නිරෝගී හෙට දවසක් උදෙසා ”ආහාර විප්ලවය” සමගින් එක්වන්නට ඔබටත් ඇරයුම්

තාක‍ෂණයේ දියුණුවත් සමගම වෛද්‍ය ක්‍ෂේත්‍රය වේගයෙන් ඉදිිරියට ඇදී යයි. අද වන විට ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උපරිම පහසුකම් මෙන්ම සුදුසුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරුන්ගේ උපරිම සේවාව මත රෝගීන් වෙත වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවස්ථාව සැලසී ඇත. මේ තත්ත්වය මෙසේ පැවතිය ද දියවැඩියාව, ස්ථූලතාවය හා අධිරුධිර පීඩන තත්ත්වය නිසා පීඩාවට පත්වන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සැබවින්ම කණගාටුවට කරුණකි. එපමණක් ද නොව එම රෝගාබාධ හේතුවෙන් සමීපතමයන් අහිමි වීමද දුකට කරුණකි. සැබවින්ම ආහාර හා සම්බන්ධව ඇති වන මෙවැනි රෝග තත්ත්වයන් අවම කිරීමට අද සිටම ඔබ දැනුවත් විය යුත්තේ අපේ සමීපතමයන් මෙවැනි රෝග තත්ත්වයන් හේතුවෙන් අකාලයේ අපට අහිමි විය හැකි බැවිනි. ආහාර හා සම්බන්ධ රෝගාබාධ, ලොව වෙසෙන දරුණුතම ඝාතකයා ලෙස හැඳින්වීමේ වරදක් නොමැති බව ඔබව මේ ලිපිය තූළින් දැනුවත් කරනු ඇත. මන්ද අප මේ සිට්න්නේ ඒ හා සම්බන්ධව ඍජු තීරණයකට එළැඹිය යුතු ප්‍රබලතම අවස්ථාවකයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන දියවැඩියාව හා ආහාර සම්බන්ධ රෝගාබාධ සහිත රෝගීන් වෙනුවෙන් වසරකට මිලියන ගණනක් වැය වන බව ඔබ දන්නවාද? වසර දහයක් ඉදිරියට මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඒ සඳහා වැය වන මුදල දෙගුණයක් විය හැකි අතරම එය රටේ ආර්ථීක තත්ත්වයට ද අහිතකර ලෙස බලපෑ හැකිය.

මිනිසුන්ගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා වූ සෑම සැමරීමක් හා සමගම මූලික ස්ථානය ගන්නා ආහාර නිසි ලෙස පරිභෝජනය කිරීම පිළිබඳව නිවැරදි අවබෝධය නොමැතිකම, අද වන විට උද්ගතව ඇති මේ තත්ත්වයට හේතුවයි. දියවැඩියාව මෙන්ම ආහාර හා ඇති විය හැකි රෝගාබාධ කෙමෙන් කෙමන් සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමට හේතු වන්නේ එයයි. අන්න ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට අප සියලූ දෙනාම හුරුවී ආහාර හේතුවෙන් ඇති විය හැකි රෝග වළක්වා ගැනීම පිළිඳව දැනුවත් විය යුතුය. එය අනිවාර්යෙන්ම ඔබට කළ හැක්කකි.

අපි, ආහාර සහ ඒවායේ ගුණාගුණ පිළිබඳව දැනුවත් වෙමු

පසුගිය වසර 30 කාලයක පමණ සිට ක‍ෂණික ආහාර වර්ග වෙත අපේ රටේ මුල් තැන හිමිව ඇති බව ඔබ පිළිගන්නවාද? ආර්ථීක අරගලය හා සටන් වදින පියවරුන්ගේ සහයාට බොහෝ මව්වරුන් ද සහය ලබාදෙමින් රැකියාවල නියුක්ත වීම හේතුවෙන් ඇති වූ කාර්ය බහුලත්වය එයට මූලික එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. එසේම ලබන ආදායම අනුව ඉහළ යන ආහාර මිලට ඔරොත්තු දීමේ නොහැකියාව මතද ක‍ෂණික ආහාර කෙරේ ජනතාව යොමු වීම සිදු විය.

මේදය, සීනි හා කාබෝහයිඩ්රේට්වලින් පරිපූර්ණ ක‍ෂණික ආහාර අධි කැලරි ආහාර ලෙස නම් කළ හැකිය. නමුත් එම ආහාර වර්ග පෝෂණ ගූණයෙන් ඇත්තේ ඉතා ඉතාම පහළ තලයකයි.

අපි, අප ලබාගත යුතු ආහාර ප්‍රමාණය ගැන දැනුවත් වෙමු

අප එක් වේලක් සඳහා ලබාගත යුතු ආහාර ප්‍රමාණය පිළිබඳ බොහෝ පිරිස් තුළ ඇත්තේ අනවබෝධයකි. එනම් ලබාගන්නා ආහාර වේලේ ඇතුළත් කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය ප්‍රමාණයන් පිළිබඳව දැනුවත් පිරිස විරලය. බොහෝ නිවෙස්වල කාබෝහයිඩ්රේට් අඩංගු දේ වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කරගන්නා අතරම ප්‍රෝටීන, තන්තු අඩංගු ආහාර ද්‍රව්‍ය එක්කරගන්නේ මද වශයෙනි.

ප්‍රමාණය ඉතා බහළ වන අතරම ප්‍රෝටීන ප්‍රමාණය අවමය. සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන පිළිබඳ සංකල්පය ජනතාව අතරට ගෙන යා යුතු වන්නේ ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාදීමටයි.

අපි, අපට නැතිවම බැරි සීනි පිළිබඳව දැනුවත් වෙමු

”සීනි එපා” යැයි පැවසීමට තරම් ඔබ බලසම්පන්න අයෙක්ද?

ඔබේ නිරෝගී බව උදෙසා ඒ හැකියාව ඔබ සතු විය යුතුමය. අද සිටම ඔබත් අහාර සඳහා සීනි එක්කිරීම අවම කළ යුතුය. වැඩි දෙනෙක් අධික ලෙස සීනි භාවිතයට හුරුව තිබේ. නිවසේදී පවා සකසන පලතුරු සලාදයට, පලතුරු යුෂ වීදුරුවට අධික ලෙස සීනි මෙන්ම ලූණු එක්කිරීම තුළින් ඔබ විසින් සැකසූ එම පානයේ ඇති පෝෂණ ගූණයට ද හානි වේ. සීනි රසයට හුරු වූ පසු එය ඔබට දිගින් දිගටම අවශ්‍ය වන අතරම එය පාලනය කරගැනීම තුළින් ඔබට ලැඛෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.

උදාඃ පාසැලේදී පන්තියේ ආපන ශාලාවේදී සිසුන් කිරි පැකට් මිලදී ගැනීමට පුරුදුව සිටී. ඒවාට යොදන වර්ණක, රසකාරක මෙන්ම සීනි නිසා ඉතා රසවත් පානයක් වන එයට දරුවන් හුරුවේ. එහි ප්‍රතිඵලය වන්නේ නිවසේදී පවා කිරි වීදුරුවට සීනි මිශ්‍ර නොකළහොත් දරුවා කිරි වීදුරුව ප්‍රතික්ෂේප කිරීමයි. සැබවින්ම දරුවන් හා සම්බන්ධ පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. කුඩා වියේ සිට දරුවන් මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මව්වරුන් වශයෙන් ඔබ අද සිටම ක්‍රියාත්මක විය යුතුය.

සෑම වැඩිහිටියෙකුම තමාට මෙන්ම දරුවන්ට ද ලබාදෙන ආහාර පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ. ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබන සමාගම් මගින් ජනතාව වෙත අදාල නිෂ්පාදනයේ අඩංගු දේ පිළිබඳ සියලූ නිවැරදි තොරතුරු ඇසුරුමේ සඳහන් කොට තිබිය යුතු අතර එය ඔවුන් සතු වගකීමකි. එසේම පාරිභෝගිකයා සතු අයිතිවාසිකමකි. මේ තත්ත්වය ඇතැම් නිෂ්පාදනවල සැකසෙමින් පැවතුණද නිෂ්පාදන වැඩි ප්‍රතිශතයක් තුළ තොරතුරු ඇත්තේ ජනතාව නොමග යවන අයුරිනි. ඇතැම් නිෂ්පාදවල කිසිදු තොරතුරක් ඇතුළත් නොවේ.

අපිටම වළක්වා ගත හැකි මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව නිසි ලෙස දැනුවත් වීම තුළින් නිරෝගී හෙට දවසක් කොයි කාටත් උදාවනු නිසැකය. නිරෝගී හෙට දවසක් උදෙසා ආහාර විප්ලවය හා එක්වන්ට සැමට ඇරයුම් කරන්නේ එබැවිනි. ඒ තුළින් විශාල වෙනසක් ඇති කළ හැකි අතරම නිරෝගි බව ඔබට, ඔබගේ ඥාති හිතමිත්‍රාදීන්ට පමණක් නොව රටට දැයටද අභරණයකි. ආඩම්බරයකි. ඉතිං ඒ සඳහා පළමු පියවර ඔසවමු.

  • අද සිටම ක‍ෂණික ආහාරවලින් ඈත් වී කාර්ය බහුලත්වය නම් වූ අභියෝගය ජයගනිමින් ඉක්මණින්, රසවත් ආහාර වේලක් සකසා පවුලේ සැවොම සමග ආදරයෙන් ඛෙදා හදාගැනීමට මව්වරුන් සැරසෙන්න.  මේ සඳහා ඔබට විශාල මුදලක් වැය නොවේ. වැදගත් වන්නේ කැපවීමයි.
  • පාසැල් යන ඔබේ දරුවාට සීනි, ලුණු සහ මේදය අවම කොට ඉහළ පෝෂකාංගයන්ගෙන් සපිරි පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා දීමට උනන්දු වන්න.
  • ඔබ ආහාර ලබාගන්නා පිඟාන ”සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන”නම් වූ සංකල්පය ඇතුළත් කරන්න.

ඔබේ ආහාර පිඟානේ

1/4ක් – බත් (කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග – බත්)

2/4ක් – එළවළු වර්ග සහ මැල්ලම් 

1/4ක් – සත්ත්ව ආහාර (ප්‍රෝටීන අඩංගු ආහාර – මස්, මාළු, බිත්තර, හතු, සෝයා වැනි)

මේ නිරෝගී පරපුරක් බිහිකරන්නට අවැසි සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන නම් වූ සංකල්පයයි. කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග පිඟානේ 1/4කට සීමා කළ යුතු අතරම පිඟානේ හරි අඩක පමණ ප්‍රමාණයක එළවලූ වර්ග තිබිය යුතුය. ඒ මගින් පෝෂණය පමණක් නිස සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය නිසි ලෙස ලැබීම හේතුවෙන් උදරය තුළ යහපත් පරිසරයක් සැකසීමට සහය වේ. එසේම පිඟානේ ඉතිරි 1/4 කොටස මස් මාංශ බිත්තර හෝ ශාක ආහාර පමණක් ආහාරයට ගන්නේ නම් හතු, සෝයා වැනි ප්‍රෝටීන සහිත ද්‍රව්‍ය විය යුතුය.

ශ්‍රී ලංකා රජය අද වන විට ආහාර හේතුවෙන් ඇති වන රෝග සහ වසංගත රෝග තත්ත්ව වළක්වා ගැනීම උදෙසා පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇත. සෑම පානයකම අඩංගු සීනි ප්‍රමාණය නිරූපනය වන ලෙස වර්ණ ලේබල් යෙදීම, අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් තුළ ඇති ආපනශාලා වෙත ප්‍රතිපත්ති මත නිති පද්ධතියක් ක්‍රියාත්මක කර තිබීම ඒ අතරට ඇතුළත්ය. සෑම නිවසකම පෝෂණයෙන් ඉහළ ආහාර පිසීමට මෙන්ම ආහාර පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා මේසා ක්‍රියාමර්ග දියත් කර ඇත්තේ ආහාර හේතුවෙන් ඇති වන රෝග තත්ත්ව වළකමින් නිරෝගි පුරවැසියන්ගෙන් සපිරි රටක් දැකීමේ අරමුණෙනි. ඒ සඳහා ඔබ, ඔබ වෙතම ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන්න.

වෛද්‍ය සමන්ති කුරේ,
දියවැඩියාව හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශික‍ෂණ රෝහල, කුරුණෑගල

 

හැදෙන ගහ දෙපෙත්තෙන් නොපෙනේ

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් සමහර ගස් දෙපෙත්ත තුල හැදෙන ගතියක් නොපෙන්නුවත් කාලයකදී ඉතා සරුවට වැඩෙන්න පටන් ගන්නවා. තවත් සමහර ගස් දෙපෙත්ත තුන්පෙත්ත හොඳින් තිබුනත් හදිසියේම වෙනස් තැනකට පත් වෙනවා. දරුවන් ගැන වුනත් අපිට මේ සත්‍යය ආදේශ කරගන්න පුලුවන්.

ඇතැම් දරුවන් බාල කාලයේදී ඉතාම නොහික්මුන ගති පැවැතුම් පෙන්වුවත් කාලයත් සමග මේ දරුවන් ඉතාම හොඳ තත්වයට පත් වෙනවා. මේ නිසා අපිට බාල කාලයේදීම දරුවන් ගැන සහතික දෙන්න අපහසුයි.

සාපේක්ෂතාවාදය ලෝකයට හඳුන්වා දුන් ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේ කතා බහ කළේම නැහැ. දෙමව්පියන් හිතුවේ ඔහු උපන් ගෙයි ගොලුවෙක් කියලයි. එහෙත්…අවුරුදු තුනක් වෙද්දී දවසක් කෑම මේසයේදී ඇල්බට් මෙසේ කිව්වා. ” මේ සුප් එකට ලුණු මදි…. ” දෙමව්පියන් පුදුම වුණා.

ඇයි පුතේ මෙච්චර කාලයක් කතා නොකර ගොලුවෙක් වගේ හිටියේ….සතුට ඉවසා ගත නොහැකි දෙමව්පියන් ඔහුගෙන් ඇහුවා.මේ ගෙදර මට මෙච්චර කාලයක් කතා කරන්න අඩු පාඩුවක් තිබුනේ නැහැ. ඔහු කිව්වා.

අසාමාන්‍ය බුද්ධියකින් හෙබි ඔහු පාසල් කාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වුනේ නැහැ. ඔහුගේ වයසේ අනිත් දරුවන්ට සාපේක්ෂව ඔහු බොහොම දුර්වලයි.ලෝකය ගැන නොදන්න මෝඩ කොල්ලා..කම්මැලියෙක් නොවී මිනිහෙක් වෙන්න ඉගෙන ගනින්…ගුරුවරු කිව්වා…

ඔවුන් එදා ඒ විදිහට දැක්කත් ඇල්බට් අයින්ස්ටයින් පසුකාලෙක භෞතික විද්‍යාවට විශිෂ්ට සේවාවක් කළ බුද්ධිමතෙක් වුණා.

අද  ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටින  පූටින් හෙවත් රුසියානු ජනාධිපතිවරයා පාසල් කාලයේ ඉතා දාමරික චරිතයක්. ” වොලද්යා ” ලෙසින් එදා ඔහු හැඳින්වුණා. වයස අවුරුදු දහහයේ පටන් බොක්ෂිං ක්‍රිඩාවට යොමු වෙන ඔහු කිහිප වතාවක්ම තමන්ගේ නාසය මේ ක්‍රීඩාව නිසා බිඳ ගත්තා. ” සම්බෝ” යනුවෙන් හැඳින්වෙන අවි ආයුධ නැති ආත්මාරක්ෂාව පිළිබඳ ක්‍රිඩාවට  සම්බන්ධ වෙනවා. නිරන්තරවම රණ්ඩු සරුවල් වෙනුවෙන් පැටලුන හිතුවක්කාර චරිතයක්.

වොරන් බුෆේ පාසලේ ඉතාම කරදරකාර චරිතයක්.දවසක් පංතියේ ගුරුවරුයා ඔහුට චෝදනා කරමින් කියා සිටියේ තමුසේ කවදා හරි හිරේ යනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි.

මේ චරිත පිළිබඳ අතීතාවර්ජනයේ යෙදෙන විට පෙනෙන්නේ ඔවුන්ගේ අනාගතය බාල කාලයේදී පෙන්නුම් නොකල බවයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ බිය විය යුතු නැත.

දරුවාගේ අද හැසිරීම දෙස බලමින් ඔබ කිසිම විට අනාගතය ගැන තක්සේරු ගොඩ නගා ගත යුතු නැහැ. බාල කාලය අයහපත් වුනොත් ජීවිතය එයින් අවසාන වන්නේ නැහැ. දරුවාගේ ඔබ දකින හැකියාවන් තුලින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න.

බොහෝ දෙමව්පියන් දරුවන්ට චෝදනා නගන්නේද උඹ හැදෙන හැටි ම‍ට පේනවා…පුදුම කාලකණ්ණියෙක්…අනාගතයක්නම් ඇත්තේම නැහැ….ආදි ලෙසින් ඉතාම දරුණු විදිහටයි. දෙමව්පියන් විසින් ඔබ කිසිම දිනක මේ අන්දමින් දරුවාට අසාර්ථක අනාගතයක් ගැන අනාවැකි ඉදිරිපත් කළ යුතු නැහැ.ඇතැම් අවස්ථාවන්හිදී මව්පියන්ගේ මෙම දරුණු අපවාද සහ අපහාස නිසාම දරුවාගේ මානසිකත්වය ඉතා ප්‍රබල අන්දමින් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් විදිහට ඔබ දරුවන්ට ආශිර්වාද ගයනු මිස ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ යුතු නැත. දැන්මම පේනවා කවදාවත් හැදෙන එකෙක් නම් නොවෙයි….යනුවෙන් චෝදනා නගන විට දරුවාගේ හිත තුලින් ලබා දෙන මා පරාජිතයෙක්ය යන සංකල්පය නිසා අනාගතය වෙනුවෙන් ඔවුන් තුල කිසිම හීනයක් හෝ ඉලක්කයක් ගොඩ නැගෙන්නේ නැත. අම්මා තාත්තා නිතරම කතා බහ කරන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යන සංකල්පය මත පිහිටා ගෙන පමණි.

එහෙත් දෙපෙත්ත හැදෙන වැඩෙන ස්වභාවයක් නොමැත්තේ නම් හැදෙන වැඩෙන අන්දමින් නිසි මගට පත් කර ගැනීමට කටයුතු සලසා ගත යුතුයි. ඒ වෙනුවෙන් අද බොහෝ මාර්ග ඇත. ඉගෙනුමට අසමත් නම් ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ගයට අවතීරණය වෙනුවෙන් ඉගෙනුම වෙනුවෙන් සහයෝගය ලබා දීම මව්පියන්ගේ යුතුකමකි.

හිතමිතුරන් සමග අනිසි හැසිරීම් රටාවන්ට යොමු වෙන බවට ඉවක් දැනේ නම් වහාම එම ඇසුරෙන් දරුවා මුදවා ගන්න. වැරැදි හැසිරීම් රටාවේ ආදීනව ඔවුන්ට පහදා දෙන්න. සාර්ථක අනාගතයක් ගොඩ නගා ගැනීමට නම් අද දවස කැප කළ යුතු බව ඔවුන්ට දන්වා සිටින්න. මේ නිසා නොවැඩෙන පෙති දෙස බල බලා චෝදනා එල්ල කිරීම වෙනුවට දෙපෙත්තට වින කරන හැදීම බාල කරන කරුණු කාරණාවන් තේරුම් ගන්න. එවිට නියපොත්තෙන් කඩන්නට ඇති දෙය වෙනුවෙන් පොරව අවශ්‍ය නැත.

බාල කාලය අයහපත් ලෙසින් ගෙවා අනාගතය සාර්ථක කරගත් පුද්ගලයන් මෙන්ම බාල කාලයේදී ඉතා හොඳ හැසිරීමකින් යුක්ත වුනත් , අනාගතය විනාශ කර ගත් චරිත නොමැත්තේම නැත ඒ නිසා දෙපෙත්ත හොඳින් හැදෙන වැඩෙනවා දැක දැන් අපේ දරුවාගේ අනාගතය සාර්ථකය යන උපකල්පනයේ සිටින්නට බැහැ. දරුවෙක් නොමග යන්නට ඉතා සුලු ඇසිල්ලක් ප්‍රමාණවත්ය. දරුවා කොතරම් ගුණධර්මයන්ගෙන් යුක්ත වුනත් විෂම සමාජය විසින් ඔහු නොමගට ඇද ගැනීමට ප්‍රයත්න දරනු ඇත. දරුවන් ලෝකය නිසි පරිදි අවබෝධ කර ගෙන නැත එබැවින් දරුවා ගැන පසුවිපරම හිතින් ඉවත් කළ යුතු නැත.

මේ නිසා දරුවා මුල් කර ගෙන පූර්ණ විශ්වාසය හෝ අවිශ්වාසයෙන් කටයුතු නොකරන්න.සෑම දෙමව්පියෙකුගේම ප්‍රාර්ථනය ඉතා යහපත් ලෙසින් දරුවා ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. මව්පියන්ගේ අරමුණු තේරුම් ගැනීමට තරම් දරුවාගේ බුද්ධිය මුහුකුරා නැත දරුවන්ද පුංචි පැලයක් සේය. ඉතා සුලු දෙයින් පවා සහමුලින්ම විනාශ වෙන අවදානමින් යුක්තය . ගෙවත්තේ තිබෙන මල් පැලයක් දෙස බලන්න. දින කිහිපයක් ඒ ගැන සොයා නොබලා සිටින විට නොදැනම විවිධ ආපදාවන්ට පත් වීමේ ඉඩ කඩ බොහෝය. නිරන්තර විමසිල්ලෙන් සිටින විට මල් පැලයට ලැබෙන රැකවරනය නිසාම එහි පැවැත්ම ආරක්ෂා වේ.

මේ නිසා ඔබ කිසිම දිනක හැදෙන ගහේ දෙපෙත්ත මත විශ්වාසය තබන්නට සූදානම් නොවන්න. විටෙක මේ දෙපෙත්ත හොදින් වැඩී ඔබ නොදැනම විනාශ වෙනු ඇත. තවත් විටෙක දෙපෙත්ත ‍ගැන විශ්වාස තැබිය නොහැකි වුනත් ඔබේ ධෛර්යෙන් මල් පිපුන ගසක් නිර්මානය කර ගැනීම අපහසුවක් නොවෙනු ඇත. දරුවන් මුල් කර ගත් සිද්ධාන්තයද එසේම නිසා කිසිදු දිනක වර්තමානය මුල් කර ගෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් තීන්දු තිරණ ලබා දීම බෙහෙවින්ම අසාර්ථක ක්‍රියාවක් වේ.

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරකෂාව සළසා ගැනීම පිළිබඳවයි

ලොව සුන්දරත්වය නසන්නේ කුරුරි සිත් ඇති මිනිසුන්මය. අද වන විට හයක් හතරක් නොදන්නා සුරතල් දරු දැරියන්ට නිදහසේ තම ජීවිතය විඳින්නට ඉඩක් නැත්තේ ද ඒ කුරිරු සිත් ඇති මිනිසුන් නිසාය. ඔවුන්ගේ සුරක‍ෂිත බව කෙරෙහි ඔබේ අවධානය 200%ක් අවැසි වන්නේ ඒ නිසාමය.

ශ්‍රී ලංකා නීති පද්ධතියට අනුව වයස අවුරුදු 16 අඩු දරුවන් අකමැත්තෙන් පමණක් නොව ඔවුන්ගේ කැමැත්ත ඇතිව වුවද ලිංගික ක්‍රියාකරකම්වල යොදවා ගනීම හැඳින්වෙන්නේ දූෂණයක් ලෙසටයි.

කුඩා දරු දැරියන්ට මේ ලෝකය පිළිබඳව අවබෝධයක් නැති වුවද වැඩිහිටි ඔබ තම වටපිටාව පිළිබඳව මනා දැනුවත් බවකින් සිටිය යුතුමය. අද වන විට සමාජයේ සිදුවන, අසන, දකින දේ අනුව ඕනෑම අයෙකු කෙරේ 100% විශ්වාසයක් තැබීම මල් කැකුළු වැනි වූ මේ දරුවන්ගේ ජීවිත අනාරක‍ෂිත තත්ත්වයට පත්වීමට මූලික හේතුවක් විය හැකි බව ඔබ සිතුවාද? සැබවින්ම එය ඔබ විසින් සිදුකරනු ලබන පළමු වරදයි. අද වන විට පියා, සහෝදරයා අතින් සිය නිවසේදීම අතවරයට ලක්වන පුංචි දරුවන් පිළිබඳව ද ඔබ කොතෙකුත් අසා ඇති. අතවරයට ලක් වූ කුඩා දරුවන් 95%ක් පමණ අතවර ලක් වූ ආකාරය පිළිබඳව සොයා බැලීමේදී එය සිදුවූ බවට වාර්තා වී ඇත්තේ දරුවාගේ පවුලට වඩාත් හිතවත්ව සිටින පුද්ගලයන් අතින්මය.

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරක‍ෂාව සළසා ගැනීම පිළිබඳවයි…

ප්‍රථමවරට තම පෞද්ගලිකත්වය පිළිබඳව දරුවෙකු තුළ හැඟීමක් ජනිත වන්නේ මාස හයක් වැනි වයස් සීමාවේදී පමණය. එවැනි වයසේ පසුවන බිළිඳුන් මව/රැකබලාගන්නා නොමැති විට හඬා  වැටේ. මන්ද ළදරු අවධියේ සිටම ඔවුන් තමාගේ දේ හඳුනා ගනි. එතැන් සිට වයස අවුරුදු දෙක පසුවන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව ඇති වේ. කුඩා අවධියේ සිටම දරුවෙකුහටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු අතරම තම බඩු බාහිරාදිය පිළිබඳව පමණක් නොව තම සිරුරේ අයිතිය මෙන්ම එය රැකගැනීමේ වගකීම ද තමා සතු කාර්යයක් බව දරුවාට අවබෝධ කළ යුතුය. එය වැඩිහිටි ඔබ ඉතාම ඥානාන්විතව සිදු කළ යුතු කාර්යයකි.

මේ සඳහා සුදුසුම අවස්ථා ඔබ දන්නවාද ?

දරුවා නහවන/ඇඟ සෝදන/ඇඳුම් මාරු කරන අවස්ථාවන්ය

සතියකට වරක්වත් ඉතා සරලව ස්වයං ආරක‍ෂාව පිළිබඳව අදහසක් දරුවාට ලබාදෙන්න.

” මේ පුංචි ඇඟ  මගේ පැටියගේ. නාවද්දි, ඇඟ සෝදද්දි හරි කක්කි/චූ දාද්දි විතරයි ඔන්න පැටියා මේ කලිසම ගලවන්නේ… තේරුණා නේද මගේ පැටියට? ඒ වගේම මගේ චූටි පැටියගේ කලිසම ගලවලා අතගාලා සෝදන්නේ අම්මා/තාත්තා/රැකබලාගන්නා විතරයි. වෙන කාටවත් මේ හරිය අල්ලන් දෙන්න එපා හොඳද? කවුරු හරි එහෙම කළොත් ඉක්මණට අම්මට කියන්න. ”

දෙමාපියනි,

දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගන්න

ළදරුවියේ සිටම දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගැනීම තුළින් දරුවා වැඩිවියට පැමිණ පසුව වුවද දෙමාපියන් සමග තම අත්දැකීම් සහ සිතුවිලි ඛෙදාහදා ගැනීමට මැලි නොවේ. මාපියන් සමග දැඩි බැඳීමක් ඇති දරුවන් ඔවුන්ට හමුවන පුද්ගලයන්, ඔවුන් සමග කතා බහ කරන දේ, තමාගේ සතුට/වේදනාව වැනි සියලු දේ පිළිබඳව තොරතෝංචියක් නොමැතිව නිවසට ආ විගස මව හෝ පියා සමග කියවන්නට පටන්ගනී. එය දරුවාගේ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මාපියන්ට විශාල සහයෝගයක් ලබාදේ. එමගින් ඉදිරියේදී දරුවාට මුහුණ දීමට සිදුවිය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳව කල්තියා දැනුවත් වීමට වැඩිහිටි ඔබට හැකියාව ලැබෙයි.

දරුවාට හොඳින් සවන් දෙන්න 

කුඩා අවධියේ සිටම ඉස්පාසුවක් නොමැතිව තම අත්දැකීම්, මනඃකල්පිත අදහස් ඇතුළු සියලූ දේ දරුවන් මාපියන් ඉදිරියේ ප්‍රකාශයට පත් කරයි. ඒ සඳහා අවස්ථාව ලබා දීම ඉතාම වැදගත් වන්නේ දරුවාට කුඩා වියේ සිටම සවන් දෙන්නෙකු සිටින බැවින් කිසිවක් නොසඟවා නිවැසියන්ට පැවසීමට හුරුවීමයි. එය වැඩිහිටියන්ගේ වැඩකටයුතු සඳහා බාධාවක් වුවද දරුවාගේ ආරක‍ෂාව සැපයීම උදෙසා අවැසි සෑම තොරතුරක්ම දැනගැනීමට ඔබට අවස්ථාව සැලසේ.

නොකරන ලෙස අණ කළ යමක් සිදු කොට එයින් ලැබුණු අමිහිරි අත්දැකීම විස්තර කිරීමේදී දරුවාට බැන වැදීමෙන් වළකින්න

මන්ද බියට පත්වන දරුවන් ඔබ සමග කිසිවක් නොපවසා සිටීමට තීරණය කරනු ඇත. එබැවින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා තෙක් හෝ ඉතා ඉවසිලිවන්තව දරුවාට සවන් දෙන්න.

කුඩා දරුවෙකු දිගු කාලීනව අපයෝජනයට ලක්විය හැකි අවස්ථා,

  • අපයෝජකයා දරුවා හෝ නිවැසියන් මරා දමන බවට දරුවාට තර්ජනය කොට බියට පත්කරමින් තම අවශ්‍යතා ඉටුකරගැනීම
  • දෙමාපියන් බැන වදී යැයි බියෙන් දරුවා කිසිත් නිවසට නොපැවසීම
  • සිදුවන අතවරය පිළිබඳව ඇති අනවබෝධය නිසා සාමාන්‍ය දෙයක් යැයි සිතා දරුවා එය නොපවසා සිටීම
  • දරුවා ලබන මෙම අත්දැකීම පිළිබඳ ඇති අනවබෝධය නිසා කුඩා දරුවන්ට ඒ කෙරෙහි කැමැත්තක් ඇතිවීම

දරුවාට කියන්න,

  • තමාට කවරෙකුගෙන් හෝ හිංසනයක් සිදු වේ නම් වහාම මව්පියන්ට දැනුම් දෙන ලෙස
  • තොරතුරු සඟවා සිටීමෙන් විශාල කරදරවලට පත්විය හැකි බව
  • නාඳුනන පුද්ගලයන් සමග කතාබහ නොකරන ලෙස
  • මාපියන්ගේ අවසරය නොමැතිව කිසිවෙකු සමග නොයන ලෙස
  • දරුවෙකුට මව්පියන්ට පැවසිය නොහැක්කක් නොමැති බව

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්විය හැකි ආකාර කිහිපයකි.

  • ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීම
  • දරුවෙකු ලවා අපයෝජකයාගේ සිරුර ස්පර්ශ කරවීම
  • ඇසැබි දර්ශන පට හෝ ජායා රූප පෙන්වීම
  • සිප වැළඳ ගැනීම
  • ලිංගික සංසර්ගය

මාපියනි, අද වන විට දරුවන් දරුවන් අතරද යම් යම් අපයෝජනයන් පිළිබඳව වාර්තා වන බව ඔබ දන්නවාද? දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන් අතින් පමණක් නොව. ඇතැම් පාසැල්වල සීග්‍ර ලෙස පැතිර යන සමලිංගික ක්‍රියාවන් හේතුවෙන්ද කිසිත් නොදන්නා කුඩා දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවේ. දරුවන්ගේ යහළු, යෙහෙළියන් පිළිබඳවත් ඔවුන් එක්ව යන ස්ථාන පිළිබඳවත් සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.

වයස අවුරුදු දහය දොළහ වැනි වයස් සීමාවන්වල දරුවන් මෙවැනි අවස්ථාවකදී සූක‍ෂමව එවන් අවස්ථාවන් මඟහැරීමට දැනුවත් කරන්න.

  • කෑ ගසා අවටින් උදව් ඉල්ලීමට ඔවුන් කියා දෙන්න
  • කිසිවෙකුත් නැති ස්ථානයකදී නම් ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කරගනිමින් උපක්‍රමශීලීව අවස්ථාව මගහරින්නට කියාදෙන්න

දෙමාපියනි, අද වන විට ඇසේ මුහුණේ තබාගනිමින් රැකගත යුත්තේ ගැහැණු දරුවන් පමණක්ම නොව. පිරිමි දරුවන්ටද ඒ රැකවරණය අවැසිමය. පසුතැවීමට ඉඩ නොතබා දරුවන්ගේ රැකවරණය උදෙසා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම අද සිටම අරඹන්න. ඒ වගේම දරුවන්ට සිදු වන ලිංගික හිංසනයන් සඟවා සිටීම ඔබේ දරුවාගේ මෙන්ම තවත් දරුවන්ගේ අනාරක‍ෂිත බව තව තවත් වැඩිකරවයි.

ළමා අපයෝජනයකදී පහත අංකවලට දැනුම්දෙන්න
– දුරකතන අංක –
ක්‍ෂණික ඇමතුම්         :           1929
ළමා හා කාන්තා කාර්යාංශය       :            0112 44 44 44
ජාතික ළමා රක‍ෂණ අධිකාරිය         :            0112 77 89 11- 4
– කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේඛකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. – 

දරුවා තියන්න දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සොයන ඔබට

අද සමාජය තුල පවුල කියන ඒකකය න්‍යෂ්ටික පවුල් රටාවට අනුගතව ඇත. එනිසා පවුල් වශයෙන් හුදකලා වන අපට සියලුම කටයුතු සිදු කරගන්නට සිදුවන්නේ තනිවම හෝ සේවක සේවිකාවන්ගේ සහයෙන්ය. එහෙත් එදා සමාජය තුල පැවති විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටි නිසාවෙන් එකිනෙකා අවශ්‍යතාවන් පවුල තුලින් සපුරා ගත හැකි විය.න්‍යෂ්ටික පවුල් බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීම සිදුවිම නිසාත් රැකියා කටයුතු වලින් කාර්ය්‍ය බහුල වන දෙමාපියන්ට දහවල් කාලයේ තම දරුවන් රැකබලා ගැනීම ගැටලුවකි. ඇතැම් දරුවන් අත්තම්මලා අත්තලාගේ රැකවරණයට පත් වේ. තවත් දරුවන් ආයම්මලා යටතට පත් වේ. ඒ පිළියම් දෙකම නැති තැන දරුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරන්න සිදු වේ. එක් අතකින් එය රැකියාවක නිරත දෙමාපියන්ට සහනයකි. එහෙත් ළමා අපයෝජන වගේම ළමා හිංසනයත් වැඩි වෙලා තිබෙන නිසාවෙන්ම දරුවා දිවාසුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරනවා නම් දෙමාපියන් වශයෙන් තම දරුවාගේ පූර්ණ සුරක්ෂිතබාවය, සෞඛ්‍යාරක්ෂිතබව හා සැපපහසු බව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුමය.

දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට සැලසුම් කරනවා නම් ඔබේ හිත මිතුරන් ඔවුන්ගේ දරුවන් දිවාසුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත්නම් ඔවුන්ගෙන් උපදෙස් හා නිර්දේශ ලබා ගත හැකිය.ඒ කෙසේ වුවත් අවම වශයෙන් මාස දෙක තුනක්වත් හොඳ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සොයා ගැනීමට ඔබේ කාලය මිඩංගු කල යුතුමයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කරන්නට ඔබ යන්නේ නම් කිසිඳුූ විටක එම ආයතනය පෙර දැනුම් දීමකින් තොරව යන්න. එවිට ඔවුන්ට පෙර සූදානමක් නොමැති නිසා ඔවුන්ගේ ආයතනයේ පාලන රටාව, එම මධ්‍යස්ථානයේ සුරක්ෂිතතාවය වගේම පිරිසිඳුකම ගැනත් ඔබට නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය.

දරුවාට දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේදී ඔබ දෙදෙනා සේවය කරන කාර්්‍යාල වලට ආසන්න ස්ථානක් වීමද ඉතා වැදගත්ය. එවිට හදිස්සි අවස්ථාවක පහසුවෙන් හා ඉක්මණින් ඔබේ දරුවා වෙත යාමට මෙන්ම ඔබට අවශ්‍ය විටෙක දරුවා බලන්නට යන්නත් පහසුය.

දිවාසුරැුකම් මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ලෙස දරුවන් රැක බලාගැනීම සඳහා කාර්්‍යය මණ්ඩලයක් සිටිනවාද යන්න සොයා බලන්න. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට අවුරුද්දකට පහළ දරුවන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු රැක බලා ගත හැකි අතර අවුරුදු 2 ත් 3 අතර දරුවන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු එක් අයෙකුට රැක බලා ගත හැකිය. එසේම ඔබේ දරුවා භාර ගන්නා පුද්ගලයාගේ සුදුසුකම් පිළිබ`ුදවද අවදානය යොමු කරන්න. ඔබේ දරුවා බලාගන්නා පුද්ගලයා හැරෙන්නට සහයක කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව හා ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයත් තම දරුවාට ප්‍රවේශ විය හැකි පුද්ගලයන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්ය.

එසේම දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල අය කරනු ලබන ගාස්තුද ඉතා වැදගත්ය. එය ඔබට දැරීමට හැකි විය යුතුය.

ඔබ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගැනීමට ගිය විට, කිසිඳු පැකිලීමකින් තොරව ඔබට අවශ්‍ය සෑම කාරණාවක් පිළිබඳවම ප්‍රශ්න කරන්නට ඔබට අයිතියක් ඇත. එවැනි අවස්ථාවක ඔවුන්ට ඔබව කරදරයක් ලෙස හැසිරෙනවා නම් වහාම එම දිවාසුරැකුම් මධ්‍යස්ථානය කපා හරින්න. තොරතුරු විමසීමේදී දරුවාට හදිස්සි අවස්ථාවකදී ආරක්ෂාව සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය හා ප්‍රථමාධාර සඳහා පිළියෙල කර වැඩ පිළිවෙල පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. ඇතැම් දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජංගම වෛද්‍ය සේවා ආයතන සමග ගිවිසුම් අත්සන් කර ඇත. එවැනි දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගන්නවා නම් වඩාත් සුදුසුය.

දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ නිවාඩු පිළිබඳ තොරතුරු පිළිබඳවද විමසීම වැදගත්ය. එවිට නිවාඩු දිනවල ඔබේ දරුවාගේ රැකවරණය කල් තියාම සැලසුම් කල හැකිය.

අදාල දිවාසුරැකුම් මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගත් හා සේවය ලබා ගන්නා පුද්ගලයන්ගේ එම මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලබා ගැනීම ඔබට ඉතා වැදගත් වනු ඇත. එනිසා ඒ පිළිබඳව අවදානය යොමු කරන්න.

ප්‍රථම නිරීක්ෂණයෙන්ම තීරණයක් නොගන්න. කිහිප වාරයක් ඔබ එම ආයතනය වෙත ගොස් නිරීක්ෂණය කරන්න. ඒ සෑම විටම එම ආයතනයට නොදන්වා යන්න.

හොඳ නිර්දේශ හා ස්ථාන පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමෙන් ඔබේ දරුවාට ගැලපෙන හොඳ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගත හැකිවනු ඇත. දිවාසුරැකුම් මධ්‍යස්ථානයට ඇතුලත් කල පසු සෑම විටම දරුවා සතුටින් හා සුරක්ෂිතව කාලය ගෙවනවා දැයි අවබෝධයක් ලබා ගැනීමට දරුවාගේ හැසිරීම දිනපතාම නිරීක්ෂණය කරන්න. නිවසට පැමිණි පසු දරුවා වෙනුවෙන් පමණක්ම කාලයක් වෙන් කරගන්න. එහිදී දරුවාගෙන් සුහදව ආදරයෙන් තොරතුරු ලබා ගන්න.

මතක හිටින්නෙම නැද්ද?

අද අධ්‍යාපනය හරිම තරඟකාරීයී. පෙර පාසල් වියේ පටන්ම දරුවන් අධ්‍යාපන ඉලක්ක තියෙනවා.මේ අධ්‍යාපන රටාව තුල විෂය කරුණු මතක තබා ගැනීම නම් බෙහෙවින්ම වැදගත්. ඒත් විෂය කරුණු බොහෝමයක් මතකයේ ගබඩා කර ගන්න එක නම් ලේසි පහසු නැහැ. කොහොම වුණත් මෙම කාරණා විෂය කරුණු පාඩම් කරන ඔබේ දරුවාගේ අධ්‍යපයෙදී  මතක තබා ගැනීමට ඉවහල් වනු ඇති.

පාඩම් කරන විෂය කරුණු පමණක් අවධානය යොමු කරන්න

කොයි තරම් පොත අතේ තියාගෙන කියවගෙන ගියත් පලක්නැහැ එම කරුණු නිසියාකාරව අවධාරණය වුණේ නැත්නම්. විෂය කරුණු අවධාරණය වන්නට නම් මනස ඒකාග්‍ර කරගත යුතුය. ඒසඳහා අවට පරිසරයෙන් ඇති වන බාධා අවම කළ යුතුය. රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න.

දීර්ඝ කාලයක් එක දිගට පාඩම් කිරීම අත් හරින්න

ගොඩක් වෙලාවට අපි එක දිගට පාඩම් කරපු විෂය කරුණු අපි මතකයේ රැදෙන්නෙ ැහැ. ප්‍රශ්න පත්‍රය අතට ගත්තම මේ වගේ දෙයක් පාඩම් කලා කියලා මතකයේ තිබුණට පිළිතුරු ගලපගන්න බැරි වුණ අවස්ථා අපටත්  උදා වෙලා තියෙනවා.සෙමහරුන් විභාග ලං වුණාම වතුර බේසම් වල කකුල දමාගෙන් නිදිමරාගෙන පාඩම් කරනවා.ඒත් නීරෝගී වැඩිහිටියෙකුට පවා එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටිය හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉතින් ඒ කාලය ඉක්ම වූ  පාඩම් කිරීම නිශ්ඵල උත්සහයක්. එනිසා පාඩම් කරන අතර තුර  5ක 10ක කෙටි විවේකයක් ගන්න. ඔබ ප්‍රිය කරන ගීතයක් ඇසීම, ගායනය කිරීම,පරිසරය විඳ ගන්න, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කරගෙන නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න. එක දිගට පාඩම් කිරීමට වඩා පාඩම් කරන අතර කෙටි විවේකයක් ගෙන පාඩම් කිරීම වඩාත් ඵලදායී බව පර්යේෂණයන් මගින් ද තහවුරු කර ඇත.

තොරතුරු මතකයේ තබා ගැනීමට සරල උපක්‍රම භාවිත කරන්න

හායි හීලී නැන්සි පෝලන්තේ රුබී සිසි එංගලන්තේ මතකද අපි ආවර්තිතා වගුව මතකයේ තබා ගන්න පාඩම් කරපු ගීතය. ඉතින් අපට පුළුවන් විෂයකරණු මතකයේ තබා ගන්නට මේ වගේ කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ගොඩ නගාගන්න.

අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න

අපි කරනඕනෑම කටයුත්තක් අවබෝධයක් නොමැතිව කලොත් එහි කිසිඳු ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නැහැනේ. ඉතින් පාඩම් කරන විටත් විෂය කරණු  මතකයේ රැඳෙන්නට නම් අවබෝධයෙන් ඒ කටයුත්ත කළ යුතුයි. අපේ මොළයත් දත්ත ගබඩාවක්. ඉතින්  අද මතකයේ තැන්පත් කල දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. අවබෝධයකින් තොරව පාඩම් කරන දේවල් මතකයෙ රැදෙන්නෙ නැහැ. විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යයනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.

මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න

විෂය කරුණු විශාල ජේද ලෙස මතකයේ තබා ගන්නවාට වඩා විෂය කරුණු චිත්‍රණය කිරීම තුලින් මතකයේ රඳවා ගැනීම පහසුය. ඒ සඳහා වගු ,රූප සටහන් ,ප්‍රස්ථාර ආදිය භාවිතයට ගත හැකිය. එසේම ඔබේ සටහන් තුල ඇති  වැදගත් කරුණු වෙනත් වර්ණවත් පෑනකින් ලිවීම හෝ හයිලයිට් කිරීම තුලින් විශේෂීකරණය කිරීමෙන් ද  එම විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට පහසු වෙනවා.

 ඉගෙන ගන්නා විෂය කරුණු හඬ නගා කියවන්න

පර්යේෂණ මගින් පෙන්වා දෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි.

ඉගෙන ගන්නා විෂය කරුණු තවත් අයෙකුට උගන්වන්න

මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. එමගින් ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් වන අතරම මතකයද වර්ධනය වනු ඇත.

කාර්යබහුල මව්වරුනි, මේ ඔබටයි

අද අපි ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල වටපිටාවක. දරුවන් රැක බලා ගැනීම අද බරපතල ප්‍රශ්නයක් වෙලා. ඇතමෙක් තම ආදරණීයයන්ගේ සහාය ලබාගන්නවා. තවත් අයෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සෙවණ සොයනවා. තවත් අයෙක් සේවක සේවිකාවන්ගේ උදව් පතනවා. මේ කොහොම කලත් ඔබේ සැලකිල්ල යොමු විය යුතු කරුණු කීපයක් මෙහි දක්වනවා.

අද මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නේ වැඩිපුරම මධ්‍යම පාන්තික මව්වරුන්. එයාලට හිතේ හැටියට වියදම් කරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒත් අපේක‍ෂා ගොඩයි. ඒ නිසා බොහෝ මව්වරු රැකියාවක් කරනවා. මේ නිසා ප්‍රශ්නය තවත් බරැරුම්. ධනපති පන්තියේ අයට ආර්ථීක ප්‍රශ්න නැහැ. සේවක සේවිකාවන් තබාගෙන දරුවන්ගේ වැඩ කටයුතු කරනවා. කම්කරු පන්තියේ අපේක‍ෂා ගොඩක් නැහැ. දරුවන් අරගෙනම මව රැකියාවට යනවා. අමාරුවෙන් හැමදේම කරගන්නවා.

අතීතයේ තිබි විස්කෘත පවුල අද නැහැ. ඒ පවුලේ මවත් පියාත් දරුවනුත් සමග තවත් ආදරණීයයන් රැසක් හෝ කීපදෙනෙක් හිටියා. ආච්චි, සීයා, නැන්දා, මාමා, ලොකු තාත්තා, පුංචි අම්මා ආදීන්ගෙන් කවුරුන් හෝ ඉතාමත් ආසන්නයේ හිටියා. දරුවන්ගේ වගකීම මොහොතකට හෝ පවරන්න ඔවුන්ට ආදරය දෙන්න කවුරුන් හෝ හිටියා. ඒත් අද තියෙන්නනේ සංවෘත පවුල්. මවත් පියාත් දරුවනුත් හුදකලා වෙලා. රැකවරණයක් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මව්වරු පියවරු හරිම අසරණ වෙලා.

අතීතයේ ගෘහ සේවිකාවන් හිටියත් එයාලා පවුලට හරිම ලෙන්ගතුයි. පවුලේ සාමාජිකාවක් වගේ දරුවන්ට ආදරය කරනවා. රැකබලා ගන්නවා. ඒත් අද ඉන්න අය රොබෝවරු වගේ. ආවා, වැඩ කොටස කළා, වැටුප ගත්තා ගියා. එයාලගේ කිසිම සමීප බවක් නැහැ.

එහෙත් රැකියාවකට යන මවකට එහෙමත් නැත්නම් ගෙදර සිට රැකියාවක් කරන මවකට දරුවන් රැක බලා ගැනීමේදී කාගේ හෝ සහායක් අවශ්‍ය වෙනවා. තමන්ගේ අම්මා, තාත්තා නැත්නම් සමීප ඥාතියෙක් තබාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම ඉන්න ඇතැම් මව්වරු කියනවා මම අහලා තියෙනවා අම්ම ළඟ දාලා ආවේ. අම්මා ඉතින් මට වඩා හොඳට බලාගන්නවා. තාත්තා මට වඩා හොඳට බලාගන්නවා. මේ වගේ දරුවෝ ඇස් දෙක වගේ බලාගන්න ඒ අදාරණීයයන් ගැන ඔබත් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන් ඔවුන්ට ආදරය දැක්වීම අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. ඔවුන්ට ඔබේ දරුවාගේ භාරකාරත්වය දෙන්න. ඔවුන් සමීප කරගන්න. ඔවුන් කරන්නේ විශාල කැප කිරීමක් බව සිතන්න.

ඔවුන්ගේ ආදරය ඔබේ දරුවාට මානසික ශක්තියක්. කාර්යබහුල ඔඛෙන් ඉටු නොවෙන කාරණා බොහෝ දේ ඔවුන්ගෙන් කෙරෙනවා. කතාන්දර කියා දෙනවා. චිත්‍ර අන්දනවා. හොඳ නරක කියා දෙනවා. සෙල්ලම් බතක් උයනවා. ඒ නිසා ඔබේ දරුවාට ඒ රැකවරණය ඉතාමත්ම වටිනවා.

ඇතැම් ගෘහ සේවිකාවන් ඉන්නවා දරුවන්ට හරිම ලෙන්ගතුයි. දරුවොත් ඒ අයට ලෙන්ගතුයි. මා දන්නා සමහර දරුවෝ ඉන්නවා ගෘහ සේවිකාව ගෙදර යනකොට එයාට දණගහලා වඳිනවා. මේවා ගැන උරණ වෙන දෙමව්පියොත් ඉන්නවා. අපි කොතරම් දේ දුන්නත් දරුවා සේවිකාව පස්සෙමයි කියලා මැසිවිලි නඟනවා. එහෙම හිතන්න එපා. භෞතික සම්පත්වලට වඩා දරුවන්ට දැනෙන්න ආදරය දෙන්න ඕන.

ඒත් ඔබ, අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනවා. දරුවාගේ රැකවරණය බාරදෙන අය ගැන හොඳ තක්සේරුවක් ඔබ තුළ තියෙන්න ඕන. අපට සමහරවිට අහන්න ලැඛෙනවා ගෙදර මිදුලේ වතුර බේසමේ වැඩිලා කුඩා දරුවකු ජීවිතයට සමුදෙන ආකාරය ගැන, හොඳ රැකවරණයක් දරුවාට ලැඛෙනවාද කියන එක ඔබ තහවුරු කරගන්න ඕන. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගැන වුවත් ඔබ දෙවරක් සිතන්න ඕන. දරුවෙකුගේ ස්වභාවය නිතරම අවදානම් දේ කෙරෙහි යොමු වීම. ඒ නිසා විශේෂයෙන්ම රැකවරණය ලැඛෙනවාදැයි ඔබ තෘප්තිමත් වෙන්න ඕන. ඒ වගේම දවසෙම රූපවාහිනිය ඉදිරියේ දරුවා තබාගන්නවාද, දරුවාට හොඳ නරක පෙන්නලා දෙනවාද නැද්ද ඒ ඔබේ අවධානය යොමු විය යුතු තැන්. කෑම බීම නිසි වේලාවට දරුවාට ලැඛෙනවාද සොයා බැලිය යුතුයි.

ඔබට වැටහෙනවා ඇති දරුවකු රැකබලා ගැනීමේ සෑම පියවරකම ඔබ සෙවනැල්ලක් සේ සිටිය යුතු බව. මුළු හිතින්ම දරුවා පැවරිය හැක්කේ කෙබඳු  අයෙකුටදැයි ඔබට වැටහෙනවා ඇති. කාර්යබහුල ජීවන රටාවක ඔබේ කටයුතු පහසු කරගත්තාට ඒ වගේම දරුවා තෘප්තිමත්ව තබන්නට බුද්ධිමත් ගුණවත් ඥාතියකුගේ හෝ සේවිකාවකගේ සහාය ලබාගැනීම ඔබේ මනසත් සහනයක් වනු නොඅනුමානය.

දරුවන්ට දේශාභිමානය දැනෙන්න නම්

වැදූ මවත් , උපන් බිමත් අමතක කරන තැනැත්තෙකුගේ ජීවිතයේ පැවැත්ම ඉතාම අවදානම් බවට එදා අම්මා තාත්තා දරුවන්ට කියා දුන්හ. එහෙත් අද දෙමව්පියන් දරුවන්ට හය හතර තේරෙන කාලයේ පටන් කියා දෙන්නේ එතෙර රටක ජීවත්වීමේ සිහිනයයි.ලොකු වුනාම පිටරටක ගිහිං ජීවත්වෙන්න ඕන…මේ රට යන අතට මෙහෙ ඉඳලා පලක් නැහැ. අම්මලා එසේ කියද්දී පුද්ගලික පංතිවලත් දරුවන්ට කියා දෙන්නේ සියලු සැප ඇත්තේ මුහුදෙන් එතෙර බවයි. ඇත්තටම අපි ළිං මැඩියන් සේ ජීවත්විය යුතු නැත. එහෙත් අපේ මුල් අපේ රටේ තිබීම අවශ්‍ය වේ. පිටරටක ගොස් ලෝකය ගැන දැක බලා ගෙන අත්දැකීම් උපයා ගැනීම කිසිසේත්ම වරදක් නැත. එහෙත් උපන් රට නොවටීය යන සංකල්පයෙන් වෙනත් රටක සැප විහරණ සෙවීම නම් අනුමත කළ නොහැක.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී දැන් වසර හැට නවයක් ගෙවී ඇත. අද අපි පුංචි ගම්මානයක ජීවත්වෙන බව සැබෑය. ඒත් හැට වසරකට එපිට අපිට පැවැති හර වටිනාකම් ගැන නම් කිසිසේත්ම සෑහීමට පත් විය නොහැක. එදා අම්මා තාත්තා වයස්ගත වුනත් ඔවුන් සිටියේ තරු පිරිවර ලෙසින් දරු මුණුපුරන් පිරිවරාගෙනය. අද දරුවන් උස් මහත් වුන තැන පටන් විදෙස්ගත වීමේ සිහිනයෙන් පෙලෙන අතර මහ ගෙදර සීමා වෙන්නේ දුබල මව්පියන් පමණි. ඔවුන් අතරින්ද අම්මා හෝ තාත්තා මියගිය විට ඉතිරිවෙන තැනැත්තා හව්හරණ වෙනුවෙන් වැඩිහිටි නිවාසයක නේවාසිකත්වය ලබනු ඇත.

එසේ නම් අපේ රටට ආදරය කරන දරුවන් පරම්පරාවක් අනාගතය වෙනුවෙන් දායාද කරන්නේ කෙසේද…? මේ ගැන මව් දෙමව්පියන්ගේද අවධානය යොමු වීම අවශ්‍යයෙන්ම සිදු විය යුතුය.අපේ අතීත උරුමයන් ගැන ඔවුන්ට කියා දීම අවශ්‍ය වේ. එදා දෙමව්පියන් මේ වෙනුවෙන් කවි ගීත ඉතා සමීපව උපයෝගී කර ගත්හ.

“කැප්පෙටිපොල සෙනෙවිසුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මහරූ….” 
(එස්.මහින්ද හිමි)

මේ අන්දමින්  අපේ විරුවන් පිලිබඳව දරුවන්ට ලබා දෙන දැණුවත් බව නිසා අපිටත් ආඩම්බර ඉතිහාසයක් ඇත යන සංකල්පයෙන් ඔහුගේ සිතට අභිමානවත් හැඟීම හදවතට එන්නත් කළ යුතුය. එදා දරුවන්ට ලබා දුන් අවවාදය වුනේ

” අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
සිඟා කෑම බැරි වුන දා ගයා ලගී මර ගී ” 

නමුත් අද අලුත් දෙයක් නිපදවීම වෙනුවෙන් දරුවන්ට උනන්දුවක් ඇති වන්නේ නම් ඒ විෂය මුල් කර ගත් අධ්‍යාපනය වෙනුවෙන් පමණි.එහෙත් අතීතයේදී අපේ මුතුන් මිත්තන්ගේ විස්කම් තුලින් පෙනෙන්නේ ඔවුන් අපේ රටට දායාද කළ සම්පත් නොවේද..

අදටත් සිංහල ජාතියක් ලෙසින් අපි පමණක් නොව ලෝකයක් විස්ම කරන අපේ උරුමයන් තුළින් දරුවන්ටත් අපේ ජාතියේ සාඩම්බර හැකියාවන් ගැන පෙන්වා දීම ඉතා වැදගත්ය. නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් එසේ නැත්නම් කොරියන්  සහ ඉන්දියන් සම්භවයේ ඉතිහාසය නොව අපේම මුතුන් මිත්තන් ලෙසින් වූ නර විරුවරු විසින් හඳුන්වා දෙන ලද වාරි තාක්ෂණය, වාස්තු ශිල්පය මෙන්ම කලා නිර්මාණයන් ගැනත් දරුවන්ට හදවතට දැනෙන සේ කියා දීම මව්පියන්ගේ වගකීමයි.

සිංහල ජාතියක් ලෙසින් අපි පරිසරයට බෙහෙවින් ආදරය කළ ජාතියකි. සෙවන දුන් ගසක අත්තක් පවා සිඳ බිඳීම ගැන එදා කතා බහ කළේ අප්‍රසන්නවය. අපේ හරිත වටපිටාවට එදා උන්නවුන් ආදරය කළහ. ඒ පරිසර වටිනාකම් අද අපෙන් ගිලිහී ගොස්ය. අපේකම ඇත්තේම නැත. ඒ අතරම එහි විපාක විඳින්නේද අපය.තුරු සෙවණැලි සිඳ බිඳ දැමීමෙන් ජල උල්පත් සිඳී ගිය අතර එහි විපාක නිසා අටු කොටු පුරන් විය. සතා සිවුපාවුන් අහිමි විය. සියලු විපාකයන් අප පිටට පැටවුන අතර නොරටුන මත යැපෙන ජාතියක් ලෙසින් උදාසීන වූහ. එහෙත් අපේ රටේ ලස්සන පරිසරය මුල් කර ගෙන ගැයෙන මෙවන් ගීත මගින් දරුවන්ට අපේ රටේ සුන්දරත්වය වචන දහසකට වඩා පහසුවෙන් හදවතට ඒත්තු ගැන්විය හැක.

” සින්ධූපමාන වැව් කලා මතින් ඇදී
පද්මරේණුවෙන් සුගන්ධ වී
රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි …” 
පද රචනා-මහගමසේකර
ගායනය-  පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව

එහෙත් අපේ අතීතය තුළ වූ ස්වයංපෝෂණය ගැන දරුවන්ට ලබා දෙන දැණුම තුළ ඔවුන් අපි කවුද යන්න වටහා ගනු ඇත.ජාතියක් ලෙසින් අපි කිසිවෙකුත් මත යැපෙන්නට අවශ්‍ය ජාතියක් නොවන්නේය යන අභිමානය දරුවන්ගේ හිතට ඇතුලත් කළ යුතුය.

භෞතික සැප සම්පත් විදිනු රිසිව නොරටක ගොස් නිවටුන් ලෙසින් ජීවත් විය යුතු නැත වියළි දණ්ඩක් වුව පැල වෙන පින්බිමක උරුමය අපට ඇත. අපේ දහඩියෙන් හා මහන්සියෙන් මේ සරුබිම දිනා ගත හැක. නොරටකදී අපට ජීවත්වන්නට සිදු වෙන්නේ දෙවැනි ජාතියක් ලෙසින්ය. වෙනත් තබා පුරවැසිකම නොමැත්තේ නම් ලැබෙන නොවටිනාකම් බොහෝය. ආර්ථික ලෙසින් සැප ලැබුනද මානසික ලෙසින් ආත්මාභිමානයක් ගොඩ නගා ගත නොහැක.

අපේ රටය යන සංකල්පයෙන් ඔබ මිදුනොත් කෙසේ හෝ ජීවත්වෙන බව නම් සැබෑය.එහෙත් ආත්මාභිමානය පිලිබඳව ඇති වෙන හිස්බවට පිළියම් නැත.ඒ නිසා දරුවන්ට ඔබ දිය යුතු සැබෑම සංකල්පය මෙයයි.

” පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා
ජනිත වු හැම මෙම පොළවේ
නිති ආඩම්බර විය යුතු වේ
දූ කුල බේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී
සමගිව පේළි සැදී … “
පදරචනය -කරුණාරත්න අබේසේකර
ගායනය-කලාශූරී ලතා වල්පොල

එදා අම්මා දරුවන් නලවන විට ගැයුන නැලවිලි ගීයක ගායනීය මිහිර මෙන්ම ලබා දුන් ගුණධර්මයන් බොහෝය.පැරනි රජවරුන්ගේ චරිතාපදාන මෙම නැලවිලි ගී  වෙනුවෙන් වස්තුබීජ සපයන්නනට විය.

” නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතුවේ … “
(දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල )

ජාතියක් ලෙසින් අපි නිදහස ලබා දැන් වසර හැට නවයක් ගෙවී ඇත. නිදහස් නිවහල් ජාතියක් ලෙසින් සාඩම්බර අතීතයක ඇති උරුමය මත හිඳ අනාගතය වෙනුවෙන් සාඩම්බර දරුවන් අද නිර්මානය විය යුතුය.බොහෝ දෙනාගේ අදහස අතීතය ගැන ලබන ආවර්ජනය පලක් නැති බවයි. ඒ වෙනුවට අනාගතය සකසා ගත යුතු බවට ලබා දෙන ඕලාරික උපදෙස් වලින් දරුවන්ගේද මානසිකත්වය ඔද්දල් වී ඇත.එහෙත් සිංහලයේ උපන් මව්පියන් ලෙසින් ඔබ දරුවන්ගේ ජීවිතයට ලබා දිය යුතු තේමා ගීතය මෙසේ ගයන්න. කිසිම දිනක ඔබටවත් දරුවන්ටවත් වරදින්නේ නැත.

” මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි … “
පදරචනය- මහගමසේකර
ගායනය විශාරද නන්දා මාලනී

අකලට මිලින මල්කැකුලු පිටුපස

දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තරම් විශ්වාසවන්ත වෙනත් කිසිවෙකුත් නොමැත. දරු සෙනෙහස ඇට, ලේ , මස් නහර වැද ගමන් කරන නිසා මේ තත්වය ගොඩ නැගෙන බව සැබෑය. එහෙත් ඔබ දරුවන්ට සැබෑ ආදරය කරන්නා සේම ඔවුන් කියන හැම දෙයම විශ්වාස නොකරන්න. එය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් පියවරකි.

පසුගිය දිනක මහවැලි ගං දියේ සැඟවුනේ අවුරුදු දහතුනක් වූ කෙලිලොල් වයසේ පිරිමි දරුවන් තිදෙනෙකි. ගෙවුන කාලය තුළ නිතරම අසන්නට ලැබුන ඉතා ශෝචනීය පුවත් අතරට අකාලයේ මිලින වුන මෙවන් මල්කැකුළු ගැන වාර්තාවන් බොහෝය. ඒ සියල්ල පිටුපස ඇත්තේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලයි.

මුලින් කී දරුවන් තිදෙනාම මේ අන්දමින් අනතුරට පත් වූයේ මව්පියන්ට බොරු කියමින් පාසලේ අවශ්‍යතාවයට යන බව කියා මහවැලි ගං දිය නෑමට ගිය නිසාය. මව්පියන්ද මේ දරුවන් ගැන උපරිම විශ්වාසය තැබූ නිසාම නැවත මේ ගැන පසුවිපරම් කළේද නැත. දරුවන් යනු අනතුරු සමගම උපත ලද කොටසකි. ඔවුන්ගේ නොතේරුම් කම නිසාම අනතුරක් වෙන තෙක්ම ඒ ගැන අවබෝධයක්ද නැත. මේ නිසා නිතරම දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් කියන දෙය මතම නොරැඳී  ඔවුන් කරන කියන දේ ගැන විපරමින් සිටින්න.

දරුවන් පාසලේ උවමනාවකට යන බව කියා දෙමව්පියන් නොමග යවා ඇත. එහෙත් ඔබ දරුවන්ගේ වචන ගැන පූර්ණ විශ්වාසය තබා කටයුතු නොකරන්නේ නම් ඔවුන්ද වැරදි කටයුතු වෙනුවෙන් යොමු වීමට කිසියම් බියක් දක්වනු ඇත. මෙවන් අවස්ථාවන්හිදී දරුවන්ට නොදැනෙන පරිදි ඒ ගැන පසුවිපරම් කිරීම අවශ්‍ය වේ. පාසලේ ගුරුමණ්ඩලය සමග මව්පියන් සමීප සම්බන්ධතාවයක් තබා ගැනීම ඉතා වැදගත්ය.

අද සන්නිවේදනය ඉතා වැදගත්ය. මේ නිසා පංතිභාර ගුරුමහත්මියගේ දුරකථන අංකය සමග දෙමව්පියන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය. ඇතැම් අවස්ථාවන්හිදී දුරකථන අංකය ලබා දීමෙන් ගුරු මණ්ඩලයට අනවශ්‍ය කරදරකාරී බවක් ඇති වෙන අවස්ථාවන්ද ඇත. ඒ නිසාම විටෙක ඔවුන් දුරකථන අංක පංතියේ දරුවන්ට ලබා දීමට මැලි වෙනු ඇත. මේ නිසා මව්පියන් ලෙසින් ඔබ ගුරුවරුන්ට අනවශ්‍ය හිරිහැරයක් නොවන ලෙසින් දරුවා පිලිබඳ තොරතුරු දැන ගැනීමට පමණක් මෙය අවස්ථාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. දරුවා ගෙනෙන පනිවිඩ මුල් කර ගෙන ගුරුවරයාගෙන් විමසීමක් නොකළද, මම ටීචගෙන් කෝල් කරල අහනවා…යන තැනදි දරුවා මෙල්ල වන්නේ ඔවුන්ද නොදැනුවත්වමය. අවුරුදු දහතුනක් යනු මව්පියන්ට ඉතාම හොදින් මට්ටු කළ හැකි වයසකි. යම්හෙයකින් දරුවන්ගේම වචනය මත නොපිහිටා මෙම දරුවන්ගේ මව්පියන් අතර හෝ අදහස් හුවමාරු වුවා නම් මේ තත්වය ඊට වෙනස් වෙනු ඇත.

ගහකොළ , ඇල දොළ සමග සාමාන්‍ය සම්බන්ධතාවයන් නොමැති නිසා අද දරුවන් මේ අන්දමින් දිය නෑමට යොමු වන්නේ විනෝදය මුල් කර ගෙනය. එහෙත් දිය ගැඹුරුය…ප්‍රවේසමෙන් යන අදහස දරුවන්ට ලබා දීම ඉතා වැදගත්ය.දියනෑම වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන ඇත. අනාරක්ෂිත ස්ථානද ඇත. මේ ගැන දරුවන්ට පණිවිඩ ලබා දෙන අතරම අදාල ස්ථාන සමාජයට සන්නිවේදන කිරීම ඉතා වැදගත් වේ.

අද බොහෝ දරුවන් විභාග අවසානයේදී මානසික වෙහෙස නිදහස් කිරීමට විනෝදචාරිකාවන් සංවිධානය කරන අතර එහිදී අනිවාර්යෙන්ම දියනෑමත් එක් අංගයක් ලෙසින් එක්ව ඇත.විභාග මානසිකත්වයෙන් පසු යම්කිසි නිදහස් බවක් අවශ්‍ය බව සැබෑය. ඒ අතරම තමාගේ ආත්මාරක්ෂාවත් සලසා ගැනීම ඉතා වැදගත්ය. දරුවන් යනු රෝගීන් නොවේ. ඔවුන් බෙහෙවින් ක්‍රියාශීලීය. ක්‍රියාශීලි නොවන දරුවන් ඇත්තටම රෝගීන්ය. එබැවින් දරුවන්ගේ කෙළිලොල් බව පිටුපසින් ඇති අනතුරු ඉව ගැන ඔවුන්ට පෙන්වා දීම ඉතා වැදගත්ය.

පිරිමි දරුවන්ගේ දියනෑම පිටුපස දිවෙන තවත් අතුරු කතාන්දර ඇත. අද දරුවන් බොහෝ සෙයින් මත්පැන් මත්ද්‍රව්‍ය සදහා යොමු වීමේ ප්‍රවනතාවයක් ඇත. මත නිසා ඇති වෙන මත් ගතිය නිදහස් කර ගැනීමට දිය නෑමට යොමු වීම එහි එක් අවස්ථාවකි.එවන් අවස්ථාවන්හිදි දැනෙන මත් ගතිය නිසාම ඔවුන්ද නොදැනම අනතුරු සිදු වෙන බවටත් මව්පියන්ගේ අවධානය යොමු වීම වැදගත් වේ.

ජීවිතය යනු විඳවන නොව වින්දනය කළ යුතු බවට අද තිබෙන පිලිගැනීම නිසාම දරුවන්ගේ මානසිකත්වය තුළ අනාගතයේ ආරක්ෂාව යන සංකල්පය නැත. වින්දනය සමගම ජීවිතේ ආරක්ෂාවත් බද්ධ විය යුතුය.විනෝද චාරිකාවන් වෙනුවෙන් සහබාගි වන්නේද සම වයසේම පිරිසකි. ඔවුන් වෙනුවෙන් අතීතයේ සිටි අත්දැකීම් සහිත නඩේගුරෙක් අද නැත. ලෝකය පුංචි නිසා අද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම කිසිම අපහසුවක් නැතුව ගමනේ යා හැකි වුනත් තරුණ ජවය තුළ දිගු ගමනක් වෙනුවෙන් ආරක්ෂාව පිලිබඳ සංකල්පය එතරම් පහසු නැත. චාරිකාවේ එක් කොටසක් ලෙසින් මත්පැන්ද ඇත. එතැන් පටන් සිහිබුද්ධිය මත පිහිටා කටයුතු කිරීම අපහසුය.

වයසත් සමග වැඩෙන දරුවන් ස්වාධීන වීමට දරණ උත්සාහයේදී අනතුරු ගැනත් ඔවුන්ට වටහා දීම ඉතා වැදගත්ය. දින දිනම ඇසෙන පාසල් වයසේ දරුවන්ගේ අනතුරු සමග විමසිය යුතු කරුණක් ඇත. දරුවන්ට දියනෑම වෙනුවෙන්ම මෙතරම් පිපාසයක් ඇති වන්නේ ඇයිද යන්නයි. එහි බැඳුන අතුරු කතා අනතුරට මග පාදන බැව් මව්පියන් දනොදැන සිටීම තවත් අතුරු ප්‍රතිඵලයකි. දරුවාගේ චර්යාවන් ගැන නිරීක්ෂනයේ යෙදෙන්න. මතට , දුමට ඇබ්බැහි වෙන ලකුණු ඇත්දැයි විපරම් කරන්න. දරුවා මුල් අදියරේදීම මෙම වැරැදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම බෙහෙවින් පහසු කටයුත්තකි. ඇත්තටම විනෝද චාරිකාවන්ට සහභාගී විමේ කිසිදු වරදක් නැත එකම වරද ඇත්තේ එවන් අවස්ථාවන් මුල් කර ගෙන දරුවන්ගේ විසින් ගොඩ නගා ගන්නා වැරදි හැසිරීම් රටාවයි.

පාසලට ඇතුල් වූ පසුව දරුවා ආරක්ෂිත යැයි හිතුවද දරුවන්ගේ හිතුවක්කාරකම් නිසාම විවිධ අනතුරු සිදු වෙන අවස්තා ඇත. එයින් පාසලේ පරිපාලනය අපහසුතාවයට පත් වේ. මහනුවර ප්‍රදේශයේ උසස් පිරිමි පාසලක දරුවන් තිදෙනෙක් පාසල් වේලාවේදී ‍ හොර රහසේ දිය නෑමට ගොස් ඇත. නාමලේඛනයටත් ඔවුන් පිලිතුරු දී එයින් අනතුරුව ‍පිටව ගියහ. අවාසනවානකට දරුවන් ගංදියේ ගොදුරක් විය. අවසානයේදී චෝදනාවට වඩා නිත්‍යානුකූල බලපෑම එල්ල වූයේ පාසලටයි. නාමලේඛනයට අනුව දරුවන් සිටිය යුත්තේ පාසලේය. පාසලෙන් දරුවන් පිටවුයේ කෙසේද…ශිෂ්‍යයන් වෙනුවෙන් පාසල විසින් දක්වන ලද අවධානය ආරක්ෂාව ඉතාම දුර්වල යැයි වූ පරිපාලන චෝදනාවන් නිසා පාසලේ කාර්ය මණ්ඩලයම අපහසුතාවයට පත් විය. එබැවින් නාමලේඛනයට අනුව පමණක් නොව දරුවාගේ දවස තුළ ආරක්ෂාව සපයා දීමටත් පාසල සමත් විය යුතුය.

මිතුරු සමාගම් සමග එක්ව හැසිරෙන අතර ඇති වෙන අනතුරු දැන් ඉතා සුලබය. මාධ්‍ය මගින් මේ ගැන නිරන්තර කතා බහ කරන විටදීවත් දරුවන්ගේ ආරක්ෂාව ගැන මව්පියන්ගේ අවධානය දැනට වඩා යොමු වන්නේ නම් අකලට මල් කැකුලු මිලින නොවනු ඇත.

දරුවන්ට ටෝස්ට් කළ පාන් වෙනු‍වට වෙනත් විදිහක් හිතන්න

පාසල් යන වයසේ පසුවෙන දරුවන් වෙනුවෙන් ටෝස්ට් කරන ලද පාන් පෙති ලබා දෙන්න අම්මලා උනන්දු වෙන්නේ නිකම්ම නොවෙයි. එක් පැත්තකින් දරුවන්ගේ කැමැත්ත…තවත් පැත්තකින් පාන් වෙනුවෙන් වූ පිරවුම පිළිලෙකට අපහසුවක් නැතුව  රැක ගන්න පුළුවනි. මේ හේතුන් නිසා ටෝස්ට් කරන ලද පාන් වෙනුවෙන් අම්මලාගේ තිබෙන උනන්දුව සාධාරණ වුනත් දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් බලද්දී නම් සතුටුදායක තත්වයක් ඇති වෙන්නේ නැහැ.

පමණට වඩා ටෝස්ට් කරන ලද පාන් විතරක් නොවෙයි, පමණ ඉක්මවා බදින ලද අල පෙති වුනත් නිරන්තරව ආහාරයට ගැනීම පිළිකාවට මගක් බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් රතු එලියක් දල්වා තිබෙනවා. මේ ගැන අධ්‍යනයක් පවත්වන ලද බ්‍රිතාන්‍ය රජයේ ආහාර තත්ව පාලන ආයතනය කියා සිටින්නේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක රත් කරන විට වගේම බැදීම සහ පිලිස්සීම නිසා සිරුරට හානිකර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනය සංයෝගය නිෂ්පාදනය වීමේ අවදානම ඉතා ඉහලින්ම ඇති වෙන බවයි. ඒත් ඔබ බිය විය යුතු නැහැ. මේ තත්වයට වඩාත් හේතු වන්නේ පාන් හෝ අල පෙති පමණට වඩා කර කිරීමෙන් බවත් ඔවුන් සඳහන් කරනවා. මේ නිසා මහාචාර්ය ”ගයි පොපි “සඳහන් කරන්නේ අනවශ්‍ය විදිහට ආහාර කර කිරීම වෙනුවට සාමාන්‍ය තත්වයකින් පිස ගැනීම ඊට ආරක්ෂාව සපයන බවයි.

දරුවන් වෙනුවෙන් පාන් පිරවුමේ ඉහිරීම් වලක්වා ගැනීමට නම් පාන් පෙත්තට බටර් හෝ මාගරින් තවරන්න. එවිටත් පිරවුම හොඳින් පාන් පෙත්තට සවි වී තිබෙනු ඇත. මෙම බටර් සමග සැමන්, මාලු බිත්තර හෝ ගා ගත් කැරට්, බීට් වැනි එළවලුවක්ද ඔබට එක් කළ හැකියි. පාන් පෙති අතර සලාද කොළ, කැරට් හෝ බීට් වැනි එළවළු යොදා ගත් විට ඇති වෙන වර්ණවත් පව දරුවාගේ ආහාර රැචිය එක් පැත්තකින්ද, විවිධ පෝෂණ ප්‍රභවයන් තවත් අන්දමකින්ද ඉතාම පහසුවෙන් ලැබෙනු ඇත.ටෝස්ට කරන ලද පාන් අද සාමාන්‍ය තත්වයක් වුනත් එදා දරුවන් වෙනුවෙන් පාසලට එවන ලද පාන් පෙති අතරට බොහෝ විට ඇතුලත් වුනේ පොල් සම්බෝල, සීනි සම්බෝල වැනි දෑය. දරුවන් ඉතා රුචියෙන් පාන් ආහාරයට ගත් අතර උණක් හෝ අජීර්නයක් ඇති අවස්ථාවන්හි ලබා දුන්නේ කබලේ දමා කර කර ගත් පාන්ය. සිරුරට හිතකරය යන සහතිකයත් ඒ අතර විය.

අර්තාපල් තීරු වුනත් ශීතකරනයේ ගබඩා කර ගැනීම වෙනුවට අවශ්‍ය වේලාවට අල ගෙඩියක් තම්බා ගන්න පුලුවන්. එහෙම නැත්නම් සිහින් අල තීරු කපා ගෙන ටික වේලාවක් අයිස් වතුරේ දමා ගෙන බැද ගැනීම විස්කමක් නොවෙයි. බොහෝ දේ අපි අනුකරණය නිසාම නොමග යනවා. අල්ලපු ගෙදර කරනවා නම් අපිත් දරුවන්ට ඒ විදිහට අල පෙති දෙනවා. ඒත් ඔබට ශීතකරණයේ දමා ගෙන අල පෙති බදින්න අවශ්‍ය නැහැ. ඒ වේලාවට අල තීරු බැදගන්න බැරි කමක් නැති වුනත් අනිත් අය සුපිරි වෙළඳසැලෙන් අර්තපල් පෙති මිලට ගන්නවා නම් අපිත් ඒ විදිහටම ගන්න ඕන යන අදහස ගොඩ නැගෙන එකයි.

මෙම අධ්‍යනය වෙනුවෙන්  සතුන් සම්බන්ධ කර ගත් අතර කර කරන ලද ආහාර ලබා දුන් සතුන්ගේ පිලිකාවන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහලින් පැවැති බව මෙම අධ්‍යනයේදී පෙනී ගියා. එම හේතුව අනුව මහාචාර්ය පොපී සඳහන් කරන්නේ මිනිසුන් වෙනුවෙන්ද මෙම අවදානමේ වෙනසක් නොවන බවයි.

ඒ විතරක් නොවෙයි, පොඩි දරුවන් අලපෙති වෙනුවෙන් රුචිකත්වයක් දක්වන නිසාම දෙමව්පියන් මෙම අල පෙති ශීතකරනයේ තබා ගෙන අවශ්‍ය වෙලාවට දරුවන්ට බැදල දෙනවා. ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා. අර්තපල් ශීතකරනයේ ගබඩා කරන විට පවතින අඩු උෂ්ණත්වය නිසා සීනි මට්ටම ඉහළ යනවා. එමෙන්ම එවන් ආහාර පිසින විට ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනයත් ඉහළ නගින බැව් මෙම අධ්‍යනය මගින් පෙනී ගියා.

කර්යබහුල ලෝකයේ අපි අනුකරනයන්ට දක්වන උනන්දුව බොහොම ඉහලයි. නිතර දෙවේලේ අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්කම තිබුනත්, මාලු , එළවලු සහ පළතුරු වලින් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් සකස් කර දෙන්න කිසිම අපහසුවක් නොවුනත් අපේ පුතා , දුව ඉල්ලන්නේ සොසේජස්, හැම් ….කියන උජාරුවෙන් කතා කරන දෙමව්පියන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන මේ පණිවිඩය බොහොම වැදගත් වෙන්න පුලුවන්. එහිදිී පෙන්වා දෙන්නේ  සැකසුම් හෙවත් කල් තබා ගත හැකි ලෙසින් සකස් කරන ලද බේකන් , සොසේජස් වැනි ආහාර පිලිකා කාරක බව පමණක් නොව සකස් කළ මස් ග්‍රෑම් පණහක් දිනකට ආහාරයට ගැනීම නිසා පිලිකා වැළඳීමට තිබෙන අවදානම 18 % කින් ඉහළ යන බවයි.

මෙහිදි දරුවන්ට මස් ලබා දිය යුතු නැතැයි යන අවවාදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් අවධාරනයෙන් පෙන්වා දෙන්නේ සකස් කරන ලද මස් පිලිබඳවයි. මස් ආහාරයට නොගත යුතු යැයි වූ පණිවිඩයක් මෙයින් ඉදිරිපත් වෙන්නේ නැහැ. මස් ආහාරයට ගැනීම පිලිබඳ ගුණ ඉදිරිපත් කරන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සකස් කළ මස් යන කොටස පමණයි. එයිනුත් සකස් කරන ලද මස් අගුණය යන පණිවිඩය පමණයි.

රතු පැහැති මස් දරුවන් වෙනුවෙන් ආහාරයට ලබා දීම අවම කිරීමට මව්පියන්ට හැකියාවක් ලැබෙනවා නම් වඩාත් හොඳයි. මෙම සකස්කරන ලද මස් වෙනුවෙන් කල් තබා ගැනීමට විවිධ රස කාරකයන් එකතු කරනවා. ඒ වගේම අධික තාපයක් යටතේ මෙම සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන විට ප්ලුටෝනියම් පිලිකා කාරකය ඇති කිරීමට සමාන ක්‍රියාවලියක් ගොඩ නැගෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මෙම අධ්‍යනයේ ඉදිරි කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිලිකා රෝග පර්යේෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට භාර දී තිබෙනවා.

දරුවන්ගේ ආහාර වෙනුවෙන් බොහොම පරිස්සම් විය යුත්තේ අනවශ්‍ය විදිහට අගුණ ආහාර ලබා දීම නිසා අනාගතයේදී ඔවුන් විවිධාකාර රෝගාබාධයන්ට ‍ගොදුරු වීමට තිබෙන අවදානම ගැන මව්පියන්ටත් වගකීමක් තිබෙන නිසයි. අද හැම දෙනාම බලන්නේ පහසුව මිසක ආහාරයේ ගුණාත්මක බව ගැන නොවෙයි. ඒ අතරම ආහාරයක ගුණ අගුණ ගැන වැඩියන්ටත් දැනුවත් බවක් නැහැ. විද්යුත් මාධ්‍ය මගින් ලබා දෙනප්‍රචාරණය මිසක එයින් ඔබ්බට හිතන්නටවත් යොමු වීමක් නැහැ. ඒත් දරුවන් සිටින අම්මෙක් විදිහට ඔබ දරුවාගේ ආහාර ගුනාගුණ ගැනත් වැඩියෙන් කරුණු කාරනාවන් දැන ගැනීම ඉතාම වැදගත්.

දරුවාට දැනෙන්න ආදරේ කරන්න

අම්මා තාත්තාගේ සම්මාදමෙන් දරුවෙක් ලෝකයට බිහිවෙන බව ඇත්ත.අම්මා තාත්තාගේ වගකීම විය යුත්තේ මේ දරුවා ලෝකයට අවශ්‍ය දරුවෙක් ලෙසින් දායාද කිරීමයි. අද බොහෝ මව්පියන් හිතන්නේ දරුවා අපිට අවශ්‍ය විදිහට බාල කාලයේ පටන්ම මෙල්ල කර ගත යුතු බවයි. ඒ නිසාම දෙමව්පියන් ඔවුන් සහ දරුවන් අතර බොහෝ දුරස්ථ බවක් ගොඩ නගා ගන්නවා.

ඒත් අද මනෝ විද්‍යාඥයන් කියා සිටින්නේ දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතු බවයි.බාල කාලයේදී දරුවාට පිරිමැහෙන විදිහට ආදරය නොලැබුන විට ඇති වෙන මානසික හුදෙකලාව අනාගතයේදී ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් බලපානු ඇත. මේ ගැන බොහෝ අයගේ බාල කාලයේදී ඔවුන් ලද අත්දැකීම් ඇසුරෙන්ම පෙනී යනු ඇත.

උදාහරණයක් වශයෙන් ලෝක ප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගැන ඔබ දන්නවා ඇත.ඔහුගේ බාල කාලය ඇත්තටම සුන්දර නැත. තාත්තා ඔහුට ආදරයක් දැක්වූයේම නැත දෙමව්පියන් අනවශ්‍ය විදිහට දරුවාට සමීප විය යුතු නැත යන්න ඔහුගේ න්‍යාය විය. රාත්‍රි නින්දට පෙරාතුව ජනේල වැසීම පියා විසින් කුඩා ජැක්සන්ට පවර තිබුන කටයුත්තකි. දිනක් ඔහුට මෙය අමතක විය පියා රාත්‍රියේ වෙස් මුහුණක් පැළඳ ගෙන විත් කුඩා ජැක්සන් බියට පත් කළේය. මේ නිසා ඔහුගේ ලපටි සිත මොනතරම් පසුගාමී වුනාද කිවහොත් නිතරම ඔහු සිතුවේ තාත්තා තමාව ජනේලයෙන් පිටතට විසි කරයි යන බියයි.

2003 පෙබරවාරි මාසයේදී ” ලිවින් විත් මයිකල් ජැක්සන්  ” රූපවාහිනී වැඩසටහනේදී සිය ළමා කාලය ආවර්ජනය කර ගත නොහැකිව දෑතින් මුහුණ වසා ගෙන හඬන්නට විය. ඔහුගේ ළමා කාලය ඒ තරමටම ශෝචනීය විය.2001 වසරේ මාර්තු මාසයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී ඔහු විසින් සිදු කරන ලද දේශනයේදී ලෝකයටම කියා සිටියේ ළමා වියේදී දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය ලබා දෙන ලෙසයි. ඒ තරමටම ආදරය වෙනුවෙන් හිස් තැනක් ඔහුගේ ජීවිතයේ විය.

දරුවන්ට ආදරය කරන්න වෙලාවක් කලාවක් අවශ්‍ය නැත මිළ මුදල් වැය වන්නේද නැත අවශ්‍ය වන්නේ දරුවන් සමග වූ හෘදයංගම බැඳීම පමණි. අද හැම පවුලක්ම පවුල තුලම විතැන්ව ඇත. අම්මාට කාර්ය බහුලය. දරුවන් අධ්‍යාපන තරඟයකය. තාත්තා මිළ මුදල් උපයන භුමිකාවේය. ඒ නිසා දරුවන් යමක් විමසා සිටියද එයට ඇහුම්කන් දෙන්නේද නැත. අම්මා තාත්තා සිතන්නේ කන්න දෙනවා නම්…බොන්න දෙනවා නම්….ආරක්ෂාව හා රැකවරණය ඇත්නම් දරුවන්ට තව දිය යුත්තේ මොනවාද යන්නයි. මේ සියල්ල දරුවාට ලැබෙන බව ඇත්තය. ඒත් ඔහුගේ හිතේ හිස් තැනක් ඇත..

මනෝ විද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව දරුවාට ආදරය කළ යුත්තේ ඔහු ගැබ් දරණ කාලයේ පටන්මය. මව් සෙනෙහස ඒ තරමටම දරුවාට දැනීම අවශ්‍ය වේ.ආදරය දැනෙන විට දරුවා බෙහෙවින් ශක්තිමත් වේ. මටත් ආදරය ලැබෙනවා…මා වෙනුවෙන් රැකවරණය සහතිකය යන ආත්ම විශ්වාසය දරුවාගේ හිතේ ගොඩ නැගෙනු ඇත.

දෙමව්පියන් කාර්ය බහුලබව සැබෑය. මේ කාර්ය බහුලත්වය ගොඩ නැගෙන්නේද දරුවන්ගේ අනාගතය සැපවත් කිරීම මුල් කර ගත් අරමුණ නිසාය. ඒත් මේ ගැඹුරු සංකල්ප හඳුනා ගැනීමට කරම් දරුවා පරිණත නැත ඔහු ලෝකය දෙස බලන්නේ අද දවස මුල් කර ගෙනය. හෙට යනු ඔහුට දෙවැනි සංකල්පයකි. නූපන් හෙට මුල් කර ගෙන දරුවා ශක්තිමත් වන්නේ ආදරය ගැන ලබන සෑහීම මතය.

දරුවන් සමග කතා බහට ඔබ කෙසේ හෝ කාලය ලබා ගන්න. ඇතැම් නිවෙස්වල දරුවා මව්පියන් නොදකින තරමටම ඔවුන් අතර සම්බන්ධය දුරස්ය. දෙමව්පියන් රෑ බෝ වී නිවසට එන විට දරුවා නින්දේය. පසුදා දරුවා උදේ රැයින් පාසල් යන විට තාත්තා නින්දේය. ආර්ථික ලෙසින් සියලු සැප සම්පත් ලබා දුන්නද , ආදරය වැනි හෘදංයගම බන්ධනයෙන් දුරස්ථව සිටින දරුවාගේ හිතේ ඇති වෙන කම්පනය නිසා ඔවුන් මානසිකව හුදෙකලා චරිත බවට පත් වෙති.

ඔබ කෙසේ හෝ දරුවා සමග කතා බහට කාලය ලබා ගන්න. දවසේ අත්දැකීම් හුවමාරු කර ගන්න. නින්දට යෑමට පෙර දරුවා සිප සනසන්න. සිපගැනීම නිසා දරුවාට ඇති වෙන මව්පිය සෙනහස පිලිබඳ සහතිකය හදවතට වඩාත් සුව දෙන ඔසුවක් වෙනු ඇත. අම්මා තාත්තාගේ ආදරය මුල් කර ගත් සහතිකය දරුවාට දැනෙන්නේ එවිටය.

බාලකාලයේදී නිසි ආදරය නොලද විට පසුකාලීනව ඔවුන් සමාජය තුළ කරදරකාරී චරිත බවට පත් වෙනු ඇත.ළමා ලෝකයේ අසුන්දර අත්දැකීම් නිසා පීඩාවට පත් ඉඩි අමීන් ලෝකය තුළ දරුණු පාලකයෙක් බවට පත් වූවෙකි.ඇතැම් මව්පියන් බාල කාලයේ දරුව්නට ආදරයක් නොදක්වන විට ඔවුන් උස්මහත් වූ පසුව දෙමව්පියන් මුල් කර ගෙනත් ආදර බන්ධනයක් ඇති වන්නේ නැත. එදා අම්මා දරුවන් ආමන්ත්‍රනය කලේ  ” මයෙ පුතා ” ” මයේ දුව ” යන ආදරනීය අන්දමින්ය. දරුවන්ද දෙමව්පියන් ආමන්ත්‍රණය කළේ ” මයෙ අප්පච්චි”, ‘ මයෙ අම්මා ” ලෙසින්ය. එය ඔවුන්ගේ හදවතෙන්ම නැගුන ප්‍රේමණීය බන්ධනයකි. එහෙත් අද දරුවන්ට ”මයෙ ” යනුවෙන් වූ වචන බන්ධනය තබා දුව , පුතා ලෙසින්වත් කතා බහට සම්බන්ධ කර  ගන්නා පවුල් සම්බන්ධතාවයන් නැත.

දරුවන් ආදරයට බොහෝ සෙයින් ආදරය කරති. එය දරුවන්ට පමණක් නොව සෑම සමාජ ජීවියෙකුටම සාධාරණය. දරුවන්ගේ ලපටි සිතට ආදරය වැඩුන අයෙකුට වඩා අවශ්‍ය වේ. දරුවන්ට ආදරය පෙන්නන්න හොඳ නැහැ. ඔබත් එහෙම සිතනවාද? එහෙත් ඒ සිතුවිල්ලෙන් දැන් මිදෙන්නට කාලය එළැඹ ඇත. දරුවන් වෙනුවෙන් වූ ආදරයට සීමා අවශ්‍ය නැත …කොන්දේසි ඕනෑම නැත. ආහාර පාන මගින් දරුවා ශාරිරිකව පෝෂනය ලබන අතර මානසිකව ඔහු පෝෂණය වන්නේ මව්පිය ආදරයෙන් ලබන ශක්තියෙන්ය.

ආදරයේ අවශ්‍යතාවය ඔබ මුල් කර ගෙන හිතන්න. කොතරම් වියපත් වුනත් ඔබ ආදරයට ආදරය කරනු ඇත. දරුවන්ද එසේය.ඔවුන්ගේ එකම ශක්තිය ඔබෙන් ලැබෙන ආදරයයි.මේ නිසා දරුවාට දැනෙන්න ආදරය කිරීමේ කිසිම වරදක් නැත.

දරුවන්ට දෙන ආහාර වෙනුවෙන් ජපන් උපදෙස්

දරුවන්ට ආහාර සැපයීම ඇත්තටම එතරම් පහසු කාර්යක් නොවෙයි. පොඩි එවුන්ගේ දඟකාර ගති පුරුදු සමග තුන්වේලටවත් අම්මා තාත්තාගේ හිත පිරෙන විදිහට ආහාර ලබා දීම එතරම් පහසු නැහැ. මේ නිසා නිතරම අම්මාගේ මුවින් නික්මෙන ”අනේ මේ දරුවන්ට කවන්න මං විඳින යුද්ධයක් “….යන අදහස ඔබටත් හොඳින් හුරු පුරුදු ඇති. ඒත් ඔබ කනස්සල්ලට පත් වෙන්න එපා. මේ තත්වය ළමා ලෝකයට බොහොම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ජපානයේ පර්යේෂකයන් විසින් දරුවන්ට ආහාර පිලිගන්වන්නේ කොහොමද යන්න අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ නිගමන අපිටත් ආදේශ කර ගැනීම එතරම් අපහසු නැහැ.

ආහාර වර්ණවත් කරන්න

දරුවන්ට පිළියෙළ කරන ආහාර නිතරම වර්ණවත්ව සකස් කරන්න. එයින් අදහස් කරන්නේ කෘතිම වර්ණක ගැන නම් නොවේ. අපේ එළවළු වලින්ම දරුවන්ට ලස්සන ආහාර වේලක් සකස් කරන්න පුළුවන්. දරුවා වෙනුවෙන් ආහාර සකස් කරද්දී එකම වර්ණය වෙනුවට විවිධ වර්ණ තෝරා ගන්න. බෝංචි ගත්තොත් තවත් කොළ පැහැති එළවළුවක් වෙනුවට කැරට් වැනි තැඹිලි පැහැයේ සහ වට්ටක්කා වැනි කහ පැහැති එළවලුවක් තෝරා ගන්න. බීට් යුෂ තැවරුනාම දරුවන් ඉතා ප්‍රිය මනාපයි. මේ එළවළුවලින් ලැබෙන ගුණයන්ද විවිධයි. බීට් වැනි එළවළුවලින් රුධිරය පිරිසිදු වෙන අතර වට්ටක්කා සහ කැරට් විටමින් ” ඒ ” බහුල පෝෂකයක්. මේ නිසා වර්ණවත් ආහාර මගින් දරුවාට රුචිය වගේම ගුණයත් ඉතා පහසුවෙන් ලබා දෙන්න පුළුවන්.

ආහාර විවිධත්වය

හැම දෙනෙක්ම වෙනස්වීමට කැමැතියි. දරුවන් වෙනුවෙනුත් මේ තත්වය වෙනසක් නැහැ. හැමදාම එකම රටාවට පිළියෙළ වෙන බත් වෙනුවට කහ බත්, එලවළු බත්, තෙම්පරාදු බත් සහ කිරි බත් වැනි විවිධ විදිහට සකස් කරන්න පුළුවන්. එළවළු වුනත් එහෙමයි. බෝංචි කිරට උයනවාට අමතරව තෙම්පරාදුවක්, තම්බා ගැනීමට පුළුවන්. කැරට් සලාද එහෙම නැත්නම් මැල්ලුම් වගේ පිළියෙළ වුනාම ඇති වෙන විවිධත්වය දරුවාගේ ආහාර රැචිය වර්ධනය වෙන්නේ ඔබත් නොදැනුවත්මයි. බත් වගේම ගුණ ලබා දෙන නූඩ්ල්ස්, පැස්ටා, මැකරෝනි දරුවන් බොහොම ප්‍රියකරනවා. පිට්ටු පිලියෙල කරන විට එළවලු සහ පලා වර්ග මිශ්‍ර කර ගත්තාම අපේ දරුවා කොළ මැල්ලුම් කන්නේ නැහැ කියන මැසිවිල්ලත් නොදැනම නැවතෙයි.

බබාට බත් කවන්න ඕන යන වගන්තිය නවත්වන්න

හැම ගෙදරකම පුංචි දරුවෙක් සිටින විට අනේ බබාට බත් කවන්න ඕන යනුවෙන් නිතරම ගැයෙන යාතිකාව නවත්වන්න. මේ ගැන කණ වැකෙන විට දරුවා නොදැනම එය ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා. ඒ නිසා බත් කැවීම යුද්ධයක් නොව සාමාන්‍ය සිද්ධියක් බවට පත් කර ගන්න. දරුවන් තමා වෙනුවෙන් අවධානය දක්වන විට ඔවුන් එය ආයුධයක් කරගෙන අනවශ්‍ය කරදරයක් මවුපියන්ට ලබා දෙනවා. මේ නිසා බත් කැවීම ජීවිතයේ සාමාන්‍ය දෙයක් විදිහට හිතුවොත් එය කවදාවත් දරුවාට වගේම ඔබටත් වධයක් වෙන්නේ නැහැ.

දරුවා වෙනුවෙන් වෙනම මේසයක් එපා

දරුවාට බත් කවන්න වෙනම ස්ථානයක් වෙන් කරන්න එපා. ඔබ සමගම දරුවාත් තබා ගන්න. ඇතැම් දරුවන්ට ලොකු මහත් වෙන තෙක්ම ඔවුන් වෙනම ස්ථානගත කරනු ඇත. මේ තත්වය නිසා දරුවාට ආහාර පිලිබඳ ව උනන්දු හීන වෙනු ඇත. ඒ නිසා ඔබ සමගම මේසයට දරුවාද සමීප කරගන්න. එවිට ආහාර පුරුදු ගැනත් දරුවා යම් අධ්‍යනයක් ලබනු ඇත. ඇතැම් පුද්ගලයන් ලොකු මහත් වුනත් ඉඳුල් අතින් වීදුරුව ඇල්ලීම, හඬනගමින් ආහාර සැපීම, ඉඳුල් අතින් හැඳි ඇල්ලීම, සුරුස් ශබ්ද නගමින් වතුර බීම වැනි අප්‍රසන්න ආහාර පිලිවෙත් අනුගමනය කරනු ඇත. මීට හේතුව වන්නේ බාල කාලයේදී දරුවා හුදෙකලා කිරීම නිසා ඔවුන්ගේ වැරදි අඩුපාඩු හඳුනා ගැනීම අපහසු වීමයි.

ඇවිටිලි කරන්න එපා

”පුතා මේ බත් කට විතරයි…අන්තිම බත් කට “විදිහට දරුවාට ඇවිටිලි නොකරන ලෙසටත් ජපානයේ පර්යේෂකයන් විසින් උපදෙස් දී ඇත. ඔබ බත් බෙදා ඔහුට කිසිම ඇවිටිල්ලක් නොකර පැත්තක තබන්න. දරුවාම ගොස් මේ පිගානේ තිබෙන දේ ආහාරයට ගනු ඇත. බොහෝ මව්පියන් කියන මේ දෙය ඔබටත් හොදින් හුරු පුරුදු ඇති. ගෙදරදී කන්නේ නැහැ. පිටට ගියාම ලැජ්ජාවේ බැහැ. අපි කියන්නේ ළමයි කන්නේ නැහැ කියලා. ඒත් බේරන්න බැරි විදිහට දෙක තුන ඉල්ලනවා. මේ තත්වයට හේතුව එතැනදී දරුවාට කිසිවෙකුගේ අවධානය සහ පෙරැත්තය නොමැති වීමයි. මේ නිසා අනවශ්‍ය ලෙසින් වූ ඇවිටිල්ල දරුවන්ගේ ආහාරයට තිබෙන රුචියට බලපාන බැව් ජපානයේ සිදු කරන ලද අධ්‍යනය මගින් හඳුනා ගෙන ඇත.

පිගාන හෝදන්න බලකරන්න එපා

ආහාර ගැනීමෙන් පසුව කන බොන පිඟාන කෝප්පය සෝදා තැබීම අපේ සම්ප්‍රදායක් බව හැබෑව. එය බාල කාලයේ පටන්ම හුරු පුරුදු කළ යුතුයි. ඒත් දරුවන්ගේ මානසිකත්වය අපේ සම්ප්‍රදායන් සහ සිරිත් ඉදිරියේ කම්පනය වෙනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ සියලු ආචාර ධර්ම බාල කාලයේ පටන් ගොඩ නගන්නට ගන්නා උත්සාහය නිසා තදබල ලෙසින් විධානයන් බලපවත්වනවා. ඔවුන් හිතන්නේ මේ ගති පුරුදු බාල කාලය් පටන් ගොඩ නගා නොගත හොත් අනාගතයේදී එය ගැටළු සහගත විය හැකි බවයි. ඒත් ජපානයේ සිදු කරන ලද මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ අනවශ්‍ය ලෙසින් මෙම බලපෑම දරුවාගේ ආහාර වෙනුවෙන් ඇති රුචිය බ  දමන බවයි. ඒ නිසා පිඟාන සේදීම අත්‍යවශ්‍ය විධානයක් බවට පත් නොවුන විට දරුවාගේ ආහාර රුචිය පිලිබඳව උනන්දුව ගොඩ නැගෙන බවයි.

අමතර වේලට ගුණාත්මක දේ එක්කරන්න

ඔබට දරුවාට ලබා දිය යුතු පලා වර්ග, පළතුරු වෙනුවෙන් දරුවා උනන්දු නොවනු ඇත. එවන් අවස්ථාවලදී එම ආහාර අතිරේක හෝ අමතර ආහාර වෙනුවෙන් යොදා ගන්න. කොළ මැල්ලුම් අප්‍රිය කරන දරුවාගේ සුප් පිළියෙළ කරද්දී ගොටු කොළ වැනි පලා එක් කළ හැක. සැන්ඩ්විච් පිළියෙළ කරන විටත් සිහින්ව ලියන ලද පලා , කැරට් වැනි දේ එක් කරන්න. පළතුරු වෙනුවෙන් අප්‍රිය නම් පළතුරු යුෂ ලෙසින් ලබා දෙන්න. දිවුල්, පැපොල්, අනෝදා වගේම මිශ්‍ර පළතුරු ලෙසින් ලබා දෙන යුෂ මගින් අනේ පළතුරක් කන්නෙම නැහැ යන මැසිවිල්ලෙන් ඔබ නිදහස් වෙනු ඇත. ඇත්තටම පළතුරු යනු ලෙඩට පිළිතුරයි. මේ නිසා පළතුරු ප්‍රතික්ෂේප කරන දරුවාට යුෂ වගේම සලාද ලෙසින්ද පළතුරු ලබා දීම එතරම් ගැටළුවක් නොවනු ඇත.

ඔබ මේ ගැන දන්නවද ? හිතුවද?

ඇත්තටම අම්මා කියන චරිතය කොයිතරම් නම් සංකීර්ණද කියන දේ දැනෙන්න ,තේරෙන්න අම්මා කෙනෙක්ම වෙන්න ඕනී. බොහෝ අම්මාවරුන් දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් තමන්ගේ ජීවිතේ බොහොමයක් දේවල් කැප කරන්න පැකිලෙන්නෙ නැහැ. ඒ තම හදවතේ ගැඹුරින්ම තම දරුවන් වෙනුවෙන් නැගෙන දාරක ස්නේහය හා පවුල හා ඇති දැඩි බැඳීම නිසාවෙන්මයි. තමන්ගේ උගත්කමට ලැබුණු උපාධි සහතික වගේම තමන්ගේ උසස් රැකියාවත්  පැත්තකින් තියලා දරුවන් වෙනුවෙන් කැප වුණ අම්මලා අප අතර බොහෝමයි. නිවසේ ගෘහණිය යන ස්ථිර සේවයට පත් වන අපේ අම්මාවරුන්ගේ මෙහෙවර පිළිබඳව හැඟීමක් අපේ පියවරුන්ට තිබෙනවාද යන්න නම් ගැටලුවකි. බොහෝ විට පවුලක බැඳීම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන්නේ අපි අපි ගැනම තිබෙන අනවබෝධය හා අනෙක් පුද්ගලයාගේ කාර්්‍යය භාරය පිළිබඳ ඇඟයීමකට ලක් නොකරන නිසාවෙන් බවයි මට නම් සිතෙන්නේ. ජීවිතයේ අප විවිධ අදියරයන් පසු කරමින් ඉදිරියට ඇදෙන්වා. විවාහයට පත් වූ පසු දරුවන්ගේ අම්මා වන විට සිතුවිලි වල සිදු වන්නේ මහා පෙරළියකි.උදෑසන හිරුට කලින් පිබිද රාත්‍රී වන තුරුම නොනැවතිල්ලේ දරුවන් වෙනුවෙන්, නිවසේ කටයුතු වෙනුවෙන් වෙහෙස වන විට ඒකාකාරීත්වය තුලින් ජීවිතය ගැන කළකිරීමක්ද දැනෙන අවස්ථා අම්මාවරුන්ට නැත්තේම නොවේ.

ගෘහණිය යන තනතුරෙහි සිටින අම්මාට අසනීපයකටවත් නිවාඩුවක් ගත නොහැක්කේ මුලු පවුල් ඒකකයෙහිම කාර්්‍යයන් ඇය අක්‍රීය වූ විට ක්‍රියාවිරහිත වන නිසාවෙන්ය. මා කුඩා කල සිතුවේ අම්මාට කිසි දිනක අසනීප වන්නනේ නැත කියාය. නැත එය සම්පූර්ණ වැරදිය. අද මා එය නිවැරදි කරමි . ඒ “අම්මා අසනීප වුවත් අක්‍රීය වූ දිනක් මා දැක නැත” කියාය. ඒ මමද අද මවක් නිසාවෙන් ඒ අත්දැකීම මා සජීවීව අත්දකින නිසාවෙන්ය. බොහෝ පියවරුන් සිතන්නේත් , සිටින්නේත් අපේ එක්කෙනා ගෙදරනේ යන සිතුවිල්ලෙන්ය.එහෙත් ඒ ගෙදර සිටින බිරිඳ කුමක් කරන්නේද යන්න විමසා බලන්නට ඔවුන්ට නොසිතෙන්නේ මන්දැයි මා නොදනිමි. රැකියාවක නිරත පියවරුන්ට පවුල වෙනුවෙන් ඉටු කළ යුතුකම් බොහෝමයකි. ඔවුන්ද තම රැකියාවේ කටයුතු හේතුවෙන් වෙහෙසට පත්වන බව සැබෑවකි. එහෙත් ඔවුන් වෙත දවස පුරා පැවරෙන්නේ රැකියාවේ රාජකාරිමය කටයුත පමණකි. එහෙත් නිවසේ සිටින ඔබේ බිරිඳට රාජකාරී රැසක් ඉටු කිරීමට නිරායාසයෙන්ම පැවරෙන බව අමතක නොකරන්න. නිවසේ එදිනෙදා කටයුතු වගේම දරුවන් සමග දවස මුලුල්ලේම ගත කරන විට ඔවුන්ගේ පෝෂණය, අධ්‍යාපනය, නීරෝගීකම, ඔවුන් හොඳ පුරවැසියන් කරවීමට අඩිතාලම සැකසීම යන භාර ධූර කටයුතු වලදී අම්මාවරුන් මුහුණ පාන්නේ දැඩි අභියෝගයන්ටය. ඒ අතරින් දරුවන් කිහිප දෙනෙක් සිටින නිවසක දරුවන්ගේ අතර ඇති වන ගැටුම් නිරාකරණය කිරීමේදී , දරුවන්ගේ අසීමීත දඟ වැඩ මුරණ්ඩුකම් හමුවේ අම්මා කෙනෙකුගේද ඉවසීමේ සීමාව ඉක්මවන අවස්ථා කොතෙකුත් ඇත. අහම්බයකින් හෝ පියවරුන් අම්මලාගේ ඉවසීමේ සීමාව ඉක්ම වූ අවස්ථාවක ළඟ සිටියහොත්…

“ඔයාට පිස්සුද ළමයින්ට ඔය විදිහට ඔහොම කෑ ගහන්න ” යැයි අනිවාර්යෙන්ම පවසනු ඇත.

එවැනි අවස්ථාවක කෝපයෙන් සිටින අම්මාගේ මුවින්ද වචන මුදා හැරෙන විට වචනයෙන් වචනය දිග් ගැස්සී අවසන ගැටුමක් බවට පත්වේ. ආදරණීය පියවරුනේ මොහොතක් සිතන්න නිවසේ වැඩකටයුතු සමග දරුවන් වෙනුවෙන් මුලු දිනයම ගත කරන ඇයගේ සිතුවිලිද පෘතග්ජනය.දිනයක් නිමාවන විට ඇයගේ ගතට වෙහෙසය, සිතටද වෙහෙසය. එහෙත් පවුල වෙනුවෙන් කිසිදා ඇය ඒ වෙහෙස පෙන්වා ඔබට මැසිවිලි නගා ඇත්දැයි සිතන්න. ඔබ කාර්්‍යාලයෙන් නිවසට එන විට ඔබ ඉදිරියේ ඇය සිනහවෙන් මුව සරසාගෙන හිඳින්නීය. මොහොතක් ඇය වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැය කරන්න. ඇයව අගය කරන්න. හැකි සෑම විටම ඇයට සහය ලබා දෙන්න. ඔබත් ඔබේ දරුවන් වෙනුවෙනුත් නිහඬවම අමිල මෙහෙවරක් ඉටු කරන ඔබේ බිරිඳ දැනෙන්නට ආදරය කරන්න.