Home Blog Page 143

වැඩ කරන මව්වරුන් සේවා ආයතනයට අඩු දායකත්වයක් දෙන්නේද?

තමා ගර්භණීභාවයට පත්ව ඇති බව තම සේවා දායකයා දැන ගැනීමෙන්, ඔවුන් කෙසේ එයට ප්‍රතිචාර දක්වයිද යන්න රැකියාවක නිරත වන සියලුම මව්වරුන්ට පීඩාවක් ගෙන දෙන කරුණකි. මෙරට නීතියට අනුව අලුත් මව්වරුන් හට දින 84 ක කාලයක් දක්වා නිවාඩු ලබා ගත හැක. එහෙත් සේවා දායකයා තම කැමැත්තෙන්ම එකී නිවාඩු අනුමත කරන්නේද නැතහොත් ඔවුන් හුදෙක්ම නීතිමය රෙගුලාසි වලට එකඟ වීමක් හෝ යටත් වීමකින් කරන්නේද?

දෙවැනි කාරණය සත්‍ය බව මට පෞද්ගලිකව හැඟේ. දශකයකට වඩා වැඩි කාලයක් සමාගම් ශ්‍රේණියේ සේවා කර ඇති මා නීතිමය රෙගුලාසි වලට යටත්ව නිවාඩු ලබා දීම පිළිබඳව සේවා දායකයාට දොස් පවරන්නේ නැත. මීට හේතුව මම වැඩි දුරටත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

රැකියාවල නිරතවන අඹු සැමියන් බොහෝමයක් තමන්ට දරුවකු ලැබීමට යන බව දැන ගැනීමෙන් ඉමහත් සතුටට පත් වේ. එහෙත් ඉතා සුළු කොටසක් මෙම පුවතින් විමතියට පත් වේ. මා විශ්වාසය කරන ආකාරයට, සැමියා හා බිරිඳ යන දෙදෙනාම ගර්භණීභාවයේ අත්දැකීම එකට අත් විඳිය යුතු ය. “අපට දරුවකු ලැබෙන්නයි යන්නේ” යන කියමන ඔවුන්ගේ මුවින් පිටවන්නේ මේ නිසාවෙනි.

ගැබ්ගත් බව දැනගැනීමෙන් අනතුරුව පළමුව ඇතිවන ප්‍රීතිය සහ උද්යෝගය කෙමන් පහවී යයි. ගර්භණීභාවයේ නියම ස්වභාවය ආරම්භ වන්නේ මින් මත්තෙනි. වැඩකරන අඹු සැමි යුවලක් නම්, ඔවුන්ගේ ඊලඟ පියවර වනුයේ මේ පිළිබඳව සේවා දායකයා දැනුම් දීම හා සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගැනීම ආදියයි. සැලසුම් නොකරන ලද ගැබ් ගැනීමක් නම් මාස නවයකට පසු ඉපදීමට සිටින තම දරුවා වෙනුවෙන් තම ජීවන රටාව කෙසේ සකස් කර ගත යුතුද යන්න ඔවුන්ට තරමක අභියෝගයක් වනු ඇත. තමා සේවය කරන්නේ ඉතා තරඟකාරි සහ අභියෝගාත්මක පරිසරයක් නම් සේවා දායකයාට මේ පිළිබඳව දැන්වීම ඉතාමත් අපහසු කටයුත්තක් විය හැක. කෙසේ වෙතත් තම සේවා ප්‍රධානියා මේ සම්බන්ධයෙන් ඉතා තැන්පත් ව කටයුතු කරන පුද්ගලයෙකු නම් ඔබ නැවත සේවයට පැමිණීමේදි රැකියාවේ විශ්වාසය තහවුරු කරගැනීමට මෙය හොඳ සඥාවකි.

බොහෝ කාන්තාවන්ට තම ගර්භණීභාවයේ මුල් අවධියේ යම් අපහසුතාවයන් අත් විඳීමට සිදු වනු ඇත. ගර්භණී පළමු අවධියේ උදෑසන ඔක්කාර ගතිය හෝ අනෙකුත් අසහනකාරි රෝග ලක්ෂණ වලින් මිදී සිටින්නේ ඉතා අතලොස්සක් පමණි.
මුලු දවසම වමනය දැමීමෙන් තම සේවා ස්ථානයේ සේවය කිරීමේ ප්‍රති විපාක ඔබට සිතා බැලිය හැකිද? මෙම තත්තවය ඔබගේ ඵලදායිතාවයාට ඍණාත්මක ලෙස බලපායි. ගර්භණීභාවයේ වර්ධනයත් සමඟම ඉදිරි මාස කිහිපය සාපේක්ෂව අපහසුතාවයෙන් තොරව ගෙවී යා හැක. එහෙත් ඒ සමඟම ඔබට තෙහෙට්ටු ගතියක් දැනීමට ඉඩ ඇති අතර ඔබගේ උද්‍යෝගිමත් පෞර්ෂත්වය ද වෙනස් වීමට ලක්වේ. මෙයින් අදහස් කරන්නේ ඔබට මින් ඉදිරියට පෙර සේ ගමන් බිමන් වල නිරත විය නොහැකි බවයි. දරුවකු ලැබීම පිළිබඳව ඔබ ගත් තීරණය ගැන කිසිවකුටත් දොස් පැවරිය නොහැක.

ඉන්පසු ඉක්මණින්ම ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. ඔබේ කකුල් ඉදිමීමට හා ශරීරයේ බර වැඩිවීමට පටන් ගැනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ඔබගේ කාර්යක්ෂමතාවය අඩු වේ.ඔබගේ ඵලදායිතාවය කෙටි කාලීනව ඉතා උසස් මට්ටමක පැවතුනත්, මාස නවයක ගර්භණී අවධිය ඔබගේ රැකියා ඉතිහාසය හා සසඳා බලන විට අඩුම ඵලදායිතාවයක් ඇති කාලය වූ බව ඔබට පෙනී යයි. දරුවා ලැබීමෙන් පසු එළඹෙන මාස 3ක කාලය මාතෘ නිවාඩු වලින් ආවරණය වේ. මෙය අද ලෝකයේ පවතින සාමාන්‍ය දැනීමක් ලෙස මම සිතන්නෙමි.

පලමු වරට මවක් වීමේ අත්දැකීම මමත් විඳ ඇත්තෙමි. එහෙත් සෑම සුන්දර ගර්භණී මාතාවකටම මා වැදගත්කොට පවසන්නේ ඔබට ඔබේ රාජකාරිය තවමත් මැනවින් ඉටු කල හැකි බවයි. සම්පූර්ණ පරිශ්‍රමයක් දරා තම වැඩ කටයුතු වල නිරත වීමට උත්සාහ ගත යුතුයි. ඔබ සැමට අවශ්‍ය වන්නේ තමන්ගේ අභිප්‍රායයන් වැඩියෙන් සුරක්ෂිත කර ගනිමින් තමන් තුල ඇති ඉදිරියට යාමේ බලවේගය හඳුනා ගැනීමයි. ඔබගේ සාමාන්‍ය ගැම්මෙන් මෙය කල යුතුව ඇතැයි මා නොකියන නමුත් අඩුම වශයෙන් එසේ කිරීම සඳහා ඔබට වෑයම් කල හැක.

ඔබගේ සේවා ස්ථානයේ සමහර දිනයන් හිදී, ඔබට නිතරම ඔක්කාර ගතිය දැනීම, තමා අඳින කලිසම හෝ සාය දිනෙන් දින හිර වීම, කාර්යාලයේ විදුලි සෝපානයක් තිබීමේ අවශ්‍යතාව වැටහීම, ක්ෂණික , කෘතිම ආහාර වලින් වැළකී පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හේතුවෙන් නුරුස්නාවෙන් පසුවීම. ඔබගේ දෙපා ඉදිමීම නිසා ඔබගේ ප්‍රියතම පාවහන් කුට්ටම පැලඳීමට නොහැකි වීමෙන් කේන්ති යාම වැනි ආවේගශීලි හැඟීම් මේ අවධියේ පහල විය හැක. කෙසේ වෙතත් ගර්භනී කාලය අවසන් වී ඔබගේ කිරිකැටි ගැහැණු හෝ පිරිමි දරුවා ලැබීමෙන් පසු ඔහු හෝ ඇයව පළමු වරට වඩා ගැනීමෙන් ඉහත සඳහන් සිතිවිලි කිසිවක් ඔබේ මතකයට එන්නේ නැත. බොහෝ මව්වරු මෙම අත්දැකීම කෙතරම් කටුක හෝ අප්‍රසන්න වුවත් එය නැවත විඳගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව මට සක්සුදක් සේ විශ්වාසයි.

සේවා දායකයාගේ පැත්තෙන් බලන විට කාන්තාවකගේ ගර්භණීභාවය් හේතුවෙන් ආයතනයට යම් පාඩුවක් වන බව මාගේ අවංක අදහසයි. කෙසේ වෙතත් ආයතනයෙන් තමාට ලැබෙන් වරප්‍රසාද හිතුමතේ භාවිතා නොකර තමාට හැකි පරිදි 100%ක දායකත්වයක් ආයතනයට ලබා දීම සේවකයාගේ වගකීමයි. ගර්භණී අවධිය ආරම්භ වීමෙන් පසු ඔබේ හැකියාවන් හි සීමාවන් තිබුණත් මේවා හුදෙක් ඇත්තේ ඔබගේ සිත් තුලය. මනස එක්තැන් කර ගැනීමෙන් ඔබට ඕනෑම කර්තව්‍යයක් සාර්ථකව ඉටු කල හැකි වේ. මෙය ඔබ තම රාජකාරිය වගකීමකින් ඉෂ්ට කරන බවත් රැකියාවේ ස්ථාවර බව පිළිබඳ ඔබ තුල ඇති උනන්දුව සේවා දායකයාට වටහා ගැනීමට ඉඩ සලසනු ලැබේ.

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

අම්මා සඳකි, මම ඒ ලොව හිරුය රිදී..

මෙයට අවුරුදු අටකට කලින්, මාගේ පුතා ඉපදීමට පෙර, මෙලොව සිටින කම්මැලිම මිනිසා මා විය හැකි බව මට සිතුනි. වැඩිපුර පැයක් හෝ දෙකක් ඇඳේ පෙරලි පෙරලි නිදා ගැනීමට මගක් සෙවීම මගේ එකම ආශාව විය. කෙසේ වෙතත් මගේ පුතාගේ ඉපදීමත් සමගම මගේ ජීවිතයට අලුත් අර්ථයක් ලැබුණි.පුතා සමග එක්ව පොඩි පොඩි ක්‍රියාකාරකම් කිරීමට පටන් ගැනීම නිසා මට මගේම ළමා විය මතකයට ඒමට පටන් ගත්තේ නිරායාසයෙන්මය. මෙය මා හට නැවත ජීවිතය පිළිබඳ අවදියෙන් සිටීමට හොඳ හේතුවක් විය.

පුතාගෙන් මම හොඳ තාත්තා කෙනෙකු වීමට අවශ්‍ය පාඩම් ඉගෙන ගතිමි. මෙය මීට තුන් වසරකට ඉහතදී උපන් මාගේ දියණිට වඩාත් හොඳ පියෙකු වීමට උපකාරි විය. දුව ඉදිරියේ තාත්තා කෙනෙකුගේ චරිතය රඟ පෑම නියත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වූවත් මේ සඳහා හැඩ ගැසීමෙන් මා මනා ප්‍රගතියක් ලබා ගත් බව අවංකවම මම සඳහන් කිරීමට කැමැත්තෙමි.

ගෙවී ගිය වසර කිහිපය තුල , ස්නේහවන්ත පියෙකු වීම පිළිබඳ මා ඉගෙන ගත් සරල නීති හා නියමයන් 8ක එකතුවක් මා විසින් පහත දක්වා ඇත. ඔබගේ දෛනික චර්යාවෙන් තම දරුවා වෙනුවෙන් කැපවීම් කිහිපයක් කිරීමට ඔබ සූදානම් වී සිටිය යුතුය. මෙය හොඳ පියකු වීම් සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන නීතියකි.
අපි එම සරල නීති අට පිළිබඳ විමසා බලමු!

#1 තම පවුලේ පරාර්ථකාමි නායකයා ලෙස කටයුතු කිරීමට සූදානම් වන්න:
ඔබ ඔබේ ආයතනයේ රාජකාරිය සඳහාම කැපවුනු, මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වීමට ඉඩ ඇති වූවත්, තාත්තා කෙනෙකු වීමෙන් පසුව ඔබේ ප්‍රමුඛතාවයන් නැවත සැලසුම් කර ගැනීමෙන් ඔබ ජීවිතයේ අංක එකේ ප්‍රමුඛතාවය ලෙස ඔබේ පවුල පත් කල හැක.මෙය මා හට මුලදී තරමක් දුෂ්කර කාර්යක් වූ අතර පසුව එය මට සුදුසු ලෙස සකස් කර ගතිමි.

සවස හයෙන් පසුව රැකියාව වෙනුවෙන් හෝ සති අන්තයේ ගත කරන අමතර කාලය කැප කල යුතුව ඇති අතර වෙනදාට වඩා වැඩි කාලයක් තම පවුල සමග ගත කිරීමට පුරුදු වන්න.

සමහර වේලාවන්හිදී ඔබ ඔබේ උවමනාවන් වලට වඩා ඔබේ බිරිඳගේ සහ දරුවන්ගේ උවමනාවන් සඳහා ප්‍රමුඛතාවයක් දීමට සිදුවේ. ඔබට කිරීමට ඇති හොඳම දෙය සහ පවුලට කිරීමට ඇති හොඳම දෙය පිලිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවකදී සැම විටම අංක එකේ ප්‍රමුඛතාවය ඔබේ පවුලට දෙන්න.
ඔබේ පුතාගේ උපන් දිනය යෙදී ඇති දිනෙක සවස 5.00 ට යෙදී ඇති වැදගත් රැස්වීම අවලංගු කිරීමෙන් පුතාගේ උපන් දිනය පවුලත් සමග සැමරීමට හරියටම සවස 5.30ට නිවසට පැමිණීම වැනි කැපකිරීම් මීට ඇතුලත් වේ.

#2: මවක් වශයෙන් ඔබේ බිරිඳ ඉතා දුෂ්කර කාර්ය භාරයක් ඉටු කරන බව පිලිගන්න.

කිසිම පිරිමියෙකු භාර ගැනීමට අකමැති වැඩ කොටසක් මවක් හැටියට තම බිරිඳ කරයි.පවුලේ අනෙකුත් අයට වඩා කලින් අවදි වන ඇය, උදෑසන ආහාරය සඳහා යමක් සැමටම ලබා දීමට වග බලා ගනී. ඉන්පසු ඇය සැමගේ රෙදි සෝදා,මැද,ඇඳීමට සූදානම් කර දෙයි.
මවක් වීම ඉතා අසීරු,පරාර්ථකාමී සහ බොහෝ විට කෘතඥතාවයක් නොලැබෙන කටයුත්තකි.ඇය විසින් ඉඳ හිට කෙරෙන සුළු වැරදීම්වලට දොස් පැවරීම කිසි විටෙක නොකල යුතු වන්නේ මේ නිසා වන අතර ඇය කරන දෙයට ඇයට ගෞරව කරන්න.

#3:ඇති තරම් කතා කරන්න.ඒ සමඟම සවන්දීමට සූදානම් වන්න.

මව සහ දරුවන් සමග නිතරම අදහස් හුවමාරු කර ගැනීම පියා විසින් කල යුතු වැදගත් කටයුත්තකි.රැකියාවෙන් පසු නිවසට පැමිණෙන පියා සමග තම තමන්ගේ පොඩි පොඩි අත්දැකීම් බෙදා හදා ගැනීමට දරුවන් ආශාවෙන් බලා සිටී.මේවා සමහර විට පාසැලේදී තමා ලබා ගත් කුඩා ජයග්‍රහණයක් හෝ සෙල්ලම් කරන විටදී දණ හිසේ ඇතිවූ තුවාලයක් විය හැක (මෙය මාගේ දියණියගේ ප්‍රියතම ක්‍රියාවකි).මෙම සිද්ධීන් පිලිබඳව පියාගේ අවධානය ඔවුන්ට අවශ්‍ය වන අතර ඒවා ගැන කතා කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.ඔවුන් කතා කරන විට එයට ප්‍රවේශමින් සවන් දීම සහ එයට දැනුවත්වූ ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කරන්න.අදහස් හුවමාරු කර ගැනීම සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම, පවුලේ සැමට ගෞරවය ලබා දෙන අතර සැමගේ අවශ්‍යතා ඉටු කිරීම ,ගැටුම් නිරවුල් කර ගැනීම සහ ඒවා අවම මට්ටමින් තබා ගැනීම සහතික කරයි.

#4: සංවේදී වන්න.

පිරිමියෙකු සංවේදී වීම ඔහුගේ දුර්වලතාවයක් ලෙස සැලකීම පොදුවේ පිළිගත් දුර්මතයකි.ඔබගේ සංවේදී හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමෙන් ඔබ සහ ඔබ පවුලේ වඩා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැක.තමා සතුටේදී සිනාසෙනු දැකීම ඔබෙ දරුවන් ප්‍රිය කරන අතර දුක්මුසු අවස්ථාවක ඔබ කණගාටුවෙන් පසුවන විට ඒ බව ඔවුන් ඔබට ප්‍රකාශ කරයි. “තරහ” හෝ “කෝපය” යනු දරුවන් තම පියා කිසිවිටෙක දැකීමට අකමැති උද්වේගකාරි අවස්ථාවකි.එබැවින් කලාතුරකින් කේන්තිය පෙන්වීම හෝ පිට කිරීම ,දරුවන් විනීතව තබා ගැනීමට උපකාරී වේ.( උදා: අපි වැරදි දෙයක් කළොත් තාත්තාට තරහ ඒවී. )

#5: අවශ්‍ය වූ විටෙක දැඩිව සිටින්න.

ඔබට ඔබේ දරුවන් සමග ලිහිල්ව සිටිය හැකි වූවත් විනයගරුකභාවයේදී එය එසේ නම්‍යශීලිව තබා ගත නොහැක.තම දරුවන්ට ලිහිල්ව සැලකිය යුතු බව “ජනප්‍රිය සංස්කෘතියෙන්” දෙන පණිවිඩය අද බොහෝ දෙමාපියන් විශ්වාස කර දෙයකි.ඔබට දරුවන් කෙරෙහි ලිහිල් පිළිවෙතක් අනුගමනය කල හැකි වූවත් ඔවුන් පිටස්තර ලෝකයට පිවිසීමේදී සෑම දෙනාම ඔවුන්ට තම පියා සලකන ආකාරයට සලකන්නේ නැත.අවශ්‍ය වේලාවන්හිදී දරුවන් සමග දැඩිව සිටීමට සිදුවන්නේ මේ නිසාය.එබැවින් පසු කලෙක ඔබේ දරුවන් පිටස්තරයින් සමග ඇතිකරගන්නා ගැටුම් වලදී අපහසුතාවයන්ට මුහුන නොදෙන තත්වයක් පවත්වා ගැනීමට වග බලා ගන්න.

#6: දරුවන්ට හොඳ නරක තෝරා ගැනීමට උදව් වන්න.
බොහෝ විට ජනප්‍රිය සංස්කෘතියෙන් එන අනේක පණිවිඩවලින් බැට කෑමට ඔබේ දරුවන්ට සිදුවී ඇත.පියෙකු වශයෙන් ඔබට ඔබේ දරුවන්ට ඉතාමත් සෘජුව ,ඉතාමත් ප්‍රබලව සහ ඉතාමත් ධනාත්මකව, ඔවුන්ට හොඳ සහ සෞඛ්‍ය සම්පන්න ඒවා කුමක්ද සහ පරිස්සම් විය යුතු නරක දේවල් කුමක්ද යන්න තෝරා ගැනීම සඳහා දරුවන්ව නම්මවා ගනීමේ හැකියාව ඔබට ඇත.හොඳ දේ කුමක්ද නරක දේ කුමක්ද යන්න දේශනා කෙරීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඊට ආදර්ශයක් ලෙස ඔබ සිටිය යුතු වේ. උදාහරණයක් වශයෙන් දුම්බීම නරක මිනිසුන්ගේ නරක පුරුද්දක් බව ඔබ පැවසුවොත්,ඊලඟ දවසේ බඩු ගැනීම සඳහා කඩේට යනවිට ඔබ සිගරැට්ටුවක් අතැතිව සිටීම අනුමත කල නොහැකි දෙයකි.

#7: දරුවන්ට හොඳ සාරධර්ම උගන්වන්න.

දරුවා තම යොවුන් වයසේදී ඉගෙන ගන්නා සාරධර්ම, ඔහු ජීවිත කාලයේදී කරන සෑම ක්‍රියාවකටම මග පෙන්වනු ඇත.අවාසනාවකට මෙන් අප ජීවත් වන්නෙ ළමුන්ට භයානක අදහස් උගන්වන දූෂිතවූ ජනප්‍රිය සංස්කෘතියක් තුලය.උදාහරණ වශයෙන් ආත්මාර්ථකාමීත්වය,ගෞරවයක් නොදැක්වීම,තණ්හාව සහ නොසැලකිල්ල යනාදිය දැක්විය හැක.මෙම නරක අදහස් වලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට නම් ඔබේ සාරධර්ම යහපත්කරගැනීමට සහ ඔබේ දරුවන්ට ඔබෙන් ධනාත්මක අදහස් පිරි පණිවිඩ ලබා දීමට වග බලා ගත යුතුය.

#8: හොඳ ශාරීරික තත්වයක් ඔබ තබා ගත යුතුය.
පියෙකු වශයෙන් ගතවන දවස් ඉතා කලබලකාරී විය හැකි අතර රැකියා ස්ථානයේ ඇතිවන ආතතිය අවම මට්ටමින් තබා ගැනීම භිය උපදවන අත්දැකීමක් වනු ඇත.සමහරවිට මෙම පීඩකාරී දිනචර්යාව,ඔබගේ ශාරීරික සෞඛ්‍ය ඉතා සීඝ්‍රයෙන් පිරිහීමට මග පාදනු ඇත.වැරදි ආහාර ගැනීමේ පුරුදු සහ ව්‍යායාම සහ නින්ද අඩුකම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වනු ඇත.හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා කාලය මිඩංගු කර ගැනීමට, ඔබේ පවුල වෙනුවෙන් කැපවී සිටින්න.

කර්තෘ ගැන:
amithaමෙම විශේෂ ලිපිය අමිත අමරසිංහ විසින් ලියන ලද්දකි. ඔහු සාමාන්‍යයෙන් අලෙවිකරණය සහ කළමණාකාරිත්වය පිලිබඳව "බ්ලොග්" කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රචාරණ ආයතනයක රැකියාවක් කරන මොහු සුන්දර දරු දෙදෙනෙකුගේ පියෙකි.මෙහි අන්තර්ගත වන්නේ, ශ්‍රී ලංකාවේ සිටින පියවරුන් සහ පියවරුන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සමග බෙදා හදා ගැනීමට කැමති සහ උපකාරී වන, ඔහුගේ අත්දැකීම් වලින් බිඳකි.

මාගේ නූපන් දරුවාට මා ඇසීමට සැලැස්විය යුත්තේ කුමන සංගීත වර්ගයක්ද?

සංගීතය මිනිසාගේ මනස සංසිදුවන අතර අපට මතක ඇති කාලයක සිට මිනිසා පීඩාව හා දොම්නස නැති කිරීමේ පරිපූර්ණ සුවදායි අංගයක් ලෙස සංගීතය භාවිතා කර ඇත.
මවක් වශයෙන් මා, මාගේ දරුවන් නිදි කරවීම සඳහා හිත සන්සිඳවන වේගය අඩු රිද්මයක් ඇති සම්භාවනීය ශ්‍රී ලාංකික සංගීතය ඇසීමට සැලැස්වූ අතර එය බොහෝ අවස්ථාවලදී සාර්ථක වී ඇත. දරුවා එක්තරා සංගීත මාදිලියකට බෙහෙවින් ප්‍රතිචාර දක්වන බව මට ඉතා ඉක්මනින් වැටහිණි. මාගේ පුතා, ඔහු වැඩෙන වයසේ පසුවන සමයේදී, අඩු වේග රිද්මයක් ඇති පැරණි සංගීතයට මැනවින් ප්‍රතිචාර දැක්වූ අතර, විමතියට මෙන් මාගේ දෙවන ගැහැණු දරුවා රූපවාහිනියේ හා ගුවන් විදුලියේ වාදනය වූ වැඩි වේග රිද්මයක් ඇති ගීතවලට ප්‍රීතියෙන් ප්‍රතිචාර දක්වන ලදී. අප නිවසේදි, ළමුන්ගේ මනස එක්තැන් කර ගැනීමේ ක්‍රමයක් ලෙස තවමත් සංගීතය භාවිතා කරනු ලබනවා. මෙය අපට අත්දුටු හා ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාරයක් විය.

මීට සති කිහිපයකට පමණ පෙර මා රූපවාහිනියේ නාලිකාවන් ගවේෂණය කරමින් සිටි විට අහම්බෙන් මෙන් Discovery Science නාලිකාවේ ඉතා සිත්ගන්නා සුලු වැඩ සටහනක් බැලීමට හැකි විය. එහිදී සාකච්ඡා වූ කරුණ අනුව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හඳුනාගෙන ඇති පරිදි ගර්භණි කාලයේදි, සම්භාවනීය පැරණි සංගීතයට සවන් දුන් මව්වරුන්ගේ දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ගර්භාෂය තුල සිටින සමයේදීත් දරුවා සමඟ සන්නිවේදන කටයුතු වල යෙදීම හොඳ යහපත් දරුවෙකු බිහි කිරීමට උපකාරි වන බව ශ්‍රී ලාංකික අප විශ්වාස කරන නිසා එය අපට පුදුමයට කරුණක් නොවීය.

මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ගෙන එන ඥානයකි. මෙම විශ්වාසය ඉහත සඳහන් කෙරුණු සමීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වේ. මා පළමු වරට ගර්භණිභාවයට පත්වූ අවධියේ මාගේ ස්වාමි පුරුෂයා පැරණි රූපවාහිනි වෙළඳ දැන්වීමක (පියකු සිය පුතුට ගායනා කල ) කන්කළු සිංහල ගීතයක් ගායනා කල සැටි මගේ මතකයට නැගේ. ඔහු මෙම ගීතය ගායනා කල සෑම අවස්ථාවකම ගර්භාෂය තුල සිටින දරුවා එයට ප්‍රතිචාර දැක්වූවේය. පුතා ඉපදීමෙන් පසුවත්, අපි මෙම ගීතය දරුවාව නිදි කරවීම සඳහා ගායනා කලෙමු. දරුවා මෙම ගීතයට දක්වන ප්‍රතිචාරය අප විසින් ගායනා කරන ලද හෝ ගායනා කිරීමට සැලැස්වූ අනිකුත් ගීත වලට වඩා වැඩි බට අපට අවබෝධ වුණි. හෙල්සින්කි විශ්ව විද්‍යලයේ පවත්වන ලද සමීක්ෂණයකට අනුව දරුවන්ට ඔවුන් ගර්භාෂය තුල සිටින කාලයේ ඇසීමට සලස්වන ලද සංගීතයේ තාලය එම දරුවා මෙලොව එලිය දැක මාස කිහිපයකට පසුත් ඔවුන්ගේ මතකයේ රැඳෙන බව සොයා ගෙන ඇත. එම සමීක්ෂණයෙන්ම අනාවරණය කර ඇත්තේ, මව්වරුන් වීමට නියමිත කාන්තාවන් තම කුසෙහි වූ දරුවාගේ අභිවෘද්ධිය ප්‍රගුණ කිරීමේ බලාපොරොත්තුවෙන් පැරණි සම්භාවණීය සංගීතයට ඇල්මක් දැක්වීම නිශ්ඵල කාර්යයක් නොවන බවය.
දරුවා ඉපදීමට පෙර දරුවාට නිතර නිතර ගීතය ගායනා කිරීමේ හෝ වාදනය කිරීමට සැලැස්වීමේ තරමට දරුවාට එහි තාලය හඳුනා ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ගර්භණි කාලය තුල ඔබ සැහැල්ලුවෙන් පසුවීම සඳහා සංගීතයට සවන්දීම, ඔබේ දරුවාටත් උපකාරි විය හැක. ගර්භණී අවධිය තුල ඔබ ආතතියෙන් පසුවන විට ඔබේ කුසෙහි සිටින දරුවාටත් එලෙසම හැඟෙන බැවින් ඔබගේ ප්‍රියතම ගීත වලට සවන් දීමට කාලය වෙන් කර ගන්න.
අමරදේව, නන්දා මාලිනි සහ වික්ටර් රත්නායක විසින් ගායනා කරන ලද සම්භාවනීය ගීත වලට වැඩියෙන් සවන් දීමට මම පුරුදු වී සිටියෙමි. “ආදරයේ උල්පත වූ අම්මා යන ගීතය මව් පදවියට පිය නගන අවස්ථාවේ පසුවන කෙනෙකුට කදිම තාලයකි. දේශීය සම්භාවනීය ගීත හැරුණු කොට මෝට්සාට් (Mozart) සහ බීතෝවන් (Beethoven) වැනි තවත් බොහෝ බටහිර සංගීතඥයින්ගේ සම්භාවනීය නිර්මාණ වලට සවන්දීමට උත්සාහ ගන්න.

ඔබ කුමන මාදිලියේ සංගිතය තෝරා ගත්තද එය ගර්භණි කාලය තුල ඔබගේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමේ මනා ප්‍රතිකාරයක් ලෙස කටයුතු කරයි. සතුටින් සහ සැහැල්ලුවෙන් පසුවන මවකට සැමවිටම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින දරුවකු බිහි කල හැක්කේ ඒ නිසාවෙනි. සමහර බටහිර සම්භාවනීය සංගීත BeeMp3 හෝ 4Shared වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබට නොමිලේ ලබා ගත හැක. 60, 70 සහ 80 දශකයේ සිටි ජනප්‍රිය ගායකයන්ගේ පැරණි සම්භාවනීය ගීත සමූහයක් Ananmanan.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට උත්සාහ කර බලන්න.

අලුත් නංගියා හෝ මල්ලියා පිළිගැනීමට ඔබේ වැඩිමහල් දරුවා සූදානම්ද?

පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වීමේදි, ඔබේ දරුවාව ඒ සඳහා සූදානම් කර තැබීමේ උපදෙස්.

ගර්භණී කාලය පුරාවට තම වැඩිහිටි දරුවාව, කුස තුල සිටින නව සාමාජිකයා සමඟ සම්බන්ධ කර තබා ගැනීමට උත්සාහ ගන්න. දරුවා කුමක් කරන්නේද, ඔහුට\ඇයට කුමක් හැඟෙන්නේද යනාදිය පිළිබඳව වැඩිමහල් දරුවා සමඟ කතා කරන්න. ඔබ බිළිඳාට මවු කිරි දෙන අවස්ථාවේදි, දරුවාට පියා සමඟ කාලය ගත කරන ලෙස දිරිමත් කරන්න. පහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් දරුවාත්, බිළිඳාත් අතර සහෝදර සම්බන්ධතාවය වර්ධනය වේ.

නව සාමාජිකයාව, අපේ බබා හෝ අපේ නංගි හෝ මල්ලි ලෙස හඳුන්වා දෙන්න.
ළඳරුවන් පිළිබඳ කියවෙන කතන්දර දරුවාට කියා දෙන්න. ඔබේ වෛද්‍යවරයා ඊළඟට හමුවන අවස්ථාවේ , ඔබේ දරුවාට කුස තිල සිටින බිළිඳගේ හෘද ස්පන්දනය ඇසීමට සලස්වන්න. ළඳරුවාගේ කාමරය සැරසීම සඳහා ඔබේ දරුවාගේ උපකාරය ලබා ගන්න. බබාට දැමීමට සුදුසු නම් පිළිබඳව දරුවාගේ යෝජනා විමසන්න. රෝහලට ගෙන යා යුතු බෑගය පවුලේ සියල්ලන්ම එකතු වී සකස් කර ගන්න.

පවුල තුල දරුවාට ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කරන්න.

අලුත් සාමාජිකයාගේ පැමිණීම නිස දරුවාට පවුලේ පෙර තිබූ අවධානය මොහොතකින් නැතිවී යා හැක. මෙය ඊර්ෂ්‍යාව, කේන්තිය හා නොසැලකිල්ලකට ලක්වූ හැඟිම් ඇතිවීම සඳහා මුල පිරිය හැක. දෙමාපියන් විසින් ඔවුන්ගේ වැඩිහිටි දරුවා, හැකියාවෙන් පිරිපුන්, වගකීමක් දැරිය හැකි හොඳ දරුවකු ලෙස හැඟෙන්නට සැලැස්විය යුතු වේ. ඔවුන්ගෙන් පවුලට ඇති වැදගත්කම ගැන අවධාරණය කරන්න. “අමාන්, ඔයාට තනියෙන් පුලුවන් මේස් කුට්ටම ගලවල පැත්තකින් තියන්න” හෝ “ජොනී, ඔයා කුස්සියේ වැඩට අම්මට ගොඩක් උදව් වෙනවා” වැනි කියමන්, දරුවාට පවුලේ වැඩිහිටි සාමාජිකයා ලෙස ඇති වගකීම විදහා පායි. පවුල් සංස්ථාවක, සියලු සාමාජිකයින් එක සේ වැදගත් වන්නේ කෙසේද යන්න සඳහන් කරන්න.

 හැඟීම් ප්‍රකාශ කිරීම දිරිමත් කරන්න.
ගර්භණී කාලය පුරාවටම වැඩිමහල් දරුවා සමඟ ඇති කරගන්නා සන්නිවේදනයේ මාර්ග විවෘතව තබන්න. හැඟීම් පිළිබඳ සාකච්ඡා කිරීම් දිරිමත් කර ඊට අනුකම්පා සහගතව ප්‍රතිචාර දක්වන්න. ඔබ ඔවුන්ට සම සේ ආදරය කරන බව පවසා දරුවාගේ වරිනාකම අගයන්න. සෑම දිනකම දරුවා සමඟ වෙනම කාලයක් ගත කරන්න.

දරු උපතට කලින් අවශ්‍ය පුහුණු වීම් සම්පූර්ණ කරන්න.

වැසිකිළි භාවිතය, ඇඳුම් ඇඳීම, දත් මැදීම, ආදී එදිනෙදා කටයුතු ළඳරුවා ඉපදීමට පෙරාතුව පුහුණු කල යුතුය. වැඩිමහල් දරුවාට මෙම නව හැකියාවන් වලට හැඩ ගැසීමට යම් කාලයක් ගත වන හෙයින් දෙමාපියන් ඒ පිළිබඳව නිතරම සොයා බලා ඔවුන්ට උදව් කල යුතු වේ.

සුරක්ෂිතභාවය දිරිමත් කිරීම.
සහෝදර බල අරගලය මඟ හරවා ගන්න. ගැටුම් අවම කර ගන්න. පවුලේ නව සාමාජිකයාගේ පැමිණීමෙන් පසු වැඩිමහල් දරුවාගේ සුරක්ෂිත භාවය තහවුරු වන සේ කායික හා චිත්තවේගි සෙනෙහස වැඩියෙන් පෙන්නුම් කරන්න.

දරුවාගේ අනන්‍යතාවය වැදගත් කොට සලකන්න.
ඔහුගේ/ඇයගේ කුඩා කාලයේ වීඩියෝ පට හා පින්තූර පෙන්වා දරුවාගේ සුන්දර ළඳරු අවධිය මතක් කර දෙන්න. බිළිඳෙකු ලෙස සිටි දා පටන් අද වන තෙක් දරුවා අසිරිමත් හා සුවිශේෂි ලෙස වැඩී ඇති අයුරු බෙද හදා ගන්න.

පන්ති වලට සහභාගි වන්න.
වැඩිමහල් දරුවන් හට , පවුලට එකතු වන නව සාමාජිකයා හසුරුවන ආකාරය කියා දෙන පන්ති පැවැත්වේ. මෙයින් බිළිඳා මෙලොවට බිහි වන්නේ කෙසේද යන්න හා ඔවුන්ට තිබෙන ගැටලු හා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් සලසා දීම සිදු කරනු ලැබේ. දෙමාපියන්ට මෙම කරුණු, නිවසේදි සාකච්ඡා කිරීම වඩා සුදුසු යැයි හැඟෙන්නේ නම් අලුත උපන් ළඳරුවා දිවා මෙන්ම රාත්‍රී කාලයේ හැඬීමට ඉඩ අති බව පැවසීමට වග බලා ගත යුතු අතර කුඩා දරුවාට සෙල්ලම් කිරීමට ඔබ වැනි වැඩිමහල් අයියා හෝ අක්කා කෙනෙකු සිටින බව දැනගත් විට මෙය වෙනස් විය හැකි බවත් දන්වන්න.

දරු උපතේදි වැඩිමහල් දරුවාවාගේ තත්ත්වය.
අලුත් සහෝදරයා හෝ සහෝදරිය ඉපදීමට සිටින අවස්ථාවේදි, ඔවුන්ගේ පියා හෝ වෙන යම් භාරකාරයෙක් ඔවුන්ව බලා ගනීවි යන්න එම වැඩිමහල් දරුවාට තේරුම් කර දීමට වග බලා ගත යුතු වේ.

දරු උපත සිදුවන ක්‍රියාවලියේදි දරුවන්ව සම්බන්ධ කර ගන්න.
දරු උපත සිදුවන මොහොතේදි, වැඩි මහල් දරුවන්ව එම කාමරයේම රඳවා ගන්නවාද යන්න පිළිබඳව දෙමාපියන්ට තීරණයක් ගත හැක. වැඩිමහල් දරුවාගේ වයස අනුව සෙල්ලම්බඩු කිහිපයක්, පොත් පත් හා ඔවුන් කැමති අනෙකුත් දේවල් කාමරයේ තබා ගැනීමෙන් දරුවාව උද්යෝගිමත්ව තබා ගත හැක. දරු උපත සිදුවන මොහොතේ, ඔහුව/ඇයව මවගේ හිස අසලින් සිටින සේ තබා ගත හැකි අතර මෙමඟින් දරුවාට, තමා දරු උපත් ක්‍රියාවලියට සම්බන්ධ වූයේ යැයි හැඟිමක් ඇතිවිය හැක.
අනපේක්ෂිත අවස්ථාවන් හීදි දරුවාව එතනින් ඉවත් කර ගැනීම සඳහා ඔහු\ඇය සමඟ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු ලඟ තබා ගත යුතු වේ. දරුවන්ට දරු උපත් ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම සඳහා දෙමාපියන් වශයෙන් ඔබට ඔවුන්ට “Birth Process” හා “Gentle Birth Choices” වැනි වීඩියෝ පට නැරඹීමට සැලැස්විය හැකිය.

ළඳරුවා උපන් විගසම දරුවන්ව ඔවුන්ගේ අලුත් සහෝදරයා හෝ සහෝදරිය මුණ ගැස් වීම දිරිමත් කරන්න.
පවුලේ අලුත් සාමාජිකයා බැලීමට වැඩිමහල් දරුවා පැමිණෙන විට ඔහුව/ඇයව විශේෂ කොට සලකන්න. දරුවාගේ වයස අනුව ඔහුව\ඇයව මව අසලින් ඉඳ ගැනීමට සලස්වා අලුත උපන් බිළිඳාව රඳවා ගැනීමට ඉඩ දෙන්න. වැඩිමහල් දරුවා අලුත උපන් ළඳරුවාව සෙනෙහසින් තුරුල් කර තබා ගැනීම, සහෝදර බැඳීමේ ක්‍රියාවලියට උපකාරි වේ.

“අයියා” හෝ “අක්කා” හට තෑගි භෝග ලබා දීම දිරිමත් කරන්න.
නව සාමාජිකයෙකු එකතු වීමේ ප්‍රීතිය සැමරීම වෙනුවෙන් පවුලේ වැඩිමහල් දරුවන් වෙත තෑගි භෝග ලබා දීම සඳහා ලඟම මිතුරන් හෝ පවුලේ හිතවතුගෙන් ඉල්ලීමක් කල හැක. මෙය දරුවා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
Image Credit: medicalcenterarlington.com

ඔබේ දරුවාත් පරිගණකයට හෝ ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇත්ද?

ඩිජිටල් උපාංග කෙරෙහි දරුවන්ගේ ඇති ඇබ්බැහි වීම, වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන්නේ “පරිගණක දෘෂ්ටි සහලක්ෂණය” (Computer Vision Syndrome) යනුවෙනි. මෙය දරුවන්ගේ ඇස්වලට කෙතරම් අහිතකර ද?

මීට දශක කිහිපයකට පමණ පෙර, රූපවාහිනිය පමණට වඩා නැරඹීමෙන් සහ ඊට සමීපව වැඩි වේලාවක් රැඳී සිටීමෙන් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ දෙමාපියන් දරුවන්ව දැනුවත් කලා මතකද? රූපවාහිනියෙන් සහ පරිගණයකයෙන් ඈත් වීම අද පරපුරේ දරුවන්ට දුෂ්කර කාර්යයක් වී ඇත. මෙයට හේතුව වන්නේ චිත්‍රපට , ටෙලි නාට්‍ය නැරඹීම , වීඩියෝ ක්‍රීඩා වල නිරත වීම මෙන්ම ගෙදර වැඩටත් “ඩිජිටල් තිරය” භාවිතා කිරීමයි.

පරිසරය ට එරෙහිව ඩිජිටල් තිරය
පරිගණකය දිගු කාලයක් භාවිතා කිරීම, අවිදුර දෘෂ්ටිකත්වය හෝ මයෝපියාව හෙවත් භ්‍රෂ්ට දෘෂ්ටිය ඇති වීමට හේතුකාරක වන බව බොහෝ වෛද්‍ය ඉගැන්වීම් වල පෙන්වා දී ඇත. අක්ෂි ගැටලු සහ ඩිජිටල් උපාංග අතර ඇති සම්බන්ධය, දිගු කාලීන පරිගණකය භාවිතය නොවන බව මෙල්බන් නුවර වෙසෙන දෘෂ්ටිමිතික විශේෂඥ ටිම් ෆ්‍රික් ගේ මතයයි. මොහු පවසනුයේ, බොහෝ වේලාවක් නිවෙස් තුල ගත කිරීම හේතුවෙන් අක්ෂි සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇතිවන බවයි.
ඩිජිටල් තිරය සමඟ වැඩි කාලයක් ගත කිරීම, එළි මහනේ හෝ පරිසරයට සමීපව ගත කරන කාලය අඩුවීමට හේතුවක් වේ. දරුවන් වැඩි කාලයක් එළි මහනේ ගත කිරීම, මයෝපියාව ඇති වීමේ ප්‍රවණතාව අඩු කරයි.

එක්සත් රාජධානියේ සිදු කල සමීක්ෂණයකට අනුව, එළිමහනේ සෙල්ලම් කරන අවුරුදු 8-9ත් අතර ළමයින්ට , අවුරුදු 15 වන විට අවිදුර දෘෂ්ටිකත්වය ඇති වීමේ ප්‍රවණතාවය අඩකින් අඩුවේ. සිංගප්පූරුවේ සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ මයෝපියාවෙන් පෙළෙන 90% පමණ වැඩිහිටියන්ගෙන් විනාඩි 30ක් හෝ ඊට අඩුවෙන් එළි මහනේ කාලය ගත කරන බවයි. ඒ අතරම, ඕස්ට්‍රේලියාවේ එළිමහනේ පැය 3ක් හෝ ඊට වැඩියෙන් කාලය ගත කරන මයෝපියාවෙන් පෙළෙන්නන් සිටින්නේ 10% පමණි.
තවදුරටත් ෆ්‍රික් සඳහන් කරන්නේ සමස්ත නීරොගී සෞඛ්‍යයක් සඳහා දරුවන් දිනපතා එළිමහනේ සෙල්ලම් කිරීම ඉතා වැදගත් බවය. ඔවුන් පරිගණකය භාවිතා කරන්නේ නම්, නිතර කෙටි කාලීන විවේක ලබා ගත යුතු වනාතර කාමරය තුල මනා ආලෝකයක් තිබේදැයි සලකා බැලිය යුතුවේ.

නිල් ආලෝකයට එරෙහිව LED
ළමයින්ගේ අක්ෂි කෙරෙහි ජංගම දුරකතන, රූපවාහිනි සහ පරිගණක තිර වලින් නිකුත් වන ආලෝකය යහපත් ද අයහපත් ද යන්න තවමත් කිසිවකු නිශ්චිත නිගමනයකට එළඹී නැත. දිගු කාලීනව ආලෝකයට ආවරණය වීමෙන් දෘෂ්ටි විතානයට හානි සිදු විය හැකි බව 2013 දී ස්පාඤ්ඤයේ දි කල අධ්‍යයනයකින් හෙළිවී ඇත.

දරුවන් කුඩා කල පටන් ඩිජිටල් උපාංග සමඟ සමීප වීමත්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව දීර්ඝ වීමත් හේතුවෙන් අක්ෂි ආබාධ බරපතළ වන බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය කර ඇත. මෙම පර්යේෂණයට අනුව, ඇස නිර්මාණය වී ඇත්තේ ආලෝකය දෙස කෙලින් බැලීමට නොව, ආලෝකය භාවිතයෙන් බැලීමටය.
නිතර ඇස පියවීම සහ අධික විටමින් ඇ හා ප්‍රතිඔක්සිකාරක අඩංගු අහාර වේල් අනුභව කිරීම මනා අක්ෂි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට මෙන්ම, ආලෝකයේ අහිතකර බලපෑම අවම කර ගැනීමට ඉවහල් වන බව විද්‍යාඥයින් පවසයි.

දරුවන්ගේ ඩිජිටල් තිර කාල භාවිතය සඳහා නිර්දේශ
අවුරුදු 2 හෝ ඊට අඩු කුඩා දරුවන් පරිගණක හා රූපවාහිනි කාලය අවම කර ගත යුතු ය.
පෙර පාසල් දරුවන් රූපවාහිනිය නැරඹිය යුත්තේ දිනකට පැයක් පමණි. පරිගණකයෙන් වැළකී සිටීම හෝ එහි ස්වල්ප වේලාවක් ගත කිරීම හිතකරය.
අවු 9 හෝ ඊට වැඩි දරුවන් හට දිනකට පැය 1.5-2 ක රූපවාහිනි/පරිගණක කාලයක් ලැබිය යුතු වේ.
පරිගණකයත් සමඟ ගත කරන සෑම විනාඩි 20 කට වරක්ම, අඩි 20ක් ඈතින් තිබෙන වස්තුවක් දෙස තප්පර 20ක් ඇස යොමු කල යුතු බව අක්ෂි සෞඛ්‍ය විශේෂඥයින් නිර්දේශ කරයි.
Image Credit: ibtimes.co.uk

සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කිරීමට ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

ශ්‍රී ලාංකික සංස්කෘතික රාමුව තුල, කාන්තාවන් තම ගර්භණී කාලය තුල කල යුතු හා නොකල යුතු දෑ බොහෝ ඇත. අඩු බරක් ඇති මවක් බිහි කරන දරුවා සෞඛ්‍ය සම්පන්න නොවන බව සමාජයේ පවතින පොදු මතයකි. ගර්භණී අවධිය තුල සාමාන්‍යයෙන් බර වැඩි වූවත්, එම ක්‍රියාවලිය ශරීරයට හිතකර අන්දමින් සිදු විය යුතුය. මාගේ ගර්භණී කාලය තුල එක් අවස්ථාවක දී වැඩිහිටි කාන්තාවක් නිතරම පැවසූ දෙයක් නම් මාගේ බර නිසි පරිදි වැඩිවී නොමැතිවී බවයි. මා මේ සම්බන්ධයෙන් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුගෙන් විමසීමක් කලෙමි. ඔහු පැවසූවේ අධි බරකින් යුත් කාන්තාවන් පවා බර අඩු දරුවන් බිහි කරන බවය. මාගේ බර සෞඛ්‍යයට හිතකර පරාසයක තබා ගන්නා කල්, මා හට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

එම නිසා සෑම දෙනෙකුටම මා කරන යෝජනාව නම්, ඔබගේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබේ බර පිළිබඳව ප්‍රශ්නයක් නොනඟන තාක් ඔබටත් බියවීමට හේතුවක් නොමැති බවයි.

මාගේ පළමු දරුවා මාස 7 සම්පූර්ණ කලා පමණි. කියන්නත් සතුටුයි ! මාගේ ශරීරය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට අවශ්‍ය වනුයේ කිලෝ 2ක බර අඩු වීමක් පමණයි. මම දින කිහිපයක් තුල සිසේරියන් සැත්කමකින් සුවය ලබා පැමිණියෙමි. මාගේ දරුවා දැන් මනා සෞඛ්‍ය තත්තවයේ පසුවන්නේය. රෝහලින් පිට වී දින දෙකක් ගතවන විට, මට මාගේ සියලු වැඩ කටයුතු තනියෙන් කර ගැනීමට හැකිවුණා. සිසේරියන් සැත්කම සිදුකල ස්ථානයේ යම් වේදනාවක් පැවතුනත්, වෛද්‍ය නිර්දේශය මත සතියක් සඳහා ලබා දුන් වේදනා නාශක පෙති වලින් එම කැක්කුම සමනය වුණේය. ඉන් අනතුරුව, සුපුරුදු අන්දමට මම වැඩ කටයුතු වල යෙදුණෙමි. සෞඛ්‍යමත් දරුවකු ලැබීමෙන් පසු සෞඛ්‍ය සම්පන්න බවින් පසු වීමටත්, ඉක්මන් සුවය ලබාගැනීමටත් මා හට හැකිවූයේ කෙසේද? ගර්භණී අවධියේ අභිරහස් මා සමඟ බෙදා හදා ගැනීම වෙනුවෙන් මාගේ සොහොයුරියට මා ස්තූතිවන්ත විය යුතුයි. American Pie චිත්‍රපටයේ, කෙවින් ඔහුගේ වැඩිමහල් සොහොයුරාට බයිබලයක් ලබා දෙන දර්ශනය මේ මොහොතේදි මාගේ සිහියට නැගේ.

සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සේම තමා මනා සෞඛ්‍ය තත්ත්වයේ පසුවීමේ රහස පෝශ්‍යදායි ආහාර ගැනීමයි. එය ඒ තරමට සරලයි. මාගේ ගර්භණී අවධියේ මාස 9ක කාලය තුල , මා සුපුරුදු ආහාර වේල් ලබා ගත් අතර, මාගේ රුචිය අනුව ආහාර ප්‍රමාණය මම වෙනස් කර ගත්තෙමි. ගැබ්ගත් මවක් දෙදෙනෙකුට සෑහෙන අහාර ප්‍රමාණයක් ගත යුතු බව සඳහන් මිත්‍යාවක් සමාජයේ පැවතේ. මා ගර්භණී මාතාවන් සඳහා විශේෂයෙන් සකස් කල පිටි කල කිරි හෝ ආහාර ලබා ගත්තේ නැත. මාගේ ප්‍රධාන ආහාර වේලෙහි බොහෝ විට අඩංගු වුනේ රතු බත්, එළවලු බත්, පළා වර්ග සහ මාලු ය. මා අනුභව කලේ, මට දරා ගත හැකි ප්‍රමාණයට පමණකි. එය මා සුපුරුදු ලෙස ගත් ආහාර ප්‍රමාණයයි. පසුව මම එය ක්‍රමක්‍රමයෙන් වැඩි කලෙමි. තවද, මාගේ මුහුණේ කිසිදු ඉදිමුම් ස්වභාවයක් නොතිබුණු අතර ගර්භණී අවධිය මුළුල්ලේම එය දීප්තිමත් ව තබා ගැනීමට මම සමත් වුණෙමි.

කෙසේ වෙතත් මම දොල දුක් ආශාවන් පාලනය කර ගතිමි. මා නිතරම ප්‍රිය කල ආහාර ජාති අතර අයිස් ක්‍රීම්, දැල්ලෝ, තෙම්පරාදු කරන ලද බත්, වඩේ සහ අනෙකුත් අනං මනං ඇතුලත් විය. ශරීරයට හිතකර නොවන ආහාර කෙරෙහි ද සිත ඇදී යන වේලාවන් තිබුණි. සමහර අවස්ථාවන්හි දී, මා මෙම දැඩි ආශාවන් වලට අවනත වී ඒවා සපුරා ගත් බව පිළිගත යුතුව ඇත. මෙම විශේෂ ආහාර සඳහා ඇති ලොල් බව ඉක්මවාලිය නොහැකි තරමක පැවතුණි. කෙසේ වෙතත් මෙම ප්‍රමාණය, මා දැනුවත්වම, ගර්භණී කාලයට පෙර මා ගත් ප්‍රමාණයටම සීමා කලෙමි. මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය. එහෙත් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සහ සුන්දර පෙනුමකින් පසු වීම සඳහා මෙය අනුගමනය කිරීම ඉතා වැදගත් බව මා තරයේම මතක තබා ගත්තා.
ගර්භණී භාවයට එළඹීම හෝ මවක් වීම කාන්තාවකගේ බර සහ පෙනුම පිළිබඳ නොසලකා හැරීමට නිදහසට කාරණාවක් නොවේ. කෙසේ වෙතත් තම රූ සපුව හෝ ශරීරය පිළිබඳව නොසලකා හැරීම සමහරක් අපේක්ෂිත පවුල් ප්‍රශ්න වලට මුල පිරීමට ඉඩ ඇත.
පළා වර්ග සහ ජලය මම මැනවින් පරිභෝජනය කලෙමි. මා කෙතරම් පළා ජාති අනුභව කලාද කිවහොත් මාගේ නැන්දම්මා මා නිවසේ වෙසෙන එළුවකු කියා සිතන්නට ඇති. මම අධික ලෙස ජලය පානය කිරීමට පුරුදුව සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා දරුවාට මව් කිරි දීමේදි දවසට කිහිප සැරයක් බිළිඳාගේ ඉණකඩ (nappies) මාරු කිරීමට සිදු වුණේය.
Image Credit: celebrityparentsmag.com

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

දරුවන්ගේ ආවේගශීලි හැඟීම් පාලනය කිරීම සඳහා උපදෙස්

කෝපය යනු ශාරීරික හා මානසික වශයෙන් බලපෑම් ඇති කල හැකි ඍණාත්මක සංවේදනයකි. මෙය උග්‍ර වුවහොත් ඉතා බරපතල මානසික තත්ත්වයන්ට යොමු වීමට ඉඩ ඇත. ළමුන් , ඔවුන්ගේ වැඩෙන හා ඉගෙන ගන්නා වියෙහි පසුවන අවධියේ කෝපය පිළිබඳ ප්‍රශ්නය ගැන අවධානය යොමු කිරීම තීරණාත්මක වන අතර එය පාලනය කිරීමට උත්සාහ ගත යුතුයි.

දරුවන් තුල පවතින ආවේගශීලි හැඟීම් හඳුනා ගැනීම.
ළමුන්ගේ කෝපය පාලනය කිරීමට පෙර පළමු පියවර ලෙස එය හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ළමුන්ගේ ආවේගශීලි ලක්ෂණ හා හැඟීම් බොහෝමයක් ඇත. මෙය විවිධ ළමුන් අතර විවිධ ආකාරයට පෙන්නුම්කරයි.
තාප්පයට කකුලෙන් ගැසීම, සෙල්ලම් බඩු කඩා දැමීම, කෑ ගැසීම සහ පහර දීම හෝ නිවසේ නිස්කලංක කොනක නිහඬව වාඩිවී සිටීම යනාදි හැසිරීම් තුලින් සමහර ළමුන් තමන්ගේ කෝපය ප්‍රකාශ කරනු ඇත. කෙසේ වෙතත් කෝපය, සාමාන්‍ය මිනිස් හැසිරීම් හා ස්වභාවික මිනිස් ඥානයේ කොටසකි. කෝපය දරුවන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කරන බව පැවසීම අසත්‍ය මතයකි. කෙසේ වෙතත් මෙමඟින් ළමයාගේ පෞරුෂ වර්ධනයට ඇතිවිය හැකි අමිහිරි ප්‍රතිඵල මඟ හරවා ගැනීම සඳහා කෝපය පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ආවේගශීලි හැඟීම් පාලනය කිරීම සඳහා උපදෙස්.
ආවේග වලට මුහුණ දීම සඳහා කෝපයේ රෞද්‍ර බව අඩුකිරීම හෝ හැසිරීමේ වෙනස් කිරීම සිදු කිරීම පිළිබඳව උපදෙස් සමහරක් ඇත. මෙහිදී ඉතා වැදගත් වන්නේ ළමුන්ගේ හැසිරීම් පහත සඳහන් ආකරයට වෙන මඟකට යොමු කිරීමය.

දරුවාට යම් නිශ්චිත දුරක් ඇවිදීමට හෝ දිවීමට පවසන්න. උදාහරණයක් හැටියට ‘එන්න, අපි අඹ ගහ වටේ රවුම් පහක් දුවමු” කියා යෝජනා කිරීම. මේ හේතුවෙන් ළමයා ගස වටේ ගිය වට ගණන හෝ පියවර ප්‍රමාණය ගණන් කිරීමට අවධානය යොමු කරන අතර සිතේ ඇති කෝපය පිළිබඳ අදහසෙන් දුරස්ථ වෙයි. “ඇපි මේසය වටේ රවුම් දයහයක් යමු, ඊට පස්සේ ඒ ගැන කතා කරමු” ළමයා මේසය වටේ යාමෙන් සතුටක් භුක්ති විඳින අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෝපය ඇති වීමට මූලික වූ හේතුවද අමතක වෙයි.

කෝපය යෝග්‍ය අන්දමට ප්‍රකාශ කිරීම ද එය අවම කිරීමට උපකාරි වන වැදගත් උපදෙසකි. ළමයා තුල ඇති පීඩාව හා කෝපය සිතින් නිදහස් කිරීම සඳහා වෙනම අවකාශයක දරුවාට කෑමොර දීමට හෝ යටි ගිරියෙන් කෑ ගැසීමට සලස්වන්න. අන් අයට බාධා නොවන අයුරින් මෙය වසා ඇති ප්‍රදේශයක සිදු කිරීම යහපත්ය. ළමයාගේ කෝපය ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ/ඇයගේ නිදන කාමරයේ වෙනම කලාපයක් තෝරාගන්න. මෙලෙස දරුවාට තම ආවේගය නිදහස් කල හැක්කේ එම කලාපය තුල පමණි.

ළමයාව කණ්ණාඩියක් ඉදිරිපිට සිට ගැනීමට සලස්වා ඔහුගේ මුහුණ එක් එක් ස්වරූපයට හැඩගස්වන ලෙස පවසන්න. මෙම ක්‍රමය ළමයාගේ සිත වෙන අතකට යොමු කරයි. බොහෝ දරුවන් මෙයින් වින්දනයක් ලබන අතර ඊට මැනවින් ප්‍රතිචාරයක් ද ලබා දෙයි.

නිවසින් බැහැරව වීදිවල ගමන් කිරීම හෝ නිවෙස් තුල දිවීමත් ආවේගය අවම කිරීමට හොඳ ක්‍රමයකි.

ඔබගේ දරුවාගේ කෝපය පාලනය කිරීම සඳහා ඔබ ගනු ලබන අනෙකුත් ක්‍රියා මාර්ග මොනවාද?
Image Credit: nogreaterjoy.org

පියා සහ සිඟිති දරුවන් අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම

ඕස්ට්‍රේලියාවේ පියවරු තම දරුවන් සමඟ කොපමණ කාලයක් ගත කරන්නේද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයක්, පවුල් අධ්‍යයනය පිළිබඳ ඕස්ට්‍රේලියානු ආයතනය විසින් පවත්වා ඇත. සාමාන්‍යයෙන් සති අන්තයත් ඇතුලුව පියවරුන් තම දරුවන් සමඟ තනිව ගත කරන කාලය විනාඩි 30 කටත් අඩු බව, එම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත.
මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ සිඟිත්තන්ට තම මව අවශ්‍ය වන තරමටම තම පියාගේ ආදරය හා අවධානය ද අවශ්‍ය වන බවයි. දරුවා සහ පියා යන දෙපාර්ශවය ගත කරන කාලය විනාඩි 30 කට සීමා වීම, ප්‍රමාණවත් නොවන බව සමීක්ෂණ වාර්තා අවධාරණය කරයි.

මේ පිළිබඳව මව්වරුන් විසින් කිසියම් දෙයක් කල යුත්තේ ඇයි?
නිවසේ කටයුතු සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ මව විසිනි. පියවරුන් මෙම ගෘහස්ථ කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට මව්වරුන් කුමක් කල යුතුද?
පියාගේ දායකත්වය තුලින්, පවුලේ සෞභාග්‍යය සහ දියුණුව වර්ධනය වන අතර දරුවා කෙරෙහි මෙය ධනාත්මක බලපානු ලැබේ.
දරුවාගේ ජීවිතය කෙරෙහි පියා ඉතා වැදගත් වන්නේ ඇයි? එසේම මව විසින් කල නොහැකි පියාගේ කර්තව්‍යයන් කවරේද? මේ පිළිබඳව සමීක්ෂණ මඟින් කිසිවක් නියත වශයෙන් පැහැදිලි නොකරන නමුත් පියවරුන් තම දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කාලය මිඩංගු කිරීම හා දෙමාපිය කර්තව්‍යයන් මැනවින් ඉටු කිරීම , සිඟිත්තාගේ වර්ධනයට ඉමහත් සේ බලපෑ හැකි බව පෙන්වා දෙයි.

ධනාත්මක දැක්මක් ඇති , ක්‍රියාශීලි පියවරුන් පහත සඳහන් කරුණු සඵල කර ගැනීමට උදවු කල හැක.

පිරිමි ළමුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටලු අවම කිරීම.
ගැහැනු දරුවන්ගේ මානසික ගැටලු අවම කිරීම.
අනාගතෙයේදි ඇති විය හැකි දරුවාගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම් අවම කිරීම.
දරුවා තුල කුතුහලය, බුද්ධිය, භාෂා වර්ධනය හා තාර්කික හැකියාව වැඩි දියුණු කිරීම.
නව යොවුන් වියේ දුම් පානය කිරීමේ ප්‍රවණතාවය අවම කිරීම.
යහපත් සමාජ සම්බන්ධතා සහ මිත්‍රශීලි බැඳිම් ගොඩ නැගීම දිරිමත් කිරීම.
යහපත් විවාහ ජීවිතයක් පවත්වා ගෙන යාම.

ඉහත සඳහන් කල ප්‍රතිලාභ, පවුලේ මෙන්ම දරුවාගේ අභිවෘද්ධිය සඳහා දායක වූ පියෙකුගේ හැසිරීම් වල ප්‍රතිඵලයක සාරංශයකි. පියවරුන් මෙලෙස තම දරුවන්ගේ ජීවිත වලට සම්බන්ධ වී කටයුතු කරන විට දරුවන් වඩා හොඳින් හා සතුටින් ක්‍රියා කිරීමට නැඹුරු වේ. පියා, දරුවාගේ ජීවිතයට සම්බන්ධ වීම ඉක්මන් වන තරමටම, දරුවාගේ සම්බන්ධතාවයද ස්ථාවරව පැවතිය හැකි අතර ඊට ප්‍රතිචාරයක් ලෙස දරුවාගෙන් ලැබෙන ප්‍රතිඵලයද යහපත් වනු ඇත.
නිවසේ ළඳරුවෙකු, සිඟිත්තෙකු හෝ පෙර පාසල් වියෙහි පසුවන දරුවකු යන කවරකු සිටියත් පියාගේ දායකත්වය නොපමවා දරුවාට ලැබිය යුතුය.

පියා සිය සිඟිත්තා සමඟ ගත කරන කාලය දිරිමත් කල හැකි ක්‍රම මොනවාද?
පහත සඳහන් ක්‍රියාකාරකම්, පියවරුන් සිය සිඟිත්තා සමඟ වැඩි කාලයක් ගත කිරීමටත් දෙපාර්ශවය අතර කල් පවත්නා සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමටත් උපකාරි වේ.

පියා සිය සිඟිත්තා සමඟ එකට ගත කරන කාලය.
මේ සඳහා කාල සටහනක් තබා ගත යුතු වේ. සිය සිඟිත්තා සමඟ කාලය ගත කිරීමට නිශ්චිත වේලාවක් යොදා ගැනීම පියාගේ දින චර්යාවේ කොටසක් විය යුතුයි. රූපවාහිනිය ඉදිරියේ ඔබේ වටිනා කාලය ගත කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට තම දරුවා සමඟ උද්‍යානයට, වෙරළට යාමට හෝ නිස්කලංකව ඇවිදීමට යොදා ගන්න. මෙය ඕනෑම වයසක පසුවන දරුවකු සතුටින් පිළිගනු ඇත.

පියා සහ සිඟිත්තා අතර ඇති සම්බන්ධතාවය වර්ධනය කිරීම සඳහා “පවුලේ රාත්‍රියක්” යොදා ගන්න.

සතියේ එක් රාත්‍රියක් පවුලේ උදවිය සමඟ ගත කිරීම සඳා යොදා ගන්න. මෙම රාත්‍රිය ඉතා විශේෂ එකකි. දුරකතන ඇමතුම් නොසලකා හැරීම ( මේ වෙනුවට “Answering Machine” ක්‍රියාත්මක කර තබන්න ) , අන්තර්ජාලය හා රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීම ආදි අවට බාධා කිරීම් යටපත් කරන්න. අවධානය තම දරුවා සහ පවුල වෙත පමණක් යොමු කල යුතු වේ. මෙම අවස්ථාව පවුල සමඟ ගැටලු සාකච්ඡා කිරීම, අවශ්‍ය තොරතුරු බෙදා හදා ගැනීම සඳහා යොදා ගත යුතු වේ.
එකට එකතු වී පත පොත කියවීම, පියා සහ සිඟිත්තා අතර ඇති සම්බන්ධතාවය දිරිමත් කරයි.

පියවරුන් තම දරුවන්ට කියවීම සිඟිත්තන් ප්‍රිය කරයි. තාත්තාට සෙමින් කියවීමට පවසන්න. කතාවේ චරිත, කතා වස්තුව ආශ්‍රිත හැඟීම් මෙන්ම ඒ සම්බන්ධ අනෙකුත් ප්‍රශ්න පිළිබඳව දරුවාගෙන් විමසන්න. මෙය පියා සහ සිඟිත්තා අතර ඇතිවන සංවාදය දිරිමත් කරයි.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම දිරිමත් කිරීම සඳහා ව්‍යපෘතියක් නිර්මාණය කරන්න.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම දිරිමත් කිරීම සඳහා අත්කම් ක්‍රියාවන් ඉතා වැදගත් වේ. මෙම අත්කම, දරුවා ප්‍රිය කරන ආකෘතියක්, නිවසක්, සෙල්ලම් බඩුවක් හෝ සිඟිත්තා ප්‍රිය කරන ඕනෑම දෙයක් විය හැක. පියා අත්වැඩ කෙරෙහි විශේෂ දක්ෂතාවයක් නොදැක්වූවත්, නිසැකයෙන්ම මෙය දෙපාර්ශවයටම ප්‍රිය උපදවන අත්දැකීමක් විය හැක.

පියා සහ සිඟිත්තා අතර ඇති බැඳීම – දරුවා වෙනුවෙන් පෙනී සිට පවුලේ කටයුතු සඳහා දායක වන්න.

පියා තමා අසල සිටීම, සිඟිත්තා කෙරෙහි විශාල වෙනසක් ඇති කරයි. කාර්යාලයේ වැඩ කටයුතු නිවසට ගෙන එන කාර්යබහුල පියවරුන්ද රාත්‍රී ආහාරයට පෙර තම සිඟිත්තා සමඟ සුහද පොර බදින ක්‍රීඩාවක නිරත වෙයි. මෙය දරුවා තුල තිබෙන සුරක්ෂිතභාවයේ හැඟීම් වර්ධනය කර ගැනීම සඳහා උපකාරි විය හැක.
මවුපිය දෙපළකගේ ජීවිතයේ ප්‍රමුඛතාවය ඉල්ලීම් සහ කාර්ය සටහන් වලින් පිරී ඇත. පියවරුන් සාමාන්‍යයෙන් රැකියා පීඩනය, දිගු කාල වේලාවක් රාජකාරි වල නිරත වීම හා කාර්යාල දේශපාලනය සමඟ පොර බඳිමින් සිටියි. දෛනික ජීවිතයේ ඇති කාර්යබහුල බව සමඟ පියවරුන් තම දරුවන්ගේ ජීවිත වලට තමාට හැකි අයුරින් දායක වීම අතිශයින් වැදගත් ය. මෙය දරුවන්ගේ ජීවිත වලට දිගු කාලීන බලපෑමක් ඇති කල හැක. මේ සම්බන්ධයෙන් මව්වරුන් හට කල හැක්කේ තම සැමියා වෙත සුහද මතක් කර දීමක් ලබා දීම පමණි.

Image Credit: amazingviewscabinrentals.com

ගර්භණී අවධියේදී ඔක්සිටෝසින් (Oxytocin) සක්‍රීය කර සතුටින් පසුවන්න

සමහර කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට වඩා හොඳ මව්වරුන් වන්නේ ඇයි? මේ කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම ඉහළ අගයක පැවතීම මීට හේතුවක් විය හැක. මෙය “සෙනෙහස් හෝමෝනය” (Love Hormone) ලෙසද හඳුන්වනු ලැබේ. ඔක්සිටෝසින් ඉතා අත්‍යවශ්‍ය මාතෘ හෝමෝනයකි. මෙය කාන්තාවන්ගේ මාතෘත්වය වර්ධනය කරනවා පමණක් නොව ඔවුන්ව වඩාත් සතුටට හා ස්නේහවන්ත බවට පත් කරයි.
සමීක්ෂණ වලින් නැවත නැවතත් අනාවරණය වී ඇත්තේ, අඩු ඔක්සිටෝසින් මට්ටමක් ඇති සතුන් ඔවුන්ගේ පැටවුන් මුවින් පිරිමැදීම සහ ලෙව කෑම වැනි සෙනෙහස පාන හැසිරීම කෙරෙහි මන්දගාමි ඇල්මක් දක්වන බවයි. මේ දක්වා, ,මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් මේ පිළිබඳ එතරම් සමීක්ෂණ කර නැති බව පෙනේ. ගර්භණී අවධියේ පළමු මාස 3 හිදී කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම, ළඳරුවාගේ පලමු මාසය තුල, ළඳරුවාත් මවත් අතර ඇති බැඳීම පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වන බව සොයා ගෙන ඇත. මීට අමතරව ගර්භණී අවධිය ඔස්සේ හා දරු උත්පත්තියෙන් පසු පලමු සති 6 තුලදී අධික ඔක්සිටෝසින් මට්ටමක් පෙන්නුම් කල මව්වරුන්, දරුවා සමඟ සමීප සම්බන්ධතා පෙන්නුම් කර ඇති බව අනාවරණය කර ඇත. එම නිසා ඔක්සිටෝසින් අගය වැඩි වන තරමට දරුවා කෙරෙහි මවගේ ඇති ආදරය සහ අවධානය වර්ධනය වන බව නිසැකය.

තවද අනතුරක් යටපත් වූ පසු ඔක්සිටෝසින් විසින් ආතති හෝමෝනය ප්‍රතිවර්තනය කර ශරීරයේ මාතෲ සෞඛ්‍යය සහ තැන්පත්භාවය නැවත ඇති කරනු ලැබේ. හිතවත් භාවය, රුධිර පීඩනය අඩු අගයක තබා ගැනීම සහ අනිත් අය සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ඇති ලැදියාව වැඩි දියුණු කිරීම ඔක්සිටෝසින් හෝමෝනයේ මූලික කර්තව්‍යයකි.

මින් අදහස් කරන්නේ කාන්තාවකගේ ගර්භණී අවධියේ පළමු මාසය තුල ඇයගේ ඔක්සිටෝසින් අගය පහල මට්ටමක පවතී නම් ඇය හොඳ මවක් නොවන බවද? මෙම හෝමෝනය වැඩි කරග ගත හැකි ක්‍රම තිබේද?

මෙම ඔක්සිටෝසින් හෝමෝනයේ රුධිර මට්ටම වැඩි කිරීම සඳහා ඔක්සිටෝසින් පෙති භාවිතා කිරීම කියා දෙයක් නැත. මෙම හෝමෝනය, නාස් ඉස්නය (Nasal Spray) හි තිබුනත් දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් මොළයට හානි පැමිණවිය හැකි බව වෛද්‍ය මතයයි. මෙය ක්‍රියාවෙන් කල යුතු දෙයකි.

සුභදායි අන්දමට බලන විට ශරීරයේ ඇති ඔක්සිටෝසින් අගය ඉතා පහසුවෙන් වැඩි කර ගත හැක. සුරතලෙකු හෝ ළඳරුවෙකු ස්පර්ශ කිරීම, භාවනාව, ශරීර සම්භාහනය, ස්වේච්ඡා සේවය , පොතක් රස විඳීම, ගී ගැයීම, ලිංගික සේවනයේ නිරත වීම, යෝගා සහ ව්‍යායාම් වල යෙදීම මෙම හෝමොනයේ අගය වැඩි කිරීමට ඉවහල් වන බව දැන ගත යුතු කරුණකි. දෙමාපියන්, මිතුරන් හෝ අසල්වැසියන් සමඟ සුහද සම්බන්ධතා පැවැත්වීමෙන්ද ඔක්සිටෝසින් මට්ටම වර්ධනය වේ. මෙම හෝමෝනය ” සෙනෙහස් හෝමෝනය” ලෙස සමීක්ෂකයින් හඳුන්වන්නේ ඒ නිසාවෙනි.

ගර්භනී මාතාවන් තම දරුවන්ට මව්කිරි දීම ඔක්සිටෝසින් අගයන් වැඩි කර ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයකි. මෙසේ ඔක්සිටෝසින්හි රුධිර මට්ටම ඉහල යාම හේතුවෙන් සෙනෙහසේ සහ සෙනෙහස දැක්වීමේ හැඟිම් උත්තේජනය කරයි. ශරීරයේ ඔක්සිටෝසින් ප්‍රමාණය වැඩිපුර නිෂ්පාදනය වන තරමට ස්නායු පද්ධතියේ ඇති ප්‍රතිග්‍රාහක මඟින් ඉහත සඳහන් කාර්යයම කරනු ලැබේ. මෙය උඩුකුරු වර්ධනයකි.

ඔබේ දඟකාර දරුවා හික්මවීමේදි ඔබත් මේ වැරදි සිදු කරනවාද?

බොහෝ දෙමාපියන් තම දරුවන්ට තරවටු කොට, ඔවුන්ව හික්මවීමට තැත් කරයි. මෙය පිළිගත් ජනප්‍රිය ක්‍රමයකි. උදාහරණයක් වශයෙන්, දෙමාපියකු තම දරුවා වෙත මෙලෙස සැර වැර කරන විට “එළවලු ටික කෑවේ නැත්තම්, ටීවී බලන්න දෙන්නේ නෑ” දරුවා මීට මෙසේ පිලිතුරු දිය හැක. “කමක් නෑ, මං එහෙනං නිදා ගන්නම්”. මෙයින් දෙමාපියන් කෝපයට හා පීඩාවට පත් වේ. තරවටු කිරීම් වරදින අවස්ථා බොහෝමයක් ඇත. මෙය සාමාන්‍ය දෙයකි. එහෙත් කල්පනාකාරිව කටයුතු කල යුතු අරගල ද තිබේ. දෙමාපියන් විසින් පහත ක්‍රම වේද 8 න් වැළකී සිටීමෙන්, යෝග්‍ය සහ අයෝග්‍ය හැසිරීම් සඳහා නිශ්චිත සීමා පැනවිය හැක.

බොරු කීම
ඇමරිකාවේ New Jersey හි වෙසෙන මවක් වන ජිනා කේන්ට අනුව, දරුවන් හික්මවීමේ ක්‍රමයක් ලෙස බොරු කීම සැම අවස්ථාවකදීම වැරදීමට ඉඩ ඇත. එක් දිනක්, ඇයගේ දියණිය වන ක්ලෝඊ තමාව රැක බලාගන්නාගේ (Baby Sitter) නිවසට යෑමේ අකමැත්තෙන් වාහනයෙන් පිටතට බැසිය නොහැකි බව පවසා මුරණ්ඩු විය. ඉන් අනතුරුව ජීනා අසල ඇති නිවසක් පෙන්වා, එහි ලෙන් වැසියන් වාසය කරන බව පවසා ඇයව බියට පත් කලේය. ලෙන් වැසියන්ට අසාමාන්‍ය බියක් දැක්වූ ක්ලෝඊ එය අසා සැණෙකින් වාහනයෙන් එලියට බැස ඇයව බලගන්නා ගේ නිවසට දුව ගියාය. සතියකට පසු, තම දියණියව රැක බලාගන්නා, ජීනා වෙත පැමිණ ඇය වෙසෙන අහල පහල දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තිබේ දැයි විමසා සිටියාය. ක්ලෝඊ මේ පිළිබඳ ඇය සමඟ පැවසීම මීට හේතුවක් විය. මෙයින් ජීනා පසුතැවිල්ලට පත් විය. මන්ද කිවහොත් ක්ලෝඊ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳවීම දැඩි අරගලයක් වන බැවිනි.

විසඳුම.
දරුවා සමඟ සංවේදීව කටයුතු කිරීම මීට මනා විකල්පයක් වේ. තම දියණිය මුරණ්ඩු වූ අවස්ථාවේ, ජීනාට මෙසේ පැවසිය හැකිව තිබුණි. ” සමහර වෙලාවල්වලට, ඔයාට එයාගේ ගෙදර යන්න හිතෙන්නෑ කියල මට තේරෙනව. අම්මටත් වෙලාවකට ඔෆිස් යන්න හිතෙන්නෑ.” දරුවා සමඟ සංවේදීව සන්නිවේදනය කිරීමෙන් හා බොරු කීමෙන් වැළකී සිටීමෙන්, ඔබගේ සඳුදා උදෑසන තවත් ප්‍රසන්න හා සරල වේ.

ඔබගේ වචනයට අනුගත නොවීම.
අනතුරු ඇඟවූවත් , තරවටු කලත් එය අනුගමනය නොකිරීම, දරුවා තවත් අකීකරු වීමට හේතු වෙයි. උදාහරණයක් හැටියට, පවුලේ වැඩිමහල් දරුවා තම නංගීගේ හෝ මල්ලීගේ සෙල්ලම් බඩුවක් බලෙන් උදුරා ගත් විට දෙමාපියකු ලෙස ඔබ ඔහුට/ඇයට “ඔයා ආපහු ඒ සෙල්ලම් බඩුව නංගිට දුන්නැත්තම් , මං ඒක සදහටම අරං තියා ගන්නව” යනුවෙන් සැර කල යුතුය. මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක නොකලේ නම්, දරුවා දිගින් දිගටම තම බාල සහෝදරියගේ සෙල්ලම් බඩුව උදුරා ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙමාපිය මැදිහත්වීමක් පවතින තාක් දරුවාගේ ඉහත කී නොමනා හැසිරීම තව දිගු කාලයක් පවතියි.

විසඳුම
ප්‍රතිවිපාකයක් ලෙස කිසියම් අනතුරු ඇඟවීමක් කරන්න. දරුවා නැවතත් අකීකරු ලෙස හැසිරුනේ නම්, ප්‍රතිවිපාකයක් ලෙස දඬුවම ලබා දෙන්න.
උදාහරණයක් ලෙස “විනෝදයේ විරාමය” (Time-Out : නිශ්චිත වේලාවක් කිසිදු දෙයක් නොකර නිශ්ශබ්ද සිටීමට සැලැස්වීම ) යනු දරුවාගේ නොමනා හැසිරීම සඳහා ලබා දිය හැකි ප්‍රතිවිපාක දඬුවමකි. දරුවා දිගටම අකීකරු ලෙස හැසිරින්නේ නම්, එම ස්ථානයෙන් ඉවත් වන්න. දෙවන වතාවේ ද මෙලෙසම සිදුවන විට, ප්‍රතිවිපාක දඬුවම පිළිබඳ මතක් කර දෙන්න.

වඩාත් හොඳ දෙමව්පියා වන්නේ කවුරුන්ද?
දෙමාපිය යුවලක් තම දරුවන් සමඟ උද්‍යානයට ගොස් අයිස් ක්‍රීම් මිලදී ගන්නා අවස්ථාවක් සිතට ගනිමු. මෙහිදී දරුවකු අකීකරු ලෙස හැසිරුණු විට, නිසි ලෙස හැසිරුණේ නැතිනම්, අයිස්ක්‍රීම් ලබා නොදෙන බව දෙමාපියන් දරුවාට අනතුරු අඟවයි. දරුවා මෙම අවවාදය නොසලකා හැර කෑ මොර දෙමින් නැවතත් නොමනා ලෙස හැසිරෙන්නට ගනියි. මිනිත්තු කිහිපයකට පසු, මෙයින් පීඩාවට පත් පියා බැරිම තැන දරුවාට අයිස් ක්‍රීම් ලබා දෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ, දරුවාව හික්මීම සඳහා මව විසින් ගනු ලැබූ ප්‍රයත්නයේ වටිනාකම නැති වී දරුවාට අම්මාට වඩා තාත්තා හොඳ යැයි හැඟීමක් ඇතිවීමයි.
දරුවන් වෙත සීමා පැනවීමේදී දෙමාපියන් එකමුතු වී තීරණ ගත යුතුය. මෙලෙස දරුවාට එක් දෙමාපියකු පමණක් විනය භාර පුද්ගලයා ලෙසද අනිත් කෙනා සැරවැරකම් නැති හොඳ දෙමව්පියා ලෙසද දිස්වීම වළක්වා ගත හැක. කෙසේ නමුත් මව සහ පියා යන දෙදෙනාටම එකම වැරදි සඳහා දෙයාකාරයෙන් ප්‍රිතිවිපාක දඬුවම් නියම කල හැක. දරුවා ඔබට වඩා ඈත ස්ථානයක සිටින්නේ නම්, දෙමාපියන්ට මේ පිළිබඳව ඇති විකල්ප මාර්ග සාකච්ඡා කොට ලබා දිය යුතු ප්‍රතිවිපාක දඬුවම එක්ව තීරණය කරල හැක.

දරුවාගේ හැසිරිම් රටාව අනුව යම් කොන්දේසි මත ඔහුට/ඇයට තෑගි ලබා දීම අවම කරන්න.
රාත්‍රි අහාරය ගැනීම වැනි යම් නිශ්චිත කාර්යයක් සාර්ථකව සම්පූර්ණ කලහොත් , කෑමක් ලබා දීම වැනි මාර්ග වලින් දරුවාව නිතරම දිරිමත් කිරීමට දෙමාපියන් පුරුදු වී සිටිති. මෙහි ගැටලුව වන්නේ, දරුවා රාත්‍රී ආහාරය ගන්නා සෑම විටකම එම දීමනාව බලාපොරොත්තු වීමයි. සමහර වීට, මෙම පෙළඹවීමට පෙර දරුවා නිසි ආකාරව ඔහුගේ/ඇයගේ ආහාර වේල නොගත්තා වන්නට පුලුවන.

විසඳුම.
මෙවැනි දීමනා ලබා දිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණි. උදාහරණයක් ලෙස,දරුවා කැටුව අවන්හලකට හෝ සාප්පු සවාරි යාමේදි මෙම ක්‍රමය යොදා ගත හැක. වඩාත් ප්‍රායෝගික හා දිගු කල් පවතින විසඳුමක් සඳහා කල යුත්තේ දරුවාගේ යහපත් හැසිරීම් ශක්තිමත් කොට ඒවා දිරිමත් කිරීමයි. “ඔබ “X” ක්‍රියාව කලහොත් මම ඔබට “Y” ලබා දෙමි” යන උපාය යොදා ගැනීමෙන් දෙමාපියන් වැළකී සිටිය යුතුය. මේ වෙනුවට “අත්තම්මාගේ ගෙදර,පුතා අද හොඳින් හැසිරුනා”, යන කියමන් මඟින් තම දරුවාගේ යහපත් හැසිරීම අගය කිරීම කල යුතු වේ.
ඒ වගේම දෙමාපියන් තම දරුවාගේ හැසිරීමෙන් කලකිරුණු අවස්ථාවල, ඒ පිළිබඳව ඔවුන්ට අවධාරණය කල යුතුය. උදාහරණයක් හැටියට, තාත්තා විසින් අම්මාට තෑග්ගක් ලෙස ලබා දුන් ප්‍රියතම අත් ඔරලෝසුව, දරුවා කඩා දැමුවහොත්, මවක් ලෙස ඔබට දැනෙන සංවේදි හැඟීම් දරුවා වෙත ප්‍රකාශ කල යුතුය. මේ තුලින් දරුවා තමා කල දේ පිළිබඳ මෙනෙහි කිරීමට පටන් ගනියි.

නීති වෙනස් කිරීමට සූදානම් වන්න.
ප්‍රතිවිපාක දඬුවම් නිවසේදී සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවත්, නිවසින් පිටදී දරුවා එය අයුතු ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත. උදාහරණයක් හැටියට, අකීකරු ලෙස හැසිරෙන දරුවාට අතුල් පහර දීම නිවස තුල කල හැකි වුවත් දරුවා මෙය පාසලේදි හෝ උද්‍යනයේදි අනුකරණය කිරීමෙන් ප්‍රශ්නය තවත් බරපතල කල හැක. මෙය ගුරුවරයෙකු හෝ වෙනත් වැඩිහිටියෙකු නිරීක්ෂණය කොට දෙමාපියන් හට පැමිණිලි කලේ නම්, දඬුවම් කිරීම සඳහා දෙමාපියන් ලෙස ඔබ “විනෝද විරාමය” (Time-Out) වැනි වෙනත් විකල්පයක් තෝරා ගත යුතුව ඇත. මන්ද, මෙහි දරුවා මත වගකීම පැටවීම සාධාරණ නොවන හෙයිනි.

විසඳුම
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම්, දරුවන් අනුකරණය කිරීමට පෙළඹේ. මේ නිසා දරුවන් වෙත පැවරූ නීති දෙමාපියන් අනුගමනය කිරීමද වැදගත් වේ. මන්ද, දෙමාපියන් ආදර්ශමත් ලෙස නොහැසිරෙන විට, දරුවන් එය ඔවුන් වෙත දැනුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස, ජනේලයෙන් පිට සෙල්ලම් බඩු විසි කිරීම නොකල යුතු දෙයක් නම්, දෙමාපියන් ලෙස ඔබත් කාමරයෙන් කාමරයට බඩු විසි කිරීමෙන් වැලකිය යුතුයි. දරුවා ඔබව මැනවින් නිරීක්ෂණය කරනු ලබන අතර, යම් හෙයකින් වැරද්දක් වුවහොත් එය අවධාරණය කිරීමටත් දරුවා නොපැකිළේ.

කෝපය සහ පීඩනය පිට කිරීම.
දරුවකු රැක බලා ගැනීම පහසු කර්තව්‍යයක් නොවේ. මේ සඳහා අසීමිත ඉවසීමක් අවශ්‍ය වේ. විවිධ හේතු නිසා සමහර අවස්ථාවන් හීදී මෙම ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් දෙමාපියන් එම කෝපය දරුවා මත පිට කිරීමට ඉඩ ඇත. මෙම ආවේගශීලි හැසිරීම කාර්ය බහුල ජීවිතයක් ගත කරන පවුල් වල දක්නට ලැබෙන සාමාන්‍ය දෙයකි. සිත් තුල පවතින ඔවුන්ගේ ඒ ආවේග, කෑ මොර දීමෙන්, කේන්තියෙන් පසුවීමෙන් හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමෙන් පිට කරනු ලැබේ.

විසඳුම
“විරාමයක් ලබා ගැනීම” දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එක සේ යෝග්‍ය ක්‍රමයකි. ඉවසීමේ සීමාව පසු කරන අවස්ථාවේදි, සිත වෙනාතකට යොමු කරන්න. දරුවාගේ හැසිරීම සමඟ කටයුතු කිරීමට පෙර හොඳ හුස්මක් ගෙන, වතුර වීදුරුවක් බී දහය දක්වා ගනින්න. දරුවා සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔබේ සහකාරියට හෝ සහකරුට පවරා ඔබට සන්සුන් වීම සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගත හැක. දරුවන්ට දෙමාපියන්ගේ සීමාවන් මැනවින් තේරුම් ගත හැකි බැවින්, ආවේගශීලි අවස්ථාවල තත්ත්වය සමනය කිරීමට සැලැස්වීම යහපත්ය.

ප්‍රතිවිපාක දඬුවම ක්‍රියාත්මක කිරීමේ කාලය නිර්ණය කිරීම.
දරුවකු නොමනා ලෙස හැසිරීමේදී, ප්‍රමාද වී ප්‍රතිවිපාක දඬුවම ලබා දීමෙන් ඵලක් නොවේ. උදාහරණයක් වශයෙන් දරුවා ඩිස්පැන්සරියේ යටිගිරියෙන් කෑ ගැසූ විට, ඊට දඬුවමක් ලෙස දරුවාට නින්දට පෙර කතන්දර කියා දීම ප්‍රතික්ෂේප කිරීම නිෂ්ඵල දෙයකි.

විසඳුම
දරුවාට ප්‍රතිවිපාක දඬුවම ලබා දියෙ යුත්තේ, වැරැද්ද කල සැණින්ය. දරුවා, ඔහුගේ/ඇයගේ සහෝදරයාට ක්‍රිකට් පිත්තකින් ගැසූ විට ඔබ කල යුත්තේ හෙට දිනයේ සත්තු වත්තට යාමට නියමිතව තිබූ ගමන අවලංගු කිරීම නොව එසැණින්ම දරුවාගේ පිත්ත ඔහු වෙතින් ලබා ගැනීමයි. ප්‍රතිවිපාක දඬුවම ඒ විගසම ලබා දීමෙන් දරුවා ඔහුට ක්‍රිකට් පිත්ත අහිමි වූයේ අයහපත් හැසිරීම නිසා බව වටහා ගනියි.

පමණට වඩා හේතු පැහැදිලි කිරීමට යාම.
දරුවා අයහපත් ලෙස හැසිරීමේදි, ඔවුන්ට ලැබෙන්නට නියමිත දඬුවම මෙන්ම ඊට හේතූන් පමණට වඩා පැහැදිලි කිරීමට යාමෙන් වළකින්න. දරුවන් කුඩා වැඩිහිට්යන් නොවේ. ඔවුන්ට ඇත්තේ කෙටි අවධාන විනස්තියකි. ඔබ ඕනෑවටත් වඩා කතා කිරීමෙන් කිසිදු ඵලක් සිදු වන්නේ නැත.

විසඳුම.
නොමනා හැසිරීමක් සිදු වූ කලෙක, ඔබ කල යුත්තේ දඬුවම කෙටි සහ සරල ලෙස ඇඟවීමයි. උදාහරණයක් ලෙස , “කෑමට පෙර, ඔයාට චොක්ලට් කන්න බෑ” යැයි කියමින් දරුවාට තරවටු කිරීම ඔහුට/ඇයට ඒ පිළිබඳට මනා අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් වේ. චොක්ලට් මඟින් දරුවාගේ දන්ත සෞඛ්‍යයට හෝ ආහාර රුචියට ඇති විය හැකි හානි පිළිබඳ විස්තර කිරීමෙන් වළකින්න. භාවිතා කරන වාග් ශෛල්‍යය පිළිබඳවද අවධානය යොමු කරන්න. මෙය දරුවාගේ වයසට අනුකූල විය යුතු වේ. උදාහරණයක් ලෙස , දරුවාගේ කං කෙදිරි ගෑම නැවැත්වීමට නම්, ඊට දෙමාපියන් කල යුත්තේ වයසට උචිත පරිදි “ඔයා කෙඳිරි ගාන්නේ ඇයි කියල මං දන්නව, ඒත් ඔයාට පුලුවන් ලොකු ළමයෙක් වගේ හැසිරෙන්න” යනුවෙන් පැවසීමයි.

නිවැරදී මාර්ගය අනුගමනය කිරීම.
දරුවන් හික්මවීමෙහි ලා අනුගමනය කල යුතු ක්‍රම වේද තේරුම් ගැනීමෙන් පසුවත් ඔබට දෙමාපියකු ලෙස වැර දීමට ඇති ඉඩකඩ බොහෝය. දෙමාපියකු වශයෙන් නිවැරදී මාර්ගයේ ගමන් කිරීම සඳහා “Practical Wisdom for Parents” ග්‍රන්ථයෙහි කර්තෘ වන නැන්සි ශූල්මාන් පහත දැක්වෙන උපදෙස් නිර්දේශ කරයි.

එකම දේ පිළිබඳ කල්පනා කර පසු තැවීමෙන් වළකින්න.
දෙමාපියෝ, මනුෂ්‍යයෝය. සිදුව ඇති දෙය පිළිගෙන ඉදිරිය ගැන සිතන්න. වෙනස් කල නොහැකි දෙය ගැනි සිතමින් කාලය නාස්ති කිරිම නිශ්ඵල දෙයකි.

ක්‍රමක්‍රමයෙන් නීති පනවන්න.
දරුවන් හික්මවීමේ සියලු ක්‍රම වේදයන් සහ නීති සම්පූර්ණයෙන් පුනරීක්ෂණයට භාජනය විය යුතුව තිබුණත්, වඩාත් වැදගත් ප්‍රශ්න දෙකක් තෝරා ගෙන එතනින් ආරම්භ කරන්න. නීති රාශියක් පනවමින් දරුවාව ආතතියට ලක් කිරීම නොකල යුතුයි. දරුවා සංයමයෙන් පසුවන විටකදී, ඔබ අසලින් ඔහුව\ඇයව ඉඳ ගැනීමට සලස්වා මෙම නීති පිළිබඳ පහදා දෙන්න. මෙමඟින් ඉදිරියේදි තමා හැසිරිය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් දරුවාට ලැබේ.

දරුවාට විකල්ප තේරීම් ලබා දෙන්න.
විනය යනු ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම නොවේ. මෙයින් සිදුවන්නේ දරුවාව යහපත් හැසිරීම් රටාවන් සඳහා හික්මවීමයි. උදෑසන ආහාර වේලාවේ දරුවා තමාට අවශ්‍ය දේ ඉල්ලා කං කෙඳිරි ගාන විට ඔබ කල යුත්තේ ඒ පිළිබඳව වාද විවාද කරනවා වෙනුවට දරුවාට උදෑසන ආහාර වේල සඳහා විකල්ප තේරීම් දෙකක් ලබා දීමයි. උදා: බිත්තර හෝ සමපෝෂ. දරුවාට මෙම තීරණය තනිව ගැනීමට ඉඩ දෙන්න. මෙය දරුවාගේ තීරණ ගැනීමේ හැකියාව ද දිරිමත් කරයි.

හැසිරීම් රටා වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගත වේ.
අයහපත් හැසිරීම් රටාවන් වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගතවන අතර මනා ඉවසීමක් ද අත්‍යවශ්‍ය වේ. මෙය එක් දිනකින් සිදු කල හැකි දෙයක් නොවේ. දෙමාපියකු දිගටම තම දරුවන් වෙත නීති හා ප්‍රතිවිපාක දඬුවම් පැනවීමේදි, දරුවා තම හැසිරීම් රටාව කෙසේ හැඩ ගස්වා ගත යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගනියි. මෙහි සාර්ථකත්වය සඳහා ප්‍රයත්න 20 වැය වුවද, දරුවාගේ හැසිරීම් රටාව අවසානයේදි යහපත් වේ