දරුවනේ අපි පොත් පෑන් අතට ගනිමු

දිගුකාලයක් පුරා පාසල් නිවාඩුව සුවසේ බුත්ති වින්ද අපේ දරුවෝ නැවතත් පාසල් යන්න පටන් ගත්තා. ඒ සමගම නව යොවුන් වයසේ දරුවන්ට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වෙනුවෙන් මුහුණ දෙන්නත් දිනෙන් දිනම කාලය ළඟ එනවා. දිනපතා පාසල් වටපිටාව දුරස් වුනත් ජීවිතයේ අනාගත දැක්ම වෙනුවෙන් මේ දරුවන් විභාග වෙනුවෙන් අනිවාර්යෙන්ම මුහුණ දීම අවශ්‍යයි.ඉතින් දෙමව්පියන් විදිහට ඔබ පාඩම් කරන්න..පාඩම් කරන්න කියන මන්තරයම නිතර ජප කරනවාට වඩා අපේ දරුවන් විභාගය වෙනුවෙන් සූදානම් කරන්නේ කොහොමද…?

විභාගය කියන්නේ අප්‍රසන්න මාතාකාවක් නොවේ..

බොහෝ දරුවන්ට විභාගය කියන වචනයත් අප්‍රසන්නයි. විභාගය තමයි අපේ අවාසනාව කියන තරමටම ඔවුන්ගේ හිතේ විභාගය ගැන තිබෙන දැඩි පීඩනය නිදන්ගත වෙලා. ඉතින් දෙමව්පියන් විදිහට ඔබේ දරුවාට විභාගය කියන්නේ අනාගතය වෙනුවෙන් දරුවා සූදානම් කරන වටපිටාව බැව් කියා දෙන්න. ඒ වගේම විභාගය සමත් වීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල වගේම නැවත නැවත විභාගයට පෙනී සිටින වාර ගණන වැඩි වීම නිසා ඉගෙනුමත් අප්‍රසන්න මාතෘතාවක් බවට පත් වෙන බවත් කියා දෙන්න. නමුත් කිසිම දිනක විභාගය අසමත් වීම යනු අනාගතය සම්පූර්ණයෙන්ම නැති වීමක්ය යන සිතුවිල්ලෙන් නම් දරුවා පීඩාවට පත් කරන්න එපා.

විභාගය ජීවිතයට අවශ්‍ය බැව් කියා දෙන්න..

විභාගය කියන වචනයටත් වෛර කරන දරුවන් බිහි කරන්න එපා. විභාගයක් කියන්නේ අධ්‍යාපනයේ එක් අවස්ථාවක් බැව් දරුවාට පහදා දෙන්න.තරගයට හඹා යෑමට උනන්දු නොකළත් තමාගේ උපරිමයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගැනත් ආදරයෙන් පහදා දෙන්න. දිවයිනේ ප්‍රමුඛයා වීමේ ඉලක්කය කෙස් වෙතත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආදාල විෂය ධාරාවක් තෝරා ගැනීමට හැකි වන සේ දරුවාගේ උපරිමයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් බැව් කියා දිමටත් දැන් ඔන්න කාලය ඇවිත්.

දරුවාගේ මනස සූදානම් කරන්න…

ගෝලීය වසංගතය සමග ඉගෙනුම් ඉගැනවීම් ක්‍රියාවලියෙන් දරුවන් දුරස් වූ බව ඇත්ත. දැනටත් ගුරුවරුන් සමග සමීප සහ සෘජු සම්බන්ධතාවයකින් අධයාපනය කිරීමට නොහැකි පරිසරයක් තුළ අධ්‍යාපනය මුලුමනින්ම කඩා වැටී අවසාන බවට වූ සෘණ ආකල්ප දරුවන් තුළ ගොඩ නගන්න එපා. මේ විදිහට ඉගෙනගෙන කොහොමද විභාග කරන්නේ..? එවැනි මානසික තත්වයකින් දරුවාගේ හිත පීඩා කිරීම කිසිසේත්ම නොකළ යුතුය. මෙය සමස්ත පාසල් ප්‍රජාව තුළ සිදු වුන සාමාන්‍ය සිදුවීමක් බැව් කියා දෙන්න. එසේ නොමැතිව අතීතයේදී සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදී දරුවන් විභාග වෙනුවෙන් වූ සූදානම සංසන්දනය කරමින් දරුවාට අනවශ්‍ය පීඩනයක් ලබා දීම නොකළම යුතුය.දෙමව්පියන් ලෙස ඔබ විසින් ගොඩ නගන මේ මානසිකත්වය නිසා දරුවාද විභාගය මුල් කර ගෙන පසුගාමී මානසිකත්වයකින් කටයුතු කිරීමට සූදානම් වීම කිසිසේත්ම දරුවෙකුට ගැලපෙන තත්වයක් නම් නොවේ.

පරිසරය..

විභාගය  අබියස සිටින දරුවාට පාඩම් කිරීමට ගැලපෙන සේ සුදුසු පරිසරයක් සකස් කර දෙන්න. ඔවුන්ගේ කාමරය පිළිවෙලට සැලසුම් කර ගැනීමට උපදෙස් දෙන්න. මනෝවිද්‍යාඥයින් පවා පෙන්වා දෙන අන්දමට කලබල මානසිකත්වයෙන් යුක්ත පුද්ගලයන් බොහෝ දෙනා ජීවත් වෙන වටපිටාවත් බෙහෙවින්ම අපිළිවෙල සහිත බැව් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් අපට වුනත් නිවසක කටයුතු කරන විට පිළිවෙලකින් යුක්ත පරිසරයකදී වැඩ කටයුතු කිරීම වඩාත් පහසු බැව් නොරහසක්. ඒ නිසාම දරුවා පාඩම් කරන කාමරය වුනත් පිලිවෙලකින් සැලසුම් කර ගැනීමට සහයෝගය ලබා දීම ඉතාම වැදගත්.

හොදින් ආලෝකය ලැබීම…

දරුවාගේ ඉගෙනුම් කටයුතු කරන පරිසරය අඳුරු සහිත නම් එය පීඩාකාරී මානසිකත්වයකට හේතු වේ. හොදින් හිරු එළිය සහ වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දරුවාගේ පාඩම් කටයුතු වෙනුවෙන් සකස් කර දෙන්න. ස්වභාවික ලෙසින් ලැබෙන ආලෝකය ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක විදුලි බල්බයක් හෝ සවි කර දීමෙන් දරුවා පොත පත සමග ගෙවන කාලයේදී පීඩාකාරී මානසිකත්වයක් ඇති නොවන සේ කටයුතු කිරීට වඩාත් පහසු වෙනු ඇත.

බාධාකාරී නොවීම…

නිවසේ වටපිටාව සහ දරුවා පාඩම් කරන පරිශ්‍රය අසල බාධාකාරී පරිසරයක් නොවන තරමටම දරුවාගේ ඉගෙනුම් කටයුතු වඩාත් පහසුවෙන් කර ගෙන යෑමේ වාතාවරණයක් උදා වේ. නිතරම ගේට්ටුවේ සීනුව නාද වෙන විට දරුවා ඒ ගැන සෙවීමට යොමු වුනොත් ඉගෙනුම් කරුණු ධාරණය කර ගැනීමට එය එතරම් හිතකර පරිසරයක් නොවනු ඇත. නිතරම ආගන්තුකයන් රැස් වෙන, පවුලේ සාමාජිකයන්ගේ සුහද කතා බහ පැවැත්වෙන, රූපවාහිනිය නරඹන තැනක් දරුවා පාඩම් කරන ස්ථානයට සමීපව ඇත්නම් දරුවාගේ ඉගෙනුම් පරිසරයට එය බාධාවක් විය හැකියි.

ඉගෙනුම් ක්‍රමවේදය ගැනත්…

විභාගය කට උඩට පැමිණි ඇති අවස්ථාවක දරුවාට විවිධ ඉගෙනුම් ගැටලු ඇති විය හැකියි. එවැනි අවස්ථාවන් දරුවාට තනියම නිරාකරණය කර ගැනීමත් අපහසුයි. ඉතින් අපි ජීව විද්‍යාව කරලා නැහැ..දෙමව්පියන් විදිහට ඔබ දරුවා හදාරන විසය ධාරාව ඉගෙන ගෙන නැති බැව් ඇත්ත. එහෙත්… මෙවැනි විෂය මාලාවක දරුවාට මග හැරී ඇති න්‍යායික හෝ ප්‍රායෝගික පරීක්ෂණ,ප්‍රශ්න ලිවීම වැනි ගැටලු සහගත තැන් ගැන සාකච්ඡා කරන්න. ඒවා ඉගැන්වීමට දෙමව්පියන්ට නොහැකි වුනත් අදාල ගැටලු නිරාකරනය කර ගැනීමට යම් සහයෝගයක් ලබා දීමට කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දරුවා විෂය මාලාවේ නොතේරෙන තැන් සමග තනියම සිරගතව පීඩා විදින්වාට වඩා යම් කිසි ආකාරයකින් ලබන සහයෝගය ඔවුන්ට විශාල ශක්තියක් සපයනු ඇත.

එසේ නම්…තවමත් නැති වුන අතීතය ගැන දුක් නොවන්න. අනාගතය අප ඉදිරියේ තිබේ.නූපන් අනාගතය වෙත සාර්ථකව පිය නැගීමට නම් වර්තමානය තුළ දරුවා සූදානම් කරන්න. දැන් අපි කළුවරට දොස් නැගිය යුතු නැත. කෙසේ හෝ පහනක් හෝ දල්වා එලිය ලබා ගත යුතුය. කොවිඩ් සමග ජීවත්වීමට සිදු වෙන යුගයක් තුළ දරුවනේ අපි පොත් පෑන් අතට ගනිමු…

 

 

කොවිඩ් ආසාදනයෙන් පසුව..

ඔබ කොවිඩ් ආසාදිතයෙක් වුන අවස්ථාවක නිවසේ සිට ප්‍රතිකාර ලබන රෝගියෙක් වුනොත්…එහෙම නැත්නම් කොවිඩ් පළමු ආශ්‍රිතයෙක් සමග සම්බන්ධ වීම නිසා හෝ රෝග ලක්ෂණ නිසා දින දාහතරක කාලයක් නිවසේ නිරෝධායනය වෙන්න සිදු වුනොත් අනිවාර්යෙන්ම නොකළ යුතු දේවල් කීපයක් තිබෙනවා.

PCR  වාර්තාව ලැබෙන්නේ හෙට නම් අදත් පරිස්සම් වෙන්න

ඔබ තවමත් කොවිඩ් ආසාදියෙක් යැයි තහවුරු වී නැහැ. නමුත්  ඡක්‍ඍ වෙනුවෙන් ඔබේ නියැඳියක් ලබා දී තිබෙනවා නම් තහවුරු වාර්තාව නැතැත් ඔබ අනිත් අයට රෝග වෛරසය සම්ප්‍රේෂණය නොකොට සිටීම ඉතා වැදගත්. ඒ නිසා හැකි තරම් අනිත් අයගෙන් වෙන් වී සිටින්න.ඔබේ වාර්තාව එන තෙක් නිවසෙන් පිටට නොගොස් නිවසේ රැඳී සිටීම ඉතාම වැදගත්. ඔබ පිටතට යෑම නිසා වෛරසය බොහෝ දෙනෙකුට සම්ප්‍රේෂනය වෙන්න පුලුවනි.

කාමරේ අස් කරන්න එපා…

දැන් ඉතින් දවස් කීපයක්ම කාමරේට වෙලා ඉන්න එපායැ. ඒ නිසා කාමරේ අස් කරන්න, දූවිලි පිහින්න නම් සූදානම් වෙන්න එපා. ඒ වගේම විවේකව ඉන්න නිසා පහුගිය කාලයේ කියවන්න බැරි වුන පරණ පොත් පත්තර ටික ළඟට ගන්නත් එපා. දූවිලි නැති පොත් පත් , සඟරා නම් ගැටලුවක් නැහැ.

ඔබ හොඳින්ම දන්නවා කොවිඩ් වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතුලු වී, එතැනින් ගුණ වී අපේ පෙනහළු ආසාදනය කරනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී අපි පෙනහළුවල නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

දූවිලිවලින් නිව්මෝනියාව ඇති වෙන්නේ නැහැ. දූවිලිවල ඇති බැක්ටීරියාව නිසා නිව්මෝනියාව වැළඳෙන්න වැඩි අවස්ථාවක් තිබෙනවා. මේ වෙන විට  කොවිඩ් ආසාදනයෙන් අපේ පෙනහළු දුර්වලයි.එවැනි තත්වයකදී දූවිලිවලින් ශ්වසන මාර්ගයට ඇතුලු වෙන බැක්ටීරියා සමග සටන් කිරීමට පෙනහළුවලට ශක්තිය නැති නිසා කොවිඩ් නිව්මෝනියා තත්වය ඇති වෙන්න ඉඩ තිබෙනවා.

දැන් ඔබ හිතාවි වෙනදාටත් අපි ගෙවල් දොරවල් අතුගානවා… ඇඳන් හදනවා. එතකොටත් දූවිලි යනවානේ.. .සාමාන්‍යයෙන් දූවිලි අංශුවක් පෙනහළුගත වුනාට එහි ප්‍රතික්‍රියාවන් නැති වුනත් කොවිඩ් වෛරසය සමග සම්බන්ධ වුනොත් ඔබේ රෝගි තත්වය කොවිඩ් නිව්මෝනියාව දක්වාම දරුණු තත්වයකට පත් කරන්න පුලුවනි. ඒ වගේම දුම, සිගරට් දුම සහ මදුරු කොයිල් දුමත් ඉතාම අහිතකරයි.

සාමාන්‍යයෙන් උගුර ආසාදන තත්වයක් තිබුනත්..

වෙනදාට නම් අපි උගුරේ කැසීමක්, කැස්ස හෝ ප්‍රතිශ්‍යාව තත්වය අපි එතරම් ගණනකට ගත්තේ නැහැ. ඒත් මේ වෙන විට නම් එය නොසලකා ඉන්න බැහැ. ඒ හින්දා ඔබට ශ්වසන මාර්ගය ආශ්‍රිත යම් අපහසුතාවයක් තිබෙනවා නම් දූවිලි ඇවිස්සෙන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්ව සිටීම වැදගත්.

ගෙදර සේරම කොවිඩ් ආසාදිත වුනත් එකට ඉන්න එපා..

කොවිඩ් ආසාදිත වීමේදී එක් එක් පුද්ගලයාගේ වෛරස ධාරිතාවය වෙනස් මට්ටම්වල පවතිනවා. ඒ නිසා අපි එකට සිටියොත් වෛරස ධාරිතාවය වැඩි රෝගියාගෙන් වෛරස ධාරිතාවය අඩු රෝගියාටත් සම්ප්‍රේෂනය වීමේ අවදානමක් තිබෙන නිසා එක වහල යට වුනත් වෙන් වෙන්ව සිටීම වඩාත් සුදුසුයි.

පවුලේ අය වුනත් හුමාලය අල්ලන විට…

පවුලේ අය වුනත් හුමාලය අල්ලන විට එකම භාජනය සහ වසන තුවාය  පාවිච්චි කරන්න එපා.තමන්ට වෙන් වෙන්ව හුමාලය අල්ලන භාජනයක් තබා ගැනීම අපහසු නම් ඒ බාජනය හොඳින් සෝදා පිරිසිදු නර ගන්න. තුවායක් නම් වෙනම තබා ගැනීමත් වඩාත් සුදුසුයි.

ඔබේ දරුවා නිරෝධායනයේ හෝ ආසාදිතව සිටිනවා නම්

සමහර විට ඔබ ආසාදිත නොවුනත් දරුවා කොවිඩ් ආසාදිතයෙක් නම් මව්පියන් විදිහට ඔබත් ප්‍රවේසම් වෙන්න. සමහර විට මේ දරුවන් තනියම යමක් කර කියාගන්න පුලුවන් වයසක සිටින්න පුළුවනි. ඒ නිසා ආහරපාන ඔවුන්ට සපයා දී දුරස්ථව සිටිම වැදගත්. අනවශ්‍ය විදිහට දරුවන්ට කවන්න පොවන්න යෑම නිසා මව්පියන්ටත් රෝගය ආසාදිත වෙන්න පුළුවනි. එහෙම වුනොත් දරුවාගේ පහසුකම් සලසා දීමටත් අවස්ථාවක් නැහැ.ඒ නිසා දරුවාට කොතරම් ආදරය තිබුනත් රෝග තත්වයේදී අදාල ප්‍රවේසම වැදගත්.

සනීප වෙලා ගෙදර ආවාමත්…

ඔබ 14 සිට 16 ක් අතර කාලයක් රෝහල්ගතව හෝ ස්වයං නිරෝධායනයේ යෙදී සිට නැවත නිවසට පැමිනියා කියමු. හැබැයි ඔබේ ශරීරයම මේ වෙන විට වෛරසය සමග ලොකු සටනක් කරලා හෙම්බත්ව සිටිනවා. තවමත් වෙහෙසකර ගතිය අවසාන නැහැ. ඒ නිසා ගෙවුන දිනවල මග හැරී තිබුන පිරිසිදු කිරීම්, දූවිලි මතුලුදැල් බවත් කිරීමට නම් සූදානම් වෙන්න එපා.එහෙම වුනොත් ශ්වසන මාර්ගය ඔස්සේ ඇතුලු වෙන දූවිලි නිසා නිව්මෝනියාවට හේතුකාරක බැක්ටීරියාව නැවතත් අවදි වෙන්න පුලුවනි.

මේ ගැන අපට නිතරම අසන්න ලැබෙනවා නේද..? සනීප වෙලා ගෙදර ඇවිත් සේරම ගෙදර වැඩත් කර ගෙන හිටියා. ආයෙත් අමාරු වෙලා රෝහල්ගත කරන්න වුණා. මෙවැනි තත්වයන් ඇති වෙන්නේ අක්‍රියව තිබුන බැක්ටීරියාවට සක්‍රිය වීමට ඔබ විසින්ම දායකත්වය ලබා දීම නිසයි. ඒ නිසා සුවය ලබා නිවසට පැමිණියත් සම්පූර්ණයෙන්ම සුවය ලැබෙන තෙක් දූවිලි ඇවිස්සෙන කටයුතුවල නිරත වෙන්න එපා. ඒ වගේම කොවිඩ් ආසාදිත වුන පුංචි දරුවන් පවා දූවිලිවලට නිරාවරනය වීමට නොදී ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

ඒ වගේම අපි දින 14 කින් නිවසට ආවත් සමහර විට තවමත් අපේ වෛරසයෙන් තවත් අයට බෝවීම හෙවත් බීජෞෂන සමය අවසාන නොවි ඇති. ඒ නිසා තව දින කීපයක් යන තෙක් පවුලේ අය සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන්න එපා.

දැන් මට සනීපයි…නාන්න ඕන.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව හෝ නිවසේ ප්‍රතිකාර ලද ඔබට ස්නානය කිරීමේ අවශ්‍යතාවය ඉතා හොඳින් දැනෙනවා ඇති.ඒ නිසා සුවය ලැබී දින විස්සක් ගත වුනාම ස්නානය කිරීමට අවසර තිබෙනවා කියල හිතන්නත් එපා.

අප්පේ…දවස් කීයකින් නැවේ නැද්ද…ඔබ සාධාරණ වුනත් සුවය ලද සැනින් ස්නානය නම් එතරම් සුදුසු නැහැ.සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදනයෙන් සම්පූර්නයෙන් සුවය ලැබීමට මාස හතරක් හෝ හයක් වැනි කාලයක් ගත වෙනවා. ඒ නිසා එක්වරම නෑම සුදුසු නැහැ. එය නැවතත් කොවිඩ් නිව්මෝනියාව තත්වය ඉල්ලා වැලඳ ගැනීමක්.

එතකොට නාන්නේ කොහොමද..?

දින විස්සක් ගත වුනාම ඔබට හතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත්නම් හොඳින් අව්ව පායන දිනක උදේ වරුවේ උණුවතුරෙන් ඇඟ සෙම තත්වයේ යම් වැඩිවීමක්  නැත්නම් පසු දිනත් උණුවතුරෙන් ඇඟ සෝදන්න. දින දෙක තුනක්  උණුවතුරෙන් ඇඟ සෝදක විට ඔබට අපහසුවක් හෝ රෝග තත්වයක් නොමැති නම් හොඳින් පායන දිනක උදය වරුවේ උණුවතුරෙන් ස්නානය කරන්න .හොඳින් සිරුර පිස ගන්න. ඔබේ සිරුර උණුසුම් කර ගැනීමට ඉතා හොඳ පානයක් තිබෙනවා. කහට තේ එකකට ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් හෝ තිප්පිලි දමා විනාඩි 10 ක් තබා පානය කරන්න. පෙනහළුවලට ඉතාම ගුණයි.

ඔබ කොවිඩ් ආසාදිතව සුවය ලැබුවත් මාස දෙකක් පමණ ගෙවෙන තෙක් ඇල් වතුරෙන් ස්නානය වෙනුවට උනු වතුරෙන් ස්නානය කරන්න. පමණට වඩා වෙහෙසෙන්නත් එපා. මේ විදිහට ඔබ විසින් ඔබ පාලනය කර ගත් විට නැවතත් කොවිඩ් ආසාදිත නොවී පුරුදු පරිදි නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

තරිදු ප්‍රනාන්දු  CCII (IIPA) – USA

Iridologist

Integrated health practitioner

Iridologist of the year-2019

 

 


                

නව යොවුන් දරුවන් ගොදුරු වෙන copy-cat suicide මානසිකත්වය

වචනයටත් කියනවා වගේ නව යොවුන් කාලය ජීවිතයේ කුනාටු සමයක්. ඒ නිසාම නව යොවුන් වයසේ දරුවන් සිටින මව්පියන් තමන්ගේ දරුවන් ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. දරුවන්ගේ ජීවිතය අකලට මිලින වුන විටදි ”අනේ අපොයි ”කියල වැලපුනාට කිසිම ප්‍රතිඵලයක් නැහැ.

නව යොවුන් වයසේ දරුවන්ගේ ආවේග නිසාම බොහෝ විට ඔවුන් හේතුවක් නැතුවම සිය දිවි නසා ගැනීම වැනි බරපතල තීරණ ගන්නවා.මතුපිටින් බැලුවාම මේ දරුවන්ට සියදිවි නසා ගැනීමට තරම් සාධාරණ කිසිම හේතුවක් නැහැ.ඒත් අද කාලයේ බොහෝ දරුවන් අනුකරනය නිසාම සිය දිවි නසා ගැනීමේ හෙවත්  copy-cat suicide  තත්වයට පත් වෙනවා.

දරුවන් ඒ තත්වයට පත් වෙන්නේ ඇයි…?

අද විද්‍යුත් මාධ්‍ය අපේ ජීවිතයට බොහොම සමීපයි.ඒ නිසාම යම් සිදුවීමක් වුන සැනින්ම එය ඇසිල්ලෙන් සමාජගත වෙනවා. අතීතයේදීත් සිය දිවි නසා ගැනීම් සමාජයේ සිදු නොවුනාම නොවෙයි. ඒත් පුවත්පතකට මෙම පුවත හසු වුනාට පසුව එය ලිවීම,මුද්‍රණය සහ අලෙවියට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යකින් වගේ බොහෝ දෙනො අතර පුවත සන්නිවේදනය වෙන්නෙත් නැහැ.

ඒත් අද ඒ තත්වයක් නැහැ. හුස්ම පොද නවතින්නත් පෙරාතුව සිදුවීම සමාජගත වෙනවා. ඒ වගේම පුවතට හේතුවටත් වඩා ඒ වෙනුවෙන් අනුගමනය කළ ක්‍රමවේද ගැනත් පුලුල් ප්‍රචාරණයක් ලබා දෙනවා. නව යොවුන් දරුවන් මේ සිදුවීම් ගැන ඇති කර ගන්නා යම් යම් ආකල්ප නිසාම හදිසි ආවේගයකදී ඔවුන් දැන සිටි පුවත් ඇසුරින් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට තීන්දු තීරණ ලබා ගන්නවා.

සියසිවි නසා ගැනීමේ සිතුවිලි ටික වේලාවකින් නැති වෙනවා…

ඕනෑම පුද්ගලයෙකුගේ සිය දිවි නසා ගැනීමේ සිතුවිලි පවතින්නේ සුලු වේලාවක්. ඒ කාලය මග හැරුනාම නැවතත් එම සිතුවිල්ල පහවෙන්න පුලුවනි. ඒ නිසාම පවුලක් තුළ නව යොවුන් දරුවන් සිටිනවා නම් copy-cat suicide  මානසිකත්වයට ගොදුරු නොවී රැකගැනීම වැදගත්.

අද තියෙන්නේ ඩිජිටල් සහභාගීත්වය…

අතීතයේදී බොහෝ දෙනා සිය දිවි නසා ගැනීමට භාවිතා කලේ කෘමිනාශක. ඒ නිසාම ගොවි ගෙදරක වුනත් කෘමිනාශක බෝතලය හදිසියේ අත පොවන මානයේ තිබ්බේ නැහැ. ඔවුන්ට දරුවන්ගේ මානසිකත්වය ගැන අද වගේ මනෝවිද්‍යාත්මක හැසිරීම් රටාව ගැන දැණුමක් නොතිබුනත් ”හදිසියේවත් අහු වුනොත් ” කියන පූර්ව ආරක්ෂාව නිවස තුළම තිබුණා.කනේරු ඇට කා දරුවන් සිය දිවි හානි කරගන්නා නිසාම බොහෝ ගම්මානවල කනේරු ගස් කපා දැම්මා.

ඒ වගේම ඕනෑම පුද්ගලයෙක් රේල් පාරක, පාලමක කනස්සල්ලෙන් සිටිනවා දුටු විට ඔවුන් සමීපයට ගොස් තොරතුරු විමසන සංවේදි බවත් එදා සමාජයේ තිබුනත් අද බොහෝ දුරට මෙවැනි ආකල්ප අපේ සමාජයේ නැහැ. තරුණ දරුවෙක් සිය දිවි නසා ගැනීමට සිටින බව දුටුවොත් ඒ දරුවා සමග කථාවට සම්බන්ධ වෙනවාට වඩා ජංගම දුරකථනය මගින් ඒ සිදුවීම පටිගත කරන මානසිකත්වයක් තියෙන සමාජයක දැන් අපට ජීවත්වීමට සිදු වී තිබෙනවා.

දරුවන්ගේ මානසික සෞඛ්‍ය බිඳවැටෙන්නේ ඇයි…?

මානසික සෞඛය බිඳ වැටීමට හේතු වෙන්නේ මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවයක් ඇති වීමයි. මානසික සෞඛය පිරිහුනාම මොළයට යන රුදිරය ,ඔක්සිජන් සැපයුම සහ ග්ලූකෝස් වැනි පරිවෘත්තිය ක්‍රියාවල අඩු පාඩු ඇති වෙනවා. මේ නිසාම ඇති වෙන මානසික රෝග ගැන යම් යම් පූර්ව දැනුම්දීම් තිබෙනවා.

  • ඇගට පණ නැහැ
  • හිත කඩා වැටුවා වගේ හැගීම
  • දුක
  • දැඩි කනස්සල්ල
  • ජීවිතය පිලිබඳ බලාපොරොත්තු නැති වීම

මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වෙන්නේ ඇයි…?

ජාන

මානසික සෞඛ්‍ය පිරිහීමට ජාන පිලිබඳ බලපෑම ඉතාම සමීප කරුණක්.පවුල් ඉතිහාසයේ මානසික රෝගීන් පිලිබඳ වාර්තාවන් තිබෙනවා නම් එතැනදී වැඩි අවධානයක් දැක්වීම වැදගත්.

සෘණ ආකල්ප

හැම දෙයක් ගැනම ඉතාම අසුබ විදිහට සහ ඒක කරන්න බැහැ…මට වාසනාවක් නැහැ…වැනි සෘණ ආකල්ප නිසා මානසික රෝග තත්වයට්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරණය

මානසිකත්වය පිරිහී යෑම නිසා පුද්ගලයන් තුළ සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි ඇති වීමේ වැඩි නැඹුරුතාවයක් ඇති වෙනවා.මෙතැනදී පනින රිලවාට ඉනි මං තැබීම මාධ්‍ය ප්‍රචාරණ මගින් සිදු වෙනවා.සම වයසේ දරුවෙක් එහෙම නැත්නම් ලෝකයේ ජනප්‍රිය චරිතයක් සියදිව හානි කර ගැනීමෙන් පසුව ලබා දෙන ප්‍රසිද්ධිය නිසා දරුවාගේ හිතේ සියදිවි හානි කර ගැනීම පිලිබදව යම් චිත්‍රයක් ගොඩ නැගෙනවා.එවැනි මානසිකත්වයක් තුළ නව යොවුන් වයසේ දරුවා හිතන්නේ සිය දිවි නසා ගැනීම කියන්නේ රසවත් වීර ක්‍රියාවක් විදිහටයි.

මානසික හිස්බව…

කොවිඩ් වසංගතය නිසා ඇති වුන සමාජ හුදෙකලාව සමග දරුවන් මානසිකවත් හුදෙකලා චරිත බවට පත් වුණා. ඔවුන්ගේ සමාජ සංචරණ, සමාජශීලි ක්‍රියාකාරකකම් බොහෝ දුරට අඩු වුණා.අධ්‍යාපනය, විභාග මුල් කර ගෙන ඇති වුන පසුගාමිත්වය නිසා හෙට දවස ගැන බලාපොරොත්තු නැති වුණා. මේ මානසික ශුන්‍යත්වය නිසාම අපට හෙට දවසක් නැහැ….කියන මානිසකත්වයෙන් නිතරම පීඩා විදින්න පටන් ගත්තා.

මානසිකව සුවපත්ව සිටින්නට නම්…

තරුණ දරුවන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කිරීමට දෙමව්පියන් ලෙස ඔබගේ වැඩි අවධානයක් දැක්වීම වැදගත්. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේ..

ආහාර රටාව

අපේ ආහාර රටාව කායික වගේම මානසික සෞඛ්‍යටත් වැඩි බලපෑමක් ඇති කරනවා.අද බොහෝ දෙනා ක්ෂණික එහෙම නැත්නම් සකස කළ ආහාර ගැන උනන්දු වුනත් අලුත් එළවලු, පළතුරු , කොළ පැහැති එළවලු සහ මත්ස්‍ය ආහාර මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම යෝග්‍යයි.

ව්‍යායාම 

ව්‍යායාම මානසික සෞඛය පවත්වා ගැනීමට ඉතාම වැදගත්. ව්‍යායාම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය ඉතාම යහපත් අන්දමින් සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුනත් ඇවිදීම, පිහිනීම, ක්වායු ව්‍යායාම, සුම්බා වැනි ක්‍රියාකාරකම් ඉතාම වැදගත්.

ජලය පානය කිරීම

හොඳින් ජලය පානය කිරීමෙන් කිසිදු වැය ශීර්ෂයක් නොමැතිවම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීම වැදගත් වුනත් අද තරුණ දරුවන් ජලය පානය ගැන උනන්දුවක් දක්වන්නේම නැහැ.සිරුරේ විජලන තත්වය වලක්වා ගැනීමට වගේම මානසික ප්‍රබෝධය පවත්වා ගැනීමට ජලය ඉතාම වැදගත්.

විනෝදාංශයක යෙදෙන්න…

අපේ ජීවිතයේ පැවැත්මට සතුටක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් දරුවාටත් විනෝදාංශයක යෙදෙන්න ඉඩ දෙන්න.සුරතල් සතෙකු ඇති කරන්න, පොතක් පතක් කියවන්න, මල් පැලයක් හෝ එළවලු වගාවක් කරන්න දරුවාගේ උනන්දුව ඇති කරන්න.

සංචාරය හෝ විනෝද චාරිකා…

කොවිඩ් වසංගතය නිසා අපේ සංචරණයන් සීමා වුන බව ඇත්ත. නමුත් සංචාරය සහ විනෝද චාරිකා මගින් අපේ මනසට නැවුම් අත්දැකිම් ලැබෙනවා. පාසල් අධ්‍යාපනයේ පවා විනෝදචාරිකා වෙනුවෙන් යම් අවස්ථාවක් සලසා තිබෙන්නේ ඒ නිසයි.නිවසක වුනත් එකාකකාරී පරිසරයෙන් මිදී සිතට සතුටක් ලබා දෙන ඉසව්වක් වෙනුවෙන් දරුවන්ටත් අවස්ථාවක් ලබා දෙන්න.

 

 

දරුවන්ගේ වැරැදි පුරුදු මනසේ ලියාපදිංචි කරන්න එපා…

දරුවන් අතින් සිදු වෙන පුංචි පුංචි වැරැදි අපි කාලයටම ඉඩ දෙනවා. අනේ ඉතින් මොනවා තේරෙනවාද…? හය හතර නොතේරෙන පුංචි අයනේ කියලා අපි දරුවන් වෙතින් වෙන වැරැදි ඉවසා සිටියොත් ඒවා දරුවන් සමගම සංවර්ධනය වෙනවා. කොටින්ම මේ වැරැදි දරැවන්ගේ මනසේ ලියාපදිංචි වෙනවා කිව්වොත් නිවරැදියි. එහෙමනම් පුංචි කාලයේ සිද්ධ වෙන පුංචි පුංචි වැරැදි දරුවාගේ මනසේ ලියාපදිංචි වීමට ඉඩ නොදී දරුවා ඒ වැරැදි වලින් නිදහස් කර ගන්නේ කොහොමද…?

වැරැද්ද ගැන දරුවාට ආදරයෙන් කියා දෙන්න….

දරුවා වරදක් කරනවා නම් ඒ වැරැද්දේ ආදීනව ආදරයෙන් කියා දෙන්න.වරද නිවරැදි කරන්නේ දරුවාට ආදරයෙන් බැව් ඔවුන්ට ඒත්තු යන අන්දමින් කියා දෙන්න.උදාහරණයක් විදිහට කෑම මේසයේදී ඉඳුල් අතින් හැන්ද. වීදුරුව අල්ලන දරුවාට ඒ පිලිවෙල ඉතා අශෝභන බැව් කාරුනිකව කියා දෙන්න. ඒ වගේම දරුවා එම වරද නොකරන අවස්ථාව අගය කරන්න.

දරුවන් ප්‍රංශසාවට කැමැතියි…

දරුවන් ප්‍රංශසාව ලබන්න සතුටු කොටසක්. ඒ මනෝභාවයන් නිසා දරුවා වරද නිවරැදි කරන අවස්ථාවන්හිදී ඔබ ඒ ගැන ඇගයීමෙන් කතා කරන්න.තමාට ලත් පිලිගැනීම නිසාම දරුවා නැවත නැවත ඒ වරද නොකරන තැනට පත් වෙන මානසිකත්වයක් නොදැනීම ගොඩ නැගෙනවා. ඒ නිසා ඔබගේ අවවාදයට අනුකූලව දරුවා යම් වරදකින් දුරස් වෙන විට ඒ ගැන ප්‍රංශසාවක් කිරීමට අමතක කරන්න එපා.

නරක පුරුදු වලක්වන්න තෑගි එපා…

සමහර අවස්ථාවලදී දරුවාට කොතෙක් ආදරයෙන් කිව්වත් ඒ වරද දිගින් දිගටම කරනවා විය හැකියි. නමුත් කිසිම දිනක වරද නොකර සිටිනවාට තෑගි දීම නොකළම යුතුයි. හිතා මතාම වැරැදි කරන දරුවාට ඒවා නොකර සිටිනවා නම් තෑග්ගක් දෙන්න පුරුදු කරන්න එපා. හොඳින් සහ ආදරයෙන් කියන විටත් ඒ ගැන නොසලකන විට දරුවාගේ වයසට ඔරොත්තු දෙන අන්දමින් පුංචි පහරක් දීමත් වරදක් නොවේ.

අත්වැරැදීමකට දඬුවම් කරන්න එපා…

වැඩිහිටියන්ට වගේම පුංචි දරුවන් අතින්ද අත්වැරදීම් සිදු වෙන්න පුලුවනි.නමුත් ඒවා ගැන උරන නොවන්න. උදාහරණයක් විදිහට දරුවාගේ පිඟාන හදිසියේ අතින් ගිලිහී බිම වැටී බිදෙන්න පුලුවනි. එය බොහෝ විට අත්වැරැදීමක් විය හැකියි. නමුත් බොහෝ දෙමව්පියන් මෙවැනි අවස්ථාවලදී ආර්ථික හානිය ගැන සිතා දරුවාට දඩුවම් කරනවා විය හැකියි.ඒත් ඔබ අසා තිබෙනානේ…ඉහිරුන කිරට හඬා පලක් නැති බව…ඒ වගේම බිඳුන දෙයක් වෙනුවෙන් දරුවාට දඬුවම් කිරීම සුදුසු නැහැ. බොහෝ විට එය අත්වැරැදීමක් විය හැකියි. නමුත් දරුවා හිතා මතාම සිය ආවේගයන් මත පිඟාන, කෝප්පය පොළවේ ගසනවා නම් එවැනි අවස්ථාවන්හිදී ගැලපෙන පරිදි අවවාද කිරීම හෝ දඬුවමක් දීමේ කිසිදු වරදක් නැහැ.

වටමේසයක් අවශ්‍ය නැහැ…

ඔබේ දරුවාගේ යම් වැරැදි පුරුද්දක් දුටු විට ඒ වෙනුවෙන් අවවාද කිරීමට වටමේසයක් අවශ්‍ය නැහැ.වරද ගැන පමණක් කතා කිරීමට අම්මා..තාත්තා.. හෝ ඒ අවස්ථාවට අදාල පවුලේ වැඩිහිටියා පමණක් සෑහේ. එසේ නොමැතිව නිවසේ සිටින සියලු දෙනාම එක්ව දරුවාට අවවාද කිරීම නිෂ්ඵලයි. ඒ වගේම දරුවන්ගේ වැරැදි පුරුදු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න එපා. සමහර විට ඔබ හිතන්නේ ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසා දරුවා වැරැදි පුරුදුවලින් මිදෙන බව වුනත් ඔබේ අනුමානය බොහෝ විට වැරැදියි. ඒ නිසා වැරැදි පුරුදු වලින් දරුවා මුදවා ගැනීමට කිසිම විටෙක වටමේසයක සිට පහර දීමක්  අවශ්‍ය නැහැ.මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ ඔබ විසින් ලබා දුන්න අවවාදවල සංඛ්‍යාව නොව දරුවා එයින් ලබා ගත් ගුණාත්මක බලපෑම බැව් අමතක කරන්න එපා.

පුරුදු නිවරැදි කර ගැනීමට කාලය අවශ්‍ය වෙනවා….

පුරුදු  නිවරැදි කර ගැනීමට කාලය අවශ්‍ය වෙනවා. ඔබ සිතන අන්දමට එය ප්‍රාතිහාර්යක් නොවෙයි. ඒ නිසා යම් පුරුද්දකින් වෙනස් වී නව රටාවට අනුගත වීමට කාලයක් ලබා දෙන්න. නියපොතු හපන දරුවෙකුට ඒ පුරුද්දෙන් මිදෙන්න යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ හෙමින් සීරුවේ මෙම පුරුද්දෙන් දරුවා මුදවා ගැනීම වැදගත්.

හේතුවත් සොයන්න…

අපි බොහෝ විට දකින්නේ දරුවන්ගේ නරක පුරුදු පමණයි.නමුත් ඒ පිටුපසින් ඇති මානසික හේතු අපි දකින්නේ නැහැ. ඒ නිසා නිතරම දරුවාගේ පුරුද්දට වඩා දරුවාගේ මානසිකත්වය ගැන අවධානයක් ලබා දෙන්න. බොහෝ දරුවන් ඇඟිලි ඉරිම, දත්මිටි කෑම හෝ නියපොතු විකීම වැනි පුරුදු වෙත යොමු වෙන්නේ මානසික ආතතිය, දුක, සාංකාව වැනි මනෝභාවයන් නිසා බැව් ඔබ නොදන්නවා විය හැකියි. ඒ නිසා නිතරම දරුවාගේ පුරුද්ද පිටුපසින් දිවෙන හේතු සාධක ගැනත් ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

අනාගතයට බලපානවා..

දරුවා පුංචි බැව් ඇත්ත….ඔවුන්ගේ පුරුදුත් බොහොම අහිංසක වෙන්න පුලුවනි.නමුත් මේ පුරුදු දරුවා සමග වැඩිදියුනු වුනොත් අනාගතයේදී එයින් ඇති වෙන බලපෑමත් සරලව සිතන්න බැහැ. උදාහරණයක් විදිහට පුංචි කාලයේදී නාසය සොටු කබළු හාරන..එසේත් නැත්නම් තමන්ගේ අවයව නිතරම ස්පර්ශ කරන දරුවාගේ පුරුදු ඔවුන් උස් මහත් වුන  වෙන විටත් පුරුදු විදිහට පවතින්න පුලුවනි. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි…. වචනයටත් කියන්නා සේ මෙවැනි පුරුදු වලින් දරුවන්ට දුරස් වෙන්න අපහසුයි. ඒ වුනත් සමාජය ඔවුන්ට දොස් නගනවා පමණක් නොවෙයි,බෙහෙවින්ම පිළිකුල් කිරීමට පවා පුලුවනි.

එසේනම් දරුවන්ගේ මේ පුරුදු ඔවුන් සමග ඉදිරියට යෑමට ඉඩ දිය යුතු නැහැ. යම් පුරුද්දක් මනසේ ලියාපදිංචි වුනොත් එයින් දරුවා මුදවා ගැනීම ඉතාම අපහසුයි. කොටින්ම කිව්වොත් නිපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කපන තැනට පත් කර ගන්න එපා. ඒ නිසා දරුවාගේ වැරැදි පුරුද්දක් දුටු විට ඒ ගැන අවවාද කරන්න හෙට වෙන තෙක් ඉන්න එපා. දුටු තැන වැරැදි පුරුදු නිවරැදි කරන්න. එය දරුවාගේ අනාගතයට ඔබ විසින් ලබා දෙන හොදම දායාදය විය හැකියි.

 

 

ගර්භණී මාතාව පිළිබඳව බෞද්ධ ආකල්පය

උත්තරීතර මානව දයාවේ ප‍්‍රතිමූර්තිය මාතාවයි. මව් තනතුරට පත්වන හැම ගැහැණියම ලොව්තුරු බුදු මගට ඥාතීත්වය දරන්නේ ඒ නිසාවෙනි. අම්මා බුදු වේවා යැයි ප‍්‍රාර්ථනා කරන්නට තරම් හෙළ බොදු සංස්කෘතිය සඳහා චාරවත් වී තිබුණේ බුදු දහමින් හෙළි කළ මෙම යථාර්තය නිසාවෙනි. මවක් වීමට සිටින කතුන් හා මවක් බවට පත් වූ කතුන් ඒ දයාබර සෙනෙහෙ නිධානයේ උරුමකාරියන්ය. 

මවක් වීමට පෙර පින් තිබිය යුතු බව බුදු දහමේ පිළිගන්නා කාරණයකි. පාපය මව් තනතුරට බාධා කරන බැවිනි. බෞද්ධ දර්ශනයට අනුව මවක් වීමට කරුණු තුනක් සම්පූර්ණ වී තිබිය යුතුයි. එනම්,

  • මව්පිය දෙදෙනා එක්ව තිබීම
  • මව සෘතු වී සිටීම
  • ගන්ධබ්බයෙකු පැමිණ සිටීම. 

මේ ධර්මානුකූල ඉගැන්වීමේ එන ඉහත කී කරුණු තුනෙන් එකක් හෝ සම්පූර්ණ නොවූ තැන ගැබිනි මවක් විය නොහැකි බව පැහැදිලිය. මෙහි ගන්ධබ්බයෙකුගේ පැමිණීම ලෙස හඳුන්වන්නේ කුස තුළ හටගන්නා කලලයට ප‍්‍රාණයක් සම්බන්ධ වීමයි. මෙම අවස්ථාව බුදු දහමේ ඉගැන්වෙන්නේ ප‍්‍රතිසන්ධි අවස්ථාව ලෙසයි. 

යම් සත්වයෙක් (මිනිසා ඇතුළු)මිය යන අවස්ථාවේ ශරීරයෙන් වෙන් වී යන සිත (චුති චිත්තය) ඔහු ජීවත්ව සිටියදී කළ කී දෑ මගින් එක් රැස් වූ කර්මවලට අනුව පුනර්භවයක්  සඳහා සුදුසු ස්කන්ධ හතරකට එකතු වීමේ අපේක්‍ෂාවෙන් පසු වෙනවා. (ස්කන්ධ හතර – රූප, වේදනා, සංඤ්ඤා, සංඛාර යනුවෙන් හැඳින්වෙන අතර විඤ්ඤාණය හෙවත් සිත සම්බන්ධ වූ විට පංචස්කන්ධය කියා හැඳින්වෙනවා) නාම + රූප එක්වීම ලෙස හඳන්වන්නේද කයට සිත එක්වීමයි. මවකගේ කුස තුල (ගර්භාෂය තුල) හටගන්නා දරු බීජයට සිතක් හෙවත් විඤ්ඤාණයක් සම්බන්ධ වීම ප‍්‍රති සන්ධිය නමින් හඳුන්වන අතර ගැබ් ගැනීම ලෙස ජීව විද්‍යාවේ උගන්වන්නේ එයයි. 

සිද්ධාර්ථ බෝසත් කුමරා මහාමායා දේවියගේ කුසට ඇතුල් වීම ඇය සිහිනයකින් දුටු බව බුද්ධ චරිතයෙහි සඳහන් වේ. ඇය එදින පසළොස්වන දිනයක් බැවින් උපෝසථ සීලයක් සමාදන්ව සිටි බවත් සුදු ඇත් පැටවකු සුදු නෙළුම් මලක් සොඬින් ගෙන සිය යහන වටා තෙවරක් පැදකුණු කර තම කුස තුලට ඇතුල් වූ අයුරු එම සිහිනයේදී දුටු බවත් බුදු සිරිතේ දැක්වෙනවා. මේ මහ බෝසතුන් වහන්සේගේ ප‍්‍රතිසන්ධිය පිළිබඳ කතාවයි. මේ අනුව දරු ගැබක් පිහිටීම ගැන බුද්ධ දේශනා වල සුවිශේෂී කරුණු දක්නට ලැබෙනවා. 

අංගුලිමාල කියන්නේ දරුණු මීනීමරුවෙක්. ගුරුවරයා විසින් සිතා මතාම නොමග යවන ලද අංගුලිමාල මිනිස් ජීවිත දහසකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කර අවසානයේ බුදු සසුනේ ශ‍්‍රාවකයෙක් බවට පත් වෙනවා. 

දිනක් අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතයේ වඩින විට එක්තරා නිවසක කාන්තාවක් ප‍්‍රසූත වේදනාවෙන් කෑගසනු දුටුවා. අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ නොගිහින් ආපහු ජේතවනාරාමයට වැඩම කොට බුදු හාමුදුරුවන්ට මේ ගැන ප‍්‍රකාශ කලා. බුදුන් වහන්සේ අංගුලිමාල හාමුදුරුවන්ට දේසනා කළේ පුදුම හිතෙන කතාවක්,

ඔබ ආපහු ගිහිං ඇය ඉදිරියේ සත්‍ය ක‍්‍රියාවක් කරල සුවය පතන්න අංගුලිමාල හාමුදුරුවෝ විශ්මයට පත්ව විමසා සිටියා මෙහෙම, 

ස්වාමීනි, මම කුමක් කියා සත්‍ය ක‍්‍රියා කරන්නද? එයට පිළිතුරු දුන් බුදුන් වහන්නේ ඊටත් වඩා විශ්මයජනක ප‍්‍රකාශයක් කළා,

ඔබ උපන්දා සිට ප‍්‍රාණඝාත අකුසලයක් සිදුකර නැතැයි කියා ඒ සත්‍ය බලයෙන් ඇයට සෙත් වේවායි පතන්න. තව තවත් පුදුමයට පත්ව අංගුලිමාල හාමුදුරුවෝ කියනවා මෙහෙම 

ස්වාමීනී, මිනිසුන් දහසක් පමණ ඝතානය කළ මා කෙසේ නම් එවැනි සත්‍ය ක‍්‍රියාවක් කරන්නද?

ඒ අවස්ථාවේ තමයි මහා බලසම්පන්න අංගුලිමාල පිරිත බුදු හාමුදුරුවෝ අංගුලිමාල හාමුදුරුවන්ට වසන්නේ. එහි සඳහන් වෙන්නේ බුදු සසුනේ පැවිදි වීම අලුත් උපත්තියක් ලැබීමක් බවයි. ආර්ය ජාතියෙහි උපන්දා සිට ප‍්‍රාණඝාතයක් කර නොමැති බව උන්වහන්සේට විශ්වාසයි. ගැබිණි මාතාව ප‍්‍රසූත වේදනාවෙන් පසුවන ස්ථානයට නැවත වැඩම කළ අංගුලිමාල තෙරුන් වහන්නේ එසේ සත්‍යක‍්‍රියා කොට ඇය සුවපත් කළා. 

බලන්න, ඒ සත්‍ය ක‍්‍රියාවේ බලය කොතරම්ද කියා අදත් මේ දේශනා පාඨය සජ්ඣායනා කොට ගර්භනී මාතාවන්ට සෙත් සදන්නට බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාට හැකි වී තිබෙනවා. 

යකෝ ගං භගිණී අරියාය ජාතියා ජාතෝ නාාභිජානාමි

සංචිච්ච පාණං ජීවිත වෝරොසෙකා කේත සම්මේන

සොත්‍ථි තේ හෝතු සොත්‍ථි ගබ්බ සජාති

 

සොයුරිය මම යම් අවස්ථාවක

අර්ය ජාතියෙහි උපන්නෙමිද

එතැන් සිට දැනුවත්ව

ප‍්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් නොදනිමි

ඒ සත්‍ය වචන බලයෙන්

ඔබට යහපතක්ම වේවා

දරු ගැබද සැපතක් වේවා

ගර්භනී මාතාව බෞද්ධ දර්ශනයට අනුව උතුම් පූජනීය වූ මානව සම්පතක් ලෙස සැලකේ. කවර මානසිකත්වයකින් යුතු තැනැත්තියක වුවද මව් පදවියට සූදානම් වීමේදී ඇය සතුව සුවිශේෂී ගුණධර්ම පද්ධතියක් දළුලා වැඬේ. බුද්ධ කාලීන භාරතයේ බ‍්‍රහ්ම නමින් හැඳින් වූ සංකල්පය උත්තරීතර වූ අර්ථයක් සමග බැඳී පැවතුනා. ඒ අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂො යන සතර ගුණ බ‍්‍රහ්ම හැසිරීම් ලෙසින් නම් කර තිබුණේ සිව් බව විහරණ නමින් ධර්මානුකූලව හැඳින් වූ මෙම ප‍්‍රතිපදා හතර අනිවාර්යයෙන්ම අම්මා කෙනෙකුගේ සිත තුල පවතිනවා. දරු දුක ලෙස හඳුන්වන ආදරණීය සංකල්පය මෙම සිව් බඹ විහරණ තුලින් අර්ථවත් වෙනවා. ඒ නිසාම බුදු දහම බ‍්‍රහ්මානී මාතා පිතෝ යනුවෙන් මව් පිය යුවල මහා බ‍්‍රහ්ම නම් වූ උත්තරීතර සංකල්පයට සමාන කළා. 

බෞද්ධ දර්ශනයට අනුව ගර්භනී සමය යනු සත්වයාගේ උත්පත්තිය මූලික ක‍්‍රියාදාමය සිදු වී අවසන් වන කාලයයි. පටිච්ච සමුප්පාදය නම් වූ බුදු දහමේ මූලික ඉගැන්වීමක සත්ව සංහතියේ පැවැත්ම දොළොස් ආකරය වූ ක‍්‍රම වේදයකට විග‍්‍රහ කරනවා. 

අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා  නාම රූප, නාම රූප පච්චයා  සළායතනය, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපදානය, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපාසායා සම්භවන්තී

මෙහි සරල අදහස විමසා බලා ගර්භනී සමයේ ඇති මූලික වැදගත්කම වටහා ගනිමු. 

විද්‍යාව හෙවත් අනුවණකම නිසා කර්ම රැස්වෙයි. කර්ම වලට අනුව සකස්වන විඤ්ඤාණය හෙවත් චිත්ත පරම්පරාව කලලයක් හා සම්බන්ධ වූ විට නාම රූප පහළ වෙයි. නාම රූප යනු (සිත කය දෙකයි) මේ දෙදෙනාගේ ඒකාබද්ධය හේතු කොට හෝ සළායතන හෙවත් ඇස, කන, නාසය, දිව, ශරීරට හා සිත යන ආයතන පහළ වෙයි. ශරීරයේ සෙසු කොටස් ගැන කතා නොකර මෙම ඉන්ද්‍රියක් එය ගැන වෙන වෙනම ප‍්‍රකාශ වෙන්නේ ඇයි? එනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා අරමුණු යන ලෝකය සමග කරන ගනුදෙනු මෙයින් සිදුවන නිසයි. 

ඉහත කී ඉන්ද්‍රියන් පහළ වීමත් සමග ස්පර්ශයද ස්පර්ශය නිසා විදීම ද, විඳීම නිසා බැඳීම ද, බැඳීම නිසා ලෝකයේ පැවැත්මද සිදුවන බව පටිච්ච සමුප්පාද ඉගැන්වීමයි. මෙයට අනුව අපට නිගමනය කළ හැකි පැහැදිලිම කරුණ වන්නේ මව් කුසින් බිහිවිමට පෙර සත්වයාගේ උපත ගර්භාෂය තුලම සිදු වී ඇති බවයි. බුදු දහමට අනුව ගර්භාෂයට පැමිණි කලලය ප‍්‍රාණියෙකි. ගබ්සා කිරීමද මනුස්ස ඝාතනයක් ලෙස බුදු දහම පිළිගත්තේ එබැවිනි. 

අශ්ව කෙන්දක් තෙල් බදුනක ඔබා එය තෙවරක් ගසා දැමූ පසු එම ශ්ව කෙන්ද අග රැඳී ඇති තෙල් ස්වල්පයක් තරම් ප‍්‍රමාණය වුවද කලලයක් ලෙස පිළිගැනේ. 

මේ කරුණු අනුවද ගර්භනී මාතාව කායික වශයෙන් සිය දරුවා සමග සම්බන්ධව සිටින ආකාරයටම මානසික වශයෙන්ද දරුවා සමග ගනුදෙනු කරයි. මවගේ සිතුම් පැතුම් සිය කුස තුළ වැඩෙන දරුවාට බලපාන බව බුදු දහම මෙන්ම මනෝ විද්‍යාවද සනාථ කර තිබේ. 

ගර්භනී මාතාව බෞද්ධ ප‍්‍රතිපත්ති වලට අනුව තිසරණ සරණ ගොස් සීලයක පිහිටා ප‍්‍රතිපත්ති ගරුකව ජීවත් වීම සහ කරුණාව, මෛත‍්‍රිය මූලික කරගත් පාරිශුද්ධ චේතනා මානයෙහි රඳවාගෙන වාසය කළ විට පුණ්‍යවන්ත රූමත් බුද්ධිමත් දරුවන් බිහි වන බව බෞද්ධ සමාජය අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. 

ශ‍්‍රී දන්ත ධාතුන් වහන්නේ වැඩ සිටින මහනුවර දළදා මාළිගාව, ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කර ඇති අනුරාධපුර මහමෙව්නා උයනේ ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රය, බුදුන් වහන්නේගේ ධාතූන් වහන්සේලා, ද්‍රෝණායන් පමණ තැන්පත් කර ඇති ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස පුණ්‍යවන්ත වූ දෙමාපියන් හමුවන තෙක් පින්වත් ගන්ධබ්බයන් හෙවත් ප‍්‍රාණකාරයන් සැරිසරන බව ලාංකීය බොදුනුවන්ගේ විශ්වාසයයි. 

එම පූජනීය ස්ථාන වලට ගොස් තිසරණය සහිත සීල සමාදානයක නිරත වී පුද පූජා පවත්වා ගැබිනි මාතාවන් පින්වත් දරු දැරියන් බිහිකරන බව පුරාණ කාලයේ සිටම පැවති විශ්වාසයකි. ඉපදෙමින් මැරෙමින් යළි ඉපදෙමින් භවයේ සැරි සැරීම අනුවණකම නිසි සිදුවන්නක් බව පිළිගන්නා බුදු දහම ඒ නිසරු ගමන නිමාකොට අමා නිවනට පත්වන තුරු සංසාර ගමන අපායාදී දුක් වලින් මුදවා ගැනීම පිණිස උත්තරීතර මනුස්ස ආත්මය ලබන ප‍්‍රාණකාරයන් ගැන දැඩි අවධානයකින් යුතු දේශනා ඉදිරිපත් කොට ඇත. ගර්භනී මාතාවන් ඒ උතුම් ක‍්‍රියාදාමයේදී එකම මැවුම්කාර දේවතාවියන් ලෙස බුදු දහම පිළිගනී. 

 

කුරුණෑගල විශුද්ධායන විද්‍යාතන පිරිවෙණේ ආචාර්ය 

ශ‍්‍රාස්ත‍්‍රපති වික‍්‍රමසිංහ අතපත්තු

Scoliosis එක්ක ඉදිරියට යන්න ඔබේ දරුවාටත් සහය වෙන්න

අපේ රටේ බොහොම දෙනෙක් පිළිගන්නා වගේම පිළිගැනීමට අකමැති රෝග තත්ත්ව තිබෙනවා. ඒ අතරින් Scoliosis කියන්නේ මව්පියන් පිළිගන්න අකමැති තත්ත්වයක් විය හැකියි. තමන්ගේ දරුවාට Scoliosis වගේ රෝග තත්ත්වයක් ඇති වුණාම ඒක සමාජයෙන් හංගන්න, ඒ වගේම ලැජ්ජාවට කරුණක් කියලා හිතන්න පෙළඹෙනවා. ඒත් අපි අපේ ජීවිතය තුළ අපිට හිමි වෙන හැමදේම භාරගත යුතුව තිබෙනවා. බාධාවක් එක්ක ඉදිරියට යන්න ලොකු ශක්තියක් අවශ්‍යයි. ඒ ගමන ශාරීරිකවත් මානසිකවත් වෙහෙස දැනෙව්වත් මෙවැනි තත්ත්වයකදී දරුවෙක්ගේ ජීවිතය අසරණ කරන්න තරම් හැකියාවක් මව්පියන්ට නැහැ. ඒ කියන්නේ සාර්ථකව මුහුණ දෙනවා හැරෙන්න අපිට අපේ ජීවිතවලට එකතු වෙන ඇතැම් බාධක මගහරින්නම බැහැ. ‍

Scoliosis කියන්නේ මොනවගේ රෝගී තත්ත්වයක් ද යන ගැටලුව ඔබටත් ඇති. Scoliosis කියන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන හා එහි ස්වභාවය වක්‍රයක් වැනි ස්වරූපයන් ගන්නා රෝගී තත්වයක් වගේම ඒක නව යොවුන් වියේදී දරුවන් අතර හදුනා ගන්නා රෝගී තත්ත්වයකි.  විශේෂයෙන්ම ගැහැණු දරුවන් අතර මේ රෝගය බහුලයි. Scoliosis වල බොහෝ අවස්ථාවන් සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන අතර, සමහර දරුවන් වැඩෙන කාලයේදී අවශ්‍ය ප්‍රතිකාර නොකළහොත් සමහර විට කොඳු ඇට ආශ්‍රිතව ඇතිවන එම වක්‍ර තීව්‍ර තත්ත්වයකට වුවද පත් විය හැකියි. එය ශාරීරිකව ඇති වන තත්ත්වයක් වුවත් ඒ තත්ත්වය මත පවුලක් තුළ මෙන්ම රෝගයට මුහුණ දෙන දරුවාගේ මනස තුළ ඇති වන පීඩනය නොසලකා හැරිය නොහැකියි.

මේ රෝග තත්ත්වයේදී  ශාරීරිකව ඇතිවන තත්ත්වය පිළිබඳව මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව බොහෝදෙනා විවිධ අයුරින්  සාකච්ඡා කරනවා.  උදාහරණ ලෙස ගත් විට ප්‍රතිකාර ක්‍රම, රෝගයේ වර්ධන වේගය, දරුවාට දැනෙන ශාරීරික අපහසුතා/වේදනාවන් ආදිය දැක්විය හැකියි. නමුත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන දරුවෙකුගේ මානසික තත්ත්වය කෙබදුද යන්න පිළිබඳව යොමු වන අවධානය ඉතා  අඩුයි.

Scoliosis තත්ත්වයට මුහුණ දෙන නව යොවුන් වියේ දරුවෙක් යොවුන් විය ආරම්භ වීමත් සමගම ඇදහිය නොහැකි තරම් මානසික ආවේගයන්ට ගොදුරු වෙනවා. ඒ අතර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ  සංසිද්ධි, අභියෝගාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතාවලින් හා  පාසලේදී සිදුවන  පීඩනය සහ ඔවුන්ගේ ශරීර තුළ සිදුවන බොහෝ ව්‍යාකූල වෙනස්කම්ද හේතුවෙනවා. යෞවනයෙකුට Scoliosis රෝග විනිශ්චය සමඟ  ප්‍රතිකාර කටයුතු කළ විටඔවුන්ගේ හැඟීම් වඩාත් සංකීර්ණ විය හැකියි. ඔවුන්ගේ  එදිනෙදා කටයුතු සිදු කරගෙන  කිරීමට ද අපහසු විය හැකියි. 

ඔබ Scoliosis රෝගයෙන් පෙළෙන දරුවෙකුගේ මාපියෙකු නම්, ඔබේ දරුවාගේ මානසික පීඩනය  කෙතරම්ද යන්න හඳුනා ගැනීම අපහසු නොවිය හැකියි. නව යොවුන් වියේ සිටින ඔබේ දරුවා ගැන උපරිම අවධානය මෙන්ම දරුවා උපරිමයෙන් වටහා ගැනීම ඉතා වැදගත්. අන්න ඒ නිසාම දරුවාට උපකාර කිරීමේ පළමු පියවර විය යුත්තේ දරුවා මුහුණ දෙන තත්ත්වය වටහා ගැනීමයි. බොහෝ දෙමව්පියන්ට  අපහසුම දේ වන්නේත් එයමයි.

බොහෝවිට නව  යොවුන් වයසේ දරුවන් තම සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට රුචි වන අතරම ප්‍රසිද්ධිය මෙන්ම තමාව පිළිගැනීම පිළිබඳවද විශාල කැමැත්තක් දක්වනවා. නමුත් Scoliosis මේ තත්ත්වයට බාධා කළ හැකියි. බොහෝවිට මෙම තත්වයට මුහුණ දෙන දරුවන්ගේ ඉරියව් වෙනස් වීම, ඇදුම් පැලදුම් නොගැලපීම  නිසා ඇති වන පීඩාවන් හා සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම  සම්බන්ධයෙන් ඇති  අපහසුතාවයන් මගින් අසහනකාරී හැඟීම් ඔවුන් තුළ ගොඩනැගෙන්න ඇති ඉඩ වැඩියි. ඇතැම් විට Scoliosis හේතුවෙන් සම වයසේ මිතුරන් අතර කැපී පෙනෙන දරුවන්ට එය මහත් පීඩාකාරී බවක් ගෙන එයි. ඒ පිළිබද  වූ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ Scoliosis රෝගීන්ගෙන් බහුතරයක්  ඔවුන් ගොඩනගා ගන්නා සබඳතා වෙතින් දුරස් වී ලැජ්ජාශීලී වීම හෝ අන් අයගෙන් හුදකලා වීමට පටන් ගන්නා බවයි. ඇතැම් දරුවන් එම තත්ත්වයන්ගෙන් මිදීමට සමාජගත වීමෙන් වැලකෙනාවා. පර්යේෂණයට අනුව, Scoliosis රෝගයෙන් පෙළෙන යෞවනයන් විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට සහභාගී වන්නේ ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා අඩු කාලයක්. ඔවුන් ආත්ම අභිමානය සමඟ අරගල කරනවා. විශේෂයෙන්ම නව යොවුන් වියේ ගැහැණු දරුවන් ශරීර ස්වභාවය ගැන  කණස්සලු වේ. අසාමාන්‍ය ලෙස වක්‍ර වූ කොඳු ඇට පෙළක් තිබීම එවැනි ගැටලු තවත් උග්‍ර කරයි. 

Scoliosis ඇති දරුවන් තම සම වයසේ මිතුරන් හා සසඳන විට ඔවුන් පෙනී සිටින ආකාරය පිළිබඳ අතෘප්තිමත් වේ. කණ්නාඩියෙන් බලන විට හෝ අයෙක් ඒ පිළිබඳව විමසන විට දරුවා වේදනාවටත් අපහසුතාවයටත් පත්විය හැකියි. අන්න ඒ නිසාම මෙවැනි තත්ත්වයක සිටින දරුවෙකු වටහා ගැනීම සහ මෙවැනි තත්ත්වයකදී සිත ශක්තිමත් කිරීම දෙමාපියන් වහශයෙන් අපේ වගකීමක් මෙන්ම යුතුකමක් බව අමතක නොකළ යුතුයි.

Scoliosis නිසා යොවුන් දරුවන් තුළ ඇති වන මානසික බලපෑම ගැන සලකා බැලීමේදී ඇතැම් විට මෙය මානසික අවපීඩනය සහ කාංසාව වැනි දිගු කාලීන මානසික සෞඛ්‍ය ගැටළු වලට පවා හේතු විය හැකි බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. Scoliosis සහිත යොවුන් දරුවෙක් තුළ හිස් බවක් දැනීම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන්නේ ඒ නිසයි. එහි අවසන් ප්‍රතිඵලයක් සියදිවි නසාගැනීමක් දක්වා වුවද දුර දිග යා හැකි තත්ත්වයකි. 

මවක් පියෙක් වීම දුෂ්කර කාර්යයකි. Scoliosis ඇති දරුවෙකුගේ දෙමාපියන් වීම ඊටත් වඩා දුෂ්කර ය. නමුත් ඔබේ දරුවාගේ තත්ත්වයේ බලපෑම් නොතකා ඔවුන්ගේ නව යොවුන් වියේදී සාර්ථකව මඟ පෙන්වීමට ඔබට හැකි වූ විට එය අසාමාන්‍ය ප්‍රතිලාභයකි.

ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් දරුවා සමග විවෘතව මේ සම්බන්ධව සාකච්ඡා කිරීමයි. ඒ සාකච්ඡා කතා බහ තුළ Scoliosis ශාරීරික වෙනස්වීම ගැන පමණක් නොව එය දරුවාට දැනෙන ආකාරය පිළිබඳවත් කතා බහ කළ යුතුය. ඒ හරහා දරුවා දිරිමත් කළ යුතුය. දරුවාට හොඳින් සවන් දෙන්න. එසේම ඔබේ දරුවාට විවෘතව හා අවංකව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න. ඔබ, දරුවා සමඟ කතා කරන විට, විනිශ්චයකින් තොරව ඒ කතා බහ සිදු කරන්න. මන්ද දරුවාගේ මානසික කැළඹීම් වැඩිහිටියෙකු ලෙස ඔබට සුළු දෙයක් වුවද දරුවාට එය විශාල පීඩාවන් වන්නට පුලුවන්. 

අවසාන වශයෙන්, ඔබේ නව යොවුන් වියේ දරුවාට මෙවැනි  තත්ත්වයන් වෙතොත්  එහි බලපෑම පිළිබඳව දැනුවත් බවක් ලබාගැනීම හා ඒවාට මුහුණ දීමට අවශ්‍ය තොරතුරු සහ සහාය ලබාගැනීම  අවශ්‍යය. ඔබ වැඩි වැඩියෙන් දන්නා තරමට, ඔබේ දරුවාගේ ජීවිතයේ  දුෂ්කර කාලයකදී ඔබට උපකාර කිරීමට හැකි වනු ඇත. එය එසේ වුවද වෙනත් දරුවන්ගේ අත්දැකීම් අනුව යමින් කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව වටහා ගත යුතුය. මෙවැනි තත්ත්වයකදී වුවද අපි ක්‍රියාත්මක විය යුත්තේ සුදුසුකම් සහිත පලපුරුදු වෘත්තිකයන්ගේ උපදෙස්වලට අනුව බව සිහි තබා ගන්න‍. එසේම ඔබේ දරුවා යම් මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙන බව දැනේ නම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගැනීමට පසුබට නොවන්න.‍මේ තත්ත්වයට මුහුණ දෙන අතරේම එදිනෙදා සාමාන්‍ය දින චර්යාව පවත්වා ගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව දරුවාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට ඔබට හැකියි. මෙවැනි බාධවක් සමග වුවද දරුවාගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට අපි රුකුල් දිය යුත්තේ ‘Scoliosis’ දරුවෙකුගේ සුන්දර ළමා කාලය අහිමි කිරීමට තරම් බලවතෙකු බවට පත් නොකළ යුතු නිසයි.

සාරංගි රන්පටබැඳි

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් පුංචි පැටියාගේ සුමුදු සමට සත්කාරයක්‍

පුංචි පැටියෙක් ලැබෙනවා කියන්නේ අම්මෙක්ට තාත්තෙක්ට ලෝකයක් තරම් වටිනා සම්පතක්. ඉතින් ඔවුන් දිවා රෑ වෙහෙසෙමින් ඒ පැටියා වෙනුවෙන් හැමදේම හොඳම විදිහට ඉටු කරන්නට උත්සාහ ගන්නවා. ඒ වගේම ඔවුන්ට තියෙන ආදරේ නිසාම පැටියා වෙනුවෙන් තෝරාගන්නා නිෂ්පාදනත් හොඳම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් සැකසුණු ඉහළ ප්‍රමිතියකින් යුතු විශ්වසනීය වෙළඳනාමයක් යටතේ නිපදවෙනවාද යන්න පිළිබඳවත් දෙමාපියන් සැලකිලිමත් වෙනවා. අන්න ඒ නිසාම වසර 58ක් පුරා ශ්‍රී ලාංකික මව්වරුන්ගේ  විශ්වාසය දිනාගත් බේබි ශෙරමි වෙත මව්වරුන් යොමුවන්නේ  තමන්ගේ කිරිකැටියා වෙනුවෙන් හොඳම දේ හඳුන්වා දෙන බව දන්නා නිසාමයි. 

සෙනෙහසේ සුමුදු පහස ලෙසින් මව්වරුන්ගේ පළමු තේරීම වන බේබි ශෙරමි තවතවත් වැඩි දියුණු කළ මෘදු සුවඳකින් හා ස්වාභාවික පිච්ච සහ කස්තුරි කහ අඩංගු කොට නවතම බේබි ශෙරමි ලෝෂන් වෙළදපලට හදුන්වා දෙන්නේ දරුවන්ගේ සුමුදු සමට ගෙනෙන මුදු පහස තව තවත් දියුණු කරමිනි. 

පුංචි පැටියාගේ සම මත ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ග නිසා සම තෙල් ගතියකින් යුතු බවට මව්වරුන් මැසිවිලි නගනවා. එවැනි ගැටලුවක් ඇති මවකට ද හොඳම විසදුමක් ලෙස පිච්ච සහ කස්තුරි කහ අන්තර්ගත කොට නිපදවුණු නවතම බේබි ෂෙරමි ලෝෂන් හඳුන්වා දිය හැකිය. ඉතා ඉක්මනින් අවශෝෂණය වී දිගු වේලාවක් පැටියගේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ විශේෂ ගුණයක් පිච්ච සහ කස්තුරි අඩංගු ෂෙරමි බේබි ලෝෂන්   සතු වීම සැබවින්ම  මව්වරුන්‍ට සුබ  ආරංචියක්.

පිච්ච සහ කස්තුරි  අතීතයේ පටන්ම සම රැක ගැනීමට මෙන්ම ආයුර්වේදයේදීත් යොදා ගත් ඖෂදීය ගුණයෙන් යුතු  අමුද්‍රව්‍ය වේ. එසේම අතීතයේ සිටම මව්වරුන් ළදරු සම ආරක්ෂා කර ගැනීමට ස්වභාවික ශාක සාර භාවිත කර  ඇත්තේ මෙවැනි ස්වභාවික අමුදුව්‍ය මගින් ළදරුවෙකුගේ සමට හිමි වන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් නිසාමය. කස්තුරි මගින් සම මත ඇති විෂබීජ විනාෂ කර ආරක්ෂා කරන අතරම සම පැහැපත් කරවයි. එසේම පිච්ච සාරය සම මත මුදු බව පවත්වා ගනිමින් තෙතමනය රැක ගැනීමට සහය වේ. නවතම බේබි ෂෙරමි ලෝෂන් මගින් දරුවාගේ සමේ සිනිදු බව රැක  ගන්නා අතරම සම මත තෙතමනය ආරක්ෂා කිරීමට සමත් වන්නේ පිච්ච සහ කස්තුරි කහ යන ඒ සුවිශේෂී අමුද්‍රව්‍ය අන්තර්ගත නිසාමය. තවද පිච්ච සහ කස්තුරි කහ මගින් ළදරු සම  පෝෂණය  කරමින් සම ආරක්ෂා කරයි. මෘදු සුවඳ වහා අවශෝෂණය වී දිගු කාලයක් සම මත  පවත්වාගනී.

එසේම ළදරුවන් වෙනුවෙන්ම වැඩිදියුණු කළ උසස් නිෂ්පාදන හඳුන්වා දෙන බේබි ෂෙරම් වෙතින් ගෙන එන පිච්ච සහ කස්තුරි කහ අන්තර්ගත බේබි ලෝෂන්වල බිලිඳු සමට අහිතකර පෙට්‍රෝලියම් තෙල්, ෆෝමැල්ඩිහයිඩ් හෝ පැරබන් වැනි ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම සුවිශේෂී කරුණකි. තවද පුංචි පැටියාගේ සුමුදු සමට සුදුසු බවට සායනිකව සනාථකර ඇති බේබි ෂෙරමි ලෝෂන් IFRA (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය)  මගින් අනුමත කරන ලද ළදරු සමට ගැලපෙන මෘදු සුවඳකින් නිපදවා ඇත. 

 

 

දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ මුල් කාලයේ උදර වේදනාවක් ඇති වන්නේ ඇයි?

දරු පිළසිඳ ගැනීමකින් පසුව ඇතැම් කාන්තාවන් උදර වේදනාවක් පිළිබඳව පැමැණිලි කරනවා ඔබත් අසා ඇති. නැතිනම් ඒ අත්දැකීම ඔබටත් තිබෙනවා විය හැකියි. ඇතැම් කාන්තාවන් මේ සම්බන්ධව බියක් දක්වන්නේ එය දරු ගැබ ස්වභාවික ගබ්සා වීමකට ලක්වන්නට යනවාදෝ යන සැකයද සමගයි. 

අධි රෝපණය (Implantation) යනු සංසේචනය වූ ඩිම්බය (blastocyst) ගර්භාෂයේ ස්ථරය තුල තැන්පත් වීමයි. මෙම තැන්පත් වීමේදී  එක්තරා ආකාරයක ඇති වන වේදනාව Implantation cramp ලෙස හඳුන්වයි. මෙම සංසේචිත ඩිම්බය ගර්භාෂය බිත්තියෙහි ඇලී පෝෂණය ලබා ගැනීමට පටන් ගනී. මෙසේ සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්තියට සවි වීමේදී ප්‍රොස්ටොග්ලෑන්සික් හෝමෝනය ශ‍්‍රාවය වේ. මෙම හෝමෝනය වේදනාව, ප‍්‍රදාහය ආශ‍්‍රිතව පවතී. මෙම වේදනාව සංසේචනය වූ දින සිට දින 10 – 14 කාලයකදී ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව සෑම කාන්තාවකටම ඇති නොවේ. මෙම වේදනාව සුළු සිට මධ්‍යස්ථ වේදනාව දක්වා පවතී. මෙම වේදනාව pricking (යමකින් අනින ලෙස) pulling (අදින ලෙස) tingling feeling ලෙස දැනේ. මෙම වේදනාව පහළ උදරය මධ්‍යයේ ඇති වේ. සමහර අවස්ථා වලදී කොන්දේ පහළ කොටසේ ද වේදනාව ඇති වේ. සමහර කාන්තාවන්ට මෙම වේදනාව විනාඩි කිහිපයක් පවතින අතර තවත් කාන්තාවකට එය දින 2 – 3 දක්වා පැවතිය හැක. මෙම වේදනාව තීව‍්‍ර ලෙස ඇති වුවහොත් පහත සාත්තුව ලබාදිය හැක. 

  • උණුසුම් තැවීම – 1000F වඩා අඩු උෂ්ණත්වයක් විනාඩි 10 න් හෝ ඊට අඩු කාලයක් එකවරකට යෙදීම. කිහිප වතාවක් කළ හැක. 
  • උණුසුම් නැහැවීම
  • ඉහිල්වීමේ ව්‍යායාම 
  • අවශ්‍ය වුවහොත් වේදනා නාශක. උදා: paracetamol

සංසේචිත ඩිම්බය අධි රෝපණ්‍ය වීමේදී පහත ලක්‍ෂණ ඇති වේ. 

  1. පියයුරු වල සංවේදීතාවය වැඩිවීම – පියයුරු වල ඉදිමුම, අල්ලන විට වේදනාව ඇති වේ. තුවාලයක්/වණයක් ලෙස වේදනාව ඇති වේ. පියයුරු පුඩු වලද මෙම වේදනාව පවතී. හෝමෝන වල වෙනස්කම් නිසා මේ තත්ත්වය ඇති වේ. 
  2. මනෝභාවයේ වෙනස්කම් – හෝමෝන වල වෙනස්කම් හේතුවෙන් සාමාන්‍ය දිනකට වඩා මෙම දින වල හැඟීම් වල, සිතුවිලි වල වෙනසක් ඇති බව දැනේ. 
  3. සුළු රුධිර වහනය – යෝනි මාර්ගය හරහා ඉතා සුළු රුධිර වහනයක් ඇති වේ. මෙය සංසේචනයෙන් දින 10 – 14 අතර කාලයේදී ඇති වේ. එහිදී දුඹුරු/රෝස පැහැති රුධිරය සුළු වශයෙන් පිටවන අතරම එය දිගු කලක් නොපවතී. මෙහිදී කිසිදු වේදනාවක් ඇති නොවන අතරම ඔසප් වීමේදී මෙන් රුධිර කැටි හෝ පටක රුධිරයේ දැකිය නොහැක. මෙම රුධිර ගැලීම් ඉබේ නවතින අතර අධික රුධිර වහනයක් වේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුයි. 

4.විවිධ ගන්ධයන් හා රසයන් දැනීම

5.නාසය අවහිර වීම – මෙහිදී එනම් අධි රෝපණයේදී ඇති වන හෝමෝන වෙනස්කම් නිසා නාසා ශ්ලේෂ්මලය ඉදිමීමට ලක්වේ. මේ නිසා අවහිර විය හැක. එසේම තවත් සමහර කාන්තාවන්ගේ නාසයෙන් සුළු රුධිර වහනයක් පවා විය හැක. 

6.මළ බද්ධය – හෝමෝන වෙනස්කම් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ වෙනස්කම් ඇති වේ. මළ බද්ධය ආහාර නොදිරවීම වැනි තත්ත්ව ඇති විය හැක. 

සංසේචිත ඩිම්බය අධි රෝපණය වීමත් සමග වැදැමහ (placenta) සෑදීම ආරම්භ වේ. එවිට HCG හෝමෝන (Human Chronic Gonadotrophin) මට්ටම ඉහළ යයි. සති දෙකකින් පසු මුත‍්‍රා වල හා රුධිරයෙන් මෙම හෝමෝනය දැකිය හැක. මෙමගින් ගර්භනීභාවය තහවුරු කළ හැක. HCG strip (එනම් ගර්භනීතාවය පරීක්‍ෂා කරන පරීක්‍ෂණය) මගින් මෙම හෝමෝනය මුත‍්‍රා වල ඇත්නම් එය pregnancy test + VC ලෙස එනම් දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව පවසයි.

මේ තත්ත්වයේදීත් ගර්භනීතාවයේ පූර්ව ලක්‍ෂණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. 

  • පියයුරු හා එහි පුඩු අල්ලන විට වේදනාව, ඉදිමීම. 
  • තෙහෙට්ටුව
  • හිසරදය
  • උදර අපහසුව

උදා වමනය 

  • ගල්, අඟුරු, මැටි වැනි දෑ කෑමට සිතීම 
  • මනෝභාවයේ වෙනස්කම්
  • අසාමාන්‍ය ගන්ධයන් හා රසයන් දැනීම
  • මුත‍්‍රා පිටවීමේ වාර ගණන වැඩිවීම

කෙසේ වුවද මෙවැනි තත්ත්වයකදී ඔබට බියක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හැ‍ගේ නම් හෝ රුධිර වහනය මෙන්ම වේදනවාද අධික තත්ත්වයක පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන බව අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 

 


                

Scoliosis එහෙමත් නැතිනම් පැති කුදය කියන්නේ මොකද්ද?

 සුෂුම්නා පද්ධතියේ ඇති වන වක් වීම හේතුවෙන් ඇති වන Scoliosis එහෙමත් නැතිනම් පැති කුදය ගැන ඇතැම් විට ඔබ අසා නැතිවත් ඇති. කෙසේ වුවත් මේ තත්ත්වය ඔටු කුදය හා සමානවම මව්පියන්ගේ හිතට අසහනකාරී අත්දැකීමකි. බොහෝ අවස්ථා වලදී මෙම තත්ත්වය සුළුවෙන් ඇති වුවත් ඇතැම් අවස්ථාවලදී වක‍්‍රයන් වැඩි වී තීව‍්‍ර පැති කුදය ඇති වීම නිසා ආබාධිත තත්ත්වයට වුවද පත් විය හැකිය. සුෂුම්නාවේ ඇති වන මෙවැනි වක්‍ර සාමාන්‍යයෙන් ජීවිත තර්ජනයක් ඇති නොකලද, පැතු කුදය ඇති වන අවස්ථා වලදී ජීවිත තර්ජනයක් වුවද ඇති විය හැක. තීව‍්‍ර ලෙස ඇති වන වක්වීම හේතුවෙන් උරස් කුහරයට ඉඩ ප‍්‍රමාණය අඩුවීම නිසා පෙනහලු ක‍්‍රියාකාරීත්වයට වුවද බාධා ඇති විය හැක. අන්න ඒ නිසාම කලින් හඳුනා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතා වැදගත් වනු ඇත.

Scoliosis (පැති කුදය) ඇති වීමට හේතූ 

මේ සඳහා නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි වුවත්

  • ජානමය හේතූ
  • ඇතැම් ස්නායු/පේශිමය රෝග/පේශී ක්‍ෂය වීම
  • මස්තිෂ්ක ආඝාතය
  • උපත් ආබාධ (අස්ථි හා සුෂුම්නාව වර්ධනයේදී ඇති වන අඩු පාඩු නිසා) 
  • ළමා කාලයේදී උරස් බිත්තිය ආශ‍්‍රිතව සිදු කල ශල්‍යකර්ම
  • සුෂුම්නා රජ්ජුවේ අසාමාන්‍යතා වැනි තත්ත්ව හේතු විය හැකි බවට අනුමාන කරයි.

 

Scoliosis (පැති කුදය) ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

  • ශරීරය විවේකීව පවතින විට හිස ශරීරයේ මධ්‍යයට වන්නට තබාගැනීමට නොහැකි වීම
  • පර්ශූ තල්ලු වීම
  • දරුවා හිටගෙන සිටින විට දෑත් ශරීරයට ආසන්නව කෙලින් එල්ලා සිටීමට නොහැකි වීම. 
  • ඉදිරියට නැවුනු විට උරහිසේ එක් පැත්තක් අනෙක් පැත්තට වඩා උසින් පිහිටීම
  • පිටුපස පැති දෙක උසවල් දෙකකින් යුක්ත වීම. 
  • ඇවිදීමේ අපහසුතා
  • හිරි වැටීම, දුර්වල වීම හෝ පාදයේ වේදනාව
  • කෙලින් හිටගැනීමේ ගැටළු
  • මහන්සිය ඇති වීම
  • කෙටි හුස්ම ගැනීමට
  • බර අඩු වීම
  • උදරය ඉක්මණින් පිරීම (සුෂුම්නාව මගින් උදරයට පීඩනයක් ඇති කරන නිසා) 
  • උකුල සීමාව සමාන නොවීම
  • නිතර එක් පැත්තකට ඇලවී සිටීම
  • උරහිස හා පාද අසාමාන්‍ය දිගකින් යුක්ත වීම. 

 

Scoliosis (පැති කුදය) හේතුවෙන් ඇති විය හැකි සංකූලතා

  • ස්වසන අපහසුතා, පර්ශූ මගින් පෙනහළු තදවීම. 
  • පිට කොන්දේ වේදනාව
  • මලබද්ධය (වක‍්‍රය හේතුවෙන් උදරය, අත් පා තද වීමෙන් චලන, ක‍්‍රියාකාරකම් සීමා වීම හේතුවෙන්)
  • ස්නායු ක‍්‍රියාකාරකම් සෙමින් සිදුවීම
  • හෘදය ආශ‍්‍රිත ගැටළු
  • කාටිලේජ වල කැල්සියම් තැන්පත් වීම

දරුවන් අතර ඇති වන Scoliosis (පැති කුදය) වර්ග

  • Congenital Scoliosis – කලාතුරකින් ඇති වන මේ තත්ත්වය උපතේදී දැකිය හැක. 
  • Idiopathic Scoliosis – වඩාත් බහුලව ඇති වන තත්ත්වයකි. ස්ථිර හේතුවක් නොදන්නා නමුත් ජානමය සාධකයන් හේතු වන ඇතැයි විශ්වාස කරයි. 
  • Neuromuscular Scoliosis – සුෂුම්නාව හා සම්බන්ධව ඇති පේශී වක‍්‍ර ස්නායු මේ සඳහා හේතු වේ. 

මීට අමතරව වැඩිහිටියන් තුල ඇති වන වර්ගයක් ලෙස Degenerative Scoliosis හැඳින්වේ. වයස්ගත වීමත් සමග පිටුපස පහළ කොටසේ වර්ධනය වේ. 

තවද දරුවන්ගේ වයස අනුවද වර්ග කර හැක. 

  • infantile idiopathic scoliosis උපතේ සිට අවු. 3 දක්වා දරුවන්ට ඇති වේ. 
  • Juvenile Idiopathic Scoliosisඅවුරුදු 4 – 9 දක්වා දරුවන්ට ඇති වේ. සුෂුම්නාවේ  ඕනෑම පැත්තකින් 100 වක්වී තිබීම මේ තත්ත්වයයි. මෙම අංශක ප‍්‍රමාණය 200 වැඩි නම් රෝග ලක්‍ෂණ පෙන්වයි. 

Scoliosis (පැති කුදය) හඳුනා ගැනීම 

ඔටු කුදය හෝ පැති කුදය සහිත දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ වලින් තත්ත්වය හඳුනාගත් පසුව එය ස්ථිර කරගැනීමට පහත පරීක්‍ෂණ සිදු කරයි. 

  • X කිරණ පරීක්‍ෂණ
  • MRI Scan
  • Bone age Study

Scoliosis (පැති කුදය) සඳහා ප‍්‍රතිකාර

මේ සඳහා ස්ථිර ප‍්‍රතිකාරයක් නැත. නමුත් කලින් හඳුනාගැනීම තුල රෝගය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවද ඇති වන රෝග ලක්‍ෂණ පාලනය කළ හැක. එනම් තවදුරටත් සුෂුම්නාව වක‍්‍ර වීම වළක්වා ගත හැක. ප‍්‍රතිකාර ලබාදීම සඳහා දරුවාගේ වයස/රෝගය පිළිබඳව පවුල් ඉතිහාසය/රෝගයේ වර්ගය මෙන්ම වක‍්‍රයේ පිහිටීම හා අංශක ප‍්‍රමාණය යන කරුණු සලකා බලයි. ප‍්‍රතිකාර ලෙස Braces පැලඳීම/ශල්‍යකර්ම වැනි ක්‍රම වෛද්‍ය නිර්දේශය අනුව සිදු කෙරේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

Kyphosis එහෙමත් නැතිනම් ඔටු කුදය ගැන දැනුවත්ද?

නිරෝගී දරුවෙකු හැම මවකගේ පියෙකුගේම පැතුම වුවත් අපි නොහිතන අවස්ථාවල නොහිතන ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වීම ජීවිතයේ ස්වභාවය යැයි පැවසීම වරදක් නොවේ. ඒත් හිටි හැටියේ දරුවෙකුගේ සුෂුම්නාවේ වක්‍ර හේතුවෙන් ඇති විය හැකි Scoliosis (පැති කුදය) හා Kyphosis (ඔටු කුදය) වැනි තත්ත්ව එක්වරම ජීවිතය හිටි හැටියේම නතර වනවා මෙන් දැනෙන තත්වයක් ලෙස හැඳින්වීමේද වරදක් නැත. එය කිසිදු අවස්ථාවක මවක/පියෙක්/දරුවෙක් නොසිතන ආකාරයේ තත්ත්වයකි. අන්න ඒ නිසාම කල් තියා හඳුනා ගනිමින් අවශ්‍ය පිළියම් යෙදීම ඉතා වටි. මේ ලිපිය තුළින් Kyphosis (ඔටු කුදය) යන තත්ත්වය පිළිබඳව අපි දැනුවත් වෙමු. සාමාන්‍යයෙන් මේ තත්ත්වයන් ඇති වන්නේ සුෂුම්නා පටක වල ඇති වන අසාමාන්‍ය වර්ධනයන් නිසා වන අතරම එය සම්පූර්ණයෙන් වළක්වා ගැනීම සඳහා ප‍්‍රතිකාර නොමැත. කෙසේ වුවත් සාමාන්‍යයෙන් වැඩෙන දරුවෙකුගේ සුෂුම්නා පටක වලට හා කොන්දේ පේශී වලට මේ තත්ත්වයන් හේතුවෙන් බලපෑමක් ඇති කළ හැකි නිසා වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.

Kyphosis (ඔටු කුදය)

සුෂුම්නාවේ 500 හෝ ඊට වඩා විශාලතාවයකින් ඇති වන වක්වීමකි. වැඩිහිටියන් මෙන්ම ළමුන් අතරද මෙම තත්ත්වය දැකිය හැක. ළමුන් අතර ඇති වන ඔටු කුදය වර්ග 3 කි.

  1. Postural Kyphosis (ස්ථාපිත ඔටු කුදය) – අස්ථි හා පේශී වල අසාමාන්‍ය වර්ධනයක් නිසා ඇති වේ. දුර්වල ස්ථාපිත මේ සඳහා හේතු විය හැක. අවුරුදු 12 – 19 අතර දරුවන්ට වැළඳිය හැකි අතරම මේ තත්ත්වය පිරිමි ළමුන් අතර බහුලය.

2.Scheuermann’s kyphosis කලාතුරකින් තරුණ කාලයේදී ඇති වන්නකි. කශේරුකාවේ ව්‍යුහමය ආබාධයකින් ඇති වේ. 

3. Congenital Kyphosis (ආජන්මන ඔටු කුදය) – උපතේදීම දැකිය හැකි තත්ත්වයකි. කශේරුකාවේ තල්ලු වීම හෝ අස්ථි මඩල් ලෙස නොපිහිටීම මීට හේතුව වේ. 

Kyphosis (ඔටු කුදය) ලක්‍ෂණ

  • කොන්දේ හෝ උරපතු අස්ථියේ තද ගතිය හෝ වේදනාව 
  • පාදයේ හිරිවැටීම හෝ දුර්වල බව
  • අත් හා පාදවල වෙහෙස
  • සමහර අවස්ථාවලදී සුෂුම්නාව මගින් වා මග (air way) තදවීම නිසා ස්වසන අපහසුතාවයක් ඇති විය හැක. 
  • ශරීර සමබරතාවයේ ගැටළු
  • මල මුත‍්‍රා  පාලනය අපහසු වීම

Kyphosis (ඔටු කුදය) සහිත දරුවෙකු රෝග ලක්‍ෂණ වලින් හඳුනාගත් පසුව එය ස්ථිර කරගැනීමට 

  • X කිරණ පරීක්‍ෂණ
  • MRI Scan
  • Bone age Study යන පරීක්ෂණ සිදුකරයි.

Kyphosis (ඔටු කුදය) ඇති වීමට හේතූ

අසාමාන්‍ය කශේරුව මගින් පහත තත්ත්ව ඇති කරයි. 

  • අස්ථි බිදීම – කැඩුණු, බිඳුණු කශේරුව මගින් සුෂුම්නාවේ වක‍්‍රයක් ඇති වේ. 
  • Osteoporosisඅස්ථි තුනි වීම මගින් සුෂුම්නාවේ වක‍්‍රයක් ඇති කරයි. දුර්වල වූ කශේරුව මගින් අස්ථි බිඳීම ඇති වේ. දිගුකාලීනව Steroids වර්ගයේ ඖෂධ ලබාගත් වයසක පුද්ගලයන්ට මෙම තත්ත්වය ඇති වේ. 
  • Disk generationසුෂුම්නාවේ කශේරුකා දෙකක් අතර ඇති මෘදු රවුම් මඬල්, කුෂන් එකක් ආකාරයට ක‍්‍රියා කරයි. වයසත් සමග මේ රවුම් මඬල් වියලී හැකිලේ. මේ හේතුවෙන් ඔටු කුදය ඇති වේ. 
  • Scheuermann’s diseaseගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් අතර බහුලයි. යෞවනෝදයට පෙර ඇති වේ. 
  • උපත් ආබාධ – සුෂුම්නාවේ අස්ථි උපතට පෙර මනා ලෙස නොවැඩිම නිසා ඇති වේ. 
  • සමහර රෝග තත්ත්වයන් (Syndrome) – Chien, Danlos syndrome, Marfan Syndrome වැනි සමහර රෝග තත්ත්වයන් හා බැඳී ඇත. 
  • පිළිකා සහ ප‍්‍රතිකාර – පිළිකා නිසා සුෂුම්නාව දුර්වල වන අතර එමගින් අස්ථි බිඳී යාමේ හැකියාව වැඩි වේ. පිළිකා සඳහා ලබාදෙන විකිරණ ප‍්‍රතිකාර හා ඖෂධ ප‍්‍රතිකාර මීට හේතු වේ. 
  • Spina – bifida – සුෂුම්නාව සම්පූර්ණ වී නොවැඩිමකි.
  • Paget’s disease අස්ථි දුර්වල වීම හේතුවෙන් වර්ධනය වන අළුත් අස්ථි ෙසෙල විනාශ වීමයි. 
  • Neurofibromatosisස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන ජානමය හේතුවකින් ඇති වන රෝගයකි. 
  • Tuberculosisබැක්ටීරියා ආසාධනයක් නිසා පෙනහළු වල ඇති වන රෝගයකි. 
  • Muscular dystrophy -ඉජානමය හේතුවක් නිසා ක‍්‍රමයෙන් පේශී දුර්වල වීමය. 

 

 Kyphosis (ඔටු කුදය) නිසා ඇති වන සංකූලතා

  • පෙනහලු පීඩනයට පත්වීමෙන් ස්වසන ගැටළු ඇති වීම. 
  • ඇවිදීම, පුටුවක වාඩිවී නැගිටීම, වැතිරීම ආදියේ වේදනාව හේතුවෙන් ශාරීරික ක‍්‍රියාකාරකම් සීමා වීම. 
  • තදබල ලෙස ඇති වන මෙම තත්ත්වයේදී ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු හේතුවෙන් ජීර්ණයේ ගැටලු ඇති වීම
  • ශරීරයේ පෙනුම වෙනස්වීම නිසා සමාජයෙන් කොන්වී සිටීමට උත්සහ දරයි. 

 

Kyphosis (ඔටු කුදය) සඳහා ප‍්‍රතිකාර

ස්ථිර ප‍්‍රතිකාර නොමැති වුවත් කල් තියා හඳුනා ගැනීම නිසා රෝගය වර්ධනය වීම පාලනය කළ හැකිය. ඒ සඳහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම දරුවාගේ වයස/රෝගය පිළිබඳව පවුල් ඉතිහාසය/රෝගයේ වර්ගය මෙන්ම වක්‍රයේ පිහිටීම හා අංශක ප්‍රමාණය මත තීරණය කෙරේ. ප‍්‍රතිකාර ලෙස Braces පැලඳීම/ශල්‍යකර්ම වැනි ක්‍රම වෛද්‍ය නිර්දේශය අනුව සිදු කෙරේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

මුල් ළමා විය සත්කාරය හා සංවර්ධනය

දරුවකු කුස පිළිසිඳි දිනයේ පටන් සෛල ගොනු බෙදෙමින් කලලය වැඩෙමින් සංකීර්ණ වූ සෛල ගොනුවක් ලෙසින් මිනිස් ජීවියෙකුගේ වැඩීම ආරම්භ වේ. මේ වර්ධනය ඇරඹී සති පහක් පමණ අවසන් විට මේ කලලයේ ස්නායු පද්ධතිය වර්ධනය ආරම්භ වේ. එසේම සති නවයක් පමණ වන විට අත්, පා, කන්, නාසය ආදී ඉන්‍ද්‍රියන් හඳුනා ගැනීමට හැකි පමණ වර්ධනය වී ඇත. මෙසේ විවිධ ඉන්‍ද්‍රියන් වැඩීම ආරම්භ වීම සමගින් එම ඉන්‍ද්‍රියන් මගින් ලබාගන්නා සංවේදනවල වර්ධනය ද ආරම්භ වේ.

මෙසේ හෙයින් කුස පිළිසිඳි කලලයේ ඉන්‍ද්‍රියන් සංවේදනවලට ප‍්‍රතිචාර දක්වන හෙයින් මේ කාලයේ සිටම පංච ඉන්‍ද්‍රියන් උත්තේජනය ආරම්භ කල හැකිය. මේ නිසා ගර්භනී මවක් ශ‍්‍රවණයට ගෝචර වූ ශබ්ද ඇසීම, නෙතට ප‍්‍රිය උපදවන දසුන් දැකීම, මිහිරි සුගන්ධයන් ආඝ‍්‍රාණය, දිවට ප‍්‍රණීත රස දැනීම තුලින් මෙන්ම සෙනෙහෙවන්ත ස්පර්ශයන් තුලින් ප‍්‍රබෝධනය වන ඉන්‍ද්‍රියන්ගේ විඳ දරා ගැනීම කුස තුල සිටින දරුවාද ග‍්‍රහණය කරගනියි. මෙසේ යහපත් මා පිය දරු සබඳතාවක් ගොඩනැඟීම ජීවිත කාලය පුරාවට විහිදුණු සෙනෙහෙවත් අත් වැලක් වේ. මෙසේ කුස තුළ වැඩෙන දරුවෙකු මෙලොව එළිය දුටු දිනයේ සිටද මේ පංච ඉන්‍ද්‍රියන් ප‍්‍රබෝධනයට අවස්ථාව ලැබීම තුලින් සංවර්ධනයේ කඩ ඉම් පසුකර යන්නේ සෙනෙහසින් හා වේගයෙනි. 

කුඩා කල සිට දෙමාපිය දරු සබඳතාව හොඳින් ඔපවත් වීම සඳහා දරුවන් හා දෙමාපියන් අතර ශක්තිමත් බැඳීමක් මනාව තැනිය යුතුයි. මේ සඳහා දරුවන්ගේ සියලු අවශ්‍යතා පරිපූර්ණ වීමට නම් ආහාර, ඇඳුම් පැළඳුම්වලට එහා ගොස් සියලු කටයුතු වලදී දරුවන් හා එකට බැඳුණු ජීවිතයකට හුරු වීම තුලින් සහජීවනය හුරු පුරුදු වන්නාසේම වඩාත් ප‍්‍රතිඵලදායී දිවි පෙවෙතකට දරුවා පමණක් නොව පවුලම අවතීර්ණ වීමේ හැකියාව ලැබේ. 

දරුවා සමග කතා කිරීම, දරුවාට දැනෙන ලෙස ආදරය කිරීම දරුවා තුල මව හා පවුලේ අය කෙරෙහි බැඳීමක් එකමුතුවක් ගොඩනැගීමට සමත් වේ. කුඩා කල සිටම දරු නැලවිල්ලෙන් නැලවීමම දරුවා තුල සෞන්දර්යය හැඟීම් ඇති කිරීමට හේතුවක් වේ. වැඩෙන දරුවා සමගම ඔහුගේ ක‍්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලා සිට ඊට අනුබල දැක්වීම, උදව් කිරීම හා අගය කිරීම තුලින් වඩාත් ඉදිරි පියවරයන් සඳහා දරුවා යොමු වීම නිරන්තරයෙන් සිදු වේ. 

මාස 3 දී පමණ දරුවාට යමක් අල්ලන්නට හැකියාව ලැබනවා සේම දෑතේ ක‍්‍රියාකාරීත්වය සංකීර්ණ ක‍්‍රියාවලි දක්වා ක‍්‍රමයෙන් ක‍්‍රියාත්මක වන්නේ දරුවාට ක‍්‍රියාකාරකම් සඳහා ලැබෙන අවස්ථාව අනුවයි. දෑතට දැනෙන ස්පර්ශය තුලින් මෙන්ම ඇසට පෙනෙන හැඩය, පැහැය වගේම අත් විඳින සියලු අත්දැකීම් මොළය තුල ගබඩා වන හෙයින් නැවත නැවත එම ක‍්‍රියාකාරකම්වලදී ඒවා මතකයට ඒමක් සිදුවන බැවින් ඒවා සඳහා ලබාදෙන අත්දැකීම් සංවර්ධන ක‍්‍රියාවලි සඳහා ලැබෙන උත්තේජනයන් වනු නොඅනුමානයි. 

නිවස තුලදී මෙන්ම එළිමහනේදීත් දරුවාට දකින්නට ලැබෙන දේ කතා කිරීමට නොහැකි වුවත් මතක තබාගැනීමට හැකිවනවා. එසේම නිරන්තර අවධානයට ලක්වන දේ දරුවා විමසිලිමත්ව ගවේෂණය කරන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකියි. ගස්වල සෙලවීම, සුලඟ, මල්, කුරුල්ලන්, හඳ ආදී දේ පිළිබඳව දරුවන්ට කුඩා කල සිටම හඳුනාගැනීමට සැලැස්වීම, එම වචන දරුවාට ඇසෙන සේ පැවසීම නිරන්තර සිදුවන විට වචනය ඇසුණු තැනින් එහි රූපය සෙවීමට දරුවා පෙළඹෙන්නේ ඔහුගේ මොළයේ සංවර්ධනය හොඳින් සිදුවන නිසයි. 

දරුවා සමග කරන සෑම ක‍්‍රියාකාරකමක් කතා කරමින් කිරීම මගින් වැඩි වචන ප‍්‍රමාණයක් දරුවාට ඉගෙනීමට ලැබෙනවා.

  • ස්නානයේදී 

නානවිට, වතුර ශබ්දය, ගලායන විට ඇඟට වැටෙන විට දැනෙන සංවේදන හරහා දරුවා ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා. එසේම සබන් පෙණ, සබන් සුවඳ, සබන් සමග සම මත ඇතිවන ලිස්සීම පවා දරුවාට අත්දැකීම් ගෙන දෙනවා. වසර දෙකක් තුනක් පමණ වන විට මේ ක‍්‍රියාවලිය ඉතාමත් ප‍්‍රීතිමත් අත්දැකීමක් වනවා. නාන තැන අනුව අවශ්‍ය උපකරණ රැස් කිරීම, ඒවා රඳවා තබන තැන් පිළිබඳ අවබෝධය තුලින් ක‍්‍රියාත්මක වීමට දරුවාට හැකියාව ලැබෙනවා. ඒ අනුව නෑමට පාවිච්චි කරන උපකරණ එක් රැස් කිරීමට ඉඩ හසර ලබාදීම කළ යුතුයි. එසේම ජලය සමග ක‍්‍රීඩා කිරීමටත් පාවෙන ගිලෙන දේ හඳුනා ගැනීමටත් මේ සමග අවකාශ ලැබෙනවා. භාජන වලට වතුර පිරවීම ආදියට ආරක්‍ෂාවන් මැද දරුවාට ඉඩ ලබාදීම කළ යුතුයි.

  • ආහාර ගැනීමේදී

දරුවාට ආහාර ලබා දෙන විට ආහාර වර්ග හඳුනා ගැනීමට ඒවායේ පාට, රස පිළිබඳව දරුවා සමග කතා කරන්න. ඊට පෙර කෑම පිළියෙල කරන අවස්ථාවේදී පවා දරුවා සමග කතා කරමින් එය කරන්න. ඔබ කරන සියලු දේ දරුවා නිරීක්‍ෂණය කරමින් ඉගෙන ගන්නා නිසා දරුවාට ඒ සඳහා උදව් කරන්න. කැරට් අලයක් කපන්නට ගත්තේ නම් ශුද්ධ කිරීමට පෙර එය දරුවාට පෙන්වන්න. නම කියන්න. එය ශුද්ධ කල පසුත් ඒ ගැන කියන්න. එහි පාට ගැන කියන්න. එය හොඳින් සේදිය යුතු බවත් ඊට පසු කපන බවත් කියමින් කරන්න. කපන හැඩය පිළිබඳව පවා දරුවා සමග කතා කිරීමෙන් හැඩතල පිළිබඳව දරුවාට අදහසක් ඇති වේ. එසේම අල්ලා බලන්නටත් අවස්ථාවක් දෙන්න. උයන විට ඒ ගැනත් ඒ සඳහා යොදා ගන්නා අනිත් දේවල් ගැනත් දරුවා සමග කතා කරමින් කරන්න. මේ ලෙසින් වෑංජන සඳහා ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳව අදහසක් දරුවාට ඇති කරගත හැකියි. එසේම ආහාර කවන විටත් එම ආහාරය පිළියෙල කිරීමට පෙර තත්ත්වය නැවත මතකයට නැගීමටත් එහි රසය පිළිබඳව කතා කරමින් කෑම කැවීමත් දරුවාගේ බුද්ධි වර්ධනයට ඉඩ හසර ලැබේ. 

  • වෙළඳ පොලට ගිය විට

මේ අයුරින් වෙළඳපලට ගිය විටද දරුවා සහභාගි කරවා ගැනීමෙන් එළවළු, පළතුරු, පලා ආදී ලෙසින් ද්‍රව්‍ය හඳුනා ගැනීමටත් හොඳ නරක ලෙස තේරීමටත්, මුදල් හදල්, කිරුම් මිනුම් ආදී සෑම දෙමක්ම දරුවාට ඉගෙනීමට ඇති අවස්ථාවන් වේ. එසේම නිවසට ගෙනා එළවළු වර්ග කිරීමටත්, ඒවා ඇසිරීමටත් දරුවාට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම තුලින් ඒවායේ දිග, කොට, මහත, ගෙඩි, කරල්, ලපටි, මෝරපු, ඉදුනු ආදී ලෙසින් ගණිත ක‍්‍රියාකාරකම් සඳහා වැදගත් වන  තේරීමේ ක‍්‍රියාකාරකම් දරුවාට නිරන්තර ලැබීම තුලින් මොළයේ සංවර්ධන ක‍්‍රියාවලී මෙන්ම තර්කන හැකියාවද වැඩි දියුණු වේ. 

  • බෝගයක් රෝපණය කිරීමේදී‍

දරුවාට ඇටයක් පැල කිරීමට අවස්ථාව ලබාදීම එය පැලවෙන පියවරයන් අධ්‍යයනයට අවස්ථාව ලබාදීම, මල් ඵල හටගන්නා අන්දම ඉගෙනීමට අවශ්‍ය පොහොර, ජලය පිළිබඳ අවබෝධය ලබාගැනීමට ඉඩදෙන්න. ගසක් පැලවීමේ සිට එය වර්ධනය වන අන්දම පිළිබඳව කාල පරාසයන් පවා ඒ තුලින් දරුවා උගනීවි. 

ඉහත දැක්වූ ක්‍රියාකාරකම් ඇතුළුව දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන් දරුවාට ඉගෙනුම් අවස්ථාවන් කිරීම තුලින් දරුවා‍ගේ අත්දැකීම් සපිරි අනාගතය බුද්ධිමත්, ශක්තිමත් වනු නොඅනුමානයි. මේ සඳහා ඉඩහසර ලබාදීම ඔබට කරදරයක් සේ පෙනනුද සැබෑ ඉගෙනුම් ක‍්‍රියාවලිය සිදුවන්නේ දෑතේ ක‍්‍රියාකාරකම්, දෑසේ පෙනීමෙන්, කනට ඇසීමෙන්, දිවෙන් රස බැලීමෙන්, නාසයට දැනෙන ගඳ සුවඳ තුලින් හා ස්පර්ශය තුලින් දැනෙන සංවේදන මත පාදක කරගෙන හෙයින් දරුවාට මේ පංච ඉන්‍ද්‍රියන්උත්තේජනය වන අයුරින් ඉගෙනුම් අවස්ථාවන් ලබාදම ඔබේත්, මගේත් යුතුකම හා වගකීමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ට උපතින් පිළිකා ඇති වන්නේ කෙසේද?

පුංචි දරුවෙක්ට පිළිකාවක් කියලා අහන්න ලැබුණම කොයි කාගෙත් ඇඟ හිරිවැටෙනවා. ඒත් ඒ තත්ත්වය අපේ සමාජයෙන් මේ වෙද්දී නිතර නිතර අහන්න ලැබෙනවා. ඇත්තටම ඇයි මේ හය හතර නොදන්න පුංචි දරුවන්ටත් පිළිකා කියන රෝගය ඇති වෙන්නේ. පිළිකාව ගැන කියද්දි බොහෝ දෙනෙක්ගේ කටින් පිටවෙන්නේ කැන්සර් එකක් කියලයි. කැන්සර් කියන්නේ කකුළුවාට කියන තවත් ඉංග‍්‍රීසී වචනයක්. පිළිකාවට ඒ නම හැදෙන්න හේතු වෙන්න ඇත්තේ  කකුළුවාගේ අඬු ආකාරයට අවට පටක අල්ලාගෙන ඒවයේ සාරය උරාබොන නිසා විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෑදී ඇති සෛල ක‍්‍රමානුකූලව වර්ධනය, බෙදීම පාලනයක් සිදුවන්නේ යම් පාලනයක් යටතේයි. නමුත් පිළිකා සෛල වර්ධනය, බෙදීම සිදුවන්නේ පාලනයකින් තොරවයි. විවිධ වර්ගයේ පිළිකා පවතින අතර ඒවායේ පවතින්නේ එකම ස්වභාවයකි. 

පිළිකා සෛලවල, 

  • වර්ධනය පාලනයෙන් තොරයි
  • අසාමාන්‍ය ප‍්‍රමාණ හා හැඩයක් ගනී
  • වේගයෙන් අනෙක් සෛල අතර බැඳීම් ඇති කරමින් ඒවායේ පෝෂක කොටස් උරාගන්නා අතරම අවසානයේ අවට සෛල මිය යයි. 

උපතත් සමග දරුවෙකුට පිළිකාවක් ඇතිවීම එතරම් සුලබ තත්ත්වයක් නොවුණත් ඒ තත්ත්වය අපිට අහන්න දකින්න ලැබෙන තත්ත්වයක්. වඩාත් බහුලම පිළිකා වර්ගය වන්නේ ස්නායු සෛල හා සම්බන්ධ Neuroblastoma වර්ගයයි. මෙය වර්ධනය වන ස්නායු පද්ධතියේ කලාතුරකින් ඇති වන තත්ත්වයකි. මෙය පිටතට පෙන්නුම් කරන්නේ සුෂුම්නාවේ හෝ ඒ ආසන්නයේ ගෙඩියක් ආකාරයටයි. සමහරවිට මෙම ගෙඩි උදරය තුල හෝ අධි වෘක්ක ග‍්‍රන්ථිය ආශ‍්‍රිතවද ඇති විය හැක. 

මීට අමතරව ඇති වන තවත් වර්ගයක් වන්නේ Teratoma තත්ත්වයයි. Teratoma යනු කලාතුරකින් ඇති වන අර්බුදයකි/ගෙඩියකි. මේවා විවිධ පටක වල එනම් අස්ථි, දත්, පේශී, හිසකෙස් අතර ඇති පටක වල දැකිය හැක. මේවා බොහෝ විට ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ ආදියේ දැකිය හැක. සමහරවිට මෙම පිළිකා වර්ගය ස්නායු පද්ධතිය තුල හා උදරය තුලද දැකිය හැක. මේවා පිළිකා වීම හෝ නොවීම නිශ්චිතව කිව නොහැකිය. ශරීරයේ ඇති සෛල වෙනස්වීමේ ක‍්‍රියාවලියට ලක් වන අවධියේදී එහි ඇති වන සංකූලයන් ලෙස මේවා හැඳින්විය හැක. විශේෂයෙන් මේවා ඇති වන්නේ ජන්මානු සෛල තුළයි. දරුවා වර්ධනය වන විට ඔවුන්ගේ ජන්තරා සෛල, ශරිරයේ විවිධ ස්ථාන වලට ගමන් කිරීමට පටන් ගන්නා අතර ඒවා වෙනස්වීම් වලට බඳුන් වේ. එනම් ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බද වෘෂණය තුල ඇති ශුක්‍රාණු  ද මෙසේ වෙනසට බඳුන් වන සෛල වේ. මෙම ගෙඩිය තුල කෙස්, දත්, ඉටි, තෙල් හා සම දැකිය හැක. මේවායේ සාමාන්‍ය ලක්‍ෂණ වන්නේ ඉදිමුම, රුධිර වහනය හා වේදනාව යන ලක්ෂණයි. 

බෙහෝ පිළිකා වලට හේතුව නොදන්නා නමුත් උපතේදී ඇති වන ජානමය වෙනස්කම් හේතු විය හැකි අතරම බොහෝ විට ඒවා ඇති වන්නේ උපතට පෙරයි. ස්ථිර හේතුවක් දැක්විය හැකි නොවුණද අවධානම් සාධක ලෙස පහත ඒවා සැලකිය හැක. 

  1. ජීවන රටාවේ හා පාරසරික අවධානම් සාධක
  • විකිරණ වලට නිරාවරණය
  • දෙමාපියන් දුම්පානය කිරීම                                                                                                                                                                                                                           

2.ජානමය සාධක

සෛල තුලදී DNA වල ඇති වන වෙනස්කම් නිසා සමහර පිළිකා වර්ග ඇති වේ. DNA යනු අපේ ජාන සඳහා වූ රසායනිකයයි. ජාන මගින් අපේ සියළු ක‍්‍රියාවලියන් පාලනය කරන්නා මෙන්ම සමහර රෝග වර්ධනය කිරීම සඳහාද දායක වේ. දරුවෙකුට තම මවගේ හෝ පියාගේ පෙනුම/රූපය ලැබෙන ආකාරයටම විවිධ පිළිකා වර්ග ද ඇති වේ. සමහර ජාන මගින් අපේ සෛල වර්ධනය, සෛල විභේදනය හා මියයාම පාලනය කරයි. 

  • සෛල වර්ධනය, බෙදීම හා සජීවී ලෙස සෛල පවත්වා ගැනීම – Oncogenes වේ. 
  • සෛල බෙදීම සෙමින් සිදුවීම, සෛල වල ජාන, අළුත් වැඩියාව, වැරදි ලෙස සිදුවීම හෝ සෛල මිය යාමට හේතුවන ජාන tumour suppressor genes ලෙස හඳුන්වයි. 

ළමුන් අතර බහුල වශයෙන් පහත පිළිකා වර්ග  

  • ලියුකේමියාව
  • Lymphoma
  • මොළයේ පිිළිකා
  • නව යොවුන් වියේදී ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma) 

අළුත උපන් දරුවන්/කුඩා දරුවන්ට ඇති වන පිළිකා ජානමය වෙනස්කම් නිසා ඇති වන බවට විශ්වාස කෙරේ. එසේම ජාන විකෘතිතාවයක ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන 21 වන ජානයේ අසමාන්‍යතාවයන් (21 trisomy) ලෙස ඇති වන Down syndrome සහිත ළමුන්ට මෙම පිළිකා අවදානම් වැඩිය. 

ළමුන් අතර ඇති වන පිළිකා වල ලක්‍ෂණ 

  • අසාමාන්‍ය ඉදිමුමක් හෝ ගෙඩියක්
  • දරුවා තුල අසාමාන්‍ය, විස්තර කළ නොහැකි ලෙස සුදුමැලි බව, ශක්තිය හීන වීම, බර අඩු වීම 
  • සමේ පහසුවෙන් සිරීම් හෝ රුධිර වහනය
  • ශරීරයේ එකම ස්ථානයක දිගටම පවතින වේදනාව. 
  • නොනැවතී පවතින උණ
  • නිතර පවතින හිසරදය හා වමනය
  • හදිසියේ ඇති වන ඇස් වල පෙනීමේ වේගය අඩුවීම
  • තෙහෙට්ටුව

මීට අමතරව පහත තත්ත්වයන්ද දරුවන් අතර දැකිය හැක. ඒවායේ ලක්‍ෂණ පහත දැක්වේ. 

ලියුකේමියාව

  • සුදුමැලි බව
  • රුධිර ගැලීම හෝ සම තුලට රුධිර ගැලීම් (රතු පැහැති ලප ලෙස), නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීම
  • තෙහෙට්ටුව, දුර්වලභාවය, සීතල දැනීම
  • කරකැවිල්ල
  • හිසරදය
  • ස්වසන අපහසුතා/ කෙටි හුස්ම
  • නිතර ඇති වන දීර්ඝ කාලීන ආසාධන

මොළයේ පිළිකා

ළමා පිළිකා අතරින් 27% පමණ මෙම පිළිකා වැළඳීම සිදු වේ. බොහෝ පිළිකා ඇති වන්නේ මොළයේ සෛල කොටසේ එනම් මොළයේ කඳ මෂ්තිස්කය (brain stem cerebellum) කොටසේ වේ. මෙහි බහුලව දැකිය හැකි  ප‍්‍රධාන ලක්‍ෂණ පහත පරිදි වේ. 

  • හිසරදය
  • කරකැවිල්ල
  • ශරීර සමබරතාවයේ ගැටළු
  • දෘෂ්ඨි, ශ‍්‍රවණ හෝ කථන ගැටළු
  • නිතර වමනය ඇති වීම

Neuroblastoma

ළදරුවන් හා ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය නොමේරූ ස්නායු සෛල වලින් ඇති වේ. මූලිකවම අවුරුදු 5 වඩා අඩු දරුවන් තුල දැකිය හැක. මෙය නිතරම ආරම්භ වන්නේ අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් වේ. ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුල වැඩිය. 1 – 2% පමණ දරුවන්ට මෙය පවුල් ආරය නිසා ඇති වේ. 

  • ඇවිදීමේ හැකියාව නොමැති වීම
  • ඇස් වල වෙනස්කම් (ඇස් ඉදිරියට නෙරීම, ඇස් වටා කළු/අඳුරු රවුම් ඇතිවීම, ඇහිපිය කඩා වැටීම)
  • ශරීරයේ විවිධ ස්ථාන වල ඇති වන වේදනාව
  • පාචනය
  • අධික රුධිර පීඩනය

Wilms Tumour

ළමුන් අතර ඇති වන පිළිකා අතරින් බහුලව ඇති වන පිළිකා වර්ගයක් වන අතර වකුගඩු වලින් ආරම්භ වේ. බහුල වශයෙන් ඇති වන්නේ එක් වකුගඩුවක වන අතර කලාතුරකින් වකුගඩු දෙකටම ඇති විය හැක. අවුරුදු 3 – 4 දරුවන් අතර බහුල වේ. 

  • උදරය ඉදිමීම හෝ ගෙඩියක් ලෙස දැනීම
  • උණ
  • වේදනාව
  • ඔක්කාරය
  • කෑම අරුචිය අඩුයි

Lymphoma

මෙම පිළිකා තත්ත්වය ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වසා සෛල වල ඇති වේ. මෙම පිළිකාව මගින් වසා ගැටිති මෙන්ම වසා පටකද ආක‍්‍රමණය කරයි. උදාහරණ ලෙස ටොන්සිල් ග‍්‍රන්ථිය, තෛරොයිඩ් ග‍්‍රන්ථිය දැක්විය හැකිය. එසේම ඇට මිදුළු හා වෙනස් අවයව වලද ඇති විය හැක. ඇති වන ස්ථානය අනුව ලක්‍ෂණ වෙනස් වේ. ප‍්‍රධාන ලෙස ආකාර 2 කි. 

  1. HodgKin Lymphoma

අවුරුදු 5 ට අඩු දරුවන්ට ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මෙය වැඩිහිටියන්ගේ පිළිකා වලට සමානය. 

2.Non HodgKin Lymphoma

HodgKin Lymphoma ඇති වන දරුවන්ට වඩා අඩු වයසේ දරුවන්ට ඇති වේ. අවුරුදු 3 ට වඩා අඩු දරුවන්ට කලාතුරකින් ඇති වේ. ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය වැඩිහිටියන් අතර ඇති වන වර්ගයට වඩා වෙනස් වේ. ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා වර්ගයක් වන අතර දැඩි සත්කාර සාත්තුව අවශ්‍ය වේ. වැඩිහිටියන්ගේ මෙම පිළිකා වර්ගයට වඩා දරුවන්ගේ මෙම පිළිකා වර්ගය ප‍්‍රතිකාර වලට හොඳින් ප‍්‍රතිචාර දක්වයි. 

  • බෙල්ලේ, කිහිල්ලේ හෝ ඉකිලියේ වසා ගැටිති ඉදිමීම
  • බර අඩුවීම
  • උණ
  • දහදිය දැමීම
  • ශරීරය දුර්වල වීම

ළමුන් අතර ඇති වන පිළිකා ඉක්මනින් හඳුනා ගැනීම තුල ප‍්‍රතිකාර සාර්ථක වේ. මේ සඳහා,

  • පවුලේ සාමාජීකයන් හෝ දෙමාපියන් හෝ දරුවන් රැකබලාගන්නන් රෝග ලක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම
  • නිවැරදි ලෙස නියමිත වේලාවට සායනික ලෙස රෝගය විනිශ්චය වීම රෝගය හදුනාගැනීම හා දැනට සිටින මට්ටම (stage) හඳුනාගැනීම. 
  • ප‍්‍රතිකාර කළ හැකි විවිධ මාර්ග පිළිබඳ අවබෝධය

වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ට ඇති වන පිළිකා වලදීද ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රම සමාන වේ. 

  • chemotherapy – ඖෂධ ප‍්‍රතිකාර
  • Radiotherapy – විකිරණ ප‍්‍රතිකාර
  • Surgery – ශල්‍යකර්ම ප‍්‍රතිකාර
  • Bone marrow transplantation – ඇටමිඳුළු බද්ධ කිරීම

එසේම වැළ‍ෙඳන පිළිකා සියල්ලම සුව නොවන නමුත් ඒවායේ ලක්‍ෂණ වලින් මිදීමට හා ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිකර ගැනීම උදෙසා ලබාදෙන සාත්තුව (palliative care) ඉතා වැදගත් වන අතරම දරුවෙකුට ඉහත ප‍්‍රතිකාර ක‍්‍රම ලබාදෙන අතරේම පෝෂණය, මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල