Home Blog Page 66

දෙමව්පියන්ටත් බබා පාට් දාන්න වෙනවා.

සමහර වැඩිහිටියන් සමග පුංචි පැටව් ඉක්මනින් මිතුරු වෙනවා.සමහර උදවිය සැබැවින්ම පැටියාට ආදරය කළත් දරුවා කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ.ඉතා මිතුරු සිතින් තමා වෙතට ප්‍රතිචාර  දක්වන විට බොහෝ අය කියන්නේ සංසාරයේ දැකල පුරුදු ඇති කියලා..ඒ වගේම මේ අය ළමයි රවටා ගන්න සුත්‍තරය දන්නවා කියලා කිව්වත් ඇත්තටම මෙතැන රහසක් තිබෙනවා.

මේ ගැන පර්යේෂකයන් අධ්‍යනයක් සිදු කළා.ඔවුන් කියන්නේ තමා අනුකරණය කරන උදවිය සමග දරුවන් ඉතාම ඉක්මනින් මිතුරු වෙන බවයි. සෙල්ලම් බඩු, රසකැවිලි වැනි දරුවා රවටන කිසිම දෙයක් නැති වුනත් මේ පුංචි රහස නිසා ඇතැම් වැඩිහිටියන් වෙත දරුවන් ඉතාම ඉක්මනින් ආකර්ශනය වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

හැබැයි මේ ගැන ඇහුවාම අපේ අම්මලා, අත්තම්මලා නම් කියාවි අපි ඉතින් දරුවන්ගේ භාෂාව දන්නවා.අපි නිතරම දරුවන් ආමන්ත්‍රණය කලා. වෙන දෙයක් තබා අපි දරුවන් ආමන්ත්‍රනය පටන් ගත්තේ තොටිල්ලේ ලී වැටත් පනින්න ඉස්සර පටන්නේ..

ඒක ඇත්ත.දැන් මේ සංසිද්ධිය ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ  නව අධ්‍යනය අනුවපිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යනය අනුව මාස හයක් වයසැති ළදරුවන් වැඩිහිටියන් අනුකරණය කරන විට ඔවුන් හඳුනා ගන්නවා පමණක් නොවෙයි,  අනුකරණය කරන්නන් වඩාත් මිත්‍රශීලි අය විදිහට සලකනවා.  දරුවා වෙනුවෙන් වෙන වෙන අන්දමින් ආකර්ශනය ලබා ගන්නට තැත් කළ අයට වඩා වෙනත් දරුවා  අනුකරණය කළ වැඩිහිටියෙකු දෙස ළදරුවන් ගේ ආකර්ශනය වැඩි බව පෙනී ගියා.. ළදරුවන් ද ඔවුන් වෙත තවත් ළඟා වූ අතර ක්‍රිඩා අනුකරණය කිරීමටත් පටන් ගත්තා.. 

මේ අධ්‍යනය එතරම් පහසු එකක් වුනේ නැහැ. ඒ ඇයි කිව්වොත් පර්යේෂකයාටත් බබාගේ තත්වයට පත් වෙන්න සිදු වුනා.ඔවුන් මාස හයක් වයසැති ළදරුවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග ආකාර හතරකින් කටයුතු කළා.

දරුවා කරන කරන දේ කිරීම ඒ අතරින් එකක්.ඒ වගේම දරුවා අත ඔසවනවා නම් පර්යේෂකයාත් අත ඔසවන්න, කකුල සොලවන විට කකුල සොලවන්න පටන් ගත්තා.දෙවැනි අදියරේදී දරුවාගේ ශාරිරික ක්‍රියාකාරකම් විතරක් අනුකරනය කළා.

ඒ විතරක් නොවෙයි, දරුවා දක්වන ක්‍රියාවට වෙනස් විදිහටත් ප්‍රතිචාර දැක්වීමට පර්යේෂකයන් පටන් ගත්තා. ඒ කියන්නේ දරුවා කකුල සොලවන විට පර්යේෂකයා නළල අතගාන්න වගේ වෙනස් දෙයක් කලා.ඒ අතර දරුවා යම් දෙයක් අවශ්‍ය බැව් දන්වන විට ප්‍රතිචාර දැක්වීම වැනි විවිධ විදිහට දරුවා අනුකරනය කරන්න පටන් ගත්තා.

කොහොම වුනත් තොටිල්ලේ ඉන්න පුංචි පැටව් ඔවුන් අනුකරනය කරන අන්දම දැක්කාම අම්මලාටත් පුදුම හිතුනා. ඇයි දෙයියනේ ජීවිතේට දැක්කෙත් අදයි..මේ මොන පුදුමයක්දැයි අම්මලාට හිතුන බැව් ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ගේබ්‍රියෙලා-ඇලිනා සවුසි සඳහන් කරනවා.

ඒ වගේම දරුවන් අන්තර් ක්‍රියාවන් සමග සම්බන්ධ වීමට සහ සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට නම් ඔවුන් සමග වැඩිහිටියන්ගේ සමීපතාවය අවශ්‍ය වෙනවා.මේ උපකල්පනය මත පිහිටා කටයුතු කළ පර්යේෂකයන්ට ඒ වෙනුවෙන් ගැලපෙන ක්‍රමවේද සෙවීමේ අවශ්‍යතාවය ඇති වුනේ කාලයක පටන්.ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වුනේ ළදරුවන් අනුකරණය කිරීම මේ සදහා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් විය හැකි බවයි.

කොහොම වුනත් දැන් මේ ගැන යම් තහවුරුවීමක් ගොඩ නැගී තිබෙනවා.ඉතින් අපේ අම්මලාටත් දැන් තමන්ගේ පැටව් සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්න වෙනවා. ඒ කියන්නේ අම්මාටත් ”බබා පාට්” පටන් ගන්න වෙනවා. ඇත්තටම ඉස්සර වැඩිහිටියෝ දරුවන් සමග දණ ගාන්න පවා පෙළඹී තිබෙන්නේ මානසික විද්‍යාව දැනගෙන නොවෙයි.දරුවා සතුටු වෙන දේ ගැන වැඩිහිටියන් දැන හිටියා.ඒ නිසා පැටියා අඩන විට බොරුවට අඩන්න පටන් ගත්තා.සමහර වෙලාවට පැටියාගේ ඇඬීමත් නැවතෙනවා.මේ විදිහට පුංචි සම්‍යප්‍රයෝග ලැබෙන්නා වූ අපි නොදකින වාසි බොහොමයක් තිබෙනවා.දැන් මේ පර්යේෂන පත්‍රිකාව PLOS ONE මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

පර්යේෂණය – PLOS ONE

 

පුංචි පැටියාගේ දත් ගැන අම්මාට තියෙන්නේ ලොකු වගකීමක් බව සිතුවාද?

පුංචි දරුවෙක් කියන්නේ හැමවිටම වගකීමක්. දරුවා ඉපදෙන්න කලින් ඉඳලාම අම්මා කෙනෙක් බොහොම කැපකිරීම් කරමින් නිරෝගී දරුවෙක් බිහිකරන්න ලොකු උත්සහයක් දරනවා. එතන ඉඳලා දරුවාගේ ජිවිතයේ හැම අවධියකදිම ඔවුන්ට අවශ්‍ය ආදරය, රැකවරණය විතරක් නෙමෙයි පෝෂණය, වර්ධනය, පිරිසිඳුකම වගේ කරුණු රාශියක් ගැන සැලකිලිමත් වෙන්න මවකට සිදුවෙනවා.

මවක් විදිහට ඔබ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ගැන දක්වන්නේත් ඒතරම්ම උනන්දුවක් බව අපි දන්නවා. වෙළඳපොලේ බොහෝවිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙනම නිශ්පාදනය වු නිශ්පාදන සොයාගැනීමට අපහසු විය හැක එතැනදී ඔබ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වුන නිෂ්පාදන දරුවන් වෙනුවෙන් තෝරගන්නවනම් එය ඔබට වගේම දරුවාටත් මහත් අපහසුතාවයක් ගෙන එන අතරේ අනාගතයේ සෞඛ්‍ය ගැටළු මතුකරවන්නටත් හේතුවක් වෙන්න පුළුවන්. ආදරණිය මවක් විදිහට ඔබේ වගේම අපේ වගකීමත් ඔබේ පුංචි පැටියාගේ සුදුවන් දත් දෙපළ ආරක්ෂා කරදීමයි.

දරුවෙකුගේ ශක්තිමත්, සුදුවන් දත් දෙපළක් වෙනුවෙන් ඔබේ වගකීම් මොනවාද?

 දවසට දෙවරක් දත් මැදීම

ඔබේ සිඟිති දරුවාගේ වයස මාස 12ක් පමණ වන කාලයේ සිටම අවම වශයෙන් දිනකට දෙවරක් දත් මැදීම ආරම්භ කළ යුතුමයි. දරුවා වයසින් වැඩෙත්ම එය හොඳ පුරුද්දක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා යුතු බවට සිතිවිල්ලක් ඔවුන් තුල හටගන්නේ එතුලිනි. තමන්ගේ පැටියා වෙනුවෙන් හොඳම දේ හොයන මවක් වන ඔබට මෘදු සංයෝගයක් සහිත ළමා දන්තාලේපයක් තෝරා ගැනීමට සිදුවනවා.

ළමා දන්තාලේපයක වැදගත්කම

ඒ විදිහට දත් මැදීම ආරම්භ කිරීමෙන් පස්සේ ක්‍රමයෙන් ඔබේ දරුවා මාස 18-24 සම්පූර්ණ කරන විට ෆ්ලෝරයිඩ් සහිත ළමා දන්තාලේපයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. එමගින් දරුවාගේ කැකුළු දත් වඩාත් ශක්නිමත් කරගැනීමට හැකි වනු ඇත.

නිවැරදිව දත් මැදීම

සාමාන්‍යයෙන් දවසට දෙවරක් දත් මැදීමේදී මිනිත්තු 2 සිට මිනිත්තු 3 දක්වා කාලයක් එය සිදුකිරීම වැදගත් වගේම දරුවාගේ දිවද මෘදු ලෙස මැදීම කරන්න.

දරුවාට ගැළපෙන දත් බුරුසුවක් තෝරාගැනීම 

ඔබේ දරුවාගේ දත් වඩාත් සාර්ථකව පිරිසිඳු කරගැනීම සඳහා මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිතය වැදගත් සේම සෑම මාස 3-4කට වරක්ම බුරුසුව මාරු කිරීමටත් සැලකිලිමත් විය යුතුයි.

සීනි සහිත ආහාර පාලනය

පුංචි දරුවන් රස කැවිලි සහ පැණිරස ආහාර වෙනුවෙන් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක් බව මවක් විදිහට මේ වෙද්දිත් ඔබ හඳුනාගෙන ඇති. ඒ නිසාම එවැනි සීනි සහිත ආහාර අනවශ්‍ය ප්‍රමාණයට දරුවාගේ ආහාර රටාවට එක් නොකිරීම දරුවාගේ කිරිවන් දත් දෙපළ එලෙසම ආරක්ෂා කර ගැනීමට ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. එසේ නොවුනහොත් දත් දිරායාම් සහ දත් අතර කුහර මතුවීම ඇතිවිය හැකි අතර එය දීර්ඝ කාලීනව දරුවාගේ මුඛ සෞඛ්‍ය කෙරෙහි බාධා ඇති කරන්නකි.

විෂබීජ වලින් ආරක්ෂා කරවීම

ඔබේ දරුවා ඉතා කුඩා වයසේ සිටම විෂබීජ රැගෙන යා හැකි වස්තූන්, සෙල්ලම් බඩු කටේ දමාගැනීම නතර කළ හැක්කක් නෙමෙයි. ඒවා මගින් ඇතුළුවන විෂබීජ විනාශ කිරීම කරමින් ඔබේ පුංචි පැටියාගේ දත් දෙපළ පිරිසිඳුව තබා ගත යුතුමයි.

ඔබ ක්ලෝගාඩ් චූටි දන්තාලේපය දරුවා වෙනුවෙන් තෝරා ගත යුත්තේ ඇයි?

  • ස්වභාවයෙන්ම දරුවන් දත් මැදීම සඳහා එතරම් සහාය දක්වන පිරිසක් නොවන අතර එය මව්වරුන්ට ඉතා වෙහෙසකර කාර්යක් බව දන්නා ක්ලෝගාඩ් අපි එයට විසඳුම් සොයමින් ඔබගේ දරුවා වෙනුවෙන්ම ඉතා වටිනා නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම් බව සතුටින් දැනුම් දෙමු.
  • පුංචි දරුවන් බොහෝ විට පළතුරු රසයට වැඩි කැමැත්තක් දක්වන නිසාම ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය වුන මේ ළමා දන්තාලේපය විවිධ පළතුරු රසයන්ගෙන් ගෙන එන්නට අපිට පුළුවන් වුණා. ඒනිසාම දැන් ස්ට්‍රෝබෙරි සහ අඹ රසයෙන් (Crazy Strawberry and Magic Mango) එන ක්ලෝගාඩ් චූටි දන්තාලේපය ඔබේ දරුවාගේ කැමැත්ත මතම තෝරාගැනීමේ අවස්ථාවක් දැන් ඔබට හිමිවෙලා තියනවා.
  • ක්ලෝගාඩ් චූටි ළමා දන්තාලේපය ෆ්ලෝරයිඩ සහිත මෘදු සංයුතියකින් යුක්ත වන අතර කුඩා දරුවන්ගේ දත් සහ විදුරුමස් සඳහා විශේෂයෙන් සාදන ලද්දකි. එය ඔබේ දරුවාගේ දත් ශක්තිමත් කරමින් දත් කුහර ඇතිවීම වළකාලමින් ආරක්ෂා කරයි.
  • ඔබේ පැටියාගේ කිරිවන් දත් දෙපළ ආරක්ෂා කරදීමත් එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ශක්තිමත් දත් දෙපළක්ව පවත්වා ගැනීමට සහය වීමත් ක්ලෝගාඩ් අපේ වගකීමක් බව සතුටින් මතක් කර සිටිමු.

දැන් අපේ ළමයි ඔන්ලයින්

වෙනදාට ස්මාර්ට් දුරකථනයක් හෝ වෙනත් විද්යුත් සන්නිවේදන සම්බන්ධතාවයන් ඉල්ලා සිටින ඔබේ නව යොවුන් වයසේ පසුවෙන දුව පුතා වෙනුවෙන්….. ”දැන්ම ඕවා බැහැ..විභාගයෙන් පස්සේ..”කිව්වත් අද මේ ස්ථාවරයෙන් මදකට හෝ මිදෙන්න දෙමව්පියන්ට සිදු වෙනවා. එදා පංති කාමරයේ ඉගෙනුම අද ඩිජිටල් හෙවත් විද්්යුත් මාධ්ය ඔස්සේ පරිවර්තනය වෙන යුගයක්.තවමත් අපේ රටේ දරුවන්ගෙන් බොහෝ ප්රතිශතයකට මේ වෙනුවෙන් පහසුකම් නැහැ.

ඒ වගේම පහසුකම් තිබෙන පලාත්වල වුනත් දරුවන් මේ මාධ්ය ඔස්සේ කටයුතු කිරීමේදී වවිධ ගැටළු ඇති වෙන්න පුලුවනි. මෙතෙක් විද්්යුත් සමාජ ජාල සහ අන්තර්ජාලය සමග දැණුවත්ව කටයුතු කළ දරුවන් මෙන් නොව ඒ අත්දැකීම ආගන්තුක වුන දරුවන් ගැන වැඩි අවධානයක් දැක්විය යුතු කාලයක් මේ…ඊට හේතුව වදුරා දැළි පිහිය අතට ගත්තා වගේ දැණුවත්කම නොමැති දරුවන් නොමගට ඇදෙන්න තිබෙන ඉඩ ප්රස්තාවන් තිබෙන බව ඔවුන්ට පැහැදිලිව කියා දිය යුතු කාලයයි මේ..

 

  • අධ්යාපනයෙන් ඔබ්බට ගිය විට..

වෙනදා නොමැති සුන්දර ලෝකයක් දරුවා දැන් විද්්යුත් මාධ්ය ඔස්සේ දකින්න පුලුවනි. ඉගෙනුම් කටයුතු කියමින් ඔවුන් ඒ සමග වැඩි වේලාවක් ගත කරන්නත් පුලුවනි.සමහර විට මේ ඔස්සේ දරුවා සයිබර් හිංසනයන්ට පත් වෙන්න පුලුවනි.සයිබර් හිංසනය නීතියෙන් තහනම් කළ බරපතල දඬුවම් ලබන වරදක් වුනත් ඔබේ නොදරුවා මේ වගේ අකටයුතුවල ගොදුරක් වීමට හැකියාව තිබෙනවා.

  • ලෝකයට විවෘත වීම..

වෙනදා අම්මා තාත්තා සමග දුටු සුපිරි වෙළඳසැලට ඔබ්බෙන් වූ ලෝකයක් ඔවුන් දකිනවා. මේ සයිබර් ලෝකයෙන් මවන සුන්දරත්වය දරුවා හිතන තරම් සුන්දර නැහැ.හිත රවටන විවිධ දේයටත් වඩා ජීවිතයට නොගැලපෙන බොහෝ දේ විද්්යුත් ලෝකයේදි ඔහුට මුණ ගැහෙන්න පුලුවනි. කාමාශාව ඇති කරන දැන්වීම්, චිත්රපට, වෙනත් ලිපි ලේඛන පමණක් නොව අනවශ්ය පෝෂණ අතිරේක වගේම කායවර්ධන හා සිරුර කෙට්ටු කරන විවිධ දේවල් ඔවුන්ගේ නෙත ගැටේවි.මේ සැබෑ ලෝකය යැයි සිතන දරුවා ඒ වෙනුවෙන් වූ එල්බ ගැනීම සමග මේ මත්ද්රව්ය වැනි දේ පවා අත්හදා බලන තැනට පත් වෙන්න පුලුවනි.

  • විවිධ ඇප් සෙවීම

වෙනදාට වඩා ජංගම දුරකථනය සමග කාලය ගෙවන්න සාධාරණ කාලයක් තිබෙන නිසා දරුවා විවිධ ඇප් සොයන්න පුලුවනි. මේ විදිහට පහසුකම් වැඩි වෙන නිසා දරුවාත් ඒ වෙනුවෙන් තවත් කාලය ගත කරන්න පටන් ගනීවි. මෙය නොදැනීම දුරකථනය හෝ පරිගණකය සමග වැඩිපුර කාලය ගෙවීමට හොද අවස්ථාවක් වෙන්න පුලුවනි.

  • ඇබ්බැහි වීමේ අවදානමක් තිබෙනවා..

දුරකථනය හෝ පරිගණකය අවශ්යතාවය වෙනුවෙන් සම්බන්ධ කර ගත්තාට වරදක් නැති වුනත් පමණට වඩා එහි කාලය ගෙවිම,දුරකථනය හෝ පරිගණකයෙන් තොරව ලෝකයක් නැති වීම වැනි තත්වයන් නිසා දරුවා පවුල වෙනුවට දුරකථනයට සම්බන්ධ වීමේ කාලය සහ අවශ්යතාවය වැඩියෙන් දක්වනවා.එය මානසික
අවපීඩනය සහ කාංසාව වැනි මානසික රෝග තත්වයන්ට හේතු වෙන්න පුලුවනි.ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්රාන්ත විශ්ව විද්යාලයේ මනෝවිද්යා අංශය මගින් 2019 වසරේ සිදු කරන ලද අධ්යනයකින් පෙන්වා දෙන්නේ නව යොවුන් දරුවන් සමාජ මාධ්ය භාවිතය වෙනුවෙන් ඇබ්බැහි වීම නිසා මානසික අවපීඩනයට පත් වීමේ ඉහළ අවදානමක් ඇති බවයි.ඒ සමගම ඔවුන් නිතරම සෘනාත්මක ආකල්පවලින් යුක්ත වීමේ වටපිටාවක්ද ගොඩ නැගී ඇති බව එම අධ්යනයේදී පැහැදිලිව හඳුනා ගෙන තිබෙනවා.

  • දරුවන්ට ඊ අධ්යාපනයට ඉඩ දෙන්න බැරිද..?

කිසිම ගැටළුවක් නැහැ. ඒ වෙනුවෙන් ඉඩ දිය යුතුමයි.නමුත් දරුවා නිතරම තනියම සිටින්නට කැමැත්තක් දක්වනවා නම් තැන ගැටළුවක්.විද්යුත් මාධය ඹස්සේ පවත්වන අධයාපනයේදෟ ඒ සඳහා වූ කාලසටහන දෙමව්පියන්ටත් දැන ගත හැකියි.ඒ කාලයෙන් පසුව දරුවා විද්්යුත් මෙවලම් සමග සිටිනවා නම් ඒ ගැන විමසා බලන්නත් පුලුවනි.මොනම දෙයක වුනත් පාලනයක් තියෙනවා.දැන් ඉතින් ඔන්ලයින් අධ්යාපනයනේ…කියලා පැත්තකට වෙන්න එපා.

 

 

චූටියාට දැන් මාස අටයි.. අවුරුද්දක් වෙද්දි කොයි තරම් වෙනස් වෙයිද?

චුටියා දැන් ලොක්කෙක් වෙලා. බලන් ඉද්දිම වගේ අලුත් අලුත් දේවල් කරනවා. දැන් නම්චූටියාගේ වැඩ දැක්කම ලෝබ හිතෙනවා. හැමදාම මේ වගේම තියාගන්න පුළුවන් වුණා නම් හැමදාම මේ හුරතල් බල බල හිනා වෙන්න සතුටු වෙන්න තිබුණා. ඒත් මොනවා කරන්නද නේද?

චූටියාගේ කායික වර්ධනය

  • උදව් නැතිව හිඳ ගනී
  • තනිව අල්ලා සිට ගනී
  • ශබ්ද අනුකරණය කරයි
  • තනි වචන උච්චාරණය කරයි
  • තේරුමක් ඇති ශබ්ද පිටකරයි.
  • සරල උපදෙස් තේරුම් ගනී
  • උදා: අත්පුඩි ගැසීම, අතවැනීම
  • එක් අතකින් අනෙක් අතට යම් යම් දේ මාරු කරයි

 

චූටියාගේ මානසික/චිත්තවේගීය හා සාමාජීය සංවර්ධනය

  • කැඩපත තුලින් දකින විට ඡායාවට සිනාසෙයි. තට්ටු කරයි. සමහරවිට සිපගනී.
  • කොටුවක් තුළ හෝ තොටිල්ල තුළ සිටීම ප‍්‍රතික්‍ෂෙප කරයි. අමුත්තන් මුණගැසුන විට දෙමාපිය දෙවුර මත හිස සඟවා ගනී.

 

මානසික සංවර්ධනය සඳහා චූටියාට

  • තද පැතලි මතුපිටක් මත සිට ගැනීමට උදව් කරන්න.
  • භාජනයකට යම් ද්‍රව්‍ය දැමීමටත් ආපසු ගැනීමටත් අවස්ථාව සලසන්න.
  • එදිනෙදා ගෙදරදි කරන වැඩ ගැන කතා කරන්න.
  • නොයෙක් පින්තූර පෙන්වා ඒවායේ නම් කියාදෙන්න.
  • සෙල්ලම් කරන්න.
  • දක්වන ඉඟි හා සංඥාවලට තේරුම් එක් කිරීමට අර්ථ කථන දැක්වීම ආරම්භ කරන්න.

හිස වැනීම – නැත යන්නට/අත වැනීම – සමුදීමට

  • දෑස තුලට ගැඹුරින් එබී බලන්න. ඇසට ඇස ගැටීම තුලින් සමීපතාවය ඇති කරගත් දෙමාපියන් හට දරුවන්ගේ විනය පිළිබඳව ගැටලූ ඇති වන්නේ අඩුවෙන් බව අධ්‍යයනය පිළිගනී.

 

චූටියාගේ පෝෂණය

මාස 8 – 9 වන විට

  • දිනකට කෑම වේල් 3 ක් පමණක් ලබාදෙන්න. කෙටි ආහාර (Snack) වේලක් ලබාදෙන්න.
  • එක් වේලක් සඳහා අඬු කෝප්ප ½ ක් පමණ ලබාදෙන්න. 
  • කුඩා කැබලි සහිත ආහාර ලැබෙන්න සලස්වන්න. 
  • හොඳින් තැම්බු බිත්තර කහමදය හැඳි ½  කින් පමණ ආරම්භ කර ක‍්‍රමයෙන් වැඩි කරන්න.
  • දරුවාගේ ඇඟිලිවලින් ආහාර අල්ලාගෙන කෑමට ඉඩ ලබාදෙන්න.
  • විවිධ වර්ගයේ ආහාර ලබාදෙන්න.

 

මාස 10 – 12 පමණ වන විට

  • ප‍්‍රධාන ආහාර වේල් 4 ක් පමණ ලබාදෙන්න.
  • අඩු කෝප්ප තුන් කාලක් (3/4) පමණ එක් වේලකට ප‍්‍රමාණවත් වේ. ඒ අතර කෙටි ආහාර වේල් 2 ක් ලබාදෙන්න.
  • පොඩි කරගත් මුං ඇට, කව්පි, කඩල හා අල පොල් සමග මිශ‍්‍ර කර ලබාදෙන්න.
  • පළතුරු හෝ යෝගට් ද ලබාදිය හැක.
  • ඉඳි ආප්ප, සුදු ආප්ප වාටියක්, රෝස් කළ පාන් කැබැල්ලක්, ළමා බිස්කට් වර්ගයක් දරුවාගේ අතට ගෙන කෑමට උනන්දු කරන්න.
  • ආහාර වේලකට පසු අවශ්‍ය නම් මව්කිරි ලබාදෙන්න.
  • පවුලේ අනෙක් අයට සාදන ආහාර ද ලබාදෙන්න.
  • කෑම ලබාදීමට පැය 2-3 කට පෙර අනෙක් ආහාර ලබාචීම පාලනය කරන්න. දරුවාට හොඳින් බඩගිනි වීම සඳහා මේ කාලය අත්‍යවශ්‍ය වේ.

 

චූටියාගේ නිසි සංවර්ධනය වෙනුවෙන් විශේෂ අමතර කරුණු

  • මුල් වසර තුල ආහාර සඳහා ලුණ හා සීනි එකතු නොකරන්න.
  • ඉන් පසුවත් හැකි තරම් පැණි රස හා ලුණු රස සහිත ආහාර ලබාදීම අඩු කරන්න.
  • බලෙන් කෑම කැවීම සම්පූර්ණයෙන් අසාර්ථක හා අනතුරුදායක ක‍්‍රියාවක් බව සිහි තබාගන්න.
  • ඉන් මානසික ආතතිය ඇතිවන අතර ආහාර රුචිය සම්පූර්ණයෙන් නැති වේ.
  • කිසිවිටෙක ආහාර පිළියෙල කිරීම සඳහා බ්ලෙන්ඩරය භාවිත නොකරන්න.
  • දරුවාට කෑම දීමට ස්ථානයක් සකස් කර සෑම දිනකම එම ස්ථානයේ තබා ආහාර ලබාදීම සිදු කරන්න. (එවිට දරුවා එම ස්ථානයේ තැබූ විට ආහාර ගැනීමට සූදානම් වේ)
  • පවුලේ සාමාජීකයන් සියලු දෙනාම එකට එකතු වී ආහාර ගැනීම සිදු කරන්න. එවිට දරුවා එය නිරීක්‍ෂණය කර ඉගෙන ගනී.
  • බඩගිනි ඇති වේලාවට පමණක් කෑම කැවීම ආරම්භ කරන්න.
  • සම්පූර්ණ කෑම වේලාව පැය ½ නොඉක්මවිය යුතුයි.

 

 චූටියාට එන්නත් ලබාදීම

  • මාස 9 සම්පූර්ණ වූ විට කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා (MMR-1) ලබාදේ.
  • මාස 12 සම්පූර්ණ වූ විට  JE එන්නත ලබාදේ.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

චූටියට මාස හතරේ සිට හත දක්වා කාලය ගැන අම්මා දන්නවාද?

ඔන්න ටිකෙන් ටික කාලය ගෙවිලා චූටියා හතර වෙනි මාසෙටත් පය තිබ්බා. මොහොතින් මොහොත චූටියාගේ දේවල් අම්මාට අලුත්. මේ වෙද්දී අම්මා සම්පූර්ණයෙන්ම වගේ සාමාන්‍ය ජීවිතය පටන් අරගෙන. ඉතිං චූටියාගේ දේවල් අම්මාට දැන් නිදහසේ විඳින්න පුළුවන්. චූටියා ඇඬුවොත් ඇරෙන්න එයාගෙන් අම්මාගේ මුහුණට එන්නේ හිනාවම විතරයි.

චූටියාගේ කායික/ශාරීරික සංවර්ධනය ගැන අම්මා මේ දේවල දැනගන්න

  • මුනින් අතට සිටින විට හිස හා පපුව ඉහළට ඔසවයි
  • ඇඟිලි එකිනෙක පටලවා ගනිමින් තම අත් සමග සෙල්ලම් කරයි. 
  • යම් ද්‍රව්‍යයක් දෙසට අත් දිගු කර මුලූ අත්ලෙන්ම අල්වා ගනී.
  • ශබ්දය ඇසුනු දෙසට හිස හරවයි.
  • තනි අකුරේ ශබ්ද පිට කරයි. ගා…වා….ඩා….මා….
  • ශබ්ද නඟා සිනාසෙයි.
  • යම් ද්‍රව්‍යයක් සෙලවීමෙන්, ගැනීමෙන් හා බිම දැමීමෙන් හේතු ඵල විමසීමට උත්සහ කරයි.
  • පෙනෙන තෙක් මානයේ නොතිබුණත් සමහර ද්‍රව්‍ය තිබෙන තැන් සොයා ගනී.

චූටියාගේ චිත්තවේගී හා සාමාජීය සංවර්ධනය වැඩිකිරීම සඳහා

  • අන්තර් ක‍්‍රියාකාරකම් වර්ධනය සඳහා සාමාජීය එක් රැස්වීම්වලට දරුවා රැගෙන යන්න.
  • තනිව හිඳ ගැනීමට දරුවාට උදව් කරන්න. ආධාර අතිව හිඳුවා තැබීම ආරම්භ කරන්න.
  • එක්වරම අත් දෙකෙන්ම භාණ්ඩ අල්ලා ගැනීමට අවස්ථාව සලසා දෙන්න.
  • අනුකරණය කළ හැකි සිත් ඇදගන්නා සුළු හඬකින් ඔහුට/ඇයට වචන අනුකරණය කිරීමට අවස්ථාව දෙන්න.
  • ඔබේ මුහුණ රෙද්දකින් අරිමින් වසමින් දරුවා සමග හැංගිමුත්තන් සෙල්ලම් කරන්න.
  • එකිනෙකට වෙනස් වූ ශබ්ද පිටකරන භාණ්ඩ දරුවාට ලබාදෙන්න.
  • ළදරුවා එළිමහනට ගෙන ගොස් වටපිටාව පෙන්වන්න.
  • එදිනෙදා ගෙදර දොර සිදුවන කටයුතු අතරතුරදී දරුවා සමග කතා කරන්න.
  • සන්නිවේදනය සඳහා දරුවා තැත්කරන විට දරුවාට උනන්දුවෙන් ප‍්‍රතිචාර දක්වන්න.
  • ප‍්‍රශංසා කරන්න.

 

චූටියාගේ පෝෂණය

  • දරුවාට මාස 6 සම්පූර්ණ වූ වහාම දින 180 කට පසු වෙනත් අමතර ආහාර ලබාදෙන්න. මවට ප‍්‍රසූත නිවාඩු නැති නම් මව්කිරි දොවා යාමට නොමැති නම් මාස 5 දී වුවද ආහාර ලබාදීම ඇරඹිය හැක.
  • අමතර ආහාර ලබාදීම ආරම්භයේදී හොඳින් මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කරන්න. දරුවාට බඩගිනි වූ විට කවන්න. ඉන්පසු මව්කිරි ලබාදෙන්න.

චූටියාට කෑම දෙන්න සුදුසු බව හඳුනා ගැනීමේ සාධක ලෙස

  • උදව් නැතිව වාඩි වීම
  • සෙල්ලම් බඩු කටේ දමාගැනීම, සැපීම
  • කටට ඇතුළු කරන දෙයක් එළියට තල්ලු නොකිරීම 

චූටියාට කෑම කවද්දී

සබන් යොදා සෝදාගත් මවගේ ඇඟිල්ල හෝ හැන්ද භාවිත කොට හෝ ආහාර ලබාදිය හැක. පළමුව ඉතා කුඩා ආහාර ප‍්‍රමාණයකින් අරඹා එහි ඇති රසය, හැඩය, ගිලීම වැනි ක‍්‍රියාවන් ඉගෙන ගැනීමට චූටියාට  කාලයක් ලබා දෙන්න. කෑම කට ඇතුළටම නොදා කටේ ඉදිරි කොටසින් තබන්න. කෑම ගැනීම කිරි බීමට වඩා සංකීර්ණ ක‍්‍රියාවලියක් බැවින් එය ඉගෙන ගැනීමට දරුවාට කාලයක් දිය යුතුය. නියමිත ක‍්‍රමය හොඳින් පුහුණු වූ පසු ප‍්‍රමාණය හා පෝෂණය ගැන සිතීම කළ යුතුය. මුල් දිනවල චූටියා කෑම ගැනීම ප‍්‍රතික්ෂේප කළහොත් තව දින 2 – 3 ඒ සඳහා උත්සහ කළ විට එයට දරුවා හුරුවේවී. 

මුල් දිනවල කෑම කවද්දී චූටියා මෙන්න මේ වගේ දේවල් කරාවි 

  • කෑම අමතක කර මවගේ ඇඟිල්ල හෝ හැන්ද ඉරීම. 
  • කෑම එළියට දැමීම. 
  • නැවත කට ඇරීම. 
  • එළියට පිඹ කෑම විසි කිරීම.
  • මුහුණ ඉවතට හරවා එපා කීම.
  • කෑම සියල්ල බිමට දැමීම.

 

ඒත් දින කිහිපයකින්  

  • මුල් කාලයේදී දත් නැති වුවත් මෘදු ආහාර කොටස් සපා කෑමට චූටියාට පුළුවන්
  • මුල් දින හැඳි 2-3 පමණ කවා ක‍්‍රමයෙන් වැඩි කරන්න.
  • දින කිහිපයකට පසු ඇට වර්ගයක් (පරිප්පු වැනි) කෑමට එකතු කරන්න.
  • බෙරි බත ලබාදී සති දෙකකට පසු පළතුරු වර්ග ලබාදීම ආරම්භ කරයි. එක්වරකට එක් පළතුරු වර්ගයක් ලබාදෙන්න. ඒවා දේශීය, අලුත්, වස විෂ නොයෙදු ඒවා වීම වඩා යෝග්‍ය වේ.

උදා: පැපොල්, කෙසෙල්, කෙඳි අඩු අඹ, අලිපේර, දොඩම්

 

චූටියට මාස 6 – 7 පමණ වන විට

  • වරින් වර පහත සඳහන් ආහාර වර්ග එකිනෙකට එකතු කරන්න.

ගොටුකොළ/වට්ටක්කා/තම්පලා/බතල/කැරට්/මුකුණවැන්න/අළුකෙසෙල්/නිවිති

  • වරකට එක් වර්ගයක් හඳුන්වා දෙන්න.
  • එය හුරුවූ පසු (දින 3 පසු) ඊලග වර්ගය එකතු කරන්න.
  • ඉන්පසු මස්/මාළු හෝ හාල්මැස්සන් පොඩි කර ආහාරයට එකතු කරන්න.
  • තෙල් ස්වල්පයක් (පොල්තෙල්, බටර් හෝ මාගරින්) එකතු කළ විට ආහාරයේ රසය හා ගුණය ඉහළ යයි.
  • දිනකට ආහාර වේල් 3 ක් පමණ ලබාදෙන්න.

 

චූටියාට එන්නත් ලබාදීම

  • මාස 4 සම්පූර්ණ වූ විට පෝලියේ මුඛ එන්නත 2 හා පෙන්ටා සංයුජ එන්නත 2 ලබාදේ.
  • මාස 6 සම්පූර්ණ වූ විට පෝලියෝ මුඛ එන්නත 3 හා පෙන්ටා සංයුජ එන්නත 3 ලබාදේ. 
  • දරුවාට මාස 6 සිට මාස 6 කට වරක් විටමින් A අධි මාත‍්‍රාව අවුරුදු 5 දක්වා ලබාදෙන්න. 

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

හැම අම්මෙක්ටම ගැටලු ඇති වෙන චූටියාගේ මුල් මාස තුන

අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නම් නෙවෙයි. දස මාසයක් කුසේ තියාගෙන වේදනා දහසක් මැද්දේ චූටියා මේ ලෝකෙට බිහි කරපු අම්මාට දැන් ඇති වෙන්නේ අලුත් අලුත් ගැටලු. ඉතිං චූටියාගේ වැඩ කටයුතුත් අම්මාගේ අපහසුතාවයනුත් එක්ක ඒවාට මුහුණ දෙන්නත් ඕනේ නිසා අම්මාව චූටියාගේ මුල් මාස තුන ගැන හොඳින් දැනුවත් කළොත් හොඳයි කියලා අපි හිතුවා.

 

චූටියා ඉපදුනාට පස්සේ කිසිදු ආකාරයක අසාමාන්‍ය තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නැති නම් ඒ කියන්නේ චූටියට වගේම අම්මාටත් කිසිම ගැටලුවක් නැත්නම් දින 1-3 අතර කාලයේදී ඔන්න දොස්තර මහත්තයා ගෙදර යන්න අවසර දෙනවා.

අම්මා දන්නවද ඉපදුණු දා සිට මාස තුනක් ගත වන තුරු චූටියා ගැන මෙන්න මේ දේවල්

  • හිස වට ප‍්‍රමාණය 33-35cm අතර වේ. දිග 50cmවන විට බර 3kg ට ආසන්නය.
  • ස්වසන වේගය විනාඩියට වාර 30-40 වේ. ආරම්භයේදී නොගැඹුරු කෙටි හුස්ම ගනී.
  • උෂ්ණත්වය 36.40-C-370C අතර වේ.
  • උදරය පිම්බුනු හැඩයක් ගනී
  • අත් පා හොඳින් රවුම් වී ඇති අතර උණුසුම්ය. රෝස පැහැතිය.
  • ඇස් වියළිව පවතී. මුල් කාලයේදී කඳුළු ගැලීමක් සිදු නොවේ. සුදු ඉංගිරියාව ප‍්‍රදේශයේ මදක් නිල් පැහැවීම සාමාන්‍ය වේ.
  • හෘද ස්පන්දනය විනාඩියට වාර 120-140 පමණ වේ.
  • පෙකනිවැලේ ඉපදී දින තුන හතරකින් පමණ හැකිලී යන අතර දින හතක් නවයක් පමණ වන විට හැලී යයි.
  • තෙත් ඉටි වැනි ද්‍රව්‍යයක් දරුවාගේ සම මත පවතී. (Vernix Caseosa) මේවා උල්බ තරලය මගින් දරුවාගේ සමට හානි නොවීමටත්, විෂබීජ නාශකයක් ලෙසත් කටයුතු කරයි.

චූටියා ඉපදී මුල් දිනවල

  • දිනකට අවම ලෙස අට වතාවක් වත් මුත‍්‍රා පිටකළ යුතුය.
  • දිනකට වරක් හෝ දෙවරක් මල පහකිරීම (නමුත් මෙය වෙනස් විය හැක. සමහර දරුවන් දින 7 කට වරක් මල පහ කරයි) මේ අවස්ථා දෙකම සාමාන්‍යය. 

චූටියාගේ පෙකණිවැල 

  • වියළිව හා පිරිසිදුව තබාගන්න.
  • ස්ප‍්‍රීතු හෝ වෙන කිසිවක් ආලේප නොකරන්න.
  • දින හතකින් පමණ පසු ගැලවී සුපවත් වේ. සමහරවිට සති 4 ක් වුවත් ගත විය හැක. පෙකණිවැල කොටස වැටුණු පසු රුධිර බිංදු කිහිපයක් පිටවිය හැක.
  • අධික රුධිර වහනය, සැරව ගැලීම, පෙකණිය වටා රතු වී ඉදිමීම සිදුවුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්ය.

චූටියා පිරිසිදු කිරීම හා ආරක්‍ෂාව

  • අධික ශිතලෙන් හා අධික උණුසමින් දරුවා ආරක්‍ෂා කරගන්න.
  • චූටියාට කපු ඇඳුම් අන්දවන්න.
  • දිනපතා මද උණුසුම් ජලයෙන් නහවන්න.
  • කිහිලි ඉකිලි ආදී ස්ථාන සෝදා වියළිව තබන්න.
  • සාත්තු කරන මොහොත හැර චූටියා ඇල්ලීම සීමා කරන්න.

මුල් දිනවල චූටියාගේ ඇති වන පහත වෙනස්කම් රෝගී තත්ත්වයන් නොවන අතර ස්වභාවිකව දක්නට ලැබෙන වෙනස්කම් වේ. ප‍්‍රතිකාර අවශ්‍ය නැත.

  • නිතර කිවිසුම් යාම
  • නාසයෙන් දියර ගැලීම
  • නිතර ඇති වන ඉක්කාව
  • නිතර ඇඹරීම හා තැටමීම.
  • හොඳින් ක‍්‍රියාකාරී සිටින අතර වරින් වර සුළු කෙඳිරිය.
  • හවසට අධිකව හැඬීම
  • මල මුත‍්‍රා පහ කරන විට තදින් හැඬීම.
  • දිනකට පැය 16 – 18 නිදාගැනීම
  • සමේ තැනින් තැන රතු පාට ලප ඇතිවීම.

මුල් මාස තුනේ චූටියාගේ පෝෂණය

  • මාස 6 ක් යනතුරු මව්කිරි පමණක් ලබාදිය යුතුය.
  • පැය දෙක තුනකට විනාඩි 20 – 25 ක කාලයක් චූටියා කිරි උරා බීම කළ යුතුය. මව් කිරි දීමේ කාලය දරුවාගේ වර්ධනය සමග වෙනස් වේ. සමහර දරුවන් විනාඩි 5 – 10 අතර කාලය තුළදී අවශ්‍ය ප‍්‍රමාණය බොයි. දිනකට කිරි වේල් 8 – 10 ප‍්‍රමාණවත්ය.

චූටියාගේ ශාරීරික වර්ධනය

ඉපදී දින 10 ක් ගත වන තුරු චූටියාගේ බර වැඩි වීමට බලාපොරොත්තු වෙන්න බැහැ. මුලින් බර අඩු වී දින 10 කින් පසු බර වැඩි වේ. ඉන්පසු දිනකට 25g – 30g පමණ තමයි චූටියාගේ බර වැඩි වෙන්නේ. මාසයක් ගත වන විට බර 500g 600g දක්වා වැඩි වේවි.

  • පළමු මාසයේ අවසානයත් සමග චූටියාගේ අවධානය එන්න එන්නම වැඩි වෙනවා විතරක් නෙවෙයි ප‍්‍රතිචාර දක්වන්නත් පටන් ගන්නවා. 
  • ඔන්න අත කටේ දාන්නත් පටන් අරගෙන
  • චූටියා ඉපදිලා සතියක් විතර ගත වෙද්දී අම්මාට හඳුනා ගන්නවා.
  • කලූ, අළු, සුදු වගේ පාට දැකීමේ හැකියාව වර්ධනය වෙනවා.
  • රස දැනීමේ ප‍්‍රතීකය වර්ධනය වෙනවා. ඔන්න මේ වෙද්දී චූටියාට පැණි රස හා තිත්ත රස හඳුනාගන්නත් බැරි නැහැ.
  • ශබ්දය, ආලෝකය හා චලනයට ප‍්‍රතිචාර දක්වයි. දෙමාපියන්ගේ හඬ ඇසුණම හිස හරවන්න තරම් චූටියා දැන් දක්ෂයෙක්.
  • අත් හා ඇස් සම්බන්ධීකරණයෙන් යුතුව යොදා ගන්න මේ කාලයේදී චූටියා පටන් ගන්නවා.
  • ඔන්න දැන් සමහර ස්වර අනුකරණය පටන් අරගෙන. 

උදා . ආ… ඕ….ඊ වැනි ශබ්ද.

චූටියාගේ සමාජීය හා චිත්තවේගී සංවර්ධනය

  • සමාජශීලී සිනහවක් උරුම කරගනී. කෙනෙකුගේ බැල්ම දීර්ඝකාලයක් රඳවා ගැනීමට සමත් වේ.
  • අපහසුතාවයක් නැත්නම් වෙහෙසක් දැනුනම ඒ ගැන අම්මාට කියන්න චූටියා හඬනවා. 
  • සතුටට හිනා වෙනවා. ගුරු ගුරු හඬක් නඟනවා.

චූටියාට එන්නත් ලබාදීම

  • මුල් මාස 2 දී පෙන්ටා සංයුජ එන්නත හා පෝලියෝ එන්නත ලබාදේ. එන්නතකට පසු සුළු ආබාධ ඇතිවීම සාමාන්‍ය වේ. මද උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, සාමාන්‍ය බඩ එළිය යාම එන්නත් ලබාදීමට බාධාවක් නොවේ. මුල් මාස 3 තුළ මසකට වරක් සායනයට යා යුතුය. 

චූටියාගේ මානසික වර්ධනය දියුණු කිරීමට නම්

  • චූටියා තුරුල් කරගන්න, සිපගන්න. ඔහුට/ඇයට ඇසෙන සේ මෘදු හඬින් ගීත ගයන්න.
  • චූටියාට මුනින් අතට පෙරලීමට උපකාර කරන්න
  • මුනින් අතට, උඩු අතට, පැත්තට සිටින්න හරින්න.
  • චූටියා යම් භාණ්ඩයක් තදින් අල්ලා ගැනීමට පුරුදු කරන්න නම් එයාගේ අතට යම් භාණ්ඩයක් දී එය අල්ලාගත් පසු සෙමින් ඉවතට අඳින්න.
  • චූටියාට අත දික්කර යමක් ගැනීමට හුරු කිරීමට අතේ දුරින් සෙල්ලම් බඩු තබා ගැනීමට උනන්දු කරන්න.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

උපත් බර අඩු වීම ළමා වියේ සංවර්ධනයට බලපානවාද?

දරුවන්ගේ ප‍්‍රජනක, චාලක හා චර්යාත්මක වර්ධනය කෙරෙහි මවගේ පෙර හා පසු ප‍්‍රසව පෝෂණය හා සෞඛ්‍ය බලපාන බවට මේ වන විට සොයා ගෙන ඇති කරුණකි. පසුගිය වසර ගණනාවක් තුළ සංවර්ධනය වන බොහෝ රටවල ළමා මරණ සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් පහළ බැස ඇති බව සත්‍යයක් වුවත් එම දරුවන් බහුතරයකගේ මානසික, සමාජීය හා ප‍්‍රජනක සංවර්ධනය නිසි ලෙස සිදු නොවන බව පැහැදිලිවම පෙනී යන කරුණකි. අඩු ආදායම් ලබන රටවල දරුවන් අතරින් 30% කගේ පමණ වර්ධනය පසු බැස ඇත. මෙසේ වීමට මෙම වර්ධන පසු බෑමට ලක්වන එක් සාධකයක් ලෙස උපත් බර අඩුවීම සැලකෙයි.

 

වර්ෂයකට ලොව පුරා උපත ලබන උපත් බර අඩු (බර 2.5kg අඩු) දරුවන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවයි. ඉන් 95% ක්ම උපත ලබනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. ලංකාවේ මෙම අඩු උපත් බර සහිත ප‍්‍රසවයන් සිදුවන්නේ දරුවා මව් කුස තුළ සිටිය යුතු මුළු කාලයම ගත කිරීමෙන් ද පසුවය. මේ නිසා මෙම බර අඩුවීමට හේතුව  අන්තර් ගර්භාෂයක පසුබැස්ම (IUGR – Intra Uterine Growth Retardation) ලෙස සිතිය හැක. සිදුකර ඇති අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ ගැබ වයසට ප‍්‍රමාණවත් ලෙස වර්ධනය නොවූ දරුවන් නිසි පමණට වර්ධනය වූ දරුවන් මෙන් සංවර්ධනය නොවන බවයි. වයසින් වැඩි දරුවන් හා සම්බන්ධ කළ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ උපතේදී පැවති අඩු පාඩු සහිත දරුවන් අධ්‍යාපනය අතරමග හැර දැමීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. 

අඩු උපත් බර සහිත දරුවන්,

  • මුල් වසර දෙක තුළ ක‍්‍රියාකරීත්වය, සමාජශීලීත්වය, ප‍්‍රතිචාර දැක්වීම, සතුටින් සිටීම හා සහයෝගය දැක්වීම (නිසි බරින් උපත ලද දරුවන් හා සංසන්දනයේදී) දුර්වලය.
  • පාසැල් වයසේදී බොහෝ නොසන්සුන්ය.
  • අවධානය යොමු කර සිටිය හැකි කාලයද කෙටිය.

අඩු උපත් බර සහිත මෙම දරුවන් තුළ දැකිය හැකි ඉහත චර්යාත්මක වෙනස්කම් ඔවුන්ගේ වර්ධනය දුර්වල කිරීමට බලපෑ හැක. මෙම දරුවන් පිළිබදව කළ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ ප‍්‍රජනක බලපෑම වයසට අනුරූපව වෙනස්වන බවය. පළමු වසරේදී මතුවීමට ඇති ඉඩකඩ අල්පය. එහෙත් මැද ළමා වියේදී මතුවීමට පවත්නා අවස්ථා වැඩිය. ප‍්‍රජනක ක‍්‍රියාවල දුර්වලතා හැරුණු විට චර්යාත්මක වෙනස්කම්, ස්නායුමය අඩුලූහුඩුකම්, පාසලේදී ඉගෙනීමට දක්‍ෂතා නොදැක්වීම යන ගැටලූ වලට මේ දරුවන් මුහුණදේ.

 

ප‍්‍රතිපත්තිමය පැත්තෙන් විමසා බැලූවද මෙම දරුවන්ගේ අහිතකර සෞඛ්‍ය හා පෝෂණය මෙන්ම සංවර්ධනය දුර්වලතාවලට ලක්වීමේ අවධානමක සිටී. මේ නිසා ඒකාබද්ධ ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් තුළට වැඩි වශයෙන් උත්තේජනය කරන ව්‍යාපෘති වලට අඩු උපත් බර සහිතව උපත ලබන දරුවන් බාල වයසේදීම ඇතුලත් කළ යුතුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

දරුවාගේ දඟකම් පාලනය කරන්න අම්මලාට උපදෙස් 6ක්

සෑම කුඩා දරුවෙක් තුළම ස්වභාවික දඟකාරකමක් ඇත. එහෙත් සමහර දරුවන් අධික ක‍්‍රියාකාරී හා දඟකාර බවක් දක්වයි. මොහොතක් හෝ එකතැන නොසිටී. යමක් කී විට ඇහුම්කන් නොදෙයි. ක්‍ෂණිකව ක‍්‍රියා කරයි. ඉක්මණින් කෝපයට පත් වේ. එසේ වූ විට පාලනයක් රහිතව කෑකෝ ගැසීමටත් අනික් අයට හිරිහැර කිරීමටත් පෙළඹේ. එසේම බඩු බාහිරාදිය කඩා බිඳ දැමීමට පෙළඹේ. යම් කටයුත්තක අවධානය දීමට හැකි බව ඉතා කෙටි කාලීන නිසා විශේෂයෙන් පාසැල් වැඩ අතපසු කරයි.

ඔබේ දරුවා හිතාමතාම ඔබට හිරිහැර කිරීමට මෙසේ හැසිරෙනවාදැයි බොහෝ විට දෙමාපියන්ට සිතිය හැක. නෑදැයින්, අසල්වැසියන්, ගුරුවරුන් දරුවා විනයානුකූල නොවීම ඔබේ වරද යැයි චෝදනා කළ අවස්ථා තිබිය හැක. මෙය කාගේවත් වරදක් නොව දරුවාගේ වර්ධනයේ ප‍්‍රශ්නයක් පමණි. 

  1. දඟකාරකම වැඩි විය හැකි අවස්ථා හැකි තරම් මග හරින්න.

බොහෝ දුර ගමන් යාම, අධික වෙහෙසට පත්වීම, බඩගින්නේ සිටීම, ශබ්ද අධික ප‍්‍රිය සම්භාෂණයක් වැනි කලබල සහිත පරිසරය මින් සමහරකි. මෙවැනි අවස්ථා මගහැරිය නොහැකි නම් හැකි පමණ සීමා කරන්න.

2.දඟ කිරීමට අවස්ථාව සලසා දෙන්න

දරුවාට හානියක් වීමට ඉඩකඩ නැති එළිමහන් පරිසරයේ දිවීම, ක‍්‍රීඩා කිරීම ආදියට ඉඩ දෙන්න. ළමයා පිටුපස එළවීමෙන් හා කරන හැමදේම එපා කීමෙන් වළකින්න.

3.විවිධ අවස්ථාවලට මුහුණදීමට දරුවාට උදව් කරන්න.

සරල නියෝග භාවිත කර දරුවා හසුරුවා ගන්න. දරුවාගේ අවධානය නිරතුරුව ඔබ කෙරෙහි රඳවා තබන්න. දරුවා මනා සේ හැසිරීම ගැන සතුට පල කරන්න. දරුවා සමග බසයකින් යාම, සාප්පු යාම වැනි අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන්න.

4.ගෙදර දින චර්යාව සැලසුම් කරන්න.

කෑම වේලාවන්, නින්දට යන වේලාවන් ආදිය සෑම විටම එකම පිළිවෙළකට හා වේලාවකට වන්නේ නම් එයට හැඩගැසීම දරුවාට පහසුය. බලාපොරොත්තු රහිත සිදුවීම් නැතිනම් පිළිවෙළක් නැතිව නොයෙක් වේලාවන්හි වන සිදුවීම්වලින් දරුවා කැළඹීමට ඉඩ ඇත.

5.විනයානුකූල බව රැකීම

මෙවැනි දරුවන්ට දඬුවම් කිරීමට බොහෝ දෙමාපියන් මැලි වේ. දඬුවම් කළ විට දරුවාගේ හැසිරීම තවත් උත්සන්න වේ යැයි ඔවුහු සිතති. තවත් සමහරු දරුවා පාලනය කිරීමට යයි සිතා තදින් පහරදීම වැනි දඬුවම් දෙයි. මෙම අන්ත දෙකම සුදුසු නැත. දරුවාගේ හැසිරීම ගැන අසතුටට පත් වූ බව කෙලින්ම ප‍්‍රකාශ කර සිටින අතර එය සාමකාමීව කළ යුතුය. දඬුවම වශයෙන් ටික වේලාවක් තනිව තැබීම හෝ රූපවාහිනිය බැලීම වැනි වරප‍්‍රසාදයන් අහිමි කිරීම ඊට වඩාත් සුදුසුය.

6.දරුවාගේ අවධානය දියුණු කිරීමට උදව් කරන්න.

දරුවා සමග ක‍්‍රීඩා කරන්න. පින්තූර පොත් බැලීම, කැපීම, ඇලවීම, චිත‍්‍ර ඇඳීම වැනි දෑ කරන්න.

දෙමාපියන් එකිනෙකා සමග සහයෝගයෙන් ළමයා පිළිබඳව ක‍්‍රියා කිරීම ඉතා වැදගත්ය. ඒ දෙදෙනා අසමගි නම් දරුවා පිළිබඳ සුදුසු පියවරක් ගැනීම අඩපණ වේ. 

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

දරුවා රැකබලා ගන්නා ඔබට පැවරෙන වගකීම් ගැන දැනුවත්ද?

දරුවා යනු බාහිර ලෝකයට සූදානම් නොවූ අනාරක්‍ෂිත වූවෙකි. එවන් දරුවෙකුහට සිදු විය හැකි අවදානම් හා අනතුරු බහුලය. ඉගෙනීම පිළිබඳව ධනාත්මක ආකල්ප සංවර්ධනය කරගැනීම දරුවන් සඳහා සුවිශේෂී වේ. මෙම ඉගෙනුම් ක‍්‍රියාවලියෙන් අපේක්‍ෂා කරනුයේ පාසලේදී සුවිශේෂිත දස්කම් පෑමක් නොව ජීවත් වන ලෝකයේදී මුහුණදෙන්නට සිදුවන විවිධ වූ අභියෝග ජය ගැනීමට වන හැකියාව වර්ධනය කරන්නා වූ මාර්ග පහදන්නකි.

බාල වියේ සත්කාර හා සංවර්ධනය යනු දරුවෙකුගේ මනෝ සමාජීය උත්තේජනය හා ප‍්‍රජනන සංවර්ධනය කෙරෙහි ප‍්‍රමුඛතාවය දක්වමින් පවත්නා සේවාවන් ශක්තිමත් කරන්නා වූ ප‍්‍රවේශයකි. මෙම ප‍්‍රවේශය ප‍්‍රධාන වශයෙන් දෙමාපියන් හා පවුලේ සමීපතමන්ගේ සත්කාර සපයන ක‍්‍රියාකාරකම් මත රැදෙයි. ඒ අනුව ප‍්‍රජාවේ සිදු කරන බාල ළමාවියේ සත්කාර හා සංවර්ධන වැඩසටහන් මගින් දරුවන්ගේ මනෝ සමාජීය උත්තේජනය සහ ප‍්‍රජනක සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දරුවන්ට අවශ්‍ය වූ සත්කාරය සැපයීම සිදු කරයි.

දරුවෙකුගේ බාල ළමාවිය ආරම්භ වනුයේ එම දරුවා මව්කුස පිළිසිදුනු දිනය. ඒ දරුවාගේ ජීවිතයේ ආරම්භය එනම් පිළිසිඳීම සිදු වූ අවස්ථාවේ සිටම ගර්භණී මව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. කළල මොළයේ සංවර්ධනය මෙම සමයේදී ඇරඹෙන අතර ගර්භණී සමයේ ඇති වන සිදුවීම්වල බලපෑම්වලට ලක්විය හැක. ගර්භණී සමයේදී සිදුවන විවිධ සිද්ධීන් වර්ධනය වන දරුවා කෙරෙහි හිතකරව මෙන්ම අහිතකරවද බලපෑ හැකිය. මේ නිසා මවකට ගර්භණී සමයේදී දරු ප‍්‍රසවයේදී හා ප‍්‍රසවයෙන් පසු කාලයේදී ලබාදෙන සත්කාරය දරුවන්ගේ ප‍්‍රශස්ථ වර්ධනය හා සංවර්ධනය සහතික කිරීම සඳහා බෙහෙවින් වැදගත් වේ.

මෙම කාලය තුළදී ගර්භණී මව නිසි රැකවරණයෙන් සත්කාරයෙන් හා ආදරයෙන් රැකබලාගත යුතුය. ඇයට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයිය යුතුය. ඇගේ පෝෂණය පිළිබඳව සොයා බැලිය යුතුය. එමගින් මවත් – බිළිදාත් යන දෙදෙනාම සෞඛ්‍යමත් බව තහවුරු කරයි. 

මවගේ වැඩ කොටස පවුලේ සියලු දෙනා අතර බෙදී යා යුතුයි. මවට අධික වැඩ කටයුතු ප‍්‍රමාණයක නියලීමට සිදුවීම කළල වර්ධනයට බලපෑමෙන් අඩු උපත් බර සහිත දරුවන් බිහිවීමට ඉඩ ඇත.

ගර්භණී මවක් වෙනුවෙන් පැවතිය යුතු වැදගත් සත්කාර පුරුදු කිහිපයකි.

  • අවශ්‍ය පෝෂණය සැපයීම
  • ඇගේ දෛනික කාර්යභාරයන් අවම කිරීම
  • නිතිපතා සෞඛ්‍ය සේවා පහසුකම ලැබීමට උනන්දු කිරීම හා සහය ලබාදීම
  • ආතතියෙන් ඈත් කිරීම
  • නිවසේ සිදුවන කලකෝලාහලවලින් දරුවා ඈත් කිරීම

ගර්භණී සමයේදී මවට ලබාදුන් සත්කාරය දරු උපතින් පසුවත් දිගින් දිගටම පැවතිය යුතුය. දරුවා ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවේ ළදරුවාගේ මොළයේ වර්ධනය සම්පූර්ණ කර නොමැති බව මතක තබාගත යුතුය. මොළයේ වර්ධනය ඉදිරි වර්ෂ තුනක කාලයක් දක්වා සිදුවන අතර ඉපදී ගෙවන මුල් වසර මෙහිදී වඩා වැදගත් වේ. මොළයේ වර්ධනයට ජානමය සාධක මෙන්ම පාරිසරික සාධකද බලපායි.

මොළයේ සෑදෙන සෛල සම්බන්ධතා හෙවත් උපාගම සංඛ්‍යාව මෙන්ම විද්‍යුත් සබඳතා ඇතිවන ප‍්‍රමාණයද දරුවා මුල් වසර කිහිපය තුළ ලබන අත්දැකීම්ද වැදගත් වේ. මේ නිසා ගැටලු සහිතව උපත ලබන දරුවන් ඇතුළු සියලුම දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය උපරිම මට්ටමකින් ඇති කිරීම සඳහා මුල් වසර තුන තුළ සෑම සියලු අංගවලින්ම ප‍්‍රමාණවත් සත්කාරයක් සැපයීමෙන් හැකිවෙයි.

දරුවන් රැකබලා ගන්නා, හදන වඩන සෑම අය මෙන්ම දෙමාපියන්ද මේ කරුණු දැන සිටිය යුතුය. මෙම අවශ්‍යතාවයන්ගෙන් බොහෝමයක් ඔවුන් විසින් දරුවන්ට ලබාදිය යුතුය. දරුවා උපන් මොහොතේ සිට තමන් අවටින් ලැබෙන අත්දැකීම් ඔස්සේ ඉගෙනීම අරඹයි. සෑම දරුවෙකුම උපත ලබන්නේ වර්ධනය හා විකසනය වීමේ සුවිශාල විභවයක් ඇතිවය. එහෙත් මෙම විභවමය හැකියාවන් පුබුදුවාලීමට හැකි අතරම නොසලකා හැරීම තුලින් මැලවී පරවී යාමට හැරීමටද හැක. මේ දෙමාර්ගයෙන් කවරක් තෝරා ගන්නේද යන වගකීම පැවරෙනුයේ දෙමාපියන් හෝ රැකබලාගන්නා අය වෙතය. ඇත්ත වශයෙන්ම ඉගෙනීම් ක‍්‍රම පදනම් වනුයේ හෝ ගොඩනැඟීම සිදුව ඇත්තේ ළදරුවා තුල ඉගෙනීම සඳහා පවත්නා ආශාව හා කුතුහලය පදනම්වය. දරුවන්ට අත්හදා බැලීමට හා ඉන් ඉක්බිතිව ඉගෙනීමට අවස්ථාව සලසාදීම ඒ නිසා බෙහෙවින් වැදගත් වේ.

ළදරුවෙකුට කෙරෙන සත්කාරය බිළිඳගේ උපතත් සමගම ආරම්භ වන්නකි. දරුවාගේ පළමු ගුරුවරු, මිත‍්‍රයන් හා ක‍්‍රීඩා සහකරුවන්නේ දෙමාපියන්ය. ඒ නිසා දරුවන් සමග අන්තර් ක‍්‍රියාකරන්නේ කෙසේද දරුවන් උත්තේජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදාල තොරතුරු ලබාදෙමින් ඔවුන්ට සහාය දිය යුතුය. දරුවා වර්ධනය වන මෙම සතුටුදායක පරිසරය බිහිකිරීමේ වගකීම පැවරෙනුයේ දෙමාපියන්හටය.

දරුවාට උපත දුන් සැනින් මව පුල පුල බලා සිටිනුයේ දරුවා සිප සුරතල් කිරීමටය. මෙය උනන්දු කළ යුතුය. සෞඛ්‍ය සේවාවන් සපයන්නන් මෙම අවස්ථාව හැකි ඉක්මණින් මවට උදාකර දිය යුතුය. ළදරුවන්ට මව්කිරි දීම හැකි ඉක්මණින් ආරම්භ කළ යුත්තේ එමගින් මව හා බිළිඳා අතර සබඳතාවය ඇති වන බැවිනි. ඒ අතරම බිළිඳාට ප‍්‍රශස්ථ වූ පෝෂණය හා ආසාධන වැළැක්වීමේ හැකියාව (ප‍්‍රතිශක්තීකරණය) දරුවාට උරුම වෙයි. උපන් විගස හා ඉපදී ගෙවන මුල් මාස කිහිපය තුළ දරුවා ලබන වඩාත් වැදගත් සත්කාරය හා උත්තේජනය ලෙස මව්කිරි සැලකිය හැක. මවත් දරුවාත් අතර ඉතාමත් ශක්තිමත් සබඳතා ගොඩනැංවීම සඳහා මෙය උපකාරී වේ.

මව ළදරුවාගේ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දැක්විය යුතුය. ඇය දරුවා හඬන්නේ කුමක් නිසාද යන්න දැන ඒ අනුව ප‍්‍රතිචාර දක්වයි. ළදරුවා සුරතල් කළ යුතුය. ආදරය කළ යුතුය. ආරක්‍ෂා කළ යුතුය. 

ඔහුට හෝ ඇයට තමන් ආරක්‍ෂිත යයි හැඟීමක් ඇති වනුයේ දෙමාපියන් සමග ශක්තිමත් සබඳතාවයක් ඇති වුවහොත් පමණි. දෙමාපියන් තමන්ට ආදරය දක්වන්නේ කෙසේද සබඳතා ඇති කරගන්නේ කෙසේද යන්න මින් ඉගෙන ගනී. දෙමාපියන් දරුවා ඇමතිය යුත්තේ ආදරයෙනි. දරුවා ශබ්ද නැගීම ආරම්භ කළ විට බිළිඳා උනන්දු කළ යුතුය. මව හා පියා බිළිඳාගේ වචනවලට ප‍්‍රතිචාර දැක්විය යුතුය. මෙය දරුවා වර්ධනය වන විට සරල වචන භාවිතයට අවශ්‍ය උත්තේජනය සපයයි.

දරුවා යම් යම් දේ පිළිබඳ අත්හදා බැලීමට පවත්නා අවස්ථාව අහිමි නොකරමින් හානි හා අනතුරුවලින් දරුවා ආරක්‍ෂා කළ යුතුය. බිළිඳා අසල ඔහුට අවශ්‍ය නම් උදව් කිරීමට සූදානම්ව සිටිමින් අත්හදා බැලීම සඳහා දෙමාපියන් සහාය විය යුතුය. සෙල්ලම් කිරීම තුලින් පරිකල්පනමය සෙල්ලම් කිරීම තුලින් පරිකල්පනමය නිර්මාණශීලීත්වය උත්තේජනය කරයි.

 

එක් එක් වයස් පරතරයන් අතර දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සලකා බලමු.

අවු. 0-1 අතර දරුවන්ගේ අවශ්‍යතා

  • ප‍්‍රමාණවත් පෝෂණය
  • ප‍්‍රමාණවත් සෞඛ්‍ය සත්කාරය
  • කායික හානිවලින් ආරක්‍ෂාව
  • සම්බන්ධතා ඇති කරගත හැකි වැඩිහිටියන්
  • ඔවුන්ගේ සංඥා අවබෝධ කරගත හැකි හා ප‍්‍රතිචාර දැක්වීමට සමත් වැඩිහිටියන්
  • දැකීමට, ඇඬීමට, ගඳ සුවඳ දැනීමට, රස දැනීමට
  • අවට ලෝකය ගවේෂණය සඳහා අවස්ථා
  • උචිත භාෂා උත්තේජනය

අවු. 1-3 දක්වා දරුවන්ගේ අවශ්‍යතා

  • නව චාලක, භාෂාමය හා සිතීමේ කුසලතා අත්පත් කර ගැනීම සහා සහාය
  • කිසියම් ස්වාධීනත්වයක් වර්ධනය කරගැනීමට අවස්ථා
  • තම චර්යාවන් පාලනය කරගන්නේ කෙසේද යන්න ඉගෙනීමට උදව්
  • තම කටයුතු තමා විසින්ම කරගැනීම සඳහා අවශ්‍ය ඉගෙනීම ආරම්භ කිරීමට අවස්ථා
  • විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන සෙල්ලම් කිරීම සහාඳ වන දෛනික අවස්ථා

අවු. 3-5 දක්වා දරුවන්ගේ අවශ්‍යතා

  • ඉහළ දැක්වූ කුඩා ළමුන්ගේ සියලු අවශ්‍යතා මේ වයස් සීමාවේදී වැදගත් වේ 
  • තියුණු චාලක කුසලතා වර්ධනය සඳහා අවස්ථා
  • කතා කිරීම, කියවීම හා ගී ගැයීම ආදිය තුලින් භාෂාව භාවිතයට උනන්දු කිරීම
  • තම හැකියාවන් පිළිබඳ හිතකර හැඟීම් සංවර්ධනය කරන ක‍්‍රියාකාරකම්
  • සහයෝගය, උදව් කිරීම, බෙදාහදා ගැනීමට ඉගෙනීමට අවස්ථා
  • පූර්ව ලිවීම් හා කියවීම් කුසලතා සඳහා වන අත්හදා බැලීම්

 

ළදරුවා වයසින් වැඩෙත්ම අවශ්‍යතාද ඉහළ යයි. ඉගෙනීම සඳහා පුළුල් ක්‍ෂෙත‍්‍රයක අත්හදා බැලීම් කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. වැදගත් වනුයේ ඉගෙනීම සඳහා අවස්ථාවක් උදාකර දීමය. සමහර දෙමාපියන් තම දරුවන් කොතරම් ආරක්‍ෂා කරන්නේද යත් දරුවන්ට ඉගෙනීමේ අවස්ථා ලබා නොදෙමින් ඒවා තමන් නොදැනුවත්ව දරුවන්ට අහිමි කරයි.

ආහාර පිසීම, සේදීම, පිරිසිදු කිරීම වැනි ගෙදර දොර එදිනෙදා සිදුවන ක‍්‍රියාකාරකම් දරුවන්ට විවිධ ද්‍රව්‍ය හඳුන්වාදීම සඳහා යොදා ගත හැකිය. ගණන් කිරීම සඳහා මෙන්ම විවිධ ප‍්‍රමාණ, හැඩ, වර්ණ ආදිය ඉගැන්වීමටද එළවළු යොදා ගත හැකිය. ඔබ සිත යොමු කළහොත් නිවසේ පරිසරය තුලින් බොහෝ දේ ඉගෙනීමට දරුවාට අවස්ථාව සලසා දීමට ඔබට හැකිය. දරුවා යමක් නිමවූ හැම විටම දරුවාගේ වයසට ගැලපෙන වචන යොදා ගනිමින් නිවැරදිව පිළිතුරු ලබාදිය යුතුය.

දරුවන්ගේ පරිකල්පනමය හා නිර්මාණශීලී හැකියාවන් උත්තේජනය සඳහා කතාන්දර බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. ආත්ම ගෞරවය සඳහා ප‍්‍රශංසා කිරීම සහ උනන්දු කිරීම බෙහෙවින් උපකාරී වේ.

දරුවා විනයගරුක කිරීමද වැදගත් වේ. ආදරය දැක්වීම හා සත්කාරය සැපයීම යනු දරුවා නාස්ති කිරීම හෝ නුසුදුසු ලෙස හැසිරීමට දරුවා යොමු කිරීම නොවේ. මෙය දරුවාට හානි කළ හැකිය. ඒ නිසා සිය දරුවන් නිවැරදි දෑ කුමක්ද යන්න වටහාගෙන වර්ධනය වන බවට වගබලා ගත යුතු අතර නුසුදුසු හා හානිකර චර්යා වලින් වැළකී සිටීම පිළිබඳවත් දරුවන්ගේ අපේක්‍ෂා කරන්නේ කුමක්ද යන්නත් දරුවා තුලද තහවුරු කිරීමට ක‍්‍රියා කළ යුතුය.

දරුවන් හදාවඩා ගන්නා අය බාල ළමා වියේ දරුවන්ගේ අවශ්‍යතා නිසි පරිදි සම්පූර්ණ කළහොත් පාසැල් යන වියට පත් වන විට දරුවා සෞඛ්‍යමත්ව හා නීරෝගීව නිසි පෝෂණයෙන් යුතු සමාජීය වශයෙන් විශ්වාසභාවයක් සහිත චිත්තවේගී කුසලතා පිරිපුන් යනාදි ලෙසින් ජීවිතය පුරා ඉගෙනීම සඳහා නිසි පදනමක් ලද දරුවෙකු බවට පත්වෙයි. 

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

දරුවා අනාගතයේ ප‍්‍රයෝජනවත්/ප‍්‍රීතිමත් වැඩිහිටියෙක් ලෙස දකින්න ඔබත් කැමතිද?

උපතේ සිට වැඩිහිටි අවධිය දක්වා දරුවෙකු බොහෝ වෙනස්කම්වලට භාජනය වෙනවා. ඔවුන් ශරීර ප‍්‍රමාණයෙන් පමණක් නොව සිතන පතන ආකාරයෙන්ද වෙනස් වේ. විවිධ මට්ටම්වලදී ළමුන් සිතන්නේ, ඉගෙන ගන්නේ හා හැඟීම් ඇති කරගන්නේ වෙනස් අන්දමටය. කෙසේ වෙතත් සමහර කරුණු සෑම වයසකම දරුවන්ට පොදුය.

ප‍්‍රීතිමත් ළමාවිය දරුවන්ට ලබාදීමට නම් ඔවුන්ගේ විවිධ වයස් මට්ටම් වලදී ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරකම් මොනවාදැයි වැඩිහිටියන් ලෙස අප දැනගත යුතුය. එවිට ඔවුන් මුහුණපාන ගැටලුවලට උදව් කිරීමට අපට හැකි වේ.

දරුවෙකුගේ මනෝ සමාජීය වර්ධනය සඳහා උපකාරී වන ප‍්‍රධාන අවශ්‍යතා 4 කි.

  1. රැකවරණය ලබාදෙන වැඩිහිටියන්ගේ ආදරය සැලකිල්ල හා උනන්දුව
  • දරුවාට ආදරය දැක්වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එම ආදරය දරුවාටද දැනිය යුතුය. 
  • දරුවා සමග කතා කිරීම, කතන්දර කීම, උනන්දුව හා ආදරය පෙන්වීම ඉතා වැදගත්ය.
  • දරුවන් සමග දෙමාපියන් සෙල්ලම් කිරීම ආදරය පෙන්වීමට ඇති හොඳ ක‍්‍රමයකි.
  • දරුවා කෙමෙන් වැඩෙත්ම ඔහු/ඇය උනන්දුව දක්වන දේ ගැන වැඩිහිටියන් එකතුව සාකච්ජා කිරීම.
  • සෞඛ්‍යමය තත්ත්වය සිතුම්, පැතුම් හා හැඟීම් කෙරේ බලපාන බැවින් යහපත් සෞඛ්‍යය තත්ත්වය  රැකගැනීම වැදගත්ය.
  • කායික වශයෙන් සෞඛ්‍ය සම්පන්න දරුවා ප‍්‍රීතිමත් දරුවෙකි.
  • පිරිසිදුව ජීවත් වීම
  • පෝෂ්‍යදායී ආහාර හා ආරක්‍ෂිත පානීය ජලය ලබාදීම

2. ප‍්‍රතිශක්තීකරණය

  • අසනීපවලදී නිවැරදි ප‍්‍රතිකාරය ලබාදීම
  • යහපත් සනීපාරක්‍ෂක ක‍්‍රම භාවිතය
  • අනතුරුවලින් දරුවන් ආරක්‍ෂා කරගැනීම

3.ජීවිතයේ ලබන විවිධ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට ඉඩදීම

  • තම වැඩකටයුතු හැකි තරම් දුරට ඔවුනටම කරගැනීමට ඉඩ හැරීම, ඔවුන්ගේ වර්ධනයට උදව් වේ.
  • තමා අවට ලෝකය ගැන අවබෝධයක් ලබාගැනීමට උදව් කිරීම
  • විවිධ දේවල් සිදුවන අන්දම පිළිබඳව දැනුම ලබාදීම.
  • පවුලේ වෙනත් සාමාජිකයන් සමග සිදු කරනු ලබන සබඳතා හෝ මිතුරන් සමග තිබෙන සබඳතා ආදියෙන් විවිධ අයුරින් අන් අය හා හැසිරීමේ ආකාරය ඉගෙන ගැනීම.
  • ළමයින්ගේ සිතුවිලි, හැඟීම් හෝ අදහස් අන් අයට ප‍්‍රකාශ කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම.

උද.. ලිවීම, චිත‍්‍ර ඇ`දීම, කථා කිරීම

  • දරුවන් සමග පොත් කියවීමෙන් පොත්වලට ඇති ආශාව කියවීමේ පුරුද්ද ප‍්‍රගුණ කරයි
  • යම් යම් සංකල්ප පිළිබඳ සිතීම. එවැනි දේ තේරුම් ගැනීම. උදා: ඉලක්කම් හෝ සංඛ්‍යා
  • සාමාන්‍ය ජීවිතයේදී දරුවාට ඇති වන අපහසුතාවලට මුහුණ දෙන අන්දම ඉගෙන ගැනීමට උපකාරී කිරීම.
  • ජීවිතයේ මුහුණපාන්නට සිදුවන යම් යම් ගැටලුවලට විසදුම් දරුවාටම සොයා ගැනීමට ඉඩහැරීම හෝ ඉගැන්වීම.

4. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ආත්මාභිමානය ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබාදීම.

  • ළමයාට වැදගත් යයි සිතන පුද්ගලයින්ගෙන් ප‍්‍රශංසා ලැබීමට ඉඩ සැලසිය යුතුය.
  • ළමයාගේ හැකියාවන් අගය කිරීමට පියවර ගැනීම
  • කලින් සිදුකරනු ලැබූ කිසියම් වැරැද්දක් නිසා දරුවාගේ හොඳ ක‍්‍රියාවන්ට ප‍්‍රශංසා කිරීම අතපසු නොකළ යුතුය.

ළමයාගේ වර්ධනයට බලපාන ගෙදර දොර අහිතකර තත්ත්ව

  1. එක පවුලක අවුරුදු 3 ට අඩු දරුවන් දෙදෙනෙකුට වඩා සිටීම.
  • කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටී නම් දරුවන් වෙනුවෙන් මවක් ඉටුකළ යුතු වගකීම් අතපසු වේ.
  • ආදරය හා උනන්දුව පෙන්වමින් දරුවන් සමග කාලය ගත කිරීම ඔවුන්ගේ වර්ධනයට උපකාරී වේ.

2. පිළිවෙළක් නොමැති අපිරිසිදු නිවස

  • පිළිවෙළක් නොමැතිකම බොහෝ කරදරවලට හේතු වේ.
  • සංවිධානාත්මක නිවස දරුවන්ට හොඳින් ඉගෙන ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාරී වේ.

3. දෙමාපියන්ගේ විවාහ ජීවිතයේ බලවත් විෂමතා තිබීම.

  • දෙමාපියන් අතර ඇති වන කලකෝලාහල, දරුවන් තුළ අනාරක්‍ෂිතභාවය හා භීතිය ඇති කරයි.
  • දෙමාපියන් අතර ඇති සමීප සම්බන්ධතාවය දරුවන්ගේ සුරක්‍ෂිතභාවයට ඉවහල් වේ.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.