මනෝ විද්‍යාවට අනුව ගුරු භූමිකාව තුළ ගුරුවරයාගේ වගකීම ඉටු කළ යුත්තේ කෙසේද?

අතීතයේ අධ්‍යාපනය ක්‍රියාවලිය හරහා බිහි කළ යුතුව තිබුණේ එම රටේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික මට්ටමට ගැලපෙන ජාතික සංවර්ධනයට දායකත්වයක් සැපයිය හැකි ජාතික පුරවැසියෙකි. නමුත් ශ්‍රී ලංකාව විශ්ව ගම්මානයට එක්වීමත් සමඟ වර්තමානයේ අධ්‍යාපන ක්‍රියාවලිය හරහා බිහි කළ යුතු ය ඇත්තේ ජාතික සීමාව ඉක්මවා ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ලෝකය සමග ගනුදෙනු කළ හැකි ගෝලීය පුරවැසියෙකි.මේ සඳහා දරුවෝ හුරු කරන්නේ අපේ ගුරුවරු වන ඔබයි.

ලොව පුරා පැතිර ගිය කොවිඩි වසංගතය හමුවේ අපේ දරුවන්ට පාසැල් යාම, අධ්‍යාපන කටයුතු, යහලු යෙහෙලියන් සමග ගනුදෙනු කතා බහ, කෙළි සෙල්ලම් හා ක්‍රීඩා පිටිය, ගුරුවරුන්ගේ මගපෙන්වීම හා සබඳතා අහිමි වීම ඉතා තදින් බල පෑ බව කිව යුුතුම කරුණකි. නිවෙස් තුළ සිරකරුවන් වූ අපේ දරුවන් විද්‍යුත් උපාංග සමග තනි වූ අතරම අකමැත්තෙන් වුවද එම උපාංග දරුවන්ට ලබා දීමටත් මා පියන්ට සිදු වූයේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම වැලැක්වීම වෙනුවෙනි. මේ  වටපිටාව හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය හා සමගම ගුරුවරුන්ට ද විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූවා. පාසැල් නැවත විවෘත වීමත් සමගම අද වන විට ගුරුවරුන් හමුවේ ඇති දැවැන්තම අභියෝගය වී ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ අසාර්ථක වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාර්ථකත්වය කරා රැගෙන යාමයි.

ගුරුවරුන්ට ඇති අභියෝග හමුවේ විෂය නිර්දේශ අවසන් කර ගැනීම, දරුවන් විභාගවලට සූදානම් කිරීම, අධ්‍යාපන ක්‍රියාවලියට දරුවන් පොළඹවා ගැනීම, දරුවන් තුළ ගොඩනැඟී ඇති නොගැලපෙන චර්යා පාලනය කර ගැනීම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පාසැල තුළ පවත්වාගෙන යාම, ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දෙමව්පියන්ගේ සහය ලබා ගැනීම යන කරුණුවලට මුල් තැන දිය යුතුව ඇති අතරම ඒ වගකීම් සාර්ථකව ඉටු කරගැනීමට නම් නිවෙස්වලට සිර වී කල් ගෙවූ දරුවන් අතරින් සාර්ථක දරුවන් මෙන්ම අසාර්ථක දරුවන් වෙන්කර හඳුනා නිසි අයුරින් ඔවුන්ව මෙහෙය වීම ඉතා වැදගත් වේ. 

සාර්ථක මෙන්ම අසාර්ථක දරුවන් හඳුනා ගනිමු

සාර්ථක දරුවන් සැමවිටම ‍

  • යහපත් ආකල්ප, විශ්වාස හා චර්යා වර්ධනය කර ගනී.
  • මනුෂ්‍යයකු ලෙස තමාට ඕතැම් දෙයක් කල හැකි. අනු අය ආදරය කරන හා වැදගත් පුද්ගලයකු බව සිතයි.
  • තමාගේ ජීවිතයට හා තමාගේ ක්‍රියාකාරකම් වලට වග කියන්නකු වේ.
  • ජීවිතයේ අරමුණු නිසියාකාරව නිශ්චය කරගෙන එම අරමුණු ලගා කර ගැනීම පිණිස මාර්ගය සකසා ගතී.
  • අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස සැලසුම් සකසමින් ඒ සදහා ඵලදායි ක්‍රියාකාරකම් වල නියැලේ.

 

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් සාර්ථක ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ පහත පරිදි බව දක්වා ඇත. 

  • ජිවිත කාලය පුරාම ඉගෙන ගැනීමට ප්‍රිය කරයි.
  • සෑම අත්දැකීමකින්ම ජීවිතයට පාඩමක් ඉගෙන ගති.
  • චිත්ත වේගික පරිණත භාවය වර්ධනය කරගති.
  • සතුට ධනාත්මක බව හා නිදහස් මනසකින් යුක්ත වේ.
  • තමා ගැන විශ්වාස තබයි
  • තමාට සහය දැක්විය හැකි යහපත් සම්බන්ධතා ගොඩ නගා ගනිමින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම පිනිස ඔවුන්ගේ සහය ලබා ගනී.
  • ආත්ම සම්ප්‍රජාතනය (self-awareness) ගොඩ නගා ගනී.

 

අසාර්ථක දරුවන් සැමවිටම,

  • හුදකලා වේ.
  • සමාජ උදවූ පිලිගැනීමට අකමැත්තක් දක්වයි.
  • තව අදහස් හා කුසලතා ඉගැනීම ප්‍රතික්ෂේප කරයි.
  •  ඉගෙන ගැනීම වෙහෙසකර ක්‍රියාවක් සේ සලකයි.
  • සාර්ථකත්වය අධික තරහව විශාදය කාංසාව හේතුවෙන් යටපත් වේ.
  • චිත්ත වේගයන්ට වහල්ව ක්‍රියා කරයි.
  • ඍනාත්මක ආකල්ප, මිත්‍යා විශ්වාස හා දුස්සමාහිත ( වැරදි) චර්යා ගොඩ නගා ගනී.

 

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් අසාර්ථක ශිෂ්‍යයෙකුගේ ලක්ෂණ පහත පරිදි බව දක්වා ඇත. 

  • තමත් ගොදුරු සේ දකී. ඔවුන්ට සිදුවන සෑම දෙයක්ම තමාගේ පාලනයෙන් තොර බව සිතයි.
  • ජීවිතයට අරමුණක් නිර්ණය කර ගැනීම අපහසු යයි සිතයි.
  • නිතර විශාද ලක්ෂණ පෙන්නුම් කරයි.
  • ජිවිතයේ තේරුමක් නැතැයි සිතමින් දුකින් හා කලකිරීමෙන් කාලය ගත කරයි.
  • නිතර වැඩ කල් දමයි. කල යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට අපහසු වේ.
  • තමාගේ පුද්ගල වටිනාකමේ අගය නොදනී.

සාර්ථක අධ්‍යාපනයකට වැදගත් වන භූමික ලෙස ගුරු භූමිකාව, දෙමාපිය භූමිකාව මෙන්ම ශිෂ්‍ය භූමිකාව යන භූමිකා තුන සමබරව නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය. 

 

ගුරු භූමිකාව

ඕනෑම භූමිකාවක් ගොඩ නැඟීමේදී දැනුම, ආකල්ප සහ කුසලතා යන කරුණු තුන ඉතා වැදගත් බව අප අසා  තිබෙනවා. එසේම ස්නායු විද්‍යාව සම්බන්ධව යම් දැනුමක් තිබීමද ඉතා වැදගත් කරුණකි. අද අපි ඒ පිළිබඳව කතා කරමු. 

ගුරු භූමිකාව බල ගැන්වීම සඳහා දායක කර ගත හැකි ස්නායු මනෝ විද්‍යාත්මක සංකල්ප‍

පාසලට පැමිණෙන බොහෝ දරුවන් තුළ පාඩම් කිරීමට උනන්දුව අඩුකම, අලසකම, සමහර විට ප්‍රචණ්ඩකාරී චර්යා ලක්ෂණ, දුක්මුසු බව ,කලකිරීමෙන් යුක්ත බව, කතාබහ අඩු බව, අපිලිවෙළ, කාංසාව සහ බිය මුසු බව වැනි විවිධ වෙනස්කම් ඇති බව ඔබට නිරීක්ෂණය වේවි. ඒ වගේම  තමන්ගේ දරුවාට කිසිම වැඩක් තනියම කර ගන්න බැහැ, හැම දේම අතට පයට කරලා දෙන්න ඕනෑ,, තමන් ඉන්න කාමරයවත් පිලිවෙවෙලට තියා ගන්නේ නැහැ, කාපු පිගාන/කෝප්පේ ,ඇදුම් පැළදුම් පිරිසිදු කරගන්නේ නැහැ, දවස පුරාම උනත් ට්වි එකේ කොම්පියුර් එකේ ඉන්ඩන බලනවා, නොගැලපෙන පිරිමි/ගැහැනු දරුවෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා, හරියට තරහ යනවා වැනි බොහෝ පැමැණිල් බොහෝ දෙමවුපියන් තම දරුවන් ගැන ඔබට පවසාවි. දෙමාපියන්ගේ මේ ගැටලු වෙනුවෙන් විසදුමක් ලබා දීමට ද ගුරුවරු වශයෙන් ඔබට සිදු වේවි. ගුරු වෘත්තිය නම් වූ සුවිශේෂී වෘත්තියට අනුව දරුවන්ගේ ඔබට නිරීක්ෂණය වන මෙවැනි වැඩ කල් දැමීම, වැඩ නොකර සිටීම වෙනත් චර්යාවන් වල නිරතවීමට උනන්දුවක් නැතිකම වැනි ලක්ෂණ විද්‍යාත්මකව විග්‍රහ කිරීම සඳහා ස්නායු මනෝවිද්‍යාත්මක සංකල්පයක් හඳුන්වා දී ඇති අතරම එය වැඩ කල් දැමීම නැතහොත් procrastination නමින් හැඳින්වේ. 

වැඩ කල් දැමීම නැතහොත් procrastination යනු තමාට මේ මොහොතේ කිරීමට නියමිත වැදගත් කාර්යක් පසෙක දමා මේ අවස්ථාවට එතරම් වැදගත් නැති අපට විනෝදය සතුට ප්‍රබෝධය දනවන වෙනත් කාර්යයන්වල නිරත වීමයි. 

ගුරු වෘත්තිකයන් වශයෙන් ඔබ, වැඩ කල් දැමීම තේරුම් ගැනීම සඳහා මොළය ආශ්‍රිතව සිදුවන වැදගත් විද්‍යාත්මක මූලධර්ම කීපයක් දැන ගැනීම වැදගත් වේ. ඒ අතරින් පළමු කරුණක් වන්නේ අභිප්‍රේරණය (Motivation) යි. 

අභිප්‍රේරණය යනු අපගේ කායික හෝ මනෝවිද්‍යාත්මක ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය චර්යා පද්ධතිය ආරම්භ කොට එය පවත්වාගෙන යාමට මොළය විසින් උත්පාදනය කරන්නා වූ ශක්තියයි. 

මෙය අධ්‍යාපනයට සම්බන්ධ වන්නේ කෙසේද කියා ඔබට සිතෙනු ඇත. උදාහරණයක් ලෙස ගුරුවරු දරුවන් විභාග සඳහා සූදානම් කිරීමට වෙහෙ‍සෙන අතරම ඒ ඉලක්ක වෙත දරුවා සාර්ථකව යොමු කිරීමට නම් ඒ සඳහා දරුවා තුළ චර්යා පද්ධතියක් ගොඩ නැගිය යුතුමයි.

එනම් දරුවා,

  • පාඩමට යොමු කරවිය යුතුය
  • අවධානය රඳවා ගත යුතුය
  • පාඩම් නැවත නැවත කියවීමට පෙළඹ විය යුතුය
  • පාසැල් යාම සහ පන්තිවලට වලට සහභාගි කරවිය යුතුය
  • කෙටි සටහන් ගොඩනැගීමට උනන්දු කළ යුතුය
  • ප්‍රශ්න පත්තර වලට උත්තර ලිවීම කර විය යුතුය
  • පාඩමට අදාල අච්චු පොත්, වාර්තා පොත් කියවීම වැනි පුරුදු පුහුණු කළ යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී

 

 

 

 


                

H. Mole ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුදය කියන්නේ මොකද්ද

H. Mole (Hydatidiform mole) ප්‍රෙග්නන්සි, කියන්නේ කුමක්ද කියා බොහෝ කාන්තාවන් අප වෙත ගැටලු යොමු කොට තිබුණා. ඒ නිසාම ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම වැදගත් කරුණක් බව සිතුණු නිසාම ඔවුන් වෙනුවෙන් මේ ලිපිය සකසන්නට අප සිතුවා.

සිංහල බසින් බිබිලි අර්බුදය ලෙස හඳුන්වන H.Mole  ප්‍රෙග්නන්සි තත්ත්වය අසාමාන්‍ය ගර්භනී අවස්ථාවකි. ඩිම්බය හා ශුක‍්‍රාණු අසාමාන්‍ය ලෙස සංසේචනය වී අසාමාන්‍ය කලල කොටස් කිහිපයක් ගර්භාෂය තුල වේගයෙන් වර්ධනය වී ඒ කලල කොටස් සුදු පැහැ මිදි ගෙඩි හෝ තරල හෝ රුධිරය මිශ‍්‍රිත ගෙඩි ලෙස ගර්භාෂය තුල වර්ධනය වීම මෙහිදී දැකිය හැකිය. මෙහිදී ගර්භාෂය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වශයෙන් විශාල වන අතර ගර්භනී බවේ ලක්‍ෂණද වැඩිපුර ප‍්‍රකට වේ. වයස අවුරුදු 20 ට අඩු හා 45 ට වැඩි කාන්තාවන් අතරත් දරුවන් වැඩි සංඛ්‍යාවක් ප්‍රසුත කළ මන්ද පෝෂණය ඇති කාන්තාවන් අතරත් මෙම රෝගය බහුල වශයෙන් දැකිය හැක. 

මෙය සාමාන්‍යයෙන් පිළිකා නොවන රෝග තත්ත්වයක් වන අතර අවට පටක වලට ආක‍්‍රමණකාරී ලෙස පැතිර යයි. සමහර විට මෙය පිළිකා තත්ත්වයක් බවට පැතිර යයි. එය Choriocarcinoma ලෙස හඳුන්වයි. 

බිබිලි අර්බුදය ප‍්‍රධාන කොටස් 02 කි. 

  • Complete H. mole – මෙහිදී අපරාවේ පටක අසාමාන්‍යව ඉදිමී පවතින අතර තරල පිරුණු ගෙඩි ලෙස පවතී. මේ තත්ත්වයේදී කලල කොටස් සෑදී නැත. පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඉහළය.
  • Partial H. mole – මෙහිදී අපරාවේ පටක සාමාන්‍ය ලෙස පවතී. අසාමාන්‍ය ලෙස සැකසෙමින් පවතින පටකද පවතී. මෙහිදී කලලයක් සෑදී ඇති අතර එය පැවතිය නොහැක. ගබ්සාවක් ලෙස ඉවත් වේ. 

H.Mole  ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුද‍යේදී පෙන්නුම් කරන ලක්‍ෂණ

ගැබිනි සමයේ සති 14 වන විට රෝග ලක්‍ෂණ පහළ වන අතර යෝනි මාර්ගයෙන් රුධිර වහනය සෑම විටම දක්නට ලැබේ.

  • අධික වමනය
  • සුදු මැලිවීම හා හුස්ම ගැනීමේ අපහසුතා
  • අධික රුධිර පීඩනය හා මුත‍්‍රා වල ප්‍රෝටීන බහුලව තිබීම. 
  • සති 20 ට පෙර ගර්භ වලිප්පුව ඇති වීම. 
  • මිදි ගෙඩි වල පෙනුම ඇති කොටස් යෝනි මාර්ගයෙන් පිටවීම. 
  • බියට පත් වූ ස්වභාවය හා ඇඟිලි වෙව්ලීම 
  • ගර්භාෂය කලලයේ සති ගණනට වඩා වීශාල වීම. 

H.Mole  ප්‍රෙග්නන්සි එහෙමත් නැත්නම් බිබිලි අර්බුදයට අවධානම් සාධක

  • මවගේ වයස අවුරුදු 35 ට වැඩි වීම හෝ 20 ට අඩු වීම. 
  • පෙර මෙවැනි ගර්භනීතාවයක් ඇති වී තිබීම
  • පෙර ගබ්සා වීම් ඇති වී තිබීම
  • මුඛ උපත් පාලන පෙති භාවිතය හෝ මළ දරු උපත් ඇතිවී තිබීම. 
  • විකිරණ
  • දරුවන් නොමැති වීම
  • කෘත‍්‍රිම ආකාරයට දරුවන් ඇති කරවීම. IUI, IVF
  • Mole හෙවත් බිබිලි අර්බුදය තත්ත්වය විනිශ්චය සඳහා සිදුකරන පරීක්‍ෂණ
  • ස්කෑනින් පරීක්ෂණ
  • රුධිර පරීක්‍ෂණ (BHCG) 
  • Mole හෙවත් බිබිලි අර්බුදයට ප‍්‍රතිකාර
  • D & C (dilation & curettage) – ගැබ්ගෙල විස්තරණය කර ගර්භාෂය තුළ ඇති කොටස් ඉවත් කිරීම. මෙහිදී ලබාදෙන ප‍්‍රතිකාරය වන්නේ අසාමාන්‍ය කලල කොටස් ගර්භාෂයෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වීමයි. එසේ නොවුනහොත් කලාතුරකින් පිළිකාවක් බවට පත්වීමට ඉඩ ඇත. මෙම පිළිකා පෙනහළු දක්වා වුවද පැතිර යා හැක. පිළිකා නාශක ඖෂධ ලබාදේ. 
  • ගර්භාෂය ඉවත් කිරීම. – කලාතුරකින් ඇති විය හැක. මෙම තත්ත්වය නැවත ඇති වීමේ අවදානම වැඩි සහ නැවත දරුවන් බලාපොරොත්තු නොවන මවකට සිදු කල හැක. 
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ප‍්‍රතිකාර – Chemotherapy
  • HCG Monitoring – කොටස් ඉවත් කිරීමෙන් පසු HCG මට්ටම සාමාන්‍ය වන තුරු HCG පරීක්‍ෂණ කිරීම අනිවාර්‍ය වේ. 

මෙම රෝගී තත්ත්වයෙන් වසරක් යනතුරුත් HCG මට්ටම සාමාන්‍ය වනතුරු නැවත ගැබ් ගැනීම වළක්වා ගත යුතුයි. වඩාත් සුදුසු උපත් පාලන ක‍්‍රමයක් භාවිත කළ යුතුය. 

 

රෝග තත්ත්වය පිළිබඳ පසු විපරම

  • සියලුම රෝගීන් සෑම සති දෙකකට වරක් රුධිරය හා මුත‍්‍රා වල HCG මට්ටම පරීක්‍ෂා කළ යුතුය. මෙම ප‍්‍රතිඵල එක දිගට සති තුනක්වත් සාමාන්‍ය වනතුරු කරගෙන යා යුතුය. 
  • සායන වලට සහභාගි වීම අනිවාර්යය වේ. 
  • සම්පූර්ණයෙන් සුව වන තුරු ගැබ් ගැනීම වළක්වා ගැනීම සඳහා උපත් පාලන ක‍්‍රමයක් භාවිත කළ යුතුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

බෝතලය, කෝප්පය දරුවන්ට හොඳ නැද්ද?

ජීවිතයේ අත්දකින විවිධ සිදුවීම්, ජීවිතයට අනාගතයට කෙබදු බලපෑමක් එල්ල කරන්නේද යන්න සොයා බැලීමට කුඩා දරුවකුට අප විසින් කරනු ලබන බලපෑමක්, ජීවිතයට බලපාන අන්දම පිළිබඳ විමසුමක් ලෙසින් අපි මේ ලෙස දරුවන්ගේ මුල් ළමා වියේ හුරුවක්, පුරුද්දක් දෙස විමසුම් ඇසින් බලමු. 

එනම් ළදරුවා වැඩෙත්ම මාස 2 – 3 දී පමණ දෑතින් යමක් අල්ලා ගැනීමට උත්සහ දරයි. එසේම අතට හසුවන දෑ තුලින් ග‍්‍රහණය කර ගැනීමට උපතේ සිටම හැකියාව ලබයි. මෙවන් හැකියාවන් ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වන විට අතට හසුවන කටට දමා ගැනීමටත් පෙළඹේ. මෙසේ පියවරින් පියවර දෑතින් කරන ක‍්‍රියාකාරකම් වැඩි වේ. 

ඉපදී මුල් මාස 6 මව්කිරි පමණක් ලබන දරුවා මව්කිරි වල දරුවාට අවශ්‍ය පෝෂක ප‍්‍රමාණයක් අවශ්‍ය තරමින් අඩංගුව පවතින හෙයින් මව්කිරි නිසි පරිදි ලබන්නේ නම් වර්ධනය ප‍්‍රශස්ත ලෙස පෙන්නුම් කරයි. එසේම මාස 6 න් පසුව සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන දරුවා සඳහා ඔහුගේ ක‍්‍රියාකාරකම් වලට අදාලව අමතර පෝෂණයක් අවශ්‍ය වේ. මෙසේ හෙයින් එම අමතර ශක්ති පරාසය පුරවා ගැනීම සඳහා මාස හයෙන් පමණ පසුව අමතර ආහාර ආරම්භ කෙරේ. මේ ශක්ති පරතරය පියවා ගැනීමට හැකි වන සේ ආහාර ආරම්භ කරන දරුවාට පළමුව සිනිඳු ලෙස කුඩු කරන තලපමය ආහාර වලින් පටන් ගෙන ක‍්‍රමයෙන් ආහාර ප‍්‍රමාණය මෙන්ම ආහාර කැබිලි වල ප‍්‍රමාණය ද වැඩි කරමින් ලබාදීමෙන් අප දරුවාට අමතර ආහාර ලබා දෙන්නෙමු. එසේම කැබලි ආහාර හුරුවීමත් සමගම මාස 4 දී පමණ වන විට අතින් අල්ලාගෙන කෑමට හැකියාව දරුවා තුල ඇති වේ. මේ හැකියාව සමග අපට දරුවාට කෝප්පය හුරු කිරීම ආරම්භ කළ හැකිය. 

දෑතින් අල්ලා ගත හැකි කෝප්පයක් වඩාත් උචිත වන අතර මෙයට එකතු කරන ද්‍රව ප‍්‍රමාණයන් මුලදී සුළු ප‍්‍රමාණයක් විය යුතුයි. මෙය දරුවාට තනියම නොව මවගේ උදව් ඇතිව ටිකින් ටික කෝප්පය ඇල කර බීමට අවස්ථාව දිය යුතුය. මෙසේ ක‍්‍රමයෙන් ටික ටික බීමට හුරු වූ පසුව මවගේ අධීක්‍ෂණය යටතේ දරුවාට කෝප්පයෙන් බීමට දිය හැකිය. එසේම බීමට දෙන විට ආහාරයෙන් පසු සුළු වතුර ප‍්‍රමාණයක් හෝ සීනි/ලුණු/වතුර/මිශ‍්‍ර නොකරන ලස පළතුරු යුෂ වැනි දේ බීමට ලබාදිය හැකියි. එහෙත් අප බීමට ගත යුත්තේ මාස 8 ක් වන දරුවාගේ ආමාශයේ පරිමාව 200ml ක් වැනි (අඩු කෝප්පයක ප‍්‍රමාණය) තරමක් වන හෙයින් එම 200ml තුල දියර ප‍්‍රමාණය අවම කර ආහාර ලබාදීම තුලින් වැඩි පෝෂණ ප‍්‍රමාණයක් ලබාදිය හැකි බැවිනි. 

කෝප්පය පුරුදු කිරීමේදී දරුවා තනිව බොන විට feeding cup වැනි සුවිශේෂී කෝප්පයක් පළමුව හුරු කල හැකි අතර මේ මගින් එකවර පිට වන ද්‍රව ප‍්‍රමාණය කුඩා හෙයින් දරුවාට පාලනයක් ඇතිව බීමට හැකියාව ලැබෙන අතර දරුවාගේ ශ්වසන මාර්ගයට මේවා ඇතුළු වීම වළක්වාලීමටද හැකියාව ලැබේ. 

සෑම විටම කෝප්පයෙන් ආහාර ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු වන්නේ භාවිතා කරන කෝප්පය හොඳින් පිරිසිදු කර ගත යුතු බවයි. දියර ලබාදීමෙන් පසු මේ කෝප්ප හොඳින් සබන් යොදා පිරිසිදු කර වසා තැබිය හැකි භාජනයකට දමා තැබීමටද වගබලා ගත යුතුයි. 

මීට අමතරව කුඩාම දරුවන්ට මවගෙන් කිරි උරා බීමට අපහසු හෝ මව දරුණු ලෙස රෝගාතුරුව සිටින අවස්ථාවකදී ද දරුවාට මව් කිරි ලබාදීමට කෝප්පය භාවිත කළ හැකියි. මේ සඳහා කුඩා කෝප්පයක් භාවිත කළ යුතු අතර දොවාගත් මව් කිරි කෝප්පය දරුවා උකුලේ හිඳුවාගෙන යටි තොලේ ගෑමේදී ඒ ස්පර්ශය සමග මුව විවර කරයි. මෙවිට සෙමින් කෝප්පය ඇල කිරීමෙන් දරුවා දිව දිගු කර කිරි බීමට පුරුදු වේ. මේ ක‍්‍රමයට නව ජන්ම ළදරුවන් විශේෂ බේබි කාමර වලදී පවා කිරි ලබාදීමට උපයෝගී කරගනී. 

මව් කිරි බොන දරුවන්ට කිරි දොවා දෙන විට එම කිරි ලබාදීම සඳහා වඩාත් සුදුසු වන්නේ කෝප්පයක් භාවිත කිරීමයි. කෝප්පය භාවිතා කිරීමේදී එම කෝප්ප පිරිසිදු කර ගැනීමද පහසු වේ. එසේම කෝප්පයෙන් කිරි ලබාදුන් විට පියයුරේ කිරි එරීමේ/ඉරීමේ ක‍්‍රියාවලියට බාධාවක් ඇති නොකරයි. කෝප්පයෙන් දෙන විට දරුවාට අවශ්‍ය පමණට පාලනය කරගැනීමේ හැකියාවද දරුවා තුලම නිතැතින් ඇති වේ. එසේ කිරි පොවන විට දරුවාට තනි බීමට නොහැකි නිසා මවගේ උකුල මතදී ඇති වන ආරක්‍ෂිත හැඟීම ආදරය දැනීමද මවගේ හා දරුවාගේ ඇසට ඇස සම්බන්ධතාවය මගින් ප‍්‍රබෝධජනක හැඟීම් වැඩි දියුණු වීම තුලින් මව් දරු සම්බන්ධතාවයද වැඩි දියුණු කරයි. 

එසේම රැකියාවක් කරන මවකට දරුවා රැකබලා ගන්නාට පහසුවෙන් මෙම ක‍්‍රියාවලිය පුහුණු කිරීමෙන් මවට විශ්වාස දායක හැඟීමකින් හා තෘප්තියකින් තම රාජකාරියේ නිරත විය හැකියි. බෝතලය දරුවාට දීමේදී එය ආධාරයක් නොමැතිව දරුවාට දීමට හුරු කරවන ක‍්‍රියාවලි ඇති නිසා වඩාත් සුරක්‍ෂිත වන්නේ දරුවාට බෝතලයට වඩා කෝප්පය භාවිතා කිරීමයි. 

සූප්පු බෝතල් භාවිත කිරීමේදී සූප්පුවේ සිදුර තුලින් කිරි ගලා ඒම නිරායාසයෙන් සිදුවන නිසා දරුවාට ආයාසයකින් තොරව බඩ පුරවා ගැනීමට මෙන්ම අනවශ්‍ය ලෙස කිරි වැඩිපුර ලැබීමටද ඇති ඉඩ හැකියාව වැඩි වේ. 

මෙසේ ආයාසයකින් නොදරු කුස පිරෙන දරුවා ඊට හුරුවීම මත මවගේ පියුයර ඉරීම මැලි වේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ මවගෙන් කිරි උරා බීම ප‍්‍රතික්‍ෂේප කිරීමයි. මේ නිසා ඉක්මණින් දරුවා කිරි අහිමි වීම සිදු වේ. එසේම බෝතලය ලබාදීමේදී මව් දරු සම්බන්ධතාවය ගිලිහීමද තුලින් දරුවාට මවගෙන් දැනෙන ආකර්ෂණීය ආදරයේ සුව ඵල අහිමිවේ. 

මේ ආදරණීය හැඟීම් දරුවාට අහිමි කරවීම මවගෙන් ලැබෙන සෙනෙහෙස අහිමි වීම දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම කෝප්පයක් පිරිසිදු කිරීම පහසු වූත් බෝතලයක් හා සූප්පුවක් එසේ පිරිසිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. සූප්පු වේ දාර සහිත හා බෝතලයේ වක‍්‍ර දාර පිරිසිදු කිරීම අපහසු හෙයින් සෑම කිරි වේලකටම පසුව බෝතලය හොඳින් සේදීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ජීවාණුහරණය සඳහා තම්බා ගැනීම කළ යුතු වේ. එහෙත් කෝප්ප එසේ කිරීම අනවශ්‍ය අතර හොඳින් සබන් යොදා සෝදා ගැනීම පමණක් සෑහේ. 

සූප්පුවෙන් කිරි ගලා ඒම නිකම්ම සිදුවන හෙයින් දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා පානය කිරීමෙන් අහිතකර බලපෑම්ද එල්ල විය හැකියි. දරුවන්ගේ ස්ථූලතාවයටද මෙය හේතුවක් විය හැකියි. ස්ථූලතාවය මෙය ලෝකය තුලම මුහුණු දී ඇති ගැටළුවක් වෙන්ම දරුවන් තුලද මෙම තත්ත්වය ක‍්‍රමයෙන් වර්ධනය වන තත්ත්වයක් බවට පත්ව ඇත.

මේ ලෙස බලන කල බෝතලයෙන් කිරි දීම නොකරන ලෙසට උපදෙස් දෙනු ලබන්නේ,

ආයාසයක් නොමැතිව කිරි ගලා ඒම නිසා බෝතලයට ඇබ්බැහි වීමත්, මේ නිසා පියයුරෙන් කිරි උරා බීමට මහන්සි නොදරන නිසා පියයුරෙන් කිරි උරා බීම නතර කිරීමට එය හේතුවක් වන හෙයින් මෙන්ම මේ නිසා කිරි එරීමේ, ඉරීමේ ක‍්‍රියාවලි අඩපණ වීම නිසා කිරි නිෂ්පාදනය අඩු වීමක් සිදුවන හෙයින් දරුවාට මව් කිරි අහිමි වීමේ තත්ත්වයක් උදා විය හැකි නිසාය. එසේම මානවයාගේ පැවැත්මට බරපතල බලපෑමක් එල්ල කරන මව් දරු සබඳතාවද ගිලිහීම හේතුවෙන් දරුවාගේ සංවර්ධනය මෙන්ම මවගේ නිරෝගී බව වැලැකීමටද එය හේතුවක් වේ. දරුවා පාලනයක් රහිතව කිරි බීමට බෝතලයෙන් ඉඩ ලැබෙන හෙයින් ස්ථූලතාවයට පත්වීමත්, වැඩිහිටිවියට පත් වීමේදී බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා යනාදී රෝගයනට ගොදුරු වීමේ හැකියාව වැඩි දියුණු වීමත් සිදු විය හැකි බැවිනි. 

කෙසේ වෙතත් දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලියකට සමගාමීව දෑත් ක‍්‍රියාත්මක කරන කාලයේ දරුවා කෝප්පයට හුරු කිරීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලි හොඳින් උත්තේජනයට එය මහත් අනුබලයක් වේ. මෙසේ හෙයින් එයඉ හඳුනා ඒ සඳහා දරුවාට දිරිමත් කිරීම තුලින් දරුවාගේ හසුරු කුසලතා වර්ධනයත්, පංච ඉන්ද්‍රියයන් උත්තේජනය තුලින් සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමක් කරා ගෙන යාමට දරුවන්ගේ සියළු ක‍්‍රියාවලි හේතුවක් වන බව මොනවට පැහැදිලිය. 

කෝප්පයකට ද්‍රවයක් ලබාගත් විට එහි පැහැය, ස්වභාවය, රසය, සුවඳ ආදී එකට විඳ ගැනීමටත් ඇඟිලි වලට දැනෙන සංවේදනය පවා දරුවාට ලබාගැනීමට හැකි වේ. එයින් නොනැවතී එම ද්‍රවය කෝපපයෙන් පිටට හලා බලන්නත් එවිට ගලායන ස්වභාවය පවා දරුවාට නිරීක්‍ෂණය කිරීමටත් ඒවා පිළිබඳ අධ්‍යයනයට අවස්ථාවක් පිටතට විවෘත කෝප්පය මගින් දරුවාට හිමි වේ. 

දරුවාගේ වර්ධනය ගැන පමණක් නොසිතා සංවර්ධනයේ පැතිකඩ හඳුනා ක‍්‍රියාත්මක වීමට ලැබෙන අත්වැල හඳුනා ගැනීම මේ ලිපිය පිටුවහලක් වේ යැයි මගේ හැඟීමයි. කෙසේ වෙතත් කුඩා දරුවන් ස්වභාවධර්මයෙන්ම විමර්ශනාත්මක හෙයින් ලැබෙන හැම අවස්ථාවක්ම ඔවුනට ඉගෙනුමට ලැබෙන අවස්ථාවක් හැටියට සලකා ආරක්‍ෂාව සහිතව කටයුතු කිරීමට ඉඩ හසර ලබාදීම තුලින් පරිපූර්ණ දරුවකු බිහි කරගැනීමට ඔබට හැකියාව හා අවස්ථාව ලැබේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

2022 වසර ධනාත්මක ඇසකින්..

2020 වසරේ මාර්තු මාසයේ ශ්‍රි ලංකාවෙන් මුල්ම කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වුන දිනයේ පටන් අපේ ජන ජීවිතය සම්පූර්නයෙන්ම වෙනස් වුණා. දෙමව්පියන්ගේ ආර්ථික හැකියාව, ආදායම් පහළ ගියා.දරුවන්ගේ සුන්දර ළමා ලෝකයේ මිතුරු ඇසුර දුරස් වුණා. කොටින්ම පන්සල, පල්ලිය , පාසල අතර සම්බන්ධතාවයන් පවා ලිහී ගිලිහී ගියා.

ඒත් අපි මානසිකව හෙම්බත් විය යුතු නැහැ…

කොවිඩ් කියන්නේ ගෝලීය වසංගතයක්. කොටින්ම කාලයත් සමග ඇති වුන විපතක්. විද්‍යාව කොතරම් දියුණු වෙලා ඉර, හඳ, තරු ඇල්ලුවත් තවමත් අපට කොවිඩ් වසංගතයෙන් බේරෙන්න අවස්ථාවක් නැහැ.ඒ වගේම මෙවැනි වසංගතයකට අපි මෑතකදී මුහුණ දුන් නිසාම මේ ගැන කම්පනයෙන් පසුවුනත් මීට පෙරාතුවත් මේ වගේම ගෝලීය වසංගත ඇති වුණා. මිනිසුන් මියගියා.1917/1918 වැනි අතීතයේදී ස්පාඤ්ඤ උණ, මහාමාරිය , මැලේරියාව වැනි ගෝලීය වසංගත ඇති වුණා. මිනිසුන් මේ වසංගත සමග ජීවත් වුණා මිසක පලා ගියේ නැහැ.කොවිඩ් ගැනත් අපට කියන්න වෙන්නේ මේ අනාවැකියයි. නමුත් කාලයත් සමග ඒ වෙනුවෙන් විසදුම් ලැබුණා.

2022 ටත් කොවිඩ් සමග ජීවත් වෙන්න වේවිද..?

අකමැත්තෙන් වුනත් සමහර විට ඔව් කියන්න සිද්ධ වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සදහන් කරන්නේ කොවිඩ් 19 අවසන් වෙන දිනයක් ගැන අනාවැකි කීම අපහසු බවයි. ඒත් අපි මානසිකව පසුබසින්න හොඳ නැහැ.කාලාන්තරයක් පුරාම හුරු පුරුදු වුන ජීවන රටාවෙන් වෙනස් වීම ඇත්තටම පහසු නැහැ.අලුත් පරිසරයට එහෙම නැත්නම් නව සාමාන්‍යකරණයට දැන් අපි ටිකෙන් ටික අනුගත වෙමින් සිටිනවා.

වසරක් ගෙවී වසරක් ලැබුවාට කොවිඩ් අවසාන නැහැ.නමුත් අපි රැකියාව කරන්න, දරුවන් පාසල් යන්න අවශ්‍යයි.අනෙකුත් සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමත් අනිවාර්යෙන්ම සිදු වෙනවා.අපට හුරු පුරුදු ආර්ථික, සමාජයීය, සහ සංස්කෘතික වටපිටාවන් සමග සිදුකරන සෑම සිදුවීමක්ම කොවිඩ් වසංගතය ගැන සිහියේ තබා ගෙන සිදු කරන්න වෙනවා.එය 2022 ට පමණක් නොවෙයි, කොවිඩ් සමාජයෙන් අවසාන වෙන දිනයක් දක්වාම අපේ ජීවිතයේ රටාවක් බවට පත් වීමට අවශ්‍යයි.

ඒත් අපි කොවිඩ් සමග ජීවත් වෙන්නේ කොහොමද…?

විදුලිය අන්තරාදායක බව අපි දන්නවා. නමුත් අපි විදුලිය සමග ගනුදෙනු කරනවා.විදුළිය අන්තරාකාරියි කියල අපි විදුලිය පාවිච්චි නොකර ඉන්නේ නැහැ.අනතුර ගැන හදුනා ගෙන ඒ සීමාවන් තුළ අපේ ආත්මාරක්ෂාව සලසා ගෙන කටයුතු කරනවා. කොවිඩ් සමගත් අපට ගනුදෙනු කරන්න වෙන්නේ ඒ විදිහටයි.අපේ ඉතිහාසයේදී වුනත් විවිධ රෝග වෙනුවෙන් අපි ප්‍රතිචාර දැක්වූ නිසා අපට ආරක්ෂාව ලැබුණා. ඩෙංගු , බරවා, මැලේරියා වැනි රෝග ත්වයන්හිදී ඒ වෙුනවෙනු වූ චුදිතයා ලෙස සැලකෙන මදුරුවන්ගෙන් ආරක්ෂා වුණා. කක්කල්කැස්ස , ගලපටපය වැනි රෝග වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නත් ලබා ගත්තා.

කොවිඩ් වෙනුවෙනුත් ප්‍රතිශක්ති එන්නත් තිබෙනවා..

2022 වසර වෙන විට අපි බොහෝ දෙනක් කොවිඩ් වෙනුවෙන් වූ තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බුස්ටරය පවා ලබා ගෙන අවසාන විය හැකියි.නමුත් වෙනත් රෝගවලට එරෙහිව ලැබෙන ප්‍රතිශක්තිය වගේ කොවිඩ් ප්‍රතිහක්ති එන්නත ගැන තවමත් 100% ක තහවුරුවත් නැහැ.ඉතින් 2022 වසරේදීත් අපි දැනට අනුගමනය කරන සමාජ දුරස්ථබව,විෂබීජහරණය සහ මුව ආවරණ පැළදීමේ පුරුදු වලින් මිදෙන්න හොඳ නැහැ.ඊටත් මේ පුරුදු නිසා හැමදාම අනුගමනය කිරීම නිසා අපේ සෞඛ්‍ය තත්වය නොදැනීම ආරක්ෂා වෙනවා. ඒ නිසා කොවිඩ් වෙනුවෙන් අනුගමනය කරන පුරුදු අප සමග 2022 ටත් යා යුතුයි.

ස්වයංවිනයත් අවශ්‍ය වෙනවා

වෙනදාට අපට කැස්ස හෙම්බිරිස්සාවක් හැදුනොත් ඒ ගැන නොසලකා හිටියත් දැන් අපට ඒ ගැන නොසලකා සිටින්න බැහැ. එය ඔබේ පමණක් නොව නිවස, වටපිටාව යන හැම දෙනාගේම ආරක්ෂාවට වැදගත් වෙනවා.ඒ නිසා ස්වයංවිනයක් පනවා ගන්න. මෙවැනි තත්වයක් ඇති වුනොත් එය දින ගණනාවක් පවතිනවා නම් සහ කොවිඩ් රෝග ලක්ෂණ ගැන සැකයක් ඇත්නම් අදාල පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න.

මිථ්‍යාවන් එපා..

අපේ රටේ සෞඛ්‍ය ජාලය ඉතාම විශිෂ්ටයි. ඒ නිසා කොවිඩ් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සදහා සෞඛ්‍ය අංශය නිතරම සූදානම්. ඒ නිසා අනුමැතැතියක් නොමැති ඖෂධ මත යැපෙන්න එපා.අනුමැතිය ඇතැයි කිව්වත් ඊට වඩා රෝහල් පද්ධතිය මත විශ්වාසය තබන්න.ඒ වගේම නිවසේ සිටින වැඩිහිටියන් සමාජයේ ගැවසෙන්නේ නැතැත් ඔවුන් ගැන අවදානයෙන් සිටින්න.කොවිඩ් 19 වැඩිහිටියන් වැනි දුර්වල පුද්ගලයන් ආසාදනය කිරීමේ ප්‍රවනතාවය වැඩි නිසා ඔවුන්ගේ රැකවරණය සහ ආරක්ෂාව ගැන අවධානය ලබා දෙන්න. ඉතාලිය වැනි රටවල පවා වැඩිහිටි නිවාස මුල් කර ගෙන කොවිඩ් වයාප්ත වීමේ සීඝ්‍රතාවයක් ඇති වීම ගැන තිබෙන ඉතිහාසය නිසා ඔබේ නිවසේ සිටින අම්මා,තාත්තා, අත්තම්මා, සීයා වගේම සෙසු වැඩිහිටියන් ගැනත් අවදානයක් ලබා දෙන්න.

අධ්‍යාපනයේදී සමාජ දුරස්ථබව වැදගත්..

2020 වසරේ කොවිඩ් ආරම්භක අවධියේදී අපි තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවයෙන් දුර්වල වුනත් දැන් බොහෝ දෙනෙක් ඒ ගැන දැනුවත්. ඒ නිසා 2022 වසරේදිත් හැකි තරම් දුරට මාර්ගගත අන්දමින් අධයාපනය සහ සෙසු කාර්යාලයීය කටයුතු කර ගැනීමට උනන්දු වෙන්න. අනවශ්‍ය ලෙසින් පෝලිම්ගත නොවී මාර්ගගත අන්දමින් වැඩපහසු කර ගැනීමේ ඇප්  ගැන යොමු වෙන්න.

උගත් දෙයක් අපතේ නොයයි..

අප විසින් උගත් දෙයක් කිසිදු දිනක අපතේ නොයන බව සැබෑය. ඒ නිසා ඔබ තුළ මෙතෙක් තොරතුරු සන්ිවේදන සාක්ෂරතාවය ගැන දැනුමක් නොමැති නම් ඒ ගැන ඉගෙනුමට උනන්දු වෙන්න. දැනට ඔබ තුළ තිබෙන හැකියාව තව දුරටත් සංවර්ධනය කර ගන්න. එය 2022 වසරේ ඔබ විසින් ගොඩ නගා ගන්නා එක් අරමුණක් කර ගන්න.

කොවිඩ් නිසා ඉගෙන ගත් දේ ඉදිරියට ගෙන යන්න..

කොවිඩ් නිසා අප බොහෝ දේ ඉගෙන ගත්තා.වෙනදා විතැන්ව තිබුන පවුල දැන් එකතු වුණා.දරුවන් සහ දෙමව්පියන්ට එකම වෙලාවක එකම මේසයේ ආහර ගැනීමට අවස්ථාව ලැබුණා.විවාහ, අවංගල්‍ය, දාන සහ වෙනත් උත්සව සීමිත පිරිසක් සමග අනවශ්‍ය වියදම් පිරිමසා ගෙන කර ගැනීමට පුරුදු වුණා. ඒ නිසාම අනවශ්‍ය අන්දමින් වියදම් කිරීම නිසා බිඳ වැටෙන ආර්ථිකයට යම් අන්දමකින් සහනයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. ඒ නිසා 2022 වසරේදීත් ඔබට හැකි අන්දමින් වැය කරන්න. අනවශ්‍ය වැය ශීර්ෂ නිසා ඇති වෙන ආර්ථික ගැටළුවලින් දුරස් වෙන්න.

අපි කොවිඩ් කාලයේදී ගෙවතු වගාව, මල් , එළවලු වගාවන්ට යොමු වුණා. ඒවා තව දුරටත් අනුගමනය කිරීමට කාගෙන්තවත් බාධාවක් නැහැ. ඔබේ ගෙවත්තේ එළවලු පාත්තියක් වගා කරන්න කොවිඩ් වසංගතයක්ම අවශ්‍ය නැහැ. වස විස නැති ආහාරයක් වෙනුවෙන් මේ ඵලදාව ඔබට ලබා ගත හැකියි. පොත් පත් කියවන්න..යම් ලේඛන කටයුතත්ක නිරත වෙන්න ලද අවසරය 2022 වසරේදී තව දුරටත් දියුණු කර ගැනීමට උනන්දු වෙන්න.

ධනාත්මකව හිතන්න..

නිතරම අපේ සිතුවිළි ධනාත්මක වීම වැදගත්.අතීතය ගැන හිතමින් ලතැවෙන්නත්, අනාගතය ගැන හිතමින් බියකරු හීන මවන්නත් එපා.2022 වසර දෙස අලුත් ඇසකින් බලන්න. ජීවිතයේ අභියෝග සියල්ල ජය ගැනීමට ඔබේ ධනාත්මක චින්තනය ඉතාම වැදගත්.

ඔබ සැම දෙනාටම සුබ නව වසරක් වේවා…

 

පුංචි පුතාට හිටි ගමන්ම ඇවිදින්න බැරි වුණේ ඇයි ?

පුංචි දරු පැටියා දවසින් දවස ඇති දැඩි වෙද්දි අම්මා තාත්තා එයාගේ ක්‍රියාකාරකම් දිහා බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. දරුවගේ හිනාව, අම්මාගේ තාත්තාගේ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීඹ, අම්මා තාතාත් හඳුනාගෙන ඉඟි බිඟි පාමින් නොයෙක් පණිවිඩ හුවමාරු කිරීම ඇත්තටම බොහොම සුන්දර අවධියක්. ඔන්න ඔය කාලේ අම්මා වගේම තාත්තත් මේ ක්‍රියාකාරකම් දිහා බලාගෙන ඉන්නේ පුදුම තරමේ සතුටකින් කිව්වොත් නිවැරදියි. ඔය දේවල් අතරම පුංචි පා පොඩි තියලා වැටි වැටි ඇවිදින දවසට අම්මා තාත්තා දිනගනින්නේ හරිම ආදරෙන්.

සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් යන්තමින් පාද එක දෙක මාරු කරමින් ඇවිදීමට පටන් ගන්න වසරක පමණ කාලයක් (ඇතැම් දරුවෝ ඊට පෙරත් ඇතැම් දරුවෝ ඊට පසුත් ඇවිදීම ආරම්භ කරන අවස්ථා තිබෙනවා) ගත වෙනවා. මේ ආකාරයට දුව පැන ඇවිද සෙල්ලමේ යෙදෙන දරුවෙක් විශේෂයෙන්ම පිරිමි දරුවෙකු නිතර වැටීම, පාද පැටලීම වැනි තත්ත්වයන් පෙන්නුම් කරනවා නම් දෙමාපියන් වන ඔබ ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉතා  ක‍්‍රියාශීලීව දුව පැන ඇවිදි දරුවාට ක්‍රමක්‍රමයෙන් ඒ කාර්යයන්වල නියැලීම අපහසු විය හැකිය. ඇත්ත වශයෙන්ම එය රෝග තත්ත්වයක්ද?

සාමාන්‍යයෙන් මයෝපති (myopathy) නම් රෝග තත්ත්වයේදී මේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි අතරම එය රෝගයක් ලෙසට ඇති වන්නේ විශේෂයෙන්ම පිරිමි දරුවන්ටය. මයෝපති (myopathy) රෝගයට හේතූ තවම ස්ථිරවම සොයාගෙන නැතත් ලේ ඥාති විවාහ වලින් ඇති වන දරුවන්ට මෙවැනි ගැටළු ඇති වේය යන සැකයක් පවතී. 

මේ රෝගයට ගොදුරු වූ දරුවෙකු හඳුනාගත හැකි ප‍්‍රධාන ලක්‍ෂණයක් වන්නේ වයස අවුරුද්ද වන විට ක්‍රමක්‍රමයෙන් වැටි වැටි ඇවිදින්නට පටන්ගත් ක‍්‍රියාශීලීව දරුවා උදාසීනව එක තැනකට වී සිටීමට පටන් ගැනීමයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු තුනෙන් පසු ඉහත ලක්ෂණ පෙන්නුම් කරනවා නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතුමය.

ඉහත සඳහන් කළ ආකාරයට පිරිමි දරුවෙකු වයස අවුරුදු තුන පමණ වන විට,

  • දුව පැන ඇවිදීම අඩු කිරීම‍
  • ඇවිදීමට මැළිකමක් දැක්වීම
  • නිතර පය පැටලී වැටීම
  • ඇඟට අමාරු බවට පැමැණිලි කිරීම

ඩුසේන් වර්ගයේ මයෝපතී රෝගයක් ලෙසට හඳුන්වන මෙය වයස අවුරුදු තුනේදී මතු විය හැකි අතරම වයස අවුරුදු දොළහ පමණ වන තෙක් ක‍්‍රමයෙන් වර්ධනය වේ. ඒ ගැන සැලකිලිමත් නොවුනොත් අවසානයේ දරුවාට ඇවිදීමට නොහැකිව තත්ත්වයට පත් විය හැකිය. එසේම වයසින් මුහුකුරා යත්ම එනම් වයස අවුරුදු 20 පමණ වන විට හෘද පේශියටද බලපෑ හැකිය.‍‍

මේ තත්ත්වයට ගොදුරු වූ දරුවෙකු පෙන්නුම් කරන තවත් විශේෂ රෝග ලක්‍ෂණයක් වන්නේ බිම නිදාගෙන සිට නැගිටීමට නොහැකිව ඊට උත්සහ ගන්නා අසාමාන්‍ය ඉරියව්වයි. එය ගවර්න්ස් ලක්‍ෂණය නමින් හඳුන්වයි. සාමාන්‍යයෙන් දරුවා කඳ ඉහළට ඔසවා ගන්නේ තම දෙපාවල දෑත් රඳවා ගනිමින් වන අතරම මාංශ පේශී හක්තිමත් නොවීම ඒ සඳහා බලපෑම් ඇති කළ හැකියි.

එනම් මෙම රෝගයේදී සමහර දරුවන්ගේ මාංශ පේශී අසාමාන්‍ය විහාලත්වයක් පෙන්නුම් කලත් ඒවාගේ ශක්තිය අවමය. කෙසේ වුවද මේ රෝග තත්ත්වය දරුවෙකුගේ බුද්ධි මට්ටමට බලපෑම් කරන්නේ නැත. 

රෝගය හඳුනා ගන්නේ කෙසේද?

රෝගය හඳුනාගැනීම සඳහා 

බයොප්සි හෝ ඉලෙක්ට්‍රෝමයෝග‍්‍රැෆී (EMG)

ක‍්‍රයෙටීන් පොස්පෝ කයිනේස් සාන්ද්‍රණය (CPK)  යන පරීක්‍ෂණ වෙත දරුවා යොමු කරයි. 

රෝගය නිශ්චිතව හඳුනා ගත් පසුව ඖෂධ ප‍්‍රතිකාර/ ව්‍යායාම ක‍්‍රම/ භෞතචිකිත්සක ප‍්‍රතිකාර වෙත දරුවා යොමු කරයි. 

භෞතචිකිත්සක ප‍්‍රතිකාර මගින් රෝගය සුව කළ හැකිද?

මෙවැනි දරුවන්,

  • ශ්වසන ව්‍යායාම
  • ශක්තිජනක ව්‍යායාම
  • ශරීරයේ මෘදු පටක වල දිග අඩුවීම වළක්වන ව්‍යායාම යනාදිය වෙත යොමු කරයි.

දිනපතා කාල සටහනකට අනුව වෛද්‍ය හා භෞතචිකිත්සක උපදෙස් මත කළ යුතු මේ ව්‍යෘයාම සිදු කෙරෙන්නේ ආධාරක ආධාරයෙනි. රෝගය වැඩි වීමට පෙර පාලනය කිරීමට එයින් සහය ලැබේ. මේ රෝගය ඉක්මනින් හඳුනා පාලනය කළ හැකි අතරම සම්පූර්ණයෙන්ම සුව කිරීමට මෙතෙක් ප‍්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති වීඹ කණගාටුදායක කරුණකි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 

 

 


                

අක්මාව හා සම්බන්ධව දරුවන්ට ඇති විය හැකි රෝග තත්ත්ව 7ක්

 දරුවන් කෙරේ ඇති වන බොහොමයක් රෝග තත්ත්ව පිළිබඳව දැනුවත් වීමට මව්වරුන් උනන්දු වන්නේ ඒ දැනුවත් බව දරුවාගේ යම් අසනීප තත්ත්වයකදී වැදගත් විය හැකි බව දන්නා නිසයි. ඇතැම් මව්වරුන් අසා තිබූ පරිදි දරුවන්ට අක්මාව අශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්ව මොනවාද ඒවැනි තත්ත්වවලදී දරුවෙක් පෙන්නුම් කරන ලක්ෂණ ,රෝග තත්ත්වය හඳුනා ගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීම වැදගත්ය. ළමා කාලයේදී ඇති වන අක්මාව හා සම්බන්ධ විවිධ රෝග තත්ත්වයන් පවතින අතර ඒවා අක්මා රෝග ලෙස පොදුවේ හඳුන්වයි. 

දරුවන්ට ඇති වන අක්මා රෝග

  1. තීව‍්‍ර අක්මා අකරණීය – Acute liver failure

මෙය හදිසියේ එක්වර මතවන කලාතුරකින් ඇතිවන දරුණු තත්ත්වයකි.. මෙහිදී අක්මා සෛල හදිසියේ මිය යාමක් හෝ අක්මා සෛලවල ක‍්‍රියාකාරීත්වයේ ඇණ හිටීමක් සිදු වේ. දින කිහිපයක සිට සති කිහිපයක් අතර කාලයේදී ඇති විය හැක. 

මේ තත්ත්වය සඳහා ආසාධන/පරිවෘත්තීය රෝග/ස්වයං ප‍්‍රතිශක්තීකරණ රෝග/රුධිර සෛල අසාමාන්‍යතා/ඖෂධ/පැරසිටමෝල් අධි මාත‍්‍රාව/වස විස/වෙනත් රෝගයක අතුරු ආබාධ සහ විශාදය සඳහා ගන්නා ඖෂධ හේතු විය හැකිය‍.

එසේම මෙහිදී උදර වේදනාව/ඔක්කාරය හා වමනය/බර අඩුවීම/කහ පැහැ වීම/රුධිරය කැටි ගැසීම අඩුවීම/රුධිරයේ සීනි ප‍්‍රමාණය අඩුවීම (Hypoglycemia)/ ශරීරයේ පවතින ඉදිමුම් ස්වභාවය (උදරය හා හෘදය)/මොළයේ ක‍්‍රියාකාරීත්වයේ වෙනස්කම් (ධාරණ ශක්තිය හීනවීම, නොසන්සුන් බව, නිදිමත ගතිය, සිහි තත්ත්වයේ වෙනස්කම්) වැනි ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. 

රෝග විනිශ්චය සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • රුධිර පරීක්‍ෂණ – අක්මා ක‍්‍රියාකාරීත්වය (LET), රුධිර කැටි ගැසීම හා සම්බන්ධ පරීක්‍ෂණ (BT/CT, Pt/INR, APTT/PT)
  • මුත‍්‍රා පරීක්‍ෂණ
  • X-ray
  • Scan 
  • අක්මා ජෛවීක්‍ෂාව (Liver biopsy)

තීව‍්‍ර අක්මා අකරණීය (Acute liver failure) තත්ත්වයේදී ඇති විය හැකි සංකූලතා

  • අසාමාන්‍ය රුධිර කැටි ගැසීම
  • ආසාධන
  • Encephalopathy – අක්මාව විෂ හරණය කිරීමට නොහැකි වීමෙන් ඒවා රුධිරයට එකතු වී මොළයේ ඉදිමුම ඇති කරයි. ඒ හේතුවෙන් නොසන්සුන් බව, සිහි මද බව ඇති විය හැකිය. 

2) Alagille Syndrome

ජානමය බලපෑමක් නිසා කලාතුරකින් ඇති වන ඉතා කුඩා අවධියේදී හඳුනා ගත හැකි රෝගයක් වන මෙය හේතුවෙන් අක්මාව, වකුගඩු, හෘදය, ඇස්, මුහුණ, අස්ථි ආදී විවිධ කොටස් වලට බලපෑම් ඇති විය හැකිය. මෙම රෝගයේ රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එකම පවුලේ සාමාජිකයන් අතර රෝගය ඇති වුවද එහි ලක්‍ෂණ එකිනෙකාට වෙනස් වේ.

Alagille Syndrome ලක්‍ෂණ

  • අක්මාවේ අසාමාන්‍යතා – සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා ප‍්‍රනාලය කුඩා වීම

පිත්ත ප‍්‍රනාලය මගින් අක්මාවේ සිට පිත්තාශය හා අන්තක දක්වා පිත ගෙන යයි. මේ නිසා මෙම ප‍්‍රනාලය කුඩා වීමෙන් අක්මාවේ පිත රැඳී තිබීමෙන් අක්මාවට හානි වේ. මෙවිට කහපැහැ (Jaundice) වීමේ තත්ත්වයන් ඇති වන අතර ඇස්වල මුදු කොටස, සම කහපාට වේ. අක්මාවේ අසාමාන්‍යතා නිසා මේදය හා පෝෂක උරා ගැනීම දුර්වල වේ. මේ හේතුවෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනය සෙමින් සිදු වේ. මේ නිසා මේදය සම යට තැන්පත් වීමෙන් සම යට ගෙඩියක (mass) ස්වරූපයක් දිස් වේ. 

  • මුහුණේ පෙන්වන ලක්‍ෂණ

දරුවාගේ නළල ඉදිරියට නෙරීම, ඇස් යටට ගිලීම හා කුඩා නිකට යන ලක්‍ෂණ ඇති වේ. 

  • හෘදයේ හා රුධිර වාහිනී අසාමාන්‍යතා

පුප්ඵුශීය ධමනිය කුඩා වීම මගින් හෘදයේ සිට පෙනහලු වලට රුධිරය ගෙන යන නාලය පටු වේ. එම නිසා මෙම තත්ත්වය සුළුවෙන් පවතින විට ලක්‍ෂණ නොමැති අතර එය ක‍්‍රමයෙන් වැඩිවන විට හෘදය පරීක්‍ෂාවේදී ශබ්දයක් ඇසේ. තදබල ලෙස නාලය පටු වීම තුල කෙටි හුස්ම ගැනීම, තෙහෙට්ටුව ආදී ලක්‍ෂණ ඇති වේ. 

  • අස්ථිවල ඇති වන වෙනස්කම්

කොඳු ඇට පෙළේ හැඩයෙහි වෙනස්කම් ඇති වේ. x-ray මගින් සමනළයෙකුගේ ගනී. 

Alagille Syndrome රෝග විනිශ්චය සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • Liver biopsy – අක්මා ජෛවීක්‍ෂාව
  • රුධිර පරීක්‍ෂණ – අක්මා ක‍්‍රියාකාරීත්වය – LET
  • හෘද පරීක්‍ෂණ – Echo
  • ඇස් පරීක්‍ෂාව
  • X-ray

Alagille Syndrome රෝගයේදී ඇති විය හැකි සංකූලතා

  • කහපැහැ වීම (Jaundice)
  • මල සුදු/අළු පැහැ වීම
  • පෝෂක උරාගැනීම දුර්වල වීම (පිත අඩුවීම තුල පෝෂක, විටමින් හොඳින් අවශෝෂණය නොවේ) 
  • සම මත කැසීම (සාමාන්‍ය පිත් ලවණ පිටවන්නේ මල හරහාය. මල සමග පිට නොවීම නිසා රුධිරයට එක්වී සම මත රැදී කැසීම ඇති වේ)
  • Xanthomas (සම යට මේදය තැන්පත් වීමෙන් කුඩා ගෙඩි ඇති වේ. අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවීම හා ඉවත් කිරීම සිදු වේ. අක්මාවට ඇති වන බලපෑම නිසා එය නිසි ආකාරයට කිරීමට නොහැකි වේ)
  • නාසය/විදුරු මස් වලින් රුධිරය ගැලීම (රුධිර වහනය වලක්වන රුධිර කැටි ගැසීම් කාරක අක්මාවේ නිපදවයි. උදාහරණ ලෙස විටමින් K අඩුවීමෙන් රුධිර ගැලීම් ඇති වේ) 
  • කලාතුරකින් අක්මාව විශාල වීම (Hepatomegaly) මෙහිදී සිරෝසිස් තත්ත්වයක් ඇති කරයි. 

3) Alpha – 1 Antitrypsin Deficiency

Alpha – 1 Antitrypsin යනු අක්මාවේ නිපදවන ප්‍රෝටීනයකි. මේ සඳහා අප ගන්නා ආහාරද දායක වන අතරම එය රුධිරය මගින් ශරීරය පුරා බෙදා හරී. මෙම එන්සයිමය මගින් කෙරෙන කාර්යය නිශ්චිතව නොදන්නා නමුත් ප‍්‍රදාහයකදී පටක වලට ඇති වන හානිය මෙම එන්සයිමය මගින් වළක්වයි. ආසාධනයකදී ප‍්‍රතිශක්තිමය ප‍්‍රතිචාර දක්වන විට සුදු රුධිරානු මගින් නිපදවන එන්සයිම වලින් ශරීර පටක වලට වන හානිය වළක්වන බවට විශ්වාස කෙරේ. 

Alpha – 1 Antitrypsin Deficiency හි ලක්‍ෂණ

  • ඇසේ සුදු පැහැති කොටස සහ සමේ කහපැහැය  (Jaundice)
  • දිගින් දිගටම මුත‍්‍රා තද කහ පැහැවීම
  • මල සුදු/අළු පැහැවීම
  • බර වැඩි/අඩු වීම
  • නාසයෙන්, විදුරුමසෙන් රුධිරය ගැලීම
  • උදරය තුල අසාමාන්‍ය ලෙස තරල එකතු වීම 
  • අක්මාව වටා ඇති රුධිර වාහිනී වල රුධිර පීඩනය වැඩි වීම (යාකෘතික අධ්‍යාතතිය – Portal Hypertension) 
  • දිගින් දිගටම පවතින අලස ස්වභාවය/තෙහෙට්ටුව
  • වමනය සමග රුධිරය පිටවීම
  • පාදයේ වළලුකර ඉදිමීම
  • මල සමග රුධිරය පිටවීම. මල කළු/රතු පැහැ වීම. 

Alpha – 1 Antitrypsin Deficiency හි සංකූලතා

  • Emphysema

ස්වසන අපහසුව ඇති වේ. සමහර පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනුනද අවුරුදු 20 කින් පසුව මෙම තත්ත්වය ඇති විය හැක. මෙමගින් පෙනහලුවලට හානි ඇති වී ඉක්මණින් මිය යාම සිදු වේ. මෙම තත්ත්වය වැඩි වීමට දුම්බීම (Active smoking) සිගරට් දුම් ආඝ‍්‍රානය වීම (passive smoking)  හේතු වේ. 

  • අක්මාවට හානි වීම

අක්මාවේ ප‍්‍රදාහමය තත්ත්වයන් වර්ධනය වීමෙන් අක්මාවට හානි වේ. එය අක්මා ප‍්‍රදාහය (Hepatitis) ලෙස හඳුන්වයි. නමුත් එය ආසාධිත අක්මා ප‍්‍රදාහය (Hep B) නොවේ. දරුවාගේ මුල් මාස කිහිපය තුලදී අක්මාවේ ගැටළු ඇති වීම නව ජන්ම අක්මා ප‍්‍රදාහය ලෙස හඳුන්වයි. 

Alpha – 1 Antitrypsin Deficiency පාලනය කරන්නේ කෙසේද?

මෙම රෝග තත්ත්වය සුව කිරීම සඳහා විශේෂ ප‍්‍රතිකාර නොමැති වුවද පහත ආකාරයට සාත්තුව ලබාදේ. 

  • මව්කිරි හා සාමාන්‍ය කිරි වලට අමතරව විශේෂ කිරි වට්ටෝරුවක් ලබාදෙන අතරම මෙම කිරි වල විශේෂය වන්නේ අවශෝෂණය පහසු වීමයි. 
  • තරමක වයස ළමුන්ට අධික කැලරි සහිත පාන වර්ග ලබා දේ 
  • රෝගී වූ අක්මාව මගින් පිත නිපදවීම සිදුවීම දුර්වල වීම නිසා දරුවා ගන්නා ආහාර සියල්ලම අවශෝෂණය නොවේ. මේ නිසා බර අඩුවීම/බර වැඩි වීඹ ඉතා දුර්වල වීම සිදු වේ. 
  • දරුවාට අමතර විටමින් ලබා දෙන අතරම විශේෂයෙන් විටමින් K ලබාදේ. එමගින් රුධිර ගැලීම වළක්වා රුධිර කැටි ගැසීම සාමාන්‍ය කරයි. 
  • දරුවාගේ වර්ධනය හා සංවර්ධනය නිරීක්ෂණය කළ යුතුයි. අලුතින් රෝග හඳුනාගත් දරුවන්ගේ බර සතියකට වරක් මැනිය යුතුය. අක්මා ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ යුතුය. 

ඒ සඳහා ස්කෑන්, රුධිර පරීක්‍ෂණ මෙන්ම බයොප්සි  ක්‍රම යොදාගත හැකිය 

4) Biliary Atresia

අක්මාවේ ඉතා වැදගත් කාර්යයක් වනුයේ පිත නැමති ද්‍රව්‍යයක් නිපදවීමයි. මෙහිදී නිපදවන පිත, පිත්ත ප‍්‍රනාලය හරහා කුඩා අන්තක වලට ගමන් කරයි. පිත්තාශය තුල පිත ගබඩා කරයි. පිතෙහි අපද්‍රව්‍ය මෙන්ම ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයද ගබඩා වී පවතී. මෙම තත්ත්වය ආකාර 02 කින් ඇති වේ. 

  • උපතට පෙර පිත්ත ප‍්‍රනාලය අසාමාන්‍ය ලෙස වර්ධනය වීම. 
  • ඉපදී කෙටි කාලයකින් පිත්ත ප‍්‍රනාලය ප‍්‍රදාහයට පත්වීම හෝ අවහිර වීමයි. 

දරුවන්ට ඇති වන මෙම තත්ත්වය සඳහා ස්ථිර හේතුවක් තවම අනාවරණය වී නොමැත. 

Biliary Atresia හි ලක්‍ෂණ

  • දරුවා කහ පැහැති වීම – සමේ සහ ඇසේ සුදු පැහැති කොටසේ දැකිය හැක. මෙසේ කහ පැහැ වීම ආකාර 02 කි. 
  1. Physiological Jaundice – භෞතවේදීය කාමලාව

ඉපදී මුල් සති 2 ක තුල ඇති වේ. සති 2 කින් පසු ක‍්‍රමයෙන් අඩු වේ. උදෑසන හිරු එළියට විනාඩි 15 ක් පමණ දරුවා නිරාවරණය කිරීම ප‍්‍රමාණවත් වේ. දරුවාගේ කිසිම ශාරීරික වෙනසක් නැතිද යන්න අවබෝධ කරගත යුතුය. 

  1. Pathological Jaundice – ව්‍යථවේදීය කාමලාව

සති 2 කින් පසුව ඇති වේ. නොමේරූ ළදරුවෙකුගේ සති 3 කින් පසුව ඇති වේ. මේ නිසා මෙහිදී ඇති වන කාමලාව කුමන වර්ගයකදැයි නිශ්චය කරගත යුතුය. 

  • මුත‍්‍රා තද පැහැයක් ගැනීම – අලුත උපන් දරුවෙකුගේ සාමාන්‍යයෙන් මුත‍්‍රා වල පැහැයක් නැත. නමුත් දරුවෙකුගේ මුත‍්‍රා දිගටම කහ පාට හෝ තද පැහැයක් ගනී නම් එය අක්මා රෝගයක ලක්‍ෂණයක් විය හැක. 
  • මල සුදු/අළු පැහැ වීම – සාමාන්‍යයෙන් දරුවෙකුගේ මල වල පැහැය කහ පාට හෝ කොළ පාට වේ. නමුත් මල වල පැහැය සුදු හෝ අළු පැහැයක් නම් අක්මා රෝගයක් විය හැක. 

Biliary Atresia රෝග විනිශ්චය

ඉහත රෝග ලක්‍ෂණ සහිත දරුවෙකු රෝහල් ගත වූ පසුව සායනික ලක්‍ෂණ වලින් රෝගය විනිශ්චය කර එය ස්ථිර කරගැනීම සඳහා පහත ලක්‍ෂණ සිදු කරයි. 

  • රුධිර පරීක්‍ෂණ
  • මුත‍්‍රා පරීක්‍ෂණ 
  • ස්කෑනින් පරීක්‍ෂණ
  • අක්මා ජෛවීක්‍ෂාව

Biliary Atresia සඳහා ප‍්‍රතිකාර

  • ශල්‍ය ප‍්‍රතිකාර

5).Choledochal Cyst

මෙහිදී  සිදුවන්නේ පිත්ත ප‍්‍රනාලය ඉදිමීම හෝ විස්තාරණය වීමකි. මේ සඳහාද ස්ථිර හේතුවක් හඳුනාගෙන නැත. බොහෝ විට හේතුවක් ලෙස දකින්නේ ගර්භාෂය තුලදී දරුවා වැඩෙන විට පිත්ත ප‍්‍රනාලය ඊට සමගාමීව නොවැඞීමයි. 

Choledochal Cyst හි ලක්‍ෂණ

  • කහ පැහැ වීම – සති ½ කට වඩා පවතී නම් පරීක්‍ෂාකාරී විය යුතුය. 
  • වරින් වර ඇති වන උදර වේදනාව
  • Cholangitis – පිත්ත ප‍්‍රනාල වල ඇති වන ආසාධනයකි. මෙහිදී කහ පැහැවීම, උණ ඇති වීම සිදු වේ. 
  • පරිතානදාහය (Peritonitis) – උදරය ඇතුලත පවතින ආසාධනයකි.
  • උදරයේ ගෙඩියක් ලෙස පැසවීම හෝ උදරය ඉදිමීම. 
  • අග්න්‍යාශයික දාහය (Pancreatitis) – (අග්න්‍යාශය තුල)

මෙම තත්ත්වය සඳහා ප‍්‍රතිකාර නොගතහොත් පහත දරුණු ලක්‍ෂණ පෙන්වයි. 

  • අක්මාවට හානි වීම (තන්තුමය ගැටළු ඇති වීම හෝ සිරෝසියාව)
  • ආසාධන
  • පිත්ත ප‍්‍රනාලයට හානි වීම
  • ගෙඩිය පිපිරීම හෝ කාන්දු වීම
  • රුධිර වහනයන්
  • පිත්තාශ ගල් ඇති වීම
  • අග්න්‍යාශයේ ආසාධන ඇති වීම
  • පිත්තාශයේ හෝ පිත්ත ප‍්‍රනාල වල පිළිකාමය තත්ත්වයන් වර්ධනය වීම. 

6) Cystic Fibrosis and Liver Disease

අක්මාවට හානි සිදුවීම කුඩා පිත්ත නාලිකා වලින් ආරම්භ වේ. අක්මාවෙන් නිපදවන පිත මෙම කුඩා නාලිකා වලට පැමිණෙන අතර ඒවා සාමාන්‍ය පිතට වඩා ඇලෙන සුළු ගතිය වැඩියි. මේ නිසා පිත් නාල අවහිර වේ. මෙම`ගින් අක්මාව වටා ඇති පටක වලට හානි වී කැලැල් ඇති වේ. මෙය biliary fibrosis ලෙස හ`දුන්වයි. මෙම තන්තුභාවයට පත්වීම අක්මාව දක්වා ක‍්‍රමයෙන් විහිදී යයි. මේ හේතු නිසා අක්මාව ඝන/තද බවට පත්වන අතර අක්මාව තුලින් රුධිර ගැනීම වඩාත් දුෂ්කර වේ. 

Cystic Fibrosis and Liver Disease රෝග විනිශ්චය

ශාරීරික පරීක්‍ෂණ වලදී දැකිය හැකි ලක්‍ෂණ වලින් හඳුනාගනී.  මෙහිදී ඇති වන ලක්‍ෂණ ලෙස,

  • අක්මාව විශාල වීම – Hepatomegaly
  • ප්ලීහාව විශාල වීම – Splenomegaly
  • අක්මාව හා ප්ලීහාව විශාල වීම – Hepatosplenomegaly
  • උදරය මත ශිරා දැකිය හැකි වීම. අක්මාව හරහා යන රුධිර පරිමාව අඩුවීම. 
  • වර්ධනය සෙමින් සිදුවීම (ආහාරයේ ඇති K,A,D,E යන මේදයේ දියවන විටමින් අවශෝෂණය අඩුවීම) 
  • ප්ලෝදරය – Ascites
  • රුධිර ගැලීම වැඩිවීම

Cystic Fibrosis and Liver Disease සඳහා වූ පරීක්‍ෂණ

  • අක්මාව හා සම්බන්ධ පරීක්‍ෂ
  • උදරයේ ස්කෑනින් පරීක්‍ෂණ

Cystic Fibrosis and Liver Disease සඳහා වූ ප‍්‍රතිකාර

  • වෛද්‍ය ප‍්‍රතිකාර – ආමාශ උද්දීපනය අඩු කිරීම
  • Endoscopy – නම්‍යශීලී නලයක් සහිත උපකරණයක් මුඛයෙන් ඇතුල් කර ආමාශය හා අන්තශ්‍රෝතය පරීක්‍ෂාව. 
  • Sclerotherapy – අන්තශෝතයේ ඇති අපශ්චිත ශිරා (Esophageal canvas) වල නික්ෂේපන ලබාදීමය. 
  • Bauding – මෙම කුඩා රුධිර වාහිනී වලින් රුධිරය ගැලීම අඩු කිරීමට එම ස්ථානය වටා තද රවුමක් දැමීම. (tight band)
  • මෙම තත්ත්වය දරුණු ආකාරයේ නම් අක්මා බද්ධ කිරීම. 

7) Gilbert’s Syndrome

කාමලාව ඇති කරවන අක්මාවේ ඇති වන සුළු රෝග තත්ත්වයකි. මෙම තත්ත්වය හානිදායක නොවන අතර අක්මාවට හානියක්ද ඇති නොවේ. මෙයද ආරය (ජාන නිසා) ඇති වන රෝගයකි. 

Gilbert’s Syndrome ලක්‍ෂණ

  • විශාල ලෙස ඇති වන උදර ව්‍යාතතිය. 
  • සාමාන්‍යයෙන් ඇති වන තෙහෙට්ටු ගතිය. මෙම තත්ත්වය ආසාධනය නිසා දරුණු විය හැක. 
  • කහ පැහැ වීම. එය වරින් වර ඇති වීම නිසා,
  • විජලනය වීම
  • ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම.
  • ආසාධනයක් ඇති වීම
  • ආතතියකින් යුක්ත වීම
  • ශාරීරික තෙහෙට්ටුව

Gilbert’s Syndrome සඳහා වූ ප‍්‍රතිකාර

මෙම රෝග තත්ත්වය දරුණු නොවන නිසාත් අක්මාවට හානියක් නොවන නිසාත් ප‍්‍රතිකාර අවශ්‍ය නැත. තරුණ ළමුන්ට දැනෙන තෙහෙට්ටුව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපානු ලබයිද යන්න සැලකිය යුතු අතර ඔවුන් දිරිගැන්වීම තුලින් ඔවුන්ට උපකාර කළ යුතුය. 

  • සෞඛ්‍යමත් සමබල ආහාර වේලක් මගින් සමබර ජීවන රටාවක් පවත්වාගෙන යෑම
  • ව්‍යායාම ලබාගැනීම හා සුව නින්දක් ලබාගැනීම.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ස්කෝලියෝසිස් එක්ක ගෙවුණු මුල් මාසය

ස්කෝලියෝසිස් කියන්නේ අද වෙද්දි යොවුන් ගැහැනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. මේ ලිපිය ලියන මමත් ස්කෝලියෝසිස් ඇති යොවුන් ගැහැනු දරුවෙකුගේ මවක්. මා, මාගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගන්නට සිතුවේ සැබවින්ම බොහෝ දෙනෙක් මේ සම්බන්ධව අත්දැකීම් හෝ දැනුවත් බවක් නොමැතිව දරුවාගේ තත්ත්වය බැරෑරුම් අතට හැරෙන තුරු වෛද්‍ය උපදෙස් ලබා නොගෙන සිට ඇති බව වෛද්‍යවරුන් මුණගැහීමට යන අවස්ථාවන්වලදී දුටු නිසාම පමණක් නොවෙයි, ඇතැම් වෛද්‍යවරුන්ගේ මෙන්ම මේ හා සම්බන්ධ වෙනත් වෘත්තිකයන්ගේ යම් යම් ක්‍රියා කලාප මත දෙමාපියන් වශයෙන් අපිද දරුවන් ද මහත් සේ අසරණභාවයට පත් වූ අවස්ථාවන් ගැනද ඇති වූ මහත් කලකිරීම හේතුවෙනි.

මාගේ දියණියගේ ඉරියව්වේ යම් වෙනසක් දුටු නිසාම ඇයව භෞතචිකිත්සකවරයෙකු වෙත මා රැගෙන ගියේ කිසිසේත්ම මෙවැනි තත්ත්වයක් ගැන සිතා නොවේ. එතුමාගේ නිරීක්ෂණයට අනුව දියණියගේ ඉරියව්වේ වෙනස කොඳු ඇට පෙලේ යම් අසාමන්‍යතාවයක් හේතුවෙන් ඇති වූවකි. ඔහු ලංකාවේ සිටින මේ හා සම්බන්ධව වූ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත අප යොමු කළ අතරම ඔහු වෙනුවෙන් ලබා ගත් වෙන්කරගැනීම් දෙකක්ම අවලංගු විය. කුමන තත්ත්වයකදී බලා සිටින්නට හැකි වුවත් දරුවෙකුගේ රෝගී තත්ත්වයකදී මව්පියන්ට බලා හිදීම තරම් අසීරු කාර්යයක් නොමැති බව ඔබට අමුතුවෙන් කිව යුතු නැතැයි මම සිතමි. එදින රාත්‍රිය බොහෝ සෙයින් දිගු වූයේ පසු දිනම කෙසේ හෝ වෛද්‍යවරයා මුණ ගැසීමට ඔහු සිටින ඕනෑම් රජයේ හෝ පෞද්ගලික රෝහලකට යාමට බලාපොරෝත්තුවෙන් සිටි නිසාම විය යුතුය.  

පසු දින පාන්දරම වෛද්‍යවරයා සේවය කරන රෝහල වෙත ගිය අපිට ඔහුගේ සායනය පැවැත්වෙන කාමර අංකය සොයා ගැනිීමට එතරම් අපහසු වූයේ නැත. එහිදී අංකයක් ලබා ගත් අපට එතැන සේවයේ නියුතු හෙද හෙදියන්ගේ ගැටලු රැසකට පිළිතුරු ලබාදෙන්නට සිදුවිය. ගැටලු රැසක් කිවුවද කිහිප දෙනෙක්ම ඇසුවේ එකම ගැටලුවකි. 

ඔයා ඇයි මෙතනටම ආවේ. මේ ඩොක්ටර්ටම පෙන්නන්න කිව්වේ කවුද? ඇයි ඒ?

කොරෝනා තත්ත්වය පහව නොගියද පුටුවක් ඇර පුටුවක් දරුවන් වාඩි කරවීමට තරම් ඔවුන් අවධානය යොමු නොකළේ ඉඩකඩ සීමිත නිසා විය හැකි වුවත් සිත දැඩි කරගෙන සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව ඒ ස්ථානයේ අපි රැඳී සිටියෙමු. අවසන වෛද්‍යවරයා හමුවීමට අවස්ථාව අපට උදා විය. 

දරුවා හොඳින් පරීක්ෂා කළ එතුමා ලබාගත යුතු එක්ස්‍රේ වර්තා මොනවාද යන්න සටහන් කර දුන් අතරම ඒවා සමග ඊළඟ සායනයට දින නියම කරන ලදී. එ් දිනය තෙක් කාලය ගෙවා ගැනීම රෝගයේ තත්ත්වය හරියාකාරව නොදැන සිටින අපට මහත් අසීරු බව දිනය සටහන් කරන අවස්ථාවේදීම සිතට දැනුනත් එතැනදී ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නොවීය. එදිනම එක්ස්‍රෙ පිටපත් ලබා ගත් අපට දරුවාගේ කොඳු ඇට පෙලේ පහළ කොටසේ යම් ඇද වීමක් ඇති බව පෙනුනු අතරම එය ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත පෙන්වීමට අවශ්‍ය විය. 

වෛද්‍යවරයා වෙනුවෙන් දුරකථනය ඔස්සේ වෙන්කරවා ගත් අවස්ථා දෙකම අවලංගු වූ බව මා පෙර සඳහන් කළා ඔබට මතක ඇති. එයින් එක් වෙන්කරවා ගැනීමක් වෛද්‍යවරයා හමුවිය හැකි ලඟම දිනයට යොදා ගැනීමට අපි කටයුතු කළෙමු. දෙමාපියන් වශයෙන් අපේ සිත් තුළ වූ නොසන්සුන්කාරී බව පිළිබඳව මම කිසිසේත්ම පසුතැවීමට පත් නොවන්නේ මේ තත්ත්වය ගැන කිසිදු දැනුමක් නොමැතිව සති තුනකට වැඩි කාලයක් වෛද්‍යවරයා හමුවීමට බලා සිටීම මෙවැනි තත්ත්වයකදී අපහසු කාර්යයක් වන නිසාමය. 

වෛද්‍යවරයා මුණ ගැසුණු අපට දැන ගන්නට ලැ‍බුණේ මාගේ දියණියට ස්කෝලියෝසිස් බවත් ඇයට බ්‍රේස් එකක් පැලදිය යුතු බවත්ය. ඇයගේ කොදු ඇට පෙලේ පහළ කොටසේ අංශක 19ක වක්‍රයක් ඇති බව වෛද්‍යවරයා ගණනය කළ අතරම එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි වුවත් ඉන් එහාට වර්ධනය වීම වැළැක්වීමට බ්‍රේස් එක පැලදීම අනිවාර්ය බව වෛද්‍යවරයාගේ අදහස විය.

බ්‍රේස් කියන්නේ මොකද්ද? එය සකසන්නේ කෙසේද? ඒ සඳහා අපෙන් විය යුත්තේ කුමක්ද?

මේ කිසිත් ගැන අදහසක් නොමැතිව ‍වෛද්‍යවරයා විසින් ලබා දුන් අංකය අමතා අප අදාල පුද්ගලයා හමුවීමට දිනයක් වේලාවක් වෙන් කර ගත් අතරම නියමිත වෙලාවට ඔහු අපහට ලබා දුන් ලිපිනය වෙත ගියේ මින් පෙර කිසිදු දැනුමක් නොමැතිව මේ කුමක් සිදුවෙන්නේද යන අදහසක්වත් නැතිවය. 

අපේ රට තුළ සකසන බ්‍රේස් වර්ග මොනවාද? ඒවායේ වෙනස්කම්, දරුවාට වඩාත් පහසු කුමන වර්ගයේ එකක්ද? යන්න ඇතුළු අපේ සිත තුළ පැන නැඟුණු සියලුම ගැටලුවලට අදාල පුද්ගලයා කිසිදු පැකිලීමකින් තොරව අපට පිළිතුරු ලබා දුන්නේ ඔහුගේ වගකීම නොපිරිහෙලා ඉටු කරමිනි. 

බ්‍රේස් එක සැකසීමට දරුවාගේ මිමි ගැනීමට අවශ්‍ය බව ඔහු පැවසූ අතරම එය සිදුවන ආකාරය අප දැන සිටියේම නැත. ඔහු අපට පැමිණෙන ලෙස දැන් වූ අතරම අපව රැගෙන ගියේ ඔහුගේ නිවසේ නාන කාමරය තුළටය. මාත් දියණියත් එය තුළට ගත් ඔහු දොර වසා මිමි ගැනීමට සූදානම් වූ අතරම මේ සිදුවන්නේ කුමක්ද යන්න මට මෙන්ම මගේ දියණියටත් ප්‍රශ්නාර්තයක්ම විය. එතැන තීන්ත ඉවර වු ප්ලාස්ටික් බාල්දියක වතුර පුරවා තිබූ අතරම සින්ක් එක තුළ වූ ඉටි බෑගයක බට කිහිපයක් විය. ඇත්තටම මා සිතුවේ ඒ බෑගය තුළ ඇත්තේ  කැඩුණු බිඩේ ෂවර් එකක කොටස් කියාය. නැත.. ඔහු එහි ඇති බටයක් ගෙන දියණුයගේ පපුව හරහා පහළට තබා අල්ලා ගන්නා ලෙස මට උපදෙස් දුනි. දියණියට දෑත් දෙපසට කර බිත්තිය මත දෙඅත් තබා ගන්නා ලෙස උපදෙස් දුනි. දැන් ඇය සිටින්නේ ඇය හැද සිටි ඇදෙන සුලු දිගු කලිසම සහ බැනියම පිටිනි. මා කොමඩ් එකේ නොගෑවී ආයාසයකින් දරුවාගේ දෙසට ඇදී සිටී. එතැනම බේසමක දමා තිබුණේ මා දන්නා පරිදි ප්ලාස්ඔප් පැරිස් තැවරූ බැන්ඩේජ් රෝල් කිහිපයකි. දැන් ඔහු එම රෝල් තෙත් කරමින් දරුවාගේ බඳ වටා ඔතන්නට විය. එය ටිකෙන් ටික ඉහළට ඔතන ඔහු දරුවාගේ වෙස්ට් එක ඉවත් කරන ලෙස පැවසීය. නව යොවුන් වියේ පසුවන ඕනෑම දියණියක් එයට ලැජ්ජා වීම ආසාමාන්‍ය තත්ත්වයක් නොවේ. කුමක් කරන්නද ? එය කළ යුතුව ඇත්තේ නිවැරදිවම දරුවාගේ සිරුරේ හැඩය ලබා ගැනීමට අවශ්‍ය නිසාමය. මේ පුද්ගලයා ඉතා කාරුණිකව දියණියට කියා සිටියේ ඔයා වගේම අක්කලා නංගිලා ගොඩ දෙනෙක් එනවා පුතේ.. මේක අපි හොඳ කරගන්න උත්සාහ කරමු. අම්මා ළඟ ඉන්නවානේ. හිත ශක්තිමත් කරගෙන අපි මේක කරගමු. ඇත්තටම ඔහුගේ ක්‍රමයේ ඇති දුෂ්කරතා කොපමණ වුවත් ඒ වචන ටික මගේ සිතටත් ශක්තියක් විය. අකමැත්තෙන් වුවත් ඇය එයට මුහුණ දුන්නා. අම්මා කෙනෙක් විදියට මගේ හිත තුළ ඇති වුණු හැඟිම් ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැත. මෙය සිදු කෙරෙන සාමාන්‍ය ආකාර මෙය විය හැකිය. එය එසේ වුවත් පෙර දැනුවත් කිරීමක් මේ සඳහා අත්‍යවශ්‍ය බව මගේ අදහසයි. මේ අත්දැකීමෙන් පසුව වෙනත් රටවල මිමි ලබා ගැනීම සිදු කරන ආකාරය සොයා බැලූ අතරම වෛද්‍යවරු විසින් ඒ අවස්ථාවේදී ඇඳීමට සුදුසු ඇඟට ඇලුණු ටියුබ් හැඩයේ ඉතා තුනී ඇඳුමක් ලබා දෙන බව දැකගන්නට ලැබුණා. 

දියණියගේ සිරුරට වටා බැන්ඩේජ් රෝල් කිහිපයක් ‍එතුණු පසුව එය සවි වීමට පටන් ගත්තා. ඒ තුළින් ඉතා ලොකු රස්නයක් දැනෙන්න පටන් ගත්තා. ප්ලාස්ට්ඔෆ් පැරිස් සවි වන විට එසේ රත් වන බව ඔහු පැවසුවා. විනාඩි කිහිපයකට පසුව ඉදිරියේ තබා තිබූ බටය දිගේ කපා සිරුරේ අච්චුව ලබා ගත්තා. 

ඔහු ඔහුගේ කාර්යය අකුරටම ඉටු කළත් මේ සඳහා සූදානම් වීමට උපදෙස් පැමිණීමට පෙර ලබා නොදීම ගැන අදටත් මා සිටින්නේ කණගාටුවෙනි. වාසනාවට මෙන් වාහනයේ දරුවන්‍ වෙනුවෙන් අමතර ඇඳුමක් තබා ගැනීමේ පුරුද්දක් අප සතුව තිබුණු නිසාම දරුවාට එය අන්දවාගෙන ඒමට අපිට හැකි වුණා. ඒත් ඇඟ පිස දැමීමට සිදු වූයේ ඉතා කුඩා ලේන්සුවකිනි. නිවසට විත් දරුවා පිරිසිදු කරවන තෙක් හිතට නිවනක් මට නොවීය. 

සැබවින්ම ඔහු හෝ වෛද්‍යවරයා විසින් හෝ මෙය සිදුවන ආකාරය ගැන යම් දැනුවත් කිරීමක් ලබා දුන්නේ නම් මෙවැනි අසරණ තත්ත්වයකට අප පත් නොවනු ඇත. එසේම මේ කාර්යය සඳහා නිවසේ නානා කාමරය හැර සුදුසු පරිදි සකසා ගත් වෙනත් ස්ථානයක් තිබුණේ නම් එයද ඉතා යෝග්‍යය. බ්‍රේස් එකක් සැකසීම සඳහා යම් මුදලක් වැය වන අතරම එය වැඩිපුර සකසන්නේ යොවුන් වියේ ගැහැනු දරුවන් වෙනුවෙන් නිසාම මීට වඩා පහසු, පිරිසිදු ක්‍රම යොදා ගැනීමට ඔහුට තිබුණා. ඒ වගේම එහි ෆිටෝන් එක තිබුණේද ඔහුගේ නිවසේම කාමරයක් තුළයි. එහි අල්මාරියක් ඇඳක් ඇති අතරම ඒ දෙක අතර සිට දරුවාට එය අන්දවා බලයි.  අල්මාරි දොරේ යතුරු එහෙට මෙහෙට වන දරුවාගේ පිටේ ඇනෙන තරම් ළඟය. මේ අනුව ඒ අවස්ථාවේ අපි සිටි ස්ථානයේ පලල ප්‍රමාණය ගැන ඔබට අදහසක් ලැබෙන්නට ඇති.

මුදල් වියදම් කළත් නොකළත් දරුවෙකුට හරි හැටි ප්‍රතිකාරයක් ලබා දීමට තැනක් අපට නැතිද යන්න විටෙක මට සිතේ. අපි නොයෙක් රෝග සඳහා දරුවන් වෛද්‍යවරුන් වෙත, රෝහල් වෙත රැගෙන ගොස් ඇත. නමුත් මෙවැනි තත්ත්වයකදී යම් විශේෂ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීමට සිදු වන අතරම ඒ සඳහා මුදල් ගෙවා හෝ  නිසි කළමානාකාරීත්වයක් ඇතිව පිරිසිදු පහසුකම් සහිත ස්ථානයක, වෘත්තිකයන්ගේ සේවාව ලබා ගැනීමට අපට අවස්ථාව උදා නොවීම අභාග්‍යයකි. එය අපේ රට තුළ ඇති අඩුපාඩුවක් නිසා සිදු වන දෙයක් නොව. මිනිසුන් තමා ගැන සිතන සිතුවිල්ලේම එල්ඹ තවත් කෙනෙක් ගැන නොසිතන නිසාම සිදු වන්නකි. මුදලට මුල් තැන දෙන බොහෝ දෙනෙක් ලබාගන්නා මුදලට සරිලන පරිදි සේවාව ලබා නොදෙන්නේ ඇයි දැයි යන ගැටලුව අදටත් මා සිතේ ති‍බේ‍. එය සැබවින්ම අපේ අවාසනාවකි. දරුවෙකු මෙවැනි තත්ත්වයකට පත් වීම මව්පියන්ට ලොකු වේදනාත්මක අත්දැකීමක් වන අතරම එය නොසලකා හැරීමද අපහසුය.

අප හමුවන වෛද්‍යවරයෙක්ගෙන් අදාල සියලු තොරතුරු ලබා ගත නොහැකි වීම අනෙක් කරුණයි. අපට ඇති ප්‍රශ්න විසඳා ගැනීමට මෙවැනි තත්ත්වයකදී විශේෂයෙන්ම වෛද්‍යවරයාගේ උපදෙස් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වුවත්, නිවැරදිව දෙමාපියන් දැනුවත් කිරීම ඔවුන්ගේ කාර්යයයේ කොටසක් වුවත් එය හරි හැටි ඉටු නොවන තැන වෙනත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට අපට සිදු වන අතරම ඔහු ද පෙර පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ කණ්ඩායමේ අයෙකු වීම නිසා නිසි පිළිතුරු නොලැබී යාම මව්පියන් වශයෙන් අපිත්, රෝගීන් වශයෙන් අපේ දරුවනුත් පත්වන අසරණ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතුද?

ඒ වගේම අපේ දරුවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් නොකිරීමද දෙමාපියන් වශයෙන් අප සතු තවත් වගකීමකි. ඇතැම් මව්වරුන් තම දරුවා රෝගියෙකු ලෙස සමාජයට හඳුන්වා දීමට මෙන් ඇඳුම් පැලඳුම් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව සායන වෙත රැගෙන එයි. උදාහරණයක් ලෙස ස්කෝලියෝසිස් වෙනුවෙන් සැකසෙන බ්‍රේස් එක දරුවන්ට අන්දවන්නේ බැනියමක් වැනි ඇඳුමකට උඩිනි. ඉන් පසු ඒ උඩින් දරුවා අඳින වෙනත් ඇඳුමක් ඇඳීමට හැකියාව ඇත. මෙය නිවසේදී අත්‍යවශ්‍ය නොවුණත් දරුවා නිවසින් පිටතට යන අවස්ථාවලදී වැදගත් වන්නේ  දරුවා සමාජය ඉදිරියට යාමේදී ඇතිවිය හැකි අපහසුතා අවම කිරීමටයි. ඇතැම් විට වෙනදා ඇඳි ඇඳුම් දරුවාට ඇඳිය නොහැකි විය හැකියි. ඒ නිසා ප්‍රමාණයෙන් තරමක් ලොකු ඇඳුමක්, ටීෂර්ට් එකක් බ්‍රේස් එක උඩින් ඇන්දවීමට හැකියි. ඔබේ දරුවා මෙවැනි තත්ත්වයක සිටිනවා නම් ඇයගේ ඇඳුම්පැලදුම් ගැන සැලකිලිමත් වීම වැදගත් වන්නේ  නව යොවුන් වියේ සිටින මේ දරුවන් සමාජය තුළ කැපී පෙනෙ‍න්නට ආසා කරන්නේ ඉතා සුන්දර ආකාරයට නිසයි. ඔවුන්, ඔවුන්ගේ රුව ගැන සැලකිලිමත් වන මේ කාලය තුළ තම විලාසිතා වෙනස් වීම වුවද මානසිකව බල පෑ හැකි අතරම දරුවා සමග සාකච්ඡා කොට දරුවා කැමති, පහසු මෙන්ම සුදුසු සුන්දර විලාසිතා කිහිපයක් තෝරා දෙන්න‍.

මව්පියන් වන අප සිත තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අපි අපේ දරුවා ගැන නොසිතන විට වටපිටාවටත් අපේ දරුවා ගැන තැකීමක් නොමැති බවයි. එවිට අපේ වටපිටාවට සෑම දරුවෙක් ගැනම තැකීමක් නොමැති වීම සාමාන්‍ය වනු ඇත. ඇතැම් වෛද්‍යවරුන්ට රෝගී දරුවෙක් යනු එක රෝගියෙක් පමණක් වන්නට එය ද හේතු විය හැකියි. කාට කෙසේ වුවත් අම්මා තාත්තාට තම දරුවා මහමෙරක් බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය මසක කාලය තුළ ස්කෝලියෝසිස් හේතුවෙන් දරුවා සමග මුහුණ දුන් මේ අත්දැකීම් සමුදාය ඔබ හා බෙදා ගත්තේ දරුවන් ගැන කල්පනාකාරීව පසුවන ලෙස දැනුම් දීමට මෙන්ම අප මුහුණ දුන් මේ අත්දැකීම් කල්තියා දැන ගැනීම ඔබට මෙන්ම ඔබේ දරුවන්ට යම් පහසුවක් වනු ඇතැයි සිතූ නිසාය. 

නම ගම සඳහන් නොකළ මවක්

දෙමව්පියන් වශයෙන් ඔබ අතින් සිදු වූ වරදට දරුවාගෙන් සමාව ගැනීම ඔබට ලැජ්ජාවක්ද?

වැඩිහිටියන් වන අප සියලු දෙනාම දරුවන් ඉදිරියේ 100% නිවැරදි නොවන අවස්ථා බොහෝය. ඇතැම් විට අප වැරදි අවස්ථාවලදීත් අපේ දරුවන් නිවැරදි වීමට හැකිය. එවන් අවස්ථාවන් වල දී වැඩිහිටියන් වශයෙන් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? දරුවන්ගෙන් සමාව ඉල්ලනවාද? නැත්නම් සමාව ඉල්ලීමට මැලි වෙනවා ද? එය ඔබගේ දරුවාගේ පෞරුෂය හා සමාජීය කුසලතා හා මානසික ක්‍රියාකාරීත්වය බලපාන්නේ කෙසේද? අද අප සාකච්චා කරනුයේ ඒ පිලිබඳවයි.

බොහෝ විට වැඩිහිටියන් වන අප සිතන ආකාරය දරුවන් සිතන පතන ආකාරයට වඩා බොහෝ වෙනස්. පොඩි හෝ අත්වැරදීමක් වූ පමණින් ඔබ ඔබේ දරුවාට කියා සිටිනුයේ “Sorry කියන්න” යනුවෙනි. එමනිසා ඔබේ දරුවා ඔබේ අණ කිරීමට සමාව ගැනීම ආරම්භ කරනු ලබයි. නමුත් ඔබ දෙමව්පියන් වශයෙන්, වැඩිහිටියන් වශයෙන් තවත් වැඩිහිටියකුට ඔබ අතින් සිදු වූ අතපසුවිමකට නොපැකිලිව “Sorry”, “සමාවෙන්න” කියනවා විය හැකිය. නමුත් ඔබේ අතින් ඔබේ දරුවාට සිදු වූ වරදට ඔබ දරුවාගෙන් සමාව ගන්නවාද? ඇතැම්විට පිළිතුර  ‘ඔව්’ විය හැකිය. නමුත් බොහෝ දෙමවුපියන් තුළ ඇත්තේ ඔවුන් වැඩිහිටියන් බැවින් දරුවන් ගෙන් සමාව ඉල්ලීම අත්‍යවශ්‍ය  නොවන බවයි. නමුත් එය එසේ නොවේ.

ඔබ සමාව ඉල්ලිය යුත්තේ ඇයි?

  • ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ මෙය අප කවුරුත් දන්නා කියමනකි. ඔබ ප්‍රායෝගික ව කලහොත් දරුවන්ද ඔබ අනුගමනය කරනු ඇත. එමනිසා නිසි තැන ඔබ සමාව ගනු ලබන්නේ නම් දරුවන් ද ඉතා පහසුවෙන් එය ඉගෙන ගනු ලබයි. 
  • එමෙන්ම ඔබ මේ කරන දේ තුළින් ඔබේ පවුල තුළ එකිනෙකා අනෙකා ගෙන සලකන බව දරුවන්ට කියා දීමට මේ මහත් අවස්ථාවකි. එහි දී එකිනෙකා අතර අගය කිරීම් හා එකිනෙකාගේ වටිනාකම අවබෝධ කරගැනීමට දරුවන්ට මේ ඉතාම හොඳ අවස්ථාවකි. 
  • තවද ඔබ මේ කරන දේ තුළින් දරුවන්ගේ සමාජීය කුසලතා ද දියුණු කිරීමට හේතුවක් වනු ඇත. මන්ද, සමාව ගැනීම දරුවන් ප්‍රගුණ කළ යුතු සමාජීය කුසලතාවයකි. වැරදි වලට සමාව ගැනීම තුළින් දරුවන් බොහෝ දේ වටහා ගනු ඇත. එහිදී තමා තමන් කරන දේ පිළිබඳ සැලකිලිමත් වීම, තමා කළ දේ තමා වගකීමෙන් කළ යුතු බව වටහා ගැනීම,  තමාගේ ක්‍රියාකාරකම් අනිකාගේ කටයුතු කෙරෙහි, අනිකාගේ හැඟීම් කෙරෙහි බලපාන බව දරුවාට පසක් කරවීමට හැකියාව පවතියි. තවද දරුවන්ගේ soft skills දියුණු කිරීමට අවශ්‍ය චින්තනය දියුණු කිරීමද හේතුවනු ඇත.
  • තවද සෑම කෙනෙක්ම 100 % නිවැරදි නොවන බවත් දෙමාපියන් වශයෙන් අපගෙන් ද වැරදි සිදුවෙන බවත්, දරුවන් තමන් විසින් කරනු ලබන වැරදි පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් මෙය හේතු වේ. 
  • පවුලක් වශයෙන් තමන්ගේ අතින් සිදුවූ වැරදි වලට සමාව ගත් පසු තිබුණාට වඩා යහපත් වූ හා සැනසිලිදායක පරිසරයක් නිවස තුළ නිතැතින්ම තැනෙනු ඇත. එහිදී සියලු දෙනාටම වඩාත් ප්‍රියමනාපව  හා කුකුසකින් තොරව සහජීවනයෙන් ජීවත් වීම පහසුවක් සලසයි. 
  • දරුවන් ලබන අත්දැකීම් දරුවන්ගේ පෞරුෂය දියුණු වීම කෙරෙහි හේතු වනු ඇත. ඔබ ඔබගේ අතින් සිදුවන වැරදිවලට දරුවාගෙන්  සමාව නොගන්නේ නම් දරුවන් ද පසු කාලීනව මෙම පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

 අයියා:  මම අයියා, මම මල්ලිගෙන් සමාව ගන්න ඕනේ නැහැ ආදී ලෙස දරුවන්ට සිතුවිලි ගොඩනැගෙනු ඇත. මේ තුලින් දරුවන් දරුවා වැඩිහිටියන් වූ පසු ද මෙම ලක්ෂණවලින් යුත් වැඩිහිටියෙකු ලෙස සමාජගත වීම ඉඩකඩ පවතී. එමනිසා දෙමාපියන් වශයෙන් ඔබ දරුවාට ආදර්ශයක් ගත හැකි කෙනෙකු විය යුතුය.

  • දරුවාගේ මානසික තත්ත්වයට ද මෙය හේතු විය හැකිය. මන්ද ඔබේ දරුවාගේ මානසික තත්වය එකිනෙකාගෙන් වෙනස් වන බැවින් ඔවුන් ඇතැම් මානසික ගැටලුවලට යොමු වීමටද හේතු වනු ඇත. උදාහරණ ලෙස ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍යයට බලපාන වරදක් ඔබ කළා නම් ඔබ සමාව ඉල්ලුවෙත් නැත්නම් දරුවා වඩාත් මානසික පීඩනයට ලක්වීම, මානසික ව්‍යාකූල සිතුවිලිවලින් කටයුතු කිරීම ආදිය සිදුවිය හැකිය. සමාව ගැනීම ප්‍රමාණවත් නොවුණ ද ඇතැම් විට ඔබ සමාව ගැනීම අන් කිසිවකටත් වඩා ඔවුන්ට මානසික අස්වැසිල්ලක් වනු ඇත. 

තවද ඔබ වැඩිහිටියෙකු ලෙස ඔබේ අතින් ඔබේ දරුවාට වරදක් සිදු වූ විට ඔබ වැඩිහිටියෙකු යයි සිත ඔවුන්ගෙන් සමාව නොගන්නවා නම් එය ඔබ කරනු ලබන තවත් එක් වරදක් බව දැන් ඔබට වැටහෙනු ඇත. යහපත් සමාජයක් උදෙසාත් දරුවන්ගේ නිවැරදි සමාජීය හා මානසික  දියුණුවටත් ඔබ නොසිතන සුළු සුළු දේවල් ද හේතුවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දරුවාට හිත නොරිදෙන ලෙස එපා කියන්නේ කෙසේද?

දරුවන් අප සැමගේ ම සම්පතකි. නමුත් දරුවන් බොහෝ විට ක්ෂණික ව ක්‍රියාත්මක වේ. තවද දරුවන් බොහෝ ක්‍රියාශීලී වේ. මේ සමඟ ඔවුන් කරනු ලබන සෑම ක්‍රියාවන් අපට අනුමත කිරීමට හැකියාවක් නොමැත. එසේම සෑම දේකටම “එපා” යනුවෙන් බාධා කිරීමට ඔබට හැකියාවක් පැවතුනද එය ඇතැම් විට දරුවන් හට මහත් වේදනාවක් මෙන්ම දෙමාපියන් හා දරුවා අතර සම්බන්ධතාවය ට ගැටලු ඇති කිරීමට ද හේතු වේ.

දරුවන්ට “‘එපා”‘ කිමට ඇති ලස්සනම, පහසුම විදිය පිළිබඳ ඔබ නොයෙක් වාරයක් සිතන්නට ඇති. මේ සදාහා ක්‍රමවේද 08 ක් එක සිදුවීමක් ඔස්සේ සාකච්චා කරමු. 

උදාහරණය: දරුවා ආහාර ගැනීමට පෙර චොක්ලට් එකක් අතේ තබාගෙන කෑමට අවශ්‍ය යැයි පවසනවා සිතමු. මෙවන් අවස්ථාවක ඔබ දරුවා හට එපා කියන්නේ කෙසේද? 

  1. අනුමත කරන්න. 

මෙවන් අවස්ථාවක දරුවා අනුමත කිරීම ඔබට සිදු කළ හැකිය. අපි එය කරන්නේ කෙසේද? දරුවාගේ කැමැත්ත ට එකඟ වී බත් ඔක්කොම කෑමට පසු එය ලබාදෙන බව පැවසීම කෙලින්ම එපා කීමට වඩා යහපත් වනු ඇත. 

  1. දරුවාට තෝරා ගැනීමට අවස්ථා ලබා දෙන්න. 

මෙම අවස්ථාවේදී දරුවා නැවතත් චොක්ලට් බත් කෑමට පෙර කෑමට අවසර ඉල්ලනවා යැයි සිතමු. එවිට ඔබට කළ හැක්කේ, හරි  කෑල්ලක් බත් කෑමට පෙර ලබාගෙන ඉතිරිය බත් කෑවාට පසු ලබා ගැනීමට කැමතිදැයි විමසීමයි.  මෙවන් අවස්ථාවලදී දරුවා අවසානයේ එය ලබා ගැනීමට පෙළඹෙනු ඇත. මන්ද සියලුම චොක්ලට් එකවර ලබා ගැනීමට දරුවන් ප්‍රිය කරන බැවිනි. 

  1. දරුවාට ආදේශක හඳුන්වා දෙන්න. 

දරුවා බත් කෑම ප්‍රතික්ෂේප කරමින් චොක්ලට් පමණක් ආහාරයට ගන්න විමසනවා යැයි සිතමු. එවන් අවස්ථාවක දරුවා හට තවත් ආදේශක හඳුන්වාදීම ඔබට හැකියාව පවතී.  උදාහරණ ලෙස චොක්ලට් කෑමට අවශ්‍ය නම්, බත් කෑමට අවශ්‍යත් නැත්නම් අම්මා සෑදූ වෙන යම් නූඩ්ල්ස්, සුප් හෝ වෙනයම් දරුවා ප්‍රිය කරන යමක් ආහාරයට ගතහොත් ගැටලුවකින් තොරව දරුවා බලාපොරොත්තු වන චොක්ලට් එක ලබාගත හැකි බව පැවැසීම මීට කදිම නිදසුනකි. මෙවන් ක්‍රමයක් තුළින් ඔබටත් දරුවාටත් අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට පුළුවන. 

  1. ඔවුන් සමඟ සෙල්ලමකින්  ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ කරන්න.

පෙර උදාහරණයම ගනිමු. චොක්ලට් එක අත තබාගෙන සිටින දරුවාට ආහාර ලබාදීම ඔබට ඇති ගැටලුව නම් දරුවා අසලට තවත් සෙල්ලම් බඩු කිහිපයක් ගෙන ඒ අතර චොක්ලට් එක සඟවා  දරුවා හට බත් කටක් කවා චොක්ලට් එක සොයාගෙන පැමිණීමට යැවීම ආදී සරල සෙල්ලමක් ආරම්භ කිරීමට හැකිය.ඒ  තුලින් දරුවාට නොදැනුවත්වම ගැටලුවකින් තොරව ඔබගේ අභිප්‍රාය කරා ළඟා වීමට හැකියාව පවතී.

  1. දරුවන්ට බලපෑම් කළ හැකි යම් දෙයක් සිහිපත් කරන්න.

පෙර උදාහරණයම විමසමු. දරුවාට චොක්ලට් වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු නොවන බව කොපමණ පැවසුවා ද දරුවා එය එකහෙලාම ඉල්ලා සිටින විට එහි ආදීනව කියා දීමට ඔබට වඩා දරුවා හට බලපෑම් කළ හැකිය කෙනෙකු/ දෙයක් සිහිපත් කිරීම අපට කළ හැකි දෙයකි. උදාහරණ ලෙස දරුවා චොක්ලට් ඉල්ලා සිටින විට ඒවා කෑමෙන් දත් නරක් වන බවත්, ඊළඟ දරුවා හඳුනන වෛද්‍යවරුන්ගේ නම පවසා ඩොක්ටර් ගාවට යාමට සිදුවන බවත් පවසා ඔබට දරුවා හට අනතුරු ඇඟවීම කළ හැකිය. වෙනත් උදාහරණයක් කිව්වොත් දරුවත් දඟලන විට දරුවා බය කිසියම් කෙනෙකු මතක් කිරීම බොහෝ දෙමවුපියන් විසින් සිදුකරනු ලබයි. එහිදී ඔබ නොදැනුවත්ව කරන්නේද මෙම ක්‍රමවේදය යි.

  1. නීති රාමු බිඳ මින් යහපත් සංවාදමය තත්ත්වයක් ගොඩනගා ගන්න. 

අප සාකච්ඡා කරන උදාහරණයද ම දිගුවක් ලෙස මෙය පැහැදිලි කර ගනිමු. දරුවාට එපා කියමින් සැර පරුෂ ලෙස කතා කරමින් මෙය සමථයකට පත්කර ගැනීමට යාමට වඩා නීති රාමු බිඳිමින් සංවාදාත්මක පරිසරය ස්ථාවරයකට පැමිණීමට ඔබට හැකිය. උදාහරණ ලෙස “අම්මාත් චොක්ලට් කන්න ආසයි. හැබැයි දැන් නෙමේ, බත් කාලා අපි දෙන්නම චොක්ලට් කමු. ඒක හොඳයි නේද?” යනුවෙන් දැඩි නීති වලට එහා ගිය සංවාදයක් තුලින් ඔබට මෙය එපා යන සංකල්පයම දරුවාට හඳුන්වා දිය හැකිය.

  1. දරුවාට බලපෑම් කළ හැකි ආගමික පසුබිමක් සිහිපත් කරන්න. 

උදාහරණ ලෙස දරුවා ඔබට චොක්ලට් එක නොදී අඬමින් කරදර කරන්නේ නම් එයට ආගමික පසුබිමකින්  පිළිතුරක් ලබා දීම අපට කළ හැකිය. උදාහරණ ලෙස “ඔයා මේ විදියට හැදුවොත් අම්මා කියන දේ ඇහුවේ නැත්නම් නත්තලට නත්තල් සීයා ඔයාට දෙන තෑගි අඩුවෙයි”. මෙවන් දරුවන් අවබෝධ කරගන්නා ආගමික පසුබිම් තුළින් දරුවා ඔබේ අභිමතයට ගෙන්වා  ගැනීමට උනන්දු වීම තවත් එක් ක්‍රමවේදයකි. 

  1. සෘණාත්මක දඬුවම්කරණය (Negative punishment) ක්‍රම යොදාගන්න. 

මෙය තවත් එක් ක්‍රමයකි. දරුවාට ශාරීරික දඬුවම් කරනවා  විනා දරුවාට සෘණාත්මක දඬුවම්කරණය තුලින් ද ඔබගේ අභිප්‍රාය කරා ගමන් කිරීමට හැකියාව පවතී. දරුවා කැමැති දෙයක් දරුවන්ගෙන් ඉවත් කිරිම, දරුවාට ලබාදී ඇති rewards නැවත ලබා ගැනීම ආදිය සෘණාත්මක දඬුවම් ක්‍රම වේ. දරුවා ඔබට නැවත චොක්ලට් එක ලබා නොදෙන්නේ නම් ඔබට මෙම සෘණාත්මක දඩුවම් ක්‍රමයක් ද අත්හදා බැලිය හැකිය. 

දෙමාපියන් වශයෙන් ඔබ දරුවන් කරනු ලබන බොහෝ දේ වලට එපා කීමට හා එම ක්‍රියා නවත්වා ගැනීමට බොහෝ වෙහෙසක් ගනු ලබනවා විය හැකිය. ඇතැම්විට ඒවා ගඟට කැපූ ඉනි මෙනි. ඇතැම් විට ඒවා වාග් ප්‍රහාර, ශාරීරික දඬුවම් කරා ගමන් කරනවා විය හැකිය. එමනිසා අද අප සාකච්ඡා කළේ එක් ගැටලුවකට මෙම ක්‍රමවේද අනුවර්තනය කර ගන්නා ආකාරය වුවත් ඔබට ඔබේ ගැටලුවලට අනුව මෙම ක්‍රමවේද සකස් කර ගනිමින් දරුවාට පහසුවෙන් එපා යන සංකල්පය අවබෝධ කර ගැනීම කරවීමටත්, ප්‍රකාශ කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

මොකක්ද මේ Middle Child Syndrome කියන්නේ?

මෙම නම ඇසුරු පමණින් ඇතැමෙකුට මෙය අවබෝධ විය හැකිය. මෙය දරුවන් තුළ පවතින මානසික තත්ත්වයක් බව පළමුව කිව යුතුය. පවුලේ දරුවන්ගේ උපත ලැබූ පිළිවෙළ අනුව මැද දරුවන් තුළ පෙන්නුම් කරන සුලභ මානසික තත්ත්වයක් ලෙස Middle Child Syndrome තත්ත්වය හඳුන්වා දිය හැකිය. 

අලුත විවාහ වූ දෙපලගේ පළමු සිහිනය දරුවෙකු  තම පවුලට එකතු කර ගැනීමයි. එම සිහිනය සැබෑවක් කරමින් පවුලට පළමු ව එකතු වුන දරුවා වඩාත් වාසනාවන්ත විය හැකිය. මන්ද දෙමව්පියන්ට ඇති හැකි උපරිමයෙන් එම දරුවාට අවශ්‍ය සියලුම දේ ලබා දෙන අතර කිසිදු අඩුපාඩුවක් සිදු කරන්නේ නැත. කල්යත්ම පවුලට එකතු වන දෙවන දරුවා පළමු දරුවා තරම්ම සුවිශේෂී වුවත් එම දරුවාට ලැබෙන දේ නැවුම් හා පළමු දරුවා තරම්ම නොවනු ඇත. මේ අතරම පවුලට තුන්වන දරුවෙකු පැමිණියහොත් තත්ත්වය කෙසේ ද? ඒ වන විට පළමු දරුවා තරමක් තේරුමක් ඇති යම් වයස් සීමාවට පැමිණ දරුවකු විය හැකි අතර පවුලට පැමිණි තුන්වැනි දරුවා සමඟ දෙමව්පියන් බොහෝ කාර්යබහුල වනු ඇත. මෙම අවස්ථාවේදී ඔබේ දෙවැනි දරුවා එනම් මැද දරුවා හට ලබා දෙන හා දුන් අවධානයට කුමක් සිදුවේද? එය එම දරුවාගේ මානසික ක්‍රියාවලියට බලපාන්නේ කෙසේද යන්න ඔබ සිතුවාද?

  1. Middle Child Syndrome තත්ත්වය යනු කුමක්ද? එයට හේතු මොනවාද?

දෙමව්පියන් තම පළමු දරුවා වර්ධනය කරගැනීම සඳහා නොසෑහෙන වෙර දරනුයේ අත්දැකීම් අවම වීම හේතුවෙනි. තවද තමාට හැකි උපරිමය තම පලමු දරුවාට සලසන ඔබ ඔබේ දෙවන දරුවා පැමිණි විට ඔබ විඩාබර විය හැකිය. කල්යත්ම පවුලට තුන්වෙනි දරුවකු පැමිණියහොත් පවුලේ බාලයා කාගෙත් හුරතලා වෙද්දී පවුලේ දෙවැනි/ මැද දරුවාට ලැබෙන අවධානය අවම වීම මෙම මැද දරුවාගේ මානසික තත්ත්වයට බලපෑම මෙම තත්ත්වයට හේතු වන බව විද්‍යාත්මක පිළිගැනීමයි.

  1. මේ සඳහා බලපානු ලබන සැබෑ මානසික හේතු මොනවාද? 

මේ පිළිබඳ ලියවී ඇති දේ පිරික්සන විට මෙයට හේතු වන වඩාත්ම වැදගත්ම සාධකය ලෙස හඳුන්වා දෙනු ලබන්නේ උපදින පිළිවෙල හා ලබන අත්දැකීම් දරුවාගේ පෞරුෂ කෙරෙහි බලපාන බවයි. පවුලේ මැද දරුවාගේ හැසිරීම කෙරෙහි දෙමව්පියන් දරුවන් හට සැලකූ ආකාරය, පවුලේ අනෙක් දරුවන් දක්වන ප්‍රතිචාර ආදි බොහෝ දේ හේතු වන බව කියවේ. උදාහරණ ලෙස පවුලේ පළමු දරුවා ශක්තිමත් වගකීම් සහගත වන අතර පවුලේ බාලයා වඩාත් හැඟුම්බර, රැකවරණය පතන කෙනෙකු විය හැකි අතර පවුලේ මැද දරුවා මෙම දෙකටම අතරමැදි තත්ත්වයක් පෙන්නුම් කිරීම කිරීමට හැකිය. 

  1. මෙම දරුවන්ගේ පෞරුෂ  ලක්ෂණ කෙබඳුද? 

පවුලේ වැඩිමල් දරුවා වඩාත් වගකීම් සහගත වන අතර නිතර ජයග්‍රාහී මනසකින් යුතු අතර ඒ සඳහා මහත් උනන්දුවෙන් කටයුතු කරනු ලබන අතර පුළුල් දැක්මකින් යුතු වීම පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරයි. 

තවද බහුතරයක් පවුලේ මැද දරුවා නිතරම සෑම දෙයකටම අවධානය නොදෙන, ඉතාමත් සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට කැමැති, වගකීම් ගැනීමට මැලි පෞරුෂ ලක්ෂණ පෙන්නුම් කරන බව  පරීක්ෂණ වලින් හඳුනාගෙන ඇති අතර පවුලේ බාලම දරුවා නිතරම රැකවරණය සොයන, අවධානය ලබා ගැනීමට කැමති පෞරුෂ ලක්ෂණවලින් යුතු බව කියැවේ. තවද මෙම පෙන්නුම් කරන ලබන පෞරුෂ ලක්ෂණ කෙරෙහි දරුවාගේ උපත් පිළිවෙල හා පරිසරයෙන් ලැබෙන අත්දැකීම ද එක් හේතුවක් වන බව කියවේ. 

  1. මේ සඳහා පවුල තුළ කටයුතු කල යුතු ආකාරය කෙබඳුද? 

දරුවන් දෙමවුපියන්ගේ අවධානය ලබා ගැනීමට මහත් කැමැත්තක් දක්වති. උදාහරණ ලෙස පවුලේ පළමු දරුවා යම් ජයග්‍රහණයක් ලබාගෙන පැමිණි විට ඔබ දෙමව්පියන් වශයෙන් ඔහු/ඇය අගය කරනු ලබන අතර ඒ අවස්ථාවේ ඔබේ තුන්වන දරුවා ඔබ අත තබාගෙන සිටිය හැකිය. එවිට ඔබේ මැද දරුවා කොහෙද? ඔබ නොසිතන්නට ඇති. නමුත් එම අවස්ථාවට ඔබේ මැද දරුවා ද යම් ආකාරයකින් සම්බන්ධ කරගත යුතුමය. මෙම පවුලේ ඇතිවන මෙවන් පසුබිම් හේතු කරගෙන ම දරුවාගේ නොසන්සුන් වීමට ඉඩකඩ පවතී.

තවද ඒ හේතුවෙන් පවුලේ මැද දරුවා තම අනෙකුත් සහෝදරයන්ට වඩා අවධානය ලබා ගැනීමට තරඟකාරීව හැසිරීම සිදුවේ. තවදුරටත් මෙම මානසික තත්වය වැඩිවූවොත් ඉච්ඡාභංගත්වයට පත්වීම සිදුවිය හැකිය. තවද ඔබ පවුලේ මැද දරුවාගේ සිතුවිලි අතර 

  • අයියා/අක්කාට  අම්මා  තාත්තා ආදරෙයි. මොකද එයා දක්ෂයි නේ 
  • මල්ලි/නංගිට අම්මා තාත්තා ආදරෙයි. මොකද එයා පොඩි නේ 
  • මට තමයි කවුරුත් ආදරේ නැත්තේ ආදී සිතුවිලි තිබිය හැකිය.
  1. Middle Child Syndrome වළක්වා ගනු ලබන්නේ කෙසේද?

මෙමගින් දරුවන් තුන්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පවුල තුළ සිටීම ගැටලුවක් ලෙස කිසි ලෙසකත් පිළිගන්නේ නැත. නමුත් මෙහිදී අවධානය කරනු ලබන්නේ birth order එක හා පවුලේ සැලකුම් අනුව  දරුවන්ගේ මනසේ සිදුවිය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳ පමණි. දෙමාපියන් වශයෙන් ඔබ මේවා මෙතෙක් නොසිතුවා විය හැකිය. ඇතැම්විට ඔබ තුන්වන දරුවෙකු  බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එහෙමත් නැත්නම් ආපසු සිතන විට ඔබ අතින් මෙවන් දේ ඔබේ මැද දරුවාට සිදු වී තිබෙනවා විය හැකිය. එහෙම නැත්නම් ඔබ මවක, පියෙකු වීමට සිහින මවනවා විය හැකිය. ඔබ මේ පිළිබඳත් සිතන්න.

  • පවුලට එකතු වන සෑම දරුවෙක්ම මහත් සම්පතකි. 
  • පවුලේ සෑම දරුවෙකුම එකම ආකාරයට අවධානය දෙන්න. ආදරය කරන්න. ප්‍රශංසා කරන්න. 
  • ඔබේ කාලයේ ඔබේ සියලුම දරුවන් සමඟ බෙදාගන්න. 
  • දරුවන් අතර නිසි වයස් පරතරයක් තබා ගැනීම ඔබට මෙය වඩාත් පහසු කරනු ඇත. 
  • දරුවාගේ වයසට සාපේක්ෂව වගකීම් ලබා දෙන්න. 
  • දරුවන් අතර සහෝදර බැඳීම් තහවුරු කෙරෙන ක්‍රියාකාරකම් සිදු කරන්න.
  • මැද දරුවා පවුලේ පළමු දරුවාත් හා තුන්වැනි දරුවා සමඟ අතරමැදි වූ සැන්විච් එකක් වගේ යැයි පැවසිය හැකිය. මෙම තත්ත්වය ගැටලුකාරී නොවීමට කටයුතු සැලසුම් කරන්න. 
  • නිතර දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සිතන්න.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

Slow learning දරුවන් සමඟ කටයුතු කිරීමට tips 08 ක්.

දරුවන් තම සමවයස් දරුවන් සමඟ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන විට එම ක්‍රියාවලිය තුළ පසුබෑමක් පෙන්නුම් කරන දරුවන් ඒ අතර සිටීම සුලභ තත්ත්වයකි. Slow learning දරුවන්ගේ ලක්ෂණ හා එම ලක්ෂණ වලට හේතු වන ගැටළු මින් ඉහත ලිපියක සාකච්ඡා කළ අතර අද අප මෙම ලිපියේ සාකච්ඡා කරනු ලබන්නේ මෙවන් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට උදව් විය හැකි, දෙමාපියන් හට පහසුවෙන් කළ හැකි ක්‍රමවේද කිහිපයක් පිළිබඳවයි. 

Slow learning දරුවන්ගේ මානසික තත්වය හා පීඩනය අනිකුත් දරුවන්ගේ මානසික තත්වය හා පීඩනයට වඩා තරමක් වෙනස් වන අතර ඉගෙන ඉගෙනුම් ක්‍රියාවලිය තුළදී ඔවුන් ගේ මානසික පීඩනය තවත් වැඩි වීමට හැකියාව පවතී. එමනිසා පීඩාකාරී මානසික වටපිටාවක සිටින මෙම දරුවන් ඉන් මුදවා ගැනීමටත් පීඩාකාරී බවකින් තොරව ඉගෙනුම් ක්‍රියාවලිය යෙදීමටත් සුදුසු ලෙස පරිසරය සකස් කර දීම සඳහා ඔබට මෙම ක්‍රමවේද අනුගමනය කළ හැකිය. 

  1. දරුවාගේ මේසය පවතින ස්ථානය, ඉගෙනුම් කටයුතු කරන ස්ථානය නිශ්ශබ්ද පරිසරයක් කරන්න.

මන්ද මෙම දරුවන්ගේ අවධානය දීම හා අවධානය පවත්වා ගැනීම ආදී ගැටළු පවතින බව අප සාකච්ඡා කළෙමු. ඒ හේතුවෙන් බාහිර පරිසරයේ ඇතිවන යම් යම් බාධා හේතුවෙන් මෙම දරුවාගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින විට තම අවධානය පවත්වාගැනීම ගැටළුකාරී වීම තවත් ගැටළුකාරී තත්වයකට පත් කරනු ලබයි. තවද නිස්කලංක පරිසරය, කාමරයේ බිත්ති සැරසිලි අවම කිරීම, ශබ්ද අවම වීම ආදී සන්සුන් බාහිර පරිසරය මෙම දරුවන්ට වඩාත් පහසුවක් වනු ඇත. 

  1. නිදහස්කාමී ප්‍රශ්න අසන්න.

දරුවා අධ්‍යාපන කටයුතු නිම කළ පසු දරුවා සිදුකර ඇති දේ පිළිබඳ පීඩා ගෙන නොදෙන නිදහස්කාමී ප්‍රශ්න අසන්න. ඒ තුළින් දරුවාට වඩාත් පහසුවෙන් ඔබට පිළිතුරු දීමට හැකිය. උදාහරණ ලෙස දරුවාගේ චිත්‍රයක්, රචනාවක් පිළිබඳ ඔබ ප්‍රශ්න අසන්නේ නම්,

  • ඒ මේ කවුද ඇඳල තියෙන්නෙ?
  • මොකද්ද මේ ඇඳල තියෙන්නෙ? 
  • අද ඇන්දේ මලක්ද?
  • අද රචනාව ලිව්වෙ මොකක් ගැනද? 

ආදී දරුවාට පිළිතුරු දීමට රුකුල් දෙන ප්‍රශ්න නැගීම ඔබට සිදු කළ හැකිය. තවද දරුවා ඇතැම් විට පිළිතුරු දිය හැකි ය. නැතහොත් නොදිය හැකි ය. දෙමාපියන් වශයෙන් ඔබ දරුවා තවදුරටත් ප්‍රශ්න කරමින් කලබල කිරීම විනා ඔහුට ඇයට පිළිතුරු දීමට රුකුල් දෙන ප්‍රශ්න නැගීම ඉතාමත් වැදගත්. 

  1. දරුවාට පහසුවක් වන්න. 

දරුවාට පාසලින් දෙන ගෙදර වැඩ කිරීමට මෙම දරුවන් හට ගැටළුකාරී වීම සුලබ තත්වයකි. ඔබ එය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ දෙමාපියන් දරුවන් වෙනුවට දෙමව්පියන් පාසල් වැඩ සිදු කිරීමට කටයුතු කරන අතර එය මෙම දරුවන්ට පහසුවක් යයි ඔවුන් සිතති. නමුත් එය එසේ නොවේ. ඔබ දරුවාගේ පාසල් වැඩ කිරීම විනා දරුවාට කිරීමට ඉඩ දී ඔබ පිටුපසින් සිටීම ඔවුන්ට පහසුවක් වනු ඇත. තවද දරුවා ඒ සඳහා ගනු ලබන කාලය පිළිබඳ නොසිතන්න. තවද නිතරම දරුවා කාලය කා දමන බවක් හෝ දරුවා ඔබේ කාලය නාස්ති කර දමන බවත් කෙදිනක හෝ දරුවාට නොපවසන්න. 

  1. සරල ක්‍රියාකාරකම් ලබා දෙන්න. 

දරුවාගේ අවධානය පවතින කාලසීමාව ඉතාමත් කෙටි බැවින් කෙටි ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් දීම මෙම දරුවන්ට වඩාත් පහසුවක් වනවා මෙන්ම හොඳින් ක්‍රියාකාරකම් සිදුකිරීමට ද හේතුවක් වනු ඇත. නිතරම යම් අධ්‍යාපනික වැඩ නිමකළ පසුව කෙටි විවේකයක් ලබා දීම, සෙල්ලම් කිරීමට දීම, දරුවා කැමති වැඩක් කිරීමට දීම තුළින් දරුවා මේ සඳහා ඇති අකමැත්ත පහවනු ඇත. 

  1. දරුවාට ග්‍රහණය කරගත හැකි දේ පහසුවෙන් අත හැරීමට ඉඩ නොදෙන්න. 

මෙම දරුවන් තම සම වයසේ දරුවන්ට සාපේක්ෂව වැඩි කාලයක් ඉඩ ගත් ගනු ලබන බව අප සාකච්ඡා කළෙමු. ඒ හේතුවෙන් ඇතැම් සංකල්ප අවබෝධ කරගැනීමට හා ග්‍රහණය කර ගැනීමට මෙම දරුවන්ට වැඩි කාලයක්, වැඩි වාර ගානක් හා වෙනස් වූ ඉගැන්වීම් ක්‍රමවේදයක් අවශ්‍ය වනු ඇත. එක් උත්සාහයකින් පසුව ක්ෂණිකව දේවල් අත හැරීමට ඉඩ නොදෙන්න. නමුත් සෑම දෙයක්ම දරුවාට කියා දීමට උනන්දු නොවන්න. නමුත් දරුවාට ග්‍රහණය කර හැකි දේවල් ක්ෂණිකව මගහැරීම වෙනුවට වෙනස් වූ ක්‍රමවේද තුළින් එය දරුවාට තේරුම් කර වීම සුදුසය. නමුත් එය දරුවාට පීඩාකාරී පරිසරයක් බවට  පත් නොකිරීමට වග බලා ගන්න.

  1. දරුවා නාමකරණයට ලක් නොකරන්න. (don’t label them) 

නිතරම ඔහු හෝ ඇය,

  • Slow learner කෙනෙක්
  • ඒ නිසා එයාට මේක කරන්න බෑ 
  • ඔයාට පන්තියේ අනෙක් ළමයි වගේ මේක කරන්න බැරි වෙයි 

යනුවෙන් දරුවා හට සෘණාත්මක චේතනා ලබාදීමෙන් වලකින්න. එය ඔවුන් තවදුරටත් පීඩාවට පත් කරනවා සේම දරුවා මානසික සෞඛ්‍ය හා පෞරුෂ සංවර්ධනයට ගැටළු ඇති වීමට හේතු වනු ඇත. 

  1. නිතර කාරුණික වන්න. ප්‍රශංසා කරන්න.

දරුවා හට දරුවාගේ උපරිමයෙන් පාසල් වැඩ කටයුතු කරගෙන යාමට යහපත් මානසික පසුබිමක් තිබීම ඉතා වැදගත්. එම පසුබිම තැනීම සඳහා ඔබගේ කාරුණික බව ඔවුන්ට මහත් අස්වැසිල්ලකි. ඒ හේතුවෙන් දරුවාගේ මානසික තත්ත්වයට හා ඔබට වඩාත් ගුණාත්මක ප්‍රතිඵලයක් දැකීමට ඔබ ඉවසන්න. එමෙන්ම දරුවාට වඩාත් කාරුණික වන්න. දරුවා කරනු ලබන සුලු දේවල් පවා අගය කරන්න.

  1. ඔබේ චිකිත්සකවරුන්ගේ සහය නිතර ලබාගන්න. 

මෙම දරුවන් හට විශේෂ වූ අධ්‍යාපනික සැලසුම් (IEP) තිබීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා කථන හා භාෂා චිකිත්සකවරුන්ගේ සහය ඔබට ලබා ගත හැකිය. තවද දරුවාගේ භාෂා ගැටළු, ලිවීම, කියවීම, උච්චාරණය ආදී ගැටළු වලට විසඳුම් ද කථන චිකිත්සාවෙන් ඔබට ලබා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම දරුවාගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් ඔබට මනෝ උපදේශකවරයෙකු ගේ සහාය ද ලබා ගත හැකි අතර දෙමව්පියන් වශයෙන් වඩාත් දැනුවත් වීම තුළින් මෙම තත්ත්වය පහසුවෙන්  ජය ගත හැකි බව කිව යුතුය. 

සෑම දරුවකුම එක හා සමාන නොවන අතර දරුවන් දක්ෂතා ද වෙනස් වනු ඇත. තවද ඔටිසම් තත්වය, ඩවුන් සහලක්ෂණ තත්ත්වය, ADHD/ADD තත්ත්ව සහිත දරුවන් තුළද මෙම ගැටළුව පවතින බැවින් දෙමාපියන් වශයෙන් ඔබගේ දැනුවත් වීම ඉතාමත් වැදගත් වනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

හෙමින් ඉගෙන ගන්නා දරුවන් (Slow learners) හඳුනාගන්නේ කෙසේද?

දරුවන්ගේ ඉගෙනීම ගැන බොහෝ දෙමව්පියන් මහත් උනන්දුවකින් යුතුව කටයුතු කරන්නේ දරුවා බහ තෝරන දා පටන්ය. දරුවා භාෂාව අවබෝධ කර ගැනීමට පටන් ගත් පසු දරුවාගේ ඉගෙනුමට ආධාර විය හැකි බොහෝ දේ ඔබ දරුවාට ඉගැන්වීමට පෙළඹේ. පසුව දරුවා විධිමත් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කළ විට සම වයසේ අනෙකුත් දරුවන් මෙන් පහසුවෙන් හා ඊට අනුරූපීව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය යෙදීමට අපහසු ඒ සඳහා තරමක වැඩි කාලයක් ලබා ගන්නා දරුවන් slow learners යනුවෙන් සරලව ම හඳුන්වා දිය හැකිය. 

දෙමාපියන් වශයෙන් තම දරුවා slow learners කෙනෙක් වුවහොත් ඉතාමත් දැඩි මානසික පීඩනයකට ලක් වේ. එපමණක් නොව බොහෝ ප්‍රශ්න හිත තුළ ඇති කරනු ලබයි. මෙම තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද? එයට හේතුව වන්නේ කුමක්ද? දරුවාට වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියට උදව් වන්නේ කෙසේද? ආදි බොහෝ ප්‍රශ්න එම මානසික පීඩනය තීව්‍ර කරවයි. අද අප සාකච්චා කරන්න යන්නේ මෙම slow learning දරුවන් හඳුනා ගන්නේ කෙසේද යන්නයි. 

සාමාන්‍යයෙන් ඉගෙනුම් දුබලතා සහිත හෝ slow learning දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ බොහෝ පවතී. ඒ සඳහා හේතු විය හැකි ප්‍රධානතම හේතු කිහිපයක් පෙන්වා දිය හැකිය. 

  1. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගැටළු (Learning issues) 

මෙම දරුවන් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඉගෙන ගනු ලබන දේ ග්‍රහණය කර ගැනීම හෙමින් සිදුවන අතර ඒ සඳහා වැඩි කාලයක් ගත කරනු දැකගත හැකිය. එමෙන්ම ඔවුන් අවධානය පවත්වා ගනු ලබන කාල පරාසය ද කෙටි වන අතර ඉගෙන ගනු ලබන දේ අතර පවතින අන්තර් සබඳතා ගොඩනඟා ගැනීම හා ඉගෙනුම් ක්‍රියාවලියේ පවතින ඇතැම් සංකල්ප අවබෝධ කර ගැනීම හා ග්‍රහණය කර ගැනීමේ ගැටළු ද පවතී. 

  1. ශ්‍රවණ සැකසුම් ගැටළු (Auditory processing issues)

මෙම දරුවන්ට ඇතැම්විට ඇහෙන ශබ්ද හඳුනා ගැනීමේ ගැටළු පවතී. එමනිසා ඇසුණු ශබ්දය ට අදාළ වන අක්ෂර නිවැරදිව ලිවීම ගැටළුකාරී විය හැකිය. එමනිසා මෙම දරුවන් ට අසා ලිවීම බලා ලිවීමට වඩා ගැටළුකාරී විය හැකිය. 

  1. දෘශ්‍ය සැකසුම් ගැටළු (Visual processing issues) 

දෘශ්‍ය ඉන්ද්‍රිය ගැටළුවකින් තොරව දෘශ්‍ය සැකසුම් ක්‍රියාවලියේ ගැටළු මෙහිදී අවධාරණය කරයි. මෙහිදී තමන් දකින දෙය ග්‍රහණය කරගෙන නිවැරැදි ලෙස පිටපත් කර ගැනීම දක්වා ගමන් මඟේ ගැටළු පවතී. එමනිසා එක වගේ දේවල් හඳුනා ගැනීම, පාට, හැඩතල, ප්‍රමාණය පිළිබඳ ගැටළු ද මෙම දරුවන්ට පවතී. තවද දෘශ්‍ය සැකසුම් ගැටළු ඇත්නම් ඔවුන්ට බලා ලිවීමට වඩා අසා ලිවීම පහසු වනු ඇත. 

  1. භාෂා ගැටළු (Language issues)

මෙම දරුවන් තුළ විවිධ වූ භාෂා ගැටළු පවතී. එනම් ඔවුන්ට වාචික ප්‍රකාශනයේ ගැටළු, උච්චාරණ ගැටළු මෙන්ම භාෂා අවබෝධය ගැටළු ද පෙන්නුම් කරයි.

මෙවන් ගැටළු නිසා දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ දී යම් පසුබෑමක් පෙන්නුම් කිරීම පළමුව දක්නට ලැබේ. තවද එතා සඳහන් ගැටළු හේතුවෙන් දරුවන් හඳුනාගත හැකි ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එවිට දෙමව්පියන් මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් වීම හා දරුවාගේ හඳුනාගත් ගැටළුවට කළ හැකි පියවර අනුගමනය කිරිම වඩාත් යෝග්‍ය වේ. තවද මෙම දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වීමෙන් පසු පහත ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. 

  • අසා ලියන විට, බලා ලියන විට වචන අකුරු පිල්ලම් අඩුවෙන් ලිවිම
  • අකුරු වල ලියන පැත්ත හා ස්ථානය නිවැරදි නොවීම 
  • පිල්ලම් භාවිතයේ ගැටළු 
  • නිවැරදි ශබ්ද වලට අදාල අක්ෂර ලිවීමේ ගැටළු 
  • ද්විතීක භාෂාව ගැනීමේ ගැටළු 
  • ඇතැම් ගණිත සංකල්ප ඉගෙනීමව් ගැටළු 
  • සංවිධානාත්මකව ලිවීමේ ගැටළු 
  • ලිවීමේ වේගය හා කියවීමේ වේගය ගැටළු 
  • ලියන විට නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිතා නොකිරීමේ ගැටළු 
  • කියවන විට වචන, පේලි හා අතහැර මඟහැර කියවීම 
  • ඉගෙන ගත්තේ නැවත මතක් කිරීමේ ගැටළු ආදී බොහෝ දේ ඒ අතර වේ. 

තවද මෙවන් ලක්ෂණ පෙන්නුම් කරන විට දෙමව්පියන් ඉතාමත් කලබලයට පත් වීමත්, දරුවා දැඩි මානසික පීඩනයට ලක් කරමින් කටයුතු කිරීම හා දරුවා තව තවත් අමතර උපකාර පන්ති සඳහා යොමු කිරීමත් බහුලව සිදුවන දෙයකි. නමුත් ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ දරුවා පෙන්නුම් කරන ලක්ෂණ හඳුනා ගැනීමයි. පසුව එම ලක්ෂණ වලට හේතු වන ගැටළුව හඳුනා සොයා ගැනීමයි. ඉන්පසුව ඒ සඳහා දරුවාට වඩාත් උපකාරී වන ලෙස පරිසරය සකසා දීම සිදුකළ යුතුය. මේ සඳහා ඔබට ළමා මනෝ විශේෂඥ වෛද්‍යවරයෙකු,  කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත යොමු වීම සිදු කළ හැකිදෙයකි. ඔවුන් දරුවා වඩාත් ගැඹුරෙන් තක්සේරුකරනයකට  ලක් කර දරුවා පෙන්නුම් කරන ගැටළුව හඳුනා ගනු ලබයි. පසුව එම හඳුනාගත් ගැටළුවට අදාළ ව ඔවුන් සුදුසු උපදෙස්, චිකිත්සක ක්‍රම දෙමව්පියන් හට පැහැදිලි කරදෙනු ලබයි.

තවද ඔබ දරුවා වඩ වඩාත් මානසික පීඩනයට පත්කිරීම, දරුවා හට ලඟා විය නොහැකි අධ්‍යාපන කරුණු හා අරමුණු කරා දරුවා දැඩි වෙහෙසකින් තල්ලු කිරීම තුළින් දරුවා හට ඉගෙනුම් ක්‍රියාවලිය තවතවත් ප්‍රිය නොවන දෙයක් බවට පත්වන අතරම පසුකාලීනව පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, ඇතැම් විෂයයන් හා විෂය කරුණු හිතා මතා මඟ හැරීම පෞරුෂ වර්ධන ගැටළු ආදී බොහෝ ගැටළුවලට මග පාදනු ලබයි.  

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.