දරුවනේ …. නුඹ අවදියෙන් නම් – මේ ලොවේ සොඳුරුම වෙලාවයි.

මව්කුසයේ සිට මෙළොවට පැමිණෙන පුංචි පැටියා හැමදාම තොටිල්ලට සීමා වෙන්නේ නැහැ. තොටිල්ලේ ලී වැටෙන් පැනලා ලෝකය දකින දවසක් උදා වෙනවා.අපි හැමදෙනෙක්ම පුල පුලා බලා සිටින්නේ ඒ දවස උදා වෙන තෙක් දෙමව්පියන් ඇගිලි ගනිනවා.

ඉතින් මේ විදිහට දිනෙන් දින ගෙවන පැටියා පරිසරයත් සමග සමීප කිරීමත් ඉතාම වැදගත්. ඉස්සර කාලයේදී මාස හතරක් විතර වෙන විට පැටියා නිවසෙන් පිටතට අරගෙන ඇවිත් වත්තේ පිටියේ ඇවිදිනවා. මේ කාලයට දරුවාට කොළ පැහැයෙන් මල පහ පිටවෙනවා. විද්‍යාත්මක සත්‍ය කුමක් වුනත් අතීතයේ අත්තම්මලානම් කිව්වේ ගස් වැල් දකින විට දරුවාගේ මලපහ කොළ පැහැයට හැරෙන බවයි.නමුත් මේ ක්‍රියාවලිය ජීවවිද්‍යාත්මක සම්බන්ධයක් සමග ගැලපෙනවා ඇති. ඒ කොහොම වුනත් අතීතයේ පටන්ම දෙමව්පියන් දරුවා පරිසරයට සමීප කිරීමට දැක්වූ කැමැත්ත පට එයින් පෙනී යනවා.

අද බොහෝ දරුවන් කොටුවකට සීමා වෙනවා…

අද කාලයේ නිවසක පිහිටි වපසරිය අනුව මිදුලක් හෝ වටපිටාවක් ඇත්තේම නැහැ.ඒ නිසා බොහෝ දරුවන් ගේ මැද සාලෙයේ කොටුවක් සාදා එහි තබා දෙමව්පියන් තම තමන්ගේ වැඩ කටයුතු කර ගන්නවා. කාලයේ හැටියට එහි වරදක් නැති වුනත් ඔබට අවස්ථාවක් ලද විටක හෝ දරුවා සමග අවට පරිසරයට සම්බන්ධ වෙන්න. දරුවාට යම් දැණුම් තේරුම් කාලයක් එලැඹෙන විට ගහ කොළ , මල් පළතුරු පෙන්වන්න. දරුවන්ගේ සිත් මල් මෙන් මුදු සුමුදු බැව් අපි දන්නවා. ඒ වගේම මලකත් පෙති බොහොම මුදු මොලෙක් ගතියෙන් යුක්තයි. මලක පෙති විහිදෙන අන්දම දරුවාට පෙන්වන්න.මලක් පිපෙන්නේ පරිසරය ලස්සන කිරීමට බැව් දරුවාට කියා දෙන්න.

පරිසරයට ආදරය කරනවා…

අද පරම්පරාවම පරිසරයට ආදරය නැතැයි අපි චෝදනා කරනවා. ඇත්තටම ගහ කොළ කියන්නේ  ජීවයක්. පරිසර සංවේදී සිත් ඇති දරුවන් කිසිම දිනක ගහ කොළ මල් පළතුරු විනාශ කරන්නේ නැහැ. එක් දාමරික ත්‍රස්තවාදී පුද්ගලයෙක් පාසල් වයසේදී පවා සාක්කුවේ ලේනුන් අරගෙන ගොස් බ්ලේඩ් තලයෙන් කපන විනෝදාංශයක් තිබ්බා. ඇත්තටම ඔහු පසුකාලීනව බිහිසුනු අපරාධකරුවෙක්. ඔහුගේ ලෝකයම ලේ පිපාසයෙන් පිරී ගියා.ඒ නිසා බාලකාලයේ පටන්ම පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මානය කරන්න.එය ලෝකයටම ආශිර්වාදයක්.

පරිසරයේ රිද්මය කියා දෙන්න…

අපේ ජීවිතයට වගේම පරිසරයේත් රිද්මයක් තිබෙනවා. සුළඟ හමන විට, වළාකුලක් ගමන් කරද්දී, සීතල දිය දහරාවක් සෙලවෙන විට පවා යම් රිද්මානුකූලබවක් තිබෙනවා. ඒ බැව් දරුවාට පෙන්වා දෙන්න. ඔබ නිවස අවට පුංචි දියපාරක් නොමැති නම් එවැනි ලස්සන දොළක , ඇලක සීතල ජලය දරුවාගේ පයට දැනෙන්න ඉඩ දෙන්න. කරුවල වැටෙන විට කුරුල්ලන් කූඩු කරා යන අන්දම වගේම වවුලන් වැනි පක්ෂින්  ආහාර සොයා නිශාචර ගමනේ යෙදෙන රිද්මය කියා දෙන්න.

වැළි පෑගෙන්න ඉඩ දෙන්න…

අපි දරුවන්ට වැළි පෑගෙන්න දැන් ඉඩ දෙන්නේම නැහැ. පාවහන් නොමැතිව ඇවිදින විට යටිපතුලේ ඇති රුධිරනාල උත්තේජනය වීම සිදුවෙනවා. මෙම සංසිද්ධිය විදයාත්මකව පවා තහවුරු වී තිබෙනවා. ඉතින් ඔබේ පුංචි පැටියා පන්සලේ වැලිමලුවේ හෝ නිරාවරනය වුන දෙපා මතින් ඇවිද්දවන්න. එහි සැබෑම වාසිය දරුවාට ලැබෙනු ඇති.

උද්‍යානයකට යන්න….

විවේකයක් ඇති දිනක දුර ගමනක් සැලසුම් කරනවාට වඩා ළමා උද්‍යානයකට දරුවා කැටුව යන්න. එහි ඇති ඔන්චිල්ලාව, සී සෝ වැනි උපාංගවල  විනෝදයෙන් ක්‍රිඩා කිරීම නිසා ශාරිරික ව්‍යායාම පද්ධතියකට සම්බන්ධ වුන වාසිය දරුවා ලබනු ඇති. සුපිරි අවන්හලක පවා දිනක් ගත කරනවා නම් ඔබට එහි ඇති ළමා උයන, පිහිනුම් තටාකය අමතක කරන්න එපා. මේ හැම ඉසව්වකින්ම දරුවාට වටිනා ශාරිරික ව්‍යායාම ලබා ගැනීමට උදව් වෙන්න.

කවි ගීත ගායනා කරන්න..

සඳ පහන් රුයක දරුවා සමග මිදුලේ කොනක සිට පරිසරයට සම්බන්ද කවි ගීත කියා දෙන්න. 

තරු , සඳ ගැන කවි කියන්න. ඔවුන්ටත් සොබාදහම ගැන කවි ලියන්න කියා දෙන්න. පරිසරයට ආදරය කරන දරුවන්ට කිසිම දිනක වරදින්නේ නැති බැව් කියා දෙන්න. ගහක් යට ගිමන් හැරියත් එතැන පිරිසිදු කර පිටත් වීමට කියා දෙන්න. එවිට සුපිරි වාහනවලින් විත් මහපාරට හෝ අසල්වැසි නිවසක් අසලින් කුනු කසල මල්ල පාරට දමා යන පරම්පරාවක අවසානයක් ගොඩ නැගේවි. ගලන ජලයට කුනු කසල දමා අපිරිසිදු කිරීම පාපයක් බවත් ජලය පුජණීය බවත් කියා දෙන්න.දැණුම් තේරුම් වයසේ සිටින දරුවාට නම් සියැටල් නැමැති රතු ඉන්දීය නායකයා විසින් ඇමරිකාවේ ජනාධිපතිට යවන ලද පනිවිඩයේ ඇති අගය පෙනවා දෙන්න.

රකිමි මම පරිසරය- පරිසරය මා රකී…යන තේමාවට අනුව තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්නා අන්දම කියා දෙන්න.

සෑම විශිෂ්ට දෙයක්ම ආරම්භ වෙන්නේ තමන්ගේ හදවත තුලින්….

බිත්තරට පිටතින් බිදුනොත් එය ජීවයේ අවසානයයි….ඇතුලතින් බිදුනොත් ජීවයක ආරම්භයයි…..මේ සිදුවීම ජීවිතයේ පාඩමක් කර ගැනීමට උපදෙස් ලබා දෙන්න. ඒ නිසා නිතරම බිත්තරයක් පිටතින් බිඳ දමනවා වෙනුවට එය ඇතුලතින් බිඳී ජීවයක ආරම්භයක් වීමට ඉඩ දෙන මානසිකත්වය දරුවාගේ හදවතේ ගොඩ නගන්න. කැත දළඹුවා දුටු විට පිලිකුල් කරනවා නම් මේ කැත දළඹුවා අනාගත දිනක ලස්සන සමනළයෙකු වෙන ආකාරය කියා දෙන්න.ලෝකයම අවදි කරන කුරුළු ගීතයක මිහිර ඇසෙන්න සලස්වන්න.

පරිසරය නිසා සෞන්දර්යාත්මක සිතුවිලි ගොඩ නැගේ…

පරිසරය සමග සම්බන්ධ වීම යනු දරුවාගේ පෞරෂය වෙනුවෙන් අනාගත ආයෝජනයක් බවත් අමතක කරන්න එපා. ඒ වගේම දරුවන්ගේ නිර්මාණාත්මක සිතුවිලි සහ සෞන්දර්ය රස බාවයන් අවදිවීමට පරිසරයෙන් ලැබෙන දායකත්වය ගැන සුලුවෙන් සලකන්න බැහැ. මාර්ටින් වික්‍රමසිංහයන්ට සිය නිර්මානාත්මක  හැකියාවන් අවදි වීමට සිය මහගෙදර පිහිටි නිවසේ පරිසරය බෙහෙවින් බලපෑ බැව් එතුමා විසින්ම සදහන් කර තිබේ. ගුණපාල මළලසේකර වැනි වාග්විද්‍යාඥයෙකුටත් උදෑසන ගොස් මුහුදු වෙරලේ රැළි උස් පහත්වෙන රිද්මය දෙස බලා සීටීමෙන් මහත් සේ තෘප්තියක් ලද බැව් සදහන් කර තිබේ.

ඒ නිසා ඔබට හැකි විටෙක දරුවා සමග පරිසරයේ පැයක් වැනි කෙටි කාලයක් හෝ ගත කිරීමට වේලාවක් සොයා ගන්න. අවශ්‍යතාවයක් ඇත්නම් එය අපහසුවක් නොවේ.බොහෝ දෙනෙකු තුළ පරිසරයෙන් ලබන අත්දැකීම් මත ජීවිතය පෝෂණය වන බව වටහා ගෙන නැහැ. ඒ නිසා පරිසරය පුජණීය බව සිතන්න. දරුවන්ට ඒ පණිවිඩය ලබා දෙන්න. පරිසර හිතකාමී පමණක් නොව ලෝකයට වැඩදායක දරුවෙක් නිර්මානය කිරීමේ පළමු පාඩම එයයි.

 

 

පෞරුෂ ගති ලක්ෂණ හඳුනා ගනිමු

පුද්ගලයකු තවත් පුද්ගලයකුගෙන් වෙනස් වීම කෙරෙහි බලපාන්නේ  ඒ ඒ පුද්ගලයාට ආවේනික පෞරුෂ ගති ලක්ෂණයි. කෙනෙක් සිතන පතන හැසිරෙන ආකාරය එකී පුද්ගලයා දරා සිටින ආකල්ප හා විශ්වාස රාටාව මත පදනම් වන අතර මෙම සමස්තය පුදගලයකුගේ පෞරුෂයයි. වයස අවුරදු 30 න් පසු පුද්ගලයකුගේ පෞරුෂය ඝන අත්තිවාරමක් බවට පත්වන වී ඇති නිසා ඔහු වෙනස් කිරීම පහසු කාර්යයක් නොවන බව මනෝවිද්‍යාඥ පිළිගැනීම වන අතර එයින් ගම්‍ය වන්නේ පුද්ගලයකු සිතන පතන හැසිරෙන ආකාරය වෙනස් කිරීම අති දුෂකර කාර්යයක් බවයි.

මනෝවිද්‍යා විෂය ක්ෂෙත්‍රය තුල සුවිශේෂ පෞරුෂ අක්‍රමතා වර්ග 10 ක් පමණ හඳුන්වා දී ඇති අතර මේ සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රම ලෙස මනෝචිකිත්සන ක්‍රම ශිල්ප හඳුනාගෙන ඇත. 

පෞරුෂ ස්වභාවය හඳුනා ගැනීමේ ස්වයං ගවේෂණය

පෞරුෂ ලක්ෂණ හා ස්වභාවය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස මනෝවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති මූලික පෞරුෂ වර්ග කීපයක් මෙහිදී ඉදිරි පත් කරනු ලැබේ. මෙම පෞරුෂ ලක්ෂණවලින් කීපයක් හෝ යම් සම්මිශ්‍රනයක් හෝ මෙම වර්ගීකරණයන්ට හසු නොවන ගති ලක්ෂණ හෝ ඔබගේ පෞරුෂ ස්වභාවය තුළ තිබිය හැක. එනයින් මෙම ඉදිරිපත් කිරීම ඔබ පිළිබඳව යම් ස්වයං ගවේශණයක් කිරීම සඳහා යම්  මඟ පෙන්වීමක් වනු පිණිස පමණි. මූලික  පෞරුෂ ගති ලක්ෂණ පහක් OCEAN යන සංකේත නාමය ඔස්සේ වඩාත් ජනපියව ඇත. එනම්ල,

  • විවෘත භාවය (Openness)
  • සතිමත්ස්වභාවය (Conscientiousness)
  • බහිර්වර්තනය(Extraversion)
  • මනාපතා ගතිස්වභාවය (Agreeableness)
  • නියුරෝසීය ගති ස්වභාවය (Neuroticism) යන පහයි. 

ඒ ඒ පෞරුෂ ගතියට අදාල ගති ලක්ෂණ පහත පරිදි සංක්ෂිප්ත කොට දක්වා ඇත. 

විවෘත භාවය (Openness)

විවෘතභාව පෞරුෂ ගති ලක්ෂණ, නව අදහස් ආකල්ප නව නිර්මාණ වටිනාකම් සඳහා නැමියාවක් ඇත. නව සම්ප්‍රධායන් අගය කරීමට මෙන්ම සම්මත රාමුවට ඔබ්බෙන් කටයුතු කිරීමේ නැමියාව ඇති මෙම පෞරුෂ ගති ලක්ෂණ ඇත්තාවුන්  විවිධත්වය ප්‍රිය කරයි. මනංතෘෂ්ටිය (මනෝලොව) තුල සිටීමට ප්‍රිය කරන අතර නව මෝස්තර වැලද ගැනීයෙම් නැමියාව ඇත. 

සතිමත් ස්වභාවය (Conscientiousness)

මනා සංවිධානාත්මක බවින් යුතු මෙම පෞරුෂ ගතිස්වභාවය ඇති අය කලට වේලාවට වැඩ කිරීමේ පුරුද්දෙන් යුතු වූවෝ වෙති. පිළිවෙළ හා  ස්වයං විනයෙන් යුතු අතර අරමුණු දිශානතියක් ඔස්සේ වැඩ කිරීමේ නැමියාවෙන් යුතු වේ. භෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමේ නැමියාව කැපී පෙනෙන ලක්ෂණයකි. කාර්යක්ෂම බව රාජකරිය මැනවින් ඉටු කිරීමට ඇති කැමැත්ත මෙන්ම සතිය හා විචාරශිලී බවින් යුතු ගති ස්වභාවයත් ප්‍රබල ලෙස ස්වෝත්සාහයෙන් යුතු වීමත් කැපී පෙනෙන පෞැරුෂ ගති ලක්ෂණ වේ .

බහිර්වර්තනය(Extraversion)

බහුවර්තීය පෞරුෂ ගති ලක්ෂණ එනම්  සාමාජශීලී හා කණඩායම් සමඟ සුහඳශීලී බවින් යුතුව වැඩ කිරීමේ නැමියාවෙන් යුතු මෙම ගති ස්වභවය ඇති අය  සුභවාදී දැක්මකින් යුතු වූවෝ මෙන්ම හිතෛෂී ගති ස්වභාවයෙන් යුතු අයයි. සැහැල්ලු ගති ස්වභාවයයන්ගෙන් යුතු අතරම ආදරනීය බවින් යුතුය.

මනාපතා ගතිස්වභාවය (Agreeableness)

අන් අයගේ මත අදහස්  ආකල්ප තර්ක කිරීමකින් තොරව පිලිගැනීමේ ගති ස්වභාවය ඇති මොවුන් සමාව දීමේ මානසික ස්වභාවයෙන් යුතු වූවෝ වෙති. පරහිතකාමී ගුණය විශ්වාසවන්තව තටයුතු කිරීම මෙන්ම සෘජු පිළිවෙත් අනුගමනය කිරීමේ ගුනයෙන් ද යුතු සේම නිරන්තරයෙන් අන් අයට උපකාර කිරීමට පෙළඹේ.

නියුරෝසීය ගති ස්වභාවය (Neuroticism)

සුළු දෙයටත් කනස්සලු වීමේ ගතියෙන් යුතු සේම ඉක්මනින් කලබලයට පත් වීමේ ගතිය මෙන්ම කාංසාවෙන් පෙළීමේ ස්වභාවයෙන් යුතු අයයි. සෑහීමට පත් නොවන ස්වභාවය මෙන්ම හැඟීම්බර බව, කේන්තිය හා මානසික බිඳ වැටීමේ අවදානම් සහගත බව ද මෙම පෞරුෂ ගතියේ ලක්ෂණයි. 

ඉහත සඳහන් පෞරුෂ ගති අඩු වැඩි වශයෙන් පුද්ගලයන් තුල පිහිටා ඇති අතර බොහෝ පර්යේෂණ තුලින් පෙන්වා දෙන පරිදි නියුරෝෂීය පෞරුෂ ගති ලක්ෂණ වැඩි අය විශාදය, කාංසාව මෙන්ම  ඇබ්බැහිවීම් සඳඟා ගොදුරු වීමේ වැඩි අවධානමකින්  යුතුයි. 

මෙහිලා අවධාරණය කළ යුතු වැදගත් කරුනු දෙකකි. එනම්, තමන් පිළිබඳව ස්වයං අවලෝකනයක් ඇති කර ගැනීම හා තමන් සමඟ ජීවත් වන අය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම සඳහා පෞරුෂ ගතිලක්ෂණ පිළිබඳව දැනුවත් භාවය වැදගත් වන බවයි. තමන් පිළිබඳවම ස්වයං ගවේෂණයක්  කරගනිමින් තමන්ව දැකිම සඳහා  මෙම වර්ගීකරණය ඔස්සේ කෙනෙකුට මඟ විවර කරගත හැකිය. තමන්ගේ පෞරුෂ ස්වභාවය අවබෝධ කර ගනිමින් එම ගති ස්වභාවයන් එදිනෙදා පුද්ගල සබඳතා ශක්තිමත් කිරීමට තුඩු දෙන්නේද දුබල කිරීමට තුඩු දෙන්නේද තම සෞඛ්‍යමය යහපැවැත්ම (මානසික කායික අධ්‍යාත්මික හා සමාජීය) සඳහා රුකුල් දෙන්නේ ද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙම පෞරුෂ ස්වහාවය පිළිබඳව අවබෝධ ලබා ගැනීම වැදගත් වේ.

පෞරුෂ ගති වෙනස් කළ හැකි ද? 

වයස අවුරුදු 30 න් පමණ පසුව කෙනෙකුගේ පෞරුෂය වඩාත් ස්ථිතික බවින් යුත් ඝණ අත්තිවාරමක් බවට පත් වන අතරම වෙනස් කිරීම පහසු කාර්යයක් නොවේ. තමන් සතු යම් පෞරුෂ ගති ලක්ෂණයක් වෙනස් කර ගත යුතුයැයි  කෙනෙක් ස්ථීර හා පැහැදිලි  තීරණයකට එළඹේ නම් පමණක්  මුලික ප්‍රවේෂයන් තුනක් ඔස්සේ යම් සාධනීය වෙනසක්  සිදු කිරිමේ හැකියාව ඇත. එනම්,

  • සම්ප්‍රජානනය
  • සතතාභ්‍යාසකරණය
  • පරිසර නව්‍යකරණ යන ප්‍රවේෂයන්ය. මෙම ප්‍රවේෂයන් බොහෝ විට සමගාමීව සිදු කළ යුතු වේ.

මේ පිළිබඳව සවිස්තර සටහන් මෙන්ම පෞරුෂ අක්‍රමතා පිළිබඳවත් වැඩි දුරටත් ඉදිරි ලිපි තුල සාකච්ඡා කිරීමට නියමිතය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිද්‍යා උපදේශිකා, නිර්මාණාත්මක මනේචිකිත්සක ආචාර්යය කුමුදු ඒකනායක

 

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor


                

පළමු ප්‍රසුතිය සිසේරියන් නම් දෙවැන්න සිසෙරියන් වීම අනිවාර්යද?

මීට වසර කිහිපයකට කලින් දැරූ මතය වන්නේ පළමු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් නම් දෙවැන්න ද එසේ විය යුතු බවත් නමුත් වර්තමානයේ දී පළමු ප්‍රසුතිය සිදු වුයේ සිසේරියන් සැත්කමින් වුවද දෙවැන්නට වෙනත් වෛද්‍යමය හේතු නොමැති නම් යෝනි මාර්ගය හරහා දරුවා ප්‍රසූත කිරීමට මව උනන්දු කරවයි.  සිසේරියන් සැත්කමින් පසුව සාමාන්‍ය යෝනි ප්‍රසවය දරුවාට හා මවට ආරක්ෂිත ක්‍රමයකි. සාමාන්‍ය  යෝනි ප්‍රසවයක් සිදු කිරීමෙන් ඉක්මනින් යථා තත්වයට පත් වන අතර ඉක්මනින් නිවසට යා හැකියි.

පළමු සිසේරියන් ප්‍රසවයට හේතු, ලබාදී ඇති වෛද්‍යමය හේතු සමඟ දෙවැන්න සාමාන්‍ය ප්‍රසවයකට යනවාද නැද්ද යන තීරණය කරයි. සිසේරියන් ශල්‍යකර්මයෙන් ලබා දෙන කැපුම (incision) ආකාර දෙකකි.

Transverse incision (Horizontal/Incision)

පහල උදරය හරහා ගර්භාෂයේ තුනී කොටස හරහා කැපුම යොදයි. මෙම කැපුම බොහෝ සිසේරියන් ශල්‍යකර්ම වල යොදයි. මෙවැනි කැපුමකින් පසුව සාමාන්‍ය ප්‍රසවයකට යා හැක.

H Vertical Incision

ගර්භාෂ පේශීයේ ඉහළ සිට පහළට කැපුම යොදයි. සාමාන්‍ය ප්‍රසවයකදී මෙම පේශි ඉතා තදින් හැකිළීමට භාජනය වන නිසා සාමාන්‍ය යෝනි ප්‍රසවයකට යාමේ අවදානමක් පවතී. මෙමගින් ගර්භාෂ බිත්තිය පුපුරා යා හැක. දරු ප්‍රසූතියේදී දරුවා බිහිකරන ක්‍රමය පිළිබඳව වෛද්‍යවරයා විසින් තීරණය කරයි. සාමාන්‍ය යෝනි ප්‍රසවයකට යාමයේ දී මව හා දරුවා නිරෝගීව සිටිය යුතුයි. පලමු සීසේරියන් සැත්කමින් පසු  සාමාන්‍ය යෝනි ප්‍රසවය සඳහා යැවීමේදී පහත ආකාරයේ මව්වරුන්ට ඇති අවදානම වැඩිය.

  • තරබාරු බව (BMI 30 හෝ වැඩි)
  • ගර්භනී කාලය තුල අධික රුධිර පීඩනය පැවතීම (preeclampsia)
  • අවුරුදු 35ට වඩා වැඩි වීම 
  • පළමු සිසේරියන් සැත්කම මාස 19 තුල සිදු වීම 
  • දරුවා විශාල වීම 
  • පළමු සිසේරියන් කෘන්තය උදරයේ ඉහල සිට පහලට (vertical) වීම

 

යෝනි ප්‍රසවයට යාමේදී පහත වාසි තිබිය හැක.

  • ශල්‍යකර්මයක් සඳහා සූදානම අවශ්‍ය නොවීම 
  • රුධිරය පිට වීම අඩුයි 
  • ඉක්මනින් සුව වීම 
  • ආසාදන ඇති වීමේ අවදානම අඩුය
  • මුත්‍රාශය හා බඩවැල් වලට අනතුරු වීමක් නොවේ 
  • පසු ප්‍රසවයන්ට ගැටලු අවම වීම

 

එසේම යෝනි ප්‍රසවයකින්ඇතිවිය හැකි අවාසි ද නැත්තේ නොවේ

යෝනි ප්‍රසවය දීර්ඝ ක්‍රියාවලියකි. ශාරීරිකව වේදනාවක් විඳීමට සිදුවේ. සාමාන්‍යයෙන් පළමු දරු උපතේදී පැය 4 – 8 කාලයක් සක්‍රිය ප්‍රසවය සදහා ගත වේ.

යෝනි ප්‍රසවයේදී යෝනිය ආශ්‍රිත පටක ඉරීමකට ලක්වේ. එසේම ඇදීමකටද ලක් වේ. මෙම ඇදීම සහ ඉරීම නිසා ශ්‍රෝනි පත්ලේ පේශිවලට අනතුරු වීම හෝ දුර්වල වීම ඇති වී මුත්‍රා පිට කිරීම හා මලපහ කිරීම පාලනය දුර්වල විය හැක. විශේෂයෙන් සිනාසීම,කැස්ස, කිවිසීම ආදීයේදී මුත්‍රා ස්වල්ප ප්‍රමාණයක් පිට විය හැක. ගුදය හා යෝනි අතර කොටස පිටුපස (perineum) අතර වෙිදනාව මෙන්ම එසේම දරුවා විශාල නම් යෝනි දරු උපතේදී උපත් අනතුරු දරුවාට ඇති විය හැක.

 

සිසේරියන් සැත්කමකදී වාසි

  • යෝනි ප්‍රසවය සදහා පවතින කාංසාමය  තත්වය ඉවත් වීම
  • මුත්‍රා අසංයමය, ශ්‍රෝනි ඉන්ද්‍රියන් පහත් වීම ආදිය ඇති නොවීම
  • සැලසුම් සහගතව කළ හැකි වීම
  • දරුවාට හා මවට අනතුරකදී නම් මෙම ක්‍රමය ආරක්ෂිත වේ.

 

සිසේරියන් සැත්කමකදී අවාසි

  • සුව වීමේ කාලය දිගු වීම. උදර වේදනාව හා අපහසුතාවයන් අධික වේ.
  • කැපුම ආශ්‍රිතව පවතින ස්නායු හා සම සුවවීම සඳහා අඩු තරමින් මාස දෙකක කාලයක් ගත වේ
  • ආසාදන ඇතිවීමේ හැකියාව වැඩිය කෘන්තය ආශ්‍රිතව
  • රුධිරය පිටවීම අධික වේ
  • අන්තක වලට හා මුත්‍රාශයට අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිය එසේම රුධිර කැටි ඇතිවීම ද වැඩි අවදානමක් ඇත
  • මව්කිරි දීමේදී මව්කිරි අඩු වීම වැනි ගැටලු ඇතිවේ
  • ඉදිරි ගර්භණීභාවයක් වලදී සංකූලතා ඇති වීමේ අවධානය වැඩිය     උදාහරණ අපරාව/වැදෑමහ අසාමාන්‍යතා. ගර්භාෂ පිපිරීම
  • සිසේරියන් සැත්කම් මගින් බිහි වූ දරුවන්ගේ ළමා කාලෙදි හා උපතේදී ස්වසන ගැටලු (ඇදුම)ඇතිවේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

බබා ලැබෙන්න ආවාම අම්මා කෙනෙක් ඒකට සූදානම් වෙන්නේ කොහොමද?

සෙනෙහසේ කිරුළු පැළදි සෑම කාන්තාවකගේම සිහිනය තම කුස තුල දරුවකු පිළිසිඳ ගැනීමයි. මෙය ඇත්තටම සොඳුරු අත්දැකීමක් ඒ එක්කම තිගැස්ම, පුදුමය, බිය, ආදරණීය බව වගේම තරමක හුදෙකලා බවකුත් හිතට ගෙන එනවා. ඒ ජීවිතයට අත්දකින පළමු අත්දැකීම ඔබට දැනෙන හැටි. 

තාරුණ්‍යයේ කෙලිදෙලෙන් ගත කළ ඔබට ඔබේ සිතට තරමක බර ගතියක් ගෙන එනවා සමඟම ඔබගේ ආදරණීයයා සමගින් මෙම හැඟුමන් හෙලි කරන්නටත් ඔබට ඇතිවන්නේ නොඉවසිලිමත් බවක්. ඒ සියල්ල දයාබරයාගේ කන වැකුණු සැණින් ඔබ දෙපලට ලැබෙනා දැනෙනා ආදරයේ නිරාමිස වූ සුවය, මතකයට නඟා ගත හැකි නේද මොහොතකට?

එහෙම නම්, ඔව් ඔබ දැන් අම්මා කෙනෙක්, මේ මොහොතේ පටන් තනිව හිතන්නට අපහසුයි. ඔව් හැම දෙයක්ම, එකම ශරීරයක් තුල ජීව දෙකක්. එහෙම ජීවිත දෙකක ක්‍රියාකාරීත්ව සිතුම්, පැතුම් මේ සියල්ලට සූදානම් වීමට ඔබට සිදුවේවී. 

ඉතින් මේ කටයුත්තේදී ඔබට සිදු වේවී කායික අපහසුතා, මානසිකව ඇති වන අපහසුතා සාමාජීය වශයෙන් සිදු වන අපහසුතා සියල්ල ජයගැනීමට. එයටයි ඔබ සූදානම් විය යුත්තේ. 

පිලිසිඳ ගත් මොහොතේ සිටම ශරීරය තුල ඇති වන හෝමෝන විපර්යාස හේතුවෙන් ඔබට සාමාන්‍ය දිනයන් වලදීට වඩා වෙනස් ලෙසින් හැඟීම් දැනීම් ඇති වේවී. ඒ මේ බව තහවුරු කරන්නට වගේම කුස තුල ඉන්න පුංචි පැටියට ඕන කරන සියළුම කායික, මානසික පෝෂණයන් ලබාගන්න අවශ්‍ය විධියට ඔබව වෙනස් කරන්න. ඒ නිසා තමයි ඔබට කටට කෙල උනන්නට පටන් ගන්නේ. ඒ වගේම වමනය, ඔක්කාරය වගේ සිදුවීම්. කොලපාට ඇඹුල් ගෙඩියක් එහෙමත් නැතිනම් පේර, වෙරළු, ජම්බු වගේ ඇඹුල් රසය ඇති දේවල්. 

මේ මොකක්ද? ඔබ හඳුන ගන්න. දරුවා සම්පූර්ණයෙන්ම පරපෝෂිතයි. ඒ නිසා එයාට ඒවයේ අවශ්‍යතාව වැඩිපුර පෙන්නන්න පුළුවන් ක්‍රමය තමයි ඔබේ සිතට මේ දැනෙන්නේ. මුල් මාස 3 දී සිදුවන්නේ දරුවගේ අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන් සෑදීම. ඒ වෙග්ම ඒ ඉන්‍ද්‍රියයන් සියල්ලගේ සමායෝජනය සිදු කරන ස්නායු පද්ධතිය සැකසීම. ඉතින් මේ කාර්යයට වැඩිපුරම බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙන්නේ ෆෝලික් අම්ලය හා ඛනිජ ලවණ විටමින් වර්ග වලට. ඒ හින්ද තමයි ඒව අඩංගු දේ වලට ඔබව වැඩිපුර ආස කරවන්නේ. ඒක හින්ද ඉතින්, වරදක් නැහැනේ ඔබ මේ දේ වලට ආස කලාට. ඒක ඔබේ දරුවගේ වර්ධනයට නිරෝගීභාවයටයි තියන එකම මාර්ගය. ඒ හින්ද ඔබට සිදු වෙනව මේ වගේ ආහාර වර්ග ආහාරයට ගන්න. 

ඒවගේ තමයි හෝමෝන ක්‍රියාවලි නිසා කටට කෙල උනනව නිතරම. මේ නිසා ඔබට වමනය, ඔක්කාරය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබේ ශරීරයෙන් පිටවන ජල ප්‍රමාණය හා ලවණ ප්‍රමාණයට සරිලන තරල ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම කලලය ගර්භාෂය තුල තැන්පත් වුණාම ගර්භාෂයේ පේශීන් හැකිලෙන්න හා එම කලලය තැන්පත් වීම නිසා සිදුවෙන ක්‍රියා හේතුවෙන් බඩේ කොරය කොන්දේ කැක්කුම ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා දැවිල්ල වැනි අපහසුතා ඇතිවෙන හින්දා, නිතරම දියර ආහාර වැඩිපුර ගන්නම ඕන. ඉතින් මේ සඳහා හොඳම විසඳුම ජලය පානය කිරීම, වතුර බොන්නත් අපහසු නම් ඔබට වතුරේ රස, පාට, සුවඳ වෙනස් කරල ගන්න පහසු විදියකට සකසා ගන්න වේවී. ඒ සඳහා බෙලි මල්, රණවරා මල්, පොකුරු වඳමල්, කැඳ වර්ග, සුප් වර්ග, පළතුරු යුෂ එකතු කිරීම ආදී ලෙසින් ඔබට ගන්නා වතුර ප්‍රමාණය වැඩි කරන්න ක්‍රමවේද හදාගන්න වේවී. 

ඒ එක්කම ඇති වන කම්මැලිකම හෝ ප්‍රබෝධය, නොරිස්සුම් බව, තනිකම සියල්ල බෙදාගන්න සහකරු සමඟ. එවිට ඔබට හැකියි මේ සිතුවිලි බෙදාගැනීම තුලින් සහනයක් ලබාගන්න. ඒ සමඟ පවුලේ, සමාජයේ අවධානය යොමු වේවී ඔබ වෙතට. එය ඔබට තවදුරටත් ඔබේ ශක්තියට හේතුවක් කරගන්න. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ යහපත් ආකල්ප රැකවරණය දරුවා සඳහාද ආරක්‍ෂාවක් හෙයින් පවුල තුල සමාජය තුල ඔබට සුරක්‍ෂිතභාවයක් හිමි වේවී. 

මාස 3 පසු වන විට දරුවාගේ ඉන්‍ද්‍රියයන් සෑදී අවසන්. මේ වන විට සිදුවන්නේ එම ඉන්‍ද්‍රියයන් වර්ධනය වී සවි වීමයි. මේ නිසා දරුවා උස් මහත් වනවා සේම ඔහුට ඉඩ හසර ලැබෙන සේ ඔබේ ගර්භාෂයේ බිත්තිද ඇදීමට ලක් වේ. එසේම දරුවා වැඩෙන විට මවගේ විශාල වන උදරය දරාගෙන සිටීමටද මවට සිදුවේ. එසේම ඒ සමඟම ඇතිවන කොන්දේ වේදනාවක්ද මවට දැනෙන අපහසුතාවේ මේ සඳහා ඔබ නිවැරදි ඉරියව් භාවිත කිරීම වැදගත්. එසේම දරුවා අතපය චලනය කරන හෙයින් ඔබට උදරයට යම් අපහසුවක් මෙන්ම සෙනෙහස මුසු වූ ආදරණීය හැඟීමක් ඇති වන්නටත් පුළුවන්. එසේම ක්‍රමයෙන් විශාල වන උදරය නිසා නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීමත් පාද වේදනා ඇති වීමත් විය හැකියි. මේවා ඔබට ඉවසා ගැනීමට සිදුවනවා සේම මෙතෙක් ඇඳි ඇදුම් ඇඳීමද අපහසු වේ. එසේ හෙයින් ඇඟට තද නොවන සේ ලිහිල් පහසු ඇඳුම් සකසා ගැනීමටද ඔබට සිදු වේ. 

මේ වන විට දරුවාගේ වර්ධනය ශීග්‍රව සිදුවන හෙයින් පෝෂණය සම්බන්ධවද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. දරුවාගේ වර්ධනයටද අවැසි වනසේ පෝෂ්‍යදායී ආහාර වේල් ලබාගැනීමටද ඔබ උනන්දු විය යුතුයි. උදරය විශාල වීමෙන් ආමාශය මත ඇති වන තෙරපුම නිසා ඔබට වරකට ගත හැකි ආහාර ප්‍රමාණය අඩු වන හෙයින් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර පොඩි ප්‍රමාණ වලින් වැඩි වේල් ගණනකින් හෝ ලබාගැනීමට ඔබට සිදුවෙනවා. එසේ හෙයින් ඔබගේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. 

 

සෑම ආහාර වේලකම

  • වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වීම 
  • විටමින් හා ලවණ (ස්නායු සමායෝජන කටයුතු හා ආහාර අවශෝෂණය පහසු කිරීමට) 
  • යකඩ (ශරීර ගත ලේ ප්‍රමාණය ප්‍රමාණවත් වීමට) 
  • කැල්සියම් (අස්ථි හා පේශි ශක්තිමත් කිරීමට)

මේ ආදී ලෙසින් කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ප්‍රභවයට අමතරව ලබාගත යුතු වනවා. මේ සඳහා ඔබගේ ආහාරය

  • බත්/ධාන්‍යමය ආහාරයක් – ශක්තිය සැපයීමට
  • ඇට වර්ගයක් – පරිප්පු, කව්පි, කඩල, මෑ, මුං ඇට 
  • සත්ව ආහාරයක් (මස්, මාළු, බිත්තර, කරවල)
  • එළවළු – විටමින් හා ඛනිජ ලවණ
  • පලා වර්ග – විටමින් හා ඛනිජ ලවණ
  • පලතුරු – විටමින් හා ඛනිජ ලවණ

එමෙන්ම ආහාරයේ අඩංගු කෙඳි ප්‍රමාණයද ආහාර ජීර්ණ ක්‍රියාවලියට මෙන්ම අවශෝෂණය ක්‍රියාවලිය නිසි පරිදි සිදු වීමට මෙන්ම බහිස්‍රාවීය කටයුතු සඳහා ද වැදගත් මෙහෙවරක් සපයනු ලබනවා. එසේ හෙයින් මෙසේ සියළු පෝෂක කොටස් පිළිබඳව සැලකිලිමත් වී ආහාර වේල් සකසා ගැනීම කළ යුතු වෙනවා. 

මවගේ හැඟීම් දැනීම්, සතුට, ප්‍රීතිය, ආදරය, සෙනෙහස, වේදනාව, කෝපය හෝ ක්‍රෝධය, වෛරය ඒ ලෙසින්ම දරුවාටද දැනෙන හෙයින් මවගේ මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත්. මවක විසින් විඳන හෝ විඳවන ලෙසින් වන පරස්පර හැඟීම් හේතු කොට ගෙන දරුවාද ඒවාට අනුගත විය හැකි හෙයින් සෑම විටම සහනදායී සිතුවිලි වලින් පිරිපුන් මවක් වීමට ඔබ උනන්දු විය යුතුයි. 

ලද දෙයින් තුටු වීමටත් ඉවසීම, කරුණාව ප්‍රගුණ කරමින් ආගම ධර්මයට අනුව ජීවත් වීම දරුවාටද යහපත් වූ ලොවක් උදා කරයි. මව්කුස තුලදී කයින් හැදෙනවා පමණක් නොවී ඇසීම, දැනීම ආදී ඉන්‍ද්‍රිය ක්‍රියාකාරීත්වයද ඇති වන හෙයින් ඒ සඳහා වන යහපත් ක්‍රියාවලීන් දරුවා සමඟ බෙදා හදා ගැනීමද සෞන්දර්ය රසය දනවන විනෝදාස්වාදයද වැදගත් මංපෙතක් වන හෙයින් කුස සිටින දරුවා සමඟ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් වේ නම් ඔවුන්ගේද ආදරණීය වචන හැඟීම් බෙදාහදා ගැනීම කළ යුතුයි. 

 

ඉගෙනීමේ ආරම්භක ක්‍රියාවලි මව් කුස තුලදීම සිදුවන හෙයින් ඊට අවශ්‍ය පසුබිම ගොඩනැඟීම වැදගත් වෙනවා. 

දරුවා කුස පිළිසිඳි දිනයේ පටන් එයාගේ වැඩිම පිළිබඳව දැනුවත් වීමත්, ඒ සමඟ සිදුවන ක්‍රියාවලි හරහා ඇති වන අපහසුතා/අමාරුකම් හඳුනා ගැනීමත් ඒවා සඳහා පහසු ලෙසින් සූදානම් වීමත් කළ යුතුම දෙයක්. ඒ වගේම මේ කාලය තුල ඔබට ඇති විය හැකි වෙනත් අවදානම් තත්ත්ව පිළිබඳවද ඔබ දැන සිටීම වැදගත්. ඒ අතර අධික රුධිර පීඩනය ඇති වීම, ලේ වල සීනි මට්ටම වැඩි වීම වගේ තත්ත්ව ඒ වගේම ලේ අඩුකම එහෙමත් නැත්නම් නීරක්තිය ඇති වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඔබ ගර්භනී බව දැනගත් විගස ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය දැනුවත් කර ලියාපදංචි වීමත් ඇගේ උපදෙස් මත අවශ්‍ය පරිදි සායන සඳහා සහභාගී වීමත්, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමාගේ අවවාද අනුව විශේෂඥ වෛද්‍ය සායනයට සහභාගි වීමත් ඉතාම වැදගත්.

ඔබට ඇති විය හැකි අවදානම් තත්ත්ව සඳහා මුහුණදෙන්නේ කෙසේද?

ඒවා පාලනය සඳහා කල යුතු දේ මෙන්ම අවශ්‍ය ඖෂධ ලබාදීම, ආහාර පාලනය හෝ අවශ්‍ය නම් රෝහල් ගතව අත්‍යවශ්‍ය පරීක්‍ෂණ වලට භාජනය වෙමින් වෛද්‍ය නිරීක්‍ෂණ, නිගමන මතින් ඔබටත් ඔබගේ දරුවාටත් අවශ්‍ය රැකවරණය ලබාගන්න පුළුවන්. සායනික පරීක්‍ෂාවන් වගේම සායන මඟින් ලබාදෙන ඖෂධ, විටමින්, අතිරේක ආහාර (ත්‍රිපෝෂ) මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන සැසි මඟින් ඔබට ලැබෙන්නේන් කිවනොහැකි අස්වැසිල්ලක් ලබන්නටත් මේ සියල්ල හේතුවක් වෙනවා. 

ඒ විතරක් නෙවෙයි දරුවා ලැබෙන්න යන රෝහල ඒ සඳහා සූදානම එනම් භාවිතා කරන ප්‍රවාහන ක්‍රමය, ඒ සඳහා වියදම වගේම ගත වන කාලය පිළිබඳවත් අවධානය යොමු කොට පූර්ව සූදානම ඉතාම වැදගත්. 

මේ සියල්ල සූදානම් කරන අතරතුර ඔබ විසින් වෙනස් වන ඔබේ සිරුරට සරිලන සේ ඇඳුම් සකස් කරනවා මෙන්ම දරුවා ලැබීමට රෝහල් ගත වීමට මෙන්ම දරුවා සමඟ නිවසට එන විට දරුවාට අවශ්‍ය කරන ඇඳුම් පැළදුම් සකස් කිරීමත් ඉතා වැදගත්. ඒ එක්කම සංවර්ධනය වන පංච ඉන්‍ද්‍රියයන් උත්තේජනය සඳහා අවකාශ සැලසෙන පරිදි සිඟිත්තාගේ ඇඳුම් පැළඳුම්, කාමරය, බිත්ති මේ ආදී ලෙසින් ඔබට සූදානමක් අත්‍යවශ්‍ය වන්නේ ඉගෙනීමේ ක්‍රියාවලියට මේ දරුවා දැන් සිටම අවතීර්ණ වී ඇති නිසයි. 

ඔබ ගර්භනියක්, ඔව් මේ නිසා ඔබට ඔබගේ දරුවාට නිරෝගී සුව දිවියකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගැනීම ඔබ විසින් කරනා විට ඉහත සියළු අවස්ථාවන් පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතුවා මෙන්ම රෝහල් ගත වන විට නිවසේ පරිසරය පිළිබඳව අවශ්‍ය කළමණාකරණයන්, මහත් බැරැරුම් කටයුත්තක්. නිවසේ සිටින අයඅගේ ආහාර, ඖෂධ, සනීපාරක්‍ෂක කටයුතු වගේම වැඩිමහල් දරුවන්ගේ අධ්‍යාපනය, ආහාර, රැකවරණය ආදී ලෙසින් කලමණාකරණය කිරීමත් මෙහිම එක් අංගයක්. 

මේ ලෙසින් ගර්භනී වීම, ගර්භනී කාලය පුරාවට ඔබට අත්විඳින්නට ලැබෙන කායික මානසික සාමාජීය වෙනස්කම් සඳහා සූදානම් වීම, නිවසේ පරිසරය, රැකියා ස්ථානයේ පරිසරය ආදී වූ සියළු ස්ථානයන්ට ඉහත විපර්යාසයන් සමඟ එක්වීම කිරීම සඳහා ඔබ විසින් සාදාගන්නා පූර්ව සූදානම සියළු අභියෝග ජයගන්නට ඔබට ලැබෙන ශක්තියයි. අභිමානයයි. 

ඒ අභිමානය, ආත්ම ශක්තිය පෙර දැරි කොටගෙන ආත්ම විශ්වාසය ඔබට ඔබේ ගර්භනී සමයටත් ඉන් පසු එළඹෙන අළුත් සිඟිත්තාගේ කටයුතු කිරීමටත් ඇති හැකියාව අත් වැලක්ම වේවී. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ඉපදීමෙන් පසු දරුවා නිල්පාට වෙන්නේ ඇයි?

බොහෝ දරුවන් ඉපදෙන විට රත් පැහැයට හුරු දම්පාට, රෝස පැහැයක් ගනී. නමුත් සමහර දරුවන් ඉපදෙන විට නිල් පැහැ වේ. දරුවා හඬන විට හෝ චලනයේදී නොව ඉපදුණු විගසම නිල් පැහැයක් ගනී නම් බොහෝ විට ස්වසන පද්ධතියේ හෝ රුධිර සංසරණ පද්ධතියේ අපහසුතාවයක් ආබාධයක් විය හැක. හෘදය මඟින් ප්‍රමාණවත් ලෙස රුධිර සැපයුමක් පොම්ප නොකරන විට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ප්‍රමාණයක් පටක වලට නොලැබේ. මෙම නිල් පැහැයට හේතු වන්නේ ඔක්සිජන් අඩු (Deoxygenated blood) රුධිරයයි. 

දරුවා තනිව හුස්ම ගන්නා තුරු කුස තුල සිටින විට ඔක්සිජන් ලබාගන්නේ පෙකණි වැල සහ අපරාව/වැදැමහ (PLACENTA) හරහා වේ. දරුවා ස්වසනය ආරම්භ කරන විට ක්‍රමයෙන් සමේ පැහැය වෙනස් වේ. බොහෝ විට තද රෝස පැහැති හෝ රතු පැහැයට හැරේ. සමහර විට ඉපදී දින කිහිපයක් යනතුරු අත් හා පාද වල සාමාන්‍ය නිල් පැහැයක් තිබිය හැක. මෙයට හේතුව වන්නේ දරුවාගේ රුධිර සංසරණ පද්ධතිය තවමත් නොමේරු මට්ටමක පවතින නිසා ක්‍රමයෙන් මෝරන විට මෙම තත්ත්වය මඟහැරී යයි. 

දරුවන් නිල් පැහය සහිතව ඉපදීමට ප්‍රධාන හේතූ 2 කි.

  • නිලායනය – cyanosis – හෘදයේ හෝ ස්වසන පද්ධතියේ ආබාධ තත්ත්වයක් නිසා ඇති වේ. 
  • Acrocyanosis – දරුවා උපදින විට අත් හා පාද නිල් පැහැයට හැරේ. මෙහිදී දරුවාගේ කඳ කොටස රෝස පැහැයක් ගන්නා අතර පර්යන්ත කොටස් වල නිල් පැහැයක් දැකිය හැක. 

එසේම සමහර අවස්ථා වලදී දරුවා ඉපදෙන්නට ආසන්නයේදී පෙකණි වැල තදවීම හෝ වැරදි ස්ථාපිතයක් තිබීමේදී මෙම පැහැයේ වෙනසක් ඇති විය හැක. නමුත් එම තත්ත්වයෙන් පෙකණිවැල නිදහස් වූ වහාම නැවත රුධිරයට සම්පූර්ණයෙන් ඔක්සිජන් ලැබුණු විගස රෝස පැහැයට හැරේ. 

එසේම මව අධික රුධිර පීඩනය හෝ අඩු රුධිර පීඩන තත්ත්වයකින් පෙලෙයි නම් එම තත්ත්වය දරුවා ඉපදෙන විට දරුවාට ඇති කරන බලපෑම අනුව සමේ පැහැයේ වෙනස්කම් ඇති විය හැක. මෙවැනි තත්ත්වයක සිටින මවකගේ දරුවා ස්වසන අපහසුතාවයකින් සිටිනවාද නැද්ද යන්න ලඟින් නිරීක්‍ෂණය කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමකි. 

එසේම මව වේදනා නාශක ලෙස ලබාගන්නා ඇතැම් ඖෂධ (Narcotic drugs/opioids) මඟින් දරුවාගේ හද ගැස්ම දරුවා බිහිවන විට අඩුවීම හෝ නැවතීම සිදු විය හැක. මෙම ඖෂධ නිසා දරුවා බිහිවීමෙන් පසු ස්වසන අවපීඩන තත්ත්වයන්ද ඇති විය හැක. මේ හේතුව නිසා දරුවාගේ සම නිල් පැහැ විය හැක. 

 

දරුවා නිල් පැහැයට ඉපදුණහොත්

දරුවා නිල් පැහැතිව හෝ සුදුමැලි පැහැතිව ඉපදුණහොත් දරුවාට අමාරුවෙන් චලනය වේ නම් හෝ චලනය විය නොහැකි වේ නම් එසේම දරුවා නොහඬන්නේ නම් හෝ කෙඳිරිගෑමක් හෝ දුර්වල ලෙස හඬයි නම් මෙම ලක්‍ෂණ වලින් දරුවා හුස්ම ගැනීමට/ජීවත් වීමට ඉතා පරිශ්‍රමයක් දරන බව පෙනේ. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයෙකු (හෙදිය/වෛද්‍යවරයා) දරුවාගේ ස්වසනය පහසු කිරීම සඳහා උනන්දු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. හෙදිය විසින් දරුවා තදින් පිරිමැදීම, සෙලවීම ආදිය මඟින් ස්වසනය උත්තේජනය කිරීමට උත්සහ කරයි. එසේම සමහරවිට වා මඟෙහි ශ්ලේෂ්මල සිරවී තිබිය හැක. එය ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඉහත ක්‍රම කිහිපයෙන්ම දරුවා යථා තත්ත්වයට පත් නොවුනි නම් දරුවා කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ තිරීම මඟින් පෙනහළු වලට ඔක්සිජන් ලබාදීම සිදු කරයි. 

ඉහත තත්ත්වය තුලදී නිවැරදි ලෙස ඉක්මණින් ක්‍රියාත්මක නොවුනහොත් මොලයට ලැබෙන ඔක්සිජන් අඩුවීම හෝ නොමැති වීම නිසා දීර්ඝකාලීනව බලපා හැකි අහිතකර තත්ත්වයන් දරුවන්ට ඇති විය හැක. 

  • මස්තිෂ්ක අඝාතය 
  • Behavioural Disorders – දරුවාගේ හැසිරීමේ වෙනස්කම්
  • ආක්ෂේප (Fits/Convulsions)
  • බුද්ධිමත් බව/ඥානය ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වය (intellectual and cognitive disabilities)
  • මරණය

ආදී තත්ත්වයන් ඇති විය හැක. ඉහත සියළු තත්ත්වයන් ඇති වන්නේ මොළයට ඔක්සිජන් ලැබීමේ හිඟකම නිසා මොළයට තදබල ලෙස අනතුරු වීමෙනි.

Blue Baby Syndrome

දරුවා නිලායනය (cyanosis) තත්ත්වයට පත්වීමයි. දරුවාගේ සම විශේෂයෙන් හඬන විට නිල් පැහැයක් ගනී. විශේෂයෙන් දරුවාගේ අත් හා පාද වල මෙම නිල් පැහැය දැකිය හැක. මෙම තත්ත්වයට හේතු වන්නේ දරුවාගේ රුධිරය ඔක්සිජන් අඩු කමයි. අඩු ඔක්සිජන් මට්ටම දරුවාගේ සමේ පැහැය වෙනස් කිරීමට හේතු වේ. මෙම තත්ත්වයට හේතු ලෙස දකින්නේ හෘදය, පෙනහළු හෝ රුධිරයේ අසමාන්‍යතා වේ. සාමාන්‍යයෙන් ශරීරය පුරා බෙදාහරින රුධිරය පෙනහළු වලදී ඔක්සිජන් වලින් සංතෘප්ති වේ. ඒවා පුප්පුශීය ශිරා 4 ක් ඔස්සේ හෘදයේ වම් කර්ණිකාවට පැමිණේ. ඒවා වම් කෝෂිකාව හරහා මහා ධමනියට ඇතුල්වී රුධිරය සිරුර පුරා බෙදා හරී. අවයව වල සිට ගෙන එන ඔක්සිජනිහෘත (Deoxygenated blood) රුධිරය පූර්රිව හා අපර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවටත්, ඉන් දකුණු කෝෂිකාවටත් පැමිණ ඉන් පුප්පුශීය මහා ධමනියට ඇතුල් වී ඔක්සිජන් ලබාගැනීම සඳහා පෙනහළු දක්වා ගමන් කරයි. 

හෘදයේ හෝ පෙනහළු වල අසාමාන්‍ය තත්ත්වයකදී ඉහත ආකාරයට රුධිරයට ඔක්සිජන් ඇතුල්වීම අඩපණ කරයි. මෙම රෝග තත්ත්වයේදී සිදුවන්නේ එයයි. 

 

හේතූ

  • Truncus arteriosus

හෘදයේ සිට රුධිරය ගෙන යන ධමනි 2 ක් වෙනුවට එක් ධමනියක් පිහිටීම. එසේම මෙහි පුප්පුශීය කපාටයද නොපිහිටයි. 

  • Total anomalous pulmonary venous return

කලාතුරකින් ඇති වන හෘදයාබාධයකි. මෙහිදී පෙනහළු වල සිට රුධිරය ගන එව රුධිරවාහිනී හෘදයට සම්බන්ධ නොවීම (වම් කර්ණිකාවට). අසාමාන්‍ය ලෙස හෘදයේ වෙනත් කුටීරයකට සම්බන්ධ වීමයි. 

  • Transposition of the great arteries

මෙහිදී මහා ධමනිය වම් කෝෂිකාවට සම්බන්ධ වීම වෙනුවට දකුණු කෝෂිකාවට සම්බන්ධ වීමයි. 

  • Tricuspid atresia

දකුණු කර්ණිකා කෝෂිකා අතර කපාටය (ත්‍රී තුණ්ඩ කපාටය) හැකිලීම/නොපිහිටීම. 

  • Pulmonary atresia

හෘදයෙන් පුෂ්පුශීය ධමනියට රුධිරය ඇතුළු වන ස්ථානයේ ඇති වන ආබාධයකි. එම කාපාට වල ඇති වන ආබාධයකි. එම කපාටය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවේ. එවිට රුධිරය ඔක්සිජන් ගෙන ඒමට පෙනහළු කරා රුධිරය ගෙන යාමේ අපහසුතා ඇති වේ. 

  • Atrioventricular canal defect

හෘදය සාමාන්‍යයෙන් කොටස් 2 කට බෙදීම නිසා රුධිරය මිශ්‍ර නොවේ. Pediatric Cardiologist කෙනෙකු හෝ Pediatric Pulmonologist හරහා ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ගැබිනි මවක් කොවීඩ් පොසිටිව් වුනොත් ?

අද වෙද්දී වයස, තරාතිරම නොසලකා කොවිඩ් අවධානම පැතිර යනවා. අපේ ගැබිනි මවක් කොවිඩ් පෙසිටිව් වුනොත් ඒ මොහොත කොයිතරම් මානසිකව අසීරු තත්ත්වයක් විදියට දැනෙයිද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ වෙද්දි කොවිඩ් රෝගය ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු බියක්. ඒත් අපි ජීවිතයේ සෑම අවස්ථාවකටම නොබියව මුහුණ දිය යුතු නිසාම මානිසකව හෝ ශාරීරිකව ඇද වැටෙන්න බැහැ. විශේෂයෙන්ම ගැබිනි මවක් තම කුසේ වැඩෙන දරු පැටියා වෙනුවෙන් එන ඕනෑම බාධාවකට ශක්තිමත්ව මුහුණ දිය යුතුමයි. 

කොවිඩ් කියන්නේ වෛරසයක් මඟින් බෝ වන රෝගයක් බවත් රෝගය පැතිරෙන්නේ මුඛයෙන්, නාසයෙන් පිටවන තරල මඟින් බවත් අපි දන්නවා. ඉතින් මුලින්ම අපි කරන්න ඕන මේක වළක්වා ගන්න උත්සහ කරන එක. එහෙම නම් අපි අපේ චර්යාවේ යම් වෙනස් කමක් ඇති කර ගන්න ඕන. ඒ කොහොමද කියනව නම් මේ වෛරස් අපේ අත්වල, ඇඳුම් වල හෝ අපි පරිහරණය කරන උපකරණ වෙත එන එක වළක්වා ගන්න උනන්දු වෙන එක. ඒ වෙනුවෙන්,

  • නිතර දෑත් පිරිසිදුව තබාගැනීම
  • හැකිතාක් නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වැලකීම, 
  • සබන් සහ වතුර භාවිත කර තත්පර 20 ක කාලයක්වත් ගෙන දෑත් සේදීම නැතහොත් විෂබීජ නාශක දියරයක් භාවිත කර දෑත් පිරිසිදු කිරීම. 
  • ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම (විෂබීජය විසිරිය හැකි දුර ප්‍රමාණය මීටර් 1 ක් පමණ වන හෙයින් ඔබ අනෙකා අතර අවම වශයෙන් මීටර් 1 – 2 පරතරයක් තබාන්න)
  • ජනතාව එක් රැස් වන ස්ථාන මග හැරීම 
  • සෑම විටම කිවිසුමකදී හෝ කැස්සකදී ලේන්සුවකින් මුඛය හා නාසය ආවරණය කරගැනීම (ටිෂූ භාවිත කරන්නේ නම් පාවිච්චි කළ ටිෂූ වැසිය හැකි බඳුනකට දමන්න. පාවිච්චි කරන ලේන්සුද නිතර සෝදා පිරිසිදු කරගන්න) 
  • අමුත්තන් සමඟ මෙන්ම නිවැසියන් බැහැරවන සෑම අවස්ථාවකම මුව ආවරණයක් නිවැරදිව භාවිතා කිරීම
  • නිවසින් පිටට ගොස් පැමිණි විට නිවසට යාමට පෙර භාවිත කළ සියලු දෑ හා ගෙන ගිය/ගෙන ආ දෑ විෂබීජහරණයට යොමු කිරීම (ඇඳුම් පැළඳුම්, පාවහන් සියල්ල ගලවා සෝදා දමන්න/හොඳින් පිරිසිදු වීමෙන් පසු නිවස තුලට යන්න) යන පිළිවෙත් අනුගමනය කළ යුතුවේ.

කරුණු මෙසේ වුවද ගර්භනී මවකට මෙය වැළඳුණහොත් හෝ ගර්භනී මවකට කොවිඩ් රෝග ලක්‍ෂණ හෝ ශ්වසන රෝග ලක්‍ෂණ පහළ වුවහොත් එනම් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, උගුරේ ආසාදනය, උණ සමඟ ඇති වන තීව්‍ර ශ්වසන ආසාදන මතු වුවහොත් ඒ බව වහා තම වෛද්‍යවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට, ළඟම රෝහලට දැනුවත් කළ පසු පරීක්‍ෂණයට ලක් කර හඳුනාගත හොත් වහාම ප්‍රසව හා නාරිවේදීය විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලක නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කිරීම කරනු ඇති. 

මෙහිදී මෙසේ ආසාදිත මව්වරුන් සඳහා වෙන් කරන ලද රෝහලක හෝ වාට්ටුවක තබා මවට යම් සංකූලතා ඇති වේදැයි පරික්‍ෂාවෙන් තබන අතරම මවට අවශ්‍ය පෝෂණය, රැකවරණය නිසියාකාරව එහිදී ලබාදෙයි. 

ගර්භනී මවකට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට කොවිඩ් වැළඳුණ ද කිසිදු වෙනස් කමක් නොමැති අතර රෝගී පුද්ගලයා තුල පවතින වෙනත් ප්‍රතිශක්තිය අඩු කරන හේතු කාරක වේ නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ ඒවා බරපතල තත්ත්ව දක්වා යාමට ඉඩ කඩ ඇති හෙයිනි. කෙසේ වුවද මෙතෙක් කොවිඩ් වැළඳුණු ගර්භනී මව්වරුන්ගේ කුස තුල සිටින දරුවනට කොවිඩ් නිසා සංකූලතා ඇති වූ බවට සාක්‍ෂි නොමැත. මව්වරුනට ඔවුනට තිබූ යම් යම් රෝග තත්ත්ව නිසා ඇති වූ සංකූලතා හැරුණු විට වෙනත් සංකූලතා ඇති වූ බවට හෝ නිශ්චිත ලෙස සාක්ෂි නොමැත. 

මවට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග තත්ත්ව, ඇඳුම හෝ අධික තරබාරු බව ආදිය රෝග තත්ත්ව ඇතොත් එම රෝගී තත්ත්ව කොවිඩ් නිසා නොසලකා හැරීමෙන් ඒවා උග්‍ර සංකූලතා තත්ත්වයට පත්විය හැකි හෙයින් ඒවා සඳහා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වේ. පැවති රෝග තත්ත්ව නිසා ඇති විය හැකි සංකූලතා වළක්වා ගැනීමේ සියළු පියවර ගැනීම තුලින් මවට වෙනත් ආබාධ තත්ත්ව ඇති වීම වළක්වා ගත හැකියි. 

මේ කාලය තුල මව තුල ඇති වන කලබලය, වික්‍ෂිප්තභාවය හා බලාපොරොත්තු රහිත ලෙස ඇති වුණු රෝගී තත්ත්වය හේතුවෙන් මවට ඇති වන මානසික ආතතිය පිළිබඳව සැලකිලිමත් වීම කළ යුතුමයි. එසේම මවගේ පවතින රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම තුලින් සංකූලතා වළක්වා ගත හැකි බවත් මවට ඒත්තු ගැන්විය යුතු සේම ඇයගේ සියළු රැකවරණයන් සඳහා අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බව ඇයට දැන්වීම මෙන්ම දැනෙන්නට සැලැස්වීම මානසික සහනයට හේතු වෙනවා. මවගේ මේ මානසික ආතතිය දරුවාගේ චිත්තවේග සඳහා බලපෑමක් ඇති නොවීමට නම් මේ පිළිබඳව මවට පැහැදිලි කරදීමත් ලැබෙන සංරක්‍ෂණය තුලින් නිවැරදි කළමණාකරණයක් සිදුවන බවටත් ඇයට දැනෙන්නට සැලසැවීමත් පැවසීමත් වැදගත්. 

එසේම මවගේ පෝෂණය පිළිබඳ හොඳ මැදිහත් වීමක් රෝහල තුලින්ම සිදු කරන හෙයින් ඇයට ප්‍රසූතිය සඳහා අවශ්‍ය සූදානම් වීම් පිළිබඳව දැනුවත් කිරීමත්, සාමාන්‍ය ලෙසින් සිත සැහැල්ලු වන සේ වැඩ කටයුතු කිරීමටත් පවුලෙන් සමාජයෙන් ලැබෙන සහය මෙන්ම මැදිහත් වීමද මවගේ මානසික තත්ත්වය යහපත් කිරීමට හේතුවක් වේ. 

රෝගී තත්ත්ව පහවූ පසුවත් මවට සුපුරුදු ලෙසින් සෞඛ්‍ය හුරු පුරුදු මැද නිවැසියන් සමඟ එක්ව කාලය කිරීමට ලැබීමත් ඒ කාලය තුලද ඇයට දැනෙන ලෙසින් සෙනෙහස කරුණාව දැක්වීමත් පහසු ප්‍රසවයක් කර මෙන්ම සැහැල්ලු පසු ප්‍රසව සමයක් කරා යාමට ඇයට අවශ්‍ය ශක්තිය දිරිය හිමි වීමට හේතුවක් වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

කිරි වමනය ගැන අලුත් අම්මා බියෙන්ද?

අලුත උපන් දරුවකු ඉන්නා මවකට ඇති වන නිමක් නොමැති ප්‍රශ්න ගැටළු සමුදායක් හමුවේ කිරි වමනය කියන්නේ තවත් මව නොසන්සුන් කරන්නා වූ බහුලතම ගැටළුවක්. මේ සඳහා මවක් වන ඔබ දැනුවත් වන්නේ කොහොමද? ඒ සඳහා ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම් වන්නේ. 

කිරි වමනය ගැටළුවක් වන්නේ කොයි අන්දමටද ඒ ඒ අවස්ථාවන් වලදී ඔබ මුහුණ දිය යුත්තේ කෙලෙසද යන්නත් විමසිලිමත්ව කටයුතු කල යුතු අන්දමත් පැහැදිලි ලෙස ඉගෙනීම ඔබේ බිය කනස්සල්ල මැකී යාමට හේතුවක් වන බැවින් එය ඔබට ඔබේ දරුවාගේ කටයුතු කිරීමට ශක්තියක්ම වේවී. 

මව්කිරි යනු මෙලොව එළිය දකින සියළුම දරුවන් සඳහා සොබාදහමෙන් ලැබෙන අමිල වූ දායාදයයි. එය දරුවාගේ වර්ධනය බුද්ධිමත්ම ශක්තිමත්ව සිදු වීමට අවැසි සියළු පෝෂක ප්‍රමාණයන් අවැසි නියම ප්‍රශස්ත මට්ටමින් අනත්ර්ගත වූ විශ්මිත වූ එකම නිර්මාණයයි. මේ මඟින් දරුවාගේ වර්ධනයේ සියළු අංගයන් ප්‍රශස්ත මට්ටමට සිදු වේ. 

කිරි වලින් පෝෂිත දරුවන් කිරි උරා බීමෙන් පසු ඇති වන කිරි වමනය බෙහෙවින් දැකිය හැකි තත්ත්වයක්. මෙසේ සිදුවන්නේ කිරි උගුරට ඒම නිසා එලියට වැගිරීම හෝ උදරයේ පේශිවල ඇතිවන සකෝචන තත්ත්වයන් හේතුවෙන් ඇතිවන එලියට විසිවීමයි. මෙසේ කිරි වැගිරීම සිදුවන්නේ අතිරික්ත කිරි ප්‍රමාණයක් මුව තුල රඳවා ගෙන සිටීම හෝ පෙවීම නිසාය. මෙය සාමාන්‍ය තත්ත්වයකි. මෙයට බොහෝ විට හේතුවන්නේ උගුර හා උගුර සම්බන්ධ නාලයේ කපාට හරිහැටි ක්‍රියාත්මක නොවීමයි. එසේ වන්නේ කපාට වර්ධනය වීම මාස 4 කදී පමණ මෙන් ගෙන් වසරක් පමණ කාලයක් එනම් දරුවාගේ මුල් අවුරුද්ද අවසන් වන තෙක් පමණ කාලයක් වර්ධනය වීමට ගත වන නිසයි. 

එසේම මව්කිරි උරා බොන විට දරුවා නිවැරදි ලෙෂ පියයුරට සම්බන්ධ නොවූ විට දෙතොල හා පියයුර අතරින් වාතය ස්වල්ප වශයෙන් පෙවීම සිදුවෙනවා. මේ වාතය කුෂල ඇතුළු වූ විට ළදරුවාට අපහසුවක් ඇති වෙනවා. මෙය වළක්වා ගැනීමට සෑම කිරි වේලක් අවසනම දරුවා කෙලින් අතට වඩා එම වාතය ඉවත් වීමට ඉඩ සැලසිය යුතුයි. මෙවිට ශරීරය ඉහළට ඔසවා තබාගැනීමේදී ගුරුත්වාකර්ෂණයට අනුව කිරි ආමාශය වෙත ගමන් කිරීම පහසු කරනවා. මේ සමඟම වාතය ඉහළට ගමන් කිරීම නිසා වාතය පිට වෙනවා. මෙය ගුඩුස් යැවීම ලෙසින් අපි භාවිතා කරනවා. 

ගුඩුස් යැවීම සඳහා කිරි ලබාදීමෙන් පසු දරුවා මවගේ උරහිසට මඳක් පහළට වන්නට හොඳින් තද වන සේ කෙලින් වඩා ගැනීම කළ යුතුයි. මෙවිට දරුවාගේ හිස සහ දෑත් මවගේ උරහිසෙන් පිටු පසටත් දරුවාගේ කිහිලි උරහිස උඩත් සිටින සේ දරුවා වඩාගෙන දරුවාගේ පිට පිරිමදින විට ගුඩුස් හඬින් වාතය පිටවීම සිදුවෙනවා. 

එසේම දරුවා ඔබගේ උකුල මත කෙලින් අතට වාඩි කරගෙන සිටීම මඟින්ද වාඩි වී සිටින මවගේ දෙකලවා මත දිගු අතට පහළට හරවා තබාගැනීම මඟින්ද ගුඩුස් යැවීම සඳහා උනන්දු කළ හැකියි. 

කිරි වමනය යන විට නාසයෙන් පවා කිරි පිටවීම දැකිය හැකියි. මෙවන් අවස්ථාවක පෙනහළු වෙත කිරි යාමට ඇති අවස්ථා නැති කළ යුතුයි. කිරි වමනය දමන දරුවන් කිරි බිව් සෑම විටම ගුඩුස් යැවීමත් පසුව පැත්තකට හරවා තැබීමත් කළ යුතුයි. කිසිම විටෙක කිරි පිටවෙන විට ඉහළට එසවීම නොකර හරවා තැබීම තුලින් මුවට ආ කිරි ආපසු ශ්වාසනාල වෙත නොහොත් මුවින් එළියට බේරී යාම නිසා පෙනහළු වෙත යාම වළක්වා ගත හැකියි. 

කිරි බීමෙන් පසු දරුවා සුවෙන් සිටී නම් දරුවාගේ බර වැඩිවීම ප්‍රමාණවත් නම් (වර්ධන වේගය නියමිත පරිදි සිදු වේ නම්) ආහාර ගැනීමේ, නිදාගැනීමේ රටාව සාමාන්‍ය පරිදි සිදුවේ නම් බිය යුතු නැහැ. 

එහෙත් අළුත උපන් දරුවාගේ වමනය හෝ උගුරට ඒම නිසා ආහාර ප්‍රතික්‍ෂේප කිරීම, ආහාර දෙන අතර හෝ ආහාර ලබාදීමෙන් පසු දරුවා නොසන්සුන් හෝ අසහනකාරී ලෙස තැබීම කරයි නම් බර වැඩිවීම ප්‍රමාණවත් නොවේ නම් උදරාබාධයක් හඟවමින් පසු පස නිතර වක්‍රවීම් සිදු කරයි නම් මෙය Gastroesophageal Reflux Disease (GERD) නම් තත්ත්වය හැකියි. 

 

Gastroesophageal Reflux Disease ඇති දරුවන් තුල දැකිය හැකි ලක්‍ෂණ

  • අසහනය හා වේදනාව – ඇඟ ඇඹරීම හා හැඬීම මඟින් නිරූපණය වේ. 
  • හුස්ම ගැනීfමි අපහසුතා. – කැස්ස, සිරවීම, ඇදුම, ශබ්ද ඇති වීම මඟින් නිරූපණය වේ. 
  • ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම හේක- කොටගෙන වර්ධන වේගය අඩු වේ. (මෙය බර කිරීමේදී බර ප්‍රස්ථාරය නිවැරදි අතට ගමන් නොකිරීමෙන් හඳුනාගත හැකියි.)
  • මීට අමතරව පෙනහළු වලට කිරි ඇතුල්වීම නිසා නියුමෝනියාව තත්ත්වය ඇති විය හැකියි. 

 

මේ රෝග ලක්‍ෂණ දකින්නට ඇත්නම් දරුවා වහා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත පෙන්විය යුතුයි. 

අළුත උපන් දරුවනට වමනය ඇති විය හැකි අවස්ථා. 

  • කිරි දිරවීමේ අපහසුතා
  • ආහාර ආසාත්මිකතා
  • අධික හැඬීම
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • මුත්‍රා ආසාධන
  • වාහන වල යන විට කිරි වේලට පසු ගුඩුස් නොයැවීම. 
  • කිරි බිව් විගස දරුවා ක්‍රීඩා කිරීම. 

මීට අමතරව කිරි වමනය වමනය ඇති දරුවකු තුල පහත ලක්‍ෂණ වේ නම් දරුවා වෛද්‍යවරයා වෙත ගෙන යා යුතුයි. 

  • ඇස් ගිලී යාම
  • ඇඟේ වියළ බව. (විජලනය)
  • කිරි පානයට ඇති අකමැත්ත
  • පැය 4, 6 ක් නොනවත්වා වමනය
  • වමනය/මළපහ කොල පැහැති වීම
  • වමනය/ මලපහ      ලේ පිටවීම. 
  • 390C ට වඩා උණ හා පැය 2 කට වඩා උණ පැවතීම. 

කෙසේ වෙතත් අළුත උපන් දරුවා හොඳින් කිරි උරා බොන්නේ මවගේ පියයුර කිරි පිරී ඇති අවස්ථාවකයි. මෙසේ කිරි බොනවිට වඩාත් වේගවත් ලෙෂ කිරි ගලා එන අවස්ථාවකදී දරුවාට එක දිගට බීමට ඇති වන අපහසුතාවයක්, එසේම කුසට වැඩිපුර කිරි ලැබීමත් නිසාත් කිරි වමනය ඇති වේ. 

මේ අයුරින් සලකා බැලූ කල කුඩා බිළිඳාගේ ශරීර අභ්‍යන්තර ඉන්‍ද්‍රියන් ශක්තිමත් වීමේ පදනම මත මෙහි ඇති විය හැකි තත්ත්වයක් බව පැහැදිලි වේ. උගුර, උගුර ආශ්‍රිත නාල, ආමාශය ආදී අවයවයන් සම්බන්ධ කපාට ක්‍රියාත්මක වීමේ වර්ධනය වයසත් සමඟ ඇති වන හෙයින් දරුවා වැඩෙත්ම මෙම තත්ත්වය මඟහැරී යනු නිසැකයි. විශේෂ රෝගී අවස්ථා හැඳින ගත් විට මෙය අසාමාන්‍ය තත්ත්වයක් නම් එයද ඉහත කරුණු අනුව හඳුනාගත හැකි වනවා. 

කිරි දෙන විට දරුවා පියයුර හා සම්බන්ධ වන අයුරු මෙන්ම ස්ථාපිත කිරීමේදී එකම තලයක ශරීරය පැවතීමත් කිරි දෙන අතර තුර කිරි ගිලීමට ස්ථාපිතයෙන් ලබාදෙන උදව් හේතුවෙන් ගුරුත්වාකර්ෂණ ගුණයට අනුව මේ තත්ත්ව වළක්වා ගත හැකියි. 

කෙසේ වුවවද මවක විසින් මේ පිළිබඳව ලබාගන්නා නිවැරදි දැනුම, මවගේ සහජයෙන්ම ඒ හා සම්බන්ධව ඇති වන ඉව, විශ්වාසය අනුව ගැටළුවක් සේ දැනෙන සෑම මොහොතකම වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන යාමයි කළ යුත්තක්. 

වසරක් පමණ වන විට මෙම තත්ත්වයන් ක්‍රමයෙන් මඟහැරී ගොස් සාමාන්‍ය ආහාර වේලට හුරුව දරුවා ගොඩනැඟේ මෙවන් තත්ත්ව වළකා ගැනීමට/පාලනය කරගැනීමට ඔබ විසින් ගොඩනඟා ගත යුතු ශක්තීන් වන්නේ, 

  • මව්කිරි දීමේදී දරුවා ස්ථතාපිත කිරීම හා පියයුරට සම්බන්ධ කරවීම පිළිබඳව හොඳින් දැනුවත් වන්න. නිවැරදිව කරන්න. 
  • කිරි වේල දෙන අතරදී කිරි ගිලීම සඳහා ස්ථාපිතය වැදගත් හෙයින් ඒ සඳහා උදව් කරන්න. 
  • සෑම කිරි වේලකටම පසු ගුඩුස් යැවීම සිදු කරන්න. 
  • ගුඩුස් යැවීමෙන් පසු පැත්තට හරවා දරුවා තබන්න. 
  • කිරි බීමෙන් පසු දරුවා අනවශ්‍ය පරිදි සෙලවීම හෝ ක්‍රීඩා සඳහා නෙයොදවන්න. 
  • කිරි ගලා ඒම වැඩි අවස්ථාවකදී වරින් වර පියයුර මත ඇඟිල්ලකින් තෙරපුමක් යොදා වේගය පාලනය කරන්න. 

මෙලෙසින් දැනුවත් වන ඔබට ඔබේ දරුවා සමඟ සැනසිල්ලේ ජීවිතය පහසු ලෙසින් ගලා යාමට හැකිසේ ශක්තිය ගොඩනැඟෙන බව නොඅනුමානයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ඔබත් සමග වෙසෙන වැඩිහිටියාගේ වේදනාවට සහාය විය යුත්තේ කෙසේද?

වියපත්බව සමඟ ඇතිවන දුර්වලතා  සහ රෝගාබාධ හේතුවෙන් වැඩිහිටියන්ට වේදනාව ඇති වීම වැලැක්විය නොහැකි තත්ත්වයක් වුවද එය දරා ගැනීමට සහාය වීම සහ වේදනාව අවම කිරීමට රැකවරණය සපයන්නාට විශාල වගකීමක් ඇත. වේදනාව වැඩිහිටියා‍ගේ ජීවිතයේ ගුණාත්මක බව අඩු කරයි.   වේදනාව වයසට යෑමේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවේ.  වේදනාව සෑමවිටම  අසාමාන්‍ය දෙයක් බව මතක තබා ගතයුතු වේ. දීර්ඝ කාලීන වේදනාවන් ඇති කරන ඇතැම් තත්ත්වයන් වැඩිහිටියන් තුළ බහුලයි. මෙම තත්ත්වයන්ගෙන් සමහරක් වන්නේ, සන්ධි රෝග, ඔස්ටියෝපොරෝසිස්, ස්නායු දුර්වල වේදනාව  හා පිළිකා වැනි රෝගයි.  වේදනාව  සම්බන්ධව ඇති ලෙඩ රෝගවලට පමණක් ප්‍රතිකාර කිරීම පමණක් නොව වේදනාව සඳහා මතුපිටින් නොපෙනෙන හේතුව තේරුම් ගැනීම  ද වැඩිහිටි රැකවරණයේ දී වැදගත් වේ.

සමහර අවස්ථාවල වියපත් අයට ඔවුන්ගේ වේදනාව ගැන කතා කිරීමට නොහැකි අවස්ථා තිබේ. ඩිමෙන්ෂියාව, මොළයට හානි විම්  හෝ ආඝාතය වැනි රෝග තත්ත්වයන්  නිසා මෙය තවත් සංකීර්ණ විය හැකිය. මේ නිසා වැඩිහිටියාගේ වේදනාව  හඳුනා ගැනීමට පවුලේ අයට සහ රැකවරණය ලබා දෙන්නාට  ඉතා අපහසු වේ. කනස්සල්ල, නොසන්සුන්කම, ශෝකය සහ උද්වේගය බොහෝ විට වේදනාව පෙන්වන සංඥා වන නමුත් ඒවා වේදනාවේ නිශ්චිත සංඥා නොවේ.

නිර්වින්දන හෝ වේදනා නාශක බෙහෙත් ලබා දීම  අධීක්ෂණය කිරීමට විශාල කාලයක් ගතවේ. සාත්තු නිවාසවල හෝ වැඩිහිටි නිවාස වල කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවේ නම් වේදනා කළමනාකරණය සීමා විය හැකිය.

නොසැලකිලිමත්කම, නොසැලකිල්ල හේතුවෙන් වැඩිහිටියාගේ වේදනාව සැලකිල්ලට නොගන්නා  අවස්ථා වැඩිහිටි රැකවරණයේ දී වාර්තා වන අවස්ථා ඇත. වැඩිහිටියකුගේ වේදනාව අඩු කිරීම සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ වෛද්‍යවරයා, හෙද කණ්ඩායම හා රැකවරණය ලබා දෙන්නා  සමඟ සාකච්ඡා කරන්න. එසේම ගැටලුව පිළිබඳ වාර්තා තබා ගන්න.

වේදනාව පිළිබඳ මිත්‍යාවන්

  • නිදන්ගත වේදනාවක් තමාට ඇතැයි පිළිගැනීම  පුද්ගලික දුර්වලතාවක සලකුණකි.
  • නිදන්ගත වේදනාව අතීතයේ කරන ලද වැරදි සඳහා දඬුවම් කිරීමකි (කර්මයයි)
  • නිදන්ගත වේදනාව යනු මරණය  ආසන්න බවට සලකුණකි.
  • දරුණු වේදනාවක් සෑම විටම බරපතල රෝගයක් ඇති බව පෙන්නුම් කරයි.
  • වේදනාවක් ඇතැයි පිළිගැනීමෙන් ස්වාධීන බව අහිමි වනු ඇත.
  • විශේෂයෙන්ම සංජානනමය වශයෙන් දුර්වල වූ වැඩිහිටියන්ට වේදනාව දරා ගැනීමේ ඉහල හැකියාවක් තිබේ.
  • දිගුකාලීනව රැකවරණය ලබන වැඩිහිටියන් අවධානය යොමුකරවා ගැනිමට  ඔවුන් වේදනාවකින් සිටින බව පවසති.
  • වැඩිහිටියන් වේදනා නාශක ඖෂධවලට ඇබ්බැහි වීමට ඉඩ ඇත.

වේදනාව සහ එහි තීව්‍රතාව පිළිබඳව වඩාත්ම නිරවද්‍ය හා විශ්වසනීය සාක්ෂි වන්නේ නිවැසියන්ගේ හෝ රැකවරණය ලබා දෙන්නාගේ  ස්වයං-වාර්තාවයි. වැඩිහිටියා බොහෝ විට වේදනාව  විස්තර කරන්නේ  ” වේදනාව” යන වචනයට  වඩා අපහසුව , කැක්කුම වැනි වචන භාවිත කිරීමෙන්ය

 

වැඩිහිටියන්ට වේදනාව ඇති කරවන බහුල තත්ත්වයන්

  • හන්දිපත් වේදනාව 
  • කොන්දේ වේදනාව
  • අස්ථි බිදියාම්
  • ඇඳ වණ  
  • ස්නායු තෙරපුම්  
  • මුත්‍රා ආසාදන 
  • හෘද රෝග 
  • අපහසු ඉරියව් 
  • පිළිකා  
  • කෘතීම පළඳනා
  • මුඛ රෝග ‍
  • මළ බද්ධය

වේදනාව නිසා වැඩිහිටියන්ට  ඇතිවන බලපෑම් 

  • සුවපත් නින්දක් නොලැබීම 
  • ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වීම 
  • මානසික ආතතිය  
  • ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන මන්ද පෝෂණය 
  • දීර්ඝ කාලීන රෝහල් ගතවීම 
  • ජිවන රටාවේ වෙනස්කම් 
  • සෞඛ්‍ය සඳහා යොදවන ප්‍රතිපාදන වැඩිවීම 

 

වැඩිහිටියන් වේදනාව සන්නිවේදනය කරන්නේ කෙසේද?

වාචිකව හෝ වාචිකව  නොවන  ආකාරයට වේදනාව සන්නිවේදනය කිරීමට වැඩිහිටියා පෙළඹෙන අතර එය ඒ ආකාරයෙන්ම තේරුම්ගෙන ප්‍රතිචාර දැක්වීමට රැකවරණය සලස්වන්නාට හැකිවිය යුතුය. වේදනාව ප්‍රකාශ කරන ක්‍රම පහත දැක්වේ.

මුහුණේ ඉරියව්  –      දුක් බර ඉරියව්, රවාගෙන සිිටිම , බිය , නොසතුට 

වාචික ප්‍රකාශන – ඇඬීම , වැලපීම සහ අදෝනා කීම බොහෝ විට සිදුවන අතර වේගයෙන් හුස්ම ගැනිම, තොල මැතිරීම , කෙඳිරි ගෑම ද දක්නට ලැබේ

ශාරීරික චලන වැලක්වීම – නොරිස්සුම් සහගත ඉරියව්, අනම්‍ය බව ,  ශරීරය ඇඹරීම , ශරීරය අද්දමින් ගමන් කිරිම, කොර ගැසීම, නොන්ඩි ගැසීම , ඉරියව් මාරුකිරීමට හෝ ඇවිදීමට ප්‍රතික්ෂේප කිරීම 

පුද්ගල චර්යාවන් වෙනස් වීම – කළහකාරී විම, විනාශ කාරී වීම , ප්‍රතික්ෂේප කිරීම , සමාජ සබඳතා අඩු කිරීම , හුදකලා වීම 

මානසික තත්ත්වයේ වෙනස් වීම් – වික්ෂිප්ත බව , කේන්තියාම, ඇඬීම , ආවේගශීලී වීම

සාමාන්‍ය චර්යාවේ වෙනස්කම් – ආහාර ප්‍රතික්ෂේප කිරීම, ආහාර රුචිය අඩු වීම, නිද්‍රා රටාවන් වෙනස් වීම, ඉබාගාතේ ඇවිදීම

 

වේදනාව අඩු කිරීම සඳහා යෙදිය හැකි ක්‍රම

ශාරීරික  චිකිත්සක ක්‍රම 

  • අයිස් ‍යොදා ගෙන කරන තැවීම
  • රස්නයෙන් කරන තැවීම
  • අල්ට්‍රාසොනික්  චිකිත්සාව (ultrasonic theropy)
  • ලේසර් චිකිත්සාව (laser therapy)
  • විදුලි තෙරපුම (infrared light therapy)
  • කම්පන තෙරපුම  (shockwave therapy)
  • ඉලෙක්ට්‍රොනික තෙරපුම (electrotherapy)
  • වේදනාව වෙන ස්ථානයකට යොමු කිරීම (mobilization)
  • වේදනාවට ප්‍රතිරෝදය ලබා දීම (manipulation)
  • වතුර තෙරපුම Hydro therapy 

මනෝ විද්‍යාත්මක චිකිත්සාව

  • මානසික ඉහිල් කිරීම් – ගැඹුරින් හුස්ම ගැනීම, සංගීතයට හෝ ස්වභාවික පරිසරයේ ශබ්දයන්ට සවන් දීම, භාවනා, යෝග සහ සතිමත් බව
  • සංගීත චිකිත්සාව – ඔවුන් කැමති සංගීතයට සවන් දීමට සැලැස්වීම, එක්ව ගායනා කිරීම, සංගීත භාණ්ඩ වාදනයට හෝ සවන් දීමට සැලැස්වීම
  • රංග චිකිත්සාව 

අවධානය වෙන අතකට යොමු කිරීම

  • රූපවාහිනිය බැලීම, සංගීතයට සවන් දීම ,  සුරතල් සතුන් ඇති කිරීම , 
  • තමාට මානසික සතුට ගෙන දෙන දෙයක් පිළිබඳව මවා ගැනීම
  • හාස්‍ය ඇති කිරීම –  හාස්‍යය ජනක කාටුන් වැඩසටහන්, නාට්‍ය සහ පොත් කියවීම, විනෝද ජනක ක්‍රීඩා හඳුන්වා දීම

 

වැඩිහිටියාට තම වේදනාව  විස්තර කිරීමට අවස්ථාව ලබා දිය යුතුතේ කෙසේද? 

වැඩිහිටියාගේ වේදනාව ගැන ඔබ සමඟ කතා කිරීමට ඔහු දිරිමත්  කරන්න. මෙම වේදනාව ඇතිවිය හැකි ආකාරය සහ එය ප්‍රතිකාර කිරීම සඳහා හොඳම දේ ඉගෙන ගැනීමට මෙය උපකාරවත් වේ. වැඩිහිටියාට කතා කිරීමේ හෝ කන් ඇසීමේ දුර්වලතාවයක් වේ නම් ඔවුන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න . හැකි සෑම ක්‍රමයක්ම භාවිත කර වේදනාව පිළිබඳ වැඩිහිටියා සමඟ සන්නිවේදනය කරන්න. 

 

  • වේදනා දිනපොතක් තබා ගැනීමට වැඩිහිටියාට උදව් කරන්න 

වේදනා දිනපොතක්  තබා ගැනීමෙන්  වැඩිහිටියාගෙන් රැකවරණය ලබා දෙන පුද්ගලයන් හෝ වෛද්‍යවරුන් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට පහසු වනු ඇත. සෑම දිනකම සිදුවූ දේ නිවැරදිව සිහිපත් කිරීම සඳහා වේදනා දිනපොත්   උපකාර කරනු ඇත. වැඩිහිටියාගේ  වේදනාව ගැන අදාල පුද්ගලයන්ට පැවසීමට  එය උපකාරවත් වන අතර වේදනාවට හේතුව කුමක්දැයි වටහා ගැනීමට එය උපකාරයක්  වනු ඇත.  වේදනාව විස්තර කිරීමට  එන සියලු වචන ලියන ලෙස වැඩිහිටියාට පවසන්න . දිනපොත වේදනා චක්‍රය නිරීක්ෂණයට උපකාර කරයි. මෙය වේදනාව වැඩි වන විට සහ එය අඩු කළ හැකි ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක්  අන්අයට ලබා දෙනු  ඇත.

 

වැඩිහිටියාගේ වේදනාව තේරුම් ගැනීම සඳහා ඔබට ප්‍රශ්න ඇසිය හැකියි.

  • වේදනාව පවතින්‍නේ  කොහේද? වේදනාව එක් තැනක සිට තවත් තැනකට ගෙන යයිද?
  • 0 සිට 10 දක්වා පරිමාණයෙන් වේදනාව ගණනය කරන්නේ කෙසේද? (0 වේදනාවක් නොමැති අතර, දරුණුතම වේදනාව 10 වේ). එවිට ඔබේ වේදනාව ඉලක්කම් ගත කිරීමට අවශ්‍ය අංකය තීරණය කරන්න.
  • වේදනාව දැනෙන්නේ කෙසේද

මෙහිදී වේදනාව ගැන  පැවසීමට වචන පාවිච්චි කිරීමට ඉඩ දෙන්න. උදාහරණ ලෙස වැඩිහිටියා වේදනාව තියුණුය,  මිරිකනවා සේ දැනෙයි  නැත්නම්, වේදනාව පිහියෙන් අනිනවා වැනිය , දැවෙනවා වැනිය නැතහොත් ඉඳිකටු අනිනවා වැනි යනුවෙන් පැවසිය හැකිය.  වේදනාව සඳහා නිවැරදි වචන නොමැත. 

  • වේදනාව ආරම්භ වුණේ කවදාද? එය ඉක්මන් හෝ සෙමින් ආරම්භ වූයේද? වේදනාව ස්ථීරවද? නැතහොත් එය වරින් වර පැමිණෙන දෙයක්ද?
  • වේදනාව  කොපමණ වේලාවක් පවතින්නේද?
  • වේදනාව ඔබේ දෛනික ජීවිතයට බලපානවාද? වේදනාව තිබියදීත් ඔබේ ප්‍රියතම ක්‍රියාකාරකම් දිගටම කරගෙන යන්නට පුළුවන්ද? වේදනාව නින්දෙන් අවදිවන විට තිබේද? 
  • කැස්ස හෝ වේදනාව ඇති ප්‍රදේශය ස්පර්ශ කිරීම නිසා වේදනාකාරී තත්ත්වයන් ඇති වීමට හෝ වේදනාවට හේතු වේද?
  • වේදනාව  ඇතිවන්නේ කෑමට  පෙර හෝ පසු  වේද?
  • ස්ථාන වෙනස් කිරීම, විවේක ගැනීම, ඖෂධ හෝ ආහාරයට ගන්නා දේ වෙනස් කිරීම වැනි යමක්  කිරීමෙන් වේදනාව අඩුවේද?

 

මේ සෑම ආකාරයකින් ම වැඩිහිටියා තුල පවතින වේදනාව තේරුම් ගැනීමට රැකවරණය සලසන පුද්ගලයා කටයුතු කළ යුතු අතර එය ප්‍රතිකාර කිරිමට මෙන්ම රැක බලාගැනීමට ද පහසුවක් ඇති කරයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 

 

 

 


                

ගෘහස්ථ වායු දූෂනය

ගෑස් පිලිබඳව මෑතකදී ඇති වුන අවදානම් සහිත තත්වය නිසා බොහෝ දෛනක් නැවතත් දර ලිප් වෙත යොමු වුනා.ඈත අතීතයේ පටන් අපේ ඉවුම් පිහුම් කටයුතු වෙනුවෙන් භාවිතා කළ දර ලිප ගැන චෝදනා කරන්න බැරි වුනත් අද කාලයේ අපේ මුලුතැන් ගෙදර ඉඩ පරිසරය අනුව දර ලිපත් අවදානම් සහිත බවට මහනුවර  මහ රෝහලේ  ශ්වසන රෝග පිලිබඳ විශේෂඳ වෛද්‍ය දුශාන්ත මැදගෙදර මහතා බිබිසි පුවත් සේවය සමග පවත්වන ලද පුවත් සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රි ලංකාවේ පවතින ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් , දුම්වැටි පානය හා සමාන අවදානම් රෝග තත්වයන් සහ පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වයට වැඩියෙන් මුහුණ දෙන්නේ මව්වරුන් හා ගෘහණියන් බැව් සඳහන් කරන්න පුලුවනි. දර ලිප පත්තු කරන විට යොදන ප්ලාස්ටික්, පොළිතින්, භුමිතල්වලින් නිකුත් වෙන දුමෙන් අපේ සිරුරට ඉතා අහිතකර කාබන් මොනොක්සයිඩ්,නයිට්‍රජන් ඔක්සයිඩ්,සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අංශු පිටවෙනවා.එක දර ලිපක් දැල්වීමෙන් ඇති වෙන දුම දුම්වැටි 75 ක් 100 ක් අතර ප්‍රමාණයකින් නිකුත් වෙන දුමට සමානයි.කොටින්ම එය දිනකට සිගරට් පැකට් දෙකක් බිව්වාට වඩා වැඩියි. ඒ නිසාම කාන්තාවන් මෙම ගැටළුවට වැඩි වශයෙන් මුහුණ දෙන අතර ඔවුන්ට දුම්වැටි පානයෙන් ඇති වෙන COPD  (Chronic obstructive pulmonary disease, ) වාතය ගලායාම අවහිර වීම සහ හුස්ම ගැනීම සම්බන්ධ ගැටළු ඇති කරන ඇදුම, පෙනහළු පිළිකා ඇති වීම , සහ පටක හානියට පත් වීමේ වැඩි අවදානමක් ඇති බවත් විශේෂඳ වෛද්‍යවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා දර ලිපක් භාවිතා කරනවා නම් එය නිවසෙන් පිටත ස්ථානයක තබා ගන්නා ලෙසත් , නිවස තුළ තිබෙනවා නම් වාතාශ්‍රය හොඳින් පිටවෙන සේ මුළුතැන්ගෙය ජනේල යොදා ගැනීමෙන් මේ තත්වය තරමක් දුරට පාලනය කර ගත හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.

සාම්බ්‍රානි සහ හඳුන්කුරු

ආගමික වතාවත් සිදු කිරීම වෙනුවෙන් යොදා ගන්නා සාම්බ්‍රානි සහ හඳාුන්කුරු වගේම මදුරු දඟර දැල්වීමත් ගෘහස්ථ වායු දූෂණයට බලපාන බැව් සඳහන් කරන වෛද්‍යවරයා මදුරු දඟර දල්වන විට ජනේල විවෘතව තැබීම නිර්දේශ කරනවා.

සුරතල් සතුන්…

නිවසේ ඇති කරන සුරතල් සතුන්ගේ ලොම් වගේම ඔවුන්ගේ සිරුරේ සිටින පරපෝෂිතයන්ද සෞඛ්‍යට හානිකර බැව් අමතක නොකළ යුතුයි. 

ඒ වගේම නිවසේ කාමරයටම අලලා ඉදි කර තිබෙන නාන කාමර : (Attached Bathroom) නිතර වසා තැබීමෙන් ඒවායේ බිත්ති වාෂ්ප ලෙස  නිකුත්වෙන රසායනික අංශු දීර්ඝ කාලයක් ආඝ්‍රානය කිරීමෙන්ද සෞඛ්‍ය ගැටලු ඇති වෙන නිසා මේවායේ දොර ජනේල විවෘත කර තැබීම ඉතා වැදගත් බැව් වෛද්‍යවරයා සඳහන් කරනවා.බාගෙට ඉදි කරන ලද නිවාස වල ඇති අධික දූවිලි තත්වයන්ද පෙනහළු ආශ්‍රිත රෝග තත්වයන්ට බලපානවා.

නිවස තුළ ව්‍යාපාරිකව රෙදි මැසීමක් සිදු වෙනවා නම් රෙදිවල තිබෙන දූවිලි අංශු පෙනහළුවලට ඇතුලු වීමත් පසුකාලීන රෝග තත්වයන්ට හේතු වෙනවා. මේවා මුල් අවස්ථාවේදී හඳුනාගෙන  ප්‍රතිකාර නොකිරිම නිසා පසුකාලීනව මාරාන්තික තත්වයන්ට පවා ගොදුරු වීමට ඉඩ තිබෙනවා.වී වැනි ධාන්‍ය වර්ගවල ඇති කාටුව ගෘහස්ථ වායු දූෂණයේ තවත් චුදිතයෙක් ලෙස පෙන්වා දෙන්න පුලුවනි. 

මහනුවර  මහ රෝහලේ  රෝග පිලිබඳ විශේෂඳ වෛද්‍ය දුශාන්ත මැදගෙදර මහතා බිබිසි පුවත් සේවය සමග පවත්වන ලද පුවත් සාකච්ඡාවකදී සඳහන් කරන ලද තොරතුරු ඇසුරිනි.

 

දරුවන් සම්මානනීය චරිත ලෙසින් සමාජයට දායාද කරමු.

දෙමව්පියන් විදිහට ඔබ ලබන විශාල ජයග්‍රහණයක් වෙතොත් ඒ කුමක්ද..? ඇත්තටම කිවහොත් ඔබේ ආදරණීය දරුවන් සමාජයේ දොසක් අසන්නේ නැති  සහ ලෝකයට බරක් නැති පුරවැසියන් ලෙසින් ස්ථානගත කිරීමට හැකි නම් එතරම් වාසනාවක් තවත් ඔබට නැතුව ඇති. එවන් වාසනාවන්ත මව්පියන් ලෙසින් වගේම වැඩදායක පුරවැසියන් ලෙසින් ඔබේ දරුවන් සම්මානයටට පත් වීමට නම් අද දවසේ ඔබේ මෙහෙවර කුමක්ද…?

දරුවන් නොමග ගියොත් දොස් අහන්නේ මව්පියන්

ඔබේ දරුවා අනාගතයේදී ලෝකයට බරක් එහෙම නැත්නම් අනර්ථකාරී චරිතයක් වුනොත් සමාජය විසින් ඔබට දොස් නගනු ඇති. ඒ අන්දමින්  දෝෂාරෝපනයට පත් වීමට ඔබ කිසිදු ලෙසකින් ඔබ කැමැත්තක් දක්වන්නේ නැහැ.ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා වැඩදායක චරිතයක් ලෙසින් ගොඩ නැගීමට නම් අද දවසේ දෙමව්පියන් විදිහට ඔබේ කාර්යභාරය අමතක කරන්න එපා.

නීතියක් නැතුවත් බැහැ

සමාජයේ පැවැත්මට නීති පද්ධතියක් අනිවාර්ය බැව් රහසක් නොවෙයි.පවුලක වුනත් ඒ තත්වයේ වෙනසක් නැහැ. ඒ නිසා පුංචි පවුල තුළ වුනත් දරුවන් වෙනුවෙන් නීති පැනවීම වැදගත්. ඒවා දරුවාගේ කායික හෝ මානසික පැවැත්මට හානිදායක නොවන ලෙසින් පැනවීම ඉතාම වැදගත්. සුචරිත දරුවෙක් නිර්මානය කිරීමේදී යම් නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. නීති පනවා ගැනීමෙන් දරුවාගේ නිදහස සීමා වෙන්නේ නැහැ. නිදහස ලබා දීම තුළ වුනත් යම් සීමාවක් තිබෙනවා. දරුවෙක් බාල කාලයේ පටන්ම ශික්ෂණයක් ලැබීම වැදගත්. දෙමව්පියන් විදිහට ඔබ අද සමාජයේ දෙපයින් සිටින්නේ බාල කාලයේදී ඔබේ මව්පියන් විසින් යම් නීති රීති මාලාවක් අනුව ඔබේ ජීවිතය හැඩ ගසා ගැනීමට අවශ්‍ය පසුබිම සූදානම් කළ නිසා බැව් අමතක කරන්න එපා. ඒ නිසා ඔබත් ඔබේ දරුවා වෙනුවෙන් යම් නීති රාමුවක් පුංචිම පවුල් ඒකකය වන නිවසේදීම පනවා ගන්න.

නීති කැඩුවොත් දඬුවම් දෙන්න

ඔබ පනවන නීති රීති රාමුව තුළ දරුවා කටයුතු කරන විට යම් අවස්ථාවකදී දරුවාගෙන් අතපසුවිමක් හෝ එම නිති අනුව කටයුතු නොකරන රටාවක් ගොඩ නැගෙනවා නම් ඒ වෙනුවෙන් දඬුවම් ලබා දීමත් වැදගත්. නීතිය පමණක් පැනවීම ඵලදායක නොවේ. නීතිය කැඩුන තැනදී ලබා  දෙන දඬුවම නිසා දරුවා ඔබ විසින් පනවන නීති රීතිවලට අනුගතව කටයුතු කිරීමට උත්සහ ගනු ඇත.

ජාතක කථාවක එන මේ ආදර්ශය ඔබටත් මතක ඇති. මහලු කාන්තාවකගේ තල පැදුරෙන් තල මිටක් සොරකම් කළ රජකුමාරයාට ගුරුතුමා විසින් දඬුවම් ලබා නුදුන්නා නම් අනාගතයේදී ඒ රජකුමාරයාට සිහසුන වෙනුවට බන්ධනගාරය උරුම වෙනු ඇත. බන්ධනාගාරගතව සිටින බොහෝ පුද්ගලයන් පවා ඔවුන්ගේ අතීතාවර්ජනයන්හිදී පවසන්නේ බාල කාලයේදී ඔවුන්ට යා යුතු මග නොමග කියා දුන්නා නම් අද දවසේ ඔවුන්ගේ ජීවිතය මේ අන්දමින් අවාසනාවන්ත තත්වයට පත් නොවන්නට ඉඩ තිබුන බවයි. ඒ නිසා නීති කඩන විට ඒ වෙනුවෙන් දඬුවම් ලබා නොදෙනවා නම් අපේක්ෂිත අන්දමින් දරුවාගේ චරිත සංවර්ධනයත් සිදු වෙතැයි බලාපොරොත්තු වීමත් සැකයක් විය හැක.

තමන්ගේ කටයුතු කර ගැනීමට ඉඩ දෙන්න

මගේ මිතුරියක් එක් දිනයක මෙහෙම කිව්වා…සින්ක් එකට උස වුන දවසේ පටන් පුතාගේ කෝප්පය , පිඟාන හෝදන්න මම නියම කලා. ඒ වගේම එයාගේ සර්වියට් එක, මේස් දෙක අනිවාර්යෙන්ම හෝදා ගන්න ඕන. දැන් ලොකු ළමයින්ගේත් බත් කාපු පිගාන අම්මා හෝදනවා කිව්වාම මට නම් ලැජ්ජයි. එදා නීති පනවලා මගේ දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු පුරුදු පුහුණු කරන්න නීති සහ රීති පනවපු නිසා අද කිසිම කරදරයක් නැතුව ඒ අයගේ වැඩ කර ගන්න පුලුවනි.

ඒ නිසා හැම විටම දරුවාගේ වැඩ කටයුතු හැකි අන්දමින් කර ගැනීමට ඉඩ දෙන්න. නමුත් ඔබ පසුවිපරම් කිරීමටත් අමතක කරන්න එපා. සමහර විට දරුවාගේ වයසට අනුව මේ දේවල් ඔවුන් විසින් සිදු කළත් ඒවා සර්ව සම්පූර්ණයෙන්ම සාර්ථක තත්වයක් නොතිබෙන්න පුලුවනි. ඒ නිසා අඩු පාඩු තැන් බලා නිවරැදි කරනු මිස දරුවාට දොස් නගන්නත් එපා.

කාලය ඉතා වැදගත්

කාලය තරම් වටිනා දෙයක් තවත් නැති බැව් දරුවාටත් කියා දෙන්න. අද දවසේ කළ යුතු කටයුතු අද දිනයේ ඉටු කර ගැනීමට නම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට පුරුදු  කරන්න.දරුවාගේ වයසට වුනත් ඔවුන් විසින් කළ යුතු වැඩ කොටසක් ඇති නිසා ඒ වැඩ කොටස අනුව දවස සැලසුම් කරන ආකාරය කියා දෙන්න. පංතියේ වැඩකටයුතු පවා කාලසටහනකට අනුව සැලසුම් සහගතව සිදු කරන්නේ නම් අනාගතයේදී දරුවා ඉදිරියේ ඇති ඉලක්ක ජය ගැනීම වඩාත් පහසුවෙන් මෙන්ම ඵලදායී අන්දමින් සිදු වෙනු ඇත.

අද දවසේ බොහෝ වැඩිහියන්ට පවා කලට වේලාවට අනුව යම් දෙයක් කිරීමට අපහසුව ඇත්තේ කාල කළමණාකාරනයේ මුලික පාඩම් ඔවුන් බාල කාලයේ ඉගෙන ගෙන නොමැති නිසා බැව් රහසක් නොවේ. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවාත් වේලාවට වැඩක් කිරීමට නොහැකි අයගේ ලැයිස්තුවට එක් වීමට ඉඩ දෙන්න එපා.

ආචාරශීලීව හැසිරෙන ආකාරය උගන්වන්න

අද දවසේ ඔබේ දරුවාගේ සමාජය බෙහෙවින් කුඩා බැව් ඇත්ත. එයින් අනතුරුව පෙර පාසල් සහ දිනපතා පාසල් වයස සමග ඔවුන් තවත් සමාජයක් ගොඩ නගා ගන්නවා. බොහෝ අවස්ථාවන්හිදී දරුවාගේ ආචාරශීලිත්වය සමග ඔවුන් සමාජයේ ප්‍රසන්න චරිතයක් ලෙසින් බැබලෙන්න ඇවැසි වාතාවාරණය දෙමව්පියන් වන ඔබ විසින් සූදානම් කරන්න. අනුන්ගේ උස් මිටි තැන්, ඕපා දූප කථා වලින් දුරස් කරන්න. ඔබ දරුවා ඉදිරියේ තබා ගෙන මෙවැනි අනවශ්‍ය කතා බහ කරන විට දරුවන්ද ඔබ අනුගමනය කරමින් අනාගතයේදී සමාජයට අහිතකර ලෙසින් වචන හසුරුවන චරිතයක් බවට පත් වෙනු ඇත. 

ගරුත්වය ලබා දීම

අද බොහෝ දරුවන් වැඩිහිටියන්ට , ගුරුවරුන්ට ගරුත්වයක් නොදෙන පිරිසක් බවට පත්ව සිටිනවා. ගුරුවන්රුන්ට ආමන්ත්‍රණය කිරිමේදී අසංවර අන්දමින් වචන හසුරුවන එවැනි අසංවර හැසිරීම් අහිතකර බැව් දරුවාට කියා දෙන්න. වැඩිහිටියන් සහ ගුරුවරුන් මෙන්ම ඥාතීන්, හිත මිතුරන් සහ අසල්වැසියන් යන මේ සෑම දෙනාම දරුවා සමග අනාගත සමාජය තුළ ජීවත්වෙන බැවින් ඔවුන් සමග සහජීවනය ගොඩ නගා ගන්නා අන්දම දරුවාට කියා දෙන්න.

අම්මා තාත්තා වගේම හොඳ දරුවෙක් යන සංකල්පය ඔබේ දරුවා මුල් කර ගෙන සමාජයෙන් ඇසෙනවා නම් ඒ තරම් වාසනාවක් තවත් නැති බැව් ඔබටත් සිතේවි.

අවවාද වැදගත්…

දරුවෙක් යහමගට ගැනීමේදී අවවාද ඉතාම වැදගත්. නමුත් අවවාද ලබා දීමේදී එය දරුවාට අනවශ්‍ය පීඩනයක් නොවිය යුතුයි. නිරන්තරව අවවාද ලබා දීම නිසා දරුවා අවවාද වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා සෑම දෙයකම සීමාවක් තිබෙනවා සේම අවවාද ලබා දෙන විටත් එයින් දරුවාගේ ජීවිතයට අවශ්‍ය ආලෝකය ලැබෙන පරිදි අවවාද ලබා දීම වැදගත්.නිරන්තරව  ලබා දෙන අවවාද නිසා කම්මලේ බල්ලා හෙණහඩටත් බිය නැති වන්නා සේ , ඔබ විසින් ලබා දෙන අවවාද ගැන දරුවා කිසිදු ලෙසින් තක්සේරුවක් නොකරන තැනට පත් වෙනු ඇති.

එහෙමනම් ඔබේ දරුවා අනාගතයේදී සමාජයට හිතකාමී චිරිතයක් ලෙසින් ගොඩ නැගීමට නම් අද දවසේ දෙමව්පියන් ලෙසින් ඔබෙන් ඉටු විය යුතු යුතුකම්…වගකීම් ගැනත් අවධානයක් දීමට අමතක කරන්න එපා.

 

 




පුංචි පැටියාට තෑග්ගක් දෙමු…

පුංචි පැටියට තෑග්ගක් විදිහට මොනවද ගෙනියන්නේ…? ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතට නැගෙනවා ඇති. කොහොම වුනත් පුංචි දරුවන්ට තෑගි තෝරා ගැනීමත් අපි හිතන තරමටම සරල නැහැ.පුංචි සිතුම් පැතුම් අපට තේරුම් ගැනීමත් අපහසුයි. අම්මා, තාත්තා නම් ඒ බව දන්නවා. ඒත් පිටස්තර පුද්ගලයන් විදිහට අපට දරුවාගේ කැමැත්ත ගැන වැඩි අවබෝධයක් නැහැ.ඉතින් එහෙමනම්…පුංචි පැටියාට තෑග්ගක් තෝරා ගැනීමට හිත සමග තර්ක කරන ඔබට ගැලපෙන හෝඩුවාවන් කීපයක් මෙන්න…

තෑග්ගක් තෝරා ගැනීමේදී මේ ගැන සිතන්න..

අද පවතින තත්වය අනුව දරුවන්ට සමූහ වශයෙන් ක්‍රිඩා කිරීමත් අපහසුයි. ඒ වගේම විවිධ උපාංග සහිත තෑගි භාණ්ඩ නිසා දරුවන්ට අනතුරු වෙන්නත් පුලුවනි. උදාහරණයක් විදිහට මේවායේ තිබෙන බොත්තම් වැනි දේවල් දරුවා කටේ , නාසයේ හෝ කණට දාගන්නත් පුලුවනි.එකම තැනක රැඳී සිටින අතරවාරයේ දරුවන්ගේ මොළයට ව්‍යායාමක් ලැබෙන ක්‍රිඩා භාණ්ඩයක් තෝරා ගැනීමට ඔබට පුලුවනි.

බිල්ඩින් බ්ලොක්ස් හෝ ජිග්සෝ….ප්‍රහෙලිකා ආශ්‍රයෙන් සෙල්ලම් කරන විට දරුවාගේ තර්ක ඥානය උත්තේජනය වෙනවා. බිල්ඩින් බ්ලොක්ස් වගේම ජිග්සෝ ප්‍රහෙලිකාවක් සකස් කරන විට යම් ආකාරයකින් දරුවා තමන් සමග තර්ක කරනවා. ප්‍රහෙලිකා කොටස් එකලස් කරන විට සතෙකුගේ නම් ඔලුව මෙතැනට..නගුට මෙතැනට ආදි වශයෙන් දරුවා ඒවා ස්ථානගත කරනවා. ඒ වගේම තැනට නොගැලපෙන බව තේරුම් යන විට දරුවා විසින්ම ඒවා විතැන් කරනවා.මේ අන්දමින් සිදු වෙන ස්වයං තර්කනය නිසා දරුවාගේ තර්ක ඥානය ස්වයංක්‍රිය ලෙසින්ම උත්තේජනය විමක් මෙවැනි තෑගි ලබා දීමෙන් සිදු වෙනවා.

නිර්මානශීලියි…

බිල්ඩින් බ්ලොක්ස් වැනි කොටසක් එකලස් කරන විට දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. වර්ණ ගැන අවබෝධයක් ලැබෙනවා. වර්ණ සංකලනය කිරීමෙන් දරුවාගේ හිතට යම් ආශ්වාදයක් ඇති වෙනවා.ඒ වගේම බිල්ඩින් බ්ලොක්ස් එකතු කරමින් ගොඩ නගන නිර්මානය නිසාම දරුවාගේ නිර්මානශීලී හැකියාවන් වර්ධනය වෙනවා. තව තවත් නිර්මාණ ගොඩ නැගීමේ උනන්දුවත් ඔවුන් තුළ ගොඩ නැගෙනවා.

ඉවසීම…

මෙවැනි කාර්යක නිරත වෙන විට සන්සුන් මානසිකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දරුවා බොහොම ඉවසීමෙන් ඒ නිර්මානය තුළ රැඳෙනවා. විනාඩි පහක් එක විදිහකට ඉන්න බැරි වුනත් යම් නිර්මානශීලී කාර්යක නිරත වෙන විට දරුවා තුළ නොදැනීම ඉවසීම ප්‍රගුණ වීමක් සිදු වෙනවා.

සතුට

අපිට වුනත් යම් නිර්මානයක් අවසානයේදී ඇති වෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. දරුවාගේ හිත ඊට දෙවැනි නැහැ. තමාගේ ස්වශක්තියෙන් ගොඩ නගන ප්‍රහෙලිකාව හෝ බිල්ඩින් බ්ලොක්ස් නිර්මානය දකින විට මහත් වූ සතුටක් හිතට ඇති වෙනවා. ඒ සතුට නිසාම ඔවුන් එතැනින් නවතින්නේ නැහැ.තව තවත් නිර්මාණ කිරීමට උනන්දු වෙනවා.

විවේකය යහපත් පරිදි ගෙවන්න

පර්යේෂකයන් පවා පෙන්වා දෙන අන්දමට ජිග්සෝ ප්‍රහෙලිකා විසඳන දරුවන්ගේ කුසලතාවයන් සංවර්ධනය කර ගැනීමට වැඩි ඉඩක් ලැබෙනවා. කොටින්ම බිල් ගේට්ස් වැනි බිලියනපතියන් පවා තවමත් විවේක වේලාවට ජිග්සෝ ප්‍රහෙලිකා සමග කාලය ගෙවන බැව් වාර්තා වෙනවා. ඒ නිසා ඔබේ දරුවාටත් විවේකය යහපත් ලෙසින් යොදවා ගැනීමට මෙවැනි ජිග්සෝ ප්‍රහෙලිකා හෝ බිල්ඩින් බ්ලොක්ස් සමග සිදු කරන ක්‍රිඩා වඩාත් හිතකර වීමට අවස්ථාව තිබෙනවා.

එකමුතුබවක්…

දැන් දරුවන්ට සෙල්ලම් කිරීමට බාහිර පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා පවුලේ සහෝදර සහෝදරියන් සමග එකතුව මෙවැනි ක්‍රිඩාවක යෙදීමට තිබෙන අවස්ථාව නිසා ඔවුන් අතර එකමුතු බව ඇති වෙනවා. අද බොහෝ දෙනා නගන චෝදනාවක් තිබෙනවා. අපේ කුඩා දරුවන් පවා ජංගම දුරකථනය සමග පවුලෙන් දුරස් වී සිටින බැව් කිව්වත් මෙවැනි ක්‍රිඩාවක් කරනවා නම් දරුවන් අතරත් යම් ආකාරයක එකතුවක් සහ එකමුතුබවක් ඇති වෙනවා.ජංගම දුරකථනයකින් සිදු වෙන පවුලේ විතැන් වීම වෙනුවට බිල්ඩින් බ්ලොක්ස් හෝ ජිග්සෝ ප්‍රහෙලිකාවක් මගින් ඔවුන් අතර  එකමුතුබව ගොඩ නගන්න  පුලුවනි.

මානසික ආතතිය දුරු වෙනවා..

අද කාලයේ පුංචි දරුවන්ටත් මානසික ආතතිය ඇති වෙන බැව් ඔබත් දන්නවා. ඒ නිසා ඔවුන්ට පවා හිතට සතුටක් ලැබෙන යම් කටයුත්තක නිරත වීම වැදගත්. ඒ නිසා දරුවන්ට මෙවැනි ක්‍රිඩා කිරීමට ලැබෙන කාලය නිසා ඔවුන්ගේ කාලය යම් කාර්යක් වෙනුවෙන් නොදැනීම යෙදවෙනවා. ඒ අවසානයේ යම් පසුපෝෂණයක් හෙවත් තමා විසින් සිදු කරන ලද නිර්මානය දැකීමෙන් හිතට සතුටක් ඇති වෙනවා. මේ මානසිකත්වය නිසාම දරුවාගේ මානසික ආතිතමය තත්වය පවා දුරු වෙන බව මෑතකදී සිදු කරන ලද විවිධ අධ්‍යනයන් මගින් හදුනා ගෙන තිබෙනවා.

ප්‍රහෙලිකා පුරවන්නත් දෙන්න..

ඒ වගේම ප්‍රහෙලිකා පුරවන විට මානසික උත්තේජනයක් ඇති වෙන බවත් දැන් විවිධ අධ්‍යනයන් මගින් සනාථ වී තිබෙනවා.ඒ නිසා දරුවාගේ ළමා පුවත්පත්වල තිබෙන හරස්පද ප්‍රහෙලිකා පුරවන්න උනන්දු කිරීමත් වැදගත්. හරස්පද ප්‍රහෙලිකා වගේම bridge , සුදොකු… Scrabble, වැනි ක්‍රිඩාවලින් දරුවාගේ මොළයට වයායාමයන් ලැබෙන බැව් අමතක කරන්න එපා. ”සුදොකු ” කියන්නේ මොළය තිරිහන් කරන ක්‍රිඩාවක්. තර්කනය මත පදනම් වුන ක්‍රීඩාව යන අර්ථය ඇති ”සුදොකු ” යන්නෙහි ජපන් යෙදුම ”සුජීවා දකුෂින් නි කහිරු ” යන්නයි. මෙහි අර්ථය වන්නේ සංඛ්‍යා  හුදෙකලා වීම බැව් කියැවෙනවා.

අකුරු යොදා ගෙන සිදු කරන Scrabble ක්‍රීඩාවෙන් දරුවාට ඉතා හසුරු ලෙසින් වචන පිළියෙළ කිරීමේ හැකියාව ලැබෙනවා. එක් අතකින් මෙය ක්‍රීඩාවක් වුනත් තවත් අතකින් වචන පිළිබඳව දැණුම සහ ව්‍යායාමක් ලබා ගැනීමට අවස්ථාවක්.

හරස්පද ප්‍රහෙලිකා ඔබට නිර්මානය කරන්නත් පුලුවනි.

පුංචි ඔබට හැකියාව තිබෙනවා.පැටියාගේ වයසට, මනසට ගැලපෙන හරස්පද ප්‍රහෙලිකා ඔබටත් නිර්මානය කරන්න පුලුවනි. ඒ වෙනුවෙන් විශාල කාලයක් අවශ්‍ය නැහැ.පුංචි මනසට ගැලපෙන විදිහට පුංචි හරස්පද කීපයක් හරහට සහ පහළට ගලපන්න දෙමව්පියන් විදිහට
ඩිමෙන්ෂියාවටත් හොඳ විසදුමක්..

වයසත් සමග ඇති වෙන ඩිමෙන්ෂියා රෝග තත්වයට ප්‍රහෙලිකා විසඳීම මගින් සහනයක් ලබා ගන්න පුලුවනි. නොටින්හැම් සරසවියේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙනී ගියේ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන් අතරින් විටමින් ලබා දුන් පුද්ගලයන්ට වඩා හරස්පද සහ සුදොකු ක්‍රිඩා කිරීමට යොදා ගත් පුද්ගලයින්ගේ මානසික මට්ටම සතුටුදායක තත්වයකින් පැවැති බවයි.ඒ නිසා පර්යේෂණවලින් පවා පෙනී ගොස් තිබෙන අන්දමට මෙවැනි මානසික ව්‍යායාම නිසා වියපත්වීම සමග ඇති වෙන ඩිමෙන්ෂියා සහ අල්සයිමර් වැනි රෝගවලටත් යම් ආකාරයක සහනශීලී විසඳුමක් ලැබෙන බවයි.

එහෙමනම් පුංචි පැටියන්ට සෙලල්ම් බඩු තෝරන විට පුංචි හිතට හතුට වගේම පුංචි මොළයටත් ව්‍යායාමයක් ලැබෙන ආකාරයේ ප්‍රයෝජනවත් දෙයක් තෝරා ගැනීම වැදගත් නේද…?

 

 

ඔබේ දරුවන්ව ඔබේ කුඩා කාලයට ගෙන යන්න…

ඉන්දීවරී හනි හනිකට ලක ලෑස්ති වුණේ කාර්යාලයට යන්නටය. රූපවාහිනියේත් පරිඝණක යන්ත්‍රයේත් වයර් සියල්ල ගලවා අල්මාරියට දැමූ ඇය. අත් බෑගයත් රැගෙන සාලයට පිවිසියාය. ලොකු දුව ශ්වේතාත් පුතා ගගනත් සාලයේ සෙටිය මත කපලපා හෙලු කෙසෙල් කඳන් මෙන් ඔහේ වැටී සිටිනු දුටු ඇයට සිතට නැගුණේ නොරිස්සුම් සහගත තත්ත්වයකි.

“මොකද මේ දෙන්න තැන් තැන් වලට වෙලා නිකන් බලාගෙන ඉන්නේ පොතක් පතක් නැද්ද? ”

“අනේ අම්මා අපිට හරි පාලුයි දවසම ගෙදර ඉන්න ගියාම එපා වෙනවා.”

“ඉතින් කතා පොතක් කියවන්න ඉස්කෝලෙ වැඩ කරගන්න. හවසට බයිසිකල් පදින්න, එහා ගෙදර නංගියි ඉස්සරහා ගෙදර මල්ලිලා දෙන්නයි, පහළ ගෙදර අක්කයි අයියි එක්කලා සෙල්ලම් කරන්න. ”

“හැමදාම ක්‍රිකට් මැච් ගහලම එපා වෙනවා අනේ.”

“ඇයි වෙන සෙල්ලම් ඇත්තෙම නැද්ද?”

“එකම ජාතියේ  සෙල්ලම් කරලා එපා වෙනවා.”

“මේ දවස් ටිකේම උදේ ඉඳලා මම එනකල්ම දෙන්නා ටීවී එක ඉස්සරහා පොතක පතක වැඩක් කරලා නෑ.ඒක නිසා ටීඩී තහනම්. කොයි දේක වුනත් සීමාවක් තියෙනවා. අත්තම්මට කරදර නොකර ඉන්න.”

පුතාගේත් දුවගේත් පාලුවෙන් පිරුණු කිසිම සතුටක් නැති ඇස් නිසා හිතට ගෙන ආවේ අවිවේකී බවක්. සැමියාත් කාර්යය බහුල නිසා දරුවන් සමඟ ගත කරන්නට ඒ තරම් කාලයත් තිබුණෙ නැහැ. ඉන්දීවරී පෞද්ගලික ආයතනයක සහකාර ගණාකාධිකාරිණියක් ලෙස සේවය කළා.

එදින සෙනසුරාදාවක් බැවින් එකයි තිහට කාර්යාලයෙන් නික්ම ආ ඇය නිවසට අවශ්‍ය බඩු බාහිරාදියත් මිලදී ගෙන  ත්‍රීරෝද රථයට ගොඩවිය. ඇත්තෙන්ම දරුවන් කොයි තරම් හුදකලා වී ඇත් දැයි  ඇයටම සිතුනා. තමන් කුඩා කල වින්ද ජීවිතත් අද තමන්ගේ දරුවන් විඳින ජීවිතත් අහසට පොළව මෙන්ය. ඉස්සර සෙල්ලම් බඩු කියා මහා බඩු කන්දරාවක් තිබුණේ නැත. බට්ටා පනින්නට හරිම පරිස්සමට පරිස්සම් කර ගත් සමතලා ගල් කෑල්ලක් , කුරුම්බැට්ටි, සිප්පි ගහන්නට බීම බෝතල් වල බෝතල් මූඩී, පොල්කටු කිහිපයක් සෙල්ලම් මැටි ඇතිලි කට්ටලයක්, විවිධ ප්‍රමාණයේ ටින්, ටෙනිස් බෝලයක්. වගේ එහෙන් මෙහෙන් සොයා ගත් සෙල්ලම් බඩු තිබුණේ. ඒත් අද ප්ලාස්ටික් කෑලී ගොඩක්, පරිඝණක,ටැබ්ලට් එක්ක ළමයිගෙ ජීවීත ගෙවෙන්නේ. 

“අම්මා ආවා”

පුතා දුවගෙන ආවේ සතුටින්.

“මොනවද කළේ දෙන්නත් එක්ක”

“ඉංග්‍රීසී පන්තියේ වැඩ ටික කළා, ගණන් පාඩමක් කළා ෂර්ලොක් හෝම්ස් කියෙව්වා”

“මම අපේ ගම කියෙව්වා චිත්‍රයක් ඇන්දා ”

“ඉන්නකො මම ඉක්මනට මේ ටික අස්පස් කරලා ඇඟ සෝදගෙන එන්නම්”

මේ කොරෝනා වසංගතයත් සමඟ මිනිස් ජීවිත කොයි තරම් උඩු යටිකුරු වුණාද දරුවන්ගේ ළමා කාලය ගෙවල් වලටම සින්න වෙලා  අධ්‍යාපනය ඇණ හිටලා,පරිඝක, ස්මාර්ට් දුරකථන, ටැබිලට් නැතිවම බැරි උපාංග වුණා වගේම දරුවොත් මේ ඉලෙක්ට්‍රොනික් උපකරණ නිසා විවිධ රෝග වලට ගොදුරු වෙලා. පහුගිය දවස් වල අධ්‍යාපන කටයුතු නිසා දරුවන් වැඩි කාලයක් ගත කළේ පරිඝණකය හෝ ස්මාර්ට් දුරකථනය ඉදිරියේය. දරුවන් විවේකය ගත කළේ රූපවාහිනියේ පෙන්වූ  විදේශිය රට වල නිපද වූ කිසිඳු වැදගත්කමක් නැති කාටුන් බලමින්ය. ඒ  කාටුන් වලින් බොහෝ විට පෙන් වූයේ  ඉරිසියාව , ක්‍රෝධය හා ප්‍රචණ්ඩත්වය යි.  මේ ව්‍යවසනයට විසඳුම දිය යුතුම කාලය පැමිණ ඇත. අපි ආයෙත් අතීතයට ගමන් කළොත් හරි.  කල්පනාවේ නියැලෙමින් වැඩ කටවුතු අහවර  කොට ඇය ඉදිරි පසට යන විට අසල්වාසී දරුවන්ද සමඟින් ශ්වේතා හා ගගණ බර කතාවකය.

“හැමදාම කරන සෙල්ලම වෙනුවට අපි අද බට්ටා පනිමු”

“ඒ මොකද්ද ඉන්දීවරී නැන්දේ? ”

“මම කියලා දෙන්නම්කො ”

ඉන්දීවරී නැවත ළමා කාලයට පියමැන්නාය. අටේ බට්ටා පනින්නටත්  ඇය පොඩ්ඩන්ට කියා දුන්නා.

“අනේ ඒ සෙල්ලම ෂෝක් ”

දරුවන් රාත්‍රිය උදාවන තුරුම ආසාවෙන් සෙල්ලම් කරද්දි ඉන්දීවරීගේ සිත ද සතුටින් පිරුණා. 

අපි ගස් මාරූ පෙති මාරූ, හැංගි මුත්තම් අල්ලන සෙල්ලම් සම්බෝල, ටීක් බෝල ගැසීම, සිප්පි ගැසීම, මස්කට්ට,අයිස්පයිස්, ටක් ටක් ටක කවුද ආවේ? , වන් ටූ ත්‍රී බම්බල පී,  සෙල්ලම් ගෙවල්, දාං ඇදීම, කොටු පිරවීඹ , ගැහැණු පිරිමි මල් පළතුරු කොයි තරම් නම් සෙල්ලම් අපි කලාද? හැමදේම යන්නේ පරපුරෙන්  පරපුරට ඉතින් අපි අපේ දරුවන්ට මේ සෙල්ලම් කියලා නොදෙන තාක් කල් එයා ඒ ගැන දැන ගන්නනෙ කොහොමද ? වගකීම අපේ අතේමයි අපි වින්ද ජීවිතේ අපේ දරුපැටවුන්ටත් දායද කළොත් දරුවොත් එයාලගෙ දරුවන්ට කියා දේවී. පුංචි කාලේ අපි  කරපු සෙල්ලම් ආයේ දරුවන්ට කියා දෙන්න ඕනී  ඇය සිතා ගත්තා.

දවස ගෙවිලා ගියේ වේගයෙන් ඉන්දීවරී දරුවන්ගෙ දැක්කෙ වෙනස්ම හැසිරීමක්. වෙනදාට හතර පහ වෙනකොට රූපවාහිනයට ඇදුණු දරුවන්ට දැන් රූප වාහිනය පිළිබඳ මතකයක්වත් නැත. පොඩ්ඩො ඇඳිරි වැටෙන තුරුම දහඩිය, කුණු දූවිලි පෙරාගෙන නටනවා. අතරින් පතර සිදුවන රණ්ඩු වල කෙළවරක් තිබුණේ ද නැත. ඒත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ම විසඳා ගනිමින් කිසිත් සිදු නොවන තාලයට සෙල්ලමේ යෙදෙනවා. එක අතකින් ඔවුන් ජීවිතේ රසවිඳින අතර අනාගතයේ පුද්ගල සබඳතා පවත්වා ගන්නා අකාරයත් ඉගෙන ගන්නවා. තමන්ගෙ වාරය එනතුරු ඉවසීමෙන් සිටීම, කණ්ඩායම් හැඟීම වගේම අලුත් අදහස් ක්‍රියාවට නංවනවා.  

 

ඉතින් තවත් පරක්කු වෙන්නෙ ඇයි ඔබත් ඔබේ දරුවන්ව ඔබේ කුඩා කාලයට ගෙන යන්න