Home Blog Page 128

දරුවන්ගේ නිර්මාණ රටටම එළිදැක්වූ Surf excel රජ වැඩ පොඞ්ඩෝ අති සාර්ථකයි

නිර්මාණශීලී දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel, අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරන්නට ගෙන ආ Surf excel රජවැඩ පොඞ්ඩෝ වැඩසටහන අති සාර්ථක නිමවුණා. ඒ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වුයේ දැයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන්ය. එවැනි වූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් රටටම පෙන්වන්නට ඔවුනට අවස්ථාව උදා වූයේ Surf excel රජවැඩ පොඞ්ඩෝ හරහාය. අලුතින් හිතන්න, අලුත් දේ කරන්න, අලුත් දේ සොයාගන්න අපේ දරුවන්ට උදා වූ මේ අවස්ථාවේ වටිනාකම වචනය නැගින නොහැකිය.

ඒකාකරී අධ්‍යාපන රටාවේ ගොදුරු බවට පත් වී සිටින දරුවන්ට Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහන හරහා නිර්මාණ ලෝකයට පිවිසෙන්නට අවස්ථාව උදාකරදුන් අතරම මල් වැනි පුංචි සිත් ඒ තුළින් ලැබූ වින්දනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් තමන් ඉදිරියේ නිදහසේ දිගහැරුණු ආකාරය දුටු මව්පියන්ගෙන්ද ඔවුන්ට මේ සඳහා සහාය උපරිමයෙන් හිමිවූවා. සැබවින්ම දරුවෙකුගේ කායික වර්ධනය පිළිබඳව පමණක් මව්පියන්ගේ අවධානය යොමුවී පලක් නැත. නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් සෞඛ්‍ය සම්පන්න දරුවෙකුයි. එය අද වන විට මව්පියන්ට අමතකව ගොස් තිබේ. ඒ තුළින් සිදුව ඇත්තේ දරුවන් පොතපතටම පමණක් සීමා වීමයි. අපේ දරුවන් කොයිතරම් නම් නිර්මාණශීලී ද යන බව Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහන හරහා මුළු රටටම කියාපෑවා.

දක්‍ෂතාවලින් පිරිපුන් වයස අවුරුදු 5 – 11 අතර පොඞ්ඩන් ඉවතලන ද්‍රව්‍ය සහ Surf excel පැක් යොදාගෙන එකිනෙකට වෙනස් වූ නිර්මාණ සකසා Surf fb page එකට වගේම WhatsApp සහ Viber හරහාත් අප වෙත එව්වා. ඒ විතරක්ද Surf excel වැඩමුළුවලට සහභාගී වූ දරු දැරියන් ද ඔවුන්ගේ නිර්මාණ අප වෙත ලබාදුන්නා. ඒ සියලුුම නිර්මාණශීලී දරුවන් අතරින් දක්‍ෂතම පොඞ්ඩන් Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහනේ ජයග්‍රාහකයන් අතරට තේරුණා. ඒ අතරින් යුනිවර්සල් ස්ටුඩියෝ නැරඹීමට යාම සඳහා අවස්ථාව දිනාගනු ලැබුවේ නෙතායා, කලන සහ සයීඞ් යන නිර්මාණශීලී රජ වැඞ්ඩන් තිදෙනාය. ඒ වගේම තමන්ගේ නිර්මාණ පළමුවෙන්ම Surf fb page එකට වගේම WhatsApp,Viber හරහා නිර්මාණ එවූ දරුවන් ද වැඩමුළුවලට සහභාගී වී අප වෙත නිර්මාණ ලබාදුන් දරුවන් ද ඇතුළු සියලුම පොඞ්ඩෝ අතරින් දස දහසක් මැජික් වොච් දස දහසක් දිනාගත්තා.

මෙන්න… අපේ පොඞ්ඩන්ගේ රජ වැඩ :


අත්තම්මාට සීයාට සලකන්න

වයස අවුරුදු හැට හැත්තෑව වෙන විට දෙමව්පියන් ශාරිරිකව වගේම මානසිකවත් විවිධාකාර රෝගාබාධයන්ට පත් වෙනු ඇත. වයස සමග එය සාමාන්‍ය සිද්ධියක්. ඒත් බොහෝ මනෝවිද්‍යාඥයන් සඳහන් කරනඅන්දමට වයසත් සමග මිනිසුන්ගේ හැසිරීම  නැවතත් බාල කාලයට සමානයි. මේ නිසා වියපත් මව්පියන්ට තම දරුවන්ගෙන් වගේම මුණුපුරන්ගෙන්ද ආදර කරුණාව ලැබිම අවශ්‍යයි.

එකම පවුල ජීවත්වෙන විට බොහෝ සෙයින් ගැටුම් ඇතිවෙන්නේ දරුවන් සහ අත්තම්මා සීයා අතරයි.

සමහර නිවෙස්වල අම්මා තාත්තා යල් පැනපු උදවිය විදිහට සිතනවා ඇත. පරම්පරා අතර තිබෙන වෙනස අනුව අදහස් හා ආකල්ප අතර වෙනස්කම් තිබෙන්න පුළුවන්. ඒ අතරම කාලය සමග වැඩිහිටියන් ලබන අත්දැකීම් අනුව ඔවුන් සමාජයෙන් ලබා තිබෙන දැනුම අවතක්සේරු කළ යුතු නැහැ.ඔබ නිතරම දරුවන්ට මෙම පරම්පරා පුරුක් යනු බොහෝ දැනඋගත්කම් ලද පිරිසක් බව ඒත්තු ගන්වන්න.

පවුලේ දරුවන්ට අම්මා තාත්තා ලෙසින් අද දක්වන සෙනෙහස ආදරය ඔබේ අම්මා තාත්තා වෙතින් එදා ඔබ නොඅඩුව ලබා ඇති. මේ නිසා අද ඔවුන් වෙනුවෙන්ද ඒ හා සමානව ආදරය කරුණාව දැක්වීම අවශ්‍යය. කාර්යබහුලත්වය කියමින් මේ යුතුකම් මග හැරීම අවශ්‍ය නැත. දුරබැහැර සිටින මව්පියන් සමග සන්නිවේදනයන් ගොඩ නගා යුතුය. නිවසේ සිටින අත්තම්මා සීයා සමග දරුවන් සමීප කිරීම ඉතාම වැදගත්.

අත්තම්මාගේ බේත් ටික දෙන්න….සීයාගේ රෙදි ටික හෝදලා දෙන්න..‍අත්තම්මාට බත් බෙදලා තියන්න. මේ විදිහට සුලු සුලු වැඩ කටයුතු දරුවා සමග සම්බන්ධව ඉටු කරන විට මෙම යුතුකම් දරුවාටද ඒත්තු ගැනෙනු ඇත.

පවුලේ තොරතුරු වැඩිහිටියන්ගෙන් වසං කිරීම වගේම ඒ සඳහා දරුවන්ද යොමු කිරීම ඉතාම අහිතකර කටයුත්තකි. අත්තම්මාට කියන්න එපා….යැයි දරුවාට සඳහන් කිරීම නිසා පවුලේ අත්තම්මා සීයා යනු තමාගේම පවුලේ සාමාජිකයන්ය යන පිලිගැනීම දරුවාගේ සිතෙන්ද ඉවත්ව වෙනු ඇත. කිසිම දිනක ඔබ මේ අන්දමින් දරුවාට යම් යම් ප්‍රකාශන නොකරන්න.

අපි සාප්පු ගියා කියල අත්තම්මාට කියන්න එපා… මේ අදහස දරුවාගේ හිතේ ගොඩ නැගුන විට ඔවුන්ද සිතන්නේ මෙම වැඩිහිටියන් ගෞරවාදරයට ලක් විය යුතු නොමැති පිරිසක් බවයි.

ඔබ අද ඔබේ මව්පියන්ට සලකන අන්දම දරුවාද ආදර්ශයට ගනු ඇත. ඉස්සර කාලයේ මේ පිලිබඳව අපූරු කතාවක් ඇත. එක් පියෙකුට බත් දුන් මැටි කෝප්පය දරුවා විසින් රඳවා ගත් විට මව්පියන් එම මැටිකෝප්පය සොයනු ලැබුවා. පුතේ සීයාට බත් දෙන මැටිකෝප්පය දැක්කාද….?

මම ඒක අරන් තිබ්බා….

ඇයි…පුතාට ඔච්චර ලස්සන පිඟානක් තියෙන්නේ….?

තාත්තා වයසට ගියාම බත් දෙන්න මං ඒක තියාගත්තා…

පුකාගේ සිතුවිලි දැනගත් විට මව්පියන්ට තමන් පිලිබඳව ලැජ්ජාවක් ඇති විය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට සිහියට නැගුනි. මේ නිසා අද දවසේ ඔබ‍ වියපත් මව්පියන්ට කරනු ලබන ගරු සැලකිලි අනාගතයේ දරුවාගේ යහගුණ පැවැතුම් සඳහා මනා ආයෝජනයක් වෙනු ඇත.කොහොම වුනත් අද දෙමව්පියන් ගැන හොයන බලන දරුවන් විරලය. මෑතකදී අසන්නට ලැබෙන බොහෝ සිද්ධීන් ඉතා සංවේදිය.

එක් දුවක් තම පියා බලු කූඩුවේ තබා බල්ලා සැප යහනක නිදි කරවමින් සියලු සැප සම්පත් ලබා ‍දුන්නාය. ඇයගේ දරුවන් ඉදිරියේ සීයා බලු කූඩුවේ තැබූ විට අනාගතයේදී ‍තමාගේ දරුවන්ගේ ප්‍රතිචාර වෙනුවෙන් ඇයට දොස් නැගීමට නොහැකිය.තවත් තැනක තම පුතු පියාට රුපියල් පන්සියයක් දී බස්නැවතුම් පොලේ අතරමා කර දමා ගොස් තිබියදී පොළිස් භාරයට ගෙන ඇත.රුපියල් පන්සියයකින් තමා හදා වඩා ගත් පියාගේ වටිනාකම , පිය ගුණය තක්සේරු කරන්නට තරම් අවාසනාවන්ත දරුවන් සිටින බවට මේ එක් නිදසුනකි. උඩදුම්බර ප්‍රදේශයේ දියණියක් දෙමහල් නිවස වාසය කරමින් තම මව ඒ අසල ඉටිරෙදි පැල්පතක තබා සිටි අයුරු පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් ඔබේ දරුවන්ටද නෙත ගැටෙන්නට ඇත. මෙවන් අවස්ථාවලදී  මව්පියන්ට නොසලකන දරුවන්ට ස්වභාවධර්මය පවා නපුරු වෙන බව දරුවන්ට පහදා දෙන්න. මව්පියන්ට සලකන දරුවන්ට කිසිම දිනක නොවරදින බවත් දරුවන්ට ඒත්තු ගන්වන්න.

බොහෝ දරුවන් කියන්නේ තම මව්පියන්ට කොතෙක් සැලකුවද ඔවුන් නිරන්තරව කියා සිටින්නේ දරුවන් තමාට නොසලකන බවයි. එමෙන්ම ඔවුන්ගේ ගති පැවැතුම් තුළ කිසිම නම්‍ය ශීලිත්වයක් නැති බවත් දරුවන්ගේ අදහසයි.පවුලේ වැරැදි පිටස්තරයන්ට බෙදා දෙන බවත් මේ සියල්ල තුළ විඳ දරා ගත යුතුය. ඊට හේතුව ඔබේ බාල කාලයේ මව්පියන් ඔබ වෙනුවෙන් බොහෝ දේ විඳ දරා ගන්නට ඇත. ඇතැම් අවස්ථාවලදී වියපත් වීමත් සමග ඇති වෙන මානසිකත්වය නිසා වියපත් දෙමව්පියන් මේ  අන්දමට පත් වුනත් දරුවන් ඉදිරියේ ඔබේ මව්පියන් ගෞරණීය වටිනා චරිත ලෙසින් ඉස්මතු කිරීම ඉතා වැදගත්ය. වියපත් මව්පියන්ගේ බොහෝ වැරැදි තිබෙන්නට පුලුවන.ඒවා නිවරැදි කිරීමට දැන් කාලයක් නැත. මෙම වැරැදි නිවරැදි කිරීම යනු ඔබ සමග වියපත් දෙමව්පියන්ගේ ගැටීමක ආරම්භය පමණි.නිරන්තරව මෙම ගැටීම් දකින ඔබේ දරුවන් අතරද අත්තම්මා සීයා යනු කරදරකාර චරිතයක්ය යන සංකල්පයන් ගොඩ නැගෙනු ඇත.

ද්වේශසහගතව දරුවන් සලකන නිසා අද වැඩිහිටියන් ලක්ෂ පහක් අතරින් 10,000 ක් පමණ ජීවත් වෙන්නේ වැඩිහිටි නිවාසයන්හිය. මෙම සංඛ්‍යාත්මක අගයෙන් පෙනෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන් පවුල තුළ තවමත් ඉඩක් ඇති බවයි. ඒත් සමහර වැඩිහිටියන් දරුවන්ගේ ගරුත්වය නිසා නිවාසයන් වෙත නොගොස් සියළු දුක් ගිනි හිතේ දරාගෙන සිටිති.එවන් වූ අම්මාවරුන් හා පියවරුන් නැතුවාම නොවේ.කොහොම වුනත් ඔබේ දරුවන්ගෙන් වියපත් ඔබේ දෙමව්පියන් නොරිදවන සේ කටයුතු කිරීමට උපදෙස් හා අවවාද ලබා දෙන්න.

හැන්දෑවට නිවසට පැමිණෙන ඔබ දුව පුතා බත්කලට වේලාවට  බේත් ටික බිව්ව‍ාද අසන්නේ නම්….එයින් මේ මව්පියන් මහත් අස්වැසිල්ලක් ලබන්නේ තවමත් දරුවන්ගේ ලෝකය තුළ ඔවුන් ජීවත් වෙනවා නේද…? යන සතුට නිසාය.

අම්මට…. තාත්තට සලකන දරුවට – කිසි දවසක නෑ වරදින්නේ…..යන තේමා පාඨයෙන් දරුවන් හික්මවන ලද්දේ නම් වියපත් මව්පියන්ටත් එබේ නිවස සිත නිවන ප්‍රසන්න පරිසරයක් ගොඩ නගනු ඇත.

අලුත උපන් ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් වඩා හොඳින් නිරික්සන්න

නිරෝගිමත් දරුවකු සෑම දෙමාපියෙකු තුළම ඇතිවන සුන්දර බලාපොරොත්තුවයි. දරුවකු කළලයක් සේ මව් කුසට සපැමිණි දිනයේ සිට මවත් ඇය සමග සිටින සියලුම දෙනාත් විමසිලිමත් වන්නේ දරුවාගේ උපත සිදුවන මොහොත දක්වාය. නිවැරදි වෛද්‍ය උපදෙස් මත, පෝෂණීය ආහාර, විවේකය සහ මනා ව්‍යායාම් රටාවන්හි නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිවිය යුතු නොවේ.

දරුවාගේ උපත සිදුවන මොහොතේ සිට දරුවා මාස 10 ක් දිවි ගෙවූ පූර්ණ සංවෘත ලෝකයට සමුදෙයි. ඉන්පසු පවතින්නේ විවෘත ලෝකයකි. මේ කාලයේ සිට දරුවාට මුහුණ පෑමට සිදුවන අභියෝගතා බහුලය. කලල අවධිය, උපත සිදුවූ මොහොත හා ඉන්පසු කාලය ගත් විට මේ අවධි තුනෙහිදීම දරුවාට විවිධ රෝග මෙන්ම ආබාධ ද හටගැනීමේ ප්‍රවණතාවයන් ඇත. ඉතා සුළු වූ අතපසු වීමක් ඇති කරනුයේ විශාල හානිදායක ප්‍රතිඵලයකි.

අවාසනාවන්ත අන්දමින් යම් කිසි හෝ ගැටලුවකට මුහුණපාන බිලින්දා ආබාධ සහිත දරුවකු වීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකිය. මෙම තත්ත්වය ඉහත කී මනා සෞඛ්‍ය පුරුදු සමග යම්තාක් දුරට වළක්වාගත හැකි වුවත් අනපේක්‍ෂිත තත්ත්ව සහ නොවැලැක්විය හැකි හේතු මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බවට පත්වීම සිදුවිය හැක.

මූලිකවම දරුවෙකු මනාව නිරීක්‍ෂණය කළ යුත්තේ මවය. ඒ, බිලිඳා සමග වැඩි වේලාවක් ගත කරන්නේ ඈ හෙයිනි. දරුවා උපතේදී යම් ගැටලුවකට මුහුණපෑව හොත් අදාළ කාර්යමණ්ඩලය ඒ සම්බන්ධව මනා දැනුවත් කිරීමක් ඔබට ලබාදෙනු ඇත. උපතේ ඇතිවන සංකූලතා සමග දරුවා ඉදිරි ජීවිතයේ මුහුණපාන ගැටලු ගැන දෙමාපියෝ දැනුවත්විය යුතුය.

දරුවකු උපතේදී මුහුණපාන ගැටලු හේතුවෙන් වලිප්පුව (Fits) ඇතුළු විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර ඒවාට නිසි කලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

දරුවකු මෙලෙස ගැටලු සහගත තත්ත්වයන්ට පත්වීමේදී ඔවුන්ගේ ශාරීරික, මානසික, චර්යාමය හා අවබෝධය යන විවිධ අංශවල ගැටලු සහ සංකූලතා ඇතිවේ. දරුවකු වර්ධනය වන විට එම දරුවාට ගැටලු පවතීද යන්න අවබෝධ කරගැනීමට නම්, සාමාන්‍ය දරුවකු එම වර්ධනය පියවරෙහිදී ඉටු කරන කාර්යයන් ගැන ඔබ දැනුවත් විය යුතුය. මෙය ඔබට ළදරු සායන කාඞ්පත සමග පිරිනැමෙන අතර ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යරයා, ඔබගේ වෘත්තීය/භෞත/කථන හා භාෂා චිකිත්සක නිලධාරින් මෙන්ම පළපුරුද්ද මත වැඩිහිටියෙකුගෙන් වුව දැනගත හැක.

උපතේ සිට වසර දක්වා ගතවන කාලය තුළ දරුවකු චාලක ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස දියුණුවේ. ප්‍රධාන චාලක ක්‍රියාවන් ලෙස :

  • පැත්තෙන් පැත්තට පෙරළීම
  • මුනින් අතට පෙරළීම
  • හිස කෙළින් කර සිටීම
  • බඩගෑම, දණගෑම, හිඳ ගැනීම
  • ආධාරක සහිතව සිට ගැනීම
  • සමහර දරුවන් ඇවිදීම

බොහෝ දරුවන්ගේ මෙම ක්‍රියාවන්ගේ ආරම්භය සිදුකරන්නේ පළමු වසර තුළය. සාමාන්‍ය දරුවෙකු මෙම වර්ධන පියවරවලට එළඹෙන අවධිය ගත් කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු එයින් පසුගාමී වන අන්දම ඔබට නිරීක්‍ෂණය වේ. උදාහරණයක් ලෙස විශේෂ අවශ්‍යතා ඇති දරුවා මාස හත අටක් යනතුරු හිස සෘජුව තබානොගනී. නමුත් සාමාන්‍ය දරුවකු එය මාස 3-4 වන විට සිදු කරයි. සෙසු චාලක ක්‍රියාවන් ද මේ ආකාරයටම පැහැදිලිව පසුගාමී වේ නම් ඔබ ක්‍රියාත්මක විය යුතුය.

එමෙන්ම දරුවෙකුගේ ශරීරය නිරීක්‍ෂණය කිරීමේදී දරුවාගේ ඇස්වල චලන, මුඛයේ පිහිටීමේ අසාමාන්‍යතා, අත් පා සන්ධි අස්ථිවල විකෘතිතා මෙන්ම මාංශ පේශිවල තද ගතිය හෝ බුරුල් බව දරුවාගේ වෙනස් ගති සම්බන්ධව ඉඟි ලබා දෙයි. මෙබඳු තත්ත්ව යටතේ දරුවකු සාමාන්‍ය චාලක ක්‍රියා සිදු කිරීම ප්‍රමාද වේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වේ.

මේ අන්දමින් දරුවාගේ සංවේදනයන් ඔබ විසින් අවබෝධ කරගත යුතුය. සංවේදන ඉන්ද්‍රියයන් මගින් පරිසරය, පුද්ගලයන් හා තමා අතර අන්තර් සම්බන්ධතා පවත්වන දරුවා ඉන් ඈත්වීම ගැටලු රාශියක ආරම්භය වේ. මේ සම්බන්ධව ගත් විටද ඔබ සාමාන්‍ය දරුවකු සංවේදනයන්ට විශේෂයෙන්ම ස්පර්ශ සවේදනයට, එනම් අත් පා ශරීරයේ සම හරහා වන දැනීමට ප්‍රතිචාර දක්වන අන්දම අවබෝධ කරගත යුතුය. ස්පර්ශය සම්බන්ධව ගත් කළ දරුවා එයට අධිකව හෝ අවමම ප්‍රතිචාර දක්වනු ඇත. එවිට ඒ නිරීක්‍ෂණයන් වෛද්‍යවරයා හෝ චිකිත්සකවරයා වෙත සෙල්ලම් බඩුවක් අත්වලින් ග්‍රහණය කර නොගනී නම් එය ගැටලුවකි. ඇතැම් දරුවන් මව, පියා පවා ඔවුන්ගේ හිස, අත් අල්ලනවාට දැඩි සේ ප්‍රතිරෝධී වෙනු දැකිය හැක. එයද ගැටලුවකි.

ස්පර්ශයට අමතරව දෘෂ්ඨිය (පෙනීම) සම්බන්ධව ද වයස අවුරුද්දක් වන තුරු ඔබ සැලකිලිමත් විය යුතු වේ. දරුවා ඉපදී සති 3 ක් පමණ යන විට දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දක්වන අතර ක්‍රමානුකූලව මිනිස් මුහුණු, වර්ණවත් සෙල්ලම් බඩු, චලන දෙස නෙත් යොමයි. දරුවාගේ එම පෙනීම නිසියාකාරව ඉටු නොවේ නම් ඔබ දරුවා හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වේ.

ශ්‍රවණය ද (ඇසීම) එබඳුය. දරුවා උපතේ සිටම ශබ්දයට ප්‍රතිචාර දක්වන නිසා වයසින් වැඩෙත්ම දරුවා හඬට, සංගීතය ආදියට කෙතෙක් දුරට අවධානය දේද යන්න සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දරුවා ශබ්දයක් එන දෙසට නොහැරේ නම්, හඬට ප්‍රතිචාර නොදක්වයි නම් එය පැහැදිලි ගැටලුවකි.

චාලක සහ සංවේදන ගැටලු මෙන්ම දරුවාගේ අවබෝධය මෙන්ම චර්යාව පිළිබඳවද දෙමව්පියන්, දරුවාගේ මුල් වසර තුළ මනා නිරික්‍ෂණයක් කළ යුතුය. උපතේදී සංකූලතා ඇති දරුවන් මෙන්ම කිසිදු වෙනසක් නොපෙන්වන සාමාන්‍ය දරුවන් ද ඕටිසම් වැනි ගැටලු නිසා මෙම තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. එබඳු දරුවන් සන්නිවේදනය, චර්යා රටා සහ අවබෝධයේ මුල් පියවර සපුරන්නේ නැත. ඔබ දරුවා පිළිබඳ මනා අවධානයකින් මෙන්ම සාමාන්‍ය වර්ධන රටාව ගැන (ඉහත චාලක, සංවේදන, චර්යා, අවබෝධතා, සන්නිවේදන යන හැම අංශයකම) මනා අවබෝධයකින් සිටීමත් මෙහිදී වඩා වැදගත්ය.

දරුවන් එකිනෙකාට වෙනස්ය. සෑම දරුවෙකුගේම වර්ධනය එකම රටාවකට, එකම පියවරකට අනුව සිදු නොවේ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එබැවින් අනවශ්‍ය ලෙස කලබල වීම, අනෙක් දරුවන් හා සංසන්දනයන් කිරීම උචිත නොවේ. වැදගත් වන්නේ මව්පියන්ගේ ඔබගේ දැනුවත් බවයි. දරුවාගේ වර්ධනයේ යම් ඌනතාවයන් වේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් කරා කඩිනමින් යොමු වීම ඉතා වැදගත් වේ.

කිත්මා වාසනා දහනායක B.Sc(OT)
වෘත්තිය චිකිත්සක ආචාර්ය
ජාතික රෝහල
කොළඹ

ජපන්නු හපන්නු වෙන්නේ මෙහෙමයි

එක් වසරකදී මා හට ශිෂ්‍යත්වයකින් ජපානයට යන්න අවස්ථාවක් ලැබුනා.ඒ දකුණු ආසියාතික උසස් පාසල් සිසුන් අතර පැවති පාරිසරික,කළමනාකරණ සහ සුනිත්‍ය බලශක්තිය පිලිබඳ සමුළුවකටයි.එහිදී අපට දින ගණනාවක් ජපානයේ විවිධ ප්‍රදේශවල සහ පාසල්වල ගවේෂණ චාරිකා සඳහා අවස්ථාව ලැබුනා.විශේෂයෙන්ම එහි අධ්‍යාපන ක්‍රමය තුල අප දුටු විවිධ ක්‍රම නිසා අවසානයේ සිතුනේ ජපන්නු හපන්නු වෙන එකේ පුදුමෙකුත් නැහැ කියලයි.

අපට ලැබුණු අත්දැකීම් සහ අසන්නට ලැබුණු කාරණා අනුව සාමාන්‍යයෙන් හැම පාසලකම වගේ මූලික වශයෙන් මෙන්න මේ සමානතා දකින්න ලැබෙනවා…

පාසලේ මුල් අවුරුදු තුනේ කිසිදු ආකාරයකින් විභාග හෝ පරීක්ෂණ නොපැවැත්වීම


මේකට ප්‍රධානම හේතුව මුල් අවුරුදු තුනේදී දරුවාට ඔවුන් ලබාදෙන්නේ ගුණධර්ම පමණක් වීමයි.අපේ රටේ නම් ඉල්ලන්නේම අකුරුනේ.ඒත් ජපානයේ එහෙම නැහැ.ගුරුවරුන් සහ දෙමාපියන් පවසන අන්දමට කුඩා කල සිටම දරුවෙක් වෙලාවට වැඩ කරන විධිය,අන් අයට ගෞරවයෙන් යුතුව කතා කිරීම,ආචාරශීලි බව,වැඩිහිටියන්ට ගරු කිරීම,පරිසරයට ආදරය කිරීම,තම වැඩ කටයුතු තමන්ගේම අතින් සිදු කරගැනීම ආදී ගුණධර්ම වගා කරගත යුතුයි.පුංචි දරුවෙකුගේ හසුරු කුසලතා වර්ධනය වීම,මාංශ පේශි ක්‍රියාකාරිත්වය ආදී වර්ධනයන් මෙතුලින් ලැබෙන අතරේම ඒ දරුවාගේ ගුණධර්ම සංවර්ධනය තුල දරුවා කෙදිනක හෝ වැඩිහිටියෙක් වූ විට යහපත් පුරවැසියෙකු වන බව ඔවුන්  විශ්වාස කරනවා.ඉතින් ඒක ඇත්ත බව එරටින්ම අපට පෙනෙනවා නේද?

පාසලේ සේවකයන් නොව පිරිසිදු කිරීමේ කටයුතු කරන්නේ  ළමුන් පමණයි


මෙතුලින් දරුවන්ගේ අවධානය  යොමු කරන්නේ තමන්ගේ පන්තිය,අවට  පරිසරය රැකගැනීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධවයි.කොහේ ගියත් පිළිවෙල කියන එක තියෙන්න ඕනේ කියන හැඟීම ළමයාගේ ඔලුවට ඉබේම යනවා මේ නිසා.ජපානයේ වන ගහණය අපේ රටට වඩා සාපේක්ෂව අඩුයි.ඔවුන්ගේ කර්මාන්ත සහ කාර්මික ජනපද අපේ රටට වඩා වැඩියි.නමුත් ඔවුන් හුදෙක් සිතන්නේ තිබෙන පරිසරය රැකගෙන,ඵලදායිතාවයේ උපරිමයට ළඟාවෙන්නේ කෙසේද යන්න ගැනයි.පරිසරය පිරිසිදු කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලවල් දරුවන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සොයාබැලීමයි.ඒ සඳහා දරුවන් 5S සංකල්පය මූලික වශයෙන් අඛණ්ඩව,හරියටම ක්‍රියාත්මක කරනවා…..

  • සෙයිරි( sort)                     –  මෙයින් කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කර අවශ්‍ය දේවල් තෝරගන්න කියල
  • සෙයිතෝන්(set in order)  – මේ තුලින් පැහැදිලි කරන්නේ කලින් තෝරගත්ත අවශ්‍ය දේවල් ටික ටික පිළිවෙලට තියන්න කියලයි
  • සෙයිසෝ (shine)               – පිළිවෙලකට වගේම ඒ දේවල් පැහැදිලි,පිරිසිදු තත්වයෙන් තබන්න ඕනේ
  • සෙයිකෙත්සු(standerdize) – පාවිච්චි කරන එක උසස් තත්වයෙන් සිදුකරන්න ඕනේ
  • ෂිත්සුකේ (sustain)             – මේවා කරාටම මදියි දිගටම පවත්වගන්නත් ඕනේ

japan-1

මෙන්න මේ නිසයි මම මුලදී ඔබට කිව්වේ ජපන් ළමයි පුංචි කාලේ ඉඳලම මේ පිළිවෙල අඛණ්ඩව  හරියටම පවත්වාගෙන යනවා කියල.එය වැඩිහිටියෙක් වූ පසුව වුනත් ඔවුන් පුරුද්දක් ලෙසම පවත්වාගෙන යනවා.අපි නම් පටන්ගතතත් එය දිගටම පවත්වාගන්නේ නම්   නැහැ….නේද?

දිනකදී හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ලබාගන්නේ  සමාන පෝෂණය සහිත සමාන ආහාරයි. (දින පහටම විවිධ ආහාර වට්ටෝරු ලැබෙනවා )

japan-2

යම් යම් අසාත්මිකතාවන්ගෙන් පෙලෙන ළමුන් හැරුනුකොට සාමාන්‍යයෙන් එක් එක් පන්තියක හෝ එක් එක් සෙක්ෂන් වල එදිනෙදා ආහාරවේල ළමුන් විසින්ම පිළියෙළ කර ළමුන්ට ලබාදෙනවා.එකම විධියට එකම වට්ටෝරුවකට අනුව පෝෂ්‍යදායි ආහාරවේලක් ලැබීම තුල දරුවන්ගේ සෞඛ්‍යය සහ පිරිසිදුකම ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ වෙන්නේ.සමානත්වය,කෑම ගැනීමේ පුරුදු වගේ ගති ලක්ෂණ ළමයා මෙහිදී පුරුදු වෙනවා.මා ලද අත්දැකීම් කිහිපයක් මම කියන්නම්…

  • කිසිම ළමයෙක් අනික් සියල්ලන්ම ආහාර බෙදාගෙන අවසන් වන තෙක් ආහාර ගන්න පටන්ගන්නේ නැහැ
  • සියලුම ළමුන් ආහාරය ගන්න පෙර දෙවියන්ටත්,ආහාරය ලබාදුන් සියල්ලන්ටත් ස්තුති කර ආහාර ගන්නවා
  • සියල්ලන්ම ආහාර ගෙන අවසන් වෙනතුරුම කිසිම දරුවෙක් කතාකරන්නේ නැහැ
  • ආහාරයට ගෞරව කිරීම පිණිස පිඟාන එක අතකින් මුවට ලංකරගෙන ආහාරය ගන්නවා
  • දරුවන් සමඟ ගුරුවරයාද එකට හිඳ ආහාර  ගන්නවා
  • තමා ආහාරගෙන අවසන් කල පසු සියල්ලන්ම එකතු වී තම තමන් ආහාර ගත්  ස්ථානය පිරිසිදු කරනවා…එය තම  තමන්ගේම  වගකීමක් කොට ඔවුන් සලකනවා
  • මේ පුරුදු කොච්චර ලොකු අය වුනත් එයාල ගාව තියෙනවා…ඒකයි විශේෂම දේ
සංස්කෘතිකමය වටිනාකම් සහ කලාවන් ගැන ඉගෙනගැනීම

japan-3

ජපානයේ පාසල් සිසුන් කලාව,සාහිත්‍යය ආදී සමාජමය වටිනාකම් සහිත විවිධ විෂයන් ඉගෙනීමට කැමැත්තක් දක්වනවා.එය ඔවුන්ට  ඉතිහාසය,කලාව,සෞන්දර්යය ආරක්ෂා කරගැනීමට ඉගෙනීමට ලැබෙන අවස්ථාවක් යයි ඔවුන් සලකනවා.ශෝදෝ (書道 ) නැතිනම් ජපන් අක්ෂර කලාව ඉගෙනීම එක් අවස්ථාවක්.එහිදී කන්ජි අක්ෂර ආශ්‍රයෙන් විවිධ අක්ෂර කලාවන් ඉගෙන ගන්න පුළුවන්.කන්ජි කියන්නේ චීන අකුරු.මුල් කාලයේ ජපන් බස තුල සම්පුර්ණයෙන් වගේ  තිබුනේ මේ චීන අකුරුයි.පසුව ජපන් ජාතිකයන් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් හිරඟන සහ කතකන යන  අක්ෂර හෝඩි නිර්මාණය කළා.

පුංචි කාලේ ඉඳන් ළමයි ශෝදෝ ඉගෙනගන්න  පෙළඹෙනවා.උණ බටවලින් සෑදු පින්සලක් අරගෙන සහල් වලින් නිර්මාණය කල කඩදාසියක් මත කළු ආදී තද  වර්ණ වලින් කන්ජි අක්ෂර හැඩයන්  සහ අක්ෂරයන්  ලිවිම තුල හසුරු කුසලතා වර්ධනය වීමක් සිදුවෙන බව ගුරුවරුන්ගේ විශ්වාසයයි.ඒක සත්‍යයක්.
ඒවගේම ඔවුන් හයිකු නම් කාව්‍ය වර්ගය  ඉගෙනගන්නවා.මෙතුලින් සෞන්දර්යයට ආදරය කරන සංවේදී පුද්ගලයෙකු බවට දරුවාව පුංචි කාලයේ පටන්ම පරිවර්තනය වෙනවා.කලාවට,සෞන්දර්යයට ආදරය කරන්නා ලොවටම ආදරය කරනවා කියලයි ජපානයේදී අපිට මඟ පෙන්වූ  ගුරවරුන් පැවසුවේ.

සාමාන්‍යයෙන් හැම පාසලකම සිසුන්ට නිල ඇඳුම අනිවාර්යයි


japan-4

යුනිෆෝම් එක කියන දේ අපේ රටෙත් දකින්න පුළුවන් නේ.ජපන් ජාතිකයන් තුල මේ නිල ඇඳුම කියන සංකල්පය  පිටුපසත් විශේෂ හේතු තියෙනවා.නිල ඇඳුමක් ඇඳීම තුල සමාජය තුල සමානත්වය කියන සංකල්පය,ඉගෙනුම පිලිබඳ අවධානය යොමුකිරීමට දරුවාට  පහසුවීම යන කාරණා තමයි මෙයට ප්‍රධානම හේතු ලෙස සැලකෙන්නේ. සමහර පුද්ගලික පාසල් වල පවා කොණ්ඩා මෝස්‌තර,මේක් අප් භාණ්ඩ ගෙන ඒම පිලිබඳ දැඩි නීති පනවා තිබෙනවා.

 Hippo club


japan-5

මෙය බොහෝ විට family club එකක් හැටියටයි පවත්වාගෙන එන්නේ. අසල්වැසියන්,ප්‍රදේශවාසීන් එකතුවෙලා හිප්පෝ ක්ලබ් එකක් පිහිටුවනවා.පාසල් මට්ටමිනුත් මෙය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මෙය  විවිධ භාෂා සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.ඊට අමතරව විවිධ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාදය සඳහා විශේෂාංග වෙන් කර තිබෙනවා.මෙය social club එකක්. මූලික වශයෙන් ජපානය තුල සියලු ඉගැන්වීම කරන්නේ එරට ජාතික බස වන ජපන් භාෂාවෙන්.ඇත්තටම කිව්වොත් පරිගණක පවා ක්‍රියාත්මක වන්නේත් එහෙමයි.නමුත් ඔවුන් ඉංග්‍රීසි,කොරියානු,රුසියානු,සිංහල ආදී විවිධ භාෂා ඉගෙනගන්න බොහෝ කැමැත්තක් දක්වනවා.හිප්පෝ  ක්ලබ් එකකදී ජපන් ජාතිකයන් මා සමඟ කී දේ මොකක්ද දන්නවද? සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි කෙනෙක්ට ලොව ඕනෙම භාෂාවක් ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන් කියන එකයි.ඔවුන් දවසට විවිධ භාෂා වලින්  එක වචනයක් හෝ සිය ශබ්දකෝෂයට එකතු කරගන්න පෙළඹෙනවා.

මේ අනුව මට මෙහිදී ඔබට කියන්න විශේෂ  කාරණයක්  තියෙනවා.තමන්ගේ උපන් භාෂාව හොඳින් ඉගෙනීම තුල අනික් භාෂා ඉගෙනීම අපහසු වන්නේ නැහැ.එනිසා තම තමන්ගේ අනන්‍ය භාෂා මුලින් හොඳින් ඉගෙනගන්න දරුවාට මඟ පෙන්වන්න….එය  ජපනා තුලිනුත් මම දැක්ක දෙයක්.

Article written by Sathya Wijewardena

දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න

නිවාඩු දවසේ ටිකක් හෙමින් සීරුවේ නිවස අතුගාමින් සිටි සිරිනි දැක්කේ පුතු සෙල්ලම් ආකෘතියක් ගොඩ නගන්නට දරණ උත්සාහයක්.

පුතේ ඔය රතු කැටය අනිත් පැත්තට තියන්න…..ඒත් පුතු එය වගකටවත් ගත්තේ නැහැ. කියන දේ අහල අනිත් අතට තියන්න….සිරිනි නැවතත් කිව්වා. පුතු එකසැනින්ම ආකෘතිය පෙරලා දැම්මා…පෙනේද මුරණ්ඩුකම…සිරිනි දරුවාගේ කණ තදින් මිරිකුවා. පුතු හඬාගෙන අප්පච්චි සොයා ගෙන ගියා.

නොමනාප සිතින් කොස්සත් අරගෙන යන සිරිනි නැවතුනේ දෝනි වෙත….මොකද මෙයා මෙතැන සෙල්ලම් බඩු වනා ගෙන අස්කරල අර පැත්තට ගියා විතරයි. සිරිනි ගේ වචන ටිකක් සැරෙන් පිටවුනා.

ෂ්….කෑගහන්න එපා…මම ලෙඩෙක් බලනවා. දෝනි කිව්වා. පාට පාට වතුර බෝතල්..පවුඩර් කුඩු…හැම තැනම

සිරිනි…. සුදත්  කතා කලා..

සිරිනි දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න…

අප්පච්චිට අමාරැවක් නැහැ…මගේ ඉළ ඇට ඇදෙනකම් ගෙවල් අස් කරන්න…ඔයාගේ හුරතලය තමයි සේරටම මුල.

ඒක ඇත්ත….ඒත් දරුවන්ගේ සෙල්ලම් ලෝකයට බාධා කරන්න එපා. පුංචි කාලය කියන්නේ බොහොම සුලු කාලයක්. මේ කාලයේ දරුවන් ගෙවන ජීවිතයෙන් ලොකු පන්නරයක් අනාගතයට ලබා ගන්නවා. සුදත් බොහොම කරුණාවෙක් කිව්වා.

දරුවන්ගේ සෙල්ලම් ලෝකයට නීති රීති තහංචි පැනවුනත් බාල කාලයේදී ස්වාධීනව සෙල්ලම් කිරීම නිසා අනාගතයට විශාල බලපෑමක් ලැබෙන බවකේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩේවිඩ් වයිට්බ්‍රෙඩ් සඳහන් කරනවා.දරුවන්ගේ ලෝකය බොහොම සුන්දරයි.ඔවුන්ගේ හිතේ ඇති වෙන නිර්මානශීලිත්වයට මව්පියන්ගේ බලපෑම් ඇති වුනොත් ඒ නිර්මානශීලිත්වය උපන්ගෙයිම වැලලෙන බව ඔහු සඳහන් කරනවා.

දරුවන් සෙල්ලම් කරන විට එම සෙල්ලම ඔවුන්ට කර ගෙන යෑමට ඉඩ දිය යුතුයි. හාල් මිටක් අරගෙන සෙල්ලම් කළාට පොඩි දෝනිට බනින්න එපා කියන කියමන සම්පූර්ණයෙන්ම ඇත්තක්. දරුවන්ට සෙල්ලමට ඉඩ වගේම අවශ්‍ය උපාංගත් අවශ්‍යයි. එදා දරුවන් බොහෝ දේ පරිසරයෙන්ම ලබා ගත්තා. ඔවුන්ට පොල්පිති වලින් තනා ගත් ගොනුන් සිටියා. රෙදි බෝනික්කන් , පැපොල් බට නලා වැනි සෙල්ලම් බඩු තිබුනා. ඒත් අද දරුවන්ට මේ කිසිවක් නැහැ. එදා දරුවන් සෙල්ලම් උපකරණ පිළියෙළ කර ගත් නිසා ඔවුන්ගේ කුසලතාවයන් නොදැනම වර්ධනය වුණා.

එදා මව්පියන්ට මනෝවිද්‍යාව ගැන කිසිම සංකල්පයක් තිබුනේ නැහැ. ඒත් ඔවුන් දරුවන්ගේ සෙල්ලම වෙනුවෙන් ලොකු වටිනාකමක් ලබා දුන්නා.දරුවා අද ගොඩ නගා ගන්නා පෞරෂය අනාගතයේ සමාජගත පුද්ගලයෙකු වීමට වඩාත් සමීප බලපෑමක් කරනවා.අධ්‍යාපනය වෙනුවෙන් නිර්මානශීලිත්වය අවශ්‍ය අතර මෙම නිර්මානශීලි අදහස් සමග ගොඩ නැගෙන තර්ක බුද්ධිය දරුවාගේ අධ්‍යාපනයට වඩාත් සමීප බලපෑමක් ඇති කරනවා.

අද දරුවෙක් වැලි සෙල්ලම් බතක් හැදුවොත්, සෙල්ලම් කඩයක් දැම්මොත් අම්මලා දකින්නේ මහ අපරාධයක් විදහට. අද හැම නිවසක්ම බොහොම පිළිවෙලයි. පිරිසිදුයි. ඒ නිසා ගෙබිම ගැන බොහොම උනන්දුවක් දක්වන නිසා දරුවාගේ සෙල්ලම වෙනුවෙන් තහංචි පනවනවා නොවෙයි, නොදැනම පැනවෙනවා. ඒත් කෝම්පිට්ටුවක් හදන විට දරුවාගේ බොහෝ කුසලතාවයන් නොදැනම වර්ධනය වෙනවා. වැලි අනන විට ඇගිලි වල ක්‍රියාකාරිත්වය නිසා හසුරු කුසලතාවයන්ගේ උත්ත්ජනය ඇති වෙනවා. පොල්කටුවට තවත් පොල්කටුවකින් ගසන විට ඇති වෙන රිද්මය නිසා සෞන්දර්යාත්මක සිතුවිලි පෝෂනය ලබනවා.

අම්මෙක් තාත්තෙක් විදිහට දරුවාගේ සෙල්ලමට මැදිහත් වෙන්න ඔබට වෙලාවක් කලාවක් නැතුව ඇති. අද  අවිවේකී පරිසරය තුළ එය ඇත්තක්. ඒත් දරුවාගේ සැලසුම් සහිත සෙල්ලමට ඔබ බාධාවක් නොවිය යුතුයි.වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ සෙල්ලම අතරමග බිඳ වැටෙන විට ඒ සමගම දරුවාගේ ආත්මාභිමානයද බිඳ වැටෙන බව තරයේම සිහ තබා ගත යුතුයි.

මෑතකදී අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ප්‍රධාණියෙකුගේ අවමංගල්‍ය උත්සවයේදී එතුමාගේ බෑනා කතා කරමින් සඳහන් කළේ කොළඹ ජීවත් වුන තම දියණියගේ සෙල්ලම් පාසලේ සිටි එකම ගෝලයා මෙම අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහළ නිළධාරියෙකුව සිටි ලොකු අත්තා බවයි. රාජකාරි මොනතරම් බහුල වුනත් නිවසේ සිටින විට ලොකු අත්තා මගේ පංතියට එන්න කී විට මේ වියපත් සීයා සුවච කීකරු ගෝලයා‍ගේ තැනට පත් වෙන බවයි. ඇත්තෙන්ම ඔහු තම මිණිපිරියගේ මානසිකත්වය ගැන සිතා කටයුතු කිරීම ගැන පියාට අවසාන කටයුතු සිදු කරන අවස්ථාවේදී පවා සංවේගයෙන් සිහිපත් කරනු ලැබුවා.

සෙල්ලම් කරන වෙලාවට දරුවන්ගේ සංවාද බොහොම රසත්. විටෙක ඔවුන් අනුගමනය කරන්නේ මුලුමනින්ම ඔබේ චරිතයයි. හොදින අසා ගෙන සිටියොත් මේ ඉන්නේ ඔබම නේදැයි යන්න ඔබටම හිතෙනවා ඇති.කොලරාඩෝ සරසවියේ මානසික සහ ස්නායු විද්‍යා මහාචාර්ය යුකෝ මුනකාටා සඳහන් කරන අන්දමට සෙල්ලම සමග ස්වාධිනව හැසිරෙන දරුවාට අනාගතයේදී තවත් අය මත යැපෙන්න අවශ්‍ය නැහැ. ජීවිතයට මුහුණ දෙන හැකියාව සෙල්ලම තුලින් ඔහු උපයා ගන්නවා.

සෙල්ලම් කිරීමෙන් දරුවාගේ කාලය අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ.ඔවුන්ටත් විනෝදයක් අවශ්‍යයි. ජීවිතයට විවිධත්වයක් ලබා ගත යුතුයි. තවත් අය සමග ජීවත්වෙන අන්දම උගත යුතුයි. අනාගතයේදී දරුවා ජිවත්වෙන්නේ විවිධාකාර පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයක. මේ සමාජය තුළ දරුවා නොනැසී ඉදිරියට යැමට නම් ඒ වෙනුවෙන් ආත්මශක්තිය ගොඩ නගා ගත යුතුයි.ඒ වෙනුවෙන් වූ අත්තිවරම සෙල්ලම වෙතින් ලැබෙන නිසා ඔහුට ස්වාධීනව මෙම කටයුත්ත කර ගෙන යෑමට අවස්ථාව සලසා දීම දෙමව්පියන් ලෙස ඔබගේ වැදගත් කාර්යක් වේ.

අපේ දුව උයන්න දන්නේ නැහැ

ඔහුගේ දියණිය දීග තල යන වයසත් දැක් ඉක්මවමින් ගොසින්ය. ඇය රුවෙන් අඩුවක්ද නැත. උසස් අධ්‍යාපනයක් ලබා ඇත.. රාජකාරිමය ලෙසින් බැංකු නිළධාරිනියෙකි. මේ නිසා ඇය වෙනුවෙන් මංගල යෝජනාවන්ද අඩුවක් වූයේ නැත. පොරොන්දම්ද ගැලපේ. ඒත්….විවාහය වෙනුවෙන් තවමත් තීන්දුවක් නැත. දන්නා හඳුනන අය ගෙනෙන ලද යෝජනාවන් නොදැනම බිඳ වැටෙන විට ඔවුනොවුන් පවා කතා වුනේ ඇත්තටම ඇයි….තවම මංගල්‍යක් හරියන්නේ නැත්තේ….යන්නයි. පසුව රහස එලි විය.

දියණිය වෙනුවෙන් වූ මංගල යෝජනාවන්හිදී පියා ඔවුන් ඉදිරියේ කියා සිටින්නේ ” අපේ දුවට උයන්න පිහන්න බෑ… එයා කැමැති නෑ වලං මුට්ටි හෝදන්න…. සේරම කරල දෙන්නේ තවම අම්මා .” තම දියණියගේ සුකොමල බව නිසා පියා මේ විදිහට කිව්වත් ඇත්තටම ගැහැණු දරුවෙකුට ඉවුම් පිහුම් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කිරීමත් ලැජ්ජාවක්.මේ නිසා ඇය බලන්න පැමිණි මනමාලයෝ නොදැනම ඈත් වුණා.

එදා ගැහැණු දරුවන් අද මෙන් උසස් අධ්‍යාපනය නොලැබුවත් ඔවුන්ට මව්පියන් විසින් ලබා දුන් ලොකුම අවවාදය වුනේ ” හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ “ යන්නයි. ඇත්තටම ගැහැණු පමණක් නොව පිරිමි දරුවෙන් වුනත් උයන්න පිහන්න ඉගෙන ගැනීම වරදක් නැහැ.

ඉවුම් පිහුම් කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක්. මේ කලාව වෙතින් ලබන පන්නරය නිසා අනාගතයේදී ගෙදර දොර කටයුතු ඉතා හොඳින් කර ගැනීමේ පහසුව ලැබෙනවා.අද බොහෝ දෙනා හිතන්නේ හන්දි ගානේ නයිට් කඩ තියෙන නිසා ගෙදර කෑම බීම හදනවාට වඩා ‍කීයක් හරි දීලා වේල පිරිමහ ගත්තාම ඇති කියලයි. ඒත් …. මේ කඩවලින් හදන ආහාරවල තිබෙන ගුණාත්මක බව, පිරිසිදුකම සමග ඔබේ වියදම ගැන ගණන් බැලුවොත් නිවසේ පිළියෙළ කරන ආහාර වේලක තිබෙන රස ගුණ පමණක් නොවෙයි, මුදල් ඉතිරියත් මොනතරම් වටිනවාද යන්න තේරේවි.

දරුවෙකුට උයන පිහන කටයුතු එක රැයකින් උගන්වන්න බැහැ. ඒ වෙනුවෙන් බාල කාලයේ පටන්ම මග පෙන්වන්න අවශ්‍යයි. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලම් ගෙවල් තනා ගෙන ඒවායේ පුංචි හැලි වලං වල බත්, ව්‍යංජන පිළියෙළ කරනවා. ඒ සෙල්ලම් ලෝකය තුළ උයන පිහන කටයුතු වෙනුවෙන් අත හුරු වීම නොදැනම සිද්ධ වෙනවා.

ඒත්…. අද දරුවන්ට සෙල්ලම් ගෙවල් දාන්න වෙලාවක් කලාවක් වගේම පිරිසක් නැහැ. නිවසේ දරුවන් අතර වුනත් එකට එක්ව සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. යාන්තම් හය හතර තේරෙන දිනයේ පටන් අමතර පංති , විෂය බාහිර පංති නිසා දරුවන් තම සහෝදරයන් අතරත් හුදෙකලා වෙලා. අම්මා උයන දේ, එහෙම නැත්නම් කඩෙන් අරගෙන දෙන කුමක් හෝ ක්ෂනික ආහාරයකින් පිරිමැහෙනවා විනා එයින් එපිටට කිසිම දෙයක් හිතන්න යොමු වීමක් නැහැ.

අද දරුවන් අතර ගනුදෙණු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා බව රහසක් නොවේ. එහි වැරැද්දක් කියන්න බැහැ. ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂනය සමග දරුවා ඉදිරියට යා යුතුයි. සමාජ ජාල ඔස්සේ ඔවුන්ට බොහෝ දේ ලබා ගත හැකියි. උයන්න පිහන්න වට්ටෝරු වුනත් මේවායින් බාගත කර ගන්න පුලුවන්.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කිව්වේ අලුත් අත්වලින් හදන කෑම රසයි.කියලා…. මේ  නිසා දරුවන් අතර අලුත් අලුත් දේ අලුත් අලුත් විදිහට උයන්න උනන්දුව ඇති වුනා. දරුවන් ඇත්තටම නිර්මානශීලියි. එකාකාර විදිහට අම්මා හදන ආහාර වෙනුවට දරුවාට අලුත් විදිහට යමක් උයන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක ඒ ගැන උනන්දුවෙන් අගයන්න. එවිට දරුවාට තමාට ලැබෙන ඇගයීම නිසා තවත් දුරට මේ කටයුතුවල නිරත වෙන ආසාව ඇති වෙනවා.

ඉස්සර අම්මලා පත්තරවල ආහාර වට්ටෝරු කපල පොත්වල අලවා ගත්තා. තමා නොදන්න ආහාර මේ වට්ටෝරුවලින් බලා ගෙන උයා පිහා ගත්තා. උයන පිහන කටයුතු විනෝදාංශයක් විදිහට සිදු වුනොත් එය අමිහිරි අත්දැකීමක් නොවෙයි.බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙසින් පත් තෙරේසා මේයර් සඳහන් කළේ ඇගේ විනෝදංශය ආහාර පිළියෙළ කිරීම බවයි. ඇය සතුව එකතු කරන ලද ආහාර වට්ටෝරු පොත් ගණනාවක් තිබෙන බවත් අගමැතිනිය විසින් පත් අවස්ථාවේ සඳහන් කළා.

පාසල් අධ්‍යාපනය ලබන දියණිවරුන්ට විවේකයක් ලැබෙන අවස්ථා නැතුවාම නොවෙයි.සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසානයේ දරුවන් ඊළඟ අධ්‍යාපන අවස්ථාව ලැබෙන තෙක් කෙටි විරාමයක් ලබා ගන්නවා. මේ කාලසීමාව ඔවුන් ගෙවන්නේ රුව ලස්සන කරගන්න, ඇඟපත මහත දෙහෙත අඩු කර ගන්න.කිසිම ව්‍යායාමයක් නොමැතිව කාලය ගෙවලා ලැබුන විවේකය තුළ එවැනි කටයුතු වෙනුවෙන් යොමු වීම තරුණ ගැහැණු දරුවන් විදිහට වරදක් නොවෙයි. ඒත් මේ කාලසීමාව තුළ මුළුතැන්ගෙයි සිද්ධ වෙන්නේ මොනවාදැයි බලන්න පුලුවන්. අම්මලාටත් තම දරුවන් හවුලට සම්බන්ධ කර ගෙන ලැබුන විවේකය අර්ථවත් කිරීමට හැකියාව තිබෙනවා.

ඉවුම් පිහුම් කටයුතුවලට දරුවන් සම්බන්ධ වුනාම ඔවුන් කිරුම් මිනුම් සංකල්ප ගැනත් අවබෝධයක් ලබනවා. අද වගේ ස්වයංක්‍රිය බත් පිසින උදුන් නොතිබුන යුගයක බතට වතුර තිබ්බේ ඇගිලි පුරුකේ තරමටයි. කාලය සමග ලබන අත්දැකීම් අනුව පරිමාව කොපමණ වුනත් බත බෙරි නොවන විදහට වතුර පදම තබා ගැනීමේ හැකියාව ලැබුනා.

ඉවුම් පිහුම් සමග දරුවන් සම්බන්ධ වුනාම පවුලේ කටයුතු වෙනුවෙන් හවුලේ වගකීම දරුවන්ටත් ඇති වෙනවා.ජීවන වියදමට අපි ගැලපෙන්නේ කොහොමද යන්න ඔවුන්ම තීරණය කරනවා. උත්සව අවස්ථාවක කැවිලි වෙළඳපොලෙන් ගන්නවාට වඩා නිවසේ සකසා ගැනීම වැනි අරපරෙස්සම, සකසුරුවම නොදැනම ඇති වෙනවා.

ඉවුම් පිහුම් දන්නා දියණියක් සිටින විට පවුල සුරක්ෂිතයි. ස්වයංරැකියාවක් විදිහට ආහාරපාන පිළියෙළ කරන්න වගේම බෝඩිමකින් හෝ පවුලේ ආර්ථිකයට දායක විය හැකියි. ඇත්තටම පිරිමි දරුවාටත් උයන්න පුලුවන්නම් එය ලැජ්ජාවට හේතුවක් නොවෙයි. අද ඉවුම් පිහුම් කලාවේ දැවැන්තයන් අතර පිරිමින් සිටිනවා.බිරිඳ රැකියාවක නිරත වෙන විට ඇති වෙන අවිවේකීබව , ඇයට අසනීපයක් වූ විට එසේම වෙනත් අනපේක්ෂිත අවස්තාවක බිරිදගෙන් ඉවුම් පිහුම් කටයුතු සිද්ධ නොවෙන විට ඒ හිස්තැන පුරවා ගැනීම සැමියාට එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. එතකොට ” බිරින්දෑ නෑගම් ගොහිං “කියමින් ලතැවෙනවාට වඩා විඩාපත් බිරිඳ නිවසට එන විට සැමියා අතින්ම පිළියෙළ කරන ලද ආහාරවේලකින් ඇගේ වෙහෙසකර බව නිවෙනු ඇත.

90% දරුවන් නිතර නිතර මැසිවිලි නගන බඬේ රිදිල්ල “Colicky Abdominal Pain” හෙවත් Colicky

පාසැල් වියේ දරුවන් සිටින මව්වරුන්ට දරුවන්ගේ උදරයේ වේදනාවන් පිළිබඳව නිතර නිතර අසන්නට ලැබේ. ඇතැම් මව්වරුන් මෙය දරුවන්ට පැවරුණු පාසැල් වැඩකටයුතු හෝ ඔවුන් අකමැති කාර්යයන් ඇති විට ඒවා මගහැරීමට යොදන උපක්‍රමයක් ලෙසද සිතයි. වයස අවුරුදු 4ත් 16ත් අතර පසැල් වියේ දරුවන්ගෙන් 75%ක පමණ ප්‍රමාණයකට ඇතිවන මේ උදරයේ වේදනාව බොහොම පොදු ගැටලුවක් වන අතරම දිනපතා හෝ සතියකට වරක් හෝ මේ තත්ත්වය ඇති විය හැකියි. ඇතැම් දෙමාපියන් සිතන්නේ දරුවන් පාසැල් යාම හෝ පාසැල තුළ රැඳී සිටීමට ඇති අකමැත්ත මත දරුවන් මෙසේ මැසැවිලි නගන බවයි. නමුත් මෙය උදරයේ ඇති වන Colicky තත්ත්වයක් විය හැකියි.

Colicky තත්ත්වය යනු සිරුරේ කුමන හෝ නාලයක සිරවූ යමක් තල්ලු කර යැවීමට සිරුර දරණ උත්සාහය මත ඇතිවන වේදනාවයි. බඩවැල්, වකුගඩු, අක්මා-අග්න්‍යාෂ යන පද්ධති පිරිමි දරුවන්ගේ සිරුරේ ඇති ප්‍රධාන නල පද්ධති 3 ක් වන අතරම ගැහැණු දරුවන්ගේ ඊට අමතරව ගර්භාෂ-පැලෝපීය යන නල පද්ධති දැකගත හැකියි.

උදරයේ මැදින් එනම් පෙකණිය ආසන්නයේ සිට වේදනාව ඇති වීම මේ Colicky Abdominal Pain හෙවත් Colicky තත්ත්වය හඳුනාගත හැකි ප්‍රධානතම ලක්‍ෂණයයි. මේ වේදනාව විනාඩි 2-4ක් පැවත ඉබේම පහව ගියද ඒ කාලසීමාව තුළ අධික වේදනවාක් ගෙන දෙයි. ඇතැම්විට මේ වේදනාව එසැණින් නැවත ඇති විය හැකියි. එසේත් නැතිනම් විනාඩි 10 ක් 20ක් ගත වූ පසු හෝ නැතිනම් සතියකට පසුව වුවද නැවත ඇති විය හැකිය.විශේෂයෙන්ම පාසැල් යාමට පෙර උදෑසන ආහාරවේල හෝ කිරි වීදුරුව ලබාගැනීමෙන් අනතුරුව මේ වේදනාව ඇති විය හැකිය. එසේම පාසැල් විවේක කාලය තුළ එනම් දහවල් 11 – 12 අතර කාලයේදී කුසගින්න නිසා හෝ යමක් කුසට වැටුණු විට මේ වේදනාව ඇති විය හැකියි.

ඇතැම් දරුවන් දිනකට වරක් මලපහ පිට නොකරන අතරම ඔවුන් දින දෙක තුනකට වරක් මලපිටකරයි. එවැනි දරුවන්ගේ මල ඉතාම වියළි ස්වභාවයෙන් යුතු විය හැකි අතරම රුධිර වහනයන් ද දැකගත හැකිය. Colicky තත්ත්වය ඇති වන 75%ක් පමණ දරුවන්ට කොයි ආකාරයකින් හෝ මලබද්ධ තත්ත්වය පවතින අතරම කුඩා බඩවැල්වලත් මහා බඩවැල්වල මුල් කොටසේත් මල වැඩි වශයෙන් රැදී තිබීම මෙයට තවත් හේතුවකි. එවැනි තත්ත්වයන්හිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට දරුවා හුරුකිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ද ඉතා වැදගත් වේ. මෙම Functional Abdominal Pain තත්ත්වය සමනය කරගැනීම සඳහා ආහාර පාලනය බොහෝ සෙයින් වැදගත් වන අතරම තන්තුමය කොටස් බහුල එළවළු, පළතුරු වැඩිපුර ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර වර්ග සහ පාන වර්ගවලින් ඈත් වීමත් මේ තත්ත්වය සමනය කරගැනීමට වැදගත් වේ. එසේම ආහාර ලබාගැනීම ප්‍රධාන වේල් තුනකට සහ කෙටි වේල් දෙකකට සීමා කිරීම ද වැදගත් කරුණකි. ක්‍රමාණුකූලව ජීවිතයට ව්‍යායාම ලබාගැනීමත් මේ තත්ත්වය මග හරවා ගැනීමට උදව් වේ.

Colicky තත්ත්වයට අමතරව උදරයේ වේදනාවන් ඇතිවීමට හේතු : 

  • උදරය තුළ ආම්ලිකතාවය වැඩිවීම
  • මානසික ආතතිය
  • බඩවැල්වල ක්‍රියාකාරීත්වය මගින් මොළය අනවශ්‍ය ප්‍රමාණයකට උද්දීපනය වීම

උදර වේදනාව පිළිබඳ සංඥා මොළයට ගමන් කිරීමෙන් අනතුරුව උදරයේ වේදනාව මොළය මගින් අප වෙත දනවයි. වයස අවු.12-14 පමණ වන තුරු උදර වේදනාවේ ප්‍රමාණය පිළිබඳව නිවැරදි වැටහීමක් මොළයට ලබා ගත නොහැකි වන අතරම කුඩා වේදනාවක් වුවත් වටහා ගන්නේ විශාල වේදනාවක් ලෙසටයි. ඒවා Functional Abdominal Pain ලෙස හඳුනවන අතරම එවැනි තත්ත්වයන්හිදී උණ, වමනය, මුත්‍ර දැවිල්ල, මලපහ ඝන, වියළි බවින් යුතු වීම, කෑම අරුචිය, බර ක්‍ෂණිකව අඩුවීම වැනි තත්ත්වයන් දැකගත නොහැකිය.

මේ තත්ත්වය පිළිබඳව මව්පියන් තුළ පවතින බිය දරුවාට නොදැනෙන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් වන අතරම වේදනාව කළමනාකරණය කරගැනීම පිළිබඳව දරුවන් මෙන්ම දෙමාපියන්ද සැලකිමත් වන්න. දරුවාට පාසැල් යෑම අනිවාර්ය කරන්න. පාසැල් නොගොස් රූපවාහිනය නැරඹීම හෝ ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා කිසිදු විටෙක අවස්ථාව ලබානොදෙන්න. එසේම මේ වේදනාව සමගින් දරුවා පාසැල් යාම හෝ වෙනත් කාර්යයක නිරත වුවහොත් දරුවාව අගය කරන්න. දරුවාට සැමවිටම ඔබේ සම්පූර්ණ සහාය ලබාදෙන්න.

මෙම තත්ත්වය ඇතිවීමට විශේෂිත හේතුවක් සොයාගත නොහැකි අතරම, දරුවා වැඩිවියට පත්වීමත් සමගම නැතිවී යයි. කිසිදු විටෙක හිතුමතේ දරුවාට ඖෂධ ලබානොදිය යුත්තේ දිගින් දිගටම දරුවාට ඖෂධ වර්ග ලබා දුනහොත් දරුවා එයට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එසේම නිතර නිතර ඇති වන වේදනාවේ වෙනස්කම් දරුවා පවසයි නම් හෝ වෙනත් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එනම් මලපහ සමග රුධිරය පිටවීම, ක්‍ෂණිකව සිරුර සිහින් වීම, වමනය වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවන්න.

එසේම දරුවන්ට හදිසියේම ඇති වන උදර වේදනාවන් පිළිබඳවද මව්වරුන් වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තත්ත්වයකදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතු අතරම එය Acute Abdominal Pain ලෙස හඳුන්වන තත්ත්වයයි. වේදනාව සමග උණ, වමනය, උදරයේ එක් පසක් වැඩිපුර රිදීම වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් ඒ තත්ත්වය ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) නම් වූ රෝගී තත්ත්වයද විය හැකියි. එසේම බඩවැල්වල සිරවීම් (Intestinal Obstruction) එසේත් නැතිනම් බඩවැලක් අස්සේ බඩවැලක් යෑම (Intussusception) හේතුවෙන් හටගන්නා වේදනාකාරී තත්ත්වයක් ද විය හැකියි. ඇතැම්විට මේවා මාරාන්තික තත්ත්වයන්ද විය හැකියි. මේවාට අමතරව බඩවැල් ආසාදන, ගැස්ටි්‍රස්ටීස් (Gastritis), ආහාර විෂ වීම් (Food poising) වැනි තත්ත්වයන් මෙන්ම වකුගඩු ආශ්‍රිතව ගල් හිරවීම්ද විය හැකිය. මේ සියලු අවස්ථාවන් සඳහා හදිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව මව්වරුන් සහි තබාගන්න.

කාරාපිටිය ශික්ෂණ රෝහලේ, ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ඵස්. කස්තුරි මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.

ඔබේ දරුවා ගැටළු විසදන්න දුර්වලද

ගොඩක් දරුවෝ ගණිත ගැටළු විසදන්න තරමක් දුර්වලයි. එවැනි දරුවන්ට තරම් තර්කන හැකියාව අඩුය. ඇතැම් දරුවන් ගුරවරයා කි සැනින්ම ගැටලුව විසදා පිලිතුරද ලබා ගනී. මෙය දරුවාගේ බුද්ධි මට්ටම අනුව තීරණය වනු ලැබේ. බුද්ධියේ වර්ධනය දුරවලයි නම් දරුවාට ගැටලුව ඉක්මනින්ම විසදීය නොහැකිය.

කුඩා කාලයේ සිටම දරුවන්ට ගැටළු විසදන්න අවස්ථාව ලබා දිය යුතුය. මෙය දරුවාගේ මොලයට හොද ව්‍යායාමයකි. බුද්ධිය ක්‍රියාකාරී වීමට අවශ්‍ය රසායනික සම්ප්‍රේෂණ, රුධිර සැපයුම, මොලය වෙත ගමන් කිරීම ආදී ක්‍රියාවලින් ගණනාවක් ගැටළු විසදීම මගින් සිදු වේ.

පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ ළමයාගේ බුද්ධිමය පරිසරය සකස් කිරීමට නම් ඉගෙනීම තුළ තර්කානුකුලව සිතිය හැකි ගැටළුවක් තිබිය යුතුය. අලුත් ගැටලුවකට මුහුණ දීමේදී එම ගැටලුව විසදීම සදහා පෙර රැස් කළ මතකයන් අනුව අලුත් ගැටලුව විසදීමට නිරායාසයෙන්ම ප්‍රයෝජනයක් ගන්නවා. මේ නිසා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට දරුවා පෙළඹෙනවා.

ගැටළුවක් විසදිමෙන් දරුවන් සතුටක් ලබනවා. වැඩිහිටියෙකුත් වුවත් යම් දෙයක් විසදා ලබන මානසික සතුට ඉහලය. එය දරුවන්ටද පොදුය. එමෙන්ම ගැටළුවක් විසදීමේ අලුත් අදහසක්, නව අත්දැකිමක් එකතු වනු ලබයි. මෙහි පියවර කිහිපයක් පවතී.

පළමුව දරුවා ගැටලුව නිරවුල්ව හදුනා ගන්නවා
ගැටලුවට විසදුම් සොයන්න ගන්නවා
විසදුම් කිහිපයක් කියනු ලැබේ
එයින් එකක් තෝරා ගන්න උපකාර කරන්න
තෝරා ගත් විසදුම් වලින් ගැටලුව විසදීමට දරුවා උනන්දු කරවන්න
විසදුම ලැබීමෙන් පසු අගයන්න
මේ සදහා ඔබට දරුවාට විසදන්න යැයි තේරවිලි ඉදිරිපත් කල හැකිය.

උදාහරණ ලෙස: අත්තක් උඩ බුම්මගෙන – කටු රෙද්දක් පොරවාගෙන

කොස් ගෙඩිය

ගසක් උඩ ගෙඩියක්- ගෙඩියක් උඩ ගසක්

අන්නාසි ගෙඩිය

මෙවැනි තේරවිලි ඉදිරිපත් කර එය විසදන්න යැයි දරුවාට යෝජනා කරන්න.

කතාන්දර ස්වරූපයෙන් ගැටළු ඉදිරිපත් කල හැකිය

කතාන්දර ඇසීමට දරුවන් ඉතාමත් ප්‍රිය වේ. කතාන්දර ඉදිරිපත් කර අවසානයේ එමගින් ප්‍රශ්න හැකිය. එවිට දරුවා ඔබ ඉදිරිපත් කල ගැටලුව පිලිබදව විස්තර ඔබෙන් අසාවී. දරුවට එහිදී උදව් කරන්න. එමගින් ඔහු පිළිතුර සොයන්න උත්සාහ කරනු ලැබේ.

පරිසරයේ ඇති විවිධ සංසිද්ධීන් ඇසුරෙන් ප්‍රශ්ණ අසන්න

මෙහිදී දරුවන්ට ඉතා සමීප වස්තුන් යොදා ගන්න. සතුන්ගේ ලෝකයට දරුවන් ඉතාමත් ප්‍රියය. දරුවන්ගේ වයසට අනුකුලව ප්‍රශ්න ඇසීමට සෑම විටම වගබලා ගන්න.

උදාහරණයක් ලෙස:

  • ගසක් කතා කලොත් මොනා වෙයිද. ගසකට කතා කරන්න පුලුවන්නම් මොනවා කියාවිද?
  • පුසෙකුට කතා කරන්න පුළුවන් උනොත් මොනවා කියාවිද ?
  • අඹ ගෙඩියක් 10ක් වුනොත් 2ක් ගන්න රුපියල් 20ක් ප්‍රමාණවත්ද ?
  • මේ ටයිල් මේ කාමරයට අල්ලන්න ඇති වෙයිද ?
ඔබට පුළුවන් දරුවා ලවා විවිධ නිර්මාණ සිදු කරන්න

පත්තර කොළ වලින් බෝට්ටු හදන්න. පොල්කොළ වලින් නිර්මාණ දරුවා ලවා සිදු කරවන්න. මෙහිදී දරුවා සිදු කරන වැඩ වලට ඔබ මැදිහත් වන්න එපා. ඔහුට එය සිදු කරන්න අපහසු නම් ඊට උපදෙස් ලබා දෙන්න. මෙමගින් දරුවාගේ නිර්මාණාත්මක ශක්තිය වැඩි දියුණු වනු ලැබේ.

ඔබේ නිවසේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලටද දරුවා සහභාගී කර ගන්න. ඔහුට එම වැඩ පවරන්න. දරුවා සමග වැඩ කරන විට ඔබට දරුවාගෙන් ප්‍රශ්න ඇසිය හැකිය. දරුවාට ලබා දෙන ගැටළු ඔහුට මානසික වදයක් නොවිය යුතුය. එසේ වුවහොත් එය නීරස වනු ඇත.

සෑමවිටම ඔබ දරුවාට ගැටළු ලබා දෙන විට දරුවාගේ වයස් මට්ටම පිලිබදව සැලකිලිමත්  වන්න. අවුරුදු 06 දරුවෙකු සහ අවුරුදු 10ක් දරුවෙකුගේ බුද්ධි මට්ටම වෙනස්ය. ඒ නිසා ඒ පිලිබදව සැලකිලිමත් වෙමින් ගැටළු ලබා දෙන්න.

පොත් අපේ නෙත් වගේ

දරුවන් පොත් පත් කියවන්නේ නැතැයි යන මැසවිල්ල අද හැම තැනකින්ම ඇසෙන පොදු වචන ඛණ්ඩයක්. අද වගේ විසිතුරු පොත් පත්තර නොතිබුන කාලයකදී  දරුවන් නිවසට හාල්මැස්සන් කරවල ඔතාගෙන එන කඩදාසියේ තිබෙන දෙයක් වුනත් කියවන්න උනන්දු වුනා. ඒත්….මුද්‍රිත මාධ්‍යයන්ගෙන් දුරස්ථව ගිය අද කාලයේ වුනත් දරුවන්ට කියවන්න අවශ්‍ය බොහෝ දේ විද්්‍යුත් මාධ්‍ය මගින් ලැබුනත් ඔවුන් තුළ දැනුම වෙනුවෙන් කියවන උණක් පහල වෙන්නේ නැහැ. මේ අතරින් දරුවන් යොමු වෙන්නේ ක්‍රීඩා , සමාජ ජාල මිසක දැණුම , විනෝදය වෙනුවෙන් කියවීමට නොවේ.

මහා බ්‍රිතාන්‍යයේ මාධ්‍ය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ 2010 වසරේ පටන් 2015 වසර වෙන විට දරුවන්ගේ කියවීමේ වේගය බෙහෙවින් පහත වැටී ඇති බවයි.2010 වසරේදී එරට දරුවන් අතර පුස්තකාල පරිශීලනය කරන ප්‍රතිශතය 18. 7 % ක් ලෙසින් පැවැතුනත් 2014 වන විට මෙම ප්‍රතිශතය 13. 8 % දක්වා පහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ළමා සාහිත්‍යය පිලිබඳ ලේඛක ක්‍රිස් රිඩ්ල් මේ තත්වය ඉතා අවාසනාවක් විදිහට පෙන්වා දෙනවා. කියවන පුරුදු පිලිබඳ සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩයනා ජෙරල්ඩ් සඳහන් කරන්නේ පුස්තකාල වෙතින් ඈත් වෙන දරුවන්ට පුස්තකාල සමීප කිරීම වෙනුවෙන් ආකර්ශණීය වැඩ පිළිවෙලක් අවශ්‍ය බවයි.

පුස්තකාලයක් වෙත යන අරමුණ දරුවෙක් තුළ ගොඩ නැගෙන්නේ ඔවුන්ට කියවීමේ උණක් තිබුනොත් විතරයි. අද දරුවන්ට මව්පියන් වෙතින් වත් මෙම අවශ්‍යතාවය ඉටු නොවන තැනට පත් වෙලා. මව්පියන් වුනත්  එදා පොතක් පත්තරයක් මිළට ගත්තත් අද අන්තර්ජාලයෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන නිසා පොත් පත් මිළට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ.

විවේකය ලැබුන විට සාප්පු සවාරියක් , විනෝද චාරිකාවක් ගැන කතා බහ දරුවන් මුල් කර ගෙන ගොඩ නැගෙනවා විනා කිසිම දිනක පුස්තකාලයක් වෙත දරුවන් කැටුව යෑමේ අදහස් මව්පිය පාර්ශවයෙන් ලැබෙන්නේ නැහැ.නගරයට ගියත් වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් වූ සැලසුම නිසා පුස්තකාලයට වැස්සකටවත් ගොඩ වදින පුරුද්දක් වැඩිහිටියන්ටත් නැහැ. මෙහෙම වුනාම කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලයි.

උත්සව සමය ආසන්න වෙත්ම මව්පියන් තුළ ඇති වෙන්නේ ” සේල් ” ගැන අදහස විතරයි. ඒත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන දිනයන්හි අපේ දරුවෝ පොත් ප්‍රදර්ශනයට එක්ක යන්න ඕන යන සිතුවිල්ල ඇති වෙන්නෙත් නැහැ.පොත් ප්‍රදර්ශනයකට ගිය විට පොත් වලින් වහනය වෙන නැවුම් සුවඳ පවා කියවන්න උත්තේජනයක් ඇති කරනවා.විදේශීය පොත් ප්‍රකාශකයන් පවා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉගෙණුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත් පත් තෝරා ගැනීමේ අපුරු අවස්ථාවන් දරුවන්ට උදා වෙනවා. ආකර්ශණීය වට්ටම්ද ලැබෙනවා. සේල් වෙනුවෙන් යොමු වෙනවා වගේම පොත් වෙනුවෙන් ලැබෙන ආකර්ශණීය වට්ටම දරුවන්ට ලබා දිය හැකියි. ඒ විතරක් නොවෙයි…..කියවන සමාජයක ඇසුර දරුවාට ලැබෙනවා. පොත් කතුවරු හමු වෙනවා…කියවීම වෙනුවෙන් තරඟ පවත්වනවා. මේ සියලු පහසුකම් නිසා දරුවාටත් පොත් පත් අතර රැ‍ෙඳෙන මානසිකත්වය නොදැ‍නම ඇති වෙනවා.

නිවස විසිතුරු කරන ගෘහ භාණ්ඩ කලින් කලට වෙනස් කරන සහ ටැබ්, පරිගණක වැනි විද්්‍යුත් උපාංගයන් දින දින අලුත් කරන අම්මා ,තාත්තා දරුවා වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කරන්න පුංචි පොත් රාක්කයක් මිළට ගන්න කිසිම දිනක හිතන්නේ නැහැ. පුංචි අල්මාරියක පොත් එකතුවක් දරුවාට සකසා දුන්නොත් එයින් නොදැනම පොත් පත් එක් රැස් කරන සහ කියවන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙනවා. පොත් ආරක්ෂා කරන්න අවශ්‍ය සම්පතක් බව ප්‍රායෝගිකවම ඔහුට ඒත්තු ගැනෙනවා.

පොත්  කියවන දරුවාගේ දැනුම් ගබඩාව නොදැනම පුළුල් වෙනවා. ගැමුණු කුමාරයා ගැන කියවන දරුවා දස මහයෝධයන් ගැනත් උතුරේ එලාර රජතුමා සමග වූ ඉතිහාසය හොඳින් හඳුනා ගන්නවා. ලෝකය පුරාවට වූ දැණුම දරුවා තුළ නොදැනම එක්රැස් වෙනවා. ඇස්තිමෝ ගැන කියවන විට අත්ලාන්තික් කලාපයටත්, පිග්මි වැනි ගෝත්‍රිකයන් සමග දරුවා අප්‍රිකාවට යනවා. ඒ වගේම දරුවාගේ චරිතය ගොඩ නගා ගත හැකි ආදර්ශමත් චරිත මගින් දරුවාගේ පෞරෂ වර්ධනයටද සුවිශාල බලපෑමක් ඇති කරනු ඇත.

පොත් කියවීම දරුවාට අප්‍රිය නොවන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පොත් අපේ නෙත් වගේ කියන ලෙසින්ම දරුවාට පොත් සමීප වීම වැදගත්. පොත් කියවීම විධාන මගින් සිදු කළ නොහැක. එය දරුවාගේ සිතට වඩාත් සමීප අත්දැකීමක් විය යුතුය.

අද මහජන පුස්තකාල හැම පළාත් පාලන ප්‍රදේශයකම පිහිටා ඇති නිසා දරුවාට එහි සාමාජිකත්වය ලබා දිය හැක.මේ වෙනුවෙන් ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. එවිට ඉතා පහසුවෙන් දරුවාට අවශ්‍ය පොත් පත් කියවීම වෙනුවෙන් පහසුකම් ලැබෙනු ඇත. මහජන පුස්තකාල මුල් කර ගෙන කියවීම ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වෙන විවිධ වැඩ සටහන් තිබෙනවා. පොත් පත් මුල් කර ගත් දැනුම මිනුම තරඟ, රචනා, චිත්‍ර, පෝස්ටර්, කාටුන් සහ විවිධ තරඟ ඉසව් තිබෙනවා. මෙම තරඟ වෙනුවෙන් සහභාගි වී දරුවාට තමාගේ සහජ කුසලතාවයන් වර්ධනය කර ගත හැකියි. මේ නිසා දරුවා සමග ඔබටත් පුස්තකාලයට ගොස් පොත් පත් කියවීමේ පුරුද්ද ගොඩ නගා ගත හැකි අතරම දැණුමෙන් ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා.

ඇමරිකාවේ යේල් සරසවියේ පවත්වන ලද අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ පොත් කියවන්නන්ගේ ආයු කාලය වැඩි බවයි. මෙම අධ්‍යනය සඳහා පුද්ගලයන් 3635 ක් සහභාගී කර ගත් අතර ඔවුන් අවුරුදු පණහ ඉක්මවන ලද අය වුනා. ඔවුන් දිනකට පැය තුන හතරක් පොත් කියවීමට කාලය යොදවනු ලැබුවා. එම පිරිස පිළිබඳ පසු තොරතුරු සෙවීමේදී පෙනී ගියේ පොත් කියවන පිරිස අතර කායික රෝග සහ මානසික රෝග පිලිබඳ පැමිණිලි ඉතා අඩුම මට්ටමක පැවැතුණා.ඊටත් බලපාන හේතු තිබෙනවා. පොත් පත් මගින් ලැබෙන දැණුම නිසාම තමන්ගේ සෞඛ්‍යය ගැන ආරක්ෂාව ලැබෙනවා. මානසික ලෙසින්ද ඇති වෙන විවේකය නිසා වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම අඩුයි. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබෙන නිසා ඒ සමග බද්ධව තිබෙන වෙනත් රෝගාබාධයන්ගෙන් නිදහස් වීමේ හැකියාවටත් මග පෙන්වීමක් නොදැනම ඇති වෙනවා.

මේ නිසා දරුවාගේ උපන්දිනයට ලබා දෙන වෙනත් තෑගි සමග පොතක් තෑගි කරන්න. දරුවන් සිටින තැනකට යන විට රුගෙන යන රසකැවිලි වෙනුවෙන් වූ මුදලට සමානව කියවන යමක් රුගෙන යන්න. නිතර දෙවේලේ පොත පත නෙත ගැටෙන විට කියවන රුචිය දරුවාටත් ඔබ නොදැනම වගා වෙනු ඇත.කියවන සමාජයක් එක් රැයකින් බිහි කරන්න බැරි වුනත් මේ විදිහට යම් යම් උපක්‍රම අනුගමනය කළොත් එය අපහසු කටයුත්තක් නොවේ.

රැකියාව සහ දරුවන්

හැම දෙමව්පියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තබන්නයි. මේ නිසාම බොහෝ දෙමව්පියන් රැකියාවක් මගින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්න බව සඳහන් කළොත් වරදක් නැහැ.

එහෙත් රැකියාව සහ දරුවන් මුල් කර ගත් පවුල් ජීවිතය සමබර ලෙසින් පවත්වා ගෙන නොගියොත් එය දරුවාගේ මානසිකත්වයට ඉතා තදින් බලපාන බව බ්‍රිතාන්‍ය කොලම්බියාවේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. මේ තත්වය අපිටත් සාධාරණයි.

ඇතැම් උගත් වැදගත් මව් දෙමව්පියන්ගේ දරුවෝ අයාලේ වැටුනාම අපි වුනත් අකම්පහල වෙන්නේ මේ දරුවන්ට මොනවද අඩු…..ඇයි මෙහෙම වුනේ කියලයි….ඒ තත්වයට දරුවන් පත් වුනේ දෙමව්පියන් සහ දරුවන් අතර වූ මානසික බන්ධනය නොදැනම ගිලිහුන නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොනතරම් ඉහළ වෘත්තියක නියැලුනත් රැකියාවේ වගකීම් සමගින්ම දරුවන්ගේ ජීවිතයටත් සමීපව සම්බන්ධ වීම අවශ්‍යයි. බොහෝ දෙනා අද රැකියාව ගැන අනවශ්‍ය විදිහට අවිවේකී බව ගොඩ නගා ගන්නවා. අනේ රාජකාරියත් එක්කමනේ අපි….හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ…බොහෝ දෙනා මේ ආකල්පයෙන් අද සිටියත් තමන්ගේ දූ දරුවන්ටත් ආදරය සෙනෙහස අවශ්‍ය බව අමතක කළ යුතු නැහැ.හැන්දෑ කළුවර ගලා හැ‍ෙලන විට සෙනෙහස දැල්වුන නිවස කරා ඔබ පැමිණිය යුතුයි. නිවස ඔබට සුවදායක තැනක් විය යුතුයි. ඇතැම් අය කියන විදිහට ගෙදර අපායක්ය….යන සංකල්පයෙන් මිදෙන්න අවශ්‍යයි.නිවස ඔබට දිව්‍යලෝකය තරමටම සුවදායක නම් සැබැවින්ම ඔබ දරුවන් සහ පවුල මුල් කර ගෙන ජීවත්වෙන චරිතයකි.

ඒත් අද බොහෝ දෙනා ආර්ථික වාසි නිසා සති අන්තයේ වත් දරුවන් සමග ගත කරන්නේ නැහැ. කන්තෝරුව ජීවිතය බවට පත් වෙලා. දරුවන්ද නිවසේ නොරැඳෙන බව ඇත්ත. ඔවුන් බාහිර පංති වෙනුවෙන් දවස ගෙවෙන නිසා මව්පියන් නිවසේ සිටියද එකිනෙකා අතර බන්ධනයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒත් දරුවන්ගේ හිත් මානසිකව හුදෙකලා වෙනවා. මේ මානසිකත්වය ඔවුන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම එතරම් ගුණ නැහැ.

බොහෝ දරුවන් මෙම මානසික හුදෙකලා බවෙන් මිදෙන්න විවිධ අකටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ආදර සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා අතර පිරිමි දරුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙත යොමු වෙන අවදානම ඉහලයි. සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි වුනත් මුදල් කියන්නේ ජීවිතය නොවෙයි කියන තැන අපි නැවතිය යුතුයි. මධ්‍යම පළාත් පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා සඳහන් කරන අන්දමට මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පවුල් අතර හොඳ අධයාපනයක් ලත් සමාජයේ ඉහළ තානාන්තරවල සිටින මව්පියන්ගේ දරුවන් පවා සිටිනවා.  ඇත්තටම පවුල තුල මේ දරුවෝ හුදෙකලා වෙනවා. ඒ නිසාම ඔවුන් නොමගට ඇදෙන අතර දෙමව්පියන්ද තම දරුවන්ගේ අකටයුතු සඟවා ගෙන ජීවත් වෙනවා මිස මතෙන් මුදවන කටයුතු වෙනුවෙන්වත් උනන්දු නොවෙන්නේ තම දරුවාගේ තත්වය සමාජය දැන ගැනීවි යන අහංකාර සිතුවිලි නිසාය.

වැරැදි සමාජ ආශ්‍රයන් වගේම සමාජ ජාල සහ වෙබ් අඩවි පරිශීලනය නිසාත් ඔවුන් නොමගට ඇදෙනවා.

ඉහත අධ්‍යනයේ ප්‍රධාණී මනෝවිද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව්ද මේ අදහසම සඳහන් කරනවා. රැකියාව සහ ගෘහ ජීවිතය අතර අන්තර් සම්බන්ධතාවයක් නොමැති දෙමව්පියන් මූලිකත්වය දෙන්නේ රැකියාවටයි. රැකියාවේ ස්වභාවය සමග දරුවන් ඔවුන්ට කරදරයක්.රැකියාවේ ඉලක්කයන් සමග හැල්මේ දුවන විට දරුවන් ඉබේටම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ තත්වය ධනවත් පවුල් සංස්ථාවන් තුළ වැඩියෙන් පෙනෙන බව කුෂ්ලෙව්ගේද අදහසයි.

කාන්තාවක් රැකියාවක නිරත විට ඇය රැකියාව වෙනුවෙන්ම කැපවෙනවා. ඒ නිසාම දරුවන් ඇගෙන් මග ඇරෙන බව අමුත්තක් නොවේ. රැකියාවේ ස්වභාවය අනුව වගකීමෙන් මිදෙන්නත් අපහසුයි. දරුවාට අම්මා සේවා ස්ථානයේ බැබැලෙන චරිතයක් වුනාට දරුවාට එයින් බලපෑමක් නැහැ. තමාගේ ජීවිතයේ තිබෙන පාළුව නිසා ඇති වෙන ආත්මීය ශෝකයෙන් දරුවා නිරන්තරවම පීඩා විඳිනවා.

දෙමව්පියන් නිවසේ නොමැති විට දරුවා කාලය ගෙවන්නේ කොහොමද යන්න මව්පියන් සොයා බැලීම අවශ්‍යයි.උදේ නිවසෙන් පිටවුන තැන පටන් නැවත නිවසට එන තෙක් දරුවා ගැන විමසිල්ලෙන් සිටින විට අම්මා තාත්තා තමා ගැන අවධානයෙන් සහ ආදරයෙන් සිටින බව දරුවා දන්නවා.

මානසික හිස්කමෙන් පීඩාවට පත් දරුවන් සමහර විට අද නොමගට යොමු නොවුන චරිත විය හැකියි. ඒත් තරුණ වියට පත් වෙන විට මෙම දරුවන් තුළ මානසික අවපීඩනය, සාංකාව හෝ ආතතිය වැනි රෝග තත්වයන් දැක ගත හැකියි. සමහර විට බාල කාලයේ තමාට ආදරය අවධානය නොලැබීම නිසා හිතේ ඇති වුන පසුතැවිල්ල විටෙක නොදැනම වෛරයක් තරම් දරුණු වෙන්නත් පුළුවන්.

කොච්චර බණ කිව්වත් ආර්ථික ශක්තියක් නැතුව ජීවත්වීම එතරම් පහසු නැහැ. රැවුලයි කැඳයි දෙකම අපි බේරා ගත යුතුයි. මේ නිසා හැකි හැම වේලාවක්ම දරුවා සමග ගත කරන්න.කාර්යාලයේ කරදර පොදිය හවසට කාර්යාලයේ තබා යන්න. එය නිවසට රැගෙන ගොස් පවුලේ සතුටට බාධාවක් කර නොගන්න. නිවසට ගිය තැන පටන් රූපවාහිනිය, ‍ෆේස් බුක් , ලැප්ටොප් නොව ලෙයින් මසින් උපන් දරුවන් සමීපයේ කාලය ගෙවන්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන අසන්න. දරුවන් දවස ගෙවූ අන්දම වගේම ලබා ගත් අත්දැකීම් බෙදා හදා ගන්න. පවුලක සතුට , සමාදානය වගේම දරුවන් සහ දෙමව්පියන්ගේ බන්ධනය එවිට ගොඩ නැගෙනු ඇත.