ඔබ මළ දරු උපතක අත්දැකීමක් ලද යුවළක්ද ?

දහසතුත් එකක් බලාපොරොත්තු මැද කුස තුළ වැඩෙන දරුවා දෝතට ගන්න පෙරුම් පුරන මාපිය යුවළකට මෙවැනි පුවතක් දරා ගත නොහැකි බව සැබෑවකි. නමුත් යථාර්ථයට මුහුණ දීමට අපි කාටත් සිදු වේ. ඒ නිසාම ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත්ය

මල දරු උපතක් යනු

කුස තුළ බිළිඳා මිය ගොස් බිහිවීමේ තත්ත්වයයි. එනම් සති 28 පසු හෝ ග්‍රෑම් 500ට වැඩි දරුවෙකු කුස තුළ මිය යාමයි.  සාමාන්‍යයෙන් මළ දරු උපත් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ වේ. උදරය ක්‍රමානුකූලව වර්ධනය නොවීම මෙන්ම භ්‍රෑණ චලන නොදැනීම කලලය මිය ගොස් ඇති බවට සැක කළ හැකි තත්ත්ව වුවත් වෛද්‍යවරයෙකු සමගින් එය තහවුරු කරගත යුතුය.

මළ දරු උපත් ඇති වීමට හේතු

  • කලලයේ අසාමාන්‍යතා
  • මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලු
  • වැදැමහේ ගැටලු
  • මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ)
  • මවගේ රුධිරයේ ඇති ගැටලු
  • ගර්භාෂයේ යම් යම් ගැටලු
  • ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලු
  • වැදැමහ හරහා කලලයට රුධිරය ගමන් කිරීමේ ගැටලු (නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි මව්වරුන්ට මේ හේතුව ඉදිරිපත් කළත් එයට මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ)

මළ දරු උපතක් තහවුරු වූ විගස

  • මවට, පියාට/ඥාතීන්ට දැනුම් දේ. (සැවොම කල්පනාකාරීව, සන්සුන්ව අවස්ථාවට මුහුණ දිය යුතුයි)
  • මෙය සිදු වූයේ මවගේ රෝග තත්ත්වයක් මත ද යන්න සොයා බැලේ
  • කලලයේ මිය යාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න සොයා බැලේ

මළ දරු උපත සිදු වූ හේතුව සොයා බැලීමට

  • මවගේ රුධිර සාම්පල පරීක‍ෂාව
  • වැදැමහ පරීක‍ෂණ සඳහා යොමු කිරීම
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණයට යොමු කිරීම

ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ මෙවැනි මව්වරුන් නැවත රුධිර පරීක‍ෂාවට යොමුකරයි. තවද ළදරු මරණ පරීක‍ෂණයේ මෙන්ම වැදැමහ පරීක්ෂණයේ වාර්තාව මගින් ආසන්නතම තත්ත්වය පිළිබඳව දැනුවත් වී මේ සඳහා බලපෑ හේතුව (30%ක ප්‍රතිශතයක් පමණි) සොයා ගත හැකිය.

ප්‍රසූතිය

සාමාන්‍ය ප්‍රසූතියට මෙහිදී මූලිකත්වය ලබා දෙන අතරම ( සිසේරියන් සැත්කම යොදා ගන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ ඇය දැඩි මානසික ආතතියකට පත්ව සිටිනවා නම් පමණි. එය ඉතා කලාතුරකින් සිදුවන තතත්වයකි) මෙවැනි මවකට අධික මානසික ආතතිය හේතුවෙන් වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති නිසා නිරෝගී දරු උපතකදී මෙන් නොව (නිරෝගී දරු උපතකදී ප්‍රබල වේදනා නාශක භාවිත නොකරන්නේ ළදරුවාට බලපැමක් ඇති වේය යන බිය නිසාය) මලදරු උපතකදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට උත්සාහ කරයි. ප්‍රසූතියෙන් පසුව මෙවැනි මව්වරුන් සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කර තබාගනී.

මෙහිදී,

  • අවම කාලයක් ඇතුළත ප්‍රසූතිය සිදු කරයි.

මවගේ මානසිකත්වය මෙන්ම ප්‍රමාද වීම නිසා කලලය දිය වී අවශොෂණය වුවහොත් මරණ පරීක‍ෂණය මගින් මළදරු උපතට හේතු වූ කරුණු සොයා ගත නොහැකි වන නිසාය.

  • මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බිය නිසාය.

ළදරු මරණ පරීක‍ෂණය

ජීවිතයෙන් සමුගත් පුංචි දරුවෙක් සම්බන්ධයෙන් ගත් කළ මේ කටයුත්ත එතරම් සුදුසුද යන්න ඔබටත් සිතෙන්නට පුළුවන්. නමුත් යම් මව්පිය යුවළක් මරණ පරීක්ෂණයට විරුද්ධ වීමෙන් ඊළඟ ගැබ් ගැනීමේදීත් ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් හඳුනා අවම කරගැනීමට ඇති අවස්ථාව මගහරවා ගනියි. විශේෂිත පුහුණුව ලත් පිරිස් අතින් බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකෙන සේ සිදු කෙරෙන මෙවැනි පරීක්ෂණයකදී ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමට අවස්ථාව උදා විය හැකියි.

මූලිකව බිළිඳාගේ සිරුර පිටතින් පරීක්ෂා කෙරෙන අතරම ඉන්පසුව සැත්කමක ආකාරයෙන් සිරුර තුළ වෙනස්කම් පවතීද යන්න පරීක්ෂා කෙරෙන අතරම අභ්‍යන්තර අවයවවල පටක පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සිදු කෙරේ. සැත්කමින් පසුව සැත්කමක කිසිදු ලකුණක් නොමැති වන ලෙස ළදරු සිරුර සකස් කෙරේ.

දරු ප්‍රසූතියෙන් පසුව

  • මවට වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදේ
  • කිරි එරීම නතර කිරීමට ඖෂධ ලබාදේ
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණය (මවගේ කැමත්ත මත) වෙත යොමු කරයි.
  • වැදැමහ ද පරීක‍ෂණ සඳහා යොමු කරයි
  • අවශ්‍යතාවය මත මව/පියාගේ උපදේශන වැඩසටහන් වෙත යොමු කරයි

නැවත ගැබ් ගැනීමට පෙර

  • මව කායිකවත් මානසිකවත් නිසි තත්ත්වයේ සිටිය යුතුය
  • පෙර ප්‍රසූතියේ සියලු වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ
  • පූර්ව ගර්භණී සායන වෙත යොමු විය යුතුය
  • ෆෝලික් ඇසිඩ් 5mg ලබා ගත යුතුය.

ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන මෙවැනි මවක් කිසිදු විටෙක අපහසුතාවයට,වේදනාවට පත් නොකර අවධානය, ආදරය උපරිමයෙන් ලබාදෙමින් ඇය හා එක්ව මේ දුක්බර අවස්ථාවට මුහුණ දීමට තරම් සැමියා ඇතුළු නිවැසියන්ද කාරුණික විය යුතුය.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.

 

ප්‍රමිතියෙන් තොර කාටූන් දරුවන්ගේ මනසට බලපෑම් කරන බව ඇත්තක්ද?

කාටූන් නරඹන්න පුංචි දරුවෝ බොහොම කැමතියි. දරුවන්ගේ සිත රිදවන්න බැරිකම, ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය නිදහස ලබාගන්න වගේ නොයෙක් හේතු නිසා මේ වෙද්දි සමහර අම්මලා දරුවන්ට කාටූන් බලන්න තහනම් කරන්නේ නැහැ. මේ ලිපිය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටූන් බැලීම  පුරුද්දක් බවට පත්වුණු දරුවෙකුට ඒ තත්ත්වය කොයිතරම් දුරට අවාසි සහගත විය හැකිද යන්න පිළිබදවයි.

සාමාන්‍යයෙන් කාටූන් බැලීමට  වඩාත් ප්‍රිය කරන්නේ ප්‍රාථමික පන්තිවල දරුවන්ය. කෙසේ වුවද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව මේ වයස් සීමාවේ දරුවන්ට වුවත් පාසැලේදීත් අමතර පන්තිවලදීත් පැය ගණන් එක දිගට වඩා වී අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වෙයි. එක දිගට පැය ගණන් මනස වෙහෙස වන මේ දරුවෝ නිවසට පැමිණි පසුව විවේකයක් ලබාගැනීමට සිදු කරන්නේත් කාටූන් බැලීමයි. එයද මනස වෙහෙසවන කාර්යයකි. මනසට විවේකයක් අවශ්‍ය අවස්ථාවේදී කළ යුත්තේ කායික ක්‍රියාකාරකමක යෙදීමයි. තව තවත් මනස වෙහෙස වීමත් කායික ක්‍රියාකාරකම් නොමැති වීමත් නිසා මනස හා සිරුර අතර පැවතිය යුතු සමබරතාවය බිඳී යයි. දීර්ග කාලීනව මේදේ සිදුවන විට මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, මනස දුවන ගතිය, අලස බව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි.

අද වන විට පවතින කාටූන් ඝෝෂාකාරී බව, වේගවත්ව රූප රාමු මාරු වීම, හඬ වෙනස් වීම්, තද පැහැති වර්ණ සමගින් එන රූප රාමු වැනි ප්‍රයෝග යොදමින් දරුවන් රඳවා ගැනීමට ප්‍රයත්න දරයි. එවැනි කාටූන් නිෂ්පාදනයන් තුළින් එම නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ අඩුම මහන්සියකින් දරුවා ඒ හා සමග රඳවා ගැනීමටයි. මනස දිගින් දිගටම මේ ආකාරට හුරුවීම මගින් අවශ්‍ය දෙයක් වෙනුවෙන්වත් දරුවාගේ මනස එක තැනක රඳවා ගැනීමට නොහැකි වීම එයින් ඇති වන අවදානම් තත්ත්වයයි.

කෙසේ වුවද හොද තත්ත්වයේ සුමටව ගලා යන කතාවක් සහිත කාටූන කිසිදු විටෙක දරුවෙකුගේ මානසික ඒකාග්‍රතාවය පලුදු කිරීමට හේතු නොවේ. දරුවන්ට සුදුසු කාටූන ලෙස හැදින්විය හැකි වන්නේ පණිවිඩයක් ලබා දෙන ආදර්ශමත් උපදෙසක් මෙන්ම යම් කතාවක් සමාජගත කරන මනසට සුදුසු ආකාරයෙන් නිපද වූවකි. පිස්සු පූසා, දොස්තර හොඳ හිත වැනි කාටූන මේ තත්ත්වය මනාව කළමනාකරණය කර ගනිමින් වැදගත් පණිවිඩයක් සමාජ ගත කළද මේ වන විට මාධ්‍ය ආයතන අතර ඇති තරගකාරී ස්වභාවය නිසාම තම නාලිකාව වෙත වැඩි පිරිසක් අද්දවා ගැනීමටත් ඔවුන් රදවා ගැනීමටත් කාටූන් උපරිමව ප්‍රයෝජනයට ගන්නවා. ”Attention Economy” (අවධානය රදවා ගැනීමේ ආර්ථික ක්‍රමය) සංකල්පය කාටූන් ඇතුළුව තවත් බොහෝ දේ අතීතයේදීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට හේතු වූ තත්ත්වයකි.

අතීතයේදී නැරඹූ කාටූන බොහොම සෙමින් ගලා යන කතා මලාවක් සමගින් අනවශ්‍ය කලබලයකින් තොරව උපදෙසක් ආදර්ශයක් සමාජගත කරමින් පොතක් බලන ආකාරයට ගලා ගියා. මේ තත්ත්වය මත දරුවන්ට හිතන්න යමක් ඉතිරි වුණා. සෙනෙහස, දුක, සතුට කියන හැගීම් වටාහා ගන්න දරුවන්ට අවස්ථාව ලැබුණා. නමුත් අද විකාශය වෙන කාටූන් දරුවන්ට හිතන්නට යමක් ඉතිරි කරන්නේ නැහැ. හැගීම්වලට දෙන තැන අවමයි. ඉතිං දරුවාට කිසිදු වෙහෙසක් නොදී අවධානය පැහැරගන්න මෙවැනි තත්ත්වයේ කාටූන් සමත් වෙනවා. ඒ පහසුවත් සමගින් දරුවන් එවැනි කාටූන් වෙත ඇදී යනවා. එවැනි දරුවන්ට තමාට අත්‍යවශ්‍ය දේ වෙනුවෙන්වත් අවධානය යොමු කිරීමට හැකියාවක් නැහැ. මන්ද දීර්ඝ කාලීනව දරුවාගේ මනස කලබලකාරී, ඝෝෂාකාරී බවට හුරු වී අවසන්.

ඔබේ දරුවාට දවසේ යම්කිසි කාලයක් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී තමාම සමග ගත කරන්නට යම් කාලයක් ලබාදෙන්න. එවිට එසේ ගත වන කාලය තුළ යමක් කිරීමට දරුවා වෙහෙසෙයි. නව නිර්මාණ මෙන්ම අධ්‍යයනයන් සමගින් ඉදිරියට එන්න දරුවාට එම කාලය හේතුවක් වනු ඇත. නමුත් දවසේ පැය විසිහතරම යම් යම් දෙයින් පිරුණු දරුවෙකුට මේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම දරුවෙක්ට තමන්ගේ සිතුවිලිවලට වටිනා කමක් එක්කරගන්නට අවස්ථාව ලබාදීම ඔබේ යුතුකමක් බව හිතට ගන්න. වැඩිහිටි වියේදීත් මානසික ඒකාග්‍රතාවය නොමැතිකම නිසා රැකියා ස්ථානයේදී පවා අපහසුතාවයට පත් වන පිරිස් බිහිවන්නට මූලික හේතුවක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. ඔබ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් උරුම කරවන්නට වෙහෙසෙන මාපිය යුවළක් නිසාම කාටූන්වලින් දරුවාගේ දවස ආරම්භ කරවන තැන සිටම වෙනස් වන්න.

දඹදෙනිය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

රසකාරක නැතුව පොඩ්ඩන්ට ආහාර හදන්න….Monosodium glutamate (MSG)

දිව ඉල්ලන රසයටම ගැලපෙන රසකාරකයක් විදිහට ‘‘ග්ලුටමින් ඇසිඩ් “ හෙවත් Monosodium glutamate (MSG), අද ලෝකය පුරාම ජනප්‍රියයි. අද ඔබේ පුංචි පැටව් වුනත් දිව ඉල්ලන මේ රසයට ඔබටත් නොදැනීම ඇදී ගිහින් අවසානයි.අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන Monosodium glutamate (MSG),තක්කාලි, හතු,චීස් සහ මිදි වැනි ආහාරවල අන්තර්ගතව තිබෙනවා.

  • මුලින්ම මේ රසය හදුනා ගත්තේ කවුද…?

1800 වැනි ඈත කාලයකදී ජර්මනියේ විසූ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම රසය හදුනා ගත්තා.1908 වසරේදී ජපානයේ ජීව රසායන විද්‍යාඥ විසින් මුහුදු පැලෑටි මගින් සකස් කරන ලද ආහාරය රස කිරීමට Monosodium glutamate (MSG), යොදා ගෙන තිබෙනවා.1968 වසරේ පටන් චීන ආපනශාලාවල MSG භාවිතා කිරීම ආරම්භ වුණා.                                                                        

  • මුල් කාලයේදී නම් චෝදනා නැහැ..

MSG භාවිතා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් විවාදාත්මක සංවාද ඇති වුනේ නැහැ. ඊට හේතුව විදිහට බොහෝ දෙනා විසින් පෙන්වා දෙන්නේ නියම මාත්‍රාවකින් මෙම රසකාරක එකතු කළ නිසා කිසිම හානියක් සිදු නොවුන බවයි.

  • චීන අවන්හල් ජාලයට චෝදනා

ඒත් කාලය සමග චීන අවන්හල් ජාලාවලින් මේ ගැන චෝදනා නැගෙන්න පටන් ගත්තා. MSG යොදා සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් පසුව හිසරදය හා වෙනත් අපහසුතාවයන් ඇති වුන නිසාම චීන අවන්හල්වලින් ආහාර ගැනීමට පසුව ඇති වෙන අපහසුතාවය “Chinese Restaurant Syndrome” යනුවෙන් හදුන්වනු ලැබුවා.

1979 වසරේ එංගලන්තයේ ‘‘සරේ “ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් තව දුරටත් මේ අධ්‍යනය දියත් කළ අතර එතැන් පටන් ඒ කියන්නේ 1980 දශකයේ පටන් MSG යොදා ගෙන සකස් කරන ලද ආහාර බහුල වෙන්න පටන් ගත්තා.

මුල් කාලයේදී නම් MSGයොදා ගත්තේ සුප් වර්ග සදහා පමණයි. චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල ආහාර රටාව අතර සුප් වැදගත් තැනක් ගත් නිසාම MSG ඔවුන් අතර වඩාත් ප්‍රචලිත වීම සිදු වුනා.

රසකාරක භාවිතා කරන ජාත්‍යන්තර සමාගම්

  • ඇමරිකා එක්සත් ජනපදය- ACSENT
  • ජපානය- අජිනොමෝටෝ
  • නිව්යෝක්-සැසෝන්
  • යුරෝපය-වෙට්සින්

සුළු ප්‍රමාණයකින්  MSG භාවිතාය අහිතකර නොවුනත් පමණ ඉක්මවා MSG භාවිතා කිරීම නිසා ඇති වෙන අහිතකර තත්වයන් ගැන ප්‍රංශය සහ එංගලන්තය විසින් නිකුත් කරන ලද Afasti Assement වාර්තාවේ සදහන් වෙනවා.

  • සිරුර විජලනයට පත් වීම.
  • අධික දහඩිය දැමීම.
  • අධික පිපාසය
  • සිරුරේ කෙඩෙත්තුව
  • නිදිමතගතිය
  • හෘද ස්පන්දනයේ වෙනස්කම්
  • පෙනහළු වේදනාව.

තවත් වැදගත්…

දියවැඩියාව, අධිරුධිරපීඩනය, ස්නායු ආබාධ කොලස්ටරෝල් ,වකුගඩු සහ හෘද රෝග සංකුලතාවයන් වැනි රෝග තත්වයන් තිබෙනවා නම් MSG වලින් හැකි තරම් ඈත්ව සිටීම වැදගත්.

MSG නැතුව ආහාර පිළියෙල කරන්නම බැරිද…?

අපි මොනවා කිව්වත් පොඩ්ඩෝ ඉල්ලන්නේ දිවට රස.ඒ හින්දා අම්මාටත් හරිම කරදරයක්. අහවල් කඩෙන් ගෙනත් දෙන්න කියන යුද්ධය අන්තිමට අවසාන වෙන්නේ පොඩි එකාගේ ඉල්ලීම දිනලා.

ඒත් ඉස්සර කාලයේ මේ වගේ රසකාරක නොතිබුනත් අපේ අම්මලා උයන පිහන විට පුදුම සුවඳක්. ඒ සුවදටම රස නහර පිනා යනවා. හැබැයි MSG දාලා නම් නොවෙයි.

ඇයි දැන් බැරිද…?

කිසිම බැරි කමක් නැහැ.

  • සුප්

සුප් හදන විට රසකාරක වෙනුවට කොත්තමල්ලි, සුදුරු, මහදුරු, කුරුදු කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිපයක් කපු රෙදි ( තුනී රෙදි කඩක් ) කැබැල්ලක දාලා පුංචි පොට්ටනියක් හදන්න. තුනපහ ලිහි ඉහිරිලා නොයන විදිහට ගැටගහලා සුප් එකරටම දාන්න.

සුප් එක ඉදුනාම පොට්ටනිය හොදින් මිරිකා ගෙන තෙම්පරාදු කරන්න. දෙහි යුෂ ටිකක් එකතු කරන්න. තක්කාලි ගෙඩියකුත් ආවොත් හොදයි.දැන් බලන්නකෝ රස කාරක නැතුව බොන්න බැරිද කියලා.

ඒ වගේම සුප් එකට සැරසිල්ලක් විදිහට සැල්දිරි, කොත්තමල්ලි කොළ සහ මිංචි යොදා ගන්න.

 

  • නූඩ්ල්ස් හදන විට

නූඩ්ල්ස්වලට දැන් ඇත්තම කිව්වොත් එකතු වෙන්නේ MSG විතරයි. ඒ වුනත් පොඩ්ඩන්නට ගුණ ලැබෙන්නේ නූඩ්ල්ස්වලට එකතු කරන එලවළු සංයෝගයෙන් බව අමතක කරන්න එපා. ඒ නිසා කැරට්, ලික්ස් වගේ එළවලු එකතු කරන්න. තෙම්පරාදුවට බිත්තරයක් ගසා එකතු කරන්න. ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. MSG කැටය වෙනුවට ලුණු එකතු කළත් බොහොම ටිකක්. ඒ ඇයි කිව්වොත් ලුණු එතරම් අපට හිතකර නැහැ.

 

  • කහ බත්, තෙල් බත් එකී මෙකී නොකී සැරසිලි බතට….

අපේ අම්මලා ලේසියට ඉතිං MSG වලින් දිවට රසය හොයනවා. ඒ වුනත් කරන්නන් වාලේ නොකොර මේ විදිහට බලන්නනෝ…

බත මස් ස්ටොක් සාරයෙන් සකස් කර ගන්න. බතටත් සුප් වලට එකතු කරන ලද රස හා සුවඳ පොට්ටනිය එකතු කරන්න. තෙම්පරාදුවට පසුව මුද්දරම්පලම් සහ කජු එකතු කරන්න.

  • සැන්ඩ්විච්

සැන්ඩ්විච් හදනවා නම් බිත්තරයට අබ, ගම්මිරිස් අඹරා ගෙන දා ගත් විට හොඳටෝම ඇති.

  • ඒත් ව්‍යංජනයක් හදනවා නම්…

ඕනම ව්‍යංජයක් පිළියෙල කරන විට රම්පෙ, කරපිංචා, කුරුදු, උලුහාල් එකතු වුනොත් ඔය කියන රස විතරක් නොවෙයි, හොඳ සුවදක් ලැබෙනවා..

 

දරුවන් අනාගතයේදී නිරෝගීව සිටිනු දකිනු කැමැති නම්

පුංචි කාලයේදී නම් දරුවන් තමන්ගේ  පාලනය යටතේ තබා ගෙන , ගුණ විදිහට ආහාරපාන සපයා දෙමින් රැක බලා ගන්න පුලුවන්. ඒ වුනත් සාමාන්‍ය පෙළ අවසානයෙන් පසුව එනම් වයස අවුරුදු 16 ක් විතර ගෙවුනාම දෙමව්පියන්ට මේ පාලනය සහ රැකබලා ගැනීම කිරීම අපහසුයි. ඒ වුනත් දරුවන් මේ කාලයේදී ගොඩ නගා ගන්නා ජීවන රටාව නිසා ඔවුන්ගේ අනාගතයට දැඩි විදිහට බලපෑම් එක් වෙන බැව් බ්‍රිතාන්‍යෙය් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අපේ රටේ නම් මේ බලපෑම බොහොම දරුණු වෙන්න පුලුවනි. ඊට හේතුව උසස් පෙළ විභාගය ඉලක්ක කර ගත් දරුවන් අතිරේක සහ උපකාරක පංතිවලට සහභාගී වීම කාටවත්ම පාලනය කළ නොහැකි යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙනවා. ඉතින් තමන්ගේ ඇස් දෙක වගේ ඇති දැඩි කරන දරුවන් අනාගතයේදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා දකින්න මොන අම්මා තාත්තාවත් කැමැත්තක් නැහැ. ඒ වුනත් එක්තරා වෛද්‍යවරයෙක් පසුගිය දා දේශනයකදී සදහන් කළේ වර්තමානයේදී දෙමව්පියන් ඉතාම අවාසනාවන්ත විදිහට තමන්ගේ දරුවන්ගේ මළගමට සහභාගී වීමට තරම් අවාසනාවන්ත වී ඇති බවයි. ඒ තත්වය ඇති වී තිබෙන්නේත් දරුවන්ගේ ජීවන රටාව දෙමව්පියන්ට පාලනය කළ නොහැකි තරම් බරපතල තත්වයකට පත්ව ඇති බවයි.එහෙමනම් මේ අවාසනාවන්ත තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

  • ආහාර

අතීතයේදී නම් දරුවන්ට පාසල් වේලාවෙන් පසුව කිසිම අතිරේක හෝ උපකාරක පංති තිබුනේ නැහැ. ඒ නිසාම ඔවුන් පාසල අවසාන වීමත් සමග එක පිම්මේම ගෙදරට දුවගෙන ඇවිත් දවල් ආහාරය ලබා ගත්තා. ඒ වුනත් අද දරුවන් පාසල අවසානයෙන් පසුව උපකාරක පංතිවලටත් සහභාගී වෙලා නිවසට යන්නේ රාත්‍රි ආහාරයට බව රහසක් නොවේ. නැවත පසුවදා උදෙන්ම පාසලට යා යුතු නිසා ඔවුන් වෙනුවෙන් බොහෝ විට නිසි පෝෂණයක් ඇති දිවා ආහාරයක් පිළියෙළ වෙන්නේ නැහැ. ඒ හින්දා  අහිතකර රස කාරකයන් සහිත කුමක් හෝ පුංචි දෙයකින් බඩ රවටා ගන්නවා. මේ ආහාරයෙන් දරුවාට පෝෂණයක් නොලැබෙනවා වගේ අහිතකර රසායනයන් සිරුරට එක් වෙනවා. ඒ හින්දා දරුවන්ගේ තරබාරුව ඇති වීම සමග අහිතකර විදිහට මේද ගබඩා වීම වයස අවුරුදු 25 ක් පමණ වෙන විට කොලස්ටරෝල් තැන්පත්වීමෙන් හදවත සහ අක්මාව රෝගී වීමේ තත්වයන් ඇති වීමේ අවදානම ඉතාම ඉහලයි.

  • ආතතිය

පුංචි දරුවන්ගේ මනස සමනළ තටුවක් වගේ සැහැල්ලුයි. ඔවුන් ජීවත්වෙන්නේ බොහොම සුන්දර ලෝකයක කිව්වත් සාමාන්‍ය පෙළ අවසානයේදී මේ තත්වය බොහොම දුරට වෙනස් වෙනවා.ඊට හේතුව උසස් පෙළ කඩඉම ඉතාම දරුණු විදිහට දරුවන්ට බලපානවා. ඉසෙඩ් අගයෙන් ජීවිතයේ ඉරණම තීන්දු තීරණය වෙතැයි හිතන නිසාම දරුවන්ගේ හිතේ දැඩි විදිහට ආතතිය ගොඩ නැගෙනවා. උසස් පෙළ ජීවිතය නොවුනත් අද දෙමව්පියන් පවා දරුවන්ට ලබා දෙන අවවාදය නම් ‘‘උසස් පෙළ නැත්නම් ජීවිතයක් නැහැ“ යන පණිවිඩයයි. ඒ හින්දා සාමාන්‍ය පෙළත් සමග ඇති වෙන මානසික ආතතිය නිසා දරුවන් මනසින් රෝගි වීමේ ප්‍රවනතාවයත් ඉතාම ඉහළ බැව් අමතක කළ යුතු නැහැ.

  • අන්තර්ජාල පාලනය

අන්තර්ජාලය , යූ ටියුබ් අද අධ්‍යාපණික මෙවලම් විදිහට වඩාත් ඵලදායී අන්දමින් භාවිතයට ගත හැකියි. ඒ වුනත් මේවායේ නිසි පාලනයක් නොමැති වීම නිසා දරුවන්ගේ ජීවිත නිකරුනේම නාස්ති වෙන අවදානමක්ද තිබෙනවා. ඒ වුනත් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙම මෙවලම් සහ මාධ්‍ය භාවිතයේ කිසිම නරකක් නැහැ. ඒත් යම්කිසි නියාමනයක් අවශ්‍යයි. ඒ නිසාම දෙමව්පියන් විසින් දරුවන්ට මෙම සමාජජාල සහ අන්තර්ජාලය පරිශීලනයේදී නියාමනයක් කිරීම ඉතාම වැදගත්.

  • නින්ද

අද දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනයට දරණ වෙහෙස තක්සේරු කරන්නේ නින්දෙන් බව රහසක් නොවෙයි. දරුවා නිදිමරමින් පාඩම් කරන විට සතුටු වෙන දෙමව්පියන් , දරවා නිදාගෙන සිටිනවා දුටුවොත් දැඩි විදිහට ආවේශ වෙනවා. කොච්චරවත් නිදි…ඔහොම නිදා ගත්තොත් හොදට ප්‍රතිඵල තියෙයි..යනුවෙන් තමන්ගේ කෝපය දරුවන්ට කියන අවස්ථා බොහොමයි. උසස් පෙළ කඩඉම ඉදිරියේ දෙමව්පියන් දරුවන් අවදියෙන් පොතටම යොමුව සිටම ගැන සතුටු වුනත් මේ කාලයේ එනම් වයස අවුරුදු 16 න් පසුව හැදෙන වැඩෙන දරුවාට සුවදායක හා ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි.ඒ නිසාම දරුවා නිදා ගත් විට ඒ ගැන කෝප වෙන්න එපා.

එහෙමනම්….අපේ දරුවන් වයස අවුරුදු 25 ක් පමණ වෙන විටි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන, එහෙම නිරෝගි  ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දීම ඉතාම වැදගත් බැව් අමතක කරන්න එපා.

පංචායුධයක් පළදින්න දිනයක් තිබෙනවාද…?

දරුවෙකු වෙනුවෙන් පංචායුධයක් පැළදවීම දරුවා උපන් දිනයේ සිට දින පහක් එසේත් නැත්නම් ඉදුල් කට ගාන දිනයේදී පැළදවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. පංචායුධයක් නිර්මානය කිරීමේදී නියමිත දිගක්, පලලක් හෝ බරක් නොමැති නිසා තම තමන්ගේ හැකි පමනින් බොහෝ විට රත්රන් වලින් මේ ආබරණය සකස් කරනවා.

පංචායුධයේ ඉතිහාසය…

ළදරුවන්ට පළදවන පංචායුධය පිලිබඳව දිගු ඉතිහාසයක් තිබේ. අතීතයේදී ‘‘පංචායුධ “ නැමැති කුමාරයෙක් සිප් සතර හදාරා අවසානයේදී තමන් උපන් රාජ්‍ය වෙත යමින් සිටියේය.ගමන්මග වෙහෙස නිසා කුමරු විශාල ගසක් යටට වී නිදා ගත්තේය.ඒ අවස්ථාවේ ගසට අධිගෘහිතව සිටි යක්ෂයෙක් පැමිණ කුමරු මරා මස් කෑමට සැරසෙත්ම පංචායුධ කුමාරයා යක්ෂයාගෙන් එක් ඉල්ලීමක් කරන්නට අවසර ඉල්ලා සිටියේය.පංචායුධ කුමාරයා යක්ෂයා අමතා මෙසේ කීවේය.

ඔබ මා මරා මස් කෑවාට කමක් නැමැ. නමුත් එක් දෙයක් ඔබට කිව යුතුයි. මගේ සිරුරේ ආයුධ පහක් තිබෙනවා. යම් හෙයකින් ඔබ මා මරා මස් අනුභව කළොත් ඒ ආයුධ පහ එබේ සිරුරේ ඇනී නිසැකයෙන්ම ඔබ මරණයට පත් විය හැකියි. එයින් බියට පත් යක්ෂයා පළා ගියෙන් කුමාරයාගේ ජීවිතයට හානියක් සිදු වුයේ නැත. එතැන් පටන් මේ සිද්ධිය පාදක කර ගෙන ළදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පංචායුධයක් පැළදවීමේ සම්ප්‍රදාය ඇති වී තිබේ.

පංචායුධයේ  සංකේත මොනවාද…?

පංචායුධයක ඇතුගත්ව තිබෙන ආයුධ පහක් තිබෙනවා. ඒ නිසාම සෙය පංචායුධය යනුවෙන් හැදින්වෙනවා. මෙම ආයුධ නම්

ජයසංඛය හෙවත් හක්ගෙඩිය

හක්ගෙඩිය සශ්‍රිකත්වයේ සංකේතයක් විදිහට සලකන නිසාම දෙවියන්ට ආරාධනා කිරීමේදී හක්ගෙඩිය පිඹීම සිදු වෙනවා. දේවකතාවන්ට අනුව විෂ්නු දෙවියන් කිරිසයුර කළඹන විට හමුවුන අනර්ඝ වස්තුන් අතරින් හක්ගෙඩියත් එකක් සේ සැලකෙනවා.

චක්‍රය

සටනකදී ආරක්ෂාව ලැබීමට මෙන්ම ප්‍රතිප්‍රහාරයන් වැලැක්වීමට ඇති ආයුධයයි.

මුගුර

ආරක්ෂාව වෙනුවෙන් වැදගත් ආයුධයකි.

දුන්න

සතුන් දඩයමට මෙන්ම ආරක්ෂාවට ඇති ආයුධයක්.

කඩුව

සටන් බිම ප්‍රධාන ආයුධයක්. රාජ්‍යත්වයේදී කඩු ශිල්පය පිලිබඳව ලබා ඇති හැකියාව රජතුමාගේ වටිනාකම ගොඩ නැගේ.

පංචායුධය පළඳවන්නේ කොහොමද….?

පංචායුධයක් පළදවන විට දරුවාගේ උපත් වේලාවට අනුව  සුබ නැකැත් වේලාවක් බලනවා. පංචායුධය සුවද පැනින් සෝදා ආශිර්වාද කරමින් ගෙල හෝ ඉනෙහි පළදවනු ලබනවා.

පංචායුධයක් පළඳවන විට මේ ගැනත් හිතන්න…

පංචායුධයක් මගින් අපි දරුවාට ආරක්ෂාව ලබා දීම ගැන වඩාත් ආරක්ෂිතව වූ සිතුවිල්ලකින් කරන බව සැබෑය. ඒ සමග තවත් අතුරු කරුණු ගැනත් ටිකක් හිතනවා නම් වඩාත් අගෙයි. හොඳ යැයි සම්මත දෙයක් හොද සිතින්ම පවත්වා ගෙන යෑම වරදක් නැති වුනත් මේ විදිහට පුංචි අවදානම් ගැනත් හිත යොමු කිරීම වැදගත්.

පංචායුධය නිසා  දරුවාගේ සුමුදු හමට තුවාල වීමට පුලුවනි. ඇතැම් විට පංචායුධයේ අයින් දරුවා හැපිම නිසාම කඩතොලු වී තිබුනොත් ඒවා හමේ වැදී තුවාල විය හැකියි.

පංචායුධය පළඳවන කළු පැහැති නූල දරුවාගේ වර්ධනය සමග ගෙලට හිර ගතියක් ඇති වුනොත් එය දරුවාට අපහසුවක් විය හැකියි.ඒ වගේම දහඩිය සමග මෙම නූල ගැටීම නිසා ගෙල ප්‍රෙද්හයේ දහඩිය බිබිලි සහ කුෂ්ට ඇති විය හැකියි.

පංචායුධය දරුවාගේ කටට ගත හැකි මානයේ තිබීමෙන් නිතරම එය හැපීමත් අවදානමක්.

පංචායුධය වගේම ඇතැම් විට එය රත්රන් දම්වැලක බහා පැළදවීම නිසා සොරකම් කිරීමටත් පුලුවනි.

දරුවන්ගේ හැටි ඔහොම තමයි.

දරුවෙකුගේ මුල් වසර පහක කාලයේදී ඔවුන්ගේ මොළයෙන් 80% ක් වර්ධනය වෙනවා. ඒ නිසාම මේ කාලයේදී අලුත් දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ගොඩ නැගෙනවා. ඔවුන් ලබන  අලුත් අත්දැකීම් සමග මොළයේ සෛල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන් බොහොම අවදියෙන් තමා සමග ගණුදෙනු කරන අයත් සමග එක්ව අත්දැකීම් උපයා ගන්නවා.ඒ නිසා දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබමින් ඉදිරියට යන ශක්තිය දෙමව්පියන් විසින් ගොඩ නැගීම ඉතාම වැදගත්.වයස 13ත් 17ත් අතර ළමයින් ගේ මොළය හුරුවී ඇත්තේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බව .හාවර්ඩි.කොලොම්බියන් සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයන්හී එකමුතුවෙන් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරනය වී  ඇත. මොළය ස්කෑන් යන්ත්‍රයක් ඇසුරෙන් පරීක්ෂා කරන අතරතුර පින්තූර ආශ්‍රයෙන් කරන ක්‍රීඩාවක් අනුව එම නිගමනයට එලැඹිණි.

 දරුවාගේ ඇගිලි තුඩු වලින් විවිධ ක්‍රියාකාරකම්

විශේෂයෙන් ළදරු පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අත්වැඩ, වැලි සෙල්ලම්, කඩදාසි සමග නිර්මානාත්මක කටයුතුවල යෙදෙනවා.මේ කටයුතු මගින් දරුවාගේ බුද්ධිමය සංවර්ධනය සිදු වෙන නිසා ඇඟිලිතුඩුවලින් සිදු වෙන කටයුතු වලට වැඩි දායකත්වයක් ලබා දීම ඉතාම වැදගත්.කොලාජ් චිත්‍ර, ජලය සමග සෙල්ලම්, වැලි සමග සෙල්ලම් මෙහිදී වඩාත් වැදගත්. ඒ නිසාම අතට හසුවෙන දෙය ඉරන්න, කපන්න පටන් ගන්නත් පුලුවනි.

හැම දෙයම අලුත් විදිහට දකිනවා

යාන්තමින් වටපිට සමග සම්බන්ධ වෙන දරුවාට ඔවුන් දකින හැම දෙයම අලුත්. ඒ නිසාම දකින දකින දේ ඉල්ලන්න පටන් ගන්නවා. සමහර විට දරුවා ඉල්ලන දෙය ඔවුන්ට කිසිසේත්ම ප්‍රායා්ජනයක් නොවන්න පුලුවනි. ඒ වුනත් එය දරුවාට අලුත් දෙයක් නිසා පෙරැත්ත කරමින් ඉල්ලා සිටින්න පුලුවන්. එවැනි අවස්ථාවකදී බිම පෙරලෙන්න, පොළවේ ඔලුව ගහගන්න වැනි ප්‍රතිචාර දක්වන්නත් පුලුවනි. කඩපිල ඉදිරියේ නිදා ගන්න තරම් තත්වය දරුනු වෙන්න පුලුවන්.එහෙම වුනොත් ප්‍රසිද්ධියේ දඬුවම් කරන්නත් එපා. හෙමින් සීරුවේ ඔය ගත මග හරවා ගන්න.

අඩනවා කියලා දෙන්න එපා

දරුවා තමන්ට අවශ්‍ය දේ ඉල්ලමින් ලොකු පෙරලියක් කළත් ඔවුන් ඉල්ලා සිටින හැම දෙයක්ම ලබා දෙන්න එපා.සමහර දෙමව්පියන් විසින් දරුවා සතුටු කරන්න වගේම තමා නිදහස් වීම මුල් කර ගෙන දරුවා ඉල්ලන හැම දෙයක්ම ලබා දෙනවා. ඒත් මෙහි යම් සීමාවක් තිබෙනවා. අද දවසේදී ඔබට දරුවා ඉල්ලා සිටින දේ දෙන්නට පුලුවන් වුනත් තවත් දවසකදී දරුවා ඉල්ලන දේ ලබා දීම ඔබට අපහසුවක් විය හැකියි. ඒ නිසා දරුවා හැඬු පමණටම ඉල්ලන දේ ලබා දීම එතරම් ප්‍රඥාගෝචර නැහැ.

දඟ කරන්නේ අවධානය ගන්න

දරුවෙක් වුනොත් පිළිමයක් වගේ එක තැන තියන්න බැහැ. සාමාන්‍යයෙන් දරුවන් දගයි.එය ස්වභාවයක්. ඒ වුනත් සමහර විට දරුවන් අනවශ්‍ය විදිහට දග කරන්නේ ඔවුන් වෙත අවධානය ගැනීම වෙන්නත් පුලුවනි. ඔබේ දරැවන් ගැන හිතුවොත් මෙය මොනතරම් සාධාරණදැයි හිතේවි. නිවසේ යම් පමණකින් සංවරව සහ එතරම් දගයක් නොමැති දරුවා නිවසට කවුරුන් හෝ පැමිණි විටකදී අනවශ්‍ය විදිහට දග කිරීමට යොමු වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ගේ දඟකාරකම් වුනත් පමණ ඉක්මවා සිදු වෙනවා නම් එයින් පෙනී යන්නේ ඔවුන්ට අවධානය අවශ්‍ය බවයි.

ඉරිසියාවත් තියෙනවා.

පොඩි එවුන්ට ඉරිසියාවත් නැත්තේම නැහැ. විහේෂයෙන් එය ආදරය මුල් කර ගෙන සිදු වෙන්නක්. තමාගේ අයියා අක්කාට දෙමව්පියන්ගේ ආදරය බෙදෙනවාට දරුවන් කැමැති නැහැ.ඒ ඉතින් පොඩි අයගේ හැටි. ඒ නිසා මේ ළමයාගේ ඉරිසියාව කියලා නෝක්කාඩු කියන්න අවශ්‍ය නැහැ. දරුවන්ගේ හිතේ තිබෙන සාධාරණ සිතුවිල්ලක් නිසා ඔබ මේ ගැන හිත කලබල කර ගන්න එපා.

ඉතින් දරුවා ගැන එබේ මට්ටමෙන් නොසිතා ඔවුන්ගේ මට්ටමෙන් හිතන්න තරම් සාධාරණ සිතිවිලි දෙමව්පියන් විදිහට ඔබ විසින් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

දරුවන් ඇති අම්මලාට

දරුවන් ඇති අම්මලාට යැයි නමින් නිකුත් කරන ලද  පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් විසින් පෙන්වා දෙන මේ කරුණු කීපය අපේ අම්මලාටත් ප්‍රෙයා්ජනවත් වේවි.

දරුවන් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නගා ගත යුතු බව ඇත්ත.ඒ වුනත් මේ සම්බන්ධතාවයේ යම් සීමාවක් පවත්වා ගත යුතු වෙනවා. අම්මා දියනියගේ හොඳම මිතුරිය වුනත් ඇය අම්මා බව අමතක කළ යුතු නැහැ. අම්මා යන භුමිකාව ඇදුම් පැලදුම්, කතා බහ සහ හැසිරීම යන සියළුම අංගයන්ගෙන් අය පෙන්වා දිය යුතුයි. ඒ් නිසා දරුවන් සමග කොතරම් සමීප වුනත් දෙම්පියන්ය යන පෞරෂයෙන් නම් දුරස් වීම එතරම් හොද නැහැ. ඒ නිසා නිතරම ‘‘මම අම්මා…මම තාත්තා…යන පෞරෂය නම් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එය දරුවාගේ හදවතට සමීප වීමට නම් කිසිම බලපෑමක් නැහැ.

දරුවා සමග කාලය ගත කරන්න

මහාචාර්ය ලෝරන්ස් ස්ටිල්බර්ග් පෙන්වා දෙන අන්දමට දෙමව්පියන් කොතරම් කාර්ය බහුල වුනත් දරුවන් සමග දවසේ සුලු වේලාවක් හෝ ගත කිරීම ඉතාම වැදගත්. මෙම පර්යේෂණයෙන් හදුනා ගත් අන්දමට දෙමව්පියන් සමග කාලය ගෙවන දරුවන්ගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් තිබුනා. ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට බොහෝ දරුවන්ගේ හිතේ තිබෙන දේවල් දෙමව්පියන් සමග බෙදා හදා ගැනීමට අවසර ලැබෙන්නේ දරුවන් සමග දෙමව්පියන් කාලය ගත කිරීමට යොමු වුනොත් පමණයි.

දරුවා තුළ ආත්ම දමනය ගොඩ නගන්න..

අද දරුවන් වගේම ඇතැම් වැඩිහිටියන්ටත් තමන්ගේ ආවේග පාලනය කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. අපේ පුතාට තරහ ගියාම ඉන්න තැන පේන්නේ නැහැ…අම්මා තාත්තා බොහොම උජාරුවෙන් මෙහෙම කිව්වත් කුඩා කාලයේ පටන්ම දරුවා තුළ ආත්ම දමනයක් ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා ඉර හද ඉල්ලුවත් ලබා ගැනීමට තරම් දරුවන්ගේ ආවේග දරුණු වීමට පුලුවනි. ඒ නිසා කුඩා කාලයේ පටන්ම කොටින්ම කියනවා නම් කීකරු පමණක් නොව සුවච කීකරු දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. දරුවා සමග හැම දෙයම සන්නිවේදනය කර ගන්නා අතරවාරයේදීම කළ නොහැකි දේ කිරීමට අපහසු බැව් ඔවුන්ට කියා දෙන්න.

රූපවාහිනිය සහ පරිගණකය වෙනුවෙන් යම් සීමාවක් පනවන්න.

පරිගණකය, රූපවාහිනිය දරුවන්ට තහනම් කලාපයක් කිරීමට වඩා ඒ වෙනුවෙන් යම් සීමාවන් පනවනන්. ඇමරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට දරුවන්ට ගැලපෙන වැඩ සටහන් තෝරා බේරා දී ඒ වැඩසටහන් හැකි නම් දෙමව්පියන් සමගින් නැරඹීම වඩාත් සාර්ථකයි.පරිගණකය වෙතින් දරුවාගේ අධයාපනයට බොහෝ ප්‍රෙයා්ජන ගත හැකි නිසා එයින් දරුවා ලබන වාසි ගැනත් කියා දෙන්න. එසේම අනවශ්‍ය අන්දමින් පරිගණකයට යොමු වුනොත් සිදු වෙන හානි ගැනත් ඔවුන්ගේ දැනීමේ තරමට කියා දීම ඉතාම වැදගත්.

ආත්ම විශ්වාසය ගොඩ නගන්න

දරුවන්ට නිතරම එපා..ඔයාට බැහැ කියන වචන වෙනුවට ශව් එය පුතාට කරන්න පුලුවන් යන අදහස හිතට ලබා දෙන්න. අනාගතයේදී සඳට යන වැඩසටහනේ සිටින ගගනගාමී සඳහන් කරන්නේ ඇගේ බාල කාලයේ පටන් තිබු එකම අදහස අනාගතයේදී ගගනගාමිනියක වීමයි. පළමු ශ්‍රේනියේ ගුරුතිමිය ඇගෙන් අනාගතයේදී කවුරු වීමට අදහස් කරනවාදැයි විමසූ විට ඇගේ පිලිතුර වී තිබුනේ ගගනගාමිනියක වීම බවයි. ඇය විසින් අදින ලද චිත්‍රයන සදේ සිටින මිනිස් එුවක් දැක ගුරුතුමිය මේ කවුද…? විමසා සිටි විට ඇගේ පිලිතුර වුනේ ‘‘ඒ මම “ යන්නයි. බාලකාලයේ පටන්ම ඇගේ හිතේ තිබුන සිහිනය 2034 වසරේදී සමහර විට (පොරොත්තු ලේඛනයේ සිටින අය අතරින් ඇයද එක් අයෙක් )තෝා ගතහොත් ඒ වෙනුවෙන් පන්නරය ලබා තිබුනේ බාලකාලයේ පටන්ම ඇගේ දෙමව්පියන් විසින් ගොඩ නගන ලද ආත්ම ශක්තිය නිසයි.

දරුවන් සමග ජීවත් වෙන්න

පවුලක් කැඩි විසිරී යෑම බොහෝ විට සිදු වෙන්නේ අඹු සැමියන්ගේ මතබේද හා ගැටුම් නිසයි. එය සාධාරණ කරමින් ඔවුන් කියන්නේ විදවීමට වඩා වෙන්වීම වඩාත් සුදුසු බවයි. වෙන්ව ජීවත්වීම, දික්කසාදය වැනි හේතු නිසා දරුවන් දෙමව්පියන් වෙන් වෙන්ව ජීවත්වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහ. එක්තඑා පවුල් ආරවුල් විසදන උපදේශන සභාවකදී මව්පියන්ගේ වෙන්වීමට දරණ උත්සාහය නිසා දැඩි කම්පනයට පත්ව සිටි 16 හැවිරිදි දියණියට උපදේශිකාව කියා සිටියේ ‘‘ඇයි දුවේ..තාත්තා නැති දරුවෝ කොච්චර ඉන්නවාද..? ඉතින් ඒ වගේ යාළුවෝ, අසල්වැසියන් ඔයා දන්නවානේ..ඒ අවස්ථාවේදී දැරිය කියා සිටියේ ඔව්..ගියසුමානෙත් මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් මියගියා. ඒ වුනත් ආන්ටි ඒ මැරිලානේ. මට එහෙමද තාත්තා /ස්වීමට එන්නේ නැති වුනාම…උපන්දිනයට තෑගි නැති වුනාම මම කොහොමද උත්තර දෙන්නේ..මැරිලා නම් හිත හදාගනන් වෙනවා. ඒත් මම….?

මතුපිටින් නොදුටුවත් දෙමව්පියන්ගේ වෙන්වීම දරුවන්ට ඉතාම දැඩි අන්දමින් බලපාන මානසික ගැටුමක් බවට පත්ව තිබෙන බැව් අමතක කළ යුතු නැහැ.

දරුවෙකු ලැබීමෙන් පසුවත් කාන්තා ඔබේ ලස්සන රැක ගන්න උනන්දු විය යුත්තේ ඇයි?

කාන්තාවක් විවාහයට පෙරාතුව ලස්සන රැක ගන්න දක්වන උනන්දුව දරුවා ලැබෙන්න සිටින විටත් රැක ගැනීමට බොහොම උනන්දුයි. ඊට හේතුව කුසේ සිටින දරු පැටියා රැක ගන්න ඒන කියන අති මහත් උදාර බලාපොරොත්තුව නිසයි.

  • අපේ ලස්සන බලන්න කවුද ඉන්නේ…

ඒත් මේ උනන්දුව දරුවා ලැබීමෙන් පසුව නොදැනීම හීන වෙනවා.බොහෝ දෙනා කියන්නේ දරුවාගේ වැඩට දවස ගෙවෙනවා මිසක අපේ හැඩ රුව ගැන හිතන්න දැන් වෙලාවක් නැති බවයි.

තවත් අය හිතන්නේ දැන් ඉතින් කසාද බැදලා දරු මල්ලෝ ලැබිලා ඉන්න අපි දිහා කවුරු බලන්නද කියලයි.ඒත් මේ මතවාද මත රැදී ඉන්නේ නැතුව අම්මාගේ ලස්සනයි බබාගේ වැඩ කටයුතුයි එකට ගලපා ගන්නේ කොහොමද…?

  • අහස උසට වැඩ

දරුවාගේ වැඩ අහස උසට කියලා අම්මා නොකා නොබී හිටියොත් ගැටළුව වඩාත් නරක අතට හැරෙන්න පුලුවනි.කිරි දෙන අම්මා කෙනෙකුට පෝෂණය අවශ්‍යයි.ආහාර ගැන උනන්දු නොවුනොත් දරුවාට කිරි පිලිබද ගැටළු ඇති වෙනවා. ඒ වගේම අම්මා දුර්වල වුනොත් සිරුරේ ඇති වෙන දුර්වලතාවය නිසා රෝගී වීමටත් වැඩි ඉඩ කඩක් තිබෙනවා.

  • අතට පයට උදව්

    ඒ වගේම සමහර අම්මලාට දරුවා ලැබුනාට පසුව නිවසේ අයගෙන් විහාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා දරුවා සමග ඇදටම වෙලා දරුවා ලගම ඇල වෙලා ඉනන්වා මිසික කිසිම ක්‍රියාශීලීත්වයක් නැහැ.අනේ ඉතින් කිරි දෙන අම්මානේ කියලා හොදට කෑම බීමත් ළගටම ලබා දෙනවා. ඉතින් අම්මත් හොඳට කාලා බීලා පමණටත් වඩා වැඩි විවේකයකින්් කාලය ගෙවනවා.මේ අක්‍රියශිලී ජීවිතය නිසා අම්මාට නොදැනීම කොලස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගාබාධයන් වැළඳෙන බව ඔවුන්ට අමතකයි. ඒ විතරක් නොවෙයි, පවුලේ අයටත් අමතක වෙලා ගිහින්. ඉතින් දරු පැටියා ලොකු මහත් වෙද්දී අම්මා ලෙඩෙක් වෙලා.

  • අධික තෙල්, පිෂ්ට ආහාරවලට

දරු ප්‍රසුතියෙන් පසුව අධික තෙල්, පිෂ්ට ආහාරවලට හඹා යෑම එතරම් සුදුසු නැහැ. මේ කාලයේදී තන්තු බහුල ආහාර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මලබද්ධ තත්වයෙන් අම්මා පීඩාවට පත් වෙන්න පුලුවනි. ජලය යහමින් පානය කිරීමත් ඉතාම වැදගත්. ජලය වෙනුවට කෘතිම පාන වර්ග බීලා අපි ඉතින් වතුර බිව්වේ නැතුවට බීම වර්ග බොනවානේ… කියලා සැනසෙන්න එපා. ඒවා ඔබ නොදැනීම අහිතකර විදිහට බලපාන්න පුලුවනි.මේවායේ අඩංගු රසකාරක , වර්ණ කාරක සහ අධික සීනි නිසා විවිධ රෝගාබාධයන්ට පත් වීමේ අවදානම ඉහලින්ම ඇති වෙනවා.

  • උදේ ආහාරය රජෙක් වගේ ගන්න

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන අවවාදය අම්මාටත් අදාලයි. බොහොම අම්මලාට උදේ ආහරය මග ඇරෙනවා.ඊට හේතුව දරුවා නිදි අතරේ රෙදි සෝදා ගන්න, ගෙදර අතු ගාන්න, දවල්ට කන බොන දේ හදන්න වෙහෙසෙනවා මිසක උදේ ආහාරය ගැන නම් උනන්දුවක් නැහැ. ඒ වුනත් සේරටම පෙරාතුව කිරි දෙන අම්මා තමන්ගේ උදේ ආහාරය ලබා ගැනීම නම් අතපසු කිරීම එතරම් සුබ නැහැ.

  • පළතුරු පංගු

දිනකට පළතුරු පංගු කීපයක්වත් කිරි දෙන අම්මා ආහාරයට ගැනීම අවශයි. ගෙවෙත්තේ තිබෙන කෙසෙල්, පැපොල්, දොඩම් වැනි පළතුරු මේ වෙනුවෙන් වඩාත් හොදයි. හැබැයි දොඩම්, තැඹිලි වගේ පාන වර්ග හැකි තරම් උදේ වරුවේ පානය කරන්න.ස්නානය කළ දිනයකදී තැඹිලි වැනි සීතල පාන වර්ග ගැනීම අනතුරුදායකයි. මේවා ශීතරකණයේ තබා පානයත් සුදුසු නැහැ.ඒ  නිසා දරු ප්‍රසුතියෙන් පසුව අම්මා කෙනෙක් වුනාම කාලගුණ තත්වය ගැනත් අවදියෙන් සිටීම ඉතාම වැදගත්

ව්‍යායාම

දරුවාගේ වැඩත් සමග මම කොහොමද වයායාම කරන්නේ කිව්වත් ඒ වෙනුවෙනුත් කාලයක් වෙන් කර ගන්න. දරුවාගේ වැඩ කටයුතු සමග කෙටි දුර ඇවිදීම,අතුගෑම වැනි සරල ව්‍යායාම ගැනවත් උනන්දු වෙන්න එතරම් බාධාවක් නැහැ.

පිටස්තර උදවිය බලා සිටියදී ආහාර ගත්තාම උදරාබාධ ඇති වෙනවද?

ගමනක් බිමනක් යද්දී පුංචි පැටවුන්ට බඩගිනි ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒ තත්වය ඉතින් පොඩිත්තන්ට පමණක් නොවෙයි, වැඩිහිටියන්ටත් පොදුයි. හැබැයි මොනතරම් ගුණදායක වුනත් පොදු ප්‍රවාහනයක ගමන් ගනිද්දී බත් වගේ දේවල් අරගෙන කෑමත් අපහසුයි. ඒ නිසා අපි කවුරුත් පොදු ප්‍රවාහන සේවාවක ගමනක් යද්දී මුලින්ම කරන්නේ අසල තිබෙන බේකරියකින් අතරමගදී ආහාරයට පේස්ට්‍රියක් හෝ වෙනත් බේකරි ආහාරයක් මිළට ගන්නවා.

මෙහෙම අදහසක් ඉස්සර තිබුණා..

අතීතයේදී නම් දෙමව්පියන් අතරමගදී කිසිම දෙයක් කෑමට දුන්නේ නැහැ. ඒ අයගේ අදහස වුනේ පිටස්තර උදවිය බලා සිටියදී ආහාර ගත්තාම උදරාබාධ ඇති වෙන බවයි.අම්මලා මේ තත්වය හැඳින්වූයේ කෙළ ගැල්මක් විදිහටයි.අපි කන ආහාරය දිහා බලා සිටින වෙනත් අයට ඒ ගැන ආසාවක් ඇති වුනොත් බඩේ අජීර්ණ තත්වය ඇති වීමට ඉඩ තිබෙන බවයි

දැන් මේ ගැන විද්‍යාත්මකව තිබෙන තත්වය මෙහෙමයිපොදු ප්‍රවාහන සේවාවක ගමන් ගනිද්දී අපි හැම දෙනෙක්ම වැඩියෙන් ආහාරයට ගන්නේ බේකරි නිෂ්පාදනයි. බේකරි නිෂ්පාදන ආහාරයට ගැනීම සහ උදරාබාධ ඇති වීම අතර පවතින අන්තර් සම්බන්ධතාවය ගැන මේ අයගේ අවධානය යොමු වුණා.ඔවුන් පෙන්වා දෙන්නේ බේකරි ආහාරවලට බොහොම ඉක්මනින් සැල්මනැල්ලා වැනි බැක්ටීරියාවන් වර්ධනයට තිබෙන අවස්ථාව නිසා පාචන තත්වයට ගොදුරු වීමට වැඩි සම්භාව්‍යතාවයක් ඇති බවයි. ඔවුන් මේ අධ්‍යන වාර්තාව බ්‍රිටිෂ් හෙල්ත් ජර්නල් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තද සුවඳක් ඇති ඕනෑම ආහාරයක් දුම්රිය හෝ බස් රථයක් වැනි ප්‍රවාහනයකින් ගමන්ගනිද්දී ආහාරයට නොගන්න.  . එය සෙසු මගීන්ට නොගැලපෙන අතර ඔබ නැවතුම්පොළෙන් බැස ගිය පසු පවා සුවඳ දැනෙනු ඇත. බොහෝ උණුසුම් ආහාරවල ද ශක්තිමත් සුවඳ ඇති බව මතක තබා ගන්න.නූඩ්ල්ස්, පැස්ටා වැනි ආහාරවලින් වහනය වෙන සුවඳත් මේ අතරට ඇතුලත්.

පළතුරු දුන්නොත්…

පළතුරු ගැන නම් චෝදනාවක් නැහැ. ඒ වුනත් දොඩම්,නාරං වැනි පළතුරු ආහාරයෙන් පසුව එහි ලෙලි බිම දැමීම නිසා සිදු වෙන අපිරිසිදුතාවය ගැනත් මතකයේ තබා ගැනීම ඉතාම වැදගත්. අපි කෑවා…දරුවන්ට කන්න දුන්නා…එයින් එපිටට අපට මොකද කියලා හිතන දෙමව්පියෝ ඉන්නවා. කෙසෙල් ගෙඩිය කාලා කිසිම බියක් ලැජ්ජාවක් නැතුව පොත්ත එළියට දානවා. ඒ ගැන කිව්වොත් කියන්නේ ආ…ඕවා දිරනවානේ..ඒක ඇත්ත නමුත් අපට මෙය වැටෙන තැන ගැන ඉලක්කය අපි දන්නේ නැහැනේ..හදිසියේවත් කෙනෙක් ලිස්සා වැටුනොත් අපිත් එහි කොටස්කාරයෝ වෙනවා. ඒ නිසා ඉවත දමන දේවල් වෙනම කොටස් කර ගෙන ඇවිත් නගරයේ කසල බැහැර කරන තැනක් තිබුනොත් එතැනට එහෙම නැත්නම් නිවසටම ගෙනත් හෝ බැහැර කිරීම ඉතාම වැදගත්.

අතරමගට රටකජු එපා..

අපේ අම්මලා දරුවන්ට නිතරම සංචාරක වෙළෙන්දන් අරගෙන එන රටකජු අරගෙන දෙන්න කිසිම පැකිලීමක් නැහැ. රටකජු ගුණ බව ඇත්ත වුනත් බොහෝ විට ආසාත්මිකතාවයන් ඇති කරනවා. මේ තත්වය ඇතැම් විට මාරාන්තික වෙන්නත් පුළුවනි.

ඉස්සන් වඩේ වුනත් එහෙමයි. පුංචි දරුවන්ට මෙවැනි ආහාර අතරමගදී ලබා නොදීම ඉතාම වැදගත්.

මොනවද දෙන්නේ…

මස්, මාලු, බිත්තර අතරමගට කොහෙත්ම නම් සුදුසු නැහැ. අවදානම බොහොම වැඩියි. ඒ නිසා ගමනේ දුර අනුව ඊට පෙරාතුව නිවසේදී කුස පිරෙන යමක් ලබා දෙන්න. අතරමගට නම් බිස්කට් වගේ දෙයක් නම් වරදක් නැහැ. පාන් වුනත්  බිත්තර ,සැමන්, නැතුව සකස් කර ගන්න පුලුවන් නිසා අවදානම අඩුයි.

ඔන්න..ඉසස්රත් කෙළ ගැල්ම කියන්න ඇත්තේ ඔය වගේ ආහාර ආසාත්මිකතාවයන්ට වෙන්නැති.

නිර්මානශීලි දරුවෙකුගේ ලක්ෂණ

දරුවෙකුගේ නිර්මානශීලීත්වය දෙමව්පියන් විදිහට ඔබටම අත්දකින්න පුලුවනි. නමුත් සමහර දරුවන් නිර්මාශීලී වුනත් ඔවුන් ඒවා ප්‍රදර්ශනය කරන්නේ නැහැ. සමහර දරුවන් යාන්තමින් හිටවැටෙන වයසේ පටන්ම තමන්ගේ අපුරු නිර්මානශීලී හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. ඒ වග්ම දරුවාගේ නිර්මානශීලීත්වය ගැන ඔබට දරුවාගේ හැසිරීමෙන්ම යම් යම් ඉගි ලබා ගන්න පුලුවනි.

  • මට එය කළ හැකියි

නිර්මානශීලී දරුවාගේ ආත්ම ශක්තිය ඉතාම ප්‍රබලයි.පුංචි කාලයේ පටන්ම නිර්මානශීලී දරුවාගේ ආත්ම ශක්තිය ප්‍රබලයි. සමහර විට ඔබට දරුවාගේ මේ වගේ වචන ඇහෙන්න පුලුවනි. බබාට පුලුවනි..බබාට දෙන්න…මේ අන්දමින් දරුවාගෙන් ප්‍රකාශිත වචන මගින් පෙනෙන්නේ ඔහුගේ ආත්ම ශක්තියයි. ඒ නිසා දරුවා මට පුලුවන් කියන විටෙකදී නෑ නෑ ඒක ඔයාට කරන්න දෙන්න බැහැ කියලා දරුවාගේ හැකියාවන් නිශේධනය කරන්නඑපා.යම් විදිහකින් එය දරුවාට අවදානම් නම් ඒ අවදානම ගැනත් පැහැදිලි කර දෙන්න.

  • චරිත ලක්ෂණ සෘජුයි

නිර්මානශීලී දරුවාගේ චරිත ලක්ෂණ ඉතාම සෘජුයි. චංචල ගති පැවැතුම් දකින්න නැහැ. සාමාන්‍යෙයන්   දරුවන්ගේ ගති ගුණ විටින් විට වෙනස් වෙනවා නම් එයින් පෙනේනේ ඔවුන්ගේ යම් දුර්වලතාවයක්. නමුත් නිර්මානශීලී දරුවාගේ චරිත ලක්ෂණ බොහොම සෘජුයි. ඔවුන්ගේ ගති පැවැතුම් අතර දකින්න ලැබෙන්නේ සෘජු බවක් මිසක විටින් විට වෙනස්වන දුර්වල ගති පැවැතුම් නොවෙයි.

  • කීකරුයි

දරුවන්ගේ අකීකරුකම් ගැන අපේ දෙමව්පියන් නිතරම චෝදනා කරනවා. එය ඇත්ත. ඉන්න…කියන තැන ඒ විදිහටම නොසිටියත් කීකරු දරුවන් දෙමව්පියන්ගේ බහට අවනත වෙනවා. ඒ නිසා ඔවුන්ගේ නොමග යෑම් බොහෝ දුරට අඩුයි. මේ කීකරුකම නිර්මානශීලීත්වයේ ලක්ෂණයක්.ඔබ මේ විදිහට හිතන්න. අද මත්ද්‍රව්‍ය පිලිබඳව පාසල් දරුවන් ගොදුරුවීම ගැන ආන්දෝලනයෙන් අප කතා කරනවා. ඒත් මේ මත්ද්‍රව්‍ය අතරේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙන දරුවන් වගේම ඒ අතර එවන් දුරාචාරවලට ගොදුරු නොවන දරුවන්ද සිටිනවා. එහෙමනම් පිරිසක් මතට යොමු වෙද්දී පිරිසක් මතට යොමු නොවන්නේ ඇයි…? මේ හැම දරුවෙක් වෙනුවෙන්ම දෙමව්පියන් මග නොමග කියා දී තිබෙනවා. ඒත් එයින් නිවරැදි මග තේරුම් ගැනීමේ හැකියාව නිර්මානශීලී දරුවා තුල තිබෙනවා. ඒ නිසා ඔවුන් දෙමව්පියන් සහ ගුරුවරු වැඩිහිටි බසට අවනතව කීකරුව හැඩ ගැසී මග නොමග ඉතාම හොදින් බේරා ගන්නවා.

  • මෘදුයි

දරුවන් මල් වගෙයි. බොහොම මෘදුයි ලසස්නයි. ඒ වුනත් දරුවාගේ බාහිර පෙනුමට වඩා හිතේ තිබෙන මෘදු ගති ගුණ සමාජය විසින්ම අගය කරනවා. දරුවන් මෙලොව උපත ලබන්නේ හිස් පුවරුවක් වගේ පිරිසිදු හිතකින්. ඔවුන්ගේ හදවත පිරිසිදුව මලක් වගේ පවත්වා ගැනීම වගේම දුර්දාන්ත ගති පැවැතුම්වලින් සන්නද්ධ වීම සිදු තුළ මෘදු බව වගා කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. බාල කාලයේ පටන්ම දරුවාට දක්වන ආදරය, සෙනහස සහ රැකවරණය ඔවුන්ගේ මෘදු පැවැතුම් වගාවට වගේම නිර්මානශීලී හැකියාවන් විකසිත කිරීමටත් හේතු වෙනවා.

  • විනය ගරුකයි

නිර්මානශීලී දරුවන් බොහොම විනයගරුකයි. ඔවුන් විනය ගැන සැලකිලිමත්. ඒ වගේම තවත් එකක් මතක තබා ගත යුතුයි. දරුවන්ගේ ලෝකයේ මුලින්ම දැන හඳුනන චරිත වන්නේ තමන්ගේ නිවසයි. දරුවා විනය ඉගෙන ගන්නේ නිවසෙන්. ඒ නිසාම වැඩිහිටියන්ද විනය ගැන වැඩි සැලකිල්ලලක් දරුවා ඉදිරියේ දැක්වීම ඉතාම වැදගත්. නිර්මානශීලී දරුවන් වෙතින් විනයගරුක බව නිතැතින්ම ප්‍රදර්ශනය වෙනවා.

  • නිහතමානියි

නිර්මානශීලී දරුවන් බොහොම නිහතමානියි. එය හරියට බොල් කරල් උඩ බලාගෙන සිටියදී පැසුණ වී කරල් බිමට හැරෙන්නා වගෙයි. තමන්ගේ හැකියාවන් ගැන අහංකාර වීමක් ඔවුන් තුළ නැහැ. වචනයට වුනත් කියන්නේ නිහමානී ආඩම්බරයක් පමණයි. ඒ නිහතමානී ආඩම්බරය ඇති වෙන්නේ තමන් ගැන තිබෙන විශ්වාසය නිසා මිසක පුහු ආඩම්බරයක් නොවෙයි. එබේ දරුවාගේ නිර්මාශීලී හැකියාවන් සමග නිහතමානී බවත් නොදැනීම ගොඩ නැගේවි.

  • සතුටින් සිටී

සමහර දරුවන් දෙස බලන විට ඔවුන්ගේ මුහුණේ කිසිම සතුටක් දකින්න නැති වේවි. ඒ වගේම දෙමව්පියන් වුනත් ඔවුන්ට මේ විදිහට චෝදනවා කරාවි. මොකද මේ…දැක්කොත් මූණ එල්ලා ගෙන..ඇඩියාව…..දරුවන් වෙනුවෙන් මේ විදිහට චෝදනා නග දෙමව්පියන් ගැන ඔබටත් ඇසි ඇති. ඒ වුනත් නිර්මානශීලී දරුවන් බොහාම සතුටින් සිටිනවා.ඔවුන්ගේ ජීවිතය දවසින් දවස අලුත්..එහෙමනම් ඔබේ දරුවා වෙතිනුත් මේ වගේ ලක්ෂණ ප්‍රදර්ශනය වෙන අන්දමින් ඔවුන්ට ජීවත්වීමට ඇවැසි පරිසරය ගොඩ නැගීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

හෝම්වර්ක් එපා කිව්වටම බැහැ

දරුවන්ට පාසල් කාලයෙන් පසුව නිවසේදී ඔවුන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතාවයන්  වෙනුවෙන් ලබා දෙන ‘‘ හෝම් වර්ක් “ ගැන අද ලෝකය පුරා විවිධ කතිකාවත් ගොඩ නැගී තිබෙනවා. පින්ලන්තය වැනි රටවල් විසින් හෝම්වර්ක් ලබා දීම තර ප්‍රතික්ෂෙප කරද්දී දරුවන් වෙනුවෙන් හෝම්වර්ක් ලබා දීම තවමත් තරයේම තහනම් වී නැහැ. ඒ නිසා හෝම්වර්ක් ලබා දීම තවම පර්යේෂණ මට්ටමේ සිදු වෙනවා.

මේ අතර පසුගිය දා එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනයක් සිදු වුණා. එම අධ්‍යනය වෙනුවෙන් ගැහැණු දරුවන් 514 ක් සහ පිරිමි දරුවන් 406 දෙනෙක් සහභාගී වුණා. අධ්‍යනය අවසානයේදී මෙම පර්යේෂකයන්  විසින් හදුනා ගත් අන්දමට මෙහි වරද තිබෙන්නේ ‘‘ හෝම්වර්ක් “ ලබා දීම නොව ඒවා කිරීමේදී දරුවන්ට තනිබර දැරීමට සිදු වීමයි.

ඒ අනුව මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ දරුවන් හෝම්වරක් කරන විට දෙමව්පියන් හෝ පවුලේ වැඩිහිටියෙක් එසේත් නැත්නම් දරුවාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ සහයෝගය ලබා දීම වැදගත් බවයි. ඒ අන්දමින් හෝම්වර්ක් කරන අතරවාරයේදී ලැබෙන සහයෝගය නිසා ලැබෙන වාසි කීපයක් ගැන මේ පර්යේෂණය මගින් පෙන්වා දෙනවා.

සතුට.පුංචි හිතට බොහොම සුලු දෙයකින් සතුට ලැබෙනවා. ඒ ඔවුන්ගේ හිත් අහිංසක නිසයි. හෝම්වර්ක් කරන විට තමා අසල කවුරුන් හෝ සිටිනවා නම් එය දරුවාගේ හිතට සතුුට ගෙන දෙන සිදුවීමක් බැව් මේ පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.

ශක්තිය.තමන් හුදෙකලාව හෝම්වර්ක් කරන විට නැති හයියක් කවුරුන් හෝ ඔවුන් අසල සිටියදී ලැබෙන බැව් මේ අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.ඒ තත්වය ඉතින් පොඩ්ඩන්ට විතරක් නොවෙයි සාමාන්‍ය අපි කාටත් පොදු තත්වයක්.

අවබෝධය-දරුවන් හෝම්වර්ක් කරන විට ලැබෙන සහයෝගය නිසා එවුන්ට යම් අවබෝධයකින් මේ කටයුත්ත කිරීමට හැකියාව ලැබෙන බැව් වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අද්‍යනයට අනුව පෙන්වා දෙනවා. එය ඇත්ත. දරුවාට යම් පැවරුමක් ලබා දුන්නොත් මග පෙන්වන අයෙකු ඔවුන් අසල සිටිනවා නම් තමාට පාසලෙන් නියම කරන ලද නිවසේදී සිදු කිරීමට ලබා දුන් පැවරුම යම් අවබෝධයකින් කිරීමේ හැකියාව ලැබෙනවා.

නිවරැදිබව– පුංචි අයට හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් නැහැ.ඒ නිසා තනිපංගලමේ හෝම්වර්ක් කරද්දී වැරදීම් බොහෝ සේ වෙන්න පුලුවනි. නමුත් තමා අසල වැඩිහියෙක් සිටිනවා නම් ඔවුන්ගේ උදව්ව නිසා වැරදීම් අවම වීමට පුලුවනි. පුංචි අය එකම දේ නැවත නැවත කරන්න අදි මදි කරනවා. ඒ නිසා ඔවුන් කරන කියන දේ ගැන වැඩිහිටියන් අවදානයකින් සිටිනවා නම් බොහොම අගෙයි.

  • හැබැයි මේ කියන්නේ දරුවාගේ හෝම්වර්ක් වැඩිහිටියන් කරන්න ඕන කියනවා නොවෙයි…..

සමහර වැඩිහිටියන් තමන්ගේ පහසුවට දරුවන්ට මේ විදිහට කියනවා ඔබටත් ඇහිලා ඇති.මේ ඕක තියන්න..මං කරල දෙන්නම් .ඕක වරද්දා ගන්නවාට වඩා මං කරලා දෙන එක ලේසියි.

ඒත් මෙතැනදී ඔබේ තීරණය වැරදියි. දරුවන්ගේ හෝම්වර්ක් ඔවුන්ට කර ගැනීමට ඉඩ දෙන්න. හැබැයි  ඔබ සහයෝගය දෙන්න. මේ ගැන පුංචි උදාහරණයක් කිව්වොත්..ඔබ සරුංගලයක් හදලා එය උඩට නැගුවාට පසුව සරුංගලය නිදහසේ අහසේ සැරිසරනවා. හැබැයි යම් විදිහකින් සරුංගලය පැටලෙන්න ගියොත් ඔබ ඒ තත්වයේදී පැටළුම ඇරලා නැවත නිවරැදි මාර්ගයට ගන්නවා.

දරුවන් ගැනත් මේ සංකල්පය බොහාම සාධාරණයි. ඔබ දරුවාට නිවරැදිව ඔවුන්ගේ හෝම්වර්ක් කර ගැනීමට ඉඩ දෙන්න. ඒත් යම් තැනකදී ඔවුන්ට වරදින බැව් දකින විට නිවරැදි කරන්න..එවිට දරුවා හෝම්වර්ක් කිරීම සමග යම් දැණුවත් වීමක් ලබා ගනු ඇත.ඒ නිසා හෝම්වර්ක් එපා කියන උද්ඝෝෂණය නැගුනත් දරුවාට පාසලෙන් යම් පැවරූ කොටසක් පසුදිනට හෝ අදාල නියමිත දිනට එය අසම්පූර්ණව පාසලට යෑමට නොහැකියි. ඒ වුනත් ඔවුන්ගේ සහයෝගයට ඉදිරිපත් වෙන කෙනෙකු නැත්නම් දරුවා ඉතාම අසරණ වෙනවා. ඒ නිසා හෝම්වර්ක් එපා කියන රැල්ල ලෝකය පුරා නැගුනත් ඔබේ දරුවා හෝම්වර්ක් කරන විටදී ඔවුන් සමීපයේ සිට උදව් ලබා දීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

හිමිදිරි උදෑසන මිහිරි කරමු

උදෑසන ගැන අතීතයේ පටන් තිබුනේ බොහොම පූජණීය සංකල්පයක්. දහසක් බුදුන් බුදුවන උදෑසන කියලා බොහෝ දෙනා උදයට ගැන වැඩි වටිනාකමක් ලබා දුන්නා. ඒ වගේම උදෑසනම හිත රිදුනොත් හෝ කිසියම් මානසික රිදීමක් ඇති වුනොත් එය දවසටම බලපාන බැව් ඔවුන් පිලිගෙන තිබුණා. සමහර විට ඔබට මේ වගේ දෙබස් වැඩිහිටියන්ගෙන් ඇහිලා ඇති.

අද උදේ කවුද මන්දා දැක්කේ…එයින් අදහස් වෙන්නේ උදයෙන්ම ඔවුන්ගේ හිතේ යම් අකමැති දෙයක් සිදු වී තිබෙන බවයි. මේ නිසා නිතරම උදය සුබවාදී විදිහට සැලසුම් කර ගැනීමට ඔවුන් උනන්දු වුනා. උදයෙන්ම අවදි වෙලා වතුර පිරන තැනක්, එහෙම නැත්නම් මල් ගොන්නක් දැකීම දවසම සුබාවාදීව ගෙවන්න හැකියාව ලැබෙන බවට විශ්වාසයන්ද ගොඩ නැගී තිබුනා.

  • ඒත් අපි උදේ පටන් ගන්නේ කොහොමද…?

අම්මා උදෙන්ම අවදිවෙලා මුලුතැන්ගෙට ගියත් ඇය තනියම කටයුතු කරනවා. ඒ ගැන නම් එතරම් ගැටුමක් නැහැ. මොකද අම්මලා බොහොම සතුටින් තමන්ගේ  යුතුකමක් විදිහට ඉවුම් පිහුම් කරනවා. සමහර විට අම්මාගේ ආහාර තරම් වෙන කිසිම තැනකින් ආහාර ගත්තාට ඒ රසය නොලැබෙන බව බොහෝ දෙනා කියනවා ඔබ අසා ඇති.අම්මාගෙන් බත් කටක් කෑවාම බඩපිරෙන බවත් අපි කවුරුත් දන්නවා.

ඒ වුනත්….අද හැම අම්මා කෙනෙක්ම තවත් රාජකාරියක් සමග සම්බන්ධයි. ඇය රතු ඉරට පෙරාතුව කන්තෝරුවට යා යුතුයි. ඒ නිසා වගකීම් රැසයි. ඒ අතරේ තමන්ගේ යුතුකම්ද ඉටු විය යුතුයි. ඉතිං මේ කටයුතු නිසා අම්මාට වුනත් හිතට පුංචි කේන්තියක් ඇති වෙනවා. අනේ..ටිකක් උදව් වෙන්නකෝ…මම තනියම මේ ඔක්කොම කරන්නේ..මටත් වෙලා යනවා. අම්මාගේ පුංචි ඉල්ලීමක්. ඉතින් මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වලා කවුරු හෝ කෙනෙක් උදව්වට මුලුතැන්ගෙට ආවොත් නම් අම්මාට ටිකක් සහනයක්. හැබැයි නාවොත්…? මුවින් නොදොඩා වැඩ ටික කරාවි. සමහර විට පවුලේ හැම දෙනාටම බැන අඩගහාවි. මේ ප්‍රතිචාරවලින් අම්මා හිතේ ආවේග පිට කළත් ඇය විසින් මේ සුන්දර උදෑසන නිවසම සෘණ සිතුවිලි වලින් පුරවලා.

  • දැන් ඔන්න තාත්තාගේ වාරේ..

අම්මා කන්කරච්චලයක් නැතුව කියවද්දී තාත්තා කියාවි..මේ මට ඕන බතක් නැහැ. ඔය බතක් මාලුවක් උයන්න ඔය තරම් කෑගහන්නේ..හරියට ගමකට උයනවා වගේ..මම කැන්ටිමෙන් කන්නම්. තියාගන්න ඔයාගේ බත..තාත්තා ඒ විදිහට ආවේග පිට කරද්දී නැවතත් නිවස සෘණ සිතුවිලි වලින්ම පිරෙනවා. අම්මාගේ හිතටත් පුදුම වේදනාවක් දැනෙනවා.

  • ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද..? මාත් රස්සාවක් කරන ගෑනියක් කියලා..

අම්මාගේ හිතේ ආත්මානුකම්පාවෙන් පිරෙනවා. තවත් සෘන සිතුවිලි නිවසේම අයගෙන් පිටවෙලා නිවසම පිරෙනවා.පොඩි අයගේ යුද්ධයත් පටන් ගන්නවා. අම්මේ…මගේ මේස් එක කෝ…මගේ ගවුම අයන් කරලා දෙන්නකෝ…කෝ බත් එක මට වෙලා යනවා…එක එක්කෙනාගේ එක එක පැමිණිලි. වතුර ගලන්නේ මිටි තැනින්නේ..අම්මා , තාත්තා දෙනාන්ම එකතු වෙලා ඔවුන්ගේ  ආවේග පොඩිවුන් පිටින් යවනවා. සමහර විට පාරක් දෙකක් ගහන්නත් පුලුවනි. ඉතින් දරුවෝ අඩ අඬා ගෙදරින් පිටවෙනවා.පුංචි හිතෙන් පිටවෙන්නෙත් සෘණ සිතුවිලි .හැමදෙනාගේ හිතේ තරහ, පසුතැවිල්ල, ආත්මානුකම්පාව…උදය පටන්ගන්නේ මේ විදිහට ඉතාම අප්‍රසන්න අන්දමින්…

  • එහෙම නම් ලස්සන උදෑසනක් අපිට පටන් ගන්න බැරිද…?

පුලුවනි…බොහොම පහසුයි. උදයට කරන්න තියෙන වැඩකටයුතුවලින් හැකි තරම් පෙරදා රාත්‍රිෙය් සූදානම් කරන්න පුලුවනි. එවිට පසුදා උදය එතරම් බරක් වෙන්නේ නැහැ.

පුංචි පුංචි උදව් කරන්න…අම්මාට පුංචි අයගෙන් වුනත් පුංචිවට හෝ උදව් ලැබෙනවා නම් එය ඇගේ හිතට හයියක්. තනියම බර දරාගෙන් ඉන්නවාට වඩා බෙදා ගෙන වැඩ කිරීම පහසුයි. සමහර විට අම්මා වැඩ බෙදන එකකුත් නැහැ. ඒ වුනත් කවුරුන් හෝ සහයට සිටිනවානේ කියන සැනසිල්ල ඇගේ හිතේ ඇති වෙනවා.

තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුලුවනිනේ..දරුවන්ගේ වැඩ හැකිතරම් ඔවුන්ටම පවරන්න. අම්මා හැම දේම දරණ මහපොළව වගේ කියන්නා සේම ඇය දරුවන්ගේ බර පමණට වඩා කරට ගත යුතු නැහැ. තමන්ගේ සපත්තු මේස්, පොත් පත් පිලිවෙලට තබා ගැනීමට දරුවන් උනන්දු කරන්න. ඒවා අම්මාගෙන් විමසනවාට වඩා පෙරදා හෝ ඒවා සැලසුමකින් තබන්නට ඔවුන්ට උපදෙස් දෙන්න.මේ විදිහට උදය සැලසුම් වුනොත් හැම දෙනාටම බොහොම සතුටින් නිවසෙන් පිටව යන්නට පුලුවනි.