Home Blog Page 29

දරුවාගේ පෙනීම ගැන ගැටලුවක් ඔබටත් තිබෙනවාද?

අපේ දරුවන්ගේ සංවර්ධනයේදී දරුවාගේ ගැටළු මුල් අවධියේදීම හඳුනාගෙන ඒවාට නිවැරදි ප‍්‍රතිචාර ක‍්‍රම භාවිත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙහිදී පෙනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ හොත් පහත කරුණු ඉතාමත් වැදගත් වෙනවා. ඒ ඇතැම් විට දරුවාගේ පෙනීමේ දුර්වලතාවයක් ඇති නිසා ද විය හැකියි. දරුවාගේ පෙනීමේ සම්බන්ධව යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් තියෙනවාද යන්න අවබෝධ කරගත හැකි හොඳම කාලය දරුවාගේ ජීවිතයේ පළවෙනි අවුරුද්දයි. දරුවාගේ පළමු වසර තුළ පහත දැක්වෙන ගැටලු ඔබට ඇති වෙනවා නම් ඒ පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට ප්‍රමාද නොකළ යුතුයි.

  • මාසයක් ඇතුළත දරුවා ආලෝකය දෙස බලනවද?
  • අපි මුහුණ විවිධ පැති වලට හරවද්දී ඒ හරවන පැති වලට හැරී දරුවා ප‍්‍රතිචාරත්මකව සිනාසෙනවාද ?
  • බාහිර පරිසරයේ තියෙන දේවල් දිහා දරුවා බලන්නේ නැද්ද?
  • අතපය දිගු කරලා සෙල්ලම් බඩු අල්ලන්න උත්සහ කරන්නේ නැත්ද?
  • අදුරේ සිට එකවර එළියක් වැටුණු විට දරුවා ඒ දිහා බලනවාද?
  • පළවෙනි මාසය ඇතුළතදී අම්මා දිහා බලලා අම්මගේ මූණ හඳුනා ගන්න උත්සහ කරනවාද?

මේ ගැටලුවලට ලැබෙන්නේ ඍණාත්මක පිළිතුරු නම් දරුවා‍ට පෙනීමේ දුර්වලතාවයක් ඇති බවට ඔබට සැක කළ හැකියි. 

වයස මාස දෙකක් පමණ ගත වෙද්දී දරුවෙක්ට අපි මුහුණ විවිධ පැති වලට හරවද්දී දෑස් ඒ ඒ පැත්තට හරවමින් ප්‍රතිචර දැක්වීම කළ හැකියි.  එලෙස ප‍්‍රතිචාරාත්මකව සිනාසෙන්න අපහසු නම් යම් හෙයකින් දරුවාගේ ඇස් දෙකම එකට චලනය වෙන්නේ නැත්නම් වයස මාස දෙකක් විතර කාලය ගතවෙද්දී ඒ පිළිබඳව අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. 

වයස මාස හයක් පමණ වන විට සාමාන්‍යයෙන් දරුවෙක් බාහිර පරිසරයේ දේවල් දෙස බලනවා, ඒ වගේම ඒ පිළිබඳව අවධානය යොමු කරනවා ඉතාමත්ම වැඩියි. යම් හෙයිකින් ඔබ සැක පළකරනව නම් ඔබේ දරුවා බාහිර පරිසරයේ තියෙන දේවල් දිහා බලන්නේ නැහැ සහ අත් දිගු කරමින් ඒ දේවල් ඉල්ලන්න සූදානමක් නැහැ හෝ බාහිර පරිසරයේ තියෙන දේවල් එක්ක ප‍්‍රතිචාරාත්මකව ගනුදෙනු නොකරන බව සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. 

උදාහරණයක් විදියට තොටිල්ලට උඩින් එල්ලන විවිධ විවිධ සෙල්ලම් බඩු දිහා දරුවා බලන්නේ නැත්නම් ඒ වගේම අතපය දිගු කරලා මේ සෙල්ලම් බඩු අල්ලන්නට උත්සහ කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔබ ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. 

ඒ වගේම දරුවා දිහා දැඩි නිරීක්‍ෂණයකින් කල් ගත කරනව නම් දරුවාට වපරයක් තියෙනවාද යන්න ගැනත් මාස හය වන විට හඳුනාගන්න පුළුවන්. ඇතැම් විට වැඩිහිටියෝ ඒක පිං වපරයක්/ලොකු වෙද්දි ඇරිලා යාවී වගේ උපදෙස් ලබා දුන්නත් ඔබ ගත යුතු හොඳම තීරණය වන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට එහෙමත් නැත්නම් ළමා අක්‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙලා ඒ තත්ත්වය පිළිබඳ සැක හැර දැන ගැනීමයි. 

වයස මාස දහය වගේ වෙද්දී අපේ දරුවෝ දණ ගානවා, බඩ ගානවා. ඉතින් මෙහෙම ඇවිදිද්දී කරද්දී අපේ දරුවෝ දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල යොමු කර බිම වැටිලා තියෙන ඒවා අල්ලන්නේ නැත්නම්, එහෙම නැත්නම් cot එකේ තියෙන පොඩි පොඩි දේවල් අල්ලන්න උත්සහ කරන්නේ නැත්නම් එයත් දරුවගේ පෙනීම ගැන සැලකිලිමත් විය යුතු තවත් එක් අවස්ථාවක්. යම් හෙයකින් මාස 10 විතර වෙද්දිත් ඔබේ දරුවට දබර ඇඟිල්ල සහ මහපට අඟිල්ල එකතු කරලා කුඩා දේ ඇල්ලීම දරුවාට අපහසු නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු බව අමතක කරන්න එපා. 

වයස මාස දොළහා එහෙම නැත්නම් අවුරුද්දක් විතර වෙද්දී යම් හෙයකින් ඔබේ දරුවට අත දිගු කරලා ඔහු කැමති ද්‍රව්‍යයකට ප‍්‍රතිචාරයක් දක්වන්නට නොහැකි නම් ඒ වගේම ඔහු කැමති දෙයක් තිබෙනව නම් යම් හෙයකින් අතපය දිගු කරලා එය ඉල්ලීමට අපහසුතාවක් තිබෙනව නම් ඒ වගේම ළ`ගම පවුලේ ඥාතීන් කතා කරන විට මුහුණ දිහා බලලා ඔවුන්ව අ`දුරගන්නේ නැත්නම් අනිවාර්්‍යයනේම එයත් අවධානය යොමු කළ යුතු කාරණාවක් වෙනවා. 

ඉහත සඳහන් වූ යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඔබේ දරුවාගේ පළමු වසර තුළ දැකගන්න ලැබෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම නුවණට හුරුයි. 

දරුවාගේ පළමු වසර තුළ මව්පියන් විශේෂ අවධානයක් යෙමු කළ යුතු කරුණු

  • ඉපදී පළමු මාසයේ සිට දරුවා ආලෝකය දෙසට ඇස් යොමු කරනවාද?
  • දරුවා ඔබේ මුහුණ දෙස හොඳින් බලනාවද?
  • මාස දෙක වන විට ඔබ මුහුණ දෙපසට හැරවීමේදී ඔබ දෙසම බලා දරුවා ප‍්‍රතිචාරාත්මකව සිනාසෙනවාද? එවිට දරුවාගේ ඇස් දෙකම එකවර චලනය වේද?
  • මාස 6 පමණ වන විට දරුවා විමසිල්ලෙන් අවට බලනවාද? දරුවා අත දිගු කර යමක් ඇල්ලීමට උත්සහ කරනවාද?
  • මාස 6 වන විට දරුවාට වපරයක් ඇතැයි ඔබ සැක කරනවාද?
  • මාස 10 දී දරුවාට මහපටඟිල්ල හා දබරඟිල්ල ආධාරයෙන් කුඩා ද්‍රව්‍ය අහුලාගැනීමට හැකියාවක් ඇත්ද?
  • මාස 12 දී ඔබේ දරුවා නොයෙක් දේවල් දෙසට අත දිගු කොට ඒවා ඉල්ලනවාද? හඳුනන පුද්ගලයෙක් දුටු විට ඔවුන් දරුවාට කතා කිරීමට පෙර දරුවා ඔවුන්ව හඳුනා ගන්නවාද?

අපේ දරුවන් සංවර්ධනයේදී දරුවන්ගේ ගැටලු මුල් අවධියේදිම හඳුනාගෙන ඒවාට නිවැරදි ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කිරීම ඉතාමත්ම වැදගත් වන බව දෙමාපියන් වන ඔබ සිහියේ රඳවා ගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 

 


                

ඔබත් දරුවා සමඟ කතන්දර කියනවාද?

“කතන්දර” යනු දරුවන් මහත් ප්‍රිය කරන දෙයකි. දරුවන් කතන්දර අසන විට ඔවුන් ඊට අදාළ වන ලෙස පරිසරය, හැඟීම්, අදහස් මෙන්ම නිතැනින්ම එම කතන්දරයට අදාලව පසුබිම් වන පරිසරයක් තනා ගනිති. කතන්දර වලට ඇලුම් කරන දරුවන් කතන්දර පවසන විට එම කතන්දරය තුළ ජිවත් වනවා යයි පැවසුවහොත් එය නිවැරදි ය. 

ඇතැම් විට කිසි දිනක නොදුටු, නොඅසපු, මෙන්ම ස්පර්ශයෙන් නොදැනුනු යමක් වුවද ඔවුන් කතන්දර තුලින් ග්‍රහණය කර ගනිති. මේ හරහා දරුවන් ට දුක, සැප, ජයග්‍රහණයන්, පරාජයන් මෙන්ම සමාජ වටිනාකම් ද කියා දීමට ඔබට හැකියාව පවතී.

අතීතයේ අපේ ආච්චිඅම්මා, සීයා තම මුණුපුර මිනිපිරියන් වට කරගෙන රසවත් කතා කියා දුන් බව අප අසා ඇති නමුත් අද සමාජ පසුබිමත් සමඟ එය ප්‍රයෝගික නොවනු ඇත. නමුත් දෙමවුපියන් වශයෙන් දරුවන් ගේ සමීපතයන් ඔබ බැවින් කතන්දර පැවසීමට ඔබට කටයුතු කිරීමට සිදුවනු ඇත.

කතන්දර කියා දීමේ වටිනාකම පිලිබඳ ඔබ නොසිතන්න ට ඇති.

නමුත් දරුවාගේ භාෂා වර්ධනය ට එය රුකුල් දෙන බව ඔබ දන්නවාද? භාෂා අවබෝධය සහිත දරුවන් කතන්දර ඇසීම තුලින් ඒ හා සමඟ බැඳී පවතින වචන, වාක්‍ය කණ්ඩ, ඒ සමඟ යොදා ගන්නා විවධ භාෂා කොටස් ( ප්‍රස්ථා පිරුළු , උපමා ආදී), කතා විලාසයන් අනුකරණයටත් ඉගෙන ගනු ලබයි. තවද දරුවන් ප්‍රථමයෙන් කතන්දර ඇසීමට ප්‍රිය කරන අතර පසුව තමා අසු කතන්දරය  තව කෙනෙකුට ප්‍රකාශ කිරීමට පෙළබිම ද දරුවාගේ භාෂා දියුණුවේ ප්‍රබල සංදිස්ථානයකි. මන්ද බාහිර පුද්ගලයකුට තේරෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම, මුල මැද අග නිසි පරිදි ගැලපෙන ලෙස වාචික ප්‍රකාශනය කිරීමට ඉගැනීම, තමන්ගේ වාචික ප්‍රකාශනයෙන් නිසි ලෙස තොරතුරු ලබා දීම ආදී බොහෝ දේ දෙවන කොට දරුවා ඉගෙන ගනු ලබයි. 

තවද කතන්දර වලට සවන් දීම

තවද කතන්දර වලට සවන් දීම තුලින් දරුවාගේ සවන්දීමේ කුසලතා, අවධානය දීමේ කුසලතා ද දියුණු වනු ඇත. මන්ද ඔබ කතන්දරය අවසන් වූ විට ප්‍රශ්න අසන බවට දරුවා ට ප්‍රථමයෙන් පවසා කතන්දරය කියා දිය හැකිය. එහිදී දරුවා දරුවා කතන්දරය අවධානයෙන් සවන් දිය යුතුමය. තවද කතන්දරය  අවසානයේදී අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ද භාෂා ඉගෙනුමෙහි ලා මහත් කුසලතාවයකි. මන්ද කතාව අවබෝධ කර ගැනීම, ප්‍රශ්නයට අදාළ පිළිතුරු කතන්දරය  ආශ්‍රයෙන් සොයා ගැනීම, ඉලක්ක ගත පිළිතුරු නිවැරදි ලෙස වාචිකව ප්‍රකාශ කිරීම ආදී බොහෝ කුසලතා මේ තුලින් දරුවාගේ දියුණු වනු ඇත. 

දරුවාගේ  දැනුම දියුණු කල හැකිය

තවද කතන්දර මගින් දරුවාගේ  දැනුම දියුණු කල හැකිය. උදාහරණයක් ලෙස ඔබ ඉතිහාසයට අදාළ කතාවක් පවසනවා යයි සිතන්න. එවිට දරුවා අපගේ අතීතයේ පවතී සමාජ පසුබිම, පරිසරය පිලිබඳ දැනගනු ඇත. මේ ආකාරයට දරුවා ට ඒ ඒ කතන්දරය සමඟ දැනුම් පද්ධතියක් ලැබෙනු ඇත.

දරුවන් කතන්දර අසන විට අසන ප්‍රශ්න 

ඔබේ දරුවන් කතන්දර අසන විට ප්‍රශ්න අසන වාර පිලිබඳ ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. එය දරුවාගේ භාෂා ඉගැනුමෙහි ලා වැදගත් කුසලතාවයකි. මන්ද වාචික ප්‍රශ්න නැගීම දරුවාගේ භාෂා ඉගැනිමෙහි ලා ඉතා වැදගත් වන බැවිනි. තමාට දැනගත යුතු දෙය ප්‍රශ්නයක් ලෙස ඇසීම, නිවැරදි ලෙස ප්‍රශ්න කාණ්ඩ   (WH questions) හසුරුවා ගැනීමට ද දරුවා මේ තුලින් ඉගෙන ගනු ලබයි.

දරුවාගේ චින්තනය දියුණු වීම

තවද දරුවාගේ චින්තනය දියුණු වීමට මෙය ඉතාමත් වැදගත් වේ. මන්ද දරුවා පළමුකොට කතන්දර අසන විට එම කතන්දර මනසින් නිර්මාණය කර ගැනීම, ඇතැම් විට ඊට අදාළ චිත්ත රූප ජනනය කර ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. පසුකලෙක දරුවා තනිව සකස් කරගත් කතන්දර ඔබට පැවසීමට ඉඩකඩ පවතී. එහිදී, දරුවා සිතීම, වාචිකව අදහස් ගලපා ගැනීම ආදී බොහෝ දේ සිදු කරනු ලබයි. මේ අනුව දරුවාගේ භාෂා භාවිතය දියුණු වීමට ද කතන්දර කීම ඉමහත් ලෙස උදවු වනු ඇත.

දෙමවුපියන් වශයෙන් ඔබට ඔබේ දරුවා සමඟ කතන්දර පැවසීමට විශේෂ කාලයක් අවශ්‍ය නොවනු ඇත. දරුවා සමඟ ගත කරන සුළු කාලයත් දරුවා හට කතන්දරයක් පැවසීමට ඔබට කල හැකි දෙයකි. ඇතැම්විට ඔබට කතන්දර පැවසීමට සුවිශේෂී වෙලාවක් කාලයක් තබා ගැනීමත් දරුවා හට මේ සදහා ඇති උනන්දුව වැඩි කරනු ඇත. ඇතැම් විට ඔබ පවසන කතන්දරයට අදාළ වන ලෙස සෙල්ලම් බඩු, කතන්දර පොත් ආදිය තුලින් ඔබට දරුවාගේ රුචිකත්වය වැඩි කර ගත හැකිය. එමනිසා දරුවන් සමඟ කතන්දර කීම දරුවාගේ භාෂාව දියුණු වීමට උදවු වන බව ඔබට වැටහෙනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

Baby Talk හි වැදගත්කම

වැඩිහිටියෙකු ලෙස ඔබ තවත් වැඩිහිටියකු සමඟ  සංවාදයේ යෙදෙන ස්වරූපය ඔබ ළදරුවෙකු සමඟ සන්නිවේදනයේ යෙදීමට වඩා මුළුමනින්ම වෙනස් වේ. ඔබ මෙහි ඇති වෙනස්කම් ඒවායේ ඇති වටිනාකම් පිළිබඳ මොහොතකටවත් සිතුවා ද?

ලොව පුරා සිටින දෙමව්පියන් ළදරුවන් සමඟ වඩාත් වෙනස් වූ ස්වරූපයෙන් කතා කරති. එනම් ඔබ කුඩා දරුවෙකු සමඟ  කතා කරන විට ඔබගේ කතා විලාශය බොහෝ ආකර්ෂණීය, ඇද පැද කතා කරන ලයාන්විත ස්වරයෙන් යුතු වන අතර ඔබගේ කතා විලාශය ළදරුවකුගේ කතා විලාශය ට නිතැතින්ම මාරු වීම සිදු වන අතර හා එම ස්වරයෙන් දරුවා සමඟ සන්නිවේදනයේ දීම  baby talk ලෙස හඳුන්වයි. 

දරුවාගේ උපතේ සිට සිදුවන භාෂා වර්ධනය ට baby talk ඉතා වැදගත් බව අද වන විට පිළිගන්නා මතයකි. මන්ද මේ හරහා ඔවුන්ට භාෂාව පෝසත් පසුබිමක් නිවසේ සකස් කර දිය හැකි අතර ඔවුන් සමඟ  මෙම සිදුකරන සුහද සංවාද දරුවා හට ශබ්ද, වචන මෙන්ම වාචික, අවාචික සන්නිවේදනය දියුණුවට ද  මංපෙත් විවර කරනු ඇත. 

ඇතැම්විට baby talk අවස්ථාවන් අත්‍යවශ්‍ය නොවන බවක් දෙමවුපියන් හට දැනිය හැකි නමුත් එය එසේ නොවේ. මන්ද කුඩා දරුවන් මෙම අතිශයෝක්තියට නැංවූ කතා විලාශය ඇහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වනවා පමණක් නොව එමගින් ඔවුන් තම වචන වඩාත් පහසුවෙන් ඉගෙනගනීති.  තවද මේ හරහා විවිධ ශබ්ද අනුකරණය, ශබ්ද අතර ඇති වෙනස්කම් හා එම ශබ්ද නිපදවීමට කථන ව්‍යුහය සකසන අයුරු ද ඉස්මතු කිරීම සිදු කිරීම තුළින් දරුවන් හට ශබ්ද ධාරාවන් අර්ථවත් භාෂා ඒකක බවට පරිවර්තනය කර ගැනීමට උපකාරී වේ. උදාහරණ ලෙස ඔබ දරුවා අතට ගෙන නලවන විට /ආ/ /ඕ/ වැනි ශබ්ද නැගීම තුලින් ඔවුන් එම ශබ්ද ඇහුම්කන්දීම, හඬ වෙනස්කම් හඳුනා ගැනීම ආදී කුසලතා ද ශබ්ද පදනම් කරගත් භාෂා පද්ධතියක් ද සකසා ගනු ඇත. 

Baby talk වැදගත්කම දෙමව්පියන්ට පැහැදිලි කරන විට ඇතැම් දෙමව්පියන් හට ඇති ගැටළුවක් වන්නේ baby talk කරන්නේ කෙසේද, කුමන අවස්ථාවේදී ද යන්නයි. එහිදී කිව යුතුම දෙයක් වන්නේ දරුවා සමඟ  හැකි සෑම විටම සංවාදයේ යෙදීම උචිත බවයි. මේ සඳහා ඔබ දෛනිකව සිදු කරන සෑම ක්‍රියාවලියක් තුළ දීම සංවාදයක් ගොඩනැගිය ගෙනීමට දෙවරක් නොසිතන්න. උදාහරණ ලෙස දරුවා සෝදන විට, දරුවා ඇඳේ සිටින විට , දරුවා ඔබගේ අතේ සිටින විට, සෙල්ලම් කරන විට ආදී බොහෝ දෛනිකව සිදු කරන ක්‍රියාවලියන් මේ සඳහා  කදීම අවස්ථා සලසා දෙනු ලබයි. දරුවා සමඟ ඇති කර ගනු ලබන කුඩා සංවාද තුළින් දරුවාගේ භාෂා කුසලතා දියුණු වන වා සේම භාෂාව ට  අවශ්‍ය වන පෙර කුසලතා ද එනම් ඇසට ඇස බැලීම, අනුකරණය, අවධානය ලබා දීම ආදී බොහෝ කුසලතා ද දියුණු කරගත හැකිය. 

තවද ඇතැම් දෙමව්පියන් තුළ පවතින පෞරුෂමය ලක්ෂණ හේතුවෙන් මෙම අවස්ථාව ගැටළුකාරී වන අවස්ථා ද දක්නට ලැබේ. මන්ද, ඇතැම් දෙමවුපියන් ද වැඩි වශයෙන් වාචික නොවීම, කාලය අවම වීම ආදී ගැටළු තිබිය හැකි නමුත්  ඇතැම් දෙමව්පියන් ස්වභාවිකවම ලයාන්විත ස්වරයෙන් යුතු විය හැකියි. නමුත්  baby talk සඳහා අවශ්‍ය ලෙස පරිසරය සකසා ගැනීම හා එහි ඇති වැදගත්කම ඔබට දැන් වැටහෙනවා නොඅනුමානයි.

තවද, මෙම කතා කරන අවස්ථාවේදී ඔබේ කතාව ඉතාමත් රිද්මයානුකූල මෙන්ම ලයාන්විත මෘදු ස්වරයකින් යුක්ත විය යුතු අතර ඔබ සරල බස එහිදී භාවිතා කළ යුතුය. එමෙන්ම වාචික භාෂාව එහිදී තවත් සරල වීම තුළ දරුවා හට ඔබ වඩාත් පැහැදිලි වන අතර, නිතර දරුවා හට සිනාමුසු මුහුණෙන් දරුවාගේ මුහුණ දෙස බලමින් කතා කිරීමත්, සුදුසු තැන් වලදී විවිධ සෙල්ලම් බඩු (ශබ්ද නඟන සෙල්ලම් බඩු, සංවේදන අවයව උත්තේජනය වන සෙල්ලම් බඩු) ආදිය මේ සඳහා ඔබට යොදාගත හැකිය.

තවද දරුවා  විද්‍යුත් තිර ඉදිරිපිට ගත කරන කාලයට වඩා ඔබ මෙම අවස්ථාවන්ට baby talk time ආදේශ කර ගැනීම තුළින් දරුවා හට නිවැරදි ලෙස කතාව, භාෂාව හා අනෙකුත් ආශ්‍රිත කුසලතා දියුණු  කර ගැනීමට උපකාරී වේ. 

තවද දෙමවුපියන්ගේ කාර්යබහුලත්වයත් සමඟ baby talk අවස්ථාවන් සඳහා තිබෙන කාලය සීමිත වීමට හා අවම වීමට ඉඩකඩ වැඩි විය හැකිය. නමුත් ඔබ නොමැති අවස්ථා නිවසේ ඇත්නම් දරුවා රැකබලා  බලා ගන්නා කෙනෙකු නිතර දරුවා සමඟ රැඳෙනවා නම් ඔහුට/ඇයට මෙහි වැදගත්කම පවසා දීමත් ඔවුන් එය සඳහා උනන්දු කරවීමත්, දෙමව්පියන් වශයෙන් ඔබට කාලය ලැබුණ විට එය උපරිම වශයෙන් දරුවා සමඟ ගත කිරීමත් තුළින් baby talk සඳහා ඇති ගැටළු අවම කරගත හැකිය. එමනිසා ඔබේ දරුවාගේ ළදරු කාලය දරුවාගේ කුසලතා දියුණු කිරීම කෙරෙහි මහත් සේ බලපාන අතර ඒ සඳහා ඔබගේ මැදිහත් කම ද ඉතාමත් අවශ්‍ය වේ. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

වාචික නොවන ඔටිසම් තත්වය සහිත දරුවන් සමඟ සන්නිවේදනය

අද බොහෝ දෙනෙකු ඔටිසම් තත්වය පිළිබඳ යම් තරමකින් හෝ දැනුවත් බව කිව යුතුමය. ඊට හේතු ලෙස කිව හැක්කේ මෙම තත්ත්වය පිළිබඳ සමාජ කතිකාවතේ ව්‍යාප්තිය වැඩි වීම හා මේ සඳහා ඇති ප්‍රතිකාර හා චිකිත්සක ක්‍රම වල දියුණු වීමයි. 

ඔටිසම් තත්වය සහිත දරුවන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ හා ගැටලු ද විවිධාකාර වන බව කිව යුතුය. සරලව ම කිව්වොත් මෙම තත්ත්වය  බින්දුවේ  සිට සියය දක්වා රේඛාවක් තුළ විහිදී ඇත්නම් ඔටිසම් තත්වය සහිත දරුවන් මෙම රේඛාවේ යම් යම් ස්ථාන වල නැවතී සිටිය හැකියි.

ඔටිසම් තත්වය සහිත දරුවන් හඳුනා ගැනීමට මෙන්ම ප්‍රබල ලෙස පෙන්නුම් කරන ගැටලුවක් වශයෙන් ඔවුන් තුළ පවතින සන්නිවේදන ගැටලු හේතු වන බව හොඳින් දන්නා කරුණකි. ඇතැම් විට මෙම දරුවන් කුඩා කල සාමාන්‍ය ලෙස කතාව ආරම්භ කර ක්ෂණික ව කතාව හා භාෂාවේ පසුබෑමක් පෙන්නුම් කිරීම හෝ ඇතැම් විට පෙර  භාෂා කුසලතා හා කතාව, භාෂාව මෙන්ම සන්නිවේදනයේ  ප්‍රමාදයක් මුල සිට ම පෙන්නුම් කල හැකි අතර මෙම ලක්ෂණ හේතු කරගෙන දෙමව්පියන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගනිති.

දරුවෙකුට ඔටිසම් තත්වය පවතින බව විනිශ්චය වූ පසු දෙමාපියන් මේ සඳහා ඇති  ප්‍රතිකාර සඳහා යොමුවීම සුලබ කරුණකි. නමුත් චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වුවද ඇතැම් විට දරුවන් මෙම තත්වයේ ඇති ප්‍රබල බව, හඳුනා ගන්නා වයස, දරුවා හට ඇති අනෙකුත් ගැටලු ආදී බොහෝ දේ මත චිකිත්සාවන් තුළින් ලැබෙන ප්‍රතිඵල සඳහා විවිධ කාලයන් ගත වනු ඇත. 

අද වන විට කථන චිකිත්සාව ඔටිසමි තත්වය සහිත දරුවන් නිතැතින් ම යොමුවන චිකිත්සාවකි. කථන චිකිත්සාව සඳහා යොමුවන සියලුම දරුවන් ගේ කතාව, භාෂාව හා සන්නිවේදන එක හා සමාන නොවන අතර ඔවුන් පෙන්නුම් කරන ගැටලු ද එකිනෙකාට වෙනස් බැවින් ඒ සඳහා සුවිශේෂී ලෙස සකස් කළ චිකිත්සක ක්‍රම උපයෝගී කරගත යුතුවේ. ඒ අනුව ඇතැම් ඔටිසම් තත්ත්වය සහිත දරුවන් ශබ්ද නැගීම, ඇතැම් දරුවන් තනි වචන භාවිතා කිරීම, ඇතැම් දරුවන් සරල වැකි ප්‍රකාශ කිරීම, තවත් දරුවන් ප්‍රශ්න වලට පිළිතුරු දීම/නොදීම, මෙන් ම සංවාදයේ නොයෙදෙන දරුවන් විය හැකි අතර ඇතැම් දරුවන් මුළුමනින්ම අවාචික වීමට ද ඉඩකඩ පවතී. එනම් වාචික සන්නිවේදනය නොයෙදෙන ඒ වෙනුවට අවාචික සන්නිවේදන ක්‍රම ලෙස සිනාසීම, දුක ප්‍රකාශ කිරීම,  අත දිගු කර පෙන්වීම, ශරීරය ආධාරයෙන් අවශ්‍යතා පෙන්නුම් කිරීම වැනි අංග චලන යොදා ගනිමින් සන්නිවේදනය කරන දරුවන් ද බහුලව දැකගත හැකිය.

මෙම මට්ටමේ ඔටිසම් තත්වය සත දරුවන් සිටින දෙමව්පියන් හට මහත් පීඩාකාරී සිතුවිලි පැමිණෙන්නේ තම දරුවා කොපමණ චිකිත්සාවන් ලබා දුන්නද  අවාචික වීම හේතුවෙනි. නමුත් මෙම තත්ත්වය තුළ වුවද ඔබට ඔබේ දරුවාගේ සමග සන්නිවේදන කුසලතා දියුණු කිරීම සිදුකර ගත හැකිය. ඒ සඳහා ඔබගේ කතා චිකිත්සකවරුන් උපදෙස් ලබා දෙනු ඇත. තවද දෙමාපියන් වශයෙන් ඔබ ද අනුගමනය කළ හැකි ක්‍රම කිහිපයක් සාකච්ඡා කරමු.

  • දරුවා සමඟ සෙල්ලම් කරන්න.

දරුවන් සෙල්ලම් කරන විට බොහෝ දේ ඉගෙන ගනිති. මේ තුළින් ඉගෙන ගන්නා දේ අතර භාෂාව, කතාව සමග සන්නිවේදනය ද පවතී. දරුවා කැමති ලෙස සෙල්ලම් කිරීම තුළින් දරුවා හට විනෝදාත්මකව සන්නිවේදනයේ යෙදීමට අවස්ථාව ගොඩනැගේ. එපමණක් නොව සමාජානුයෝජනය වීමටද එය බලපානු ලබයි. මෙම සෙල්ලම් කරන අවස්ථාවේදී ඔබ නිතර දරුවා ඉදිරිපිට වාඩි වීම දරුවාගේ ඇස් මට්ටමට ඔබ ළඟාවීම තුළින් දරුවාට ඔබ පැහැදිලිව දැකීමට, ඇසීමට මෙන්ම අනුකරණය කිරීමට ද අවස්ථාව සැලසේ. 

  • දරුවාව අනුකරණය කරන්න. 

දරුවා අවාචික සන්නිවේදනය යෙදුණ ද ඇතැම් විට දරුවා ශබ්ද නගන්නේ නම් ඔබ ද එය අනුකරණය කරමින් දරුවා හට ඊට තවත් ශබ්ද නැගීමට උනන්දු කරවීම ඔබට කළ හැකි දෙයකි. ඒ හරහා දරුවා අනුකරණය මෙන්ම වාර ගැනීම ද උගනි. උදාහරණ ලෙස ඔබේ දරුවා කාරයක් ගෙන ශබ්ද නගමින් තල්ලු කරන්නේ නම් ඔබත් එය අනුකරණය කරන්න. මෙය තවත් එක් සෙල්ලමක් ලෙස ඔබට කළ හැකියි.

  • දරුවාගේ අවාචික සන්නිවේදන ක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. 

උදාහරණ ලෙස ඇසට ඇස බැලීම, අංග චලන භාවිතය සන්නිවේදන විධික්‍රම ලෙස හඳුන්වා දිය හැකි අතර දරුවා පෙන්නුම් කරන මෙම ක්‍රම පිළිබඳ ඔබ වැඩි අවධානයෙන් සිටින්න. ඒ සමගම ක්‍රියාවට අදාළ වචන  ඔබ දරුවා හට එකතු කරන්න. උදාහරණ ලෙස ඔබ දරුවා හට දෙයක් පෙන්නුම් කරන විට අත දිගු කර “බලන්න” යන වචනය යොදා ගන්න. එහිදී එකවර වාචික ක්‍රමය මෙන්ම ඊට අදාළ අවාචික සන්නිවේදන කොටසද යන දෙකම එකවර ක්‍රියාවේ යෙදේ. එමගින් දරුවා එය නිතර නිතර ඇසීමෙන් හා දැකීමෙන් එය භාෂා අවබෝධයට හා භාවිතයට උදව් වේ. 

  • දරුවා හට සන්නිවේදනයෙහි යෙදීමට විශේෂයෙන්ම ඉඩක් ලබා දෙන්න. 

ඔබ සන්නිවේදනය කරන ආකාරයෙන්ම ඔබේ දරුවා සන්නිවේදනය නොයෙදෙන නිසා ඔබ නොදැනුවත් මම දරුවා හට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ලබා නොදීමට ඉඩ කඩ වැඩිය. නමුත් ඔබ දරුවා සමග සන්නිවේදනයේ යෙදෙන විට දරුවා හට ප්‍රමාණවත් ලෙස වැඩි කාලයක් ලබා දෙන්න. දරුවා ප්‍රතිචාර නොදක්වයි නම් උදව් දීම (prompts) ඔබට සිදු කළ හැකිය. 

  • සරල භාෂාවෙන් දරුවා සමග සන්නිවේදනය යෙදෙන්න. 
  • දරුවාගේ කැමැත්තට අනුකූල වන්න.
  • මේ සඳහා ඇති උපකාරක ආයිත්තම්  (AAC/ Apps/ PECS) යොදාගන්න. 

අද වන විට උපකාරක ආයිත්තම්  දරුවන් හට පුහුණු කිරීම කථන චිකිත්සකවරුන් සිදුකරනු ලබයි. එමනිසා ඔබේ චිකිත්සකවරුන් මේ සඳහා ඔබට උපදෙස් ලබා දෙන අතර දරුවා හට ගැලපෙන ආයිත්තම් තෝරා ගැනීමට ද උදව් වනු ඇත. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

දරුවන්ට කියවන පුරුදු ගොඩ නගමු.

කියවීම අපේ ජීවිතයට බද්ධ කර ගැනීමෙන් ලැබෙන වාසි තිබෙන අප්‍රමාණ බැව් වැඩිහිටියන් වන අපි දන්නවා. නමුත් අපට තියෙන කියවීමේ උනන්දුව දරුවන් තුළ ඇති කිරීම පහසු නැති බවට සෑම දෙමව්පියෙක්ම මැසවිලි නගනවා.ඒ අතරම සමහර විට දරුවන් අතිරේක පොතක් පතක් කියවන විටත් ඒ ගැන එතරම් කැමැතත්ක් නොදක්වන දෙමව්පියනුත් ඉන්නවා. කථන්දර පොත් කියවන්න ගියොත් පාඩම් පොත් පත් වලට තිබෙන උනන්දුව නැති වෙන්න පුලුවන්. ඒ තවත් අයගේ අදහසක්.නමුත්…දරුවා තුල කියවන පුරුද්දක් ඇති වුනොත් ලැබෙන වාසි ගැන ඔබ දැන සිටිනවා නම් කවදාවත් දරුවා පොතක් කියවන විට අමනාප සිතක් ඇති කර ගන්නේ නැහැ..

ස්වයං ඉගෙණුමක්..

දරුවෙක් තමන් කැමැති පොත පත් කියවනවා නම් ඔවුන් ස්වයං ඉගෙනුමක් ලබනවා. අන්තර්ජාලය නිසා අද අවශ්‍ය හැම දෙයක්ම සැනින් සොයා ගත්තත් මුද්‍රිත පොතක තරම් සමහර කරුනු නිවරැදි නොවන අවස්ථා පවා තිබෙනවා. පොතක තිබෙන කරුණුවලට වගකිව යුතු කතුවරයෙන් හෝ සංස්ථාවක් තිබෙනවා. ඒ නිසා පොත පත කියැවීමෙන් දරුවා බොහෝ විෂය කරුණු පමණක් නොව බාහිර ලෝකය ගැනත් ස්වයං දැනුමක් ලබා ගන්නවා.

දරුවන්ට ඇසෙන සේ කතාන්දර කියැවීම..

බොහෝ දෙමව්පියන් දරුවන් නිදා ගන්නා විට ඔවුන්ට නින්ද යන තෙක් කතාන්දර කියා දෙනවා. ඒවාට ඇහුම්කන් දෙමින් දරුවා නිදි ගත්තත් ඔවුන් තුළ සවන්දීමේ කුසලතාවය ඇති වෙනවා. පෙරදිග ලෝකය ඇහුම්කන් දීමට බොහොම කැමැතියි. අතීතයේ හැම දෙනාම අකුරු නොදැන සිටි කාලයක පවා පණ කතා ඇසීමට අතීතයේ බණ මඩුවට එක්රැස් වුන යුගයක් තිබුනා.  මේ පුරුදු නිසා ගමක සහජිවනය වගේම බණ කතාවලින් කියා දෙන යහ සිතුවිලිවලින් තමන්ගේ චරිතය පවා ගොඩ නගා ගැනීමත් සිදු වුනා.

දරුවාගේ චරිත සංවර්ධනය ගොඩ නගා ගැනීමටත් පොත් කියවීමේ හුරුව වඩාත් උපකාරී වෙනවා.වචන දහස් ගණනකින් ලබා දෙන අවවාද වලට වඩා කතා පොතකින් ලබා දෙන ආදර්ශය ඉතා ප්‍රබලලෙසින් දරුවාගේ හදවතට ආමන්ත්‍රනය කරනු ඇත.

ධාරනය..

සමහර විට ඔබ විසින් දරුවාට යම් යම් දේවල් කොතෙක් කිව්වත් අමතක වෙනන් පුලුවනි. ඒ වුනත් පොතක් පතක් අවධානයෙන් කියවා රස විඳින දරුවාට තමා විසින් පොත කියවා ලද දැණුම ධාරණය වෙනවා විතරක් නොවෙයි, එය අවශ්‍ය අන්දමින් ගලපා ගැනීමේ හැකියාවත් දරුවන් බාල කාලයේ පටන්ම ලබා ගන්නවා.ඒ වගේම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය අතිරේක දැණුම ඔවුන් කියවන පොත් පතින් සොයා දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. 

නිර්මාශීලි චින්තනය අවදි වීම..

පොත් පත් කියවන විට දරුවාගේ වාග් කෝෂය පුළුල් වෙනු ඇත. පොත පතින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේම ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමේ නිර්මානශීලි චින්තනය  අවදි වෙනවා. නව  දැණුම තමාගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නා දරුවා සමාජයේ කැපී පෙනන චරිතයක් බවට පත් වෙනවා.

  • පොත් කියවීම පුරුදු කරන්නේ කොහොමද…?

සමහර විට ඔබේ බාලකාලයේදී පවා පොතක් බිම වැටුන අහුලා ගත් පොතට වැදීමට වැඩිහිටියන් කියූ අන්දම මතක ඇති. පොත් පත් කියන්නේ ඒ තරමටම වන්දනීය වස්තුවක් විදිහට එදා සැලකුවා.නමුත් අද බොහෝ වැඩිහිටියන් දරුවන් පොත් පත් ඉරා නාස්ති කරයි කියන සිතුවිල්ල නිසා පොත් පත් දරුවන්ගෙන් දුරස් කරනවා.දරුවන්ට පොත් පත් ඉරා නාස්ති නොකොට ඒවා පරිස්සමින් කියවන අන්දම කියා දෙන්න.පොත් පත් අපිරිසිදු නොකොට පරිස්සමින් පාවිච්චි කිරීම ඉතා හොඳ පුරුද්දක් බව කියා දෙන්න. නමුත් අදටත් පාසල් පොත් නොමිලයේ ලබා දෙන යුගයක වසර අවසානයේදී එකම පංතියක එකම වයසේ දරුවන් පොත් පත් පරිසස්ම් කිරීමේදී දක්වන විවිධ ප්‍රතිචාර ගැන ඔබටත් අත්දැකීම් ඇති. ඇතැම් දරුවන් ඒවා තමන්ගේ පොත් පත්වලටත් වඩා පරිස්සමින් පාවිච්චි කරනවා විතරක් නොවෙයි, හොදින්ම ඉගෙනුම් කටයුතුත් කරන අතර තවත් දරුවන් කොටසක් පොත් පත් අපිරිසිදුව සහ අප්‍රවේසමෙන් පාවිච්චි කරන්නට පෙළඹී තිබේ. ඒ අතරම මෙවැනි අප්‍රවේසමින් පොත් පත් පාවිච්චි කරන දරුවන් ඉගෙනුමටත් එතරම් උනන්දු නැති වීම සමග පොත හා දරුවන්ගේ අධ්‍යාපනයේ දක්වන පසුගාමි බව අතරත් සාජු සම්බන්ධතාවයක් තිබෙන බැව් පෙනේ.

දරුවන්ට පොත් පත් ලබා දෙන්න..

ඔබේ දරුවාට ලැබෙන ආහාරපාන ,ඇදුම් පැළදුම් සහ වෙනත් තැගි බෝග අතරටම පොත් පත් අරගෙන දෙන්නත් අමතක කරන්න එපා. අඩුම වශයෙන් දරුවා වෙනුවෙන් පුවත්පතක් හෝ මිලට ගැනීමට උනන්දු වෙන්න. හැකි නම් නිවසේ පුංචි පුස්තකාලයක් ආරම්භ කරන්න.ඒ වෙනුවෙන් එක්වර වැයබරක් අවශ්‍ය නැහැ. විටින් විට මිලට ගන්නා පොත් එකතුවෙන් පුංචි පුස්තකාලය පටන් ගන්න.

පුස්තකාලයන සාමාජිකත්වය…

ඔබේ නිවසට සමීප පලාත් පාලන ආයතනයක ඇති පුස්තකාලයේ සාමාජිකත්වය දරුවාට ලබා දෙන්න.පාසල් පුස්තකාලයෙන් පොත් පත් ගැනීමට දරුවා උනන්දු කරන්න. පුස්තකාල පොත් ප්‍රවේසමෙන් අදාල දිනයට හෝ ඊට පෙරාතුව නැවත භාරදීමේ වගකීම සිතට ලබා දෙන්න.

පුංචි දැනුම මිනුම තරඟ…

ඔබ විවේකව සිටින දවසක දරුවන් සමග දැණුම මිනුම තරගයක් පවත්වන්න. ඒ වෙනුවෙන් දරුවාගේ පුස්තකාලයේ ඇති පොත් පත්වලින් ප්‍රශ්න සකස් කිරීමට පුලුවන්. ඒ වගේම පොතක කොටසක් ගෙන එතැනින් ඉදිරියට කතාවක් ගොඩ නැගීමේ නිර්මානශීලි ක්‍රියාකාරකම් ලබා දෙන්න.අපේ රටේ වගේම විශ්ව සාහිත්‍යධරයන්ගේ ජීවන චරිත ගැන තොරතුරු එක්රැස් කිරීමට දරුවන් උනන්දු කරන්න.ඔවුන්ගේ ජීවිතයේ රසවත් සිදුවීම් ගැන දරුවාත් යම් ආශ්වාදනීය අත්දැකීමක් ලබනු ඇති.

එසේනම්… වෙනදාට සෑම තැනින්ම  ඇසෙන සාහිත්‍ය වසන්තය දැන්  අපට නෑසුනත් දරුවාගේ ජීවිතයෙන් කියවීමේ පුරුදු දුරස් කරන්න එපා. කියව උණක් ඇති දරුවෙක් නිර්මානය කිරීම අද දවසේ වැඩිහිටියන්ගේ වගකීමයි.

 

 

විභාග වෙහෙස හෙවත් exam stress

මේ දවස්වල දරුවන්ගේ හිතේ විභාග මානසිකත්වය ටිකක් දුරස් වුනත් අනාගත දිනයකදී නැවතත් දරුවන් ඔවුන්ගේ සුපුරුදු ඉගෙනුම් රටාවට යොමු වෙනවා.මේ දවස්වල අතිරේක පංති සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් නැති හින්ද දරුවන්ට තමන්ගේ අනාගත විභාග කටයුතු වෙනුවෙන් සැලසුමක් ගොඩ නගා ගැනීම බොහොම පහසුයි. සෑම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තිබෙනවා වගේ මේ ලැබුන කාලයේදී ඔබට විභාගය ගැන මනා සැලසුමක් ගොඩ නගා ගන්න පුලුවනි. ඉතින් කොහොමද මේ අනාගත විභාගය ඔවුන් අද සැලසුම් කරන්නේ…?

ඉතින් විභාගය ඉලක්ක කර ගෙන සිටින ඔබ තව ඉදිරියට තිබෙන කාලය ගැන යම් වැටහීමක් තිබෙනවා. ඒ වගේම විභාගය වෙනුවෙන් තිබෙන විෂය නිර්දේශය ගැනත් දැණුවත් බවක් තිබෙනවා. ඒ නිසා විෂය නිර්දේශය ඔබේ කාලරාමුව සමග ගලපා ගන්න. ඒ නිසා දැන් ඔබට බොහොම විවේකී කාලසටහනක් සකස් කර ගන්න පුලුවනි.අනාගත සැලසුම තුළ විවේකය, විනෝදාංශය වෙනුවෙනුත් යම් කාලයක් ඇතුලත් කරන්න.

පුංචි විවේකයක් ගන්න..

පාඩම් කරලාම දවස ගෙවන්නත් බැහැ. විභාග මානසිකත්වය නිසාම අපට තෝරා ගන්න බැරි ආකාරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්.ඒ නිසා පාඩම් කරන පැය අතරවාරයේම පුංචි විවේකයක් ගන්න. මේ වෙලාවේ සිංදුවක් කියන්න, නැටුමක් නටන්න…ඔබට වෙලාව වෙන් කර ගන්න පුලවනි.

තවත් වෙලාව තිබෙනවා නම් මල්පාත්තියට යන්න..නිවසේ බල්ලා ,බළලා සමග ටිකක් විනෝද වෙන්න. කොවිඩ් සමග ගැටෙන අපේ හෙද හෙදිය සහ වෛද්‍යවරුන් පවා විවේකය ලද විට ගීත ගයන…රංගනයේ යෙදෙන අවස්තා ඔබ දැක ඇති. කොවිඩ් වසංගත තත්වයට පෙරාතුව මේ අයගේ මෙවැනි දර්ශන අපි දැක්කේ නැහැ. නමුත් දැන් ඔවුන්ගේ සේවාව සමග ඇති මානසික වෙහෙස නිදහස් කර ගන්න මේ විදිහට පුංචි පුංචි විනෝදවීම්වල යෙදෙනවා.ඉතින්…විභාගය වෙනුවෙන් වෙහෙසෙන ඔබත් ඒ ගැනම සිතමින් සිත වෙහෙස කර ගන්න එපා. පුංචි විවේකයක් ගන්න. ඒ විවේකය හිතට සතුට වගේම යම් ඵලදායක බවක් ඇති වෙන අන්දමින් සැලසුම් කර ගන්න.

සිත එකග කරන භාවනාවක්..

අතීතයේදී නම් භාවනාවක් කිව්වාම අපේ වැඩිහිටි උදවිය මතක් වුනත් අද දරුවන්ට බාල කාලයේ පටන්ම ”සතිමත්බව ” පිහිටුවා කටයුතු කිරීමට උපදෙස් ලැබෙනවා. එවැනි සතිමත් භාවනාවක් මගින් ඔබේ විසුරුන සිත එකතැන් වෙනවා. ඒ වගේම මානසිකව ඇති වෙහෙස අඩු වෙනවා. ඉතින්…පාඩම් කරන අතරවාරයේ මනසට ව්‍යායාමයක් සහ සිත එකග කරන භාවනාවක යෙදෙන්න.

සමාජ න්නිවේදනයත් වැදගත්…

මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා..එහෙම නැත්නම් උසස් පෙළ කියන්නේ ජීවිතයේ කඩඉම. මෙවැනි වෙහෙසක් හිතට ගන්න එපා.පාඩම් කරන අතරවාරයේ ඔබේ ගැටලු මිතුරන් සමග බෙදා ගන්න.ඔවුන්ගේ ගැටළුවලටත් සවන් දෙන්න. එවිට ඔබේ ගැටළුවලටත් එතැනින්ම පිලිතුරු ලැබේවි.ජංගම දුරකථනය මහා හානියක් විදිහට දැක්කත් ඔබට හිතමිතුරන් සමග වීඩියෝ ඇමතුමක් ගැනීමටත් අවස්ථාව තිබෙනවා. පාඩම් සාකච්ඡා කරන්න..දැණුම බෙදා ගන්න..ගැටළු බේරා ගන්න ඔන්න දැන් අවස්ථාවක් තිබෙනවා. මෙවැනි ක්‍රියාකාරී රටාවක් නිසා ඔබේ හිතේ දරුණු අන්දමින් බලපාන විභාග වෙහෙස  (exam stress )ඉතාම පහසුවෙන් මග හැර ගැනීමට පුලුවනි.

 අවදානමත් තිබෙනවා..

විභාගයක් කියන්නේ අපි දන්නා දැනුම පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉදිරිපත් කරන කලාවක්. ඒ නිසා ඔබ පාඩම් කළත් මේ දැණුම ඉදිරිපත් කිරීමේදී කාලය සහ දැණුම ගලපා ගැනීම වැදගත්. වැදගත් කරුණුවලට ප්‍රමුඛතාවය ලබා දීම , ලකුණු ලබා දීමේ පරිපාටිය ගැනත් දැණුවත්ව සිටීම ඉතාම වැදගත්. ඒ නිසා කාලයට අනුව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමේ වේගය වගේම හැකි තරම් පැරනි ප්‍රශ්න පත්‍රවලට පිලිතුරු ලිවීම වැදගත්. ඔබ ලියන පිලිතුරු ලකුනු දීමේ පරිපාටිය සමග ඔබටම සංසන්දනය කරන්න. එවැනි පරිපාටියක් නොමැත්තේ නම් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සහභාගී වන ඔබේ ගුරුතුමාගේ  සහය ලබා ගන්න. ඔබ දක්වන උනන්දුව අනුව ගුරුතුමා ඔබට ප්‍රතිචාර දක්වනු ඇති.

විශ්වාසයෙන් විභාගයට යන්න…

බොහෝ දරුවන් විභාගය ගැන වැඩි විශ්වාසයක් තබන්නේ නැහැ. ඇතැමුන් එය පමණට වඩා සරලව සිතනවා.තවත් පිරිසක් අවශ්‍ය විදිහට සූදානම් වෙන්නේ නැහැ. අප දන්නා බොහෝ දරුවන් විභාගයේදී ලියන ප්‍රශ්න ගැන කල් තබාම තීරණය කරනවා. විෂය නිර්දේශයේ ඔවුන් කැමැති කොටස් වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන අතර සමහර කොටස් සම්පූර්නයෙන්ම ඉවත් කරමින් පාඩම් කරනවා. එහෙත්…ඔබ සූදානම් වූ අන්දමේ ප්‍රශ්න නොලැබුනොත්…? එසේත් නොමැති නම් සූදානම් නොවුන ප්‍රශ්නයක් අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වුනොත් ඇති වෙන මානසිකත්වය ගැන හිතා ගන්නත් බැරි තරම් වෙහෙසක්. ඒ නිසා ඉදිරි කාලය වුනත් ප්‍රමාණවත් නිසා සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරනය වන පරිදි සූදානම් වෙන්න.

විභාගයට පිලිතුරු ලියන විට ඔබ හොදින් සූදානම් වුන පාඩම් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වැඩි ඉඩක් ලබා දිය හැකියි.නමුත් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සූදානම් වීම වැදගත්. එසේ නොමැති වුනොත් පිලිතුරු ලියන අවස්ථාවේදී ඔබ බෙහෙවින් අසීරුතාවයකට පත් වෙනු ඇත.

 ධනාත්මකව සිතන්න..

අපි විභාගයක් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ අසමත් වීමට නොවේ.ඒ නිසා අපේ සිත සාර්ථක ප්‍රතිඵලයක් ලැබීම වෙනුවෙන් මානසිකවත් සූදානම් විය යුතුයි. කියමනටත් කියන සේ ”ඉර ඇල්ලීමට ගන්නා උත්සාහය නිසා අඩුම වශයෙන් තරුවක් ඩැහැ ගැනීමට හැකි වේ…” ඒ නිසා නිතරම යාන්තම් ලකුණු 40 ක් ගැනීමට සීමා නොවන්න. හැකි උපරිම ලකුණ වෙනුවෙන් උත්සාහ කරන්න.එවිට ඔබ කිසිදා පරාජය නොවනු ඇත.

 

විටමින් E, ඵලදායී වන සහ ඵලදායී නොවන තත්ත්ව මොනවද?

විටමින් E යනු මේද ද්‍රාවී විටමිනයකි. ඒවා ආහාරවලින් සහ අතිරේකයක් ලෙස කරල් වශයෙන්ද ලබාගත හැක. මෙය හොඳ ප්‍රතිඔක්සිකාරකයකි. බොහෝ අවයව වල මනා ක‍්‍රියාකාරීත්වය සඳහා ද අවශ්‍ය වේ. 

විටමින් E භාවිත කරන අවස්ථා 

  • ආරයේ බලපෑමෙන් ස්නායු පද්ධතියේ චාලක ක‍්‍රියාවන් පාලනය කිරීමේ හැකියාව නොමැති වීම විටමින E ඌනතාවය නිසා ඇති වන තත්ත්වයකි. එසේම විටමින් E අතිරේක ලෙසද ලබාදේ. මෙම තත්ත්වය ataxia ලෙස හඳුන්වයි. මෙහිදී පේශී සමායෝජනය නැති වේ. 
  • විටමින් E ඌනතාවය සඳහා එය වැළැක්වීමට හා ප‍්‍රතිකාරයක් ලෙස මුඛයෙන් ලබාදේ. 

විටමින් E ඵලදායී විය හැකි තත්ත්ව

  • ස්නායු රෝග තත්ත්වයක් වන Alzheimer රෝගය සඳහා මෙය වැළැක්වීමට ප‍්‍රතිකාරයක් නොවුනද දැනටමත් ඒ සඳහා ලබාදෙන ඖෂධ සමග විටමින් E දීර්ඝ කාලයට ගැනීමට යොමු වී සිටී. මෙහිදී මතකය අමතක වීමේ වේගය අඩු කරගැනීමට ඉවහල් වන බව විශ්වාස කෙරේ. 
  • රුධිර රෝගයක් වන Beta thalassemia තත්ත්වයේදී ලබාදේ. 
  • ආර්තවයේදී ඇතිවන වේදනාව (Dysmenorrhea) තත්ත්වය වේදනාව අඩු කරගැනීම සහ පිටවන රුධිර ප‍්‍රමාණය අඩු කරගැනීමට භාවිත කරයි. ඔසප් චක‍්‍රය ආරම්භයට දින දෙකකට පෙර හා ආරම්භ වී දින තුනක් යනතුරු භාවිත කරයි. විටමින් E තනිව ගන්නවාට වඩා Fish oil සමග ගැනීමෙන් වඩාත් හොඳ වේදනානාශක ගුණයක් ලැබේ. 
  • ආරය නිසා ඇතිවන G6PD Deficiency සඳහා භාවිත කරයි. මෙහිදී රතු රුධිර සෛල කැඩී යාමක් සිදුවේ. විටමින් E තනිව හෝ Selenium සමග භාවිත කරයි. 
  • නොමේරූ ළදරුවන්ගේ හිස් කබල තුල ඇති වන රුධිර ගැලීම (Intracranial Hemorrhage) සඳහා ප‍්‍රතිකාරයක් ලෙස විටමින් E මුඛයෙන් ලබාදේ. 
  • නොමේරූ ළදරුවන්ගේ මොළයේ තරලය පිරුණු ප‍්‍රදේශ එනම් කෝෂිකා (Ventricles) තුලට හෝ එය වටා ඇතිවන රුධිර ගැලීම් ඇතිවීමේ අවදානම අඩුකර ගැනීමට ලබාදේ. 
  • අධික ලෙස ලබාදීමෙන් රුධිරයේ ආසාධන/ප‍්‍රතික තත්ත්ව (blood infection Sepsis) ඇතිවීමේ අවදානම වැඩිවේ. 
  • පුරුෂයන්ගේ නිසරුභාවයට ප‍්‍රතිකාර ලෙස ද විටමින් E ලබාදේ. නමුත් විටමින් E අධික මාත‍්‍රාවක් විටමින් C සමග ගැනීමෙන් මෙම ප‍්‍රතිඵලය නොලැබේ. 
  • නයිට්‍රේට් ප‍්‍රතිකාරයේ ප‍්‍රයෝජනය අඩු කිරීමට එනම් නයිට්‍රේට්වල අවශ්‍යතාවය වැඩිවීම අඩු කිරීමට විටමින් E මුඛයෙන් දිනපතා ලබාදේ. 
  • ඇල්කොහොල් ඉතා සුළුවෙන් හෝ භාවිත කරන හෝ භාවිත නොකරන පුද්ගලයන්ගේ අක්මා රෝග තත්ත්ව (Nonalcoholic steatohepatitis/NASA) වලදී ඇතිවන ඉදිමාව හා මේදය තැන්පැත්වීම වැළැක්වීමට වැඩිහිටියන්ට මෙන්ම ළදරුවන්ට විටමින් E භාවිත කරයි.
  • Premenstrual syndrome (PMS) – ඔසප් චක‍්‍රය ඇතිවීමට පෙර සමහර කාන්තාවන් තුල ඒ පිළිබඳව ඇතිවන කාංසාව, මානසික අවපීඩනය අඩු කිරීමට භාවිත කරයි. 
  • මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ (antipsychotic drug) ලබාගන්නා විට ඇතිවන ලක්‍ෂණ වැඩිවීම වැළැක්වීමට ලබාදේ. 

විටමින් E ඵලදායී නොවන තත්ත්ව

  • වයසට යාමත් සමග ඇති වන දෘෂ්ඨී ආබාධ සඳහා
  • Lou Gehrig’s disease (amyotrophic lateral Sclerosis /ALS)
  • පපුවේ වේදනා (chest pain/angina) සඳහා මෙහිදී රුධිර වාහිනීවල ක‍්‍රියාකාරීත්වයට ප‍්‍රතිඵයක් ලැබුනද වේදනාව අඩුවීමක් සිදු නොවේ. 
  • Atherosclerosis ධමනි තුල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ධමනි දෘඩභාවයට පත්වීම සඳහා විටමින් E ගැනීම මගින් එම තත්ත්වය වැළැක්වීමට උදව්වක් නොලැබේ. 
  • Eczema (atopic dermatitis) – සමේ රෝග තත්ත්වයකි. 
  • පියයුරු පිළිකා පවතින රෝගීන්ට ඇතිවන Hot flashes තත්ත්වය අඩු කිරීමට දායක නොවේ. 
  • අලුත උපන් දරුවන්ගේ පෙනහලු රෝගයක් වන bronchopulmonary dysplasia තත්ත්වයේ ලබාදුන්නද මෙම තත්ත්වය ඇති වීමේ/වර්ධනය වීමේ අවදානම අඩු නොවේ. 
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමේ ගුණයක් නැත. 
  • ඇසේ සුද ඇතිවීම (cataract) වැළැක්වීමට ඵලදායී නොවේ. 
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධවලින් අතේ හා පාදයේ ස්නායු වලට හානිවීම අඩු කරගැනීමට ලබාදීම ඵලදායී නොවේ. 
  • මහන්තක පිළිකා හා ගුද පිළිකා ඇතිවීමේ අවදානම වැළැක්වීම නොකරයි. 
  • හෘදයේ තරලය එකතුවීම නිසා ඇතිවන සංචයන හෘද අකරණය (Congestive cardiac failure-CCF) වල ලක්‍ෂණ ඇතිවීම වැළැක්වීමක් නොකරයි. 
  • හිස හා ගෙලේ ඇතිවන පිළිකා තත්ත්වයන් නිසා නැවත නැවත එම තත්ත්වය ඇතිවීම වැළැක්වීමට දායක නොවේ. 
  • අධික රුධිර පීඩනය සඳහා
  • අක්මා රෝග වලින් මිය යාමේ අවදානම නොවැළැක් වෙයි. 
  • දුම්බීම නිසා මුඛය තුල ඇතිවන සුදු පැහැති ලප (Oral leukoplakia) මෙම විටමින් E හරහා අඩුවීමක් ඇති නොවේ. 
  • ඔස්ටියෝ ආතරයිටිස්වලින් ඇති වන වේදනාව, සන්ධි වල තද ගතිය වැළැක්වීමක් සිදු නොවේ. 
  • අග්න්‍යාශයක පිළිකා ඇතිවීම වැළැක්වීමක් හෝ අවදානම අඩු නොකරයි. 
  • උගුරේ ඇති වන පිළිකා තත්තතව (ග‍්‍රසනිකාවේ පිළිකා – pharyngeal cancer) ඇතිවීමේ අවදානම/අඩු කිරීමේ හැකියාව නැත. 
  • ගර්භනී කාලයේ ඇති වන අධික රුධිර පීඩනය හා මුත‍්‍රා සමග ඇල්බියුමින් පිටවීම (Pre-eclampsia) අවදානම අඩු නොකරයි. 
  • නොමේරූ දරු උපත් ඇති වීම අඩු නොකරයි. 
  • පුරස්ථි ග‍්‍රන්ථියේ (Prostate gland) පිළිකා අවදානම අඩු නොකරයි. 
  • ස්වසන මාර්ගයේ ඇති වන ආසාධන අඩු කිරීමේ හෝ වැළැක්වීමේ හැකියාවක් විටමින් E වලට නැත. 
  • එසේම ආරය මගින් ඇසේ ඇති වන දෘෂ්ඨී ආබාධ (Retinitis pigmentosa) තත්ත්වයට ප‍්‍රතිකාරයක් නොලැබේ. මෙමගින් ඇත්ත වශයෙන් දෘෂ්ඨී ආබාධය වැඩිවීමේ ප‍්‍රවණතාවයක් පවතී. 
  • නොමේරූ දරුවන් තුල අන්ධභාවය ඇති කිරීමට හේතු විය හැකි (Retinopathy of prematurity) තත්ත්වය ඇති වීමේ අවදානම අඩු කිරීමට හේතු නොවේ. නමුත් විටමින් E ලබාදීමෙන් රුධිර ආසාධන වැඩිවීමේ හැකියාවක් පවතී. 
  • සමේ කැලැල් සඳහා (විශේෂයෙන් ශල්‍යකර්ම වලින් ඇති වන) විටමින් E ආලේප කිරීමෙන් ඵලයක් නැත. 
  • මළදරු උපත් අඩු කිරීමේ හැකියාවක් නැත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය‍

සූතිකා පුහුණු හෙද නිළධාරිනී (1 ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය, පළාත් මහ රෝහල, කුරුණෑගල

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

පොඩ්ඩන්ගේ ද්විත්ව චරිත රංගනය….

පුංචි පැටවුන්ගේ ගති පැවැතුම් ගැන දෙමව්පියන්ටවත් විශ්වාස තබන්න බැහැ. ඒ තරමටම ඔවුන්ගේ හැසිරීම් රටාවන් බොහොම වෙනස් වෙන්න පුලුවනි. සමහර පුංචි පැටවුන් නිවසේදී යහපත් ගති පැවැතුම් පෙන්වුවත් පිටස්තර තැන්වලදී ඔවුන්ගේ හැසිරීම නිවසේ හැසිරීමට වඩා බොහොම වෙනස්. තවත් දරුවන් කොටසක් සිටිනවා ඔවුන් නිවසේදී බොහොම දඩබ්බර ගති පැවැතුම් පෙන්නුම් කළත් පිටස්තර ලෝකයට බොහොම සුවච කීකරු දරුවන් විදිහට ප්‍රශංසා ලබනවා . සමහර විට ඔබේ දරුවාත් මේ විදිහට ද්විත්ව චරිත ලක්ෂණ පෙන්වනවා වෙන්නත් පුලුවනි.

ඔබ මෙහෙම හිතනවාද…?

අපේ පුතා ගෙදරදී නම් හරිම අමාරුකාරයෙක්. ඒ වුනත් පිටස්තර ලෝකයේදී හරිම තැන්පත් දරුවෙක්. අනේ අපිට කොහොම වුනත් කමක් නැහැ. බාහිර ලෝකයට එයාගෙන් කරදරයක් නැහැනේ…කියල හිත හදා ගන්නවාද…?

ඒ වගේම තවත් දෙමව්පියන්ට මේ විදිහට සැකයක් ඇති වෙන්න පුලුවනි. අපේ පුතා හරිම තැන්පත් දරුවෙක්. ඒ වුනත් එයාගේ පුංචි සමාජයේදී එනම් අසල්වැසි දරුවන් සමග එහෙම නැත්නම් පංතිය..පාසල වැනි තැන්වලදි හරිම කරදරකාරයෙක්…

අනේ හිතාගන්නත් බැහැ…

හැබැයි නිවසේ සිටින දරුවාගේ තැන්පත් ගති පැවැතුම් නිසා පිටස්තර අයගෙන් විවිධ පැමිණිලි ආවත් ඒවා ඔබට විශ්වාස කරන්නත් අපහසු වෙන්න පුලුවනි. අනේ කවුද දන්නේ ඔය කියන දේවල් ඇත්තද කියලා. අපේ දරුවට ඉරිසියාවට වෙන්නත් ඇති. මේ අන්දමේ සිතුවිලිවලින් ඔබ සමහර විට හිත හදාගන්නවා වෙන්නත් ඇති.

දරුවන් මේ විදිහට ද්විත්ව චරිත රංඟනයක යෙදෙන්නේ ඇයි..?

සමහර දරුවන් නිවසට බොහොම හික්මුන විලාසයක් පෙන්වන අතරවාරයේදී බාහිර ලෝකයට ඔවුන්ගෙන් හිරිහර සිදු වීම පිටුපසින් දිවෙන මානසික හේතුවක් තිබෙනවා.ඔබේ නිවසේ පුංචි වපසරියේදී දරුවා ඔබේ අණසකට යටත්ව හදා වඩා ගත්තත් එයින් ඔබ්බට තිබෙන බාහිර ලෝකයේදී හැසිරෙන ආකාරය ඔවුන්ට හිතට දැනෙන විදිහට වටහා දී නැති වීම ප්‍රධාන හේතුව විදිහට පෙන්වා දෙන්න පුලුවනි.

දරුවා පීඩනය පිටකරන ආකාරය වෙන්නත් පුලුවනි…

ඔබ නොදකින තවත් හේතුවක් මෙතැන තිබෙනවා. බිත්ති අතර සිරගතව සිටින දරුවා ඔවුන්ගේ මානසික පීඩනය මුදා හරින්නත් අවස්ථාවක් ගොඩ නගා ගන්නවා. ඒ නිසාම අසල්වැසි දරුවන් සමග සිටින විට හෝ පංති කාමරයේ සමවයස් කන්ඩායම් අතර ඔබේ දරුවා අනුන්ට බොහොම හිරිහැරකාරී චරිතයක් වීමට පුලුවනි.එය දරුවාටත් නොදනීම ඔහුගේ මානසික බලපැමෙන් සිදු වෙන ස්වයංක්‍රිය හැසිරීමක් බවත් අමතක කරන්න එපා.

කිසිම කරදරයක් නැති දරුවෙක්…

ඔබේ ඇසුරේ සිටියදී ඉතාම නොහික්මුණ ඔබේම දරුවා බාහිර සමාජයේදී ඉතාම හික්මීමක් ඇති දරුවෙක් ලෙසින් ඇගයුම් ලැබීමටත් හේතුවක් තිබෙනවා.පිටස්තර උදවිය මේ අන්දමින් ඔබේ දරුවාට ප්‍රංශසා කරන විට එය අදහා ගත නොහැකි වුනත් ඇත්තටම එකම දරුවා තුලින් මේ අන්දමින් පරස්පර ගති පැවැතුම් ප්‍රදර්ශනය වෙන්නේ ඇයි…?

දෙමව්පියන්ගෙන් නොලැබෙන මානසික අවශ්‍යතාවයන් ලැබෙනවා ඇති.

පවුලක් වෙතින් දරුවාට ලැබෙන රැකවරනය සහ සුරක්ෂිත බව ලැබුනත් සමහර විට දරුවාට ලැබෙන ආදරය, දරුවාට ඇගයුම් ලැබීම, සහ දරුවා ගැන දක්වන අවධානය පිළිබඳව දරුවා තුළ තිබෙන හිස්බව නිසාම මෙවැනි තත්වයන් ඇති විය හැකියි.

ඒ නිසාම බාහිර සම්බන්ධතාවයන්හිදී දරුවාට පුංචි ඇගයුමක් ලැබුනත් ඔහු ඒ ගැන මහත් තෘප්තියට පත් වෙනු ඇති. ඔබේ බාලකාලය ගැන සිතන්න. පංතියේදී ලැබෙන රතු ලකුණ ගැන ඔබේ සිතට දැනෙන අභිමනාය ගැන ඔබටත් අත්දැකිම් ඇති. ඒ වගේම කළු ලකුණක් ලද තැන ලෝකයම බිඳ වැටුනා සේ  දැනෙන කම්පනය ගැනත් ඔබේ ජීවිතයේ අත්දැකීම් ඇති.මේ අවස්ථාවන් ගැන ආවර්ජනය කරද්දී ඇගයුමට සහ චෝදනාව ගැන ළමා සිත දක්වන ප්‍රතිචාර ගැන ස්වයං අවබෝධයක් ඔබටත් ඇති.

අද ඔබේ දරුවා සිටින්නේ එතැනයි..

ඒ නිසාම පවුලක් වෙතින් දරුවාට ලැබෙන ගරුත්වය. ඇගයුම නොමැති තැන දරුවා මෙවැනි ගුනාංගයන්ට දැඩි සේ ඇළුම් කරන්න පටන් ගන්නවා. ඒ නිසාම බාහිර සමාජයෙන් ලැබෙන පැසසුම් පසුපසම ලුහුබඳිමින් ඒ අනුව තමාගේ ජීවිතය හැඩගසා ගැනීමට දරන උත්සාහය නිසා බාහිර සමාජයේදි ඔබේ දරුවා යහපත් යන ආකෘතිය මත පිහිටා කටයුතු කිරීමත් මනෝවිද්‍යාත්මක තත්වයක් බැව් අමතක කරන්න එපා.

ද්විත්ව රංගනයක් නැති දරුවෙකු දකිනු රිසි නම්…

මේ අන්දමින් බාහිර සමාජයේදී හොඳ සහ නරක අතර දෝලනය වන ද්විත්ව රංගනයක් නොමැති සුවච දරුවෙකු දකින රිසයෙන් පසුවෙන දෙමව්පියන් විදිහට ඔබේ දරුවා සමග බොහොම ප්‍රවේසමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

දරුවෙක් ලෙසින් හොඳ යන සංකල්පයෙන් ඇගයුම ලැබීමට සුදුසු වන සේ බාල කාලයේ පටන්ම දරුවා හැඩ ගසන්න. අතීතයේදී දෙමව්පියන් දරුවන්ට කියා දුන්නේ

”දහ දෙනෙක් හොඳයි කිව්වොත් දෙවියොත් හොදයි කියනවා…යන සංකල්පයයි. ඒ නිසා දෙමව්පියන් දරුවන්ට දැනමුතුකම් දුන්නේ නිවසේදී වගේම බාහිර සමාජයෙන්ද ඇගයුම් ලැබෙන සේ දරුවා ගොඩ නැගීමටයි.

”හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී..”‘

දරුවාට මෙවැනි ආදර්ශ පාටයක් අනුව ජීවිතය ගොඩ නගා ගැනීමට උපදෙස් දෙන්න. අම්මා..තාත්තා…ආච්චි..සීයා වගේම ගම..රට ආදරය කරන දරුවෙක් ලෙසින් ජීවත්විය යුතු බව කියා දෙන්න.ඒ වගේම බාහිරව ලබන ඇගයුම වගේම දෙමව්පියන්ට සුවචව සිටිය යුතු බැව් දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න. එවිට මෙම ද්විත්ව රංගනය වෙනුවට සැබෑ ලෙසින්ම සුවච කීකරු දරුවෙකුගේ දෙමව්පියන් වීමේ වාසනාව ඔබටත් ලැබෙනු ඇත.

 

ඉතිරි වෙන දෙයින් ප්‍රයෝජන ගන්න

පවුලේ අම්මා වුනොත් තමන්ගේ නිවසේ සිටින අයට ප්‍රමාණවත් විදිහට බත් , ව්‍යංජන පිළියෙල කර ගැනීමට දැන ගෙන ඉන්නවා නම් බොහොම අරපිරිමැසුම්දායකයි. ඒත් සමහර අයට අමුද්‍රව්‍ය සහ කලමනාවන් හරියට ගණනක් මිමිමක් නැති නිසා අපතේ යෑම් වැඩියි.එහෙමනම් අපතේ යෑමක් නැතුව මුලුතැන්ගෙයි වැඩ කටයුතු කර ගන්නේ කොහොමද…?

නිවසේ සංඛ්‍යාව

නිවසේ සිටින සංඛ්‍යාව අනුව ඔබ වේලට ගන්නා හාල් ටික ගැන දැණුවත්ව සිටීම ඉතාම වැදගත්.උදාහරණයක් විදිහහට දැනට නම් අනුමතව තිබෙන්නේ හාල් කිලෝවක් හය දෙනෙකුටයි. හැබැයි ඒ ප්‍රමාණවත්ව වැඩුන පුද්ගලයන් සිටින තැනකටයි.ඔබේ නිවසේ සිටින්නේ කුඩා දරුවන් නම් ඔය කියන මිම්ම වෙනස් වෙන්න පුලුවන්. ඊටත් දැන් ඉස්සර වගේ නොවෙයි, බොහෝ නිවෙස්වල රයිස් කුකරයෙන් බත පිසින නිසා මිම්ම ගැනීමත් පහසුයි. හාල් කෝප්ප තුනකින් ඉතිරි වෙනවා නම් අනිත් දවසට කෝප්ප දෙකක් හෝ දෙකහමාරක් ගන්න.ඒ වගේම සමහර විට මේ ප්‍රමාණය මදි හෝ වැඩි වෙනවා නම් තව මිටක් අඩු කරන්න හෝ මිටක් එකතු කරන්න පුලුවනි.

ඉතිරි වුනොත්…

හරියටම හාල් ඇටයක්වත් නැතුව නම් බත් ටික පිසින්න  බැරි වෙන්න පුලුවනි.එහෙම වුනොත් ඒ බත් ටික අනවශ්‍ය විදිහට එළියේ තියන්න එපා.ආහාර අරගෙන අවසාන වූ පසුව ශිතකරණයට දාන බත් ටික පහුවදා පිසින මත උඩින් තියන්න. එහෙම නැත්නම් වෙනම ස්ටීම් කර ගෙන මුලින්ම ආහාරයට ගන්නත් පුලුවන්. මේ විදිහට කලවම් කරනවා නම් මුලින්ම එකතු කරන බත් පාවිච්චියට ගැනීම වැදගත්.

තවත් ක්‍රමයක්

ඉතිරි බත් ටික වෙනම ස්ටීම් කරන්නග දැන් කැරට් අලයක්, බෝංචි කරල් දෙකක්, ලික්ස් ගසක කොළ පැහැති කොටස ආදිය හීනිවට කපා ගෙන, බටර් ටිකකින් මේ දේවල් තෙම්පරාදු කරන්න. දැන් බත් ටිකත් මේ එළවලු මිශ්‍රණයට දාලා බිත්තරයක් ගසා ගෙන එයට එක් කරන්න. රසවත් බතක් සකස් කර ගන්න පුලුවනි.

අනපේක්ෂිත විදිහට ඉතිරි වුනොත්…

මොනතරම් ගණන් මිම්මක් ඇතුව කළත් අනවශ්‍ය විදිහට බත් ඉතිරි වුනොත් කරන්නත් දෙයක් තිබෙන්න එපායැ. එහෙම වුනොත් මේ බත් ටික හොඳින් තුනී වෙන විදිහට වට්ටියක අතුරලා වේලා ගන්න. බත් වේලුනාට පසුව සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරා තබන්න. එතැනින් පසුව තේ වේලාවට වියලා ගත් බත් ටික බදින්න.දැන් මෙය සිහින්ව අඹරා ගන්න. සීනි උනුකරලා එයට පොල් සහ පිටි කළ බත්  එකතුකරගෙන අග්ගලා හදා ගන්න පුලුවන්.

ඉදිආප්ප ඉතිරි වුනාමත් හොදින් වහලා ශීතකරණයේ තබා ගත් විට පසුදා උදේට ස්ටීම් කර ගෙන ආහාරයට ගන්න. ඒ වගේම ඉදිආප්ප වුනත් වියලා ගෙන එයින් පසුව තෙලෙන් බැදලා උනු පැණි දවටා ආහාරයට ගැනීමට පුලුවනි.

එළවළු වුනත් අපතේ එපා..

හාල් වලට නම් මිම්මක් හදා ගන්න පුලුවනි. එළවලුවලට..? පුංචි ප්‍රශ්නයක්ඇති වේවි. ඉතින් එකම උත්තරයයි..අතේ මිම්ම..

  • අතේ මිම්ම කොහොමද ගන්නේ…?බලමු 

එක එක එලවළුවට නිවසේ අයගේ කැමැත්ත වෙනස්. බෝංචි වගේ එළවලුවක් තෝරා ගනිද්දී එක් අයෙකුට බෝංචි කරල් ගණනක් විදිහට මිම්මක් හදා ගන්න පුලුවනි.

අල ගෙඩියකින් වුනත් ගෙඩියේ ප්‍රමාණයට අවශ්‍ යගෙඩි ගණන තෝරා ගන්න අපහසුවක් නැහැ.

සමහර එලවලු වර්ග පිස අවසාන වුනාම අස්වැන්න අඩු වෙනවා. උදාහරණයක් විදිහට ,ලීක්ස්, කතුරුමුරංගා මල් පිස ගත් විට අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා ගෘහනියක් විදිහට තින්දු තීරණ තමන්ට අයිතියි.ඉවුම් පිහුම් කර ගෙන යද්දී මේ හැකියාව නොදැනීම ඔබටම දැනේවි. හැබැයි ඒ අත්දැකීම ඔබම උපයා ගන්නත් ඕන.

ඉතුරු කලමනා මිශ්‍ර  කරන්න…

සමහර විට ඔබේ නිවසේ ගෙනා එළවලුවලින් යම් යම් දේ ඉතුරුව තිබෙන්න පුළුවනි. උදාහරණයක් විදිහට බෝංචි කරල් දෙක තුනක්, කැරට් අලයක් වැනි ප්‍රමාණයක් එක වේලක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන්න පුලුවනි. එවැනි අවස්ථාවක සුප් හෝ නූඩ්ල්ස් වැනි ආහාරයක් සදහා මේ ඉතුරු එලවලු යොදා ගැනීමට හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් අල, කැරටි සහ බෝංචි වැනි එළවලු එකට මිහ්‍ර කර ගෙන සකස් කරන්න පුලුවන්.ඒ පිරිමැස්ම නිසා ආහාරයේ රසය, විවිධත්වය යන දෙකම ඔබට ලැබෙනවා.

උදේ ආහාරයෙන් ඉතුරුව ඇත්නම්…

සූදානම් කළ උදේ ආහාරය ඉතිරිව ඇත්නම් එය එදින රාත්‍රි ආහාරය වෙනුවෙන් සැලසුම් කරන්න. උදාහරණයක් ලෙස උදේ ආහාරයට ගත් පාන් වැඩි කොටසක් ඉතිරිව ඇත්නම් එදින රාත්‍රි ආහාර වේලත් පාන්වලින් සකස් කරන්න. වෙනසක් වීම සදහා උදේ ආහාරයට නොතිබුන සුප් එකක් රාත්‍රියට සූදානම් කර ගන්න. ඒ වගේම ආප්ප වෙනුවෙන් සකස් කළ මිහ්‍රණය ඉතිරිව තිබෙනවා නම් එදින රාත්‍රියටත් ආප්ප සූදානම් කරන්න. දැන් ශීතකරණයක් හැම නිවසකම ඇති නිසා මිශ්‍රනයේ ඉතිරි කොටස එහි තබන්න.

බොහෝ දෙනාගෙන් සිදු වෙන එක් වරදක් තබනවා. ඔවුන් ඉතිරි යමක් වේ නම් එය ශීතකරනයේ තබා දින ගණනාවකින් පසුව ඉවත දමනවා. ශීතකරනයේ වුනත් තබා ගත හැකි කාලයක් තිබෙනවා. අනවශය ලෙසින් ශීතකරනයේ තැබීමෙන් ගුනාත්මක බවටත් හානි වෙන්න පුලුවන් නිසා එදින රාත්‍රියට ආහාරය වෙනුවෙන් උදේ ඉතිරි කොටස සමග ගලපා මදි ප්‍රමාණය සූදානම් කර ගන්න.

 

ආසාත්මිකතාවය- Allergy

ආසාත්මිකතාවය එහෙම නැත්නම් අප අතර හුරු පුරුදු ඉංග්‍රිසි වචනයෙන් කියනවා නම් Allergy ඇති වෙන්නේ විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙනුවෙන් දක්වන එක්තරා ප්‍රතිචාරයක් නිසා කිව්වොත් නිවරැදියි.

ආසාත්මිකතාවයන් ඇති කරන ප්‍රධාන හේතු

  • ආහාර
  • ඖෂධ
  • කෘමින්
  • පරිසරය

 ආසාත්මිකතාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතූන් නිසා ආසාත්මිකතාවයන් ඇති වෙනවා.උදාහරණයක් විදිහට තක්කාලි  ආහාරයට ගත්තාම එක් අයෙකුට එයින් අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. නමුත් හැම කෙනෙකුටම තක්කාලි නිසා අපහසුතාවයන් ඇති වෙන්නේ නැහැ.ඒ වගේම තක්කාලි ආහාරයට ගන්නා හැම අවස්ථාවකදීම කුමන හෝ  රෝග ලක්ෂණ ඇති වුනොත් ඒ තත්වය පහසුවෙන්ම ආසාත්මිකතාවයක් විදිහට අපට හඳුන්වන්න පුලුවනි.

ආසාත්මිකතාවය ඇති වෙන්නේ…

අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරක වලට ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරනය වුනාම ඊට විරුද්ධව ප්‍රතිශක්තිය පද්ධතිය මගින් ඉමියුග්ලෝබින් ^ IgE& ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා.  මෙම ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහළ කරන්නේ නැතුව basophil සෛල සමග  සම්බන්ධ වී තිබෙන්න පුලුවන්.  මේ සෛල ඇතුලත ගබඩා වී   හිස්ටමින් preformed mediator   මුදාහරින විට ආසාත්මික  රෝග ලක්ෂණ පහළ වෙනවා. මීට අමතරව basophil හා Mast සෛල වලට අලුතින් ක්‍රියාකාරී වුන preformmediators රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්වය උත්සන්න කරන්නත් පුලුවන්.  

ආසාත්මිකතාවය කාලය සමග සම්බන්ධයි…

ආසාත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි. උදාහරණයක් විදිහට යම් හේතුවකට නිරාවරණය වීමෙන් පසුව තත්පර ගණනක සිට පැය දෙකක් වැනි කාලපරාසයකදී රෝග ලක්ෂණ ඇති වෙනවාග මේ නිසා ආසාත්මිකතාවයක් ගැන පැමිණිලි කරන රෝගියෙකුගේ රෝග තත්වය නිශ්චය කිරීමට ආසාත්මිකතාවයට තුඩු දුන් හේතුව ( රෝගියා ආසන්නව ලබා ගත් ආහාර, ඖෂධ වැනි ) සහ කාලය ගැන සලකා බැලීම සිදු වෙනවා.

ආහාර සහ ඖෂධ වැනි හේතූන් නිසා රෝගී වුන අවස්ථාවකදී කාලය ගැන සලකා බැලුවත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකදී  නම් කාලය ගැන සලකා බැලීම අපහසුයි. ඊට හේතුව මෙතැනදී ශ්වසන පද්ධතියට රෝගකාරකයන් ඇතුළු වූ කාලය ගැන අපට යම් නිවරැදි අනුමානයක් ගොඩ නගා ගැනීම අපහසු වීමයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාත්මිකතාවයකට උදාහරණයක් පාන්දරින්ම නිවසින් පිටට යද්දී කිවිසුම්යෑම, සොටු දියර ගැලීම වැනි තත්වයක් ඇති වෙන්න පුලුවන්. මෙහිදී විශේෂයෙන් උදේ කාලයට උෂ්ණත්වය අඩු නිසා පරාග ඝනත්වය වැඩියි. ඉර අව්ව සමග සිදු වෙන වාෂ්පීකරණය නිසා පරාග ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා රෝග දහවල් වෙන විට රෝග ලක්ෂණ අඩුවෙනවා.

1.ආහාරවලට ආසාත්මිකතාවයන් ඇති වීම.

ඕනෑම අයෙකුට ඕනෑම ආහාරයකට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විදේශ රටවල ආහාර ආසාත්මිකතාවය ප්‍රධාන වශයෙන් කිරි, පාන්පිටි , සෝයා රටකජු වැනි ආහාර සමග සම්බන්ධයි. අපේ රටේ රකජු සම්බන්ධව එතරම් පැමිනිලි නැහැ. නමුත් එළකිරි,ක්ෂිරපායී සත්ව මාංශ , සත්ව කිරි නිෂ්පාදන වෙනුවෙන් ආසාත්මිකතාවයන් දැක්වීම සාමාන්‍යයෙන් තිබෙන තත්වයක්

2.ඖෂධ

බොහෝ විට ප්‍රතිජීවක  වෙනුවෙන් ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ සම්බන්ධයෙන්  ආසාත්මිකතාවයන් ගැන රෝගීන්ගෙන් පැමිණිළි ලැබෙනවා. ඇස්ප්‍රින් වැනි වේදනා නාශක ඖෂධ වලටත් බොහෝ දෙනෙකු  ආසාත්මිතකාවයන් දක්වනවා.

3.කෘමි සත්තු

මීමැස්සන්, දෙබරු, බඹරුන්, කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවයන් ඇති වෙනවා. මෙය අපේ රටේ ඉතාම තරමක් සුලබ තත්වයක්. මෙහිදී එක බඹරෙකුගේ දෂ්ටනයෙන් වුනත් දරුණු ආසාත්මිකතාවයන් ඇති වීමට පුළුවන්. මෙය බඹරුන් රැසක් දෂ්ට කළ විට ඇති වෙන විෂ ශරීරගත වීමට වඩා වෙනස්.කෘමිසතුන්ගේ දෂ්ටනයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත් වෙනවා. 

4.පරිසරය

පරිසරය ගැන සඳහන් කරන විට  නිවස තුළ  සහ පිටත විදිහට පරිසරය කොටස් දෙකකට  සලකන්න පුලුවනි.

අභ්‍යන්තර පරිසරයේදී දූවිලි කීටයා (house dust mite) ආසාත්මිකතාවයන් ඇති කරන හේතුකාරකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි. මේ දූවිලි කීටයා නවා තිබෙන රෙදි, ඇඳ ඇතිරිලි, කොටට් උර වැනි ස්ථානයයන්හි බහුලව සිටිනවා. ආසාත්මිකතාවයන් ඇති අයට  නැගිටින විට රෝග ලක්ෂණ වැඩියි.නිවසෙන් පිටව ගියාම රෝග ලක්ෂණ අඩු වෙනවා. ඒ වගේම නිවැසි බල්ලන්, බළලුන් වැනි සතුන්ගේ ලොම් නිසාත් ආසාත්මිකතාවයන් ඇති වෙනවා.

බාහිර පරිසරයේදී නිවස අවට ඇති මල් රේණු , පරාග, සතුන් , ආදී තත්වයන් ආසාත්මිකතාවයට හේතු විදිහට පෙන්වා දෙන්න පුලුවන්.වාහන දුම නිසා ආසාත්මිකතාවයට වඩා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ ඇති වෙන වෙනස්කම් වැඩියි.  

රබර් මිශ්‍ර පාවහන්, ඔරලෝසු පටි වැනි දේ වෙනුවෙන් ඇති වෙන ආසාත්මිකතාවයන් ඇති වෙන්නේ ඉමියුග්ලෝබින් “ ඊ’ ක්‍රියාකාරිත්වය නිසා නොවෙයි. ඒ තත්වය ඇති වෙන්නේ “zzT ZZ ” සෛල ක්‍රියාකාරිත්වය නිසයි. ඒ නිසා එවැනි රෝග ලක්ෂණ සලකා බලන්නේ මීට වඩා වෙනස් අයුරින් .

ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ

  • සම,මුඛය, කණ වැනි විවිධ ස්ථානයන්හි ඇති වෙන  කැසීම

සමේ පලු මතුවීම (කරප්පං වැනි )- නමුත් සමේ වෙනස්වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙනුත් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා හමේ ඇති වෙන වෙනස්වීම් ආසාත්මිකතාවයම කියන්න බැරි වුනත් ආසාත්මිකතාවය ඇති අයගෙන්  90% ක් පමණ පලු මතුවීම සිදු වෙනවා.  සම රතුවීම- ඇස් වටා, කණ් ආදී ස්ථානයන්හි රතු පැහැ ගැනීම.

  • ශ්වසන අපහසුතාවයන් හුස්ම ගැනීමේ අපහසුතාවය, කිවිසුම් යෑම ඇදුම, වැනි
  • ඇස් රතු වීම සහ කැසීම

ආසාත්මිකතාවයේ දරුණු තත්වය- Anaphylaxis

දරුණු මාරාන්තික ආසාත්මිකතාවය Anaphylaxis යනුවෙන් හැ‍්ින්වෙනවා.. මේ උග්‍ර තත්වය මාරාන්තිකයි. සමේ ඇති වෙන රෝග ලක්ෂණයන්ට  අමතරව 

  • හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම
  • දිව, තොල් ,උගුර ඉදිමීම නිසා ඇති වෙන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාවය 
  • රුධිර පීඩනය අඩු වීම
  • මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය,කල්පනාව අඩු වීම.
  • තද උදර වේදනාව -( Colics)
  • නොනවත්තාම ඇති වෙන වමනය, 
  • මලපහ පිටවීම.

මෙලෙස ශරීරයේ ඉන්ද්‍රියයන්  දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුනොත් එය මාරාන්තික මාරාන්තික ආසාත්මිකතාවය යනුවෙන් හැඳින්වෙනවා.

ආසාත්මිකතාවය නිශ්චය කරන්නේ කොහොමද…?

  • රෝග ඉතිහාසය 

රෝගියාගේ දැනීමේ හැටියට මට ඇලජි එකක් කිව්වත් සමහර විට මේ තත්වය ඊට වෙනස් වීමට පුළුවනි. ඒ නිසා රෝගියාගේ ඉතිහාසය ගැන ලබා ගන්නා විස්තර ඉතාම වැදගත්.

  • සමේ පරීක්ෂාව 

මෙහිදි රෝගියා ආසාත්මිකතාවය දක්වන ආහාර හෝ ඖෂධ යම් මාත්‍රාවක් සමට ඇතුලු කරනවා. ඊට පසුව විනාඩි 15 කින් පසුව ප්‍රතිචාර ගැන වාර්තාව ලබා ගන්න පුලුවනි. සමේ පරීක්ෂාවට සමගාමීව පාලක පරීක්ෂාවන් දෙකක් සිදු කරනවා.

 ( අ) Positive control

හෙිදී අපි “හිස්ටමින් ” පාවිච්චි කරනවා.අදාල පරීක්ෂනයට සති කීපයක පටන් රෝගියාට ලබා දෙන ප්‍රති- හිස්ටමින් කාණ්ඩයේ ඖෂධ නවත්වනවා. මෙය රෝගියා නිසි ලෙස කර නැත්නම් මෙමගින් හඳුනා ගත හැකියි.

( ආ) Negaitive control

ඇතැම් පුද්ගලයන්ගේ සම සංවේදී නිසා සමේ වෙනස්වීම් වෙන්න පුලුවන්. සේලයින් යොදා ගෙන සංවේදී බව හඳුනා ගන්නවා.

හමේ ගැටළු ඇති අයට , ප්‍රති ආසාත්මික ඖෂධ නැවැත්වීමට නොහැකි රෝගීන් වෙනුවෙන් නම් රුධිර පරීක්ෂාවට යොමු වීමට සිදු වෙනවා.

  • රුධිරයේ ඇති ප්‍රතිදේහ පරීක්ෂාව 

ආසාත්මික කාරක  උපයෝගී කර ගෙන රුධිර පරීක්ෂාව කර හැකියි.

ආසාත්මික රෝග තත්වයට ප්‍රතිකාර…

කෙසේ වුනත් ආසාත්මිකතා රෝග තත්වයන් ඇති වුනොත් වහාම .ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනෑම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. 

රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතාම වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතාවය තවත් නරක අතට හැරෙනවා පමණක් නොවෙයි, ජීවිත හානියට පවා ඉඩ තිබෙනවා.ඒ නිසා රෝගියා හැකිතාක් විවේකීව වගේම සන්සුන්ව තබා ගැනීම ඉතාම වැදගත්. එහෙම නොවුනොත් හෘදයාබාධ තත්වය වැනි අතුරු අවදානම් තත්වයටත් ඉඩ තිබෙනවා.

ඒ නිසාම ආසාත්මිකතාවයන් ඇති අයෙකු සිටිනවා නම් ඒ වෙනුවෙන් පවුලේ අය තුළ  සැලසුමක් තිබෙන්න ඕන. 

මාරාන්තික ආසාත්මිකතාවය වෙනුවෙන්  දැන් හඳාුන්වා දී තිබෙන ඇඩ්රිනලින් ස්වයං නික්ෂේපනය මගින් මාරාන්තික තත්වයේ ආසාත්මිකතාවයකදී ජීවිත ආරක්ෂාව ලබා ගත හැකියි. 

  • ඇඩ්රිනලින් පෙන් Adrenaline pen

මෙය සාමාන්‍යයෙන් රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම එය නික්ෂේපනය කළ යුතු අවස්ථාව සහ එය නික්ෂේපනය කරන ආකාරය ගැනත් දැණුවත්ව සිටීම අවශ්‍යයි. එවිට මාරාන්තික තත්වයෙන් මිදෙන්න පුලුවන්.. මෙය භාවිතා කර රෝගියා සුව අතට හැරුනත් රෝහලට ගෙන ඒම වැදගත්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය