Home Blog Page 131

දැන් කාලයේ දරුවන්ට හොස්ස අගින් මැස්සා යන්න බැහැ

දස මාසයක් කුසේ කියාගෙන හදා වඩා ගත්තු දරුවෝ මව්පියන් සමග නිරන්තරව මත ගැටුම් ඇති කර ගැනීම අද ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඉස්සර කාලයේ දරුවන් මව්පියන් සමග එකටෙක කියා ගෙන විවිධාකාර මත වාදවලට පැටලුනේ නැහැ. වර්තමානයේ දරුවන්ට එක්තරා වයසකට පැමිණි පසුව දෙමව්පියන් නුරුස්නා තත්වයකට පත් වෙනවා.

දරුවන්ගේ මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන් වියත් සමග ඇති වෙන හෝර්මෝනයන්ගේ බලපෑම නිසා බව ස්නායු වෛද්‍ය විද්‍යාඥ ප්‍රැන්සිස් ඊ ජොන්සන් සඳහන් කරනවා.මෙම වයසට පත් වෙන විට දරුවන්ගේ හෝර්මෝන පිලිබඳ වෙනස්කම් ගොඩ නැගෙනවා. ඒ සඳහා ප්‍රධාන ලෙසින් බලපාන්නේ ටෙස්ටොස්ටරෝන්, ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන වර්ගයි. මොළයේ උද්වේග කලාපයේ මෙම හෝර්මෝන උත්තේජනය වෙන විට දරුවන්ගේ ගති පැවතුම් පිළිබඳ වෙනස්කම් නොදැනම ගොඩ නැගෙන බව මෙම මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

එතකොට මව්පියන් මේ විදිහට කියාවි….අපිත් ඔය වයස පහු කලා…අපිට ඔය කියන හෝර්මෝන පිට වුනේ නැත්ද කියලා…ජීව විද්‍යාත්මකව එම සංසිද්ධින් ඒ විදිහටම සිද්ධ වෙන්න ඇති. ඒත් අද සමාජ රටාව බොහොම වෙනස්. එදා දරුවන්ට පැවැති සරල ලෝකය වෙනුවට අද පවතින වේගවත් වෙනස්කම් ඉදිරියේ දරුවන් ගැටෙන විට එහි ප්‍රතිචාර දැනෙන්නේ අම්මාට තාත්තාටයි.

දරුවන්ගේ මෙම ආවේගශීලිත්වයට විශේෂයෙන්ම චෝදනා ලබන්නේ විද්්‍යුත් මෙවලම්. අද මව්පියන් විදිහට අපි හිටියත් එදා මේ වාගේ තාක්ෂණික ලෝකයක් සමග ගණු දෙණු සිද්ධ වුනේ නැහැ. ඇලේ දොලේ පැනලා, ගඩා ගෙඩියක් කඩා ගෙන කාලා , පොල් පිති ගොනෙක් එක්ක එහෙම නැත්නම් වැලි සෙල්ලම් බත් උයපු සුන්දර ළමා ලෝකය බොහාම සරලයි. දවසේ මුලුල්ලේ මේ විදිහට සෙල්ලමින් ගෙවලා හැන්දෑවට මුහුණ කට හෝදාගෙන දෙවියන් බුදුන් හෝ තමන් අදහන ආගමක් සිහිපත් කර ගෙන නින්දට ගියා.

ඒත් අද දරුවන්ගේ එකම ආරක්ෂකයා විද්්‍යුත් මෙවලම් විදහට සැලකෙන ජංගම දුරකථන , ලැප්ටොප් , ටැබ් වැනි මෙවලම්. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තරුණ දරුවන් වෙනුවෙන් නගන චෝදනාවත් ඒකයි.ඉස්සර දරුවන්ගේ රාත්‍රි හීනෙන් බය වෙනවාට කොට්ටය යටින් ගිරයක් වගේ යකඩ කෑල්ලක් ආරක්ෂාවට තිබිබත් අද දරුවන් නින්දට යන තෙක්ම දුරකථනය සමග ගණු දෙණුවෙන් ගෙවනවා.

එහෙත්…..ජංගම දුරකථන සමග රැය ගෙවද්දි දරුවන්ගේ චර්යාත්මක වගේම ජෛව රසායන ක්‍රියාවලියේ වෙනස්කම් සිද්ධ වෙනවා. මෙම කටයුතු සමග dopamine රසායනය නිදහස් වෙනවා.මේ නිසා දරුවන්ගේ මොළයේ ඇති වෙන උත්තේජනය මුල් කර ගෙන ඔවුන් නොදැනම බොහොම ආවේගශීලිත්වයෙන් කටයුතු කරනවා.

ඒ විතරක් නෙවෙයි, මේ දරුවෝ රැය පුරා මෙවලම් එක්ක ඔට්ටු අල්ලලා දවල් පුරා නින්දේ පසු වෙන බවට චෝදනා ඉවරයක් නැහැ.මොකක්ද ….මේ කරදරය බලන වෙලාවක් ඇත්තං නිදි….අම්මා ඒ විදිහට චෝදනා කළත් දරුවා රාත්‍රියට නින්දක් ලබන්නේම නැහැ.මේ වවුල් ප්‍රතිපත්තිය නිසාම දරුවන්ගේ මානසිකත්වය බොහොම අවුල් සහගතයි.

නින්ද අතරින් රාත්‍රි නින්ද මොළයේ නිරෝගි බව වෙනුවෙන් අවශ්‍ය බව රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අපි අවදිව සිටින විට ඇති වෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ විෂ ප්‍රෝටින් ඉවත් කිරිමට රාත්‍රි නින්ද අවශ්‍යයි. ඉතිං මුහුනුපොත, අන්තර්ජාලය, පරිගණකය සමග රැය පහන් කරන දරුවාගේ මනස බොහොම ආවේගශීලියි. මේ නිසාම දරුවාගේ මනස සන්සුන් කළ යුතු අන්දම ගැනත් මේ අධ්‍යනය මගින් කරුණු ඉදිරිපත් කරනවා.දරුවාගේ මෙම වැරැදි පුරැදු නිසා ඔවුන් අනාගතයේදි තරබාරුව, මානසික පීඩනය, අධි රුධිර පීඩනය, කිරීටක ධමණී සංකුලතා වැනි රෝග තත්වයන්ට පත් විය හැකි බවත් මෙම අධ්‍යනයේදී මව්පියන්ට උපදෙස් විදිහට පෙන්වා දෙනවා. එහෙම නම් ඔබ දරුවාගේ නින්ද ගැන කටයුතු කළ යුත්තේ කොහොමද…

නින්දට වේලාවක් තබා ගන්න….ඉස්සර කාලයේ උදවිය ට නිදි පුරුද්දක් තිබුනා. දවසේ රටාව අනුව නිදාගැනීමට වෙලාව ඉබේටම ගැලපි තිබුනා.

කෝලා වර්ගයේ පාන වර්ග නින්ද වලක්වන නිසා නින්ද ආසන්නයේදි මෙම පාන වර්ග පානය කරන්න එපා.

නින්දට පෙරාතුව ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න. මෙම උපාංග නිහඬ කලත් ඒවායේ කම්පනයන් නිසා නින්ද බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

නිදා ගන්න ආසන්නයේ පරිගණක කටයුතු වලින්ද ඈත් වෙන්න. ලැප් ටොප් නිසා අද දරුවන් නිදි යහනේදිත් මෙම උපාංග පරිහරණය කිරීම නිසා නින්දට බාධාවක් ඇති වීම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

නින්දට පෙරාතුව මනස සන්සුන් කර ගැනීමේ භාවනාවකයෙදෙන්න. එවිට හිත සන්සුන් වෙනු ඇත. ඉස්සර කාලයේ මව්පියන් නින්දට පෙරාතුව ආගම දහම සිහිපත් කිරීමට උපදෙස් දුන්නා . ඔවුන් දරුවන්ට නිතරම කියා සිටියේ හොඳ හිතින් නින්දට නොගියොත් නපුරු හීන පෙනි නින්දට බාධා ඇති වෙන බවයි. මේ නිසා දරුවන්ද නිරවුල් මනසකින් නින්දට ගියා. හොඳින් නිදා ගත්තා. හොඳින්ම අවදි වුණා. ඔවුන් නොදැනම මනස සන්සුන් වුණා.

අපිටත් ඔය හෝර්මෝන තිබ්බේ නැද්ද….කියලා අම්මා තාත්තා නගන පැනයට දැන් පිලිතුරු ලැබෙන්න ඇති…කාලයත් සමග ලෝකය මවන ලද අරුමය නිසා අපේ දරුවන් අතරමැදියන් බවට පත් වුනා. ඒත්…මේ අරුමයේ තිබෙන නපුරු විපාකයන්ගෙන් දරුවන් මුදවා ගන්න තවමත් අපිට විකල්ප විසඳුම් තිබෙනවා. ඒ විසඳුම් දෙසට යොමු වෙනවා හැර අපේ දරුවා ‍රෑ තිස්සේ ෆෝන් එකේ කියන අ‍ෙඳෝනාවෙන් නම් පලක් නැහැ.

ජාන විකෘතිතා නිසා උත්පත්තියෙන්ම දරුවන්ට ඇති වන ”ඩවුන්ස් සින්ඩ්රෝමය”

සාමාන්‍ය ජනවහරේදී මොන්ගෝලීයතාවය ලෙස හැඳින්වෙ ඩවුන්ස් සින්ඩ්‍රෝමය ඇති වන්නේ ජාන විකෘතිතා මුල්කරගනිමිනි. ඩවුන්ස් සින්ඩ්‍රෝම තත්ත්වයට පත් වූ දරුවන්  මන්ද බුද්ධික වන අතර ඔවුන්ගේ කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද වේ.

ඩවුන්ස් සින්ඩ්‍රෝමය වර්ග 3කි. එනම්, ට‍්‍රයිසෝමි 21 (Trisomy 21), ලමොසැයිසිට් මොසැයිසිම් (Mosaisit mosaisim) 3 සහ ට‍්‍රාන්ස්ලොකේෂන් (Translocation) ලෙසටයි.

මේ අතරින් බහුලව දක්නට ලැබෙන්නේ ට‍්‍රයිසොම් 21 වර්ගයයි. ට‍්‍රයිසෝමි 21 යනු 21 වැනි ජාන කට්ටලයේ අතිරේක ජානයක් පිහිටීම නිසා ඇති වන තත්ත්වයයි.

මෙම දරුවන්ගේ

  • මුඛය කුඩා වන අතරම උස් වූ වක‍්‍රයක් සහිතව තල්ල පිහිටා ඇත.
  • දිව විශාල වන සේ පිහිටා ඇති නිසා නිතරම මුඛයෙන් එළියට දිව දමාගෙන සිටියි.
  • නාසය පැතලිය. (නාස් අස්ථි සම්පූර්ණයෙන් වැඞී නැත.
  • ඇස් සාමාන්‍යයෙන් උඩ අතට හැරී පිහිටන අතර ඇස්වල ඇතුළු දාරයේ සමේ කුඩා රැුලි පිහිටා ඇත.
  • කන්පෙති කුඩාය. සමහර විට කන් පෙති නැත.
  • බෙල්ල මිටිය.
  • මාංශ පේශීන් ඉතා මෘදුය
  • හිස කුඩාය. හිසේ පිටුපස පැතැලිය.
  • අතේ පස්වන ඇඟිල්ල සාමාන්‍යයෙන් කුඩාය.
  • සම ඝනය, වියළිය.
  • සමහර විට හෘදය ආශ‍්‍රිත රෝග ඇත.
  • උදරය විශාලය.
  • ලිංගික වර්ධනය අඩාලය. වඳය.

මෙවැනි ලක්ෂණ නිසා මොවුන් ”ෆ්ලොපි බේබි” ලෙස හඳුන්වයි. මොවුන් මන්ද බුද්ධිකය.

මෙම දරුවන්ගේ මානසික තත්ත්වය මැන ගැනීමට බුද්ධිය පරීක්ෂා කරන ක‍්‍රමයක් ඇත. එම පරීක්ෂණය අයි කිවු ලෙවල් (I.Q. level) ලෙස හැඳින්වේ. ඩවුන්ස් සින්ඩ්‍රෝම දරුවන්ගේ ෂූ අගය 20 – 50 දක්වා පරාසයක පවතී. කෙසේ වෙතත් මෙම දරුවන් විනෝදයට කැමැතිය. මොවුහු සංගීතය පි‍්‍රය කරති. එමෙන්ම වෙනත් කෙනෙකු අනුකරණය කිරීමට දක්ෂය.

මෙවැනි දරුවන් ඇති වීමට හේතුන් ලෙස උපකල්පනය කරන්නේ :

  • මව විකිරණවලට නිරාවරණය වීම
  • අවු 38ට වැඩි වීම
  • දරුවන් අතර පරතරය අඩු වීම (මෙතෙක් තහවුරු නොවූ හේතුද ඒ අතර වේ)

ඩවුන්ස් සින්ඩ්‍රෝමය සුව කළ නොහැක. මොවුන්ගේ මෘදු මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ශක්තිජනක ව්‍යායාමවල යෙදවිය යුතුවේ. මුල සිටම භෞතචිකිත්සක ව්‍යායාම වෙත යොමු කිරීමෙන් මොවුන්ගේ කායික හා මානසික කි‍්‍රයාකාරකම් වැඩි දියුණු කළ හැකිවේ.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

ආවා… ආවා…ප්‍රතිඵල ආවා…

අගොස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ගේ වගේම දෙමාපියන්ගෙත් සිත් මහා බරකින් නිදහස් වුණත් අද මේ මොහොත වන විට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිසා එක්කෝ බොහෝ සතුටට පත්ව ඇති. එහෙමත් නැති නම් බොහෝ දුකට පත් වෙලා ඇති. දරුවන් හා දෙමාපියන් යන පාර්ශව දෙක ගැනම මම සඳහන් කලේ දරුවන්ගේ ජයග්‍රහණයේ නියමුවන් ගෙස කටයුතු කරන්නේ ආදරණීය දෙමාපියන් නිසාමයි. විභාගය ඉහළින්ම සමත් සතුට භුක්ති විඳින දරුවන්ට හා දෙමාපියන්ට සුභ පතන ගමන් බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල ලබා නොගත් සිතේ දුකෙන් ඉන්න දරුවන්ගෙ දෙමාපියන් වෙත මම සටහනක් තබන්න සිතුවා.

” ඔයා දන්නවද චමින්දගේ පුතාට ශිෂ්‍යත්වයට ලකුණු 171 ලු. ”

” ඉතිං හොඳයිනේ ”

” පොඩ්ඩක් ඉන්නකො කියන කල් ඒ ළමයා රෝයල් එකට යන්නලු හිතාගෙන හිටියේ දැන් ලකුණු මදි නිසා හොඳටම අප්සට්ලු චමින්ද සැරින් සැරේ කතා කරලා පොඩි එකාගේ හිත හැදුවා. ඒත් මිනිහත් හිටියේ හොඳටම අප්සටි වෙලා. ඒත් ඒ බවක් දරුවට නොදැනෙන්න තමයි කතා කලේ.”

ඇත්තටම මගේ හිතට පොඩි දරුවාගෙ හීනය බොඳ වීම ගැන ඇතිවුණේ දුකක්. ඒත් තාත්තා කෙනෙක් විදිහට චමින්ද කොයි තරම් බුද්ධිමත්ද කියලා මට හිතුනා. ජිවීතේ අපි වඩාත් අපේක්ෂා සහිත දෙයක් අපට අහිමි වු කල වැඩිහිටියන් ලෙස අපට ද දරා ගත නොහැකි වන අවස්ථා විරලය. වරු ගණන් දවස් ගණන් අපි ඒ ගැන හිත හිත ළතැවෙනවා. ඉතින් මේ පුංචි පැටවුන්ගේ සමනල හීනයක් බිඳ වැටුනම ඒ හිත් කොයි තරමි රිදුම් දෙනවා ඇත්ද?

” හෙලෝ… දුවට ලකුණු කීයද? ”

” 147 අනේ , හැමදාම පන්තියේ පළවෙනියා. මට නම් හොඳටම කේන්තිත් ගියා ”

” ඉතින් බැන්නද පොඩ්ඩට ”

” නැහැ, නැහැ , මොනවා කරන්නද දැන් බැනලා. කේන්තිය හිතේ පැත්තක දමලා , කමක් නැහැ පුතා ඔයා හොඳයි කියලා කිව්වා. අද ඉස්කොලේ ගියානේ එයාට වඩා පහළින් ඉන්න ළමයි හැමෝම එයාට වඩා ලකුණු අරගෙනලු.  මම මීට වඩා උනන්නදු වුණා නම් හොඳ ලකුණක් ගන්න තිබුණා කියලා දැන් දුක් වෙනවා. ඇත්තටම අපේ උනන්දුවට වඩා දරුවන්ට එයාලගේ හදවතින්ම දැනෙන්න ඕනී මේ දේ කරන්න ඕනී කියන දේ. එහෙම නැතිව අපේ බල කිරීමට විතරක්ම එයාලා ඉලක්ක සපුරගන්න යන්නෙ නැහැ කියලයි මට හිතුනේ. ”

ඇත්තම ජිවිතය කියන්නේ අභියෝගයක්. ඒ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට වර්තමානයේ අප ලබන අත්දැකීම් බොහොමත්ම වැදගත්ය.

” අපේ පුතාගේ ලකුණු 158යි”

” අනේ ඇත්තද හොඳයිනේ ”

” ඔව්, ඒත් කඩඉම් ලකුණ 159යි. එක ලකුණෙන් එහා මෙහා වුනේ. පුතාට හුඟාක් දුක හිතිලා. අපටත් එහෙමයි. ඒත් අපි එයාගේ හිත හදන්න උත්සහා කරනවා.”

දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඔවුන්ව උනන්දු කරවලා ඔවුන්ව දැනුමින් සන්නද්ධ කරන්න දෙමාපියන් වශයෙන් ඔබ දැරූ උත්සහය හා කැපකිරීම අගය කළ යුතුය. දැන් ඔබට පැවරී ඇත්තේ ඊටත් වඩා භාර දූර කටයුත්තකි. ලකුණකින් හිත තැලී මානසිකව ඇද වැටී සිටින ඔබේම දරුවා නැවත මානසික වශයෙන් ශක්තිමත්කර අනාගතයට සුදානම් කිරීම ඔබගේ යුතුකමය. දරුවන් අපි සිතනාවාටත් වඩා සිතනවා. එනිසාම ඔවුන් බෙහෙවින් දුකට පත්වේ. 171 ගත්ත පුතා දුක් වෙන්නේ එයාගේ හීනය බොඳ වුන නිසයි. 147 ගත්ත දුව දුක් වෙන්නේ විභාගයට එයා උනන්දුවෙන් මුහුණ නොදුන්න නිසයි. 158 ගත්ත පුතා දුක් වෙන්නේ කඩ ඉම් ලකුණ පසු කරගන්නට බැරි වීම නිසයි.

දන්නවද මේ දරුවො තුන් දෙනාටම වඩා ලකුණු 97ක් ගත්ත දරුවකු සතුටින් ඉන්න බව. මේ දරුවො තුන් දෙනාටම දෙමාපියන්ගෙ නොමද සහයෝගය වගේම උනන්දු කරවීමත් තිබුණනේ. ඒත් මේ පුංචි සමනලීට එහෙම තිබුණෙ නැහැ. පන්තියේ දුර්වල ළමයෙක් විදිහටයි උන්නේ. ඒත් එයාගෙම උත්හයෙන් උපකාරක පන්තියකටවත් නොයා මේ දරුවාගේම උත්සහයෙන් එයා ලකුණු 97ක්ම ලබා ගත්තා. ඇත්තටම එයාගේ අම්මවත් හිතලා නැහැ මේ විදිහට ලකුණු ගනියි කියලා.

” අම්මා මට ඉගෙන ගන්න පුලුවන් මට මං ගැන සතුටුයි ” කියලා පුංචිකමට එයා කිව්වලු.

එකම හේතුවක් නිසා කෙනෙක් ඇද වැටෙන කොට තවත් කෙනෙක් ඒ හේතුව නිසාම ජීවිතයට පන්නරය ලබා ගන්නවා. දරුවන්ව අභියෝග වලට සූදානම් කලයුත්තේ දුක් සැප සම සිතින් දරා ගන්නට පුරුදු කරමින්ය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය … ඇත්තටම පහ වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවකුගේ මුලු අනාගතයම තීරණය කරන සන්ධිස්ථානයක් නෙමෙයි කියන එකයි මගේ මතය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  සිදු වන්නේ දරුවකුට පහසුකම් සහිත පාසලකට යන්න හා ශිෂ්‍යධාර ලබා ගැනීමට සුදුස්සන් තේරීමයි. පැය කිහිපයක් තුල දරුවන් වසර කිහිපයක් උගත් දෑ කොළයකට ගොනු කරද්දි අති දක්ෂ දරුවන් වුවත් කාලයට පරදින්නට පු`ඵවන්. ඇත්තටම තමන්ගෙ දරුවා අපේක්ෂිත ජයග්‍රහණය වෙත ළඟා නොවු නමි තව දුරටත් ඔවුන්ට බැන වදිමින් ඔවුන් නොහැකි පුද්ගලයන් යැයි චෝදනා කරමින් ඔවුන්ව මානසික වශයෙන් අවතැන් කරවන්න උත්සහා නොකරන්න. වැටුන තැනින් නැගී සිටින්නට ඔවුන්ට පන්නරය ලබා දෙන්න. එවිට ඔවුන්ගේ අනාගතය පැහැබර වනු නියතය.

වැටුනු විට වරක්

නැගිටින්න අත දෙන්න…

වැටි වැටි නැගිටින කල

ලැබෙනු ඇත ජීවිතයට පන්නරය…

වැටුන තැන වැටුන ලෙස සිටියොතින්

ජිවිතය හැමදාම වැටුන තැනම වැටී

මිලිනව මියැදී යාවී…

ගෙවී ඇත ඊයේ , උදා වී ඇත අද

උදාවෙනු ඇත හෙටක්

ඉතින් කුමට සෝකය…

දරුපැටවුන්ට ජීවිතය පුරා

සතුටින් තටු සලා පියඹා යන්න

පන්නරය ලබා දෙන්න

අම්මේ තාත්තේ සෙනෙහසින් …

ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්රිය හා පියයුරු සම්බන්ධ සුලබ රෝග පිළිබඳ දැනුවත් වෙමු

දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන නිරෝගී දරු පැටියා අම්මාගේ සම්පතයි. ඔබේ දරුවාගේ නිරෝගී බව තහවුරු කරගැනීමට මෙන්ම යම් අසාමාන්‍යතාවයක් ඇත් දැයි දැන වෛද්‍ය උපදෙස් කරා යොමුවීමටත් මවක සතුව යම් දැනුමක් තිබීම ඉතා වැදගත් වේ. දරුවන්ගේ යම් යම් ඉන්ද්‍රියයන් ආශ‍්‍රිතව බහුල වශයෙන් දැකගත හැකි නොයෙක් ආකාරයේ විකෘතිතාවයන් මව්වරුන්ට හ`දුනාගත හැකිවන්නේ එවිටයි. මේ ලිපිය සැකසෙන්නේ ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්‍රිය හා පියයුරු ආශ‍්‍රිතව ඇති විය හැකි යම් යම් විකෘතිතා හ`දුනා ගැනීමට මව්වරුන් දැනුවත් කිරීමේ අටියෙනි.

ගැහැණු දරුවෙකුගේ ලිංගික පද්ධතිය තුළ මුත‍්‍රා මාර්ගය හා යෝනි මාර්ගය ප‍්‍රධානව පිහිටා ඇත. එසේම පිරිමි ශිෂ්ණයට සමාන වූ ක්ලයිටොරිස් ^Clitoris) සහ එම අවයව වට කොට සමෙන් ඇතිවු ආවරණ දෙකක් ද සහිතය. මේ අතරින් තෙතමනය පවතින කොටස ලේබියා මයිනෝරා (Labia Minora) ද වියලි සාමාන්‍ය සම ලේබියා මෙජෝරා (Labia  Majora) ද නම් වේ. ගැහැණු දරුවන්ගේ කන්‍යාපටලය යෝනි මාර්ගය පටන් ගන්නා ස්ථානයෙහි පිහිටයි. යෝනි මාර්ගයට ලිහිසි ද්‍රව්‍ය ශ‍්‍රාවය කරන බාතෝලියන් සිස්ට් (Bartholian Cyst) නම් ග‍්‍රන්ථ දෙකක් යෝනි මාර්ගයේ දෙපස පිහිටා තිබේ. මේ පිහිටීම්වල යම් යම් අසාමාන්‍යතා ඇතැම් විට දැක ගත හැකිය.

ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්රිය ආශිරතව ඇති සුලබ රෝග තත්ත්ව : 

සම්පූර්ණ ලිංගික පද්ධතිය වැසී පැවතීම  (ලේබියල් ඇඞ්හිෂන්ස් – Labial Adhesion)

මෙහිදී සිදුවන්නේ තෙතමනය සහිත ලේබියා මයිනෝරාවන් සුළු සීරීම් හෝ ආසාදන හේතුවෙන් එකට ඇලීම සිදුවේ. මේ නිසා මුත‍්‍රා මාර්ගයේ විවරය හෝ යෝනි මාර්ගයේ විවරය, සම්පූර්ණයෙන්ම හෝ එසේත් නැතිනම් මද වශයෙන් හෝ වැසී යා හැක. එමගින් මුත‍්‍රා පිටකිරීමේදී ඇති වන අවහිරතාවය සහ යෝනි මාර්ගයේ ශ‍්‍රාවයන් පිටතට නොපැමිණීමෙන් ඇති වන විෂබීජ තත්ත්වය නිසා ඒ අවට කැසීමක් ඇති විය හැකිය. එසේම දුර්ගන්දයක් ඇතිවීමටද ඉඩ ඇත. එය මුත‍්‍රාශයේ හෝ වකුගඩුවල ආසාදන තත්ත්වයන් ඇති වීමට හේතුවක් විය හැකිය. මෙවැනි අවස්ථාවන්වලදී  එය ඉතා භයානක තත්ත්වයක් යැයි සිතා දෙමාපියන් බොහෝ සේ කලබලයට පත් වුවද  ඕනෑම තෙතමනය සහිත පෘෂ්ඨ දෙකක් ආසාදනය වී හෝ සිරීම් ඇති වී එක ළග තිබෙන විට ඇලීම් ඇති වීම ස්වභාවික තත්ත්වයකි.

වැඩිවිය පත් වූ  දැරියකට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවන්නේ සිරුරේ පවතින ඊස්ට‍්‍රජන් /ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන මගින් ඇලිම වළක්වාලන බැවිනි. කුඩා ගැහැණු දරුවන්හට මේ තත්ත්වය ඇති වූ විට ඊස්ට‍්‍රජන් හෝමොනය ඇතුළත් ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මත ලබා දේ. ආලේප මගින් 100%ක් මෙම තත්ත්වය සුව අතට හැරණද ගැහැණු දරුවා වැඩිවිය පැමිණෙන තෙක් වරින් වර මේ පිළිබ`ද අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.

සැ. යු. හෝමෝන වර්ග අඩංගු ආලේපන වර්ග කිසිදු විටෙක සති තුනකට වඩා වැඩි කාලයක් භාවිත නොකළ යුතුය. මන්ද එහි අන්තර්ගත හෝමෝන නිසා ගැහැණු දරුවා ද්විතියික ලිංගික ලක්‍ෂණ පෙන්නුම් කළ හැකි නිසාය. යම් හෙයකින් දරුවා ද්විතීයික ලාංගික ලක්‍ෂණ පෙන්නුම් රයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවනන.

කන්යාපටලයේ සිවිය වැඩිපුර පැවතීම (Hymnal tags)

මෙය රතු පැහැයෙන් හෝ අසාදනයක් ලෙස හෝ පිහිටිය හැකි අතරම සුළු ශල්‍යකර්මයකින් ඉවත් කළ හැකි වේ.

යෝනි විවරය සම්පූර්ණයෙන්ම විවෘතව නොපැවතීම (Imperforate Hyman)

ඉතා කලාතුරකින් හමුවන මේ අවස්ථාවේදී සිදුවන්නේ ගැහැණු දරුවා වැඩිවිය පැමිණි පසු ඔසප් රුධිරය ගලා යෑමට එමගින් ඇති වන බාධාව නිසා යෝනි මාර්ගය සහ ගර්භාෂය ඔසප් රුධිරයෙන් පිරෙන අතරම අධික වේදනාවක් හට ගැනීමයි. මේ සඳහා සරල ශල්‍ය කර්මයක් මගින් සහනය සලසාගත හැකිය.

බාතෝලියන් ග‍්‍රන්ථ ඉදිමීම

ඉඳහිට වාර්තා වන මේ තත්ත්වය විශේෂිත ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට පත්කළ හැකියි.

ඊට අමතරව මුත‍්‍ර මාර්ගයේ බිත්තය පහළට වැටීම (Urethral Prolapse) මුත‍්‍ර මාර්ගයේ ඇති වන වතුර ගෙඩි (Urethral Cysts)/ගුද මාර්ගය, යෝනි මාර්ගය ආසන්නයේ පිහිටීම/ ගුද මාර්ගය යෝනී විවරය තුළ පිහිටීම වැනි අවස්ථාද කලාතුරකින් දැකගත හැකි අතරම මේ තත්ත්වයන් ද විශේෂ ශල්‍යකර්ම මගින් යථා තත්ත්වයට පත්කිරීම සිදු කළ හැකිය. එසේම පිරිමි දරුවන් ලිංගිකව, ගැහැණු දරුවන් ලෙසද ගැහැණු දරුවන් ලිංගිකව, පිරිමි දරුවන් ලෙසද පිහිටන අවස්ථා ද දරුවන් අතර වාර්තා වේ. දරුවාගේ අනන්‍යතාවය තහවුරු කිරීම උදෙසා පළමුව දරුවාගේ නිවැරදි ලිංගිකත්වය පරීක්‍ෂා කොට සැත්කම් මගින් නිවැරදි ලිංගිකත්වයට ඉක්මණින්ම දරුවා යොමු කරයි.

මවගේ හෝමෝනවල බලපෑම මත ඉපදුණු විගස දියණියකගේ ගර්භාෂයේ රුධිර වහනයක් ඇති වී යෝනි මාර්ගයෙන් රුධිරය පිටවුවද ඒ තත්ත්වය දින දෙක තුනකින් මගහැරී යයි.

මේ අවස්ථාව හැර යෝනි මාර්ගයේ රුධිරය පිටවිය හැකි අවස්ථා ලෙස දැරියක වැඩිවිය පැමිණීම දැකවිය හැකිය. නමුත් එම වයස් සීමාවට නොපැමිණිනි කුඩා දැරියකට මෙවැනි තත්ත්වවයක් ඇති වන්නේ නම් එය ඉතා කුඩා වයසේදීම සිදුවිය හැකි වැඩිවිය පැමිණීමක් (Precocious puberty) නිසා විය හැකිය. කෙසේ වුවද රුධිරය සමග සැරව හෝ දුගදක් හමන්නේ නම් යෝනි මාර්ගයේ සිරවී ඇති අමතර ද්‍රව්‍ය (Foreign Bodies) තිබේදැයි සොයා බැලීම ස`දහා වෛද්‍ය උපදෙස් පරිදි ස්කෑන්  (US / CT Scan) පරීක්‍ෂණ හා ස්කෝප්  පරීක්‍ෂණ (Cystoscopy/Vaginocsopy) වෙත යොමුවීම වැදගත් වේ.

දරුවන්ගේ පියයුරු අශ‍්‍රිතව දැකිය හැකි සුලබ රෝග තත්ත්ව: 

මවගේ කිරි නිපදවීමේ හෝමෝන දරුවා තුළද ක‍්‍රියාත්මක වීම නිසා දරුවාගේ ද කිරි නිපදවී තනපුඩුවලින් කිරි පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. දරුවාගේ කුඩා තනපුඩුවල ප‍්‍රධාන නාල වර්ධනය වී නැති අවස්ථාවන්හිදී කිරි එකතුවී අසාදනයට ලක්විය හැකිය. මෙවිට කළ යුත්තේ  මද රස්නේ වතුරෙන් තවන ගමන් ඉතා මෘදුව කිරි ඉවත් කිරීමට උත්සාහ ගැනීමයි. තන පුඩු පැසවා සැරව එකතු වී ආසාදනයට ලක් වුවහොත් ශල්‍යකර්මයකට යොමු කිරීමට සිදුවන අතරම ගැහැණු දරුවෙකුගේ නම් ඇයගේ පියයුරුවල මතු ක‍්‍රියාකාරීත්වයට බාධාවක් නොවන පරිද්දෙන් ශල්‍යකර්මය සිදුකිරීම වඩා වැදගත් වේ. (අතීතයේදී දරුවාගේ තනපුඩු මිරිකා කිරි ඉවත් කිරීමට වැඩිහිටියන් පුරුදුව සිටියද එමගින් පියයුරුවල පටක තුවාල වී කිරි සමග මිශ‍්‍ර වී බැක්ටීරියා ආසාදනයක් ඇති විය හැකිය. ඒ හේතුවෙන් සැරව ගෙඩි ඇතිවේ. එබැවින් මිරිකා කිරි ඉවත්කිරීම අවදානම් සහගත විය හැකිය.)

තවද ඇතැම් දරුවන්ගේ කුඩා කාලයේදීම අසාමාන්‍ය ලෙස පියයුරු වර්ධනය වන අවස්ථා දැක ගත හැකිය. ගැහැණු දරුවන්ගේ පමණක් නොව පිරිමි දරුවන්ගේද එක් පැත්තක පියයුරක් අසාමාන්‍ය ලෙස වර්ධනය වන අවස්ථා සුලබව දැක ගත හැකිය. පියයුරේ තනපුඩුව යට බොත්තමක් (Breast Disc) සේ ඇති කොටස ඉදිමී වේදනාවක් ගෙනදෙන අතරම මේ තත්ත්වය ඇති වීමට විශේෂිත හේතුවක් ස`දහන් කළ නොහැකිය. එසේම ඇතැම් ගැහැණු දරුවන්ගේ පියයුරුවල ගෙඩි වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම ඔවුන්ට ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය වේ.

මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ පරිණත නොවූ ගැහැණු දරුවන්ගේ පියයුරු එකම ප‍්‍රමාණයෙන් වර්ධනය වන්නේ නම් කුඩා කාලයේදීම වැඩිවිය පත්වීමේ (Precocious puberty) පෙරනිමිත්තක් ලෙස එය දැක්විය හැකිය.

දරුවන්ට ඇති විය හැකි යම් යම් ආබාධ පිළිබදව හ`දුනා ගැනීමට මව්වරුන් ලෙස ඔබ තුළ කෙතරම් දැනුවත් බවක් තිබිය යුතුද යන්න පිළිබ`දව දැන් ඔබට පැහැදිලි ඇති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශල් වෛද් විශේෂඥ ඵස්. කස්තුරි මහතා සමග සකස් කරන ලද ලිපියකි.

අම්මේ මට කතාන්දරයක් කියලා දෙන්න.

පුංචි දරුවන් අත්තම්මලාට කිට්ටු වෙලා කථන්දර අහන්න අතීතයේදී දැක්වූයේ පුදුම කැමැත්තක්.අත්තම්මලාත් දරු මුණුපුරන් ලං කරගෙන කථන්දර කියලා දුන්නේ බොහොම කැපවීමෙන්. එය ඔවුන්ගේ ජීවිතයේ එක් රටාවක් වුණා.

නමුත් අද දවසේ අත්තම්මේ…එහෙම නැත්නම් අම්මේ මට කථන්දරයක් කියාගෙන උකුලට එන්නේ නැහැ. එහෙම එන්න තරම් ඔවුන්ට වෙලාවක් ඇත්තේ නැහැ. අම්මලා අත්තම්මලාටත් ගෙදර දොර වැඩයි…රූපවාහිනි වැඩසටහන් සමග තිබෙන සම්බන්ධතාවයයි නිසා දරු මුණුපුරන් සමග විවේකව කාලය ගෙවන්න අවසරයක් නැහැ.

අපි කථාන්දර අසන දරුවන් ගැන ඒ තරම් දුරට සුබවාදීව නොසිතුවට එයින් දරුවට ලැබෙන වාසි බොහොම ඉහලයි.අද පාසල් වයසේ දරුවන් මුල් කර ගෙන නැගෙන ලොකුම චෝදනාව වෙන්නේ මේ ළමයි කිසිම දෙයකට අවධානය දෙන්නේ නැහැ…ඒත් කථන්දර අහන දරුවන් මීට වඩා වෙනස්..කථාවක් කියා ගෙන යද්දී ඔවුන්ගේ හිතට නැගෙන අදහස නිසාම කථාව සමග දරුවන්ගේ අවධානය මොනතරම්ද වග අපට තේරුම් ගත හැකියි.

ඉතිං ඊට පස්සේ…

ඔන්න එකමත් එක රටක කියලා පටන් ගන්න කථන්දරය අවසාන වෙන තෙක්ම දරුවන් කථාවට සම්බන්ධ වෙනවා. කථාව අහන අතරවාරයේම හූ මිටි තියන්නත් ඕන…මේ නිසා කථාව සමග දරුවාගේ අවධානය මුල සිටම බැ‍ඳීමෙන් සිද්ධ වෙනවා. යම් තැනකදී ඉතිං ඊට පස්සේ මොකද වුනේ කියන ප්‍රශ්නය දරුවාගේ හිතට නැගෙන්නේ ඔහුගේ තිබුන අවධනයේ ප්‍රබලතාවය නිසයි.කතාව තව දුරට කියාගෙන යද්දි දරුවාගේ හිතේ මෙහෙම පැනයක් නැගෙනවා.

පුංචි කුමාරි ‍බේරාගන්න රජතුමාට තිබුනා නේද…

දරුවාගේ හිතේ විකල්ප අදහස් ඇති වෙනවා. මේ නිසාම දරුවා නොදැනම යම් යම් තීරණ ගැන අදහස් බාල කාලයේ පටන්ම ගොඩ නැගෙනවා. අද දරුවන්ට කිබෙන ලොකුම ගැටලුව වී තිබෙන්නේ කන බොන දෙය පවා මව්පියන්ගේ තීරණ මත සිද්ධ සමහර සන්ධිස්ථාන ගැන දරුවන්ගේ හිතේ ඇතිවෙන ගැටළු වලට ඔවුන්ම පිලිතුරු සපයා ගන්නවා.

මෙම විකල්ප විසඳුම් සොයන විට දරුවන්ගේ නිර්මානශීලී සිතුවිලිත් ඉබේටම පෝෂණය වෙනවා. නිර්මානශීලිත්වය එක රැයකින් ගොඩ නගන්න බැහැ. එය ජීවිතයෙන්ම පෝෂණය ලබන්න අවශ්‍යයි. කථාන්දරවලට හොඳින් සවන්දෙන දරුවන් තුළ රසභාවයන් ගොඩ නැගෙන නිසාම ඔවුන්ගේ ජීවිතයට නිර්මාශිලිත්වය අමුතුවෙන් එන්නත් කළ යුතු නැහැ.

මමත් ආසයි වීර කුමාරායා වගේ වෙන්න

අතීතයේදී දරුවන්ගේ ජිවිතය වෙනුවෙන් වටිනා ආදර්ශ ලැබුනේ කතාන්දරවලින්. ගැමුණු කුමාරයාගේ දස මහ යෝධයෝ ගැන, විහාරමහා දේවිය වැනි චරිත විතරක් නොවෙයි කීකරු දරුවන්ට ලැබෙන හොඳ විපාක ගැනත් අපූරු ආදර්ශ ලබා දුන්නා. බොරුවට කොටියා ආවා කියලා ගම රවටන ලද දරුවා කොටියාට බිලිවුන හැටි අහන දරුවාගේ හිතේ එහි විපාක ගැන අදහස් ගොඩ නැගෙනවා. මේ දේ නරකයි…මේ දේ හොඳයි යන අවවාද වලට වඩා කතන්දර දරුවාගේ හිතට සමීප වුණා.

එදා මිනිසුන්ගේ ජීවිත සමග සම්බන්ධ වුන කතන්දර කලාව ගැන අද බොහොම වටිනාකම් ගොඩ නැගිලා තිබෙනවා. මෑතකදී සිදුකරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ කතාන්දර මගින් දරුවන්ගේ අධ්‍යාපනයට 87 % ත පිටුබලයක් ලැබෙන බවයි. මේ නිසා අද ලෝකය පුරා කතන්දර කලාව ගැන බොහොම ප්‍රශංසාවෙන් කතා කරනවා. ඒත් මොනතරම් හිතකර ප්‍රතිඵල ලැබුනත් කාර්යබහුල ජීවිතය නිසාම කතාන්දර අහන්නත් කියන්නත් අද වෙලාවක් නැහැ.අධ්‍යනයට සම්බන්ධ උදවියගෙන් 13% ක්ම කියා සිටියේ දරුවන්ට කථාන්දර කියා දෙන්න ඔවුන්ට වලාවක් නැති බවයි. නමුත් අධ්‍යනය සිදු කරන ලද පර්යේෂකයන් කියා සිටියේ සතියකට එක් දිනයක්වත් මේ වෙනුවෙන් උපයා ගත්තොත් දරුවන් වෙනුවෙන් ඉතා හිතකර වාතාවරණයක් ගොඩ නැගෙන බවයි.

තම දරුවන් වෙනුවෙන් කතාන්දර කියා නොදෙන මව්පියන් වුනත් කියා සිටියේ ඔවුන්නම් බාල කාලයේදී කතාන්දර අසා රස වින්දනයක් ලබා ගත් බවයි.

එහෙමනම් ඔවුන්ගේ දරුවන්ට කතාන්දර කියා නොදෙන්නේ…

අද විද්‍යුත් නාලිකා ඉතා ප්‍රබලයි. ඒ වගේම විසිතුරුයි.දරුවන් වඩාත් කැමැත්තක් දක්වන්නේ මේ නාලිකාවන් සමග සම්බන්ධ වෙන්නයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පහසුකම් නිවසේම තිබෙනවා.

දරුවන් බලන කියන දේ ගැන පසුවිපරම් කරන්නත් බැහැ.

අද දරුවන් තමන්ට ගැලපෙන දෙය සහ නොගැලපෙන දෙය අතර වෙනස තෝරා ගන්න දන්නෙත් නැහැ. ඒවා තෝරා දෙන්න මව්පියන්ටත් අවස්ථාවක් නැහැ. මේ නිසාම දරුවන් තමාට නොගැලපෙන දෙයට දක්වන නැඹුරුතාවය ඉහලයි. ඒත්…වැඩිහිටියෙක් කියා දෙන කතාන්දරයකදී ඔවුන් ඒ ගැන සීමාවන් පනවා ගන්නවා. වෙන දෙයක් තබා නින්දට යන වේලාවට හිතට බිය ගෙන දෙන කතාන්දරයක්වත් දරුවන්ට කියා දුන්නේ නැහැ. ඒ වෙලාවට හිත නිවෙන කතාවක් කියලා දුන්නේ දරුවා හීනෙන්වත් බය වීම හොඳ නැති නිසයි.එදා දරුවන් හැම දෙයම මව්පියන්ගෙන් ඉගෙන ගත්තා. අද තොරතුරු සන්නිවේදන තාක්ෂනයේදී දරුවන් මව්පියන්ට වඩා ඉදිරියෙන්. මේ නිසා ඔවුන් නොමග යන රටාව මව්පියන්ට තේරුම් ගැනීමත් අසීරුයි.

ඒත්…මනෝ විද්‍යාව නොදැන හිටියත් එදා උදවිය අත්දැකීමෙන් ලබා ගත් පන්නරය මහත් ආශ්චර්යක්. අද දරුවන් නන්නත්තාර වීම ගැන අපි චෝදනා කලාට ඒ පිටුපසින් තිබෙන හේතු ගැන තවමත් දන්නේ නැහැ. මේ වගේ සරල රටාවන් මගින් එදා දරුවන්ගේ හිතේ සියුම් තැන් බොහොම සීරුවට වැඩිහිටියන් තේරුම් ගත්තා. අදටත් අපි  මේ වෙනුවෙන් ප්‍රමාද නැහැ.

 

දරුවාගේ හිත කියවන මනෝවිද්‍යාඥයෙකුගේ තැනට ඔබ පත් වෙන්න

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර මුදු මෙලෙක් ගති පැවැතුම් ඇති පිරිසක්. ළමයින් ඉන්න ඕන අපි කියන විදිහට….අම්මලා තාත්තලාගේ ආකල්පය මේ විදිහට සැදුනත් ඇත්තටම අපි අද දරුවාට දක්වන ආදරය සහ කරුණාව අනාගතයේදී දරුවාගේ පෞරෂ ගති පැවැතුම් සකස් වීමට බෙහෙවින් පාදක වෙන බව අමතක කළ යුතු නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවාගේ හිත කියවන්න දන්නා මනෝවිද්‍යාඥයෙකුගේ තැනට පත් වීම අවශ්‍යයි.

එසේ නම් අපි දරුවාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් සූදානම් කරන්නේ කොහොමද ? හැම අම්මා කෙනක්ම තාත්තා කෙනෙක්ම හිතන්නේ හිටු කියන තැන සිටින විදිහට දරුවා හැඩ ගසා ගත්තොත් ඔබ දිනුම් බවයි. එහෙත් ඔබ නොදැන සිටියාට ඒවායේ පසුවිපාක ඉතාම දරුණුයි. මනෝ විද්‍යාඥයන් සඳහන් කරන අන්දමට අද සමාජයේ වැදගත් තැනකට පත් ඇතැම් පුද්ගලයන්ට පවා ප්‍රශ්න වලට මුහුණ දීමේ ආත්ම ශක්තිය නැහැ. මෙම පුද්ගලයන් අලලා සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ එම පුද්ගලයන්ගේ බාල කාලය ඉතාම අමිහිරි අන්දමින් ගෙවුන බවයි. අම්මා තාත්තාගේ අණසක මිස එයින් ඔබ්බට ගිය ආදරය කරුණාව මේ පුද්ගලයන්ට ලැබී කිබුනේ නැහැ. ඒ නිසාමදෝ ඔවුන් සමාජ ගැටළු ඉදිරියේ ඉතාම බෙලහීන චරිත බවට පත් වුණා.

අපි අතර තිබෙන එක් වැරැදි අදහසක් තිබෙනවා ඒ අනුව කියන්නේ දරුවන්ට ආදරය පෙන්වීම අවශ්‍ය නැති බවයි. නමුත් අපි අතර තිබෙන මෙම අදහස දැන් ප්‍රතික්ෂෙප විය යුතුමය. ඇත්තටම දරුවන්ට දැනෙන්න ආදරය තළ යුතු බව දැන් මනෝවිද්‍යාඥයන් පවා පිළිගෙන තිබෙනවා. තමාට මව්පියන්ගේ ආදරය දැනෙන්න ලැබෙන විට තමා ආරක්ෂිතය යන ධනාත්මක සිතුවිල්ලෙන් දරුවා පොහොසත් වන නිසා ඔහු තුල ආත්ම ශක්තිය වර්ධනය වෙනු ඇත.

ඇමරිකානු ජනාධිපතිවර ඒබ්‍රහම් ලින්කන් වරක් සඳහන් කළේ උපත ලබන විට දරුවාගේ හිත පිරිසිදු පුවරුවකට සමාන බවයි. එයින් අනතුරුව ජීවිතය සමග දරුවා ලබන අත්දැකීම් අනුව ඔහුගේ චිත්ත ශක්තීන් වගා වෙනු ඇත. එහි මුල්ම දායකත්වය අම්මා සහ තාත්තාය. එයින් අනතුරුව සහෝදර සහෝදරියන්ය. මෙම පිරිස් සමග දරුවා ගෙවන ජීවිතය තුළ අනාගතයේ සමාජයට මුහුණ දීමේ ශක්තිය ගොඩ නැගෙනු ඇත.මේ නිසාම දරුවාගේ මුල් ළමා විය තුළ ඔහුට අවමන් නොකළ යුතුය. බොහෝ මව්පියන් ඉතාම පහසුවෙන් දරුවන් මෙල්ල කරන්නේ මෙම අවධියේදීය. ඊට හේතුව දරුවා මෙම කාලය ගත කරන්නේ මව්පිය අණසක යටතේය.

අපි කන්න බොන්න දෙනවා නම් දරුවන් අපි කියන විදිහට සිටිය යුතුයි. ඔබ සිතන්නේ එසේය. එහෙත් දරුවාටද යම් ස්වාධීනත්වයක් ඇත. තෝමස් අල්වා එඩිසන් පාසල් කාලයේදී කැපී පෙනන දක්ෂයෙක් වූයේ නැත. ඔහු ඉතා දුර්වල දරුවෙකි. මේ නිසා දිනක් විදුහල්පතිවරයා තෝමස් අත මවට ලිපියක් එව්වේය. එහි තිබුනේ මේ මෝඩ දරුවා පංතියට හිරිහැරයක්….ඔහු ඉගෙන ගන්නා එකෙක් ‍නොවෙයි….ඒ නිසා පාසලට එවන්න එපා යනුවෙන්ය.

මව කිසිදු වෙනසක් නොදක්වා ලිපිය කියවාගෙන ගියාය.

අම්මේ ලොකු සර් මොකද කියන්නේ….තෝමස් ඇසුවේය.

මගේ පුතා හරි දක්ෂයෙක්….ඒ නිසා ගෙදර තියාගෙන උගන්වන්න කියලා…අම්මා පිලිතුරැ දුන්නාය.තෝමස්ට ආත්ම විශ්වාසය ගොඩ නැගුනේ එතැනදීය. ඔහු පසුකලෙක විද්‍යාඥයෙක් බවට පත් වීමේ පන්නරය අම්මා නිහර්ඬව ලබා දුන්නාය. ඇය එම අවස්ථාවේදී දුම්මල වරම අතට ගෙන කාලකණ්නියා….අපිට උඹ ඉස්කෝලෙ යවලාවත් නිදහස් නැහැ. උඹට වියදම් කරන සල්ලිවලින් ගොනෙක් හැදුවා නම් මීට වඩා හොඳය යනුවෙන් කියමින් අවලාද නැගුවේ නැත එදා අම්මා එසේ තෝමස්ට අවමන් කළා නම් අද විද්‍යාඥයන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම එක්වන්නේ නැත.

කාලය නොදැනම ගෙවී ගියේය. අම්මාගේ මළගම හමාරව එක් දිනක් නිවසේ පැරණි පොත් පත් අවුස්සන විට තෝමස් අල්වා එඩිසන්ට මෙම ලිපිය හමු විය. මෙම ලිපිය දිනක විදුහල්පතිවරයා තමාට දුන් බව ඔහුගේ සිහියට නැගුණි.

එහි වූ දෙය කියවන විට තෝමස්ට අම්මා ගැන ඇති වුනේ අසීමිත ආදරයටත් වඩා ගෞරවයකි. මගේ අම්මා මොන තරම් බුද්ධිමත්ද….? ඔහු සිතුවේය. අම්මාගේ ප්‍රතිචාරය එදා මීට වඩා වෙනස් වුවා නම් …..අද තමා සිටින්නේ කොතැනද යන්න ඔහුටත් සිතා ගත නොහැක.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් ඇතැම් ගස් දෙපෙත්ත නිසරු වුවත් පසු කලෙක හොඳින් දළු ලනු ඇත. රිචඩ් බ්‍රැඩ්සන් අද ලෝකයේ සිටින කෝටිපතියෙකි. පංතියේ ගුරුවරයා දවසක් ඔහුට තර්ජනාත්මකව කියා සිටියේ  උඹ කවදා හෝ ලෝක හොරෙක් වෙනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි. ඇත්තටම ඔහු හොරෙක් නොව කෝටිපතියෙක් බවට පත් වූයේ ගුරුවරයාගේ අනාවැකි පුස්සක් බවට පත් කරමින්ය.

මේ නිසා කිසිදු දිනක දරුවන්ට නිගා දෙන සේ කතා නොකරන්න. ඔවුන්ට යම් අභිමානයක් ඇත.  ඒ අභිමානය අපි දරුවන් වෙනුවෙන් ලබා දීම අවශ්‍යය. දරුවන් පමණක් නොව සතුන් පවා අභිමානය ඉදිරියේ උත්තේජනය ලබන්නේ නම් දරුවන් වෙනුවෙන් අභිමානයක් අවශ්‍ය නැතැයි අපට තර්ක කළ නොහැක. අලියෙක් තමාට රාළහාමි යැයි ඇමතු විට මෙල්ල වෙන බවත් නයා වැනි විස සතුන් පවා ගරුත්වය ඉදිරියේ හීලෑ වෙන බවට සමාජ සම්මතයන් ඇත. එසේ නම් දරුවන් ඉදිරියේ මෙම ආකල්පය බැහැර විය යුතු නැත.

බොහෝ දෙනා හිතන්නේ ප්‍රසිද්ධියේ ලබා දෙන නිගාවන් නිසා දරුවා ලැජ්ජාවට පත්ව ඉදිරියේදී යහ මගට හැරෙන බවයි. විටෙක දරුවා එම වැරැද්දෙන් මිදෙනු ඇත. එය ඇත්තකි. එහෙත් තමාගේ ආත්මාභිමානයට ඇති වුන නිගාව ගැන මානසික ලෙසින් මහත් සේ කම්පාවට පත් වෙනු ඇත. එම කම්පනය හිතේ කොතැනක හෝ පැලපදියම්මව අනාගතයේ මානසික හුදෙකලාවට පත් චරිතයක් තුළ ඔවුන්ගේ ජීවිත ගොඩ නැගෙනු ඇත.

ළමා දිනය සමරන දිනට අපි දරුවන් ගැන මහත් ඉහලින් කතා බහ කරමු. ඔවුන් ජාතියේ ජීවනාලිය බව සිහියට නැගෙන්නේ එදාට පමණි. දරුවා යනු  රැකගත යුතු සම්පතය යන අදහස එදිනට පසුව හෙමෙන්ම අමතක වෙනු ඇත. දරුවාට නිවසේ ආරක්ෂාව නැත එතැනින් එපිටට ගම ගැන කතා කිරීම අවශ්‍යම නැත. දරුවා අපේ නම් අපි දරුවා වෙනුවෙන් සැදී පැහැදී ඔවුන්ගේ පෞරෂය ගොඩ නැගීමට දායක විය යුතුමය. එය ළමා දිනයට සීමා විය යුතු නැත. හෙට දවසේ වීරයන් ඔවුන්ය. මෙම වීරයන් බෙලහීනයන් බවට පත් විය යුතු නැත.

දරුවා නිතරම කෝප ගන්වන්න එපා

මවකට දරුවා සම්පතකි. මේ සම්පත අංග සම්පුරණ කර ගැනීමට නම් අම්මා අත රැදී ඇත්තේ විශාල වගකීමකි. නමුත් මවුවරුන් කොතරම් දරුවන්ට ආදරේ කලත් දරුවන් සමග ක්‍රියා කරන්නේ කොහොමද යන්න ඔවුන්ට ඇත්තේ ඉතාමත් අඩු දැනුමකි. ඔබ එපා කියන දේවල් සිදු කරන විට ඔබ දරුවාට යම් කිසි දඩුවමක් ලබා දිය හැකිය. ඔබ දරුවට දඩුවම් කරන විට හෝ යම් කිසි බැන වැදීමක් සිදු කරන ඔවුනට කේන්ති යන්නට පුළුවනි. පුංචි ළමා සිතකට වුවත් කෝප යෑම සාමාන්‍ය දෙයකි.

දරුවාට ඇති වන කෝපයේ අඩු වැඩි ප්‍රමාණය අනුව දරුවා ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස්ය. දරුවා කෑ ගසනවා, බිම පෙරළෙනවා, තම අත ඇති දේ විසි කරනවා, සෙල්ලම් බඩු කඩා දමනවා ආදී ලෙස විවිධ ස්වරූප ඔස්සේ තම කේන්තිය ප්‍රකාශ කරනවා. ඔබේ දරුවා ඉතාමත් කැමැත්තෙන්, සතුටින් සිදු කරන යම් ක්‍රියාවක් දරුවට හානි කර විය හැකිය. ඇතැම් දරුවන් යකඩ සහිත උපකරණ වලින්, පිහි වැනි දෑ වලින් සෙල්ලම් කිරීමට කිරීමට කැමතිය. එවැනි අවස්ථාවල දරුවාට යම් හානියක් සිදු වේ යැයි බිය නිසා ඔබ එය වලක්වන්න පුළුවනි. දරුවට ඉතාමත් කේන්තියෙන් බැන වැද ඔබ ඒ භාණ්ඩය දරුවාගෙන් උදුරා ගන්නට පුළුවනි. එවැනි අවස්ථාවල දරුවන්ට කේන්ති යන අවස්තා ඔබ දැක ඇත. ඔබ දරුවාගේ ආරක්ෂාව ගැන එසේ සිදු කල බව දරුවට අවබෝධයක් නැත. ඒ නිසා ඔබ එවැනි අවස්ථාවක දරුවාගේ ප්‍රියතම භාණ්ඩ ඉල්ල ගන්නේ නම් දරුවාට සැර කරන්න යන්න එපා.

දරුවන් මෙවෙනි අවස්ථාවල විවිධ ආකාරයට හැසිරිය හැකිය. ඔබට දරුවන්ගේ කේන්තිය ගන්න ගන්නේ නැති වෙන්න පුළුවනි. ” ඕනෑ තරම් අඩපුවාවේ. එයාට ඕනෑ විදියට නටන්න දෙන්න බෑ. ” කියා ඔබ නිහඩ වෙනවා ඇති. මේ හරහා දරුවා තවත් කෝප වෙනවා. සමහර දෙමවුපියන් මෙවැනි අවස්ථාවල දරුවන්ට සුළු පහරක් හෝ ගසනවා. මේ හරහා දරුවා මුරණ්ඩු වෙනවා. එම නිසා දරුවට සෑම දෙයක්ම ආදරෙන් පවසන්න.

දරුවාගේ මෙවෙනි මුරණ්ඩු ගති පැවතුම් සෑම විටම දරුවාගෙන් ඈත් කරන්න. දරුවාට ආවේගයක් ඇති වන විට නිතරම ඔහු අස්වසන අයුරින් ක්‍රියා කර දරුවාට ඔබ  කෙරෙහි විස්වාශය ඇති කරවන්න. ළමයින් උප්පත්තියෙන්ම විවිධ අංශ වලට දක්ෂතා පෙන්වනවා. දරුවාට ක්‍රමයෙන් විවිධ ක්‍රියා කිරීමට, තීරණ ගැනීමට. අත්දැකීම් ලබා ගැනීමට අවස්තාව සලසා දෙන්න.

ඔබේ දරුවාට කේන්තිය ඇති වන විට ඔහුට දඩුවම් ලබා දෙන්න එපා. දරුවාට යම් කිසි ක්‍රියාවකට කේන්ති යන්නේ නම් ඔහුට එම සිදුවීම අමතක වන්නට ඉඩ හරින්න. ඔබ එපා කියන දේම දරුවා සිදු කරන්නේ නම් ඔහුගේ අවධානය වෙන පැත්තකට හරවන්න. දරුවා එපා කියන දෙයක් කරන විට එපා නොකියා ” පුතේ එන්න අම්මා ඔයාට ලස්සන කතන්දරයක් කියලා දෙන්න” ආදී ආදරණිය ලෙස වචන භාවිතා කරන්න. දරුවන් කතන්දර අසන්නට ඉතාමත් කැමතිය. නමුදු දරුවා කිසිම විටෙක රවට්ටන්න එපා. එම නිසා දරුවාගේ ළමා ලෝකය පළමුවෙන්ම හදුනා ගන්න.

ඔබේ දරුවා විභාගයට සුදානම් වෙනවද. එසේ නම් දරුවාට ලබා දිය යුතු උපදෙස් මෙන්න.

අද වන විට නම් විභාගය තුළ පවතින්නේ ඉතාමත් තරගකාරී තත්වයක්. ඒ නිසාම විභාගය ආසන්න වන විට දරුවන් තුළ විශාල පීඩනයක් ඇති වෙනවා. එසේ වූ විට දරුවන් තුළ සන්සුන් මනසක් ඇති කිරීම ඔබ සතු දෙයක්. විභාගයකට නිවසින් පිට වෙන්න පෙර දරුවට මේ උපදෙස් ටික ලබා දීම ඔබ සතු දෙයක්.

කල් ඇතුව විභාගය පවතින ස්ථානයට දරුවා පිටත් කර යවන්න

බොහෝ දරුවන් කල් වෙලා නොමැතිව නියමිත වෙලාවත් පසු වී විභාගයට එන අවස්ථා තිබෙනවා. එවිට දරුවා අධික ලෙස කලබල වෙනවා. මේ නිසා දරුවා හොදින්ම දන්නා පිළිතුරු වුව නිවැරදි ලෙස සටහන් කර ගැනීමට නොහැකි වන්නට පුළුවනි. විභාගයකදී කාලය කියා එක හරිම වැදගත්. විභාගය පවත්නා ස්ථානයට බොහෝ දුරින් සිටින දරුවෙක් නම් කල් වෙලා ඇතිව එම ස්ථානයට යෑම වැදගත්. බස් රථයක් යනවා නම් ඇතැම් විට බස් රථය යම් දෝෂයක් නිසා නවතින්න පුළුවනි. එසේ වුවහොත් දරුවාට එම ස්ථානයට වේලාවට ලගා වීමට නොහැකි වෙනවා.

බාධාකාරි සාධක තිබේ නම් විභාග ශාලාධිපතිට දැනුම් දෙන ලෙස පවසන්න

හිරු එලිය හෝ අදුරු සහිත ස්ථානයක් හෝ තමා ලියන මේසයේ යම් දුර්වලතාවයක් තිබේ නම් නොබියව විභාග ශාලාධිපතිට දැනුම් දෙන ලෙස දරුවට පවසන්න. දරුවා අසුන් ගන්න ස්ථානයට බාහිරෙන් ශබ්ද වඩා ඇසෙනවා නම් එය පිළිතුරු ලිවීමේදී බාධාවක් විය හැකිය.

විභාගය අංකය පිලිබදව දරුවා දැනුවත් කරන්න

සෑම පිළිතුරු පත්‍රයකම විභාග අංකය දැමිය යුතුය. දරුවන්ට ඒ මොහොතේ තිබෙන කලබලේ නිසාම විභාග අංකය පවා දැමීමට අමතක වන්නට පුළුවනි. එම නිසා විභාග අංකය නිවැරදි ලෙස සටහන් කරන ලෙස දරුවාට පවසන්න. එක අංකයක් හෝ වැරදි යෑමෙන් විභාග ප්‍රථිපල පවා නොලැබී යා හැකිය. මේ නිසා සංයමයෙන් යුතුව කලබල නොවී සැහැල්ලුවෙන් යුතුව දරුවා විභාගයට මුණ දිය යුතුය.

බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම හැකි සුදුසුම ක්‍රම කියා දෙන්න

බහු වර්ණ ප්‍රශ්න හරහා ලකුණු ලබා ගැනීම එතරම් අමාරු දෙයක් නෙමේ. නමුදු මෙහිදී නිවැරදි පිළිතුර හරියාකාරව ලබා දිය යුතුය. මෙහිදී සියලුම ප්‍රශ්න කියවන්න. සමහරවිට මුලදී අසනු ලබන ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුරක් ලබා ගැනීමට යම් ඉගියක් අවසාන ප්‍රශ්නයකින් ලබා ගැනීමට හැකි වනු ඇත. මෙහිදී ප්‍රශ්නය පමණක් කියවා පිළිතුරු සෙවීම නොකළ යුතු දෙයකි. මෙම බහු වර්ණ ප්‍රශ්න වලදී ගණනය කිරීම් සිදු කිරීමට තිබෙන විට කටු වැඩ කොලයක් ගෙන ගණනය කිරීම් සිදු කොට නිවැරදි පිළිතුර සදහන් කරන්න. මෙහිදී පිළිතුරු සපයා අවසන් වූ විටද නැවත නැවත කියවන්න. ඔබ දන්නාම පිළිතුරක් ඔබේ නොදනුවත්කමකින් හෝ අතපසු වීමකින් වැරදි පිළිතුරක් සදහන් කර තිබෙන්නට පුළුවනි.

කාලය නිවැරදිව බෙදා වෙන් කර ගෙන පිළිතුරු සපයන ලෙස පවසන්න

විභාගයෙදී කාලය කියන එක හරිම වැදගත්. එක ප්‍රශ්නයකට මිඩංගු කල යුතු කාල වෙලාව පසු විට තව දුරටත් එම ප්‍රශ්නයෙම රැදී සිටීමෙන් තවත් ප්‍රශ්නයක් ලිවීමට තිබෙන කාලය අඩු වෙනවා. එකම ප්‍රශ්නයට ඔබ කොතරම් පිළිතුරු සැපයුවත් ඔබට ඔවුන් ලබා දෙන ලකුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ නෑ. එසේම අවසාන මිනිත්තු කිහිපය තවත් පිළිතුරු සපයනවාට වඩා ඔබ ලියු සියලුම පිළිතුරු නැවත වරක් පරික්ෂා කර බලන්න. එය ඉතාමත් වැදගත් දෙයකි.

මේ ආකාරයට දරුවාට විභාගයට යෑමට පෙර උපදෙස් ලබා දීම වැදගත්.

ඔබත්, ඔබේ දරුවා නිවසට කොටු කර තබන්නේ ද ?

ඔබට සිටින වටිනාම වස්තුව දරුවන්ය. අපි දරුවෝ ආරක්ෂා කරන්නේ අපේ ඇස් මෙන්ය. ඔබේ දරුවෝ ඔබේ පනටත් වඩා ආරක්ෂා කරනවා නොඅනුමානය. ඔබේ කෙසේ දරුවන් ආරක්ෂා කලත් ඔවුන්ටත් ආදරේ කලත් ඔබගෙන් දරුවට ලැබෙන්න ඕනි බොහෝ දේවල් ඔබට මග හැරෙන බව ඔබ දන්නවා ද?සැබවින්ම ඒ පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ඔබට නැතුව ඇති.

පාසල සහ පවුල තමා දරුවන් සමාජයට අනුගත කරනු ලබන ප්‍රධාන ස්ථාන දෙක. අද පවතින තරගකාරිත්වය සමග දරුවන් ද අප්‍රාණික භාණ්ඩ මෙනි. ඔවුන්ගේ මුළු ජිවිතයම අධ්‍යාපනයට යට වී ඇත. සෙල්ලම් කරන්න, විනෝද වන්නට, හිත මිතුරන් සමග නිදහසේ හැසිරෙන්නට දරුවන්ට තිබෙන්නේ ඉතාමත් සීමිත කාලයක්.

අද දරුවා වැඩෙන පරිසර වටපිටාවත් සමග ඔවුන්ට පවතින දරා ගැනීමේ ශක්තිය ද හීන වෙමින් පවතී. මේ නිසා දරුවා සමාජයට පිවිසෙන්න බියකමක් දක්වයි. ආත්මාර්ථකාමී හැගීම් ඉස්මතු වේ. මේ නිසා අද දරුවන් දිවි නසා ගන්න ප්‍රමාණයද වැඩි වී ඇත. විශේෂයෙන්ම ඇතැම් දරුවන් තම පියා හෝ මව යම් වැරද්දකට දඩුවම් කලත් දිවි නසා ගන්නට තැත් කරයි. එසේම විභාගය අසමත් වූ විට ද ඔවුන් ඒ සදහා විසදුම ලෙස තෝරා ගන්නේ මරණයයි. පරාජයක දී දරුවන්ට නැවත නැගී සිටීමේ ශක්තියක් නැත. මෙසේ වන්නේ මන්ද?

ඔබ ඔබේ දරුවා කුඩා කල සිටම නිවසට කොටු කර තබන්නට උත්සහා කරනවා ද? අද සිටින දෙමවුපියන් නිවස අසල සිටින දරුවන් සමග සෙල්ලම් කිරීමටවත් දරුවන්ට ඉඩ ලබා දෙන්නේ නැත. එසේ සිදු කරන්න එපා දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න. ඔවුන්ගේ ළමා කාලය අධ්‍යාපනයට කොටු කර තබන්න එපා. දරුවන් අනෙක් අය සමග සෙල්ලම් කරන විට අනෙකාගේ හැගීම්, අදහස් තේරුම් ගැනීමේ හැකියාව ඔහුට ස්වභාවයෙන්ම ලැබෙනවා. ඔහු යම් වැරද්දක් හෝ යම් සොරකමක් කල විට ඔහුගේ වයසේ පසු වන දරුවන් ඔහුගේ ක්‍රියාකාරකම් වලට විරුද්ධ වනු ඇත. එසේම දරුවා තවත් ළමයින් පිරිසක් සමග සෙල්ලම් කරන විට අන්‍යන්ගේ අදහස්, කණ්ඩායම් කටයුතු වැනි දෑ දරුවන් හරහාම ඉගෙන ගන්නවා.

නමුදු අපේ දෙමවුපියන් සිදු කරනු ලබන්නේ සෙල්ලම් බඩු ගොඩක් නිවසට ගෙනත් දමා දරුවා කාමරය තුලට කොටු කිරීමයි. දරුවා එතැන් පටන් හුදෙකලා වෙන්න පටන් ගන්නවා. ඔහු සෙල්ලම් කරන්නේ අප්‍රාණික භාණ්ඩ සමගයි. තවත් කෙනෙකුගේ හැගීම් පිලිබදව ඔහුට අවබෝධයක් නැත. දරුවට නිතරම සොබාදහම සමග ගැටෙන්න ඉඩ දෙන්න. වැස්සේ තෙමෙන්න, වැලි, මැටි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ හරහා දරුවා විවිධ නිර්මාණාත්මක දේවල් කිරීමට පෙළඹෙනවා.

විභාග වලටම දරුවා මැදි කරන්න එපා. බොහෝ දෙමවුපියන් නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස් වලටද යන්නේ ඉතාමත් අඩුවෙනි. ” මගේ පුතාට ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ. එයාට පන්ති යන්න තිබෙනවා. පාඩම් කරන්න ඕනෑ.” ආදී ලෙස පවසනවා. කොතරම් විභාග පාස් උනත් ජිවිත විභාගය සමත් වන්න බැරි නම් දරුවාගෙන් සමාජයට වැඩක් නැත. විභාගය අසමත් වුවත් දරුවාට අනාගතයක් නැති වන්නේ නැත. අද ලෝකයේ බොහෝ උසස් තැන් වලට ගොස් ඇත්තේ පාසල් වලින් කොන් වී සිටි දරුවන්ය. දරුවා මෙසේ නිවසට කොටු කර තැබීමෙන් ඔහුට මිතුරන් නැති හුදෙකලා පුද්ගලයෙක් බවට පත් වනු ඇත. එවැනි දරුවන් ලොකු වූ පසුද නෑයකගේ ගෙදරකට, බණ ගෙදරකට යන්නේ නැත. මන්ද ඔහුට තවත් අය සමග කටයුතු කොට පුරුද්දක් නැත.

මේ සියල්ලටම වරදකරු ඔබ බව ,ඔබ පිලි ගන්නේ කවදාද?

කුඩා කාලයේ සිටම දරුවාගේ සතුට වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔහුගේ ලෝකයේ ඔහු ඉතාම වටිනා ආදර්ශමත් දරුවා වීමට ඔබේ දරුවාට සෑම අතින්ම මග පෙන්වන්න. ඔහුට ලෝකයේ සුන්දරත්වය තනිව භුක්ති විදීමට නොව බෙදා ගන්න කියා දෙන්න. ඔහුට පොතේ දැනුම පමණක් නොව මේ ලෝකයේ මිනිසුන්ට ගරු කරන්න, මිතුරන්ට උදව් කරන්න කියා දෙන්න. පරිසරයට ආදරේ කරන්න, තවත් කෙනෙක් විචාරය කරන්නේ කොහොමද කියා ඔහුට මග පෙන්වන්න. ඔහුව මේ ලෝකයට ආදර්ශමත් පුද්ගලයෙකු කරන්න.

 

පාසල් යන ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්න

අද වෙනකොට නම් දරුවෙක් උසස් පාසලකට ඇතුලත් කර ගන්න දෙමවුපියන් අතර පවතින්නේ පුදුමාකාර තරගයකි. දරුවා කුස පිළිසිද ගන්නටත් පෙර ඇතැම් දරුවන් තම දරුවා ඇතුලත් කරනු ලබන පාසල තීරණය කොට හමාරය. දෙමාවුපියන් මේ හරහා උත්සහා කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගත හැකි පහසුකම් ඇති පාසලකට ඇතුල් කිරීමය. ඔබ ඔබේ දරුවා ඉහල පෙලේ පාසලකට ඇතුලත් කල පමණින් ඔබේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කර ගත හැකි බව ඔබ සිතනවාද

ඔබේ දරුවා පාසලට පිටත් වී ගිය මොහොතේ පටන් ඔබ දරුවා පිලිබදව අවධානයෙන් සිටිය යුතුය. දරුවා දරුවා සුදුසු පාසලකට ඇතුලත් කල පමණින් දරුවා පිලිබදව ඇති වගකීම් වලින් ඔබට මිදෙන්න බෑ. සමහරවිට ඔබේ දරුවා විශේෂයෙන්ම පිරිමි දරුවන් නරක මිතුරන් ඇසුරට වැටි අනියම් මාර්ග වල ගමන් කරනවා ඇති. දියණියක් නම් පාසල් ඇදුමින් නිවසින් පිට වී ගොස් පසුව තම පෙම්වතා සොයා යන්නට පුළුවනි. ගුරුවරුන් අසල දරුවන් යම් කාලයක් ගත කරති. ඒ කාලය තුළ දරුවා ආරක්ෂා වනු ඇත. මන්ද බොහෝ ගුරුවරුන්ද දෙමවුපියන් මෙන් දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන හෙයිනි.

පාසලේ දී දරුවන්ට කොතරම් හොද පුරුදු කියා දුන්නත් ගෙදර ඒ සදහා පසුබිමක් නොමැති නම් ගුරුවරුන් ගන්නා වූ උත්සාහය අසාර්ථකය. ඔබ, ඔබේ දරුවාට තිබෙන පොතක් අල්ලපු ගෙදර දරුවාට අවශ්‍ය වනවා යැයි සිතන්න. එවැනි අවස්ථාවක ඔබේ දරුවාගේ පොත, දරුවාගේ මිතුරාට ලබා දෙන්න එපා යැයි ඔබ පවසන්නේ නම් දරුවා පාසලේ දී ඉගෙන ගන්න යහපුරුදු වලින් වැඩක් නැත. ” අල්ලපු ගෙදර ළමයාට ඔයාගේ සෙල්ලම් බඩු අල්ලන්නවත් දෙන්න එපා. ඔයාගේ පොතක්වත් එයට දෙන්න එපා” ආදී ලෙස ඔබ පවසනවානම් දරුවා මහත් ගැටලුවකට පත් වනු ඇත. පුංචි දරුවන්ගේ සිත් වලට නරක සිතුවිලි ඇතුල් කරන්නේ දෙමවුපියන් විසින්මයි.

එමෙන්ම පාසල් යන ඔබේ දරුවා හා ඔහුගේ මිතුරන් අතර ඇති වන ගැටළු වලට ඔබ මැදිහත් වන්න එපා. දරුවන් අතර කුඩා ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයකි. ” මගේ පුතාගේ පොත අර නිමල් කියන ළමයා ඉරලා දාලා. අදම මම පන්තියේ ටීච හම්බවෙලා කියනවා.” මෙවෙනි ආකාරයට බොහෝ දෙමවුපියන් පවසනවා. කුඩා දරුවන් අතර ගැටුම් ඇති වන්නේ ඉතාමත් කෙටි කාලයකටය. එය ඔබ තේරුම් ගත යුතුය. ඔවුන් අතර ඇති වන ගැටළු ඔවුන්ටම විසදා ගන්න ඉඩ හරින්න. එක පන්තියක ළමයි 40ක් විතර ඉගෙන ගන්න විට තවත් අය සමග ගැටළු ඇති වනු ඇත. මෙහි ගැහැණු, පිරිමි භේදයක් නැත. ඔවුන් අතර ගැටුම් ඇති වන්නේ පුංචි පුංචි දේවල් වලටය. ඇතැම් විට පාසල ඇරී ගෙදර යෑමට පෙරම ඔවුන්ගේ ගැටුම් සමතයකට පත් වනු ඇත. ඔබ ගොස් දරුවන් අතර ඇති වන ගැටළු තවත් වැඩි කරන්න එපා.

සමහර දෙමවුපියන් තම දරුවා සමග ගැටුම් ඇති කර ගත් තවත් දරුවෙකුට බැන වදින අවස්ථා ද ඇත. එසේම තම දරුවා සෑම විටම හරි යැයි හරි යැයි සිතනවා. නමුත් ඒ දරුවත් ඔබේ දරුවා වගේම දරුවෙක් බව අමතක කරන්න එපා.

දරුවා පාසල් ඇරී නිවසට එන විටම පාඩම් කරන ලෙස පවසන්න එපා. ඔබත් සමහරවිට දරුවාට නිතර නිතර පාඩම් කරන ලෙස පවසනවා ඇති. එය දරුවාට වුව කන්දොස්කිරියාවකි. දරුවන්ගේ වසර අවසන් විභාග වලදී මෙතරම් ලකුණු ප්‍රමාණයක් ගන්න යැයි ඔවුන්ට පීඩනයක් ලබා දෙන්න එපා. ” මේ වාර විභාගේ අවසන් වෙන කොට නම් ගණිතය, ඉංග්‍රීසි  විෂයන් වලට ලකුණු 50ක්වත් වැඩියේ නැතුව ගෙදර නම් එන්න එපා.” මෙය බොහෝ දෙමවුපියන් විසින් සිදු කරනු ලබන අනුණුවන ක්‍රියාවකි.

දරුවාට ඔබ බලාපොරොත්තු වන ප්‍රථිපල නොලැබුනත් බැන වදින්න එපා. ඔබගේ සැඩ පුරුෂ වචන වලින් දරුවා කම්පනයට ලක් විය හැකිය. එවැනි අවස්ථාවල ” ඔයා ඔයාට පුළුවන් තරම් උත්සහා කලානේ. ඒ ගැන දැන් දුක් වෙන්න එපා. ඊලග පාර තව ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න.” ආදී ලෙස ධනාත්මක සිතුවිලි දරුවාගේ මනස තුලට ඇතුල් කරන්න.

පාසලට දරුවා ඇතුල් කල පසුව ද දරුවා සමග නිතර සිටින්න. ඔහුගේ මිතුරෙක් බවට පත් වෙන්න. දරුවා උසස් පාසලකට ඇතුල් කල පමණින් ඔහු හොද අධ්‍යාපනයක් ලබා ගනීවි යැයි අපට කිව නොහැකිය.