Home Blog Page 130

ළමා අපචාර වළක්වාගන්න නම්…

හැම දවසකම ළමා අපචාර සිද්ධවෙනවා.මේ සිදුවීම් විවිධ ආකාරයෙන් වාර්තා වෙනවා.දෙමව්පියන් විසින්,ගුරුවරුන් විසින්,ඥතියෙක්‌ විසින්,නාඳුනන්නෙක් විසින් මෙලෙස ළමයින්ට අපචාර සිදුවෙනවා.ළමා අපචාර බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ.නමුත් හොඳින් සොයා බැලුවොත් එවන් සිදුවීම් ගැන අපට යම් යම් ලකුණු ලැබෙන්න පුළුවන්.ඇතැම් ලකුණු බොහෝ සියුම් විය හැකියි.ඇතැම් ඒවා ඔබට සෘජුවම හඳුනාගත හැකියි.ළමා අපචාර වලක්වාගැනීම සම්බන්ධයෙන් අපට උදව් කළහැකි ආකාර කිහිපයක් parenting.lk අපි මෙහිදී කියන්න සුදානම්….

1. දරුවන්ට  කතාකරන්න

ජීවිතය තුල දරුවන්ට ආරක්ෂාවීමට අයිතියක් තිබෙනවා.අපචාරයකට ලක්වෙන්නේ නම් එය ඒ දරුවාගේ වරදක් නොවේ.මේ අයිතිය ගැන දරුවන් දැනුවත් කිරීම තුලින් යම් අපචාර තත්වයක් ඇතිවී ඇත්නම් ඒ පිලිබඳ දරුවා ඔබට පවසන්න පෙළඹෙනවා.

2. මේ පිලිබඳ වැඩසටහන් වලට සහයදෙන්න

යම් අපචාරයක් වීමට මත්තෙන් ඉන් වලක්වා ගැනීමට අදාල විවිධ සමාජ වැඩසටහන් දකින්න ලැබෙනවා.අපයෙදුම් සිදුවෙන්න පෙරම වලක්වා ගන්න මින් හැකිවන්නේ මේවයින් සමාජය යම් පුර්ව දැනුවත්භාවයක් ලබාගන්නා නිසයි.මන්ද බොහෝ විට අපචාරයක් සිදුවීමෙන් අනතුරුවයි අපට ඒ පිලිබඳ දැනගන්න ලැබෙන්නේ.මෙවැනි වැඩසටහන් වලට දායක වීමෙන් පෙර සිටම සිදුවීම් පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙන්නේ තමා ආරක්ෂා වන ආකාරය අප හරහා ළමුන් දැනුවත් වන නිසයි.

3.අපයෙදුම් සිදුවන ආකාර  පිලිබඳ අවබෝධය ඇතිකරගැනීම

ශාරීරිකව,බාහිරින් පමණක්ම නොවේ අභ්‍යන්තරව හෝ මානසිකව වුවත් දරුවෙකු අපයෝජනයට ලක්වෙන්න පුළුවන්.ජීවත්වීමට එපා කරවීම,මානසික පිඩනයට ලක් කිරීම,නිතර සෘනාත්මකව සිතීමට පෙළඹවීම වැනි අවස්ථා මෙහිදී දරුවාගේ හැසිරීම් රටාව හොඳින් අධ්‍යයනය කළහොත් ඔබට දකින්න  පුළුවන්.

4. අපයෙදුම් ගැන ලකුණු හඳුනාගැනීම

ඇතැම් ලක්ෂණ අපට භෞතිකව දකින්න පුළුවන් වුනත් ඇතැම් ලක්ෂණ එලෙස පෙනෙන්නේ නැහැ.සාමාන්‍යයෙන් මෙම තත්වයේ පසුවෙන දරුවන් කම්පනයකින් පසුවෙන අතර අන්‍යයන් දෙස සැකයෙන් බැලීම,නුසුදුසු ලිංගික හැසිරීම්,පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ අවධානය අඩුවීම, අන් අය කෙරෙහි වෛරයෙන් පසුවීම මෙලෙස දකින්න ලැබෙන ලක්ෂණ කිහිපයක්.ඔවුන් සාමාන්‍යයෙන් යහළුවන් ඇතිකරගන්න අකමැත්තක් දක්වනවා.තනියෙන් ඉන්න කැමැත්තක් දක්වනවා.මේවගේ පෙරමං ලකුණු කුමක් හෝ කරදරයක් ඔවුන්ට ඇතිවෙන බව පෙන්වන මාර්ගයක් බව ඔබ වටහාගන්න ඕනේ….

5. චර්යා වෙනස්වීම්

දරුවන් පමණට වඩා අධික ලෙස ආහාරගැනීම,ඉතාම අඩුවෙන් ආහාර ගැනීම,වැඩිපුර නිදාගැනීමට පෙළඹීම මෙවන් අවස්ථාවකදී අපට දකින්න පුළුවන් චර්යා වෙනස්වීම්.බොහෝවිට ඔවුන් ආක්‍රමණශීලි වෙනවා.නිතරම අනික් අය රුස්සන්නේ නැති බවක් ඔවුන්ගෙන් පෙන්නුම් කෙරෙනවා.

මෙවැනි අවස්ථාවකදී ඔබ කල යුත්තේ දරුවන්ට තරවටු කිරීම නොවේ.බොහෝ විට ඔබ කලයුත්තේ ඔවුන් හා සුහදව කතාබහ කිරීමයි.කතාබහ කිරීමෙන් බොහෝ ප්‍රශ්න විසඳාගෙන දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඉඩකඩ විවර වෙන බව ඔබ අමතක කරන්න එපා.

Article written by Sathya Wijewardena

දරුවා හොරකම් කරනවාද ?

එක්තරා මවක් ඇගේ පුතුගේ පංති බාර ගුරුතුමියට මේ විදිහට ලිපියක් එවා තිබුණා. ” මේ ලිපිය ලියන මම සේනුල පුතාගේ අම්මා…හැමදාම පුතා ගෙදර එන විට මොනවා හෝ පුංචි දෙයක් පංතියෙන් ‍හොරෙන් අරගෙන එනවා. ඔහු ගෙනෙන ලද දේවල් මම මේ සමග එවනවා. ගුරුතුමියට තෑග්ගක් විදිහට කියා මං මේ පාර්සලය පුතාට දුන්නා. මේ ගැන ඔබතුමියගේ අවධානය යොමු වෙනු ඇතැයි මං හිතනවා….ඇය ඒ විදිහට ලිපිය අවසාන කරල තිබුණා.

මේ තත්වය හරියට දෙකොන ඇවිලෙන විලක්කුවක් වගෙයි. දරැවාගේ ආත්ම ගරුත්වය එක් පැත්තකින්ද, වැරැද්දෙන් මුදවා ගැනීම තවත් පැත්තකින්ද විදිහට බොහොම සංකීර්ණ විදිහට මුහුණ දීමට සිද්ධ වෙන තත්වයක්.

එක්තරා පාසලක පළමු පංතියේ දරුවෙක් රුපියල්දහසක නෝට්ටුවක් රැගෙන ගොස් අයිස් පැකට්ටුවක් ඉල්ලා සිටියා. වෙලඳසැලේ අයිතිකරුට මෙහි කිසියම් අමුත්තක් දැනුනා.  ඔහු මේ බව පාසලට දැනුම් දුන්නා. පාසලෙන් දෙමව්පියන් කැඳවා මේ ගැන විභාග කරද්දි පෙනී ගියේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයෙන් නිතරම මුදල් අස්ථානගත වෙන අතර ඒ ගැන සේවකයන් සැක කළ බවයි. කොහොම වුනත් මුදලාලි මහත්මයාගේ දුර දකින නුවණ නිසා දරුවාගේ වැරැද්ද මග හරවා ගන්න පුලුවන් වුනා. මේ විදිහට දරුවන් අත ගැවසෙන මුදල් ගැන සැකයක් ඇති වුනොත් ඒ ගැන වපර ඇසෙන් බලනවා නම් හොඳයි.

දරුවන් මල් වගේ වුනත් මේ මල් අතරත් නරක අතට හැරුන මල් තිබෙන්න පුළුවන්.දරුවා හොරකම් නොකරන්නේය යන සහතිකයට වඩා ඔහු ගැන සුපරික්ෂාවෙන් සිටින්න. ඔබේ මුදල් පසුම්බියේ තිබෙන මුදල ගැන දරුවාට සඳහන් කරන්න. අම්මා , තාත්තා උපයන මුදල් ගැන වැටහීමක් ලබා දෙන්න. එවිට මුදලේ වටිනාකම ගැන ලබන වැටහීම සමග වැරැදි කටයුතු වලින් ඔහු මිදෙනු ඇත.

දරුවා ආශ්‍රය කරන කණ්ඩායම ගැනත් මව් පියන් දැණුවත්වීම වැදගත්. අද වෙලඳපොල ඉතාම විසිතුරුයි. මේ නිසා ඔවුන්ටත් යම් යම් ආසාවන් ඇති වෙන අතර ඒ සඳහා මුදල් සොයනු ඇත. මේ සඳහා බලපෑම් දෙන මිතුරන්ද සිටිති. දරුවාගේ ඇසුර තුලින් ගොඩ නැගෙන මෙම අහිතකර තත්වයන්ගෙන් දරුවා මුදවා ගැනීමට නම් ඔහු ඇසුරු කරන මිතුරන් පිළිබඳවත් වැටහීමක් ලබා ගත යුතුමයි.

ඇතැම් අවස්ථාවල දරුවන් මව්පියන් නොමග යවා මුදල් ලබා ගනු ඇත. මේ වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ පාසලේ අවශ්‍යතාවයක් හෝ සත්‍ය ලෙසින්ම වූ අවශ්‍යතාවය වෙනුවෙන් අදාල මුදලට වඩා වැඩි මුදලකි. එබැවින් නිතරම දරුවා ඉල්ලන දේ ලබා දීමෙන් පසුව ඒ ගැන පසු විපරම් කරන්න. ඔවුන්ගේ මිතුරන්ගේ මව්පියන්ගෙන් ඒ බව අසා දැනගත හැකිය. එසේ දැනගත් පසු දරුවාගෙන් ඒ ගැන විමසන්න. සමහර විට ඔහු මේ චෝදනාව ප්‍රතික්ෂෙපකරනු ඇත. එවන් අවස්ථාවලදී ඔබ අත ඇති තොරතුරු සමග ඔහු විසින් කරන ලද අකටයුත්ත පෙන්වා දෙන්න. එහෙත් කිසිම විටෙක වෙනත් අය සමග දරුවාගේ වැරුද්ද කියමින් චෝදනා නැගීම එතරම් ගැලපෙන දෙයක් නොවේ. දරුවාට මුදල් අවශ්‍ය නම් ඒ බව දෙමව්පියන්ට සැල කිරීමෙන් ලබා ගත හැකි බවත් එහි අවශ්‍ය හෝ අනවශ්‍ය බව අනුව මුදල පිලිබඳව තීන්දුවක් ගන්නා බව දරුවාට පවසන්න.

හොරකමට ලොකු කුඩා යැයි වෙනසක් නැත. හොරකම නම් හොරකමමය. මේ නිසා බාල කාලයේ පටන්ම හොරකම වෙතින් දරුවා මුදවා ගන්න. හොරකම පිලිබඳව ඇති ජනකතා , ජාතක කථා කියා දී දරුවාගේ චර්යාවන් ඒ අනුව හැඩ ගසන්න. තල හොරෙන් කෑ නිසා ගුරුතුමාගේ දඬුවමට වෛරය ගොඩ නගා ගත් කුමාරයා පසුව ගුරුවරයාට දඬුවම් කිරීමට සූදානම් වූ විට සොරකමෙන් කුමාරයා වලක්වා ගැනීමේ ආනිශංස ගැන කියා දුන් ආකාරය දරුවාටත් පහදා දෙන්න. විහිළුවට තම මිත්‍රයාගේ ඇඳුමක් සඟවා තැබීමේ විපාක ලෙසින් දිව්‍ය පුත්‍රයෙක්ව ඉපදුනක්  ඇඳුමක් නොලද බව පෙන්වා දෙන්න. මෙම කථාන්දර මගින් ඔහුගේ චරිත සංවර්ධනය ගොඩ නැගෙනු ඇත.අද බන්ධනාගාරගතව සිටින උදවියගේ අතීත කතාවන් ගැන පවසා සොරකම් කළ විට ඇති වෙන විපාක දරුවාගේ හදවතට ඉතා සෙමින් සේන්දු කරන්න. එවිට එහි නපුරු විපාක ඔවුන් විසින්ම තේරුම් ගනු ඇත.

ඇතැම් දරුවන් යම් යම් දේ සොරකම් කළ විට මව්පියන් ඔවුන්ට දඬුවම් කිරීමෙන් නවතින්නේ නැත. ඔවුන් සමග ගොස් අදාල තැනැත්තාටත් දරුවා සොරෙකු බව පෙන්වා දෙනු ඇත. මෙය ඇත්තෙන්ම දරුවාගේ ආත්ම ගරුත්වයට හානියකි. සොරකමේ සුල මුල ඔබ සොයා ගැනීමෙන් පසුව ඒ ගැන දරුවාට අවබෝධ කර දෙන්න. අයිතිකරුවන්ට ඒ දේවල් ලබා දීම කිසිම වරදක් නැත ඒත් දරුවාගේ ආත්ම ගරුත්වය ගැනත් විශේෂ අවධානයක් දැක්විය යුතුමය. ඔබ වීරයෙකු සේ දරුවාගේ සොරකම් අල්ලා ගත් බවට උදම් ඇනිය යුතු නැත. දරුවාගේ සොරකම් වෙනුවෙන් අනුබල දීමද නොකළ යුතුම අතර මෙම දෙපැත්ත ඉතා සීරුවට ගලපා ගැනීමට තරම් නැණවත් විය යුතුය. පුංචි පුංචි සොරකම් දරුවා සමග වර්ධනය වෙන නිසා නියපොත්තෙන් පුළුවන් දේ පොරොවෙන් කපන තරන දක්වා වර්ධනය කර ගත යුතු නැත.

පිරිමි දරුවන්ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත සුලබ රෝගාබාධ

ගැහැණු දරුවන්ගේ මෙන්ම පිරිමි දරුවන්ගේ ද ලිංගේන්ද්‍රිය ආශ්‍රිත බොහෝමයක් අසාමාන්‍යතා මෙන්ම රෝග තත්ත්වයන් තිබෙන අතරම ඇතැම් අසාමාන්‍යතා මව්වරුන්ගේ නොදැනුවත්කම නිසාම හඳුනා ගැනීමට නොහැකි වනු ඇත.

පිරිමි දරුවන්ගේ ලිංගේන්ද්‍රිය ප්‍රධානව කොටස් හතරකි. එනම් රුධිරය පිරීමෙන් ප්‍රාණවත් වන කොටස් තුනක් සහ පෙරහම යන කොටසයි. මෙහි මැද පවතින දණ්ඩ වැනි කොටස (Copora Sopngiosun) මැදින් මුත්‍රා වාහිනිය පිහිටන අතර එය ගෝලාකාර කොටසකින් (Glans) අවසන් වේ.

පෙරහම


පෙරහමෙන් ඒ සියල්ල වැසී පවතී. මෞත්‍ර ලිංග පද්ධතියේ ඇති සිහින්ම ස්ථානය වන ශිෂ්ණයේ ඇති මුත්‍ර මාර්ග විවරය දරුවාට වයස අවුරුදු 5 පමණ වන තෙක් ආරක්‍ෂාවන්නේ පෙරහමෙනි. දරුවා වැඩෙත්ම එනම් වයස අවුරුදු තුන හතර පමණ වන විට පෙරහම ඇලී තිබෙන ස්ථානවලින් ගැලවී විවරය පළල් වී සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ මෙන් සම්පූර්ණයෙන්ම පිටුපසට කළ හැකි පරිදි සැකසේ. තත්ත්වයට පත් වේ. නමුත් ළමයින් හය දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ක්‍රියාවලිය සාමාන්‍ය ලෙස සිදු නොවීම නිසා 6%කගේ පමණ පෙරහම ඉවත් කිරීමට සිදු වේ.

පෙරහම ඉවත් කළ යුත්තේ :

  • මුත්‍ර මාර්ගය නිතර නිතර පැසවන දරුවන්ගේ – පෙරහම පිටුපසට නොයන දරුවන්ගේ පෙරහමේ ඇතුළු පැත්තේ එකතුවන අපද්‍රව්‍යවලින් ඇති වන සුදු හෝ කහ පැහැති කුඩු වර්ගයක් (Smegma) පෙරහම තුළ දැකිය හැකිය. එමගින් විෂබීජවලින් යුක්තව නිතර නිතර පෙරහම පැසවීමට (Balanits) ලක්වන අතර ඉතා දුඟදක් ඇති කරයි. වයස අවුරුද්දකට අඩු ළමයින්ගේ වකුගඩු ආසාදන තත්ත්වයන්ට 90% ක්ම බලපාන්නේ පෙරහම තුළ විෂබීජ පැවතීම බවත් එය භයානක තත්ත්වයක් බවත් නවතම පර්යේෂණ වාර්තාවල දැක්වේ. අන්න ඒ නිසාම නිතර නිතර මුත්‍ර මාර්ගය පැසවන දරුවන්ගේ පෙරහම ඉවත් කිරීම වඩාත් සුදුසුය.
  • දවරකට වැඩි වාරගණනක් පෙරහම තුළ සැරව තත්ත්වයක් ඇති වූ දරුවන්ගේ – මේ තත්ත්වයේදී සැරව/ලේ ගැලීම, පෙරහම හා ශිෂ්ණය ඉදිමීම, මුත්‍රා පහ කිරීමේදී අධික වේදනාවක් ඇතිවීම යන ලක්‍ෂණ දැකගත හැකිය.
  • වකුගඩුවල සංකූලතා තිබෙන දරුවන්ගේ – විෂබීජවලින් ආරක්‍ෂා වීම සඳහා පෙරහම ඉවත් කිරීම වඩා වැදගත් වේ.

ශිෂ්ණය


ශිෂ්ණය සෑදීමේදීි ඇති විය හැකි අසාමාන්‍යතා අතර ශිෂ්ණයේ මුත්‍ර විවරය නිසි තැන නොපිහිටා පහළින් පිහිටීමේ (Hyposapdias) සංකීර්ණ රෝග තත්ත්වය දැක්වය හැකිය. කුඩා ශිෂ්ණය (Small Penis), වක වූ ශිෂ්ණය (Chorde Penis), දෙබිඩි වෘෂණ කෝෂ (Bifid Scrotum) සහ මෞත්‍ර ලිංගික දුර්වලතා යනාදී ආබාධ ද සමග මේ තත්ත්වය ඇති විය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා සංකීරීණ වූ ශල්‍යකර්ම කිහිපයක්ම සිදුකළ යුතු වේ.

වැඩිවිය පැමිණෙන තෙක් පිරිමි දරුවන්ගේ ශිෂ්ණය ආශ්‍රිතව වැඩිපුර තෙල් තට්ටුවක් (Pre Pubertal Fat pad) පිහිටා ඇති අතරම ශිෂ්ණයේ බොහෝ ප්‍රමාණයක් එම තෙල් තට්ටුව තුළ ගිලී පවතී. මේ නිසා පිටතට පෙනෙන කොටස කුඩා විය හැකිය. එය දෙමාපියන්ව කනස්සල්ලට පත්කරවයි. තරබාරු බවද මේ තත්ත්වයට බලපාන තවත් හේතුවකි. ඒ නිසාම මේ තත්ත්වය එන්න එන්නම වැඩිවෙමින් පවතී. මේ තත්ත්වයේදී ඉතා වැදගත් වන්නේ සැබෑ තත්ත්වය මව්වරුන්ට අවබෝධ කර දීම සහ තරබාරු බව පාලනය කිරීමට උපදෙස් ලබාදීමයි.

වෘෂණ කෝෂ


පිරිමි දරුවන්ගේ වෘෂණ පිහිටා ඇත්තේ වෘෂණ කෝෂ තුළයි. කලල අවධියේදී වකුගඩු ආශ්‍රිතව උදරයේ ඉහළ කොටසේ කුස තුළ වෘෂණ සෑදීම ඇරඹෙන අතරම වර්ධනය සම්පූර්ණ වත්ම වෘෂණ, වෘෂණ කෝෂ කරා පැමිණේ. එය කුස තුළ ඇති සිදුරක් (Deep Ingualring) හරහා සිදුවේ. මෙසේ වෘෂණ, වෘෂණ කෝෂ වෙත පැමිණීමෙන් පසු එය පැමිණි සිදුර (Inguinal  Canal) සම්පූර්ණයෙන්ම වැසී යා යුතු වුවද 3% ක් පමණ දරුවන් කොටසකගේ එය සාමාන්‍ය පරිදි සුදු නොවේ. එනම් වැසී යාම අතරමග නවතී. (මෙම සිදුර ළදැරියන්ගේ ද ඇති අතර ඔවුන්ටත් 3% ක් නොවැසි පැවතිය හැකිය.)

එම සිදුර හරහා බඩවැල් පිටතට පැමිණිය (Hernia) හැකිය. බඩවැල් පිටතට පැමිණෙන හර්නියා තත්තවය නිසා බඩවැල් විනාෂ විය හැකි බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. මේ තත්ත්වයේදී ඇති වන තවත් තත්ත්වයක් වන්නේ සිදුර කුඩා නම් දියර ගලාවිත් වෘෂණ කෝෂ වටේ තිබීම (Hydrocele/ Cystofthecord) වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය. මේ තත්ත්වය වසර දෙකකට වඩා පැවතීම නුසුදුසු වන්නේ පිරිමි දරුවන්ට වෘෂණ පරිණත භාවයට පැමිණීම වයස අවුරුදු දෙකේදී පමණ ඇරඹෙන නිසාය. ඒ සඳහා සැත්කමක් සිදුකිරීම අවශ්‍ය වේ.

එසේම කලලයේ වර්ධනයත් සමග වෘෂණ පිටතට පැමිණීම වැළකුණහොත් වෘෂණ කෝෂ හිස්ව පවතින අතර (Undescended Testis) වෘෂණ පහළට බහින මාර්ගයේ ඕනෑම ස්ථානයක පිහිටිය හැකි අතරම නිසි ලෙස පහළට නොබැසීම හේතුවෙන් අසාමාන්‍ය උෂ්ණත්වයන්ට ගොදුරු වී වෘෂණවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වන අතරම සහ වයස 25/30 පමණ වන විට පිළිකාවා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ද ඇත. එම වෘෂණ නිසි කලට (මාස 6 ත් මාස 10 ත් අතර) වෘෂණ කෝෂයට ගෙන ඒමේ ශල්‍යකර්මය කළ යුතු වන්නේ එබැවිනි. වෘෂණ, වෘෂණ කෝෂවල පිහිටිය ද ඒවා ඉහළට ඇදී තිබීම (Retractile Testis) සාමාන්‍ය තත්ත්වයක් වන අතරම අසාමාන්‍ය වේදනාවක් හෝ වෘෂණ කෝෂය අසාමාන්‍ය ලෙස ඉදිමීමක් දැකිය හැකි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවන්නේ වෘෂණයේ රුධිර සැපයුම සම්පූර්ණයෙන්ම නැති වී පැය හතරක් වැනි කෙටි කාලයක් තුළදී වෘෂණ කෝෂ විනාශ වී (Testicular Torsion) යන භයානක අවස්ථාව විය හැකි බැවිනි.

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඵස්. කස්තුරි මහතා සමග සකස් කරන ලද ලිපියකි.

දරුවන් වෙත මව්පියන්ගේ පාට කණ්නාඩි

හා…හා ඔය බිත්තරය මල්ලිට තියන්න….දෝනි බිත්තරයට අත තියන විටම අම්මා කෑ ගැහුවේ මහ විනාශයකට ඇය මුල පිරුවා වගෙයි…

ඇයි …? මං කෑවොත් අජීර්ණ වෙයිද…? දෝනි ඇහුවා

මල්ලි සෙල්ලම් කරනවා… ඇඟට හයි හත්තිය එපායැ……අම්මාගේ උත්තරය වුණා.

එතකොට මට ඇඟට හයිය එපා….දෝනි කිව්වා.

එකටෙක කියාගෙන එන්න එපා…අම්මා කිව්වත් දෝනි බත් පිඟාන පැත්තක තියලා ගියෙ කුටු කුටු ගගා කියවන අතරෙමයි.

ඇත්තටම මව්පියන් අතර දරුවන් වෙනුවෙන් එක එක පාට කණ්නාඩි අවශ්‍ය නැහැ. බොහොම මව්පියන් දරුවන් වෙනුවෙන් විවිධ මානයන් ගොඩ නගා ගන්නවා. පවුලේ බාලයා…ඉස් ඉස්සරින්ම දරු හුරතල් දැක්ක එකා… මේ විදිහට විවිධ වටිනාකම් ලබා දුන්නාම ඇත්තටම මොකද වෙන්නේ…

අම්මලාට මං වටින්නේ නැද්ද ….

බොහොම දරුවන් අතර මේ වගේ සිතුවිලි පහල වීම අමුත්තක් නොවෙයි. ස‍හෝදර ප්‍රේමය ගැන සාධාරණ සිතුවිලි දරුවන් අතර නැහැ. පුංචි වුනත් හිත්වල ආත්මාර්ථකාමී සිතුවිලි බොහොම හොඳින් පැලපදියම් වෙනවා. මේ පවුලේ දරුවන් දෙදෙනෙක් හිටියා. ලොකු දුවට අවුරුදු පහකට පමණ බාල මල්ලි වෙනුවෙන් අම්මා උනන්දු වෙනවාට ඇය කැමැත්තක් දැක්වුයේ නැහැ. දවසක් මල්ලිගේ නලලේ පොට්ටුවක් තියලා අම්මා ලොකු දියණියට මෙහෙම කිව්වා

බලන්න මල්ලි පොට්ටුව හොඳට තියාගෙන ඉන්නවා…ඔයාට එහෙම බැහැ…

ටික වේලාවක් ගියාම දියනිය අම්මා වෙතට ආවා…අන්න ඔයාගේ පුතා පොට්ටුව මකාගෙන.

අම්මා ගිහින් බලද්දි පුංචි දරුවගේ නලලේ පරාසයක් සීරිලා ලේ ගලනවා. අම්මා ඉදිරියේ මල්ලි නරකයි කියන්න දියණියට උවමනා වුන හින්දා ඇය පොට්ටුව හුරා දමලා…ඇත්තටම මෙතැන වැරැද්ද තියෙන්නේ ම්විපියන් අත බව අමතක නොකරන්න. එක් දරුවෙක් ඉස්මතු කරද්දි අනිත් දරුවන් අතර මේ විදිහට හිතෙනවා. අම්මාට … තාත්තාට… වටින්නේ මල්ලි එහෙම නැත්නම් අයියා….හෝ අක්කා …නංගි විතරයි. මාව ඇත්තටම වටින්නේ නැද්ද….

ඉතිං මාව ලෝකයට වටින්නේ කොහමද …..?


පවුල තුල දරුවාට වටිනාකමක් තිබෙන විට තමා මුල් කර ගෙන විශාල අභිමානයක් ඔවුන්ගේ හිතේ ඇති වෙනවා.මමමත් වටිනා චරිතයක් බව දරුවා හිතනවා. එම සිතුවිල්ල නිසාම දරුවාගේ හිතේ ඇති වෙන ධනාත්මක සිතුවිලි නිසා ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ඔවුන් තුල ඉබේටම ගොඩ නැගෙනවා. මේ නිසා දරුවාගේ ආත්මාභිමානය වෙනුවෙන් බාල කාලයේ පටන්ම ඔහු පිලිබඳව ලබා දෙන පිලිගැනීම ඉතා වටිනා මෙහෙයක් ඉෂ්ට කරනවා.

දරුවන් අතර විරසක බවක් ඇති වීම


පවුලක දරුවන් වෙනුවෙන් විවිධ වටිනාකම් මව්පියන් විසින් ගොඩ නගන විට ඔවුන් අතර නොහොඳ සිත් ගොඩ නැගෙනවා. අම්මාගේ පුතා…තාත්තාගේ දුව….යන පංගු කිරීම නිසා පුතා සහ දුව අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. මෙම සිතුවිල්ලෙන්ම දිගින් දිගට කටයුතු කරන නිසා දරුවන් අතරත් එතරම් සුහදතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ තත්වයට දරුවා පත් කරන්නේ මව්පියන් විසින්ම බව අමතක කළ යුතු නැහැ.

 සමාජය විසින් දරුවන්ට ලබා දී තිබෙන වටිනාකම් ඇගැයීම


පෙරදිග සමාජය තුල කට ඇති පුතාට වගේම රුව ඇති දුවට වටිනාකම් ලබා දුන්නා. ඒ වගේම පුත්තු ඇත්තු වගේය යන සංකල්පය තදින්ම පවතිනවා.

“සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා….
සිරි මහ බෝ සාමිනෙ මං පිරිමි පුතෙක් පැතුවා…”

ආදි ලෙසින් සාහිත්‍ය තුල පවා පුතුන් වෙනුවෙන් පවතින වටිනාකම ඉහලයි. එහෙත් දුවක වුව, පුතෙකු වුව ඔවුන් මව්පියන්ට දරුවන්ම බව අමතක නොකල යුතුය. පිරිමි දරුවා මෙන්ම ගැහැණු දරුවා නිවසට ආලෝකයකි.

ගැහැණු දරුවාට පෝෂණය මොකටද …


ඇත්තටම මතු පරම්පරාව වෙනුවෙන් දරුවන් බිහි කරන යන්ත්‍රය ගැහැණු දරුවාය. නව යොවුන් කාලයේදි ඇයට අවශ්‍ය පෝෂණය නොලද විට බිහිවෙන දරුවන්ද දුර්වලයන් වන්නේය. මේ නිසා ගැහැණු දරුවාට අවශ්‍ය පෝෂණය ලබා දිම ගැන මව්පියන්ගේ අවධානය ඇත්තෙන්ම යොමු විය යුතුය.එය නොසකලකා සිටිය යුතු නැත. පිරිමි දරුවන්ට මව්කිරි දී අවසානයක් නැතැයි මව්පියන් කියන්නේ ඉතා සෙනෙහස් සිතින්ය. මේ සාධාරණත්වය ගැහැණු දරුවාටද ලබා දිය යුතුය.

නව යොවුන් වියේදි අවශ්‍ය යකඩ පෝෂණය ගැන වඩාත් අවධානය දැක්විය යුතුය.අතීතයේ පටන්ම සිංහල සංස්කෘතියේ ආහාර වෙනුවෙන් සුවිශේෂී වූයේ පවුලේ පිරිමින්ය. මුදුන් බත පමණක් නොව එලවළු , ව්‍යංජන පවා පිරිමි දරුවාට ලබා දුන්නා මිසක ගැහැණු දරුවන් වෙනුවෙන් එතරම් පිලිගැනීමක් තිබුනේ නැත. මේ තත්වය නිසාම පෙරදිග රටවල ගැහැණු දරුවන් නිරක්තය තත්වයට පත් වීමේ අවදානම ඉතා වේගයෙන් ඉහළ නගින්නට විය. එහෙත් මව්පියන් නිතරම තල්පනා කරනු ලැබුවේ ගැහැණු දරුවන් වෙනුවෙන් එතරම් පෝෂණයක් අවශ්‍ය නොවන බවයි.නමුත් දරුවා නම් ලිංග භේදයක් අවශ්‍ය නැත ඔවුන් දරුවන්මය. සෙනෙහස තුල වෙනස් කම් අවශ්‍ය නැත.

අපිටත් දවසක් එන්නේ නැතෑ


අද බොහෝ පවුල්වල වියපත් මව්පියන්ට සැලකීමේදී නැගෙන චෝදනාව වන්නේ අම්මා තාත්තා පුංචි කාලයේ පටන්ම වැඩි සැලකිලි අක්කාට එහෙම නැත්නම් අයියාට…බැරි ගැහෙද්දි අපි…මෙවන් තර්ක විතර්ක තුල වියපත් මව් පියන්ට නොසලකන තැනට හේතු පාඨ ගොඩ නගා ගනිති. ඇත්තටම මෙහිදි ඔවුන් වෙනුවෙන් නිමිති සපයා ඇත්තේ ඔබ නොවේද….? ඔබ එකම හැන්දෙන් දරුවන් සියළු දෙනාටම සංග්‍රහ කලේ නම් අද මෙවන් චෝදනාවන් ඔබ මුල් කර ගෙන ගොඩ නැගෙන්නේ නැත.

අද ඔක්තොම්බර් 15. ලෝක දෑත් සේදීමේ දිනය අදයි

දෑත්, ආදරය, ගෞරවය, සුබ පැතීම් මෙන්ම පිළිගැනීම් හමුවේ ඉටුකරන්නේ කෙතරම් වූ විශාල කාර්යයක්ද? එකට එක් කොට කෙනෙකු දීගායු පතන අපගේ දෙඅත් තවෙකෙකුට රෝග බොහොමයක් රැගෙන යාමටත් දායක වන බව ඔබ දන්නවාද? දෙඅත්වල පිරිසිදු බව වැදගත් වන්නේ ඒ නිසාමය. මන්ද දෙඅත් යනු පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුහට රෝග පතුරවන ප්‍රධානතම විෂබීජ ප්‍රවාහකයා නිසයි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ආහාර මාර්ග පද්ධතිය හා සම්බන්ධව හටගන්නා රෝග බෝ වීම වන්නේ අප ලබාගන්නා ආහාර වර්ග සහ ජලය හේතු කොටගෙන බවයි. නමුත් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග පමණක් නොව ඉන්ෆ්ලූවෙන්සා වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගද ඇස් රෝගද තවත් අන් අයට පැතිරෙන්නට අපිරිසිදු දෙඅත්ද හේතු වේ.
අපි දෑතින් නොයෙක් නොයක් ස්ථාන මෙන්ම පෘෂ්ටයන් ස්පරශ කරයි. ඒ ස්පර්ශයන් මගින් බොහොමයක් රෝග එකිනෙකා වෙත රැගෙන යන්නේ දෙඅත් මගිනි. බැක්ටීරියා, වෛරස මෙන්න දිලීර මගින් ඇතිවෙන රෝග පැතිරයන්නට මූලික හේතු සාධකය වන්නේ එයයි. දෑත් සේදීම පිළිබ`දව ජනතාව දැනුවත් කිරීම සහ උනන්දුව ඇති කිරීම තුළින් ලෝක දෑත් සේදීමේ දිනයේදී හෝ මේ පිළිබ`ද විශේෂිත අවධානයක් යොමු කළ යුතුය.
අපේ දෑත්,
කෑමට පෙර
වැසිකිලි යාමෙන් පසු
ගමනක් අවසානයේදී
දරුවන් සෙල්ලම් කිරීමෙන් පසු
පාසැල ඇරී නිවසට පැමිණි පසු
සබන් හෝ වෙනත් විෂබීජ නසන පිරිසිදුකාරකයක් යොදාගනිමින් දෑත් පිරිසිදු කිරීම අනිවාර්ය වේ.
ඔබ මෙන්ම ඔබේ දරුවන්ද පහත කරුණු පිළිබ`දව දැනුවත් වීම වඩා වැදගත් වේ.
කිවිසුමක් යන විටදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිත කරන්න. ඒ දෙකම ඔබ ළ`ග නැතිනම් මුව වසා ගැනීමට අත්ල නොව වැලමිට භාවිත කරන්නත
කිවිසුමේදී විසිරෙන අංශු හරහා තමාට ඇති රෝගී තත්ත්ව අනෙකෙකුට බෝවිය හැකි නිසාම අත්ලෙන් මුව වසා ගැනීම නුසුදුසුය. මන්ද ඔබ අත්ල මගින් යම් යම් පෘෂ්ඨයන් ස්පර්ෂ කරන විට විෂබීජ පැතිරීම සිදුවෙන නමුත් වැලමිටෙන් මුව වසා ගත් විට එවැනි තත්ත්වයක් ඇති නොවේ. මන්ද වැලමිට මගින් කිසිදු පෘෂ්ඨයක් ස්පර්ශ වීම සිදු නොවේ. තම තමන් මෙසේ ආරක‍ෂිත ක්‍රම යෝදා ගැනීම නිසා රෝග ව්‍යාප්ත වීම අවම කරගත හැකි වේ.
ගමනේ බිමනේ අතර මගදී යමක් අනුභව කරන්නේ නම් විෂබීජ නාශක ද්‍රව්‍යයක් යොදා දෑත් පිරිසිදු කරගන්න
ක්‍රීඩා කිරීමට යන දරුවන්ට ක්‍රීඩාගාරවල, උද්‍යානවල සෙල්ලම් කරන අතරතුරේ දෑස් අතගෑම, දෑත් නොසෝදා ආහාර ගැනීමෙන් වළකින ලෙස උපදෙස් දෙන්න. බෝ වන ලෙඩ රෝග පිළිබ`දව දරුවන් දැනුවත් කළ යුතුයි.
දරුවන් සමග පිටතට යන අවස්ථාවලදී මෙසේ සුපරික‍ෂාකාරී වීම තුළින් බෝ වෙන රෝග තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට ඔබට හැකි වනු ඇත. ඒ සඳහා ඔබට වෙළඳ පොළේ ඇති ජලය නොමැතිව භාවිත කළ හැකි තත්ත්වයෙන් උසස් විශ්වසනීයවෙළඳ නාමයක් යටතේ නිපදවෙන චර්ම විද්‍යානුකූලව අනුමත කරන ලද විෂබීජ නසන තත්ත්වයෙන් උසස් දෑත් සේදීමේ ද්‍රාවණ වර්ගයක් මිලදී ගෙන අත්බෑගයේ රඳවා  තබා ගත හැකිය. කෙසේ වුවද සෙම් සොටු වැනි ද්‍රව්‍යයක් තැවරුණහොත් ජලය යොදා සේදීමට වගබලාගන්න.
නිවැරදි ක්‍රමයට දෑත් පිරිසිදු කිරීමට පුරුදු වීම ලෙඩ රෝග බෝවීම අවම කිරීමට වැදගත් වන අනෙක් කාරණයයි. මහපට ඇගිල්ල, නියපොතු වටේ, ඇගිලි කරු අතර මෙන්ම අත්ල වැනි සෑම ස්ථානයක්ම නියමාකාරයෙන් පිරිසිදුකර ගත යුතුය. අත් සේදීම පිළිබඳව මව්වරුන්ගේ වැඩි අවධානයක් යොමු විය යුතු වන්නේ පාචනය, අතීසාරය, ඇස් රෝග මෙන්ම ස්වසන රෝග තත්ත්වයන්ගෙන් ඔබේ දරුවා මෙන්ම අනෙක් දරුවන්ද පීඩාවට පත්වීම වළක්වා ගත යුතු බැවිනි.

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලනවාද

කණිෂ්කගේ වයස අවූරුදු 07යි. තාත්තා වැඩට යන්න කලින් එයා හැමදාම තාත්තාගෙන් මොනවා හරි ඉල්ලනවා. ” තාත්තේ මට අලුත් පාට පෙට්ටියක් ඕනි” තාත්තාට හොදටම කේන්ති ගිහින් ” ඒ මොකටද ගිය සතියෙනි මම ඔයාට අලුත්ම පාට පෙට්ටියක් ගෙනත් දුන්නේ. එක හොදටම ඇති. දැන් ඉන්න ළමයි පුදුම විදියට නාස්ති කරන්නේ. ඒ කාලේ අපි කොච්චර අමාරුවෙන්ද පාට පෙට්ටියක් උනත් ගත්තේ”.

මෙවෙනි කතා නිවෙස් වල නිතර සිදු වෙනවා. සාමානයෙන් දරුවන් දකින දකින දෙය ඉල්ලනවා. ඔවුන්ගේ ඉල්ලීම් නවතින්නේ නෑ. බොහෝ වේලාවන් වලට දෙමාවුපියන්  තමන්ට මුදල් තිබෙන වේලාවන් වලට දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා. නමුත් නිතර නිතර දරුවා දකින දකින දේ ඉල්ලනවා.  එසේ සිදු කරන විට දෙමාවුපියන්ට කේන්ති යනවා. දරුවන්ට අවශ්‍ය දේවල් ඒවා නොලැබෙන විට ඔවුන්ට දුකක් ඇති වෙනවා. ඇතැම් විට දරුවා ඉල්ලන දේ ලබා දීම දිගටම ප්‍රතික්ෂේප කළහොත් එය දරුවාට අමතක වී යා හැකිය.

බොහෝ දෙමවුපියන් දරුවන්ගේ මේ ඉල්ලීම ඉදිරියේ කෝප ගැන්වෙනවා. දරුවන් දකින දකින දේ ඉල්ලීම් නරක ගති ගුණයක් ලෙසයි දෙමවුපියෝ දකින්නේ. නමුත් දරුවන් බොහෝ දේ ඉල්ලන්නේ තමන්ට අවශ්‍ය යැයි හැගෙන නිසාවෙනි. මෙහිදී මව හෝ පියා දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේදී දරුවාට අවශ්‍ය සහ අනවශ්‍ය දේ මොනාද යන්න අවබෝධ කර ගැනීමේ ගැටළුවක් පැන නැගෙනවා.

නමුත් දරුවා ඉල්ලන ඉල්ලන දේ ලබා දීමෙන් ඔහු තව තවත් දේ ඉල්ලන්න පෙළඹෙනවා. දරුවා යම් දෙයක් ඔබෙන් ඉල්ලන විට දරුවාට එය අවශ්‍යද නැද්ද යන්න ඔබට දරුවාට වඩා හොද අවබෝධයක් තියෙනවා. දරුවාට අනවශ්‍ය යැයි හැගෙන දේ ඉල්ලන විට ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කරන්න. එවිට සමහරවිට දරුවාට එය අනවශ්‍ය දෙයක් බව වැටහෙන්න පුළුවනි. දරුවාට එය අනවශ්‍ය දෙයක් බව තේරුම් නොගියොත් ඔබ සමග ගැටුම් ඇති කර ගන්න පුළුවනි.

ඔබ දරුවා ඉල්ලන දේ ප්‍රතික්ෂේප කරන විට එය කේන්තියෙන් සිදු කරන්න එපා. ඔහු ඉල්ලන සියල්ල ඔබට ලබා දිය නොහැකි බව දරුවාට වටහා දෙන්න. මෙහිදී කෙටියෙන් සරලව පැහැදිලි කර දෙන්න. ” මට අද සෙල්ලම කරන්න යන්න ඕනි” බව දරුවා පවසනවා යැයි සිතන්න. නමුත් ඒ අවස්ථාවේදී දරුවාට සෙල්ලම් කිරීමට ලබා දීමට නොහැකිය. දරුවා ඉතාමත් කැමති දෙයක් කරන විට එය කරන්න එපා යැයි කියන විට දරුවාට කේන්ති යනවා. මෙහිදී ඔබ කේන්ති ගන්න එපා. “අපි අද නැතුව හෙට දවසම සෙල්ලම් කරමුකෝ” නමුත් දරුවාට ඔබ කියන දේ වැදගත් නොවෙන්න පුළුවනි. ඔබේ දරුවා ඉල්ලන එත් කල නොහැකි දෙයක් නම් ඊට උපක්‍රමශීලිව පිළිතුරු දෙන්න. දෙමාවුපියන් විදියට ඔබ නිතරම දරුවාට නියෝග ලබා දෙන්න එපා. දරුවාට අසනීප වූ අවස්ථාවක අයිස්ක්‍රීම් ඉල්ලනවා නම් ” ඔයාට සනීප වුනාම අපි අයිස් ක්‍රීම් කමු” යැයි පැවසිය හැකිය. දරුවන් ඔබ කියන දේවල් හොදින් මතක තබා ගන්නවා. නැවත දරුවා හොද තත්වයට පත් වුවාට පසුව ඔබෙන් අයිස්ක්‍රීම් ඉල්ලන්න පුළුවනි. එවැනි අවස්තාවක එය ප්‍රතික්ෂේප කරන්න එපා. එසේ වුවහොත් ඔබ පිලිබදව දරුවාට ඇති විස්වාසය කඩවිය හැකිය.

දරුවන් ස්වාධීන කරමු

ස්වාධීන දරුවෙකු මේ සමාජයට බිහි කිරීම ඔබගේ වගකිමකී. නමුත් අපි දරුවන්ට දක්වන අසීමිත ආදරය නිසාම දරුවන්ට ස්වාධීන වීමේ අවකාශය මග හැරි යන්න පුළුවන්. දරුවන්ට තම කාර්යයන් සිදු කර ගැනීමට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. අපේ දෙමවුපියෝ සිතන්නේ තමන්ගේ දරුවන්ට, ඔවුන්ගේ උදවුවෙන් තොරව කිසිවක් තනිව කර ගත් නොහැකි බවයි. ඒ නිසා ඔවුන් සිදු කරන සියල්ලටම උපකාර කරනවා. ඔබ අනවශ්‍ය විදියට දරුවාගේ සියල්ලටම මැදිහත් වීමෙන් දරුවාට පවතින ස්වාධීනත්වය අඩු වී යනවා. තනිව යමක් කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඉන් පසු පුංචි ගැටළුවක් පැමිණියත් දරුවා ඔබේ පිහිට පවතිනවා. සාමාන්‍ය සිදුවීමකට වුවත් මුහුණ දීමේ ශක්තිය නැති වෙනවා.

දරුවන් කුඩා කල සිටම ස්වාධීන නොකිරිමෙන් ඔහුට අනාගතයේදී ගැටළු ගණනාවකට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලිය. ඇතැම් රටවල දරුවන් අවුරුදු 16න් පමණ පසුව නිවසින් නිදහස් කරනවා. ඔවුන්ට යමක් තේරුම් ගත හැකි කාලයේ සිටම ඔවුන් ස්වාධීන කර හමාරයි. දරුවා ඇවිදින විට වැටුන යැයි සිතන්න. එවිට දරුවාට තනිව නැගී සිටීමට අවස්තාව දෙන්න. ඔබ ඒ අවස්ථාවේ දරුවාට උපකාර කළහොත් ඔහු වැටෙන සෑම අවස්තාවකම නැගී සිටින්න ඔබේ උපකාරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දරුවා තනිව නැගී සිටීමට උත්සහා කරන් නෑ.

මේ නිසා කුඩා කල සිටම දරුවන් ස්වාධීන කල යුතුය. එහිදී දරුවාට,

තෝරා ගැනීමේ අවස්තාව සලසා දෙන්න

ඔබේ දරුවාට ඇදුමක් මිලදී ගන්න යනවා යැයි සිතන්න. එහිදී දරුවාට අවශ්‍ය ඇදුම් තනිව තෝරා ගන්න අවස්තාව දෙන්න. ඔබට අවශ්‍ය දේ නොව දරුවාට අවශ්‍ය දේ තෝරා ගන්න අවස්තාව ලබා දෙන්න. එසේ නොවුනොහොත් දරුවා යම් දිනක ඇදුමක් තෝරා ගැනීමටත් ඔබේ උදව් බලාපොරොත්තු වෙනවා. දරුවාට නොගැලපෙන ඇදුමක් දරුවා තෝරා ගන්නේ නම් ඒ බව දරුවාට පැවසිය හැකිය. නිරන්තරයෙන්ම තෝරා ගැනීම් වලට ඉඩ හරින්න.

දරුවාගේ නොහැකියාව ඉදිරියේ අපහාස නොකරන්න

ඔබේ දරුවාගේ පාසල් ඇදුම තාමත් පිළිවෙල කරන්නේ ඔබ විය හැකිය. එසේ වූ විට දරුවා අපහාසයට පත් නොකර එය සිදු කරන ආකාරය දරුවා දැනුවත් කරන්න. සපත්තු දෙක දා ගන්න, මේස දෙක දාගන්න තමාත් නොහැකි නම් එය සිදු කරන්නේ මෙසේ යැයි පැහැදිලිව නිරවුල්ව කියා දෙන්න. සමහරවිට දෙවන අවස්ථාවේදීත් ඔහුට එය තනිව කර ගැනීමට නොහැකි විය හැකිය. කිහිප වරක්ම කියා දී එය තනිව සිදු කර ගැනීමට සැලැස්විය යුතුය.

නිවසේ වැඩ කටයුතු වලටත් දරුවා කුඩා කාලයේ සිටම සහභාගී කර ගන්න. දරුවාට කල හැකි කාර්යයන් ලබා දෙන්න. දරුවාට එසේ ලබා දෙන කාර්යයන් තනිව කර ගැනීමට නොහැකි නම් ඔබ එය සම්පුර්ණයෙන්ම කරන්න එපා. කරන ආකාරය කියා දී ඔහු ලවාම එය සිදු කරන්න.

අඩුවෙන් ප්‍රශ්න අසන්න

දරුවන්ගෙන් නිතර නිතර ප්‍රශ්න ඇසීම ඔහුට කරදරයක් සේ දැනීමට පුළුවනි. දරුවා සමග සුහදශීලිව කතා කිරීමෙන් ඔහු ඔහුට පවතින ප්‍රශ්න ඔබ නොඅසාම පවසාවි. ” කොහොමද අද දවස” ලෙස ඇසිය හැකිය. දරුවා ගෙදරට පැමිණි විටම ප්‍රශ්න ආසන්න එපා. පොත් වලට මැදි වී නිවසට එන දරුවාට එය කරදරයක් වන්න පුළුවනි.

දරුවාට නිතර නිතර ප්‍රශංසා කරන්න.

දරුවෙකුගේ විස්වාශය, ආත්මගරුත්වය ඉහල යෑමට ප්‍රශංසා කියන දේ බලපානවා. අපි කවුරුත් කැමතියි ප්‍රසංසා ලබන්න. ඇත්තටම ප්‍රශංසා කිරීම ඉතාම සරල දෙයක්. හොද වටිනා අගය කල යුතු දෙයක් කල විට ප්‍රශංසා කිරීම හොදය. ඒ හරහා එම පුද්ගලයා එය වඩ වඩාත් දියුණු කිරීමට දිරි ගැන්වෙනවා. ඇතමුන් ඔබේ ප්‍රශංසාව වැරදි ආකාරයට තේරුම් ගන්නත් පුළුවන්. ඔබ එසේ ප්‍රශංසා කරන්නේ බොරුවට යැයි සිතිය හැකිය. දරුවන්ද එසේය. දරුවා යම් නිර්මාණයක් සිදු කර ඇත්නම් “ෂා හරිම ලස්සනයි යැයි ඔබ කියනවා නොඅනුමානය. නමුත් දරුවා ඔබ බොරුවට කියනවා යැයි සිතිය හැකිය.

ඔබ දරුවා ප්‍රශංසා කිරීම වැඩි වන තරමට ඔහු කරන කාර්යය වැඩියෙන් හොදට කිරීමට පෙළඹෙනවා.  උදාහරණයක් ලෙස ” ඔයා අදින චිත්‍ර හරිම ලස්සනයි යැයි පැවසුවහොත් දරුවා ඊටත් වඩා ලස්සන චිත්‍රයක් ඇද ඔබට පෙන්නාවි. එය දරුවන්ගේ ස්වභාවයයි.

මේ ඔබ දරුවන්ට සිදු කරනු ලබන ප්‍රශංසා දරුවන්ට දිගු කාලීනව මතක තිබෙනවා. මන්ද ඔබේ ප්‍රශංසාව දරුවන්ට එතරම්ම වැදගත් නිසාවෙනි. බොහෝ දෙමාවුපියන් දරුවන් විවේචනය කිරීමට ඉක්මනින්ම පෙළඹෙනවා. ඔවුන් තම දරුවන් ප්‍රශංසා කරන අවස්ථා ඉතාමත් අඩුයි. මේ ප්‍රශංසා හරහා දරුවන් හොද පැත්තට ගැනීමට වුව  ගැනීමේ හැකියාවක් තිබෙනවා.

අද ඔයා ගොඩාක් ලස්සනට අකුරු ලියලා.

අද ගොඩාක් හරි අරන්.

දැන් ඔයාට ඔයාගේ කොන්ඩේ ලස්සන්ට පීරා ගන්න පුලුවන්නි.

මේ චිත්‍රය ගොඩාක් ලසසනයි.

ඔයාට දැන් හොදට ගෙදර අතුගාන්නත් පුලුවන්නි.

දරුවන්ට අණ දිම්, විධාන කිරීම් සිදු කරනවාට වඩා මේ ප්‍රශංසා කිරීම් ගොඩක් වැදගත්. තරමක් දග දරුවන් පාලනය කිරීමට මේ ප්‍රශංසා ක්‍රමය බලපානු ලබනවා. දරුවා හොද දෙයක් සිදු කල් විට එය ඇගයීමට පසුබට වන්න එපා. නැවත නැවත දරුවා එවැනි ක්‍රියා සිදු කිරීමට දරුවන් උනන්දු කරවීම් ඒ හරහා සිදු වෙනවා. දරුවන් දෙමවුපියන් කියන දේ නොකරන විට දෙමාවුපියන් දුක් වෙනවා. එවිට ඔබේ දරුවා කෙසේ හෝ ඔබට ඕනි විදියට හැදිය යුතු යැයි කල්පනා කරනවා. දරුවා එසේ හැසිරීමට ඔබගෙන් යම් කිසි වැරදි කිහිපයක් සිදු වී තිබෙන්න පුළුවනි. ඇතැම් දෙමවුපියන්ට දරුවන් කුමක් කලත් වැරදියි. හැමදෙයකම කුමන හෝ අඩුපාඩුවක් සොයනවා. දරුවන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන විදියක් තිබෙනවා. ආදරයෙන්, ප්‍රිය වචන වලින් ඔබට ඒ දේ සිදු කල හැකිය.

බොහෝ පිරිස් කෙනෙකුගේ හොද දකිනවාට වඩා නරකම දකියි. එසේ සිදු කිරීමෙන් දරුවාට තිබෙන තත්ත්වය පහල වැටෙන්න පුළුවනි. දරුවා විභාගයට ගන්නා ලකුණු ප්‍රමාණය බලා ඔබට දරුවා විස්තරාත්මකව ප්‍රශංසා කරන්න පුළුවනි. ලකුණු දුර්වල උනොත් තවත් මහන්සි වෙන්න එහෙම උනොත් මිට වඩා ඔයාට ලකුණු ගන්න පුළුවන් වේවි යැයි ධනාත්මක සිතිවිලි දරුවාගේ සිතට ඇතුළු කල හැකිය. ඔයා හරිම නරකයි. ඔය දක්ෂ නෑ. ඔයාට තනිවම මොකුත් කර ගන්න බෑ. ලෙස පවන්න එපා. සැමවිටම දරුවා සිදු කරනු ලබන පුංචි කාර්යයක් වුව අගය කරන්න. එය ඉතාමත් හොද දෙයකි.

දරුවාගේ හැගීම් තේරුම් ගන්න

අපිට විවිධාකාර හැගීම් තිබෙනවා. දුක, සතුට. කම්මැලිකම, ආදී වශයෙනි. දරුවන්ටද එසේය. කුඩා දරුවන්ගේ හොද හැගීම් නිසා ඔබ සතුටට පත් වෙනවා. නරක හැගීම් නිසා අසතුටට පත් වෙනවා. ඔබ සහ දරුවන් අතර ඇතිවන හැගීම් පිලිබදව ඔබට අවබෝධයක් තිබීම වැදගත්. දරුවන්ගේ හැගීම් වලට ඔබ දක්වන ප්‍රතිචාර අනුව ඔවුන් තම සිතෙහි හැගීම් සිරකර ගන්නවා. දරුවන්ට ඔවුන්ගේ හැගීම් නිදහසේ ප්‍රකාශ කරන්න අවකාශය ලබා දෙන්න.

දරුවාගේ හැසිරීම් යහපත් වන විට යහපත් හැසිරීමක් බලාපොරොත්තු විය හැකිය. දරුවා තුළ යහපත් හැගීම් ඇති කිරීමට දෙමාවුපියන්ට විශාල වගකීමක් තිබෙනවා. ඔබේ දරුවා කියන ඕනෑම දෙයක් පිලිගන්නවා නම් එක භයානකයි. එය නරක හැගීමක් නම් එය ප්‍රතික්ෂේප කරන්න. ඇතැම් දරුවන් ඉතාමත් කලහකාරියි. නිතරම අනෙක් අය සමග දබර කර ගන්නවා. ඔබේ දරුවා තවත් අයෙකුට පහර දුන් බව පැවසුවහොත් එහි ඇති නරක පැත්ත ඔහුට වටහා දෙන්න. දරුවන් ඔබ සමග පවසන දේවල් වලට හොදින් ඇහුම්කම් දී ඔහුගේ හැගීම් ඔබට අවබෝධ වන බව හගවන්න. ඉන් පසු ඒ හැගීමේ තිබෙන නරක බව දරුවාට කියා දෙන්න.

ඇතැම් දරුවන්ට පුංචි දේටත් කේන්ති ගන්නවා. ඒ වගේම ඔවුන්ට කුඩා දෙයකින් වුවත් විශාල සතුටක් ලැබිය හැකිය. ළමා ලෝකයේ ස්වභාවය එයයි. ඔවුන්ට දැනෙන පුංචි සතුටක් වුවත් දරුවා එය ලොකුවට විදිනවා. එසේම ඔබේ nagatives හැගීම් ඔබේ දරුවාට ප්‍රබල ලෙස බලපානවා.  ඔබ නිතරම අසතුටින්, නැහැ, බැහැ කියන හැගීම වලින් සිටින විට දරුවාට එය අහිතකර ලෙස බලපානවා. දරුවන් යනු ඉක්මනින් අනුකරණය කිරීමට පෙළඹෙන පිරිසකි.

ඔබේ nagatives හැගීම් දරුවන්ගේ හැගීම් වලට වඩා ප්‍රබලයි. දරුවන්ට කේන්තියක්, දුකක්, වේදනාවක් ඇති වූ විට එය ටික මොහොතකින් නැති වී යනවා. නමුත් වැඩිහිටියන්ගේ හැගීම් එසේ නොවේ. එම හැගීම් ගැඹුරුයි. නැති වෙන්න හුග කාලයක් ගත වෙනවා. ඔබ නිතර නිතර දුකෙන්, කලහකාරිව හැසිරෙන විට එය දරුවාගේ හැගීම් බවට පත් වෙනවා. ඔබේ හැගීම් දරුවා සමග  බෙදා ගන්න යන්න එපා. මන්ද ඔබට දැනෙන දෙය දරුවන්ට දැනෙන්නේ වෙනස් ආකාරයකටයි. දරුවා සමාජය ගැන සිතන විදිය ඔබ සිතන විදියට වඩා වෙනස්ය. ඔබේ හැගීම් බෙදා ගත යුත්තේ ඔබේ හැගීම් අවබෝධ කර ගත හැකි සම වයස් කණ්ඩායම් සමගයි.

දරුවන් යනු වැඩිහිටියන් මෙන් අත්දැකිම් තිබෙන පිරිසක් නොවේ. පවුලේ ඇති ගැටළු පිලිබදව දරුවා සමග කතා කිරීම හොදය. එය වරදක් නොවේ. නමුත් හැගීම් බෙදා ගැනීම කොතරම් ප්‍රායෝගිකද  එසේම මෙහිදී කුමන හැගීම් යන්නද වැදගත් වේ. දරුවන්ට ඔබ සමග හැගීම් බෙදා ගන්න විට සහ තම මිතුරෙක් සමග හැගීම් බෙදා ගන්න විට දැනෙන ආකාරය වෙනස්ය. දරුවන් සහ දෙමවුපියන් ජිවත් වෙන්නේ වෙනස්ම ලොවකය. දරුවන් ජිවත් වන ළමා ලෝකයේ දෙමවුපියන්ට ජිවත් විය නොහැකිය. ඒ වෙනස වටහා ගන්න.

දරුවන් එකිනෙකට වෙනස්ය

දරුවන් උප්පත්තියෙන්ම එකිනෙකට වෙනස්ය. ඔවුන්ට උරුම වූ හැකියාවන් එකිනෙකට සුවිශේෂි වේ. දරුවන්ගේ මේ වෙනස අවබෝධ කර ගන්නේ සීමිත දෙමාවුපියන් කිහිප දෙනෙක් පමණි. දෙමාවුපියන් බලාපොරොත්තු වෙන දේවල් දරුවන්ගෙන් නොලැබෙන විට ඔවුන්ට දුකක් ඇති වේ. නමුදු ඔබේ දරුවන්ට තිබෙන හැකියාවන් ඔබට සිටින අනෙක් දරුවාට හෝ ඔබේ මිතුරාගේ දරුවාට තිබෙන හැකියාවන්ට වඩා වෙනස්ය. ඒ හැකියාවන් ඔප මට්ටම් කිරීමට දරුවන්ට ඔබේ උපකාරය අවශ්‍යය. අපේ බොහෝ දෙමවුපියන් සිදු කරන්නේ වෙනත් දරුවෙකුගේ හැකියාවන් තමාගේ දරුවාට අදාල කොට ගෙන එවැනි හැකියාවන් තමාගේ දරුවාටත් තිබිය යුතු යැයි සිතනවා.

සිතන්න ඔබට පුතුන් දෙදෙනෙක් සිටිනවා යැයි කියා. ලොකු පුතා ක්‍රිඩාවට දක්ෂ, දගකාර පුතෙකි. අනෙක් පුතා එසේ නොවේ. ඔහු නිතරම හුදෙකලාවේ ගත කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයෙකි. ඔහු ලොකු පුතාට වඩා ඉගෙනීමට දක්ෂය. මේ දරුවන්ගේ හැකියාවන් එකිනෙකට වෙනස්ය. ක්‍රීඩාවට එක් දරුවෙක් දක්ෂ වුවාට අනෙක් දරුවා මෙන්ම ඉගෙනීමට ඇල්මක් දක්වන්නේ නැහැ. සමහර දෙමාවුපියන් මෙවැනි අවස්ථාවල කරන්නේ දරුවන්ගේ හැකියාවන් එකිනෙකට සංසන්දනය කිරීමයි. ” මගේ ලොකු පුතා නම් ඉගෙනීමට පොඩ්ඩක්වත් දක්ෂ නෑ. එයාට නම් මේ සැරේ විභාගය පාස් වෙන්න වෙන් නෑ. පොඩි පුතා නම් මෙයාට වඩා ගොඩක් දක්ෂයි. මේ දරුවන් දෙදෙනාගේ බුද්ධිය අතර වෙනසක් තිබෙනවා. අපි හැමෝමගේ බුද්ධිය එක හා සමාන නෑ. සමහර දරුවන් ගුරුවරයෙක් දෙයක් කියූ සැනින් වටහා ගන්නවා. නමුත් තවත් දරුවෙකට එකට ටික වෙලාවක් ගත වෙනවා.

ලොකු පුතා  ඉගෙනීමට දක්ෂ නොවුනාට ක්‍රීඩාවට දක්ෂ නිසා ඔබට  දරුවාගේ මේ හැකියාවන් හදුනා ගෙන ඒ හැකියාවන් ඉහලට යන්න උදව් කල හැකිය. ඒ නිසා දරුවන් කිසිදාක සංසන්දනය කරන්න එපා. ඉගෙනීමේ හොදින් නියැලෙන දරුවාට වඩා දගකාර, බාහිර වැඩ වලට දක්ෂ දරුවාට නිර්මාණශීලි හැකියාව වඩා හොදින් තිබෙන්න පුලුවනි. දරුවන් ඉගෙනීමට අදක්ෂ වුවාම ඔවුන් මානසිකව වටටන්න එපා.

එසේම දරුවන්ගේ වර්ධනයේද වෙනස්කම් තිබෙනවා. සමහර දරුවන් ඉක්මනින්ම වර්ධනය වෙනවා. ඇතැම් දරුවන් නම් කොතරම් කෑවත් ශරීරය එතරම් වර්ධන වෙන් නෑ. දරුවන්ගේ සිරුර කුඩා වුවාට ඔබ එතරම් ඒ ගැන සිතිය යුතු නෑ. ” අපේ දරුවන් කොච්චර කෑවත් වැඩක් නෑ. අර අල්ලපු ගෙදර ළමයා බලන්නකෝ. මෙයාට වඩා හතරගුනයක් විතර ඉන්නවා. ආදී ලෙස බොහෝ මව්වරුන් පවසනවා. එය ඔබේ දරුවාගේ ආත්ම ගරුත්වයට හානියක් බව ඔබ දන්නවාද.

දරුවන්ට දරුවන් වන්න ඉඩ දෙන්න. මේ වගේ වෙන්න, අර වගේ වෙන්න ලෙස පවසන්න එපා. ඔබේ දරුවා අනෙක් දරුවන්ට වඩා වෙනස් වන්නේ කුමන කාරනා වලින්දයි වටහා ගන්න. ඒ අනුව ඔහු සමග කටයුතු කරන්න. ඔබ නිතරම ඔබේ දරුවා අනෙක් දරුවන් සමග සංසන්දනය කිරීම හරහා දරුවාට එමගින් හානියක් සිදු වෙනවා. අල්ලපු ගෙදර ළමයා උසස්පෙළට Science, Maths වැනි විෂයන් කලාට ඔබේ දරුවාට එවැනි විෂයන් සිදු කරන්න යැයි පවසන්න එපා. දරුවාගේ හැකියාවන් පිලිබදව මනා අවබෝධයක් ඔබට වඩා තිබෙන්නේ දරුවාටය. එම නිසා දරුවාට අවශ්‍ය දේ තෝරා ගැනීමට ඉඩ හැර ඒ සදහා ඔබට උදව් කල හැකිය. කොතරම් විභාග පාස් කලත් ජිවිත විභාගය සමත් විය හැක්කේ කිහිප දෙනෙකුට පමණි.