Home Blog Page 137

දරුවන් පිළිබඳ ඔබ සිටින්නේ අවදානයෙන්ද ?

දරුවන් රැකබලා ගැනීම ඉතා වැදගත් කාර්යය භාරයකි. දරුවන් වයසින් මුහුරා ගොස් ස්වාධීන වනතුරුම  වැඩිහිටියන්ගේ රැකවරණය අත්‍යවශ්‍යය. දරුවන් යනු පර්යේෂකයන්ය සෑම අවස්ථාවකම ගවේශණයේ නිරත ඔවුන්ගේ සිතුවිලි ඉතාමත් වේගවත්ය. අපි ඇසි පියල්ලක් හෙල සැනින් ඔවුන් අනතුරකට ගොදුරු  විය හැක්කේ ඔවුන්ගේ ඒ වේගවත් සිතුවිලි නිසාමය. එහෙයින් දරුවන් ඇස් දෙක මෙන් නොව ඇසේ තබාගෙන පරිස්සම් කළ යුතුය. බොහෝ විට දරුවන් අනතුරට පත් වන්නේ සුළු මොහොතක් දෙමාපියන්ගේ අවධානය ගිලිහී යන අවස්ථා වලදීය. අප සිහිනෙන්වත් නොසිතන මොහොතක ස්ථානයක අපේ දරුවන්ට මාරාන්තික අනතුරු සිදු විය හැකිය.

පසු ගිය දිනෙක බසයේ ගමන් කරන විට අවුරුදු තුනක් පමණ වයසැති පුතෙක් අපගේ ඉදිරි පස අසුනේ සිටියාය. අම්මාගේ උරහිසින් එබී මගේ පුතුට සිනහවක් පෑවිට ඔහුද මල්ලීට සුරතල් ලෙස” චූටී මල්ලී “යැයි පැවසීමත් සමඟම පොඩ්ඩා පුතු අත තිබූ කුඩා සෙල්ලම් බඩුව ඉල්ලා ගත්තාය. ජනේලය අසල අසුන් ගෙන සිටි පොඩ්ඩා ජනේලයෙන් එළියට අතත් ඔළුවත් දමමින් සෙල්ලම් කරන්නට විය. අත හා ඔළුව ඇතුලට ගන්නා ලෙස මම දරුවාට කීවෙමි. මද දුරක් ගොස් නැවත අත ජනේලයෙන් පිටතට හොවයි.  මෙසේ කීප වරක්ම දරුවාට අත ගන්නට යැයි මම කීවද අම්මාට ඒ පිළිබඳ වගක්වත් නොවීය.

“බබාට ඔළුවයි අතයි එළියට දමන්න දෙන්න එපා එහා පැත්තෙන් වාහනයක් ආවොත් හැප්පෙයි”

බසයෙන් බසින්නට පෙර මම දරුවාගේ මවට පැවසුවෙමි. ත්‍රී විලර් රථ වල බස් රථ වල ගමන් කරද්දි දරුවන් කවුළු වලින් දෑත් මෙන්ම හිසද පිටතට දමයි. ඉදිරියෙන් හෝ පිටුපසින් වේගයෙන් ගමන් කරන වාහනයක මේ දරුවන් ගැටුනහොත් සිදු වන්නේ කුමක්ද කියා ඔබට මා අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙයින් ගමන් බිමන් යන විට දරුවාගේ ක්‍රියාකාරකම් වලට අවදානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.දිනක් මව පාරේ අයිනෙන්ද දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කරමින් සිටියදී එක වරම අම්මාගේ දෑතින් මිදුන දරුවකු හිටි හැටියේ පාරට දිව ගියාය. දරුවා පාරේ වාහන යන පැත්තෙන් ගමන් කළ නිසා මවට දරුවා අල්ලා ගැනීමටවත් නොහැකි විය.පිටු පසින් ආ මෝටර් රථයේ රියදුරාගේ දක්ෂතාවය නොවන්නට අද ඒ දරුවා මෙලොව හැරගොස්ය.

සාප්පු සවාරී වල යෙදෙන විට දරුවා තමා ළඟම නැති නම් ඇස් මානයේවත් තබා ගත යුතුය. දරුවන්ට අනතුරු වල සේයාවන් වටහා ගැනීමට තරම් ශක්තියක් නැත. ඔවුන්ගේ සිතට එන ඕනෑම සිතුවිල්ලක් ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ ස්වභාවයයි. සුපිරි වෙළෙඳ සැලක සෙල්ලම් කරමින් සිටි පුංචි දරුවන් දෙදෙනෙකුගෙන් එක් දරුවකු ස්වයංක්‍රීය තරප්පු පෙලෙන් පහළට බැස ගිය පසු ඔහු අල්ලන්නට පැමිණි අවුරුදු තුනක පමණ සිඟිත්තා ස්වයංක්‍රීය තරප්පුවේ අත් වැටට නැග ගත් පසු ඒ ඔස්සේ මදක් පහතට ගොස් දරුවා තට්ටු කිහියකින් බිමට වැටී අවසන් සුසුම් හෙළුවේ දෙමාපියන්ගේ නොසැලිකිලිමත්බාවය නිසාවෙන්මය.

2016 නව වසර උදා වූ දිනම අසන්නට ලැබුණ හදවත කීරී ගැසෙන පුවතකි. ඒ සැමියාගේ කාර්‍යලයේ සේවය කරන යහලුවකුගේ මාස නමයක් වයසැති කුඩා දියණිය උඩ තට්ටුවෙන් පහතට වැටී මිය ගියා පුවතය. උදා වූ නව වසරට කිරිබත් පිළියෙල කරන්නට අඩක් නිම කල නිවසේ ඉහළ මාලයේ දරුවා වෝකරයෙ තබා මවත් පියත් වැඩ වල යෙදී ඇත.ිමව අසල සිටි දරුවා සෙමෙන් සෙමෙන් ඉහළ මාලය වටා තාප්පයද ගසා නොතිබුන තැනට ගොස් එතැනින් පහළට වැටී ඇත. දරුවන් අවදානම් ස්ථාන වල රඳා ගන්නවා නම් ඔවුන් පිළබඳ පූර්ණ අවදානයෙන් සිටිය යුතුය. වෝකරය යනු දරුවන් බෙහෙවින්ම අනතුරට පත් වන භාණ්ඩකි. පාලනයක් නැතිව ගමන් කරන නිසාවෙන් දරුවන් ඒවායෙන් පෙරලී අනතුරු වලට භාජනයවේ.

මා කලින් සඳහන් කලා සේම අලුත් දේවල් අත්හදා බලන්නට පුංචි පැටවුන් හපනුන්ය. එනිසාම නිවසේ ඇති ප්ලග් පොයින්ට් හිල් තුලට යම් යම් දෑ ඇතුල් කර බලනවා සේම පුංචි ඇඟිලි ඒ තුලට රිංගවන්නත් පුළුවන්. එනිසා ඔවුන්ගේ උස මට්ටමේ ඇති සියලු ප්ලග් පොයින්ට්, ප්ලාස්ටර් හෝ සෙලෝ ටේප් වලින් ආවරණය කර තබන්න.

නිවසේ ඇති තියුණු ආයුධ, (පිහි,කතුර,නියන්) භූමිතෙල්, පෙට්්‍රල්,ගෙවතු පොහොර, මී පාසානම්, ආදී නොයෙක් දෑ  දරුවන්ට කිට්ටු විය නොහැකි උස ස්ථානයක තබන්න. වරක් පාවිච්චි කල පසු, නැවත නියමිත ස්ථානයෙන් තබන්න. බෙහෙත් බෝතල් මෙන්ම ඔබගේත් නිවසේ අනෙකුත් වැඩිහිටියන්ගේත් බෙහෙත් පෙති ආදිය, දරුවන් අත නොගැටෙන ලෙස තබාගන්න

ඈත අතීතයේ දරුවන්ට සුදුසු පරිසරයක් නිවෙස තුළ විය. එදා අම්මා ඉවෙන් මෙන් දරුවන්ට වන අනතුරු දැන සිටියාය. රෝගයක් වැළඳීමෙන් දරුවකු මිය ගිය ද හදිසි අනතුරකින් මිය ගියේ කලාතුරකිනි. එහෙත් අවාසනාවකට වර්තමානයේ දරුවන්ට හදිසි අනතුරුවලින් සිදුවන හානි ඉහළ ගොස්  ඇත. තවමත් තමන්ව රැක ගන්නට නොහැකි දරු පැටවුන්ගේ ආරක්ෂාව සැපයිය යුත්තේ වැඩිහිටියන්ය. දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ලබා දෙන අතර තුරම ඔවුන් පිළිබඳ සුපරික්ෂාකාරී විය යුතුය.

දරුවන්ගෙ ඇස් හා දත් පරිස්සම්ද ?

ජිවීතේ අපි පරිස්සම්ම කර ගන්න ඕනී දේවල් ඇස් දෙක වගේ රැකගන්න ඕනී කියලනෙ කියන්නේ. ඇස් දෙක වගේ රකින්නට නම් හැමටම කලින් ඇස් දෙක රැකගන්න ඕනී. සමහර වෙලාවට අපේ ඇස් වල නිරෝගී කම අපි නැති කරගන්නෙ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසාමයි. බලන්න මේ කාරණා ගැන ඔබ සිතුවද කියලා

අපි කුඩාකල සිට ළඟ පමණක්‌ බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ.

අපි කුඩාකල සිට ළඟ පමණක් බැලීමට පුරුදු වුවහොත් දුර පෙනීම අඩුවේ. එනම් අවිදුර දෘෂ්ඨිකත්වයට (Myopia) පත්වේ. වර්තමානයේ අක්‍ෂි වෛද්‍ය විද්‍යාවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය. දරුවන්ට එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඇති වන ඇස් වල ඇති වන අවිදුර  දෘෂ්ඨිකත්වය වළක්වා ගන්නට හැකිය. එසේම එළිමහනේ ක්‍රීඩා කිරීම සැලැස්වීමෙන් සාමාන්‍ය ශරීර සෞඛ්‍යයටත් මහඟු අත්වැල.

ඔබ දරුවා රූපවාහිනිය නරඹන අකාරය නිවැරදිද?

රූපවාහිනිය නැරඹීමේදී අවට ආලෝකය හොඳින් තිබීම ඉතා වැදගත්ය. එසේම රූපවාහිනිය ඇස් මට්ටමේ හෝ ඇස් මට්ටමට පහළින් ස්ථානගත කර තිබිය යුතුය. එසේම රූපවාහිනියේ විශාලත්වය මත තිරයෙන් ඈත් වී නැරඹිය යුතුය.

ඉගෙන ගන්නා ඔබේ දරුවා පොත් පාඩම් කිරීමේදී මේ ගැනත් විමසිලිමත්වන්න.

  • පොත හා ඇස් අතර දුර සෙ.මි 30 ක් හෝ ඊට වඩා වැඩිවිය යුතුය.
  • එසේම දරුවා පාඩම් කරන ස්ථානය හොඳින් ආලෝකමත් කරන්නටත් අමතක නොකරන්න.
  • විනාඩි 20- 30 වරක් කියවීම නවතා ඈත ඇති දෙයක් දෙස බලා විනාඩි 1ක් 2ක් ඇසිපිය ගසන්නට පොළඹවන්න. මෙමගින් හිසරදය වලක්වා කියවීම පහසු කර කියවීමේ කාර්යයක්ෂමතාවය වැඩි කරයි.

ඔබේ දරුවාත් පරිඝණක හා දුරකථනය භාවිත කරමින් ක්‍රීඩා කරනවාද?

  • එසේ නම් විඩියෝ ක්‍රීඩා හා දුරකථනය භාවිත කරමින් කරන ක්‍රීඩා සඳහා යොදවන කාලය අවම කරන්න.
  • එසේම වරින් වර ක්‍රීඩාව නවතා ඈත ඇති දෙයක් දෙස බලා විරාමයක් ගන්නට යොමු කරවන්න.
  • පරිඝණක තිරය හා ඇස අතර ඇති දුර සෙ.මි 50 විය යුතුය.
  • පරිඝණකයේ පිහිටීම හා ආලෝකය ඇසට පහසු පරිදි සැකසිය යුතුය.

මාස 3ක්වූ හෝ අවු. 1 දී හා අවු.3 දී දරුවන්ගේ ඇස් පරික්ෂාවක් සිදු කරන්න. ඇස් වල ආබාධයත් නොමැති නම් ඉන් පසු අවු 2ට වරක් ඇස් පරික්ෂා කරවන්න. ඇස් කණ්ණාඩි හෝ වෙනත් ප්‍රතිකාරයක් අවශ්‍ය නම් මාස 6න් හෝ වසරකට වරක් ඇස් පරික්ෂාවක් සිදු කරන්න.

සිනහව කියන්නේ ඕනෑම කෙනෙකුට ස්වභාවිකවම හිමිවන සුන්දර දායාදයක්. සුන්දර සිනහවක රහස නීරෝගී දත් දෙපළක්ය. දැන් අපි බලමු දත් රැකගන්නේ කෙසේද කියා.

කිරි දත් වර්ධනය වන්නේ මව් කුස තුල පිළිසිඳගෙන් සති 6ක් පමණ ගත වූ විටය. දරුවකු උපත ලැබූ පසු මුල්ම කිරි දත මතු වන්නේ මාස 6ත් 9ත් අතර කාලය තුලය. වයස අවුරුදු  6 පමණ සිට කිරි දත් හැලී ස්ථිර දත් මතුවීම ආරම්භ වෙනවා. නමුත් හැලී යන නිසා යැයි සිතා කිරිදත් නොසලකාහරින්න නම් බැහැ.

නිරෝගී කිරි දත් දෙපළක් වචන හොඳින් උච්චාරණය, ආහාර හොඳින් සැපීම,ස්ථිර දත් ක්‍රමවත්ව මතුවීමට,ලස්සන සිනහවකට,දරුවාගේ නීරෝගී වර්ධනයට හා මුහුණේ මනා වර්ධනය යන කාරණා වලට බලපානවා. කුඩා අවදියේම නිවැරදි මූඛ සෞඛ්‍යය පුරුදු වලට හුරු වූ දරුවන් වැඩිහිටියන් වූ පසුද තම දත් දෙපළ නිසියාකාරව පවත්වා ගනු ඇත.

  • කුඩා අවදියේ සිටම නිවැරදි ආහාර රාටාවකට දරුවා හුරු කල යුතුය.
  • කිරි දත් වලට ඇති ප්‍රධානම බලපෑම දත් දිරා යාමයි. බොහෝ විට දරුවන් ඇලෙන සුළු පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම මෙයට හේතු සාධකය වේ. එබැවින් දරුවන්ට හැකිතාක් එවැනි ආහාර වර්ග දීමෙන් වැලකී සිටින්න. එසේම එවැනි ආහාර ගත් පසු කට හොඳින් සෝදන්නට පුරුදු කරන්න.
  • දත් පිරිසිඳු කිරීම මුල්ම කිරි දත මතු වූ දා සිටම ආරම්භ කල යුතුය. පිරිසිඳු තෙත පුළුන් කැබල්ලක් හෝ සිනිඳු රෙදි කැබැල්ලකින් අවම වශයෙන් දිනකට වරක්වත් පිරිසිඳු කරන්න.
  • දත් හතරක් හතක් පමණ මතු වූ පසු මෘදු කෙඳි සහිත බුරුසුවකින් උදයට හා රාත්‍රීයට දවසට දෙවරක් දත් මදින්න.
  • පුංචි පැටවු දන්තාලේප ගිලින්නට රුචිකත්වයක් දක්ව එනිසා කුඩා දරුවන්ටම නිපදවූ දන්තාලේපයක් භාවිතයට ගන්න. දන්තාලේප ශරීර ගත වීම දරුවන්ට හානිකරය.
  • දත් දිරායාමේ මුල්ම ලක්ෂණ තමයි දත් මත සුදු හෝ දුඹුරු ලප මතු වීම. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඉතාමත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එවිට වේදනාවකින් තොර සරල ප්‍රති කර්ම මගින් තත්ත්වය සමනය කරගත හැකිය.

ඒ වගේම දත් රෝග වලක්වා ගැනීමට ලබා දෙන අවවාද හා උපදෙස් පිළිපදින්නත් අමතන කරන්න එපා.

දරුවන්ගේ ‘කථන ප්‍රමාදය’ (Speech Delay) කුඩා වයසේදීම හදුනා ගන්නේ මෙහෙමයි

කුඩා දරුවන් බහ තෝරන අවධිය කියලා කියන්නෙ අම්මලා තාත්තලා ඉතා සතුටින් ඇගිලි ගනිමින් බලා ඉන්න කාලයක්. ඒ වගේම පුංචි දුව හරි පුතා හරි ”අම්මේ… තාත්තේ…. ” කියලා කතා කරනකොට දෙමව්පියන්ට ඇතිවන්නේ නිම් හිම් නැති සතුටක්. මේ වගේ සතුටට පත්වන අපේ බොහෝ මව්පියන් අතරේ…. ” ඇයි අපේ දරුවා තාම හරියට වචනයක් කියන්නෙ නැත්තේ… ” කියන ප්‍රශ්නාර්ථයත් එක්ක ජීවත් වෙන මව්පියනුත් නැතුවා නොවෙයි. ඒ, අද කාලයේ කුඩා දරුවන් අතර ඉස්සරටත් වඩා දකින්න ලැබෙන ”කථන ප්‍රමාදය” එහෙමත් නැත්නම් ” කථන හා භාෂා අපහසුතා” යන ආබාධ තත්වයන් නිසයි.
පුංචි දරුවන් සාමන්‍යයෙන් ඉපදුන දවසෙ ඉදල වයස අවුරුදු 4-5 ක් පමන වනතෙක් එයාලගෙ කථන හා භාෂා කුසලතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නවා. එයට දරුවා සහ මාපියන් අතර ඇති සම්බන්ධය, දරුවා ජීවත් වන වටපිටාව වගේම ඉන් ලැබෙන විවිධ උත්තේජනයන් ඉතා හොදින් උදව් වෙනවා.
පහතින් දක්නට ලැබෙන්නේ එම කුසලතා වර්ධනය ගැන කෙටියෙන් පැහැදිළි කිරිමක්….

මාස 0-3
බඩගින්න, නිදිමත, වේදනාව හැඩීමෙන් ප්‍රකාශ කරයි. මව දෙස බලා සිනාසෙයි. ආ.. ඊ.. ඕ… වැනි කෙටි ශබ්ද පිටකර ප්‍රතිචාර දක්වයි.

මාස3-6
බා.. මා… ඩා.. වැනි තනි ශබ්ද පිටකරයි. බාහිර ශබ්ද වලට අවධානය දී හිස හරවයි. ඒ අනුව ශබ්ද පිටකිරීම නවතයි හෝ වෙනස් කරයි. ශබ්ද නගා සිනාසෙයි.

මාස 6-අවු 1
එකම ශබ්දය නැවත නැවත පිටකරයි (බාබා… මාමා… අප් අප්.. ).
බොහෝ විට නමට ප්‍රතිචාර දක්වයි.
වචන අනුකරණයට උත්සහ කරයි. තේරුමක් ඇති වචන කතා කරයි (අම්මා… තාත්තා).
සරළ උපදෙස් පිළිපදී.

අවු 1-2
අත දිගු කර පෙන්වයි. අලුත් වචන කීමට පටන් ගනී.
වචන 2 ක් එකතු කරන්නට පටන් ගනී (තාත්තා එන්න, අම්මා දෙන්න).

අවු 2-3
නම, වයස පිළිතුරු දෙයි. වචන 3-4 ක් එකතු කර කතා කරයි.දිනපතා අලුත් වචන එකතු කරගනී. උපදෙස් පිළිපැදීම ඉතා හොදයි.

අවු 3-4
සම්පූර්ණ පැහැදිලි වාක්‍ය (වචන 4-6) කතා කරයි. සරළ සිද්ධි විස්තර කරයි. වචන 1000 ක් පමණ කතා කරයි.

අවු 4-5
සංකීරණ වාක්‍ය කතා කරයි. කතන්දර කීමට හැකිය. තමා පිළිබද විස්තර කල හැකිය.
ප්‍රශ්ණ අසයි. වචන 1500-2000 ක් පමණ කතා කරයි

ඉතින් යම් කිසි විදියකින් දරුවා මේ කාළ සීමාවන් පසු කිරිමේදි අදාල කුසලතාවයන් පෙන්වන්නේද නැද්ද යන්න පිළිබදව දෙමව්පියන් හැටියට ඔබ සියුම් නිරීක්ෂනයකින් පසුවිය යුතුයි.

” ලොකු එක්කෙනා කතා කලෙත් පරක්කු වෙලා….. මෙයත් ටිකක් පරක්කු වෙලා කතා කරයි… ” වැනි අදහස් දරමින් කිසිදු ප්‍රතිකාරයක් වෙත මව්පියන්, දරුවා යොමු නොකරන අවස්ථා අප දැක තිබෙනවා… එහෙත් මෙහිදී අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ කථන ප්‍රමාදය, වෙනත් රෝගාබාධ වල ලක්ෂණයක් ලෙසද දකින්නට ලැබෙන නිසයි.
උදාහරණ ලෙස මනෝ වික්ෂිප්තභාවය(Autism), සින්ඩ්‍රෝම තත්ව(Down’s Syndrome, Fragile X Syndrome, DiGeorge Syndrome….), ශ්‍රවණාබාධ, විතලිත තල්ල/තොල(Cleft lip/palate) , Apraxia තත්වය, ඉගෙනීමේ දුර්වලතා(Dyslexia)… වැනි රෝගාබාධ වලදී ද කථන හා භාෂා අපහසුතා ඇතිවේ.
සදහන් කල යුතු තවත් එක් වැදගත් කරුනක් වන්නේ මෙවැනි ප්‍රමාදයක් හදුනා ගත් මුල් අවධියේම ප්‍රතිකාර වලට යොමු වීම සිදුකලයුත්තේ ඇයි ද යන්නයි.

ඔබ දන්නවාද? කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය ඉතා වේගෙන් සිදුවන කාල පරාසයක් තමයි මුල් ළමාවිය අවධිය කියන්නේ….. (අවුරුදු 3 දක්වා) . මේ කාලයේදී බාහිර උත්තේජනයන් අවශෝෂණය කරගෙන ඒ අනුව හැඩ ගැසීමට මොළයේ ඇති හැකියාව(Brain plasticity) උපරිමයි. එම නිසා මුල් අවධියේදීම හදුනා ගෙන ප්‍රතිකාර වෙත යොමුවීමෙන් වඩා අඩු කාලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර මව්පියන් ලෙස ඔබගෙන් ඉටු විය යුතු කාර්‍යභාර්‍ය ද ඉතා ඉහලයි. ඔබටද නිවසේදි ළදරුවා සමග පහත දෑ සිදුකළ හැක.

*ළදරුවා ට කුතුහලය, සතුට දනවන ක්‍රියාකාරකම් වල නිරත වන්න.
*විවිධ සතුන්ගේ, වාහන වල ශබ්ද නගමින් එවා අනුකරණය කිරීමට ළදරුවා දිරිගන්වන්න.
*සැමවිටම දරුවා සමග කතා කිරීමේදි සරළ භාෂාව හා කෙටි වාක්‍ය පාවිච්චි කරන්න.
*ඔබ කතා කරන වේගයද අඩු කරන්න.
*මුල් ළමාවියේ සිටින දරුවා ව ඔබේ එදිනෙදා ගේ දොර වැඩකටයුතු වලට සම්බන්ධ කරගන්න.
*ඔබ කරන කාර්‍යන් ගැන පවසමින් දරුවාද ඔබ හා සම්බන්ධ කරගන්න.

යම් හෙයකින් ඔබේ දරුවාගේ කථනය, ප්‍රමාද බව දැනුනහොත් ඊලගට කල යුත්තේ කුමක්ද?…… මෙය වැදගත් ප්‍රශ්නයක්.

කථන ප්‍රමාදය මග හරවා ගැනීම හෝ යථා තත්වයට පත් කර ගැනීම සදහා දරුවාව නිවැරදි චිකිත්සක ක්‍රමවේදයකට යොමු කල යුතුයි. ඊට සුදුසුකම් ලත් කථන හා වාග් චිකිත්සක හෝ ව්‍යධිවේදිනියකගේ උපදෙස් පැතීම සුදුසු වේ.
එහිදී පළමුව දරුවා පරික්ෂා කර දරුවාගේ පවතින කථන හා භාෂා කුසලතා මට්ටම නිර්ණය කළ යුතුයි. ඉන්පසුව චිකිත්සක ප්‍රතිකාර ක්‍රම රාශියක් අතුරින් වඩාත්ම උචිත ක්‍රමය භාවිතා කළ හැක.
ඔබේ ළදරුවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරි විය යුතු තවත් බොහෝ දෑ ගැන ඉදිරි ළිපි වලින් සාකච්ඡා කිරිමට අප බළාපොරොත්තු වෙමු.

 කතුවරිය ගැන

Hiruni Fonseka

හිරුනි ෆොන්සේකා ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යයාලයේ කථන හා වාග් ව්‍යධිවේදය හා ශ්‍රවණවේදය (Speech Language Pathology & Audiology) සම්බන්ධව විශේෂ උපාධියක් ලබා, ඉන්දියාවේ රෝහල් කිහිපයක, පුනුරුථාපන ආයතන හා ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ද සේවය කර අත්දැකීම් ලබා ඇත. දැනට කථන හා වාග් ව්‍යධිවේදිනියක් ලෙස සායනික කටයුතු කරන අතරම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසැල් වල දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා වැඩමුළු පවත්වනු ලබයි. තම වෘත්තීය දැනුම හා ලේඛන හැකියාව ඔස්සේ සමාජය දැනුවත් කිරීම ඇයගේ අරමුණයි.


                

අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

ඇත්තටම අද සමාජය කොයි දෙසට යනවාදැයි සිතා ගන්නටවත් නොහැකිය.පවුල ඇති වටිනාකම දැන් දැන් සමාජයට නොදැනී යනවාත්දැයි මට සිතේ. පහුගිය දවස් කිහිපය තුල මගේම යෙහෙළියන්ගෙ දෙදරාගිය විවාහයන් නිසා  හදවතින්ම මම එයාලා ගැන දුක් වුණා.

“කරන්න දෙයක් නැහැ දික්කසාද වෙනවා”

“එතකොට දරුවා?”

“පුතටත් දැන් එපාවෙලා , තාත්තව දමල යමු කියලා එයාම කියනවා.”

මගේ සිත ඇවිලී ගියේය. තාත්තා එනතුරු වේලාව බලමින් ඉන්න මගෙ පැටවු  ” චාච්චා ආවා “යැයි අයියාවත් පෙරලා ගෙන තාත්තගේ පෙර මගට දිව යන පොඩ්ඩාත් මගේ සිහියට නැගුණේ නිතැතින්මය. තාත්තාගේත් අම්මාගේ සෙනෙහසින් ඔවුන්ගේ ලෝකය පිරී ඇත.

“අනේ තාත්තේ සෙල්ලම් කරමු , අද නම් ඔෆිස් වැඩ ගෙදර බැහැ”

පුතාලට අකමැත්තෙන් හෝ අවනතවන්නට තාත්තාට සිදුවේ. ඉතින් මට සිදුවන්නේ පුතාලා තිදෙනෙක්ම බලා කියා ගන්නටය. ඔවුන් අතර ඇති බැඳීම ශක්තිමත්ය. සත්තකින්ම මම ඒ පිළිබඳ සතුටු වෙමි. විටෙක මා මා පිළිබඳවම ආඩම්බර වෙමි. මන්ද යත් ඔවුන්ගේ ශක්තිමත් බැඳීමට අත්තිවරම මා යෙදු හා යොදන නිසාවෙන්ය. තාත්තාට දරුවන්ගෙන් තොර ලොවක් නැත. ඒ බැඳීමට අඩිතාලම දැමිය යුත්තේ අම්මාය. බොහෝ විට දරුවන් මව වටා පමණක් රොක් වූ පවුල බැඳීම අතිශයෙන්ම දුර්වල යැයි මට සිතේ.

“අනේ මන්දා දැන් ගෙදර එන්නෙත් නැහැ ”

“දරුවා බලන්නවත් ”

“මොන ඉපදුන දා ඉඳලා එයාට දරුවා ගැන ගානක් නැහැ , දුවටත් දැන්  ගානක් නැහැ.”

වරද ඇත්තේ කොතනදැයි මට සිතා ගත නොහැකිය. නමුදු එක් කාරණයක් දනිමි ඒ ඔවුන්ගේ පවුලේ සහබන්ධනය නිසියාකාරව සිදුව නැති බව පමණි. මවක් වු පසු දරුවන්ගේ වැඩ කටයුතු සමග සැමියාගේ ඇතැම් කටයුතු අතපසුවීය හැකිය. සැමියකු වශයෙන් එය අවබෝධ කර ගැනීමද ඉතා වැදගත්ය. එහි විරුද්ධ අතද එසේමය. සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යන්නට නම් අන්නෝන්‍ය අවබෝධය වැදගත්ය. මගේ යෙහෙළියන් දෙදෙනාගේම දරුවන්ට පියා සමග බැඳීමක් නොතිබිණි. ඉතින් ඔවුන්ගේ සැමියන්ට වගකීමක් හෝ දමා යාමට බැරිකමක් නොතිබෙන්නට ඇත.පවුලක් විසිර යන්න නොව විසිර යන්නට හේතූ කාරණාව සොයා එයට පිළියම් කල යුතුය.

බොහෝ විට අද සමාජයේ විවාහ සිදුවන්නේ එකිනෙකා හඳුනා ගෙන ප්‍රේම කිරීමෙන් අනතුරුවය. මේ කාලය තුල හැකි තරම් දෙදෙනා පිළිබඳ අධ්‍යනය කර විවාහ වීමට සුදුසු නම් පමණක් විවාහ වනවා නම් හොඳ යැයි මට සිතේ. නමුදු ආදරය අන්ධය. විවාහය විය යුත්තේ ජිවිතයේ මියෙනතාක්ම එකට හිඳීමටය. එනිසාවෙන් ආදරය අන්ධ නොවී අතපත ගාමින් නොව ඉතාමත් සියුම් ලෙස  විචක්ෂණශීලීව හැදෑරිය යුතු විෂයයක් බව වටහා ගත යුතුය.. දෙදෙනා අතර ඇති නොගැලපීම් මතින් ජීවිත නෞකාව පැදයා නොහැකි නම් විවාහයට පෙරම යාත්‍රාව නතර නොකලහෝත් එහි අතර මග නෞකාවට ගොඩ වන දරුවන්ද අසරණවෙති.

දික්කසාදය යන වචනය අද සාමාන්‍ය වචනයක් පමණි. එහි හොඳ නරක කෙසේ වුවද දරුවන්ට වන බලපෑම නම් සුලු පටු නොවේ. ළමා මනසට මෙය කෙතරම් පීඩාවක්ද? ඔවුන් කෙතරම් එයින් මානසිකව ඇද වැටෙනු ඇද්ද? දෙමාපියන්ගේ වැරදි වලට වගකිව යුත්තෝ විඳ විය යුත්තෝ දරුවන්ද? දෙමාපියන් විරසක වෙන්වූ පවුලක දරුවන් අසරණවේ. මවකට කිසිදා පියෙකුගෙ සෙනෙහසවත් පියෙකුට මවකගෙ සෙනෙහසවත් ලබා දිය නොහැකිය. ඔබ අතින් ඔබේ බිරිඳට දරුවන්ට නැතහොත් ඔබේ සැමියාට දරුවන්ට ඔබේ වගකීම නිසියාකාර සිදුවන්නෙදැයි මොහොතක් නැවතිල්ලේ සිතන්න.

ගල්පර නොමැතිව ගලන ගඟෙහි සුන්දරත්වයක් නැත. ජීවිතයද එසේමය. පවුල තුල නොහොඳ නෝක්කාඩුකම් කොතෙකුත්ඇති වේ. දෙන්නා දෙමහලන්ගෙ ප්‍රශ්න බත ඉදෙන තුරු පමණක් විය යුතුමය. සබඳතාවල වටිනාකම දැනෙන්නෙ සබඳතා සදාකාලිකවම අහිමි වූ පසුවය. සබඳතා වල අඩු ලුහුඩුකම් ඇත්නම්  ජිවිත නැවත පිළිසකර කරගන්නට උත්සහ ගත යුතුය. ඒ සඳහා දෙදෙනා කතාබස් කර ගැටලු නිරාකරණය කරගත හැකිය. එසේත් නැතිනම් පවුල් උපදේශන සේවාවක් ලබා ගත හැකිය පවුල යනු විශ්වයේ සොඳුරුතම තැනය. එය ගිලිහෙන්නට නොදී රැකගතයුතුමය.

විවාහ ජීවිතය යනු වගකීම් සමුදායකි. පෙම්වතිය සමයේ හෝ පෙම්වතා සමයේ සිතුම් පැතුම්ම විවාහයේදී බලාපොරොත්තුවිය නොහැකිය. එහෙත් ගතින් වියපත් වුවද අප සිතින් වියපත් නොවේ. ආදරය අප මියෙනතුරුම අපේ හදවත් වලට ඇවසිමය. තමන්ගෙ බිරිඳ සමග මෙන්ම තමන්ගෙ සැමියා සමගත් දොඩම`ඵ වන්නට පෙම්බස් දොඩන්නට අපට සිත් වුවද බොහෝ විට එම හැඟීම වලට අප අගුලුලා තබයි. බැරි වෙලාවත් මේ අගුලු තම සැමියා හෝ බිරිඳ නොවන කෙනෙකු ඉදිරියේ වාන් දැමූ පසු ඒ සැඩ පහරේම හොඳක් නරකක් නොපෙනී ගමන් කරනු ඇත. ඉඩ දෙන්න ඔබේ හැඟීම වලට නිදහසේ ඔබේ සහකරුවා ඉදිරියේ ගලා යන්නට. අසීමිත ආදරය හමුවේ පැනයා හැක්කේ කාටද?

මාගේ කුඩා දරුවා තාමත් කතා කරන්නේ නැහැ. මේ සම්බන්ධව මා බිය විය යුතුද?

අලුත උපන් බිළිඳාගේ පලමු කොණ්ඩය, සිනහව, ග්‍රහණය කර ගැනීම, පෙරලීම හා මුවින් පිටවන පලමු වචනය මවගේ හා පියාගේ ජීවිතයට ප්‍රීතියක් එක් කරන අවස්ථාවන් වේ. දරුවාගේ සෑම ක්‍රියාකාරකමක්ම දෙමාපියන්ගේ මුවට සිනාවක් ගෙන දෙන්නේ රාත්‍රී නින්ද හා විවේකය නොබලා, තම ආදරණීය දරුවා වෙනුවෙන් ඔවුන් හෙලූ ඒ දහඩිය, මහන්සිය මදකට අමතක කරමිනි.

දෙමාපියන් තම දරුවන් ජීවිතයේ ඉලක්ක සපුරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියි. ඇවිදීමේදි, කතා කිරීමේදි ඇතිවන ප්‍රමාද දෙමාපියන් කනස්සල්ලට පත් කිරීම සාධාරණය. මා දන්නා මිතුරන් කිහිප දෙනෙකු තම දරුවාගේ යම් ක්‍රියාකාරකම් වල ප්‍රමාද හේතුවෙන් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තබා විවිධ ආගමික වතාවත් වල නිරත වන අතර, ENT විශේෂඥයින් මුණ ගැසී තම දරුවාගේ කථනයේ හා අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට පියවර ගනියි.

භාෂා නිපුණතාවන් කෙරෙහි එකිනෙකට වෙනස් සිද්ධාන්ත 3ක් ළමා මනෝ වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත. හැසිරීම් වලට අදාල දෘෂ්ටි කෝණයකින් බලන කල, භාෂා නිපුණත්වය දරුවා තුල ප්‍රගුණ වන්නේ “Operant Conditioning” නම් බාහිර උත්තේජකයකට අනුව දරුවාගේ හැසිරීම ධනාත්මහ හෝ ඍණාත්මක ලෙස වෙනස් වීමයි. එනම් දෙමාපියකු සිනහවකින්, බදා ගැනීමකින් හෝ කතා බස් කිරීමෙන් ලබා දෙන ප්‍රතිචාරය දරුවාගේ හැසිරීමේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා උත්තේජකයක් ලෙස කටයුතු කරන බවයි. භාෂාවේ උත්තේජක ලෙස වදන් හා ශබ්ධ කටයුතු කරයි. තවද, අනුකරණය කිරීම යන ක්‍රියාදාමයද දරුවාගේ භාෂාව ග්‍රහණය කර ගැණීමේ නිපුණතාවය වර්ධනය කිරීමට ඉවහල් වේ. රූපවාහිණියේ හෝ වැඩිහිටියන්ගේ කතා බස් වලට සවන් දීමෙන් ඔවුන් කතා කරන දේවල් පැවසීමට, ශබ්ද උච්චාරණය කිරීමට උත්සාහ ගැනීම,  මීට කදිම උදාහරණයකි.

දෙවන සිද්ධාන්තය වන්නේ දේශවාදයින්ගේ දෘෂ්ටි කෝණයයි. ඔවුන්ගේ මතයට අනුව, දරුවාගේ මොළය තුල LAD (Language Acquisition Device) නම් භාෂා ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් ඇත. මේ තුලින් විවිධ වදන්, ව්‍යාකරණ රීති වලට අනුව සම්බන්ධ කිරීමටත්, තමා සතු වාග් මාලාවේ ප්‍රමාණය අනුව ඇසෙන වාක්‍යයන් හි තේරුම වටහා ගැනීමටත් දරුවාට හැකියාව ලැබේ.

ප්‍රසිද්ධ භාෂාවේදියකු මෙන්ම මනෝ වෛද්‍යවරයකු මේ සම්බන්ධව වාද කලේය. මෙහිදී ඔහු තෙවන සිද්ධාන්තයක් ඉදිරිපත් කල අතර එහිදි ඔහු බාහිර උත්තේජක හා අභ්‍යන්තර ව්‍යුහයේ ක්‍රියාකාරිතවයේ යන සාධක දෙකම දරුවාගේ භාෂා නිපුණත්වය කෙරෙහි බලපාන බව අවධාරණය කලේය. ඔහු පෙර ඉදිරිපත් කල සිද්ධාන්ත දෙකෙහිම වටිනාකම හා වැදගත්කම පැහැදිලි කරන ලදී.

හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැ‍යි මට විටෙක සිතේ.

දෙමාපියන් ලෙස ඔබ දරුවාගේ භාෂා නිපුණතාවන් වර්ධනය කිරීමෙහි ලා වගකීමකින් කටයුතු කල යුතු වේ. මට ලඟකදී, තම ආච්චීගේ නිවසේ සිටින ගොළු පුද්ගලයෙකුගේ ශබ්ධ අනුකරණය කරන දරුවකු මුණ ගැසුණේය. මෙය වෙනත් සිද්ධියකි. කෙනෙක් ගැහැණු දරුවකු වූ අතර අනෙත් දරුවා පිරිමි දරුවෙකු විය. අවුරුදු 3 තෙක් කතා කිරීමේ අපහසුතා ඇති දරුවන් දෙදෙනෙකි.මෙම දරුවන්ගේ දෙමාපියන් දෙපළම ආගමික ආශිර්වාදය පතා විවිධ වතාවත් වල නිරත වූහ. මෙහිදී මට අවබෝධ වූයේ ඔවුන් පවුලේ එකම දරුවා වන බවත්, දෙමාපියන් වෙනම නිවසක වාසය කරන බවත්, දරු දෙදෙනාගේම පියා සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස කාර්යබහුල ජීවිත ගත කරන බවත්, මව්වරුන් දෙදෙනාම නිවසේ ගෘහණියකගේ වැඩ රාජකාරි වල නිරත වන බවත්ය. මව්වරුන්ට තම දිවා කාලයේදි දරුවා සමඟ කතා බහෙහි නියැලීමට තරම් විවේකයක් නැත. ඔවුන් දෙදෙනාම එතරම් සමාජශීලි නොවන අතර පාඩුවෙ තම ජීවිතය ගත කරන කාන්තාවෝ වෙති. එම නිසා මෙහිදී මා හට පැන නැඟුනු ප්‍රශ්නයක් වන්නේ උපතින්ම දරුවාගේ මොළයේ අභ්‍යන්තරව භාෂාව ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් තිබුණත් එය භාවිතා කිරීමට ඔහුට/ඇයට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එහි ඇති ඵලය කුමක්ද යන්නයි.

මාගේ ඥාති පුතණුවන් ළඳරුවකු ව සිටියදි ඔහුව බලාගත්තේ එකල ගුරුවරියකව සිටි මාගේ මවය. ඇය ඉතා උනන්දුවෙන් තම මුණුබුරා සමඟ සංවාදයේ යෙදුනු සැටි මට තාමත් මතකයි. ඇයගේ වදන්වලට ප්‍රතිචාර දැක්වීමට තරම් දරුවාගේ භාෂා නිපුණත්වය වර්ධනය නොතිබුණත් දරුවා තම මිත්තණිය නැවතත් යම් දෙයක් පවසන තෙක් උද්යෝගයන් ඇය දෙස බලා සිටියේය. මුලදී මෙය අනර්ථ කාර්යයක් ලෙස පෙනුනත් පසුව දරුවා හැකි ලෙස සංවාදයේ යෙදෙන්නට පටන් ගත්තේය. මෙහිදී මා මගේ මවගේ උනන්දුව හා කැපවීම කෙරෙහි විස්මයට පත් විය. හරිහැටි කතා බස් කල නොහැකි කුඩා දරුවකු සමඟ සංවාදයේ යෙදීම නීරස දෙයක් ලෙස අපට දැනුනත් එය දරුවකුගේ භාෂා නිපුණත්වය වර්ධනය කිරීමෙහි ලා උපකාරි වේ.

සමහර අවස්ථාවන්හිදී, දරුවාගේ මානසික ආබාධ ඔහුගේ/ඇයගේ භාෂාමය හැකියාවන් වල වර්ධනය හීන කිරීමට බලපායි. ඔබ හැකි පමණ අලුත් වචන හා ශබ්ධ දරුවන්ට ඇස්සවීමට සැලැස්විය යුතුයි. එසේම ඔවුන්ට ඒවා උච්චාරණය කිරීමටද ඉඩ දිය යුතුයි. ඔබට දරුවා සමඟ සංවාදයේ යෙදිය නොහැකි නම ගීත ගායනා කිරීමෙන් හෝ පොතක් කියවීමෙන් ද මෙම අරමුණ සාක්ෂාත් කර ගත හැක.දරුවාගේ මුල් ළමා කාලයේදි භාෂා නිපුණතාවන් සීඝ්‍ර ලෙස වර්ධනය වේ. එමෙන්ම, මෙම අවධියේදි දරුවකුට මව් භාෂාවට අමතරව තවත් ද්විතියික භාෂාවක් ග්‍රහණය කර ගැනීමට තරම් හැකියාවක් පවතියි. මෙහිදි ඔබට භාෂාවේ ව්‍යාකරණ රීති දරුවාට උගන්වන්නට අවශ්‍ය නොවන අතර, ඔහු/ඇය භාවිතයෙන් හා ශ්‍රවණයෙන් භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට ඉගෙන ගනියි.

දෙමාපියන්ගේ හැසිරීම් රටාවන් හා ඔවුන්ගේ කුඩා කාලයේ වර්ධන රටාව දරුවාගේ ළමා කාලය හැඩගැස්වීමේහි ලා ඉමහත් ලෙස බලපායි. උදාහරණයක් ලෙස, ඔබ කුඩා කලදී එතරම් සමාජශීලි නොවන, නිශ්ශබ්ද දරුවකු ලෙස වැඩුනේ නම් ඔබගේ දරුවාද වැඩිය කතා බස් නොකරන, නිශ්ශබ්ද දරුවකු වන්නට පුලුවන. පැස්බරකු කවදාකවත් ගිරවකු මෙන් නාද කරන්නේ නැත. අප හැදෙන වැඩෙන පරිසරය අප ඉගෙන ගන්නා දේවල් හා හැසිරීම් රටාව කෙරෙහි ඍජු ලෙස බලපායි.

තම දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා වර්ධනය කෙරෙහි දෙමාපියන් ඉතා සංවේදි විය යුතුය. මන්ද භාෂාව ග්‍රහණය කරගැනීමේ හා කථන හැකියාවන්හි අඩු වර්ධනය මානසික අසහනයන් වල ප්‍රතිඵලයක් විය හැකි හෙයිනි. ඔබගේ දරුවාට දෙමාපිය රැකවරණය නිසි ලෙස නොලැබෙන්නේ නම් හෝ දරුවා නිවසේ අත් උදව්කරුන් සමඟ වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබ මීටත් වඩා දරුවාගේ හැසිරීම් රටාවන් පිළිබඳ විමසිලිමත් විය යුතු වේ.

හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැ‍යි මට විටෙක සිතේ.

ළමයින් මල් වගේය. ප්‍රශ්නය ඇත්තේ බීජයේ නොව වැඩෙන පසෙහි බව ඔබ මතක තබා ගත යුතුය.

දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි දරුවා ඇතිකරන අරගලය අවම කරගන්නේ කෙසේද?

රාත්‍රී නිදන ඇඳුම් ඇන්දවීමේදි, නෑවීමේදි හා වාහනයෙන් ගමනක් යෑමේදි දරුවා හා දෙමාපියන් අතර අරගල ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අවස්ථා දෙමාපියන්ව අපහසුතාවයට ලක් කරන අතර සමහර අවස්ථා වලදී ඔවුන් මෙම තත්ත්වයන් ඉදිරියේදි කෙසේ කටයුතු කල යුතුද යන්න පිළිබඳව නිසි අවබෝධයකින් පසු නොවේ. දරුවාට තමා විසින්ම , ස්වකැමැත්ත අනුව එම ක්‍රියාකාරකම් කිරීමට ඇල්මක් දැක්වීම මෙම මුරණ්ඩුකාරි හැසිරීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. “The Art of Empowered Parenting”  හි කතුවරයා වන මහාචාර්ය එරික් ඒ. ෆිශර් මහතා පවසන්නේ අවුරුදු 3, 4 වයසේ පසුවන දරුවන් ස්වෝත්සාහයෙන් ක්‍රියාකරම් වල නිරත වීමට පෙළඹීම නිසා මෙම දෛනික කටයුතු කලහකාරි අරගල බවට පත් වන බවය. නමුත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් කිසිසේත් කලබල විය යුතු නැත. දෛනික ක්‍රියාකාරකම් වලදී දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳ පිළිගත් ක්‍රම වේද ඔබට අනුගමනය කල හැක. මේ තුලින් අනවශ්‍ය ලෙස අරගලකාරි අවස්ථා ඇතිවීම වළක්වා ගත හැකි වේ.

දත් මැදීම.
දත් මැදීම යනු දරුවන්ට මෙන්ම දෙමාපියන්ට අත්විඳින්නට සිදුවන අරගලකාරි ක්‍රියාකාරකමකි. දරුවා විටෙක දත් මදින අතරතුර පිටතට දිව යන අතර මුව වසා දත් මැදීම ප්‍රතික්ෂේප කරයි. බලහත්කාරයෙන් දරු බුරුසුව දරුවාගේ මුව තුලට ඇතුල් කරනවා වෙනුවට ඔබට මෙවැනි අවස්ථාවකදී සංයමයෙන් දරුවාට සහනයක් සැලසෙන ලෙස කටයුතු කල යුතුය. චිකාගෝ හි Ann & Robert H. Lurie ළමා රෝහලේ, ළමා දන්ත වෛද්‍ය ග්‍රේස් යම් ට අනුව ඔබේ දරුවාගේ ප්‍රියතම කාටුන් චරිත ඇති හුරුබුහුටි , සුමුදු කෙඳි සහිත දත් බුරුසුවක් ගෙන විදුරුමස් වලට වේදනාවක් ගෙන නොදෙන අයුරින් ඉතා මෘදුව තම දරුවාගේ දත් දෙපල මැද්දවීම ඉතා සුදුසු ක්‍රමයකි. දරුවා දත් මදින අවස්ථා වලදී මුරණ්ඩුකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි ආකාර බොහෝමයක් ඇත. උදාහරණයක් ලෙස දරුවාගේ ප්‍රියතම දන්තාලේපයක් තෝරා ගැනීම, දරුවාට නෑමට පෙර හෝ පසුව දත් මැදිය යුතුද යන්න තීරණය කිරීමට සැලැස්වීම, මුව හොඳින් විවෘත කිරීම සඳහා දත් මදින අතර තුර දරුවාට ගීතයක් ගැයීමට පෙළඹවීම හා ඇයගේ/ඔහුගේ ප්‍රියතම බෝනික්කාගේ දත් දෙපල මැදීමට පැවසීම යන ක්‍රම වේද ගෙන දැක්විය හැක.

ඩයපරය මාරු කිරීම.
ඩයපරය මාරු කිරීමේදි දරුවා කෑමොරෙ දෙමින් හැසිරීම සාමාන්‍ය සිදුවීමකි. “If I Have To Tell You One More Time” හි කතුවරිය වන ඒමි මක්‍රේඩි ට අනුව සෙල්ලම් කරන අතර තුරදී බලහත්කාරයෙන් ඔහුව/ඇයව ගෙන ඩයපරය මාරු කරවීම දරුවාට එතරම් ප්‍රියජනක අත්දැකීමක් නොවේ. තව දුරටත් ඇය පවසන්නේ ඩයපරය මාරු කිරීමට අවශ්‍ය වූ විට දරුවාගේ අවධානය සෙමෙන් වෙනත් දෙයකට යොමු කොට (උදා – ගීතයක් ගායන කිරීමෙන් හෝ ඇයට ශරීරයේ අවයව නම් කිරීමේ කුඩා සෙල්ලමක නිරත වීමෙන්) දරුවාගේ ඩයපරය මාරු කරවීම ඉතා යෝග්‍ය බවයි. එසේම ඩයපරය මාරු කරන කාලය ඔබ දරුවාගේ දක්ෂතා පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගන්න. ඔබ ඩයපරය මාරු කරන වෙලෙහිදී, ඇයට/ඔහුට කලිසමේ පාදය එසවීමට, වෙල්ක්‍රෝ පටිය ඇලවීමට පුරුදු කරවන්න. බොහෝ දරුවන් මේසයට වඩා පොළොවේම ඩයපරය මාරු කිරීමට කැමැත්තක් දක්වයි.

නෑවීම.
සමහර දරුවන්ට නෑමට කැමැත්තක් නොදක්වති. මන්ද එය දරුවාට මෙන්ම දෙමාපියන්ට අරගලයක් වන හෙයිනි. මක්‍රේඩි මහත්මියට අනුව ඔබ වතුර බේසම පිරවීමේදි දරුවා කලබකාරි ලෙස හැසිරෙන්නේ නම් එයින් හැඟෙන්නේ ඔහු/ඇය වතුරට හෝ ඇස් තුලට සබන් යාම නිසා බියට පත් වන බවය. දෙමාපියන් ලෙස ඔබ එහිදි කල යුත්තේ දරුවා බියට පත්වන හේතු විමසා ඊට සරිලන ලෙස විසඳුම් ක්‍රියාත්මක කිරීමය. පිහිණුම් කණ්ණාඩියකින් දරුවාගේ ඇස් ආරක්ෂා කිරීමෙන් හා වතුර බේසමේ දරුවා කැමති සෙල්ලම් බඩුවක් පාවීමට සැලැස්වීමෙන් ඔබට දරුවා තුල වතුරට ඇති අනවශ්‍ය බිය පහ කල හැකිය. ජලයේ පාවෙන තාරාවන්, සෙල්ලම් බෝට්ටු, රබර් කතන්දර පොත් වැනි කෙලි බඩු වලින් ඔබට නාන කාලය දරුවාට දඬුවමක් වෙනුවට විනෝදජනක අත්දැකීමක් බවට පත් කල හැකිවේ.

රාත්‍රී කෑම මේසයේදි හැසිරීම.
බොහෝ කුඩා දරුවන් කෑම මේසයේදි හැසිරෙන්නේ දෙමාපියන්ට නොයෙකුත් අපහසුතා ඇතිවන පරිද්දෙනි. බත් කටවල් දෙකක් කා මේසයෙන් නැගිට යම් වේලාවක් සෙල්ලම් කොට නැවතත් කෑම පිඟානෙන් බත් කෑම අපට සාමාන්‍ය ජීවිතයේ දක්නට ලැබෙන සිදුවීමකි. වෛද්‍ය එරික් ෆිශර් මහතාට අනුව බොහෝ දරුවන්ව මුළුතැන්ගේ කෑම පිලියෙල කරන කර්තව්‍යය සඳහා ඔබට යොදා ගත හැකිය. එළවලු සේදීම, කුළුබඩු එකතු කිරීම, කෑම පිඟානේ පළමුවෙන් බෙදා ගත යුතු ආහාරය වැනි තීරණ දරුවාට ස්වාධීනව ගැනීමට ඉඩ දීම උදාහරණ ලෙස ගෙන දැක්විය හැකිය. කෑම කන වේලාවේදි රූපවාහිණිය අනිවාර්යයෙන් ක්‍රියා විරහිත කල යුතුය. වෛද්‍යවරයා වැඩි දුරටත් අවවාද කරන්නේ දෙමාපියන් ලෙස ඔබ අඩුම තරමේ විනාඩි 10ක් වත් එකට මේසයේ කෑම කෑමට උත්සාහ ගත යුතු බවය. ඊට හේතුව දරුවකුට සාමාන්‍යයෙන් එක දිගට බොහෝ කාලයක් එක තැන ඉඳගෙන සිටීම අසීරු කාර්යයක් වන හෙයිනි.

වාහනයෙන් ගමනක් යෑම.
වාහයනයෙන් යන කෙටි ගමනක් වුවද දරුවාට අසහනකාරි විය හැක. චිකාගෝ හි ලොයෝලා විශ්ව විද්‍යාලයේ ළමා විශේෂඥ වෛද්‍ය බ්‍රිජට් බොයිඩ් ට අනුව ගමන ආරම්භ කිරීමට ප්‍රථම නිසි ලෙස හැසිරෙන ලෙස අවවාද කිරීම මෙසේ දරුවා කලබලකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි එක් ක්‍රමයකි. ඔබට ගීතයක් ගයමින් දරුවාව උපක්‍රමශීලීව වාහනයේ අසුන වෙත රැගෙන යා හැකිය. තවද දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩුව රැගෙන යාමට අවසර දීම, ඔහු කැමති ගීත අසන්නට සැලැස්වීම, දරුවා සමඟ නිරන්තරයෙන් කතා බහෙහි නියැලීම වැනි ක්‍රියාකරකම් මඟින් පිටුපස අසුනේ සිටින දරුවාට වාහනයෙන් යන ගමන ඉතා විනෝදජනක අත්දැකීමක් පත් කල හැකි වේ.

ඔයාට ඕනී දුවෙක්ද? පුතෙක්ද?

වර්තමානයේ බොහෝ විට සැමියාත් බිරිඳත් දෙදෙනාම රැකියා වල නියුතු නිසා ඉතාමත් කාර්්‍යය බහුලයි. එනිසාම දුවෙකුයි පුතෙකුයි කියන සංකල්පයට අපි නිරායාසයෙනම නැඹුරු වෙනවා. බොහෝ විට එක දරුවකුට හෝ දරුවන් දෙදෙනෙකුට පමණයි පවුලක ඉඩ කඩ හිමි වෙන්නේ. ඒත් දරුවො කිහිපදෙනෙක් සිටින නිවසක් කොයි තරම් පිරිපුන්ද කියලා මට හිතෙනවා. පහුගිය දවසක යෙහෙළියකගෙ අලුත ඉපදුන දූ පැටියෙක් බලන්න ගියා. අනේ ඉතින් රෝස මලක් වගේ ලස්සන දෝනී පැටියා හරිම ලස්සනයි.

“අපිට නම් දැන් ඉතින් දුවයි පුතයි ඉන්නවා. පුතාල දෙන්නෙක් ඉන්න නිසා හදන්නකො දුවෙක් ”

“ දුවෙක් හදන්න හිතලා තුන්වෙනියත් පුතෙක් වුණොත් ”

“ අයියෝ ඒවට ක්‍රම තියෙනවා මමත් ඒ ක්‍රමයට තමයි දුව හදා ගත්තේ ”

“ ඒ කොහොමද? ”

අපේ සිංහල වෛද්‍යක්‍රමයට අනුව ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන් ක්‍රම තිබිලා තියෙන බවට මමත් අහලා තියෙනවා. ඒ එක් ක්‍රමයක් තමයි මේ

  • කාන්තාවකට ඔසප් වීම ඇරඹුන දින සිට ඉරට්ටේ දින වල එනම් 06, 08, 10, 12, 14,16 යන දිනවල ලිංගිකව එක්වීමෙන් දියණියක් අපේක්ෂා කළ හැකිය.
  • ඔසප් වීම ඇරඹුණු දින සිට ඔත්තේ දිනවල එනම් 5, 7, 9, 11, 13, 15 යන දින වල ලිංගිකව එක්වීමෙන් පුතෙකු අපේක්ෂා කළ හැකිය.

දරුවකු පිළිසිඳ ගන්නට පෙර දුවෙක්ද පුතෙක්ද කියලා ඔබට තීරණය කරන්න පු`ඵවන් අනිත් ක්‍රමය තමයි  චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුව. මගේ යෙහෙළියගෙ රහස වුණේ මේ වගුව.

Boy-or-girl

මෙම වගුවෙ හරහට කාන්තාවගේ වයස දක්වා තිබෙනවා. වගුවෙ පහළට ගැබ් ගන්නා මාසය දක්වා තිබෙනවා. ඒ අනුව කාන්තාවගේ වයස 20ක් වන විට ගැබ් ගන්නේ මාර්තු මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ. වයස 20ක් වන විට ගැබ් ගන්නේ මැයි මාසයේ නම් ඇයට උපදින දරුවා පිරිමි දරුවකු වේ. මේ අනුව ඔබේ දරුවා පිරිමි ද, ගැහැණු ද යන්න නිශ්චය කර ගන්නට හැකි වෙනවා. මෙය සියයට අනූ නවයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. කලින් අත්දැකීම් එක්ක ගලපලා බලන්නකො. මට නම්  මේ ක්‍රම දෙකම නිවැරදි වුණා.

චූටි පැටව් ඉන්න අම්මලා “ගොතය” ගැනත් දැනුවත් වුණොත් නරකද?

අපි කවුරුත් කතා කරන්නේ පිට කරන හුස්මෙන්. හුස්ම පිටවීමත් සමගම අපේ ස්වර තන්ත‍්‍ර චලනය වෙන අතරම ඒ මගින් ඇති වන තරංගය දිව, තොල්, තල්ල මගින් කථන ශබ්ද බවට පරිවර්තනය වීම සිදුවේ. මේ ක‍්‍රියාදාමය යම් අයෙකුට සමබරව සිදු කරගත නොහැකි නම් ඒ තත්ත්වය ගොතය ලෙස හැ`දින්වේ.

ගොතය කුඩා අවධියේ පටන්ද ඇතැම්විට එක් වයස් සීමාවකදී එක්වරම හට ගන්නා අවස්ථාද දැකිය හැකිවේ. කෙසේ වුවද යමකට බියවූ අවස්ථාවකදී හෝ කතා කරන දේ පිළිබ`දව නිසි අවබෝධයක් නොමැති විට හෝ බොරු කියන විට මෙන්ම ගොතය සහිත පුද්ගලයකු නිතර දැකීමෙන් සහ ඔහු සමග නිතර කතා කිරීමෙන් ඔහුගේ විලාසය ආරෝපණය කරගන්නා අවස්ථා ඇති වන බවද සමහරෙකු පවසයි.

කුඩා දරුවන් අකුරු එක් කරමින් වචන ගලපමින් කතා කිරීමට උත්සාහ දරන කාලය එනම් අවුරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදී ඔවුන් වෙතින් වරින් වර මතුවන ගොතය සාමාන්‍ය තත්ත්වයකි. එය ඇති වන්නේ ඔවුන් කතා කිරීමට දරන උත්සාහයද සමගිනි. නමුත් මේ තත්ත්වය දිනෙන් දින වැඩි දියුණු වෙමින් දරුවා කතාබහ කිරීමට වැඩි වෙහෙසක් දරන්නේ නම් ඒ පිළිබ`දව අවාදනය යොමු කරමින් සැලකිලිමත් වීම වඩා වැදගත් වේ. එසේම වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතු වන අනෙක් කරුණු වන්නේ කතා කිරීමේදී දරුවා ඉක්මණින් විඩාවට පත්වේද මුහුණේ චලනයන්හි විශාල වෙනසක් පවතීද යන කරුණු පිළිබ`දවයි. ඒවා යම්තාක් දුරට ආසාමාන්‍ය තත්ත්වයන් විය හැකිය. මෙවැනි අවස්ථාවකදී තත්ත්වය පිළිබ`දව සැකහැර දැනගැනීම ස`දහා දරුවා සුදුසුකම් සහිත වාග් ව්‍යාධවේදීවරයකු වෙත ගෙන යාම ඉතාම වැදගත් වේ. එහිදී අවශ්‍ය උපදෙස්, ක‍්‍රියාකාරකම් මෙන්න ප‍්‍රතිකාර පිළිබ`දවද නිවැරදි මගපෙන්වීමක් ඔබට හිමි වනු ඇත.

දිනෙන් දින වැඩෙන දරුවාට මෙවැනි තත්ත්වයක් හමුවේ සිය වටපිටාවට මුහුණ දීම ගැටලූවක් විය හැකිය. පෙර පාසැල හෝ පාසැල වෙත දරුවා ඇතුළත් කිරීමට ප‍්‍රථම මෙම තත්ත්වය පාලනය කර ගැනීමෙන් දරුවාගේ කතාව සම්බන්ධව පාසල් පරිසරයේ ඇතිවිය හැකි ගැටලූකාරී තත්ත්වයන් රැුසක්ම මගහරවා ගත හැකිය. දරුවා සිය අපහසුතාවය පිළිබ`දව බියට පත්වීම හේතුවෙන් කතා කිරීමට බියක් මෙන්ම අකමැත්තක් දැක්වීමටද ඉඩ ඇත. එය අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් ඇති කිරීමට හේතු වේ. මව්වරුන් ලෙස දරුවන්ගේ මෙවැනි තත්ත්වයන් පිළිබ`දව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු වන්නේ ඔවුන්ගේ අදහස්, ආකල්ප, පෞරුෂත්වය හා හැසිරීම් රටාවල ආසාමාන්‍ය වෙනස් වීම් ඇතිවීමටද මේ තත්ත්වය බලපෑම් කළ හැකි බැවිනි.

ගොතය සම්බන්ධව සිදු කරන ලද සමීක්ෂණවලට අනුව ගොතය සහිත පුද්ගලයකු පවුලේ සිටීමෙන් එම පවුලේ තවත් සාමාජිකයකුට ගොතය ඇතිවීමේ අවධානම වෙනත් අයෙකුට ඇතිවීමේ අවධානමට වඩා තුන් ගුණයකින් වැඩි බව හෙලිවී තිබේ. ජානමය බලපෑම් මත ගොතය ඇතිවීමේ ප‍්‍රවණතාවය ඉතා අවම මට්ටමක පවතින අතර වඩාත් පිළිගත් නවතම මතය වන්නේ මොළය සහ ස්වසන පද්ධතිය ආශ‍්‍රිත ගැටලූකාරී තත්ත්වයන් මත ගොතය ඇති වී වැඩි දියුණු වන බවයි. කතා කිරීමේදී කැඩුණු හෝ ඇදෙන ආකාරයේ කතා විලාසයන් ඇති වීමට මොළයෙන් නිකුත් කරන ස්නායු ආවේග නිවැරදිව සමායෝජනය නොවීම හේතු වේ. මොළයේ ඇතිවන ආවේග සමග ස්වසන පද්ධතිය හා මුඛයේ දිව, තොල්, තල්ල සමග ඇති වන ක‍්‍රියාවලිය හා ස්වර තන්ත‍්‍ර චලනය වීමේ ක‍්‍රියාවලිය හරි හැටි පාලනය කිරීමට නොහැකි වීම ගොතය ඇති වීමට හේතුවයි. මෙහිදී සිදුවන්නේ ස්වසනය සහ ශබ්ද නිෂ්පාදනය නිවැරදි ලෙස පාලනය නොවීමයි. එනිසාම කතා කරගෙන යාමේදී හුස්ම මදිකම, බෙල්ල හා පපුව ආශ‍්‍රිත වේදනාවක් ඇතිවීම, මුහුණේ සහ ශරීරාංගවල වෙනස්වීමක් සහ කතාවේ දැඩි අපහසුතාවයක් ඇතිවීම දක්නට ලැබෙනවා. නමුත් තාලයට කතාකරන විට හෝ ගීත ගායනා කරන විට මේ අපහසුතාවයන් දක්නට නොලැබීම ගොතය සම්බන්ධ සුවිශේෂි සාමාන්‍ය ලක්ෂණයකි.

මෙවැනි දරුවෙකු නිවසේ සිටින විට නිවැසියන් සැමවිටම ඔවුන්ගේ සහයෝගය දරුවාට ලබාදීම අනිවාර්ය වේ. කිසිවිටකත් දරුවාගේ ගොතය පිළිබඳ ඔහු හෝ ඇය ඉදිරියේ සුවිශේ්ෂීව කතා නොකරන්න. තමා සතු ගැටලූව උදව් නොමැතිව නිවැරදි කරගන්නට අපහසු බැවින් ගොතය සහිතව කතා කරන විට එය නිවැරදි කරවන්නට හෝ නිවැරදිව කියන්නට බලකරන්නටද, තාලයට කියන්න, හුස්ම අරගෙන කියන්න යැයි උපදෙස් ලබාදීමද නුසුදුසුය. එය මෙම ගැටලූව වඩාත් උග‍්‍ර වීමට හේතු විය හැකිය.

ගොතය පාලනය කරගැනීමට නම් පෙර ස`දහන් කළ පරිදි සුදුසුකම් සහිත වාග් ව්‍යාධිවේදීවරයකු විසින් අනුමත කරන ලද වාග් චිකිත්සන ප‍්‍රතිකාරවලට යොමුවීම වඩා වැදගත්වේ. එහිදි නිවැරදි ස්වසන අභ්‍යාස හා කතාවේ වේගය පාලනය කිරීමේ ක‍්‍රම ඉගෙනීමෙන් පැහැදිලිව කතාකිරීම ස`දහා අවශ්‍ය මොළය විසින් නිකුත් කරනු ලබන ස්නායු ආවේග සමායෝජනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙවන් අවස්ථාවකදී තත්ත්වය දුරදිග නොයවා නිවැරදි පියවර ගැනීමේ වගකීම මව්පියවරුන් සතුය.

කථන හා භාෂා ව්‍යාධිවේදී නිමීර චතුරංග වීරරත්න සමග සිදුකළ සාකච්චාවක් ඇසුරෙනි

ඔබට දරුවන්ගෙ සිතුවිලි මගහැරුණහොත් ජීවිත කාලයටම ඔවුන් අපව මගහරිනු ඇත

“ළමයෝ ඕක කරන්න එපා”

“අයියෝ ඕකත් කරන්න එපා”

“අනේ මන්දා එපා කියන දේමයි කරන්නේ ”

ඔබේ දරුවන්ට ඔබ ඔහොම කෑගහනවද? පිළිතුර “ඔව් ”නම් මේ ලිපිය ඔබ කියවිය යුතුමයි. දැන් මසකට පමණ කලින් අපේ නිවස පුරාම රැව්දුන්නේ දරුවන්ගේ හඬත් එක්ක එයාලටත් වඩා හයියෙන් ගෝරනාඩු කරන මගේ හඬයි. ඇත්තටම නිවසින් පිටත ඉන්න පිටස්තරයන් අහගෙන සිටිය නම්

“අපෝ අර ගෑණී නම් මහ යක්ෂ ගෑනියෙක් ”

කියලා හිතන එක නම් නොඅනුමානයි. පහුගිය දවසක පොතක් නැති කරගත්ත මගේ ලොකු පුතාට මම  මහ හඬින් සැර  කරලා ගුටියක් දුන්නා. කේන්තිය විසින් මා යටපත් කරගෙන තිබුන නිසා මම තරහින් රවාගෙන පුතා දිහා බැලුවා. අහම්බෙන් මගේ නෙත් පුතාගෙ නෙත් මත නතර වුණා. දෙවියනේ… ඒ ඇස් වල තියෙන දුක, බය, අනේ අම්මේ… කියන, ඇස් දුටුව මට අකුණු සැරයක් වැදුනා වගේ හිත හිරිවැටිලා ගියා. ළඟට ආව පොඩ්ඩටත් මම නොරිදෙන්න ගුටියක් දුන්නෙ ලොක්කට පේන්න. මට විරිත්තා පොඩ්ඩා අයියා ළඟට ගියා. තවම කතා කරන්න වචන ඇහිඳින පොඩ්ඩා

“අයියේ… ගුති දෙනවා, පොච කෝ…? ”

මාව අනුකරණය කරමින් ලොකු පුතුට පහරක් ගැසුවා. හිතේ තද කරගෙ තිබ්බ ලොක්කගෙ දුක වාන් දැම්මා. පුංචි ඇස් වලින් කඳුළු සට සට ගාලා කඩා වැටෙද්දි මම පුතාව තුරුලට ගත්තා.

“අයියා අඬා එපා…”

පොඩ්ඩත් අයියා සනසද්දි මගේ හිත මහා බරකින් පිරුණා. අවුරුදු හතක් වුන මගේ ලොකු පුතාට එකම කාරණය මට හතර පස් පාරක් කියන්නම සිද්ද වෙනවා. පාඩම් කරන්න ගියොත් නාහෙන් අඬනවා, හැම වැඩේම ඉබ්බා වගේ කරන්නේ, කිසිම දෙයක් ගණනට නොගෙන ඉන්න නිසා  බොහෝ වෙලාවට මගෙන් බැණුම් නම් කෙළවරක් නැතිව ඔහුට ලැබෙනවා. ඒත් මේ තරම් හැඟීම් ගොඩක් මම ලොක්කගෙ ඇස් වලින් මීට කලින් දැක්කෙ නැහැ, නැත්තනම් දැක්කත් ගණනකට ගත්තෙ නැහැ.

ජීවිත රඟ මඩලෙ චරිතාංග නිළියන් වන අපට පැවරිලා තියෙන වගකීම් බොහෝමයි. ඉර අවදිවන්නට පෙර දවස අරඹන අපට ඉර අවරට ගොස් හෝරා හතරක් පහක් පමණ වනතුරුම විවේකයක් නම් නැහැ. ගෙදර දොරේ වැඩ, දරුවන්ගෙ ඉගෙනීම් කටයුතු,දරුවනගේ පෝෂණය, සැමියාගේ කටයුතු, දෙමාපියන්ගෙ යුතුකම් එකී මෙකී නොකී කාර්යයන් රාශියක් ආවරණය කල යුතුය. ඔය අතර දරුවො දඟ කරන කොට ඒ දඟකාරකම් අපව තවත්  වෙහෙසට පත් කරද්දි මගේ නම් ඉවසීම පැත්ත පලාතකවත් ඉතිරි වන්නෙ නැහැ. එදා රාත්‍රියේ නින්දට යන්න මගේ උණුහුම සොයන මගේ ලොක්කව මම ළඟට ගත්තා.

“පුතේ ඔයා අම්මට ආදරෙයිද?”

“ හුම් ”

“එහෙනම් ඇයි මම කියන දේ අහන්නේ නැත්තේ ? ”

පිළතුරක් නොලැබෙන විට මම ආයෙමත් ඒ ප්‍රශ්නයම දෙතුන් වතාවක්ම ඇහුව්වා.

“අම්මා මල්ලිටනෙ ආදරේ ”

“ඇයි ඔයා එහෙම කියන්නනේ ”

“කොයි වෙලේ බැලුවත් අම්මා මල්ලිත් එක්ක, එයාට කුක්කු දෙනවා, රෑට නිදියන්නේ එයාගෙ පැත්ත හැරිලා…”

“ ඔයා කියපු සේරම ඇත්ත තමයි , හැබැයි ඔයා කියපු  එකක් වැරදියි, අම්මා මල්ලිට විතරක් නෙමේ ඔයාටත් ආදරෙයි හුඟාාාාක් , මල්ලි තාම පොඩියි එයාට එයාගෙ වැඩ තනියම කරගන්න බැහැනේ ඒකයි මල්ලි ළඟ හුඟක් වෙලා ඉන්නනේ ”

“එහෙනම් මට බනින්නේ”

“ඒ ඔයා කියන්  දේ අහන්නෙ නැති නිසා, ඔයාට විතරක් නෙමේ මල්ලිටත් අම්මා බනිනවනේ ,හරි අපි අද ඉඳලා වෙනස් වෙමු මම ඔයාට බනිනනෙ නැහැ හැබැයි ඔයත් බැනුම් අහන්න බැහැ ”

“හරි ”

අපි අතර වාචික ගිවිසුමක් ඇති වුනා.

අපි නොහිතන පැතිකඩවල් බොහෝමයක් දරුවො දකිනවා. මගෙ පැටවුන්ට මම එක වගේ ආදරේ වුනත් එයාල ඒක දකිනනෙ වෙනත් විදිහකට. පුංචි කාරණයකින් තීරණ ගන්නවා. පොරොන්දු වුනා වගෙ නෙමෙයි මට

හුඟක් මහන්සි වෙන්න වුනා. දරුවො කරන දඟ වැඩ දකිද්දි ගිවිසුම අමතක වෙලා බනින්න දිව නැමෙන කොටම මට ගිවිසුම මතක් කරගන්න සිදුවුණා. උදේ පාසලට යන්න සූදානම් කරන්න අලුත් උපක්‍රමයක් සොයා ගත්තා.

“හරී ඉක්මණටම ඇඳ ගත්තොත් ලකුණු දෙනවා, හවස් වෙනකොට ලකුණු 15 ක් ගත්තොත් හවසට ක්‍රිකටි ගහන්න එනවා ”

මෙන්න ලොක්කා ඇඳුම් ඇඳගෙන

“ නියමයි ලකුණු 1යි ”

සපත්තු දාලා බත් කාලා සේරම ඉවර වුනාම ප්‍රසාද ලකුණුත් සමඟ ලකුණු 5 ක් හිමි කරගත්තා.

දවසින් දවස දෙන වරප්‍රසාදය වෙනස් වුණ නිසා ලකුණු ක්‍රමය සාර්ථක වෙන්න පටන් ගත්තා. පාඩම් කටයුතු නම් ලකුණු වලින්ම සාර්ථක කරගන්න බැරි බව පෙනුන නිසා ඒකට වෙනත් ක්‍රමයක් සොයා ගන්න මට සිදු වුණා.

ඇත්තටම ලොක්කා ටිකක් මගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒ මම තරවට්ටු කරන නිසත් මල්ලිට වැඩි සැලකිලි දක්වනවා කියලා හිතන නිසත් වෙන්න ඇති. මල්ලිව වෙනත් වැඩකට යොදවලා අයියව ටිකක් හුරතල් කරන්නත්, දැනෙන්නම ආදරේ කරන්නත්, ලොක්කව මම කරන වැඩ වලට හවුල් කරගන්නත් පුරුදු වුණා. විශ්වාස කරන්නත් අමාරුයි දැන් මගේ පුතාට මම ඉස්සර වගේ කෑ ගහන්න ඕන නැහැ. දැන් දැන් එයා තනියම මම කියන්නත් කලින් එයාගේ වැඩ කරගන්නවා. උදේට පාසල් යන්න තනියම ලෑස්ති වෙනවා.බොහෝ වෙලාවට මව්වරුන්ට දරුවන් පිළිබඳ තියෙන්නේ එකම ගැටළුය. එක් මවක් පැවසුවෙ ඇගේ වැඩිමල් දියණිය නංගිට සැලකිලි දක්වන බව කියන බවත් ඇයත් සමඟ අමනාපයෙන් සිටින බවත්ය. එනිසාම ඇය ඉතා අකීකරු බවත් ඇය පැවසුවේ සංවේගයෙන්ය.

අපට දරුවන් සිතුවිලි මගහැරෙන අවස්ථා නැත්තේම නොවේ. නමුත් දිගින් දිගටම ඔවුන්ගේ සිතුවිලි අපට මග හැරෙන විට දරුවන් ජීවිත කාලයටම අපව මගහරිනු ඇත. එහෙයින් දරුවන් කිහිප දෙනෙක් සිටින විට කටයුතු කල යුත්තේ ඉතා පරිස්සමටය. දරුවන්ට අප ආදරේ වුවද ආදරය සිතෙහි තබාගෙන පලක් නැත. ඔවුන්ට දැනෙන්නට ආදරය කලයුතුය. ඒ පුංචි සිත් විනිවිද යනතුරු දැනෙන්නට, පෙනෙන්නට ආදරය කිරීම ඇවසි බව මා වටහා ගතමි. ඉතින් ආදරණි අම්මාවරුනේ මොකද මේ ගැන ඔයාලා හිතන්නේ ?

දෙමාපියන්ව සැනසීමට දරුවන් ලබා දෙන නිදහසට කාරණා 5ක්

යහපත් ගතිගුණ දරුවන් තුල ප්‍රගුණ කරවීම කාලය හා ශ්‍රමය වැය වන කර්තව්‍යයකි. නමුත් දරුවන් වැඩෙත්ම ඔවුන් ඉතා උපක්‍රමශීලිව කරදර වලින් ගැලවෙන්නට නිදහසට කාරණා සපයයි. මෙම හැකියාව සමහර දරුවන් ඉතා දක්ෂ ලෙස හසුරුවති.

පහත දැක්වෙන්නේ දරුවන් විසින් නිතර ලබා දෙන නිදහසට කාරණා 5ක් හා ඊට දෙමාපියන් ප්‍රතිචාර ලබා දිය යුතු ආකාර වේ. ප්‍රවීණයන්ට අනුව දරුවන් නිදහසට කාරණා ලබා දීම දෙමාපියන් වැලැක්විය යුතු අතර එවිට දෙමාපියන් ලබා දෙන නිදහසට කාරණය “එහෙම නවත්තන එකත් කල් යන වැඩක්” යන්නයි.

එයයි පටන් ගත්තේ !
මෙය දරුවන් විසින් සාමාන්‍යයෙන් ලබා දෙන නිදහසට කාරණයකි. ඔබඩ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටී නම් බොහෝ විට කරදර වලින් ගැලවීම සඳහා දරුවා සහෝදරයා/සහෝදරිය මත වැරැද්ද පටවයි. මව හෝ පියා තමාට පමණක් බැණ වැදීම අසාධාරණ බවත් සහෝදරයාත් ඊට වගකිව යුතුයි යන්න දරුවා තම දෙමාපියන්ට පහදන්නට උත්සාහ ගනියි. දෙමාපියකු වන ඔව මීට “අයියව ඇද ගන්න එපා මේකට” යනුවෙන් පැවසුවොත් දරුවා සාමාන්‍යයෙන් “ඒ උනාට එයයි ඒක පටන් ගත්තේ” යනුවෙන් තම වැරැද්ද සාධාරණීකරණය කරයි. බොහෝ දෙමාපියන් මෙම වාද විවාදය අවසන් කරන්නේ “හරි, එහෙනම් ඔයාම ඕක ඉවර කරන්න” යනුවෙනි.

“ඒකට තව වෙලා යයි “
ඔබ දරුවාට ඔහුගේ කාමරය හෝ සෙල්ලම් බඩු ටික අස් පස් කරන්න යැයි පැවසූ විට බොහෝ අය මෙසේ නිදහසට කාරණා සපයයි. “ඒක කරන්න ගොඩක් වෙලා යයි අම්මේ”, ඊට බොහෝ මව්වරුන් පිලිතුරු දෙන්නේ මේ ආකාරයෙනි. “ඔයාට බඩු ටික අදින්නනම් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාට වෙලා ගියත් ඔය ටික අස් කරන්නම වෙනවා” යනුවෙනි. ඔබට දරුවා එසේ තම බඩු අස්කරන තෙක් බලා සිටිය හැකි අතර හැකි නම් දරුවා සමඟ එක්ව එය හවුලේ සිදු කල හැක.

“ආහ්, මට ඒක අමතක උනානේ”

දිනපතා සිදුකල යුත් කර්තව්‍යයන් සමහරක් දරුවන්ට පෙනෙන්නේ කිසිම විනෝදයක් නැති කම්මැලි ක්‍රියාකාරකම් ලෙසටය. දෙමාපියන්ට දහ වතාවක් පමණ එම කාර්යය කරන ලෙස අවාවාද කිරීමට සිදුවන අවස්ථාද නැත්තේ නොවේ. මීට දරුවන්ගෙන් ලැබෙන සාමාන්‍ය පිලිතුර වන්නේ ” ආහ්, මට ඒක අමතක උනානේ” යන්නයි. උදෑසන අවදි වූ දරුවාට ඉක්මණින් ලැහැස්ති වී ඉස්කෝල ඇඳුම අඳින ලෙස ඔබ පැවසූවත් විනාඩි කිහිපයකට පසු ඔබ මුළුතැන්ගේ වැඩ අවසන් කොට කාමරයට පැමිණි විට දරුවා තමත් සෙල්ලම් බඩු සමඟ හෝ වෙන යම් දෙයක් කරමින් සිටින්නට පුලුවන. කෝපයන් කෑ ගසන මවට පියාට දරුවා ප්‍රතිචාර දක්වන්නේ “ආහ්, මට අමතක උනානේ” යනුවෙනි.

“ඒ උනාට,මම…”

මෙය ඔබ දරුවාට යම් දෙයක් නොකරන ලෙසට අවවාද කල විට බොහෝ දරුවන් දෙන නිදහසට කාරණයකි. මෙහි ඊලඟ කොටස, ඔබ දරුවාට නොකරන ලෙස පැවසූ දේ මත් තීරණය වේ. උදාහරණයක් හැටියට ඔබේ දරුවා ඔබට නොරිසි දෙයක් කර අසු වූ විටෙක, මෙසේ නිදහසට කාරණා ගෙතිය හැක. “ඒ උනාට මං ඒක පොඩ්ඩ වෙලාවකටයි කලේ” හෝ “ඒ උනාට මං ඒක නවත්තන්නයි හිටියේ” යනාදි ලෙස උපක්‍රමශීලීව කරදරයෙන් නිදහස් වීමට දරුවා තැත් කරයි. නමුත් මෙය සැමවිටම සාර්ථක වන්නේ නැත.

“මගේ බඩ පිරිලා”

යහපත් ආහාර පුරුදු දරුවා තුල ප්‍රගුණ කරවීම ඉතා අසීරු කාර්යයකි. ඔබ යම් දෙයක් කැවීමට යන විට බොහෝ දරුවන් “අම්මේ, මගේ බඩ පිරිලා” යනුවෙන් පවසයි. මෙලෙස දරුවන් නිදහසට කාරණා පවසන්නේ කෑම පිඟානේ ඇති එලවලු ටික දැකීමෙනි. සමහර දරුවන් තම කැමති නැති මාලු මඟ හරින්නේ.

මට බඩගිනි නෑ හෝ මගේ බඩ පිරිලා යැයි පවසා හෙමින් සිරුවේ සෙල්ලම් කිරීමට දිව යාමේනි. තවත් දරුවන් කාණ්ඩයක් ඔබට නොදැනීම එලවලු බිමට දමයි. කෙසේ නමුත් බුද්ධිමත් දෙමාපියන් දරුවන්ගේ මෙම උප්පරවැට්ටි පිළිබඳ දන්නා අතර ඒ අනුව උපායශීලිව ඔවුන්ව හසුරුවන්නට උත්සාහ ගනියි.

ඔබේ දරුවනුත් මෙසේ උපක්‍රමශීලීව සපයන වෙනත් නිදහසට කාරණා තිබේද?