Home Blog Page 65

දරුවාගේ හොඳම මිතුරන් තුන්දෙනෙක්..

ඔබේ පුංචි පැටියාගෙන් ඔයාගේ හොඳම යාලුවා කවුදැයි ඇහුවොත් විවිධ පිලිතුරු ලැබේවි. ඒ අතර පැටියාගේ පංතියේ මිතුරන්ගේ නම් වැලක් කියැවේවි…එහෙම නැත්නම් අහල පහල ඉන්න අසල්වැසි දරුවන් මේ ලැයිස්තුවේ සිටින්න පුලුවන්. ඒ වගේම අම්මා…තාත්තා..දරුවාගේ හොඳම මිතුරන්ගේ  ලැයිස්තුවේ ඉන්නත් පුලුවනි.

මේ සේරම දරුවාගේ ලෝකයේ සැබෑම තත්වය. ඒ අතර ඔබ දරුවා වෙනුවෙන් වඩාත් සමීපව සම්බන්ධ කළ යුතු සහ ඔවුන්ගේ සැබෑ මිතුරන් බවට පත් කළ යුතු තවත් කීප දෙනෙක් ඉන්නවා.සමහර විට මේ පැත්ත දෙමව්පියන් විදිහට එතරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්නත් ඇති. ඒත් අද පටන් හෝ මෙන්න මේ පුරුදු කීපය දරුවාගේ හොඳම මිතුරන් බවට පත් කරන්න…

පොත් පත් කියැවීම

පුංචි දරුවන්ට බාල කාලයේ පටන්ම පොත් පත් කියවන පුරුදු නිවසේදී ගොඩ නැගීම ඉතා වැදගත්.එහෙම නොමැතිව පොත් කියවන්න..දරුවා කී පමනින්ම ඔවුන් පොත් පත් කියවන පුරුද්දට යොමු වෙන්නේ නැහැ.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාට පොත් පත් කියවන හුරුව ගොඩ නගන්න.එවිට දරුවා සමග මේ පුරුද්ද නොදැනීම වර්ධනය වෙනවා.ඒ විතරක් නොවෙයි, දරුවා පොත් පත් කියවීමෙන් විශාල දැණුම් සම්භාරයක් උපයා ගන්නවා.එය ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වගේම අධ්‍යාපනයටත් මනා රුකුලක් බවත් අමතක කරන්න එපා.ඒ නිසා පැටියා පුංචි කාලයේ පටන්ම පොත් පත් ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න.

ගහ කොළට ආදරය කරන්න

අද ලෝකය මුල් කර ගෙන ඇති චෝදනා අතර මේ ගැනත් නැගෙන අඳෝනාවන් ඔබට ඇසී ඇති. ගහ කොළට ආදරය කරන්න දන්නේ නැති සමාජයක්..විශේෂයෙන් බාල පරම්පරාව මුල් කර ගෙන මේ චෝදනාව විශාල වශයෙන් නැගෙනවා.ඒත් අපි දරුවන් වෙතට  ඇගිල්ලක් දිගු කරද්දී ඇගිලි හතරක් අප වෙතට යොමු වෙනවා.දරුවන් ගහ කොළට ආදරය කරන්නේ නැත්තේ ඒ වෙනුවෙන් ඔවුන් තුළ හුරුවක් නැති නිසයි. දෙමව්පියන් විදිහට දරුවා කුඩා කාලයේ පටන්ම ගහ කොළට ආදරය කරන්න හුරු කරන්න. මල් කඩලා විනාශ කරන්න ඉඩ දෙන්න එපා. මලටත් ජීවයක් තිබෙන බව කියා දෙන්න. ලෝකය ලස්සන වෙන්නේ ගහ,කොළ,මල් පළතුරු නිසා බැව් පහදා දෙන්න.දරුවා  පරිසරයට නිරාවරණය කරන්න.ඔවුන් සමග පරිසරයේ කාලය ගත කරන්න. අද ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇති පින්ලන්ත වැසියන් ඒ සතුට උපයා ගන්නේ කෙදේසැයි වූ විමසා බැලීමේදී මුල්ම කරුණ ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ජීවිතයේ වැඩි වේලාවක් එළිමහනේ ගත කිරීම මේ සතුට ලැබීමට හේතු වී ඇති බවයි. ඒ නිසා බාලකාලයේ පටන්ම ඔබේ දරුවාගේ හොඳම මිතුරා ලෙසින් ගහ, කොළ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්න.

සතුන්ට ආදරය කරන්න

පසුගිය කාල වකවාණුවේදී සත්ව හිංසනය ගැන නිතර අපට තොරතුරු දැන ගන්න ලැබී තිබෙනවා. සතුන්ට හිරිහැර කිරීමේ විකෘති ආශාවන් ඇතැමුන්ගේ හිතේ පවතින්නේ බාල කාලයේ පටන්ම සංවේදීව ජීවත්වීමේ කලාව පිළිබඳ අත්දැකීම් ඔවුන්ට නොතිබුන නිසයි.සතුන්ද අපේ මිතුරන් බැව් දරුවන්ට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න.නිවසේ ඇති දැඩි කරන බල්ලා,බළලාගේ පටන් මග තොට දකින සතුන් වෙතත් දයාවෙන් බලන හිත් දරුවන් වෙත ගොඩ නගන්න. නිවසේ බල්ලාට අධික ලෙසින් සැප දෙමින් තවත් බල්ලෙක් දුටු තැන කකුල් බිදෙන සේ පහර දෙන වැඩිහිටියන්ගෙන් දරුවන් ලබන පාඩම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් සතුන්ද අපේ මිතුරන් බවට වූ පනිවිඩය බාලකාලයේ පටන්ම දරුවාගේ ඇට,මස්,ලේ ,නහරවැල් ඔස්සේ ගමන් කිරීමට වැඩිහිටියන් ගේ මාර්ගෝපදේශකත්වය ඉතාම වැදගත්.

ඒ නිසා ඔබේ දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප සහ ගුණදහමින් යුක්ත අනාගත යුග පුරුකක් බවට පත් කිරීමට නම් මේ තුන්දෙනා ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න..ඔබටත්..දරුවාටත් වරදින්නේ නැහැ.

 

ඔබේ දරුවාගේ ලෝකයේ වීරයා ඔබ වන්න

මේ බ්‍රසිලයේ.පුංචි දරුවන් තුන්දෙනෙක් මුල් කර ගෙන වුන සිදු වුනත් මේ සිදුවීම අපටත් පොදු සංසිද්ධියක්. ඒ ඇයි කිව්වොත් දරුවන් කියන්නේ ලෝකයේ කොතැන හිටියත් දරුවන්.ඔවුන්ගේ හිතේ තිබෙන සිතුවිලි ඒ තරමටම විශ්ව සාධාරණයි.ඒ නිසා මේ සිදුවීම කියවන ඔබටත් ඔබේ දරුවන් ගැන යම් අවධානයක් දක්වන්න වේවි.

එඬේර පවුලක ජීවත්වුන මේ පිරිමි දරුවන් තුන්දෙනා වයස අවුරුදු 8,10 සහ 12 වැනි පුංචි වයසේ සිටිය එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙක්.මේ තුන්දෙනා ”ස්පයිඩර් මෑන්” ට බෙහෙවින් ආදරය කලා. නිතරම ස්පයිඩර් මෑන් අනුකරනය කරන්න උනන්දු වුනා.බොහොම නිදහස් ජීවිතයක් ගෙවන මේ සහෝදරයන් තුන්දෙනා බැටළුවන් බලා ගන්න ගිය වේලාවක අමුතු සිතුවිල්ලක් ආවා.

මේ පළාතේ සිටින විෂ සහිත මකුළු වර්ගය ලවා ඔවුන්ට දෂ්ට කර ගත්තොත් ස්පයිඩර් මෑන් ඔවුන්ටත් ආරූඪ වෙයි කියලා එක් දරුවෙක් කිව්වා.තුන්දෙනාම මේ අදහසට එකග වුණා. බැටළුවන් ආහාර සොයා කද්දී සහෝදරයෝ තුන්දෙනා මකුළුවා ලවා දෂ්ට කර ගත්තා.

ටික වේලාවක් යද්දී දරුවන්ගේ සිරුර ඉදිමී හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා.මස් පිඩු පෙරලෙන්න පටන් ගත්තා.ඔවුන් ඉක්මනින් ගෙදර ගිහින් දෙමව්පියන්ට මේ බව කිව්වා.ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්න නිසා දරුවන් තුන්දෙනා සුවපත් වුනත් හදිසියේවත් මීට වඩා තත්වය දරුණු වෙන්න ඕනෑ තරම් ඉඩ තිබ්බා.

  • මේක ඉතින් බ්‍රසිලයේ වෙච්ච දෙයක් නේ..

ඒක ඇත්ත.නමුත් ඔබේ දරුවාත් මේ තත්වයේ ගොදුරක් වෙන්න බැහැ.දරුවන් මනංකල්පිත චරිත වෙනුවෙන් දැඩි විදිහට එල්බ ගන්නවා.මේ චරිත මනංකල්පිත යැයි නොහිතන තරම් ඔවුන් ඒ චරිත ආරූඪ කර ගන්නවා.හැබැයි එතැනදී වුනත් දරුවන් වැඩියෙන් ඇදෙන්නේ සත් චරිත වෙතට නොවෙයි. මවා ගත් වීර චරිත වෙතයි.

  • අවධානය දුන්නොත් හොදයි..

ඒ නිසා විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ හෝ කාටුන් මගින් මවන චරිත සමග සමහර විට ඔබේ දරුවාත් ජීවත් වෙනවා. ඇති.ඒ වගේම මේ චරිත වෙනුවෙන් ආදරය කරනවා ඇති.ඒත් ස්පයිඩර් මෑන් වගේ බිත්ති දිගේ ගමන් කිරීම දරුවාට කළ නොහැකි දෙයක් බැව් කියා දෙන්න.එවැනි අවදානම් කටයුතුවලට ගොස් ජීවිතයටත් අනතුරු විය හැකි බැව් දරුවාට පහදා දෙන්න.

  • නිතරම සොයන්න

දරුවා කාටුන් මගින් හෝ වෙනත් සාහිත්‍ය කතාවකින් මවන චරිතය සමග ජීවත් වෙනවා නම් ඔවුන්ගේ අන්තර් ක්‍රියාවන් ගැනත් විමසා බලන්න.දරුවන්ගේ හැටි එහෙමයි.එය අතීතයේ පටන්ම සිදු වුන දෙයක්.බොහෝ දරුවන් මඩොල්දූවේ උපාලි, ජින්නා වීමට කැමැති වුණා. අඹයහළුවෝ ටෙලි නාටයයේදී නිමල්,සුදු අප්පෝ වීමට කැමැති වුණා.එයින් පෙනෙන්නේ දරුවන් මේ චරිත සමග ජීවත් වීමට දක්වන කැමැත්තයි.එය හොඳ අතට යොමු වීමට වඩා අවදානම් කටයුතු වෙනුවෙන් යොමු වීමේ අවදානම ඉතාම ඉහලයි.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ හිතේ මවා ගත් වීර චරිත මුලින්ම හදුනා ගන්න.ඒ චරිත අනුකරනය කරමින් පමණට වඩා මනංකල්පිත ලෝකයක ජීවත්වෙනවා නම් එතැනින් මිදී සැබෑ ලෝකය සමග ජීවත්වෙන මග කියා දෙන්න.දරුවාගේ ලෝකයේ සැබෑම වීරයන්,ආරක්ෂකයන් දෙමව්පියන් බැව් ඔවුන්ට පහදා දෙන්න. ඒ නිසා කිසිම විටෙකවත් දරුවා හුදෙකලාව කරන්නේ මොනවාදැයි විමසිලිමත් වෙන්න.අම්මා,තාත්තාගේ මග පෙන්වීම අනුව හැසිරෙන ,ඔවුන් අනුගමනය කරන දරුවන්ට කිසිදු දිනක ජීවිතය නොවරදින බවත් ඔබේ ලෝකයේ සැබෑම වීරයන් දෙමව්පියන් මිස වෙන කවුරුවත්ම නොවන බවත් කියා දෙන්න.

 

අම්මාගේ පෞරෂය ගැහැණු දරුවාගේ පැවැත්මට වැදගත්

සාමාන්‍යයෙන්  වචනයට වුනත් කියනවා ”නයෙක් වුනත් පෙනය නොකලොත් නයාගේ පෞරෂය නැති වෙනවා…. ඒ නිසා නයා කියන අනන්‍යතාවය දස්ට නොකලත්  ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මේ අදහස අද අම්මා කියන සංකල්පය මුල් කර ගෙනත් ඉතාම වැදගත් වී තිබෙනවා.අම්මා කියන්නේ ආදරයේ,දයාවේ උල්පත වුනත් අම්මා වෙතින් දරුවන් මුල් කරගෙන යම් පමණකින් හෝ සැර පරුෂ බවකුත් තිබීම ඉතා වැදගත් බැව් දැන් පිලිගත් සත්‍යක් වී තිබෙනවා.

බ්‍රතාන්‍යයේ  සසෙක්ස්හි පර්යේෂකයන් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය වෙනුවෙන් 2004 සිට 2010 අතර කාලය තුළ ගැහැණු දරුවන් 15,077 ක් සම්බන්ධ කර ගත්තා. මේ අධ්‍යනය සම්පූර්නයෙන්ම යොමු වී තිබෙන්නේ ගැහැණු දරුවන් සම්බන්ධව අම්මා කෙනෙකුගේ පවතින පෞරෂය ගැනයි.මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ දියණිය වෙනුවෙන් මවක් දක්වන ප්‍රතිචාර එතරම් ප්‍රබල නොවෙනවා නම් ඔවුන් නොමගට යැමේ වැඩි අවස්ථාවන් තිබෙන බවයි.විශේෂයෙන් දියණිවරුන්ගේ පැවැත්ම බාල කාලයේ පටන් ගොඩ නගා ගැනීමට මවක් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත් බවයි. අම්මාගේ අණසකට නතු නොවෙන දියනිවරුන් අඩු වයසින් ගැබ් ගැනීමේ අවදානමක් පවතින බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඇයි එහෙම වෙන්නේ…

දරුවන් වුනත් යම් පාලනයක් අවශ්‍ය වෙනවා.ඔවුන් හොඳ,නරක , යා යුතු මග හෝ නොමග ගැන දැණුම් තේරුම් ඇති අය නොවෙයි.පිරිමි වුනත් ගැහැනු වුනත් දරුවා වෙනුවෙන් මව්පියන්ගේ කොන්දේසි විරහිත ආදරේ අවශ්‍ය බව ඇත්ත.ඒ ආදරයේ සීමා නැති වුනත් ජීවිතයේ වයසට අදාල යම් සීමාවන් තිබෙන බව නම් අවබෝධයෙන්ම දරුවන් දැන ගත යුතුයි.

මේ දැණුම නිකම්ම ලැබෙන්නේ නැහැ..

අතීතයේ පටන්ම පිරිමි දරුවා කොහේ ගිහින් ආවත් සෝදා ගෙට ගැනීමෙන් සියලු කිලි කුනු සෝදා ගන්න පුලුවන් කිව්වත් එයත් ඒ තරම් නිවරැදි සංකල්පයක් නොවෙයි.මේ පිරිමි දරුවා නිසා කොතැනක හෝ ගැහැනු දරුවෙක් ජීවිතයේ අතරමං වෙනවා.ඒ නිසා පිරිමි දරුවා ගැන වුනත් විනයක් සදාචාරයක් ඇතුව හැසිරෙන්න අවශ්‍ය දැණුම ලබා දීම වැදගත්.

ලෝකයේ තත්වය කෙසේ වුනත් අපි තවම ලංකාවේ..

දැන් ලෝකය බොහොම බටහිරකරණයට පත් වෙලා. ඉස්සර වගේ කසාදයෙන් පසුසේ එකතු වෙන්න කියලා නියමයක් නැහැ.බටහිර ටවල්වල විවාහ වෙන්න ඉස්සර ”ලිවින් ටු ගෙදර්” රටාවට අපිත් දැන් යන්න ඕන කියලා හිතුවත් මේ තත්වයෙන් අසරණ වෙන දියණිවරුන් ගේ ජීවිතයේ ශෝකාලාපය ගැන කවුරුන් වග විය යුතුද? කතාවටත් කියන්නා වගේ කොල්ලන් යනු බල්ලන්…මේ විදිහට එකට එකතුව සිටින විට විශ්වාසය නිසාම යම් විදිහකින් ගැහැණු ළමයි ගැබ් ගත් විටෙක ඒ වගකීම බාර ගෙන ඉදිරියට යනු වෙනුවට හදිසියේ හෝ අතරමග දමා ගිය තැනකදී ඇගේ ජීවිතයේ ගැලවුම්කරු වන්නේ කවුද..?මෙවැනි තත්වයක් සිදු වීමට එතරම් කාලයක් අවශ්‍ය නැහැ.

බටහිර ලෝකය මොනතරම් නවීකරණය වුනත්, අනේ සැපයි..සැපයි කිව්වත් ඔවුන් පවා දැන් අඩු වයසින් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ජීවිතයේ කඩා වැටෙන ගැහැණු දරුවන් අලලා මේ වගේ අධ්‍යනයන් කිරීමට යොමු වුනේ නිකම්ම නොවේ.බාල වයසේදී ගැබ් ගන්නා ගැහැනු ළමයි ගැන ඇති ශෝචනීය තත්වය දැන් බටහිරටත් දැනෙන්න ඇති.එහි පිටුපසින් ඔවුන් හදුනා ගත් හේතුව වුනේ  අම්මා දරුවන් වෙනුවෙන් යම් අණසක පතුරුවාගෙන සිටීමයි. මේ සංකල්පය ඇත්තටම අපේ අම්මලාගේ හැදි නොගා හදන හොද්දයි…ගුටි නොගහා හදන දරුවයි..යන සංකල්පයට සමානයි නේද..?

 

පවුලට අලුත් අමුත්තෙක්

පවුලකට අලුත් අමුත්තෙක් එකතු වෙනවා කියන සුබ ආරංචිය අම්මාට තාත්තාට බොහාම සතුටක්.ඒත් කුසට පැමිනි පමණටම දරුවා බිහි කිරීම සාර්ථක දෙමව්පියන්ගේ ගති ලක්ෂනයක් නොවෙයි.දරුවෙකු ලැබෙන පෙර නිමිති පහල වෙලත් මාස නවයක් පමණ කාලයක් පුරා ඒ වෙනුවෙන් සැලසුම් හදා ගන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ පුංචි අමුත්තා වෙනුවෙන් හැඩ ගැහෙන්නේ කෙසේද..?

  • මිළ මුදල් අවශ්‍යතාවය..

පැටියා කුස පිලිසිඳ ගත් තැන පටන් මෙලොව එලිය දකින තුරු පමණක් නොවෙයි,එයින් පසුවත් අපට විය පැහැදම් බොහොම වැඩියි.ඒ නිසා දෙමව්පියන් විදිහට යම් මුදලක් අත මිට තබා ගැනීම ඉතාම වැදගත්.ගැබ දරණ අම්මාගේ වගේම පුංචි පැටියෙක් නිවසේ ඉන්නා විට කොයි වේලාවක මුදල් උවමනා වෙයිද දන්නේ නැහැ.

  • බබාගේ අවශ්‍යතාවයන්..

දරුවෙකු ලැබෙන්න සිටියදී කල් තබා ඇඳුම් පැලදුම් සුදානම් කිරීම ගැන විවිධ මත තිබුනත් රෝහලට යන්න ආසන්න වෙද්දී නම් ළදරු කමිස ,නැප්කින් ආදිය සූදානමින් තබා ගන්නම වෙනවා.එහෙම නැතුව දරුවා ලැබෙන්න සුතිකාගාරයට අම්මා ඇතුලු කලාට පසුව පැටියා වෙනුවෙන් ඇදුම් හොයන තාත්තලාත් ඉන්නවා. ඒ නිසා කල් තබා ඇදුම් සහ අවශ්‍ය දේ සූදානම් කර ගෙන තබා ගන්න.

  • දවස දැන් වෙනස්

වෙනදා සැමියා සහ බිරිඳ මොනවා හෝ රත් කර ගෙන කෑමෙන් පසුව නින්දට ගියත් දැන් එහෙම බැහැ. පුංචි අමුත්තාගේ වැඩ කෝටියයි.එයාට අම්මා තාත්තාගේ වෙලාව ගැන තේරුමක් නැහැ.ඒ හින්දා අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා පැටියාගේ වැඩ කොටස් සහයෝගයෙන් කරනවා නම් මොන තරම් අගෙයිද නේද..?

  • ඇහැ පියාගන්න නැහැ..

පැටියා දවල් රෑ දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. පැටියා දවල් කාලයට හොදට නිදා ගෙන රාත්‍රියේ අවදිව ඉන්නවා.මේ වෙලාවට අම්මාටම නිදි මරන්න දෙන්න එපා. තාත්තාත් සලාක ක්‍රමයට හෝ පැටියා වෙනුවෙන් අවදිව ඉන්නවා නම් අම්මාටත් සතුටුයි.

  • අම්මාගේ හෝර්මෝන මට්ටම

දරුවා ලැබුනාට පසුව සිදු වෙන හෝර්මෝන වෙනස්කම් නිසා සමහර විට අම්මාගේ මානසික තත්වයත් වෙනස් වෙනවා.අවිවේකය නිසා මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවනි.ඒ හින්දා තාත්තාත් අම්මාට විවේකයක් දුන්නොත් හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇති වෙන ව්‍යාකූල තත්වය ටිකකින් හෝ පිරිමැසේවි.

  • පැටියා අඬන හේතු..

පුංචි පැටියා අඬන විවිධ හේතු තිබෙනවා.එයාලගේ භාෂාව ඇඬීමයි. අම්මා තාත්තා බබාගේ භාෂාව තේරුම් ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා කුසගින්න,මල මුත්‍ර පිටවීම වගේම බඩ පුරවා දැමීම,ඇදුම්වල අපහසුව වගේ දේවල් නිසාත් අඬන්න පුලුවන්. මේවා ගැන දෙමව්පියන් විදිහට ක්‍රමයෙන්  අවබෝධ කර ගැනීම වැදගත්.

  • වැඩිහිටියන්ගේ අදහස්..

සමහර වෙලාවට වැඩිහිටියන්ගේ උපදෙස් නිසා අම්මා ,තාත්තා අසරණ වෙන වෙලාවල් තිබෙනවා.හැබැයි වැඩිහිටියන්ගේ අදහස් හැම එකක්ම පරණයි කියලා ඉවත දාන්නත් බැහැ.ඒ වගේම පබලු වැල් දැමීම, මුදු දැමීම වැනි සමහර දේවල් නම් කිසිම විදිහකින් ප්‍රායෝගික නැහැ.ඒ විතරක් නොවෙයි, දරුවාට පහසුවක් ඇති වෙන්නෙත් නැහැ.

හැබැයි සවස් කාලයට පෙරාතුව පැටියාගේ ඇදුම් නිවසට ගැනීම, රෙදි මිරිකන්නේ නැතුව වනන්. වැනි යම් යම් දේවල් තුළ විදයාත්මක ඇත්තක් තියෙනවා.ඒ නිසා හරි දේ වැරදි දේ තෝරා බේරා ගෙන ගනුදෙණු කරන්න.

  • හැම දරුවාගේම වර්ධනය එක සමාන නැහැ

සමහර විට ඔබේ පැටියාට මාසයක් එහෙම නැත්නම් සතියක් පමණ ගෙවිලා උපත ලැබූ ඔබේ අසල්වැසියාගේ එහෙම නැත්නම් ඥාතියෙකුගේ දරුවාගේ වර්ධනය ඔබේ දරුවාට වඩා ප්‍රගතියක් පෙන්වන්න පුලුවනි.ඒ ගැන කලබල වෙන්න එපා.යම් විදිහකින් පසුබැස්මක් ඇතැයි හිතෙනවා නම් පවුල් සෞඛ්‍ය නිළධාරී මහත්මියගෙන් මුලික උපදෙස් ලබා ගන්න. එහෙම නැතුව විස්සෝප වෙන්න කරුණු හොයන්න එපා.

  • අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න..

දැන් ඉතින් අපි දෙමව්පියෝ…කියලා ඉස්සර ඔබ දෙදෙනා අතර තිබුන බැදීමත් දුරස් කර ගන්න එපා.දරුවා ඔබේ ලෝකය සම්පූර්ණ කලා සේම දරුවාගේ ලෝකය සම්පූර්ණ වෙන්නේ අම්මාගේ තාත්තාගේ ආදර බැදීම නිසයි.පවුල සොඳුරු කැදැල්ලක් වේනනේ එවිටයි.ඒ නිසා සැමියා සහ බිරිද අතර ආදාර සම්බන්ධතාවය වගේම පැවැත්ම දිගින් දිගටම පවත්වා ගැනීම ඉතාම වැදගත්.දරුවා ඔබේ ජීවිතයට ලබා දුන් සුන්දරත්වය සම්පූර්ණ වෙන්නේ එවිටයි.

 

එක පවුලක වුනත් වෙනස් දරුවන්

එක බඩවැල කඩාගෙන ඉපදුනත් ,එකම  පවුලක සහෝදර සහෝදරියන් අතරත් විවිධ වෙනස්කම් දක්නට ලැබීම අපටත් ඉතාම හුරු පුරුදුයි.මේ නිසාම දරුවන් අතරත් විවිධ අන්දමේ මත ගැටුම්, වාද විවාද වගේම බහින් බස්වීම් ඇති වෙනවා. දරුවන්ගේ ගති ලක්ෂණවලදී දෙමව්පියන් විසින් පවුලේ බඩපිස්සා..එහෙම නැත්නම් අපි මුලින්ම හුරතල් බලපු දරුවා..විදිහට විශේෂණ එකතු කරනවා.මේ විශේෂණ නිසා දරුවන්ගේ පෞරෂය පිළිබඳවත් පසුකාලීනව විවිධ ගැටළු ඇති වෙන්න පුලුවනි.

19 වෙනි සියවසයේ අග භාගයේ සහ 20 වෙනි සියවසයේ මුල් භාගයේ ඔස්ට්‍රියාවේ විසූ භෞතවෛද්‍යවරයෙකු (physician) මෙන්ම මනෝ චිකිත්සකයෙකු(psychotherapist).ලෙසින් කටයුතු කළ ඇල්ප්‍රඩ් ඇඩ්ලර්, දරුවන් සත් දෙනෙකුගෙන් සමන්විත පවුලක මැද සාමාජිකයෙකි. එකම පවුලක හැදී වැදුණු දරුවන්ට එකිනෙක වෙනස් පෞරුෂයන් ඇති බවක් දක්නට ඇත්තේ ඇයිදැයි හඳුනා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහුගේ මෙම අධ්‍යනය සිදු වුනේ 1927 වසරේදී.

දරුවා වැඩිමහල් ද නැති නම් බාලයා ද යන්න සලකා බලා දෙමව්පියන් දරුවන්ට වෙනස් ලෙස සලකන බවට සංකල්පයක් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මේ දරුවන් මේ අන්දමින් සංසන්දනය කරනු ලැබීම හීනමානය (Inferiority) පිළිබඳ හැඟීමක් ඇති කරන බව ඔහුගේ විශ්වාසය වුණා. එතැන් සිට වැඩිහිටි පිළිවෙල හා සම්බන්ධ චරිත ලක්ෂණ (Characteristics) දෙස පර්යේෂකයන් ගේ වැඩි අවධානයක් යොමු වුනා. 

පවුලේ වැඩිමහල් දරුවා අන් අය සතුටු කරන්නෙකු යැයි විශ්වාස කරනවා. ඉස් ඉස්සෙල්ලාම දුවක බලාපොරොත්තු වෙන්නෙත්  වැඩිමහල් දරුවා වගකීම් සහගත, විශ්වාසය තැබිය හැකි, සුපරික්ෂාකාරී දරුවෙකු ලෙස සලකන නිසයි. නමුත්සමහර විට දෙමව්පියන් අපේක්ෂා කරන දෙයට වෙනස් අන්දමින් විට ඔහු හෝ ඇයගෙන් සිය බලය පෙන්වන (Bossy) සහ අධිකාරිවාදී චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවනි. වැඩිමහල් දරුවා කෙරෙහි දෙමව්පියන්ගේ වැඩි සැලකිල්ලක් යොමු වන අතර දෙවන දරුවා පවුලට එක් වීමත් සමග බොහෝ විට ඔහුට හෝ ඇයට නොසැලකිල්ලක් හෝ ඇති වෙනවා.පවුලේ වැඩිමහල් දරුවන් විදිහට උපත ලැබූ ජාත්‍යන්තර තලයේ චරිත අතරටදෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හොබවන ලද වින්ස්ටන් චර්චිල් සහ හැරි පොටර් කතා මාලාවේ කතෘවරිය ජේ.කේ රෝලින් ඇතුලත් වෙනවා. 

පවුලේ මැද දරුවා අතරමැදියෙකු විදිහට බොහොම පීඩාවට පත් වෙනවා. වැඩිමහල් දරුවාට තිබෙන සැලකිල්ලත්, බඩපිස්සාට තිබන ආදරයත් ඔවුන්ට අහිමියි.මේ නිසා පවුලේ මැද දරුවා බොහෝ විට නොසලකා හැරීම්වලට ලක් වෙනවා.බිල් ගේට්ස් වගේම මැඩෝනා පවුලේ මද්දුම සාමාජිකයන්.

පවුලේ බාල දරුවා තමා ගැනම සිතන (Self-centred), යමක් තම වාසියට හරවා ගනු ලබන (Manipulative), සෙල්ලමට බර, විනෝදකාමී සහ සිත් ඇදගන්නා හැසිරීමක් ඇති පුද්ගලයෙකු බව බොහෝ විට විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් තමාටමඅවධානය (Attention) දිනා ගැනීම සඳහා විශාල අරගලයක යෙදෙන  ස්වාධීනත්වය (Independence) පවත්වා ගෙන යාම සහ සෙසු සහෝදර සහෝදරියන්ට වඩා වෙනසක් පෙන්නුම් කරන පිරිසක්.මහත්මා ගාන්ධි පවුලේ බඩපිස්සා විදිහට උපත ලබා ජගත් කීර්තියට පත් වූ සුවිශේෂී පුද්ගලයෙක්.

එකා යකා කියන්නා වගේම පවුලක එකම දරුවා තමන් ගැනම සිතන (Self-centred) ආත්මාර්ථකාමී චරිතයක්. ලියනාඩෝ ඩා වින්චි සහ හැරී පෝටර් චරිතයට පන පොවන ‘‘ඩැනියල් රැන්ඩ්ලිෆ් “ පවුලේ එකම දරුවා විදිහට උපත ලද අයයි.

1996 වසරේදී ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වන ෆ්‍රෑන්ක් සලොවේ (Frank Sulloway) ඉදිරිපත් කළ මතයකින් කියවුණේ සෑම පවුලකම පැවැත්ම (Survival) සඳහා ඇති තරඟය සහෝදර සහෝදරියන් අතර වෙනස්කම් ඇති වීමට හේතු වෙන බවයි. ඔවුන්ගේ මෙම අරගලය සිදු වෙන්නේ දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා බැව් ෆෑන්ක් සලොවේ සඳහන් කරනවා.

  • ඒකත් ඇත්ත කියලා ඔබට හිතේවි..

සමහර විට ඔබ පවුලේ වැඩිමලාට වැඩියෙන් සලකන්නේ අපි හාපුරා දැක්ක දරුවානේ කියලා.ඒ වගේම මෙහි අනිත් පැත්තත් සිද්ධ වෙනවා. සමහර දෙමව්පියන් දෙවැනි තුන්වැනි දරුවන් පවුලට එකතු වෙද්දී වැඩිමලාව අතහැර දමනවා විතරක් නොවෙයි,පමණටත් වඩා වගකීම් පවරනවා. එවිට වැඩිමහල් දරුවා තමන්ගේ බාල සහෝදරයන් සමග නොදැනම අරගලයක් ඇති කර ගැනීමට සූදානම්.

ඒ නිසා පවුලේ වැඩිමලා,මද්දුමයා සහ බාලයා විදිහට වෙනසක් නැතුව හැම දරුවාම මගේය කියන සිතුවිල්ලෙන් කටයුතු කරන කිසිම ගැටලුවක් නැති වේවි.

 

 

ආදරය අත්විදපු දරුවන් ප්‍රේමය පතුරුවනු ඇති

ආදරයට අපි හැමෝම ආදරෙයි.ඒ ජීවය තිබෙන හැම දෙනාටම පොදු හැඟීමක්.ඉතින් දරුවන් විෂයෙහිදී මේ තත්වයේ කිසිම වෙනසක් නැහැ.මානසික සිතුවිල්ලක් විදිහට ක්‍රියාකරන ආදරේ ගැන දරුවන් දක්වන ප්‍රතිචාරය කොහොමද…?

  • මට කවුරුත් ආදරේ නැහැ..

දරුවන්ට දැනෙන්න ආදරේ කළ යුතුයි කියන සංකල්පය අද මනෝවිද්‍යාඥයින් විසින් පිලිගන්නා තත්වයක්.එහි කිසිම මතබේදයක් නැහැ.දැන් ඔබට හිතේවි අපි දරුවන්ට කොච්චර ආදරෙයිද..? ඉතින් මෙතැන අමුතුවෙන් දැනෙන්න දෙයක් තියෙනවායැ.එය ඇත්ත. ඒත් දරුවාට ඔබ ආදරේ බැව් හිතට නොදැණුන විට ඔවුන් හිතන්නේ මට කවුරුත් ආදරේ නැහැ..ලෙසයි.

  • ඉතින් එහෙම වුනොත්…?

ඔව් ඒකත් ඇත්ත. අපිට මොනවද හිතන්න බැරි.ඒ වගේ දරුවන්ටත් විවිධ සිතුවිලි හිතට නැගෙනවානේ.ඒ වගේ මට කවුරුත් ආදරේ නැහැ..කියන සිතුවිල්ලත් ඔවුන්ගේ සිතට ඇති වේවි.මේ පසුගාමී බව දරුවාගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහැ.නිතරම මේ විදිහට පසුගාමිව හිතන්න පුරුදු වුනොත් දරුවා නොදැනීම පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි.

  • මානසිකව ඇති පසුබෑම කායික රෝගවලටත් වඩා තේරුම් ගන්න අපහසුයි.

වචනයටත් කියවානේ ඇඟේ ලෙඩට බේත් තිබුනට හිතේ ලෙඩට බේත් නැහැ කියලා.දරුවන්ගේ ආදරේ ගැන ඇති වෙන සැකයත් මානසික රෝගයකට නිදාන කතාවක් සපයනවා.දරුවා විවිධ විදිහට ලෙඩ ගැන කිව්වත් ඒවා ඩොක්ටර් අන්කල්ට හෝ ඇන්ටිටත් අහු නොවෙන විදිහට හොර ලෙඩ වෙන්නත් පුලුවන්. මේ සේරම කරන්නේ තමන්ගේ හිතේ තිබෙන හිස්කම මකා ගන්න බව දෙමව්පියන් විදිහට අමතක කරන්න එපා.

  • ආත්ම විශ්වාසයක් නැහැ

ආදරේ ගැන ප්‍රමාණාත්මක හැඟීමක් නැති දරුවන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ.තමන් වෙනුවෙන් ආදරේ කරන කෙනෙක් සිටින විට තමා සම්පූර්ණයි කියන සිතුවිල්ලෙන් ඔවුන් පොහොසත්. ඒ ශක්තිය නිසාම දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා.එය වෙන කිසිම විදිහකින් ගොඩ නගන්න පුලුවන් පහසු දෙයක් නොවෙයි.

  • ප්‍රේමය  පතුරනවා.

දරුවාට නිසි ලෙසින් ආදරය,දයාව,කරුණාව ලැබෙනවා නම් දරුවා අනාගතයේදී ඒ වෙනුවෙන් ප්‍රතිචාර  දක්වනවා. හොදින් ආදරේ විදපු දරුවන් නිතරම සමාජයට ප්‍රේමය පතුරනවා.එය මනෝවිද්‍යාත්මක සත්‍යක්.ඔවුන් සමාජ විරෝධී පිරිස් වෙන්නේම නැහැ.

  • බාලකාලයේ සෙනහස නොලත් දරුවන්

ඔබ් බොහෝ විට සමාජයේ විවිධ අකටයුතු කරන,සමාජ විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන්ගේ බාලකාලය ඇත්තටම ශෝචනීයයි.ඔවුන් බාලකාලයේදී ආදරය නොලත් බැව් සිය අත්දැකීම් විස්තර කරන විටත් පෙනී යනවා. මේ ආත්මීය ශෝකය නිසාම ඔවුන්ට වෛරය,ආවේගය එතරම් ආගන්තුක සිතුවිලි නොවෙයි.

දරුවන් ආදරේට ආදරෙයි. ආදරය  දක්වන්න පසුබසින්න එපා. ඔබට මොනතරම් වැඩ රාජකාරි තිබුනත් ඒ අතර දරුවා ගැන මග හරින්න එපා.ඔවුන්ට ඔබ ආදරේ බව දැනෙන්නේ මේ සියල්ල අතර දරුවා ඔබේ මනසේ සහ ජීවිතයේ ජීවත්වෙන බවට සහතිකය දරුවා ලැබුන විටයි.ආහාරපාන ,ඇදුම් පැළදුම්.සෙල්ලම්බඩු විතරක් නොවෙයි,ආදරයත් දරුවාට අවශ්‍ය නොව අත්‍යවශය බැව් සිතන්න.

  • ආදරේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයට

ඔබ අද දවසේ දරුවාට දක්වන ආදරයේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයටයි.හැමදාම දරුවා ඔබ සෙවනේ සිටින නොදරුවා නොවෙයි.ඔවුන් තව දශක දෙකකින් පමණ සමාජගත පුද්ගලයන් බවට පත් වෙනවා. එවිට ”ආදරය අත්විදපු දරුවන් සමාජයට ප්‍රේමය පතුරුවනු ඇති…”එවන් වූ සමාජයක් මොනතරම් සුන්දරද බැව් මේ සංකල්පය අසන දෙමව්පියන් වන ඔබගේ මනසේ නොදැනීම චිත්‍රනය වෙනු ඇති. 

 

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ….

අම්මා,තාත්තා වුනත් නිවසේ සිටින විට පුංචි පුංචි ආරවුල් ඇති කර ගන්නවා.එය සාමාන්‍ය තත්වයක්.දෙන්නා දෙමහල්ලන්ගේ සණ්ඩු සරුවල් බත් හැලිය ඉදෙන තෙක් විතරයි කිව්වත් සමහර දෙමව්පියන් මේවා දිගින් දිගටම ගෙනියනවා.

ඇත්තටම දෙමව්පියෝ රණ්ඩු වෙන්නේ ඇයි…

ආර්ථික හේතු-මේ තත්වය සණ්ඩු සරුවල් වීමෙන් හෝ බහින්බස් වීමෙන් විසඳා ගන්න බැහැ.මුදල් ආදායම වගේම වියදම ගලපා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.නමුත් එය සණ්ඩුවකින් විසඳෙන්නෙත් නැහැ.

පවුල්වල සාමාජිකයන් නිසා-එක හැලියේ බත් කෑවාත් කුසය වෙනස් කියනවා වගේ සමහර පවුල්වල නැන්දම්මා.නෑනා වැනි නීතියෙන් සම්බන්ධ වුන නෑදැයෝ බොහොම සීරුවට දෙන්නා දෙමහල්ලන් අතර අරගල ඇති කරනවා.ඒ වගේ වේලාවට සැමියා ,බිරිඳ මේ ගැන අවබෝධයෙන් කටයුතු කරමින් දෙපැත්තම බේරා ගන්න ඕන.

දරුවන් නිසා-දරුවන් වැරදි කිරීමෙන් පවුල් අතර බොහෝ අරගල ඇති වෙනවා.දරුවා වැරද්දක් කළත්, දරුවාට තදින් අවවාද දුන්නත් අන්තිමේදී දෙමව්පියෝ පැටලෙන පැටලිල්ල දවස් ගණනාවක් අළු යට ගිනි වගේ පුපුරු ගහනවා.

මානසික ආතතිය- බොහෝ වේලාවට මානසික ආතතිය පිටට පේන්නෙත් නැහැ.අඩුම වශයෙන් ආතතියට පත් තැනැත්තාවත් ඒ ගැන දන්නේ නැහැ.නමුත් සිද්ධ වෙන්නේ නිතරම අඩදබර විතරයි.නමුත් ඒවා පිටවෙන්නේ හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහටයි.

වෙහෙස- නිවසක කටයුතු, රැකියාව ,සමාජ සම්බන්ධතාවයන්,දරුවන්ගේ වගකීම් ..මේ

සියල්ලම දරන්න ගියාමත් ටිකක් අපහසුයි.සමහර විට මේ වගකීම් දෙන්නා අතර බෙදා ගැනීමකුත් නැහැ.එහෙම වුනාම ඇති වෙන වෙහෙස පිටවෙන්නේ මත ගැටුම් විදිහටයි.

 

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම්..

දෙමව්පියෝ නිතරම රණ්ඩු වෙනවා නම් ඒ නිවස ප්‍රසන්න නැහැ. සාමාන්‍යයෙන් පවුලේ අයට තමාගේ නිවස තරම් ප්‍රසන්න තැනැක් ලෝකයේ වෙනත් කොතැනකවත් නැති තරම් වුනොත් එය සැබැවින්ම පසන් නිවසක්.ඒ වුනත් අම්මා තාත්තා මත ගැටෙන,බහින් බස් වෙන නිවසක දරුවන්ට මේ පසන් නිවසක අයිතිය නොදැනීම අහිමි වෙනවා.

  • දරුවන් හා දෙමව්පියන් අතර සම්බන්ධතාවය

අම්මා,තාත්තා නිතරම දුම්මල වරම අරගෙන ඉන්නවා නම් දරුවන්ට ඔවුන් සමග මනා සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම අපහසුයි.බොහෝ වේලාවට මේ පීඩනය පිට වෙන්නේ දරුවා වෙතින් නිසා ඔවුන් අම්මා හෝ තාත්තා ආව්ස වෙලා ඉනන්වා නම් කතාවට යන්නත් බයයි.ඒ නිසාම දරුවන් නිතරම ජීවත් වෙන්නේ බිය,සැකය පිරුන පරිසරයකයි.

  • දරුවන්ගේ මානසික තත්වයට ගැලපෙන්නේම නැහැ.

දරුවන්ගේ බාල කාලයේ ලබන සුන්දර අත්දැකීම් මත ඔවුන්ගේ අනාගතය පෝෂණය වෙනවා.දරුවන් සතුටින් ඉන්න කැමැතියි. ආදරය ලබන්න,ආදරය විඳින්න..කැමැතියි.ඒත් නිතර ගැටෙන දෙමව්පියන් සිටින නිවසකදී දරුවාට මේ සියල්ල අහිමි වෙනවා. අම්මා නිතරම ඉන්නේ තමන්ට ජීවිතේ එපා වුණා වගේ..තාත්තාට පොඩ්ඩක් ඇත්තම් තරහ යනවා.එවන් පසුබිමක දරුවා බොහොම අසරණයි.ඔවුන්ගේ සිතුවිලි කියන්න,අහන්න කෙනෙක් නැහැ. මේ නිසා දරුවා බෙහෙවින්ම මානසික කම්පනයකින් කාලය ගෙවනවා.

  • දරුවාගේ අනාගතයට ඇති වෙන බලපෑම

දරුවාට නිවසේ තියෙන්නේ අනාදරය,අනාරක්ෂිතබව නම් ඒ තත්වය දරුවා සමග නොදැනීම වර්ධනය වෙනවා.ඔවුන් සමාජයට නිරාවරනය වුනාමත් මේ පීඩනය නිසා සමාජය සමග පවත්නා සම්බන්ධතාවයන් එතරම් යහපත් පරිදි පවත්වා ගැනීමට අපහසු චරිත බවට පත් වෙනවා.නිතරම මානසිකව පීඩනයෙන්, සිටීම නිසා දරුවාගේ හිතේ ඇත්තේ ප්‍රචන්ඩ සිතුවිලි. තාත්තා නිතරම අම්මාට දොස් නගන, බඩු මුට්ටු පොළවේ ගසන, අම්මා නිතරම තාත්තාව විවේචනය කරන පවුල් පසුබිමකින් දරුවෙකුගේ හිතේ ඇති වෙන්නේ ප්‍රචණ්ඩත්වයයි.ඒ නිසා පවුල තුළ මොන අන්දමේ අරගල තිබුනත් දරුවන් ඉදිරියේ ඒවා ප්‍රචණ්ඩකාරී ලෙසින් මුදා හරින්න එපා.එලෙස පීඩාකාරි පරිසරයක හැදෙන වැඩෙන දරුවා අනාගතයේදී ප්‍රචන්ඩතාරීව හැසිරෙන නිසා දෙමව්පියන් ලෙසින් ඔබ අද දවසේ පවුලේ සමගිය පවත්වා ගැනීමට වඩාත් උනන්දු වෙන්න.එය දරුවන්ට ආදරය කරන දෙමව්පියන්ගේ සැබෑම සෙනෙහසයි.

 

මානසික රෝග

ලෝකයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වෙන්නේ පින්ලන්තයේ. ඒත් මේ විදිහට එක් රටක් පාදක කර ගෙන ලෝකයේ සමස්තය ගැන අනුමාන අපිට ගොඩ නගා ගන්න බැහැ.අල්ජසීරා පුවත් සේවය පවා මේ ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ ලෝකයේ කුමන රටක වුනත්  මානසිකව පීඩනයෙන් සිටින පිරිස් ඕනෑ තරම් සිටින බවයි. ලෝක සෞඛය සංවිධානය සඳහන් කරන විදිහට අනාගතයේදී සෑම පුද්ගලයන් හතර දෙනෙක්ගෙන් එක් අයෙක්ම මානසික සෞඛ්‍යය අතින් පිරිහුන තත්වයක පසු විය හැකි බවයි. අපි හැම දෙනෙක්ම ජීවිතයේ හැම දවසකම මානසිකව යම් යම් ගැටුම්වලට මුහුණ දෙනවා. මේ තත්වය නිසා අපි මානසික රෝගීන් බවට පත් වෙන අතර ඒ වෙනුවෙන් බලපාන තවත් හේතු කීපයක් තිබෙනවා.

ප්‍රවේණිය

ආහාර රටාව

ව්‍යායාම

පරිසර දූෂණය

මානසික ආතතිය

මානසික රෝග බොහෝ දුරට දරුණු තත්වයට පත් වෙන්නේ අපේම වැරැද්දෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට ඌනපූරණය කරමින් වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරනවා..

මානසික රෝග පිළිබඳව අපේ සමාජයේ පවතින දුර්මත නිසා මෙම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම ඇතැම් වේලාවට බොහොම කල් යන අවස්ථා තිබෙනවා. ඒ තත්වය නිසා සිද්ධ වෙන්නේ නියපපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන තරමටම බරපතල තත්වයට පත් වෙනවා. එහෙත් මානසික රෝග තත්වයක් වුනත් කල් තබා හඳුනා ගත් විට ප්‍රතිකාර කිරීම අපහසු නැහැ. එහෙමනම් අපේ රටේ මානසික රෝග හඳුනා ගැනීම ඇත්තටම පරක්කු වෙන්නේ 

බොහොම දෙනා මුලින්ම මානසික රෝග තත්වයන් පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ. සමහර අවස්ථා තිබෙනවා මේවා මානසික රෝග විදිහට තෝරා බේරා ගන්න බැරි තරහටම සාමාන්‍යයයි.සමහර අයගේ අසීමිත පිරිසිදුකම, තනිවම ඉන්න දක්වන බිය, සතුන්ට දක්වන බිය, තමන් මැරෙයි කියලා එහෙම නැත්නම් තමන්ට විපතක් වෙයි කියල හිතෙන අනියත බිය…මේ සාමාන්‍ය හැසිරීම් අතරෙත් මානසික රෝග තත්වයක පෙරනිමිති තිබුනත් අපි ඒවා පැහැදිලිව හඳුනා ගන්නේ නැහැ.

මානසික රෝග වෙනුවෙන් ඔවුන් මුලින්ම රෝහල්ගත වෙන්න තිබුනා නේද…?

ඒ තත්වය ඔවුන්ට පමණක් නොවෙයි. බොහොම දෙනාට සාධාරණයි. එකක් අපි අතර තිබෙන මානසික රෝග ගැන අපිට වැටහීමක් නැහැ. ඒ නිසා ප්‍රතිකාර ගත යුතුද…ප්‍රතිකාර ගන්නේ කාගෙන්ද…. යොමු වෙන්නේ කොතැනටද…..වගේ ප්‍රශ්න රාශියක් නැතුවාම නොවෙයි. 

මානසික රෝග වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාරම ලබා ගත යුතුද…..?

මානසික රෝග වෙනුවෙන් ඖෂධ ප්‍රතිකාර වගේම මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය අවස්ථා තිබෙනවා. බොහෝ දෙනා මනෝචිකිත්සක ප්‍රතිකාර පිළිබඳව දැනුවත් නැහැ.ඒ වගේම මානසික රෝග සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පහසුකම් ඉතාම අල්පයි. මේ නිසා මානසික රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා නිසි පහසුකම් නැති වීම නිසාත් මේ රෝගීන්ගේ තත්වය සුව අතර පත් කර ගැනීම අපහසුයි.

මානසික රෝග පිළිබඳව තිබෙන දුර්මත….

බොහොම දෙනා හිතන්නේ මානසික රෝග වැළඳුනාම දැන් ඉතින් සදාකාලිකවම මානසික රෝගියෙක් බවයි. එහෙම වෙන්නේ නැහැ. පුද්ගලයාගේ පවතින අසමතුලිත බවට ප්‍රතිකාර ලබා දීමෙන් ඔහු නැවත සාමාන්‍ය තත්වයටම සමාජගත කළ හැකියි.

මානසික රෝගීන් සමාජයේ අපවාදයට ලක් කිරීමක් වෙනවාද…?

මානසික රෝගියෙක්ය යන ලේබලයෙන් එම තැනැත්තා හඳුන්වන්න පුරුදු පුහුණුව සිටීම ඉතා වැරදියි. ඇතැම් විවාහ යෝජනාවන් පවා පවුලේ යම් කෙනෙක් මානසික රෝග තත්වයෙන් පසු වුන තොරතුරු දැනගත්තාම බිඳ වැටෙනවා. සමාජය මෙම රෝගීන් අවතැන් කරන නිසා ඔවුන් නොදැනම හුදෙකලා චරිත බවට පත් වෙන විට තව තවත් තත්වය නරක අතට හැරෙනවා.

යෝග සහ භාවනාවන් මගින් කාංසාව විශාදය වැනි මානසික රෝගවලට සහනයක් ලැබෙනවාය යන අදහස…

මෑතකදී හාවර්ඞ් විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන ලද පර්යේෂන වාර්තාවක සඳහන් අන්දමට යෝග සහ භාවනාවන් මගින් මානසික රෝගාබාධයන්ට සහනය ලැබෙන බව හඳුනා ගෙන තිබෙනවා. මෙම අධ්‍යනයට කාන්තාවන් 91 දෙනෙක් තෝරා ගෙන මුල් අදියරේදී ඔවුන්ට පැය 12 ක කාලයක් භාවනාවේ යෙදීමට අවස්ථාව ලබා දුන්නා. දෙවැනි අදියරේදී සතියක කාලයක්  යෝග ව්‍යායාමයන්හි යෙදෙන්නට අවස්ථාව සලසා දුන්නා. සැසි වාරය අවසානයේදී ලබා ගත් වාර්තාවන් මගින් පෙනී ගියේ මෙම පිරිස ඉතා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකට පත්ව සිටි බවයි. මේ විදිහට බලද්දී අපිට මානසික ඇති වෙන විවිධ අපහසුතාවයන් වෙනුවෙන් දැන් නොයෙක් පිළියම් තිබෙනවා.

එහෙමනම් මේ රෝගීන් සමාජය පිළිගන්නේ කොහොමද….

ඇත්තටම ඔවුන් සාමාන්‍ය උදවිය විදිහට හිතන්න පුළුවන්. අතීතයේදී ක්ෂයරෝගය , ලාදුරු වැනි රෝගීන් සමාජයෙන් කොන් වුන තත්වයට පත්ව සිටියත් වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනය සහ සමාජය ලබා තිබෙන දැණුවත්බව නිසා මේ රෝගීන් සුවය ලබා ඉතා හොඳින් සමාජය සමග ගණුදෙණු කරනවා. මානසිකව යම් වෙනස්වීමක් ඇති වෙලා ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත්තාට පසුව දෙවතාවක් ඒ තැනැත්තා ගැන හිතන්න අවශ්‍ය නැහැ. දැන් ඔහු හෝ ඇය සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙක්…..

අල්ජසීරා පුවත් ඇසුරින්

 

 

දෙමව්පියන්ටත් බබා පාට් දාන්න වෙනවා.

සමහර වැඩිහිටියන් සමග පුංචි පැටව් ඉක්මනින් මිතුරු වෙනවා.සමහර උදවිය සැබැවින්ම පැටියාට ආදරය කළත් දරුවා කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ.ඉතා මිතුරු සිතින් තමා වෙතට ප්‍රතිචාර  දක්වන විට බොහෝ අය කියන්නේ සංසාරයේ දැකල පුරුදු ඇති කියලා..ඒ වගේම මේ අය ළමයි රවටා ගන්න සුත්‍තරය දන්නවා කියලා කිව්වත් ඇත්තටම මෙතැන රහසක් තිබෙනවා.

මේ ගැන පර්යේෂකයන් අධ්‍යනයක් සිදු කළා.ඔවුන් කියන්නේ තමා අනුකරණය කරන උදවිය සමග දරුවන් ඉතාම ඉක්මනින් මිතුරු වෙන බවයි. සෙල්ලම් බඩු, රසකැවිලි වැනි දරුවා රවටන කිසිම දෙයක් නැති වුනත් මේ පුංචි රහස නිසා ඇතැම් වැඩිහිටියන් වෙත දරුවන් ඉතාම ඉක්මනින් ආකර්ශනය වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

හැබැයි මේ ගැන ඇහුවාම අපේ අම්මලා, අත්තම්මලා නම් කියාවි අපි ඉතින් දරුවන්ගේ භාෂාව දන්නවා.අපි නිතරම දරුවන් ආමන්ත්‍රණය කලා. වෙන දෙයක් තබා අපි දරුවන් ආමන්ත්‍රනය පටන් ගත්තේ තොටිල්ලේ ලී වැටත් පනින්න ඉස්සර පටන්නේ..

ඒක ඇත්ත.දැන් මේ සංසිද්ධිය ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ  නව අධ්‍යනය අනුවපිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යනය අනුව මාස හයක් වයසැති ළදරුවන් වැඩිහිටියන් අනුකරණය කරන විට ඔවුන් හඳුනා ගන්නවා පමණක් නොවෙයි,  අනුකරණය කරන්නන් වඩාත් මිත්‍රශීලි අය විදිහට සලකනවා.  දරුවා වෙනුවෙන් වෙන වෙන අන්දමින් ආකර්ශනය ලබා ගන්නට තැත් කළ අයට වඩා වෙනත් දරුවා  අනුකරණය කළ වැඩිහිටියෙකු දෙස ළදරුවන් ගේ ආකර්ශනය වැඩි බව පෙනී ගියා.. ළදරුවන් ද ඔවුන් වෙත තවත් ළඟා වූ අතර ක්‍රිඩා අනුකරණය කිරීමටත් පටන් ගත්තා.. 

මේ අධ්‍යනය එතරම් පහසු එකක් වුනේ නැහැ. ඒ ඇයි කිව්වොත් පර්යේෂකයාටත් බබාගේ තත්වයට පත් වෙන්න සිදු වුනා.ඔවුන් මාස හයක් වයසැති ළදරුවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග ආකාර හතරකින් කටයුතු කළා.

දරුවා කරන කරන දේ කිරීම ඒ අතරින් එකක්.ඒ වගේම දරුවා අත ඔසවනවා නම් පර්යේෂකයාත් අත ඔසවන්න, කකුල සොලවන විට කකුල සොලවන්න පටන් ගත්තා.දෙවැනි අදියරේදී දරුවාගේ ශාරිරික ක්‍රියාකාරකම් විතරක් අනුකරනය කළා.

ඒ විතරක් නොවෙයි, දරුවා දක්වන ක්‍රියාවට වෙනස් විදිහටත් ප්‍රතිචාර දැක්වීමට පර්යේෂකයන් පටන් ගත්තා. ඒ කියන්නේ දරුවා කකුල සොලවන විට පර්යේෂකයා නළල අතගාන්න වගේ වෙනස් දෙයක් කලා.ඒ අතර දරුවා යම් දෙයක් අවශ්‍ය බැව් දන්වන විට ප්‍රතිචාර දැක්වීම වැනි විවිධ විදිහට දරුවා අනුකරනය කරන්න පටන් ගත්තා.

කොහොම වුනත් තොටිල්ලේ ඉන්න පුංචි පැටව් ඔවුන් අනුකරනය කරන අන්දම දැක්කාම අම්මලාටත් පුදුම හිතුනා. ඇයි දෙයියනේ ජීවිතේට දැක්කෙත් අදයි..මේ මොන පුදුමයක්දැයි අම්මලාට හිතුන බැව් ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ගේබ්‍රියෙලා-ඇලිනා සවුසි සඳහන් කරනවා.

ඒ වගේම දරුවන් අන්තර් ක්‍රියාවන් සමග සම්බන්ධ වීමට සහ සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට නම් ඔවුන් සමග වැඩිහිටියන්ගේ සමීපතාවය අවශ්‍ය වෙනවා.මේ උපකල්පනය මත පිහිටා කටයුතු කළ පර්යේෂකයන්ට ඒ වෙනුවෙන් ගැලපෙන ක්‍රමවේද සෙවීමේ අවශ්‍යතාවය ඇති වුනේ කාලයක පටන්.ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වුනේ ළදරුවන් අනුකරණය කිරීම මේ සදහා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් විය හැකි බවයි.

කොහොම වුනත් දැන් මේ ගැන යම් තහවුරුවීමක් ගොඩ නැගී තිබෙනවා.ඉතින් අපේ අම්මලාටත් දැන් තමන්ගේ පැටව් සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්න වෙනවා. ඒ කියන්නේ අම්මාටත් ”බබා පාට්” පටන් ගන්න වෙනවා. ඇත්තටම ඉස්සර වැඩිහිටියෝ දරුවන් සමග දණ ගාන්න පවා පෙළඹී තිබෙන්නේ මානසික විද්‍යාව දැනගෙන නොවෙයි.දරුවා සතුටු වෙන දේ ගැන වැඩිහිටියන් දැන හිටියා.ඒ නිසා පැටියා අඩන විට බොරුවට අඩන්න පටන් ගත්තා.සමහර වෙලාවට පැටියාගේ ඇඬීමත් නැවතෙනවා.මේ විදිහට පුංචි සම්‍යප්‍රයෝග ලැබෙන්නා වූ අපි නොදකින වාසි බොහොමයක් තිබෙනවා.දැන් මේ පර්යේෂන පත්‍රිකාව PLOS ONE මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

පර්යේෂණය – PLOS ONE

 

පුංචි පැටියාගේ දත් ගැන අම්මාට තියෙන්නේ ලොකු වගකීමක් බව සිතුවාද?

පුංචි දරුවෙක් කියන්නේ හැමවිටම වගකීමක්. දරුවා ඉපදෙන්න කලින් ඉඳලාම අම්මා කෙනෙක් බොහොම කැපකිරීම් කරමින් නිරෝගී දරුවෙක් බිහිකරන්න ලොකු උත්සහයක් දරනවා. එතන ඉඳලා දරුවාගේ ජිවිතයේ හැම අවධියකදිම ඔවුන්ට අවශ්‍ය ආදරය, රැකවරණය විතරක් නෙමෙයි පෝෂණය, වර්ධනය, පිරිසිඳුකම වගේ කරුණු රාශියක් ගැන සැලකිලිමත් වෙන්න මවකට සිදුවෙනවා.

මවක් විදිහට ඔබ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ගැන දක්වන්නේත් ඒතරම්ම උනන්දුවක් බව අපි දන්නවා. වෙළඳපොලේ බොහෝවිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙනම නිශ්පාදනය වු නිශ්පාදන සොයාගැනීමට අපහසු විය හැක එතැනදී ඔබ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වුන නිෂ්පාදන දරුවන් වෙනුවෙන් තෝරගන්නවනම් එය ඔබට වගේම දරුවාටත් මහත් අපහසුතාවයක් ගෙන එන අතරේ අනාගතයේ සෞඛ්‍ය ගැටළු මතුකරවන්නටත් හේතුවක් වෙන්න පුළුවන්. ආදරණිය මවක් විදිහට ඔබේ වගේම අපේ වගකීමත් ඔබේ පුංචි පැටියාගේ සුදුවන් දත් දෙපළ ආරක්ෂා කරදීමයි.

දරුවෙකුගේ ශක්තිමත්, සුදුවන් දත් දෙපළක් වෙනුවෙන් ඔබේ වගකීම් මොනවාද?

 දවසට දෙවරක් දත් මැදීම

ඔබේ සිඟිති දරුවාගේ වයස මාස 12ක් පමණ වන කාලයේ සිටම අවම වශයෙන් දිනකට දෙවරක් දත් මැදීම ආරම්භ කළ යුතුමයි. දරුවා වයසින් වැඩෙත්ම එය හොඳ පුරුද්දක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට සිතිවිල්ලක් ඔවුන් තුල හටගන්නේ එතුලිනි. තමන්ගේ පැටියා වෙනුවෙන් හොඳම දේ හොයන මවක් වන ඔබට මෘදු සංයෝගයක් සහිත ළමා දන්තාලේපයක් තෝරා ගැනීමට සිදුවනවා.

ළමා දන්තාලේපයක වැදගත්කම

ඒ විදිහට දත් මැදීම ආරම්භ කිරීමෙන් පස්සේ ක්‍රමයෙන් ඔබේ දරුවා මාස 18-24 සම්පූර්ණ කරන විට ෆ්ලෝරයිඩ් සහිත ළමා දන්තාලේපයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. එමගින් දරුවාගේ කැකුළු දත් වඩාත් ශක්නිමත් කරගැනීමට හැකි වනු ඇත.

නිවැරදිව දත් මැදීම

සාමාන්‍යයෙන් දවසට දෙවරක් දත් මැදීමේදී මිනිත්තු 2 සිට මිනිත්තු 3 දක්වා කාලයක් එය සිදුකිරීම වැදගත් වගේම දරුවාගේ දිවද මෘදු ලෙස මැදීම කරන්න.

දරුවාට ගැළපෙන දත් බුරුසුවක් තෝරාගැනීම 

ඔබේ දරුවාගේ දත් වඩාත් සාර්ථකව පිරිසිඳු කරගැනීම සඳහා මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිතය වැදගත් සේම සෑම මාස 3-4කට වරක්ම බුරුසුව මාරු කිරීමටත් සැලකිලිමත් විය යුතුයි.

සීනි සහිත ආහාර පාලනය

පුංචි දරුවන් රස කැවිලි සහ පැණිරස ආහාර වෙනුවෙන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක් බව මවක් විදිහට මේ වෙද්දිත් ඔබ හඳුනාගෙන ඇති. ඒ නිසාම එවැනි සීනි සහිත ආහාර අනවශ්‍ය ප්‍රමාණයට දරුවාගේ ආහාර රටාවට එක් නොකිරීම දරුවාගේ කිරිවන් දත් දෙපළ එලෙසම ආරක්ෂා කර ගැනීමට ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. එසේ නොවුනහොත් දත් දිරායාම් සහ දත් අතර කුහර මතුවීම ඇතිවිය හැකි අතර එය දීර්ඝ කාලීනව දරුවාගේ මුඛ සෞඛ්‍ය කෙරෙහි බාධා ඇති කරන්නකි.

විෂබීජ වලින් ආරක්ෂා කරවීම

ඔබේ දරුවා ඉතා කුඩා වයසේ සිටම විෂබීජ රැගෙන යා හැකි වස්තූන්, සෙල්ලම් බඩු කටේ දමාගැනීම නතර කළ හැක්කක් නෙමෙයි. ඒවා මගින් ඇතුළුවන විෂබීජ විනාශ කිරීම කරමින් ඔබේ පුංචි පැටියාගේ දත් දෙපළ පිරිසිඳුව තබා ගත යුතුමයි.

ඔබ ක්ලෝගාඩ් චූටි දන්තාලේපය දරුවා වෙනුවෙන් තෝරා ගත යුත්තේ ඇයි?

  • ස්වභාවයෙන්ම දරුවන් දත් මැදීම සඳහා එතරම් සහාය දක්වන පිරිසක් නොවන අතර එය මව්වරුන්ට ඉතා වෙහෙසකර කාර්යක් බව දන්නා ක්ලෝගාඩ් අපි එයට විසඳුම් සොයමින් ඔබගේ දරුවා වෙනුවෙන්ම ඉතා වටිනා නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම් බව සතුටින් දැනුම් දෙමු.
  • පුංචි දරුවන් බොහෝ විට පළතුරු රසයට වැඩි කැමැත්තක් දක්වන නිසාම ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය වුන මේ ළමා දන්තාලේපය විවිධ පළතුරු රසයන්ගෙන් ගෙන එන්නට අපිට පුළුවන් වුණා. ඒනිසාම දැන් ස්ට්‍රෝබෙරි සහ අඹ රසයෙන් (Crazy Strawberry and Magic Mango) එන ක්ලෝගාඩ් චූටි දන්තාලේපය ඔබේ දරුවාගේ කැමැත්ත මතම තෝරාගැනීමේ අවස්ථාවක් දැන් ඔබට හිමිවෙලා තියනවා.
  • ක්ලෝගාඩ් චූටි ළමා දන්තාලේපය ෆ්ලෝරයිඩ සහිත මෘදු සංයුතියකින් යුක්ත වන අතර කුඩා දරුවන්ගේ දත් සහ විදුරුමස් සඳහා විශේෂයෙන් සාදන ලද්දකි. එය ඔබේ දරුවාගේ දත් ශක්තිමත් කරමින් දත් කුහර ඇතිවීම වළකාලමින් ආරක්ෂා කරයි.
  • ඔබේ පැටියාගේ කිරිවන් දත් දෙපළ ආරක්ෂා කරදීමත් එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ශක්තිමත් දත් දෙපළක්ව පවත්වා ගැනීමට සහය වීමත් ක්ලෝගාඩ් අපේ වගකීමක් බව සතුටින් මතක් කර සිටිමු.