Home Blog Page 34

ආගන්තුක තැනකට ගොස් ආහාර ගැනීම හැසිරීම් ගැටළු ඇති දරුවෙකුට තවදුරටත් අභියෝගයක් නොවේ.

කෑමකට එළියට යාම බොහෝ පවුල් වල සිටින දරුවන් හා වැඩිහිටියන් සඳහා විනෝදජනක අවස්ථාවකි. ඒ නිසාවෙන් ම දරුවන් තම දෙමවුපියන් හට එළියට ගොස් කෑමවේලක් ලබා ගැනීමට නිතර යෝජනා කරති.  නමුත් චර්යාත්මක ගැටළු ඇති දරුවන් උදාහරණ ලෙස ඔටිසම්, ඌණ අවධාන හා අධි ක්‍රියාකාරී දරුවන්, විවිධ සින්ඩ්‍රෝම් සහිත දරුවන් ආදී බොහෝ පිරිසකට මෙය විනෝදජනක නොවනු ඇත. ඒ නිසාවෙන් ම දෙමවුපියන් ද මෙම දරුවන් සමඟ එළිය ට ගොස් ආහාර ගැනීමේ දී ඇති වන ගැටළු නිසා මෙම අවස්ථාවන් මඟ හැරීම හා උත්සුකව කටයුතු නොකිරීම සුලභ කරුණකි. නමුත් කිව යුතුම කරුණ වන්නේ මෙම දරුවන් හට මෙවන් අවස්ථාවන් මඟ හැරිම වෙනුවට මෙවන් සුවිශේෂී අවස්ථාවන්සඳහා මුහුණ දීමට, එහිදී ඔවුන්ගේ හැසිරීම් කළමනාකරණය කර ගැනීමට, විවධ අත්දැකීම් වලට මුහුණ දීමට, සමාජීය කුසලතා වර්ධනයට, විවධ පරිසරයන්ට අනුවර් තනය වීමට දරුවන් උනන්දු කල යුතුමය.

අප කෙසේ පැවසුවත් දෙමවුපියන් හට ඇති ගැටළු බොහෝ පවතී. ආගන්තුක පරිසරයේදී දරුවාගේ හැසිරීම වෙනස් වීම, එක තැනක වාඩි වී ආහාර ගැනීම ගැටළු කාරී වීම, අවන්හලේ සිටින අනෙකුත් පිරිස් දරුවා දෙස වෙනස් ලෙස බැලීම, දරුවා වෙනස් වූ ආහාර රස විදීම ට අකමැති වීම ආදී බොහෝ ගැටළු දෙමවුපියන් හට පවතී.  නමුත් මෙවන් ගැටළු නිසා ඔබේ දරුවාට මෙම අවස්ථාවන් මඟ නොහැර සහභාගී වීමට උපක්‍රම කිහිපයක් පහතින් සාකච්චා කරමු.

 

  • සූදානම් වන්න.

වැඩිහිටියන් වන අප හට අවන්හලකට ගොස් ආහාර ලබා ගැනීම මහත් ආශ්වාදයක් ගෙන දෙයි. එහිදී අප ට ඇණවුම් කල ආහාර ලැබෙන තුරු සතුටු සාමිචියේ දීම, ඡායාරූප ගැනීම ආදී බොහෝ දේ විනෝදජනක වුවද ඔබේ දරුවාට එය විනෝදජනක නොවනු ඇත. එමනිසා දරුවා හට ඔහුගේ/අයගේ අවධානය එක තැනක රඳවා ගෙන සිටිය හැකි නිවසේ දරුවා අශාවෙන් කරනු ලබන ක්‍රියාකාරකම් කිහිපයක් සූදානම් කර ගන්න. උදාහරණ ලෙස චිත්‍රයක් පාට කිරීම, ඇමුණුම් ක්‍රියාකාරකමක්, Puzzle එකක් ආදී දරුවා ප්‍රිය කරන යමක් මේ සඳහා සුදුසු වේ. එහිදී කෑම ලැබෙන තුරු හෝ දරුවා එක තැනක රඳවා තබා ගැනීමට මෙය ඔබට පිටුවහලක් වනු ඇත. 

  • ආසන සැකසීම පිලිබඳ සලකිලිමත් වන්න.

දරුවා හට පහසුවෙන් වාඩි විය හැකි මෙන්ම පහසුවෙන් නැගිට යා නොහැකි ආකාරයේ පුටුවක් එනම් ඇතුලේ වැඩි විය හැකි පුටුවක් යොදා ගත හැකි නම් වඩාත් සුදුසු වේ. තවද දරුවා අභියෝගාත්මක හැසිරීම් වල නිරත වනවා නම් ඔහුගේ/අයගේ පුටුව තබන ස්ථානය ගැන සිතන්න. තවද දරුවා දේවල් විසි කරනවා නම් ඔවුගේ ආසන්නයේ ඇති දේවල් පිලිබඳ සැලකීමත් වන්න. 

  • පැහැදිලි හා සරල උපදෙස් ලබා දෙන්න.

වැඩිහිටියන් ලෙස අප ලබා ඇති අත්දැකීම් සමඟ ආගන්තුක ස්ථානයක ආහාර ගැනීමේ ආචාර විධි පිලිබඳ ව අප බොහෝ දැනුවත්. නමුත් දරුවා හට මේ පිලිබඳ ඇත්තේ අඩු දැනුවත්බවක් හා අඩු අත්දැකීම් ප්‍රමාණයක්.  එමනිසා ඔබ දරුවා හට නිශ්ශබ්ධ වීමට, ඇත සේදීම ආදී ව්විධාන හා  ඊලග ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳවත් නිතර සරල ව හා පැහැදිලි ව කියා දෙන්න. මේ සඳහා ඔබට පින්තුර කාඩ් පත් වුවද ආධාරක ලෙස භාවිතා කල හැකිය. 

  • දරුවාගේ යහපත් හැසිරීම් ධනාත්මක ව අගයන්න. 

මෙම කාල සීමාව තුලද දරුවා කරන ලබන සෑම ධනාත්මක දෙයක් ම වාචිකව හෝ සුළු වශයෙන් හෝ අගයන්න. මේ සදහා ඔබට Reward chart එකක් රැගෙන යාම, ඇසුරුම් කර සුළු ත්‍යාග රැගෙන යාම වුවද සිදු කල හැකිය.

  • අභියෝගාත්මක හැසිරීම ඒ ඒ අවස්ථා වලදී ම සුදුසු ලෙස ආමන්ත්‍රණය කරන්න. 

දරුවා ගැටලුකාරී හැසිරීම් පෙන්නුම් කරන විට එය ධනාත්මකව සිතා දරුවා ට තේරුම් කිරීම, දරුවා හට ලබා දී ඇති ත්‍යාගයක් හෝ Reward chart හි ඔබ ලබා දී ඇති ස්ටිකර් එකක් ඉවත් කිරිම ආදී දේ තුලින් දරුවා කරනු ලබන්නේ අවස්ථාවට නුසුදුසු දෙයක් බවත්  එමනිසා එම ක්‍රියා අගය නොකරන බවත් අවබෝධ කර දීමට උත්සහ කරන්න.

  • පුහුණු වන්න, පුහුණු වන්න. නැවතත් පුහුණු වන්න.

ඔබේ දරුවා තාමත් එළියට රැගෙන ගොස් ආහාර ගැනීමට ලෑස්ති නැති හෝ අවශ්‍ය කුසලතා දියුණු වී නොමැති බව ඔබ සිතන්නේ නම් නිවසේ ආහාර ගන්නා මේසයේ සිට මෙම දේවල් දිගින් දිගටම පුහුණු වන්න. ඉන්පසුව පළමුව අවම පිරිසක් පැමිණෙන අවන්හලකට රැගෙන යන්න. එහිදී ද දරුවා සමඟ පුහුණු වන්න.

තවද, මෙය ඔබගේ පළමු දිනයේදීම සැබෑ නොවීමට ඉඩකඩ ඇත. එමනිසා ඔබ උත්සහ වන්තව දරුවා සමඟ දිගින් දිගටම පුහුණු වන්න. දරුවාගෙන් දරුවා හට මෙම පියවරයන් වෙනස් විය හැකි අතර තවදුරටත් ඔබගේ චිකිත්සකවරුන් ගේ සහය ලබා ගැනීම ඔබට සිදු කල හැකිය.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

මෙම කාලය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට අභියෝගාත්මකයි.

‘අලියන්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත’ යන්න අප කවුරුත් අසා ඇති කතාවකි. අද අප මුහුණ දෙන කාලින ගැටළුවක් වන Covid-19 තත්වයත් සමඟ දරුවන් හට තම පෙර පාසල් හා පාසල් යාම් සීමා  වී ඇති අතර විනෝදාත්මක ගමන් ආදී බොහෝ දේ වලට බාධා ඇති වී ඇත. එමනිසා ඔවුන් හට වැඩි කාලයක් ගත කිරීමට සිදු වී ඇත්තේ නිවෙස් තුල වීම දෙමවුපියන් හට මහත් අභියෝගයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පමණක් නොව සාමාන්‍ය දරුවන් ද නිවසකට කර තබා  ගැනීම ගැටලුකාරී හා අභියෝගාත්මක වන්නේ ඒ නිසාවෙනි.

දරුවන්ගේ ලෝකය හරි වෙනස්. ඔවුන්ට ළමා කාලයේ සුන්දරත්වය හා විවිධ අත්දැකීම්  අත් විදීමට ඇති ආශාව නිසාත් ඔවුන් දඟකාරකම් වලින් පිරුණු චරිත බවට නිතැතින් ම පත්වේ. එවන් වට පිටාවක් යටතේ දරුවන් හට ඒකාකාරී ජිවන රටාවක් ගත කිරීම තරමක් අපහසු වුවකි. එමනිසා දෙමවුපියන්  වශයෙන් ඔබට ද මෙම කාලය තරමක් අපහසු බව පිළිගත යුතු කරුණකි.

තවද විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට ද මෙම කාලය ඉතාමත් අපහසු කාලයකි. මන්ද සාමානය දරුවන් සිටින දෙමවුපියන් ද ඉතා අපහසුවෙන් තම දරුවන් සමග කාලය ගත කරන සමයක විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ නිවෙස් වල ගත කරන කාලය තවත් අභියෝගාත්මක බව සැමට වැටහෙන කරුණකි. මෙහිදී ඔවුන් හට ඒකාකාරී වීම තුලින් ඔවුන්ගේ ගැටළු තවදුරටත් වැඩි වීමට ඉඩකඩ ඇත. මන්ද වෙනදා මෙන් නොව අද වන විට ඔවුන් ට ද පාසල් යාම, එළිය ට යාම, චිකිත්සාවන් සඳහා යොමු වීම ආදී බොහෝ භාහිර දේ සීමා  වී නිවෙස් තුල ගත කරන කාලය වැඩි වී තිබීමයි. එමනිසා මෙම දරුවන් සමග නිවසේ ගත කරන කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න ට දෙමවුපියන් වශයෙන් ඔබට අවශ්‍ය පසුබිම මේ හරහා සකසා ගත හැක.

* චිකිත්සක සේවා මගින් නිවසේදී කිරීමට දෙනු ලබන ක්‍රියාකාරකම් වැඩි වශයෙන්, වෙනස් ආකාර වලින් සිදු කිරීමට උත්සහ කරන්න.


මන්ද චිකිත්සාවන් සඳහා යොමු වී ඇති දරුවන් හට ඒවා අඛණ්ඩව නොලැබී යාම මෙම කාලයේ මහත් ගැටළුවක් බවට පත් වී ඇත. මන්ද ඔවුන්ගේ කුසලතා වර්ධනයේ ලා චිකිත්සාවන් අත්‍යවශ්‍ය වන අතර ඒවා තුලින් ලබා දි ඇති නිවෙස් ක්‍රියාකාරකම් සිදු කිරීම මෙම කාලයේ ඉතාමත් වැදගත් වේ. එමගින් දරුවා හට චිකිත්සාවන් තුලින් පුහුණු කරන කුසලතා සඳහා මනා පුහුණුවක් ලැබෙනු ඇත.
ඇතැම් විට මිට පෙර කාලයේදී දෙමවුපියන් වශයෙන් ඔබ බොහෝ කාර්‍යබහුල වී තම දරුවා සමඟ ගත කල කාලය අවම වී තිබෙන්නට ඇත. එමනිසා මෙම ලැබී ඇති කාලය තුල වඩාත් කැපවීමෙන් දරුවා සමඟ කටයුතු කර මෙම කාලය වඩාත් ප්‍රයෝජනවත් ලෙස මෙන්ම ඵලදායි  ලෙස ගත කිරීමට උනන්දු වන්න.
තවද, ඔබේ චිකිත්සක වරුන් සම්බන්ධ කර ගත හැකි නම් ඔවුන් සමඟ සම්බන්ධ වී අදාළ උපදෙස් ලබාගෙන කටයුතු කිරීමත්, නිවෙස් තුල සිදු කිරීමට ලබා දී ඇති ක්‍රියාකාරකම් වෙනස් කර  ගැනීමටත්, ඔබට ඇති ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමටත් කටයුතු සැලසුම් කර ගන්න.

* ඔබේ දරුවාගේ රුචිකතාවන් කෙරෙහි උනන්දු වන්න.


දරුවන්ගේ රුචිකත්වයන් තේරුම් ගැනීම දෙමවුපියන් අනිවාර් යෙන්  ම කල යුතු දෙයකි. නමුත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ රුචිකත්වයන් හදුනා ගැනීම තරමක් අපහසු වුවත් ඔවුන් සමඟ වැඩි කාලයක් සමීපව ගත කිරීමෙන් දරුවාගේ රුචිකතාවන් හදුනා ගැනීම පහසු කරයි. එමනිසා ඔබ ඔබේ දරුවාගේ රුචිකත්වයන් හදුනා ගැනීමට මෙම කාලය යොදා ගන්න. එමගින් දරුවාගේ රුචිකත්වයට අනුව නිවසේ කටයුතු සුදානම් කිරීම තුලින් දරුවා සමඟ නිවසේ ගත කරන කාලය අභියෝගයකින් තොරව සුන්දරව ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.


* ඔබේ දරුවා සඳහා සන්නිවේදන අවස්ථා නිර්මාණය කරන්න.


තවද, ඔබට මෙම කාලය තුල ඔබේ දරුවා ට අන්තර් ක්‍රියා සිදු කිරීමට හා සන්නිවේදනය කිරීමට පෙලබවිම සඳහා සැලසුම් සකස් කල හැකිය. සන්නිවේදනය ආරම්භ  ආරම්භ කිරීමට ඔවුන් පෙලබෙන තත්වයන් තුල එනම් ඔවුන්ගේ පරිසරය තුල විවධ තත්වයන් සැකසීම තුලින් ඔවුන්ගේ වාචික සන්නිවේදනය, සමාජීය කුසලතා ආදිය පුහුණු කිරිමට අවස්තාව සැලසේ. එවැනි අවස්ථා සඳහා උදාහරණ ලෙස
          – දරුවා ප්‍රිය කරන දෙයක් (කෑමක් /සෙල්ලම් බඩුවක්) දරුවාට ලගා විය නොහැකි පරිදි තැබීම
          – විවෘත කිරීමට අපහසු හෝ තදින් වසා ඇති පෙට්ටියක් තුල දරුවා ප්‍රිය කරන දේවල් තැබීම
          – අනපේක්ෂිත දෙයක් සිදු කිරීම (ඔබේ දරුවා ට අවශ්‍ය දේට වඩා වෙනස් දෙයක් ලබා දීම) ආදී දේ තුලින් ඔබේ දරුවා ට ඔබ සමඟ සන්නිවේදනය කිරිමට අවස්ථා  සලසා දිය හැකිය.


* මෙම කාලය තුල ඔබේ දරුවා හොදින් නිරීක්ෂණය කරන්න.

උදා : දරුවා ට උදවුවක් අවශ්‍ය වූ විට ඔහු /ඇය සිදු කරන්නේ කුමක්දැයි බැලීම ආදී

* දරුවා සමඟ ගත කරන කාලය විනෝදාත්මක හා ප්‍රිය ජනක පරිසරයක් කර ගැනීමට කටයුතු සැලසු කරන්න.

ගීත ගායනය, කතන්දර කීම, සෙල්ලම් කිරීම, දරුවා ප්‍රිය කරන ක්‍රියාකාරකම් සිදු කිරීම ආදී දේ තුලින් දරුවා හා ඔබ අතර නිවසේ ගත කරන කාලය අමතක නොවන සුන්දර මෙන්ම පීඩාකාරී නොවන කාලයක් බවට පත් කර ගත හැකිය.

 


කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

 

බලු පැටියෙක් ඇති කරනවා නම් මේ ගැනත් හිතන්න.

පරිසරය සමග සංවේදී වෙන දරුවන් සතුන්ට බොහොම කරුනාවන්තයි. එහි ඇත්තටම වරදක් නැහැ. එක් පැත්තකින් මෙය දරුවන් තුළ සහජයෙන්ම පිහිටන ඉතා හොඳ ගුණාංඟයක්. සතුන්ට ආදරය කරුනාව දක්වන දරුවා ලෝකයටම ආදරය දක්වනවා. නමුත් සතුන්ට ආදරය දැක්විම, සතුන් ඇති කිරීමේදී අපේ වගේම දරුවන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්.

පසුගිය දිනක සමාජජාලා ඔස්සේ හුවමාරු වුන 16 හැවිරිදි දියනියගේ මරණය පිලිබඳව වූ සිදුවීම අසා ඔබත් මහත් සේ කම්පා වෙන්න ඇති. දරුවන් ඇති නැති , වැඩිහිටි වගේම දරුවන්ගේ පවා හිතකම්පා කළ මේ සිදුවීමෙන් අපටත් උගත යුතු පාඩම් කීපයක්ම තිබෙනවා.

බල්ලා පාරෙන් අහුලා ගෙන ඇවිත්..

දියනියගේ මරණයට හේතුව ජලභීතිකාව බැව් මරණ පරීක්ෂන වාර්තාවේ සදහන් බවත්, බල්ලා ඇය සපා කෑමක් හෝ සිරීමක් පවා නොකල බවත් එහි සඳහන් ව තිබුනා. නමුත් බල්ලා මිය ගොස් සති කීපයකින් පසුව දියනිය උණ රෝගයට ගොදුරු වීම සමග සිදු වුන ඇගේ මරණය අතර සම්බන්ධතාවය මරණ පරීක්ෂණ වාර්තාව මගින් සහතික කරන තෙක් ඇය ජලභීතිකා රෝගයට ගොදුරු වුන බවක් කවුරුත්ම හිතුවේ නැහැ.

හපා කෑම පමණක් නොවේ…

ජලභීතිකා රෝගය මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ  ක්ෂිරපායි වර්ගයේ අසාදිත සතෙකුගේ  ඛේටය (කෙළ)  මගින්. අවුරුදු දහසයක මේ දියනිය බල්ලා සමග ගත කළ කාලයේදී විෂබිජ ශරීරගත වෙන්න ඇති.නොදැනුවත්ම සහ සැලකිය යුතු නොවන තරම් මේ සිද්ධිය නිසා දියනිය ඉතාම අවාසනාවන්ත ලෙස මරනයට පත් වූ බැව් දැන් ඔබටත් ඒත්තු ගැනෙනු ඇති.

එහෙමනම්… මේ වගේ තවත් සිදුවීමක් ඇති නොවන්නට අප වග බලා ගත යුතුයි.

විශේෂයෙන් කුඩා පමණක් නොව නව යොවුන් දරුවන් පවා බල්ලන්, බළලුන් වැනි සතුන්ට බොහොම කරුණාවන්තයි. ඒ් නිසාම දැන් තමන්ගේ නිවසේ ඇති බලු . බළල් පැටවුන් නේවාසිකාගාර ඇති පාසල්, පන්සල්, වැනි ස්ථානයන්හි තබා යෑමට සතුන් ඇති කරන උනන්දුයි. ඔවුන් එසේ කරන්නේ සතුන් මේ පරිසරයේදී ආහාරපාන ලබා ගෙන තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම නිසා ඔවුන්ටත් එය යම් සහනයක් නිසාම වෙන්නත් ඇති.

ඒත්..මේ සතුන් එන්නත් කිරීමක් නැහැ..

මෙවැනි පරිසරයක හැදෙන වැඩෙන මේ සතුන් වෙනුවෙන් එන්නත් කිරීමක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ ඉතිහාසය ගැන වාර්තාවක් නැහැ. පළාත් පාලන ආයතන මගින් බල්ලන් එන්නත් කළත් අයිතිකරුවන් නොමැති බල්ලන් එන්නත් කිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් කිසිවෙකුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසාම මේ සතුන් නිදැල්ලේ හැසිරෙනවා.

යම් ලෙසකින් සපා කැමක්… හෝ සිරීමක් ඇති වුනොත්…

මෙවැනි සතුන්ට නිසි එන්නත් ලබා නොදීම නිසා ඔවුන් ආසාදිත වීම බරපතල ගැටළුවක්. ආසාදිත සතෙකුගේ ඛේටය (කෙළ) මගින් ඒ තැනැත්තා ජලභීතිකා රෝග තත්වයට පත් වීමට විහාල ඉඩක් තිබෙනවා.

බලු කපුටු දාන දෙන විටත්..

දැන් කාලයේ බොහෝ දෙනා බලු කපුටු දාන වෙනුවෙන් දක්වන කැමැත්ත නිසා නිදැල්ලේ යන බල්ලන්ට ආහාර ලබා දීමට වැඩි උනන්දුවක් දක්වනා. එහි කිසිම වරදක් නැහැ.නමුත් තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ආහාරපාන ලබා දීම ඉතාම වැදගත්. නිදැල්ලේ යන බල්ලන් ආහාර ලබා ගැනීමට පොර අල්ලන විට එයිනුත් ඔබට අනතුරු වෙන්න පුලුවනි. ඔබේ යහපත් චේතනාවම විටෙක ඔබට මාරාන්තික වෙන්නත් පුලුවනි.

සතුන් ඇති කරන්න කාටවත්ම තහනමක් නැහැ..

මේ අන්දමේ අවදානම් සාධක නිසා ඔබට නිවසේ බල්ලකේ, බළලෙක් හෝ වෙනත් ක්ෂිරපායි සතෙකු ඇති කිරීමට යම් බියක් ඇති වෙන්න පුලුවනි. එවැනි බියක් ඇති කර ගැනීමට නොව සතුන් ඇති කිරිමේදී එම සතුන් වෙනුවෙන් ආදරය, කරුණාව දැක්වීම වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ගැනත් අවදානය දක්වන්න.

එන්නත් පිලිබඳව වාර්තාවන් තබා ගන්න..

ඔබ සුරතල් සතෙකු ඇති කිරීමට උනන්දුවක් දක්වනවා නම් මුලින්ම සුනඛයා වෙනුවෙන් අවශය එන්නත් ලබා දෙන්න. ඒ සදහා පශු වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් ඔබට ලබා ගත හැකියි. ඒ වගේම සුරතලා වෙනුවෙන් ලබා දෙන වාර්තා පොත තබා ගැනීමත් වැදගත්.

සුනඛයෙකුට ලබා දියයුතු එන්නත් වර්ග 3ක් තියෙනවා .

1.Parvo

2. DHL

3. Rabies

මව නිසි පරිදි එන්නත් කර තිබේ නම්

මවගේ එන්නත් සටහන් ඉතිහාසය ගැන ඔබ හොදින් දැනුවත්නම් ,මව නිසි පරිදි එන්නත් කර තිබේ නම් එයින් සෑහීමට පත් වෙන්න එපා.

බලු පැටියට මුලින්ම සති 5-6 වයසේදී පාවෝ (Parvo)එන්නත ද දෙවනුව සති 8 දී DHLඑන්නත ද තෙවනුව සති 10 දී රේබීස් (Rabies)එන්නත ද ලබා දී වයස මාස 3 සම්පුර්ණ වූ පසු නැවත එම එන්නත් තුන ම පශු වෛද්‍ උපෙදෙස් අනුව ලබා දිය යුතුය. මෙම එන්නත් තුනම වාර්ෂිකව නැවත ලබා දියයුතුය. ඒ සදහා පශු වෛද්‍ය  උපදෙස් ඔබට ලබා ගත හැකියි.

නිදැල්ලේ යන බලු පැටවෙකු නම්..

ඔබේ පුංචි දුව,පුතාගේ කැමැත්තට හෝ නිවසේ ඇවිදින් පදිංචි වුන බලු පැටවෙකු ඇති කරනවා නම්  පශු වෛද්‍ය  උපදෙස් අනුව මාසයක් තුළ රේබිස් එන්නත ලබා දීම වැදගත්.වයස මාස තුන සම්පුර්ණ වූ පසු  දෙවැනි ජලභීතිකා මාත්‍රාව ලබා දීය යුතුය.

නිදැල්ලේ යන බලු පැටවෙකු පාවෝ සහ DHL එන්නත් ලබා දීම ද පශු වෛද්‍ය  උපදෙස්  අනුව කලයුතු වෙනවා.

එන්නත ලබා දුන් සැනින් ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ.

ඔබේ සුරතලා අද එන්නත් කළ පමනින් ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දින 28 ක් පමණ ගත වෙනවා. ඒ නිසා බලු පැටවා එන්නත් කළ පමනින්ම සෑහීමට පත් වෙන්න එපා.

බල්ලාගේ වෙනසක් දුටුවොත්..

පාචනය සමග රුධිරය පිටවීම / පමණට වඩා දුගඳක් සහිත පාචනය / සුනඛයා අධිකව විජලනයට ලක් වීම / අධික වමනය / අධික ලෙස මළපහ පිටවීම/ උදාසීන ගතිය / ආහාර අරුචිය / මුඛයෙන් සෙම/කෙළ වැටීම/ නාසයෙන් දියර ගැලීම / සෙම සහිත කැස්‌ස / ඇස්‌වලින් කබ ගැලීම, වලිප්පුව/සිරුරේ පසුපස කොටස අප්‍රානික වීම ලක්ෂණ ඇතොත් දරුවන්ගෙන් පැටවා ඈත් කරන්න.අදාල පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ඔබත් පවුලත් සුරක්ෂිත වේවි. තවත් මෙවැනි අවාසනාවන්ත මරණ ගැන අනාගතයේදී වාර්තා  නොවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

 

ගර්භණී සමයේ වමනය Hyperemesis gravidarum

මාසික ඔසප් වීම ක්‍රමානුකූලව සිදු වුන කාන්තාවකගේ අදාල කාල සීමාවේදී ඇති වෙන ඔසප් ප්‍රමාදය සමග උදෑසන වමනය තත්වය ඇති වුනොත් ඇය ගැබ් ගෙන ඇති බවට වූ අනුමානය අතීතයේදී බොහොම සාධාරණ වුණා.නමුත් අද නම් එවැනි සැක සහිතව සිටීම  අවශ්‍ය නැහැ. රසායනාගාර සුලබව පවතින නිසා Human Chorionic Gonadotropin (hCG)  මුත්‍රා හෝ රුධිර   පරීක්ෂනයක් මගින් මේ ගැන තහවුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමන්ගේ ගර්භණීත්වය ගැන නිවසේදී වුව පරීක්ෂා කර ගැනීමට දැන් පහසුකම් තිබෙනවා.

ගර්භණීත්වය සමග ඇති වෙන වමනය මවකට වෙස් වලා ගත් ආශිර්වාදයක්..

කාන්තාවක් ගැබ් ගත් මුල් කාලයේදී ඇති වෙන මේ වමනය තත්වය නිසා ඇයට තමන්ගේ ගර්භණීත්වය ගැන සිහිපත් කිරීමක් සිදු වෙනවා. ඒ නිසාම තමා ගැන ආරක්ෂාව සලසා ගැනීමේ ස්වයං වගකීමක් නිතරම හිතේ ඇති වෙනවා.

ඒ වගේම මව විසින් ලබා ගන්නා ආහාර පාන වලින් කලලයට ආරක්ෂාවක් ලැබෙනවා. යම් ලෙසකින් මව කලලයට අපථ්‍ය ආහාර පාන ලබා ගත් විට සිරුර විසින් ඒවා ප්‍රතික්ෂෙප කරන නිසා මව විසින් ලබා ගන්නා ආහාර පාන මගින් කලලයට හානි වීමට ඇති අවස්ථාව වලක්වනවා.

උදෑසන වමනය : (Hyperemesis gravidarum ) සෑම ගර්භණී මවක් වෙනුවෙන්ම පොදු තත්වයක්ද..?

  • ගර්භණීත්වයට පත් වෙන සෑම මවකටම උදෑසන වමනය පොදු නොවුනත් සාමාන්‍යයෙන් ගර්භණී මව්වරුන්ගෙන් 70 % කට පමණ උදෑසන වමනය සිදු වෙනවා. වමන තත්වය දිගටම පැවැතුනොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා.
  • ගර්භණීත්වය සමග උදෑසන වමනය ඇති වීමට බලපාන හේතුවක් නිශ්චිත ලෙසම සඳහන් කිරීමට නොහැකි වුනත් වැදෑ මහ මගින් නිපදවන Human Chorionic Gonadotropin (hCG)    , Biag%cka (Estrogen  ) වැනි හෝර්මෝන සමග දක්වන ප්‍රතිචාර  නිසා මේ තත්වය ඇති වෙනවා.
  • ඒ වගේම නිවුන් දරුවන් ගැබ් ගෙන  (Multiple pregnancy) සිටින අවස්ථාවන්හිදි Human Chorionic Gonadotropin (hCG)    , Biag%cka (Estrogen  ) වැනි හෝර්මෝන මට්ටම තව දුරටත් ඉහළ යෑම නිසාත් වමනය  තත්වය  වැඩි වෙන්න පුලුවනි.
  • Molar pregnancy හෙවත් බුබුලු අර්බුදය- මේ අවස්ථාවේදී කලලය වර්ධනය වෙන සෛල වල ගෙඩි හට ගැනීමක් සිදු වෙනවා. මෙම ගෙඩි මිදි  පොකුරක් සේ ගොඩ නැගෙනවා.නමුත් දරුවෙක් පිහිටන්නේ  නැහැ. ඉතාම කලාතුරකින් බුබුලු අර්බුදයේදී ඇති වෙන ගෙඩි පිලිකා දක්වා වර්ධනය වෙන්නත් පුලුවනි. 
  • ගර්භණීත්වයට පත් වීමෙන් මුල් සති කීපයේදී ඇති වෙන වමනය තත්වය සති කීපයකදී  නැති වී යනවා. අධික වමන  තත්වයක් දිගටම ඇති වුනොත් වමනයට බලපාන වෙනත් හේතු ගැන  සලකා බැලීමට සිදු වෙනවා.
  • ගර්භණීත්වය සමග විවිධ ආහාර පාන සහ ගඳ සුවඳ වෙනුවෙන් ඇති වෙන සංවේදිතාවය ඉතාම ඉහලයි. ඒ නිසා ඇතැම් ආහාර සහ ගන්ධයන් දැනීමත් වමනයට හේතුවක්. මේ තත්වයත් එක් එක් අයට වෙනස් වෙන්න පුලුවනි.

උදෑසන වමනය නිසා ඇති වෙන ගැටලු ගැන සඳහන් කළොත්…

අධික ලෙස වමනය යෑම නිසා මව විජලන තත්වයට පත් වෙන්න පුලුවනි.ඕනෑම අයෙකුට ආහාර නොමැතිව තමන්ගේ ජීවිතය ටික කාලයක් පවත්වා ගත හැකි වුනත් සිරුරට වතුර ස්වල්පයක් හෝ නොමැතිව ජීවිතය පවත්වා ගත හැක්කේ දින තුනක් වැනි කෙටි කාලයක් පමණයි. ඒ නිසා ගර්භණී කාලයේදී වමනය නිසා සිරුර විජලනය වීම වලක්වා ගැනීම ඉතාම වැදගත්.

  • ඇතැම් මව්වරුන් වමනය යන නිසා ආහාර පාන ගැනීමෙන් වැලකී සිටිනවා. වමනය තිබුනත් අපි ගන්නා ආහාර පාන වලින් යම් ප්‍රමාණයක්  සිරුර අවශෝෂනය කර ගන්නා නිසා ආහාර පාන නොගෙන සිටීම සුදුසු නැහැ.වමනය තිබුනත්  ආහාර පාන ගැනීම වැදගත්.
  • අකමැති ආහාර නොගෙන සිටින්න පුලුවනි. ඇතැම් අවස්ථාවලදී විවිධ ආහාර පාන වෙනුවෙන් මවගේ අප්‍රසන්නතාවයක් ඇත්නම් මේ අපහසු කාලයේදී එවැනි ආහර පාන වලින් වැලකී තමන්ට රුචියක් ඇති දේ  ආහාරයට ගැනීමට බාධාවක් නැහැ. 
  • නිතර වමනය ඇති වන මව්වරුන් වමනය ගිය පසු කටෙහි ඇති ආම්ලිකතාවය නිසා එනැමලයට සිදුවන හානිය අවම කිරීමට මුඛය හොඳින් සෝදා හැරිය යුතුයි.

 ගර්භණීත්වයේ මුල් කාලයේදී මවට ඇති වෙන දොළ දුක හෙවත් විවිධ ආහාර වෙනුවෙන් ඇති වැඩි රුචිකත්වය සහ දරුවාගේ පෝෂණ අවශ්‍යතාවය අතර සම්බන්ධතාවයක් පවතිනවාද..?

එවැනි විද්‍යාත්මක සම්බන්ධතාවයක් නැහැ. නමුත් විශ්වාසයක් තිබෙනවා නම් මවට කැමැත්තක් ඇති ආහාර පාන ලබා ගැනීමට බාධාවක් නැහැ.

යම් විදිහකින් මවගේ මෙම දොළදුක හෙවත් ආසාවන් ඉටු නොවුනොත් එය දරුවාගේ පෝෂණයට බලපෑමක් ඇති කරනවාද…?

අම්මාගේ දොළ දුක් සම්පූර්ණ නොවීම නිසා දරුවාගේ පෝෂණය සම්බන්ධව අඩු පාඩු වෙන බවටත් තවම විද්‍යාත්මක තහවුරු වීමක් නැහැ.

වමනය නිසා මිග්රේන් හිසරදය ඇති වීමට ඉඩ තිබෙනවාද ?

මිග්රේන් හිසරදය  සහ ගර්භණීත්වය සමග ඇති වෙන වමනය කියන්නේ කාණ්ඩ දෙකක්.  ඒ නිසා මිග්රේන් හිසරදය ඇති අයට ගර්භණී කාලයේදී උදෑසන වමනය වඩාත් පීඩාකාරී වීම අතරත් එවැනි සම්බන්ධතාවයක් නැහැ

වමනය පාලනය කර ගැනීමට නම් අප කළ යුත්තේ මොනවාද…?

ගර්භණී කාලයේදී ඇති වෙන වමනය තත්වයත් මානසික බලපෑමක් තිබෙන්න පුලුවනි. ඇතැම් අවස්ථාවලදී අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදු වුන කාන්තාවන් වමනය තත්වය සමාජයෙන් සඟවා ගැනීමට උත්සාහ කරනවා. 

නමුත් පවුලේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය සහිත ගර්භණි මව්වරුන් අතර උදෑසන වමනය පවුලේ හැම දෙනාගේම අවධානයට ලක් වෙනවා. ගර්භණී මවක් වෙනුවෙන් ලැබෙන මේ අවදානය අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත්.

උදැසන වමනය දරුණු ලෙස පවතිනවා නම්…

උදෑසන වමනය ඇති වෙනවා නම් ආහාර පාන කුඩා පංගු ලෙසින් ආහාරයට ගන්න. තැඹිලි, පළතුරු යුෂ , කැඳ වැනි දියර පාන ලබා ගන්න. වමනය සමග බඩ දැවිලි තත්වයක් ඇත්නම් තුළුබඩු, තෙල්, මිරිස් වැනි තමාට අහිතකර සේ සැලකෙන ආහාර පාන වලින් ඈත් වෙන්න.

බරපතල ලෙස වමන තත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.ඖෂධ ලබා ගැනීමෙන් කළලයට අතුරු ආබාධයක් හෝ  හානියක් සිදු වීමට ඉඩක් නැහැ.

වමනය නිසා ඇති වෙන විජලන තත්වය සඳහා  “ජීවනී ” වැනි ප්‍රති විජලන  ඖෂධ  පානය කිරීම වරදක් නැහැ. වමනය පාලනය කර ගත හැකි ඖෂධ  ලෙස ගිලින  පෙති , දිව යට තබන පෙති , suppostry  එන්නත්, වැනි ප්‍රතිකාර සහ විජලන තත්වයට ප්‍රතිකාර ලෙස සේලයින්ලබා ගන්න පුලුවනි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව  හා නාරි  විශේෂඥ වෛද්‍ය ගාමිනී පෙරේරා 

නාරි සහ ප්‍රසව රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  සංගමයේ සභාපති  ( 2016 )

 

 

 

 


 

මනස සුවපත් දරුවෙක් බිහි කරමු.

 දරුවෙකුගේ කුස පිලිසිඳ ගත් මොහොතේ පටන්  සිට දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව ශාරිරික ලෙසින් නිරෝගි වූ දරුවෙක් ගොඩ නගා ගැනීමේ සිහිනයයි. දරුවා උපත ලැබීමෙන් පසුව ඔවුන්ගේ ශාරිරික නිරෝගිතාවය වගේම අකුරු සාස්තරයට දක්වන හැකියාව වැඩි දියුණු කරමින් අනාගතයේදී වැදගත් සමාජ ස්ථරයකට දරුවා ඔසවා තැබීමේ අපේක්ෂාවෙන් කටයුතු කරනවා.

නමුත් දෙමව්පියන් අතර මනස සුවපත් දරුවෙක් නිර්මානය කිරීමේ සිහිනයත් ඔවුන්ගේ සිහින ඉලක්ක අතරට එක් විය යුතුයි. එය එතරම් අසීරු කටයුත්තක් නොවෙයි. එහෙමනම් අපි අද පටන්ම මනස සුවපත් දරුවෙක් නිර්මානය කිරීමේ ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය පසුබිම සූදානම් කරමු.

නිවස පසන් නිවසක් වීම

දරුවාගේ මනස සුවපත් කිරීමට නම් ඔබේ නිවස පවුලක් ලෙසින් ජීවත්වීමට සුදුසුම පරිසරයක පැවැතීම ඉතාම වැදගත්. කොටින්ම එය පසන් නිවසක් විය යුතුයි. සිනාවෙන්, විනෝදයෙන් බියක් නැතුව ජීවත්වෙන පරිසරයක් නිර්මානය වුනොත් දෙමව්පියන් ලෙස සැබෑවටම ඔබ දිනුම්.පවුලක් ලෙසින් පවතින සමගිය, සාමය නිසා දරුවා සතුටින් කාලය ගත කිරීම නිසා  සුවපත් මනසකින් යුක්තව ගොඩ නගා ගැනීම කිසිම අපහසුවක් නැහැ. ඒ නිසා නිවසේ සතුට ගැන දෙමව්පියන් ලෙස ඔබ අද දවසේ වැඩි අවධානයක් දක්වන්න.

ලිංගික  අඩන්තේට්ටම්..

බාල කාලයේදී ලිංගික අතවරයන්ට පත් බොහෝ දරුවන් එම අවාසනාවන්ත තත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේම සමීපතයින්ගෙන් බැව් සමීක්ෂන මගින් හඳුනා ගත් තත්වයක්. ඒ නිසාම නිවසේ සිටින ඥාතීන් සහ මෙහෙකාරවරුන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා පවුලේ අයෙකු හෝ වේවා දරුවාගේ සිරුර අනවශ්‍ය ලෙසින් ස්පර්ශ කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවුරා තබන්න. ඔවුන්ට යමක් තේරුම් ගත හැකි වෙන විට මේ ගැන පැහැදිලිව කියා දෙන්න.

කෝප ගැන්වීම

දරුවා කෝප වීමට වඩා දෙමව්පියන් විසින් ඔවුන් කෝප ගන්වන අවස්ථා ඇත. ඇතැම් දරුවන්ගේ කෝපය දැඩි ආවේගයක් පනට පත් විය හැකියි. ඒ නිසා දරුවාගේ කෝප වීමේ අවස්ථාවන් හැකිතාක් අවම කිරීමත් වැදගත්. ඇතැම් විට ඔබ දරුවාගේ කෝප වීම නොසලකා සිටියත් මෙසේ කෝප වීම දරුවාගේ මානසකත්වයට අහිතකර බලපෑම් අති කිරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මනස සුවපත් දරුවෙත් දකින රිසියෙන් ඔබ සිටිනවා නම් ඔවුන්ගේ කෝප වීම් පාලනය කිරීම ඉතාම වැදගත්.

දරුවා දුකින් සිටින විට..

දරුවන්ගේ හිතේ ඔබට නොකියන හෝ සඟවන ගැටළු බොහෝ විට ඇති. ඒත් ඔබ හිතන්නේ අපි හැම දෙයම ලබා දෙනවා. දරුවන්ට මොන ගැටලුද..? ඒත් දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් හෝ මානසික ගැටුමකින් සිටින බැව් පෙනී ගිය විට ඒ ගැන දරුවා සමග කතා බස් කරන්න.

දරුවා ස්වාධින කරන්න.. 

බාල කාලයේ පටන්ම දරුවා ස්වාධීන චරිතයක් ලෙසින් ගොඩ නගන්න. ඔවුන්ට හැකි දෙය කර  ගැනීමට ඉඩ දෙන්න. නොහැකි දෙයට උදව් වෙන්න.බාල කාලයේ පටන්ම තමන්ගේ කටයුතු තමා විසින්ම කර ගැනීමේ හැකියාව ගොඩ නැගුන විට දරුවා අනාගතයේදී ස්වාධීන චරිතයක් ලෙසින් ගොඩ නැගෙනු ඇත. මේ ස්වාධීන ශක්තිය නිසාම දරුවා සුවපත් මනසකින් යුක්ත පෞරෂ පූර්ණ දරුවෙකු ලෙසින් නිර්මානය වේ.

අභිමානයක් ලබා දෙන්න..

දරුවෙක් යනු පවුලක සිටින කුඩාම සාමාජිකයා බැව් සැබෑය. එහෙත් දරුවාටත් යම් වටිනාකමක් ලබා දෙන්න. ඔවුන් නිග්‍රහයට ලක් කිරීම මෙන්ම නොසලකා හැරීම නිසා මානසිකව දැඩි ලෙසින් පිඩාවට පත් වේ. සමාජය ඉදිරියේ අපහාසයට පත් වීම, පවුල තුළ විතැන් වීම කුඩා දරුවෙකුට දැරීමට අපහසු මානසික තත්වයන් බැව් අමතක නොකරන්න.

අධ්‍යාපන කටයුතුවලට සහය දෙන්න..

ඔබගේ එකම සිහිනය දරුවා රටේ ජනප්‍රිය පාසලකට ඇතුලත් කිරීම විය හැකියි. නමුත් දෙමව්පියන් ලෙෂ ඔබ එතැනින් නිදහස් නැත. දෙමව්පිය සෙවෙන් පටන් ළදරු පාසලට එතැනින් පසුව දිනපතා පාසලට යන දරුවාට දිනපතා පාසලේ පවතින අධ්‍යාපන රටාවේදී යම් යම් අපහසුතාවයන් ඇති විය හැක.

  • විෂය පිලිබඳව..

පාසලේදී දරුවා සෑම විෂයක් වෙනුවෙන්ම එක සමානව දක්ෂතාවයන් නොදක්වන්නට පුලුවනි.ඒ නිසා දරුවාගේ අපහසුතාවයන් ගැන විමසා බලන්න. ඒ වෙනුවෙන් උපකාර වෙන්න. ඉගෙනුම් කටයුතුවලින් ඇති වෙන පීඩනය නිසා දරුවා දැඉි ලෙසින් මානසික පීඩනයට පත් විය හැකියි. ඒ නිසා නිතරමඑ ් ගැන විමසා බැලීමත් ඉතාම වැදගත්.

පංතිය පාසල තුළ අඩන්තේට්ටම්

අද පංතිය පාසල තුළ දරුවන් වෙනුවෙන් විවිධ පීඩාවන් එල්ල වේ. මේවා දරුවාට දරා ගැනීමට අපහසු වෙන අවස්ථාවන්හිදී ඔවුන් පාසල් ගමන පවා ප්‍රතික්ෂෙප කරන අවස්ථාවන් තිබේ. ඒ නිසා නිතරම දරුවා සමග පංතිය. පාසල, මිතුරු සමාගම ගැන සාකච්ඡා කරන්න. එවිට දරුවා වෙතින්ම තමා මුහුණ දෙන අපහසුතාවයන් ගැන ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා.

දවස කළමනාකරනය කිරීමට උදව් වෙන්න..

දරුවාටත් දවසේ විවිධත්වයක් තිබීම වැදගත්. ඒ නිසා විවිධත්වයක් ඇති වෙන ලෙසින් දවස කළමනාකරණය කරමින් දවස ගෙවීමට දරුවාට උපදෙස් ලබා දෙන්න.එකාකාර රටාව දරුවාගේ මනසටත් වෙහෙසක් විය හැකියි. ඒ නිසා දවස අතරේ සතුට ලැබෙන යම් යම් ක්‍රියාකාරකම්, සෙල්ලම් කිරීමට ඉඩක් වගේම කුමන හෝ විනෝදංශයක් වෙනුවෙන්තු ඉඩක් ලබා දෙන්න.එය දරුවාගේ මනස සුවපත් කරන ඔසුවක් තරම් ප්‍රබල විය හැකියි.

 

මාර්ගගත අධ්‍යාපනයේ වාසිවලට වඩා අවාසිය වැඩියි

 කොවිඩ් වසංගතයේ අවසානයක් දකින සේයාවක්වත් නොමැති යුගයක දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනීම අවශ්‍යයි. දිනපතා පාසල පෙර පරිදි පැවැත්වීමට නම් දරුවන් තුළ සමුහ ප්‍රතිශක්තිය ලබා දීම වෙනුවෙන් එන්නත්කිරීම අවශ්‍යයි. ඒ වුනත් දැනට පවතින එන්නත් පිලිබදව හිගතාවයත්…තවම වයස අවුරුදු 18 ට අඩු පිරිස වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක අධ්‍යනයන් අවසාන නොවීමත් නිසා දරුවන් කොවිඩ් වාහකයන් හෝ නිහඩ වාහකයන් වීමේ අවදානමක් තිබෙනවා.

නමුත්…අධ්‍යාපනයත් දරුවන්ට අවශ්‍යයි…

කොවිඩ් නිසා දරුවන්ගේ ජීවිතයේ පසුබෑමක් ඇති කිරීමට බැහැ. ඒ නිසාම පාසල් අධ්‍යාපනය පවත්වා ගැනීමට විකල්ප විසදුම් සොයන යුගයකදී මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් අවධානය යොමු වුණා. සමාජ දුරස්ථබව පවත්වා ගත යුතු සහ වෛරසයක් ගුණනය වීමට තිබෙන අවස්ථාවන් අවුරා තැබීම වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය අපට ඇති විකල්පය වුනත් එහි හොදට වඩා ඇති නරක බොහෝය කිව්වත් වරදක් නැහැ.

දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවීම…

මාර්ගත අධ්‍යාපනය පිලිබඳව තීන්දු තීරණ ගැනීමේදී සෞඛ්‍ය අංශයේ අදාල විශේෂඥයන්ගේ දැණුම ලබා ගැනීම ඉතාම වැදගත්. මාර්ගගත අධ්‍යාපනය අපට තවමත් ආගන්තුකයි. ඒ නිසා මෙහි තිබෙන වාසියට වඩා දරුවන්ගේ සෞඛ්‍යට ඇති වෙන බලපෑම ගැන අවදානය යොමු කිරීම වැදගත්. කොවිඩ් වසංගතය සමග වැසී ගිය පාසල් පද්ධතියේ විෂය නිර්දේශය ආවරණය වෙනුවෙන් විවිධ පාසල් විවිධ අන්දමින් මාර්ගගත අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන ගියත් මේ වෙනුවෙන් ජාතික වගකීමක් අවශ්‍යයි.

දරුවන්ගේ සෞඛ්‍යට ඇති කරන බලපෑම්..

මෙතැනදී දරුවා ඉගෙනුම වෙනුවෙන් භාවිතා කරන්නේ විද්යුත් උපාංගයක්. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝ වෛද්‍ය විද්‍යා සංගමය පෙන්වා දෙන අන්දමට කුඩා දරුවන්ට ජංගම දුරකථනය පරිහරනය සුදුසු නැහැ. ඒත් පවතින ගෝලීය වසංගතය ඉදිරියේ අපි යන රැල්ලට යමින් දරුවන්ට මේ අහිතකර මෙවලම පරිහරනයට සම්පුර්ණ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම බොහෝ දරුවන් මාර්ගගත අධ්‍යාපනය ලබන්නේ ජංගම දුරකථනය ඔස්සේ. මෙහි තිරය ප්‍රමාණයෙන් ඉතාම කුඩා නිසා ඇසට ආසන්නයේම දිගු වේලාවක් තබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා ඇසේ පේශි විඩාවට පත් වෙනවා. 

  • හිසරදය
  • ඇස් පෙනීමේ අඩුවක්
  • ඇස් වේදනාව, දැවිල්ල
  • ඇස්වලින් කඳුළු ගැලීම

ඒ වගේම කුඩා තිරයේදී විහිදෙන ප්‍රබල ආලෝක කිරණ සෘජුවම ඇස්වලට පතිත වීම නිසා ඇස්වල දෘෂ්ටි විතානයට හානි සිදු වෙනවා. එය අපි ඉර දිහා කෙලින්ම බලා සිටිනවා හා සමානයි.ඒ නිසා දෘෂ්ටි විතානයට සිදු වෙන හානිය සුව කිරීම පවා අපහසසුයි.සමහර විට සදාකාලිකවම ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති වෙන්න පුලුවනි.

බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි තද වීම

ජංගම දුරකථනය සමග දිගු වේලාවක් රැදී සිටින විට බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි තද වීම ස්නායු වලටත් බලපාන්න පුලුවනි.ඒ නිසාම සිරුරේ හිරි වැටෙන ගතියක් ගැන දරුවන් පැමිණිලි කරන්න ඉඩ තිබෙනවා. මේ තත්වය සමහර විට අංශභාග තත්වය තරම් බරපතල විය හැකියි. සමහර විට ශල්‍යකර්ම පවා කරන්න සිදු විය හැකියි.

උදරයේ මාංශ පේශි 

දරුවන් සාමාන්‍යයෙන් බොහොම ක්‍රියාකාරි කන්ඩායමක්. මේ දිනවල විකාශය වෙන ගීතයක දැක්වෙන අන්දමින් 

” පංතියේදී නුඹ මෙහෙම නැතුව ඇති-  නුඹේ දඟ මම දන්නවා….

කියන්නා සේම දරුවන් බොහොම ක්‍රියාශීලියි. එක මොහොතක් එක තැනක රදවා ගැනීම අපහසුයි.නමුත් මාර්ගගත අධ්‍යාපනයේදී ඔවුන් බොහොම අක්‍රිය කණ්ඩායමක්. දෙමව්පියන්ගේ බලපෑමත් සමග දරුවාට හෙලවෙන්නවත් අවසරයක් නැහැ. මේ විදිහට දිගු වේලාවක් වාඩි වී සිටීම නිසා දරුවන්ගේ උදරයේ මාංශ පේශි ඉහිල් වී උදරය නෙරා ඒම සහ අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහල යෑම, දියවැඩියාව, තරබාරුව වැනි රෝග තත්වයන්ට පත් වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවන් නිවසට කොටු වී  හිරු එලියට නිරාවරනය නොවීම නිසා විටමින් ”ඩී ” ඌනතාවය සමග පසුකාලයකදී අස්ථි පිලිබද ආබාධ ඇති වෙන්න පුලුවනි.

විකිරණවලට නිරාවරනය වීම

ජංගම දුරකථනයෙන් අපට නොපෙනන අන්දමින් විහාල වහයෙන් විකිරනවලට දරුවන් නිරාවරනය වෙනවා. මේ තත්වය නිසා දරුවන් අතර විවිධ මානසික රෝග වලට ගොදුරු වීමේ අවදානම ඉතාම ඉහලයි.

  • නොසන්සුන්බව
  • ආවේගශීලිත්වය
  • ආතතිය වැනි මානසික රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවස්ථාවත් ඉහලයි.

ප්‍රාථමික අංශයේ දරුවන්ට 

ප්‍රාථමික අංශයේ හෙවත් 1 වසර සිටම දැන් මාර්ගගත අධ්‍යාපනය ඉගැන්වීම සිදු වෙනවා. මේ දරුවන් වෙනුවෙන් එක් සැසියක් පැයකට සීමා වුනත් ඒ සමග තවත් සැසියක් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මාර්ගගත අධ්‍යාපනයේදී වුනත් විනාඩි තිහකින් පසුව විරාසයක් ලබා දීම අවශ්‍යයි.නමුත් එය සිදු වෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ පැත්තේ වුනත් කාර්ය බහුල නොවන වේලාවන් තෝරා ගෙන ඔවුන් පාන්දර පහට පාඩම් පටන් ගෙන රාත්‍රි 12 වැනි කාලයක් දක්වාම පංති පැවැත්වෙනවා.

අවුරුදු 12 – 16 අතර දරුවන් වැඩි වේලාවක් මෙම කිරණයන්ට නිරාවරනය වීම නිසා මොළයට වැඩි බලපෑමක් ඇති වෙනවා. මේ කාලයේදී දරුවන්ගේ මොලයේ වර්ධනයේ හොඳම අවස්ථාව නිසා නව යොවුන් දරුවන්ටත් ප්‍රබල බලපෑමක් ඇති කිරීමට පුලුවනි.

  • දරුවෙක් විනාඩි 45 කට වඩා එක විෂයක් මත රඳවා ගැනීම සුදුසු නැහැ…

අධ්‍යාපඥයන්ගේ අදහස අනුව දරුවෙක් එක විෂයක් වෙනුවෙන් විනාඩි 45 කට වඩා වැඩි කාලයක් රඳවා ගැනීම සුදුසු නැහැ. ඒ නිසා මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් ගැලපෙන කාලසටහනක් සූදානම් කර ගැනීම වැදගත්.

අනාගතය වෙනුවෙන් සැලසුමක් අවශ්‍යයි…

කොවිඩ් වසංගත තත්වය සමග අපි හෙටත් ජීවත් විය යුතුයි. ඒ වගේම අපේ දරුවන් නිරෝගී පරම්පරාවක් ලෙසින් අනාගතයට දායාද කළ යුතුයි.නමුත් ඒ වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය එකම විසදුම නොවෙයි.

අපට දරුවන්ගේ අධ්‍යාපනය අඛන්ඩව පවත්වා ගැනීමට නම් ගුවන්විදුලියේ අධ්‍යාපන සේවය ඔස්සේ මෙම වැඩසටහන් විසුරුවා හරින්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන්ට අතිරේක වියදමක් දැරීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ.

ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යක් පමණක් වන නිසා රූපවාහිනය ඔස්සේ මෙම අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීමට හැකියාව තිබෙනවා. රූපවාහිනි යන්ත්‍රයක් නොමැති නම් අසල්වැසි නිවසකට හෝ ගොස් මෙම වැඩසටහන් සමග සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම රූපවාහිනි තිරයක් සමග දරුවාගේ ඇස සමීප සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ.අවම වශයෙන් රූපවාහිනිය සහ ඇස අතර අඩි පහකවත් දුරක් තිබෙනවා.

ඒ වගේම ”යූ ටියුබ්’ ඔස්සේ මෙම අධ්‍යාපන වැඩ සටහන්  ප්‍රචාරය කරන්නත් හැකියාව තිබෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය  නීතිඥ පාලිත බන්ඩාර සුබසිංහ මහතා

 

 

 

 


 

බබා ලැබුණු අම්මාට බො‍් වෙන රෝගයක් හැදුණොත් මොකද කරන්නේ?

ජීවිතයේ සුන්දරතම සිහිනය සැබෑවන මොහොතේ හෝ ඒ ආසන්නයේ මවකගේ සිහිනයේ සුන්දරතම බව සමගින් වේදනාත්මක අත්දැකීමකට මුහුණදෙන්නට සිදු වුවහොත්, නොසිතූ විරූ ලෙස පැපොල, සරම්ප වැනි බෝවන රෝගයකට මුහුණදීමට සිදු වුවහොත්, සසල සිතින් මුත් අපි ඒ අභියෝගය ජයගන්නේ කෙසේදැයි විමසා බලමු.

දරු ප්‍රසූතියත් සමග අම්මාට පැපොල, ඇස් ලෙඩ වැනි බෝවන රෝගයක් වැළඳීම දරුවාට බලපාන්නේ කෙසේද, දරුවා ආරක්‍ෂා කරගැනීමට කළ යුත්තේ මොනවාද කියා දැනුවත් වෙමු.

පැපොල, ඇස් ලෙඩ වැනි බෝ වන රෝග වෛරස් ආසාදිත රෝග වන අතරම මේවා බොහෝ විට වාතය, බිඳිති ආසාදන මඟින් බෝවන්නක් නිසා එම විෂබීජයෙන් ඔබගේ දරුවා ආරක්‍ෂා කරගන්නේ කෙසේදැයි ඔබට ඇති අභියෝගයයි. 

වර්තමානයේ ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන COVID වසංගතයද මෙසේ බෝවන රෝගයක් වන හෙයින් අද මිනිසා ඉතාමත් පීඩාවට පත්ව ඇති අතරම එය වළක්වා ගැනීමට අප අනුගමනය කරන සෞඛ්‍ය පිළිවෙත් මෙහිදී ද ඉතාමත් ප‍්‍රයෝජනවත් වනුයේ පැපොල, ඇස් ලෙඩ වැනි රෝග තත්ත්වද මේ ලෙසම පැතිර යාමට සිදු වන හෙයිනි. 

මෙවන් රෝගයකට ලක් වූ මවක් ඇගේ ශරීරය තුළ එම රෝගයට එරෙහිව ඇතිවන ප‍්‍රතිශක්තිය මවට පමණක් සීමා නොවී දරුවාටද බලපැවැත්වීම මිනිස් දිවියේ ඇති වැදගත් තත්ත්වයකි. මේ අනුව මවට වැලදුන රෝගයට එරෙහිව දරුවා තුළද ප‍්‍රතිශක්තිය ගොඩැනැගේ. මේ සිද්ධිය සිදුවන්නේ කුස තුළදී නම් පෙකණිවැල හරහා පෝෂණ ධාරාවත් සමගම ප‍්‍රතිශක්ති ගුණය ද දරුවා වෙතට ගමන් කරන අතරම දරුවා ලැබීමෙන් පසුව නම් දරුවාට ලැබෙන මව්කිරි මගින් මේ ප‍්‍රතිශක්තිය දරුවාට හිමි වේ. මේ අවස්ථාවේ දරුවා ආසාදනයට ලක් වුවහොත් ලැබී ඇති ප‍්‍රතිශක්තිය හේතුවෙන් රෝගයෙන් දරුවා අසාධ්‍ය තත්ත්වය පත්වීම වැලකේ. මේ නිසා කුඩා බිළිඳුන්ට බරපතල පීඩා ඇති නොකරයි. පැපොල වැනි තත්ත්වයකදී කුස තුළදීම පැපොල ඇති වුවහොත් මවගෙන් ලැබෙන ප‍්‍රතිශක්තිය නිසා එය අසාධ්‍ය තත්ත්වයට පත් නොවේ. කුස තුලදී පැපොල සෑදුණු දරුවකුගේ ඇති කැලල් පිහිටීම මගින් එය තහවුරු කර ගත හැකි වුවද එය එපමණක්ම පමණක් වන අතර දරුවාට හානි සිදු නොවේ. 

මේවා බෝවන ක‍්‍රම හඳුනාගෙන ඒවාට වැට බැඳීම තුලින් මවගෙන් දරුවාට රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. 

මෙවැනි රෝග බෝවන්නේ පරිසරයට නිරාවරණය වන බිඳිති ආසාධන මගින් හෙයින් මෙම බිඳිති පරිසරයට මුදාහැරීම වළක්වා ගැනීමට අවශ්‍ය ක‍්‍රමවේද භාවිත කිරීම, පරිසරයේ විසුරුණු විෂබීජ දෙ අත්ල මත තැවරීමම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම තුලින්ම මෙම රෝග වළක්වා ගත හැකිය. මේ සඳහා මවක් විසින් අනුගමනය කළ යුතු ක‍්‍රියා පිළිවෙත් මනාව හඳුනා එය ක‍්‍රියාවට නැංවීම මගින් රෝග බෝවීම පාලනය කළ හැකිය. මේ සඳහා,

සියලුම ක‍්‍රියාකාරකම්වලට පෙර දෙ අත් හොඳින් සබන් යොදා නිවැරදි ලෙස තත්ත්පර 30 ක් වත් ගලායන ජලයෙන් සේදීම. මේ මගින් අත්වල තැවරුණු විෂබීජ, අත්ල, ඇඟිලිකරු, නියපොතු, අත්ලේ රේඛා, අත්ලේ පිට පැත්ත හා වැලමිට තෙක් සබන් යොදා හොඳින් අතුල්ලා සේදීම තුලින් විෂබීජ අත්ලෙන් ඉවත්වනවා සේම ගලායන ජලයද එම විෂබීජ නැවත අත්වල තැවරීම වළකාලයි. මෙය අපගේ බොහෝමයක් බෝවන රෝග මෙන්ම පණු රෝග ද පාලනය කිරීමට කළ හැකි හොඳම පිළිවෙතයි. 

මෙය 

  • කෑම පිසීමට පෙර
  • කෑම කැවීමට/කෑමට පෙර
  • සියළුට වැඩපල අවසානයේ
  • වැසිකිලි යාමෙන් පසු ආදී ලෙසින් සිදු කළ යුතුමයි.

මේ මගින් අත්වල තැවරී ඇති විෂබීජ නාසය, මුහුණ හෝ අසන්නයේ ගෑවීමකට ලක් නොවන හෙයින් රෝගය බෝවීම වැළකෙයි. 

මවක දරුවාගේ සියලු කටයුතු කිරීමේදී දරුවා, දරුවාගේ ඇඳුම් ඇතිරිලි හා අනෙකුත් උපකරණ අතගෑම සිදු කරන නිසා නිතරම මේ සියලු කටයුතුවලට පෙරදී දෑත් හොඳින් සේදීම කළ යුතු වනවා. එසේම මව දරුවා හා ගනුදෙනු කිරීමේදී මුව ආවරණයක් භාවිත කිරීමද ඉතා වැදගත්. මෙවන් ආසාදන තත්ත්වයක සිටින මවක නම් තම දරුවාට කිරි දීමට ප‍්‍රථමද තම දෑත් සේදීම අනිවාර්ය සේම මුව ආවරණයක් පැලදීමද ඉතා වැදගත්. ස්වභාවිකවම මවකගෙන් දරුවාට ලැබෙන ප‍්‍රතිශක්තිය නිසා දරුවා ආරක්‍ෂිත වන අතරම කිනම් හෝ අවස්ථාවක දරුවාගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලු පවතින අවස්ථාවකදී මෙවැනි රෝග හැදුනද එය බරපතල අර්බුධයක් වන්නේ නැහැ. 

ඇස් ලෙඩ පවතින විට ඇස් පිල්ලම් හා ඇහි බැම අතර රැ‍ෙඳන ස‍්‍රාවයන් මවගේ අත්වල, ඇඳුම්, කම්මුල්, නාසය හෝ හිසකෙස් වල තැවරීම මගින් ඒවා දරුවා වෙතට සම්පේ‍්‍රෂණය වීමට හැකියාවක් ඇති නිසා දෑත් හොඳින් සේදීම ඉතා වැදගත් මෙන්ම කොටස් එල්ලා නොවැටෙන සේ වඩා විශාල නොවූ සැහැල්ලූ ඇඳුම් පරිහරණය කිරීමත් හිසකෙස් අවුල්ව නොවන සේ හොඳින් පීරා තදින් ගැට ගසා ගැනීමත්, මුව අවාරණයට අමතරව මුහුණු අවරණයක් හා හිසකෙස් සඳහා ආවරණයක් පැලඳීමත් ඉතා වැදගත් වෙනවා. 

දරුවා සමග කටයුතු කරන සෑම අවස්ථාවකම මෙවන් පියවර අනුගමනය කිරීමට මව උනන්දු කරවීමත් ඒ සඳහා මවට ධෛර්ය හා සහයෝගය ලබාදීමත් නිවැසියන්ගේ යුතුකමකි. ඇස් පිස දැමීම කරන විට ඒ සඳහා වෙනමම ලේන්සුවක්/ටිෂු භාවිත කිරීමත් ඒවා පිරිසිදු කිරීම/අපහරණය කිරීම විධිමත්ව පරිසරය නිරාවරණය නොවන සේ (වැසූ කසල බඳුනකට) සිදු කිරීමත් ඉතා වැදගත් වේ. 

මේ සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම මෙන්ම මෙවන් අවස්ථාවක මවගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සිතා මවට සහයෝගය දැක්වීම, උදව් කිරීම, ඇයගේ කටයුතු සඳහා සහය පළ කිරීම ඇය අතින් සිදුවන අඩුපාඩු දයාබරිතව පෙන්වා දී නිවැරදි කරගැනීමත්, පවත්වාගෙන යන්නා වූ යහපත් දෙය අගැයීමට ලක් කිරීමත් තුලින් ඇයගේ මානසික සෞඛ්‍ය නංවාලීමට අවශ්‍ය කටයුතු කිරීමත් නිවැසියන්, ඥාතීන්, අසල්වාසීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාර්ථක ලෙස මැදිහත් වීම ප‍්‍රයෝජන සහිත වනු ඇත. 

මාතෘත්වය හා බැඳුණු සියලු තන්හිදී මවට දක්වන සහයෝගය මතු අනාගත පරපුරට සිදු කරන මහඟු ආයෝජනයක් වන බැවින් අප සියලු දෙනාම නිරෝගී මෙන්ම රෝගී අවස්ථාවන්ට පත්වූ මව්වරුනට කායික, මානසික, සාමාජීය සෞඛ්‍යයට බලපවත්නා වූ සියලු අවස්ථාවන්හිදී ලබාදී  මවක, පියකු, ලබැඳි සොයුරියක සොහොයුරියක හෝ හොඳම මිතුරකු ලෙසින් සිට දක්වාන්නා වූ යහපත් ප‍්‍රතිචාරය මතු පරපුරේ වාසනාවට හේතු වනවා මෙන්ම දීර්ඝකාලීනව මව් දරු සබඳතාව යහපත් වීමට හෝතු වීම තුලින් සමාජ ගැටළු අවම වී සියල්ලටම සැනසුම් සහගත ලොවක් උදාවනවා නියතයි. 

සැමට නිරෝගී දිවියක් ලැබේවා..

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව මහත්මිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

 

 

 


 

පෙනහලු ශක්තිමත් කිරීම සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමවල වැදගත්කම ඔබ දැන සිටියාද?

අපේ පෙනහලුවල ක්‍රියාකාරීත්වය ගැන විමසා බැලුවහොත් එහිදී සිදුවන්නේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ශරීරයේ සෛල ශ්වසනයට එක් කිරීමත්, සෛල ශ්වසනයෙන් බැහැර කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීමයි. අපේ ආශ්වාසයේදී එනම් හුස්ම ගැනීමේදී වාතය ශ්වාසනාල හරහා පෙනහලු ගර්ත (බැලුන් වැනි) දක්වා ගමන් කරයි. එහිදී ඔක්සිජන් පෙනහලුවලට සම්බන්ධ රුධිර වාහිනීවලට උරා ගැනීම සිදුවෙනවා. එලෙසට ශරීරයෙන් බැහැර කෙරෙන කාබන්ඩයොක්සයිඩ් පෙනහලු තුළට විත් ප්‍රාශ්වාසයේදී පිට කරයි. අපි ආශ්වාස කරන්නේ පේශී ඉහිල් වීමෙන්ය.

හතිය, ඇදුම ආදී රෝග

වලදී ශ්වාස නාල පේශීවල තද ගතියක් ඇති වී දරදඬු ගතිය නිසා ශ්වාසනාල පේශී හොඳින් ඉහිල් නොවේ. එම තත්ත්වය ප්‍රාශ්වාසයට බලපායි. එම නිසා අපි ආශ්වාස කරන විට ගන්නා හුස්ම ප්‍රමාණයම ප්‍රාශ්වාස කිරීමේදී පිට නොවේ. ඇතුලේ ඉතිරි වන වාතය කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වීම නිසා ශ්වසන වේගය වැඩි වේ. ඒ අපේ ශරීරයේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය 100% ක් ලෙස තිබිය යුතුය.

ශ්වසන වේගය පාලනය කරන මොළයේ ඇති ශ්වසන මධ්‍යස්ථානය ඔක්සිජන් ප්‍රතිශතය අඩු වන විට එය සමබර කර ගැනීමට අදාල පුද්ලගයාට විනාඩියකට හුස්ම ගන්නා වාර ගණන වැඩි කරයි. එහිදී ශ්වසන වේගය වැඩි වේ. ප්‍රාශ්වාසයේදී අත් දෙක පපු කූඩුව මත තබා ඇතුළට තෙරපීමෙන් මේ පෙනහලු තුල ඉතිරි වී ඇති අපිරිසිදු වාතට පිට කිරීමට රෝගියාට උදව් වේ. හුස්ම හෙලන විට එනම් ප්‍රාශ්වාසයේදී පෙනහලු ඇතුලට තෙරපෙන විට අත් දෙක ගස්සවමින් නැතහොත් කම්පනය කරමින් බලයක් යොදන විට ශ්වාස නාල පේශිද ඉහිල් වේ. එවිට එහි ඇති දරදඬු ගතියද නැතිව යයි. මේ තත්ත්වයට කටින් හුස්ම එකවර පිඹීමද සුදුසුය. ගැඹුරට හුස්ම ගෙන ටිකක් දරා සිට එක්වර හුස්ම කටින් පිට කරන ගමන් පපු කූඩුව තෙරපන විට සෙම ස්‍රාවයද පිට වේ. හති ගතියද නැති වේ. හතිය ඇති විට ඔබ දන්නවා ඇති කෙනෙට කටින් පිඹීම අමාරුය. මෙය මැන ගැනීමට Peak flow meter සහ spiro meter වැනි උපකරණ භාවිත කරයි. එහිදී රෝගියා ලවා හුස්ම එහි ඇති බටයකට පිඹීමේදී ඒ බටයට සම්බන්ධ තව බට තුනක ඇති බෝල තුනක් එහි උඩට යා යුතුය. නිරෝගී කෙනෙකුට එසේ උඩටම යැවීමට හැකි වුවත් ඇදුම ඇති විට එය අපහසුය. 

කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ ව්‍යායාම කිරීමට අපහසු නිසා

  • නලා පිඹීම (මෙලෝඩිකා, බට නලා, මම්මා පප්පා නලා වැනි)
  • කඩදාසි ඔරුවක් වතුර බේසමකට දමා කටින් පිඹිමින් ඔරුව චලනය වීමට සැලැස්වීම
  • පත්තර තීරුවකට හුලඟේ යාමට පිඹීම වැනි ක්‍රියාකාරකම්ද සුදුසුය. 

පෙනහලුවල ධාරිතාව මනින මිනුම් ක්‍රම (Lung function test) රාශියකිග උදාහරණ ලෙස vital capacity, tidal volume Aspiratory reserve volume ආදී ලෙස දත්ත ගණනාවකි. මේ මිනුම් නිසි ලෙස පා කරවා ගැනීමට හුස්ම ගැනීමේ ව්‍යායාම සුදුසුය. 

අද වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් නිව්මෝනියා තත්ත්වයට පත්ව බොහෝ පිරිසක් මිය යන බව අප දන්නවා. කොවිඩ් තත්ත්වය පමණක් නොව වෙනත් වෛරස මගින්ද බැක්ටීරියා හෝ දිලීරයක් මඟින් ද නියුමෝනියා තත්ත්ව ඇති විය හැක. මෙම මරණ වළක්වා ගැනීමට නම් පෙනහලු ශක්තිමත්ව තබාගත යුතුය. මේ තත්ත්වවලදී ද හුස්ම ගැනීමේ ව්‍යායාම (Breathing exercises) වෙත යොමු වී පෙනහලු නිරෝගීව තබාගැනීමට හැකි නම් එය ඉතා වැදගත් වේ. 

Covid 19 වැනි රෝග වලදී රෝගීන්ට ඇති වන හුස්ම ගැනීමේ අපහසුතාවය පිළිබඳව ඇතැම් රෝගීන් විස්තර කරන්නේ දියේ ගිලෙන විට හුස්ම ගන්නා අපහසුවට සමාන බවයි. ඇතැමුන් හුස්ම ගන්නා විට පපුවට පිහියෙන් අනින විලාසයක් දැනෙන බව පවසයි. 

කෙසේ වුවද අද පවතින මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට හුස්ම ගැනීමේ ව්‍යායාම වෙත යොමු වී පෙනහලු ශක්තිමත් කරගැනීම වඩාත් වැදගත් වේ. සියලු දෙනා නිවසේදී පිරිසිදු වාතාශ්‍රය ඇති තැනක සිට හුස්ම ගැනීමේ ව්‍යායාම කළ යුතුය. හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් සෙම ඉවත් කිරීමද සිදු වේ. 

පෙනහලු ත්‍රිමානව ගත් විට තල තුනක් ඔස්සේ තම පරිමාව වැඩි කර ගනී. එනම් හුස්ම ගන්නා විට ශරීරයේ දෙපසට පෙනහලුවල පරිමාව වැඩි වන අතර ඉදිරියට හා පසුපසටද පෙනහලුවල බිත්ති ඇදී එම කාලයේදී පරිමාව වැඩි කර ගනී. තවද ඉහල පහළ තලය ඔස්සේ පරිමාව වැඩි කරගනී. 

අපි මේ තල 3 ම ඔස්සේ හුස්ම ගැනීමට හුරු වෙමු. 

  1. Lateral Costal breathing

තමාගේ අත් දෙක පපුව දෙපස තබා එම අත් දෙපැත්තට තල්ලු වන සේ හිතා හුස්ම ගන්න. එය දරා සිට (හැකි පමණ) කටින් හුස්ම පිට කරන්න. පිටකරන ගමන් අත් දෙකින් ඇතුළට පපු කූඩුව තෙරපන්න. මෙය වරකට 10 ක් පමණ දවසට 2 පාරක් කරන්න. 

2. Apical breathing

පපුව ඉදිරියේ අත් දෙක තබා එය ඉදිරියට තල්ලු කරමින් සිතා හුස්ම ගෙන ටිකක් දරා සිට කටින් පිට කරන්න. එවිගසට අතින් පපුව තෙරපන්න. 

3. Diaphragmatic breathing

උදරය මත අත් දෙක තබා උදරය ඉදිරියට තල්ලු වන සේ හුස්ම ගන්න. හුස්ම පිට කරන විට උදරය ඇතුලට තෙරපන්න. 

මේ හුස්ම ගැනීමේ ව්‍යායාම Localized breathing exercises ලෙසද හැඳින්වේ. 

ව්‍යායාම වෙත යොමු වී අත් හා පේශී ශක්තිමත් කරනවා මෙන්ම මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් ශ්වසන පේශී ශක්තිමත් කර ගත හැක. යම් හෙයකින් ඔබ නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වුවහොත් අසාධ්‍ය තත්ත්වයට පත් නොවී සංකූලතා අවමව සුව වීමට මේ ව්‍යායාම රුකුලකි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

ඔබත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ දෙමාපියෙක්ද?

දෙමාපියෙකු බවට පත්වන සෑම අම්මා, තාත්තා  කෙනෙකුටම සුවිශේෂි වූ වගකීම් සමුදායක් පවතී. තම දරුවන් නිසිමග යැවීම, නිසි අධ්‍යාපනයක් ලබාදීම, නිසි වර්ධන අවදීන් පසුකරවීම ආදී බොහෝ ඒ අතර වේ.
සෑම දෙමාපියෙකුගේම වගකීම හා කාර්යය භාර්යය වචනයෙන් විස්තර කිරීම අපහසු වුවත් එය ඇතැම් විට තවත් අභියෝගාත්මක වීමට ඉඩ කඩ පවතී. තම දරුවා විශේෂ අවශ්‍යතා සහිතව ඉපදීම එවන් එක් අවස්තාවක් ලෙස හදුන්වා දිය හැකිය.
සාමාන්‍ය දරුවෙකු හෝ  විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වුවද ඔවුන් දරුවන් වශයෙන් දෙමාපියන්ට ලැබෙන වගකීම හා කාර්යය භාර්යය එලෙසම පවතී. නමුත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ දෙමාපියෙකු යනු තරමක් අභියොගාත්මක හා විශේෂ කාර්යය භාර්යය යන් අතර සුවිශේෂි කාර්යය භාර්යය යක් පැවරෙන පිරිසක් බව කිව යුතුමය. එම නිසා එවන් දෙමාපියන්ට අවශ්‍ය වන්නා වූ Parenting tips කිහිපයක් සාකච්ඡා කිරීම සමාජ අවශ්‍යතාවයකී.

1. ඔබ තනිවී ඇතැයි නොසිතන්න. තමන්ටම දොස් නගා ගැනීමෙන් වලකින්න.
       
   විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු තම දරුවා ලෙස මෙලොව එලිය දුටු විට කලයුත්තේ කුමක්දැයි සිතමින්, තැවෙමින්, තමන්ටම දොස් පවරා ගනිමින්, මෙය සිදුවූයේ කාගේ වරදකින්ද සිතමින් කල්ගත කිරීම අප සුලභව දකින දෙයකි. තමා මෙලොව තනිවී ඇතැයි සිතමින් සමාජගත නොවී හුදකලාව කල් ගත කිරීම අනුවණ කමක් ලෙස පෙන්වාදිය යුතුය. මෙවන් ප්‍රශ්ණ ගැන සිතීමට ගතකරන කාලය තම ආදරනීය දරුවා සමඟ  ප්‍රයොජනවත් ලෙස ගතකිරීමට උත්සහ කිරීම ඉතා වැදගත් වේ.

02. ඔබේ වගකීම හරිහැටි අවබෝධ කර ගන්න.

  දරුවන්ට තම දෙමාපියන් යනු ඔවුන්ගේ ලොවේ වීරයන්ය. එම නිසා  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට ඔවුන්ගේ දෙමාපියන් වීරයන්ගෙත් වීරයන් විය යුතුමය. එම නිසා තම දරුවාගේ අනාගතය ගොඩ නැගීම උදෙසා ඔබගේ වගකීම හා කාර්යය භාර්යය නිසිපරිදි අවබෝධකර ගැනීම ඉතා වැදගත් වේ. වර්තමානය වන විට රජයේ රෝහල් වලින් හා අනෙකුත් චිකිත්සකවරු විසින් ඔබට නිසි මගපෙන්වීමක් කිරීම සිදුවේ.

03. දරුවාගේ වර්ධනය උදේසා අවශ්‍ය චිකිත්සාවන් හා අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවන්න.

දරුවෙකුගේ උපතේ සිට මුල් අවුරුදු තුන සහ පහ දක්වා කාලය ඉතාමත් වැදගත් කාලපරාසයක් බව කිව යුතුමය. එම කාලය තුලදී දරුවාගේ මොලයේ ක්‍රියාකාරීත්වය වේගයෙන් සිදුවේ.  එම නිසා තම දරුවා  විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු බව හඳුනාගත් මොහොතේ සිට දරුවාගේ කුසලතා වර්ධනයට අදාල චිකිත්සාවන් සහ අනෙකුත් වෛද්‍යමය ප්‍රතිකාර අවශ්‍යනම් ඒ සදහා ක්ෂණිකව යොමුවීම ඉතා වැදගත් වේ.

  1. ඔබේ දරුවා සමග ගතකිරීමට කාලය වෙන් කරන්න.

    වර්තමානයේ දෙමාපියන් බොහෝ කාර්යය බහුල වේ. මන්ද  ඔවුන්ගේ රැකියා සමඟ, නිවසේ කටයුතු සමඟ , අනෙකුත් වගකීම් සමඟ කාර්ය බහුල  නිසා දරුවන් සමග ගතකිරීමට අවශ්‍ය තරම් කාලය සොයා ගැනීම අපහසු විය හැකිය. නමුත් සාමාන්‍ය දරුවන් මෙන් නොව  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ වැඩි වෙලාවක් ගත කිරීමට දෙමාපියන්ට සිදු වේ. ඔවුන්ගේ කුසලතා වර්ධනයට චිකිත්සාවන් හරහා දෙනු ලබන නිවැස් ක්‍රියාකාරකම් සිදුකිරීමට, ඔවුන්ට අවශ්‍ය කරන රැකවරණය සැපයීමට දෙමාපියන්ට සාමාන්‍ය දරුවෙකුට වඩා වැඩි කාලයක් තම දරුවා සදහා වැය කිරීමට සිදුවන බැවින් එම කාලය විනොද ජනක සහ ප්‍රසන්න අයුුරින් ගතකිරීමට සැලසුම් කරන්න.

    05. උත්සහය අත් නොහරින්න.

    සාමාන්‍ය දරුවන් මෙන් නොව  විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ වර්ධනයේ වෙනස්කම් පවතී. එමනිසා ඔවුන් නිතර ඇතැම් කුසලතා වර්ධනය කර ගැනීමට ඉතා දිගු කාලයක් ගැනීමට ඉඩ ඇත. එනිසා ඔබ ඉක්මන් වී තීරණ නොගෙන නොපසු බටව උත්සහයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

    06. දරුවා සම්බන්ධයෙන් සුලු දෙයක් වුවද සමරන්න. එය ධනාත්මකව අගයන්න.

    ඔබේ දරුවා කරණු ලබන දේවල් නිතර අගයන්න. ඒ සඳහා ඔවුන්ට තවත් දිරි දෙන්න. උදාහරන ලෙස දරුවා හට කුඩා තිලිණයක් දීම, දරුවා ප්‍රිය කරන ආහාරයක් ලබාදීම, නිවසින් පිටතට රැගෙනයාම මෙන්ම දරුවාහට අත්පොලසන් දීම, සිප වැලද ගැනීම, අගයකිරීම් සටහන් (Reward chart)  යාවත් කාලීන කිරීම ඔබට සිදුකළ හැකි දේ අතර වේ‍.

    07. සන්සන්දනය කිරීමෙන් වලකින්න.

    සන්සන්දනය කිරීම ඇතැම් විට හොද දෙයක් වුවද ඔබ වටහා ගත යුත්තේ සැම දරුවෙකුම තවත් දරුවෙකුගෙන්  වෙනස් වන බවයි. එම නිසා ඔබ තවත් දරුවෙකු දෙස බලමින් ඔබේ දරුවා ගැන තීරණ ගැනීම නුවනට හුරු නොවනු ඇත.

    08. සමාජීය බලපෑම් සහ අපවාද පිළිබඳ නොසිතන්න.

    ඇතැම් දෙමාපියන් සමාජයෙන් අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු දීම මගහැර සමාජගත නෙවී තම නිවෙස් වලට වී කල්ගත කිරීම සිදුකරනු  ලබයි. නමුත් සමාජීය අපවාද සහ බලපෑම් ගැන නොසිතන්න. සමාජයේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අප සිතුවත් ඒවා පිළිබඳ  නොසිතා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

    කථන හා භාෂා චිකිත්සක සජිනී පෙරේරා මහත්මිය විසිනි. 

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ දැනුවත් වෙමු

විශේෂ අවශ්‍යතා යනු පුළුල් පරාසයක විවිධ වූ රෝග හා තත්ත්වයන් සහිතව විහිදුණු සංකල්පයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වර්ධන ප්‍රමාදයන්, වෛද, මානසික ගැටලු, සංජානනීය තත්ත්වයන් තිබිය හැකිය. මෙම විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම තුලින් එම තත්ත්වය ඇති වීමට බලපා ඇති හේතුව, ඒ සඳහා අවශ්‍ය වන සේවාවන් ලබාගැනීම සඳහා යොමුවීමට, සුදුසු ඉලක්ක තබාගැනීමට සහ ඔබේ දරුවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ.

තවද ” විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ” යන යෙදුමෙන්ම පැහැදිලි වන්නේ මෙම දරුවන් හට සාමාන්‍ය දරුවන්ට මෙන් නොව විශේෂ වූ අවශ්‍යතා සහිත බවයි. එම විශේෂ වූ අවශ්‍යතා එකිනෙකාගෙන් වෙනස් මෙන්ම දරුවාටම ආවේනික වූ දෙවල් ව හැකිය.  

එසේම විශේෂ අවශ්‍යතා යන්න පොදුුවේ අර්ථ දැක්වීම් බොහෝ පවති.  එහිදී   දරුවාට කළ නොහැකි දේ, වයසත් සමඟ වර්ධන සංදිස්ථාන නොගැලපීම, වයසත් සමඟ ක්‍රියාකාරකම් නොකිරීම ආදී බොහෝ දේ ඒ තුළ ගැබ්වී තිබිය හැක. දරුවන් තුළ පෙන්නුම්  කරන  විශේෂ අවශ්‍යතා විවිධ වූ බැවින් ඒවා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ඇතැම් විට උපතට පෙර, උපතේදී හෝ උපතට පසුු එම තත්ත්ව හඳුනාගත හැකිය.

විශේෂයෙන්ම වෛද්‍යවරුන් විසින් හඳුනා ගන්නා මෙම තත්ත්වයන් විවිධාකාරවලට වෙන් කරනු ලබයි. මෙම වර්ගීකරනයන් සංකීර්ණ වන අතර  වඩා වැදගත් වන්නේ  දරුවන්  කල් තියා හඳුනා ගැනීම (Early identification)  සහ ඒ සඳහා හැකි විගස ක්‍රියාත්මක වීමයි (Early intervention).

  • කල් තියා හඳුනා ගැනීම (Early identification) වැදගත් වන්නේ ඇයි?

දරුවන්  තුළ පෙන්නුම් කරන ගැටලු පළමුව හඳුනා ගන්නේ දරුවාගේ වෛද්‍ය වරයා විය හැකිය. ඒවා උපතට පෙර හා උපතේදී සිදුවන ගැටලු වන අතර ඒවා බොහෝමයක් ඒ ඒ අවස්ථා වලදීම හඳුනා ගනිති. එමනිසා අවස්ථාණු කූලව අවශ්‍ය වන්නා වූ ප්‍රතිකාර ක්‍රම ඒ අවස්ථාවේදීම ආරම්භ  කිරීමට ඉඩකඩ පවතී. උදාහරන ලෙස ඩවුන් සහලක්ෂණ (Down’s Syndrome)  තත්ත්වය උපතට පෙර හෝ උපතේදී හඳුනා ගතහැකි තත්ත්වයක් බැවින් ඒ සඳහා මැදිහත් වීම පහසුවේ‍.

නමුත් උපතට පසුව ඇතිවන ගැටලු හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් ඔබගේ දැනුවත් භාවය ඉතා වැදගත් වේ. ඒ සඳහා දෙමාපියන් වන ඔබ දරැවාගේ වර්ධන අවදීන් පිළිබඳ දැනුවත් වීම, සාමාන්‍ය තත්ත්වය සහා කුමක්ද අසාමාන්‍ය තත්ත්වය යන්න තේරැම් ගැනීමට හැකියාව පැවතීම ගැටලු අවම කර ගැනීමට උපකාරීවේ. ඇතැම් විට දරුවා පෙරපාසල් යන විට පෙරපාසල් ගුරුතුමිය ඇතැම් ගැටලු හදුනාගනීයි. නමුත් දරුවා සමඟ සමීපයෙන්ම සිටින පුද්ගලයින් දෙමාපියන් බැවින් දරුවාගේ ශාරිරික, මානසික, සාමාජීය, හැසිරීම සහා ඉගෙනුම් කුසලතා වර්ධනය කෙරෙහි ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. උදාහරණ  ලෙස ඔටිසම් තත්ත්වය, ශ්‍රවණ ඌණතා, ඌණ අවධාන සහ අධික්‍රියාකාරී බව, කථන හා භාෂා ප්‍රමාදය, උච්ඡාරන දෝෂ  සහ ඉගෙනුම් දුබලතා ආදී බොහෝ ගැටලු  හඳුනා ගැනෙන්නේ උපතින් පසු බැවින් ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්වේ.  

Early identification   එනම් කල්තියා හඳුනා ගැනීම වැදගත් වන්නේ දරුවා නිවැරදි තක්සේරුකරණයට ලක්කර ගැටලුවක් පවතිනවාද නැද්ද යන්න හඳුනා ගැනීම සහ  ගැටලුවක් ඇත්නම් ඒ සඳහා මැදිහත් වීම ආරම්භ කිරීමටයි. 

  • ක්ෂනික මැදිහත් වීම  (Early intervention ) යනු කුමක්ද?

දරුවන්ගේ ගැටලු සහ විශේෂ අවශ්‍යතා  හඳුනා ගැනීම වැදගත් වනවා සේම ඒ සඳහා සුදුසු ලෙස මැදිහත් වීම එනම් ඒ සඳහා අත්‍යාවශ්‍ය වන ප්‍රතිකාර ඇත්නම් ඒ සඳහා හෝ අවශ්‍ය චිකිත්සාවන් වෙත යොමු වීමද ඉතා වැදගත්වේ.

ඇතැම් විට බොහෝ දෙමාපියන් ඇතැම් තත්ත්ව හඳුනා ගත්ත හඳුනාගත් ද කෙටි කාලයකින් හරියාවි යැයි සිතීම, චිකිත්සාවන් සඳහා පිළිවෙලට නොකඩවා සම්බන්ධ නොවීම, කාලයත් සමඟ දරුවාගේ වර්ධනයන් පිළිබඳ සැහීමකට පත් නොවීම නිසා ඉච්ඡාභංගත්වයට පත්වීම  සිදුවීම දැකගත හැකිය.
                               
 නමුත් Early intervention හි වැදගත් කම නම් දරුවාගේ තත්ත්වය මොහොතේ සිට ඒ සඳහා මැදිහත් වී දරුවාගේ කුසලතා වර්ධනයට අවශ්‍ය වන්නා වූ ප්‍රතිකාර සහ චිකිත්සාවන් වෙත යොමුකිරීමයි. මන්ද දරුවාගේ මුල් අවුරුදු පහක කාලය තුළ මැදිහත් වීම තුළින් වඩාත් සාධනීය වර්ධනයක් කරා ලගාවිය හැකි බැවිනි. එමනිසා දෙමාපියන් වශයෙන් දරුවන්ගේ සාමාන්‍ය වර්ධනය මෙන්ම සමාන්‍ය නොවන වර්ධනය පිළිබඳව ද දැනුවත්වීම අවශ්‍යවෙි.

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.