දරුවන්ගේ ගෙවී ගිය ළමා කාලය නැවත නොඑනු ඇත

“අනේ අම්මේ සෙල්ලම් කරන්න එන්නකෝ ”

“මේ වැඬේ ඉවර නැහැ පුතා”

“ඕක පස්සේ කරන්නකෝ ”

“බැහැ මේක හෙට යවන්න ඕනී එකක් මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න”

මූණ බෙරි කරගත්ත පුතා පැත්තකට වුණා. ටික වෙලාවකට පසු අයියයි මල්ලි නිහඬ නිසාම පරිඝණකයෙන් දෙනෙත් ඉවතට ගත්ත මම නිහඬතායට හේතුව බැලුවා. දිග ඇඳි පුටුවෙ දිගා වුණ ලොකු පුතා බර කල්පනාවකය. අවුරුදු දෙකක්වක් නැති පොඩි පුතා ඒ අහු අස්සේ අයියගේ පොත් පැන්සල් අරගෙන ලොකු පාඩමකය. පරිඝණකය ක්‍රියාවිරහිත කළ මා සීරුවෙන් ලොකු පුතා ළඟින් වාඩි වුණා.

“මොකද රොකට් එකක්වත් යවන්නද කල්පනාව?”

“රොකට් හදන එක ගැනත් හිතනවා ඒත් දැන් ඒ ගැන නෙමෙයි හිතුවෙ”

“එහෙනම්”

“අම්මට ඔය වැඩ කරන්නෙ නැතිව ඉන්නම බැරිද කියලා”

“ඇයි එහෙම හිතුවෙ? ඔයාලට කරදරයක්ද මම වැඩ කරන එක”

“අම්මා ඕවා කළාම අපිට පා`ඵයි… අනේ අම්මේ මගේ පොත් මල්ලි අරගෙන”

“හරි ,හරි පරණ ඒ පරණ පොතක් අරන් තියෙන්නේ ”

“පැස්ටල් සේරම කඩලා, දුවන්න මගේ බඩු තියලා ”

“අම්මා… අයියා නන්න කුවුවා…” අයියා ගෝරනාඩු කරද්දි අඬමින් ගතු කියාගෙනම පොඞ්ඩා දුවගෙන ආවා. විසිරුණු පැස්ටල් පැන්සල් එකතුකරන ලොක්කට මමත් එකතු වුණා.

“තැන්ක් යූ අම්මා…”

“හරි අපි ඉස්සෙල්ලා ඉස්කෝලේ වැඩ ඉවර කරමු ඊට පස්සේ සෙල්ලම් කරමු.”

පැයක් පමණ ඉගෙනීමේ කටයුතු වල යෙදිලා පුතාලා දෙන්නත් එක්ක මම සෙල්ලම් කරන්න මිදුලට බැස්සා. ක්‍රිකට් අල්ලන සෙල්ලම් කිරි කිරි බෝලේ සෙල්ලම් කිහිපයකම යෙදුනත් කාලය ගත වෙනවා දැනුනෙම නැහැ. පැටවු දෙන්නා කෑ ගසමින් හිනැහෙමින් සතුටු වන ආකාරය මම මොහොතක් බලා උන්නෙමි. ඇත්තටම මේ ළමා කාලය තව කොයි තරම් සු`ඵ කාලයක්ද තියෙන්නෙ. මේ හුරතලය දඟය විඳගන්නට ඇත්තේ සු`ඵ කාලයක් නේදැයි සිතුන මට මහා ලෝභකමක් සිතට දැනුනා. ඇත්තටම වර්තමානයේ මේ ගෙවිලා යන හැම තත්පරයක්ම අතීතයට එක්ව මතකයක් පමණක් වෙනවා. ජිවිතයෙ මතකය නම් කෞතුකාගාරයේ තැන්පත් කරන්නට වටිනා දෑ අපම එකතු කර ගත යුතුය.  නැතහොත් අපට දරුවන්ට වෙනුවෙන් අතපසු වූ දෑ පිළිබඳ දුක්වන්නටත් පසුතැවිලි වන්නටත් සිදුවනු ඇත. මා මේ අකුරු කරන්නේ සත්‍යම කතාවකි.

පුංචි දියණියක් සිටියා. ඇයගේ පියා හරිම කාර්යයබහුල කෙනෙක්. උදෑසනම නිවසින් පිටව යන ඔහු ආපසු නිවසට එන්නේ රාත්‍රී එකොළහට දොළහට පමණය. තාත්තා එනතුරු නිදි වර්ජිතව සිටින දියණිය ඔහු ආ සැනින් කරේ තබාගෙන යන්නට ඇවිටිලි කරයි. අධික තෙහෙට්ටුව නිසාම තාත්තාට මෙය වදයක් විය. ඉඳ හිට දියණියගේ ඉල්ලීම ඉටු වූවද බොහෝ විට සිදුවුයේ දියණියගේ ඉල්ලීම මඟහැරීමය. කාලය වේගයෙන් ගෙවී යද්දී තාත්තාට “අද වේලපහ ගෙදර එන්න” යැයි බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. වෙනදාට කලින් ගෙදර එන අතර තුර “අද නම් දෝණිව ඇති වෙන්න කරේ තියාගෙන යන්නම ඕනී ” යැයි ඔහු සිතීය.

“චූටී දූ ඔන්න අද නම් මම ඔයාව කරේ තියාගෙන වටේම යනවා පැයක් විතර ”

ඒත් චූටී දූ වෙනුවට ආවේ අම්මාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බැබළි ඇත. එහෙත් නව වගකීම් සමුදායක් හිස මත දරා සිටින්නා සේ ඇගේ බැල්ම බැරෑරුම් විය.

“ඇයි?”

“ඔයාගේ දුව දැන් ලොකු ළමයෙක් කරේ තියාගෙන යන කාලේ ඉවරයි ”

බිරිඳ පවසන විට ඔහුට ඔහු අතින් මහා අතපසු වීමක් ඇති වු බව තදින්ම සිතට දැනෙන්නට විය. කාලය සියල්ල වෙනස් කර කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට සමත්ය. දියණියගෙ ළමා කාලයේ ඇය සමඟ ඔහුට ගෙවන්නට තිබූ කාලය අවසන්ව ඇත.

“කොයි තරම් වැඩ කටයුතු තිබුණත් දරුවො සමඟ ඔවුන්ගෙ ළමා කාලය ගත කරන්න කිසිසේත්ම අමතක කරන්නට එපා. මන්ද දරුවන්ගේ ළමා කාලය ගෙවි යනු මිස නැවත උදාවන්නේ නැත. ඔවුන්ගේ ළමා විය ගොඩ නඟන්නට අත් වැල අපය. ඔවුන් ජිවිතය විඳින්නට උත්සහ දරන්නේ දෙමාපියන් හා කාලය ගත කිරීමෙන්ය. අපේ කාර්්‍යය බහුලත්වය ඔවුන්ට අදාලවත් එය අපේ නිදහසට කාරණාවක්වත් නොවන්නේය. මට මගේ දියණිය මඟ හැරුණි. ගෙවී ගිය ඒ කාලයට නැවත කිසිදා පියමං කළ නොහැකිය. එනිසා දෙමාපියන් දරුවන් සමඟ ජිවිතය විඳින්නට කාලයක් සොයා ගත යුතුමය. ඔහු වරදකාරී හැඟීමෙන් යුතුව දින පොතේ සටහන් කරන ලදි.”

ඉතින් ඒ තාත්තාගේ කතාව තුලින් ඔබටත් සිතන්නට යමක් ඉතිරි වූවායැයි මා සිතමි.

මාංශපේශීවල අකර්මන්යතාවය නිසා දරුවන්ට ඇති වන සුව කළ නොහැකි රෝගය — මයෝපති

නිරෝගී දරුවෙකු තරම් වටින සම්පතක් දෙමාපියනට මිහිපිට නොමැත. දහසක් වේදනා අතරේ දරුවෙකු මෙලොවට බිහි කර ඒ සතුට අත්විදින අතරේ වයස අවුරුදු තුනක් පමණ වන විට දරුවා යම් සුව කළ නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුවහොත් දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ හැකිද?

හීන වී අවසානයේ දරුවාගේ ශරීරයම අඩපණ කරවන මයෝපති වයස අවුරුදු තුන පමණ වයසැති දරුවන්ට වැලදෙන එවන් සුව කළ නොහැකි රෝග තත්ත්වයකි. මෙම රෝගය වැඩි වශයෙන් පිරිමි දරුවන්ට වැල`දීම විශේෂත්වයකි. මේ තත්ත්වය ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබ`දව අද වන විටත් වෛද්ය විද්යාත්මකව තහවුරු වී නොමැත.

මෙම රෝග තත්ත්වයේදී මාංශ පේශිවල ඇති Creating phosphokinase සංයෝගය තිබිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩි වීමක් දැකිය හැකිය. එවිට මාංශ පේශිවලින් ක‍්‍රියාකාරකමක් කිරීමට නොහැක.

මුල් අවධියේදී දරුවාගේ මාංශ පේශි අඩපණ වී ශක්තිය හීන වීම නිසා කි‍්‍රයාශීලීව කටයුතු කරන දරුවා නිතර ඇද වැටීමට ලක්වන අතරම ශරීරයට ඇතිවන විඩාව නිසා දරුවාගේ කි‍්‍රයාශීලි බව අඩු වී බාහිර කි‍්‍රයාකාරකම්වලට යොමු වීමට මැළි වේ.

රෝග ලක්‍ෂණ

  • පෙර පරිදි සෙල්ලම් කිරීමට සහ පෙර කළ කි‍්‍රයාකාරකම්වලට යොමු නොවේ
  • ඇවිදිමින් සිටි දරුවා එය ටිකෙන් ටික අඩු කර නිතර වාඩි වී සිටීමට යොමු වේ
  • මේ තත්ත්වය උත්සන්න වූ පසු දරුවා වාඞී වී සිට හිටගැනීමේදී සිය දෙපාවලට වාරු වී සිට ගනී. මෙය ‘ගවර්නස්’ ලක්ෂණය ලෙස හඳුන්වයි. නැතිනම් අන් අයගේ උදව්වෙන් හිට ගනී
  • දරුවාගේ මාංශ පේශි ඉතා හොඳින් වර්ධනය වී තිබෙන බව මෙහිදී දැකිය හැකි වුවද මාංශ පේශිවල ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වී ගොස් තිබේ. මේ තත්වය ව්‍යාජ විශාලත්වයක් ලෙස හැ`දින්වේ
  • සම්පූර්ණ පේශි අකර්මණ්‍ය වූ පසු එක්තැන් වේ

මෙම රෝගී තත්ත්වය වයස අවුරුදු තුනේදී පමණ ආරම්භ වී අවුරුදු 12 පමණ තෙක් ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වේ. මෙය ඩ‍්‍රසේන් වර්ගයේ මයෝපති රෝගයක් ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. ඒ නිසා අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම පේශි අඩපණ වූ පසු මේ තත්ත්වය හදවතේ වූ පේශිවලට බලපෑමක් ඇති කරයි. එහිදී හෘද පේශි අඩපණ වීම නිසා අවසානයේදී ඒ තත්ත්වය ජීවිතයට තර්ජනයක් විය හැකිය.

මෙම රෝග ඇති වීමට නිශ්චිත කරුණක් ඉදිරිපත් කළ නොහැකි වුවද රෝගී දරුවන්ගෙන් යම් යම් නිගමනවලට එළඹීමෙන් ලේ නෑකම් විවාහ, මව දරුවා බිහි කරන අවස්ථාවේදී අඩු වයසක පසුවීම හා මවගේ වයස වැඩි වීම, දරුවන් ලැබීමේ පරතරය අඩු වීම යන හේතු සාධක මේ තත්ත්වයට වැඩි බලපෑමක් දක්වන බව තහවුරු වී ඇත. නමුත් මේ සාධකවල බලපෑමක් නොමැතිවද මේ රෝගය දැකිය හැකි අවස්ථා තිබේ.

මෙවැනි රෝගී තත්ත්වයක් වැලඳී ඇත්ද යන්න මාංශ පේශී බයෝප්සී (Muscle Biopsy) ඉලෙක්ට්‍රෝ මයොග‍්‍රැෆි (EMG) හා කියෙටීන් පොස්පො කයිනේස් සාන්ද්‍රණය (Cpk) යන පරීක්ෂණ ක‍්‍රමවලට යොමු කිරීමෙන් පසු තහවුරු කරගැනීම සිදු කරයි. එම පරීක්ෂණවලින් තහවුරු වූ පසු දරුවා අදාළ ප‍්‍රතිකාරවලට යොමු කරනු ලැබේ. කෙසේ වුවද මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නැත. මේ රෝගය පාලනය කිරීමෙන් පමණක් සම්පූර්ණයෙන්ම අඩාල වීම හෝ ජීවිත තර්ජනයක් ඇති වීම අවම කර ගැනීමට හැකියාව ඇත. මේ රෝගයේදී දරුවාට ලබාදෙන ආහාර වර්ග පිළිබඳ මෙන්ම විශේෂයෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳවද වැඩි අවදානයක් යොමු විය යුතුය.

මයෝපති ස`දහා හොඳම ප‍්‍රතිකාර ක‍්‍රමය භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමයයි. එහිදී රෝගියාගේ පේශිවල වර්ගීකරණයක් සිදු කර එම පේශි බිංදුවේ සිට පහ දක්වා පෙළ ගැසීම කර, ඒ ඒ අදාළ පේශිවලට සිදු කළ යුතු ව්‍යායාම හඳුන්වාදෙයි. මෙවැනි රෝගී දරුවන් සඳහා භාවිත කළ හැකි භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම කිහිපයකි.

  • විද්‍යුත් උත්තේජක ප‍්‍රතිකාර
  • මාංශ පේශි ශක්තිමත් කරවීම ස`දහා සිදු කරන ශක්ති ජනක ව්‍යායාම
  • සස්පෙන්ෂන් තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය
  • ජල චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රමය

මීට අමතරව පේශිවල දිග පවත්වා ගැනීමට පේශි ඇදීමට ලක්කරන ව්‍යායාම කළ යුතුය. එමෙන්ම මේ රෝගී තත්ත්වය හමුවේ රෝගියාට කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග වැලඳුණු විට සෙම ශ‍්‍රාවයන් පෙණහලූවලින් ඉවත් කරගැනීමට අපහසුතා ඇති වී නිව්මෝනියාව වැළ`දීමේ අවදානම ඇති විය හැකි බැවින් ඒ  සඳහා උරස් චිකිත්සක ප‍්‍රතිකාර සිදු කර එම ශ‍්‍රාවයන් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මයෝපති තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද රෝගය පාලනය කළ හැකිය. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ කිසියම් අවස්ථාවකදී දුටුව හොත් ඉතා ඉක්මනින් භෞතචිකිත්සක නිලධාරියකු වෙත යොමු වී ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගන්න.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

දරුවා විභාගයට සුදානම් කරන්නේ කොහොමද

සමහර දරුවන් ඉතා සාර්ථකව විභාගයට මුහුණ දෙයි. තවත් දරුවන් අසාර්ථක වෙයි. නමුත් සියලු දරුවන්ට එක හා සමානව විභාගය සමත් විය නොහැකිය. එම නිසා ඔබේ දරුවා අනෙක් දරුවන් මෙන්ම සාර්ථකව නොවුන ද ඔහුව ඇගයීමට ලක් කිරීම ඔබ සතු දෙයකි. එසේම ඔබේ දරුවා කිසි විටෙක අනෙක් දරුවන් සමග සංසන්දනය කරන්න යන්න එපා. එවැනි අවස්ථා වල දරුවා මානසිකව වැටීමට පුළුවන. ඔබේ දරුවාට විභාගය හොදින් සමත් වීමට නම් ඔබෙනුත් උදව් ඔහුට අවශ්‍යය. දරුවන්ට තනි ගමනක් යා නොහැකිය.

විභාගය ඉතා පහසුවෙන් සමත් වීමට දරුවා තුල පවතින විශ්වාසය බලපානු ලැබේ. ඔබ නිතරම දරුවා දිරිමත් කල යුතුය. දරුවා අධික ලෙස වෙහෙසභාවයට පත් නොකළ යුතුය. සැහැල්ලුවෙන් යුතුව මුහුණ දිය හැකි ආකාරයට ඔහුව සුදානම් කල යුතුය.

ඇතැම් දරුවන් විභාගය ආසන්න වූ විට අධික බියක් දක්වති. මට විභාගය අමාරුයි. මට විභාගය පාස් වෙන්න බැරි වේවි. පාඩම් කල කිසි දෙයක් මතක නෑ ආදී ලෙස සිතුවිලි පැන නැගේ. ඔබේ දරුවාගේ බිය සමහර විට ඔබ සමග පවසාවි. ඇතැම් දරුවන් එසේ පවසන්නේ නැත. අම්මා හෝ තාත්තා බනිවි යැයි ඔහුට සිතේ. නමුත් ඔහුගේ බිය ඔබට අවබෝධ කර ගත හැකි විය යුතුය. ඇතැම් දරුවන්ට මේ අධික බිය නිසාම ආහාර ගැනීමද අපහසු වේ. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරයි. ඇතැම් විට අසනීප වුව විය හැකිය. දරුවා විභාගය අමාරු යැයි නිතර නිතර සිතු විට එය යටි සිතට කා වැදී සැබෑවටම විභාගය අමාරු විය හැකිය.

මෙලෙස අනියත් බියක් හට ගැනීමෙන් දරුවා පාඩම් කිරීම් අත්හැරීමට ඉඩ ඇත. දරුවාගේ විභාගය ආසන්න වූ විට ඔබ දැඩි සැලකිලිමත් බවක් දැක්විය යුත්තේ මේ නිසාය. සමහර දරුවන් දිවි නසා ගැනීමට පවා පෙළඹීමට විභාගය හේතු වේ. ඔහු යම් හෙයකින් විභාගය අසමත් වුවහොත් තම දෙමවුපියන් කොයි ආකාරයට ක්‍රියාත්මක වේ දැයි ඔහුට බියක් හට ගනී. මේ නිසාම ඔබ ඔබේ දරුවා දිරි ගැන්විය යුතුය. ඔහු දක්‍ෂ බවත් විභාගය සාර්ථකව සමත් විය හැකි බවත් දරුවාට පවසන්න.

විභාගයට සුදානම් වන විට පසුගිය ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ඉතා වැදගත්. ඒ සදහා දරුවා පොළඹවාලන්න. අඩුම තරමේ පසු ගිය ප්‍රශ්න 10ක්වත් අධ්‍යයනය කිරීම වටි. ඒ හරහා මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගත හැකිය. මේ හරහා පිළිතුරු සැපයීමේ වේගය වැඩි කර ගත හැකිය. එසේම ලැබෙන ප්‍රශ්න පිලිබදව යම් අකාරයකට අනුමාන කළ හැකිය.

ඒ නිසා දරුවාට එහි පවතින වාසිදායක තත්වය පහදා දෙන්න. එසේම අමාරු විෂයන් වලට වැඩි කාලයක් යොදවන ලෙස ඔහුට කියන්න. එසේම දරුවාට අමාරු විෂයන් තිබේ නම් එම විෂයන් පහසුවෙන් ධාරණය කර ගන්න ක්‍රම පිලිබදව පහදා දෙන්න. බොහෝ දරුවන් ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට බිය වෙයි. එවිට නිතර නිතර එම විෂයන් වලට යොදවන කාලය වැඩි කිරීම වැදගත්.

මේ සියලු දේ සිදු කොට දරුවා විභාගය අසමත් විය හැකිය. එවිට දරුවට දොස් පවරන්න යන්න එපා. එය දරුවාගේ ජිවිතයට වුව හානිකර විය හැකිය. විභාගය යනු ජීවිතය නොව. විභාගය අසමත් වූ පිරිස් අද ලෝකයේ ප්‍රබලයන් බවට පත් වී ඇත. දරුවා නැවත වරක් විභාගයට පෙනී සිටීමට ඔහුව දිරි ගන්වන්න. දරුවාගේ මනස බිද වැටෙන කිසිවක් කියන්න එපා. එය දරුවාට අහිතකර විය හැකිය.

බිදුණු පවුල තුළ අතරමං දරුවා

විවහා වූ දෙපලකට නම් තමන්ට සිටින වටිනාම වස්තුව දරුවන්ය. බොහෝ දෙමවුපියන් මුළු ජිවිත කාලයම වැය කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන්ගේ කායික , මානසික යන සෑම අංශයකටම දෙමවුපියන්ගේ  යුගදිවියේ  සාර්ථකත්වය බලපානවා. අම්මායි තාත්තයි නිතරම රණ්ඩු කරන විට, තාත්තා නිතරම බිමත්ව සිටින විට එය දරුවන්ට තදින්ම බලපානවා. හැම අම්මායි තාත්තායි කෙනෙක්ම කැමති තම දරුවන් උසස් පුද්ගලයන් වෙනවා දකින්න. නමුදු අද සමාජයේ බොහෝ දෙමවුපියන්ගේ එම සිහිනය සදාකාලික සිහිනයක් වන බව අප අනන්තවත් දැක තිබේ. ඊට හේතු වී ඇත්තේ බොහෝ දෙමවුපියන් විවහා වී ටික කාලයක් යන විට දෙන්නා දෙපැත්තකට වීමයි. පවුලක් ගරා වැටුණු විට ඉන් අසරණ වන්නේ දරුවන්ය. පවුලක සාර්ථකත්වයට මව්පිය සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය.

කොතරම් මිල මුදල් , යාන වාහන ඔබට තිබුනත් ඔබේ පවුලේ සාමය සාමාජිකයන් අතර නැති නම්, පවුල් ජිවිතයේ උපරිම සතුට එම සාමාජිකයන් අතරට නොලැබේ නම්, ගෙදර අපායක් නම් එවැනි පවුලකින් වැඩක් නැත.

දරුවන් බලාපොරොත්තු වන සෙනෙහස, ආදරය දෙමවුපියන්ගෙන් නොලැබෙන විට දරුවන් මානසිකව බිද වැටුණු ඇත. එවිට දරුවන් ගැටළු ගණනාවකට මුහුණ දේ. එනම්,

  • දරුවාට දෙමවුපියන් පිලිබදව තරහක් ඇති වී නිතර නිතර ගැටුම් ඇති කර ගනී
  • දරුවා බඩු මුට්ටු කඩා දමමින් දෙමවුපියන් කෙරෙහි ඇති අකමැත්ත ප්‍රකාශ කරයි. අකීකරු වේ.
  • ළමයා ප්‍රචණ්ඩ වේ
  • දරුවා පහසුවෙන් අපරාධ වලට පෙළබේ

දෙමවුපියන් නිතර නිතර ගැටුම් ඇති කර ගැනීමෙන් දරුවන්ගේ මානසිකත්වය බිද වැටී අධ්‍යාපනය පවා කඩාකප්පල් වේ. මෙවැනි පවුල වල දරුවන් වැඩි වශයෙන් මානසික ගැටළු වලට මුහුණ දේ.

හැමවිටම ඔබ දෙපල අතර කොතරම් ගැටළු හට ගැනුනත් එය දරුවාට දැනෙන්න දෙන්න එපා. ඒවා දෙදනා අතර පමණක් තබා ගෙන විසදා ගන්න. බොහෝ දරුවන්ගේ මුලු අනාගතයම අදුරු වන්නේ දෙමවුපියන්ගේ ආරවුල් නිසාය. දරුවාට සෙනෙහස, ආදරය අහිමි වූ විට ඔහු එය වෙන තැනකින් සොයන්න බලයි. ඔහු ආදරය සොයන්නේ වැරදි පාරකින් බව දරුවාට තේරෙන්නේ නෑ. දරුවන් අපරාධ වලට යොමු වන්නේ දෙමවුපියන්ගේ වැරදී නිසා මිස දරුවන්ගේ වැරදි නිසා නෙමේ. තම දරුවාට පුර්ණ අවධානය ලබා දීම දෙමවුපියන් සතු දෙයකි.

ඇතැම් දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම තම දරුවන් සමග කතා කිරීමටවත් වෙලාවක් නැති තරම්ය. කොතරම් මුදල් හම්බ කලත් දරුවන් අයාලේ යන්නේ නම් ඔබේ මුදල් වලින් වැඩක් නැත. ඇතැම් දරුවන් මුළු ජිවිත කාලයම තම දෙමවුපිය නිසා විදවයි. දෙවෙනි කසාදයක් ගැන සිතන මව්වරුන් තම දරුවන් ගැන සිතිය යුතුය. දරුවන් මෙලොවට බිහි කිරීමෙන් පමණක් ඔබට වගකීම් වලින් මිදිය නොහැකිය.

ඔබට ඔබේ පවුලේ සමගිය රැක ගැනීමට බොහෝ දේවල් කල හැකිය. සෑම විටම එක මේසයේ ආහාර ගන්න පුරුදු වෙන්න. එවිට දරුවාගේ එදා දවසේ සිදු වූ දේවල් පිලිබදව, දරුවා ඇසුරු කරන මිතුරු මිතුරියන් පිලිබදව දැන ගැනීමට හැකි වේ. එවිට ඔබට ඔබේ දරුවා මග හැරෙන්නේ නැත. පවුලක් රකින සතර වරම් දෙවියන් වන්නේ කරුණාව, දයාව ඉවසීම, ආදරය වැනි සාධකයි. දරුවාට සෑම විටම හොද මිතුරෙක්, මිතුරියක් වන්න.

ඔබේ දරුවා අපයෝජනයෙන් බේරා ගන්න

දරුවන් ලිංගික අපයෝජනයට ලක් වන අවස්ථා අද සමාජයේ බහුලව දකින්න පුළුවන්. අද දෙමවුපියන්ගේ කාර්ය බහුලත්වය නිසාම දරුවන් දෙමවුපියන්ගෙන් මග හැරි ඇත.  මේ නිසාම ඔබේ දරුවන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා වැඩිය.

දරුවන් ආගම දහමට ලැදි කලාකාමී පවුල් පරිසරයක් සකස් කර තැබිය යුතුය. අද වන විට සමාජය විෂම වී ඇත. කුඩා දරුවන් දෙස වුව බලන්නේ ඉතාමත් පහත් ආකාරයටය. කුඩා කල සිටම දරුවන්ට මනා පසුබිමක් සකස් කල දිය යුතුය. එසේ වූ පමණින් අපට දරුවන් අපයෝජනයට ලක් නොවන්නේ යැයි කිව නොහැකිය. අද සමාජයේ සිටින ගැහැණු පිරිමි භේදයකින් තොරව සෑම තරාතිරකම අය ළමා අපයෝජනයන් සිදු කරන බව දිනපතා පුවත්පත් වලින් වාර්තා වේ. ඒ නිසා ඔබේ දරුවා කුමන ස්ථානයක කොයි මොහොතක අපයෝජනයට ලක් වීමේ ඉඩකඩ වැඩිය.

ඇතැම් පවුල් වල පියවරුන්ගෙන් දරුවන් අපයෝජනයට ලක් වන අවස්ථා තිබේ. කෙසේ හෝ දරුවෙකුගේ ආරක්ෂාවට සිටින විශ්වාසම දෙපල වන්නේ දෙමාවුපියන්ය. දරුවා පවුල් පසුබිමෙන් ඈත් වන හුදෙකලා වන සෑම මොහොතකම අපයෝජනයට ලක් විය හැකිය. එසේ නම් දරුවාට අපයෝජනයක් නොවිය හැකි යැයි අපිට සිතිය හැක්කේ ඔබේ පවුලේදී පමණි. නමුදු ගෙදර කිසිවෙකු නොමැති විට හුදෙකලා වන දරුවා නිවසේදීම වුව අපයෝජනයට ලක් විය හැකිය.

ඔබ මොහොතකට දරුවා තනිකර නිවසින් බැහැරව සිටින්නේ යැයි සිතන්න. දරුවා ගෙදර රූපවාහිනියෙන් අසභ්‍ය චිත්‍රපටයක් නරඹන්න පුළුවනි. එවැනි මොහොතක පිටස්තරයෙක් පැමිණ දරුවා අපයෝජනයට ලක් කල හැකිය. එනම් ඔබ දරුවා මග හරින සෑම මොහොතකටම දරුවන්ට අපයෝජනයන් සිදු වීමේ හැකියාව වැඩිය. දරුවා අපයෝජනයට ලක් වන්නේ කුමන ස්ථානයේද යැයි අපට හරියටම කිව නොහැකිය.  ඒ නිසා සෑම අවස්ථාවකදීම දරුවා ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය. මවුපියන්ගෙන් ඈත්ව දරුවා හුදෙකලා විය හැකි ස්ථාන කිහිපයකි. ඉන් කිහිපයක් නම්,

පාසල, මිතුරන්ගේ නිවාස, නෑදෑ හිත මිතුරන්ගේ නිවාස, දුම්රිය ස්ථාන, ලදු කෑලෑ , ළමා නිවාස, ළමයින් ගමන් කරන වාහන, විනෝද චාරිකා, තමන්ගේම නිවස ආදී ස්ථානය.  මෙම ඕනෑම ස්ථානයකින් දරුවා අපයෝජනයට ලක් විය හැකිය. පාසලේ ගුරුවරුන්ගෙන් පවා දරුවා අපයෝජනයට ලක් විය හැකිය. මෙම අපයෝජකයන්ගේ හැසිරීමෙන් ඔබට ඔවුන් හදුනා ගැනීමට හැකිය.

  • මොවුන්  ළමයින්ට අසීමිත ආදරයක් සෙනෙහසක් දක්වයි
  • ළමයින් සමග පමණට වඩා සුහදව ඉතාමත් ලගින් ළමයි සමග කාලය ගත කරන්නට කැමැත්තක් දක්වයි
  • ඇතැම් පිරිස් ළමුන්ට බොහෝ අකමැති බවක් දක්වයි
  • තවත් පිරිසක් සාමාන්‍ය අය මෙන් සිටි
  • ඇතැම් පිරිස්ට දරුවා බොහෝ බියක් දක්වයි නම් බොහෝ ආදරයක් දක්වයි නම් බොහෝ දුරට ඔහු ඔබේ දරුවාගේ අපයෝජකයා විය හැකිය

ලිංගික අපයෝජන චෝදනා වලට ලක් වන්නේ නිතර ළමයින් සමග සිටින අයමයි. ඒ නිසාම ඔබේ දරුවා ඇසුරු කරන අය පිලිබදව සැලකිලිමත් වන්න. එසේම දරුවා අපයෝජනයට ලක් වන්නේ නම් ඔහු වචනයෙන් ප්‍රකාශ නොකලද වෙනත් ක්‍රම වලින් ඔබට පැවසිය හැකිය. ඒ පිලිබදව හොදින් සැලකිලිමත් වන්න. ඔබ දරුවා අත්හරින සෑම මොහොතකම ඔබේ දරුවා තවත් මිනිසෙකුගේ අපයෝජනයට ලක් විය හැකිය.

ගුරුවරුන්ගේ කෙනෙහිලිකම් මැද අතරමං වන දරුවන්

ඇත්තටම ගුරුවරු කියන්නේ කාටද ඔවුන්ගෙන් ඉටු විය යුතුකම් මොනවද අද ගුරුවරුන් දෙස බලන විට  නම් ඔවුන් ඇත්තටම ගුරුවරුන් වීමට සුදුසු දැයි සිතේ. ගුරුවරයා කියන්නේ හුදෙක් විෂය දැනුම් බෙදා හරින්නෙක්ම පමණක් නොවේ. ගුරුවරියෙක් හෝ ගුරුවරයෙක් වූ විට සමාජ හරයන්, ධර්මතා අලුත් පරපුරට ලබා දිය යුතුය. ළමුන් පාසලට ඇතුලත් වූ දා සිට ඔවුන් වැඩි පුර කාලය ගත කරන්නේ පාසලේය. ඒ නිසාම ගුරුවරුන්ට දරුවන් පිලිබදව විශාල වගකීමක් පවතී. ළමුන්ට නිසි මගක් නොපෙනෙන විට ඔවුන් අයාලේ යනවා. දරුවන්ට හරි මග කියා දීම දෙමවුපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් වගකීමකි.

පංති කාමරයේ සිටින ළමුන් පිලිබදව ගුරුවරයෙක් වූ විට වෙන වෙනම අවධානය යොමු කල යුතුය. නමුදු අද වන විට බොහෝ ගුරුවරුන් සිදු කරන්නේ ඉගෙනීමට දක්ෂ , වැඩියෙන්ම ලකුණු ලබා ගන්න දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. එවිට එතරම ඉගෙනීමට දක්ෂතාවයක් නොමැති දරුවන් අතරමං වේ. ගුරවරයෙක් වූ විට සෑම දරුවෙකුටම එක සමානව සැලකිය යුතුය. අද වන විට ඇතැම් දෙමවුපියන් ගුරුවරුන්ගේ නිවසට ගොස් සංග්‍රහ සැලකිලි සිදු කරයි. එවිට එවැනි දරුවන් කෙරෙහි ගුරුවරු වැඩි අවධානයක් යොමු කරයි. මේ හරහා ඉගෙනීමට වඩා දක්ෂ දරුවන් මග හැරේ.

යම් ප්‍රශ්නයක්‌ගැටළුවක් වූ විට ඇතැම් ගුරුවරු ක්‍රියාත්මක වන්නේ ඉතා පහත් ආකාරයටය. උදාහරණයක් ලෙස ආදර සබදකමක පැටලී සිටින පාසල් දරුවන් දෙදෙනෙක් හසු වුවහොත් ගුරුවරු මෙම දරුවන්ට සලකනු ලබන්නේ තමන්ට එවැනි කාලයක් තිබුනේ නැතිවා මෙනි. පාසල් දරුවන් යනු එතරම් අද්දැකීම් නැති කුතුහලකාරි පිරිසකි. මේ නිසා දරුවන් වැරදි වලට පෙළඹවීමේ අවස්තාව වැඩිය. එවැනි අවස්ථා වල දරුවන්ට දඩුවම් කිරීමෙන් පලක් නැත. දරුවන් ළමුන් ඉදිරියේ අපහසුතාවයට පත් නොකළ යුතුය. අපහාස දරා ගැනීමට නොහැකි වූ විට දරුවන් දිවි නසා ගන්නා අවස්ථා ද අප දැක තිබේ.

එවැනි මොහොතක ගුරුවරුන් බුද්ධිමත්ව ක්‍රියා කල යුතුය. දරුවන්ට දඩුවම් කිරීමෙන් එවැනි දේවල් වැරදි යැයි දරුවන්ට අවබෝධ වන්නේ නැත. පාසල් දැරිවියක් කොටට නිල ඇදුම ඇදගෙන ආ අවස්ථාවක ප්‍රසිද්ධියෙන්ම ඇයට දඩුවම් විදීමට සිදු විය. දරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම් නොකළ යුතුය.

එමෙන්ම දැන් පවතින්නේ අතීතයේ මෙන් සමාජයක් නොවේ. තාක්ෂණය සමග සමාජය වෙනස් වී ඇත. අද වන විට දරුවන් දුරකථන, පරිගණක වැඩියෙන් භාවිතා කරයි. මෙකි තාක්‍ෂණය භාවිතා කිරීම සුදුසු නැතැයි යන්න අපට නිගමනය කල නොහැකිය. මෙවැනි භාවිතා කිරීමේ වැරද්දක් නැත, ඒවා හසුරුවන ආකාරය පිළිබදව අවබෝධයක් ලබා දිය යුතුය.

එසේම එක දරුවෙක් පංතියේ පළවෙනියා වුවාම අනෙක් අයටද එසේ වන්නේ යැයි කීම වැරදිය. හැමෝටම එක වගේ ඉගෙන ගැනීමට නොහැකිය. ඇතැම් ගුරුවරු ඉගෙනීමට දක්ෂ දරුවන් පංතියේ පළමු පේලියේ තබා ගෙන අනෙක් දරුවන් පංතියේ පිටු පස්සටම යවයි. විභාගයේ ප්‍රථම තැන ගත් , ශිෂ්‍යත්ව විභාගය පාස් වුනු ළමුන්ට දක්වන්නේ පුදුමාකාර සැලකිලි ගොඩකි. එවිට අනෙක් දරුවා කෙරෙහි මෙම දරුවන්ට තරහක් ඇති වෙනවා.

ගුරුවරයෙක් වුවාම දරුවන්ට මග පෙන්විය යුතුය. මෙවෙනි ගුරුවරුන්ට දරුවන්ට මග පෙන්විය හැකිද එසේ වුවත් දරුවන් නිසි මාර්ගයට ගන්නා ඔවුන්ගේ මානසිකත්වය තේරුම් ගන්නා ගුරුවරුන්ද සිටිති. අප ඔවුන් අගය කල යුතුය. ඒ අතරම තම කුහකකම සිතේ රදවා ගෙන දරුවන්ට කෙනෙහිලිකම් කරන ගුරුවරුන්ද සිටිති. ඇතැම් ගුරුවරු තමන්ගේ ටියුෂන් පංතියට නොඑන දරුවන් පංතියේදී කොන් කරති. මෙවෙනි ගුරුවරුන් සමස්ත සමාජයටම සාපයකි. දරුවන් පිලිබදව සිතන ආදරණිය ගුරුවරුන්ගේ අවශ්‍යතාවය මතුව තිබේ.

ඔබේ දියණියත් වැඩිවිය පත්වීමට ආසන්න වයසේද? එහෙමනම්, මේ ලිපිය අපිට…

දුව ඉපදුණු දවස, මගේ අතට එයාව ලැබුණු මුල්ම මොහොත මට අද වගේ මතකයි. ඒත් දැන් දුවව දකිද්දි මට හිතෙනවා කාලය කොයි තරම් නම් ඉක්මණට ගෙවිලා ගිහින්ද කියලා. එයා, තව ටික දවසකින් තරුණියක් විදියට ජීවිතයට මුහුණ දේවි. ඔබේ දියණියත් වැඩිවිය පත්වීමට ආසාන්න වයසේ වෙන්න පුළුවන්. මව්වරුන් විදියට අපි ඒ ගැන අපේ අදහස් බෙදාහදාගමු. මොකද අපිට පැවරෙන වගකීම සුළු පටු නෑ. ඒ වගේම දියණියට හො`දම මිතුරිය විය යුත්තේ අම්මා බවත් හො`දින් සිහි තබා ගන්න.

ඔබ දියණියගේ ශාරීරික  වෙනස්කම් පිළිබ` සැලකිලිමත්ද?

මේ අවස්ථාව කුමන ස්ථානයකදී කොයි ආකාරයෙන් උදාවේද යන්න පිළිබ`දව අපි නොදනී. අන්න ඒ නිසාම දියණියගේ ශාරීරික වෙනස්කම් පිළිබ`දව සැලකිලිමත් වීම වැදගත්. මන්ද ඒ අනුව යම් යම් සීමාවන් තුළ මේ කාලපරිච්ඡේදයේ කටයුතු කිරීමට හැකියාව අපිට ලැබෙනවා. උදරයේ වේදනාව එහෙමත් නැතිනම් කොණ්දේ වේදනාව පිළිබ`දව ඇය නිතර නිතර පවසයි නම් ඒ පිළිබ`දව සැලකිලිමත් වන්න. ඒ අවදානයට පිටස්තර ස්ථානයකදී ඇයට මුහුණදීමට සිදුවන අපහසුතාවය මගහැර ගැනීමට විශාල සහයෝගයක් ලබා දිය හැකියි.

මවක් දියණියගේ පෞද්ගලික ගැටලූ දැන සාකච්ඡුා කළ යුතුය. ඇය කියන්නට පසුබට වුවද ඇය සතු යම් යම් ගැටලූ සොයා බලා ඇයගෙන් ඒ පිළිබ`දව සොයා බලා දැනුම ලබාදීම මෙන්ම අත්දැකීම් බොදාහදා ගැනීමට මවක් සූක්‍ෂම විය යුතුය. එවිට දියණිය සිය මව සමග දුක සතුට මෙන්ම ජීවිතය බෙදාහදාගනු ඇත.

ඔබට මතකද? මේ අත්දැකීම ලැබුණු පළමු අවස්ථාව. අපේ සිත් තුළ ඇති වුණු බය, නොසන්සුන් බව, ලැජ්ජාශීලී බව, කිසිවෙකු දෙස හිස ඔසවා බැලීමට පවා නොහැකි වූ ආකාරය.

සැබවින්ම ඔසප් චක‍්‍රය ආරම්භ වීමත් සමගම ගෙවෙන ඉදිරි දින කිහිපය ඉතාම අපහසු, වේදනාකාරි, නොසන්සුන්ව  ගත කෙරෙන දින කිහිපයකි. මවක් සැමවිටම දියණියට සමීපව හි`දිමින් ඇයෙගේ අපහසුතාවයන් වෙනුවෙන් සහය දැක්වීම ඉතා වැදගත් වේ. ඇතැම්විට දියණිය මව සමග මේ කිසිවක් නොපවසමින් පීඩනයට පත්ව මේ දින කිහිපය ගෙවා දමනවා විය හැකිියි. නමුත්  දියණියට ඇති ගැටලූ සහගත තත්ත්වයන් පිළිබ`දව විවෘතව සාකච්ඡුා කොට අවශ්‍ය විස`දුම් සහ සහනයන් ලබාදීම මවකගේ යුතුකමයි.

වැඩිවිය පැමිණි විගස දියණියක් මේ අපහසුතාවය පිළිබ`දව ඉතාම කලකිරීමෙන් කාලය ගත කරනවා විය හැකියි. අන්න ඒ නිසාම

  • ඔසප් චක‍්‍රය පිළිබ`දව දියණිය දැනුවත් කරන්න
  • ඔසප් චක‍්‍රය සාමාන්‍ය ක‍්‍රියාවලියක් බව ඇයට අවබෝධ කරවන්න
  • ඔසප් දිනයන්හිදීත් පාසැලේදී හෝ පන්තියේදී සාමාන්‍ය පරිදි හැසිරීමට උත්සාහ කරන මෙන් දියණියට උපදෙස් ලබාදෙන්න. ඇය අධික වේදනාවකින් හෝ අපහසුවකින් පෙළේ නම් ඇය නිවසේ ර`දවාගන්න
  • ඔසප් වේදනාවට ඇති පිළියම් ගැන කියාදෙන්න, එනම් කොණ්දේ, උදරයේ සහ යෝනි මාර්ගයේ වේදනාව ඇතුළු අනෙක් අපහසුතාවයන් ස`දහා ඇයට සහනය සලසන්න. අසාමාන්‍ය වේදනාවන්ගෙන් දියණිය පීඩා වි`දී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න
  • පෞද්ගලික පවිත‍්‍රතාවය පිළිබ`දව දැනුවත් කරන්න. වෙනදාටත් වඩා පිරිසිදුව සිටීම මෙහිදී වැදගත් බව කියාදෙන්න
  • ඔසප් දිනය ආසන්න වන විට ඇයගේ බෑගයේ සනීපාරක්‍ෂක තුවා තබා ගැනීමට මෙන්ම ඒවා පාවිච්චියෙන් පසු බැහැරලන නිවැරදි ක‍්‍රම පිළිබ`ද දියණිය දැනුවත් කරන්න

දියණියගේ ඔසප් චකරය පිළිබ`දව මවකගේ අවදානය යොමු විය යුතු කරුණු

  • ඔසප් චක‍්‍රය නතර වීම
  • මසකට දෙවතාවක් හෝ කිහිප වරක් අඩු වැඩි වශයෙන් ඔසප් ඇති වීම
  • අධික රුධිර වහනය
  • ඔසප් රුධිරයේ අධික ගන්ධය
  • ඔසප් රුධිරය කැබලි ලෙස පිටවීම
  • ඔසප් රුධිරයේ ඇලෙන සුලූ බව
  • ඔසප් රුධිරය ඝන ස්වභාවයකින් යුක්ත වීම

මෙවන් ගැටලූ පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඇයගේ අපහසුතාව වලක්වාගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරියක් තෝරාගත හැකි නම් එය දියණියගේ සිතට මහත් ඇස්වැසිල්ලක් වනු නියතය.

ඇතැම් මව්වරුන් මේ දිනවලදී ඇතැම් ආහාර වර්ගවලින් දියණිය ඈත් කර තබයි. නමුත් මේ දින කිහිපය තුළ සිරුරෙන් රුධිරය වැඩි ප‍්‍රමාණයක් පිටව යන බැවින් පෝෂ්‍යදායී ආහාර ඇයට ලබාදීම වඩා වැදගත් වේ. එසේ නැති වූ විට යම් යම් ඌණතාවයන්ට දරුවාට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදු වනු ඇත. මන්දයත් සෑම දියණියක්ම මේ පෙර මග සකසන්නේ අනාගතයේදී උත්තරීතර මව්පදවිය හොබවන්නට නිසාය.

චූටි දෝණිගේ පාඩම් මේසේ

දස මසක් කුස තුළ පෝෂණය කළා සේම දරුවන්ගේ අනාගතය සවිමත් කරන්නට දෙමාපියන් නොසෑහෙන වෙහෙස වෙයි. මෙහිදී මාපිය අවදානය වැඩි වශයෙන්ම යොමු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙතටයි. උදෑසන පාසැල වෙත යන දරුවා සවස් කාලයේ අමතර පන්ති ස`දහා සහභාගී වේ. ඇතැම් මව්වරුන් මේ පිළිබ`දව දිවා ? නොතකා කැපවන්නේ කුඩා මනසට දරා ගත හැකි ප‍්‍රමාණය කොතරම්ද යන්න පිළිබ`දව ද නිශ්චිත අදහසක් නොමැතිවය. කොපමණ වියදම් කළ ද කොපමණ වෙහෙස වුව ද ”පාඩම් කරන්න  ඕනේ” යන්න දරුවෙකුුගේ මනසට කා වැද්දීම බලෙන් කළ නොහැකිය. ඒ නිසාම නිවස තුළ සාමකාමී වටපිටාවක් සකසමින් දරුවාගේ මනස නිරවුල්ව පවත්වා ගැනීමට සහයෝගය ලබාදීම ද අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින නිවසක වැඩිහිටියන් වන අපේ වගකීමකි. පාඩම් කිරීමට දරුවාට නිදහස් තැනක් අත්‍යවශ්‍යයි.

පාඩම් කරන ස්ථානය සැකසීමේදී,

  • රූපවාහිනියෙන් හෝ නිවසට පැමිණෙන අමුත්තන්ගෙන් හෝ වෙනත් කිසිවකින් බාධා නොවන ස්ථානයක් තෝරාගන්න
  • මේසය හා ඊටම ගැලපෙන පුටුවක් තෝරාගන්න (සැමවිටම වාඩි විය යුතු නිවැරදි ඉරියව්ව පිළිබ`ද දරුවා දැනුවත් කළ යුතුයි. නිවැරදි ඉරියව් භාවිත නොකිරීමෙන් උරහිස්, බෙල්ල සහ කොන්ද යන ස්ථානයන්ගේ යම් යම් දුර්වලතා ඇති විය හැකි බව දරුවාට පහදා දෙන්න.)
  • ටේබල් ලෑම්ප් එකක් තිබීම වඩා සුදුසුය (අ`දුරේ පොතපත කියවීම දෑස්වලට එතරම්ම සුදුසු නොවන අතරම ටේබල් ලෑම්ප් එක එසේත් නැතිනම් මේසට මත තබන විදුලි ලාම්පුව මගින් වඩා දීප්තිමත් ආලෝකයක් හිමි වන නිසා නිදිමත ද තුරන් වී යයි.)
  • පෑන්, පැන්සල්, මකන ර`දවනයක් තැබීම, විෂයයන් අනුව පොත් වර්ග කිරීම පොත් මේසයේ පිළිවෙළ පවත්වාගෙන යාමට උපකාරී වේ
  • අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වඩා මතකයේ ර`දවා ගත යුතු දේ මේසය වටා නිතර පෙනෙන පරිදි එල්ලා තැබීම ( උදා ආවර්තිතා වගුව වැනි)
  • මේසය මේ අයුරින්ම පිළිවෙළට තබාගැනීමට දරුවාට උපදෙස් දෙන්න

දරුවා පාඩම් කරන ස්ථානයේ වැඩිහිටියන් විසින් සිදු නොකළ යුතු දෑ

  • කෑම ගැනීම
  • තේ බීම
  • දුරකථන ඇමතුම් ලබාගැනීම
  • නිදාගැනීම

දරුවන් පිළිබ`දව දහසකුත් එකක් සිහින දකින ඔබ ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම ස`දහා උපරිම සහයෝගය ලබාදීමට සැමවිටම උනන්දුවන්න.

සීග්‍ර ලෙස වැඩෙන ළමාවියේ පෝෂණය ගැන සිය වරක් සිතන්න

ළමාවිය යනු දරුවන් සීග්‍ර  ලෙස වර්ධනය වන අවධියයි. ඒ නිසා නිසි පෝෂණය මෙන්ම නිසි ආහාර පුරුදු වෙත දරුවන් යොමු කිරීම තුළින් අනාගතයේදී දියවැඩියාව, ස්ථුලතාව, හෘද රෝග, ආඝාතය වැනි බෝ නොවන රෝග සඳහා ගොදුරු විය හැකි අවධානම වළක්වා ගත හැකිය.

මව් කුස තුළදී පෙකෙණි වැල හරහා මවගෙන් පෝෂණය වන බිළි`දා මෙලොව උපත ලැබීමත් සමගම  මාස හයක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක් පෝෂණය ලබයි. මාස හය සම්පූර්ණ වූ පසු අමතර ආහාර ස`දහා යොමු වේ. වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසු පවුලේ අනෙක් සාමාජිකයන් විසින් ලබාගන්නා ආහාර වේලටම ඔවුන්ව හුරු කිරීම සිදු වේ.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් ප‍්‍රවේණිගත හේතු මත රඳාපවතී. තවද වයස, බර, උස, ස්ත‍්‍රී පුරුෂ බව යනාදිය මතත් පෝෂණය අවශ්‍යතා වෙනස් වේ. එමෙන්ම දරුවන්ගේ ක‍්‍රියාශීලී බව මතට එක් එක් දරුවාට අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයන් වෙනස්ය. දරුවන් ඉතා කුඩා ප‍්‍රමාණ ආහාරයට ගන්නා අතරම ආහාරවල විවිධ රසයන් විවිධ පැහැයන් පිළිබඳා විශේෂ රුචිකත්වයක් දක්වයි. දරුවාට නිසි පරිදි පෝෂණය මෙන්ම ශක්ති ප‍්‍රමාණයක් ලැබෙනවාද යන්න උස සහ බර මැනීම නොකඩවා සිදු කරමින් තහවුරු කරගත යුතුය.

වයස අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා අනුව ඔවුන්ට ප‍්‍රධාන ආහාර වේල් තුනක් ලබාදීම අනිවාර්යය. දරුවන්ගේ ප‍්‍රධාන ආහාර වේල සැකසිය යුත්තේ බත්, මාළු (මස්, බිත්තර, කරවල වැනි මාංෂමය ආහාර) එළවළු වර්ග කිහිපයක්, පළා වර්ගයක් සහ ධාන්‍ය වර්ගයකනි. එසේම දිනපතා ප‍්‍රධාන ආහාර වේල් තුනට අමතරව කෙටි ආහාර වේල් දෙකක් දරුවාට ලබා දීමට අමතක නොකරන්න.

අමතර වේල සඳහා ලබාදිය හැකි පෝෂණීය කෙටි ආහාර

  • පළතුරු, නැවුම් පළතුරු යූෂ
  • යෝගට්, මුදවපු කිරි
  • කඩල, මුං සහ කවුපි, ඉරි`ගු, බඩ ඉරි`ගු වැනි දේ
  • තල, රටකජු, කජු හා අනෙකුත් තෙල් සහිත බීජ වර්ග
  • මයියොක්කා, බතල ඇතුළු අල වර්ග පොල් සමග
  • හැලප, සව් කැද, මුං ගුලි වැනි ධාන්‍යමය ආහාර

ශක්තිය හා ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, විටමින් දරුවන්ට ලබාදිය යුතු පෝෂක අතර අනිවාර්ය වේ.

දරුවාගේ වයස සහ ක‍්‍රියාශීත්වය අනුව අවශ්‍ය වන ශක්තිය හා ප්‍රෝටීනවල අවශ්‍යතාවය වෙනස් වන අතරම ලබා දෙන ප‍්‍රධාන ආහාර වේල්වල බත් හෝ ධාන්‍ය වර්ග, මාළු, මස් හෝ බිත්තර සමග එළවළු කිහිපයක් අඩංගු වන්නේ නම් එය ප‍්‍රමාණවත්ය. එසේම කැල්සියම් යනු දරුවන් සීග‍්‍රයෙන් වර්ධනය වන අවධියේදී අස්ථි සහ පේශි වර්ධනය ස`දහාත් ඉතා ඉහළ අවශ්‍යතාවයකි. නිසි කැල්සියම් සිරුරට ලැබීම නිසා දරුවන්ගේ අස්ථි සවිමත් වන අතරම අනාගතයේදී ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි ආශ‍්‍රිත රෝග තත්ත්වයන්ගෙන් වැළකීමට එය ඉවහල් වේ.

කැල්සියම් අඩංගු ආහාර වර්ග

  • කිරි සහ කිරි ආහාර
  • බැදගත් කුඩා මාළු බැද කටුත් සමග
  • තද කොළ පැහැති පළාවර්ග
  • මයියොක්කා
  • නෙළුම් අල
  • අර්තාපල්
  • තෙල් සහිත බීජ හා ඇට වර්ග

යකඩ අඩංගු ආහාර වර්ග

  • සත්ව ආහාර (මාළු, මස්, බිත්තර)
  • පියලි අහාර වර්ග
  • තද කොල පැහැති පලා වර්ග (නිවිති, මුරුංගා)

ආහාර වේලෙන් පසු විටමින් සී බහුල ආහාරයක් ලබාගැනීම තුළින් යකඩ හො`දින් සිරුරට අවශේෂණය වීම සිදු වේ.සියලුම ආහාර කාණ්ඩවලට අයත් ආහාරවලින් සමන්විත වූ ආහාර වේලක් ලබා දීම මගින් සියලූම විටමින් ඇතුළු සියලූ පෝෂක දරුවාට ලබාදිමට හැකිය.

වයස අවුරුදු 5 සිට 10 දක්වා දරුවන්ගේ පෝෂණය

එනම් පාසැල් යන වයසේ දරු දැරියන්ය. මොවුන් ක‍්‍රියාශීලී බවින් වැඩි වයස් කාණ්ඩයට අයත් වේ. ඒ නිසාම ඔවුන්ට වඩා හො`ද පෝෂණයක් අත්‍යවශ්‍ය වේ.

  • පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක්
  • විවේක කාලයට පෝෂ්‍යදායී කෙටි ආහාරයක්
  • සිනි, ලූණු සහ තෙල් අධික නොවන අහාර වේලක්
  • සැමවිටම සමබල ආහාර වේලක්

අවුරුදු 10ත් 19ත් අතර යොවුන් වියේ දරුවන්ගේ පෝෂණය

යොවුන් වියේ දරුවන් ස`දහා ශක්තිය, පේ‍්‍රාටීන්, කැල්සියම්, යකඩ හා විටමින් වර්ග වැඩි ප‍්‍රමාණයකින් අවශ්‍ය වේ. වැඩිවිය පැමිණීමත් සමගම අස්ථිවල සහ මාංශපේශීවල ඇතුළුව සිදු වන සීග‍්‍ර වර්ධනය හේතුවෙනි.

ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට වඩා වැඩි යකඩ ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. ගැහැණු දරුවන්ගේ ඔසප් චක‍්‍රය ආරම්භ වීමත් සමගම රුධිරය පිටව යාම නිසා අවශ්‍ය යකඩ ප‍්‍රමාණය සිරුරට නොලැබුණහොත් රුධිරයේ පවතින හිමොග්ලොමින් මට්ටම පහත වැටීම එයට එක් හේතුවකි.

පරිවෘත්තීය වේගය ද මේ වයස් සීමාවන්හිදී ඉහළ යන බැවින් අයඩින්, විටමින් ඒ, සී, බී හා ඞී මෙන්ම පිරිමි ළමුන් සඳහා ශක්ති අවශ්‍යතාවය වැඩි බැවින් විටමින් බී (තද කොළ පැහැති එළවළු, පළතුරු හා පියලි වර්ග) අවශ්‍යතාවය වැඩිය. කැල්සියම් හා විටමින් ඞී නිසි පරිදි සිරුරට ලැබීම නිසා අස්ථි සවිමත්  වී වයස්ගත වන විට ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලින් ආරක්‍ෂා වීමේ හැකියාව ලැබේ.

වැඩෙන දරුවන් තරබාරුව, ක්‍ෂුද්‍රපෝෂක ඌණතා රෝග වැනි තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්‍ෂා කරගැනීමට නිවසේදීම පිසින ලද පෝෂ්‍යදායී සමබල ආහාර රටාවකට දරුවන් පුහුණු කරගැනීමේ වගකීම පැවරෙන්නේ දෙමව්පියන් වන ඔබට බව සිහිතබාගන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණවේදිනියක වන සජීවනි මිරිහාගල්ල මහත්මිය සමග සකස්කරන ලද ලිපියකි.

ඔබේ දරුවාගේ කාමරයත් අවුල් ජාලාවක්ද

ඉගෙනීම සාර්ථක වීමට ඔබේ දරුවා ඉගෙන ගන්න පරිසරය ද බොහෝ දුරට බලපායි. ඒ නිසාම දරුවාට වඩාත් උචිත පරිසරයක් සකස් කර දීම ඔබ සතු දෙයක්. මේ පරිසරය දරුවාගේ මතක ශක්තිය  වර්ධනයට හේතු වන බව තමා බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ. මනස සැහැල්ලුවෙන්, ශරීරයටද වෙහෙසක් ඇති නොවන පරිදි ඉගෙනීමේ යෙදෙන්න මේ පරිසරය බලපානවා. ඒ නිසාම ඔබේ දරුවාගේ  අධ්‍යාපනයට උචිත පරිදි යම් ස්ථානයක් සකස් කර දෙන්නේ කොහොමද කියන්නේ මේ සුදානම.

මේ සදහා,

බාහිර ශබ්ද වලින් තොර පරිසරයක්

උෂ්ණත්වය අඩු සිසිල් සිරුරට සුව පහසු පරිසරයක්

හොදින් ආලෝකය වැටෙන තැනක්

පිරිසිදු වාතය ලැබෙන, ඔහු වඩාත් ප්‍රිය කරන තැනක්  ඉගෙනුම් කටයුතු වල යෙදීමට සුදුසු වේ. එසේම ඉගෙනම් කටයුතු කරන ස්ථානයේ දරුවාගේ ආත්ම විශ්වාසය වැඩි වෙන වදන් ලියා ඔහුට පෙනෙන සේ අලවා තබා ගැනීමට ඔහුට පවසන්න. එනම්,

විද්වතුන්ගේ කියමන් , ආත්ම විශ්වාසය වැඩි වීමට තදින් බලපායි.

ඔහු ලබා ගත් සහතික, පදක්කම් ඔහුට පෙනෙන සේ තබන්න.

ඔබේ දරුවා  අධ්‍යාපනය යෙදෙන පරිසරයේ වර්ණය ද ඉතාමත් වැදගත් වේ. මෙහිදී බිත්ති වලට තද වර්ණ යොදා ගන්න එපා. ලා වර්ණ උචිතය. විද්වතුන්ගේ මතය වනුවේ කහ වර්ණය මතක ශක්තිය වර්ධනයට බලපාන බවයි. එම නිසා එවැනි වර්ණයක් වඩාත් සුදුසුය. එසේම පාඩම් කරන ස්ථානයට ආලෝකය ලැබෙන දිශාවද වැදගත් වේ. ඔබේ දරුවා දකුණු අත ලිවීමට භාවිතා කරන්නේ නම් වම් පසින් ආලෝකය ලැබීම වඩාත් සුදුසු වන අතර ඇතැමුන් වම් අත ලිවීමට භාවිතා කරන නිසා දකුණු පසින් ආලෝකය ලැබීම වඩාත් සුදුසුය.

කාමරය සදහා භාවිතා කරන බල්බයේ ආලෝකය පිළිබදවද සැලකිලිමත් වීම වටි. මන්ද අඩු ආලෝකයක් භාවිතා කරන විට එය ඇසට වෙහෙසකාරී වේ. එසේම නින්ද යෑමේ ප්‍රවණතාවයද වැඩිය. එසේම මෙම බල්බය සහ මේසෙට පවතින දුර ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුය.

පාඩම් කටයුතු වල යෙදෙන ස්ථානය ඉතාමත් පිළිවෙල විය යුතුය. අවශ්‍ය දේවල් හැර ඉතිරි සියල්ල ඉවත් කරන්න දරුවාට කියා දෙන්න. එසේම අවශ්‍ය දේවල් ඉතා ඉක්මනින් ලබා ගත හැකි වන පරිදි රාක්ක වල අසුරා තබන්න. එවිට යම් පොතක් අවශ්‍ය වූ විට ඒ සදහා වැඩි කාලයක් ගත වන්නේ නැත.

එසේම ඉගෙනුම් කටයුතු අවසන් වූ විට ඒවා නැවත පිළිවෙලට තබන ආකාරය ඔබේ දරුවාට කියා දෙන්න. පාඩම් කරන පරිසරය අවුල් ජාලාවක් නම් ඔහුට කිසි දෙයක් ධාරණය වන්නේ නැත. කාල සටහනකට අනුව පාඩම් වල යෙදෙන ආකාරය පිලිබදව දරුවා දැනුවත් කරන්න.

බොහෝ දරුවන් අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගෙන සිටි. ගැහැණු දරුවන්ට වඩා තරමක් පිරිමි ළමුන්ගේ පිළිවෙල බව අඩුය. ඒ නිසාම  අනවශ්‍ය දේවල් ඉවත් කොට අවශය දේවල් පමණක් පිළිවෙලට තබා ගන්න අකාරය පිලිබදව දැනුවත් කරන්න.

ඇතැම් දරුවන්ට මෙවෙනි දේ පිලිබදව නිසියාකාර දැනුවත් බවක් නැත. ඇතැම් රටවල දරුවන්ට කුඩා කල සිටම පිලිවෙට තම කටයුතු වල යෙදෙන අකාරය පිලිබදව පාසල හරහා දැනුවත් කරයි. දරුවා අධ්‍යාපනය ලබන පරිසරය නිසියාකාරව නොමැති විට ඔහුගේ ඉගෙනුම් මන්දගාමී කරයි.

මේ නිසාම දරුවාට ඔබේ උදව් අවශ්‍යයි. කුඩා කල සිටම දරුවන්ට පිළිවෙලකට සිටීම උගන්වන්න. හොද පුරුදු කුඩා කල සිටම කියා දීමෙන් දරුවන් ඒවා දිගටම පවත්වා ගෙන යයි.

ෆේස්බුක් නිසා නොමග යන පාසල් දරුවන්

ෆේස්බුක් කියන්නේ අද කෙල්ලෝ කොල්ලෝ අතර ජනප්‍රිය Social Media එකක්. ඒ හරහා ආදරය, දුක සතුට බෙදා ගන්න ගත වෙන්නේ විනාඩි කිහිපයක් පමණි. කෙල්ලෝ කොල්ලන්ගේ Love එක  Upset වුනාම දුක හෝ හෝ ගාලා post හරහා share කරනවා. ඒ කොහොම උනත් ෆේස්බුක් කියන්නේ නම් නරක දෙයක් නෙමේ. නමුත් මේ පිලිබදව හරි අවබෝධයක් නොමැතිව පාවිච්චි කරන්න ගියොත් නම් වැඩේ අවුල්. ඒක නිසාම තමා මේක ලියන්න හිතුවේ. බොහෝ කෙල්ලෝ කොල්ලන්ට ෆේස්බුක් පිලිබදව හරි හැටි අවබෝධයක් නැති නිසා අද වන ගොඩක් ගැටළු හට ගෙන තියෙනවා. විශේෂයෙන් පාසල් ළමුන්. ඒ නිසාම ඔබේ පාසල් යන දරුවා දැනටමත් ෆේස්බුක් භාවිතා කරනවා ඇති. එසේ නම් දරුවා පිලිබදව ඔබ දැඩිව සැලකිලිමත් විය යුතුයි.

ෆේස්බුක් හරහා තමන් නොදන්නා ඇය සමග මිතුරු කම් පවත්වන්නට ගොස් බොහෝ පාසල් දරුවෝ අසරණ වන අවස්ථා අපි අනන්තවත් දැකලා තියෙනවා. විවිධ කායික රෝග වලින් පෙලෙන වැඩිහිටි පුද්ගලයන්ගේ පහත් ආශා ඉටු කර ගන්නට මේ කුඩා පාසල් යන දරුවන් යොදා ගන්නවා. ඔවුන්ට ජිවිතේ එතරම් අත්දැකීම් නොමැති නිසාම දරුවන් මෙවැනි උගුල් වලට හසු වන්නේ නොදැනුවත්වමය.

මේ වන කල ඇති පර්යේෂණ හරහා සොයා ගෙන ඇත්තේ ෆේස්බුක් හරහා  පෞද්ගලික තොරතුරු ලෝකයට නිරාවරණය කරන්න ගොස් බොහෝ දරු දැරියන් අමාරුවේ වැටෙන බවයි. විශේෂයෙන්ම අසරනකම්, ලිංගික දුබලකම් , ලිංගික අවශ්‍යතා ෆේස්බුක් හරහා කියන්නට යෑමෙන් තමන්ට බරපතල හානි සිදු වන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. අද ලෝකයේ පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ ෆේස්බුක් හරහා පාසල් ළමුන්ට වසරකට සිදු වන හානිය ලක්ෂ 03කටත් වඩා වැඩි බවයි. මේ නිසාම ඇතැම් දරුවන් පාසල් ජිවිතයෙන් සදහටම සමු ගනී.

පාසැල් දරුවන්ගේ පෙම් සබදකම් වලට පමණක් නොවේ ඔවුන්ගේ හැසිරීම් රටාවන්ටද ෆේස්බුක් බලපානු ලැබේ. මේ වන විට පර්යේෂණ හරහා හෙළි වී ඇති අපුරුම කරුණක් වන්නේ දරු දැරියන්ගේ ආහාර පුරුදු පවා ෆේස්බුක් හරහා වෙනස් වී ඇති බවයි. එනම් මේ හරහා හමු වන මිතුරු මිතුරියන්ගේ අදහස් අනුව ඔවුන් තම ආහාර පුරුදු රටාව වෙනස් කර ගෙන ඇති බවයි.

බොහෝ පිරිස් තම ෆේස්බුක් account එකට දමන්නේ තම සැබෑ ප්‍රතිරූපය නොවේ. බොහෝ ලස්සනට කැපී පෙනෙන හින් සිරුරක් ඇති ආකාරයට ජායාරූපය සකස් කරයි. ඉන් පසු තම දැමු ජායාරූපයේ හොද නරක මොනවාදැයි සොයා බලයි. ෆේස්බුක් හරහා ලැබෙන comments පිලිබදව පිරිමි ළමුන්ටත් වඩා ගැහැණු ළමයි ගොඩාක් ලොකුවට ගන්නවා. ඔයා හරිම හොට් කියලා කෙනෙක් කිව්වොත් ඇය ඇග වෙනස් කරගන්න හදන්නේ නෑ. නමුත් තව ටිකක් කෙට්ටු උනා නම් නියමයි කියලා කිව්වොත් එදා ඉදන්ම මේ ළමුන් ඩයට් කරන්න පටන් ගන්නවා කියලා තමා මේ වන විට පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ.

තවත් මෙහි බරපතලම කරුණක් වන්නේ වයස අවුරුදු 15 පමණ වන දරුවන් නිරුවත් ජායාරූප පවා මේ හරහා හුවමාරු කර ගැනීමයි. සමහරු දරුවන්ගේ මේ නිරුවත් ජායාරූප ගෙන ඔවුන් වැරදි වලට පොළඹවා ගන්නවා. මේ නිසාම ෆේස්බුක් භාවිතා කරන පාසල් දරුවන් විෂාදයෙන් පෙලෙන ප්‍රමාණය වැඩියි.

ෆේස්බුක් යනු නරක දෙයක් නොවේ. ඒ හරහා දරුවන්ට බොහෝ දැනුම එකතු කර ගන්න පුළුවන්. නමුත් මෙය නිවැරදිව භාවිතා කල යුතුයි. එහිදී ඔබේ දරුවාගේ පරිගණකය ඔබට පෙනෙන ස්ථානයක තබන්න. ඔහු එය භාවිතා කරන අවස්ථා වල ඔහුට පුර්ණ අවධානය යොමු කරන්න. එසේම මෙය නිවැරදිව භාවිතා කරන අකාරය දරුවාට කියා දෙන්න. මෙහි පවතින භායනක පැතිකඩ පිළිබදවත් ඔහුට පවසන්න.

දරුවන් ස්වාධීන කරමු

දරුවන් යනු දෙමාපියන්ට ඇති වටිනාම සම්පතය. දරුවන් ජීවිතය විජයග්‍රහණය කරමින් ඉහළටම යනු දැකීම සෑම දෙමාපියෙකුගේම සිහිනයයි. දෙමාපියන් දරුවකු කුස පිළිසිඳ ගත්දා සිටම ඔවුන් වෙනුවෙන් කැපව දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කටයුතු කරයි. දරුවන් හැමදාමත් එකම තැන නොසිටියි. දිනෙන් දින ඔවුන් වයසින් මුහුකුරා යයි. දරුවන් වයසින් මුහුකුරා යත්ම ඔවුන් ස්වාධීන කල යුත්තේ දෙමාපියන් විසින්මය. අපි දරුවන්ට මහමෙරක් ලෙස ආදරය කරන නිසාවෙන්ම ඔවුන්ගේ පුංචි පුංචි කටයුතුත් අප විසින්ම සිදුකරදීම තුලින් ඔබ දරුවාට සිදු කරන්නේ බරපතල අසාධාරණයකි. දරුවන්ට සමාජය තුල දෙපයින් නැගී සිටීමට නම් ඔවුන් ස්වාධීන විය යුතුය. ඔවුන්ට ජිවිතය පුරාවටම ඔබේ සෙවනැල්ල යටම ජීවිතය ගෙන යා නොහැකිය. ඔබටද ඔවුන්ට සැමදා සෙවණක් විය නොහැකිය.

මට වසර හතක් අටක් පමණ වියේ සිටම බොහෝ විට මගේ කටයුතු මවිසින්ම සිදු කරගත් බව මට මතකය.  නමුදු මෑතක් වනතුරු මගේ පුතුට එසේ කල නොහැකි විය. කෙටියෙන්ම කිවහොත් මෑතක් වනතුරුම ඔහුට තනිවම බත් පත කෑමට හැකියාවක් නොතිබුණි. බත් පතෙහි තැනින් තැනින් ආහාර අනුභව කළ ඔහුව වෙනස් කිරීමට මට සෑහෙන්න පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. වරද තිබුණේ පුතු අත නොව මා අත හා අත්තම්මා අතය. වැඩි සෙනෙහසට ඔහුට බත් කැවීම කළේ අපමය.පාසල නිමව නිවසට ආ පසු බෑගය එක තැනකය, සපත්තු සාලය මැදය ,මේස් රෝල් කර පුටු යටය. පෙර පාසල් යන අවදියේ සිටම මේවා පිළිවෙලට තැබීම ඔහුට හුරු නොවුණේ ඒ සිය`ඵම කාර්්‍යයන් අත්තම්මා නොපිරිහෙළා ඉටු කර දුන් බැවින්ය. දැන් ඔහුට පිළවෙල කියා දීම අසීරුය.

“අම්මේ ටොයිලට් ගිහින් ඉවරයි හෝදන්න එන්න”

“මම එන්නෙ නැහැ ඔයා සෝද ගන්න.”

“ඊයා අනේ මට බෑ ”

“ඊයා කිව්වට වැඩක් නැහැ මම එන්නෙ නැහැ.”

සතියක් පමණ වනතුරුම නාහෙන් අඬමින් ඒ රාජකාරිය පුරුදු වූ නිසා දැන් ඒ රාජකාරිය තනිවම කරගන්නට පුරුදු වී ඇත.

“අද මාර වැඬේ. වුණේ දක්ෂිණ ටොයිලට් යනවා කියලා ගිහින් ගොඩක් වෙලා ආව නැති නිසා ටීචර් මට බලලා එන්න කිවිවා. මම යන කොට ටොයිලට් එක ඇතුලෙ ඉඳගෙන දක්ෂිණ හොඳමට අඬනවා.”

“ඒ ඇයි ?”

“එයාට කක්කි ගිහින් සෝද ගන්න බැරිව තමයි අඬලා තියෙන්නේ. ඊට පස්සේ ටීචර් නාලනී ඇන්ටිට කියලා එයාව සේදුවා”

“ඒක තමයි මම ඔයාට පුරුදු කළේ නැත්නම් ඔයාටත් ඔහොම අඬ අඬ තමා ඉන්න වෙන්නේ යැයි මම පැවසුවෙමි.”

උදෑසන පාසල් යන්නට පුතා ලෑස්ති වෙන්නෙ තනිවමය. දැන් ඔහුට පිළිවෙලට කන්නට හැකියාවක් ඇත. පොඞ්ඩාටගත් දෙය ගත් තැනික් තැබීම පුරුදුව ඇත. දරුවන් කුඩා කළම නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම පහසුය. තවම පොඩියිනේ ලොකු වුණාම බැරියැ ලෙස සිතමින් සිටියහොත් දරුවන් නිවැරදි ලෙස හැඩගස්වා ගැනීම අපහසුය.

දරුවන් අතර නිතර අඩදබර වල නම් අඩුවක් නැත. එහෙත් ඔවුන්ගේ රණ්ඩු වලට අප මැදිහත් වූ විට තත්ත්වය තවත් උග්‍රවේ. එක් දරුවකුගේ පැත්තට කතා කළ විට අනෙක් දරුවාගේ සිත රිදෙයි. ආදරය පිළිබඳ ගැට`ඵ රාශියක්ද දරුවන්ට ඒ සමඟම ඇතිවේ. එහෙයින් පැත්තක සිට ඔවුන්ට නොදැනෙන්නට අවධානය යොමු කිරීම මිස ඒවා වලට මා දැන් දැන් මැදිහත් වන්නේ නැත.

“ඔයාලගේ ප්‍රශ්න ඔයාලම විසඳගන්න ” යන්න මගේ එකම විසඳුම බැවින් අයියා මලෝ ප්‍රශ්න තනිවම විසඳා ගනියි.

මගේ පාසල් සමයේ හොඳම යෙහෙළිය දැන් එක් දරු මවකි. එහෙත් ඇයට තවමත් හරි හැටි තේ එකක්වත් පිළියෙල කළ නොහැකිය. සැමියාට උදෑසන තේ එක පවා තවමත් පිළියෙල කරදෙන්නේ ඇගේ මවය. අප උසස් පෙළ කරන කාලයේ ඇගේ සුදු ගවුම් පවා සෝදා මැද දුන්නේ ඇගේ පියාය. තනිවම වැඩ කර ගන්න පුරුදු වෙන්න යැයි කියා එදවස් වල මම ඇයට කොතෙකුත් පවසා ඇත්තෙමි.

“එකම කෙල්ලනෙ තව ටික කාලෙකින් වෙන ගෙදරකට යනවනේ ” ඇගේ අම්මා කීවේත් එසේමය.

වෙන ගෙදරකට යන නිසාවෙන්ම තේ එකක් පිළයෙල කරගන්නට බතක් මා`ඵවක් උයාගන්නට දියණියකට මෙන්ම පුතෙකුටද පුහුණු වී තිබීම අපතේ නොයනු ඇත. අම්මා රැකියාව කළ නිසා බොහෝ විට අප බලා කියා ගත්තේ ලොකු අක්කාය. බත් කෑ පසු පිඟාන අප විසින්ම සේදිය යුතුය. අපේ ඇඳුම් අපම සෝදා ගත යුතුය. ගෙවල් අස්පස් කර අතු ගා පිරිසිඳු කල යුතුය. අප  අස්පස් කල නිවසම ඇය නැවත අස්පස් කරයි. බොහෝ විට ඇයට විරුද්ධව අම්මාට කේලම් කීවද ඉන් අපට සහනයක් නොවීය. යන්තම් අවුරුදු අටක් නමයක් වන විට පොඩි අක්කාටත් මටත් පරිප්පුවක් උයන්න සම්බෝලයක් හදා ගන්නට තේ කෝප්පයක් පරිස්සමට පිළියෙල කරන්නට හැකියාව ලැබුණි. අප සෝදන ඇඳුම් වල කිලිටි හරි හැටි නොයන නිසා ලොකු අක්කා ඒවා නැවත අපට හොරෙන් සෝදන බව අප දැන ගත්තේ අපට අවුරුදු 12ක් 13ක් පමන වූ පසුය. සත්තකින්ම ලොකු අක්කා කළේ අපව ජීවිතයට පුරුදු කරවීමකි.

ජිවිතයේ බොහෝ දේවල් තනිවම කරගන්නට මට හැකි වුයේ කුඩා අවදියේ සිටම මා තනිව මගේ වැඩ කටයුතු කරගත් නිසා බව මම විශ්වාස කරමි. සමාජය හා ගැටෙන විට විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට සිදුවේ. ඒ සඳහා අපට පුහුණුවක් තිබිය යුතුමය. අපේ කාර්්‍යයාලයේ වයස අවුරුදු 19 නැගණියක් සේවය කළාය. ඇයට පවරා තිබුණේ බැංකු කටයුතු කිරීමය. බැංකුවට යන්නට කියන සෑම වාරයකම ඇය හඬා වැටෙයි. දුරකථනය ගෙන මදක් දුරට යන ඇය ඇමතුමක් ගනියි. ඇය බැංකුවට යන සෑම අවස්ථාවකම ඇයගේ මව බැංකුව වෙත පැමිණෙන බව අප දැන ගත්තේ පසුවය.

“අනේ අක්කේ මම කවදාවත් බස් එකකවත් තනියම ගිහින් නැහැ ඇත්තටම මට තනියම වැඩක් කරගන්න බැහැ.” වරද කාගේදැයි ඔබට වැටහෙනු ඇත.

කුඩා කල සිටම දරුවන්ට වගකීම් දරමින් ස්වාධීන වන්නට ඉඩ හරින්න. එවිට ඔවුන්ගේ ජිවීත ඔබ සිතනාකාරයටම පැහැබර වනු ඇත.