Home Blog Page 94

කියවන දනා හෙට දවසට ජයකොඩිය

ඔක්තෝබර් මාසයේදී අපි වැඩියෙන් කියවීම ගැන කතා කරනවා. ජාතික පුස්තකාල මගින් මේ මාසය කියවීමේ මාසය විදිහට නම් කර තිබෙනවා විතරක් නොවෙයි, කියවීම ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් පවා සංවිධානය කරනවා. පුංචි කාලේ පටන්ම දරුවන්ට කියවීමේ පුරුදු හුරු කිරීම වැදගත් වෙන්නේ ඇයි… ? ඒ කරුණ ඔබ නොදන්නවා නම් දැන් ඉතින් දැනගත යුතු කාලයයි මේ…

නව දැණුම

නව දැනුමෙන් ලෝකය තත්පරයක් පාසා අලුත් වෙනවා. නව දැනුම එකතු වෙනවා වගේම පවතින තොරතුරු වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම අපි ග්‍රහනය කර ගන්නේ තොරතුරු සන්නිවේදනයෙන්. මිලියන ගණනින් ලෝකයට එකතු වෙන තොරතුරු වලින් ඔබේ දැණුම අලුත් කර ගැනීමට නම් කියවන හුරුව අනිවාර්යෙන්ම ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. එහෙමනම් ඔබේ පොඩිත්තා නව දැනුමෙන් පෝෂණය කරන්න නම් පොත් පත් කියවීමේ සුරුව ගොඩ නැගීමේ වගකීම අම්මා තාත්තාට බව අමතක කරන්න එපා.

බුද්ධි වර්ධනය

කියවීම මොළයට ඉතා හොඳ ක්‍රියාකාරකමක්. අපේ සිරුරට වගේම මොළයටත් වයායාම අවශ්‍යයි. ඒ නිසා නිතරම කියවන දරුවන්ගේ මොළයට ඇති වෙන ක්‍රියාකාරීත්වය නිසා ඔවුන්ගේ බුද්ධි වර්ධනය සිදු වෙන බව අලුත්ම පර්යේෂණ මගින් සනාථව තිබෙන දෙයක්.

ස්මරණය

අද බොහෝ දෙනෙකුට ස්මරණය හෙවත් මතකය පිලිබඳ ගැටලු තිබෙනවා. පාඩම් කටයුතුවලටත් දරුවන්ගේ මතක තබා ගැනීමේ හැකියාව ඉතාම වැදගත්. අද දරුවන්ගේ මතකය වැඩ තරන්නේ විද්‍යුත් මෙවලම් වෙනුවෙන් පමණයි. අපි ඒ ගැන නිරන්තරව දොස් නැගුවාටමත් බැහැ. දරුවන් මේ පුරුද්දට තිබෙන ඇබ්බැහිය වලක්වලා ඔවුන් පොත් පත් කියවීම වෙනුවෙන් හුරු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා මතක ශක්තියෙන් වගේම මතකය රදවා ගැනීමේ හැකියාව ඇති දරුවන් පිරිසක් නිර්මාණය කිරීමට නම් පොත් පත් සමග ඔවුන් මිත්‍රශීලී කිරීම මොනතරම් වැදගත්ද යන්න ඔබට තේරුම් ගන්න පුලුවන් නේද….?

පරිකල්පනය

පොත් පත් කියවන දරුවන් එතැනින් නවතින්නේ නැහැ. ඔවුන් ඒ ඔස්සේ බොහෝ දේ විමසනවා. ඇයි එහෙම වුනේ…? එහෙම නැත්නම් ඊට වඩා මේ කතාව වෙනත් විදිහකට අවසාන වෙන්න තිබුනා. වගේ තොරතුරු  අනුව ඔවුන් තමන්ගේ චින්තනයෙන් අලුත් යමක් ගැන හිත යොමු කරනවා. අවදානම් දැරීම වගේම ධනාත්මකව සිතන පතන අන්දම මේ නිසා වැඩිදියුණු වෙනවා.

විග්‍රහාත්මක සිතන්න පටන් ගන්නවා

ප්‍රබන්ධ සාහිත්‍යය නිසා දරුවන්ගේ තර්ක ශක්තිය වැඩිදියුනු වෙනවා. ඔවුන් හේතුඵල සම්බන්ධතාවයක් අනුව විය හැකි දේ ගැන තර්කානුකූලව හිතන්න පටන් ගන්නවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේදීත් දරුවන් විග්‍රහාත්මකව සිතීමට යොමු වීම නිසා එය ජීවිතයටත් සුවිශේෂී ශක්තියක් බවට පත් වෙනවා.

වාග්කෝෂය පුලුල් වෙනවා

අද දරුවන්ගේ භාෂාව සහ රචනා ශෛලීය බොහොම දුර්වලයි… මේ නිතරම දරුවන් මුල් කර ගෙන නිතර නැගෙන චෝදනාවක්. ඉතින් හැමදාම දොස් නගනවාට වඩා දරුවන්ට ඒ වෙනුවෙන් හිතකර පසුබිමක් සකස් කර දුන්නොත් විහාල ආලෝකයක් ඔවුන්ගේ ජීවිතයට ලැබෙනවා. තමන්ගේ වාග්කෝෂයේ වචන නැති වුනොත් තමන්ගේ භාෂා සාහිතයයේදී පසුගාමී චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා බාලකාලයේ පටන්ම පොත් පත් කියවීමේ පුරුද්ද ඇති කිරීමට අම්මා තාත්තාගේ විහේෂ අවධානයක් අවශයි.

ඉතින් කොහොමද කියවන පුරුදු වගා කරන්නේ…

දරුවාගේ ලෝකයේ පුංචි කාලයේ පටන්ම පොත් පත් වෙනුවෙන් යොමු කිරීම වැදගත්. කන්න බොන්න, අදින්න දුන්නට ජනප්‍රිය පාසලකට ඇතුළු කලත්  දරුවා වෙනුවෙන් කියවන පුරුද්ද ඇති කිරීමට දෙමව්පියන් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා බාලකාලයේ බටන්ම සෙලල්ම්බඩු වගේම කියවීමට කැමැත්ත ඇති කරන පොත් පත්, පුවත්පත් වගේම සගරා වැනි කියවන දේ ලබා දෙන්න.

ගෙදර පුංචි පුස්තකාලයක්..

ඔබේ නිවසේ පුංචි පුස්තකාලයක් වෙනුවෙන් ඉඩක් තෝරා ගන්න. කියවන සමාජය මුලින්ම ගොඩ නැගෙන්නේ තමන්ගේ නිවසෙන්. අම්මා , තාත්තා කියවනවා දකින විට දරුවාත් ඒ වෙනුවෙන් යොමු වෙනවා. තවමත් අත්තම්මලා සීයලා වෙත තිබෙන කියවීමේ පුරුද්ද අපේ දරුවන්ට නැහැ. ඒත් මේ පරම්පරාව වෙත තිබෙන දැණුම, වියාකරණ හැකියාව, සාහිත්‍යමය රසවින්දනය වැනි හැකියාවන් දකින මව්දෙමව්පියන් අනිවාර්යෙන්ම දරුවා වෙනුවෙන් කියවීමට ආකර්ශනයක් ඇති පරිසරයක් නිර්මාණය කරන්න.

පුස්තකාලක සාමාජිකත්වය

අද සෑම පලාත්පාලන ආයතනයක්ම තමන්ගේ බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබා දෙනවා. ලොකු මුදලක් වැය නොවනවා වගේම කියවීමට අවශ්‍ය දැනුම් ද්‍රව්‍ය උපරිම විදිහට මෙම පුස්තකාල සතුව තිබෙනවා. ඉංග්‍රීසි පොත් පත් අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය කවුන්සලය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පොත්පත් ලබා ගත හැකි තොරතුරු මධ්‍යස්ථානත් තිබෙනවා. මෙම පුස්තකාලයන්හි ළමා අංශය මගින් කියවීමට අවශ්‍ය දැනුම් ද්‍රව්‍ය ලබා දෙනවා පමණක් නොව විවිධ සාහිත්‍ය සහ භාෂා තරග පවත්වා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුනු කර ගැනීමට උපදෙස් ලබා දෙනවා. විවිධ කෙෂත්‍රවලින් ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තරව කැපී පෙනෙන චරිතබවට පත් පුද්ගලයන් විසින් සිදු කරන අතීතාවර්ජනාවන්ගෙන් පෙනෙන්නේ ඔවුන් සිය ළමා කාලයේදී පුස්තකාල සමග ඉතා හොදින් සම්බන්ධතාවයන් පවත්වා ගෙන ගිය පිරිසක් බවට පත් වීමයි.

මහා බ්‍රිතාන්‍යයේ අම්මලා දරුවන්ගේ කියවීමට ඉතා හොඳ පසුබිමක් සපයා දෙන්නේ මේ විදිහටයි. අම්මාවරු දහ දෙනෙක්ගෙන් තුන්දෙනෙක් තම දරුවන්ට දිනකට කතා පොතක් කියවා දීමට උනන්දුවක් දක්වනවා.එ‍රට සාක්ෂරතාවය 99% ක්. මේ තත්වය 100% ක් දකාවා පත් කිරීමට නම් අම්මලා උනන්දු විය යුතු බව බ්‍රිතාන්‍ය රජයේ අදහසයි. ඒ නිසා බ්‍රිතාන්‍ය රජය අවධාරනයෙන්ම දන්වන්නේ දරුවන්ගේ කියවීම වෙනුවෙන් අම්මාවරු උනන්දු විය යුතු බවයි. එරට මැක්ඩොනල්ඩ් ආහාර ජාලයෙන් පවා මේ වෙනුවෙන් උනන්දුවක් දක්වනවා. ඔවුන් සිය ආපනශාලාවට පැමිණෙන දරුවන් වෙනුවෙන් පොතක් ප්‍රදානය කිරීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ කියවීම වැඩිදියුනු කිරීමටයි. දැනට මැක්ඩොනල්ඩ් සමාගම පොත් මිලියන හැටක් බෙදා දී තිබෙනවා. ඒත් තවමත් මහා බ්‍රිතානයයේ වුනත් දුප්පත් දරුවන් අතරින් එක් අයෙකුට කියවීම වෙනුවෙන් පොතක් මිලදී ගැනීමේ ආර්ථික දුෂ්කරතාවය තිබෙනවා.

එහෙනම් රහස තිබෙන්නේ කොතැනදැයි දැන් ඔබට වැටහෙනවා ඇති. පමාවට කරුණු අවශ්‍ය නැහැ. ඔබේ දරුවාටත් සෙමෙන් සෙමෙන් කියවන පුරුදු ගොඩ නැගුවොත් හෙට දවස ජයගැනීම ඔබේ දරුවාට වික්‍රමයක් නොවනු ඇති.

දෙවැනි කසාදය නිසා අසරණ වෙන දරුවෝ…

මිනිසුන්ගේ හිත් තේරුම් ගැනීම අපි හිතන තරම් පහසු දෙයක් නොවෙයි. අපිට මතුපිටින් පෙනෙන මිනිසාට වඩා ඇතුලත සිටින පුද්ගලයා බොහොම වෙනස් වෙන්න පුලුවන්. පවුල් සංස්ථාවන්හි වුනත් මේ විදිහට මත ගැටුම් ඇති වෙන්නේ හිතේ තිබෙන ඊර්ශ්‍යාව, කුහකබව වැනි සිතුවිලි නිසයි. අතීතයේ පටන් පෙරදිග සමාජය නැන්දා ලේලි, නෑනාවරුන් අතර ඇති වෙන ගැටුම් ගැන කතිකාවත් ගොඩ නැගුවේ අපිට නොපෙනෙන මේ සිතුවිලි ඔවුන්ගේ විමසුම් ඇසට ලක් වුන නිසයි.

ඒ වගේම අම්මා නොමැති කල අප්පා කවරටද….?

“අම්මා නොමැති කල අප්පා කවරටද….?” කියන අදහසත් සමාජගත වුනේ දරුවෙකුගේ රැකවරනයට අම්මා තරම් සමීප වෙන කිසිම කෙනෙක් මේ මිහිපිට නොමැති නිසයි. ඒ වුනත් සමහර විට මේ සිදුවීම සාධාරණ කරමින් පියවරුන්ටත් දීමට උත්තර තිබෙනවා. දරුවන් බාලකාලයේදීම අම්මා මියගියොත් දරුවන් හදා වඩා ගැනීමට වගේම දරුවන්ට දෙවැනි අම්මා විදිහට වෙනත් කාන්තාවක් සමහර විට අම්මාගේ නැගනිය වෙන්නත් පුලුවනි. මේ විදිහට දෙවැනි විවාහයකින් පසුව අලුත් අම්මා දරුවන් ලබන තෙක් කිසිම ගැටුමක් නැතුව පවුගේ ගණු දෙනු සිද්ධ වුනත් ඇය දරුවන් ලද පසුව විවිධාකාර විදිහට ගැටුම් ඇති වෙන්න පුලුවන්.

මේ මගේ දරුවා…

පළමු විවාහයේ දරුවන් තාත්තාගේ ලෙයින් මසින් බිහිවුන බව ඇත්ත. දෙවැනි කසාදයේ දරුවනුත් මේ පියාගේ ලෙයින් බිහිවෙන බවත් ඇත්ත. ඒත් දෙවැනි විවාහයේ බිරිඳ බොහෝ විට එය සාධාරණ නොකරන තැනට පත් වෙනවා. ඇය නිතරම මුල් තැන දෙන්නේ තමන්ගේ කුසෙන් හදා වඩා ගත්තු දරුවන්ටයි.

වෙනස්කම් ඉතාම දරුණු වෙන්නත් පුලුවන්…

එක්තරා ජනකවියක සඳහන් විදිහට,

මොනර මාලු උඩහල්ලේ තියෙම්මා
අපට මාලු අලකොලමද කුඩම්මා…

 

මේ විදිහට ආහාරපානයන්ගෙන් පටන් ගෙන දේපල බෙදෙන තැන දක්වාම මේ ගැටුම ඉතාම උග්‍ර විදිහට තේ කෝප්පයේ කුනාටුවක් වගේ පැවැතෙනවා. ඊටත් වඩා ඔබ්බට ගිය පුවත් ගැනත් අපිට අසල්වැසි රටෙන් අසන්නට ලැබෙනවා.

පළමු විවාහයේ දියණියට ආදරෙයි…

ඉන්දියාවේ බැරමුල්ලා ප්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියකගේ මළ සිරුරක් පසුගිය දිනක ඉන්දියාවේ කැලෑවක තිබී හමුවුනා. මේ දියණිය මරා දමා තිබුනේ දූෂණය කිරීමෙන් පසුව ඇසිඩ් දමා සිරුරත් පුලුස්සලා. සිද්ධිය ගැන පොලිසිය විසින් පරීක්ෂන පවත්වන විට සැකරුවන් සොයා ගැනීමට පුලුවන් වුනා. මේ දියණියගේ මව මියගියාට පසුව ඇගේ පියා තවත් කසාදයක් කර ගත්තා. ඒ කාන්තාවත් සැමියා මියගිය අයෙක්. ඇයටත් වයස අවුරුදු 14 ක පුතෙක් සිටියා. කොහොම වුනත් පියාගේ වැඩි ලෙන්ගතු කමක් ඔහුගේ දියණියට තිබුනා. සමහර විට පියාගේම දියණිය නිසාම වෙන්නත් ඇති. මේ සිදුවීම දෙවැනි විවාහයේ කාන්තාව ඉවසා සිටියේ නැහැ. ඇය තමාගේ දහහතර හැවිරිදි පුතු ලවා මේ දියනිය දූෂණය කළා.

එතැනින් අවසාන වුනෙත් නැහැ…

තවත් අය ලවා දියණිය සමූහ දූෂණය ට පත් කරන්නත් මේ කාන්තාව උපදෙස් දුන්නා. 19 හැවිදිරි එක් සැකකරුවෙකු දැරියගේ සිරුරු පොරවකින් කොටස්වලට වෙන් කළා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිර් ඉමිතියාස් හුසේන් NDTV පුවත් වෙබ් අඩවියට අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ  පියා ඔහුගේ දියණියට වැඩියෙන් සැලකීම ගැන බිරිඳ සහ පෙර විවාහයේ පුතු වෛරයකින් පසුවුන බවයි.

මේ සිද්ධිය අපිට ඉන්දියාව සහ සමූහ දූෂණය පසෙක තබා කතා කරන්නත් පුලුවනි. අපේ රටේ වුනත් ප්‍රසිද්ධ නොවුනාට මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න තිබෙන අවස්ථා නැතුවාම නොවෙයි.

අම්මාගේ දෙවැනි කසාදය නිසාත් දරුවන් අනාරක්ෂිතයි.

ඉහත සිදුවීමටම සමානව අම්මාගේ දෙවැනි විවාහයත් දරුවන්ට බරපතල විදිහට බලපාන්න පුලුවන්. මොකද ඒ තාත්තාටත් මේ දරුවෝ තමන්ගේම නොවෙයිනේ.. අනිත් අතට තමන්ගේම පියා ගැනවත් විශ්වාසය තබන්න නොහැකි මේ කාලයේ පිටස්තර පිරිමියෙකු ගැන විශ්වාස කරනවා කියන්නේ කවර කතාද…?. විශේෂයෙන් ගැහැණු දරුවන් උස් මහත් වෙද්දී දෙවැනි කසාදයේ පියාටත් ඒ ගැන අවධානයක් යොමු වෙන්න පුලුවන්. ඒ තත්වයේදී අම්මා හිටියාටත් වඩා අසරණ වෙනවා.

දේපල බෙදන විටත් ගැටුම්..

දරුවන් කාලය සමග උස් මහත් වෙලා ආවාහ විවාහ සිද්ධ වෙන විට දේපල බෙදන විටත් මේ හැගවිලා තිබුන සිතුවිලි ඉස්මතු වෙනවා. අම්මා / තාත්තා දේපල තමන්ගේ දරුවාට දිය යුතුය යන තර්කයේ සිටිනවා. එවිට දෙවැනි විවාහයේ දරුවන් අසරණයි.

අපේ සංස්කෘතියේ හැටියට නම් හැම දරුවෙක්ම තමන්ගේ දරුවන් විදිහට සැලකීම වැනි ගුණාංග ගැන ඉහලින් කතා කළත් අද වෙන විට නම් එහෙම උදවිය අතේ ඇගිලි ගණනට සීමිතයි. ඒ නිසා අම්මා, තාත්තා විවාහයකින් තමන්ගේ ශක්තිය ගොඩ නගා ගනිද්දී දරුවන්ට තිබෙන හව්හරණ නැති වෙන තැනට වග උත්තර කියන්නේ කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ.

වමතට හුරු දරුවා දකුණතට හුරුකරන්නට ඔබත් වෙහෙසෙනවද?

“මගේ පුතා හැමවේලේම වැඩ කරන්නේ වම් අතින්. අකුරු ලියන්නේ කැම කන්නේ පවා වම් අතින්. මේ පුරුද්ද නැති කරගන්න මොකද කරන්නේ… ? පුතාව දකුණු අතට හුරු කරන්න ඕනේද …? වම් අතින් වැඩ කරන එක හොද නැද්ද?..”

මිනිසුන් 100කින් 90 කටම තම වැඩ කටයුතු සඳහා හුරු අත වන්නේ දකුණු  අතයි. 10%ක් පමණ කොටසකට තමන්ට හුරු අත වන්නේ වම් අතයි. සංස්කෘතියත් සමග බැඳුණු ඉතිහාස කතා පවා දකුණු අත භාවිතය පිළිබඳව පැවතුනු බව කියවෙන අතරම අතිතයේදී වමත හුරු වමතින් වැඩ කටයුතු කරන පුද්ගලයන් දුර්වලයින් ලෙස ද හංවඩු ගසා ඇති බව කියවේ. දරුවෙකු වම් අතින් කටයුතු කරයි නම් එම දරුවාව දෙමාපියන් නිසි ලෙස වර්ධනය කොට නොමැති බව එක්තරා අවස්ථාක ප්ලේටෝ නම් දර්ශිකයා පවා සඳහන් කොට ඇත. ඇතැම් ආසියාතික රටවල් වල මේ අදහස්වල එළැඹ සිටින පිරිස් අදටත් නැතුවාම නොවේ.

නමුත් නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව වම් අත භාවිතයට හුරු දරුවන් කිසිසේත්ම දකුණු අත භාවිතයට හුරු නොකර යුතු බව කියවේ. අපේ ශරීරයේ මොළය තුළ ක්‍රියාකාරිත්වය සලකා බැලීමේදී මොළයේ වම් අර්ධ ගෝලය භාෂාව ගණිතය විද්‍යාව පර්යාය /රටා පිළිබඳ කටයුතු කරයි. මොළයේ දකුණු අර්ධ ගෝලයේ නිර්මාණශීලිත්වය, මනකල්පිත හැකියාව, කලා හැකියාවන් පිළිබඳව කටයුතු කරයි. මොළයේ වම් පැත්ත ආධිපත්‍ය දරයි නම් දරුවන් දකුණු අතට ද සහ මොළයේ දකුණු පැත්ත ආධිපත්‍යය දරයි නම් වම් අතටද හුරු වේ. බොහෝ දරුවන් අත භාවිත කිරීමට හුරුවන්නේ ගර්භාෂයේ සිටිනා කාලයේ සිටය. ඔවුන් ගර්භාෂයේ සිටම ඇඟිලි උරයි.

බොහෝ විට මෙය දරුවාගේ ජාන මගින් හෝ ජීවත්වන පරිසරය මගින් හෝ සංස්කෘතිය මගින් ඇති වන තත්ත්වයකි. උදාහරණයක් ලෙස මව/පියා හෝ මව් පිය පාර්ශවවල නෑදෑයන් වම් අත භාවිත කරයි නම් දරුවාද වම් අත භාවිත කිරීමේ හැකියාව පවතී. එය ජානමය තත්ත්වයකි. සමහර අවස්ථාවල ජානමය බලපෑම් ගති ලක්ෂණ සහ පරිසරය මගින් වෙනස් කළ හැක. සමහර අවස්ථාවල ගුරුවරුන් දෙමාපියන් බලහත්කාරයෙන් හුරු කිරීම මගින් වම් අත භාවිත කරයි. තවත් විටක රටේ සංස්කෘතියය මගින් හුරු වීම් ඇති වේ. නිදසුන් ලෙස ජපානය චීනය වැනි රටවල වම් අතින් ලියන ප්‍රතිශතය 2%ක් පමණ වේ.

වම් අතේ සිට දකුණු අතට දරුවන් හුරු කිරීම සුදුසුද?

වම් අතේ සිට දකුණු අතට බලහත්කාරයෙන් හුරු කිරීමකදි දරුවන්ට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකිය. ඒවා නම්,

  • අවලස්සන අත් අකුරු
  • කියවීමේ දුෂ්කරතා
  • මතක ශක්තිය දුර්වල වීම
  • අක්ෂර වින්‍යාස දුර්වලතා ඇති වීම
  • ප්‍රකෝපකාරී හැසිරීම්
  • ශරීරික සහ මානසික විඩාව

ගුරුවරුන් දෙමාපියන් බලහත්කාරයෙන් දකුණු අත හුරු කිරීමෙන් අධ්‍යාපනය පවා සම්පූර්ණයෙන් අඩාල විය හැක. දරුවන්ට සහජයෙන් ලැබී ඇති දෑ වෙනුවෙන් දෙමාපියන් කළ යුත්තේ එවා නැති කිරීම හෝ යට පත් කිරීම නොව එවා වැඩි දියුණු කිරීමට සහයෝගය ලබාදීමයි. උදාහරණයක් ලෙස ඔබේ දරුවා වමතින් කටයුතු කරන්නේ නම් ඔහු කලා කටයුතු, ක්‍රිඩා කටයුතු , නිර්මාණශීලි අංශ සදහා වැඩි වශයෙන් යොමු කළ හැක. සමහර අවස්ථාවල දරුවන්ට කුඩා කාලයේදී බලහත්කාරයෙන් දකුණු  අත හුරු කළත් පසු කලීනව දරුවා විසින්ම වම් අත හාවිත කරයි. එහෙයින් වම් අත හුරු දරුවන් කිසිසේත්ම දකුණු අත බලහත්කාරයෙන් හුරු කිරීම වගකීමක් සහිත දැනුවත් දෙමාපියන් වශයෙන් ඔබ නොකළ යුත්තකි.

ලංකා හොස්පිට්ල්ස්හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ මහත්මිය සමගින් සාකච්ජා කර සසිනි අරවින්දි විසින් සකසන ලද ලිපියකි.

 

සමබර ආහාරයක්..

සමබර ආහාර වේලක් පිලිබඳව දැන් කාලයේ කාටවත් වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය නැහැ. හැමදෙනෙක්ම පෝෂණීය ආහාරයක තිබෙන කාබොහයිඩ්ඩ්‍රේට, ප්‍රෝටින, මේද, විටමින් කැල්සියම්, ජලය යකඩ, ඛනිජ ලවන ආදිය ගැන දන්නවා. ඒත් අපේ දරුවන්ට අම්මලාගේ අපේක්ෂාව විදිහට සමබල ආහාරයක් ලබා දීම දැන් හරිම ගැටලුවක්. ගෙදර ගෝරනාඩු නැගෙන්නේ බත්පිගාන අතට ගත්තාමයි. ඒ නිසා අම්මලාත් දරුවන්ගෙන් කරච්චලයක් නැතුව ඉන්න ඕන හින්ද ක්ෂණික ආහාර හෝ ආපනශාලා ආහාර වෙනුවෙන් යොමු වෙනවා. ඒත් මේවායේ වන්දියත් ගෙවන්න වෙන්නේ අම්මාටයි..දරුවන්ටයි.. කිසිම පෝෂණයක් නැති මේද සහ පිෂ්ට, ලුණු විතරක් අඩංගු ආහාර නිසා දරුවන් තරබාරුවට පත් වෙනවා විතරක් නොවෙයි යාන්තම් තරුණ වියට එනවිටම කොලස්ටරෝල්, රුධිරගත සීනි වැනි බෝනොවෙන රෝග වලට ගොදුරක් වෙනවා. ඒ විතරක් නොවෙයි, නොකියාම බැරි වුනත් පිලිකාවකත් ගොදුරක් වෙන්න හොදටෝම අවස්ථාව තිබෙනවා.

ඒත් ඉතින් බීරි අලින්ට වයන වීනා වගෙයි..

මේ කොච්චර කිව්වත් තවමත් අපි ආහාර වෙනුවෙන් දක්වන උනන්දුව හොදටෝම මදි. අම්මලාගේ පැත්තෙන් කරුණු දෙකක් ඔවුන් නිදහසට ඉදිරිපත් කරනවා. “අපිට ඉතින් ඔය කියන කෑම හදන්න වෙලාවක් නැහැ… අනිත් එක තමයි අපේ දරුවෝ කන්නේ නැහැ..” ඉතින් මේ දෙකම සමබරව ගෙන ගියොත් නම් අපේ දරුවන්ගේ නීරෝගිතාවය ආරක්ෂා කරගන්න පුලුවනි.

ටිකක් උදෙන්ම නැගිටින්න…

උදේ ආහාරයට ළඟම තියෙන කඩෙන් බර්ගර් බන් එකක් එහෙම නැත්නම් හොට් ඩෝග් එකක් අරගෙන දරුවාගේ කෑම පෙට්ටියට දානවා වෙනුවට ඔබට නිවසේදී මොනවා හෝ ගුණයක් ඇති විදිහට ආහාරයක් සකස් කර දෙන්න පුලුවනි. අපිට වෙළදපොලෙන් මිළට ගන්නා බනිස් වෙනුවෙන් ගුණයක් ඇති විදිහට පිරවුම සකස් කරන්න පුලුවනි. මෑතකදී මහනුවර හෘද සහ පුනරුත්ථාපන ඒකකයේ පෝෂණ වෛද්‍යවරයෙකුගේ සඳහනත් මෙතැනට එකතු කලොත් ඒ වෛද්‍යවරයා කියා සිටියේ බිත්තර කහමදය සමග ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බවයි. ඒත් මෙහිදී බිත්තරයට එලවළු එකතු කරගත්තාම එහි තිබෙන කෙදිවලින් මේදය උරා ගන්නා නිසා ආහාරයට හානිකර නැති බවයි. තෙල් වෙනුවට නොන්ස්ටික් පෑන් එකක ආධාරයෙන් බිත්තරය සකස් කර ගත්තොත් තෙල් ගැනත් බියක් වෙන්න අවශ්‍ය නැහැ. මේ භාජනයෙන් බිත්තරය තෙල් නැතුව පිසගන්න පුලුවනි. මේ විදිහට බිත්තරයට කැරට් ටිකක් සිහින්ව දාලා ඔම්ලට් එකක් හදලා සලාද කොළ, තක්කාලි වගේ පිරවුමක් සමග දුන්නොත් දරුවාට කඩෙන් ආරගෙන දෙන අහිතකර ආහාරය වෙනුවට අම්මාගේ නිෂ්පාදනයක් ලබා දෙන්න පුලුවනි. කොළකැඳ උදේට හදන්න අපහසු නම් රාත්‍රියට කොළ සුද්ද කරලා හෝදලා තියන්නත් පුලුවන්. පිසින බත් වලින්ම කොටසක් අරගෙන දැන් ඉතින් බ්ලෙන්ඩර් තිබෙන නිසා වැඩ පහසුයි.

පුංචි සූත්තරත් අවශ්‍යයි…

දරුවන් සමහර දේවල‍් තරයේම ප්‍රතික්ෂේප කරන බව ඇත්ත.සමහර මැල්ලුම් වර්ග කටේ තියන්නේ නැහැ. ගුණදායක එළවලුවලටත් ගෝරනාඩු නැතුවා නොවෙයි. ඒ නිසා සුප් පිලියෙල කරන විට ගොටුකොල වගේ පලා වර්ග එකතු කරන්න පුලුවනි. බෝංචි , කැරට්, වගේම වට්ටක්කා වුනත් සුප් එකට එකතු කලොත් දරුවාට නොදැනම මේවා ආහාරයට එකතු වෙනවා.

යුෂවලට වඩා අමු පළතුරු ගුණයි…

පළතුරු යුෂ වෙනුවෙන් දරුවන් කැමැති වුනත් වඩාත් ගුණ ලැබෙන්නේ අමු පළතුරු ආහාරයට ගැනීමෙන් බව ඉහත දේශනයේදී කියැවුනා. යුෂ පිළියෙල කරන විට සීනි එකතු විම, පෙරන විට තන්තු අපතේ යෑම සිදු වෙනවා. මේ නිසා හැකිතරම් පළතුරු අමුවෙන් සලාද විදිහට දරුවන්ට ලබා දීම නිසා තන්තු සිරුරට ලැබෙනවා.

බත් වෙනුවට…

බත් වෙනුවට ඇට වර්ගත් දරුවන්ට ඉතාම ගුණයි. කව්පි, මුංඇට, කඩල, දැන් ප්‍රෙෂර් කුකර් නිසා තම්බා ගැනීම එතරම් අපහසු නැහැ. මුංඇට කිරිබත් විදිහටත්, මැල්ලුමක් හෝ ව්‍යංජනයක් විදිහටත් පිලියෙල කරන්න පුලුවනි. දෙමළ ජනතාව පිලියෙල කරන විදිහට කිරිබතටත් කඩල එකතු කරන්න පුලුවනි. සව් වැනි දරුවන් ප්‍රිය කරන ආහාරවටලත් කඩල එකතු කළොත් කන්නම බැහැයි යන ස්ථාවරයේ සිටින දරුවන්ට විකල්පයක්.

තෙල් සීමා කරන්න

තෙලෙන් කිරෙන් දරුවන්ට ආහාර දුන්නා ය කියල සතුටු වෙනවා වෙනුවට අපේ දරුවන්ට ගුණ විදිහට ආහාර දුන්නාය යන සතුට අම්මලාට තිබුනොත් ඔබ සාර්ථක චරිතයක්. ගැඹුරු තෙලන් බැදලා මිටිකිරි ගොරෝසුවට දානවා වෙනුවට නිතරම තෙල් සහ මිටිකිරි සීමා කරන්න. මැල්ලුමක් වැනි දෙයක් පිළියෙල කරන විට පොල් යොදා ගන්නේ ස්වල්පයක්. ඒ සමග සූදුරු, ගම්මිරිස්, සුලුළූණු පොල් සමග අඹරා ගත්තාම ආහාරයට ප්‍රිය ඇති වෙන සුවදක් ඇති වෙනවා. ගැඹුරු තෛලන් බදින දේ පේපර් සර්වියට් එකක් මත තබා තෙල් බේරා ගන්න.

ස්වභාවික කුලුබඩු

අපේ ඉවුම් පිහුම් රටාව අතීතයේ පටන්ම පැවැතුනේ අපේ නිරෝගී ජීවිතයට ගැලපෙන විදිහටයි. ඒත් අපේම ගෘහණියන්ගේ උදාසීනකමට ළූණු ගෙඩියක්, කරපිංචා කොළයක් වෙනුවට කෘතිම සුවඳ සහ රසකාරක වෙනුවෙන් යොමු වුනා. ඒත් ගොරක, සුදුළූෑනු, කුරුදු හදවත්රෝගවලට වගේම මේද උරාගැනීමේ හැකියාවෙන් යුක්තයි. උළුහාල් කොලස්රෝල්වලින් නිදහස් කරනවා. අපි ස්වබාවික කුලුබඩු වෙනුවෙන් යොමු වුනොත් බෝනොවෙන රෝගවලින් ආරක්ෂාව නොදැනීම ලැබෙනවා.

පිලිකාවෙන් වුනත් නිදහස් වෙන්න පුලුවන්

“අපේ ආහාර දිවට නොව ඇසට…” මේ ජපන් ජාතිකයින්ගේ ආහාර වෙනුවෙන් වූ ආදර්ශ පාඨයයි. ආහාරයේ තිබෙන වර්ණවත්බව අපේ ජීවිතයේ නීරෝගී පැවැත්මට හේතු වෙන බව අපි අමතක නොකල යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ පිලිකා සංගමයේ අධ්‍යක්ෂ ලොරෙලෙයි ඩි සොග්රා සඳහන් කරන්නේ අපේ ආහාරයට රතු, කහ,කොළ, නිල්දම් වර්ණයන් එකතු කළ යුතු බවයි. සුදු පැහැය වෙනුවෙන් රටළූනු සහ සුදුළෑණු එකතු කිරීමත් වැදගත් බව ඔහු සඳහන් කරනවා. ආහාරවල අන්තර්ගත වර්ණයන්ගෙන් හෘදරෝග, පිලිකා, ආඝාත, දියවැඩියාව, අධිරුධිරපීඩනය වලක්වනවා. තක්කාලිවල ඇති රතු පැහැය මගින් ලැබෙන “ලයිකොපින්” පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙන තරම් බලගතුයි.

අලුත් වෙන්න..

ආහාර පිසින කලාවෙත් ගුනාත්මකබව ඉස්මතු විය හැකි විදිහට අපිත් නිර්මාණශීලී වුනොත් මේ ගැටලු මගහැරෙනවා. මොළකාර ජපනුන් මේ වෙනුවෙන් කළුබර්ගර් විශේෂයක් දැන් හඳුනාගෙන තිබෙනවා. කලුපැහැයෙන් යුක්ත මේ බර්ගර් සිරුරට අහිතකර නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් බනිස් කලු කිරීමට උණඅගුරු (bamboo charcoal) සහ චීස් වෙනුවෙන් දැල්ලන්ගේ (දැලි) කළු පැහැය යොදා ගන්නවා. බනිස් පිරවුමට සලාද, ගෝවා, ළූෑණු සහ තක්කාලි ස්වභාවික වර්ණයෙන්ම තිබෙනවා. කළු පැහැයෙන් වුනත් මේවායේ මිළ අඩුවක් නැහැ. කූරෝ පර්ල් බර්ගර් එකක් යෙන් 480 කුත් කූරෝ ඩයමන්ඩ් බර්ගර් එකක් පවුම් හතරකුත් මිළ වෙනවා.

black burgerkuro2kuro3

 

 

 

ඔන්න ඔය විදිහට හැමදාම එකම රටාවට නැතුව පුංචි වෙනස්කම් වෙනුවෙන් යොමු වීමත් ඒ යොමුවීම තුළ ගුණාත්මක බවට වැඩි තැනක් දෙන්නත් අමතක කරන්න එපා.

ඔබේ දරුවාගේ හැසිරීමත් මේ විදිහද…?

එක අම්මා තාත්තාගේ වුනත් දරුවන්ගේ ගති ලක්ෂණ එකිනෙකාට වෙනස්. ඒ විදිහට එක් එක් දරුවා වෙනුවෙන් ආවේණික එහෙම නැත්නම් ඔවුන්ටම සීමා වුන ගති ලක්ෂණ විවිධයි. සමහර විට අපි මේ ගැන එතරම් නොසලකා සිටියත් දරුවන් අතර පහත දැක්වෙන ගති පැවැතුම් ඔබටත් ඉතාම සමීප ඇති. සමහර විට ඔබේ නිවසේත් මේ වගේ ගති පැවැතුම් ඇති දරුවන් සිටින්න පුලුවනි. මනෝවිද්‍යාඥයින් විසින් දරුවන්ගේ මේ ගති පැවැතුම් ඔවුන්ගේ පෞරෂය විදිහට හදුන්වා දී තිබෙනවා. පෞරෂයක් නොමැති දරුවන් වෙතින් මේ විදිහේ සුලු සුලු ආබාධ තත්වයන් පෙනේවි.

යැපෙනසුළු දරුවා

මේ දරුවාට තමන්ගේ හැකියාවෙන් වැඩ කටයුතු කිරීම අපහසුයි. තමා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසාම තවත් කෙනෙක් විහේෂයෙන් දෙමව්පියන් මත යැපෙන ගති පැවැතුම් දකින්න පුලුවනි.

සමාජයට සම්බන්ධ නොවීම

අපි හිතන්නේ පුංචි නිසා කුලෑටියි කියල වුනත් සමාජයට සම්බන්ධ වීමට අකමැති නම් එය දරුවාගේ පෞරෂයේ දුර්වලතාවයක්. මේ දරුවන්ට තමා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසාම සමාජයට සම්බන්ධ වීමට බයක් දක්වනවා.

මායාකාරී පෞරෂය

සමහර දරුවන්ට තමා ඇසුරේ සිටින අයගේ අවදානය අනවශ්‍ය විදිහට බලාපොරොත්තු වෙනවා. මේ වගේ දරුවන් දැඩි ආත්මාර්ථකාමියි. මායාකාරී පෞරෂය විදිහට මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙන මේ තත්වය දුර්වල පෞරෂ ලක්ෂණයක්.

පී‍ඩෝන්මාද පෞරෂය

මේ දරුවන් අනුන් ගැන හිතනනේ නැහැ. හැම දෙයම ඔවුන්ට සැකයි. ඒ වගේම කිසිම දෙයකින් සෑහීමක් ඇති නොව තරම් හිතුවක්කාරී ගති පැවැතුම් වලින් යුක්තයි.

භින්නාවේගික පෞරෂය

අනවශ්‍ය විදිහට ලැජ්ජාශීලී දරුවන් ජීවත්වෙන්නේ ඔවුන්ගේම මනෝ ලෝකයකයි.

ග්‍රස්ථික පෞරෂය

මේ වර්ගයේ පෞරෂය දුර්වලතාවයන් ඇති දරුවන්ට ස්ථිර ගති පැවැතුම් නැහැ. ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. හරිම සංවේදියි. ඔවුන් තීරණ ගැනීමේ දුර්වල චරිත විදිහට පෙන්නුම් කරන්න පුලුවනි.

සමාජ විරෝධී පෞරෂය

සමහර දරුවන් ඉතාම ආවේගශීලියි. පංතියේ පාසලේ වුනත් හිරිහැරකාරී විදිහට හැසිරෙන විනය ගැන නොසලකා කටයුතු කරන තත්වයක පසු වෙන  මේ දරුවන් සමාජයට හිරිහැරකාරී විදිහට හැසිරෙනවා.

බියසුළුයි

සමහර දරුවන් වයසට වඩා බියසුලුබවක් දක්වනවා. රාත්‍රියේ කාමරයේ තනියම ඉන්න… මකුලුවන් කැරපොත්තන් වැනි සතුන්ට අනවශ්‍ය විදිහට බියක් දැක්වීම මේ දරුවන්ගේ ස්වභාවයයි. මේ තත්වය දෙමව්පියන්ටත් හිරිහැරකාරී විදිහට බලපානවා.

කාංසාව

දරුවෙකුට නොගැලපෙන විදිහේ දුක සමග වූ බියකින් පසු වීම කාංසාවෙන් පෙලෙන දරුවන්ගේ ලක්ෂණයක්. මේ අය නිතරම හිසරදය කියමින් පැමිනිලි කරන අතර ඔවුන් තුළ කිසිම සතුටක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.

දුක

දුර්වල පෞරෂයක් ඇති මේ දරුවන් නිතර පසු වෙන්නේ හිතේ දුකක් ඇතුවයි. ඒ වෙනුවෙන් සාධාරණ හේතුවකුත් නැහැ. විවිධ රෝග තත්වයන් ගැන පැමිනිලි කරනවා. මව්පියන් සමග වුනත් සතුටින් සිටින බවක් නැහැ.

බයාදුයි

සමහර දරුවන් වයසට නොගැලපෙන විදිහට බයාදු ගති ලක්ෂණ පෙන්වනවා. තමන්ගේ වයසේ දරුවන් සමගවත් එක් වීමක් නැහැ.

කලබලයි

සමහර දරුවන්ගේ තිබෙන කලබලකාරී ගගති පැවැතුම් අපි දගකාර ලැයිස්තුවට එකතු කළත් එය ඔවුන්ගේ දුර්වලතාවයක්.

දඟකාරයි

දගතාරකම දරුවන්ට සාධාරණ බව ඇත්ත. ඒත් අනවශ්‍ය විදිහට දගකාරයි නම් එය නිවසට, පංතියට, පාසලට හිරිහැරකාරී නම් දරුවා ගන සැලකිලිමත් වෙන්න.

මට ඉස්කෝලේ යන්න බැහැ

පාසල කියන්නේ දරුවන්ගේ ලෝකයේ ඉතාම සුන්දර තැනක්. ඒත් දරුවෙක් පාසල් යන්න බැහැය යන මතයේ පිහිටා දැඩි විදිහට විරෝධතාවයක් දක්වනවා නම් කුමන හෝ මානසික ගැටුමක් තිබෙනවා.

දරුවෙක් හැරෙන කොට ඔහුගේ හැසිරීම සාමාන්‍යද එහෙම නැත්නම් දරුවාට නොගැ‍ලපෙන හැසිරීමක්ද යන්න දෙමව්පියන් විදිහට තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විදිහට අසාමාන්‍ය හැසිරීමක් තිබෙනවා නම් දරුවා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම වැදගත්. එහෙම නැතුව දිගින් දිගටම මේ මානසික තත්වයන් සමග ඉදිරියට යෑම නිසා දරුවාගේ පෞරෂය ඉතාම දුර්වල මට්ටමකට පත් වෙනවා. බොහෝ දෙමව්පියන් දරුවන්ගේ මානසික දුබලතාවයන් “පුංචි කාලේ හැටි…ලොකු වුනාම ඇරෙයි…” යන සිතුවිල්ලෙන් සිත නිදහස් කර ගත්තත් මේ මානසිකත්වයෙන් ඉදිරියට යන දරුවාගේ පෞරෂය ගැටළුවලට කිසිම විසදුමක් නොලැබෙන්න පුලුවනි. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන අනාගතය වෙනුවෙන් පෞරෂය ගොඩ නැගීම ඉතාම වැදගත් බැව් අමතක කරන්නඑපා.

Mom Junction වෙබ් අඩවියෙන්

 

අධික තාපයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

ඔන්න දැන්නම් ටික ටික වහින්න පටන් අරගෙන, ඒත් පහුගිය ටිකේ තිබුණු රස්නෙත් එක්ක දවල් දවස විතරක් නෙවෙයි රෑටත් අපහසුවකින් තොරව ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ. වැඩිහිටියෝ වුණු අපිටත් දරාගන්න අපහසු උණු මේ රස්නේ පුංචි දරුවන්ට කොයි විදියටවත් දරා ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. වැස්ස පටන් ගත්තට කමක් නෑ, රස්නේ කාලෙට අපි කොහොමද මුහුණ දෙන්න ඕනේ කියලා දැනගන්නත් එක්ක මේ ලිපිය කියවමු නේද?අපට දැනෙන උණුසුම වැඩි වෙන්න හේතු කිහිපයක්ම  බලපානවා. කය වෙහෙසවන කාර්යයන්වල නිරත වෙද්දී උදාහරණයක් විදියට කිව්වොත් පුංචි දරුවෝ දුවලා පැනලා සෙල්ලම් කරද්දී මාංශ පේෂී ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිරුර තුළ තාපය නිපදවීම සිදු වෙනවා. එවිට අපේ සිරුරෙන් දහදිය පිට වීම සිදු වුනත් පරිසරය තුළ පවතින අධික ජලවාෂ්ප ප්‍රමාණය හේතුවෙන් දහදිය පිට වීම අඩු වන නිසා අප සිරුර තුළ පවතින තාප ප්‍රමාණය ඉහළ ය හැකියි. හරියටම කිව්වොත් අප අවට වටපිටාවේ උණුසුම වැඩි නම් තාපය පිට කිරීමේ වේගය අඩුවීමයි.

සූර්යයා සමකයට ආසන්නව ගමන් කරන නිසා අප්‍රේල් අගෝස්තු වගේ කාල සිමාවේ සාමාන්‍යයෙන් අපිට දැනෙන රස්නය වැඩියි. ඉතිං මේ අධික රස්නය Heat Stroke ඇති කරන්න උනත් සමත් වෙන තත්වයක් විදියට හිතන එකේ වරදක් නැහැ. මොකද ඉහත විස්තර කළ ආකාරයට සිරුර තුළ තාපය නිපද වෙන අතරම එසේ නිපද වෙන තාපය රුධිරයට අවශෝෂණය වීම හේතුවෙන් අපේ සිරුර තුළ ගමන් කරන රුධිරය උණුසුම් නිසා එය හානි කර තත්ත්වයක් බවට පත් විය හැකියි.

අධික උණුසුම හේතුවෙන් පණ නැගිය හැකි හානිදායක තත්වයන් වලක්වා ගැනීම උදෙසා ඔබ මේ කරුණු පිළිබඳව දැනුවත් වෙන්න. සාමාන්‍යයෙන් මිනිස් සිරුර ස්වභාවයෙන්ම සැකසී ඇත්තේ බොහොමයක් රෝගයන් පිළිබඳව කල්තියාම හඳුනා ගත හැකි පරිද්දෙන්. උදාහරණයක් ලෙස සිරුරේ පණ නගින රෝග තත්ත්වයක් පිළිබඳව ඉඟියක් ලබා දීමක් ලෙස උණ ඇති වීම සිදුවේ. එය ස්වභාවයෙන්ම සත්වයන් ලද ආරක්ෂකයකි. ඒ ආකාරයෙන්ම අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගිය පසු ඒ බව හැඟවීමට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් වන්නේ මස්පිඬු පෙරලීමයි. එසේම මස්පිඬු පෙරලීම රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අවම වීම, සිරුරේ ලවණ ඌණතා, රුධිරයේ වෙනත් තත්වයන් හේතුවෙන් වුවද පෙන්නුම් කරනු ලබන රෝග ලක්ෂණයකි. ඇතැම් අවස්තාවලදී එක් එක් පුද්ගලයන්ගේ සිරුරේ ස්වභාවය අනුව මස්පිඬු පෙරලීම සිදු නොවී Heat Exhaustion හෙවත් අධික ලෙස තාපය පිට කිරීමේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. එය අවදානම් තත්ත්වයකි.

කෙසේ වුවද අධික තාපය හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති කළ හැකි නිසා අධික ලෙස දහදිය දැමීම, පිපාසය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ දෙවනුව පෙන්නුම් කළ හැකිය. මේ තත්ත්වය වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු තත්ත්වයක් ලෙස අප හඳුන්වන්නේ මේ හේතුවෙන් රෝගියා ජිවිත අවදානමකට පවා ලක්විය හැකි නිසයි. මන්ද මෙසේ සිරුරේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යන විට දහදිය නිපදවීමේ ක්‍රියාවලිය අණ හිටින නිසා සිරුර අභ්‍යන්තරයේ වූ තාපය පිට කිරීම නතර වේ. මේ ආකාරයට සිරුර තුළ උණුසුමත් පිටත උණුසුමත් අතර වෙනස අවම විය හැකි නිසා මරණය දක්වාම තත්ත්වය දරුණු විය හැකිය.

අධික තාපයට නිරාවරණය වීම හේතුවෙන් ඇති විය හැකි අවධානම් තත්ත්වයන් වළක්වා ගැනීමට උණුසුම් කාලයේදී ඔබ සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා, ඔබේ දරුවන් යොමුවන ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙමින් අවශ්‍ය පෝෂණය පිළිබඳව සැලකිලිමත් වනවා සේම ප්‍රමාණවත් අයුරින් දියර වර්ග ලබාදීමට සැලකිලිමත් වෙන්න. උණුසුම් දිනයන්හිදී ක්‍රියාශීලී කටයුතුවල යෙදෙනවා නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු අතරම ධාවකයන්, පාපැදි තරග සඳහා සහභාගී වෙන්නන් සිටි නම් ඔවුන්ට වතුර ගැසීම මගින් මෙවැනි තත්වයන් වලක්වා ගත හැකිය. එසේම සෙවණ ඇති ස්ථානවල ගැවසීම හා හැකි තරම් දියර වර්ග පානය මේ තත්ත්වය මගහැරීමට සහාය වනු ඇත.

තවද ඔබ මතකයේ රඳවා ගත යුතු කරුණක් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම දරුණු තත්ත්වය දක්වා වර්ධනය වීමට පෙර එය වළක්වා ගත හැකි නම් එය අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වීම වලක්වා ගැනීමට වැදගත් වේ. මේ සඳහා ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්නට සැලකිලිමත් වෙන්න.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද් එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න”

හොඳම දේ දරුවන්ට….. දරුවන් මුල් කර ගෙන විශ්ව ව්‍යාප්ත සංකල්පය එයයි. මෙය දරුවා මුල් කර ගත් සැබෑම තත්වයයි. ඊට හේතුව අද කිරි සුවද විහිදුවමින් ලපටි මුදු මෙලෙක් සිතුවිලිවලින් යුක්ත වුනත් හෙට දිනයේ ලෝකයේ නායකයා වන්නේ මේ කුඩා දරුවාය. දරුවා සැමදාම නොදරුවා නොවන්නේය. කාලය සමග ඔවුන්ද වියපත් වෙනු ඇත. ඒත් එදිනට සමාජය තුළ දෙපයින් සිට ගැනීමේ ශක්තිය ඔවුන්ට ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. මේ වෙනුවෙන් අපේ වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වය දරුවාට අනිවාර්යෙන්ම ලැබිය යුතුය.

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න” 

 

මේ 2018 වසරේ ලෝක ළමා දිනයේ තේමාවයි. වැඩිහිටියන් විදිහට අපි ලෝක ළමා දිනය සමරන්නේ මේ තේමාවන් මත ගලපා නොවේ. එය එක් රැයකින් පහන් කර ගත හැකි සිහිනයක්ද නොවේ. දරුවා දෙපයින් සිට ගන්නා දිනයට ඔහු කොන්ද කෙලින් තිබෙන සෘජු පුද්ගලයෙක් බවට පත් කිරීමට නම් දෙමව්පියන් විදිහට ඔබේ අවධානය අද දවසේ දරුවා වෙත ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි.

මේක ජීවත් වෙන්න හොඳ රටක්යැ…

අද දෙමව්පියන්ගේ තේමා පාඨය වී ඇත්තේ මෙයයි. ඒත් ඔවුන් උපන්නේද, අධ්‍යාපනය ලැබුවේද, රැකියාවන් ලබා ආර්ථිකයෙන් සවි ශක්තිය ලැබුවේද අපේ ශ්‍රි ලංකාවේය. ඔවුන්ගේ දරුවන්ට පමණක් නොව පරම්පරා හතකටම ජන්මය ලබා දුන්නේ මේ ලංකාවයි. අනාගතයේදී ලෝකය විවෘත වූ දිනක දරුවා වෙනත් රටවල් වෙත ආකර්ශනය ලැබීම හෝ අධ්‍යාපනය ලැබීමට තීරණය කිරීම වෙනත් සිද්ධියක්. ඒත් බාලකාලයේ පටන්ම දරුවාට අපේ රට ජීවත්වීමට ගැලපෙන දේශයක් නොවේය යන සිතුවිල්ලෙන් විනාශ නොකරන්න. අපි දරුවන්ට ලබා දිය යුත්තේ ඉදිරියට දිරියයි. ඒ නිසා මෙවන් පසුගාමී අදහස් වලින් ඔවුන්ගේ දිරිය අවප්‍රමාණ නොකරන්න.

ආරක්ෂාව

දරුවන්ට දිරියෙන් යුක්තව පෙරට ගොස් අනාගතය ජයගැනීමට නම් ඔවුන් වෙනුවෙන් ආරක්ෂාව ලබා දීම දෙමව්පියන්ගේ යුතුකමකි. අද නිරන්තරව ඇසෙන ඉතාම අවාසනාවන්ත තත්වය වී තිබෙන්නේ ළමා අපචාරයන්ය. යුනෙස්කෝ වාර්තාවන්ට අනුව අපේ රටේ ගැහැනු සහ පිරිමි දරුවන්ගෙන් සමන්විත ළමා ගනිකාවන්ගේ සංඛ්‍යාව 40,000 කි. මේ වාර්තාගත සංඛ්‍යාවන් පමණි. වාර්තාගත නොවුන සංඛ්‍යාවන් බොහෝ සේ තිබිය හැක. පිරිමි දරුවන් විදේශිකයන් වෙනුවෙන් පවා ලිංගික ශ්‍රමය සපයන තරම් තත්වය ශෝචණීය වේ.

ඒත් දරුවන් මෙම තත්වයට පත් වෙන්නේ මව්පිය දූ දරු සම්බන්ධතාවයන් ගිලිහී ගිය තැනදී බව අපි වැඩිමනත් සේ ඉස්මතු නොකරන්නෙමු. එක්තරා බාලිකා පාසලක සාමාන්‍ය පෙල පංතියේ බාලිකාවන් දහ දෙනෙක් ලැගුම්හලකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ දියණිවරුන් තම පොත් සමග රාත්‍රි ඇදුම් රැගෙන යන තෙක් දෙමව්පියන් ඒ ගැන විමසා නැත. “ගොනා එන්නේ පොල් පැලයටද… එසේ නැත්නම් තැඹිලි පැලයටද…” යන්න මව්පියන්ට අවබෝධ කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම තිබීම වැදගත් වේ.

ගාලු පුරවරය 1977 වැනි කාලයක පටන් විදේශීකයන්ට විවෘත කලාපයකි. එම කාලයේ හදිසියේම එක් පිරිමි දරුවෙක් දේශීය පුද්ගලයෙක් විසින් ඉතා මිත්‍රශීලීව කතාබහට සමීප කර ගන්නා විටම දරුවාගේ සිහියට නැගුනේ වැඩිහිටියන්ගේ අවවාදයයි. කිසිම නාදුනන කෙනෙක් සමග වැඩි පයුරු පායාසම් අවශ්‍ය නැත යන අවවාදය නිසා මේ පිරිමි දරුවා කෙසේ හෝ එතැනින් ගැලවී බයිසිකලය වේගයෙන් පැදගෙන තමාගේ නිවසට පැමිණියේය. ඒ වටපිටාව ඔහු දන්නා නිසා සහ වැඩිහිටියන් විසින් පරිසරය ගැන කියා දී තිබුන නිසාය. ඒත් අද දරුවන් ලෝකයට විවෘත වුනත් ඔවුන් දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මේ නිසා ඔවුන් විවිධ අපචාරයන්ට යොමු වුන විට සංඛ්‍යාලේඛන එක් කිරීමට පමණක් අපි යොමුව සිටී. තවත් පැත්තකින් මෙවන් අපචාරයන්ට යොමු වුන තැන පටන් දරුවාගේ මානසිකත්වයට ඇති වෙන බලපෑම නිසා ඔහුගේ දිරිය මුලුමනින්ම බිඳවැටෙන නිසා පිටස්තරව ලබා දෙන සවියෙන් ජීවිතය ජයගැනීම හුදු මායාවක් පමණක් බවට පත් වෙනු ඇත.

ආදරය දක්වන්න

බොහෝ දෙමව්පියන්ගේ සංකල්පයක් ව තිබෙන්නේ දරුවන්ට ආදරය නැවත නැවත ප්‍රදර්ශනයෙන් පෙන්විය යුතු දෙයක් නොව එය ආත්මීය බන්ධනයක් නිසා ඒ ගැන නැවත කතාබහක් අවශ්‍ය නැති බවයි. ඒත් දරුවෙකුට දැනෙන්න ආදරය නොකරන විට ඔවුන්ගේ හිතේ තමා සුරක්ෂිතය යන හැගීම ඇති නොවන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන්ගේ පෙන්වා දීමට අනුව අපි දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කළ යුතුය.

පරිසරයට සම්බන්ධ කරන්න

ගහ කොළ සතා සිවුපාවන් සමග ජීවත්වුන පරම්පාරවක් නිසා ගෙවුන සියවස් ගණනාවක් පුරාම කිසිදු විනාශයක් නොමැතිව අපි ජීවිතය ගෙව්වත් පසුගිය කාලයක පටන් අපට එය අමතකව ඇත. එහෙත් පරිසරය මොන තරම් මහඟු මෙහෙවරක් කරන්නේද යන්නට හොඳම සාක්ෂි කීපයක් මේ. ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගුණපාල මළලසේකර මහතා වරක් ප්‍රකාශ කළේ ” මට මේ හැකියාව ලැබුනේ පුංචි කාලයේ පටන් මම හැමදාම උදෙන්ම මුහුදු වෙරළට ගිහින් රැළ නගින බහින දිහා බලා සිටියා.. මම දිනපතාව ඉංග්‍රිසි වචන පහ බැගින් ඉගෙන ගත්තා. පසුකාලයේ මේ ශබ්දකෝෂය ලියන්න තරම් මගේ වාග්කෝෂය පුළුල් වුනේ ඒ නිසම වෙන්න ඇති.. පරිසරයට සම්බන්ද වීමෙන් දරුවෙක් ලබන දිරිය සහ අනාගතයට පිවිසුම වෙනුවෙන් ලබන සවිය ගැනන තවත් විස්තර අවශ්‍ය නැත.”

වෙනත් සංස්කෘතින් සමග ජීවත් වෙන්න ශක්තිය

“රෝමයට ගියාම රෝමයේ විදිහට ජීවත් වෙන්න ඕන..” මේ කියමන ඔබටත් හුරු පුරුදු ඇති. මේ පරිසරයට අපි අනුගත නොවුන නිසා පසුගිය කාලයක ලත් අමිහිරි අත්දැකීම් මතක ඇති නිසාවෙන්ම දරුවන්ට විවිධ සංස්කෘතින් සමග ජීවත්වීමට අවශ්‍ය සවිය ලබා දීම ඉතාම වැදගත්. එවිට වෙනස් සංස්කෘතින් ඉදිරියේදී ඇති වෙන නයි පොළොං වෛරය වෙනුවට හැම දෙනා සමග සහජීවනයෙන් ජීවත්වීමේ ශක්තිය දරුවා විසින්ම උපයා ගනු ඇත.

ප්‍රංශසාව

දරුවා ප්‍රශංසාවට බෙහවින් ලැදිය. ඔවුන්ගේ ආත්මාභමානය වගා වෙන්නේ එවිටය. සමහර විට ඔහුගේ චිත්‍රය කුරුටු බලියක් විය හැක. ගීතයක ගායනීය ස්වරයක් නොමැති විය හැකියි. ඒත් ඒවා අගයන්න. දරුවාගේ ආත්මාභිමානය ගොඩ නැගනේනේ එවිටය.

දරුවන්ගේ භාෂා සංවර්ධනය ගැන හිතන අම්මලාට

පුංචි පැටියා බහ තෝරනකම් අම්මලාට ඉතින් පුංචි බියක් හිතේ තියෙනවා. මේ නිසා ඉස්සර කාලයේ දරුවාගේ උපන් කොන්ඩය වුනත්හරියට වචන උච්චාරනයෙන් කතා කරන තෙක් කපන්නේ නැහැ. ළමා මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට දරුවෙක් මාස දෙකක කාලයේ පටන් තමන්ට ඇහෙන වචනවලට කන්දී ගෙන ඉන්නවා. ඒ වුනත් ඇහෙන දෙයට ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙන්නේ මාස තුනක් පමණ ගෙවුනාමයි. දරුවාට ආමන්ත්‍රණය කරන විට අත පය ගසමින් සතුට ප්‍රකාශ කරන අන්දම ගැන අපේ අම්මලාට හොඳින්ම අත්දැකීම් ඇති. ඒ වගේ සතුටක් අම්මලාට තවත් නැහැ. ඔය විදිහට තොටිල්ලේ ඉන්න පැටියා මාස නවයක් පමණ වෙද්දී ලා…කා…ආ.. වැනි වචනවල ශබ්ද නගනවා. සමහර දරුවන් නම් මාස දහයක් විතර වෙද්දී තා..ත්තා…එහෙම  නැත්නම් අ…ම්…මා…යන උච්චාරනයන්ටත් හුරු වෙනවා.

මේ කාලයේදී අම්මලා දරුවන් සමග ඔවුන්ගේ කතාවට උදව් වෙන්න ඕන. සමහර අවස්ථාවලදී දරුවාට තමන්ගේ වචනවලින් කියන දේ අම්මාට හෝ තාත්තාට නොතේරෙන විට පුදුම විදිහට කේන්ති යනවා. ඒ නිසා දරුවාගේ ශබ්දකෝෂයටත් අපි හුරු වෙන්න ඕන. අවුරුදු එකහමාරක පමණ වෙන විට දරුවාට වාක්‍ය කොටස් කියන්න පුලුවන්. ඒ අතරින් ඔවුන්ට ආවේනික වචනත් තියෙනවා. බත් වෙනුවට බයියං… බල්ලා වෙනුවට බව්වා… විදිහට ආමන්ත්‍රණය කරනවා. සමහර ආමන්ත්‍රණ අම්මාටත් ‍නොතේරෙන තරම් අපභ්‍රංහ වෙන්නත් පුලුවන්. ඒත් අපි දරුවා තේරුම් ගන්නවා වගේම මේ වචනත් තේරුම් ගන්න ඕන.

දරුවාගේ මොලයේ සංවර්ධනය සමගම භාෂාමය හැකියාවත් වැඩිදියුණු වෙනවා. මේ නිසා භාෂාව වැඩිදියුනු වෙන විදිහට දරුවාගේ පරිසරය සකස් කර දීම ඉතාම වැදගත්. පුංචි රූප පොත්වලින් ලස්සන පින්තූර පෙන්න අතර විවිධ සත්ව, මල්, වැනි දේ හඳුන්වා දෙන්න පුලුවන්. එහෙම නැති වුනොත් දරුවාගේ භාෂාමය හැකියාව දියුණු වෙන්නේ නැහැ.සෙල්ලම් කරද්දී ඔවුන්ගේ සංවාද බොහොමයි. බෝනික්කෙක්, එමෙ නැත්නම් පුංචි සෙල්ලම් සතෙක් සමග දරුවා සෙල්ලම් කරන්නේ හරියට සජීවි කෙනෙක් සමග වගෙයි. ඒ නිසා ලොකු සංවාද දෙදෙනා අතර ගණුදෙනු වෙනවා. ඔබ ටිකක් මේ සංවාදවලට ඇහුම්කන් දී ගෙන හිටියා නම් ඔවුන්ගේ සංවාද මොන තරම් සුන්දර කියලා තේරේවි.

අවුරුදු තුනක් පමණ වෙද්දී දරුවන් රිද්මානුකූල කතාවන්ට කැමැත්තක් දක්වනවා. ඒ නිසා ගී, කවි, ගායනාවන්ටත් ප්‍රිය කරනවා. ඔවුන්ට රිද්මානුකූලව ගායනා හැකියාවන් ප්‍රබුද්ධ කිරීමට මේ කාලය ඉතා හොදින් ගැලපෙනවා. ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කියා දුන්න පුංචි කවි කීපයක් මේ…

පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
මගේ පොඩි බෝලේ
අරන් පෙරල පෙරලා හිටියේ මුදුලේ…
චුට්ටං බට්ටිච්චා
දං ගෙඩියක් දැක්කා
පුංචි හොටෙන් ඇන්නා
ඩිංග ඩිංග කෑවා
බණ්ඩි ගෙඩිය ආවා
අම්මා ළගට දිව්වා…

 

මෙවැනි සුන්දර කවි ඇසීමට දරුවන් ඉතාම ප්‍රියයි.

සමහර කවි සමග ක්‍රියාකාරකම්ද සම්බන්ධව තිබෙනවා. එවැනි කවි ගීත නිසා දරුවාගේ නර්තන හැකියාවත් ඇති වෙනවා. රිද්මයකට සිරුර චලනය කරන්න පුරුදු පුහුණු වෙනවා වගේම මානසිකවත් සතුටක් ලබා ගැනීම නිසා ඇති වෙන සතුට අනාගතයේදී දරුවාගේ පෞරෂ වර්ධනයටත් හේතු වෙනවා.

ඉස්සර කාලයේ නම් මේ සේරම දේ අම්මා, අත්තම්මා සහ සීයාගෙන් ඉෂ්ට වුනත් අද පවුල විසිරිලා නිසා මේ සම්පත් ඇත්තේ නැහැ. ඒ නිසා හැම දෙයම ළදරු පාසලෙන් එහෙම නැත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉෂ්ට කර ගැනීමට සිදු වෙලා. ඒ වුනත් තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම දරුවා සමග කතා කිරීම වැදගත්. ඔවුන් පරිසරයට සම්බන්ධ කරමින් කතා බහ කරන්න. බිලිදු දරුවන් පරිසරයට ඉතාම ලැදියි. ඉස්සර කාලයේ දරුවන් පරිසරයේ ගහ කොළ දකිද්දී මලපහ පවා කොළ පැහැයෙන් යුක්ත වෙන බවට අතීතයේ වැඩිහිටියන් අතර විශ්වාසයක් තිබුණා. ඒ තරමටම දරුවා පරිසරයට ආමන්ත්‍රනය කරන්න කැමැතියි.

දරුවාගේ භාෂාමය සංවර්ධනය ඉතාම හොදින් ගොඩ නැගෙන්නේ මව් භාෂාව මුල් කර ගෙනයි.දෙවැනි භාෂාවක් ඉගෙනීමට නම් ටිකක් ඉවසා සිටීම අවශ්‍යයි. ඉංග්‍රිසි භාෂාව දරුවන් උගත යුතු බව ඇත්ත. ඒත් මේ ගැන එතරම් කලබයක් ඇති කර ගන්න එපා. පරිසරයේ දරුවා දකින බල්ලා පූසා වෙනුවෙන් ඩෝග්, කැට් වැනි වචන කියාදීම නරක නැහැ. good morning උදේට කියන්න. රාත්‍රියට good night වැනි ආහිර්වාද වෙනුවෙන් දැනුවත් කිරීම වරදක් නැහැ. එහෙම නැතුව අනවශ්‍ය විදිහට ඉංග්‍රිසියට හුරු කිරීමට වීර්ය ගන්න එපා. ඔබ මේ වචන කියන විට දරුවා ඒ අනුකරණය අනුව ඉගෙන ගැනීමට උත්සාහ දරාවි. එතෙක් ඉවසා සිටින්න.මුලින් නිදහසේ තමන්ගේ මව් භාෂාව හුරු වීමට නිදහස දෙන්න.

දරුවන්ට තනියම කන්න දෙන එකේ වාසි ගැන දන්නවද?

ඉස්සරකාලයේ නම් දරුවන්ට අද වගේ බත් කවන්න අම්මලා පොර ඇල්ලුවේ නැහැ. ඊට එක් හේතුවක් වුනේ පවුලක දරුවන් කීප දෙනෙක් ඉන්න කොට බත්ටික පිඟන්වලට බෙදල දුන්නාම පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ආහාර ගත්තා. මේ වගේ අවස්ථාවන් මුල් කර ගෙන දරුවන් ආහාර ගනිද්දී ඇති වෙන විවිධ දුර්වලතාවයන් ගැනත් දැන හඳුනා ගත්තා. ඒත් අද දරුවන් තනියම තමන්ගේ ආහාර ගැනීම බොහෝ දුරට අඩුයි. ඒ වගේම පාසල් යන වයසේදී වුනත් ඔවුන් හැන්දට හුරුව සිටිනවා. අත සෝදන්න තිබෙන අපහසුතාවයන් නිසා හැන්දක් පාවිච්චි කිරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම උත්සව අවස්ථාවන්හිදී හැදි ගෑරුප්පු  භාවිතයට අපි පුරුදු වෙලා සිටිනවා. රෝමයට ගියාම රෝමයේ විදිහට ජීවත් වෙන්න ඒන කියනවා වගේ එහි දොසක් කියන්නත් බැහැ. ඒත් අතින් කන විට තිබෙන වාසි කීපයකුත් හදුනා ගත්තොත් වැරැද්දක් නැහැ.

ජීරණය පහසුයි

“The Tribune” සඟරාවේ ලිපියක දක්වා ඇති පරිදි ආහාර අනාගෙන කන විට අපිට දිරවීමේ පහසුතාවයක් ඇති වෙනවා. ඊට හේතුව වෙන්නේ ඇගිලි තුඩුවල ඇති ස්නායු නිසා ආහාරය අනන විටත් ඇගිලිවලට ස්පර්ශ වෙලා ඇති වෙන උත්තේජනය නොදැනීම මොළයට ගමන් කරනවා. එවිට ආහාර ජීරණයට අවශ්‍ය එන්සයිම නිදහස් වෙන නිසා ජීරණ ක්‍රියාවලයට පහසුවක් ඇති වෙන බවත් අමතක කරන්න එපා. හැන්ද ගෑරුප්පුව සමග ආහාර අනන විට ඇති වෙනවාට වඩා ඒවායේ සංවේදනයන්ට අපි නොදැනීම යොමු වෙනවා.

ආහාර ඇනීමත් ව්‍යායාමයක්

ආහාර අනන විට අතේ ඇති වෙන ක්‍රියාකාරිත්වය නිසා රුධිර සංසරනය යහපත් පරිදි සිදු වෙනවා.

ස්වභාවික බැක්ටීරියාවන්

තවත් අදහසකට අනුව ඇගිලිතුඩුවල තිබෙන ස්වභාවික බැක්ටීරියාවන් නිසාත් වාසියක් ඇති වෙනවා. අතින් ආහාර අනන විට මේ ස්වභාවික බැක්ටීරියා ආමාශයට ගමන් කරන අතර ඒවා ආමාහයේ තිබෙන හිතකර බැක්ටීරියාවන් සමග එකතු වෙනවා. මේ ක්‍රියාවලිය නිසා ආහාර ජීරණය වඩාත් පහසු වෙනවාය යන අදහසකුත් තිබෙනවා.

හෙමින් ආහාර ගැනීම

හැන්ද ගෑරුප්පුව හරඹ කරද්දී අපේ ආහාර ගැනීම බොහොම ඉක්මන් වෙනවා. ඊට හේතුව අනන්න කාලයක් අවශ්‍ය නැහැ. ඒත් අනන විට සාමානයයෙන් මේ කටයුත්තට කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ආහාර ගැනීම වෙනුවෙන් කාලයක් ගත වෙනවා. මේ රටාවත් ආහාර ජීරණය වෙනුවෙන් වඩාත් හිතකරයි. පෝෂණ විකිත්සාගාරයක් මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් මගින් දැන් හඳුනාගෙන තිබෙන අන්දමට වේගවත්ව ආහාර ගැනීම නිසා රුධිරගත සීනි මටට්ම අසමතුලිතතාවයට පත් වෙලා type 2 දියවැඩියා රෝගයටත් ගොදරු වීමේ අවදානමක් තිබෙනවා.

හොඳින් අනාගන්න පුලුවන්

ඒ වගේම මස්, මාලු වැනි දේ ඉතා හොදින් අනාගැනීම අතින් සිද්ධ වුනත් හැන්ද ගෑරුප්පුව යොදා ගෙන මේ කටයුත්ත කිරීම එතරම් පහසු නැහැ. මේ නිසා ආහාර අපතේ යෑමත් වැඩියි. අනෙක් අතින් රස කොටස් ආහාරයට එකතු නොවෙනවා වගේම හොදින් ඇනීමක් නැති නිසා දිරවීමේ ගැටලුත් ඇති වෙනවා.

පිරිසිදුකම ඇති වෙනවා

අතින් ආහාර ගන්නා විට අපි හැම ප්‍රධාන ආහාර වේලකටම පෙරාතුවම අත් සෝදන්න පුරුදුව සිටිනවා. මේ නිසා විෂබීජවලින් ඇති වෙන ජීරණ පද්ධතියේ රෝගාබාධයන්ගෙනුත් නිදහස් වෙන්න පුලුවනි. හැදි ගෑරුප්පු භාවිතා කරද්දී අපි අත් සේදීමට වැඩි උනන්දුවක් නොදක්වන නිසා අතේ තිබෙන විවිධ අහිතකර විෂබීජ සහ බැක්ටීරියාවන් ශරීරගත වීමට පුලුවන්.

සීතල සහ උණුසුම තේරුම් ගන්න පුලුවන්

හැන්ද ගෑරුප්පුව යොදා ගෙන ආහාර ගනිද්දී ඒවායේ තිබෙන උණුහුමේ තරම අපි දන්නේ නැහැ.ගත්තු ගමන් කටට දා ගත්තාම කට දිව පිච්චෙන විට  තමයි තරම තේරෙන්නේ. ඒත් අතින් අනද්දී උණුසුම්බව ඇගිලි තුඩුවලට දැනෙනවා. ඒ වගේම අනන විටත් ස්වභාවිකවම රස්නයේ අඩුවක් ඇති වෙනවා. උණුසුම් ආහාර දත්වලටත් අහිතකරයි. මේ තත්වයන්ගෙන් නිදහස් වෙන්න නම් ඇගිලි යොදා ගෙන ආහාර අනාගෙන කෑම වඩාත් සුදුසුයි.

ආගමික අදහස්

ඉන්දියාවේ වේද ග්‍රන්ථවල ස හන් විදිහට නම් අතේ ඇගිලිවල තිබෙන ශක්තීන් ආහාර මගින් ලබන පෝෂණයට හේතු වෙනවා. අතේ ඇගිලි පහ මගින් අග්නි (ගින්දර), වායෝ (වාතය), ආකාශ් (අවකාශය), පඨවි (පොළොව) සහ ජල (ජලය) සකේත වෙනවා. ඇගිලි යොදා ගෙන ආහාර අනන විට එක් එක් ඇගිල්ලේ තිබෙන ශක්තීන් ආහාර සමග මිශ්‍ර වෙලා අපථ්‍ය හෙවත් ආහාරයයේ තිබෙන දෝෂ නැති කරන බවටත් අදහස් තිබෙනවා.

Food Republic  ලිපිය ඇසුරින්

 

ගැබිනි සමයේ යෝනි පෙදෙසේ ඇති වන කැසීම කුමක් නිසාද?

ගැබිනි සමයේ ඇතිවන බොහෝ තත්ත්වවලට හේතුව ශරීරයේ සිදුවන හෝමෝනමය ක‍්‍රියාවලියයි. මේ කරුණු පිළිබඳව අපි දැනුවත් වීම වැදගත් වන්නේ ඒවාට මුහුණ දීමට සූදානම් වීම, මුහුණ දීම හා එම අභියෝගවලට සුදුසු ලෙස ප‍්‍රතිචාර දැක්වීමට අප තුළ හැකියාව දියුණු කරගැනීමටයි.

ජීවිතයේ අන් කාලවලදීට වඩා ගර්භනී සමය කාන්තාවකගේ යෝනි ස‍්‍රාව වැඩි කාල සීමාවකි. මෙහිදී අප විසින් එම කාලයේ පිරිසිදු භාවය පිළිබඳව ඉතාමත් හොඳ සැලකිල්ලක් යොමු කළ යුතු අතරම තෙතමනය උරා ගන්නා කපුරෙදිවලින් මැසූ යට ඇඳුම් භාවිත කළ  යුතු අතරම එම ඇඳුම්ද දිනපතා පිරිසිදු කරගැනීමත් නිසි ලෙස මාරු කිරීමත් කළ යුතුය. මේ නිසා මේ මව්වරු දිනපතා ස්නානය කිරීමට යොමු විය යුතුයි. ශාරීරික ක‍්‍රියාවලි අන් අයට වඩා වැඩිපුර සිදුවන හෙයින් මේ කාලයේ දහදිය දැමීම වැඩිවීමද මෙයට බලපායි. මේ නිසා ගර්භනී කාලයේ පුද්ගලික පවිත‍්‍රතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

සාමාන්‍ය යෝනි ස‍්‍රාව ආම්ලික බවකින් යුක්තය. මෙසේ ආම්ලික මාධ්‍යයක් පැවතීමෙන් ක්‍ෂුද්‍ර ජීවි ආසාදනවලට ලක්වීමේ හැකියාව අවම වේ. එහෙත් පිරිසිදුකම ලෙස සලකා නිතර නිතර සබන් යොදා එම ප‍්‍රදේශය සේදුවහොත් සබන්වල ඇති භාෂ්මිකතාවය හේතුවෙන් ආම්ලික බව විනාශ වීම සිදුවන නිසා ආසාදනවලට ගොදුරුවීමේ හැකියාව ඇතිවේ. බොහෝ විට හැන්ඩිවා වැනි දිලීර ආසාදනවලට මව්වරු ගොදුරු වීම මෙවන් හේතු නිසා වැඩිවේ. දියවැඩියා මව්වරු අතර මෙම තත්ත්වය තවත් වැඩිවේ.

මෙවන් දිලීර ආසාදන හෝ වෙනත් ආසාදන තත්ත්ව (සමාජ රෝග අසාදන) හේතුවෙන් යෝනි ප‍්‍රදේශයේ කැසීම ඇතිවේ. දහදිය හා තෙතමනය දිගටම පැවතීමෙන්ද මෙම තත්ත්වය ඇති විය හැකියි. එසේම කැසීම නිසා තුවාල ඇති විය හැකි නිසා මව්වරු බොහෝ අපහසුතාවලට පත්වේ. මෙවිට පිරිසිදුව සිටීම, පිරිසිදුව යට ඇඳුම් ඇදීම, යට ඇඳුම් තෙත්ව පවතින විට මාරු කිරීම ආදිය කළ යුතු අතරම කැසීම ඇතිවිට වෛද්‍ය උපදෙස් සඳහා යොමුවිය යුත්තේ එය දීර්ඝකාලීනව පැවතීමෙන් මවට ඇතිවන අපහසුතා පමණක් නොවේ ප‍්‍රසූතියේදී දරුවාට ද බලපෑම් ඇති කළ හැකිසේම මෙම දිලීර ආසාදන මවගෙන් තම සැමියාටද බෝවිය හැකි හෙයිනි. ඖෂධ ප‍්‍රතිකාර ලබාදුන්නේ නම් එය නියමිත පරිදි නියමිත කාල සීමාවටම භාවිත කළ යුතුයි.

සාමාන්‍ය යෝනි ස‍්‍රාව අවර්ණ වූ සුදු පැහැයක් ගන්නා අතර අසාමාන්‍ය ගන්ධයක් රහිතයි. එසේ නොවී පැහැය වෙනස් වී, ගන්ධයකින්ද යුක්ත නම් එය අසාමාන්‍ය තත්ත්වයක් හෙයින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමට තරයේ සිතට ගන්න. ආසාදන තත්ත්වයක් ඇති සෑම විටකම ප‍්‍රතිකාර අවශ්‍ය වනවා සේම එය බෝවීම වළක්වාලීමට ලිංගික කාර්යයන්වලදී කොපු (කොන්ඩම්) පාවිච්චි කිරීමද වැදගත් වේ. ආසාදන තත්ත්වවලට ප‍්‍රතිකාර නොකළහොත් ඒවා දිගටම පැවතීමෙන් අනෙකුත් ඉන්ද්‍රියයන්වලට හානිකර තත්ත්ව ඇතිවිය හැකි බව අප සිතට ගත යුතුයි.

අයිරාංගනී ගගලමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල