මතක හිටින්නෙම නැද්ද?

අද අධ්‍යාපනය හරිම තරඟකාරීයී. පෙර පාසල් වියේ පටන්ම දරුවන් අධ්‍යාපන ඉලක්ක තියෙනවා.මේ අධ්‍යාපන රටාව තුල විෂය කරුණු මතක තබා ගැනීම නම් බෙහෙවින්ම වැදගත්. ඒත් විෂය කරුණු බොහෝමයක් මතකයේ ගබඩා කර ගන්න එක නම් ලේසි පහසු නැහැ. කොහොම වුණත් මෙම කාරණා විෂය කරුණු පාඩම් කරන ඔබේ දරුවාගේ අධ්‍යපයෙදී  මතක තබා ගැනීමට ඉවහල් වනු ඇති.

පාඩම් කරන විෂය කරුණු පමණක් අවධානය යොමු කරන්න

කොයි තරම් පොත අතේ තියාගෙන කියවගෙන ගියත් පලක්නැහැ එම කරුණු නිසියාකාරව අවධාරණය වුණේ නැත්නම්. විෂය කරුණු අවධාරණය වන්නට නම් මනස ඒකාග්‍ර කරගත යුතුය. ඒසඳහා අවට පරිසරයෙන් ඇති වන බාධා අවම කළ යුතුය. රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න.

දීර්ඝ කාලයක් එක දිගට පාඩම් කිරීම අත් හරින්න

ගොඩක් වෙලාවට අපි එක දිගට පාඩම් කරපු විෂය කරුණු අපි මතකයේ රැදෙන්නෙ ැහැ. ප්‍රශ්න පත්‍රය අතට ගත්තම මේ වගේ දෙයක් පාඩම් කලා කියලා මතකයේ තිබුණට පිළිතුරු ගලපගන්න බැරි වුණ අවස්ථා අපටත්  උදා වෙලා තියෙනවා.සෙමහරුන් විභාග ලං වුණාම වතුර බේසම් වල කකුල දමාගෙන් නිදිමරාගෙන පාඩම් කරනවා.ඒත් නීරෝගී වැඩිහිටියෙකුට පවා එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටිය හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉතින් ඒ කාලය ඉක්ම වූ  පාඩම් කිරීම නිශ්ඵල උත්සහයක්. එනිසා පාඩම් කරන අතර තුර  5ක 10ක කෙටි විවේකයක් ගන්න. ඔබ ප්‍රිය කරන ගීතයක් ඇසීම, ගායනය කිරීම,පරිසරය විඳ ගන්න, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කරගෙන නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න. එක දිගට පාඩම් කිරීමට වඩා පාඩම් කරන අතර කෙටි විවේකයක් ගෙන පාඩම් කිරීම වඩාත් ඵලදායී බව පර්යේෂණයන් මගින් ද තහවුරු කර ඇත.

තොරතුරු මතකයේ තබා ගැනීමට සරල උපක්‍රම භාවිත කරන්න

හායි හීලී නැන්සි පෝලන්තේ රුබී සිසි එංගලන්තේ මතකද අපි ආවර්තිතා වගුව මතකයේ තබා ගන්න පාඩම් කරපු ගීතය. ඉතින් අපට පුළුවන් විෂයකරණු මතකයේ තබා ගන්නට මේ වගේ කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ගොඩ නගාගන්න.

අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න

අපි කරනඕනෑම කටයුත්තක් අවබෝධයක් නොමැතිව කලොත් එහි කිසිඳු ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නැහැනේ. ඉතින් පාඩම් කරන විටත් විෂය කරණු  මතකයේ රැඳෙන්නට නම් අවබෝධයෙන් ඒ කටයුත්ත කළ යුතුයි. අපේ මොළයත් දත්ත ගබඩාවක්. ඉතින්  අද මතකයේ තැන්පත් කල දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. අවබෝධයකින් තොරව පාඩම් කරන දේවල් මතකයෙ රැදෙන්නෙ නැහැ. විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යයනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.

මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න

විෂය කරුණු විශාල ජේද ලෙස මතකයේ තබා ගන්නවාට වඩා විෂය කරුණු චිත්‍රණය කිරීම තුලින් මතකයේ රඳවා ගැනීම පහසුය. ඒ සඳහා වගු ,රූප සටහන් ,ප්‍රස්ථාර ආදිය භාවිතයට ගත හැකිය. එසේම ඔබේ සටහන් තුල ඇති  වැදගත් කරුණු වෙනත් වර්ණවත් පෑනකින් ලිවීම හෝ හයිලයිට් කිරීම තුලින් විශේෂීකරණය කිරීමෙන් ද  එම විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට පහසු වෙනවා.

 ඉගෙන ගන්නා විෂය කරුණු හඬ නගා කියවන්න

පර්යේෂණ මගින් පෙන්වා දෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි.

ඉගෙන ගන්නා විෂය කරුණු තවත් අයෙකුට උගන්වන්න

මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. එමගින් ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් වන අතරම මතකයද වර්ධනය වනු ඇත.

කාර්යබහුල මව්වරුනි, මේ ඔබටයි

අද අපි ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල වටපිටාවක. දරුවන් රැක බලා ගැනීම අද බරපතල ප්‍රශ්නයක් වෙලා. ඇතමෙක් තම ආදරණීයයන්ගේ සහාය ලබාගන්නවා. තවත් අයෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සෙවණ සොයනවා. තවත් අයෙක් සේවක සේවිකාවන්ගේ උදව් පතනවා. මේ කොහොම කලත් ඔබේ සැලකිල්ල යොමු විය යුතු කරුණු කීපයක් මෙහි දක්වනවා.

අද මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නේ වැඩිපුරම මධ්‍යම පාන්තික මව්වරුන්. එයාලට හිතේ හැටියට වියදම් කරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒත් අපේක‍ෂා ගොඩයි. ඒ නිසා බොහෝ මව්වරු රැකියාවක් කරනවා. මේ නිසා ප්‍රශ්නය තවත් බරැරුම්. ධනපති පන්තියේ අයට ආර්ථීක ප්‍රශ්න නැහැ. සේවක සේවිකාවන් තබාගෙන දරුවන්ගේ වැඩ කටයුතු කරනවා. කම්කරු පන්තියේ අපේක‍ෂා ගොඩක් නැහැ. දරුවන් අරගෙනම මව රැකියාවට යනවා. අමාරුවෙන් හැමදේම කරගන්නවා.

අතීතයේ තිබි විස්කෘත පවුල අද නැහැ. ඒ පවුලේ මවත් පියාත් දරුවනුත් සමග තවත් ආදරණීයයන් රැසක් හෝ කීපදෙනෙක් හිටියා. ආච්චි, සීයා, නැන්දා, මාමා, ලොකු තාත්තා, පුංචි අම්මා ආදීන්ගෙන් කවුරුන් හෝ ඉතාමත් ආසන්නයේ හිටියා. දරුවන්ගේ වගකීම මොහොතකට හෝ පවරන්න ඔවුන්ට ආදරය දෙන්න කවුරුන් හෝ හිටියා. ඒත් අද තියෙන්නනේ සංවෘත පවුල්. මවත් පියාත් දරුවනුත් හුදකලා වෙලා. රැකවරණයක් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මව්වරු පියවරු හරිම අසරණ වෙලා.

අතීතයේ ගෘහ සේවිකාවන් හිටියත් එයාලා පවුලට හරිම ලෙන්ගතුයි. පවුලේ සාමාජිකාවක් වගේ දරුවන්ට ආදරය කරනවා. රැකබලා ගන්නවා. ඒත් අද ඉන්න අය රොබෝවරු වගේ. ආවා, වැඩ කොටස කළා, වැටුප ගත්තා ගියා. එයාලගේ කිසිම සමීප බවක් නැහැ.

එහෙත් රැකියාවකට යන මවකට එහෙමත් නැත්නම් ගෙදර සිට රැකියාවක් කරන මවකට දරුවන් රැක බලා ගැනීමේදී කාගේ හෝ සහායක් අවශ්‍ය වෙනවා. තමන්ගේ අම්මා, තාත්තා නැත්නම් සමීප ඥාතියෙක් තබාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම ඉන්න ඇතැම් මව්වරු කියනවා මම අහලා තියෙනවා අම්ම ළඟ දාලා ආවේ. අම්මා ඉතින් මට වඩා හොඳට බලාගන්නවා. තාත්තා මට වඩා හොඳට බලාගන්නවා. මේ වගේ දරුවෝ ඇස් දෙක වගේ බලාගන්න ඒ අදාරණීයයන් ගැන ඔබත් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන් ඔවුන්ට ආදරය දැක්වීම අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. ඔවුන්ට ඔබේ දරුවාගේ භාරකාරත්වය දෙන්න. ඔවුන් සමීප කරගන්න. ඔවුන් කරන්නේ විශාල කැප කිරීමක් බව සිතන්න.

ඔවුන්ගේ ආදරය ඔබේ දරුවාට මානසික ශක්තියක්. කාර්යබහුල ඔඛෙන් ඉටු නොවෙන කාරණා බොහෝ දේ ඔවුන්ගෙන් කෙරෙනවා. කතාන්දර කියා දෙනවා. චිත්‍ර අන්දනවා. හොඳ නරක කියා දෙනවා. සෙල්ලම් බතක් උයනවා. ඒ නිසා ඔබේ දරුවාට ඒ රැකවරණය ඉතාමත්ම වටිනවා.

ඇතැම් ගෘහ සේවිකාවන් ඉන්නවා දරුවන්ට හරිම ලෙන්ගතුයි. දරුවොත් ඒ අයට ලෙන්ගතුයි. මා දන්නා සමහර දරුවෝ ඉන්නවා ගෘහ සේවිකාව ගෙදර යනකොට එයාට දණගහලා වඳිනවා. මේවා ගැන උරණ වෙන දෙමව්පියොත් ඉන්නවා. අපි කොතරම් දේ දුන්නත් දරුවා සේවිකාව පස්සෙමයි කියලා මැසිවිලි නඟනවා. එහෙම හිතන්න එපා. භෞතික සම්පත්වලට වඩා දරුවන්ට දැනෙන්න ආදරය දෙන්න ඕන.

ඒත් ඔබ, අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනවා. දරුවාගේ රැකවරණය බාරදෙන අය ගැන හොඳ තක්සේරුවක් ඔබ තුළ තියෙන්න ඕන. අපට සමහරවිට අහන්න ලැඛෙනවා ගෙදර මිදුලේ වතුර බේසමේ වැඩිලා කුඩා දරුවකු ජීවිතයට සමුදෙන ආකාරය ගැන, හොඳ රැකවරණයක් දරුවාට ලැඛෙනවාද කියන එක ඔබ තහවුරු කරගන්න ඕන. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගැන වුවත් ඔබ දෙවරක් සිතන්න ඕන. දරුවෙකුගේ ස්වභාවය නිතරම අවදානම් දේ කෙරෙහි යොමු වීම. ඒ නිසා විශේෂයෙන්ම රැකවරණය ලැඛෙනවාදැයි ඔබ තෘප්තිමත් වෙන්න ඕන. ඒ වගේම දවසෙම රූපවාහිනිය ඉදිරියේ දරුවා තබාගන්නවාද, දරුවාට හොඳ නරක පෙන්නලා දෙනවාද නැද්ද ඒ ඔබේ අවධානය යොමු විය යුතු තැන්. කෑම බීම නිසි වේලාවට දරුවාට ලැඛෙනවාද සොයා බැලිය යුතුයි.

ඔබට වැටහෙනවා ඇති දරුවකු රැකබලා ගැනීමේ සෑම පියවරකම ඔබ සෙවනැල්ලක් සේ සිටිය යුතු බව. මුළු හිතින්ම දරුවා පැවරිය හැක්කේ කෙබඳු  අයෙකුටදැයි ඔබට වැටහෙනවා ඇති. කාර්යබහුල ජීවන රටාවක ඔබේ කටයුතු පහසු කරගත්තාට ඒ වගේම දරුවා තෘප්තිමත්ව තබන්නට බුද්ධිමත් ගුණවත් ඥාතියකුගේ හෝ සේවිකාවකගේ සහාය ලබාගැනීම ඔබේ මනසත් සහනයක් වනු නොඅනුමානය.

දරුවන්ට දේශාභිමානය දැනෙන්න නම්

වැදූ මවත් , උපන් බිමත් අමතක කරන තැනැත්තෙකුගේ ජීවිතයේ පැවැත්ම ඉතාම අවදානම් බවට එදා අම්මා තාත්තා දරුවන්ට කියා දුන්හ. එහෙත් අද දෙමව්පියන් දරුවන්ට හය හතර තේරෙන කාලයේ පටන් කියා දෙන්නේ එතෙර රටක ජීවත්වීමේ සිහිනයයි.ලොකු වුනාම පිටරටක ගිහිං ජීවත්වෙන්න ඕන…මේ රට යන අතට මෙහෙ ඉඳලා පලක් නැහැ. අම්මලා එසේ කියද්දී පුද්ගලික පංතිවලත් දරුවන්ට කියා දෙන්නේ සියලු සැප ඇත්තේ මුහුදෙන් එතෙර බවයි. ඇත්තටම අපි ළිං මැඩියන් සේ ජීවත්විය යුතු නැත. එහෙත් අපේ මුල් අපේ රටේ තිබීම අවශ්‍ය වේ. පිටරටක ගොස් ලෝකය ගැන දැක බලා ගෙන අත්දැකීම් උපයා ගැනීම කිසිසේත්ම වරදක් නැත. එහෙත් උපන් රට නොවටීය යන සංකල්පයෙන් වෙනත් රටක සැප විහරණ සෙවීම නම් අනුමත කළ නොහැක.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී දැන් වසර හැට නවයක් ගෙවී ඇත. අද අපි පුංචි ගම්මානයක ජීවත්වෙන බව සැබෑය. ඒත් හැට වසරකට එපිට අපිට පැවැති හර වටිනාකම් ගැන නම් කිසිසේත්ම සෑහීමට පත් විය නොහැක. එදා අම්මා තාත්තා වයස්ගත වුනත් ඔවුන් සිටියේ තරු පිරිවර ලෙසින් දරු මුණුපුරන් පිරිවරාගෙනය. අද දරුවන් උස් මහත් වුන තැන පටන් විදෙස්ගත වීමේ සිහිනයෙන් පෙලෙන අතර මහ ගෙදර සීමා වෙන්නේ දුබල මව්පියන් පමණි. ඔවුන් අතරින්ද අම්මා හෝ තාත්තා මියගිය විට ඉතිරිවෙන තැනැත්තා හව්හරණ වෙනුවෙන් වැඩිහිටි නිවාසයක නේවාසිකත්වය ලබනු ඇත.

එසේ නම් අපේ රටට ආදරය කරන දරුවන් පරම්පරාවක් අනාගතය වෙනුවෙන් දායාද කරන්නේ කෙසේද…? මේ ගැන මව් දෙමව්පියන්ගේද අවධානය යොමු වීම අවශ්‍යයෙන්ම සිදු විය යුතුය.අපේ අතීත උරුමයන් ගැන ඔවුන්ට කියා දීම අවශ්‍ය වේ. එදා දෙමව්පියන් මේ වෙනුවෙන් කවි ගීත ඉතා සමීපව උපයෝගී කර ගත්හ.

“කැප්පෙටිපොල සෙනෙවිසුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මහරූ….” 
(එස්.මහින්ද හිමි)

මේ අන්දමින්  අපේ විරුවන් පිලිබඳව දරුවන්ට ලබා දෙන දැණුවත් බව නිසා අපිටත් ආඩම්බර ඉතිහාසයක් ඇත යන සංකල්පයෙන් ඔහුගේ සිතට අභිමානවත් හැඟීම හදවතට එන්නත් කළ යුතුය. එදා දරුවන්ට ලබා දුන් අවවාදය වුනේ

” අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
සිඟා කෑම බැරි වුන දා ගයා ලගී මර ගී ” 

නමුත් අද අලුත් දෙයක් නිපදවීම වෙනුවෙන් දරුවන්ට උනන්දුවක් ඇති වන්නේ නම් ඒ විෂය මුල් කර ගත් අධ්‍යාපනය වෙනුවෙන් පමණි.එහෙත් අතීතයේදී අපේ මුතුන් මිත්තන්ගේ විස්කම් තුලින් පෙනෙන්නේ ඔවුන් අපේ රටට දායාද කළ සම්පත් නොවේද..

අදටත් සිංහල ජාතියක් ලෙසින් අපි පමණක් නොව ලෝකයක් විස්ම කරන අපේ උරුමයන් තුළින් දරුවන්ටත් අපේ ජාතියේ සාඩම්බර හැකියාවන් ගැන පෙන්වා දීම ඉතා වැදගත්ය. නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් එසේ නැත්නම් කොරියන්  සහ ඉන්දියන් සම්භවයේ ඉතිහාසය නොව අපේම මුතුන් මිත්තන් ලෙසින් වූ නර විරුවරු විසින් හඳුන්වා දෙන ලද වාරි තාක්ෂණය, වාස්තු ශිල්පය මෙන්ම කලා නිර්මාණයන් ගැනත් දරුවන්ට හදවතට දැනෙන සේ කියා දීම මව්පියන්ගේ වගකීමයි.

සිංහල ජාතියක් ලෙසින් අපි පරිසරයට බෙහෙවින් ආදරය කළ ජාතියකි. සෙවන දුන් ගසක අත්තක් පවා සිඳ බිඳීම ගැන එදා කතා බහ කළේ අප්‍රසන්නවය. අපේ හරිත වටපිටාවට එදා උන්නවුන් ආදරය කළහ. ඒ පරිසර වටිනාකම් අද අපෙන් ගිලිහී ගොස්ය. අපේකම ඇත්තේම නැත. ඒ අතරම එහි විපාක විඳින්නේද අපය.තුරු සෙවණැලි සිඳ බිඳ දැමීමෙන් ජල උල්පත් සිඳී ගිය අතර එහි විපාක නිසා අටු කොටු පුරන් විය. සතා සිවුපාවුන් අහිමි විය. සියලු විපාකයන් අප පිටට පැටවුන අතර නොරටුන මත යැපෙන ජාතියක් ලෙසින් උදාසීන වූහ. එහෙත් අපේ රටේ ලස්සන පරිසරය මුල් කර ගෙන ගැයෙන මෙවන් ගීත මගින් දරුවන්ට අපේ රටේ සුන්දරත්වය වචන දහසකට වඩා පහසුවෙන් හදවතට ඒත්තු ගැන්විය හැක.

” සින්ධූපමාන වැව් කලා මතින් ඇදී
පද්මරේණුවෙන් සුගන්ධ වී
රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි …” 
පද රචනා-මහගමසේකර
ගායනය-  පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව

එහෙත් අපේ අතීතය තුළ වූ ස්වයංපෝෂණය ගැන දරුවන්ට ලබා දෙන දැණුම තුළ ඔවුන් අපි කවුද යන්න වටහා ගනු ඇත.ජාතියක් ලෙසින් අපි කිසිවෙකුත් මත යැපෙන්නට අවශ්‍ය ජාතියක් නොවන්නේය යන අභිමානය දරුවන්ගේ හිතට ඇතුලත් කළ යුතුය.

භෞතික සැප සම්පත් විදිනු රිසිව නොරටක ගොස් නිවටුන් ලෙසින් ජීවත් විය යුතු නැත වියළි දණ්ඩක් වුව පැල වෙන පින්බිමක උරුමය අපට ඇත. අපේ දහඩියෙන් හා මහන්සියෙන් මේ සරුබිම දිනා ගත හැක. නොරටකදී අපට ජීවත්වන්නට සිදු වෙන්නේ දෙවැනි ජාතියක් ලෙසින්ය. වෙනත් තබා පුරවැසිකම නොමැත්තේ නම් ලැබෙන නොවටිනාකම් බොහෝය. ආර්ථික ලෙසින් සැප ලැබුනද මානසික ලෙසින් ආත්මාභිමානයක් ගොඩ නගා ගත නොහැක.

අපේ රටය යන සංකල්පයෙන් ඔබ මිදුනොත් කෙසේ හෝ ජීවත්වෙන බව නම් සැබෑය.එහෙත් ආත්මාභිමානය පිලිබඳව ඇති වෙන හිස්බවට පිළියම් නැත.ඒ නිසා දරුවන්ට ඔබ දිය යුතු සැබෑම සංකල්පය මෙයයි.

” පෙරදිග මුතු ඇටයයි මේ
ලෝකේ සිරිබර සිරි ලංකා
ජනිත වු හැම මෙම පොළවේ
නිති ආඩම්බර විය යුතු වේ
දූ කුල බේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී
සමගිව පේළි සැදී … “
පදරචනය -කරුණාරත්න අබේසේකර
ගායනය-කලාශූරී ලතා වල්පොල

එදා අම්මා දරුවන් නලවන විට ගැයුන නැලවිලි ගීයක ගායනීය මිහිර මෙන්ම ලබා දුන් ගුණධර්මයන් බොහෝය.පැරනි රජවරුන්ගේ චරිතාපදාන මෙම නැලවිලි ගී  වෙනුවෙන් වස්තුබීජ සපයන්නනට විය.

” නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතුවේ … “
(දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල )

ජාතියක් ලෙසින් අපි නිදහස ලබා දැන් වසර හැට නවයක් ගෙවී ඇත. නිදහස් නිවහල් ජාතියක් ලෙසින් සාඩම්බර අතීතයක ඇති උරුමය මත හිඳ අනාගතය වෙනුවෙන් සාඩම්බර දරුවන් අද නිර්මානය විය යුතුය.බොහෝ දෙනාගේ අදහස අතීතය ගැන ලබන ආවර්ජනය පලක් නැති බවයි. ඒ වෙනුවට අනාගතය සකසා ගත යුතු බවට ලබා දෙන ඕලාරික උපදෙස් වලින් දරුවන්ගේද මානසිකත්වය ඔද්දල් වී ඇත.එහෙත් සිංහලයේ උපන් මව්පියන් ලෙසින් ඔබ දරුවන්ගේ ජීවිතයට ලබා දිය යුතු තේමා ගීතය මෙසේ ගයන්න. කිසිම දිනක ඔබටවත් දරුවන්ටවත් වරදින්නේ නැත.

” මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි … “
පදරචනය- මහගමසේකර
ගායනය විශාරද නන්දා මාලනී

අකලට මිලින මල්කැකුලු පිටුපස

දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තරම් විශ්වාසවන්ත වෙනත් කිසිවෙකුත් නොමැත. දරු සෙනෙහස ඇට, ලේ , මස් නහර වැද ගමන් කරන නිසා මේ තත්වය ගොඩ නැගෙන බව සැබෑය. එහෙත් ඔබ දරුවන්ට සැබෑ ආදරය කරන්නා සේම ඔවුන් කියන හැම දෙයම විශ්වාස නොකරන්න. එය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් පියවරකි.

පසුගිය දිනක මහවැලි ගං දියේ සැඟවුනේ අවුරුදු දහතුනක් වූ කෙලිලොල් වයසේ පිරිමි දරුවන් තිදෙනෙකි. ගෙවුන කාලය තුළ නිතරම අසන්නට ලැබුන ඉතා ශෝචනීය පුවත් අතරට අකාලයේ මිලින වුන මෙවන් මල්කැකුළු ගැන වාර්තාවන් බොහෝය. ඒ සියල්ල පිටුපස ඇත්තේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලයි.

මුලින් කී දරුවන් තිදෙනාම මේ අන්දමින් අනතුරට පත් වූයේ මව්පියන්ට බොරු කියමින් පාසලේ අවශ්‍යතාවයට යන බව කියා මහවැලි ගං දිය නෑමට ගිය නිසාය. මව්පියන්ද මේ දරුවන් ගැන උපරිම විශ්වාසය තැබූ නිසාම නැවත මේ ගැන පසුවිපරම් කළේද නැත. දරුවන් යනු අනතුරු සමගම උපත ලද කොටසකි. ඔවුන්ගේ නොතේරුම් කම නිසාම අනතුරක් වෙන තෙක්ම ඒ ගැන අවබෝධයක්ද නැත. මේ නිසා නිතරම දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් කියන දෙය මතම නොරැඳී  ඔවුන් කරන කියන දේ ගැන විපරමින් සිටින්න.

දරුවන් පාසලේ උවමනාවකට යන බව කියා දෙමව්පියන් නොමග යවා ඇත. එහෙත් ඔබ දරුවන්ගේ වචන ගැන පූර්ණ විශ්වාසය තබා කටයුතු නොකරන්නේ නම් ඔවුන්ද වැරදි කටයුතු වෙනුවෙන් යොමු වීමට කිසියම් බියක් දක්වනු ඇත. මෙවන් අවස්ථාවන්හිදී දරුවන්ට නොදැනෙන පරිදි ඒ ගැන පසුවිපරම් කිරීම අවශ්‍ය වේ. පාසලේ ගුරුමණ්ඩලය සමග මව්පියන් සමීප සම්බන්ධතාවයක් තබා ගැනීම ඉතා වැදගත්ය.

අද සන්නිවේදනය ඉතා වැදගත්ය. මේ නිසා පංතිභාර ගුරුමහත්මියගේ දුරකථන අංකය සමග දෙමව්පියන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය. ඇතැම් අවස්ථාවන්හිදී දුරකථන අංකය ලබා දීමෙන් ගුරු මණ්ඩලයට අනවශ්‍ය කරදරකාරී බවක් ඇති වෙන අවස්ථාවන්ද ඇත. ඒ නිසාම විටෙක ඔවුන් දුරකථන අංක පංතියේ දරුවන්ට ලබා දීමට මැලි වෙනු ඇත. මේ නිසා මව්පියන් ලෙසින් ඔබ ගුරුවරුන්ට අනවශ්‍ය හිරිහැරයක් නොවන ලෙසින් දරුවා පිලිබඳ තොරතුරු දැන ගැනීමට පමණක් මෙය අවස්ථාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. දරුවා ගෙනෙන පනිවිඩ මුල් කර ගෙන ගුරුවරයාගෙන් විමසීමක් නොකළද, මම ටීචගෙන් කෝල් කරල අහනවා…යන තැනදි දරුවා මෙල්ල වන්නේ ඔවුන්ද නොදැනුවත්වමය. අවුරුදු දහතුනක් යනු මව්පියන්ට ඉතාම හොදින් මට්ටු කළ හැකි වයසකි. යම්හෙයකින් දරුවන්ගේම වචනය මත නොපිහිටා මෙම දරුවන්ගේ මව්පියන් අතර හෝ අදහස් හුවමාරු වුවා නම් මේ තත්වය ඊට වෙනස් වෙනු ඇත.

ගහකොළ , ඇල දොළ සමග සාමාන්‍ය සම්බන්ධතාවයන් නොමැති නිසා අද දරුවන් මේ අන්දමින් දිය නෑමට යොමු වන්නේ විනෝදය මුල් කර ගෙනය. එහෙත් දිය ගැඹුරුය…ප්‍රවේසමෙන් යන අදහස දරුවන්ට ලබා දීම ඉතා වැදගත්ය.දියනෑම වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන ඇත. අනාරක්ෂිත ස්ථානද ඇත. මේ ගැන දරුවන්ට පණිවිඩ ලබා දෙන අතරම අදාල ස්ථාන සමාජයට සන්නිවේදන කිරීම ඉතා වැදගත් වේ.

අද බොහෝ දරුවන් විභාග අවසානයේදී මානසික වෙහෙස නිදහස් කිරීමට විනෝදචාරිකාවන් සංවිධානය කරන අතර එහිදී අනිවාර්යෙන්ම දියනෑමත් එක් අංගයක් ලෙසින් එක්ව ඇත.විභාග මානසිකත්වයෙන් පසු යම්කිසි නිදහස් බවක් අවශ්‍ය බව සැබෑය. ඒ අතරම තමාගේ ආත්මාරක්ෂාවත් සලසා ගැනීම ඉතා වැදගත්ය. දරුවන් යනු රෝගීන් නොවේ. ඔවුන් බෙහෙවින් ක්‍රියාශීලීය. ක්‍රියාශීලි නොවන දරුවන් ඇත්තටම රෝගීන්ය. එබැවින් දරුවන්ගේ කෙළිලොල් බව පිටුපසින් ඇති අනතුරු ඉව ගැන ඔවුන්ට පෙන්වා දීම ඉතා වැදගත්ය.

පිරිමි දරුවන්ගේ දියනෑම පිටුපස දිවෙන තවත් අතුරු කතාන්දර ඇත. අද දරුවන් බොහෝ සෙයින් මත්පැන් මත්ද්‍රව්‍ය සදහා යොමු වීමේ ප්‍රවනතාවයක් ඇත. මත නිසා ඇති වෙන මත් ගතිය නිදහස් කර ගැනීමට දිය නෑමට යොමු වීම එහි එක් අවස්ථාවකි.එවන් අවස්ථාවන්හිදි දැනෙන මත් ගතිය නිසාම ඔවුන්ද නොදැනම අනතුරු සිදු වෙන බවටත් මව්පියන්ගේ අවධානය යොමු වීම වැදගත් වේ.

ජීවිතය යනු විඳවන නොව වින්දනය කළ යුතු බවට අද තිබෙන පිලිගැනීම නිසාම දරුවන්ගේ මානසිකත්වය තුළ අනාගතයේ ආරක්ෂාව යන සංකල්පය නැත. වින්දනය සමගම ජීවිතේ ආරක්ෂාවත් බද්ධ විය යුතුය.විනෝද චාරිකාවන් වෙනුවෙන් සහබාගි වන්නේද සම වයසේම පිරිසකි. ඔවුන් වෙනුවෙන් අතීතයේ සිටි අත්දැකීම් සහිත නඩේගුරෙක් අද නැත. ලෝකය පුංචි නිසා අද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම කිසිම අපහසුවක් නැතුව ගමනේ යා හැකි වුනත් තරුණ ජවය තුළ දිගු ගමනක් වෙනුවෙන් ආරක්ෂාව පිලිබඳ සංකල්පය එතරම් පහසු නැත. චාරිකාවේ එක් කොටසක් ලෙසින් මත්පැන්ද ඇත. එතැන් පටන් සිහිබුද්ධිය මත පිහිටා කටයුතු කිරීම අපහසුය.

වයසත් සමග වැඩෙන දරුවන් ස්වාධීන වීමට දරණ උත්සාහයේදී අනතුරු ගැනත් ඔවුන්ට වටහා දීම ඉතා වැදගත්ය. දින දිනම ඇසෙන පාසල් වයසේ දරුවන්ගේ අනතුරු සමග විමසිය යුතු කරුණක් ඇත. දරුවන්ට දියනෑම වෙනුවෙන්ම මෙතරම් පිපාසයක් ඇති වන්නේ ඇයිද යන්නයි. එහි බැඳුන අතුරු කතා අනතුරට මග පාදන බැව් මව්පියන් දනොදැන සිටීම තවත් අතුරු ප්‍රතිඵලයකි. දරුවාගේ චර්යාවන් ගැන නිරීක්ෂනයේ යෙදෙන්න. මතට , දුමට ඇබ්බැහි වෙන ලකුණු ඇත්දැයි විපරම් කරන්න. දරුවා මුල් අදියරේදීම මෙම වැරැදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම බෙහෙවින් පහසු කටයුත්තකි. ඇත්තටම විනෝද චාරිකාවන්ට සහභාගී විමේ කිසිදු වරදක් නැත එකම වරද ඇත්තේ එවන් අවස්ථාවන් මුල් කර ගෙන දරුවන්ගේ විසින් ගොඩ නගා ගන්නා වැරදි හැසිරීම් රටාවයි.

පාසලට ඇතුල් වූ පසුව දරුවා ආරක්ෂිත යැයි හිතුවද දරුවන්ගේ හිතුවක්කාරකම් නිසාම විවිධ අනතුරු සිදු වෙන අවස්තා ඇත. එයින් පාසලේ පරිපාලනය අපහසුතාවයට පත් වේ. මහනුවර ප්‍රදේශයේ උසස් පිරිමි පාසලක දරුවන් තිදෙනෙක් පාසල් වේලාවේදී ‍ හොර රහසේ දිය නෑමට ගොස් ඇත. නාමලේඛනයටත් ඔවුන් පිලිතුරු දී එයින් අනතුරුව ‍පිටව ගියහ. අවාසනවානකට දරුවන් ගංදියේ ගොදුරක් විය. අවසානයේදී චෝදනාවට වඩා නිත්‍යානුකූල බලපෑම එල්ල වූයේ පාසලටයි. නාමලේඛනයට අනුව දරුවන් සිටිය යුත්තේ පාසලේය. පාසලෙන් දරුවන් පිටවුයේ කෙසේද…ශිෂ්‍යයන් වෙනුවෙන් පාසල විසින් දක්වන ලද අවධානය ආරක්ෂාව ඉතාම දුර්වල යැයි වූ පරිපාලන චෝදනාවන් නිසා පාසලේ කාර්ය මණ්ඩලයම අපහසුතාවයට පත් විය. එබැවින් නාමලේඛනයට අනුව පමණක් නොව දරුවාගේ දවස තුළ ආරක්ෂාව සපයා දීමටත් පාසල සමත් විය යුතුය.

මිතුරු සමාගම් සමග එක්ව හැසිරෙන අතර ඇති වෙන අනතුරු දැන් ඉතා සුලබය. මාධ්‍ය මගින් මේ ගැන නිරන්තර කතා බහ කරන විටදීවත් දරුවන්ගේ ආරක්ෂාව ගැන මව්පියන්ගේ අවධානය දැනට වඩා යොමු වන්නේ නම් අකලට මල් කැකුලු මිලින නොවනු ඇත.

දරුවන්ට ටෝස්ට් කළ පාන් වෙනු‍වට වෙනත් විදිහක් හිතන්න

පාසල් යන වයසේ පසුවෙන දරුවන් වෙනුවෙන් ටෝස්ට් කරන ලද පාන් පෙති ලබා දෙන්න අම්මලා උනන්දු වෙන්නේ නිකම්ම නොවෙයි. එක් පැත්තකින් දරුවන්ගේ කැමැත්ත…තවත් පැත්තකින් පාන් වෙනුවෙන් වූ පිරවුම පිළිලෙකට අපහසුවක් නැතුව  රැක ගන්න පුළුවනි. මේ හේතුන් නිසා ටෝස්ට් කරන ලද පාන් වෙනුවෙන් අම්මලාගේ තිබෙන උනන්දුව සාධාරණ වුනත් දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් බලද්දී නම් සතුටුදායක තත්වයක් ඇති වෙන්නේ නැහැ.

පමණට වඩා ටෝස්ට් කරන ලද පාන් විතරක් නොවෙයි, පමණ ඉක්මවා බදින ලද අල පෙති වුනත් නිරන්තරව ආහාරයට ගැනීම පිළිකාවට මගක් බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් රතු එලියක් දල්වා තිබෙනවා. මේ ගැන අධ්‍යනයක් පවත්වන ලද බ්‍රිතාන්‍ය රජයේ ආහාර තත්ව පාලන ආයතනය කියා සිටින්නේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක රත් කරන විට වගේම බැදීම සහ පිලිස්සීම නිසා සිරුරට හානිකර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනය සංයෝගය නිෂ්පාදනය වීමේ අවදානම ඉතා ඉහලින්ම ඇති වෙන බවයි. ඒත් ඔබ බිය විය යුතු නැහැ. මේ තත්වයට වඩාත් හේතු වන්නේ පාන් හෝ අල පෙති පමණට වඩා කර කිරීමෙන් බවත් ඔවුන් සඳහන් කරනවා. මේ නිසා මහාචාර්ය ”ගයි පොපි “සඳහන් කරන්නේ අනවශ්‍ය විදිහට ආහාර කර කිරීම වෙනුවට සාමාන්‍ය තත්වයකින් පිස ගැනීම ඊට ආරක්ෂාව සපයන බවයි.

දරුවන් වෙනුවෙන් පාන් පිරවුමේ ඉහිරීම් වලක්වා ගැනීමට නම් පාන් පෙත්තට බටර් හෝ මාගරින් තවරන්න. එවිටත් පිරවුම හොඳින් පාන් පෙත්තට සවි වී තිබෙනු ඇත. මෙම බටර් සමග සැමන්, මාලු බිත්තර හෝ ගා ගත් කැරට්, බීට් වැනි එළවලුවක්ද ඔබට එක් කළ හැකියි. පාන් පෙති අතර සලාද කොළ, කැරට් හෝ බීට් වැනි එළවළු යොදා ගත් විට ඇති වෙන වර්ණවත් පව දරුවාගේ ආහාර රැචිය එක් පැත්තකින්ද, විවිධ පෝෂණ ප්‍රභවයන් තවත් අන්දමකින්ද ඉතාම පහසුවෙන් ලැබෙනු ඇත.ටෝස්ට කරන ලද පාන් අද සාමාන්‍ය තත්වයක් වුනත් එදා දරුවන් වෙනුවෙන් පාසලට එවන ලද පාන් පෙති අතරට බොහෝ විට ඇතුලත් වුනේ පොල් සම්බෝල, සීනි සම්බෝල වැනි දෑය. දරුවන් ඉතා රුචියෙන් පාන් ආහාරයට ගත් අතර උණක් හෝ අජීර්නයක් ඇති අවස්ථාවන්හි ලබා දුන්නේ කබලේ දමා කර කර ගත් පාන්ය. සිරුරට හිතකරය යන සහතිකයත් ඒ අතර විය.

අර්තාපල් තීරු වුනත් ශීතකරනයේ ගබඩා කර ගැනීම වෙනුවට අවශ්‍ය වේලාවට අල ගෙඩියක් තම්බා ගන්න පුලුවන්. එහෙම නැත්නම් සිහින් අල තීරු කපා ගෙන ටික වේලාවක් අයිස් වතුරේ දමා ගෙන බැද ගැනීම විස්කමක් නොවෙයි. බොහෝ දේ අපි අනුකරණය නිසාම නොමග යනවා. අල්ලපු ගෙදර කරනවා නම් අපිත් දරුවන්ට ඒ විදිහට අල පෙති දෙනවා. ඒත් ඔබට ශීතකරණයේ දමා ගෙන අල පෙති බදින්න අවශ්‍ය නැහැ. ඒ වේලාවට අල තීරු බැදගන්න බැරි කමක් නැති වුනත් අනිත් අය සුපිරි වෙළඳසැලෙන් අර්තපල් පෙති මිලට ගන්නවා නම් අපිත් ඒ විදිහටම ගන්න ඕන යන අදහස ගොඩ නැගෙන එකයි.

මෙම අධ්‍යනය වෙනුවෙන්  සතුන් සම්බන්ධ කර ගත් අතර කර කරන ලද ආහාර ලබා දුන් සතුන්ගේ පිලිකාවන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහලින් පැවැති බව මෙම අධ්‍යනයේදී පෙනී ගියා. එම හේතුව අනුව මහාචාර්ය පොපී සඳහන් කරන්නේ මිනිසුන් වෙනුවෙන්ද මෙම අවදානමේ වෙනසක් නොවන බවයි.

ඒ විතරක් නොවෙයි, පොඩි දරුවන් අලපෙති වෙනුවෙන් රුචිකත්වයක් දක්වන නිසාම දෙමව්පියන් මෙම අල පෙති ශීතකරනයේ තබා ගෙන අවශ්‍ය වෙලාවට දරුවන්ට බැදල දෙනවා. ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා. අර්තපල් ශීතකරනයේ ගබඩා කරන විට පවතින අඩු උෂ්ණත්වය නිසා සීනි මට්ටම ඉහළ යනවා. එමෙන්ම එවන් ආහාර පිසින විට ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායනයත් ඉහළ නගින බැව් මෙම අධ්‍යනය මගින් පෙනී ගියා.

කර්යබහුල ලෝකයේ අපි අනුකරනයන්ට දක්වන උනන්දුව බොහොම ඉහලයි. නිතර දෙවේලේ අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්කම තිබුනත්, මාලු , එළවලු සහ පළතුරු වලින් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් සකස් කර දෙන්න කිසිම අපහසුවක් නොවුනත් අපේ පුතා , දුව ඉල්ලන්නේ සොසේජස්, හැම් ….කියන උජාරුවෙන් කතා කරන දෙමව්පියන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන මේ පණිවිඩය බොහොම වැදගත් වෙන්න පුලුවන්. එහිදිී පෙන්වා දෙන්නේ  සැකසුම් හෙවත් කල් තබා ගත හැකි ලෙසින් සකස් කරන ලද බේකන් , සොසේජස් වැනි ආහාර පිලිකා කාරක බව පමණක් නොව සකස් කළ මස් ග්‍රෑම් පණහක් දිනකට ආහාරයට ගැනීම නිසා පිලිකා වැළඳීමට තිබෙන අවදානම 18 % කින් ඉහළ යන බවයි.

මෙහිදි දරුවන්ට මස් ලබා දිය යුතු නැතැයි යන අවවාදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් අවධාරනයෙන් පෙන්වා දෙන්නේ සකස් කරන ලද මස් පිලිබඳවයි. මස් ආහාරයට නොගත යුතු යැයි වූ පණිවිඩයක් මෙයින් ඉදිරිපත් වෙන්නේ නැහැ. මස් ආහාරයට ගැනීම පිලිබඳ ගුණ ඉදිරිපත් කරන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සකස් කළ මස් යන කොටස පමණයි. එයිනුත් සකස් කරන ලද මස් අගුණය යන පණිවිඩය පමණයි.

රතු පැහැති මස් දරුවන් වෙනුවෙන් ආහාරයට ලබා දීම අවම කිරීමට මව්පියන්ට හැකියාවක් ලැබෙනවා නම් වඩාත් හොඳයි. මෙම සකස්කරන ලද මස් වෙනුවෙන් කල් තබා ගැනීමට විවිධ රස කාරකයන් එකතු කරනවා. ඒ වගේම අධික තාපයක් යටතේ මෙම සැකසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන විට ප්ලුටෝනියම් පිලිකා කාරකය ඇති කිරීමට සමාන ක්‍රියාවලියක් ගොඩ නැගෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මෙම අධ්‍යනයේ ඉදිරි කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිලිකා රෝග පර්යේෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට භාර දී තිබෙනවා.

දරුවන්ගේ ආහාර වෙනුවෙන් බොහොම පරිස්සම් විය යුත්තේ අනවශ්‍ය විදිහට අගුණ ආහාර ලබා දීම නිසා අනාගතයේදී ඔවුන් විවිධාකාර රෝගාබාධයන්ට ‍ගොදුරු වීමට තිබෙන අවදානම ගැන මව්පියන්ටත් වගකීමක් තිබෙන නිසයි. අද හැම දෙනාම බලන්නේ පහසුව මිසක ආහාරයේ ගුණාත්මක බව ගැන නොවෙයි. ඒ අතරම ආහාරයක ගුණ අගුණ ගැන වැඩියන්ටත් දැනුවත් බවක් නැහැ. විද්යුත් මාධ්‍ය මගින් ලබා දෙනප්‍රචාරණය මිසක එයින් ඔබ්බට හිතන්නටවත් යොමු වීමක් නැහැ. ඒත් දරුවන් සිටින අම්මෙක් විදිහට ඔබ දරුවාගේ ආහාර ගුනාගුණ ගැනත් වැඩියෙන් කරුණු කාරනාවන් දැන ගැනීම ඉතාම වැදගත්.

දරුවාට දැනෙන්න ආදරේ කරන්න

අම්මා තාත්තාගේ සම්මාදමෙන් දරුවෙක් ලෝකයට බිහිවෙන බව ඇත්ත.අම්මා තාත්තාගේ වගකීම විය යුත්තේ මේ දරුවා ලෝකයට අවශ්‍ය දරුවෙක් ලෙසින් දායාද කිරීමයි. අද බොහෝ මව්පියන් හිතන්නේ දරුවා අපිට අවශ්‍ය විදිහට බාල කාලයේ පටන්ම මෙල්ල කර ගත යුතු බවයි. ඒ නිසාම දෙමව්පියන් ඔවුන් සහ දරුවන් අතර බොහෝ දුරස්ථ බවක් ගොඩ නගා ගන්නවා.

ඒත් අද මනෝ විද්‍යාඥයන් කියා සිටින්නේ දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතු බවයි.බාල කාලයේදී දරුවාට පිරිමැහෙන විදිහට ආදරය නොලැබුන විට ඇති වෙන මානසික හුදෙකලාව අනාගතයේදී ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් බලපානු ඇත. මේ ගැන බොහෝ අයගේ බාල කාලයේදී ඔවුන් ලද අත්දැකීම් ඇසුරෙන්ම පෙනී යනු ඇත.

උදාහරණයක් වශයෙන් ලෝක ප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගැන ඔබ දන්නවා ඇත.ඔහුගේ බාල කාලය ඇත්තටම සුන්දර නැත. තාත්තා ඔහුට ආදරයක් දැක්වූයේම නැත දෙමව්පියන් අනවශ්‍ය විදිහට දරුවාට සමීප විය යුතු නැත යන්න ඔහුගේ න්‍යාය විය. රාත්‍රි නින්දට පෙරාතුව ජනේල වැසීම පියා විසින් කුඩා ජැක්සන්ට පවර තිබුන කටයුත්තකි. දිනක් ඔහුට මෙය අමතක විය පියා රාත්‍රියේ වෙස් මුහුණක් පැළඳ ගෙන විත් කුඩා ජැක්සන් බියට පත් කළේය. මේ නිසා ඔහුගේ ලපටි සිත මොනතරම් පසුගාමී වුනාද කිවහොත් නිතරම ඔහු සිතුවේ තාත්තා තමාව ජනේලයෙන් පිටතට විසි කරයි යන බියයි.

2003 පෙබරවාරි මාසයේදී ” ලිවින් විත් මයිකල් ජැක්සන්  ” රූපවාහිනී වැඩසටහනේදී සිය ළමා කාලය ආවර්ජනය කර ගත නොහැකිව දෑතින් මුහුණ වසා ගෙන හඬන්නට විය. ඔහුගේ ළමා කාලය ඒ තරමටම ශෝචනීය විය.2001 වසරේ මාර්තු මාසයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී ඔහු විසින් සිදු කරන ලද දේශනයේදී ලෝකයටම කියා සිටියේ ළමා වියේදී දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය ලබා දෙන ලෙසයි. ඒ තරමටම ආදරය වෙනුවෙන් හිස් තැනක් ඔහුගේ ජීවිතයේ විය.

දරුවන්ට ආදරය කරන්න වෙලාවක් කලාවක් අවශ්‍ය නැත මිළ මුදල් වැය වන්නේද නැත අවශ්‍ය වන්නේ දරුවන් සමග වූ හෘදයංගම බැඳීම පමණි. අද හැම පවුලක්ම පවුල තුලම විතැන්ව ඇත. අම්මාට කාර්ය බහුලය. දරුවන් අධ්‍යාපන තරඟයකය. තාත්තා මිළ මුදල් උපයන භුමිකාවේය. ඒ නිසා දරුවන් යමක් විමසා සිටියද එයට ඇහුම්කන් දෙන්නේද නැත. අම්මා තාත්තා සිතන්නේ කන්න දෙනවා නම්…බොන්න දෙනවා නම්….ආරක්ෂාව හා රැකවරණය ඇත්නම් දරුවන්ට තව දිය යුත්තේ මොනවාද යන්නයි. මේ සියල්ල දරුවාට ලැබෙන බව ඇත්තය. ඒත් ඔහුගේ හිතේ හිස් තැනක් ඇත..

මනෝ විද්‍යාඥයන්ගේ පිලිගැනීමට අනුව දරුවාට ආදරය කළ යුත්තේ ඔහු ගැබ් දරණ කාලයේ පටන්මය. මව් සෙනෙහස ඒ තරමටම දරුවාට දැනීම අවශ්‍ය වේ.ආදරය දැනෙන විට දරුවා බෙහෙවින් ශක්තිමත් වේ. මටත් ආදරය ලැබෙනවා…මා වෙනුවෙන් රැකවරණය සහතිකය යන ආත්ම විශ්වාසය දරුවාගේ හිතේ ගොඩ නැගෙනු ඇත.

දෙමව්පියන් කාර්ය බහුලබව සැබෑය. මේ කාර්ය බහුලත්වය ගොඩ නැගෙන්නේද දරුවන්ගේ අනාගතය සැපවත් කිරීම මුල් කර ගත් අරමුණ නිසාය. ඒත් මේ ගැඹුරු සංකල්ප හඳුනා ගැනීමට කරම් දරුවා පරිණත නැත ඔහු ලෝකය දෙස බලන්නේ අද දවස මුල් කර ගෙනය. හෙට යනු ඔහුට දෙවැනි සංකල්පයකි. නූපන් හෙට මුල් කර ගෙන දරුවා ශක්තිමත් වන්නේ ආදරය ගැන ලබන සෑහීම මතය.

දරුවන් සමග කතා බහට ඔබ කෙසේ හෝ කාලය ලබා ගන්න. ඇතැම් නිවෙස්වල දරුවා මව්පියන් නොදකින තරමටම ඔවුන් අතර සම්බන්ධය දුරස්ය. දෙමව්පියන් රෑ බෝ වී නිවසට එන විට දරුවා නින්දේය. පසුදා දරුවා උදේ රැයින් පාසල් යන විට තාත්තා නින්දේය. ආර්ථික ලෙසින් සියලු සැප සම්පත් ලබා දුන්නද , ආදරය වැනි හෘදංයගම බන්ධනයෙන් දුරස්ථව සිටින දරුවාගේ හිතේ ඇති වෙන කම්පනය නිසා ඔවුන් මානසිකව හුදෙකලා චරිත බවට පත් වෙති.

ඔබ කෙසේ හෝ දරුවා සමග කතා බහට කාලය ලබා ගන්න. දවසේ අත්දැකීම් හුවමාරු කර ගන්න. නින්දට යෑමට පෙර දරුවා සිප සනසන්න. සිපගැනීම නිසා දරුවාට ඇති වෙන මව්පිය සෙනහස පිලිබඳ සහතිකය හදවතට වඩාත් සුව දෙන ඔසුවක් වෙනු ඇත. අම්මා තාත්තාගේ ආදරය මුල් කර ගත් සහතිකය දරුවාට දැනෙන්නේ එවිටය.

බාලකාලයේදී නිසි ආදරය නොලද විට පසුකාලීනව ඔවුන් සමාජය තුළ කරදරකාරී චරිත බවට පත් වෙනු ඇත.ළමා ලෝකයේ අසුන්දර අත්දැකීම් නිසා පීඩාවට පත් ඉඩි අමීන් ලෝකය තුළ දරුණු පාලකයෙක් බවට පත් වූවෙකි.ඇතැම් මව්පියන් බාල කාලයේ දරුව්නට ආදරයක් නොදක්වන විට ඔවුන් උස්මහත් වූ පසුව දෙමව්පියන් මුල් කර ගෙනත් ආදර බන්ධනයක් ඇති වන්නේ නැත. එදා අම්මා දරුවන් ආමන්ත්‍රනය කලේ  ” මයෙ පුතා ” ” මයේ දුව ” යන ආදරනීය අන්දමින්ය. දරුවන්ද දෙමව්පියන් ආමන්ත්‍රණය කළේ ” මයෙ අප්පච්චි”, ‘ මයෙ අම්මා ” ලෙසින්ය. එය ඔවුන්ගේ හදවතෙන්ම නැගුන ප්‍රේමණීය බන්ධනයකි. එහෙත් අද දරුවන්ට ”මයෙ ” යනුවෙන් වූ වචන බන්ධනය තබා දුව , පුතා ලෙසින්වත් කතා බහට සම්බන්ධ කර  ගන්නා පවුල් සම්බන්ධතාවයන් නැත.

දරුවන් ආදරයට බොහෝ සෙයින් ආදරය කරති. එය දරුවන්ට පමණක් නොව සෑම සමාජ ජීවියෙකුටම සාධාරණය. දරුවන්ගේ ලපටි සිතට ආදරය වැඩුන අයෙකුට වඩා අවශ්‍ය වේ. දරුවන්ට ආදරය පෙන්නන්න හොඳ නැහැ. ඔබත් එහෙම සිතනවාද? එහෙත් ඒ සිතුවිල්ලෙන් දැන් මිදෙන්නට කාලය එළැඹ ඇත. දරුවන් වෙනුවෙන් වූ ආදරයට සීමා අවශ්‍ය නැත …කොන්දේසි ඕනෑම නැත. ආහාර පාන මගින් දරුවා ශාරිරිකව පෝෂනය ලබන අතර මානසිකව ඔහු පෝෂණය වන්නේ මව්පිය ආදරයෙන් ලබන ශක්තියෙන්ය.

ආදරයේ අවශ්‍යතාවය ඔබ මුල් කර ගෙන හිතන්න. කොතරම් වියපත් වුනත් ඔබ ආදරයට ආදරය කරනු ඇත. දරුවන්ද එසේය.ඔවුන්ගේ එකම ශක්තිය ඔබෙන් ලැබෙන ආදරයයි.මේ නිසා දරුවාට දැනෙන්න ආදරය කිරීමේ කිසිම වරදක් නැත.

දරුවන්ට දෙන ආහාර වෙනුවෙන් ජපන් උපදෙස්

දරුවන්ට ආහාර සැපයීම ඇත්තටම එතරම් පහසු කාර්යක් නොවෙයි. පොඩි එවුන්ගේ දඟකාර ගති පුරුදු සමග තුන්වේලටවත් අම්මා තාත්තාගේ හිත පිරෙන විදිහට ආහාර ලබා දීම එතරම් පහසු නැහැ. මේ නිසා නිතරම අම්මාගේ මුවින් නික්මෙන ”අනේ මේ දරුවන්ට කවන්න මං විඳින යුද්ධයක් “….යන අදහස ඔබටත් හොඳින් හුරු පුරුදු ඇති. ඒත් ඔබ කනස්සල්ලට පත් වෙන්න එපා. මේ තත්වය ළමා ලෝකයට බොහොම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ජපානයේ පර්යේෂකයන් විසින් දරුවන්ට ආහාර පිලිගන්වන්නේ කොහොමද යන්න අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔවුන්ගේ නිගමන අපිටත් ආදේශ කර ගැනීම එතරම් අපහසු නැහැ.

ආහාර වර්ණවත් කරන්න

දරුවන්ට පිළියෙළ කරන ආහාර නිතරම වර්ණවත්ව සකස් කරන්න. එයින් අදහස් කරන්නේ කෘතිම වර්ණක ගැන නම් නොවේ. අපේ එළවළු වලින්ම දරුවන්ට ලස්සන ආහාර වේලක් සකස් කරන්න පුළුවන්. දරුවා වෙනුවෙන් ආහාර සකස් කරද්දී එකම වර්ණය වෙනුවට විවිධ වර්ණ තෝරා ගන්න. බෝංචි ගත්තොත් තවත් කොළ පැහැති එළවළුවක් වෙනුවට කැරට් වැනි තැඹිලි පැහැයේ සහ වට්ටක්කා වැනි කහ පැහැති එළවලුවක් තෝරා ගන්න. බීට් යුෂ තැවරුනාම දරුවන් ඉතා ප්‍රිය මනාපයි. මේ එළවළුවලින් ලැබෙන ගුණයන්ද විවිධයි. බීට් වැනි එළවළුවලින් රුධිරය පිරිසිදු වෙන අතර වට්ටක්කා සහ කැරට් විටමින් ” ඒ ” බහුල පෝෂකයක්. මේ නිසා වර්ණවත් ආහාර මගින් දරුවාට රුචිය වගේම ගුණයත් ඉතා පහසුවෙන් ලබා දෙන්න පුළුවන්.

ආහාර විවිධත්වය

හැම දෙනෙක්ම වෙනස්වීමට කැමැතියි. දරුවන් වෙනුවෙනුත් මේ තත්වය වෙනසක් නැහැ. හැමදාම එකම රටාවට පිළියෙළ වෙන බත් වෙනුවට කහ බත්, එලවළු බත්, තෙම්පරාදු බත් සහ කිරි බත් වැනි විවිධ විදිහට සකස් කරන්න පුළුවන්. එළවළු වුනත් එහෙමයි. බෝංචි කිරට උයනවාට අමතරව තෙම්පරාදුවක්, තම්බා ගැනීමට පුළුවන්. කැරට් සලාද එහෙම නැත්නම් මැල්ලුම් වගේ පිළියෙළ වුනාම ඇති වෙන විවිධත්වය දරුවාගේ ආහාර රැචිය වර්ධනය වෙන්නේ ඔබත් නොදැනුවත්මයි. බත් වගේම ගුණ ලබා දෙන නූඩ්ල්ස්, පැස්ටා, මැකරෝනි දරුවන් බොහොම ප්‍රියකරනවා. පිට්ටු පිලියෙල කරන විට එළවලු සහ පලා වර්ග මිශ්‍ර කර ගත්තාම අපේ දරුවා කොළ මැල්ලුම් කන්නේ නැහැ කියන මැසිවිල්ලත් නොදැනම නැවතෙයි.

බබාට බත් කවන්න ඕන යන වගන්තිය නවත්වන්න

හැම ගෙදරකම පුංචි දරුවෙක් සිටින විට අනේ බබාට බත් කවන්න ඕන යනුවෙන් නිතරම ගැයෙන යාතිකාව නවත්වන්න. මේ ගැන කණ වැකෙන විට දරුවා නොදැනම එය ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා. ඒ නිසා බත් කැවීම යුද්ධයක් නොව සාමාන්‍ය සිද්ධියක් බවට පත් කර ගන්න. දරුවන් තමා වෙනුවෙන් අවධානය දක්වන විට ඔවුන් එය ආයුධයක් කරගෙන අනවශ්‍ය කරදරයක් මවුපියන්ට ලබා දෙනවා. මේ නිසා බත් කැවීම ජීවිතයේ සාමාන්‍ය දෙයක් විදිහට හිතුවොත් එය කවදාවත් දරුවාට වගේම ඔබටත් වධයක් වෙන්නේ නැහැ.

දරුවා වෙනුවෙන් වෙනම මේසයක් එපා

දරුවාට බත් කවන්න වෙනම ස්ථානයක් වෙන් කරන්න එපා. ඔබ සමගම දරුවාත් තබා ගන්න. ඇතැම් දරුවන්ට ලොකු මහත් වෙන තෙක්ම ඔවුන් වෙනම ස්ථානගත කරනු ඇත. මේ තත්වය නිසා දරුවාට ආහාර පිලිබඳ ව උනන්දු හීන වෙනු ඇත. ඒ නිසා ඔබ සමගම මේසයට දරුවාද සමීප කරගන්න. එවිට ආහාර පුරුදු ගැනත් දරුවා යම් අධ්‍යනයක් ලබනු ඇත. ඇතැම් පුද්ගලයන් ලොකු මහත් වුනත් ඉඳුල් අතින් වීදුරුව ඇල්ලීම, හඬනගමින් ආහාර සැපීම, ඉඳුල් අතින් හැඳි ඇල්ලීම, සුරුස් ශබ්ද නගමින් වතුර බීම වැනි අප්‍රසන්න ආහාර පිලිවෙත් අනුගමනය කරනු ඇත. මීට හේතුව වන්නේ බාල කාලයේදී දරුවා හුදෙකලා කිරීම නිසා ඔවුන්ගේ වැරදි අඩුපාඩු හඳුනා ගැනීම අපහසු වීමයි.

ඇවිටිලි කරන්න එපා

”පුතා මේ බත් කට විතරයි…අන්තිම බත් කට “විදිහට දරුවාට ඇවිටිලි නොකරන ලෙසටත් ජපානයේ පර්යේෂකයන් විසින් උපදෙස් දී ඇත. ඔබ බත් බෙදා ඔහුට කිසිම ඇවිටිල්ලක් නොකර පැත්තක තබන්න. දරුවාම ගොස් මේ පිගානේ තිබෙන දේ ආහාරයට ගනු ඇත. බොහෝ මව්පියන් කියන මේ දෙය ඔබටත් හොදින් හුරු පුරුදු ඇති. ගෙදරදී කන්නේ නැහැ. පිටට ගියාම ලැජ්ජාවේ බැහැ. අපි කියන්නේ ළමයි කන්නේ නැහැ කියලා. ඒත් බේරන්න බැරි විදිහට දෙක තුන ඉල්ලනවා. මේ තත්වයට හේතුව එතැනදී දරුවාට කිසිවෙකුගේ අවධානය සහ පෙරැත්තය නොමැති වීමයි. මේ නිසා අනවශ්‍ය ලෙසින් වූ ඇවිටිල්ල දරුවන්ගේ ආහාරයට තිබෙන රුචියට බලපාන බැව් ජපානයේ සිදු කරන ලද අධ්‍යනය මගින් හඳුනා ගෙන ඇත.

පිගාන හෝදන්න බලකරන්න එපා

ආහාර ගැනීමෙන් පසුව කන බොන පිඟාන කෝප්පය සෝදා තැබීම අපේ සම්ප්‍රදායක් බව හැබෑව. එය බාල කාලයේ පටන්ම හුරු පුරුදු කළ යුතුයි. ඒත් දරුවන්ගේ මානසිකත්වය අපේ සම්ප්‍රදායන් සහ සිරිත් ඉදිරියේ කම්පනය වෙනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ සියලු ආචාර ධර්ම බාල කාලයේ පටන් ගොඩ නගන්නට ගන්නා උත්සාහය නිසා තදබල ලෙසින් විධානයන් බලපවත්වනවා. ඔවුන් හිතන්නේ මේ ගති පුරුදු බාල කාලය් පටන් ගොඩ නගා නොගත හොත් අනාගතයේදී එය ගැටළු සහගත විය හැකි බවයි. ඒත් ජපානයේ සිදු කරන ලද මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ අනවශ්‍ය ලෙසින් මෙම බලපෑම දරුවාගේ ආහාර වෙනුවෙන් ඇති රුචිය බ  දමන බවයි. ඒ නිසා පිඟාන සේදීම අත්‍යවශ්‍ය විධානයක් බවට පත් නොවුන විට දරුවාගේ ආහාර රුචිය පිලිබඳව උනන්දුව ගොඩ නැගෙන බවයි.

අමතර වේලට ගුණාත්මක දේ එක්කරන්න

ඔබට දරුවාට ලබා දිය යුතු පලා වර්ග, පළතුරු වෙනුවෙන් දරුවා උනන්දු නොවනු ඇත. එවන් අවස්ථාවලදී එම ආහාර අතිරේක හෝ අමතර ආහාර වෙනුවෙන් යොදා ගන්න. කොළ මැල්ලුම් අප්‍රිය කරන දරුවාගේ සුප් පිළියෙළ කරද්දී ගොටු කොළ වැනි පලා එක් කළ හැක. සැන්ඩ්විච් පිළියෙළ කරන විටත් සිහින්ව ලියන ලද පලා , කැරට් වැනි දේ එක් කරන්න. පළතුරු වෙනුවෙන් අප්‍රිය නම් පළතුරු යුෂ ලෙසින් ලබා දෙන්න. දිවුල්, පැපොල්, අනෝදා වගේම මිශ්‍ර පළතුරු ලෙසින් ලබා දෙන යුෂ මගින් අනේ පළතුරක් කන්නෙම නැහැ යන මැසිවිල්ලෙන් ඔබ නිදහස් වෙනු ඇත. ඇත්තටම පළතුරු යනු ලෙඩට පිළිතුරයි. මේ නිසා පළතුරු ප්‍රතික්ෂේප කරන දරුවාට යුෂ වගේම සලාද ලෙසින්ද පළතුරු ලබා දීම එතරම් ගැටළුවක් නොවනු ඇත.

ඔබ මේ ගැන දන්නවද ? හිතුවද?

ඇත්තටම අම්මා කියන චරිතය කොයිතරම් නම් සංකීර්ණද කියන දේ දැනෙන්න ,තේරෙන්න අම්මා කෙනෙක්ම වෙන්න ඕනී. බොහෝ අම්මාවරුන් දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් තමන්ගේ ජීවිතේ බොහොමයක් දේවල් කැප කරන්න පැකිලෙන්නෙ නැහැ. ඒ තම හදවතේ ගැඹුරින්ම තම දරුවන් වෙනුවෙන් නැගෙන දාරක ස්නේහය හා පවුල හා ඇති දැඩි බැඳීම නිසාවෙන්මයි. තමන්ගේ උගත්කමට ලැබුණු උපාධි සහතික වගේම තමන්ගේ උසස් රැකියාවත්  පැත්තකින් තියලා දරුවන් වෙනුවෙන් කැප වුණ අම්මලා අප අතර බොහෝමයි. නිවසේ ගෘහණිය යන ස්ථිර සේවයට පත් වන අපේ අම්මාවරුන්ගේ මෙහෙවර පිළිබඳව හැඟීමක් අපේ පියවරුන්ට තිබෙනවාද යන්න නම් ගැටලුවකි. බොහෝ විට පවුලක බැඳීම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන්නේ අපි අපි ගැනම තිබෙන අනවබෝධය හා අනෙක් පුද්ගලයාගේ කාර්්‍යය භාරය පිළිබඳ ඇඟයීමකට ලක් නොකරන නිසාවෙන් බවයි මට නම් සිතෙන්නේ. ජීවිතයේ අප විවිධ අදියරයන් පසු කරමින් ඉදිරියට ඇදෙන්වා. විවාහයට පත් වූ පසු දරුවන්ගේ අම්මා වන විට සිතුවිලි වල සිදු වන්නේ මහා පෙරළියකි.උදෑසන හිරුට කලින් පිබිද රාත්‍රී වන තුරුම නොනැවතිල්ලේ දරුවන් වෙනුවෙන්, නිවසේ කටයුතු වෙනුවෙන් වෙහෙස වන විට ඒකාකාරීත්වය තුලින් ජීවිතය ගැන කළකිරීමක්ද දැනෙන අවස්ථා අම්මාවරුන්ට නැත්තේම නොවේ.

ගෘහණිය යන තනතුරෙහි සිටින අම්මාට අසනීපයකටවත් නිවාඩුවක් ගත නොහැක්කේ මුලු පවුල් ඒකකයෙහිම කාර්්‍යයන් ඇය අක්‍රීය වූ විට ක්‍රියාවිරහිත වන නිසාවෙන්ය. මා කුඩා කල සිතුවේ අම්මාට කිසි දිනක අසනීප වන්නනේ නැත කියාය. නැත එය සම්පූර්ණ වැරදිය. අද මා එය නිවැරදි කරමි . ඒ “අම්මා අසනීප වුවත් අක්‍රීය වූ දිනක් මා දැක නැත” කියාය. ඒ මමද අද මවක් නිසාවෙන් ඒ අත්දැකීම මා සජීවීව අත්දකින නිසාවෙන්ය. බොහෝ පියවරුන් සිතන්නේත් , සිටින්නේත් අපේ එක්කෙනා ගෙදරනේ යන සිතුවිල්ලෙන්ය.එහෙත් ඒ ගෙදර සිටින බිරිඳ කුමක් කරන්නේද යන්න විමසා බලන්නට ඔවුන්ට නොසිතෙන්නේ මන්දැයි මා නොදනිමි. රැකියාවක නිරත පියවරුන්ට පවුල වෙනුවෙන් ඉටු කළ යුතුකම් බොහෝමයකි. ඔවුන්ද තම රැකියාවේ කටයුතු හේතුවෙන් වෙහෙසට පත්වන බව සැබෑවකි. එහෙත් ඔවුන් වෙත දවස පුරා පැවරෙන්නේ රැකියාවේ රාජකාරිමය කටයුත පමණකි. එහෙත් නිවසේ සිටින ඔබේ බිරිඳට රාජකාරී රැසක් ඉටු කිරීමට නිරායාසයෙන්ම පැවරෙන බව අමතක නොකරන්න. නිවසේ එදිනෙදා කටයුතු වගේම දරුවන් සමග දවස මුලුල්ලේම ගත කරන විට ඔවුන්ගේ පෝෂණය, අධ්‍යාපනය, නීරෝගීකම, ඔවුන් හොඳ පුරවැසියන් කරවීමට අඩිතාලම සැකසීම යන භාර ධූර කටයුතු වලදී අම්මාවරුන් මුහුණ පාන්නේ දැඩි අභියෝගයන්ටය. ඒ අතරින් දරුවන් කිහිප දෙනෙක් සිටින නිවසක දරුවන්ගේ අතර ඇති වන ගැටුම් නිරාකරණය කිරීමේදී , දරුවන්ගේ අසීමීත දඟ වැඩ මුරණ්ඩුකම් හමුවේ අම්මා කෙනෙකුගේද ඉවසීමේ සීමාව ඉක්මවන අවස්ථා කොතෙකුත් ඇත. අහම්බයකින් හෝ පියවරුන් අම්මලාගේ ඉවසීමේ සීමාව ඉක්ම වූ අවස්ථාවක ළඟ සිටියහොත්…

“ඔයාට පිස්සුද ළමයින්ට ඔය විදිහට ඔහොම කෑ ගහන්න ” යැයි අනිවාර්යෙන්ම පවසනු ඇත.

එවැනි අවස්ථාවක කෝපයෙන් සිටින අම්මාගේ මුවින්ද වචන මුදා හැරෙන විට වචනයෙන් වචනය දිග් ගැස්සී අවසන ගැටුමක් බවට පත්වේ. ආදරණීය පියවරුනේ මොහොතක් සිතන්න නිවසේ වැඩකටයුතු සමග දරුවන් වෙනුවෙන් මුලු දිනයම ගත කරන ඇයගේ සිතුවිලිද පෘතග්ජනය.දිනයක් නිමාවන විට ඇයගේ ගතට වෙහෙසය, සිතටද වෙහෙසය. එහෙත් පවුල වෙනුවෙන් කිසිදා ඇය ඒ වෙහෙස පෙන්වා ඔබට මැසිවිලි නගා ඇත්දැයි සිතන්න. ඔබ කාර්්‍යාලයෙන් නිවසට එන විට ඔබ ඉදිරියේ ඇය සිනහවෙන් මුව සරසාගෙන හිඳින්නීය. මොහොතක් ඇය වෙනුවෙන් ඔබේ වටිනා කාලය වැය කරන්න. ඇයව අගය කරන්න. හැකි සෑම විටම ඇයට සහය ලබා දෙන්න. ඔබත් ඔබේ දරුවන් වෙනුවෙනුත් නිහඬවම අමිල මෙහෙවරක් ඉටු කරන ඔබේ බිරිඳ දැනෙන්නට ආදරය කරන්න.

දරුවන්ගෙන් උදුරා ගන්නා ළමා අයිතිවාසිකම්

දෙසවන් පුරා මුහුදේ අතොරක් නැති හඬ පමණක් රැවුදේ. ඈත සිට භයංකරව ප්‍රචංඩව ඇදී එන රළ පෙල වෙරළ ඉමට විත් සාන්ත දාන්ත ලෙසසුදු පෙණ කැටි ඉතිරි කොට නැවත ඇදී යයි. බැසයන හිරු රත් පැහැයෙන් දිදුලමින් සයුරු පතුලේ සැඟව යන්නාක් සේ අපව මුලා කරවයි. ජංගම දුරකථනය එක දිගටම නාද වන හෙයින් බැරිම තැන මා එය අතට ගත්තෙමි, හෝම් එහි තිරයේ සටහන් විය. ඇමතුම විසන්ධි කලද නැවත ඇමතුමකි.

“අනේ පුතේ…”

“අම්මා ඇයි මේ ?”

“තාත්තට හොඳට අමාරුයි මොනවත් කරන්න බැහැ ඉන්න ටික දවසේ සතුටින් තියන්න කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. පුතා ගෙදර එන්න තාත්තව බලන්න.”

“තාත්තව බලන්න මම ඇවිත් හරියන්නෙ නැහැනේ. අම්මා දන්නවනේ පුංචි කාලේ ඉඳලම තාත්තා මට කැමති නැහැනේ. මම ආවොත් තාත්තගෙ අසනීපේ වැඩි වෙයි.”

“නැහැ පුතේ ඔයා එනකල් තාත්තා බලන් ඉන්නේ, ”

“බලන්නම්”

“බලන්නම් නෙමේ කොහොම හරි එන්න පුතා”

හිඳ උන් තැන සිටම මම සිතිජ දෙස බැලුවෙමි. ඉර සැඟව ගොස් හමාරය. හාත්පසම අඳුර කෙමෙන් පැතිරී එයි. හිත පුරාම මහා හිස් බවක් පාළුවක් ගලා එයි. තාත්තා ඒකාධිපති පාලකයෙන් යැයි මා කුඩා කල සිටම විශ්වාස කලෙමි. ඒ ඔහුගේ ආඥාවන්ට එරෙහි වුවහොත් ඔහුගේ දැඩි දණ්ඩනයන්ට අපට යටත් වන්නට සිදු වූ හෙයින්ය. අයියාත් මමත් නංගීත් හැදී වැඩුනේ තාත්තාගේ මේ දැඩි පාලනයට යටත්වය. අයියාත් නංගීත් ඉගෙනුමට උපන් හපනුන් විය. එහෙත් මා ඉගෙනුමට එතරම්ම ආශාවක් නොදැක්වීම නිසාම නිරන්තරයෙන් තාත්තාගේ දැඩි දෝෂාරෝපණයටත් දණ්ඩණයන්ටත් ලක් වන්නට සිදු විය. තාත්තාගේ අණ පිළි පැදීම වෙනුවට ඒවා උල්ලඝණය කිරීමෙන් මා ලද්දේ සතුටකි. එනිසාම අයියාටත් නංගීටත් වඩා මම හිතුවක්කාරයෙක් ලෙසත් ඉගෙනගන්නට නොහැකි මෝඩයකු ලෙස තාත්තා මා ලේබල් කල නිසාවෙන්ම නිවසේ සාමාජිකයන් අතරින්ද මා හුදකලා විය. තාත්තාගේ කීකරු දරුවන් වූ අයියාටත් නංගීටත් ඔවුන් ඉල්ලන ඕනෑ දෙයක් ලැබුනද මට එවැනි වරප්‍රසාදයක් හිමිවුයේ නැත.

“පුතේ ඉස්කෝලෙ පාඩම් වැඩ හරියට කරන්නකො එතකොට තාත්තා පුතාට ආදරේ වේවි.”

මා කොතෙක්උත්සහ කලද පාඩම් වැඩ මට කිසිසේත් නොතේරෙන්නට විය. ගුරුවරුන් උගන්වන දෑ කිසිවක් මට තේරුම් ගැනීමේ හැකියාවක් නොමැතිවීම නිසා පාසලේද මා අදක්ෂ මෝඩ ළමයකු ලෙස කොන්වීමට තිබු ඉඩ ඇසීරී ගියේ මා සතුව තිබූ නර්තන හැකියාවත් චිත්‍ර ඇඳීමේ හැකියාවත් හේතුවෙන්ය.

“මේ යකා මහා මෝඩයෙක් පවුලටම අවනම්බුවක් ඇඟපග තිබුනට මොලේ කලඳක් නැහැ හැමදාම පන්තියේ අන්තිමයා කාලකණ්ණියා”

ජීවිතේ ගැන මට මහා අපුලක් දැනෙන්නට විය. නිවස යනු මහා සිර මැදිරියක් ලෙස මට හැඟුනි. සදහටම මේ සියලුම දේ වලින් පලා යන්නට මා සිත තුල වූ සිතුවිලි දළුලා වැඩෙන්නට විය. බොහෝ විට මගේ සිතුවිලි සුදු පාට කඩදහි මත සිත්තම් විය.

ඈතින් දිව එන කෝච්චිය වෙත දරුවකු දිව එයි. ඔහුගේ මුහුණෙහි නිදහස පිළිබඳ කියැවෙන සුන්දර මන්දහාසයක් ගැබ් වී ඇත. ඔහු පසු පසින් කුරුළු රෑනක් පියාඹා එයි.

“සෙනේෂ්”

“මහේෂ් සර්”

“මොකද්ද පුතේ ඔයා මේ ඇඳලා තියෙන්නේ”

“චිත්‍රයක්”

“ඔව් මම දන්නවා ඒත් මේකේ තේරුම”

ජීවිතේ මුල් වරට මගේ මනසට එබී බැලූ දයාබර මිනිසා අපේ චිත්‍ර ගුරුවරයා වූ මහේෂ් සර්ය. සිතේ තිබු සිතුවිලි මා ඔහු ඉදිරියේ ගලා යන්නට ඉඩ හැරියේ ඔහුගෙන් මා ලද ආදරයත් කරුණාවත් නිසාවෙන්මය. එවකට මට වයස අවුරුදු දහතුනක් පමණ විය. ජිවිතය තොරකරගැනීමේ අදහසින් මා මුදවා ගත්තේ ඔහුය. පසු දිනම මහේෂ් සර් අම්මාව පාසලට ගෙන්වා ගත්තාය. එදින රාත්‍රියේ අම්මාගේත් තාත්තාගේත් කතාවට මා රහසේම සවන් දුන්නේ සර් මා පිළිබඳ කවරක් පැවසුවාද යන්න දැනගැනීම සඳහාය.

“සෙනේෂ්ගේ චිත්‍ර සර් කිව්වා දරුවව මීට වඩා හොඳින් බලා ගන්න කියලා, මනෝ වෛද්‍ය වරයකුට පෙන්නුවොත් හොඳයි කිව්වා. ඉගෙන ගන්න බැරි වුණාට කලාත්මක පැත්තට පුතා බර නිසා ඒකට උදව් කරන්න කිව්වා”

“තමුසෙට පිස්සුද අපේ පරම්පරාවේ එවුන්ට ඔල්මාදේ නැහැ, මේකා මේ රඟන රැඟිල්ලට තමුසෙ අහුවුනාට මම අහුවෙන්නෙ නැහැ”

කෙසේ වුවත් මානසික සායනය වෙත අම්මා තාත්තාටත් රහසේම මා කැටුව ගියාය.

“සමහර දරුවන්ගේ මොළය වැඩෙන්නේ සෙමෙන් එතකොටඋගන්වන විෂය කරුණු ,ගණිතය වගේ සංකීර්ණ විෂයන් ධාරණය ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ දරුවන්ට තිබෙන සුවිශේෂී හැකියාවන් හඳුනා ගෙන ඒවා දියුණු කර ගෙන දරුවගේ අනාගතය සාර්ථක කර ගන්න අවශ්‍ය වට පිටාව සකස් කරලා දෙන්න ඕනී. මේ පුතාට හොඳට චිත්‍ර පුළුවන් නිසා ඒ පැත්තේන් එයාට සහයෝගය දෙන්න.”

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද චිත්‍ර විෂයට විශිෂ්ඨව සමත් වුවද අනෙක් විෂයන්  සියල්ලම මා අසමත් විය.

“තාත්තා, මම චිත්‍ර ගැන වැඩිදුර ඉගෙන ගන්නම්, මාව ඒකට සුදුසු තැනකට දමන්නකො.”

“අවුරුදු එකළොහක් තිස්සේ අපේ සල්ලි කාලා, තවත් උඹට වියදම් කරන්න අපට සල්ලි නැහැ. දැන් උඹ කුලී වැඩක් හරි කරගෙන ජීවත් වෙයන්.”

ඒ තාත්තාගේ අවසන් තීරණය විය. ජීවිතේ සාර්ථක කරගන්නට නිවසින් අත් වැලක් නොවුන තැන මා මහේෂ් සර්ගේ සහයෝගයෙන් බත්තරමුල්ලේ ජන කලා කේන්ද්‍රයට සම්බන්ධ වුනෙමි. එදා නිවසින් පිටමං වූ මා ජීවිතය අලුතින් පිළිසකර කරගතිමි. අද මා රටක් හඳුනන චිත්‍රි ශිල්පියෙකි.

එදා තාත්තා මා නිවසින් පිටමං කල දා සිටම ඒ නිවස මට ආගන්තුක නිවසක් විය. ඉඳහිට අම්මා බලන්නට ගියද ඒ නිවසේ කිසිවෙකුත් මගේ යැයි මට නොහැඟෙන්නට විය. අයියා උසස් අධ්‍යාපනයට විදෙස් ගත විය. ඔහු එහිම රැකියාවක් කරමින් නතර වීය. අක්කා ද පෞද්ගලික බැංකුවක කළමණාකාරිනියක් විය. ජීවිතය විටෙක පාළුවෙන් ඇලලී යයි. මගේ ළමා කාලයට මම මටත් නොදැනීම වෛර කරන්නට විය.

“සෙනේෂ් ලෝක ළමා දිනයට මට චිත්‍රයක් ඇඳලා ඕනි”

“මොකක්ද තේමාව”

“මෙන්න මේකයි, දෙමාපියන් හිතන්නේ දරුවන්ව එයාලා හදන නිසා දරුවන් තමන්ගේ කීමටම අවනත වෙලා ඉන්න ඕනි කියලා. දරුවන් වශයෙන් එයාලටත් අයිතිවාසිකම් තියෙන බව  දෙමාපියෝ අමතක කරනවා. අන්න ඒක නිසා ළමා අයිතිවාසිකම් ගැන කියවෙන චිත්‍රයක් තමයි ඕනී ”

විශ්ව කියවන්නේ ළමා අයිතිවාසිකම් ගැනය.ඒත් ඔය කියන ළමා අයිතිවාසිකම් පිළිබඳව මා දන්නේ නැත.

“මචං මේ තියෙන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳව ලියවුන පොතක් උඹට චිත්‍ර අඳින්න අයිඩියා එකක් මේකෙන් ගන්න පුළුවන්”

“මා පොත පෙරලා බැලුවෙමි”.

සෑම දරුවෙකුටම තියෙන අයිතිවාසිකම්

  • තමන්ගේම කියලා නමක් ලබාගන්න
  • රටක ජාතිකත්‍වයක් ලබාගන්න
  • ගැහැනු, පිරිමි, සුදු, කළු, උගත්, නූගත්, දුප්පත්, පොහොසත්, ආගම් ආදී වූ කිසිම බේදයක් නැතිව සමාන ලෙස සැලකීම් ලබාගන්න
  • තමන්ගේ ජීවිතයට බලපාන වැදගත් කාරණා කටයුතු වලදී යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසේ ඉන්න දරුවන්ගේ අදහස් වලට වැඩිහිටියන්ගේ සැලකිල්ල ලබාගන්න
  • අම්මා තාත්තා දෙන්නාම එක්ක එකට ජීවත් වෙන්න
  • අම්මා, තාත්තා දෙන්නාගේම ආදරය, කරුණාව, ආරක්‍ෂාව ලබාගන්න
  • පහරදීම් වලින්, අතවර වලින් ආරක්‍ෂා වන්න
  • ශ්‍රමය සූරාකෑමෙන් ආරක්‍ෂාවෙන්න
  • බයක් නැතුව ජීවත් වෙන්න
  • දරුවා හිතන අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලබාගන්න
  • පෙර පාසලකට, පාසලකට ගිහින් ඉගෙන ගන්න
  • ලෙඩක්, දුකක් වුණාම උදවු උපකාර ලබාගන්න
  • හොඳ ජීවිතයක් ගත කරන්න
  • ආබාධයකින් පෙළෙනවා නම් අමතර උදවු ලබාගන්න
  • දරුවාට හානියක් වෙන්නේ නැති තොරතුරු පුවත්පත්, ප්‍රකාශන, ගුවන් විදුලිය සහ රූපවාහිනියෙන් ලබාගන්න

යන අයිතිවාසිකම් භුක්ති විඳින්නට හැම දරුවකුටම අයිතියක් තියෙන බව අම්මලා, තාත්තලා හොඳින් මතක තියාගන්න ඕන.

එම පොතෙහි 51 වැනි පිටුවෙහි සඳහන් විය.

දරුවන්ගේ අයිතිවාසිකම් නිසියාකාරව දරුවන්ට ලබාදීමේ තේමාව තවදුරටත් පුළුල් කරන්නට දෙමාපියන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය. ඒ පණිවිඩය සමාජය වෙත ගෙන යන්නට මගේ සිතුවම් තුලින් හැකිවනු ඇත. එවිට මා වන් අසරණ දරුවන් බිහි නොවනු ඇත. සත්තකින්ම මගේ ළමා වියෙහි අයිතිවාසිකම් පිළිබඳ මගේ දෙමාපියන් සිතුවා නම් අද මා සිතින් මෙතරම්ම හුදකලා පුද්ගලයකු නොවනු ඇතැයි එදා මට සිතුනි.

අඳුර ගිලගත් පරිසරය තුල මහා ගුප්ත බවක් ඇලලී ඇත. මුහුදේ හෝ හඬ පරයා ජංගම දුරකථනය නැවත නාද වුයේ මගේ අතීත ආවර්ජනයට බාධා කරමින්ය.

“මල්ලි තාත්තයි ,අපියි ඔයා එනකල් බලා ඉන්නවා”

තාත්තාට වැරදි හදා ගන්නට කාලයක් ඉතිරිව නැත. එහෙත් මම මගේ ජීවිතයේ පසුතැවිලි වන්නට කිසිවක් නොකරන්නට මා වගබලා ගත යුතුය. වැරදි වන්නේ මිනිස්සු අතින්ය. අවසානයේ තාත්තා බලන්නට මා හිත හදාගත්තෙමි.

ඔබ උපයන මුදල් නිසි ලෙස කළමණාකරණය කරනවද?

දින සති මාස ගෙවිලා ගිහින් ඔන්න 2017 වසරේ පළමු මාසයත් නිමාවට පත් වෙලා. මාසය අවසාන වන තෙක් අප බොහෝ දෙනා මග බලන්නේ මාසික වැටුප අතට ගන්නයි. වියදම් නම් කොච්චරක්ද නේද?හැබැයි ඉතින් මේ දේවල් කරන්න දෙයියන්ගේ මල්ලි ඒ කියනනේ සල්ලි ඕනීනේ. ඒත් ඉතින් ඔය දෙයියන්ගේ මල්ලිව නිසියාකාරව මාසය පුරාවටම කළමණාකරණය කරන්නට නොහැකි වුනොත් නම් දෙයියන්ගේ පිහිටවත් ලැබෙන්නේ නැහැ. සිද්ධ වෙන්නෙ හතර අතට ණය වෙන්නයි. කොහොම වුණත් මේ ලිපිය ලියන්න අවශ්‍ය යැයි මට සිතුනේ මගේ යෙහෙළියක් කියපු දෙයක් නිසාවෙන්මයි.

“හැම මාසෙම ක්‍රෙඩිට් කාඞ් එකෙනුත් ජීවත් වෙන්න වෙලා”

“ඇයි අනේ ඒ”

“අනේ මන්දා අනේ කොච්චර සල්ලි තිබුණත් මදි.”

“හ්ම්… ගෙදර වියදම් කොහොමද ඔයා කරන්නේ?”

“ඕනි ඕනී දේවල් ඒ ඒ  වෙලාව ගෙදර යන ගමන් ගන්නවා.”

බොහෝ විට ගෙදර විය පැහැදම් කරන්නේ අපේ අම්මලා. සමහර වෙලාවට මාසෙ මැදක් වෙද්දි අතේ සතේ නැතිව දස අතේ කල්පනා කරන්න වෙන අවස්ථා ඔබට උදා වෙලා ඇති. හරි අපි මාතෘකාවට එමු ඔබත් නිවසේ වියපැහැදම් කරන්නේ ඕනී ඕනී වෙලාවටද? එහෙනම් එළැඹෙන නව වසරෙදි නිවසෙ වියදම් කළමණාකරණය කරගන්න සුදානම් වෙන්න. මන්ද පවුලේ සමගිය සතුට වෙනුවෙන් මුදල් කළමණාකරණය වඩාත් වැදගත් නිසා.

මුදල් නිසි ලෙස කළමණාකරණය කරගැනීමෙහි මූලිකම පියවර අය වැය ලේඛණයක් එහෙම නැත්නම් බජට් එකක් පිළියෙල කර ගැනීමය. බජට් එක පිළියෙල කරන්නට ඔබේ සිය`ඵම ආදායම් හා වියදම් සටහන් කරගන්න. බොහෝ විට ආදායම් මුලාශ්‍ර බොහෝමයක් අපට නැහැ. මාසික වැටුප හෝ කුලී ආදායමක්, නිවසේ සිට උපයන මුදල් තමයි අපේ මාසික ආදායම්. ආදායම් සීමිත වුවත්  වියදම් නම් බොහෝමයකි. ඒ ඒ වෙලාවට වියදම් කරන ඔබගේ පසුම්බිය හිස් වන්නේ ඔබටත් නොදැනුවත්වමය. එනිසා වියදම් පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොතිබුණා නම් අද සිට ඔබේ වියදම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට උත්සහ කරන්න. මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කාරණය  නම් සුළු වියදම්ද සටහන් කර ගැනීමය. කුඩා සටහන් පොතක් ගෙන සියළු වියදම් සටහන් කරගන්න. මුලින්ම ඔබට ස්ථිරවම මාසිකව ඔබ දැරිය යුතු වියදම් සටහන් කරගන්න. ඊට අමතරව ඔබට දරන්නට සිදුවේ යැයි නිගමනය කරන වියදම් සටහන් කරගන්න.

උදාහරණ ලෙස ආහාර ,ගෙවල් කුලි වියදම්, විදුලි බිල,ජල විදුලි බිල,ගෑස් සඳහා, අධ්‍යාපන වියදමි, ප්‍රවාහන වියදම්, වාහන සඳහා ඉන්ධන වියදම්, වෛද්‍ය ප්‍රතිකාර වැනි වියදම් මාසිකව අනිවාර්්‍යයෙන්ම ඔබට දැරීමට සිදුවන වියදම්ය.ඊට අමතරව අනාගත කටයුතු සඳහා ඉතිරි කිරීම,විනෝද ගමන්, රූපලාවන්‍ය කටයුතු වැනි වියදම්ද ඔබ සතුය. මේ සෑම වියදමක් සඳහා කොතෙක් මුදලක් වැය වන්නේදැයි සටහන් කරගන්න.

නිවසට මාසයටම අවශ්‍ය වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය එකවර මිලදී ගන්න. ඒ සඳහා ඔබ සටහන් කල වියදම් සටහනේ ඒ සඳහා වැය වූ මුදල රු.8500 ක් පමණ වූ වා නම් ඒ සඳහා රු.10,000 වෙන් කරන්න. සතියට අවශ්‍ය මස් මා`ඵ එළවලු සඳහා වැය වන මුදල කොතෙක්දැයි බලන්න එය සාමාන්‍යයෙන් රු.3000 පමණ නම් රු. 3500 බැගින් මාසයටම රු,14000 වෙන් කර තබන්න.

යම් හෙයකින් ඔබ ඇස්තමේන්තු කළ මුදලට අඩුවෙන් වියදම් වූවා නම් එම මුදල් කැටයකට දමන්න. එවිට එම ඔබට හදිසි මුදල් අවශ්‍යතාවයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

පහත දක්වා තිබෙන අය වැය ලේඛනය ඔබේ අවබෝධය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

img_mny

ඉතින් එළැඹුන ගෙවී යන නව වසර නව්‍යතාවයකින් අරමුණු, බලාපොරොත්තු සඵල කරගන්නට මුල්‍ය කළමණාකරණය ඔබට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.

ධම්මිට කියපු නිම්මිගේ ඉතුරුම් කතාව

නිම්මි     :  හානේ ධම්මි… කොච්චර දවසකින්ද?

ධම්මි      :  ඒකනේන්නම්.. ඉතිං ඉතිං කොහොමද? දැන් නම් බොහොම සරු පාටයි

නිම්මි     :   ආනේ මෙයා කියන දේවල්..

ධම්මි     : මට නම් හරිම කරදරයි නිමාලි, ලැබෙන ආදායම වගේ දෙගුණයක් වියදම, හරිම අමාරුවෙන් වැඩ කරගන්නෙ

නිම්මි     : ඒ මොකද ඒ, අපේ ආදායමට ගැලපෙන්නයි වියදම ලෑස්ති වෙන්න ඕනේ

ධම්මි      : ආ දැන් ඔයාට අදායම් වියදම් ගැන දැනුමත් ලැබිලා වගෙයි

නිම්මි     : ඔව් ධම්මි.. නැත්නම් කොහොමද දරුවන්ගේ වියදම් ගෙදර වියදම් අපි මැනේජ් කරගන්නේ. ඇත්තම කිව්වොත් මම මගේ දරුවො දෙන්නටත් අපේ වියපැහැදම් ගැන කියලා දීලයි තියෙන්නේ. ඒ වගේම ඒ දෙන්නට ඉතුරු කරන්නත් මම පුරුදු කරනවා.

ධම්මි      : ආනේ … ඇත්තද? කොච්චර ෂෝක්ද? මටත් කියන්නකො ඒ පාඩම ගැන.. මගේ දුවලා දෙන්නටත් කියලා දෙන්න.

නිම්මි     : අය්යෝ ඒක හරිම පහසු දෙයක් ධම්මි, මම මුලින්ම කලේ ඇතුළ පෙනෙන පුංචි භාජන තුනක් අරගෙන ආදායම, වියදම, ඉතුරුම කියලා නම් කරපු එක. ඊට පස්සේ දරුවන්ට පුරුදු කළා එයාට ලැබෙන මුදල් ආදායම කියන බෝතලයට දාන්න. එයාලට ඒකෙන් අරගෙන අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් වියදම් කරන්න අවසර දුන්නා. ඒ යන වියදම් ගැන සටහනක් එයාලා වියදම් බෝතලයට දාන්න ඕනේ. ඒ වගේම මම එයාලට දීපු ටාගට් එක තමයි ඉතුරුම් බෝතලේ එකතු වෙන ගණන දෙකට බෙදලා දෙන්නට දෙනවා කැමති දෙයක් ගන්න කියලා. ඒ විදියට තමයි එයාලා ඉතිරි කරන්න පොළඹව ගත්තේ.

ධම්මි      : අනේ ඇත්තද? කොච්චර ෂෝක්ද? ඉතිං දැන් එයාලා ලොකුයි නේද?

නිම්මි     : ඔව් ධම්මි, එයාලා දෙන්නම දැන් ලොකුයි. ඒ වගේම එයාලා ටිකෙන් ටික පුරුදු වුණා ඉතුරුම් බෝතලේ තියෙන මුදල් එයාලගේ බැංකු ගිණුමට දාන්න. ඇත්තටම කිව්වොත් මට දැන් එයාලගේ අනාගතය ගැන බයක් නෑ. මොකද එයාලා දන්නවා ජීවත් වෙන්න මුදල් අවශ්‍ය බව වගේම මුදල් නාස්තිය හොඳ නැති බවත්. එයාලගේ අනාගත වියදම් වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න ඕනේ කියන අදහස තියෙන නිසා ඒ දෙන්නම නාස්ති කරන්නේ නෑ. පුංචි කාලේ ඉඳලම අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් විතරක් වියදම් කරන්න දරුවන්ට පුරුදු කරන්න ඕනෙ.

ධම්මි     : ඇත්ත තමයි ඔයා කියන දේ නිම්මි.. මම මගේ දරුවන්ට වියදම් ගැන කියා නොදීපු එක වැරදියි. දැන් එයාලට වියදම් ගැන තියා අනාගතය වෙනුවෙන් යම් ඉතිරියක් කරන්න ඕනෙ කියන සිතිවිල්ලවත් නෑ. ඔයා නම් හොඳට කල්පනා කරලා. මමත් අදම මේ ගැන මගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ

පවුලේ ආර්ථීකය ගැන දරුවන් දැනුවත් කළ යුතුමයි

පවුලේ ආර්ථීකය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් මෙන්ම එය දරුවන්ගේ ද අයිතිවාසිකමකි. බොහෝ දෙමාපියන් තමන් මුහුණ දෙන ආර්ථීක ගැටලූ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට කැමැත්තක් නොදක්වයි. ඒ දරුවන්ට ඇති ආදරය නිසා ඔවුන්ට එය අනවශ්‍ය බරක් යැයි සිතන බැවිනි. නමුත් ආර්ථීකය සම්බන්ධයෙන් උද්ගත වන යම් යම් තත්ත්වයන් පිළිබඳව වැඩිහිටියන් කරන සංයමයෙන් යුතු සංවාදවලට දරුවන් සම්බන්ධ කර ගැනීම තුළින් කුඩා අවධියේ සිටම ඔවුන්ගේ ජීවිතයට වටිනා අත්දැකීම් එක් වේ. එම ආර්ථීක තත්ත්වය, වියදම් ඇති වූ ආකාරය, බිල්පත්, ණය වාරික මෙන්ම ඒ ඒ අවස්ථා වලදී පැන නඟින ගැටලු සහ ඒ වෙනුවෙන් වැඩිහිටි ඔබ යොදන විසඳුම පිළිබඳව ද ඔවුන් දැනුවත් වේ. මතු දිනෙක ඔවුන් තනිව ජීවත් වන විට මේ අත්දැකීම් ඔවුන්ගේ ජීවිත නිවැරදිව හැඩ ගස්සවා ගැනීමට විශාල සවියක් වනු ඇත.

ඇතැම් විට ඔබ මේ වන විට සිටින්නේ තරමක් දුෂ්කර ආර්ථීක මට්ටමක විය හැකියි. එසේ වුවද දරුවන් ඒ පිළිබඳව දැන සිටීමේ වරදක් නැත. නමුත් ඒ පිළිබඳව ඔවුන් බියපත් කිරීම නුසුදුසුය. ප්‍රශ්න තිබුණද ඔවුන්ගේ අවශ්‍යතා පෙර පරිදිම ඉටුවන බව ඔවුන්ට පවසන්න. කිසිදු විටෙක ඒ පිළිබඳව දරුවන්ගෙන් සමාව ඉල්ලීම සිදු නොකළ යුතුය. අවංකව ඔවුන් වෙත තත්ත්වය හෙළි කිරීම ඔවුන්ගේ පෞරුෂත්වය බලාත්මක කිරීමේ එක් පියවරක් බවත් වෙනස්කම්වලට හැඩගැසී ජීවත් වීමට ඔවුන්ව පුහුණු කිරීමක් බවත් සිහියට නගන්න.

පවුලේ ආර්ථීක තත්වය පිළිබඳ අග සිට මුලට දරුවන් දැනුවත් විය යුතු නොවුණ ද යොවුන් වියට එළැඹෙමින් සිටින දරුවන් අනිවාර්යෙන්ම ආර්ථීකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ. එසේම ඔවුන් වියදම් කිරීම පිළිබඳවත් ඔවුන් විශේෂයෙන්ම දැනුවත් විය යුතුමය. මේ වයස් සීමාවේ සිටින දරුවන් මව්පියන්ගේ පාලනයේ සිටින බැවින් ඔබ කෙරේ ඔවුන් තුළ ඇති විශ්වාසය වැඩි අතරම ඔබට ඇහුම්කන් දීමේ ප්‍රමාණයද ඉහළය. එසේම ඔවුන්ට හිමි වන අවස්ථාව පිළිබඳව ඉතා සතුටට පත්වන ඔවුන් හිමි වූ ඒ වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට උත්සාහ කරයි.

ජීවිතයේ සාර්ථකත්වය උදෙසා උපයන මුදල නිසි ලෙස කළමනාකරණය කළ යුතු බවත් මුදල් පරිහරණයේදී තිබිය යුතු සංයමය පිළිබඳවත් දරුවන්ට වටහා දිය යුතුය.

දුරකථන බිල්, විදුලි බිල් ආදයෙහි ගාස්තු සැකසෙන ආකාරය දරුවන් හා එක්ව ගණනය කරන්න

උදා :  විදුලි බිල සැකසෙන්නේ භාවිත කර ඇති ඒකක ගණන අනුව බවත් එය අඩු වැඩි වන ආකාරය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ යම් වගකීමක් නිවසේ වෙසෙන සැවොම සතු බව වටහා දෙන්න. විදුලි බිල අඩුකරගැනීමට දරුවන්ගේ ද උපරිම සහය ලැබුණහොත් යම් මුදලක් පවුලට ඉතිරි වන බව දරුවන්ට අවබෝධ කරදෙන්න.

නියමිත ණය වාරිකය, නියමිත දිනට නොගෙවන විට අමතර පොළියක් ගෙවීමට සිදුවන බව පෙන්වා දෙන්න

දරුවන් වෙනුවෙන් බැංක ගිණුම් විවෘත කරන්න. ඉතිරි කිරීම සඳහා දරුවන් පෙළඹවීමට ඔවුන්ට එහි වටිනාකම අවබෝධ කර දෙන්න. මුදල් තැන්පත් කිරීම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවන්න

වෙළදසැල්වලදී බඩුවල මිල ගණන් පරීක‍ෂා කිරීමට මෙන්ම අවශ්‍යතාවය සහ අවස්ථාව අනුව අත්‍යවශ්‍ය දේට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙමින් මිලදී ගන්නට ඔවුන් උනන්දු කරවන්න

මුදල් ගැටලූ පිළිබඳව මැසිවිලි නැගීමට හෝ කෑ මොරදීම දරුවන් ඉදිරියේ සිදුනොකරන්න