චූටි පැටව් ඉන්න අම්මලා “ගොතය” ගැනත් දැනුවත් වුණොත් නරකද?

අපි කවුරුත් කතා කරන්නේ පිට කරන හුස්මෙන්. හුස්ම පිටවීමත් සමගම අපේ ස්වර තන්ත‍්‍ර චලනය වෙන අතරම ඒ මගින් ඇති වන තරංගය දිව, තොල්, තල්ල මගින් කථන ශබ්ද බවට පරිවර්තනය වීම සිදුවේ. මේ ක‍්‍රියාදාමය යම් අයෙකුට සමබරව සිදු කරගත නොහැකි නම් ඒ තත්ත්වය ගොතය ලෙස හැ`දින්වේ.

ගොතය කුඩා අවධියේ පටන්ද ඇතැම්විට එක් වයස් සීමාවකදී එක්වරම හට ගන්නා අවස්ථාද දැකිය හැකිවේ. කෙසේ වුවද යමකට බියවූ අවස්ථාවකදී හෝ කතා කරන දේ පිළිබ`දව නිසි අවබෝධයක් නොමැති විට හෝ බොරු කියන විට මෙන්ම ගොතය සහිත පුද්ගලයකු නිතර දැකීමෙන් සහ ඔහු සමග නිතර කතා කිරීමෙන් ඔහුගේ විලාසය ආරෝපණය කරගන්නා අවස්ථා ඇති වන බවද සමහරෙකු පවසයි.

කුඩා දරුවන් අකුරු එක් කරමින් වචන ගලපමින් කතා කිරීමට උත්සාහ දරන කාලය එනම් අවුරුදු එකහමාරත් දෙකත් අතර කාලයේදී ඔවුන් වෙතින් වරින් වර මතුවන ගොතය සාමාන්‍ය තත්ත්වයකි. එය ඇති වන්නේ ඔවුන් කතා කිරීමට දරන උත්සාහයද සමගිනි. නමුත් මේ තත්ත්වය දිනෙන් දින වැඩි දියුණු වෙමින් දරුවා කතාබහ කිරීමට වැඩි වෙහෙසක් දරන්නේ නම් ඒ පිළිබ`දව අවාදනය යොමු කරමින් සැලකිලිමත් වීම වඩා වැදගත් වේ. එසේම වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතු වන අනෙක් කරුණු වන්නේ කතා කිරීමේදී දරුවා ඉක්මණින් විඩාවට පත්වේද මුහුණේ චලනයන්හි විශාල වෙනසක් පවතීද යන කරුණු පිළිබ`දවයි. ඒවා යම්තාක් දුරට ආසාමාන්‍ය තත්ත්වයන් විය හැකිය. මෙවැනි අවස්ථාවකදී තත්ත්වය පිළිබ`දව සැකහැර දැනගැනීම ස`දහා දරුවා සුදුසුකම් සහිත වාග් ව්‍යාධවේදීවරයකු වෙත ගෙන යාම ඉතාම වැදගත් වේ. එහිදී අවශ්‍ය උපදෙස්, ක‍්‍රියාකාරකම් මෙන්න ප‍්‍රතිකාර පිළිබ`දවද නිවැරදි මගපෙන්වීමක් ඔබට හිමි වනු ඇත.

දිනෙන් දින වැඩෙන දරුවාට මෙවැනි තත්ත්වයක් හමුවේ සිය වටපිටාවට මුහුණ දීම ගැටලූවක් විය හැකිය. පෙර පාසැල හෝ පාසැල වෙත දරුවා ඇතුළත් කිරීමට ප‍්‍රථම මෙම තත්ත්වය පාලනය කර ගැනීමෙන් දරුවාගේ කතාව සම්බන්ධව පාසල් පරිසරයේ ඇතිවිය හැකි ගැටලූකාරී තත්ත්වයන් රැුසක්ම මගහරවා ගත හැකිය. දරුවා සිය අපහසුතාවය පිළිබ`දව බියට පත්වීම හේතුවෙන් කතා කිරීමට බියක් මෙන්ම අකමැත්තක් දැක්වීමටද ඉඩ ඇත. එය අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් ඇති කිරීමට හේතු වේ. මව්වරුන් ලෙස දරුවන්ගේ මෙවැනි තත්ත්වයන් පිළිබ`දව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු වන්නේ ඔවුන්ගේ අදහස්, ආකල්ප, පෞරුෂත්වය හා හැසිරීම් රටාවල ආසාමාන්‍ය වෙනස් වීම් ඇතිවීමටද මේ තත්ත්වය බලපෑම් කළ හැකි බැවිනි.

ගොතය සම්බන්ධව සිදු කරන ලද සමීක්ෂණවලට අනුව ගොතය සහිත පුද්ගලයකු පවුලේ සිටීමෙන් එම පවුලේ තවත් සාමාජිකයකුට ගොතය ඇතිවීමේ අවධානම වෙනත් අයෙකුට ඇතිවීමේ අවධානමට වඩා තුන් ගුණයකින් වැඩි බව හෙලිවී තිබේ. ජානමය බලපෑම් මත ගොතය ඇතිවීමේ ප‍්‍රවණතාවය ඉතා අවම මට්ටමක පවතින අතර වඩාත් පිළිගත් නවතම මතය වන්නේ මොළය සහ ස්වසන පද්ධතිය ආශ‍්‍රිත ගැටලූකාරී තත්ත්වයන් මත ගොතය ඇති වී වැඩි දියුණු වන බවයි. කතා කිරීමේදී කැඩුණු හෝ ඇදෙන ආකාරයේ කතා විලාසයන් ඇති වීමට මොළයෙන් නිකුත් කරන ස්නායු ආවේග නිවැරදිව සමායෝජනය නොවීම හේතු වේ. මොළයේ ඇතිවන ආවේග සමග ස්වසන පද්ධතිය හා මුඛයේ දිව, තොල්, තල්ල සමග ඇති වන ක‍්‍රියාවලිය හා ස්වර තන්ත‍්‍ර චලනය වීමේ ක‍්‍රියාවලිය හරි හැටි පාලනය කිරීමට නොහැකි වීම ගොතය ඇති වීමට හේතුවයි. මෙහිදී සිදුවන්නේ ස්වසනය සහ ශබ්ද නිෂ්පාදනය නිවැරදි ලෙස පාලනය නොවීමයි. එනිසාම කතා කරගෙන යාමේදී හුස්ම මදිකම, බෙල්ල හා පපුව ආශ‍්‍රිත වේදනාවක් ඇතිවීම, මුහුණේ සහ ශරීරාංගවල වෙනස්වීමක් සහ කතාවේ දැඩි අපහසුතාවයක් ඇතිවීම දක්නට ලැබෙනවා. නමුත් තාලයට කතාකරන විට හෝ ගීත ගායනා කරන විට මේ අපහසුතාවයන් දක්නට නොලැබීම ගොතය සම්බන්ධ සුවිශේෂි සාමාන්‍ය ලක්ෂණයකි.

මෙවැනි දරුවෙකු නිවසේ සිටින විට නිවැසියන් සැමවිටම ඔවුන්ගේ සහයෝගය දරුවාට ලබාදීම අනිවාර්ය වේ. කිසිවිටකත් දරුවාගේ ගොතය පිළිබඳ ඔහු හෝ ඇය ඉදිරියේ සුවිශේ්ෂීව කතා නොකරන්න. තමා සතු ගැටලූව උදව් නොමැතිව නිවැරදි කරගන්නට අපහසු බැවින් ගොතය සහිතව කතා කරන විට එය නිවැරදි කරවන්නට හෝ නිවැරදිව කියන්නට බලකරන්නටද, තාලයට කියන්න, හුස්ම අරගෙන කියන්න යැයි උපදෙස් ලබාදීමද නුසුදුසුය. එය මෙම ගැටලූව වඩාත් උග‍්‍ර වීමට හේතු විය හැකිය.

ගොතය පාලනය කරගැනීමට නම් පෙර ස`දහන් කළ පරිදි සුදුසුකම් සහිත වාග් ව්‍යාධිවේදීවරයකු විසින් අනුමත කරන ලද වාග් චිකිත්සන ප‍්‍රතිකාරවලට යොමුවීම වඩා වැදගත්වේ. එහිදි නිවැරදි ස්වසන අභ්‍යාස හා කතාවේ වේගය පාලනය කිරීමේ ක‍්‍රම ඉගෙනීමෙන් පැහැදිලිව කතාකිරීම ස`දහා අවශ්‍ය මොළය විසින් නිකුත් කරනු ලබන ස්නායු ආවේග සමායෝජනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙවන් අවස්ථාවකදී තත්ත්වය දුරදිග නොයවා නිවැරදි පියවර ගැනීමේ වගකීම මව්පියවරුන් සතුය.

කථන හා භාෂා ව්‍යාධිවේදී නිමීර චතුරංග වීරරත්න සමග සිදුකළ සාකච්චාවක් ඇසුරෙනි

ඔබට දරුවන්ගෙ සිතුවිලි මගහැරුණහොත් ජීවිත කාලයටම ඔවුන් අපව මගහරිනු ඇත

“ළමයෝ ඕක කරන්න එපා”

“අයියෝ ඕකත් කරන්න එපා”

“අනේ මන්දා එපා කියන දේමයි කරන්නේ ”

ඔබේ දරුවන්ට ඔබ ඔහොම කෑගහනවද? පිළිතුර “ඔව් ”නම් මේ ලිපිය ඔබ කියවිය යුතුමයි. දැන් මසකට පමණ කලින් අපේ නිවස පුරාම රැව්දුන්නේ දරුවන්ගේ හඬත් එක්ක එයාලටත් වඩා හයියෙන් ගෝරනාඩු කරන මගේ හඬයි. ඇත්තටම නිවසින් පිටත ඉන්න පිටස්තරයන් අහගෙන සිටිය නම්

“අපෝ අර ගෑණී නම් මහ යක්ෂ ගෑනියෙක් ”

කියලා හිතන එක නම් නොඅනුමානයි. පහුගිය දවසක පොතක් නැති කරගත්ත මගේ ලොකු පුතාට මම  මහ හඬින් සැර  කරලා ගුටියක් දුන්නා. කේන්තිය විසින් මා යටපත් කරගෙන තිබුන නිසා මම තරහින් රවාගෙන පුතා දිහා බැලුවා. අහම්බෙන් මගේ නෙත් පුතාගෙ නෙත් මත නතර වුණා. දෙවියනේ… ඒ ඇස් වල තියෙන දුක, බය, අනේ අම්මේ… කියන, ඇස් දුටුව මට අකුණු සැරයක් වැදුනා වගේ හිත හිරිවැටිලා ගියා. ළඟට ආව පොඩ්ඩටත් මම නොරිදෙන්න ගුටියක් දුන්නෙ ලොක්කට පේන්න. මට විරිත්තා පොඩ්ඩා අයියා ළඟට ගියා. තවම කතා කරන්න වචන ඇහිඳින පොඩ්ඩා

“අයියේ… ගුති දෙනවා, පොච කෝ…? ”

මාව අනුකරණය කරමින් ලොකු පුතුට පහරක් ගැසුවා. හිතේ තද කරගෙ තිබ්බ ලොක්කගෙ දුක වාන් දැම්මා. පුංචි ඇස් වලින් කඳුළු සට සට ගාලා කඩා වැටෙද්දි මම පුතාව තුරුලට ගත්තා.

“අයියා අඬා එපා…”

පොඩ්ඩත් අයියා සනසද්දි මගේ හිත මහා බරකින් පිරුණා. අවුරුදු හතක් වුන මගේ ලොකු පුතාට එකම කාරණය මට හතර පස් පාරක් කියන්නම සිද්ද වෙනවා. පාඩම් කරන්න ගියොත් නාහෙන් අඬනවා, හැම වැඩේම ඉබ්බා වගේ කරන්නේ, කිසිම දෙයක් ගණනට නොගෙන ඉන්න නිසා  බොහෝ වෙලාවට මගෙන් බැණුම් නම් කෙළවරක් නැතිව ඔහුට ලැබෙනවා. ඒත් මේ තරම් හැඟීම් ගොඩක් මම ලොක්කගෙ ඇස් වලින් මීට කලින් දැක්කෙ නැහැ, නැත්තනම් දැක්කත් ගණනකට ගත්තෙ නැහැ.

ජීවිත රඟ මඩලෙ චරිතාංග නිළියන් වන අපට පැවරිලා තියෙන වගකීම් බොහෝමයි. ඉර අවදිවන්නට පෙර දවස අරඹන අපට ඉර අවරට ගොස් හෝරා හතරක් පහක් පමණ වනතුරුම විවේකයක් නම් නැහැ. ගෙදර දොරේ වැඩ, දරුවන්ගෙ ඉගෙනීම් කටයුතු,දරුවනගේ පෝෂණය, සැමියාගේ කටයුතු, දෙමාපියන්ගෙ යුතුකම් එකී මෙකී නොකී කාර්යයන් රාශියක් ආවරණය කල යුතුය. ඔය අතර දරුවො දඟ කරන කොට ඒ දඟකාරකම් අපව තවත්  වෙහෙසට පත් කරද්දි මගේ නම් ඉවසීම පැත්ත පලාතකවත් ඉතිරි වන්නෙ නැහැ. එදා රාත්‍රියේ නින්දට යන්න මගේ උණුහුම සොයන මගේ ලොක්කව මම ළඟට ගත්තා.

“පුතේ ඔයා අම්මට ආදරෙයිද?”

“ හුම් ”

“එහෙනම් ඇයි මම කියන දේ අහන්නේ නැත්තේ ? ”

පිළතුරක් නොලැබෙන විට මම ආයෙමත් ඒ ප්‍රශ්නයම දෙතුන් වතාවක්ම ඇහුව්වා.

“අම්මා මල්ලිටනෙ ආදරේ ”

“ඇයි ඔයා එහෙම කියන්නනේ ”

“කොයි වෙලේ බැලුවත් අම්මා මල්ලිත් එක්ක, එයාට කුක්කු දෙනවා, රෑට නිදියන්නේ එයාගෙ පැත්ත හැරිලා…”

“ ඔයා කියපු සේරම ඇත්ත තමයි , හැබැයි ඔයා කියපු  එකක් වැරදියි, අම්මා මල්ලිට විතරක් නෙමේ ඔයාටත් ආදරෙයි හුඟාාාාක් , මල්ලි තාම පොඩියි එයාට එයාගෙ වැඩ තනියම කරගන්න බැහැනේ ඒකයි මල්ලි ළඟ හුඟක් වෙලා ඉන්නනේ ”

“එහෙනම් මට බනින්නේ”

“ඒ ඔයා කියන්  දේ අහන්නෙ නැති නිසා, ඔයාට විතරක් නෙමේ මල්ලිටත් අම්මා බනිනවනේ ,හරි අපි අද ඉඳලා වෙනස් වෙමු මම ඔයාට බනිනනෙ නැහැ හැබැයි ඔයත් බැනුම් අහන්න බැහැ ”

“හරි ”

අපි අතර වාචික ගිවිසුමක් ඇති වුනා.

අපි නොහිතන පැතිකඩවල් බොහෝමයක් දරුවො දකිනවා. මගෙ පැටවුන්ට මම එක වගේ ආදරේ වුනත් එයාල ඒක දකිනනෙ වෙනත් විදිහකට. පුංචි කාරණයකින් තීරණ ගන්නවා. පොරොන්දු වුනා වගෙ නෙමෙයි මට

හුඟක් මහන්සි වෙන්න වුනා. දරුවො කරන දඟ වැඩ දකිද්දි ගිවිසුම අමතක වෙලා බනින්න දිව නැමෙන කොටම මට ගිවිසුම මතක් කරගන්න සිදුවුණා. උදේ පාසලට යන්න සූදානම් කරන්න අලුත් උපක්‍රමයක් සොයා ගත්තා.

“හරී ඉක්මණටම ඇඳ ගත්තොත් ලකුණු දෙනවා, හවස් වෙනකොට ලකුණු 15 ක් ගත්තොත් හවසට ක්‍රිකටි ගහන්න එනවා ”

මෙන්න ලොක්කා ඇඳුම් ඇඳගෙන

“ නියමයි ලකුණු 1යි ”

සපත්තු දාලා බත් කාලා සේරම ඉවර වුනාම ප්‍රසාද ලකුණුත් සමඟ ලකුණු 5 ක් හිමි කරගත්තා.

දවසින් දවස දෙන වරප්‍රසාදය වෙනස් වුණ නිසා ලකුණු ක්‍රමය සාර්ථක වෙන්න පටන් ගත්තා. පාඩම් කටයුතු නම් ලකුණු වලින්ම සාර්ථක කරගන්න බැරි බව පෙනුන නිසා ඒකට වෙනත් ක්‍රමයක් සොයා ගන්න මට සිදු වුණා.

ඇත්තටම ලොක්කා ටිකක් මගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒ මම තරවට්ටු කරන නිසත් මල්ලිට වැඩි සැලකිලි දක්වනවා කියලා හිතන නිසත් වෙන්න ඇති. මල්ලිව වෙනත් වැඩකට යොදවලා අයියව ටිකක් හුරතල් කරන්නත්, දැනෙන්නම ආදරේ කරන්නත්, ලොක්කව මම කරන වැඩ වලට හවුල් කරගන්නත් පුරුදු වුණා. විශ්වාස කරන්නත් අමාරුයි දැන් මගේ පුතාට මම ඉස්සර වගේ කෑ ගහන්න ඕන නැහැ. දැන් දැන් එයා තනියම මම කියන්නත් කලින් එයාගේ වැඩ කරගන්නවා. උදේට පාසල් යන්න තනියම ලෑස්ති වෙනවා.බොහෝ වෙලාවට මව්වරුන්ට දරුවන් පිළිබඳ තියෙන්නේ එකම ගැටළුය. එක් මවක් පැවසුවෙ ඇගේ වැඩිමල් දියණිය නංගිට සැලකිලි දක්වන බව කියන බවත් ඇයත් සමඟ අමනාපයෙන් සිටින බවත්ය. එනිසාම ඇය ඉතා අකීකරු බවත් ඇය පැවසුවේ සංවේගයෙන්ය.

අපට දරුවන් සිතුවිලි මගහැරෙන අවස්ථා නැත්තේම නොවේ. නමුත් දිගින් දිගටම ඔවුන්ගේ සිතුවිලි අපට මග හැරෙන විට දරුවන් ජීවිත කාලයටම අපව මගහරිනු ඇත. එහෙයින් දරුවන් කිහිප දෙනෙක් සිටින විට කටයුතු කල යුත්තේ ඉතා පරිස්සමටය. දරුවන්ට අප ආදරේ වුවද ආදරය සිතෙහි තබාගෙන පලක් නැත. ඔවුන්ට දැනෙන්නට ආදරය කලයුතුය. ඒ පුංචි සිත් විනිවිද යනතුරු දැනෙන්නට, පෙනෙන්නට ආදරය කිරීම ඇවසි බව මා වටහා ගතමි. ඉතින් ආදරණි අම්මාවරුනේ මොකද මේ ගැන ඔයාලා හිතන්නේ ?

දෙමාපියන්ව සැනසීමට දරුවන් ලබා දෙන නිදහසට කාරණා 5ක්

යහපත් ගතිගුණ දරුවන් තුල ප්‍රගුණ කරවීම කාලය හා ශ්‍රමය වැය වන කර්තව්‍යයකි. නමුත් දරුවන් වැඩෙත්ම ඔවුන් ඉතා උපක්‍රමශීලිව කරදර වලින් ගැලවෙන්නට නිදහසට කාරණා සපයයි. මෙම හැකියාව සමහර දරුවන් ඉතා දක්ෂ ලෙස හසුරුවති.

පහත දැක්වෙන්නේ දරුවන් විසින් නිතර ලබා දෙන නිදහසට කාරණා 5ක් හා ඊට දෙමාපියන් ප්‍රතිචාර ලබා දිය යුතු ආකාර වේ. ප්‍රවීණයන්ට අනුව දරුවන් නිදහසට කාරණා ලබා දීම දෙමාපියන් වැලැක්විය යුතු අතර එවිට දෙමාපියන් ලබා දෙන නිදහසට කාරණය “එහෙම නවත්තන එකත් කල් යන වැඩක්” යන්නයි.

එයයි පටන් ගත්තේ !
මෙය දරුවන් විසින් සාමාන්‍යයෙන් ලබා දෙන නිදහසට කාරණයකි. ඔබඩ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටී නම් බොහෝ විට කරදර වලින් ගැලවීම සඳහා දරුවා සහෝදරයා/සහෝදරිය මත වැරැද්ද පටවයි. මව හෝ පියා තමාට පමණක් බැණ වැදීම අසාධාරණ බවත් සහෝදරයාත් ඊට වගකිව යුතුයි යන්න දරුවා තම දෙමාපියන්ට පහදන්නට උත්සාහ ගනියි. දෙමාපියකු වන ඔව මීට “අයියව ඇද ගන්න එපා මේකට” යනුවෙන් පැවසුවොත් දරුවා සාමාන්‍යයෙන් “ඒ උනාට එයයි ඒක පටන් ගත්තේ” යනුවෙන් තම වැරැද්ද සාධාරණීකරණය කරයි. බොහෝ දෙමාපියන් මෙම වාද විවාදය අවසන් කරන්නේ “හරි, එහෙනම් ඔයාම ඕක ඉවර කරන්න” යනුවෙනි.

“ඒකට තව වෙලා යයි “
ඔබ දරුවාට ඔහුගේ කාමරය හෝ සෙල්ලම් බඩු ටික අස් පස් කරන්න යැයි පැවසූ විට බොහෝ අය මෙසේ නිදහසට කාරණා සපයයි. “ඒක කරන්න ගොඩක් වෙලා යයි අම්මේ”, ඊට බොහෝ මව්වරුන් පිලිතුරු දෙන්නේ මේ ආකාරයෙනි. “ඔයාට බඩු ටික අදින්නනම් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාට වෙලා ගියත් ඔය ටික අස් කරන්නම වෙනවා” යනුවෙනි. ඔබට දරුවා එසේ තම බඩු අස්කරන තෙක් බලා සිටිය හැකි අතර හැකි නම් දරුවා සමඟ එක්ව එය හවුලේ සිදු කල හැක.

“ආහ්, මට ඒක අමතක උනානේ”

දිනපතා සිදුකල යුත් කර්තව්‍යයන් සමහරක් දරුවන්ට පෙනෙන්නේ කිසිම විනෝදයක් නැති කම්මැලි ක්‍රියාකාරකම් ලෙසටය. දෙමාපියන්ට දහ වතාවක් පමණ එම කාර්යය කරන ලෙස අවාවාද කිරීමට සිදුවන අවස්ථාද නැත්තේ නොවේ. මීට දරුවන්ගෙන් ලැබෙන සාමාන්‍ය පිලිතුර වන්නේ ” ආහ්, මට ඒක අමතක උනානේ” යන්නයි. උදෑසන අවදි වූ දරුවාට ඉක්මණින් ලැහැස්ති වී ඉස්කෝල ඇඳුම අඳින ලෙස ඔබ පැවසූවත් විනාඩි කිහිපයකට පසු ඔබ මුළුතැන්ගේ වැඩ අවසන් කොට කාමරයට පැමිණි විට දරුවා තමත් සෙල්ලම් බඩු සමඟ හෝ වෙන යම් දෙයක් කරමින් සිටින්නට පුලුවන. කෝපයන් කෑ ගසන මවට පියාට දරුවා ප්‍රතිචාර දක්වන්නේ “ආහ්, මට අමතක උනානේ” යනුවෙනි.

“ඒ උනාට,මම…”

මෙය ඔබ දරුවාට යම් දෙයක් නොකරන ලෙසට අවවාද කල විට බොහෝ දරුවන් දෙන නිදහසට කාරණයකි. මෙහි ඊලඟ කොටස, ඔබ දරුවාට නොකරන ලෙස පැවසූ දේ මත් තීරණය වේ. උදාහරණයක් හැටියට ඔබේ දරුවා ඔබට නොරිසි දෙයක් කර අසු වූ විටෙක, මෙසේ නිදහසට කාරණා ගෙතිය හැක. “ඒ උනාට මං ඒක පොඩ්ඩ වෙලාවකටයි කලේ” හෝ “ඒ උනාට මං ඒක නවත්තන්නයි හිටියේ” යනාදි ලෙස උපක්‍රමශීලීව කරදරයෙන් නිදහස් වීමට දරුවා තැත් කරයි. නමුත් මෙය සැමවිටම සාර්ථක වන්නේ නැත.

“මගේ බඩ පිරිලා”

යහපත් ආහාර පුරුදු දරුවා තුල ප්‍රගුණ කරවීම ඉතා අසීරු කාර්යයකි. ඔබ යම් දෙයක් කැවීමට යන විට බොහෝ දරුවන් “අම්මේ, මගේ බඩ පිරිලා” යනුවෙන් පවසයි. මෙලෙස දරුවන් නිදහසට කාරණා පවසන්නේ කෑම පිඟානේ ඇති එලවලු ටික දැකීමෙනි. සමහර දරුවන් තම කැමති නැති මාලු මඟ හරින්නේ.

මට බඩගිනි නෑ හෝ මගේ බඩ පිරිලා යැයි පවසා හෙමින් සිරුවේ සෙල්ලම් කිරීමට දිව යාමේනි. තවත් දරුවන් කාණ්ඩයක් ඔබට නොදැනීම එලවලු බිමට දමයි. කෙසේ නමුත් බුද්ධිමත් දෙමාපියන් දරුවන්ගේ මෙම උප්පරවැට්ටි පිළිබඳ දන්නා අතර ඒ අනුව උපායශීලිව ඔවුන්ව හසුරුවන්නට උත්සාහ ගනියි.

ඔබේ දරුවනුත් මෙසේ උපක්‍රමශීලීව සපයන වෙනත් නිදහසට කාරණා තිබේද?

ඔන්න ආයෙත් වැස්ස ඇවිත්… දරුවන්ගේ නිරෝගී බව ගැන ඔබ සැළකිලිමත්ද?

පහුගිය කාලේ තිබුණු දරාගන්න බැරි රස්නය ඉවර වෙලා තදින්ම වහින්න පටන් අරගෙන. ඇ`ගට වගේම හිතට දැනෙන්නේ පුදුම සනීපයක්. චූටි දුව ජනේලයෙන් වැස්ස වහින දිහා බලාගෙන ඉඳල මම දිහා බැලූවා. ඒ ඇස් මට කිව්වේ ”අම්මා, මටත් මේ වැස්සෙ තෙමෙන්න ආසයි” කියලා. මටත් මගේ අතීතය මතක් වුණා. අපි වැස්සට කොයිතරම් නම් තෙමෙන්න ඇතිද? කොයිතරම් නම් සතුටින් වැස්සේ සෙල්ලම් කරන්න, නටන්න ඇතිද? හරි හෝ වැරදි වේවා, මම දුවට දොර ඇරලා දුන්නේ ඇගේ පුංචි ඇස්වලින් කරපු ඉල්ලීම අහක දාන්න හිත දුන්නේ නැති නිසා.

ඇත්තටම අපි මේ විදියට දරුවන්ගේ ආසාවන්ට ඉඩ නොදෙන්නේ එයාලාව නොතේරෙන නිසා නම් නෙවෙයි. අම්මලා විදියට නිරෝගීව දරුවන් ඇති දැඩි කිරීමේ පූර්ණ වගකීමට පැවරෙන්නේ අපිට නිසයි. සමහර විද්යාඥයින්ගේ මතය වැස්ස නිසා ආර්ද්‍රතාවය එහෙමත් නැත්නම් තෙත් බව වැඩිවීම අපේ ප්රතිශක්තිකරණ හැකියාව අඩු කරන බවයි. ඒ වගේම තෙත් බව වෛරස බෝවීම වැඩිකරන බවයි. වැස්ස කාලෙට වැඩිපුර දරුවන්ව පරිස්සම් කරන්න ඕනේ. මොකද බොහොමයක් ලෙඩ රෝග ව්යාප්ත වෙන්නේ මේ වැස්සත් එක්ක.

මිදුලේ පොඞ්ඩක් තෙමෙන්න ඉඩ ඇරියට වැසි වතුර රැඳුණු තැන්වලට නම් මම දුවට යන්න දෙන්නේ නෑ. මොකද දන්නවද?
කෘමීන් වගේ පුංචි පුංචි සත්තු වැසි කාලයේදී සීඝ්රයෙන් බෝ වෙනවා. ඒ වගේම ඒ තැන්වල විෂබීජ වර්ධනය වීම වැඩි වශයෙන් සිදු විය හැකියි. ඒ දේවල් දරුවන්ගේ ශරීර සෞඛ්ය කෙරේ බලපෑමක් ඇති කළ හැකියි. විශේෂයෙන්ම වැසි කාලයේදී ගේ දොර වටපිටාව පිරිසිදුව තබා ගන්න මම ගොඩක් උනන්දු වෙනවා. ඒකෙන් කියන්නේ පායන කාලයේදී ඒ ගැන සැළකිල්ලක් නෑ කියන එක නම් නෙවෙයි. වැහි කාලයේදී ඊට වඩා සැළකිලිමත් වෙනවා කියන එකයි. මොකද පුංචි දරුවන් ඉන්න ගෙදරක වටපිටාව උපරිම පිරිසිදු තත්ත්වයේ නොතිබුණහොත් දරුවන් ලෙඩ රෝගවලට ගොදුරු වීමේ ප්රවණතාවය වැඩියි.

 වතුර රැඳෙන තැන් ඩෙංගු මදුරුවට රජදහනක් බව දන්නවා නේද?
ඉතිං මේ ගැන නම් අපි කවුරුත් විශේෂ අවදානයක් යොමු කරනවා කියලා මම දන්නවා. මොකද ඩෙංගු ටිකක් භයානක රෝගයක් වුණත් පිරිසිදු වටපිටාවක් හරහා අපිට වළක්වාගන්න පුළුවන්. ඉවතදාන ප්ලාස්ටික්, මැටි හා ලෝහ භාජන, මල් බ`දුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියලි පොල් කෝම්බ, පොල් කටු හා වැහි පිහිලි වගේ ජලය රැුදෙන ස්ථානවල ඩෙංගු මදුරුවෝ බිත්තර දාන බව මාධ්ය හරාහා හැම නිතරම ජනතාව දැනුවත් කරනවා. ඒ වගේමයි, අන්නාසි පත්ර අතර ගස් බෙන වැනි ස්වභාවිකව ජලය රැුදෙන ස්ථානවලත් ඩෙංගු මදුරුවන් බෝ වෙනවලූ. අන්න ඒ නිසයි අපි අවට පරිසරය පිරිසිදු කරගන්න ඕනේ.

උණු කරලා නිවපු වතුර තමයි මම නම් දුවට දෙන්නේ, ඒ ඇයි දන්නවාද?
පාචනය සහ කොළරාව වගේ රෝග වැඩිපිර ව්යාප්ත වෙන්නේ වැසි කාලෙට. ඉතිං අපි බොන වතුර අපිරිසිදු වුණොත් දරුවන්ට රෝග බෝ විය හැකියි. ඒ නිසා මම හැම නිතරම දුවට උණුු කරලා නිවපු වතුර තමයි බොන්න දෙන්නේ.

වැස්ස කාලෙදි දුවට වැඩිපුර දෙන්නේ හොඳින් පිසින ලද කෑම වර්ග. ඒ මොකද දන්නවද?
වැහි කාලයට විෂබීජ ගැවසෙන ප්රමාණය වැඩියි කියලා අපි කව්රුත් දන්නවා. ඉතිං පලා වර්ග එහෙම අපි දන්න කියන තැනකින් තමයි ගන්න ඕනේ. එහෙම ගත්තත් හොඳට සෝදන්න අමතක කරන්න එපා. මම නම් විනාඩි කිහිපයක් ලූණු වතුරේ දාලා තියනවා. එතකොට විෂබීජ තියෙනවා නම් ඒවා විනාෂ වෙලා යනවා. වෙනදා වගේ අමුවෙන් ආහාරයට ගන්න ප්රමාණයත් මම අඩු කරනවා. ඒ වගේම සෑම ආහාර වේලක්ම පෝෂණීයව සැකසුණොත් දරුවන්ට ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන්න අවශ්ය ප්රතිශක්තිය ගොඩ නැගෙනවා.

මව්වරුන් විදියට අපි වැසි කාලයේ පැතිර යන රෝග පිලිබඳ අවදානය යොමු කළ යුතුමයි. දරුවෙක් රෝගී වී නම් අවශ්ය වෛද්ය උපදෙස් ඉක්මණින් ලබාගන්නට අමතක කරන්නත් එපා.

දරුවකු හදා ගත යුතු කාලය දැන් එළඹී ඇත්ද?

අප ජීවත් වන්නේ ආගන්තුක සත්කාර වලට ඉහල තැනක් ලබා දෙන අන් අයට උදව් උපකාර කරන සමාජයකින් සමන්විත කුඩා දිවයිනකය. දුකෙහිදි හා කරදරයකදී අන් අයගේ පිහිටට ඉදිරිපත්වීමේ ඒ යහපත් ගුණාංගය ආදී මුතුන් මිත්තන්ගෙන් පරම්පරාවට පැවත එන්නකි. ශ්‍රී ලාංකික සමාජයේ නිසැඟයෙන්ම පිහිටන මෙම පුරුද්ද සමහර අවස්ථාවලදී අන් අයගේ පෞද්ගලිකත්වයට හිරිහැරයක් වන අයුරින් ක්‍රියාත්මක වේ. වැඩිහිටියන් නිතරම ඔවුන්ට වඩා අත්දැකීම් අඩු, වයසින් ලාබාල තරුණ උදවියට අවවාද කිරීම, අන් අයගේ ජීවිත කෙරෙහි දැඩි උනන්දුවක් හා කුතුහලයක් දැක්වීම වැනි අවස්ථා මින් කිහිපයකි.

අපේ සංස්කෘතිය කසාදය, දරුවන් හදා ගැනීම හා උපයන ආදායම වැනි මූල්‍යමට තොරතුරු වැනි විශයන් සඳහා දක්වන්නේ සැහැල්ලු ආකල්පයකි. මේ නිසා සමහර පුද්ගලයින්, කුතුහලයෙන් එකිනෙකාගේ විස්තර කතා බස් කරති. මෙය සැම විටම ඕපාදුප ලෙස සැලකිය නොහැකි අතර ඔවුන් එසේ අන් අයගේ ජීවිත පිළිබඳව දැඩි උනන්දුවකින් කතා කරන්නේ සහජයෙන්ම පිහිටන කුතුහලය නිසාවෙනි.

බටහිර රටවල මෙන් නොව පෙරදිග සංස්කෘතින් බොහෝමයක් “තමන්ගේ වැඩක් බලාගෙන” ජීවත් වන පිරිසක් නොවේ. අපි ආත්මාර්ථකාමි ජීවන රටාවකට වඩා, ලෙඩකදී, දුකකදී, විපතකදී හා මරණයකදී අන අයට පිහිට වෙමින් ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කරන පරාර්ථකාමි, පරෝපකාරි ජීවිතයකට හුරුවූ සමාජයක් වෙමු. නමුත් කසාදය, දරුවන් හදා ගැනීම හෝ රැකියාවන් වලට අයදුම් කිරීම වැනි පෞද්ගලික විෂයන් හිදී අන් අයගේ අනවශ්‍ය මැදි හත් වීම හෝ ඔවුන්ගේ මතයන් අපව නුරුස්සන අතර මෙවන් අවස්ථාවල අප බාහිර බාධාවන් වලින් තොරව ස්වාධීනව තීරණ ගැනීමට කැමත්තක් දක්වන්නෙමු.

කසාදය හා දරුවන් හදා ගැනීම සාර්ථක ජීවිතයක එක්  කොටසක්ද?

කසාදයට පෙර කෙනෙකුගේ මානසිත ආතතියේ තීව්‍ර බව පවුලේ කෙනෙකුගේ මරණයකදී පුද්ගලයෙකුට දැනෙන ආතතියට සමාන බව ඔප්පු වී ඇත. තරු පහේ මංගල උත්සව, සුන්දරම මනාලිය, මධු සමය සඳහා පිටර යාම වැනි නූතන සමාජ සම්මතයින් සාක්ෂාත් කර ගැනීමට මුදල හා ශ්‍රමය යොදවන විවාහ ජෝඩුවට දැඩි මානසික පීඩනයක් ඇතිවේ. මට ලඟකදී විවාහ වූ ජෝඩුවක් මුණ ගැසුණු අතර, ඔවුන් සමඟ ඇතිවූ සංවාදයකදී මට දැන ගන්නට ලැබුනේ දෙදෙනා අතර ඇතිවූ  දරුණුම වාද විවාද මංගල උත්සවයට දින කිහිපයකට කලින් සිදුවූ බවය. කෙසේ නමුත් මංගල උත්සවය දවසේ ඔබට මෙවන් අමිහිරි අත්දැකීම් අමතක වනු ඇත. අභියෝග මැඩලමින් මධු සමයට එක්වන විවාහ ජෝඩුව නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා පිය තබයි.

කසාද බැඳීම, ආදර සම්බන්ධතාවක් පවත්වනවාට වඩා වෙනස් අත්දැකීමකි. දෙදෙනා සතියකට වරක් කිහිප වේලාවකට මුණ ගැසෙනවාට වඩා තවත් කෙනෙකු සමඟ එකම වහලක් යට එකට ජීවත් වීම ඉතා ගැඹුරු වගකීමක් දැරිය යුතු කර්තව්‍යයකි. ජීවිතයේ අභියෝගාත්මක අවධිය ආරම්භ වන්නේ ඥාතීන්ගේ අපේක්ෂා මධ්‍යයේ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ කාලයේදියි. සමහර අවස්ථාවලදී ඔබ සමාජය සතුටු කරවීමට යන ගමනේදි ඔබට ඔබ තනි පුද්ගලයකු බව අමතකවන්නට ඉඩ ඇත. ඥාතීන්ගේ නිවෙස්වලට යාම, මූල්‍යමය කටයුතු කළමනාකරණය සිට නැන්දම්මා සමඟ කටයුතු කිරීම වැනි අභියෝග සමඟ ඔබට පොර බදින්නට සිදුවේ. විවාහ වී පලමු සංවත්සරය සැමරීමේදි තමන් දරුවකු හැදිය යුතු දැයි යන තීරණය සම්බන්ධ ප්‍රශ්න ඔබ දෙපල වෙත යොමු වනු ඇත.

මෙම කාලයේදි ඔබ දරුවකු හැදීමට තීරණය කල හොත් එම පුවත ඔබේ පවුලේ ඥාතීන් ව ප්‍රීතියට පත් කරනු නොඅනුමානයි. (එම කාලය වන තෙක් ඔබට දරුවකු නොසිටියි නම්) වැඩිහිටියන්ගේ ආකල්ප හා අදහස් වලට අනුව එය සාර්ථක විවාහ ජීවිතයක තවත් එක් කොටසකි. අලුතින් විවාහ ජීවිතයට එක්වූ ජෝඩුවකට එකට එක්ව ජීවත් වීමද තරමක් අසීරු කාර්යයක් වන අතර එම කාලයේදීම දරුවකු හදා ගැනීම හා ගර්භනී අවධියට සූදානම් වීම පහසු දෙයක් නොවේ. අලුත බැඳපු බිරිඳ හා සැමියා එකිනෙකට වෙනස් මෘදුකාංග දෙකක් ලෙස ක්‍රියාත්මක වන බව ඔබ සිහි තබා ගත යුතුය.

විවාහ වී වසරක් ගත වූ සැණින්ම දරුවකු හදා නොගැනීම ශ්‍රීලාංකික සම්මතයට අනුව තරමක එඩිතර තීරණයකි. නමුත් ඔබ යම් වයස් සීමාවක් පසු කල විට වැඩිහිටියන් ඔබට පවුල් පන්සල් වන කාලය එළඹ ඇතැයි ඉඟි කරයි. දෙමාපියන් වයසට ගිය කල ඔබේ පවුල ඔවුන් දෙපල රැක බලා ගනිතියි යන බලාපොරොත්තුව ඔවුන් තුල ඇත. ඔබ තවමත් දරුවකු හදා ගැනීම පිලිබඳ තීරණයක් ගෙන නැත්නම් වැඩිහිටියන් ඒ සම්බන්ධව ඔබෙන් ප්‍රශ්න අසයි. වෛද්‍යවරයෙකු අනුමත කිරීම, සඵලතාවයේ ප්‍රශ්නයක් යැයි නිගමනය කරමින් ඒ සඳහා ප්‍රතිකාර යෝජනා කිරීම, ආගමික වතාවත් සිදු කිරීම වැනි දේවල් අද සමාජයේ නිතර අපට දක්නට ලැවේ. සමහර අවස්ථාවල පුද්ගලයින් ඔබගේ දැනුවත්වීමකින් තොරව, සහකාරියගෙන් හෝ සහකරුගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න විමසයි. කසාදය යනු පවුලක් නඩත්තු කිරීමත් , විවාහක ජෝඩුවකට විනෝද විය නොහැකියි යන ආකල්පය සමහර වැඩිහිටියන් දරති.

ලිංගිකව එක්වීම සහ උපත් පාලනය.

මානසික ආතතිය අතරේම ඔබට පැන නැගෙන ප්‍රශ්නයක් ලෙස විවාහ ජීවිතයේ ලිංගික පැතිකඩ හැඳින්විය හැක.
මෙය දෙපලටම බියක්, ව්‍යාකූල බවක්, සැකයක්,මානසික අසහනයක්  හා ශාරීරික පීඩාවක් ගෙන දෙයි. සමාජයක් ලෙස ගත් කල අපි විවාහයට පෙර විධිමත් ලිංගික අද්‍යාපනයක් නොලබන්නෙමු. නමුත් රෝමානු කතෝලික පල්ලියේ “pre-cana arrangement” ආගමික පැතිකඩකින් විවාහ ජීවිතයේ ලිංගික එක්වීම පිළිබඳ කතා කරයි. මා කතෝලික නොවන නමුත් මේ පිළිබඳ මම දැනුවත් ව සිටියෙමි. මෙ සඳහා සහභාගි වන අතලොස්සක් ඇරෙන්නට අනෙකුත් බොහෝ දෙනා ලිංගික අධ්‍යාපනය ලබා ගන්නේ තම මිතුරන් සමඟ දැනුම බෙදා හදා ගනිමිනි. අද සමාජයේ බොහෝමයක් ලිංගික ජීවිතයේ ප්‍රශ්න වෛද්‍යවරයකු සමඟ කතා කිරීමට මැලි කමක් දක්වයි. තවද තමාගේ දැනුමට අනුව සමහර උදවිය හිතු මතේ උපත් පාලන ක්‍රම අනුගමනය කරයි. අද සමාජය ලිංගික සංසර්ගය දකින්නේ හුදෙක් ජීවින් තම ශාරිරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නියැලෙන ක්‍රියාකාරකක් ලෙසටය. නමුත් එය ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙන වගකීමක් දැරිය යුතු ක්‍රියාවකි. මේ නිසා සැලසුමක් නොමැතිව ඇතිවූ හදිසි ගැබ් ගැනීම් සංඛ්‍යාව ඉහල ගොස් ඇත. උපත් පාලන ක්‍රම වල නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඇතිවන මෙවැනි අනපේක්ෂිත සිදුවීම් විවාහක යුවල අතර ආරවුල් ඇති කරන තත්ත්වය දක්වා දුර දිග යයි. වෛද්‍ය සාක්ෂි නොවූවත් මා දන්නා පරිදි ගැබ් ගැනීමේ අපහසුතා ඇතිවූ බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් මුඛයෙන් ගන්නා උපත් පාලන ක්‍රම අනුමත නොකරන බවය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන දැනුවත් වෙමු

අද වන විට ලංකාවේ පමණක් නොව ලෝකයේ දියුණු, නොදියුණු සෑම රටකම පාහේ ශාරීරික, මානසික, චර්යාත්මක හා අවබෝධාත්මක ලෙසින් ආබාධ සහිත වූ දරුවන්ගේ ප‍්‍රතිශතය ඉහළ යමින් පවතී. එසේම එවැනි ආබාධ ස`දහා ප‍්‍රතිකාරවලට යොමු වෙන ප‍්‍රමාණයත් අද වන විට ඉතා ඉහළය. සාමාන්‍ය රෝග තත්ත්ව පිළිබ`දව දෙමාපියන් දැනුවත් වුවද මෙවැනි ආබාධ තත්ත්වයන් පිළිබ`දව ඔවුනට ඇති දැනුම සහ අවබෝධය අල්පය.  ඕනෑම රෝගයක්, ආබාධයක් හෝ ගැටලූවක් පිළිබඳ දැනුවත් වීම, එය වළක්වා ගනිමින් ඇති වන සංකුලතා අවම කරගැනීමට උදව්වකි. දරුවන්හට මුහුණ දීමට සිදු විය හැකි ශාරීරික, මානසික, චර්යාත්මක හා අවබෝධාත්මක ආබාධ, ඒවා ඇති වන ආකාරය, පාලනය කරගන්නේ කෙසේද, ප‍්‍රතිකාර මොනවාද සහ එවැන්නන් රැුක බලාගන්නා ආකාරය ගැන අපි දැනුවත් වෙමු.

දරුවකු හට ඇතිවිය හැකි ආබාධ කායික, මානසික හා අවබෝධාත්මක අංශ තුනම යටතේ වර්ග කොට දැක්විය හැකියි. කායික ආබාධ ලෙස මස්තිෂ්ක ආඝාතය, කොඳු ඇට පෙළෙහි දුබලතා නිසා ස්නායු පද්ධතියට වන ආබාධ, අත හා සම්බන්ධ ස්නායු ඇදීම නිසා අදාල බාහුවට වන ආබාධ, මස් පිඬුවල ඇති වන දුබලතා ආදියයි. මානසික ආබාධ ලෙස මන්ද මානසිකත්වය, ඩවුන්ස් සහ ලක්ෂණ, අධික‍්‍රියාකාරිත්වය දැක්විය හැකිය. අවබෝධතා සහ චර්යා සම්බන්ධ ආබාධ ප‍්‍රධාන වශයෙන්   ඕටිසම්/ඇස්පරගස් සින්ඩ්‍රෝමය වැනි ආබාධ

මේ දරුවන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයන් කිහිපයකි. බොහොමයක් හේතූන් අපහට වළක්වා ගත හැකි නිසාම මේ තත්ත්වයන් පිළිබ`දව මනා දැනුමක් ලබාගැනීම වඩා වැදගත් වේ. තවද දීර්ඝ කාලින හා කෙටි කාලින ආබාධ රැුසක්ද ඇති අතරම මෙවැනි රෝගාබාධ දරුවන්ට ඇතිවන්නේ කෙසේද යන්න පිළිබ`දවත් හොඳින් දැනුවත් විය යුතුය.

ආබාධ සහිත දරුවෙකු ඇති වීමට බලපෑ හැකි හේතු

කළල අවධියේදී ඇති විය හැකි හේතු

x              මව වැටීම්, තැලීම්වලට ලක් වීම.

x              මව ජර්මන් සරම්ප, මොලේ උණ වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම.

x              මවගේ මානසික අසමබරතාවය

x              අධික දුම්පානය හා මත්පැන් පානය කිරීම

දරු උපතේදී ඇති විය හේතු

x              උපතේදී දරුවාගේ මොළයට ඔක්සිජන් හරියාකාරව නොලැබීම.

x              පෙකණි වැල සිරවී මොළයට හානි සිදු වීම.

x              දරුවාගේ හිස වෙනුවට පසුපස කොටස මුලින් ප‍්‍රසුතය වීම.

x              උපතේදී විෂබීජ ඇතුළු වීම.

උපතින් පසු

x              මුල් අවුරුදු කීපය තුළ දරුවා වැටීම්.

x              තැලීම් මෙන්ම අධික උණ නිසා ඇති විය හැකි වලිප්පුව.

x              මොළේ උණ වැනි තත්ත්වයන් ඇති වීම.

දරුවන් ශාරීරික, මානසික හා චර්යාත්මක මෙන්ම අවබෝධතා අංශවල ආබාධයන්ට ලක්වීමට මේ හේතු බලපායි.

මෙවැනි දරුවන්ට ගැටලූ රැුසකට මුහුණපෑමට සිදු වේ.

චාලක ක‍්‍රියාකාරීත්වයේ ගැටලූ

x              හිස කෙලින් කිරීම

x              පෙරලීම

x              දණ ගෑම

x              ඉඳ ගැනීම

x              හිටගැනීම

x              ඇවිදීම

දැනීම සම්බන්ධ ගැටලූ

x              පෙනීම

x              ඇසීම

x              ස්පර්ශය

x              සමබරතාවය

x              ගඳ සුවඳ දැනීම

x              රස දැනීම

අවබෝධාත්මක ගැටලූ

x              ගණිතමය සංකල්ප

x              තර්කාණුකූල ක‍්‍රියාකාරිත්ව

x              ඉගැනුම් අවශ්‍යතා

සමාජගත වීමේ ගැටලූ

x              අධික කේන්තියාම

x              කලබල කිරීම

x              අසාමාන්‍ය චර්යා රටා

දෛනික කටයුතුවල ස්වාධින වීමේ ගැටලූ

x              මුණ සේදීම

x              ආහාර ගැනීම

x              ඇඳුම් ඇඳගැනීම

වලිප්පුව, සමේ රෝගාබාධ, සන්ධි විකෘතිතා මීට අමතරව දරුවන් මුහුණ දෙන සංකූලතාවයන්ය. නිවැරදි කාල සීමාව තුළ පුහුණුව ලත් සුදුසු වෛද්‍ය කාර්ය මණ්ඩලයක සේවය ලබාගැනීම මේ ගැටලූවලට හඳුනා ගත් විගසම සිදුකළයුතුය. 100% ක්ම සුවපත් කළ නොහැකි වුවද සංකුලතා අවම කරමින් ක‍්‍රමානුකූල පාලනයකට ලක්කරමින් දරුවාගේ කටයුතු ඉටුකරගැනීම ස`දහා දරුවාට මෙන්ම දෙමාපියන්ටද යම් පහසුවක් සැලසීම ප‍්‍රතිකාර ලබා දීම හරහා බලාපොරොත්තු විය හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ස`දහා වූ විශේෂිත ප‍්‍රතිකාර ක‍්‍රම ලෙස වෘත්තීය චිකිත්සාව, භෞත චිකිත්සාව, කථන හා භාෂා චිකිත්සාව, ශ‍්‍රවණ ප‍්‍රතිකාර, චර්යා ප‍්‍රතිකාර, විශේෂිත අධ්‍යාපන ප‍්‍රතිකාර දැක්විය හැකිය.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ එක් පැතිකඩක් වන වෘත්තීය චිකිත්සාව ශාරීරික, මානසික හා අවබෝධාත්මක මෙන්ම චර්යා ගැටලූ ඇති වයස් සීමාවකින් හෝ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව  ඕනෑම අයෙකුට සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රමයකි. අද වන විට රජයේ මෙන්ම පුද්ගලික රෝහල්වලද ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ රක්තවාත රෝග, ස්නායු රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හරහා මෙවන් දරුවකු වෘත්තීය චිකිත්සාව වෙත යොමු කෙරේ. ඒ තුළින් විශාල සහයක් විශේෂා අවශ්‍යතා ඇති දරුවන් ස`දහා සැලසේ. එනම් දරුවන්ගේ චාලක ගැටලූ සඳහා ප‍්‍රතිකාරාත්මක ක‍්‍රියාකාරකම්, ස්පර්ශය, පෙනීම ආදී සංවේදන සඳහා ක‍්‍රියාකාරකම් ආශ‍්‍රිත ප‍්‍රතිකාර, එදිනෙදා කටයුතු, වයසට ගැලපෙන අන්දමට ස්වාධින කරවීම, විශේෂිත ඉගැනුම් ක‍්‍රියාකාරකම්, චර්යාත්මක ගැටලූ සඳහා ප‍්‍රතිකාර, සෙල්ලම් කිරීමේ හැකියාවන් වැඩි දියුණු කරවීම, අත් සම්බන්ධ ක‍්‍රියාකාරකම් වැඩි දියුණු කරවීම, විශේෂ රෝද පුටු ආසන හා දරුවාට ගැලපෙන උපාංග සකසා දීම, නිවාස ආශ‍්‍රිත වෙනස්කම් මගින් දරුවාට ගැලපෙන පරිසරයක් නිර්මාණය කරදීම වැනි පියවර තුළින් ආබාධ සහිත වූ දරුවකුගේ ජිවන තත්ත්වය වෙනස් කරමින් එවන් දරුවන් නගා සිටුවිය හැකිය.

මෙවන් දරුවන් වෘත්තීය චිකිත්සාව සඳහා යොමුවීමේදී එක් එක් දරුවාට වෙන් වෙන් ලෙස ඇගයීම් කළ යුතුය. ඒ එකම අබාධය සහිත වූ දරුවන් දෙදෙනෙකු පවා මුහුණ දෙන ගැටලූ එකිනෙකට වෙනස් විය හැකි බැවිනි. ඔවුන්ගේ ගැටලූ විශ්ලේෂණය කර ඒ ආශ‍්‍රිත ප‍්‍රතිකාර සිදුකරයි. ඒ සඳහා භාවිත කරන විශේෂිත මෙවලම් හා ක‍්‍රියාකාරකම් පිළිබ`දව දෙමාපියන්ද දැනුවත් කරයි.

වෘත්තීය චිකිත්සාව තුළින් විශේෂිත සෙල්ලම් බඩු, ප‍්‍රතිකාරාත්මක පරිසරයන් හා ක‍්‍රියාකාරී උපකරණ නිර්මාණය කරයි. දරුවාට අවශ්‍ය ඉගැනුම් පරිසරයන්ට දරුවා යොමු කර අන්තර් පුද්ගල සම්බන්ධතා සහ ගැලපෙන පරිදි සමාජගත කිරීම්වලටද මේ හරහා යොමු කෙරේ. වයසින් වැඩුණු පසු දරුවකු නිසි වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා වෙත් නම් ඒ සඳහාද යොමු කරන්නේද මේ හරහා යි. ආබාධ සහිත දරුවකු සිටින  ඕනෑම අයෙකුහට ළ`ගම ඇති රජයේ ළමා රෝහලකින්, මහා රෝහලකින් හෝ දිස්ත‍්‍රික් හා මුලික රෝහල් හරහාද නොමිලේ මෙම සේවාව ලබාගත හැකිය.

”සීමාවන්ට පෙර හැකියාවන් දකින්න”, ඒ වෘත්තීය චිකිත්සාව ඔබ වෙත ගෙනෙන  හරහා අප දෙන පණිවුඩයයි.

මෙම ලිපිය සකස් කලේ කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය
චිකිත්සක ආචාර්ය, කිත්මා වාසනා දහනායක  B.Sc (OT) මහත්මිය සමග කරන ලද සාකාච්චාවක් පදනම් කර ගෙනය.

මව්වරුන්ට වින කරන “සීකා වෛරසය”

ගර්භනී මව්වරුන්ගේ නුපන් දරුවන්ට සීකා වෛරසය හරහා විකෘතිතා ඇති කරන බව මේ වන විට සොයා ගෙන ඇත. මේ නිසාම ලෝකයම කළඹන සීකා වෛරසය පිලිබදව මව්වරුන්ට අවබෝධයක් තිබීම වැදගත්ය.

2015 වසරේ මැයි මාසයේ සිට පැතිරී යන මෙම වෛරසය මගින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බ්‍රසිලයටය. ඉන් ඔක්තෝම්බර් මාසයේ සිට බ්‍රසිලයේ හිස් කබල් කුඩා දරුවන් 3300ක් උපත ලබා තිබේ. මේ නිසා සීකා වෛරසය හේතුවෙන් ලෝකය පුරාම දැවැන්ත වසංගතයක් හට ගැනීමට ඉඩ ඇති බව විද්වතුන්ගේ මතයයි.

සීකා මදුරු වෛරසයට හේතුකාරක වන “ඊඩිසි ඊජිප්ටයි” සහ “ඊඩිස් පිටියේටස්‌” යන මදුරු විශේෂය ශ්‍රී ලංකාවේ ද සිටින බව මේ වන විට සොයා ගෙන තිබේ. කොතරම් ඉක්මනින් මෙකි වෛරසය පැතිරී ගිය ද මේ සදහා තවමත් එන්නතක් සොයා ගෙන නොමැත. මේ නිසාම සීකා වෛරසය පැතිරී යාම අප විසින්ම වලක්වා ගත යුතුය. එහිදී ප්‍රධාන වශයෙන් අපට කල හැක්කේ මදුරුවන්ගෙන් අප සිරුර ආරක්ෂා කර ගැනීමයි. කුඩා වලවල් සංචිත ඉවත් කිරීමෙන් මදුරු ගහනයන් අඩු කිරීමට මිනිසුන්ට කළ හැකිය. හිස් බෝතල්, මල් පෝච්චි, ඉවත් දමන ලද ටයර් වැනි මේ කුඩා ජාල සංචිත මෙකි මදුරුවන් බෝවන ස්ථාන බව හදුනා ගෙන තිබේ. මදුරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වීම වැලැක්වීම පිණිස සියල්ලන්ගේම විශේෂයෙන් ගැබ් ගැනීමට ඉඩ ඇති කාන්තාවන් ක්‍රියා කිරීම වැදගත්ය. ජනෙල් වලට තිර සවි කිරීම, සැම වැසෙන සේ ඇදුම් ඇදීම, කෘමි විකර්ෂක භාවිතා කිරීම ඉන් කිහිපයකි.

අතිශයින්ම සීකා  වෛරසය පැතිරී ඇති රටවල කාන්තාවන්ට 2018 වන තෙක් ගැබ් ගැනීමෙන් වැලකි සිටින ලෙස යෝජනා කොට ඇත්තේ මෙම වෛරසය මර්ධනය කිරීම උදෙසාය. එමෙන්ම සීකා වෛරසය පැතිරී ගොස් තිබෙන රටවල සංචාරය යෙදීමෙන් වැලකි සිටින ලෙස විද්වතුන් විසින් ඉල්ලා සිටින්නේ මෙකි රෝගයේ පවතින බරපතලකම නිසාවෙනි. කොහොම වෙතත් රෝගකාරකයට විසදුමක් සොයා ගෙන නොමැති නිසාම මදුරුවන් බෝවීම වැළක්වීමේ ක්‍රමවේද අපට භාවිතා කිරීමට පුළුවන.

මෙය බෝවෙන වෛරසයක් වන අතර ඩෙංගු, කහ උණ, චිකන් ගුන්‍යා වාහක මදුරුවන්ට සමාන මදුරු වර්ගයකින් පැතිරෙන බව සොයා ගෙන තිබේ. 1947 ප්‍රථම වරට මෙකි වෛරසය වෙන්කොට හදුනා ගෙන තිබේ. 2007දී බටහිර ශාන්තිකර දුපතක් වන යාප් දුපතේ සීකා වෛරසය දරුණු ලෙස පැතිරී ගොස් ඇති අතර ඉන් පසු ශාන්තිකර දුපත් හරහා බ්‍රසිලයට පැමිණ දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව රටවල් ගණනක වේගයෙන් පැතිරී ගොස් ඇත.

කොලොම්බියාවේ පමණක් 25000 ඉක්මවා කාන්තාවන්ට මෙකි වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 31000 පමණ ගර්භනී කාන්තාවන් බව සොයා ගෙන තිබේ. උණ, හන්දිපත් වේදනාව, කුෂ්ට ඇතිවීම සීකා වෛරසයේ රෝග ලක්ෂණයි. තම දරුවන්ගේ අනාගතය  වෙනුවෙන් මෙම  වෛරසය මර්ධනය කල හැකි එන්නතක් නිෂ්පාදනය කරන ලෙස ගැබිණි මව්වරුන් ඉල්ලා සිටින අතර ඇතැම් රටවල් ගබ්සාව බොහෝ මව්වරුන් ඉල්ලා සිටින්නේ මෙහි පවතින අන්තුරුදායක බව නිසාවෙනි. එමෙන්ම මෙම වෛරසය ආසාධනය වූවහොත් කාන්තාවක් නම් මාස 02ක් ගතවනතුරුත්, පිරිමි පුද්ගලයෙක් නම් මාස 06ක් ගතවනතුරු ලිංගික එක්වීමක් සිදු නොකළ යුතු  බව  විශේෂඥන්ගේ මතයයි.

මෙම සීකා වෛරසය පැතිරී යා හැකි ප්‍රදේශ සලකුණු කරමින් සකස් කරන ලද සිතියමක් elife ජර්නලයට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇත.

Ae_albopictus_suitability

මේ… මේ… ඔයා තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ ?

ජිවිතය අහස වගේ කිව්වොත් ඔබ පිළිගන්නවද? ගතවෙන හැම තත්පරයක් තත්පරයක් පාසාම ජිවිතේ වෙනස්කම් සිදු වෙනවා. ආපස්සට හැරිලා බැලුවම අද මේ ඉන්නෙ අපිමද කියලත් හිතෙන අවස්ථා කොතෙකුත් තිබෙනවා. පෙර දවසක ඔබේ පෙම්වතිය අද ඔබේ බිරිඳවන්නට ඇත. ඉතින් පීතෘත්වයේ කිරුළට දරන්නට මග බලා ඉන්න සහෝදරවරුන්ටයි මේ ආමන්ත්‍රණය. ඔබේ බිරිඳ ගැබිනියක් නම් ළඟම ළඟම එන පියාගේ භූමිකාව පිළිබඳ ඔබට නිසි අවබෝධයක් තිබිය යුතුමය. ගර්භණීත්වය හා ප්‍රසූතිය කාන්තාවකටම උරුම වූ ජීව විද්‍යාත්මක සංසිද්ධියක් ලෙස සිතා ඔබට සැහැල්ලුවිය නොහැකිය. දරුවා ලැබෙන්නේ ඇයට නොව අපටය යන්න ඔබට සිතිය හැකි නම් සෞභාග්‍යමත් සතුට සපිරි කැදැල්ලක නියමුවා වන්නට ඔබ ඔබට හැකිවනු ඇත.

ගර්භණීත්වය යනු කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂී සංන්ධිස්ථානයකි. තමන්ගේ කුස තුල දසමසක්ම නව ජීවයකට ඉඩකඩ ලබාදීම යනු භාරදූර කාර්යයකි. ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වූ මොහොතේ සිටම ඇය  ශරීරිකව මෙන්ම මානසිකවද සිදුවන වෙනස්කම් වලට මුහුණදෙනු ඇත. එයට අනුගත වන්නට නම් ඔබෙන් ලැබෙන අත්වැල ඇයට සවියක් වනු නොඅනුමානය. කුළුඳුල්  දරුප්‍රසූතියට සූදානම් වන ඇය බෙහෙවින්ම වික්ෂිප්ත වනු ඇත. සත්තකින්ම ගර්භණී සමය පුරාම ඇත්තේ සතුට,කුතුහලය හා බිය සංකලනවූ සිතුවිලි සමුදායක් නිසාවෙන් මේ අවදිය සිතට මහා බරක්ය.

පියෙකුගේ කාර්යයභාරය ඇරඹෙන්නේ දරුවා උපත ලැබූ පසු නොව දරුවා කුස තුල පිළිසිඳගත් මොහොතේ පටන්ය . දයාබර සැමියකුවන්නට ඔබට හැකිනම් නිරායසයෙන්ම ආදරණීය පියෙකුවන්නට ඔබට හැකිය.ඔබේ බිරිඳට දරුවකු පිළිසිඳගත් විට ඔබට පවුල යන ඒකකය තුල ඇති වගකිම් සමුදාය තුල යම් බන්ධනයක පටලැවුනු බව සිතෙනු නොඅනුමානය. එය සත්‍යයකි. ඒ සොඳුරු බන්ධනයට ඔබ හදවතින්ම කැමතිවිය යුතුය.

ගර්භණීත්වය සමගම ඔබේ බිරිඳට හෝමෝන විපර්යාස මත ආහාර අරුචිය, අසාමාන්‍ය දොළදුක, වමනය ආදිය ඇති විය හැකිය. තමන් පිසින ආහාර අනුභවය අප්‍රියවීම නිසා නිරාහාරව සිටින්නට සිදුවේ. එය ඇගේ පෝෂණයට මෙන්ම කළලයේ පෝෂණයටද බලපෑම් එල්ල කරනු ඇත. නිරන්තරයෙන් ඔබේ අවදානය යොමු විය යුත්තේ එහෙයිනි. ඇයට කන්නට හැකි ආහාරයක් ඔබට පිළියෙල කල හැකි නම් පිළියෙල කර දෙන්න. ඇතැම් විට එයද ඇයට අනුභව කරන්නට නොහැකි වනු ඇත. එහෙත් ඔබ ඇයට දැක්වූ අවදානය, ආදරය ඇයගේ සිතට සැනසිල්ලකි. එහෙයින් ඇයට පෝෂණය සපිරි ආහාර වේලක් සැපයීමේ වගකීමත් නිරායාසයෙන්ම ඔබට පැවරෙනු ඇත. වැලකට ශක්තිය ඇවසි නිසාවෙන් ගහකට එතෙන්නා සේ ඔබේ ආදරණිය බිරිඳ නිරන්තරයෙන් පතන්නේ ඔබේ ආදරය හා රැකවරණය බව අවබෝධ කරගන්නත් අමතක කරන්න එපා. ඇයගේ ශක්තිය ඔබය.

ගර්භණී සමයේ ඔබේ බිරිඳ අත්දකින අමිහිරිතම අත්දැකීම ඔක්කාරය සහ වමනයයි. බොහෝ විට උදෑසන අවදිවූ විට මෙම තත්ත්වය බරපතලය . ඉතින් ඇයට ඔබේ සහයෝගය අවශ්‍යය. විඩාබරව තෙහෙට්ටුවෙන් සිටින ඇයට නිවසේ එදිනෙදා කටයුතු පවා තනිවම කරගන්නට නොහැකිවනු ඇත. ඇයගේ අතපසුවීම් වලට උරණ නොවී ඇයට නිවසේ කටයුතු වලට ඔබේ සහයෝගය ලබාදෙන්න.

මේ සියළු අපහසුතා අතරේ ඔබ දෙපලගේ පුංචි කිරිකැටියා වැඩෙනු ඇත. ඉතින් පුංචි කිරිකැටියාටද ඔබේ සෙනෙහසද ඇවසිය. බිරිඳගේ කුසට ලංව ආදරණීයව ඔබේ පැටියාට අමතන්න. සති 29කින් පමණ පසු පැටියාගේ දැඟලිලි ඔබටම අත්විඳිය හැකිය. ඔබ කරන මේ සුළු දෙයින් ඔබත් ඔබගේ බිරිඳත්  දරුවාත් අතරත් දැඩි මානසික බැඳීමක් ඇතිවන බව අත්විඳ බලන්න. පුංචි කතන්තරයක් පුංචි ගීතයක් කිරිකැටියා වෙනුවෙන් කුසට ලංව කියන්න. ඔබේ ආදරය අත්විඳින්නට අවකාශ සලසා දෙන්න.

සායන වෙත යන විට ඔබත් ඇය සමග වෛද්‍යවරයා මුණගැසෙන්නට යන්නට අමතක නොකරන්න. මේ කුස තුල වැඩෙන්නේ ඔබ දෙපළගේම වස්තුවක්ය. ඉතින් දිනෙන් දින වර්ධනය වන මේ පුංචි අමුත්තාගේ වර්ධනය දකින ඔබට සෙනෙහස උපදින අයුරු ඔබම අත්විඳ බලන්න.

දරුප්‍රසූතිය යනු මොලොව ඇති වේදනාව උපරිම අවස්ථාව යැයි කිසිඳු සැකයක් නැත. දැඩි වේදනාව තුලින් සිත වෙලා ගන්නා බිය තව තවත් ඇයව විඩාවට පත් කරනු ඇත. කවුරුන් ළඟ සිටියද ඇයට අවශ්‍යවන්නේ ඔබ පමණක්මය. පැය ගණනක ප්‍රසූත වේදනාවෙන් පසුව ඔබේ බිරිඳට ඔබ වඩාත් අවශ්‍ය වේ. ඉතින් ඒ මොහොත ඔබේ ජිවිතයට ආපසු නොපැමිණේවී. ඇය සනසන්නට ඔබේ ආදරයට හැකිය.පැය ගණනාවක වේදනාබර කාලයෙන් පසු ඔබේ දෝතට පත් වන කිරි කැටියා ඔබට ඇති අමිලම සම්පතය. ඒ සම්පත ඔබට ලබා දෙන්නට ඔබේ බිරිඳ කෙතරම් වේදනාවක් දැරුවාද? දැන් ඔබේ වාරයයි. ඇයට විවෙික ගන්නට පහසුව සලසා දෙන්න. මේ අපූරුත අවස්ථාවේ ඇය අසලින්ම හිඳින්න. එය ඇයට විශාල ශක්තියකි. අලුත උපන් බිළිඳා හා බිරිඳ දකින ඔබ ඔබට කරන්නට දෙයක් නැතැයි සිතන්නට එපා. ඔවුන්ට ඔබව වඩාත් අවශ්‍ය බව මතක තබා ගන්න.

එකෝමත් එක දවසක

දඟකාර  නුඹේ නෙතු මත

මගේ ජීවිතයම නතර විය…

දෑඟිලි රන් හුයෙන් බැඳ

පෝරූ මස්ථකයේ ආසිරි ගී මැද

අපි අපේම විය…

දවසක් දා මගේ ලඟටවිත්

රහසින් වෙව්ලමින්

අපේ ආදරයේ ප්‍රතිමුර්තිය

නුඹෙ කුස තුලැයි කියු සඳ

ජිවිතයට නිම නොවන

වසන්තයක් උදා විය…

කුඩා දරුවාට සතියක් තුල පොටිය පුහුණු කරන්නේ කෙසේද?

දරුවන්ට පොටිය පුහුණු කරවීම ඉතා වෙහෙසකර අසීරු කාර්යයක් විය හැකි නමුත් එය නිසි පරිදි උපදෙස් අනුව අනුගමනය කරේ නම් දරුවාට මෙන්ම දෙමාපියන්ට එය ඉතා සරල කර්තව්‍යයක් විය හැක.

පහත සඳහන් වන්නේ බොහෝ දෙනෙකු අත්හදා බලන ලද පිළිගත් ක්‍රමවේද කිහිපයකි. ඔබට දින පහක් හෝ සතියක් ඇතුලත ඔබේ දරුවාට පොටියට පුහුණ කල හැක. මෙහි ප්‍රතිඵල ඔබව විමතියකට පත්කරනවා නොඅනුමානය.

පුහුණුවේ ආරම්භය.

පොටි පුහුණුව ආරම්භ වන්නේ නිවසේදීය. උදෑසන හා සවස් යාමයේදි දරුවා ඔහුගේ/ඇයගේ දෛනික වැඩ කටට්යුතු කරන අතර තුර සෑම විනාඩි 15 කට වරක්ම පොටිය වෙත යොමු කරන්න. මෙම ක්‍රියාවලිය ඔබ අවසන් කල යුත්තේ දරුවාට පැම්පසය අන්දවා ඔබගේ රාජකාරි වෙත නැවතත් අවධානය යොමු කරමිනි. මෙම ක්‍රියාදාමය ඔබ පලමු දින දෙකෙහිදි නොකඩවා කල යුතුය.

එළි මහනේ පුහුණු කරවීම.

තෙවන දිනයේදි ඔබට දවසම එළි මහනේ ඉඳ දරුවාව පොටියට පුහුණු කල හැක. ඔබ නිවසින් පිටතට යනවා නම්, (ඥාති නිවසකට හෝ පොදු වැසිකිලි ඇති ස්ථානයකට ) නොවරදවාම වාහනයේ පොටියද රැගෙන යන්න.

දරුවාට පහසු ස්ථානයක් හා විදියක් තීරණය කරන්නට ඉඩ දෙන්න.

පොටිය පුහුණු කරන කාලයේ, දරුවාට ටි ශර්ට් එකක් පමණක් හැඳ සිටින්නට ඉඩ දෙන්න. දරුවා පැම්පස් එකක් හැඳ නොමැති හෙයින් හා කලිසමක් නොමැතිව ගැවසෙන නිසා තමාට වැසිකිලි යාමට අවශ්‍ය වූ සැණින් පොටිය වෙත යාමට දරුවාට සිතේ. සාමාන්‍යයෙන් නිවසේ වැසිකිළිය මේ සඳහා සුදුසු වේ. ඔහු රාජකාරිය කරන තෙක් ඔබ ඒ අසල හිඳ වතුර ගසන ආකාරය ගැන පහදා දෙන්න. (ෆ්ලශ් කරන සැටී)

පොටි පුහුණුව පාසලේදි පාඩමක් බවට පත් කරගන්න.

ඔබට දරුවාගේ ගුරුවරයා අමතා ඔහුගේ පොටි පුහුණුව ගැන පැවසිය හැක. පංතියේ සියලුම දරුවන්ගේ පොටි පුහුණුව ගැන ගුරුවරයාට  තනි වගකීම භාර ගත් නොහැකි නමුත් ඇයට දරුවාට වැසිකිලි යාමේ අවශ්‍යතාව පහලු වූ විට නියමිත රාජකාරිය කිරීම සඳහා පාසලේ වැසිකිලිය වෙත දරුවාව යොමු කල හැක. පාසලට යාමට ප්‍රථම සැම විටම දරුවාට වැසිකිලි යාමට පොළඹවන්න. දරුවා තම කර්තව්‍යය සාර්ථකව නිමා කරන සෑම අවස්ථාවකදීම ගුරුවරයාට ස්ටිකර් වැනි කුඩා දීමනා ලබා දිය හැක. මෙවැනි පෙළඹවීම් දරුවාව දිරිමත් කරයි.

රාත්‍රී නින්දට පෙර බීම ජාති දීමෙන් වලකින්න.

නිදා ගැනීමට පැයකට පමණ පෙර හැකි නම් අවශ්‍ය පලතුරු යුෂ හෝ කිරි දරුවාට ලබා දෙන්න. මේ මඟින් දරුවාට සුව පහසු නින්දක් ලබා ගත හැක.දිවා කාලයේ පොටි පුහුණුව ප්‍රගුණ කල පසු පමණක් රාත්‍රී පොටී පුහුණුව වෙත ඔබේ අවධානය යොමු විය යුතුයි. දිනකට එක් වතාවක් පමණ ඒ සඳහා ඔබේ අවධානය යොමු කල යුතු වන අතර ඉන් දරුවාට ස්වාධීනව එම කටයුත්ත කිරීම සඳහා ධෛර්‍යයක් ලැබේ. ඔබට පුලුවන් නම් දරුවාට රාත්‍රී නිදන ඇඳුම අන්දවා ඔහු/ඇයව නිදි කරවන්න.

දරුවාට දීමනා ලබා දීමෙන් ඔහුව/ඇයව දිරිමත් කරන්න.

m&m වැනි චොක්ලට්, මුද්දර හෝ ස්ටිකර් ලබා දීමෙන් ඔබට දරුවාව යහපත් පුරුදු සඳහා දිරිමත් කල හැක. ඉලක්කයක් සාර්ථකව නිමා වූ පසු දරුවාට ඉන් විශේෂ ත්‍යාගය තීරණය කිරීමට ඉඩ දෙන්න. (උදා – ඇඳ නොතෙමා නින්දට යාම ) අයිස් ක්‍රීම් හා පීට්සා වැනි දීමනා ද මේ සඳහා සුදුසු නමුත් ඒවා මිලෙන් අධිය හෙයින් ඔබට අත්වැඩ වලින් නිමවූ කිසියම් සැනසිලි ත්‍යාගයක් දරුවාට ලබා දිය හැක.

ඔබේ ළදරුවාගේ ඩයපර් බෑගය පැක් කිරීමට උපදෙස්

ඔබ අලුත උපන් දරුවා සමඟ ගමනක් යාමට ලැහැස්ති වනවාද? ඔබ සුරක්ෂිතව නිවසින් පිටවීම සඳහා ඩයපර් බෑගයේ ඇසිරිය යුත්තේ කුමක්ද යන්න කල්පනා කරමින් සිටිනවාද? මෙම ප්‍රශ්නවලට විසඳුම් කිහිපයක් පහත ලැයිස්තුවේ අප ඉදිරිපත් කොට ඇත.

බොතල්, අයිස් පැක් හා ළඳරු කිරිපිටි – දරුවාට බෝතලයෙක් කිරි දීමේදි මම භාණ්ඩ අත්‍යවශ්‍ය වේ. බොතලයෙන් හෝ මව් කිරි ලබා දුන්නද අයිස් පැක් තබා ගැනීම යහපත්ය. කිරි බෝතල් කිහිපයක් බෑගයේ දමා ගන්න. දරුවා බඩගිනි වූ සැණින් කිරි පෙවීම සඳහා මෙය වැදගත් වේ.

ළඳරු පිරිසිදුකාරක ටිශූ (බේබි වයිප්ස්) – ඩයපර් මාරු කිරීමෙන් පසු දරුවාව පිරිසිදු කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ පැක් වලින් බේබි වයිප්ස් ඔබට ලබා ගත හැකි වේ.

බර්පින්ග් (ගුඩුස්) රෙදිකඩක්. ගුඩුස් යන විට දරුවාගේ මුව පිරිසිදු කිරීම සඳහා රෙදි කඩක් තබා ගැනීම අනිවාර්ය වේ. කෑම කෑමෙන් පසු  දරුවාගේ මෙන්ම ඔබේ ඇඳුම් ආරක්ෂා කර ගැනීමට මෙයින් හැකිවේ.

වතුර බෝතලයක්. දරුවාට මෙන්ම ඔබට, පිරිසිදු කිරීමේ හා පානය කිරීමේ අවශ්‍යතා සඳහා වතුර බෝතලයක් තබා ගැනීම යහපත් ය.
මාරු කිරීම සඳහා අතිරේක ඇඳුම් කට්ටලයක් – අමතර කලිසමක්, ළමා ඇඳුම් කට්ටලයක් හා රාත්‍රී නිදන ඇඳුමක් පැක් කර ගැනීමට අමතක නොකරන්න.
පොරවන බ්ලැන්කෙට්ටුවක් – උෂ්ණත්වය අනුව සැහැල්ලු පොරවනයක් තබා ගන්න.
ඩයපර්  – ඔබ නිවසින් පිටත සිටින පැය ගණනන අනුව ගෙන යා යුතු ඩයපර් ප්‍රමාණය තීරණය කල යුතු වේ. සාමාන්‍යයෙන් පැයක් සඳහා එක ඩයපරයක්.

ඩයපර් හෝ නැපී මාරු කරීම සඳහා ඇතිරිල්ලක්.

ප්ලාස්ටික් බෑග් – ගලවා දමන ලද කිළිටි වූ ඩයපර්, ඇඳුම් දමා ගැනීම සඳහා ප්ලාස්ටික් බෑග් තබා ගැනීම අනිවාර්ය වේ.

ඩයපර් රෑශ් ක්‍රීම් ආලේපනයක් – ලඟම ඇති ෆාමසියකින් , ගමනක් යනවිටදී පහසුවෙන් රැගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ රෑශ් ක්‍රීම් ටබ් එකක් හෝ ක්‍රීම් ටියුබයක් මිලදී ගන්න.

අනුමත කල බේත් හේත් – දිනපතා ගත යුතු බෙහෙත් අනිවාර්යයෙන්ම බෑගයේ අසුරන්න. හදිසියේදි දරුවාට උණක් ගැණුනු අවස්ථාවකදී, ඔබට මෙය රුකුලක් විය හැක.

ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ දුරකතන අංකය හා නම සඳහන් කාඩ් පතක්. – හදිසි අවස්ථාවන්හිදි ඔබගේ ළමා විශේෂඥ්‍ය වෛද්‍යවරයාව ඇමතීම සඳහා මෙය වැදගත් වේ.

අමතර සූප්පුවක්. – ඔබගේ දරුවා සූප්පුවලට හුරුවී ඇත්නම් අමතර සූප්පු කිහිපයක් රැගෙන යා හැක. අතපසු වීමකින් දරුවාගේ මුවෙහි වූ සුප්පුව බිමට වැටීමට ඉඩ ඇත.

හිරු කිරණ වලින් ආරක්ෂා වීම සඳහා සන් ස්ක්‍රීන් ආලේපනයක්. මාස 6ට වඩා වැඩි දරුවන් SPF අගය 30 හෝ ඊට වැඩි ආලේපනයක් භාවිතා කල යුතු වේ. කාලගුණයේ වෙනස්කම්වලට අනුව නොවරදවාම දරුවාගේ ශරීරයේ සන් ස්ක්‍රීන් ආලේප කරන්න.

මවට හිතකර කෙටි ආහාර – ඔබ නිවසින් පිටත සිටින අවස්ථාවලදී, බඩගිනි වූ විට කෑ හැකි ඇට වර්ග වියළි පලතුරු යනාදිය තබා ගැනීම යෝග්‍යය. බැදපු, අධික සීනි සහිත ආහාරවලට වඩා මේවා හිතකරය.

දරුවාගේ සෙල්ලම් බඩු -ගමන අතරතුරදී හෝ වෙනත් නිවසකදී දරුවාට විනෝද විය හැකි ඔහුගේ/ප්‍රියතම සෙල්ලම් බඩු කිහිපයක් රැගෙන යන්න. රැටල්, ටෙඩි බෙයා හා දත් එන විට දමන රබර් මුදු.

ඔබත් නොදැනුවත්වම දරුවාට අයහපත් ගතිගුණ පුරුදු කරවනවාද?

දරුවන් දෙමාපියන්ගේ පුරුදු අනුගමනය කරන බව ඔබ දන්නවා වන්නට පුලුවන. ඔබ ආදර්ශමත් දෙමාපියකු ලෙස හැසිරෙන්නේද? ඔබ තුල අයහපත් ගුණාංග ඇත්නම් දරුවන් වෙනුවෙන් ජීවිතයේ යම් යම් වෙනස්කම් කිරීමට ඔබ සූදානම් විය යුතුය.

දරුවන්ගේ පළමු ගුරුවරයා වන්නේ මා පිය දෙපළයි. ඔබේ දරුවන් නිතරම ඔබගේ හැසිරීම අධ්‍යයනය කරමින් යම් දෙයක් ඉගෙන ගැනීමට තැත් කරයි. ජීවිතයේදි ඔබ විවිධ අවස්ථාවලදී කටයුතු කරන ආකාරය, අන් අය සමඟ සමාජ සම්බන්ධතා පවත්වන ආකාරය හා සෞඛ්‍යමත් පුරුදු අනුගමනය කරන ආකාරය කෙරෙහි ඔබගේ දරුවා විමසිල්ලෙන් පසුවෙයි. මෙසේ වැඩිහිටි ජීවිතයෙන් පාඩම් ඉගෙන ගන්න දරුවා අනාගතයේදි වගකීමක් දැරිය හැකි සමාජයේ බුද්ධිමත් පුරවැසියෙකු බවට පත්වේ.
කිසිදු පුද්ගලයෙකු 100% සුදන නොවේ. ඒත්, දෙමාපියකු ලෙස දරුවන්ගේ හැසිරීම් කෙරෙහි බලපෑ හැකි ඔබගේ අයහපත් පුරුදු හඳුනා ගෙන ඒවායින් බැහැර වීමට උත්සාහ ගැනීම මනාය. ඔබ දෛනික ජීවිතයේ මෙසේ සිදුකරනු ලබන සුලු වෙනස්කම් තුලින් ආදර්ශමත් දෙමාපියකු ලෙස කටයුතු කල හැකිවේ.

ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ කටයුතු කිරීම.

නූතන ඉලෙක්ට්‍රොනික් උපාංග දැන් අපේ ජීව්තයේ එක් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එහෙත් ඔබගේ දරුවා මෙම උපාංග වලට ඇබ්බැහිවීමෙන් වලක්වා ගැනීම දෙමාපියකු ලෙස ඔබ සතු වගකීමක් වේ. ඔබ දරුවා සමඟ කාලය ගත කරන විට හැකි පමණ ඉලෙක්ට්‍රොනික උපාංග ඈත් කොට සමාජ සම්බන්ධතා කෙරෙහි දරුවාව පොළඹවන්න. පවුලේ සැම එක්ව දරුවන් සමඟ දාම්, චෙස්, ස්ක්‍රැබල් වැනි බෝඩ් ගේම් ක්‍රීඩාවක නිරත වීම හෝ පොතක් කියවීම, ස්මාට් ෆෝනයේ කැන්ඩි ක්‍රශ් ක්‍රීඩාවේ නියැලෙනවාට වඩා ඵලදායි වේ.

ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම.

ආත්ම විශ්වාසය යනු සාර්ථක ජීවිතයක් සඳහා ඕනෑම පුද්ගලයෙකු ප්‍රගුණ කල යුතු ගුණාංගයකි. දෙමාපියන්ටත් තමා තුල ඇති යහපත් ගුණාංග ඉස්මතු වන ලෙස හැසිරීමෙන් හා ඒ පිලිබඳ දරුවාට පැවසීමෙන් දරුවා තුල ආත්ම විශ්වාසය ගොඩ නැගෙන අයුරින් හැසිරිය හැකි වේ. ඔබ තුල ඇති වැරදි පෙන්නුම් කරනවා වෙනුවට, යහපත් ගුණාංග කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ ජීවිතයේ ජයගත් අවස්ථා දරුවන් සමඟ එක්ව සමරන්න. මේ තුලින් දරුවා තමාගේ දක්ෂතා හා හැකියාවන් අගය කරන්නටත්, ආතම විශ්වාසයෙන් කටයුතු කිරීමටත් පෙළඹේ.

මිතුරන් හා පවුලේ සාමාජිකයින් ගැන ඕපා දූප කතා කිරීම.

හිස් කතා බස් වල නියැලීම දරුවා කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කල හැකි වැඩිහිටි පුරුද්දකි. මෙම හැසිරීමට ගොදුරු වීම ඉතා පහසු වන නමුත් ඉන් ගැලවීම අසීරු කාර්යයකි. ඔබ අනෙකුත් පවුල් සමඟ සතුටු සාමිචියේ යෙදීමේදි, හැකි පමණ විනෝදජනක දේවල් පිළිබඳ කතා බස් කරන්න, අන් අයව අගය කරන්න, වැඩිහිටි සාකච්ඡා වලින් දරුවන්ව ඈත් කරවන්න.

ඔබගේ සැමියාට/බිරිඳට ගරු නොකිරීම.

දරුවා ඉදිරියේදි ඔබේ සහකාරියට, සහකරුට අගෞරව කිරීම, දෙමාපියකු ලෙස ඔබට කල හැකි බරපතල වැරැද්දකි. දරුවා ඔබ අතර සිදුවන වචන හුවමාරු, වාද කෙරෙහි අවධානයක් යොමු නොකරනවා යැයි ඔබට සිතෙන්නට පුලුවන් නමුත් ඇත්තටම දරුවා ඔබේ හැසිරීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවෙයි. ඔබ බිරිඳ හෝ සැමියා සමඟ කටයුතු කරන ආකාරය දරුවාගේ අනාගත විවාහ ජීවිතය කෙරෙහි දැඩි ලෙස බලපායි. අසභ්‍ය වචනෙන් බැන වැදීම, අන් අය පහත් කොට කතා කිරීම වැනි හැසිරීම දරුවාගේ සිත් තුල කාවදියි, ඔහු/ඇය එය අනුගමනය කරන කාලය එන තෙක් ඔබ බලා නොසිට එකිනෙකාට ගරු කරමින් තමාගේ දරුවන්ට ආදර්ශමත් වන ලෙස හැසිරීම යහපත්ය. ඔබගේ මතයට සහකාරිය/සහකරු එකඟ නොවූවද, පරුෂ වදනින් බැන වදිනවා වෙනුවට සංයමයෙන් හා පරිණතව කටයුතු කිරීම නුවණට හුරුය.

වාහනය ධාවනය කිරීමේදි විමසිල්ලෙන් පසුවීම.

ඔබ වාහනය ධාවනය කිරීමේදි දුරකතනය භාවිතා කරන්නේද? කෑම කෑම, අනෙකුත් ධාවකයින්ට බැන වැදීම් වැනි අයහපත් රියදුරු හැසිරීම් ඔබගේ දරුවාගේ අනාගත ජීවිතය කෙරෙහි දැඩි ලෙස බලපායි. ඔබගේ දරුවාගේ ජීවිතය ඔබ සතු උතුම් දායාදය බව මතක තබා ගන්න. වාහයන ධාවනය කරන අතරතුර ඔබට හදිසි දුරකතන ඇමතුමක් ගන්නට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් අසල ඇති ආරක්ෂිත ස්ථානයක වාහනය නතර කරන්න. වෙහෙස නිවා ගන්නට ගමන අතර තුරදී භෝජන ශාලවක් වෙත යන්න. මෙවැනි පුරුදු සුරක්ෂිත ජීවිතයක ඇති වටිනාකම ගැන දරුවාට කියා දේ.

අයහපත් ආහාර රටාවන්.

ඔබ නිතරම පිටින් කන පුද්ගලයෙක්ද? ඔබ අසහනකාරිව පසුවන වේලාවන්හිදි අධික තෙල් හා සීනි සහිත ආහාර ගන්නට පුරුදු වී සිටිනවාද? ඔබ කෑම මේසයේදි යම් එළවලුවක් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබේ දරුවාත් ඔබව අනුගමනය කරමින් අයහපත් ආහාර රටාවන් වලට ගොදුරු වීමට ඉඩ ඇත. WebMed ට අනුව බලෙන් අනුභව කල යුතු කෑම තීරණය කරනවා වෙනුවට, සෞඛ්‍යමත් ආහාර රටාවකට ඔබේ පවුලේ සියලු දෙනාවම හුරු කරවීම යහපත් ය. එලවලු හා පලතුරු මිලදී ගැනීමේදි මෙන්ම මුලුතැන්ගේ කටයුතු වලට දරුවාව සහභාගි කරවන්න. කෑම කන විට පිළිපැදිය යුතු යහපත් පුරුදු දරුවාට උගන්වන්න.

ක්‍රියාශිලිමත් ජීවිතයක් ගත කිරීම.

ඔබ දෛනික ජීවිතයේ කෙතරම් කාලයක් ශරීර සෞඛ්‍යයේ ක්‍රියාශීලිත්වය සඳහා යොදවන්නේද? ඔබ දිනපතා ව්‍යායාම් වල යෙදෙන්නේ නම්, එම යහපත් පුරුද්ද ඔබේ දරුවා ද තම ජීවිතයට එකතු කර ගනියි. .Bumblebee ට අනුව ඔබ අනුගමනය කරන ව්‍යායාම් මාලාව දරුවාට ක්‍රමවත් කියාශීලි ජීවිතයක් ගත කිරීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වේ. දරුවන් තමා කැමති ක්‍රීඩාව හෝ ව්‍යායාමය තෝරා ගැනීමට ඉඩ දීමෙන් ඔහුට/ඇයට එය විනෝදජනක අත්දැකීමක් බවට පත් කල හැකි වේ. ව්‍යායාම් වලට අමතරව, ඔබගේ දරුවන්ව එළි මහනේ සෙල්ලම් කිරීමට පොළඹවන්න. අමතර ව්‍යායාම් සමඟ පැය භාගයක පමණ කාලයක් එලි මහනේ සෙල්ලම් කිරීමෙන් දරුවාගේ ක්‍රියාශීලිමත් ජීවිතයේ දැඩි වෙනසක් සිදු කල හැකි වේ.

රැල්ලට පා කර හැර දරුවන් මංමුලාවුවන් කරවමුද?

පාසල නිම වී පුතු සමඟ මම පාර පනින්නට බලා උන්නෙමි.

“යමු, යමු පරක්කු වෙනවා, අද පන්ති තුනට”

“අනේ අම්මේ සඳුදා එන්නේ නැත්නම් කොච්චර හොඳද?”

මම පිටුපස හැරී බැලුවෙමි. කතා කරන ඇස් ඇති කොණ්ඩ කරල් දෙකක් පිට මැද්දෙන් ඇද හැලෙන මුතු දසන් ඇති පුංචි කෙල්ල මට සිනාවක් පෑවාය.මමද ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි.

සතියක අවෑමෙන් පුංචි හැඩකාරිය නැවත වරක් මුණගැසුනි. ඒ දෙතොල් අග පිපුනේ මලානික සිනාවක්ය.

“අම්මේ මෙයා ඉන්නේ එහා පන්තියේ” පුතු මට රහසින් කීවත් ඇගේ මවට ඒ රහස කන වැකෙන්නට ඇත.

“පුතා දෙකේද?”

“ඔව්”

“ඔයාලත් සමගි මාවතේද ?”

“ ඔව්”

“සමගි මාවතේ තේනුවර කියලා ටීචර් කෙනෙක් ඉන්නවාද?”

“අනේ අම්මේ තවත් පන්තියකට යන්න බෑ”

“ලොකු මිනිස්සුන්ගේ කතාවලට කට නොදා ඉන්න තරුෂී, ඒ ටීචර් ශිෂ්‍යත්වයට දැන් ඉඳලම හදලා ගන්නවලු”

“ඇත්තද?”

“ඔයා පුතාව පන්ති යවනවද?”

“ඔව් දෙමළ පන්තියකටයි, ඉංග්‍රීසි පන්තියකටයි තව චෙස් වලටත් යවනවා”

“ඇයි ඉතින් අනිත් ඒවට යවන්නේ නැත්තේ ”

“ඉස්කෝලේ කරන ටික හොඳටම ඇති, අනික මෙයාලගේ ටීචර් හොඳට උගන්වනවා”

“අනේ එහෙම කියලා බෑනේ, ඉස්කෝලේ ටීචර් හොඳ වුනාට අපේ පන්තියේ බාගෙට බාගයක් පන්ති යනවා, මෙයත් සිංහල, ගණිතය වලට මිස්ලා දෙන්නෙක් ගාවටම යවනවා ඉංග්‍රීසි වලට නම් එක පන්තියකට යවනවා”

“දරුවට නිදහසක් ඇත්තෙම නැහැ නේද? ආ… එහෙනම් අපි මෙතනින් යනවා“ මම ඇයට පැවසුවෙමි.

“හා හරි පස්සේ දවසක හම්බ වෙමුකො”

සති දෙකක් පමණ ඉකුත් විය. අපේ නිවස අසලදි පුංචි හැඩකාරියත් ඇගේ මවත් මට මුණගැසිනි. දියණියන් නැති නිසාවෙන්දෝ මම මේ පුංචි හැඩකාරියට ඇලුම් කලෙමි. හැඩකාරිය මා හා සිනා නොවුනාය.ඇගේ සිත කොහේදෝ නතර වී ඇති හැඩකි.

“චුටි දුව මොකද අද අසනීපද? ”

“නැහැ මට හරි මහන්සියි”

“ඔව් අනේ සතියෙම මෙයාට පන්ති නිවාඩුවක් ඇත්තෙම නැහැ,මේ පන්තියත් හොඳටම කරනවා, අපේ පන්තියෙයි ඔයාලගෙ පන්තියෙයි ළමයි හුඟක් ඉන්නවා”

“ඇත්තද? දුවගෙ කලින් පන්ති නැවැත්තුවද?”

“නැහැ, නැහැ දැන් තුනටම යවනවා, නැත්නම් කොහොමද ශිෂ්‍යත්වය පාස් කරගන්නේ ”

මසිතට දැනුනේ පුදුමයකි. ශිෂ්‍යත්වය පාස් කරගන්නට මේ පුංචි පැටවුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම මව්වරුන් මංකොල්ල කනවා නොවෙද?. ඉතින් දරුවන්ගෙ සිත් වල යහපත් ළමා සිතුවිලි රෝපණයවනවා වෙනුවට එකෙකු පරයායන්ට ආත්මාර්ථය වපුරන්නේ වැඩිහිටි අපම නොවෙද? දෙමාපියන්ගේ සිහිනය තම දරුවන් නිසි ලෙස අධ්‍යාපනයෙන් සන්නද්ධ කොට සමාජයේ ඉහලම තලය වෙත පියමං කරනු දැකීමය. ඒ වෙනුවෙන් දෙමාපියන් වශයෙන් ඔවුන් ඇපකැප වන බව නොරහසකි. අධ්‍යාපනය වූ කලී ජිවිතයේ එක් අංශයක් පමණක්මය.  ඒ වෙනුවෙන් දරුවන්ගේ ළමාවිය විඳ ගැනීමේ අවස්ථාව කප්පාදු නොකල යුතුය.

දිනක් වසර එකහාමාරක් වියැති මල්ලිගේත් අයියාගේත් දැඩි නිහඬතාවය නිසා මා මිදුලට ගියෙමි. හෙන්දිරික්කා මල් ගස ලඟ නිසොල්මනේ හිඳින ලොකු පුතා වෙත මා සෙමෙන් ලං වුනෙමි. හෙන්දිරික්කා මලක් සීරුවට පිපෙන අයුරු ඔහු ඉතාමත් ඕනෑකමින් නිරීක්ෂණය කරයි. අයියා ළඟම හිඳ මල්ලී වැලි සෙල්ලමකය. පරිසරය තුලින් ඔවුන් ජීවිතයට බොහෝ දෑ උකහාගනිය. කුරුළු හඬට, සමනල රැඟුමට, හමන සුළඟේ රිද්මයට, වැටෙන වැහි බිදුවල සිසිලට ගහකොළ මල්  වලට ආදරය කරන්නට ඒවා විඳගන්නට නම් දරුවන්ට පරිසරයට ලෙංගතුවන්නට කාලය ලබා දිය යුතුය. පොතින් පතින් ලැබෙන දැනුම සේම ඒ දැනුමද ඔවුන්ගේ ජීවිත වලට අවැසිමය.

මසකට පමණ පසුව තරුෂිගේ මව මා සොයා පැමිණියාය. ඇය මගෙන් විමසුවේ ළමා මනෝ වෛද්‍යවරයකු පිළිබඳවය.

“අපේ දුව දැන් කියන කිසි දෙයක් අහන්නේ නැහැ. පොතක් අල්ලන්නේ නැහැ. හරියට කේන්ති යනවා. ටීචත් කිව්වා දැන් පන්තියේ වැඩත් දුර්වලයි කියලා කල්පනා කරනවත් වැඩියි ඒක නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න හිතුවා”

“බොරැල්ලෙ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යෞවන මානසික සායනයක් තියෙනවා ඔයා දුවව එක්ක යන්න.  මේ දරුවට දවස් හතේම පන්තිනේද? සෙල්ලම් කරන්න වෙලාවක් එහෙම නැතිව ඇති නේද?”

“ඔව් ඒක නම් ඇත්ත, ඉරිදට විතරයි හවස් වරුවෙ නිදහස් ”

දරුවකුගෙ කයට හා මනසට නිදහස අත්‍යවශ්‍යයි.

“උදේම ඉස්කෝලේ, දවල්ට පන්ති රෑ වෙලා නේද ගෙදර යන්නේ කෝ ඉතින් දරුවට නිදහසක් ? එකම විෂයකට පන්ති දෙක තුනකට නොයවා එකකට විතරක් යවලා දරුවට නිදහසේ ඉන්න දීලා බලන්නකො”

නැවත සතියකට පසු මට ඇය හමු විය. “කොහොමද දුවගෙ තත්ත්වය? ”

“පන්ති දෙකක් නැවැත්තුවා වෙනදට වඩා හොඳයි”

ආදරණිය අම්මාවරුනේ අපේ ලොකුම සම්පත අපේ දරුවන් නොවේද? ඔවුන්ගේ අනාගතය පැහැබර කල යුත්තේ ඉතාමත් බුද්ධ්මත්ව සිතාබලාය. රැල්ලට දරුවන් පිම්මේ දුවවන්නට වෙර දැරීමෙන් සිදුවන්නේ දරුවන් මගක් දුර ගොස් හත් වැටී ජීවිතය පුරාවටම මංමුලාවූවන් වීමය. එහෙයින් ඉවසිලිවන්තව බුද්ධිමත්ව ඔවුන්ගේ ජීවිත ගොඩනැගිය යුතුමය.

අම්මා … අම්මා… අම්මා

වහිනවා වහිනවා …

තෙමෙන්නද මං?

තෙමිලම බලන්න එහෙනම් පුතුනෙ මගේ

අම්මා … අම්මා… අම්මා

සමනලයෙක් අල්ලනද මං?

බැලුවට කම් නැහැ රිදවිලි නම් බැහැ පුතුනෙ මගේ

අම්මා … අම්මා… අම්මා

මල් පිපිලා කඩාගන්නද මං?

බුදු සාදුට පූජ කරන්නට විතරක් කඩන්න

නැත්නම් ගහ පාළු වෙලා යයි පුතුනෙ මගේ

මගේ පුතු පැටවුන්

අතීතයට කැන්දන් යයි මං

ඉතිං අවසර

විදින්න ජීවිතය සෙනේ සිතින්…