මානසිකව නිරෝගි වෙමු.

මනසින් උසස් නිසා අපි මිනිසුන් විදිහට හඳුන්වනවා. අපේ මනසට සංකීර්ණ ක්‍රියාවන් කරන්න පුලුවනි. අපට ගැටළු ඇති වෙන්නේ, හැඟීම් සහ භාවයන් ඇති වෙන්නේ අපේ මනස උසස් නිසා. ඒ නිසා අභියෝගවලට මුහණ දීමට අපට මානසික නිරෝගිතාවය අවශ්‍යයි.

මානසික සෞඛ්‍ය බිඳ වැටීමට හේතු වෙන්නේ  මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවයක් ඇති වීමයි. මානසික සෞඛ්‍ය පිරිහුන තත්වයට පත් වුන පුද්ගලයෙකුගේ මොළයට යන රුධිරය, ඔක්සිජන් සැපයුම සහ ග්ලුකෝස් වැනි පරිවෘත්ත්තිය ක්‍රියාවල අඩු පාඩු පර්යේෂණ මට්ටමේදී පෙන්නුම් කරනවා.මේ නිසා ඇති වෙන මානසික රෝග ගැන දැනගත හැකි ලක්ෂණ කීපයක් තිබෙනවා.

මානසික සුවතාවය නැති වීම සහ දැනෙන අපහසුතාවයන්

  • ඇඟට ශක්තිය නැතිවීම
  • හිත සහ ගත කඩා වැටුනා වගේ දැනීම
  • දුක
  • දැඩිව දැනෙන කනස්සල්ල
  • ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති වීම.

මානසික සුවතාවය පිළිබඳව ගැටලු ඇති වෙන්නේ ඇයි..

  • ජාන

මානසික සෞඛය සඳහා ජාන ඉතා සමීපව බලපාන කරුණක්. පවුල් ඉතිහාසයේ මානසික රෝගීන් පිළිබඳ වාර්තාවන් තිබෙනවා නම් එවැනි පවුලකින් මානසික රෝගීන් බිහිවෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

  • සෘණ  ආකල්ප

හැම දෙයක්ම ඉතාම අසුබ විදිහට සහ කළ නොහැකිය යන සෘණ  ආකල්ප නිසාත් මානසික රෝගවලට ගොදුරු වීමට ඇති ප්‍රවනතාවය වැඩි විය හැකියි.

  • මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරණ

මානසික සෞඛ්‍ය පිරිහුන පුද්ගලයන් තුළ සියදිවි හානි කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති වෙනවා.සිය දිවි නසා ගැනීම ගැන මාධ්‍යමගින් ලබා දෙන ප්‍රචාරය නිසා දරුවන් විසින් ඒවා  අනුකරණය කරනවා. තමාගේ ලෝකයේ සිටින ජනප්‍රිය චරිතයක් සිය දිවි හානි කර ගත් අන්දම, එහෙම නැත්නම් සම වයසේ දරුවෙකු සිය දිවි හානි කර ගත්තාට පසුව ඒ වෙනුවෙන් ලබා දුන් ප්‍රචාරය නිසා දරුවාගේ මනසේ සියදිවි හානි කර ගැනීම ගැන යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා. ඒ නිසා සිය දිවි හානි කර ගැනීම බොහොම රසවත් වීර ක්‍රියාවක් විදිහට ඉස්මතු කිරීම එතරම් යහපත් දෙයක් නොවෙයි.

මානසික සුවතාවය සුරක්ෂිත කර ගැනීමට නම්

  • ආහාර රටාව

අපේ ආහාර රටාවත් මානසික සෞඛ්‍යට බලපානවා.අද බොහෝ දෙනාගේ ආහාර රටාව ක්ෂනික ආහාර..එහෙම නැත්නම් සකස් කළ ආහාර වලින් සමන්විත වෙනවා. අලුත් එළවලු , පළතුරු ආහාර වේලට ඇතුලත් වෙන්නේ නැහැ. කොළ පැහැති එළවළු, මත්ස්‍ය ආහාර  සහ පළතුරු මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම යෝග්‍යයි.

  • ව්‍යායාම නැති ජීවිත

ව්‍යායාම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතා යෝග්‍යයි. ව්‍යායාම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය ඉතාම යහපත් අන්දමින් සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුනත් ඇවිදිම, පිහිනීම, ක්වායු ව්‍යායාම , සුම්බා වැනි ව්‍යායාම මානසික සුවතාවය පවත්වා ගැනීමට ඉතාම වැදගත්.

  • ජලය පානය කිරීම-

පුද්ගලයෙක් විසින් දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීම අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනා විසින් මේ තත්වය ගැන සැලකීමක් කරන්නේ නැහැ. සිරුරේ විජලන තත්වය වලක්වා ගැනීමට වගේම මානසික ප්‍රබෝධයටත් ජලය ඉතාම වැදගත්.

  • විනෝදාංශයක යෙදෙන්න…

අපේ ජීවිතයේ රටාව සමග හිතටත් යම් සතුටක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් විනෝදාංශයක් තෝරා ගන්න. විනෝදාංශයක් වෙනුවෙන් මුදල් අවශ්‍ය නැහැ.ඔබේ පුංචි ගෙවත්තේ එහෙම නැත්නම් කොන්ක්‍රිට් ස්ලැබ් එක මත පුංචි පැලයක් හදන්න. පොහොර උරයක වුනත් කමක් නැහැ. එළවළු පැලයේ අස්වැන්න ලැබෙන විට එහෙම නැත්නම් මල් පැලයේ මලක් පිපෙන විට එය ඔබ සතුටට පත් වේවි.

  • සුරතල් සතුන් ඇති කිරීම

ඔබේ නිවසේ සුරතල් සතෙකු ඇති කරනවා නම් දවසේ යම් කාලයක් නිවැසි සුරතලාගේ කටයුතු වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම සුරතලාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කිරීමත් මානසිකව විශාල සතුටක් ලබා දෙන සිදුවීමක් බැව් අපි අත්දැකීමෙන්ම දන්නා දෙයක්.

  • සංචාරයේ යෙදීම…විනෝද චාරිකා…

අද බොහෝ ආයතන විසින් තම ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවය වෙනුවෙන් සේවකයන්ගේ සානකිස සතුට ගැන වැඩි අවධානයක් දක්වනවා. ඒ නිසාම ආයතනයේ සුබසාධක සංගමය මගින් වාර්ෂිකව චාරිකා සැලසුම් කිරීම වාර්සික සැලසුමේ කොටසක්. චාරිකාවන් නිසා සේවකයන්ගේ සතුට,සමගිය වගේම අලුත් අත්දැකීම් ලබා ගන්නවා. ආයතනගත එකාකරි පරිසරයෙන් මිදී සිතට සතුටක් ලැබෙන මෙවැනි කටයුතු නිසා සේවකයන්ගේ මානසික සතුට ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවයට වැඩි වටිනාකමක් ලබා දෙනවා.

  • වියපත් අයගේ මානසික සෞඛ්‍ය ගැනත් වැඩි අවධානයක් ලබා දෙන්න..

ජෛව විද්‍යාත්මකව අපේ මනස වයසට නොගියත් කය වයසට යනවා. අද න්‍යෂ්ටික පවුලක් තුළ කාලයත් සමග වැඩිහිටියන් හුදෙකලා වෙනවා. ඔවුන්ගේ දරු මුනුපුරන් දුරස් වීම කාලය සමග සිදු වෙන සාමාන්‍ය සිදුවීමක් වුනත් ඒ නිසාම වියපත් මව්පියන්ගේ ශක්තිය නැති වෙනවා. ඇතැම් දෙමව්පියන් ආර්ථික ලෙසින් අසරණ වෙනවා. තවත් විටෙක ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නැති වෙන්න පුලුවනි.

අපේ රටේ සංස්කෘතිය තුළ වැඩිහිටියන් ජීවිතාන්තය දක්වාම දරුවන්ගේ නිවෙස්තුළ සිටින ගතානුගතික සංකල්පයක් තිබෙනවා. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් පුංචි සමාජයක් අවශ්‍යයි. එවිට ඔවුන්ට පොත් පත් කියවීම, කතා කරන්න, විනෝදාංශයක යෙදෙන්න වගේම තමන්ගේ කායික සෞඛ්‍ය ගැනත් විවිධ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවනි.

  • පරිගණක ක්‍රිඩා වැඩිහිටියන්ට හොඳයි..

දරුවන් විද්‍යුත් උපාංඟ සමග නිරත වීම සුදුසු නැති වුනත් වේගවත් පරිගණක ක්‍රිඩා නිසා වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජය වෙනවා.

  • වැඩිහිටියන් රැකබලා ගැනීමේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම..

දරුවන් වගේම වැඩිහිටියන්ටත් යම් වයසකදී ඔවුන් රැකබලා ගැනීමට පිළිසරණක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක්. ඒත් 

සමිති සමාගම් අවශ්‍යයි…

මිනිසා කියන්නේ සමාජ ජීවියෙක්. ඔවුන් සමාජය සමග ජීවත් විය යුතුයි. අද සමාජ ජාලා ඔස්සේ අතාත්වික (virtual ) මිතුරන් සිටියාටම ප්‍රමාණවත් නැහැ.අපට සෘජු වශයෙන් කොටින්ම ඇස්  (eye contact) සම්බන්ධතාවයෙන් සම්බන්ධ විය හැකි මිතුරන් අවශ්‍යයි. එතැන අමුතුම ප්‍රාණවත් බවක් තිබෙනවා. 

  • හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි…

අපේ හැම දෙයකටම මනස බලපානවා.නමුත් එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. පරිසරය, රැකියාව, අධ්‍යාපනය වැනි කරුණු මත එක් එක් අය ඒවාට මුහණ දෙන පිළිවෙල වෙනස්. පුද්ගලයෙකුට යම් ගැටළුවක් ඇති වුනාම එය දරා ගෙන සිටීම එතරම් සුදුසු නැහැ. හිතේ පීඩනය නිදහස් කර ගැනීමට හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි. අපේ රටේ මානසික උපදේශන සේවාව ගැන ජනතාව දැණුවත් නැහැ. ඒ නිසා බොහෝ දෙනා මනෝවෛද්‍යවරුන් ගේ සේවාව ලබා ගන්නවා. මානසික සුවතාවය පිරිහිනු පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් වෙත යෑමටත් එතරම් උනන්දුවක් නැහැ. ඒ නිසාම ඔවුන් ගැටලු හිතේ තබා ගෙන විඳවනවා.

  • ජීවන කුසලතාවයන් ගැන අවබෝධයක් ලබා දෙන්න..

අපේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ  විNdග මුල් කර ගෙන මිසක ජීවත්වෙන කලාව ගැන දරුවන් දැනුවත් කරන්න නොවෙයි.ගණිතයේදී දෙකයි දෙකයි එකතු කළාම හතර බව ඇත්ත. නමුත් ජීවිතයේදී ඇති වෙන ප්‍රශ්නවලට මෙවැනි පොදු උත්තර නැහැ.ඒ නිසා නිවරැදි වේලාවට නිවරැදි තීරණය ගැනීමේ හැකියාව සහ ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකල්ප ගොඩ නැගීම මගින් මානසික නිරෝගි පරපුරක් බිහි කරන්න හැකියාව ලැබේවි.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා..

 

කිරි සිහිනය සැබෑවක් කරමු.

කිරි සිහිනයක  නිමිති දැනගත් දිනයේ පටන් අම්මාගේ තාත්තාගේ එකම බලාපොරොත්තුව නිදුක් නිරෝගී දරුවෙක් දැකීමයි. ඒ  නිසාම ඔවුන් කුස සිටින දරුවා වෙනුවෙන් කළ හැකි සියළුම සත්කාර ලබා ගන්නවා. ඒ වගේම පුංචි කිරි කැටියාගේ පෞරෂයත් මේ කාලයේ පටන්ම වර්ධනය කරන්න පුලුවන් බවත් අමතක කරන්න එපා.

ඔබේ සිතුවිලි ඉතා වැදගත්…

කිරි සිහිනය දකින දිනයට ඇඟිලි ගනින ඔබ මේ කාලයේදී යහපත් සිතුවිලිවලින්ම කාලය ගත කරන්න. අතීතයේදී පවා ගැබ්බර කාන්තාවක් වෙනුවෙන් නිතරම දකින්න සලසා දුන්නේ සුබ නිමිති පමණයි. කොටින්ම ආබාධ සහිත දරුවන් පවා දකින්න ඉඩක් ලබා දුන්නේ නැහැ. ලස්සන දරුවන්ගේ ඡායාරූපයක් නිදන ඇඳ ළග බිත්තියේ එල්ලා ගත්තා. මේ හැම දෙයින්ම බලාපොරොත්තු වුනේ ගැබ්බර මවගේ නෙතට සොඳුරු දර්ශන ලබා දීමටයි.

ආගමික කටයුතු…

ඔබ කුමන ආගමක වුනත් යහපත් සිතුවිලි ගොඩ නගන ආගමික වතාවත් වෙනුවෙන් යොමු වෙන්න. දෙමව්පියන්ගේ චර්යාවන් , සිතුවිළි නූපන් දරුවාගේ පවා මානසික වර්ධනයට හේතු වෙනවා. බුදුදහමට අනුව දරුවෙකු ලැබෙන්න සිටින මවත්, පියත් සිල්වත් වීම වැදගත්. බෝසත් කුමරු මව් කුස පිලිසිඳ ගත් ඇසළ පොහොය දිනයේ පවා මහමායා දේවිය සිල් අරගෙන සිටි බැව් බුද්ධ චරිතයේ සදහන් වෙනවා. යහපත් සිතුවිලිවලින්ම නින්දට ගිය මහමායා දේවිය දුටු සුබ සිහිනයේ නිමිත්ත වුනේ පින්වත් කුමරෙක් මව්කුස පිලිසිඳ ගැනීමයි.දරුවෙකු වෙනුවෙන් සිහින දකින කාලයේ පටන්ම ඔබ ආගමික වතාවත් වල යෙදෙමින් පිරිසිදු මානසිකත්වයකින් සිටීම ඉතාම වැදගත්.බොදු මාතාවක් නම් නින්දට පෙරාතුව පිරිත් සජ්ජායනා කරන්න.

ඉතින්…නෙතට පමණක් නොවෙයි, ගැබ්බර අම්මාගේ හදවතත් යහපත් සිතුවිලිවලින්ම ගොඩ නැගෙනවා නම් එයින් කිරිකැටියාගේ මනසටත් ඉතා හොඳ දායකත්වයක් ලැබෙනවා. කොටින්ම සෝෂාකාරී ශබ්ද ගැබ්ගත් කාන්තාවක් සිටින තැනකදී අනුමත කලේ නැහැ. කොටින්ම දරු නිමිත්තක් බලාපොරොත්තු කාන්තාවක් නිවසේ සිටිනවා නම් වහලයක, බිත්තියක ඇණයක් ගැසීමට පවා ඉඩ දුන්නේ නැහැ. එදා මෙහි විද්‍යාත්මක සත්‍යක් ගැන දැනසිටියේ නැහැ. අද වෙන විට ගර්භණීත්වය මුල් කර ගෙන විවිධ අධ්‍යනයන් සිදු කරන පර්යේෂකයින් පවා පෙන්වා දෙන අන්දමට ඝෝෂාකාරී සංගීතය ගැබිණි  මවක් ජීවත්වෙන පරිසරයේදී මුදා හැරීම සුදුසුම නැහැ. කොටින්ම කොත්තු රොටී සකස් කරන විට ගැටෙන ශබ්දය පවා නුසුදුසු බැව් ඔවුන්ගේ අදහසයි.

ගීත අසන්න…

දරුවෙක් කුස දරණ කාලයේදී මිහිරි සංගීතයට සවන් දෙන්න.නමුත් වේග රිද්ම ඝෝෂාකාරී සංගීතයක් නම් සුදුසුම නැහැ. ශාන්ත රසයක් දැනෙන මිහිරි සංගීතයට සවන් දෙන්න. පොතක් පතක් කියවන විට වුනත් ඇගේ සිතුවිලි යහපත් වන කෘතියක් තෝරා ගැනීම වැදගත්. සෘන මානසිකත්වයට, පරාජිත ආකල්ප හෝ ශෝකාන්තයකින් අවසාන වෙන පොත් පත් මේ කාලයේදී නම් සුදුසු නැහැ. චිත්‍රපටයක් හෝ වෙනත් නාට්‍යක් බලන විට වුනත් ධනාත්මක සහ සිතට සතුටක් ලබා දෙන නිර්මාණ වෙනුවෙන් යොමු වෙන්න. අනවශ්‍ය අන්දමින් ඇගේ සිතට කලකිරීම, සාංකාව, දුක දැරීම සුදුසු නැහැ.

සංගීතය චිකිත්සාවක්…

සංගීතය මනස සුවපත් කරන භාවනාවක් බැව් නූතන ලෝකයේ විවිධ අධ්‍යනයන් මගින් පවා සනාථ වී තිබෙනවා.දරු නැළවිලි ගීතයක් ගයන්නට දරුවා බිහිවෙන තුරු සිටින්න අවශ්‍ය නැහැ. කුස අතගාමින් ගයන දරු නැළවිලි ගීතය නිසා ඔබේ කුසයේ සිටින දරුවාගේ නිර්මානශීලී චින්තනය අවදි වෙනවා. නැළවිලි ගීතයක ඇති රිද්මය කොටින්ම භාවනාවක්.ඒ නිසා ඔබ විවේකීව සිටින සෑම අවස්ථාවකදීම කුසය පිරිමදිමින් නැළවිලි ගීතයක් ගයන්න.

ඒ වගේම දරුවා නිදන තොටිල්ලට ඉහලින් චලනය වෙන විට මෘදු ස්වර නැගෙන සීනුවක් එල්ලා තබන්න. ඒ වගේම කාමරයේ බිත්ති අලංකාර වර්ණයකින් පින්තාරු කරන්න. බිත්ති පුරා මල්, අලංකාර සිතුවම් ඇති විට දරුවා අවදිව සිටින වේලාවට ඒ දෙස බපා සිටිනු ඇති. වර්ණ ගැන දරුවාට අවබෝධයක් නොමැති වුනත් නිතර නෙත ගැටෙන වර්ණ නිසා වර්ණ රටාවන්ගේ විසිතුරු බව දරුවාගේ මනසට යම් සහනදායී සිතුවිල්ලක් වෙනු ඇත.

ජීවිතයේ රිද්මය එයයි…

දරුවා කුස සැතපෙන කාලයේදී මව විසින් ගායනා කළ 

” දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා….”

මේ නැළවිලි ගීතය තුළින් මවගේ හදවතේ රිද්මය දරුවා මැනවින් හඳුනා ගන්නවා. එය දරුවාගේ හදවතට සතුටක්.සතියක් පමණ වෙන දරුවාට වුනත් අම්මාගේ කටහඩ දිව්‍ය මන්තරයක්. ඒ නිසා නිතරම දරුවා මුහුණට සමීප කර ගෙන කතා කරන්න. අම්මාගේ පමණක් නොව තාත්තාගේ කටහඩත් දරුවාට ඉතාම වැදගත්. බොහෝ පියවරු බිලිඳු පැටියාට තමන්ගේ මුහුණ සමීප කරන්න බියක් දක්වනවා. පියාගේ මුහුනේ රැවුල පැටියාගේ මාදු මොලොක් මුහුණට දරන්න බැරි වෙතැයි සිතුවත් ඔබගේ ආමන්ත්‍රණය පැටියා බලාපොරොත්තුව සිටිනවා.

දරුවා හඩන්නේ බඩගින්නටම නොවෙයි…

පුංචි පැටියා හඩන විට අම්මා පැමිණෙන්නේ බඩගින්න හෝ මල පහ පිටි වී ඇතැයි යන විහ්වාසයෙන් වුනත් පුංචි පැටවුන් නිතරම අඩන්නේ මේ හේතුන් නිසාම නොවෙයි.ඒ නිසා දරුවා හඩන විට ඔබ විසින්ම අනුමාන ගොඩ නගා ගන්න එපා. බඩගිනි ඇති…කිරි ටිකක් දෙන්න ඕන…කියන නිගමනයට පැමිණෙන්න එපා. සමහර විට අම්මාගේ පැමිණීම දරුවාට අවශ්‍ය ඇති. ඒ නිසා දරුවා හඩන විට ප්‍රමාද නොවී ඔවුන් වෙතට යන්න.සිප වැළඳ ගන්න.තමන්ගේ ලෝකය ගැන දරුවාගේ හිතේ විශ්වාසයක් ඇති වෙන්නේ එවිටයි.

අම්මාගේ සුවඳ  දරුවා හඳුනා ගන්නවා…

පුංචි පැටියා මුලින්ම හඳුනා  ගන්නේ තමන්ගේ අම්මා.මවගේ කිරි සුවඳ වගේම ස්පර්ශය, කටහඩ පුංචි පැටයා ඉතා හොදින් හදුනනවා. මේ ගැන මවක් විදිහට ඔබටත් අත්දැකීම් ඇති. මොර ගහමින් හඩන දරුවා මවගේ පපුවට තුරුල් කර ගත් සැනින් ඇඩීම නවත්වනවා. ඒ නිසා ඔබ දරුවාට කිරි පොවන විට පැටියා පපුවට හොදින් තුරුල් කර ගන්න. අම්මාගේ උණුසුම තරම් ආරක්ෂාවක් දරුවාට තවත් නැහැ.ඔබේ ඇඟිලි තුඩු පැටියාගේ හිසකෙස් අතරින් යවමින් හිම පිරිමදින්න. ඉතා මෘදු ලෙසින් යටිපතුල් ස්පර්ශ කරන්න. මේ අන්දමින් ලැබෙන අම්මාගේ ස්පර්ශය නිසා දරුවාගේ මොළයේ ඇතැම් සෛල උත්තේජනය වෙනවා.

ඉතින්..දෙව්දත් වුනත් මවට උතුම් පුතෙක් බව ඇත්ත. ඒත් ඔබේ දරුවා ඔබට පමණක් නොව ලෝකයට වැදගත් චරිතයක් විය යුතුයි. පැටියා ලෝකයට බරක් නොවන්නට නම් ඔහු සාධු චරිතයක් වීම වැදගත්. ඒ වෙනුවෙන් වූ මග පෙන්වීම කිරි සිහිනයේ නිමිති දකින්නත් පෙරාතුවම පටන් ගන්න. ඔබටත් , ඔබේ පැටියාටත් ලෝකයට බරක් නොවී ජීවත් වෙන ශක්තිය සහ ධෛර්ය ලැබෙන්නේ එවිටයි.

 

Diet plan පටන් ගැනීමට පෙරාතුව

සිරුරේ ලස්සන පෙනුම වගේම ජීවිතයේ නිරෝගි පැවැත්ම පවත්වා ගැනීමට දක්වන උනන්දු නිසාම අද බොහෝ දෙනෙක් සැලසුමක් සහිතව ආහාර පාලන රටාවක් අනුගමනය කිරීමට බොහොමත්ම උනන්දුයි.එහි කිසිම වැරුද්දක් නැති වුනත් ඔබ ආහාර සැලසුමක් තෝරා ගැනීමේදී ඒ ගැන අවධානය දැක්වීම ඉතාම වැදගත්.

ආහාර පාලන සැලසුම්  (Diet plan) මොනවාද..?

  • intermittent Diet plan

මෙහිදී පැය16 ක් නිරාහාරව සිටිනවා. ඊට පසුව පැය අටක් ආහාර ගන්නවා. පැය 16 ක් නිරාහාරව සිටින විට අපේ සිරුරේ තිබෙන මේද දහනය වෙතැයි සිතුවත් ඇත්තටම එය  නිවරැදි නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට intermittent Diet plan අනුගමනය කිරීමේදී අප සිතන අන්දමට දිගු වේලාවක් නිරාහාරව සිටීමෙන් සහ අදාල කාලපරාසයකදී නැවත වැඩි පංගුවකින් ආහාර ගැනීම මේදය අඩු කර ගැනීමට සාර්ථක ක්‍රමයක් නොවෙයි.

  • Paleo Diet plan

මේ සැලසුම බොහෝ විට අනුගමනය කරන්නේ යුරෝපයේ සහ ඉහළ මධ්‍යම පංතියේ උදවියයි. ආදි  (පේලියොලොතික ) යුගයේදී සමාජයේ භාවිතා වුන එළවලු, පළතුරු, සත්ව ප්‍රෝටීන, ඔලිව් තෙල් සහ ඇට වර්ග වැනි ආහාර ඔවුන්ගේ Paleo Diet plan වෙනුවෙන් සම්බන්ධ කර ගන්නවා.නමුත් මේ පාලනය අද කාලයට එතරම්  ගැලපෙන්නේ නැහැ.

  • නිර්මාංශ  (vegetarian ) ආහාර රටාව

අප අතර බොහෝ පිරිසක් දැන් නිර්මාංශ වීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. ඒ ආගමික කරුණු මුල් කර ගෙන පමණක් නොවෙයි.මස් ආශ්‍රිත ආහාර වල තිබෙන වස විස සංකල්පය මුල් කර ගෙනත් බොහෝ දෙනෙක් නිර්මාංශික ආහර වෙනුවෙන් යොමු වෙනවා.

නිර්මාංශ ආහාර සැලසුමත් කොටස් දෙකකින් යුක්තයි.

1.කිසිම සත්ව ආහාරයක් අනුගමනය නොකරන පිරිස උදාහරණයක් ලෙස මේ අය කිරි, බිත්තර ආහාරයට ගැනීම පවා ප්‍රතික්ෂෙප කිරීම.

2.කිරි , බිත්තර ආහාරයට ගන්නා අතර මස්, මාළු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම.

. නමුත් ඔවුන් අදහස් කරන අන්දමින් නිර්මාංශ වීමෙනුත්  ප්‍රාතිහාර්යක් ලෙස ශරීර බර අඩු වෙන්නේ නැහැ. නිර්මාංශ ආහාර මගින් වුනත් පමණට වඩා ශක්තිය ( කැලරි ) සිරුරට ලැබීම සහ ඒවා දහනය නොවන විට මේද ලෙසින් ගබඩා වීමේ ඉඩක් තිබෙනවා. නමුත් දීර්ඝකාලීනව නිර්මාංශ ආහාර රටාවක් නිවරැදි විදිහට අනුගමනය කරන පුද්ගලයන්ගේ ශරීරයේ බර වගේම සිරුරේ මේද මට්ටම යහපත් අගයකින් පවත්වා ගන්න පුලුවනි.

කිටෝ  Diet plan සහ Atkin Diet plan

මේ සැලසුමේදී සම්පූර්ණයෙන්ම කාබොහයිඩ්ඩ්‍රේට  ආහාර ඉවත් කරනවා. ඒ වෙනුවට සත්ව ප්‍රෝටීන පමණක් ආහාර සැලසුම වෙනුවෙන් යොදා ගන්නවා.මෙතැනදී අපි හිතන්නේ කාබොහයිඩ්ඩ්‍රේට අඩු කිරීම නිසා ශක්තිය අවශ්‍ය වෙලාවට මේද දහනය වී ශරීර බර පාලනය වෙන බවයි.නමුත් ආහාරයට එකතු කර ගන්නා ප්‍රෝටීන මේද ලෙසින් සිරුරේ ගබඩා වීමේ හැකියාවක් තිබෙනවා.

  • Fruity diet හෙවත්  පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීම.

මෙතැනදී  පුද්ගලයන් තමන්ගේ ආහාරය සම්පූර්ණයෙන්ම පළතුරුවලට සීමා කරනවා.නමුත් පළතුරුවලින් සිරුරට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැහැ.පළතුරු වුනත් වැඩි ප්‍රමාණයකින් ආහාරයට ගැනීම ලැබෙන  ශක්තිය සීනි නොසැනීම මේද ලෙසින් සිරුරේ ගබඩා වෙනවා.

  • ආහාර වේල් මග හැරීම (skip )

අපි සාමාන්‍යයෙන් දිනකට ආහාර වේල් තුනක් ගැනීමට පුරුදුව සිටිනවා. මේ ආහාර සැලසුමේදී උදේ හෝ රාත්‍රි ආහාරය මග හැරීමෙන් ශරීර බර පාලනය කර ගැනීමට උත්සාහ කරනවා. ආහාර වේල මග හැරීමෙන් සිරුරේ බර අඩු කර ගැනීමත් එතරම් සාර්ථක නැහැ.

  • ආහාර ආදේශක Diet plan

අඩුම කැලරි සහිත ආහාර සැලසුමක් සකස් කරනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට කැලරි 2000 ක් පමණ අවශ්‍යයි..මේ සීමාවන් නිසා ශරීරයට අවශ්‍ය කැලරි ශක්තිය පවා නොලැබීම නිසා විවිධ අන්දමේ පෝෂන ඌනතාවයන් පවා ඇති වෙන්න පුලුවනි.

  • Low fat Diet plan මේදය අඩු ආහාර පමණක් ගැනීම

මේදය අඩු ආහාර පමණක් ගැනීමට උනන්දු වෙන පුද්ගලයන් කිරි සහ තෙල් ආහාර දැඩි ලෙසින් අවම කරනවා.  ඒ  අතරම කාබොහයිඩ්ඩ්‍රේට වැඩියෙන් ආහාරයට ගැනීමට උනන්දුවක් දක්වනවා. කාබොහයිඩ්ඩ්‍රේට වෙතින් ලැබෙන ශක්තිය මේද විදිහට සිරුරේ ගබඩා වෙනවා.

නිසි උපදේශයක් නැති  Diet plan නිසා අහිතකර තත්වයන් ඇති වෙන්නත් පුලුවනි

පැය ගණනාවක් නිරාහරව සිටිමග දිගු වේලාවක් නිරාහාරව සිටින විට ගැස්ට්‍රයිටිස් තත්වයේ පසුවෙන අයගේ රෝග තත්වය තව දුරටත් උත්සන්න වීමට පුලුවනි.

මොළයට නිසි ලෙසින් ග්ලූකෝස් පරිවහනය නොවීමෙන් ධාරණය සහ කල්පනා ශක්තිය පිළිබඳ ගැටලු ඇති වෙන්න පුලුවනි.

නිරෝගි ආහාර  වේලකින් අපේ සිරුරට අවශ්‍ය ශක්තිය වගේම විටමින්,ඛණිජ ලවණ වැනි පෝෂණ පදාර්ථත් ලැබෙනවා. නිසි මාර්ගෝපදේශයක් නොමැති ආහාර පාලන සැලසුම් නිසා පසුකාලීනව පෝෂණ ඌනතාවයන් ඇති වීම

නව යොවුන් වියේ සිටින දරුවන්ට මේ අවධියේදී ආහාර පිලිබඳව ඇති කරන පාලනය සමහර අවස්ථාවලදී Anorexia වැනි මානසික රෝග තත්වයක් දක්වා වර්ධනය වීමට පුලුවනි. දැඩි සේ ආහාර පාලනය කිරීමට පෙළඹෙන මානසික තත්වයන්  තරුණ දරුවන් අතර ඇති වීමේ අවදානමක් තිබෙනවා.

මේදය ගබඩා වෙන්නේ කොහේද..? 

  • සම අභ්‍යන්තරයේ මේදය ගබඩා වීම
  • ශරීරයේ ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන් අතර මේදය ගබඩා වීම

 උදරයේ මේද තැන්පත් වීමෙන්  උදරය නෙරා එන්න පුලුවනි. අක්මාව. හෘදවස්තුවට රුධිරය සපයන නාල අභ්‍යන්තරයේ මේදය තැන්පත් වුනොත් අප නොදැණුවත්ම අනාගතයේදී හෘද රෝග සංකුලතාවයන්ද අක්මාව ආශ්‍රිතව මේදය තැන්පත් වීමේ අවදානම

Diet plan අනුගමන කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැතිද…?

Diet plan අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල නොලැබෙනවාම කියන්න බැහැ. ආහාර පිලිබඳව සිදු කරන පාලනයකින් කෙටි කාලීනව සිරුරේ බර අඩු කර ගන්න පුලුවනි. නමුත් ඒ පැවැත්ම දිගු කාලයක් රඳවා ගැනීම අපහසුයි. ආාහර පාලනය කිරීමෙන් සිරුරේ බර අඩු වීමක් වුනත් නැවතත් පරණ අන්දමින් ආහාර ගැනීමට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී පෙර තිබුනාටත් වඩා සිරුරේ බර වැඩි වෙන තත්වයක් ඇති වෙනවා. ඒ නිසා සිරුරේ බර අඩු කර ගැනීමේ උත්සාහය අඛණ්ඩව පවත්වා ගැනීම අසීරුයි.

අපි කුමන ආහාර පාලන සැලසුමක් අනුගමනය කළත් එයින් මේදය අඩු වෙනවා කියන තහවුරුව ලබා ගන්න බැහැ. සමහර විට මාංශ පේශි අඩු වෙන්න පුලුවනි. ඒ වගේම සිරුරේ ජලය අඩු වීම නිසා විජලන තත්වයක් ඇති වෙන්න පුලුවනි. 

 මෙවැනි මිථ්‍යාවන්ට මුලා වෙන්න එපා..

සමහර අවස්ථාවන්එිදී විවිධ ආහාර අනුගමනය කිරීමෙන් පසු සති දෙකකින් ශරීරයේ බර  අඩු වෙන බවට පෙන්වන ප්‍රවර්ධන වැඩ සටහන් ගැන විශ්වාස කරන්න එපා. විද්‍යාත්මක පිලිගැනීමට අනුව ශරීරයේ බර අඩු කිරීම සති දෙකකට ග්‍රම් 500 ක් විදිහට නිර්දේශ කරනවා. ඒ අනුව මාසයකදී ඔබේ සිරුරේ බර සෞඛ්‍ය සම්පන්නව අඩු කරනවා නම් කිලෝග්‍රෑම් එකක් විය යුතුයි.    . 

විද්‍යුත් මාධ්‍ය මගින් මවා පෙන්වන හොලිවුඩ් බොලිවුඩ් නලු නිළියන් අනුගමනය කරන Diet plan හෝ ආහාර ඔබ අනුගමනය කිරීමෙන් ප්‍රාතිහාරයක් ලෙසින් ශරීරයේ බර අඩු නොවේ.

“පර්යේෂණ මගින්  පෙන්වා ඇත“ කියල ලේබලයට හසු වෙන්න එපා. 

වාණිජ ලෝකයේ මවා පෙන්වන මේද දහනය කරන සහ සිරුරේ බර අඩු කරන විවිධ ආහාර පරිභෝජනය කිරීමෙන් බර අඩු වෙන්නේ නැහැ.ඒවා ප්‍රචාරණයන් පමණයි.

සිරුරේ බර අඩු කරන ආහාර  නැහැ. ආහාරවලින් ලැබෙන  ප්‍රතිඵල ඔබ ලබා ගන්නා කැලරි ශක්තියේ ප්‍රමාණය මත රැඳී තිබෙනවා. 

එහෙමනම් කළ යුත්තේ මොනවාද..?

ඔබට ආහාර පාලනය පිළිබඳව යම් සැලසුමක් (Diet plan) අනුගමනය අවශ්‍ය නම් ඒ ගැන සුදුසුකම් ලක් පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ගන්න. ඔබේ සිරුරේ උස, බර, මේද සංයුතියට අනුව ගැලපෙන  සැලසුමක්  ගැන උපදෙස් ඔබට ලැබේවි.

බාල කාලයේදී පටන් දන්නා පරිදි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් සීනි, පිටි, සහ තෙල් ආහාර වලින් දුරස් වීම ඉතාම වැදගත්.

ගැඹුරු තෙලේ බදින ආහාර, කොත්තු, පිටි තවරා බදින රෝල්ස්, පැටිස් වැනි කෙටි කෑම ආහාරයට ගැනීම නිසා සිරුරට මේද ගබඩා  වීමේ හැකියාව වැඩියි.

දිගුකාලීනව නිසි ලෙසින් ශරීර බර පවත්වා ගැනීමට නම්

දිගුකාලීනව නිසි ලෙසින් ශරීර බර පවත්වා ගැනීමට නම් සමතුලිත ආාහර වේලක් ලබා ගැනීම වැදගත් ඒ අතරට මාංශ පේශින් මත බර ලැබෙන  (resistance training ) වැනි ව්‍යායාම මගින් නිසි බර වගේම අනවශ්‍ය මේදය ගබඩා වීම පාලනය කර ගන්න පුලුවනි.

ඔබේ සෞඛ්‍ය සම්පන්න ආාහර රටාව වගේම ව්‍යායාම සහිත ක්‍රියාශීලී ජීවන රටාවෙන් ඔබේ සිරුරේ පෙනුම වගේම නිරෝගී ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම ඉතාම පහසුවෙන් සලසා ගැනීමට හැකියාව තිබෙනවා. ව්‍යායාම කිරීමේදී දිනකට විනාඩි 15 ක් බැගින් සතියකට විනාඩි 150 ක් ව්‍යායාම කිරීම අවශ්‍යයි. ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයක්. මේ වෙනුවෙන් දිනකට පියවර 10,000ක් ඇවිදීම අවශ්‍ය වෙනවා. ඔබේ ජංගම දුරකථනයේ ඇති “App” එකකින් ඇවිදින පියවර ගණන මැන ගැනීමට පුලුවනි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ශ්‍රි ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණය පිලිබඳ මහාචාර්ය රේණුක සිල්වා 

දරුවන්ගේ ඇඟිලි නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට ලබාදිය හැකි ක‍්‍රියාකාරකම්

මව් කුස තුලදී ආරම්භ වන මොළයේ සංවර්ධනය වයස අවුරුදු 3 ලබන විට 80% කින් සම්පූර්ණ වේ. මේ කාල වකවානුව තුල දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලි සඳහා ලබාදෙන උත්තේජන මත සංවර්ධන ක‍්‍රියාවලි තීරණය වේ. එසේ හෙයින් මේ සඳහා අප සැමගේ අවධානය යොමු වීම එම ක‍්‍රියාවලීන් වල සාර්ථකත්වයට හේතුවක් වේ. 

මොළයේ සංවර්ධනය සඳහා ජාන හා පරිසරය බලපායි. ජාන දෙමාපිය උරුමයෙන් ලැබෙන අතර අපට පහසුවෙන් හිතකර පරිසරයක් ගොඩනඟා දීම මගින් ක‍්‍රියාවලි උත්තේජනය වේ. 

එම කාර්ය සාර්ථක වීම සඳහා පූර්ව ළමා විය සත්කාරය ප‍්‍රශස්ත ලෙස ලබාදීම කළ යුතු වේ. දරුවෙකුගේ මෙම ක‍්‍රියාවලි සඳහා වර්ධනය මෙන්ම සංවර්ධනය යන්නද ඉතා වැදගත් මාතෘකා වේ. 

වර්ධනය යනු ශරීරයේ වර්ධනය එනම් ප‍්‍රමාණාත්මකව සිදුවන විශාල වීමයි. 

සංවර්ධනය යනු ක‍්‍රමානුකූලව සිදුවෙන්නා වූ වෙනස් වීම් මත සංකීර්ණ චලන පද්ධතියට සිතීමේ, ඇසීමේ හා හැඟීම්/අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලිය හා අන්තර් පුද්ගල සම්බන්ධතා වලට එක් වීමයි. 

සංවර්ධනය ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවන එහෙත් එක් දරුවෙකුගෙන් තවත් දරුවකුට වෙනස් වූ ක‍්‍රියාවලියකි. එසේම සංවර්ධනය වූ කලී දිගටම සිදුවන අන්තර් ක‍්‍රියාවලියේදී හෝ එකිනෙක ගැටීමේදී සිදු වන්නකි. මෙය පිළිසිඳ ගත් අවස්ථාවේ පටන් ගෙන ඉපදීමෙන් පසු දිගටම සිදුවන්නකි. 

මේ සඳහා වැදගත් වන්නේ පූර්ව ළමා වියේ සත්කාරය පිළිබඳ අප දැනුවත් වීමයි. දරුවෙකුගේ සම්පූර්ණ අවශ්‍යතා සැල කල සෞඛ්‍ය, පෝෂණ්‍ය, පානීය ජාලය, සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම ප‍්‍රජානනීය හා මනෝ සමාජීය සංවර්ධනය යන්න ඊට ඇතුලත් වේ. 

මෙම පූර්ව ළමා විය කාලය තුල දරුවාගේ පංච ඉන්ද්‍රියයන් ආශ‍්‍රිත උත්තේජනයන් යහපත් ලෙස ලබාදීම තුලින් පරිසර සාධක ප‍්‍රශස්ත මට්ටමකින් දරුවාට ලබාදිය හැක. 

සංවේදන ලබාදීමේදී දැනෙන හා හඳුනා ගන්නා අයුරින් ඒ ඒ ක‍්‍රියාකාරකම් වඩාත් තීව‍්‍ර වේ. එසේම ඉගෙනුම් ක‍්‍රියාවලියද මේ හඳුනාගන්නා සංවේදන මත තීරණය වේ. 

උපතේදී අරමුණක් රහිතව දෑත් දෙපා සැලූවද මාස 3 පමණ වන විට දෑත් චලනයන් නිරීක්‍ෂණයට දරුවාට සමත් වේ. මෙසේ හෙයින් දෑතින් ඇඟිලි නවමින් දිගහරිමින් සෙල්ලම් කිරීමට පටන් ගනී. එසේම ඇඟිලි මුඛයට දමා උරා බීමටද හැකියාව ලබාගනී. මේ සම්බන්ධතාවය තීව‍්‍ර වීම මොළයේ සංවර්ධනයටද රුකුලක් වේ. මෙසේ හෙයින් මේ දෑත් ක‍්‍රියාත්මක කරවන්නට පටන් ගත් මොහොතේ සිට ඊට සමගාමීව උත්තේජන ලබාදීමට අප උනන්දු විය යුතුයි. 

මෙසේ හෙයින් අතින් අල්ලා ගත හැකි කුඩා සෙල්ලම් බඩුවක් දුන් විට එය මුහුණට ලං කිරීමට උත්සහ කරයි. එහෙත් මුහුණට ලංවන ඒවා බැලීමට හැකියාව ලබන්නේ මාස 4 – 4 ½   දී පමණය. 

මේ වයස වන විට අතින් යමක් අල්ලා ගැනීමට හැකි හෙයින් ඇඟිලි නිසි පරිදි ක‍්‍රියාකරවීම සඳහා අතින් අල්ලා ගැනීමට හැකි සෙල්ලම් බඩුවක් ලබාදී එය අතින් ඉවතට අදින විට අතේ ග‍්‍රහණය තද කරයි. මේ මගින් ඇඟිලි වල පේශී ශක්තිමත් වේ. එසේම අත දිගු කර යමක් අල්ලා ගැනීමට හුරු කිරීමට අතේ දුරින් සෙල්ලම් බඩු තබන්න. ඒවා ගැනීමට උනන්දු කරවන්න. 

මාස 6 වන විට අත් දෙකෙන්ම එකවර භාණ්ඩ අල්ලා ගැනීමට හැකි වන නිසා ඒ සඳහා බෝලයක් වැනි පිරුණු යමක් අල්ලා ගැනීමට දෙන්න. 

මේ වන විට එක් අතක ඇති සෙල්ලම් බඩු අනික් අතට මාරු කිරීමට හැකි නිසා ඒ සඳහා සුදුසු සෙල්ලම් බඩුවක් අතට දෙන්න. එවිට එය අතින් අතට මාරු කරයි. සෙල්ලම් බඩුවෙන් ශබ්දයක් නැගෙන්නේ නම් දරුවා එය සොලවන්නට උගනී. මෙය සොලවන විට ශබ්දයක් පිටවන නිසා එය සොලවමින් එම ශබ්දය ශ‍්‍රවණය කරයි. 

වයස මාස 7 දී මව්කිරි බොන විට මවගේ පියයුර මත අත තබයි. එසේම ආහාර හුරු කරනා සමයේ නිසා කෝප්පයකින් බීමට යමක් දෙන විට කෝප්පය අල්ලා ගනී. මේ නිසා මේ කාලය වන විට අතට ග‍්‍රහණය කළ හැකි දේ ලබාදීමෙන් අතැඟිලි ශක්තිමත් වේ.

මාස 9 ක් වන විට තනි අතකින් යමක් අල්ලා ගැනීමට හැකි මුත් එය ප‍්‍රවේශමෙන් බිම තැබීමට නොහැකි නිසා එය බීමට අතහරී. එවිට ශබ්දයක් නැ‍ගේ නම් එය දිගටම සිදු කරයි. එසේම මාපටඟිල්ල හා දබරඟිල්ල් එක්කර ඇල්ලීමට මේ වන විට හැකියාව ලබයි. මෙසේ හෙයින් අතින් අල්ලා කෑමට හැකි ආප්ප වාටියක්, කැරට් අල කැබැල්ලක්, අඹ ඇටයක් වැනිදෑ ලබාදිය හැකියි. එසේම මාපටඟිල්ල හා දබරඟිල්ල එක් කොට අල්ලා ගැනීමට හැකියාව ලබන නිසා පිඟානකට දැමූ බත් ඇට, හොඳින් තැම්බූ කව්පි/මුං ඇට වැනි දෑ මේ වන විට ලබාදීමෙන් මෙම ඇඟිල්ල ක‍්‍රියාකරවීම කළ හැකියි. 

මාස 12 දී මෙම මාපටඟිල්ල හා දබරඟිල්ල එක් කොට අල්ලා ගැනීමේ හැකියාව හොඳින් සිදු කල හැකියි. එය සියුම් ග‍්‍රහණය (Pincer grasp) නම් වේ. මෙසේ හෙයින් මාස 12 – 15 දරුවන්ට තනිව ආහාර ගැනීමට දිය හැකියි. 

මාස 18 දී නූලක් වැනි සියුම් දෙයක් වුවද අල්ලා ගැනීමට හැකියාව ඇත. 

අවුරුදු 2 ක් වන විට දෑතම හොඳින් ක‍්‍රියාත්මක කළ හැකි අතර ඉතා කුඩා වස්තු අල්ලා ගැනීමටත් පරිස්සමට එය තැබීමටත් හැකියාව ලබයි. 

මාස 10 – 11 වන විට යමක් දෑතින්ම අල්ලා ගැනීමට හැකියාව ලබන නිසා ආධාරයක් ඇතොත් අල්ලා නැගී සිටීමට උත්සහ දරයි. ක‍්‍රමයෙන් අල්ලා ගත් දෙය තදින් ග‍්‍රහණය කරගන්නා නිසා මෙසේ අල්ලා ගෙන ඇවිදීමට පෙළඹේ. මෙසේ හෙයින් අල්ලාගෙන නැගිටීමට හැකි අත් වැටක් සපයා දීමත්, අල්ලා ගෙන තල්ලූ කරගෙන යා හැකි කරත්තයක් ලබාදීමත් තුලින් ඇඟිලි තදින් ග‍්‍රහණය කරගැනීමට හුරු පුරුදු වේ. 

එසේම වසරක් පමණ වන දරුවා අතින් අතට යමක් ගන්නට හැකියාව ලබන හෙයින් ඒවා අතට ගෙන එකිනෙක තට්ටු කිරීමට හැකියාව ලබාගනී. මේ නිසා මේ සඳහා සුදුසු බර අඩු ලී කුට්ටි, ප්ලාස්ටික් ඝනක වැනි දෙයක් ලබාදීම සුදුසුය. 

මාස 18 පමණ වන විට බිල්ඩින් බ්ලොක්ස් 2,3 යොදාගෙන කණුවක් සාදන්නට හැකියාව ලබයි. මේ වන විට පෑනක්, පැන්සලක් හෝ හුනු කූරක් ලදොත් එය මුළු අත්ලම පාවිච්චි කර අල්ලාගෙන බලි කුරුටු ගායි. එසේ හෙයින් මේ සඳහා අවශ්‍යතාව හඳුනාගෙන ඉඩ හසර ලබාදීම කළ යුතු වේ. 

වයස අවුරුදු 1 ½ ක් වන විට දෑතම භාවිත කලද හුරු අත කුමක්ද යන්න හඳුනාගත හැකි වේ.

අවුරුදු 2 දී අතේ මාපටඟිල්ල දබරඟිල්ල හා මැදැඟිල්ල පාවිච්චි කර පෑන්, පැන්සල් තුඩ පැත්තට ඇල්ලීමට හැකියාව ලබයි. මේ වන විට ඒවා ලබාදීම ඔහුගේ ඇඟිලි ක‍්‍රියාත්මක වීම වැඩි දියුණු කරයි. මේ වන විට වක‍්‍ර හැඩ රූප අඳින්නටද තරමක් පුළුවන් වේ. 

වයස අවු. 3 – 4 දී යමක් බලාගෙන පිටපත් කල හැකියි. එසේම මේ වන විට වැඩිහිටියන් මෙන් මාපටඟිල්ල, දබරඟිල්ල හා මැදඟිල්ල ආධාර කරගෙන වැඩිහිටියන් අල්ලන ලෙසට එහෙත් තුඩට ඈතින් පැන්සල් අල්ලයි. එසේම එසේම T, V, H,  වැනි අකුරු +, _ , × , ^ ,<, වැනි සංකේත පිටපත් කිරීමට හැකියි. 

මේ වන විට අක්‍ෂර පූර්ව අභ්‍යාස අවධියේ දරුවා සිටින හෙයින් නිදහසේ ඇවිදිීමට අවස්ථාව සලසා දෙන්න. එවිට ඔවුන් ලද දේවල් සඳහා නම් ලබාදීම පවා සිදු කරයි. 

වයස 1 ½ දී පමණ එකකින් එකකට තට්ටු මාරු කිරීමට ආදී ක‍්‍රියා කල හැකි හෙයින් පොල් කටු ප්ලාස්ටික් හැඳි, කෝප්ප, බේසම් ආදිය ලබාදීම සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. 

වසර 2 ½ – 3 දී දරුවන්ට වැලි සෙල්ලම් බත් උයන්න, කෝම්පිට්ටු හදන්න අවස්ථාව ලබාදෙන්න. එසේම මැටි වලින් විවිධ දේ කිරීමට අවස්ථාව සලසා දීමෙන් ඇඟිලි ක‍්‍රියාත්මක වීම හොඳින් සිදු වේ. 

මේ වන විට දරුවාට ඉරට්ටක මල් අමුණන්න ආදී ලෙසින් ඇඟිලි ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රියාකාරකම් කළ හැකියි. එසේම සෙල්ලම් බත් පිසීම, කෝම්පිට්ටු, කොස් කොල තොප්පි ආදිය නිර්මාණයට අවස්ථාව සැලසීමෙන් ඇඟිලි සඳහා ලැබෙන සංවේදන හඳුනා ගැනීම පහසු වේ. 

වයස අවුරුදු 4 ½ පමණ වන විට ක‍්‍රියාකාරකම් ලැබූ දරුවා මිනිස් රූප අඳින්නට, රූප/අකුරු පිටපත් කරන්නට හැකියාව ලබාගනී. මේවා සඳහා හේතු කාරක වන්නේ ඇඟිලි ක‍්‍රියාකාරකම් හා නිරතුරුව යෙදීමයි. අත එහෙට මෙහෙට හරවන්නට, නවන්නට, ඇඟිලි ගුලි කරන්නට ආදී ලෙසින් කරන ක‍්‍රියාකාරකම් හරහා සෑම විට ඇඟිලි හා මොළය අතර සිදුවන සමායෝජනය හේතුවෙන් මොළයේ සංවර්ධනය තීව‍්‍රව සිදුවේ.

එසේම දරුවන් මෙසේ අත්දැකීම් බහුල ලෙස ලබන විට ඉගෙනීමේ ක‍්‍රියාවලිය ඉබේම උත්තේජනය වේ. ප්ලාස්ටික් ඝනක/ලී කුට්ටි හිස් සබන් පෙට්ටි මගින් කුළුණු හදන්නට හැකියාව ලබයි. මැටි/ක්ලේ ලබාදීමද ඇඟිලි හොඳින් ක‍්‍රියාත්මක වීමට හොඳම අවස්ථාව වේ. 

මේ අනුව 

මාස 15 දී ඝනක 2 ක කුළුනක්

මාස 18 දී ඝනක 3 ක කුළුනක්

අවුරුදු 2 දී ඝනක 6-7 ක කුළුනක්

අවුරුදු3 දී ඝනක 9-10 ක කුළුනක්

අවුරුදු 3 ½ දී ඝනක යොදාගෙන නිවාස, වාහන, පාලම් ආදිය

අවුරුදු 4 දි ඝනක 10 ක් පමණ යොදාගෙන පෙන්වූ කුළුණක්, පාලමක් සාදයි. 

අවුරුදු 5 දී ස්ථර සහිත ආකෘති – පඩි

දරුවන් සියුම් දේ පිළිබඳ බොහෝ විට හසුරු කුසලතා ලබන්නේ අවරුදු 2 දී පමණ බැවින් ඒ කාලසීමාවේදී මැටි අනන්න, පොල් කුඩු මිරිකන්න ආදිය ලබාදිය යුතුයි. 

අතින් යමක් අල්ලා ගන්නා විට ඇඟිලි වලට දැනෙන සංවේදන වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වල ස්වභාවයද ඇඟිලි වලට දැනෙන්නට සැලැස්වීමට නම් රළු, සියුම් ආදී ලෙසින් දැනෙන්ට සැලැස්විය යුතුයි. මේ සඳහා කුරුල්ලකු, රෙදි වලින් සාදා දෙන විට බඩ පැත්තට සිනිඳු රෙදි කඩක් හිස පැත්තට හා පිට පැත්තට ඝනකම වෙනස් යෙදීම තුලින් ඇඟිලි වලට දැනෙන සංවේදන වෙනස් කළ හැක. 

අවුරුදු 2 – 2 ½ වන විට කොල ඉරන්නට, ගුලි කරන්නට දීමද ඇඟිලි වල සංවේදන සඳහා ඉවහල් වේ. එසේම අවුරුදු 3න් පසුව කොළ ගුලි මගින් කරන නිර්මාණ, ඇට වර්ග අලවා කරන නිර්මාණ ආදිය ම`ගන්ද අතර දැනෙන සංවේදන වෙනස් කළ හැකිය.

මෙසේ ඇඟිලි වලට නිසි ක‍්‍රියාකරකම් ලද දරුවා අවුරුදු 4 – 5 වන විට සබන් ඝන බවත්, වතුර සමග ගෑවුනු විට ලිස්සන බවත්, මැටි වල ගල් වැලි ඇති විට රළු බවත් උගනී. එසේම ගල් වැලි ඇති විට රළු බවත් අතක ඇඟිලි අනෙක් අතේ දබරඟිල්ල පාවිච්චි කර ගණන් කිරීමටද උගෙනී. 

මේ සියළු ක‍්‍රියා වල ප‍්‍රතිඵලය වන්නේ ඇඟිලි තුඩු අත්ල ක‍්‍රියා වල ක‍්‍රියාකාරකම් ශක්තිමත් වීම මතින් පැහැදිලි ලෙස දකින රූප, අකුරු ආදිය පිටපත් කල හැකි වන සේ මැණික් කටුව සන්ධියෙන් හා අතේ ඇඟිලි එහා මෙහා කරමින් සිදු කරන ක‍්‍රියා සඳහා ශක්තිමත් පසු බිමක් ගොඩනැඟීමයි. 

මෙසේ හෙයින් දරුවන්ට අත භාවිත කර කල හැකි ක‍්‍රියාකාරකම් සඳහා ඉඩ හසර ලබාදීම මගින් හොඳින් අකුරු කරන්නටත්, සියුම් හා විශාල නිර්මාණකරණය සඳහා යොමු වීමටත් හැකියාව ලැබීමයි. ඒ නිසා කුඩා කල සිට දරුවාට අල්ලන්න, මිරිකන්න, අදින්න, තල්ලූ කරන්න, අලවන්න, අමුණන්න ආදී ලෙසින් ඇඟිලි, අත භාවිත කර කරන ක‍්‍රියාකාරකම් සඳහා ඉඩ ලබාදීම හොඳ නිර්මාණශීලි දරුවකු බිහි කරලීමේ අඩිතාලම දමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ගැබිණි මවක් සායන වලට සහභාගි වීමේ වාසි

ගර්භනී බව දැනගත් පළමුව කල යුත්තේ ඔබේ ගර්භනී බාවය ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය අමතා ලියාපදිංචි කිරීමයි. එසේ ලියාපදිංචි කළ පසු ඔබේ ජීව දත්ත මෙන්ම සෞඛ්‍ය දත්තද අඩංගු එසේම ගර්භනී කාලය පුරාවටම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගර්භනීභාවයට බලපාන අන්දම ඇතුලත් එමෙන්ම ප‍්‍රසූතිය සැලසුම් කිරීමද සහිතව ගර්භනී සටහන් පතක් ඔබට ලබාදෙනු ලබයි. මේ සමගම ගර්භනී වන විට ඔබේ ශරීරයේ ලේ වල හිමොග්ලොබින් ප‍්‍රමාණය හා රුධිර සීනි ප‍්‍රමාණය සම්බන්ධ වාර්තාවක්ද ලබාගැනීමට උපදෙස් ලැබෙනු ඇත. එසේම දත්ත සංරක්‍ෂණය සඳහා යොමු කිරීමක්ද කරනු ලබයි. 

ඔබගේ රුධිර සාම්පල වාර්තාව ද රැගෙන ඔබට සායනයට පැමිණීමට ලබාදෙන දිනයේ ඔබගේ මුත‍්‍රා සාම්පලයක් විටමින් ලබා ගැනීමට බෝතලයක් ද රැගෙන සායනයට පැමිණිය යුතුයි. 

පූර්ව ප‍්‍රසව සායනය යනු ගමේ සිටින සියළු ගර්භනී මව්වරුන්ගේ කායික මානසික සාමාජීය හා අධ්‍යාත්මික සුවතාවය සංවර්ධනය කරමින් ගර්භනීභාවය හා බැඳුණු සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් මවක් ප‍්‍රසවයක් දක්වා ආරක්‍ෂාකාරීව රැගෙන යන විශ්ව විද්‍යාලයයි. 

සායනයට පැමිණි ඔබට අනුපිළිවෙල අංකයක් දෙනු ලබන්නේ ඔබව ක‍්‍රමානුකූලව වැඩ කිරීමට හුරු කිරීමට මෙන්ම ඔබගේ කාලය, ධනය ආදියද සුරක්‍ෂිත කරමින් වැඩ කටයුතු පහසු කරගැනීම සදහායි. 

පැමිණි සියළු දෙනා සුහද ලෙස පිලිගනිමින් තමන්ගේ තැනක් යන්න ඒත්තු ගන්වන සායනයේ සියළු දෙනාගේ උස, බර හා උසට සරිලන බර පළමු දිනයේම කරනු ලබයි. මේ මගින් දරුවා වැඞීමට පෙර මවගේ කායික යෝග්‍යතාවය පිළිබඳ අදහසක් ලබාගත හැකියි.

 

උසට සරිලන බර

  • 18.5 ට අඩු නම් ප‍්‍රසූති දිනය වන විට ලඟා කරගත යුතු ඉලක්කයන් හෙවත් බර වැඩි කිරීම පිළිබඳ දැනුවත් කරන අතරම එය ප‍්‍රස්ථාර ගත කර වැඩි විය යුතු අන්දම පෙන්වා දෙයි. අවධානම පැහැදිලි කර දෙයි. 
  • 18.5-25 අතර නම් නිරෝගී බරක් පවත්වා ගැනීම සම්බන්ධව මවට ප‍්‍රශංසා කර ඒ අනුව බර පවත්වා ගැනීම පිළිබඳව අදහස් ලබාදෙයි. 
  • 25 ට වැඩි නම් ඇති විය හැකි අහිතකර තත්ත්ව අවදානම් බව පැහැදිලි කර දී ආහාර රටාවන් පිළිබඳවත් ඇති විය හැකි තත්ත්ව පිළිබඳවත් දැනුවත් කරයි. 

මේ අනුව ගර්භනී මවකගේ බර, උසට බර යන සෞඛ්‍ය දත්තය ගර්භනී මවකට බලපාන අන්දම පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව ලැබේ. 

 

සායනයේදී කරනු ලබන අනෙකුත් පරීක්‍ෂණ හා පරීක්‍ෂාවන්. 

  • මුත‍්‍රා පරීක්‍ෂණ
  • රුධිර (ලේ) පරීක්‍ෂණ
  • රුධිර පීඩනය
  • ඉදිමුම
  • තයිරොයිඞ් 
  • යටිබඩ ගැටළු
  • සති ගණනට අනුව දරුවාගේ වැඞීම සිදුවේද (ගර්භ උස මැන බලයි)
  • දරුවාගේ හෘද ශබ්දය
  • වෙනත් රෝගී තත්ත්ව හෝ සෞඛ්‍යයට බලපාන වෙනත් තත්ත්ව.

 

මුත‍්‍රා පරීක්‍ෂණය

මුත‍්‍රා පරීක්‍ෂාව සිදු කරනුයේ මුත‍්‍රා වල සීනි තිබේද, මුත‍්‍රා වල ප්‍රෝටීන (ඇල්බියුමන්) තිබේද යන්න පරීක්‍ෂා කිරීමටයි. මේ මගින් මවට දියවැඩියාව සම්බන්ධ ගැටළු, වකුගඩු රෝගී තත්ත්ව හෝ ගර්භ වලිප්පුව සෑදීමට ඇති ඉඩ කඩ ඇත්නම් එය හඳුනා ගත හැකියි. මෙය පරීක්‍ෂා කරනු ලබන්නේ පටියක් ආශ‍්‍රයෙන්. මේ පටියේ දැක්වෙන පාට වෙනස් වීමකට භාජනය වේ නම් එම මවගේ වැඩිපුර පරීක්‍ෂාවන් සඳහා සම්පූර්ණ මුත‍්‍රා පරීක්‍ෂාවක් සිදු කිරීමට මවට උපදෙස් ලබාදේ. 

 

රුධිර පරීක්‍ෂාව 

  1. හිමොග්ලොබින් 

මව සායනයට පැමිණෙන විට පරීක්‍ෂා කරගෙන ආ හිමොග්ලොබින් වාර්තාව බැලීමත් ඒ අනුව උපදෙස් ලබාදීමත් සිදු කෙරේ. මේ මගින් හිමොග්ලොබින් අගය 11g ට වඩා අඩු නම් ඒ පිළිබඳව දැනුවත් කර හිමොග්ලොබින් වැඩිවීමට ගත හැකි ආහාර පිළිබඳව දැනුවත් කිරීම කරනු ලබයි. 

2.සමාජ රෝග සඳහා පරීක්‍ෂාව

මේ සඳහා සායනයේදී රුධිර සාම්පලයක් ලබාගනු ලබන අතර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව සිපිලින් නම් රෝගය ඇති දැයි බලාගැනීමටයි. එහෙත් මෙම ප‍්‍රතිඵලය වූ විට සිපිලිස් රෝගය සඳහා තවත් පරීක්‍ෂාවක් සිදු කිරීමට සිදු වේ. ගර්භනී මවකට මෙම රෝගය තිබුණහොත් දරුවාට සංජානනීය උපදංශය ඇති විය හැකි බැවින් ඒ සඳහා පරීක්‍ෂා කර අවශ්‍යතාවය අනුව ප‍්‍රතිකාර ලබාදී එය දරුවාට බලපෑම අවම කිරීමට කටයුතු කෙරේ. 

3. HIV – ඒඞ්ස් සඳහා පරීක්‍ෂාව

මෙයද සායනයේදීම සිදු කරන රුධිර පරීක්‍ෂාවකි. මෙය HIV ඇති බව අනාවරණය වුවහොත් දරුවාට ඇති වන අනතුරුදායක තත්ත්ව වළකාලීමට ප‍්‍රතිකාර සඳහා යොමු කරනු ලබයි. 

මෙහි 2 හා 3 පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල ඉතාමත් රහස්‍ය ලෙස සිදු කරනු ලබන හෙයින් ධනාත්මක වන කිසිදු මවකට සමාජීය ප‍්‍රශ්න ඇති නොවේ. 

4.රුධිර ඝනය පරීක්‍ෂා කිරීම

රජයේ ලේ බැංකුවකින් නිකුත් කල ලේ වර්ගය සටහනක් නොමැති සෑම මවකගේම කරනු ලබයි. මෙම පරීක්‍ෂණ ප‍්‍රතිඵල සටහන සුරැකිව තබාගත යුත්තේ එය ජීවිත කාලයටම එක් වරක් පරීක්‍ෂා කිරීම කළ යුතු පරීක්‍ෂාවකි. 

රුධිර ගණය සෘණ වන එනම් Negative වන (A-re, B-v, AB-v, AB-ve/O-ve) මව්වරුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ ලේ වර්ගය ධනාත්මක (+ve) වුවහොත් දරුවාගේද රුධිර ගණය පිළිබඳව පරීක්‍ෂාවකට රෝහලේදී යොමු කරන අතර දරුවා + බව අනාවරණය වුවහොත් දරුවා ඉපදී පැය 72 ක් තුල රෝගම් නම් එන්නත මවට ලබාදීම සිදු කෙරේ. මේ පිළිබඳව දැනුවත් වීම සඳහා මේ රුධිර පරීක්‍ෂාව ඉතා වැදගත් වේ. 

එසේම හිමොග්ලොබින් අඩු මවක් සඳහා රුධිර පාරවිලයනය (ලේ ලබාදීම) සිදු කිරීමට සිදු වුවහොත් ඒ සඳහාත් රුධිර ඝනය දැන සිටීම ඉතා වැදගත් වේ. 

5.රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කිරීම 

මෙය ගර්භනී වූ මුල් අවස්ථාවේදීම පරීක්‍ෂා කලා සේම එවිට ගැටළු ඇති දැයි හඳුනාගතහොත් විශේෂඥ සායනයට යොමු කිරීමත් ඒ අනුව සීනි පරීක්‍ෂාව සිදු කරමින් පාලනය සඳහා අවශ්‍ය ක‍්‍රමවේද ආහාර පාලනය ඖෂධ ලබාදීම, ඉන්සියුලින් විදීම වැනි ක‍්‍රම අනුගමනය කිරීමට මවට සිදු වේ. 

ලේ වල සීනි නැති බව තහවුරු වුවහොත් නැවත සති 28 දී එම පරීක්‍ෂාවම සිදු කිරීමට ඔබට උපදෙස් ලැබේ. ඒ මගින් පරීක්‍ෂා කරනුයේ ගර්භනීතාවය නිසා හටගත් දියවැඩියාව ඇති ද යන්නයි. 

මේ සියළු පරීක්‍ෂණ වලින් සිදු කරනුයේ ගර්භනී කාලය තුල මවට විය හැකි අනතුරුදායක තත්ත්ව වළකා ගැනීම මෙන්ම දරුවාට විය හැකි අනතුරු වළක්වා නිරෝගී දරු උපතක් සිදු කිරීමට මග සැකසීමටයි. 

6.රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම. 

මෙය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන අතර ඒ අනුව රුධිර පීඩනයේ වෙනසක් බලපෑම් ඇති කළ හැකි ලෙස වේ නම් විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු තහවුරු කෙරේ. 

එසේම මේ සමග හෘද හා පෙනහළු පරීක්‍ෂාවද වෛද්‍යවරයා විසින් සායනයේදී සිදු කරනු ලැබේ. හිසේ සිට පාදාන්තය දක්වා කායික පරීක්‍ෂාවක් සිදු කරන අතරම හඳුනාගන්නා සෑම අසාමාන්‍ය තත්ත්ව සඳහා ප‍්‍රතිකාර ලබාදීම සහ අවශ්‍යතා පරිදි විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. 

එසේම සති ගණනට අනුව ගර්භයේ වැඞීම, භෘණ චලනය පිළිබඳ විමසීම හා භෘණ හෘද ශබ්දය ඇසීමත් සිදු කරන දරුවාගේ නිරෝගී තත්ත්වය පිළිබඳව තක්සේරු කරනු ලබයි. මේ අවස්ථාවේදී මවට ගැටළු ඇති කරන තයිරොක්සීන්       ගර්භ වලිප්පුවට හේතු වන ඉදිමුම ආදියද පරීක්‍ෂාවට ලක් කෙරේ. 

මෙවන් පරීක්‍ෂාවන් සිදු කරන අතරම පෝෂණ ගැටළු සඳහා හේතු විය හැකි ඌනතාවයන් සැලකිල්ලට ගෙන යකඩ පෙති, ෆෝලික් අම්ල පෙති, විටමින් සී පෙති හා කැල්සියම් පෙති මව්වරුන්ට ලබාදීමත් ඒවා අසුරා තබාගැනීම පිළිබඳව හා පාවිච්චි කිරීම පිළිබඳව දැනුමද මව්වරුන්ට ලබාදීම සිදු කරයි. 

බර වැඩිවීම මෙන්ම අඩු වන පෝෂණ කොටස් ලබාදීමට සැලසුම් කර ඇති ත‍්‍රිපෝෂ ලබාදීමද ගර්භනී මව්වරුන්ගේ සායනයෙන් සැලසෙන තවත් වාසියකි. සෑම මවකටම ත‍්‍රිපෝෂ පැකට් 2 ක් මසකට වරක් සායනයෙන් ලබාදේ. 

මව්වරුන්ගේ ප‍්‍රතිශක්තීකරණය වෙනුවෙන් පිට ගැස්ම එන්නත ලබාදීමද වර්තමානයේ නම් ඊට අමතර COVID එන්නත ලබාදීමද සායනය මගින් සිදු කෙරේ. මවට පිටගැස්ම එන්නත ලබාදීම මගින් දරුවාට ඇති විය හැකි නව ජන්ම පිටගැස්ම වළක්වාලීම සිදු වේ. 

මේ සියළු සේවාවන් සපයන අතරේ කාර්ය පහසුව සඳහා සායනයට පැමිණීමට වේලාවක් ලබාදීම කාඞ්පත් හා පරීක්‍ෂණ වාර්තා පිළිවෙලට පිරිසිදුව පහසුවෙන් බලාගත හැකි ලෙස ගොනු ගත කර (ෆයිල් තුල බහා)  තබාගැනීමට අවශ්‍ය මගපෙන්වීමද සිදු කරමින් ගර්භනී කාලය තුල කායික මානසික සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් වැදගත් වන අධ්‍යාපනය පිළිබඳව වැඩසටහන්ද පැවැත්වේ. මේ මගින් මව්වරුන්ට පවුල් ජීවිතය, බෝවන රෝග, බෝ නොවන රෝග, සායනික පරීක්‍ෂණ, ගර්භනී කාලය, දරුවකු පිළිසිඳ ගන්නේ කෙසේද, ගර්භනී කාලය තුල ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු හා ඒවාට පිළිතුරු සෙවීම, පවුලේ සහයෝගය ලබාගැනීම, රෝහල් යාමට සූදානම් වීම, අවශ්‍ය කලමනා සකස් කරගැනීම හා සැලසුම් කිරීම පිළිබඳවද මේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් වලදී සාකච්ඡා කෙරේ. 

මෙසේ ගර්භනී කාලය තුල මවකට ඇති විය හැකි කායික, මානසික ( මවගේ ස්වභාවය අනුව/කතාබහේ, ඇවිදීමේ විලාශය හෝ සිටින අයුරු අනුව ගැටළු සගහත බව හඳුනාගත හොත් කායික/මානසිකමය  ඕනෑම ගැටළුවක් සඳහා සක‍්‍රීයව මැදිහත් වී මවගේ සහනය වෙනුවෙන් අවශ්‍ය පියවර හා රාජ්‍ය යාන්ත‍්‍රණය අනුව සිදුකළ හැකි මැදිහත් වීම් පවා සිදු කරනු ලැබේ. අවශ්‍යතාවය අනුව කාන්තා කටයුතු/පරිවාස ළමා රක්‍ෂක/සමාජ සේවා ආදී සේවාවන් ලබාගැනීමටද යොමු කිරීම සිදු කෙරේ), සමාජීය හා අධ්‍යාත්මික වෙනස්කම් පිළිබඳව හා ඒවාට සාර්ථකව මුහුණුදිය හැකි අත්වැලක් සැපයීමට පූර්ව ප‍්‍රසව සායනය සෑම විටම සැදි පැහැදී සිටී. 

මින් ඔබ්බට ගොස් මව්වරුන් සඳහා පෝෂණ, ආහාර වේල් දානපතියන් හරහා මව්වරුන්ට ලබාදීම පෝෂණ හා ආහාර රුචිය වඩවාලීම මගින් මව්වරුන්ට උපරිම සහයෝගය ස්ථානයක් බවට සායනය පත්ව ඇත. 

මේ සියළු කටයුතු සඳහා ඔබ හා එක්ව ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය රැඳී සිටින අතරම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාද ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ අනාගත පරපුරට යහපත් දරුවකු දායාද කරන්නටත් සියළු ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ආරක්‍ෂා කිරීමටත්ය. මෙසේ හෙයින් පූර්ව ප‍්‍රසව සායනය යනු ඔබට, ඔබේ දරුවාට ජීවිතේ අත්වැල සපයන විශ්ව විද්‍යාලයයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අලුත උපන් දරුවකු බලාගැනීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න

දස මසක් කුස දරා සිටි ප‍්‍රසූතිය සිදු වූ මවකගේ කිරි සිහිනය සැබෑව ඇති මොහොතක ඒ මව සමග සතුට බෙදා හදා ගැනීමට ස්වාමියා, දෙමාපියන්, ඥාතීන්, වැඩිමල් දරුවන් හා ඇසල් වැසියන් සූදානම්ව ඇති මොහොතක එය ධනාත්මක අයුරින් සිදුකර ගත හැකි නම් මවට අලුත උපන් දරුවාට මෙන්ම එම පවුලටම ලැබෙන සහනය සුළු පටු නොවේ.

මේ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න විමසා බැලීමේදී පළමුකොට මේ මවට දැනට ඇති ශාරීරික අපහසුතා පිළිබඳව සැලකිලිමත් වීම වටී. 

සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී නම්, මවට ප‍්‍රසූතියේදී සිදුකරනු ලැබූ සිරස් කැපුම මෙන්ම සීසර් ශල්‍ය කර්මයකදී සිදුකරන ලද සීසර් කැපුමද වේදනාකාරී වීම මවට දැඩි අපහසුතා ගෙනෙයි. මේ වේදනාවන්ට වේදනා නාශක භාවිත කළ හැකි අතරම එය රෝහලින් මුදාහැරීමේදී ලබාදෙනු ලබයි. මෙහිදී ඇයට ඒවා ගැනීම පිළිබඳව මතක් කිරීම සහ අවශ්‍ය වේලාවට ලබාදී ඇයට වේදනාව සහනය කරගැනීමට උදව් දීම නිවැසියන්ට හැකි කාර්යයකි.

දරු ප‍්‍රසූතියෙන් පසු පවතින රුධිර වහනය, යෝනි ස‍්‍රාවයන්, මව්කිරි නිෂ්පාදනය ආදියත් ඇදී තිබූ ගර්භාෂ පේශී හැකිලීම නිසා ඇතිවන වේදනාවත් පිළිබඳවත් ප‍්‍රසූතියට පෙර දැනුවත් කර තිබීම වැදගත්. මේ සඳහා පූර්ව ප‍්‍රසව සමයේ සායන වල පවත්වන සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් පූර්ව ප‍්‍රසව සැසි ආදිය මගින් මෙන්ම තොරතුරු තාක්‍ෂණය ඔස්සේ ලබාගත හැකි දැනුමින්ද මෙම පන්නරය ලබාගැනීමට වාතාවරණයක් සපයා දීමත් උනන්දු කර ඒ සඳහා කැඳවාගෙන යාමත් ස්වාමිපුරුෂයාගේ මෙන්ම නිවසේ වැඩිහිටි අයගේද යුතුකමකි. එවිට ඇය මේ ස`දහා පූර්ව සූදානමක් ඇති හෙයින් ශාරීරික අපහසුතා දරා ගැනීමේ ශක්තිය ලඟා කරගනිවී. 

එසේ නමුදු මේවා පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීමත් මවගේ දරුවා පිළිබඳව නිරතුරු සෙවිල්ලෙන් විමසිල්ලෙන් සිටිමින් ඇගේ කාර්යයන් සඳහා උදව් හා උනන්දුව ලබාදීම කළ යුතුයි. 

එසේම අළුත උපන් දරුවා පරිසරයට හුරු කිරීමට, පෝෂණය රැකදීමට අවශ්‍ය හෙයින් මවට මේ සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. දරුවාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදයහැඩීම වන හෙයින් අවශ්‍යතා තේරුම් ගනිමින් සැලකිල්ලෙන් දරුවා රැක බලාගැනීමට මවට සිදුවේ . කුඩා අමාශයක් හිමි සිඟිත්තා සඳහා පැය 2 – 3 කට වරක් මව් කිරි අවශ්‍ය වේ. එසේම මව හා දරුවා අතර මව්කිරි ලබාදීමට අවශ්‍ය සම්බන්ධතාවය නිවැරදිව ගොඩනඟා ගැනීමද අවශ්‍ය වේ. ඒ ලෙසම මව්කිරි 80% ක්ම ඇත්තේ ජලය හෙයින් කිරි බොන සෑම වාරයක් පාසාම මුත‍්‍රා පිටකිරීමක්ද දරුවා සිදු කරයි. මේ සියළු කාර්යයන් එකවර සිදු කිරීමට සිදුවන හෙයින් මවට සහනයක් ගෙන දීමට නම් මවගේ වැඩකටයුතු සඳහා මවට උදව් ලබාදිය යුතුය. රාත‍්‍රි දිගු නින්දක් ලබාගැනීමට අපහසු හෙයින් දිවා කාලයේ මවට විවේක ලබාගැනීම සඳහා උදව් ලබාදීම නිවැසියන් විසින් සොයා බලා කිරීමෙන් මෙන්ම මවගේ අනෙකුත් වැඩ සඳහා උදව් ලබාදීම තුලින්ද මවට සහනයක් හිමි වේ. එසේම ඇය පිළිබඳව උනන්දු වන බවත් ඇයට උදව් කිරීමට සැදි පැහැදී සිටින බවත් දැනෙන්නට සැලැස්වීමත්, නෑමට , ආහාර ගැනීමට හා අනෙකුත් මවගේ කටයුතු සඳහා අවකාශ ලැබෙන ලෙස දරුවා රැකබලාදීමත් තුලින්ම මවට සහනයක් උදා වේ. මේ සඳහා මවට දැනෙන ලෙස මැදිහත් වීම මවට සහනයකි. 

මේ දරුවා ලැබෙන තෙක් නිවසේ සිටි අනෙක් දරුවන් රැකබලා ගන්නේ මව බැවින් එම වැඩිමල් දරුවන්ට මවගේ මේ වෙනස හොඳින් දැනෙන්නට පටන් ගනී. මව අළුත් අමුත්ත ලඟම සිටින හෙයින් ඇයට/ඔහුට කිරි දෙමින් සුරතල් කරනු දකින විට ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ලොකු දරුවා තුල ඇති වේ. මෙසේ හෙයින් දරුවා ලැබීමට සිටින කාලයේ මෙන්, 

මේ එන්න ඉන්නේ ඔයාගේ නංගී/මල්ලී

එයා ආවම ඔයා අක්කෙක්/අයියෙක් වෙනවා

එයා ලොකු උනාම ඔයත් එක්ක සෙල්ලම් කරයි, ඉස්කෝලේ යයි,

ඔයාට එයත් එක්ක අම්මාට උදව් කරන්න පුළුවන්

දැනුත් එයා ඉන්නේ ඔයා කියන ඒවා අහගෙන

එයා එනකොට පුංචියි

අපි එයාට අම්මා කුක්කු දීලා ලොකු කරගමු

ආදී ලෙසින් දරුවා ලොක්කෙකු බවත් බාල සොයුරා බලාගැනීමට ඔහුට හැකි බවත් පවසා ඔහු පිළිබඳ ආදරණීය හැඟීම් ඇති කර තිබීම වැදගත්. 

එසේම දරුවා ගෙදර ගෙන ඒමට ප‍්‍රථම ලොකු දරුවා සමග එක්ව ඔහුගේ ඇඳුම් සකස් කිරීම, කාමරය ලස්සන කිරීම ආදිය මගින් ඔහුට බාල සහෝදරයා කෙරෙහි ආදරයක් ගොඩනඟා තිබීම වටී. එසේම අළුත උපන් දරුවා ගෙදරට ගෙන ආ පසුත් ලොකු දරුවාගේ මූලික අවශ්‍යතා සඳහා මව මැදිහත් වීම මගින් ඔහුට වෙනස් කමක් නොදැනෙන්නට ඉඩ හැරිය යුතුයි. පුංචි දරුවාගේ වැඩ කරන විට ලොකු දරුවා සහභාගි කර ගැනීම මගින් ලොකු දරුවාට වීරයෙකුගේ හැඟීම ඇති වන්නට ඉඩ හැරිය හැකි වේ. 

මල්ලි චූ දාලා, අපි නැපිය අයින් කරමු නේද පුතේ, 

ඔයාට පුළුවනිද මට මල්ලිට අන්දන්න නැපියක් අරන්දෙන්න. 

ආ.. ඔයා දීපු නැපිය නම් මල්ලිට ලස්සනයි. 

ආදී ලෙසින් දරුවාගේ වැඩවලට සම්බන්ධ කරගැනීම මගින් දරුවා නැතුවම බැරි අයෙක් ලෙස දැනෙන්නට ඇරිය යුතුයි. එසේම 

මල්ලී නිදි අපි දෙන්න නාමුද? අපි බත් කමු නේද? මල්ලිගේ ඇඳුමේ පාටම කමිසයක් ලබාදී ඒ පිළිබඳව විස්තර කතා කිරීම ආදී ලෙසින් ලොකු දරුවා පිළිබඳ අවධානය වෙනස් බවක් නොවන්නටත් ඔබට ඔහුව නැතිවම බැරි අයෙක් ලෙසින් පෙන්වන්නටත් හැකි නම් 

අපේ අම්මා මට ආදරෙයි,

අපේ අම්මාට මාව නැතුවම බෑ

අම්මට මම නැතිව මල්ලිගේ වැඩ කරගන්න බෑ

ආදී ලෙසින් මවට ලංවීමට ඇති හැකියාව ඇති කිරීමෙන් දරුවාට වෙනසක් නොදැනේ. එසේම මල්ලීට නිදියන්න අපි කවි කියමු ආදී ලෙසින් දරුවා තමාවෙත ලඟා කර ගැනීම තුලින් දරුවාට අම්මා සේම අළුත් අමුත්තාද තමන්ගේ යන හැඟීම ඇති කරගත හැකියි. 

මල්ලිව අල්ලන්න එපා, මල්ලි ලඟට යන්න එපා, ඔයාගේ ඇඟටත් චූ දායි, ලොකු උනාම ඔයාට ගහයි ආදී ලෙසින් මල්ලී එයාගේ නොවන බවත් මල්ලී නිසා සියළු දේ, තැන නැති වූ බවත් ඇති නොවන්න වගබලා ගැනීම අළුත උපන් දරුවාටත් ලොකු දරුවාටත් මවටත් පියාටත් පවුලේ සියළු දෙනාටත් අස්වැසිල්ලක් ගෙනේවි. 

 

බාහිරින් පැමිණෙන ගැටලු (අසල්වැසියන්, ඥාතීන් පැමිණ)

  • ආ.. තාත්තා වගෙයි, අම්මා වගේ නෙවෙයි, කළුයි, හැම තිස්සෙම අඬනවා, කිරි මදි නේද
  • ලොකු ළමයට ලඟට එන්න දෙන්න එපා විෂබීජ
  • බබාලා හම්බ උණ අයට නාන්න හොඳ නෑ
  • වතුර ගොඩක් බොන්න හොඳ නෑ බඩ ලොකු වෙනවා
  • තුවාල හෝදන්න එපා පැසවනවා
  • පළතුරු, කොළ ජාති කන්න හොඳ නෑ
  • පිලී ජාති අගුණයි

 

මේ ආදී ලෙසින් වූ අඩු පාඩු දහසක් කියන්න ගනිවී.  මේ සඳහා හොඳම උත්තරය සිනහව පමණයි. උත්තර දීමෙන් වැළකී සිටින්න. ඇහුම් කන් දෙන බව පමණක් පෙන්වන්න. ඔබේ වෛද්‍යවරයා, ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ඔබට ගර්භනී කාලයේදී ලබාදුන් දැනුම සිහියට නඟා ගන්න. මගේ දරුවාට හොඳින් මව්කිරි දීමට මට හැකියි යන අධිෂ්ඨානය ඇති කරගන්න. කුඩා දරුවෙකුගේ හැඩ රුව පිළිබඳ ඔවුන්ගේ දේ පිළිබඳ නොසින්න. ඔබේ දරුවා හඬන්නේ මව් කිරි සඳහා පමණක් නොවේ. දහදිය දැමීම, රස්නය, සීතල, මුත‍්‍රා යාම නිසා ඇතිවූ තෙත, කක්ක ඇගේ ගෑවෙන විට දැනෙන දේ, ඔබේ උණුසුම අළුත් පරිසරයට හුරු වීම ආදී අභියෝග රැසක් දරුවාට වේ. දැනට ඔබට සංනිවේදනය කල හැකි එකම ක‍්‍රමය ඇඬිම නිසා මේ සියළු දේ සඳහා දරුවා ඇඬීම සිදු කරයි. මේ නිසා දරුවා නාවන විට ඔහුගේ මේ අවශ්‍යතාවය තේරුම් ගන්නට උත්සහ කිරීම තුලින් ඔබට දරුවාගේ අවශ්‍යතා අවශ්‍ය විටදී සපුරා දිය හැකියි. බඩගින්නට කිරි දුන්නා සේම තෙත් වූ ඇඳුම් ඉවත් කර සහනය සැලැස්වීමත් කිරි සමග පෙවුණු වාතය ඉවත් කිරීමට ගුඩුස් යන ලෙස ස්ථාපිත කිරීම මගිනුත් දරුවාට සහනයක් ලැබෙන හෙයින් දරුවාගේ ඇඞීම නතර වෙයි. මෙසේ හෙයින් දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ඔබට හැකි වේ. ඒ සඳහා ඔබ දැන සිටිය යුතුම කරුණු. 

 

  • පැය 2 ½  කට 3 කට වරක් කිරි ලබාදීමත් වරකට කිරි ඉරීමට ගන්නා කාලය විනාඩි 20 ක් එක පියයුරකින් වීමත් දැන සිටීම ම`ගින් මව්කිරි යාන්ත‍්‍රණය ඔබට හො`දින් පවත්වා ගත හැකියි. 
  • කිරි දුන් පසු පෙවුණු වාතය ඉවත් කිරීමට ගුඩුස් යැවීමත් කිරි වමනය ආවොත් පිටතට බේරී යන සේ පැත්තට හරවා තැබීමත් වැදගත්.
  • නිරෝගී දරුවකු දිනපතා නෑවීම දරුවාට සුව පහසුව ල`ගා කරයි. 
  • පෙකණිය විවෘතව වියළිව තබන්න. නෑවීමෙන් පසු තෙත මාත්තු කරන්න. 
  • පෙකණිය මෙන්ම ඉකිලි, කිහිලි, ආදී නැවෙන තැන් හො`දින් තෙත මාත්තු කරන්න. 
  • ඉපදී හැකි ඉක්මණින් මව් කිරි ලබාදීම (පැයක් ඇතුලත* කිරි එරීමේ යාන්ත‍්‍රණ්‍යට වැදගත් වේ. 
  • මව් කිරි දෙන විට මව් උකුලේ සිටින බැවින් උණුසුමින් ආරක්‍ෂා වේ. 
  • එසේම මව්කිරි වලින් ලෙඩ රෝග වලට ප‍්‍රතිශක්තිය ලැබෙනවා සේම මවගේ සමට දරුවාගේ සම ගැටීම තුලින් සමේ ආරක්‍ෂාවට එය වැදගත් වේ. 
  • දරුවා තමන කාමරය පිරිසිදුව හා උණුසුම්ව තබාගන්න. 
  • පරිසරය සීතල නම් උණුසුම් පොරෝනා, තොප්පි, මේස් මගින් ආරක්‍ෂාව සපයන්න. 
  • පිරිසිදු වාතාශ‍්‍රය ලැබීමට සලස්වන්න. 
  • නිවසට ගිය වහාම ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියට දැනුම් දෙන්න. එවිට ඇය පැමිණ ඔබට අවශ්‍ය උපදෙස් හා සේවාවන් හා සහයෝගය ලබාදේවී. 
  • මාස 6 සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම දෙන්න. 
  • මව්කිරි වල 80% ක්ම වතුර අඩංගු බැවින් වෙනත් දියර වර්ග අවශ්‍ය නැත. 
  • මව්කිරි ඔබේ දරුවාගේ වර්ධනයට ඇවැසි සියළුම පෝෂක කොටස් අඩංගු වේ. 
  • ප‍්‍රසූතියෙන් පසු එරෙන මුල් කිරි (කොලස්ට‍්‍රම්) බෝවන රෝග වලින් දරුවා ආරක්‍ෂා කරයි. 
  • දරුවාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබාදෙන්න. දිවා රාත‍්‍රී දෙකේම. 
  • රාත‍්‍රියේදී කිරි දීම හොඳින් කිරි එරීමට හේතුවක් වේ. 
  • කිරි එරීමේ රහස දරුවා හොඳින් වැඩි වාර ගණනක් කිරි උරා බීමයි. 
  • කිරි දෙන විට ‍මෙන්ම අනෙක් අවස්ථාවන්හිදීත් දරුවාට ආදරයෙන් කතා කරන්න. 
  • සෙනෙහසින් තුරුළු කරගන්න. 
  • දරු නැලවිලි ගීත ගයන්න. 
  • ශරීරය සියුම්ව පිරි මදින්න. 
  • ඇසට ඇස ගැටෙන සේ මව්කිරි දීමේදී ඉරියව් තබාගන්න. 
  • වර්ණවත් සෙල්ලම් බඩු ඇස ගැටෙන සේ තබන්න. (කුරුළු කොට්ට, බිත්ති සැරසිලි, කොට් ෂීට්)

 

දරුවාගේ හඳුනාගත හැකි අනතුරු දායක තත්ත්ව 

  • හොඳින් කිරි උරා බිව් දරුවා මව්කිරි බීම ප‍්‍රතික්ෂේප කිරීම. 
  • අසාමාන්‍ය ලෙස නිහඬව සිටීම හෝ වැඩිපුර හැඬීම, කෙඳිරි ගෑම. 
  • අධික ලෙස ශරීරය කහ පැහැවීම/කහ පැහැය සති 2 ට වඩා වැඩිවීම. 
  • ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහත බැසීම/වැඩිවීම. 
  • පෙකණිය දුර්ගන්ධය සහිත වීම, රතුවීම හෝ ශ‍්‍රාවයක් පිටවීම. 
  • වලිප්පුව/අසාමාන්‍ය ලෙස අත්පා ගැස්සීම. 

එසේම දරුවා ඉපදී සති 4 කින් ළදරු ළමා සායනයට ගෙන ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු අතරම, මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඒ සමගම වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කරගත යුතුය. 

ඉපදී සති 4 සිට සෑම මසකටම වරක් දරුවාගේ බර කිරා සටහන් කරවාගෙන වර්ධන රේඛාව නියමිත මාර්ගයේ නොවේ නම් ළමා සායනයෙන් උපදෙස් ලබාගන්න. 

සති 6 කදී ඊලඟ දරු උපත පමා කර දරු උපත් අතර සඳහා සුදුසු පවුල් සංවිධාන ක‍්‍රමයක් සායනයෙන් ලබාගන්න. 

මාස 2 දී පටන් ප‍්‍රතිශක්තීකරණය ආරම්භ කළ යුතු අතර ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය සමග සාකච්ඡා කර ඒ සඳහා සායන දින හා වේලාවක් ලබාගන්න. එන්නත්කරණය පිළිබඳ තොරතුරුද එන්නත්කරණයෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳවද තොරතුරු විමසා දැනුවත් වීම තුලින් වයසට නිසි එන්නත් ලබාදී ඔබේ දරුවා බෝවන රෝග වලින් ආරක්‍ෂා කරගත හැකි වේ. 

එසේම වැඩෙන දරුවාගේ වයසත් සමග මානසික සංවර්ධනය වැඩි කිරීම සඳහා සක‍්‍රීයව ක‍්‍රියාත්මක වීම වැදගත් වේ. මේ සඳහා ළදරු වර්ධන සටහන් පොතේ මානසික සංවර්ධනය මැන බැලීම සඳහා පොදු උපදෙස් කියවා බලා දරුවාගේ මානසික සංවර්ධනය දියුණු කිරීමට උපතේ සිට කල හැකිදේ පිළිබඳව දැනුවත් වෙන්න. ඒ අනුව ක‍්‍රියාත්මක වීම තුලින් දරුවාගේ මනෝ සමාජීය සංවර්ධන ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ආ හැකිය. 

එසේම ඒ හා සම්බන්ධ ක‍්‍රියාකරකම් සිදුවන වයස පිළිබඳව සටහන් පිරවීම තුලින් අඩාල වන මානසික සංවර්ධනය හඳුනා උත්තේජන ලබාදීම හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර වෙත ඉක්මණින් යොමු කිරීමට හැකි වීම තුලින් මොලයේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමටත් අනාගතයේ රටට වැඩදායී බුද්ධිමත් පුරවැසියකු රටට දායාද කිරීමේ හැකියාව ඔබට ලැබෙනු නියතයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

උපතේ සිට දරුවාගේ බර සටහන අඩු වැඩි වෙන්න බලපෑ හැකි හේතූ

ළමා වර්ධනය තක්සේරු කිරීම සඳහා දරුවාගේ බර, දිග/පළල බලා ඒවා වර්ධන අගයන් සමග සංසන්දනය කිරීම කරනු ලබයි. මෙහිදී වර්ධනය නියමිත පරිදි සිදු වේද නැතහොත් වර්ධන ගැටළුවක් ඇති ද යන්න සොයා බලා ඒ අනුව මැදිහත් වීම් සිදු කරනු ලබයි. 

මෙම බර සටහන නිර්මාණය කර ඇත්තේ නිර්දේශිත සෞඛ්‍ය හුරු පුරුදු වලින් යුතු එනම් මව්කිරි ලැබීම්, රෝග වලට නියමිත පරිදි ප‍්‍රතිකාර ලැබීම්, මව දුම්පානය නොකිරීම වැනි රටවල් 6 ක දරුවන්ගෙන් ලබාගත් නියැදි සාම්පල් මත පදනම් කොට විශ්ලේෂණය සිදුකොට සකසාය. මෙම අධ්‍යයනය සඳහා උපතේ සිට වසර 2 ක් යනතුරු එක කණ්ඩායමක්ද වයස අවුරුදු 11/2 – 6ත් අතර වූ තවත් දරුවන් කන්ඩායමක්ද වූ තවත් දරුවන් කණ්ඩායමක්ද යොදා ගෙන මෙම නියැදි දෙකෙන්ම ලබාගත් දත්ත ඒකාබද්ධ කර උපතේ සිට වයස අවුරුදු 5 දක්වා දරුවන් සඳහා මෙම වර්ධන සම්මතය සකස් කර ඇත. 

මෙම සම්මතයන්ගෙන් පෙන්වා දෙනු ලබන්නේ නිර්දේශිත පරිදි ආහාර හා සෞඛ්‍ය රැකවරණය එනම් ප‍්‍රතිශක්තීකරණය හා රෝගී රැකවරණය ලබාදීම තුලින්  ඕනෑම රටක දරුවන් එකම වර්ධන රටාවක් පෙන්නුම් කරනු ලබන බවයි. මෙසේ සැමට එකම වර්ධන රටාවක් පෙන්නුම් කරන බර සටහනක් තිබියදී අපේ දරුවන්ගේ බර සටහන් අඩු වැඩි වීම් ඇති වන්නේ ඇයි යන්න විමසා බැලිය යුත්තක්. 

ගර්භනී කාලය තුල මවගෙන් ලබාගන්නා පෝෂණය අනුව සෑම දරුවකුගේම උපත් බර තීරණය වේ. මේ සඳහා මවගේ ශරීර ස්කන්ධ දර්ශකය, රෝගී තත්ත්ව, මව වටා පරිසරයේ බලපෑම වගේම ඒ හේතූ නිසා හෝ ජානගත ලක්‍ෂණ මගින් ඇති වන ආබාධ තත්ත්ව මගින්ද දරුවාගේ උපත් බරට බලපෑම් ඇති කරනු ලබනවා. ඒ කෙසේ උනත් නිවැරදි සෞඛ්‍ය තත්ත්වයකදී සිදුවිය යුත්තේ උපතේදී බර සටහනේ හිමි වූ තැනට අනුරූපීව වර්ධනය සිදුවීමයි. මෙය පැහැදිලි කරගැනීමට දරුවකුගේ සෞඛ්‍ය වර්ධන සටහනේ පහත බර ප‍්‍රස්ථාරය දෙස යොමුවන්න. එහිදී කලාප සලකුණු  කල අන්දමට බර ප්‍රස්ථාරය ගමන් කරනු දැකිය හැකිය .

මෙම ප‍්‍රස්තාරයේ උපත් බර පළමු ඉර මත ලකුණු කළ පසු ඒ බර වර්ධන රේඛාව පිහිටි තැන සඳහා කලාප ලෙස වර්ණ ගන්වා ඇතිවා මෙන්ම එම උපත් බරට අනුපාතික ලෙස එම කලාපය තුල ගමන් කල යුතු අන්දම රේඛා මගින් දක්වා තිබෙනවා. එම වර්ධන රේඛාව ගමන් කළ යුත්තේ ඒ අනුවයි. 

එහෙත් ප‍්‍රමාණවත් බර වැඩිවීමක් සිදු නොවූ විට/ප‍්‍රමාණයට වඩා බර වැඩි වූ විට, අඩු වූ විට වර්ධන රේඛාව කලාපයෙන් බැහැරව පහළට, සමාන්තරව / ඉහලට  ගමන් කිරීම තුලින් වර්ධනය ගැටලු සහගත බවත් හඳුනාගත හැකි වනවා. 

මෙසේ බර සටහන අඩු වැඩි වීමට හේතූ වන්නේ දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට පෝෂණය නොලැබීම හෝ යම් රෝගී තත්ත්වයක් හෝ විය හැකියි. මෙය සිදු වන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. 

මව්කිරි පමණක් දෙන මාස 6 ට අඩු දරුවකුගේ නම්,

  • ප‍්‍රමාණවත් තරම් කිරි නොලැබීම
  • මව්කිරි ආරම්භය ප‍්‍රමාද වීම
  • කිරි දීමට දරුවා නිවැරදි ලෙස අල්වා ගැනීමට හෝ ස්ථාපිත කිරීමට මවට නොහැකි වීම
  • පියයුරෙහි වරකට විනාඩි 20 ක් එනම් එම පියයුර හිස් වන තුරු කිරි නොදීම
  • එක කිරි වේලකදී පියයුරෙන් පියයුරට මාරු කරමින් මුල් කිරි පමණක් ලබාදීම යන කරුණු හේතු විය හැකියි.

මව්කිරි පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් මව ලබා නොතිබීම මීට හේතු විය හැකිවා මෙන්ම බාහිර බලපෑම් මගින් මව වෙත එල්ල වෙන දරුවාට කිරි මදි/කිරි නෑ, පියයුර කුඩා නිසා ප‍්‍රමාණවත් ලෙස කිරි එරෙන්නේ නෑ වැනි මිත්‍ය මත නිසා මවට ඇතිවන මන්දෝත්සාහයද හේතු විය හැකියි. එසේම මවගේ රෝගී තත්ත්ව මත හෝ මවට ඇති විය හැකි අපහසුතා ආදියද මීට හේතූ විය හැකියි. එසේ හෙයින් අලුත උපන් දරුවා සඳහා ප‍්‍රමාණවත් ලෙස මව් කිරි ලැබෙන බවට වගබලා ගැනීම වටී. එසේම දරුවාගේ හෘදය හෝ වෙනත් ආබාධ තත්ත්ව, තොල් වල ඇති වන විකෘතිතා, ආහාර මාර්ග පද්ධතිය ආශ‍්‍රිත ගැටළු නිසාද නියමිත බරක් හෝ නිවැරදි වර්ධන වේගයක් දරුවාට අහිමි විය හැකියි. 

මෙසේ හෙයින් ගර්භනී කාලයේ සිටම මව්කිරි පිළිබඳ දැනුමින් මව පෝසත් වීමත්, ප‍්‍රායෝගිකව මව්කිරි දීම සඳහා දැනුම ලබාගත හැකි සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් හා සම්බන්ධ වීමත් වැදගත් වේ. 

එසේම කිරි මවකට අවැසි ශක්තිය ධෛර්ය සඳහා ස්වාමිපුරුෂයා, නිවැසියන් හෝ නිවසේ වැඩිහිටියන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙතින්ද ලැබෙන සහය සැලකිල්ල ඉතාමත් වටී. එමෙන්ම ගර්භනී කාලය තුලම ඇති කරගන්නා චිත්ත ශක්තිය මම මගේ දරුවාට මව්කිරි වලින් පෝෂණය කළ හැකියි යන ධනාත්මක චින්තනය වැදගත් වේ. 

මාස 06 ඉකුත්ව අමතර ආහාර ආරම්භ කරන අවස්ථාව සඳහා සූදානමක් තිබිය යුතුවා මෙන්ම නිවැරදි හා අවශ්‍ය ලෙස පෝෂණ සංඝටක සපිරි ආහාරයන් ලබාදීම පිළිබඳව දැනුවත් විය යුතුයි.

අමතර ආහාර ආරම්භ කිරීමේදී,

  • අර්ධ ඝන ආහාර වලින් පටන් ගත යුතුයි. 
  • ආහාරයේ දියර ස්වභාවය වැඩි නොවිය යුතුයි (මන්ද එවිට අවශ්‍ය පෝෂණය අහිමි වේ) 

 

පෝෂණය අවශ්‍ය පරිදි නොලැබීම නිසා බර සටහනේ බර අඩු වැඩි වේ. එසේ විය හැකි අවස්ථා වනුයේ, 

  • නියමිත කාලයේදී අමතර ආහාර ආරම්භ නොකිරීම. 
  • නියමිත කාලයට පෙර අමතර ආහාර ආරම්භ කිරීම (මාස 6 ට පෙර)
  • වයස අනුව ලබාදෙන ආහාර ප‍්‍රමාණාත්මකව වැඩි නොකිරීම. 

ආහාර ලබාදීමේදී

තේ හැඳි 2 /3 න් පටන් ගෙන ක‍්‍රමයෙන් වැඩි කරන්න 

වයස මාස 7 දී අඩු කෝප්ප ½  ක්

මාස 8 – 9 දී අඩු කෝප්ප ½  ට වඩා ටිකක් වැඩියෙන් 

මාස 9 – 12 දී අඩු කෝප්ප ¾  ක්

මාස 12 දී අඩු කෝප්පයක්

  • ආහාරයේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් නොවීම. 
  • විශේෂයෙන් සීග‍්‍ර වර්ධනයක් ඇති කාලයේ ආහාරයේ ප්‍රෝටීන ආහාර බහුල නොවීම. 
  • ආහාරයේ ඉක්මන් හා පහසුවෙන් ශක්තිය ලබාදිය හැකි තෙල් අඩංගු නොකිරීම. 
  • එකම ආහාරය දිගටම දීම නිසා දරුවා ආහාර ප‍්‍රතික්ෂේප කිරීම. 
  • ආහාර එකම ආකාරයට පිළියෙල කිරීම නිසා දරුවා ආහාර ප‍්‍රතික්‍ෂේප කිරීම. 
  • බලෙන් ආහාර ලබාදීම. 
  • අවශ්‍ය වේලාවල් වලදී ආහාර ලබා නොදීම. 

 

මීට අමතරව දරුවා රෝගී වූ විට ආහාර රුචිය නැති වීම හෝ අඩු වීම විය හැකියි. එවිට බර අඩු වීම සිදු විය හැකියි. එවැනි අවස්ථා වලදී රුචිය අනුව ආහාර ලබාදීමෙන් බර අඩාල වීම පාලනය කරගත හැකි වේ. එසේම සුව වූ පසු නැවත වර්ධන වේගය අත් කරගැනීම සඳහා ආහාර වල ගුණාත්මකභාවය හා වේල් ගණන වැඩි කල යුතු වේ. මීට අමතරව හෘද රෝග, මුත‍්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති විට නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුව දරුවා රැකබලා ගත යුතුය. එසේම අවශ්‍ය අවස්ථාවන්හිදී නිසි පරිදි වෛද්‍ය පරීක්‍ෂණ සඳහා දරුවා ලක් කල යුතුය. ඖෂධ නිසි පරිදි ලබාදිය යුතුයි. 

එසේම ඇදුම, පණු රෝග, නීරක්තිය, වෙනත් පෝෂණ ඌනතා සහිත රෝගී තත්ත්ව වලදීද දරුවාගේ බර අඩු වැඩි වීම විය හැකියි. මේවා සඳහා ද නිසි පරිදි අවධානය යොමු කොට අවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් මත කටයුතු කල යුතුයි. 

මේවාට අමතරව මව රැකියාවට යාම හෝ කාර්යබහුල වීම මත රැකබලාගන්නන්ගේ නොදැනුවත්කම හෝ නොසැලකිලිමත් බවද දරුවාගේ බර අඩු වැඩි වීමට හේතු විය හැකියි. එසේම තද පාලනයක් සහිතව වැඩෙන දරුවෙකුට ඇති වන පීඩනයද බලපෑම් එක් කරයි. 

මෙසේ පෝෂණයට බලපෑම් එක්කල හැකි ඉහත සියල්ලටම අමතරව නිවසේ අපිළිවෙළ, අඩ දබර සහිත වීම හෝ පවුල් ආරවුල්, අසමගිය මෙන්ම දුරාචාර, මත් ලෝලීන් නිවසේ සිටීමද දරුවාගේ පෝෂණයට ලොකු බලපෑමක් එල්ල කල හැකියි. එසේම මව හෝ පියා හෝ රැකබලාගන්නන් විදේශ ගත වීම මානසික රෝගීන් වීම, අපරාධකරුවන් වීම, සිරගත වීම මෙන්ම මව හෝ පියාගේ රැකබලාගන්නන්ගේ වියෝවද දරුවාගේ වර්ධනයට බලපෑම් එල්ල කල හැකිවා මෙන්ම දුම්පානය කරන්නන් සිටීමද එම දරුවාගේ පෙනහලු ආසාදනය කරන හෙයින් වර්ධන ගැටළු ඇති විය හැකියි. උපත් දරුවාගේ පමණක් නොව දරුවා තුල සිටියදී මවට දුම අඝ‍්‍රාණය වීමක් සිදුවීම කුස තුලදීමත් දරුවාගේ වර්ධනයට මහත් බලපෑමක් එල්ල කරයි. 

මෙසේ බලන කල දරුවන්ගේ වර්ධනය අඩු වැඩි වීම සඳහා ආහාරය පමණක්ම බලනොපාන බවත් සමස්ත ජීවිතය පුරා දරුවාට අත්වීඳීමට ඇති සියළු තත්ත්වයන් හොඳ හෝ නරක ලෙසින් වර්ධනයට බලපෑම් තදබල ලෙසින් එල්ල වන බවත් මනාව පැහැදිලි වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

හැඩතල හඳුන්වාදීම මගින් දරුවෙකුගේ මොළයට ලැබෙන වාසි

දරුවෙකුගේ මනසේ ක‍්‍රියාකාරීත්වය මනා ලෙස සිදු වීමට අවශ්‍ය වූ හැකියාවන් වර්ධනය කරවීම ප‍්‍රජානන සංවර්ධනයයි. මෙම හැකියාවන් වර්ධනය වීමේදී 

  • පරිසරය හා තම ශරීරය පිළිබඳ සංවේද නිසි ලෙස දැනීම
  • යම් යම් රටා නිරීක්‍ෂණය මගින් තේරුම් බේරුම් කරගැනීම
  • එම අත්දැකීම් මතකය තුල ගබඩා කර ගැනීම 
  • මතකයේ ඇති සිද්ධිය හා වර්තමාන සිද්ධි සංසන්දනය කර බැලීම 
  • එම විමර්ශන විශ්ලේෂන මගින් නිවැරදි විසඳුම
  • තීරණ සඳහා එළඹීම වැනි කරුණු වරධනය වීම සිදුවේ.

ඉපදී මුල් දින වල දරුවන්හට පරිසරය පිළිබඳ අවබෝධයක් නොමැත්තේ වැඩි කාලයක් නින්දට වැටෙන නිසාය. එහෙත් කාලයත් සමග අවදිව සිටින කාලය වැඩිවන විට මව සමග අන්තර් ක‍්‍රියා සහිතව ගත කරන කාල සීමාවද වැඩි වේ. මේ සමගම පරිසරය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු වන අතරම ස්වභාවයෙන්ම සෑම දෙයක්ම පිළිබඳව දැන ගැනීමට ඇති උවමනාව කුතුහලය නිසා මානසික ක‍්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම සිදුවේ. මේ නිසා ඉපදී මුල් මාස දෙකේදීම පවා දරුවන් ඉගෙනීමට පෙළඹේ. මේ කාලය තුල ලැබෙන සංවේදන අනුව දරුවාගේ ඉගෙනුම් ක‍්‍රියාවලිය ඇති වේ. 

මුහුණ ඉදිරිපිට චලනය වන වස්තූන් දෙස බලා සිටීමටත් ඒවා චලනය වන ලෙසින් දෙඇස් හරවමින් බලා සිටීමටත් මාස දෙක වන දරුවන්ට හැකි වේ. මෙවිට නිතරම වාගේ ලැබෙන මේ සංවේදන/උත්තේජනයන් වලට දරුවා හුරු පුරුදු වේ. එසේම මේ ක‍්‍රියාවලින් හරහා මොළයෙහි ක‍්‍රියාවලීන් සෑහෙන පමණ වර්ධනය වේ. 

එසේම ලැබෙන දැනීම්, හැඟීම්, ශබ්ද හා සංඥා මගින් තම මව හඳුනාගන්නේ යම් සේද, එලෙසම තම පියාවද හඳුනාගැනීම තෙක් වූ සංවර්ධන ක‍්‍රියාවලි වර්ධනය වන්නා සේම අමුත්තකු හඳුනා ගැනීමටද මේ ක්‍රමෝපායට අනුව එනම් මනසේ තැන්පත් කරගන්නා මනෝ රූපයට අනුව සිදුවේ. 

මෙසේ යම් යම් වස්තූ හඳුනා ගැනීම් මත දරුවාගේ මොළයේ සංවර්ධනය සිදුවේ. 

එසේම වයසින් වැඩෙත්ම පරිසරය හා වටපිටාව තේරුම් ගැනීම ක‍්‍රමයෙන් වැඩි වේ. දකින සෑම දෙයක්ම හරහා මොළය තුල සිදුවන ක‍්‍රියාවලීන් හරහා ඒවා හඳුනා ගැනීමටත් ඒවා භාවිතය පිළිබඳව ඉගෙනීමටත් පෙළඹේ. මේ අනුව හැඩතල යනු යම් යම් හැඩයන් පිළිබඳ ඉඟි පෙන්වන උපකරණ වේ. මෙම උපකරණ හා එදිනෙදා දකින දේ අනුව මොළය තුල තැන්පත් වන හඳුනා ගැනීම් නැවත නැවත දකින විට අවදි වන අතරම එය භාවිත කිරීම පිළිබඳ හැඟීම් ඇති වේ. මෙසේ හෙයින් එය භාවිත කළ යුතු අන්දම පිළිබඳව සිතීමට පෙළඹේ.

එසේම භාෂාමය හැකියාවද මේ සමග වර්ධනය වන නිසා ඒවා හඳුනා ගැනීමට තවත් පහසු වේ. එසේම අතපත ගෑම මගින් අතට දැනෙන සංවේදන හරහා සියුම්, ගොරෝසු, රළු/සුසිනිදු මෙන්ම හැඩය අනුව වක‍්‍රය, ත‍්‍රිකෝණ බව, හතරැස් බව හෝ උස මහත ආදී ලෙසින් වස්තූන් හඳුනා ගැනීමට පෙළඹීම අනාගත ඉගෙනුම් සඳහා මහත් ප‍්‍රයෝජනවත් වේ. එය පැහැදිලි ලෙස උචිත කොතැනටද යන්න පිළිබඳ දැනෙන හැගීම් හරහා රටා ඉගෙනීමටද අවස්ථාව උදා වේ. එසේම භෞතිකමය වූ වස්තුවේ හැඩය පිළිබඳව ඉගෙනීමට පරිසරය තුල දකින විවිධ හැඩතල හේතු වේ. 

එසේම ගෙදරදී මව හා සමග කරනු ලබන ක‍්‍රියාකාරකම් වලදීද හැඩතල ඉගෙනීමට අවස්ථාව ලැබේ. මෙසේ හෙයින් දරුවාගේ මොළයට එකකින් තව එකක් වෙන් කර හඳුනා ගැනීමටත් එය පැහැදිලි ලෙසට ගැලපෙන තැන පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් හැකියාව ලබයි. 

මෙලෙස පැහැදිලි ලෙසම කුස්සිය තුලදී මව සමග ඉගෙනීමට අවස්ථාව බොහෝමයකි. එනම් ආහාර ද්‍රව්‍ය වෙන් කිරීම, ගබඩා කිරීම, ක‍්‍රමානුකූලව රටාවකට යොමු කිරීම ආදී අවස්ථාවන් ලබාදීම හරහා මොළයට ද්‍රව්‍ය වල හැඩ පිළිබඳව එහි ස්වභාවය පිළිබඳව ගඳ සුවඳ, රස, ලොකු පොඩි ආදී ලෙසින් වූ සංවේදන ඉගෙනීමට අවස්ථාව උදා වේ. මේ අවස්ථාවන් දරුවාට ලැබීම දරුවාගේ ගණිතමය හැකියාව වර්ධනයට ලැබෙන හොඳම අවස්ථාවන් වේ. 

  • පැහැදිලි ලෙස හැඩයන් හඳුනා ගැනීම
  • ඒවා පැහැදිලි ලෙස නම් කළ හැකි නම් දැන ගැනීම 
  • ඒවා භාවිත කරන අවස්ථාවන් දැන ගැනීම 
  • ඒවා ලබාගත හැකි ස්ථාන හෝ අවකාශ පිළිබඳ ඉගෙනීම 
  • ඒවා එකිනෙක යෙදීම තුලින් ගොඩනැඟිය හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබාගනීම. 
  • එකට එකතු කර යම් යම් දේ ගොඩනැගීමට මෙන්ම කොටස් කිරීම තුලින් නව නිපැයුමක් සඳහා භාවිත කිරීමට හැකි වීම ලෙසින් මොලයේ වර්ධනය සඳහා හැඩතල යොදා ගත හැකියි. 

අනාගත නව නිර්මාණකරුවකු බිහිකර ගැනීමේ මූලික අඩිතාලම ලෙස මේ හැඩතල හඳුන්වාදීම හැඳින්විය හැකියි. ලෝකයේ මේ දක්වා පැමිණි ගමනේදී රෝදය සොයා ගැනීම යම් සේද ඒ හා බැඳී මේ මහා යන්ත‍්‍ර සූත‍්‍ර ගොඩනැඟීමේ මහා විස්කම් ගොඩ නැගීමට ආධාර අනුබල ලැබී ඇත්තේ කුඩා කල මොලය තුල වර්ධනය වීමට ඉඩ හසර ලැබූ මේ හැඩතල වල උත්තේජනයයි. 

ඇඟිලි වලට දැනුනු හැඩතල වල ස්වභාවය, ඒවායේ මෘදු මොලොක් හෝ තද බව මෙන්ම ඒවා චලනයන්ට ලක් කිරීම තුලින් මොලයේ ස්නායු සෛල හරහා සංසරණය වන පණිවුඩය මගින් දියුණු වන මොළයේ ක‍්‍රියාකාරීත්ව, නූතන සංවර්ධනයේ අඩිතාලම හෙයින් මේ පිළිබඳ අවබෝධය ලබාගැනීම වැඩිහිටි අප සැමගේම යුතුකමයි. 

එසේම අකුරු ඉගෙනීම සඳහාද මේ හැඩතල වල ස්වභාවය වැදගත් වන්නේ ඇඟිලි මෙන්ම අත මෙම හැඩතල වල හැඩ ස්වභාවයන් අනුව හැරවීමට නැවීමට ආදී ලෙසින් ක‍්‍රියාත්මක කිරීමට ලබන හැකියාව සංවර්ධනය වීම තුලින් අකුරු ලිවීමේ හැකියාවද සංවර්ධනය වේ. මොලයේ සංවර්ධන ක‍්‍රියාවලිය තීව‍්‍ර කිරීම සඳහා ඇසට දකින චලනය වන හැඩතල ක‍්‍රියාකාරීත්වයන්ම හේතු කාරක වේ. 

උපතේ පටන් හැඩතල සුදුසු පරිදි යොදා ගැනීම හඳුන්වා දීම තුලින් මොලයට ලැබෙන සංවේදන හරහා ක‍්‍රම ක‍්‍රමයෙන් ඒවා පිටපත් කිරීම, අතපත ගෑම තුලින් දැනෙන සංවේදනය මොළයේ ක‍්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම තුලින් දරුවාගේ ඉගෙනුම් ක‍්‍රියාවලි සඳහා එය අත්වැලක් සපයයි. 

 

සෑම මවකගේම සෑම පියෙකුගේම මතු බලාපොරොත්තුව දරුවා හොඳ ඉගෙනුම් ක‍්‍රියාවලියක නිරත වනු දැකීම වන හෙයින් එහි මුල් අඩිතාලම වන හැඩතල හඳුන්වාදීම කුඩා අවධියේ සිටම සිදු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා අවස්ථාවන් ලෙස, 

  • උපතේ සිට කුරුළු කොට්ටය සඳහා හැඩ භාවිත කිරීම
  • මාස 2 සිට ලබාදෙන ක‍්‍රීඩා උපකරණ සඳහා හැඩතල යොදා ගැනීම. 
  • ආහාර සැකසීමේදී කපන කොටන අවස්ථා වලදී හැඩතල ස්වභාව යොදා ගැනීම. 

උදා: කැරට් පෙති ලෙස, හතරැස් ලෙස, ත‍්‍රිකෝණ ලෙස

  • ක‍්‍රීඩා උපකරණ සැකසීමේදී, 
  • වාහන ලෙස
  • සෙල්ලම් කිරීමේදී (කෝම් පිට්ටු)
  • ගණිත උපකරණ ලෙස 
  • රෝස අටල්ල (හැඩ තල වලින් සෑදූ විශාල එකේ සිට කුඩා එක දක්වා එක පිට එක රැඳවීමට හැකි ලෙස සෑදූ උපකරණ යකි)
  • බෝඩ් එකක හැඩතල කපා ඉවත් කර නැවත සැකසීමට හැකි ලෙස සෑදූ උපකරණය  ( ත්‍රිකෝණය, චතුරස්‍රය, පන්චාස්‍රය, වෘත්තය)
  • ගණිත රටා සඳහා
  • අවරෝහණ හෝ ආරෝහණ ලෙස සැකසූ හැඩතල යොදා ගැනීම
  • සංඛ්‍යා අවබෝධය සඳහා 

සංඛ්‍පුවරු මගින් සංඛ්‍යා පිළිබඳ අවබෝධය ලබා දිය හැකි වේ. මෙසේ විවිධ ලෙසින් නිර්මාණශීලී ලෙස සකස් කරගන්නා හැඩතල යෙදු උපකරණ සැකසීම, සැකසීමට උදව් කරගැනීම, සකස් කිරීම සඳහා උදව් කිරීම, යොමු කිරීම, කරවීම, ආදිය මගින් දරුවාගේ මොලය සංවර්ධනයට ගුණදායී ලෙස දායකත්වය ලබාදිය හැකි හෙයිනි. 

ප‍්‍රජානන කුසලතා මනින දර්ශකය වන්නේ බුද්ධි මට්ටමයි. බුද්ධියේ මුහුණුවර හා බැඳී ඇති ප‍්‍රජානන කුසලතා වන්නේ ගණිතමය, භාෂාමය, තාර්කික හා ත‍්‍රිමාණ අවකාශය පිළිබඳ බුද්ධියයි. මෙවන් වූ බුද්ධියේ වර්ධනය සඳහා මූලික අඩිතාලම වන්නේ හැඩතල හා බැඳුණු රටා අධ්‍යයනය තුලින් ලබන පන්නරයයි. 

මේවා භාවිතය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සුදුසු පරිදි ඒ සඳහා අවස්ථා උදා කරදීම දරුවන්ගේ උපතේ සිට ක‍්‍රියාත්මක වීම තුලින් දරුවාගේ මොළයේ සංවර්ධනය සාර්ථක කරගත හැකිවා මෙන්ම අවබෝධයෙන් නිවැරදි ලෙස ක‍්‍රියාත්මක වීමට දරුවාට ලැබෙන අවස්ථාවන්ද බහුල වේ. මෙහි ප‍්‍රතිඵලය වනුයේ හොඳ මනෝ සමාජීය සංවර්ධනයක් සහිත දරුවකු ලොවට බිහි වීම මෙන්ම ඔහු අනාගත නිර්මාණශීලී බුද්ධිමත් දරුවකු වීම වළක්වා ලීමට නොහැකි වීමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

වර්ණ මගින් දරුවෙකු උත්තේජනය වන්නේ කෙසේද?

දරුවන් උපන් විගස ආලෝකයට සංවේදීයි. ඉපදී මුල් දින කිහිපය තුලදී දීප්තිමත් ආලෝකයක් දුටු විට දෙනෙත් පියා විසිරුණු ආලෝකය දෙසට නෙත් හරවනු දැකිය හැකියි. එහෙත් මාස තුනට අඩු දරුවන්ට වස්තුවක් පිහිටි දුර අනුව ඇස් දෙකම එක එල්ලේ යොමු කල නොහැකියි. එහෙත් සෙන්ටිමීටර 30 ක් පමණ දුරින් පිහිටි වස්තූන් වෙත මාස 3 ට අඩු දරුවන්ට දෑස් යොමු කළ හැකියි. ඉපදී සති 3 ක් පමණ වන විට මව කතා කරන විට, මව්කිරි ලබා දෙන විට මවගේ මුහුණ දෙස බලා සිටින බව දැකිය හැකියි.  

සති 3 ක් පමණ වයස දරුවකුට මවගේ මුහුණ එහා මෙහා චලනය වන විට එය බලා සිටින්නටත් අංශක 900 කෝණයකින් ඇස් හරවා බැලීමටත් හැකිවේ. එහෙත් ආලෝක ප‍්‍රතීකය (ඇසට ආලෝකය වැටුණු විට ඇසෙහි කණීනිකාව කුඩා වීම) කුඩා දරුවකු තුලින් දැකීමට මසක් පමණ ගත වේ. මාසයකට පමණ පසු ජනේලයකින් වැටෙන එළිය හෝ මේස ලාම්පුවක ආලෝකය දකින්නට දෙඇස් හා බෙල්ල හැරවීම දැකිය හැකියි. 

මෙසේ දරුවන් ආලෝකයට සංවේදී වීම උපතින් මාසයක් පමණ ගත වූ තැන සිදු විය හැකි අතරම මුහුණ ඉදිරිපිට දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩුවක් තැබූ විට ඒ දෙස ඔවුන්ගේ දෑස් යොමු කරයි. එහෙත් එක දිගට බලා සිටීමට නොහැකි අතර තත්පරයක් දෙකක් පමණ එදෙස බලාහිඳී. එසේම මාස 3 ක් පමණ වන විට දෑස් ඉදිරිපිට ඇති සෙල්ලම් බඩුව තිරස් හා සිරස් අතට චලනය වන ආකාරය අංශක 800 ක කෝණයකින් මුහුණ හරවා බැලීමටද හැකියාව ලබයි. 

මෙසේ වර්ණ හා උත්තේජනය ලබන දරුවා මාස 6 ක පමණ වන විට සෙන්ටිමීටර 30 ක් දුරින් ඇති වර්ණවත් සෙල්ලම් උපකරණ දෙස හිස හා ඇසුත් හරවා බැලීමට හැකියාව ලබනවා සේම දෑත් විදා එම සෙල්ලම් උපකරණය අල්ලා ගැනීමටද උත්සහ දරයි. එසේම මෙම දරුවාගේ අතට දුන් සෙල්ලම් බඩුව වැටුණේ නම් එය පෙනෙන ආසන්න තැනක තිබේ නම් ඒ දෙස බැලීමටත් නොපෙනෙන දුරක තිබේ නම් දෙඅත් හා දෑස ඉලක්කයකින් තොරව සොයා බලා එය සෙවීම අත්හරී. එසේම මාස 6 දීද තියුණු ආලෝකය දුටු විගස ඇස් වසා ගනී. 

මාස 6 ආසන්නයේ සිටින දරුවන් අනෙක් අය කරන කියන දේ පිළිබඳව විමසිලිමත්ව බලා හිඳීන අතර මොවුන් ප්‍රතිචාර දැක්වීමේදී ඇස් දෙකම එකට චලනය වේ. එසේ නොවන දරුවන් තුල ඇති දෘශ්‍ය ගැටළු එනම් වපරය මේ වන විට හඳුනාගත හැකි වනවා මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමද කළ යුතු වේ. 

දරුවා වැඩෙත්ම විමසිලිමත් බව වැඩිවන හෙයින් මාස 9 දී පුද්ගලයින් හෝ සිද්ධීන් දෙස අවධානයෙන් බලා සිටින්නටත් ඒ වෙත ප‍්‍රතිචාර දැක්වීමත් හොඳින් සිදු කරයි. වසරක් වන විට දරුවා දන්නා හඳුනන පුද්ගලයින්ගේ මුහුණු හඳුනා ගන්නටත් ගහකොළ, සතුන්, මල් ආදිය දෙස බලන්නටත් උගනී. එසේම පින්තූර දෙස බලා සිටින්නටත් ඒවා අනුව ප‍්‍රතිචාර දක්වන්නටත් පුරුදු වන්නේ දෘශ්‍ය සංවර්ධනය වැඩි වන හෙයිනි. 

වයස මාස 15 – 18 වන විට හුරු පුරුදු පුද්ගලයන් හඳුනා ගන්නට හැකියාව ලබන අතරම ඔවුන් ඈත් මෑත් වන විට ඒ දෙස බලා සිටී. වයස අවුරුදු 2 ක් වන විට පින්තූර දෙස බලමින් ඒවායේ දේ හඳුනාගන්නටත් දරුවා සමත් වේ. එසේම මවගේ හෝ වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් වරක් පෙන්නූ විට එය නැවත පෙන්වන විට හඳුනා ගැනීමට දරුවා සමත් වේ. 

වයස අවුරුදු 2 ½  දී පොතක ඇති පින්තූර, කතා විස්තර කර දුන් පසු නැවත එය හඳුනා ගන්නට මෙන්ම දරුවාගේම පින්තූරයක් පෙන්වා පසුව නැවත පෙන්වීමේදී හඳුනා ගන්නට හැකිවා සේම වයස අවුරුදු 3 වන විට වැඩිහිටියෙකු තරමටම දුර බැලීමට පුළුවන් වේ. 

උපතේදී කළු හා සුදු වර්ණ පමණක් හඳුනන අතර ක‍්‍රමයෙන් වැඩෙත්ම වර්ණ සඳහා සංවේදන දක්වන මුත් මූලික වර්ණ හඳුනා ගැනීමට වයස අවුරුදු 3 දී පමණ වේ. එහෙත් උපතේ සිටම පැහැදිලි වර්ණවත් ක‍්‍රීඩා උපකරණ දකින්නට සැලැස්වීමත් ඒවායේ චලනයන් දැකීමට සැලැස්වීමත් තුලින් ඇස් වල ස0වේදීතාව වැඩි දියුණු කල හැකියි.

බිත්තර සුදු පාටයි, මැද කහපාටයි, පොල් මද සුදු පාටයි, ආදී ලෙසින් ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන සෑම අවස්ථාවකම ඒවා දරුවාට ඇසෙන ලෙසින් කීම මගින් පවා වර්ණ පිළිබඳ උත්තේජන වැඩි කල හැකි වේ. එසේම ඇඳුම් අන්දවන විට ඒවායේ පාට ගැන කතා කිරීම ද, කෑම කවන විට ආහාරයේ පාට ගැන කතා කිරීම ද දරුවාගේ වර්ණ පිළිබඳ උත්තේජනයන් වැඩි කළ හැකි වේ. තවද විනෝදාස්වාදය සමගින් ගීත ගායනය කිරීමේදී නිර්මාණශීලී ලෙස වර්ණ හඳුන්වා දීමට හැකි වේ. 

ජම්බු ජම්බු රතු පාටයි

ඉදුණු ජම්බු රතු පාටයි

 

මගෙ පොඩි තාරා- පී. පී. ගෑවා

හොට රතු පාටයි – ඇඟ සුදු පාටයි

 

ගිරවගේ හොට රතු පාටයි – උගෙ බෙල්ලත් රතු පාටයි

තනිකර ඇඟ කොල පාටයි – ලස්සන ගිරවා

 

මේ ආදී ලෙසින් ක‍්‍රීඩාවෙන් මෙන්ම විනෝදයෙන් දරුවන් සඳහා උත්තේජන ලබාදීම තුලින් මොලයට ලැබෙන සංවේදන හරහා දරුවන් වර්ණ පිළිබඳ උත්තේජන ලබා මොලයේ සංවර්ධනය තීව‍්‍ර කරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

Scoliosis හෙවත් පැතිකුදය ගැන තව තවත් දැනුවත් වෙමු

පැතිකුදය යනු කොදු ඇටපෙළේ ඇතිවන ත්‍රිමානාත්මක සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයයි. බාහිරින් බැලූ කල කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමක් පෙන්නුම් කරයි. මෙය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කුඩා ළමුන්ගේ හෝ නව යොවුන් වියෙහි දරුවන්ගේය. මෙහි පැතිරීම හා බලපෑම වැඩි වශයෙන් බලපාන්නේ පිරිමි ළමුන්ට වඩා ගැහැණු දරුවන් සඳහාය. කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමත් සමගම කොදුඇටපෙළෙහි කශේරුකා (vertebrae) එක් පසකට භ්‍රමණය (rotate) වීමට පටන් ගනී. එවිට ඉළ ඇට කූඩුව (ribcage) උරස් අස්ථිය (scapula) සමඟ  එක් පසකින් කැපී පෙනෙන ලෙස පිටතට නෙරායාමක් පෙන්නුම් කරයි. මෙසේ කොදුඇටපෙළෙහි ව්‍යුහය වෙනස් වීමත් සමගම, පහත ආකාරයට මිනිස් දේහයේ බාහිර වෙනස්කම් හටගනී.

1.ඉණ මට්ටමේ අසමානතාවය සමග උකුලේ එක් පැත්තක් අසාමාන්‍ය ලෙස ඉහළට උස් ව පිහිටයි. 

(Pelvic asymmetry)

  1. උරහිස් මට්ටම අසමාන වන අතර එක් උරහිසක් අනෙක් උරහිසට වඩා ඉහළින් පිහිටයි.

(Shoulder asymmetry)

  1. එක් උරහිස් තලයක් (උරස් අස්ථියක්) ඉහළ හා කැපී පෙනේ.

(Scapular prominence)

  1. අත සහ කද අතර අසමාන පරතරයන් පිහිටයි.

(Asymmetrical arm gap)

  1. ඉදිරියට නැමෙන විට උරස් කූඩුවේ එක් පසක් අනෙක් පසට වඩා ඉහළින් පිහිටයි.

(Rib hump/ Rib prominence)

  1. මුළු සිරුරම එක් පසකට නැඹුරු වීමත් සමගම හිස ශරීරය සමග කේන්ද්‍රගත නොවේ.

(Asymmetrical vertical alignment)

ඔබේ දරුවා කොන්දේ වේදනාවකින් පෙළෙනවා නම්, දෙමව්පියන් වන ඔබ මේ රෝගී තත්ත්වය හා ශරීර වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ. එමගින් දරුවන්ගේ වර්ධනයට සමගාමිව සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම පැතිකුද තත්ත්ව හදුනාගෙන, ඒවාට මූලික ප්‍රතිකාර ලබා එම තත්ත්ව මගහරවා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, බරපතල ලෙස වර්ධනය වන පැතිකුද තත්වයන් වලදී ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට පවා ගැටලු ඇතිවිය හැක. ඔබේ දරුවාට පැතිකුදය  තිබේදැයි නිවසේදීම පරීක්ෂා කල හැක. ඉහත රූපයේ ආකාරයට දණහිස් නොනමා ඉදිරියට නැමීමට සලස්වා අසමානතාවක් ඇත්නම් අදාළ වෛද්‍යවරයකු වෙත හැකි ඉක්මනින් යොමුකල යුතු වේ.

ගැහැණු දරුවන්ගේ ඉතා වැදගත් කාරණය වන්නේ ඔවුන් වැඩිවියට පත්වීමට ආසන්නයේ ඉතා සීඝ්‍ර දේහ වර්ධන වේගයක් පෙන්නුම් කිරීමයි. ඒ හේතුවෙන් පැතිකුද තත්ත්වයක් තිබුණහොත් මෙම කාල සීමාවේදී එය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ. එමනිසා වැඩිවියට පත්වීමට පෙර හෝ වැඩිවියට පත්වන කාලසීමාවේදී මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

පැතිකුදය ඇතිවන හේතු සහ එහි වර්ගීකරණය 

පැතිකුදය එය හටගන්නා හේතුව මත පහත ආකාරයට වර්ගීකරණය කළ හැක.

  • හේතුවක් නොදන්නා පැතිකුද තත්ත්ව (Idiopathic scoliosis)
  • මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුද තත්ත්ව (Neuromuscular scoliosis)
  • සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුද තත්ත්ව (Congenital scoliosis)
  • අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුද තත්ත්ව (Degenerative scoliosis)

මෙයින් පළමුවෙන් සදහන් කළ වර්ග 3 වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ පැතිකුද තත්වයන්ය.

 

හේතුවක් නොදන්නා පැතිකුදය (Idiopathic scoliosis)

මෙම පැතිකුද වර්ගය හටගන්නා හේතුව නොදන්නා අතර ඉතා බහුලව දක්නට ලැබෙන වර්ගයයි. එය හටගන්නා වයස් පරතරය අනුව වර්ග 3කට බෙදිය හැක.

1) ළදරු අවදියේ හටගන්නා පැතිකුදය (Infantile Idiopathic Scoliosis) – 0.5%

මෙය උපතේ සිට අවුරුදු 3ත් අතර ළදරුවන්ගේ හටගන්නා පැතිකුද තත්ත්ව වන අතර වෙනත් උපතින්ම හටගන්නා ආබාධ නොමැති අවස්ථාවලදී හඳුනාගනී. 

2) බාල අවදියේ හටගන්නා පැතිකුදය (Juvenile Idiopathic Scoliosis) – 10.5%

මෙම පැතිකුද තත්වය අවුරුදු 4ත් 10ත් අතර බාල දරුවන්ගේ හටගන්නා අතර වැඩි වශයෙන් පිරිමි දරුවන්ගේ දක්නට ලැබේ. මෙම පැතිකුද තත්ත්වය වැඩි වශයෙන් උරස් ප්‍රදේශයේ ඇතිවන අසාමාන්‍යතාවක් ලෙස දක්නට ලැබේ. එමනිසා මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් බරපතල ලෙස හෘදය හා පෙනහලු වලට බලපානු ඇත.

3) නව යොවුන් වියෙහි හටගන්නා පැතිකුද(Adolescent Idiopathic Scoliosis) – 89%

මෙය දරුවන්ගේ ඉතාමත් බහුලවම හටගන්නා පැතිකුද තත්ත්වය වන අතර අවුරුදු 10ත් 18ත් අතර කාලයේදී (අස්ථි පරිණතභාවයට පත් වීමට පෙර) හටගනී. ගැහැනු දරුවන්ගේ බහුලව දක්නට ලැබෙන අතර, 4 – 5% ක ප්‍රමාණයක නව යොවුන් දරුවන්ගේ මෙය හටගනී. කළින්  සදහන් කළ පරිදි වැඩිවියට පත්වන අවදියේ මෙය සීඝ්‍ර ලෙස වර්ධනය වේ.

 

මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුදය (Neuromuscular scoliosis)

කොදුඇටපෙළ ශක්තිමත්ව සහ ස්ථාවරව තබාගැනීමට උපකාර වන මාංශපේෂි නිසි ආකාරව ක්‍රියා නොකරන රෝගී අවස්ථාවලදී මෙම පැතිකුද තත්ත්වය හටගනී. එනම්, කොදුඇටපෙළ ශක්තිමත්ව තබාගන්නා මාංශපේෂි දුර්වල වූ අවස්ථාවල හෝ ඒවා ප්‍රමාණය ඉක්මවා තද වූ අවස්ථාවල මෙම පැතිකුදය හටගනී. එය පහත දැක්වෙන රෝගී අවස්ථාවලදී හටගත හැකිය.

ස්නායු ආශ්‍රිත ‍රෝග

  • මස්තිෂ්ක ආඝාතය (Cerebral palsy)
  • පෝලියෝ (Poliomyelitis)
  • කොදුඇටපෙළෙහි මාංශපේෂි ක්ෂීණවීම (Spinal muscle atrophy)
  • සුෂුම්නාව හා ස්නායු දේහයෙන් පිටතට නෙරායාමේ තත්ත්ව (Myelomeningocele)
  • කොදුඇටපෙළ ආශ්‍රිතව සුෂුම්නාවට හානිවන අවස්ථා (Spinal trauma)

මාංශපේෂි ආශ්‍රිත රෝග;

  • උපතින්ම සිදුවන හන්දි තදවීම් (Congenital joint contracture/Arthrogryposis)
  • ක්‍රමක්‍රමයෙන් මාංශපේෂි පරිහානි වීමේ තත්ත්ව (Duchenne Muscular Dystrophy)

සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුදය (Congenital scoliosis)

මෙම පැතිකුදය මිනිසුන්ගේ උපතේ සිටම ඇතිවන තත්වයකි. එයට හේතුව වන්නේ කොදුඇටපෙළ නිර්මාණය වීමේදී නිවැරදි ලෙස අස්ථි නියමිත හැඩයෙන් එකිනෙක සම්බන්ධ නොවීමයි. අලුත උපන් ළදරුවන්ගේ 10,000න් එක් අයෙකුට මෙම රෝගී තත්වය හටගනී. එය ඔබට පහත ආකාරයට සරළව උපකල්පනය කළ හැක.

“සෘජුකෝණාස්‍රාකාර ගඩොල් කැට එක මත එක තැබීමෙන් ලැබෙන සෘජු ආකාර ස්ථම්භය නීරෝගී කොදුඇටපෙළ යැයි උපකල්පනය කළහොත්, මෙම රෝගී තත්ත්වයේදී එහි මැදින් ත්‍රිකෝණාකාර ගඩොලක් පිහිටයි. එමනිසා මුළු කොදුඇටපෙළම එක් පසකට නැමීමක් හෝ වක්‍ර වීමක් සිදුවේ”

අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුදය (Degenerative scoliosis)

වයස්ගත වීමේදී සිරුරෙහි ඇතිවන ස්වභාවික වෙනස්කම් හේතුවෙන් සුෂුම්නාව සහ ඊට ආශ්‍රිත ව්‍යුහයන් පරිහානියට පත්වීම නිසා මෙය හටගනී. සාමාන්‍යයෙන් වයස අවුරුදු 65ක් පමණ වනවිට මේ තත්වය හටගනී.

පැතිකුදය සඳහා වන ප්‍රතිකාර සහ විසදුම්

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණයක් (spinal brace/spinal orthosis) මගින් පැතිකුද තත්ත්වයට ප්‍රතිකාර කිරීම සිදුකල හැක. පැතිකුදය නිවැරදි කිරීම සඳහා ඉතාමත් ඵලදායි සහ සරළම ක්‍රමය වන්නේ ආධාරක උපකරණ (spinal brace) පැළදීමයි. එමගින් කොදුඇටපෙළෙහි ඇතිවන වක්‍රතාවය තවතවත් වැඩිදියුණු වීම අඩාලවීම හෝ නැවතීම සිදුවේ.

Spinal orthosis brace

ඉතාමත් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීම සදහා මෙම උපකරණය අදාල කාලසීමාව තුල අදාල පැය ගණන (දිනකට) පැළඳිය යුතු වේ. අස්ථි වර්ධ‍නය නතර වන කාලසීමාව වන තෙක්ම මෙය පැළදීම වඩාත් යෝග්‍ය වේ. තවදුරටත්, මෙම පැතිකුද තත්ත්වය නිවැරදි කළ හැකි උපරිම මට්ටමට ළගාවීමට නම් භොතචිකිත්සක (physiotherapy) ප්‍රතිකාර ක්‍රම සිදුකිරීම අනිවාර්ය වේ. එමගින් කොදුඇටපෙළෙහි මාංශපේෂි සමබරව පවත්වා ගැනීමෙන් දේහ ඉරියව් නිවැරදි මට්ටමට හැඩගස්වා ගැනීම සිදුකළ හැකිවේ. මෙහිදී එක් එක් රෝගියාට වෙන් වෙන්ව විශේෂිත වූ ක්‍රම ඔස්සේ පැතිකුදයේ වක්‍රතාවය නිවැරදි කිරීමට අදාල ව්‍යායාම සිදුකරන අතර ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු වලදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනු ලැබේ. 

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණ (spinal brace/spinal orthosis) පිළිබඳව වැඩි විස්තර ඉදිරි ලිපියකදී බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අංගාදේශක හා ඍජුකරණඥවේදී (Orthotist and Prosthetist) අරුණ මදුරංග මහතා

ජාතික රෝහල

කොළඹ

 

 

මේ හා සම්බන්ධව වැඩි දුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් 0774116964 අංකයට අමතන්න. 


                

ආර්තවාභාවය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවකගේ ජීවිතයේ ආර්තවාභාවය/ ආර්තවාභාවහරණය (Menopause) යනු ඔසප් චක‍්‍රය නැවතීමයි. මෙය සාමාන්‍යයෙන් අවුරුදු 45 – 50 අතරදී සිදු වේ. කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිෂ්පාදනය කිරීම නැවතීම හේතුවෙන් ආර්තවහරණය සිදු වේ. ආර්තවහරණය සිදුවීමට වසර කිහිපයක පෙර සිට වෙනස්කම් සහ ලක්‍ෂණ ආරම්භ වේ. මෙහිදී පහත ලක්‍ෂණ ඇති වේ. 

ආර්තවහරණය පෙර පෙන්නුම් කරන ලක්‍ෂණ

  • ඔසප් චක‍්‍රයේ වෙනස්කම්
  • මෙහිදී ඔසප් චක‍්‍රය සාමාන්‍ය පරිදි නොව නැවතීමට ආසන්න කාලයේදී දිගු හෝ කෙටි වේ. එසේම රුධිරවහනය අධික වීම හෝ කලින් පැවති ප‍්‍රමාණයට වඩා අඩුවීම. 
  • එසේම ඔසප් චක‍්‍රයන් දෙකක් අතර ඇති වන රුධිර වහනය දැකිය හැක. 
  • ශරීරය උණුසුම්/රත් පැහැවීම හෝ රාත‍්‍රියට දහදිය දැමීම.
  • නින්ද සඳහා ගැටළු ඇති වීම/ බාධා ඇති වීම.
  • යෝනිය ආශ‍්‍රිත වියලි වීම. 
  • මානසික ස්වරූපය වෙනස්කම් (කාන්සාව/මානසික අවපීඩනය)
  • වෙව්ලීම
  • බර වැඩිවීම සහ පරිවෘත්තිය සෙමින් සිදු වීම
  • කෙස් තුනි වීම හා වියලි සම
  • පියයුරු වල පිරුණු ගතිය අඩුවීම හා අල්ලන විට වේදනාව 
  • ලිංගිකත්වයට ඇති කැමැත්ත අඩුවීම 
  • හිසරදය
  • අත් පා හිරි වැටීම 
  • තෙහෙට්ටුව
  • රසයෙහි වෙනස්කම්
  • සන්ධි වේදනාව/පේශී වේදනාව 
  • මතකයේ වෙනස්කම්
  • නොරිස්සුම් ස්වභාවය

ආර්තවාභාවය ප‍්‍රධාන ලෙස අවධි 3 කි. 

  1. Perimenopause – ආර්තවාභාවය ඇති වීම ආරම්භ වන කාලයයි. මෙහිදී හෝමෝන ප‍්‍රමාණය අඩුවීම ආරම්භ වන අතර අක‍්‍රමවත් වේ. සමහර විට ශරීරය උණුසුම් වීම හෝ යෝනිය වියලි වීම ආදී ලක්‍ෂණ ඇති විය හැක. 

2.Menopause – හෝමෝන නිෂ්පාදනය නවතින විට ක‍්‍රමයෙන් මාස 12 ක කාලය තුලදී නැවතීමේ ලක්‍ෂණ ඇති වෙමින් අවසානයේදී නවතී. 

3.Postmenopausal – ආර්තවාභාවයෙන් පසු කාලයයි. ආර්තවාභාවයට පසුව බොහෝ විට සෞඛ්‍ය ගැටළු එනම් අස්ථි දිරායාම (Osteoporosis) හා හෘද රෝග වැනි තත්ත්ව ඇතුළු වීම බහුල වේ. ආර්තවය නැවතී ඉන් විවේකය ගන්නා කාලයයි. 

ආර්තවාභාවයෙන් පසුව රුධිරවහනය 

ආර්තවාභාවයෙන් පසුව රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එසේ වන්නේ හෝමෝන අඩුවීමේ අතුරු ආබාධ ලෙසය. සමහර අවස්ථාවලදී යෝනියේ මෙම වියලි ගතිය හේතුවෙන් ලිංගික සංසර්ගයෙන් පසුව සුළු රුධිරවහනයක් හෝ රුධිර බිංදු කිහිපයක් පිටවිය හැක. එසේම සමහර අවස්ථාවලදී මෙසේ ඇති වන රුධිර වහනය පහත සෞඛ්‍ය තත්ත්ව නිසා ඇති වේ. 

  • Endometrial hyperplasia/uterine fibroids
  • ආසාධන. (Endometritis)
  • පිළිකා 

මේ නිසා ඉහත ආකාරයේ රුධිර වහනයකදී වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

ආර්ථවාභාවයෙන් පසුව ඇති වන ලක්‍ෂණ සඳහා ප‍්‍රතිකාර 

හෝමෝන ප‍්‍රතිකාර

අවුරුදු 60 අඩු අය සඳහා නියම කරයි. එසේම හෝමෝන ප‍්‍රතිකාරය මගින් රුධිර කැටි ඇතිවීමේ අවදානමක් පවතින අතර එමගින් ආඝාතය (stroke) තත්ත්වය ඇති විය හැක.

  • මානසික අවපීඩනය/ආතතිය සඳහා මානසික ස්වරූප වල වෙනස්කම් සඳහා ලබාදෙන ප‍්‍රති අවපීඩන ඖෂධ (antiDepressant drug)
  • ලිංගික සංසර්ගයේදී යෝනියේ වියලිභාවය නිසා වේදනාව ඇති වේ. මෙය වළක්වා ගැනීමට ක‍්‍රීම් වර්ග ලබා දේ 
  • ශරීරය රතු වීම/උණුසුම් බව අඩු කිරීමට Gabapentin වැනි ඖෂධ ලබාදේ. 

මෙහිදී ඇති වන තත්ත්වයන්/අපහසුතා මගහැරවීමට ගත හැකි ස්වයං ක‍්‍රියාමාර්ග ලෙස ජීවන රටාව වෙනස් කිරීම හෝ නිවසේ විසීමේදී වෙනස්කම් ඇති කරගැනීම තුල මෙම ලක්‍ෂණ මගහරවා ගත හැක. ලිංගික සංසර්ගයේදී ජල මිශ‍්‍රිත ස්නේහකයක් භාවිතය මගින් එම අවස්ථාව වඩාත් ප‍්‍රීතිමත් තත්ත්වයකට පත් කරගත හැක. ස්නේහකය මගින් යෝනි මාර්ගය වියලි බව, වේදනාව මගහරවයි. ක‍්‍රමානුකූල ව්‍යායාම, භාවනා ක‍්‍රම හා වෙනත් ඉහිල් වීමේ ක‍්‍රියාමාර්ග මගින් මානසික අවපීඩනයට පත් වීම හා ආර්තවාහරණයේ අතුරු ආබාධ වළක්වයි. 

  • Phytoestrogen (එනම් Estrogen ලැබෙන පැලෑටි ආශ‍්‍රිත ප‍්‍රභවයන්) ආහාරයට වැඩිපුර එකතු කරගැනීම – ධාන්‍ය වර්ග, flaxseed, chickpeas, legumes
  • alcohol භාවිතය අඩු කිරීම. 
  • Hot flashes – ශරීරය උණුසුම් රත් පැහැවීම වළක්වා ගැනීමට සිසිල් ජලය පානය, විදුලි පංකා අසල නිදාගැනීම/වාඩිවීම. තුනී ඇඳුම් ඇදීම. 
  • ශ්‍රෝනි පත්ල ශක්තිමත් වන ව්‍යායාම සිදු කිරීමෙන් මුත‍්‍රා වහනය වීම වළක්වා ගැනීම 
  • මතකය පිළිබඳ ගැටළු වළක්වා ගැනීමට සමාජීය හා මානසික ලෙස ක‍්‍රියාකාරී වීම. 
  • දුම්පානයෙන් වැළකීම. 

ආර්තවාභාවයෙන් පසු ඇති විය හැකි රෝගාබාධවල අවදානම 

  • රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග

ඊස්ට‍්‍රජන් හෝමෝනය මගින් රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිතව ඇති වන හෘද රෝග, ආඝාතය වැනි තත්ත්ව ඇති වීමෙන් ආරක්‍ෂා කරයි. මේ නිසා ආර්තවාහරණයත් සමග ඇති වන අධික කොලෙස්ටෙරෝල් ඇති වීම අධික රුධිර පීඩනය ඇති වීමේ සාමාන්‍ය තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය මගින් රුධිර සංසරණ රෝග තත්ත්ව සඳහා මගපෙන්වයි. 

  • හෘද රෝග

සෞඛ්‍යමත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකීම හා ක‍්‍රමානුකූල ව්‍යායාම මගින් හෘද රෝග ඇති වීම වළක්වයි.

  • Osteoporosis

ඊස්ට‍්‍රජන් හෝමෝනයේ මට්ටම අඩු වීමත් සමග ඇති වන ආරීතවාභවයේදී අස්ථි වල ඝනත්වය 25% කින් අඩු වේ. (දල වශයෙන් වසරකට 1%-2%) අස්ථි වල ඝනත්වය අඩුවීම හේතුවෙන් මෙම ත්තත්වය හා අස්ථි බිඳීම වැඩිවේ. විශේෂයෙන් උකුල, මැණික් කටුව, සුෂුම්නාව ආදියේ අස්ථි බිඳීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇත. 

  • Virginal atrophy

රුධිරයේ ඊස්ට‍්‍රජන් හෝමෝන මට්ටම අඩුවීමත් සමග යෝනි මාර්ගයේ ඇති පටක ඉතා තුනී වේ. එසේම ක්‍ෂය වීම ආරම්භ කර ඇත. මේ හේතුව නිසා යෝනි මාර්ගය වියලි වේ. එසේම ඊස්ට‍්‍රජන් හෝමෝනය අඩුවීම තුල මුත‍්‍රාගර්භය හා මුත‍්‍රාශය තදවීම තුල මුත‍්‍රා වැඩිවීමක් සිදුවිය හැක. 

  • Mental Health issues

ආර්තවාභාවයෙන් පසුව බොහෝ කාන්තාවන්ගේ ස්වරූපයේ වෙනස්කම්, කාංසාව හා මානසික අවපීනය ඇති වේ. මේ තත්ත්ව ඇති වීමට මානසික ආතතිය, ලිංගික ආතතිය හෝ ශරීරයේ වෙනත් අභියෝග පැවතීම මීට හේතු වේ. සමහර කාන්තාවන්ට තමාට දරුවෙකු සෑදීමේ හැකියාව නොමැති වීම ගැන දුකක් ඇති වේ. මෙහිදී මෙම තත්ත්වයන් දිගින් දිගට පවතීනම් උපදේශන සඳහා යොමු කළ යුතුය. 

ආර්තවාභාවයට හේතූ

  • ස්වභාවික ප‍්‍රජනක පද්ධතිය ආශ‍්‍රිතව හෝමෝන අඩුවීම. 

අවු.30 ලඟාවීමත් සමග කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලින් නිපදවන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් ප‍්‍රමාණය අඩුවීම ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරන මෙම හොමෝන අඩුවීම තුල දරුවෙකු සෑදීමේ හැකියාව අඩු කරවයි. 

  • ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම (oophorectomy)

ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොසේටෙරෝන් ඇතුළු හෝමෝන නිපදවයි. මේවා මගින් ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරයි. ශල්‍යකර්මයකින් ඩිම්බ කෝෂ ඉවත් කිරීම මගින් හදිසියේ ආර්තවාභාවය සිදු වේ. එවිට ආර්තවාභාවයෙන් පසුව ඇති වන ලක්‍ෂණ ඇති වේ. අවුරුදු කිහිපයක සිට ක‍්‍රමයෙන් ඇති වන ආර්තවභාවයට වඩා මෙහිදී ඇති වන ආර්තවාභවය ආශ‍්‍රිතව පවතින ලක්‍ෂණ වඩා තීව‍්‍ර වේ. 

ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ ඉවත් නොකර ගර්භාෂය පමණක් ඉවත් කළ විට (Hysterectomy) ඉක්මන් ආර්තවාභාවයක් ඇති නොවේ. දිගු කාලීනව ඔසප් චක‍්‍රය නොනැවතුනද ඩිම්බ කෝෂ පවතින නිසා ඩිම්බ සාදන අතර ඊස්ට‍්‍රජන් හා ප්‍රෙජෙස්ටෙරෝන් ශ‍්‍රාවය කරයි. 

  • පිළිකා තත්ත්ව සඳහා ලබාදෙන ඖෂධ ප‍්‍රතිකාර (Chemotherapy) හා විකිරණ ප‍්‍රතිකාර (Radiotherapy)

ප‍්‍රතිකාර ලබාදෙන කාලය තුලදී ආර්තවාභාවය ඇති වීමට පටන් ගන්නා අතර ලක්‍ෂණද ඇති වේ. (ශරීරය උණුසුම් රත්පැහැවීම් – Hot flashes) ඖෂධ ප‍්‍රතිකාර වලින් පසුව ඔසප් චක‍්‍රය නැවතීම ස්ථිර නැත. විකිරණ ප‍්‍රතිකාර ඩිම්බ කෝෂ වල ක‍්‍රියාකාරීත්වයට බලපායි. සෘජුවම විකිරණ ප‍්‍රතිකාර ඩිම්බ කෝෂ වලට ලැබුණහොත් මෙම තත්ත්වය ඇති විය හැක. නමුත් පියයුරු පටක, බෙල්ල, හිස ආදී ස්ථාන වලට විකිරණ ප‍්‍රතිකාර ලබාදීම තුල ආර්තවාභාවයක් ඇති නොවේ. 

  • Primary Orarion insufficiency

කාන්තාවන්ගේ 1% පමණ අවුරුදු 40 පෙර ආර්තවහරණය සිදු වේ. (Premature menopause). මෙසේ වීමට හේතුවන්නේ ඩිම්බ කෝෂ මගින් සාමාන්‍ය ප‍්‍රජනක හෝමෝන මට්ටමක් නිෂ්පාදනයට අපොහොසත් වීමය. 

මෙයට ජානමය හේතුවක් හෝ ස්වයං ප‍්‍රතිශක්තීකරණ රෝගයක් හේතුවිය හැක. 

ආර්තවාභාවය තහවුරු කිරීම

  • සායනික පවතින ලක්‍ෂණ මගින්
  • රුධිර පරීක්‍ෂණ.
  • කූප උත්තේජක හෝමෝනය – Follicle Stimulating Hormone (FSH) ආර්තවාභාවය ආසන්නයේදී රුධිරයේ මෙම හෝමෝන මට්ටම ඉහළ යයි 
  • Estradiol – ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් සාදන ප‍්‍රමාණය මැනීම
  • Thyroid Hormones – මෙමගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ගැටළු ඇත්නම් හඳුනාගත හැක. එම ගැටළු ආර්තවය සඳහා බලපාන අතර ආර්තවහරණය වැනි ලක්‍ෂණ ඇති විය හැක. 
  • Anti-Mullerian Hormone (AMH) – ප‍්‍රජනක පටක මගින් මෙම හෝමෝනය නිපදවයි. එමගින් ඩිම්බ කෝෂ වල ඩිම් ඇති දැයි අවබෝධ කරගත හැක. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


                

ගැහැනු දරුවන්ගේ යෝනිය නොපිහිටන අවස්ථා ගැන ඔබ අසා ඇතිද?

කලාතුරකින් නවජ ගැහැනු දරුවන් අතර දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස යෝනි විවරය වැසී තිබීම හෝ යෝනි විවරය නොපිහිටීම මව්වරුන් තරමක් කලබලයට පත්කරන තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වයේදී ඇතැම් විට යෝනිය වර්ධනය වී නොමැති අතර ගර්භාෂයේ කොටසක් වර්ධනය වී හෝ ගර්භාෂය නොපිහිටීම වුවද සිදුවිය හැක. 

මේ තත්ත්වයේදී ගැහැනු දරුවෙකු වැඩිවියට පත්වන තුරු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතරම වයස අවුරුදු 13 – 15 වන විට වැඩිවියට පත් නොවීම නිසා ඒ පිළිබඳ ප‍්‍රතිකාර ගැනීමේදී හඳුනාගනී. 

යෝනි විවරය වැසී ඇති විටපෙන්නුම් කරන ලක්‍ෂණ ලෙස,

  • ගර්භාෂය සහිත ගැහැණු දරුවන්ට වේදනා සහිත දුරාවර්ථය (Amenorrhea) එනම් වේදනා ඇති වන අතර රුධිරය පිටවීමක් (මාසිකව ඔසප් වීමක්) නොමැත. 
  • ගර්භාෂය පිහිටා නොමැති දරුවන්ට ඔසප් චක‍්‍රයක් ඇති නොවන නිසා වේදනා රහිත දුරාර්ථවය එනම් ඔසප් වීමක් සිදු නොවන අතර යටි උදර වේදනාවක් නොපවතී. 

යෝනි විවරය වැසීමට හේතූ

මෙයට පැහැදිලි හේතුවක් නොමැති මුත් විද්‍යාඥයින් අදහස් කරන්නේ ගර්භනී කාලයේ මුල් සති 20 තුල Mullerian ducts මනා ලෙස වර්ධනය වී නොමැති වීමයි. සාමාන්‍යයෙන් මෙම නාල වලින් එකක් ගර්භාෂය හා යෝනිය තුලට වර්ධනය වන අතර අනෙක පැලෝපීය නාල තුලට වර්ධනය වේ. 

යෝනි විවරය වැසීමේ තත්ත්වය හඳුනා ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ මෙන්ම MRI ස්කෑන් පරීක්ෂණ සිදුකරයි.

යෝනි විවරය වැසුණු දරුවෙකුට ලබා දෙන ප‍්‍රතිකාර

සමහර තරුණ කාන්තාවන්ගේ යෝනිය ශල්‍යකර්මයක් නොමැතිව සාදයි. කුඩා නාලයක් විස්තාරන කර එම ස්ථානයේ සම හරහා තද කර දිනකට විනාඩි 15 – 20 ක කාලයක් තබාගනී. මෙය වඩාත් පහසු වන්නේ ස්නානය කිරීමෙන් පසුව වේ. ඊට හේතුව වන්නේ ස්නානයෙන් පසු සම මෘදු වන අතර හා ඇඳීමට පහසු වීමයි. මෙය තමාටම කරගත හැකි වේ. මෙය කල හැක්කේ එම ස්ථානයේ සිදුරක් ඇති කාන්තාවන්ට පමණි. 

එසේතු නැතිනම් ශල්‍යකර්මයක් (Vaginoplasty) මගින් සාදයි. මෙහිදී සම බද්ධ තිරීමෙන් හෝ මුඛයේ හකු පෙදෙස් ශ්ලේෂමල කොටස (කම්මුල ඇතුලත ස්ථරය) ගෙන හෝ මහන්තක කොටසක් ගෙන බද්ධ කරයි. 

සම බද්ධ කිරීමේ ක‍්‍රමයේදී ශල්‍ය වෛද්‍යවරයා රෝගියාගේ තට්ටම පෙදෙසින් ඉතා තුනී සමේ කොටසක් ගෙන එය යෝනියක ආකාරයට සාදයි. කෘත‍්‍රීම ආකාරයේ සමකින්ද මෙය සෑදිය හැකි බවට මෑතකදී නිර්දේශ කර ඇත. වෛද්‍යවරු විසින් යෝනිය සාමාන්‍යයෙන් පිහිටන ස්ථානයේ කුඩා කැපුමක් සිදුකර එනම් ගුදය හා මුත‍්‍රා මාර්ගය අතර කෘත‍්‍රීමව සාදන ලද යෝනිය (mold) කැපුම හරහා ඇතුල් කර යෝනියේ ඇතුලත සාදයි. ශල්‍යකර්මයෙන් සතියක් ගත වන තුරු ඇඳ විවේකය ගත යුතුය. එම රෝගියාට මුත‍්‍රා පිට කිරීම සඳහා කැතීටරයක් ඇතුල් කරයි. මෙම ඇතුල් කරන ලද අච්චුව (mold) එක දින 7 කින් ඉවත් කරයි. 

මහන්තක මගින් සිදු කරන ක‍්‍රමය

මෙය වඩාත් සංකීර්ණ ක‍්‍රමයකි. ශල්‍යකර්මයට පෙර දින අන්තක හිස් කළ යුතු අතර මල හා එහි සිටින බැක්ටීරියා ඉවත් කල යුතුයි. ශල්‍යකර්මය කරන අතර තුරදි මහන්තක වල පහල කොටසක් උදරය හරහා කැපුමක් කර ඉවත් කරගනී. අන්තක වල එක් කොටසක් වසා දමයි. අන්තක වල විවරය යෝනි විවරය වන ලෙසට වැසීමක් කරයි. ශල්‍යකර්මයෙන් පසු අච්චුව (mold) කෘතී‍මව යෝනි විවරයට ඇතුල් කර දින 3 ක් තබයි. මුත‍්‍රා පිට කිරීමට කැතීටරයක් ඇතුල් කරයි. 

ශල්‍යකර්මයෙන් පසු

සම බද්ධ කිරීම මගින් සාදන කෘත‍්‍රීම යෝනියේදී ශල්‍යකර්මයෙන් මාස 3 ක් යනතුරු යෝනි විස්තාරකයක් (Vaginal dilator) පැලඳ සිටිය යුතුයි. එය ඉවත් කල යුත්තේ මළ හෝ මුත‍්‍රා පිට කිරීමේදී, සේදීමේදී/නෑමේදී හා ලිංගික සංසර්ගයේදී පමණි. මාස 3 න් පසු මාස 6 ක් යනතුරු රාත‍්‍රියට පමණක් පැලඳ සිටිය යුතුය. යෝනිය පටුවීම හෝ තදවීම මෙහි ඇති වන අතුරු ආබාධ වේ. 

ප‍්‍රතිකාරයෙන් සති 4 – 6 පසු ලිංගික සංසර්ගයේ යෙදීමට හැක. සාමාන්‍ය යෝනි පටක වල මෙන් ස්නේහක ද්‍රව්‍ය නොමැති නිසා සංසර්ගයේදී කෘත‍්‍රීම ස්නේහකයක් භාවිත කළ යුතු වේ. මෙහිදි වින්දනයක් ලබාගත හැකිවන්නේ මණිකය (clitoris) කොටස උද්දීපනය වීමෙනි. ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය පවතී නම් දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව පවතී.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල