Home Blog Page 130

ඔබේ දරුවා ගැටළු විසදන්න දුර්වලද

ගොඩක් දරුවෝ ගණිත ගැටළු විසදන්න තරමක් දුර්වලයි. එවැනි දරුවන්ට තරම් තර්කන හැකියාව අඩුය. ඇතැම් දරුවන් ගුරවරයා කි සැනින්ම ගැටලුව විසදා පිලිතුරද ලබා ගනී. මෙය දරුවාගේ බුද්ධි මට්ටම අනුව තීරණය වනු ලැබේ. බුද්ධියේ වර්ධනය දුරවලයි නම් දරුවාට ගැටලුව ඉක්මනින්ම විසදීය නොහැකිය.

කුඩා කාලයේ සිටම දරුවන්ට ගැටළු විසදන්න අවස්ථාව ලබා දිය යුතුය. මෙය දරුවාගේ මොලයට හොද ව්‍යායාමයකි. බුද්ධිය ක්‍රියාකාරී වීමට අවශ්‍ය රසායනික සම්ප්‍රේෂණ, රුධිර සැපයුම, මොලය වෙත ගමන් කිරීම ආදී ක්‍රියාවලින් ගණනාවක් ගැටළු විසදීම මගින් සිදු වේ.

පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ ළමයාගේ බුද්ධිමය පරිසරය සකස් කිරීමට නම් ඉගෙනීම තුළ තර්කානුකුලව සිතිය හැකි ගැටළුවක් තිබිය යුතුය. අලුත් ගැටලුවකට මුහුණ දීමේදී එම ගැටලුව විසදීම සදහා පෙර රැස් කළ මතකයන් අනුව අලුත් ගැටලුව විසදීමට නිරායාසයෙන්ම ප්‍රයෝජනයක් ගන්නවා. මේ නිසා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට දරුවා පෙළඹෙනවා.

ගැටළුවක් විසදිමෙන් දරුවන් සතුටක් ලබනවා. වැඩිහිටියෙකුත් වුවත් යම් දෙයක් විසදා ලබන මානසික සතුට ඉහලය. එය දරුවන්ටද පොදුය. එමෙන්ම ගැටළුවක් විසදීමේ අලුත් අදහසක්, නව අත්දැකිමක් එකතු වනු ලබයි. මෙහි පියවර කිහිපයක් පවතී.

පළමුව දරුවා ගැටලුව නිරවුල්ව හදුනා ගන්නවා
ගැටලුවට විසදුම් සොයන්න ගන්නවා
විසදුම් කිහිපයක් කියනු ලැබේ
එයින් එකක් තෝරා ගන්න උපකාර කරන්න
තෝරා ගත් විසදුම් වලින් ගැටලුව විසදීමට දරුවා උනන්දු කරවන්න
විසදුම ලැබීමෙන් පසු අගයන්න
මේ සදහා ඔබට දරුවාට විසදන්න යැයි තේරවිලි ඉදිරිපත් කල හැකිය.

උදාහරණ ලෙස: අත්තක් උඩ බුම්මගෙන – කටු රෙද්දක් පොරවාගෙන

කොස් ගෙඩිය

ගසක් උඩ ගෙඩියක්- ගෙඩියක් උඩ ගසක්

අන්නාසි ගෙඩිය

මෙවැනි තේරවිලි ඉදිරිපත් කර එය විසදන්න යැයි දරුවාට යෝජනා කරන්න.

කතාන්දර ස්වරූපයෙන් ගැටළු ඉදිරිපත් කල හැකිය

කතාන්දර ඇසීමට දරුවන් ඉතාමත් ප්‍රිය වේ. කතාන්දර ඉදිරිපත් කර අවසානයේ එමගින් ප්‍රශ්න හැකිය. එවිට දරුවා ඔබ ඉදිරිපත් කල ගැටලුව පිලිබදව විස්තර ඔබෙන් අසාවී. දරුවට එහිදී උදව් කරන්න. එමගින් ඔහු පිළිතුර සොයන්න උත්සාහ කරනු ලැබේ.

පරිසරයේ ඇති විවිධ සංසිද්ධීන් ඇසුරෙන් ප්‍රශ්ණ අසන්න

මෙහිදී දරුවන්ට ඉතා සමීප වස්තුන් යොදා ගන්න. සතුන්ගේ ලෝකයට දරුවන් ඉතාමත් ප්‍රියය. දරුවන්ගේ වයසට අනුකුලව ප්‍රශ්න ඇසීමට සෑම විටම වගබලා ගන්න.

උදාහරණයක් ලෙස:

  • ගසක් කතා කලොත් මොනා වෙයිද. ගසකට කතා කරන්න පුලුවන්නම් මොනවා කියාවිද?
  • පුසෙකුට කතා කරන්න පුළුවන් උනොත් මොනවා කියාවිද ?
  • අඹ ගෙඩියක් 10ක් වුනොත් 2ක් ගන්න රුපියල් 20ක් ප්‍රමාණවත්ද ?
  • මේ ටයිල් මේ කාමරයට අල්ලන්න ඇති වෙයිද ?
ඔබට පුළුවන් දරුවා ලවා විවිධ නිර්මාණ සිදු කරන්න

පත්තර කොළ වලින් බෝට්ටු හදන්න. පොල්කොළ වලින් නිර්මාණ දරුවා ලවා සිදු කරවන්න. මෙහිදී දරුවා සිදු කරන වැඩ වලට ඔබ මැදිහත් වන්න එපා. ඔහුට එය සිදු කරන්න අපහසු නම් ඊට උපදෙස් ලබා දෙන්න. මෙමගින් දරුවාගේ නිර්මාණාත්මක ශක්තිය වැඩි දියුණු වනු ලැබේ.

ඔබේ නිවසේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලටද දරුවා සහභාගී කර ගන්න. ඔහුට එම වැඩ පවරන්න. දරුවා සමග වැඩ කරන විට ඔබට දරුවාගෙන් ප්‍රශ්න ඇසිය හැකිය. දරුවාට ලබා දෙන ගැටළු ඔහුට මානසික වදයක් නොවිය යුතුය. එසේ වුවහොත් එය නීරස වනු ඇත.

සෑමවිටම ඔබ දරුවාට ගැටළු ලබා දෙන විට දරුවාගේ වයස් මට්ටම පිලිබදව සැලකිලිමත්  වන්න. අවුරුදු 06 දරුවෙකු සහ අවුරුදු 10ක් දරුවෙකුගේ බුද්ධි මට්ටම වෙනස්ය. ඒ නිසා ඒ පිලිබදව සැලකිලිමත් වෙමින් ගැටළු ලබා දෙන්න.

පොත් අපේ නෙත් වගේ

දරුවන් පොත් පත් කියවන්නේ නැතැයි යන මැසවිල්ල අද හැම තැනකින්ම ඇසෙන පොදු වචන ඛණ්ඩයක්. අද වගේ විසිතුරු පොත් පත්තර නොතිබුන කාලයකදී  දරුවන් නිවසට හාල්මැස්සන් කරවල ඔතාගෙන එන කඩදාසියේ තිබෙන දෙයක් වුනත් කියවන්න උනන්දු වුනා. ඒත්….මුද්‍රිත මාධ්‍යයන්ගෙන් දුරස්ථව ගිය අද කාලයේ වුනත් දරුවන්ට කියවන්න අවශ්‍ය බොහෝ දේ විද්්‍යුත් මාධ්‍ය මගින් ලැබුනත් ඔවුන් තුළ දැනුම වෙනුවෙන් කියවන උණක් පහල වෙන්නේ නැහැ. මේ අතරින් දරුවන් යොමු වෙන්නේ ක්‍රීඩා , සමාජ ජාල මිසක දැණුම , විනෝදය වෙනුවෙන් කියවීමට නොවේ.

මහා බ්‍රිතාන්‍යයේ මාධ්‍ය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ 2010 වසරේ පටන් 2015 වසර වෙන විට දරුවන්ගේ කියවීමේ වේගය බෙහෙවින් පහත වැටී ඇති බවයි.2010 වසරේදී එරට දරුවන් අතර පුස්තකාල පරිශීලනය කරන ප්‍රතිශතය 18. 7 % ක් ලෙසින් පැවැතුනත් 2014 වන විට මෙම ප්‍රතිශතය 13. 8 % දක්වා පහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ළමා සාහිත්‍යය පිලිබඳ ලේඛක ක්‍රිස් රිඩ්ල් මේ තත්වය ඉතා අවාසනාවක් විදිහට පෙන්වා දෙනවා. කියවන පුරුදු පිලිබඳ සංගමයේ විධායක අධ්‍යක්ෂ ඩයනා ජෙරල්ඩ් සඳහන් කරන්නේ පුස්තකාල වෙතින් ඈත් වෙන දරුවන්ට පුස්තකාල සමීප කිරීම වෙනුවෙන් ආකර්ශණීය වැඩ පිළිවෙලක් අවශ්‍ය බවයි.

පුස්තකාලයක් වෙත යන අරමුණ දරුවෙක් තුළ ගොඩ නැගෙන්නේ ඔවුන්ට කියවීමේ උණක් තිබුනොත් විතරයි. අද දරුවන්ට මව්පියන් වෙතින් වත් මෙම අවශ්‍යතාවය ඉටු නොවන තැනට පත් වෙලා. මව්පියන් වුනත්  එදා පොතක් පත්තරයක් මිළට ගත්තත් අද අන්තර්ජාලයෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන නිසා පොත් පත් මිළට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ.

විවේකය ලැබුන විට සාප්පු සවාරියක් , විනෝද චාරිකාවක් ගැන කතා බහ දරුවන් මුල් කර ගෙන ගොඩ නැගෙනවා විනා කිසිම දිනක පුස්තකාලයක් වෙත දරුවන් කැටුව යෑමේ අදහස් මව්පිය පාර්ශවයෙන් ලැබෙන්නේ නැහැ.නගරයට ගියත් වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් වූ සැලසුම නිසා පුස්තකාලයට වැස්සකටවත් ගොඩ වදින පුරුද්දක් වැඩිහිටියන්ටත් නැහැ. මෙහෙම වුනාම කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලයි.

උත්සව සමය ආසන්න වෙත්ම මව්පියන් තුළ ඇති වෙන්නේ ” සේල් ” ගැන අදහස විතරයි. ඒත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන දිනයන්හි අපේ දරුවෝ පොත් ප්‍රදර්ශනයට එක්ක යන්න ඕන යන සිතුවිල්ල ඇති වෙන්නෙත් නැහැ.පොත් ප්‍රදර්ශනයකට ගිය විට පොත් වලින් වහනය වෙන නැවුම් සුවඳ පවා කියවන්න උත්තේජනයක් ඇති කරනවා.විදේශීය පොත් ප්‍රකාශකයන් පවා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉගෙණුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත් පත් තෝරා ගැනීමේ අපුරු අවස්ථාවන් දරුවන්ට උදා වෙනවා. ආකර්ශණීය වට්ටම්ද ලැබෙනවා. සේල් වෙනුවෙන් යොමු වෙනවා වගේම පොත් වෙනුවෙන් ලැබෙන ආකර්ශණීය වට්ටම දරුවන්ට ලබා දිය හැකියි. ඒ විතරක් නොවෙයි…..කියවන සමාජයක ඇසුර දරුවාට ලැබෙනවා. පොත් කතුවරු හමු වෙනවා…කියවීම වෙනුවෙන් තරඟ පවත්වනවා. මේ සියලු පහසුකම් නිසා දරුවාටත් පොත් පත් අතර රැ‍ෙඳෙන මානසිකත්වය නොදැ‍නම ඇති වෙනවා.

නිවස විසිතුරු කරන ගෘහ භාණ්ඩ කලින් කලට වෙනස් කරන සහ ටැබ්, පරිගණක වැනි විද්්‍යුත් උපාංගයන් දින දින අලුත් කරන අම්මා ,තාත්තා දරුවා වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කරන්න පුංචි පොත් රාක්කයක් මිළට ගන්න කිසිම දිනක හිතන්නේ නැහැ. පුංචි අල්මාරියක පොත් එකතුවක් දරුවාට සකසා දුන්නොත් එයින් නොදැනම පොත් පත් එක් රැස් කරන සහ කියවන සංකල්පය දරුවාගේ හිතේ ගොඩ නැගෙනවා. පොත් ආරක්ෂා කරන්න අවශ්‍ය සම්පතක් බව ප්‍රායෝගිකවම ඔහුට ඒත්තු ගැනෙනවා.

පොත්  කියවන දරුවාගේ දැනුම් ගබඩාව නොදැනම පුළුල් වෙනවා. ගැමුණු කුමාරයා ගැන කියවන දරුවා දස මහයෝධයන් ගැනත් උතුරේ එලාර රජතුමා සමග වූ ඉතිහාසය හොඳින් හඳුනා ගන්නවා. ලෝකය පුරාවට වූ දැණුම දරුවා තුළ නොදැනම එක්රැස් වෙනවා. ඇස්තිමෝ ගැන කියවන විට අත්ලාන්තික් කලාපයටත්, පිග්මි වැනි ගෝත්‍රිකයන් සමග දරුවා අප්‍රිකාවට යනවා. ඒ වගේම දරුවාගේ චරිතය ගොඩ නගා ගත හැකි ආදර්ශමත් චරිත මගින් දරුවාගේ පෞරෂ වර්ධනයටද සුවිශාල බලපෑමක් ඇති කරනු ඇත.

පොත් කියවීම දරුවාට අප්‍රිය නොවන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පොත් අපේ නෙත් වගේ කියන ලෙසින්ම දරුවාට පොත් සමීප වීම වැදගත්. පොත් කියවීම විධාන මගින් සිදු කළ නොහැක. එය දරුවාගේ සිතට වඩාත් සමීප අත්දැකීමක් විය යුතුය.

අද මහජන පුස්තකාල හැම පළාත් පාලන ප්‍රදේශයකම පිහිටා ඇති නිසා දරුවාට එහි සාමාජිකත්වය ලබා දිය හැක.මේ වෙනුවෙන් ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. එවිට ඉතා පහසුවෙන් දරුවාට අවශ්‍ය පොත් පත් කියවීම වෙනුවෙන් පහසුකම් ලැබෙනු ඇත. මහජන පුස්තකාල මුල් කර ගෙන කියවීම ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වෙන විවිධ වැඩ සටහන් තිබෙනවා. පොත් පත් මුල් කර ගත් දැනුම මිනුම තරඟ, රචනා, චිත්‍ර, පෝස්ටර්, කාටුන් සහ විවිධ තරඟ ඉසව් තිබෙනවා. මෙම තරඟ වෙනුවෙන් සහභාගි වී දරුවාට තමාගේ සහජ කුසලතාවයන් වර්ධනය කර ගත හැකියි. මේ නිසා දරුවා සමග ඔබටත් පුස්තකාලයට ගොස් පොත් පත් කියවීමේ පුරුද්ද ගොඩ නගා ගත හැකි අතරම දැණුමෙන් ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා.

ඇමරිකාවේ යේල් සරසවියේ පවත්වන ලද අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ පොත් කියවන්නන්ගේ ආයු කාලය වැඩි බවයි. මෙම අධ්‍යනය සඳහා පුද්ගලයන් 3635 ක් සහභාගී කර ගත් අතර ඔවුන් අවුරුදු පණහ ඉක්මවන ලද අය වුනා. ඔවුන් දිනකට පැය තුන හතරක් පොත් කියවීමට කාලය යොදවනු ලැබුවා. එම පිරිස පිළිබඳ පසු තොරතුරු සෙවීමේදී පෙනී ගියේ පොත් කියවන පිරිස අතර කායික රෝග සහ මානසික රෝග පිලිබඳ පැමිණිලි ඉතා අඩුම මට්ටමක පැවැතුණා.ඊටත් බලපාන හේතු තිබෙනවා. පොත් පත් මගින් ලැබෙන දැණුම නිසාම තමන්ගේ සෞඛ්‍යය ගැන ආරක්ෂාව ලැබෙනවා. මානසික ලෙසින්ද ඇති වෙන විවේකය නිසා වෙහෙසකර හෝර්මෝන නිදහස් වීම අඩුයි. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබෙන නිසා ඒ සමග බද්ධව තිබෙන වෙනත් රෝගාබාධයන්ගෙන් නිදහස් වීමේ හැකියාවටත් මග පෙන්වීමක් නොදැනම ඇති වෙනවා.

මේ නිසා දරුවාගේ උපන්දිනයට ලබා දෙන වෙනත් තෑගි සමග පොතක් තෑගි කරන්න. දරුවන් සිටින තැනකට යන විට රුගෙන යන රසකැවිලි වෙනුවෙන් වූ මුදලට සමානව කියවන යමක් රුගෙන යන්න. නිතර දෙවේලේ පොත පත නෙත ගැටෙන විට කියවන රුචිය දරුවාටත් ඔබ නොදැනම වගා වෙනු ඇත.කියවන සමාජයක් එක් රැයකින් බිහි කරන්න බැරි වුනත් මේ විදිහට යම් යම් උපක්‍රම අනුගමනය කළොත් එය අපහසු කටයුත්තක් නොවේ.

රැකියාව සහ දරුවන්

හැම දෙමව්පියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තබන්නයි. මේ නිසාම බොහෝ දෙමව්පියන් රැකියාවක් මගින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්න බව සඳහන් කළොත් වරදක් නැහැ.

එහෙත් රැකියාව සහ දරුවන් මුල් කර ගත් පවුල් ජීවිතය සමබර ලෙසින් පවත්වා ගෙන නොගියොත් එය දරුවාගේ මානසිකත්වයට ඉතා තදින් බලපාන බව බ්‍රිතාන්‍ය කොලම්බියාවේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. මේ තත්වය අපිටත් සාධාරණයි.

ඇතැම් උගත් වැදගත් මව් දෙමව්පියන්ගේ දරුවෝ අයාලේ වැටුනාම අපි වුනත් අකම්පහල වෙන්නේ මේ දරුවන්ට මොනවද අඩු…..ඇයි මෙහෙම වුනේ කියලයි….ඒ තත්වයට දරුවන් පත් වුනේ දෙමව්පියන් සහ දරුවන් අතර වූ මානසික බන්ධනය නොදැනම ගිලිහුන නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොනතරම් ඉහළ වෘත්තියක නියැලුනත් රැකියාවේ වගකීම් සමගින්ම දරුවන්ගේ ජීවිතයටත් සමීපව සම්බන්ධ වීම අවශ්‍යයි. බොහෝ දෙනා අද රැකියාව ගැන අනවශ්‍ය විදිහට අවිවේකී බව ගොඩ නගා ගන්නවා. අනේ රාජකාරියත් එක්කමනේ අපි….හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ…බොහෝ දෙනා මේ ආකල්පයෙන් අද සිටියත් තමන්ගේ දූ දරුවන්ටත් ආදරය සෙනෙහස අවශ්‍ය බව අමතක කළ යුතු නැහැ.හැන්දෑ කළුවර ගලා හැ‍ෙලන විට සෙනෙහස දැල්වුන නිවස කරා ඔබ පැමිණිය යුතුයි. නිවස ඔබට සුවදායක තැනක් විය යුතුයි. ඇතැම් අය කියන විදිහට ගෙදර අපායක්ය….යන සංකල්පයෙන් මිදෙන්න අවශ්‍යයි.නිවස ඔබට දිව්‍යලෝකය තරමටම සුවදායක නම් සැබැවින්ම ඔබ දරුවන් සහ පවුල මුල් කර ගෙන ජීවත්වෙන චරිතයකි.

ඒත් අද බොහෝ දෙනා ආර්ථික වාසි නිසා සති අන්තයේ වත් දරුවන් සමග ගත කරන්නේ නැහැ. කන්තෝරුව ජීවිතය බවට පත් වෙලා. දරුවන්ද නිවසේ නොරැඳෙන බව ඇත්ත. ඔවුන් බාහිර පංති වෙනුවෙන් දවස ගෙවෙන නිසා මව්පියන් නිවසේ සිටියද එකිනෙකා අතර බන්ධනයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒත් දරුවන්ගේ හිත් මානසිකව හුදෙකලා වෙනවා. මේ මානසිකත්වය ඔවුන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම එතරම් ගුණ නැහැ.

බොහෝ දරුවන් මෙම මානසික හුදෙකලා බවෙන් මිදෙන්න විවිධ අකටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ආදර සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා අතර පිරිමි දරුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙත යොමු වෙන අවදානම ඉහලයි. සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි වුනත් මුදල් කියන්නේ ජීවිතය නොවෙයි කියන තැන අපි නැවතිය යුතුයි. මධ්‍යම පළාත් පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා සඳහන් කරන අන්දමට මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පවුල් අතර හොඳ අධයාපනයක් ලත් සමාජයේ ඉහළ තානාන්තරවල සිටින මව්පියන්ගේ දරුවන් පවා සිටිනවා.  ඇත්තටම පවුල තුල මේ දරුවෝ හුදෙකලා වෙනවා. ඒ නිසාම ඔවුන් නොමගට ඇදෙන අතර දෙමව්පියන්ද තම දරුවන්ගේ අකටයුතු සඟවා ගෙන ජීවත් වෙනවා මිස මතෙන් මුදවන කටයුතු වෙනුවෙන්වත් උනන්දු නොවෙන්නේ තම දරුවාගේ තත්වය සමාජය දැන ගැනීවි යන අහංකාර සිතුවිලි නිසාය.

වැරැදි සමාජ ආශ්‍රයන් වගේම සමාජ ජාල සහ වෙබ් අඩවි පරිශීලනය නිසාත් ඔවුන් නොමගට ඇදෙනවා.

ඉහත අධ්‍යනයේ ප්‍රධාණී මනෝවිද්‍යාඥ කොස්ටාඩියන් කුෂ්ලෙව්ද මේ අදහසම සඳහන් කරනවා. රැකියාව සහ ගෘහ ජීවිතය අතර අන්තර් සම්බන්ධතාවයක් නොමැති දෙමව්පියන් මූලිකත්වය දෙන්නේ රැකියාවටයි. රැකියාවේ ස්වභාවය සමග දරුවන් ඔවුන්ට කරදරයක්.රැකියාවේ ඉලක්කයන් සමග හැල්මේ දුවන විට දරුවන් ඉබේටම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ තත්වය ධනවත් පවුල් සංස්ථාවන් තුළ වැඩියෙන් පෙනෙන බව කුෂ්ලෙව්ගේද අදහසයි.

කාන්තාවක් රැකියාවක නිරත විට ඇය රැකියාව වෙනුවෙන්ම කැපවෙනවා. ඒ නිසාම දරුවන් ඇගෙන් මග ඇරෙන බව අමුත්තක් නොවේ. රැකියාවේ ස්වභාවය අනුව වගකීමෙන් මිදෙන්නත් අපහසුයි. දරුවාට අම්මා සේවා ස්ථානයේ බැබැලෙන චරිතයක් වුනාට දරුවාට එයින් බලපෑමක් නැහැ. තමාගේ ජීවිතයේ තිබෙන පාළුව නිසා ඇති වෙන ආත්මීය ශෝකයෙන් දරුවා නිරන්තරවම පීඩා විඳිනවා.

දෙමව්පියන් නිවසේ නොමැති විට දරුවා කාලය ගෙවන්නේ කොහොමද යන්න මව්පියන් සොයා බැලීම අවශ්‍යයි.උදේ නිවසෙන් පිටවුන තැන පටන් නැවත නිවසට එන තෙක් දරුවා ගැන විමසිල්ලෙන් සිටින විට අම්මා තාත්තා තමා ගැන අවධානයෙන් සහ ආදරයෙන් සිටින බව දරුවා දන්නවා.

මානසික හිස්කමෙන් පීඩාවට පත් දරුවන් සමහර විට අද නොමගට යොමු නොවුන චරිත විය හැකියි. ඒත් තරුණ වියට පත් වෙන විට මෙම දරුවන් තුළ මානසික අවපීඩනය, සාංකාව හෝ ආතතිය වැනි රෝග තත්වයන් දැක ගත හැකියි. සමහර විට බාල කාලයේ තමාට ආදරය අවධානය නොලැබීම නිසා හිතේ ඇති වුන පසුතැවිල්ල විටෙක නොදැනම වෛරයක් තරම් දරුණු වෙන්නත් පුළුවන්.

කොච්චර බණ කිව්වත් ආර්ථික ශක්තියක් නැතුව ජීවත්වීම එතරම් පහසු නැහැ. රැවුලයි කැඳයි දෙකම අපි බේරා ගත යුතුයි. මේ නිසා හැකි හැම වේලාවක්ම දරුවා සමග ගත කරන්න.කාර්යාලයේ කරදර පොදිය හවසට කාර්යාලයේ තබා යන්න. එය නිවසට රැගෙන ගොස් පවුලේ සතුටට බාධාවක් කර නොගන්න. නිවසට ගිය තැන පටන් රූපවාහිනිය, ‍ෆේස් බුක් , ලැප්ටොප් නොව ලෙයින් මසින් උපන් දරුවන් සමීපයේ කාලය ගෙවන්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන අසන්න. දරුවන් දවස ගෙවූ අන්දම වගේම ලබා ගත් අත්දැකීම් බෙදා හදා ගන්න. පවුලක සතුට , සමාදානය වගේම දරුවන් සහ දෙමව්පියන්ගේ බන්ධනය එවිට ගොඩ නැගෙනු ඇත.

යමුද පොඩ්ඩක් ජීවිතේ ආපස්සට ?

ඇත්තටම අපි ගෙවූ සුන්දර ළමා කාලය අපේ දරුවන්ට විඳින්නට හැකියාවක් අද මේ නාගරික ජීවිතය තුල නැතැයි විටෙක මට සිතේ. මගේ ළමා විය නගරයේ ගෙවී ගියද මා ජිවිතය විඳින්නට පින් කලෙමි. වරුගානක් පොඩි අක්කාත් මමත් ආකාසේ තරු ගැන්නෙමි. වහින දිනට පොඩි අක්කාටත් මටත් රජ මගුල්ය. අම්මාට හොරෙන් වහලේ පීල්ලෙන් ගලා එන දිය දහරට අපි දෙදෙනා ඔට්ටුවෙන්නේ ඒ ගලන්නේ දිය ඇල්ලක් යැයි කියාය. නිවසේ කෙළවරින් ගලා ගිය කානුවේ වැහි දින වලදී පැහැදිලි ජලය ගලා යයි. ඒ අක්කාගේත් මගේත් දොළ පාරය. කානුවේ අප නටනවා අම්මා හෝ ලොකු අක්කා දුටුවෝතින් සියල්ල එතනින්ම අවසන්ය. අපේ නිවසේ තිබූ පේර ගස මුලු තැන් ගෙයි වහළ වසා ගෙන තිබුණි. අක්කාගේත් මගෙත් රජ දහන පේර ගසින් නැග ගොඩ වන මුලු තැන් ගෙයි වහළය. එදා පාසල් නිම වී නිවසට ආ අපට අසීමිත නිදහසක් තිබුනි. අහල පහළ ළමුන් සමග බට්ටා පනින්නට ,ටීක් ගසන්නට, ටින් කඩන්නට, ගස් මාරු කරන්නට පොඩි අක්කාත් මමත් නිවසට හොරා ගියද ලොකු අක්කාගෙන් අපට බේරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. “ගැහැණු ළමයි හැදෙන්න ඕනී ලැජ්ජ බයට ගෙවල් වලට වෙලා” අම්මා නිතරම පැවසුවත් ඒ නීතී පොඩි අක්කාගෙත් මගේත් මේ කනින් ඇසී අනිත් කනින් පිටව යයි. පාසල් නිවාඩුවට අම්මාගේ බලංගොඩ මහ ගෙදර යන්නට අපි ඇගිලි ගනින්නෙමු. අපට චිත්‍රයක් අඳින්නට රචනාවක් ලියන්නට අමතුවෙන් වචන ගලපන්නට ඇවසි නොවීය. ඒ අප විඳි සොබාදම අපූර්වත්වය තුලින්, සමාජ ඇසුර තුලින් අපේ සිතුවිලි මනාවට පෝෂණය වී තිබූ නිසාවෙන්ය. අප ලද ඒ සමාජය ආශ්‍රයත් පරිසරය විඳ ගැනීමත් ජීවිතයට පන්නරයක් වූ බව මම තරයේම විශ්වාස කරමි.

අද අපෙ දරුවන්ට සොබා දහම විඳින්නට හැකියාවක් නැත. අපේ දරුවන් පාසලෙන් නිවසට ,නිවසින් උපකාරක පන්තියටය. ලැබෙන සුලු විවේකයේදී රූපවාහිනිය ඉදිරි පිට වාඩිවන අපේ දරුවන් එයට සම වැදෙයි. නැතහොත් පරිඝණක, ටැබ් වැනි දෑ හැරෙන්නට ඔවුන්ට වෙන යමක් නැත. ඇත්තෙන්ම දරුවන් සිතන්නට නොහැකි රොබෝවරුන් මෙන්ය. මේ යථාර්තයයි. ඉතින් වෙනස් වන්නට කාලය පැමිණ ඇත. දරුවන්ට ජිවිතය විඳින්නට අවකාශය සැලසිය යුතුය. පොතේ දැනුම පමණක්ම ජීවිතය නොවන බව දැන දැනත් අප දෙමාපියන් වශයෙන් සමාජ රැල්ලට අපේම දරුවන්  පා කර හැරීම කෙතරම් සෝචනීය කරුණක්ද? අනාගතයේදී දෙමාපියන්ට හා සමාජයට වැඩදායී පුද්ගලයකු වර්තමානයේ සමාජ දැනුමක් නොමැති අසංවේදී දරුවකු තුලින් බලාපොරොතු විය හැකිද?

අපේ දරුවන්ගේ ළමා කාලයම ගෙවෙන්නෙ උපකාරක පන්ති වලය. මදක් සිතා බලන්න එකම කාරණාව තැන් කිහිපයකින්ම දරුවාට ලැබෙන විට දරුවාට ඉගෙනීම එපා වනු ඇත. එනිසාවෙන්ම ප්‍රථමික ශෙු්ණි වල දරුවන්ට කුඩා අවදියේම මෙපමණ උපකාරක පන්ති අවශ්‍ය දැයි මා නැවත වරක් විමසමි.

“ටීචර් තුන වසරට පන්ති පටන් ගන්නවා ළමයි දමන අම්මලා දැන්මම නම් දෙන්න. “

“ඔයා දානවද තරුකගෙ අම්මා”

“නැහැ අකිඳුගෙ අම්මා”

“මමත් දාන්නෙ නැහැ මොකටද නිකන් ළමයි මහන්සි කරවන්නේ මෙයාගේ අක්කත් පන්ති ගියේ නැහැ.”

ඇත්තටම ඇය මට මුණ ගැසුණු දුර්ලභ ගණයේ මවක්ය. බොහෝ මව්වරු දරුවන් ටියුෂන් වෙත දක්කාගෙන යන අතර යථාර්තය සැබැවින්ම තේරුම ගත් මවක් ලෙස මා ඇය හැඳින්වූවාට වරදක් නැත.

“ඔය අම්මලා ටියුෂන් වලට එක්ක යන ළමයි වැඩ කරන්නෙම නැහැ. අපේ පන්තියෙත් බලන්නකො පන්ති යන ළමයින්ට වඩා පන්ති නොයන ළමයි වැඩ කරනවා.”

ඇය පැවසූවේ සත්‍යයකි. උපකාරක පන්ති වෙත යන දරුවන්ට වඩා උපකාරක පන්ති නොයන දරුවන් දක්ෂ බව මටද සිහිපත් විය. එක දෙක වසරවෙනියා ලබා නොදෙන නිසා දරුවන් දිරිමත් කිරීම සඳහා පුතුගෙ පාසලේ සෑම වාර විභාගයකදීම හොඳම දරුවන් දස දෙනාට විදුහල්පතිනිය අතින් ඔවුන්ගේ ඇඟයීම් ලිපි ගොනුව ලබා දෙයි. මෙම වසර දෙක පුරාවටම එසේ ඇඟයීමට ලක් වූ දරුවන් උපකාරක පන්ති වෙත යන දරුවන් නොවීම එයට හොඳම සාක්ෂිය විය.

යමුද පොඩ්ඩක් ජීවිතේ ආපස්සට. ඔබේ ළමා වියට ගොස් මොහොතක් නැවතිල්ලේ සිතන්න, දකින්න. අප අපේ දරුවන් ඉගෙන ගත් උගත් පුද්ගයකු පමණක්ම කිරීම ප්‍රමාණවත්ද? නැත හොඳ ඉගෙන ගත් මනුස්සකම හඳුනන බුද්ධිමත් මනුෂ්‍යයෙක් ලොවට දායාද කිරීම දෙමාපියන් වශයෙන් අපේ යුතුකමය. දරුවන්ට ඉගෙනුමට මෙන්ම සෙල්ලම් කරන්නටත් ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය විඳ ගන්නට අවකාශය ලබා දෙන්න. ජිවිතය විඳින්නට අවසර දෙන්න.

ඔබේ දරුවා සතුටින් තබන්නේ කොහොමද

සිනහව කියන දේ හරිම වැදගත්. අපි කවුරුත් කැමතියි සිනහවෙන් සතුටින් කල් ගත කරන්න. අපි සිනහා වන විට අපේ සිරුරේ තිබෙන රුධිරය ක්‍රියාකාරිත්වය ඉහල යන අතර රුධිරයේ සංයුතියද වෙනස් වෙනවා. අපි සෑම විටම සිනාමුසු මුහුණනි සිටින විට අපි කාටත් ප්‍රිය වෙනවා. දුක, වේදනාව සියල්ලම සිනාව මගින් යටපත් කල හැකිය. අපි හැම මොහොතකම දුකෙන් සිටින විට අප කරන සියල්ලම අවුල්සහගත වෙනවා. මෙය දරුවන්ටත් පොදු කාරණයක්. දරුවා නිතරම සතුටින් සිටින විට එය දරුවාගේ මතක ශක්තිය වර්ධනය වීමට බලපානවා.

පර්යේෂණ අනුව පෙන්වා දෙන්නේ සිනාව ස්වභාවික ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන අතර දවසක් සතුටින් සිටිනවා යනු දින දෙකක ප්‍රතිශක්තිකරණය ශරීරය තුල ඇති වීමට බලපාන බවයි. ඒ නිසාම ඔබේ දරුවා නිතරම සිනාවෙන් තැබීම ඔබ සතු දෙයක්. මේ සදහා ඔබට දරුවා විවිධ ක්‍රියාකාරකම් වලට දරුවා යොමු කල හැකිය.

  • විනෝද විය හැකි ගීත ගයන කරන්න ඉඩ සලස්වන්න.
  • සිනහ ගැන්වෙන කතාන්දර කියා දෙන්න

අන්දරේගේ කතා ඉතාමත් විනෝදජනකය. එම නිසා එවැනි කතා වලින් දරුවන් සතුටු වනවා නියතය. ළමයින් විනෝද වෙන්න විහිලු කතා කියන්න හරිම කැමතියි. දරුවන්ගේ ළමා ලෝකයට සමීප ඔවුන් ඉත්මාත් ප්‍රිය කරන චරිත මගින් කතන්දර කියා දිය හැකිය. එවිට දරුවාට සතුටක් විනෝදයක් ලැබෙනවා මෙන්ම දැනුමක්ද එමගින් ලබා දිය හැකිය.

  • විවිධ සතුන් අනුකරණය කරමින් ඔබට ඔබේ දරුවා සිනහා ගැන්විය හැකිය.
  • සිනහා යන පින්තුර පෙන්වා දරුවා සමග එකට සිනාවෙන්න.
  • කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් දරුවා සමග සිනාවෙන්න.

කුඩා දරුවන් එකට එක් වූ විට විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. එවැනි අවස්ථාවලදී සිදු වන කුඩා දේවල් වලට පවා දරුවන් සිනා වෙනවා. ඇතැම් දරුවන් එකට එක් වූ විට පෙරළෙනවා, පොරකනවා. කිතිකවා ගන්නවා. එවැනි දෑ සිදු කිරීම හොදය.

  • අනපේක්ෂිතව දරුවා පුදුම කරවමින් සතුටු කල හැකිය.

දරුවට නොදන්වා කැමති කෑමක්, තෑග්ගක් ලබා දිය හැකිය. අතීත සිදුවීම මතක් කරමින් ෆොටෝ වීඩියෝ පෙන්වමින් දරුවා සමග සතුටින් කතා කරන්න. ඔයා පුංචි කාලේ මේ වගේ ආදී ලෙස දරුවා කුඩා කාලයේදී සිදු කල දගකාර ක්‍රියාකාරකම් ඔහුට නැවත මතක් කල දිය හැකිය. එවිට දරුවා ඒ පිලිබදව වඩාත් සතුටු වනු ඇත.

දරුවන් සතුටින් තැබීම හරිම වැදගත්. ඔවුන්ට දැනෙන ආතතිය, මානසික අසහනයෙන් සිනහව මගින් මිදිය හැකිය. දරුවාගේ මනස සැහැල්ලු වීමට එය බලපානවා. ඔබ දරුවා සතුටින් තබන විට ඔබේ සෙනෙහස, ආදරය, ආරක්ෂාව දරුවාට වැඩිපුර දැනෙන්න ගන්නවා. එමෙන්ම ඔබේ දරුවා සතුටින් සිටින විට එය ඔබගේද සතුටට හේතුවක්. එසේම දරුවා සතුටින්, විනෝදයෙන් කල් ගත කරන විට දරුවාගේ අධ්‍යාපනය කටයුතු නිසියාකාරව සැහැල්ලු මනසකින් යුතුව දරුවාට කර ගෙන යා හැකිය.

නමුත් ඇතැම් දෙමාවුපියන්ට තම දරුවාගේ සතුට පිලිබදව එතරම් සැලකිලිමත් වන්නේ නෑ. දරුවාට අවශ්‍ය දෑ සැපයු පමණින් ඔවුන් සතුටින් සිටිනවා යැයි නොසිතන්න. ඔබ බොහෝ කාර්යබහුලයි නම් දරුවාගේ සතුට ගැන සොයන්නට ඔබට කාලයක් නොමැති වන්නට පුළුවනි. නමුත් එය දරුවාගේ බුද්ධි වර්ධනයටද බලපානු ලැබේ. ඒ නිසා ඔබේ කාලය මදක් දරුවාගේ සතුට වෙනුවෙන් වෙන් කරන්න.

උපතේදී ඇති වන අනතුරු සහ වැරදි ඉරියව් නිසා දරුවන්ට ඇති වන ටෝටිකෝලීස් හෙවත් බෙල්ලේ ඇදය

ස්ථිර වශයෙන් හෝ තාවකාලිකව බෙල්ලේ ඇති වන ඇඹරීම හෝ ඇදය වක‍්‍රගලස්ථම්ත්වය හෙවත් ටෝටිකෝලිස් යනුවෙන් හැඳින්වේ. මෙය හටගන්නා ස්ථානය අනුව ප‍්‍රධාන වශයෙන් වර්ග කීපයකට බෙදා දැක්විය හැකි වේ. හිස උරහිස දෙසට ඇලවීම (Laterocollis)” හිස අක්‍ෂිස්ථිය දිගේ හැරීම (Rotational torticollis)” හිස හා ගෙල නැමීම (Antero Collis)” හිස උරහිස පිටුපසට නැමීම (Retro Colli) ලෙසයි.

ගෙල ඇදට තබා ගැනීම හෙවත් ”ටෝටිකෝලීස් ”

‘ටෝටිකෝලීස්’ යන ලතින් වදනේ තේරුම ගෙල ඇදයට තබාගැනීමයි. ටෝටිකෝලීස් යන රෝගී තත්ත්වයේදී හිස එක් පැත්තකට හරවාගෙන ඊට විරුද්ධ දෙසට ගෙල ඇදට තබා ගෙන සිටියි. දකුණු උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින දරුවෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ වම් පැත්තටයි. වම් උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින කෙනෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ දකුණු පැත්තටයි.

දරුවා බිහි වීමේදී ඇති වන අනතුරු ටෝටිකෝලීස් තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වේ. එනම්, දරුවන් බිහි වීමේදී ප‍්‍රථමයෙන් තට්ටම් ප‍්‍රදේශය පිටතට පැමිණෙන අවස්ථාවලදී දරුවාගේ ගෙලෙහි ඇති ‘ස්ටර්නොමැස්ටොයිඞ්’ (Stern mastoid) නම් පේශිය අනතුරට පත් වේ. තවද සමහර අවස්ථාවලදී දරු ප‍්‍රසුතියේදී අඬුු භාවිත කරන විටද මෙම පේශිය අනතුරට පත් වේ. අනතුරට පත්වූ පේශියට එහි කාර්යය කිරීමට නොහැකි වේ. එනම්, හිස හැරවීමට නොහැකි වේ.

මෙම අනතුරින් මාංශ පේශියේ තන්තු බිඳීමකට ලක් වේ. මෙම තන්තු බිඳීම නිසා බන්ධනී පටක ගුණනය වැඩිවී මෙම පේශිය අර්බුදයක් හෙවත් ගෙඩියක් ලෙස දිස්වෙයි. වැඩිහිටි අයට මෙම මාංශ පේශිවල තාවකාලිකව ඇති වන තද ගතියක් (muscle spasm) නිසාද ටෝටිකොලීස් තත්ත්වය ඇති විය හැකිය. මේ සඳහා තාප ප‍්‍රතිකාර දී පේශී ඉහිල් වීමට ව්‍යායාම දෙනු ලැබේ.

වැරදි ඉරියව් නිසා ටෝටිකෝලීස් තත්ත්වය ඇති වීමටද පුළුවන. බොහෝ අවස්ථාවලදී දෙමාපියන් විසින් දරුවන් එකම අතට තබාගෙන මව්කිරි දීම, නිදි කරවීම ආදී වැරදි ඉරියව් නිසා මාංශ පේශීන් කෙටි වීමෙන් මේ තත්ත්වය ඇති විය හැක. එබැවින් දරුවන්ට කිරි දීමේදී දරුවා එකම පැත්තකට නොව දෙපසටම හරවමින් කිරි දීම ඉතා වැදගත්ය. තවද නිදිකර වීමේදී මොහොතක් හිස දකුණු පැත්තට ද තවත් මොහොතකදී හිස වම් පැත්තකට ද හරවා තැබිය යුතුය.

දරුවන් අතර දක්නට ලැබෙන ටෝටිකෝලීස් තත්ත්වයට තවත් හේතුවක් වනුයේ උත්පත්තියෙන්ම ඇති වන වර්ධනයේ විකෘතියයි.  උදාහරණ  ලෙස  අර්ධ  කශේරුකා  තත්ත්වය (Congenital Hemi Vertebra) දැක්විය හැකිය. සමහර විට ගෙල අවට ග‍්‍රන්ථීන් වේදනා දෙන විටද මේ ටෝටිකෝලීස් තත්ත්වය ඇති වේ.

තවත් සමහර දරුවන්ට ඇසේ වපර වීමක් ඇත්නම් ද්විතීයීක ලෙස මෙම ටෝටිකෝලීස් තත්ත්වය වර්ධනය විය හැක. එමෙන්ම ටෝටිකෝලීස් ඇති දරුවන්ට ද්විතීයීක ලෙස ඇස වපර කිරීමක් දක්වා වර්ධනය විය හැක. තවද මෙම රෝගීන්ට වහා ප‍්‍රතිකාර නොකළහොත් මුහුණින් එක් පසක මාංශ පේශි හීන වී යා හැකිය. එවිට මුහුණේ දක්නට ලැබෙන සමමිතිය බිඳී යයි. මෙම විකෘති තත්ත්වය මුහුණේ අසමමිතිය (Facial Asymmetry) යනුවෙන් හැඳින්වේ.

දරුවා ඉපදී සති 2-3 දක්වා කාලය තුළදී ඔබ විමසිලිමත් වුවහොත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි වේ. එම කාලයේදී දරුවාගේ ගෙල ප‍්‍රදේශය අතගා බැලීමෙන් යම් ගැටිත්තක් වැනි දෙයක් තිබේ නම් හඳුනාගත හැක. එමෙන්ම දරුවා නිතරම හිස එක් පැත්තකට හරවාගෙන නිදාගනී නම් නිතරම මෙම තත්ත්වය ඇති වීමට හේතු විය හැක. මෙසේ සිටීමට දරුවාට ඉඩ ලබා දීමෙන් දරුවාගේ හිස පැත්තක් ගෙවීමට ද ලක්වේ.

ඔබේ දරුවා මෙම තත්ත්වයේ පසුවේ නම් වහාම දරුවාට ප‍්‍රතිකාර අවශ්‍ය වේ. භෞතචිකිත්සාවේ මේ සඳහා ව්‍යායාම දෙකක් භාවිත වේ.

  • ඇල කරන දිශාවට විරුද්ධව හිස ඇල කරවීම
  • ඇල කරන දිශාවට නිකට ගෙන ඒම

එමෙන්ම දරුවා නිදියන අවස්ථාවලදී හිස වැඩි වේලාවක් අනතුරට පත් පේශිය ඇති පැත්තට හරවා තැබිය යුතුය. දරුවා මව්කිරි බොන අවස්ථාවලදී වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තට හැරවීමට දරුවාව යොමු කළ යුතුය.

විශේෂයෙන් දරුවා සමග සිටින විට සියලූ දෙනා දරුවාට කතා කිරීමට පැමිණෙන අවස්ථාවලදී දරුවා වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තෙන්ම පැමිණීමට වග බලාගත යුතුය.

මෙම ප‍්‍රතිකාර ලබාදීම පමා වුවහොත් දරුවාගේ පේශිය දිගින් අඩු වේ. එවිට ශල්‍යකර්මවලින් නිවැරදි කිරීමට සිදු වේ.

මේ සඳහා කළ යුතු ව්‍යායාම 2ක් පහත දැක්වේ.

පළමු ව්‍යායාමය,

දරුවා මේසයක් මත දිගා කරවන්න. දරුවාගේ හිස මේසයෙන් එළියට එන සේ තබා අල්ලා ගන්න. තවත් කෙනෙක් විසින් දරුවාගේ උරහිස් නොසෙල්වෙන පරිදි අල්ලාගත යුතු වේ. ඉන් පසු අදාළ ඇල වීම සිදු වී තිබෙන පසට විරුද්ධ දෙසට දරුවාගේ උරහිසේ කන ගෑවෙන පරිදි ළං කිරීම සිදු කරන්න.

දෙවන ව්‍යායාමය,

පළමු ව්‍යායාමයේ විස්තර කළ ඉහත 1, 2, 3, පියවර එලෙසම අදාළ වේ. ඉන්පසු දරුවාගේ නිකට දරුවා ගෙල ඇද කරන දිශාවට එහි උරහිස තෙක් ගෙන එන්න.

සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි නිවසේදීම මෙම ව්‍යායාම දෙවර්ගයම සිදුකළ හැකිය. එය දවසකට සිව්වරක් කිරීම යෝග්‍ය වන අතර එක් වරකදී ව්‍යායාමයක් විසිවරක් පමණ කළ යුතුය. මෙලෙස සති 3ක් සහ සති 6ක් අතර කාලයකදී මෙම ව්‍යායාම කිරීමෙන් දරුවාගේ මෙම තත්ත්වය සුව කළ හැක.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

සංගීතයට සවන් දෙන්න ඉඩ හරින්න

සංගීතය කියන දේ අපේ ජිවිත වලට හරිම වැදගත්. සංගීතය මගින් අපිට තිබෙන ප්‍රශ්න පවා අමතක කරන්න පුළුවනි. විශේෂයෙන්ම මවක් දරුවෙකු පිළිසිද ගත් විට එකී ගර්භනී අවධියේදී සිටම සංගීතයට ඇහුම්කම් දීම හරිම වැදගත්. සංගීතය දරුවට දැනෙන බවත් එමගින් දරුවාගේ බුද්ධිය වර්ධනය වන බවත් මනොවිද්වතුන්ගේ මතයයි. මිහිරි සංගීත වලට යොම වීම, සංගීත භාණ්ඩ වාදනය කල හැකි නම් වාදනය කිරීම මගින් දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වර්ධනය වනු ලබයි.

අපේ අධ්‍යාපනය ක්‍රමය තුලම සංගීතය, චිත්‍ර, නර්තනය ලෙස කල විෂයන් එක් කර තිබෙන්නේ එය එතරම්ම වැදගත් වන නිසාවෙනි. මානසික ආතතිය නැති කිරීමේ හැකියාවක් සංගීතයට තිබෙනවා. සංගීතය එතරම්ම ප්‍රබලය. මොලයේ අර්ධ ගෝලය සහ වම අර්ධ ගෝලය යන කොටස් එකට ක්‍රියාකාරී වීමට සංගීතය ඉවහල් වෙනවා. එමෙන්ම නර්තන හැකියාව සහ බුද්ධි වර්ධනය වීමටත් සංගීතය මගින් ලොකු පිටුවහලක් ලැබෙනවා. එමෙන්ම තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය වීමටත් සංගීතය බලපානවා. දරුවෙකුගේ ඉගෙනීමේ වර්ධන ක්‍රියාවලිය සංගීතය මගින් වඩාත් වේගවත්ව සිදු කරනවා. දරුවෙකුගේ පළමු අවුරුදු 03 සංගීතයට සවන් දීමට යොමු කිරීම තුලින් ඉගෙනීමේ හැකියාව වඩාත් වර්ධනය වන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ සදහා දරුවට උදව් කිරීමට ඔබට පුළුවනි.

ඇතැම් ගුවන් විදුලි නාලිකා වල උදය කාලයේ දරුවන්ට සුදුසු ගීත විකාශනය වෙනවා. එවැනි ගීත ඇහුම්කම් දීමට ඉඩ සැලැස්වීම වැදගත්. ළමා ගීත තුලින් දරුවන්ගේ අවට තිබෙන සුන්දරත්වය කියාපානවා. අහස, තරු, මල්, සත්තු ආදී ස්වභාවයේ සුන්දරත්වය පිලිබදව ඔවුන්ට අදහසක් ඇති වෙනවා. ඔබට සින්දු කියමින් දරුවාද එයට සහභාගී කර ගත හැකිය. සින්දු කියන විට එයට ගැලපෙන ආකාරයට අත්පොඩි ගසන්න, පද තලයට තබන්න දරුවාට ඉගැන්විය හැකිය.

” තැන තැන රවුමට ඉද ගෙන
ඉදහිට එබී කම් කර කර
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා …. “

ආදී ලෙස දරුවන් සහභාගී කර ගනිමින් මෙම ගීත ගායනා කල හැකිය.

සංගීත භාණ්ඩ වාදනය කිරීමට දරුවාට කියා දෙන්න- දරුවෙකුට අවුරුදු 3-10 අතර කාලය තුලදීම ඔවුන් කැමති සංගීත භාණ්ඩයක් තෝරා ගැනීමට ඉඩ සැලැස්විය හැකිය. දරුවාට තිබෙන හැකියාවන් ඔබට කුඩා කාලයේ සිටම ඔබට අවබෝධ කර ගත හැකිය. කලාවට දරුවෙකු ලං කිරීම තුලින් දරුවෙකුගේ මානසික හැකියාවන් වර්ධනය වනු ඇත.

දරුවන් සංගීත සංදර්ශන වලට රැගෙන යන්න

සංගීත පුටු වැනි තරග වලට සහභාගී කරවන්න

මේ ක්‍රියාදාමයන් මගින් දරුවන් සංගීතයට සමීප කල හැකිය. අද දරුවන්ගේ ප්‍රධාන ගැටළුවක් වන්නේ සංගීතයෙන් , නර්තනයෙන් දරුවන් ඈත් වීමයි. කලාවට එතරම් වටිනාකමක් දෙමාවුපියන් ලබා දෙන්නේ නැති තරම්. කොතරම් දරදඬු, ප්‍රචණ්ඩ පුද්ගලයෙකු වුවද සංගීතය මගින් හික්මවිය හැකිය. සංගීතයට එතරම් බලයක් තිබෙනවා.

අද දරුවන් ඉතාමත් කලහකාරීව හැසිරීමට සංගීතයෙන් නර්තනයෙන් ආදී කලාවන්ගෙන් ඈත් වීම බලපාලා තිබෙනවා. මේ සදහා වෙනම වෙලාවක් අවශ්‍ය නැත. දරුවා නින්දට යන විට ඔබට පුළුවනි දරුවාට ඇසෙන්න ගීතයක් කියන්න. ඔබ ගීත ගායනා කරන විට දරුවාටද සංගීතය පිලිබදව ඇල්මක් ඇති වෙනවා. දරුවන් යනු ඉක්මනින්ම අනුකරණය යොමු වන පිරිසකි. ඔබ සංගීතයට ලැදි වන විට ඔබේ දරුවාද ස්වාභාවයෙන්ම සංගීතයට සමීප වෙනවා.

දරුවන්ට ව්‍යායාම් කරන්න අවස්ථාව දෙන්න

ව්‍යායාම් කිරීම ලොකු කුඩා අපේ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකරය. දිනපතා ව්‍යායාම් කිරීම සිරුර නිරෝගී වීමට හේතු වනු ලැබේ. බුද්ධි වර්ධනය සහ මොලයේ ක්‍රියාකාරිත්වයට ඒ ආකාරයෙන්ම ව්‍යායාම් වලින් බලපෑම් ඇති කරනු ලබයි. ව්‍යායාම් නිතර සිදු කිරීම මගින් ප්‍රයෝජන රැසක් අත්පත් කර ගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දී ඇත.

  • රුධිර ධාවනය වැඩි කර මොලයට ඔක්සිජන් ගමන් කිරීම
  • කෙටි කාලීන මතකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම
  • ප්‍රති ක්‍රියාවන් ඉක්මනින්ම සිදු වන බවක් පෙන්වීම
  • ව්‍යායාම් වල යෙදෙන ළමයෙකු ව්‍යායාම් වල නොදෙන ළමයෙකුට වඩා ඉතා ඉහල නිර්මාණශීලිත්වයක් පෙන්වයි
  • ව්‍යායාම් නිසා මොලයේ රසායනික ක්‍රියාකාරකම් වල වෙනසක් වීම

අද දරුවන්ට තිබෙන ටියුෂන් පන්ති නිසාම ඔවුන්ට ව්‍යායාම් වල යෙදීමට කාලයක් නැති තරම්. පාසල් වල උදයේ කාලයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කලත් බොහෝ පාසල් වල ව්‍යායාම් වලට තැනක් ලබා දෙන්නේ නැත. කුඩා කාලයේ සිටම දරුවන්ට ව්‍යායාම් වල පවතින වැදගත් බව අවබෝධ කරලිය යුතුය. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ මතු දැක් වූ ආකාරයට ව්‍යායාම් බුද්ධි වර්ධනයට හේතු වන බවයි. මානසිකව සහ ශාරීරිකව ව්‍යායාම් මගින් වැසි රැසක් අත්පත් වේ.

  • සංගීත රිද්මයකට අනුව ව්‍යායාම් කිරීමට ඉඩ සලස්වන්න
    මෙහිදී නර්තනය ව්‍යායාම් වල ඉතාමත් ප්‍රබල ව්‍යයාම් මාධ්‍යයක් ලෙස හැදින්විය හැකිය. උදෑසන හෝ සවස් කාලයේදී දරුවන් සමග ඔබට ව්‍යායාම් කල හැකිය. එහිදී කනට මිහිරි සංගීත නාදයක් යොදා ගෙන නර්තන විලාශයකින් ව්‍යායාම් වල යෙදිය හැකිය. ව්‍යායාම් කිරීමට කම්මැලි දරුවෙකු වුව මෙමගින් ව්‍යායාම් වලට පෙලඹවීමක් සිදු කල යුතුය.
    එමෙන්ම දරුවාගේ අත පපුවට තබා Heartbeat එක ගණනය කරන්න යැයි කියන්න. ඉන්පසු විසිපස් වතාවක් පමණ උඩ පනින්න ලෙස දරුවාට උපදෙස් දෙන්න.
  • ව්‍යායාම් පටියක් යොදා ගන්න
    ව්‍යායාම් සිදු කිරීමේදී ව්‍යායාම් පටියක් යොදා ගත හැකිය. අඩි 03ක් පමණ දිග සෙන්ටිමීටර් 03ක් පමණ පළල ඉලාස්ටික් පටියක් සකස් කර ගත හැකිය. සංගීත රිද්මයකට අනුකුලව කෙලින් සිටගෙන දෙපසින් අල්ලා ගන්න. ඉන් පසු ඉහලට, ඉදිරියට, පිටුපසට ඉලාස්ටික් පටිය අදිමින් ව්‍යායාම් වල නිරත විය හැකිය. මේ ආකාරයට දරුවන්ට ව්‍යායාම් පටියක් සකසා ගෙන නිවසේදීම ව්‍යායාම් කල හැකිය. දරුවන් තිදෙනෙක් පමණ සිටින්නේ නම් කණ්ඩායම් ස්වරූපයෙන් ව්‍යායාම් වලට යොමු කල හැකිය. මේ සදහා විවිධ උපකරණ භාවිතා කල හැකිය.
  • බෝලයක් භාවිතා කරන්න
    කුඩා දරුවන් බෝල මගින් සෙල්ලම් කිරීමට ඉතා කැමතිය. සංගීත නාදයට අනුකුලව දරුවන් එකිනෙකා අතර බෝලය හුවමාරු කර ගත හැකිය. එසේ නොමැතිව තනියම මෙම ව්‍යායාම් වල නිරත වෙනවා නම් සංගීත නාදයට අනුව දරුවාට දැන් බෝලය වම අතේ අල්ලේ තබා ගන්න. පසුව උරහිසේ තබන්න යැයි විධාන කල හැකිය.

මොලයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කරන ලද පරීක්ෂණ අනුව මිනිස් සිරුරේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාවලිය සෑම මිනිත්තු 90කට වරක් ඉහල නගී. මෙසේ ඉහල නගින සෑම අවස්තාවකදීම මොලයේ හෝමෝන් ශ්‍රාවයන් දකුණු සහ වම් මස්තිෂ්ක අර්ධ ගෝල වල අඩපණ වීමකින් තොරව ක්‍රියාත්මක වේ. මොලයේ වම් කොටසින් ශරීරයේ දකුණත් මොලයේ දකුණු කොටසින් ශරීරයේ වම් කොටසත් පාලනය වේ.  එක් අතක් පමණක් ක්‍රියා කලොත් එක් අංගයක් පමණක් ක්‍රියාකාරී වේ. ඒ නිසා ප්‍රති විරුද්ධ ක්‍රියාවන් සිදු කිරීම ඉතාමත් වැදගත් වේ. මේ නිසා ව්‍යායාම් කිරීම ළමුන්ට ඉතාමත් වැදගත් වේ.

ඔබේ දරුවාට සරිලන අධ්‍යාපනය වටපිටාවක් ඔබේ නිවසේ තිබෙනවාද

වැඩිය වෙහෙස මහන්සියක් නොමැතිව, සල්ලි වියදම් නොකට ඔබේ දරුවාගේ දැනුම වර්ධනය සදහා අවශ්‍ය පසුබිමක් සැකසිය හැකිය. දරුවෙකුට මාස 09ක් හා 12ක් වැනි කාලය තුල ගවේෂණයේ යෙදීමට අවස්තාව නොලැබුනොත් දරුවාගේ බුද්ධි වර්ධනයට බාධාවක් වන බව විද්වතුන්ගේ අදහසයි. ළමයා ස්‌වභාවයෙන්ම ගවේෂණයට කැමතියි. ඉතා කුඩා කාලයේදීම වුව දරුවාට භාෂාව එතරම් හැසිරවීමට නොහැකි වුවද ඔහුට පරිසරයේ සිදු වන දේවල් පිලිබදව කුතුහලයක් පවතී. කුඩා අවධියේදී දරුවාගේ අධ්‍යාපනය සම්පුරයෙන්ම ගවේෂණය මත රැදී පවතී.

ළමයින් තමන් විසින් යම් යම් දේ සොයා ගන්නට කැමතිය. ඔබේ දරුවා පාසැල් අවසන් වී නිවසට එන විට ගොඩක් දුරට දරුවාගේ සාක්කු වල විවිධ දේවල් වලින් පිරි පවතී. ඔබ දරුවා වත්තට යැවුවොත් මල්, පිහාටු, කුඩා ගල් කැට ආදී දේවල් ගෙන එනු ඇත. දරුවා ස්වභාවයෙන්ම විවිධ දේවල් අතගානු ඇත. දරුවාට අනතුරක් නොවන ආකාරයට ඒ දේවල් වලට උදව් වන්න. ළමයෙකු ගස් නගන විට, හැංගිමුත්තං සෙල්ලම් කරන විට, සත්තු දිහා බලන විට ඔවුන් සියුම් ලෙස පරිසරය අධ්‍යනය කරයි. ළමයින් තමන් අතට හසුවන හිස් පෙට්ටි, සෙල්ලම් බඩු ගෙන ඒවායේ ඇතුලත මොනවාදැයි තිබෙන්නේ  ලෙස හොදින් පරික්ෂා කරයි. ඇතැම් විට කඩා බලයි.  දරුවාගේ මෙවැනි ක්‍රියාදාමයන්ට සුදුසු පරිසරයක් සකසා දෙන්න.

කුඩා කාලයේදී මෙවැනි ගවේෂණ වලින් දරුවා ලබන අත්දැකිම් පසු කාලීන දරුවාගේ ඉගෙනීමට බලපානු ලැබේ. පරිසර ගවේෂණය, ක්‍රීඩා කිරීම, ගමන් බිමන් යෑම්, කතාන්දර කීම, ගී ගැයීම, පින්තුර  පොත් සැකසීම ආදී දෑ සදහා දරුවාට සුදුසු පරිසරයක් සකස් කර දිය යුතුය.

මුදල් තිබු පමණින් දරුවෙකුගේ ඉගෙනීම වර්ධනය වන්නේ නැත. දරුවෙකුට සුදුසු අධ්‍යාපන වටපිටාවක් සකස් කර දිමාට දෙමාවුපියන්ට ඒ පිලිබදව අවබෝධයක් තිබිය යුතුය. ක්‍රමයෙන් වර්ධනය වන දරුවාට තනියම වැසිකිලියට යෑමට, කණ්ඩායම් සමග ආහාර ගැනීමට, කෑම මේසය පිරිසිදු කිරීමට, පොතපත පිළිවෙලට තැබීමට වැනි කටයුතු වලට සහභාගී කර ගත යුතුය.

පින්තුර ඇදීමට, පින්තුර ඇලවීමට අවස්තාව ලබා දිය යුතුය. මෙමගින් දරුවා තම අදහස ඉදිරිපත් කරයි. දරුවාට පරිසරයේ තිබෙන ගස් වර්ග, සතුන් වර්ග හදුනා ගන්න අවස්තාව ලබා දෙන්න. සත්තු නගන හඩ, සතුන්ගේ හැසිරීම් රටා, ගස් වල මල් පිපි තිබෙන ආකාරය ආදී දෑ දරුවා පරිසරය සමග ගනුදෙනු කිරිමෙන් හදුනා ගනී.

බෝල විසි කිරීමට, සරුංගල් යැවීමට, මැටි ඇනීමට, කතුරෙන් කැපීමට, කඩදාසි ගුලි කිරීමට හුරු කරන්න. අත් දෙකම භාවිතා කරමින් චිත්‍ර ඇදීමට පාට කිරීමට උනන්දු කරවන්න. පාට කිරීමේදී පින්සලක් නොව අතේ ඇගිලි භාවිතා කරමින් චිත්‍ර පාට කරවන්නට සලස්වන්න.  ජලය සමග ක්‍රීඩා කිරීමට අවස්තාව ලබා දෙන්න. ඇදුම් නැවීම, දුවිලි පිස දැමීම, පොල් මිරිකීම වැනි ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ගෙදර මිදුල අතු ගෑමට කුඩා ඉදලක් මෙන්ම, කොස්සක් සපයන්න. මෙවැනි දෙය කිරීමෙන් ළමයි සතුටක් ලබයි. වැඩය නිමා වූ පසු ළමයා අගයන්න. නිතරම දරුවා පරිසර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. දරුවා මෙවැනි දෑ සිදු කරන විට ඔබ දරුවා පිළබදව අධීක්ෂණයෙන් සිටින්න.

ඔබේ දරුවාට සෙල්ලම් කිරීමට නිදහස දෙන්න

“අලියන්ටයි ළමයිටයි දගලන්නටමයි ඕනෑ” කියලා කියමනක් තියෙනවා. ඇත්තටම දරුවන් හරිම ක්‍රියාශීලියි. පාසලේදීත් නිවසේදීත් හෝ කුමන තැනක වේවා දරුවන් එකතු වුනාම සෙල්ලම් කරනවා. එය දරුවන්ගේ ස්වභාවයයි. දරුවෙක් ක්‍රියාශීලිව කටයුතු කරන විට එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදු කරනවා. ඇතැම් දරුවන් තරමක් ක්‍රියාශීලි මද ගතියක් දක්වනවා. ඔවුන් හැමවෙලාවේම හුදෙකලා වෙන්නයි උත්සහා කරන්නේ. යාලුවන්ගේ ඇසුර ප්‍රිය කරන් නෑ. නමුත් දරුවන් කුඩා කල සිටම ක්‍රියාශීලි කටයුතු වලට යොමු කිරීම හරිම වැදගත්.

මනෝ විද්වතුන්ගේ අදහස වන්නේ පුද්ගලයා පරිනතියේදී දක්වන බුද්ධියෙන් 50%ක් අවුරුදු 04වන විටත්, තවත් 30%ක් වයස අවුරුදු 7-8 පිරෙන විටත් සම්පුර්ණ කරනු ලබන බවයි. එම නිසා මෙම වයස් සිමාව දරුවෙකු ගෙවන වැදගත් කාල පරිච්ඡේදයකි. මේ කාල පරාසයන් තුලදී විවිධ දේවල් ප්‍රශ්න කරන්න, භාෂාව හසුරුවන්න, හොදින් ඇහුම්කම් දෙන්න දරුවන් ස්‌වභාවයෙන්ම හුරු වෙනවා.

දරුවන්ගේ බුද්ධි වර්ධනයේ හොදම කාලය මේ නිසා ක්‍රීඩාවට විවිධ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීම ඉතාමත් වැදගත්. අද වෙනකොට දරුවන් කුඩා කාලයේ සිටම අමතර පන්ති විශාල සංඛ්‍යාවකට සහභාගී වෙනවා. ඒ නිසාම දරුවන්ට තවත් දරුවන් සමග සෙල්ලම් කරන්න තිබෙන කාලය, බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න තිබෙන කාලය මග හැරී යන්න පුළුවනි. ඒ වගේම මේ සදහා රුපවාහිනීයද බලපාලා තිබෙනවා. පාසැල අවසන් වී එන දරුවන් හවස් වරුවම ගත කරන්නේ රුපවාහිනීයේ කාටුන් බලමිනි. ඒ නිසා ඔවුන් අමතර ක්‍රියාකාරකම් වලට යොමු වන්නේ නෑ. මෙමගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය හීන වෙනවා. ඔවුන්ගේ දැනුම එකතැනකට පටු වෙනවා.

රූපවාහිනී කාටුන් මගින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩි වන්නේ නෑ. ළමයින්ට සුදුසු ළමා නිර්මාණ අද ලංකාවේ බිහි වන්නේ නැති තරම්. එම නිසා දරුවා හැකි තරම් රූපවාහිනීයෙන් ඈත් කර තබන්න. රූපවාහිනීයට දරුවා මිඩංගු කරන කාලය අමතර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න.

කුඩා දරුවන් සෙල්ලම් කිරීමට, ක්‍රීඩා කිරීමට ඉතාමත් කැමතියි. නමුත් දෙමාවුපියන් දරුවන්ගේ මේ ආශාවන් වලට ඉඩ දෙන්නේ නෑ. ඔවුන් පොත් වලට හිර කර තබනවා. ඔබේ දරුවා සෙල්ලම් කරනවානම් එය වලක්වන්න එපා. මන්ද සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීම මගින් දරුවන්ගේ බුද්ධි වර්ධනය වන බව අද වන විට පර්යේෂන මගින් සොයා ගෙන තිබෙනවා.

ක්‍රීඩාව සහ බුද්ධි වර්ධනය අතර ඇති සම්බන්ධතාවය ගැන කරන ලද පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ නව හැකියාවන් ඉස්මතු වීමත්, නව දැනුමක් ඇති වීමත්, මතක ශක්තිය වැඩි දියුණු වීමත්, පරිකල්පනය වැඩි දියුණු වීමටත් ක්‍රීඩාවන් සහ බාහිර ක්‍රියාකාරකම් උදවු වනු ලැබේ.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ යම් ක්‍රියාවක් දින 30කට වරක් කිරීමෙන් නැවත මතකයට ගැනීමේ හැකියාව 10%කින් වැඩි කරන බවයි. එසේම මෙය දින 30කට 06 වරක් කිරීමෙන් 90%ක් දක්වා වැඩි කර ගත හැකි බවයි.

මේ නිසා අපි දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කල යුතුය. අද දරුවන් රෝගී දරුවන් බවට පත් වීමටත් දරුවන් බාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වීම බලපාලා තිබෙනවා. කෘතීම ආහාර වලට පෙළඹී සිටින දරුවන් ඇග වෙහෙසන්නේ නැතිවිට ස්වාභාවයෙන්ම රෝග වලට ගොදුරු වෙනවා. දෙමාවුපියන් මෙයට වගකිය යුතුයි. ඒ නිසා ඔබේ දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. එය දරුවාගේ බුද්ධි වර්ධනයට හේතුවනු ලැබේ.