Home Blog Page 41

පුංචි පැටියා සමග මේ විදිහට කටයුතු කරමු

තොටිල්ලේ ලී වැට පැනලා පුංචි පැටියා ලොකු වෙන දිනය වෙනකම් අම්මා තාත්තා ඇඟිලි ගනිනවා. දවස් ගෙවෙන්නෙත් හෙමින් වගෙයි.ඒ තරමටම දෙමව්පියන්ට පුංචි පැටියා සමග ලෝකය දකින්න දැඩි බලාපොරොත්තු දැල්විලා.ඉතින් එතකම් අපි තොටිල්ලේ සිටින අපේ පුංචි පැටියා සමග මේ විදිහට කටයුතු කරමු…

මව්කිරි දෙන විට ඇස්වලට සම්බන්ධ කර ගන්න…

eye-contact හෙවත් ඇස් අතර සම්බන්ධතාවය ගැන අධ්‍යනයන් මගින් පෙන්වා දෙන්නේ පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට ඇස් අතර ඇති වෙන සම්බන්ධතාවය ඉතාම වැදගත් බවයි. හැබැයි මේ අදහස අද අධ්‍යනයන් මගින් සනාථ වුනත් අතීතයේදී අත්තම්මලා කිව්වේ මුහුණ බලාගෙන කථා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා ගැන විශ්වාසය තබන්න බැරි බවක්.මේ සංකල්පය අද මනෝවිද්‍යඥයින් දකින්නේ අපි හෘදයංඟම විදිහට බැඳීමක් ගොඩ නගා ගැනීමේ මාර්ගයක් විදිහටයි.

ඉතින් පුංචි පැටියාටත් අම්මගේ ඇස් අතර සම්බන්ධතාවය ලබා දෙන්න හැකියාව තිබෙන පහසුම අවස්ථාවක් තිබෙනවා.පැටියාට මව්කිරි දෙන හැම අවස්ථාවකදීම දරුවාගේ ඇස් අතර සම්බන්ධතාවය ගොඩ නගා ගන්න. ඉස්සර කාලයේ අම්මලා නම් දරුවාට කිරි දෙන අවස්ථාව බොහොම වැදගත් විදිහට සැලකුවා.කාටවත් නොපෙනෛන විදිහට පියයුරු පවා සුදු රෙද්දකින් වසා ගෙන දරුවාගේ ඇස් අතර සම්බන්ධතාවය ගොඩ නගා ගනිමින් දරුවා මව්කිරෙන් පෝෂණය කිරීම අතීතයේ මව්වරුන් අතර පැවැති සම්ප්‍රදායක් තරමටම සමාජගතව තිබුණා.

ඉතින් අද අම්මලාටත් මේ කාලයෙන් ප්‍රයෝජන ගන්න පුලුවනි. ජංගම දුරකතනය පැත්තක තියලා කිරි දෙන කාලයේදී දරුවා සහ ඔබේ ඇස් අතර සම්බන්ධතාවය හොඳින් පවත්වා ගන්න තවමත් කිසිම බාධාවක් නැහැ. කොච්චර වැඩ රාජකාරි තිබුනත් දරුවාට කිරි පොවන කාලය ඔවුන් සමග අනිවාර්යෙන්ම ගත කරන්න තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.මවකගේ ගෙල වටා බැදෙන වටිනාම ආභරණය දරුවාගේ දෑතයි.

දරුවාට කතා කරන්න…

මව්කිරි දෙන අතරවාරයේදී ඔබ ආදරයෙන් දරුවාට ආමන්ත්‍රණය කරන්න. ඔවුන් ස්පර්ශ කරන්න. ඔබේ ස්පර්ශය දරුවාට ඉතාම වැදගත්.ඒ නිසා ඉතා මෘදු ලෙසින් දරුවාගේ හිස පිරිමදින්න.ඉස්සර අම්මලානම් මේ පිරිමදින අතරවාරයේ බුදුගුණ කවි..පිරිත් සුත්‍ර පවා ගායනා කරමින් දරුවාට ආශිර්වාද ලබා දුන්නා.ඔබ දරුවාට කතා කරන ආදරණීය වචන ඔවුන්ගේ අනාගත ජීවිතයේ පදනම බවට පත් වෙනවා.

නිදිකරවන විට නැළවිලි ගී…

දැන්නම් ඉතින් අම්මලාට නැළවිලි ගීත ගයන්න වෙලාවක් නැහැ කියමුකෝ…ඒ වුනත් නැළවිලි ගීතයක තිබෙන රිද්මය, මිහිරියාවට දරුවා නොදැනීම ආකර්ශනය වෙනවා.ඒත් අද දරුවන්ට නැළවිලි ගීත ගයන අම්මලා තබා අත්තම්මලාත් නම් නැහැ. හැබැයි පද කීපයක් මිහිරි විදිහට ගායනා කරන්න පුලුවන් නම් නැළවිලි ගීතයක් ගායනා කරනවා කියන්නේ අරුමයක් නොවෙයි. මේ නැළවිලි ගීතයේ රිද්මයට දරුවා හොදින් නිදාගනිවි.

මගේ පුතුට බුදුසරණයි 

මගේ පුතුට දම්සරණයි

මගේ පුතුට සඝසරණයි

මගේ පුතුට තුනසරණයි

 

උත්තම ගුණ ඇති වේවා

 ලත් තැන වැඩ සෑදේවා 

උවදුරු බයකුත් නේවා

 රෑ සඳ නුඹ රැකදේවා

 

දරුවාගේ අවශ්‍යතාවයන් දැන ගන්න..

පුංචි පැටියාට තමන්ගේ අවශ්‍යතාවයන් තවම වචනයෙන් කියන්න බැහැ. ඒ නිසා ඔවුන්ගේ එකම සන්නිවේදන මාධ්‍ය වෙන්න හැඬීම පමණයි.සිගිත්තා අඩන්නේ අවශ්‍යතාවයක් වෙනුවනුයි. ඔවුන්ගේ සන්නිවේදයට ඉක්මනින් ප්‍රතිචාර ලබා දුන්නොත් අනාගතයේදී දරුවා ස්වාධීන චරිතයක් ලෙසින් සංවර්ධනය වීමේ හැකියාව ලබා ගන්නවා. අතීතයේදී නම් දරුවන්ට අද වගේ ඩයපර් නොතිබුන නිසා නිතරම දරුවාගේ මළ මුත්‍රා ඉක්මනින්ම ඉවත් කරන්න අවශ්‍ය වුණා. ඒත් අද දවසේ ඩයපර් නිසා අම්මා එතරම් ඉක්මන් නොවුනත් දරුවා අඩන විට ඒ ගැන සොයා බැලීම වැදගත්.

දරුවාට සිනාසෙන්න උනන්දු කරන්න..

දරුවා තොටිල්ලේ සිටියත් ආහාරපාන වගේම මානසික සතුටක් අවශ්‍යයි.ඒ නිසා දරුවාට සිනාසෙන්න උනන්දු කරන්න. පුංචි පැටවුන් සිහිනෙන් සිනාසන විට කොතරම් සුන්දරැයි ඔබ දන්නවා. සිහිනෙන් පමණක් නොව පවුලේ සාමාජිකයන් සමගත් සිනාසෙන්න අවශ්‍ය උත්තේජනය ලබා දෙන්න.පැටියාට තවමත් හය හතර නොතේරෙන බව ඇත්ත. ඒ වුනත් ඔහු තොටිල්ලේ හුදෙකලා නොවිය යුතුය.නිතරම දරුවා සමග සිනාසෙන්න.සිඒ වගේම ඔහු සිනාගැන්වීමට උනන්දු වෙන්න.

ශබ්ද වෙත යොමු කරන්න..

පුංචි පැටියා අනාගතයේදී ශබ්ද වෙනුවෙන් නිරාවරනය වෙනවා. ඒ වගේම වර්ණ වලින් දරුවාගේ මනසට ලැබෙන්නේ සතුටක්.අතීතයේදී දරුවාගේ තොටිල්ලට ඉහලින් වර්ණවත් උපාංගයක් එල්ලා තිබ්බා.. සමහර අම්මලා පාට පාට හැදි කීපයක් එකට ගැට ගසා ගෙන එය දරුවාට ඇසෙන්න නාද කලා. එහි වර්ණයට වගේම මෘදු ශබ්දයට දරුවාගේ අවධානය යොමු වුණා.

ඉතින් ඔබේ පුංචි දරුපැටියා තොටිලි වැට පැනලා උස් මහත් වෙන දවසක් ඒවි. අන්න ඒ දවසට ඔබේ දරුවා පොළවේ පය ගසා සිටින ශක්තියකින් යුක්ත වෙන්න නම් අද දරුවා ගැන ඔබේ වැඩි අවදානයක් ලබා දීම ඉතාම වැදගත්.

 

ගර්භාෂය පහත්වීම කල්තියා හඳුනා භෞතචිකිත්සාවෙන් සුවකරගන්න

වයස්ගත වීමත් සමගම කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයක් ලෙස ගර්භාෂය පහත් වීම හඳුන්වා දිය හැකියි. මේ ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගර්භාෂය පහත් වීම, එයට හේතු මෙන්ම ඒ සඳහා වූ භෞත චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව කාන්තා ඔබව දැනුවත් කිරීමටයි. 

ගර්භාෂය පහත්වීමට හේතුව කුමත්ද?

ශ්‍රෝණි පත්ලේ මාංශ පේශීන් සහ පටක දුර්වල වීම නිසා ගර්භාෂයේ පිහිටීම අස්ථායි වීම හේතු කොටගෙන යෝනි මාර්ගයේ බිත්ති තුලින් ගර්භාෂය පහළට නෙරා ඒම ගර්භාෂය පහත් වීමට හේතුව ලෙස දැක්විය හැතියි. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී Uterine prolapse ලෙස හඳුන්වන අතරම එය සුළු තත්ත්වයක සිට තීව‍්‍ර තත්ත්වය දක්වා වර්ගීකරණය කිරීම සිදු කෙරෙනවා. 

මෙසේ ගර්භාෂය පහත්වීමට හේතු විය හැකි අවස්ථා ලෙස

  • ගර්භණී බව හා දරු උපත්
  • ස්ථූලතාවය
  • දීර්ඝකාලීන බර එසවීමේ යෙදීම
  • වයසට යාමත් සමග ඇති වන මාංශ පේශී දුර්වලතාවයන්
  • මලපහ පිටකිරීමේදී අධික ලෙස තැටමීම
  • ආර්තාභාවය
  • ශ්‍රෝණිය ආශ‍්‍රිත පිළිකා, ස්නායු ආබාධ, සැත්කම් වැනි තත්ත්වයන්
  • ජානමය පටක දුර්වලතාවයන් දැක්විය හැකිය.

ගර්භාෂය පහත් වීම නිසා කාන්තාවකට,

  • උකුල ආශ‍්‍රිත බර බව (Heaviness)
  • යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් වැඩිවීම
  • වේදනාකාරී/අපහසු ලිංගික සංසර්ගය
  • මුත‍්‍රා මාර්ග ආසාධන හෝ මුත‍්‍රා කාන්දුවීම
  • මල බද්ධය වැනි තත්ත්වයන්
  • කොන්ද වේදනාව ඇතිවීම
  • බෝලයක් මත ඉඳගෙන සිටින ආකාරයේ හැඟීමක් ඇති වීම වැනි තත්ත්වයන් දැකිය හැකිය.

ඇතැම් විට ඉහත කී ලක්‍ෂණ මුල් අවස්ථාවේම ඇති විය නොහැකි අතරම තත්ත්වය ක‍්‍රමයෙන් තීව‍්‍ර වීමත් සමග ඉහත ලක්ෂණ පෙන්නුම් කළ හැක.

මෙම තත්ත්වය මූලික අවස්ථාවේ හඳුනාගත හොත් භෞතචිකිත්සක ප‍්‍රතිකාර හමුවේ මෙයට සුදුසු ප‍්‍රතිකාර ක්‍රම ඇති අතරම රෝගී තක්සේරුවකින් (patient assessment) අනතුරුව ප‍්‍රතිකාර ආරම්භ කිරීම සිදුරයි.

ගර්භාෂය පහත් වීම සඳහා වූ භෞත චිකිත්ක ප‍්‍රතිකාර ක‍්‍රම

  • කේගල් ව්‍යායාම (Kegel Exercises) 

ගැබිනි සමයේදීත් ප්‍රසූතියෙන් පසුවත් එතැන් පටන් ජීවිත කාලය පුරාවටම විශේෂයෙන්ම කාන්තාවකට වැදගත් වන ව්‍යායාමයක් විදියට කේගල් ව්‍යායාමය හඳුන්වන්න පුළුවන්. කේගල් ව්‍යායාමය මුත්‍රාශය යෝනි මාර්ග වගේම ගුද මාර්ගය ආශ්‍රිත මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාමයක්. විශේෂයෙන්ම ප්‍රසූතියෙන් පසුව යෝනි මාර්ග ආශ්‍රිත තුවාල ඉක්මනින් සුව වෙන්නත් මේ කේගල් ව්‍යායාමය වැදගත් වෙනවා. නමුත් මෙවැනි රෝග තත්ත්ව බහුලව ඇති වන්නේ කාන්තාවන්ට නිසා කේගල් ව්‍යායාමයට බහුලව යොමු වෙන්නෙ කාන්තාවන් කිව්වොත් වරදක් නැහැ.

කේගල් ව්‍යායාමයේදී සිදුවන්නේ ‍යෝනි මාර්ගය අකුලා උඩට ඔසවා තත්ත්පර 8ක් වැනි කාලයක් රඳවා ගැනීමයි. එහිදී සෑම වාරයකට වරක්ම විවේක කාලයක් ලබාගැනීම අනිවාර්ය වේ. ව්‍යායාමය දිනකට තුන්වරක් වරකට 10වරක් ලෙස සිදුකළ යුතුයි. එසේම මෙම ව්‍යායාමය කාලය අඩු කරමින් (තත්ත්පර 3ක් වැනි කාලයකින්) ක්ෂණිකව කිරීමට හුරු විය යුතුයි. 

  • ශ්‍රෝණි ස්ථායිකරණ ව්‍යායාම (Pelvic stabilization Exercises)
  • උදර මාංශ පේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම (Abdominal stretcher Exercises)
  • විද්‍යුත් ප‍්‍රතිකාර ක‍්‍රම (Bio  feed back)

Biofeedback (ජෛව ප්‍රතිපෝෂණය) යනු යෝනි මාර්ගය ආශ්‍රිත මාංශ පේෂීන්ගේ අවබෝධයක් ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදයකි. මේ සමගම ව්‍යායාමවල යෙදීමෙන් මේ තත්ත්වය වඩාත් සුව කරගත හැක.

  • තවද නිවැරදි ලිංගික ඉරියව් (correct sexual positions)

ලිංගික සංසර්ගයේදී කාන්තාවට වේදනාවක් හෝ පීඩනයක් නොදැනෙන පරිදි භාවිත කළ යුතු ලිංගික ඉරියව් පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු වේ. 

  • නිවැරදි බර එසවීමේ ක‍්‍රම (correct lifting technique & Back discipline)
  • ශරීරයේ බර අඩු කරගැනීමේ ක‍්‍රම, දියර පාලනය (fluid balance) වැනි දේ සඳහා උපදෙස් ලබාදීම.

ගර්භාෂය පහත්වීම ඇති වූ මුල්ම අවධියේ සිටම භෞතචිකිත්සක ප‍්‍රතිකර්ම වෙත යොමු වන්නේ නම් සැත්කමකින් තොරව මෙය සුව කරගත හැකි බව අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කසුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08

 

 

 


 

IVF ප‍්‍රතිකාරයට සූදානම් විය යුත්තේ කෙසේද?

මවක් වීමේ සිහිනයට ළඟා වන්නට කාන්තාවකට ඇති සාර්ථක එක් ක්‍රමයක් ලෙස IVF ප්‍රතිකාරය හැඳින්වීමේ වරදක් නැත. ඒ ප්‍රතිකාරය පිළිබඳව මූලික තවත් කරුණු කිහිපයක් මීට පෙර ලිපියේදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අද වන විට ලොව පුරා බොහෝ රටවල සුලභව භාවිත වන  IVF ප්‍රතිකාරට ඔබව සූදානම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. 

ඔබේත් සහ ඔබේ සහකරුගේත් ඩිම්බ හා ශුක‍්‍රාණු යොදාගනිමින් IVF චක‍්‍රය සිදු කිරීමට පෙර ඔබ හා ඔබේ සහකරු පරීක්‍ෂණ ගණනාවකට බදුන් විය යුතුය. 

  • ඩිම්බකෝෂ සංචිත පරීක්ෂාව (Ovarian reserve testing)

ඔබේ ඩිම්බවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මකභාවය ස්ථිර කරගැනීමට වෛද්‍යවරයා විසින් ඔසප් චක‍්‍රයේ මුල් දින කිහිපයේදී කූප උත්තේජක හෝමෝනය (F.S.H Follicle Stimulating Hormone), ඊස්ට‍්‍රජන් හෝමෝනය සහ Anti mulleriam හෝමෝන යන හෝමෝනවල රුධිරගත සාන්‍ද්‍රණය පරීක්‍ෂා කරයි. මෙම පරීක්‍ෂණ ප‍්‍රතිඵල සහ ස්කෑනින් පරීක්‍ෂණ අනුව ද ඩිම්බ කෝෂවල ඇති ඩිම්බවල සරුභාවය ඇති කිරීමට ලබාදුන් ඖෂධවල ප‍්‍රතිචාරය විනිශ්චය කරගත හැක. 

  • ශුක‍්‍රාණු විශ්ලේෂණය (Semen analysis)

IVF ප‍්‍රතිකාර චක‍්‍රය ආරම්භ කිරීමට පෙර ශුක‍්‍රාණු විශ්ලේෂණයක් සිදු කරයි. 

  • ආසාධිත රෝග ඇති දැයි පරීක්‍ෂාව (Infections disease screening)

ඔබ සහ ඔබේ සහකරු HIV වැනි ආසාධිත රෝග ඇතිදැයි පරීක්‍ෂා කෙරේ. 

  • Practice (mock) embryo transfer

කලලය ගර්භාෂයට ඇතුළු කිරීමට පෙර එහි ගැඹුර හා කලලය තැන්පත් කිරීමට වඩාත් සුදුසු ස්ථානය පරීක්‍ෂා කරයි. 

  • ගර්භාෂය පරීක්‍ෂාව (Uterine exam)

IVF සිදුකිරීමට පෙර වෛද්‍යවරයා විසින් ගර්භාෂයේ ඇතුළත ආස්ථරය පරීක්‍ෂා කරයි. මෙහිදී sonohysterography සිදුකරයි. (තරලය ගැබ්ගෙල හරහා ගර්භාෂයට එන්නත් කර ගර්භාෂ කුහරය තුළ ස්කෑනින් පරීක්‍ෂණයක් සිදු කරයි.)

IVF ප‍්‍රතිකාරයේ පියවර

  1. ඩිම්බ මෝචනය පේ‍්‍රරණය කිරීම. – Ovulation induction

ඔබේම ඩිම්බ මගින් මෙම ප‍්‍රතිකාරය සිදුකරයි නම් කෘත‍්‍රිම හෝමෝන මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කර ඩිම්බ ගණනාවක් (සෑම මසකම නිපදවන තනි ඩිම්බයට වඩා) නිෂ්පාදනය කරයි. ඩිම්බ කිහිපයක් අවශ්‍ය වන්නේ සමහර ඩිම්බ සංසේචනය නොවීම හෝ සංසේචනයෙන් පසු වර්ධනය නොවීම නිසාය. 

ඩිම්බ මෝචනය පේ‍්‍රරණය කිරීම සඳහා යොදා ගන්නා විවිධ වර්ගයේ ඖෂධ 

  • ඩිම්බ කෝෂ උත්තේජනයට ලබාදෙන ඖෂධ 

F.S.H හා L.H හෝමෝන වෙන වෙනම හෝ සංයෝජනය කර ලබාදෙන්නේ එන්නත් ආකාරයට වේ. මෙහිදී එකවරද ඩිම්බ එකකට වඩා වර්ධනය වේ.

  • කූපය මේරීමට ලබාදෙන ඖෂධ 

දින 8 – 14 අතර කාලයේදී කූපය ඩිම්බ මුදාහැරීමට සූදානම් වන විට HCG හෝමෝනය (Human Chorionic Gonadotropin) හෝ වෙනත් ඖෂධ ලබාදීමෙන් ඩිම්බ මේරීම සිදු වේ. 

  • ඩිම්බ මෝචනය කලින් සිදුවීම වැළැක්වීමට ලබාදෙන ඖෂධ

වර්ධනය වෙමින් පවතින ඩිම්බ ඉතා ඉක්මණින් නිදහස් කිරීම මෙම ඖෂධ මගින් වළකී.

  • ගර්භාෂ ආස්තරය සූදානම් කිරීම සඳහා ලබාදෙන ඖෂධ

ඩිම්බය නැවත ලබාගැනීම හෝ කළලය ගර්භාෂය තුළ තැන්පත් කරන දින ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය ලබාදෙයි. ඒ ගර්භාෂ ස්ථරය කලලය අධි රෝපණය කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහාය.

සමහර අවස්ථාවලදී ප‍්‍රමාණවත් කූපයන් ප‍්‍රමාණයක් වර්ධනය නොවීම, නොමේරූ ඩිම්බ මෝචනය, බොහෝ කූපයන් වර්ධනය වීමේදී ඩිම්බ කෝෂ අධි උත්තේජනයක් ඇති වීමේ අවධානමක් ඇති වීම මෙන්ම වෙනත් වෛද්‍යමය හේතූ (අධික රුධිර පීඩනය, හෘද රෝග) මත ඩිම්බය ගැනීමට පෙර IVF ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීම අවලංගු කිරීමට සිදුවිය හැකිය.

  1. ඩිම්බ කෝෂ ප‍්‍රදානය

මෙහිදී දායකයා මෙන්ම ඒවා කුස තුළ තැන්පත් කරගන්නා කාන්තාවගේද ආර්තව චක‍්‍ර සමාන අදියරක පැවතීම වැදගත්ය. එම නිසා දෙදෙනාගේම ආර්තව චක‍්‍ර සම අදියරවල පවත්වා ගැනීමට කෘතීම හෝමෝන ලබාදේ. දරු ගැබ තැන්පත් කරන කාන්තාවගේ ගර්භාෂ ආස්තරය ඊට සුදුසු අදියරක පවතින විට දායකයා ඩිම්බ මෝචනය කළ යුතුය. මෙහිදී දායකයාටද සරුභාවය ඇති කරන ඖෂධ ලබාදීමේ අරමුණ වන්නේ සංසේචනය පිණිස එකවර ඩිම්බ කිහිපයක් පිළියෙල කිරීමයි. ඩිම්බ සංසේචනයට සුදුසු පරිණත අවස්ථාවේදී ඇය නිර්වින්දනයට ලක්කර එන්නත් කටුවක් මගින් ඩිම්බයක් ඉවත් කරගනී. මෙය සිදු කරන්නේ අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑනින් මගින් ඩිම්බය පිටතින් හඳුනා ගැනීමෙනි. 

3) සහකරුගේ ශුක‍්‍රාණු ගනී නම් එය කාමරයක්, සායනයක් තුළදී ලබාගත හැක. වෘෂණ කෝෂ හරහා ඉදිකටුවක් ඇතුළු කරමින් නිර්වින්දනය යටතේ ශුක‍්‍රාණු ලබාගැනීමද කළ හැක. ඉන්පසු රසායනාගාරයක ශුක‍්‍ර තරලයෙන් ශුක‍්‍රාණු වෙන් කරයි.

4) සංසේචනය සිදු කිරීම ආකාරය 02 කි. 

  • නිරෝගී ශුක‍්‍රාණුවක් මේරූ ඩිම්බයක් සමග මිශ‍්‍ර කර රාත‍්‍රියක් පුරාවට එය වර්ධනය ඉඩ හරී. 
  • නිරෝගී ශුක‍්‍රාණුවක් මේරූ ඩිම්බයක් තුළට සෘජුවම එන්නත් කරයි

මෙම ක‍්‍රමය ICSI (Intracytoplasmic sperm injection) ලෙස හඳුන්වයි. මෙම ක‍්‍රමය භාවිත වන්නේ ශුක‍්‍රාණුවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ගැටලු ඇතිවිට හෝ පෙර  සිදු කළ IVF ප‍්‍රතිකාර අසාර්ථක වූ විටය. 

5) ඩිම්බය ප‍්‍රදානය කරන දිනයේම ශුක‍්‍රාණු නියැදියද ලබාගන්නා අතර රසායනාගාරයේදී පෙට්‍රි දීසියක ඒ ශුක‍්‍රාණු හා ඩිම්බ ඉහත ආකාර 2 කින් එක් ක‍්‍රමයකට මිශ‍්‍ර කෙරේ. ඉන් දින දෙකකට පසු මේ ආකාරයට සංසේචනය වූ බීජ කලලය (embryo) ලෙස හැඳින්වෙන ජීවයක්, කලල රූපයක මූලික අවස්ථාවේ සෛල බෝල කිහිපයක් බවට පත් වේ. 

ඩිම්බය තැන්පත් කිරීම මෙන්ම කලලය තැන්පත් කිරීමේදී ද සිදුවන ක‍්‍රියාවලිය සමානය. සිහින් කැතීටරයක් මගින් ගැබ්ගෙල හරහා සෛල රූප එකක් හෝ දෙකක ගර්භාෂය තුළ සීරුවට තැන්පත් කරයි. මෙය සිදුකරන්නේ සංසේචනයෙන් දින දෙක තුනකට පසුව එළඹෙන blastocyst අවස්ථාවේදී එනම් දින පහක් හයක් ගත වූ පසුවය. සති දෙකක පමණ කාලයකට පසු ගර්භණී පරීක්‍ෂාවන් සිදු කිරීමෙන් ගර්භණීභාවය සනාථ කරගත හැක.

IVF ප‍්‍රතිකාරයෙන් සිදු කරන පිළිසිඳ ගැනීමක වාසි

  • නිසි වයසේ පසුවන කාන්තාවකගේ නිරෝගී ඩිම්බ සොයාගැනීමේ හැකියාව ඇත
  • නිරෝගී ප‍්‍රදානයකින් සංසේචනය සිදු වුවහොත් සාර්ථකත්වයට පත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවීමෙ

IVF ප‍්‍රතිකාරයෙන් සිදු කරන පිළිසිඳ ගැනීමක අවාසි

  • ප‍්‍රවේණික ලෙස මවගේ සහ පියාගේ ජානමය උරුමය දරුවාට නොලැබීම. 
  • ප‍්‍රවේණික වශයෙන් ආගන්තුක වීම නිසා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තරමක් නුහුරු ආකාරයට ක‍්‍රියාත්මක වීමෙන් ගර්භණී අවධියේදී රුධිර පීඩන අසාමාන්‍යතා වැනි සංකූලතාවලට ඉඩකඩ පැවතීම

ඔබ IVF ප‍්‍රතිකාරය සඳහා කුමන සාඵ්‍යලයතා මධ්‍යස්ථානයක් වෙත යොමු වුවත් ප්‍රතිකාරය සිදුවන ක්‍රමවේදයේ වෙනසක් නොවන අතරම ඔබේ සහකරුගේ හා ඔබේ ශාරීරික ගුණාවලට සමීප කෙනෙකුගේ ඩිම්බ/ශුක‍්‍රාණු ඇති දායකයෙකු (උදාහරණ ලෙස උස, බර, කොණ්ඩයේ පැහැය, ඇස්වල වර්ණය) හඳුනාගැනීමත් ඔවුන් HIV, Hepatitis B, C සහ Cytomegalovirus (CMV) ආදී ආසාධිත නොවන බවට සැක හැර දැන ගැනීමත් යන කරුණු පිළිබඳව පොදුවේ සැලකිලිමත් විය යුතුය. 

IVF ප‍්‍රතිකාරයෙන් පසු

කළල හෝ ඩිම්බය තැන්පත් කිරීමෙන් පසු සාමාන්‍ය ලෙස එදිනෙදා කටයුතුවල නියැලිය හැක. මෙවිටද තවදුරටත් ඔබේ ඩිම්බ කෝෂ විශාල වී පවතී. එම නිසා අපහසුතා ඇති වේ. 

IVF ප‍්‍රතිකාරයෙන් පසු අතුරු ආබාධ ලෙස,

  • පැහැදිලි හෝ රුධිරය මිශ‍්‍ර සුළු තරල ප‍්‍රමාණයක් පිටවීම
  • රුධිරයේ ඊස්ට‍්‍රජන් මට්ටම වැඩි නිසා පියයුරුවල වේදනාව
  • සුළු වශයෙන් ඇති වන උදර වේදනාව
  • මල බද්ධය

තමන්ගේ ජනක සෛලවලින් දරු සම්පත් ලබාගත නොහැකි විට දායක ඩිම්බ, දායක කලල යොදාගෙන තමන්ගේම දරුවෙකු සුරතල් කිරීමේ වාසනාව වෛද්‍ය විදාවේ දියුණුවත් සමගම අද වන විට ලැබී ඇත. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

අලුත උපන් පුංචි පැටියෙක්ට වතුර බිඳක්වත් නොදෙන්නේ ඇයි කියලා දන්නවද?

”ඉස්සර කාලේ අ‍පි නං කොත්තමල්ලි වතුර ටිකක්, උණු කරලා නිවාගත්ත වතුර ටිකක් දරුවට පොවනවා. අන්න ඒකට අද කාලේ… දරුවෙක්ට වතුර බිංදුවක් දෙන්නේ නෑ. අපිට මේ දැනෙන පිපාසේ හැටියට මේ නොදරුවන්ට කොයිතරම් නං පිපාසයක් දැනෙනවා ඇතිද? මොකෝ කියන්න තේරෙන එකක්යැ”

තමන්ගේ දුවට එහෙමත් නැත්නම් ලේලියට දරුවෙක් ලැබුණම අම්මලාගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි මේ. ඇත්තටම මේ කියන විදියට ළදරුවෙක්ට පිපාසේ ඇති වෙන්න පුළුවන්ද? වතුර අත්‍යවශ්‍යද? ළදරුවෙක්ට අම්මාගේ කිරි විතරක් ප්‍රමාණවත් නැද්ද?

මවකගෙන් දරුවාට ලැබෙන ආදරණීයම දායාදය මව්කිරිය. මෙම මව්කිරි වැඩෙන දරුවා සමගම අවශ්‍යතා අනුව පරිවර්තනය සිදු වීම ස්වභාවිකවම සිදුවන්නකි. දරුවාගේ අවශ්‍යතාවය අනුව වේලෙන් වේලට, දිනෙන් දිනට හා මාසයෙන් මාසයට සංයුතියේ වෙනස්කම් සිදුවීම ස්වභාවිකව සිදුවන්නකි. දරුවාගේ ප‍්‍රශස්ත වර්ධනය, සංවර්ධනය හා ප‍්‍රතිශක්තිය සඳහා නිර්මිතව ඇති මව්කිරේ අත්‍යවශ්‍ය පෝෂක කොටස් සමගම ජලයද වැඩි ප‍්‍රමාණයකින් ඇතුළත්ය. මෙම ජලයේ ප‍්‍රමාණය කෙතරම්ද යත් මව්කිරෙහි 88% ක ප‍්‍රමාණයක්ම ඇත්තේ ජලයයි. මේ නිසා අමතර ජලය දරුවාට ලබාදීම නොකළම යුත්තකි.

උපතේදී ළදරුවෙකුගේ ආමාශයේ ප‍්‍රමාණය 20ml ක් තරම් වූ ප‍්‍රමාණයක්. මේ 20ml පිරවීම සඳහා මව්කිරි වලට අමතරව ජලය යොදාගත හොත් දරුවාට ලැබෙන පෝෂණය අහිමි වන්නේ මව්කිරි වලත් වැඩිපුරම ඇත්තේ ජලය නිසා කුස පිරෙන්නේ ජලයෙන් නිසයි. මව්කිරි පමණක් ලබා දීමට වෛද්‍යවරු නිර්දේශ කරන උපතේ සිට මාස හය සම්පූර්ණ වන තෙක් කාල සීමාව තුළදී ළදරුවෙකුට අමතරව ජලය පිටතින් ලබාදීම නිසා ළදරුවාගේ වර්ධනයේ දුර්වලතා මුල සිටම ඇති විය හැකිය. 

සාමාන්‍යයෙන් ළදරුවාට මුල සිටම එක දිගට එක පියයුරකින් විනාඩි 20 ක කාලයක් කිරි ලබාදීම අවශ්‍ය වන්නේ කිරි එරීමේ ක‍්‍රියාව තුළ ඇති පෙර කිරි හා පසු කිරිවල ඇති සංයුතියේ වෙනස්කම නිසයි. මුල් දින කිහිපයේ එරෙන කොලස්ට‍්‍රම් ප‍්‍රතිදේහවලින් පොහොසත් වන අතරම ඉන් පසුව එරෙන මේරු කිරිවල කිරි උරන මුල් වේලාවේම එරෙන කිරිවල (පෙර කිරි) වැඩිපුරම ඇත්තේ ජලයයි. මේ නිසා එක දිගට එක පියයුරකින් නොදී දෙපැත්ත මාරු කරමින් එකම කිරි වේල ලබාදීමේදී නිරතුරු වැඩිපුර ලැබෙන්නේ ජලය නිසා දරුවා නිතර නිතර මුත‍්‍රා කළද බර වැඩිවීම සිදු නොවේ. මේ නිසා එකම අවස්ථාවේ පෙර කිරි හා පසු කිරි එකවර ලැබෙන සේ එක දිගට එකම පියයුරකින් එක කිරි වේලක් ලබාදීම වැදගත්. 

තවද ළදරුවෙකුට ජලය පිටතින් ලබාදීමේදී එසේ ලබා දෙන ජලය හා පරිහරණය කරන භාජන හරහා විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පවතී. මේ නිසා පාචන වැනි තත්ත්ව ඇතිවීම නිසා ලැබුණු පෝෂණයද අහිමි වී යාමට ඇති ඉඩකඩ වැඩිය.

තවත් ආකාරයකින් ගත් කළ දරුවාගේ කුස වතුරෙන් පිරී ඇතිවිට ඊළඟ කිරි වේල උරා බොන්නේ අඩුවෙනි. මේ නිසා වර්ධනයේ දුර්වලතා ඇති කරයි. එසේම දරුවා උරා බොන කිරි ප‍්‍රමාණය අඩුවන විට ඊට අනුපාතිකව මවට එරෙන කිරි ප‍්‍රමාණය අඩු වීමටද හේතු වේ. 

දැඩි උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවක අපේ ශරීරයෙන් දහදිය ලෙස පිටවන ජල ප‍්‍රමාණය වැඩි බව අපි දන්නා කරුණක්. ඒ නිසාම අපිට ඇති වන ජල අවශ්‍යතාවද ඉහළ යන බව අපි දන්නවා. එහෙත් උණුසුම් කාලගුණයකදී පවා දරුවාට අවශ්‍ය ප‍්‍රමාණය අනුව මව්කිරි නිර්මිතව ඇති නිසා ජලය ලබාදීම අවශ්‍ය නැහැ. මව්කිරිවල ඇති ගුණය පෝෂණය වගේම ජල අවශ්‍යතාවයත් සම්පූර්ණ කිරීමට සමත් වේ.

දරුවා ප‍්‍රමාණයෙන් වැඩෙන විට ඊට අනුපාතිකව පෝෂණ අවශ්‍යතා ඉහළ යන නිසා අප විසින් දරුවාට මාස 6 අමතර ආහාර ලබාදිය යුතුයි. එවිටද දරුවන් සඳහා නිර්දේශ කරන්නේ අර්ධ ඝන ආහාරයි. ආහාර දියරමය වන විට එහි වැඩිපුර අඩංගු වන්නේ ජලයයි. මේ නිසා ආහාරයේ අනෙකුත් පෝෂණ කොටස් අඩුවීම නිසා වර්ධනයට බලපෑම් එල්ල විය හැකි වනවා සේම කොත්තමල්ලි වතුර, කැඳ වතුර හෝ සුප් වැනි පාන වර්ග ලබාදීමත් නිසි පෝෂණයක් ලබාදීමට බාධාවක් විය හැකිය. එය දරුවන්ගේ වර්ධනය බාලවීමටත්, වර්ධන ක‍්‍රියාවලිය අඩපණ වීමටත් හේතුවක් විය හැක. පළතුරු පවා ලබාදෙන විට ඉදුණු පළතුරු ජලය කලවම් නොකර ලබාදීම කළ යුතුයි. 

ආහාරයේ ශක්තිය හා පෝෂක කොටස් වැඩි කර ගැනීම සඳහා උපක‍්‍රම ලෙස ජලය අඩුවෙන් එකතු කිරීමත් වතුර වෙනුවට තෙල්, පොල් කිරි, බටර් එකතු කිරීම තුලින් අඩු ආහාර ප‍්‍රමාණයකින් වැඩි ශක්තියක් හා ගුණාත්මක බවක් ලබාදිය හැක. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව මහත්මිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

 

 

 


 

පවුලේ අයට හිතකර පරිදි ලුණු පරිභෝජනය හුරු කරන්න අම්මාට පුලුවනි.

ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටකය වන්නේ  සෝඩියම් ක්ලෝරයිඩ් (sodium chloride ) ( 78% )වුනත් ඊට අමතරව මැග්නීසියම්  ලවන හා කැල්සියම් ලවනත්  ලුණුවල ඇතුලත් වෙනවා. ලුණුවල 40% ක් පමණ සෝඩියම් අඩංගු වෙනවා.මුහුදු වතුරෙහි ජලය වාෂ්ප කර සාන්ද්‍රනය කර ගැනීමෙන් ලුණු නිෂ්පාදනය කර ගන්නවා .ඒ අවස්ථාවේදී මුහුදු ජලයෙහි තිබෙන මැග්නීසියම් සහ කැල්සියම්වැනි ලවන වර්ග ලුණුවලට එක් වෙනවා.

ලුණු ශරීරයට අවශ්‍යයි.

ලුණු එසේ නැතහොත් සෝඩියම් කුඩා ප්‍රමාණයක් ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. 

  • ශරීරයට අවශ්‍ය ලවණ සමතුලිතතාවය හා අම්ල -භස්ම සමතුලිතතාවය පවත්වා ගැනීම
  • ස්නායු සන්නිවේදනය 
  • ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට 

ලොව පැරණි ශිෂ්ටාචාරවල පවා ලුණු භාවිතයට ගත් බව සඳහන්. ආහාර කල් තබා ගැනීමට ලුණු යෙදීම අතීතයේ පටන්ම සිද්ධ වෙනවා. අදටත් ලුණු යොදා ගෙන ආහාර කල් තබා ගැනීම දැක ගත හැකියි. අච්චාරු, ජාඩි මේ විදිහට ලුනු යොදා ගෙන කල් තබා ගන්නා ආහාරවලට උදාහරණ විදිහට සඳහන් කළහැකියි. බොහෝ සංස්කෘතින්වල ලුණු සුවිශේෂී ද්‍රව්‍යක් විදිහට සලකා ඇති බව පැහැදිලියි. ශ්‍රි ලාංකේය සංස්කෘතියේදිත් ලුණු විශේෂ ද්‍රව්‍යක් විදිහට සලකනවා. කෙසේ වෙතත් සත්ව පරිණාමය දෙස බලන විටත් මිනිසා මෙන්ම බොහෝ ක්ෂිරපායී සතුන්ද නිර්මානය වී ඇත්තේ ලුණු ඉතා ස්වල්පයක් පරිභෝජනය කිරීමටය.

අපට අනුමත ලුණු මාත්‍රාවක් තිබෙනවාද…?

දෛනිකව වැඩිහිටියෙක් ලබා ගත යුතු අවම ලුනු ප්‍රමාණය ගැන ලෝකයේ විවිධ රටවල් මගින් විවිධ අගයන් දක්වා තිබෙනවා. ලුණු සුළු ප්‍රමාණයක් ලබා ගත යුතු වුනත් අනවශ්‍ය ලෙස පරිභෝජනය කිරීම ලෙඩ රෝගවලට අත වැනීමක්. දෛනිකව ලබා ගත යුතු සෝඩියම් ප්‍රමාණය ඉතා පහසුවෙන් එළවළු,  පලතුරු සහ ධාන්‍ය මගින් ලබා ගත හැකියි.  

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2013 වර්ෂයේ නිර්දේශිත මාත්‍රාව අනුව පුද්ගලයෙක් විසින් දිනකට ගත යුතු උපරිම සෝඩියම් ප්‍රමාණය ප්‍රමාණය ග්‍රෑම් දෙකක් . මෙම ප්‍රමාණය අන්තර්ගත වන්නේ ලුණු ග්‍රෑම් පහක නිසා දෛනිකව ලබා ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහකට සීමා වෙනවා.

ශ්‍රි ලංකාවේ වැඩිහිටියෙක් දිනකට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය ග්‍රෑම් 8- 10 අතර වී තිබෙනවා. මෙය අනුමත ප්‍රමාණයට වඩා ඉහල යෑමක්.අතීතයේදී අපේ මුතුන් මිත්තන් ලුණු මේ තරම් භාවිතා කළේ නැහැ. ඔවුන් ආහාර මගින් ලබා ගත්තේ ග්‍රෑම් දශම දෙකක් වැනි සුලු ප්‍රමානයක් අපේ සිරුර මේ තරම් අධික ප්‍රමාණයක් වෙනුවෙන් නිර්මානය වෙලා නැහැ.ජීව විද්‍යාත්මකව සිරුර නිර්මානය වෙලා තිබෙන්නේ සුළු මාත්‍රාවක ලුණු ප්‍රමානයක් වෙනුවෙන්.වැඩි ලුණු ප්‍රමාණයක් කළමනාකරනයටසිරුර නිර්මානය වෙලා නැහැ.

අපේ ආහාරයට විවිධ විදිහට ලුණු එකතු වෙනවා. එළවලු සහ පලතුරුවල සෝඩියම් අඩුයි. පොටෑසියම් වැඩියි. ඒත් මේවා සකස් කළආහාර විදිහට වෙනස් වුනාම සෝඩියම් මට්ටම ඉහල ගොස්  පොටෑසියම් පහල බහිනවා. කිරි වලින් චීස් හදන විට සෝඩියම් එකතුවෙනවා. හාල් වලින් බිස්කට් හැදුවාම බිස්කට්වල ඇති සෝඩියම් ප්‍රමාණය හාල් වලට සාපේක්ෂව ඉහල යනවා. සෝඩියම් වැඩියි. අඹ වලින් ජෑම් හැදුවාම අඹ වලට සාපේක්ෂව ජෑම් වල සෝඩියම් වැඩියි.

අපේ ආහාරයට ලුණු එකතු වෙන ක්‍රම

  • බත පිසින විට අපි යම් ප්‍රමානයක් ලුනු එකතු කරනවා. 
  • ව්‍යංජන සහ සකස් කරන ලද ආහාරවලිනුත් ලුණු එකතු වෙනවා.
  • සුප්, මීට් බෝල් ,පපඩම්, බයිට් සහ අර්තාපල් තීරු වැනි විවිධ සකස් කළ ආහාර මගින් 
  • කෑම මේසයේදී සුප්, සලාද, කෝසස් වෙනුවෙන් තමන්ට අභිමත පරිදි ලුණු එක් කර ගැනීමත් සිද්ධ වෙනවා.

ගෙදරදී ලුණු භාවිතය අඩු කර ගන්නේ කෙසේද….?

දිවට නොදැනෙන සේ 50% ක් දක්වා ලුණු භාවිතය පහත දැමීමට හැකියි. පර්යේෂණ මගින් හඳුනා ගත් අන්දමට අඩු ලුණු රසයට දිව හුරු වීම සිද්ධ වෙනවා.ක්‍රමානුකූලව වරකට සුලු  ලුණු ප්‍රමාණයක් බැගින් දිගු කාලයක් මුලුල්ලේ අඩු කළ විට 50% ක් දක්වා අඩු කර ගත හැකියි.

  • බත්වලට හා ව්‍යංජන වලට යොදන ලුණු ප්‍රමාණය ක්‍රමානුකූලව පහත දැමීම මගින් බත් වෙනුවෙන් ලුණු යෙදීම සම්පූර්නයෙන්ම නතර කරන්නේ නම් ඉතා යෝග්‍යයි.
  • ලුණු අධික ආහාර වලින් වැලකීම උදාහරණ විදිහට ලුණු යෙදූ රටකජු, අලි තීරු (fries) බයිට් වර්ග, ටින්මාලු, අල පෙති  (potato chips)  කරවල යනාදියයි.
  • කෑමමේසයේදී මේස ලුණු යොදන පුරුද්ද අත්හැරීම.
  • ලුණු අඩුවෙන් යෙදූ ආහාරවලට හුරුවීම

බේකරි නිෂ්පාදන වලින්  ලුණු එකතු වීම

බේකරි ආහාර වලදි එකතු කරන පිපුම් ද්‍රව්‍ය (leaving agents) නිසාත් සෝඩියම් වැඩි වෙනවා. පාන්, බනිස් වැනි ආහාර වෙනුවෙන් එකතු කරන සෝඩියම් බයි කාබනේට් වැනි පිපුම් ද්‍රව්‍ය වගේම MSG මොනසෝඩියම් ග්ලුටමේට්,වැනි රසකාරක නිසා සිරුරට නොදැනමසෝඩියම් එකතු වෙනවා.

ආහාර කර්මාන්තයේදී ලුණු අවශ්‍ය ඇයි….?

  • දිවට රසය වෙනුවෙන්
  • තිබෙන රසය වැඩි වීමට
  • ආහාර කල් තබා ගැනීමට
  • ආහාරයේ භෞතික තත්වය පවත්වා ගැනීමට
  • කරවල සහ ටින් මාලු වල ලුණු බහුලව අඩංගුයි. එහෙත් කරවල     වෙනුවෙන් ලුණු එකතු කිරීම පාලනය කිරීම එතරම් අපහසු නැහැ. හොඳින් වියලා ගත් විට ලුණු අවශ්‍ය නැහැ. ඒ වුනත් බොහෝ විට සිද්ධ වෙන්නේ බාගෙට වියලා ගැනීමක් නිසා පුස් තත්වයෙන් වලක්වා ගැනීමට ලුණු එකතු කිරීම.

ලුණු ආහාරයට ගැනීමෙන් ඇති වෙන අගුණ ගැන මනා වැටහීමක් ඇති වුනොත් ඒ පිලිබඳව සීමාවන් පනවා ගෙන සෞඛ්‍ය තත්වය යහපත් සේ තබා ගැනීම එතරම් අපහසු දෙයක් නොවන බව කිව යුතුයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

පුංචි පැටියාගේ සමට සුදුසුම දේ තෝරාගන්නේ කොහොමද?

ආදරෙන් මේ ලෝකෙට කැන්දන් ආ තමන්ගේ පුංචි පැටියාගේ පුංචිම පුංචි දෙයක් වුණත් අම්මා තාත්තාට දැනෙන්නේ ගොඩක් ලොකු විදියට. දරුවෙක් සම්බන්ධයෙන් අම්මා තාත්තා උපරිමයෙන් කැපවෙනවා. ඒ දෙමාපියන්ට මේ ලෝකේ තියෙන ලොකුම වගකීම. ඔවුන් ඒ වගකීම පවරගන්නේ බොහොම ආදරෙන්. 

පුංචි පැටියාගේ පුංචිම දේ වෙනුවෙන් වුණත් වෙහෙසෙන ඔවුන් දරුවා වෙනුවෙන් දෙයක් තෝරා ගනිද්දී සිය දහස් වාරයකටත් වඩා කල්පනාකාරී වෙනවා. ඒ කල්පනාකාරී බවෙන් ඇත්තටම ආරක්ෂා වෙන්නේ හෙට දවසේ ලෝකය බාරගන්න ඉන්න අපේ පුංචි පැටවුන්. හාහාපුරා කියලා අම්මා තාත්තා වුණු යුවලකට තමන්ගේ දරු පැටියා වෙනුවෙන් තෝරා ගත යුතු දේවල් ගැන යම් යම් ගැටලු තියෙනවා. අන්න ඒ නිසාම ළදරු නිෂ්පාදන තෝරගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ කරුණු ගැනද කියලත් එයට හේතුව මොකද්ද කියලත් අපි කතා කරමු. 

අලුත උපන් පුංචි දරුවෙක්ගේ සම මල් පෙත්තක් තරම් සුසිනිඳුයි. ඒ වගේම සංවේදීයි. මෙන්න මේ නිසාම පුංචි පැටියාගේ සම රැක ගැනීම දෙමාපියන්ට පැවරෙන ලොකු වගකීමක්. 

අම්මාගේ කුසේ වැඩුණු පුංචි පැටියා මේ ලෝකයට බිහි වෙද්දී එයාගේ සම රත් පැහැයට හුරු දම්පැහැයක් වගේම අතුල් පතුල් නිල් පැහැයකට හුරුයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම මේ පැටියාගේ සමේ ආරක්ෂාව වෙනුවෙන් සුදු පැහැති ඉටි වැනි යමක් සම මත තිබෙනවා. බාහිර ලෝකයට එක්වරම හුරුවෙන්න තියෙන නොහැකියාව නිසා පුංචි පැටියාගේ සම ආරක්ෂා කරන්න සොබාදහමෙන්ම ලබා දුන්න ආරක්ෂක පියවරක් තමයි ඒ. 

අපි කොයිතරම් පරිස්සම් කළත් පුංචි පැටියෙකුගේ සමට යම් යම් ගැටලුකාරි තත්ත්වයන් ඇති විය හැකි හේතු කිහිපයක්ම තිබෙනවා. ශරීර අභ්‍යන්තරයෙන් වගේම බාහිරිනුත් සමට ගැටලු ඇති විය හැකියි. ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වීම නිසා සම මත  විවිධ ආසාදන, කැසීම්, අවපැහැ වීම, වියළි ස්වභාවය, සම ඉරිතැලීම් වැනි තත්ත්වයන් ඇතැම් විට දැකිය හැකියි. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට නම් කුඩා දරුවන්ගේ සමේ රෝග ඇති වීමට ගැබිනි සමයේ හා කිරි දෙන සමයේ මව ලබාගන්නා ආහාර පාන වගේම ඇයගේ ඇවතුම් පැවතුම් පවා බලපානවා. ඒ අනුව මව උෂ්ණාධික ආහාර  ගැනීම නිසා බිහිවන දරුවාට සමේ රෝග තත්ත්ව ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ බව පැවසෙනවා. 

එසේම තවත් හේතුවක් ලෙස මවගේ මෙන්ම දරුවාගේ පිරිසිදුකම අවම වීමත් සමේ යම් යම් රෝග තත්ත්වවලට හේතු විය හැකියි. උදාහරණ විදියට මව, දරුවා, දරුවාගේ ඇඳුම් පැළඳුම් හා දරුවා තබන ස්ථානයේ අපිරිසිදු බව ද සම ආශ්‍රිත රෝග ඇතිවීම කෙරෙහි බලපාන තවත් ප්‍රබල සාධකයකි. 

තවත් ආකාරයකින් ගත් කළ ඇතැම් ජානමය හේතූ ද  විවිධ පාරසරික බලපෑම් මෙන්ම දේශගුණික සාධක ද ළදරුවන්ගේ සම ආශ්‍රිතව යම් යම් ගැටලු ඇති කිරීමට හේතු විය හැකි අතරම මේ සියල්ලම හැරුණු කොට විවිධ රසායනික ද්‍රව්‍ය හා විවිධ ළදරු නිෂ්පාදන වර්ග නිසාද ළදරුවන්ගේ සම මත නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය.පුංචි දරුවන්ට සබන් වර්ග, ක්‍රීම් වර්ග වගේම කොලෝන් වර්ග තෝරාගනිද්දී මව්පියන් බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු වෙන්නේ ඒ නිසයි. මන්ද අපි බාහිරින් යොදා ගන්නා ආලේපනත් කුඩා දරුවන්ගේ සම ආශ්‍රිත යම් යම් සංකූලතා ඇති වීමට බලපෑ හැකියි. ඒ වගේම උෂ්ණාධික රටක් වන අපේ රටේ පවතින දේශගුණික ස්වභාවය අනුව නිසි තත්ත්වයේ නිෂ්පාදන තෝරා නොගැනීම ළදරු සම මත ගැටලු ඇති කිරීමට හේතු විය හැකියි. 

අතීතයේ දී බිළිඳුන් පිරිසිදු කිරීමට මව්වරුන් බහුලව යොදාගත්තේ කොහොඹ, කහ, රත්මල්, වදමල්, වෙනිවැල්ගැට වැනි ස්වභාවික ශාඛසාර මුසු කොට සෑඳූ ආලේපන හෝ ඒවා තම්බාගත් ජලයයි. මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් ළදරු සම මත විෂ බීජ විනාෂ වී සමේ රෝගවලින් ආරක්ෂා වෙනවා. 

පුංචි පැටියා වෙනුවෙන් සබන් තෝරාගැනීමේදී බිළිඳු සමට සුදුසු Ph අගයකින් යුතු මෘදු ඒ වගේම සමේ තෙතමනය සුරැකෙන සබන් වර්ගයක් තෝරා ගැනීමට මව්පියන් සැලකිලිමත් විය යුතුයි. 

ළදරු ආලේපන වර්ග තෝරාගැනීමේදීත් Ph අගය සම්බන්ධවත් සැර සුවඳ රහිත ආලේපන තෝරාගැනීමටත් සැලකිලිමත් විය යුතු අතරම විශේෂයෙන් බිළිඳු සමේ තෙතමනය ආරක්‍ෂා වන ද්‍රව්‍ය එහි අඩංගු ද යන්න සොයා බැලිය යුතුයි. මන්ද සම මතුපිට තෙල් තට්ටුව හා සම මත වෙසෙන හිතකර බැක්ටීරියා වර්ග ආරක්‍ෂා වීම සමේ නිරෝගී පැවැත්මට බොහෝ සෙයින් වැදගත් නිසයි. නැතිනම් ඒවා ඉවත් වීම නිසා ළදරු සම විවිධ ආසාදනයන්ට ඉක්මනින් ගොදුරු විය හැකිය. 

ඔබේ පුංචි පැටියා වෙනුවෙන් කොලෝන් වර්ග තෝරාගැනීමේදීත් ළදරුවන්ට සුදුසු මෘදු සුවඳින් යුතු කොලෝන් වර්ගයක් තෝරාගැනීමට දෙමාපියන් දැනුවත් විය යුතුය. සැමවිටම නිෂ්පාදයේ ඇති ලේබලය කියවා අන්තර්ගත ද්‍රව්‍ය සහ උපදෙස් කියවීම වැදගත් වේ. ඇතැම් මව්වරුන් දවසපුරා තම ළදරුවා සුවඳවත්ව නැවුම්ව තබා ගැනීමට කොලෝන් ගල්වනවා. නමුත් ළදරුවාගේ සංවේදී ස්ථානවල කොලොන් ගැල්විමේදී මව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ දරු පැටියා සුවඳවත් කිරීමට ඔබ වෙහෙසෙනවා නම් වඩාත් සුදුසු වන්නේ දරුවාගේ ඇඳුම් මත පමණක් කොලෝන් ගැල්වීමයි. රූපවාහිනී වෙළඳ දැන්වීම්වල පවා පෙන්වන්නේ මවගේ දෑතට කොලෝන් බිංදු කිහිපයක් දමා දෑත් මත පිරිමැද දරුවාගේ ඇඳුමේ තවරන ආකාරයයි. 

දරු පැටියා වෙනුවෙන් යම් නිෂ්පාදනයක් තෝරාගැනීමේදී සැම විටම වෙළඳනාමයේ විශ්වසනීය බව මෙන්ම නිෂ්පාදනයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. ලේබලය හොඳින් කියවා ළදරුවාලේ මෘදු සමට ගැලෙපෙන නිෂ්පාදන පමණක් තෝරාගැනීමට දෙමාපියන් ලෙස ඔබ සැලකිලිමත් විය යුතුවේ. එය ඔබේ දරුවාගේ නිරෝගී දිවි පැවැත්ම වෙනුවෙන් ඔබ ගන්නා වටිනා පියවරක් බව අමතක නොකරන්න.

 

දරුවන්ගේ බුද්ධිඵලයට පරිසරය බලපානවා

දරුවෙකු ලැබීමෙන් පමණක් අපි දැන් දෙමව්පියන් යන තෘප්ත මටට්මට පත් වෙන්න බැහැ. අපේ දරුවා අනාගත සමාජයේදී බුද්ධිමත් සහ යහපත් දරුවෙකු ලෙසින් තිලිණයක්ව ලබා දීමේ වැදගත්කම දෙමව්පියන්ගේ වගකීමක්. මේ නිසා දරුවෙකු යනු නිසි මග පෙන්වීමක්, ආදරයක්, බැදීමක් නොමැතිව ගොඩ නගන්න හැකියාව ඇති ජීවියෙකු නම් නොවෙයි.

බුද්ධිමත් දරුවෙකුගේ හීනය ඔබටත් ඇති.

හැම දෙමව්පියෙකුගේම ලොකුම ආසාව තමාගේ පුංචි පැටියා අනාගතයේදී බුද්ධිමත් දරුවෙකු විදිහට සමාජගත වීමයි. යාන්තම් දරු සිහින ලකුණු දැනුන මොහොතේ පටන් ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමට ලියකියවිලි සකස් කරන ඔබට අමතක වෙන තැනක් තිබෙනවා.

එහෙම කියන්නේ ඇයි…?

ඇය නව ජන්ම දරුවන් පිලිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. ඇගේ නම ”හලාම් හර්ට් “. මේ වෛද්‍යවරියට අවශ්‍ය වුනේ දරුවෙකුගේ බුද්ධි ඵලය වෙනුවෙන් පරිසරයේ ඇති බලපෑම ගැන අධ්‍යනයක් කිරීමටයි. මේ වෙනුවෙන් ඇය තෝරා ගත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන සහ අඩු ආදායම් ලබන දෙමව්පියන්ගේ දරුවන් පිරිසක්. ඇගේ අධ්‍යනයෙන් පෙනී ගියේ මේ පරිසර තත්වයන්හි ජීවත්වෙන දරුවන් සෙසු දරුවන්ට වඩා බුද්ධි ඵලයෙන් හීන දරුවන් පිරිසක් බවයි.

ඉතින් මේ අධ්‍යනය අපේ දරුවන්ටත් බලපාන්න පුලුවනිද…?

නිසැකවම පුලුවන්. ඇය පෙන්වා දෙන කරුණු අපේ රටටත් බොහොම සමීපයි. සමහර විට අඩු ආදායම් වුනත් දරුවන්ට ඇය කියන විදිහට සලකනවා නම් බුද්ධිඵලය ගැන ගැටළු ඇති වෙන එකක් නැහැ. මේ වෙනුවෙන් මුදල් අවශ්‍යත් නැහැ. ලොකුවට කාලය අවශ්‍යත් නැහැ. අවශ්‍ය එකම දේ  දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම පමණයි.එහෙනම් ඇය කියන දේවල් ගැනත් අපේ අවධානය යොමු කරමු.

දරුවන්ට ආදරය කිරීම

වචනයටත් කියනවානේ දෙමව්පියන්ගේ ආදරය කොන්දේසි විරහිතයි කියලා. ඒක ඇත්ත. ඔවුන්ගේ ආදරය, සෙනහසට සීමාවන් නැහැ.නමුත් මෙතැන එක් ප්‍රශ්නයක් තිබෙනවා.බොහෝ දෙමව්පියන් දරුවන්ට දැනෙන්න ආදරේ කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් බලපාන පරිසර සාධකත් නොදැනීම ඇති වි තිබෙනවා.

  • මත්ද්‍රව්‍ය භාවිතය
  • පවුලේ ආර්ථික හා සමාජ පසුබිම

මතට, ඇබ්බැහි වුන දෙමව්පියන්ට දරුවන් ගැන දයාවන්ත වෙන්න ගැලපෙන මානසික තත්වයක් තියෙනවායැ. ඒ නිසා මෙවැනි පවුලක උපත ලබන දරුවන්ට තාත්තාගේ සෙනෙහස ලැබෙන්නේ නැහැ.

තාත්තා මතට ඇබ්බැහි වුනාම අම්මා ඒ අරගලය මත ගැටෙනවා. පවුලේ පැවැත්මට මුදල් වගේම හොඳ බැදීමක් නැහැ.

දරුවන්ට සාප කරන්න එපා..

පවුලක් තුළ මුදල් ප්‍රශ්න මතු වුනාම වගේම සැමියා සමග අඩදබර ඇති වුනාම දෙමව්පියන් දරුවන්ට සාප කරනවා.මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන මාස නවයක දරුවෙකුට මව විසින් පහර දෙන වීඩියෝවේ පිටුපසින් තිබෙන්නේ මවගේ පීඩනයයි.ඒ නිසා කිසිම දිනක හය හතර නොතේරෙන දරුවා කිසිම දිනක සාප කරන්න එපා.එවැනි පරිසරයකදී දරුවාගේ බුද්ධිඵලය ගැන විශාල පසුබෑමක් ඇති වෙන්න පුලුවනි. දෙමව්පියන් ලෙස ඔබට මුදල් ප්‍රශන වගේම පවුල් සහ වෙනත් ගැටලු ඇති. එය ඇත්ත. නමුත් එවැනි මානසිකත්වයක පීඩනය කිසිම දිනක දරුවා වෙතින් පිටකරන්න එපා.

සෙල්ලම්බඩුවලින් සියල්ල ඉටු වෙන්නේ නැහැ

ඇත්ත..ඔබ ආදරෙයි. භෞතිකව හැම සැප සම්පතක්ම ඔබ දරුවාට ලබා දෙනවා. ඒත් ඔබ දරුවා සිප ගැනීමට කොතරම් කාලයක් වැය කරනවාද..?අද බොහෝ දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය නිසාම දරුවන් ආලින්දයේ හතරැස් කොටුවක,සෙල්ලම්බඩු මැද හුදෙකලා වීම හැර ඔබුන් සිප ගැනිම, ස්පර්ශ කිරීම, බොහෝ දුරට අඩු වෙන යුගයක්. ඒ නිසා ඔබේ දරුවාගේ බුද්ධිඵලය වැඩි වෙන අන්දමින් වූ පරිසර තත්වයක් නිර්මානය කිරීමට නම් හැකි තරම් දරුවා ස්පර්ශය, සිප වැළදගැනීමත් අවශ්‍යයි.

ආදරණීය වචනවලින් ආමන්ත්‍රණය

අපි හැම දෙනෙක් වගේම දරුවන්ද ආදරණීය වචනවලට ආදරෙයි. මගේ දුව, මගේ පුතා කියන තරමටම ඔවුන් දෙමව්පියන් සමග සමීපව සම්බන්ධ වෙනවා. ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් විසින් රටේ ලෝකයේ ඇති නපුරුම වචන වගේම සතුන්ගේ නාමපද යොදා ගෙන දරුවන් ආමන්ත්‍රණය කරන අවස්ථා තිබෙනවා.නාරි සහ ප්‍රසව වෛද්‍ය විශේෂඥයන් පවා සඳහන් කරන්නේ ගැබිණි කාලයේ ලබා ගන්නා ස්කෑන් පරීක්ෂණයෙන් පසුව තම කුසේ සිටින දරුවාගේ ලිංග තත්වය විමසන විට girl/boy/හෝ gender යනුවෙන් විමසා සිටීම සුදුසු නැති බවයි. ඒ වෙනුවට

  • ඩොක්ටර් මට ඉන්නේ දුවද..? පුතාද..? 

යනුවෙන් විමසා සිටින්නේ නම් එය ඉතාම ආදරනීය ආමන්ත්‍රණයක් බැව් ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රශ්න අහන්න පටන් ගන්න කාලයයි..

දැන් ඔබේ පුංචි පැටියා ලෝකයය දකින කාලයයි.ඔවුන්ට ප්‍රශ්න කෝටියක් ඇති.මේ වගේ ප්‍රශ්න හිතට නැගෙන්නේත් බුද්ධිමත් බව නිසයි.නමුත් දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ බුද්ධිමත් විමසීම් විනාශ කරන්න එපා.

  • යනවා යන්න..මම මේ ලොකු වැඩක..
  • කෝල් එකක් ගන්න කොට ආයේ එහෙම ඇවිත් බොරු ප්‍රශ්න ඇහුවොත් කට තලනවා.. 

මේ අන්දමින් දරුවාට දොස් නගන්න එපා.ඔවුන් අසන, විමසන  පුංචි වගේම සමහර විට ඔබටත් පිලිතුරු නැති ප්‍රශ්නවලට කුමන හෝ විසදුමක් ලබා දෙන්න. එසේ නොමැතිව ඔවුන්ගේ කුතුහලයට නැගෙන ප්‍රශ්න ගැන කෝප වීම හෝ දොස් නැගීමෙන් සිදු වෙන්නේ දරුවාගේ බුද්ධිඵලය විනාශය කරා ගත් වීමයි.

ප්‍රශංසාවට කැමැතියි.

පුංචි වුනත් මේ අයත් ප්‍රශංසාවට හරිම කැමතියි. ඒ නිසා පුංචි දෙයට වුනත් පැසසුම් කරන්න. අගය කරන්න. මගේ පුතු හපනා බැව් කියන්න..මගේ දුව හරිම අගෙයි කියන්න.. මේ නිසා ඔවුන්ගේ බුද්ධිඵලයට විශාල බලපෑමක් ඇති වෙන බවත් අමතක කරන්න එපා.

දරුවා සමග කතා කරන්න

බුද්ධිඵලය වර්ධනයට දරුවා සමග සිදු වෙන කතා බහ ඉතා වැදගත් දරුවන් තම වාග්කෝෂය පුළුල් කර ගන්නේ දෙමව්පියන් සහ නිවසේ ඇසෙන වචන අහුලා ගෙනයි. මේ ගැන හොඳම නිදසුන් ඔබට ඇති. සමහර විට ඔබ සැමියාට නම කියා ආමන්ත්‍රණය කරනවා නම් දරුවාත් මුලදී තාත්තා වෙනුවට නම කියන්න පටන් ගන්න ඇති. ඔබ නැගණියට නංඟී කියනවා නම් දරුවාද නැන්දා.. පුංචිඅම්මා වෙනුවට ඔබ විසින් ඔවුන් ආමන්ත්‍රණය කරන අන්දමට ”නංඟී ” කියා කතා කරන්න පටන් ගනීවි.එයින් පෙනී යන්නේ පරිසරය දරුවාට කොතරම් බලපෑමක් සිදු කරන බවයි. එය තවත් අතකින් ඔවුන්ගේ බුද්ධිඵලය නිර්මානයටත් බලපෑම් ඇති කරනවා.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන/ ළමානිවාසවල දරුවන්..

මේ ගැනත් සිතන්න වෙනවා. මෙවැනි මධ්‍යස්ථානයන්හි එක් පාලිකාවකට දරුවන් 20 ක් පමණ රැකබලා ගැනීමට සිදු වෙනවා. එවැනි තත්වයකදී මුලින් සදහන් කළ අන්දමින් කටයුතු නම් සිදු වෙන්නේ නැහැ. නමුත් දෙමව්පියන් සෙවෙනේ සිටින කාලයේදි ඔබ හැකිතරම් දුරට දරුවාට ආදරය සෙනහස දෙන්න..ආදරයෙන් කතා කරන්න…ස්පර්ශ කරන්න..සිප ගන්න..ඔවුන් සමග කාලය ගත කරමින් පුංචි හිතේ නැගෙන පුංචි සිතුවිලි වලට අවදි වෙන්න ඉඩ දෙන්න..

 

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කුසලතා දියුණු කරන්නේ කෙසේද?

විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් ලෙස හැඳින්වූ කළ එය යටතට පැමිණෙන විශාල රෝග විනිශ්චයන් ප්‍රමාණයක් තිබුන ද අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පොදුවේ ඔවුන් සියලු දෙනාටම ඇති වන එක් ගැටලුවක් වන “අධ්‍යාපනය” පිළිබඳව යි. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින සෑම දෙමව්පියෙකු ට ම සුවිශේෂී වූ වගකීමක් තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. මන්ද ඔවුන් ගේ විශේෂ අවශ්‍යතාව කුමක් වුවත් ඊට අදාළ ඖෂධ ප්‍රතිකාර, චිකිත්සන (එනම් කථන චිකිත්සාව, වෘත්තිය චිකිත්සාව, භෞත චිකිත්සාව ආදී) හා  අධ්‍යාපනය ද නිසි අයුරින් ලබා දීම තුලින් ඔවුන්ට අභියෝගයක් ව පවතින කඩයිම් ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.

මෙවන් දරුවන් සමග වර්ධන ප්‍රමාදයන්, විවිධ වූ වෙනත් රෝගී තත්ත්වයන්, මානසික ගැටලු හා වෙනත් සාමාජීය හා  අධ්‍යාපන ගැටළු මෙන්ම තවත් බොහෝ සාධක බැඳී පැවතීමට හැකි ය. එමනිසා ඔවුන්ගේ උපරිමය කරා ළඟා වීමට අවශ්‍ය වන පසුබිම සකසා දීම ඉතාමත් යුහුසුළු ව ආරම්භ කළ යුත්තේ ඒ නිසාවෙනි. 

අධ්‍යාපනය යනු සෑම දරුවෙකුට ම ලබා ගත යුතු දෙයක් වුව ද තරගකාරී අධ්‍යාපනය තුළ  විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ට එය තවත් අභියෝගයක් වීමට ඉඩකඩ වැඩිය. තව ද දරුවාගේ තත්ත්වය අනුව දෙමව්පියන් වශයෙන් ඔබට මුහුණ දීමට සිදු වන ගැටලු ද විවිධාකාර විය හැකි ය. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය අතීතයේ සිට විකාශනය වෙමින් ඉදිරියට පැමිණෙන්නෙකි. විවිධ න්‍යායන් හා පර්යේෂණ කරුණු පදනම් කර ගනිමින් වර්තමානය ට උචිත අයුරින් විකාශනය වෙමින් ඉදිරියට පැමිණෙයි. ඒ අනුව ලංකාවේ අතීතයේ  දී විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් ට වෙන් වූ පාසල් තුළ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර කල්යත්  ම න්‍යායාත්මක කරුණු හා පර්යේෂණ ප්‍රතිඵල පදනම් කර ගනිමින් එම ක්‍රමය වෙනස්  වී සාමාන්‍ය පාසල තුළ මෙම දරුවන් හට සඳහා වෙන් වූ ඒකක “විශේෂ අධ්‍යාපන ඒකක” නමින්  පිහිටුවීමට කටයුතු කර ඇත. තවද එම ක්‍රමය වර්තමානයේ දී ක්‍රියාත්මක වෙමින් පවතී.  නමුත් වර්තමානයේ මෙම තත්ත්වය ද නව්‍යකරණය වෙමින් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව “අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය” (Inclusive Education) විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වඩාත් උචිත ක්‍රමයක් ලෙස වර්තමානය පිළිගනු ලබයි.

අන්තර්කරණ  අධ්‍යාපන ක්‍රමය තුළින් අර්ථ කථනය කරනු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද සාමාන්‍ය දරුවන් සමඟ මුසු වෙමින් පන්ති කාමරය තුළ ඉගෙනීමේ කටයුතු වල නිරත වීමයි. නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු අධ්‍යාපන සංග්‍රහ වල ඉතා දිගු ව විස්තර කර ඇති අතර එම ක්‍රමවේද අනුව අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය ට උචිත විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට මෙම ක්‍රමය හරහා අධ්‍යාපනය ලබා දීම වර්තමානයේ පිලි ගන්නා ප්‍රචලිත අධ්‍යාපන ක්‍රමයයි. 

මීට අමතරව සියලුම දරුවන් ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනස්  වන අතර ඔවුන්ගේ හැකියා දක්ෂතා ද වෙනස් වනු ඇත. ඒ නිසාවෙන් ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට අධ්‍යාපනය ලබා දීමට සුවිශේෂි ක්‍රමවේද හඳුනාගෙන ඇත. ඒ අනුව “තනි පුද්ගල අධ්‍යාපන සැලසුම” (Individual Education Plan)  දරුවන් සඳහා සුවිශේෂී වූ අධ්‍යාපන සැලසුම් ක්‍රමයක් ලෙස හඳුන්වා දීමට හැකිය. තනි පුද්ගල අධ්‍යාපන සැලසුම යනු දරුවාට ම ආවේණික වූ අධ්‍යාපන අරමුණු හා ක්‍රියාකාරකම් වලින් පිරි අධ්‍යාපන සැලසුමකි. මෙම සැලසුම සකස් කිරීමට දරුවාගේ චිකිත්සකවරුන්, ගුරුවරුන් මෙන්ම වෛද්‍ය මතය විමසීම ට අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් මෙන්ම  දරුවාගේ දෙමාපියන් ද එක් වී කටයුතු කළ යුතු අතර මේ ක්‍රියාත්මක ක්‍රියාවට නැංවීමට ද මේ සැමගේ අන්‍යෝන්‍ය සහයෝගය ඉතා අවශ්‍ය වනු ඇත. 

ඒ අනුව ඔබගේ දරුවාගේ විශේෂ අවශ්‍යතාවය අනුව එය නිවැරදිව හඳුනාගැනීම හා ඊට අවශ්‍ය වඩාත් සුදුසුම අධ්‍යාපන ක්‍රමවේද ය හඳුනා ගැනීම, ඒ අනුව දරුවා සුදුසු පාසලකට ඇතුළත් කිරීම දරුවාගේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස තනි පුද්ගල අධ්‍යාපන සැලසුමකට අනුව කටයුතු කිරීම තුළින් වඩාත් අභියෝගයක් ව  පවතින විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ අධ්‍යාපනය මල්ඵල ගන්වා ගැනීමට හැකියාව පවති. එමෙන්ම ඔබ දැනටමත් චිකිත්සක වරුන්ගේ සහය ලබා ගන්නේ නම් ඔවුන් හරහා ඔබට නිසි මග පෙන්වීමක් ලබා ගැනීමට ද හැකියාව පවතී.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

අත්තම්මා සීයාට…කොයි මුනුපුරත් එකයි.

අද දවසේ දෙමව්පියන් ලෙස  ඔබේ දරුවන්ගේ සුරතල්, සෙනහස විදින ඔබ තව අවුරුදු කීපයකින් අත්තම්මා /සීයා බවට පත් වෙන දවසක් එනවා.එහිදී ඔබේ දුවගේ වගේම පුතාගේ දරුවන්ටත් ඔබ අත්තම්මා./සීයා ඉතින් ඔබට දැන් දුවගේ පුතාගේ දරුවන් කියල වෙනසක් නැහැ. ඒත් සමහර අවස්ථාවලදී අත්තම්මලාටත් නැගෙන චෝදනාවක් තිබෙනවා.

අත්තම්මලා /සීයලා වැඩියෙන් ආදරේ දුවගේ දරුවන්ටලු…

එහෙම කිව්වත් මේ අය ඒ චෝදනාව තරයේම ප්‍රතික්ෂෙප කරනවා. ඒ ඇයි කිව්වොත් තමන්ගේ ලෙයින් මසින් උපන් දරුවන්ට වගේම ඔවුන්ගේ ලෙයින් මසින් උපත ලබන දරුවන් අතර කිසිම වෙනසක් නැහැ. ඒ ආදරය සැබෑම ආදරයක්…

එහෙමනම් චෝදනාවන් නැගෙන්නේ ඇයි…?

මෙතැන පුංචි පරම්පරා ගැටුමක් තිබෙනවා. අම්මා විදිහට දරුවන් හැදූ වැඩූ කාලයට වඩා අද මුනුපුරන්ගේ පරම්පරාව වෙනස්. සමහර සිදුවීම් වෛද්‍ය විද්‍යානුකූලවත් වෙනස් වෙනවා. ඉතින් එහෙම වුනාම අත්තත්ම්මාගේ අදහස් ගැන පුතාගේ බිරිද නොසලකා සිටින්න පුලුවනි. ඒ වෙනසක් නිසාම නොවෙයි,අද පරම්පරාව විදිහටත් ඇතැම් සිදුවීම් වෙනස් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අතත්ම්මාගේ හිතත් ටිකක් රිදෙනවා.

අපි දරුවෝ දෙතුන් දෙනා හැදුවා…

ඔන්න ඔය විදිහට චෝදනා කරන්න පුලුවන්.ඒ චෝදනාවන් සෘජුවම ලේලිය විසින් බාර ගන්නත් පුලුවන්. ඇය හිතන්නේ අම්මා මගේ දරුවන් ගැන සැලකිලිමත් වෙනවා මදි කියන හැගීම ඇති වෙන්නේ අන්න ඒ නිසයි.

නිතර දෙවේලේ දකින විටත්…

දුවක් වුනාම පවුලෙන් ටිකක් දුරස්. පුතා නිවසේ වාසය කරන අවස්ථා තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී පුතාගේ දරුවන් සමග අත්තම්මා නිතරම කාලය ගෙවනවා. නමුත් දුවක් වුනොත් පිටට කියන්නා වගේ ඇය වෙනත් නිවසක ජීවත්වෙන නිසා ඇගේ දරුවන් සමග අත්තම්මාගේ ඇසුර ටිකක් දුරස්. ඒ නිසා අත්තම්මා දුරකථනයෙන් එහෙම නැත්නම් දැන් නම් වීඩියෝ තාක්ෂනය ඔස්සේ පුංචි මුනුපුරන් ගැන විමසිල්ලෙන් සිටනවා.ඔවුන් සමග කතා කරනවා.අවස්ථාව ලද විටෙක ඒ අය බලන්න යනවා. හැබැයි නිවසේ සිටින මුනුපුරන් තමන් සමීපයේ සිටින නිසා ඒ ගැන වෙහෙසෙන්න අවශ්‍ය නැහැ.ඉතින් මේ වෙලාවට හිතන්නේ අම්මා..අපේ දරුවන්ට වඩා අක්කාගේ නැත්නම් නංගිගේ දරුවන්ට ආදරේ වැඩියි…වැඩි සැලකිල්ලක් දක්වනවා..ඒත් මේ අයගේ නම් තුන් හතකවත් එහෙම අදහස් නැහැ.

දරුවන්ගේ හැසිරීම…

දරුවන්ගේ හැසිරීම් නිසාත් අත්තම්මා/සීයා පිඩාවට පත් වෙන අවස්ථා තිබෙනවා. සමහර දරුවන් බොහොම දඩබ්බරයි. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ.දවස පුරාවටම අත්තම්මා/සීයා සමග හැලහැප්පෙන දරුවන් ගැන පුංචි පුංචි චෝදනාවන් හැන්දෑවට අම්මා,තාත්තාගේ කණට වැටෙනවා. මේ දෙන්නත් දවස පුරා වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවාම මේ පැමිණිලි දරා ගන්නත් අපහසුයි. ඉතින් ඔවුන් හිතන්නේ අපේ අම්මා මගේ දරුවන්ට නිතරම චෝදනා කරනවා.කිසිම දයාවක් නැහැ..ඒත් දරුවන්ගේ ස්වභාවික හැසිරීම නිසා අත්තම්මා /සීයා ලබන පීඩනය දෙමව්පියන් දන්නේ නැහැ.

කවදාවත් දරුවන්ගේ කේලම් අසන්න එපා..

බොහෝ දෙමව්පියන් නිතරම දරුවන්ගේ කේලම් හිස් මුදුනින් පිලිගන්නවා. කිසිම දවසක දරුවන්ගෙන් කේලම් අහන්නත් එපා. බොහෝ පවුල්වල වැඩිහිටි දෙමව්පියන් අන්ත අසරණ බවට පත් වෙන්නේ දෙමව්පියන් දරුවන්ගේ කේලම් අසා ඒ ගැන විශ්වාස කරමින් වැඩිහිටි දෙමව්පියන් ගැන නොහොද සිත් ඇති කර ගන්නා නිසයි. 

ඉතින් වැඩිහිටි දෙමව්පියන්ගේ වැරැද්දක් තිබුනොත්..

වැරැදි නැත්තේ කාටද..? ඒත් පුතා අද අත්තම්මා කාටද කෝල් කළේ.. මොනවද කිව්වේ.. එවැනි ප්‍රශ්න දරුවන්ගෙන් විමසන්න එපා.සමහර විට වැඩිහිටි දෙමව්පියන්ගෙන් යම් යම් අඩුපාඩු සිදු වුනත් ඒවා දරුවන් සමග විවේචනය කරන්න එපා. එවිට ඔබේ දරුවාගේ හිතේ ඔබේ වැඩිහිටි දෙමව්පියන් මුල් කර ගෙන ඇති වෙන්නේ ගෞරණීය හැගීමක් නම් නොවෙයි.ඒ නිසා මුනුපුරන් සහ අත්තම්මා/සීයා අතර තිබෙන සම්බන්ධතාවය දුරස් වෙනවා.දරුවන් ඉදිරියේ මේ වැඩිහිටියන් අවලංගු කාසි බවට පත් වූ තැන චෝදනාව ලැබෙන්නේ දරුවන්ට නොවෙයි.. අපේ අම්මට/තාත්තට අපේ දරුවෝ පේන්න බැහැ. හැබැයි මේ නුරුස්නා තත්වය ගොඩ නගන පාලම හදා දුන්නේ ඔබ බවත් අමතක කරන්න එපා. නිතරම අතත්ම්මාගේ සීයාගේ කුණු කන්දල් ගැන හාරා විමසා ඒ නිසා චෝදනා නගමින් දරුවන් ඉදිරියේ ඔවුන්ගේ ගරුත්ය මුලිමනින්ම ඔබ විසින් විනාශ කර දැමු බවත් අමතක කරන්න එපා.

වැඩිහිටියන්ගේ අඩුපාඩු එතරම් සලකන්න එපා..

ඔබේ දෙමව්පියන් ගේ මානසිකත්වය ඔබට වඩා වෙනස්. හැබැයි තව වසර ගණනාවකින් ඔබත් ඒ ගැනට පත් වෙනවා. දරුවන් උස්මහත් වී පවුලෙන් දුරස් වුනාම ඇති වෙන පීඩනය නොදැනීම පිටවෙන් විට ඔබට රිදෙන තැන් ඇති.පවුලේ පිටස්තර කාන්තාවක් ලෙස ලේලියක් නම් ඒවා දරා ගන්නත් අපහසු වේවි. ඒත් ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න. එවිට ඔබ කවදා හෝ දිනුම්..

අත්තම්මලාත් පාට කන්නාඩිවලින් බැලිය යුතු නැහැ..

මෙතැනත් පුංචි වරදක් තිබෙනවා. සමහර අතත්ම්මලා ,සීයලා අතරත් එවැනි විශේෂත්වයන් තිබෙනවා. මගේ ලොකු මුනුපුරා…පුතාගේ දරුවා වගේ විශේෂන නිසා මුනුපුරන් අතරත් වැඩි වටිනාකම් ලබා දීමට සූදානම් වුනොත් ගැටුම් ඇති වීම වලක්වන්න බැහැ.

මුනුපුරන්ගේ  වැරැදි වලට දෙමව්පියන්ට දොස් නගන්න එපා

බොහෝ අත්තම්මලා දරුවන්ගේ වැරැදි ඉදිරියේ දොස් නගන්නේ පිටින් සම්බන්ධ වුන ලේලියට හෝ බෑනාටයි. අනේ මම දන්නේ නැහැ. මේ දරුවා හැදෙනවා කිසිම කමකට නැහැ. අම්මා/ තාත්තා හැදිලා ඉන්න එපායැ. මෙවැනි චෝදනා නිසා පිටින් වුනත් දැන් ඔබේම දුව/පුතා ලෙස සැලකිය යුතු  විශේෂයෙන්ම ලේලියට රිදෙන්න පුලුවනි. ඒ නිසා වරදක් දුටු තැන එය මුනුපුරාගේ නම් එතැන නිවරැදි කරන්න. පවුල් ගහ බදා ගැනීම අවශ්‍ය නැහැ.

ඒ නිසා ඔබේ දරුවන් සමග වැඩිහිටි දෙමව්පියන්ද එකට ජීවත්වෙනවා නම් සමගිය වගේම සතුටත් වැදගත්.මේ පරම්පරා තුන අතර ගැටුමක් ඇති වුනොත් එය මානසිකවත් වදදෙන ප්‍රශ්නයකට මුල පුරන නිසා ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම වැදගත්.

 

අවවාද දෙන විට දරුවා කණ වසා ගනී. නමුත් ඔවුන්ගේ ඇස් දෙමව්පියන් වෙත විවෘතයි.

දරුවන්ට අවවාද දුන්නත් ඔවුන් ඒවා ගැන වැඩි අවධානයක් නොදක්වන අවස්ථාවන්හිදී ඔබ මේ විදිහට දරුවන්ට දොස් නගනු ඇති.

“”මේ ළමයින්ට කියන ඒවා හරියට බීරි අලින්ට වීනා ගායනා කරනවා වගෙයි…””

ඔබ මෙහෙම හිතුවත් දරුවන්ට අවවාද දීමේදී ඔවුන් ඒවා නොසලකා හරින්නේ ඇයි…? මේ ගැනත් හිතන්න..අවශ්‍යයි නේද… ?

ආකෘතියක් අපේක්ෂා කරන්න එපා

අපේ දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආකෘතියක් කිව්වොත් නිවරැදියි.දරුවන් කියන්නේ සාමාන්‍ය චරිතයක් බැව් ඔවුන් හිතන්නේ නැහැ.ඒ නිසාම දෙමව්පියන්ගේ හිතේ තිබෙන ආකෘතිය ඔවුන් දරුවන් වෙතින් අපේක්ෂා කරනවා.බාල වයසේ පටන්ම දෙමව්පියන් දරුවා වෙතින් බලාපොරොත්තු වෙන්නේ එවැනි පොදු ආකෘතියක්..

මුලින්ම අකුරු අත්පොත් තැබූ දවසේ පටන්ම දරුවා දෙමව්පියන් කියන විදිහට ලියන්න, කියන්න අවශ්‍ය බැව් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබේ ආකෘතිය දරුවා සමග ගලපන්න බැහැ.ඔබ කියන විදිහට කන්න, බොන්න, ඇවිදින්න,අකුරු ලියන්න, කියන්න දරුවාට නොහැකි වෙන්න පුලුවන්. ඒත් මේවා ගැන උරණ විය යුතු නැහැ.

නිතරම දොස් නගන විට

හැමදාම කියනවා…කොච්චර කිව්වත් මේස් එක අනිත් පැත්තට දාන්නේ..මේ වගේ පුංචි පුංචි වැරැදි දරුවා පුංචි කාලයේදී ඇති වෙන්න පුලුවනි. ඒවා බොහොම සාමාන්‍යයි.නමුත් එවැනි අවස්ථාවන් ගැන.අනවශ්‍ය විදිහට ආවේග ඇති කර ගනිමින් දරුවන්ට දොස් නගන්න එපා.එය අවවාදයක් විදිහට බොහොම හොදින් කියා දෙන්න. දරුවාට නිවරැදි ලෙස පාවහන් පය ලා ගැනීමට අපහසු නම් ඒ වෙනුවෙන් පුංචි උපායක් කියා දෙන්න. එසේ නොමැතිව නිතරම දොස් නගන්න එපා.මේ විදිහට නිතරම දොස් නගන විට දරුවාට ඒවා බොහොම සාමාන්‍ය තත්වයට පත් වෙනවා.

අවවාදයටත් වේලාවක් තබා ගන්න..

අපේ ජීවිතයේ හැම දෙයක් වෙනුවෙන්ම වෙලාවක් අවශ්‍ය බව ඔබ දන්නවා. ඒ වගේ අවවාද වෙනුවෙනුත් වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවා.දවසේ දරුවා අවදි වී සිටින කාලය පුරාම අවවාද කරන්න ගියොත් එයින් ඇති වෙන්නේ එපා වීමක්.ඒ නිසා දරුවාට අවවාදයක වටිනාකම පවා නොතේරෙන්න පුලුවනි.ඔබ මේ කියමන අසා ඇති කම්මලේ බල්ලා හෙණ හඬටත් බය නැහැ..අන්න ඒ තත්වය දරුවාටත් ඇති වෙනවා. නිතරම දරුවාගේ කණ පිරෙන්නේ අවවාදවලින් පමණයි.ඒ නිසා අවවාද කිරීමටත් වෙලාවක් උවමනා බැව් තරයේම මතකයේ තිබුනොත් වටිනවා.

අවවාදය සහ දෝෂාරෝපණය අතර වෙනස..

ඔබ දරුවාට අවවාද කිරීම වගේම දෝෂාරෝපණය කියන්නේ අවස්ථා දෙකක්. සැබැවින්ම ඔබ අවවාදයක් ලබා දෙන්නේ දරුවා ගැන හිතේ තිබෙන ආදරයත් සමගයි.

මගේ හොද පුතා වගේ උදෙන්ම නැගිටලා..අම්මා කියනකම් ඉන්නේ නුතුව මුහුණ හෝදලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න..හොඳ පුතාලා එහෙමනේ…කියන තැන ඇත්තටම තිබෙන්නේ ආදරය සහ අවවාදයයි.

ඒත්…කොච්චර කිව්වත් අහන්නේ නැහැ. හැමදාම උදේට නැගිට්ටවන්න ඕන මේ ළමයා නම් පුදුම කරදරකාරයෙක්..අනිත් දවසේ නම් හොඳ වේවැල් පාරක් දීලා තමයි මම ඔයාට උදේට කතා කරන්නේ..

ඔබ දරුවාගේ මේ අන්දමින් ආමන්ත්‍රණය කරනවා නම් එතැන ඇත්තේ දරුවා මුල් කර ගත් කෝපයයි.ඔබ දරුවාට එය මුදාහරින්නේ අවවාදයක් මිසක නොව දැඩි දෝෂාරෝපනයක් ලෙසයි. 

මෙතැනින් දරුවා කැමැති..

ඔබම මේ ගැන හිතන්න. එකම සිදුවීම මුල් කර ගෙන දෙමව්පියන් ප්‍රතිචාර දක්වන වෙනස් ස්වරූප අතරින් දරුවා වඩාත් කැමැත්තක් දක්වන්නේ ආදරයෙන් සිදු වෙන ආමන්ත්‍රණයට නොවේද..?නමුත් දෙමව්පියන් ලෙසින් ඔබ ඒ බැව් මුලින්ම හදුනා ගැනීමට සමත් විය යුතුයි.එහෙම නොමැතිව තල් අත්තට බොරලු වැටෙන්නා සේ නිතරම අනවශ්‍ය අන්දමින් දුම්මල වරම අතට අරගෙන සිටීම නම් එතරම් සුදුසු නැහැ.

හැබැයි අවවාද අවධාරනයෙන් කියන වෙලාවකුත් අවශ්‍යයයි

ඇත්තටම සමහර දරුවන්ට කොතරම් ආදරයෙන් අවවාද කළත් ඒවා කළයක් මුනින් අතට  නවා ඒ මතට ජලය වත් කරනවාට සමානයි. දරුවන් ඒ ගැන කැමැත්තක් දක්වන්නේ නැහැ.ඔවුන්ට ආදරයෙන් අවවාද ලබා දුන් පසුවත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වනවා නම් ටිකක් තදින් අවවාද ලබා දීමත් වැදගත්. එය දරුවාගෙන් දරුවාට වෙනස්.ඒ නිසා මුලින්ම ඔබ දරුවා අවවාද වෙනුවෙන් ප්‍රතිචාර දක්වන ආකාරය හොදින් හදුනා ගන්න. ඒ අනුව අවවාද ලබා දීම වඩාත් ඵලදායකයි.එසේ නොමැතිව අවවාද යනු වචන පමණක් වුනොත් එය සැබැවින්ම නිරර්ථක කාර්යක්. එය ඔබේ වචන නාස්තිය පමණයි.

අවවාදවල අගය ගැන කථාන්දර කියා දෙන්න..

ඔබ දරුවා සමග නිතර ගැවසෙන විට දෙමව්පියන්ගේ අවවාදවලට අවනත වීමේ වැදගත්කම ගැන දරුවාට කියා දෙන්න.රාහුල පුංචි හාමුදුරුවෝ සෑම උදෑසනකම වැලි දෝතක් උඩ දමා මේ තරමට මට අවවාද ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ ආදර්ශමත් චරිතය ගැන දරුවාට කියා දෙන්න.ඒ වගේම දෙමව්පියන්ගේ අවවාදවලට ඇහුම්කන් නොදී විනාශයට පත් ”අවලස්සන තාර පැටියා ” විපතට පත් ආකාරය දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න.

අම්මා,තාත්තා කියන දේ නාහන දරුවන්  විවිධ විපත්වලට පත් විය හැකි බැව් කියා දෙන්න.ඒ වගේම අවවාදවලට අනුව ජීවිතය හැඩ ගසා ගන්නා දරුවාට ඊට වඩා වෙනත් ආහිර්වාදයක් නොමැති බැව් පෙන්වා දෙන්න.

අවවාදයට වඩා ආදර්ශය..

  • ඔබ මේ කථාව අසා තිබෙනවාද..?

අවවාද දෙන විට දරුවා කණ වසා ගනී. නමුත් ඔවුන්ගේ  විවෘත ඇස් දෙමව්පියන් වෙත යොමු වී තිබෙනවා.එය ඇත්ත. ඔබ වචන දහසකින් විස්තර කරමින් ලබා දෙන අවවාදයට වඩා ආදර්ශමත්ව හැසිරෙන විට එයින් දරුවා බොහෝ දේ ඉගෙන ගනී. නිවසට අමුත්තෙකු පැමිණි විට ඔබ සංග්‍රහශීලිව සලකන අන්දම දකින විට දරුවාට අනාගතයේදී ගෙදරට කවුරුත් ආවාම අඩුම ගානේ වාඩිවෙන්න කියන්න…පුලුවන් නම් තේ එකක් හදලා දෙන්න..යනුවෙන් අවවාද අවශ්‍ය නැත. ඒ පුහුණුව ඔබ අවවාදයට වඩා සාර්ථක ලෙසින් දරුවාට ලබා දී අවසානයි.