Home Blog Page 129

නිවාඩුව ඇවිත්

පාසල් නිවාඩුව සමග දෙමව්පියන්ගේ ජීවන රාටාව උඩු යටිකුරු තත්වයට පත්වෙනවා කිව්වොත් ඇත්තටම නිවරැදියි.උදේට දරුවා පාසලට ඇරලලා , හවසට බාහිර පංතියෙන් නැවතත් එකතු කර ගෙන නිවසට යන රටාව නිවාඩු කාලයේදී මුළුමනින්ම වෙනස් අතකට පෙරලෙනවා.

ඒත්…දුවා  දරුවන්ට නිවාඩු ලැබෙන්නේ අනපේක්ෂිත විදිහට නොවෙයි. වසරක් ආරම්භ වෙත්ම පාසල් ලිත මගින් පාසල් නිවාඩුවත් නිවේදනය කරනවා. මේ නිසා අපි හැම කෙනක් ළඟම පාසල් නිවාඩුව ගැන දළ අදහසක් තිබෙනවා. ඒ නිසා මව්දෙමව්පියන් පාසල් නිවාඩුව වෙනුවෙන් පූර්ව සැලසුම් ගොඩ නගා ගත යුතුයි.

නිවාඩුවත් සමගම දරුවාට මානසික වෙනසක් අවශ්‍යයි. පාසල් අධ්‍යාපනය සමග බොහොම හෙම්බත්ව සිටින දරුවාට මානසිකව වෙනසක් අවශ්‍ය බව අද මනෝවිද්‍යාඥයන් පවා පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.ඒ හින්දා දෙමව්පියන්ද පාසල් නිවාඩුව ගැන නම්‍යශීලිව බලනවා නම් බොහොම අගෙයි.

වාරාවසානය සමග ලැබෙන නිවාඩුව ගෙවලා, නැවතත් පාසල නම් වූ රන්දෙවොලට දරුවා පිය නැගිය යුත්තේ අළුත් මානසිකත්වයකින්. අලුත් අරමුණකින්. ගෙවුන වාරයේ අඩුපාඩු හා ප්‍රමාදයන් වෙනස්කර ගෙන අලුත් වාරයට නවතාවයෙන් ගමන් කිරීම අවශ්‍යයි. ඒ නිසා ලැබෙන විවේකය ඵලදායී විදිහට ගත කළ යුතුයි. ඉතාම අපිළිවෙලට පොත් පත් පරිහරනය කරන දරුවෙකුට තමන්ගේ පොත් පත් පිළිවෙළට තබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් වගේම උදව් දෙමව්පියන්ගෙන් මේ කාලයේ ලබා දෙන්න පුළුවන්. දරුවන් උපදෙස් වලට වඩා කැමැත්තක් දක්වන්නේ උදව් වලටයි.පොත් පත් කවර දමා මේ විදිහට ඉදිරියේදී පාවිච්චි කරන්නය…යන අවවාදය දරුවාට ඒත්තු ගැනෙන විදිහට කටයුතු කළ යුතුයි.

අධ්‍යාපනයේදී දරුවාට ඇති දුර්වලතාවයන්ට ඉතා සරලව පිළියම් ලබා දීමටත් නිවාඩු කාලයේදී පුළුවන්.දෛනිකව කර ගත නොහැකි විදිහට මග හැරුන කටයුතු සඳහා මේ කාලයේදී උදව් කිරීමට පුළුවන්. විශේෂයෙන් අත්අකුරු ගැන උනන්දු කරන්න.ගණිතයේ චක්කරය හෝ වෙනත් සුත්‍ර පාඩම් කිරීමට මග කියා දෙන්න.

දරුවන්ගේ ඇල්බ බැල්ම ඇත්තටම ‍තියෙන්නේ සෙල්ලමටයි. ඒ දරුවන්ගේ ස්වභාවය. නිවාඩු කාලය තුළත් දරුවා අධ්‍යාපනයටම කොටු නොකොට සෙල්ලම වෙනුවෙනුත් අවශ්‍ය කාලය ලබා දෙන්න. පොත පත මතම රැඳෙන්නට අවශ්‍ය නැතුවා වගේම පොතෙන් මුළුමනින්ම දුරස්ථ වීමත් එතරම් හොඳ කටයුත්තක් නොවෙයි. ඇයි කිව්වොත් නැවත දරුවා පොතට සමීප කිරීමටත් කාලයක් අවශ්‍යයි.මේ කටයුත්ත ඇඟට පතට නොදැනෙන විදිහට බොහොම උපක්‍රමයෙන් කළ යුත්තක්.

විනෝදාත්මක කටයුතු වෙනුවෙන් වෙනදාට නැති ඉඩ ප්‍රස්ථාව නිවාඩු කාලයෙන් උපයා ගන්න පුළුවන්.චිත්‍රපටයක් බලන්න, පවුලේ ඥාතීන් සමග එක් වෙන්න, නෑ ගමනක් යන්න මේ කාලයේදි කාලය ලබා දෙන්න.කෝච්චියෙන් ගමට ගිහින් කිරියි පැණියි කාල එන්න වෙලාවක් නැති වුනත් මව්පියන්ගේ උරුමය පවතින ඔවුන්ගේ නෑ පරම්පරාවන් වෙසෙන මුල් ගම් පළාත්වල දරුවන් කැටුව යා යුතුය. අම්මා තාත්තාගේ ලේ සුවඳ ඇති නෑදෑයන් හඳුනා ගත් යුතුයි. දරුවන් අනාගතයේදී සබඳතාවයන් ආරම්භ කරන්නේ මේ සහලේ ඥාතීන් සමග බව අමතක නොකරන්න. ඔවුන් සමග නෑ සබඳතාවයන් අලුත් කිරීමට වඩාත් වැදගත් වන්නේ නිවාඩු කාලයයි.එබැවින් නිවාඩු කාලයේ මෙම අවස්ථාව දරුවන්ට උපරිම ලෙසින් ලබා දීම මව්පියන්ගේ යුතුකමකි.

අද දරුවන් පරිසරයෙන් බොහෝ සෙයින් ඈත්ව ඇත. ඒ නිසාම ඔවුන්ගේ නිර්මානශීලී අදහස්ද බෙහෙවින් පුරන්ව තිබේ. ඇසට නිලක් කොළක් දකින්නටම නැත. මේ නිසා නිවාඩු කාලයේදී පරිසරය විඳින්නට, අපේ ඉතිහාසයේ සාඩම්බර සිහිවටන සේ ගැනෙන පුරාණ රාජධාණී නරඹන්නනට දරුවන් සමග ඔබටත් චාරිකාවක් සංවිධානය කර ගත හැකිය. එය දරුවාගේ දැණුම සහ ලෝකය දැකීම වෙනුවෙන් අද දවසේ මව්පියන් විසින් ලබා දෙන ආයෝජනයකි.

ඉඟුරු දුරු ඈ යුතු මල් ගොමු හා වවා වතු කියන්නා සේ ඔබේ ගෙවත්තේ අලංකාර කටයුතු සඳහා දරුවා සම්බන්ධ කර ගන්න. එළවළු පැලයක් , මල් පැලයක් නඩත්තු කිරීමේ කටයුත්ත දරුවාට පවරන්න. එවිට නිවාඩුව අවසාන වෙත්ම අලංකාර ගෙවත්තක් ඔබ සහ දරුවා ඉදිරියේ ගොඩ නැගේ. එයින් ලැබෙන ජවය නිසා දරුවා මෙම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමේ උන්නදුව නොදැනීම ඔහුගේ සිතේද පහළ වෙනු ඇත.

නිවසේ පිළිවෙල, පිරිසිදුබව වෙනදාට වඩා නිවාඩුකාලයේදී පවත්වා ගැනීමට දරුවාගෙන් සහයෝගය ලබා ගන්න. අවශ්‍ය දේ පමණක් තබා ගෙන අනවශ දේ ඉවත් කිරීමට ඔහුට ඉඩ දෙන්න. නිවසේ අලුත් සැලසුමක් ඇති වෙන විදිහට කාමරය , පොත් මේසය පිලියෙළ කිරීමේ කටයුතු සඳහා ස්වාධීනත්වය ලබා දුන් විට එයින් දරුවා විශාල වැඩ කොටසක් නිවස වෙනුවෙන් නිවාඩු කාලයේදී ඉටු කරනු ඇත.

ඒ සමග මව්පියන් අනිවාර්යන් මතක තබා ගත යුතු කරුණක් ඇත. දරුවන්ට අනතුරක් වීමට ලොකු කාලයක් අවශ්‍ය නැත. එක් සැනක් තුළ විශාල අනතුරක් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ගැනත් අමතක නොකරන්න. නිවසේ සිටින දරුවාට විදුලිය, ගෑස් වැනි අනතුරු ඉව දැන දන්වා සිටින්න. ගෑස් කාන්දු වීම නිසා සිදුවෙන අනතුරු ගැනත් පවසා තමාගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින්නට දරුවා දැණුවත් කරන්න.

දරුවන් හැමදාම නොදරුවන් වන්නේ නැත කවදා හෝ දිනක ඔවුන් වැඩිහිටියන් ලෙස සමාජගත වෙනු ඇත. එබැවින් දරුවන් පසුපසම ඔබ රැඳී සිටිනවාට වඩා තමන්ගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගැනීමට අවශ්‍ය දැණුවත් බව ලබා දෙන්න.ඒ වෙනුවන් ඇති හොඳම කාලය පාසල් නිවාඩුවයි.

මාරන්තික ජලභීතිකා රෝගයෙන් අපේ දරුවන් රැකගමු

අද වන විට බොහොමයක් නිවෙස්වල සුරතල් සතුන් ඇති කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දැකගත හැකියි. සුරතල් සතුන් අතරට බල්ලන් පූසන් පමණක් නොව හාවුන් ,කුරුලු වර්ග, රට මීයන් වැනි සතුන් අද වන විට ඇතුළත්ව සිටී. නිවැසියන්ට ඇත්තේ කුඩා ඉඩ ප්‍රමාණයක් වුවද ඔවුන් තම සුරතලුන් වෙනුවෙන්ද යම් ඉඩක් වෙන්කරයි. බොහෝ නිසේවල සුරතල් සතුන්ද නිවස තුළම ජීවත් වේ. ඇතැමෙකු තම ආරක්‍ෂාව උදෙසාම පමණක් නිවසේ ඉතිරිවන ආහාරවලින් කොටසක් ලබාදෙමින් බල්ලන් පූසන් ඇති කළද ඇතමෙක් ඉතා කාරුණිකව ආදරණීයව රැකවරණය ලබාදෙමින් තම සුරතලුන් ඇති දැඩි කරයි. ආහාර මෙන්ම ආදාරය, කරුණාව සහ රැකවරණය සත්ත්වයන්ටද අත්‍යවශ්‍ය වේ. කෙසේ වුවද තම නිවසේ ඇති දැඩි වන සුරතලාගේ සෞඛ්‍ය මට්ටම ඉහළ තත්ත්වයක පවත්වා ගැනීමට ඔබට නොහැකි නම් එය යම් දිනෙක ඔබේ හෝ දරුවන්ගේ ජීවිතවලටද අවධානමක් ඇති කළ හැකි තත්ත්වයකි.

සුරතල් සතෙකු නිවසට ගෙන එන්නේ නම් එම සත්ත්වයා ලබාගන්නා ස්ථානය ඔබ හොඳින් දන්නා හඳුනන විශ්වාසවන්ත ස්ථානයක් වීම ඉතාම වැදගත් වේ. මෙහිදී සතුන්ට නිසි කලට නිසි පරිදි එන්නත් ලබා දී ඇතිද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.

බලලුන්ගෙන් බෝ විය හැකි ටොක්සොෆ්ලැස්මා නම් පරිපෝෂිතයා මිනිසුන්ගේ සිරුරට ඇතුළු වී ටොක්සොෆ්ලැස්මෝසිස් නැමති භයානක රෝගී තත්ත්වය ඇති කිරීමේ අවදානමක් පවතින අතරම ගර්භණී මවකට මෙම රෝගය ඇති වුවහොත් කළලයට හානි සිදුවිය හැකිය. තවද දිලීර වර්ග බෝවීම නිසා ඇතිවන සමේ රෝග වර්ග, මැක්කන් ඇති කරන රෝගී තත්ත්වයන් ද සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග අතරට එක්වේ. කෙසේ වුවද 77%ක්ම අපට දැකගත හැකිවන්නේ සත්ත්ව සපා කෑම් හේතුවෙන් හටගන්නා අවාසනාවන්ත තත්ත්වයන්ය. මේ සත්ත්ව සපාකෑම් හේතුවෙන් ඇතිවිය හැකි අති භයානක, මාරාන්තික ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගයෙන් අපේ දරුවන් රැකගන්නට අපි ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.

2020, ජලභීතිකාව රටෙන් තුරන් කරන වසර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය කර තිබේ. මේ සඳහා රටවැසියන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා :

  • නිවසේ සිටින සුරතලාගේ පැටවුන් පන්සල්, පාසැල් හෝ මහමග අතැර දමා යෑමෙන් වළකින්න
  • තැන් තැන්වල කුණු විසිකර දමා යෑම සතුන් බෝවීමට හේතුවක් වන අතරම ඒ ක්‍රියාවෙන් වැළකෙන්න
  • පැටවුන් අනවශ්‍ය නම් වන්ද්‍යාකරණ සැත්කම සිදුකරන්න
  • පිටස්තර ස්ථානයක වෙසෙන සතුන් අතපත ගෑමෙන් වළකින්න, ඒ පිළිබඳව දරුවන් දැනුවත් කරන්න

අපේ රට දූපතක් වන නිසාම මේ රටෙන් තුරන් කළ විට නැවත ඒ රෝගය මෙරටට පැමිණීමේ අවධානමක් නැති නිසා රට වැසියන් වන අපේ දායකත්වය මේ සඳහා අත්‍යවශ්‍යය.

මාරාන්තික ජලභීතිකාව, වෛරස රෝගයකි. ස්නායු පද්ධතියට සංවේදීතාවයක් දක්වන රෝගී තත්ත්වයක් වන මෙම රෝගය ඇති කරන වෛරසයේ එක් එක් අවස්ථාවන්ට අනුව බීජෞසන සමය විවිධාකාරය. පාදයක් සපා කෑ අවස්ථාවකදී එම කාලය වැඩි විය හැකි අතරම හැමවිටම ඒ තත්ත්වය බලාපොරොත්තු විය නොහැකිය. බෙල්ල මුහුණ ආදී ප්‍රදේශවලට සිදුවන දරුණු සපා කෑමකදී බීජෞසන සමය සතියකට වඩා අඩු විය හැකිය. එසේ නැතිනම් අවුරුද්දකට වැඩි විය හැකි අතරම එසේත් නොමැති නම් මාසයක් හෝ මාස තුනක් ද විය හැකිය.

පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකා රෝගයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණය වන්නේ ජලයට දක්වන බියයි. රෝගය ඇතිවිය හැක්කේ රෝගී තත්ත්වයෙන් පෙළෙන සතෙකු සපා කෑම, සීරීම, ශ්ලේෂ්මල පටල (ඇස, නහය, තොල්) හෝ සුව නොවූ තුවාලයක් මත ලෙව කෑම මගිනි. මෙම රෝග තත්ත්වය ඇති වූ විට සිහිවිකල් වී මිය යයි.

ජලභීතිකා රෝගය පහත පරිදි ප්‍රභේද දෙකකි : 

වියරු පිස්සුව – 80%කට පමණ මේ තත්ත්වය ඇති විය හැකි අතර කෙල වගුරවමින් අසුවන සියලු දේ සපා කෑමට පටන් ගනී.
ගොලු පිස්සුව – මේ තත්ත්වයේදී මාංශ පේශී අප්‍රාණික වීම හේතුවෙන් මුල්ලකට ගුලි වී කෙල වගුරවමින් සිටී. ගොලු පිස්සුවේදී උගුරේ යමක් සිරවී ඇති පරිදි සුනඛයා හැසිරුනද කිසිවිටෙකත් උගුරට අත දමා එය ඉවත් කිරීමට නොයා යුතුය.
සුරතලුන්ට එන්නත්,

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගම් මට්ටමෙන් විමද්‍යගත කොට ඇති ජලභීතිකා රෝග නිවාරණ ඒකකය හරහා ද සතුන්ට එන්නත් ලබාදීම සිදුකළ හැකි අතරම එම එන්නත් ලබා දිය යුත්තේ මෙසේය.

පළමු සති හය සම්පූර්ණ වූ ඔබේ සුරතලාට : 
  • ජලභිතිකා එන්නත් මාත්‍රාව ලබාදෙන්න
  • මාස තුනකට පසු දෙවන මාත්‍රාව ලබාදෙන්න
  • වසරකට එක් වරක් වශයෙන් අනෙකුත් මාත්‍රාද ලබාදෙන්න
බල්ලෙකු සපා කෑ විට,

  • සපා කන ලද ස්ථානය හොදින් සබන් යොදා සෝදන්න
  • රුධිර වහනය වැළැක්වීමට තුවාලය මත පිරිසිදු රෙදි පටියකින් වෙලන්න
  • වහාම ළඟම ඇති රෝහල වෙත යන්න

සෑම රෝහලකම පුහුණු වෛද්‍යවරු සිටින අතරම අවශ්‍ය එන්නත් සහ ප්‍රතිකාර නොමිලේ ලබා දෙනු ඇත. නිදැල්ලේ හැසිරෙන සුනඛයෙකුගේ සුළු සපාකෑමකදී අවශ්‍ය එන්නත පමණක් ලබා දී නැවත එන්නත් ලබාදිය යුතු දිනය හා වේලාව සඳහන් කාඞ් පතක් රෝගීයාට ලබා දෙන අතරම දරුණු සපා කෑමක් සිදුවී ඇති නම් එන්නත් මාත්‍රාවලට අමතරව සපා කෑ ස්ථානය වටා ප්‍රතිදේහ අඩංගු මස්තු එන්නත් කරයි.

තමා සපා කෑ සත්ත්වයා පිළිබඳව සැකයක් පවතී නම් ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදු කිරීමට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාරය (කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට) පැය 24 පුරාම  විවෘතව පවතී. මීට අමතර  දකුණු පලාතේ කාරාපිටිය ශික්‍ෂණ රෝහල වෙතින් සහ පේරාදෙණිය පශු වෛද්‍ය පිඨවල රසායනාගාර මගින්ද මේ සේවාව ඔබට ලබා ගත හැකියි. සැක සහිත සතෙකු සපා කෑ විට හිස වෙන් කොට ආරක්‍ෂා සහිතව දියර කාන්දු නොවන බඳුනක බහා රසායනාගාර පරීක්‍ෂණ වෙත යොමු කරන්න. එසේම රසායනාගාරය වෙත ගෙන ඒමට පැට අටකට වැඩි කාලයක් ගතවනවා නම් අයිස්වල බහා රසායනාගාරය වෙත රැගෙන ඒමට වග බලා ගන්න. තවද සැක සහිත සත්ත්වයා හා සම්බන්ධ කටයුතු කිරීමේදී අනිවාර්යෙන්ම අත්වැස්මක් භාවිත කළ යුතු අතරම සත්ත්වයාගේ මුව තුළට අත දැමීමෙන් වළකින්න. 1990දී පමණ ජලභීතිකා රෝගය නිසා මරණ 100ක් පමණ වාර්තා වූ අතරම මේ වන විට ඒ සංඛ්‍යාව 25ක් දක්වා පහත වැටී ඇත.

සුරතල් සතුන්ට ආදාරය, කැමැත්ත දක්වන ඔබ,

  • දරුවන්ට අවුරුදු පහ සම්පූර්ණ වූ පසු සුරතල් සතුන් ඇති කිරීම වඩා යෝග්‍ය බව සිහිතබාගන්න
  • පශු වෛද්‍ය උපදෙස්වලට අනුව සතුන්ට නිසි කලට එන්නත් ලබා දෙන්න
  • ඔබේ සුරතලා කුමන අසනීප තත්ත්වයක සිටිය ද ඖෂධ ලබාදීමට හෝ කෑම ලබාදීමට මුව තුළට අත දැමීමෙන් වළකින්න. සැමවිටම සුපරික්‍ෂාකාරීව කටයුතු කරන්න
  • ඔබ සතුන්ට ආදරය කරන්න. දරුවන්ට එය හුරුකරන්න
  • ආගන්තුක/ පොදු ස්ථානවල සිටින සතුන් ඇල්ලීමෙන් වලකින්න
  • පාසැලේ/දහම්පාසැලේ සිටින බල්ලන් හෝ බළලුන් අත ගෑමෙන් වළකින දෙන දරුවන්ට උපදෙස් දෙන්න
  • සතෙකු ඇල්ලූ විට සබන් යොදා අත් පිරිසිදු කරන්න
  • සතෙකු තමා අසල එනවා නම් දිව නොයා හිඳින ස්ථානයේම නතරවන්න

සැ. යු. කිසිදු එන්නතකින් 100%ක රැකවරණයක් නොලැබෙන නිසාම තමන්ගේ මෙන්ම අන් අයගේ ආරක්‍ෂාව උදෙසා ද ඔබේ නිවසේ ඇති දැඩි වන සුනඛයාගේ වගකීම ඔබ සතුය.

වෛරස් රෝග සහ එන්නත් පිළිබද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙනි.

විභාගය දැන් දැන් ළගයි

විභාග උණුසුම දරුවන්ට වඩා දැනෙන්නේ දෙමව්පියන්ටයි. දරුවා පොතක් පතක් අතේ නැතිව ඉන්නවා දැක්කොත් මව්පියන් යක්ෂාවේශ වෙනවා. තව විභාගයට දවස් කීයද….? මොකද ඔය කරන්නේ….පොතක් පතක් බලාගන්න…මේ අම්මගේ කටේ තියෙන මන්තරයයි.

ඇත්තටම පාඩම් කළ පමනින්ම දරුවන් විභාග සමත් වෙන්නේ නැහැ. ඔවුන් කළ යුත්තේ තමන් කරන පාඩම නිසි විදිහට ධාරනය වෙන අන්දමින් කිරීම මිස ඔරලෝසු පැය ගණනින් නිදි මැරීම නම් නොවේ.අද මව්පියන්ගේ යුගයේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් නම් විශිෂ්ට සම්මාන නවයක් ලබා ගැනීමයි. ඇයි ඉතිං එහෙම නොගත්තොත් පවුලේ අයට, අසල්වැසියන්ට  සහ කාර්යාලයේ සමාගමට මව්පියන් මුහුණ දෙන්නේ කොහොමද….?

ඇත්තටම මේ සිතුවිල්ල ඉතාම වැරැදියි. සමහර විට ඔබ මේ විදිහට විශිෂ්ට සම්මාන හඹා යන්නේ දරුවා දිරිමත් කිරීමට විය හැකියි. ඒත් දරුවා එයින් දිරිමත් වනවාට වඩා මහත් පීඩාවකට පත්වෛනවා. මේ හීනය අල්ලන්න තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. ඒත් මව්පියන්ගේ කන් කරච්චලය අහවර වෙන්නෙත් නැහැ.

දරුවාගේ ඉගෙණුමේ සාර්ථකත්වය මනින මිනුම විදිහට විභාග පත්වී අවසානයි. පැය තුනක් තුළ ගොනු කරන දැනුමෙන් දරුවාගේ අනාගතයම තීරණාත්මකව විස‍ඳෙනවා.මෙතෙක් කල් ගබඩා කර ගත් දැණුම අසන ලද පැනයට වඩාත් සමීප විදිහට ගලපා ඉදිරිපත් කරන්න දරුවා දැන ගත යුතුයි. මෙතැන ඇති එකම ප්‍රශ්නය නම් කොතෙක් පාඩම් කළත් අමතක වීමයි. පය බරවාට පිටි කර බෙහෙත් බඳින්නා වගේ පාඩම් කරපන් පුතේ කියන ගායනාවෙන් හැම දෙයම විසඳා ගන්න බැහැ. වතුර බේසම්වල දෙපා ඔබාගෙන පැය ගණන් නිදි මැරුවට වඩා ක්‍රමානුකූල විදිහට මනස හෙම්බත් නොවන විදිහට පාඩම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හොයා ගත්තොත් වරදින්නේ නැහැ.

ඉතින් මේ වෙනුවෙන් ක්‍රමවේදයක් ගැන ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙනවා. අපේ දන්නා වචනවලින් කිව්වොත් ගෙදර මහ පොතක් ඇත….එකක්වත් මතක නැත කියන්නා වගේ පොත අතේ තිබුනට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඔවුන්ගේ අදහස ගැන අපි හිත යොමු කළොත්…

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මොළයට ලබා දෙන විවේකය සහ ඉගෙනුම් කරුණු කාරණාවන් නිරන්තරව ආවර්ජනය කිරීමෙන් මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනය වෙන බවයි.

මේ හේතුඵල සම්බන්ධතාවය මුල් කර ගෙන ස්නායු විද්‍යාව පිළිබඳ  මහාචාර්ය ඇලිසන් ප්‍රිස්ටන් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔහු ඒ වෙනුවෙන් ඉගෙනුම් කණ්ඩායම් දෙකක් තෝරා ගෙන මෙම පිල් දෙකටම සමාන ඡායාරූප දෙකක් ලබා දුන්නා.

ඒ සමගම මෙම කණ්ඩායම තෝරා ගැනීමේදී ඔහු පාදක කර ගත්තේ ඉගෙනුම වෙනුවෙන් වැය කරන කාලය සහ විවේකය අතර සම්බන්ධතාවයයි.විවේකීව පාඩම් කරන ශෂ්‍ය කණ්ඩායම ඡායාරූපයේ තිබෙන තොරතුරු ඉතා හොඳින් අවශෝෂණය කර ගෙන තිබුණා. මේ නිසා ප්‍රිස්ටන් විසින් උපකල්පනය කළ විදිහටම විවේකය ලබන විට තොරතුරු ඩැහැ ගැනීමට මොළයේ හැකියාව ඉතා ඉහලින් තිබෙන බව සනාථ වුණා.

නැවත නැවත ඉගෙනුම් කරුණු ආවර්ජනය කරන විට ඔබ අලුතෙන් දැනුම ලබනවා විතරක් නොවෙයි, දැනට තිබෙන තොරතුරු සමග සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අද අපේ දරුවන් අතර තිබෙන ප්‍රධානම ගැටළුව වෙන්නේ තමන් දන්නා දෙයට තොරතුරු සම්බන්ධ කර ගෙන උත්තර පරීක්ෂක වරයා සෑහීමට පත් වෙන විදිහට පිළිතුරක් ඉදිරිපත් කිරීමට තිබෙන නොහැකියාවයි.

ප්‍රිස්ටන් මහාචාර්යවරයා මෙම කණ්ඩායම් දෙක නැවත සම්බන්ධ කර ගෙන දෙපාර්ශවයටම විද්්‍යුත්ය පිළිබඳව සිතන්න කාලය ලබා දුන්නා. එහිදී වයර් සමග විදුලියේ තිබෙන සම්බන්ධතාවය ගැන මුලින්ම පහදා දුන් අතර දෙවැනි අදියරේදි විද්්‍යුතයේ ලක්ෂණ දේශනයක ස්වරූපයෙන් නැතුව සංවාදයක් වගේ ඉදිරියට ගෙන ගියා. ඊට පසුව ඔහු ස්නායු විද්‍යාව දෙසට යොමු වුනා. මහාචාර්යවරයා ස්නායු සන්නිවේදනය පිළිබලද දේශනය ආරම්භ කරන විට ශිෂ්‍යන් අතර විද්්‍යුතය පිළිබඳව හොඳින් ලබා ගත් දැණුමෙන් ඔවුන් සන්නද්ධව සිටියා. මේ නිසා ඔවුන්ට ස්නායු සන්නිවේදනය පිලිබඳ දේශනය වටහා ගැනීම එතරම් අපහසු කාර්යක වුනේ නැහැ.

ඉගෙණුම් කාර්යේදී ඉගෙනගත් දෙය සහ ඉගෙනුම ලබන දෙය අතර ගැලපීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් දරුවාට විවේක මනසක් අවශ්‍යයි. මොළය යකාගේ කම්මල වගේ වුනොත් දරුවාට යමක් ග්‍රහනය කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. සන්සුන් මනසකින් හෙබි දරුවන්ට වඩාත් යහපත් ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගෙන බව මහාචාර්ය ප්‍රිස්ටන් විසින් පෙන්වා දෙනවා.

බොහෝ දරුවන් විභාගය ආසන්න වෙත්ම මානසිකව රෝගීන් බවට පත් වෙනවා. එය  ඔවුන් නොදැනම සිද්ධ වෙන්නක්. මනස ලෙඩ වුනාම ඒ සමගම බද්ධව එන ශාරිරික රෝගත් බොහොමයි. අද දරුවන් අතර බහුලව දක්නට ලැබෙන ගැස්ට්‍රයිටිස් රෝගයට බලපාන්නේ මේ වෙහෙසකර හෝර්මෝන කිව්වත් වැරැද්දක් නැහැ. තවත් අවස්ථාවන්හිදි දරුවන් භීතිකාවට පත් වෙනවා.

පාසල සහ නිවස අතර වූ කොටු පවුර පමණක් නොවෙයි, මේ සීමාව තුළත් කිසිදු විවේකයක් හෝ සතුටක් දරුවාට ඇත්තේම නැහැ.දරුවා විවේකයක් , විනෝදයක් ලබනවා කියන්නේ විභාගය ඉදිරියේ නම් මහා විපත්තියක් විදිහට මව්පියන් දකිනවා.මේ විදිහට හැම අතින්ම දරුවා ලබන පීඩනය නිසා ඔහු විභාග භීතිකාවට පත් වෙනවා.

විභාගයක් කියන්නේ දරුවාගේ ජීවිතයේ එක් කඩඉමක්.මේ කඩඉම සාර්ථක නොවුන විට ලැබෙන්නට සහ ලබා ගත හැකි බොහෝ දේ අහිමි වෙනවා.එය ඇත්තක්.මේ නිසා විභාග වෙනුවෙන් දරුවා උනන්දු කළ යුතු බව සැබෑවක්. නමුත් අපි ඒ වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ දුර්වලතාවය නිසා දරුවා හෙම්බත් වෙනවා.

ඉතින් එහෙම නම් දරුවාට ඉගෙණුම වෙනුවෙන් ප්‍රසන්න පරිසරයක් ගොඩ නගන්න. එය මහා වෙහෙසක් විය යුතු නැහැ. පුතේ පාඩම් කරන්න යන්නට වඩා දරුවාගේ මනසට සහනයක් ලබා දෙන්න. හැකි අවමයෙන් නොව උපරිමයෙන් ඉදිරියට යා යුතු බව පෙන්වා දෙන්න. එවිට දරුවා යම් තැනක අද නවතිනු ඇත. ඒ නැවතුම සමග තවත් අදියරක් වෙනුවෙන් අවශ්‍ය ජවය දරුවා විසින්ම සලසා ගනු ඇත. ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය බව සැබෑය.ඒ වෙන විට දරුවා නොදරුවෙක්ය…එහෙත් අනාගත විභාග වෙනුවෙන් දරුවා සූදානම් කළ යුතුය.එය විය යුත්තේ පීඩනයක් ලබා දෙන ලෙසින් නොව බොහෝ සහනශීලි පිලිවෙතක් ලෙසින්ය.

මහාචාර්ය ඇලිසන් ප්‍රිස්ටන් විසින් හදුනාගත් තොරතුරු ජාතික ඇතඩමියේ සඟරාවක් මගින් දැන් ප්‍රකාශයට පත් කොට අවසානයි.

දරුවන්ගේ නිර්මාණ රටටම එළිදැක්වූ Surf excel රජ වැඩ පොඞ්ඩෝ අති සාර්ථකයි

නිර්මාණශීලී දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel, අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරන්නට ගෙන ආ Surf excel රජවැඩ පොඞ්ඩෝ වැඩසටහන අති සාර්ථක නිමවුණා. ඒ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව වුයේ දැයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන්ය. එවැනි වූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් රටටම පෙන්වන්නට ඔවුනට අවස්ථාව උදා වූයේ Surf excel රජවැඩ පොඞ්ඩෝ හරහාය. අලුතින් හිතන්න, අලුත් දේ කරන්න, අලුත් දේ සොයාගන්න අපේ දරුවන්ට උදා වූ මේ අවස්ථාවේ වටිනාකම වචනය නැගින නොහැකිය.

ඒකාකරී අධ්‍යාපන රටාවේ ගොදුරු බවට පත් වී සිටින දරුවන්ට Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහන හරහා නිර්මාණ ලෝකයට පිවිසෙන්නට අවස්ථාව උදාකරදුන් අතරම මල් වැනි පුංචි සිත් ඒ තුළින් ලැබූ වින්දනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් තමන් ඉදිරියේ නිදහසේ දිගහැරුණු ආකාරය දුටු මව්පියන්ගෙන්ද ඔවුන්ට මේ සඳහා සහාය උපරිමයෙන් හිමිවූවා. සැබවින්ම දරුවෙකුගේ කායික වර්ධනය පිළිබඳව පමණක් මව්පියන්ගේ අවධානය යොමුවී පලක් නැත. නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් සෞඛ්‍ය සම්පන්න දරුවෙකුයි. එය අද වන විට මව්පියන්ට අමතකව ගොස් තිබේ. ඒ තුළින් සිදුව ඇත්තේ දරුවන් පොතපතටම පමණක් සීමා වීමයි. අපේ දරුවන් කොයිතරම් නම් නිර්මාණශීලී ද යන බව Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහන හරහා මුළු රටටම කියාපෑවා.

දක්‍ෂතාවලින් පිරිපුන් වයස අවුරුදු 5 – 11 අතර පොඞ්ඩන් ඉවතලන ද්‍රව්‍ය සහ Surf excel පැක් යොදාගෙන එකිනෙකට වෙනස් වූ නිර්මාණ සකසා Surf fb page එකට වගේම WhatsApp සහ Viber හරහාත් අප වෙත එව්වා. ඒ විතරක්ද Surf excel වැඩමුළුවලට සහභාගී වූ දරු දැරියන් ද ඔවුන්ගේ නිර්මාණ අප වෙත ලබාදුන්නා. ඒ සියලුුම නිර්මාණශීලී දරුවන් අතරින් දක්‍ෂතම පොඞ්ඩන් Surf excel රජ වැඩ පොඞ්ඩෝ වැඩසටහනේ ජයග්‍රාහකයන් අතරට තේරුණා. ඒ අතරින් යුනිවර්සල් ස්ටුඩියෝ නැරඹීමට යාම සඳහා අවස්ථාව දිනාගනු ලැබුවේ නෙතායා, කලන සහ සයීඞ් යන නිර්මාණශීලී රජ වැඞ්ඩන් තිදෙනාය. ඒ වගේම තමන්ගේ නිර්මාණ පළමුවෙන්ම Surf fb page එකට වගේම WhatsApp,Viber හරහා නිර්මාණ එවූ දරුවන් ද වැඩමුළුවලට සහභාගී වී අප වෙත නිර්මාණ ලබාදුන් දරුවන් ද ඇතුළු සියලුම පොඞ්ඩෝ අතරින් දස දහසක් මැජික් වොච් දස දහසක් දිනාගත්තා.

මෙන්න… අපේ පොඞ්ඩන්ගේ රජ වැඩ :


අත්තම්මාට සීයාට සලකන්න

වයස අවුරුදු හැට හැත්තෑව වෙන විට දෙමව්පියන් ශාරිරිකව වගේම මානසිකවත් විවිධාකාර රෝගාබාධයන්ට පත් වෙනු ඇත. වයස සමග එය සාමාන්‍ය සිද්ධියක්. ඒත් බොහෝ මනෝවිද්‍යාඥයන් සඳහන් කරනඅන්දමට වයසත් සමග මිනිසුන්ගේ හැසිරීම  නැවතත් බාල කාලයට සමානයි. මේ නිසා වියපත් මව්පියන්ට තම දරුවන්ගෙන් වගේම මුණුපුරන්ගෙන්ද ආදර කරුණාව ලැබිම අවශ්‍යයි.

එකම පවුල ජීවත්වෙන විට බොහෝ සෙයින් ගැටුම් ඇතිවෙන්නේ දරුවන් සහ අත්තම්මා සීයා අතරයි.

සමහර නිවෙස්වල අම්මා තාත්තා යල් පැනපු උදවිය විදිහට සිතනවා ඇත. පරම්පරා අතර තිබෙන වෙනස අනුව අදහස් හා ආකල්ප අතර වෙනස්කම් තිබෙන්න පුළුවන්. ඒ අතරම කාලය සමග වැඩිහිටියන් ලබන අත්දැකීම් අනුව ඔවුන් සමාජයෙන් ලබා තිබෙන දැනුම අවතක්සේරු කළ යුතු නැහැ.ඔබ නිතරම දරුවන්ට මෙම පරම්පරා පුරුක් යනු බොහෝ දැනඋගත්කම් ලද පිරිසක් බව ඒත්තු ගන්වන්න.

පවුලේ දරුවන්ට අම්මා තාත්තා ලෙසින් අද දක්වන සෙනෙහස ආදරය ඔබේ අම්මා තාත්තා වෙතින් එදා ඔබ නොඅඩුව ලබා ඇති. මේ නිසා අද ඔවුන් වෙනුවෙන්ද ඒ හා සමානව ආදරය කරුණාව දැක්වීම අවශ්‍යය. කාර්යබහුලත්වය කියමින් මේ යුතුකම් මග හැරීම අවශ්‍ය නැත. දුරබැහැර සිටින මව්පියන් සමග සන්නිවේදනයන් ගොඩ නගා යුතුය. නිවසේ සිටින අත්තම්මා සීයා සමග දරුවන් සමීප කිරීම ඉතාම වැදගත්.

අත්තම්මාගේ බේත් ටික දෙන්න….සීයාගේ රෙදි ටික හෝදලා දෙන්න..‍අත්තම්මාට බත් බෙදලා තියන්න. මේ විදිහට සුලු සුලු වැඩ කටයුතු දරුවා සමග සම්බන්ධව ඉටු කරන විට මෙම යුතුකම් දරුවාටද ඒත්තු ගැනෙනු ඇත.

පවුලේ තොරතුරු වැඩිහිටියන්ගෙන් වසං කිරීම වගේම ඒ සඳහා දරුවන්ද යොමු කිරීම ඉතාම අහිතකර කටයුත්තකි. අත්තම්මාට කියන්න එපා….යැයි දරුවාට සඳහන් කිරීම නිසා පවුලේ අත්තම්මා සීයා යනු තමාගේම පවුලේ සාමාජිකයන්ය යන පිලිගැනීම දරුවාගේ සිතෙන්ද ඉවත්ව වෙනු ඇත. කිසිම දිනක ඔබ මේ අන්දමින් දරුවාට යම් යම් ප්‍රකාශන නොකරන්න.

අපි සාප්පු ගියා කියල අත්තම්මාට කියන්න එපා… මේ අදහස දරුවාගේ හිතේ ගොඩ නැගුන විට ඔවුන්ද සිතන්නේ මෙම වැඩිහිටියන් ගෞරවාදරයට ලක් විය යුතු නොමැති පිරිසක් බවයි.

ඔබ අද ඔබේ මව්පියන්ට සලකන අන්දම දරුවාද ආදර්ශයට ගනු ඇත. ඉස්සර කාලයේ මේ පිලිබඳව අපූරු කතාවක් ඇත. එක් පියෙකුට බත් දුන් මැටි කෝප්පය දරුවා විසින් රඳවා ගත් විට මව්පියන් එම මැටිකෝප්පය සොයනු ලැබුවා. පුතේ සීයාට බත් දෙන මැටිකෝප්පය දැක්කාද….?

මම ඒක අරන් තිබ්බා….

ඇයි…පුතාට ඔච්චර ලස්සන පිඟානක් තියෙන්නේ….?

තාත්තා වයසට ගියාම බත් දෙන්න මං ඒක තියාගත්තා…

පුකාගේ සිතුවිලි දැනගත් විට මව්පියන්ට තමන් පිලිබඳව ලැජ්ජාවක් ඇති විය. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට සිහියට නැගුනි. මේ නිසා අද දවසේ ඔබ‍ වියපත් මව්පියන්ට කරනු ලබන ගරු සැලකිලි අනාගතයේ දරුවාගේ යහගුණ පැවැතුම් සඳහා මනා ආයෝජනයක් වෙනු ඇත.කොහොම වුනත් අද දෙමව්පියන් ගැන හොයන බලන දරුවන් විරලය. මෑතකදී අසන්නට ලැබෙන බොහෝ සිද්ධීන් ඉතා සංවේදිය.

එක් දුවක් තම පියා බලු කූඩුවේ තබා බල්ලා සැප යහනක නිදි කරවමින් සියලු සැප සම්පත් ලබා ‍දුන්නාය. ඇයගේ දරුවන් ඉදිරියේ සීයා බලු කූඩුවේ තැබූ විට අනාගතයේදී ‍තමාගේ දරුවන්ගේ ප්‍රතිචාර වෙනුවෙන් ඇයට දොස් නැගීමට නොහැකිය.තවත් තැනක තම පුතු පියාට රුපියල් පන්සියයක් දී බස්නැවතුම් පොලේ අතරමා කර දමා ගොස් තිබියදී පොළිස් භාරයට ගෙන ඇත.රුපියල් පන්සියයකින් තමා හදා වඩා ගත් පියාගේ වටිනාකම , පිය ගුණය තක්සේරු කරන්නට තරම් අවාසනාවන්ත දරුවන් සිටින බවට මේ එක් නිදසුනකි. උඩදුම්බර ප්‍රදේශයේ දියණියක් දෙමහල් නිවස වාසය කරමින් තම මව ඒ අසල ඉටිරෙදි පැල්පතක තබා සිටි අයුරු පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් ඔබේ දරුවන්ටද නෙත ගැටෙන්නට ඇත. මෙවන් අවස්ථාවලදී  මව්පියන්ට නොසලකන දරුවන්ට ස්වභාවධර්මය පවා නපුරු වෙන බව දරුවන්ට පහදා දෙන්න. මව්පියන්ට සලකන දරුවන්ට කිසිම දිනක නොවරදින බවත් දරුවන්ට ඒත්තු ගන්වන්න.

බොහෝ දරුවන් කියන්නේ තම මව්පියන්ට කොතෙක් සැලකුවද ඔවුන් නිරන්තරව කියා සිටින්නේ දරුවන් තමාට නොසලකන බවයි. එමෙන්ම ඔවුන්ගේ ගති පැවැතුම් තුළ කිසිම නම්‍ය ශීලිත්වයක් නැති බවත් දරුවන්ගේ අදහසයි.පවුලේ වැරැදි පිටස්තරයන්ට බෙදා දෙන බවත් මේ සියල්ල තුළ විඳ දරා ගත යුතුය. ඊට හේතුව ඔබේ බාල කාලයේ මව්පියන් ඔබ වෙනුවෙන් බොහෝ දේ විඳ දරා ගන්නට ඇත. ඇතැම් අවස්ථාවලදී වියපත් වීමත් සමග ඇති වෙන මානසිකත්වය නිසා වියපත් දෙමව්පියන් මේ  අන්දමට පත් වුනත් දරුවන් ඉදිරියේ ඔබේ මව්පියන් ගෞරණීය වටිනා චරිත ලෙසින් ඉස්මතු කිරීම ඉතා වැදගත්ය. වියපත් මව්පියන්ගේ බොහෝ වැරැදි තිබෙන්නට පුලුවන.ඒවා නිවරැදි කිරීමට දැන් කාලයක් නැත. මෙම වැරැදි නිවරැදි කිරීම යනු ඔබ සමග වියපත් දෙමව්පියන්ගේ ගැටීමක ආරම්භය පමණි.නිරන්තරව මෙම ගැටීම් දකින ඔබේ දරුවන් අතරද අත්තම්මා සීයා යනු කරදරකාර චරිතයක්ය යන සංකල්පයන් ගොඩ නැගෙනු ඇත.

ද්වේශසහගතව දරුවන් සලකන නිසා අද වැඩිහිටියන් ලක්ෂ පහක් අතරින් 10,000 ක් පමණ ජීවත් වෙන්නේ වැඩිහිටි නිවාසයන්හිය. මෙම සංඛ්‍යාත්මක අගයෙන් පෙනෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන් පවුල තුළ තවමත් ඉඩක් ඇති බවයි. ඒත් සමහර වැඩිහිටියන් දරුවන්ගේ ගරුත්වය නිසා නිවාසයන් වෙත නොගොස් සියළු දුක් ගිනි හිතේ දරාගෙන සිටිති.එවන් වූ අම්මාවරුන් හා පියවරුන් නැතුවාම නොවේ.කොහොම වුනත් ඔබේ දරුවන්ගෙන් වියපත් ඔබේ දෙමව්පියන් නොරිදවන සේ කටයුතු කිරීමට උපදෙස් හා අවවාද ලබා දෙන්න.

හැන්දෑවට නිවසට පැමිණෙන ඔබ දුව පුතා බත්කලට වේලාවට  බේත් ටික බිව්ව‍ාද අසන්නේ නම්….එයින් මේ මව්පියන් මහත් අස්වැසිල්ලක් ලබන්නේ තවමත් දරුවන්ගේ ලෝකය තුළ ඔවුන් ජීවත් වෙනවා නේද…? යන සතුට නිසාය.

අම්මට…. තාත්තට සලකන දරුවට – කිසි දවසක නෑ වරදින්නේ…..යන තේමා පාඨයෙන් දරුවන් හික්මවන ලද්දේ නම් වියපත් මව්පියන්ටත් එබේ නිවස සිත නිවන ප්‍රසන්න පරිසරයක් ගොඩ නගනු ඇත.

අලුත උපන් ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් වඩා හොඳින් නිරික්සන්න

නිරෝගිමත් දරුවකු සෑම දෙමාපියෙකු තුළම ඇතිවන සුන්දර බලාපොරොත්තුවයි. දරුවකු කළලයක් සේ මව් කුසට සපැමිණි දිනයේ සිට මවත් ඇය සමග සිටින සියලුම දෙනාත් විමසිලිමත් වන්නේ දරුවාගේ උපත සිදුවන මොහොත දක්වාය. නිවැරදි වෛද්‍ය උපදෙස් මත, පෝෂණීය ආහාර, විවේකය සහ මනා ව්‍යායාම් රටාවන්හි නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිවිය යුතු නොවේ.

දරුවාගේ උපත සිදුවන මොහොතේ සිට දරුවා මාස 10 ක් දිවි ගෙවූ පූර්ණ සංවෘත ලෝකයට සමුදෙයි. ඉන්පසු පවතින්නේ විවෘත ලෝකයකි. මේ කාලයේ සිට දරුවාට මුහුණ පෑමට සිදුවන අභියෝගතා බහුලය. කලල අවධිය, උපත සිදුවූ මොහොත හා ඉන්පසු කාලය ගත් විට මේ අවධි තුනෙහිදීම දරුවාට විවිධ රෝග මෙන්ම ආබාධ ද හටගැනීමේ ප්‍රවණතාවයන් ඇත. ඉතා සුළු වූ අතපසු වීමක් ඇති කරනුයේ විශාල හානිදායක ප්‍රතිඵලයකි.

අවාසනාවන්ත අන්දමින් යම් කිසි හෝ ගැටලුවකට මුහුණපාන බිලින්දා ආබාධ සහිත දරුවකු වීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකිය. මෙම තත්ත්වය ඉහත කී මනා සෞඛ්‍ය පුරුදු සමග යම්තාක් දුරට වළක්වාගත හැකි වුවත් අනපේක්‍ෂිත තත්ත්ව සහ නොවැලැක්විය හැකි හේතු මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බවට පත්වීම සිදුවිය හැක.

මූලිකවම දරුවෙකු මනාව නිරීක්‍ෂණය කළ යුත්තේ මවය. ඒ, බිලිඳා සමග වැඩි වේලාවක් ගත කරන්නේ ඈ හෙයිනි. දරුවා උපතේදී යම් ගැටලුවකට මුහුණපෑව හොත් අදාළ කාර්යමණ්ඩලය ඒ සම්බන්ධව මනා දැනුවත් කිරීමක් ඔබට ලබාදෙනු ඇත. උපතේ ඇතිවන සංකූලතා සමග දරුවා ඉදිරි ජීවිතයේ මුහුණපාන ගැටලු ගැන දෙමාපියෝ දැනුවත්විය යුතුය.

දරුවකු උපතේදී මුහුණපාන ගැටලු හේතුවෙන් වලිප්පුව (Fits) ඇතුළු විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර ඒවාට නිසි කලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

දරුවකු මෙලෙස ගැටලු සහගත තත්ත්වයන්ට පත්වීමේදී ඔවුන්ගේ ශාරීරික, මානසික, චර්යාමය හා අවබෝධය යන විවිධ අංශවල ගැටලු සහ සංකූලතා ඇතිවේ. දරුවකු වර්ධනය වන විට එම දරුවාට ගැටලු පවතීද යන්න අවබෝධ කරගැනීමට නම්, සාමාන්‍ය දරුවකු එම වර්ධනය පියවරෙහිදී ඉටු කරන කාර්යයන් ගැන ඔබ දැනුවත් විය යුතුය. මෙය ඔබට ළදරු සායන කාඞ්පත සමග පිරිනැමෙන අතර ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යරයා, ඔබගේ වෘත්තීය/භෞත/කථන හා භාෂා චිකිත්සක නිලධාරින් මෙන්ම පළපුරුද්ද මත වැඩිහිටියෙකුගෙන් වුව දැනගත හැක.

උපතේ සිට වසර දක්වා ගතවන කාලය තුළ දරුවකු චාලක ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස දියුණුවේ. ප්‍රධාන චාලක ක්‍රියාවන් ලෙස :

  • පැත්තෙන් පැත්තට පෙරළීම
  • මුනින් අතට පෙරළීම
  • හිස කෙළින් කර සිටීම
  • බඩගෑම, දණගෑම, හිඳ ගැනීම
  • ආධාරක සහිතව සිට ගැනීම
  • සමහර දරුවන් ඇවිදීම

බොහෝ දරුවන්ගේ මෙම ක්‍රියාවන්ගේ ආරම්භය සිදුකරන්නේ පළමු වසර තුළය. සාමාන්‍ය දරුවෙකු මෙම වර්ධන පියවරවලට එළඹෙන අවධිය ගත් කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු එයින් පසුගාමී වන අන්දම ඔබට නිරීක්‍ෂණය වේ. උදාහරණයක් ලෙස විශේෂ අවශ්‍යතා ඇති දරුවා මාස හත අටක් යනතුරු හිස සෘජුව තබානොගනී. නමුත් සාමාන්‍ය දරුවකු එය මාස 3-4 වන විට සිදු කරයි. සෙසු චාලක ක්‍රියාවන් ද මේ ආකාරයටම පැහැදිලිව පසුගාමී වේ නම් ඔබ ක්‍රියාත්මක විය යුතුය.

එමෙන්ම දරුවෙකුගේ ශරීරය නිරීක්‍ෂණය කිරීමේදී දරුවාගේ ඇස්වල චලන, මුඛයේ පිහිටීමේ අසාමාන්‍යතා, අත් පා සන්ධි අස්ථිවල විකෘතිතා මෙන්ම මාංශ පේශිවල තද ගතිය හෝ බුරුල් බව දරුවාගේ වෙනස් ගති සම්බන්ධව ඉඟි ලබා දෙයි. මෙබඳු තත්ත්ව යටතේ දරුවකු සාමාන්‍ය චාලක ක්‍රියා සිදු කිරීම ප්‍රමාද වේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වේ.

මේ අන්දමින් දරුවාගේ සංවේදනයන් ඔබ විසින් අවබෝධ කරගත යුතුය. සංවේදන ඉන්ද්‍රියයන් මගින් පරිසරය, පුද්ගලයන් හා තමා අතර අන්තර් සම්බන්ධතා පවත්වන දරුවා ඉන් ඈත්වීම ගැටලු රාශියක ආරම්භය වේ. මේ සම්බන්ධව ගත් විටද ඔබ සාමාන්‍ය දරුවකු සංවේදනයන්ට විශේෂයෙන්ම ස්පර්ශ සවේදනයට, එනම් අත් පා ශරීරයේ සම හරහා වන දැනීමට ප්‍රතිචාර දක්වන අන්දම අවබෝධ කරගත යුතුය. ස්පර්ශය සම්බන්ධව ගත් කළ දරුවා එයට අධිකව හෝ අවමම ප්‍රතිචාර දක්වනු ඇත. එවිට ඒ නිරීක්‍ෂණයන් වෛද්‍යවරයා හෝ චිකිත්සකවරයා වෙත සෙල්ලම් බඩුවක් අත්වලින් ග්‍රහණය කර නොගනී නම් එය ගැටලුවකි. ඇතැම් දරුවන් මව, පියා පවා ඔවුන්ගේ හිස, අත් අල්ලනවාට දැඩි සේ ප්‍රතිරෝධී වෙනු දැකිය හැක. එයද ගැටලුවකි.

ස්පර්ශයට අමතරව දෘෂ්ඨිය (පෙනීම) සම්බන්ධව ද වයස අවුරුද්දක් වන තුරු ඔබ සැලකිලිමත් විය යුතු වේ. දරුවා ඉපදී සති 3 ක් පමණ යන විට දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දක්වන අතර ක්‍රමානුකූලව මිනිස් මුහුණු, වර්ණවත් සෙල්ලම් බඩු, චලන දෙස නෙත් යොමයි. දරුවාගේ එම පෙනීම නිසියාකාරව ඉටු නොවේ නම් ඔබ දරුවා හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වේ.

ශ්‍රවණය ද (ඇසීම) එබඳුය. දරුවා උපතේ සිටම ශබ්දයට ප්‍රතිචාර දක්වන නිසා වයසින් වැඩෙත්ම දරුවා හඬට, සංගීතය ආදියට කෙතෙක් දුරට අවධානය දේද යන්න සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දරුවා ශබ්දයක් එන දෙසට නොහැරේ නම්, හඬට ප්‍රතිචාර නොදක්වයි නම් එය පැහැදිලි ගැටලුවකි.

චාලක සහ සංවේදන ගැටලු මෙන්ම දරුවාගේ අවබෝධය මෙන්ම චර්යාව පිළිබඳවද දෙමව්පියන්, දරුවාගේ මුල් වසර තුළ මනා නිරික්‍ෂණයක් කළ යුතුය. උපතේදී සංකූලතා ඇති දරුවන් මෙන්ම කිසිදු වෙනසක් නොපෙන්වන සාමාන්‍ය දරුවන් ද ඕටිසම් වැනි ගැටලු නිසා මෙම තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. එබඳු දරුවන් සන්නිවේදනය, චර්යා රටා සහ අවබෝධයේ මුල් පියවර සපුරන්නේ නැත. ඔබ දරුවා පිළිබඳ මනා අවධානයකින් මෙන්ම සාමාන්‍ය වර්ධන රටාව ගැන (ඉහත චාලක, සංවේදන, චර්යා, අවබෝධතා, සන්නිවේදන යන හැම අංශයකම) මනා අවබෝධයකින් සිටීමත් මෙහිදී වඩා වැදගත්ය.

දරුවන් එකිනෙකාට වෙනස්ය. සෑම දරුවෙකුගේම වර්ධනය එකම රටාවකට, එකම පියවරකට අනුව සිදු නොවේ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එබැවින් අනවශ්‍ය ලෙස කලබල වීම, අනෙක් දරුවන් හා සංසන්දනයන් කිරීම උචිත නොවේ. වැදගත් වන්නේ මව්පියන්ගේ ඔබගේ දැනුවත් බවයි. දරුවාගේ වර්ධනයේ යම් ඌනතාවයන් වේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් කරා කඩිනමින් යොමු වීම ඉතා වැදගත් වේ.

කිත්මා වාසනා දහනායක B.Sc(OT)
වෘත්තිය චිකිත්සක ආචාර්ය
ජාතික රෝහල
කොළඹ

ජපන්නු හපන්නු වෙන්නේ මෙහෙමයි

එක් වසරකදී මා හට ශිෂ්‍යත්වයකින් ජපානයට යන්න අවස්ථාවක් ලැබුනා.ඒ දකුණු ආසියාතික උසස් පාසල් සිසුන් අතර පැවති පාරිසරික,කළමනාකරණ සහ සුනිත්‍ය බලශක්තිය පිලිබඳ සමුළුවකටයි.එහිදී අපට දින ගණනාවක් ජපානයේ විවිධ ප්‍රදේශවල සහ පාසල්වල ගවේෂණ චාරිකා සඳහා අවස්ථාව ලැබුනා.විශේෂයෙන්ම එහි අධ්‍යාපන ක්‍රමය තුල අප දුටු විවිධ ක්‍රම නිසා අවසානයේ සිතුනේ ජපන්නු හපන්නු වෙන එකේ පුදුමෙකුත් නැහැ කියලයි.

අපට ලැබුණු අත්දැකීම් සහ අසන්නට ලැබුණු කාරණා අනුව සාමාන්‍යයෙන් හැම පාසලකම වගේ මූලික වශයෙන් මෙන්න මේ සමානතා දකින්න ලැබෙනවා…

පාසලේ මුල් අවුරුදු තුනේ කිසිදු ආකාරයකින් විභාග හෝ පරීක්ෂණ නොපැවැත්වීම


මේකට ප්‍රධානම හේතුව මුල් අවුරුදු තුනේදී දරුවාට ඔවුන් ලබාදෙන්නේ ගුණධර්ම පමණක් වීමයි.අපේ රටේ නම් ඉල්ලන්නේම අකුරුනේ.ඒත් ජපානයේ එහෙම නැහැ.ගුරුවරුන් සහ දෙමාපියන් පවසන අන්දමට කුඩා කල සිටම දරුවෙක් වෙලාවට වැඩ කරන විධිය,අන් අයට ගෞරවයෙන් යුතුව කතා කිරීම,ආචාරශීලි බව,වැඩිහිටියන්ට ගරු කිරීම,පරිසරයට ආදරය කිරීම,තම වැඩ කටයුතු තමන්ගේම අතින් සිදු කරගැනීම ආදී ගුණධර්ම වගා කරගත යුතුයි.පුංචි දරුවෙකුගේ හසුරු කුසලතා වර්ධනය වීම,මාංශ පේශි ක්‍රියාකාරිත්වය ආදී වර්ධනයන් මෙතුලින් ලැබෙන අතරේම ඒ දරුවාගේ ගුණධර්ම සංවර්ධනය තුල දරුවා කෙදිනක හෝ වැඩිහිටියෙක් වූ විට යහපත් පුරවැසියෙකු වන බව ඔවුන්  විශ්වාස කරනවා.ඉතින් ඒක ඇත්ත බව එරටින්ම අපට පෙනෙනවා නේද?

පාසලේ සේවකයන් නොව පිරිසිදු කිරීමේ කටයුතු කරන්නේ  ළමුන් පමණයි


මෙතුලින් දරුවන්ගේ අවධානය  යොමු කරන්නේ තමන්ගේ පන්තිය,අවට  පරිසරය රැකගැනීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධවයි.කොහේ ගියත් පිළිවෙල කියන එක තියෙන්න ඕනේ කියන හැඟීම ළමයාගේ ඔලුවට ඉබේම යනවා මේ නිසා.ජපානයේ වන ගහණය අපේ රටට වඩා සාපේක්ෂව අඩුයි.ඔවුන්ගේ කර්මාන්ත සහ කාර්මික ජනපද අපේ රටට වඩා වැඩියි.නමුත් ඔවුන් හුදෙක් සිතන්නේ තිබෙන පරිසරය රැකගෙන,ඵලදායිතාවයේ උපරිමයට ළඟාවෙන්නේ කෙසේද යන්න ගැනයි.පරිසරය පිරිසිදු කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලවල් දරුවන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සොයාබැලීමයි.ඒ සඳහා දරුවන් 5S සංකල්පය මූලික වශයෙන් අඛණ්ඩව,හරියටම ක්‍රියාත්මක කරනවා…..

  • සෙයිරි( sort)                     –  මෙයින් කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කර අවශ්‍ය දේවල් තෝරගන්න කියල
  • සෙයිතෝන්(set in order)  – මේ තුලින් පැහැදිලි කරන්නේ කලින් තෝරගත්ත අවශ්‍ය දේවල් ටික ටික පිළිවෙලට තියන්න කියලයි
  • සෙයිසෝ (shine)               – පිළිවෙලකට වගේම ඒ දේවල් පැහැදිලි,පිරිසිදු තත්වයෙන් තබන්න ඕනේ
  • සෙයිකෙත්සු(standerdize) – පාවිච්චි කරන එක උසස් තත්වයෙන් සිදුකරන්න ඕනේ
  • ෂිත්සුකේ (sustain)             – මේවා කරාටම මදියි දිගටම පවත්වගන්නත් ඕනේ

japan-1

මෙන්න මේ නිසයි මම මුලදී ඔබට කිව්වේ ජපන් ළමයි පුංචි කාලේ ඉඳලම මේ පිළිවෙල අඛණ්ඩව  හරියටම පවත්වාගෙන යනවා කියල.එය වැඩිහිටියෙක් වූ පසුව වුනත් ඔවුන් පුරුද්දක් ලෙසම පවත්වාගෙන යනවා.අපි නම් පටන්ගතතත් එය දිගටම පවත්වාගන්නේ නම්   නැහැ….නේද?

දිනකදී හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ලබාගන්නේ  සමාන පෝෂණය සහිත සමාන ආහාරයි. (දින පහටම විවිධ ආහාර වට්ටෝරු ලැබෙනවා )

japan-2

යම් යම් අසාත්මිකතාවන්ගෙන් පෙලෙන ළමුන් හැරුනුකොට සාමාන්‍යයෙන් එක් එක් පන්තියක හෝ එක් එක් සෙක්ෂන් වල එදිනෙදා ආහාරවේල ළමුන් විසින්ම පිළියෙළ කර ළමුන්ට ලබාදෙනවා.එකම විධියට එකම වට්ටෝරුවකට අනුව පෝෂ්‍යදායි ආහාරවේලක් ලැබීම තුල දරුවන්ගේ සෞඛ්‍යය සහ පිරිසිදුකම ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ වෙන්නේ.සමානත්වය,කෑම ගැනීමේ පුරුදු වගේ ගති ලක්ෂණ ළමයා මෙහිදී පුරුදු වෙනවා.මා ලද අත්දැකීම් කිහිපයක් මම කියන්නම්…

  • කිසිම ළමයෙක් අනික් සියල්ලන්ම ආහාර බෙදාගෙන අවසන් වන තෙක් ආහාර ගන්න පටන්ගන්නේ නැහැ
  • සියලුම ළමුන් ආහාරය ගන්න පෙර දෙවියන්ටත්,ආහාරය ලබාදුන් සියල්ලන්ටත් ස්තුති කර ආහාර ගන්නවා
  • සියල්ලන්ම ආහාර ගෙන අවසන් වෙනතුරුම කිසිම දරුවෙක් කතාකරන්නේ නැහැ
  • ආහාරයට ගෞරව කිරීම පිණිස පිඟාන එක අතකින් මුවට ලංකරගෙන ආහාරය ගන්නවා
  • දරුවන් සමඟ ගුරුවරයාද එකට හිඳ ආහාර  ගන්නවා
  • තමා ආහාරගෙන අවසන් කල පසු සියල්ලන්ම එකතු වී තම තමන් ආහාර ගත්  ස්ථානය පිරිසිදු කරනවා…එය තම  තමන්ගේම  වගකීමක් කොට ඔවුන් සලකනවා
  • මේ පුරුදු කොච්චර ලොකු අය වුනත් එයාල ගාව තියෙනවා…ඒකයි විශේෂම දේ
සංස්කෘතිකමය වටිනාකම් සහ කලාවන් ගැන ඉගෙනගැනීම

japan-3

ජපානයේ පාසල් සිසුන් කලාව,සාහිත්‍යය ආදී සමාජමය වටිනාකම් සහිත විවිධ විෂයන් ඉගෙනීමට කැමැත්තක් දක්වනවා.එය ඔවුන්ට  ඉතිහාසය,කලාව,සෞන්දර්යය ආරක්ෂා කරගැනීමට ඉගෙනීමට ලැබෙන අවස්ථාවක් යයි ඔවුන් සලකනවා.ශෝදෝ (書道 ) නැතිනම් ජපන් අක්ෂර කලාව ඉගෙනීම එක් අවස්ථාවක්.එහිදී කන්ජි අක්ෂර ආශ්‍රයෙන් විවිධ අක්ෂර කලාවන් ඉගෙන ගන්න පුළුවන්.කන්ජි කියන්නේ චීන අකුරු.මුල් කාලයේ ජපන් බස තුල සම්පුර්ණයෙන් වගේ  තිබුනේ මේ චීන අකුරුයි.පසුව ජපන් ජාතිකයන් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් හිරඟන සහ කතකන යන  අක්ෂර හෝඩි නිර්මාණය කළා.

පුංචි කාලේ ඉඳන් ළමයි ශෝදෝ ඉගෙනගන්න  පෙළඹෙනවා.උණ බටවලින් සෑදු පින්සලක් අරගෙන සහල් වලින් නිර්මාණය කල කඩදාසියක් මත කළු ආදී තද  වර්ණ වලින් කන්ජි අක්ෂර හැඩයන්  සහ අක්ෂරයන්  ලිවිම තුල හසුරු කුසලතා වර්ධනය වීමක් සිදුවෙන බව ගුරුවරුන්ගේ විශ්වාසයයි.ඒක සත්‍යයක්.
ඒවගේම ඔවුන් හයිකු නම් කාව්‍ය වර්ගය  ඉගෙනගන්නවා.මෙතුලින් සෞන්දර්යයට ආදරය කරන සංවේදී පුද්ගලයෙකු බවට දරුවාව පුංචි කාලයේ පටන්ම පරිවර්තනය වෙනවා.කලාවට,සෞන්දර්යයට ආදරය කරන්නා ලොවටම ආදරය කරනවා කියලයි ජපානයේදී අපිට මඟ පෙන්වූ  ගුරවරුන් පැවසුවේ.

සාමාන්‍යයෙන් හැම පාසලකම සිසුන්ට නිල ඇඳුම අනිවාර්යයි


japan-4

යුනිෆෝම් එක කියන දේ අපේ රටෙත් දකින්න පුළුවන් නේ.ජපන් ජාතිකයන් තුල මේ නිල ඇඳුම කියන සංකල්පය  පිටුපසත් විශේෂ හේතු තියෙනවා.නිල ඇඳුමක් ඇඳීම තුල සමාජය තුල සමානත්වය කියන සංකල්පය,ඉගෙනුම පිලිබඳ අවධානය යොමුකිරීමට දරුවාට  පහසුවීම යන කාරණා තමයි මෙයට ප්‍රධානම හේතු ලෙස සැලකෙන්නේ. සමහර පුද්ගලික පාසල් වල පවා කොණ්ඩා මෝස්‌තර,මේක් අප් භාණ්ඩ ගෙන ඒම පිලිබඳ දැඩි නීති පනවා තිබෙනවා.

 Hippo club


japan-5

මෙය බොහෝ විට family club එකක් හැටියටයි පවත්වාගෙන එන්නේ. අසල්වැසියන්,ප්‍රදේශවාසීන් එකතුවෙලා හිප්පෝ ක්ලබ් එකක් පිහිටුවනවා.පාසල් මට්ටමිනුත් මෙය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මෙය  විවිධ භාෂා සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.ඊට අමතරව විවිධ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාදය සඳහා විශේෂාංග වෙන් කර තිබෙනවා.මෙය social club එකක්. මූලික වශයෙන් ජපානය තුල සියලු ඉගැන්වීම කරන්නේ එරට ජාතික බස වන ජපන් භාෂාවෙන්.ඇත්තටම කිව්වොත් පරිගණක පවා ක්‍රියාත්මක වන්නේත් එහෙමයි.නමුත් ඔවුන් ඉංග්‍රීසි,කොරියානු,රුසියානු,සිංහල ආදී විවිධ භාෂා ඉගෙනගන්න බොහෝ කැමැත්තක් දක්වනවා.හිප්පෝ  ක්ලබ් එකකදී ජපන් ජාතිකයන් මා සමඟ කී දේ මොකක්ද දන්නවද? සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි කෙනෙක්ට ලොව ඕනෙම භාෂාවක් ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන් කියන එකයි.ඔවුන් දවසට විවිධ භාෂා වලින්  එක වචනයක් හෝ සිය ශබ්දකෝෂයට එකතු කරගන්න පෙළඹෙනවා.

මේ අනුව මට මෙහිදී ඔබට කියන්න විශේෂ  කාරණයක්  තියෙනවා.තමන්ගේ උපන් භාෂාව හොඳින් ඉගෙනීම තුල අනික් භාෂා ඉගෙනීම අපහසු වන්නේ නැහැ.එනිසා තම තමන්ගේ අනන්‍ය භාෂා මුලින් හොඳින් ඉගෙනගන්න දරුවාට මඟ පෙන්වන්න….එය  ජපනා තුලිනුත් මම දැක්ක දෙයක්.

Article written by Sathya Wijewardena

දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න

නිවාඩු දවසේ ටිකක් හෙමින් සීරුවේ නිවස අතුගාමින් සිටි සිරිනි දැක්කේ පුතු සෙල්ලම් ආකෘතියක් ගොඩ නගන්නට දරණ උත්සාහයක්.

පුතේ ඔය රතු කැටය අනිත් පැත්තට තියන්න…..ඒත් පුතු එය වගකටවත් ගත්තේ නැහැ. කියන දේ අහල අනිත් අතට තියන්න….සිරිනි නැවතත් කිව්වා. පුතු එකසැනින්ම ආකෘතිය පෙරලා දැම්මා…පෙනේද මුරණ්ඩුකම…සිරිනි දරුවාගේ කණ තදින් මිරිකුවා. පුතු හඬාගෙන අප්පච්චි සොයා ගෙන ගියා.

නොමනාප සිතින් කොස්සත් අරගෙන යන සිරිනි නැවතුනේ දෝනි වෙත….මොකද මෙයා මෙතැන සෙල්ලම් බඩු වනා ගෙන අස්කරල අර පැත්තට ගියා විතරයි. සිරිනි ගේ වචන ටිකක් සැරෙන් පිටවුනා.

ෂ්….කෑගහන්න එපා…මම ලෙඩෙක් බලනවා. දෝනි කිව්වා. පාට පාට වතුර බෝතල්..පවුඩර් කුඩු…හැම තැනම

සිරිනි…. සුදත්  කතා කලා..

සිරිනි දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න…

අප්පච්චිට අමාරැවක් නැහැ…මගේ ඉළ ඇට ඇදෙනකම් ගෙවල් අස් කරන්න…ඔයාගේ හුරතලය තමයි සේරටම මුල.

ඒක ඇත්ත….ඒත් දරුවන්ගේ සෙල්ලම් ලෝකයට බාධා කරන්න එපා. පුංචි කාලය කියන්නේ බොහොම සුලු කාලයක්. මේ කාලයේ දරුවන් ගෙවන ජීවිතයෙන් ලොකු පන්නරයක් අනාගතයට ලබා ගන්නවා. සුදත් බොහොම කරුණාවෙක් කිව්වා.

දරුවන්ගේ සෙල්ලම් ලෝකයට නීති රීති තහංචි පැනවුනත් බාල කාලයේදී ස්වාධීනව සෙල්ලම් කිරීම නිසා අනාගතයට විශාල බලපෑමක් ලැබෙන බවකේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩේවිඩ් වයිට්බ්‍රෙඩ් සඳහන් කරනවා.දරුවන්ගේ ලෝකය බොහොම සුන්දරයි.ඔවුන්ගේ හිතේ ඇති වෙන නිර්මානශීලිත්වයට මව්පියන්ගේ බලපෑම් ඇති වුනොත් ඒ නිර්මානශීලිත්වය උපන්ගෙයිම වැලලෙන බව ඔහු සඳහන් කරනවා.

දරුවන් සෙල්ලම් කරන විට එම සෙල්ලම ඔවුන්ට කර ගෙන යෑමට ඉඩ දිය යුතුයි. හාල් මිටක් අරගෙන සෙල්ලම් කළාට පොඩි දෝනිට බනින්න එපා කියන කියමන සම්පූර්ණයෙන්ම ඇත්තක්. දරුවන්ට සෙල්ලමට ඉඩ වගේම අවශ්‍ය උපාංගත් අවශ්‍යයි. එදා දරුවන් බොහෝ දේ පරිසරයෙන්ම ලබා ගත්තා. ඔවුන්ට පොල්පිති වලින් තනා ගත් ගොනුන් සිටියා. රෙදි බෝනික්කන් , පැපොල් බට නලා වැනි සෙල්ලම් බඩු තිබුනා. ඒත් අද දරුවන්ට මේ කිසිවක් නැහැ. එදා දරුවන් සෙල්ලම් උපකරණ පිළියෙළ කර ගත් නිසා ඔවුන්ගේ කුසලතාවයන් නොදැනම වර්ධනය වුණා.

එදා මව්පියන්ට මනෝවිද්‍යාව ගැන කිසිම සංකල්පයක් තිබුනේ නැහැ. ඒත් ඔවුන් දරුවන්ගේ සෙල්ලම වෙනුවෙන් ලොකු වටිනාකමක් ලබා දුන්නා.දරුවා අද ගොඩ නගා ගන්නා පෞරෂය අනාගතයේ සමාජගත පුද්ගලයෙකු වීමට වඩාත් සමීප බලපෑමක් කරනවා.අධ්‍යාපනය වෙනුවෙන් නිර්මානශීලිත්වය අවශ්‍ය අතර මෙම නිර්මානශීලි අදහස් සමග ගොඩ නැගෙන තර්ක බුද්ධිය දරුවාගේ අධ්‍යාපනයට වඩාත් සමීප බලපෑමක් ඇති කරනවා.

අද දරුවෙක් වැලි සෙල්ලම් බතක් හැදුවොත්, සෙල්ලම් කඩයක් දැම්මොත් අම්මලා දකින්නේ මහ අපරාධයක් විදහට. අද හැම නිවසක්ම බොහොම පිළිවෙලයි. පිරිසිදුයි. ඒ නිසා ගෙබිම ගැන බොහොම උනන්දුවක් දක්වන නිසා දරුවාගේ සෙල්ලම වෙනුවෙන් තහංචි පනවනවා නොවෙයි, නොදැනම පැනවෙනවා. ඒත් කෝම්පිට්ටුවක් හදන විට දරුවාගේ බොහෝ කුසලතාවයන් නොදැනම වර්ධනය වෙනවා. වැලි අනන විට ඇගිලි වල ක්‍රියාකාරිත්වය නිසා හසුරු කුසලතාවයන්ගේ උත්ත්ජනය ඇති වෙනවා. පොල්කටුවට තවත් පොල්කටුවකින් ගසන විට ඇති වෙන රිද්මය නිසා සෞන්දර්යාත්මක සිතුවිලි පෝෂනය ලබනවා.

අම්මෙක් තාත්තෙක් විදිහට දරුවාගේ සෙල්ලමට මැදිහත් වෙන්න ඔබට වෙලාවක් කලාවක් නැතුව ඇති. අද  අවිවේකී පරිසරය තුළ එය ඇත්තක්. ඒත් දරුවාගේ සැලසුම් සහිත සෙල්ලමට ඔබ බාධාවක් නොවිය යුතුයි.වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ සෙල්ලම අතරමග බිඳ වැටෙන විට ඒ සමගම දරුවාගේ ආත්මාභිමානයද බිඳ වැටෙන බව තරයේම සිහ තබා ගත යුතුයි.

මෑතකදී අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ප්‍රධාණියෙකුගේ අවමංගල්‍ය උත්සවයේදී එතුමාගේ බෑනා කතා කරමින් සඳහන් කළේ කොළඹ ජීවත් වුන තම දියණියගේ සෙල්ලම් පාසලේ සිටි එකම ගෝලයා මෙම අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඉහළ නිළධාරියෙකුව සිටි ලොකු අත්තා බවයි. රාජකාරි මොනතරම් බහුල වුනත් නිවසේ සිටින විට ලොකු අත්තා මගේ පංතියට එන්න කී විට මේ වියපත් සීයා සුවච කීකරු ගෝලයා‍ගේ තැනට පත් වෙන බවයි. ඇත්තෙන්ම ඔහු තම මිණිපිරියගේ මානසිකත්වය ගැන සිතා කටයුතු කිරීම ගැන පියාට අවසාන කටයුතු සිදු කරන අවස්ථාවේදී පවා සංවේගයෙන් සිහිපත් කරනු ලැබුවා.

සෙල්ලම් කරන වෙලාවට දරුවන්ගේ සංවාද බොහොම රසත්. විටෙක ඔවුන් අනුගමනය කරන්නේ මුලුමනින්ම ඔබේ චරිතයයි. හොදින අසා ගෙන සිටියොත් මේ ඉන්නේ ඔබම නේදැයි යන්න ඔබටම හිතෙනවා ඇති.කොලරාඩෝ සරසවියේ මානසික සහ ස්නායු විද්‍යා මහාචාර්ය යුකෝ මුනකාටා සඳහන් කරන අන්දමට සෙල්ලම සමග ස්වාධිනව හැසිරෙන දරුවාට අනාගතයේදී තවත් අය මත යැපෙන්න අවශ්‍ය නැහැ. ජීවිතයට මුහුණ දෙන හැකියාව සෙල්ලම තුලින් ඔහු උපයා ගන්නවා.

සෙල්ලම් කිරීමෙන් දරුවාගේ කාලය අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ.ඔවුන්ටත් විනෝදයක් අවශ්‍යයි. ජීවිතයට විවිධත්වයක් ලබා ගත යුතුයි. තවත් අය සමග ජීවත්වෙන අන්දම උගත යුතුයි. අනාගතයේදී දරුවා ජිවත්වෙන්නේ විවිධාකාර පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයක. මේ සමාජය තුළ දරුවා නොනැසී ඉදිරියට යැමට නම් ඒ වෙනුවෙන් ආත්මශක්තිය ගොඩ නගා ගත යුතුයි.ඒ වෙනුවෙන් වූ අත්තිවරම සෙල්ලම වෙතින් ලැබෙන නිසා ඔහුට ස්වාධීනව මෙම කටයුත්ත කර ගෙන යෑමට අවස්ථාව සලසා දීම දෙමව්පියන් ලෙස ඔබගේ වැදගත් කාර්යක් වේ.

අපේ දුව උයන්න දන්නේ නැහැ

ඔහුගේ දියණිය දීග තල යන වයසත් දැක් ඉක්මවමින් ගොසින්ය. ඇය රුවෙන් අඩුවක්ද නැත. උසස් අධ්‍යාපනයක් ලබා ඇත.. රාජකාරිමය ලෙසින් බැංකු නිළධාරිනියෙකි. මේ නිසා ඇය වෙනුවෙන් මංගල යෝජනාවන්ද අඩුවක් වූයේ නැත. පොරොන්දම්ද ගැලපේ. ඒත්….විවාහය වෙනුවෙන් තවමත් තීන්දුවක් නැත. දන්නා හඳුනන අය ගෙනෙන ලද යෝජනාවන් නොදැනම බිඳ වැටෙන විට ඔවුනොවුන් පවා කතා වුනේ ඇත්තටම ඇයි….තවම මංගල්‍යක් හරියන්නේ නැත්තේ….යන්නයි. පසුව රහස එලි විය.

දියණිය වෙනුවෙන් වූ මංගල යෝජනාවන්හිදී පියා ඔවුන් ඉදිරියේ කියා සිටින්නේ ” අපේ දුවට උයන්න පිහන්න බෑ… එයා කැමැති නෑ වලං මුට්ටි හෝදන්න…. සේරම කරල දෙන්නේ තවම අම්මා .” තම දියණියගේ සුකොමල බව නිසා පියා මේ විදිහට කිව්වත් ඇත්තටම ගැහැණු දරුවෙකුට ඉවුම් පිහුම් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කිරීමත් ලැජ්ජාවක්.මේ නිසා ඇය බලන්න පැමිණි මනමාලයෝ නොදැනම ඈත් වුණා.

එදා ගැහැණු දරුවන් අද මෙන් උසස් අධ්‍යාපනය නොලැබුවත් ඔවුන්ට මව්පියන් විසින් ලබා දුන් ලොකුම අවවාදය වුනේ ” හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ “ යන්නයි. ඇත්තටම ගැහැණු පමණක් නොව පිරිමි දරුවෙන් වුනත් උයන්න පිහන්න ඉගෙන ගැනීම වරදක් නැහැ.

ඉවුම් පිහුම් කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක්. මේ කලාව වෙතින් ලබන පන්නරය නිසා අනාගතයේදී ගෙදර දොර කටයුතු ඉතා හොඳින් කර ගැනීමේ පහසුව ලැබෙනවා.අද බොහෝ දෙනා හිතන්නේ හන්දි ගානේ නයිට් කඩ තියෙන නිසා ගෙදර කෑම බීම හදනවාට වඩා ‍කීයක් හරි දීලා වේල පිරිමහ ගත්තාම ඇති කියලයි. ඒත් …. මේ කඩවලින් හදන ආහාරවල තිබෙන ගුණාත්මක බව, පිරිසිදුකම සමග ඔබේ වියදම ගැන ගණන් බැලුවොත් නිවසේ පිළියෙළ කරන ආහාර වේලක තිබෙන රස ගුණ පමණක් නොවෙයි, මුදල් ඉතිරියත් මොනතරම් වටිනවාද යන්න තේරේවි.

දරුවෙකුට උයන පිහන කටයුතු එක රැයකින් උගන්වන්න බැහැ. ඒ වෙනුවෙන් බාල කාලයේ පටන්ම මග පෙන්වන්න අවශ්‍යයි. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලම් ගෙවල් තනා ගෙන ඒවායේ පුංචි හැලි වලං වල බත්, ව්‍යංජන පිළියෙළ කරනවා. ඒ සෙල්ලම් ලෝකය තුළ උයන පිහන කටයුතු වෙනුවෙන් අත හුරු වීම නොදැනම සිද්ධ වෙනවා.

ඒත්…. අද දරුවන්ට සෙල්ලම් ගෙවල් දාන්න වෙලාවක් කලාවක් වගේම පිරිසක් නැහැ. නිවසේ දරුවන් අතර වුනත් එකට එක්ව සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. යාන්තම් හය හතර තේරෙන දිනයේ පටන් අමතර පංති , විෂය බාහිර පංති නිසා දරුවන් තම සහෝදරයන් අතරත් හුදෙකලා වෙලා. අම්මා උයන දේ, එහෙම නැත්නම් කඩෙන් අරගෙන දෙන කුමක් හෝ ක්ෂනික ආහාරයකින් පිරිමැහෙනවා විනා එයින් එපිටට කිසිම දෙයක් හිතන්න යොමු වීමක් නැහැ.

අද දරුවන් අතර ගනුදෙණු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා බව රහසක් නොවේ. එහි වැරැද්දක් කියන්න බැහැ. ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂනය සමග දරුවා ඉදිරියට යා යුතුයි. සමාජ ජාල ඔස්සේ ඔවුන්ට බොහෝ දේ ලබා ගත හැකියි. උයන්න පිහන්න වට්ටෝරු වුනත් මේවායින් බාගත කර ගන්න පුලුවන්.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කිව්වේ අලුත් අත්වලින් හදන කෑම රසයි.කියලා…. මේ  නිසා දරුවන් අතර අලුත් අලුත් දේ අලුත් අලුත් විදිහට උයන්න උනන්දුව ඇති වුනා. දරුවන් ඇත්තටම නිර්මානශීලියි. එකාකාර විදිහට අම්මා හදන ආහාර වෙනුවට දරුවාට අලුත් විදිහට යමක් උයන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක ඒ ගැන උනන්දුවෙන් අගයන්න. එවිට දරුවාට තමාට ලැබෙන ඇගයීම නිසා තවත් දුරට මේ කටයුතුවල නිරත වෙන ආසාව ඇති වෙනවා.

ඉස්සර අම්මලා පත්තරවල ආහාර වට්ටෝරු කපල පොත්වල අලවා ගත්තා. තමා නොදන්න ආහාර මේ වට්ටෝරුවලින් බලා ගෙන උයා පිහා ගත්තා. උයන පිහන කටයුතු විනෝදාංශයක් විදිහට සිදු වුනොත් එය අමිහිරි අත්දැකීමක් නොවෙයි.බ්‍රිතාන්‍යයේ නව අගමැතිනිය ලෙසින් පත් තෙරේසා මේයර් සඳහන් කළේ ඇගේ විනෝදංශය ආහාර පිළියෙළ කිරීම බවයි. ඇය සතුව එකතු කරන ලද ආහාර වට්ටෝරු පොත් ගණනාවක් තිබෙන බවත් අගමැතිනිය විසින් පත් අවස්ථාවේ සඳහන් කළා.

පාසල් අධ්‍යාපනය ලබන දියණිවරුන්ට විවේකයක් ලැබෙන අවස්ථා නැතුවාම නොවෙයි.සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසානයේ දරුවන් ඊළඟ අධ්‍යාපන අවස්ථාව ලැබෙන තෙක් කෙටි විරාමයක් ලබා ගන්නවා. මේ කාලසීමාව ඔවුන් ගෙවන්නේ රුව ලස්සන කරගන්න, ඇඟපත මහත දෙහෙත අඩු කර ගන්න.කිසිම ව්‍යායාමයක් නොමැතිව කාලය ගෙවලා ලැබුන විවේකය තුළ එවැනි කටයුතු වෙනුවෙන් යොමු වීම තරුණ ගැහැණු දරුවන් විදිහට වරදක් නොවෙයි. ඒත් මේ කාලසීමාව තුළ මුළුතැන්ගෙයි සිද්ධ වෙන්නේ මොනවාදැයි බලන්න පුලුවන්. අම්මලාටත් තම දරුවන් හවුලට සම්බන්ධ කර ගෙන ලැබුන විවේකය අර්ථවත් කිරීමට හැකියාව තිබෙනවා.

ඉවුම් පිහුම් කටයුතුවලට දරුවන් සම්බන්ධ වුනාම ඔවුන් කිරුම් මිනුම් සංකල්ප ගැනත් අවබෝධයක් ලබනවා. අද වගේ ස්වයංක්‍රිය බත් පිසින උදුන් නොතිබුන යුගයක බතට වතුර තිබ්බේ ඇගිලි පුරුකේ තරමටයි. කාලය සමග ලබන අත්දැකීම් අනුව පරිමාව කොපමණ වුනත් බත බෙරි නොවන විදහට වතුර පදම තබා ගැනීමේ හැකියාව ලැබුනා.

ඉවුම් පිහුම් සමග දරුවන් සම්බන්ධ වුනාම පවුලේ කටයුතු වෙනුවෙන් හවුලේ වගකීම දරුවන්ටත් ඇති වෙනවා.ජීවන වියදමට අපි ගැලපෙන්නේ කොහොමද යන්න ඔවුන්ම තීරණය කරනවා. උත්සව අවස්ථාවක කැවිලි වෙළඳපොලෙන් ගන්නවාට වඩා නිවසේ සකසා ගැනීම වැනි අරපරෙස්සම, සකසුරුවම නොදැනම ඇති වෙනවා.

ඉවුම් පිහුම් දන්නා දියණියක් සිටින විට පවුල සුරක්ෂිතයි. ස්වයංරැකියාවක් විදිහට ආහාරපාන පිළියෙළ කරන්න වගේම බෝඩිමකින් හෝ පවුලේ ආර්ථිකයට දායක විය හැකියි. ඇත්තටම පිරිමි දරුවාටත් උයන්න පුලුවන්නම් එය ලැජ්ජාවට හේතුවක් නොවෙයි. අද ඉවුම් පිහුම් කලාවේ දැවැන්තයන් අතර පිරිමින් සිටිනවා.බිරිඳ රැකියාවක නිරත වෙන විට ඇති වෙන අවිවේකීබව , ඇයට අසනීපයක් වූ විට එසේම වෙනත් අනපේක්ෂිත අවස්තාවක බිරිදගෙන් ඉවුම් පිහුම් කටයුතු සිද්ධ නොවෙන විට ඒ හිස්තැන පුරවා ගැනීම සැමියාට එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. එතකොට ” බිරින්දෑ නෑගම් ගොහිං “කියමින් ලතැවෙනවාට වඩා විඩාපත් බිරිඳ නිවසට එන විට සැමියා අතින්ම පිළියෙළ කරන ලද ආහාරවේලකින් ඇගේ වෙහෙසකර බව නිවෙනු ඇත.

90% දරුවන් නිතර නිතර මැසිවිලි නගන බඬේ රිදිල්ල “Colicky Abdominal Pain” හෙවත් Colicky

පාසැල් වියේ දරුවන් සිටින මව්වරුන්ට දරුවන්ගේ උදරයේ වේදනාවන් පිළිබඳව නිතර නිතර අසන්නට ලැබේ. ඇතැම් මව්වරුන් මෙය දරුවන්ට පැවරුණු පාසැල් වැඩකටයුතු හෝ ඔවුන් අකමැති කාර්යයන් ඇති විට ඒවා මගහැරීමට යොදන උපක්‍රමයක් ලෙසද සිතයි. වයස අවුරුදු 4ත් 16ත් අතර පසැල් වියේ දරුවන්ගෙන් 75%ක පමණ ප්‍රමාණයකට ඇතිවන මේ උදරයේ වේදනාව බොහොම පොදු ගැටලුවක් වන අතරම දිනපතා හෝ සතියකට වරක් හෝ මේ තත්ත්වය ඇති විය හැකියි. ඇතැම් දෙමාපියන් සිතන්නේ දරුවන් පාසැල් යාම හෝ පාසැල තුළ රැඳී සිටීමට ඇති අකමැත්ත මත දරුවන් මෙසේ මැසැවිලි නගන බවයි. නමුත් මෙය උදරයේ ඇති වන Colicky තත්ත්වයක් විය හැකියි.

Colicky තත්ත්වය යනු සිරුරේ කුමන හෝ නාලයක සිරවූ යමක් තල්ලු කර යැවීමට සිරුර දරණ උත්සාහය මත ඇතිවන වේදනාවයි. බඩවැල්, වකුගඩු, අක්මා-අග්න්‍යාෂ යන පද්ධති පිරිමි දරුවන්ගේ සිරුරේ ඇති ප්‍රධාන නල පද්ධති 3 ක් වන අතරම ගැහැණු දරුවන්ගේ ඊට අමතරව ගර්භාෂ-පැලෝපීය යන නල පද්ධති දැකගත හැකියි.

උදරයේ මැදින් එනම් පෙකණිය ආසන්නයේ සිට වේදනාව ඇති වීම මේ Colicky Abdominal Pain හෙවත් Colicky තත්ත්වය හඳුනාගත හැකි ප්‍රධානතම ලක්‍ෂණයයි. මේ වේදනාව විනාඩි 2-4ක් පැවත ඉබේම පහව ගියද ඒ කාලසීමාව තුළ අධික වේදනවාක් ගෙන දෙයි. ඇතැම්විට මේ වේදනාව එසැණින් නැවත ඇති විය හැකියි. එසේත් නැතිනම් විනාඩි 10 ක් 20ක් ගත වූ පසු හෝ නැතිනම් සතියකට පසුව වුවද නැවත ඇති විය හැකිය.විශේෂයෙන්ම පාසැල් යාමට පෙර උදෑසන ආහාරවේල හෝ කිරි වීදුරුව ලබාගැනීමෙන් අනතුරුව මේ වේදනාව ඇති විය හැකිය. එසේම පාසැල් විවේක කාලය තුළ එනම් දහවල් 11 – 12 අතර කාලයේදී කුසගින්න නිසා හෝ යමක් කුසට වැටුණු විට මේ වේදනාව ඇති විය හැකියි.

ඇතැම් දරුවන් දිනකට වරක් මලපහ පිට නොකරන අතරම ඔවුන් දින දෙක තුනකට වරක් මලපිටකරයි. එවැනි දරුවන්ගේ මල ඉතාම වියළි ස්වභාවයෙන් යුතු විය හැකි අතරම රුධිර වහනයන් ද දැකගත හැකිය. Colicky තත්ත්වය ඇති වන 75%ක් පමණ දරුවන්ට කොයි ආකාරයකින් හෝ මලබද්ධ තත්ත්වය පවතින අතරම කුඩා බඩවැල්වලත් මහා බඩවැල්වල මුල් කොටසේත් මල වැඩි වශයෙන් රැදී තිබීම මෙයට තවත් හේතුවකි. එවැනි තත්ත්වයන්හිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට දරුවා හුරුකිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ද ඉතා වැදගත් වේ. මෙම Functional Abdominal Pain තත්ත්වය සමනය කරගැනීම සඳහා ආහාර පාලනය බොහෝ සෙයින් වැදගත් වන අතරම තන්තුමය කොටස් බහුල එළවළු, පළතුරු වැඩිපුර ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර වර්ග සහ පාන වර්ගවලින් ඈත් වීමත් මේ තත්ත්වය සමනය කරගැනීමට වැදගත් වේ. එසේම ආහාර ලබාගැනීම ප්‍රධාන වේල් තුනකට සහ කෙටි වේල් දෙකකට සීමා කිරීම ද වැදගත් කරුණකි. ක්‍රමාණුකූලව ජීවිතයට ව්‍යායාම ලබාගැනීමත් මේ තත්ත්වය මග හරවා ගැනීමට උදව් වේ.

Colicky තත්ත්වයට අමතරව උදරයේ වේදනාවන් ඇතිවීමට හේතු : 

  • උදරය තුළ ආම්ලිකතාවය වැඩිවීම
  • මානසික ආතතිය
  • බඩවැල්වල ක්‍රියාකාරීත්වය මගින් මොළය අනවශ්‍ය ප්‍රමාණයකට උද්දීපනය වීම

උදර වේදනාව පිළිබඳ සංඥා මොළයට ගමන් කිරීමෙන් අනතුරුව උදරයේ වේදනාව මොළය මගින් අප වෙත දනවයි. වයස අවු.12-14 පමණ වන තුරු උදර වේදනාවේ ප්‍රමාණය පිළිබඳව නිවැරදි වැටහීමක් මොළයට ලබා ගත නොහැකි වන අතරම කුඩා වේදනාවක් වුවත් වටහා ගන්නේ විශාල වේදනාවක් ලෙසටයි. ඒවා Functional Abdominal Pain ලෙස හඳුනවන අතරම එවැනි තත්ත්වයන්හිදී උණ, වමනය, මුත්‍ර දැවිල්ල, මලපහ ඝන, වියළි බවින් යුතු වීම, කෑම අරුචිය, බර ක්‍ෂණිකව අඩුවීම වැනි තත්ත්වයන් දැකගත නොහැකිය.

මේ තත්ත්වය පිළිබඳව මව්පියන් තුළ පවතින බිය දරුවාට නොදැනෙන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් වන අතරම වේදනාව කළමනාකරණය කරගැනීම පිළිබඳව දරුවන් මෙන්ම දෙමාපියන්ද සැලකිමත් වන්න. දරුවාට පාසැල් යෑම අනිවාර්ය කරන්න. පාසැල් නොගොස් රූපවාහිනය නැරඹීම හෝ ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා කිසිදු විටෙක අවස්ථාව ලබානොදෙන්න. එසේම මේ වේදනාව සමගින් දරුවා පාසැල් යාම හෝ වෙනත් කාර්යයක නිරත වුවහොත් දරුවාව අගය කරන්න. දරුවාට සැමවිටම ඔබේ සම්පූර්ණ සහාය ලබාදෙන්න.

මෙම තත්ත්වය ඇතිවීමට විශේෂිත හේතුවක් සොයාගත නොහැකි අතරම, දරුවා වැඩිවියට පත්වීමත් සමගම නැතිවී යයි. කිසිදු විටෙක හිතුමතේ දරුවාට ඖෂධ ලබානොදිය යුත්තේ දිගින් දිගටම දරුවාට ඖෂධ වර්ග ලබා දුනහොත් දරුවා එයට ඇබ්බැහි වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එසේම නිතර නිතර ඇති වන වේදනාවේ වෙනස්කම් දරුවා පවසයි නම් හෝ වෙනත් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එනම් මලපහ සමග රුධිරය පිටවීම, ක්‍ෂණිකව සිරුර සිහින් වීම, වමනය වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු හමුවන්න.

එසේම දරුවන්ට හදිසියේම ඇති වන උදර වේදනාවන් පිළිබඳවද මව්වරුන් වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තත්ත්වයකදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතු අතරම එය Acute Abdominal Pain ලෙස හඳුන්වන තත්ත්වයයි. වේදනාව සමග උණ, වමනය, උදරයේ එක් පසක් වැඩිපුර රිදීම වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් ඒ තත්ත්වය ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) නම් වූ රෝගී තත්ත්වයද විය හැකියි. එසේම බඩවැල්වල සිරවීම් (Intestinal Obstruction) එසේත් නැතිනම් බඩවැලක් අස්සේ බඩවැලක් යෑම (Intussusception) හේතුවෙන් හටගන්නා වේදනාකාරී තත්ත්වයක් ද විය හැකියි. ඇතැම්විට මේවා මාරාන්තික තත්ත්වයන්ද විය හැකියි. මේවාට අමතරව බඩවැල් ආසාදන, ගැස්ටි්‍රස්ටීස් (Gastritis), ආහාර විෂ වීම් (Food poising) වැනි තත්ත්වයන් මෙන්ම වකුගඩු ආශ්‍රිතව ගල් හිරවීම්ද විය හැකිය. මේ සියලු අවස්ථාවන් සඳහා හදිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව මව්වරුන් සහි තබාගන්න.

කාරාපිටිය ශික්ෂණ රෝහලේ, ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ඵස්. කස්තුරි මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.