Home Blog Page 94

ඔබේ දරුවාගේ හැසිරීමත් මේ විදිහද…?

එක අම්මා තාත්තාගේ වුනත් දරුවන්ගේ ගති ලක්ෂණ එකිනෙකාට වෙනස්. ඒ විදිහට එක් එක් දරුවා වෙනුවෙන් ආවේණික එහෙම නැත්නම් ඔවුන්ටම සීමා වුන ගති ලක්ෂණ විවිධයි. සමහර විට අපි මේ ගැන එතරම් නොසලකා සිටියත් දරුවන් අතර පහත දැක්වෙන ගති පැවැතුම් ඔබටත් ඉතාම සමීප ඇති. සමහර විට ඔබේ නිවසේත් මේ වගේ ගති පැවැතුම් ඇති දරුවන් සිටින්න පුලුවනි. මනෝවිද්‍යාඥයින් විසින් දරුවන්ගේ මේ ගති පැවැතුම් ඔවුන්ගේ පෞරෂය විදිහට හදුන්වා දී තිබෙනවා. පෞරෂයක් නොමැති දරුවන් වෙතින් මේ විදිහේ සුලු සුලු ආබාධ තත්වයන් පෙනේවි.

යැපෙනසුළු දරුවා

මේ දරුවාට තමන්ගේ හැකියාවෙන් වැඩ කටයුතු කිරීම අපහසුයි. තමා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසාම තවත් කෙනෙක් විහේෂයෙන් දෙමව්පියන් මත යැපෙන ගති පැවැතුම් දකින්න පුලුවනි.

සමාජයට සම්බන්ධ නොවීම

අපි හිතන්නේ පුංචි නිසා කුලෑටියි කියල වුනත් සමාජයට සම්බන්ධ වීමට අකමැති නම් එය දරුවාගේ පෞරෂයේ දුර්වලතාවයක්. මේ දරුවන්ට තමා ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසාම සමාජයට සම්බන්ධ වීමට බයක් දක්වනවා.

මායාකාරී පෞරෂය

සමහර දරුවන්ට තමා ඇසුරේ සිටින අයගේ අවදානය අනවශ්‍ය විදිහට බලාපොරොත්තු වෙනවා. මේ වගේ දරුවන් දැඩි ආත්මාර්ථකාමියි. මායාකාරී පෞරෂය විදිහට මනෝවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙන මේ තත්වය දුර්වල පෞරෂ ලක්ෂණයක්.

පී‍ඩෝන්මාද පෞරෂය

මේ දරුවන් අනුන් ගැන හිතනනේ නැහැ. හැම දෙයම ඔවුන්ට සැකයි. ඒ වගේම කිසිම දෙයකින් සෑහීමක් ඇති නොව තරම් හිතුවක්කාරී ගති පැවැතුම් වලින් යුක්තයි.

භින්නාවේගික පෞරෂය

අනවශ්‍ය විදිහට ලැජ්ජාශීලී දරුවන් ජීවත්වෙන්නේ ඔවුන්ගේම මනෝ ලෝකයකයි.

ග්‍රස්ථික පෞරෂය

මේ වර්ගයේ පෞරෂය දුර්වලතාවයන් ඇති දරුවන්ට ස්ථිර ගති පැවැතුම් නැහැ. ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. හරිම සංවේදියි. ඔවුන් තීරණ ගැනීමේ දුර්වල චරිත විදිහට පෙන්නුම් කරන්න පුලුවනි.

සමාජ විරෝධී පෞරෂය

සමහර දරුවන් ඉතාම ආවේගශීලියි. පංතියේ පාසලේ වුනත් හිරිහැරකාරී විදිහට හැසිරෙන විනය ගැන නොසලකා කටයුතු කරන තත්වයක පසු වෙන  මේ දරුවන් සමාජයට හිරිහැරකාරී විදිහට හැසිරෙනවා.

බියසුළුයි

සමහර දරුවන් වයසට වඩා බියසුලුබවක් දක්වනවා. රාත්‍රියේ කාමරයේ තනියම ඉන්න… මකුලුවන් කැරපොත්තන් වැනි සතුන්ට අනවශ්‍ය විදිහට බියක් දැක්වීම මේ දරුවන්ගේ ස්වභාවයයි. මේ තත්වය දෙමව්පියන්ටත් හිරිහැරකාරී විදිහට බලපානවා.

කාංසාව

දරුවෙකුට නොගැලපෙන විදිහේ දුක සමග වූ බියකින් පසු වීම කාංසාවෙන් පෙලෙන දරුවන්ගේ ලක්ෂණයක්. මේ අය නිතරම හිසරදය කියමින් පැමිනිලි කරන අතර ඔවුන් තුළ කිසිම සතුටක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.

දුක

දුර්වල පෞරෂයක් ඇති මේ දරුවන් නිතර පසු වෙන්නේ හිතේ දුකක් ඇතුවයි. ඒ වෙනුවෙන් සාධාරණ හේතුවකුත් නැහැ. විවිධ රෝග තත්වයන් ගැන පැමිනිලි කරනවා. මව්පියන් සමග වුනත් සතුටින් සිටින බවක් නැහැ.

බයාදුයි

සමහර දරුවන් වයසට නොගැලපෙන විදිහට බයාදු ගති ලක්ෂණ පෙන්වනවා. තමන්ගේ වයසේ දරුවන් සමගවත් එක් වීමක් නැහැ.

කලබලයි

සමහර දරුවන්ගේ තිබෙන කලබලකාරී ගගති පැවැතුම් අපි දගකාර ලැයිස්තුවට එකතු කළත් එය ඔවුන්ගේ දුර්වලතාවයක්.

දඟකාරයි

දගතාරකම දරුවන්ට සාධාරණ බව ඇත්ත. ඒත් අනවශ්‍ය විදිහට දගකාරයි නම් එය නිවසට, පංතියට, පාසලට හිරිහැරකාරී නම් දරුවා ගන සැලකිලිමත් වෙන්න.

මට ඉස්කෝලේ යන්න බැහැ

පාසල කියන්නේ දරුවන්ගේ ලෝකයේ ඉතාම සුන්දර තැනක්. ඒත් දරුවෙක් පාසල් යන්න බැහැය යන මතයේ පිහිටා දැඩි විදිහට විරෝධතාවයක් දක්වනවා නම් කුමන හෝ මානසික ගැටුමක් තිබෙනවා.

දරුවෙක් හැරෙන කොට ඔහුගේ හැසිරීම සාමාන්‍යද එහෙම නැත්නම් දරුවාට නොගැ‍ලපෙන හැසිරීමක්ද යන්න දෙමව්පියන් විදිහට තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විදිහට අසාමාන්‍ය හැසිරීමක් තිබෙනවා නම් දරුවා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම වැදගත්. එහෙම නැතුව දිගින් දිගටම මේ මානසික තත්වයන් සමග ඉදිරියට යෑම නිසා දරුවාගේ පෞරෂය ඉතාම දුර්වල මට්ටමකට පත් වෙනවා. බොහෝ දෙමව්පියන් දරුවන්ගේ මානසික දුබලතාවයන් “පුංචි කාලේ හැටි…ලොකු වුනාම ඇරෙයි…” යන සිතුවිල්ලෙන් සිත නිදහස් කර ගත්තත් මේ මානසිකත්වයෙන් ඉදිරියට යන දරුවාගේ පෞරෂය ගැටළුවලට කිසිම විසදුමක් නොලැබෙන්න පුලුවනි. ඒ නිසා දරුවාගේ හැසිරීම් රටාව හඳුනාගෙන අනාගතය වෙනුවෙන් පෞරෂය ගොඩ නැගීම ඉතාම වැදගත් බැව් අමතක කරන්නඑපා.

Mom Junction වෙබ් අඩවියෙන්

 

අධික තාපයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

ඔන්න දැන්නම් ටික ටික වහින්න පටන් අරගෙන, ඒත් පහුගිය ටිකේ තිබුණු රස්නෙත් එක්ක දවල් දවස විතරක් නෙවෙයි රෑටත් අපහසුවකින් තොරව ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ. වැඩිහිටියෝ වුණු අපිටත් දරාගන්න අපහසු උණු මේ රස්නේ පුංචි දරුවන්ට කොයි විදියටවත් දරා ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. වැස්ස පටන් ගත්තට කමක් නෑ, රස්නේ කාලෙට අපි කොහොමද මුහුණ දෙන්න ඕනේ කියලා දැනගන්නත් එක්ක මේ ලිපිය කියවමු නේද?අපට දැනෙන උණුසුම වැඩි වෙන්න හේතු කිහිපයක්ම  බලපානවා. කය වෙහෙසවන කාර්යයන්වල නිරත වෙද්දී උදාහරණයක් විදියට කිව්වොත් පුංචි දරුවෝ දුවලා පැනලා සෙල්ලම් කරද්දී මාංශ පේෂී ක්‍රියාකාරිත්වය හේතුවෙන් සිරුර තුළ තාපය නිපදවීම සිදු වෙනවා. එවිට අපේ සිරුරෙන් දහදිය පිට වීම සිදු වුනත් පරිසරය තුළ පවතින අධික ජලවාෂ්ප ප්‍රමාණය හේතුවෙන් දහදිය පිට වීම අඩු වන නිසා අප සිරුර තුළ පවතින තාප ප්‍රමාණය ඉහළ ය හැකියි. හරියටම කිව්වොත් අප අවට වටපිටාවේ උණුසුම වැඩි නම් තාපය පිට කිරීමේ වේගය අඩුවීමයි.

සූර්යයා සමකයට ආසන්නව ගමන් කරන නිසා අප්‍රේල් අගෝස්තු වගේ කාල සිමාවේ සාමාන්‍යයෙන් අපිට දැනෙන රස්නය වැඩියි. ඉතිං මේ අධික රස්නය Heat Stroke ඇති කරන්න උනත් සමත් වෙන තත්වයක් විදියට හිතන එකේ වරදක් නැහැ. මොකද ඉහත විස්තර කළ ආකාරයට සිරුර තුළ තාපය නිපද වෙන අතරම එසේ නිපද වෙන තාපය රුධිරයට අවශෝෂණය වීම හේතුවෙන් අපේ සිරුර තුළ ගමන් කරන රුධිරය උණුසුම් නිසා එය හානි කර තත්ත්වයක් බවට පත් විය හැකියි.

අධික උණුසුම හේතුවෙන් පණ නැගිය හැකි හානිදායක තත්වයන් වලක්වා ගැනීම උදෙසා ඔබ මේ කරුණු පිළිබඳව දැනුවත් වෙන්න. සාමාන්‍යයෙන් මිනිස් සිරුර ස්වභාවයෙන්ම සැකසී ඇත්තේ බොහොමයක් රෝගයන් පිළිබඳව කල්තියාම හඳුනා ගත හැකි පරිද්දෙන්. උදාහරණයක් ලෙස සිරුරේ පණ නගින රෝග තත්ත්වයක් පිළිබඳව ඉඟියක් ලබා දීමක් ලෙස උණ ඇති වීම සිදුවේ. එය ස්වභාවයෙන්ම සත්වයන් ලද ආරක්ෂකයකි. ඒ ආකාරයෙන්ම අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගිය පසු ඒ බව හැඟවීමට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් වන්නේ මස්පිඬු පෙරලීමයි. එසේම මස්පිඬු පෙරලීම රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අවම වීම, සිරුරේ ලවණ ඌණතා, රුධිරයේ වෙනත් තත්වයන් හේතුවෙන් වුවද පෙන්නුම් කරනු ලබන රෝග ලක්ෂණයකි. ඇතැම් අවස්තාවලදී එක් එක් පුද්ගලයන්ගේ සිරුරේ ස්වභාවය අනුව මස්පිඬු පෙරලීම සිදු නොවී Heat Exhaustion හෙවත් අධික ලෙස තාපය පිට කිරීමේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. එය අවදානම් තත්ත්වයකි.

කෙසේ වුවද අධික තාපය හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති කළ හැකි නිසා අධික ලෙස දහදිය දැමීම, පිපාසය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ දෙවනුව පෙන්නුම් කළ හැකිය. මේ තත්ත්වය වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු තත්ත්වයක් ලෙස අප හඳුන්වන්නේ මේ හේතුවෙන් රෝගියා ජිවිත අවදානමකට පවා ලක්විය හැකි නිසයි. මන්ද මෙසේ සිරුරේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යන විට දහදිය නිපදවීමේ ක්‍රියාවලිය අණ හිටින නිසා සිරුර අභ්‍යන්තරයේ වූ තාපය පිට කිරීම නතර වේ. මේ ආකාරයට සිරුර තුළ උණුසුමත් පිටත උණුසුමත් අතර වෙනස අවම විය හැකි නිසා මරණය දක්වාම තත්ත්වය දරුණු විය හැකිය.

අධික තාපයට නිරාවරණය වීම හේතුවෙන් ඇති විය හැකි අවධානම් තත්ත්වයන් වළක්වා ගැනීමට උණුසුම් කාලයේදී ඔබ සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා, ඔබේ දරුවන් යොමුවන ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙමින් අවශ්‍ය පෝෂණය පිළිබඳව සැලකිලිමත් වනවා සේම ප්‍රමාණවත් අයුරින් දියර වර්ග ලබාදීමට සැලකිලිමත් වෙන්න. උණුසුම් දිනයන්හිදී ක්‍රියාශීලී කටයුතුවල යෙදෙනවා නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු අතරම ධාවකයන්, පාපැදි තරග සඳහා සහභාගී වෙන්නන් සිටි නම් ඔවුන්ට වතුර ගැසීම මගින් මෙවැනි තත්වයන් වලක්වා ගත හැකිය. එසේම සෙවණ ඇති ස්ථානවල ගැවසීම හා හැකි තරම් දියර වර්ග පානය මේ තත්ත්වය මගහැරීමට සහාය වනු ඇත.

තවද ඔබ මතකයේ රඳවා ගත යුතු කරුණක් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම දරුණු තත්ත්වය දක්වා වර්ධනය වීමට පෙර එය වළක්වා ගත හැකි නම් එය අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වීම වලක්වා ගැනීමට වැදගත් වේ. මේ සඳහා ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්නට සැලකිලිමත් වෙන්න.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද් එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න”

හොඳම දේ දරුවන්ට….. දරුවන් මුල් කර ගෙන විශ්ව ව්‍යාප්ත සංකල්පය එයයි. මෙය දරුවා මුල් කර ගත් සැබෑම තත්වයයි. ඊට හේතුව අද කිරි සුවද විහිදුවමින් ලපටි මුදු මෙලෙක් සිතුවිලිවලින් යුක්ත වුනත් හෙට දිනයේ ලෝකයේ නායකයා වන්නේ මේ කුඩා දරුවාය. දරුවා සැමදාම නොදරුවා නොවන්නේය. කාලය සමග ඔවුන්ද වියපත් වෙනු ඇත. ඒත් එදිනට සමාජය තුළ දෙපයින් සිට ගැනීමේ ශක්තිය ඔවුන්ට ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. මේ වෙනුවෙන් අපේ වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වය දරුවාට අනිවාර්යෙන්ම ලැබිය යුතුය.

“දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න” 

 

මේ 2018 වසරේ ලෝක ළමා දිනයේ තේමාවයි. වැඩිහිටියන් විදිහට අපි ලෝක ළමා දිනය සමරන්නේ මේ තේමාවන් මත ගලපා නොවේ. එය එක් රැයකින් පහන් කර ගත හැකි සිහිනයක්ද නොවේ. දරුවා දෙපයින් සිට ගන්නා දිනයට ඔහු කොන්ද කෙලින් තිබෙන සෘජු පුද්ගලයෙක් බවට පත් කිරීමට නම් දෙමව්පියන් විදිහට ඔබේ අවධානය අද දවසේ දරුවා වෙත ලබා දීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි.

මේක ජීවත් වෙන්න හොඳ රටක්යැ…

අද දෙමව්පියන්ගේ තේමා පාඨය වී ඇත්තේ මෙයයි. ඒත් ඔවුන් උපන්නේද, අධ්‍යාපනය ලැබුවේද, රැකියාවන් ලබා ආර්ථිකයෙන් සවි ශක්තිය ලැබුවේද අපේ ශ්‍රි ලංකාවේය. ඔවුන්ගේ දරුවන්ට පමණක් නොව පරම්පරා හතකටම ජන්මය ලබා දුන්නේ මේ ලංකාවයි. අනාගතයේදී ලෝකය විවෘත වූ දිනක දරුවා වෙනත් රටවල් වෙත ආකර්ශනය ලැබීම හෝ අධ්‍යාපනය ලැබීමට තීරණය කිරීම වෙනත් සිද්ධියක්. ඒත් බාලකාලයේ පටන්ම දරුවාට අපේ රට ජීවත්වීමට ගැලපෙන දේශයක් නොවේය යන සිතුවිල්ලෙන් විනාශ නොකරන්න. අපි දරුවන්ට ලබා දිය යුත්තේ ඉදිරියට දිරියයි. ඒ නිසා මෙවන් පසුගාමී අදහස් වලින් ඔවුන්ගේ දිරිය අවප්‍රමාණ නොකරන්න.

ආරක්ෂාව

දරුවන්ට දිරියෙන් යුක්තව පෙරට ගොස් අනාගතය ජයගැනීමට නම් ඔවුන් වෙනුවෙන් ආරක්ෂාව ලබා දීම දෙමව්පියන්ගේ යුතුකමකි. අද නිරන්තරව ඇසෙන ඉතාම අවාසනාවන්ත තත්වය වී තිබෙන්නේ ළමා අපචාරයන්ය. යුනෙස්කෝ වාර්තාවන්ට අනුව අපේ රටේ ගැහැනු සහ පිරිමි දරුවන්ගෙන් සමන්විත ළමා ගනිකාවන්ගේ සංඛ්‍යාව 40,000 කි. මේ වාර්තාගත සංඛ්‍යාවන් පමණි. වාර්තාගත නොවුන සංඛ්‍යාවන් බොහෝ සේ තිබිය හැක. පිරිමි දරුවන් විදේශිකයන් වෙනුවෙන් පවා ලිංගික ශ්‍රමය සපයන තරම් තත්වය ශෝචණීය වේ.

ඒත් දරුවන් මෙම තත්වයට පත් වෙන්නේ මව්පිය දූ දරු සම්බන්ධතාවයන් ගිලිහී ගිය තැනදී බව අපි වැඩිමනත් සේ ඉස්මතු නොකරන්නෙමු. එක්තරා බාලිකා පාසලක සාමාන්‍ය පෙල පංතියේ බාලිකාවන් දහ දෙනෙක් ලැගුම්හලකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ දියණිවරුන් තම පොත් සමග රාත්‍රි ඇදුම් රැගෙන යන තෙක් දෙමව්පියන් ඒ ගැන විමසා නැත. “ගොනා එන්නේ පොල් පැලයටද… එසේ නැත්නම් තැඹිලි පැලයටද…” යන්න මව්පියන්ට අවබෝධ කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන්ම තිබීම වැදගත් වේ.

ගාලු පුරවරය 1977 වැනි කාලයක පටන් විදේශීකයන්ට විවෘත කලාපයකි. එම කාලයේ හදිසියේම එක් පිරිමි දරුවෙක් දේශීය පුද්ගලයෙක් විසින් ඉතා මිත්‍රශීලීව කතාබහට සමීප කර ගන්නා විටම දරුවාගේ සිහියට නැගුනේ වැඩිහිටියන්ගේ අවවාදයයි. කිසිම නාදුනන කෙනෙක් සමග වැඩි පයුරු පායාසම් අවශ්‍ය නැත යන අවවාදය නිසා මේ පිරිමි දරුවා කෙසේ හෝ එතැනින් ගැලවී බයිසිකලය වේගයෙන් පැදගෙන තමාගේ නිවසට පැමිණියේය. ඒ වටපිටාව ඔහු දන්නා නිසා සහ වැඩිහිටියන් විසින් පරිසරය ගැන කියා දී තිබුන නිසාය. ඒත් අද දරුවන් ලෝකයට විවෘත වුනත් ඔවුන් දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මේ නිසා ඔවුන් විවිධ අපචාරයන්ට යොමු වුන විට සංඛ්‍යාලේඛන එක් කිරීමට පමණක් අපි යොමුව සිටී. තවත් පැත්තකින් මෙවන් අපචාරයන්ට යොමු වුන තැන පටන් දරුවාගේ මානසිකත්වයට ඇති වෙන බලපෑම නිසා ඔහුගේ දිරිය මුලුමනින්ම බිඳවැටෙන නිසා පිටස්තරව ලබා දෙන සවියෙන් ජීවිතය ජයගැනීම හුදු මායාවක් පමණක් බවට පත් වෙනු ඇත.

ආදරය දක්වන්න

බොහෝ දෙමව්පියන්ගේ සංකල්පයක් ව තිබෙන්නේ දරුවන්ට ආදරය නැවත නැවත ප්‍රදර්ශනයෙන් පෙන්විය යුතු දෙයක් නොව එය ආත්මීය බන්ධනයක් නිසා ඒ ගැන නැවත කතාබහක් අවශ්‍ය නැති බවයි. ඒත් දරුවෙකුට දැනෙන්න ආදරය නොකරන විට ඔවුන්ගේ හිතේ තමා සුරක්ෂිතය යන හැගීම ඇති නොවන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. ඔවුන්ගේ පෙන්වා දීමට අනුව අපි දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කළ යුතුය.

පරිසරයට සම්බන්ධ කරන්න

ගහ කොළ සතා සිවුපාවන් සමග ජීවත්වුන පරම්පාරවක් නිසා ගෙවුන සියවස් ගණනාවක් පුරාම කිසිදු විනාශයක් නොමැතිව අපි ජීවිතය ගෙව්වත් පසුගිය කාලයක පටන් අපට එය අමතකව ඇත. එහෙත් පරිසරය මොන තරම් මහඟු මෙහෙවරක් කරන්නේද යන්නට හොඳම සාක්ෂි කීපයක් මේ. ඉංග්‍රිසි සිංහල ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගුණපාල මළලසේකර මහතා වරක් ප්‍රකාශ කළේ ” මට මේ හැකියාව ලැබුනේ පුංචි කාලයේ පටන් මම හැමදාම උදෙන්ම මුහුදු වෙරළට ගිහින් රැළ නගින බහින දිහා බලා සිටියා.. මම දිනපතාව ඉංග්‍රිසි වචන පහ බැගින් ඉගෙන ගත්තා. පසුකාලයේ මේ ශබ්දකෝෂය ලියන්න තරම් මගේ වාග්කෝෂය පුළුල් වුනේ ඒ නිසම වෙන්න ඇති.. පරිසරයට සම්බන්ද වීමෙන් දරුවෙක් ලබන දිරිය සහ අනාගතයට පිවිසුම වෙනුවෙන් ලබන සවිය ගැනන තවත් විස්තර අවශ්‍ය නැත.”

වෙනත් සංස්කෘතින් සමග ජීවත් වෙන්න ශක්තිය

“රෝමයට ගියාම රෝමයේ විදිහට ජීවත් වෙන්න ඕන..” මේ කියමන ඔබටත් හුරු පුරුදු ඇති. මේ පරිසරයට අපි අනුගත නොවුන නිසා පසුගිය කාලයක ලත් අමිහිරි අත්දැකීම් මතක ඇති නිසාවෙන්ම දරුවන්ට විවිධ සංස්කෘතින් සමග ජීවත්වීමට අවශ්‍ය සවිය ලබා දීම ඉතාම වැදගත්. එවිට වෙනස් සංස්කෘතින් ඉදිරියේදී ඇති වෙන නයි පොළොං වෛරය වෙනුවට හැම දෙනා සමග සහජීවනයෙන් ජීවත්වීමේ ශක්තිය දරුවා විසින්ම උපයා ගනු ඇත.

ප්‍රංශසාව

දරුවා ප්‍රශංසාවට බෙහවින් ලැදිය. ඔවුන්ගේ ආත්මාභමානය වගා වෙන්නේ එවිටය. සමහර විට ඔහුගේ චිත්‍රය කුරුටු බලියක් විය හැක. ගීතයක ගායනීය ස්වරයක් නොමැති විය හැකියි. ඒත් ඒවා අගයන්න. දරුවාගේ ආත්මාභිමානය ගොඩ නැගනේනේ එවිටය.

දරුවන්ගේ භාෂා සංවර්ධනය ගැන හිතන අම්මලාට

පුංචි පැටියා බහ තෝරනකම් අම්මලාට ඉතින් පුංචි බියක් හිතේ තියෙනවා. මේ නිසා ඉස්සර කාලයේ දරුවාගේ උපන් කොන්ඩය වුනත්හරියට වචන උච්චාරනයෙන් කතා කරන තෙක් කපන්නේ නැහැ. ළමා මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට දරුවෙක් මාස දෙකක කාලයේ පටන් තමන්ට ඇහෙන වචනවලට කන්දී ගෙන ඉන්නවා. ඒ වුනත් ඇහෙන දෙයට ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙන්නේ මාස තුනක් පමණ ගෙවුනාමයි. දරුවාට ආමන්ත්‍රණය කරන විට අත පය ගසමින් සතුට ප්‍රකාශ කරන අන්දම ගැන අපේ අම්මලාට හොඳින්ම අත්දැකීම් ඇති. ඒ වගේ සතුටක් අම්මලාට තවත් නැහැ. ඔය විදිහට තොටිල්ලේ ඉන්න පැටියා මාස නවයක් පමණ වෙද්දී ලා…කා…ආ.. වැනි වචනවල ශබ්ද නගනවා. සමහර දරුවන් නම් මාස දහයක් විතර වෙද්දී තා..ත්තා…එහෙම  නැත්නම් අ…ම්…මා…යන උච්චාරනයන්ටත් හුරු වෙනවා.

මේ කාලයේදී අම්මලා දරුවන් සමග ඔවුන්ගේ කතාවට උදව් වෙන්න ඕන. සමහර අවස්ථාවලදී දරුවාට තමන්ගේ වචනවලින් කියන දේ අම්මාට හෝ තාත්තාට නොතේරෙන විට පුදුම විදිහට කේන්ති යනවා. ඒ නිසා දරුවාගේ ශබ්දකෝෂයටත් අපි හුරු වෙන්න ඕන. අවුරුදු එකහමාරක පමණ වෙන විට දරුවාට වාක්‍ය කොටස් කියන්න පුලුවන්. ඒ අතරින් ඔවුන්ට ආවේනික වචනත් තියෙනවා. බත් වෙනුවට බයියං… බල්ලා වෙනුවට බව්වා… විදිහට ආමන්ත්‍රණය කරනවා. සමහර ආමන්ත්‍රණ අම්මාටත් ‍නොතේරෙන තරම් අපභ්‍රංහ වෙන්නත් පුලුවන්. ඒත් අපි දරුවා තේරුම් ගන්නවා වගේම මේ වචනත් තේරුම් ගන්න ඕන.

දරුවාගේ මොලයේ සංවර්ධනය සමගම භාෂාමය හැකියාවත් වැඩිදියුණු වෙනවා. මේ නිසා භාෂාව වැඩිදියුනු වෙන විදිහට දරුවාගේ පරිසරය සකස් කර දීම ඉතාම වැදගත්. පුංචි රූප පොත්වලින් ලස්සන පින්තූර පෙන්න අතර විවිධ සත්ව, මල්, වැනි දේ හඳුන්වා දෙන්න පුලුවන්. එහෙම නැති වුනොත් දරුවාගේ භාෂාමය හැකියාව දියුණු වෙන්නේ නැහැ.සෙල්ලම් කරද්දී ඔවුන්ගේ සංවාද බොහොමයි. බෝනික්කෙක්, එමෙ නැත්නම් පුංචි සෙල්ලම් සතෙක් සමග දරුවා සෙල්ලම් කරන්නේ හරියට සජීවි කෙනෙක් සමග වගෙයි. ඒ නිසා ලොකු සංවාද දෙදෙනා අතර ගණුදෙනු වෙනවා. ඔබ ටිකක් මේ සංවාදවලට ඇහුම්කන් දී ගෙන හිටියා නම් ඔවුන්ගේ සංවාද මොන තරම් සුන්දර කියලා තේරේවි.

අවුරුදු තුනක් පමණ වෙද්දී දරුවන් රිද්මානුකූල කතාවන්ට කැමැත්තක් දක්වනවා. ඒ නිසා ගී, කවි, ගායනාවන්ටත් ප්‍රිය කරනවා. ඔවුන්ට රිද්මානුකූලව ගායනා හැකියාවන් ප්‍රබුද්ධ කිරීමට මේ කාලය ඉතා හොදින් ගැලපෙනවා. ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට කියා දුන්න පුංචි කවි කීපයක් මේ…

පුංචි බලු රාලේ
මා ගෙදර නැති වේලේ
මගේ පොඩි බෝලේ
අරන් පෙරල පෙරලා හිටියේ මුදුලේ…
චුට්ටං බට්ටිච්චා
දං ගෙඩියක් දැක්කා
පුංචි හොටෙන් ඇන්නා
ඩිංග ඩිංග කෑවා
බණ්ඩි ගෙඩිය ආවා
අම්මා ළගට දිව්වා…

 

මෙවැනි සුන්දර කවි ඇසීමට දරුවන් ඉතාම ප්‍රියයි.

සමහර කවි සමග ක්‍රියාකාරකම්ද සම්බන්ධව තිබෙනවා. එවැනි කවි ගීත නිසා දරුවාගේ නර්තන හැකියාවත් ඇති වෙනවා. රිද්මයකට සිරුර චලනය කරන්න පුරුදු පුහුණු වෙනවා වගේම මානසිකවත් සතුටක් ලබා ගැනීම නිසා ඇති වෙන සතුට අනාගතයේදී දරුවාගේ පෞරෂ වර්ධනයටත් හේතු වෙනවා.

ඉස්සර කාලයේ නම් මේ සේරම දේ අම්මා, අත්තම්මා සහ සීයාගෙන් ඉෂ්ට වුනත් අද පවුල විසිරිලා නිසා මේ සම්පත් ඇත්තේ නැහැ. ඒ නිසා හැම දෙයම ළදරු පාසලෙන් එහෙම නැත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉෂ්ට කර ගැනීමට සිදු වෙලා. ඒ වුනත් තමන්ට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම දරුවා සමග කතා කිරීම වැදගත්. ඔවුන් පරිසරයට සම්බන්ධ කරමින් කතා බහ කරන්න. බිලිදු දරුවන් පරිසරයට ඉතාම ලැදියි. ඉස්සර කාලයේ දරුවන් පරිසරයේ ගහ කොළ දකිද්දී මලපහ පවා කොළ පැහැයෙන් යුක්ත වෙන බවට අතීතයේ වැඩිහිටියන් අතර විශ්වාසයක් තිබුණා. ඒ තරමටම දරුවා පරිසරයට ආමන්ත්‍රනය කරන්න කැමැතියි.

දරුවාගේ භාෂාමය සංවර්ධනය ඉතාම හොදින් ගොඩ නැගෙන්නේ මව් භාෂාව මුල් කර ගෙනයි.දෙවැනි භාෂාවක් ඉගෙනීමට නම් ටිකක් ඉවසා සිටීම අවශ්‍යයි. ඉංග්‍රිසි භාෂාව දරුවන් උගත යුතු බව ඇත්ත. ඒත් මේ ගැන එතරම් කලබයක් ඇති කර ගන්න එපා. පරිසරයේ දරුවා දකින බල්ලා පූසා වෙනුවෙන් ඩෝග්, කැට් වැනි වචන කියාදීම නරක නැහැ. good morning උදේට කියන්න. රාත්‍රියට good night වැනි ආහිර්වාද වෙනුවෙන් දැනුවත් කිරීම වරදක් නැහැ. එහෙම නැතුව අනවශ්‍ය විදිහට ඉංග්‍රිසියට හුරු කිරීමට වීර්ය ගන්න එපා. ඔබ මේ වචන කියන විට දරුවා ඒ අනුකරණය අනුව ඉගෙන ගැනීමට උත්සාහ දරාවි. එතෙක් ඉවසා සිටින්න.මුලින් නිදහසේ තමන්ගේ මව් භාෂාව හුරු වීමට නිදහස දෙන්න.

දරුවන්ට තනියම කන්න දෙන එකේ වාසි ගැන දන්නවද?

ඉස්සරකාලයේ නම් දරුවන්ට අද වගේ බත් කවන්න අම්මලා පොර ඇල්ලුවේ නැහැ. ඊට එක් හේතුවක් වුනේ පවුලක දරුවන් කීප දෙනෙක් ඉන්න කොට බත්ටික පිඟන්වලට බෙදල දුන්නාම පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ආහාර ගත්තා. මේ වගේ අවස්ථාවන් මුල් කර ගෙන දරුවන් ආහාර ගනිද්දී ඇති වෙන විවිධ දුර්වලතාවයන් ගැනත් දැන හඳුනා ගත්තා. ඒත් අද දරුවන් තනියම තමන්ගේ ආහාර ගැනීම බොහෝ දුරට අඩුයි. ඒ වගේම පාසල් යන වයසේදී වුනත් ඔවුන් හැන්දට හුරුව සිටිනවා. අත සෝදන්න තිබෙන අපහසුතාවයන් නිසා හැන්දක් පාවිච්චි කිරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම උත්සව අවස්ථාවන්හිදී හැදි ගෑරුප්පු  භාවිතයට අපි පුරුදු වෙලා සිටිනවා. රෝමයට ගියාම රෝමයේ විදිහට ජීවත් වෙන්න ඒන කියනවා වගේ එහි දොසක් කියන්නත් බැහැ. ඒත් අතින් කන විට තිබෙන වාසි කීපයකුත් හදුනා ගත්තොත් වැරැද්දක් නැහැ.

ජීරණය පහසුයි

“The Tribune” සඟරාවේ ලිපියක දක්වා ඇති පරිදි ආහාර අනාගෙන කන විට අපිට දිරවීමේ පහසුතාවයක් ඇති වෙනවා. ඊට හේතුව වෙන්නේ ඇගිලි තුඩුවල ඇති ස්නායු නිසා ආහාරය අනන විටත් ඇගිලිවලට ස්පර්ශ වෙලා ඇති වෙන උත්තේජනය නොදැනීම මොළයට ගමන් කරනවා. එවිට ආහාර ජීරණයට අවශ්‍ය එන්සයිම නිදහස් වෙන නිසා ජීරණ ක්‍රියාවලයට පහසුවක් ඇති වෙන බවත් අමතක කරන්න එපා. හැන්ද ගෑරුප්පුව සමග ආහාර අනන විට ඇති වෙනවාට වඩා ඒවායේ සංවේදනයන්ට අපි නොදැනීම යොමු වෙනවා.

ආහාර ඇනීමත් ව්‍යායාමයක්

ආහාර අනන විට අතේ ඇති වෙන ක්‍රියාකාරිත්වය නිසා රුධිර සංසරනය යහපත් පරිදි සිදු වෙනවා.

ස්වභාවික බැක්ටීරියාවන්

තවත් අදහසකට අනුව ඇගිලිතුඩුවල තිබෙන ස්වභාවික බැක්ටීරියාවන් නිසාත් වාසියක් ඇති වෙනවා. අතින් ආහාර අනන විට මේ ස්වභාවික බැක්ටීරියා ආමාශයට ගමන් කරන අතර ඒවා ආමාහයේ තිබෙන හිතකර බැක්ටීරියාවන් සමග එකතු වෙනවා. මේ ක්‍රියාවලිය නිසා ආහාර ජීරණය වඩාත් පහසු වෙනවාය යන අදහසකුත් තිබෙනවා.

හෙමින් ආහාර ගැනීම

හැන්ද ගෑරුප්පුව හරඹ කරද්දී අපේ ආහාර ගැනීම බොහොම ඉක්මන් වෙනවා. ඊට හේතුව අනන්න කාලයක් අවශ්‍ය නැහැ. ඒත් අනන විට සාමානයයෙන් මේ කටයුත්තට කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ආහාර ගැනීම වෙනුවෙන් කාලයක් ගත වෙනවා. මේ රටාවත් ආහාර ජීරණය වෙනුවෙන් වඩාත් හිතකරයි. පෝෂණ විකිත්සාගාරයක් මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් මගින් දැන් හඳුනාගෙන තිබෙන අන්දමට වේගවත්ව ආහාර ගැනීම නිසා රුධිරගත සීනි මටට්ම අසමතුලිතතාවයට පත් වෙලා type 2 දියවැඩියා රෝගයටත් ගොදරු වීමේ අවදානමක් තිබෙනවා.

හොඳින් අනාගන්න පුලුවන්

ඒ වගේම මස්, මාලු වැනි දේ ඉතා හොදින් අනාගැනීම අතින් සිද්ධ වුනත් හැන්ද ගෑරුප්පුව යොදා ගෙන මේ කටයුත්ත කිරීම එතරම් පහසු නැහැ. මේ නිසා ආහාර අපතේ යෑමත් වැඩියි. අනෙක් අතින් රස කොටස් ආහාරයට එකතු නොවෙනවා වගේම හොදින් ඇනීමක් නැති නිසා දිරවීමේ ගැටලුත් ඇති වෙනවා.

පිරිසිදුකම ඇති වෙනවා

අතින් ආහාර ගන්නා විට අපි හැම ප්‍රධාන ආහාර වේලකටම පෙරාතුවම අත් සෝදන්න පුරුදුව සිටිනවා. මේ නිසා විෂබීජවලින් ඇති වෙන ජීරණ පද්ධතියේ රෝගාබාධයන්ගෙනුත් නිදහස් වෙන්න පුලුවනි. හැදි ගෑරුප්පු භාවිතා කරද්දී අපි අත් සේදීමට වැඩි උනන්දුවක් නොදක්වන නිසා අතේ තිබෙන විවිධ අහිතකර විෂබීජ සහ බැක්ටීරියාවන් ශරීරගත වීමට පුලුවන්.

සීතල සහ උණුසුම තේරුම් ගන්න පුලුවන්

හැන්ද ගෑරුප්පුව යොදා ගෙන ආහාර ගනිද්දී ඒවායේ තිබෙන උණුහුමේ තරම අපි දන්නේ නැහැ.ගත්තු ගමන් කටට දා ගත්තාම කට දිව පිච්චෙන විට  තමයි තරම තේරෙන්නේ. ඒත් අතින් අනද්දී උණුසුම්බව ඇගිලි තුඩුවලට දැනෙනවා. ඒ වගේම අනන විටත් ස්වභාවිකවම රස්නයේ අඩුවක් ඇති වෙනවා. උණුසුම් ආහාර දත්වලටත් අහිතකරයි. මේ තත්වයන්ගෙන් නිදහස් වෙන්න නම් ඇගිලි යොදා ගෙන ආහාර අනාගෙන කෑම වඩාත් සුදුසුයි.

ආගමික අදහස්

ඉන්දියාවේ වේද ග්‍රන්ථවල ස හන් විදිහට නම් අතේ ඇගිලිවල තිබෙන ශක්තීන් ආහාර මගින් ලබන පෝෂණයට හේතු වෙනවා. අතේ ඇගිලි පහ මගින් අග්නි (ගින්දර), වායෝ (වාතය), ආකාශ් (අවකාශය), පඨවි (පොළොව) සහ ජල (ජලය) සකේත වෙනවා. ඇගිලි යොදා ගෙන ආහාර අනන විට එක් එක් ඇගිල්ලේ තිබෙන ශක්තීන් ආහාර සමග මිශ්‍ර වෙලා අපථ්‍ය හෙවත් ආහාරයයේ තිබෙන දෝෂ නැති කරන බවටත් අදහස් තිබෙනවා.

Food Republic  ලිපිය ඇසුරින්

 

ගැබිනි සමයේ යෝනි පෙදෙසේ ඇති වන කැසීම කුමක් නිසාද?

ගැබිනි සමයේ ඇතිවන බොහෝ තත්ත්වවලට හේතුව ශරීරයේ සිදුවන හෝමෝනමය ක‍්‍රියාවලියයි. මේ කරුණු පිළිබඳව අපි දැනුවත් වීම වැදගත් වන්නේ ඒවාට මුහුණ දීමට සූදානම් වීම, මුහුණ දීම හා එම අභියෝගවලට සුදුසු ලෙස ප‍්‍රතිචාර දැක්වීමට අප තුළ හැකියාව දියුණු කරගැනීමටයි.

ජීවිතයේ අන් කාලවලදීට වඩා ගර්භනී සමය කාන්තාවකගේ යෝනි ස‍්‍රාව වැඩි කාල සීමාවකි. මෙහිදී අප විසින් එම කාලයේ පිරිසිදු භාවය පිළිබඳව ඉතාමත් හොඳ සැලකිල්ලක් යොමු කළ යුතු අතරම තෙතමනය උරා ගන්නා කපුරෙදිවලින් මැසූ යට ඇඳුම් භාවිත කළ  යුතු අතරම එම ඇඳුම්ද දිනපතා පිරිසිදු කරගැනීමත් නිසි ලෙස මාරු කිරීමත් කළ යුතුය. මේ නිසා මේ මව්වරු දිනපතා ස්නානය කිරීමට යොමු විය යුතුයි. ශාරීරික ක‍්‍රියාවලි අන් අයට වඩා වැඩිපුර සිදුවන හෙයින් මේ කාලයේ දහදිය දැමීම වැඩිවීමද මෙයට බලපායි. මේ නිසා ගර්භනී කාලයේ පුද්ගලික පවිත‍්‍රතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

සාමාන්‍ය යෝනි ස‍්‍රාව ආම්ලික බවකින් යුක්තය. මෙසේ ආම්ලික මාධ්‍යයක් පැවතීමෙන් ක්‍ෂුද්‍ර ජීවි ආසාදනවලට ලක්වීමේ හැකියාව අවම වේ. එහෙත් පිරිසිදුකම ලෙස සලකා නිතර නිතර සබන් යොදා එම ප‍්‍රදේශය සේදුවහොත් සබන්වල ඇති භාෂ්මිකතාවය හේතුවෙන් ආම්ලික බව විනාශ වීම සිදුවන නිසා ආසාදනවලට ගොදුරුවීමේ හැකියාව ඇතිවේ. බොහෝ විට හැන්ඩිවා වැනි දිලීර ආසාදනවලට මව්වරු ගොදුරු වීම මෙවන් හේතු නිසා වැඩිවේ. දියවැඩියා මව්වරු අතර මෙම තත්ත්වය තවත් වැඩිවේ.

මෙවන් දිලීර ආසාදන හෝ වෙනත් ආසාදන තත්ත්ව (සමාජ රෝග අසාදන) හේතුවෙන් යෝනි ප‍්‍රදේශයේ කැසීම ඇතිවේ. දහදිය හා තෙතමනය දිගටම පැවතීමෙන්ද මෙම තත්ත්වය ඇති විය හැකියි. එසේම කැසීම නිසා තුවාල ඇති විය හැකි නිසා මව්වරු බොහෝ අපහසුතාවලට පත්වේ. මෙවිට පිරිසිදුව සිටීම, පිරිසිදුව යට ඇඳුම් ඇදීම, යට ඇඳුම් තෙත්ව පවතින විට මාරු කිරීම ආදිය කළ යුතු අතරම කැසීම ඇතිවිට වෛද්‍ය උපදෙස් සඳහා යොමුවිය යුත්තේ එය දීර්ඝකාලීනව පැවතීමෙන් මවට ඇතිවන අපහසුතා පමණක් නොවේ ප‍්‍රසූතියේදී දරුවාට ද බලපෑම් ඇති කළ හැකිසේම මෙම දිලීර ආසාදන මවගෙන් තම සැමියාටද බෝවිය හැකි හෙයිනි. ඖෂධ ප‍්‍රතිකාර ලබාදුන්නේ නම් එය නියමිත පරිදි නියමිත කාල සීමාවටම භාවිත කළ යුතුයි.

සාමාන්‍ය යෝනි ස‍්‍රාව අවර්ණ වූ සුදු පැහැයක් ගන්නා අතර අසාමාන්‍ය ගන්ධයක් රහිතයි. එසේ නොවී පැහැය වෙනස් වී, ගන්ධයකින්ද යුක්ත නම් එය අසාමාන්‍ය තත්ත්වයක් හෙයින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමට තරයේ සිතට ගන්න. ආසාදන තත්ත්වයක් ඇති සෑම විටකම ප‍්‍රතිකාර අවශ්‍ය වනවා සේම එය බෝවීම වළක්වාලීමට ලිංගික කාර්යයන්වලදී කොපු (කොන්ඩම්) පාවිච්චි කිරීමද වැදගත් වේ. ආසාදන තත්ත්වවලට ප‍්‍රතිකාර නොකළහොත් ඒවා දිගටම පැවතීමෙන් අනෙකුත් ඉන්ද්‍රියයන්වලට හානිකර තත්ත්ව ඇතිවිය හැකි බව අප සිතට ගත යුතුයි.

අයිරාංගනී ගගලමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල

 

ගැබිනි මව්වරුන්ට මල බද්ධය ඇති වෙන හේතු මෙන්න

ගර්භණී කාලය යනු ප‍්‍රීතිමත් මෙන්ම අභියෝගාත්මක කාල පරිච්ජේදයක්. එය එසේ හැඳින්වීම කෙතරම් සාධාරණයිද යන්න වැටහෙන්නේ දහසක් බලාපොරොත්තු පිරිවරා ගෙන ප‍්‍රතිඵල අපේක්‍ෂාවෙන්, අභියෝගයන්ට මුහුණ දෙන අන්දම එකිනෙක විමසා බැලීමේදීයි. ගර්භණි කාලයේ ශරීරය තුළ ඇතිවන හෝමෝන බලපෑමද බොහෝ අපහසුතා ඇති කරලීමට හේතු වන අතරම මලබද්ධය ද මෙම කාලසීමාවේදී මවක් අපහසුතාවට පත්කරවන තත්ත්වයකි.

ගැබිනි සමයේ මල බද්ධය ඇති වීමට බොහෝ විට බලපාන්නේ මේ කාල සීමාව තුළ කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන හෝමෝන ක‍්‍රියාවලියේ බලපෑම විය හැකි අතරම කුස තුළ  දරුවා ක‍්‍රම ක‍්‍රමයෙන් විශාල වීම නිසාද මේ තත්වයේ වර්ධනයක් දැකිය හැකිය.

ගර්භනී මුල් සමයේ ඇති වන වමනය, ඔක්කාරය වැනි අපහසුතා හේතු කොට ගෙන මවක විසින් ඇති කරගන්නා ආහාර රටා මෙන්ම ජීවන රටාව ද මල බද්ධයට හේතුකාරක වනවා. එසේ වන්නේ විවිධ ආහාර ප‍්‍රතික්ෂේප කිරීම, අත්‍යවශ්‍ය තරල ප‍්‍රමාණයන් නිසි අයුරින් ලබා නොගැනීම මෙන්ම පුරුදුවල ඇති කරගන්නා වෙනස්කම්ද මීට බලපානවා. ඒ කෙසේදයත් ඇතිවන අපුලතාවය නිසා ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූල කිරීමට අවශ්‍ය වන තන්තු බහුල ආහාරයේ අඩංගු නොවීමත්, ආහාරයේ විවිධත්වක් ඇති නොවීමත් මල බද්ධයට හේතු විය හැකියි.

ආහාරයේ සියලු පෝෂක සංඝටක මෙන්ම එම සංඝටක අඩංගු ආහාරවල ඇති තත්තුමය ස්වභාවයද මීට වැදගත් වේ. එළවළු හා පලතුරු ගත්කළ ඒවයේ ඇති පෝෂණ අගයේ වැදගත් බවක් ඇතිවා මෙන්ම තන්තු ප‍්‍රමාණයද මල බද්ධය වළක්වා ගැනීමට හේතු කාරක වේ. ඇට වර්ග එනම් මෑ, කඩල වැනි මාංශ බෝගත් පොතු සහිත ධාන්‍ය හා පොතු සහිත ධාන්‍යවලින් සකසා ගත් ආහාරත් මල බද්ධය නැති කිරීමට හේතුවන්නේ, ඇට වර්ගවල පිට පොත්තෙත් ධාන්‍ය වර්ගවල පොත්තෙත් තන්තු බහුල ප‍්‍රමාණයක් තිබීම නිසාය. මේ කාලයේ එවන් ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම මල බද්ධය වළක්වා ගැනීමට හේතු වේ. මීට කදිම පිළියමක් වන්නේ නිරතුරු නිවුඩු සහල් හෝ සහල්වලින් නිෂ්පාදිත ආහාර පරිභෝජනයට හුරු වීමයි.

ආහාරයෙන් සිදු කරන බලපෑමට අමතරව රුධිර වාහිනී විස්තාරණය වීම නිසා ශ්‍රෝණී ප‍්‍රදේශයේ ශිරා තදවීම හේතුවෙන්ද අර්ශස් වැනි තත්ත්වයන් ඇති විය හැකියි. මේ සඳහා ශ්‍රෝණී මාංශ පේශී ශක්තිමත් කිරීමට ව්‍යායාමවල යෙදීම වැදගත්ය.

එසේම පරිවෘත්තීය ක‍්‍රියාවලියේදී ශරීරයෙන් පිට කරන ජල ප‍්‍රමාණය වැඩි වීමක්ද ඇති නිසා ජලය හොඳින් පානය කිරීමත් වැදගත් වේ. සමහර විටමින් වර්ගවලටද මෙවන් තත්ත්වයන් ඇති විය හැකි නමුත් අවශ්‍ය පමණට ජලය පානය කිරීම මගින් එම තත්ත්වය ද වළක්වා ගත හැකිය.

මේ සියල්ල අතරේ දෛනිකව මලපහ කිරීමේ පුරුදු ඇතිකර ගැනීමටත් එනම් දවසේ නියමිත වේලාවකදී මලපහ කිරීමේ පුරුදු පවත්වා ගැනීමටද මල බද්ධයෙන් මිදීමට මගකි. මෙය ඔබට පමණක් නොව දරුවන්ට ද කුඩා කල සිට පුරුද්දක් ලෙස පවත්වා ගැනීමෙන් එදිනෙදා කටයුතු යහපත් අයුරින් සිදු කරගැනීමට අවස්ථාව සැලසේ.

මල බද්ධය වළක්වා ගැනීමට සුදුසු ආහාර අතර,

  • නිවුඩ්ඩ සහිත එනම් නොපාහින ලද සහල්/එම සහල් නිෂ්පාදන
  • කොහිල, වැටකොළු, කෙසෙල් මුව වැනි එළවළු
  • වැල් කොහිල, මුරුංගා කොල ඇතුළු සියලූම පළා වර්ග
  • පැපොල්, අඹ ආදී පළතුරු වර්ග
  • කඩල, මුං ඇට, කව්පි වැනි පියලි ඇට වර්ග ඉතා වැදගත් වේ
අයිරාංගනී ගගලමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල

 

දරුවන්ට හොඳම දේ ලැබෙනවාද….?

දරුවන්ට හොඳම දේ කිව්වත් සමහර විට දෙමව්පියන් තුළත් හොඳම දේ තෝරා ගැනීමට තිබෙන නොදැණුවත්කම නිසා පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වෙන්න පුලුවනි. ඕටස් කියන්නෙත් අපෙන් මග හැරෙන ආහාරයක්. පහසුවෙන් සාදා ගන්න පුලුවන් ඕට්ස් දරුවන්ට විතරක් නොවෙයි වැඩිහිටි අපටත් බොහොම ගුණදායකයි.

ඇවේනා සැටිවා (Avena Sativa) යන ධාන්‍ය ගසෙන් ලබා ගන්නා ඕට්ස්වල ඉතිහාසයත් හරිම අපූරුයි. පුරාණ කාලයේ රෝම ජාතිකයන් ඕට්ස් ගැන එතරම් වැදගත් තක්සේරුවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් ඕට්ස් සැලකුවේ අශ්ව ආහාරයක් විදිහටයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් මුලින්ම ඕට්ස් ආහාරයට ගත් අතර අද වෙන විට කැනඩාව, රුසියාව,ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල ඕට්ස් ඉතා ජනප්‍රිය ආහාරයක්.

ඕට්ස් වර්ග කීපයක් තිබෙනවා…

ස්ටීල් කට් :  ස්ටීල් කට් යනුවෙන් හැඳින්වෙන්නේ ඕට්ස් ඇටය කුඩා කොටස්වලට කැපීමෙන් සාදා ගන්නා විහේෂයක්. අයිරිස් සහ ස්කොටිෂ් ඕට්ස් යන නමිනුත් හැදින්වෙන ස්ටීල් කට් විශේෂය එළවලු සමග තම්බා අහාරයට ගැනීමට පුලුවනි.

රෝල්ඩ් ඕට්ස් : ස්ටීල් කට්වලට වඩා පහසුවෙන් තැම්බෙන මේ වර්ගයේදී ඕට්ස් පෙති විදිහට දකින්නපුලුවන්.

ඉන්ස්ටන්ට් ඕට්ස් : ක්වික් ඕට්ස් යන නමිනුත් හැදින්වෙන මේ වර්ගය ඉතාම ඉක්මනින් සාදා ගන්න පුලුවන්.

සෞඛ්‍යයමය  වාසි
ඕට්ස් නිසා අපිට ලැබෙන සෞඛ්‍යය වාසි බොහොමයක් තිබෙනවා. ඉතාම පහසුවෙන් අහිතකර කොලස්ටරෝල් LDL මට්ටම අඩු කර ගන්න පුලුවන්. හදවත් රෝග වෙනුවෙන් මේ අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම ගැන කියන්න තව අතුරු කතා අවශ්‍ය නැති බව ඔබ දන්නවා. හදවත් රෝග වෙනුවෙන් වඩාත් වැඩි බලපෑමක් ඇති කරන්නේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීනයි. ඒත් 1963 වසරේ සිදු කරන ලද සමීක්ෂනයකින් හදුනා ගත් අන්දමට ඕටස්වල අන්තර්ගත බිටා ග්ලුකැන් beta-glucan fiber තන්තු මගින් රුධිරයේ කොලස්ටරෝල් සංසරන මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.

දවසකට ඕට්ස් ග්‍රෑම් තුනක් ආහාරයට ගැනීමෙන් අහිතරක කොලස්ටරෝල් මට්ටම 8% සිට 23 % දක්වා පහළ මට්ටමට පත් කර ගන්න පුලුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ වසර 19 ක් පුරා වැඩිහිටියන් දස දහසක් දෙනා සම්බන්ධ කර ගෙන අධ්‍යනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියේ දිනකට ඕටස් තන්තු ආහාරයට ගත් පුද්ගලයන් කිරීටක ධමණීන් ආශ්‍රිත ආබාධ තත්වයන්ගෙන් ආරක්ෂාව ලද බවයි.

අපේ සිරුරේ ඇති මුක්ත ඛණ්ඩක හෙවත් free radicals මගින් හෘදය වස්තුවේ පටක විනාශ කරන අතර ඒ තත්වය හෘදයාබාධ වෙනුවෙනුත් හේතු වෙනවා. ඊට හොඳම පිලියම ඕට්ස් වලින් ලබා ගන්න පුලුවනි. ඕට්ස්වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් විටමින් සී සමග සංයෝග වෙලා අහිතකර කොලස්ටරෝල් මගින් සිදු විය හැකි හානිය අවම කරනවා.

දියවැඩියා රෝගීන් වෙනවෙනුත් ඕට්ස් නිර්දේශිතයි. ඊට හේතුව වෙන්නේ ඕට්ස් මගින් ආහාරවල තිබෙන ග්ලූකෝස් රුධිරය වෙත උරා ගැනීම ප්‍රමාද කරන නිසා ඉන්සියුලින් ඉන්සියුලින් සංවේදීතාවය ඉහල යෑමත් ඕට්ස් ආහාරයට ගැනීමෙන් ඇති වෙනවා.

සිරුරේ බර අඩු කර ගන්න ජිම් යෑම වෙනුවට ඕට්ස් ආහාරයට ගෙන බලන්නකෝ..

ඕට්ස් මගින් සිරුරට ලැබෙන්නේ අඩු කැලරි ශක්තියක්. ඒ නිසා තරබාරුවෙන් මිදෙන්න පුලුවනි. ඉතින් මොකටද නේද ජිම් යන්නේ…ගෙදරදීම තරබාරුවෙන් මිදෙන්න පුලුවන් නම්. ඒ වගේම රුධිර පීඩනය අවම වෙනවා විතරක් නොවෙයි, තරුණ පෙනුමත් රැක ගැනීමට කදිම ආහාරයක්. සමේ කැසීම, සමේ වියලි බවටත් ගුණ ලබා දෙනවා. තන්තු බහුල නිසා මල බද්ධයට පහසුවෙන්ම විසදුමක් ලැබෙනවා.

ඕට්ස්වල පෝෂණීය අගය  : 

(ඕටස් ග්‍රෑම් 100 ක පෝෂණීය අගය %)

  • මැග්නීසියම් 64
  • පොස්පරස් 29
  • කොපර් 27
  • විටමින් බී 1 25
  • මැග්නීසියම් 17
  • තන්තු 17
  • ක්‍රොනියම් 15
  • ප්‍රෝටීන් 13

ඕට්ස් තන්තු බහුල නිසා පිලිකාවන්ගෙන් විශාල ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අලලා සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ ඕට්ස් ආහාරයට ගන්නා කාන්තාවන් පියයුරු පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලබන බවයි.

බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ ඕට්ස් ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා වැනි රෝග තත්වයන්ට එරෙහිව ශරීර ප්‍රතිශක්තිය හඹා යන ඔබට දරුවන්ට වගේම පවුලේ හැම දෙනාටම ඉතා පහසුවෙන් පිළියෙල කර ගත හැකි ඕට්ස් එක් කර ගන්න පුලුවන්.

මේ ටිකත් මතක තබා ගන්න…

ඔබ දැනටමත් අහිතරක කොලස්ටරෝල් මටට්මේ වගේම හදවත් රෝග සංකුලතාවයන්ගෙන් පෙලෙනවා නම් ඔට්ස් පිලියෙල කරන විට යොදය සහිත කිරි වෙනුවට මේද රහිත කිරි පාවිච්චි කරනන්. අලිගැටපේර, නිවිති වැනි හදවතට ගුණ දෙන අතිරේක වෙනුවෙන් යොමු වුනොත් ඒට්ස් ගුණ ලබා ගැනීම ඉතාම පහසුයි.

මුලාශ්‍රය (Cade JE, Burley VJ, et al., International Journal of Epidemiology).

 

නොමේරු දරු උපතක් ගැන මේ කරුණු දැන සිටියද?

සෑම මවකගේම පියෙකුගේම එකම පැතුම නිරෝගී දරු සම්පතක් වුවත් මවට හෝ කලලයට ඇති විය හැකි සංකුලතා හේතුවෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව අපි හොඳින් දන්නවා. දරුවෙකු කුස පිළිසිඳි මොහොතේ සිට මෙලොවට බිහිවන තෙක් සති හතලිහක කාලයක් පුරා ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය සිදුවේ. නමුත් මවගේ හෝ කලලයේ ඇතැම් සංකූලතා  හේතුවෙන් මව් කුස තුළ  සිටිය යුතු කාලසීමාව සම්පූර්ණ වීමට පෙර එනම් සති 37 ට පෙර බිහිවන දරුවන්ද සිටිනවා.

මව්කුස තුළ නියමිත දින ගණන සම්පූර්ණ නොකරන ළදරුවන් කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය

නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 37 ත් අතර උපදින දරුවන්
ඉතා නොමේරූ ළදරුවන් – සති 32 ත් සති 28 ත් අතර උපදින ළදරුවන්
අතිශය නොමේරූ ළදරුවන් – සති 28 ට පෙර උපදින ළදරුවන්

නොමේරු ළදරුවන් බිහිවීමට හේතු

  • ගැබිනි මවට උණ/වෙනත් ආසාදන තත්ත්ව ඇතිවීම
  • ගැබිනි මව දියවැඩියාව/අධි රුධිර පීඩන තත්ත්වයන්ගෙන් පෙලීම
  • නොමේරූ ළදරු ප‍්‍රසූතිය සිදුවූ මීට පෙර අවස්ථා පැවතීම
  • කළලාවාරික තරලය වර්ධනය වීම
  • වැදෑමහ තුළින් ලේ වහනය වීම
  • ද්වි/බහු කලල පැවතීම හෝ කලල වල ඇති ආබාධ තත්වයන්

මේ ආකාරයට සිදුවන නොමේරු දරු උපතකදී එම දරුවන්ගේ අවයව නිසි අයුරින් සැකසී නොමැති නිසා ඔවුන් යොමු කෙරෙන්නේ දැඩි සත්කාර ඒකකය වෙතටයි. මෙසේ උපත ලබන ළදරුවන් නොයෙක් ආකාරයේ සන්කුලතාවලට ලක්විය හැකි අතරම ඔවුන්ගේ ජිවිතයද අස්ථිර තත්ත්වයේ පවතී.

සති 28ට පෙර උපත ලද/ උපත් බර 1000g ට අඩු ළදරුවන්ට,
  • ජිවිත අවධානම ඉහළය
  • ශ්වසන අපහසුතා (පෙණහළලු නිසි ලෙස වර්ධනය වී නොමැති නිසා)
  • පෙනහලු යථා තත්ත්වයට පත් වන තුරු කෘතිම ශ්වසනය ලබා දීම සිදුවේ
  • මොළයේ වර්ධනය අඩුය
  • බඩවැල්ද ඉතා සියුම් බැවින් මව් කිරි ජීර්ණය වීම අඩු මට්ටමක පවතී
  • ප‍්‍රතිශක්තීකරණය හැකියාව අවමය (එබැවින් විෂබීජ ශරීරගත වීමේ අවදානම ඉහළය)
සාමාන්‍යයෙන් සති 32 වඩා අඩු ළදරුවන්ට,
  • කිරි උරා බීමේ හැකියාව අඩු නිසා මවගෙන් කිරි දොවා බට මාර්ගයෙන් ලබා දීමට සිදුවේ
  • සම නිසි ලෙස වර්ධනය නොවීම නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමට විශේෂ උෂ්ණත්ව පාලන කුටීරවල රඳවයි
නොමේරූ ළදරුවන්ට ඇතිවිය හැකි සංකූලතා,
  • පෙනහලු ආශ‍්‍රිත ආබාධ
  • මොළයට රුධිර වහනය වීම නිසා මස්තිශ්ක අගාධ තත්ත්වයන්
  • ශ්‍රවණ /අක්ෂි ආබාධ
  • වකුගඩු/පෙනහලු/බඩවැල් බඩවැල් ආශ‍්‍රිත ආබාධ

නොමේරු ළදරුවෙකු රැගෙන රෝහලෙන් පිටව යාමට පෙර විශේෂයෙන්ම බර 1500g ට අඩු සහ සති 34 අඩු දරුවන් අක්‍ෂි මෙන්ම ශ්‍රවණ පරීක්‍ෂාවන්ට යොමු කරයි. ඔක්සිජන් ලබාදීම හේතුවෙන් මෙවැනි දරුවන් අක්ෂි අබාධවලට ගොදුරු විය හැකි නමුත් මුල් අවධියේදීම මේ තත්ත්වය හඳුනා ප්‍රතිකාර වෙත යොමු කිරීමෙන් සුව තත්ත්වයට ගෙන ඒමටත් අන්ධ බවට පත්වීම  වළක්වා ගැනීමටත් හැකිය. එසේම රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන උපදෙස්වලට අනුව යමින් අවශ්‍ය සායන සඳහා සහභාගී වීමට මව්වරුන් උනන්දු විය යුතුය.

නිවසට රැගෙන යන නොමේරූ ළදරුවන් රැකබලා ගැනීමේදී 

ප‍්‍රතිශක්තිකරණය ද අවම බැවින්,
  • දරුවා අමුත්තන්ගෙන් ඈත් කර තබන්න
  • පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
  • සුළු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පවා නිවුමෝනියා තත්ත්වයන් ඇති විය හැකි බැවින් ආරක්ෂා කරගන්න
  • නිතර නිතර දරුවා ඇල්ලීමෙන් වළකින්න
  • මව/රැකබලාගන්නා ද පිරිසිදුව සිටින්න
උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව අඩු බැවින්,
  • තාප හානිය වැළක්වීමට හිස් ආවරණ/දෑත් සහ පාදවලට මේස් පළඳන්න
  • සෑම මොහොතකම අනිවාර්යයෙන්ම ඇඳුමක් අන්දවා උණුසුම්ව තබන්න
  • ළදරුවාගේ බර 2Kg වන තුරු නෑවීමෙන් වැළකී ඇඟ පමණක් තෙත මාත්තු කර හොඳින් පිස දමන්න
  • කැන්ගරු මව් ළදරු සත්කාරය ලබාදෙන්න.
නොමේරූ ළදරුවන් සඳහා කැන්ගරු මව් ළදරු සත්කාරය,
  • ළදරුවාගෙ හුස්ම ගැනීමේ අපහසුතා අවම කර ගැනීම
  • ළදරුවාගේ බර වැඩිවීම හේතු වේ
  • ළදරුවා සහ දෙමාපියන් අතර බැඳීම වර්ධනය කරවයි
මව්කිරි ලබාදීමේදී,
  • පැයෙන් පැය කිරි ලබාදීම අනවශ්‍ය අතර කුසගිනි ඇති වන අවස්ථාව අවබෝධ කරගනිමින් කිරි ලබාදෙන්න
  • දරුවාට කුස ගිනි ඇති වූ බව ඈනුම් ඇරීම, දෙනෙත් හොඳින් විවිර කර සිටීම, මුව විවර කරගෙන සිටීම වැනි ලක්ෂණ වලින් පෙන්නුම් කරයි
  • උරා බීමේ අපහසුතා ඇත්නම් හැන්දකින්, පිපෙට්ටුවකින් හෝ කෝප්පයක් ආධාරයෙන් ලබාදෙන්න
ළදරුවා නිදි කරවීමේදී,
  • හිසට කොට්ට තැබීමෙන් වළකින්න
  • උඩුබැලි අතට (මුණින් අතට තැබීමේ දී මුහුණ සිර වී හුස්ම ගැනීමට අපහසු වී මිය යා හැකි නිසා) නිදිකර තබන්න
  • මේ වන විට මවත් වෙහෙසට පත්ව ඇති නිසා ළදරුවා ඇඳේ වෙනමම/ළදරු ඇඳක තබන්න
  • උෂ්ණත්වය රැකෙන පරිදි හොඳින් ඔතා තබන්න
  • ළදරුවාගේ මුහුණට හිස් ආවරණ  හා රෙදි නොවැටෙන සේ තැබීමට ප්‍රවේසම් වෙන්න
නොමේරූ ළදරුවන් සඳහාත්,
  • නිසි කලට වෛද්‍ය නිර්දේශය අනුව එන්නත් ලබා දෙන්න
  • වර්ධනය සඳහා අවශ්‍ය කැල්සියම්/යකඩ සහ මල්ටි විටමින් වෛද්‍ය උපදෙස් අනුව අඛණ්ඩව ලබා දෙන්න
  • සාමාන්‍ය දරුවන් හා සමග සංසන්දනය කිරීමෙන් වලකින්න

මෙවැනි දරු උපතකදී වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදු වන අතරම නිවසට යැවීම තීරණය වන්නේ ළදරුවාගේ  හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම කිරි උරා බීමේ හැකියාව සහ ළදරුවාගේ බර මෙන්ම මවට ළදරුවා රැක බලාගැනීමට හැකි තත්ත්වයට පත් වූ පසුවයි. කෙසේ වුවද මෙවැනි දරු උපතකින් පසු මවකගේ මානසික තත්ත්වය යම්තාක් දුරට දුර්වල විය හැකි නිසා සැමියාගේ මෙන්ම නෑ හිත මිතුරන්ගේද උපරිම සහයෝගය සහ අවධානයත් ආදරයත් මවකට අත්‍යවශ්‍යය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිලිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

 

දරුවාගේ සංවර්ධනය දෙස විමසිල්ලෙන් ඉවසීල්ලෙන් බලන්න

පෙර පාසල් වයසේ  දරුවන්

දරුවන්ගේ අත් පා වල විශාල මාංශ පේශි වර්ධනය ආරම්භ වෙන විට දරුවා වේගයෙන් දුවන්න, උඩපනින්න, පඩි පෙලක් දිග ඉහලට පහලට යෑමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම සෙල්ලම් ගෙයක සෙල්ලම් කිරීමට, මැටි, වතුර සහ වැලි ඇනීමට දරුවන් දක්වන කැමැත්ත ඉදිරියේ ඔබ ඔවුන්ට බාධා කරන්න එපා. “දුවන්න එපා…වැටෙයි…පඩි පෙලේ ඉහල පහල ගිහින් අත් කකුල් කඩා ගන්නද..?” මේ විදිහට දරුවාගේ නිදහසේ හැසිරෙන රටාවට බාධා නොකළ යුතුයි. එවිට දරුවාට ඇති වෙන්නේ කනගාටුවක්. එක් අතකින් ඔවුන්ගේ මාංශ පේශි වර්ධනයට ඇති හැකියාව නැති වෙනවා. අනිත් පැත්තෙන් තමාගේ ස්වාධීනත්වයට පනවන බාධාවන් නිසා දරුවා බිඳවැටෙන්න පටන් ගන්නවා.මේ කාලයේදී දරුවාට රිසි සේ හැසිරෙන්න ඉඩ වපසරිය සාදා දෙන්න දෙමව්පියන්ට පුලුවනි. එහෙමනම් නිවසේ සිටින අවුරුදු තුනක් පමණ වෙන විට දරුවාට මේ කටයුතු කරන්න අවසර අවශ්‍යයි.

  • දරුවාට බෝලයට පයින් ගැසීමට ඉඩ දෙන්න.
  • පඩිපෙළ ඉහළ පහල යෑමට.
  • ඔන්චිල්ලාව පදින්න.
  • ලොකු රබර් බෝලයක් පෙරලන්න.
  • ට්‍රයිසිකලයක් පදින්න අවසර දුන්නාට වරදක් නැහැ.
තවම කමිසයේ බොත්තම හරියට දා ගන්න බැහැ… දාංගලේ විතරයි..

එකතැන විනාඩියක් නොරැඳෙන දරුවාට කමිසයේ බොත්තම නිවරැදිව දා ගැනීමට සමහර විට ‍නොහැකි වීම ගැන අම්මා , තාත්තා කතා කරන්නේ නොමනාපයෙන්. ඒත් කිසිම විටෙක ඒ විදිහට දරුවා සමග උරන සිත් ගොඩ නගා ගන්න එපා. මුලින් සඳහන් කරන ලද ක්‍රියාකාරකම් වෙනුවෙන් දරුවා දක්වන හැකියාවන්ට හේතු වෙන්නේ ඔහුගේ විශාල මාංශපේශියි. බොත්තම් දැමීම වැනි කටයුතුවලට බලපාන්නේ සියුම් මාංහපේශි නිසා ඒවා වර්ධනය වෙන තෙක් අම්මා තාත්තා බලාගෙන හිටියට බොත්තම් දැමීම වැනි කටයුතුවලට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අකුරු ලියන්න බල කරන්න එපා…

දරුවාට අකුරු කියවන ලද දිනයේ පටන් අම්මාට තාත්තාට අවශ්‍ය වෙන්නේ තමාගේ දරුවාගෙන් අකුරක් ඉලක්කමක් ලියවා ගන්නයි. ඒත් මේ වෙනුවෙන් දරුවා සූදානම් වෙන තෙක් කිසිම බලකිරීමක් එපා.

ඒ වුනාට බිත්තියේ බලිරූප ඇඳල විනාසයි…

අකුරු ලියන්න සූදානම් නැතැත් බොහෝ දරුවන් පැන්සලකින් බිත්තියේ එහෙම නැත්නම් පොළවේ විවිධ කුරුටු බලි ඇඳීමට පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ දැන් අකුරු ලිවීමට සූදානම් බවයි. නිවසේ අලංකාරයට හානි සිද්ධ වෙන නිසා දරුවාගේ නිදහස් බලි රෑප වෙනුවෙන් පුංචි වුනත් ඉඩ පරිසරයක් වෙන් කර දෙන්න.

අවුරුදු හතරක් විතර වුනාම තවත් වැඩ පටන් ගන්නවා

දැන් ඔවුන්ග් සියුම් මාංශපේශි වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසා ඇගිලි හසුරුවා මැටි ගුලි අනන්න, රබර් බෝල මිරිකන්න, කඩදාසි කපන්න, චිත්‍ර  අදින්න පුලුවනි. ඉතින් ඔබට මේ විදිහට දරුවාට හවුල් වෙන්න පුලුවන්

  • නිවසේ ඉවත දමන කාඩ්බෝඩ් වලින් හැඩ කපන්න සහ පැස්ටල් හෝ පැන්සල් ආධාරයෙන් චිත්‍ර අදින්න ඉඩ දෙන්න.
  • සී සෝ වැනි ක්‍රිඩාවන්හි යෙදෙන්න පුලුවනි.
  • අලියා , හාවාගේ ගමන් ඉරියව් අනුකරනය කිරීමට කියා දෙන්න.
  • ටයර් පදවන්න.
  • කං කං බූරු වැනි සමූහ ක්‍රිඩාවන් කරන්න ඉඩ දෙන්න.
දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමටත් හොඳම කාලය දැන්

හොවාර්ඩ් ගාර්ඩ්නර් සදහන් කරන අන්දමට පුද්ගලයෙකු තුළ විවිධ හැකියාවන් තිබෙනවා. දරුවෙක් විදිහට ඔබ ඇසුරේ සිටින මේ පුංචි ජීවියාගේ හැකියාවන් ඔප් නැංවීමට දැන් හොඳම තෝතැන්නයි. දරුවා තුළ සැගවී සිටින මේ යෝධ හැකියාවන් අවදි කරන්නේ කොහොමද….?

නිර්මාණාත්මක හැකියාවන් : 

දරුවාට කඩදාසි කපන්න, පතරොමක් තබා එය වටා අදින්න, රවුමට පිටින් නොයන සේ පාට කිරීම, පින්තූරයක වටට රූපයට හානි නොවන සේ කැපීම වැනි කටයුතු වෙනුවෙන් නිදහස ලබා දෙන්න.

ගණිතමය හැකියාවන් :

මේ කාලයේදී පයිතගර්ස්ගේ මට්ටම බලාපොරොත්තු වෙන්න එපා. ලොකු සහ පොඩි, දිග සහ කොට වගේම රවුම, හතරැස් කොටුව, ත්‍රිකෝණය හැඩය අනුව තෝරා ගැනීමට නිදහස දෙන්න. හැඩතල කපා දෙමින් මේ කාර්යයට සහයෝගය දක්වන්න පුලුවන්. මේ වෙන විට ඔවුන්ගේ මොළය සහ ස්නායු වර්ධනය සිදු වී තිබෙන නිසා ඇඟිලි හොදින් හසුරුවන්න පුලුවන්. කොළයක් සමානව දෙකට නැවීම වැනි කටයුතු මගින් ඇස් , මොළය සහ අත යන ඉන්ද්‍රියන් තුනම එකවර ක්‍රියාත්මක වෙනවා.

භාෂාමය හැකියාවන් : 

මේ කාලයේදී දරුවාගේ වාග්කෝෂය එතරම් පුලුල් නැහැ. ඒ නිසා ඇතැම් වස්තූන් හදුන්වා දෙන්න ඔවුන් විසින්ම වචන යොදා ගන්නවා. සමහර විට තමාව ආමන්ත්‍රනය කිරීමටත් ඔවුන්ට දෙමව්පියන් ආමන්ත්‍රණය කරන වචනම යොදා ගන්නවා. “දුව” එහෙම නැත්නම් “පුතා”, “නංගී” විදිහට තමාව හඳුන්වා ගන්නවා. කාලයත් සමග තමන් දකින අයට නැන්දා, මාමා, අක්කා, අයියා විදිහට ආමන්ත්‍රණයටත් හැකියාව ලබනවා. “බැසිල් බර්න්ස්ටයින්” නැමැති සමාජ විද්‍යාඥයා පෙන්වා දෙන අන්දමට දරුවා සමග වැඩිපුර වැඩිහිටියන් කතා කරන තරමටම ඔවුන්ගේ කතා කිරීමේ හැකියාවන් වර්ධනය වෙන බවයි. මේ නිසා දරුවන් සමග “ඔව්/නැහැ” වැනි කෙටි සංවාද වෙනුවට ඔවුන් සෑහීමට පත් වෙන සේ සංවාදයන් සමග අලුත් අත්දැකීම් ලබා දෙන්න. එවිට දරුවාගේ භාෂාමය හැකියාවන් නොදැනීම සංවර්ධනය ලබාවි.

අනුකරනයට දක්ෂයි :

පුංචි දරුවන් අනුකරනයට හරිම දක්ෂයි. තමාගේ ඇසුරේ සිටින අය අනුකරනය කරන නිසා හොඳ වගේම නරක වෙනුවෙනුත් යොමු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉහලයි. ඒ නිසා හොඳ පුරුදු වගේම නරක පුරුදු ඉතාම පහසුවෙන් ග්‍රහනය කර ගන්නවා. ආහාර පුරුදු, ආගමික වතාවත් , තැනට ගැලපෙන සේ හැසිරෙන අන්දම ගැන දරුවන්ට හුරු කිරීමට හොඳම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා.

දරුවෙකුගේ වර්ධනය සිද්ධ වෙන්නේ ඉතාම සෙමින්. මේ කාලය තුළ දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය, ආරක්ෂාව සහ රැකවරනය නිසා ඔවුන් ශාරිරිකව මෙන්ම මානසිකවත් ශක්තිමත් වීමට අවශ්‍ය පරිසරය ලැබෙනවා. ඒ නිසා කාර්යබහුල ජීවිතයේ තිබෙන හැල හැප්පීම් නිසා දරුවාගේ නොදරුකම් ඉදිරියේ කෝප නොවී ඉවසීමෙන් කටයුතු කරන්න. මේ කාලයේදී ඔබගෙන් ලැබෙන අමිහිරි අත්දැකීම් නිසා දරුවා මානසික ආතතියට පත් වෙනන් පුලුවනි. එහෙනම් මල් පෙත්තක් බදු මේ පුංචි හිත් නොරිදවන සේ කටයුතු කරමින් ඔවුන්ගේ හැසිරීමට අද උරන නොවී සිටියොත් හෙට දවසේ ඔබේ දරුවා ලෝකයටම සුවිශේෂී චරිතයක් බවට පත් වෙනු ඇත.