Home Blog Page 40

පුංචි පැටියට ඉදිකටුවක් නූලක් අල්ලන්න දෙන්න

මීට දශක කීපයකට පෙරාතුව නම් අපේ රටේ පංති පාඩමට මැහුම් වෙනුවෙන් වෙන් කළ කාලපරිච්ඡේදයක් තිබුණා. ඒ නිසා සෑම දරුවෙක්ම ඉදිකටුව,නූල අල්ලන්න බයක් දැක්වූයේ නැහැ. ඒත් අද දවසේ පුංචි පැටියට ඉදිකටුවක් නූලක් අල්ලන්න දෙන්න අපේ අම්මලා බයයි. 

දැන් ඉතිං මහන්න අවශ්‍ය නැහැ…

ඉස්සර වගේ දැන් ගැහැණු දරුවන්ට ඇදුම් මහන්න ඉගෙන ගන්න ඕන නැහැ. ඊටත් දැන් කවුද ඇඳුම් මහගෙන අඳින්නේ..ඔබ මේ විදිහට හිතුවත් දරුවෙකු විසින් යමක් මැසීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.

අත හුරුවීම

දරුවන්ගේ සියුම් ඇගිලිවල ක්‍රියාකාරිත්වයට ඉදිකටුවක් සමග ගණුදෙණුව ඉතාම වැදගත්. දරුවාට ඉදිකටුවෙන් කටයුතු කරන පරිස්සම ගැන අම්මාගෙන් ලැබෙන දැණුවත් වීම සමග ඇයට ඒ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.ඉදිකටුව අතේ ඇන ගන්නේ නැතුව මහන සංයමය පවා දරුවා එතැනදී ඉගෙන ගන්නවා. ඒ නිසා දරුවෙකුගේ සංයමට අලුත් පාඩමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

ඉවසීම

දරුවක් යමක් මසන විට එය බොහොම ඉවසීමෙන් කරන දෙයක්.හදිසියේ කිරීම ඉතාම අපහසුයි. ඒ වගේම අවධානය දැක්වීමත් ඉතාම වැදගත්. ඉදිකටුව සහ මැස්ම අතර අවධානය රදවා ගැනීමට දරුවාට ලැබෙන පාඩම අපට සරලව හිතන්න බැහැ.විනාඩ 40 ක් එකතැන ඉන්න බැරි දරුවා සමහර විට මහන්න දෙයක් අතට ගත්තොත් අවධානයෙන් කටයුතු කරන රටාව ඉගෙන ගනීවි.

නිර්මාණශීලිත්වය වැඩි වෙනවා..

මැහුමක් කියන්නේ බොහොම නිර්මානශීලී කටයුත්තක්. අතීතයේදී දරුවන් කඩදාසි බෝනික්කන්ට කඩදාසි වලින් විවිධ ඇඳුම් සකස් කළා. එය බොහොම අහිංසක ක්‍රිඩාවක්. කඩදාසි බෝනික්කන්ට තමන්ගේ හිතේ මැවෙන අන්දමින් ඇඳුම් සකස් කිරීම එදා ගැහැණු දරුවන්ගේ විනෝදාංශයක්.ඊටත් අමතරව අත් කකුල් ඇති ප්ලාස්ටික් බෝනික්කන්ට නිවසේ ඉතුරු රෙදි කැබැලිවලින් ලස්ස ගවුම් සකස් කිරීම ඔවුන්ගේ විනෝදාංශය වුණා. ඒ නිසාමදෝ අපුරු අන්දමේ නිර්මානශීලී කටයුතු ඔවුන් වෙතින් නිර්මානය වුණා.

ඇස් අතර  සම්බන්ධීකරණය වැඩි වීම

අද කාලයේ දරුවන් විද්‍යුත් මෙවලම් සමග සිදු කරන ගනුදෙනුව නිසා ඇස් දුර්වල වීම සහ ස්නායු පිලිබඳ ගැටළු ඇති වුනත් මැහීමේ කටයුතුවලදී ඇස් අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නගනවා. වේදනාව සමනය කිරීමට සහ මොළයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා.

බුද්ධියට ව්‍යායාමයක්.

සාමාන්‍ය මැස්මක් මහන විට වුනත් එය කපන, මූට්ටු කරන අන්දම ගැන දරුවා යම් වයසකදී හිතන්න පටන් ගන්නවා. නමුත් කතිර මැස්ම වැනි බුද්ධිය සහ අවධානය දක්වන මැහුම් ක්‍රම නිසා දරුවාගේ බුද්ධියට ලැබෙන වයායාමය ඉතාම වැදගත්. කතිර ගනන් කිරීම සහ ඒ අනුව මැස්මට දක්වන අවධානය ඉතා වැදගත්.

විවේකය යහපත් පරිදි ගත කරන්න පුලුවනි..

තමන්ගේ විවේක කාලයේදී මැහුමක් ගෙතුමක් කිරීම නිසා විවේක කාලය ඉතා යහපත් අන්දමින් ගෙවන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මැහුමක් හෝ ගෙතුමක් අවසානයේදී තමන්ගේ අතින් මැවුන නිර්මානය ගැනත් ලැබෙන සතුට මුදලින් තක්සේරු කිරීමට බැරි තරම් වටිනවා.

මැහුම් මගින් ආතතිය හා කාංසාව සමනය කරන්නේ කෙසේද?

ඔන්න සේරටම වඩා වැදගත් දේ…මැහුමක් මැසීමෙන් අප ලබන සතුට නිසාමදෝ සතුටට හේතු වන ඩොපමයින් රසායනය නිපදවීමට උපකාරී වෙනවා.  ඒ නිසා  දිගු කාලීනව ඔබේ දරුවා සතුටින් තබා ගැනීම ඉතා පහසුයි.

දරුවන්ට පමණක් නොවෙයි ඕනෑම කෙනෙක් නිදන්ගත ආතතියෙන් හා කාංසාවෙන් පීඩා විඳින්නේ නම් මැහුමක් වැනි කටයුත්තක් වෙත යොමු වීමෙන් ඔවුන්ගේ සෘනාත්මක සිතුවිලිවලින් මුදවා ගත හැකියි.

ඇගයීමක් දෙන්න..

දැනටත් තාක්ෂණ කුසලතා විෂය වෙනුවෙන් ඇතැම් දරුවන් කතිර මැස්මෙන් සිදු කරන නිර්මාන ඇතැම් දෙමව්පියන් විසින් පින්තුර රාමුවක් යොදා නිවසේ එල්ලා තබනවා. මෙය ඉතාම වැදගත්. එයින් දරුවාගේ හැකියාවට ලැබෙන ඇගයීම නිසා ඔවුන් තව තවත් විසිතුරු මැහුම් රටා වෙත යොමු වෙනවා. සැබැවින්ම ගැටපිස්මේන්තුව, ප්‍රංශ ගැටය වැනි විසිතුරු මැහුම්වලින් දරුවන්ගේ හැකියාව හැඩ ගැන්වීමත් ඉතාම වැදගත්.

අනාගත ආයෝජනයක්..

දරුවෙකුට තමන්ගේ ඇඳුමක් සකස් කර ගැනීමට ලැබෙන දැණුම නිසා අනාගතයේදී ඇදුම් වෙනුවෙන් සිදු වෙන වැය බර අඩු කර ගත හැකියි.උදාහරණයක් විදිහට කොට්ටඋරයක්, ඇද ඇතිරිල්ලක් වැනි දෙයක් ඉතා අලංකාරව තමන්ගේ දෑතින් නිර්මානය වීමෙන් ලබන ඇගයුම තක්සේරු කිරීමට පවා අපහසුයි.

ආදායම් මාර්ගයක්

ඔබේ පුංචි පැටියා හැමදාම ඔය විදිහට ඉන්නේ නැහැ.යම් දවසක ඔවුන් තමන්ගේම ජීවිතයක් ගොඩ නගා ගන්නවා. අන්න එවැනි දිනකදී නිවසේ ඉදන්ම අතිරේක ආදායමක් ලබා ගැනීමටත් ඔවුන් අද දවසේ ලබන මේ ඉගෙනුම වැදගත් වේවි.සමහර විට ඔවුන් නොදැනීම විහාල ව්‍යවසායකයින් බවට පත් වීමට පවා මේ පන්නරය උපකාරී වෙන්න පුලුවනි.

මැහුම මිතුරා කරගන්න..

ඔබේ දරුවාට මේ වාසි ලබා ගත හැක්කේ මැහුම මිතුරා වුනොත් පමණයි. ඒ වගේම මැහුම සමග මිතුරු වුනොත් උක්ත වාසි ලැබෙනවා වගේම විද්‍යුත් මෙවලම්ව නිල් ආලෝකයෙන් වගේ අහිතකර තත්වයන් ඇති වෙන්නෙත් නැහැ.ඒ නිසා පුංචි හිතට සතුට ඇති වෙන අන්දමින් පුංචි වයසේ පටන්ම මැහුම් ගෙතුම් සමග දරුවා මිතුරු කළොත් දෙමව්පියන් විදිහට ඔබ දිනුම්.

 

දරුවන්ගේ මල මුත්‍ර ආවේග

පුංචි පැටියාගේ ආහාරපාන වගේම මල මුත්‍රා කිරීම් ගැනත් මව්පියන්ගේ අවධානය දැක්විම ඉතාම වැදගත්.තොටිල්ලේ සිටියදී නම් මල මුත්‍ර පිටවීම දරුවාගේ හැඬීමෙන් අපට සන්නිවේදනය වුනත් කාලය සමග දරුවාට මල මුත්‍ර පිලිබඳ ස්වභාවික වාත වේග දරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසාම ඔවුන්ට මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට ඒ ගැන මව්පියන් වෙත සන්නිවේදන කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වුනත් මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය ගැන මව්පියන් දැනුවත් නොකරන පුංචි පැටවුන් නැතුවා නොවෙයි.

රාත්‍රි නින්දෙන් ඇද තෙමීම

වයස අවුරුදු පහක් පමණ වෙන විට දරුවාට රාත්‍රි නින්දේදී මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනුනොත් ඒ ගැන දෙමව්පියන්ට කියන්න පුලුවනි.දිවා කාලයේදී වුනත් මේ පනිවිඩය දැනුම් දෙන්න වගේම වැසිකිලියට යන තෙක් අවශ්‍යතාවය පාලනය කර ගැනීමේ හැකියාව දරුවන්ට තිබෙනවා.ඒත් ඇතැම් දරුවන් රාත්‍ර නින්දෙන් ඇද තෙමීම හෙවත් මුත්‍රා පිටකිරීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

ඇඳ තෙමීමට බලපාන හේතු

  • ඇතැම් දරුවන්ගේ මුත්‍රාශයේ ගෙල නිසි පරිදි පරිණත නොවීම නිසා මුත්‍රා පිටවීම ගැන ස්වයං පාලනයක් ඇති කර ගැනීම අපහසුයි.
  • මානසික ආතතිය
  • මුත්‍රා මාර්ගයේ ආසාදන
  • පාරම්පරික හේතු

පුංචි කාලයේවත් නොකළ දෙයක් මේ..

සමහර දරුවන් පුංචිම සන්දියේදී පවා රාත්‍රි කාලයේදී ඇඳේ මුත්‍රා පිට නොකලත් හොදින්ම දැනුම් තේරුම් ඇති කාලයේදී ඇද තෙමන අවස්ථා තිබෙන්න පුලුවනි. එවැනි අවස්ථාවලදී ඔබ විසින් දරුවාට දඬුවම් කරන්න එපා. මේ හදිසි වෙනස්වීමට හේතුව කුමක්දැයි සොයා බලන්න.

  • ඒ වගේම කිසිම දිනක දරුවා රාත්‍රි නින්දෙන් ඇද තෙමීම ගැන ප්‍රසිද්ධියේ උපහාසයට පත් කිරීමත් නොකල යුතුයි.
  • සමහර විට දරුවා නින්දට ආසන්නයේදී ප්‍රමාණය ඉක්මවා දියර ගැනීහ වැනි හේතුවක් මේ සදහා බලපානවා නම් නින්දට පෙර ලබා දෙන ජලය හෝ දියර පාන මාත්‍රාව අඩු කරන්න.
  • මුත්‍රා කිරීමෙන් පසුව දරුවාට නින්දට යෑම හුරු කරන්න.
  • නින්දෙන් කීප වාරයක් ඇඳ තෙමනවා නම් ඉහත දැක්වෙන පිලියම් ගැලපෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී දරුවා වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ලැබීම ඉතා වැදගත්

මලපහ කිරීමේ පුරුදු..

දරුවෙකුට මලපහ පිට වීම පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ මුත්‍රා පාලනය කිරීමටත් පෙරාතුවයි. මාස විස්සක් පමණ වෙන තෙක් මලපහ කිරීම පාලනය කළ නොහැකි වුනත් වයස අවුරුදු දෙකක් පමණ වෙන විට දරුවා පොටියට පුරුදු වෙනවා. ඒත් සමහර දරුවන් මේ පොටියෙන් මිදී සාමාන්‍ය වැසිකිලියක් වෙනුවෙන් යොමු කිරීම ඉතාම අපහසුයි. ඒ වුනත්  දෙමව්පියන් විදිහට ඔබ මේ තත්වයෙන් දරුවා මුදවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊට හේතුව දරුවා දිනපතා පාසලට යොමු වුනාට පසුව ඔවුන්ට පොටිය සමග පාසලට යෑමට බැහැ. හදිසියේ නොව සාමාන්‍ය පරිදි මල මුත්‍රා පිටවීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඇති වෙන නිසා වැසිකිලි යෑමේ පුරුද්ද ඇති කිරීම වැදගත්. එය එක රැයකින් ඇති කිරීමට පැහැ මේ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ වැසිකිළි පුරුදු නිර්මානය වෙනුවෙන් ඔබ අනුගමනය කළ යුතු ක්‍රමවේද තිබෙනවා..

පංතියේදී වුනත් අවශ්‍යතාවය දැනුම් දෙන්න

නිතරම දරුවාට පාසලේදී වුනත් එම අවශ්‍යතාවය ඇති වූ විට වැසිකිලි යෑමේ අවහ්‍යතාවය ගුරුතුමියට දන්වා සිටිමට උපදෙස් දෙන්න. ඇතැම් දරුවන් මෙම අවශ්‍යතාවයන් සිර කර තබා ගෙන පංතිකාමරයේ මලපහ පිට කිරීමෙන් පංතියේම දරුවන්ගේ අපහාසයට ලක් වෙන අවස්ථාවන් ඇත. ඇතැම් ගුරුවරුන් පවා මෙවන් අවස්ථාවන්හිදී දරුවන්ට චෝදනා නගනු ඇත. ඇත්තටම එය ගුරුවරුන්ට පවා කරදරකාරී කටයුත්තකි. මෙවන් කටයුතත්කින් අපහාසයට පත්වුනොත් දරුවාට පාසල පවා අප්‍රිය වෙන අවස්ථාවක් මෙන්ම මානසිකව ඇති වෙන බිඳවැටීම පහසු දෙයක් නොවේ. නැවත දරුවාගේ මානසිකත්වය ගොඩ නැගීමත් ඉතා අපහසුය.

එමෙන්ම නිතරම පාසල් යන දරුවාගේ පොත් බෑගයේ හෝ  පංතිකාමරයේ අතිරේක ඇඳුමක් තබන්න. යම් හෙයකින් වැසිකිලි යෑමේ කටයුත්තකින් හෝ වෙනත් කටයුත්තක් නිසා ඇඳුමට තෙමීම වැනි අනපේක්ෂිත සිදුවීමක් වුවහොත් මෙම ඇඳුම ඔහුට පහසුවක් වෙනු ඇත.

සෝදන්නත් පුරුදු කරන්න

වැසිකිලියයට හුරු කිරීම වගේම වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමටද දරුවාට හුරු කිරීම වැදගත්. අද පාසල් යන දරුවන්ට දෙක, තුන වසරේ වුනත් වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමට හුරුවක් නැති අවස්ථාවන් ඇත. ඔවුන්ට එසේ හැකියාවක් ඇතොත් ඒ නිවසේ පිහිටි නවීන පන්නයේ වැසිකිලියෙන් පමණි. එහෙත් සාමාන්‍ය පාඨශාලාවක තිබෙන වැසිකිලියකින්ද මෙම කටයුතු කරන අන්දම ගැන දරුවා දැනුවත් කරන්න. ඔබ දරුවා පිරිසිදු කිරීමෙන් පසුව ඔබ ඉදිරියේ සිටියදී දරුවාට එය කිරීමට අවස්ථාව ලබා දෙන්න. එයින් පසුව ඔබ වතුර වත් කරන විට සෝදා ගැනීමට හුරු කරන්න. මේ අන්දමට අදියරෙන් අදියරට දරුවා වැසිකිලි යෑමෙන් පසුව සෝදා ගැනීමේ කටයුතු ඉගෙන ගනු ඇත.

මලපහ පුරුදු ගොඩ නැගීමට  නම්..

ඩයපර් අවස්ථාව ඉක්මනින්ම නවත්වන්න.දරුවාට ඩයපර් ඇන්දවීමේදී එහිම මලපහ පිටකර ගැනීමේ පුරුද්ද දිගින් දිගටම පවත්වා ගත හැකි නිසා හැකි ඉක්මනින්ම දරුවා පොටියටත් එතැනින් වැසිකිලයටත් හුරු කරන්න.

ඔබේ දරුවාට වැසිකිලි යෑමේ රටාවක් ගොඩ නගන්න. පාසල් යෑමට පෙරාතුව උදේ වැසිකිලි යෑම දවසේ චර්යාවක් බවට පත් කරන්න.

වැසිකිලියෑම මානසික පසුබිම සමග සම්බන්ධ නිසා වැසිකිලියේදී දරුවාට බියක් නැති පරිසරයක් ඇති කරන්න. ඇතැම් දරුවන් වැසිකිලයේ දොර වසා ගැනීමට බියයි. තවත් අය වැසිකිලයේ දකින මකුලුවන් වැනි කෘමින්ට බියක් දක්වති.ඒ නිසා වැසිකිලි යෑම සමග ඇති වෙන මානසික ගැටුම් සමහර විටෙක භීතිකාවක් බවටත් පත් විය හැකියි.

නිතරම දරුවාට පහසුවෙන් ගැලවීමට හැකි යට ඇඳුම් අන්දවන්න. එසේ නොමැති වුනොත් දරුවාට මේවා ගලවා ගැනීමේදී ඇති වෙන අපහසුතාවයන් නිසා ඇදුම්වලම මල පහ පිටවීමට ඉඩ තිබෙනවා.

සෞඛ්‍ය හේතු

මලපහ පුරුදු සමග සෞඛ්‍ය හේතුන්ද සම්බන්ධව තිබෙනවා. දරුවාට ලබා දෙන ආහාර රටාවේ තන්තු ආහාර අඩු වීමත් මලපහ පිට නොවීමට හේතු විය හැකියි. කෝපි වැනි පාන වර්ග බහුලව පානය කිරීම සහ හොදින් ජලය පානය නොකිරීම නිසාත් මලපහ කිරීමේදී මල ඝන වීම වැනි අහසුතාවයන් ඇති විය හැකියි. මේ අපහසුතාවය නිසා දරුවා මලපහ කිරීමට බියක් දැක්වීම තෙක් තත්වය බරපතල විය හැකියි.

උදර සහ ආන්ත්‍රික ගැටළු නිසාත් දරුවාගේ මලපහ පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකියි.

වැසිකිලි  පහසුකම්…

පවුලක් තුළ සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගැනීමට නම් වැසිකිළි පහසුකම් ඉතාම වැදගත්. දරුවාට පාවිච්චි කළ හැකි අන්දමින් මෙන්ම මනා ජල සැපයුම් සහිත වැසිකිලියක් පවුලක අනිවාර්ය අංගයක් වීම ඉතාම වැදගත්

 

ඔබ දරුවාට මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න

දරුවෙකු ලෝකයට බරක් නොවන යහපත් චරිතයක් ලෙසින් දායාද කිරීමට නම් මව්පිය භුමිකාවත් කාලයෙන් කාලයට වෙනස් විය යුතුයි. පුංචි දරුවෙකු මෙල්ල කර ගැනීම පහසු වුනත් දරුවන් වැඩෙන විට සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා විට මව්පියන් ලෙස ඔබේ  භුමිකාවත් වෙනදාට වඩා වෙනස් විය යුතුයි.

නයෙක් වුනත් පෙනය පෙන්වන්න ඕන..

සාමාන්‍ය ජනවහරට අනුව කතාවක් තියෙනවා. නයෙක් වුනත් පෙනය පෙන්නුවේ නැත්නම් දර මිටියක් බදින්න වුනත් යොදා ගන්න පුලුවනිලු. එයින් කියැවෙන්නේ ”නයා ” කියන බලගතු පෞරෂය පවත්වා ගත යුතු  බවයි. දෙමව්පියන් වුනත් තමන්ගේ භුමිකාව පවත්වා ගැනීම වැදගත්. ඔබ දරුවන්ගේ හොදම මිතුරා විය යුතු බැව් ඇත්ත. ඒ මිත්‍රත්වයේදීත් යම් සීමාවක් අවශ්‍ය වෙනවා. ඔබ දරුවාගේ සමීපතමයා  වීම ඊට වඩා වැදගත්.එවිට දරුවාට ඔබ සමග ඒනෑස දෙයක් කතා කරන්න පුලුවනි. ඔබ හොඳම සවන්දෙන්නා වීමත් අවශ්‍ය වෙනවා.අන්න එතැනදී මිතුරාට වඩා සමීපතයාගේ භුමිකාව වැදගත්.

අවශ්‍ය තැනදී මව්පියන්ගේ පෞරෂයත් අවශ්‍ය වෙනවා

අම්මා,තාත්තා විදිහට ඔබ දරුවාට මිත්‍රත්වයේ දෑත දිගු කරන අතරවාරයේදීම ඇතැම් අවස්ථාවලදී දරුවන් වෙනුවෙන් යම් නීති රීති සහ සීමාවන් පැනවීමටත් සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී ඔබේ මව්පිය භුමිකාව වඩාත් වැදගත්.මිතුරෙකුට වඩා ඔබ්බට ගිය දෙමව්පියන්ගේ තීන්දු තීරණ දරුවාගේ ජීවිතය යහපත් අතට යොමු කරවන බවත් අමතක කරන්න එපා. ඒ වගේම දරුවා ඔබේ අවවාද පිලිගන්නා තැනට පත් වෙන්නේ ඔබ විසින් දරුවාගේ ලෝකයේ දෙමව්පියන් ලෙස ඔබ මුල් කර ගෙන ගොඩ නගා ඇති චිත්‍රයට අනුවයි.

හොඳම සවන්දෙන්නා වෙන්න

දරුවාගේ ප්‍රශ්නවලදී දෙමව්පියන් ලෙස ඔබ හොඳ සවන්දෙන්නෙක් බව ඇත්ත. බොහෝ විට දරුවාගේ දවසේ සියලු ප්‍රශ්න ඔබ සමග කතා කිරීමට කාලය එලැඹෙන තුරු බලා සිටිනු ඇත. ඒ නිසා දරුවා ඔබ සමග කතා බහට සූදානම් අවස්ථාවලදී ඔවුන් මග හරින්න එපා.

කාලය නැති බව ඇත්ත..

උදේ පටන් රාත්‍රිය වන තුරු ජීවිතයේ විවිධ ගැටලු සහ ගැටුම් දෙමව්පියන් විදිහට ඔබටත් ඇති.ඒ වුනත් කිසිම දිනක දරුවා දවසේ කාලය ගෙවූ අන්දම කතා බහ කිරීම මග අරින්න එපා.දරුවන්ට ඔබ සමග කතා බහට කාලයක් නොවුන තැන ඔවුන්ගේ ප්‍රශ්න හිතේ සිරගතව තිබෙන නිසා එය පුපුරා යන තෙක් දෙමව්පියන් හෝ නොදන්නා තැනට පත් විය හැකියි. ඒ නිසා දරුවාගේ මිතුරාට වඩා හොදම සමීප හිතවතා වුන තැනදී දරුවන් ඔබ සමග ඔවුන්ගේ හිතේ ඇති සියල්ල නොවලහා කීමට මැලි වෙන්නේ නැහැ.ඒ සමගම දරුවාගේ ගැටලුවලට නිසි මාර්ගයක්ද කියා දෙන්න. කළ යුතු දෙය සහ නොකළ යුතු දේ ගැන දැණුවත් බව දෙමව්පියන් විදිහට ඔබේ අත්දැකීමෙන් ලබා ඇති දැණුමෙන් දරුවන්ට යා යුතු මග නොමග කියා දෙන්න.

 දරුවන්ට ආදර්ශමත් වෙන්න

ඔබේ දරුවා උස් මහත් වෙන විට දෙමව්පියන් ලෙස ඔබ පුර්වාදර්ශ චරිතයක් විය යුතුයි. දරුවන් බොහෝ විට ආදර්ශය ලබන්නේ දෙමව්පියන්ගෙන්. එය වචන ලක්ෂ ගණනින් වැය වෙන අවවාදයන්ට වඩා වැදගත්

ඔවා දෙනු පරහට- තමා සම්මතෙහි පිහිටා සිට

දුසිරිත දනන් දෙන- ඔවා වැද්දන් දෙසන බණ මෙන

මෙය ඔබ මුල් කර ගෙන හිතන්න. දරුවන් මෙතැනදී ඔබට ඇඟිල්ල දිගු කිරීමට ඉඩ තබන්න එපා. ඔබ දරුවාට එක් ඇඟිල්ලක් දිතු කරන විට තවත් ඇඟිලි හතරක් ඔබ වෙතට එල්ල වී තිබෙනවා. ඔබ සැබෑම ආදර්ශමත් දෙමව්පියෙකු නොවුනේ නම් දරුවා විසින්ම ඔබේ වැරදි ගැන පාරාවළල් ඔබ වෙතට එල්ල කිරීමට පුලුවනි. ඒ නිසා නිතරම අවවාදයට වඩා ආදර්ශය උතුම්. විශේෂයෙන් හය හතර තේරෙන විට දරුවා දෙමව්පියන්ගේ චරිතය පාදක කර ගෙන මවා ගන්නා ප්‍රතිරූපය ඔවුන්ගේ ජීවිතය සැලසුම් කර ගැනීමට ප්‍රබල අන්දමින් බලපාන්න පුලුවනි.

පවුලක් වුනොත් රහස් නැහැ.

පවුලක් වුනොත් අම්මා මුළුතැන්ගෙයි..තාත්තා කන්තෝරුවේ…දුවයි පුතයි ඔන්ලයින්..මෙන්න මේ හැසිරීම ඔබේ පවුලෙන් දුරස් වීම වැදගත්. පවුලේ සාමාජිකයන් විවිධ හේතු මත විවිධ අවස්ථාවල වෙන් වෙන් කාර්යන්හි නිරත වෙන්න පුලුවනි. එය සාමාන්‍යයි. ඒත් පවුලක තිබිය යුතු සහජිවනය මේ කාර්යන් සමග පවා සම්බන්ධ කර ගැනීම වැදගත්. දරුවන් කරන දේ අම්මා වගේම තාත්තා දැන ගෙන සිටිම වැදගත්. අම්මා,තාත්තාගේ කටයුතු දුව වගේම පුතාද දැන ගෙන සිටීම අවශ්‍යයි.පවුලක අම්මා නොදන්නා රහස් වගේම දරුවන් නොදන්නා රහස් තිබිම එතරම් සුදුසු නැහැ.ඒ නිසා පවුලේ හැම දෙනාම එකට එක්ව එකම මාවතක ගමන් ගැනීම ඉතාම වැදගත්.පවුලක පැවැත්ම ඇත්තේ එතැනයි.

 විශ්වාසය පෙන්වන්න හැබැයි විපරමින් ඉන්න..

ඔබ දරුවන් අවිහ්වාස නොකරන බව පෙන්වුවත් ඒ අතර විපරමින් සිටීම වැදගත්. දරුවන් වුනත් අපට සියයට සියයෙන්ම විහ්වාස කරන්න බැහැ. ඇතැම් විට ඔවුන් බොරු කියන්න පුලුවනි. පාසල අවසානයේදී මිතුරෙකු සමග වෙනත් ගමනක් යා හැකියි. ඒ නිසා පාසල අවසානයේ සහ නිවසට පැමිනෙන වේලාව අතර කාලය ගලපා ගෙන ඔබට යම් බොරුවක් කියනවා නම් ඒ ගැන සොයා ගන්න. මුලින්ම දරුවාගේ යම් වැරැදි මගක යනවා නම් එය හසු කර ගැනීමට ඔබේ උකුසු ඇස වැදගත්.

අපේ පුතා එහෙම නැහැ.

ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන උපරිම විශ්වාස තබනවා. අද සමාජය බොහොම විෂමයි. දරුවන් ගිල ගන්නා අකටයුතු දරුනුයි. විෂ මත් ද්‍රව්‍යන්ට දරුවන් ගොදුරු වෙන වාතාවරණයකදී ඔබේ දරුවා ගැන යම් පනිවිඩයක් ලැබුනොත් එය කියන ලද තැනැත්තට ස්තුතිවන්ත වෙන්න. එතැනින් පසුව ඒ ගැන සොයන්න. අනවශ්‍ය අන්දමින් දරුවන් විශ්වාස කරන්නත් එපා.

තොරතුරු දුන් අය ආරක්ෂා කරන්න

ඇතැම් දෙමව්පියන්ට මෙවැනි තොරතුරක් ලද විට එය ලබා දුන් තැනැත්තා ගැනත් දරුවා කියනවා.මේ අන්දමින් තොරතුරු දුන් අය ගැන දරුවාට කියන්න එපා. එය තවත් ප්‍රහ්නයටක මුල පිරීමක්. නව යොවුන් දරුවන්ගේ ඉවසීම අඩුයි. ඔවුන් මේ තොරතුරු ලබා දුන් පුද්ගලයන් සමග අනවශ්‍ය අන්දමින් පැටලෙන්න පුලුවනි. ඒ නිසා මේ තොරතුරු වටිනා බව පමණක් සිතන්න.සමහර විට තොරතුරු අසත්‍ය නම් දරුවාගේ ආවේග තවත් දරුණු විය හැකියි. ඒ නිසා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව සිතා ඒ අනුව කටයුතු කරන්න. එය හොඳම විසඳුමක්.

එහෙමනම්…දරුවන් විශ්වාස කරන බව කියන්න. දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටුන විට එය ගොඩ නැගීමත් පහසු කාර්යක් නොවන බවත් කියා දෙන්න.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ මිතුරා නොව විශ්වාසවන්තයා වෙන්න. එවිට දරුවාගේ ලෝකයේ  ඔබ තරම් විශ්වාසවන්ත තවත් පුද්ගලයෙකු නොමැති බව රහසක් නොවේ.

 

 

පැටියෝ…අම්මා හෙට ඔෆිස් යනවා.

පුංචි පැටියා ලැබිලා දැන් මාතෘ නිවාඩු උපරිමයෙන්ම අරගෙනත් අවසානයි. දන්නේම නැතුව මුල් මාස හයත් ගෙවී ගියා. දැන් ඉතින් ආපසු කන්තෝරු යන්නත් ඕන.ඉගෙනගෙන අමාරුවෙන් උපයා ගත්තු රැකියාව අහිමි කර ගෙනත් බැහැ.ඒත් පුංචි කිරිකැටියා නිවසේ දාලා රාජකාරියට යන්නේ කොහොමද කියල හිතන්නත් බැහැ..

ඒත් යන්නම එපායැ..

ඔව් මවක් ලෙස ඔබ දරුවා වගේම රැකියාවත් ආරක්ෂා කර ගන්න ඕන.ඒත් පුංචි පැටියා මානසිකව වැටෙයිද..? අම්මාව හොයයිද..? අම්මාගේ අඩුව කාගෙන් පිරිමසා ගන්නද..? ඉතින් ප්‍රශ්න වැලක් තියෙනවා. මේ සේරම ඇත්ත. නමුත්..දැන් මොකද කරන්නේ…

අද නැති වුනත් හෙට අම්මා නැවත සුපුරුදු රාජකාරියට යන්නම ඕන. ඉතින් ටිකෙන්ටික දරුවා හුරු කරන්න ඕනමයි.එය ගහෙන් ගෙඩි එනවා වගේ සිදු වුනොත් නම් දරුවා කඩා වැටෙන්න පුලුවනි. ඒ නිසා ඔබ සෙමෙන් සෙමෙන් දරුවා අලුත් පරිසරයට හුරු කරන්නම ඕන.

අතිරේක ආහාර පුරුදු කරන්න.

වාසනාවකට වගේ දැන් සෑම මවක් වෙනුවෙන්ම මාතෘ නිවාඩු අයිතිය තියෙන නිසා දරුවාගේ මුල් මාස හය වෙන තෙක් අම්මා නිවසේ සිටිනවා. වැටුප් රහිත නිවාඩු හෝ ලබා ගෙන සෑම අම්මා කෙනෙක්ම වගේ මුල් මාස හය පුරා දරුවාට මව්කිරි ලබා දෙන්න සූදානම්.

හැබැයි රාජකාරියට යන විට මව්කිරි දීමේ කාලය වෙනස් වෙන නිසාත්,දරුවාට ඝන ආහාර ලබා දෙන කාලය සම්පූර්ණ නිසාත් ඒ වෙනුවෙන් දරුවා හුරු කරන්න. එහෙම නැති වුනොත් බඩගිනි පැටියා කිරට අඬාවි. ඒ බව සිහිවෙන අම්මාට කන්තෝරුවේදීම කිරි එරෙන්න පටන් ගනීවි. ඒ වගේම මව්කිරි දෙන විට අම්මා පැටියා සමීපයේම සිටියත් හෙට අනිද්දා දරුවා රැක බලා ගන්නා අයට දරුවාගේ ආහාර කවන පිළිවෙලත් කියා දෙන්න.ටිකෙන් ටික දරුවා අලුත් මුහුණට පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා.

එහෙමනම් දැන් පටන් ගනිමු.

ඔව් ඔබට නැවත රාජකාරියට යන දිනය නියමිතයි. ඒ නිසා පැටියා අලුත් පරිසරයට හුරු කරන්න. වෙනදා වගේ පැටියා අඬන සැනින්ම ළගට යන්න එපා. දැන් පැටියා නිවසේ අය හොදින් අදුනනවා. අඩන හැම වාරයකදීම අම්මා ළගට යනවා නම් පැටියා හෙට දවසේදීත් අම්මා තමා වෙතට එතැයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මල මුත්‍රා කර ගෙන අඩන දරුවා වෙතට පවුලේ වෙන කෙනකු යවන්න. එහෙම නැත්නම් හෙට අනිද්දා ඔබ සේවයට කැඳවන්න සිටින සේවිකාව හෝ ඥාතියා  පැටියා සමීපයට යවන්න. එහෙම වුනාම අම්මා නැතුව තමාගේ සමීපයේ තවත් රැකවරණයක් තිබෙන බැව් පැටියා තේරුම් ගනීවි.

අම්මා පැය දෙක තුනක් දුරස්ව ඉන්න

මෙලොව එලිය දුටුව දා පටන්ම දරුවා සමග සිටියත් දැන් අම්මා දවසේ පැය නවයක් හෝ දහයක් දරුවාගෙන් දුරස්ව සිටින්න වෙනවා. මෙය දරුවා දරා ගන්නේ කොහොමද කියන එක් ගැටලුවක්. ඒ වගේම අම්මාටත් පැටියා නිවසේ තනි කරල ඉන්න අපහසුයි. ඉතින් අම්මාගේ මානසිත්වයත් දරුවාගෙන් තාවකාලිකව දුරස් වීමට ගැලපෙන අන්දමින් සූදානම් විය යුතුයි. අවුරුද්දක් විතර කාලයක් පැටියා සමග නිවසේ සිටියා. ගියොත් ගියේ සායනයට විතරයි.මම කොහොමද පැටියා නිවසේ තනි කරලා පැය දහයක් ගෙවන්නේ…

මෙහෙම කළොත්..

ඔබ සෙමෙන් සෙමෙන් කාලය දුරස් කරන්න. මුලින් පැය බායක් පමණ දරුවාගෙන් දුරස්ව සිටින්න. මෙය ක්‍රමයෙන් පැයක් දෙකක් වගේ කාලයක් කරන්න. දැන් පැටියාටත් යම් අදහසක් ඇති. අම්මා දැන් නැති වුනත් තව ටික වේලාවකින් ගෙදර එනවා.. මේ ශක්තිය නිසා දරුවාගේ හිතේ බිය සහ පාළුව නැති වේවි.

සන්නිවේදනය තබා ගන්න.

පැටියා නිවසේ තබා කන්තෝරු යන ඔබ නිවස සමග සන්නිවේදනය තබා ගන්න. දරුවා රැකබලා ගන්නා අය සමග සම්බන්ධතාවය තබා ගන්න. දැන් ජංගම දුරකථන නිසා එය කිසිම අපහසුවක් නැහැ.ජංගම දුරකථනයක් නිවසේ අයට නැත්නම් අනාගතයේදී හෝ දුරකථන පහසුකමක් ලබා ගන්න. දැනට අසල්වැසි නිවසක් සමග හෝ සම්බන්ධතාවය පවත්වා ගෙන දරුවා ගැන සොයා බලන්න.

විටින් විට නොදන්වා එන්න

පවුලේ අයෙකු දරුවා රැක බලා ගන්නවා නම් මෙය ගැටලුවක් නොවෙයි. ඒ වුනත් බාහිර පුද්ගලයෙකුගේ සේවය ලබා ගනන්වා නම් ටිකක් විමසිලිමත් වෙන්න. කෙටි නිවාඩුවක් හෝ වරු නිවාඩුවක් සමග නොදන්වා නිවසට එන්න. එසේ නොමැති වුනොත් සේවයේ යෙදී සිටින අය දරුවා රැක බලා ගැනීමේදී යම් යම් වංචා සහගතව කටයුතු කරන්න පටන් ගනීවි.

තරුණ වයසේ සේවිකාවක් නම් ඇගේ පෙම්වතා නිවසට ගෙන්වා ගන්න පුලුවනි. මැදි වයසේ අයෙකු නම් දරුවා නිදි කරවා අසල්වැසියන්ගේ සේවාවන් සපයමින් අමතර ආදායම් ලබන්න පුලුවනි. සෑම සේවිකාවක්ම මේ විදිහට නොවුනත් මෙවැනි සිදුවීම් නොවෙනවාම නොවෙයි.

ඔබේ මව හෝ වැඩිහිටියෙකුගේ රැකවරණයේ සිටිනවා නම්..

මට නම් අපේ අම්මා පැටියා බලාගන්න නිසා කිසිම බයක් නැහැ. ඒක සම්පුර්ණ ඇත්ත. නමුත් මේ අවධිය වෙන විට ඔබේ මවත් වැඩිහිටි නිසා ඇය යම් යම් රෝගාබාධයන්ගේ ගොදුරක් වෙන්න පුලුවනි. ඒ නිසා හදිසියේ හෝ ඇය අසනීප වුනොත් පැටියාටත් ගැටළුවක් නිසා ඹබේ දරුවා රැකබලාගන්නා අය ගැනත් සැලකිලිමත් වෙන්න.

ඉතින්…ඔබ රැකියාවක නිරත මවක් නම් අනාගතයේදී රැකියාවට යන දිනය හෙවත් මාතෘ නිවාඩු අවසාන වෙන දිනය දන්නා නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හදිසියේම නිවාඩු අවසාන වූ දිනයේ ඔබට දරුවා බාර දීම පහසුවක් නොවෙයි. එවිට දරුවාටත් ගැටලුවක්. දරුවා අලුත් මුහුණට බියක් දක්වන්න පුලුවනි.හැබැයි ක්‍රමයෙන් පුරුදු කලොත් ඔබටත් නිදහසේ රැකියාව කරන්න පුලුවනි. දරුවාත් ඔබ නැවත නිවසට එන තෙක් සුවසේ හිදීවි. එහෙම වුනොත් අම්මා එන තෙක් පැටියා නාඬා ඉඳීවි.

 

දරුවන් නිරාහාරව පාසල් යන්නේ ඇයි ?

අපේ අත්තම්මාටවත් නොතිබුන ලෙඩ රෝග දැන් කාලයේ තරුණ දරුවන්ට..ඔන්න හැම තැනින්ම ඇහෙන ප්‍රශ්න. මේ අතර එක් වෛද්‍යවරයෙකු විසින් මේ අන්දමේ ඉතාම කනගාටුදායක සටහනක් තබා තිබුනා.

අනාගතයේදී බොහෝ දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ අවමංගල්‍යයන්ට සම්බන්ධ වීමට තරම් අවාසනාවන්ත තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ තරම් ඛේදනීය තත්වයක් වෙනුවෙන් අපේ දරුවන් යොමු වීමේ අවාසනාව දෙමව්පියන්ගේද…එහෙම නැත්නම් දරුවන්ගේද..?

අකමැත්තෙන් වුනත් කියන්න වෙන්නේ…” මේ දෙගොල්ලන්ගේම ” කියන පිලිතුරයි.

ඉතින් ඇයි එහෙම වෙන්නේ..?

මෙවැනි අනතුරක් ඉදිරියේ අප සිටිනවා නම් එතැනින් මිදෙන්න අපි උනන්දු වීම වැදගත් නේද…? මෙහෙම වේවි.. අනේ අපොයි කියවනවාට වඩා විසඳුමක් සොයා බලද්දී මේ ගැන අපි හිතුවොත් නරකද..?

රජෙක් වගේ ගත යුතු උදේ ආහාරය…

අපේ උදේ ආහාරය රජෙක් වගේ ගත යුතු වුනත් අද කාලයේ දරුවන්ගෙන් වැඩියෙන්ම මග හැරෙන්නේ උදේ ආහාරය කිව්වොත් ඔබත් එකඟ ඇති..දරුවන් පාසල් යවන්න…සැමියා කන්තෝරු පිටත් වෙන්න..දවල් ආහාරය පිලියෙළ කරන්න.. මේ සියළු වැඩ රාජකාරි සමග උදේට බත්, ව්‍යංජන සකස් කරන්නේ කොහොමදෑ…කියල ඔබ සිතුවත් අනිවාර්යෙන්ම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් උදේ ආහාර මග හරින්න නම් ඉඩ දෙන්න එපා.

  • අපි පේස්ට්‍රි ෂොප් එකෙන් උදේට මොනවා හරි ගන්නවා..

ඔබ එහෙම සිතුවත් ”මොනවා හරි ” කියන්නේ විසඳුමක් නොවෙයි. ඇත්ත…. ඔබ යන අතරමග තිබෙන පේස්ට්‍රි ෂොප් එකකින් සොසේජස් බනිස් එකක්,කේක් එකක්, එහෙම නැත්නම් බයිට් පැකැට් එකක් මිලට ගන්නවා වෙන්නැති. ඒත් මේ ආහාරවලින් ඔබේ සිරුරට එකතු වෙන්නේ තෙල්, සීනි සහ ලුණු විතරයි.

උදේට බීම එකකුත් ගන්නවා..

ඇත්ත..ඒත් මේ සකස් කළ බීම කියන්නේ සීනි ගබඩාවක් පමණයි. වර්ණ වලින් සීනි ප්‍රතිශතය දක්වලා තිබුනත් ස්වභාවික පළතුරකින් හෝ බත් කැඳ කෝප්පයකින් සිරුරට ලැබෙන පෝෂණය නම් ඔය කියන පැණි බීම පැකට්ටුවකින් ලබා ගැනීම බොරුවක්.

උදේ ආහාරය මග හැරීමෙන් සිදු වෙන දේ මෙන්න…

ඔබ සහ දරුවන් විසින් උදේ ආාහරය මග හැර වෙනත් විවිධ තෙල්, ලුණු සහ සීනි අධික නිසරු ආහාර වෙනුවෙන් යොමු වු‍නොත් එයින් සිදු වෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා.

අනවශ්‍ය අන්දමින් කැලරි ගබඩා වීම- 

නිසරු ආහාරවල පෝෂණීය තත්වය කෙසේ වෙතත් තෙල් සහ පිටි නිසා ඔබේ සිරුරට අනවශ්‍ය අන්දමින් කැලරි ගබඩා වෙනවා. ඒ වගේම දරුවන් වාහනයෙන් පාසලට…පාසලෙන් වාහනයට නිසා මේ කැලරි දහනය වීමකුත් නැහැ. ඒ නිසාම දරුවන් බෝ නොවන රෝගවල ගොදුරක් වීමත් ඉතාම පහසුයි.

පෝෂණය පිලිබඳ ගැටළු

උදේ ආහාරය පමණක් නොවෙයි, අද දරුවන්ට ගුණාත්මක බවෙන් යුක්ත ආහාර වෙනුවෙන් ඉඩක් ඇත්තේම නැහැ.ඒ නිසා අද දරුවන් අතර පහත දැක්වෙන රෝග තත්වයන්ද බහුලයි.

  • තරබාරුව
  • යකඩ ඌනතාවය
  • පෝෂණ ඌනතා
  • අඩු වයසේදී මල්වර වීම
  • මල්වර වෙන වයසේදී මල්වර නොවීම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • වැඩිහිටි අවධියේදී බෝ නොවන රෝගවලට ගොදුරු වීම

දරුවන් කියල නිදහස් කරන්න බැහැ..

අපි ගන්න ආහාර රටාව නිසාම අපේ දරුවන් බෝ නොවන රෝගවල ගොදුරක් බවට පහසුවෙන්ම පත් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට බෝ නොවන රෝග

  • දියවැඩියාව
  • කොලස්ටරෝල් ගබඩා වීම සහ එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හදවත් රෝග ආශ්‍රිත සංකුලතා.
  • පිළිකා
  • රුධිරපීඩනය
  • ආඝාතය
  • වකුගඩු ආබාධ

පංතියේ ක්ලාන්ත වීම

ඉස්සර දරුවෙක් පංතියේ ක්ලාන්ත වුනොත් බොහෝ දෙනා ඒ ගැන අනුකම්පාවෙන් කතා කළා. ගෙදර මිළ මුදල් ප්‍රශ්න ඇති. බඩගින්නේ ඇවිත්…එදා එහෙම වුනත් අද දවසේ නම් දරුවන් නිරාහාරව පාසල් යන්නේ නැති බැරිකමට නොව උදේ ආහාරය ගැන ඕනෑ නැති කම නිසයි.නමුත් උදේ ආහාරය මග හැර නිරාහාරව පාසල් ගියොත් සිදු වෙන විපාකත් තිබෙනවා.

  • කුසගින්න නිසා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් ශක්තිය නැහැ.
  • ධාරණය කර ගැනීම අපහසුයි.
  • දැනෙන අපහසුතාවයන් නිසා ඇති වෙන පීඩනය
  • දිගින් දිගටම කුසගින්නේ සිටීම සමග ඇති වෙන පෝෂණ ඌනතාවයන් නිසා අධ්‍යාපනයේදී පසුගාමී වීම.

කිව්වට කන්නේ නැහැ කියල නිහඩ වෙන්නත් එපා

දරුවන්ගේ ආහාර රටාව අපට අවශ්‍ය අන්දමින් ගලපන්න බැහැ. ඒක ඇත්ත. නමුත් එහෙම කියල දරුවන්ගේ ආහාර පිලිවෙත ඔවුන්ගේ නිරෝගිතාවයට නුසුදුසු අන්දමින් සිදු වෙනවා නම් ඒ භයානක තත්වයෙන් දරුවන් මුදවා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් විය යුතුයි.

දරුවන්ගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද..?

දරුවන්ගේ ආහාර ගැන කිව්වොත් අම්මා..තාත්තා ගැන කතා නොකරම බැහැ. ඒ නිසා දරුවන්ගේ ආහාරවේල පෝෂණීය අන්දමින් සකස් කිරීමට දෙමව්පියන්ගේ දායකත්වය  අවශ්‍යයි. එහෙමනම් මේ දාහක් වැඩ කටයුතු සමග අපි දරුවන්ගේ ආහාර ගැනත් අවධානයක් දෙන්නේ කොහොමද…?

පෙර සූදානම..

ඔබට කලබල උදෑසන සමග දරුවන්ගේ ආහාර සකස් කිරීම පහසු කාර්යක් නොවෙනවා නම් ඒවා කල් තබා සූදානම් කරන්න. උදේට පලා වර්ග තෝරන්න අපහසු නම් පෙරදා ඒවා තෝරා පිරිසිදු කරන්න.

කාලය වැය වෙන ආහාර උදේට අවශ්‍ය නැහැ. නිතරම කාලය අඩුවෙන් වැය වෙන නමුදු පෝෂණයෙන් යුක්ත ආහාර ගැන අවධානය දක්වන්න.

බත් පමණක් නොවෙයි..

ඔබේ දරුවාට උදේට බත් පිලියෙල කිරීම අපහසු විය හැකියි. සමහර විට ඒ වෙනුවෙන් ව්‍යංජනත් අවශ්‍ය නිසා කඩල, මුංඇට, කව්පි වැනි දේවල් වුනත්උදේ ආහාරයට යෝග්‍යයි. ඒ වගේම එලවලු බතක්, බිත්තර බතක්, ඕට්ස් එහෙම නැත්නම් එළවලු පෑන් කේක් එකක් ,හබල පෙති ආදියෙන් විවිධ දේ වෙනුවෙන් යොමු වෙන්න. ඒ හැම අවස්ථාවකදීම දරුවාගේ කුස පිරෙන, අනවශ්‍ය තෙල්,ලුණු සහ සීනි නොමැතිව සකස් කර ගත හැකි දේවල් වෙනුවෙන් යොමු වෙන්න.

නිවාඩු දවසුත් තියෙනවානේ…

ඔබට රටාවක් ලෙසින් හැම උදේකම යම් අන්දමකින් පෝෂණීය ආහරයක් ලබා දීමට අපහසු විය හැකියි.ඒ වගේම දරුවාට උදේ කාලයේ ඇති සීමිත කාලයේදී  මේ සියල්ල ආහාරයට ගැනීමත් අපහසුයි. විශේෂයෙන් කෝප්පයක් බිව්වොත් එදාට නැවත පරිපූර්ණ උදේ ආහාරයක් ගැනීම අපහසුයි. ඒ නිසා නිවාඩු දිනයන්හිදී විරාමයක් තබා දරුවාට ආහාර ගත හැකි නිසා එදිනට ඔබ පවුලේ ආහාර ගැන වැඩි අවධානයක් ලබා දෙන්න.

 

දරුවා “භාෂාව” ඉගෙන ගනු ලබන්නේ කෙසේ ද? (දෙවන කොටස)

භාෂාව යනු මිනිසාගේ මුලිකම සන්නිවේදන මාධ්‍යයි. දරුවා භාෂාවේ ඉගෙන ගනු ලබන ආකාරය හා ඊට දෙමව්පියන් විසින් සලසා දිය යුතු පරිසරය හා ඒ හා බැඳී පවතින මතවාද පිළිබඳ සාකච්ඡා කරන ලිපියේ දෙවන කොටසයි මේ දිගහැරෙන්නේ. 

භාෂාව වූ කලී ඉමහත් සංකීර්ණ ප්‍රස්තුතයකි. හුදෙක් මිනිසාට පමණක් පොදු වූ මෙම භාෂාව ඇතැම් සතුන් තුළ ද පවතින බවට හඳුනාගෙන ඇත. පළමු ලිපිය තුළ දරුවාගේ භාෂාව ඉගෙනීමට අවශ්‍ය පසුබිම සැකසෙන අයුරු සාකච්ඡා කර ඇති අතර මෙම ලිපිය එහි දිගුවකි.

විධිමත් ඉගැන්වීම් ක්‍රමවේදයකින් තොරව දරුවා භාෂාව ඉගෙන ගන්නා බව ඔබට දැන් වැටහෙනවා ඇති. තනි වචන කතා කරන දරුවා සංකීර්ණ වාක්‍ය රටාව හා ව්‍යාකරණ කෙසේ ඉගෙන ගනීවි ද? ඔබ ඒ පිළිබඳ මොහොතක්වත් සිතුවාද? 

තවද වැදගත්ම දෙය නම් වර්තමාන දරුවන්ගේ පළමු වචන කිහිපය හා වාග් වාග්මාලාව දරුවාගෙන් දරුවාට වෙනස් වීමයි. දෙමව්පියන් වශයෙන් ඔබගේ කුඩා කල වාග්මාලාව හා වාක්‍ය රටාව අද ඔබගේ දරුවාගේ වාග් මාලාව හා වාක්‍යය රටාවෙන් වෙනස් වී ඇති බව මොහොතක් සිතුවොත් ඔබටත් වැටහේවි. මෙය කාලානුරූපී වෙනස් වීමකි. උදාහරණයක් ලෙස දෙමාපියන් වශයෙන් ඔබ කුඩා කල “පාන්” යන වචනය පළමු පෙළ වචනයක් ලෙස පවසා ඇතැයි සිතමු. නමුත් වර්තමානයේ  ඔබගේ දරුවා පාන් යන වචනය පැවසීමට පෙර “Pizza” යන වචනය පැවසීමට හැකියාවක් ඇත. ඊට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ වර්තමාන සමාජ ආර්ථික පසුබිමයි. බොහෝ නගරාසන්න දරුවන් ගත කරන ජිවන රටාව  හා ඔවුන් වැඩෙන පරිසරය හා බැඳී පවතින වචන ඔවුන්ගේ පළමු පෙළ වාග්මාලාව ට පැමිණෙන අතර දුෂ්කර පළාතක වැඩෙන දරුවන්ගේ වාග්මාලාව එම දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික ක්‍රමය අනුව සැකසෙන වචන වීමට හැකියාව පවතී. එම නිසා දරුවාගේ භාෂා වර්ධනයට දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික පසුබිම බලපාන බවද එම වාග්මාලා වෙනස සාමාන්‍ය තත්ත්වයක් බව ද ප්‍රකාශ කළ යුතුමය. 

දරුවා වැඩෙත් ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින දරුවා තේරුම් ගන්නා වචන (Receptive vocabulary) හා දරුවා වාචිකව ප්‍රකාශ කරන වචන (Expressive vocabulary) ප්‍රමාණය වැඩිවීම ක්‍රමික වර්ධනයකි. එම වර්ධනයත් සමඟ ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින වචන එකතු කර ගනිමින් වාක්‍ය තැනීමට පෙර වාක්‍ය ඛණ්ඩ (Phrases)  තැනීම ආරම්භ කරයි.

උදා: බබා අත (බබාගේ අත)

        අම්මා කෝප්පය (අම්මගේ කෝපය) ආදී 

මේවා සම්පූර්ණ වාක්‍යය නොවුනත් දරුවා අයිතිය හගවන වාක්‍ය හෝ දරුවා තුළ පවතින වචන එකතු කරමින් වාක්‍ය ඛණ්ඩ සැකසීම සිදු කරයි. ඉන් පසුව දරුවා ක්‍රමයෙන් ක්‍රියා පද, නාම විශේෂණ, නිපාත  තම වාග් මාලාව ට එකතු කර ගනී. 

ඉන් පසුව දරුවා තමා ප්‍රකාශ කරන වාක්‍ය ඛණ්ඩ තවත් වචනයක් හෝ කීපයක් වැඩි කරමින් ඉදිරිපත් කිරීම භාෂා වර්ධනයක් සමඟ සිදු කරයි. 

උදා: අම්මා බත් කනවා

        සුදු පාට කාර් ආදී 

මෙම වාක්‍ය බොහෝ විට ව්‍යාකරණානුකූල ව  නිවැරදි ම විය නොවිය හැක. නමුත් දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි වැදගත් ම දේවල් අතර දරුවන් ප්‍රකාශ කරන කෙටි වාක්‍ය ට  තවත් වචනයක් එකතු කර දරුවාට කියා දීම නැතහොත් දරුවා ව්‍යාකරණානුකූල නොවන වාක්‍ය තනන විට ඒවා අගය කරමින් නිවැරදි කිරීම ආදිය මගින් දරුවාගේ  වාචික ප්‍රකාශනය වර්ධනය කළ හැකි ය. 

ඒ අනුව, දරුවා තුළ නිරායාසයෙන් පැමිණෙන භාෂාව ඉගෙනීමේ හැකියාව වර්ධනය වීමට බලපාන කරුණු, ඊට අවශ්‍ය පරිසරය නිවස තුළ සකසන අයුරු හා  දරුවා සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔබට හරි වැටහීමක් තිබීම දරුවාගේ භාෂා වර්ධනය ට මහත්  රුකුළක් බව පෙන්වා දිය හැකිය. 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සැලසෙන සේවාවන් ගැන ඔබ දැනුවත්ද?

නිදහස් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිතව ඇති අප රටේ මෙම සෞඛ්‍ය සේවාව රෝගී සත්කාරක සේවාව හා රෝග නිවාරණ අංශය නමින් කොටස් දෙකකට බෙදේ. මින් රෝහල් පද්ධතිය රෝගී සත්කාරක සේවාව සපයන ආයතනය වන අතර රෝග නිවාරණ සේවාවේ මූලික කොඳු නාරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි.(Medical Officer of Health)

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරිපාලනය ස්ථාපිතව ඇති මෙහි අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු, මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළත් ක්‍ෂෙත‍්‍ර කාර්ය මණ්ඩලයක් හා කළමනාකරණ සහකාර සංවර්ධන නිලධාරී මඩුල්ලකින් ද සමන්විතය. 

ක්‍ෂෙත‍්‍ර කාර්ය මණ්ඩලය ප‍්‍රජාවේ මූලික ඒකකය වන පවුල වෙතටම ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව සොයා බලමින් අවශ්‍ය පරිදි මැදිහත් වීම් සිදුකර ඔවුනගේ සෞඛ්‍යය නංවාලීමට කටයුතු කරන අතරම සායනික සංරක්‍ෂණය අවැසි අවස්ථාවන්හිදී ඔවුන් සායනයන්ට යොමු කර වෛද්‍ය පරීක්‍ෂාවන් සිදු කිරීමත් වෛද්‍ය පරීක්‍ෂාවට ලක්කර විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමත් මේ හරහා ජනතාවගේ නිරෝගී බව සුරැකීමට සිදුකරන එක් ක්‍රියාවකි. 

නිවාරණ සෞඛ්‍ය සේවාවේ මූලිකම ඒකකය යෝග්‍යතා පවුල වේ. ක්‍ෂෙත‍්‍රය තුළ ඇති සියලු පවුල් හඳුනාගැනීමත් එම පවුල් ලියාපදිංචි කිරීමත් ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීමත් මෙහිදී සිදු කෙරේ. මේ අනුව අලුත විවාහ වූ සියලු යුවළවල් ලියාපදිංචි කර ඔවුන් නවදිවි සුව සත්කාර සේවාව වෙත යොමු කිරීම ප‍්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමකි. නව යුවලගේ ජීව දත්ත ලබාගැනීමත් ඔවුනගේ රෝගී තත්ත්ව ඇති නම් ඒවා හඳුනාගැනීමත්, ලිංගික හා ප‍්‍රජනක සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සොයා බැලීමත්, ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය තොරතුරු ඔවුනට ජීවිතයට බලපාන අන්දම පිළිබඳව සාකච්ඡා කිරීමත්, පෝෂණය, ජීවන රටාව, නිවස හා රැකියා ස්ථානය සම්බන්ධ සෞඛ්‍ය ගැටළු හඳුනාගැනීමටත් මේ නව දිවි සුව සත්කාරක තුල වේ. මෙම යුවල් වෛද්‍ය පරීක්‍ෂාවකට ලක් කිරීම පවුල් ජීවිතය සඳහා අවශ්‍ය දැනුමින් සන්නද්ධ කරමින් පුහුණු සැසි පැවැත්වීමත් මෙහිදී සිදු කෙරේ. මින් බලාපොරොත්තු වනුයේ ආරක්‍ෂිත මාතෘත්වයකට බලපාන මූලික කරුණු හඳුනා ඒවා නිවැරදි කරමින් ඔවුනට සැලසුම් සහගත දරු උපත් සඳහා මගපෙන්වීමයි. 

කාන්තාවක් ගර්භනී වූ බව දැනගත් වහා ඇයගේ ගර්භනීභාවය ලියාපදිංචි කර ඇය හා ඇගේ දරුවා වෙනුවෙන් සුරක්‍ෂිත මාතෘත්වයක් ඇති කරන්නට සියලු වගකීම් කරට ගෙන මෙම කාර්ය මණ්ඩලය ක‍්‍රියා කරනු ලැබේ. 

මවගේ පෝෂණයෙන් පටන් ගෙන සෞඛ්‍යට අදාල එනම් කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික නිරෝගීතාවයට බලපාන සියලු කරුණු සොයා බලමින් අවැසි සියලු මැදිහත් වීම් සිදුකර ආරක්‍ෂිත පුහුණු ප‍්‍රසූතියක් කරා මව රැගෙන යාමේ සියලු වගකීම් පැටවී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටයි. ගර්භනී සමය තුළ මව වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කරමින් ක්‍ෂෙත‍්‍රය තුලදීත් මේ පිළිබඳව සොයා බලමින් වාර්තා පවත්වා ගැනීම මේ කාලය තුලදී සිදුවනවා සේම අවධානම් තත්ත්ව වලදී ක්‍ෂණික මැදිහත් වීම් සිදු කර මවව රෝහල් ගත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කෙරේ. 

මාතෘ සංරක්‍ෂණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකම සේවාවයි. ඒ අනුව යමින් ගර්භනී සමයේ පූර්ව ප‍්‍රසව රැකවරණය ලබාදීම මවට දැනෙන හිතෛෂී ලෙසින්ම සිදුවන අතර ප‍්‍රසව සත්කාරය සඳහා රෝහලට යොමු කිරීමත් ප‍්‍රසූතියෙන් පසුව පසු ප‍්‍රසව සංරක්‍ෂණ කටයුතු ලබාදීමත් සිදුකෙරේ. 

මෙලොව එළිය දුටු ජන්මයාගේ ළදරු ළමා සංරක්‍ෂණ කටයුතු සඳහාද මැදිහත් වීම සිදුකෙරෙන අතරම එම දරුවන්ගේ වර්ධන සුපරීක්‍ෂණය, මුල් ළමාවියේ සත්කාරය, ප‍්‍රතිශක්තීකරණය ආදී කටයුතු සඳහා මූලිකත්වය ගනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය භාරයේ පසුවන මේ දරුවන් පෙර පාසැල් අවධියේදීත් පාසැලට එකතු වන විට පාසැල් සෞඛ්‍ය වැඩසටහන් හරහා එම දරුවන් පිළිබඳව සොයා බැලීම සිදු කෙරේ. 

පෙර පාසැල් මෙන්ම පාසල්ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන පාසැල් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකව කටයුතු කරනු ලැබේ. දරුවන් සඳහා ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන් දන්ත සෞඛ්‍ය වැඩසටහන්, වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු, යොවුන් සෞඛ්‍ය වැඩසටහන්, ජීවන නිපුණතා වැඩසටහන් තුලින් දරුවන්ගේ අනාගත දිවිමග ශක්තිමත් කිරීමට අවැසි ලෙස මැදිහත් වෙමින් පාසැල් පද්ධතියේ සෞඛ්‍ය නංවාලීමේ කර්තව්‍යය සඳහා මූලිකත්වය ගනු ලබන්නේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි. 

පාසැල් තුලින් සමාජයට පිවිසි ප‍්‍රජාවේ පවුල් ජීවිතය තුලත් රැකියා ස්ථාන තුලත් සෞඛ්‍ය පිළිබඳ සොයා බලමින් මිනිස් දිවියට බලපාන ආහාර සෞඛ්‍ය පාරිසරික සෞඛ්‍ය වෘත්තිය සෞඛ්‍ය පිළිබඳවද බෝවන රෝග පාලන කටයුතු සඳහා සිදු කරනු ලබන සක‍්‍රීය මැදිහත් වීමද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිදු කරනු ලබයි. 

 

වසංගත පාලනයේදී ප‍්‍රමුඛ මැදිහත්වීම රෝග නිවාරණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සතු තවත් ප‍්‍රබල කාර්යභාරයකි. පැපොල, සරම්ප, සෙංගමාලය, මොළේ උණ ආදී රෝග මෙන්ම ඩෙංගු, මී උණ, ජලභීතිකාව ආදී කොට ඇති බෝවන රෝග පාලනය සඳහා විවිධ වූ ක‍්‍රියාමාර්ග ගනිමින් ප‍්‍රජාව හා ඒකව කටයුතු කරනු ලබයි. 

රාජ්‍ය සේවයට පිවිසෙන අය සඳහා වෛද්‍ය පරීක්‍ෂණයේදී මයික්‍රොයිඞ් එන්නත ලබාදීමත් බෝවන රෝග සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමත් සිදු කෙරෙනුයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගිනි. ව්‍යාපාර ලියාපදිංචියේදී ඒ පිළිබඳව සොයාබලා යෝග්‍යතාවය නිර්ණය කිරීමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කරනු ලබයි. 

පාරිසරික කටයුතු, වෘත්තීය, සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය කටයුතුවලදී මෙන්ම ඩෙංගු ආදී බෝවන රෝග පාලනයේදී පරීක්‍ෂාවන්ට ලක් කිරීමෙන් අවශ්‍ය පරිදි මැදිහත් වීම් සිදු කර ඒවා නිවැරදි කිරීමට මගපෙන්වීමත්, නිවැරදි වීම් සිදු නොවුන විට නීති ක‍්‍රියාමාර්ග වෙතට යොමු කර දඩ ගැසීම් හෝ අධිකරණ ක‍්‍රියාවලි දක්වා යොමු කිරීමේ බලතලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හිමිව ඇත්තේ මිනිස් ජීවිතය සඳහා බලාපන මිනිස් ක‍්‍රියාකාරකම් නිවැරදි කිරීමේ මෙන්ම මානුෂීය අයිතීන් සුරක්‍ෂිත කිරීමේ වගකීමද පැවරී ඇති හෙයිනි. 

මෙසේ මව්කුස පිළිසිඳ දරුවාගෙන් පටන් ලෙන ජීවිතයේ පසු කරන සියළු අවධි වලදී සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ ජීවිත සැලවත් කිරීම සඳහා දේශයට හිතවත්ව, ජාතියට ලෙන්ගතුව, ආගමට ගරු සරුව අභියෝග අබියසදී අභිමානයෙන් නැගෙන නිරෝගී ශක්තිමත් ගුණගරුක පරපුරක් ලක්මවට උරුම කරවීමේ අරමුණින් ක‍්‍රියාකරන්නා වූ ස්ථානයයි. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව මහත්මිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

 

 

 


 

දරුවන්ගේ ආච්චී සීයා දෑත්වල වේදනාව නිසා අපහසුවෙන්ද?

අපේ දෙමාපිය වැඩිහිටියෝ මේ වෙද්දී වයස් ගත වෙලා. ඔවුන් එක එක විදියේ රෝග තත්ත්වවලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩිහිටියන් වන අපිටත් මෙවැනි අත්දැකීම් ටිකෙන් ටික දැනෙනවා වෙන්න බැරි නැහැ. සමහර වෙලාවට සමහර රෝග ගැන නම් අපි අහලත් නැහැ. ඒත් ඕනෙම ගෙදරක වැඩිහිටියෙක් ඉන්න නිසා තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝමය කියන මෙන්න මේ වේදනාකාරී තත්ත්වය ගැන දැනුවත් වීම වඩාත් සුදුසුයි.

මොකද්ද මේ  තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝමය (Thoracic Inlet Syndrome) 

වැඩිහිටි වියට එළැඹීමත් සමග බොහෝ දෙනෙක් මුහුණ දෙන ටිකක් වේදනාකාරී තත්ත්වයක් විදියට හැඳින්විය හැකි මේ තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝම තත්ත්වය දෑත්වල වේදනාකාරී බවක් ඇති කරන රෝග තත්ත්වයක්. 

වියපත් වීමත් සමග මාංශ පේශීන් දුර්වල තත්ත්වයට පත්වන නිසාම ක්‍රමක්‍රමයෙන් උරමේඛලාව ගුරුත්වාකර්ෂණයට එරෙහිව දරා සිටීමට අපහසු තත්ත්වයක් ඇති වන අතරම එය පහතට බර වෙන නිසා අතිරේක ශෛ‍්‍රවී පර්ශුවේ ගැටලුකාරී තත්ත්වයන් මතු වෙනවා. එනම් සබ්ක්ලේවියන් ධමනිය සහ ලෝවර් ට‍්‍රන්ක් ස්නායුව තෙරපීමකට ලක්වෙලා තමයි මේ රෝග තත්ත්වයට අදාල රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නේ. උදාහරණයක් විදියට ගොඩක් බර බඩු මල්ලක් අත්වලින් ඔසවද්දී උරහිස පහතට ඇදෙන නිසා සබ්ක්ලේවියන් ධමනිය සහ ලෝවර් ට‍්‍රන්ක් ස්නායුව තෙරපීම වැඩි වීමෙන් වේදනාකාරී අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. 

තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝම තත්ත්වයේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • දෑත්වල ඇතුළු පැත්තේ පහළට දිවයන වේදනාව
  • දෑත්වලට බරක් ගත් පසු එම වේදනාව වැඩිවීම
  • අල්ලේ මාංශ පේශී සිහින් වීම සහ දුර්වල වීම
  • දෑතේ ඇතුළු දාරයේ සංවේදන අඩුවීම
  • ඇඟිලි සීතල වීම/නිල්පාට වීම  

මෙහිදී සබ්ක්ලේවියන් ධමනිය (Subclavian Artery) සහ ලෝවර් ට‍්‍රන්ක් ස්නායුව (Lower trunk) තෙරපීමට ලක්වන නිසා ඉහත දැක්වූ තත්ත්වයන් ඇති වන අතරම මෙම සබ්ක්ලේවියන් ධමනිය සහ ලෝවර් ට‍්‍රන්ක් ස්නායුව තෙරපීමට අතිරේක ශෛ‍්‍රවී පර්ශුවක් (Extra Cervical Rib) තිබීමත් ඊට අමතරව ස්කැලීනස් මීඩියස් (Scalenus Medius) නම් වූ පේශිය ඝන වීමත්, පෙනහලුවල ඉහළ කුටීරයේ ඇති අර්බුද මගිනුත්, 7 වෙනි ශෛ‍්‍රවී කශේරුකාවේ පාර්ශ්වික දාරය මගිනුත්, ෆයිබ‍්‍රස් බෑන්ඩ් (Fibrous band)මගින් මෙම තෙරපීම වැනි තත්ත්ව ප‍්‍රධාන වශයෙන් හේතු වෙනවාි. 

තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝම තත්ත්වයට වෛද්‍ය, ශල්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාරද අවශ්‍ය වන අතරම මෙම රෝගීන් භෞතචිකිත්සකවරයා වෙතට යොමු වූ පසු ඔවුන් රෝගියා ඇගැයීමකට ලක් කර කළ යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාර තීරණය කරනවා. 

තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝම තත්ත්වයට භෞතචිකිත්සාවේදී යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම

  • තාප ප‍්‍රතිකාර (Heat Therapy)
  • විද්‍යුත් උත්තේජන මගින් වේදනාව අඩු කරන ඉන්ටර්ෆැරැන්ෂල් ප‍්‍රතිකාරය (Interferential therapy)
  • ටේපින් ක‍්‍රම (Taping)
  • උරහිස හා උරමේඛලාව අවට මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම (Strengthening exercises)

මෙවැනි තත්ත්වවලදී සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකු හමුවීම මගින් මෙවැනි වූ වේදනාකාරී තත්ත්වයන්ගෙන් ඔබට හෝ ඔබේ මව පියාට සුවදායී බවක් ලබා ගත හැකි අතරම එය එදිනෙදා වැඩකටයුතුවලදී ඔබේ මුළු පවුලටම සහයක් වනු නිසැකය. 

මෙවැනි වේදනාකාරී තත්ත්වයක් පාලනය කරගෙන සිටීමට නිවැරදි මෙන්ම වේදනාවෙන් තොර ඉරියව් කීපයක් භෞතචිකිත්සකවරයා විසින් හඳුන්වා දෙන අතරම මෙවැනි රෝගීන්ගේ වේදනාව අවම කරගැනීමට, අතට උරමාවක් දමා අත රඳවා ගැනීම වගේස අත ඉහළට ඔසවා තබාගැනීමද සිදුකළ හැක.

තොරැසික් ඉන්ලට් සින්ඩ්‍රෝම තත්ත්වයට ගොදුරු වූ රෝගියෙක්, 

  • වේදනාකාරී අතෙන් බර ඔසවා ගෙන යෑම
  • එම අතට බරදීම
  • බසයේ හෝ දුම්රියේ ගමන් කිරීමේදී එහි අතෙන් එල්ලී යාම  කිසිවිටකත් නොකළ යුතුය.

කෙසේ වුවද වේදනාවන් සමග අමිහිරිව ගත කරන මෙවැනි තත්ත්ව වේදනාව අවමව පවත්වා ගැනීමට බොහෝ පිළියම් ඇති බව දැන් ඔබට වැටහෙනවා ඇති. අන්න ඒ නිසාම මෙවැනි තත්ත්වයකදී විශේෂඥ අපදෙස් වෙත යොමු වීම වඩාත් වැදගත් වේ. කෙසේ වුවද අද වන විය රටපුරා ව්‍යාජ භෞතචිකිත්සකයන් විශාල ප‍්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ වෛද්‍ය සභාවේ ලියාපංදිචි අංකය විමසීමට රෝගී ඔබට අයිතියක් ඇති අතරම එවැනි සොයා බැලීම් සමගම ඔබ යොමු විය යුතුතේ සුදුසුම් සහිත පලපුරුදු භෞත චිකිත්සකවරයෙකු වෙත බව තරයේ සිහිතබා ගත යුතුමය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

ගර්භාෂගත පිළිකා ඇති වීමට අවදානම් සාධක ගැන දැනුවත් වෙමු

 ගර්භාෂය යනු ස්ත්‍රී සිරුරේ ඇති පෙයාස් ගෙඩියක හැඩය ඇති ශ්‍රෝණි කුහරයේ පවතින අවයවයකි. කලලය වර්ධනය වන්නේ මේ ගර්භාෂය තුළයි. ගර්භාෂයේ ඇතිවන පිළිකාමය තත්ත්වය Endometrial cancer ලෙස හඳුන්වන අතරම මෙම පිළිකා වර්ගය ගර්භාෂයේ ඇතුල් ස්ථරයේ (අන්තෝචක්වාලය – Endometrium) වර්ධනය වීම සිදු වේ. මේ ගර්භාෂගත පිළිකා තත්ත්වයන්ට නිෂ්චිත හේතුවක් කිව නොහැකි මුත් ගර්භාෂ ආස්තරයේ සෛලවල ඇති DNA තුළ ඇතිවන වෙනසක් නිසා ඇතිවන බවට විශ්වාස කෙරේ. 

ගර්භාෂගත පිළිකා තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්‍ෂණ ලෙස ආර්තවාභාවයෙන් පසු යෝනි රුධිරවහනය, ආර්තව චක‍්‍ර දෙකක් අතර ඇති වන රුධිරවහනය මෙන්ම ශ්‍රෝනිය/උකුල ආශ‍්‍රිත වේදනාව දැක්විය හැකියි. 

ගර්භාෂගත පිළිකා තත්ත්වයට අවධානම් සාධක

  1. ශරීරයේ ඇති ස්ත‍්‍රී හෝමෝනවල සමබරතාවය වෙනස්වීම

ඩිම්බකෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් යන ප‍්‍රධාන ස්ත‍්‍රී හෝමෝන දෙක ශ‍්‍රාවය කරයි. මෙම හෝමෝන දෙකේ සමබරතාවයේ වෙනස් වීම් මත ගර්භාෂ ඇතුලත ස්ථරයෙහි වෙනස්කම් සිදුවේ. ඊස්ට‍්‍රජන් හෝමෝන ශ‍්‍රාවය වැඩිවීමේ රෝග හෝ තත්ත්වයන් මගින් මෙම අවදානම වැඩි කරයි. ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මට්ටම මීට බලනොපායි. 

උදා: අක‍්‍රමවත් ඩිම්බ මෝචනය – මෙමගින් Polycystic ovary syndrome, තරබාරු බව, දියවැඩියාව ඇති කරයි. 

ආර්තවාභාවයෙන් පසු ඊස්ට‍්‍රජන් හෝමෝනය ගැනීමද අවධානම් වැඩි කරන හේතුවකි. කලාතුරකින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි මගින් ඊස්ට‍්‍රජන් ශ‍්‍රාවය වීමද ගර්භාෂ පිළිකා සඳහා හේතු වේ. 

2.දිගු කාලයක් ආර්තවය සිදුවීම

වයස අවුරුදු 12 අඩු කලකදී වැඩිවිය පැමිණීම එනම් ආර්තවය/ඔසප් චක‍්‍රය ආරම්භය මෙන්ම ආර්තවාභාවය ප්‍රමාද වීම ගර්භාෂ පිළිකා අවධානම වැඩි කරයි. 

3.ගර්භණී නොවීම

එක් වරක් ගැබ්ගෙන ඇති කාන්තාවට වඩා ගැබ් නොගෙන සිටින කාන්තාව ගර්භාෂගත පිළිකා තත්ත්වයට අධි අවධානමක සිටී. 

4.වයස්ගත වීම

බොහෝමයක් ගර්භාෂගත පිලිකා ඇති වන්නේ ආර්තවාභාවයෙන් පසුවය. 

5.තරබාරු බව – Obesity

තරබාරු බව නිසා අමතර මේදය මගින් ශරීරයේ හෝමෝනවල සමබරතාවය වෙනස් වීම අවදානම් සහගතය. 

6.පියයුරු පිළිකා සහා හෝමෝන ප‍්‍රතිකාර

7.ආරය මගින් ඇතිවන මහන්තක – ගුද පිලිකා

(NON polyp sis colorectal Cancer – HNPCC) මෙය lynch Syndrome ලෙසද හුන්වයි. 

 

ගර්භාෂගත පිළිකා තත්ත්වය හදුනා ගැනීම

ශ්‍රෝණි පරීක්‍ෂණය

  • Pap පරීක්‍ෂණය 
  • USS ස්කෑනින්
  • Biopsy
  • කලාතුරකින් CT Scan/MRI Scan

ගර්භාෂ පිළිකා අවස්ථා වර්ග කිරීම සදහා (වර්ග 0-IV) biopsy, chest X-ray, CT හෝ MRI Scan උපකාරී වේ. 

ගර්භාෂගත පිළිකා තත්ත්වය සදහා ප‍්‍රතිකාර

මේ තත්ත්වවයේදී ප‍්‍රතිකාර එකක් හෝ කිහිපයක් අනුගමනය කරයි. ප‍්‍රතිකාර රදා පවතින්නේ පිළිකාවේ මට්ටම අනුවයි. 

  1. ශල්‍ය ප‍්‍රතිකාර – ගර්භාෂය පමණක් ඉවත් කිරීම (Abdominal Hysterectomy) – AH

ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ඉවත් කිරීමට Total Abdominal Hysterectomy & Bilateral Salphingo Oopharectomy (TAH + BSO). මෙහිදී අදාල වසා ගැටිතිද ඉවත් කරයි. 

2.ඖෂධ ප‍්‍රතිකාර – Chemotherapy

3.විකිරණ ප‍්‍රතිකාර

මෙහිදී බාහිර – Teletherapy, අභ්‍යන්තර – Brachy Therapy‍ ලෙස ප්‍රතිකාර ලබාදේ.

4.හෝමෝන ප‍්‍රතිකාර – ප්‍රොජෙස්ටෙරෝන් හා ඊස්ට‍්‍රජන්

ගර්භාෂගත පිළිකාවේ තත්ත්වය 

ගර්භාෂගත පිළිකාව එහි තත්ත්වයට අනුව වර්ගීකරණයේදී tumor (T) වසා ගැටිති (lymph Node – N) හා ද්වීතියක නිධි (Metastasis – M) ලෙස සලකා TNM වර්ගීකරණය සිදුකරයි. 

Stage

මේ මට්ටමේදී පිලිකාව ගර්භාෂය තුළ පමණක් පවතින අතරම අසාමාන්‍ය රුධිර වහනය (ඔසප් චක‍්‍ර දෙකක් අතර හා වරින් වර බිංදු වශයෙන්) එසේත් නැතිනම් යෝනි මාර්ගයෙන් වතුර හෝ රුධිරය මිශ‍්‍ර ශ‍්‍රාවයන් පිටවීම දැකිය හැකියි. මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස TAH + BSO යොදාගනී. මේ මට්ටමේදී වර්ධනය සෙමින් සිදුවන අතරම බහුලවම දැකිය හැක්කේ ගර්භාෂයේ පමණි. 

Stage II 

මේ මට්ටමේදී පිලිකාව ගැබ්ගෙල දක්වා පැවතිය හැකියි. එසේම පැතිරීම වේගවත් වන අතරම සිරුරේ අනෙක් කොටස් ආක‍්‍රමණය කරයි. පළමු මට්ටමේදී පෙන්නුම් කරන ලක්ෂණම පෙන්නුම් කරයි.

මේ තත්ත්වයේදී ප්‍රතිකාර ලෙස Radical hysterectomy, ගර්භාෂය, යෝනියේ ඉහළ කොටස, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ඉවත් කිරීම සිදු කරයි.  එසේම Radiation – Brachy therapy ලබාදේ. 

Stage III

මේ මට්ටම වන විට පිලිකාව යෝනි මාර්ගය, ඩිම්බ කෝෂ, වසා ගැටිති දක්වා පැතිරී තිබිය හැකියි.

  • IIIA – පිලිකාව ගර්භාෂයේ පිටත ස්ථරය, පැලෝපීය නාල හා ඩිම්බ කෝෂ වල පැතිරේ
  • IIIB – ගර්භාෂය හා යෝනි මාර්ගය වටා ඇති පටක වලට පැතිරේ
  • III C1 – ගර්භාෂයෙන් පටක ශ්‍රෝනියේ වසා ගැටිති තුලට පැතිරේ
  • III C2 – ගර්භාෂය කුල හා මහා ධමනිය වටා ඇති වසා ගැටිති වලට පැතිරේ. 

තුන්වන මට්ටම වන විට අසාමාන්‍ය රුධිරවහනය හෝ ශ‍්‍රාවය, ශ්‍රෝනියේ හෝ උදර වේදනාව, ලිංගික සංසර්ගයේදී වේදනාව, උදරය ආහාර ගැනීමේදී ඉක්මණින් පිරෙන ලෙස දැනීම, මල මුත‍්‍රා පහකිරීමේ වෙනස්කම්, බර අඩුවීම ලක්ෂණ පෙන්නුම් කරයි.ප‍්‍රතිකාර ක්‍රම ලෙස Radical Hysterectomy, Chemo therapy, Radio therapy යොදාගනී.

Stage IV

මේ මට්ටමේදී පිලිකාව මුත‍්‍රාශය, මුත‍්‍ර මාර්ගය හා ගර්භාෂයට දුරින් පිහිටි එනම් පෙනහලු වැනි අවයව තෙක් පැතිරීම දැකිය හැකියි. මෙය තවත් ‍කොටස් දෙකක් ලෙස දැක්විය හැකිය.

  • Stage IV A  – පිලිකාව මුත‍්‍රාශය හෝ ගුදය හා ඒ ආශ‍්‍රිත වසා ගැටිති වලට පැතිරී ඇත.
  • Stage IV B  – ඉහළ උදරය, පහළ උදරය, පෙනහලු, අක්මාව, අස්ථි වැනි අවයව හා ඉකිලියේ වසා ගැටිති වලට පැතිරීම. 

මේ මට්ටමේදී ද තුන්වන මට්ටමේදී පෙන්නුම් කළ ලක්‍ෂණවලට අමතර පිලිකාව පැතිරීම නිසා අස්ථි වේදනාව හා ස්වසන අපහසුව දැකිය හැක. 

මෙහිදී ප‍්‍රතිකාර ලෙස TAH+BSO, Hormone therapy, Chemotherapy, Immune therapy, Radiation වැනි ප්‍රතිකාර ක්‍රම යොදා ගනී.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

දරුවන් “භාෂාව” ඉගෙන ගන්නේ කොහොමද? (පළමු කොටස)

දෙමව්පියන් හට දරුවන් යනු මෙලොව දී හිමි වන විශාලතම ත්‍යාගය ලෙස හැදින්විය හැකිය. එවන් වටිනාකමක් ඇති දරුවා භාෂාව, කතාව ඉගෙන ගනු ලබන්නේ කෙසේ දැ යි ඔබ මොහොතකටවත් සිතුවාද? 

සරල ප්‍රශ්නයක් අසන්නම්. ඔබේ දරුවා කුඩා අවධියේ සිට මිනිසුන් නොමැති පරිසරයක තනියම වැඩෙනවා යැයි මොහොතක ට සිතන්න.  එවිට ඔබේ දරුවාගේ භාෂාව, කතාව කෙසේ වේවිද? ඔබට සිතා ගැනීමට පුලුවන්ද? එමෙන් ම ඔබේ දරුවා අප රටේ ඉපදුනු නිසා සිංහල, දෙමළ හෝ වෙනත් අපේ රටේ පවතින භාෂාවක් භාවිතා කරනවා මෙන්ම ඔබේ දරුවා වෙනත් රටක වෙනත් භාෂාවක් කතා කරන පිරිසක් සමඟ වැඩෙනවා නම් දරුවා කුමන භාෂාවක් කතා කරාවි ද? ඉගෙන ගනීවි ද? අද අප කතා කරන්නට යන්නේ ඒ පිළිබඳවයි.

දරුවෙකු තම භාෂාව ඉගෙන ගනු ලබන්නේ කෙසේද? එය කවුරුන් හෝ විසින් ඉගැන්විය යුතු ද? සරල ම  පිළිතුර නම් “නැත” යන්නයි. මන්ද බොහෝ දරුවන් කුඩා කල සිට තමන්ගේ භාෂාව ඉතා ඉක්මනින් සාමාන්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකින් තොරව, දෙමාපියන්ගේ ඉගැන්වීමකින් තොරව නිරායාසයෙන්ම ඉගෙනීමට හැකියාව ඇති ව  උපත ලබයි.

නමුත් දෙමාපියන් සෘජුව ගුරුවරුන් මෙන් දරුවන්ට භාෂාව ඉගැන්වීම නො කළ ද ඔවුන් දරුවන්ගේ භාෂා වර්ධනය අලලා ඉතාමත් ප්‍රධාන චරිතයකට පණ පෙවීම සිදුකරයි. මන්ද, ඔබ දරුවා සමඟ කුළුපගව කටයුතු කිරීම හා දරුවා සමඟ හැසිරෙන ආකාරය මඟින් දරුවාගේ භාෂා වර්ධනය වෙනස්වීමට හා ඉතා වේගයෙන් වර්ධනය වීමට ඉඩකඩ පවතී. 

කුඩා කාලයේදී දරුවා සමඟ කතා කිරීම, ගීත ගායනා කිරීම, නිතර සෙල්ලම් කිරීම, ශබ්ද නැගීම වැනි දේ කරනවාත් සමඟම දරුවා ඔබ සමඟ කුළුපග වීම ආරම්භ කරයි. මෙහිදී දරුවා තම දෙමව්පියන් හා නිවසේ වෙනත් වැඩිහිටියෙකු නැතහොත් වෙනත් කුඩා දරුවන්, සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධතාවය ආරම්භ කරනු ලබයි. 

කුඩා කාලයේ වැඩෙන දරුවාගේ භාෂා පරිසරය වාචික සංවාද වලින් පිරුණු තැනකි. මන්ද දරුවා නිවසේ සිටින විට, නිදි යහනේ සිටින විට ඔහුට හෝ ඇයට ඇසෙනුයේ තම දෙමව්පියන් නිවසේ කතා කරන ආකාරය, තම වැඩිමල් සහෝදර සහෝදරිය සමඟ නිවැසියන් කතා කරන දෙබස් ආදී විශාල වාචික සංවාද ප්‍රමාණයකි. දරුවාට මේ සියල්ල නොතේරුණත් දරුවාගේ පරිසරයේ සුලභව ඇසෙන භාෂාව ට අදාළ ශබ්ද වචන ක්‍රමයෙන් දරුවා ග්‍රහණය කර ගැනීමට පටන් ගනී. ඔබ සිංහල භාෂාව භාවිතා කරනවා නම්, දරුවා ද සිංහල භාෂාව ඉගෙන ගනු ලබන්නේත්, ඔබ දෙමළ, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් භාවිතා කරනවා නම් දරුවා ද එම භාෂාවට අදාළ ශබ්ද හා වචන ප්‍රකාශ කිරීම ආරම්භ වන්නේත් ඒ හේතුව නිසාවෙනි. 

ඒ හේතුව නිසාම ඔබ දරුවා සාමාන්‍ය වර්ධනයක් සහිත දරුවකු නම් භාෂා දෙකක් හෝ කීපයක් භාවිතා කළ ද දරුවා භාෂා වර්ධනය ට ප්‍රශ්නයක් නොවන බව පවසන්නේ මෙම තර්කය පදනම් කර ගනිමින් ය. 

තව ද  ඔබ කුඩා දරුවකු සුරතල් කරන විට, කුඩා දරුවෙකු ට කතා කරන විට ඔබගේ කතා විලාශය වෙනස් කිරීම සුලභ දෙයකි.  ඇතැම් විට ඔබ ඒ පිළිබඳ නොසිතුවා විය හැකිය. ඔබ කුඩා දරුවෙකු සමඟ කතා කරන විට ඇද පැද, ලයාන්විතව ළමා උච්චාරණ ස්වරූපයකින් ( Baby talk) කතා කරනුයේ දරුවා නලවා ගැනීම ට වුවත් එහි විද්‍යාත්මක පැතිකඩ තරමක් වෙනස් වුවකි. එමගින්  සිදුවන වැදගත් ම දේවල් නම් දරුවා සමඟ ද්වි පාර්ශවීය සන්නිවේදනය ආරම්භ කිරීම මෙන්ම දරුවාගේ වැඩි අවධානයක් ඔබට ලබා ගැනීම හා ඔබ භාවිතා කරන භාෂාව දරුවා ට ලබා දීම බව ඔබ නොදැන සිටියා විය හැකි ය.

Baby talk දරුවා ගේ භාෂාව ඉගෙනීමට මහත් රුකුලකි. මන්ද ඔබ එලෙස කතා කරන විට වචන වල වැඩි ප්‍රමාණයක් සරල වචන ගැබ් වී තිබීම, විවිධ ශබ්ද අන්තර්ගත වීම, මුහුණ දෙස බලමින් දරුවා සමඟ කතා කිරීම හරහා දරුවාගේ ඇසට ඇස බැලීම වර්ධනය වීම, සරල ව්‍යාකරණ පැවතීම, විවිධ ස්වර පරාස වලට යමින් කතා කිරීම කතාකිරීම, දරුවා ගෙන් ප්‍රශ්න නැගීම, දරුවාට මුහුණේ ඉරියව් හා හරහා අවාචික සන්නිවේදනය ඇතිවීම ආදී බොහෝ භාෂාමය කුසලතා වර්ධනය වීම ද මේ හරහා සිදුවන බව වර්තමානයේ පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.