Home Blog Page 129

යමුද පොඩ්ඩක් ජීවිතේ ආපස්සට ?

ඇත්තටම අපි ගෙවූ සුන්දර ළමා කාලය අපේ දරුවන්ට විඳින්නට හැකියාවක් අද මේ නාගරික ජීවිතය තුල නැතැයි විටෙක මට සිතේ. මගේ ළමා විය නගරයේ ගෙවී ගියද මා ජිවිතය විඳින්නට පින් කලෙමි. වරුගානක් පොඩි අක්කාත් මමත් ආකාසේ තරු ගැන්නෙමි. වහින දිනට පොඩි අක්කාටත් මටත් රජ මගුල්ය. අම්මාට හොරෙන් වහලේ පීල්ලෙන් ගලා එන දිය දහරට අපි දෙදෙනා ඔට්ටුවෙන්නේ ඒ ගලන්නේ දිය ඇල්ලක් යැයි කියාය. නිවසේ කෙළවරින් ගලා ගිය කානුවේ වැහි දින වලදී පැහැදිලි ජලය ගලා යයි. ඒ අක්කාගේත් මගේත් දොළ පාරය. කානුවේ අප නටනවා අම්මා හෝ ලොකු අක්කා දුටුවෝතින් සියල්ල එතනින්ම අවසන්ය. අපේ නිවසේ තිබූ පේර ගස මුලු තැන් ගෙයි වහළ වසා ගෙන තිබුණි. අක්කාගේත් මගෙත් රජ දහන පේර ගසින් නැග ගොඩ වන මුලු තැන් ගෙයි වහළය. එදා පාසල් නිම වී නිවසට ආ අපට අසීමිත නිදහසක් තිබුනි. අහල පහළ ළමුන් සමග බට්ටා පනින්නට ,ටීක් ගසන්නට, ටින් කඩන්නට, ගස් මාරු කරන්නට පොඩි අක්කාත් මමත් නිවසට හොරා ගියද ලොකු අක්කාගෙන් අපට බේරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. “ගැහැණු ළමයි හැදෙන්න ඕනී ලැජ්ජ බයට ගෙවල් වලට වෙලා” අම්මා නිතරම පැවසුවත් ඒ නීතී පොඩි අක්කාගෙත් මගේත් මේ කනින් ඇසී අනිත් කනින් පිටව යයි. පාසල් නිවාඩුවට අම්මාගේ බලංගොඩ මහ ගෙදර යන්නට අපි ඇගිලි ගනින්නෙමු. අපට චිත්‍රයක් අඳින්නට රචනාවක් ලියන්නට අමතුවෙන් වචන ගලපන්නට ඇවසි නොවීය. ඒ අප විඳි සොබාදම අපූර්වත්වය තුලින්, සමාජ ඇසුර තුලින් අපේ සිතුවිලි මනාවට පෝෂණය වී තිබූ නිසාවෙන්ය. අප ලද ඒ සමාජය ආශ්‍රයත් පරිසරය විඳ ගැනීමත් ජීවිතයට පන්නරයක් වූ බව මම තරයේම විශ්වාස කරමි.

අද අපෙ දරුවන්ට සොබා දහම විඳින්නට හැකියාවක් නැත. අපේ දරුවන් පාසලෙන් නිවසට ,නිවසින් උපකාරක පන්තියටය. ලැබෙන සුලු විවේකයේදී රූපවාහිනිය ඉදිරි පිට වාඩිවන අපේ දරුවන් එයට සම වැදෙයි. නැතහොත් පරිඝණක, ටැබ් වැනි දෑ හැරෙන්නට ඔවුන්ට වෙන යමක් නැත. ඇත්තෙන්ම දරුවන් සිතන්නට නොහැකි රොබෝවරුන් මෙන්ය. මේ යථාර්තයයි. ඉතින් වෙනස් වන්නට කාලය පැමිණ ඇත. දරුවන්ට ජිවිතය විඳින්නට අවකාශය සැලසිය යුතුය. පොතේ දැනුම පමණක්ම ජීවිතය නොවන බව දැන දැනත් අප දෙමාපියන් වශයෙන් සමාජ රැල්ලට අපේම දරුවන්  පා කර හැරීම කෙතරම් සෝචනීය කරුණක්ද? අනාගතයේදී දෙමාපියන්ට හා සමාජයට වැඩදායී පුද්ගලයකු වර්තමානයේ සමාජ දැනුමක් නොමැති අසංවේදී දරුවකු තුලින් බලාපොරොතු විය හැකිද?

අපේ දරුවන්ගේ ළමා කාලයම ගෙවෙන්නෙ උපකාරක පන්ති වලය. මදක් සිතා බලන්න එකම කාරණාව තැන් කිහිපයකින්ම දරුවාට ලැබෙන විට දරුවාට ඉගෙනීම එපා වනු ඇත. එනිසාවෙන්ම ප්‍රථමික ශෙු්ණි වල දරුවන්ට කුඩා අවදියේම මෙපමණ උපකාරක පන්ති අවශ්‍ය දැයි මා නැවත වරක් විමසමි.

“ටීචර් තුන වසරට පන්ති පටන් ගන්නවා ළමයි දමන අම්මලා දැන්මම නම් දෙන්න. “

“ඔයා දානවද තරුකගෙ අම්මා”

“නැහැ අකිඳුගෙ අම්මා”

“මමත් දාන්නෙ නැහැ මොකටද නිකන් ළමයි මහන්සි කරවන්නේ මෙයාගේ අක්කත් පන්ති ගියේ නැහැ.”

ඇත්තටම ඇය මට මුණ ගැසුණු දුර්ලභ ගණයේ මවක්ය. බොහෝ මව්වරු දරුවන් ටියුෂන් වෙත දක්කාගෙන යන අතර යථාර්තය සැබැවින්ම තේරුම ගත් මවක් ලෙස මා ඇය හැඳින්වූවාට වරදක් නැත.

“ඔය අම්මලා ටියුෂන් වලට එක්ක යන ළමයි වැඩ කරන්නෙම නැහැ. අපේ පන්තියෙත් බලන්නකො පන්ති යන ළමයින්ට වඩා පන්ති නොයන ළමයි වැඩ කරනවා.”

ඇය පැවසූවේ සත්‍යයකි. උපකාරක පන්ති වෙත යන දරුවන්ට වඩා උපකාරක පන්ති නොයන දරුවන් දක්ෂ බව මටද සිහිපත් විය. එක දෙක වසරවෙනියා ලබා නොදෙන නිසා දරුවන් දිරිමත් කිරීම සඳහා පුතුගෙ පාසලේ සෑම වාර විභාගයකදීම හොඳම දරුවන් දස දෙනාට විදුහල්පතිනිය අතින් ඔවුන්ගේ ඇඟයීම් ලිපි ගොනුව ලබා දෙයි. මෙම වසර දෙක පුරාවටම එසේ ඇඟයීමට ලක් වූ දරුවන් උපකාරක පන්ති වෙත යන දරුවන් නොවීම එයට හොඳම සාක්ෂිය විය.

යමුද පොඩ්ඩක් ජීවිතේ ආපස්සට. ඔබේ ළමා වියට ගොස් මොහොතක් නැවතිල්ලේ සිතන්න, දකින්න. අප අපේ දරුවන් ඉගෙන ගත් උගත් පුද්ගයකු පමණක්ම කිරීම ප්‍රමාණවත්ද? නැත හොඳ ඉගෙන ගත් මනුස්සකම හඳුනන බුද්ධිමත් මනුෂ්‍යයෙක් ලොවට දායාද කිරීම දෙමාපියන් වශයෙන් අපේ යුතුකමය. දරුවන්ට ඉගෙනුමට මෙන්ම සෙල්ලම් කරන්නටත් ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය විඳ ගන්නට අවකාශය ලබා දෙන්න. ජිවිතය විඳින්නට අවසර දෙන්න.

ඔබේ දරුවා සතුටින් තබන්නේ කොහොමද

සිනහව කියන දේ හරිම වැදගත්. අපි කවුරුත් කැමතියි සිනහවෙන් සතුටින් කල් ගත කරන්න. අපි සිනහා වන විට අපේ සිරුරේ තිබෙන රුධිරය ක්‍රියාකාරිත්වය ඉහල යන අතර රුධිරයේ සංයුතියද වෙනස් වෙනවා. අපි සෑම විටම සිනාමුසු මුහුණනි සිටින විට අපි කාටත් ප්‍රිය වෙනවා. දුක, වේදනාව සියල්ලම සිනාව මගින් යටපත් කල හැකිය. අපි හැම මොහොතකම දුකෙන් සිටින විට අප කරන සියල්ලම අවුල්සහගත වෙනවා. මෙය දරුවන්ටත් පොදු කාරණයක්. දරුවා නිතරම සතුටින් සිටින විට එය දරුවාගේ මතක ශක්තිය වර්ධනය වීමට බලපානවා.

පර්යේෂණ අනුව පෙන්වා දෙන්නේ සිනාව ස්වභාවික ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන අතර දවසක් සතුටින් සිටිනවා යනු දින දෙකක ප්‍රතිශක්තිකරණය ශරීරය තුල ඇති වීමට බලපාන බවයි. ඒ නිසාම ඔබේ දරුවා නිතරම සිනාවෙන් තැබීම ඔබ සතු දෙයක්. මේ සදහා ඔබට දරුවා විවිධ ක්‍රියාකාරකම් වලට දරුවා යොමු කල හැකිය.

  • විනෝද විය හැකි ගීත ගයන කරන්න ඉඩ සලස්වන්න.
  • සිනහ ගැන්වෙන කතාන්දර කියා දෙන්න

අන්දරේගේ කතා ඉතාමත් විනෝදජනකය. එම නිසා එවැනි කතා වලින් දරුවන් සතුටු වනවා නියතය. ළමයින් විනෝද වෙන්න විහිලු කතා කියන්න හරිම කැමතියි. දරුවන්ගේ ළමා ලෝකයට සමීප ඔවුන් ඉත්මාත් ප්‍රිය කරන චරිත මගින් කතන්දර කියා දිය හැකිය. එවිට දරුවාට සතුටක් විනෝදයක් ලැබෙනවා මෙන්ම දැනුමක්ද එමගින් ලබා දිය හැකිය.

  • විවිධ සතුන් අනුකරණය කරමින් ඔබට ඔබේ දරුවා සිනහා ගැන්විය හැකිය.
  • සිනහා යන පින්තුර පෙන්වා දරුවා සමග එකට සිනාවෙන්න.
  • කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් දරුවා සමග සිනාවෙන්න.

කුඩා දරුවන් එකට එක් වූ විට විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. එවැනි අවස්ථාවලදී සිදු වන කුඩා දේවල් වලට පවා දරුවන් සිනා වෙනවා. ඇතැම් දරුවන් එකට එක් වූ විට පෙරළෙනවා, පොරකනවා. කිතිකවා ගන්නවා. එවැනි දෑ සිදු කිරීම හොදය.

  • අනපේක්ෂිතව දරුවා පුදුම කරවමින් සතුටු කල හැකිය.

දරුවට නොදන්වා කැමති කෑමක්, තෑග්ගක් ලබා දිය හැකිය. අතීත සිදුවීම මතක් කරමින් ෆොටෝ වීඩියෝ පෙන්වමින් දරුවා සමග සතුටින් කතා කරන්න. ඔයා පුංචි කාලේ මේ වගේ ආදී ලෙස දරුවා කුඩා කාලයේදී සිදු කල දගකාර ක්‍රියාකාරකම් ඔහුට නැවත මතක් කල දිය හැකිය. එවිට දරුවා ඒ පිලිබදව වඩාත් සතුටු වනු ඇත.

දරුවන් සතුටින් තැබීම හරිම වැදගත්. ඔවුන්ට දැනෙන ආතතිය, මානසික අසහනයෙන් සිනහව මගින් මිදිය හැකිය. දරුවාගේ මනස සැහැල්ලු වීමට එය බලපානවා. ඔබ දරුවා සතුටින් තබන විට ඔබේ සෙනෙහස, ආදරය, ආරක්ෂාව දරුවාට වැඩිපුර දැනෙන්න ගන්නවා. එමෙන්ම ඔබේ දරුවා සතුටින් සිටින විට එය ඔබගේද සතුටට හේතුවක්. එසේම දරුවා සතුටින්, විනෝදයෙන් කල් ගත කරන විට දරුවාගේ අධ්‍යාපනය කටයුතු නිසියාකාරව සැහැල්ලු මනසකින් යුතුව දරුවාට කර ගෙන යා හැකිය.

නමුත් ඇතැම් දෙමාවුපියන්ට තම දරුවාගේ සතුට පිලිබදව එතරම් සැලකිලිමත් වන්නේ නෑ. දරුවාට අවශ්‍ය දෑ සැපයු පමණින් ඔවුන් සතුටින් සිටිනවා යැයි නොසිතන්න. ඔබ බොහෝ කාර්යබහුලයි නම් දරුවාගේ සතුට ගැන සොයන්නට ඔබට කාලයක් නොමැති වන්නට පුළුවනි. නමුත් එය දරුවාගේ බුද්ධි වර්ධනයටද බලපානු ලැබේ. ඒ නිසා ඔබේ කාලය මදක් දරුවාගේ සතුට වෙනුවෙන් වෙන් කරන්න.

උපතේදී ඇති වන අනතුරු සහ වැරදි ඉරියව් නිසා දරුවන්ට ඇති වන ටෝටිකෝලීස් හෙවත් බෙල්ලේ ඇදය

ස්ථිර වශයෙන් හෝ තාවකාලිකව බෙල්ලේ ඇති වන ඇඹරීම හෝ ඇදය වක‍්‍රගලස්ථම්ත්වය හෙවත් ටෝටිකෝලිස් යනුවෙන් හැඳින්වේ. මෙය හටගන්නා ස්ථානය අනුව ප‍්‍රධාන වශයෙන් වර්ග කීපයකට බෙදා දැක්විය හැකි වේ. හිස උරහිස දෙසට ඇලවීම (Laterocollis)” හිස අක්‍ෂිස්ථිය දිගේ හැරීම (Rotational torticollis)” හිස හා ගෙල නැමීම (Antero Collis)” හිස උරහිස පිටුපසට නැමීම (Retro Colli) ලෙසයි.

ගෙල ඇදට තබා ගැනීම හෙවත් ”ටෝටිකෝලීස් ”

‘ටෝටිකෝලීස්’ යන ලතින් වදනේ තේරුම ගෙල ඇදයට තබාගැනීමයි. ටෝටිකෝලීස් යන රෝගී තත්ත්වයේදී හිස එක් පැත්තකට හරවාගෙන ඊට විරුද්ධ දෙසට ගෙල ඇදට තබා ගෙන සිටියි. දකුණු උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින දරුවෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ වම් පැත්තටයි. වම් උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින කෙනෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ දකුණු පැත්තටයි.

දරුවා බිහි වීමේදී ඇති වන අනතුරු ටෝටිකෝලීස් තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වේ. එනම්, දරුවන් බිහි වීමේදී ප‍්‍රථමයෙන් තට්ටම් ප‍්‍රදේශය පිටතට පැමිණෙන අවස්ථාවලදී දරුවාගේ ගෙලෙහි ඇති ‘ස්ටර්නොමැස්ටොයිඞ්’ (Stern mastoid) නම් පේශිය අනතුරට පත් වේ. තවද සමහර අවස්ථාවලදී දරු ප‍්‍රසුතියේදී අඬුු භාවිත කරන විටද මෙම පේශිය අනතුරට පත් වේ. අනතුරට පත්වූ පේශියට එහි කාර්යය කිරීමට නොහැකි වේ. එනම්, හිස හැරවීමට නොහැකි වේ.

මෙම අනතුරින් මාංශ පේශියේ තන්තු බිඳීමකට ලක් වේ. මෙම තන්තු බිඳීම නිසා බන්ධනී පටක ගුණනය වැඩිවී මෙම පේශිය අර්බුදයක් හෙවත් ගෙඩියක් ලෙස දිස්වෙයි. වැඩිහිටි අයට මෙම මාංශ පේශිවල තාවකාලිකව ඇති වන තද ගතියක් (muscle spasm) නිසාද ටෝටිකොලීස් තත්ත්වය ඇති විය හැකිය. මේ සඳහා තාප ප‍්‍රතිකාර දී පේශී ඉහිල් වීමට ව්‍යායාම දෙනු ලැබේ.

වැරදි ඉරියව් නිසා ටෝටිකෝලීස් තත්ත්වය ඇති වීමටද පුළුවන. බොහෝ අවස්ථාවලදී දෙමාපියන් විසින් දරුවන් එකම අතට තබාගෙන මව්කිරි දීම, නිදි කරවීම ආදී වැරදි ඉරියව් නිසා මාංශ පේශීන් කෙටි වීමෙන් මේ තත්ත්වය ඇති විය හැක. එබැවින් දරුවන්ට කිරි දීමේදී දරුවා එකම පැත්තකට නොව දෙපසටම හරවමින් කිරි දීම ඉතා වැදගත්ය. තවද නිදිකර වීමේදී මොහොතක් හිස දකුණු පැත්තට ද තවත් මොහොතකදී හිස වම් පැත්තකට ද හරවා තැබිය යුතුය.

දරුවන් අතර දක්නට ලැබෙන ටෝටිකෝලීස් තත්ත්වයට තවත් හේතුවක් වනුයේ උත්පත්තියෙන්ම ඇති වන වර්ධනයේ විකෘතියයි.  උදාහරණ  ලෙස  අර්ධ  කශේරුකා  තත්ත්වය (Congenital Hemi Vertebra) දැක්විය හැකිය. සමහර විට ගෙල අවට ග‍්‍රන්ථීන් වේදනා දෙන විටද මේ ටෝටිකෝලීස් තත්ත්වය ඇති වේ.

තවත් සමහර දරුවන්ට ඇසේ වපර වීමක් ඇත්නම් ද්විතීයීක ලෙස මෙම ටෝටිකෝලීස් තත්ත්වය වර්ධනය විය හැක. එමෙන්ම ටෝටිකෝලීස් ඇති දරුවන්ට ද්විතීයීක ලෙස ඇස වපර කිරීමක් දක්වා වර්ධනය විය හැක. තවද මෙම රෝගීන්ට වහා ප‍්‍රතිකාර නොකළහොත් මුහුණින් එක් පසක මාංශ පේශි හීන වී යා හැකිය. එවිට මුහුණේ දක්නට ලැබෙන සමමිතිය බිඳී යයි. මෙම විකෘති තත්ත්වය මුහුණේ අසමමිතිය (Facial Asymmetry) යනුවෙන් හැඳින්වේ.

දරුවා ඉපදී සති 2-3 දක්වා කාලය තුළදී ඔබ විමසිලිමත් වුවහොත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි වේ. එම කාලයේදී දරුවාගේ ගෙල ප‍්‍රදේශය අතගා බැලීමෙන් යම් ගැටිත්තක් වැනි දෙයක් තිබේ නම් හඳුනාගත හැක. එමෙන්ම දරුවා නිතරම හිස එක් පැත්තකට හරවාගෙන නිදාගනී නම් නිතරම මෙම තත්ත්වය ඇති වීමට හේතු විය හැක. මෙසේ සිටීමට දරුවාට ඉඩ ලබා දීමෙන් දරුවාගේ හිස පැත්තක් ගෙවීමට ද ලක්වේ.

ඔබේ දරුවා මෙම තත්ත්වයේ පසුවේ නම් වහාම දරුවාට ප‍්‍රතිකාර අවශ්‍ය වේ. භෞතචිකිත්සාවේ මේ සඳහා ව්‍යායාම දෙකක් භාවිත වේ.

  • ඇල කරන දිශාවට විරුද්ධව හිස ඇල කරවීම
  • ඇල කරන දිශාවට නිකට ගෙන ඒම

එමෙන්ම දරුවා නිදියන අවස්ථාවලදී හිස වැඩි වේලාවක් අනතුරට පත් පේශිය ඇති පැත්තට හරවා තැබිය යුතුය. දරුවා මව්කිරි බොන අවස්ථාවලදී වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තට හැරවීමට දරුවාව යොමු කළ යුතුය.

විශේෂයෙන් දරුවා සමග සිටින විට සියලූ දෙනා දරුවාට කතා කිරීමට පැමිණෙන අවස්ථාවලදී දරුවා වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තෙන්ම පැමිණීමට වග බලාගත යුතුය.

මෙම ප‍්‍රතිකාර ලබාදීම පමා වුවහොත් දරුවාගේ පේශිය දිගින් අඩු වේ. එවිට ශල්‍යකර්මවලින් නිවැරදි කිරීමට සිදු වේ.

මේ සඳහා කළ යුතු ව්‍යායාම 2ක් පහත දැක්වේ.

පළමු ව්‍යායාමය,

දරුවා මේසයක් මත දිගා කරවන්න. දරුවාගේ හිස මේසයෙන් එළියට එන සේ තබා අල්ලා ගන්න. තවත් කෙනෙක් විසින් දරුවාගේ උරහිස් නොසෙල්වෙන පරිදි අල්ලාගත යුතු වේ. ඉන් පසු අදාළ ඇල වීම සිදු වී තිබෙන පසට විරුද්ධ දෙසට දරුවාගේ උරහිසේ කන ගෑවෙන පරිදි ළං කිරීම සිදු කරන්න.

දෙවන ව්‍යායාමය,

පළමු ව්‍යායාමයේ විස්තර කළ ඉහත 1, 2, 3, පියවර එලෙසම අදාළ වේ. ඉන්පසු දරුවාගේ නිකට දරුවා ගෙල ඇද කරන දිශාවට එහි උරහිස තෙක් ගෙන එන්න.

සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි නිවසේදීම මෙම ව්‍යායාම දෙවර්ගයම සිදුකළ හැකිය. එය දවසකට සිව්වරක් කිරීම යෝග්‍ය වන අතර එක් වරකදී ව්‍යායාමයක් විසිවරක් පමණ කළ යුතුය. මෙලෙස සති 3ක් සහ සති 6ක් අතර කාලයකදී මෙම ව්‍යායාම කිරීමෙන් දරුවාගේ මෙම තත්ත්වය සුව කළ හැක.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

සංගීතයට සවන් දෙන්න ඉඩ හරින්න

සංගීතය කියන දේ අපේ ජිවිත වලට හරිම වැදගත්. සංගීතය මගින් අපිට තිබෙන ප්‍රශ්න පවා අමතක කරන්න පුළුවනි. විශේෂයෙන්ම මවක් දරුවෙකු පිළිසිද ගත් විට එකී ගර්භනී අවධියේදී සිටම සංගීතයට ඇහුම්කම් දීම හරිම වැදගත්. සංගීතය දරුවට දැනෙන බවත් එමගින් දරුවාගේ බුද්ධිය වර්ධනය වන බවත් මනොවිද්වතුන්ගේ මතයයි. මිහිරි සංගීත වලට යොම වීම, සංගීත භාණ්ඩ වාදනය කල හැකි නම් වාදනය කිරීම මගින් දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වර්ධනය වනු ලබයි.

අපේ අධ්‍යාපනය ක්‍රමය තුලම සංගීතය, චිත්‍ර, නර්තනය ලෙස කල විෂයන් එක් කර තිබෙන්නේ එය එතරම්ම වැදගත් වන නිසාවෙනි. මානසික ආතතිය නැති කිරීමේ හැකියාවක් සංගීතයට තිබෙනවා. සංගීතය එතරම්ම ප්‍රබලය. මොලයේ අර්ධ ගෝලය සහ වම අර්ධ ගෝලය යන කොටස් එකට ක්‍රියාකාරී වීමට සංගීතය ඉවහල් වෙනවා. එමෙන්ම නර්තන හැකියාව සහ බුද්ධි වර්ධනය වීමටත් සංගීතය මගින් ලොකු පිටුවහලක් ලැබෙනවා. එමෙන්ම තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය වීමටත් සංගීතය බලපානවා. දරුවෙකුගේ ඉගෙනීමේ වර්ධන ක්‍රියාවලිය සංගීතය මගින් වඩාත් වේගවත්ව සිදු කරනවා. දරුවෙකුගේ පළමු අවුරුදු 03 සංගීතයට සවන් දීමට යොමු කිරීම තුලින් ඉගෙනීමේ හැකියාව වඩාත් වර්ධනය වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ සදහා දරුවට උදව් කිරීමට ඔබට පුළුවනි.

ඇතැම් ගුවන් විදුලි නාලිකා වල උදය කාලයේ දරුවන්ට සුදුසු ගීත විකාශනය වෙනවා. එවැනි ගීත ඇහුම්කම් දීමට ඉඩ සැලැස්වීම වැදගත්. ළමා ගීත තුලින් දරුවන්ගේ අවට තිබෙන සුන්දරත්වය කියාපානවා. අහස, තරු, මල්, සත්තු ආදී ස්වභාවයේ සුන්දරත්වය පිලිබදව ඔවුන්ට අදහසක් ඇති වෙනවා. ඔබට සින්දු කියමින් දරුවාද එයට සහභාගී කර ගත හැකිය. සින්දු කියන විට එයට ගැලපෙන ආකාරයට අත්පොඩි ගසන්න, පද තලයට තබන්න දරුවාට ඉගැන්විය හැකිය.

” තැන තැන රවුමට ඉද ගෙන
ඉදහිට එබී කම් කර කර
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා …. “

ආදී ලෙස දරුවන් සහභාගී කර ගනිමින් මෙම ගීත ගායනා කල හැකිය.

සංගීත භාණ්ඩ වාදනය කිරීමට දරුවාට කියා දෙන්න- දරුවෙකුට අවුරුදු 3-10 අතර කාලය තුලදීම ඔවුන් කැමති සංගීත භාණ්ඩයක් තෝරා ගැනීමට ඉඩ සැලැස්විය හැකිය. දරුවාට තිබෙන හැකියාවන් ඔබට කුඩා කාලයේ සිටම ඔබට අවබෝධ කර ගත හැකිය. කලාවට දරුවෙකු ලං කිරීම තුලින් දරුවෙකුගේ මානසික හැකියාවන් වර්ධනය වනු ඇත.

දරුවන් සංගීත සංදර්ශන වලට රැගෙන යන්න

සංගීත පුටු වැනි තරග වලට සහභාගී කරවන්න

මේ ක්‍රියාදාමයන් මගින් දරුවන් සංගීතයට සමීප කල හැකිය. අද දරුවන්ගේ ප්‍රධාන ගැටළුවක් වන්නේ සංගීතයෙන් , නර්තනයෙන් දරුවන් ඈත් වීමයි. කලාවට එතරම් වටිනාකමක් දෙමාවුපියන් ලබා දෙන්නේ නැති තරම්. කොතරම් දරදඬු, ප්‍රචණ්ඩ පුද්ගලයෙකු වුවද සංගීතය මගින් හික්මවිය හැකිය. සංගීතයට එතරම් බලයක් තිබෙනවා.

අද දරුවන් ඉතාමත් කලහකාරීව හැසිරීමට සංගීතයෙන් නර්තනයෙන් ආදී කලාවන්ගෙන් ඈත් වීම බලපාලා තිබෙනවා. මේ සදහා වෙනම වෙලාවක් අවශ්‍ය නැත. දරුවා නින්දට යන විට ඔබට පුළුවනි දරුවාට ඇසෙන්න ගීතයක් කියන්න. ඔබ ගීත ගායනා කරන විට දරුවාටද සංගීතය පිලිබදව ඇල්මක් ඇති වෙනවා. දරුවන් යනු ඉක්මනින්ම අනුකරණය යොමු වන පිරිසකි. ඔබ සංගීතයට ලැදි වන විට ඔබේ දරුවාද ස්වාභාවයෙන්ම සංගීතයට සමීප වෙනවා.

දරුවන්ට ව්‍යායාම් කරන්න අවස්ථාව දෙන්න

ව්‍යායාම් කිරීම ලොකු කුඩා අපේ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකරය. දිනපතා ව්‍යායාම් කිරීම සිරුර නිරෝගී වීමට හේතු වනු ලැබේ. බුද්ධි වර්ධනය සහ මොලයේ ක්‍රියාකාරිත්වයට ඒ ආකාරයෙන්ම ව්‍යායාම් වලින් බලපෑම් ඇති කරනු ලබයි. ව්‍යායාම් නිතර සිදු කිරීම මගින් ප්‍රයෝජන රැසක් අත්පත් කර ගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දී ඇත.

  • රුධිර ධාවනය වැඩි කර මොලයට ඔක්සිජන් ගමන් කිරීම
  • කෙටි කාලීන මතකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම
  • ප්‍රති ක්‍රියාවන් ඉක්මනින්ම සිදු වන බවක් පෙන්වීම
  • ව්‍යායාම් වල යෙදෙන ළමයෙකු ව්‍යායාම් වල නොදෙන ළමයෙකුට වඩා ඉතා ඉහල නිර්මාණශීලිත්වයක් පෙන්වයි
  • ව්‍යායාම් නිසා මොලයේ රසායනික ක්‍රියාකාරකම් වල වෙනසක් වීම

අද දරුවන්ට තිබෙන ටියුෂන් පන්ති නිසාම ඔවුන්ට ව්‍යායාම් වල යෙදීමට කාලයක් නැති තරම්. පාසල් වල උදයේ කාලයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කලත් බොහෝ පාසල් වල ව්‍යායාම් වලට තැනක් ලබා දෙන්නේ නැත. කුඩා කාලයේ සිටම දරුවන්ට ව්‍යායාම් වල පවතින වැදගත් බව අවබෝධ කරලිය යුතුය. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මතු දැක් වූ ආකාරයට ව්‍යායාම් බුද්ධි වර්ධනයට හේතු වන බවයි. මානසිකව සහ ශාරීරිකව ව්‍යායාම් මගින් වැසි රැසක් අත්පත් වේ.

  • සංගීත රිද්මයකට අනුව ව්‍යායාම් කිරීමට ඉඩ සලස්වන්න
    මෙහිදී නර්තනය ව්‍යායාම් වල ඉතාමත් ප්‍රබල ව්‍යයාම් මාධ්‍යයක් ලෙස හැදින්විය හැකිය. උදෑසන හෝ සවස් කාලයේදී දරුවන් සමග ඔබට ව්‍යායාම් කල හැකිය. එහිදී කනට මිහිරි සංගීත නාදයක් යොදා ගෙන නර්තන විලාශයකින් ව්‍යායාම් වල යෙදිය හැකිය. ව්‍යායාම් කිරීමට කම්මැලි දරුවෙකු වුව මෙමගින් ව්‍යායාම් වලට පෙලඹවීමක් සිදු කල යුතුය.
    එමෙන්ම දරුවාගේ අත පපුවට තබා Heartbeat එක ගණනය කරන්න යැයි කියන්න. ඉන්පසු විසිපස් වතාවක් පමණ උඩ පනින්න ලෙස දරුවාට උපදෙස් දෙන්න.
  • ව්‍යායාම් පටියක් යොදා ගන්න
    ව්‍යායාම් සිදු කිරීමේදී ව්‍යායාම් පටියක් යොදා ගත හැකිය. අඩි 03ක් පමණ දිග සෙන්ටිමීටර් 03ක් පමණ පළල ඉලාස්ටික් පටියක් සකස් කර ගත හැකිය. සංගීත රිද්මයකට අනුකුලව කෙලින් සිටගෙන දෙපසින් අල්ලා ගන්න. ඉන් පසු ඉහලට, ඉදිරියට, පිටුපසට ඉලාස්ටික් පටිය අදිමින් ව්‍යායාම් වල නිරත විය හැකිය. මේ ආකාරයට දරුවන්ට ව්‍යායාම් පටියක් සකසා ගෙන නිවසේදීම ව්‍යායාම් කල හැකිය. දරුවන් තිදෙනෙක් පමණ සිටින්නේ නම් කණ්ඩායම් ස්වරූපයෙන් ව්‍යායාම් වලට යොමු කල හැකිය. මේ සදහා විවිධ උපකරණ භාවිතා කල හැකිය.
  • බෝලයක් භාවිතා කරන්න
    කුඩා දරුවන් බෝල මගින් සෙල්ලම් කිරීමට ඉතා කැමතිය. සංගීත නාදයට අනුකුලව දරුවන් එකිනෙකා අතර බෝලය හුවමාරු කර ගත හැකිය. එසේ නොමැතිව තනියම මෙම ව්‍යායාම් වල නිරත වෙනවා නම් සංගීත නාදයට අනුව දරුවාට දැන් බෝලය වම අතේ අල්ලේ තබා ගන්න. පසුව උරහිසේ තබන්න යැයි විධාන කල හැකිය.

මොලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කරන ලද පරීක්ෂණ අනුව මිනිස් සිරුරේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාවලිය සෑම මිනිත්තු 90කට වරක් ඉහල නගී. මෙසේ ඉහල නගින සෑම අවස්තාවකදීම මොලයේ හෝමෝන් ශ්‍රාවයන් දකුණු සහ වම් මස්තිෂ්ක අර්ධ ගෝල වල අඩපණ වීමකින් තොරව ක්‍රියාත්මක වේ. මොලයේ වම් කොටසින් ශරීරයේ දකුණත් මොලයේ දකුණු කොටසින් ශරීරයේ වම් කොටසත් පාලනය වේ.  එක් අතක් පමණක් ක්‍රියා කලොත් එක් අංගයක් පමණක් ක්‍රියාකාරී වේ. ඒ නිසා ප්‍රති විරුද්ධ ක්‍රියාවන් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. මේ නිසා ව්‍යායාම් කිරීම ළමුන්ට ඉතාමත් වැදගත් වේ.

ඔබේ දරුවාට සරිලන අධ්‍යාපනය වටපිටාවක් ඔබේ නිවසේ තිබෙනවාද

වැඩිය වෙහෙස මහන්සියක් නොමැතිව, සල්ලි වියදම් නොකට ඔබේ දරුවාගේ දැනුම වර්ධනය සදහා අවශ්‍ය පසුබිමක් සැකසිය හැකිය. දරුවෙකුට මාස 09ක් හා 12ක් වැනි කාලය තුල ගවේෂණයේ යෙදීමට අවස්තාව නොලැබුනොත් දරුවාගේ බුද්ධි වර්ධනයට බාධාවක් වන බව විද්වතුන්ගේ අදහසයි. ළමයා ස්‌වභාවයෙන්ම ගවේෂණයට කැමතියි. ඉතා කුඩා කාලයේදීම වුව දරුවාට භාෂාව එතරම් හැසිරවීමට නොහැකි වුවද ඔහුට පරිසරයේ සිදු වන දේවල් පිලිබදව කුතුහලයක් පවතී. කුඩා අවධියේදී දරුවාගේ අධ්‍යාපනය සම්පුරයෙන්ම ගවේෂණය මත රැදී පවතී.

ළමයින් තමන් විසින් යම් යම් දේ සොයා ගන්නට කැමතිය. ඔබේ දරුවා පාසැල් අවසන් වී නිවසට එන විට ගොඩක් දුරට දරුවාගේ සාක්කු වල විවිධ දේවල් වලින් පිරි පවතී. ඔබ දරුවා වත්තට යැවුවොත් මල්, පිහාටු, කුඩා ගල් කැට ආදී දේවල් ගෙන එනු ඇත. දරුවා ස්වභාවයෙන්ම විවිධ දේවල් අතගානු ඇත. දරුවාට අනතුරක් නොවන ආකාරයට ඒ දේවල් වලට උදව් වන්න. ළමයෙකු ගස් නගන විට, හැංගිමුත්තං සෙල්ලම් කරන විට, සත්තු දිහා බලන විට ඔවුන් සියුම් ලෙස පරිසරය අධ්‍යනය කරයි. ළමයින් තමන් අතට හසුවන හිස් පෙට්ටි, සෙල්ලම් බඩු ගෙන ඒවායේ ඇතුලත මොනවාදැයි තිබෙන්නේ  ලෙස හොදින් පරික්ෂා කරයි. ඇතැම් විට කඩා බලයි.  දරුවාගේ මෙවැනි ක්‍රියාදාමයන්ට සුදුසු පරිසරයක් සකසා දෙන්න.

කුඩා කාලයේදී මෙවැනි ගවේෂණ වලින් දරුවා ලබන අත්දැකිම් පසු කාලීන දරුවාගේ ඉගෙනීමට බලපානු ලැබේ. පරිසර ගවේෂණය, ක්‍රීඩා කිරීම, ගමන් බිමන් යෑම්, කතාන්දර කීම, ගී ගැයීම, පින්තුර  පොත් සැකසීම ආදී දෑ සදහා දරුවාට සුදුසු පරිසරයක් සකස් කර දිය යුතුය.

මුදල් තිබු පමණින් දරුවෙකුගේ ඉගෙනීම වර්ධනය වන්නේ නැත. දරුවෙකුට සුදුසු අධ්‍යාපන වටපිටාවක් සකස් කර දිමාට දෙමාවුපියන්ට ඒ පිලිබදව අවබෝධයක් තිබිය යුතුය. ක්‍රමයෙන් වර්ධනය වන දරුවාට තනියම වැසිකිලියට යෑමට, කණ්ඩායම් සමග ආහාර ගැනීමට, කෑම මේසය පිරිසිදු කිරීමට, පොතපත පිළිවෙලට තැබීමට වැනි කටයුතු වලට සහභාගී කර ගත යුතුය.

පින්තුර ඇදීමට, පින්තුර ඇලවීමට අවස්තාව ලබා දිය යුතුය. මෙමගින් දරුවා තම අදහස ඉදිරිපත් කරයි. දරුවාට පරිසරයේ තිබෙන ගස් වර්ග, සතුන් වර්ග හදුනා ගන්න අවස්තාව ලබා දෙන්න. සත්තු නගන හඩ, සතුන්ගේ හැසිරීම් රටා, ගස් වල මල් පිපි තිබෙන ආකාරය ආදී දෑ දරුවා පරිසරය සමග ගනුදෙනු කිරිමෙන් හදුනා ගනී.

බෝල විසි කිරීමට, සරුංගල් යැවීමට, මැටි ඇනීමට, කතුරෙන් කැපීමට, කඩදාසි ගුලි කිරීමට හුරු කරන්න. අත් දෙකම භාවිතා කරමින් චිත්‍ර ඇදීමට පාට කිරීමට උනන්දු කරවන්න. පාට කිරීමේදී පින්සලක් නොව අතේ ඇගිලි භාවිතා කරමින් චිත්‍ර පාට කරවන්නට සලස්වන්න.  ජලය සමග ක්‍රීඩා කිරීමට අවස්තාව ලබා දෙන්න. ඇදුම් නැවීම, දුවිලි පිස දැමීම, පොල් මිරිකීම වැනි ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ගෙදර මිදුල අතු ගෑමට කුඩා ඉදලක් මෙන්ම, කොස්සක් සපයන්න. මෙවැනි දෙය කිරීමෙන් ළමයි සතුටක් ලබයි. වැඩය නිමා වූ පසු ළමයා අගයන්න. නිතරම දරුවා පරිසර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. දරුවා මෙවැනි දෑ සිදු කරන විට ඔබ දරුවා පිළබදව අධීක්ෂණයෙන් සිටින්න.

ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට නිදහස දෙන්න

“අලියන්ටයි ළමයිටයි දගලන්නටමයි ඕනෑ” කියලා කියමනක් තියෙනවා. ඇත්තටම දරුවන් හරිම ක්‍රියාශීලියි. පාසලේදීත් නිවසේදීත් හෝ කුමන තැනක වේවා දරුවන් එකතු වුනාම සෙල්ලම් කරනවා. එය දරුවන්ගේ ස්වභාවයයි. දරුවෙක් ක්‍රියාශීලිව කටයුතු කරන විට එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදු කරනවා. ඇතැම් දරුවන් තරමක් ක්‍රියාශීලි මද ගතියක් දක්වනවා. ඔවුන් හැමවෙලාවේම හුදෙකලා වෙන්නයි උත්සහා කරන්නේ. යාලුවන්ගේ ඇසුර ප්‍රිය කරන් නෑ. නමුත් දරුවන් කුඩා කල සිටම ක්‍රියාශීලි කටයුතු වලට යොමු කිරීම හරිම වැදගත්.

මනෝ විද්වතුන්ගේ අදහස වන්නේ පුද්ගලයා පරිනතියේදී දක්වන බුද්ධියෙන් 50%ක් අවුරුදු 04වන විටත්, තවත් 30%ක් වයස අවුරුදු 7-8 පිරෙන විටත් සම්පුර්ණ කරනු ලබන බවයි. එම නිසා මෙම වයස් සිමාව දරුවෙකු ගෙවන වැදගත් කාල පරිච්ඡේදයකි. මේ කාල පරාසයන් තුලදී විවිධ දේවල් ප්‍රශ්න කරන්න, භාෂාව හසුරුවන්න, හොදින් ඇහුම්කම් දෙන්න දරුවන් ස්‌වභාවයෙන්ම හුරු වෙනවා.

දරුවන්ගේ බුද්ධි වර්ධනයේ හොදම කාලය මේ නිසා ක්‍රීඩාවට විවිධ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීම ඉතාමත් වැදගත්. අද වෙනකොට දරුවන් කුඩා කාලයේ සිටම අමතර පන්ති විශාල සංඛ්‍යාවකට සහභාගී වෙනවා. ඒ නිසාම දරුවන්ට තවත් දරුවන් සමග සෙල්ලම් කරන්න තිබෙන කාලය, බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න තිබෙන කාලය මග හැරී යන්න පුළුවනි. ඒ වගේම මේ සදහා රුපවාහිනීයද බලපාලා තිබෙනවා. පාසැල අවසන් වී එන දරුවන් හවස් වරුවම ගත කරන්නේ රුපවාහිනීයේ කාටුන් බලමිනි. ඒ නිසා ඔවුන් අමතර ක්‍රියාකාරකම් වලට යොමු වන්නේ නෑ. මෙමගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය හීන වෙනවා. ඔවුන්ගේ දැනුම එකතැනකට පටු වෙනවා.

රූපවාහිනී කාටුන් මගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩි වන්නේ නෑ. ළමයින්ට සුදුසු ළමා නිර්මාණ අද ලංකාවේ බිහි වන්නේ නැති තරම්. එම නිසා දරුවා හැකි තරම් රූපවාහිනීයෙන් ඈත් කර තබන්න. රූපවාහිනීයට දරුවා මිඩංගු කරන කාලය අමතර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න.

කුඩා දරුවන් සෙල්ලම් කිරීමට, ක්‍රීඩා කිරීමට ඉතාමත් කැමතියි. නමුත් දෙමාවුපියන් දරුවන්ගේ මේ ආශාවන් වලට ඉඩ දෙන්නේ නෑ. ඔවුන් පොත් වලට හිර කර තබනවා. ඔබේ දරුවා සෙල්ලම් කරනවානම් එය වලක්වන්න එපා. මන්ද සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීම මගින් දරුවන්ගේ බුද්ධි වර්ධනය වන බව අද වන විට පර්යේෂන මගින් සොයා ගෙන තිබෙනවා.

ක්‍රීඩාව සහ බුද්ධි වර්ධනය අතර ඇති සම්බන්ධතාවය ගැන කරන ලද පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ නව හැකියාවන් ඉස්මතු වීමත්, නව දැනුමක් ඇති වීමත්, මතක ශක්තිය වැඩි දියුණු වීමත්, පරිකල්පනය වැඩි දියුණු වීමටත් ක්‍රීඩාවන් සහ බාහිර ක්‍රියාකාරකම් උදවු වනු ලැබේ.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ යම් ක්‍රියාවක් දින 30කට වරක් කිරීමෙන් නැවත මතකයට ගැනීමේ හැකියාව 10%කින් වැඩි කරන බවයි. එසේම මෙය දින 30කට 06 වරක් කිරීමෙන් 90%ක් දක්වා වැඩි කර ගත හැකි බවයි.

මේ නිසා අපි දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කල යුතුය. අද දරුවන් රෝගී දරුවන් බවට පත් වීමටත් දරුවන් බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වීම බලපාලා තිබෙනවා. කෘතීම ආහාර වලට පෙළඹී සිටින දරුවන් ඇග වෙහෙසන්නේ නැතිවිට ස්වාභාවයෙන්ම රෝග වලට ගොදුරු වෙනවා. දෙමාවුපියන් මෙයට වගකිය යුතුයි. ඒ නිසා ඔබේ දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. එය දරුවාගේ බුද්ධි වර්ධනයට හේතුවනු ලැබේ.

මේ ළමයින්ට කාගේ ආරයක් ගිහින්ද දන්නේ නැහැ

ඇතැම් දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් දැක්කම අම්මා තාත්තා කියන්නේ මේ ළමයි න්ට කාගේ ආරයක් ගිහින්ද දන්නේ නැහැ කියලයි. දරුවන් පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් විදිහක්. එක අම්මාගේ බඩවැල කඩා ගෙන උපන් දරුවන් අතර වුනත් ප්‍රචණ්ඩ හැසිරීම් දකින්න පුලුවන්. බොහෝ විට මෙම ගති ලක්ෂණ උත්පත්තියෙන් පිහිටියත් දරුවන්ගේ ප්‍රචන්ඩත්වය සඳහා බලපාන හේතු නැතුවාමත් නොවෙයි.

පවුලේ වටපිටාව

බැලු බැල්මට අම්මා තාත්තා හිතන්නේ දරුවා කියන්නේ කිසිම දෙයක් තේරුම් ගත නොහැකි බොළඳ චරිතයක් විදිහටයි. ඒත් දරුවන් තමන්ගේ පවුල වෙතින් බොහෝ දේ අවශෝෂනය කර ගන්නවා. ඒ අතර හොඳ වගේම නරකත් තියෙනවා. දරුවා ඉදිරියේ නිතරම ගැටුම්කාරී පරිසරයක් තිබෙන විට දරුවා නොදැනම ඒ පැත්තට දක්වන නැඹුරුතාවය බහුලයි.මේ නිසා නිතරම ඔබ දරුවා ඉදිරියේ ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගිය යුතුයි. ඇතැම් අම්මා තාත්තා නිතරම අහල පහල නිවෙස් සමග ඇති කර ගන්නා ගැටුම් නිසා දරුවන්ද අනාගතයේදී ඒ අනුව කටයුතු කරනවා. සාමය හොඳ දෙයක් විදිහට ඔවුන් දකින්නේම නැහැ. මේ නිසා දෙමව්පියන් විදිහට ඔබ මුලින්ම දරුවාට ජීවත් වීමට සුදුසු ඔහුගේ මනසට යෝග්‍ය පරිසරයක් නිර්මානය කළ යුතුයි.

පවුලේ සමගිය

සමාජයේ තිබෙන කුඩාම ඒකකය පවුලයි. පවුල වෙතින් දරුවා ලබන ආභාෂය සහ අත්දැකීම් සමග ඔහු අනාගතයේදී සමාජයට ගමන් කරනවා. අම්මා තාත්තා විතරක් නොවෙයි. ඇතැම් නිවෙස්වල අත්තම්මා , සීයා, නැන්දා ,මාමා, පුංචි අම්මා සහ බාප්පා වැනි සහලේ ඥාතින්ද එකට වාසය කරනවා. මේ වගේ සිටින විට ඇති වෙන නිරන්තර ගැටුම් නොදැනම අනාගතයේදී දරුවාගේ ප්‍රචන්ඩත්වයට බලපානවා. එක පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවරු අතර පවා මතභේද ඇති වෙන එක වලක්වන්න බැහැ. මේ තත්වය සාමාන්‍ය වුනත් දරුවාගේ මානසිකත්වයට ඇති කරන බලපෑම ඉතාම ඉහලයි. ඒ නිසා විවාහයෙන් පසුව තමන්ගේම නිවසක ජීවත් වෙනවා නම් මතබේද සහ ගැටුම් නිසා ඇති වෙන පරිසරයේ පීඩාවන්ගෙන් දරුවා නිදහස් වෙනවා. මේ නිසා දරුවාගේ ප්‍රචණ්ඩත්වයට ඉබේටම නැවතුමක් ලැබෙනවා.

ආදරය

බොහෝ දොනාගේ අදහස වී තිබෙන්නේ දරුවන්ට කන්න බොන්න දෙනවා නම් අතපය නොකඩා හදනවා නම් එයින් ඔබ්බට මොනවාද තව අවශ්‍ය යන්නයි. ඒත් දරුවන්ගේ මනසටත් ආහාර අවශ්‍යයි. ඒ ආහාරය ආදරය කිව්වොත් වරදක් නැහැ. ආදරය නොලැබෙන දරුවා තමන්ට අවධානය ලබා ගැනීමට දරණ උත්සාහය නිසා අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයක් ඔහු වෙතින් දැක ගන්නට ලැබෙනවා. තමාට ආදාරය නැතැයි යන ආත්මීය පසුබැස්ම සමග ඔහුගේ හැසිරීම තුල ප්‍රචන්ඩත්වයක් ඉබේටම ඇති වෙනවා. මේ නිසා දරුවන් ඇති අම්මලා තාත්තලාට දරුවන් වෙනුවෙන් ඔබ ආදරේය යන සහතිකය ඔවුන්ගේ හිතෙන්ම සෑහීමට පත් වුනොත් එයින් ඔබ්බට නැවත සිතන්න දෙයක් ඉතිරිව නැහැ.

ආගමික පරිසරය

ආගම දහම කුමකටද යැයි කෙනෙක් නගන පැනයට මෙතැන පිලිතුර ටනාදැනම ලැබෙනවා. ස්වයං හික්මීමක් නැති තැන ඇත්තටම දකින්නට ලැබෙන්නේ වනචාරී ගති පැවැතුම්. පුද්ගලයන්ගේ හික්මීම ගොඩ නගන්නේ ආගමක් මගින් බව අමතක කළ යුතු නැහැ. හැම ආගමක් මගින්ම දරුවන්ට උගන්වන්නේ හික්මීමයි. එවිට සමාජයේ ජිවත් වෙන කලාව ඔවුන් නොදැනම ලබා ගන්නවා. ප්‍රචන්ඩත්වය එතැනදී නොදැනම හික්මීම බවට පත් වෙනවා.

දරුවාට නොගැලපෙන මාධ්‍ය

දරුවා ඉතා ඉක්මනින් බාහිර ලෝකයේ දේ ග්‍රහනය කර ගන්නවා. මේ අතර විද්්‍යුත්  මාධ්‍ය ඉතා ප්‍රබලයි. කාටුන් නිසා දරුවන් නොමගට ඇදෙනවා කිව්වට කාටුන් මගින් මවන චරිත වෙතින් යහ ගුණ ගොඩ නගන්නත් පුළුවන්.කාටුන් කලාවෙන් දරුවන් ප්‍රචන්ඩත්වයට පත් වුනාය යන්නට චෝදනා බොහොම තිබෙනවා. නයිජීරියාව වතාවක් කියා සිටියේ ස්කුබි ඩූ වැනි චරිත නිසා එරට දරුවන්ගේ ගති පැවැතුම් වෙනස් වුන බවයි. හැරී පෝටර් කතා මාලාව අලෙවි වාර්තා තැබුවත් වත්වක ඔස්ට්‍රෙිලියාව විසින් මෙම නවකතා පෙළ එරට අලෙවියට තහනම් නියෝග පනවනු ලැබුවා. පාසල් දරුවන් අතර හැරී පෝටර් ආදේශ කර ගැනීම නිසා ඇති වී තිබෙන තත්වය පාසල් දරුවෙකුට නොගැලපෙන බවට චෝදනා නැගුනා.ඒ වගේම ජිහාඩ් ජෝන් විසින් රඳවා ගත් පුද්ගලයන්ගේ ගෙල සිඳින රූප දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සමග දරුවන් ඒවා අනුකරණය කරමින් ක්‍රීඩාවන් කරන්නට පටන් ගත් බවට ලෝකයේම චෝදනාවන් නැගුනා. එයින් පෙනී යන්නේ දරුවන් ඉතා ඉක්මනින් ප්‍රචණ්ඩකාරිත්වය වැලඳ ගන්නා බවයි.

සුචරිතය වගා කරන්න

දරුවන්ගේ හිතට නිතරම ඔබ ඇතුලත් කළ යුතු සංකල්පය වන්නේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි යන සංකල්පයයි. ඒ අදහස මත පිහිටා දරුවා එහි ආකෘතියක් විය යුතු බව නිතරම සඳහන් කරන අතරම යහ ගුණ වගාවට ඇවැසි පරිසරය ගොඩ නගන්න. ප්‍රචණ්ඩත්වයට ආයුෂ නොමැති බව පෙන්වා දෙන අතරවාරයේදීම එහි ආදිනව පහදා දෙන්න. ඔබ විසින් නිතරම සුචරිතයේ ගුණ ගායනා කරන විට දරුවාද එය අනුකරණයට නොදැනම පත් වෙනු ඇත.

අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය මානසික රෝගයක්

දරුවෙක් ළමා වයසට ඔරොත්තු නොදෙන අන්දමින් තමන්ගේ හැසිරීමෙන් ප්‍රචන්ඩ ගති පැවැතුම් පෙන්වනවා නම් මානසික රෝග තත්වයක් තරමටම ආදිනව ප්‍රබල විය හැක. එබැවින් එබේ දරුවා වෙතින එවන් තත්වයක් ප්‍රදර්ශනය වෙනවා නම් මානසික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් වෙතින් උපදෙස් ලබා ගැනීමත් අවශ්‍යයි.

විභාග සමත් ජීවිත අසමත් අපේ දරුවො

සත්තකින්ම අපේ ජීවිත කොයි තරම්  යාන්ත්‍රික වෙලාද කියලා හිතෙනවා. උදෑසනම අවදි වෙන අපේ දරුවො නිදි බර දෙනෙතින්ම තවත් දවසක ඇරඹුම සටහන් කරනවා. අනේ ඉතින් උදේ ඉඳන් රාත්‍රිය උදාවෙනතුරුම අපේ දරුවො ඉගෙන ගන්නට දරන්නේ සුලු පටු සටනක්ද? මුලින්ම මම දරුවන්ට වඩා දෙමාපියන්ට වඩා වැදගත් ශිෂ්‍යත්ව විභාගයෙන්ම පටන් ගන්නම්කෝ. මගේ පුතා දෙක වසරේ ඒ කියන්නේ ලබන වසරේ තුනේ පන්තියේ. අම්මෝ ශිෂ්‍යත්වයට පේ කරන වසර. පහවසර ශිෂ්‍යත්ව විභාග  ප්‍රශ්න පත්‍ර කිහිපයක් සොයා ගත්ත මම ඒවා නිරීක්ෂණය කලා.  ශිෂ්‍යත්ව විභාගයෙ ඉහළම ප්‍රතිඵල බැලුවොත් ගම්බද ප්‍රදේශ වල දරුවන් තමයි ඉහළින්ම සිටින්නේ. ශිෂ්‍යත්ව විභායේ 70% – 80% පමණම සැකසෙන්නේ පරිසරය ආශ්‍රිතව ගැටලු වලින්. ඇත්තටම ඇත්තටම අපි දරුවන්ට ජිවිතය විඳින්න අවකාශ සලසනවාද? සියොතුන් ගී ගයමින් නැවුම් දිනකට සැරසෙන අපූරුව, උදේට පිපෙන මලක් එහි පෙති විහිදන අපූරුව, ආකාසේ තරුඅමුණගෙන සඳත් සමග රාත්‍රියේ සිසිල බෙදන අපූරුව, මාවවුලන් ,බකමූණන් සේපාලිකා මල් දෑසමන් පිපී රාත්‍රීයේ තවත් සොඳුරු ලොවක අපූරුව ඇත්තටම අපේ දරුවන්ට විඳින්නට ලැබෙනවද? උපකාරක පන්ති වලට යවලා දෙන දැනුමම ඔබට ඔබේ දරුවට මුලු තැන් ගෙයින් , ගෙවත්තෙන්, එදිනෙදා ජීවිතයෙන් ලබාදිය හැකි බව ඔබ මොහොතකටවත් සිතන්නට නැතිව ඇති.

මෙම අල වර්ග අතුරින් වසා තැම්බීමට සුදුසු නොවන්නේ ? 

  1. අල
  2. බතල
  3. මඤ්ඤොක්කා
  4. කිරි අල

නිවසේ වගා හානියට පමුණුවන සතෙකි ? 

  1. මැස්සා
  2. මදුරුවා
  3. කූඹියා
  4. ගොලුබෙල්ලා

රාත්‍රී කාලයේ දැකිය හැකි පක්ෂීන් ?

  1. වවුලා, බකමූණා
  2. පැණි කුරුල්ලා, පොල් කිච්චා
  3. කපුටා, කොහා
  4. කොකා, පිළිහුඩුවා

ඔබ මොකද්ද සිතන්නෙ? පන්ති කාමරයක වාඩි කරවා කියා දෙන මේ දැනුම අපට බෙහෙවින්ම සාමාන්‍ය දේවල් නොවෙද? ඉතින් ඔබේ දරුවා ඔබ මුලුතැන් ගෙයි වැඩ කටයුතු කරන වෙලාවට ඔබ සමග සිටියා නම්, ඔබ ගෙවත්තේ වැඩකරන විට දරුවා ඔබ සමග සිටියා නම් , රාත්‍රියේ මොහොතකට හෝ දරුවා සමග නිදහසේ අර තරු පිරුණු හඳ පායපු අඳුරු අහසෙහි සොඳුරු බව අත්වින්දා නම් දරුවන්ට මේ ගැටලු සාමාන්‍ය ජිවිතයේම කොටසක් බව වැටහෙනවාද? හැබැයි තව කාරණයක්. ඔය හැම වැඩයටම සම්බන්ධ කරගත්තට ඔබ නිහඬව සිටියෝතින් නම් පලක් නැහැ. දරුවන් සමග දොඩමලු වුනොත් විතරයි මේ දැනුම ඔවුන් වෙත ලැබෙන්නේ. දරුවන්ගේ ජීවිත පොත අත්දැකීම් තුලින් පෝෂණය කල හැකි නම් ඔවුන්ට විභාගය මහ කජ්ජක්ද?

පහුගිය දවස් වල වෛද්‍ය සිසුවෙක් තවත් වෛද්‍ය සිසුවෙක් බැන වැදුන නිසා ජිවිතයෙන් සමු ගත්තා. දෙයියනේ ඒ දරුවව අවුරුදු 20 -22 විතර හදන්න ඒ දෙමාපියන් කල කැපකිරීම් බලාපොරොත්තු පුංචි සිදුවීමක් නිසාවෙන් සදහටම අහිමි වුණා. වෛද්‍ය සිසුවෙක් කියන්නේ උගත් දරුවෙක් ඒත් ඒ දරුවගේ බුද්ධිය මෙහෙයවීම නම්  බින්දුවයි. කුඩා කල සිටම අප දරුවන්ට දුක ,සතුට ,අභියෝග වලට මුහුණ දෙන්නට සූදානම් කල යුතුයි. අපේ දරුවො අද පොතේ පතේ දැනුමට පමණයි සීමා වෙලා ඉන්නේ. දැනුම ඔ`ඵ ගෙඩි වල හොඳට තැන්පත් කරගෙන. ඉතින් විභාග එක පිට එක පාස් කරන දරුවො විභාග අතින් විශිෂ්ඨ ලෙස සමත් වෙනවා. ඒත් ජීවිතයට මුහුණ දෙද්දි ඔවුන් ජීවිත වලින් අසමත් වෙන්නේ ඇයි කියන කාරණාව ගැන දෙමාපියන් වශයෙන් අප සිතිය යුතුයි.

අපේ අසල් වැසි නිවසක දියණියක් සිටිනවා. ඇය ඉගෙන ගන්නෙත් මගේ ලොකු අක්කගෙ දියණිය ඉගෙන ගන්න පාසලේ දහ වන වසරේ ඇයගේ පන්තියේමයි. පහු ගිය දිනක අර දියණියව පෙන්නලා මම අපේ දියණියගෙන් ඇහුව්වා “ඔයාගේ යාළුවෙක් නේද?” කියලා

“අයියෝ පුංචි ඒ ළමයා මෙලෝ රහක්නැහැ ,කොයි වෙලෙත් පොත අතේ සෙල්ලමකටවත් එන්නෙ නැහැ”

“ඉතින් ඔයාලා අඬගහලා බලන්නකෝ”

“එයාට යාළුවොත් නැහැ , තනියම ඉන්නේ වැඩිය කතා කරන්නෙත් නැහැ, හැබැයි පන්තියේ පළවෙනියා ”

බොහෝ විට මට ඒ මවත් දියණියත් මුණ ගැහැණෙවා

“ආ අද දුව ඉස්කොලේ ගියේ නැද්ද?”

“නැහැ කලාඋළෙලට පුහුණු කරනවා”

“ඇයි දුව නැද්ද ?”

“අනේ මම යන්න එපා කිව්වා. සින්දු කියලා නැටුවට මොනවද අනෙ ලැබෙන්නේ, ගෙදර ඉඳන් පාඩම් කරනවා.” වැඩෙන දරුවන් අනාගතයේදී ජීවිතය පෙළ ගස්වා ගන්නට නොහැකිව ජීවිතය අසමත් වනු ඇත.අධ්‍යාපනය මෙන්ම කලාව,  ක්‍රීඩාව ද දරුවන්ට තම ජීවිත නිසියාකාරව පෙළගස්වා ගන්නට මහත් රුකුලක්ය. කලාව තුලින් සංවේදී දරුවකුබිහි කරන අතර ක්‍රීඩාව තුලින්ජය පරාජය විඳ ගැනීම ,සාමුහිකව ක්‍රියා කල හැකි දරා ගැනීමේ ශක්තියෙන් හෙබි දරුවකුබිහි කරනු ඇත. තවකෙකුගේ දුකක් වටහා ගත නොහැකි, තවකෙනෙකු හා සාමුහිකව ජීවත් විය නොහැකි, යමක් විඳ දරා ගැනීමේ ශක්තියක් නැති දරුවකුට පැහැබර අනාගතයක් අපේක්ෂා කල නොහැකිය. අපේ දරුවන් පොත් ගුල්ලන් කොට විභාග සමත් කොට ජිවිත අසමත් කරවනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය.

සියොතුන් ගී ගයමින් නැවුම් දිනකට සැරසෙන අපූරුව, උදේට පිපෙන මලක් එහි පෙති විහිදන අපූරුව, ආකාසේ තරුඅමුණගෙන සඳත් සමග රාත්‍රියේ සිසිල බෙදන අපූරුව, මාවවුලන් ,බකමූණන් සේපාලිකා මල් දෑසමන් පිපී රාත්‍රීයේ තවත් සොඳුරු ලොවක අපූරුව දරුවන්ට විඳගන්නට අවකාශ සලසන්න. කලාව මෙන්ම ක්‍රීඩාවද ඔවුන්ගේ ජීවිත වෙත ලං කරන්න.  දරුවන්ටම ජීවිතය අතපත ගා උගෙන ගන්නට කියා දෙන්න. එවිට ඔවුන් විභාග මෙන්ම ජීවිතයද සමත් වනු ඇත.

 

පුංචි පැටවුන්ගේ කිරිදතටත් රැකවරණය අත්‍යවශ්‍යයි

දරුවන්ගේ නිරොගී පැවැත්ම පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන් නිසි අවධානයක් යොමු කළ යුතු තවත් වැදගත් අංගයක් වන්නේ දරුවන්ගේ දන්ත සෞඛ්‍යයි. ඒ සම්බන්ධයෙන් වැඩිහිටි ඔබේ වගකීම ආරම්භ වන්නේ දරුවාට මාස 5 ක 6 ක පමණ කාලයේ සිටයි. ඒ, කිරි දත් රැකගැනීම ඔබ සිතනවාට වඩා ඉතා වැදගත් කාර්යයක් වන බැවිනි. සාමාන්‍යයෙන් දරුවෙකුගේ මුල්ම කිරි දත දරුවාට මාස 06ත් 10 ත් අතර වයසේ දී යටි හනුවේ ඉදිරිපස පේළියෙන් මතුවේ. නමුත් මේ කාල සීමාව සහ ස්ථාන වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් අවුරුදු 3 ක් පමණ වන විට බොහෝ දරුවන්ගේ දත් පෙළ සම්පූර්ණ වෙයි. වසර කිහිපයකින් ගැලවී ගියද කිරිදත් මගින් විශාල මෙහෙයක් ඉටු වේ.

කිරිදත් පෙළ වැදගත් වන්නේ :
  • ආහාර සැපීමට
  • වචන උච්චාරණයට
  • මුහුණේ හැඩය පවත්වා ගැනීමට
  • සිනහවේ පියකරු බව රඳවා ගැනීමට
  • ස්ථිර දත් සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණයට

වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර නැතත් කිරි දත් මතුවන කාලයට යම් යම් විශේෂිත හැසිරීම් දරුවා පෙන්නුම් කරයි.

දත් මතුවන කාලයට කුඩා දරුවන්ගේ හැසිරීමෙහි ඇති වෙනස්කම් :
  • හැඬීම
  • ආහාර නොගැනීම/ප්‍රතික්ෂේප කිරීම
  • අතට හසුවන දේ කටේ දමා හැපීම
  • නිතර නිතර මල මුත්‍ර පිට කිරීම
  • උණ
  • අජීර්ණය

ශ්‍රී ලංකාවේ දරුවන් අතරද බහුලව දක්නට ලැබෙන අවුරුදු හයට අඩු දරුවන්ගේ කිරිදත් දිරායාම (Early childhood caries) සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මේ තත්ත්වයට මූලික බලපාන්නේ බැක්ටීරියා ආසාදන තත්ත්වයකි.
මේ තත්ත්වය ඇති වීමට හේතු ලෙස රාත්‍රි නින්දේදී ළඳරුවන්ට කිරි බෝතල් දීම, රාත්‍රී නින්දේදී මව්කිරි ලබාදීම වැනි අවස්ථා දැක්විය හැකිය. අසාමාන්‍ය ලෙස දත් දිරායාමේ තත්ත්වයට, ඇති අවදානම අවම කරගැනීමට දෙමාපියන් දැනුවත් වීම ඉතා වැදගත් වන නිසා දරුවාගේ පළමු කිරිදත මෝදු වූ විට දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබට අවශ්‍ය මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම තොරතුරු ලබාගන්න.

නිරෝගී දත් දෙපෙළක් සඳහා මේ කරුණු ගැන අවධානය යොමු කරන්න
  • සීනි සහිත ආහාර/දියර වර්ග දිවා කාලයේදී මෙන්ම රාත්‍රී නින්දේදී ද සීමා කිරීම
  • දරුවාට නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලබාදීම
  • කාබෝහයිඩ්‍රේට් අඩංගු දියර වර්ග (සීනි සහිත යුෂ, කිරි) සීමා කිරීම
  • ළදරුවන්ට නින්දේදී කිරි පෙවීමෙන් හැකිතාක් වැළකීම
  • දත් මෝදුවීමෙන් පසුව රාත්‍රී කාලයේදී අසීමිත ලෙස මව්කිරි පෙවීමෙන් වැලකීම
  • මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන මුඛයේ වෙසෙන බැක්ටිරීයා නිසා මවගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීම.
  • නිසි මුඛ සෞඛ්‍ය පුරුදු නිවසේදී අනුගමනය කිරීමට දරුවා පුහුණු කිරීම.
  • දිනකට දෙවරක් වරකට විනාඩි දෙක බැගින් නිවැරදි ක්‍රමයට දත් මදින්නට දරුවා පුරුදු කිරීම
  • වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට ඔවුන් සඳහා නිපදවූ දත් බුරුසු සහ දන්තාලේපන භාවිත කරන්න (ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න)
  • දන්තාලේප සහිත කෙළ ඉවතට දැමීමට දරුවා හුරුකරන්න
  • වයස අවුරුදු 7/8 වන තුරු දත් මැදීම හොඳින් සිදුකර ඇත්දැයි පරීක්‍ෂා කරන්න
දත් මැදීමේ නිවැරදි ක්‍රමය අනුගමනය කරන්න

01. කන්නාඩියක් ඉදිරිපිට ඔබටත් දරුවාටත් දරුවාගේ මුඛය හොදින් දිස්වන පරිදි සූදානම් වන්න.
02. දරුවාගේ නිකට යටින් අල්ලා ඔබේ ශරීරයට වාරු කොට හිස මදක් ඔසවන්න.
03. බුරුසුවේ හිස, දරුවාගේ විදුරුමස පැත්තට හරවා සියුම්ව කවාකාරව දත් සහ විදුරු මස මදින්න. දත්වල පිටත මෙන්ම මුඛයේ ඇතුළු පැත්තෙන්ද පිරිසිදු විය යුතුයි.
04. ආහාර කැබලි රැඳිය හැකි, හක්කේ දත්වල මතුපිට ද හොඳින් මදින්න.
05. ඉතා මෘදු ලෙස දරුවාගේ දිව මදින්න.

කෙසේ වුවත් මෙහිදී ඔබ මුහුණදෙන ගැටලුව වන්නේ දරුවන් දත් මැදිමේ කාර්යයට ප්‍රිය නොවීමයි. එම නිසා එම කාර්යය පවුලේ විනෝදාත්මක ක්‍රියාකාරකමක් ලෙස දරුවාට හඳුන්වා දෙන්න.

අම්බලන්ගොඩ මෙඩිප්ලස් දන්ත ශල්‍යාගාරයේ දන්ත ශල්‍ය වෛද්‍ය එස්. ඒ. එල් අලංක මහතා සමග සකසන ලද ලිපියකි.