ඔබගේ ගර්භණි උදරය විවිධ ස්ථාන වල ගැටෙනු ඇතැයි සිතමින් ඔබ බියකින් පසුවන්නේද?

ගර්භනී සමය ලංවත්ම, මවක් වීමට බලාපොරොත්තු වී සිටින මව්වරුන් තම වැඩෙන උදරය විවිධ ස්ථාන වල ගැටීමෙන් ආරක්ෂා වීම සඳහා ඉතා සංයමයෙන් කටයුතු කරයි. නිතරම තම උදරය අනාරක්ෂිත ස්ථාන වල ගැටෙනු ඇතැයි ගැබිනි මවකට බියක් පහල වීම සාමාන්‍ය දෙයකි. ශරීරයේ බර වැඩිවීම හා සන්ධි වල ඇතිවන ලිහිල් බව හේතුවෙන් සමහර අවස්ථාවලදී මවකට තම සමබරතාවය පවත්වා ගැනීම අසීරු විය හැක. මේ හේතුවෙන් වැඩෙන ගර්භනී උදරය පිළිබඳ ඇය දැඩි ආරක්ෂාවකින් පසු වන්නීය.
ප්‍රවීණයින් මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද?
Allegeheny විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ සහකාර ආචර්යවරයා ලෙස සේවය කරන ඔවන් මොන්ට්ගෝමරි මහත්මයාට අනුව ගර්භනී මව්වරුන් තම වැඩෙන උදරය අනෙකුත් දේවල් වල මද ලෙස ගැටීමෙන් හෝ කුස තුල සිටින දරුවා පයින් පහර දීමෙන් තමාට දැනෙන පීඩනය පිලිබඳ කිසිසේත් බිය විය යුතු නැත. මන්ද ස්වාභව ධර්මයා ඔබේ ශරීරය කලලය සඳහා සූදානම් කර ඇත්තේ වැඩෙන දරුවාට සුරක්ෂිත පරිසරයක් ලැබෙන අයුරිනි. ඇම්නොයෝටික් ද්‍රව පිරුණු කෝෂයක හැදෙන කලලය එය වටා ඇති උදර හා ගර්භාෂයේ පේශි වලික් ආරක්ෂා වේ. මීට අමතරව, පපු කුහරය, කශේරුකාව හා ශ්‍රෝණිය වැඩෙන දරුවාට නිසි ආරක්ෂාව සපයයි.
කෙසේ වෙතත් ඔබගේ උදරය වේගයන් කිසියම් දෙයක හෝ තවත් පුද්ගලයෙකුගේ ශරීරයත් සමඟ ගැටුනේ නම් ප්‍රසව වෛද්‍යවරයකු හමුවීම යහපත්ය. ඔබගේ ගර්භයේ හෘද සපන්දන වේගය පරික්ෂා කිරීමෙන් පසු තත්ත්වය බරපතල නම් (දරුවාගේ ක්‍රියාකාරිත්වය පෙරට වඩා අඩු නම්) වැඩි දුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබව යොමු කරවයි. ඔබගේ යෝනි මාර්ගයේ ලේ වහනයක් සිදුවන්නේ නම්, පේශි වල පෙරළීමක් සිදුවන්නේ නම් හෝ පැය 12ක් ඇතුලත මාංශ පේශි වල සංකෝචනයක්/ලිහිල් වීමක් ඇති වනවා නම් වහාම ඔබගේ ප්‍රසව වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

ඝට්ටනය වීම් වලට අමතරව ලිස්සා වැටීමෙන් සිදුවිය හැකි අවාසනාවන්ත සිදුවීම් වලින් ගර්භණී මව්වරුන් ආරක්ෂා විය යුතුය. දියවන හිම, ලිස්සෙන මතුපිටක් සහිත, ඝර්ෂණය අඩු අලුතින් වැක්ස් කරන ලද, පොලිශ් කරන ලද පොලවක් මත පය තබන්නට පෙර ප්‍රවේසම් වන්න. අඩි උස, පටු පත්ලක් ඇති සපත්තු දැමීමෙන් වළකින්න. හැකි පමණින් ඔබට පහසු, පැතලි, මනා ඝර්ෂණයක් සහිත අඩියක් ඇති සෙරෙප්පු පළඳින්න. පඩිපෙල නැගීමේදි අත් වැල භාවිතා කරන්න. නාන තටාකයට යෑමේදි ප්‍රවේශම් වන්න. බඳ පටිය ඔබගේ උදරයට පහත ඇති උකුල් ප්‍රදේශයෙන් හා උරහිස් පටිය පයොධර මැදින් යන ලෙස පළන්ඳින්න. මෙවැනි ක්‍රියා මාර්ග අනුගමනය කරන ඔබට ගර්භණී කාලේයේදි ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂා විය හැකි අතර සුරක්ෂිත ප්‍රසවයකට සූදානම් විය හැක.

ඔබ දරුවන් හදා වඩා ගැනීමේදි පුනාරක්ෂණය හා ආත්ම විෂ්වාසය කෙරෙහි සැලකිලිමත්වනවාද?

මීට සති කිහිපයකට ඉහතදී මම මහනුවර ශ්‍රී දළඳා මාලිගය අසල ඇති වැල් බෝධිය වෙත ගියෙමි. බොහෝ දෙනා විශ්වාස කරන අන්දමට අනුව මෙම බෝධියෙහි විවිධ බලවේගවලින් ඔබව ආරක්ෂා කල හැකි හාස්කම් බලයක් ඇත.
මෙම ගස පිහිටා ඇත්තේ භූමියෙන් අඩි 10ක් පමණ උසින් පිහිටා ඇති ශෛලමය පවුරක් වටාය. බෝ මළුව වෙත යාම සඳහා පිය ගැට පෙලක් ඇති අතර මෙම බෝධිය වසර 300 ක හෝ 400කට වඩා පැරණි යැයි විදවතුන්ගේ මතයයි.  දෙපසින් මැනවින් විසිරී ඇති බෝධියේ සම්හරක් අතු අඩි 4 පමන උසින් වූ කෘතිම ආකෘතියකින් ආරක්ෂා වේ. මෙය පිහිටා ඇත්තේ බෝධිය වටාය.

මා පෙර සඳහන් කල ආකාරයට, බොහෝ වන්දනාකරුවන් රෝග වලට සුවය පතා හෝ ග්‍රහ දෝෂ වලින් ආරක්ෂා වීම සඳහා ඇස් වහ කට වහ දුරු කරවීමට ඇති සෙත් කවි කියමින් සමහර උදවිය මෙම බෝධියේ ආශිර්වාදය පතයි. බෝධිය වටා ඇති දහස් ගණන් පඬුරු හා වතුර මුට්ටි මෙහි ඇති හාස්කම් බලය කෙරෙහි මිනිසුන් දක්වන විශ්වාසය පිළිබඳ සාක්ෂි දරයි.

මා එහි ගිය අවස්ථාවේදි බෝධිය අසල බොහෝ පිරිසක් රැස්ව සිටි අතර මගේ අවධානය එක් විශේෂ මවක් හා දරුවකු වෙත ඇදී ගියේය. අන් වන්දනාකරුවන් මෙන් මෙම මා දරු දෙපල සෙත් පතා සියලු වතාවත් සිදු කර තිබුණි. එක් මොහොතකදී මව, අවුරුදු 4ක් හෝ 5ක වයසේ පසුවුණු තම පුතණුවන් ව වඩාගෙන බෝධියේ භාර වූ කොඩි වැලක් ගැට ගස්වා එම අත්ත හිසෙන් ස්පර්ෂ කිරීමට සලස්වන දසුනක් මාගේ ඇස් ගැටිනි. එම මව තම දරුවාගේ පාලනය කල නොහැකි දඩබ්බර බව සමනය කිරීම සඳහා එම පූජාව සිදු කර ඇති බව කොඩියේ ලියා තිබූ දෙයින් හා මව තම දරුවාට කතා බස් කල ආකාරයෙන් හැඟී ගියේය.

එම අත්ත බෝධිය වටා ඇති පවුරේ මායිම අසල පිහිටා තිබූ අතර මව එතන රැඳී සිටියාය. තම පුතණුවන් එම අත්ත ඇල්ලීමට තරම් උසක පසු නොවූ හෙයින් මව දරුවාව වඩාගෙන එම කර්තව්‍ය කිරීමට උත්සාහ ගත්තාය. නමුත් දරුවා අදි මදි කරමින්, තමාව බිමින් තබන ලෙස මවගෙන් කන්නලව් කලේය. කිහිප වේලාවකින් මව හා කුඩා දරුවා අතර ඇති වූ අරගලය දරුණු වචන හුවමාරුවක් බවට පත් වුණි. කුඩා දරුවාගේ අඳොනාව පූජා අඩවිය දෙවනත් කලේය. මින් කෝපයට පත් මව දරුවාට බැන වැදිමින් බලෙන් එම වතාවත් සිදු කරවීමට තැත් කල අතර එය සාර්ථක ප්‍රයත්නයක් නොවුණි. පියා කිසිදු දෙයක් නොකර අසලට වී බලා සිටියේය.

මෙම සිදුවීම පූජා ස්ථානයේ සාමකාමි පරිසරය බිඳ දැමූ අතර අනෙකුත් වන්දනාකරුවන්ගේ අවදානය වෙනත් දෙයකට යොමු කලේය. මෙය දෙමාපියන්ට ඉතා අවාසනාවන්ත අත්දැකීමක් බවට පත් වූ අතර තම දරුවාට යහපතක් පතා බෝධියේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි දෙමාපියන්ට සිදුවූයේ අවසානයේදි දරුවාට බැන වදිමින් ලේ කෝප කරගැනීමයි.

මෙයින් මම එක් පාඩක් උගත්තෙමි. මෙහිදි සිදු වී ඇත්තේ දඩබ්බර, අවිනීත හැසිරීමක් සහිත දරුවකුව පාලනය කිරීම සඳහා ඔහුගේ දෙමාපියන් හට කෙනෙකු මෙසේ ආගමික වතාවත් කරන ලෙස අවවාද කිරීමයි. මා ග්‍රහ අපල හා වෙනත් ආගමික වතාවත් කෙරෙහි විශ්වාසය තබන නමුත් මෙතනදි සිදුව ඇත්තේ මව තම දරුවාගේ හැසිරීම කෙරෙහි කිසිම ලෙස සංවේදි බවක් නොදැක්වීමයි. ඔවුන් පූජා කටයුතු සිදු කිරීමට මූලික වූ හේතුව නොසළකා හරින්න. මෙම කුඩා දරුවා පුන පුනා කියා සිටියේ තමාව බිමින් තබන ලෙසටය. උස් ස්ථාන වලට ඇති බිය නිසා මෙසේ තමාව වඩා ගැනීම දරුවා ප්‍රතික්ෂේප කරන ලදී. දරුවාගේ උස සමඟ මෙම පවුරේ උස සසඳන කල ඔහුට බියක් පහල වීම සාධාරණය.  මට මෙම අවස්ථාවේදි පැහැදිලි වූ කරුණක් වන්නේ දරුවාට තම මව තුල කිසිදු විශ්වාසයක් නොමැති බවයි. වඩා ගන්නට දරුවා ඇයට ඉඩ නොදුන්නේ අම්මා අතින් තමා බිමට වැටෙයි යන බිය නිසාවෙනි. මීට මව ප්‍රතිචාර දුන්නේ අනපේක්ෂිත අන්දමකටය. ආදරයෙන් හා කරුණාවෙන් “බබා බිමට වැටෙන්නෑ, මම ඔයාව තදින් අල්ල ගෙනයි ඉන්නේ” යනුවෙන් පවසනවා වෙනුවට මව සිදු කලේ බලෙන් දරුවාට බැන වදිමින් එම කාර්යය කරන ලෙස අවවාද කිරීමයි. කෙතරම් ආගමික වතාවත් සිදු කලත්, මවක් ලෙස ඔබට තම දරුවා තුල තමා කෙරෙහි විශවාසයක් ගොඩ නගා ගත නොහැකි නම් හෝ තම දරුවාගේ හැඟීම් කෙරෙහි සංවේදි බවක් නොදක්වන්නේ නම් දරුවන් තුල ඇති අයපත් හැසිරීම වළක්වා ගැනීම අසීරු කාර්යයක් විය හැක.

දැන් ඔබ ඉහත සිදුවීම මදකට අමතක කරන්න. ඔබ කවමදාවක “මගේ පුතා හා දුව මා කෙරෙහි විශ්වාසයක් තබා ඇත්තේද” යන ප්‍රශ්නය අසා ඇත්ද? ඔවුන්ව වඩා ගැනීමේදි, ඔංචිල්ලාවේ තබා පැද්දවීමේදි, කර මත තබා විනෝද වීමේදි ඔබගේ දරුවා හැසිරෙන්නේ කෙසේද යන්න සිතා බැලුවේද?
මට තවමත් මතකයි, මා අවුරුදු 3ක් පමණ වූ කුඩා කාලයේදි මා හට ලිස්සෙන බෝට්ටුවේ යාමට බියක් පහල වුණි. එහිදි මාගේ පියා එසේ බිය නොවන ලෙසත් ඔහු මා සමඟ අසලින් සිටින බවටත් පවසා මා ධෛර්‍යමත් කලේය. අපගේ දෙමාපියන් නිරන්තරයෙන්ම කරුණාවන්ත වදනින් අපව ධෛර්යමත් කල අතර අප තුල ඇති බිය පහ කරමින් අප අසලින්ම සිටියහ.

ඔබ කුඩා කාලයේදි නින්දට යාමට පෙර දෙමාපියන් ඔබට පැවසු දේවල් සිහියට නැඟෙනු ඇත. අප වයසින් වැඩෙත්ම මෙසේ දෙමාපියන් අපට පැවසු ඒ පණිවිඩය සත්‍යක් බව අපට කෙමෙන් කෙමෙන් තහවුරු වේ. එනම්, ලෝකයා අපට අනන්තවත් ලෙස කරදර කලත්, අපගේ දෙමාපියන් අපව කිසිම හෙයකින් අත් නොහරින යන දැඩි විශ්වාසයයි. ඔබ පවුලේ අවිනීතම දරුවා විය හැකි වුවත්, ඔබේ දෙමාපියන් ඔබ අසරණ වූ කල ඔබට පිහිට වනු නොඅනුමානයි.

කුඩා කාලයේදි ආත්ම-විශ්වාසයක් හා සුරක්ෂිත හැඟීමකින් හැදුනු වැඩිහිටියකු සහ එවැනි ළමා කාලයක් නොලැබුණු වැඩිහිටියකු අතර විශාල වෙනසක් ඇත. මෙය ජීවිතයේ වැදගත් තීරණ ගැනීමෙහි ලා පුද්ගලයකුට අවශ්‍ය වන ගුණාංගයකි. සමාජයත් සමඟ විශ්වාසවන්ත ලෙස කටයුතු කිරීමටත්, සම්බන්ධතා ගොඩ නැගීමටත්, අසරණ අවස්ථාවලදී ඊට ශක්තිමත් මනසකින් මුහුණ දීමටත් අවශ්‍ය අඩිතාලම පුද්ගලයෙකුට ලැබෙන්නේ ඔහු/ඇය කුඩා කාලයේදි ප්‍රගුණ කරන ලද ආත්ම විශ්වාසයයි.

මෙවන් පුද්ගලයින්ට දිගු කාලින තීරණ ගත හැකි අතර ඔවුන් යහපත් මානසික සෞඛ්‍යයකින් පසුවෙති. කෙසේ වෙතත් මෙහිදි ඔබ දැනගත යුතු වැදගත් කරුණ නම්, “බය වෙන්න එපා, අම්මයි තාත්තයි ඔයත් එක්ක හැමතිස්සෙම ඉන්නව” යනු දරුවාට ඔහු කැමති ඕනැම දෙයක් කොට , නොමනා වැරදි වලින් ඔහුව ගලවා ගැනීමට මග පාදන කියමනක් නොවන බවයි. මෙහිදි ඔබ දරුවාට අවධාරණය කල යුත්තේ දරුවාගේ දුකේදි හා සැපේදි මව්පියන් ඔවුන් සමඟ සිටින බවත් අසාර්ථක වූ අවස්ථාවල එම ප්‍රශ්න විසඳීම සඳහා දෙමාපියන් ඔවුන්ට උපකාරි වන බවත් ය. “ඔයා මගේ පුතා, මං ඔයාට ගොඩක් ආදරෙයි. පුතාට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ” යනුවෙන් පැවසීම දරුවා තුල ආත්ම-විශවාසයක් හා සුරක්ෂිත බවක් ගොඩ නැගීමට ඉමහත් ලෙස ඉවහල් වේ.

හැකි පමණින් ඔබ දරුවන් සමඟ කතා බස් කරන්න. ඔවුන්ව ළමා උද්‍යානයකට හෝ මුහුදු වෙරළකට රැගෙන යන්න. ඔවුන් සමඟ පිහිනන්න. ජීවිතයේ අභියෝග ජයගන්නට ඔවුන් සමඟ එකතු වී අත්දැකීම බෙදා හදා ගන්න. දරුවාට තනිකමක් දැනෙන්නට කිසිමදාවකවත් ඉඩ නොතබන්න.

මෙවැනි කුඩා දේවල් වර්තමානයේ දෙමාපියන් නොසළකා හරිති. වගකීමක් සහිත දෙමාපියන් ලෙස දරුවකු හදා වඩා ගැනීම දරුවාට දිවයිනේ හොඳම පාසලයට යවනවා හෝ, මිල අධික ස්මාට් ෆෝන්, සෙල්ලම් බඩු අරන් දෙනවාට වඩා ගැඹුරු කර්තව්‍යයකි.

මව හෝ පිය කිසිමදාක ඔහුව/ඇයව තනි වන්නට ඉඩ නොදෙන බව පවසා දරුවා තුල සුරක්ෂිත හැඟීමක් ගොඩ නංවන්න. මෙවැනි මානසික සත්කාර ගෝලියකරණයට ලක්වූ වේගයෙන් වර්ධනය වන සමාජයේ පුරවැසියන් හට අත්‍යවශ්‍ය අඩිතාලමක් සපයයි.

මවක් විමට ඔබත් සුදානම් ද?

ඕනෑම කාන්තාවක් විවහා දිවියට පත් වූ දා සිට සිහින මවන්නේ මවක් වීමටය.මවක් විම සෑම කාන්තාවකගේම සිහිනයක් වුව ද එකී මාතෘ ධුරයට හිමිකම් කීමේ වාසනාව උදා වෙන්නේ කිහිප දෙනෙකුට පමණි.කෙසේ වෙතත් මවක් වීමට සුදානම් වන විට සැලකිලිමත් විය යුතු කාරණා ගණනාවකි.

බිය විය යුතු නැත

කාන්තාවක් ගර්භනී වූ විට ඇය තුල ප්‍රසූතිය පිලිබදව අනියත බියක් හට ගැනීමක් දක්නට ලැබේ.විශේෂයෙන්ම පළමු දරුවා බිහි කිරීමට සුදානමින් සිටින සමයේ දී මෙය දැකිය හැකි තත්වයකි.සත්‍ය වශයෙන්ම මෙය නොපැවතිය යුතු බියකි.ඇතැම් විට මෙම බිය ප්‍රසුතියට හානිකර අන්දමින් බලා පෑ හැකිය.ප්‍රසුතිය සම්බන්ධයෙන් මව නිසි පරිදි දැනුවත්ව සිටින්නේ නම් මෙවන් ගැටළු ඇති වීමේ අවධානම් හට නොගනී.

වසරකට ලොව පුරා මාතෘ මරණ 585000ක් සිදු වන අතර මින් 99%ක්ම සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් වල බව අප අමතක නොකළ යුතුය.එනම් මෙමගින් පැහැදිලි වන්නේ සෑම මිනිත්තුවකට වරක්ම ලොව කොතැනක හෝ මාතෘ මරණයක් සිදු වන බවය.ඒ අනුව වසරකට ලොව පුරා උපදින දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත් වේ.මේ නිසාම ගර්භනී සමය ඉතා වැදගත්ය.

ඔබේ වයස ද වැදගත්

දරුවෙකු මෙලොවට බිහි කරන විට මවගේ වයස ද බලපානු  ලබයි.මන්ද දරුවාගේ නිරෝගී භාවයට මවගේ වයස ද අනියම් අන්දමින් බලපාන බව මේ වන විට සොයා ගෙන ඇත.සාමාන්‍යයෙන් පළමු දරුවා ලැබෙන විට මවගේ වයස අවුරුදු 40 ඉක්මවා තිබෙන විට බිහි වන දරුවාගේ මානසික වර්ධනය හා සම්බන්ධව ගැටළු ඇති වීමට ඉඩ තිබේ. Down’s Syndrome (මන්ද බුද්දික) නමින් හදුන්වන දරුවන් ලැබීම කෙරෙහි ද මවගේ වයස බලපානු ලබයි.මෙවන් දරුවන් බුද්ධි මට්ටමින් හීනය.වයස අවුරුදු 40 ඉක්මවන විට දියවැඩියාව,හදවත් රෝග වැනි තත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩ පවතින අතර විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබන තත්වයක් ඔවුන් පසු වේ.

මවගේ වයස වැඩි වීම මෙම ඉතා ලාබාල මවක් විසින් බිහි කරන දරුවන් අතර ද විවිධ ආකාරයේ ගැටළු ඇති වීමට ඉඩ තිබේ.සාමාන්‍යයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 20-21 පමණ වන තෙක්   ඇගේ ප්‍රජනන පදධතියේ වර්ධනය සිදු වේ.එහි වර්ධනය දරුවෙකු දැරීම සදහා අවශ්‍ය මට්ටමින් සිදු වන්නේ වයස අවුරුදු 20-22 පමණ වන විටදීය.ඊට පෙර ඇගේ ගර්භාෂය තුල දරුවෙකු පිළිසිද ගත්ත ද එම දරුවා වර්ධනය වීමට සහ නියමිත කාලයෙන් පසු දරුවා බිහි විමට අවශ්‍ය පරිදි ඇගේ ප්‍රජනක පද්ධතිය වර්ධනය වි නොතිබීම හේතුවෙන් එම දරුවා තුල විවිධ අකාරයේ ගැටළු පැන නැගේ.එනම් නොමේරූ දරුවන් බිහි වීම,බුද්ධි මට්ටමින් හීන දරුවන් බිහි විම ආදී තත්වයන් දැකිය හැකිය.

රෝග පිලිබදව සැලකිලිමත් වන්න

ගර්භනී සාමය තුල සරම්ප,පැපොල.කම්මුල්ගාය,දියවැඩියාව වැනි රෝග මවට වැලදුනහොත් එය කලලයට අහිතකර බලපෑම් ඇති කරයි.ජරම්න් සරම්ප වැළදුණු මවකට බොහෝ දුරට මල දරු උපතක් සිදු විය හැකිය.උපදින දරුවා ජිවත් වුවත් ඔහු අන්ධ බිහිරි දරුවෙකු විය හැකිය.මේ නිසාම බොහෝ  ffjoHjreka විවාහයට පෙර ජර්මන් සරම්ප එන්නත ලබා ගැනීම සුදුසු යැයි නිගමනය කොට ඇත.

සතුටින් සිටීම වැදගත්

ගර්භනී සමයේ මවගේ සිතුවිලි පවා වැදගත් වේ.මව නිතර නිතර දුකින් කනගාටුවෙන් පසුවන්නේ නම් දරුවාගේ ස්නායු පද්ධතියේ දුර්වලතා සදහා බලපානු ලබයි.මව සතුටු වන සැම මොහොතකදීම දරුවා සතුටු වන බව පර්යේෂණ හරහා සොයා ගෙන ඇත.මේ නිසාම මවක් නිතරම සතුටින් සිටීම ඉතා වැදගත් වේ.

මවක් වීමට සිහින මවන ඔබ සහ ,දරු ප්‍රසුතියට සුදානම් වන ඔබ ද මෙවෙනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වටි.

දරුවෙකුගේ වර්ධනයට දිය යුතු හොදම ආහාරය මව්කිරි බව ඔබ දන්නවා ද?

දරුවෙකුගේ අහාර වේල පිලිබදව මවක් සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.දරුවෙකුට අහාර දීම පාලනයක් සහිතව කල යුතුය.දරුවාට අවශ්‍ය පමණට පෝෂ්‍යදායි අහාර නොලැබුණු විට ඔහු මන්ද පෝෂණ තත්වයෙන් පෙළිමට ඉඩ ඇතිවා මෙන්ම දරුවාට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අහාර ලැබීමෙන් ඔහු අධ්ක ලෙස තරබාරු වීමට ඉඩ තිබේ.අධික තරබාරුකම නිසා කායික,මානසික,සහ සමාජයිය ගැටළු පැන නැගිය හැකිය.

දරුවෙකුගේ නිසි අහාරය සදහා දිය යුතු හොදම ආහාරය  වන්නේ මව්කිරිය.උපතේ සිට මාස 06ක වන තෙක් දරුවෙකුට මව්කිරි හැර වෙනත්  ආහාර ලබා දීම අවශ්‍ය නොවන බව විශේෂඥ මතයයි.උපතේ සිට පළමු මාස 06ක කාලය තුල මව්කිරි පමණක් දීමට මව්වරුන් වග බලා  ගත යුතුය.දරුවාට මාස 06ක් වන තෙක් ඔහුගේ ශරීරයේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂණ මව්කිරි වලින් ලැබෙන බව විද්‍යාග්‍යයන් පෙන්වා දේ.ඒ නිසා මාස 06 වන තෙක් අතිරේක අහාර පිලිබදව සිතා බැලීම අවශ්‍ය නොවේ.අවම වශයෙන් දරුවා ඉපදී විනාඩි 30ක කාලයක් ඇතුලදීවත් මව්කිරි දීම ආරම්භ කල යුතුය.ළදරුවාට මව්කිරි දිය යුත්තේ ඔහුට අවශ්‍ය විට දි පමණි.ඒ සදහා කිසි විටෙකත් කාල සටහනක් තබා ගැනීම අවශ්‍ය නැත.දරුවා ඉල්ලා සිටින සෑම අවස්තාවකදීම මව් කිරි ලබා දීමට මවක් වග බලා ගත යුතුය.

දරුවාගේ වර්ධනයට මෙන්ම ඔහුට සෙල්ලම් කිරීම සදහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටද සතුටින් සිටීම සදහා ද අහාර දිය යුතුය.පස්වන මාසයේ ආරම්භයේ සිට අර්ධ ඝන අහාර සහ පලතුරු දිය හැකිය.එම ආහාර  මුල් වරට දරුවාට ලබා දෙන අතිරේක ආහාර වන හෙයින් ඒවා දිරවීමට පහසු සැහැල්ලු අහාර විය යුතුය.මේ සදහා හොදින් පොඩිකල බත් සුදුසුය.ආරම්භයේදී මෙම අතිරේක ආහාර ඉතා කුඩා ප්‍රමාණයකින් ආරම්භ කල යුතු අතර ක්‍රමයෙන් එම ප්‍රමාණය වැඩි කල හැකිය.

ඒකාකාරී බව මග හැරිම සදහා දරුවාගේ වර්ධනයත් සමගම ආහාර වල විවිධත්වයක් ඇති කිරීම වඩාත් සුදුසු වේ.දරුවාගේ වයස මාස 09ක් පමණ වන විට සකස් කල යුතු ආහාර වේල අවම වශයෙන් 04ක් වත් දිය යුතුය.අවුරුද්දක් පමණ වන විට පවුලේ සෙසු සාමාජිකයන්  ගන්නා ආහාර දරුවාට දිය හැකි අතර මෙහි දී එම ආහාර වලට  එකතු කරන විවිධ කුළුබඩු ප්‍රමාණයන් අඩු කිරීම සුදුසුය.හැකි සෑම විටම දරුවාට දේශීය ආහාර ලබා දීමට දෙමවුපියන් උත්සහා කල යුතු අතර ආහාර වේල අතර දී විස්කෝතු,චෝකලට් සහ වෙනත් බීම වර්ග දීමෙන් වැලකි මව්කිරි දීම වඩාත් සුදුසු බව බොහෝ විද්‍යාග්‍යයන් ගේ මතයයි.

නිසි පෝෂණය ලබා දීමෙන් බොහෝ ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගත හැකිය.සැබවින්ම දරුවාගේ ජිවිතයේ ඉරණම තීරණය කරන බොහෝ ලෙඩ රෝග වලට හේතුව නිසි පෝෂණය නොලැබීමයි.එම නිසාම දරුවාගේ ආහාර වේල පිලිබදව මවක් දැඩිව සැලකිලිමත් වීම වැදගත්ය.නමුදු අද වන විට බොහෝ දෙමවුපියන් ඉතා සුළු කාලයක් මව්කිරි ලබා දි පසුව විවිධ කෘතිම අහාර වර්ග වලට දරුවා පොලබවන තත්වයක් දක්නට ඇත.ඒ සදහා මවගේ රැකියාව ද බලපා ඇති අතර ඇතැම් මව්වරුන් තම රූප ස්වභාවය පිළිබදවද සැලකිලිමත් වෙමින් දරුවන්ට මව් කිරි දීමෙන් වැලකි වෙළද පොලේ ඇති විවිධ කිරිපිට වලට දරුවා හුරු කරවනු ලබයි.දරුවාට නිසි පෝෂණය නොලැබිමෙන් ඔහුගේ ඉගෙනීම,චින්තනය,සන්නිවේදනය,ආදී විවිධ අංශ වලට ද  බලපානු ලබයි.

කුඩා දරුවාගේ අධ්‍යාපනය පිලිබදව ඔබ සැලකිලිමත්ද?

ඉගෙනීම පිලිබදව කතා කල පමණින් අපගේ සිහියට එන්නේ පාසල්  අධ්‍යාපනයයි. ඒ නිසාම බොහෝ දෙමාවුපියන් සිය දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි තම අවධානය යොමු කරන්නේ පාසල් අධ්‍යාපනය ඇරබිමත් සමගයි.නමුදු එය සම්පුර්ණයෙන් වැරදිය.දෙමවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය සදහා මැදිහත් විය යුත්තේ දරුවාගේ කිනම් වයසේදී ද යන්න පිලිබදව ඔවුන් තුල ඇත්තේ ගැටලුවකි.දරුවාගේ අධ්‍යාපනය  පිලිබදව පර්යේෂණ මෙහෙය වන විද්වතුන්ට අනුව ඉපදී පළමු මාස 02 පමණ වන විට දරුවාගේ ඉගෙනුම කටයුතු සදහා දෙමවුපියන්ගේ මැදිහත් වීම අවශ්‍යය.දරුවා සිය ඇස් සහ හිස හරවා බැලීම,ඔහු තම අත් පය සෙලවීම,සිනාසීම,ශබ්දය දෙසට කන් යොමු කිරීම,සංවේදී  ඉන්ද්‍රියයන් ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම,උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීම ආදී සියල්ල මුල් ඉගෙනීමේ අවස්තා වේ.

කුඩා දරුවන්ගේ මොලය ඉක්මනින් ක්‍රියා කරන බව ඒ පිලිබදව සිදු කර ඇති පර්යේෂණ මගින් හෙළි වී ඇත.එය නොනවත්වාම ක්‍රියා කරයි.එහි ක්‍රියාකාරිත්වය නොනවත්වාම පවත්වා ගැනීම සදහා ඊට අවශ්‍ය දේවල් දෙමාපියන් විසින් සැපයිය යුතුය.මෙය නිසි පරිදි ක්‍රියා කිරිම ජිවිතයට හොද ආරම්භයක් සපයයි.මේ නිසා දරුවා ක්‍රමයෙන් වර්ධනය වන විට නිවසේ එදිනෙදා කාර්යයන් සදහා ඔහුව සහභාගි කරවා ගැනීමත්,හැකි සෑම අවස්ථාවකදීම ඔහු සමග කතා කිරීමත්,දරුවා සමග කවි කතාන්දර ගී සින්දු ගායනා කිරීමත් ඉතා වැදගත් වේ.

දරුවන්ට යමක් හොදින් ධාරණය වන පරිද්දෙන් ඉගැන්වීමට නම් එය යලි යලිත් අභ්‍යාස කල යුතු බව ඇමරිකානු ජාතික ඊ.අයි.තොණ්ඩයින් විසින් පෙන්වා දි තිබේ.එමෙන්ම ඉගෙනුම සිදු විමට නම් යම් ප්‍රතිඵලයක් ලැබිය යුතු බව ඔහුගේ අදහසයි.යමක් ඉගෙනුමට දරුවෙකු සුදානම් නොමැති විට එය බලෙන් ඉගැන්වීමට උත්සහා දැරීමෙන් දරුවා තුල අසතුටක් ඇති වන බව මොහු තවදුරටත් පෙන්වා දේ.නමුදු අපේ දෙමවුපියන් වැඩියෙන් සිදු කරන්නේ එයයි.

කුඩා දරුවන් වුව ඉගෙනීමට මානසික වශයෙන් සුදානම් නොමැති නම් දෙමවුපියන් කොතරම් උත්සහා ගත්ත ද එය සාර්ථක වන්නේ නැත.දරුවන්ට විසදිය හැකි සරල ගැටළු ඉදිරිපත් කරමින් කුඩා කල සිටම දරුවාගේ  අධ්‍යාපනය සංවර්ධනය කල හැකිය.කුඩා දරුවෙකුගේ සෙල්ලම් බඩුවක් සගවා එය සොයා ගැනීමට යොමු කල හැකිය.එසේ නොමැති නම් ඈත තිබෙන සෙල්ලම් බඩුවක් කොටුවකින් ඇද ගැනීමට ඔහුව යොමු කල හැකිය.මේ ආකාරයට කුඩා කල සිටම දරුවාගේ අධ්‍යාපනය  සංවර්ධනය කල හැකිය.

එසේම දරුවාගේ දෑත් සහ දෑතේ ඇගිලි භාවිතා කල හැකි සරල ක්‍රියාකාරකම් වලට දරුවාට ඉඩ ලබා දිය යුතුය.උදාහරණයක් වශයෙන් වැලි මැටි ජලය සමග සෙල්ලම් කිරීමට කඩදාසි කැබලි ඉරීම සදහා පැස්ටල් භාවිතා කිරීම් ආදී දෑ වලට යොමු කිරීම ඉතා වැදගත්ය.නමුදු මේ පිලිබදව අවබෝධයක් නොමැති බොහෝ දෙමවුපියන් තම දරුවාට වැස්සේ තෙමිමට,වැලි මැටි ඇල්ලීමට වැනි දෑ වලට ඉඩ ලබා දෙන්නේ නැත.

මේ අනුව කුඩා කල සිටම දරුවා ඉගෙනීම ආරම්භ කරන බව පැහැදිලිය.එම නිසා දෙමාවුපියන් දරුවාගේ උපතේ පටන් ඒ පිලිබදව සැලකිලිමත් වීම වැදගත්ය.ආරම්භයේ දී දරුවා ඉතා අසරණය.එම නිසා දරුවාගේ ජිවිතයේ ආරම්භයේ සිටම දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියට උපකාර කල යුතුය.

ඔබේ දරුවාගේ කායික නිරෝගී භාවය මෙන්ම මානසික නිරෝගී භාවය පිළිබදව ද සැලකිලිමත් වන්න

ඕනෑම දරුවෙකුගේ කායික නිරෝගී බවට සමානව මානසික නිරෝගී බව ද එක සේ වැදගත් වේ. නමුත් බොහෝ දෙමවුපියන්ට මේ පිලිබදව අවබෝධයක් නැත. ඔවුන් නිතරම සිතන්නේ තමන්ගේ දරුවාගේ කායික නිරෝගී බව බව පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කායික. මානසික,සමාජයීය සහ  අධ්‍යාත්මික වශයෙන් යහ පැවැත්ම සෞඛ්‍ය සම්පන්න ලෙස අර්ථ දක්වා තිබෙනවා. එහෙත් සාමාන්‍යයෙන් නිරෝගී භාවය යනුවෙන් හදුනා ගෙන සිටින්නේ කායික නිරෝගී බව පමණි. මානසික වශයෙන් නිරෝගී වූ පුද්ගලයා තුල ප්‍රබෝධමත් බව,සතුට ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව,විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ හැකියාව,තීරණ ගැනීමේ හැකියාව,කාලාත්මක හා නිර්මාණාත්මක හැකියාව ආදී දේ පවතිනවා. එහෙත් යම් පුද්ගලයෙක් දුකින් අසතුටින් කලකිරීමෙන් ප්‍රශ්න වලට මුහුණ දීමේ නොහැකියාවෙන් පසුවෙන්නේ  නම් එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පුද්ගලයාගේ මනස නිරෝගී නොවීමයි.  යම් පුද්ගලයකු තුළ සමාජයීය සහ අධ්‍යාත්මික යහ පැවැත්ම පවතී නම් එම පුද්ගලයාට  අන් අය සමග පහසුවෙන් සුහද ලෙස ජිවත් විය හැකිය.

සියලු දෙනාටම ආදරය කල හැකි අතරම සියලු දෙනාගේම ආදරය හිමි වේ. සියලු දෙන සමග සමගියෙන් සහ සාමයෙන් කටයුතු කල හැකිය. අන්‍යයන් පහත් නොකොට ඔවුන් අගය කිරීමේ හැකියාව ඇත. මේ නිසා පුද්ගල මනස නිරෝගී වේ. මේ අනුව යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට නම් කායික,මානසික සහ සාමාජියිය  අධ්‍යාත්මික යන අංශ 04ම එක සමාන ලෙස නිරෝගී විය යුතුය.

ළමයින් ප්‍රීතිමත් සහ ප්‍රයෝජනවත් වැඩිහිටියන් බවට පත් කිරීමට නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න සහ සතුටින් පසු වන අය විය යුතුය. ඒ නිසා ළමා වියේ සතුට සැනසුම හා ප්‍රීතිය දරුවෙකුගේ වර්ධනයට අත්‍යවශ්‍ය අංග වේ. ළමුන්ට වැළදෙන ඇතැම් රෝග පිටු පස බොහෝ විට මානසික ගැටළු පවතින බව බොහෝ විද්‍යාග්‍යයන් ගේ මතයයි.

නොදැනුවත්කම නිසා හෝ නොසලකා හැරිම තුලින් ද දෙමාපිය වැඩිහිටියන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා ද දරුවන් තුළ මානසික ගැටළු හට ගන්න අවස්ථා පවතී. දරුවා ජිවත් වන පරිසරයේ  පවතින විවිධ විෂමතාවන් හෝ වේදනාකාරී සිදුවීම් හෝ ඔහුගේ මානසික ගැටළු වලට හේතු විය හැකිය.

දරුවාගේ මානසික සමාජයිය වර්ධනයට උපකාරී වන අවස්තා 04ක් ළමා මනෝ විද්‍යාග්‍යයන් විසින් පෙන්වා දේ.

01 ආදරය,සැලකිල්ල,උනන්දුව

දෙමාපිය වැඩිහිටියන්ගේ ආදරය සැලකිල්ල ලැබීම මෙන්ම ඔවුන් තමන් පිලිබදව උනන්දු වන බව දැනීම දරුවාගේ යහපත් මානසික වර්ධනය සදහා බෙහෙවින් ඉවහල් වන්නකි. එහෙත් දරුවා කෙරෙහි වැඩිහිටියන් දක්වන ආදරය දරුවාට දැනෙන ආදරයක් විය යුතුය. මේ සදහා දරුවා සමග එකතුව සෙල්ලම් කිරීම,කතාන්දර කීම,දරුවා සමග විවිධ දේ පිලිබදව සාකාච්චා කිරීම ආදිය කල හැකිය.

 02 යහපත් සෞඛ්‍ය

දරුවෙකුගේ සෞඛ්‍ය ඔහුගේ සිතුම් පැතුම් ආදියට බලපානු ලැබේ. දරුවා වර්ධනය වන්නේ ඔහුගේ අදහස් සිතුම් පැතුම් ආදියත් සමගින් වන නිසා දරුවාගේ අදහස් සිතුම් පැතුම් ආදිය නිසි ලෙස සකස් විය යුතුය. පිරිසිදුව ජිවත් වීම,පෝෂ්‍ය ආහාර සහ ජලය ලබා දීම,ප්‍රතිශක්තිකරණය කිරීම අනතුරු වලින් අරාක්ෂා කර ගැනීම ආදිය මගින් දරුවෙකුට යහපත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් උදා කර දිය හැකිය.

03 අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට සැලැස්සිම

දරුවා ටිකෙන් ටික  වැඩෙන විට තමන් අවට ලෝකය අවබෝධ කර ගැනීමටත් දැනුම ලබා ගැනීමටත් උත්සහා ගනී. මෙහිදී දෙමාපියන්ගෙන් ලැබෙන රුකුල ඉතා වැදගත් වේ. තනිවම කර ගත හැකි වැඩ ඔහුට තනිවම කර ගැනීමට ඉඩ හැරිම සමබර දරුවෙකු ගොඩ නගා ගැනීමේදී අත්‍යවශ්‍ය අංගයකි.

04 දරුවාට ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාශයන් ගොඩ නගා ගැනීමට අවස්ථාව ලබා දීම

දරුවාගේ යහපත් සහ සාර්ථක අවස්තාවන්හි ඔහුට ප්‍රශංසා කිරීමත් හැකියාවන් අගය කිරීමත් මගින් දරුවා තුල ආත්ම ශක්තිය ගොඩ නැංවිය හැකිය.

මෙකි  ක්‍රම උපයුක්ත කර ගනිමින් ඔබේ දරුවාගේ මානසික  සංවර්ධනය සිදු කිරීම දෙමාපිය ඔබ සතු වගකීමකි.

ඔබේ දරුවා අධික ලෙස රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටියිද?

1993 මහා බ්‍රිතාන්‍යයේ දස හැවිරිදි ළමුන් දෙදෙනෙකු කෙරෙහි ලොව පුරා අවධානය ලැබුනේ ප්‍රකට ජේම්ස් බුලගර් සිද්ධිය නිසාය.ජේම්ස් නම් කුඩා දරුවෙකු මරා දැමීම සිදු කර ඇත්තේ භීතිය දනවන වීඩියෝ පටයක් නරබා  ඒ අනුව බවට මත පල වී තිබිණි.මෙය එක් නිදසුනක් පමණි.ජර්මනියේ වයස අවුරුදු 12ක දරුවන් දෙදෙනෙක් වීඩියෝපට නැරබීමට පුරුදු වී සිටි අතර ඔවුන් බැලු එක් වීඩියෝ පටයක් අත්හදා බලමින් අසල්වැසි දරුවෙක් ඒ ආකාරයට මරා දැමු බව ඔවුන් පිලිගෙන තිබුණි.

ජපානයේ ළමයින් 276ක් යොදා ගෙන කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වුයේ රූපවාහිනිය සහ විද්‍යුත් උපකරණ කෙරෙහි ඇති අධ්ක ලැදියාව මොලය ffi, වලට  හානිදායක බවයි.වැඩි කාලයක් රූපවාහිනීය නැරබීමට හුරු වූ ළමයින්ගේ මොලයේ ffi, වල යම් ආකාරයක වෙනස් ලක්ෂණ පෙන්නුම් කල හැකි බවයි.එම්.ආර් ස්කෑන් පරික්ෂණය මගින් මේ කරුණු සොයා ගෙන ඇත.කුඩා දරුවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය අසමබර වීම කෙරෙහි රූපවාහිනිය කරන බලපෑම් පිලිබදව බෑරැරුම්ව සිතා බැලිය යුතුය.

රූපවාහිනිය හා ළමයා අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. මුළු ලොවම දරුවන් දවසකට වැඩි වේලාවක් රූපවාහිනීය ලග සිටින බව පර්යේෂණ මගින් හෙළි වී ඇත.රූපවාහිනිය ළමයින්ට කරන යහපතට වඩා අයහපත වැඩිය.නුතන පවුල තුළ ළමයා උපදින්නේම රූපවාහිනියේ කොටස්කරුවෙකු බවට පත් වෙමිනි.අද වෙන විට රූපවාහිනිය නැතිවම බැරි මෙවලමක් බවට පත් වී ඇත.

රූපවාහිනිය බැහැර කළ විට ළමයාට සිය විවේකය ගත කිරීමට විවිධ කාර්යයන්හි යෙදෙන්නට අවකාශය තිබේ.පාසල ඇරි එන දරුවෙක් හැන්දෑ වරුවේ නිවසෙන් එලියට බැස සෙල්ලම් කිරීමට කැමති වෙති.රූපවාහිනිය විසින් ළමයාගේ ස්වාභාවික චර්යාව වෙනස් කර ඇත.ඔවුන් අද කල්පනා කරන්නේ සවස් වරුවේ කාටූන් වැඩසටහන්හි දී කුමක් නැරබිය හැකිද යන්න පිලිබදවයි.බොහෝ රූපවාහිනි වැඩසටහන්හි හුදු හාස්‍ය මුසු වී ඇත.මුළු ලොවම හොදින් දන්නේ කොකා කෝලා යන වචනයයි.සෙල්ලම් කරන්නේ පිස්තෝලයක් සමගයි.හින්දි නළු නිළියන්ගේ පින්තුර විනෝදයක් ලෙස එකතු කරයි.

රූපවාහිනි හරහා සිදු වන අවාසනාවන්ත සිදුවීමක් වන්නේ පුංචි දරුවන් බලා ගැනීමේ කාර්යය ද මව්වරුන් රූපවාහිනියට බාර කිරීමයි.මව්වරුන් සිය නිවසේ වැඩ කටයුතු නිම කරන තෙක් දරුවා බලා කියා ගන්නා රූපවාහිනියට  දරුවා අකාර්ශනිය වන අතර එය බිලිදාගේ මුල්ම ගුරුවරයා බවට පත් වී ඇත.මවගෙන් ලැබෙන උණුසුම් සෙනෙහස නොමැති වුව ද රූපවාහිනීය දරුවා හොදින් බලා කියා ගනී.දරුවා රූපවාහිනීයට අධික ලෙස ඇබ්බැහි වීමට ප්‍රධාන වශයෙන් වග කිය යුත්තේ දෙමවුපියන්ය.විශේෂයෙන්ම  කුඩා දරුවන් එක අරමුණක රදවා ගැනීමට යොදන උපක‍්‍රමයක් ලෙස බොහෝ වැඩිහියන් රූපවාහිනීය යොදා ගැනීම සුලභය.

“අම්මා ගෙදර වැඩ ටික කරනකම් පුතා ටීවී බලන්නකෝ”

දරුවන්ට දෙමවුපියන්ගේ අවධානය අවශ්‍ය වුව ද එකී අවධානය ලබා දීම දෙමවුපියන් විසින් බාලගිරි දෝෂය මෙන් කල් දමයි.මේ කුඩා අතපසුවිම දරුවා රූපවාහිනීය ඇබ්බැහි වීමට දීර්ඝකාලීන බලපෑම් කරයි.

ළමයා යනු තමන්ගේ චරිත ලක්ෂණ සකස් කර ගනිමින් සිටින ජීවියෙකි.රූපවාහිනිය විසින් ඉදිරිපත් කරන සෑම දෙයක්ම ළමයාගේ චරිත ලක්ෂණ වලට උරා ගනියි.මෙම චරිත ලක්ෂණ ළමුන්ගේ ජිවිතයට හානිකරය.එහෙත් වැඩිහිටියන්ට ඒ බව තේරෙන්නේ නැත.මේ සියල්ල නිසි ලෙස තේරෙන්නේ රූපවාහිනී වැඩසටහන් කළමනාකරුවන්ටය.ඔවුහු නියම ලෙස ළමයින්ගේ නිල අල්ලා රූපවාහිනී වැඩසටහන් සම්පාදනය කරයි.මෙම රූපවාහිනී වැඩසටහන් වලට ඔබේ දරුවා අධික ලෙස ඇබ්බැහි වී සිටි නම් මේ මොහොතේ සිටම ඔබේ දරුවා වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමට වග බලා ගන්න.එසේ නොවුනහොත් ඔබේ ළමයා සමාජයට පිවිසෙන විට ප්‍රචණ්ඩ පුද්ගලයෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇත.

උදාබාධය (Morning Sickness) සෞඛ්‍යමත් දරුවකු ලැබීම සඳහා පෙරනිමිත්තක් වේද?

ගර්භණී අවධියේ පසුවන ඔබත් උදෑසන වමනය යාමේ ගතියෙන් පෙලෙනවාද? සමහර මව්වරුන්ට මෙම කාලය දරා ගත නොහැකි ලෙස අපහසුතා ඇති කරන නමුත් එහි යහපත් ප්‍රතිඵල ඇති බව ඔබ මතක තබා ගත යුතුය. මන්ද උදෑසන ගැබිනි මවට ඇතිවන මෙම අසහනකාරි තත්ත්වය නීරෝගි දරුවකු බිහි කිරීම සඳහා ඉවහල් වන හෙයිනි.

ඔබට දරුණු ලෙස උදාබාධය ඇතිවන්නේ නම්, වහාම වෛද්‍යවරයකු හමුවී අසහනය සමනය කර ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

-දවසේ ආහාර වේල් ගැනීමේදි හැකි පමණ කුඩා ප්‍රමාණයේ කටවල් අනුභව කරන්න.

-පෙපර්මින්ට් හා ඉඟුරු ආශ්‍රිත සීනි බෝල විකන්න.

-ජලය හොඳින් පානය කරන්න.

-හොඳින් විවේක ගන්න.

-ඇට වර්ග ආහරයට ගන්න. (ආමන්ඩ් වැනි )

-ප්‍රසූතියට පෙර අනුමත කරන විටමින් ලබා ගැනීමේදි මාරු කරන්න.

උදාබාධය සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණ හා සමීක්ෂණ වල ප්‍රතිඵල.

ගර්භණී අවධියේ මුල් මාස 3 හිදි සාමාන්‍යයෙන් උදෑසන ගැබිනි මව්වරුන්ගෙන් 85% කට වමනය යන ගතියක් සහිත, කෑම අරුචියක් ගෙන දෙන අසහනයක් දැනිය හැක. මෙය ඉංග්‍රීසියෙන් “morning sickness” (උදාබාධය) ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මෙම ලක්ෂණ උදෑසන කාලයේදි දැනෙන නිසාවෙනි. මෙම තත්ත්වය මවට මානසික හා ශාරිරික ලෙස බලපෑ හැකි නමුත් ” Journal of Reproducitve Toxicology” සඟරාවේ වාර්තාවකට අනුව මෙම සාමාන්‍ය සිදුවීම නීරෝගි දරුවකු ලැබීම සඳහා පෙරනිමිත්තක් ලෙස සැලකිය හැක.

විද්‍යාඥයින් මිලියන 850ක ගර්භනී මව්වරුන්ගේ නියැදියකගෙන් කල සමීක්ෂණයකින් හෙලිවී ඇති ආකාරයට මෙසේ උදාබාධයෙන් පෙලුණු මව්වරුන් නීරෝගි දරුවන් බිහි කර ඇති අතර ඔවුන්ට ගබ්සාවන් ඇති වීමේ ප්‍රවණතාවයද අඩුවී තිබුණි. 6.4% පමණ අල්ප ප්‍රමාණයක නොමේරු දරු උපත් සිදුවි ඇති අතර උදාබාධයෙන් නොපෙලුනු මව්වරුන්ගෙන් 9.5% නොමේරු දරු උපත් ලබා තිබුණි.

ගර්භණී අවධියේ පලමු කාර්තුවේ මවගේ වැදෑමහෙන් නිකුත් වන හොමෝනයක් වන Chorionic Gonadotropin නිසා මෙසේ මව්වරුන්ට උදාබාධය ඇතිවේ. එම නිසා ගර්භණී මවක් ලෙස ඔබත් මෙම උදාබාධයෙන් පෙලෙන්නේ නම් ඔබ කිසිසේත් කලබල විය යුතු නැත. ඔබට මෙම අසහනකාරි තත්තවයක් ඇති නොවන්නේ නම් වැඩිය නොසිතා ගර්භණී අවධිය සැහැල්ලු මනසකින් අත් විඳින්න. ඉහත සඳහන් සමීක්ෂණ මව තුල ඇති අනවශ්‍ය බිය පහ කරන අතර ඔබ ගර්භණී අවධියේදි විඳින වේදනා අවසානයේදි ඔබට වටිනා ප්‍රතිඵල ගෙන දෙන බව තහවුරු කරයි.

මම , මගේ පුතුන්ට ඉගැන්වීමට බලාපොරොත්තු වන දේවල් 10

ඔබේ නිවසේ ” අවුරුදු ” සමරන්නේ නම්, මෙම කාලය පුරාවටම නිවස පිරිසිදු කිරීම සහ කැවිලි සූදානම් කිරීම සඳහා ඔබ ඉතා කාර්‍ය බහුලව  සිටින්නට ඇති බවට කිසිදු සැකයක් නම් නැත​. මව්වරුන් ලෙස,  යහපත් සාරධර්ම,සම්ප්‍රදාය සහ සංස්කෘතිය  අපේ ළමා පරපුරට ඉගැන්වීමට අප හැකි තරම් උත්සහ දරන්නේ, අපගේ ගතට හා සිතට දැනෙන වෙහෙස මහන්සිය නොතකාය​.

මේ කාලයේ පමණක් නොව​, සෑම දිනම නිවස පිරිසිදු කිරීමේ වගකීම ඔබ මත පමණක් පැටවී තියෙනවා විය හැකියි. ඔබ එක දිගටම මහන්සි වන වෙලේ, යම් මොහොතක, ඔබට මෙසේ නොසිතෙන්නේද​? “අනේ මගේ සැමියාත්, මා සමඟ එකතු වෙලා මේක කරනවනම් කොතරම් අගනේද​?”

ඔබ, ගෙදරදී තම සැමියාගේ හැසිරීම ගැන කළකිරෙන බොහෝ භාර්‍යාවන් අතර තවත් එක් අයෙකු විය හැක. ඔබ වැඩ ගොඩක නිරත වන අතරතුර , ඔබේ සැමියා සතුටින් රූපවාහිනී නරඹනවා , පොත් / පුවත්පත් කියවනවා හෝ ඔහුගේ ස්මාර්ට් දුරකථනයේ ගේම් එකකට ඇලී ගැලී සිටිනවා  විය හැකිය.සමහර විට, ඔහු ඔබ තනියම කරන සියලු වැඩ නොසලකා හරින ආකාරය කෙතරම් අමානුෂික දැයි හැඟෙන්න ඇති. සමහර විට, ඔබ ඔබටම ” කට වහගෙන කරන්න – මෙය භාර්‍යාව කරන යුතුකමක් ” යැයි පවසා ගෙන නිහඬවම වැඩපල කරනවා විය හැකිය.

මව්වරුන් සෑම විටම තම දියණියන්ට සියලු ගෙදර දොරේ වැඩ , සහ ආහාර පිසින අයුුරු ඉගැන්වීමට නැඹුරු වේ.දියණියන් , ඔවුන්ගේ මව්වරුන් ගෙන් ඉගෙන නොගත්තද , විවාහ වූ පසු  කෙසේ හෝ අවශ්‍ය මූලික කරුණු දැන ගැනීමට පෙලඹෙන්නේ, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා , මේ දේවල් අවශ්‍ය වන බැවිනි. නමුත්, මව්වරුන් මේ දේවල් ඔවුන්ගේ පුත්‍රයන් ට ඉගැන්වීම දැකගත හැක්කේ, ඉතා කලාතුරකිනි.තම පුතුන්ට ගෙදර දොරේ වැඩ , සහ ආහාර පිසින වැඩ කටයුතු, පවුලේ සියලුම දෙනා අතරේ බෙදා ගැනීම කොතරම් අගනේදැයි වටහා නොදෙයි. තරු හෝටල්වල වේටර්වරු , ඔවුන්ගේ පාරිභෝගිකයන්ට දක්වන සැලකිල්ල මෙන් බොහෝ මව්වරුන් සිය පුතුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඔවුන්ගේ අත ළඟට කර දීම ඉතා සෝචනීයයි. ඔබගේ ගෙදර දොරේ වැඩ කිරීමට ඔබට සහාය නොකරන ස්වාමිපුරුෂයා සිටී නම්, ඔහු තුළ මා දකින පරිදි කිසි වරදක් නැත. ඔහුගේ මව සමඟ ඔහු හැදී වැඩී ඇත්තේ ඒ ආකාරයට නිසා අපිට සම්පූර්ණයෙන්ම ඔහුට දොස් නැගිය නොහැක. මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මට පුතුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් තම ගෙදර කළමනාකරණය සහ ආහාර පිසීම ගැන ටිකක්  හෝ දැන ගත යුතු මම තරයේ විශ්වාස කරමි. ඔවුන් ඉදිරියේදී මේදේ අනුගමනය නොකලත් , මේ කුඩා කුඩා දේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මගේ යුතුකම බව මා විශ්වාස කරමි. මගේ මතයට අනුව ආදරණීය මවක් ලෙස සහ අනාගතයේ හොඳ නැන්දම්මා කෙනෙකු බවට පත්වීමට හැකිවන, තම පුතුට ඉගැන්විය යුතු කරුනු 10ක් මෙසේ හුවා දක්වමි.

01. ඇඳ සැකසීම

02. තේ කෝප්ප , වීදුරු, පිඟාන භාවිතයෙන් පසු සේදීම

03. බිම අතු ගෑම

04. බීමට තේ හෝ කෝපි  සාදා ගැනීම

05. සරල පරිප්පු කරි , මාළු කරියක් හා පොල් සම්බෝලය වගේ දෙයක් සාදා ගැනීම

06. රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියා කරවීමට සහ ඔවුන්ගේ ඇඳුම් සෝදා ගැනීම

07. ටී ෂර්ට්, ෂර්ට් , කලිසම් මැද ගැනීම

08. තම අධ්‍යයන මේසය සහ ඇඳ කාමරය පිළිවෙළට තබා ගැනීම

09. කුස්සියේ වැඩවලට උදවු වීම

10. නාන කාමරය සහ කොමඩ් එක සෝදා ගැනීම

සමහරු, ඉහත දේවල් ගෑනු ළමයින්ගේ වැඩ ලෙසත් පිරිමි ළමුන් මේවා කිරීමෙන් ඔවුන්ගේ පෞරුශයට හානි වන බවත් කියා තර්ක කළ හැකිය.ඔවුන් සඳහා, මම කියන එකම දේ නම් මේ දැනුමෙන් ඔවුන් ගේ පෞරුශය ඉහළ යන බවත් කවදා හෝ නිවසින් බැහැරව විසීමට සිදු වුවහොත්  ඔහුව මනා කළමනාකාරී එමෙන්ම ස්වාධීන පුද්ගලයෙකු කරන බවත්‍ ය​. විශේෂයෙන්ම මේ සුලු දැනුම පුතු තවත් කඩවසම් අයෙකු බවට පත් කරන අතර අනාගතයේ අප ලේලිය ලෙස පවුලට සම්බන්ධ වන ඒ දියණියට ආදර සැමියෙකුද තනා දේවි.

ඔබ ඔබේ පුතාට හොඳ සාරධර්ම, නිසි අධ්‍යාපනය මෙන්ම ගෘහණියකගේ වැඩ කොටස පළිඹඳ යම් දැනුමක් ලබා දිය යුතුය. ගෙදර වගකීම් බෙදාහදා ගන්න ඔහුට උගන්වන්න. ඔබේ දෛනික වැඩ කිරීමට ඔවුන් සම්බන්ධ කර ගන්න​. මවකගේ සැබෑ කාර්‍යය කොතරම් අසීරු දැයි ඔහුට තේරුම් කරන්න.කාරුණික ආකාරයෙන් අනිත් අය ගැන හිතන්න ඔහුට උගන්වන්න. එවිට අනාගතයේ ඔබ නොසිටියත් ඔබේ පුතුට ඔහුගේ බිරිඳ සතුටින් තබා ගැනීමට හැකි වේවි.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

සුපිරි වෙළඳ සැලේ සෙල්ලම් බඩු ඉල්ලා දරුවා කරදර කරන අවස්ථා සමඟ කටයුතු කරන ආකාරය

භාණ්ඩ වලට මිලක් හා වටිනාකමක් ඇති වබ ඔබ දරුවාට කියා දී ඇත්ද?

මුදල් ඉපයීම පිටුපස ඇති වෙහෙස සහ සංකීර්ණ කාර්ය භාරය වැඩිහිටියන් ලෙස අප හොඳාකාරව දනිමු. කුමන දේ මිලදී ගත යුතුද හා මිලදී ගැනීමෙන් වැලකීය යුතු අනවශ්‍ය දේ කුමක්ද යන්න අප අවබෝධ කර ගෙන ඇත. පන්සියේ හා පන්දාහේ නෝට්ටුවේ වෙනස හරි හැටි නොදත් කුඩා දරුවෙකු ඇයට අවශ්‍ය දේ ඉල්ලා සුපිරි වෙලඳසැලක හඬා වැලපෙන්නේ ඇයි යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. කුඩා දැරියක් ලස්සන බෝනික්කෙක් දැක එය ඉල්ලා බැගෑපත් වූ විට ඊට මව හෝ පියා “, නෑ නෑ, ඒක හරි ගණන්” ලෙස පිළිතුරු දුන් විට ඇයට “ගණන්” යනු කුමක්ද කියා හරිහැටි තේරෙන්නේ නැත. දරුවන් ඔබ සතුව මුදල් ඇති බව හොඳින් දනියි. එහෙත් ප්‍රමාණවත් ලෙස මුදල් නැති බව ඔවුන් නොදනියි.

පහත දැක්වෙන්නේ මුදල් වල වටිනාකම දරුවන්ට කියා දීම සඳහා ඔබට අනුගමනය කල හැකි හොඳ මාර්ගයකි. විව්ධ වටිනාකමකින් යුත් කාසි මල්ලක් දරුවාට දෙන්න. ඉනපසු ඔවුන්ට එය වර්ගය හා ප්‍රමාණය අනුව අසුරන්න කියන්න. දැන් එම එක් එක් ඇසිරීම් වල වටිනාකම දරුවාට පවසන්න. එකම උස සහිත රුපියල් පහේ කාසි කුලුණ රුපියලේ කාසි කුලුණට වඩා වටිනාකමෙන් වැඩි බව පහදා දෙන්න.

වටිනාකමකි යුත් භාණ්ඩ හා නොමිලේ ලැබෙන දේවල් අතර ඇති වෙනස දරුවන්ට පහදා දෙන්න. කඩයේ ඇති සෙල්ලම් බඩුව වටිනාකමක් ඇති භාණ්ඩයකි.නමුත් තාත්තා සමඟ ක්‍රිකට් ගැසීම නොමිලේ කල හැකි ක්‍රියාවකි. එහෙත් එයින් දරුවාට ප්‍රීතියක් හා විනෝදයක් ලැබේ. අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස දරුවාට කුඩා කාලයේදීම පහදා දෙන්න. ඒ සමඟම සියලුම දේ මුදලින් ඇගයීම කිසිවිටෙකත් නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි. මේ නිසා ඔබ දරුවාට නොමිලේ භුක්ති විඳිය හැකි ප්‍රීතිය හැකි උපරිම අයුරකින් ලබා දිය යුතුයි. මේ මඟින් ඔබේ දරුවා ජීවිතයේ නොමැකෙන වැදගත් මතකයන්, සෙල්ලම් බඩුවලට වඩා වටින බව තේරුම් ගනියි. තවද මෙය අවබෝධ කරගත් කුඩා දරුවා සුපිරි වෙළඳසැලේ අවශ්‍ය සියලුම දේ ඉල්ලා කරදර නොකරනු ඇත.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 3-4 ත් කාලයේදි දරුවන් මෙසේ සුපිරි වෙළඳසල් වල සෙල්ලම් බඩු ඉල්ලා කෑ මොර දෙයි. මට මතකයි මගේ පුතා අවුරුදු 4 දි පමණ බැටරියකින් ක්‍රියාත්මක වන ධාවනය කල හැකි මෝටර් රථයක් ඉල්ලා බැගෑපත් විය. ඔහු මෙය ඉල්ලීමට හේතුව තම මිතුරකුගේ උපන්දින සාදයකදී මෙවැනි කාරයක් දැක තිබීමයි. නමුත් වගකීමකින් යුක්ත දෙමාපියන් ලෙස අප රු. 20,000 පමණ වටිනා එවන් සෙල්ලම් බඩුවක් මිලදී ගැනීමට තරම් අඥාන නොවීමු. එම මුදල දරුවාගේ අනාගත වියදම් සඳහා ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීම දරුවාට කරන යහපතකි. මෙසේ ඉල්ලන සියලු දේ ලබා දීමෙන් දරුවාව කෑදර බවට පත් නොකරන්න. අප ක්‍රමක්‍රමයෙන් පුතාව විද්‍යාත්මක අත් හදා බැලීම් හා කියවීම සඳහා නැඹුරු කලෙමු. දැන් ඔහු, ඉතිරි කර ගන්නා මුදල සෙල්ලම් බඩු වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ ගැන ලියවුණු පොත් මිලදී ගැනීම සඳහා යොදා ගනියි. අවුරුදු 8ක් වන මගේ පුතණුවන්ට දැන් ඔහුගේ දෙමාපියන්ට මිලදී ගත හැකි හා නොහැකි දේ පිලිබඳ මනා අවබෝධයක් ඇත. අප පුතාගෙන් ඉගෙන ගත් දෑ අපගේ තුන් හැවිරිදි දියණිය සමඟ කටයුතු කිරීම සඳහා මහඟු පිටිවහලක් වී ඇත.

තම දරුවා ඉල්ලන සියලුම දෑ ලබා දීම හොඳ දෙයක් බව බොහෝ දෙමාපියන්ගේ මතයයි. ඔවුන් එසේ කරන්නේ දරුවාට තෘප්තිමත් කිරීමට වඩා ඔවුන් ආර්ථික වශයෙන් ඉහල තත්ත්වයක සිටින බව පෙන්වීමේ පෞද්ගලික ආශාව සනසා ගැනීම සඳහායි. (මගේ දරුවා මගෙන් බලාපොරොත්තු වන සියලුම දෑ ලබා දීමට තරම් මා ආර්ථික වශයෙන් ශක්තිමත් ස්ථානයක සිටින්නෙමි.) මා මෙය දකින්නේ ඉතා නරක පුරුද්දක් ලෙසටයි.ඔබට කෙතරම් මුදල් තිබුණත්, දරුවා ඉල්ලන සියලුම සෙල්ලම් බඩු ලබා දීම ඔහු තුල මුදල් හා බලය පිළිබඳ අයහපත් ආකල්ප ඇති කිරීමට මඟ පාදයි.

ඊලඟ පාර, ඔබගේ දරුවා සමඟ සුපිරි වෙළඳසැලට යන විට භාණ්ඩ වල මිල ගණන් සහ ඔවුන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුවේ වටිනාකම පවසන්න. ඔබ එයට මුදල් ගෙවීමේදි දරුවාට ඒ දෙස බලා සිටින්නට ඉඩ දෙන්න.ඔබ මුදලින් ගෙවීම් කටයුතු කරනවා නම්, මුදල් භාර දීම හා ඉතුරු ලබා ගැනීමට දරුවන්ට අවකාශය සලසන්න. ඒ අතරම, ඔවුන්ගේ පෞද්ගලික කැටයේ මුදල් ඉතිරි කිරීමට දරුවන්ව දිරිමත් කරන්න.

ArticleBanner01

මව්වරුනි…ඔබ​, ඔබේ රැකියාව අත් හැරියත්, ඔබ තුල ඇති ශක්තිය අත් නොහරින්න​

මාව වරදවා වටහා නොගන්න​. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ, දැනට රැකියාවේ නියැලෙන මව්වරුන්ට රැකියාව අත් හැරයාම සඳහා අනුබල දීමකට නොවේ. මෙය මා ලියන්නේ දැනටමත් තම දරුවන් වෙනුවෙන් රැකියාව අත්හැර දැමූ මව්වරු සහ තම රැකියාව අත්හැරීම පිළිඹඳ දෙගිඩියාවෙන් ළතවෙන මව්වරුන් උදෙසායි. ඔවුන් ගේ සිත් ධෛර්‍යමත් කිරීම උදෙසායි.

මේ මාතෘකාව, අද නූතන සමාජයේ  ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් මතු කිරීමට මගපාදනු ලබන ආන්දෝලනාත්මක මාතෘකාවක් බව අපි හොඳාකාරවම දන්නෙමු. මෙම මාතෘකාව හා සම්බන්ධ වූ මගේ අත්දැකීම් අලලා මෑතකදී සිංහල කවියක් රචනා කර​, මගේ ෆේස්බුක් ගිණුමේ පළ  කළෙමි. මා පුදුමයට පත් කරමින් , එය දින කිහිපයක් ඇතුලත 1000 කට වඩා ෆේස්බුක් පරිශීලකයන් අතර හුවමාරු වුනි. එයට හේතුව නම්, ශ්‍රී ලාංකික දෙමාපියන් විශේෂයෙන් මව්වරුන්ගේ සිත් සතන් එය විසින් සියුම් ලෙස ස්පර්ශ වූ බැවිනි. මම දන්නා සහ නොදන්නා  මව්වරුන්ගෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මෙම ලිපිය ලිවීමට මා පෙළඹවීය.

මම අවුරුදු 6 කට වඩා වැඩි කාලයක් බහුජාතික සමාගම් 2 ක් වැඩ කල ඉංජිනේරු උපාධි ධාරිනියක් වූ නමුත් අවසානයේදී මවකට ලැබෙන හොඳම සහ සාධාරණම හේතුව නිසා  මගේ වෘත්තිය නතර කල අයෙක්මි. ඒ හේතුව​, මාගේ දරුවන් ය​. තම දරුවන් වෙත ඇති ප්‍රේමය නිසා වෘත්තීය අත්හළ වෛද්‍යවරු පවා සිටිනා බව ඔබ දන්නවාද? මෙහිදී මම විශ්ව විද්‍යාල උපාධි හිමියන් ගැන පමණක් අවධාරණය නොකරමි. මම තදින්ම විශ්වාස කරනා පරිදි, මෙම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යම් කාන්තාවක් වේද , ඇය හොඳ අධ්‍යාපන මට්ටමක් ලත් තැනැත්තියකි. උගත් මවක් වීම හා තම රැකියාව සදහටම අත්හැරීම, කාන්තාවකට ඇයගේ දිවි ගමනේදී ගත හැකි අමාරුම තීරණය වේ. ඔබ කවදා හෝ සිතා ඇතිද , එය පසුපස ඇති සැබෑ හේතුව කුමක්ද යන වග​?

ශ්‍රී ලාංකික සමාජය තුළ මෙවන් වූ මවකට සිතීමට හිදුවී අත්තේ සිය රැකියාව අත්හැරීමෙන් පසු සමාජය තුළ ඇයට ලැබෙන පිළිගැනීම ගැනයි. වෘත්තීකයකු, ගෙදර නැවතුනු අම්මා කෙනෙකු බවට පත්වීම සමාජයේ ජනප්‍රිය සිරස්තලක් බවට පත් වී සාකච්ඡා නිර්මාණය වේ.සමහරු, ඇය මවක් බවට පත් වූ විට ඉගෙනීමට ගත් උත්සාහය ගඟට කැපූ ඉනි බවට පත්වෙතැයි පවසා  කාන්තාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු නොකල යුතු බව පවසයි. තවත් සමහරු කාන්තාවගේ උගත්කම අවසානයේ කඩදාසි කෑල්ලකට පමණක් සීමා වන බවත්, එය රටට කෙසේ වෙතත්  ඇගේ පවුලේ සාමාජිකයින්ට තම දුවනිය සහ පවුල ගැන උදම් ඇනීමට   භාවිතා කළ හැකි බවටත් පවසයි.  ඇය වටා සිටින මෙම විවේචකයන් හමුවේ ඇය ඇගේ දරුවන් වෙනුවෙන් සිය රැකියාව අතහැර දැමීම ගැන දෙවරක් නොව කිහිප වරක් සිතීමට පෙළඹීම සාධාරණයි.

නමුත්, මා සිතනා පරිදි , එවන් පුස් වූ අදහස් ගැන ඔබ කිසි විටෙකත් නොසිතිය යුතුය​. මවක් රැකියාවක් අත්හැරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බැරෑරුම් ලෙස සලකා බැලීමට ඇති සාධක මෙසේ හුවා දැක්විය හැකියි.

1. තම පවුලේ ආදායම සහ වියදම

ඔබේ රැකියාව නැතිවීම නිසා ඔබේ පවුලේ මාසික ආදායමෙන් කොටසක් අහිමි කර ගැනීමට  සිදුවන අතර ඔබ ඔබේ වයෝවෘද​ කාලයේදී පිහිටට ඵන සේවක අර්ථ සාධක අරමුදල , සේවක භාරකාර අරමුදල් හෝ විශ්‍රාම වැටුප් වැනි ඔබගේ පෞද්ගලික ප්‍රතිලාභ අහිමි කර ගැනීමට සිදුවේ. මෙහිදී ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ සාකච්ඡා කර සාමූහිකව තීරණයකට එළඹිය යුතුයි.  ඔබ රැකියාවක නිරත වන්නේ ද තම දරුවන් ගේ අභිවෘද්ධි උදෙසා බැවින්, ඔබට ආර්ථික අපහසුතා ඇත්නම් කෙසේ හෝ රැකියාව කරගෙන යා යුතුමය​.

2. ඔබ රැකියාවට ගොස් නැවත පැමිණෙන තෙක් දරුවන් බලා ගන්නා ක්‍රමය සහ වගකීම භාරගන්නා පුද්ගලයන්

ඔබ නැති අතර ඔබේ දරුවන්ව හොඳින් රැක බලා ගන්නා බව තහවුරු කර ගැනීම ඔබේ වගකීමයි. මෙම කාර්‍යය ඔවුන්ගේ ආච්චිලා සීයලා විසින් ඉතා හොඳින් සිදු කරනු  න්ලැබේ. නමුත් සෑම ආච්චිලා සීයලා ගෙන්ම මෙම යුතුකම බලාපොරොත්තු වුය නොහැකි අවස්තාද නැත්තේ නොවේ. (ඔවුන් ගේ වයස්ගත භාවය​, රෝගී තත්ත්වය, දුර පෙදෙසක විසීම හෝ තවත් පුද්ගලික කාරණා මත​). ඊළඟ හොඳම විකල්පය වන්නේ හොඳ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ ඊට අදාල ආයතනයක් සොයා ගැනීම යි. තෝරාගත් ස්ථානය පිළිබඳ වැඩි තොරතුරු සොයා ගැනීම හා එහි වාසි සහ අවාසි පිළිබඳ වඩා හොඳ විශ්ලේෂණයක් කර බැලීම ඔබේ වගකීමයි.

3. රැකියාවට යාමට පෙර සහ පසු, දිනකට දරුවා සමඟ වැය කළ හැකි පැය ගණන

ඔබට  දිනක් තුළ ඔබගේ දරුවන් සමඟ ගත කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීමට හැකි විය යුතු ය.එම කාලය අනිවාර්‍යයෙන්ම ඔබ සහ ඔබේ දරුවන් අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. කාලයත් සමඟ ඔබ ඔබේ රැකියාවේ ඉතා ඉහළම තලයට ලඟා වීමට පිළිවන. එලෙසින්ම, ආපසු හැරී බලන කල ඔබ මවක් ලෙස අසාර්ථක යයි ඔබට පසු තැවීමට ඉඩ තබා නොගන්න​.

4. ඔබට හදිසි / අනපේක්‍ෂිත සිදුවීම් සම්බන්ධයෙන් ගත හැකි වැඩපිළිවෙල

(සහකරු හදිසියේ රෝගාතුර වීම් / ආබාධිත වීම් / මරණ  හෝ දික්කසාද )

මේ ලෝකයේ හැම දෙයක්ම අවිනිශ්චිතය.බලාපොරොත්තු නොවූ දේවල් අපගේ ජීවිත කරා ළඟාවීම නොවැලැක්විය හැකියි. එහෙත්, ඔබගේ දරුවන් ඔබ වටා සිටිනා විට , ඔබට දුක්වීම සඳහා නාස්ති කිරීමට කාලයක් නොමැත​. එවන් අවස්ථාවකදී ඔබ ඔවුන් ගේ ශක්තිමත් මව විය යුතුය. ඔබට ඉදිරියට ඔබගේ පවුල ගමන් කළ යුතු ආකාරය ගැන තීරණය ගත යුතු අතර ඒ සඳහා ක්‍රියාකාරී විය යුතුය​.

ඔබ සහ ඔබේ සහකරු නියත වශයෙන්ම සිතිය යුත්තේ  ඉහත සඳහන් ආකාරයේ බරපතල  කාරණා පිළිඹඳ මිස මේ සමාජයේ කියන කරන දේවල් ගැන නොවන බව දැන් ඔබට වැටහෙනවා යයි මා සිතමි. ඉහත කරුනු මත ඔබට පැහැදිලි විසඳුම් ලැබෙයි නම්, ඔබට ඔබේ රැකියාවේ දිගටම රැඳේ ද නැතිද යන්න ගැන පැහැදිලි නිගමනයකට පැමිණිය හැකිය යනු මගේ විශ්වාසයයි.

ඔබේ අවසන් තීරණය කුමක් වුවද​, එක දෙයක් අමතක නොකරන්න​. මවක ගේ ශක්තියට ලොවක් පුදුම කල හැකියි. ඇයට තම දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කල හැකියි. මවකට ඕනෑම අභියෝගයක් හමුවේ සෘණාත්මක අදහස් දරා ගැනීමට බලය ඇත.ඇයට, තම පවුල දෙසට පැමිණෙන ඕනෑම බාධකයකට ඔරොත්තු දෙමින්, සිය දරුවන් ද සමඟ ඉදිරියටම යාමට ශක්තිය ඇත​.  මවක් සිය දරුවන් විශේෂී පුද්ගලයන් කිරීමට හා අනාගතයේ දී මේ සමාජය, මේ ලෝකය වෙනස් කිරීමට ඔවුන් මෙහෙයවීමට දිරිය ඇත​. සැබෑ මවක්, තම දරුවන් නිසා තමා ලබාගත් දේ ගැන පුන පුනා සතුටු වනවා මිස​, දරුවන් නිසා තමාට අහිමි වූ දේ ගැන පසු තැවෙන්නේ නැත​.

ඒ මව ඔබ වන අතර ඔබ ඉතා බලගතු ය. ඔබ එය කිසිදා අමතක නොකරන්න. නිර්භීත වන්න! ඔබ අද සිටිනා තත්වය ඔබට ඔබේ රැකියාව අතහැර දැමීමට බල කරයි නම්, ඔබගේ හදවත ට ඉඩ දෙන්න. අනාගතයේ එක් දිනක ඔබේ දරුවන් ඔබ විසින් කල පරිත්‍යාගය ගැන ආඩම්බරයෙන් කතා කරනු ඇත. දරුවන් තමාව අගය කරන මොහොත තරම් මව් පදවියේ වෙනත් තෘප්තිමත් මොහොතක් ඔබට කිසි කලෙකත් අපේක්‍ෂා කල හැකිද​?

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ඔබේ බිරිඳ ගැබ් ගෙනද? එසේනම් ඔබ මේ දේවල් දැන සිටිය යුතුමයි!

මම දෙවරක් දරු ගැබකට උරුමකම් ලද වාසනාවන්ත මවක් වෙමි.

දරු ගැබක් පිහිටීම​, ස්වභාව ධර්මයට අනුව, කාන්තාවකගේ දිවියේ ඇය අත්දකින ඉතාමත් සාමාන්‍ය එමෙන්ම සුන්දර තත්වයකි. යම් යම් සංකීර්ණතා හමුවේ, විටෙක එය, යම් කාන්තාවකට කියනා තරම් මිහිරි අත්දැකීමක් ලබා නොදෙන බව මම පිළිගනිමි. නමුත් තම ලෙයින් පිහිටූ දරුවා කුසින් බිහිවන තෙක් ගතකරනා මාස කිහිපය සෑම මවකගේම ජීවිතයේ අමතක නොවන අත්දැකීම් සහ මතකයන් එක්‍ රැස් කරනවාට සැකයක් නම් නැත​.

ගැබිනි මව් සමයේ , අපට ඇත්තෙන්ම දැනෙන්නේ සහ අප විඳින්නේ කුමක්ද​? ඔක්කාරය​, වමනය කාන්තාවන් අත්දැකීමට අකමැති, නමුත් බොහෝවිට අත් දකින්නට සිදුවන තත්වයක්. අලස ගතිය​, සිරුර පණනැති ස්වභාවය​, ආහාර අරුචිය  තවත් පොදු ලක්‍ෂණ වේ. මා, මේ ලිපියෙන් කතා කිරීමට සැරෙසෙන්නේ එවන්, අප සියලු දෙනා දන්නා කාරනාවන් ගැන නොවේ. නමුත් ගැබිනි සමයේ බොහෝ කාන්තාවන්ට නොලැබෙන​, කවුරුත් නොසිතන, ඉතා මානුෂීය කාරණාවක් සම්බන්ඳයෙන් මගේ හදවතට දැනෙන දේ ඔබත් සමඟ සුහදව බෙදා ගැනීම මගේ අරමුණයි.

ගර්භණී කාන්තාව​…ඔව්… ඇය රෝගියෙකු නොවේ….ගර්භණී තත්වය, රෝගී තත්වයක් ද නොවේ…

නමුත්, “ඔයාට අැති අසනීපයක් නෑ”,  “ඕක ලෙඩක් නෙමෙයි ​”..යන වැකි කිහිපය​, ගැබිනි සමයේ  මට අසන්නට සිදුවු, මාගේ සිත ලෙඩ කරවූ අසහනකාරී ම වැකි කිහිපයයි. මෙය බොහෝවිට මා ඇසූයේ පිරිමි පාර්ශව යෙන්‍ ය​.

ගර්භණී සමය යනු කාන්තාවක් ශාරීරිකව මෙන්ම මානසිකව විශාල සකස් කිරීමකට භාජනය වන සමයකි. එම වෙනස, කාන්තාවකගේ කුස තුල තවත් එක ජීවයක් වැඩීමට,  ස්වභාව ධර්මයා විසින් කරන්නාවූ විශිෂ්ඨ වෙනසකි. සරළව පැවසුවහොත්, මෙවන් සමයක අැය තුල පවත්නාවූ හෝමෝන විසින් අැයව ගැහැණියකුත් නොවන​, පිරිමියකුත් නොවන නමුත් ඒ අතරමැදි තත්වතේ අමුතුම පුද්ගලෙයෙක් බවට පත් කරයි. යම් කිසි කෙනෙක්, මෙවන් වූ වෙනසක් කාන්තාවකට කරනා බලපෑම ඉතා සුලු යැයි සිතනවානම්.. එවන් අයට විශ්වාසයෙන් යුතුව පවසමි, එය එසේ නොවනා වග​…අැය රෝගියකු නොවූවද​, ඇයට සාමාන්‍ය ලෙස දිවි ගෙවිය නොහැක​. ඇය​, සමහරවිට මුලු දිනය පුරාම​, අපහසුතාවයෙන් කල් ගෙවා දමනවා විය හැක​.  වෙනදා කාර්‍ය ශූර ලෙස එදිනෙදා වැඩෙහි නිරත වූ ඇය​, අද ඉතා අපහසුතාවයෙන් , මගහැරෙනා සියලු වගකීම් ගැන ලතැවෙමින් පසුතැවෙනවා විය හැක. නමුත්​, කාන්තාව ඉතා ශක්තිමත්‍ ය​; ඇයට තම නොදුටු දරුවන් වෙනුවෙන් පවා ඕනෑම වේදනාවක්, අපහසුතාවයක් විඳ දරා ගත හැකියි.

ඇයට පිටස්තර ලෝකයේ කුමක් සිදු වුවද කම් නැත​. මෙවන් කලක ඇය බලා පොරොත්තු වන්නේ ඇය ගේ ආදරබර සැමියාවයි; ඔහුගේ ආදරයයි.

පියවරුන් වීමට ඇඟිලි ගනිමින් සිටින වාසනාවන්ත සැමියන් වෙත මෙම සටහන ලියමි. මෙවන් කලක ඔබගේ බිරිඳට වුවමනා කරන්නේ ඔබගේ අනුකම්පාව නොවේ; ඔබ ඇය බවට පත්වන්න; ඇය මෙන් සිතන්න​. ඇය ඔබට මුවින් නොපැවසුවාට​, ඇයට අවශ‍්‍ය වන්නේ විශේෂ සැලකීමක්, වෙනදාට වඩා විශේෂ වූ ආදරයක්, නිරන්තර දිරිමත් කිරීමක්.. සෑම බිරිඳක්ම තම සැමියාගෙන් පතන්නේ මේ දේවල් බව සැබෑ නමුත්, ගර්භණී සමයේ එය විශේෂ වශයෙන් බලා පොරොත්තු වේ.

ඇය, තමාට හිමිදිරියේ වමනය නිසා ඇතිවන අපහසු අවස්තාවේ ඔබ ඇයව අල්ලාගෙන සහයෝගයක් දේ නම් කෙතරම් අගනේදැයි නිරතුරුවම සිතයි. ඔබ​ ඇයගේ දවස පුරා පැවති කෑම අරුචිය ගැන විමසන තෙක් බලා සිටියි. ඔබත් සමඟ  ආඩම්බරයෙන් ,ඇයගේ වෛද්‍ය සායනයට යාම සඳහා අැය නිරන්තරවම බලාපොරොත්තු වෙයි. ඔබ ඇයගෙන් ඉවත්ව සිටිනා සෑම මොහොතකම​, ඔබ දවසට කිහිප විටක් දුරකතනයෙන් අමතා ඇයගේ සුවදුක් විමසීම බලාපොරොත්තුවෙන් සිටියි. ඔබට ඇය සතුටින් කල් ගෙවනු දැකීමට රිසිනම්, ඔබ ඇය සමඟ නිරතුරුවම සිටිනා බව ඇයට ඒත්තු ගන්වන්න​. එය ඔබ තුල පමණක් තබා නොගන්න​. ඇය ට එය ප්‍රකාශ කරන්න​.

මෑත දිනකදී මා ආදර සැමියා, මා පුදුම කරවූ දුරකතන සංවාදයක නියැලෙනු මට ඇසුනි. ඔහු, පියකු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා ඔහුගේ මිතුරෙකුට මෙසේ අවවාද කරනු ඇසී මා සතුටට පත්වීමි. “මේ දවස්වල නෝනා අප්සට වෙයි පොඩි දේටත්..ළඟින්ම ඉන්න බලන්න​” මේ ඔහුගේ වචනයි. ඔහු ඔහුගේ අත්දැකීමක් බෙදාගත් වග මා හොඳාකාරවම දනිමි.

පියවරුන් වීමට සිටින වාසනාවන්ත සැමියනි… මේ ඔබේ වාරයයි. දරු උපතින් අවුරුදු ගනණාවක් ගතවන තැන​, ආපසු ඔබ හැරී බලන කල, පසුතැවෙන්නට කාරණා ඉතුරු කර නොයන්න​. පියෙකු ලෙස​, ඔබ ඔබේ දරුවන්ට තම පණටත් වඩා ආදරය කරන බව ඒකාන්තයි. අද දවසේ ඔබට එම වාසනාව ගෙනඑන ඔබගේ ආදරබර සුරංගනාව අමතක නොකරන්න​. ඇය ට නිසිසේ සලකන්න​.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .