නිරවුල් මනසකින් ජීවිතය දකින්නට දරුවන්ට කියා දිය යුත්තේ කවුද?

මොහොතින් මොහොත වෙනස් වෙන අපේ ජිවිතයේ එක් එක් මොහොතේදී අත්විඳින අත්දැකීම් එකකට එකක් වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. එකම දෙයක් සම්බන්ධව උනත් දෙවතාවක් වුනොත් අපට ලැබෙන්නේ අත්දැකීම් දෙකක්.

අම්ම කෙනෙක් විදියට අනෙක් අම්මල දරුවන්ගේ ගැටලුවලදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මමත් දැනගන්න කැමති එයාල වගේම මමත් දරුවන් දෙන්නෙක්ගේ වැඩ, අඩදබර වගේම එයාලගේ ආදරය මැද්දේ දවස ගෙවන නිසයි. සමහර අම්මලා දරුවන්ගේ හැකියාවන් අසාවන් එක්ක ඉදිරියට යන්න මග පෙන්වනවා. සමහර අම්මලා තමන්ගේ හීන දරුවන්ගෙන් සැබෑ කරගන්න වෙහෙස වෙනවා. මේ දෙවිදිය ගැනම පිටින් ඉඳගෙන දකින අපිට වරදක් කියන්න අමාරුයි. ඒත් දරුවෙක් අකමැත්තෙන් මව්පියන්ගේ අසාවන් වෙනුවෙන් වෙහෙස කරවනවා නම් ඒ දරුවාගේ අනාගතය එතරම්ම සාර්ථකත්වයට පත් වෙන්නේ නැති වෙයි කියන අදහසේ මම ඉන්නවා.

මෙන්න මේ වගේ ගොඩක් අදහස් එක්ක දරුවන් ගැන අම්මලා කියන කතා අහගෙන ඕනේ තරම් වෙලාවක් ගත කරන්න පුළුවන්. ඒ, ඒ කතා ඒ තරමටම සුන්දර නිසයි. මේ කතා අතරේ හොඳින් පාසැල් වැඩකටයුතු කරන දරුවෝ, අම්මලාට බොරු කතා ගොතන පුංචි කතා කාරයෝ, නාන්න ඇඟ සෝදන්න අදිමදි කරන දරුවෝ, උදේ පාන්දර අඩා වැටිලා මුළු ගෙදරම අපිළිවෙළ කරන දරුවෝ වගේම සිහින ලෝකවල හිනා වේවි දවස ගෙවන දරුවෝ ගැන අම්මලා කියන කතා හරිම රසවත් කියලත් මට හිතුණා.

නාන්න කම්මැලි දරුවෙක් බොරු ලෙඩක් අරගෙන ඒ අවස්ථාව මගඅරින්න හදන එක බොහොම සාමාන්‍ය දෙයක් විදියටයි මම නම් දකින්නේ. ඒ වගේම කෑම මේසෙට ආවාත් ස්පයිඩර් මෑන් වගේ එන්න උත්සාහ කරන දරුවන්, ටින්ක බෙල් වගේ පියාඹන්න බෑ කියලා මුළු දවසම දුකෙන් ඉන්න දරුවන් මේ පුංචි පැටවුන් අතරේ  ඕනෙ තරම් ඉන්නවා.

සමහරවිට කියවන ඔබටත් මේ අත්දැකීම්වලින් එක අත්දැකීමක් හරි තියෙනවා ඇති. ඒ වගේම තමයි දරුවන්ගේ මේ වගේ දේවල් මුළු දවසෙම වෙහෙස මහන්සි වෙලා ඉද්දි පුංචි කරදරයක් බවට පත්වෙන අවස්ථාත්  ඕනෙ තරම් තියෙනවා. ඉතිං එක අම්මා කෙනෙක් තරවටු කරන්න වගේම තවත් අම්මා කෙනෙක් දරුවාගේ අකමැත්ත නොසළකා දරුවා පාලනය කරන්න උත්සාහ කරන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් වුණත් ඕනෙම අම්මා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතු උපරිම හොඳින් ඉටුකරන එක තමයි.

හැම අම්මා කෙනෙක්ම ළමා මනෝවිද්‍යව පිළිබඳව දන්නේ නෑ. කිසිම අම්මා කෙනෙක් දරුවන් ඇති දැඩි කිරීම හා සම්බන්ධ පාඨමාලා හදාරලත් නෑ. එක් එක් අවස්ථාවට අනුව උද්ගත වන ගැටලුවලට හොඳටම හොඳයි කියලා එයාට හිතෙන විසදුම යෙදීම තමයි බොහෝවිට අම්මා කෙනෙක් කරන්නේ. ඒ අනුව අම්මා කියන චරිතයට විවිධාකාර පැති හරහා ගමන්කළ හැකියි. ඒ කෙසේ වුවත් සෑම මවකගේම ඒකායන සිතිවිල්ල වන්නේ තමන්ගේ දරුවායි. නිමක් නැති වගකීම් සමුදායක් ඔස්සේ නිම වී ඇති අම්මාගේ ජීවිතයේ එකම පැතුම දරුවාගේ ජීවිතය සම්පූර්ණ කිරීමයි. එසේ සිතද්දී දරුවන්ගේ කටයුතු හමුවේ යම් මවකගේ තීරණය ගැලපෙනවාසේම තවත් මවකගේ තීරණය නොගැලපෙන්නක්ම විය හැකියි. අධ්‍යාපන මට්ටම ගතිගුණ හැදී වැඩුණු වටපිටාවට අනුව අම්මා කියන චරිතයත් නොයෙක් විදියට ක‍්‍රියාත්මක විය හැකියි.

ඒ වගේම මෙන්ම මෙහෙම හිතන අම්මලාත් අපි අතරේ  ඕනේ තරම් ඉන්නවා.

“මම නම් දුවට කියලා තියෙන්නේ, කොහොමහරි පන්තියේ පළවෙනියා වෙන්න  ඕනේ කියලා. එහෙම නොවුණොත් ගමේ ගියාම ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා අහන ප‍්‍රශ්නවලට ඔන්න මට නම් උත්තර දෙන්න බෑ කියලා. මාමලාගේ ළමයි හැමෝම යන්නේ ගමේ ඉස්කෝලෙට, ඔයා කොළඹ ඉස්කෝලෙකට ගිහිල්ලත් හරියට ඉගෙන නොගත්තොත් මටයි තාත්තටයි ඉඳලා වැඩක් නෑ. ගමේ අයට පේන්නත් එක්ක ඔයා හොඳට ඉංග‍්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න ඕනේ.  ඔන්න එහෙම කිව්වම නම් අපේ දුව පොත් අරන් වැඩ කරන්න පටන්ගන්නවා. එහෙම නැතිව මේසෙට වාඩි කරන්න බෑ අනේ. අනික ගමේ ගිය වෙලේ ඉඳන් හැමෝම බලන් ඉන්නේ ඔය ප‍්‍රශ්න ටික අහන්නනෙ අනේ” යැයි කියමින් ඇය සිනාසෙන්නට විය.

සැබවින්ම එය වැඩිහිටියන්ගේ ගැටලුවකි. දරුවා පන්තියේ පළවෙනියා විය යුතුමද? වයස අවුරුදු හය හත වන දරුවෙකු ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමට යොමු කිරීමට වෙනත් උපායක් මවකගේ සිතට නැගෙන්නේ නැතිද යන්න ගැටලුවකි. මෙවැනි මව්වරුන්ගේ උපදෙස් හමුවේ පුංචි සිත් කොයිතරම් නම් අසරණවනවා ඇතිද? මවක් කළ යුත්තේ දරුවාගේ තමා දකින යම් යම් දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් යෙදීම මිස කෙසේ හෝ දරුවා ලවා තම අභිමතයන් ඉටු කරවා ගැනීමට උත්සාහ කිරීමද? එසේ වුවහොත් ඉතා කෙටි කාලයක් තුළදී දරුවාට අධ්‍යාපනය පමණක් නොව නිවෙස තුළ වටපිටාව ද මව්පියන්ද පිළිබඳව කළකිරීමක් පමණක් ඉතිරිවන්නට ඉඩ ඇත. සැබවින්ම මවක් ලෙස යම් යම් අවස්ථාවලදී දරුවන් සම්බන්ධයෙන් ගත යුතු තීරණයන්හිදී තම අභිමතය මත එල්බ නොසිට, හැකි නම් ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකුගෙන් යම් අවබෝධයක් ලබාගැනීම වඩා වැදගත් වනවා යැයි මගේ මතයයි.

මා එසේ පවසන්නේ මාගේ රාජකාරි ජීවිතය තුළ වෛදවරුන් හා සම්බන්ධව සිදුකෙරෙන සාකච්ජාවන් හමුවේ ඇතැම් මව්වරුන්ගේ ඇතැම් ක‍්‍රියාවන් දරුවන්ගේ මනසට කිසිසේත්ම සුදුසු නොවන බව මට අවබෝධ වී ඇති හෙයිනි. දරුවන්ට දරුවන්ගේ ජීවිත ගත කරන්නට ඉඩ හැර ඔවුන්ට මගපෙන්වන්නෙකු වන්නට ඔබට හැකි නම් හොඳ නරක කියා දෙන්නට ඔබට හැකිනම් ඔවුන්ට රිසි සේ ජීවිතය තුළ සැරිසරන්නට ඉඩ ලැබෙනු ඇත. ඒ තුළින් නිරවුල් මනසකින් යුතු අනාගත පරපුරක් දැයට දායාද කළ හැකිය. මාපියන්ගේ නොයෙක් තාඩන පීඩන මත බලපෑම් මත ඇති දැඩිවන දරුවා තමා දෙස මෙන්ම තම වටපිටාව දෙසත් බලන්නේ වෛරයකිනි. ඔවුන් පීඩාවට පත්ව සිටී.

උපක‍්‍රමශීලී බව ආදරණීය බව මෙන්ම වරදකදී සුළු තරවටුවකින් දරුවා මෙල්ල කරගැනීමට මවකට ඇති හැකියාව ඉතා වැදගත් වනු ඇත. මාපියන්ගේ බලාපොරොත්තුවක් ලෙස දරුවකු මොලොවට බිහිවන්නේ දෙමාපියන්ගේ ආසාවන් මුදුන් පමුණුවීම උදෙසාම පමණක් නොවේ. නිරවුල් මනසකින් ජීවිතයට මුහුණ දෙන්නට දරුවන්ට මනා සවියක් විය හැක්කේ ඔබටයි. සෑම මවකගේම සිත් තුළ තිබිය යුතු එක් දෙයක් වන්නේය. ඒ ජීවිතය විඳින්නට දරුවන්ට මග කියන අපූරු චරිතය අම්මා නම් වූ ඔබ බවයි.

දරුවන්ගේ හැසිරීමට බලපාන මේ කරුණු ගැන ඔබ සිතුවාද ?

අපි සමහර දරුවන් දිහා බලලා මේ විදිහට කියනවා උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇඳ අරින්න බැහැ වගේ තමයි මේ ළමයා මොන විදිහටවත් හදන්න බැහැ. ඒ වගේම සමහර දරුවන් ගැන මේ විදිහටත් අදහස් කියැවෙනවා. අනේ පුංචි කාලේ මලක් වගේ හිටිය දරුවා දැන් විනාස වෙලා… ඉතිං මේ විදිහට දරුවන්ගේ ගති පැවතුම් අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ මේ විදිහටයි.

  • දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු
  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු

දැන් අපි බලමු දරුවන්ගේ ගැටළු මොනවාද කියලා. අපි කියන්නා වගේ “ආරේ ගුනේ නෑරේ…” ඒ කියන්නේ ජානමය ස්වභාවයන් අනුවත් දරුවන්ගේ ගති පැවතුම් සකස් වෙනවා. සමහර විට මේ දරුවා මුල් කර ගත් ගැටලු ජානමය පාර්ශවයෙන් ඇති වෙන්න පුලුවන්. අපි වචනයට කියන්නා වගේ තාත්තා වගේම ආවේග තිබෙන්න පුලුවන්. ඒ නිසා ජානමය විදිහටත් දරුවන්ගේ ගැටළු ඇති වීම මෙහි එක් අවස්ථාවක්.

රෝග තත්වයන්

දරුවන් විවිධාකාර මානසික රෝග තත්වයන්ට පත් වුන විට ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. මෙතෙක් ඉතා සතුටින් සිටි දරුවාගේ හැසිරීම වෙනස්කම්වලට යොමු වෙන්න පුලුවන්. ඉස්සර වගේ විනෝදයෙන් සිටීම අඩුයි. නිතරම හුදෙකලා වීමට බලනවා. ඒ වගේම ආහාරපාන වෙනුවෙන් වූ උනන්දුව අඩුයි නම් දරුවා කුමන හෝ මානසික ගැටුමක සිටින බව අමතක කරන්න එපා.

බුද්ධිය අඩුවීම

පාසල් වයසේ යන දරුවන්ගේ හැසිරීමට බලපාන බොහෝ හේතුන් අතර ඔවුන්ගේ බුද්ධිය බලපානවා. සමහර දරුවන් බුද්ධියෙන් ඉතාම ඉහළ වුනත් තවත් පිරිසක් තුළ ඒ අන්දමින් බුද්ධිමත්බවක් නැහැ. පංතියේ කියවීම, ලිවිම, සවන්දීම , සහ කථනයේ ඇති වෙන අපහසුතාවයන් ඔවුන්ගේ හැසිරීමට ඉතා ප්‍රබල ලෙසින් බලපානවා. ඒ නිසාම දරුවාට ඉගෙණුම එපා වෙන තරමටම තත්වය බරපතල වෙන්න පුලුවනි.

  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දෙමව්පියන්

දෙමව්පියන්ගේ ගැටළුත් දරුවන්ගේ හැසිරීමට බලපානවා. එදා නම් දරුවන් මුහුණ දුන්නේ තාත්තා බීමත්ව ඇවිත් නිවසේ අම්මාට පහරදීම, දරුවන්ට තලා පෙලා හිරිහර කිරිම වැනි තත්වයන් පමණයි. ඒත් අද මේ තත්වය ඊට වඩා වෙනස්. මෑතකදී හොඳින් දන්නා හදුනන පවුලක තරුණ දියණියක් සිය දිවි හානි කර ගත්තේ ඇගේ මව නැවත ගැබ් ගැනීම නිසයි. මේ තත්වය අතීතයේදී නම් කිසිම විදිහකින් දරුවන්ට බලපෑමක් නොකලත් අද දරුවන්ගේ තිබෙන දරා ගැනීමේ ශක්තීන් නිසා මේ වගේ අවාසනාවන්ත තත්වයන්ට පත් වෙන බවත් අපි අමතක කළ යුතු නැහැ.

මව හෝ පියාගේ වෙන්වීම මරණය

දරුවා ආදරය කරන ඔහුගේ ආරක්ෂාව සලසන ආරක්ෂකයා අහිමි වීම නිසා දරුවා මානසිකව හුදෙකලාවට පත් වෙනවා. මව , පියා මරණයට පත් වීම පාලනය කළ නොහැකි තත්වයක් වුනත් සමහර පවුල් සංස්ථාවන්හි මව හෝ පියා පවුල හැර යෑම නිසා ඇති වෙන පසුබිමෙන් වඩාත්ම පීඩාවට පත් වෙන්නේ දරුවන් බව ඔවුන් අමතක කරනවා. ඒ නිසා දරුවාගේ හැසිරීම යහපත්ව පවත්වා ගැනීමට නම් දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අවශ්‍යයි.

මිතුරන් සහ සම වයස් කණ්ඩායම්

පාසල් යන වයසේ පසුවෙන දරුවන් හැසිරීමේ වෙනස්කම්වලට ඔවුන් මුහුණ දෙන අත්දැකීම් බලපානවා. පාසලේදී ඇති වෙන තර්ජන නිසා ඇති වෙන මානසික කම්පනය නිසා ඉතාම බියගුළු සහ පසුගාමී චරිත බවට පත් වෙනවා. ඉහළ පංතිවල පමණක් නොව සමවයස් කණ්ඩායම් විසින් මේ අන්දමින් තර්ජනය කිරීමෙන් ඇති වෙන බලපෑම දරුවන්ගේ හැසිරීම් රටාව මුලුමනින්ම උඩුයටිකුරු කිරීමට හේතු වෙනවා.

අපචාර

අද දරුවා අපචාරයන්ට පත් වීමට තිබෙන අවස්ථාවන් නිසා ඔවුන්ගේ හැසිරීම් බොහෝ සේ වෙනස් වෙනවා. පිටස්තරව නොවෙයි, නිවසේ ඇතුලත සිටින අයගෙන්ම දරුවා අපි නොදැනීම අපචාරයන්ටත් පත් වෙන නිසා ඔවුන්ගේ හැසිරීම වෙනස් වීමට පුලුවන්.

ඇබ්බැහිවීම

අම්මා තාත්තා වැඩ නිසා විවිධ දේ වෙනුවෙන් ඇබ්බැහි වීම. මත්ද්‍රව්‍යට පමණක් නොවෙයි, අන්තර්ජාලයට පවා මේ නිසා නිදහස් අන්තර්ජාල පහසුකම් සපයා දිය යුතු නැහැ. එපා. එය දරුවාට පාලනයක් නැහැ. එදා සිගරැට් වුනත් අද ගංජා පාවිච්චිය තදින්ම තිබෙනවා. පංතියේම දරුවන් පාවිච්චි කරන තරම්මට තත්වය වැඩියි. ඒ වගේම විවිධ ඖෂධ පාවිච්චි කිරීමෙන් මත් ද්‍රව්‍ය ආදේශක දරුවන් හොයා ගෙන ඉන්නවා. කැස්සට, මානසික රෝගවලට ලබා දෙන ඖෂධ වර්ග මේ වෙනුවෙන් භාවිතා කරනවා.

මලක් වගේ හිටිය දරුවාගේ ගති පැවැතුම් දැන් වෙනස්නම් දෙමව්පියන් විදිහ ඔබ දරුවා ගැන අවධානය දක්වන්න. ඔබ නොදැනම වුනත් දරුවාගේ වෙනස්කම් වෙනුවෙන් ඉහත දැක්වෙන හේතු බලපාන්න පුලුවනි.

දුවයි පුතයි දෙන්නම ඉඳලත් ගීතා කපූර්ට වුණු දේ

දෙමව්පියන්ගේ ජීවිතයේ හැන්දෑකාලය ගැන අනාවැකි කියන්න ඉතාම අමාරුයි. අපේ පිලිගැනීමේ හැටියට නම්  විවාහයෙන් දරු මුණුපුරන් ලැබුවාට පසුව අම්මා තාත්තාගේ ජීවිතයේ අවසාන කාලය ඔවුන්ගේ රැකවරනය යටතේ ජීවත්වීමට වාසනාව ලැබේවි කියලයි. ඒ වගේම දරුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් වුනොත් ඒ පිහිටත් මව්පියන්ට ලැබෙනවා. දරුවන්ට අත මිට තිබෙනවා නම් යහමින් අම්මා තාත්තාට සලකන්න පුලුවන්.

“මැනලද පුතේ කිරි දුන්නේ මං නුඹට” කිව්වත්…

ආර්ථිකව සවිබල ගැනුන දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් ලෝබ නැතුවම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුලුවන්. ඒත්.. මේ සිද්ධිය ඒ විදිහටම වෙනවාද..? බොලිවුඩ් තිරයේ දීප්තිමත්ම තාරකාවක් වූ “ගිතා කපූර්” පසුගිය දා අභාවයට පත් වුනේ මුම්බායි රෝහලේදී. ඒ වෙන විට ඇය ජීවත්වුනේ වැඩිහිටි නිවාසයකයි. මියයන විට ගීතාගේ වයස අවුරුදු 67 ක්. ඇය විවාහකව දරුවන් දෙදෙනෙකුගේ මවක වුනා. ඇයගේ පුත් “රාජා” නර්තන ශිල්පියෙක් වූ අතර දියණිය “මීනා” ගුවන් සේවිකාවක්. මේ දරුවන්ට අම්මාට නොසලකා සිටින්න තරම් ආර්ථික ප්‍රශ්න තිබුනේ නැහැ.

ගීතාට වයස අවුරුදු 57 ක් වෙද්දී ඇගේ පුතා විසින් අමුතු ආකාරයේ ඉල්ලීමක් කළා.

“අම්මා… වැඩිහිටි නිවාසයක නවත්වන්නම්..”

ඒත් ගීතා කිසිසේත්ම පුතාගේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ. දරුවන් දෙන්නෙක් ලෝකයට අතපය නොකඩා දායද කරල, ජීවත්වෙන මග කියා දීලා, මම මොකටද වැඩිහිටි නිවාසයකට යන්නේ… සමහර විට ඇය මේ විදිහට හිතන්නත් ඇති. සමහර අම්මලා තාත්තලා දරුවන් තමන්ට හැකි විදිහට සැලකුවත් වැඩිහිටි නිවාස සොයා ගෙන ගිහින් දරුවන් නොසලකන බව ලෝකයට කියා පාන කාලයක ගීතාගේ තීන්දුව ඉතා නිවරැදියි. ඇයට අවශ්‍ය වුනේ දරුවන් සමග ජීවත් වෙන්නයි. ආර්ථික වශයෙන් අම්මාට බලන්න ඔවුන්ට නොහැකියාවක් තිබුනේ නැහැ.

ඒත් පුතා අම්මාව වැඩිහිටි නිවාසයකට ඇතුලු කරන තීරණයේ ඉතාම දැඩිව සිටියා. ගීතාගේ තීරණය ගැන අමනාපයෙන් පසුවුන පුතා ගීතා නිවාස අඩස්සියයේ තබා ඇයට ආහාර දීම පාලනය කරන්න පටන් ගත්තා. මේ නිසා රුධිරපීඩනය අඩු වෙලා ගීතා  ක්ලාන්ත වුනාම පුත් රාජා විසින් ඇයව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර යන්න ගියේ රෝහල් බිල පියවන්න මුදල් රැගෙන එන්නම් යනුවෙන් ගීතාට සඳහන් කරමින් වුනත් ආයේ නම් පුතා ඒ රෝහල පැත්ත පළාතට ආවේ නැහැ. මේ අතර ඉන්දියාවේ බොලිවුඩ් තිරයේ උදවියට මේ ගැන ආරංචි වුනා. “අශෝක් පන්ඩිත්” (Ashoke Pandit) විසින් රෝහල් බිළ පියවා ඇය වැඩිහිටි නිවාසයකට ඇතුලත් කරනු ලැබුවා. ගීතාගේ රෝහල් බිල ඉන්දියානු මුදලෙන් රුපියල් ලක්ෂ 1.5 ක් වුණා.

වැඩිහිටි නිවාසයේදි ගීතාට හොදින් සැලකිලි ලැබුණා. පසුගිය උපන්දිනයත් මේ නිවාසයේදී ඉතාම උත්කර්ෂවත් විදිහට සිදු වුනා. ඒත් අම්මා කෙනෙක් විදිහට ඇගේ හිතේ තිබුන පාලුව, ශෝකය සහ ආත්මීය පසුතැවිල්ල දුරු කරන්න වැඩිහිටි නිවාසයේ අයට හැකි වුනේ නැහැ. ඇය හැම දවසක්ම පටන් ගත්තේ අද මගේ දුව හෝ පුතා ඇය බලන්න ඒවි යන බලාපොරොත්තුවෙන් බව එම නිවාසයේ පරිපාලනය සදහන් කරනවා. ඒත් මියයන තෙක්ම ඒ අම්මාගේ ආසාව ඉෂ්ට වුනේ නැහැ.

ගීතා කපූර් කුඩා කාලයේ පටන්ම නර්තනයට ප්‍රිය කළ අතර ඇය තමාගේ හැකියාවන් දියුණු කර ගත්තේ “ෆාරා භාන්” ගේ නැටුම් කණ්ඩායමට සම්බන්ධවයි. එතැනින් පසු ගීතා “කුච් කුච් හෝතා හෑ” චිත්‍රපටයෙන් ප්‍රෙක්ෂකයන් අතර ජීවත්වුනා. ඇය දායක වුන චිත්‍රපට සංඛයාව සියයකට අධිකයි. “පාකිෂා” චිත්‍රපටයේ ගීතා ප්‍රධාන චරිතය රඟපෑම නිසා රසිකයන් අතර ජීවත්වෙන්න පටන් ගත්තා.

ඒත් ජාත්‍යන්තර තලයේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ කාන්තාවක් වුනත් මවක් විදිහට ඇයගේ ජීවිතය අවසාන වුනේ ඉතාම අවාසනාවන්ත විදිහටයි. මේ ගැන අපිට පැතිකඩ දෙකක් තිබෙනවා. කොතැනක හෝ වැරදීමක් සිද්ධ වෙලා ඇති. සමහර විට දරුවන් මෙහෙම කියාවි… අම්මා කෙනෙක් විදිහට අපට ඇගෙන් ආදරය, ආරක්ෂාව සහ රැකවරණය ලැබුනේ නැහැ. ඒත් ඇය ඔවුන් මේ ලෝකයට බිහි කළ අම්මා බව නම් අමතක කිරීම කිසිසේත්ම සාධාරණීය කිරීමට බැහැ.

දරුවන් රජුන් කළත් දෙමව්පියන්ගේ ජීවිතයේ සැදෑකාලය මේ විදිහට ගෙවෙන්නත් පුලුවන්.

දරුවාගේ පැමිණිලි ඔබත් ඉස්මුදුනින්ම පිළිගන්නවාද?

තුන වසරේ ඉගෙනුම ලබන පුංචි පුතා උදෙන්ම අරගෙන ආවේ මේ විදිහේ පණිවිඩයක්…!

“අපේ නංගි ඉස්කෝලෙ එන්න බැහැ කියනවා… ටීච එයාට ගහනවාලු.. ඒ නිසා හැමදාම උදේට නංගි ඉස්කෝලේ එන්න බැහැ  කියනවා…” පුංචි පුතාගේ පැමිණිල්ල එයයි.

ඒත් ගුරුතුමියට මෙය තේරුම් ගන්න බැරි තරම් ගැටලුවක්. පංතියේදී කිසිම දරුවෙකුට ඇය දඬුවම් කලෙත් නැහැ. පංතියේදී කිසිම දරුවෙක්ගෙන් දඬුවම් කරන්න තරම් වරදක් වුනෙත් නැහැ. ඇය තනියම කල්පනා කලාය. උදේ පැමිණිල්ල සිදු කල පුතාගෙන් නම දැනගත් ගුරුතුමිය මේ චෝදනා නගන දියණියගේ පොත් පත් පරීක්ෂා කළාය. එහි කිසිම පසුගාමී බවක් තිබුනෙත් නැහැ. මේ දියණිය මෙසේ බොරුවට ගතු කියන්නේ ඇයිදැයි හිතා ගැනීමටත් නොහැකි තරම් ගැටළු සහගත විය.

“ඇයි දුවට පංතියේ වැඩ අමාරුද…?”

“නැහැ…”

“ඔයාට මොනව හරි තේරෙන්නේ නැත්නම් මට කියන්න.. මං ආයෙම කියල දෙන්නම්..” ගුරුතුමී කීව්වා.

ඒත් මේ පුංචි දියණිය තමාට අපහසුතාවයක් තිබෙන බව කිව්වේ නැහැ.

විවේක වේලාව තුළ අයියාට කතා කරන්නැයි ගුරුතුමී දියණියට කියා සිටියේ ඇය උදේට අඬන කාරණාව ගැන දැනගැනීමටයි. ඒත් දියණිය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි. කොහොම වුනත් එදා දවසේ පංතියේ ඇය ගැනම ගුරුතුමිය අවධානය යොමු කලේ මේ චෝදනාව නිසා ඇති වුන කම්පනයත් සමගයි.

දවස අවසානයේදී ඇය නැවත කුඩා දියණියට කියා සිටියේ අයියාව තමාට මුණ ගැසීමට කටයුතු කරන ලෙසයි. ඒත් ඇය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි.

“එහෙමනම් අපි යමුකෝ ගේට්ටුව ලගට අයියා එතනට ඒවි නේ..” ගුරුතුමිය දියණිය සමග පාසල් ගේට්ටුවව වෙත ගියාය. එතැනදීත් ඇය අයියාව ගුරුතුමියට මුණගැසීමට බාධා කරමින් හැසිරුනත් හදිසියේම එතැනට පැමිණියේ මේ කුඩා දියණියගේ මවයි. ඇය පංති බාර ගුරුතුමියගේ මිතුරියකි.

දැන් අම්මාට සතුටුයි. තමාගේ මිතුරියක් දියණියගේ පංති බාර ගුරුතුමිය වීම නිසා ඇයටත් අස්වැසිල්ලකි. ඒත් තමා වසර ගණනාවක් දන්නා හදුනනා පරිදි කුඩා දියණියට සැර පරුෂ ලෙසින් සලකන කුරිරු චරිතයක් තමාගේ මිතුරියට නොමැති බව ඇය හොඳාකාරවම දනී. ඒ වගේම මේ ගැන තමා විදුහල්පතිට හෝ වෙනත් අයෙකුට පැමිණිලි නොකිරීම මොන තරම් වටිනවාදැයි ඇය තනිවම සිතුවාය.

“මොකද දුව උදේට කලබල කරන්නේ..?” ගුරුතුමී ඇසුවාය.

දියණියගේ මව නිරුත්තර වුනේ පුතා මේ පණිවිඩය ගුරුතුමියට සඳහන් කළ වගක් ඇය නොදන්නා නිසාය. දියණියගේ චෝදනාවන් ගැන පැමිණිලි කිරීමට ඇය උනන්දු වූයේත් නැහැ.

“අනේ දන්නේ නැද්ද ඉතින්… මං ඒවා ගණන් ගන්නේ නැහැ… ඊටත් ඔයා ගැන මම දන්නේ නැතුවායැ…” ඇය කීවාය.

“ඔයා කොහොමද දන්නේ…”

“මට ඔයාගේ පුතා කිව්වා…”

“අනේ බලන්නකෝ… පණ්ඩිත වැඩ… මං නිකමටවත් එහෙම කියන්න කිව්වෙත් නැහැ..” ඇය කීවාය.

“නෑ එහෙම කියපු එක හොඳයි…”

ඇත්තටම පාසල, පංතිය, ගුරුවරුන් මුල් කර ගෙන දරුවන් කියනා ගතු සියල්ල හැම විටම සත්‍ය නොවේ. තමාගේ වාසිය මුල් කර ගෙන ඔවුන් ඉතා ලස්සනට ප්‍රබන්ධ ගෙතීමට සමර්ථයන්ය.මේ නිසා දරුවන් ගෙනෙන පැමිණිලි ගැන එකහෙලාම තීන්දු තීරණ ගැනීම එතරම් සාධාරණ නැත.

මුලින්ම වටපිටාවෙන් සොයන්න

පංතිභාර එහෙම නැත්නම් විෂය බාර ගුරුතිමිය හෝ වෙනත් අයගෙන් තමාට හිරිහැර සිද්ධ වෙන බවට ඔබේ දරුවාත් පැමිනිලි කරන්න පුලුවන්. එ වගේ අවස්ථාවකදී වටපිටාවෙන් ඒ ගැන විපරම් කරන්න. තවත් අය විසින් මකියන තොරතුරු මේ සිද්ධියට සාධාරණ නම් ඒ ගැන ඉදිරි පියවර ගැනීම ඇත්තටම සිද්ධ විය යුත්තක්.

පැමිණිල්ලට පෙර දෙවතාවක් හිතන්න

ඇතැම් දෙමව්පියන් ඉතා සුලු දෙයට පවා පැමිණිලි කිරීම සිරිතක් සේ කරන කටයුත්තක්. ඒත් ඔබ ඉක්මන් නොවන්න. පැමිණිලි කිරීමට පොතුව මේ සිදුවීම ඔබටම විසඳා ගන්න පුලුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් කියන දේ මතම යැපෙන්න එපා.

බොරුවේ ආදීනව දරුවාට කියා දෙන්න

දරුවන් තමාගේ කුමන හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් බොරු කීමට උනන්දු වන්නේ නම් එහි ආදීනව ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න.

තමාගේ දරුවා වුනත් නිවසට ගෙනෙන හැම පැමිණිල්ලක්ම සාධාරණ නැත. ඒ නිසා මේ ගැන දෙවතාවක් හිතන්න. ඔවුන්ට යම් යම් අපහසුතාවයක් එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති  වුනොත් ඒ ගැන විවිධ විදිහට චෝදනා නගන්න පුලුවන්. කිසිම විටෙක ඒ ගැන කලබල නොවී මධ්‍යස්ථ සිතින් එහි පසුබිම විමසා බලන්න. එවිට ඇත්ත සහ නැත්ත අතර තිබෙන පරතරය ඔබට අවබෝධ වේවි.

අද දරුවන්ට ඉවුම් පිහුම් සිම්පල් මෙන්න මේවා නිසයි

ඉස්සරකාලයේදී නම් ගැහැණු දරුවන්ට උයන්න පිහන්න අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය වුනේ නැහැ. ඊට හේතුව වුනේ අම්මා, අක්කා, නැන්දා, පුංචිඅම්මා සමග ගැහැණු දරුවාත් නිරන්තරවම මුලුතැන්ගෙදර වැඩකටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා.ඒත් කාලයත් සමග ගැහැණු දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් යොමු වීම නිසා ඔවුන් මුලුතැන්ගෙයින් යම්තාක් දුරකට දුරස් වුනා. අධ්‍යාපනය ලැබීමෙන් පසුව ගැහැණු දරුවන් ආහාර වට්ටෝරු පොත් පත් අරගෙන එහෙම නැත්නම් පුද්ගලික ඉවුම් පිහුම් පංතිවලින් උයන පිහන කටයුතු ඉගෙන ගත්තා.

ඔන්න ඔය විදිහට කාලය ‍ගෙවෙද්දී තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුලුතැන්ගෙයටත් දිෂ්ටි හෙලන කාලයක් නොදැනීම ආවා. දැන් අපේ ගැහැණු දරුවන්ට උයන්න පිහන්න පහසුවෙන් ඉගෙන ගන්න විද්‍යුත් තොරතුරු සන්නිවේදනයෙන් හැඩ ගැනුන සමාජාල කීපයක්ම තිබෙනවා. මේ එයින් කීපයක්…

යූ ටියුබ් – You Tube

යූ ටියුබ් අද ඉතාම සමීපව කටයුතු කරන්නේ යොවුන් පරම්පරාව සමගයි. ඒ නිසා ගැහැණු පිරිමි විශේෂයක් නැතුව කාට වුනත් උයන්න යමක් ඉගෙන ගන්න අවශ්‍ය නම් යූ ටියුබ් ඔස්සේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා.

ඉන්ස්ටග්‍රෑම් – Instergram

මිලියන ගණනක තොරතුරු බෙදා හරින ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවිය මගින් ඉගෙන ගැනීමට ලැබෙන අත හිත ඉතාම විශාලයි. ලෝකයේ විවිධ රටවල ආහාරපාන ඉතාම වර්ණවත්ව ඉදිරිපත් වෙන හැටි දැක්කාම කොටින්ම කිව්වොත් දැක්ක ගමන් කන්න හිතෙන තරම් ආකර්ශනයක් ඇති වෙනවා. ඒ නිසා උයන්න පිහන්න කැමැති කාට වුනත් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ ආහාරපාන සකසා ගන්න දැනුම ලැබේවි.

පින්ටර්සෙට්- Pinterset

ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියක් වන මෙම සමාජාලය ඔස්සේ ලෝකයේ ඒනෑම රටක ආහාරපාන ඔබේ නිවසේ එබේ මුලුතැන්ගෙයි පිලියෙල කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හරියට බලා ඉන්නවා වගේ දැනුමක් ලබා ගන්නත් හැකියාව ලැබෙන්නේ මේවා වීඩියෝ දර්ශන මගින් ඉදිරිපත් කරන නිසයි. ඉතින් ඔබ කැමැති ආහාර වට්ටෝරු පින්සෙට් නරඹමින් පිලියෙල කර ගන්න අපහසුවක් නැහැ.

බිග් අවන්- Big Oven

ඉතාම සරල සහ ආකර්ශණීය අන්දමින් ආහාර වට්ටෝරු පිලියෙල කර ගැනීමට අවශ්‍ය දැනුම මේ වැඩසටහන ඔස්සේ පවුලේ කාටත් ලබා ගන්න පුලුවනි. මේ වැඩසටහනේ ආහාර වට්ටෝරු තුන් ලක්ෂ පණස් දහසකටත් වඩා අඩංගුයි.ඔබට අවශ්‍ය ආහාර වට්ටෝරු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට එහෙම නැත්නම් අපි ඔබට හොඳින් හුරු පුරුදු විදිහට කිව්වොත් “save” කර ගෙන අනාගතයේදී නැවත බලන්න පුලුවන්. ඒ විතරක් ‍නොවෙයි, ඔබ දන්න ආහාර වට්ටෝරු මේ වෙබ් අඩවියට ඇතුලත් කරන්න පුලුවන්.

රොපෝසේ – Roposo

ඉන්දියානු සමාජජාලයක් වන මෙම වැඩසටහන ඔස්සේ ආහාර වට්ටෝරු ඉගෙන ගැනීමට වගේම ඔබේ අත්දැකීම් අනුව ඔබ දන්නා දේ ඇතුලත් කිරීම හෙවත් upload කරන්නත් පුලුවන්. මෙහි වඩාත් ප්‍රසිද්ධ වැඩසටහන අතරට ඇතුලත් වෙන්නේ Hungry T.V වැඩසටහනයි. වීඩියෝ දර්ශන ලබා දෙන අතර පසුබිමෙන් සංගීතයක්ද ඇසෙනවා. මේ නිසා උයන පිහන කටයුතු ඉතාම විවේකීව සහ සතුටින් අත්විදින්න දැන් කාටත් අවස්තාව තිබෙනවා.

ඒ වගේම ඔබ අලුත් ආහාරයක් සෑදීමෙන් ලැබෙන තෘප්තිය බෙදා හදාගෙනම රස බලන්න අවස්ථාව දැන් ඉතාම පුලුල්ව ලැබෙනවා. ස්වයංරැකියාවක් විදිහට ආහාරපාන සකස් කරන අයටත් මේ සමාජාල ඔස්සේ වෙළදපොල අවස්ථිවන ලබා ගන්නත් පුලුවන්. එයින් ස්වයං රැකියාවන්ටත් නොදැනීම වෙළදපොල සකස් වෙනවා.

උෂ්ණ අධික පරිසරය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක්ද?

දරුවන්ගේ ඇතැම් හැසිරීම් අපිට තේරුම් ගන්නත් අපහසුයි. ඒ තරමටම පොඩිඑවුන් තේරුම් ගැනීම අපිට අසීරුයි.මේ නිසාම දරුවන්ගේ අධ්‍යාපනයේදි ඔවුන්ට බලපාන අපි නොදකින පැත්තක් තිබෙනවා. පාසල් වැඩ කටයුතු වෙනුවෙන් දරුවන් දක්වන පසුගාමීත්වය එහෙමත් නැත්නම් අදක්ෂතාවයට උෂ්ණත්වයත් බලපෑමක් සිදු වෙන බව දැන් අනාවරනය කර ගෙන තිබෙනවා.

ඇත්තටම මේ පිළිබඳව අත්දැකීම් ඔබටත් ඇති. පාඩම් කරන්න කිව්වාම “මට දැන් බැහැ රස්නෙයි… කියල දරුවා කිව්වොත් ඔබේ පිළිතුර…” මුහුණ කට හෝදාගෙන ඇවිත් පාඩම් කරන්න යන පිලිතුර විය හැකියි. ඒත් දරුවා මේ වචන පිටකරන්නේ කටට ආවාටම නොවන බව දැන් නම් පෙනී යනවා.

කිසිම කෙනෙක් නොසලකා හිටියත් හාවඩ් මේ අධ්‍යනයට “යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා” , ‍ජෝර්ජියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය සම්බන්ධ වුණා. මෙම විශ්ව විද්‍යාල  මගින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී යන්නේ උෂ්ණත්වය දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි බලපෑමක් කරන බවයි. කොටින්ම මෙම අධ්‍යනය “ඉහල උෂ්ණත්වය සහ අවම ප්‍රතිඵල” යනුවෙන් නම් කලොත් සාධාරණයි.

ඔවුන් මේ අධ්‍යනය වෙනුවෙන් හඹා යෑම හෙවත් අන්වායෑම පර්යේෂණ ක්‍රමය යොදා ගත්තා. ඔවුන්ගේ නියැඳිය වෙනුවෙන් විශාල පරාසයක සිසුන් සම්බන්ධ කර ගත් අතර එම අධ්‍යනය 2001වසරේ පටන් 2014 දක්වා වූ වසර 13 ක කාලයක් පුරා සිද්ධ වුණා. මෙම වසර දහතුනක කාලය තුළ ද්විතියික පාසල් අධ්‍යාපනය ලබන මිලියන දහයකගේ විභාග ලකුණු සම්බන්ධ කර ගැනීමට පර්යේෂකයන් උනන්දු වුණා. එහිදී පැහැදිලිව පෙනී ගියේ උෂ්ණත්වය වැඩි වසරවලදී ශිෂ්‍යන්ගේ විභාග ප්‍රතිඵල එතරම් සාර්ථක නැති බවයි.

ග්‍රීෂ්ම කාලයේ විභාග වෙනුවෙන් පෙනී සිටි දරුවන් මේ උෂ්ණත්වය තමන්ට විභාග ලිවීම වෙනුවෙන් බාධාවක් බව කියා සිටියා. කොහොම වුනත් උෂ්ණත්වය සහ අධයාපනය අතර සහසම්බන්ධතාවයක් තිබෙන බව දැන් පැහැදිලියි. උෂ්ණත්වය ඉහළ යන විට පාසල් දක්ෂතා පහළ යාම පළමු වරට පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමට හාවර්ඩ්, යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස්, සහ ජෝර්ජියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික පර්යේෂණ පිලිබඳ ජාතික කාර්යාංශය මගින් පළ කරන ලද දැන්වීමක සඳහන් වෙන අන්දමට දරුවන්ගේ ඉගෙණුමට ශීත කාලගුණ තත්වය උෂ්ණ කාලගුණයට වඩා හිතකරව බලපාන බවයි. ඒ වගේම දරුවන් වෙනුවෙන් පැවරෙන ගෙදරවැඩ වෙනුවෙනුත් උෂ්ණාධික පරිසරය අහිතකර අන්දමින් බලපා තිබෙන බැව් මෙම අධ්‍යනයේදී පෙනී ගිය කරුණක්.

වසරකදී ඉහළ යන හැම සෙල්සියස් අංශක 0. 55 කටම ඉගෙනීමේ දක්ෂතාවයන් 1% කින් පහළ යන බව ඔවුන්ගේ අදහසයි. ඒ වගේම උෂ්ණත්වය අහිතකර විදිහට බලපෑම් ඇති කරන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ඉක්මවා ගියාට පසුව බවත් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඒ නිසා දාඩිය ඇති හැම දවසක්ම ඉගෙණුමට හොඳ නැහැ යන මතයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය නැහැ.ඒ අතරම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විට බලපෑම වැඩි වෙනවා.වායුසමීකරණ භාවිතා කරන යහපත් ආර්ථික පරිසරයක සිටින දරුවන් උෂ්ණත්යෙන් පීඩා විදීමට විකල්ප සපයා ගන්නවා.

ඉස්සර අපේ රටේ වුනත් තිබුනේ එලිමහන් පංති කාමර ගැන ආයෙමත් හිතන්න පුලුවනි. පුටුවක් අරගෙන පාසල් වත්තේ තිබෙන ගසක් වටා රවුමට හිඳගෙන අකුරු කරපු කාලයක් අපිට තිබුණා. දැන් නම් කොන්ක්‍රිට් නිසා ඒවා ටිකෙන් ටික අපෙන් ඈතට ගිහින්.

තවම අපි ප්‍රමාද නැහැ..

ඒ වුනත් අපිට තවම වුනත් එලිමහන් පංති කාමර ගොඩ නගා ගැනීමට පුලුවන්. නිවසේදී උෂ්ණත්වය අධික දවසට හොදින් සුලං හමන තැනක් තෝරා ගන්නත් පුලුවන්. සමහර දරුවන් බැල්කනියේ පාඩම් කරන්න යොමු වෙන්න පුලුවනි. ඒ වගේ වේලාවට “පුතා යන්න..කාමරයට..ඔතන පාඩම් කරන්න පුලුවන් තැනැක්ද..?” යනුවෙන් අණදීම ඉදිරියේදී නවත්වන්න වෙන හැඩයි. මොකද කිව්වොත් උෂ්ණත්වය දරුවාගේ අධ්‍යාපනයට ඇවැසි පරිසර තත්වයට බලපාන නිසා හීල් හෙවනක පාඩම් කරන අවසරය සහ නිදහස ඔවුන්ට ලබා දීම ඉතාම වැදගත්.

දරුවන්ගේ මානසික ආතතිය පිට කරන කායික රෝග ගැන දන්නවාද?

කුඩා දරුවන් නිතර කායික රෝග ලක්ෂණ ගැන පැමිණිලි කිරීම  දෙමව්පියන්ට පුරුදු අත්දැකීමකි. මෙබඳු අවස්ථා වල දෙමව්පියන් නිතර වෛද්‍යවරුන් කරා රැගෙන යාමද විවිධ පරීක්ෂණ සිදු කිරීමද  සිදු වේ. නමුත් ඇතැම් විට දරුවන් විවිධ අමාරු ගැන පැමිණිලි කළද ඊට හේතු විය හැකි රෝගයක් නැතැයි වෛද්‍යවරුන් පවසන අවස්ථා ඇත. කායික රෝග ලක්ෂණ ලෙස මතු විය හැකි මානසික ගැටළු මොනවාදැයි අද සලකා බලමු.

දරුවන් තුළ ඇති විය හැකි මානසික ආතතිය බොහෝවිට කායික රෝග ලක්ෂණ ලෙස මතුපිටින් පෙනිය හැක. උදාහරණයක් ලෙස අධික ආතතියෙන් පෙලෙන දරුවන් නිතර හිසරදය , බඩ රිදීම , පපුව රිදීම , ඇගේ වේදනා වමනය , ක්ලාන්තය ආදියෙන් පෙලෙනු අපි දකිමු.  නීරෝගී දරුවන් පවා කිසියම් පීඩාකාරී අත්දැකීමකින් පසු මෙවැනි ලක්ෂණ දැක්විය හැක. නමුත් එය ඉක්මනින් සුව වන අතර එම ලක්ෂණ වලට හේතු විය හැකි කායික රෝගයක් නොමැත.

නමුත් දිගින් දිගටම දරුවා අධික ආතතියෙන් පෙලේ නම් මෙම ලක්ෂණ නැවත නැවත ඇති විය හැක. විශේෂයෙන්  ශිෂ්‍යත්ව පන්තිවල දරුවන් මෙවැනි කායික රෝග ලක්ෂණ ඇතිව පැමිණීම රෝහල් වල ළමා සායන වල අපට නිතර දැකිය හැක. මෙම තත්වය නිවැරදිව හදුනා නොගැනීමෙන් දරුවාට මෙන්ම පවුලටද ගැටළු ඇතිවිය හැකිය. දෙමව්පියන් මේ දරුවන්ව නිතර නිතර වෛද්‍යවරු කරා රැගෙන යාමට පෙලබෙන අතර අනවශ්‍ය පරීක්ෂණ වලට ද ලක් විය හැක. කායික වෛද්‍යවරුන් රෝගයක් නැති පැවසු විට දෙමව්පියන් වෙනත් විවිධ වෛද්‍යවරුන් කරා දරුවා රැගෙන යාමට පෙළබේ. එමෙන්ම මෙය පාසල් ගමන අතපසු වීමටද ඒ හේතුවෙන් අධ්‍යාපනය දුර්වල වීමද සිදු විය හැක. එමෙන්ම මෙය දෙමව්පියන්ටද දැඩි පිඩාවක් ගෙන දිය හැකි හා පවුලේ සාමාජිකයින් අතර මත ගැටුම් ඇති විමට හේතුවක්ද විය හැකියි.

මේ දරුවෝ තමාට දැනෙන ඉතා සුළු කායික සංවේදනයක් ගැන පවා පමණට වඩා සැලකිලිමත් වෙති. ඒ ගැන දිගින් දිගටම සිතා බියට පත් වෙති. ඒ හේතුවෙන් පාසල් යාමට ප්‍රතික්ෂේප  කිරීමට පෙලබෙති. අනෙක් අතට දෙමව්පියෝ ද අනවශ්‍ය ලෙස බිය වී සුළු කායික ලක්ෂණයකට පවා අනවශ්‍ය ලෙස ප්‍රතිකාර සොයා යාමද අපි දකිමු. මෙය දරුවාගේ බිය තවත් වැඩි වීමටද , එම තත්වය තව දුරටත් පවතිමටද මුල් විය හැක.

විවිධ හේතු මත ( උදා : පාසැල මාරු කිරීම, යහළුවන් සමග ගැටළු ඇති වීම , අධ්‍යාපනික ගැටළු , පවුලේ ගැටළු, අපචාර වලට බදුන් වීම) අධික ආතතියෙන් පෙලෙන, ශාරීරික ලක්ෂණවලට අධික ලෙස සංවේදී , ආත්ම ශක්තිය අඩු , සෑම සුළු දෙයක් ගැනම අධික ලෙස තැති ගන්නා චරිත ලක්ෂණ ඇති දරුවන් තුල මෙම තත්වය බහුලව දැකිය හැක. එසේම මේ ලක්ෂණ විෂාදය හා කාන්සාව වැනි රෝගයක ලක්ෂණයක්ද විය හැක.

මනස හා ශරීරය ස්නායු මාර්ග මගින්ද, හෝමෝන මගින්ද සබදතා පවත්වා ගනී. රුධිරය මගින් රසායනික ද්‍රව්‍ය නිරන්තරයෙන්න්ම මොලය හා ශරීරය අතර හුවමාරු වේ. මේ නිසා අපේ සිතුවිලි ,හැගීම් හා මානසික ආතතිය  ශාරීරික වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් ලෙස අධික කණගාටුවෙන් සිටින විට සුළු වේදනාවල් පවා ඉතා දරුණු ලෙස දැනි ය හැක. එසේම කායික රෝග මගින් මිනිසාගේ සිතිවිලි හා හැගීම් වෙනස් කල හැක. ඉහත විස්තර කල ශාරීරික ලක්ෂණ වලට හේතු වන්නේ මනස හා හරීරය අතර ඇති මෙම සම්බන්ධතාවයයි.

මෙම තත්වයේදී දරුවා ට දැනෙන කායික ලක්ෂණ සැබෑ ලක්ෂණ වන අතර ඒවා මවා ගත්  ඒවා යයි දඩුවම් කිරීම සුදුසු නොවේ. මිට පිලියම්දීමේ මුලික පියවර  අත්‍යවශ්‍ය පරීක්ෂණ මගින් කායික රෝගයක් නැති බව තහවූරු කර ගැනීමයි. වෛද්‍යවරුන් සමග කතා බහ කර හොද සබදතාවයක් පවත්වා ගැනීමෙන් දෙමව්පියන්ගේ සිත් තුල ඇතිවන පීඩනය පාලනය කර ගැනීමද ඉතා වැදගත් වේ. මන්ද දෙමව්පියන් තුල ඇතිවන ආතතිය නොදැනුවත්ව දරුවාට බලපෑමෙන් එය මෙම තත්වය දීර්ඝ කාලීනව පැවතීමට හේතුවක් විය හැකි බැවිනි.

අනවශ්‍ය ලෙස රෝහල් කරා දරුවා ගෙනයාම , අනවශ්‍ය පරීක්ෂණ වලට යොමු කිරීම  ආදිය අවම කිරීමට වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුයි. හැකි තරම් දරුවාගේ සාමාන්‍ය ජිවිතයේ කටයුතු වල දීමට දරුවා උනන්දු කරන්න. එම කායික ලක්ෂණ වලට අනවශ්‍ය ලෙස අවධානය දීමෙන් වලකින්න. මේ තත්වයේදී දරුවාට තමන්ගේ කටයුතු ස්වාධීනව කර ගැනීමට ඉඩ දීම වැදගත්ය. දරුවාට අධික මානසික ආතතියක් ඇති විය කරුණු හැකි තරම් හදුනා ගෙන පිළියම් යොදන්න. මේ සදහා පාසලෙන් , උපදේශකවරුන්ගෙන් හා මනෝ වෛද්‍ය වරුන්ගෙන් සහය ලබා ගත හැකිය.

ඉහත විස්තර කල ලක්ෂණ වලට අමතරව කලාතුරකින් එකවර කතා කිරීමට නොහැකි වීම , අත පය පන නැති වීම , සිහි නැතිවීම , වලිප්පුවට සමාන රෝග ලක්ෂණ ආදියද දක්නට ලැබේ.

බොහෝ අවස්ථාවල චර්යාත්මක ප්‍රතිකාර මගින් මේ තත්වයට උදවු ලබා දිය හැකි වේ.  නමුත් ඇතැම් විට ඖෂධිය ප්‍රතිකාරද අවශ්‍ය විය හැක. මෙයින් සම්පුර්ණයෙන් සුවය ලැබීමට කල් ගත විය හැක. ප්‍රයෝගිකව අප දකින ගැටළුවක් වන්නේ දෙමව්පියන් ක්ෂණික විසදුම් අපේක්ෂා කිරීමයි. ඒ නිසා ඔවුන් පිඩනයට පත් වීමෙන් දරුවාට ඔවුන්ගෙන් ලැබිය යුතු සහය නොලැබී යා හැකියි. එබැවින් දෙමව්පියන්  දැනුවත් වීම හා ඉවසිලිමත්ව වැඩ කිරීම ඉතා වැදගත්  වේ. වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් වැඩ කිරීම දරුවාගේ ගැටලුව විසදා ගැනීමට පිටුවහලකි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

පුතා ඉස්කෝලේ යන්න බැහැ කියනවද ?

කිසිම කරදරයක් නැතුව පාසල් ගිය ඔබේ දරුවා හිටිහැටියේම පාසල් යන්න බැහැයි කියමින් කලබගෑණයක් කරන්න ගත්තොත්… එහෙම නැත්නම් උදේට පාසල් යන කාලව්ලාව ගෙවෙන තුරු විවිධ රෝගාබාධ ගැන පැමිනිලි පටන්ගත්තොත් ඔබ නිහඩ විය යුතු නැහැ. ඒ වගේම දරුවාට දඬුවම් පමුණුවමින් පාසල් යන්නත් උත්සාහ ගන්න එපා.

එහෙමනම් කරන්නේ මොකද…? ගෙදර තියා ගන්නයැ…

දරුවාගේ මේ පසුබෑමට බලපාන හේතුවක් කොතැනක හෝ ඇති. ඇතැම් දරුවන් පාසල් ගේටුටුවෙන් ඇතුලු වුන තැන පටන් පාසල අවසාන වෙන තෙක් සිද්ධ වුන හැම දේම චිත්‍රපටියක් වගේ දෙමව්පියන්ට කියනවා. තවත් අය මේ කිසිවක් නොකියා අවශ්‍ය දේ පමනක් දෙමව්පියන්ට කියනවා. තවත් දරුවන් කොටසක් කිසිම දෙයක් මව්පියන් සමග බෙදා හදා ගන්නේ නැතුව තමා විසින්ම තනියම දරා ගැනීමට උත්සාහ කරනවා. ඔය කණ්ඩායම් තුන අතරින් ඔබේ දරුවාත් තුන්වැනි කණ්ඩායමට ඇතුලත් වුනොත් තත්වය දරුනුයි. ඔබ නොකීවාට දරුවාට පහත දරකුවෙන අන්දමේ කුමන හෝ අසීරුතාවයක් ඇති. ඔහු පාසල් ගමනට පසුබෑම් කරන්නේ ඒ නිසා වෙන්නැති.

විෂය අපහසුතාවයන්

පංතියක උගන්වන දෙය හැම දරුවෙකුටම එක හා සමාන විදිහට ධාරනය කර ගන්න බැහැ. එය එක් එක් දරුවාගෙන් වෙනස්. මේ නිසා පංතියේදී දරා ගැනීමට අපහසු දෙය වෙනුවෙන් ඔවුන්ට උදව් අවශ්‍ය වෙනවා. ඒත් ඔබ ඒ ගැන නොදන්නේ දරුවා කිසිම දිනක මේ ගැන පැමිණිලි නොකරන නිසා වෙනන් පුලුවන්. නිතරම ඔවුන්ගේ පොත් පත්, පංතියේ පැවරුම්, ලැබෙන ලකුනු ගැන උනන්දුවෙන් බලන්න. එවිට වැරදුන තැන කොතැනද කියලා ඔබට තේරුම් ගනන් පුලුවනි. එසේ නොමැතිව විෂය නිසා අසීරුතාවයට වැටෙන දරුවා ප්‍රතිචාර දක්වන්නේ “මට ඉස්කෝලේ යන්න බැහැ…” කියන විදිහට විය හැකියි.

පංතියේ අඩන්තේටට්ම්

අද පංතියක වුනත් දරුවන් අතර හැසිරීම් ඉතාම වෙනස්. ඉහළ පංතිවල දරුවන්ගේ අඩන්තේටට්ම් වගේම සම වයස් කන්ඩායම් අතරත් අඩන්තේටට්ම් තිබෙනවා. පසුගිය දිනක නව යොවුන වියේ දරුවෙන් නිවසේ විදුලි පංකාවක එල්ලී සිය දිවි හානි කරගත්තේ පංතියේ දරුවන්ගේ සමච්චල් ඉවසා ගැනීමට බැරුවයි. එතෙක්ම දරුවා මේ ගැන දෙමව්පියන්ට පවසලා නැහැ. මේ තැනට නම් වගකීම පාසල් මටටමින් සිදු වෙනන් ඹ්න. අද බොහෝ පාසල්වල ගුරුවරුන් නොමැති අවස්ථාවල ඒ කාලච්ඡේද වෙනුවෙන් දරුවන්ට වැඩ කොටසක් පැවරෙන්නේ නැහැ. එවිට දරුවන් අයාලේ යෑම නිසා මේ වගේ සිද්ධින් වලට මුලින්ම මුල පිරීම ඇති වෙනවා. ඒ නිසා පංතියක් මොනම වේලාවකවත් ගුරුවරුන්ගේ අවධානයෙන්මිදීම එතරම් සුබදායක නැහැ. වෙනත් වැඩකට හෝ දරුවන් යොදා ගැනීම සිද්ධ වුනොත් අනවශ්‍ය විදිහට අඩන්තේට්ටම් වෙනුවෙන් දරුවන්ට යොමු වීමට කාලයක් නැහැ.

අපචාර

දරුවන්ට ඇති වෙන ලිංගික අපචාර නිසාත් මේ අන්දමින් පසුගාමිබවක් ඇති වෙන්න පුලුවන්. එක්තරා දරුවෙක් පාසලේ වෑන් රියේ රියදුරාගෙන් අපචාරයට පත් වුන අතර ඔහු එම ක්‍රියාව නිවසේදී සිදු කරන විට පියා කරුනු විමසා සිටියා. තවත් දරුවෙක් ඉහල පංතියක පිරිමි දරුවෙක් ලිංගිකව සන්තර්පනය කිරීමට ‍ගොස් මානසිකව මහත් සේ අපහසුතාවයට පත් වුනා. ඒ නිසා මේ අන්දමින් කටයුතු එදා නොවුනාට අද ඒ දේවල් සිද්ධ වෙන පරිසරයක් තිබෙන නිසා ඉතාම අවධානයෙන් සිටීම වැදගත්.

පාසලේ දැඩි විනය

ඇතැම් පාසල්වල තිබෙන වියත් සීමාව ඉක්මවා යෑම අපහසුතාවයක්. වැසිකිලි, කැසිකිලි කටයුතු වෙනුවෙන් අවසර නොලද විට දරැවා මහත් අපහසුතාවයට පත් වෙන අතර එය පංතියේදී  පවා සිදු වෙන්න පුලුවන්. එයින් ඇති වෙන අවමානය නිසාම ඔහු “මට ඉස්කෝලේ යන්න බැහැ…” ලෙස කියන්න පුලුවන්.

දඬුවම්

අද දරුවන්ට දඬුවම් කිරීම නීතියෙන් සීමා වුනත් ඇතැම් මානසික දඬුවම් නිසා දරුවන්ට සිද්ධ වෙන බලපෑම ශාරිරික දඬුවමට වඩා බලවත්.ඇතැම් අවස්ථාවන්හිදී එයින් ලැජ්ජාවට පත් වෙන්න පුලුවන්. සම වයස් අතර විහිලුවට පත් විය හැකියි. ඒ නිසා දරුවන්ට දඬුවම් ලබා දෙන විට ඉතාම සීරුවෙන් එය කිරීම අවශ්‍ය වෙනවා.

දරුවෙකුට පාසලක් එපා වෙනවා කියන්නේ සුලුපටු කරදරයක් නොවෙයි. ඔහුට අනාගත වාක්‍ය ගායනා කළාට වැඩක් නැහැ. දරුවා බලන්නේ අද දවස ගැන විතරයි. පාසලක් වෙනස් කරල වෙනස් පාසලක් ලබා ගැනීම ගලෙන් පටට්යක් ගැනීමට සමානයි. ඊටත් ජනප්‍රිය පාසලකදී මෙවන් තත්වයක් ඇති වුනොත් ඒ දරුවා ඒ පාසලෙන් අයින් කරගෙන වෙනත් පාසලකට යැවීමත් ගැටළුවක්. ඒ වගේම සාමාන්‍ය පාසලකින් මේ අන්දමට අපහසුතාවයකට පත් වෙන දරුවෙක් වෙනුවෙන් ජාතික හෝ ජනප්‍රිය පාසලක් ලැබෙයිද..? මේ දෙකම නොවෙන දෙයක්.

ඒ නිසා ළඟම පාසල හොඳම පාසල වගේම හැම පාසලකින්ම දරුවන්ට මානසික සහනයක් ඇති වෙන පරිසරයක් ගොඩ නගා ගැනීමට පුලුවන් නම් එය ඉතාම වැදගත්. සහර අවස්ථාවන්හිදී දෙමව්පියන් විසින් පංතියේදී දරුවන් විසින් කරන බලපෑම් ගැන දැනුම් දුන්නත් ඒ ගැන සලකා බැලීමට තරම් කාලයක් වේලාවක් වගේම අවධානයක් දැක්වීමට පාසල් ප්‍රධාණීන් උනන්දු නොවන්නේ මේවා ළමයි අතර සාමාන්‍ය දේවල් විය හැකිය යන පිලිගැනීම නිසා වෙන්නත් පුලුවන්. අතීතයේදී වගේ අද දරුවන් අතර කෙලි කවටකම් ඇස් රතු වෙන තැනට මිස සහසම්බන්දතාවයට නොවෙයි. ඉතාම ගුප්ත හැසිරීම් මේ අතර තිබෙනවා. අයියලාට වුනත් මල්ලී රැකබලා ගන්න දෙන්න පුලුවන් කමක් අද නැහැ. ඒ නිසා දරුවෙක් තුළ පාසල මුල් කර ගෙන කිසියම් අප්‍රසන්නතාවයක් තිබෙනවා නම් ඒ ගැන නොතකා හරීම නියපොත්තෙන් කඩන්න හැකි දේ පොරවෙන් කැපීම නොව එහි ඔඩු දුවන මුල් නිසා ජීවිතයම විනාහ කිරීමට තරම් බලවත් ගැටලු තිබෙන බව අමතක කරන්න එපා.

දරුවාගේ ආරක්ෂාවට මව්පියන් සිතිය යුතු කරුණු

විද්‍යුත් මාධ්‍යයන්ගේ බහුල වීම නිසා ලෝකයේ කොතැන කෛලස සිදු වෙන අනතුරක් අපරාධයක් ඇසිල්ලක පමාවෙන් අපට දැනගන්න ලැබෙනවා. මොනතරම් අපිට දැනුවත් වීමට මාර්ග තිබුනත් දින දිනම සමාජය පුරා දරුවන් මුල් කර ගත් අපරාධයන්ගේ ඉහළ යෑමක් මිසක් අඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දරුවන් මුල් කර ගත් අපරාධ සිදුවීමෙත් කිසිම අඩුවක් නැහැ. අනතුරු ගැන දැන දැනත් ඒවායින් මිදෙන්නට තරම් සමාජය තවමත් දැණුවත් වී නැහැ.

ඉස්සර කාලයේ අම්මා, අත්තම්මා, නැන්දා , මාමා ඇතුලු ඥාතීන් දරුවන් ආරක්ෂා කළේ ඇස් වගේයි. දරුවන් දොස්තරවරුන් , ඉංජිනේරුවන් කිරීමේ අරමුණු නොතිබුනත් ඔවුන්ගේ එකම අරමුණ වුනේ අතක් පයක් නොකඩා දරුවන් හදා ගන්නයි. සත්මහල් ප්‍රාසාද නොතිබුනත් දරුවා හිට වැටෙන කාලයට දොරෙන් පිටතට යන තැන් අසුරා දැම්මා. මිදුලේ තිබෙන ළිඳට වුනත් අනතුරු නොවෙන විදිහට ආරක්ෂා කලා. ඒත් අද දරුවාට පවුල තුලවත් මේ ආරක්ෂාව නැත්තේ ඇයි…?

මව්පියන් කාර්ය බහුලයි

මීට දශකයකට පමණ පොරතුව මව්පියන්ගේ ජීවිත ඉතාම සැහැල්ලුයි. පියා ආර්ථිකයට බර දුන් අතර අම්මාගේ ප්‍රධාන වගකීම වුනේ දරුවන් රැකබලා ගැනීමයි. ඒත් අද දෙනේනාම රැකියාවක නිරත වෙන නිසා මේ වෙනුවෙන් විකල්ප අවශ්‍යයි. දරැවන් බලා ගැනීමට යොදවන බාහිර පාර්ශවයන්ගෙන් දරුවන්ට පූර්ණ ආරක්ෂාවක් බලාපාරොත්තු වෙන්න බැහැ.

මව්පිය දූ දරු සම්බන්ධතාවය දුරස් වීම

එදා අම්මාගේ එකම සම්පත තමාගේ දරුවා. දරුවාට සිටින එකම ගැලවුම්කාරයා වුනේ අම්මා තාත්තා සහ සහ ලේ ඥාතීනුයි. ඔවුන් එදා කිව්වෙත් “මගේ මොකෝ…අක්කාගේ නංගිගේ දරුවා මොකෝ…” කියලයි. ඒත් අද දරුවා ගැන මේ විදිහට හිතන පතන සමාජයක් නැහැ. පවුල තුළ කොටින්ම කිව්වොත් තාත්තා, බාප්පා, මාමා, වෙන දෙයක් තබා සීයාගෙන් වුනත් දරුවාට අතවර වීමට තිබෙන පරිසරය විශාලයි.

අනතුරු විය හැකි වටපිටාව

අතීතයේ දරුවන් ජීවත් වුන පරිසරයට වඩා අද ඔවුන් ජීවත් වෙන පරිසරය බොහොම වෙනස්. විදුලි මෙවලම්, අනාරක්ෂිත ස්විච්, වතුර පිරුන තටාක, පොකුණු වගේම නිවසේ අයගේ ඖෂධ නිසාත් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් වෙනවා.දරුවන් කුතුහලයෙන් පිරුන කොටසක්. ඖෂධ වුනත් ඔවුන්ගේ අතට පත් වුනාම කටේ දා ගන්නේ රසයට නොවෙයි, ඒ ගැන තිබෙන කුතුහලය නිසයි. ඒ නිසා දරුවන්ගේ අනතුරු කොතැන කොයි මොහොතකද යන තීන්දු තීරණ වැඩිහිටි අපට ගැනීම අපහසුයි.

දරුවාට පවුල ගැන දැණුවත්බව ලබා දෙන්න

අද ඔබ තුරුලේ හිටියත් හෙට අනිද්දා වෙන කොට ඔහු සමාජය සමග ගණුදෙණු පටන් ගන්නවා. එය වලක්වන්න බැහැ. ඒ නිසා දරුවා තමාගේ තරාතිරම ගැන දැනගැනීම වැදගත්. මව, පියාගේ නම දුරකථන අංකය, නිවසේ ලිපිනය, රැකියාව සහ සේවා ස්ථානයේ ලිපිනය යන කරුණු ඔවුන් දැන සිටීම වැදගත්. ඇතැම් දරුවන් වයස අවුරුදු දහය පහලොවක් වුනත් අඩුම වහයෙන් මව‍ගේ පියාගේ දුරකථන අංකයවත් දන්නේ නැහැ. සමහර දෙමව්පියන්නම් දරුවාගේ පොත් පත්වල නිවසේ දුරකථන අංකය සහ දෙමව්පියන්ගේ අංක සටහන් කරනවා. හදිසි අවශ්‍යතාවයක් වුනොත් දරුවා ගැන තොරතුරු ලබා ගැනීමට මේ නිසා පුලුවනි.

අනතුරු අවදානම ගැන දරුවාටත් කියා දෙන්න

දරුවන් ගැන අමුතු ආදරවන්තකම් දක්වන පිරිස් වෙතිනුත් ආරක්ෂාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ඒ නිසා දරුවාට ඒ  ගැනත් තොරතුරු ලබා දීම වැදගත්.

මව්පියන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න

අද පවුලක් තුළ තිබෙන සන්නිවේදනය ඉතාම දුර්වලයි. උදේ පාන්දරින්ම නිවසෙන් පිටත්ව යන පවුල නැවත හවසට එක වහලක් යටතට ආවත් ඔවුන් ජීවත්වෙන්නේ විවිධ ලෝකයන්හි බව අමතක කරන්න එපා. එක් එක් අය රූපවාහිනිය, ජංගම දුරකථනය, පරිගණකය සමග නිවස තුළම හුදෙකලා වෙනවා. මේ නිසා දවසේ තොරතුරු බෙදා ගැනීමට අවස්ථාවක් නැහැ. එක් එක් අය තමාගේ දවසේ අත්දැකීම් ඔවුනොවුන් අතර බෙදා ගන්නවා නම් මත්ද්‍රව්‍ය වැනි අහිතකර දේ වෙනුවෙන් දරුවා යොමු වීමට තිබෙන ඉඩ පරිසරය වලක්වා ගත හැකියි. ඒත් අපි මේ ගැන දැනගන්නේ දරුවා මතට ගොදුරක් බවට පත් වුනාට පසුවයි.

මව්පියන්ගේ ඇවතුම් පැවතුම්

දරුමල්ලන් ලද විට දෙමව්පියන් එදා  ප්‍රවේසම් වුනා. අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්. දරුවන් නොව මුනුපුරන් ලැබුවත් දෙමව්පියන්ගේ සංවරයක් නැහැ. ඇතැම් අවස්ථාවන්හි මවගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කිරීමට පවා යොමු වුන අවස්ථාවන් තිබෙනවා. ප්‍රේමාතුර මව්පියන් නිසා අකලට මිලින වෙන මල් කැකුලු ගැනත් අපේ අවධානය යොමු වීම ඉතා දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා.

The Big Bad Wolf Book Sale / BBW Books

අපි නිතරම දරුවන් මුල් කර ගෙන නගන චෝදනාව වන්නේ “මේ ළමයි පොතක් පතක් කියවන්නේ නැහැ…”

දරුවන්ට පොත් පත් කියවීමට හුරු පුරුදු ගොඩ නගන්නනට නම් බාල කාලයේ පටන්ම කියවන සමාජයක් වෙත ඔවුන් යොමු කළ යුතුයි. මේ වෙනුවෙන් පුස්තකාල, පොත් වෙළඳසැල් සහ පොත් ප්‍රදර්ශන ඉතාම වැදගත්. ඒත් අපේ අම්මලාට ඒ වෙනුවෙන් යොමු වීමට කාල වේලාවක් ඇත්තටම නැහැ.ඒක්ට හේතුව වෙන්නේ පොත් ප්‍රදර්ශන වගේම සෙසු ආයතනත් බොහෝ විට විවෘතව තැබෙන්නේ සම්මත වේලාවක් තුළයි. ඒ වෙලාවට අම්මලාටත් දරුවන්ටත් පොත් පත් මිලට ගැනීමට සහභාගී වීමට අවස්ථාවක් නැහැ.

ඒ නිසා මේ වගේ අවස්ථාවකින් ඔබට ප්‍රයෝජන ගන්න ලඟදීම පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථාව මගහරින්න නම් එපා..ඔබ සමහර විට අහල ඇති The Big Bad Wolf Book Sale එහෙම නැත්නම් BBW Books පොත් ප්‍රදර්ශනය ගැන.

ආරම්භය

The Big Bad Wolf Book SaleBBW Books මෙම පොත් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේදීය. මැලේසියානු පොත් ප්‍රදර්ශනයක් වන අද වෙන විට ලෝකයේ රටවල් ගණනාවක ප්‍රදර්ශන කටයුතු සංවිධානය කර තිබේ. එම රටවල් අතර මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාවද ඇතුලත් වෙනවා.මෙම පොත් ප්‍රදර්ශනයට ඇතුලත් පොත් පමණක් නොවෙයි. විවිධ කියවන දේ මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වෙනවා. පොත් ගැන කිව්වාම අපේ මතකයට එන්නේ විෂය සහ විෂය සමගාමී පොත් පත් වුනත් මේ ප්‍රදර්ශනයේදී අපට අවශ්‍ය ඕනෑම අන්දමක පොත් මිළට ගන්න පුලුවනි. ප්‍රබන්ධ සාහිතයය, ළමා සාහිත්‍යය , තරුණ සහ වැඩිහිටි සාහිත්‍යය වැනි විෂයන් වගේම බිත්ති කඩදාසි, චිත්‍රපට, වැනි විවිධ දේ ඇතුලත්.

The Big Bad Wolf Book පොත් ප්‍රදර්ශනයේ අලුත්ම ඉංග්‍රිසි සංස්කරනයන් මිලට ගැනීමට පුලුවන්. මෙහි පොත් මිලියන 1.5 ක් පමණ ඇතුලත් වෙනවා. විවිධ විෂය ප්‍රභේද  ත් වර්ග 20,000 කට අධිකයි. ඒ වගේම මෙම ප්‍රදර්ශනයේදී ලැබෙන ආකර්ශණීය වට්ටම් අමතක කරන්න බැහැ. එය 60% සිට 80 % ක් තරම් ඉහලයි.

අපේ රටේදි මේ පොත් ප්‍රදර්ශනය දැක බලා ගන්න වගේම පොත් පත් මිළට ගැනීමට ඉදිරියේදී ඔබට අවස්ථාව තිබෙනවා. ජුනි මාසයේ 28 වැනි දින පටන්ගන්නා මෙම ප්‍රදර්ශනය ජුලි 8 වැනි දින තෙක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේ (SLECC) පැවැත්වෙනවා.

වාසි බොහොමයක් තිබෙනවා

පොත් ප්‍රදර්ශනය දිගටම විවෘතයි.මොන තරම් ලාබදායක වුනත් කොතරම් ප්‍රයෝජන වුනත් අ‍පිට ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි විදිහට යම් යම් බාධක ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් උදේටත් අපිට මේ වෙනුවෙන් කාලයක් කැප කරන්න බැහැ. හවසට ගෙදර එද්දී යන්න බලාගෙන ආ‍වත් ඒ වෙන විට ප්‍රදර්ශනය අවසන්. සති අන්තයටත් අපිට නොයෙක් වැඩ කටයුතු. Big Bad Wolf Book ප්‍රද්ශනයේදී මේ ගැන මැසවිලි අවශ්‍ය නැහැ. ජුනි 28 සිට ජුලි 8 තෙක් වූ පැය 255 ක් පුරාවටම ප්‍රදර්ශනය විවෘතයි. දවසේ පැය 24 ම විවෘත නිසා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන්. කොටින්ම කිවවොත් එලිය වැටෙන්න පැයකට කලින් වුනත් ඔබට අවශ්‍ය නම් පොත් ප්‍රදර්ශනයට ගිහින් අවශ්‍ය දේ මිළට ගන්න පුලුවන්.

ආරාධනය මේ විදිහටයි

පොත් රැගෙන යෑමේ පහසුකම් සලසාගෙන එන්න.

අනවශ්‍ය විදිහට ඇසුරුම් දැවටුම් නිසා පරිසරයට හානි වගේම අපිරිසිදු වීමට තිබෙන අවස්ථාවන් ඉතාම ඉහලයි. ඒ වගේම මේ විදිහට ආකර්ශනීය වට්ටම් ලබා දෙන විට ඇසුරුම් වෙනුවෙන් පිරිවැය දැරීමත් අපහසුයි. අපි නොදැන හිටියට ඒවා වක්‍ර විදිහට පොතේ මිළට එකතු වෙනවා. BBW Books ප්‍රද්ර්ශනයේදී ඒ විදිහට නොමග යැවීම් සිද්ධ නොවන නිසා ඔවුන්ගේ උපදෙස අනුව අපි මිළට ගන්නා දේ රැගෙන යන පිලිවෙලත් සූදානම් කර ගෙන යා යුතුයි.

පහසු ඇදුමක් වගේම පාවහන්

මේ ප්‍රදර්ශනයට පැමිනෙන විට පහසු ඇදුමක් වගේම පහසු පාවහන් පැළදගෙන එන්නැයි ඔවුන් උපදෙස් දෙනවා. ඒ කතාවත් ඇත්ත. අනවශ්‍ය විදිහට හිරට , දාඩියට, අපහසුතාවයන් දැනෙන ඇදුම් වගේම නිදහසේ ඇවිදින්න අපහසු පාවහන් නිසා පොත් ගැන අවදානය වගේම ප්‍රදර්ශන කුටි පුරා නිදහසේ ඇවිද යමින් පොතක පතක සුවය ලබන්න අපහසුයි. ඒ නිසා පහසු විදිහට ඇද පැලඳගෙන එන්නැයි සංවිධායකයන් උපදෙස් ලබා දෙනවා.

කාර්ය බහුල වේලාව්න් ගෙන් පසුව එන්න

අපි බොහෝ දෙනෙක් අපහසුතාවයන් විදින්නේ හිතා මතාම. අපිට යම් යම් දේවල් වෙනුවෙන් දුවන්නන් වාලේ නොගොස් අපිට අවශ්‍ය විදිහට පහසු කාලයකදි යන්න පුලුවන් අවස්තාව මේ ප්‍රදර්ශනයේදී ලැබෙනවා. ඒ නිසා හැම දෙනාම වාගේ ප්‍රදර්ශනයට ඇදෙන වේලාවන්හි තදබදය වැඩි නිසා රාත්‍රි කාලයේදී යන්න පුලුවන් නම් ඉතාම පහසුවෙන් පොත් පත් අතර ගැවසෙන්න අවස්ථාව ලැබනවා.

සැලසුම් කරන්න

ප්‍රද්ර්ශනයට පැමිණෙන විට අවශ්‍ය මුදල් වගේම එහි ගෙවන කාලයත් සැලසුම් කර ගෙන පැමිණෙන්න. පොත් බලන්න පමණක් නොවයි, අපිට අවශ්‍ය යමක් තිබුනොත් එය මිළට ගැනීමේ සූදානමත් තිබෙන්න ඕන. ඒ නිසා යම් මුදලක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් එකක්… කඩදාසිය ලිපේ දැම්මා වගේ ගිහින් එන්නත් බැහැ. අපි මේ පොතක් පතක් ස්පර්ශ කිරීම වැදගත්. පොත් සමග බැදීම ඇති වෙන්නේ එවිටයි. විශේෂයෙන් කුඩා දරුවන්ට පොත් පත් කියැවීමට උනන්දු කිරීමට හොඳම අවස්ථවක්. නිදහසේ පොත් පත් අතර ඇවිද යන විට දරුවන්ටත් පොත් පත් වෙනුවෙන් ඇහැ ගැටේවි. එතැනින් නොනැවති පොතක් තමාටම මිළට ගැනීමේ උවමනාව දෙවනුව ඇති වේවි.ඒ නිසා කාලය සහ මුදල්ද සැලසුම් කර ගෙන Bad Wolf Book ප්‍රදර්ශනයට ගියොත් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුලුවනි.

නොකල යුතු දේ

ප්‍රදර්ශනයක පොත් පත් තබා තියෙන්නේ යම් වර්ගීකරණ පිලිවෙලක් අනුවයි. ඒ පිලිවෙල නිසා අපිට ඉතාම ඉක්මනින්පොතකට ප්‍රවේශ වෙන්න පුලුවන්. ප්‍රදර්ශනය සංවිධායකයින් විසින් තබා තිබෙන පිලිවෙල වෙනස් කලොත් එයින් අදහස් වෙන්නේ පොත නැති වුනාට සමාන පාඩුවක්. අවශ්‍ය පාඨකයාට අවශ්‍ය පොත් අවශ්‍ය වේලාවට නැති වෙනවා. ඒ නිසා පොත් පත් ස්පර්ශ කරන ඔබ ඔබට අවශ්‍ය නැත්නම් එය කියවා බලා අදාල තැනින්ම තබන ලෙස සංවිධාකයින් කාරුනිකව ඉල්ලා සිටිනවා. එවිට පොත් පත් අස්ථානගතවීම ඉබේටම වැලකෙනවා.

විවාහ මංගල්‍යයේදී අනුගමනය කරන චාරිත්‍ර

විවාහයක් කියන්නේ ඒනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ දෙවැනි උපතක්. ඒ නිසා විවාහය මුල් කර ගත් චාරිත්‍ර විෂයෙහි අපි කවුරුත් තවමත් උනන්දුවක් දක්වන්නේ ඒ නිසයි. විවාහයේදී බැඳී තිබෙන සිරිත් තුළ අනාගතය මුල් කර ගත් වාසනාව හෝ අවාසනවාන රදා පවතින්න පුලුවනි. ඒ නිසාම අපිට විවාහයේදී අනුගමනය කරන සිරිත් යල් පැන ගියාය කියල ඉවත දමන්න බැහැ.

පොරොන්දම් බැලීම

වසර ගණනාවක් ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියත්, බාහිරව කොතරම් ගැලපුනත් ඔබේ පුතාගේ හෝ දියණියගේ ආදරවන්තයාට එහෙම නැත්නම් ආදරවන්තියට ඔබ අවසර දෙන්නේ මේ විදිහට නොවෙයිද…?මොනවා වුනත් කේන්දර ගැලපුනොත් තමයි… මේ විදිහට ඔබ සඳහන්  කිරීමත් සාධාරණයි. විවාහයේදී ගලපන පොරොන්දම් විස්ස අතරින් වඩාත් අවධානයක් ලබා දෙන්නේ ගණ, ලිංග, නාඩි, වෘක්ෂ වැනි විශේෂිත සහ ජීවිතයට බලපෑම් අැති කරන පොරොන්දම් පිලිබඳවයි.ඒ නිසා පොරොන්දම් විස්සම ‍ගැලපෙන්න අවශ්‍යත් නැහැ.

මනාලිය බැලීම

මනාලය හොදින් දැන හඳුනාගෙන සිටියත් තවමත් සිරිතට අනුව මනාලිය බැලීමට යෑම සිද්ධ වෙනවා. යෝජිත විවාහයකදී නම් මනාලිය දකින්නේ එදිනටයි. මනාලිය බුලත් හෙප්පුවක් ගෙනැවිත් මනාලයාට පිලිගන්වා ඇයද ඒ අසල අසුනක වාඩි වෙනවා.

මනාලයාගේ ගෙදරදොර බැලීමදෙදෙනා අතර කැමැත්තක් ඇති වුනොත් මනාලයාගේ ගෙදරදොර බැලීමට යෑමත් විවාහ සම්ප්‍රදායක්. මේ ගමනට මනාලිය පැමිණෙන්නේ නැහැ. පවුලේ වැඩිහිටි ඥාතීන් මනාල‍යාගේ ගෙදරදොර බැලීමට යැමෙන් පසු තමන්ගේ තරාතිරමට ගැලපෙනවා නම් දෙපාර්ශවය අතර කැමැත්ත තහවුරු වෙනවා.

නැකැත් කැවුම් රැගෙන යෑම

දැන් සියල්ල තීන්දුයි. විවාහයට දින නියම වීම සහ අදාල සිරිත් වෙනුවෙන් නැකැත් පත්‍රය මනාලියගේ නිවසට රැගෙන යෑමේ සුබ කටයුත්ත සිදු වෙනවා. මේ නැකැත් ජ්‍යොතිෂඥයෙන් විසින් සකස් කරනවා. එම නැකැත් අතරට,

  • මනාලයාට නිවසින් පිටත්වීම
  • පෝරුවට නැගීම
  • අතපැන් වත් කිරීම
  • මනාලියට සලු පිලි ඇන්දවීම
  • පෝරුවෙන් බැසීම
  • නව යුවලට පිටත්වීම

ආදි සුබ කටයුතු වෙනුවෙන් නැකැත් පිළියෙ වී තිබෙනවා.නැකැත් සමග කැවිලි ආදිය රැගෙන යන අතර මනාලියගේ නිවසින්ද ඔවුන්ට ආදර සංග්‍රහ පවත්වනු ලැබේ.

බුලත් දීම

විවාහ මංගල්‍යය වෙනුවෙන් බුලත් දීම සඳහා පවුලේ සුබ තැනැත්තෙක් තෝරා ගෙන බුලත් දී මුලින්ම ඔහුට ආරාධනය කරනවා. අවශේෂ අයට ආරාධනය මෙම සිදුවීමෙන් පසුව සිද්ධ වෙනවා. කැවිලි පිළියෙල කිරීම වෙනුවෙනුත් නැකැතක් හෝ සුබ වේලාවක් තෝරා ගැනීම සිදු වෙනවා. පෝරුව එදා නම් මනාලියගේ නිවසේ ඉදි වුන අතර ඒ වෙනුවෙන් නැකැත් සාදා ගන්නා අතර පෝරුවට කිරි ගසක කොටසක් එක් කරනුයේ අනාගත දරු සම්පත් ලැබීමේ වාසනාවට සුබඵල ලබා දෙන අදහසින්ය.

විවාහය දිනයේ මනාලයාගේ පැමිනීම

විවාහ දිනයේදී මනාලයා තම ඥාතීන් සමග නැකැත් වේලාවට ඔහුගේ නිවසින් පිටත් වෙනවා. මනාලයා පැමිණි පසු ඔහුගේ පා සේදීම බාල සහෝදරයා අතින් සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් රත්රන් මුද්දක් ඔහුට තෑගි කරනවා. ඇතැම් අය මනාලයා සහ පැමිණි පිරිස පිලිගැනීමට ආරාධනා ගීතයක් ගායනා කරනවා.මනාලයාගේ පාර්ශවයෙන් මනාලියගේ පියාට බුලත් හුරුල්ලක් පිරිනමන අතර එහි ඇති බුලත් කොළ ගණනින් මනාලයාගේ පාර්ශවයෙන් පැමිණි සංඛයාව තීරණය වෙනවා.

පෝරුවේ චාරිත්‍ර

විවාහ මංගල්‍යයක වැදගත්ම අවස්ථාව පෝරුවේ චාරිත්‍රයි. නැගෙණහිර දෙසට මුහුණ ලා පිහිටුවා තිබෙන පෝරුවේ ඇති වේදිකාව මත කලාලයක් එලා ඒ මතපොල් ගෙඩියක්, හාල් සේරු දෙකක් තබා කාසි විසුරුවා තිබෙනවා.සතර කෙළවර පහන් දැල්වීමට පුන් කලස් හතරක් තබා තිබෙනවා. පළපුරුදු අයෙක් අෂ්ටක ගාථා ගායනාවට සම්බන්ධ වෙනවා. මනාලයා වම් පසිනුත් මනාලිය දකුණු පසිනුත් පෝරුවට නංවන අතර මනාලිය ඇගේ මාමා කෙනෙකුන් විසිනුත් මනාලයා ඔහුගේ පියා හෝ වැඩිහිටි ඥාතියෙකු විසිනුත් පෝරුවට නංවනවා. පෝරුවට නැවීමට පෙර නව යුවල පන්සිල්හි පිහිටුවීමත් සිදු වෙන්නේ තෙරුවන් ගුණ සිහිපත් කර ආශිර්වාද ලබා ගැනීමටයි.පෝරුවට නාවා අෂ්ටක ගායනා කිරීම සිදු වේ.

” උතුම් බෝසත් උපන් මෙකපට කිඹුල්වත්පුර මංගලම්
පැතුම් බලයෙන් වරින්වර දුන් ඇසින් මස් ලේ දන් බෙලෙන්
දෙතුන් විඩයක් පොළව මිහිකත දෙස් තියා වෙව්ලූ බලෙන්
උතුම් තෙරුවන් බලෙන් වේවා යුවතිපතිහට මංගලම්…”

 

මනාලයාගේ වම් අතේ සුලැගිල්ල මනාලියගේ දකුණු අත සුලැඟිල්ල එකට තබා රන් කෙන්දකින් බැඳ අතපැන් වත් කරනු ලැබ්.එයින් අනතුරුව මුදු මාරු කිරීම, තැලි පිලි පැලැන්දවීම සිදු වේ. මනාලයා විසින් මනාලියගේ අම්මාට කිරි දුන් ණයට හිලව්වට සුදු රෙදි කච්චියක් පිරිනමනු ලැබේ. බාලිකාවන් විසින් ජයමංගල ගාථා ගායනයෙන් නව යුවලට ආශිර්වාද කරනු ලැබේ. දෙපාර්ශවයේ මාපියන් ඇතුළු සමීපතම ඥාතින් අතර බුලත් හුවමාරු වේ. එම බුලත් පෝරුවේ බිම අතුරා තිබේ.

නව යුවල පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බිඳින අතර එයත් අනාගත සුබඵල නිමිති සේ සැලකේ. පොල්ගෙඩිය එකපහරින් බිඳීම, එහි දෙපලු වෙන බෑ අතර වෙනස අනාගත නිමිති සේ සැලක්. නව යුවල පෝරුවෙන් බැසීමෙන් පසුව සාමාන්‍ය සංග්‍රහ කටයුතු ආරම්භ කෙරේ.

උත්සව සභාවේදී පෙර දර්ශන සහ සංගීත කණ්ඩායම් මගින් කන් බිහිරි කරවන සංගීත ඇතැම් අවස්ථාවන්හි දරා ගන්නත් අපහසුය. පෙර දර්ශන සාමාන්‍ය චිත්‍රපටයකට සමානය. එයින් අනතුරුව හිතෙන්නේ මෙම නව යුවලට දෙවැනි ගමනක් වෙනුවෙන් ඉතිරිව යමක් ඇත්තේදැයි යයන්නයි.

දෙපාර්ශවයේ මාපියන් ඇතුළු සමීපතම ඥාතින් අතර බුලත් හුවමාරු වේ. එම බුලත් පෝරුවේ බිම අතුරා තිබේ.

නව යුවල පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බිඳින අතර එයත් අනාගත සුබඵල නිමිති සේ සැලකේ. පොල්ගෙඩිය එකපහරින් බිඳීම, එහි දෙපලු වෙන බෑ අතර වෙනස අනාගත නිමිති සේ සැලක්. නව යුවල පෝරුවෙන් බැසීමෙන් පසුව සාමාන්‍ය සංග්‍රහ කටයුතු ආරම්භ කෙරේ.

උත්සව සභාවේදී පෙර දර්ශන සහ සංගීත කණ්ඩායම් මගින් කන් බිහිරි කරවන සංගීත ඇතැම් අවස්ථාවන්හි දරා ගන්නත් අපහසුය. පෙර දර්ශන සාමාන්‍ය චිත්‍රපටයකට සමානය. එයින් අනතුරුව හිතෙන්නේ මෙම නව යුවලට දෙවැනි ගමනක් වෙනුවෙන් ඉතිරිව යමක් ඇත්තේදැයි යයන්නයි.

එහෙත් මෑතකදී මම සහභාගී වූ විවාහ මංගල්‍යක ලත් අත්දැකීම මෙසේය. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය. පෙර දර්ශන වෙනුවෙන් තිබුනේ දෙදෙනාගේම ජීවිතයේ උපතේ පටන් වසර දහයෙන් දහයට වූ  විශේෂ ඡායාරූප දර්ශන පමණි. ඒ වෙනුවෙන් නිදහස් කවි කීපයක්ද ඇතුලත් විය.

සංගීතය අතරත් සිත් ගත් අවස්ථාවන් වූයේ කන් බිහිරි කරවන ඝෝෂවක් නොවීය. නව යුවල පෝරුවට නගින විට,

“වාසනාවේවා…වාසනාවේවා…

සුන්දර කුමරිය මනමාලිය වී මංගල මල් නැකතේ

පින්බර කුමරුන් සමගින් අතිනත අරගෙන

දීගෙක යන දවසේ..”

එයින් අනතුරුව මව්පියන්ට නමදින විට,

“මාතු පාදං නමාමි…” ගීතයත්

ඔවුන් පිටත්ව යන විට,

“පුංචි දවස්වල නින්දට යද්දී..” ගීතය සහ “සුබගමනක් වේවා… සුදු දුව සුබ ගමනක් වේවා..”  වැනි අර්ථාන්විත ගීත පමණක් ගායනා කිරීම නිසා පැමිණි සිටි හැමදෙනාටම ඉතාමත් සැහැල්ලුවෙන් අල්ලාප සල්ලාපයේ යෙදීමට අවස්ථාව ලැබුණි.

පොඩි ලොකු කාටත් ඇති වෙන සෙම් ගෙඩි

සාමාන්‍යයෙන් අප සිරුරේ වස ග්‍රන්ථි දෙසීයත් දෙසිය පනහත් අතර ප්‍රමාණයක් පිහිට ඇති බව කියවේ. මේ වස ග්‍රන්තිවලින් අප උගුරේ පිහිටා ඇති වස ග්‍රන්ථි යුගල සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ සෙම්ගෙඩි ලෙසටයි. අපගේ සිරුර තුලට ඇතුළු වන විෂබීජ සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ මහගු කාර්යයට උර දෙන්නේ වසා ගැටිතිය. අපගේ උගුරේ පිහිටි වස ග්‍රන්ථි මුඛය හරහා ඇතුළුවන විෂබීජ විනාශ කරයි.  කෙසේ වුවද වෛරස /බැක්ටීරියා/දිලීර මගින් අසාධනයට ලක් වූ පසු කෙල ගිලිමටවත් නොහැකි වන පරිද්දෙන් වේදනා කාරී වේ. ඒවා ඉදිමෙන අතර රත් පැහැයෙන් යුක්තය. මේ තත්ත්වය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම්ගෙඩි ලෙස හඳුන්වයි.

අඩු වැඩි වශයෙන් සංකුලතා ඇති කළ හැකි මෙම සෙම්ගෙඩි තත්ත්වය නිසා සාමාන්‍යයෙන්,

  • ගිලීමේ අපහසුතාවය
  • ඇඟපත වේදනාව/උණ
  • බෙල්ලෙහි කුද්දටි ඉදිමීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • කටහඬ වෙනස්වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

නමුත් සෙම්ගෙඩි අසධනයට ලක්කරනු ලබන වෛරසය/බැක්ටීරියාව/දිලිරයට අනුව තත්ත්වය උග්‍ර විය හැකිය. එවිට,

  • රුමැටික් උණ
  • වකුගඩු ප්‍රදාහය වැනි බරපතල තත්ත්වයන් වුවද ඇති විය හැකිය.

මෙවැනි තත්ත්වයන්හිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර අත්‍යවශ්‍ය බව සලකන්න.

වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු සෙම්ගෙඩි ආශ්‍රිත වෙනත් රෝගතත්ව 

  • උගුරේ වේදනාව
  • සෙම් ගෙඩි අවට ප්‍රදේශයේ ඇති සැරව ගෙඩි තත්ත්වයන්
  • කතා කිරීම/මුඛය විවෘත කිරීම/ගිලීමට අපහසු වීම
  • අධික උණ
  • සෙම් ගෙඩි තුළ ඇතිවන ගල්/තෙල් ගෙඩි වැනි තත්ත්වයන්
  • සෙම් ගෙඩි ආශ්‍රිතව කහපැහැ දුගඳකින් යුතු වී හාල් ඇටයේ හැඩැති කැබලි ඇතිවීම
ශල්‍යකර්ම මගින් සෙමගෙඩි ඉවත් කිරීමට සිදුවන්නේ

  • නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වන විට
  • රාත්‍රී නින්දේදී ගෙරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විට
  • එක් සෙම්ගෙඩියක් පමණක් අසධනයට ලක්වීම
  • වැඩි වාර ගණනක් සෙම් ගෙඩි ආශ්‍රිත සැරව ගෙඩි ඇති වීම.

මෙවැනි තත්ත්වයන් ඔබට හෝ ඔබේ දරුවාට ඇත්නම් ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයා වෙත යොමු වී ලබාදෙන උපදෙස් මත ක්‍රියාත්මක වීම රෝග තත්ත්වය හේතුවෙන් ඔබට පීඩා විඳීමට සිදුවන ප්‍රමාණය අවම කරගත හැකිය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.