පංචායුධයක් පළදින්න දිනයක් තිබෙනවාද…?

දරුවෙකු වෙනුවෙන් පංචායුධයක් පැළදවීම දරුවා උපන් දිනයේ සිට දින පහක් එසේත් නැත්නම් ඉදුල් කට ගාන දිනයේදී පැළදවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. පංචායුධයක් නිර්මානය කිරීමේදී නියමිත දිගක්, පලලක් හෝ බරක් නොමැති නිසා තම තමන්ගේ හැකි පමනින් බොහෝ විට රත්රන් වලින් මේ ආබරණය සකස් කරනවා.

පංචායුධයේ ඉතිහාසය…

ළදරුවන්ට පළදවන පංචායුධය පිලිබඳව දිගු ඉතිහාසයක් තිබේ. අතීතයේදී ‘‘පංචායුධ “ නැමැති කුමාරයෙක් සිප් සතර හදාරා අවසානයේදී තමන් උපන් රාජ්‍ය වෙත යමින් සිටියේය.ගමන්මග වෙහෙස නිසා කුමරු විශාල ගසක් යටට වී නිදා ගත්තේය.ඒ අවස්ථාවේ ගසට අධිගෘහිතව සිටි යක්ෂයෙක් පැමිණ කුමරු මරා මස් කෑමට සැරසෙත්ම පංචායුධ කුමාරයා යක්ෂයාගෙන් එක් ඉල්ලීමක් කරන්නට අවසර ඉල්ලා සිටියේය.පංචායුධ කුමාරයා යක්ෂයා අමතා මෙසේ කීවේය.

ඔබ මා මරා මස් කෑවාට කමක් නැමැ. නමුත් එක් දෙයක් ඔබට කිව යුතුයි. මගේ සිරුරේ ආයුධ පහක් තිබෙනවා. යම් හෙයකින් ඔබ මා මරා මස් අනුභව කළොත් ඒ ආයුධ පහ එබේ සිරුරේ ඇනී නිසැකයෙන්ම ඔබ මරණයට පත් විය හැකියි. එයින් බියට පත් යක්ෂයා පළා ගියෙන් කුමාරයාගේ ජීවිතයට හානියක් සිදු වුයේ නැත. එතැන් පටන් මේ සිද්ධිය පාදක කර ගෙන ළදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පංචායුධයක් පැළදවීමේ සම්ප්‍රදාය ඇති වී තිබේ.

පංචායුධයේ  සංකේත මොනවාද…?

පංචායුධයක ඇතුගත්ව තිබෙන ආයුධ පහක් තිබෙනවා. ඒ නිසාම සෙය පංචායුධය යනුවෙන් හැදින්වෙනවා. මෙම ආයුධ නම්

ජයසංඛය හෙවත් හක්ගෙඩිය

හක්ගෙඩිය සශ්‍රිකත්වයේ සංකේතයක් විදිහට සලකන නිසාම දෙවියන්ට ආරාධනා කිරීමේදී හක්ගෙඩිය පිඹීම සිදු වෙනවා. දේවකතාවන්ට අනුව විෂ්නු දෙවියන් කිරිසයුර කළඹන විට හමුවුන අනර්ඝ වස්තුන් අතරින් හක්ගෙඩියත් එකක් සේ සැලකෙනවා.

චක්‍රය

සටනකදී ආරක්ෂාව ලැබීමට මෙන්ම ප්‍රතිප්‍රහාරයන් වැලැක්වීමට ඇති ආයුධයයි.

මුගුර

ආරක්ෂාව වෙනුවෙන් වැදගත් ආයුධයකි.

දුන්න

සතුන් දඩයමට මෙන්ම ආරක්ෂාවට ඇති ආයුධයක්.

කඩුව

සටන් බිම ප්‍රධාන ආයුධයක්. රාජ්‍යත්වයේදී කඩු ශිල්පය පිලිබඳව ලබා ඇති හැකියාව රජතුමාගේ වටිනාකම ගොඩ නැගේ.

පංචායුධය පළඳවන්නේ කොහොමද….?

පංචායුධයක් පළදවන විට දරුවාගේ උපත් වේලාවට අනුව  සුබ නැකැත් වේලාවක් බලනවා. පංචායුධය සුවද පැනින් සෝදා ආශිර්වාද කරමින් ගෙල හෝ ඉනෙහි පළදවනු ලබනවා.

පංචායුධයක් පළඳවන විට මේ ගැනත් හිතන්න…

පංචායුධයක් මගින් අපි දරුවාට ආරක්ෂාව ලබා දීම ගැන වඩාත් ආරක්ෂිතව වූ සිතුවිල්ලකින් කරන බව සැබෑය. ඒ සමග තවත් අතුරු කරුණු ගැනත් ටිකක් හිතනවා නම් වඩාත් අගෙයි. හොඳ යැයි සම්මත දෙයක් හොද සිතින්ම පවත්වා ගෙන යෑම වරදක් නැති වුනත් මේ විදිහට පුංචි අවදානම් ගැනත් හිත යොමු කිරීම වැදගත්.

පංචායුධය නිසා  දරුවාගේ සුමුදු හමට තුවාල වීමට පුලුවනි. ඇතැම් විට පංචායුධයේ අයින් දරුවා හැපිම නිසාම කඩතොලු වී තිබුනොත් ඒවා හමේ වැදී තුවාල විය හැකියි.

පංචායුධය පළඳවන කළු පැහැති නූල දරුවාගේ වර්ධනය සමග ගෙලට හිර ගතියක් ඇති වුනොත් එය දරුවාට අපහසුවක් විය හැකියි.ඒ වගේම දහඩිය සමග මෙම නූල ගැටීම නිසා ගෙල ප්‍රෙද්හයේ දහඩිය බිබිලි සහ කුෂ්ට ඇති විය හැකියි.

පංචායුධය දරුවාගේ කටට ගත හැකි මානයේ තිබීමෙන් නිතරම එය හැපීමත් අවදානමක්.

පංචායුධය වගේම ඇතැම් විට එය රත්රන් දම්වැලක බහා පැළදවීම නිසා සොරකම් කිරීමටත් පුලුවනි.

දරුවන්ගේ හැටි ඔහොම තමයි.

දරුවෙකුගේ මුල් වසර පහක කාලයේදී ඔවුන්ගේ මොළයෙන් 80% ක් වර්ධනය වෙනවා. ඒ නිසාම මේ කාලයේදී අලුත් දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ගොඩ නැගෙනවා. ඔවුන් ලබන  අලුත් අත්දැකීම් සමග මොළයේ සෛල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන් බොහොම අවදියෙන් තමා සමග ගණුදෙනු කරන අයත් සමග එක්ව අත්දැකීම් උපයා ගන්නවා.ඒ නිසා දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබමින් ඉදිරියට යන ශක්තිය දෙමව්පියන් විසින් ගොඩ නැගීම ඉතාම වැදගත්.වයස 13ත් 17ත් අතර ළමයින් ගේ මොළය හුරුවී ඇත්තේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බව .හාවර්ඩි.කොලොම්බියන් සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයන්හී එකමුතුවෙන් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරනය වී  ඇත. මොළය ස්කෑන් යන්ත්‍රයක් ඇසුරෙන් පරීක්ෂා කරන අතරතුර පින්තූර ආශ්‍රයෙන් කරන ක්‍රීඩාවක් අනුව එම නිගමනයට එලැඹිණි.

 දරුවාගේ ඇගිලි තුඩු වලින් විවිධ ක්‍රියාකාරකම්

විශේෂයෙන් ළදරු පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අත්වැඩ, වැලි සෙල්ලම්, කඩදාසි සමග නිර්මානාත්මක කටයුතුවල යෙදෙනවා.මේ කටයුතු මගින් දරුවාගේ බුද්ධිමය සංවර්ධනය සිදු වෙන නිසා ඇඟිලිතුඩුවලින් සිදු වෙන කටයුතු වලට වැඩි දායකත්වයක් ලබා දීම ඉතාම වැදගත්.කොලාජ් චිත්‍ර, ජලය සමග සෙල්ලම්, වැලි සමග සෙල්ලම් මෙහිදී වඩාත් වැදගත්. ඒ නිසාම අතට හසුවෙන දෙය ඉරන්න, කපන්න පටන් ගන්නත් පුලුවනි.

හැම දෙයම අලුත් විදිහට දකිනවා

යාන්තමින් වටපිට සමග සම්බන්ධ වෙන දරුවාට ඔවුන් දකින හැම දෙයම අලුත්. ඒ නිසාම දකින දකින දේ ඉල්ලන්න පටන් ගන්නවා. සමහර විට දරුවා ඉල්ලන දෙය ඔවුන්ට කිසිසේත්ම ප්‍රායා්ජනයක් නොවන්න පුලුවනි. ඒ වුනත් එය දරුවාට අලුත් දෙයක් නිසා පෙරැත්ත කරමින් ඉල්ලා සිටින්න පුලුවන්. එවැනි අවස්ථාවකදී බිම පෙරලෙන්න, පොළවේ ඔලුව ගහගන්න වැනි ප්‍රතිචාර දක්වන්නත් පුලුවනි. කඩපිල ඉදිරියේ නිදා ගන්න තරම් තත්වය දරුනු වෙන්න පුලුවන්.එහෙම වුනොත් ප්‍රසිද්ධියේ දඬුවම් කරන්නත් එපා. හෙමින් සීරුවේ ඔය ගත මග හරවා ගන්න.

අඩනවා කියලා දෙන්න එපා

දරුවා තමන්ට අවශ්‍ය දේ ඉල්ලමින් ලොකු පෙරලියක් කළත් ඔවුන් ඉල්ලා සිටින හැම දෙයක්ම ලබා දෙන්න එපා.සමහර දෙමව්පියන් විසින් දරුවා සතුටු කරන්න වගේම තමා නිදහස් වීම මුල් කර ගෙන දරුවා ඉල්ලන හැම දෙයක්ම ලබා දෙනවා. ඒත් මෙහි යම් සීමාවක් තිබෙනවා. අද දවසේදී ඔබට දරුවා ඉල්ලා සිටින දේ දෙන්නට පුලුවන් වුනත් තවත් දවසකදී දරුවා ඉල්ලන දේ ලබා දීම ඔබට අපහසුවක් විය හැකියි. ඒ නිසා දරුවා හැඬු පමණටම ඉල්ලන දේ ලබා දීම එතරම් ප්‍රඥාගෝචර නැහැ.

දඟ කරන්නේ අවධානය ගන්න

දරුවෙක් වුනොත් පිළිමයක් වගේ එක තැන තියන්න බැහැ. සාමාන්‍යයෙන් දරුවන් දගයි.එය ස්වභාවයක්. ඒ වුනත් සමහර විට දරුවන් අනවශ්‍ය විදිහට දග කරන්නේ ඔවුන් වෙත අවධානය ගැනීම වෙන්නත් පුලුවනි. ඔබේ දරැවන් ගැන හිතුවොත් මෙය මොනතරම් සාධාරණදැයි හිතේවි. නිවසේ යම් පමණකින් සංවරව සහ එතරම් දගයක් නොමැති දරුවා නිවසට කවුරුන් හෝ පැමිණි විටකදී අනවශ්‍ය විදිහට දග කිරීමට යොමු වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ගේ දඟකාරකම් වුනත් පමණ ඉක්මවා සිදු වෙනවා නම් එයින් පෙනී යන්නේ ඔවුන්ට අවධානය අවශ්‍ය බවයි.

ඉරිසියාවත් තියෙනවා.

පොඩි එවුන්ට ඉරිසියාවත් නැත්තේම නැහැ. විහේෂයෙන් එය ආදරය මුල් කර ගෙන සිදු වෙන්නක්. තමාගේ අයියා අක්කාට දෙමව්පියන්ගේ ආදරය බෙදෙනවාට දරුවන් කැමැති නැහැ.ඒ ඉතින් පොඩි අයගේ හැටි. ඒ නිසා මේ ළමයාගේ ඉරිසියාව කියලා නෝක්කාඩු කියන්න අවශ්‍ය නැහැ. දරුවන්ගේ හිතේ තිබෙන සාධාරණ සිතුවිල්ලක් නිසා ඔබ මේ ගැන හිත කලබල කර ගන්න එපා.

ඉතින් දරුවා ගැන එබේ මට්ටමෙන් නොසිතා ඔවුන්ගේ මට්ටමෙන් හිතන්න තරම් සාධාරණ සිතිවිලි දෙමව්පියන් විදිහට ඔබ විසින් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

දරුවන් ඇති අම්මලාට

දරුවන් ඇති අම්මලාට යැයි නමින් නිකුත් කරන ලද  පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් විසින් පෙන්වා දෙන මේ කරුණු කීපය අපේ අම්මලාටත් ප්‍රෙයා්ජනවත් වේවි.

දරුවන් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නගා ගත යුතු බව ඇත්ත.ඒ වුනත් මේ සම්බන්ධතාවයේ යම් සීමාවක් පවත්වා ගත යුතු වෙනවා. අම්මා දියනියගේ හොඳම මිතුරිය වුනත් ඇය අම්මා බව අමතක කළ යුතු නැහැ. අම්මා යන භුමිකාව ඇදුම් පැලදුම්, කතා බහ සහ හැසිරීම යන සියළුම අංගයන්ගෙන් අය පෙන්වා දිය යුතුයි. ඒ් නිසා දරුවන් සමග කොතරම් සමීප වුනත් දෙම්පියන්ය යන පෞරෂයෙන් නම් දුරස් වීම එතරම් හොද නැහැ. ඒ නිසා නිතරම ‘‘මම අම්මා…මම තාත්තා…යන පෞරෂය නම් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එය දරුවාගේ හදවතට සමීප වීමට නම් කිසිම බලපෑමක් නැහැ.

දරුවා සමග කාලය ගත කරන්න

මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් පෙන්වා දෙන අන්දමට දෙමව්පියන් කොතරම් කාර්ය බහුල වුනත් දරුවන් සමග දවසේ සුලු වේලාවක් හෝ ගත කිරීම ඉතාම වැදගත්. මෙම පර්යේෂණයෙන් හදුනා ගත් අන්දමට දෙමව්පියන් සමග කාලය ගෙවන දරුවන්ගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් තිබුනා. ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට බොහෝ දරුවන්ගේ හිතේ තිබෙන දේවල් දෙමව්පියන් සමග බෙදා හදා ගැනීමට අවසර ලැබෙන්නේ දරුවන් සමග දෙමව්පියන් කාලය ගත කිරීමට යොමු වුනොත් පමණයි.

දරුවා තුළ ආත්ම දමනය ගොඩ නගන්න..

අද දරුවන් වගේම ඇතැම් වැඩිහිටියන්ටත් තමන්ගේ ආවේග පාලනය කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. අපේ පුතාට තරහ ගියාම ඉන්න තැන පේන්නේ නැහැ…අම්මා තාත්තා බොහොම උජාරුවෙන් මෙහෙම කිව්වත් කුඩා කාලයේ පටන්ම දරුවා තුළ ආත්ම දමනයක් ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා ඉර හද ඉල්ලුවත් ලබා ගැනීමට තරම් දරුවන්ගේ ආවේග දරුණු වීමට පුලුවනි. ඒ නිසා කුඩා කාලයේ පටන්ම කොටින්ම කියනවා නම් කීකරු පමණක් නොව සුවච කීකරු දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. දරුවා සමග හැම දෙයම සන්නිවේදනය කර ගන්නා අතරවාරයේදීම කළ නොහැකි දේ කිරීමට අපහසු බැව් ඔවුන්ට කියා දෙන්න.

රූපවාහිනිය සහ පරිගණකය වෙනුවෙන් යම් සීමාවක් පනවන්න.

පරිගණකය, රූපවාහිනිය දරුවන්ට තහනම් කලාපයක් කිරීමට වඩා ඒ වෙනුවෙන් යම් සීමාවන් පනවනන්. ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට දරුවන්ට ගැලපෙන වැඩ සටහන් තෝරා බේරා දී ඒ වැඩසටහන් හැකි නම් දෙමව්පියන් සමගින් නැරඹීම වඩාත් සාර්ථකයි.පරිගණකය වෙතින් දරුවාගේ අධයාපනයට බොහෝ ප්‍රෙයා්ජන ගත හැකි නිසා එයින් දරුවා ලබන වාසි ගැනත් කියා දෙන්න. එසේම අනවශ්‍ය අන්දමින් පරිගණකයට යොමු වුනොත් සිදු වෙන හානි ගැනත් ඔවුන්ගේ දැනීමේ තරමට කියා දීම ඉතාම වැදගත්.

ආත්ම විශ්වාසය ගොඩ නගන්න

දරුවන්ට නිතරම එපා..ඔයාට බැහැ කියන වචන වෙනුවට ශව් එය පුතාට කරන්න පුලුවන් යන අදහස හිතට ලබා දෙන්න. අනාගතයේදී සඳට යන වැඩසටහනේ සිටින ගගනගාමී සඳහන් කරන්නේ ඇගේ බාල කාලයේ පටන් තිබු එකම අදහස අනාගතයේදී ගගනගාමිනියක වීමයි. පළමු ශ්‍රේනියේ ගුරුතිමිය ඇගෙන් අනාගතයේදී කවුරු වීමට අදහස් කරනවාදැයි විමසූ විට ඇගේ පිලිතුර වී තිබුනේ ගගනගාමිනියක වීම බවයි. ඇය විසින් අදින ලද චිත්‍රයන සදේ සිටින මිනිස් එුවක් දැක ගුරුතුමිය මේ කවුද…? විමසා සිටි විට ඇගේ පිලිතුර වුනේ ‘‘ඒ මම “ යන්නයි. බාලකාලයේ පටන්ම ඇගේ හිතේ තිබුන සිහිනය 2034 වසරේදී සමහර විට (පොරොත්තු ලේඛනයේ සිටින අය අතරින් ඇයද එක් අයෙක් )තෝා ගතහොත් ඒ වෙනුවෙන් පන්නරය ලබා තිබුනේ බාලකාලයේ පටන්ම ඇගේ දෙමව්පියන් විසින් ගොඩ නගන ලද ආත්ම ශක්තිය නිසයි.

දරුවන් සමග ජීවත් වෙන්න

පවුලක් කැඩි විසිරී යෑම බොහෝ විට සිදු වෙන්නේ අඹු සැමියන්ගේ මතබේද හා ගැටුම් නිසයි. එය සාධාරණ කරමින් ඔවුන් කියන්නේ විදවීමට වඩා වෙන්වීම වඩාත් සුදුසු බවයි. වෙන්ව ජීවත්වීම, දික්කසාදය වැනි හේතු නිසා දරුවන් දෙමව්පියන් වෙන් වෙන්ව ජීවත්වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහ. එක්තඑා පවුල් ආරවුල් විසදන උපදේශන සභාවකදී මව්පියන්ගේ වෙන්වීමට දරණ උත්සාහය නිසා දැඩි කම්පනයට පත්ව සිටි 16 හැවිරිදි දියණියට උපදේශිකාව කියා සිටියේ ‘‘ඇයි දුවේ..තාත්තා නැති දරුවෝ කොච්චර ඉන්නවාද..? ඉතින් ඒ වගේ යාළුවෝ, අසල්වැසියන් ඔයා දන්නවානේ..ඒ අවස්ථාවේදී දැරිය කියා සිටියේ ඔව්..ගියසුමානෙත් මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් මියගියා. ඒ වුනත් ආන්ටි ඒ මැරිලානේ. මට එහෙමද තාත්තා /ස්වීමට එන්නේ නැති වුනාම…උපන්දිනයට තෑගි නැති වුනාම මම කොහොමද උත්තර දෙන්නේ..මැරිලා නම් හිත හදාගනන් වෙනවා. ඒත් මම….?

මතුපිටින් නොදුටුවත් දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට ඉතාම දැඩි අන්දමින් බලපාන මානසික ගැටුමක් බවට පත්ව තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

දරුවෙකු ලැබීමෙන් පසුවත් කාන්තා ඔබේ ලස්සන රැක ගන්න උනන්දු විය යුත්තේ ඇයි?

කාන්තාවක් විවාහයට පෙරාතුව ලස්සන රැක ගන්න දක්වන උනන්දුව දරුවා ලැබෙන්න සිටින විටත් රැක ගැනීමට බොහොම උනන්දුයි. ඊට හේතුව කුසේ සිටින දරු පැටියා රැක ගන්න ඒන කියන අති මහත් උදාර බලාපොරොත්තුව නිසයි.

  • අපේ ලස්සන බලන්න කවුද ඉන්නේ…

ඒත් මේ උනන්දුව දරුවා ලැබීමෙන් පසුව නොදැනීම හීන වෙනවා.බොහෝ දෙනා කියන්නේ දරුවාගේ වැඩට දවස ගෙවෙනවා මිසක අපේ හැඩ රුව ගැන හිතන්න දැන් වෙලාවක් නැති බවයි.

තවත් අය හිතන්නේ දැන් ඉතින් කසාද බැදලා දරු මල්ලෝ ලැබිලා ඉන්න අපි දිහා කවුරු බලන්නද කියලයි.ඒත් මේ මතවාද මත රැදී ඉන්නේ නැතුව අම්මාගේ ලස්සනයි බබාගේ වැඩ කටයුතුයි එකට ගලපා ගන්නේ කොහොමද…?

  • අහස උසට වැඩ

දරුවාගේ වැඩ අහස උසට කියලා අම්මා නොකා නොබී හිටියොත් ගැටළුව වඩාත් නරක අතට හැරෙන්න පුලුවනි.කිරි දෙන අම්මා කෙනෙකුට පෝෂණය අවශ්‍යයි.ආහාර ගැන උනන්දු නොවුනොත් දරුවාට කිරි පිලිබද ගැටළු ඇති වෙනවා. ඒ වගේම අම්මා දුර්වල වුනොත් සිරුරේ ඇති වෙන දුර්වලතාවය නිසා රෝගී වීමටත් වැඩි ඉඩ කඩක් තිබෙනවා.

  • අතට පයට උදව්

    ඒ වගේම සමහර අම්මලාට දරුවා ලැබුනාට පසුව නිවසේ අයගෙන් විහාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා දරුවා සමග ඇදටම වෙලා දරුවා ලගම ඇල වෙලා ඉනන්වා මිසික කිසිම ක්‍රියාශීලීත්වයක් නැහැ.අනේ ඉතින් කිරි දෙන අම්මානේ කියලා හොදට කෑම බීමත් ළගටම ලබා දෙනවා. ඉතින් අම්මත් හොඳට කාලා බීලා පමණටත් වඩා වැඩි විවේකයකින්් කාලය ගෙවනවා.මේ අක්‍රියශිලී ජීවිතය නිසා අම්මාට නොදැනීම කොලස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගාබාධයන් වැළඳෙන බව ඔවුන්ට අමතකයි. ඒ විතරක් නොවෙයි, පවුලේ අයටත් අමතක වෙලා ගිහින්. ඉතින් දරු පැටියා ලොකු මහත් වෙද්දී අම්මා ලෙඩෙක් වෙලා.

  • අධික තෙල්, පිෂ්ට ආහාරවලට

දරු ප්‍රසුතියෙන් පසුව අධික තෙල්, පිෂ්ට ආහාරවලට හඹා යෑම එතරම් සුදුසු නැහැ. මේ කාලයේදී තන්තු බහුල ආහාර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මලබද්ධ තත්වයෙන් අම්මා පීඩාවට පත් වෙන්න පුලුවනි. ජලය යහමින් පානය කිරීමත් ඉතාම වැදගත්. ජලය වෙනුවට කෘතිම පාන වර්ග බීලා අපි ඉතින් වතුර බිව්වේ නැතුවට බීම වර්ග බොනවානේ… කියලා සැනසෙන්න එපා. ඒවා ඔබ නොදැනීම අහිතකර විදිහට බලපාන්න පුලුවනි.මේවායේ අඩංගු රසකාරක , වර්ණ කාරක සහ අධික සීනි නිසා විවිධ රෝගාබාධයන්ට පත් වීමේ අවදානම ඉහලින්ම ඇති වෙනවා.

  • උදේ ආහාරය රජෙක් වගේ ගන්න

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අවවාදය අම්මාටත් අදාලයි. බොහොම අම්මලාට උදේ ආහරය මග ඇරෙනවා.ඊට හේතුව දරුවා නිදි අතරේ රෙදි සෝදා ගන්න, ගෙදර අතු ගාන්න, දවල්ට කන බොන දේ හදන්න වෙහෙසෙනවා මිසක උදේ ආහාරය ගැන නම් උනන්දුවක් නැහැ. ඒ වුනත් සේරටම පෙරාතුව කිරි දෙන අම්මා තමන්ගේ උදේ ආහාරය ලබා ගැනීම නම් අතපසු කිරීම එතරම් සුබ නැහැ.

  • පළතුරු පංගු

දිනකට පළතුරු පංගු කීපයක්වත් කිරි දෙන අම්මා ආහාරයට ගැනීම අවශයි. ගෙවෙත්තේ තිබෙන කෙසෙල්, පැපොල්, දොඩම් වැනි පළතුරු මේ වෙනුවෙන් වඩාත් හොදයි. හැබැයි දොඩම්, තැඹිලි වගේ පාන වර්ග හැකි තරම් උදේ වරුවේ පානය කරන්න.ස්නානය කළ දිනයකදී තැඹිලි වැනි සීතල පාන වර්ග ගැනීම අනතුරුදායකයි. මේවා ශීතරකණයේ තබා පානයත් සුදුසු නැහැ.ඒ  නිසා දරු ප්‍රසුතියෙන් පසුව අම්මා කෙනෙක් වුනාම කාලගුණ තත්වය ගැනත් අවදියෙන් සිටීම ඉතාම වැදගත්

ව්‍යායාම

දරුවාගේ වැඩත් සමග මම කොහොමද වයායාම කරන්නේ කිව්වත් ඒ වෙනුවෙනුත් කාලයක් වෙන් කර ගන්න. දරුවාගේ වැඩ කටයුතු සමග කෙටි දුර ඇවිදීම,අතුගෑම වැනි සරල ව්‍යායාම ගැනවත් උනන්දු වෙන්න එතරම් බාධාවක් නැහැ.

පිටස්තර උදවිය බලා සිටියදී ආහාර ගත්තාම උදරාබාධ ඇති වෙනවද?

ගමනක් බිමනක් යද්දී පුංචි පැටවුන්ට බඩගිනි ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒ තත්වය ඉතින් පොඩිත්තන්ට පමණක් නොවෙයි, වැඩිහිටියන්ටත් පොදුයි. හැබැයි මොනතරම් ගුණදායක වුනත් පොදු ප්‍රවාහනයක ගමන් ගනිද්දී බත් වගේ දේවල් අරගෙන කෑමත් අපහසුයි. ඒ නිසා අපි කවුරුත් පොදු ප්‍රවාහන සේවාවක ගමනක් යද්දී මුලින්ම කරන්නේ අසල තිබෙන බේකරියකින් අතරමගදී ආහාරයට පේස්ට්‍රියක් හෝ වෙනත් බේකරි ආහාරයක් මිළට ගන්නවා.

මෙහෙම අදහසක් ඉස්සර තිබුණා..

අතීතයේදී නම් දෙමව්පියන් අතරමගදී කිසිම දෙයක් කෑමට දුන්නේ නැහැ. ඒ අයගේ අදහස වුනේ පිටස්තර උදවිය බලා සිටියදී ආහාර ගත්තාම උදරාබාධ ඇති වෙන බවයි.අම්මලා මේ තත්වය හැඳින්වූයේ කෙළ ගැල්මක් විදිහටයි.අපි කන ආහාරය දිහා බලා සිටින වෙනත් අයට ඒ ගැන ආසාවක් ඇති වුනොත් බඩේ අජීර්ණ තත්වය ඇති වීමට ඉඩ තිබෙන බවයි

දැන් මේ ගැන විද්‍යාත්මකව තිබෙන තත්වය මෙහෙමයිපොදු ප්‍රවාහන සේවාවක ගමන් ගනිද්දී අපි හැම දෙනෙක්ම වැඩියෙන් ආහාරයට ගන්නේ බේකරි නිෂ්පාදනයි. බේකරි නිෂ්පාදන ආහාරයට ගැනීම සහ උදරාබාධ ඇති වීම අතර පවතින අන්තර් සම්බන්ධතාවය ගැන මේ අයගේ අවධානය යොමු වුණා.ඔවුන් පෙන්වා දෙන්නේ බේකරි ආහාරවලට බොහොම ඉක්මනින් සැල්මනැල්ලා වැනි බැක්ටීරියාවන් වර්ධනයට තිබෙන අවස්ථාව නිසා පාචන තත්වයට ගොදුරු වීමට වැඩි සම්භාව්‍යතාවයක් ඇති බවයි. ඔවුන් මේ අධ්‍යන වාර්තාව බ්‍රිටිෂ් හෙල්ත් ජර්නල් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තද සුවඳක් ඇති ඕනෑම ආහාරයක් දුම්රිය හෝ බස් රථයක් වැනි ප්‍රවාහනයකින් ගමන්ගනිද්දී ආහාරයට නොගන්න.  . එය සෙසු මගීන්ට නොගැලපෙන අතර ඔබ නැවතුම්පොළෙන් බැස ගිය පසු පවා සුවඳ දැනෙනු ඇත. බොහෝ උණුසුම් ආහාරවල ද ශක්තිමත් සුවඳ ඇති බව මතක තබා ගන්න.නූඩ්ල්ස්, පැස්ටා වැනි ආහාරවලින් වහනය වෙන සුවඳත් මේ අතරට ඇතුලත්.

පළතුරු දුන්නොත්…

පළතුරු ගැන නම් චෝදනාවක් නැහැ. ඒ වුනත් දොඩම්,නාරං වැනි පළතුරු ආහාරයෙන් පසුව එහි ලෙලි බිම දැමීම නිසා සිදු වෙන අපිරිසිදුතාවය ගැනත් මතකයේ තබා ගැනීම ඉතාම වැදගත්. අපි කෑවා…දරුවන්ට කන්න දුන්නා…එයින් එපිටට අපට මොකද කියලා හිතන දෙමව්පියෝ ඉන්නවා. කෙසෙල් ගෙඩිය කාලා කිසිම බියක් ලැජ්ජාවක් නැතුව පොත්ත එළියට දානවා. ඒ ගැන කිව්වොත් කියන්නේ ආ…ඕවා දිරනවානේ..ඒක ඇත්ත නමුත් අපට මෙය වැටෙන තැන ගැන ඉලක්කය අපි දන්නේ නැහැනේ..හදිසියේවත් කෙනෙක් ලිස්සා වැටුනොත් අපිත් එහි කොටස්කාරයෝ වෙනවා. ඒ නිසා ඉවත දමන දේවල් වෙනම කොටස් කර ගෙන ඇවිත් නගරයේ කසල බැහැර කරන තැනක් තිබුනොත් එතැනට එහෙම නැත්නම් නිවසටම ගෙනත් හෝ බැහැර කිරීම ඉතාම වැදගත්.

අතරමගට රටකජු එපා..

අපේ අම්මලා දරුවන්ට නිතරම සංචාරක වෙළෙන්දන් අරගෙන එන රටකජු අරගෙන දෙන්න කිසිම පැකිලීමක් නැහැ. රටකජු ගුණ බව ඇත්ත වුනත් බොහෝ විට ආසාත්මිකතාවයන් ඇති කරනවා. මේ තත්වය ඇතැම් විට මාරාන්තික වෙන්නත් පුළුවනි.

ඉස්සන් වඩේ වුනත් එහෙමයි. පුංචි දරුවන්ට මෙවැනි ආහාර අතරමගදී ලබා නොදීම ඉතාම වැදගත්.

මොනවද දෙන්නේ…

මස්, මාලු, බිත්තර අතරමගට කොහෙත්ම නම් සුදුසු නැහැ. අවදානම බොහොම වැඩියි. ඒ නිසා ගමනේ දුර අනුව ඊට පෙරාතුව නිවසේදී කුස පිරෙන යමක් ලබා දෙන්න. අතරමගට නම් බිස්කට් වගේ දෙයක් නම් වරදක් නැහැ. පාන් වුනත්  බිත්තර ,සැමන්, නැතුව සකස් කර ගන්න පුලුවන් නිසා අවදානම අඩුයි.

ඔන්න..ඉසස්රත් කෙළ ගැල්ම කියන්න ඇත්තේ ඔය වගේ ආහාර ආසාත්මිකතාවයන්ට වෙන්නැති.

නිර්මානශීලි දරුවෙකුගේ ලක්ෂණ

දරුවෙකුගේ නිර්මානශීලීත්වය දෙමව්පියන් විදිහට ඔබටම අත්දකින්න පුලුවනි. නමුත් සමහර දරුවන් නිර්මාශීලී වුනත් ඔවුන් ඒවා ප්‍රදර්ශනය කරන්නේ නැහැ. සමහර දරුවන් යාන්තමින් හිටවැටෙන වයසේ පටන්ම තමන්ගේ අපුරු නිර්මානශීලී හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. ඒ වග්ම දරුවාගේ නිර්මානශීලීත්වය ගැන ඔබට දරුවාගේ හැසිරීමෙන්ම යම් යම් ඉගි ලබා ගන්න පුලුවනි.

  • මට එය කළ හැකියි

නිර්මානශීලී දරුවාගේ ආත්ම ශක්තිය ඉතාම ප්‍රබලයි.පුංචි කාලයේ පටන්ම නිර්මානශීලී දරුවාගේ ආත්ම ශක්තිය ප්‍රබලයි. සමහර විට ඔබට දරුවාගේ මේ වගේ වචන ඇහෙන්න පුලුවනි. බබාට පුලුවනි..බබාට දෙන්න…මේ අන්දමින් දරුවාගෙන් ප්‍රකාශිත වචන මගින් පෙනෙන්නේ ඔහුගේ ආත්ම ශක්තියයි. ඒ නිසා දරුවා මට පුලුවන් කියන විටෙකදී නෑ නෑ ඒක ඔයාට කරන්න දෙන්න බැහැ කියලා දරුවාගේ හැකියාවන් නිශේධනය කරන්නඑපා.යම් විදිහකින් එය දරුවාට අවදානම් නම් ඒ අවදානම ගැනත් පැහැදිලි කර දෙන්න.

  • චරිත ලක්ෂණ සෘජුයි

නිර්මානශීලී දරුවාගේ චරිත ලක්ෂණ ඉතාම සෘජුයි. චංචල ගති පැවැතුම් දකින්න නැහැ. සාමාන්‍යෙයන්   දරුවන්ගේ ගති ගුණ විටින් විට වෙනස් වෙනවා නම් එයින් පෙනේනේ ඔවුන්ගේ යම් දුර්වලතාවයක්. නමුත් නිර්මානශීලී දරුවාගේ චරිත ලක්ෂණ බොහොම සෘජුයි. ඔවුන්ගේ ගති පැවැතුම් අතර දකින්න ලැබෙන්නේ සෘජු බවක් මිසක විටින් විට වෙනස්වන දුර්වල ගති පැවැතුම් නොවෙයි.

  • කීකරුයි

දරුවන්ගේ අකීකරුකම් ගැන අපේ දෙමව්පියන් නිතරම චෝදනා කරනවා. එය ඇත්ත. ඉන්න…කියන තැන ඒ විදිහටම නොසිටියත් කීකරු දරුවන් දෙමව්පියන්ගේ බහට අවනත වෙනවා. ඒ නිසා ඔවුන්ගේ නොමග යෑම් බොහෝ දුරට අඩුයි. මේ කීකරුකම නිර්මානශීලීත්වයේ ලක්ෂණයක්.ඔබ මේ විදිහට හිතන්න. අද මත්ද්‍රව්‍ය පිලිබඳව පාසල් දරුවන් ගොදුරුවීම ගැන ආන්දෝලනයෙන් අප කතා කරනවා. ඒත් මේ මත්ද්‍රව්‍ය අතරේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙන දරුවන් වගේම ඒ අතර එවන් දුරාචාරවලට ගොදුරු නොවන දරුවන්ද සිටිනවා. එහෙමනම් පිරිසක් මතට යොමු වෙද්දී පිරිසක් මතට යොමු නොවන්නේ ඇයි…? මේ හැම දරුවෙක් වෙනුවෙන්ම දෙමව්පියන් මග නොමග කියා දී තිබෙනවා. ඒත් එයින් නිවරැදි මග තේරුම් ගැනීමේ හැකියාව නිර්මානශීලී දරුවා තුල තිබෙනවා. ඒ නිසා ඔවුන් දෙමව්පියන් සහ ගුරුවරු වැඩිහිටි බසට අවනතව කීකරුව හැඩ ගැසී මග නොමග ඉතාම හොදින් බේරා ගන්නවා.

  • මෘදුයි

දරුවන් මල් වගෙයි. බොහොම මෘදුයි ලසස්නයි. ඒ වුනත් දරුවාගේ බාහිර පෙනුමට වඩා හිතේ තිබෙන මෘදු ගති ගුණ සමාජය විසින්ම අගය කරනවා. දරුවන් මෙලොව උපත ලබන්නේ හිස් පුවරුවක් වගේ පිරිසිදු හිතකින්. ඔවුන්ගේ හදවත පිරිසිදුව මලක් වගේ පවත්වා ගැනීම වගේම දුර්දාන්ත ගති පැවැතුම්වලින් සන්නද්ධ වීම සිදු තුළ මෘදු බව වගා කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. බාල කාලයේ පටන්ම දරුවාට දක්වන ආදරය, සෙනහස සහ රැකවරණය ඔවුන්ගේ මෘදු පැවැතුම් වගාවට වගේම නිර්මානශීලී හැකියාවන් විකසිත කිරීමටත් හේතු වෙනවා.

  • විනය ගරුකයි

නිර්මානශීලී දරුවන් බොහොම විනයගරුකයි. ඔවුන් විනය ගැන සැලකිලිමත්. ඒ වගේම තවත් එකක් මතක තබා ගත යුතුයි. දරුවන්ගේ ලෝකයේ මුලින්ම දැන හඳුනන චරිත වන්නේ තමන්ගේ නිවසයි. දරුවා විනය ඉගෙන ගන්නේ නිවසෙන්. ඒ නිසාම වැඩිහිටියන්ද විනය ගැන වැඩි සැලකිල්ලලක් දරුවා ඉදිරියේ දැක්වීම ඉතාම වැදගත්. නිර්මානශීලී දරුවන් වෙතින් විනයගරුක බව නිතැතින්ම ප්‍රදර්ශනය වෙනවා.

  • නිහතමානියි

නිර්මානශීලී දරුවන් බොහොම නිහතමානියි. එය හරියට බොල් කරල් උඩ බලාගෙන සිටියදී පැසුණ වී කරල් බිමට හැරෙන්නා වගෙයි. තමන්ගේ හැකියාවන් ගැන අහංකාර වීමක් ඔවුන් තුළ නැහැ. වචනයට වුනත් කියන්නේ නිහමානී ආඩම්බරයක් පමණයි. ඒ නිහතමානී ආඩම්බරය ඇති වෙන්නේ තමන් ගැන තිබෙන විශ්වාසය නිසා මිසක පුහු ආඩම්බරයක් නොවෙයි. එබේ දරුවාගේ නිර්මාශීලී හැකියාවන් සමග නිහතමානී බවත් නොදැනීම ගොඩ නැගේවි.

  • සතුටින් සිටී

සමහර දරුවන් දෙස බලන විට ඔවුන්ගේ මුහුණේ කිසිම සතුටක් දකින්න නැති වේවි. ඒ වගේම දෙමව්පියන් වුනත් ඔවුන්ට මේ විදිහට චෝදනවා කරාවි. මොකද මේ…දැක්කොත් මූණ එල්ලා ගෙන..ඇඩියාව…..දරුවන් වෙනුවෙන් මේ විදිහට චෝදනා නග දෙමව්පියන් ගැන ඔබටත් ඇසි ඇති. ඒ වුනත් නිර්මානශීලී දරුවන් බොහාම සතුටින් සිටිනවා.ඔවුන්ගේ ජීවිතය දවසින් දවස අලුත්..එහෙමනම් ඔබේ දරුවා වෙතිනුත් මේ වගේ ලක්ෂණ ප්‍රදර්ශනය වෙන අන්දමින් ඔවුන්ට ජීවත්වීමට ඇවැසි පරිසරය ගොඩ නැගීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

හෝම්වර්ක් එපා කිව්වටම බැහැ

දරුවන්ට පාසල් කාලයෙන් පසුව නිවසේදී ඔවුන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතාවයන්  වෙනුවෙන් ලබා දෙන ‘‘ හෝම් වර්ක් “ ගැන අද ලෝකය පුරා විවිධ කතිකාවත් ගොඩ නැගී තිබෙනවා. පින්ලන්තය වැනි රටවල් විසින් හෝම්වර්ක් ලබා දීම තර ප්‍රතික්ෂෙප කරද්දී දරුවන් වෙනුවෙන් හෝම්වර්ක් ලබා දීම තවමත් තරයේම තහනම් වී නැහැ. ඒ නිසා හෝම්වර්ක් ලබා දීම තවම පර්යේෂණ මට්ටමේ සිදු වෙනවා.

මේ අතර පසුගිය දා එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනයක් සිදු වුණා. එම අධ්‍යනය වෙනුවෙන් ගැහැණු දරුවන් 514 ක් සහ පිරිමි දරුවන් 406 දෙනෙක් සහභාගී වුණා. අධ්‍යනය අවසානයේදී මෙම පර්යේෂකයන්  විසින් හදුනා ගත් අන්දමට මෙහි වරද තිබෙන්නේ ‘‘ හෝම්වර්ක් “ ලබා දීම නොව ඒවා කිරීමේදී දරුවන්ට තනිබර දැරීමට සිදු වීමයි.

ඒ අනුව මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ දරුවන් හෝම්වරක් කරන විට දෙමව්පියන් හෝ පවුලේ වැඩිහිටියෙක් එසේත් නැත්නම් දරුවාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ සහයෝගය ලබා දීම වැදගත් බවයි. ඒ අන්දමින් හෝම්වර්ක් කරන අතරවාරයේදී ලැබෙන සහයෝගය නිසා ලැබෙන වාසි කීපයක් ගැන මේ පර්යේෂණය මගින් පෙන්වා දෙනවා.

සතුට.පුංචි හිතට බොහොම සුලු දෙයකින් සතුට ලැබෙනවා. ඒ ඔවුන්ගේ හිත් අහිංසක නිසයි. හෝම්වර්ක් කරන විට තමා අසල කවුරුන් හෝ සිටිනවා නම් එය දරුවාගේ හිතට සතුුට ගෙන දෙන සිදුවීමක් බැව් මේ පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.

ශක්තිය.තමන් හුදෙකලාව හෝම්වර්ක් කරන විට නැති හයියක් කවුරුන් හෝ ඔවුන් අසල සිටියදී ලැබෙන බැව් මේ අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.ඒ තත්වය ඉතින් පොඩ්ඩන්ට විතරක් නොවෙයි සාමාන්‍ය අපි කාටත් පොදු තත්වයක්.

අවබෝධය-දරුවන් හෝම්වර්ක් කරන විට ලැබෙන සහයෝගය නිසා එවුන්ට යම් අවබෝධයකින් මේ කටයුත්ත කිරීමට හැකියාව ලැබෙන බැව් වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අද්‍යනයට අනුව පෙන්වා දෙනවා. එය ඇත්ත. දරුවාට යම් පැවරුමක් ලබා දුන්නොත් මග පෙන්වන අයෙකු ඔවුන් අසල සිටිනවා නම් තමාට පාසලෙන් නියම කරන ලද නිවසේදී සිදු කිරීමට ලබා දුන් පැවරුම යම් අවබෝධයකින් කිරීමේ හැකියාව ලැබෙනවා.

නිවරැදිබව– පුංචි අයට හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් නැහැ.ඒ නිසා තනිපංගලමේ හෝම්වර්ක් කරද්දී වැරදීම් බොහෝ සේ වෙන්න පුලුවනි. නමුත් තමා අසල වැඩිහියෙක් සිටිනවා නම් ඔවුන්ගේ උදව්ව නිසා වැරදීම් අවම වීමට පුලුවනි. පුංචි අය එකම දේ නැවත නැවත කරන්න අදි මදි කරනවා. ඒ නිසා ඔවුන් කරන කියන දේ ගැන වැඩිහිටියන් අවදානයකින් සිටිනවා නම් බොහොම අගෙයි.

  • හැබැයි මේ කියන්නේ දරුවාගේ හෝම්වර්ක් වැඩිහිටියන් කරන්න ඕන කියනවා නොවෙයි…..

සමහර වැඩිහිටියන් තමන්ගේ පහසුවට දරුවන්ට මේ විදිහට කියනවා ඔබටත් ඇහිලා ඇති.මේ ඕක තියන්න..මං කරල දෙන්නම් .ඕක වරද්දා ගන්නවාට වඩා මං කරලා දෙන එක ලේසියි.

ඒත් මෙතැනදී ඔබේ තීරණය වැරදියි. දරුවන්ගේ හෝම්වර්ක් ඔවුන්ට කර ගැනීමට ඉඩ දෙන්න. හැබැයි  ඔබ සහයෝගය දෙන්න. මේ ගැන පුංචි උදාහරණයක් කිව්වොත්..ඔබ සරුංගලයක් හදලා එය උඩට නැගුවාට පසුව සරුංගලය නිදහසේ අහසේ සැරිසරනවා. හැබැයි යම් විදිහකින් සරුංගලය පැටලෙන්න ගියොත් ඔබ ඒ තත්වයේදී පැටළුම ඇරලා නැවත නිවරැදි මාර්ගයට ගන්නවා.

දරුවන් ගැනත් මේ සංකල්පය බොහාම සාධාරණයි. ඔබ දරුවාට නිවරැදිව ඔවුන්ගේ හෝම්වර්ක් කර ගැනීමට ඉඩ දෙන්න. ඒත් යම් තැනකදී ඔවුන්ට වරදින බැව් දකින විට නිවරැදි කරන්න..එවිට දරුවා හෝම්වර්ක් කිරීම සමග යම් දැණුවත් වීමක් ලබා ගනු ඇත.ඒ නිසා හෝම්වර්ක් එපා කියන උද්ඝෝෂණය නැගුනත් දරුවාට පාසලෙන් යම් පැවරූ කොටසක් පසුදිනට හෝ අදාල නියමිත දිනට එය අසම්පූර්ණව පාසලට යෑමට නොහැකියි. ඒ වුනත් ඔවුන්ගේ සහයෝගයට ඉදිරිපත් වෙන කෙනෙකු නැත්නම් දරුවා ඉතාම අසරණ වෙනවා. ඒ නිසා හෝම්වර්ක් එපා කියන රැල්ල ලෝකය පුරා නැගුනත් ඔබේ දරුවා හෝම්වර්ක් කරන විටදී ඔවුන් සමීපයේ සිට උදව් ලබා දීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

හිමිදිරි උදෑසන මිහිරි කරමු

උදෑසන ගැන අතීතයේ පටන් තිබුනේ බොහොම පූජණීය සංකල්පයක්. දහසක් බුදුන් බුදුවන උදෑසන කියලා බොහෝ දෙනා උදයට ගැන වැඩි වටිනාකමක් ලබා දුන්නා. ඒ වගේම උදෑසනම හිත රිදුනොත් හෝ කිසියම් මානසික රිදීමක් ඇති වුනොත් එය දවසටම බලපාන බැව් ඔවුන් පිලිගෙන තිබුණා. සමහර විට ඔබට මේ වගේ දෙබස් වැඩිහිටියන්ගෙන් ඇහිලා ඇති.

අද උදේ කවුද මන්දා දැක්කේ…එයින් අදහස් වෙන්නේ උදයෙන්ම ඔවුන්ගේ හිතේ යම් අකමැති දෙයක් සිදු වී තිබෙන බවයි. මේ නිසා නිතරම උදය සුබවාදී විදිහට සැලසුම් කර ගැනීමට ඔවුන් උනන්දු වුනා. උදයෙන්ම අවදි වෙලා වතුර පිරන තැනක්, එහෙම නැත්නම් මල් ගොන්නක් දැකීම දවසම සුබාවාදීව ගෙවන්න හැකියාව ලැබෙන බවට විශ්වාසයන්ද ගොඩ නැගී තිබුනා.

  • ඒත් අපි උදේ පටන් ගන්නේ කොහොමද…?

අම්මා උදෙන්ම අවදිවෙලා මුලුතැන්ගෙට ගියත් ඇය තනියම කටයුතු කරනවා. ඒ ගැන නම් එතරම් ගැටුමක් නැහැ. මොකද අම්මලා බොහොම සතුටින් තමන්ගේ  යුතුකමක් විදිහට ඉවුම් පිහුම් කරනවා. සමහර විට අම්මාගේ ආහාර තරම් වෙන කිසිම තැනකින් ආහාර ගත්තාට ඒ රසය නොලැබෙන බව බොහෝ දෙනා කියනවා ඔබ අසා ඇති.අම්මාගෙන් බත් කටක් කෑවාම බඩපිරෙන බවත් අපි කවුරුත් දන්නවා.

ඒ වුනත්….අද හැම අම්මා කෙනෙක්ම තවත් රාජකාරියක් සමග සම්බන්ධයි. ඇය රතු ඉරට පෙරාතුව කන්තෝරුවට යා යුතුයි. ඒ නිසා වගකීම් රැසයි. ඒ අතරේ තමන්ගේ යුතුකම්ද ඉටු විය යුතුයි. ඉතිං මේ කටයුතු නිසා අම්මාට වුනත් හිතට පුංචි කේන්තියක් ඇති වෙනවා. අනේ..ටිකක් උදව් වෙන්නකෝ…මම තනියම මේ ඔක්කොම කරන්නේ..මටත් වෙලා යනවා. අම්මාගේ පුංචි ඉල්ලීමක්. ඉතින් මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වලා කවුරු හෝ කෙනෙක් උදව්වට මුලුතැන්ගෙට ආවොත් නම් අම්මාට ටිකක් සහනයක්. හැබැයි නාවොත්…? මුවින් නොදොඩා වැඩ ටික කරාවි. සමහර විට පවුලේ හැම දෙනාටම බැන අඩගහාවි. මේ ප්‍රතිචාරවලින් අම්මා හිතේ ආවේග පිට කළත් ඇය විසින් මේ සුන්දර උදෑසන නිවසම සෘණ සිතුවිලි වලින් පුරවලා.

  • දැන් ඔන්න තාත්තාගේ වාරේ..

අම්මා කන්කරච්චලයක් නැතුව කියවද්දී තාත්තා කියාවි..මේ මට ඕන බතක් නැහැ. ඔය බතක් මාලුවක් උයන්න ඔය තරම් කෑගහන්නේ..හරියට ගමකට උයනවා වගේ..මම කැන්ටිමෙන් කන්නම්. තියාගන්න ඔයාගේ බත..තාත්තා ඒ විදිහට ආවේග පිට කරද්දී නැවතත් නිවස සෘණ සිතුවිලි වලින්ම පිරෙනවා. අම්මාගේ හිතටත් පුදුම වේදනාවක් දැනෙනවා.

  • ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද..? මාත් රස්සාවක් කරන ගෑනියක් කියලා..

අම්මාගේ හිතේ ආත්මානුකම්පාවෙන් පිරෙනවා. තවත් සෘන සිතුවිලි නිවසේම අයගෙන් පිටවෙලා නිවසම පිරෙනවා.පොඩි අයගේ යුද්ධයත් පටන් ගන්නවා. අම්මේ…මගේ මේස් එක කෝ…මගේ ගවුම අයන් කරලා දෙන්නකෝ…කෝ බත් එක මට වෙලා යනවා…එක එක්කෙනාගේ එක එක පැමිණිලි. වතුර ගලන්නේ මිටි තැනින්නේ..අම්මා , තාත්තා දෙනාන්ම එකතු වෙලා ඔවුන්ගේ  ආවේග පොඩිවුන් පිටින් යවනවා. සමහර විට පාරක් දෙකක් ගහන්නත් පුලුවනි. ඉතින් දරුවෝ අඩ අඬා ගෙදරින් පිටවෙනවා.පුංචි හිතෙන් පිටවෙන්නෙත් සෘණ සිතුවිලි .හැමදෙනාගේ හිතේ තරහ, පසුතැවිල්ල, ආත්මානුකම්පාව…උදය පටන්ගන්නේ මේ විදිහට ඉතාම අප්‍රසන්න අන්දමින්…

  • එහෙම නම් ලස්සන උදෑසනක් අපිට පටන් ගන්න බැරිද…?

පුලුවනි…බොහොම පහසුයි. උදයට කරන්න තියෙන වැඩකටයුතුවලින් හැකි තරම් පෙරදා රාත්‍රිෙය් සූදානම් කරන්න පුලුවනි. එවිට පසුදා උදය එතරම් බරක් වෙන්නේ නැහැ.

පුංචි පුංචි උදව් කරන්න…අම්මාට පුංචි අයගෙන් වුනත් පුංචිවට හෝ උදව් ලැබෙනවා නම් එය ඇගේ හිතට හයියක්. තනියම බර දරාගෙන් ඉන්නවාට වඩා බෙදා ගෙන වැඩ කිරීම පහසුයි. සමහර විට අම්මා වැඩ බෙදන එකකුත් නැහැ. ඒ වුනත් කවුරුන් හෝ සහයට සිටිනවානේ කියන සැනසිල්ල ඇගේ හිතේ ඇති වෙනවා.

තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුලුවනිනේ..දරුවන්ගේ වැඩ හැකිතරම් ඔවුන්ටම පවරන්න. අම්මා හැම දේම දරණ මහපොළව වගේ කියන්නා සේම ඇය දරුවන්ගේ බර පමණට වඩා කරට ගත යුතු නැහැ. තමන්ගේ සපත්තු මේස්, පොත් පත් පිලිවෙලට තබා ගැනීමට දරුවන් උනන්දු කරන්න. ඒවා අම්මාගෙන් විමසනවාට වඩා පෙරදා හෝ ඒවා සැලසුමකින් තබන්නට ඔවුන්ට උපදෙස් දෙන්න.මේ විදිහට උදය සැලසුම් වුනොත් හැම දෙනාටම බොහොම සතුටින් නිවසෙන් පිටව යන්නට පුලුවනි.

වැස්සෙන් පස්සේ මොකද කරන්නේ…

යාන්තම් වැස්ස ඉවරයි. ඒත් දෙමව්පියන්ට නම් සැනසුම් සුසුමක් හෙලනන් බැහැ. දැන් මේ අයට වැඩ පටන් ගන්න වෙනවා…

වැස්සෙන් පසුව අපි කාගේත් අවධානය යොමු වෙන්නේ ඩෙංගු අවදානමට වුනත් ඒ හා සමානව අපේ පරෙස්සම ගැන සැලකිය යුතු තවත් විවිධ පැති තිබෙනවා. මීඋණ, අතීසාරය, පාචනය වැනි රෝග වගේම විවිධ  අන්දමේ උදරාබාධයන් සමේ ආසාදනයන්ටත් ගොදුරු වීමේ අවදානම ඉතාම ඉහලින් මේ කාලයේදී ඇති වෙන්න පුලුවනි.ඒ ගැන බොහෝ විට අප නොතකා සිටින නිසා නොදැනීම යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ පවුලේ සෞඛ්‍යාරක්ෂිත බව  ගැන සැලකිලිමත් වෙනවා නම් මේ ගැනත් හිතන්න.

  • වැස්සෙන් පසුව ජල මූලාශ්‍ර බොහොම අපවිත්‍රයි. ඒ විතරක් නොවෙයි. විවිධ රෝගකාරකයන් ජලය සමග මිශ්‍ර වෙලා තිබෙන්න පුලුවනි. ඒ නිසා මතක ඇතුවම උනුකළ නිවා ගත් ජලය පානය කිරීමට මතක තබා ගන්න.
  • සමහර විට ඔබ පානීය ජලය ගැන වැඩි උනන්දුවක් දැක්වුවත් බීම වර්ග සෑදීමේදී සහ ගෙදරදොර ඉවුම් පිහුම් කටයුතුවලදී නම් උනු කළ ජලය ගැ එතරම් තැකීමක් නොකරනන් පුලුවනි. සමහර විට ඔබට මෙහෙම හිතෙන්න පුලුවනි. අපි උයන විට උණුසුම් වෙන නිසා විෂබීජ මැරෙන්න පුලුවනිනේ…ඒත් නටන ජලයේ උණුකර ගත් ජලය යොදා ගැනීම වඩාත් ආරක්ෂිතයි.
  • මේ දවස්වල එළවලු ,පලා වර්ග පිසිනවා නම් හොදින් සෝදා ගන්න. ඒවා ගලන ජලයෙන් සෝදන්න. විශේෂයෙන් ගොටුකොළ, මුකුනුවැන්න වැනි බිම දිගේ යාන් වෙන පලා වර්ග වැසි ජලයේ යටවී තිබීම නිසා අපවිත්‍ර වී තිබෙන්න පුලුවනි. නමුත් මේ කාලයේදී කතුරුමුරංගා වගේ පලා වර්ග ගැන නම් එතරම් චෝදනා ගොණු වී නැහැ.එකම වතුරෙන් සෝදන්නඑපා. ඒ වගේම අමුවෙන් එළවලු ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ.පළතුරු වුනත් දරුවන්ට දැක්ක ගමන් කටේ දාගන්න අවසර දෙන්න එපා. ඒවා සෝදා ආහාරයට ගත යුතු බවට දරුවන් දැණුවත් කරන්න.
  • ආහාර පිසින විටත් හොදින් පිසින්න. බාගෙට තම්බා ගැනීම ටික දිනකට සීමා කරන්න. පිටස්තර තැන් වලිනුත් ආහාර ගැනීම මේ කාලයේදී නම් නොකරන තරමටම ගුණයි.
  • ආහාර වලට මැස්සන් වැසීමටත් ඉඩ තියන්න එපා. මේ දිනවල මැස්සන් වැඩියෙන් සැරිසරනවා. ඒ අය එන්නේ නිකම්ම නොවෙයි, රෝගකාරකත් අරගෙන නිසා ටිකක් පරිස්සම් වෙන්න.
  • වත්තේ පිටියේ ළං තිබෙනවා නම් පිටාර ගලා ගෙන ආ ජලයෙන් ළිඳ අපිරිසිදු වී තිබෙන්න පුලුවනි. ඒ නිසා ළිඳ ඉසීම හෝ ක්ලෝරින් යොදා ගෙන පිරිසිදු කිරීම ඉතාම වැදගත්. එහෙම නැතුව වතුර බැස ගියාට පසුව ළිං ජලය පානය කිරීම ලෙඩ රෝග වෙනුවෙන් වූ අහිතකර බලපෑමකට ඔබ නොදැනීම හේතු වෙන්න පුලුවනි.පොළවේ වතුර බැස ගියාම තැන තැන වතුර රැදී තිබෙන්න පුලුවන්. ඒවා ඩෙංගු මදුරුවාට තිඹිරි ගෙය සදන නිසා වහාම මේ වතුර රැදුන තැන්වලින් වතුර ඉවත් කරන්න.
  • වැස්සට ගසා ගෙන විත් රැදුන ප්ලාස්ටික්, පොලිතින් නිසා අපිරිසිදුව තිබෙන පරිසරයෙන් ඒවා නිසි පරිදි බැහැර කරන්න. මේවා රැදී තිබීම නිසා ඔබේ වටපිටාව අවලස්සන වෙනවා විතරක් නොවෙයි, ඒවායේ රැඳෙන වතුරේ ඩෙංගු මදුරුවා බිත්තර දාන්නත් ඉඩ තිබෙනවා.මේ විදිහට බැලුවාම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ලොකු වගකීමක් තිබෙනවා…

 

අපි නටමු..ගී කියමු..

අද ගෝලීය වශයෙන්  කතා බහට පත් ව ඇති මාතෘකාවක් විදිහට තරබාරුව, මානසික පීඩනය වැනි රෝගාබාධ තත්වයන් මිනිස් ජීවිතයේ නීරෝගීතාවයට දැඩි බලපෑම් ඇති කර තිබෙනවා.. බෝනොවන රෝග කාණ්ඩයට අයත් මෙම රෝග තත්වයන් නිසා ඇති විය හැකි අවාසනාවන්ත සිදුවීම් ගැන තොරතුරුත් අපි නොදන්නවා නොවෙයි. දියවැඩියාව, හදවත්රෝග, මානසික අවපීඩනය වැනි තත්වයන් තරබාරුව සමග අත්වැල් බැද ගන්නවා.1975 වසරේ පටන් ලෝකයේ තරබාරු වීමේ අවදානම තුන් ගුණයකින් වැඩිවෙමින් පවතිනවා.2016 වසරේ එය මිලියන 650 ක්.ඒ වගේම මිලියන 264 ක් දෙනා කුමන හෝ මානසික සංකා තත්වයකින් පීඩා විදිනවා.

තරබාරුව පාලනයට නම් අපේ ජීවන පුරුදු වෙනස් කර ගත යුතුයි. ආහාර රටාව වගේම ව්‍යායාම ඉතා වැදගත්. ආහාර නම් අපට පාලනය කර ගන්න පුලුවන්.. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන අන්දමට තමන්ගේ නිරෝගිතාවය පවත්වා ගැනීමට නම් වැඩිහිටියෙක් විසින් සතියකට විනාඩි 300 ක් වත් ව්‍යායාමයන්හි නිරත විය යුතු බවයි. ඒත් බොහෝ දෙනෙක් කියන්නේ ව්‍යායාම කරන්න අපට ඉතින් වේලාවක් නැහැ. ඇවිදින්න යන්න තැනක් නැහැ ඔන්න ඒ වගේ නිදහස කරුණු කියන අයටයි මේ….

තරබාරුව වගේම මානසික අවපීඩන තත්වයට ගැලපෙන මේ ව්‍යායාමය ඔබට අපූරු ආරංචියක් වේවි. හාවර්ඩ් සරසවිය මගින් පවත්වන ලද මේ අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ නර්තනයේ යෙදීම ඉතාම හොද ව්‍යායාමයක් බවයි.

ඇත්ත නේද….?  නර්තනයේ යෙදෙන විට අපුරු රිද්මයක් ගොඩ නැගෙනවා. ඒ රිද්මයට අනුව සිරුර චලනය වීමකුත් ඇති වෙනවා. මේ නිසා පර්යේෂකයන් සඳහන් කරන්නේ නර්තනය මොළය සුසර කිරීමක් බවයි.

ඇවිදිම, ව්‍යායාම කිරීම වැනි වචන සමහර අයට බොහොම ගොරහැඩියි. ඒ වෙනුවෙන් වෙහෙසීම ටිකක් අපහසු වගේ හිතෙන්න පුලුවන්. ඒත් මිහිරි සංගීතයක් අනුව පවුලේ දුව, පුතා එහෙම නැත්නම් තමන්ගේ සහකාරිය සමග නිවසේදීම නර්තනයක යෙදෙන්න නම් අපහසුවක් නැහැ. නර්තනයේ යෙදීමෙනුත් සතියකදී ව්‍යායාමවල යෙදීමෙන් ලැබෙන ප්‍රෙයා්ජන උපයා ගන්න පුලුවනි.

  • නර්තනයේ යෙදීමේ වාසි

නර්තනයේ යෙදෙන්නේ ඔබේ හදවතේ ආදර්ණීය බන්ධනයක් ඇති පුද්ගලයෙක් සමගයි. ඒ වගේම යම් රිද්මානුකූල බවට ගැලපෙන සංගීතයකුත් තිබෙන නිසා මොළය සුසර වෙනවා.

  • චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා

නර්තනයේ යෙදෙන විට යම් අවදානයක් තිබෙන්න ඕන. තාලයට, රටාවකට ,  එහෙම නැත්නම් සංගීතයට අනුගත විය යුතු නිසා සිතෙ යම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. කොටින්ම අවධානයකින් කටයුතු කරනවා.

  • හදවත සහ මොළයට ව්‍යායාම ලැබෙනවා.

ව්‍යායාම කිරීමේදී ශක්තිය දහනය වීම වගේම නර්තනයේ යෙදීම නිසාත් ශක්තිය වැය වෙනවා.ඒ වගේම මෙය සතුටින් කරන කටයුත්තක් නිසා මොළයෙන් සතුටු හෝර්මෝන නිදහස් වෙනවා ඒ තත්වය මත

මානසික සතුට ඇති වෙනවා. මානසිකව තිබෙන වෙහෙසකර තත්වය දුරු වෙනවා. මානසිකව ඇති වෙන නීරෝගීතාවය නිසා ඔබ මනසින් නිරෝගියි.

ඒ නිසාම විශාදය,ඩිමෙන්ෂියාව සහ අල්සයිමර් වැනි වයසත් සමග ඇති වෙන රෝග තත්වයන්ගෙන් නිදහස් වීමට හැකියාව ලැබෙනවා.

depression hkqfjka හැදින්වෙන මානසික රෝගී ත්තවයේදී මොළයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රතිශතය සහ ග්ලුකෝස් පරිවෘතත්ීය ක්‍රියාවලියේ අඩු පාඩු ඇති වෙනවා.ඇගට කිසිම ශක්තියක් නැහැ.හිත කඩා වැටිලා වගේ සිතුවිලි, දුක, කනස්සලල්, ජීවිතය පිලිබඳ බලාපාරොත්තු නැතී වීම වැනි මානසික තත්වයන් ඇති වෙන්නේ මොළයේ මෙම රසායනික අසමතුලිතතාවය නිසයි..

ඩිමෙන්ෂියා රෝග තත්වය ඇති වෙන්නෙත් කොලස්ටරෝල් තත්වය නිසා රුධිරගතනාල අවහිර වීමෙන්. කොලස්ටරෝල් තත්වයේ රෝගීන්ගෙන් 25% ක් පමණ දෙනා මේ තත්වයට පත් වෙනවා. හැබැයි මේ රෝග තත්වය පාලනය කරන්න පහසුවෙන්ම පුලුවනි. ඒ නිසා නර්තනයේ යෙදීම මේ රෝග තත්වයේ ගොදුරක් වීමට කලින්ම පටන් ගන්නපුලුවනි.

ශාරිරිකව ලැබෙන වාසි

ඔබ ඇතැම් අවස්ථාවන්හිදී දානමය හෝ වෙනත් සමාජ සත්කාර වෙනුවෙන් වැඩිහිටි නිවාසයකට ගියොත් එහිදී වැඩිහිටියන් විසින් නර්තනයේ යෙදෙන අවස්ථාවන් දැක ඇති. ඒ වනුවෙන් අත්දැකීම් ඔබටත් හොදින්ම තිබෙන්න පුලුවන්.

ඉතින් නිවසේ විවේකීව සිටින දවසක පවුලේ අය සමග නර්තන සැසියක් වෙනුවෙන් කාලයක් වෙන් කර ගන්න.දූදරුවන්ට වගේම නිවසේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මෙය ඉතා හොද අවස්ථාවක් වේවි. එයින් හාරිරකව ලැබෙන වයායාමයන්ට අමතරව මානසිකවත් බොහොම පළ ප්‍රෙයා්ජන ලබා ගත හැකියි.

මානසික සුවතාවය ඇති දරුවෙක්…

අද දරුවා හෙට ලෝකයේ හිමිකරුවා බව අමුතුවෙන් කිව යුතු සිද්ධාන්තයක් නොවෙයි. දරුවා ඒ තරමටම වැදගත් නම් අද වැඩිහිටින් විසින් දරුවාගේ ශාරිරික සහ මානසික සුවතාවය ගැන වැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්.ශාරිරික සෙ!ඛ්‍ය ගැන එතරම් ගැටලුවක් අද නොමැති තත්වයක් පවතින්නේ බොහෝ රෝගාබාධයන් ගැන වැඩිහිටි පරම්පරාවට ලබා දී තිබෙන දැණුවත්බව නිසයි. ඒත් මේ ශාරිරික සෞඛ්‍යයට සමගාමී ලෙසින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්වය දෙමව්පියන් දක්වන අවධානය ප්‍රමාණවත්ද…?

තරුණ දරුවන්ගේ මරණ අතර අද මුල් තැනට ගැනෙන්නේ මාර්ග අනතුරු. ඒ අතර දෙවැනි තැනට ගැනෙන්නේ සිය දිවි හානි කර ගැනීම බව කනගාටුවෙන් වුනත් සදහන් කළ යුතුයි.2018 වසරේ පොලිස් වාර්තාවට අනුව වයස අවුරුදු 8 සිට 16 අතර දරුවන්ගෙන් 76 දෛනක් සිය දිවි හානි කර ගෙන ඇති අතර එයින් 65 දෙනෙක් පාසල් දරුවන්. සිය දිවි හානි කර ගැනීමට තැත් කර ජීවිතය බේරා ගත් පිරිස මීටත් ඉහළ අගයක් ගන්නවා.

තරුණ දරුවන් අත පය කපා ගැනීමේ සිදුවීම් තවත් ප්‍රවනතාවයක්. මෙය බටහිර ලෝකයෙන් ලබා ගත් ආභාෂයක්. තමන්ගේ මානසික ආතතිය පිට කිරිමට අත, පය (කලවා ) කපා ගැනීම සිදු වුනත් සමහර විට මෙය නිවසේ අයවත් දන්නේ නැහැ. මෙය මානසික ආතතිමය තත්වයක් නිසා දරුවාගේ එවැනි තත්වයක් දුටුවොත් විමසිලිමත් වීම වැදගත්.

  • එහෙමනම් මේ තත්වය අප හඳුනා ගන්නේ කොහොමද..?

දරුවන් සහ නව යොවුන් දරුවන්ගේ මානසික ආතතිමය තත්වයන් අපට කල් තබා හදුනා ගත හැකියි. වෛද්‍යවරුන් සදහන් කරන අන්දමට උග්‍ර තත්වයට පත් වීමට පෙරාතුව 60% ක් පමණ දෙමව්පියන්ට හදුනා ගන්න පුලුවනි.

  • සමහර විට ඔබ මෙහෙම හිතුවොත්…

මේ කිරිසප්යන්ට මොන මානසික ආතතියද..? ඔබ වැරදියි. දරුවන්ට උපතේ පටන්ම මානසික ආතතිමය තත්වයන් ඇති වෙන්න පුලුවනි.

මොකද අපි කරන්නේ…

දරුවන් සම සමීප සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. දරුවා ස්ර්ශ කිරීම, දරුවා සමග කතා කිරීම, නිතර දරුවා අසල ගැවසීම මගින් ඔවුන්ගේ මානසික ආතතිමය තත්වය දුරු කර ගැනීමට පුලුවනි.

  • දෙමව්පියන්ට අවබෝධයක් නැහැ.

දරුවන් හදන්න අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ කිව්වත් ඇත්තටම පෞරසයෙන් පිරුන දරුවෙක් ගොඩ නැගීමට නම් දෙමව්පියන්ටත් ඒ ගැන අධයාපනයක් ලබා ගැනීම ඉතාම වැදගත්. අද ‘‘පේරන්ටින් “ හෙවත් දෙමව්පියකරනය ගැන දැනුවත් කිරීම් ඉතාම දුර්ලභයි. ඒ නිසා දරුවන්ගේ මානසික නීරෝගීතාවය ගැන දෙමව්පියන්ටත් එතරම් අවබෝධයක් නැහැ. ඒ නිසා පවතින සමාජ රටාව තුළ දෙමව්පියකරණය ඉතාම වැදගත් බවත් අමතක කළ යුතු නැහැ.

  • හිතමිතුරු වෙන්න

දරුවන්ට සමීප වෙන තරමටම දරුවා ඔබ සමග හිතමිතුරුකරණය ගොඩ නගා ගැනී. එවිට දරුවාගේ හිතේ ඇති වෙහෙසකර සිතුවිලි දෙමව්පියන් සමග බෙදා හදා ගනු ඇත. එය හිත නිදහස් වීමක්. අද වැඩිහිටියන්ට පවා උපදෙස් දෙන ‘‘හිතමිතුරුකරණය “ මේ සම්බන්ධතාවය මගින් ගොඩ නගා ගැනීමට පුලුවන්.

දරුවකුගේ ආතතිමය තත්වය තේරුම් ගන්නේ…

  • වෙනදාට වඩා කේන්ති යනවා.හැබැයි දෙමව්පියන් සමග පමණයි. බාහිර පුද්ගලයන් සමග බොහොම හොදින් සිටිනවා.
  • හුදෙකලාව ඉන්න කැමැත්තක් දක්වනවා.
  • ප්‍රේම සම්බන්ධතාවයන්ට වෙනදා නැති උනන්දුවක් ඇති වෙනවා.
  • විද්්‍යුත් උපාංග සමග හුදෙකලා වෙනවා.
  • මම අසරණයි යන ආත්මානුකම්පාවෙන් පීඩා විඳිනවා.

[ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවැති දේශනයක් ඇසුරිනි.]

ඔසප් සමයේදී ඇති වන අධික වේදනාව ඔබත් නොසලකා හරිනවාද?

දියණියක මවක බිරිඳක ලෙස නිවසට සමාජයට කාන්තාවකගෙන් ඉටු වෙන මෙහෙය සුළු පටු නොවේ. දැයේ ජීවනාලිය වන කාන්තාව සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත් වන්නේ ඒ නිසාමය. කාන්තවකගේ දෛනික ජීවිතය අඩාල කරන මාසික ඔසප් වීම සැබවින්ම ඔවුන් ඉටුකරන මෙහෙයට බාධාවකි. එය එසේ වුවද ඔසප් සමයේදී ;කාන්තාවකට ඇති වන අපහසුතාවය මෙන්ම වේදනාව දෛනික වැඩ කටයුතු හේතුවෙන් වේදනා නාශක පෙත්තකට භාර දෙන ඇය නිවසේ දරුවන්ගේ ස්වාමියගේ මෙන්ම ඇතැම් විට රාජකාරී ස්ථානයේ කාර්යයන් වෙත මුල් තැන ලබා දෙන්නේ සිතෙහි උපන් ධෛර්යය නිසාම විය හැකිය. නමුත් ඇය කෙසේ හෝ විඳ දරගන්නේ දරා ගත නොහැකි තරමේ අධික වේදනාවක් නම් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුය. ඇතැම් විට ඔබට එවන් අධික වේදනාවකට මුහුණ දීමට සිදුව ඇත්තේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා විය හැකියි. එන්ඩොමෙට්‍රියෝසිස් ශාරීරිකව හා මානසිකව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් ඇති විය හැකි රෝග තත්ත්වයකි. අපි ඒ ගැන දැනුවත් වෙමු.

මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ

ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තියේ සෛල ස්ථරය ගර්භාෂයෙන් බාහිරව ඒ කියන්නේ යටි බඩේ, ඩිම්බකෝෂ මත හෝ බඩවැල් මත  තැම්පත් වී එම සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් ලෙස හඳුන්වනවා. මෙලෙස වර්ධනය වන සෛල හෝමෝන චක්‍රය සමග වෙනස්කම්වලට බදුන් වීමත් සමගම එක්තරා කාල සීමාවකදී රුධිරය වහනය වීම ඇරඹෙන අතරම එම රුධිරය යටි බඩ තුළ එක් රැස් වීම සිදුවෙනවා. මේ හේතුවෙන් පටක එකට ඇලෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයට පත් විය හැක්කේ ආර්තවය ආරම්භයේ සිට ආර්තවාහරණය තෙක් කාල සීමාව තුළ සිටින කාන්තා පාර්ශවයයි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි වුවත් පාරිසරික හා ජානමය හේතු අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි තත්ත්වයකි. එන්ඩොමෙට්‍රියෝසිස් යනු හඳුනා ගැනීමට වැඩි කාලයක් ගත වන තත්ත්වයක් වන අතරම මේ තත්ත්වය කාන්තාවකගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් කළ හැකි තත්ත්වයක් මෙන්ම රටක් වශයෙන් ගත කළ රටේ ආර්ථිකයට පවා හානි ඇති කල හැකි තත්ත්වයකි. රෝග තත්ත්වය නිශ්චය කරගැනීමට වැඩි කාලයක් ගත වනනිසාම තත්ත්වය උග්‍ර අතට හැරීමේ අවදානමද ඉහලය. උදාහරණයක් ලෙස ගත් කළ ලොව සංවර්ධිත රටවල පවා මේ තත්ත්වය පිළිබඳව නිශ්චිත හදුනාගැනීමකට වසර හය හතක් පමණ ගත වි හැකි බව පැවසේ.

 එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේ රෝග ලක්ෂණ

  • අධික ඔසප් වේදනාවයි. (මෙම වේදනාව ඔසප් ආරම්භයට පෙර සිටම ඇති වන අතරම ඔසප් අවසාන වනවාත් සමගම සුව වී යයි)
  • අධික ලෙස ඔසප් රුධිරය වහනය වීම
  • කාලයත් සමග යටි බඩ ප්‍රදේශයේ ඇති වන අධික වේදනාව
  • ලිංගික සබදතාවලින් පසුව ඇති වන වේදනව
  • ඔසප් සමයේ මුත්‍රා පිටකිරීමේදී ඇති වන වේදනාව
  • මලබද්ධය හෝ පාචන රෝගී ස්වභාවය
  • ගැබ් ගැනීම ප්‍රමාද වීම
  • ඇතැම් විට විෂාදය

ඉහත දැක් වූ රෝග ලක්ෂණ ඔබ තුළත් තිබේ නම් නාරි රෝග පිළිබද විශේෂඥ වෛදයවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍ය වන්නේ මේ රෝග තත්ත්වය නිශ්චිතවම හඳුනා ගැනීම ඉතා දුෂ්කර තත්ත්වයක් නිසාය. කෙසේ වුවද ඉහත දැක් වූ රෝග ලක්ෂණ පෙන්නුම් කරන තවත් බොහෝ රෝග තත්ත්ව තිබිය හැකිය.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිශ්චිතව හඳුනාගත නොහැකිද?

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය හඳුනාගැනීමේදී අල්ටා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණ මගින් වඩාත් හොද අවබෝධයක් ලබා ගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්‍ෂණය මගින් නිශ්චිතවම රෝග තත්ත්වය හඳුනාගැනීමට අවස්ථාව උදාවේ. එහිදී සිදුකරන්නේ උදරය මත ඇති කරන කුඩා සිදුරකින් ඉතා කඩා කැමරාවක් ඇතුළු කර එන්ඩොමෙට්‍රියෝසිස්කි පටක මත පැල්ලම් වැනි ස්වභාවයක් පවතිනවාද යන්න පරීක්‍ෂා කිරීමයි.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයට ප්‍රතිකාර තිබෙනවාද?

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති වුවත් රෝග ලක්ෂණ ලිහිල් කිරීමට උපකාරී වන ප්‍රතිකාර ඇති අතරම රෝගී කාන්තාව පත්ව ඇති තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් අදාල ප්‍රතිකාර ක්‍රම පිළිබඳව තීරණයකට එළැඹේ. මේ සදහා ලබාදෙන ප්‍රතිකාර අතර

  • වේදනා නාශක
  • හෝමෝන පෙති ලබාදීම (උපත් පාලන පෙති/එන්නත්, හෝමෝන මුදු හරින ක්‍රම)
  • සැත්කම් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් පටක ඉවත් කිරීම
  • එන්ඩොමෙට්‍රියෝසිස් මගින් ආසාධනයට ලක් වූ ඉන්ද්‍රියේ අදාල කොටස හෝ අවශ්‍ය නම් ඉන්ද්‍රියම සැත්කමක් මගින් ඉවත් කිරීම
  • ගැබ්ගැනීමට ඇති හැකියාව වර්ධනය කිරීම

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය හේතුවෙන් මූලිකව ඇති විය හැකි ගැටලු අතර ගැබ් ගැනීම ප්‍රමාද වීම හෝ වද භාවයට පත් වීම ප්‍රධානව දැක්විය හැකිය. ශල්‍යකර්ම මගින් එන්ඩොමෙට්‍රියෝසිස් පටක ඉවත් කොට ගැබ්ගැනීමට ඇති බාධාවන් ඉවත් කළද ඒ පිළිබදව 100%ක තහවුරු කිරීමක් කල නොහැකිය.

ශල්‍යකර්ම ප්‍රතිකාර ක්‍රමයේදී ඇති විය හැකි අතුරු අබාධ තත්ත්ව මොනවාද?

  • ආසාදන තත්ත්ව
  • රුධිරවහනය
  • කලාතුරකින් අදාල ඉන්ද්‍රිය වෙත හානි සිදුවීම

එන්ඩොමෙට්‍රියෝසිස් ඇතිවීමට හේතු

මේ තත්ත්වය සදහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි අතරම පහත දැක්වෙන හේතු මත ඇති විය හැකි බවට සැක කෙරේ.

  • ජාන මගින්
  • අක්‍රමවත් ඔසප් චක්‍රය නිසා
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු
  • රුධිර නාලවල හෝ වසා පද්ධතියේ එන්ඩොමෙට්‍රියෝසිස් සෛල පැතරීම නිසා

ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය තීරණය වන්නේ කෙසේද?

ඔබේ නාරිවේද වෛද්‍යවරයා ඔබට අවශ්‍ය වන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන අතර, එක් එක් අයගේ රෝග තත්ත්වයේ ස්වභාවය අනුව අවශ්‍ය ප්‍රතිකාර තීරණය කෙරේ. මෙහිදී ප්‍රතිකාර ක්‍රමය තීරණය කෙරෙන්නේ පහත දැක්වෙන කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවය.එනම්,

  • රෝගියාගේ වයස
  • රෝගියා පෙන්නුම් කරන ප්‍රධාන රෝග ලක්ෂණ
  • රෝගියාට ගැබ් ගැනීමට අවශ්‍යද යන්න මත (ඇතැම් ප්‍රතිකාර මගින් ගැබ් ගැනීම නතර විය හැකි නිසා)
  • ශල්‍යකර්මය සම්බන්ධව රෝගියා දක්වන ප්‍රතිචාරය අනුව
  • මින් පෙර යොමු වූ ප්‍රතිකාර ක්‍රම

යම්හෙයකින් රෝගියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ උග්‍ර නොවනවා නම් ඔසප් සමයේදී වේදනා නාශකවලින් තොරව වේදනාව කළමනාකරණය කර ගත හැකි තත්ත්වයේ පවතී නම් ප්‍රතිකාර අවශ්‍ය නොවේ. මන්ද ඇතැම් විට මෙම තත්ත්වය වර්ධනයක් නොපෙන්වා එම තත්ත්වයේම පැවතිය වුවද සිදු විය හැකිය. කෙසේ වුවද   දිගින් දිගටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයට අදාළ ප්‍රතිකාර සිදු නොවීමෙන් තත්ත්වය අයහපත් විය හැකි නිසාම  රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටීම සහ අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු වීම නුවණට හුරු බව කාන්තා ඔබ තරයේ සිතට ගන්න.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.