ඔබේ දරු පැටියාට ඩයපර තේරීමේදී මේ කරුණු ගැනත් සිතන්න

පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහි වීමත් එක්කම අම්මගේ තාත්තගේ වැඩ කොටස දෙගුණ වෙනවා. පැටියට කිරි පොවන්න, තෙමා ගන්නා වාරයක් වාරයක් පාසා නැපි මාරු කරන්න, මලපහ ඉවත් කරලා පිරිසිදු කරන්න අම්මට තාත්තට සිද්ද වෙනවා. නිතර නිතර තෙමා ගැනීම් හේතුවෙන් දරු පැටියාට මුහුණ දෙන්න සිදු වෙන අපහසුතාවයන් ගැන හැම අම්මා කෙනෙක්ම දුක් වෙනවා. ඒත් මේ ගැටලුවට පිළියමක් ලෙස ඩයපර භාවිතයට හුරු වෙන්න බහුතරයක් මව්වරුන් අකමැති වන්නේ ඩයපර නිසා සම ගොරෝසු වීම්, දෙපා අතර කැපීම්, නැපි දද වැනි තත්ත්වයන් හේතුවෙන් දරුවා අපහසුතාවයන්ට ලක්වෙයිද යන සැකය නිසයි.

අද වෙනකොට ලෝකයේ දියුණු රටවල අලුත උපන් ළදරුවන්ට සාමාන්‍යයෙන් ඩයපර භාවිත කළත් අපේ රටේ ළදරුවන්ට මාසයක් දෙකක් ගත වන තුරුම ඩයපර භාවිතය සිදුවෙනවා අඩුයි. ඇතැම් විට ඒ මව්වරුන්ගේ නොදැනුවත්කම නිසා ඩයපර ඇන්දවීම ළදරුවාට අපහසුවක් ලෙස සිතනවා විය හැකියි. එසේත් නැතිනම් පුර්ව සුදානමකින් තොරව ඩයපර ඇන්දවීම නිසා සමේ ආසාධන තත්ත්වයන් ඇති වීම වැනි අත්දැකීම් ලබා තිබීම නිසා විය හැකියි. එසේත් නැතිනම් උසස් තත්ත්වයේ ඩයපර වර්ගයක් තෝරා ගැනීමට ඇති නොදැනුවත්කම නිසා විය හැකියි. එහෙමත් නැතිනම් වැඩිහිටියන්ගේ උපදෙස් නිසා විය හැකියි. කෙසේ වුවත් නියම තත්ත්වයේ ඩයපරයක් ඔබ තෝරාගන්නවා නම් කිසිදු ගැටලුවක් මතු නොවනු ඇත.

ඔබේ බිලිඳාට ඩයපර තේරීමේදී ඔබ අවධානය යොමු කළ යුතු මෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

ඩයපරය ඔබේ දරුවාට සුව පහසු විය යුතුයි

ඔබ තෝරාගන්නා ඩයපරය පළමුවෙන්ම ඔබේ දරුවාට සුවපහසුව සලසන බවට තහවුරු කරගන්න. ඩයපරයක මතුපිට ඉතා සුමුදු බවින් යුතු වීම මල්පෙත්තක් වැනි වූ බිලිඳු සමට උපරිම පහසුව ලඟා කරවීමට අත්‍යවශ්‍යම සාධකයකි. කපු වැනි මතුපිටක් ඇති බේබි ෂෙරමි ඩයපරය ඔබේ දරුවාට සුමුදු බවක් දනවන අතරම උපරිම සුව පහසුවක් ද සලසයි

Bc_Comfort_image

වාතාශ්‍රය ගමන් කිරීම  

යම් ඩයපරයකින් වාතාශ්‍රය ගමන් කිරීමේ කාර්යභාරය මනාව ඉටු වේ නම් බිලිඳු සම මත ඇති විය හැකි ආසාත්මිකතා වැළකීමේ සුවිශේෂී හැකියාවක් එම ඩයපරය  සතුය. අන්න ඒ නිසාම මව්වරුන් ඒ පිළිබඳව උපරිම අවධානය යොමු කළ යුතු වේ.

එසේ වාතාශ්‍රය ගමන් නොකරන්නේ නම් දහදිය මෙන්ම තෙත් බව නිසා බිළිදු සමේ ආසාත්මිකතා ඇතිවිය හැකියි. වාතාශ්‍රය හොඳින් ගමන් කළ හැකි වන පරිද්දෙන් සැකසුණු බේබි ෂෙරමි ඩයපරය භාවිතය ඔබේ දරුවාගේ මෘදු සමට මනා සුවයක් එක්කරයි. තවද ඒ හැකියාව සම මත ආසාධන ඇතිවීමේ ප්‍රවනතාවය අවම කරවයි. ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටකට මනාව ගැලපෙන ලෙස නිපදවා ඇති බේබි ෂෙරමි ඩයපරය නිසා ඔබේ දරුවා සැමවිටම සතුටෙන් සිටියි.

මහතින් අඩු තුනී ඩයපර

සාමාන්‍යයෙන් කුඩා දරුවෙකු ඩයපරයක් හැඳ සිටින විට කකුල් දෙක අතර රඳවා ගත නොහැකි තරම් පිම්බී තිබීම මෙන්ම එල්ලා වැටීම දරුවෙකුගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා බාධාවකි. සැබවින්ම වෙළඳපොලේ ඇති බොහොමයක් ඩයපර මහතින් වැඩිය.  අන්න ඒ නිසාම මහතින් අඩු තුනී ඩයපරයක් ඕනෑම දරුවෙකුට වඩාත් සුදුසු වේ. දරුවන්ගේ මෙවන් අපහසුතා හඳුනාගන්නා බේබි ෂෙරමි ප්‍රමාණයෙන් ඉතා තුනී ඩයපරයක් හඳුන්වා දෙන්නේ ඒ නිසාමය. තුනී බවින් යුතු බේබි ෂෙරමි ඩයපරය මගින් දරුවාගේ ක්‍රියාකාරකම්, චලන, නම්‍යශීලි බවට වැඩි පහසුවක් සැලසෙනු ඇත.

මහතින් අඩු තුනී ඩයපරවල උරා ගැනීමේ හැකියාව

බේබි ෂෙරමි ඩයපර මේ වන විට වෙළඳපොළේ ඇති ඉතාම තුනී (Ultra thin) එකම ඩයපරයයි. මෙහි තුනී බව කිසිදු විටෙක උරා ගැනීමේ හැකියාවට බාධාවක් නොවේ. මන්ද මෙම ඩයපරයේ ඇති සුවිශේෂී තාක්ෂණය මගින් ඒ මත වැටෙන දියර සියල්ල සැණින් උරා ගන්නා අතරම එසේ උරා ගන්නා දියර නැවත මතුපිටට නොපැමිණෙන සේ සිර කර ඇතුළතම රඳවා ගැනීමට සමත්ය. ඒ නිසා කිසිදු විටෙක තෙත ගතිය හෝ කාන්දු වීම් නිසා දරුවා අපහසුතාවයට පත් නොවේ. කිහිප වරක් තෙත් වුවද දිගු වෙලාවක් පුරා වියළි බව සුරැකීමට බේබි ෂෙරමි ඩයපරය සමත්ය.

Bc_Ultra_thin

ඔබේ බිලිඳාට ආසාධන තත්ත්වයන් ඇති නොකරන ළදරු සමට ආරක්ෂාවක් ගෙනදෙන විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ එන උසස් නිෂ්පාදනයක් තෝරාගැනීම මව්වරුන් වන ඔබේ වගකීමයි. සැමවිටම ඔබේ දරුවාගේ බරට අදාළ ප්‍රමාණයන්ගෙන් (Size)  ඩයපර ගැනීමට මව්වරුන් කල්පනාකාරී වීම තුළින් දරුවාට ඇති විය හැකි අනවශ්‍ය අපහසුතා තව තවත් අවම කර ගත හැකිය. අද වන විට වෙළඳපොලේ ඇති තුනී බවින් වැඩි (Ultra Thin) එකම ඩයපරය වන්නේ බේබි ෂෙරමි ඩයපරයයි. ඔබත් ඔබේ දරුවා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්න.

bc_banner


පුංචි පැටියාට උසස්ම තත්ත්වයේ ඩයපරයක් තෝරා ගතයුත්තේ ඇයි?

මව් කුස තුළ ස්වභාවික පරිසරයක පුංචි තිතක් ලෙස අරඹන දිවිය දස මසක් පුරා දිනෙන් දින වර්ධනය වන්නේ 100%ක්ම ස්වභාවික වටපිටාවකයි.  මෙලොවට බිහිවීමත් සමගම බාහිර පරිසරයට හුරු වීමට මේ සෑම දරු පැටියෙකුටම සිදුවේ. දරුවා කෙරෙහි වූ ආදරය නිසාම හැම අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරු පැටියාට ලබාදෙන්නට උත්සාහ කරන්නේ වඩාත් හොඳම දෙයයි. ඒ පුංචි දෙයකින් හෝ දරු පැටියාට සිදු විය හැකි දුකක් වේදනාවක් පීඩාවක් වැලැක්වීමේ අරමුණෙන් සහ දරුවාගේ වර්ධනයට මෙන්ම සුව නින්දට බාධාවක් නොවෙමින් උපරිම සුව පහසුව සැලසීමේ අරමුණෙනි.

පුංචි දරුවෙකුගේ නිසි වර්ධනය කෙරේ මූලිකවම බලපාන සාධකය ලෙස ඇතැම්විට ඔබ සිතා සිටින්නේ පෝෂණය ගැන පමණක් විය හැකිය. නමුත් දරුවෙකුගේ නිසි වර්ධනය උදෙසා දරුවා ශාරීරිකව ලබන පෝෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. ක්‍රියාකාරකම්, සුව නින්ද මෙන්ම මානසික නිරවුල් බව යන සාධක ද දරුවෙකුගේ නිසි වර්ධනය වෙනුවෙන් සම්පූර්ණ විය යුතු අනිවාර්ය සාධක වේ. අන්න ඒ නිසාම දරුවාට සුව පහසුවෙන් ක්‍රියාශීලිව සතුටෙන් දවස ගත කිරීමට අවශ්‍ය වටපිටාව ගොඩනඟා දීම සඳහා උපරිම සුව පහසුව සලසන ඩයපරයක් තෝරාගැනීමට මෙහිදී වඩාත් වැදගත් වේ.

තෙමා ගැනීම නිසා ඔබේ දරුවා නිසි නින්දක් ලබා නොගන්නේ නම් දරුවා කොයිතරම් අසතුටෙන්ද යන්න පිළිබඳව ඔබට අත්දැකීම් ඇති. මේ තත්ත්වය දරුවාගේ ක්‍රියාකාරකම් අඬාල වීමට ද හේතුවෙයි. අසතුටෙන් කල් ගෙවන දරුවෙකුගේ මානසික සුවතාවය අවමය. නිතර නිතර තෙත් වීම දරුවෙකුගේ සාමාන්‍ය දින චර්යාවට මෙන්ම සුව නින්දටත් බලපෑම් ඇති කරන නිසා දරු පැටියාට ඩයපර තෝරාගැනීමේදී උපරිම සුවපහසුව සලසන ගැලපෙනම ඩයපරයක් තෝරාගැනීමට මව්පියන් ලෙස ඔබ බොහෝ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

BC Diaper 3-inside02

ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපරය නිසා සමේ ආසාත්මිකතා, නැපි දද, දෙපා අතර ඝන වීම්/තුවාල ඇති වීම් වැනි තත්ත්වයන් මත මවක් තම දරුවා වෙනුවෙන් ඩයපර භාවිතයට බිය විය හැකිය. නමුත් නියම තත්ත්වයේ ඩයපර භාවිතයෙන් ඔබේ ළදරුවාට මෙවැනි අපහසුතාවලට මුහුණ දීමට සිදු නොවෙන බව විශ්වාසය.

ඔබ දරුවා වෙනුවෙන් තෝරාගන්නා ඩයපරය,

ළදරු සම සුරැකිය යුතුය

දරුවෙකුගේ සම මල්පෙත්තක් මෙන් සුසිනිඳුය. රළු මතුපිටක් සහිත ඩයපර කිසිදු විටෙක දරුවෙකුගේ සමට සුදුසු නොවන බව මව්පියන් ලෙස ඔබ වටහා ගත යුතුමය. එසේ නොවන්නට සම මත කැපීම්, ඝන වීම් ඇති වී ඔබේ දරුවා අපහසුතාවයට පත් වනු ඇත. අන්න ඒ නිසාම දරුවා වෙනුවෙන් ඔබ තෝරාගන්නා ඩයපරයේ මතුපිට මෘදු බව පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. එවිට ඔබේ දරු පැටියාගේ සමට කිසිදු හානිදායක තත්ත්වයක් ඇති වන්නේ නැත.

දරුවාගේ චලනයන්ට ක්‍රියාකාරකම්වලට බාධාවක් නොවිය යුතුය

අද වන විට වෙළඳපොලේ ඇති බොහොමයක් ඩයපර මහතින් වැඩිය. මහතින් වැඩි ඩයපර දරුවාගේ දෙපා අතරින් එල්ලා වැටීමට ලක්වේ. එවිට දරුවාගේ ක්‍රියාකාරකම් සඳහා එය විශාල බාධාවක් වනු ඇත. තුනී ඩයපර හඳුනාගෙන ඔබේ දරුවා වෙනුවෙන් ඒවා තෝරාගැනීමට මව්වරුන් සැලකිලිමත් විය යුත්තේ එය දරුවාගේ ක්‍රියාකාරකම්වලට, චලනවලට මෙන්ම නම්‍යශීලි බවට අපහසුවක් නොවිය යුතු නිසාමය.

දරු පැටියාට උපරිම සුව පහසුව සැලසිය යුතුය

ඩයපරයකින් සිදු වන මූලිකම මෙහෙය වන්නේ මුත්‍රා උරා ගැනීමයි. අන්න ඒ නිසාම ඔබ තෝරාගන්නා ඩයපරයට සුවිශේෂී උරාගැනීමේ හැකියාවක් තිබිය යුතුමය. එසේ නොවන්නට දරුවාට එයින් කිසිදු පහසුවක් ඇති නොවේ. තෙත් බව නිසා ඔබේ දරු පැටියා නොසන්සුන්ව අසතුටට පත්වේ. දරුවා සතුටින් දවස ගත කරන්නේ මතු පිට වියළි බව සමග දැනෙන සුව පහසුව සමගින්මය. එසේම උරා ගැනීම අවම වූ පසු ඇති වන කාන්දු වීම් නිසා පැටියාත් ඔබත් අපහසුතාවයට පත්වනු ඇත. මේ කරුණු නිසාම මනා උරා ගැනීමේ හැකියාවෙන් යුතු  ඩයපර වර්ගයක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුමය.

සුමුදු සම මත ආසාත්මිකතා ඇති නොකළ යුතුය

දරු පැටියාගේ සුව පහසුව වෙනුවෙන් ඔබ තෝරාගන්නා ඩයපරය ඇතැම් විට ළදරු සම මත ආසාත්මිකතා ඇති කළ හැකියි. උෂ්ණාධික රටක් වන අපේ රටේ ස්වභාවයට සරිලන ආකාරයෙන් නිපද වුණු ඩයපරයක් තෝරාගැනීම ඔබට පැවරෙන වගකීමක් වන්නේ එබැවිනි. බිලිඳු සම මත ගැටෙන ඩයපරයේ මතුපිට වඩාත් සුමුදු විය යුතු අතරම වාතය එහා මෙහා ගෙන යා හැකි පිටත ආවරණයක් සහිත ඩයපරයක් තෝරාගැනීම මෙහිදී වඩාත් වැදගත් වේ. එසේ නැති වුවහොත් දරුවන්ට ඩයපර රෑෂස් (Nappy Rash) ඇති විය හැක. දරුවා වෙනුවෙන් උපරිම කැප වන ඔබ මෙවැනි දෙයක් නිසා තම දරු පැටියා පීඩාවට වේදනාවට පත්වනවා දකින්නට කිසිසේත්ම ප්‍රිය නොකරයි. අන්න ඒ නිසාම ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදිම තේරීම ඔබ කළ යුතුය.

දරුවාට ගැලපෙන ප්‍රමාණයෙන් (Size) ඩයපර තෝරාගත යුතුය

දරුවාගේ බරට නියමිත ප්‍රමාණයෙන් ඩයපර තෝරාගැනීමට ඔබ සැළකිලිමත් විය යුත්තේ එසේ නොවුණු විට දරුවාගේ දෙපා අතර තද වීමෙන් කැපීම් තුවාල ඇති විය හැකි නිසාය. එසේම එය දරුවාගේ ක්‍රියාකාරකම්වලට මෙන්ම චලනයන්ට ද බාධාවකි. එසේම ඩයපරය නිවැරදිම ආකාරයෙන් දරුවාට ඇන්ද වීමට ද ඔබ සැළකිලිමත් විය යුතුය.

BC Diaper 1-inside1

bc_banner


තාත්තා වගේම කේන්තිකාරයෙක්

දරුවන් අතරත් කේන්තිකාරයන් නැතුවා නොවෙයි. මේ තත්වය දරුවාගෙන් දරුවාට වෙනස්. ඇතැම් දරුවන්ට කේන්ති ගන්න කරුණු කාරණාවන් අවශ්‍ය නැහැ. ඒත් සමහර දරුවන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොවුනාම කේන්ති ගන්නා අන්දම අපිට පෙනෙන දකින සිදුවීම්වලින් පෙනෙනවා. දරුවන් කේන්ති ගන්නා අවස්ථා කීපයක් තිබෙනවා.

  • මහන්සිය
  • බඩගින්න
  • තමාගේ අවශ්‍යතාවය ඉටු නොවීම හෝ එයින් සෑහීමට පත් නොවීම
  • අවධානය ලබා ගැනීම

ඉහත දැක්වෙන කුමන හෝ සිද්ධියක් මුල් කර ගෙන දරුවන් කේන්තියට පත් වෙන්න පුලුවන්. කෝප වුනාමත් දරුවන්ගේ හැසිරීම එක් එක් දරුවාට වෙනස්. සමහර දරුවන් ආවේග පිට කරනවා. අසුවෙන අසුවෙන දේ පොලවේ ගහනවා.යටිගිරියෙන් කෑ ගසා අඩනවා. එහෙම නැත්නම් අම්මා හෝ අවස්ථාවේ හැටියට ඔහු සමීපයේ සිටින අයට පහර දෙනවා.

කේන්තිකාරයා පාලනය කරන්නේ කොහොමද…?

මුලින්ම ඔබ ‍කේන්ති ගන්නා සිද්ධිය පාලනය කරන්න. දරුවාගේ හිත කියවන්න ඔබ හොදින් දන්නා නිසා එය පහසුයි. හය හතර තේරෙන විට දරුවාගෙන් මේ හැසිරීම නොදැනීම දුරස් වෙන්න පුලුවනි. ඒත් ඔබ දරුවා කේන්තිකරන සිදුවීම් පුන පුනා කරන්න දුන්නොත්  නම් මෙය පාලනය කිරීම අපහසුයි.

අවධානය ලබා දෙන්න

බාල කාලයේදී දරුවන් දෙමව්පියන්ට සමීපව ඉන්න සතුටුයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමයි නිතරම දෙමව්පියන්ට මනෝවිද්‍යාඥයින් විසින් කියන්නේ දරුවාට දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත් බව. ඒ නිසා දරුවාට ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අඩුවක් නැතුව ලබා දෙන්න. එවිට තමා සුරක්ෂිතයි යන සිතුවිල්ල ඔවුන්ට ඇති වෙනවා. එවිට අවධානය වෙනුවෙන් මව්පියන් සමග ආරෝවියවුල් ඇති කරගන්නේ නැහැ.

අනවශ්‍ය වේලාවට අවවාද එපා

දරුවා කේන්තියෙන් සිටින විටෙක අවවාද ලබා දෙන්න එපා. එය කළයක් මුනින් නවා වතුර පිරවීමට සමානයි. ඒ නිසා දරුවා සතුටින් සහ ඔබ සමීපයේ සිටින විට කේන්තියේ ආදීනව කියා දෙන්න. කේන්ති ගත්තාම ඉක්මනින් වයසට යෑමට ඉඩ තිබෙන බවත් කියන්න. ලස්සන නැති වීමට දරුවා කැමැති නැහැ. ඒ නිසා කේන්ති නොගෙන සිටීම වෙනුවෙන්  ස්වයංපාලනයක් ඇති කර ගැනීමට ඔහුගේ හිතේ සුලුවෙන් හෝ අවශ්‍යතාවයක් ඇති වේවි.

නිතරම පාලනය එපා

ඔබ නිතරම දරුවා පාලනය කිරීමට උත්සාහ කරන්න එපා.ඔවුන්ටත් යම්කිසි තරමකින් ස්වාධීනත්වය අවශ්‍යයි. අනාරක්ෂිත සහ දරුවාට අවැඩක් වෙන දෙයින් ඔවුන් මුදවා ගැනීම හැර නිරන්තරව දරුවා අත තබන හැම දෙයටම පාලනයක් කිරීමට උත්සහ නොකරන්න. ස්වාධීනත්වය අහිමිවීම දරුවාගේ කේන්තියට හේතු වෙන මානසික කරුණක් නිසා එය සෘජුවම මව්පියන්ට ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.

අවධානය වෙනස් කරන්න

දරුවාට කේන්ති ගිය අවස්ථාවකදී අවධානය වෙනස් කරන්න උත්සාහ ගන්න. “අන්න… තාත්තා ඇවිත්…බලන්න පුතාට චොකලට් ගෙනත්ද…?” මේ විදිහට හෝ “අද හවස අපි පාක් යමුද…?” ආකාරයෙන් අවධානය වෙනස් කරන්න. එවිට ඔහුගේ අවධානය වෙනස් වෙන නිසා කේන්තිය මග හැරී යාවි.

අලුත් දෙයක් කරනවා නම් උදව් වෙන්න

දරුවන් අලුත් දෙයක් කිරීමට කැමැතියි. එවන් අවස්ථාවලදී ඔවුන් වලක්වන්න උත්සාහ කරන්න එපා. දරුවාට කිරීමට අපහසු කටයුතු ඔවුන්ට ඉටු කර දෙන්න. එසේ නොමැතිව “ඔයාට ඒක බැහැ…මම සිංහලෙන් කිව්වා…” විදිහට නිශේධනය කරන්න එපා. එය දරුවාගේ කෝපය ඇවිස්සීමක් මිස ඔහුට උදව්වක් නොවේ.

වෙලාවක් තිබෙන්න ඕන

දරුවා පාසල ඇරී නිවසට එන විටම වැඩ කටයුතු ලැයිස්තුවක් දෙන්න එපා. මේ කටයුතු හදිසි වුනත් කියන වෙලාවක් තිබෙනවා. නිතරම දරුවාගේ පැත්තෙන් හිතන්න. ඔහු විවේක ගත් විට කළ යුතු දේ ආදරයෙන් කියන්න.අම්මා හෝ තාත්තාගේ ඉල්ලීම සාධාරණ බව දරුවාට ඒත්තු ගිය විට ඔහුගේ හිතේ කිසිම ලෙසකින් කෝපයක් ඇති වෙන්නේ නැහැ.

දරුවාගේ කේන්ති දකින විට අපිට කියැවෙන්නේ අම්මා වගේ එහෙම නැත්නම් තාත්තා…මේ දෙන්නාම නැත්නම් ඊටත් එපිට පරම්පරාවක අත්තම්මා හෝ සීයාට සමාන කරනවා. එවිට දරුවා හිතන්නේ තමාගේ ආවේගශීලීත්වය ඉතාම සාධාරණ පරම්පරා උරුමයක් බවයි. වැඩිහිටියන් විදිහට ඔබටත් කේන්තියෑම සාධාරණයි. එහෙත් දරුවන් ඉදිරියේ ඔබේ අනවශ්‍ය කේන්තිය ප්‍රදර්ශනය කරන්න එපා.

දරුවන්ගේ කේන්ති වුනත් ඔවුන්ට දැනුම් තේරුම් ඇති වෙන විට ඉබේටම මග හැරෙනවා. ඒ නිසා දරුවා ඉදිරියේ ඔබ නොදරුවෙක් වෙන්න එපා. ඔබේ ඉවසීම සහ බුද්ධිමත්බව අනාගත කේන්තිකාරයෙක් අද දවසේ මෙල්ල කර ගැනීමක් බවත් අමතක කරන්න එපා.

පාඩම් කරන්නේ කොහොමද…?

“ගෙදර මහ පොතක් ඇත.. එකක්වත් මතක නැත” කියන්නා වගේ ඔබේ දරුවා පොත වෙතටම දෙනෙත් හෙලා සිටිය පමණින්ම ඔහු පාඩම් කළා යැයි ඔබට සෑහීමට පත් වෙන්න බැහැ. පාඩම් කිරීමට ගෙවුන කාලයට සාපේක්ෂව ඔහුගේ හිතේ විෂය කරුණු ධාරනය වී තිබිම ඉතාම වැදගත්.

මතකය කියන්නේ….?

හැම දෙනෙක්ම වාගේ කියන අමතක වීම ගැන නම් අපිට අත්දැකීම් තිබෙනවා. ඒත් මතකය කියන්නේ මොකක්ද ඇහුවොත් මෙන්න මේ යැයි උත්තර දීමට අපිට හැකියාවක් නැහැ. විෂය කරුණු අවශ්‍ය වේලාවට නැවත ආවර්ජනය කිරීම කෙටියෙන් අපිට මතකය විදිහට හදුන්වනන් පුලුවන්. බොහෝ දරුවන්ගේ චෝදනාව වෙන්නේ කොච්චර පාඩම් කළත් පිලිතුරු ලියන විට කිසිම දෙයක් මතකයට එන්නේ නැති බවයි. ඒත් නිරවුල්ව විෂය කරුණු මතකයේ තබා ගැනීමට නම් ඒ වෙනුවෙන් වීඩියෝපට වැනි දේ යොදා ගැනීම වැදගත් හැම විෂයකටම එය බැරි වුනත් පරිසරය වැනි විෂය වෙනුවෙන් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදා ගන්න පුලුවනි.

සිත හීලෑ කරන්න..

දරුවන්ට එක ඉරියව්වකින් පාඩම් කරන්න බැරි බව ඇත්ත. එය දරුවන්ට පමණක් නොවෙ අපිටත් සාධාරණයි. එකම කාර්යක සාර්ථකව නිරත විය හැක්කේ මුල් විනාඩි 40 ක කාලයේදී බව දැන් පිලිගත් සත්‍යක්. ඒ නිසා දරුවාට පාඩම් කිරීමට පැය ගණන් ලෙසින් ඔරලෝසුවටම සීමා කරන්න එපා. පාඩම් කරන විට විෂය වෙනස් කරන්න. කෙටි විවේක ලබා දෙන්න. දිගින් දිගටම එකම ඉරියව්වෙන් සිටින විට ඔවුන්ට ඇති වෙන අප්‍රසන්නතාවයට වෙනුවට කෙටි විවේක ලබා දෙන විට පාඩම සමග වෛරයක් ගොඩ නැගෙන්නේ නැත. මේ අතරවාරයේ ගීතයක් අසන්න, කෙටි ආහාරයක් ලබා ගැනීමටත් ඉඩ දීම වරදක් නොවෙයි.

පාඩම් කරන්න වේලාවක්..

දහසක් බුදුන් බුදුවුන උදේ කාලය පාඩමට වඩාත් ගැලපෙන බව අප අතරේ තිබෙන පිලිගත් සත්‍යක්. මෙය බ්‍රහ්ම මුහුර්තිය විදිහටත් හැදින්වෙනවා. උදේ කාලයේ තිබෙන නිසොල්මන්බව වගේම මනසේ තිබෙන පිරිසිදුබව නිසා අලුත් බවකින් පාඩමට ප්‍රවේශ වීමට පුලුවන්.

ඒත් හැම දෙනාටම එකම වේලාවට පාඩම් කිරීම බැහැ. සමහර දරුවන්ට රාත්‍රි කාලයේදී වඩාත් හොදින් පාඩම් කරන්න පුලුවන්. තවත් අයට දිවා කාලයේදී හැකියාව තිබෙනවා. ඒ නිසා දරුවාට පහසුවෙන් පාඩම් කිරීමට පුලුවන් වේලාව මෙහිදී තෝරා ගැනීමට අවසර දෙන්න. එවිට වඩාත් සාර්ථක ලෙසින් කරුණු ධාරනය කර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. ඒ නිසා කිසිම විටෙක පාන්දර නැගිටින්නේ නැතැයි හෝ රාත්‍රියේ නිදිවරන වේලාව මදි යැයි චෝදනා කරන්න එපා. ඒ අයිතිය ඔවුන්ට ලබා දෙන්න. ඒ සමගම පරිසරය සහ මනස සන්නසුන්ව තිබෙන උදය කාලය පාඩමට වඩාත් ගැලපෙන කාලය බවත් දරුවාට කියා දෙන්න.

සමාජ ජීවිතයත් අවශ්‍යයි…

 කුමන තරාතිරමක අධ්‍යාපන තරඟයක සිටියත් දරුවාට සමාජ ජීවිතයක්ද අවශ්‍ය බව අමතක කරන්න එපා. පාඩම් කිරීම නිසා ඔවුන්ට ගමන් බිමන්…රූපවාහිනිය…පවුලේ  අය සමග කතා බහ වෙනුවෙන් තහංචි පැනවිය යුතු නැත. දරුවාත් සාමාන්‍ය තත්වයෙන්ම සිටින්න ඉඩ දෙන්න. අනවශ්‍ය විදිහට “විභාගය…” යන භීතිකාව හිතට නොදී විබාගය වෙනුවෙන් නිසි සූදානම එය ජයගැනීම් මාවත බව කියා දෙන්න. එයින් ඔබ්බට අනවශ්‍ය පීඩනයක් දීම කිසිසේත්ම සුදුසු නැත. දරුවා වගේම දෙමව්පියන්ද සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඔවුන්ගේ ඉගෙණුම් කටයුතු සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම මගින් දරුවා සහ පාඩම අතර බැදීම කිසිම අපහසුතාවයක් නොමැතිව ගොඩ නගන්න පුලුවන්.

සලාද කොළ ඉවතට එපා

හැම්බර්ග් , එහෙම නැත්නම් සලාදයක් ආහාරයට ගන්නා විට ඔබේ දරුවාත් එහි තිබෙන සලාද කොළය ඉවතට දමනවාද…? එහෙත් ඔබ සලාද කොළයක තිබෙන ගුණ දන්නවා නම් කිසිම දවසක දරුවාට සලාද කොළය ඉවත් කරන්න නම් අවසර දෙන එකක් නැහැ.

සලාද කොළ විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්තයි. ඒවා වර්ණය, සහ කොළය අනුව වෙනස් වෙනවා. ලිහිල් සහ දැඩි සලාද විදිහටත් ලා කොළ වර්ණයේ පටන් තද කොළ වර්ණය දක්වා වූ වර්ණය ලෙසිනුත් සලාද වර්ග වෙනස්.සලාදවල ආරම්භය මැදපෙරදිග යැයි විශ්වාස කරනවා. ක්‍රි. පූ 4500 වැනි කාලයේදී ඊජිප්තු රජවරුන්ගේ මිනීවලවල්වල පවා සලාද කොළ සටහන් කර තිබුණා.ග්‍රික හා රෝම ජනතාව විසිනුත් සලාද කොළ භාවිතා කර තිබුන අතර එංගලන්තයේ මුලින්ම සලාද කොළ භාවිතය ආරම්භ වුනේ 8 වැනි රජදවස හෙවත් ක්‍රි. පු 1520 වැනි කාලයේදී. නිවර්තන කලාපයට සලාද ‍කොළ හදුන්වා දුන්නේ මෑත කලයක වුනත් ඒවායේ ගුණ මේ විදිහට දක්වන්න පුලුවනි.

සලාද ග්‍රෑම් 100 ක පෝෂණ ගුණය

ශක්තිය කැලරි 21
තෙතමනය ග්‍රෑම් 93.4
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0. 3
කාබොහයිඩ්රේට් ග්‍රෑම් 2. 5
කැල්සියම් මිලි ග්‍රෑම් 5
පොස්පර්ස් මිලිග්‍රෑම් 28
යකඩ මිලිග්‍රෑම් 2.4
කැරොටින් මයික්‍රොග්‍රෑම් 990
තයමින් මයික්‍රොග්‍රෑම් 90
රිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 130
නයසින් මිලිග්‍රෑම් 0.5
විටමින් ඩී මිලිග්‍රෑම් 10

මේ විදිහට ගුණ තිපබන සලාද කොළ ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි සෞඛ්‍ය වාසි ගැනත් දන්නවාද…?

මලබද්ධයට

සලාදකොළවල සෙලියුලෝස් අඩංගු නිසා මලබද්ධයට ගුණයි. පාසල් යන දරුවන් අතරත් මලබද්ධය සුලබව දක්නට ලැබෙනවා. ඊට එක් හේතුවක් තමා ඔවුන්ගේ ආහාර රටාවේ තන්තු ආහාර කිසිවක් නොමැති වීම. ඉතින් සලාද ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ වුනත් මලබද්ධය වලක්වා ගන්න පුලුවනි.

නින්දට ගුණයි

සලාද කොළවල “ලෙක්ටියුරිම්” යනුවෙන් හැඳින්වෙන නින්ද කැන්දන රසායනයක් තිබෙන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.සලාද කොළ යුෂ රෝස වතුර සමග මිශ්‍ර කරල කකුලේ සහ නළල කෙලවර ආලේප කිරීමෙන් සුවදායක නින්දක් ලබා ගන්න පුලුවන් නිසා ඔය නින්ද යන්නේ නැහැ කියල ගතු කියන අම්මලා තාත්තලාටත් හොදයි.

කිරිදෙන අම්මලාට

ගර්භණී සහ කිරි දෙන අම්මලාටත් සලාද කොළ ආහාරයට ගැනීමෙන් කිරි එරෙන බවටත් විශ්වාසයක් තිබෙනවා. මේ කාලයේදී අමු සලාද ආහාරයට ගැනීම වඩාත් ගුණ බවයි දැක්වෙන්නේ…ඒ විතරක් නොවෙයි, සමහර අම්මලාට ඇති වෙන ස්වභාවික ගබ්සාවන්ගෙන් ආරක්ෂාවටත් සලාද කොළ ආහාරයට ගැනීම හොඳබවට සාක්ෂි තිබෙනවා.

රක්තහීනතාවයට

සලාද කොළවල කාබොහයිඩ්ඩ්‍රේට අඩුයි. එයින් සෑහෙන මට්ටමකින් හිමෝග්ලොබින් අව‍ශෝෂනය වෙන නිසා රක්තහීනතාවයටත් ගුණයි.

සලාද අමුවෙන් විතරක් නොවෙයි සලාද පිසගෙන ආහාරයට ගන්න පුලුවන්. එවිට ජලය එක් නොකොට එහි තිබෙන ජලයෙන් පමණක් පිස ගන්න.

හැබැයි… හොදින් සෝදන්න

සලාද අමුවෙන් ආහාරයට ගන්නා නිසා ඉතා හොදින් සෝදා ගැනීම වැදගත්. කොළයෙන් කොළය වෙන වෙනම සෝදා ගන්න.මේවායේ කෲමිනාශක, තෙල් වැනි දේ ඇතුලත්ව තිබෙන්නත් පුලුවන්. ඒ නිසා ඉතා හොදින් සෝදා ගන්න. කොළ විතරක් නොවෙයි, ගැටිති අතර මඩ තිබෙන්නත් පුලුවන්.

කොලස්ටරෝල් අඩු කරනවා

සලාද කොළවල ‍අහිතකර කොලස්ටරෝල් මට්ටම පහල දැමීමේ හැකියාව තිබෙන බවත් දැන් හඳුනා ගෙන තිබෙනවා. ඉස්සර කාලයේ නම් කොලස්ටරෝල් තිබුනේ වැඩිහිටියන්ට පමණක් වුනත් අද ජීවන රටාව අනුව දරුවන්ට වුනත් කොලස්ටරෝල් ඇති වීමේ අවදානම ඉහලින්ම තිබෙන නිසා සලාද කොළ ආහාරයට ගැනීම නුවණට හුරුයි.

ප්‍රසුතවේදනාව සහ වේදනානාශක

දරුවෙක් කුස පිලිසිඳගත් දිනයේ පටන් කාන්තාවකගේ බලාපොරොත්තුව මේ කිරිකැටියාගේ මුහුණ දැකීමයි. ඒ වෙනුවෙන් අම්මා දරණ ප්‍රසව වේදනාව පවා ඔවුන්ට වේදනාවක් නොවන තරමටම මේ බන්ධනය ඉතාම ශක්තිමත්. ඒ තරමටම දරුවා මුල් කර ගෙන අම්මාගේ හිතේ ඇති වෙන බැඳීම කිසිම ලෙසකින්වත් වෙන් වෙන්නේ නැහැ.

අදින් දශක දෙක තුනකට පෙරාතුව දරුවන් බිහි කිරීමේදි අද වගේ නිර්වින්දන තත්වයක් යටතේ දරුවන් බිහි කිරීමට අවස්ථාවක් තිබුනේ නැහැ. ඒ නිසාම ඇතැම් අවස්ථාවලදී දරුවාගේ වගේම අම්මාගේ ජීවිතයත් අවදානමට පත් වුණා.

අද තත්වය මීට වෙනස්. අද අම්මා කෙනෙකුට තමාගේ ප්‍රසවය ස්වභාවිකද එහෙම නැත්නම් සිසේරියන්ද යන්න තෝරා ගන්න පුලුවනි. වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කම් වෙනුවෙන් අම්මා යොමු කරන අවස්ථාවනුත් තිබෙනවා.

“සිසේරියන්” යන වචනය අපි ලබා ගෙන තිබෙන්නේ රෝම භාෂාවෙනුයි. මේ වචනයේ අදහස අම්මා මිය යන්නට පෙරාතුව ගර්භාෂය කඩා හෝ දරුවා පිටතට ගැනීමයි. රෝම ජාතිකයන් විසින් මව මියයන්න අවදානමක් තිබෙනවා නම් ගර්භාෂය කඩා දරුවා පිටතට ගත්තා. ජුලියස් සීසර්ගේ මව “අවුරේලියා” තමාගේ පුතුට උපත දුන්නේ මේ විදිහටයි. ලතින් භාෂාවට අනුව “caedere” යනුවෙන් අදහස් කරන්නෙත් කැපුමක් යන්නයි.

බොහෝ මව්වරුන් තවමත් ස්වභාවික ප්‍රසවයට කැමැත්තක් දක්වනවා. ඒ වගේම නින්දට පත් කරන වේදනා නොදැනෙන ඖෂධ මගින් ප්‍රසව වේදනාව මග හැර ගැනීමේ හැකියාවත් තිබෙනවා. ප්‍රසව වෛද්‍ය විද්‍යාවේ පර්යේෂකයන් විසින් මේ සංකල්පය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.

මෙම අධ්‍යනය කරනු ලැබුවේ “කැලිෆෝනියාවේ ස්ටැන්ඩ්ෆෝර්ඩ්” වෛද්‍ය විද්‍යාලයේ බ්‍රැන්ඩන් කාවොල්හෝ විසිනුයි. ඔවුන් මෙහිදී ගැබිණි මව්වරුන් වෙත ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. ලබා ගත් දත්ත විශ්ලේෂනයේදී ප්‍රමුඛත්වය දුන්නේ දිගු වේලාවක ප්‍රසව වේදනාව මධ්‍යම මට්ටමින්  සහ කෙටි වේලාවක ප්‍රසව වේදනාව තීව්‍ර මට්ටමින්  විදිහටයි.බොහෝ මව්වරුන් දිගු වේලාවක් අඩු වේදනාවකින් ලබන්නට කැමැති වුණා.

මෙම අධ්‍යන වාර්තාව ගැන අදහස් දක්වන සියැටල්හි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රෑත් ලැන්ඩන් සඳහන් කරන්නේ අවම වේදනාව ගැන අදහස් ඇති වෙන්නේ කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන් ඉදිරිපත් වන මව්වරුන් බවයි. දෙවැනි දරු ප්‍රසුතිය වෙනුවෙන් සූදානම් මව්වරුන්ගේ අදහස වන්නේ කෙසේ හෝ පැය විසිහතර තුළ තමාගේ දරු ප්‍රසුතිය සිදු කිරීමයි. පළමු දරුවා ලැබීමේදී ලද අත්දැකීම් පාදක කර ගෙන ඔවුන් තුළ මේ අදහස් ගොඩ නැගී තිබෙනවා.

මේ අතර වෛද්‍ය කාවනෙල් සඳහන් කරන්නේ දරු ප්‍රසුතිය බොහොම සංකීර්ණ අවස්ථාවක්. ඒ ගැන කල් තබා තක්සේරු කිරීම අපහසුයි.කාන්තාවන්ගේ කලබා බර අනුවත් ප්‍රසුතියේ සංකුලතාවයන් සිදු වෙනවා.ඒ වගේම දරුවා පිටතට පැමිනෙන විටත් ප්‍රසුතිය පහසු කරන උපාංගයන් යෙදීම සිදු වෙනවා. මේ නිසා පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වේදනා නාශක අවමයෙන් භාවිතා වෙන විට වේදනාව දැනුනත් ප්‍රසවය ඉක්මනින් සිද්ධ වෙන බවයි.

ඔබේ බොරුවෙන් රැවටෙන්නේ ඔබමයි

පොසොන් පොහොයට දින දෙක තුනක් තිබියදී එක් දවසක් පුංචි දුවක් අම්මාට මෙහෙම කිව්වා.

“අපිට ඉස්කොලේ සිල්…”

“ඈ..” අම්මා ඇහුවේ විමතියෙන්,

“ඔව් අපි ඔක්කෝටම සිල් ගන්න කිව්වා…ළමාසාරිය ඇදගෙන උදේ හතට ඉස්කෝලෙට එන්න කිව්වා.”

“අනේ..මේ..” අම්මා කිව්වා.

“ඇයි..සිල්ගන්න ඕනා…නැත්නම් ටීච බනියි..”

“ඔයාට සනීප නැති වුනා කියන්න..මම ලියුමක් දෙන්නම් සනීප නැති වුනා කියලා…” අම්මා කිව්වා.

“හා…” දියණියත් එකඟ වුණා.

ඇත්තටම මවක් විදිහට ඇය තමාගේ කුඩා දියණිය නොමග යවන අන්දම ගැන ඇති වුනේ දුකක්. දරුවන් වෙනුවෙන් ශීල සමාදාන වැඩසටහන් පාසලේ පවත්වන්නේ අධ්‍යාපනය කියන්නේ අකුරු විතරක් නොවෙයි, සාරධර්මත් එකතුවීමක් බව පෙන්වා දෙන්න. ඒත් වැඩිහිටියන් විදිහට ඔවුන්ගේ දායකත්වය ගැන  නම් ඇත්තටම හිතෙන්නේ දුකක්.

බොහෝ දෙමව්පියන් පාසලේ පවත්වන ආගමික වැඩසටහන් වෙනුවෙන් දරුවන් සම්බන්ධ නොකිරීමට හේතු තිබෙනවා. එයින් එකක් තමා හැමදාම උදේ පාන්දර නැගිටලා එකාකාර රටාවක යෙදෙන ඔවුන්ට ඉඳහිට ලැබෙන දවසක නිදා ගැනීමට ලැබෙන වේලාව නිසා එය නැති කර ගැනීම විශාල පාඩුවක් විදිහට සිතීම.

අනෙක් හේතුව අවුරුද්ද ලබන විටම කැලැන්ඩරය බලලා දීර්ඝ නිවාඩුවක් ලැබෙන මේ වගේ පොහොය දිනයන්හි චාරිකාවන් සංවිධානය කර ගැනීම. මේ සිදුවීම් දෙකම ඔවුන්ගේ පැත්තෙන් ඇත්ත. ඒත් දරුවෙකුට පාසලකින් ලැබෙන මේ අත්දැකීම් උපයා ගැනීමට පරිසරය ලබා දීමත් ඉතාම වටිනා දෙයක්.

ඇත්තටම දරුවෙක් මේ කටයුතු වෙනුවෙන් මැලි බවක් දක්වනවා නම් අම්මා තාත්තා විදිහට ඔවුන්ට එහි වටිනාකම් ගැන කියා දී යොමු කිරීම මිසක දරුවාට ඒ අවස්ථාව අහිමි කරනවාටත් වඩා බොරු හේතුවක් පෙන්වා දීමෙන් ඇති වෙන අහිතකර තත්වය දෙයාකාරයකින් බලපානවා.

දරුවාට ගුණ දහම් ලැබෙන්නේ නැහැ

ශීල සමාදාන වැඩසටහනකින් ඇත්තටම දරුවන්ට යා යුතු මග නොමග කියා දෙනවා. පොදු වේ සිදු වෙන ආගමික වැඩසටහනකට වඩා පාසලේ එහෙම නැත්නම් දහම්පාසලේ සිදු වෙන ආගමික වැඩසටහනකදී දරුවන්ටම ගැලපෙන විදිහට සංවිධානය වීමක් තිබෙනවා. ධර්මදේශනයේ පටන් භාවනා වැඩ සටහන් පවා දරුවන්ගේ මනසට ගෝචර වන සේ සැලසුම් කිරීම මෙතැනිදී ඉතාම වැදගත්. අපි හිතන්නේ භාවනාව වියපත් වුන විට පරලොව වෙනුවෙන් පමණක් බව නම් ඒ අදහස වැරදියි. අද බාල කාලයේ පටන්ම දරුවන්ටත් භාවනාව වැඩීම අගැන විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා. ආනාපානාසති භවනාව වැඩීමෙන් දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙන බව දැනටමත් විවිධ අධ්‍යනයන් මගින් සනාථ වී තිබෙනවා. ඒ නිසා දරුවන්ට මේ අත්දැකීම් ලබා ගැනීමට පාසල් මට්ටමින් සිදු වෙන ආගමික වැඩසටහන් වෙනුවෙන් සහභාගී කිරීම ඉතාම වැදගත්.

අත්දැකීම් ලබා ගන්න අවස්ථාව අහිමියි

අම්මාගේ මේ තීරණ නිසා ඇති වෙන අඩු පාඩු බොහොමයක් තිබෙනවා. පුංචි දියනියට තමාගේ පාසල් අවධියේදී ලබා ගන්නා අත්දැකීම් වෙනුවෙන් ඇයට අවසරයක් නැති වුනා. අම්මාට මේ කටයුතු වෙනුවෙන් යොමු වීමට අපහසුතාවයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් කුමන හෝ විකල්පයක් අනුගමනය කළ යුතුයි. එසේ නැතුව දරුවාට ඒ වෙනුවෙන් ලැබෙන අවස්තාව කප්පාදු කිරීම එතරම් සුදුසු තිරණයක් නොවෙයි.

දරුවාට දඩුවම්

සිල් ගන්න නොපැමිනීම නිසා දරුවාට දඩුවම් ලැබෙන්නත් පුලුවන්. ඇතැම් පාසල්වල සිල් වැඩසටහනට නොපැමිනියොත් කවදා හෝ පාසලට එන දිනක දරුවා සිල් ගැනීමට යොමු කරනවා. එය දරුවාට මානසිකවත් ගැටලුවක්. ඇයි කිව්වොත් කණ්ඩායමක් විදිහට ලබා ගන්නා අත්දැකීම් වෙනුවට වෙන දිනයක එවන් කටයුත්තක යෙදීමෙන් ඇති වෙන්නේ මානසික හුදෙකලා බවක්. ඒ නිසා දරුවාට අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ කිරීමට අවස්තාව ලබා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්.

පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ

අපි දරුවෙක් පාසලට ඇතුලත් කිරීමෙන් බලාපො‍රොත්තු වෙන්නේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලඅධ්‍යාපනය ලැබීම පමණක් නොවෙයි. සාරදර්ම, විනය ආදි හැඩගැස්මක්ද  පාසල් අධ්‍යාපනය සමග බලාපොරොත්තු වෙනවා.නීති රීති වලට ගරු කිරීමට දරුවා ඉගෙන ගන්නේ පාසලෙන්. ඒත් පාසලේ විනය තුළ අම්මාගේ නොමග යැවීමෙන් දරුවා පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ.ඇත්තටම දරුවන් මැලි වුනත් දෙමව්පියන් විදිහට අපි ඔවුන් කෙසේ හෝ මේ කටයුතු වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්.

පාරාවළල්ලක්

අද අම්මාගේ පහසුව වෙනුවෙන් ඇය බොරුවෙන් ගුරුතුමිය මුලා කිරීමෙන් වගකීමකින් නිදහස් වුනා යැයි හිතන්න ඇති. එහෙත් මේ සිදුවීම අනාගතයේදී දියණිය වෙතින්ම පාරාවළල්ලක්  සේ ඇයට එල්ල වෙන්න පුලුවනි. මන්ද කිවහොත් අම්මා මේ අන්දමින් අද දවස් පංතියේ ගුරුතුමිය නොමග යැවීමේ ආභාෂයෙන් දියනිය උගත් පාඩමෙන් හෙට දවසේ ඇගේ මව නොමග යැවීම එතරම් අපහසුවක් නොවේ.

ඒ නිසා මව් පියන් වන අපි දරුවන් මුල් කර ගෙන පාසලේ පවත්වන බාහිර කටයුතු වලදී දරුවන් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්. යම් ලෙසකින් මේ වෙනුවෙන් අපහසුතාවයක් ඇත්නම් ඒ වෙනුවෙන් විකල්ප සොයනු විනා බොරු හේතු මවමින් ගුරුවරුන් මුලා කිරීමට උත්සහ ගන්න එපා. එහි අවසානයේදී ඔබ නොදැනම මුලාවට පත්ව ඇත්තේ දෙමව්පියන් බවත් අමතක නොකළ යුතුයි.

තොරතුරු තාක්ෂරතාවයෙන් දරුවන් සන්නද්ධ කරන්න පෙර

අපි තොරතුරු තාක්ෂර සන්නිවේදනයට මොනතරම් චෝදනා කළත් අනාගතයේදී මේ විද්‍යුත් ලෝකයෙන්  තොරව ඉදිරියට යෑම ඉතාම අපහසු තත්වයක් වෙනවා. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය සහ වෙනත් වෙබ් අඩවි වෙතින් සිදු වෙන ගණුදෙණුව තමන්ගේ අධ්‍යාපනයට පමණක් නොවෙයි සමාජ ජීවිතයට පවා අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඒ නිසා තොරතුරු සන්නිවේදන කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කෑම වගේ වැඩක්. බාල කාලයේ පටන් තොරතුරු වෙනුවට අනවශ්‍ය විදිහට සමාජ වෙබ් අඩවි පරිශීලනයට යොමු වුනොත් නොමග යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් වැඩියි. ඒ වගේම මේ වෙනුවෙන් තහංචි පනවලා දරුවන්ට තොරතුරු සන්නිවෙදනයට ඉඩ නුදුන්නොත් ඔවුන්ගේ ඒ හැකියාවන් වර්ධනයට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි දරුවන්ට තොරතුරු සන්නිනිවේදන හැකියාවන් දියුණු කර ගැනීමට ඉඩ දෙන්නේ කොහොමද කියල ටිකක් බලමු…

මව්පියන්ටත් දැණුමක් තිබෙන්න ඕන

අද තොරතුරුතාක්ෂණ හැකියාව මැදි වයසේ සිටින දෙමව්පියන්ට බොහාම අඩුයි.කාලයත් සමග ලැබුන මේ හැකියාවන් ඔවුන්ගේ බාල කාලයේදී නොලැබීම ඊට හේතුවක්. ඒත් අපි ඒ මත්තේම සිටින්න අවශ්‍ය නැහැ. දැන් වුනත් ඔබ ප්‍රමාද නැහැ. ඒ නිසා දැනුම වෙනුවෙන් තිබෙන මං බොහොම නිසා ඔබත් තොරතුරු සන්නිවේදන හැකියාවන්ගෙන් පොහොසත් වීම වැදගත්. එහෙම වුනාම දරුවන් කරන්නේ මොනවාදැයි ඔබටත් අධ්‍යනය කරන්න පුලුවනි. සමහර අම්මලා කියන මේ වගන්තිය ඔබටත් ඇහිල ඇති

“අනේ මං දන්නේ නෑ මොනවා කරනවාද කියලා…අපිට ඕවා තේරෙන්නේ නැහැනේ…” ඒත් මේ කියමන නිදහසට කරුණක් නොවෙයි. ඔබත් දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්නට නම් මුලින්ම මේ සාක්ෂතාවයෙන් පොහොසත් විම අද යුගයේ අවශ්‍යතාවයක්ව තිබෙනවා. එවිට දරුවාට යා යුතු මග නොමග ඔබට තේරුම් බේරුම් කර දෙන්න පුලුවන්.

වෙලාවක් කලාවක් දෙන්න

හැම දෙයකටම වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වෙනුවෙනුත් දරුවාට වෙලාවක් ලබා දෙන්න.දරුවාගේ කාලසටහනේ සෙල්ලම් කරන්න, පාඩම් කරන්න වගේම මේ ‍තාක්ෂණ මෙවලම් හසුරුවටත් වේලාවක් ලබා දීම ඉතාම වැදගත්. එහෙම නැතුව නිතරම දඑුවාට දොස් නගන්න එපා. කොච්චරවාත් ඕවා එක්ක තමයි වැඩ කියන්න එවිට අවශ්‍ය නැහැ. කාලසටහනේ දරුවාට ඒ වෙනුවෙන් ලබා දී තිබෙන කාලයෙන් ඔහුට තමන්ගේ හැකියාවන් දියුණු කර ගන්නා අතරම විනෝදයක් ලබා ගන්නත් පුලුවනි. ඒ අතරම කාලසටහනට එහාට කටයුතු කරනවා නම් දරුවාට ඒ ගැනත් අවවාද ලබා දීමට පුලුවනි.

අවශ්‍ය දේ සොයා දීම

දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දේ අන්තර්ජාලයෙන්  ලබා ගන්න පුලුවනි. කොටින්ම කිව්වොත් මේ තොරතුරු ලෝකයක්. ඒත් අපේ දරුවන් වගේම මව්පියන් හිතන්නේ ටාසන්, ස්පයිඩර් මෑන්, එහෙම නැත්නම් නයිට්රයිඩර් නැති ළමා සාහිත්‍යක් නැති බවයි. එහෙම නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය වගේම බාහිර දැණුම ලබා ගත හැකි වෙබ් අඩවි බොහෝ තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ “තක්සලාව” වැනි වැඩසටහන් දරුවන්ගේ දැණුම ගබඩාවට බොහෝ තොරතුරු ලබා දෙනවා. ඒත් අපි වගේම දරුවන්ච මේ ගැන දන්නේ නැහැ.ඊට අතිරේකව “විකිපීඩියා” වැනි වෙබ් අඩවි මගින්ද තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ලිපි ලේඛණවලටත් යොමු කරන්න

අන්තර්ජාලයේ තිබෙන්නේ චිත්‍රපට , ගීත  සහ වීඩියෝ දර්ශන පමණක්ම නොවන බවත් දරුවන්ට කියා දෙන්න. වාර්තා චිත්‍රපට වගේම යූ ටියුබ් ඔස්සේ අධ්‍යාපනයට වඩාත් සමීප වැඩසටහන් තිබෙනවා. මේවා පරිශීලනයෙන් දරුවන්ට බොහෝ දේ උගත හැකියි.

අලුත් දේ ලබා දෙන්න

දරුවන්ට අලුත් දැනුම අවශයයි. යල් පැන ගිය දැනුම නොව දින දින අලුත් වෙන දැණුම ගැන දරුවන් දැනුවත් විය යුතුයි. මේ වෙනුවෙන් වූ උපාංගයන් ලබා දීමට පුලුවනි. ඉංග්‍රිසි භාෂාව හැදෑරිමට “කින්ඩල්” වැනි උපාංගයක් බාල කාලයේදී ලබා දුන්නොත් ඔවුන්ට භාසාව පිලිබඳව හුරුවක් ලැබෙනවා. ශබ්දකෝෂ, විශ්වකෝෂ වුනත් මේ විදිහට වෙනත් උපාංග ලෙසින් ලබා ගැනීමට පුලුවනි.

පාලනයක් එපායැ…

දරුවන් මේ වෙනුවෙන් ඇබ්බැහි වීමට ප්‍රදානම හේතුව මුල් කාලයේදී ඔබ ඒ වෙනුවෙන් පාලනයක් ලබා නොදීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඇබ්බැහිවීමට පෙරාතුව දරුවාට පාලනයක් ලබා දීම ඉතාම වැදගත්. කොච්චරවත් ටැබ් එකේ…එහෙම නැත්නම් පෝන් එකේ කියනවාට වඩා ඒ වෙනුවෙන් හෙමින් සීරුවේම පාලනයක් මුල පටන්ම ආරම්භ තරන්න..එවිට දරුවාත් අනවශ්‍ය විදිහට යොමු වීමෙන් වලක්වා ගන්න පුලුවනි. විවෘතව මේවා බැලීමට ඇවැසි සේ පරිසරයක් ගොඩ නැගීමත් වැදගත්. පර්යේෂකයන් සඳහන් කරන අන්දමට කුඩා දරුවන් පරිගනකය පරිහරනය කරනවා නම් එය වැඩිහිටියන්ට විවෘතවන සේ තැබීම වැදගත්. ඩෙක්ස්ටොප් යුගයේදී නම් එය කළ හැකි වුනත් අද තත්වයේදී තිබෙන වෛවාරන උපාංග හමුවේ මෙය අපහසුයි. ඒ කොහොම වුනත් මුල පටන්ම තොරතුරු සෙවීම සහ පරිහරනය වෙනුවෙන් පාලනයක් ලබා දීම ඉතාම වැදගත්.

දෙල් වෙනුවෙන් තහංචි

කහපාටට පැහිලා තිබෙන දෙල් ගහේ ගෙඩි දැක්කාම ඇයට හිතුනේ දෙල් වෑංජනයක් කන්න ඇත්නම් තියන සිතුවිල්ලයි. ඒත් දරු පැටියාගේ මුහුණ දකින්න දැන් බොහොම ආසන්න කාලයක සිටින නිසා ඇයට දෙල් කන්න වැඩිහිටියන්ගෙන් අවසරයක් නැහැ.”දෙල් උෂ්ණයි…මේ දවස්වල කන්න හොඳ නැහැ….” ඒ වගේම මීට අවුරුදු තුනකට ඉස්සර ලොකු පුතාට කිරි දෙන කාලයේදීත් දෙල් කන්න අවසර තිබුනේ නැහැ. එතකොට කිව්වේ කිරි දෙන අම්මා දෙල් කෑවොත් දරැවාට රත ගෙඩි එන බවයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් දෙල් වෙනුවෙන් ගැබ්බර අම්මාට වගේම කිරි දෙන අම්මාටත් තහංචි තිබුනා. එදා දවසේ තිබුන මේ සම්මත අදහස් තුළ විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයකුත් තිබුනා. ඒ නිසා එදා අම්මලාගෙන් ලැබුන තහංචි අපිට යල් පැන ගිය බව කියමින් ඉවත දාන්නත් බැහැ.කොහොම වුනත්…,

දෙල් වාරෙට දෙල් අගුණයක් නැතුව ආහාරයට ගන්නේ කොහොමද…?

අපි දෙල් තම්බලා ආහාරයක් විදිහට අනුභව කරනවා. මෙහිදී පොල් එකතු කරගන්නවා. එයින් දෙල්වල තිබෙන උෂ්ණ බව අඩුවෙනවා. ඒත් සමහර උදවිය මෙතැනදී එක් වැරැද්දක් කරනවා. ඔවුන් දෙල් ආහාරයට ගන්න කොච්චි සම්බෝලයක් හදා ගන්නවා. කටගැස්මක් විදිහට නම් බොහොම අපූරුයි. ඒ වුනාට කොච්චි යොදා ගත්තාම දෙල්වල ගිනියම් බව තවත් වැඩි වෙනවා. කටගැස්මක් විදිහට නම් ඉතාම රසයි.

දෙල්වල තිබෙන ගිනියම් බව අඩුකරගන්නේ කොහොමද…?

ඉස්සර කාලයේ පටන්ම දෙල් ව්‍යංජනයක් පිසින විට නිවිති කොළ එක් කර ගත්තා. නිවිතිවල සිරුර නිවන හැකියාව තිබෙනවා. ඒ වගේම දෙල් වෙනුවෙන් යහමින් කිරි එකතු කර ගැනීමත් හොඳයි. පොල්කිරි වලිනුත් දෙල්වල ගිනියම් බව අඩු වෙනවා. සමහර උදවිය දෙල් පිසගෙන එයට දෙහි යුෂ එක්කරගන්නවා. එයින් අපූරු රසයක් ලැබෙනවා වගේම දෙල් වල ගුණ අවශෝෂනය කර ගැනීම පහසුයි.

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල්

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල් කීපයක්ම තිබෙනවා.හැම ආහාරයක්ම අපි ලබා ගනිද්දී එහි අගුණ බව අඩුකරන්න, ගුණය වැඩි කරන්න විවිධ පිලිගැනීම් තිබෙනවා. දෙල් ව්‍යංජනයක් පිලියෙල වුනා නම් කෙලවල්ලෝ , බල, හුරුල්ලෝ වැනි උෂ්ණ මාලු ආහාරයට ගැනීම සුදුසු නැහැ.ගැස්ට්‍රයිටිස් තිබෙන අයට දෙල් නිසා රෝග තත්වය වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා පවුලේ අම්මා විදිහට දෙල් පිලියෙල කරනවා නම් අතුරු ව්‍යංජන මගින් දෙල්වල අගුණ නැති වීම වැදගත්.

දෙල් කල් තබා ගන්න පුලුවන්

දෙල් කල් තබා ගන්න පුලුවන්.දෙල් වාරයට ගස් පල්ලේ කුණුව යන දෙල් අවාරයට ආහාරයට ගන්නා විදිහට සකස් කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව කපලා ලුණු ස්වලපක් එක් කරලා වසා තබන්න. එය යාන්තමින් මෙලෙක් බවට පත් වුනාම හොදින් හිරු රැස් ලැබෙන අව්වක වේලාගෙන සුලං නොවදින සේ අසුරා තබන්න. අවාරයට මේවා පිස ගන්න පුලුවනි. උයන්න පෙරාතුව පොගවා ගන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට තුනපහ එක් කරල උයා ගන්න.

රසකැවිල්ලක් විදිහටත් දෙල් පිළියෙල කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව ලියා ගෙන තෙලෙන් බදින්න. ඊට පසුව සීනි උකු ද්‍රාවනයක් විදිහට උනු කර ගෙන මෙම බැදගත් දෙල් එහි දවටන්න. සුලං නොවදින විදිහට අසුරා ගෙන රස බලන්න පුලුවනි.

දරුවො එක්ක කතා කරද්දි සියවරක් සිතන්න

පුංචි දරුවෝ හමුවුනාම අපිට ඔවුන් කතාවට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුනාම අපි අහන පොදු ප්‍රශ්න කීපයක් තිබෙනවා.

“බබාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ…” එහෙම නැත්නම්, “බබාගේ අම්මා මොකද කරන්නේ…” මේ වගේ ප්‍රශ්න කිසිම වැරැද්දක් නැති බව ඇත්ත. ඒත් යම් සීමාවකදී අපි අහන ප්‍රශ්න නිසා දරුවාගේ හිත රිදෙන්න පුලුවන්. දරු හිත් ඉතාම සංවේදියි.

මේ වගේ ප්‍රශ්න දරුවන්ට ප්‍රශ්න වෙන්නේ මොන වගේ වෙලාවටද කියලත් අපි ටිකක් හිතුවොත්….. සමහර දරුවන්ගේ අම්මා හෝ තාත්තා මිය ගිහින්. එහෙම නැත්නම් ඔවුන් විවිධ හේතු නිසා වෙන් වෙන්ව ජීවත් වෙනවා. නැත්නම් දික්කසාද වෙලා.

ඒ පුංචි දියණිය පාසලේම ආදි ශිෂ්‍යාවකගේ දියණියක්. ඒ ආදි ශිෂ්‍යාවත් යාන්තම් උසස් පෙළ එක් වතාවක් පමණක් කරල ඉක්මනින්ම විවාහ වුනේ ආදර සම්බන්ධතාවයක් තිබුන නිසයි. කාලය බොහොම ඉක්මනින් ගෙවී යන නිසාම ඇගේ දියණිය අපේ පාසලටම ඇතුල් වුණා. පුංචි පැටියා අකුරු කරන්නත් දක්ෂයි. චිත්‍ර වගේම නටන්න ගයන්නත් හපන්. ඒ වුනත් විටින් විට මේ පුංචි දුව උදාසීනකමක් දක්වනවා. ඇගේ අම්මාට කිව්වාම කියන්නේ,”මේ දවස්වල සෙමට බේත් බොනවා…ඒ නිසා වෙන්නැති කියලයි..” දියණියගේ පියා විදේශගත රැකියාවක නිරත බවත් දන්නා නිසා ඇයට නිතරම අපි විහිලු කරන්නේ “තාත්තා සෙල්ලම්බඩු ගොඩක් ගෙනාවාම මටත් එකක් ගේන්න..හො‍දේ..” විදිහටයි. ඒ වෙලාවට ඇය අහිංසක විදිහට හිනාවෙලා ඉන්නවා මිස හා හෝ බැහැ කියන්නේ නැහැ.

හැබැයි තවත් දරුවන්ගේ තාත්තලා විදේශවල ඉන්න නිසා ඒ වගේ වෙලාවට පුංචි දරුවෝ අහන්නේ “ටීච මම ගේන්නම්..තාත්තා කතා කළාම කියන්නම්” විදිහට බොහොම උනන්දුවෙන්.

එක දවසක් ඒ පුංචි දුව මං ලගට ආවා.. “අපේ තාත්තා හොඳ නැහැ..මම එයාට ආදරේ නැහැ..”

“ඇයි…” මම ඇහුවා.

“එයා රට ඉඳල ඇවිත්… මං බලන්න ආවෙත් නැහැ. අත්තම්මලාගේ ගෙදරට වෙලා ඉන්නවා..”

“තාත්තා ඒවි.. එයාගේ අම්මත් එයා එනකම් බලාගෙන ඉන්න ඇති‍ නේ…” මං පුංචි හිත අස්වසනු රිසින් කිව්වා.

“එයා ඉතින් ආවත් එන්නේ සල්ලි ඉවර වුනාම..”

“ඉතින් ඔයාලට සල්ලි තියෙනවානේ..”

“අපිට නෑ..මාමා දෙන්නේ..අම්මත් ගාර්මන්ට් එකට යනවා.”

පුංචි හිත අවදිවෙලා තියෙන්නේ දැන් බව මට තේරුනා.

දරුවන් අතර මේ විදිහට විවිධ පීඩන තියෙන්න පුලුවන්. ඒ නිසා අපි ඔවුන් සමග ඉතාම සීරුවෙන් ගණුදෙණු කරන්න වෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන සමාජවිද්‍යාඥයින් කියන්නේ අපි කිසිම දවසක දරුවන්ගෙන් අම්මා..තාත්තා ගැන ඔවුන්ගේ රැකියාවන් ගැන අහන්න අවශ්‍ය නැහැ.

දැන් ඔබ මේ විදිහට කිව්වොත්.. අපි දරුවන් හඳුනාගන්නේ කොහොමද…?

ඒ වෙනුවෙනුත් අපි ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට පත්‍රිකා පුරවා ගන්නවා. එයින් අපිට දරුවන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්. එහෙත් නැත්නම් දරුවාටම නිදහස ලබා දෙමින් ඔයාගේ තොරතුරු කියන්නකෝ.විදිහට ආරාධනා කරනන් පුලුවන්.

මේ වගේ වෙලාවටත් හොඳ පවුල් පරිසරයක ජීවත්වෙන දරුවන් බොහොම හොදින් ඒ ගැන කිව්වත් මානසිකය යම් යම් වේදනාවන් තිබෙන දරුවන්ට ගිරව් වගේ ඒ ගැන කියන්න බැහැ.

පුංචි හිත්වලත් අහංකාරකම් තියෙනවා…

සමහර දරුවන් අම්මා තාත්තා නැතිවුනත්..ආර්ථික ප්‍රශ්න තිබුනත් තවත් කෙනෙකුගේ අනුකම්පාවට ලක් වෙන්න කැමැති නැහැ. අනේ පව්…කියල තවත් කෙනෙක් ඔවුන් ගැන අනුකම්පාවෙන් කතා කරනවාට කැමැති නැහැ. ඒ දරුවාගේ අභිමානය.. අපි ඉතින් අනේ පව් ඒ දරුවාගේ තාත්තා නැහැ… කියල කවමදාවත් ප්‍රසිද්ධියේ දරුවන් ගැන අනුකම්පාවෙන් කතා කළ යුතු නැහැ. ඒ තත්වයත් ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා.

හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න එපා…

මේ අධ්‍යනය තව දුරටත් ඉදිරියත් ගෙන යමින් සමාජ විද්‍යාඥයින් සඳහන් කරන්නේ අපිට හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න ගැන අනවශ්‍ය විදිහට කතා කළ යුතු නැහැ. “ඔයාට දරුවන් ඉනනවාද..?” සමහර විට ඇය හෝ ඔහු අවිවාහක වෙන්න පුලුවන්.

විවාහ වෙන වයසත් පසු කළ අයෙක් එහෙමත් නැත්නම් මුණුපුරන් ඉන්න පුලුවන් වයසක කෙනෙක් මේ නිසා දැඩි අසීරුතාවයට පත් වෙන්න පුලුවන්.

තවත් අය මේ වගේ ප්‍රශ්න අහන්නේ හදිසියේ හමුවුනත් සුහදතාවය ගොඩ නගා ගන්න මිසක ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන අවශ්‍ය නිසාම නොවෙයි.

ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් වයිෆ් මොකද කරන්නේ…?

මෙතැනදීත් ඒ පැනය ඉදිරියේ නිරුත්තර වෙන තැන් තිබුනොත් ඔබටත් හිතේවි අනේ මම අපරදේ මේ වගේ ප්‍රශ්න ඇහුවේ කියලා…

සමහර විට ඇගේ හෝ ඔහුගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා මියගොස් ඇති. එ‍සේත්… නැත්නම්…හැරදා ගොසින් හෝ දික්කසාද වී වෙන්නත් පුලුවන්. ඒ නිසා එවන් ප්‍රහ්නවලට පිලිතුරු දීමට වඩා එයින් ඇති වෙන මානසික ගැටුම දරාගැනීමත් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ නිතරම කතා කරන්න පෙරාතුව ටිකක් හිතා බලන්න. මේ වගේ සෘජු ප්‍රශ්න වෙනුවට වටගොසින් අවශ්‍ය තොරතුරු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඔබ සාමාන්‍ය කතා බහ ආරම්භ කරන්න. නිදහස් මානසිකත්වයක් තිබෙන කෙනෙක් නම් ඒ ගැන ගංගාව ගලනවා වගේ තොරතෝංචියක් නැතුව කතා කරන විට ඔය කියන ජීවිතයේ පැතිකඩ නොදැනම විවෘත වෙනවා. ඒත් විවිධ ගැටුම් අතර ජීවත්වෙන කෙනෙක් නම් ඒ ගැන නොදොඩාම ඉදීවි.

දරුවන්ට ඉටුකළ යුතු මේ යුතුකම් ඔබටත් මගහැරිලද?

පුංචි දරුවන්ව හැම නිතරම උපමා වෙන්නේ ලස්සන මල්වලට. හැම පොතකම, කවියකම, කතාන්දරයකම ඒ උපමාව යෙදෙනවා. ඔව්… ඇත්තටම පුංචි දරුවෝ මල් වගේම තමයි. සිනිඳු අතපය, දිලිසෙන ඇස්, පුංචි ඇඟිලි… හැම දරුවෙක්ම හරිම සුන්දරයි. එහෙම නම් ඒ මල්වල සුවඳ දසත පතරුවන මද පවන අපි. ඒ කියන්නේ වැඩිහිටියෝ. ඉතිං මෙන්න මේ පුංචි මල් වටා හමන සුළඟ ඒ කියන්නේ ඔවුන්ට ජීවිතය කියාදෙන වැඩිහිටි අපි කොතරම් සිසිල් විය යුතුද? ආදරණීය විය යුතුද? අවවාදාත්මක විය යුතුද? අන්න එවිටයි ලස්සන මල් කැකුළු මද පවනේ තාලයට ලෙල දෙන්න පටන් ගන්නේ.

දරුවන් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුමක් තේරුමක් නැති පිරිසක්. මනෝ වෛද්‍යවරුන් පවසන අන්දමට දරුවෙක් යමක් කමක් තනිව නිවැරදිව තේරුම් අරගෙන, සිතා බලා කටයුතු කරන්න, නිවැරදිම තීරණ ගන්න නම් ඇත්තටම අවුරුදු විස්සක්වත් සම්පූර්ණ විය යුතුයි කියලයි. මොකද ඒ තාක් දරුවන් කටයුතු කරන්නේ හැඟීම්වලින් පමණක් බවත් ඔවුන්ගේ මොළයේ සිතා බලා කටයුතු කිරීමට තීරණ ගැනීමට අවශ්‍ය කොටස සංවර්ධනය වී නොමැති බවත් ළමා මනෝවෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග මා සිදුකළ සාකච්ජාවකදී ඔහු පැවසු බව මට මතකයි.

ඔන්න ඉතිං කතාව පටන් ගන්නේ මෙතන ඉදලා. මේ මෑතකදී මම විවාහ මංගල උත්සවයකට සහභාගී වුණා. පුංචි දරුවන් ගැන ගොඩක් දේ කතාබහ කරන නිසාදෝ මට වැඩි අවධානය යොමු වුණේ එක් එක් දරුවන්ගේ හැසිරීම් පිළිබඳව. එතන දුවලා පුතාලා පස් හය දෙනෙක්ම සිටියා. ඉතිං එයාලා කාලය ගත කළේ බොහොම සතුටින්. දුවනවා, පනිනවා, නටනවා… ඔය වගේ ගොඩක් ක‍්‍රියාකාරකම් එයාලා කරා. මේ අතරින් දරුවන් කිහිප දෙනෙක් හැසිරුණු ආකාරය ඇත්තටම මගේ හිතට ගෙනාවේ ලොකු කණගාටුවක්. පුංචි දරුවන්ට හොඳ නරක කියන දේ ගැන අවබෝධයක් නෑ තමයි, ඒත් ඔවුන්ගේ වැඩිහිටියෝ ඒ ස්ථානයේ රැඳී සිටියා. දරුවන් කෑම මේසයට දෑත් ඔබමින් යම් යම් දේ ගන්නට පටන් ගත්තා. ඒ දේවල් ශාලාව පුරා විසි කරන්නට පටන් ගත්තා. මුව තුළ ඔබා ගනිමින් කන්නට පටන් ගත්තා. බලා සිටින්නට නොහැකි අවස්ථාවන්වලදී මම ඔවුන් වෙත ගොස් එසේ නොකරන ලෙසට ආදරෙන් කියා සිටියා. දරුවන් දෙස දෙමාපියන් බලා සිටින්නට ඇති. නමුත් ඔවුන් කිසිවෙකුත් ඒ ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමට හෝ දරුවන්ට අවශ්‍ය දේ පිළිවෙළට ලබා දීමට හෝ ඉදිරිපත් වුණේ නැහැ.

ඇත්තටම එවැනි අවස්ථාවන්වලදී කුඩා දරුවන් රැගෙන යන මාපියවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. දරුවන් අනෙක් අයගේ පිළිකුලට, අප‍්‍රසාදයට ලක්වීම වැළැක්විය හැක්කේ ඔවුන්ටයි. කුඩා දරුවෙකු  ඕනෑම අවස්ථාවක ක්‍ෂණිකව තම සිතට නැගෙන සිතිවිල්ල ක‍්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා. ඔවුන්ව ආදරණියව පාලනය කරමින් නිවැරදි දේ කියා දිය යුත්තේ වැඩිහිටියන් වන අපයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන් වෙත වගකීම පැවරෙනවා යැයි කීවද එයිනුත් වැඩි වගකීම පැවරෙන්නේ අම්මාටයි. දරුවන්ගේ ක‍්‍රියාකාරකම් දකින වටපිටාව සොයා බලන්නේ දරුවාගේ මව පිළිබඳවයි.

අම්මා නම් වූ උතුම් පදවිය අප වෙත පැවරෙන්නේ නිමාවක් නැති වගකීම් සමුදායක් ද සමගින් බව  අප නිරන්තරයෙන් කතා බහ කරන කාරණයක්. ඇත්තටම දරුවෙක් කියන්නේ “අපේ ජීවිතයම කැප කිරීමක්” කිව්වොත් නිවැරදියි. සැබවින්ම ඒ වගකීම් විශාල බරක් බව ද සැබවි. දරුවෙකු කුස හොවා දස මසක් පෝෂණය කර කප්පරක් වේදනාවන් දරාගනිමින් මොලොවට බිහිකරන්නට කාන්තාවකට හැකි නම් ජීවිත කාලය පුරාම තම දරුවා වෙනුවෙන් කැප වීම එතරම් විශාල කාර්යයක් නොවිය යුතුය. සැබවින්ම ආදර්ශය උතුම් යැයි කියන කියමනට අනුව අප සැමවිටම දරුවන් වෙත යහපත් ආදර්ශයන් ලබා දිය යුතුමය. මවක් සැම විටම දරුවාට ලබා දෙන අණ ආදරණීය විය යුතුයි. ඒ තුළින් දරුවකු පාලනය කරගැනීමට මවකට හැකියාව තිබිය යුතුය. ඇතැම් විට මවගේ එක් නුරුස්නා බැල්මකින් දරුවා පාලනය විය හැකිය. ඇතැම් විට දරුවාගේ නම කියූ සැනින් දරුවා පාලනය විය හැකිය. මල් වැනි පුංචි දරුවන් සමාජය තුළ පිළිකුල් වීමට ඉඩ නොතැබීම මව්පියන් වන අපේ වගකීමකි. එය එසේ වුවහොත් දරුවන් පිළිබඳව මව්පියන්ගේ වගකීම පැහැර හැරීමක් නොවේද?

මව පියා දේවත්වයෙන් පිදිය යුතු යැයි පැවසෙන්නේ මේ සියලු කරුණු හමුවේ නොවේද? දරුවන්ට සිය ජීවිතය වටහා දිය හැක්කේත් යහපත් අයහපත් දේ අවබෝධ කර දිය හැක්කේත් අම්මාටත් තාත්තාටත් පමණි. එතනිනුත් සුවිශේෂී වන්නේ අම්මාය. මන්ද දරුවන් සමග වැඩි වශයෙන් ගැටෙන්නේ අම්මා බැවිනි. ආදරණීය තර්ජන, ගර්ජන හමුවේ වුවද දරුවෙකු සවන යොමු කෙරෙන්නේ අම්මගේ හඬටමය. ඉතිං දරුවන්ට ඉගෙනීම පෝෂණය පමණක් උපරිමයෙන් ලබා දුන්නද එහි පලක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුමය. ඒ හා සමානවම දරුවෙකු වෙනුවෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැනත් ඔබේ අවධානය යොමු කළ හැකි නම් එය දරුවෙකුගේ ජිවිතයේ සාර්ථකත්වයට ඔබෙන් ලැබෙන මිල කළ නොහැකි ත්‍යාගයක් යැයි කීම නිවැරදිය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

කෑම නොකන පැටවුන් සන්සුන් කරන ට්‍රික්ස් 9ක්

පුංචි දරුවෙකුට කන්න බොන්න දෙන විට ඔවුන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වලින් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න පුලුවන් බව මානසික විද්‍යා පර්යේෂකයන් සඳහන් කරනවා. ඉස්සර කාලයේ දරුවන්ට බත් පිඟාන අතට ගද්දී වැඳලා ගන්න පුරුදු කරල තිබුනේ අපිට බත් විදිහට ලැබෙන ආහාරය වෙනුවෙන් වෙහෙස මහන්සි වුන බොහෝ පිරිසක් ඉන්න බව මතක් කරමින්. ඒත් අද ඒ හැගීම දරුවන්ට වගේම දෙමව්පියන්ටත් නැහැ.

දරුවන් කියන්නේ දඟ මලු. ඔවුන් එක් තැනක තියලා සීරුවට කන්න බොන්න දෙන එකත් ලේසි කටයුත්තක් නොවෙයි.සමහර දරුවන් මොනම දේ දුන්නත් සතුටු කරන්න බැහැ. පිඟානට වදිනවා වෙනුවට ඔවුන් කන්න බොන්න ගියාම අනවශ්‍ය විදිහට කලබල පටන් ගන්නවා.

01). මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…?

මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…? මේ විදිහට පසුතැවිල්ලෙන් කතා බහ කරන දෙමව්පියන් අතරට ඔබත් එකතු වෙලා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ “ඩියුක්” විශ්වවිද්‍යාලය මගින් ආහාර මුල් කර ගෙන දරුවන් දක්වන අසාමාන්‍ය කලහකාරීත්වය ගැන අධ්‍යනයක් සිදු කලා. එහිදී වයස අවුරුදු 6 සිට 12 අතර දරුවන් 3000 ක් තෝරා ගත්තා.අධ්‍යනයේ ප්‍රධාණී “නැන්සි සූකර්” දත්ත විශ්ලේෂනයෙන් පසුව පෙන්වා දුන්නේ දරුවන් අතරින් 14% සිට 20% ක්ම කලහකාරී ප්‍රතිචාර දරක්වූ බවයි. ඔවුන් කනස්සල්ල, සංකාව සහ මානසික අවපීඩන තත්වයෙන් පසු වුනා. 18 % ක් සාමාන්‍ය විදිහට ආහාර ගත්තත් ඔවුන්ද විටින් විට කලහකාරී ගති පැවතුම් ‍පෙන්නුවා. 3 % ක් වෙනත් අය සමග සම්බන්ධතාවයක් නැතුව ආහාර ගත්තා.

02). දරුවන්ට මොන මානසික ප්‍රශ්නද…?

දරුවන්ට මොන මානසික ප්‍රශ්නද කියල ඔබ මේ හැසිරීම් ගැන නොසලක් ඉන්න එපා. අපි නොදැන හිටියට ඔවුන්ගේ මානසික් ගැටුම් ඉතාම විවිධයි. තේරුම් ගැනීමත් අපහසුයි. මේ ගැන නොසලකා හිටියොත් අනාගතයේදී ඔවුන් මානසික රෝග විතරක් නොවෙයි, ශාරිරික ආබාධයන්ටත් පත් වෙන්න පුලුවන්.

03). හැම කලබයක්ම මානසික රෝග නොවෙයි..

ඒත් කලබල වෙන්න එපා. දරුවන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මානසික රෝග තත්වයක් නොවෙයි. ඒ වෙනුවෙන් විවිධ හේතු තිබෙනවා.

04). සමහර ආහාර අප්‍රියයි

අපි වගේම දරුවන් අතරත් ආහාර වෙනුවෙන් ප්‍රිය සහ අප්‍රිය විදිහට වර්ග තිබෙනවා. ඔවුන් අප්‍රිය කරන ආහාර වෙනුවෙන් අම්මලා බලපෑම් කරද්දී ඔන්න ගැටුම පටන් ගන්නවා. අපි මෙහෙම හිතමු. ගොටුකොල කන්න අකමැති දරුවෙකුට ඒ වෙනුවෙන් බල කරනවා වෙනුවට සුප්, කොළකැඳ වැනි දෙයට ගොටු කොල මිටක් එක් කරන්න පුලුවනි.

05). හැමදාම එකම විදිහට

හැමදාම එකම විදිහට ආහාර ලැබෙන විටත් දරුවන්ට එයින් ඇති වෙන්නේ අප්‍රසන්නතාවයක්. ඒ නිසා හැමදාම ලැබෙන බත් වෙනුවට නූඩ්ල්ස්, පැස්ටා, එළවලු බත්, කහ බත් විදිහට විවිධ විදිහට ආහාර පිළියෙල කරන්න පුලුවන්. මේවාට එළවලු සහ මස් හෝ මාලු එකතු කරල පෝෂනය ලබා දෙන්නත් පුලුවන්. පලා වර්ග අකමැති පැංචන්ට නූඩ්ල්ස් වලදී නොදැනෙන විදිහට ඒවා එකතු කිරීමටත් අමමලාට අවස්තාව ලැබෙනවා.

06). ආහාර ගන්ධය

ඇතැම් ආහාර වලින් නිකුත් වෙන ගන්ධයට දරුවන් මනාප නැහැ. සමහර දරුවන් බිත්තර තම්බාගත් ගන්ධයට අප්‍රියයි. එහෙම අයට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරල එය නොදැනෙන විදිහට දෙන්න පුලුවන්.

07). හැමදාම එකම පිගාන

දරුවාට හැමදාම දෙන එකම පිගාන වෙනුවට පුංචි පොල්කොළ වට්ටියක්, එහෙම නැත්නම් කෙසෙල් කොලයක වැනි විවිධ දැවටුමක ආහාර දෙන්න. මේසයට පුටුව තියලා මෙතැනම කන්න ඕන කියනවා වෙනුට ඉඳහිට පැදුරක් වැනි දෙයක තබා ආහාර දෙන්නත් පුලුවනි. දණගාන දරුවන්ට නම් මෙය ඉතාම හොදයි. ඔවුන් දණගාමින් ඇවිත් බත් ඇට දෙක තුනක් හෝ ආහාරයට ගනීවි.

08). කෝටුව එපා

බත් කෑවේ නැත්නම් දඩුවම් කිරීමත් එතරම් සතුටුදායක නැහැ. දරුවා කෝටුවට බියෙන් ආහාර ගැනීම ඔවුන්ගේ මානසිකත්වට එතරම් ගුණ නැහැ. සමහර අම්මලා කියන්නේ උගුරෙන් පහලට ගියාම දිරවනවා. නොකා ඉදලා මන්දපෝෂනය වුනාම..? ඒත් මේ සංකල්පය එතරම් සුබවාදී නැහැ. ආහාර ගැනීම ප්‍රසන්න කටයුත්තක් මිසක දඩුවම් ලැබිය යුතු වරදක් නොවෙයි. දරුවාගේ පෝෂණය නිසා වදෙන් පොරෙන් හෝ දඬුවමෙන් ආහාර දීම කළ යුතු වුනත් ඒ නිසා ඇති වෙන මානසික ගැටුම සුලුපටු නැහැ.

09). අල්ලස් දෙන්නත් එපා

“බත් සේරම කෑවොත් අයිස්ක්‍රිම් දෙනවා…” එහෙම නැත්නම් සෙල්ලම් බඩුවක් අරගෙන දෙනවා. මේ විදිහට තෑගි බෝග ගැන විකල්ප ලබා දීමත් ඒ තරම් සුදුසු නැහැ. එවිට දරුවා ආහාර ගන්නා හැම අවස්ථාවකම තැග්ගක් බලාපොරොත්තු වේවි. ඒ වෙනුවට ආහාර ගැනීමෙන් දරුවාට ලැබෙන වාසි කියා දෙන්න.

ආහාරපාන ලබා දීම වෙනුවෙන් දරුවන් සමග අරගලයේ යෙදෙන දෙමව්පියන්ට දරුවන්ට කියා දිය යුතු හොඳ කතාවක් තිබෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ “උඩගිය බබා” කතාන්දරය ඇසූ අපි ළමා කාලයේ බත් නොකා ඉන්න බය වුනේ කතාවේ එන බබාට සිද්ධ වුන දෙය වෙයි කියන බයටයි. අද දරුවන්ටත් මේ කතාව සමහර විට සාධාරණ වෙන්න පුලුවනි. ඒ වගේ සම්‍යප්‍රයෝගයකින් මිසක් කෝටුව හෝ තෑගි ලබා දෙමින් ආහාර පාන ලබා දීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි. ආහාර මුල් කර ගෙන දරුවන් සහ සෙමව්පියන් අතර ඇති වෙන ගෝරනාඩුව දරුවන්ට මානසික ගැටුමකට මුල පුරන තැනටත් පත් නොවන්නත් වග බලා ගන්න වේවි.