Home Blog Page 128

අලුත් පාසල්වාරයට පොත් පත් අරගෙන දුන්නාටමත් මදි…

අලුත් පාසල්වාරය පටන් ගන්නාවාත් සමග අලුත් පොත්පත් ගැන දරුවන්ගේ උනන්දුව ඇති වෙනවා. මේ පොත් පත් අලුත් විදිහට ලස්සනට පිලියෙළ කර දීමට අම්මා , තාත්තා ඇත්තටම උනන්දු වීම අවශ්‍යයි.

සල්ලි විය පැහැදම් කරල පොත්පත් අරං දීලා දැන් ඉතිං අපේ වගකීම අවසානයි… කියල අම්මා තාත්තාට හිත සැහැල්ලු කරගන්න බැහැ. පොත් පත් කවර දාලා ලස්සන කරන වගකීමත් මව්පියන්ට ලබා දීම අවශයයි. යමක් කර කියා ගන්න දරුවන් විෂයෙහි නම් මේ ගැන ඇත්තටම වද විය යුතු නැහැ. ඒත් පුංචි පංතිවල සිටින දරුවන්ගේ පොත් පත් ලස්සනට කවර දාලා , නම් , ලියලා , පින්තූර අලවලා ලස්සන විදිහට සකස් කර දුන්නොත් දරුවන් තුළ ඉගෙන ගැනීමේ උනන්දුව වර්ධනය කිරීමටත් පුලුවන්.

පොත්පත් කවර දමන අවස්ථාවලදී දරුවන්ද ඒ සඳහා සම්බන්ධ කර ගන්න. එවිට මේ මගේ පොත්ය යන සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වෙනු ඇත. ඔවුන්ද මෙම පොත් පත් ස්පර්ශ කරනු ඇත. එහි නැවුම් සුවඳ  ආඝ්‍රනය කරන්නේ නොදැනුවත්මය. ආහාර පිසින විට වහනය වෙන සුවඳ ආහාර වෙනුවෙන් රුචිය ඇති වීමට නොදැනම හේතු වෙන්නා සේම, පොත් පත් වෙතින් වහනය වෙන මෙම නැවුම් සුවඳත් දරුවා පොත් පත් සමග බද්ධ වීමට නොදැනම හේතු වෙනවා.

පොත් පත් ඉතා ආකර්ශනීය විදිහට සකස් කිරීම නිසාත් දරුවා සහ පොත් පත් අතර සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. වගකීමෙන් මිදෙන්නට පොත් පත් මිළට ගැනීමට වඩා මේ පොත් ඉතා ආකර්ශණීය විදිහට සකසා දෙන්න. පොත් කඩමාලු විදිහට අපිරිසිදු වූ විට ඉගෙණුම වෙනුවෙන් තිබෙන උනන්දුව හීන වෙන බව ඇත්ත. සැබෑ ලෙසින් පොතට ආදරය කරන දරුවෙක් ඔහුගේ පොත් පත් පරිශීලනයෙන්ම හඳුනා ගත හැකියි. මේ නිසා ඔබ දරුවාගේ පොත් පත් ඉතාම ආකර්ශණීය විදිහට සකසා දෙන්න. එම අවස්ථාවට දරුවන්ද සම්බන්ධ කර ගන්න. පොත් පත් වල නම් ලියන විට සම්පූර්ණ නාමයම සටහන් කරන්න. ඇතැම් අවස්ථාවල පංතියේ එකම නමින් දරුවන් කිහිප දෙනකු සිටින නිසා ඔබේ දරුවාගේ අන්‍යතාවය ඔහුටද තේරුම් යන සේ ලියා ඒ බව ඔවුන්ට පෙන්වා දෙන්න.

ඇතැම් දරුවන් තමන්ගේ පොත පත පවා  අඳුනන්නේ නැත.ඊට හේතුව මේ සියල්ල මව්පියන් විසින් ඉටු කර දීමයි. නොදරුවන්ට එසේ උදව් කිරීම වරදක් නොමැති වුනත් දරුවන් මෙම කටයුතු වෙනුවෙන් සහසම්බන්ධ කර ගන්න. තවත් දෙමව්පියන් දරුවන්ටම මෙම කටයුතුවල වගකීම පවරා ඔවුන් නිදහස් වෙනු ඇත. එහෙත් දරුවන්ගේ කටයුතු තුළ යම් යම් දුෂ්කර අවස්ථාවන් ඇති වේ. එවිට ඔබගේ උදව් උපකාර දරුවන්ට අවශ්‍ය වේ. එසේ නොමැති විට ඔබ මිළට ගත් කවර , ඉටිකවර ආදිය නිකරුනේ නාස්ති වෙනු ඇත. මේ නිසා පොත් ලස්සන කරන විට තනිවම නොව වැඩිහිටියන්ගේ අධීක්ෂනයත් අවශ්‍ය වෙන  බව දරුවන්ටත් සඳහන් කරන්න. අම්මා..තාත්තා එසේ නැත්නම් පවුලේ වැඩිමහල්ලෙක් හෝ සමග මෙම කටයුතු කරන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

පොත්පත්වල අලවන පින්තූර ගැනත් කල්පනාකාරී වෙන්න. නිතරම දරුවාගේ මනසට ගෝචර පින්තූර තෝරා ගන්න. ආගමික පොත්පත් වල අලවන පින්තූර සඳහා ඔ‍බ අදහන ආගමට සම්බන්ධ පින්තූර තෝරා ගන්න. ඇතැම් මව්පියන් දරුවන්ගේ පොත්පත්වල අලවන පින්තූරවල අදහස විටෙක දරුවන් පවා මව්පියන්ද නොදන්නවා ඇත.

පොත් පත් කවර දමන විට පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වර්ණ සංකේතයක් භාවිතා කරන්න. එයින් දරුවාට එම පොත් පත් පහසුවෙන් හඳුනාගත හැකි වේ. උදාහරණයක් ලෙස කිවහොත් පරිසරයට ඔබ කොළ පැහැය තෝරා ගත්තේ නම් පෙළ පොත, සටහන් පොත, වැඩපොත ආදි සියල්ලටම කොළ පැහැය දමන්න. ගණිතයට රතු පැහැය තෝරා ගත්තේ නම් එහිද පෙළ පොත, වැඩපොත, ගණිත අභ්‍යාස ආදි පොත් කට්ටලයම රතු පැහැති කවර වලින් සරසන්න. එවිට ඉතාම පහසුවෙන් දරුවාට අදාල එක්ක එක් විෂයට සම්බන්ධ පොත් පත් හ ුනා ගත හැකියි. නැත්නම් අදාල පොත් පත් හඳුනා ගැනීමේ අපහසුව නිසාම බොහෝ පොත් පත් පාසලට ගෙන යෑමේ අතපසුවීම්වලින් දරුවා අපහසුතාවයට පත් වෙනු ඇත. මේ අන්දමේ වර්ණ රටාවක් අනුගමනය කළ විට එම අපහසුතාවයෙන් දරුවා ඉතාම පහසුවෙන් මුදවා ගත හැක.

වසරක් ආරම්භයේදී මේ අන්දමින් ඉතාම අලංකාර ලෙසින් සනසා දෙන ලද පොත් පත් වසර අවසාන වෙන තෙක්ම ඉතාම ලස්සනට තබා ගත යුතු බවට දරුවාට උපදෙස් ලබා දෙන්න. එවිට ඔවුන්ද ඒ ගැන උනන්දු වෙනු ඇත. ඇතැම් දරුවන්ගේ පොත් පත් ඉතා අපිරිසිදුය. අප්‍රවේසම්සහිතය. මෙම බොහෝ වැරැදි නිවරැදි කර ගැනීමට දැන් අවස්ථාව සලසා ගත හැක. මහනුවර සියඹලාගස්තැන්න සුබසාධක සමිතිය මගින් මීට වසර කිහිපයකට ඉහතදී ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් විය. එහිදී හොඳින් පොත් පත් පාවිච්චි කරන ගමේ දරුවන් තෝරා ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනමන ක්‍රමයක් ක්‍රියාත්මක විය එහිදි හොඳම පොත් පරිහරනය කරන දරුවන් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයක් පවා පත් කරන ලදී. ඒ නිසාම ඉතාම අපිලිවෙලට පොත් පත් පරිහරනය කරන ලද දරුවන් මේ ක්‍රමයෙන් තමන්ට ත්‍යාග ලබා ගැනීම සඳහා ඇති උනන්දුව තුළ ඉතා පිළිවෙළට පොත් පත් පරිහරනය කරන පිරිසක් බවට පත් වුයේ ඔවුන්ද නොදැනුවත්මය.

මෙම සමිතිය විසින් විනිශ්චය මණ්ඩලය වෙත ලබා දුන් නිර්ණායකයන් අතර පොත් පත් පිරිසිදුව තබා ගැනීමට අමතරව නිවරැදිබව, විෂය භාර ගුරුවරයාගේ අත්සන සහ පොත් පත් පෙන්වීම පිලිබඳ සහතිකය සහ වැඩකොටස්වල සම්පූර්ණ කිරීම වැනි කරුණුද ඇතුලත් විය. ඒ නිසාම දරුවන් පොතේ පත් වල වැඩ අසම්පූර්ණයි….යන සටහන යොදා ගැනීම වෙනුවට තරු ලකුණු සහ හොඳයි යන සහතිකයෙන් පොත් පත් පුරවා ගත්හ.

අම්මා තාත්තා ලෙස ඔබත්  දරුවන්ට මේ ගැන අවධාරනයෙන්ම සඳහන් කළ යුතුය. බොහෝ දරුවන්ගේ එතම පිලිතුර ටීච පොත බැලුවේ නැහැ යන්නයි. ඇත්ත එය නොවේ…දරුවා අදාල කාලච්ඡේදයේ වැඩ සම්පූර්ණ නොකර පොත නොපෙන්වා සිටීමයි.දරුවාගේ පොත් පත් දිනය අවසානයේ පරීක්ෂා කර බලන්න. පොත නොපෙන්වා ඇත්නම් ඒ ගැන විමසා සිටින්න. දිගින් දිගට මේ තත්වය ඇත්තේ නම් පංති රැස්විමේදී ඒ පිලිබඳව විමසා සිටීමට මව්පියන් ලෙස ඔබට අයිතියක් ඇත. දරුවන් නිතරම තමා නිදොස් බව කිව්වත් ඔබත් ඒ ගැන පසුවිපරමේ යෙදෙන්න. එවිට දරුවන්ගේ සදොස් තැන් වෙතොත් නිදොස් කර ගැනීම එතරම් අපහසු නැත

අලුත් අවුරුද්ද දරුවන්ටත් අලුත් විය යුතුයි

අලුත් අවුරුද්දක් ලබන විට දරුවන් සතුටු කළ යුත්තේ තෑගි බෝග සහ ඇදුම් පැළඳුම් ලබා දීමෙන් පමණක්ම නොවෙයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හැඩ වැඩ ගැනෙන විට ඇති වෙන ප්‍රබෝධය සමග දරුවන්ගේ ජීවිතයේ සැබෑම වෙනසක් කිරීමට ඇවැසි පරිසරය නොදැනම නිර්මානය වෙනවා.කාලය මනින ඒකකයක් විදිහට අවුරුදු ගෙවුනත් පවුලක් සහ දරුවන් මුල් කර ගෙන අලුත් විදිහට හිතන්න වගේම ජීවිතයේ හැරවුම් ලක්ෂ ගොඩ නගා ගැනීමට අලුත් අවුරුද්දක ආරම්භය ඉතාම වැදගත්.

දරුවන් වෙනුවෙන් මොන අලුත් අරමුණුද….? පුංචි අය ළග ලොකු අරමුණු නැතැයි විටෙක ඔබ තීරණය කරනු ඇති. එහෙත් පුංචි හිත්වලත් පුංචිවට හෝ අරමුණු ගොඩ නැගීම ඉතා වැදගත්. හැම දෙනෙකුටම ජීවිතයේ කිසියම් හීනයක් අවශ්‍යයි. මේ හීන මුල් කර ගෙන තමන්ගේ ජීවිතය හැසිරවීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ සාමාන්‍ය කටයුත්ත ඉතාම ඵලදායක විදිහට ඉදිරියට ගෙන යෑමට අලුත් අවුරුද්ද ඉතාම හොඳ කඩඉමක් බව අමතක කළ යුතු නැහැ.

අවුරුද්දක් එලැ‍ඹෙන විට දරුවන්ගේ අලුත් අරමුණු ගැන විමසා සිටින්න ඔබට අයිතියක් තිබෙනවා. ඒ විදිහට ඔබ දරුවන් සමග සාකච්ඡා කරන විට ජීවිතය කියන්නේ හුස්ම ගන්නවා විතරක් නොවන බව ඔවුන්ටත් තේරුම් යනවා. ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන්ට ඔබ අලුත් ඉලක්ක ගැන අදහස් ලබා දිය හැකියි.මේ අවුරුද්දේ පංතියේ හෝ විභාගවලින් ජයග්‍රහනය කළ යුතු බව ඔවුන්ට පෙන්වා දෙන්න. එහිදී තමා තුළ තිබෙන වගකීම දරුවාගේ හිතට ඉතා තදින්ම ඒත්තු ගැනෙනු ඇත.

බලාපොරොත්තු ගොඩ නගා ගත් පමණටම ඒවායේ සාර්ථකත්වය නොලැබෙන බවත් දරුවාට වටහා දෙන්න. මෙම බලාපොරොත්තු වෙනුවෙන් යොමු විය යුත්තේ කෙසේද ගැනත් දරුවන්ට මග පෙන්වා දෙන්න. ඒ වෙනුවෙන් කාලය බෙදා ගෙන මනසට හා ජීවිතයට වෙහෙසක් නොදැනෙන ලෙසින් කටයුතු කරන අන්දමත් ඉතා සැහැල්ලුවෙන් සිටින මගත් පෙන්වා දෙන්න.කාලය ඉතා වැදගත් බව දරුවන්ට කාරුණිකව පෙන්වා දෙන්න. කාලය කා දමන්නා කාළකන්නියා වුනත් එම වචනයෙන් දරුවන්ට ආමන්ත්‍රනය නොකොට කාලය නැවත ලබා ගැනීමට අපහසු බැව් හදවතට දැනෙන සේ පෙන්වා දෙන්න.

විටෙක ඔබ ගිය වසරේ දරුවන් වෙනුවෙන් ලබා දුන් ඉලක්ක තිබෙන්නට පුලුවනි. එම ඉලක්ක මොන තරම් දුරට සාර්ථක වුයේද බව ඔවුන් සමග සාකච්ඡා කරන්න. යම් තැනකදී ඒවායේ අසාර්ථක වීම්, අතපසුවීම් තිබිය හැක. එවිට එම පසුබෑම් වෙනුවෙන් බලපාන ලද හේතු සාධක බොහෝ තිබෙන්නට හැක. එම හේතු සාධක දරුවාට පෙන්වා දී ඒ වෙනුවෙන් එලැඹුන වසරේ කටයුතු ගලපා ගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන්ම විමසා දැන ගත හැකියි. උදාහරනයක් ලෙස පසුගිය වසරේ ඇතැම් විෂයන්ට ඉලක්ක කළ සාධන මට්ටම නොලැබෙන්නට පුළුවන. ඊට හේතු ලෙසින් පාසලේ යම් යම් විෂය කාලච්ඡේද වෙනුවෙන් දරුවාට සහභාගී වීමට අපොහොසත්කම් තිබෙන්නට ඇත. පාසල් නොයෑම, වෙනත් පුද්ගලික හේතු වැනි විවිධ කරුණු තුළ මෙම පසුබෑම ඇති වූයේ නම් මේ වසරේදී එම අතපසුවීම් මග හැරෙන ලෙසින් කටයුතු කළ බව දරුවා සමග වූ සාකච්ඡාවන් මගින්ම පෙන්වා දිය හැකියි.

ජීවත්වෙන විට අපි අතින් දැන මෙන්ම නොදැන සිදු වෙන වැරැදි බොහෝ ඇත. එහෙත් එකම වැරැද්ද නැවත නැවත කළ යුතු නැත. වැරැදි අවම වන සේ අධිෂ්ඨන ගොඩ නගා ගත හැකි හොද අවස්ථාව අලුත් අවුරුද්දක එළැඹුමයි. එතැනින් ලබන ආරම්භයේ පටන් ලබන නව වසරේදී දරුවා කොතෙක් දුරට නිවරැදි වූයේද යන්න පිළිබඳව තක්සේරුව ලබා දමට හොදම කඩඉම ලෙසින් අලුත් වසරක ආරම්භය සැලකිය හැක.

ගෙවුන වසරේ ඔබේ දරුවන්ගෙන් බොහෝ වැරැදි සිදුව තිබෙන්නට පුළුවන. මෙම වැරැදි වෙනුවෙන් ඔබ දඬුවම් පවා ලබා දෙන්නට ඇත. ඔවුන්ට නැවතත් මෙම වැරැදි නොවන්නට හැසිරෙන අන්දම පෙන්වා දෙන්න.වැරැද්දට ලැබෙන සමාව සමග ජිවිතය අලුතින් ගොඩ නගා ගැනීමට අවශ්‍ය ධෛර්ය සහ සහයෝගයන් දරුවා ශක්තිමත් කරන්න. හෝද හෝද මඩේ දමන්නා සේ නිරන්තරව දරුවාට චෝදනා කිරීමට වඩා ඔහු යහමගට ගැනීමේ තිරනාත්මක අවස්ථාවක් අලුත් අවුරුද්ද සමග එළැඹුන බව පෙන්වා දෙන්න.

අලුත් අවුරුද්දේ අලුත් දවස අලුත් විදිහට ආරම්භ කිරීමට අවශ්‍ය පරසරය දරුවාට සලසා දෙන්න. නිවස පිරිසිදු කිරීම් , අලුත් ඇ දුම් සමගම මානසිකවත් නැවුම් බවක් ගොඩනගන්න. මේ වෙනුවෙන් අ‍ාගමික පරිසරය ඉතා වැදගත් වේ. ඔබේ ආගම කුමක් වුනත් අදාල ආගමික සිද්ධස්ථානයක් වෙත දරුවන් සමග යන්න. ඔවුන්ගේ මනසට යහපත් සිතුවිලි ඇතුලත් කරන්න. හැකි තරම් ආශිර්වාද එක් කරන්න. අද වැඩිහිටියන්ට අලුත් වසරක ආරම්භයේදී පන්සල, පල්ලිය කෝවිල අමතක වෙනු ඇත. අම්මා මෙම ආගමික ස්ථාන වෙත දරුවන් සමග ගියත් පියපාර්ශවයන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතී. ඔවුන් අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ අල්ලන්නේ වෙනත් ක්‍රමයකටය. එම හැසිරීම දරුවන් වෙනුවෙන් හොද ආදර්ශයක් නොවන බවත් අපි අමතක කළ යුතු නැත.මේ නිසා දරුවන්ගේ හිතට නැගෙන්නේද අලුත් අවුරුද්ද යනුවෙනදාට වඩා හොදින් කන බොන දිනයක් මිස එයින් ඔබ්බට වෙනත් කිසිදු විශේෂත්වයක් නොමැති බවයි.

ආශිර්වාද යනු වචන කිහිපයක් ඇතුලත් වගන්තියක් පමණක් යැයි නොසිතන්න. ඔබ යමෙකුට සුබ පතන විට මෙන්ම ඔබට කෙනෙු සුබ පතන විට සිතට ඇති වෙන හෘදයංගම බව නිසා මනස පිරිසිදු වෙනවා පමණක් නොව අලුත් වසර වෙනුවෙන් සුබවාදී සිතුවිලි ඔබේ දරුවාගේ හිතට ඇතුලු වේ. වචන වලද අපි නොදකින බලයක් ඇත. ඒ නිසා ආශිර්වාද වෙනුවෙන් දරුවා වඩාත් සම්බන්ධ කරන්න. මව්පියන් පමණක් නොව පවුලේ සමීප වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලබා දෙන්න. අද මේ තත්වය ඉතාම දුරස් වන රටාවක් ගොඩ නැගෙමින් පවතී. ජංගම දුරකථනයෙන් ලැබෙන කෙටි පණිවඩය මිස මව්පියන්ගේ ‍හා වැඩිහිටියන්ගේ පා නැමැද ලබන ආහිර්වාදයන් නොමැති තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහෙමින් පවතී. මේ නිසා පවුලේ වැඩිහිටියන්ද දරුවන් සහ දරුවන්ගේ දරුවන් ඔවුන්වෙත ආශිර්වාද ලබා ගනු රිසිව පැමැනීම ඉතා ආශාවෙන් අපේක්ෂා කරති. එයින් ඔවුන්ගේ හිත්වලටද මහත් ආහ්වාදයක් ඇති වේ. මෙම ආශ්වාදය පෙරලා ආශිර්වාදයක් බවට පත්ව ඔබේ  දරුවන්ගේ ජීවිතයට වාසනාව උදා කරනු ඇත.

අපේ දරුවා කන්නෙ නැහැ

අපේ දරුවන්ට ආහාර කැවීම කියන්නේ නම් හරිම යුද්ධයක්. දරුවා හොඳට බඩපිරෙන්නට නොකෑවොත් එදාට  අම්මලටත් හරි හැටි කෑමක් නම් නැහැ. අනේ මේ ළමයා කන්නෙ නැහැනෙ කියලා අහල පහළ අයගෙන් යෙහෙළියන්නේ නෑදෑයන්ගෙන් දන්න කියන හැමෝගෙන්ම උපදෙස් පතන්නත් අම්මලා දෙවරක් හිතන්නෙ නැහැ. මගෙ පුතාටත් වසරක් පිරුණට පස්සෙ කෑම කැවීම බරපතල කාරණයක් වුණා. මට මතකයි තුන්වේලම පුතාවත් වඩාගෙන් මම බත් ටිකක් කවා ගන්න කලේ පුදුම සටනක්. ඉතින් මමත් වෙන අම්මලා වගේ උපදෙස් නොගත්ත කෙනෙක් නැහැ. විවිධ කෑම හැදුවත් සමහර දවසට කටේ තියන්නෙ නැහැ.

“අනේ බලන්නකො මිස් පුතාට මේ දවස් වල කවන්න හරිම අමාරුයි”

බැරිම තැන අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියට මම මගේ ගැටලුව කිව්වා.

“බබාගෙ උපත් බරත් එක්ක නියමිත බර සම්පූර්ණ නම් දරුවාගේ ආහාර ගැන ඒ තරම් බය වෙන්න ඕනී නැහැ. කිරන දවසට එක්ක එන්නකො අපි බලමු බබාගේ බර”

ඉතින් බර කිරන දවස වෙනකල් මම බලා හිටියා.

“අයියො කන්නෙ නැහැ කිව්වට මේ බර වැඩි වෙලා තියෙන්නේ. තවම පොඩි  නිසා එකපාරම ගොඩක් කන්න අමාරුයි. අපේ අම්මලා අම්මලගේ හිතේ තරමට මිසක්  බබාගේ බඬේ තරමට නෙමෙයිනෙ කෑම කවන්නේ. මේ වයසෙදි ආහාර වල විවිධත්වයක් දරුවො අපේක්ෂා කරනවා. ඒක නිසා දවසින් දවස දෙන අහාර වෙනස් කරන්න ඕනී. වැඩෙන දරුවන්ගේ පෝෂණය ඉතාමත් වැදගත්. දරුවන්ට අසනීපයක් හැදුනම කොහොමත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා නිරෝගිව ඉන්න කොට නිසි පෝෂණය නොලැබුණොත්  දරුවා සනීප වෙන කොට  ශරීර ශක්තිය අතින් දරුවා දුර්වල වෙනවා. ඒ නිසා දරුවගේ බඩ මොනවම හරි දෙයකින් පුරවනවට  වඩ නීරෝගීව සිටින කාලයේ පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම ඉතා වැදගත්. එවිට ආහාර ස්වල්පයකින් හෝ දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සපුරා ගැනීමට රුකුලක් වෙනවා.”

දරුවන්ගේ ආහාර ගැන අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය කියද්දි අහල පහළ හිටිය හැම අම්මා කෙනෙක්ම වට වුණේ හැමෝටම මේ කාරණා පොදු නිසාමයි. මගේ අත්දැකීම් ඔබටත් වැදගත් වේවී. ප්‍රධාන ආහාර වේල් තුනටම අමතරව අතරමැදි ආහාරවේල් දෙකකුත් මම දරුවන්ට ලබා දෙනවා. ඒ අමතර ආහාර පෝෂණ ගුණයෙන් යුතුවම ලබා දෙන්න මම උත්සහ කරනවා. පුතාගේ බර අඩු නොවන්නට කාරණාව පොඩ්ඩක් කැව්වත් දරුවට අවශ්‍ය පෝෂණය මම ලබා දුන්න ස්වලප ආහාර තුල තිබීම නිසාය.

“ප්‍රධාන ආහාර වේල් තුනට පෙර පැය තුනකට පමණ පෙර දියර කිරි හෝ පිටිකිරි ලබා දෙන්න එපා. අපේ මව්වරු බොහෝ දෙනෙක් කරන්නේ දරුවා උදෑසන අවදිවූ සැනින්ම කිරි වීදුරුවක් දරුවට පිරි නැමීමයි. දැන් දරුවගේ පුංචි බණ්ඩියට උදෑසන ආහාරය ගන්නට ඉඩක් නැහැ. ඉතින් දරුවත් අවදි වූ සැනින් බලා පොරොත්තු වෙන්නේ කිරි වීදුරුව. දරුවා පෙර පාසල් හෝ පාසල් යන කාලයේදී දරුවව පිටත් කරන්න සිදු වෙන්නෙත් කිරි වීදුරුවෙන් බඩ පුරවලා. දරුවකුගේ සම්පූර්ණ පෝෂණ අවශ්‍යතාව පිටි කිරි වලින් නම් ආවරණය කරන්න බැහැ. කිරි කියන්නේ ප්‍රධාන ආහාර වේලක් නොමේ. ”

මෙන්න මේ කතාව කිව්වෙත් අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියම තමයි.

ඇත්තටම ඒ කතාවට මමත් එකඟයි. කුඩා කල සිටම උදෑසන ආහාර වේල දරුවාට හුරුකරවන්නට කියා මා පවසන්නේ අත්දැකීමෙන්මයි. මගේ දරුවන් අවදි වුණාම මම එයාලට දෙන්නෙ වතුර. උදෑසන පිරිසිඳු වීම් වුණාට පස්සෙන් ප්‍රථමයෙන්ම එයාලගේ උදෑසන ආහාර වේල තමයි දෙන්නේ. බොහෝ විට අපේ නිවසේ ප්‍රධාන ආහාර වේල් තුනම බත්. ලොකු පුතාට පාසල් යන්නට පෙර බඩ පිරෙන්නම බත් කවලා තමයි පාසලට පිටත් කරන්නේ. දරුවන්ටත් දැන් බත් නැතිවම බැහැ.

දරුවො ගන්න ආහාර ප්‍රමාණය පිළිබඳ තීරණය කිරීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මේසයට කෑම ඇරලා දරුවන්ට ආහාර බෙදා ගැනීමට අවස්ථාව ලබා දීම තුලින් නිවැරැදි ආහාර පුරුදු ඇතිකර ගැනීමට මෙය ඉවහල් වෙනවා.ඒ වගේම දරුවො එවැනි අවස්ථා වලට හරිම කැමතියි. දරුවා ආහාර ගන්නා විට ප්‍රශංසා කරන්න. ඒ වගේම දරුවට සිත් ඇද ගන්නා පිඟානක් කෝප්පයක් දෙන්නත් අමතක කරන්න එපා.

ප්‍රසූතියේදී ඇති වූ අනතුරු නිසා දරුවන්ට පීඩා ගෙනෙන අර්බ්ස් පෝල්සි සදහා ඇති ප්‍රතිකාර

ස්නායු උත්තේජක ව්‍යායාම – දරු ප්‍රසුතියෙන් පසුව කිසියම් අවස්ථාවකදී දරුවා මෙවැනි ලක්ෂණවලින් සිටී නම් හෝ දරුවා අත සෙලවීමක් නොකරන්නේ නම් එවැනි අවස්ථාවලදී දරුවා ඉරියව් ගත කිරීමක් සිදු කරයි. මෙම අවස්ථාවේදී වෙනත් චලන හෝ ව්‍යායාම සිදු කරන්නේ නැත. ස්නායුවේ ඇති වූ ආබාධය නිසා කිසියම් විටක රුධිර වහනයක් හෝ වෙනයම් ආබාධයක් ඇති වී ඇත්නම් හෝ එය නැවත යථාතත්ත්වයට පත් කළ යුතුය. ඒ සඳහා අදාළ බාහුවට විවේකය ලබාදීම කෙරේ. මේ සඳහා අතට උරමාවක් යොදනු ලැබේ. එලෙස ඉරියව් ගත කිරීම මාසයක් පමණක් සිදු වේ. මෙම මාසයෙන් පසුව දරුවාගේ අත යථාතත්ත්වයට පත් කිරීම සඳහා අදාළ ඉරියව්වට විරුද්ධ ඉරියව්වෙන් අත තැබීම සිදු කරනු ලැබේ.

උදාහරණ :-

  • මැණික්කටුව සන්ධියෙන් බාහුව දෙසට නැවී ඇති අල්ල අනෙක් දෙසට දිග හැරීම සිදු කරයි.
  • ඇඟ දෙසට කැරකැවී ඇති යටි බාහුව අල්ලා උඩට සිටින සේ හැරවීම සිදු කරයි.
  • දිග හැරී ඇති වැළමිට නැවීම සිදු කරයි.
  • ඇඟ දෙසට කැරකැවී ඇති ඉහළ බාහුව ඇෙඟන් පිටතට කරකැවීම සිදු කරයි. වැළමිට ඇඟට හේත්තු කර යටි බාහුව ඇෙඟන් ඇතුළටත්, පිටතටත් ගෙන යාම මෙහිදී සිදු වේ.
  • අත ඉදිරියට එසවීම.
  • ඇඟ පිටතට අත චලනය සිදු කිරීම.

මෙවැනි ව්‍යායාම සිදු කරවීම මඟින් දරුවාගේ පේශිවල උත්තේජනයක් සිදු වේ. විශේෂයෙන්ම මෙම ව්‍යායාම එකක් එක්වරකට විස්ස බැගින් දිනකට හතර වරක්වත් කළ යුතුය. මෙලෙස ව්‍යායාම සිදු කර කාලයක් ගත වීමෙන් පසු නැවත ඇගයීමකට භාජනය කරන අතර දරුවා තුළ කිසියම් ප්‍රමාණයකට චලනයන් සිදු වේ නම් ඉහත ව්‍යායාම තවදුරටත් කරගෙන යනු ලැබේ.

බොහෝ අවස්ථාවලදී මෙම තත්ත්වය ව්‍යායාම ම`ගින් පමණක්ම සිදු වේ. එහෙත් ව්‍යායාම මඟින් සුව නොවන අවස්ථාවලදී ආඝාතයට ලක්වූ ස්නායු නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය විද්‍යුත් උත්තේජනයක් ලබාදීම සිදු කරයි. මෙහිදී ඉතා සියුම් විද්‍යුත් ධාරාවක් ආඝාතයට ලක්වූ ස්නායුවලට වෙන් වෙන් වශයෙන් ලබාදෙමින් අදාළ බාහුවේ චලනය සිදු කරනු ලැබේ. මෙලෙස විද්‍යුත් ධාරා ලබාදීමෙන් පසු නැවත ස්නායු උත්තේජනය වී එහි කි්‍රයාකාරීත්වය ඇති වේ. සාමාන්‍යයෙන් අපේ මොළයෙන් නිකුත් කරන විද්‍යුත් ධාරා ස්නායු හරහා ගමන් කිරීමේ කි්‍රයාවලිය මෙහිදී සිදු වන බැවින් මෙම කෘති්‍රම විද්‍යුත් ධාරා දරුවාගේ ශරීරයට අහිතකර නොවේ. එම ස්වභාවයෙන්ම ලැඛෙන විද්‍යුත් ධාරාවට සමාන විද්‍යුත් ධාරාවක් ගමන් කරවීම මෙහිදී සිදුවේ. මේ හරහා ඉතා ඉක්මනින් දරුවා යථාතත්ත්වයට පත් වේ.

මෙම තත්ත්වය යටතේද යථාතත්ත්වයට පත් නොවන්නේ නම් විවිධ ආධාරක ක්‍රම භාවිත කිරීම මඟින් දරුවාගේ අත නැවත යථාතත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබේ.

මෙවැනි ක්‍රම මඟින් අත කි්‍රයාකාරී වන විට අත ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම සිදු කරනු ලැබේ. ඉහත ව්‍යායාම මඟින් අතෙහි කි්‍රයාකාරීත්වය ආරම්භ වුවද පේශිවල ශක්තිමත් බව ඉතා දුර්වලය. පේශිවල පැවතිය යුතු බලය එම පේශිවල නොමැත. එම පේශි සිය කටයුතු කරගෙන යාම සඳහා යොදා ගැනීමට අපහසුය.

උදාහරණ වශයෙන් දරුවාට එම අත භාවිතකර යමක් එසවීමට අපහසු වේ. යමකට ගැසීම ආදිය නිරෝගී අතින් මෙන් සිදු කළ නොහැකිය. එම නිසා එම පේශි ශක්තිමත් කරවීම සඳහා ශක්තිජනක ව්‍යායාම සිදු කළ යුතු වේ.

මෙම තත්වය යටතේ පහත ආකාරයේ ශක්තිජනක ව්‍යායාම දරුවා ලවා විවිධ කි්‍රයාකාරකම් හරහා සිදු කළ යුතුය.

කුඩා වැලි කොට්ට එසවීම (රෝගී අත භාවිත කරමින්)

විවිධ කි්‍රයාකාරකම්වල නිරත කරවීම

මෙවැනි කි්‍රයාකාරකම් සිදු කිරීම හරහා දරුවාගේ අත සම්පූර්ණයෙන්ම කි්‍රයාකාරීත්වයට පත් වේ.

මෙවැනි තත්ත්වයක් ඇති වූ දරුවන්ගේ සාමාන්‍ය කි්‍රයාකාරකම්වලට මෙම අර්බ්Zස් පෝල්සි තත්ත්වය බලපෑම් කළ හැකිය.

උදාහරණ :-

පෙරළීම ප්‍රමාද වීම

දණ ගෑම ප්‍රමාද වීම

නිසි කලදී සිදු විය යුතු මෙම කි්‍රයාකාරකම් සිදු නොවන්නේ නම් එම කි්‍රයාකාරකම් දරුවා ලවා සිදු කරවීමට වග බලා ගත යුතුය. එම ඉරියව්වල දරුවා තැබීම කළ යුතුය. එවිට ක්‍රමයෙන් දරුවාගේ කි්‍රයාකාරකම් සිදු වන අතරම දරුවාගේ අතෙහි කි්‍රයාකාරීත්වයටද ඉන් අවකාශ සැලසේ.

කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් දරුවකුගෙන් දිස්වන්නේ නම් ඔබ ඉතා ඉක්මනින් භෞතචිකිත්සක සායනයකට යොමු වන්න. එසේ යොමු වී, දරුවාගේ එම තත්ත්වය පිළිබඳ පරීක්ෂණය කිරීමෙන් පසු නිවැරදි ප්‍රතිකර්මවලට යොමු විය හැකි අතරම දරුවාගේ රෝගය ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත් කරගැනීමට හැකි වනවා ඇත.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

ඇඟිලි ගැනලා ගනන් හදන අනාගත ගණන්කාරයෝ

ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් දැක්කාම අම්මලා ආවේශ වෙන්නේ බොහොම ලොකු වැරැද්දක් කරනවා වගේ.

හැමදාම මං කියනවා නේද ඔය ඇඟිලි වලින් එකතු කරන්න ….අඩු කරන්න පුරුදු වෙන්න එපා කියලා…අතේ ඇඟිලි මදි වුනාම….අම්මා ඇහුවා.

ඇයි කකුලේ….

පුතාටත් උත්තර තියෙනවා.

එකක් කිව්වාම දහයක් කියන්න නම් දන්නවා…ළමයි වුනාම කියන දේ අහන්න.ඔය ඇට ජාති ළගින් තියෙන්නේ ඒවාට තමයි…අම්මා කිව්වා.

මට පුරුදු ඇගිලි වලින් විතරයි.

පුතා පුරුද්ද අත්අරින නැති හැඩයි.

හිතුවක්කාරකම බලමු ආයෙ හෙම ඇඟිලි ගැන්නොත් ….ගහනවා මතක හිටින්න.අපි ඉස්කෝලෙ යද්දි ඇඟිලිවලින් ගණන් කරන්න දුන්නෙම නැහැ. කෙලින්ම වේවැල තමා..

ඒත් මේ සංකල්පයෙන් අම්මලා තාත්තලා දැන් මිදෙන්න කාලය ඇවිත්. ඉස්සර කාලයේ බොහොම දෙනාගේ අදහස වුනේ ගණිතය වැනි විෂයන්හිදී එකතු කිරීම සහ අඩු කිරීමට ඇගිලි යොදා ගත්තොත් අනාගතයේදී ගණිතය වෙනුවෙන් මනෝමය හැකියාව නැති වෙන බවයි.

ඒත් මේ වෙනුවෙන් අධ්‍යනයක යෙදුන ඇමරිතා එත්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියන්නේ ගණිත සංකල්ප වෙනුවෙන් ඇඟිලි භාවිතයේ යෙදෙන දරුවන්ගේ සංජානන හෙවත් මෙම සංකල්ප හඳුනා ගැනීමේ හැකියාව ඉතා විශිෂ්ට බවයි. ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 8 සිට 13 අතර දරුවන් 39 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. මේ දරුවන්ට අඩුකිරීම සහ ගුණ කිරීම වැනි ගණිත ක්‍රම ලබා දුන් අතර ඒ වෙනුවෙන් දරුවන් යොදා ගන්නා ආධාර පිලිබඳව නිරීක්ෂනය කරනු ලැබුවා. සමහර දරුවන් ඇට වර්ගත් තවත් පිරිසක් අතේ ඇගිලිත් යොදා ගත්තා.

මෙම කටයුතු අතරවාරයේ දරුවන්ගේ මොළයේ ස්කෑන් ඡායාරූප ලබා ගත්තා. එම ඡායාරූප අධ්‍යනයේදී පෙනී ගියේ ඇඟිලි ආධාරයෙන් අඩු කිරීමේ කටයුතුවල නිරත වෙන විට මොළයේ somatosensory  කලාපය බෙහෙවින් ක්‍රියාත්මක තත්වයේ පැවැති බවයි. මොලයේ මෙම somatosensory  කලාපය පීඩනය, වේදනාව,උණුහුම වැනි සංවේදන පාලනය කිරීමේදී ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබනවා. දරුවන් ඇඟිලි ගැනීම නවතා පිලිතුර බලාපොරොත්තුව සිටින තෙක්ම මෙම කලාපයේ ක්‍රියාකාරිත්වය පර්යේෂකයන්ට දැනගත හැකි වුනා.

එයින් අනතුරුව ඇඟිලි ආධාරයන් සිදු නොවුන ගුණ කිරීමේ ගණිතක්‍රම වෙත දරුවන් යොමු වුන පසුව නැවත ස්කෑන් ඡායාරූප ලබා ගත්තා. එහෙත් ඇඟිලි යොදා ගෙන ගණිත කර්ම සිදු වෙන විට දරුවන්ගේ මොළයේ somatosensory  කලාපයේ ක්‍රියාකාරිත්වය පෙර පරිදි දැක ගන්න ලැබුනේ නැහැ. දරුවන්ට ඇති වෙන පීඩනය වැනි සංවේදන මෙම කලාපයෙන් පාලනය වෙන නිසා එහි ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්.

මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඉලරියා බර්ටෙල්ටි උපකල්පනය කරන්නේ ඇගිලි භාවිතයෙන් ගනිත කර්ම සිදු කරන දරුවන්ගේ ගණිතමය හැකියාව ඒ වයසේ පසු වෙන සෙසු කණ්ඩායමට වඩා සංවර්ධනය වුන මට්ටමක පැවැතුන බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයන්ගේ මෙම වාර්තාව ” The wall street “සඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කාලය සමග අධ්‍යාපනයේ නව සංකල්ප සහ ක්‍රමවේදයන් ලෝකයට එක් වෙනවා. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට පීඩනයක් නැති විදිහට අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යෑමයි. ඉගෙණුම දරුවාට අමිහිරි අත්දැකීමක් වුන තැනදී එය නැවත ඇති කිරීම එතරම් පහසු නැහැ.

ගණිතය පිලිබඳවත් දරුවන් අතර තිබෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. සමහර දරුවන්ට නම් ගණිතය කිරි කජු වුනත්, තවත් පිරිසකට එය වහකදුරු වගෙයි. මේ දෙපැත්තටම බොහෝ විට ඔවුන් බාලකාලයේ ලබන අත්දැකීම් බලපානවා.

යාන්තම් හය හතර තේරෙන විට ගණිත කර්ම කරන්න ගියාම ඇගිලි යොදා ගැනීමෙන් පටන් ගන්නා හබය නිසාම දරුවන්ගේ පසුගාමිත්වය ඉතා බරපතල විදිහට බලපානවා. අද නම් දරුවන් වෙනුවෙන් දඬුවම් බොහෝ දුරට පාසලෙන් ඉවත්ව ඇති නිසා මේ තත්වය ඇති නොවුනත් අතීතයේදී ඇගිලි යොදා ගැනීම දැක්කේ බරපතල වරදක් විදිහටයි.

මේ නිසා එදා බොහෝ දරුවන් ගණිතයේදී මහත් අසහනයට වගේම පසුගාමිත්වයට පත් වුනා.අදටත් සමහර දරුවන් ඇගිලි යොදා ගෙන ගණිත කර්ම කරද්දී අම්මා තාත්තා විදිහට ඔබ ඒ වෙනුවෙන් උරන හිත් හදා ගන්න එපා….බළළා මැටියෙන් වුනත් මීයන් අල්ලනවා වගේ මේ ගණිත විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇති තාර්තික ක්‍රමයකින් නිවරැදි පිළිතුර ලබා ගන්නවා නම්,  ඒ වෙනුවෙන් ඔහු භාවිතා කරන්නේ ඇගිලි වුනත් ඔබ වෙහෙසට පත් විය යුතු නැහැ. ඒ ඇයි කිව්වොත් ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් බොහොම දක්ෂයන් විය හැකි බවට දැන් පිලිගෙන තිබෙන නිසා ඔබටත් හිත නිදහස් කර ගැනීම අපහසුවක් නැහැ.

ස්වයං විනයක් තිබුනොත් ආහාර නාස්ති කරන්නේ නැහැ

ආහාර නාස්තිය වෙනුවෙන් ප්‍රංශය දඩ නියම කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැන් සූදානම්ව සිටින බව පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුනා. අනවශ්‍ය විදිහට ආහාර නාස්ති කිරීම වෙනුවට ඒවාට විකල්ප යෙදීම ගැන මේ අතර අවධානය යොමු වුනා. අද උත්සව අවස්ථාවන්හිදී සිදු වෙන ආහාර නාස්තිය ගැන අපිටත් බොහෝ අත්දැකීම් එම අවස්ථාවන්ට සම්බන්ධ වෙන විට දකින සිදුවීම් වලින්ම පෙනෙනවා.

උත්සවයන්ට සහභාගී වෙන විට ආරාධනා පත්‍රයේ දරුවන් වෙනුවෙන් ඇරයුමක් නොමැති වුනත් නිවසේ දරුවා රඳවා තබන්නට අවස්ථාවක් නොමැති විට ඔබ ඔහු කැටුව යන බව ඇත්ත. එහෙත් නිරන්තරව හිත තබා ගත යුතු කරුණක් ඇත. මෙම උත්සවයේ සංඛ්‍යාව ගණනය කරන්නේ ඔලුගෙඩි වලින් නොව පිඟන් ගණනට බවයි.

එහෙත් ඔබ කරන්නේ කුඩා දරුවාටත් මුහුණේ අනිත් පස නොපෙනෙන ලෙසින් පිඟානක්ම බෙදා දී ඔබත් ඒ හා සමානව ආහාර පිඟානක් බෙදා ගැනීමයි. ඇතැම් අවස්ථාවලදී දරුවා තමාටම කියා පිඟානක් අවශ්‍ය යැයි හඬ නගනු ඇත. එම අවස්ථාවට ඉඩ නොදී දරුවා ආහාර ගැනීමෙන් පසුව එහි ඉතුරු කොටස ඔබ වෙනුවෙන් තවත් අවශ්‍ය දෙයක් ඇත්තේ නම් එයද බෙදා ගෙන බුත්ති විඳින්නට කිසිදු තහනමක් නැත.

නිවසේදී වුනත් මෙම පිළිවෙත අනුගමනය කිරීම අපහසු නැත. බොහෝ දරුවන්ගේ ආහාර පුරුදු ඉතාම අශෝභනය. ඔවුන්ට ආහාරයට ගන්නට බැරි වුනත් ඒවා පිඟානට අවශ්‍යය. එක් අතකට දරුවා යනු වැඩිහිටියෙකුගේ මට්ටමින් සිතන්නට පුලුවන් චරිතයක් නොවේ. අපි ඒ ගැන ඔවුන්ට අනුකම්පා කළ යුතුය. ඒ වුනත් දිගින් දිගටම මෙම පුරුදු ඔවුන් සමග ඉදිරියට යා යුතු නැත.

දරුවන් සමග අවන්හලකට ගිය විට ඔබ මදක් අවට බලන්න. මට අරකත් ඕන….මේකත් ඕන යැයි කෑ මොර දෙන දරුවන්ගේ සිද්ධීන් ඔබටත් ආගන්තුක නොවනු ඇත. අද  බොහෝ මව්පියන් දරුවන් වෙනුවෙන් ඉතා සංවේදීය. වරදින්නේ නැත මට හිමි බත්පත…ඔබගේ මුලුතැන් ගෙයි අම්මේ…කියන්නා සේ බොහෝ මව්පියන් තමන්ගේ කුසගින්න ඉවසා ගෙන හෝ දරුවන් පිනවීමට තරම් සූදානමින් සිටී. ඒත්….අරකත් මේකත් යැයි සියල්ල ඉල්ලා සිටින දරුවන් අවසානයේදී කන දෙයක් හෝ බොන දෙයක් නැත. මේ වෙන විට මව්පියන්ද තමන්ට අවශ්‍ය දේ කා බී හමාරය. බිල්පත ගෙවන්නට වන්නේ  දරුවා කුඩු පට්ටම් කරන ආහාර වලටත් සමගය. අම්මා තාත්තාගේ මුදල් අනවශ්‍ය විදිහට වැය වෙන බව දරුවාගේ හිතට ඒත්තු යන විදිහට කියා දීම දඬුවමට වඩා වටිනේය.

අතීතයේදී අම්මා , අත්තම්මා දරුවන්ට බත් කැව්වේ බත් බිම වැටුනොත්, පෑගුනොත් පව් සිද්ධ වෙනවාය යන සංකල්පය දරුවන්ට ඒත්තු යන අන්දමින්ය. මේ නිසා දරුවන් බත් බිම හැලුවේද නැත. එදා ඔවුන් දරුවන්ට බත් දුන්නේ බිම එලන ලද පැදුරකය. ඒ නිසා බිම හැලෙන බත් ඇට පවා සතෙකුගේ හෝ ආහාරය වෙනුවෙන් ලබා දෙන ලදී.එදා මව්පියන් දරුවන්ට ආහාර යනු ඉතා ගරුත්වයෙන්  අනුභව කළ යුතු දෙයක් බව ඔවුන් හදවතට දැනෙන සේ ඒත්තු ගන්වන ලදී. අද යුගයේ දරුවන් මේවා යල් පැන ගිය අදහස් ලෙස බැහැර කරනු ඇත. ඊට හේතුව ඔවුන්ට මෙම සංකල්ප ආගන්තුක වීමයි.

ආහාර නාස්තිය වෙනුවෙන් එදා අම්මා, අත්තම්මා දරුවන්ට කියා දුන් රසවත් උපදේශ කථන්දරයක්  ඇත.

එක් ගොවි බිරින්දෑවක් ආහාර ගැන මහත් පරිස්සමෙන් කටයුතු කළාය. දිනක් ඇය බත් බෙදන විට බත් මිටක් ලිප්ගල මතට වැටුනි. ඇය එම බත් මිට හැලියට දමන විට එයින් බාගයක් ලිපට වැටී පිලිස්සී ගොස් ඇත. මෙම පාපය නිසා එම බිරිඳ මියගොස් එම නිවසේම එළදෙනක්ව ඉපිද ඇත.

කාලයක් යන විට ගොවි මහතා නැවත කසාද බැඳ බිරිඳක් නිවසට ගෙනෙන ලදී. එළදෙනගේද ආයුෂ ගෙවී මරණයට පත් අතර එළදෙනගේ අං තට්ටුව බුලත් කොටුවේ කණුවක ගසන ලදී. අලුත් බිරිද එතරම් සකසුරුවම් නැත. ඇය දිනක් බත් පෝරු පිට ඉවත දමනු දැක එලදෙන මෙසේ සිනා පහළ කරන ලදී.බත් මිටට මෙච්චර නම් අච්චරට කොච්චරක් වෙයිද…? එළදෙන සිනා පහළ කළේ ඒ සිතුවිල්ලටයි.

කුඩා කාලයේදී කියා දෙන මෙම කථන්දර මගින් දරුවන්ගේ හිතට ආහාර පරෙස්සම ගැන සංකල්පයන් නොදැනම ගොඩ නැගෙනු ඇත. අම්මා වුනත් අනවශ්‍ය විදිහට ආහාර ඉවත දමන අන්දම දරුවන්ගේ පුරුදු වෙනුවෙන් බලපානු ඇත. ප්‍රංශය මේ වෙනුවෙන් උපදෙස් දී ඇත්තේ ඉවතලන ආහාර පුණ්‍යායතන වෙත හෝ ආහාර බැංකු සඳහා යොමු කරන ලෙසයි. නිවසේදී ඔබ කළ යුත්තේ පිසින ලද ආහාර ඉවත නොදමා බුත්ති විඳීමයි.

දරුවන්ගේ ආහාර නාස්තිය ගැන නිරන්තරව මැසිවිලි නගනු වෙනුවට අනවශ්‍ය පරිදි ආහාර බෙදා ගැනීමෙන් වලකින ලෙසට අවවාද සහ ආදර්ශයෙන් ඒ බව පෙන්වා සිටීම ඉතා වැදගත්ය. ආගන්තුක හෝ නැදෑ නිවසකට ගිය විටත් සංග්‍රහයේදී දකින දකින දේය සහ අල්ලන අල්ලන දෙය නොගන්නා ලෙසත් තමන්ට අවශ්‍යම දෙයින් පමණක් සෑහීමට පත් වෙන බවත’ පොරොන්දු කර ගෙන බාහිර තැනකට කැඳවා ගෙන යන්න. ඇතැම් මව්පියන් කියන්නේ අනේ ගෙදරදී ඔහොම කන්නේ නැහැ..පිටට ආවාම තමා…යන සම්මත වගන්තියයි.

ඇත්තටම නිවසේදී කොපමණ කෑවත් එහි වරදක් නැත. ඇතැම් ස්ථානවලදී සංග්‍රහය වෙනුවෙන් පිලියෙළ කරන ලද දේ සීමාවන් ඇත. තවත් අය ආහාර ගැනීමට ඉතිරිව සිටිති. අනපේක්ෂිත ලෙසින් ඔබේ දරුවන් සීමාවක් නැතුව කන බොන විට එය නිවැසියන්ට අනපේක්ෂිත ගැටලුවක් ඉතිරි කරනු ඇත. දරුවෙක් කෑවාට බීවාට කිසිම කෙනෙක් කිසිම දෙයක් කියන්නේ හෝ සිතන්නේද නැත. දරුවන්ට ලෝකයම ආදරේය. එහෙත් ආහාර ඉදිරියේ දරුවන්ගේ ආහාර රටාවන් තව කෙනෙකුට හිරිහැරයක් නොවිය යුතුය.

තවත් අවස්ථාවන්හිදී කේක්, බිස්කට් වැනි දෙයක අයිසිං ආහාරයට ගෙන බිස්කට් ඉවත දමනු ඇත. තවත් විටෙක බිස්කට් ආහාරයට ගෙන අයිසිංඉවත දමනු ඇත. ගෙදරදී මෙය එතරම් ගැටළුවක් නොවේ. ඇතැම් දරුවන් ආහාර වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන නිසා එහි වරදක් නැත එහෙත් පිටස්තර ස්ථානයන්හිදී එවන් ගති පුරුදු වලින් දරුවා වලක්වා ගත යුතුය. ඔහුගේ ඉතිරි බිස්කට් එක ඔබට ආහාරයට ගත හැක. එසේ නොමැතිව තැන තැන මේවා ඉවත දමන අන්දමින් අශෝභන සේ හැසිරීම දරුවන් ගැන ලෝකයාගේ තිබෙන සුන්දර සංකල්පයට එතරම් ගැලපෙන්නේ නැත. ආහාර අපතේ යෑම වෙනුවෙන් එවිට දඩ මුදල් අවශ්‍ය නැත. ඔබේ දරුවා ඒ වෙනුවෙන් ස්වයං විනයක් පනවා ගෙන ඇත.

මේ එන්නේ නත්තල් සීයයි…

නත්තල වෙනුවෙන් දරුවන්ට සතුට ගෙනේනේ නත්තල් සීයා බව අමුතුවෙන් කිව යුතු නැහැ. පුලුන් වගේ සුදු රැවුල දිගයි…ලස්සන ඇඳුම හැඩයි කදිමයි…මේ දරුවන් දකින නත්තල් සීයා වුනත් මෙහි ඉතිහාසය ඉතාම අපූරුයි.මව්පියන් විදිහට ඔබ දරුවන් අතරට නත්තල් සීයාගේ උපත අනිවාර්යෙන්ම කියා දිය යුතු වන්නේ ශාන්ත නිකුලස් පියතුමාගේ චරිතාපදානයෙන් ඔබේ දරුවාද පෝෂණය විය යුතු නිසාය.

එහෙත් අද දරුවන් දකින නත්තල් සීයා උත්සව සමයේදී වෙළඳසැල් වෙත පාරිභෝගිකයන්ට ආරාධනා කරන ප්‍රචාරණ මාධ්‍යක් පමණි. එය දරුවන්ගේ උසුළු විසුළු වෙනුවෙන් ලක්විය යුතු චරිතයක් නොවේ. දරුවන්ගේ නොදැනුවත්කමට එසේ සිද්ධ වුනත් නත්තල් සීයා යනු කවුදැයි දරුවාට තේරුම් කර දීම මව් දෙමව්පියන්ගේ යුතුකම වේ.

නත්තල් සියා වශයෙන් හඳුන්වන්නේ ශාන්ත නිකුලස් පියතුමාය.3 වන සියවසේදි ලියාහි අගනුවර වන පතාරාහි සාන්ත නිකුලස්තුමා උපන් බව පිලිගැනේ.එතුමාගේ මව්පියන් වුයේ එෆ්‍ෆෙනියන් හා    නොන්නාය.මහත් වු දේපලකට උරුමකම් කිවද ‚බාල වියේදිම මව්පියන්ගේ වියෝවිම නිසා ශාන්ත නිකුලස් ජිවිතයේ අතරමං වුයේය.නමුත් මව්පිය උරුමයෙන් ලද ධනය නිසි කළමනාකරණයකින් පරිහරනය කළ යුතු බව තේරුම් ගත් එතුමා කිතු දහමට අනුව යමින් තමන්ගේ සේවය ලෝකයාට ලබා දිමට තිරණය කලේය.

ඔහු අසරණයන්ට පිහිට විමට වඩාත් අවධානය යොමු කරන ලද්දේ මයිරා නගරයේ බිෂොප් තනතුරට පත් විමෙන් පසුවය.එක්තරා දුගි පියෙකුට තමාගේ දියණියන් විවාහ කර දිමට වත්කමක් නොමැතිව කල් ගෙවද්දි නිකුලස්තුමා රන්කාසි ගෙන ගොස් දුගියාට හොරෙන් නිවසේ ජනේලයෙන් විසි කොට ඇත.මෙම මුදල් ලබා දුන්නේ කවුදැයි ඔවුන් නොදත්හ.දිනක්…ලෝගුවකින් විත් කාසි දමන අමුත්තෙක් දුටුවාය.ඔවුන් මේ අමුත්තා ඔවුන් අල්ලා ගත් අතර ඒ වෙන කිසිවෙකුත් නොව ශාන්ත නිකුලස්තුමා බව දැනගත්හ. මේ ගැන කිසිවෙකුට නොකියන ලෙස ඉල්ලා සිටියද කාලයත් සමගම මෙම පරිත්‍යාගශිලි චරිතය ලෝකයට රහසක් නොවිය.

නත්තල් සැරසිලි අතර රතු මේස් කකුලටත් වැදගත් තැනක් හිමිව ඇත. ශාන්ත නිකොලස් පියතුමා මෙම දියණිවරුන් වෙනුවෙන් මුදල් දමන ලද්දේ දුම් කවුළුව අතරින් වූ මැස්සටය. මෙම මැස්සේ මේස් කකුලක් එල්ලා තිබුනේ ,ලිපේ උණුහුමෙන් වියලා ගැනීමටයි. මුදල මෙම මේස් කකුලට වැටී තිබුණි. එම සිද්ධිය සිහිපත් කිරීම සඳහා රතු මේස් කකුලද නත්තල් සැරසිලි අතරට එක්ව ඇත.

ශාන්ත නිකුලස්තුමා ජෙරුසලමේ වන්දනාවේ යෙදෙද්දි කුනාටුවකට හසු වුන පිරිසක් බේරා ගත් අයෙකු ලෙසින්ද ‚ප්‍රසිද්ධිය ලබා ඇත.ඔහු සැන්ටා ක්ලෝස් යැයි ප්‍රසිද්ධියට පත් වුයේ“ ක්‍රැකරි” සහ “නැෂර්” නම් වු පිනිමුවන් බැඳි රථයකින් රතු ලෝගුවකින් සැරසි රැවුල වවාගෙන වෙස් වලාගෙන දුප්පත් දරුවන් සොයා යන චරිතයක් ලෙසය.නත්තලට සති තුනකට පෙරාතුව ශාන්ත නිකුලස්තුමා විවිධ ගම්මානයන්ට ගොස් දරුවන්ට තෑගි බෝග ලබා දෙනු ඇත.ක්‍රි.ව 345 සිට 352 අතර වු බදාදා දිනක මෙතුමා ස්වර්ගස්ථව ඇති අතර උන්වහන්සේගේ දේහය ඉතාලියේ බාලි නුවර තැන්පත් කර ඇත.

ඇමරිකානු ජනප්‍රවාදයන්ට අනුව නත්තල්සියා වාසය කරන්නේ උත්තරධ්‍රැවයේ වෙන අතර ඔහු ලැප්ලන්තයේ ජිවත් වේ.තවත් අදහසකට අනුව ඔහුගේ බිරිඳ ක්ලෝස්ය.නත්තල්සියාගේ කාර්යය වෙන්නේ දරුවන් තෝරා ගෙන ඔවුන්ගේ හොඳ නරක අනුව තෑගි බෙදා දිමයි.නරක දරුවන්ට ගල් අගුරු කැට සහ කෝටු කැබලි ලබාදෙන අතර හොඳ දරුවන්ට         සෙල්ලම් බඩු සහ රසකැවිලි ලබා දෙයි.නත්තල්සියා ලොව වටා යන්නේ පිනිමුවන් බඳින ලද කරත්තයකින්ය.මෙම කරත්තය හිම මතින් ලිස්සා යන ආකාරයට නිර්මානය කර ඇති අතර නත්තල් දිනයේ ලොව පුරා සිටින දරුවන්ට තෑගි බෝග ලබා දෙමින් එල්ව්ස් නම් මායාකාරියගෙන් මේ සඳහා සහය ලැබෙයි.

19 වන ශතවර්ෂයේදි නෝරවේ රටේ ෆින්මාක්හි සිටඇලස්කාවට සාමිවරයෙක්පැමිනි අතර ඔහු පැමිනියේ පිනිමුවන් පන්සියයක් සමගය.ඔහු පැමිනියේ ඇලස්කාවේ වෙසෙන ඉනියුට් නම් වු ස්වදේශිකයන්ට පිනිමුවන් ඇති කරන සැටි ඉගැන්විමටය.

නත්තල් සීයාගේ චරිතයට මේ විදිහට පණ දුන්නේ තෝමස් නෙස්ට් යන චිත්‍ර ශිල්පියා විසිනුයි. 1863 වසරේදී මේ චිත්‍ර ශිල්පියා විසින් හාපර්ස් වීක්ලි සඟරාවට නත්තල් සීයා මේ විදිහට සිතුවම් කරනු ලැබුවා.  රැසියාවේදී නත්තල් සීයා ගමන් කරන්නේ අශ්වයන් තුන්දෙනෙක් බැඳි හිම කරත්තයකිනුයි. හිමකුමාරි නම් තරුණියක් සහය වෙනුවෙන් ගමන්ගන්නා අතර ලොම් සහිත සපත්තු පැළඳ ඇති අතර දණහිස තෙක් වූ බූට්ස් දෙකකි.

ලිබේරියාව නත්තල් සීයා හිඟන්නෙක් ලෙසින් නෞකාව බිඳී අතරමං චරිතයක් විදිහට පෙන්වා ඇත. ඔහු අපි දකින නත්තල් සීයා මෙන් දරුවන්ට තෑගි බෝග දෙන්නෙක් නොව විශාල උදරයක් සහිතව වැරහැලි හැඳ සිඟමන් යදින චරිතයකි.

පන් තොප්පියක් පැළඳ සිටින නයිජීරියාවේ නත්තල් සීයා ගැමියෙකි.පන් ඇඳුමකින් සැරසුන ඔහු බූරුවෙක් පිට ගමන් ගනී.ග්‍රිසියට නත්තල් සීයා පැමිණෙන්නේ ජනවාරි මාසයේ පළමු වැනි දිනයි. එදින ශාන්ත බැසිල් තුමන්ගේ දිනය ලෙසින් සැලකේ.මෙක්සිකෝවට ජනවාරි මාසයේ පස් වැනි දින පැමිණෙන නත්තල් සීයා ගැන ඔවුන් අතර පවතින අදහස අනුව ඒ බයිබලයේ සඳහන් වෙන මෙලචියෝර්, ගුස්පර් සහ බල්තසාර් යන තිදෙනාය.

ඉතාලියේ දෙසතියක් පුරා නත්තල් සීීවානරැන් තුන්දෙනෙක් පැමිණෙන අතර එයින් එක් අයෙක් ජේසු බිලිඳා ලෙස සැලකෙන ”ගේසු බැම්බිනෝ ” වේ.  දරුවන්ට තෑගි බෝග රැගෙන එන්නේ ඔහුය.” බැම්බු නටාලේ ” ට සුදු රැවුලක් ඇත.දරුවන්ගේ හොඳ නරක අනුව තෑගි බෝග ලබා දෙන කාන්තා චරිතය වූ ” බෙෆානා ” ඉතාලියට පැමිණෙන්නේ ජනවාරි හය වැනි දිනයි.බ්‍රිතාන්‍ය සහ යුරෝපයේදී නත්තල් සීයා හැඳින්වෙන්නේ ෆාදර් ක්‍රිස්මස් නමිනුයි. ස්පාඤ්ඤයේදී පපා නොයෙල් යන නමින්ද, මොරොක්කොවේදී බ්ලැක් පීටර් නමින්ද,ප්‍රංශයේදී පිරේ නොයෙල් නමින්ද, රුසියාවේදී ග්‍රෑන්ඩ් ෆාදර් නමින්ද,චීනයේදී ෂෙන්දාන් ලා ඕ නමින්ද, නෙදර්ලන්තයේදී සැන්ටර් ක්ලෝස් නමින්ද, මොරොක්කෝවේදී බ්ලැක් පීටර් නමින්ද,ග්‍රිසියේදී හේජියෝ නිකලොස් නමින්ද,ඉතාලියේදී බේබෝ නටාලේ නමින්ද, ජපානයේදී සැන්ටා නෝ එජිසාන් නමින් සහ නෝර්වේදිහි පා නොක්ස් යන නමින් නත්තල් සීයා හඳුන්වනු ලැබේ.

සාප්පු යන්න පෙරාතුව

උත්සව කාලය විතරක් නොවෙයි, වාරාවසාන නිවාඩුව, තවත් අලුත් අවුරුද්දක්. මේ සියල්ලත් එක්ක අම්ම තාත්තාට කාර්ය බහුල කාලයක් උදාවෙනවා. අලුත් පාසල් වාරය වෙනුවෙන් පොත් පත් සහ වෙනත් දේ මිළට ගන්න එපායැ..හැම දෙයකටම කල් තබා සූදානම් වීමේ වැරැද්දක්නම් ඇත්තේම නැහැ. කොහොම වුනත් දරුවන් සමග සාප්පු සවාරිය ලෑස්ති කර ගන්න පෙරාතුව මේ ගැනත් ටිකක් හිතන්න වෙනවා.

සාප්පු සවාරිය කල් තබා පටන් ගන්න

සාප්පු සවාරිය කල් තබා පටන් ගත්තාම එතරම් තදබදයක් දැනෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ අලුත් විලාසිතාවන් වෙළඳසැලට එන්නේ උත්සව ආසන්නයේදී බවයි. එහෙම හිතනවා නම් දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, සපත්තු සහ අලුත් පංතියට අවශ්‍ය පොත් පත් වැනි දේ කල් තබා මිළට ගැනීම වැරැද්දක් නැහැ. ඒ වගේ දේවල් දරුවාට හිතේ හැටියට තෝරා බේරා ගැනීමේ නිදාහස මේ කාලයේදී ලැබෙනවා. අනිත් අතට උත්සව ආසන්නයේ ඇති වෙන අනපේක්ෂිත වියදම් සමග දරුවන්ගේ පාසල් අවශ්‍යතාවයන් අමතක වෙන්නත් පුළුවන්. මේ නිසා හැකිතාක් දුරට සෙනග තදබදය නැති කාලයේ සාප්පු යන්න සූදානම් කර ගන්නවා නම් ඉතාම වැදගත්.

මිළට ගන්නා දේ ලැයිස්තුවක් සාදන ලෙස දරුවාට දැනුම් දෙන්න

තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ට රිසි විදිහට ගලපා ගන්න දරුවන්ට අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. පුතාට දුවට ඕන දේ ලැයිස්තුවක් හදන්න කිව්වාම ඔවුන්ගේ ලැයිස්තුවේ අනවශ්‍ය දේ ඇත්තේ නම් ඒවා ඉතාම කාරුණිකව බැහැර කරන්න පුළුවන්. එහෙම නැති වුනොත් වෙළඳසැලේ විසිතුරු අතර දරුවා අතරමං වුනාම  දකින දකින දේ ඉල්ලන්න පුළුවන්. සාප්පු යන විට කුඩා දරුවන්ට නම් ඒ ගැන කිසිම තේරුමක් නැති නිසාත් වලහා කේතලය බදා ගන්නවා වගේ ඕනෑ දෙයයි , එපා දෙයයි බලාගෙන මව්පියන් වෙහෙසට පත් වෙන අවස්ථාවන්ද අපිට සාප්පු යන කාලයට දකින්න ලැබෙනවා.

ඔබේ වියදම් හැකියාව ගැන දරුවාට දැණුම් දෙන්න

සාප්පු  යන විට සල්ලි කරත්තයක් අරගෙන ගියත් නොසෑහෙන අවස්ථාවන් අපිට ඇති වෙනවා. අපේ ඇස්තමේන්තුවේ නැති දේවල් වෙනුවෙන් මුදල් වැය කළොත් අවශ්‍යම දේ මිළට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අම්මා ළඟ තියෙන්නේ මෙච්චරයි. ඒ සීමාව නංඟිට මල්ලිටත් ගන්න දේ තිබෙන නිසා  වියදම් පිළිබඳව පාලනයක් කර ගැනීමේ අවශ්‍යතාවය දරුවාට දන්වා සිටින්න. එවිට දරුවන්ද ඔබේ ඉල්ලීම ගැන කාරුණික වෙනු ඇත.

හොඳින් ආහාර ගන්න

සාප්පු සවාරිය පටන් ගන්න පෙරාතුව බඩපිරෙන ලෙස ආහාර ගැනීමට ඔබ වගේම දරුවාටත් දන්වා සිටින්න. එසේ නැත්නම් පැය බාගයක් ගෙවෙන විට සාප්පු සවාරිය පසෙක තබා බඩගින්න නිවනු පිණිස ආපනශාලාවන්ගේ පිහිට සොයන්නට ඔබට සිදු වෙනු ඇත.

පානීය ජලය රැගෙන යන්න

ඇවිදින විට ඇති වෙන වෙහෙස සහ දහඩිය දැමීම නිසා බොහෝ සෙයින් පිපාසය දැනෙනු ඇත. එය සාමාන්‍ය සිදුවීමකි. මේ අවස්ථාවන්හිදී පැණි බීම , සිසිල් බීම වෙනුවෙන් දරුවාගේ ඇවිටිල්ල ඔබට ඉවත දැමිය නොහැකි වන්නේ ඒ වෙන විට මව්පියන්ද පිපාසයෙන් හෙම්බත්ව සිටින නිසාය. කාස්ටකේ ඇවිද ගොස් සිසිල් පානය හෝ පැණි බීම පානයේ අහිතකර තත්වය වන්නේ පසුදින වෙන විට ඇති වෙන සෙම් රෝග තත්වයයි.

ඊයේ ෂොපින් කරද්දී එපා කියද්දී කූල් බිව්වා….අද ඉතින් සෙම්ගෙඩි…මේ තත්වයට දරුවා මුහුණ දුන්නේ පිපාසයට අවශ්‍ය පානීය ජලය ඔබ වෙත ප්‍රමාණවත් පරිදි නොතිබුන නිසාවෙන් බවත් පසුවිපරම් කරන විට ඔබටම දැනෙනු ඇති.

මුදල් පිළිබඳ ආරක්ෂාව සලසා ගන්න

නගරයේ විදීවල ගැටකපන්නන්ද මේ කාලය වෙන විට බොහෝ සෙයින් සැරිසරනු ඇත. ඒ නිසා මුදල් සහ ඔබ මෙන්ම දරුවන් පැළඳ සිටින රන් ආබරණ ආදිය ඇත්තේ නම් ඒ ගැනත් ආරක්ෂාව සලසා ගැනීමට උනන්දු වීම අවශ්‍ය වේ.

දරුවන්ගේ ඇඳුම්වල මිම්ම , ප්‍රමාණ ආදිය ගැන අවබෝධයක් ලබා ගන්න

ඇඳුම් පැළඳුම් මිලට ගැනීමේදී ඒවා ඇඟ ලා බලන්න පෙරාතුව තමාගේ ඉණ, කොලර්, මිම්මට සරිලන ඇඳුම් ඉල්ලා ගැනීමට අවස්ථාව ඇත. ඒ ගැන අවබෝධයක් නොමැති විට ඇඳුම් කීපයක් ඇඟලා බලන්නට සිදු වෙන නිසා පවතින තදබදය අනුව අනවශ්‍ය ලෙසින් කාලය ගෙවෙනු ඇත.

බිල්පත පරීක්ෂා කරන්න

අවශ්‍යතාවයන් මිළට ගැනීමෙන් පසුව මුදල් ‍ගෙවා ලැබෙන බිල්ගත සහ ඉතිරි මුදල නිවරැදිද බැලීම අවශ්‍ය වේ. කාඩ්පතකින් ගණුදෙණු කළත් ඔබ නිතරම ඒ ගැන අවබෝධයෙන් සිටීම වැදගත්වේ. එක්තරා සුපිරි වෙළඳසැලක රුපියල් තුන්සිය ගණනක ගණුදෙණුවකදී ලබා දුන් රුපියල් දෙදහක නෝට්ටුව වෙනුවෙන් ඉතිරි මුදල ලබා දී තිබුනේ රුපියල් දහසක නෝට්ටුවකට අදාල පරිද්දෙන්ය. මෙය පසුව දුටුවත් අඩුම වශයෙන් තහවුරුව වෙනුවෙන් බිල්පත හෝ තිබුනේ නැත.එබැවින් ගණුදෙණුව සිදු වෙන තෙක් ඔබ ලබා දෙන ලද මුදලට ඉතිරි ලැබුනේදැයි ඔවුන් ඉදිරියේම ගණණය කර බලන්න.

දරුවන් වෙනුවෙන් ඇති විශේෂ දීමනා ගැන විමසා සිටින්න

උත්සව කාලයේදී වෙළඳ ප්‍රවර්ධන කටයුතු සමග දරුවන්ට ලැබෙන ත්‍යාග හා වෙනත් දීමනාවන් ඇත. මෙම ආකර්ශණීය දීමනාවන් විටෙක ආයතන වෙතින් නොලැබෙන්නට පුළුවන. එවන් අවස්ථාවලදී මෙම වට්ටම්, හෝ ත්‍යාග ගැන විමසා සිටීම කිසිම වරදක් නැත ඇතැම් ආයතන වෙතින් පොත් මිළට ගත් විට ප්‍රසාද ලෙසින් පොත් ලබා දෙනු ඇත. එහිදී ඔබ විසින් මෙපමණ මුදලක පොත් මිළට ගත යුතු යැයි කොන්දේසි ඇත. පොත් වැනි දේ පාසල් යන වයසේ දරුවන් සිටිනවා නම් කිසිසේත්ම ඉවත නොයන නිසා නොමිලයේ ලැබෙන මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැක. තවත් විටෙක පාවහන් මිළට ගත් විට මේස් ලැබෙන බවට පළවන ප්‍රචාරනයන් තිබුනද , ආයතන වෙතින් මෙම වරප්‍රසාද නොලැබෙන විට ඒ ගැන විමසා සිටීමේ අයිතිය ඔබට ඇත.

නිවසට පැමිණි පසුවත් මේවායේ ටැග් නොකඩන්න

කොතරම් ඇඳ පැළඳ හැඩ බැලුවත් නිවසට පැමිණි පසු ඒවායේ නොගැලපීම් බොහෝ තිබිය හැක. පලුදු වුන තැන් හෝ වෙනත් හානි වුන ඇඳුම් වෙතොත් ඒවා භාරදී ඒ වෙනුවට වෙන් ඇඳුමක් මිලට ගත හැක. මේ නිසා මුලින්ම ටැග් නොකඩා එය 100% ක්ම ගැලපෙනවාය යන සෑහීමට පත් වෙන තෙක් ටැග් නොකඩන්නට දරුවන්ද දැණුවත් කරන්න. ඇතැම් මිලදී ගැනීම් වෙනුවෙන් තිබෙන ආරක්ෂණය මාස හයක, අවුරුද්දක වැනි කාලයක් වෙනුවෙන් ඇත. ඒ නිසා බිල්පත හෝ අදාල ආරක්ෂණ සහතික ප්‍රවේසම් කර ගැනීමටත් දරුවන් දැණුවත් කරන්න.

අපි විනෝද චාරිකාවක් යමු

නිවාඩු කාලයේ විනෝද සංචාරයන් වෙනුවෙන් පවුල් පිටින් එක්රැස් වෙන යුගයක් බවට අද දවස පත්ව තිබෙනවා. කාලය මොනතරම් අඩු වුනත්,දෙසැම්බර් නිවාඩුවේදී අම්මා තාත්තා තමන්ගේ රාජකාරියෙන් මදකට හෝ මිදිලා දරුවන් විතරක් නොවෙයි , තමන්ගේ සහලේ නෑදෑයින් ඒ කියන්නේ නැන්දා, මාමා, ලොකු අම්මා , පුංචිඅම්මලා සමග විනෝද චාරිකාවන් සඳහා යොමු වෙනවා. තමන්ගේ කාලය සහ මුදල් වැය කරමින් ඔවුන් මේ වගේ තැනට එකඟතාවයක් ඇති කරගන්නේ ඇත්තටම දරුවන් සන්තෝෂ කිරීම වෙනුවෙන් බව රහසක් නොවේ. එහෙමනම් දරුවන්ට සතුට ගෙනන විනෝද චාරිකාවක් ඇත්තටම සංවිධානය විය යුත්තේ කොහොමද….?

විනෝද චාරිකාවක් සංවිධානය කරන විට ඒ වෙනුවෙන් යා යුතු තැන් තීරණය කිරීම දරුවන්ට පවරන්න. අපි මේ වතාවේ යන්න කොහේද….? ගැන ස්ථාන තීරණයට දරුවන්ට නිදහස ලබා දෙන්න. එවිට තමන්ද මේ චාරිකාවේ වැදගත් කෙනෙක්ය යන අභිමානය දරුවාගේ සිතට නැගෙනු ඇත.

ස්ථාන තීරණය වෙනුවෙන් දරුවාට තනි අයිතිය ලබා දීමට නොහැකි විට  පවුලේ උදවිය විසින් හඳුනා ගත් ස්ථාන කිහිපයක් පවසා ඒ අතරින් දරුවන්ගේ කැමැත්ත අනුව එක් ස්ථානයක් තෝරා ගැනීමට අයිතිය ලබා දෙන්න. මේ වෙනුවෙන් පවුලේ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඒ සියළු දෙනාගේම අදහස් විමසා තීන්දු තීරණ ගැනීමට දරුවාට නිදහස ලබා දෙන්න.

චාරිකාව  ආරම්භ කිරීමට පෙරාතුව අදාල ස්ථානයන්හි වැදගත්කම ගැන තොරතුරු ගවේශනයද ඉතාම වැදගත්ය. උදාහරණයක් ලෙසින් ඔබේ චාරිකාව අනුරාධපුරයේ නම් ස්ථානීය තොරතුරු පිළිබඳ මූලික වැටහීමක් ඇතුව ගමනට සූදානම් විය යුතුයි. යන්නන් වාලේ යෑමේ කිසිදු ප්‍රතිඵලයක් නැත .ඒ නිසා සමාධි ප්‍රතිමාව, අටමස්ථානය වැනි වැදගත් ස්ථාන පිළිබඳව තොරතුරු දරුවන්ට ලබා දී ගමනට පෙරාතුව මෙම ස්ථාන ගැන දරුවාට අවබෝධයක් ලබා දීම ඉතා වැදගත්ය. එවිට එම ස්ථාන නරඹන විට ඒවායේ වටිනාකම ගැන අවබෝධය තව දුරටත් ඔවුන්ගේ මනසේ තැන්පත් වෙනු ඇත.

දරුවාටත් තොරතුරු සොයන්න උපදෙස් ලබා දෙන්න. ඔබ සොයන තොරතුරුවලට අතිරේකව පාසල් පෙළ පොත්, ළමා පත්තර වගේම අන්තර්ජාලය ඔස්සේ චාරිකාවේ ස්ථාන ගැන තොරතුරු සෙවීමට උපදෙස් ලබා දෙන්න. එයින් තොරතුරුසෙවීමේ හැකියාව පෝෂණය වෙන අතරම මෙම චාරිකාවෙන් ලබන අත්දැකීම් ඉතා සමීපව උපයා ගත හැකිවෙනවා.

ගමනට පෙරාතුව මාර්ග සිතියමක් ගොඩ නගන්න. එහිදි කාලය ඉතා ප්‍රයෝජනවත් වෙන අන්දමින් යොදා ගත හැකි පරිද්දෙන් යන එන ගමන් මගේ තිබෙන ස්ථානයන්ද සම්බන්ධ කර ගන්න. එක් එක් ස්ථානයන්හි ගෙවන කාලය තීරණය කරන්න. දරුවන්ට වඩාත් වැදගත් වෙන ස්ථානයන් වෙනුවෙන් වැඩි කාලයක් ලබා දෙන්න. මේ අවස්ථාවන්ට සම්බන්ධ වෙන විට දරුවාට ක්ෂෙත්‍ර පොතක් ලබා දෙන්න. එක් එක් සථානයන්හිදී ඔහු ලබා ගත් දැණුම සටහන් කර ගැනීමට මෙම ක්ෂෙත්‍ර පොත වැදගත් වේ. නරඹන්නන් වාලේ නරඹනවාට වඩා වඩාත් ඵලදායී ලෙසින් දැනුම උපයන පරිදි මෙම ස්ථාන නැරඹීමට ඒ නිසා නොදැනම අවස්ථාවක් ලැබෙනු ඇත.

තවත් වැදගත් කරුණක් ඔබ මතක තබා ගන්න. ඓතිහාසික ස්ථාන නරඹන විට ඒවායේ ගරුත්වය වගේම සුරක්ෂිතතාවයට හානි නොවන සේ හැසිරිය යුතු අන්දම අවධාරනය කරන්න. වතාවක් සීගිරියේ කැටපත් පවුරේ සටහන් තැබීමට ගිය තරුණියක් අවසානයේදී සඳහන් කළේ ඒ ගැන තමා නොදන්නා බවයි. ඔබේ දරුවන්ටද මෙම තොරතුර සාධාරණ වේ. වරදක් කොට එය නොදැන සිටියේය යන්න සමාවට කරුණක් නොවේ. ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජීවත්වෙන පරිසරය ගැන වැටහීමක් ලබා ගැනීමයි. මේ නිසා සීගිරිය ආදි ස්ථානයන් නරඹන විට හැසිරිය යුතු අන්දමත්, වීඩියෝ ඡායාරූප කිරීමට අවසර නොමැති ස්ථානයන්හිදී ඒ ගැන සැලකිලිමත් වීමටත් වගේම ඇවිඳින , හිදගන්නා ස්ථානපිළිබඳව පවා දැණුවත් බව දරුවන්ට ලබා දෙන්න. දරුවන් බොහෝ දේ ගැන දැන මේ දෙය වැරුද්දක්….යන වචනයට වඩා චාරිකාවන්හි යෙදෙමින් ලබන අත්දැකීම් අනුව බව මතක තබා ගන්න.

ගමනට පෙරාතුව ආහාරපාන, නවාතැන් ආදිය ගැනත් සැලකිලිමත් වෙන්න. හැකි තරම් ආහාරපාන ඔබ විසින්ම සකසා ගැනීමට හැකි නම් ඉතා වැදගත්ය.අඩුම වශයෙන් ගෑස් උඳුනක්වත් ගමනේදී රැගෙන යෑම ඉතා වැදගත් වේ. විශේෂයෙන් පානීය ජලය යන එන තෙක්ම නිවසෙන් පිළියෙළ කර ගත හැක. අතරමගදී ආහාර විෂ වීම නිසා ඇති වෙන රෝගාබාධයන් ගමනනේ සම්පූර්ණ අරමුණ නොදැනම අඩාල කරනු ඇත මේ නිසා නිවසේ සකස් කර ගෙන කල් තබා ගත හැකි ආහාර වට්ටෝරුවක් පවුලේ උදවිය හා දරුවන් සමග සාකච්ඡා කර ගෙන සකසා ගන්න. නවාතැන් ගැනීමේදී පවා පූර්ව සැලසුමක් අවශ්‍යය. නවාතැන්පොලේ කාමර, වැසිකිළි පහසුකම් ආදිය අවධානය යොමු කළ යුතු කරුණු කාරණාවන් අතර වේ. නිසි පරිදි වැසිකිළි පහසුකම් නොමැත්තේ නම් එයින් ඇති වෙන අපහසුතාවය ගැන අමුතුවෙන් කිව යුතු නැත මේ නිසා නවාතැන්පොලවල් ගැන පූර්ව අවබෝධයත් ඉතාම වැදගත් වේ.

ගමනට අවශ්‍ය ඇඳුම් පැලඳුම් කල් තබා පිළියෙළ කරන්න. ගමනට, සැන්දෑවට, දියනෑමට ආදි ලෙසින් වර්ග කරගන්න. එසේ නොමැතිව දිය නෑමට ගොස් නැවත ඒ වෙනුවෙන් ඇඳුම් මිළට ගැනීමට වෙළඳපොලට ගොඩ වදින තත්වය නිසා අනවශ්‍ය ආර්ථික ප්‍රශ්න ඇති වෙන බවත් සිත තබා ගන්න.

ගමනේදී ඇති වෙන අනතුරුවලින්ද ආරක්ෂාව සලසා ගැනීම මේ සියල්ලන්ටම වඩා වැදගත් වේ. නෑවත් වතුර මල යට හිඳ නල වතුර කියන්නා සේ….අද බොහෝ දෙනාගේ චාරිකාවන්හි විශේෂිතම අවස්ථාව වන්නේ දිය නෑමයි. එහෙත් පිහිණුම් තටාකය පවා මිනිසුන්ගේ ජීවිත ගොදුරු කර ගන්නා අවදාමක් තිබියදී දරුවන් දිය නෑමට යන විට ඉතාම ප්‍රවේසමෙන් ඒ ගැන කටයුතු කරන්න. දිය නෑමට අනුමත ස්ථාන පමණක් තෝරා ගන්න. දරුවන් ආසන්නයේම සිටින්න. ඇතැම් ස්ථානයන්හි ජීවිතආරක්ෂක  භට පිරිස් යොදාවා ඇත. එවන් තැන්හිදී අවදානම් කලාප ගැන පැමිණෙන පිරිස් දැණුවත් වෙනු ඇත.

චාරිකාව අවසානයේ දරුවාට එම තොරතුරු අලලා කුඩා පොත් පිංචක් සකස් කිරීමට උපදෙස් ලබා දෙන්න. එම පොතෙන් චාරිකාවෙන් දරුවා ලබා ගත් දැණුම සහ විනෝදය පිළිබඳව බොහෝ දේ ඔබට දැනගත හැක. දෙමව්පියන් විසින් ඔබේ එකම ප්‍රාර්ථනය දරරුවාගේ දැණුම විනෝදය සහ යහපත් ගුණාංගයන්ය. චාරිකාවක් වෙතින් දැනුම, විනෝදය වගේම සමගිය බෙදා හදාගැනීම ගුණාංගයයන්ද ගොඩ නැගෙනු ඇත. ඔහු විසින් සකස් කරන ලද කුඩා පොතේ මේ ගැන නොදැනම සටහන් වෙනු ඇත. එය කියවන මව්පියන්ට තමා දරුවාට ලබා දෙන ලද අවස්ථාවෙන් කොතරම් ඔවුන් ප්‍රයෝජනයක් ලබා ගත්තේද යන්න තේරුම් ගත හැකිය.

ප්‍රසූතියේදී ඇති විය හැකි අනතුරු නිසා දරුවන්ට පීඩා ගෙනෙන අර්බ්’ස් පෝල්සි

උපතේදී දරුවන්ට ඇති විය හැකි ආබාධ තත්ත්වයක් පිළිබඳව මීට පෙර ලිපයක් හරහාද මව්වරුන් දැනුවත් වූවා. දරුවෙකු මෙලොවට බිහිවන අවස්ථාවේදී ඇති විය හැකි තවත් එවැනිම ආබාධ තත්ත්වයක් වන අර්බ්’ස් පෝල්සි පිළිබඳ සැකසුණු ලිපියකි මේ. ප්‍රසූතියේදී ළදරුවාගේ උරහිස ඇදීමට ලක්වීම අර්බ්’ස් පෝල්සි තත්ත්වයට හේතු වේ.

අර්බ්’ස් පෝල්සි තත්ත්වය ඇති විය හැකි අවස්ථා

  • ළදරුවා හිස පහතට නොහැරී තට්ටමෙන් පිහිටා තිබෙන අවස්ථාව (Breech Delivery)
  • සාමාන්‍ය දරු ප්‍රසූතියේදී ළදරුවාගේ ස්ථූලතාවය නිසා සිර වෙන අවස්ථාව (Path Way)
  • වැකියුම් හෝ අඬු භාවිත කර ප්‍රසූතිය සිදුකරන අවස්ථාව

අර්බ්’ස් පෝල්සි තත්ත්වයේදී අතට යොමු වී ඇති Brachial Plexus නම් වූ සුෂුම්නා ජාලයේ ඉහළ කොටස ඇදීමට ලක්වේ. Brachial Plexus නම් වූ මෙම ස්නායුව ඉහළ, මධ්‍යම හා පහළ වශයෙන් කොටස් 3කි. අර්බ්’ස් පෝල්සි තත්ත්වයට බලපාන්නේ මෙහි ඉහළ කොටසේ (Upper Code)  සිදුවන ඇදීමයි. අනෙකුත් කොටස් ඇදීමේදී ඇති වන රෝග තත්ත්වයන් අර්බ්’ස් පෝල්සි තත්ත්වයට වඩා වෙනස් වේ.

මෙලෙස ඇදීමට ලක්වීමෙන් එම ඉහළ කොටසින් පැන නඟින ස්නායු අප්‍රාණික වී ක්‍රියාකාරීත්වය දුර්වල වේ. ඒ හේතුවෙන් එම ස්නායු මගින් ක්‍රියා කරන පේශිවල ක්‍රියාකාරීත්වය ද දුර්වල විය හැකිය. ඒ නිසා අදාළ බාහුවේ ක්‍රියාකාරීත්වය ද දුර්වල වේ. සමහර විටකදී සංවේදනය නැති වී යා හැකි අතරම ඇතැම්විට පේශිවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩාල වී ආඝාතයට ලක්වීමට ද ඉඩ තිබේ.

අර්බ්’ස් පෝල්සි තත්ත්වයේදී ස්නායුවට සිදු වන හානිය අනුව මෙම තත්ත්වය කොටස් 4කි. එනම්,

නියුරොප්‍රැක්සියාව (Neuropraxia)

මෙම තත්ත්වය තාවකාලිකව ඇති වන ආබාධයකි. සුෂුම්නාවෙන් බාහිරව සිදු වන, එමෙන්ම බහුලව දැකිය හැකි වන මෙය සුෂුම්නා මූලයන්ගේ තුවාල වීමක් වන අතර එය එතරම් බරපතල තත්ත්වයක් නොවේ. මෙහිදී සංවේදනයට බාධා ඇති කළ හැකි හානියක් වන නමුත් ස්නායුවේ කැඩීමක් නොවන අතරම එමගින් ස්නායුවට ස්ථිර හානියක් ඇති නොකරයි. මෙම සංවේදන අවහිරය පැය කිහිපයක සිට සති කිහිපයක් දක්වා පැවතී, ක්‍රමයෙන් පහව යයි. දරුවා පිටතට ගැනීම සඳහා අක්‍රමවත් මෙන්ම අධික බලයක් යෙදීමෙන් අර්බ්’ස් පෝල්සි තත්ත්වය ඇති වේ. මෙහිදී සිදු වන හානියේ ප්‍රමාණය එම ඇදීමේ ප්‍රමාණය මත රඳා පවතී, කෙසේ වුවද මෙය ඉතා ඉක්මනින් සුව වේ.

එවල්ෂන් – (Avulsion)

‘අර්බ්’ස් පෝල්සි’ තත්ත්වයේ බරපතළම හානිය වන්නේ ස්නායුව සම්පූර්ණයෙන්ම කැඩීයාමෙන් හෝ සෂුම්නාවෙන් වෙන් වීමයි. ඉතා දුර්ලබ තත්ත්වයක් වන මේ අවස්ථාවේදී  ශ්වසන ස්නායුවට හානි වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය. මෙම හානිකර තත්ත්වය ඉබේම සුව වීමක් නොවන බැවින් එවැනි තත්ත්වයන් ඉක්මණින් හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර කළ යුතුය.

නියුරෝනල් – (Neuronal)

මෙම තත්ත්වයේදී ඇති වන ආබාධය ඉහළය. හානියට පත් ස්නායුවක් ස්වාභාවිකව යථා තත්ත්වයට පත්වීමේදී ඒ මත කැළැල් ඇති වීමෙන් මාංශ පේශි වෙත කෙරෙන සංවේදනයන් අඩාල විය හැකිය. මෙම කැළැල් පටක මගින් නියුරෝමා තත්ත්වයක් ඇති වීමට අවකාශ තිබේ. මෙවැනි අවස්ථාවකදී ස්වභාවිකව සුව වීම අපහසු බැවින් එසේ සුව වීමේ ඉඩකඩ සීමා සහිත වේ. මෙම තත්ත්වය ශල්‍යකර්මයක් මගින් නිවැරදි කළ යුතු වේ.

රප්චර් – (Rupture)

ස්නායුව සුෂුම්නාවට බාහිරව හානි වීම ‘රප්චර්’ යනුවෙන් හැඳින් වේ. ඒ අවට සම්බන්ධක පටක සහ රුධිර සැපයුමට ඉන් ‘හානි සිදු වේ. ස්නායුව පමණක් හානි වුවහොත් එය නැවත යථාතත්ත්වයට පත් වේ. ඇතැම් අවස්ථාවන්හිදී මේ සඳහා ශල්‍යකර්මයක් කළ යුතු වේ. අර්බ්’ස් පෝල්සි තත්ත්වය ඇති වූ විට දරුවා අත තබාගන්නා ඉරියව්වේ වෙනසක් දැකිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී දරුවා අත තබාගෙන සිටින්නේ සාමාන්‍ය ඉරියව්වෙන් විරුද්ධ දිශාවටය. එනම් අත පිටුපසට හරවා අත්ල උඩු අතට නවාගෙන සිටින ආකාරයටය.’

මෙහිදී පෙන්නුම් කරන ලක්ෂණ :

  • අත, උරහිසේ සිටම ඇතුළු පැත්තෙන් ඇඟ දෙසට කැරකැවී ඇත
  • අත, ඇඟට හේත්තු වූ ස්වභාවයක් දිස් වේ
  • වැළමිට දිග හැරී තිබේ
  • යට බාහුව ශරීරයෙන් ඇතුළු පැත්තට කරකැවී ඇත
  • මැණික් කටුව සන්ධියෙන් අත අල්ල දෙසින් ඉහළට නැවේ

අර්බ්’ස් පෝල්සි තත්ත්වයට පත් වූ දරුවෙකුහට අවැසි භෞකචිකිත්සක ප්‍රතිකාර ක්‍රම සහ දරුවා යථා තත්ත්වයට පත්කරගැනීමට අවශ්‍ය උපදෙස් පිළිබඳව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.