පුංචි බබා ලෙඩ වෙලාද? එහෙනම් මේ දේවල් ඔබට වැදගත් වේවි

පුංචි බබෙක් ලෙඩ වෙනව කියන එක තරම් හිතට දරාගන්න බැරි තවත් දෙයක් දෙමාපියන්ට නෑ. ඒත් උණක් හෙම්බිරිස්සාවක් කියන දේ උනත් අපිට නොසලකා හරින්න බෑ. ඉතිං අපි කතා කරමු ඒ ගැන.

වැඩිහිටි කෙනෙකුට වඩා ගොඩක් ඉක්මනින් පුංචි බබාල ලෙඩ වෙනව.එත් දෙමව්පියෝ විදියට අපි මේ මම කියන දේවල්  ගැන මීට කලින් හිතල තිබුණද?

මේ දේවල් අපි කවුරුත් දන්න හැබැයි ගොඩක් වෙලාවට මග ඇරෙන දේවල්.

මේව මම අත්දැකීමෙන්ම කරන දේවල් නිසා ඔයාලට කියන්න හිතුවා .මොකද මේ මම කරන දේවල්  නිසා මගේ දරුවා අසනීප වුණ වෙලාවට මට වගේම බබාගෙ ඩොක්ටර් ටත් පහසුවක් වුණා රෝග විනිශ්චය කරන්න.

වැඩිපුර විස්තර නොකරම කියන්නම්කෝ මොනවද මේ කියලා.

  • දන්නවද “උණ චාට්” ගැන

    මම ඉස්සර ඉදලම මගෙ දුවට උණ හැදුනම “උණ චාට්” එකක් අදිනවා. බබාට උණ ගත්ත පලවෙනි වතාවෙම මම උණ සටහන් කරනව.වෙලාවත් එක්කම. ඊටප්ස්සෙ පැයෙන් පැයට උණ බලලා ඩොක්ටර් ලගට යනකන් උණ සටහන් කරනව. ඒත් එක්කම පැය හයෙන් හයට පෙනඩෝල් දුන්න වෙලාව මම ඒකෙම ලියනව. ඊටප්ස්සෙ ඩොක්ටර් ලගට යනකොට ඒ ලියපු උණ සටහන් ප්‍රස්ථාරයකට පිටපත් කරගන්නව.

    එතකොට ගිය ගමන්ම ඩොක්ටර් ට ඒක දුන්නම හරිම පැහැදිලියි. උණ නැගීම බැසීම ප්‍රස්ථාරයෙන් බලාගන්න පුලුවන්. ඒකෙන් ඩොක්ටර් ගෙ වටිනා කාලයත් ඉතිරි වෙනව.

    ඒ වගේම තමයි කියන්න ඕන ඩොක්ටර් බෙහෙත් දුන්නත් “උණ චාට්” ලියන එක නතර කරන්න එපා.
    මොකද උණ හොදවෙන්නෙ කොයි වෙලාවෙද කියල අපි දන්නෙ නෑනෙ. අනිත් එක තමයි ඒ සටහනේම කොනක බබාට උණ හැදෙන්න කලින් කන්න දීපු දේවල් බොන්න දීපු දේවල් කෙටියෙන් ලියන්න.

    නැත්තම් ඩොක්ටර් ලගට ගියාම ඔක්කොම අමතක වෙනවනෙ.

  • තවත් විශේෂම කාරණයක් තමයි හැම උණක්ම සමාන නෑ.ඒ නිසා ගෙදර රෝග විනිශ්චය නොකර හැකි ඉක්මනින් බබාව ඩොක්ටර් ලගට ගෙනියන්න. ඒක හිතට සහනයක්  වගේම  අවදානම අඩු කරනව.පොඩ්ඩන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අපට බැහැ. ඉතිං අත් බෙහෙත් ,ගොඩ බෙහෙත් නොකර ඩොක්ටර් ලගට යන එක තමයි කල යුතුම දේ.
  • අපේ පොඩ්ඩො ගැන වගේම අනිත් පොඩ්ඩො ගැනත් හිතන්න. ඩොක්ටර් ලගට ගියත්,ගෙදර හිටියත් තවත් පොඩ්ඩෙකුට ලෙඩේ බෝ නොවන විදියට කටයුතු කරන්න.අපේ පොඩ්ඩන්ට ලෙඩ වුණා ම අපි කොයිතරම් දුක් වෙනවද. අනිත් දෙමව්පියෝ ත් එහෙමයි. ඒ නිසා අසනීප දවස් වලට පාක් වලට, මොන්ට්සෝරි වලට, බබාලා ගැවසෙන තැන්වලට බබාව එක්කගෙන යන්න එපා.ඒකෙන් වෙන්නෙ අපේ බබාව අනිත් අම්මල මග අරිනව වගේම, ලෙඩක් නැති බබාලට අපි ලෙඩ බෝ කරනව. ඉතිං මින් ඉදිරියට අපි ඒ ගැනත් හිතමු.
  • අනිත් දේ තමයි ලෙඩ උණාම බබාල කෑම කන්න හොර වෙනව.ඉතිං අම්මලට දුකයි. මටත් එහෙමමයි. එහෙම කියල බලෙන් කැව්වට වැඩක් නෑ. ඒ නිසා ඒ දවස් වලට බබා ආස දේවල් දෙන්න. බබා කැද බොන්න ආස නැත්තම් කැද පොවන්න එපා. බබා ආස පලතුරු වලට නම් පලතුරු දෙන්න. ඒකෙන් කායිකව දුර්වල බබාගෙ හිත සතුටින් තියන්න පුලුවන් අපට.
  • අපි හැමෝටම අමතක වෙන ඒත් හැමෝම ගොඩක් වෙලාවට මූහුණපාන දෙයක් ගැනයි මේ මතක් කිරීම. අසනීප බබෙක් ඩොක්ටර් ලගට යනකොට වුණත් වමනෙ දාන්න පුලුවන්. ඒ නිසා අම්මල විදියට අපි ඒ හැමදේටම පෙර සූදනමක් තියෙන්න ඕන. යන්නෙ බස් එකේ හෝ කාර් එකේ හෝ වේවා අදින් පස්සෙ මේ ටිකත් මතක තියාගන්න පුලුවන්නම් හොදයි.
  • මම නිතරම ගමනක් යනකොට විශේෂ බෑග් දෙකක් ගෙනියනව. ඒ ගැන ආයෙත් දවසක කියන්නම්කෝ. ඉතිං මේ එක බෑග් එකක තියනව බබාට අමතර ඇදුමකුයි, උණ කටුවයි, පැම්පර් එකකුයි, නැප්කින් එකකුයි, සැනිටයිසර් බෝතලයකුයි, වෙට් ටිෂූ පැකට් එකකුයි, සිලි සිලි බෑග් එකකුයි.
  • ඒක මගෙ ලගමයි තියෙන්නෙ. මේ ලගදි උණ හැදිල බෙහෙත් ගන්න බබාව ඩොක්ටර් ලගට ගෙනියන අතරමග වාහනේ ඇතුලෙම බබා වමනෙ දැම්ම. ඒ වෙලාවෙ මට පිහිට වුණේ මේ බෑග් එක. මම ඉක්මනට සිලි සිලි බෑග් එක අරගෙන ඒකට වමනෙ දැම්මුවා. හැබයි පොඩ්ඩක් ඇදුමෙත් ගෑවුනා.ප්‍රශ්නයක් නෑ.අමතර ඇදුම අරගෙන අන්දවගෙන ගියා. වතුරෙන් බබාගෙ අතපය ,මගෙ අත පය සෝදගෙන වෙට් ටිෂු වලින් වැඩිදුර පිහදගෙන,නැප්කින් එකෙන් තෙත මාත්තු කරල ,සැනිටයිසර් එකෙන් අත පය පිරිසිදු කරල ගමන පිටත් වුණා. යන අතරමග උණ කටුවෙන් උණ පවා බල බල ගියෙ.ඉතිං හිතන්න මේ බෑග් එක මගෙ ළග නොතිබුණා නම්.

දැන් පේනව නේද අපි නොහිතන ඒත් අපිට හරිම වැදගත් දේවල් කොයිතරම් අපිට හිතන්න තියනවද කියල.

මේ වගේ විශේෂ දෙවල් අපි ඉදිරියටත් කතා කරමු.

ඔබ දරුවන් ගැන සොයනවාද?

දහසය හැවිදිරි සමාරා දියණියන් දෙදෙනෙකු සිටින නිවසක වැඩිමල් දියණියයි. ඇය මවට ඉතා සමීපය, විවෘතය. සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇයගෙන් ප්‍රේමය පතා ආ තරුණයන්ගේ ද අඩුවක් නොවීය. ඇය මේ හැම කාරණයක් පිළිබඳවම මව දැනුවත් කරයි. ඇයට සිටියේද යෙහෙළියන්ය. ඇයගේ මේ විවෘතබාවය මවටද අස්වැසිල්ලක විය. සාමාන්‍ය පෙළ අවසන් කල පසු ඇය පරිඝණක හා ඉංග්‍රීසී පාඨමාලාවක් හදාරන්නට යොමු විය. ඇගේ මේ සෑම කටයුත්තකටම ඇගේ යෙහෙළියද සම්බන්ධ විය. දැන් දැන් ඇය හුදකලාවන්නට උත්සහ කරන බවක් ඇගේ මවට දැනී ගිය හෙයින් ඇය දියණිය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය නැගණීය සමඟද නිතර නිතර ඇතිවන ගැටුමද වැඩිය. මවගේ ජංගම දුරකනය හෝ පියාගේ දුරකනය තැබූ සැනින් සමාරා එය සොරාගෙන කෙටි පණිඩවිඩ යවයි. එවා යැවූ පසු මකා දමනනටද ඇය අමතක නොකරයි. දිනක් මවගෙ දැඩි අධීක්ෂණය තමන් වෙත යොමුව ඇති බව නොදත් ඇය මවගෙ ජංගම දුරකනය රහසින් ගෙන සයනය වෙත යන තුරු සිටි මව ඇයට කෙටි පණිවිඩය යවන්නට හැර ඇය අසලට ගියාය.

“සමාරා මගෙ ෆෝන් එක ඔයා ළඟ නේද ?”

“ඔව් අම්මා, මම මේ …මේ… ගේම් එකක් ගහන්න ගාත්තා.”

“කෝ දෙන්න”

මව දුරකනය අතට ගත්විටම කෙටි පණිවිඩයක් ලැබුණි.

“මට පාලුයි අනේ ඔයාවමයි මතක් වෙන්නෙ ලව් යූ” එහි සටහන විය.

“කවුද දොණි මේ”

“සකුන්තලා මගෙ හොඳම යාලුවා”

මව එම අංකයට ඇමතුමක් ගෙන ඇය සකුන්තලා බව තහවුරු කරගත්තාය.

එහෙත් දියණිගෙ හැසිරීම පිළිබඳව තව දුරට ඇයට කුකුසක් ඇති කලාය. සකුන්තලා සමාරාගේ හොඳම මිතුරියයි.බොහෝ විට සමාරා අම්මා නැගණිය සමඟ උපකාරක පන්ති ගොස් එනතුරු සකුන්තලාගේ නිවසේ තබා යන්නට දෙවරක නොසිතුවේය . එදිනද සමාරාගේ නැගණිය  උපකාරක පන්තියට ඇරලවා වෙනදා මෙන් එහි නොරැඳී සමාරාගේ මව සකුන්තලාගෙ නිවසට පැමිණියාය. නිවසේ කිසිඳු හැල හොල්මනක් නැත. දොරද වසා ඇත. චන්දිමා දෙවරක් දොරට තට්ටු කලද පිළිතුරක් නොලද හෙයින් කාමරයක හැර තිබු ජනෙල් රෙද්ද මදක් මෑත් කොට බැලුවාය. දියණිය යෙහෙළිය සමඟ සයනය මත  අඩ නිරුවතින් සිටින දසුනින් ඇය විකෂිප්ත වූවාය. ලොවම ඇය වටා භ්‍රමණය වන බවක් ඇයට දැනෙන්නට විය. ඇය එතැනම හිඳ ගත්තාය. ඇගෙ සියොළඟම වෙව්ලයි. කල යුත්තේ කුමක්දැයි ඇයටම සිතා ගන්නට නොහැකි විය. පැය කාලක් පමණ ගත වූ පසුව ඉදිරි පස දොර අරින හඬ ඇසුනු ඇය යුහුසුලුව ඉදිරියට පිය මැනනාය.

“ආනේ ආන්ටි අද නංගි දාලා ආවද?” සකුන්තලා චකිතයෙන් විමසීය.

“ඔව් මම ආවා” චන්දිමා වෙනසක් නොපෙන්වාම  පැවසුවාය.

සකුන්තලා මව ද මේ පිළිබඳව දැනුවත් කල චන්දිමා දියණියන්ගෙන් තොරතුරු විමසා දියණියන් දෙදෙනාම ළමා හා යොවුන් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර සමලිංගිකත්වයෙන් මුදුවා ගැනීමට කටයුතු කරන ලදි.

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද සමලිංගික සේවනයට පෙළඹීම වර්ධනය වී ඇත. සමාජය විපරීත වී ඇත. දරුවන්ට ලිංගිකවය පිළිබඳ ඇති දැනුම අල්පය. එහෙයින් ඔවුන් ලිංගික දැනුම සොයන්නට උත්සුක වෙයි.

සමාජ ජාලය ඔස්සේ විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරුතුරු මත ඔවුන් ඒවා ක්‍රියාවට නංවා බලන්නට උත්සහ දරයි. දරුවන් සමඟ ගණුදෙනු කිරීමෙදී බෙහෙවින් කල්පනාකාරී විය යුතුය. ඔවුන් ඇසුරු කරන යහලු යෙහෙළියන්, පුද්ගලයන් පිළිබඳව මනා අවබෝධයකින් සිටීම වැදගත්ය. සමාරා මවගෙ විශ්වාසය දිනා සිටියද මව ඇය පිළිබඳ විමසිලිව සිටි නිසා ඇයට මෙම අසම්මත ක්‍රියාවෙන් දියණියන් ගලවා ගන්නට හැකිවිය. ආදරණිය දෙමාපියනි එහෙයින් ඔබේ දරුවා වෙත පූර්ණ අවදානයෙන් සිටින්න.

තාත්තාට දුව… අම්මාට පුතා…, ස්පෙෂල්ද..?

අම්මාට තාත්තාට තමන්ගේ කොයි දරුවත් එකයි. නුඹ දුවක වුනත්..නුඹ පුතෙකු වුනත් සැබෑම සෙනහස ආදරයයි..කියන්නේ නිකමටම නොවෙයි. ඒත් සාමාන්‍ය ජීවිතයේදී අපි නිතරම තාත්තලාට චෝදනා නගන්නේ දුවට වැඩි සැලකිල්ලක් දක්වනවා කියන චෝදනාවයි. මේ නිසා බොහොම පවුල්වල විවිධ හැලහැප්පීම් ඇති වෙනවා.ඒ වගේම අම්මලා වැඩි ආදරය අවධානය දක්වන්නේ පුතාලට කියල නිතරම දියණිවරුන් චෝදනා නගනවා.බොහෝ පවුල්වල දූවරු චෝදනා නගන්නේ අම්මා ඉතින් අයියට..එහෙම නැත්නම් මල්ලීටනේ වැඩි සැලකිල්ල කියලා. ඒත් එක්කම පුතාලාගෙන් විශාල චෝදනාවක් එල්ල වෙන්නේ තාත්තාට.

“අක්කා කිව්වොත් ඕන දෙයක් කරයි. නංගිට තමයි තාත්තාගගේ වැඩි සැලකිල්ල”. ඇයි මේ නංගි එහෙම නැත්නම් අක්කා තාත්තාට විතරක් ස්පෙෂල්ද..?

එක් දනක් දියණිය පැමිණ බත් පිගාන අතට ගනිද්දී එහි එදා තිබුන ආහාරවලට අමතරව එක් බිත්තරයක් තිබුණා…දියණිය එය ගනිද්දී අම්මා වහාම ඉක්මන්ව “හා..හා..ඔය බිත්තරය මල්ලිට” අම්මා කිව්වා..

“ඇයි…මල්ලිට විතරක්..”

“බිතත්ර ගෙදර තිබුනේ එකයි…ඉතින් මං ඒක මල්ලිට හැදුවා..”

“එතකොට මට..”

“ඔයාට තව එළවලු තියෙන්නේ…අම්මා කිව්වා..”

දියණිය නුරුස්නාගතියෙන් බත් පිගානත් බිම තබා පිටව ගියේ. “මම එහෙම නම් අල්ලපු ගෙදර වෙන්නැති..” කියමින්ය.

ඒත් මේ කතාවේ මනෝවිද්‍යාත්මක ඇත්තක් තිබෙනවා. සිග්මන් ප්‍රොයිඩ් “ඉඩිප්පස් සංකල්පය” ඉදිරිපත් කරමින් කියා සිටියේ කුඩා ගැහැණු දරුවා පියාටද, කුඩා පිරිමි දරුවා මවටද ලෙසින් විරුද්ධ ලිංගිකයන් මුල් කර ගෙන කාමාශාව මුල් කර ගෙන බවයි.

පසුගිය දිනක ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි පලවී තිබෙන මෙම අධ්‍යන වාර්තාව කියවන ඔබට ඔබේ දූ දරුවන්ගෙන් නැගෙන මේ චෝදනාවට පිලිතුරු ලැබේවි.

ඇමරිකාවේ මනෝවිද්‍යාත්මක සංගමය මගින් දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ හැසිරීම තුල තිබෙන මනෝවිද්‍යාත්මක   ප්‍රතිචාර මුල් කර ගෙන අධ්‍යනයක් පවත්වනු ලැබුවා. එහිදී පියවරු 52 ක් තෝරා ගෙන තමන්ගේම පිරිමි දරුවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ හැසිරීම ඉදිරියේ තාත්තාගේ මානසික චිත්‍රය එම්. ආර්. අයි  වාර්තාවක සටහන් කර ගත්තා.එහිදී පෙනී ගියේ පිරිමි දරුවන්ගේ හැසිරීම් ඉදිරියේදී නොමැති සංවේදී සහ හැඟීම්බර ගතියක් ගැහැණු දරුවන්ගේ කටයුතු ඉදිරියේදී තාත්තාගේ හිතේ ඇති වෙන බවයි.

ඒ වගේම තොටිල්ලේ සිටින දරුවන් වෙනුවෙනුත් තාත්තාගේ  ප්‍රතිචාර මෙහිදී අධ්‍යනය කරනු ලැබුවා. දුවක් තොටිල්ලේ සිටියදී ඇඩුවොත් තාත්තා හරියට කලබල වෙනවා. සමහර වෙලාවට අම්මාටත් දොස් කියනවා. “අර දරුවා අඩනවා ඔයාට ඇහෙන්නේ නැද්ද..?” මේ වගේ චෝදනාවනුත් ඇති වෙන්නේ නැත්තේම නැහැ. මේ වගේම හැඟීම්බර ගතියක් පුතා ඇඬුවාම නම් තාත්තාට දැනෙනවා අඩු බවයි මනෝවිද්‍යාඥයින්ගේ අදහස වෙලා තියෙන්නේ.

ඒ වගේම තවත් අපූරු සිදුවීමක් තියනවා. අර කෑමොර දෙමින් අඩපු දූ සිඟිත්තට තාත්තා ලං වුනා විතරයි ඇඬීම නවතිනවාලු. පරක් කරගන්න අපහසු අවස්ථාවන්හි තාත්තා ටිකක් දුව තුරුලට ගත්තොත් කරදරයක් නැතුව නලවා ගන්නත් පුලුවන්. ඒ තරමටම දුවලා තාත්තාගේ හදවතට ඉතාම සමීප බව මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.

මනෝවිද්‍යාත්මක චිත්‍රය මෙසේ වුනත් මේ තත්වය දරුවන් අතර සන්නිවේදනය වුනොත් එය එතරම් හොඳ දෙයක් නොවෙයි. සමහර පවුල්වල වැඩිවියපත් දරුවන් වුනත් කියන්නේ “තත්තා මට එදා ඉදලම හෙව්වේ බැලුවේ නැහැ…මම හරියට අහසින් පාත් වුණා වගෙයි මට සැලකුවේ..ඒ වුනාට නංගිට , අක්කාට තාත්තා බැලුවේ කොහොමද..? ” මෙවන් සිතුවිලි වලින් දරුවන්ගේ මනස අවුල් විය යුතු නැහැ.

ඒ නිසා මව්පියන් විදිහට ඔබ දරුවන් සමග ඉතාම ප්‍රවේසමෙන් ගණුදෙණු කිරීම වැදගත්. දරුවන්ගේ හිත් මල් වගේ මල් වගේ මෙලෙකයි. එය දුව, පුතා විදිහට වෙනසක් නැහැ.ඒ නිසා නිතරම දරුවන්ගේ මානසිකත්වය ගැන සලකා බලමින් කටයුතු කරනවා නම් ඉතාම වැදගත්.

දරුවෙකුගේ හොඳම සවන්දෙන්නා ලෙස මවකගේ වගකීම ගැන ඔබ සිතුවාද?

මවක් හා දරුවෙක් අතර බැඳීම ආරම්භ වන්නේ මව්කුස තුළදීමය. මවගේ සිතුවිලි දරුගැබ තුළ සිටින දරුවා අවබෝධ කරගනී. එසේම දරුවාගේ හැසීරීම ද මවට දැනේ. එනම් දෙදෙනා තුළ සන්නිවේදනයක් පවතිනව බවත් මගින් ඔවුන් අතර බැඳීම තවත් තහවුරු වන බව අපට අවබෝධ කරගත හැක.මෙම සන්නිවේදනය දරුවා බිහිවූ පසුත් ඔහු හැදීවැඩී වැඩිහිටියෙක් වන තෙක් රඳවා ගැනීම ඉතා වැදගත් කරුණක් වුවත් එය තරමක් අපහසු දෙයක්. දරුවා වැඩිවියට පත්වන විට ගිලිහි යන සන්නිවේදන සම්බන්ධතාව ආරක්ෂා කරගැනීමට මවටකට කළ හැකිදේ බොහෝය.

දරුවන් වයසින් වැඩෙත්ම විශේෂයෙන්ම ඔවුන් නව යෞවනයට පා තබද්දී බොහෝ මානසික හා කායික විපර්යාස ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරනවා. මේ අවදියේ දී දරුවා අවබෝධ කරගැනීම සහ තේරුම් ගැනීමට නොහැකි වීම මත මව සහ දරුවා අතර ගැටුම් ඇතිවන අවස්ථා සුලබයි. එහෙත් දරුවාට හොඳ සවන් දෙන්නෙකු වීම තුළින් මවට තම දරුවා සමග ඇති බැදීම තව දුරටත් පවත්වාගෙන යාමට පුළුවන්. මේ සඳහා මව කළයුතු දෑ මොනවාද යන්න සිතා බලමු

  • දරුවා යම් කිසි කාරණයක් පිළිබඳ ඔබට පැවසීමට උත්සාහ දරණ අවස්ථාවක ඔබ කිසිදු අවස්ථාවක “ඔයා මෙහෙම කරන්න..” යනුවෙන් උපදෙස් දෙන්නට පටන් ගන්න එපා. නැතහොත් කතාව අතර මගින් නවතා “මම කියන්නම් කරන්න ඕන දේ” යනුවෙන් අවවාද අනුශාසනා දීමට උත්සාහ නොකරන්න. එසේ උපදෙස් දීමට පටන් ගතහොත් දරුවා වහාම කතාව නැවැත්වීමට හෝ අවශ්‍ය දේ නොකියා සිටීමට ක්‍රියා කරනු ඇත. දරුවාට ඒ අවස්ථාවේ අවශ්‍ය වන්නේ තමා විශ්වාස කරන්නෙකු සමඟ විවෘත වීමට පමණක් බව සිතන්න.
  • දරුවාට ආරම්භයේ දී හෝ කතාව අවසානයේ දි දෝෂාරෝපණය නොකිරීමට මව සිහිතබා ගතයුතුයි. මෙය දරුවන් බොහෝ දෙනෙක් තම මව්වරු පිළිබඳව දරන අදහසක් බව අවධානයට ගන්න. “කියන්න ඉස්සර අම්මා කඩා පනිනවා…” යනුවෙන් ඔවුන් දරණ ආකල්පයකි. කොතෙක් ආවේග පැමිණිය ද දරුවා කියන දේ අවසන් වන තුරු ඔබගේ චිත්තවේගය පාලනය කරන්න. සාවදානව සවන් දෙන්න. ඔබ සමඟ යමක් පැවසීමට දරුවා තුළ පවතින විශ්වාසය හෝ අවංකභාවය පමණක් අගයන්න. සමහර විට දරුවාගේ කතාව අවසානයේ දී එය ඉතා සුබදායක ලෙසින් විඳසා ගත් සිද්ධියක් ඔබට වාර්තා කිරීමක් පමණක් වන බව වැටහේවි.
  • කිසිදු අවස්ථාවක දරුවා කතාව හමාර කරන තෙක් මාතෘකාව අතර මැදදී වෙනස් කිරීමට කටයුතු නොකරන්න. “ඕක නෙවේ… මට කියන්න අනිත් ළමයි මොකද ඒ වෙලාවේ කලේ කියලා?” වැනි ප්‍රශ්ණ ඇසීමෙන් දරුවාගේ අවධානය වෙනස් වන අතර අවසානයේ දී ඔහු මවගේ ප්‍රශ්ණ සඳහා උත්තර දුන්නා මිස ඔහුගේ ගැටළුව හෝ අපහසු තාවය පිළීබඳව සාකච්ඡා නොකළාවීමට බොහෝ ඉඩ තිබේ.
  • කතාව අවසාන වන තෙක් “ඔයා ඒ කරපු දේ වැරදියි…” නැතහොත් “වෙන කාගේවත් නෙවේ වැරැද්ද ඔයාගේ…” වැනි විනිශ්චය කිරීම් වලට පැමිනෙන්න එපා. එය ඔබ හා දරුවා අතර පවතින සන්නිවේදනය අධෛර්යමත් කරයි. දරුවා කියන දේ පළමුව තේරුම් ගන්න. විනිශ්චය කිරිම අවශ්‍ය නම් පසුව කළ හැකි දෙයක්.
  • ඔබ ඉතා කාර්යබහුල මවක් වීමට පුළුවන. රැකියාවට ගොස් පැමිණ දරුවන්ගේ දහසකුත් එකක් ගැටලු වලට මුහුන දෙමින් දෛනික කටයුතුවල යෙදෙනවා වන්නට පුලුවන. ඒ අතර ඔබේ දරුවා යමක් පැවසීමට උත්සාහ දරන බව අවබෝධ වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? සියළුම කාර්යයන් පසෙක ලා දරුවාට සවන් දිමට උත්සාහ දරනවාද? එසේ නම් ඔබ සවන්දීමට සූදානම් මවක්. එය දරුවාට මහත් රැකුලක් ලබා දෙනවා කතා කිරීමට. වෙනත් කාර්යයක් කරමින් සවන් දීමට උත්සාහ කිරීම තුළින් දරුවා ලබා ගන්නා පණිවිඩය වන්නේ මවට වඩා වැදගත් වන්නේ ඒ කරමින් සිටින කාර්යය මිස තමා පැවසීමට යන දේ නොවේ යන්නයි. මෙය දිගින් දිගටම සිදුවන විට දරුවා කිසිත් නොකියා සිටීමට හුරුවේවි.
  • තම අත්දැකීමක් හෝ හැඟීමක් ඉදිරිපත් කරන දරුවා මව තරම් පරිණත කෙනෙකු නොවේ. එබැවින් ඒ කතාවට පිටුපසින් ඇති චිත්තවේග ඔබට තේරුම් ගැනීමට පුළුවන්. එතනදී අවශ්‍යවන්නේ තාර්කික , සර්ව සාධාරණ මවකගේ භූමිකාව නොවේ. දරුවාගේ හැඟීම් තේරුම්ගත හැකි මවක් වන්නට ඔබට පුළුවන්. “ඔයාගේ හිතේ ඇතිවුනු දුක මට තේරෙනවා…” වැනි වචන ටිකකින් දරුවාට විවෘතව කතා බහ කිරිමට දිරි දෙන්න.
  • කිසිම විටක දරුවාගේ අත්දැකීම ලඝු කොට තකන්න එපා. “අපි ඔයිට වඩා දේවලට අපේ කාලේ මුහුණ දීලා තියනවා…” වැනි දෙයක් දරුවා පසුගාමී අයෙක් කිරිමට තරම් ප්‍රබල බව වටහා ගන්න. එකම අත්දැකීම ලබන ඔබ සහ ඔබේ දරුවා යනු පෞර්ෂ දෙකකට හිමිකම් කියන දෙදෙනෙක් වන බැවින් එහි අත්දැකීම ද ලැබෙන්නේ දෙයාකාරයකට බව ඔබ දැන සිටිය යුතුයි. සැබැවින්ම දරුවාට ඇහුම්කන් දුනහොත් එම සිද්ධීයේ ගැබ්වී ඇති සතුට , දුක නැතහොත් කෝපය ඔබට ද එලෙසම අත්විඳීමට පුළුවන.

මවක් ලෙස ඔබ සවන්දෙන්නාගේ කාර්යය හරියාකාරව ඉටුකිරීමට සමත් වේ නම් ඔබ හා දරුවා අතර ගොඩනැගෙන්‍නේ මිත්‍රශීලී සම්බන්ධතාවකි. ‍ දෙදෙනා අතර නිහඬතාවය තුළින් පවා කතාකිරීමට හැකි බවත් ඊට සවන් දීමට හැකි බවත් ඔබ නිසැකයෙන්ම වටහා ගන්නවා. එවිට කිසිදාක ඔබට දරුවාගේ ජංගම දුරකතන පිරීක්සීමටවත්, දරුවාගේ මුහුණු පොතේ ගිණුම් පිරික්සිමටවත් අවශ්‍යවන්නේ නෑ. හොඳ සවන්දෙන මවක් සිටින දරුවෙක් තාක්ෂණය සමඟ හුවමාරු කරගත නොහැකි, තමා පමණක් දැනගත යුතු අතිශ්‍ය පෞද්ගලික දේ පිළිබඳ සටහන්   සිය මවගේ සිත  තුළ ගබඩා කිරීමට මැළි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුක තෙන්නකෝන් මහත්මිය වීසින් සකසන ලද ලිපියකි.

 

ඔබේත් ළදරුවාගේත් සම ඇතුලාන්තයෙන්ම සුරකින සොබාදමේ අපූරු සත්කාරය

සම යනු අපේ සිරුරේ විශාලතම ඉන්ද්‍රිය ලෙස හැඳින්වේ. ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් වන සම මගින් අභ්‍යන්තර පටකවලට රැකවරණය සලසන අතරම ශරීරයේ උණුසුම පාලනය කිරීමත් සිරුරේ නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදුවේ. මේ හේතුව මත සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් සමග මනා සමායෝජනයක් ඇතිව සම ක්‍රියාත්මක වේ. ඒ නිසාම සම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අපගේ වගකීමක් ලෙස දැක්විය හැකියි.

අපි අපේ සම පිළිබඳව සැලකිලිමත් විය යුතු වන්නේ මෙලොවට බිහි වූ දින පටන්මය. තම බිලිදාගේ සම කෙරේ වැඩි අවධානයක් යොමු කර වැඩිවියට පත් වන ඔබේ දරුවාට පෝෂණීය පැහැපත් සමක් හිමිකරදීමේ වගකීම පැවරෙන්නේ මව්වරුන්ටය. අන්න ඒ නිසාම  අපි කවුරුත් මේ පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

Mother&Childඅලුත උපන් ළදරුවෙකුගේ සම මත Vernix නමින් හැඳින්වෙන ඉටි වැනි ආවරණයක් ඇති අතරම එය සමේ ආරක්ෂාව වෙනුවෙන් ස්වාභාවිකවම හටගන්නකි. ළදරුවා ඉපිද සතියක් පමණ ගත වන විට ඉබේම එය ඉවත් වී යයි. ළදරුවෙකුගේ සම පිඩාවට පත්විය හැකි ආකාර දෙකක් ඇති අතරම එකක් රුධිරය හරහාද අනෙක බාහිර පාරිසරික හේතු නිසාද වේ. එසේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති විය හැකි දුර්වලතා ළදරු සමේ එක් එක් අසාධන තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකිය. මෙවැනි එක් එක් හේතු මත කැසිම්, ඉරිතැලීම් මෙන්ම සම අවපැහැ ගැන්වීම වැනි තත්ත්ව ළදරු සමේද දැකිය හැකිය. අන්න ඒ නිසාම ඔබේ ළදරුවාගේ සමට බාහිර පරිසරයේ හේතු සාධක මත සිදුවන හානිදායක තත්වයන් වලක්වාගැනීම මවකගේ වගකීමයි.

 

ඈත අතීතයේ සිට මව්වරුන් ස්වභාවික දේ යොදාගෙන ළදරුවන්ගේ සම පෝෂණය කරන්නට හේතු වී ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය කිසිදු විටෙක සුසුනිඳු බිලිඳු සමට හානිකර නොවන නිසාය. ඊට අමතරව ස්වභාවික අමුද්‍රව්‍ය හරහා ළදරු සම පෝෂණය වීමයි. තවද බිලිඳු සමේ තෙතමනය ආරක්ෂා වීමද ඉතා වැදගත් වේ.

අපේ මෙන්ම අපේ දරුවන්ගේ සමේ නිරෝගී බව රැකගන්න අපි නිරන්තර උනන්දු විය යුත්තේ මේ නිසයි. ශරීර අභ්‍යන්තරයට වගේම බාහිරවත් විශාල ප්‍රතිලාභ රැසකින් සමන්විත ආමන්ඩ් ගැන ඔබ දැනුවත් විය යුතු වන්නේ සුන්දර සමකට අවශ්‍ය නිසි පෝෂණය ආමන්ඩ් ඔබට හිමි කරදෙන නිසාමයි. මන්ද ආමන්ඩ් නිරෝගී සමකට අත්‍යවශ්‍ය වන විටමින් A, B2, B6 හා E වලින්ද අනූන වන අතරම විටමින් E වැඩි ප්‍රමාණයක් අන්තර්ගත නිසා සම පෝෂණයට ද විශාල සහයක් ලබාදේ.

අලුත උපන් ළදරුවෙකුගේ සම තරම් මුදු මොලොක් අන් දෙයක් මතකයට නැගෙන්නේද නැති තරම්ය. ඒ සුසිනිදු බව ඒ ආකාරයෙන්ම රඳවා ගැනීමට හැකි නම් සෑම මවක්ම ඒ වෙනුවෙන් ඉදිරිපත් වනු නිසැකය. ආමන්ඩ් බිලිඳු සමේ සුසිනිඳු බව එලෙසින්ම රැක ගන්නා බව ඔබ දන්නවද? බොහෝ ආසියානු රටවල ළදරුවන් නැවීමට පෙර/පසු ආමන්ඩ් ඔයිල් යොදා මුදු සම්භාහනයක් සිදු කරන අතරම ඒ හරහා සමේ මෘදු බව වැඩි කරමින් පෝෂණය කරයි. සමේ තෙතමනය ආරක්ෂා කරයි. එසේම මාංශ පේශීන් මෘදුව සැහැල්ලු කරන නිසා ළදරුවා සුව නින්දකට වැටේ.

ඔබේ දරුවාගේ උපතේ සිටම පැහැපත් සමකට අවැසි අඩිතාලම යෙදීමේ වගකිම පැවරෙන්නේ මව්පියන්ට නිසාම ආමන්ඩ් පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වේ.

අද වන විට සම නිරෝගී සහ පැහැපත් කර ගැනීමට සිදු කරන බොහොමයක් සත්කාර අතරින් ඉහළ පෙලේ සත්කාර අතරට එක්වෙන ආමන්ඩ් හා සම්බන්ධ සත්කාර පිළිබඳව ඔබ දැනුවත්ද යන්න සැක සහිතය.

ආමන්ඩ් මගින් අපේ සමට මෙන්ම සිරුරටද වාසි රැසක් සලසයි.

ආමන්ඩ් සිරුරට ලබාදෙන ප්‍රතිලාභ

  • සිරුරේ මේද ප්‍රමාණය පාලනය කරයි.
  • මොළයේ සංවර්ධනයට සහය වේ.
  • දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවධානම අවම කරයි
  • ප්‍රෝටීන් සපිරි නිසා සම පෝෂණයට ඉවහල් වෙයි
  • විටමින් E/A අනූනයි.
  • කැල්සියම් සපිරි නිසා සෛල වෙත පෝෂක උරා ගැනීමට සහය වෙයි.
  • අස්ථි සෞඛ්‍ය වර්ධනය කරයි
  • ප්‍රතිශක්තිකරණ හැකියාව සවිමත් කරයි
  • පිළිකා අවධානම අවම කරයි
ආමන්ඩ් සමට ලබාදෙන ප්‍රතිලාභ

  • සම පැහැපත් කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම හොඳින් පිරිසිදු කිරීමේ හැකියාව පවති
  • විටමින් E අනූන බැවින් සමට මනා පෝෂණයක් එක්කරන ආමන්ඩ් සම පෝෂණය කර තෙතමනය රැකගැනීමට සහය වෙයි.
  • ආමන්ඩ් ඔයිල් මොයිස්චර්රයිසරයක් ලෙස භාවිත කළ හැකිය
  • මුහුණේ මේකප් ඉවත් කිරීමට යොදා ගත හැකිය
  • සිරුරේ ඕනෑම තැනක ආලේප කිරීමට හැකියාව ඇත
  • සමේ තෙතමනය රැකදෙමින් වියලි බව දුරලයි

 

ඕනෑම සමකට සුදුසු මේ පහසු ආමන්ඩ් සත්කාරය ඔබත් අත්හදා බලන්න

රැයක් පොගවා ගත් ආමන්ඩ් ඇට අඹරා කිරි සමග මිශ්‍ර කර සම මත ආලේප කරන්න. වියලුණු පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිනෙන් දින ඔබේ සම පැහැපත් වන ආකාරය ඔබම අත්දකින්න.


ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – දෙවන කොටස

පොඩ්ඩො කියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් හැකියාවන් තියන කොටසක් කියල මම මුල්ම ලිපියෙන් කිව්වනේ. දැන් අද කියන්න යන්නෙ එයාලගෙ වර්ධනයේ දෙවෙනි සහ තුන් වෙනි අදියර ගැන.

ඒ කියන්නෙ මාස 4 -6 සහ මාස 7-9 අවධි වල අපට දෙමාපියන් විදියට බබාලගෙ මොළය වර්ධනයට කරන්න පුලුවන් දේවල් ගැන තමයි අද කතා කරන්න යන්නෙ.

මුලින්ම කියන්න ඕන මම මේ හැම දෙයක්ම විවිධ වැඩසටහන් බලල ලෝකෙ පුරා ඉන්න බබාලගෙ මොළයේ වර්ධනයට ඒ ඒ රටවල් වල කරන දේවල් හොයල බලල මගෙ දුව එක්ක ඒ දේවල් කරල එයාගෙන් මම අත්දකින වර්ධනය තමයි ඔයාල එක්ක බෙදාගන්නෙ කියන එක.

මාස 4 සිට 6 දක්වා

  • මගෙ දුවට ඔලුව කෙලින් කරගන්න පුලුවන් උන දා ඉදල මම කරපු දෙයක් තමයි එයාව වඩාගෙන මම යම් රිද්මයකට පැද්දෙමින් ලස්සනට ළමාගීත ගායනා කරපු එක.

ඒ දේවල් දිනපතා කරපු නිසා අවුරුද්දයි මාස 11ක් වෙනකොට සිංදු 9 ක් 10ක් කටපාඩමින් කියන්න පුලුවන් කම එයාට ලැබුණා.

  • ඒ වගේම තමයි මම විවිධ පාට වල බෝල ගෙනාවා. ඒවගෙ මතුපිට විවිධ කඩතොළු, ගැටිති, තිබුණ. ඉතිං මම මගෙ දුවට ඒවගෙ ස්පර්ශය දැනෙන්න දුන්නා. විවිධ ප්‍රමාණ වලින් ඒ බෝල තිබුණා. මම ඒ බෝල ඔක්කොම එක ගොඩකට දාල දූව ඉස්සරහින් තියාගෙන ඒ ඒ බෝල වල පාට, ලොකුද පොඩිද යන වග, මේ හැමදෙයක්ම එයාට ඇහෙන්න කිව්ව. කියන්න සතුටුයි ඒවගෙ ප්‍රතිඵල මම ඉතාම සතුටින් අද අත්විදිනව. මේ ක්‍රියාකාරකම මගින් බබාලගෙ මොළේට උත්තේජනයක් යනව මේ පාට ගැන, හැඩතල ගැන සහ ප්‍රමාණය ගැන.
  • මාස 3දි වගේම මෙ කාලෙදිත් මම ලොකු පින්තූර තියන පොත් බබාට ඇහෙන්න කියෙව්ව වගේම මූණෙන් ඉරියව් පාමින් මම ඒ පොතේ තිබුණ රූප විස්තර කලා.
    “මේ බලන්නකෝ මේ පුංචි සමනලයා මේ මලේ හැංගිලා”
    “මේ රෝදය කලු පාට පොඩි එකක්,මේක කලු පාට ලොකුඑකක්.”
    “මේ බබාට තියෙන්නෙත් දූට වගේම රෝසපාට ගවුමක්”
    මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි චූටි බබාලා එක්ක කතා කරනකොට එයාලට හරිම වචනය කියල දෙන්න.මේක ඉතාම වැදගත් දෙයක් බබාලා ඉක්මනින් කතාකරන්න වගේම එයාලගෙ මානසික වර්ධනයට.
    උදාහරණයක් විදියට “අන්න පුතේ කූවෙක්” වෙනුවට “අන්න පුතේ කුරුල්ලෙක්”
    “ඔන්න මගෙ පුතා බයියන් ඔක්කොම කනව වෙනුවට” “ඔන්න මගෙ පුතා බත් ඔක්කෝම කනව” කියන්න.
    අම්මල බබාලා වෙන එක නැවත්තුවොත් අපිට මේ වැඩේ ඉතාම ලේසියි.
    මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් කියල මම බොහොම වගකීමෙන් කියනව. මොකද දැන් මගෙ දුවට පොඩි පින්තූර යක් විස්තර කිරීමේ හැකියාව තියනව වගේම එයා නිවැරදි වචන උච්චාරණය කරන දරුවෙක්.
  • හැංගිමුත්තන්
    මේක තමයි මගෙ දූ ආසම සෙල්ලම. මේ සෙල්ලම හරියටම කරන්න පුලුවන් මාස 7 ක් 9ක් වගේ අතර. හැබයි හැමදේටම පෙර සූදනමක් ඕන නිසා මම ඒ සෙල්ලම මේ ව්දියට වෙන විදියකට කලා.බබාව බිමින් තියල එයාගෙ බ්ලැන්කට් එකෙන් මගෙ මූණ වහගෙන හැංගිමුත්තන් කලා.එයා ආසම සෙල්ලම් බඩු බ්ලැන්කට් එක ඇතුලෙ හැංගුව. ඒව එකපාරටම හොයාගන්නකොට එයාලට කුතුහලයක් එනව. ප්‍රශ්න ගොඩක් ඔලුවට එනව. ඒ අත්දැකීම ආයෙ ආයෙ විදින්න එයාල උත්සුක වෙනව. මේ ඔක්කෝටම එයාල මොකක්ද පාවිච්චි කරන්නෙ “මොළය”.ඒක දියුණු කරන එක තමයි මේ ක්‍රියාකාරකම් වලින් කෙරෙන්නේ.
මාස 7 සිට 9 දක්වා

මේ කාලෙ නම් ගොඩක් බබාලා වාඩිවෙලා ඉන්න කාලෙනෙ. ඉතිං මම ඒ කාලෙ දුවත් එක්ක කරපු ක්‍රියාකාරකම් ටිකක් ඔයාල එක්ක බෙදාගන්නම්.

  • මම නිතර බබා එක්ක කරපු දෙයක් තමයි එයා ආසම සෙල්ලම් බඩුවක් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියකට දාල ඒක පත්තර පිටු වලින් ඔතනව තෑග්ගක් වගේ.ඊටප්ස්සෙ දුවට ඒක දුන්නම එයා ඒක ඇරල බලනව කුතුහලයෙන්. එයා ආසම දෙයක් ඒකෙ තියනව දැක්කම ආයෙ ආයෙ ඒක කරන්න එයාලා අපිව පොළඹවනවා. ඒ වගේමයි පත්තර පිටු අයින් කරල පෙට්ටිය ඇරල ඒකෙ තියන දේ ගත්තම එයාලට ආත්ම අභිමානයක් දැනෙනව.
  • මේ කාලෙදී පොඩ්ඩො හොදට පෙරලෙන, වාඩිවෙන හින්ද අපිට මේක ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.බබාව මැද්දෙන් තියල බබා වටේට විවිධ පාට, ශබ්ද  තියන සෙල්ලම් බඩු තියනව. ඊටප්ස්සෙ බබාට පේන පැත්තට විරුද්ධ පැත්තෙන් සෙල්ලම් බඩුවක් අරගෙන් ශබ්ද කරනව. එතකොට බබා පෙරලි පෙරලි ඇඹරී ඇඹරී ඒක ගන්න එනව.එතකොට අපිට පුලුවන් ඒක මොකක්ද, ඒකෙ පාට, ශබ්ද බබාට කියල ඒක එයාගෙ අතට දෙන්න.බලන්නකෝ පුංචි ක්‍රියාකාරකමක් උනත් මේකෙන් බබාලගෙ මොනතරම් දියුණුවක් වෙනවද කියල.එයාල ශබ්දයට ඇහුම්කන් දීල හඩ ඔස්සේ ඒක හොයාගෙන එනව, ඊටප්ස්සෙ අපි ඒක විස්තර කරනකොට  එයා ඒකට ඇහුම්කන් දෙනව, කායික වශයෙනුත් ව්‍යායාමයක් වෙනව.
  • මෙන්න මේ ක්‍රියාකාරකමෙන් අපිට බබා තීරණ ගන්නෙ, මොළය වෙහෙසවන්නෙ කොහොමද කියල දැන්ගන්න පුලුවන්.මුලින්ම බබාගෙ අත් දෙකට සෙල්ලම් බඩු දෙකක් දෙන්න. ඊට පස්සෙ තව එක්ක දෙන්න.බලන්න බබා අර මුලින්ම දුන්න සෙල්ලම් බඩු දෙක වට්ටවන්නෙත් නැතුව අලුත් එකත් ගන්න උත්සාහ කරන හැටි. ඒක කරන්න එයා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල. එයාට තේරීම් කරන්න දෙන්න. කොයි සෙල්ලම් බඩුවද වැඩිපුරම වටින්නෙ වගේ දේවල්.
  • බබාව ළගින් තියාගෙන සත්තුන්ගෙ රූප පෙන්නල ඒ සත්තුන්ගෙ හඩවල් වලින් ශබ්ද කරන්න. මේක මුලදි විහිලුවක් වගේ පෙනුනට දැන් ගොඩාක් සත්තු කෑගහන විදිය අනුකරණය කරන්න මගෙ දුවට හැකියාව ලැබුනෙ මේ ක්‍රියාකාරකම හරහා තමයි.
  • බබාව කණ්නාඩියක් ඉස්සරහින් තියාගෙන අම්මගෙයි බබාගෙයි ශරීරයේ අවයව විශේෂයෙන් මුහුණේ අවයව අදුන්වල දෙන්න. බබා නාවන වෙලාවටත් මේක කරන්න පුලුවන්. මේ තුලින් බබා තමන්ගේ ඇගේ අවයව තියන තැන, ඒවට කියන නම ඉතා පහසුවෙන් ඉගෙන ගන්නව වගේම මතක තියාගන්නව.
  • බබාට විවිධ ශබ්ද වල වෙනස වෙන් කරල අදුනගන්න දෙන්න.
    – පත්තර කොලයක් පොඩි කරන්න.
    – පොතක් පෙරලන්න.
    – ස්විච් එකක් දාන්න.
    – සිප් එකක් අරින්න වහන්න.
    මේවගෙන් බබාට ඒ ඒ ශබ්ද වල වෙනස වගේම එයා කැමති ශබ්ද මොන වගේ ඒවද කියලත් අපිට අවබෝධ කරගන්න පුලුවන්.
  • තව අපිට බබාට තැනින් තැනින් සිදුරු කරපු කෝප්පයක් දීල ඒකට වතුර දාල ඒ වතුර අර සිදුරු අස්සෙන් ගලාගෙන යන හැටි අත්දකින්න දෙන්න පුලුවන් වගේම ඒ වතුර පාරවල් එක්ක බබාම හදාගත්ත විවිධ ක්‍රියාකාරකම් හිත හිත කරන්න හැකියාව ලැබෙනව.
  • මේක හරිම වැදගත් ක්‍රියාකාරකමක්. බබාව බිමින් තියල එයා ආසම සෙල්ලම් බඩුවක් එයා ඉස්සරහින් තියල ඒක ගන්න බබාව උනන්දු කරවන්න. ඒ සෙල්ලම් බඩුව තියන දුරප්‍රමාණය වෙනස් කරන්න.මෙමගින් බබා එයා ආස දේ නිසා ඒක එයාගෙ කරගන්න ඒ පුංචි වයසට හිතල කොයිතරම් දේවල් කටින්, ඇගෙන්, ඔලුවෙන් කරනවද කියල ඔයාලටම බලාගන්න පුලුවන්. අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන දරුවෙක් බිහිකරන්න මුල් අඩිතාලමක් විදියට මේ ක්‍රියාකාරකම් හඳුන්වන්න පුලුවන්.

වයස මාස 10ත් 12ත් අතර දරුවන්ගේ මොළය වර්ධනයට කරන්න ඕන දේවල් ගැන අපි ඉදිරි ලිපි වල කතාකරමු.

ගැබේ ඉන්නේ දුවක්ද…පුතෙක්ද….?

අදින් වසර හාරදහසකට පමණ පෙරාතුව දරුවෙක් බිහිවීමට පෙරාතුව ඔවුන්ගේ ගැහැණු පිරිමි බව තීරණය කරන සාධක සමාජගතව තිබුණා. අපේ අම්මලා වුනත් ගැබේ බර වැඩියෙන් ඇති පැත්ත දෙස බලා දුවද , පුතාද යන අනුමානය ගොඩ නගනවා. එහෙම නැත්නම් ගැබේ හැඩය, ගැබිණිමවගේ රුව ලස්සන..මේ වගේ විවිධ අනුමානයන් ගොඩ නගා ගත්තා. අම්මා ලස්සන වුනොත්…වෙනදා තියෙන ලස්සන අඩු වුනොත් …ගැබේ ඉන්න දරුවාගේ ලිංග තීරණය ගැන අනුමානයන් තිබෙනවා.

මිසරයේ පැරණි ලියවිල්ලක තිබෙන විදිහට ගැබිණිමවගේ මුහුණේ කොළ පැහැයක් ඇත්නම් ඇයට පිරිමි දරුවෙක් ලැබෙතැයි අපේක්ෂා කරනු ලැබුවා. ඒ වගේම තවත් පිලිගැනීමක් අනුව ගැබිණි මවගේ පයෝධර ඉතාම පුෂ්ටිමත්ව ඇත්තේ නම් සහ එක හා සමානව තිබේනම් මෙන්ම උදරය මතුවී උස්ව පිහිටා තිබේ නම් ඇය ප්‍රසුත කරන්නේ පිරිමි දරුවෙකි.

ඇරිස්ටෝටල් වැනි දාර්ශණිකය අදහස් අනුව දරුවන් වෙනුවෙන් අඹු සැමියන්ගේ එක්වීමකදී හිස උතුරට සහ පාද දකුණට තිබීමෙන් පිරිමි දරුවන් පිලිසිඳ ගැනීමට ඉඩ ඇත. “ටැල්මඩ්” නම් පැරණි  යුදෙව් ග්‍රන්ථයක ද මෙම අදහස පිලිගෙන ඇත.

ඉතාලි ජාතිකයන් අතර ඇති විශ්වාසයට අනුව සැතපෙන විට බිරිඳ විසින් සැමියාගේ කණ සැපීමෙන් පිරිමි දරුවන් උපදින බවයි. ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි ඇති විශ්වාසයන්ට අනුව අදින පලඳින දේ යහනේ දකුණු පසින් එල්ලා තැබීමෙන් ගැහැණු දරුවන් බිහිවිය හැකියි. ඒ වගේම බුදුදහමට අනුව නම් ඉතාම යහපත් සිතුවිල්ලෙන් සහ පිරිසිදුව අඹු සැමියන්ගේ එක්වීම පින්වත් දරුවන් වෙනුවෙන් වූ පසුබිම සකස් කරනවා.

ඇතැම් ආහාරපාන මගින්ද කුසහොත් කලලයේ ලිංගය තීරණය වන බැව් හඳුනා ගත හැකි බවට විශ්වාසයක් විය. “ජෝසප් ස්ටොල්කොවිස්කි” සහ “ජේකස් ලොරේන්” යන ප්‍රංශ ජාතික වෛද්‍යවරුන්ගේ අදහස අනුව විවාහක කාන්තාවකට පුතෙක් අවශ්‍ය නම් ඇය වැඩියෙන් ආහාරයට ගත යුත්තේ අර්තාපල්, වයින්, බීර සහ ළුෑණුය. ගැහැණු දරුවෙක් අවශ්‍ය නම් බිත්තර, යෝගට් සහ කේජු ආහාරයට ගත යුතුය. අතීතයේ පැවැති මෙම අනුමානයත් බොහෝ දුරට සාර්ථකව තිබූ බවට සාක්ෂි ඇත. එම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තෝරා ගත් අම්මාවරු 247 ක් දෙනා අතරින් මෙම ආහාර රටාව නිසා මව්වරු 202 ක් දෙනා තමන්ගේ අවශ්‍යතාවය අනුව දුව හෝ පුතා යන සිහිනය සැබෑ කර ගෙන ඇත.

ජීව විද්‍යාත්මකව දරුවෙක් පිලිසිඳ ගන්නේ පියාගේ ශුක්‍රානුවක් මවගේ ඩිම්බ ශෛලයට එක්වීමෙන්ය. ජීවියෙකුගේ ආවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන වර්ණදේහ 23 බැගින් ශුක්‍රාණු සහ ඩිම්බ ශෛලවල පිහිටා ඇත. ඩිම්බ ශෙලවල ඇත්තේ “එක්ස්(X)” ගනයේ වර්ණදේහ පමණක් වුනත් ශුක්‍රණු සෛල දෙවර්ගයක් ඇත. ඒවා “එක්ස්(X)” සහ  “වයි(Y)” වර්ග වේ. “එක්ස්(X)” ගණයේ  ශුක්‍රානුවක් මගින් ගැහැණු දරුවෙක්ද, “වයි(Y)” මගින් පිරිමි දරුවෙක්ද නිර්මාණය වේ.

අද ස්කෑන් පරික්ෂණ මගින් කලලයේ සිටින දරුවාගේ ලිංගය බොහෝ දුරට හදුනා ගත හැකි වුනත් එයිනුත් අනුමාන වරදින අවස්තාවන් ඇත. ඒ වගේම ඉන්දියාව, බිහාරය වැනි රටවල්වල ගැහැණු දරු කලල විනාශ කිරීමේ සමාජගත සිද්ධීන් නිසා කලල පරීක්ෂාවෙන් අකටයුතුත් සිද්ධ වෙනවා.

ඒ විතරක් ‍නොවෙයි, කට ඇති පුතා සහ රුව ඇති දුවක යන පවුල් සැලසුම් සංකල්පය නිසාත් කල් තබා හඳුනාගන්නා කලල පරීක්ෂාවෙන් නූපන් දරුවන්ට ඉතාම අසාධාරණයන් සිද්ධ වෙනවා.පළමු දරුවා වෙනුවෙන් අනේ ලැබෙන දරුවා භාරගන්නවා …යැයි අපි සිතනවා. එහිදී දරුවෙක් වෙනුවෙන් වූ අවශ්‍යතාවය පමණක් ඉතා දැඩිව ඇතැත් දෙවැනි තුන්වැනි දරු උපත්වලදී මෙම තත්වය නිසා මව්රුන් දුර්මුඛ වෙන අවස්ථාවන්ද නැතුවා නොවේ. මුලින්ද දියනියක් ලද හෝ පුකෙතු ලද මවක් දෙවැනි දරුවාගේ අවශ්‍යතාවයට අනුව දුව හෝ පුතා නොවුනේ නම් සිත්තැවුලට පත් වෙනු ඇත. එතැනින්ද නොනැවතී තුන්වෙනි දරුවා වෙනුවෙන් වූ උත්සාහයේදී ඒ දරුවාගේ තමාගේ ආශාව ඉටු නොකර මුල්ම ප්‍රතිඵලය වූයේ නම් මහත් සේ සංතාපයට පත් වෙනු ඇත. එහෙත් විය යුත්තේ එය නොවේ. නුඹ දුවක වුනත්..නුඹ පුතෙකු වුනත් සැබෑම සෙනහස ආදරයයි….යන දාරක ප්‍රේමයෙන් යුක්ත බන්ධනය පමණයි.

අපිට වඩා අපේ දරුවෝ මේවා ගැන දන්නවා…

තාක්ෂණ මෙවලම් ඉදිරියේදී දරුවන් තමන්ට වඩා බොහොම ඉදිරියෙන් සිටින  බව වැඩිහිටියන් නිතරම කියන කතන්දරයක්. අපිට දුරකථනයකින් හැකියාව තියෙන්නේ එන ඇමතුමකට පිලිතුරු දීම සහ ඇමතුමක් ගැනීම පමණක් වුනත් කටේ කිරි සුවඳ නොගිය දරුවන් මෙම විද්‍යුත් උපාංග හසුරුවන ආකාරය ගැන දෙමව්පියන් නිතරම කතා කරන්නේ තමන්ට නොහැකි දෙයට ඔවුන් මේ විදිහට හැකියාවක් දක්වන්නේ කොහොමද යන්න ගැනයි. මෙය අපේ ජනසමාජයට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු විමතියක් බවට පත්ව තිබෙනවා.

කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් දරුවන් විසින් මෙම මෙවලම් හැසිරවීමේදී වැඩිහිටියන්ට වඩා ඉදිරියෙන් සිටීම මුල් කර ගෙන අධ්‍යනයක් පවත්වනු ලැබුවා. ඒ වෙනුවෙන් වයස අවුරුදු 4 සහ 5 අතර දරුවන් 106 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. පාසල් 170 කින් විවිධත්වයක් ඇති වෙන විදිහටත් මේ දරුවන් තෝරා ගැනීමට පර්යේෂකයන් අමතක කළේ නැහැ. ( ඩේලි මේල් වෙබ් අඩවිය)

දරුවන්ගේ තාක්ෂන හැකියාව මොන තරම් ඉහලින් තිබුනාද කිව්වොත් ඔවුන් කිසිම දවසක දැක නුදුටු උපාංග පවා ඉතාම දක්ෂ විදිහට හසුරුවනු ලැබුවා. ඔවුන්ට මේ සඳහා ලබා දුන්නේ මැටි ආධාරයෙන් සකස් කරන ලද උපාංගයන් කිහිපයක් පමණයි.

මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ දරුවන්ට තමා ඉදිරියේ තිබෙන සුලු දෙයකින් පවා විහාල දැණුමක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි. ඒ වගේම ඔවුන් නිතරම කුතුහලයෙන් පසුවෙන පිරිසක් නිසා තමා ඉදිරියේ තිබෙන නෙතට නුහුරු වස්තුවක් දුටු සැනින්ම ඒ සමග සම්බන්ධතාවයක් ‍ගොඩ නගා ගන්නවා. ඒ විතරක් නොවෙයි, මේ ගැන ඔවුන්ගේ මනසේ කිසිම පෙර අත්දැකිම් නැති නිසා වැඩිහිටියන් වගේ මනසේ ගොඩ නගා ගත් සංකල්ප කිසිවක් නැහැ.නිරවුල් මනසකින් මේ ගැන යොමු වෙන නිසා ඒවා හසුරුවන ආකාරය දරුවන් ඉතාම ඉක්මනින් ග්‍රහනය කර ගන්නා බව මෙම අධ්‍යනයේ  උපප්‍රධාණී ක්‍රිස්ටෝපර් ලූකස් සඳහන් කරනවා. ඇත්තටම වැඩිහිටියන් මේ ගැන එතරම් පශ්චත්තාප වීමට හේතුවක් නැති බව ක්‍රිස්ටෝපර්ගේ අදහසයි.

දැන් දෙමව්පියන් විදිහටත් ඔබේ හිතටත් මෙහෙම හිතෙනවා නේද…අනේ ඇත්තම තමයි…අපේ පුතාට වුනත් ටැබ් , ජංගම දුරකථන, ලැප්ටොප් වැනි උපාංග හසුරුවන්නේ පුදුම හැකියාවකින්.

පරම්පරාවන් අතර ගැටීමටත් ඉඩ තිබෙනවා

තවත් අවස්ථාවන්හිදී ඔබ හිතනවාට වඩා දරුවන් ඉදිරියෙන් සිටිනවා විටෙක මේ ඉදිරියෙන් සිටීම දෙමව්පියන් සහ දරුවන් අතර  ගැටුමකට පවා මුල පුරන්න පුලුවන්. එක්තරා නිවසක මෝටර් රථයේ දොර ඉබේම අගුලු වැටී තිබුනා. තාත්තා රථයේ පසුපස දොරෙන් වැඩ කටයුතු කරමින් සිටියා.ගරාජයකට යෑමට කාලයක් නොමැති නිසා මේ විදිහටම තමාගේ දවසේ කටයුතු සිද්ධ වුණා. එක වසරේ පමණ සිටි පුතු දිනක් මේ අගුලු වැටුන දොර විවෘත කළා. තාත්තාටත් සිද්ධ වෙලා තිබුන වැරැද්ද තේරුම් ගියත් ඔහු  ඒ ගැන පුතා ඉදිරියේ කියන්න කැමැති වුනේ නැහැ. තමාට මේ විදිහට අගුල ඇර ගන්න තිබුනා නේද කියල තාත්තාටත් හිතුනේ ඊට පසුවයි.

තහංචි එපා..

සමහර අවස්ථාවන්හිදී නිවසේ අලුත් උපාංග ඉදිරියේ ඉදිරියටම එන්නේ දරුවන්. මේ සිද්ධිය ඇතැම් විට දෙමව්පියන්ට කරදරයක්. ඇතැම් මව්පියන් මේ හැසිරීම ඉවසා දරා ගෙන හිටියත් තවත් දෙමව්පියන් මේ ගැන නොරිස්සුම් සහිතයි. දරුවන්ට අලුත් දෙය වෙත ප්‍රවේශයටවත් අවසර නැතුව තහංචි පනවනවා.

අනේ ඕක විනාශ කරන්න එපා…මේ විදිහට නිශේධනයන් ලබා දුන්නොත් දරුවන්ගේ තාක්ෂණ හැකියාවන් උපන් ගෙයිම වැලලෙනවා. තාක්ෂණ ලෝකයේ නම් දරන ලද බොහෝ දෙනකුට හැකියාව පිලිබඳ සිහින ඇති වුනේ ඔවුන්ගේ බාල කාලයේදීමයි. පෝඩ් නිර්මාතෘ ඔරලෝසුවක් ගලවමින් එය නැවත සවි කිරීමට උත්සාහ කරන විට ඔහුට වයස අවුරුදු දහයයි. එදා ඔහුට ඒ අවසරය නොලැබුනා නම් අද පෝඩ් නිර්මාතෘ පිලිබඳව නමක් ගොඩ නැගෙන්නේ නැහැ.

අනතුරු ගැන අවධානයෙන් ඉන්න

දරුවන් ඉතාම හසුරු විදිහට නව උපාංග හැසිරුවත් ඔවුන්ට අවදානමක් ඇතිවීමට තිබෙන අවදානම ගැනත් දෙමව්පියන් සැලකිලිමත්වීම ඉතාම වැදගත්. විදුලිසැර වැදීම වැනි අනතුරු ගැනත් අපිට නිතරම වාර්තාවන් ලැබෙන්නේ මේ අත්හදාබැලීම් නිසයි. ඒ නිසා දරුවන්ට කල් තබාම ඒ ගැන දන්වා සිටින්න. මේ අවදානම තිබෙන නිසා ඒ ගැන සීමාවන් අවශ්‍ය බව ඔවුන්ට අවධාරනයෙන්ම කියා දෙන්න.

කවන්න පොවන්න වදයක් නොවන්නට

ආහාරයට රුචියක් දක්වන්නේ රසයට මිස ගුණයට නොවේ. මේ වෙනුවෙන් දරුවන් අතර වු යොමු විම ගොඩ නැගිම ඔවුන්ට හය හතර තේරෙන කාලයේදි නොව බාලකාලයේ පටන්  ගොඩ නගනවා නම් වඩාත් සාර්ථක  බව නවතම අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.

අම්මා තාත්තාගේ හිතේ නිතරම මානසිකව තිබෙන අසහනය වෙන්නේ අනේ අපි හම්බ කරලා ගෙනෙන දේ මේ දරුවෝ කන්නේ බොන්නේ නැති හැටි.. පුංචි කාලයේ නම් රවටලා හරි කවා පොවා ගත්තා. ඒත් දැන් මොන විදිහකටවත් බැහැ..

දරුවන් පමණක් නොවෙයි අපි හැම කෙනෙක්ම දිනකට පලතුරු සහ එලවළු ග්‍රෑම් 400 ක් ආහාරයට ගන්න අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්  පෙන්වා දෙන අන්දමට මේ වෙනුවෙන් අපි දිනකට එළවලු සහ පලතුරු පංගු නවයක්වත් ආහාරයට ගැනීම අවශ්‍යයි.

එලවලු පලතුරු ආහාරයට ගැනීමෙන් දරුවන්ට වුනත් අනාගතයේදී තරබාරුව, පිලිකා, දියවැඩියාව වැනි රෝගාබාධයන් වැළඳීමට තිබෙන අවස්ථාව පහල බහින බව විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.

මේ පුරුදු ගොඩනගන්නේ කොහොමද…?

මේ වෙනුවෙන් ඔවුන් ලබා දෙන උපදෙස වෙන්නේ බාල කාලයේ පටන්ම එළවළු සහ පලතුරු දරුවන්ගේ ආහාරයට එක් කරන්න. අම්මලා තමන්ගේ පහසුව වෙනුවෙන් දරුවන්ට එලවළු ආහාරයට එක්කිරීම බොහෝ දුරට අඩු‍වෙන් සිද්ධ වුනත් දරුවාගේ නීරෝගීබව වෙනුවෙන් මේ ආහාර ඉතාම වැදගත්.

උයන ක්‍රමය වෙනස් කරන්න

දරුවන්ගේ ආහාර රුචිය ඇති කිරීමට නම් අම්මලා උයන පිලිවෙල වෙනස් කිරීම අවශ්‍යයි. අපේ එකාකාර රටාවෙන් දරුවන් හෙම්බත් වෙලා. මේ වෙනුවෙන් ලෝකයේ වෙනත් රටව ආහාර පිළියෙල කරන පුරුදු දෙස බලන්නත ප්‍රංශයේ එලවළු පිලියෙල කිරීමේදී බොහෝ විට සිද්ධ වෙන්නේ තැම්බීම, ස්ටු දැමීම සහ තම්බා පොඩිකරගෙන ආහාරයට සපයා ගැනීමයි. නෙදර්ලන්තයේ මව්වරුන් අමුවෙන් සහ තම්බාගත් එළවලු දරුවන්ගේ ආහාරයට එකතු කරනවා.ඇමරිකා එක්සත් ජනපදය බොහෝ විට දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ  අමුවෙන් හෝ තම්බාගත් විදිහටයි.

දේසේ හැටියටම වාසේ අවශ්‍ය නැහැ

දරුවන් එළවලු ප්‍රිය නොකරනවා නම්වෙනස් විදිහකට අත්හසා බැලීමත් වරදක් නැහැ. අනේ අපිට කිරට නම් එපා කියනවා නම් මලවලා දෙන්න.එහෙම නැත්නම් සලාදයක්..ස්ටුවක්…පාට පාට එකතු කරපු සලාදයක් වගේ විදිහට ඇස රවටන විදිහට පිලියෙල කරන්න පුලුවනි. එලවලු මිශ්‍ර කරපු බතකින් ආහාරය වෙනුවෙන් ආකර්ශනය වගේම ගුණයත් එකතු වෙනවා.

අම්මයි තාත්තයි අතරත් උනන්දුවක් තිබෙන්න ඕන…

සමහර අම්මලා තාත්තලාත් එළවළු , පලතුරු වෙනුවෙන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. තාත්ලාටත් ආවේණික වුන ආහාර රටාවක් තියෙනවා. කටගැස්මට මිසක ගුණයට ඔවුන්ගේ නැඹුරුව අඩුයි. අම්මාටත් ඉතින් පහසුව බලන නිසා බොහෝ එළවළු ආහාර රටාවෙන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.කොස්, පොලොස් වැනි ආහාර පිලියෙල කරන්න කම්මැලි වුනත් වස විස නැති මේවා ඉතාම ගුණදායකයි.

උදේට තියෙන කලබලයත් එක්ක මේවා හදන්න පුලුවනෑ

ඇත්ත…අපි හැම කෙනෙක්ම ගෙවන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්. ඒත් අද වැඩ පහසු කරන මෙවලම් බොහොමයි.දර ගින්දර දුම් වදින්නේ නැතුව පොලොස් වැනි ආහාර පිලියෙල කරගත හැකියි. රාත්‍රියේදී සකස් කරල තියන්නත් පුලුවන්. දවස් දෙක තුනක් වුනත් කිසිම කරදරයක් නැතුව ආහාරයට ගත හැකි නිසා කාලයත් ඉතුරුයි.

පුංචි පුංචි උප්පරවැට්ටිත් අවශ්‍ය වෙනවා

දරුවන්ට හෙමින් සීරුවේම ඔවුන්ට නොදැනෙන විදිහට ගුණය ලැබෙන්න ආහාර පිලියෙල කරන්නත් පුලුවන්. සැන්ඩ්විච් වැනි දේ පිලියෙල කරන විට කැරට් වැනි එලවලු සිහින්ව ලියා ගෙන එකතු කරන්න. පිසින ලද විදිහට අකමැති වුනත් නූඩ්ල්ස්, පැස්ටා එහෙම නැත්නම් ඉදිආප්ප කොත්තු විදිහට හෝ එලළුලු හෝ තෙම්පරාදු බතක් වෙනුවෙන් එළවළු වර්ග එකතු කරන්න පුලුවන්.පැපොල් වැනි පලතුරු අකැමැති නම් කැබැලි කපලා සීනි ටිකක් එකතු කරල දෙන්න. එහෙම නැත්නම් පැපොල් යුෂත් දරුවා ප්‍රිය කරාවි.

අද මොනවද හදන්නේ කියන්නකෝ…

ඔබ හදන විදිහට ..එහෙම නැත්නම් ඔබේ ආහාර වට්ටෝරුවට දරුවා ප්‍රිය මනාප නැත්නම් මේ විදිහට කියන්න. අද මාර්කට් ගියාම ඔයා කන්න කැමැති එලවළු ගන්න..එවිට දරුවාට ඔහු මිළට ගත් දෙය නැවත ප්‍රතික්ෂෙප කරන්න බැහැ. ආහාර සකස් කිරීමට පෙරත් දරුවාටම ඒ තැන දෙන්න.

“හා..දැන් පුතා කියන්න අද මොනවද දවල්ට හදන්නේ…” එවිට ඔහු තමාගේ මනාපය පල කරනු ඇති.”හොඳයි..ඔයා කැමැති කිරටද..මිරිසටද…මැල්ලුමක් විදිහටද…” මෙහිදී දරුවාගේ පිලිතුර සලාදයක් විය හැකියි. ඔබ කිස්සේත්ම එය බැහැර කරන්න එපා. දරුවාගේ කැමැත්තට ඉඩ දෙන්න.

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – පළමු කොටස

ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.මූලිකවම අපි ඉතා ඕනෑකමින් අවබෝධ කලයුතු දෙයක් තමයි අපේ මුතුන්මිත්තන්, අපේ දෙමාපියන් මෙන්ම අපිද ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් යුගයක අපේ දරුවන් ජීවත් වන බව.

මම මෙහෙම කියන්න හේතුව තමයි අපි පැරණ්නන්ගේ මත වලට ගරු කලයුතු උනත් අපේ ගොඩක් අලුත් අම්මලා තවමත් සමහර පැරණි මතවල එල්බගෙන ඉදල අපේ පොඩ්ඩන්ට ලොකූ අසාධාරණයක් කරනව.

ඉතිං මම මේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ ලිපි පෙල කියවීමෙන් පසුවවත් අලුත් විදියට හිතන්න. දියුණු වෙන ලෝකයේ දොර කවුලු අපේ දරුවන්ට විවර කරන්න ඔබේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන්න.

මම මේ ලිපි පෙල මගින් බලාපොරොත්තු වන මූලිකම දෙය තමයි ඒ ඒ වයස් මට්ටම් වල දරුවන්ගේ වර්ධනය වන මොළය තව තවත් ඔප මට්ටම් කරන “බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්” ගැන අපේ අලුත් අම්මලාව දැනුවත් කරන එක.

මේ සියලුම ක්‍රියාකාරකම් අන්තර්ජාලය ඔස්සේ කරනලද සොයාබැලීම් සහ විවිධ රටවල දරුවන්ගේ මොළය වර්ධනයට කරන ක්‍රියාකාරකම් පිලිබඳව කල සොයාබැලීමකින් පසුව සහ මේ ක්‍රියාකාරකම් මගින් දැනට අවුරුද්දයි මාස 11ක් වන මගේ දියණියගේ මම දකින හැකියාවන් වලින් ලත් අත්දැකීම් වලින් තමයි මේ ලිපි පෙල ඔයාලට අරගෙන එන්නෙ.

මුලින්ම මම මගේ මුල්ම ලිපියෙන් උපතේ සිට වයස මාස 3ක් වන දරුවන්ගේ මොළයේ වර්ධනයට කල හැකි ක්‍රියාකාරකම් ඔයාලට පැහැදිලි කරනව.

ඔයාලට හිතෙන්න පුලුවන් මේ තරම් පුංචි වයසෙ බබාලට මොනවද තේරෙන්නෙ කියල.

පුංචි බබෙක් ඉපදුණු දවසේ ඉදල අවුරුදු 3ක් පමණ වෙනකන් කාලය තමයි දරුවෙකුගේ මොළයේ වර්ධනයේ වැදගත්ම අවධිය විදියට ලෝකයේ විවිධ රටවල් කරනලද පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.

ඉතිං ඒ අනුව මේ ලිපියෙන් විස්තර කරන ක්‍රියාකාරකම් මේ වයසේ දරුවන්ට කරවීම තුලින් ඔවුන්ගේ ඉතා විශාල දියුණුවක් දකින්න පුලුවන් කියල හොයාගෙන තියනව වගේම මා මගේ දරුවාගෙන් ඒ වෙනස ඉතා මැනවින් අත්දකිනව.

පිළිවෙලින් අපි බලමු ඒ ඒ ක්‍රියාකාරකම් සහ ඒවා කරවීම තුලින් දරුවාගෙ කිනම් හැකියාවන් උත්තේජනය වෙනවද කියල.

සර පත් හෙවත් උත්තේජන කාඩ්පත් පෙන්වීම

අපි ගොඩක් දෙනෙක් දන්න විදියට ඉපදිලා සති කිහිපයක් යනකන් දරුවෙකුට පෙනෙන වර්ණ විදියට සලකන්නේ “කලු සහ සුදු” වර්ණ.

ඒ නිසා කලු සුදු වර්ණ භාවිතයෙන් නිර්මාණය කරනලද පින්තූර කාඩ්පත් ,රටා මෝස්තර ,හැඩතල මේ කියන දේවල් දරුවාට දකින්න සැලැස්වීම තුලින් දරුවාගෙ දෘෂ්‍ය සංවර්ධනය ඉතා දියුණු වෙනව.ඒ වගේම ඔවුන්ට දැකිය හැකි පරාසය තුල එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම,ඉලක්ක කර බලා සිටීම වගේ දේවල් දියුණු වෙනව.

සන්වේදන ක්‍රියාකාරකම්

සන්වේදන ක්‍රියාකාරකම් විදියට අපිට මූලිකවම හදුන්වන්නට පුලුවන් විවිධ සන්වේදන දරුවාට ස්පර්ශ කිරීමට සැලැස්වීම.

උදාහරණ විදියට විවිධ සෞම්‍ය, රලු, පෘෂ්ඨ දරුවාගේ ස්පර්ශයට යොමුකිරීමෙන් මෙන්ම මද උණුසුම් වතුර,සීතල වතුර දරුවාට ස්පර්ශ කරවීම මගින් ඒ ඒ ස්පර්ශයන්ගේ වෙනස හදුනාගන්නට දරුවා විසින්ම තමන්ගේ මොළය උපයෝගී කරගන්නව.

එමගින් ඒ ඒ පෘෂ්ඨයේ මතුපිට ස්වභාවයන්ගේ වෙනස,දැනීමේ වෙනස වටහාගන්නට මොළය දරුවා විසින්ම වෙහෙසවමින් උත්තේජනය කරනව.

කියවීම

මම මගේ දුවට ඇහෙන්න කියවන්න පටන්ගත්තෙ එයා ඉපදෙන්නත් කලින් ඉදන්.අද ඒවගෙ ප්‍රතිඵල මම ඉතා සතුටින් අත්විදින මවක්.

මගෙ දූගෙ වයසට එයා කතාකරන වචන.එයාගෙ වාග්මාලාවේ තියන වචන ප්‍රමාණය ඉතා විශාලයි.

අවුරුද්දයි මාස 10ක් උනත් පින්තූර යක් බලාගෙන ඒක විස්තර කිරීමේ හැකියාවක් මගෙ දූට ලැබුණෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම එයාට ඇහෙන්න පොත් කියවපු නිසා.

නොතේරුම්කමින් අහගෙන හිටියට අපි ශබ්ද කරන විදිය,උච්චාරණය කරන විදිය එයාලගෙ මතකයේ රැදෙනව වගේම ඉතා විශාල පරාසයක වචන ගොන්නක් එයාලගෙ මතකයට යනව කතාකරන්නට බැරි උනාට.

මේ අවධියේ දී පොත් කියවනවිට ඇහුම්කන් දෙන බබාලගෙ කථන හැකියාව ඉතා ඉක්මනින් වර්ධනය වෙනව කියල මම දැනගත්තෙ අත්දැකීමෙන්මයි..

ශබ්ද නැගෙන පාට පාට සෙල්ලම් බඩු

මේක ඉතාම වැදගත්ම ක්‍රියාකාරකමක්.

හැරෙන්න පෙරලෙන්න අමාරු උනත් මේ වයසෙ පැටව් ආසම දෙයක් තමයි මේ පාට පාට සෙල්ලම් බඩු.

මම මගෙ දුවට වයස සති අටේ විතර ඉදල වෛවර්ණ පාට වල ශබ්ද නැගෙන සෙල්ලම් බඩු ගෙනත් එයාට ඇහෙන්න ශබ්ද කලා. ඒ වගේම එක පැත්තක ඉදල තවත් පැත්තකට ඒ සෙල්ලම් බඩු ශබ්ද නොනැගෙන්න බබාට පෙනෙන්න අරගෙන ගියා. ඒ පාට දිහා බලාගෙන එයාගෙ ඇස් වලින් ඒ බඩුව යන දිහාවටම ගියා.

තවත් වතාවක් ශබ්දය පමණක් ඇහෙන්න ඒ සෙල්ලම් බඩුව එහාට මෙහාට අරගෙන ගියා.

ඒ යන හැම වතාවකම ශබ්දයට වර්ණයට අනුව බබාගෙ උත්තේජනයක් දැක්කා.

තවත් වතාවක් ඒ ඒ සෙල්ලම් බඩුවේ වර්ණ මම එයාට ඇහෙන්න කිව්ව.

අද මගෙ දුවට වර්ණ 10 අදුනගන්න වගේම ,දෙයක් දැක්කොත් ඒ දෙයෙහි වර්ණය කීමේ හැකියාව තියනව.

බබාට කතාකිරීම

මේ ක්‍රියාකාරකම මම ඉතාම අසාවෙන් මගෙ දුවට කලේ එයාට වයස සති දෙකේ ඉදල.

මම කරන කියන හැම දෙයක්ම එයාට ඇහෙන්න කිය කිය කලා.

ලෝකයේ විද්වතුන් සොයගෙන තියන විදියට කථන හැකියාව සහ වාග් මාලාවේ වචන ප්‍රමාණය ගොඩක් වැඩිවෙනව කියල හොයාගෙන තියනව මේ ක්‍රමය තුලින්.

ඒක ඇත්තක් බව මම අද අත්දැකීමෙන් දන්නව.

අවුරුදු දෙකක් වෙන්නත් කලින් වචන පහ හයක වාක්‍යය මෙන්ම “පුටුව උඩ තියන පොත මේසය උඩින් තියල සපත්තු අල්මාරියෙන් දාන්න” වගේ සම්බන්ධ වුණු වාක්‍යය හරි ලස්සනට ගලපල කියන්න මගෙ දුවට පුලුවන් උනේ මේ ක්‍රියාකාරකම තුලින් කියල මම ඉතා පැහැදිලිව කියනව.

ඒ වගේම බබාගෙ මතක ශක්තිය වර්ධනය කරන්නත් මේ ක්‍රමය ඉතා උපකාරී වෙනව.

උදාහරණයක් විදියට “අම්මා නිල්පාට ගවුමක් බබාට අන්දවනවා. බබාගෙ සපත්තු සුදු පාටයි, බබාට රවුම් තොප්පියක් තියනව” වගේ එයා නිතර පාවිච්චි ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.

මේ වගේ විවිධ වයස් කාණ්ඩ වලට ගැලපෙන ක්‍රියාකාරකම් රැසක් එක්ක තවත් ලිපි පෙලක් ඉදිරියේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනව.

ගර්භණී මාතාව රැක ගත යුත්තේ ඇයි?

දරුගැබක් පිලිසිඳ ගත් දිනයේ පටන් සමාජය ඒ ගැබණි මවට සලකනු ලැබුවේ ඉතාම ගරුත්වයෙන්. ආහාරපාන පමණක් නොව දකින දසුන, ඇසෙන වචන පවා ඉතාම ප්‍රියවාදී ලෙසින් ඇයට ඇසෙන්න දකින්න සැලසුවා. ඔවුන් ඒ හැම දෙයක්ම කරනු ලැබුවේ ගැබේ ඉන්න දරුවාට යහපතක්ම වේවා යන අදහසින්.පැරණි සමාජය බඩදරු අම්මා රැකගත යුත්තේ දෙවියෙකුට සමානව බව පැරණි සෘෂි භාෂිතයේ පවා සඳහන්ව තිබෙනවා.

ඒත් අද තත්වය ඊට වෙනස්. ගැබ්ගත් දිනයේ පටන් නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ අවවාද උපදෙස් ලැබුවත් මානසිකත්වයෙන් ගැබිණිමවට අද එතරම් සැනසිල්ලක් නැහැ. ඒ තත්වය ඉතාම ප්‍රබල විදිහට දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. අනාගතයේ අකීකරු දරුවන් බිහිවීමටත් මේ තත්වය හේතු වෙන බව අද මනෝ වෛද්‍යවිද්‍යාඥයින්ගේ පිලිගැනීමයි. ඒ නිසා සුවච කීකරු දරුවෙක් ගොඩ නගා ගැනීමට නම් ගැබ් දරණ කාලයේ පටන්ම මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.

වෛද්‍ය විද්‍යාත්මක අදහස… 

පින්ලන්තයේ පර්යේෂකයන් පවා අද මේ තත්වය පිලිගෙන තිබෙනවා.(Daily Mail) සෙනෙහස, මානව දයාව සහ ආදරය වැනි රිද්මානුකූල වචන නිසා දරු කලලලයට ඇති වෙන බලපෑම මුල් කර ගෙන ඔවුන් අධ්‍යනයක් කරනු ලැබුවා. එහිදී තෝරාගත් ගැබිණි මව්වරුන් 33 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ගෙන් 17 දෙනෙකුට දිනකට විනාඩි හතර බැගින් රිද්මානුකූල වචන ඇසෙන්න සැලස්සුවා. සෙසු 16 දෙනා ට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ.සති 29 ක කාලයේ පටන් දරු ප්‍රසුතිය සිද්ධ වෙන තෙක්ම මේ කාර්යය සිද්ධ වුණා.මේ අම්මලා 17 දෙනාගේ දරුවන් ලද පසුව ඔවුන්ගේ දරුවන්ගේ ඊ.සී.ජී වාර්තාවන් ලබා ගත්තා. එහිදි පෙනී ගියේ රිද්මානුකූල වචන ඇසීමට සලසන ලද මව්වරුන්ගේ දරුවන්ගේ ප්‍රතිචාර එම අවස්ථාවට සම්බන්ධ නොවුන මව්වරුන් 16 දොට වඩා ඉතාම යහපත් ලෙස තිබීම පැහැදිලිව පෙනී ගියා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී “අයිෆෝ පර්ටන්” විසින් පෙන්වා දෙන්නේ  මවගේ සිතුවිලි වගේම බාහිර ලෝකයෙන් ලැබෙන බලපෑම දරුවාගේ හැඩගැස්ම වෙනුවෙන් ඉතාම සුබවාදීව බලපාන බවයි.

කලලය අමතන භාෂාව

මේ නිසා ජපානය වැනි රටවල් විසින් දරු කලලයට අමතන භාෂාව වෙනුවෙන් පොත් පවා දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බටහිර රටවල මව්වරුන් තමා නිදා ගන්නා විට ලයාන්විත සංගීතයක් ඇසෙන්න සලස්වනවා. එය අම්මාට විතරක් නොවෙයි..කුස සිටින දරුවාටත් ඇසෙනවා.

මෙම අදහස පැරණි සෘෂිවරුන්විසින් සඳහන් කරන  මවක් සහ පියෙක් තම දරුවන්ගේ හැසිරීම ගැන අවධානය යොමු කළ යුත්තේ දරු කලලය මව්කුසේ දරන කාලයේ පටන්ය…යන නාඩි වාක්‍ය සමග කොතරම් ගැලපෙනවාදැයි දැන් ඔබම තීන්දු කරන්න.

දරුවා ලැබීමෙන් පසුවත් සැලකිලි අවශ්‍යයි

කලලයට හොදින් සැලකුවාටමත් බැහැ. දරුවා ලැබීමෙන් පසුවත් ඔහු සමග ගත කරන කාලය සහ බැඳීමත් සුවච කීකරු දරුවෙක් නිර්මානය කර ගැනීමට හේතු වෙනවා.

බාලකාලයේ ලබන අත්දැකීම්

බොහෝ දරුවන් අකීකරු වීමට බලපාන තවත් හේතුවක් විදිහට ඔවුන් බාලකාලයේ ලබන අමිහිරි අත්දැකීම් පදනම් විය හැකියි. මේ නිසා පවුලක මව්පියන් දරුවන් ඉදිරියේ ලබා දෙන සහනශීලී මානසිකත්වය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් හිතකර පරිසරයක් ගොඩ නගනවා. බාල කාලයේ පටන් දරුවා දකින්නේ බීමතින් නිවසට ගෙට ගොඩ වදින තමන්ගේ පියා නම් ඔහු වැඩිහිටි වයසට පැමිනෙන විට පියාගේ අවවාද වෙනුවෙන් එතරම් සැලකීමක් කරන්නේ නැහැ. ඊට හේතුව ඔහු බාලකාලයේදී දුටු පියා ගැන හිතේ තිබෙන්නේ ප්‍රසන්න සංකල්පයක් නොවේ.

දරුවන් සමග කාලය ගෙවන්න

බොහෝ මව්පියන්ට අද තිබෙන එකම ගැටළුව දරුවන් සමග කාලය ගෙවීමට අවසරයක් නොමැති වීමයි. කාර්යාලයේ වැඩ…ගෙදර දොර උයන පිහන , අස්කරන මේවාගේ දහසක් වැඩ ඔස්සේ දරුවන් එක්කත් ගෙවන්න කාලයක් කෝ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ..ඔබ මේ විදිහට කිව්වත් කාලය සමග දරුවන්ට තමන් හුදෙකලා බවට පත් කළ දෙමව්පියන් මුල් කර ගෙන ඇති වෙන කලකිරීම නිසාම ඔවුන් ඉතාම අකීකරු තත්වයට පත් වෙනවා. ඔයගොල්ලන් අපිට මොනවද කළේ…යනුවෙන් ප්‍රශ්න කිරීමට තරම් දරුවන් ඉතාම අකීකරු චරිත බවට පත් වෙන්නේ මේ නිසා බව අමතක කරන්න එපා.

දරුවන් සමග ආහාර ගැනීම

එදා පවුලේ සියළුම අදහස් උදහස් වෙනුවෙන් විවෘත වේදිකාව බවට පත් වුනේ කෑම මේසය වුනත් අද ඒ වෙනුවෙන් කිසිම අවසරයක් නැහැ. සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් සමග මව්පියන් එකට ආහාර ගැනීම ඉතාම වැදගත්. මේ සංවාද මණ්ඩපය නොදැනීම අපේ නිවෙස්වලින් දුරස්ථ වීම නිසා ඇති වුන හිදැස ඔවුන්ටත් නොදැනීම පිටව යන්නේ තමන්ගේම හදා වඩා ගත් දරුවන් අකීකරු වීමත් සමගයි.

පොළවේ පය ගසා සිටින දරුවන් නැහැ

අද මව්පියන් තමන්ගේ දරුවන් හදා වඩා ගන්නේ ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තැනකට පත් කරන අදහසින්. එහි කිසිම වරදක් නැහැ. විය යුත්තේද එයයි. ඒ වුනත් මේ මානසිකත්වය තුළ තමා සමග ජීවත්වුන සහ ජීවත්වෙන සමාජය නිගරු ලෙසින් සැලකිය යුතු නැහැ. අද බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙන්නේ අතීතයේ තමන් ජීවත්වුන සත්‍ය පරිසරය වසං කිරීමටයි. ඒ නිසාම නෑයින්, හිතමිතුරන් ගැන කිසිම සැලකීමක් නැහැ. අලුතින් ගොඩ නගා ගත් පරිසරයක ජීවත් වෙන විට දරුවන්ට තුළ තිබෙන්නේ හිස් අහංකාරයක් පමණයි. ඒ නිසාම කීකරු යන සංකල්පය ගැන හදවතේ ඉඩක් නැති නිසා ගැටුම් සහ අකීකරුවීම අමුතුවෙන් ඇති වෙන පරිසරයක් නොවේ.

 ආදර්ශය

දරුවන් තුළ කීකරුබව ගොඩ නගා ගැනීමට නම් දෙමව්පියන් තුළත් ඒ ආදර්ශය තිබීම ඉතා වැදගත්. තමන්ගේ දෙමව්පියන් බලුකූඩුවේ දමන, මහමග අතහැර දමා යන තත්වයක සිට  තමන්ගේ දරුවන්ගෙන් කීකරුකමක් බලාපොරොත්තු වීමට බැහැ. මේ නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට දරුවන්ගේ කීකරුබව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ.

වැලන්ටයින්ගේ විපාක තේරෙන්නේ ඔහු ගියාට පසුවයි…

වැලන්ටයින් දිනය එද්දී තරුණ දූ දරුවන්ට අමුතු උණක් හැදෙනවා. ඒත් ඔවුන් දන්නේ නෑ මේ හැදෙන උණ අන්තිමට සන්නිපාත තත්වයට පත් වෙලා ඔවුන්ගේ ජීවිතය පවා නැති වෙන තරම් දරුණුයි. ආදරය කියන්නේ නව යොවුන් වයසත් සමග ඇති වෙන සාමාන්‍ය හැඟීමක්. අනාදිමත් කාලයක පටන් ආදරය වගේ සියුම් හැඟීම් රහසේ තබා ගැනීමට බැරි වුණා. නෑනා මස්සිනා ආදර අන්දරයට වුනත් අද සෞඛ්‍ය හේතූන් මත තහංචි දැම්මත් ඔවුන් අතර මේ ආදරය, ප්‍රේමය වැනි හැඟීම් පැවැතුනා. ඒ සියල්ල තුළ විනයක් තිබුණා. වැලන්ටයින්ලා නොසිටියත් ඔවුන් තමන්ගේ ආදරයෙන් හදවත් අතර වූ ප්‍රබල බන්ධනයකින් ජීවිතය ශක්තිමත් කර ගත්තා. ඒත් අද තරුණ දූ දරුවන් විනාශයට පත් කරන වැලන්ටයින්ගෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතු වගේම සීමාවන් පනවා ගත යුතු කාලය ඇවිත්…

කෙල්ලනේ වරෙල්ලා…කොල්ලනේ වරෙල්ලා… සදාචාරයක් නැති මාධ්‍ය ඔස්සේ වැලන්ටයින් වෙනුවෙන් පානා අඩහැරය එසේය. ඒ සමගම හානා හීය ඊටත් වඩා දරුණුය. මෙම අවස්ථාවට පෙම්වතෙක් සමග යෑම අනිවාර්යය. මේ නිසා එම සුදුසුකම සපුරා ගෙන යනෙන ගමනේ ඇති අනෙක් පැත්ත අපට පෙනෙන්නේ නැත. මේ සියල්ල තුළ ඇත්තේ වාණිජකරණීය වූ රටාවක් පමණි. රෝසමල්, චොකලට් වැනි විවිධතෑගි බෝග වෙනුවෙන් වූ ඉල්ලුම අනේකය. ඒ සියල්ල තුළ ඇත්තේ වාණිජ පරමාර්ථ පමණි.

වැලන්ටයින් දිනය ඉරිදාවක යෙදුනොත් එදාට දහම් පාසල හිස්ය. අතිරේක පංතිවල ඩෙස් බංකුවල ඉඩ කඩ ඕනෑතරම් ඇත. ඒ තරමටම මේ හරසුන් කටයුත්ත අද සමාජගතව ඇත. මාධ්‍ය මගින් සමාජය යහපවැත්මට යොමු කිරීමේ පවතින ප්‍රවනතාවය ඉතා ප්‍රබලය. අතීතයේදී පවා ඔවුන්ට පන්නරය ලබා දුන්නේ පන්හිඳයි. ඒ අද වගේ වෛවාරණ විද්‍යුත් මාධ්‍ය නොමැති වූ නිසාය. අද එසේ නොවේ. හිතට ඉතාම තදින් මෙම අදහස් ඇතුළු කිරීමට ඉඩකඩ තිබේ. විලිබිය ගැන ගුණගායනාවන් මගින් දරුවන් සුමගට යැවීමට මේ මාධ්‍යයන්ට ඕනෑ තරම් ඉඩකඩ ඇත. එහෙත් අද සිද්ධ වෙන්නේ යහගුණ පිරුණ සමාජය ප්‍රසිද්ධියේ නිරුවත් කිරීම පමණි.

එක්තරා ආකාරයකින් අපි මාධ්‍යටම දොස් පැවැරිය යුතු නැත. අම්මා තත්තාටත් මේ වැලැන්ටයින් පිටුපසින් වූ ශෝකාන්තය දරුවන්ට කියා දීමට අවසරය ඇත. නියම ආදරය යනු ප්‍රසිද්ධියේ තෑගි බෝග හුවමාරු කර ගැනීමවත්, පෙම්වතුන් සමග ලැගුම්හලක හුදෙකලා වීමවත් නොවේ. නව යොවුන් දරුවන් අතර බොහෝ දෙනෙක් සිතන්නේ ජිවිතය යනු වින්දනය කරන දෙයක් බවයි. එය ඇත්තකි. ඒත් මේ වින්දනය පසුකාලයකදී විඳවීමක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත.ඔබේ දුවට ,පුතාට පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටිය හැක. එය අමුත්තක් නොවේ. එහෙත් මේ ආදරය සැමරීම වෙනුවෙන් තමන්ගේ චරිතය විනාශ කර ගත යුතු නැත.හැම වසරකදීම වැලැන්ටයින් දිනයෙන් පසුව ඇති වෙන ශෝකාන්ත ගැන ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැත. තරුණ දූවරුන් තමන්ගේ පිරිසිදුකම විනාශ කර ගත් අවස්ථාවන් ගැන වාර්තාවන් තිබුනත් එය බොහෝ විට එක් වාර්තාවක් පමණක් වෙන තරම් සාමාන්‍ය වී ඇත. එයද ඇත්තකි. මෙයින් වන්දි ගෙවන්නේ එම දියනිය පමණි. සෙස්සන්ට එය කථා මාතෘකාවක් පමණි.

ඔබේ දියණිය මේ තැනට පත්වීමට ඉඩ නැතුවා නොවේ. ඔබේ පුතාගෙන් තවත් දියණියක් මේ තත්වයට පත් කිරීමට ගෙවෙන්නේ ඇසිල්ලක අවස්ථාවක් පමනි. හොඳ නරක කියා දීමට කෙනෙක් නැත. මේ දෙයින් මේ දෙය වෙනවාය යන්න ගැන ප්‍රබල සංකල්පනාවන් දරුවන්ට නැත. එහෙත් මව් දෙමව්පියන් විදිහට ඔබට මේ ගැන කරුණු කාරණාවන් ඔවුන්ගේ හදවතට දැනෙන සේ කියා දීමට ඉඩකඩ ඇත.

ආදරය යනු තැන තැන ගොස් ලෝකයට පෙනෙන සේ රඟපෑමේ යෙදීමක් නොව හදවතෙන්ව උපදිනා බන්ධනයකි. ජීවිතය වෙනුවෙන් වූ “ෆන්” ගැනීම මුල් කර ගෙන තරුණ ජීවිත නිකරුනේ කඩා වැටීමට ඉඩ දිය යුතු නැත. මේ නිසරු කටයුතු ගැන දරුවන්ට යා යුතු මග නොමග ගලපා ගැනීමට තරම් ඔවුන් පරිණත නොවන නිසා දෙමව්පියන් වශයෙන් ඔබට ඒ වෙනුවෙන් විශාල වගකීමක් ඇත. ඔබ විසින් ඒ වගකීම ඉටු කරන්නේ නම් දරුවන් අනවශ්‍ය ලෙසින් වූ රැල්ලට හසුවීම බොහෝ දුරට මග හැරෙනු ඇත.මේ නිසා වැලන්ටයින් එනවාට වඩා වැලන්ටයින්ගේ නික්ම යෑමෙන් පසුව ඇති වෙන තත්වය ඉතාම දරුණුය. නපුරුය. එහි වූ ආදීනව නිසා හඩා වැටෙන දරුවන්ගේ කදුළු පිසින්නට වැලන්ටයින් එන්නේ නැත. තවත් අවුරුද්දක් ගෙවුන තැන වැලන්ටයින් එන්නේ නැවත ප්‍රේමවන්තයින්ගේ දිනයක් සැමරීම පිණිසය. එහෙත් එදා මෙදා තුර දියණිවරුන්ගේ ජීවිතයට ඇති වුන කිලිටු කුණු මකා දැමීම පහසු නැත. ඒ නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලෙසින් ඔබ දරුවන්ට මේ යන රැල්ලට මුලා නොවන ලෙසට මානසිකත්වය ගොඩ නගන්න. කොල්ලෙක් වුනොත් පය සෝදා ගෙට ගත හැකියි…යන සංකල්පයෙන් ඔබ්බට ඔබ දරුවන් ගැන සිතන්නනට කාලය එළැඹ ඇත.

ඔබේ දරුවා පිරිමි දරුවෙක් වුනත් ඔහුගෙන් අනාථ වන්නේ තවත් තැනක ආදර අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දියණියකි. ඒ බව තරයේ සිත තබා ගෙන ආදරය තුළත් විනයක් අවශ්‍ය බව කියා දෙන්න. ආදරයට ආදරය කරන්නේ නම් කිසිදු දිනක එය ප්‍රදර්ශනය අවශ්‍ය නැත. එය ඇත්තේ හදවතේමය. “නැත ලොවේ අන් රසදුනා…ආදරය සේ සුවදෙනා” කියන්නා සේ මේ මිහිරි වූ ආදරයේ තවත් පැත්තකින් දිවෙන වාණිජ ප්‍රෝඩාවෙන් මිදෙන්නනට කාලය එළැඹ ඇත. ඒ නිසා මවාපාන්නා වූ රැල්ලට ගොදුරක් නොවන්න. ඒ පසුපස හමා යන මානසිකත්වයෙන් මිදෙන සේ දරුවන්ගේ මානසිකත්වය ගොඩ නැගීම අද යුගයේ අවශ්‍යතාවයක්ව ඇත.

වාණිජ මට්ටමින් ඔවුන්ගේ වෙළඳලෝකයේ ප්‍රවර්ධනයන් වෙනුවෙන් තහංචි පැනවීමට  අපිට නොහැකි වුනත් විනය, ශික්ෂනය තුළ හැසිරෙන රටාව දරුවාට කියා දීම ඔබට අපහසුවක් නැත.