පුතා හරිම Smart

ඔබේ දරුවා සමාජයේ වටිනාකමක් ඇති එහෙම නැත්නම් ස්මාර්ට් දරුවෙකු ලෙසින්  හැම දෙනාගේම ආදරය සහ අවදානය දිනා ගන්නවා නම් මව්පියින් ලෙසින් එය ඔබටත් නිහතමානී ආඩම්බරයක්. එහෙමනම් බාල කාලයේ පටන්ම දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුනු කාරණා කීපයක් තිබෙනවා.

දරුවා පිරිසිදුව තබන්න…

සාමාන්ය කියමනටත් කියන සේ පිරිසිදු දරුවෙක් සෝදා ඒ වතුර පානය කරන්න පුලුවනි. ජනවහරේ පිරිසිදු බවට ලබා දුන් අලංකාර වාක්ය එයයි. ඉතින් ඔබේ දරුවා ගැනත් සමාජය ඒ අන්දමින් කතා බහ කරනවා නම් සැබැවින්ම එය ඔබ විසින් දරුවාට ලබා දුන් සුවිශේෂී වරප්රසාදයක්. දරුවෙක් පිරිසිදුව තබා ගැනීමට අතිරේකව මුදල් අවශ්ය නැහැ. ඔබ සතු ඇදුම් වලින්ම ඒ වැඩ කොටස ඉටු කරන්න පුලුවනි. තිබෙන ඇඳුම් කීපය වුනත් සෝදා පිරිසිදුව අන්දවන්න. නිතර මුහුණ සෝදා , දත කට මැද පිරිසිදුව තබන්න. එවිට ඔබේ දරුවා ගැන සමාජයේ පිළිගැනීමක් ඇති වෙනවා.

පිළිවෙල…

දරුවෙකුගේ පිළිවෙල බාල කාලයේ පටන්ම ගොඩ නැගිය යුතුයි.එසේ නැත්නම් දරුවා සමග ඔවුන්ගේ අපිලිවෙලත් වර්ධනය වෙනු ඇති. ගත් දෙයක් ඒ තැන තැබීමට, පොත පත පරිස්සමින් පාවිච්චි කරන්න, ආහාර ගැනීමේදී තවත් අයෙකුට අප්රසන්න වන පරිදි කටයුතු නොකිරීම, ආහාර ගැනීමෙන් පසු එතැන පිරිසිදු කිරීම වැනි පුංචි පුංචි වුනත් දරුවාට කළ හැකි කටයුතු ඔවුන් විසින්ම ඉටු කිරීමට ඉඩ දෙන්න. එවිට දරුවා කුඩා කාලයේ පටන්ම යම් පිලිවෙලකට තමන්ගේ වැඩ කටයුතු කිරීමට හුරු පුරුදු වෙනු ඇති.

දරුවන්ටත් විනෝදාංශයක් 

අද දවසේ අප විසින් ගෙවන යාන්ත්රික ජීවිතයේදී කොතැනකින් හෝ යම් සතුටක් ලබා ගැනීමට ඉඩක් තිබීම ඉතාම වැදගත්. ඒ නිසා දරුවන්ටත් බාල කාලයේ පටන්ම විනෝදාංශයක් වෙනුවෙන් යොමු වීමට අවසරයක් ලබා දීම ඉතා වැදගත්. අතීතයේදී නම් දරුවන්ට විනෝදාංශ යනු ඔවුන්ගේ ජීවිතයේම කොටසක් වුනා. සරුංගලයක් හදන්න…යවන්න…පොල්කොල, කොස් කොළ සෙල්ලම් බඩු හදන්න..පීනන්න.. කවි කියන්න..වැනි එදිනෙදා ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන් අවසර තිබුනා. නමුත් කාලයත් සමග ඒ වෙනුවෙන් ඉඩහසර නැතැත් දරුවන්ටත් කුමන හෝ ක්රියාකාරකමක යෙදෙන්න ඉඩක් ලබා දීම ඉතා වැදගත්. මල් හදන්න, සූප ශාස්ත්ර , අත්කම්, ගීත ගායනය..වාදනය…නර්තනය වැනි කුමන හෝ විනෝදාංශයක යෙදෙන්න අවසරය තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාටත් යම් විනදොංශයක යෙදෙන්නට ඉඩ ලබා දීම වැදගත්.

උදව් ඉල්ලන්න

දරුවන් යනු තවමත් ඔබගේ ආදරය වගේම මාර්ගෝපදේශය අවශ්ය පිරිසක්. ඒ නිසා ඔවුන්ට උදව් වෙන්න. දරුවෙක් උදව්වක් ඉල්ලූ විට ‘‘ මට දැන් බැහැ…වැඩ තිබෙනවා යැයි …“ දරුවාගේ ඉල්ලීම ප්රතික්ෂෙප කරන්න එපා. යමෙක් උදව්වක් ඉල්ලන විට ඒ තුළ යම් මනෝවිදයාත්මක පිලිගැනීමක් තිබෙනවා. මට අම්මා හෝ තාත්තා වෙතින් මේ උදව්ව ලබා ගත හැකිය යන විශ්වාස සිතින් එන විට දරුවා පලවා හරින්න එපා. සැබැවින්ම කාර්ය බහුල ජීවිතයේදී දරුවා විසින් ඉල්ලා සිටින උදව්ව ඔබට ඒ අවස්තාවේදී ලබා දීමට නොහැකි බව ඇත්ත. නමුත් ඔබේ වැඩ කටයුතු අවදාන වූ පසුව හෝ දරුවා විසින් ඉල්ලා සිටි උදව්ව ලබා දීමට පොරොන්දු වෙන්න. පොරොන්දු වූ අන්දමින්ම එය ලබා දෙන්න.

උදව් වීම…

දරුවා ඔබේ උදව් ඉල්ලා සිටිනවා වගේම පෙරලා අනිත් අයටත් උදව් කිරීමේ පුරුදු දරුවා තුළ ගොඩ නගන්න.එය එකම කාසියක දෙපැත්තක් විය යුතුය. නැත්නම් දරුවා ඒක පාර්ශවීය වශයෙන් උදව් ඉල්ලන සහ අනුන් මත යැපෙන චරිතයක් ලෙසින් ගොඩ නැගෙනු ඇත. ඒ නිසා උදව් ඉල්ලීම වගේම දරුවාට හැකි සෑම විටම උදව් ලබා දීමටත් පුරුදු වෙන්න. එවිට ඔබේ දරුවාගේ යහපත් ගති පැවැතුම් ගැන සමාජය විසින් කතා බහ කරනු ඇත.

සමාජශීලී වීම…

දරුවන්ගේ කුඩා කාලයේදී කුලෑටි නැති චරිත ලෙසින් සිටියත් කාලයත් සමග ඔවුන් සමාජය සමග ගනුදෙනු කිරීමට අකමැති චරිත බවට පත් වීමේ රටාවක් දැන් ගොඩ නැගී තිබෙනවා. ජංගම දුරකථන සහ අන්තර්ජාල නිසා මේ තත්වය ගොඩ නැගී ඇති බවට අපි චෝදනා කරනවා. ඒත්  සමාජය සමග ගනු දෙනු නොමැති හුදෙකලාගත චරිතයක් ලෙසින් ජීවත්වීම අනුමත කිරීමට නොහැකි අතර එය ප්රායෝගික  නොවේ. ඒ නිසා කොතරම් විද්යුත් මාධ්ය සමග ගණුදෙනු සිදු වුනත් නිවසට නෑ හිත මිතුරෙක් පැමිණි විට ඔවුන් සමග සුහද පිලිසදරක යෙදෙන්නට දරුවාටත් ඇරයුම් කරන්න. මේ තත්වය නොමැති නිසා අද පරම්පරාව සහ ලේ ඥාතීන් අතර පවා සම්බන්ධතාවයන් නොමැති පිරිසක් ලෙසින් නිර්මානය වෙන බවට අපි අනතුරු දැනුම්දීම් කළත් ඒ තත්වයෙන් මිදෙන්නට අවශ්ය කටයුතු සැලසුම් කිරීමට තවමත් ප්රමාද වී සිටිනවා. නමුත් ඔබේ දරුවාට සමාජය සමග කටයුතු කිරීමේ වැදගත්කම ක්රියාවෙන් අවබෝධ කර දුන් විට ඔවුන් වෙනුවෙන්ද සමාජයේ වටිනාකම් ගොඩ නැගීම අනිවාර්යෙන්ම සිදු වෙන්නකි.

සවන්දීමට පුරුදු කරන්න…

බොහෝ දරුවන් තුළ අද සවන්දීමේ පුරුදු සම්පූර්නයෙන්ම ගිලිහී ගොස් ඇත. කොටින්ම ඔවුන් සවන්දීම ගැන කථා කරන්නේත් ඉතාම අප්රසන්න ලෙසයි. ‘‘ මම මේ කණෙන් අහලා අනිත් කනින් පිට කරනවා..ඔවුන් උජාරුවෙන් එලෙස කිව්වත් සවන්දීම නිසා ඔවුන්ගේ ජීවිතයේ මානසික ඒකාග්රතාවය ගොඩ නැගෙනවා පමණක් නොව දරුවා අවධානයකින් සවන්දීම සිදු කරන විට දරුවා මුල් කර ගෙනත් සමාජයේ වටිනාකම් ගොඩ නැගෙනු ඇත.

ධනාත්මකව සිතන්න..

දරුවන්ටත් බාල කාලයේ පටන්ම ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. ඔව්..එය මට කළ හැකියි..යන විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දීමට හුරු කරන්න. එවැනි දරුවන් සමග ගනු දෙණු කිරීම සමාජයටත් ඉතා පහසු අතර එවැනි දරුවන් ගැනත් සමාජය බෙහෙවින් ප්රශංසාවෙන් කතා බහ කිරීම අනිවාර්යෙන්ම සිදු වෙන්නකි.

ඒ නිසා ඔබේ දරුවා දෙස බලා  අනේ ඔයාගේ පුතා හරිම  Smart කියන දිනයකදී එහි නිහතමානී අයිතිකරු ඔබ නොවේද..?

 

 

දරුවන්ට සලකන හැටි

දරුවන් කියන්නේ මව්පියන්ට සිටින වටිනාම සම්පතක්.  නමුත් දරුවන් හදා වඩා ගැනීමත් අප සිතන තරම් පහසු නැහැ. දරුවෙක් කායික වශයෙන් පෝෂනය කිරීම වගේම මානසික සුවතාවයකින් යුක්තව හදා වඩා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් කුස පිලිසිඳ ගත් පමණින්ම ඔවුන් බිහි කිරීමෙන් පමණක් ඔබ සැබෑ  දෙමව්පියෙක් යැයි සිතන්න බැහැ.. එහෙම නම් අපි දරුවෙකුට සැලකිය යුත්තේ කෙසේද….?

හැම පවුලක්ම එක වගේ නැහැ…

අපි හිතන විදිහට හැම පවුලක්ම සුන්දර නැහැ. ඒ වගේම හැම දෙමව්පියෙක්ම දරුවා කියන්නේ තමන්ට ලැබුන ඉහළම තෑග්ග විදිහට සලකන්නෙත් නැහැ. සමහර විට දරුවෙක් ලැබුනත් එය මව්පියන්ට අනවශ්ය වේලාවක වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අනාරාධිත හෙවත් යම් යම් අපයෝජනයක ප්රතිඵලයක් විය හැකියි. තවත් ලෙසකින් කිව්වොත් දරුවා ලැබීමෙන් පසු පියා පවුල හැර දමා ගොස් සිටින හුදෙකලා මවක් වීමට පුළුවනි. මෙවැනි මානසික පසුබිමක සිටින මව්පියන් ඇසුරේ හැදෙන වැඩෙන දරුවන්  මුල් කර ගත් විවිධ ගැටලු සහ ගැටුම් ඇති වෙන්න පුලුවනි.

දෙමව්පියන්ගේ මානසික ගැටලු සහ ගැටුම් දරුවන්ටත් බලපානවා…

සමහර විට දරුවාගේ උපතෙන් පසුව පියා පවුල හැර දමා යෑම එසේත් නැත්නම් මරනයට පත් වීම වැනි අනපේක්ෂිත සිදු වීම් සිදු වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවකදී අම්මා කියන ගැහැණු චරිතය දැඩි මානසික පීඩනකකට පත් වෙනවා. ඇය දරුවා මුල් කර ගෙන ජීවත් විය යුතු වුනත් සමාජයෙන් ලැබෙන අපවාද වගේම අනුකම්පාව නිසා මානසිකව දැඩි පිඩනයකින් ජීවත් වීමට පුලුවනි. ඒ නිසාම සමහර විට මේ පීඩනය දරුවා වෙතින් මුදා හැරෙන අවස්ථා තිබෙනවා. ඒ විදිහට මානසික ගැටුම දරුවා වෙතින් මුදා හැරෙන විට අනාගතයේදී දරුවන් තුළ විවිධ මානසික අසහනකාරී තත්වයන් ගොඩ නැගෙනවා.

සමාජයේදී හැසිරෙන ආකාරය…

දරුවා හැමදාම තොටිලි වැටේ සිටින්නේ නැහැ. ඔවුන් කවදා හෝ දිනක අත පය අලු ගසා නැගිටිනවා. ළදරු පාසල එහෙම නැත්නම් දිනපතා පාසලට ඇතුලු වීමෙන් පසුව දරුවාට සම වයස් කණ්ඩායම් තුළ මව්පිය සෙනෙහස විඳින දරුවන් දකින්න ලැබෙනවා. ඒ සමගම මේ දරුවා තුළ තමා ගැනම ඇති වෙන්නේ ආත්මානුකම්පාවක්. නමුත් ඔවුන් එය පිට කරන්නේ නැහැ. තනියම දරා ගෙන සිටියත් එහි පිපිරීම අතිශයින්ම දරුණුයි.

දෙමව්පියන්ට වෛර කිරීම…

හැම දෙමව්පියෙකුටම දරුවන් මුල් කර ගෙන ආර්ථික සැප සම්පත් ලබා දීමට නොහැකි බව ඇත්ත. නමුත් දරුවාට සෙනෙහස දැක්වීමට මිළ මුදල් අවශ්ය නැහැ. එහෙත් පවුල් ගැටුම් තුළ ඇති අසහනකාරී පසුබිම නිසා දමව්පියන් විසින් දරුවන්ට ආදරය, කරුණාව දැක්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවා යටි සිතින් තම දෙමව්පියන්ට දෝෂාරෝපණය කිරීමට පටන් ගන්නවා. ඔවුන් ගැන වරදකාරී සිතුවිලි දරුවාගේ සිතේ ගොඩ නැගෙනවා. 

ඒ වගේම මෙවැනි ආදරය නොලද දරුවන් විසින් පංතියේ හෝ අසල්වැසි නිවෙස්වල නිවසන දෙමව්පියන්ගේ ආදරය ලබන දරුවන්ට වෛර කිරීමට පටන් ගන්නවා. එය දරුවා නොදැන ඔහුගේ මානසිකත්වය වෙතින් ඇති වෙන පසුබිමක්. එවැනි අවස්ථාවක ඔවුන්ට දොස් නැගීම හෝ දඬුවම් කිරීම කිසිසේත් කළ යුතු නැහැ.

ඔවුන් මුරන්ඩුයි…

බාල කාලයේ  මෙවැනි මානසික ගැටුම්කාරී පරිසර තත්වයන් තුළ හැදුන වැඩුන දරුවන් සැබැවින්ම මුරණ්ඩු ගති පැවැතුම්වලින් යුක්තයි.ඒ නිසා පංතියක මුරණ්ඩු හැසිරීම් ඇති දරුවෙක්  ඇත්නම් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ කොතැනක හෝ වරදක් සිදු වි තිබෙන්න පුළුවනි. ඒ නිසා නිතරම දරුවෙක් මුරණ්ඩු ගති පැවැතුම් ඇත්නම් දඩුවම් කිරීමට වඩා දරුවා මුරණ්ඩු ඇයි යන්න ගැන සිතන්න.

අවධානයක් නැති වීම…

බාලකාලයේ පටන්  විවිධ මානසික ගැටුම් මත ජීවත් වුන දරුවෙක් පාසල් අධ්යාපනය තුළ අවධානයක් නැති දරුවෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. එවැනි දරුවන් තුළ ඇති ඌන අවධානය නිසා ඉගෙනුම් කටයුතුවලදී පවා ඉතාම පසුගාමී දරුවෙක් වෙන්න පුලුවනි. ඊට බලපාන ප්රධාන හේතුව වන්නේ තොටිල්ලේ සිටින කාලයේ පවා නිවස මුල් කර ගත් ගැටුම්කාරී පරිසරයෙන් උකහා ගත් අමිහිරි අත්දැකීම්වල ප්රතිඵල බැව් මතුපිටින් අප නොදකින හේතුවක්.

මානසික ගැටලුවලින් හෙම්බත්…

ඔබ නොදැන බාල කාලයේ පටන් මව්පිය ගැටුම් නිසා ආදරය , සෙනහස අහිමි වුන දරුවන් පසුකාලයේදී විවිධ මානසික ගැටලු වලින් හෙම්බත් චරිත ලෙසින් සමාජගත වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ප්රාථමික පංතිවලදී මුරණ්ඩු සහ කලහකාරී චරිත වුනත් යම් වයසකට පැමිණෙන විට මෙම දරුවන් සමාජයේ හුදෙකලා චරිත ලෙසින් හෝ ආත්මානුකම්පාවට පත්ව මානසිකව විවිධ හැල හැප්පීම් වලට යොමු වීමට ඉඩ තිබෙනවා. සමාජයේදී තමා අවතැන්ය යන සිතුවිල්ල ඔවුන් විසින්ම ගොඩ නගා ගන්නවා.

මේ අන්දමට බලන විට දරුවෙක් බිහි වූ පමනින්ම ඔවුන් අනාගතයේදී යහපත් පෞරෂයකින් සමාජගත වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මව්පියන්ගේ ආදරය, අවධානය වගේම පවුලක් යනු සෙනහසේ නවාතැනක් යන සංකල්පය මුල් කර ගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත්. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබට විවිධ ආර්ථික , සමාජයීය සහ වෙනත් විවිධ ගැටලු තිබුනත් ඒවායේ පීඩනය දරුවන් මතින් පිට කිරීම කිසිසේත්ම සුදුසු නැති බව අමතක කරන්න එපා.

 

 

පහුගිය කාලේ ඔන්ලයින් කරන්න දරුවට දුන්නු ෆෝන් එක දැන් ගෙදරටම හිසරදයක් වෙලාද?

පසුගිය දුෂ්කර වසර කිහිපය තුළ ලෝකයක් ලෙසත් රටක් ලෙසත් බාල මහලු භේදයකින් තොරව ගත කළේ දුෂ්කර කාලයක් කිව්වොත් එහි වරදක් නැහැ. කොරෝනා රැලි එක පිට එක ලොව වටා ගමන් කරන අතරේම රටක් ලෙස මතු වුණු දුෂ්කරතා නිසාත් අපි ඉතා අසරණ තත්ත්වයකට පත් වූවා. වසර තුනකට ආසන්න කාලයක් නිවෙස්වලට කොටු වී යහළු යෙහෙළියන්ගෙන් දුරස් වී ප්‍රායෝගික අත්දැකීම් කිසිවක් නොලබා විද්‍යුත් කිරයට යොමුවන්නට දරුවන්ට සිදු වූයේ අවාසනාවකටය. අද වන විට දරුවන් පාසැල් ගොස් යහළු යෙහෙළියන් සමග කෙළිදෙලෙන් කාලය ගත කළත් ගත වුණු අදුරු කාලපරිච්ඡේදයේ කලු සෙවනැලි මෙන් විද්‍යුත් තිරයට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය මෙන්ම මානසික සුවය අහිමි කරගත් දරුවන් ගණන අසීමිතය. මේ තත්ත්වයේදී දෙමාපියන් ඉතාම අසරණ තත්ත්වයට පත් වුවත් මෙවැනි ප්‍රතිඵල ලැබීමට දෙමාපියන්ගේ නොදැනුවත් බවද බලපාන බව කිව යුතුමය.

දරුවාට නිදහසේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නොවන සේ මව්පියන් වෙනම ස්ථානයක් සකස් කර දෙන්නේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය නිසාමය. එයිනුත් යම් දරුවන් පිරිසක් එහි නිවැරදිව නිරත වුවත් යම් යම් හේතු මත ඇතැම් දරුවන් අනිසි ලෙස අන්තර්ජාල භාවිතයට මෙන්ම විද්‍යුත් තිර භාවිතයට යොමු වෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවෙකුට විද්‍යුත් තිර ලබා දීමේදී මව්පියන්ට පැවරෙන වගකීම අති විශාලයි. අන්න ඒ නිසාම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් අන්තර්ජාලය, විද්‍යුත් තිර ලබා දෙනවා නම් පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුමය. 

  1. දරුවා මාර්ගගත අධ්‍යාපනය ලබන තිරය නිවසේ මැද තියන්න – දරුවා ඔන්ලයින් අද්‍යාපනය ලබන මොහොතේ පමණක් නොව විද්‍යුත් තරයට යොමු වන ඕනෑම අවස්ථාවක එම තිරය නිවැසියන්ට පෙනෙන සේ තැබිය යුතුය. එවිට දරුවා නිරත වන්නේ කුමන කාර්යයකද යන්න නිවැසියන්ගේ ඇස ගැටෙන අතරම එය දරුවාට අනවශ්‍ය ඇබ්බැහි වීම් වෙත ළඟා වීමට ඇති මග අහුරයි. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවාට ලබා දීමට සුදුසුම උපාංගය වන්නේ ඩෙක්ස්ටොප් පරිගණකය බව හොඳින් මතක තබා ගන්න. දරුවා ඉගෙනුම් කටයුතුවල නිතරවන අවස්ථාවේදී ඔබේ නිදහස අහිමි වුවත් දරුවාට ඉගෙනුමට අවශ්‍ය නිදහස් වටපිටාවක් සකසා දීමට මව්පියන් කැප විය යුතුය.
  2. දරුවාට දින චර්යාවක් තිබිය යුතුය – උදාහරණයක් විදියට අවුරුදු දහයක දරුවෙක් ගැන අපි හිතුවොත් ඒ දරුවා උදෑසන ආහාරය ගන්නවා, යම් වෙලාවක් සෙල්ලම් කරනවා, පොත් පත්වල වැඩ කටයුතු සිදුකරනවා වගේ දවසේ ක්‍රියාකාරකම්වලට කොලේක සඳහන් කරලා රූප ඇඳලා බිත්තියේ එල්ලා තබන්න පුළුවන්. 
  3. විද්‍යුත් තිර, අන්තර්ජාලය ගැන මව්පියන් දැනුවත් විය යුතුය – උදාහරණයක් විදියට දරුවෙකු අනිසි දේ සඳහා යොමු වුවහොත් එයාලා මොනවද ඕවා ගැන නොදන්නේ, අපිට දැනුම නැහැ එයාලා කරන දේවල් සොයන්න වැනි වගකීම් විරහිත ප්‍රකාශ කිරීම මව්පියන්ට නිදහසට කරුණක් ලෙස දැක්විය නොහැකිය. දරුවෙකු අසනීප තත්ත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට මව්පියන් දෙවරක් නොසිතනවා මෙන්ම දරුවෙකු විද්‍යුත් තිරයට, අන්තර්ජාලයට විවර කරනවා නම් ඒ සම්බන්ධව නිසි ලෙස දැනුවත් වීමටත් මව්පියන් දෙවරක් නොසිතිය යුතුය. නව යොවුන් විය කියන්නෙත් තර්කානුකූලව සිතා බලා නිවැරදි තීරණ ගැනීමට නිසි හැකියාවක් ඇති වයස් සීමාවක් නොවන නිසා නොයෙක් දේ වෙත දරුවෙකු ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. දරුවා භාවිත කළ පසු අන්තර්ජාල ඉතිහාසය පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයකි. ඒ සඳහා මව්පියන් අනිවාර්යෙන්ම දැනුවත් වය යුතු අතරම නැතිනම් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් භාගත කර තබා ගත යුතුමය.
  4. සීමාමායිම් නම්‍යශීලී කිරීම – උදාහරණයක් විදියට දරුවෙකුට විද්‍යුත් තිරය යම් කාලයකට සාමාන්‍යයෙන් පැය භාගයකට ලබා දෙන අවස්ථාවකදී එයා තව තවත් කාලය ඉල්ලා සිටිනවා නම් එනම් සීමා මායිම් නම්‍යශීලි කිරීම සිදුකරනවා නම් එය සුදුසු දෙයක් නොවේ. පැය භාගයකට දරුවාට දෙන දේ විනාඩියක කාලයක් වැඩි වුණත් එහිදී දරුවාට වරප්‍රසාද අහිමි වන බව ඒත්තු ගැන්විය යුතුයි. උදාහරණ විදියට ඔයා අද අම්මා කියපු වෙලාවට වඩා වැඩි වෙලාවක් ටැබ් එක පාවිච්චි කළා. ඒ නිසා අම්මා හෙට දවසට ඔයාට ටැබ් එක දෙන්නේ නැහැ. අන්න ඒ විදියට දරුවෙකුට නියමිත කාලයට වැඩ කිරීමට හුරු කරවීම බොහෝ සෙයින් වැදගත්. 
  5. දෙමාපියන් දරුවන් ඉදිරියේ විද්‍යුත් තිර භාවිතය අවම කිරීම – අද වෙද්දී රැකියාවන් නිසාත් දෙමාපියන් මාර්ගගත ක්‍රම යොදාගන්නවා. ඊමේල් පරීක්ෂා කිරීම වැනි දේවල් දෙමාපියන්ටත් තිබිය හැකියි. නමුත් නිවසේදීත් විද්‍යුත් තිරය මත දෙමාපියන් වැඩි වේලාවක් සිටීමත් දරුවන් විද්‍යුත් තිරයට ඇබ්බැහි වීමට පූර්වාදර්ශයක් සපයනවා. එමගින් දරුවා විද්‍යුත් තිරය වෙත යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි.

ඇතැම් දරුවෝ මේ වෙද්දී ඔන්ලයින් අධ්‍යාපනය මුවාවෙන් මව්පියන්ට හොර රහසේ වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙලා. 

ඔව් මේ හා සම්බන්ධ බොහොමයක් අත්දැකීම් මට සායනවලදී ලැබී තිබෙනවා. දවසක් සායනයකට සහභාගී වුණු තාත්තා කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල වැඩි වුණු බවත් සොයා බැලූ පසුව එහි අංක ලබා ගෙන ඔහුගේ පුතා වීඩියෝ ගේම් මිල දී ගෙන ඇති බවත් පැවසුවා. අද වෙද්දි දරුවන්ට නුසුදුසු වීඩියෝ ගේම් බොහොමයක් තියෙනවා. ඔබේ දරුවන් මොන විද්‍යුත් ක්‍රීඩාවටද යොමු වී තිබෙන්නේ කියා ඔබ දැන ගත යුතුයි. දැනුවත් විය යුතුයි.

නුසුදුසු වීඩියෝ ගේම් මගින් දරුවන්ට ඇති වෙන බලපෑම් මොනවද?

  1. ප්‍රචණ්ඩතාවය කැටි වුණු වීඩියෝ ගේම් – ගහමරා ගැනීම්, වෙඩි තැබීම් සහිත වීඩියෝ ගේම් වලට යොමු වුණු දරුවන් ප්‍රචණ්ඩකාරී ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ ඒවායින් උකහා ගන්නවා. 
  2. අනවශ්‍ය ඉලක්ක වෙත දරුවන් යොමු කරන වීඩියෝ ගේම් – ඔබ මේ ඉලක්කයට යා යුතුමයි. නැතිනම් ඔබ ඔබටම මෙසේ හානි කරගත යුතුයි යන අනවශ්‍ය  පණිවිඩ දෙන ගේම් මගින් දරුවන් අසරණ තත්ත්වයටත් තමාටම හානි කරගන්නා තත්ත්වයටත් පත් විය හැකියි. 
  3. ඇබ්බැහි වීම් ඇති කරවන වීඩියෝ ගේම් – ඇතැම් වීඩියෝ ගේම් නිර්මාණය කර ඇත්තේ ඇබ්බැහි ‍වන ආකාරයටයි. එය මත්දුව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් මෙන් දරුවන්ට නැතිව බැරි විය හැකියි. එවිට දරුවාට පාලුව, කාන්සිය ඇති කරමින් දෛනික ජීවිතය බාධා පමුණුවයි. 
  4. දරුවන් අනවශ්‍ය පුරුදුවලට යොමුකරවන වීඩියෝ ගේම් – නව යොවුන් විය යනු වරදට වහා පොළඹවා ගත හැකි වියකි. අද වන විට අන්තර්ජජාලයේ පවතින ඇතැම් වීඩියෝ ගේම් මෙවැනි දරුවන් අනවශ්‍ය  වගේම වැරදි භාවිතයන් සඳහා යොමුකරනු ඇත. අනවශ්‍ය ඇසුරු ගොඩ නැංවීමට ද එවැනි වීඩියෝ ගේම් හරහා හැකියාව ඇත. 

බොහෝ සෙයින් ආවේගශීලී, ඉවසිලිමත් බව අවම, අඩු අවධානය ඇති දරුවන්ට වීඩියෝ ක්‍රීඩා ලබා දීම කිසිසේත්ම සිදුසු තත්ත්වයක් නොවේ. 

මව්පියන් මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද? 

අපි දරුවොත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. ඉතිං අපි මේ දේවල් ඉවත් කලොත් දරුවා අපි එක්ක තරහා වෙයි. සමහර දෙමාපියෝ සිතන්නේ ඒ විදියට. දරුවොන්ට පාසැලෙන් පන්‍තියෙන් ඕනෑ තරම් යාළුවෝ සොයා ගන්න පුළුවන්. ඒත් දෙමාපයින් ඉන්නේ එච්චරයි. යාළුවෝ තරහා වුණාම මූණ ඇඹුල් කරගත්තා වගේ දෙමාපියන් ඒ ගැන දුක්විය යුතු නැහැ. මවුපියන්ගේ වගකීම එයින් තමන්ගේ දරුවා මුදා ගැනීමයි. තත්ත්වය දරුවාට පැහැදිලි කරලා, ඔහුගේ/ඇයගේ වරප්‍රසාද අවම කරලා මෙයින් මුදවා ගැනීමට මව්පියන් උත්සාහ කළ යුතුයි. එතැනදී අපි සැලකිලිමත් විය යුතු දෙයක් වන්නේ අධිකව ඇබ්බැහි වූ දරුවෙක් එයින් මුදවා ගැනීමට ළමා සහ නව වෙයාවුන් වයස පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් වෙනවා. නමුත් සුළු වශයෙන් ඇබ්බැහි වූ දරුවෙක් දෙයින් දරුවා ගලවා ගැනීමට දරුවාගෙන් ඈත්කරන දේ වෙනුවට යම් ආදේශකයක් ලබාදීම සම්බන්ධවයි. එනම් දරුවාගේ ඒ හිස්වන තැන පිරිවීමට යමක් දරුවා වෙනුවෙන් ලබාදිය යුතුයි. එය එය සමානම දෙයක් නොවුණත් ආදේශකයක් දිය යුතුයි. 

උදාහරණ ලෙස හිතේ ඇති වෙන පාළුව මකාගන්න ආදේශකයක් ලෙස කැරම් බෝඩ් එකක්, ගෙදර තාත්තා, අයියා එක්ක ක්‍රිකට් ගහන්න, බයිසිකල් පදින්න අවස්ථාවක් වශයෙන් ආදේශක ඇති කරමින් සිතේ ඇති වන සංකූලතා අවම කර ගනිමින් දරුවා එයින් මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා. 

ඒ වගේම අපි අපේ දරුවන්ට සමාජ වගකීම සම්බන්ධව පූර්වාදර්ශ සැපයීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට කසල බඳුනක වටේටම කොළ එකතු වෙලා තියෙන අවස්ථාවක මව්පියෙක් වැඩිහිටියෙක් විදයට එයින් එක කොළයක් ඇහිඳලා බඳුනට දමන්න ඔබට පුළුවන් නම් සමාජ වගකීම ගැන දරුවන්ට කියා දෙන්න එය හොඳම අවස්ථාවක්. එවිට අපි දරුවන්ට තමාට පුද්ගලික වාසි නොමැතිව යමක් කිරීමට දරුවාන්ව යොමු කිරීම ඉතාම වැදගත්. තමන්ට වාසියක් නැතිව සිදුකරන දෙයක් වුවත් වක්‍රාකාරව යම් දවසක පැමිණෙනවා. එය පාසලේදී ගෙදරදි අනිවාර්යෙන්ම දරුවන්ට කියා දුය යුතුයි.

අද පවතින ආර්ථික දුෂ්කරතා මැද පන්ති කාමරයක ආර්ථික දුෂ්කරතා මැද කුසගින්නේ පාසාලට එන දරුවෙක්ට උදව් කළ හැකි තවත් දරුවෙක් සිටී නම් ඒ දරුවාට ඒ අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. මෙවැනි දේ ප්‍රසිද්ධියකින් තොරව ගුරුතුමිය/වැඩිහිටියෙක් හරහා සිදුකරන්නට දරුවා හුරු කරවීමත් ඉතා වැදගත්. තවත් අයෙකුගේ යහපත උදෙසා යමක් කරන්නට දරුවෙකුට පූර්වාදර්ශයක් සැපයීම කළ හැකි නම් පවුලක් සමාජයක් රටක් ලෙස අපිට සාර්ථක ඉදිරි ගමනක් පවතිනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 


                

විද්‍යුත් තිරය හා අපේ දරුවන් ගැන අපි නොදන්න දේ …

අතීතයේදී දරුවන්ගේ අත්වල ජංගම දුරකතන දකින්න නොලැබුණත් අද වෙද්දී දුරකතනයක් අතේ නැති දරුවෙක් දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒත් ඒ තත්ත්වය සාධාරණීකරණය කරන්නට මෙන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පෙරට ඇවිත් තිබෙනවා. ඒ කොහොම වුණත් විද්‍යුත් තිරය දරුවෙකු වෙනුවෙන් ලබා දෙනවා නම් දෙමාපියන් ලෙස අප වෙත විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතුමයි. දුරකතනය, පරිගණකය වගේම රූපවාහිනියත් දරුවාට භාවිතයට දිය යුතු සීමාව වැඩිහිටි අප විසින් දැන සිටීම ඉතා වැදගත්.

ඇතැම් දෙමාපියන් පවසන පරිදි දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය නිසා දුරකතනයක් අරන් දුන්නත් දැන් දැන් දරුවා එයින් මුදවා ගැනීමට ඔවුන් අසමත් වී සිටිනවා. ඒ වෙනුවෙන් හේතු ලෙස ඇතැම් දෙමාපියන් ඔවුන් සතු තාක්ෂණික දැනුම මදකම වැනි හේතු ඉදිරිපත් කරන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙතැනදී දෙමාපියන් විසින් දරුවෙකුගේ මනෝමීය කුසලතා අවබෝධ කරගෙන නිවසේ පරිසරය එයට අනුව හැඩ ගැස්ස වීම සිදු කළා නම් එවැනි තත්ත්වයන් නිවෙස් තුළ ඇති වීමට තිබෙන ප්‍රවණතාවය ඉතා අවමයි. අපි අවශ්‍යතාවයට අනුව විද්‍යුත් තිරය භාවිත කළ යුතු ආකාරය, එය භාවිත කිරීමට සුදුසු කාල සීමාව දරුවාට අවබෝධ කරවීම ඉතාම වැදගත් වෙනවා.

හැම දරුවෙක්ම විද්‍යුත් තිරය භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙනවාද?

කිසිසේත්ම නැහැ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා ලොව දරුවෝ ඕනෑ තරම් කුසලතා ලබාගන්නවා. උදාහරණයක් විදියට තමන්ගේ රටේ පහසුකම් නැති විෂය මාලා වෙනත් රටකට ගොස් අධ්‍යයනය කරන්න අපි හැමෝටම ආර්ථික හැකියාව නොමැති වෙන්න පුළුවන්. නමුත් ලොව වටා ඇති දැනුම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලබාගෙන තමන්ගේ ඉලක්ක සපුරා ගන්නා දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. කොහොම වුණත් විද්‍යුත් තිර භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙන්න ප්‍රවණතාවය යැඩි පිරිසක් සිටිනවා. ඔවුන් විද්‍යුත් තිරය අසීමාන්තිකව ඇබ්බැහි වීම නිසා ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි දරුවෝ කාණ්ඩ කිහිපයක් සිටිනවා.

  • ආවේගශීලී පෞරුෂයක් ඇති දරුවෝ – දරුවෙකුට පුංචි කාලේ ඉඳලම සම්මා සතිය වැඩීමට ආනාපානසති භාවනාව හුරු කරලා, මාංෂ පේශී සැහැල්ලු කිරීමේ ක්‍රම හුරු කරලා නව යොවුන් වියට එළැඹීමට පෙර සිටම ඔවුන් වෙනස් කළ හැකි නම් නව යොවුන් වියට එළැඹෙන ඒ දරුවන් ආවේගශීලී පෞරුෂයන් ඇති දරුවන් බවට පත්වන්නේ නැහැ. එය දරුවෙක් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම අඩු කරන්න සමත් වෙනවා.
  • අඩු අවධානය ඇති දරුවෝ – සාමාන්‍යයෙන් එක් දරුවෙක් පොතක් විනාඩි 20ක් කියවද්දි තවත් දරුවෙක්ට විනාඩි දහයක්වත් එහි රැඳී සිටීම අපහසු විය හැකියි. ඒ දරුවාට පිපාසය, කුසගින්න, නිදිමත වැනි අවශ්‍යතා ඇති විය හැකියි. සාමාන්‍යයෙන් පොතක් කියවද්දි අවම වශයෙන් විනාඩි 10ක්වත් අවධානය තිබිය යුතුයි. නමුත් වීඩියෝ ක්‍රීඩාවක යෙදීමේදී එතරම් කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. අන්න ඒ නිසා අඩු අවධාන ඇති දරුවන් විද්‍යුත් තිරය දෙසට යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාම දෙමාපියන් දරුවන්ගේ එවැනි තත්ත්ව හඳුනා කුඩා වියේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.
  • නිවසේ සීමා මායිම් නැති කම – උදාහරණයක් විදියට මව විසින් සකසා ඇති ආහාරය යම් දරුවෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඇතැම් මව්වරු ඉන්නවා දරුවා ඉල්ලන දේ හදලා දෙන. අන්න එතැනදී සිදු වෙන දේ අප හඳුන්වන්නේ සීමා මියිම් නැති දෙමාපියකරණය කියලා. එවැනි අත්දැකීම් සහිත නිවෙස්වල දරුවන් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩියි. එය දෙමාපියන් අතින් සිදුවන වරදක්. අපි එය නිවැරදි කරගත යුතුමයි.
  • ඔරොත්තු දීමේ හැකියාව අඩු දරුවන් – ඉක්මනින් සිත රිදව ගන්නා, ඉක්මනින් කම්මැලි දැනෙන මානසික තත්ත්වයක සිටින දරුවෙක් විද්‍යුත් තිරය වෙත යොමු වෙන්නේ එවැනි හැඟීම් හමුවේ තමාට ඔරොත්තු දීමට ඇති හැකියාව අවම නිසයි. සින්දුවක් අහන්න, පරිසරය විඳින්න, ඇවිදින්න පුහුණුවක් නොමැති නම් ඔරොත්තු දීමේ නොහැකියාවත් එක්කම එවැනි දරුවෝ විද්‍යුත් තිර වෙත යොමු වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසයි දරුවෙකුගේ මනෝමීය කුසලතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි නිවසේ පරිසරය වෙනස් කළ යුතුයි.

විශාදය තත්ත්වයේ සිටින නව යොවුන්විය දරුවන් – අද වෙද්දී දරුවන් සිය දෙනෙක් ගත්තොත් දහතුනත් දාසයක් අතර ප්‍රමාණයක් විශාදයට පත් වෙලා. ඒ දරුවෝ ජීවත් වෙන්නේ හරිම හිස් බවකින්, එපා වුණු ස්වභාවයකින්. මේ එපා වීම/හිස් බව පුරවගන්න එවැනි දරුවෝ විද්‍යුත් තිරවලට යොමු වීමේ ඉඩ කඩ වැඩියි. දරුවෙකුගේ හැසිරීම මත වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමෙන් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට මව්පියන්ට හැකියාව ලැබෙනවා.

අද වෙද්දි අවුරුදු පහට අඩු දරුවන් අතේ පවා දුරකථනයක් 

  • සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස වෙන්නේ අවුරුදු දෙකට අඩු දරුවෙක් ඇහැරිලා ඉන්නවා නම් නිවසේ රූපවාහිනිය පවා ක්‍රියාත්මක කරන්න එපා කියලයි. මොකද ඒ වයසේදී දරුවාගේ මොළය ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ස්නායු ජාලා වේගයෙන් වර්ධනය වෙනවා. මේ නිසා විද්‍යුත් තිරයක් වැනි සාමාන්‍ය පරිසරයේ නොමැති දෙයක් නිසා ඇති වෙන අධික උත්තේජනයෙන් දරුවාට විවිධ මනෝ සංකූලතා ඇති විය හැකියි. වයස අවුරුදු 2 – 5 අතර දරුවන්ට සාමාන්‍යයෙන් පැයක පමණ සුදුසු පරිදි විද්‍යුත් තිරය ලබා දිය හැකි වුවත් ඒ පසුගිය කාලය තුළ ඇති වූ වාතාවරණය වැනි තත්ත්ව මත පෙර පාසැලට ගොස් ගුරුවරිය සහ යාහළුවන් සමග ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව අහිමි වුවහොත් පමණයි. මොකද එවැනි තත්ත්වයකදී දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය නිසා අධ්‍යාපනය සම්බන්ධව විද්‍යුත් තිර කාලය ලබාදීමට සිදු වෙනවා. ඒ කාලයට අමතරව එවැනි තත්ත්වයකදී වුවත් දරුවෙකුට විද්‍යුත් තිරය ලබා දිය හැක්කේ පැයක පමණ කාලයක්ම පමණයි.
     
  • දරුවන්ට කෑම කවන්න ගොඩක් අම්මලාට අද දුරකතනය/ටැබ් එක නැතිව බැහැ

    අපි ආහාර ගනිද්දී සම්මා සතිය, ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අපි යම් දෙයක් කරද්දී ඒක සාර්ථක කරගන්න නම් අවධානය ඒ කාර්යයේ යෙදවීම අත්‍යවශ්‍ය බව ඔබ අපි කවුරුත් දන්නවා. කෑම කද්දී වුණත් ඒ දෙය ඒ වගේම තමයි. ඒත් කෑම කවද්දී දරුවගේ අවධානය වෙන දෙයකට යොමු කරවලා බඩ පිරවීම අම්මාගේ අරමුණ වුවත් එය දරුවට යම් යම් ගැටලු ඇති කළ හැකියි. කෑම ගැන අවධානයකින් තොරව ආහාර ගනිද්දී දරුවා කෑම කෑවට එයාගේ කුස පිරිලද කියන එක ගැන දරුවාට අවබෝධයක් නොමැති වෙනවා. මොකද අවධානය නැතිකම නිසා දරුවාගේ මොළයට බඩ පිරුණු බවට සංඥාව ගමන් කරන්නේ නිවැරදි වෙලාවේ නෙවෙයි. දරුවාගේ කුස පිරුණු නිවැරදි වෙලාව සහ මොළයට පණිවිඩය ලැබී ආහාර ගැනීම නතර කරන වෙලාව අතර කාල පරතරය තුළ දරුවාට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් උදරයට ගොස් අවසන්. ඒ කියන්නේ අපි දරුවාට ලබාදුන් ආහාර ප්‍රමාණය වැඩියි. අම්මට සතුටු වුණත් දරුවා බොඩක් කෑම කෑවා කියලා එය ඉතා අහිතකර තත්ත්වයක්. දරුවන්ට විද්‍යුත් තිර පෙන්නලා කෑම කවන එකෙන් වෙන්නේ දරුවන් ලොකු වෙනකොට එමගින් අනවශ්‍ය ලෙස තරබාරු බව, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග අවදානම ඉහළ යෑමයි. දරුවන්ට පමණක් නොවෙයි මේ තත්ත්වය වැඩිහිටියන්ට වුවත් බලපෑ හැකියි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 


                

තරුණ දරුවන්ට මේ උපදෙස දෙන්න – බඩ අඩු කරන්න..ඇඟ හැඩ කරන්න… දුවන්න..

දරුවන්ගේ ජීවිතයේ අවසාන කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ට සම්බන්ධ වීමට සිදු වෙන අවාසනාවන්ත අවස්ථාවක් අනාගතයේදී එලැඹෙන බවට වෛද්‍ය විශේෂඥයින් විසින් පළ කරන ලද අනාවැකි අද වෙන විට සත්‍යක් බවට පත් වී තිබෙනවා. පසුගිය කාලයේදී වයස අවුරුදු 40 ට අඩු තරුණ ජීවිත කීපයක්ම  ඉතාම අවාසනාවන්ත විදිහට අහිමි වුණා. සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ධතාවයන් ඇති ඔබටත් මේ ගැන අසන්න සහ දකින්න ලැබෙන්න ඇති.

මේ අය ඇත්තටම නිරෝගිද…?

තරුණ ජවයෙන් ජීවත් වුන මේ පිරිස් අතරින් බහුතරයක් හිතා ගෙන සිටියේ ඇත්තටම ඔවුන් නිරෝගියි කියලා. එක අතකින් ඔවුන් එය සාධාරණ කර ගන්නේ අපි දියවැඩියාවට, හදවත් රෝග, එහෙම නැත්නම් කොලස්ටරෝල්වලට බෙහෙත් බොන්නේ නැහැ.නමුත් ඔවුන්ට වැරදුන තැන එතැනයි.

රුධිරගත සිනි, කොලස්ටරෝල් වැනි තත්වයන් අපේ සිරුරේ තිබෙන බව බොහෝ දෙනා දැන ගන්නේ හෘදයාබාධයක පෙර නිමිති එහෙම නැත්නම් දියවැඩියාව වැනි රෝග ලක්ෂණ ඇති වුනොත් පමනි. සමහර අය බොහොම උජාරුවට කියනවා මම නම් ජීවිතේට බ්ලඩ් ටෙස්ට් එකක් කර ගෙන නැහැ. ඒවා දැන ගත්තාම ඒකත් කරදරයක්. නමුත් ඔබත් මේ කොටසට අයත් නම් ඔබට වැරදුන තැන එතැනයි.

පශ්චාත් මරණ පරීක්ෂනයේදී ලැබෙන තීන්දුව…

ආඝාතය, හෘදයාබාධයක්  ^ acute myocardial infarction & නිසා සිදු වුන බවට මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනනවා. ගහක්, ගලක් වගේ උසට මහතට හිටිය අපේ දරුවට මොකද මේ වුනේ කියලා මව්පියන් විලාප නැගුවත් වරද තිබුනේ ඔවුන්ගේම දරුවා තුළ බැව් අවාසනාවන්ත මව්පියන් දන්නේ නැහැ.

ප්‍රතිකාර ගැනීමට වඩා නිවාරනය සුදුසුයි…

රෝගාබාධයකට පත් වෙලා එය නිදන්ගත තත්වයක් වුනාම ප්‍රතිකාර ලබනවාට වඩා රෝග තත්වයකට ගොදුරු නොවී සිටීමට සැබැවින්ම වාසනාවක්. එහෙමනම් අපි අවදානම ඉදිරියේ සූදානම් වෙන්නේ කොහොමද…? අපේ පරම්පරාවේ කාටවත්ම දියවැඩියාව, කොලස්රෝල් තිබුනේ නැති නිසා මටත් ඒ වගේ රෝග ඇති වෙන්නේ නැහැ යන ස්ථාවරය ඔබට ගොඩ නගා ගන්න බැහැ. අපේ අතීත පරම්පරාවේ උදවිය ගෙවූ ජීවන රටාවට වඩා අද අපි ගෙවන ජීවන රටාව වෙනස්

කොවිඩ් නිසා වුනාද දන්නේ නැහැ…

මේ තත්වය ඇති වීමට කොවිඩ් වැළඳීම වගේම එන්නත හේතු වුන බැව් බොහෝ දෙනාගේ සැකයක් තිබෙනවා. නමුත් ඒ ගැන විද්‍යාත්මක හේතු සාධක නැතුව තහවුරුවක් ලබා ගැනීමට අපහසුයි.කොහොම වුනත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව සමග ගණුදෙණුවක් ඇති වෙන නිසා නිදන්ගත රෝගීන්ගේ කොවිඩ් වෙනුවෙන් ඔරොත්තුදිමේ හැකියාව අඩු මට්ටමක පැවැතුණා. ඊට සමානව එන්නත ගැන ඛතා කලොත් තරබාරුව, දියවැඩියාව,  අධිරුධිර පිඩනය, කොලස්ටරෝල් ඇති පුද්ගලයන්ටත් එන්නත මගින් වැඩි සංකුලතාවයන් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

ආහාර පාලනය කරන්න…

බොහෝ තරුණ පිරිස් ගොඩ නගා ගත් අදහසක් තිබෙනවා. වයසත් එක්ක කොලස්ටරෝල්, දියවැඩියාව ඇති වුනාම කන්න බොන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තරුණ ජීවිතේ විඳින්න ඕන. කාලා බීලා ගෙවන්න ඕන. ඒ නිසා ඔවුන් ඉතාම අහිතකර විදිහට තමන්ගේ ආහාර රටාව අධික ලුණු, තෙල් සමග මේද ගබඩාවක් තෝරා ගන්නවා. නමුත් අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත ආහාර ගැනීම මගින් අධි රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය සහ කොලස්ටරෝල් මට්ටම පාලනය කළ හැකි බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය රෝයි වෝල් ෆෝඩ් විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඒ නිසා විවිධාකාර  ඩයට් ප්ලෑන්.. Fasting වෙත යොමු වෙනවාට වඩා එළවලු. පළතුරු වැඩි පංගුවකින් ආහාරයට එකතු කර ගැනීමෙන් දරුවන්ගේ වගේම මව්පියන්ගේත් නිරෝගිබව ගොඩ නගා ගන්න පුළුවනි.

වැඩි වේලාවක් වාඩි වි සිටීම…

අතීතයේ පුද්ගලයන් ගෙවූ ක්‍රියාශීලී ජීවන රටාව වෙනුවට අද ඇත්තේ කිසිදු ලෙසකින් සිරුරට ව්‍යායාම නොලැබෙන ජීවන රටාවක්. කොවිඩ් කාලයේ සිදු වුන රට අගුලු දැමීම් අනුව මේ තත්වය තව දුරටත් වැඩි වුණා. ඔන්ලයින් නිසා පැය ගණන් එකම තැන වාඩි වි සිටින්නටත් සිදු වුණා.  2007 වසරේ මිසූරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සිදු කරන ලද අද්‍යනයකින් පෙන්වා දෙන්නේ දිගු වේලාවක් වාඩි වි සිටීම දුම්බීම තරමටම සිරුරට අහිතකර බවයි. දිනකට පැය හතරකට වඩා අඩුවෙන් වාඩි වී සිටින පුද්ගලයන් , දිනකට පැය හයකට වඩා වාඩිවි සිටින පුද්ගලයන්ට වඩා නීරෝගී බව කෙන්සාස් රාජ්‍ය සරසවියේ පර්යේෂකයින් ් විසින් සිදු කරන ලද අධ්‍යනයකන් පෙන්වා දී තිබෙනවා.

විකල්පයක් ඇත්තේම නැත්ද…?

අපි කරන රස්සාව අනුව දවසේ වැඩි වේලාවක් වාඩි වී සිටිනන් වෙනවා කියමින් ඔබ මෙය සාධාරණ කරාවි. ඒත් ඔබට ව්‍යායාම ලබා ගන්න සාර්ථක ක්‍රමයක් මම කියන්නම්.

හොඳ සපත්තු දෙකක් අර ගන්න. අඩුම තරමේ සතියකට දින තුනක් හෝ හතරක්වත් කිලෝමීටරයක දුර සෙමින් දුවන්න ^ jogging & දැන් ඔබේ උදරය අඩු කර ගැනීමට තෝරා ගත් ව්‍යායාම හතරක් හෝ පහක් කරන්න.

පරීක්ෂණ වාර්තා ඉතාම වැදගත්..

අපේ සිරුර අභ්‍යන්තරයේ පවතින ක්‍රියාකාරීත්වය දකින්න නම් අවුරුද්දකට වරක්වත් රුධිරගත සීනි, කොලස්ටරෝල් වගේම අක්මාව. වකුගඩු පරීක්ෂා කර ගන්න. ඒනෑම රෝගයක නිමිති මතු වෙන විට අවයවයන්ට සිදු විය හැකි හානිය සිදු වී අවසානයි. ඒ නිසා මෙවැනි වාර්තාවන් මගින් අනාගත රෝග තත්වය කල් තබා හඳාුනා ගන්න පුලුවනි. අපි උදාහරණයක් ගනිමු. අපි නොදැනුවත්ව අපේ රුධිරයේ අහිතකර  කොලස්ටරොල් ගිණුම ඉහලින් තිබුනොත් අනාගතයේදී හදවත් රෝග, කිරීටක ධමණී අවහිර වීම නිසා විවිධ ශල්‍ය කර්මයන්ට පවා යොමු වීමට සිදු වෙනවා. ඒ වගේම රුධිරගත සිනි මටට්ම හඳුනා ගැනීමට නොහැකි වුනොත් දියවැඩියාව නිසා වකුගඩු, ඇස්, වැනි අවයවයන් පවා දුර්වල වී පාද පවා අහිමි වෙන තත්වයකට පත් වෙන්න පුළුවනි.

ඒ වගේම මාස හයකට වරක්වත් අධි රුධිර පිඩනය මැන ගන්න. එය අනාගතයේදී ආඝාතය (stroke ) වැනි රෝග තත්වයන්ට ගොදුරු වීමට තිබෙන අවදානමින් ඔබ නිදහස් වෙනවා.

දරුවෙක් අහිමි වීම දරා ගැනීම අපහසුයි..

තමන්ගේ ලෙයින් මසින් උපන් දරුවෙක් අකාලයේ මිය ගියොත් එහි දරා ගැනීම ගැන විස්තර කිරීමට වචන නැහැ. ඒ වගේම මේ ශෝකය නිසාම මව්පියන්ගේත් ආයු කාලය කෙටි වෙන බැව් කෝපන්හේග්හි ඩෙන්මාර්ක් වසංගත පාලන මධ්‍යස්ථානය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.දරුවෙක් මියයෑමෙන් පසු මුල් වසර තුන ඉතාම අවදානම් බැව් ඔවුන්ගේ අදහසයි. ඒ වගේම වසර දහඅටක් තුල මවක් මිය යෑමට තිබෙන අවදානම 40% ක් බවත් වාර්තා වෙනවා. දරුවෙකුගේ මිය යෑමෙන්පසුව එළැඹෙන වසර තුනක කාලයේදීපියවරුන්ගෙන් 57 % ක් පමණ මරණයට පත් වීමේ අවදානමක්ද තිබෙන බැව් මෙම අධ්‍යනයෙන් පෙන්වා දුන්නා.

එහෙමනම් පවුල් සංස්ථාව තුල නිදුක් නිරෝගි වගේම සතුටින් ජීවත් වීමට නම් බඩ අඩු කරන්න..ඇඟ හැඩ කරන්න… දුවන්න..

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී රවින්ද උඩුගමගේ 

ගම්පහ දිස්ත්‍රික් රෝහල

 

 

 

 


                

දරුවන් නිවැරදි ඉලක්කය කරා නිවැරදිව මෙහෙය වන්නේ කොහොමද?

ජීවිතය පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුයි. නිදහසේ පාවෙන්න අපිට ඉඩ හසර තිබිය යුතුයි. ඒත් ඒ සැහැල්ලුවෙන් පාවෙලා අපි යන්නේ කොතැනටද කියා ඉලක්කයක් වගේම ඒ ගැන අදහසකුත් අපිට තිබිය යුතුයි. අපි අපේ ජීවිත නිවැරදි ඉලක්කය, අරමුණ කරා මෙහෙය වීම ගැන දැනුවත් විය යුතු වන්නේ අන්න ඒ නිසයි. 

සාර්ථකව ඉලක්ක වෙත යන්න සතුට නැතිව බැරි බව දරුවන්ට කියා දෙන්න

අපි කාටත් ජීවිතයේ ඉලක්ක, අරමුණු තියෙනවා. ඒ සඳහා ගමන් කළ යුතු මගත් ඇතැම් විට අපි දන්නවා. නමුත් ඇතැම් අවස්ථාවලදී මනසේ ව්‍යාකූල බව නිසාම ඒ අරමුණු, ඒ ඉලක්ක වෙත යෑමට අපිට නොහැකි වෙනවා. කෙසේ වුවත් අපි මතක තබා ගත යුතු මූලිකම කරුණක් වන්නේ අරමුණක් ජය ගන්න නම් සතුට සහ සැහැල්ලුව අත්‍යවශ්‍ය බවයි. ඔබ, තෝරාගන්නා ඔබේ ඉලක්කය සිහියට නැගෙද්දී දරාගන්න බැරි තරමක ආසාවක් සතුටක් ඔබ තුළ ඇතිවෙනවා නම් එය සාර්ථක ඉලක්කයක් බව කිව යුතුමය. ඔබේ ඉලක්කය ඔබේ සතුටට හේතුවක් නොවන්නේ නම් එය තරමක ගැටලුකාරී තත්ත්වයක් විය හැකිය. කිසිදු අරමුණක්, ඉලක්කයක් හෝ ජීවන අපේක්ෂාවක් සතුට සැහැල්ලුව නැතිනම් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට වීමට තියෙන මනෝ විද්‍යාත්මක බාධකය අවිඥානික මනස හෙවත් යටි සිතයි. ඔබේ යටි හිතේ තියෙන්නේ බය, සැකය, පරාජිත අත්දැකීම් ඔබේ මොළයේ ගබඩා වෙලා තියෙන තාක්කල් ඔබට ඔබේ අරමුණි කරා යා නොහැකියි. මෙය වැඩිහිටි අපට මෙන්ම අපේ දරුවන්ටද එලෙසම බලපානු ඇත.

අද වන විට බොහෝ පිරිසක් තමාට ඇති එකම විසදුම ලෙස විදෙස් ගත වීම තෝරාගෙන තිබෙනවා. නමුත් ඔවුන් ඒ තීරණයට එලැඹ ඇත්තේ විසදුමක් නැතැයි සිතන නිසා මිසක් කිසිදු ආසාවකින් හෝ කැමැත්තකින් නම් නොවේ. ඔබ යම් කිසි අර්බුදයකින් මිදීමට විදෙස් ගත වීම එකම ක්‍රමය ලෙස දකිනවා නම් එමගින් පැහැදිලි වන්නේ ඔබට නිසි මාර්ගෝපදේශයක් බලගැන්වීමක් නොමැති බවයි. අද වෙද්දී සමාජ මාධ්‍ය, රූපවාහිනිය, යහළු යෙහෙළයන් හමු වූ විට හැමතැනින්ම අහන්න දකින්න ලැබෙන බොහොමයක් දේ වේදනාත්මකයි. මේ ඍනාත්මක හැඟීම් මත බොහෝ පිරිසක් සිත්නේ රට හැර යාම මේ සියලු ගැටලුවලට ඇති එකම විසදුම බවයි.

ඒ නිසාම ඒ පිළිබඳව ඔවුන් සිටින්නේ දුකකින්. ආදරය කරන අය අතහැරලා, ඉඩකඩම් විකුණලා හිටි හැටියේ අරමුණකින් තොරව තබන මේ පියවරේදී ඕනෑම අයෙකුගේ යටි සිතේ වේදනාව, බිය සැක කැටි වීම සාමාන්‍ය තත්ත්වයකි. නිශ්චිත අරමුණත් නැතිව ඉලක්කයක් නොමැතිව ඔබ තබන අස්ථිර පියවර ගැන ඔබ දහස්වරක් කම්පා වනු ඇති. වේදනාව සැකය බය කියන්නේ ඍණාත්මක ප්‍රේරණයන්. ඍණාත්මක ප්‍රේරණයන් කියන්නේ අපිට යමක් ඉෂ්ට කරගැනීමට ඇති ලොකුම බාධයක්. ඔබ අලුත් ජීවිත අරමුණක් තෝරාගන්නවා නම් එය ඔබේ කුසලතාවයන් හා බද්ධ වූවක් විය යුතුමයි. අපිට, අපි නොසිතූ නොපැතූ දෙයක් කරන්න සිදු වෙනවා නම් එය අපිව   මානසිකව රෝගී කළ හැකි විශාල හේතුවක් වනු ඇත. අපේ සිත තුළ සතුට නොමැතිව බිය, සැක, දුක සහ කණස්සල්ල රජකරනවා නම් අපි මානසිකව සහ කායිකව සෞඛ්‍ය අතින් පිරිහෙනවා. එතැනදී අප වටහා ගත යුතු මූලික කරුණක් වන්නේ ප්‍රශ්නවලින් පලා යාම කිසිසේත්ම උචිත නොවන බවයි. අපි එයට මුහුණ දිය යුතුමයි. එය අපි අපේ දරුවන් වෙනුවෙන්ද පූර්වාදර්ශ සැපයිය යුතුය. 

දරුවන්ගේ අනාගතය ඔවුන්ගේ කුසලතා සමග ගොඩනංවන්න 

දුව/පුතා ලොකු වෙලා කවුද වෙන්න කැමති

පැසැලේදීත් නෑදෑ ගෙදරකදීත් අපේ දරුවන්ට යොමු වෙන පොදු ප්‍රශ්නයක්. අද අපි මොන කැපවීම දරුවන් වෙනුවෙන් ඉටු කළත් ඔවුන් අනාගතයේදී කුමන ආකාරයේ රැකියාවක් තෝරාගනීද යන්න පිහැදිලි අදහසක් දැන්ම අපට ලබා ගන්නට බැහැ. සාමාන්‍යයෙන් දරුවෙකු තම පරිසරය අනුව තමන්ගේ රැකියාව තෝරාගැනීමට පෙළඹෙන බව කියවුණත් ඇතැම් දරුවන් ආරයට අනුවද ඒ සඳහා යොමු වන බව පැවසෙනවා. 

උදාහරණයක් විදියට සංගීතයට, කලාවට හුරු නිවසක දරුවන තම වෘත්තීය ජීවිතයේදී ඒ විෂයයන් හා සම්බන්ධ වන ප්‍රවණතාවය වැඩි බවත් දෙමාපියන් වෛද්‍යවරු වන නිවෙස්වල දරුවන් ඒ සඳහා යොමු වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් පැවසෙනවා. ඒ දරුවා දකින දේ අනුවයි. කෙසේ වුවත් හොඳ වෘත්තීය පරිසරයක ඇතිදැඩි වන දරුවෝ හොඳ වෘත්තිය පදනමකට යොමු වීමට ඇති අවකාශය වැඩි බව කිව යුතුමය. යමෙකුගේ අනාගත රැකියාව කෙරේ ආරය බලපාන බව කියවුණත දරුවෙක් ජීවත් වන පරිසරය ආරයට වඩා වැඩි බලපෑමක් සිදුකරන බව පැවසෙනවා. කෙසේ වුවත් දරුවෙකුට අරමුණක් ඉලක්කයක් ඇති කිරීම දෙමාපියන් වන අපිට බලෙන් කළ හැක්කක් නොවේ. එය ඇති වන්නේ දරුවන්ගේ කුසලතාවය අනුවයි. අපි දෙමාපියන් ලෙස දරුවන්ගේ එම කුසලතාවයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. 

දරුවන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඔවුන්ට අවස්ථාව ලබා දීම අභිප්‍රේරණය කිරීම දෙමාපියන්ගේ මෙන්ම පාසැලේත් ගුරුවරුන්ගේත් වගකීමක් වන්නේ ඔවුන් එම ඉලක්ක කරා සතුටින් ගමන් කරවීමට වැඩිහිටි අපගේ එම දායකත්වය නොඅඩුව ලැබියය යුතු නිසයි. එක් දරුවෙක් සංගීතය/නර්තනය/චිතු අංශවලින් ද තවත් දරුවෙක් ගවේෂණයේ යෙදෙමින්ද තවත් දරුවෙන් විද්‍ය/ගණිත විෂයයන්වලින්ද තවත් දරුවෙක් ක්‍රිඩාවෙන්ද දස්කම් පාන්නේ නම් ඔවුන් අදාල කුසලතා අනුව දිරි ගැන්වීම අප මුළුමහත් සමාජයේම වගකීමක් බව සිහි තබා ගත යුතුය. ඒ වගේම ඔවුන්ට අවස්ථාව ලබා දීම සිදු විය යුතුයි. අත්පොලසන් දිය යුතුයි. එවැනි අවස්ථා, අගය කිරීම් නොමැතිව දරුවෙකුට අභිප්‍රේරණයක් හිමි වන්නේ නැහ. අභිප්‍රේරණය සකස් වෙන්නේ අගය කිරීමෙන්ම පමණයි. 

අම්මා/තාත්තා/පාසැල/ගුරුවරුන් දරුවන්ගේ නිරිමාණ අගය කොට අත්පුඩි ගසන්නේ නම් ඔවුන් තුළ ආත්ම අභිමානය ගොඩ නැගෙන අතරම එය දරුවෙකුගේ අනාගත වෘත්තිය කෙරේත් බලපානවා. අන්න ඒ නිසාම දරුවන්ගේ කසලතා ගුරු දෙගුරුන් සොයා බලා උනන්දු කවා සවියක් ලබා දිය යුතුමයි. අද වෙද්දි දරුවන්ට බොහොමයක් ක්‍රියාකාරකම් අවම වෙලා. ඔවුන්ගේ කුසලතාවන් එළිදක්වන්නට අවස්ථාවන් අවම වෙලා. මේ හේතු නිසා වෘත්තිමය අපේක්ෂාවන් බවා ගිලිහිලා. මොකද පසුගිය කාලය තුළ ඇති වී තත්ත්වයන් නිසා අන්තර්ජාලය හරහා ඉගෙනුමට දරුවන් යොමු වුණා. එවැනි දේ වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නඟන්න, ක්‍රියාකාරකම් අත්හදා බලන්න තියෙන අවස්ථා දරුවන්ට අඩු වුණා. පසු ගිය කාලය නව යොවුන් වියේ දරුවන්ට විශාල වශයෙන් බලපෑම් ඇති කළ තත්ත්වයක් වූවා‍. 

ඔබේ නව යොවුන් දරුවා ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න

ගෙවුණු දුෂ්කර කාල සීමාව තුළ බොහෝ අහිමි වීම් හමුවේ අපේ නව යොවුන් දරුවන් පත් වූවේ යම් අසරණ තත්ත්වයකට යැයි පැවසීම නිවැරදිය. ඒ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැකියාවන් සඳහා අවස්ථාවන් උදා නොවනු තරම් නිසාය. මෙවැනි අර්බුදය තත්ත්වයකදී එවැනි තරුණ දරුවෝ යහපත් මානසිකත්වයකින් තම අරමුණු කර‍ා යන්‍නය නැවත ආරම්භ කිරීම මව්පියන්ට ගැටලුවක්.

යොවුන්විය කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය විශාල ලෙස වෙනස් වන කාලයක්. හෝමෝනවල වගේම මොළයේ කලාපවල අර්බුද සිදුවෙන කාලයක්. මේ නිසා නිතැතින්ම ඔවුන් තුළ ආවේගශීලී හැගීම් ඇති වෙනවා. ඒ ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. මේ වයස වන විට පූර්ව ලලාට කන්ඩිකාව සංවර්ධන අවධියක ‍පසුවනු ඇත. මේ අවධියේ දරුවන් කිසිදෙයක හොඳක් නොදකින අතරම එය ඔවුන්ගේ වරදක් ලෙස පෙන්වා දිය නොහැකියි. මේ වයසේදී ඔවුන්ට දෙමාපිය අදහස්, දෙමාපියන්ගේ උපදෙස් වලංගු වන්නේම නැත. නමුත් අපිට කිසිසේත්ම අපේ දරුවන් අතහැරිය නොහැකි වන අතරම ඔවුන්ට අවශ්‍ය සහයෝගය ඉතා ඉවසිලිවන්තව ලබා දිය යුතුය. දෙමාපියන් වශයෙන් එය අපේ යුතුකම මේනම වගකීමද වනු ඇත. මන්ද එසේ නොවන්නට යම් යම් ඇබ්බැහි වීම් නිසා දරුවන් නිකරුණේ තම ජීවිත නාස්ති කරගනුනට වුවත් ඉඩ කඩ ඇති නිසාය. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් වන ඔබට තත්ත්වය නිරාකරණය කර ගැනීමට නොහැකි නම් මනෝ උපදේශකවරයෙකුගේ සහය පැතීම ඉතා අගනේය. මෙය මානසික රෝග තත්ත්වයක් නොවන අතර මනෝ උපදේශනය මගින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඔබට මෙන්ම දරුවාටද උපදෙස් ලැබෙනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


                

සෞන්දර්යය විෂයයන් හරහා මනෝ චිකිත්සාවක් ලැබෙනවාද?

නිර්මාණාත්මක මනෝ චිකිත්සාව ඔබේ ආවේග සමබරතාව රැකුමටත් හොඳ විසදුමක් බව දැන සිටියාද?

සංගීතය, රංගනය, චලන, නර්තනය, චිත්‍ර කලාව වැනි සෞන්දර්යාත්මක විෂයන් ඖෂධීය අරමුණක් නැත්නම් ප්‍රතිකාරාත්මක අරමුණක් තුළ භාවිත කිරීම නිර්මාණාත්මක මනෝචිකිත්සාවයි. නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේ සංගීතය හෝ නර්තන හෝ රංග චිකිත්සාව හෝ භාවිත කරන්නට නිසි ක්‍රමවේදයක් පවතින අතරම මනෝ විද්‍යාව සහ සෞන්දර්ය යන මාධ්‍යයන් දෙක එක තැනකට හමුවන තැන නිර්මාණාත්මක මනෝචිකිත්සාව ගොඩ නැගේ.

සෞන්දර්යය විෂයයන් හරහා මනෝ චිකිත්සාවක් ලැබෙනවාද?

ඕනෑම සෞන්දර්ය විෂයක් තුළ චිකිත්සාමය ගුණයක් පවතිනවා. ඒ නිසා ගොඩක් දෙනෙක්ට හිනේනට පුළුවන් සෞන්දර්ය විෂයන් ඔස්සේ මනසේ විෂමතා, සංකූලතා නැති කළ හැකියි කියා. නමුත් මනෝ චිකිත්සාවේදී එය සිදු කරන්නේ නිසි ක්‍රමවේදයකට අනුවයි. එහිදී මනෝ විද්‍යාත්මක පදනමක් තුළ නිශ්චිත මානසික ගැටලුවක් හෝ රෝගයක් පදනම් කරගනිමින් ප්‍රතිකාර සිදු කෙරෙනවා. එම නිර්මාණ සිද්ධවෙන්නේ යම් ක්‍රමවේදයක් තුළයි. එහිදී අපි සාමාන්‍යයෙන් සංගීතයකට සවන් දීම, නර්තනයේ යෙදීම, වාදනයේ යෙදීම වැනි ක්‍රියාකාරකම් මගින් සැහැල්ලු වුවත් මනෝ විද්‍යාත්මක පදනමක් තුළ දී එය සිදු වන්නේ  ප්‍රතිකාරාත්මක අරමුණක් නිශ්චිත රෝගයක් නිශ්චිත මානසික ගැටලුවක් හෝ මානසික රෝගයක් පදනම් කරගෙනයි‍. මෙම ප්‍රතිකාර කුමය රෝගියාගේ මානසික මට්ටම අනුව සැකසෙන නිසා සෞන්දර්ය භාවිත කරන ආකාරයේ කුඩා වෙනසක් දැකිය හැකියි. සාමාන්‍යයෙන් සෞන්දර්ය භාවිත කිරීම සහ රෝගියෙකු වෙනුවෙන් අපේ සැසියක් තුළ නිර්මාණාත්මකව සෞන්දර්ය භාවිත කරන ආකාරය අතර වෙනසක් පවතිනවා. 

අදාල රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාරාත්මක රාමුවක සතියක්, සති දෙකක්, මාසයක් ,මාස දෙකක්, මාස තුනක් සමහරවිට මාස හයක් තෙක් කාලයක් පුරා එක දිගට අදාල අභ්‍යාස වල යෙදීමට ඇතැමෙකුට සිදු විය හැකියි. මෑත කාලයේදී සංගීත චිකිත්සාව, රංග චිකිත්සාව, චිත්‍ර චිකිත්සාව මනෝවිද්‍යා උපදේශන තුළ ප්‍රසිද්ධ විෂය දාරාවක් බවට පත් වී තිබෙනවා. මෙය යම්කිසි ක්‍රමවේදයක් යම් පදනමක් තුළ සිදු වෙන අතරම මේ සඳහා නිසි පුහුණුවක්, කුසලතා වර්ධනය කරගත් අයෙක් සිටිය යුතුමයි. එසේ නොමැතිව සංගීතයක් නර්තනයක් යොදාගත්තා කියා මානසික රෝගයකට පිළියම් ලබාගත නොහැකියි. එය අරමුණු සහගතව සිදු කිරීම ඉතාම වැදගත් වේ.

වයස් සීමාවන්ට වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව රුචිකත්වය වෙනස්. එවිට එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම සමබර කරගන්නේ කොහොමද? 

අපි සමබර කර ගත යුතු වන්නේ අපේ හැඟීම්, ආවේග, චිත්තවේග යන ඒවායි. නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේදී මේවා සමබර කර ගැනීම සඳහා කලාව යොදා ගන්නවා. කලා නිර්මාණයක් කියන්නේම සිතුවිලි, හැඟීම්, ආවේගවල එකතුවක්. තම අත්දැකීම් ඔස්සේ කෙනෙක් ලබා ගත්තා වූ සිතුවිලි, හැඟීම්, ආවේග, ආකල්ප, විශ්වාස යන මේ හැම දෙයක්ම නිර්මාණය හරහා ප්‍රකාශයට පත්වෙනවා. අද ඊයේ නොවෙයි, මනසේ සමබරතාවය පවත්වා ගැනීමට සෞන්දර්යය යොදා ගැනීම සිදු කෙරුණේ අනාදිමත් කාලයක සිටයි. එය ප්‍රාග් ඓහාසික යුගයේ සිට පැවත එන්නක්. නිර්මාණාත්මක මනෝ චිකිත්සාව නමින් අද අපි මනෝ විද්‍යාත්මක පදනමක් දී  කතා කරන මේ දේ නිතැතින් එදා මිනිසුන් තුළ පැවතුණා. ඔවුන් කලාව හරහා තම ආවේග සමබර කර ගත්තා. උදාහරණ විදියට ඕනෑම ජන ගීතයක,  පැල් කවියක, ගැල් කවියක ආවේග සමබර කරගැනීමට හැකියාව ලැබෙන ඒ ගුණය මුසු වූවා.

බාලේ ඇති කළ තලගොයි පැටියා

මට තනි වට වූ මිදුලේ කෙළ සිටියා

නපුරු සතෙක් ඇවිදින් වූ අරන් ගියා

නිවන් හුරේ පලයන් තලගොයි පැටියා 

මේ එක් උදාහරණයක් පමණයි. වෛරය, පළිගැනීම යන හැඟීම්වලින් තොරව තම වේදනාව ආවේගය ගැමියා පාලනය කරගත් ආකාරයට මෙය මනා නිදසුනක්. අද වෙද්දි නව යොවුන් දරුවෝ පවා යමක් අහිමි වූ විට පළිගැනීම, අතපය කපා ගැනීම්, සිය දිවි නසා ගැනීම් වෙත ිපෙළඹෙන සමාජයක එදා ඒ ගැමියා තම වේදනාව අහිමි වීම ඉතා සංයමයෙන් කළමනාකරණය කර ගැනීමට මේ වචන යොදා ගෙන තිබුණා. බොහොම අව්‍යාජව ඒ හැඟීම් ප්‍රකාශ කරමින් ආවේග කළමනාකරණයට අතීතයේදී මිනිසුන් පුරුදුව සිටියේ සෞන්දර්යය තම ජීවිතයට සමීප කරගනිමිනි. හැම ගැමි ජන ගීතයකම නාට්‍යයකම හැඟීම් කළමනාකරණය කොට, ගොනු කර, කලතා ඉදිරිපත් කරයි. මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් මෙය උත්කර්ෂය ලෙස හඳුන්වනවා. උත්කර්ෂණය කියන්නේ අපේ මනස සමබර කිරීම සඳහා අපේ යටිහිත විසින් ලබා දෙන ඖෂධ ක්‍රමවේදයක්‍. එය සංරක්ෂණ ප්‍රයෝගයක්. මෙවැනි ප්‍රයෝග නැතිනම් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වෙනවා. මේ ප්‍රයෝග හරහා අපි අපිව ආරක්ෂා කරගන්නවා. ආවේග පිට කිරීම අපි හැමෝටම තියෙන ආවේණික ක්‍රමයක් වුවත් මානසිකව අසමබර වන විට ඒ ආවේග අමු අමුවේ ප්‍රකාශ වීම ගැටලු ඇති කරවයි. එවිට තමාට හානියක් කරන්නට හෝ නැතිනම්  සමාජයට හානියක් කරන්නට පෙළඹෙන්නේ එම ආවේගවල ඇති අසමබර බව නිසයි. නිර්මාණාත්මක මනෝචිකිත්සාවේදී මෙම ආවේග නිසි ක්‍රමවේදයක් යටතේ මුදාහරින්න පුහුණුවක් ලබා දීම සිදු වෙනවා. එය නිර්මාණාත්මක මනෝ විකිත්සාවේ එක් ක්‍රමයක් පමණයි. 

අපි චිකිත්සාවට අවශ්‍ය පුද්ගලයාට හිතුමතේ ආවේග පිට කිරීමට ඉඩ නොදී තමාව දැකගන්නට සැලැස්විය යුතුයි. එනම් ආවේග මුදාහරින්නට නිසි ක්‍රමවේද හඳුන්වා දිය යුතුයි. ඔවුන් තමාට කුමක් වී ඇතිද යන්න වටහා ගත යුතුයි. ඒ සඳහා නිර්මාණාත්මක රංග චිකිත්සාවේ  හඳුන්වා දෙන දර්පන අභ්‍යාස යොදාගන්නවා. එමගින් තමාට තමා දැකගත හැකියි. 

හැම නිර්මාණය තුළම තම සිතේ තිබූ ලස්සන කතාවක් ගොනු වී ඇති අතරම ආවේග කළමනාකරණය කිරීමේ ආකාරය සම්බන්ධව මේ නිර්මාණවල අන්තර්ගත වෙනවා. ආවේග සමබර කරගෙන තමාගේ ජීවන බලාපොරොත්තු, අලුත් බලාපොරොත්තු ඇති කරගෙන ඒවා ඉෂ්ට කරගන්නනේ කොහොමද කියන එක ගැන නිර්මාණාත්මක මනෝචිකිත්සක සැසි හරහා රෝගීන් අපි පුහුණුවක් ලබා දෙනවා.  නිසි පුහුණුව සහිතව ආවේග සමබර කිරීමට, ආවේග පිටකිරීමට (අපිට භාව විශෝධනය) අවස්ථාව ලබාදීම මගින් තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සැලසුම් කිරීමට සහය ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ පුහුණුවයි. පුහුණුවකින් තොරව කිසිවක් සාර්ථක නොවන බව කිව යුතුමය. 

ආවේග හිතේ හිරවීම නිසා මානසික රෝග දක්වාම ඒ තත්ත්වය දුරදිග යා හැකියි. අපි අපේ ආගමට අනුව අනිත්‍යය ගැන අසා තිබුණත් එය ජීවිතයේ අත්දැකීමක් බවට පත්වන විට එය පිළිගන්න අපි අකමැතියි. අද වෙද්දී අපේ දරුවන්ට වෙනස් වීම දරාගන්න අපහසුයි. මෙවැනි තත්ත්ව ගැන සිත් තුළට කාවැද්දිය හැකි නිර්මාණ අපි අතර බිහිවෙලා තිබෙනවාද?

අනිවාර්යෙන්ම ඔව්. උදාහරණ විදියට එදිරිවීර සරත්චන්ද්‍ර මහතා නිර්මාණය කළ මනමේ, සිංහබාහු වැනි වේදිකා නිර්මාණ හරහා ඉතාම සුන්දර දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ නිර්මාණාත්මක මනෝ චිකිත්සාවේ එක් ස්වරූපයක්. අද අපේ දරුවන්ට ඒ අත්දැකීම් බොහොම විරලයි. ඒ නිර්මාණ විචාරශීලීව නැරඹුවහොත් ඒ චරිතවල සහ සිදුවීම්වලින් ලබා දෙන දේ වෙන්වීම, දරාගැනීමට කියාදෙන ආකාරය වචනයෙන් විස්තර කරන්නට බැරි තරමටම විශිෂ්ටයි. 

මනමේ නාටකයේ මනමේ කුමරා සහ කුමරිය ජීවිතය ඉතාමත් සතුටින් අරඹා, තමා ආදරය මුදුන් පත් වී බොහොම ආදරයෙන් දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන අනාගතය පිළිබඳ සිහින දකිමින් වනය මැදින් යන ගමන ඔබට මතක ඇති.

බරණැස්පුර පිරි යසිසුරු – ඉවසිලි නැත නරඹන තුරු 

ඇය ගයන්නේ තම කුමරු සමග ඔහුගේ නුවරට යනතුරු ඇයට ඉස්පාසුවක් නොමැති බවයි. නමුත් ඒ සියල්ල ක්ෂණයකින් වෙනස් වෙනවා. වන මැද දී කඩා වැදෙන වැදි කණ්ඩායමක් නිසා ඔවුන් නොසිතූ ගැටලුවකට මුහුණ පනාවා. බරණැස්පුර පිරි යසඉසුරු – ඉවසිලි නැත නරඹන තුරු යන පද පෙළ ගැයූ මුවින්ම 

දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ

මගේ හද ගැබ තුළ ඇති විය ආලේ 

යනුවෙන් වැදි රජ සනසන්නටත් ඇයට සිදු වෙනවා. මහාචාර්ය සරත්චන්ද්‍රයන් හොඳින් කලතා ප්‍රේක්ෂකයා වෙත ලබා දෙන්නේ වෙනස් වීම යන ජීවිත යථාර්ථයයි. එයට අනුව අපි අනුවර්තනය විය යුතුයි. අපිට ජීවිතයෙන් පලා යා නොහැකියි. ජීවිතයට හානි කරගත නොහැකියි. තවකෙක් මරා දැමිය නොහැකියි. වේදනාවකදී හිත කැළඹෙනවා. එය අපි පිළිගත යුතුයි. අපේ ජන කවියා එය මනාව දරාගනිමින් මුහුණ දුන් අවස්ථා බොහොමයක් අතීත කතාවල සඳහන් වේ. 

ඉරට උඩිඅන් ඉර මුදුනින් ගිරව් කියා 

සඳට උඩින් සඳ මුදුනින් සාවො ගියා  

මල උඩින් මල මුදුනින් බඹරු ගියා 

මට නොකියා රන් මැණිකා දීග ගියා 

එය ස්වභාවදහමේ නීතියයි. කිසිවක් නොදන්නා අධ්‍යාපනයක් නැති ගැමියා වෙනස්වීම නම් වූ සොබාදහමේ නීතිය පිළිගත්තා. සියල්ල අපිට අවශ්‍ය විදියටම හිමිවන්නේ නැහැ. සතුටින් හැමදේම කෙළවර වෙන්නෙත් නැහැ. අපිට විශ්වයේ යථාර්ථය පිළිගන්න සිදුවෙනවා. හැඟීම්, ආවේග, වේදනාව කළමනාකරණය කර ගැනීම සඳහා කලාව භාවිත කිරීම තෙකරම් අගනේද යන්න ඔබට වැටහෙනු ඇති. එය උසස් නිර්මාණ හරහා ඔබ ඔබේ දරුවාටත් ලබා දෙන්නට උත්සාහ කරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


                

කුඩා වියේ සිට කොණ්ඩය වැටීම දරුවන්ගේ වර්ධනයට බාධාවක්ද?

දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනයට මූලිකම වූ සාධක ලෙස පෝෂණය, ආරක්‍ෂාව, රැකවරණය, සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම පංච ඉන්ද්‍රියයන් සඳහා ලබාදෙන උත්තේජනයන් වැදගත් වේ. වර්ධනය ක්‍රියාවලිය වනාහී බොහෝ සේ පෝෂණය මතම රඳා පවතින්නක් වුවද අනෙකුත් සියලු ක්‍රියාවලීන්ගේ බලපෑම පෝෂණයට තදබල ලෙස බලපානු ලබයි. එසේ සිදුවන්නේ අනෙකුත් ක්‍රියාවලි හරහා සුදුසු ආහාර පමණක් ලැබීම ප්‍රමාණවත් නොවී ආදරය, කරුණාව හා රැකවරණය මුසු වූ පරිසරයක් තුල ලබාදෙන ප්‍රතිචාරාත්මක ආහාර ලබාදීමම මීට හේතු වීමයි. එසේ හෙයින් වර්ධන ක්‍රියාවලියේදී දරුවකුගේ සියළු අවශ්‍යතා සැපයීම මඟින් වර්ධනය ප්‍රශස්ත මට්ටමකට ලඟා කරගත හැකියි. 

දරුවකුගේ අත්, පා, නිය, දත් ද කෙස් ද ශරීරාංග අතර දක්නට ඇතිවා මෙන්ම මේ සියල්ලද දරුවාගේ ජීවිතයට බලපෑම් එල්ල කල හැකි තත්ත්වයක පවතී. එසේ වන්නේ අත්වල පිරිසිදුකම වගේම පාද මඟින්ද, නියපොතු මෙන්ම දත් වලින් පෝෂණයට බලපෑම් එල්ල කල හැකිවා මෙන්ම ඒවායේ මනා පැවැත්මක් නොතිබුණහොත් එය රෝගී තත්ත්වයකට මඟපාදන කරුණක්ම විය හැකි වීමයි.

ඒ අයුරින් කොණ්ඩය ගත් කළ හිසේ සමට ආරක්‍ෂාව සපයනවා මෙන්ම පෞරුෂයට බලපෑම් එල්ල කල හැකි ලෙසින්ද මෙය හේතුවක් විය හැකියි. එසේ වන්නේ හිසේ පවිත්‍රතාවය මෙන්ම පිළිවෙළ ආදී ගුණාංග මෙන්ම ක්‍රියාශීලී ජීවිතයකදී එය බලපාන අන්දම අනුවයි. එසේ හෙයින් කුඩා කල සිට කොණ්ඩය වැවීම කෙලින්ම වර්ධනයට බලපෑම් එල්ල කරනුයේ එහි සනීපාරක්‍ෂාව මෙන්ම එය අනෙකුත් ක්‍රියාකාරීත්වන්ට දක්වන සම්බන්ධතාවය මතයි. 

කුඩා දරුවාට කොණ්ඩය තනිව නඩත්තු කරගත නොහැකියි – කුඩා කලදී කොණ්ඩය වැවීමේදී එය නඩත්තු කිරීම කුඩා දරුවාට කල නොහැකි හෙයින් එය දරුවාට වදයක් කරදරයක් විය හැකියි. එසේම ක්‍රියාශීලී දරුවන්ට නිතර දහදිය දමන හෙයින් කෙස් සමඟ දහදිය රැඳී දුඟද හැමීම, ඉස්හොරි මෙන්ම සත්කාරයේ දුර්වලතා නිසා එය දරුවාට කරදරයක් විය හැකියි. එසේ හෙයින් දිගු කොණ්ඩය දරුවාගේ ක්‍රියාකාරීත්වයන් වලදී මෙන්ම සෞඛ්‍යයේදී ද තර්ජනයක් ඇති කල හැකියි. කුඩා දරුවන්ගේ ක්‍රීඩා ජීවිතයටද එය කරදරයක් විය හැකියි. 

දරුවාට තනිව කොණ්ඩය හසුරුවා ගැනීමට අපහසුයි – දහදිය දැමීම, දහදිය රැඳීම මඟින් සහ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී ද කොණ්ඩය දිගට තැබීම දරුවාට කරදරයක් මෙන්ම අපහසුතාවක්ද විය හැකියි. දරුවාට තනිවම කොණ්ඩය හසුරුවා ගැනීමට අපහසුවීම මඟින් ද ඇතිවන නොරිස්සුම හේතු කොටගෙන එය දරුවාගේ වර්ධනයට බාධාවක් විය හැකිය. 

උකුණන් බෝවීම – උකුණන් බෝවීම, හිස්සොරි වැනි දිලීර අසාධන වලදී දිගු කොණ්ඩය පවතින දරුවන්ට මේවා සඳහා ප්‍රතිකාර ලබාදීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවෙනවා.  ඒවගේම කාලය ගතවීමත් වැඩියි. එසේම නිතර හිස කැසීම නිසාත්, උකුණන් කෑම නිසා මෙන්ම දිලීර ආසාදන තත්ත්ව වැඩි වුවහොත් තුවාල ඇතිවීමට පවා හේතුවක් විය හැකි හෙයින් එය දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වර්ධනයටද බලපෑමක් එල්ල කල හැකියි. අධ්‍යාපනය ලබන දරුවකු නම් මෙය කරදරකාරී තත්ත්වයක් විය හැකියි. එසේම නිතර ඔළුව කැසීමට සිදුවීම මඟින් අවධානය නිසි පරිදි පවත්වා ගැනීමට අපහසු වීම මඟින් මතක තබාගැනීමට බැරි වීම මෙන්ම ගුරුවරුන්ගේ දෝෂාදර්ෂණයට පවා දරුවන් ලක්විය හැකියි. 

එහෙත් මෙසේ වන්නේ කුඩා කල සිටම කොණ්ඩය වැවීම පිළිබඳව නිසි අවධානයක් නොමැතිව හා අපිළිවෙලට, අක්‍රමවත් ලෙස කටයුතු කරන අවස්ථාවන් වලදීයි. 

කුඩා කල සිට දරුවකුගේ කොණ්ඩය වැවීමට ඔබ තීරණය කරනු ලැබුවහොත් ඒ සඳහා තීරණය ගනු ලැබු දිනයේ සිටම ඒ සඳහා ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කිරීමෙන් මේ වර්ධනය අඩාල වීමේ ක්‍රියාවලිය වළකා ගත හැකියි. 

ඒ සඳහා පූර්ව සූදානමක් පැවතීම ඉතා වැදගත් වේ. එසේ හෙයින් කොණ්ඩය වැවීම පිළිබඳව දරුවා දැනුවත් කිරීමත් ඒ අනුව කොණ්ඩයට නිසි පරිදි පෝෂණ සත්කාරයන් කිරීමත් වැදගත්ය. 

දිනපතා සුදුසු පරිදි සෝදා පිරිසිදු කිරීම, දරුවාගේ එදිනෙදා ක්‍රියාකාරකම් වෙත බාධා නොවන ලෙසින් කොණ්ඩය සකස් කිරීම මුල සිට සිදු කිරීම තුලින් දරුවාද ඊට හුරු වෙනවා. බෙල්ලට, ඇස් වලට කරදරයක් නොවන ලෙස කොණ්ඩය සකස් කිරීම මඟින් එය දරුවාට පරිහරණය කල හැකි දෙයක් බවට අවබෝධ වෙනවා. එසේම තනිව කරගත නොහැකි හෙයින් සෝදා පිරිසිදු කරගැනීමට උදව් කිරීමත් වියළිව තබාගැනීමේ වැදගත් කමත් දරුවාට කියාදීම වැදගත් වෙනවා. 

සතුන් බෝවීමට හෝ ඉස්සොරි ඇති වීමට ඉඩකඩ ඇති නොවන ලෙසින් කොණ්ඩය සඳහා සනීපාරක්‍ෂාව මෙන්ම පෝෂණ සත්කාර සැපයීමත්, එවන් කරදරකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් එය ඉක්මණින් ප්‍රතිකාර කර යථා තත්ත්වයට පත්වීමට කටයුතු කිරීම මඟින් කරදර අවම කරගත හැකියි. 

ඕනෑම කරුණකදී ධනාත්මකව ඇති කරන චින්තනය බාධාවන් ජයගැනීමට හේතුවක් වනවා මෙන්ම එය ප්‍රායෝගිකව ජීවිතයට ලඟා කරගැනීම තුලිනුත් අභියෝග සඳහා ශක්තියක් ලැබෙනවා. ජීවිතයේ බලාපොරොත්තු අධිෂ්ඨාන සඳාහ එය මහත් උපකරායක් වනවා. එසේ හෙයින් ඕනෑම ක්‍රියාවලියකදී ආරම්භයේ සිටම පවතින සැලසුම, පැහැදිලි නිරවුල් ක්‍රමවේද මඟින් කටයුතු පහසු කර ගැනීමට හැකිවෙනවා. ඒ නිසා කුඩා කල සිට කොණ්ඩය වැවීම සිදු කිරීමත් නිවැරදි සෞඛ්‍යාරක්‍ෂක සනීපාරක්‍ෂක ක්‍රමවේද වලට අනුකූලව සිදු කරන්නා සේම එය සකස් කිරීමේදී ප්‍රියමනාප බවට, පෞරුෂයට යහපත් බලපෑම් එල්ල කල හැකි වෙනවා. එසේම ඒ සඳහා ක්‍රියාශීලී දෙමාපිය මැදිහත් වීමත් දරුවාගේ ක්‍රියාවනට පහසුව සැලසෙන සේ පිළිවෙලකට කොණ්ඩය සැකසීමත් තුලින් මේ අභියෝග ජයගත හැකිවා මෙන්ම දරුවා මේ කරුණු කෙරෙහි දැනුවත් කරමින් කරන කටයුතු දරුවාගේ වැඩකටයුතු කිරීමේදී අපහසුවකින් තොරව කරගැනීමට දරුවාට හැකිවෙනවා. 

මෙසේ හෙයින් වඩාත් සාර්ථක වන්නේ අවබෝධයකින් සිදු කරන කටයුතුයි. එසේම ඕනෑම කටයුත්තක ඇති සැබෑ උනන්දුව හා පිළිවෙල මඟින් ඇතිවන අතුරු ආබාධ ජයගත හැකිවනවා මෙන්ම කාර්යයකට මැදිහත් වන ස්වභාවය අනුව එහි හොඳ නරක ප්‍රතිඵල අත් විඳීමට හැකිවනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ටාගට් තියෙන්න පුළුවන් පිරිමින්ට විතරද?

ක්ලාස් ඉවර වෙන්න පැය තුන හතරක්‍ යනවා. එතන මොනවා කරන්නද? එව්චර දුරක් ගිහින් ආයේ ගෙදර ඇවිත් පුතා එක්කන් එන්න යන එක තේරුමක් නැහැ. තෙලුත් නැහැ. මට වැඩ වගයකුත් තියෙනවා.

සුදත්ගේ මේ කතාව ඇහුණු කාන්තිට එක වරම කල්පනා වුණේ තමනුත් ඔහු එක්ක යන්න කලින් දවසේ ඉඳලම සැදී පැහැදී සිටිය බවයි. තමා ඔවුන් සමග එන බව පෙර පවසා තිබුණත් සුදත්ට ඒ පැය තුන හතර ගෙවා ගන්න විදියක් නැතිව විසඳුම් හොයන බව තේරුණ කාන්තිට එක්වරම ඇසට කදුළක් නැගුණේ තමාට සැමියා සමග සුළු මොහොතක් හෝ ගත කරන්න ඇවැසි වුවත් ඔහුට එවැනි අවශ්‍යතාවයක් නොමැති බව හිතුණු නිසාම පමණක් නොවේ. දරුවන් වෙනුවෙන් නිවසටම කොටුව ඔවුන්ගේ වැඩ රාජකාරී අතරේම හිර වුණු ඇයගේ ජීවිතය කිසිදු වටිනාකමක් නැති ජීවිතයක් නේද යන දුක්බර සිතුවිල්ල ක්ෂණයකින් සිතට කාවැදුණු නිසාත්ය. මේ කතාව දුර දිග ගෙන නොයන්න ඇය හිතුවත් එය ඇයට ඉවසුම් නොදුන් කාරණයක් වුණායින් ඇය සුදත්ට බැන වදින්නට පටන් ගත්තේ පසුගිය දින කිහිපයක් පුරාම හිතේ තද කරන් හිටිය තවත් කරුණු ගණනාවකුත් මතක් කරදෙමිනි. 

සුදත් දැන් ඔයාට ඔය පැය තුන හතර එළියට ගිහින් මාත් එක්ක කතා කර කර ඉඳලා කෝපි කෝප්යක් බීලා ගෙවාගන්න බැරි තරම් දිග කාලයක්ද? කසාද බැදලා මෙච්චර කාලයක් වෙනවා.. ඔයයි මායි අඩු තරමේ තනියම කෝපි එකක් බොන්න ගිහින් තියෙනවද?

නෑ නෑ මම කිව්වේ ඔයා එක්ක ඉන්න බෑ කියලා නෙවෙයි

ඔව් ඔව් ඔයා කිව්වේ එහෙම නෙවෙයි තමයි. ඒත් මම අහන්නේ මාත් ඉන්නවා නම් ඔයාට ඔය පැය කීපය ගෙවා ගන්න එච්චර අමාරුද කියලා. ඔය වෙලාව ඇතුළත අපි‍ දෙන්නට කරන්න කිසිම දෙයක් නැද්ද ?

වැරදියට තේරුම් ගන්න එපා කාන්ති.. මම එහෙම කිව්වේ තව වැඩ වගයකුත් තියෙන නිසයි. 

වැඩ වැඩ වැඩ… කොච්චරවත් ඔයාට වැඩ. ඒ වැඩ අතරේ නැද්ද වෙලාවක් මම එක්ක ගත කරන්න‍

ඉතිං මම මේ ගෙදරනේ ඉන්නේ.. 

බබෙක් වගේ කතා කරන්න එපා සුදත්.. ගෙදර ඉන්නවා කියන එකයි, තමන්ගේ වයිප් එක්ක නිදහසේ කාලය ගත කරනවා කියන එකයි, ඒක වෙනුවෙන් වෙලාවක් යොදාගන්න කල්පනා කරනවා කියන එකයි, එහෙම දෙයක් හිතේ අහලකටවත් එන්නේ නෑ කියන එකයි එකක් නෙවෙයි. ගොඩක්‍… කරුණාකරලා මම ඔයාට කියන්නේ ඔයාට මාව අවශ්‍ය නැත්නම් මගෙන් අයින් වෙලා යන්න. මට කිසිම දුකක් නෑ.. ඔයා, ඔයාගේ ටාගට්වලට යන්න. ඔයාට ලොකු ඒවා විත‍රනේ…

ඔව්.. මිනිහෙක් වුණාම ටාගට් එකක් තියෙන්න ඕනේ තමයි. 

ආ ඇත්තද? ගෑණියෙක් වුණාම ටාගට් එකක් තියෙන්න ඕනේ නැද්ද එතකොට

කාන්ති, ඔයාට ටාගට් එකක් නෑ කියලා මම මොනවා කරන්නද?

‍හා එහෙමද? 

කාන්තිට එතැනින් එහාට කිසිවක් පවසා ගත නොහැකි වූයේ ඇයට හැඬුුම් ආ නිසාත් පුතා අවදි වී මුළුතැන් ගෙයට පැමිණි නිසාත්ය. කදුළු පිරුණු දෑස සඟවා ගනිමින් පුතුට ගුඩු මෝනිං කියා දරුවා වැලඳ ගත් ඇය දරුවාට නොපෙනෙන්නට කදුළු පිස ගත්තාය. එතැන් පටන් හිතින් තමා සමගම තර්ක කරමින් උදෑසන කෑම සෑදු කාන්ති ගැහැණියකගේ ජීවිතය මේ තරම්ම වේදනාත්මකද යන්න සිතුවා පමණක් නොව ඇයට දියණියක් සිටියා නම් කිසිදු දිනක ඇය විවාපත් නොකරන බවත් තම පුතු විවාපත් වනවා නම් ගැහැණියකගේ වටිනාකම ඔහුගේ සිතට තදින් කා වැද්දවිය යුතු බවත් තරයේ සිතා ගත්තාය.

පවුල් තුළ ඇති වෙන ගැටුම් ගැන කල්පනා කරද්දි වෙලාවකට කාන්තාව ගැන ඇති වෙන අනුකම්පාව වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. දෙන්නෙකුගේ ආදරයේ ප්‍රතිඵලයක් වන දරුවන් වෙනුවෙන් වෙන්වෙන්න වෙන්නෙම ගෙදර අම්මාට. එහි කිසිදු අසාධරණයක් නැතත් ඒ කැප කිරීමේ අගය වටිනාකම නොහදුනන පිරිමියෙක් ළඟ එය අති අසාධාරණ කාරණයක්. ගැහැණියක් දරුවෙකු වැදූ පමණින් තම සියල්ල අත්හැරිය නොයුතුය යන සිතුවිල්ල සමහර ස්වාමියන් තුළ තිබුණත් සමහරුන් තුළ එවැනි අල්ප මාත්‍රයක හැඟීමක් නැහැ. ඔවුන් තමන්ගේ ඉලක්ක කරා යාමේ වරදක් නැතත් තමාට පවුලක් ලෙස තනි නොතනියට සිටින යහපත් දරුවන් ලබා සොදුරු පවුලක් හිමි පුද්ගයෙකු ලෙස ‍ලොව ඉදිරියේ ලබන පැසසුම් සියල්ල හිමි වන්නේ බිරිඳ මවක් ලෙස සිය පවුල තුළ සිදුකරන අසීමිත කැපකිරීම නිසාමය. සැමියෙකු විසින් එය වටහා නොගැනීම ඉතාම ඛේදනීයයි. සැමියෙක්ගේ සාර්ථකත්වය පිටුපස හැමදාම කියන්නා සේ බිරිඳ සිටින බව පිළිගැනීමට ඔයා මොනවද මට කළේ මේ සේරම මගේ මහන්සියෙන් කරගත් ඒවා යැයි තොලේ කටේ නොගෑවී පවසන සෑම සැමියෙක්ම අකමැති වුවත් එය සැමියෙකු අකමැත්තෙන් හෝ විශ්වාස කළ යුත්තකි. දෙදෙනාගේම දරුවන්‍ වෙනුවෙන් වෙන් වෙන කාන්තාව දරුවන් වෙනුවෙන් නිකරුනේ නිවසට වී සිටින්නියක් නොවන බව සැමියෙකු වටහා ගත යුතුය. දරුවන් කියන වගකීම් සමුදාගේ එක් වගකීමක් හෝ මගහැරුණහොත් ඇති වෙන කඩා වැටීම් වෙනුවෙන් ඇය කරන කැපවීම සැමියෙකු වටහා ගත යුතුමය. 

අතීතයේ මෙන් දරුවන් හදා වඩා ගැනීම බිරිඳගේ යුතුකම සහ වගකීම නම් සැමියා කිසිදු අඩුපාඩුවකින් තොරව මුදල් හරි හම්බ කොට සියලු අවශ්‍යතා සැපිරිය යුතුය. බිරිඳ තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරද්දීත් ඇතැම් අවස්ථාවල  මගේ අතේ සල්ලි නෑ මුකුත් කරන්න විදියක් නෑ කියා සැමියාට නිදහස් වීමට අවස්ථාව උදා වන්නේ ඒ කැපකිරීමද බිරිඳක් විසින් සිදුකරන නිසාමය. 

මම ගෙදර වැඩ දරුවන්ගේ වැඩ අඩුපාඩු කරලා නෑනේ.. ඔයා සල්ලි හොයන් එන්න කොහොම හරි… ඔයාගෙනුත් අඩුපාඩු වෙන්න බැහැ.. අපේ බිරින්දෑවරුන් මෙසේ පැවසුවොත් සැමියන් ලෙස ඔවුන් කෙතරම් අසරණ තත්ත්වයට පත් විය හැකිද? සැමියන්ගේ වාසනාවට එවැන්නක් පෙරලා අසන්නට තරම් බිරිදෑවරුන් අකාරුණික වී නැති වුවත් ඉදිරියේදී නම් එයද අනිවාර්යෙන්ම සිදුවන බවට සැක නැත. කෙසේ වුවත් වාසනවාකට මෙන් ගෙදර පොල් ඉවරද වතුරෙන් හෝ රසවත්ව වේල සකසා දෙන ධෛර්යමත් ගැහැණුන් සිටියත් ඇය ඇගයීමට තරම් උසස් මනසක් ඇති පිරිමින් අල්පය. තම බිරිඳට ඇයගේ ටාගට් එකට යන්නට සහය වෙන පිරිමින් අල්පය. තමා තමාගේ ටාගට් කවර් කරගන්නට වෙහෙසෙන අතරේ තම දරුවන් පවුල සුරකින බිරිඳ හෑල්ලු කිරීම ඇය වටිනාකමින් තොර පුද්ගලයෙකු ලෙස ඒත්තු ගැන්වෙන ලෙස හැසිරෙන පිරිමින් තමා ගැන ලැජ්ජා විය යුතුය. ඔබ සැබෑ පිරිමියෙක් නම් දවසකට එක්වරක්වත්  බිරිඳගේ මුහුණට හිනාවක් ගෙන ඒමත් ටාගට් එකක් කරගන්න. 

සූරියකාන්තා…

මධාරා මහපටුනගේ දෑත් තවමත් තැනින් තැන හට ගත් තුවාල වලින් වේදනා දෙයි.  වේදනාව පරයා විටින් විට දැනෙන කුහුඹු දෂ්ඨනයන් වැනි සියුම් දැනීම් අවසාන වෙන්නේ ඒ කුඩා තුවාල ලේ සහ සැරවා එන තුරු නොකඩවා කැසීමෙනි. 

බටහිර වෛද්‍යවරු කිහිපදෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තද කුඩා කුඩා තුවාල හෝ කැසීම් වල කිසිඳු අඩුවක් දක්නට නොලැබුන හෙයින් දේශීය වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ගන්නට කරුණු කාරණා යෙදින.

වෙද මහතාට අනුව මධාරා පීඩාවිදින්නේ ” ලේ විස වීමේ” රෝගයකිනි.

” මේවට එක රැයින් වෙදකම් කරන්ඩ බෑ මහත්තයො.. ඇග නිවල ක්‍රමානුකූලව බෙහෙත් පන්තිය කරන්න ඕනා. මාසයක් දෙකක් යයි නෝනට අඩුවෙන්න. හැබැයි නිට්ටාවටම සුව කරල දෙනවා”

වටකුරු කණ්නාඩි යුවලක් පැලද සිටි, හිස කෙස් ගසක් දෙකක් පමණක් ශේෂව ගිය නග්න දිගැටි හිසක් දැරූ ඉඳුනු රැවුල්කාර දේශීය වෙදදුරා, මධාරාගේ නාඩි අල්ලාගෙන ප්‍රියන්ත අල්විස්ට කිව්වේ බැරෑරුම් හඬකින් බව දාහතර හැවිරිදි අසෙලි අල්විස්ට මතකය.

මධාරා නම් එවෙලේත් සිටියේ බුම්මාගත් බකුසු මුහුණෙන්මය. එය වේදනාවක්ද, ක්‍රෝධයක්ද යන්න බෙදා සළකුණු කරගත නොහැක්කක් විය. 

කොහොමටත් අම්මාගේ හැඟීම් කියවා ගැනීමට දරුවෙක් ලෙස අසෙලි අසමත් බව ඒ සා නෑඹුල් වයසකදීත් ඈ දැන සිටියාය. 

එකම සෞරග්‍රමණ්ඩලයක නන්නාදුන හුදකලා ග්‍රහලෝක තුනක් අල්විස් නිවසේ වාසය කලේය. 

අසෙලි නම් කුඩාම ග්‍රහලෝකය එහි වඩාම හුදකලා සහ සීතලම ග්‍රහයා වීය. 

සූර්‍යයා මෙන් ආකර්ශණයෙන් ඇඳ බැඳ  තබා ගන්නට ආදර රැහැනක් ඒ නිවසේ නොවීය.

ප්‍රියන්ත අල්විස් බැලූබැල්මට හැසිරුනේ සෙනසුරු (Saturn) වගේය. තමන්ගේ සමාජය පිළිගත් රැකියාව, නම්බු නාම , උගත්කම් සෙනසුරුගේ දීප්තිමත් වළළු මෙන් තමාව සමාජයේ කැපී පෙන්වීමට සලස්වන බව හේ දැඩිව විශ්වාස කළේය. එනමුදු ඔහු සෙනසුරු ග්‍රහයා සේම වෙනත් ජීවින්ට අනුවර්තනය වීමට නොහැකි තරම් ආන්තික මිනිසෙක්ද වීය.

මධාරා මාහපටුන පැය විසි හතර මුළුල්ලේම සිකුරු මෙන් ( Venus ) දැවෙමින් සිටියාය. ඕනෑම මොහොතක ද්වේශයෙන් පුපුරා හැලෙන්නටද , ගැඹුරු නිහඩතාවක ගිලෙමින් අනෙක් මිනිස්සුන් තාවකාලික උන්මන්තකභාවයකට පත් කිරලීමට තරම් අසාමාන්‍ය චිත්තවේග වලින්ද යුක්ත වූවාය.

ඒ සියල්ල මැද අසෙලි මේ වඩා හුදකලාව තනිව වැඩෙන දරුවෙක් වූවාය.

ස්වාධීන බව හෝ පරාධීනබව ගැන  ඈ පාසලේදී උගැන තිබුනද නිවසේදි එය මෙයැයි කියා වෙන්කරගැනීමට අපහසු වන තරම් අපහැදිලි කළාපයක ඔවුනොවුන් ජීවත් වූහ. 

“අසෙලි අම්මගේ අතේ තුවාල වලට බෙහෙත් ටික ගානවා” ඒ විධානය ප්‍රියන්තගෙනි.

” අසෙලි.. අසෙලි..කන් ඇහෙන්නෙ නැද්ද? අම්මගෙ අතේ බෙහෙත් ටික ගානව ඇවිල්ලා”

අමුකහ, අමුපොල් කොළ සහ නිදිකුම්බා තැම්බූ මද උණු වතුරෙන් තුවාල සහිත දෑත් හොදින් සෝදා තෙත මාත්තු කොට ඒ එක් එක් තුවාල

මත වෙදදුරා විසින් ලබා දුන් තෙල් වර්ගයක් ආලේප කල යුතු විය. 

අසෙලිට උදේ සවස කෙරෙන මේ  තුවාල ඇල්ලීම දැන් හොදටම අප්‍රසන්න වී ඇත. අනෙක් අතට අම්මාට බෙහෙත් කිරීම ලේසිද නැත. ඇයට වේදනා නම් නිදහස් අතින් අසෙලිගේ ඔලුවට පහර වදී.

“‘මාව මරන් කන්නද හදන්නේ”

නිවසේ උදව්වට ඉන්නා අමරා අසෙලිට ගැන උපන් අනුකම්පාවෙන් මධාරාට බෙහෙත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනත්

” ළමයෙක් හැදුවේ මේවට තමයි. මෙහෙමවත් නැත්තම් කන්න බොන්න දීල වියදම් කරන එකේ ප්‍රයෝජනේ මොකක්ද? උබ වැඩක් බලාගනින් අමරා.. මට තේකක් හදපන් සීනි තේ හැදි අරිට්කාලක් දාපන්. හැදි තුනහතර දාල මාව මරවන්නෙ නැතුව” මධාරා ප්‍රතිචාර දැක්වීය.

අසෙලිගේ මාසික ඔසප් වීම  ඇරඹී දැන් දෑ අවුරුද්දකටත් වැඩිය. කෙසඟ ගැහැණු ළමයෙක් වූ අසෙලිට, වඩා වැඩි රුධිර වහනයකුත් , දැඩි උදරවේදනාවකුත් දැනේ. කෑම බීම අප්‍රිය, මුළු ඇඟම ඇද්දුම් කන මේ වද කරදරය අසෙලිට තිත්ත වී ඇත්තේ, වේදනාව දවස් තුනක්ට නොඅඩු නිසාමය. ඉදගෙන ඉන්නත් නොහැකි හිටගෙන ඉන්නත් නොහැකි වෙන කිසිදු කර්තව්‍යයට සිත යොමුකිරීමටත් නොහැකි අසෙලි මාසික ඔසප් වීම දකින්නේ සාපයක් හැටියටමය.

අම්මාගේ බෙහෙත් කිරිල්ල අස්සේම සාපය වහනය වෙන්නට පටන් ගෙන ඇත.

පැරසිටමෝල් වලින් ලොකු සහනයක්ද නැත.

සයනයේ ඒ මේ අතට ගුලි වෙමින් අද සෙනසුරාද දවසක් වූ එක ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් සිටි අසෙලි ප්‍රියන්තගේ ඊළග අඩි හැප්පවීමට කළින් දැන් ඉතින් ඇඳෙන් බැසිය යුතු බව දනී.

හිස කරකැවේ. උදරය යටි කොටසෙන් මිරිකා දිගැරෙන වේදනාවක් දැනේ. කොදු ඇට පේලියේ එකින් එකට අස්ථි අදුනාගත හැකි තරම් වේදනාව විස්තීර්ණය වේ.

අසෙලි අම්මාගේගේ තුවාල මත තෙල් පොඟවා ගත් පුලුන් කෑල්ල තැබුවේ සීරුවෙනි. හැකි තරම් ප්‍රවේසමෙනි.

එහෙත්

“ඌයි..” හඩත් සමග චටස් ශබ්දය ආවේ තමන්ගේ හිස පිටුපසින් බව අසෙලිට තේරුම් යන්නටත් කළින් ඇගේ ඇස් බොඳ වී අවට කරුවල වූ බව පමණක් මතකයේ ඉතිරි විය.

 “දුවට සිහිය ආවා”

නගරයේ කුඩා පුද්ගලික බෙහෙත් ශාලාවේ රාජකාරි කල හෙදියකගේ කටකඩින් ප්‍රියන්ත ගැස්සී බැලුවේය. සුපුරුදු ලෙස බුකවාගත් මධාරාගේ මුහුණෙ කිසිදු වෙනසක් නොවින.

මධාරාට හෙදියගේ පණිවිඩය නෑසෙන්නට ඇති බව මධාරා ගැන නොදන්නා ඕනෑම කෙනෙක් විශ්වාස කරන තරමට ඇය එකම ඉරියව්වෙන් සිටියාය. අමරා සියල්ලටම පෙර කුඩා ප්‍රතිකාර කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් ඇතුලට ගියාය.

” අනේ අසරණී.. උදේට කෑවෙත් නෑ මයෙම්මා.. මේ කෙල්ල ගැන බලන්න කෙනෙක් නැති හැටි” හදවත පහුරුගාන වාක්‍ය වලට පිටවෙන්නට නොදී එහිම මියෙන්ට හැර අමරා අසෙලිගේ අත අල්ලාගෙන අනෙක් අතින් හිස අතගාන්නට පටන් ගත්තාය.

” We sent a blood sample to the lab.  I hope its better get checked. Since she is so thin with pale eyes and on her periods, this might be a sign of anemia.

And she seems fine now. Can take her home. Will give some pain killers , lets see when the report comes,

වෛද්‍යවරයා කියාගෙන ගියේය. 

” ලැජ්ජ කරපල්ල , ලැජ්ජ කරපල්ල..කන්න බොන්න නැති මඩුවකනෙ හැදෙන්නෙ. අනෙක මේ රටේ ගෑනු ඔක්කොටම ඕක වෙනව. උබ එදාටම නොකා නොබී බිමට පත බෑවෙන්න තියාගත්තේ? පලවෙනි වතාවටද හැදුනේ? උබ දන්නෙ නැද්ද ඕක හැදෙනව කියල? “

ප්‍රියන්ත ආක්‍රෝශ පරිභව කරමින් නිවස දෙසට රිය පැදවීය.

මධාරාගේ තුවාල වල කිසිදු අඩුවක් නොවුනේය. ඒවා වේගයෙන් අත පුරාත් පසුව ශරීරයේ විවිධ තැන් වලත් පැතිර යන්නට වූයේය. තෙල් ආලේප කිරීමට නොහැකි තරම් තුවාල මතු වූ පසු ඒ වෙදකම අතැර දැමීමට ප්‍රියන්තත් මධාරත් තීරණය කළහ. දෙන්නාදෙමහල්ලෝ එකට එකඟව තීරණයක් ගන්නේ එහෙමත් වසර ගණනකට සැරයක්ය. 

ප්‍රියන්ත හා මධාරා අතර කායික සම්බන්ධතා කියා දෙයක් නැත. දෙදෙනා කාමර දෙකකකද අසෙලි වෙනම කාමරයද නිදයි. ඒ දෙදෙනා අතර කායික තබා මානසික සම්බන්ධතාවක්වත් තිබුනාද යන්න අමරාටනම් පුදූමයට කාරණාවකි.

කපුටෝ ළමයි ගෙනත් දාන බව ඇත්තක් බවත් අසෙලි බබා එන්න ඇත්තේ එහෙම බවත් මුන් දෙන්නා හදපු ළමයෙක්නම් වෙන්න බැරි බවත් අමරා කහට කෝප්පයක් හදගෙන අල්ලට දමාගත් සීනි කැට ලෙවකමින් කල්පනා කල දවස් ගාණ ඇගේ හිසේ කෙස් ගාණට වඩා වැඩි මිස අඩු නැත.

යකඩ අඩුබව ලේ වර්තාවෙන් තහවුරු වූ පසු දැන් අසෙලිට යකඩ පෙති දිනපතා ලබාගැනීමට සිදු වේ. කලින් සිටියාට වඩා ශරීරයට යම් ජීවමය ගතියක් දැනුනත් ඔසප් වේදනාවේ නම් වෙනසක් නැත. 

මධාරා වැඩිකාලයක් ගත කරනුයේ ස්වකීය සයනාරූඩවමය. ශරීරය පුරා තැනින් තැන රුධිරය ගලන, නොගලන හෝ කිසියම් තුවාලයක් කසමින් දවස ගත කිරීම පහසු නැත. එකාතකට ඇයට නින්දක්ද නැත.

ප්‍රියන්තට ඒ ගැන ඒගැන වගක්ද ඇති බවක් කාටවත් නොදැනේ. අවසාන වරට හමුවූ කායික රෝග වෛද්‍යවරයෙක් තහවුරු කලේ මධාරාගේ ශරීරයට විශබීජයක් ඇතුල්වීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බවත් IV මාර්ගයෙන් ලබා දෙන ප්‍රතිජිවික ඖශධ වලින් විනා දැන් පිටින් කරන වෙදකමින් මෙය පාලනය කරගත නොහැකි බවය. 

දැන් ඉතින් දවසට දෙපාරක් ලගම ඇති බෙහෙත් ශාලාවෙන් එන්නත් මාර්ගයෙන් මධාරාට බෙහෙත් ලබා දෙන්නෙ සති දෙකක් රෝහල් ගතවීම මහාවියදමක් ලෙස ප්‍රියන්තටත් වඩා මධාරා සැලකූ හෙයිනි.

” Aseli,

I need to talk. Shall we meet?

Jegan”

076 *******

අසෙලි අතේ ගුලිවී තිබූ ලා කොළ පැහැති කුඩා කොළය කිහිපවරක් කියෙව්වාය. පාසල් වෑන් රථයේ පිටුපසුම අසුනට අසෙලිට හිමිවන්නේ ඇය “අල්විස්  නිවස” අසලින් බහින්නේ වෑන් රතයේ අවසාන කෙනාට කළින්වීම නිසාය. මේ කෙටි වචන සහිත පණිඩුඩය වෑන් රතයේ දෙවන අසුනක ඉදගන්නා ජාත්‍යන්තර පාසලේ පහලොස් හැවිරිදි ජෙගන් සිවගුරුනාදන්ගෙනි.

සිහින් වඩා තළෙලු සමක් දැරූ ජෙගන්ගේ නළලේ පාන්දරට සුදු පාට විභූති ඉරි තුන වැරදුනේ නැත. 

ස්භාවයෙන් නිහඩ බොහෝ විට පොතකට හිස යොමාගෙනම ගමනාන්ත වලින් හිස ඔසවන ජෙගන් තමන් කෙරෙහි අවධානය යොමු කලේ කොයිවේලාවටද කියාවත් අසෙලීට නිනව්වක් තිබුනේ නැත. එකාතකට පාසල ඇරි කට කපා නිදාගෙන ගෙදර ළගින් “වෑන් එකේ ඇන්ටී” ඇහරවන තුරුම නිදාගන්නා තමා ගැන සියුම් ලැජ්ජාවකුත් වර්ධනය කිරීමට මේ පොඩි කොල කෑල්ලට හැකිවීම ගැන අසෙලි පුදුමයට පත් විය.

“Shall we meet?”

නැවත නැවත පැහැදිලි ඉංග්‍රිසි අකුරෙන් ලියා තිබූ වචන කියවූ අසෙලිට ජෙගන් නම් පිස්සෙක් විය යුතු යැයි සිතිණ. අතිරේක පන්තියකටවත් නොයවා බාලිකාවෙන් නිවසට නිවසෙන් බාලිකාවටත් පමණක් යන තමන්ගෙන් “shall we ?”කියා අසන්නේ මොළේ හොඳ නැති කොළුවෙක් පමණක් විය යුතුය. 

අනෙක් අතට තමන් ගැන ජෙගන් දන්නා දෙයක්ද නැත. එසේ ඇසීම පාපයක් ලෙස දැකීමටද නොහැකිය. බාලිකාවේ B පන්තියේ බාගයකටත් වඩා කෙල්ලන්ට පෙම්වතුන් සිටින බව අසෙලි දැන සිටියාය. එහෙත් ඔවුන් ලියුම් නම් හුවමාරු කරගත්තේ නැතිබව නම් අසෙලිට විශ්වාසය. දුරකතනයෙන් පණිවිඩ හුවමාරු කරගන්නා බව ඇත්තය. පාසලේ ඉගැනුම් කටයුතු සඳහා තමන්ට ජංගම දුරකතනයක් මිලදීගෙන දී තුබූ නමුදු එහි පාලනය ඇත්තේ ප්‍රියන්ත සහ මධාරා අතේ හෙයින් අසෙලි ඔය පණිවිඩ යැවීම් ඒම් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේද නැත. 

ලා කොළ පැහැති කුඩා කොළය ජීවන කුසලතා සටහන් පොත අතුලේ හෙමින් රූවා ගත් අසෙලි  පාසල් බෑගය මේසය මතින් තැබුවාය.

දැන් දැන් ප්‍රියන්ත අල්විස් ගෙදර එන්නේ මාසයකට සැරයක් වගේය. ඒ එනදාට අමරාට උයා තියන්න අවශ්‍යය දෑ කියමින් හෙතෙම නිවසට දුරකතන ඇමතුමක් දෙන්නේය. එයට පිළිතුරු දෙන්නටද අමරාම මිස නිවසේ වෙන කවුරුවත් උනන්දුවක් නොදැක්වීය. ඔහු සේවය ලබා දෙන රෙදි කර්මාන්ත ශාලාවේ නව ශාඛාවක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඔහු කිසිම අකමැත්තක් නොදක්වා කොළබින් බැහැරවී ගියේය. ඇත්තෙන්ම ඔහු ආයතනයේ කොටසක් විය. 

මධාරාගේ තුවාල පාලනයක් මිස ඉන් ලද කිසි පූර්ණ සුවයක් නොමැති තැන මධාරා තුවාල සමඟම ඉන්නට තීරණය කලාක් මෙන් උදේ දහවල මෙන්ම රාත්‍රිය පුරාමද කුඩා කුඩා තුවාල කසමින් ඉතිරි වේලාවක් වේ නම් අසෙලිට දෝශාරෝපණය කරමින් හෝ තඩිබාමින් ගත කලාය.

කිසිම දිනක “Lets  meet” ලෙස ප්‍රතිචාරයක් නොදැක්වූ නමුදු අසෙලි ජෙගන් සමඟ මනෝමය ප්‍රේමයකින් බැඳී සිටියාය.

” අසෙලි ආවර්තිතා වගුව කියන්න” ඒ විධානය විද්‍යාව ගුරුතුමියගෙනි. 

“අසෙලි.. අ සෙ ලිඊ..” කොයි ලෝකෙද ඉන්නේ ළමයෝ මම ප්‍රශ්නයක් ඇහුවා තමුන්ට ඇහුනද?

කෝපයට පත් ගුරුවරියගෙන් ප්‍රශ්න වැලකි. 

මධූකා අතට නොඅනින්න, “තමුන්ට  ඇහුනද?” කොටස හෝ අසෙලිට නොඇසී යනු ඇත.

ඒ මොහොතේ අසෙලි සිටියේ ජෙගන් සමඟ පිට්ටනිය කෙළවරෙහි වූ බංකුවේ වාඩිවීය. ජෙගන් සිටියේ පාසල් ඇඳුමෙනි. අසෙලි තමන් කැමතිම දම් පැහැ රැලි ඇල්ලු දිග ගවුම හැඳ සිටියාය.

ජෙගන්ට සිංහල අපහසුය. එහෙත් ඔහු ඉංග්‍රීසි භාශාවේ ව්‍යක්තය.

” I never thought that you would love me” ඔහු කීවේය.

“ඇයි එහෙම හිතුවේ? ප්‍රශ්නය අසෙලිගෙනි.

” you know why there have been several discriminations since long.  ජාති පස්න right ? I was scared but got guts to ask you out. 

ඔහුගේ පෙනුම චිත්‍රපට නලුවෙක්ගේ මෙන් විය. දිගු නාසය. කෙටි තොල් සහිත මුව නිතර තදින් පියවී තිබිණ. සමේ වර්ණය කිසි ලෙසකින් ඔහුගේ පෙනුමට අපරාධයක් සිදු නොකලේය. ඔහු කදිම කඩවසම් තරුණයෙක් විය. 

පිට්ටනිය කෙලවර බංකුවට සෙවණ දුන් කොහොඹ ගසේ කහ ගැහුනු කොළය පාවි අවුත් මනාව පිරූ ජෙගන්ගේ සෘජු කෙස් ගස් අතර රැදුනි. 

අසෙලි එය ඉවත් කිරීමට අත ගත්තා පමණි.

“මේ ලෝකේ නෙමෙයිද ඉන්නේ? ඔලුව හොඳ නැතිවේගෙන එනව මන් හිතන්නෙ මේ ළමයගේ” විද්‍යා ගුරුතුමිය ඒ රෝමාන්තික බව විනාස කර දැමීය. 

එතනිදු නොනැවතී අසෙලිගේ ආදරය එකම දිනයකදී ඉංග්‍රීසි ගුරිවරියගේ බැනුමකින්ද, සමාජ අධ්‍යනය ගුරුවරියගේ වයිට් බෝඩ් පෑන් පහරකින්ද බිඳී ගියේය. 

දැන් පාසැල් වෑන් රථයේදී අසෙලීට නින්ද යන්නේ නැත. ජෙගන්ගේ අත අල්ලාගෙන මංමාවත් දිග ඔහේ ඇවිද යන්නට ඇයට තිබේ. හිමකිරම වෙළඳසළකදී කහපැහැති අයිස් පලමක්ද , වැනිලා චොකලට් සම සමව දැමූ ඩිලයිට් ( delight) වර්ගයේ හිම කිරමක්ද තොලගාමින් එකිනෙකා දෙස බලාසිටීමට ඔවුන්ට තිබේ.

ජෙගන්ගේ උඩු තොලෙහි ගෑවුන වැනිලා හිමකිරම 

සළකුණක් මකා දැමීමට ඇගේ ලේන්සුව පාවිච්චි කිරීමට තිබේ. 

” අනේ ලස්සන ජෝඩුව දෙවිපිහිටයි දරුවනේ” යැයි කියනා සිගමන් යදින වයසක ගැහැනියක් දෙස බලා ලැජ්ජාවෙන් බිම බලාගන්නට අසෙලිට සිදුවේ.

ආදරය, කිණිහිරක පුළිඟු මෙන් විසරණය වෙන දීප්තිමත් හැඟීමක ගිලෙමින් යතාවත් වෙමින් අසෙලි නිවසට ළගාවේ. 

“මොකද බබා  තනියමත් හිනාවෙන්නේ?  කෑම ටික අතගගා ඉන්නේ කීපැයක ඉදන්ද?”

අමරා හැර අසෙලිගේ වෙනසක් තොරාගත හැකි කිසිවෙකු ඒ නිවසේ නැත. 

“නැහැ ඇන්ටි. බඩගිනි නෑ”

” අම්මා කෝ නිදිද? අද මොකද උදේ රණ්ඩු කලාද?”

අසෙලිගෙන් ප්‍රශ්නම පිළිතුරු ලෙස ලැබුණි.

“උදේ ඉදන් කාටද මන්ද  තිත්ත කුනුහර්පෙන් බැන්න. ඊට පස්සෙ කෑම හොඳ නෑ කියල විසිකරල. තේකක් හදල දෙන්නැයි කීව. ඒකත් කොලා. ඒකට වහක් දාල ටික ටික මරන්න හදනවැයි කියල මටම ආඩපාලි කීව. පස්සෙ කාමරේට වෙලා දොරවහගත්ත. මම ආයෙ ගියේ නෑ බබා. මාත් මනුස්සයෙක්නේ”

අමරාගේ කටහඩ බිඳීගොසිනි.

අල්විස් නිවසේ වාසය එකතාකට දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්ය. පිස්සු හෝ පිස්සු නැත කියා සහතිකයක් නොළද වැඩුනු ගැහැනියක් සමඟ දවසම ගත කිරීම අමාරට ඔරොත්තු දුන්නේ නැත. එහෙත් අමරාට යන්න කියා තැනක්ද තිබුනේ නැත. ප්‍රියන්ත අමරාගේ පඩිනඩි වලට කිසිදු අඩුපාඩුවක් කලේද නැත.

” මේ  ගෙදර මහ ගෑනිගේ පිස්සු නැත්තම් සෝක් ” අමරා නිතරම සිතුවේ එලෙසිනි. 

“අම්මා… අම්මා… අම්මා..”

“නෝනා නෝනා…..”

රාත්‍රී නමයටද මධාරාගේ කාමරයෙන් කිසිදු හැලහොල්මනක් නැති තැන අසෙලිත් අමරාත් 

මධාරාගෙන් ගුටි කෑමට බලාගෙන හෝ කතා කිරීමට තිරණය කළහ. 

එහෙත් ඇතුළතින් පිළිතුරක් දීමට මධාරා කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

දැඩිඝනකමින් යුතු කොස් ලීයෙන් කරවන ලද දොරවල් වලට ප්‍රියන්ත,  විශේෂයෙන්ම කුරුණෑගල පැත්තෙන් ලී ඉරවාගෙන ආවේය. ඒවායේ සවි ශක්තිය ඉතා දැඩි වූහෙයින් වයස හැටකට ආසන්න කාන්තාවකට සහ දාහතර සම්පූර්ණ නව යෞවනියකට කිසිසේත්ම එවැනි දොරක් හා ගැටීමට හැකියාවක් නැත. 

” මහත්තයට කියමු බබා සිහි නැතිවෙලාද දන්නෙ නෑ. කෑමකුත් නෑනේ උදේ දවල් නැතුව කස කස ඉන්න මනුස්සයනේ අනෙක”

” අනේ මන්ද අමරා නැන්දේ තාත්තා ඇවිල්ල දොරවල් අරින්නද ඉතින් කල්මුණේ වගේ පැත්තක නේද ඉන්නව කිව්වේ. දුරයි කිව්ව මම අහගෙන. එන්න පැය හතක් විතර ගියා කිව්වේ”

” ඒත් බබා ඔයා තාත්තට කියන්නකො. අපි දෙන්නා මොනව කරන්නද වෙන”

” හ්ම්ම්”

අසල්වැසියන් කියා කිසිදු කෙනෙක් ආශ්‍රය නොකලද, කරදරයකදි අහක නොබලන ස්භාවය නිසා ආසන්න නිවසේ වාසය කල භක්තිමත් කතෝලිකයෙකු වූ කොල්වින් මහතා ඒ මහතාගේ බෑණනුවන් වූ නාලක සමඟ අමරාගේ සහ අසෙලිගේ ඉල්ලීම මත නිවසට පැමිණියේය. 

ප්‍රියන්ත හැකි ඉක්මනින් පිටත් වෙන බව කිවත් කාමරය තුළ සිරවී සිටින මධාරා සිටින්නෙ හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්වයක විය හැකි බැවින් පොලිසිය සහ හදිසි ගිලන් රථ සේවයකට ඇමතිම වඩා කාලෝචිත බව කොල්වින් මහතාගේ අදහස විය.

පොලීසියට දැනුම්දීමෙන් කොස්තාපල්වරු දෙදෙනෙක් පසු එතෙන්ට ලඟාවීමට විනාඩි හතලිහක පමණ කාලයක් ගත වූ අතර, ගිලන් රථය නම් කඩිනමින් පැමිණියත් දොර විවෘත කිරීම ඔවුනට කළ නොහැකි හෙයින් පොලිසියේ මැදිහත්වීම අවශ්‍යය බව දැන්වූ හෙයින් මධාරා තව දුරටත් කාමරයේ සිරවී සිටියේය. 

ආරංචි වලට තටු ලැබෙන බව පසක් කරමින්ද කිසිදා බාහිරට විවෘත නොවුන අල්විස් නිවසේ අභ්‍යන්තරය දැකබලාගැනීම ලැබෙන හෙයින්ද මිනිසුන් එකිනෙකා සෙමින් සෙමින් පර්චස් විස්සක අල්විස් නිවසේ වත්තපිටියට රැස්වන්නට වුහ.

අසෙලි අමරාට හේත්තු වී සෝෆාවේ වාඩී වී මිදුල දෙස බලාගෙන සිටියාය. ඒ කුඩා යෞවන දෑස් තුල කිසියම් ආකාරයම බයක සළකුණක් නොතිබුණද කාංසාමය බයාදු ගතියක් පැහැදිලිව පෙනුනේය.

අවසානයේ පොලිසීය පැමිණීමෙන් පසු නාලක සහ තවත් තරුණන් කීපදෙනක් යකඩ ඉණි සහ ආයුධ වලින් දොර ගලවා ඉවත් කිරීමේ මෙහෙයුමට අවතීර්ණ විය. දොරගුලු ගැලවීම පවා සිතු තරම් පහසු වූයේ නැත. විනාඩි විසිපහකටත් නොඅඩු කාලයක් වෙහෙස වීමෙන් පසු අවසානයේ මධාරාගේ කාමරයේ දොර විවෘත විය.

දැඩි කරුවලක්ද , අධික පුස් ගඳක්ද සමඟ එක්වනම විවෘත වූ දොරෙන් කිසිවෙකුට කිසිවක් තොරාගත නොහැකි විය. අසෙලි අමරා සමඟ පැමිණ කාමරයේ විදුලි පහන දැල්වූවාය.

කාමරයේ සියලු ජනේල හොදින් වසා දමා තිබූ අතර ඝණ ජනෙල් තිරවලින් ඒවා ආවරණය වී තිබිණ. 

කාමරය කලක සිට හිරු එළියට නිරාවරණය නොවීම නිසා බෙහෙත් ගඳත් පුස් ගඳත් මිශ්‍ර වී අමිහිරි ගන්ධයක් ඇති කළද කාමරයේ සියලු දේ නියමිත පිළිවලටම තිබූ බව ඕනෑ කෙනෙක්ට නිරීක්ෂණය වීය.

මධාරා සුපුරුදු ලෙසම සයනාරූඩව සිටියාය.

ඇගේ දකුණතේ ඇඟිලි වම් අතේ මැණික් කටුවට උඩින් වූ තුවාලයක් මත තබාගෙන සිටියාය. බොහෝ හිට තුවාලය කසිමින් ඇය නින්දට වැටෙන්නට ඇත. 

කොණ්ඩය තදකර ගොතාගත් වනම තිබූ අතර ඇය හැද සිටියේ පිරිසිදු සුදු පසුබිමේ නිල්පැහැ මල් වැටුන රාත්‍රී නිදන ගවුමකි.

නමුත් ඇය සිටියේ නිද්‍රාශීලීවය. කිසිදු හැලහොමනකින් හෝ සෙලවීමකින් තොරවය නමුත් සන්සුන්වය.

ඇය නිසැකයෙන්ම සිහි මුර්ජා තත්වයෙන් සිටින බවක් දිස්විය.

” ඕ මයි ජීසස්” ඒ කොල්වින් මහතාය. ඔහු තමාගේ පපුව මත කුරුසය සටහන් කරගත්තේය.

” හාර්ට් ඇටෑක් එකකින් නැති වෙලාලු.. අපෝ ඇඟපුරා තිබ්බ තුවාල ගොඩ.. කුණු වෙලා මැරෙන්න ඇත්තේ ඇතුලෙන්.. ඔය ගෑනිට ඇහට්ට දැක්කේ මරණයක් විදිහටනේ අනේ.. ජීවත් වෙලා ඉද්දි දැකල නෑ… “

“ළමය නම් ආතබූත වගේ නේද?.. අපේ දූගේ අල්ලපු පන්තියෙ ඉස්කෝලෙදිත් බලාගත්ත අත බලාගෙන ඉන්නවලු.. පිස්සු ලුසී කියල කියනවලු… මම දුවට කිව්ව වැරදිලාවත් ඔයා නම් කියන්න එපා කියලා.. නිකම් හරි එකම ලේන් එකේ මිනිස්සුනේ”

අමරාට මේ ගැහැණුන්ගෙ කටවල් තැලීමට සිතේ. 

“මහ ගෑනිට නම් මොනව කිව්වත් කමක් නෑ අර පොඩි කෙල්ලට” ඇය සිතින් බනින්නීය.

මරණය තිබ්බේ එකදවසක් පමණය. මරණයට ආගිය ඥාතිකම් කියමින් හදුන්වා දුන් කිසිකෙනෙකු අසෙලි මින් පෙර දැක තිබුනේ නැත.

මළගෙදර කිසිවෙකු හැඩුවේද නැත. අසෙලිට ඇඩුම් ආවේද නැත. 

” hey Aseli please accept my heartiest condolences, so sorry for your loss” ජෙගන්ගේ වචනත් ඔහු තමන්ගේ දෑත් අල්ලාගනිමින් තමන් දෙස බැලූ ආකාරයත් යන අවස්තාවෙන් එපිටට අසෙලිගේ කාලය ගමන් කිරීම නැවතී තිබිණ.

ඒ තරම් උණුසුම් අතක්. ඒ තරම් ආදරයක්. 

මරණයෙන් දෙදවසකට පසු ප්‍රියන්ත නැවත කල්මුණේ රාජකාරියට යෑමට අවශ්‍ය බව දන්වා සිටියේය. හත්දවසේ දානය කේටරින් එකක් මගින් පන්සලට දීමට වැඩකටයුතු යොදා ඇති හෙයින් එයට කලබල නොවිය යුතු බවද ඊළග සතිදෙක ඇතුලත නැවත කොළඹ රාජකාරී සදහා අනුයුක්ත වන බැවින් අසෙලි සමඟ ප්‍රවේසමෙන් සිටින ලෙසටද අමරාට උපදෙස් ලැබුනි.

මධාරා ඇඳ උඩම මරණයට පත්ව සිටි හෙයින්ද ගැහැණු දෙදෙනෙක් තනිව මරණයක් සිදූවූ ආසන්නයේම සිටීම සිත සසළවන හෙයින්ද නිවාස වලට මෙහෙකරුවන් ලබාදෙන ආයතනයකින් තාවකාලිකව තවත් මෙහෙකාරියක් නිවසට ලබාගන්නා ලදී. 

” ඒකවත් කොලා මදැයි” අමරා හිත හදාගත්තේ එහෙමය.

දුවට මවක මිස සෑමවිටම නොපවතින න්‍යායක් බව අසෙලි තහවුරු කරමින් සිටියාය. නිවසේ ඇනුම් බැනුම් ඇය කෙරෙහි නොවරදින බවට තිබූ සහතිකය අහෝසි වී ගොසිනි.

ප්‍රියන්ත රාජකාරියට පිටවූ දා අසෙලි සීනි වැඩිපුර දැමූ තේකෝප්පයකුත් චොකලට් බිස්කට් පැකට්ටුවකුත් රැගෙන star gold චැනලයේ

“හම් ආප්කේ හේ(යින්) කෝන් ” චිත්‍රපටිය බැලුවාය. ඒ පවුලේ සමඟිය, ආදරය එකමුතුකම ගැන විස්මයට පත් වූවාය. සල්මන් ඛාන් වෙනුවට ජෙගන් ආදේශ කරගෙන බැලුවාය. ජෙගන් තමන්ව නම් කිසිම කාරණාවක් අරභයා  වෙනකෙකුට නොදෙනු ඇතැයි තමන්ටම සඵත කරගත්තාය.

ගෙදර දුරකතනයේ සීමා මායිම් ඉවත්වූ බව ප්‍රත්‍යක්ෂ වූ තවත් දින කිහිපයකට පසු මුලින් ජීවන කුසලතා පොත ඇතුලට ගොස පසුව ඉතිහාසය අච්චු පොතේ පිට කවරය ඇතුලෙන් ගමනාන්තය ලගා කරගත් ජෙගන්ගේ ලා කොල පැහැති කොල කෑල්ලහි වූ අංක අසෙලි සෙමින් අංකනය කලාය.

The number you dial is not reachable Please try again later. 

 ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත. කරුණාකර පසුව අමතන්න.

සය වතාවකට වඩා අංකනය කල දුරකතනයෙන් මේ වාක්‍ය කණ්ඩයම දමිළ බසින් ඇසීමට තරම් උවමනාවක් අසෙලීට ඇති වූයේ නැත.

ඇය වැරෙන් දුරකතනය තැබුවාය.

මව මළ මොහොතේදී පවා නොවැටුන කඳුලක් අසෙලිගේ කම්බුල් තෙත් කරමින් පහලට රෝල් වී ආවේය.

අමරා කොයිලෝකෙන් සොයාගත්තාදැයි සිතාගත නොහැකි වුවත් මිදුලේ සූරියකාන්ත පැලයක් සිටුවා සාන්තු කරමින් සිටියේ මධාරාගේ ලේ විස වීම උත්සන්න වීමටත් පෙරාතුවය. 

දැන් එහි පොහොට්ටුවක් පිපෙන්නට ආසන්නය.

” බබා ඔයා දන්නවද ? සූරියකාන්ත මල ඉර එක්ක  ඉර හැරෙන හැරෙන පැත්තට හැරෙනවා”

අමරා කිවේ මිදුලේ බංකුව මත වාඩි වී සිටින අසෙලිටය.

” ඒ කියන්නෙ සූරියකාන්ත මල් ඉරට ආදරෙයි” අසෙලි කීවාය.

” වෙන්න ඇති බබා. මල පිපුනාම බලන්නකො බබා එයාත් හරියට ඉරේ හැඩේමයි.. හෙට උදේට පිපෙයි”

” හ්ම්ම්.. සූරියකාන්ත..” අසෙලි මිමිණුවාය.

“ඇයි මෙච්චර තදබදයක්…”

” පාලම ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්”

“කොයි පාලමද?”

” බාලිකාවට මෙහා පාලම ලග බස් එකකට හැපිලා”

” අනේ තුවාලද කාටහරි?”

“නැහැ එතනමයි. ඔලුව කුඩුවෙලා පොඩි කෙල්ලෙක්”

“දෙයියනේ”

” කෙල්ල උදේ බුදුපහන තියන්නද මන්ද අතේ සූරුයකාන්ත පොහොට්ටුවකුත් තිබ්බලු”

“දෙවියනේ” 

-නිමි-

-ඉශාරා දසනායක-

මර්සිලීනු ජයකොඩි පියතුමාගේ සැබෑ නත්තල මෙදාය.

උඳුවප් මාසයේ සීතල සුලං සමග අප වෙතට පැමිණෙන්නේ නත්තලේ සුබ පණිවිඩයයි. දෙව්පියාණන්ගේ උපත සිහිපත් කිරීම වෙනුවෙන් වූ ලෝකයක් සැරසෙන අසිරිමත් උපත සමරන සැබෑම නත්තල මෙවර අපට සමරන්නට සිදු වී තිබේ.

ලෝකය පාපයෙන් ගලවා ගනු පිනිස උපන් ජේසු බිලිඳාගේ උපත සිදු වූයේ බෙත්ලෙහෙමේ ගව ලෙනකයි. එතුමාගේ පියා වඩු කර්මාන්තයේ නියැලුන ‘‘ජුසේ‘‘ තුමාය.දෙවියන් වෙනුවෙන් දැඩි භක්තියෙන් සිටි මරියතුමිය එතුමාගේ මවයි.

දිලිඳු අඹුසැමි යුවලකට දාව ජේසු බිලිඳාගේ උපත සිදු වූයේ ගවලෙනකයි. ඒ දෙවියන්ගේ කැමැත්ත අනුවයි. උන්වහන්සේගේ සැලැසුම එයයි. දිලිඳාු පවුලක උපත ලද ජේසුස් නම් දිව්‍ය පුත්‍රයා උන්වහන්ස්ගේ ජීවිතගමන සම්පූර්නයෙන්ම ගත කලේ උන්වහන්සේගේ සුඛ විහරනය සඳහාම නොවේ.උන්වහන්සේ සිය ජීවිතය කැප කරනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් තමා වෙත පවරන ලද කාර්යය ඉටු කිරීමටයි.

මේ වෙනුවෙන් උන්වහන්සේ සමාජ තරාතිරම නොබලා විවිධ පුද්ගලයන් ඇසුරු කළහ. දේවවචනය සමාජගත කිරීම සඳහා ගම් නියම්ගම් පුරා සැරි සරන ලද සේක.උන්වහන්සේ විසින් දේශනා කරන ලද කන්ද උඩ දේශනාව මගින් දේව ධර්මය ජනතාවට තේරුම් කර දුන් අතර දෙවියන්වහන්සේ මුල් කර ගත් විශ්වාසය නිසා ජනතාව දිනෙන් දින කතෝලික ධර්මය වෙත ආකර්ශනය වූහ.

ඔබේ සිත ගවලෙනක් මෙන් දුප්පත් කර ගන්න…

ජේසුස් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික ජීවිතයේ වටිනාකමයි. ඒ නිසාම ජේසු නම් දේව පුත්‍රයා මෙලොවට වඩින දිනය වෙනුවෙන් අපි ආධ්‍යාත්මිකව සූදානම් විය යුතුය. සැබැවින්ම ලෞකික සැප සම්පත් අත් හළ යුතුය. එහෙත් අද නත්තලේ සැබෑ අර්ථය අද මිථ්‍යාවක් බවට පත් වී තිබේ. අනවශ්‍ය අන්දමින් විය පැහැදම් කරන ඇඳුම් පැළඳුම්, ආාහරපාන  මගින් තමන්ගේ තරාතිරම ප්‍රදර්ශනය කිරීමට දරන තරඟකාරී උත්සාහය මත මිනිසුන් මං මුලාවට පත්ව සිටින යුගයක් බවට අද නත්තල පත්ව තිබේ.

සැබෑම නත්තලේ සංකේතයක් වුන නත්තල් සීයා

නත්තල් සීයා යනුවෙන් හඳුන්වන්නේ ශාන්ත නිකුලස් පියතුමාය. 3 වන සියවසේදී ලියාහි අගනුවර වන පතාරාහි සාන්ත නිකුලස්තුමා උපන් බව පිළිගැනේ. එතුමන්ගේ මව්පියන් වූයේ එෆ්ෆෙනියන් හා නොන්නාය. මහත් වූ දේපලකට උරුමකම් කීවත්, බාල වියේදීම මව්පියන් අහිමි වීම නිසා ශාන්ත නිකුලස් ජීවිතයේ අතරමං වූයේය. නමුත් මව්පිය උරුමයෙන් ලද ධනය කළමනාකාරණයකින් හැසිරවීම සඳහා කිතුදහම අනුව තමන්ගේ සේවය ලෝකයාට ලබා ඔහු දීමට තීරණය කලේය.

ඔහු අසරණයන්ට පිහිට වීමට වඩාත් අවධානය යොමු කරන ලද්දේ ‘‘ මයිරා ‘‘ නගරයේ බිෂොප් තනතුරට පත් වීමෙන් පසුවය. එක්තරා දුගී පියෙකුට තමාගේ දියණියන් විවාහ කර දීමට වත්කමක් නොමැතිව කල් ගෙවද්දී නිකුලස් තුමා රන්කාසි ගෙන ගොස් දුගියාට හොරෙන් නිවසේ ජනේලයෙන් විසි කොට ඇත.මෙම මුදල් ලබා දුන්නේ කවුදැයි ඔවුන් නොදත්හ. දිනක්…ලෝගුවකින් විත් කාසි දමන අමුත්තෙක් දුටු අතර ඔවුන් මේ අමුත්තා අල්ලා බලන විට ඔහු වෙන කිසිවෙකුත් නොව ශාන්ත නිකුලස්තුමා බව දැන ගත්හ. මෙම සිද්ධිය රහසක් සේ තබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් පසුකලෙක ඒ නිකුලස්තුමා බැව් හෙලි විය.ශාන්ත නිකුලස්තුමා දියණිවරුන් වෙනුවෙන් මුදල් දමන ලද්දේ දුම් කවුළුවේ එල්ලා තිබුන රතු මේස් කකුලකටය. ඒ නිසා රතු මේස් කකුලටත් නත්තල් සැසිලි අතර වැදගත් තැනක් හිමි වී තිබේ.

දැන් වෙනස් වීමට කාලය ඇවිත්..

ඇතැම් සිදු වීම් ඕපපාතිකව කාලය විසින් සීමා කරන යුගයක් දැන් අප ඇස් ඉදිරිපිට මැවී තිබේ. තමාට මෙන්ම අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු යුගය අප ඉදිරියේය.ජීවිතය ආර්ථික දුෂකරතාවයන්  නිසා සමාජගත සම්බන්ධතාවයන්ගෙන් දුරස් වුනත් අසල්වැසියාට ප්‍රේම කිරීමට ගැලපෙනම අවදිය මේ නත්තලයි.‘‘මාත් මගේ අමුවත් රැකුනොත් මදිද..‘‘? යන සංකල්පය වෙනුවට මාත් ආරක්ෂා වී අසල්වැසියන්ද සුරක්ෂිත කිරීමට ඇවැසි යුගය අප ඉදිරියේ දැන් තිබේ.

ගතින් දුරස් වුනත් සිතින් ලං විය හැක…

වෙනදා මෙන් සාප්පු යන්නට. සමූහ ලෙසින් එක්ව විනෝදවන්නට අපට හැකියාවක්  නැත.ආර්ථික අපහසුතාවයන් නිසා ස්වයංවාරණයන් අප විසින්ම පනවා ගත යුතුය. නමුත් අපට එකිනෙකාට උදව් වීම අපහසුවක් නොවේ. සැබෑ මානව දයාව ඇත්තේ එතැනයි.

. නත්තල් ගසේ තෑගි ලබන්නට පුංචි දරු පැටවුනට වෙනදා මෙන් අවස්ථාවක් නැත.නමුත් ඔබට සැබෑම නත්තල උදා වන්නේ මෙම වසරේදීය. එය මර්සිලිනු ජයකොඩි පියතුමාගේ කවියක දැක් වෙන සැබෑම නත්තල වෙනු ඇත.

මගෙ නත්තල දුගියා බත් කන දාය

මගෙ නත්තල වැරහැලි නැති වෙන දාය.

මගෙ නත්තල ඔබ දුක සැනසෙන දාය

මගෙ නත්තල පව පල්ලිය යන දාය

එතුමාගේ කවියට තවත් ඌනපුරණයක් කරමින් අපෙ නත්තල අප හැම දෙන බත් කන දාය..යැයි ප්‍රාර්ථනා කරමු.

 

බබා ලැබුණු අම්මට දුක නොහිතෙන්න නම් ….

බබාට නම් ඕනෙ තරම් අය. මට තමයි කවුරුත් නැත්තේ… ප්‍රසූතියෙන් පස්සේ  ඔබටත් එහෙම හිතෙයි නේද?

අම්මා කෙනෙක් වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඇය මුහුණ දෙන සොදුරුතම අත්දැකීමක් වගේම බොහොම අභියෝගාත්මක අත්දැකීමක් කියලත් කියන්න පුළුවන්. ප්‍රසූතියෙන් පස්සේ අලුත් බබා බලන්න ගොඩ දෙනෙක් හිටියත් ඇතැම් අවස්ථාවල අපහසුතා බොහොමයක් නිසා අම්මා කෙනෙක් තනිවෙන්න පුළුවන්. මොකද මේ තත්ත්වයේදී ඕනෙම කාන්තාවක් ශාරීරික අපහසුතා බොහොමයකට මුහුණ දෙනවා. දරු ප්‍රසූතිය සාමාන්‍ය සංසිද්ධියක් වුවත් ඊට මුහුණ දෙන කාන්තාව ප්‍රසූතියෙන් පස්සෙ අත්දකින සිදුවීම් සියල්ල සතුටුදායකද යන්න ගැටලුවක්. එහෙම වෙන්නේ ප්‍රසූතිය සඳහා සූදානම් වන කාන්තාවක් ගර්භනී කාලය තුලදී සෑම විටම පවුලේ අසල්වැසි නෑදෑ හිතමිතුරන්ගේ මෙන්ම සමස්ත සමාජයේම ආදර ගෞරවයට පත්ව සැලකිලි ලබනවා. නමුත් ප්‍රසූතියෙන් පස්සෙ එම ආදර සැලකිලි බෙදී යාමත් සමඟ මවට ඇතිවන හැඟීම් දැනීම් අනුව ඇයට දැනෙන තනිය පාළුව වගේම ඈ කෙරෙහි දක්වන අඩු අවධානය මත මව මානසිකව යම් පහත මට්ටමකට ඇද වැටීමට සමත් විය හැකියි. පළමු වතාවට දරුවා දුටුවම හැම කෙනෙක්ම දරුවාට ආකර්ෂණය වීම පුදුමයක් නොවුනත් ප්‍රසූත වේදනාව, වෙහෙස, තුවාල වේදනවා පමණක් නොවෙයි මව්කිරි දීම කියන අලුත් අත්දැකීමත් එක්ක මවක් යම්තාක් දුරකට අසරණ තත්ත්වයකට පත් වන බව කිව යුතුයි. ඒ වගේම විවිධ අයගේ විවිධ මතිමතාන්තර හැම එකකදීම අලුත්  මව තනි වෙන ස්වභාවයක් ඇති වෙනවා. 

මම තනිවෙලා.. මේ වේදනාවන් විඳ ගන්නත් ඕනා… එයාල කියන හැම දෙයක්ම අහන්නත් ඕනේ… කැමති විදියට කන්න බොන්න ඉන්න විදියකුත් නැහැ..හැමෝම හැමදේටම අත දානවා.. ඇඟිලි ගහනවා..

මේ සීමා මායිම් එක්ක අම්මට දැනෙන්නෙ නුරුස්නා බවක්. තමන්ට මුකිසිත් කරගත නොහැකි තත්ත්වයක්. 

බබා අඩනවා.. දැන් හැමෝම කියයි කිරි මදි වෙලා කියලා.. බබාගේ බඩ පිරිලා නැති නිසයි අඩන්නේ කියලා. මට දරුවට දෙන්න තරම් කිරි ‍එරෙන්නේ නැද්ද?

අලුත උපන් දරුවෙක් අඩන්නේ කිරි මදි වුණාම විතරක් නෙවෙයි. අලුත් දරුවෙක්ට අඩන්න හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ගැන අත්දැකීම් තිබුණත් අපේ වැඩිහිටියෝ කතා කරන්නේම දරුවා කුසගින්නේ හඩන බවම පමණයි. දරුවෙක් හඬන හැමවිටම හැමෝම අහන්නෙ ඇයි අඩන්නේ කියලා‍. දරුවා බලාගන්න අම්මට තනිව බැරි බව හැඟවෙන ප්‍රකාශ වැඩිහිටියන්ගෙන් ඉදිරිපත් වෙනවා. කෑමවලට තහංචි පනවනවා… ඒ විතරක් නෙවෙයි වතුර ටිකක් බොන්නවත් ඉඩක් නෑ‍… හැම දෙයකම වැරදි දකිනවා. මෙහෙම උනාම අම්මට දුක හිතෙනවා. 

මාව බලන්න කවුරුත් නැහැ… හැම දෙයක්ම බබා වෙනුවෙන්, මම මොකටද ? එයාලට ඕනේ බබා විතරයි… මගේ වේදනාවන් දුක ගැන මගේ අම්මටවත් හැඟීමක් නෑ කියලා.. බබාට කිරි දෙන නිසා කෑම කන්න ගියත් තෝරල බේරල කෑම දෙන්නෙ.. බබාට හොඳ නෑ… සීතල කෑම දරුවාට සෙම… උෂ්ණ කෑම දරුවාට උෂ්ණය පිට දානවා සමහර කෑම වලට දරුවාට වාත පිරෙනවා… දරුවාගේ බඩ වේලනවා රතගාය හැදෙනවා….ඉක්මනින් නාලා එන්න කොණ්ඩේ තෙත තියෙන්න හොඳ නැහැ…..

මේ වගේ දහසක් ප්‍රශ්න නගන කොට අම්මට කිසිම නිදහසක් නැහැ. අම්මට හිතෙන්නෙම කවුරුවත් එයා ගැන හිතන්නේ නැහැ කියලා. මොකද ප්‍රසූතියෙන් පසු අම්මා කෙනෙක් ඉන්නේ ඉස්සර සැහැල්ලුවෙන් ජිවිතය විදපු තැන නෙමෙයි. දරුවෙකු ලැබුණට පස්සේ ඕනෑම කාන්තාවකට හිතට බරක් වගකීමක් දැනෙනවා. මේ නිසා ඇය ඉන්නේ නොසන්සුන්ව. ඇය‍ගේ තුවාලවල වේදනාව, ප්‍රසූතියට දැරූ මහන්සිය පමණක් නොවෙයි මින් පෙර තනිව කරගත් සියලු වැඩකටයුතුවලට දෙදෙනෙකුගේ කටුයුතු එකතු වීම වගේ හැමදෙයක්ම නිසා හිතට දැනෙන බර ගතිය හින්ද අම්මා කණස්සල්ලටත් අසරණ තත්ත්වයටත් පත් වෙනවා. මේ වෙලාවේ ඇයට හිතෙන්නේ අනිත් අය උදව්කිරීමට දක්වන උනන්දුවත් ඇයව අසරණ කරන බවයි. 

ගර්භනි මුල් කාලයේ සිටම මේ පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ ගර්භනීභාවය ප්‍රසූතිය වගේම ප්‍රසූතියෙන් පසු කාලය තුළත් ශාරීරිකව ඇතිවන කායික වෙනස්කම් වගේම මානසිකව මුහුණ දිය යුතු තත්ත්වයන්ද  සමාජයීය වශයෙන් අලුත් ජීවිතයක දී ඇති විය හැකි තත්වයන් ද හේතුවෙන් ගැටුම් සිත්රිදවීම්වලින් තොරව සමබර කරගැනීමට අවශ්‍ය ‍නිසාමය. එසේම මෙවැනි තත්ත්වයන්ට ශක්තිමක්ව මුහුණ දීමට හැකියාව ඇති කිරීම වෙනුවෙන් පූර්ව ගර්භනී සැසි වගේම ප්‍රසව සායනවලදී ලැබෙන සෞඛ්‍ය අධ්‍යාපන අවස්ථාවන්වලට සක්‍රියව සහභාගී වීම ඉතා වැදගත් වේ. එමගින් තමන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතා වැඩි දියුණු කර ගැනීමටත් ඖනෑම තත්වයකට මුහුණ දීමටත් ඇති හැකියාව වැඩි දියුණු කරගැනීමට අවස්ථාව ලැබේ. 

අලුත් බබා ලැබුණු අලුත් අම්මා මේ කරුණු සිතට ගන්න‍

  • තමන් අලුත් ජීවිතයකට පත්වුවද අලුත උපන් දරුවා සෑම කෙනෙකුටම අලුත් නිසාත් දරුවාට තනිව කිසිවක් කරගත නොහැකි නිසාත් අන් අයගේ අවධානය උදව් අවශ්‍ය බව මව මුල සිටම තේරුම් ගෙන සිටීම වැදගත් වේ. 
  • වැඩිහිටි අයගේ ක්‍රියා කලාප අදට නොගැලපුනද එය සෘජුව ප්‍රතික්ෂේප නොකර හේතු සහිතව පැහැදිලි කළ හැකි දැනුමක් මව සතුව තබාගන්න
  • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා නිරතුරු සම්බන්ධතා පැවැත්වීම තුළින් තමන්ට කලන මිතුරියක් සිටින බව දැනගන්න. ඇයගේ දැනුම කුසලතා මගින් මවගේ ගැටලු නිරාකරණය කරගැනීමට හැකි වන අතරම නිවසේ ඇති ගැටලුවලදී ද ඇගේ මැදිහත්වීම මගින් ගෙදර සියලු දෙනාටම අවශ්‍ය පරිදි දැනුම ලබා ගැනීමට හැකි බව සිහිතබාගන්න‍
  • ගර්භණී මුල් කාලයේ සිටම තමන්ව රැකබලා ගැනීමට පෝෂණය සැපයීමට උදව් කරන සියලු දෙනා මේ සිදු කරන්නේ තමන්ට නිරෝගී දරුවකු ලබාගැනීමට හැකි උදව් බව සිතීමත් ඒවා තමන්ට උදව් ලෙසින් සුබවාදීව ධනාත්මකව සිතීමට පුරුදු වීමටත් එය ඔබේ ශක්තිය බවත් සිතන්න.
  • සියලු දෙනාගේ අවධානය තම දරුවාට යොමුවීම තුළින් තමන්ගේ කාර්යයන් පහසු වී ඇති අන්දමත් පහසු වන අන්දමත් එය තමනට වැඩ කර ගැනීමට ලැබෙන මහත් අස්වැසිල්ලක් බවත් සිතන්න. දරුවාගේ වර්ධනය හා රැකවරණයේදී තමන්ට අන්‍යයන්ගෙන් ලැබෙන සහය මහත් වූ අස්වැසිල්ලක්ය යන සිතුවිල්ල සිත්හි රඳවාගන්න
  • දරුවා කෙරෙහි වූ අන්‍යයන්ගේ අවධානය, ආදරය දරුවාට ලැබීම තුළින් තමනට වැඩ පහසු වන හා විවේකය ලබා ගැනීමට අවස්ථාවක් වන බවත් කණස්සල්ල ‍පහව යාමටත් හේතුවන බව ධනාත්මකව සිතන්න

අලුත් බබාගේ නිවැසියන් මේ කරුණු සිතට ගන්න‍

  • තමන්ගේ මතිමතාන්තර, අත්දැකීම් අනවශ්‍ය අවස්ථාවන්වලදී නොපවසන්න
  • අපහසුවෙන් වේදනාවෙන් සිටින මවට සහනයක් වන ලෙසින් ඇයගේ අනුදැනුම ඇතිව ඇයට උදව් වෙන්න. පළමුව මවගේ දුක සැප සොයා බලන්න
  • ඇයගේ අනුදැනුම හෝ ඇයගේ අවශ්‍යතාවය මත දරුවාට අවශ්‍ය රැකවරණ ලබා දීමට ඉදිරිපත් වන්නේන
  • සැමවිටම ඇය හා කතා කිරීම ඇයගේ අවශ්‍යතා අනුව උදව් කිරීමත් කරන්න
  • දරුවා හඬන විට, එයට හේතු සොයා බැලීමට මවට ඉඩ දෙන්න. උදව් අවශ්‍ය නම් පමණක් ලබාදෙන්න. (දරුවා අඬන විට දරුවාට කිරි ඕන වෙලාද? ඔයාට දරුවව අරන් දෙන්න ද ? ආදී ලෙසින් මවගේ අවශ්‍යතා සොයා බලා උදව් කිරිම මගින් තමාට සොයා බලා සහය වීමට අයෙක් ඇති බව සිටින බව සිතන අතරම ඇයගේ පාළුව අසරණකම එමගින් දුරු වී යනු ඇත) 
  • සැමවිටම මව ප්‍රශංසා කරන්න. ඇයගේ උත්සාහය, උනන්දුව, පිළිවෙළ ආදිය පිළිබඳව ඈට ආත්ම අභිමානයක් ඇති කරවන්න. ඇයට තම ක්‍රියාකලාපයන් අන්‍යයන්ගේ ප්‍රසාදයට පත්වීම නිසා ඇය ගැන ආත්ම තෘප්තියක් ඇති වී සතුටට පත්වනු ඇත.

සෑම ගර්භණී මවක්ම ගර්භණීභාවය, ප්‍රසූතිය හා ප්‍රසූතියෙන් පසු තම ජීවිතයේ අවශ්‍යතා පිළිබඳ දැනුමින් සන්නද්ධව අවස්ථා පිළිබඳ දැනුමෙන් හැඟීමෙන් පෙර පුහුණු වී සූදානමින් සිටීමෙන් ඇය මානසිකව බිඳ වැටීම වළක්වා ගත හැකිවා මෙන්ම නිවැසියන් අසල්වැසියන්ද මේ තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් පසු වන විට මව්වරුන් පත්කරන අසහනකාරී තත්ත්ව වලින් මුදවා ගැනීමට හැකියාව ලැබේ. එය දරුවාගේ සතුට රැකවරණ පෝෂණය ආදී ලෙසින් වූ සමස්ත වර්ධනය හා සංවර්ධනයට මනා වූ හේතුවක් වේ‍.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල