ විභාගය කියලා. ඒ නිසා මේ අම්මාටත් අවශ්‍ය වුනේ තමන්ගේ දියණිය ඉතාම ඉහලින් සමත් කරගන්නයි. ඒකේ ඉතින් කිසිම වැරැද්දක් නැහැ. ඊටත් මේ ප්‍රශ්නය ඔවුන්ට ඉතාම බරපතල විදිහට බලපෑවේ දරුවාට ඒ වෙන විටත් ජනප්‍රිය පාසලක් ලැබී තිබුනේ නැහැ. අම්මයි, තාත්තයි මේ සිද්ධිය නිසා මානසික්වත් හෙම්බත් වුණා. ඒත් ශිෂ්‍යත්වය පාස් වුනාම අපිට පුලුවන් දුව ජනප්‍රිය හෝ ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යාධාරත් නොලැබෙන එකේ අඩුම ගනනේ ඒ අවස්ථාවවත් ලැබුනොත් කියල දෙන්නා හිත සනසා ගත්තා. දියණියටත් නිරන්තරවම බලකරලා කියා හිටියේ  කොහොම හරි ශිෂ්‍යත්වය පාස් කර ගෙන අපි නගරයේ පාසලකට යමු කියන උත්තේජනයයි.

අම්මයි , තාත්තයි දුව හොදින් මෙහෙයවා හිටියත් දුවට සමත් වෙන්න නම් බැරි වුණා. ඒත් අම්මාට මේ අසමත්වීම නිසා මහත් පසුතැවිලල්ක් ඇති වුණා. ඇය නිකම් හිටියේ නැහැ.දරුවා සමත් විදිහටම රඟපාන්න පටන් ගත්තා. කාර්යාලයේ අයට පාටියකුත් දුන්නා. කාර්යාලයේ අය තෑගිත් යැව්වා.

මේ විදිහට රගපෑම් කළ අම්මා ශිෂ්‍යත්වයේ ලකුණු අනුව දියනියට ජනප්‍රිය පාසලකුත් ලැබුන බවට කන්තෝරුවේ කියා තිබුණා. මේ විදිහට කාලය ගෙවෙද්දී දියනියටත් සිද්ධිය මහත් ගැටළුවක් වුනේ ඇය ඒ වෙන විටත් ඉගෙනුම ලැබුවේ තමාගේ පරණ පාසලේ වීමයි. බසයෙන් බැහැල අත්තම්මා සමග එන ඇය ටයි පටිය ගලවලා බෑගයේ දා ගන්නවා.

ඔන්න එක දවසක් හදසියේ ටයි පටිය ගලවා ගෙන එන්න අමතක වෙලා. අත්තම්මා සමග එන දියණියට අම්මාගේ හොදම මිතුරියක් හමු වුණා. අත්තම්මාට ගණදෙවි නුවණ පහල වුණා. ඇය දියනියට ටයි පටිය වසා ගන්න උපදෙස් දුන්නා. ඇය වහාම කරේ තිබුන බෑගය අරගෙන ගවුමේ ඉදිරිපස වසා ගත්තා.

මිතුරියට හරිම දුකක් ඇති වුනේ මේ පුංචි දියණිය ගැනයි. අම්මාගේ පුහු මානය නිසා පුංචි දුව මොනතරම් අසරණ වෙනවාද ඇය තනිවම හිතුවා. ඇතත්ටම බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු කීයක් අවශ්‍ය වෙනවාද..දැන් මේ බොරුව එලි වීම නිසා අම්මා විතරක් නොවෙයි, පුංචි දුවත් අසරණ වෙනවා.

ඊටත් මේ බොරුව ඉතාම මෝඩ විදිහට ඔවුන් සැලසුම් කළේ. හදිසියේවත් ඔවුන් දැන පෙන්වන ජනප්‍රිය පාසලට දන්නා හඳුනන අයත් ඇතුලත් වුනොත්..එහෙම නැත්නම් ඒ පාසලට සම්බන්ධ කෙනෙත් කන්තෝරුවට ආවොත් අර අම්මා හරියට ප්‍රසිද්ධියේ නිරුවත් වුනාට සමාන වෙන්නේ නැද්ද..?

මේ අපිට අත්විඳින්නට වුන එක සිදුවීමක් පමණයි. අපි නොදන්නා විදිහේ සිදුවීම් තව මොනතරම් තිබෙන්න පුලුවන්ද..? දරුවාට සමත් වීමට අවශ්‍ය ලකුණු මට්ටමම නැතැයි කිව්වොත් කවුරුවත්ම දඩ ගහන්නේ නැහැ. එතැනින් සිද්ධිය ඉවරයි.

ඇත්තටම අද කාලයේ අම්මලාට අවශ්‍ය වෙලා තියෙන්නේ දරුවන් ඔසවා තබා ඔවුන්ට අභිමානය ගොඩ නගා ගැනීමයි. ඒ නිසා දරුවන් බාල කාලයේ පටන්ම බොරුවට යොමු වෙනවා පමණක් නොවෙයි, මේ විදිහට රගපාන්න ගිහින් මහත් මානසික වධයකට පත් වෙනවා.විභාගයක් කියන්නේ ඉතාම අවදානම් කඩඉමක්. එහි ප්‍රතිඵල තීරනය වෙන්නේ දරුවා අදාල කාලසීමාවේදී විභාගයට මුහුණ දෙන අන්දම අනුවයි. පංතියේ දක්ෂ හැම දරුවෙක්ම සමත් වෙන්නෙත් නැහැ. අදක්ෂයි කියල හඳුනාගෙන සිටි දරුවන් සමත් වෙන්නත් පුලුවන්. ඒ නිසා දීප්තිමත් නොවුනත් ඇතැම් දරුවන් සමත් වුනොත් ඔවුන්ට මඩ ව්‍යාපාර ගෙනියන්න හොඳ නැහැ.

බොරුවට ආයුෂ නැති නිසා කිසිම දිනක බොරුව සමාජගත කරන්න එපා. අද හුගක් අම්මලා විභාග ප්‍රතිඵල මුල් කර ගෙන බොරු ගොඩක් කියනවා. උසස් පෙල ඉදිරියේදිත් එහෙමයි. ඉහල ප්‍රතිඵල ගැන සඳහන් කරල මේ බොරුව වහන්න ඔවුන් කියන්නේ,”අපේ දුව කැම්පස් යන්න ආස නැහැ.”

එහෙම නැත්නම් කැම්පස් ගිහින් කාලය ගෙවෙනවා.වෙන මොනවා හරි කරනවා.මෙතැන ඇත්තේ කාලය නොව බොරුව මුල් කර ගත් රහස් හැසිරීමයි.එය සගවා ගැනීමට බොරු දහසක් කියමින් පවුලම මහත් අසීරුතාවයට පත් වෙනවා.

ඒ නිසා දරුවන්ගේ මටට්ම සමාජය දැන ගැනීම ඔබට නින්දාවක් නොවෙයි. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් නොවන සේ අපි කටයුතු කලොත් හොදයි නේද…?