දෙල් වෙනුවෙන් තහංචි

කහපාටට පැහිලා තිබෙන දෙල් ගහේ ගෙඩි දැක්කාම ඇයට හිතුනේ දෙල් වෑංජනයක් කන්න ඇත්නම් තියන සිතුවිල්ලයි. ඒත් දරු පැටියාගේ මුහුණ දකින්න දැන් බොහොම ආසන්න කාලයක සිටින නිසා ඇයට දෙල් කන්න වැඩිහිටියන්ගෙන් අවසරයක් නැහැ.”දෙල් උෂ්ණයි…මේ දවස්වල කන්න හොඳ නැහැ….” ඒ වගේම මීට අවුරුදු තුනකට ඉස්සර ලොකු පුතාට කිරි දෙන කාලයේදීත් දෙල් කන්න අවසර තිබුනේ නැහැ. එතකොට කිව්වේ කිරි දෙන අම්මා දෙල් කෑවොත් දරැවාට රත ගෙඩි එන බවයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් දෙල් වෙනුවෙන් ගැබ්බර අම්මාට වගේම කිරි දෙන අම්මාටත් තහංචි තිබුනා. එදා දවසේ තිබුන මේ සම්මත අදහස් තුළ විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයකුත් තිබුනා. ඒ නිසා එදා අම්මලාගෙන් ලැබුන තහංචි අපිට යල් පැන ගිය බව කියමින් ඉවත දාන්නත් බැහැ.කොහොම වුනත්…,

දෙල් වාරෙට දෙල් අගුණයක් නැතුව ආහාරයට ගන්නේ කොහොමද…?

අපි දෙල් තම්බලා ආහාරයක් විදිහට අනුභව කරනවා. මෙහිදී පොල් එකතු කරගන්නවා. එයින් දෙල්වල තිබෙන උෂ්ණ බව අඩුවෙනවා. ඒත් සමහර උදවිය මෙතැනදී එක් වැරැද්දක් කරනවා. ඔවුන් දෙල් ආහාරයට ගන්න කොච්චි සම්බෝලයක් හදා ගන්නවා. කටගැස්මක් විදිහට නම් බොහොම අපූරුයි. ඒ වුනාට කොච්චි යොදා ගත්තාම දෙල්වල ගිනියම් බව තවත් වැඩි වෙනවා. කටගැස්මක් විදිහට නම් ඉතාම රසයි.

දෙල්වල තිබෙන ගිනියම් බව අඩුකරගන්නේ කොහොමද…?

ඉස්සර කාලයේ පටන්ම දෙල් ව්‍යංජනයක් පිසින විට නිවිති කොළ එක් කර ගත්තා. නිවිතිවල සිරුර නිවන හැකියාව තිබෙනවා. ඒ වගේම දෙල් වෙනුවෙන් යහමින් කිරි එකතු කර ගැනීමත් හොඳයි. පොල්කිරි වලිනුත් දෙල්වල ගිනියම් බව අඩු වෙනවා. සමහර උදවිය දෙල් පිසගෙන එයට දෙහි යුෂ එක්කරගන්නවා. එයින් අපූරු රසයක් ලැබෙනවා වගේම දෙල් වල ගුණ අවශෝෂනය කර ගැනීම පහසුයි.

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල්

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල් කීපයක්ම තිබෙනවා.හැම ආහාරයක්ම අපි ලබා ගනිද්දී එහි අගුණ බව අඩුකරන්න, ගුණය වැඩි කරන්න විවිධ පිලිගැනීම් තිබෙනවා. දෙල් ව්‍යංජනයක් පිලියෙල වුනා නම් කෙලවල්ලෝ , බල, හුරුල්ලෝ වැනි උෂ්ණ මාලු ආහාරයට ගැනීම සුදුසු නැහැ.ගැස්ට්‍රයිටිස් තිබෙන අයට දෙල් නිසා රෝග තත්වය වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා පවුලේ අම්මා විදිහට දෙල් පිලියෙල කරනවා නම් අතුරු ව්‍යංජන මගින් දෙල්වල අගුණ නැති වීම වැදගත්.

දෙල් කල් තබා ගන්න පුලුවන්

දෙල් කල් තබා ගන්න පුලුවන්.දෙල් වාරයට ගස් පල්ලේ කුණුව යන දෙල් අවාරයට ආහාරයට ගන්නා විදිහට සකස් කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව කපලා ලුණු ස්වලපක් එක් කරලා වසා තබන්න. එය යාන්තමින් මෙලෙක් බවට පත් වුනාම හොදින් හිරු රැස් ලැබෙන අව්වක වේලාගෙන සුලං නොවදින සේ අසුරා තබන්න. අවාරයට මේවා පිස ගන්න පුලුවනි. උයන්න පෙරාතුව පොගවා ගන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට තුනපහ එක් කරල උයා ගන්න.

රසකැවිල්ලක් විදිහටත් දෙල් පිළියෙල කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව ලියා ගෙන තෙලෙන් බදින්න. ඊට පසුව සීනි උකු ද්‍රාවනයක් විදිහට උනු කර ගෙන මෙම බැදගත් දෙල් එහි දවටන්න. සුලං නොවදින විදිහට අසුරා ගෙන රස බලන්න පුලුවනි.

දරුවො එක්ක කතා කරද්දි සියවරක් සිතන්න

පුංචි දරුවෝ හමුවුනාම අපිට ඔවුන් කතාවට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුනාම අපි අහන පොදු ප්‍රශ්න කීපයක් තිබෙනවා.

“බබාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ…” එහෙම නැත්නම්, “බබාගේ අම්මා මොකද කරන්නේ…” මේ වගේ ප්‍රශ්න කිසිම වැරැද්දක් නැති බව ඇත්ත. ඒත් යම් සීමාවකදී අපි අහන ප්‍රශ්න නිසා දරුවාගේ හිත රිදෙන්න පුලුවන්. දරු හිත් ඉතාම සංවේදියි.

මේ වගේ ප්‍රශ්න දරුවන්ට ප්‍රශ්න වෙන්නේ මොන වගේ වෙලාවටද කියලත් අපි ටිකක් හිතුවොත්….. සමහර දරුවන්ගේ අම්මා හෝ තාත්තා මිය ගිහින්. එහෙම නැත්නම් ඔවුන් විවිධ හේතු නිසා වෙන් වෙන්ව ජීවත් වෙනවා. නැත්නම් දික්කසාද වෙලා.

ඒ පුංචි දියණිය පාසලේම ආදි ශිෂ්‍යාවකගේ දියණියක්. ඒ ආදි ශිෂ්‍යාවත් යාන්තම් උසස් පෙළ එක් වතාවක් පමණක් කරල ඉක්මනින්ම විවාහ වුනේ ආදර සම්බන්ධතාවයක් තිබුන නිසයි. කාලය බොහොම ඉක්මනින් ගෙවී යන නිසාම ඇගේ දියණිය අපේ පාසලටම ඇතුල් වුණා. පුංචි පැටියා අකුරු කරන්නත් දක්ෂයි. චිත්‍ර වගේම නටන්න ගයන්නත් හපන්. ඒ වුනත් විටින් විට මේ පුංචි දුව උදාසීනකමක් දක්වනවා. ඇගේ අම්මාට කිව්වාම කියන්නේ,”මේ දවස්වල සෙමට බේත් බොනවා…ඒ නිසා වෙන්නැති කියලයි..” දියණියගේ පියා විදේශගත රැකියාවක නිරත බවත් දන්නා නිසා ඇයට නිතරම අපි විහිලු කරන්නේ “තාත්තා සෙල්ලම්බඩු ගොඩක් ගෙනාවාම මටත් එකක් ගේන්න..හො‍දේ..” විදිහටයි. ඒ වෙලාවට ඇය අහිංසක විදිහට හිනාවෙලා ඉන්නවා මිස හා හෝ බැහැ කියන්නේ නැහැ.

හැබැයි තවත් දරුවන්ගේ තාත්තලා විදේශවල ඉන්න නිසා ඒ වගේ වෙලාවට පුංචි දරුවෝ අහන්නේ “ටීච මම ගේන්නම්..තාත්තා කතා කළාම කියන්නම්” විදිහට බොහොම උනන්දුවෙන්.

එක දවසක් ඒ පුංචි දුව මං ලගට ආවා.. “අපේ තාත්තා හොඳ නැහැ..මම එයාට ආදරේ නැහැ..”

“ඇයි…” මම ඇහුවා.

“එයා රට ඉඳල ඇවිත්… මං බලන්න ආවෙත් නැහැ. අත්තම්මලාගේ ගෙදරට වෙලා ඉන්නවා..”

“තාත්තා ඒවි.. එයාගේ අම්මත් එයා එනකම් බලාගෙන ඉන්න ඇති‍ නේ…” මං පුංචි හිත අස්වසනු රිසින් කිව්වා.

“එයා ඉතින් ආවත් එන්නේ සල්ලි ඉවර වුනාම..”

“ඉතින් ඔයාලට සල්ලි තියෙනවානේ..”

“අපිට නෑ..මාමා දෙන්නේ..අම්මත් ගාර්මන්ට් එකට යනවා.”

පුංචි හිත අවදිවෙලා තියෙන්නේ දැන් බව මට තේරුනා.

දරුවන් අතර මේ විදිහට විවිධ පීඩන තියෙන්න පුලුවන්. ඒ නිසා අපි ඔවුන් සමග ඉතාම සීරුවෙන් ගණුදෙණු කරන්න වෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන සමාජවිද්‍යාඥයින් කියන්නේ අපි කිසිම දවසක දරුවන්ගෙන් අම්මා..තාත්තා ගැන ඔවුන්ගේ රැකියාවන් ගැන අහන්න අවශ්‍ය නැහැ.

දැන් ඔබ මේ විදිහට කිව්වොත්.. අපි දරුවන් හඳුනාගන්නේ කොහොමද…?

ඒ වෙනුවෙනුත් අපි ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට පත්‍රිකා පුරවා ගන්නවා. එයින් අපිට දරුවන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්. එහෙත් නැත්නම් දරුවාටම නිදහස ලබා දෙමින් ඔයාගේ තොරතුරු කියන්නකෝ.විදිහට ආරාධනා කරනන් පුලුවන්.

මේ වගේ වෙලාවටත් හොඳ පවුල් පරිසරයක ජීවත්වෙන දරුවන් බොහොම හොදින් ඒ ගැන කිව්වත් මානසිකය යම් යම් වේදනාවන් තිබෙන දරුවන්ට ගිරව් වගේ ඒ ගැන කියන්න බැහැ.

පුංචි හිත්වලත් අහංකාරකම් තියෙනවා…

සමහර දරුවන් අම්මා තාත්තා නැතිවුනත්..ආර්ථික ප්‍රශ්න තිබුනත් තවත් කෙනෙකුගේ අනුකම්පාවට ලක් වෙන්න කැමැති නැහැ. අනේ පව්…කියල තවත් කෙනෙක් ඔවුන් ගැන අනුකම්පාවෙන් කතා කරනවාට කැමැති නැහැ. ඒ දරුවාගේ අභිමානය.. අපි ඉතින් අනේ පව් ඒ දරුවාගේ තාත්තා නැහැ… කියල කවමදාවත් ප්‍රසිද්ධියේ දරුවන් ගැන අනුකම්පාවෙන් කතා කළ යුතු නැහැ. ඒ තත්වයත් ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා.

හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න එපා…

මේ අධ්‍යනය තව දුරටත් ඉදිරියත් ගෙන යමින් සමාජ විද්‍යාඥයින් සඳහන් කරන්නේ අපිට හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න ගැන අනවශ්‍ය විදිහට කතා කළ යුතු නැහැ. “ඔයාට දරුවන් ඉනනවාද..?” සමහර විට ඇය හෝ ඔහු අවිවාහක වෙන්න පුලුවන්.

විවාහ වෙන වයසත් පසු කළ අයෙක් එහෙමත් නැත්නම් මුණුපුරන් ඉන්න පුලුවන් වයසක කෙනෙක් මේ නිසා දැඩි අසීරුතාවයට පත් වෙන්න පුලුවන්.

තවත් අය මේ වගේ ප්‍රශ්න අහන්නේ හදිසියේ හමුවුනත් සුහදතාවය ගොඩ නගා ගන්න මිසක ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන අවශ්‍ය නිසාම නොවෙයි.

ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් වයිෆ් මොකද කරන්නේ…?

මෙතැනදීත් ඒ පැනය ඉදිරියේ නිරුත්තර වෙන තැන් තිබුනොත් ඔබටත් හිතේවි අනේ මම අපරදේ මේ වගේ ප්‍රශ්න ඇහුවේ කියලා…

සමහර විට ඇගේ හෝ ඔහුගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා මියගොස් ඇති. එ‍සේත්… නැත්නම්…හැරදා ගොසින් හෝ දික්කසාද වී වෙන්නත් පුලුවන්. ඒ නිසා එවන් ප්‍රහ්නවලට පිලිතුරු දීමට වඩා එයින් ඇති වෙන මානසික ගැටුම දරාගැනීමත් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ නිතරම කතා කරන්න පෙරාතුව ටිකක් හිතා බලන්න. මේ වගේ සෘජු ප්‍රශ්න වෙනුවට වටගොසින් අවශ්‍ය තොරතුරු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඔබ සාමාන්‍ය කතා බහ ආරම්භ කරන්න. නිදහස් මානසිකත්වයක් තිබෙන කෙනෙක් නම් ඒ ගැන ගංගාව ගලනවා වගේ තොරතෝංචියක් නැතුව කතා කරන විට ඔය කියන ජීවිතයේ පැතිකඩ නොදැනම විවෘත වෙනවා. ඒත් විවිධ ගැටුම් අතර ජීවත්වෙන කෙනෙක් නම් ඒ ගැන නොදොඩාම ඉදීවි.

දරුවන්ට ඉටුකළ යුතු මේ යුතුකම් ඔබටත් මගහැරිලද?

පුංචි දරුවන්ව හැම නිතරම උපමා වෙන්නේ ලස්සන මල්වලට. හැම පොතකම, කවියකම, කතාන්දරයකම ඒ උපමාව යෙදෙනවා. ඔව්… ඇත්තටම පුංචි දරුවෝ මල් වගේම තමයි. සිනිඳු අතපය, දිලිසෙන ඇස්, පුංචි ඇඟිලි… හැම දරුවෙක්ම හරිම සුන්දරයි. එහෙම නම් ඒ මල්වල සුවඳ දසත පතරුවන මද පවන අපි. ඒ කියන්නේ වැඩිහිටියෝ. ඉතිං මෙන්න මේ පුංචි මල් වටා හමන සුළඟ ඒ කියන්නේ ඔවුන්ට ජීවිතය කියාදෙන වැඩිහිටි අපි කොතරම් සිසිල් විය යුතුද? ආදරණීය විය යුතුද? අවවාදාත්මක විය යුතුද? අන්න එවිටයි ලස්සන මල් කැකුළු මද පවනේ තාලයට ලෙල දෙන්න පටන් ගන්නේ.

දරුවන් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුමක් තේරුමක් නැති පිරිසක්. මනෝ වෛද්‍යවරුන් පවසන අන්දමට දරුවෙක් යමක් කමක් තනිව නිවැරදිව තේරුම් අරගෙන, සිතා බලා කටයුතු කරන්න, නිවැරදිම තීරණ ගන්න නම් ඇත්තටම අවුරුදු විස්සක්වත් සම්පූර්ණ විය යුතුයි කියලයි. මොකද ඒ තාක් දරුවන් කටයුතු කරන්නේ හැඟීම්වලින් පමණක් බවත් ඔවුන්ගේ මොළයේ සිතා බලා කටයුතු කිරීමට තීරණ ගැනීමට අවශ්‍ය කොටස සංවර්ධනය වී නොමැති බවත් ළමා මනෝවෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග මා සිදුකළ සාකච්ජාවකදී ඔහු පැවසු බව මට මතකයි.

ඔන්න ඉතිං කතාව පටන් ගන්නේ මෙතන ඉදලා. මේ මෑතකදී මම විවාහ මංගල උත්සවයකට සහභාගී වුණා. පුංචි දරුවන් ගැන ගොඩක් දේ කතාබහ කරන නිසාදෝ මට වැඩි අවධානය යොමු වුණේ එක් එක් දරුවන්ගේ හැසිරීම් පිළිබඳව. එතන දුවලා පුතාලා පස් හය දෙනෙක්ම සිටියා. ඉතිං එයාලා කාලය ගත කළේ බොහොම සතුටින්. දුවනවා, පනිනවා, නටනවා… ඔය වගේ ගොඩක් ක‍්‍රියාකාරකම් එයාලා කරා. මේ අතරින් දරුවන් කිහිප දෙනෙක් හැසිරුණු ආකාරය ඇත්තටම මගේ හිතට ගෙනාවේ ලොකු කණගාටුවක්. පුංචි දරුවන්ට හොඳ නරක කියන දේ ගැන අවබෝධයක් නෑ තමයි, ඒත් ඔවුන්ගේ වැඩිහිටියෝ ඒ ස්ථානයේ රැඳී සිටියා. දරුවන් කෑම මේසයට දෑත් ඔබමින් යම් යම් දේ ගන්නට පටන් ගත්තා. ඒ දේවල් ශාලාව පුරා විසි කරන්නට පටන් ගත්තා. මුව තුළ ඔබා ගනිමින් කන්නට පටන් ගත්තා. බලා සිටින්නට නොහැකි අවස්ථාවන්වලදී මම ඔවුන් වෙත ගොස් එසේ නොකරන ලෙසට ආදරෙන් කියා සිටියා. දරුවන් දෙස දෙමාපියන් බලා සිටින්නට ඇති. නමුත් ඔවුන් කිසිවෙකුත් ඒ ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමට හෝ දරුවන්ට අවශ්‍ය දේ පිළිවෙළට ලබා දීමට හෝ ඉදිරිපත් වුණේ නැහැ.

ඇත්තටම එවැනි අවස්ථාවන්වලදී කුඩා දරුවන් රැගෙන යන මාපියවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. දරුවන් අනෙක් අයගේ පිළිකුලට, අප‍්‍රසාදයට ලක්වීම වැළැක්විය හැක්කේ ඔවුන්ටයි. කුඩා දරුවෙකු  ඕනෑම අවස්ථාවක ක්‍ෂණිකව තම සිතට නැගෙන සිතිවිල්ල ක‍්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා. ඔවුන්ව ආදරණියව පාලනය කරමින් නිවැරදි දේ කියා දිය යුත්තේ වැඩිහිටියන් වන අපයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන් වෙත වගකීම පැවරෙනවා යැයි කීවද එයිනුත් වැඩි වගකීම පැවරෙන්නේ අම්මාටයි. දරුවන්ගේ ක‍්‍රියාකාරකම් දකින වටපිටාව සොයා බලන්නේ දරුවාගේ මව පිළිබඳවයි.

අම්මා නම් වූ උතුම් පදවිය අප වෙත පැවරෙන්නේ නිමාවක් නැති වගකීම් සමුදායක් ද සමගින් බව  අප නිරන්තරයෙන් කතා බහ කරන කාරණයක්. ඇත්තටම දරුවෙක් කියන්නේ “අපේ ජීවිතයම කැප කිරීමක්” කිව්වොත් නිවැරදියි. සැබවින්ම ඒ වගකීම් විශාල බරක් බව ද සැබවි. දරුවෙකු කුස හොවා දස මසක් පෝෂණය කර කප්පරක් වේදනාවන් දරාගනිමින් මොලොවට බිහිකරන්නට කාන්තාවකට හැකි නම් ජීවිත කාලය පුරාම තම දරුවා වෙනුවෙන් කැප වීම එතරම් විශාල කාර්යයක් නොවිය යුතුය. සැබවින්ම ආදර්ශය උතුම් යැයි කියන කියමනට අනුව අප සැමවිටම දරුවන් වෙත යහපත් ආදර්ශයන් ලබා දිය යුතුමය. මවක් සැම විටම දරුවාට ලබා දෙන අණ ආදරණීය විය යුතුයි. ඒ තුළින් දරුවකු පාලනය කරගැනීමට මවකට හැකියාව තිබිය යුතුය. ඇතැම් විට මවගේ එක් නුරුස්නා බැල්මකින් දරුවා පාලනය විය හැකිය. ඇතැම් විට දරුවාගේ නම කියූ සැනින් දරුවා පාලනය විය හැකිය. මල් වැනි පුංචි දරුවන් සමාජය තුළ පිළිකුල් වීමට ඉඩ නොතැබීම මව්පියන් වන අපේ වගකීමකි. එය එසේ වුවහොත් දරුවන් පිළිබඳව මව්පියන්ගේ වගකීම පැහැර හැරීමක් නොවේද?

මව පියා දේවත්වයෙන් පිදිය යුතු යැයි පැවසෙන්නේ මේ සියලු කරුණු හමුවේ නොවේද? දරුවන්ට සිය ජීවිතය වටහා දිය හැක්කේත් යහපත් අයහපත් දේ අවබෝධ කර දිය හැක්කේත් අම්මාටත් තාත්තාටත් පමණි. එතනිනුත් සුවිශේෂී වන්නේ අම්මාය. මන්ද දරුවන් සමග වැඩි වශයෙන් ගැටෙන්නේ අම්මා බැවිනි. ආදරණීය තර්ජන, ගර්ජන හමුවේ වුවද දරුවෙකු සවන යොමු කෙරෙන්නේ අම්මගේ හඬටමය. ඉතිං දරුවන්ට ඉගෙනීම පෝෂණය පමණක් උපරිමයෙන් ලබා දුන්නද එහි පලක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුමය. ඒ හා සමානවම දරුවෙකු වෙනුවෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැනත් ඔබේ අවධානය යොමු කළ හැකි නම් එය දරුවෙකුගේ ජිවිතයේ සාර්ථකත්වයට ඔබෙන් ලැබෙන මිල කළ නොහැකි ත්‍යාගයක් යැයි කීම නිවැරදිය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

කෑම නොකන පැටවුන් සන්සුන් කරන ට්‍රික්ස් 9ක්

පුංචි දරුවෙකුට කන්න බොන්න දෙන විට ඔවුන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වලින් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න පුලුවන් බව මානසික විද්‍යා පර්යේෂකයන් සඳහන් කරනවා. ඉස්සර කාලයේ දරුවන්ට බත් පිඟාන අතට ගද්දී වැඳලා ගන්න පුරුදු කරල තිබුනේ අපිට බත් විදිහට ලැබෙන ආහාරය වෙනුවෙන් වෙහෙස මහන්සි වුන බොහෝ පිරිසක් ඉන්න බව මතක් කරමින්. ඒත් අද ඒ හැගීම දරුවන්ට වගේම දෙමව්පියන්ටත් නැහැ.

දරුවන් කියන්නේ දඟ මලු. ඔවුන් එක් තැනක තියලා සීරුවට කන්න බොන්න දෙන එකත් ලේසි කටයුත්තක් නොවෙයි.සමහර දරුවන් මොනම දේ දුන්නත් සතුටු කරන්න බැහැ. පිඟානට වදිනවා වෙනුවට ඔවුන් කන්න බොන්න ගියාම අනවශ්‍ය විදිහට කලබල පටන් ගන්නවා.

01). මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…?

මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…? මේ විදිහට පසුතැවිල්ලෙන් කතා බහ කරන දෙමව්පියන් අතරට ඔබත් එකතු වෙලා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ “ඩියුක්” විශ්වවිද්‍යාලය මගින් ආහාර මුල් කර ගෙන දරුවන් දක්වන අසාමාන්‍ය කලහකාරීත්වය ගැන අධ්‍යනයක් සිදු කලා. එහිදී වයස අවුරුදු 6 සිට 12 අතර දරුවන් 3000 ක් තෝරා ගත්තා.අධ්‍යනයේ ප්‍රධාණී “නැන්සි සූකර්” දත්ත විශ්ලේෂනයෙන් පසුව පෙන්වා දුන්නේ දරුවන් අතරින් 14% සිට 20% ක්ම කලහකාරී ප්‍රතිචාර දරක්වූ බවයි. ඔවුන් කනස්සල්ල, සංකාව සහ මානසික අවපීඩන තත්වයෙන් පසු වුනා. 18 % ක් සාමාන්‍ය විදිහට ආහාර ගත්තත් ඔවුන්ද විටින් විට කලහකාරී ගති පැවතුම් ‍පෙන්නුවා. 3 % ක් වෙනත් අය සමග සම්බන්ධතාවයක් නැතුව ආහාර ගත්තා.

02). දරුවන්ට මොන මානසික ප්‍රශ්නද…?

දරුවන්ට මොන මානසික ප්‍රශ්නද කියල ඔබ මේ හැසිරීම් ගැන නොසලක් ඉන්න එපා. අපි නොදැන හිටියට ඔවුන්ගේ මානසික් ගැටුම් ඉතාම විවිධයි. තේරුම් ගැනීමත් අපහසුයි. මේ ගැන නොසලකා හිටියොත් අනාගතයේදී ඔවුන් මානසික රෝග විතරක් නොවෙයි, ශාරිරික ආබාධයන්ටත් පත් වෙන්න පුලුවන්.

03). හැම කලබයක්ම මානසික රෝග නොවෙයි..

ඒත් කලබල වෙන්න එපා. දරුවන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මානසික රෝග තත්වයක් නොවෙයි. ඒ වෙනුවෙන් විවිධ හේතු තිබෙනවා.

04). සමහර ආහාර අප්‍රියයි

අපි වගේම දරුවන් අතරත් ආහාර වෙනුවෙන් ප්‍රිය සහ අප්‍රිය විදිහට වර්ග තිබෙනවා. ඔවුන් අප්‍රිය කරන ආහාර වෙනුවෙන් අම්මලා බලපෑම් කරද්දී ඔන්න ගැටුම පටන් ගන්නවා. අපි මෙහෙම හිතමු. ගොටුකොල කන්න අකමැති දරුවෙකුට ඒ වෙනුවෙන් බල කරනවා වෙනුවට සුප්, කොළකැඳ වැනි දෙයට ගොටු කොල මිටක් එක් කරන්න පුලුවනි.

05). හැමදාම එකම විදිහට

හැමදාම එකම විදිහට ආහාර ලැබෙන විටත් දරුවන්ට එයින් ඇති වෙන්නේ අප්‍රසන්නතාවයක්. ඒ නිසා හැමදාම ලැබෙන බත් වෙනුවට නූඩ්ල්ස්, පැස්ටා, එළවලු බත්, කහ බත් විදිහට විවිධ විදිහට ආහාර පිළියෙල කරන්න පුලුවන්. මේවාට එළවලු සහ මස් හෝ මාලු එකතු කරල පෝෂනය ලබා දෙන්නත් පුලුවන්. පලා වර්ග අකමැති පැංචන්ට නූඩ්ල්ස් වලදී නොදැනෙන විදිහට ඒවා එකතු කිරීමටත් අමමලාට අවස්තාව ලැබෙනවා.

06). ආහාර ගන්ධය

ඇතැම් ආහාර වලින් නිකුත් වෙන ගන්ධයට දරුවන් මනාප නැහැ. සමහර දරුවන් බිත්තර තම්බාගත් ගන්ධයට අප්‍රියයි. එහෙම අයට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරල එය නොදැනෙන විදිහට දෙන්න පුලුවන්.

07). හැමදාම එකම පිගාන

දරුවාට හැමදාම දෙන එකම පිගාන වෙනුවට පුංචි පොල්කොළ වට්ටියක්, එහෙම නැත්නම් කෙසෙල් කොලයක වැනි විවිධ දැවටුමක ආහාර දෙන්න. මේසයට පුටුව තියලා මෙතැනම කන්න ඕන කියනවා වෙනුට ඉඳහිට පැදුරක් වැනි දෙයක තබා ආහාර දෙන්නත් පුලුවනි. දණගාන දරුවන්ට නම් මෙය ඉතාම හොදයි. ඔවුන් දණගාමින් ඇවිත් බත් ඇට දෙක තුනක් හෝ ආහාරයට ගනීවි.

08). කෝටුව එපා

බත් කෑවේ නැත්නම් දඩුවම් කිරීමත් එතරම් සතුටුදායක නැහැ. දරුවා කෝටුවට බියෙන් ආහාර ගැනීම ඔවුන්ගේ මානසිකත්වට එතරම් ගුණ නැහැ. සමහර අම්මලා කියන්නේ උගුරෙන් පහලට ගියාම දිරවනවා. නොකා ඉදලා මන්දපෝෂනය වුනාම..? ඒත් මේ සංකල්පය එතරම් සුබවාදී නැහැ. ආහාර ගැනීම ප්‍රසන්න කටයුත්තක් මිසක දඩුවම් ලැබිය යුතු වරදක් නොවෙයි. දරුවාගේ පෝෂණය නිසා වදෙන් පොරෙන් හෝ දඬුවමෙන් ආහාර දීම කළ යුතු වුනත් ඒ නිසා ඇති වෙන මානසික ගැටුම සුලුපටු නැහැ.

09). අල්ලස් දෙන්නත් එපා

“බත් සේරම කෑවොත් අයිස්ක්‍රිම් දෙනවා…” එහෙම නැත්නම් සෙල්ලම් බඩුවක් අරගෙන දෙනවා. මේ විදිහට තෑගි බෝග ගැන විකල්ප ලබා දීමත් ඒ තරම් සුදුසු නැහැ. එවිට දරුවා ආහාර ගන්නා හැම අවස්ථාවකම තැග්ගක් බලාපොරොත්තු වේවි. ඒ වෙනුවට ආහාර ගැනීමෙන් දරුවාට ලැබෙන වාසි කියා දෙන්න.

ආහාරපාන ලබා දීම වෙනුවෙන් දරුවන් සමග අරගලයේ යෙදෙන දෙමව්පියන්ට දරුවන්ට කියා දිය යුතු හොඳ කතාවක් තිබෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ “උඩගිය බබා” කතාන්දරය ඇසූ අපි ළමා කාලයේ බත් නොකා ඉන්න බය වුනේ කතාවේ එන බබාට සිද්ධ වුන දෙය වෙයි කියන බයටයි. අද දරුවන්ටත් මේ කතාව සමහර විට සාධාරණ වෙන්න පුලුවනි. ඒ වගේ සම්‍යප්‍රයෝගයකින් මිසක් කෝටුව හෝ තෑගි ලබා දෙමින් ආහාර පාන ලබා දීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි. ආහාර මුල් කර ගෙන දරුවන් සහ සෙමව්පියන් අතර ඇති වෙන ගෝරනාඩුව දරුවන්ට මානසික ගැටුමකට මුල පුරන තැනටත් පත් නොවන්නත් වග බලා ගන්න වේවි.

නිරවුල් මනසකින් ජීවිතය දකින්නට දරුවන්ට කියා දිය යුත්තේ කවුද?

මොහොතින් මොහොත වෙනස් වෙන අපේ ජිවිතයේ එක් එක් මොහොතේදී අත්විඳින අත්දැකීම් එකකට එකක් වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. එකම දෙයක් සම්බන්ධව උනත් දෙවතාවක් වුනොත් අපට ලැබෙන්නේ අත්දැකීම් දෙකක්.

අම්ම කෙනෙක් විදියට අනෙක් අම්මල දරුවන්ගේ ගැටලුවලදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මමත් දැනගන්න කැමති එයාල වගේම මමත් දරුවන් දෙන්නෙක්ගේ වැඩ, අඩදබර වගේම එයාලගේ ආදරය මැද්දේ දවස ගෙවන නිසයි. සමහර අම්මලා දරුවන්ගේ හැකියාවන් අසාවන් එක්ක ඉදිරියට යන්න මග පෙන්වනවා. සමහර අම්මලා තමන්ගේ හීන දරුවන්ගෙන් සැබෑ කරගන්න වෙහෙස වෙනවා. මේ දෙවිදිය ගැනම පිටින් ඉඳගෙන දකින අපිට වරදක් කියන්න අමාරුයි. ඒත් දරුවෙක් අකමැත්තෙන් මව්පියන්ගේ අසාවන් වෙනුවෙන් වෙහෙස කරවනවා නම් ඒ දරුවාගේ අනාගතය එතරම්ම සාර්ථකත්වයට පත් වෙන්නේ නැති වෙයි කියන අදහසේ මම ඉන්නවා.

මෙන්න මේ වගේ ගොඩක් අදහස් එක්ක දරුවන් ගැන අම්මලා කියන කතා අහගෙන ඕනේ තරම් වෙලාවක් ගත කරන්න පුළුවන්. ඒ, ඒ කතා ඒ තරමටම සුන්දර නිසයි. මේ කතා අතරේ හොඳින් පාසැල් වැඩකටයුතු කරන දරුවෝ, අම්මලාට බොරු කතා ගොතන පුංචි කතා කාරයෝ, නාන්න ඇඟ සෝදන්න අදිමදි කරන දරුවෝ, උදේ පාන්දර අඩා වැටිලා මුළු ගෙදරම අපිළිවෙළ කරන දරුවෝ වගේම සිහින ලෝකවල හිනා වේවි දවස ගෙවන දරුවෝ ගැන අම්මලා කියන කතා හරිම රසවත් කියලත් මට හිතුණා.

නාන්න කම්මැලි දරුවෙක් බොරු ලෙඩක් අරගෙන ඒ අවස්ථාව මගඅරින්න හදන එක බොහොම සාමාන්‍ය දෙයක් විදියටයි මම නම් දකින්නේ. ඒ වගේම කෑම මේසෙට ආවාත් ස්පයිඩර් මෑන් වගේ එන්න උත්සාහ කරන දරුවන්, ටින්ක බෙල් වගේ පියාඹන්න බෑ කියලා මුළු දවසම දුකෙන් ඉන්න දරුවන් මේ පුංචි පැටවුන් අතරේ  ඕනෙ තරම් ඉන්නවා.

සමහරවිට කියවන ඔබටත් මේ අත්දැකීම්වලින් එක අත්දැකීමක් හරි තියෙනවා ඇති. ඒ වගේම තමයි දරුවන්ගේ මේ වගේ දේවල් මුළු දවසෙම වෙහෙස මහන්සි වෙලා ඉද්දි පුංචි කරදරයක් බවට පත්වෙන අවස්ථාත්  ඕනෙ තරම් තියෙනවා. ඉතිං එක අම්මා කෙනෙක් තරවටු කරන්න වගේම තවත් අම්මා කෙනෙක් දරුවාගේ අකමැත්ත නොසළකා දරුවා පාලනය කරන්න උත්සාහ කරන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් වුණත් ඕනෙම අම්මා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතු උපරිම හොඳින් ඉටුකරන එක තමයි.

හැම අම්මා කෙනෙක්ම ළමා මනෝවිද්‍යව පිළිබඳව දන්නේ නෑ. කිසිම අම්මා කෙනෙක් දරුවන් ඇති දැඩි කිරීම හා සම්බන්ධ පාඨමාලා හදාරලත් නෑ. එක් එක් අවස්ථාවට අනුව උද්ගත වන ගැටලුවලට හොඳටම හොඳයි කියලා එයාට හිතෙන විසදුම යෙදීම තමයි බොහෝවිට අම්මා කෙනෙක් කරන්නේ. ඒ අනුව අම්මා කියන චරිතයට විවිධාකාර පැති හරහා ගමන්කළ හැකියි. ඒ කෙසේ වුවත් සෑම මවකගේම ඒකායන සිතිවිල්ල වන්නේ තමන්ගේ දරුවායි. නිමක් නැති වගකීම් සමුදායක් ඔස්සේ නිම වී ඇති අම්මාගේ ජීවිතයේ එකම පැතුම දරුවාගේ ජීවිතය සම්පූර්ණ කිරීමයි. එසේ සිතද්දී දරුවන්ගේ කටයුතු හමුවේ යම් මවකගේ තීරණය ගැලපෙනවාසේම තවත් මවකගේ තීරණය නොගැලපෙන්නක්ම විය හැකියි. අධ්‍යාපන මට්ටම ගතිගුණ හැදී වැඩුණු වටපිටාවට අනුව අම්මා කියන චරිතයත් නොයෙක් විදියට ක‍්‍රියාත්මක විය හැකියි.

ඒ වගේම මෙන්ම මෙහෙම හිතන අම්මලාත් අපි අතරේ  ඕනේ තරම් ඉන්නවා.

“මම නම් දුවට කියලා තියෙන්නේ, කොහොමහරි පන්තියේ පළවෙනියා වෙන්න  ඕනේ කියලා. එහෙම නොවුණොත් ගමේ ගියාම ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා අහන ප‍්‍රශ්නවලට ඔන්න මට නම් උත්තර දෙන්න බෑ කියලා. මාමලාගේ ළමයි හැමෝම යන්නේ ගමේ ඉස්කෝලෙට, ඔයා කොළඹ ඉස්කෝලෙකට ගිහිල්ලත් හරියට ඉගෙන නොගත්තොත් මටයි තාත්තටයි ඉඳලා වැඩක් නෑ. ගමේ අයට පේන්නත් එක්ක ඔයා හොඳට ඉංග‍්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න ඕනේ.  ඔන්න එහෙම කිව්වම නම් අපේ දුව පොත් අරන් වැඩ කරන්න පටන්ගන්නවා. එහෙම නැතිව මේසෙට වාඩි කරන්න බෑ අනේ. අනික ගමේ ගිය වෙලේ ඉඳන් හැමෝම බලන් ඉන්නේ ඔය ප‍්‍රශ්න ටික අහන්නනෙ අනේ” යැයි කියමින් ඇය සිනාසෙන්නට විය.

සැබවින්ම එය වැඩිහිටියන්ගේ ගැටලුවකි. දරුවා පන්තියේ පළවෙනියා විය යුතුමද? වයස අවුරුදු හය හත වන දරුවෙකු ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමට යොමු කිරීමට වෙනත් උපායක් මවකගේ සිතට නැගෙන්නේ නැතිද යන්න ගැටලුවකි. මෙවැනි මව්වරුන්ගේ උපදෙස් හමුවේ පුංචි සිත් කොයිතරම් නම් අසරණවනවා ඇතිද? මවක් කළ යුත්තේ දරුවාගේ තමා දකින යම් යම් දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් යෙදීම මිස කෙසේ හෝ දරුවා ලවා තම අභිමතයන් ඉටු කරවා ගැනීමට උත්සාහ කිරීමද? එසේ වුවහොත් ඉතා කෙටි කාලයක් තුළදී දරුවාට අධ්‍යාපනය පමණක් නොව නිවෙස තුළ වටපිටාව ද මව්පියන්ද පිළිබඳව කළකිරීමක් පමණක් ඉතිරිවන්නට ඉඩ ඇත. සැබවින්ම මවක් ලෙස යම් යම් අවස්ථාවලදී දරුවන් සම්බන්ධයෙන් ගත යුතු තීරණයන්හිදී තම අභිමතය මත එල්බ නොසිට, හැකි නම් ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකුගෙන් යම් අවබෝධයක් ලබාගැනීම වඩා වැදගත් වනවා යැයි මගේ මතයයි.

මා එසේ පවසන්නේ මාගේ රාජකාරි ජීවිතය තුළ වෛදවරුන් හා සම්බන්ධව සිදුකෙරෙන සාකච්ජාවන් හමුවේ ඇතැම් මව්වරුන්ගේ ඇතැම් ක‍්‍රියාවන් දරුවන්ගේ මනසට කිසිසේත්ම සුදුසු නොවන බව මට අවබෝධ වී ඇති හෙයිනි. දරුවන්ට දරුවන්ගේ ජීවිත ගත කරන්නට ඉඩ හැර ඔවුන්ට මගපෙන්වන්නෙකු වන්නට ඔබට හැකි නම් හොඳ නරක කියා දෙන්නට ඔබට හැකිනම් ඔවුන්ට රිසි සේ ජීවිතය තුළ සැරිසරන්නට ඉඩ ලැබෙනු ඇත. ඒ තුළින් නිරවුල් මනසකින් යුතු අනාගත පරපුරක් දැයට දායාද කළ හැකිය. මාපියන්ගේ නොයෙක් තාඩන පීඩන මත බලපෑම් මත ඇති දැඩිවන දරුවා තමා දෙස මෙන්ම තම වටපිටාව දෙසත් බලන්නේ වෛරයකිනි. ඔවුන් පීඩාවට පත්ව සිටී.

උපක‍්‍රමශීලී බව ආදරණීය බව මෙන්ම වරදකදී සුළු තරවටුවකින් දරුවා මෙල්ල කරගැනීමට මවකට ඇති හැකියාව ඉතා වැදගත් වනු ඇත. මාපියන්ගේ බලාපොරොත්තුවක් ලෙස දරුවකු මොලොවට බිහිවන්නේ දෙමාපියන්ගේ ආසාවන් මුදුන් පමුණුවීම උදෙසාම පමණක් නොවේ. නිරවුල් මනසකින් ජීවිතයට මුහුණ දෙන්නට දරුවන්ට මනා සවියක් විය හැක්කේ ඔබටයි. සෑම මවකගේම සිත් තුළ තිබිය යුතු එක් දෙයක් වන්නේය. ඒ ජීවිතය විඳින්නට දරුවන්ට මග කියන අපූරු චරිතය අම්මා නම් වූ ඔබ බවයි.

දරුවන්ගේ හැසිරීමට බලපාන මේ කරුණු ගැන ඔබ සිතුවාද ?

අපි සමහර දරුවන් දිහා බලලා මේ විදිහට කියනවා උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇඳ අරින්න බැහැ වගේ තමයි මේ ළමයා මොන විදිහටවත් හදන්න බැහැ. ඒ වගේම සමහර දරුවන් ගැන මේ විදිහටත් අදහස් කියැවෙනවා. අනේ පුංචි කාලේ මලක් වගේ හිටිය දරුවා දැන් විනාස වෙලා… ඉතිං මේ විදිහට දරුවන්ගේ ගති පැවතුම් අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ මේ විදිහටයි.

  • දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු
  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු

දැන් අපි බලමු දරුවන්ගේ ගැටළු මොනවාද කියලා. අපි කියන්නා වගේ “ආරේ ගුනේ නෑරේ…” ඒ කියන්නේ ජානමය ස්වභාවයන් අනුවත් දරුවන්ගේ ගති පැවතුම් සකස් වෙනවා. සමහර විට මේ දරුවා මුල් කර ගත් ගැටලු ජානමය පාර්ශවයෙන් ඇති වෙන්න පුලුවන්. අපි වචනයට කියන්නා වගේ තාත්තා වගේම ආවේග තිබෙන්න පුලුවන්. ඒ නිසා ජානමය විදිහටත් දරුවන්ගේ ගැටළු ඇති වීම මෙහි එක් අවස්ථාවක්.

රෝග තත්වයන්

දරුවන් විවිධාකාර මානසික රෝග තත්වයන්ට පත් වුන විට ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. මෙතෙක් ඉතා සතුටින් සිටි දරුවාගේ හැසිරීම වෙනස්කම්වලට යොමු වෙන්න පුලුවන්. ඉස්සර වගේ විනෝදයෙන් සිටීම අඩුයි. නිතරම හුදෙකලා වීමට බලනවා. ඒ වගේම ආහාරපාන වෙනුවෙන් වූ උනන්දුව අඩුයි නම් දරුවා කුමන හෝ මානසික ගැටුමක සිටින බව අමතක කරන්න එපා.

බුද්ධිය අඩුවීම

පාසල් වයසේ යන දරුවන්ගේ හැසිරීමට බලපාන බොහෝ හේතුන් අතර ඔවුන්ගේ බුද්ධිය බලපානවා. සමහර දරුවන් බුද්ධියෙන් ඉතාම ඉහළ වුනත් තවත් පිරිසක් තුළ ඒ අන්දමින් බුද්ධිමත්බවක් නැහැ. පංතියේ කියවීම, ලිවිම, සවන්දීම , සහ කථනයේ ඇති වෙන අපහසුතාවයන් ඔවුන්ගේ හැසිරීමට ඉතා ප්‍රබල ලෙසින් බලපානවා. ඒ නිසාම දරුවාට ඉගෙණුම එපා වෙන තරමටම තත්වය බරපතල වෙන්න පුලුවනි.

  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දෙමව්පියන්

දෙමව්පියන්ගේ ගැටළුත් දරුවන්ගේ හැසිරීමට බලපානවා. එදා නම් දරුවන් මුහුණ දුන්නේ තාත්තා බීමත්ව ඇවිත් නිවසේ අම්මාට පහරදීම, දරුවන්ට තලා පෙලා හිරිහර කිරිම වැනි තත්වයන් පමණයි. ඒත් අද මේ තත්වය ඊට වඩා වෙනස්. මෑතකදී හොඳින් දන්නා හදුනන පවුලක තරුණ දියණියක් සිය දිවි හානි කර ගත්තේ ඇගේ මව නැවත ගැබ් ගැනීම නිසයි. මේ තත්වය අතීතයේදී නම් කිසිම විදිහකින් දරුවන්ට බලපෑමක් නොකලත් අද දරුවන්ගේ තිබෙන දරා ගැනීමේ ශක්තීන් නිසා මේ වගේ අවාසනාවන්ත තත්වයන්ට පත් වෙන බවත් අපි අමතක කළ යුතු නැහැ.

මව හෝ පියාගේ වෙන්වීම මරණය

දරුවා ආදරය කරන ඔහුගේ ආරක්ෂාව සලසන ආරක්ෂකයා අහිමි වීම නිසා දරුවා මානසිකව හුදෙකලාවට පත් වෙනවා. මව , පියා මරණයට පත් වීම පාලනය කළ නොහැකි තත්වයක් වුනත් සමහර පවුල් සංස්ථාවන්හි මව හෝ පියා පවුල හැර යෑම නිසා ඇති වෙන පසුබිමෙන් වඩාත්ම පීඩාවට පත් වෙන්නේ දරුවන් බව ඔවුන් අමතක කරනවා. ඒ නිසා දරුවාගේ හැසිරීම යහපත්ව පවත්වා ගැනීමට නම් දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අවශ්‍යයි.

මිතුරන් සහ සම වයස් කණ්ඩායම්

පාසල් යන වයසේ පසුවෙන දරුවන් හැසිරීමේ වෙනස්කම්වලට ඔවුන් මුහුණ දෙන අත්දැකීම් බලපානවා. පාසලේදී ඇති වෙන තර්ජන නිසා ඇති වෙන මානසික කම්පනය නිසා ඉතාම බියගුළු සහ පසුගාමී චරිත බවට පත් වෙනවා. ඉහළ පංතිවල පමණක් නොව සමවයස් කණ්ඩායම් විසින් මේ අන්දමින් තර්ජනය කිරීමෙන් ඇති වෙන බලපෑම දරුවන්ගේ හැසිරීම් රටාව මුලුමනින්ම උඩුයටිකුරු කිරීමට හේතු වෙනවා.

අපචාර

අද දරුවා අපචාරයන්ට පත් වීමට තිබෙන අවස්ථාවන් නිසා ඔවුන්ගේ හැසිරීම් බොහෝ සේ වෙනස් වෙනවා. පිටස්තරව නොවෙයි, නිවසේ ඇතුලත සිටින අයගෙන්ම දරුවා අපි නොදැනීම අපචාරයන්ටත් පත් වෙන නිසා ඔවුන්ගේ හැසිරීම වෙනස් වීමට පුලුවන්.

ඇබ්බැහිවීම

අම්මා තාත්තා වැඩ නිසා විවිධ දේ වෙනුවෙන් ඇබ්බැහි වීම. මත්ද්‍රව්‍යට පමණක් නොවෙයි, අන්තර්ජාලයට පවා මේ නිසා නිදහස් අන්තර්ජාල පහසුකම් සපයා දිය යුතු නැහැ. එපා. එය දරුවාට පාලනයක් නැහැ. එදා සිගරැට් වුනත් අද ගංජා පාවිච්චිය තදින්ම තිබෙනවා. පංතියේම දරුවන් පාවිච්චි කරන තරම්මට තත්වය වැඩියි. ඒ වගේම විවිධ ඖෂධ පාවිච්චි කිරීමෙන් මත් ද්‍රව්‍ය ආදේශක දරුවන් හොයා ගෙන ඉන්නවා. කැස්සට, මානසික රෝගවලට ලබා දෙන ඖෂධ වර්ග මේ වෙනුවෙන් භාවිතා කරනවා.

මලක් වගේ හිටිය දරුවාගේ ගති පැවැතුම් දැන් වෙනස්නම් දෙමව්පියන් විදිහ ඔබ දරුවා ගැන අවධානය දක්වන්න. ඔබ නොදැනම වුනත් දරුවාගේ වෙනස්කම් වෙනුවෙන් ඉහත දැක්වෙන හේතු බලපාන්න පුලුවනි.

දුවයි පුතයි දෙන්නම ඉඳලත් ගීතා කපූර්ට වුණු දේ

දෙමව්පියන්ගේ ජීවිතයේ හැන්දෑකාලය ගැන අනාවැකි කියන්න ඉතාම අමාරුයි. අපේ පිලිගැනීමේ හැටියට නම්  විවාහයෙන් දරු මුණුපුරන් ලැබුවාට පසුව අම්මා තාත්තාගේ ජීවිතයේ අවසාන කාලය ඔවුන්ගේ රැකවරනය යටතේ ජීවත්වීමට වාසනාව ලැබේවි කියලයි. ඒ වගේම දරුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් වුනොත් ඒ පිහිටත් මව්පියන්ට ලැබෙනවා. දරුවන්ට අත මිට තිබෙනවා නම් යහමින් අම්මා තාත්තාට සලකන්න පුලුවන්.

“මැනලද පුතේ කිරි දුන්නේ මං නුඹට” කිව්වත්…

ආර්ථිකව සවිබල ගැනුන දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් ලෝබ නැතුවම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුලුවන්. ඒත්.. මේ සිද්ධිය ඒ විදිහටම වෙනවාද..? බොලිවුඩ් තිරයේ දීප්තිමත්ම තාරකාවක් වූ “ගිතා කපූර්” පසුගිය දා අභාවයට පත් වුනේ මුම්බායි රෝහලේදී. ඒ වෙන විට ඇය ජීවත්වුනේ වැඩිහිටි නිවාසයකයි. මියයන විට ගීතාගේ වයස අවුරුදු 67 ක්. ඇය විවාහකව දරුවන් දෙදෙනෙකුගේ මවක වුනා. ඇයගේ පුත් “රාජා” නර්තන ශිල්පියෙක් වූ අතර දියණිය “මීනා” ගුවන් සේවිකාවක්. මේ දරුවන්ට අම්මාට නොසලකා සිටින්න තරම් ආර්ථික ප්‍රශ්න තිබුනේ නැහැ.

ගීතාට වයස අවුරුදු 57 ක් වෙද්දී ඇගේ පුතා විසින් අමුතු ආකාරයේ ඉල්ලීමක් කළා.

“අම්මා… වැඩිහිටි නිවාසයක නවත්වන්නම්..”

ඒත් ගීතා කිසිසේත්ම පුතාගේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ. දරුවන් දෙන්නෙක් ලෝකයට අතපය නොකඩා දායද කරල, ජීවත්වෙන මග කියා දීලා, මම මොකටද වැඩිහිටි නිවාසයකට යන්නේ… සමහර විට ඇය මේ විදිහට හිතන්නත් ඇති. සමහර අම්මලා තාත්තලා දරුවන් තමන්ට හැකි විදිහට සැලකුවත් වැඩිහිටි නිවාස සොයා ගෙන ගිහින් දරුවන් නොසලකන බව ලෝකයට කියා පාන කාලයක ගීතාගේ තීන්දුව ඉතා නිවරැදියි. ඇයට අවශ්‍ය වුනේ දරුවන් සමග ජීවත් වෙන්නයි. ආර්ථික වශයෙන් අම්මාට බලන්න ඔවුන්ට නොහැකියාවක් තිබුනේ නැහැ.

ඒත් පුතා අම්මාව වැඩිහිටි නිවාසයකට ඇතුලු කරන තීරණයේ ඉතාම දැඩිව සිටියා. ගීතාගේ තීරණය ගැන අමනාපයෙන් පසුවුන පුතා ගීතා නිවාස අඩස්සියයේ තබා ඇයට ආහාර දීම පාලනය කරන්න පටන් ගත්තා. මේ නිසා රුධිරපීඩනය අඩු වෙලා ගීතා  ක්ලාන්ත වුනාම පුත් රාජා විසින් ඇයව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර යන්න ගියේ රෝහල් බිල පියවන්න මුදල් රැගෙන එන්නම් යනුවෙන් ගීතාට සඳහන් කරමින් වුනත් ආයේ නම් පුතා ඒ රෝහල පැත්ත පළාතට ආවේ නැහැ. මේ අතර ඉන්දියාවේ බොලිවුඩ් තිරයේ උදවියට මේ ගැන ආරංචි වුනා. “අශෝක් පන්ඩිත්” (Ashoke Pandit) විසින් රෝහල් බිළ පියවා ඇය වැඩිහිටි නිවාසයකට ඇතුලත් කරනු ලැබුවා. ගීතාගේ රෝහල් බිල ඉන්දියානු මුදලෙන් රුපියල් ලක්ෂ 1.5 ක් වුණා.

වැඩිහිටි නිවාසයේදි ගීතාට හොදින් සැලකිලි ලැබුණා. පසුගිය උපන්දිනයත් මේ නිවාසයේදී ඉතාම උත්කර්ෂවත් විදිහට සිදු වුනා. ඒත් අම්මා කෙනෙක් විදිහට ඇගේ හිතේ තිබුන පාලුව, ශෝකය සහ ආත්මීය පසුතැවිල්ල දුරු කරන්න වැඩිහිටි නිවාසයේ අයට හැකි වුනේ නැහැ. ඇය හැම දවසක්ම පටන් ගත්තේ අද මගේ දුව හෝ පුතා ඇය බලන්න ඒවි යන බලාපොරොත්තුවෙන් බව එම නිවාසයේ පරිපාලනය සදහන් කරනවා. ඒත් මියයන තෙක්ම ඒ අම්මාගේ ආසාව ඉෂ්ට වුනේ නැහැ.

ගීතා කපූර් කුඩා කාලයේ පටන්ම නර්තනයට ප්‍රිය කළ අතර ඇය තමාගේ හැකියාවන් දියුණු කර ගත්තේ “ෆාරා භාන්” ගේ නැටුම් කණ්ඩායමට සම්බන්ධවයි. එතැනින් පසු ගීතා “කුච් කුච් හෝතා හෑ” චිත්‍රපටයෙන් ප්‍රෙක්ෂකයන් අතර ජීවත්වුනා. ඇය දායක වුන චිත්‍රපට සංඛයාව සියයකට අධිකයි. “පාකිෂා” චිත්‍රපටයේ ගීතා ප්‍රධාන චරිතය රඟපෑම නිසා රසිකයන් අතර ජීවත්වෙන්න පටන් ගත්තා.

ඒත් ජාත්‍යන්තර තලයේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ කාන්තාවක් වුනත් මවක් විදිහට ඇයගේ ජීවිතය අවසාන වුනේ ඉතාම අවාසනාවන්ත විදිහටයි. මේ ගැන අපිට පැතිකඩ දෙකක් තිබෙනවා. කොතැනක හෝ වැරදීමක් සිද්ධ වෙලා ඇති. සමහර විට දරුවන් මෙහෙම කියාවි… අම්මා කෙනෙක් විදිහට අපට ඇගෙන් ආදරය, ආරක්ෂාව සහ රැකවරණය ලැබුනේ නැහැ. ඒත් ඇය ඔවුන් මේ ලෝකයට බිහි කළ අම්මා බව නම් අමතක කිරීම කිසිසේත්ම සාධාරණීය කිරීමට බැහැ.

දරුවන් රජුන් කළත් දෙමව්පියන්ගේ ජීවිතයේ සැදෑකාලය මේ විදිහට ගෙවෙන්නත් පුලුවන්.

දරුවාගේ පැමිණිලි ඔබත් ඉස්මුදුනින්ම පිළිගන්නවාද?

තුන වසරේ ඉගෙනුම ලබන පුංචි පුතා උදෙන්ම අරගෙන ආවේ මේ විදිහේ පණිවිඩයක්…!

“අපේ නංගි ඉස්කෝලෙ එන්න බැහැ කියනවා… ටීච එයාට ගහනවාලු.. ඒ නිසා හැමදාම උදේට නංගි ඉස්කෝලේ එන්න බැහැ  කියනවා…” පුංචි පුතාගේ පැමිණිල්ල එයයි.

ඒත් ගුරුතුමියට මෙය තේරුම් ගන්න බැරි තරම් ගැටලුවක්. පංතියේදී කිසිම දරුවෙකුට ඇය දඬුවම් කලෙත් නැහැ. පංතියේදී කිසිම දරුවෙක්ගෙන් දඬුවම් කරන්න තරම් වරදක් වුනෙත් නැහැ. ඇය තනියම කල්පනා කලාය. උදේ පැමිණිල්ල සිදු කල පුතාගෙන් නම දැනගත් ගුරුතුමිය මේ චෝදනා නගන දියණියගේ පොත් පත් පරීක්ෂා කළාය. එහි කිසිම පසුගාමී බවක් තිබුනෙත් නැහැ. මේ දියණිය මෙසේ බොරුවට ගතු කියන්නේ ඇයිදැයි හිතා ගැනීමටත් නොහැකි තරම් ගැටළු සහගත විය.

“ඇයි දුවට පංතියේ වැඩ අමාරුද…?”

“නැහැ…”

“ඔයාට මොනව හරි තේරෙන්නේ නැත්නම් මට කියන්න.. මං ආයෙම කියල දෙන්නම්..” ගුරුතුමී කීව්වා.

ඒත් මේ පුංචි දියණිය තමාට අපහසුතාවයක් තිබෙන බව කිව්වේ නැහැ.

විවේක වේලාව තුළ අයියාට කතා කරන්නැයි ගුරුතුමී දියණියට කියා සිටියේ ඇය උදේට අඬන කාරණාව ගැන දැනගැනීමටයි. ඒත් දියණිය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි. කොහොම වුනත් එදා දවසේ පංතියේ ඇය ගැනම ගුරුතුමිය අවධානය යොමු කලේ මේ චෝදනාව නිසා ඇති වුන කම්පනයත් සමගයි.

දවස අවසානයේදී ඇය නැවත කුඩා දියණියට කියා සිටියේ අයියාව තමාට මුණ ගැසීමට කටයුතු කරන ලෙසයි. ඒත් ඇය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි.

“එහෙමනම් අපි යමුකෝ ගේට්ටුව ලගට අයියා එතනට ඒවි නේ..” ගුරුතුමිය දියණිය සමග පාසල් ගේට්ටුවව වෙත ගියාය. එතැනදීත් ඇය අයියාව ගුරුතුමියට මුණගැසීමට බාධා කරමින් හැසිරුනත් හදිසියේම එතැනට පැමිණියේ මේ කුඩා දියණියගේ මවයි. ඇය පංති බාර ගුරුතුමියගේ මිතුරියකි.

දැන් අම්මාට සතුටුයි. තමාගේ මිතුරියක් දියණියගේ පංති බාර ගුරුතුමිය වීම නිසා ඇයටත් අස්වැසිල්ලකි. ඒත් තමා වසර ගණනාවක් දන්නා හදුනනා පරිදි කුඩා දියණියට සැර පරුෂ ලෙසින් සලකන කුරිරු චරිතයක් තමාගේ මිතුරියට නොමැති බව ඇය හොඳාකාරවම දනී. ඒ වගේම මේ ගැන තමා විදුහල්පතිට හෝ වෙනත් අයෙකුට පැමිණිලි නොකිරීම මොන තරම් වටිනවාදැයි ඇය තනිවම සිතුවාය.

“මොකද දුව උදේට කලබල කරන්නේ..?” ගුරුතුමී ඇසුවාය.

දියණියගේ මව නිරුත්තර වුනේ පුතා මේ පණිවිඩය ගුරුතුමියට සඳහන් කළ වගක් ඇය නොදන්නා නිසාය. දියණියගේ චෝදනාවන් ගැන පැමිණිලි කිරීමට ඇය උනන්දු වූයේත් නැහැ.

“අනේ දන්නේ නැද්ද ඉතින්… මං ඒවා ගණන් ගන්නේ නැහැ… ඊටත් ඔයා ගැන මම දන්නේ නැතුවායැ…” ඇය කීවාය.

“ඔයා කොහොමද දන්නේ…”

“මට ඔයාගේ පුතා කිව්වා…”

“අනේ බලන්නකෝ… පණ්ඩිත වැඩ… මං නිකමටවත් එහෙම කියන්න කිව්වෙත් නැහැ..” ඇය කීවාය.

“නෑ එහෙම කියපු එක හොඳයි…”

ඇත්තටම පාසල, පංතිය, ගුරුවරුන් මුල් කර ගෙන දරුවන් කියනා ගතු සියල්ල හැම විටම සත්‍ය නොවේ. තමාගේ වාසිය මුල් කර ගෙන ඔවුන් ඉතා ලස්සනට ප්‍රබන්ධ ගෙතීමට සමර්ථයන්ය.මේ නිසා දරුවන් ගෙනෙන පැමිණිලි ගැන එකහෙලාම තීන්දු තීරණ ගැනීම එතරම් සාධාරණ නැත.

මුලින්ම වටපිටාවෙන් සොයන්න

පංතිභාර එහෙම නැත්නම් විෂය බාර ගුරුතිමිය හෝ වෙනත් අයගෙන් තමාට හිරිහැර සිද්ධ වෙන බවට ඔබේ දරුවාත් පැමිනිලි කරන්න පුලුවන්. එ වගේ අවස්ථාවකදී වටපිටාවෙන් ඒ ගැන විපරම් කරන්න. තවත් අය විසින් මකියන තොරතුරු මේ සිද්ධියට සාධාරණ නම් ඒ ගැන ඉදිරි පියවර ගැනීම ඇත්තටම සිද්ධ විය යුත්තක්.

පැමිණිල්ලට පෙර දෙවතාවක් හිතන්න

ඇතැම් දෙමව්පියන් ඉතා සුලු දෙයට පවා පැමිණිලි කිරීම සිරිතක් සේ කරන කටයුත්තක්. ඒත් ඔබ ඉක්මන් නොවන්න. පැමිණිලි කිරීමට පොතුව මේ සිදුවීම ඔබටම විසඳා ගන්න පුලුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් කියන දේ මතම යැපෙන්න එපා.

බොරුවේ ආදීනව දරුවාට කියා දෙන්න

දරුවන් තමාගේ කුමන හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් බොරු කීමට උනන්දු වන්නේ නම් එහි ආදීනව ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න.

තමාගේ දරුවා වුනත් නිවසට ගෙනෙන හැම පැමිණිල්ලක්ම සාධාරණ නැත. ඒ නිසා මේ ගැන දෙවතාවක් හිතන්න. ඔවුන්ට යම් යම් අපහසුතාවයක් එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති  වුනොත් ඒ ගැන විවිධ විදිහට චෝදනා නගන්න පුලුවන්. කිසිම විටෙක ඒ ගැන කලබල නොවී මධ්‍යස්ථ සිතින් එහි පසුබිම විමසා බලන්න. එවිට ඇත්ත සහ නැත්ත අතර තිබෙන පරතරය ඔබට අවබෝධ වේවි.

අද දරුවන්ට ඉවුම් පිහුම් සිම්පල් මෙන්න මේවා නිසයි

ඉස්සරකාලයේදී නම් ගැහැණු දරුවන්ට උයන්න පිහන්න අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය වුනේ නැහැ. ඊට හේතුව වුනේ අම්මා, අක්කා, නැන්දා, පුංචිඅම්මා සමග ගැහැණු දරුවාත් නිරන්තරවම මුලුතැන්ගෙදර වැඩකටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා.ඒත් කාලයත් සමග ගැහැණු දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් යොමු වීම නිසා ඔවුන් මුලුතැන්ගෙයින් යම්තාක් දුරකට දුරස් වුනා. අධ්‍යාපනය ලැබීමෙන් පසුව ගැහැණු දරුවන් ආහාර වට්ටෝරු පොත් පත් අරගෙන එහෙම නැත්නම් පුද්ගලික ඉවුම් පිහුම් පංතිවලින් උයන පිහන කටයුතු ඉගෙන ගත්තා.

ඔන්න ඔය විදිහට කාලය ‍ගෙවෙද්දී තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුලුතැන්ගෙයටත් දිෂ්ටි හෙලන කාලයක් නොදැනීම ආවා. දැන් අපේ ගැහැණු දරුවන්ට උයන්න පිහන්න පහසුවෙන් ඉගෙන ගන්න විද්‍යුත් තොරතුරු සන්නිවේදනයෙන් හැඩ ගැනුන සමාජාල කීපයක්ම තිබෙනවා. මේ එයින් කීපයක්…

යූ ටියුබ් – You Tube

යූ ටියුබ් අද ඉතාම සමීපව කටයුතු කරන්නේ යොවුන් පරම්පරාව සමගයි. ඒ නිසා ගැහැණු පිරිමි විශේෂයක් නැතුව කාට වුනත් උයන්න යමක් ඉගෙන ගන්න අවශ්‍ය නම් යූ ටියුබ් ඔස්සේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා.

ඉන්ස්ටග්‍රෑම් – Instergram

මිලියන ගණනක තොරතුරු බෙදා හරින ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවිය මගින් ඉගෙන ගැනීමට ලැබෙන අත හිත ඉතාම විශාලයි. ලෝකයේ විවිධ රටවල ආහාරපාන ඉතාම වර්ණවත්ව ඉදිරිපත් වෙන හැටි දැක්කාම කොටින්ම කිව්වොත් දැක්ක ගමන් කන්න හිතෙන තරම් ආකර්ශනයක් ඇති වෙනවා. ඒ නිසා උයන්න පිහන්න කැමැති කාට වුනත් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ ආහාරපාන සකසා ගන්න දැනුම ලැබේවි.

පින්ටර්සෙට්- Pinterset

ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියක් වන මෙම සමාජාලය ඔස්සේ ලෝකයේ ඒනෑම රටක ආහාරපාන ඔබේ නිවසේ එබේ මුලුතැන්ගෙයි පිලියෙල කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හරියට බලා ඉන්නවා වගේ දැනුමක් ලබා ගන්නත් හැකියාව ලැබෙන්නේ මේවා වීඩියෝ දර්ශන මගින් ඉදිරිපත් කරන නිසයි. ඉතින් ඔබ කැමැති ආහාර වට්ටෝරු පින්සෙට් නරඹමින් පිලියෙල කර ගන්න අපහසුවක් නැහැ.

බිග් අවන්- Big Oven

ඉතාම සරල සහ ආකර්ශණීය අන්දමින් ආහාර වට්ටෝරු පිලියෙල කර ගැනීමට අවශ්‍ය දැනුම මේ වැඩසටහන ඔස්සේ පවුලේ කාටත් ලබා ගන්න පුලුවනි. මේ වැඩසටහනේ ආහාර වට්ටෝරු තුන් ලක්ෂ පණස් දහසකටත් වඩා අඩංගුයි.ඔබට අවශ්‍ය ආහාර වට්ටෝරු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට එහෙම නැත්නම් අපි ඔබට හොඳින් හුරු පුරුදු විදිහට කිව්වොත් “save” කර ගෙන අනාගතයේදී නැවත බලන්න පුලුවන්. ඒ විතරක් ‍නොවෙයි, ඔබ දන්න ආහාර වට්ටෝරු මේ වෙබ් අඩවියට ඇතුලත් කරන්න පුලුවන්.

රොපෝසේ – Roposo

ඉන්දියානු සමාජජාලයක් වන මෙම වැඩසටහන ඔස්සේ ආහාර වට්ටෝරු ඉගෙන ගැනීමට වගේම ඔබේ අත්දැකීම් අනුව ඔබ දන්නා දේ ඇතුලත් කිරීම හෙවත් upload කරන්නත් පුලුවන්. මෙහි වඩාත් ප්‍රසිද්ධ වැඩසටහන අතරට ඇතුලත් වෙන්නේ Hungry T.V වැඩසටහනයි. වීඩියෝ දර්ශන ලබා දෙන අතර පසුබිමෙන් සංගීතයක්ද ඇසෙනවා. මේ නිසා උයන පිහන කටයුතු ඉතාම විවේකීව සහ සතුටින් අත්විදින්න දැන් කාටත් අවස්තාව තිබෙනවා.

ඒ වගේම ඔබ අලුත් ආහාරයක් සෑදීමෙන් ලැබෙන තෘප්තිය බෙදා හදාගෙනම රස බලන්න අවස්ථාව දැන් ඉතාම පුලුල්ව ලැබෙනවා. ස්වයංරැකියාවක් විදිහට ආහාරපාන සකස් කරන අයටත් මේ සමාජාල ඔස්සේ වෙළදපොල අවස්ථිවන ලබා ගන්නත් පුලුවන්. එයින් ස්වයං රැකියාවන්ටත් නොදැනීම වෙළදපොල සකස් වෙනවා.

උෂ්ණ අධික පරිසරය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක්ද?

දරුවන්ගේ ඇතැම් හැසිරීම් අපිට තේරුම් ගන්නත් අපහසුයි. ඒ තරමටම පොඩිඑවුන් තේරුම් ගැනීම අපිට අසීරුයි.මේ නිසාම දරුවන්ගේ අධ්‍යාපනයේදි ඔවුන්ට බලපාන අපි නොදකින පැත්තක් තිබෙනවා. පාසල් වැඩ කටයුතු වෙනුවෙන් දරුවන් දක්වන පසුගාමීත්වය එහෙමත් නැත්නම් අදක්ෂතාවයට උෂ්ණත්වයත් බලපෑමක් සිදු වෙන බව දැන් අනාවරනය කර ගෙන තිබෙනවා.

ඇත්තටම මේ පිළිබඳව අත්දැකීම් ඔබටත් ඇති. පාඩම් කරන්න කිව්වාම “මට දැන් බැහැ රස්නෙයි… කියල දරුවා කිව්වොත් ඔබේ පිළිතුර…” මුහුණ කට හෝදාගෙන ඇවිත් පාඩම් කරන්න යන පිලිතුර විය හැකියි. ඒත් දරුවා මේ වචන පිටකරන්නේ කටට ආවාටම නොවන බව දැන් නම් පෙනී යනවා.

කිසිම කෙනෙක් නොසලකා හිටියත් හාවඩ් මේ අධ්‍යනයට “යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා” , ‍ජෝර්ජියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය සම්බන්ධ වුණා. මෙම විශ්ව විද්‍යාල  මගින් සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී යන්නේ උෂ්ණත්වය දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි බලපෑමක් කරන බවයි. කොටින්ම මෙම අධ්‍යනය “ඉහල උෂ්ණත්වය සහ අවම ප්‍රතිඵල” යනුවෙන් නම් කලොත් සාධාරණයි.

ඔවුන් මේ අධ්‍යනය වෙනුවෙන් හඹා යෑම හෙවත් අන්වායෑම පර්යේෂණ ක්‍රමය යොදා ගත්තා. ඔවුන්ගේ නියැඳිය වෙනුවෙන් විශාල පරාසයක සිසුන් සම්බන්ධ කර ගත් අතර එම අධ්‍යනය 2001වසරේ පටන් 2014 දක්වා වූ වසර 13 ක කාලයක් පුරා සිද්ධ වුණා. මෙම වසර දහතුනක කාලය තුළ ද්විතියික පාසල් අධ්‍යාපනය ලබන මිලියන දහයකගේ විභාග ලකුණු සම්බන්ධ කර ගැනීමට පර්යේෂකයන් උනන්දු වුණා. එහිදී පැහැදිලිව පෙනී ගියේ උෂ්ණත්වය වැඩි වසරවලදී ශිෂ්‍යන්ගේ විභාග ප්‍රතිඵල එතරම් සාර්ථක නැති බවයි.

ග්‍රීෂ්ම කාලයේ විභාග වෙනුවෙන් පෙනී සිටි දරුවන් මේ උෂ්ණත්වය තමන්ට විභාග ලිවීම වෙනුවෙන් බාධාවක් බව කියා සිටියා. කොහොම වුනත් උෂ්ණත්වය සහ අධයාපනය අතර සහසම්බන්ධතාවයක් තිබෙන බව දැන් පැහැදිලියි. උෂ්ණත්වය ඉහළ යන විට පාසල් දක්ෂතා පහළ යාම පළමු වරට පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමට හාවර්ඩ්, යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස්, සහ ජෝර්ජියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික පර්යේෂණ පිලිබඳ ජාතික කාර්යාංශය මගින් පළ කරන ලද දැන්වීමක සඳහන් වෙන අන්දමට දරුවන්ගේ ඉගෙණුමට ශීත කාලගුණ තත්වය උෂ්ණ කාලගුණයට වඩා හිතකරව බලපාන බවයි. ඒ වගේම දරුවන් වෙනුවෙන් පැවරෙන ගෙදරවැඩ වෙනුවෙනුත් උෂ්ණාධික පරිසරය අහිතකර අන්දමින් බලපා තිබෙන බැව් මෙම අධ්‍යනයේදී පෙනී ගිය කරුණක්.

වසරකදී ඉහළ යන හැම සෙල්සියස් අංශක 0. 55 කටම ඉගෙනීමේ දක්ෂතාවයන් 1% කින් පහළ යන බව ඔවුන්ගේ අදහසයි. ඒ වගේම උෂ්ණත්වය අහිතකර විදිහට බලපෑම් ඇති කරන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ඉක්මවා ගියාට පසුව බවත් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඒ නිසා දාඩිය ඇති හැම දවසක්ම ඉගෙණුමට හොඳ නැහැ යන මතයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය නැහැ.ඒ අතරම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විට බලපෑම වැඩි වෙනවා.වායුසමීකරණ භාවිතා කරන යහපත් ආර්ථික පරිසරයක සිටින දරුවන් උෂ්ණත්යෙන් පීඩා විදීමට විකල්ප සපයා ගන්නවා.

ඉස්සර අපේ රටේ වුනත් තිබුනේ එලිමහන් පංති කාමර ගැන ආයෙමත් හිතන්න පුලුවනි. පුටුවක් අරගෙන පාසල් වත්තේ තිබෙන ගසක් වටා රවුමට හිඳගෙන අකුරු කරපු කාලයක් අපිට තිබුණා. දැන් නම් කොන්ක්‍රිට් නිසා ඒවා ටිකෙන් ටික අපෙන් ඈතට ගිහින්.

තවම අපි ප්‍රමාද නැහැ..

ඒ වුනත් අපිට තවම වුනත් එලිමහන් පංති කාමර ගොඩ නගා ගැනීමට පුලුවන්. නිවසේදී උෂ්ණත්වය අධික දවසට හොදින් සුලං හමන තැනක් තෝරා ගන්නත් පුලුවන්. සමහර දරුවන් බැල්කනියේ පාඩම් කරන්න යොමු වෙන්න පුලුවනි. ඒ වගේ වේලාවට “පුතා යන්න..කාමරයට..ඔතන පාඩම් කරන්න පුලුවන් තැනැක්ද..?” යනුවෙන් අණදීම ඉදිරියේදී නවත්වන්න වෙන හැඩයි. මොකද කිව්වොත් උෂ්ණත්වය දරුවාගේ අධ්‍යාපනයට ඇවැසි පරිසර තත්වයට බලපාන නිසා හීල් හෙවනක පාඩම් කරන අවසරය සහ නිදහස ඔවුන්ට ලබා දීම ඉතාම වැදගත්.

දරුවන්ගේ මානසික ආතතිය පිට කරන කායික රෝග ගැන දන්නවාද?

කුඩා දරුවන් නිතර කායික රෝග ලක්ෂණ ගැන පැමිණිලි කිරීම  දෙමව්පියන්ට පුරුදු අත්දැකීමකි. මෙබඳු අවස්ථා වල දෙමව්පියන් නිතර වෛද්‍යවරුන් කරා රැගෙන යාමද විවිධ පරීක්ෂණ සිදු කිරීමද  සිදු වේ. නමුත් ඇතැම් විට දරුවන් විවිධ අමාරු ගැන පැමිණිලි කළද ඊට හේතු විය හැකි රෝගයක් නැතැයි වෛද්‍යවරුන් පවසන අවස්ථා ඇත. කායික රෝග ලක්ෂණ ලෙස මතු විය හැකි මානසික ගැටළු මොනවාදැයි අද සලකා බලමු.

දරුවන් තුළ ඇති විය හැකි මානසික ආතතිය බොහෝවිට කායික රෝග ලක්ෂණ ලෙස මතුපිටින් පෙනිය හැක. උදාහරණයක් ලෙස අධික ආතතියෙන් පෙලෙන දරුවන් නිතර හිසරදය , බඩ රිදීම , පපුව රිදීම , ඇගේ වේදනා වමනය , ක්ලාන්තය ආදියෙන් පෙලෙනු අපි දකිමු.  නීරෝගී දරුවන් පවා කිසියම් පීඩාකාරී අත්දැකීමකින් පසු මෙවැනි ලක්ෂණ දැක්විය හැක. නමුත් එය ඉක්මනින් සුව වන අතර එම ලක්ෂණ වලට හේතු විය හැකි කායික රෝගයක් නොමැත.

නමුත් දිගින් දිගටම දරුවා අධික ආතතියෙන් පෙලේ නම් මෙම ලක්ෂණ නැවත නැවත ඇති විය හැක. විශේෂයෙන්  ශිෂ්‍යත්ව පන්තිවල දරුවන් මෙවැනි කායික රෝග ලක්ෂණ ඇතිව පැමිණීම රෝහල් වල ළමා සායන වල අපට නිතර දැකිය හැක. මෙම තත්වය නිවැරදිව හදුනා නොගැනීමෙන් දරුවාට මෙන්ම පවුලටද ගැටළු ඇතිවිය හැකිය. දෙමව්පියන් මේ දරුවන්ව නිතර නිතර වෛද්‍යවරු කරා රැගෙන යාමට පෙලබෙන අතර අනවශ්‍ය පරීක්ෂණ වලට ද ලක් විය හැක. කායික වෛද්‍යවරුන් රෝගයක් නැති පැවසු විට දෙමව්පියන් වෙනත් විවිධ වෛද්‍යවරුන් කරා දරුවා රැගෙන යාමට පෙළබේ. එමෙන්ම මෙය පාසල් ගමන අතපසු වීමටද ඒ හේතුවෙන් අධ්‍යාපනය දුර්වල වීමද සිදු විය හැක. එමෙන්ම මෙය දෙමව්පියන්ටද දැඩි පිඩාවක් ගෙන දිය හැකි හා පවුලේ සාමාජිකයින් අතර මත ගැටුම් ඇති විමට හේතුවක්ද විය හැකියි.

මේ දරුවෝ තමාට දැනෙන ඉතා සුළු කායික සංවේදනයක් ගැන පවා පමණට වඩා සැලකිලිමත් වෙති. ඒ ගැන දිගින් දිගටම සිතා බියට පත් වෙති. ඒ හේතුවෙන් පාසල් යාමට ප්‍රතික්ෂේප  කිරීමට පෙලබෙති. අනෙක් අතට දෙමව්පියෝ ද අනවශ්‍ය ලෙස බිය වී සුළු කායික ලක්ෂණයකට පවා අනවශ්‍ය ලෙස ප්‍රතිකාර සොයා යාමද අපි දකිමු. මෙය දරුවාගේ බිය තවත් වැඩි වීමටද , එම තත්වය තව දුරටත් පවතිමටද මුල් විය හැක.

විවිධ හේතු මත ( උදා : පාසැල මාරු කිරීම, යහළුවන් සමග ගැටළු ඇති වීම , අධ්‍යාපනික ගැටළු , පවුලේ ගැටළු, අපචාර වලට බදුන් වීම) අධික ආතතියෙන් පෙලෙන, ශාරීරික ලක්ෂණවලට අධික ලෙස සංවේදී , ආත්ම ශක්තිය අඩු , සෑම සුළු දෙයක් ගැනම අධික ලෙස තැති ගන්නා චරිත ලක්ෂණ ඇති දරුවන් තුල මෙම තත්වය බහුලව දැකිය හැක. එසේම මේ ලක්ෂණ විෂාදය හා කාන්සාව වැනි රෝගයක ලක්ෂණයක්ද විය හැක.

මනස හා ශරීරය ස්නායු මාර්ග මගින්ද, හෝමෝන මගින්ද සබදතා පවත්වා ගනී. රුධිරය මගින් රසායනික ද්‍රව්‍ය නිරන්තරයෙන්න්ම මොලය හා ශරීරය අතර හුවමාරු වේ. මේ නිසා අපේ සිතුවිලි ,හැගීම් හා මානසික ආතතිය  ශාරීරික වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් ලෙස අධික කණගාටුවෙන් සිටින විට සුළු වේදනාවල් පවා ඉතා දරුණු ලෙස දැනි ය හැක. එසේම කායික රෝග මගින් මිනිසාගේ සිතිවිලි හා හැගීම් වෙනස් කල හැක. ඉහත විස්තර කල ශාරීරික ලක්ෂණ වලට හේතු වන්නේ මනස හා හරීරය අතර ඇති මෙම සම්බන්ධතාවයයි.

මෙම තත්වයේදී දරුවා ට දැනෙන කායික ලක්ෂණ සැබෑ ලක්ෂණ වන අතර ඒවා මවා ගත්  ඒවා යයි දඩුවම් කිරීම සුදුසු නොවේ. මිට පිලියම්දීමේ මුලික පියවර  අත්‍යවශ්‍ය පරීක්ෂණ මගින් කායික රෝගයක් නැති බව තහවූරු කර ගැනීමයි. වෛද්‍යවරුන් සමග කතා බහ කර හොද සබදතාවයක් පවත්වා ගැනීමෙන් දෙමව්පියන්ගේ සිත් තුල ඇතිවන පීඩනය පාලනය කර ගැනීමද ඉතා වැදගත් වේ. මන්ද දෙමව්පියන් තුල ඇතිවන ආතතිය නොදැනුවත්ව දරුවාට බලපෑමෙන් එය මෙම තත්වය දීර්ඝ කාලීනව පැවතීමට හේතුවක් විය හැකි බැවිනි.

අනවශ්‍ය ලෙස රෝහල් කරා දරුවා ගෙනයාම , අනවශ්‍ය පරීක්ෂණ වලට යොමු කිරීම  ආදිය අවම කිරීමට වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුයි. හැකි තරම් දරුවාගේ සාමාන්‍ය ජිවිතයේ කටයුතු වල දීමට දරුවා උනන්දු කරන්න. එම කායික ලක්ෂණ වලට අනවශ්‍ය ලෙස අවධානය දීමෙන් වලකින්න. මේ තත්වයේදී දරුවාට තමන්ගේ කටයුතු ස්වාධීනව කර ගැනීමට ඉඩ දීම වැදගත්ය. දරුවාට අධික මානසික ආතතියක් ඇති විය කරුණු හැකි තරම් හදුනා ගෙන පිළියම් යොදන්න. මේ සදහා පාසලෙන් , උපදේශකවරුන්ගෙන් හා මනෝ වෛද්‍ය වරුන්ගෙන් සහය ලබා ගත හැකිය.

ඉහත විස්තර කල ලක්ෂණ වලට අමතරව කලාතුරකින් එකවර කතා කිරීමට නොහැකි වීම , අත පය පන නැති වීම , සිහි නැතිවීම , වලිප්පුවට සමාන රෝග ලක්ෂණ ආදියද දක්නට ලැබේ.

බොහෝ අවස්ථාවල චර්යාත්මක ප්‍රතිකාර මගින් මේ තත්වයට උදවු ලබා දිය හැකි වේ.  නමුත් ඇතැම් විට ඖෂධිය ප්‍රතිකාරද අවශ්‍ය විය හැක. මෙයින් සම්පුර්ණයෙන් සුවය ලැබීමට කල් ගත විය හැක. ප්‍රයෝගිකව අප දකින ගැටළුවක් වන්නේ දෙමව්පියන් ක්ෂණික විසදුම් අපේක්ෂා කිරීමයි. ඒ නිසා ඔවුන් පිඩනයට පත් වීමෙන් දරුවාට ඔවුන්ගෙන් ලැබිය යුතු සහය නොලැබී යා හැකියි. එබැවින් දෙමව්පියන්  දැනුවත් වීම හා ඉවසිලිමත්ව වැඩ කිරීම ඉතා වැදගත්  වේ. වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් වැඩ කිරීම දරුවාගේ ගැටලුව විසදා ගැනීමට පිටුවහලකි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

පුතා ඉස්කෝලේ යන්න බැහැ කියනවද ?

කිසිම කරදරයක් නැතුව පාසල් ගිය ඔබේ දරුවා හිටිහැටියේම පාසල් යන්න බැහැයි කියමින් කලබගෑණයක් කරන්න ගත්තොත්… එහෙම නැත්නම් උදේට පාසල් යන කාලව්ලාව ගෙවෙන තුරු විවිධ රෝගාබාධ ගැන පැමිනිලි පටන්ගත්තොත් ඔබ නිහඩ විය යුතු නැහැ. ඒ වගේම දරුවාට දඬුවම් පමුණුවමින් පාසල් යන්නත් උත්සාහ ගන්න එපා.

එහෙමනම් කරන්නේ මොකද…? ගෙදර තියා ගන්නයැ…

දරුවාගේ මේ පසුබෑමට බලපාන හේතුවක් කොතැනක හෝ ඇති. ඇතැම් දරුවන් පාසල් ගේටුටුවෙන් ඇතුලු වුන තැන පටන් පාසල අවසාන වෙන තෙක් සිද්ධ වුන හැම දේම චිත්‍රපටියක් වගේ දෙමව්පියන්ට කියනවා. තවත් අය මේ කිසිවක් නොකියා අවශ්‍ය දේ පමනක් දෙමව්පියන්ට කියනවා. තවත් දරුවන් කොටසක් කිසිම දෙයක් මව්පියන් සමග බෙදා හදා ගන්නේ නැතුව තමා විසින්ම තනියම දරා ගැනීමට උත්සාහ කරනවා. ඔය කණ්ඩායම් තුන අතරින් ඔබේ දරුවාත් තුන්වැනි කණ්ඩායමට ඇතුලත් වුනොත් තත්වය දරුනුයි. ඔබ නොකීවාට දරුවාට පහත දරකුවෙන අන්දමේ කුමන හෝ අසීරුතාවයක් ඇති. ඔහු පාසල් ගමනට පසුබෑම් කරන්නේ ඒ නිසා වෙන්නැති.

විෂය අපහසුතාවයන්

පංතියක උගන්වන දෙය හැම දරුවෙකුටම එක හා සමාන විදිහට ධාරනය කර ගන්න බැහැ. එය එක් එක් දරුවාගෙන් වෙනස්. මේ නිසා පංතියේදී දරා ගැනීමට අපහසු දෙය වෙනුවෙන් ඔවුන්ට උදව් අවශ්‍ය වෙනවා. ඒත් ඔබ ඒ ගැන නොදන්නේ දරුවා කිසිම දිනක මේ ගැන පැමිණිලි නොකරන නිසා වෙනන් පුලුවන්. නිතරම ඔවුන්ගේ පොත් පත්, පංතියේ පැවරුම්, ලැබෙන ලකුනු ගැන උනන්දුවෙන් බලන්න. එවිට වැරදුන තැන කොතැනද කියලා ඔබට තේරුම් ගනන් පුලුවනි. එසේ නොමැතිව විෂය නිසා අසීරුතාවයට වැටෙන දරුවා ප්‍රතිචාර දක්වන්නේ “මට ඉස්කෝලේ යන්න බැහැ…” කියන විදිහට විය හැකියි.

පංතියේ අඩන්තේටට්ම්

අද පංතියක වුනත් දරුවන් අතර හැසිරීම් ඉතාම වෙනස්. ඉහළ පංතිවල දරුවන්ගේ අඩන්තේටට්ම් වගේම සම වයස් කන්ඩායම් අතරත් අඩන්තේටට්ම් තිබෙනවා. පසුගිය දිනක නව යොවුන වියේ දරුවෙන් නිවසේ විදුලි පංකාවක එල්ලී සිය දිවි හානි කරගත්තේ පංතියේ දරුවන්ගේ සමච්චල් ඉවසා ගැනීමට බැරුවයි. එතෙක්ම දරුවා මේ ගැන දෙමව්පියන්ට පවසලා නැහැ. මේ තැනට නම් වගකීම පාසල් මටටමින් සිදු වෙනන් ඹ්න. අද බොහෝ පාසල්වල ගුරුවරුන් නොමැති අවස්ථාවල ඒ කාලච්ඡේද වෙනුවෙන් දරුවන්ට වැඩ කොටසක් පැවරෙන්නේ නැහැ. එවිට දරුවන් අයාලේ යෑම නිසා මේ වගේ සිද්ධින් වලට මුලින්ම මුල පිරීම ඇති වෙනවා. ඒ නිසා පංතියක් මොනම වේලාවකවත් ගුරුවරුන්ගේ අවධානයෙන්මිදීම එතරම් සුබදායක නැහැ. වෙනත් වැඩකට හෝ දරුවන් යොදා ගැනීම සිද්ධ වුනොත් අනවශ්‍ය විදිහට අඩන්තේට්ටම් වෙනුවෙන් දරුවන්ට යොමු වීමට කාලයක් නැහැ.

අපචාර

දරුවන්ට ඇති වෙන ලිංගික අපචාර නිසාත් මේ අන්දමින් පසුගාමිබවක් ඇති වෙන්න පුලුවන්. එක්තරා දරුවෙක් පාසලේ වෑන් රියේ රියදුරාගෙන් අපචාරයට පත් වුන අතර ඔහු එම ක්‍රියාව නිවසේදී සිදු කරන විට පියා කරුනු විමසා සිටියා. තවත් දරුවෙක් ඉහල පංතියක පිරිමි දරුවෙක් ලිංගිකව සන්තර්පනය කිරීමට ‍ගොස් මානසිකව මහත් සේ අපහසුතාවයට පත් වුනා. ඒ නිසා මේ අන්දමින් කටයුතු එදා නොවුනාට අද ඒ දේවල් සිද්ධ වෙන පරිසරයක් තිබෙන නිසා ඉතාම අවධානයෙන් සිටීම වැදගත්.

පාසලේ දැඩි විනය

ඇතැම් පාසල්වල තිබෙන වියත් සීමාව ඉක්මවා යෑම අපහසුතාවයක්. වැසිකිලි, කැසිකිලි කටයුතු වෙනුවෙන් අවසර නොලද විට දරැවා මහත් අපහසුතාවයට පත් වෙන අතර එය පංතියේදී  පවා සිදු වෙන්න පුලුවන්. එයින් ඇති වෙන අවමානය නිසාම ඔහු “මට ඉස්කෝලේ යන්න බැහැ…” ලෙස කියන්න පුලුවන්.

දඬුවම්

අද දරුවන්ට දඬුවම් කිරීම නීතියෙන් සීමා වුනත් ඇතැම් මානසික දඬුවම් නිසා දරුවන්ට සිද්ධ වෙන බලපෑම ශාරිරික දඬුවමට වඩා බලවත්.ඇතැම් අවස්ථාවන්හිදී එයින් ලැජ්ජාවට පත් වෙන්න පුලුවන්. සම වයස් අතර විහිලුවට පත් විය හැකියි. ඒ නිසා දරුවන්ට දඬුවම් ලබා දෙන විට ඉතාම සීරුවෙන් එය කිරීම අවශ්‍ය වෙනවා.

දරුවෙකුට පාසලක් එපා වෙනවා කියන්නේ සුලුපටු කරදරයක් නොවෙයි. ඔහුට අනාගත වාක්‍ය ගායනා කළාට වැඩක් නැහැ. දරුවා බලන්නේ අද දවස ගැන විතරයි. පාසලක් වෙනස් කරල වෙනස් පාසලක් ලබා ගැනීම ගලෙන් පටට්යක් ගැනීමට සමානයි. ඊටත් ජනප්‍රිය පාසලකදී මෙවන් තත්වයක් ඇති වුනොත් ඒ දරුවා ඒ පාසලෙන් අයින් කරගෙන වෙනත් පාසලකට යැවීමත් ගැටළුවක්. ඒ වගේම සාමාන්‍ය පාසලකින් මේ අන්දමට අපහසුතාවයකට පත් වෙන දරුවෙක් වෙනුවෙන් ජාතික හෝ ජනප්‍රිය පාසලක් ලැබෙයිද..? මේ දෙකම නොවෙන දෙයක්.

ඒ නිසා ළඟම පාසල හොඳම පාසල වගේම හැම පාසලකින්ම දරුවන්ට මානසික සහනයක් ඇති වෙන පරිසරයක් ගොඩ නගා ගැනීමට පුලුවන් නම් එය ඉතාම වැදගත්. සහර අවස්ථාවන්හිදී දෙමව්පියන් විසින් පංතියේදී දරුවන් විසින් කරන බලපෑම් ගැන දැනුම් දුන්නත් ඒ ගැන සලකා බැලීමට තරම් කාලයක් වේලාවක් වගේම අවධානයක් දැක්වීමට පාසල් ප්‍රධාණීන් උනන්දු නොවන්නේ මේවා ළමයි අතර සාමාන්‍ය දේවල් විය හැකිය යන පිලිගැනීම නිසා වෙන්නත් පුලුවන්. අතීතයේදී වගේ අද දරුවන් අතර කෙලි කවටකම් ඇස් රතු වෙන තැනට මිස සහසම්බන්දතාවයට නොවෙයි. ඉතාම ගුප්ත හැසිරීම් මේ අතර තිබෙනවා. අයියලාට වුනත් මල්ලී රැකබලා ගන්න දෙන්න පුලුවන් කමක් අද නැහැ. ඒ නිසා දරුවෙක් තුළ පාසල මුල් කර ගෙන කිසියම් අප්‍රසන්නතාවයක් තිබෙනවා නම් ඒ ගැන නොතකා හරීම නියපොත්තෙන් කඩන්න හැකි දේ පොරවෙන් කැපීම නොව එහි ඔඩු දුවන මුල් නිසා ජීවිතයම විනාහ කිරීමට තරම් බලවත් ගැටලු තිබෙන බව අමතක කරන්න එපා.