Home Blog Page 35

දරුවන් ගේ කටහඬ පරිස්සම් කර ගන්නේ කොහොමද?


“කටහඬ” යනු ලොකු පොඩි අපි සැමට අවේණික වූ වටිනා ආභරණයකි. නමුත් වැඩිහිටියන් ට ඇති වන කටහඩේ ගැටළු පිලිබඳ බොහෝ දෙනා කතා කලත් කුඩා දරුවන් හට ඇති වන කටහඬේ ගැටළු පිලිබඳ වැඩි අවධානයක් යොමු නොවන්නේ ඔවුන් වර්ධනය වීමත් සමඟ එම තත්ත්ව මඟ හැරී යන බවට ඇති විශ්වාසයත් සමඟයි. නමුත් කටහඬේ ඇති වන ගැටළු සමස්ත වාචික සන්නිවේදනයේ ගුනාත්මකබාවය වෙනස් වීම හා සන්නිවේදන හැකියාවන්ට බාධා ඇති කරන බව වර්තමාන පරියේෂණ වලින් හදුනා ගෙන ඇත. එමනිසා දරුවන් ට ගැටළු ඇති කරන ඇතැම් හඬේ ගැටළු, ඒවා ඇති වීමට බලපාන හේතු හා ඊට පිළියම් පිලිබඳ දෙමවුපියන් ගේ අවබෝධය ඉතාමත් වැදගත් වේ.

කටහඬ නිපදවන්නේ ස්වරාලයේ ඇති ස්වර තන්තු කම්පනය වීමෙනි. ළදරු වියේ සිට වැඩිවිය පැමිණෙන තුරු ස්වරාලය හා ස්වර තන්තු සැලකිය යුතු ලෙස ව්‍යුහයමය වශයෙන්, ප්‍රමාණයෙන්, දිගින් හා ඝනකමින් වෙනස් වේ. ළමා ස්වරාලය හා ස්වර තන්තු වැඩිහිටි අපගේ ස්වරාලය හා ස්වර තන්තු වලින් වෙනස් වේ. ළදරුවෙකු ගේ ස්වරාලය ගෙලෙහි ඉහලින් ස්ථාන ගත වී ඇති අතර දරුවා ගේ වර්ධනයත් සමඟ ස්වරාලය ව්‍යුහාත්මක ව වෙනස් වේ.මෙම වර්ධනය උපතේ සිට වයස අවුරුදු තුන දක්වා වේගවත් වන අතර පසුව නව යොවුන් වියේදී හා වැඩිවිය පැමිණීමේදී විශේෂයෙන් ම පිරිමි ළමුන් තුල  වේගවත් ව සිදු වේ. තවද ගැහැණු හා පිරිමි වශයෙන් ද ස්වරාලයේ වෙනස් කම් මත හඬේ වෙනස් කම් ඇති වේ.

ළමා ස්වරාලයේ ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් නිසා කටහඬේ ගැටළු ඇති කරනු ලබයි. මෙම තත්වය පොදුවේ “ඩිස්ෆෝනියා” ලෙස හදුන්වන අතර මෙම තත්වයේ අනුවර්ගිකරණයන් ද පවතී. මෙම කටහඬේ ගැටළු ඇති වීමට බොහෝ කරුණු හේතු වන අතර ව්‍යුහමය ගැටළු, සංජානනීය ගැටළු, ප්‍රධාහයන් හා ස්නායු ගත ගැටළු ඉන් ප්‍රධාන වේ.

තවද ළමා ඩිස්ෆෝනියා තත්වයේ සුලභ ආකාර වලින් එකක් වන්නේ ස්වර තන්තු වල ඇති වන ඉදිමුම් හා ගැටිති ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී සිදු වන්නේ ස්වර තන්තු වල ඇති පටක ඒකපාර්ශවිය හෝ ද්විපාර්ශවිය වශයෙන් ඉදිමුමක්, ගැටිත්තක් හෝ තුවාල වීමක් සිදුවීමයි. මෙමගින් සාමාන්‍ය ස්වර තන්තු කම්පනය ට බාධා ඇති කරයි. එවිට කටහඬේ සාමාන්‍ය ධ්වනි තරංග හා අනුනාද වෙනස් වී වෙනස් වූ ඝෝෂාකාරී කටහඬක් හෝ සාමාන්‍ය නොවන කටහඬක්  නිර්මාණය කරයි. ඇතැම් විට දරුවා කතා කරන විට වඩාත් වේදනාකාරී වීමට ද ඉඩකඩ පවතී. තවද මෙම තත්වය ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කුඩා දරුවන් තම කටහඬ අනිසි ලෙස භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස කෑ  ගැසීම ආදී බොහෝ හේතු බලපානු ඇත.

මෙවන් ගැටළු ඇති වූ විට එය එය නිවැරදි ලෙස හදුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා උගුර කන නාසය පිලිබඳ වෛද්‍යවරුන් හා කථන  හා භාෂා චිකිත්සකවරුන් එක වී කටයුතු කිරීම සිදුවේ. එහිදී අවශ්‍ය නම් ස්වරාලය දෘෂ්‍යකරනයක ට ලක් කිරීම, විවිධ වූ තක්සේරුපත් ආදිය යොදා ගනිමින් ගැටලුව හඳුනා ගනු ලබයි.

තවද රෝග විනිශ්චය මත පදනම් ව ළමා ඩිස්ෆෝනියා තත්වය ට ප්‍රතිකාර කරනු ලබයි. දරුවා පෙන්නු කරන ගැටලුව අනුව ප්‍රතිකාර වෙනස් වන අතර කථන  හා භාෂා චිකිත්සවරුන් විසින් වාචික සනීපාරක්ෂාව (Vocal hygiene), දරුවාගේ කටහඬේ අනිසි භාවිතයන් හා හැසිරීම් අඩු කිරීම සඳහා නිසි උපදෙස් දෙනු අතර ඊට අමතරව අවස්තනුකුල ව රෝග විනිශ්චය මත පදනම් ව ව්‍යායාම් හා  ව්‍යුහාත්මක ගැටළු වලදී අවශ්‍යතාවය මත වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්ම මගින් ගැටලුව නිවැරදි කරගත හැකිය.

එමනිසා ඔබේ දරුවත් අනිසි ලෙස කටහඬ භාවිතා කරනවා නම්, නිතර ඝෝෂාකාරී ලෙස වාචික සන්නිවේදනයේ යෙදෙනවා නම් ඔවුන් ගේ වාචික සනීපාරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීමත්, දරුවාගේ කටහඬේ ගැටළු හෝ වෙනස්කම් ඇත්නම් ඒ පිලිබඳ සැලකිලිමත් වී අදාළ වෛද්‍යවරයෙකු හෝ කථන  හා භාෂා චිකිත්සවරයෙකු වෙත යොමු වීමත් ඉතා වැදගත් වේ.

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

රත බිබිළි ඇති වෙන්නේ ඇයි…?

බිලිඳු දරුවන්ගේ සම බොහොම සංවේදියි. ඒ නිසාම දහඩියෙන් පවා ඔවුන්ගේ සමට යම් යම් ආසාදන ඇති වෙන්න පුලුවනි. ළදරුවන්ගේ සමේ ඇති වෙන රතු පැහැති බිබිලි විශේෂය අපි “රත බිබිලි ” විදිහට හඳුන්වනවා.

සමේ තැනින් තැන පැලැස්සක් වගේ ඇති වෙන මේ රතු පැහැති බිබිලි නිසා ඇති වෙන කැසිම, දැවිල්ල පුංචි පැටියාට දරා ගන්න අපහසුයි. නමුත් ඒ අපහසුව ඔවුන්ට ප්‍රකාශ කිරීමටත් බැහැ. ඒ නිසා ඔවුන්ගේ අපහසුව අපට කියන එකම මාධ්‍ය බවට ඇඬිම පත් වෙනවා. ඒ නිසා අපි ළදරු අවස්ථාවේදී දරුවාට “ රත බිබිලි ” ඇති වීම වලක්වා ගැනීම ඉතාම වැදගත්.

රත බිබිළි ඇති වෙන්නේ ඇයි…?

රත බිබිළි ඇති වීමට ප්‍රධාන හේතු කීපයක් තිබෙනවා. ඒ අතර අපි බොහෝ දෙනෙක් හිතන්නේ දරුවා ගැබ් දරණ කාලයේදී මව උෂ්ණාධික ආහාර ගැනීම  නිසා මවගේ  සිරුරේ දාහ ගතිය වැඩි වීම දරුවාට රත බිබිළි ඇති වීමට හේතුවක්  බවයි. එය එක් හේතුවක් පමණයි.

දොළ දුකක් ලෙස උෂ්ණාධික ආහාර වෙනුවෙන් කැමැත්තක් ඇති වුනොත්…?

දරුවෙක් ගැබ දරණ කාලයේදී මවට ඇති වෙන දොළ දුක නොසලකා හැරීමත් අපේ සමාජයේ අනුමත කරන්නේ නැහැ. එය කෙසේ හෝ ඉටු කර ගැනීමට ගැබිණි මව්වරුන් කැමැත්තක් දක්වනවා. තවත් පැත්තකින් මවගේ දොළ දුක ලෙසින් අපට සන්නිවේදනය වෙන්නේ ගැබ තුළ සිටින දරුවාගේ ආශාවන්  බවට තිබෙන පිලිගැනීම නිසා දොළ දුක සමයේ ඇති වෙන ආහාර වෙනුවෙන් ගැබිණි මව වගේම ඇගේ ඥාතීන් පවා උනන්දු වෙනවා.

නමුත් මෙතැනදී අපට යම් සීමාවන් පනවා ගන්න පුලුවනි. දොළ දුකක් ලෙසින් උෂ්ණ ආහාරයක් ගැන ආසාවක් ඇති වුනොත් ඒ ආහාරය සමග තවත් උෂ්ණ ආහාර ගැනීම ගැන සීමාවන් පනවා ගන්න පුලුවනි.තවත් විදිහකට කිව්වොත් දොළ දුකට වුනත් ඇති වෙන ආසාව නිසා උෂ්ණ ආහාර ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කරන්න පුලුවනි. එවැනි පුංචි පුංචි සීමාවන් පනවා ගැනීමෙන් ළදරුවාගේ සමේ රත බිබිලි ඇති වීම වලක්වා ගන්න පුලුවනි.

දරුවා  පමනට වඩා උණුසුම් කිරීම

නව ජන්ම දරුවෙකුට ගර්භාෂයේ පරිසරයට වඩා පිටත පරිසරයේ ඇති ආගන්තුක බව දරා ගැනීමට අපහසුයි. ඒ නිසා දරුවෙකු උපත ලබා සතියක් පමණ කාලයක් උණුසුම්ව තබා ගැනීම වරදක් නැහැ. ඒත් සතියකින් පසුවත් දරුවාගේ අත් , පය, හිස වගේම සිරුර සම්පූර්නයෙන්ම ආවරණය වන විදිහට මේස්, තොප්පි සහ සීත කබා ආදිය අන්දවා තැබීමත් සුදුසු නැහැ. එහෙම වුනාම දරුවාගේ සිරුරේ ඇති වෙන දහඩිය නිසාම බිබිලි ඇති වෙන්න පුලුවනි.

ඊටත් වඩා අපි ජීවත් වෙන්නේ ඝර්ම කලාපීය පරිසර තත්වයක නිසා  පමනට වඩා ආවරනය කිරීමත් රත බිබිලි ඇති වීමට හේතුවක් වෙන්න පුලුවනි.

දරුවාගේ ඇඳුම්…

අද දරුවාගේ ඇඳුම් සෝදා වියලා ගැනීමේ පහසුකම් ඕනෑ තරම් තිබෙනවා. අතීතයේදී දරුවන්ගේ ඇඳුම් හිරු එළියේ වියලා ගත්තා. ඒ වගේම හවස් වීමට පෙරාතුව ගෙට ගැනීමත් සිදු වුණා. අද ඒ වෙනුවෙන් පහසුකම් තිබෙන නිසා දරුවාගේ ඇඳුම් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාමත් වැදගත්. හොඳින් වියලා ගත් ඇඳුම් උණුසුම් ස්ත්‍රික්කයකින් මැද ගැනීම නිසා ඇඳුම්වල තිබෙන දිලීර සහ පුස් වැනි දේ ඉවත් වෙනවා.විශේෂයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් පවතින විට මේ ගැන අම්මාගේ වැඩි අවධානයක් දැක්වීම වැදගත්.

රත බිබිළි වෙනුවෙන් ප්‍රතිකාර ….

  • දරුවා නාවන විට..

පුංචි දරුවා අපහසුතාවයට පත් වෙනවාට අපි කවුරුත් කැමැති නැහැ. ඒ නිසා දරුවා රත බිබිලි තත්වයෙන් ආරක්ෂා කර ගැනීමට නම් ඉතාම සරල වගේම ප්‍රත්‍යක්ෂ පිළිවෙත් තිබෙනවා.

අපි දරුවා නාවන ජලයට වෙනිවැල්ගැට, අමුකහ, කොහොඹ වැනි විෂබීජ නාශක ද්‍රව්‍ය එකතු කරන්න පුලුවනි.අතීතයේදී බිලිඳු දරුවන් නාවන ජලයට වෙනිවැල්ගැට, අමුකහ, කොහොඹ එකතු කිරීම නිසා දරුවාගේ සම පැහැපත් වෙනවා. ඒ වගේම මෙම ද්‍රව්‍ය විෂබීජ නාශකයක් විදිහටත් ක්‍රියාකරනවා. මේවා ඉතාම සුලබ ඖෂධ නිසා කිසිදු අපහසුවකින් තොරව ගමේ හෝ නගරයේ ඖෂධ වෙළඳසැල් වලින් ලබා ගන්න පුලුවනි.

  • දුම් ඇල්ලීම…

පසුගිය කොරෝනා කාලයේදී අපි දුම් ඇල්ලීම ගැන බහුලව කතාබහ කළා.සෑම නිවසකම වාගේ දුම් ඇල්ලීම ගැන වැඩි උනන්දුවක් ඇති වුණා.ආයුර්වේදයට අනුව දුම් ඇල්ලීම අනාදිමත් කාලයක පටන් සිදු වී තිබෙනවා.විශේෂයෙන් දරු ප්‍රසුතියෙන් පසුවත් මවගේ තුවාල ඉක්මනින් වියලීමට වගේම විෂබීජහරණය වෙනුවෙන් දුම් ඇල්ලීම සිදු කලා.

රත බිබිලි වලින් දරුවා ආරක්ෂා කර ගැනීමටත් දුම් ඇල්ලීම පහසුම ක්‍රමයක්. දරුවා නාවන්න කාමරයෙන් පිටතට ගත් පසුව දුම් ඇල්ලීම සුදුසුයි. දරුවා කාමරයේ තබා දුම් ඇල්ලීම වගේම දුම් ඇල්ලීමෙන් විනාඩි 30 ක් පමණ ගත වෙන තුරු දරුවා කාමරයේ තැබීමත් සුදුසු නැහැ.

පොල් කටු පුළුස්සා ගත්  ගින්දර මතට ගුගුල් , දේවදාර, සුවඳ කොට්ටං වැනි සුවඳ ද්‍රව්‍ය මාරුවෙන් මාරුවට  ( එක්වරට එක් සුවඳ ද්‍රව්‍ය බැගින් ) යොදා ගෙන දුම් අල්ලන්න  පුලුවනි. ආයුර්වේදයේ මේවා “රාක්ෂෝශ්න ද්‍රව්‍ය ” යනුවෙන් හැඳින්වෙනවා.

දරුවාගේ ඇඳුම් අල්මාරියටත් මේ දුම්  ඇල්ලමෙන්  ඇඳුම්වල තිබෙන දිලීර, පුස් සහ වෙනත් විෂබිජ ඉවත් වීම සිදු වෙනවා. 

දරුවාට මව්කිරි ලබා දෙන කාලයේදී මවගේ සිරුර අධික ලෙස උණුසුම් බව දැනෙනවා නම් උෂ්ණ ආහාරවලින් වැලකෙන්න. ඒ වගේම ඉරමුසු , කොත්තමල්ලි , නීරමුල්ලිය තම්බා ගත් ජලයට රත කල්කය තේ හැඳි බාගයක් එක් කර පානය කරන්න. කොත්තමල්ලි සමග රත කල්කය බොනවා නම් කොත්තමල්ලි කබලේ බැද කුඩු කර ගන්න. කිරි දෙන මව රත කල්කය භාවිතා කිරීමෙන් සිරුරේ ලේ පිරිසිදු වෙනවා වගේම මව්කිරි පිරිසිදු වෙනවා.

දරුවන්ට රත කල්කය සුදුසුද…?

අපේ රටේ අනාදිමත් කාලයක පටන් දරුවන්ට රත කල්කය(දෙසඳුන් කල්කය )   ලබා දුන්නා. රත කල්කය බොහොම සුරක්ෂිතයි. අතීතයේදී රත කල්කය ලබා දුන් දරුවන් අද වැඩිහිටියන් බවට පත්ව සිටින අතර ඔවුන් බොහොම නිරෝගියි. පාරම්පරික අත්දැකීම් අනුව “ රත කල්කය ” ඉතාම සාර්ථක ඖෂධයක්.

දරුවෙක් උපත ලබා දෙසතියකින් පසුව රත කල්කය ලබා දෙන්න පුලුවනි. රත කල්කය කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයක් ගෙන එය මව්කිරිවල දිය කර දරුවාගේ දිවේ තවරන්න. මෙය දිනකට දෙවතාවක් දෙන්න පුලුවනි. ආයුර්වේදයට අනුව මෙය “ ලේහ කිරීම ” යනුවෙන් හැඳින්වෙනවා.

කොපමණ කාලයක් රත කල්කය දීම සුදුසුද..?

දරුවාට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් රත කල්කය ලබා දීම සුදුසුයි. රත කල්කය ආයුර්වේදයට අනුව ලෝකයේ තිබෙන හොඳම ප්‍රතිශක්තිකරණ වර්ධන ඖෂධයක් නිසා මෙය දරුවන් වෙනුවෙන් වගේම ඕනෑම වයසක අයට ලබා ගැනීමට කිසිම බියක් ඇති කර ගත යුතු නැහැ.මෙය ක්‍රමයෙන් මුංඇටය සිට කව්පි ඇටයක ප්‍රමාණය දක්වා මාත්‍රාව වැඩි කරමින් ලබා දෙන්න පුලුවනි. 

ඒ වගේම රත කල්කයටත් අඩු නොවන කුෂ්ට සහිත තත්වයක් ඇත්නම් ළමා රෝග පිලිබඳ  විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනිමත් වැදගත්.

ආයුර්වේද වෛද්‍ය නිළධාරිනි අයෝමි ශානිකා ගමගේ මහත්මිය BAMS ( කොළඹ ) සමග සාකච්ඡාවක් ඇසුරින්.

 

මම හොයන්නේ අපේ තාත්තා වගේ සැමියෙක්……..

ගැහැණු දරුවන් විවාහය ගැන හිතන්නේ තම පියාගේ චරිතය අනුවයි.

ගැහැනු දරුවෙකුගේ පුංචි කාලයේ පටන්ම හිතේ ඇති වෙන  අනාගත සිහිනයක් තිබෙනවා. ඒ බව ඔවුන් වැඩි කැමැත්තක් දක්වන සෙල්ලම් වලින් පවා පෙනෙනවා. පිරිමි දරුවන් බෝල ගහන්න, වාහන එලවන්න වැඩි කැමැත්තක් දක්වන අතරවාරයේදී ගැහැණු දරුවන් බෝනික්කන් සමග සෙල්ලම් කිරීමට වැඩි උනන්දුවක් දක්වනවා. මේ සෙල්ලම් තුලින් පවා ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වෙන්නේ අනාගතයේ පවුලක් ලෙසින් ජීවත් වීමට ඔවුන්ගේ යටි හිතේ නිදන්ගතව තිබෙන කැමැත්තයි.

මොහොතක් සවන් දෙන්න…

පුංචි ගැහැනු දරුවන් බෝනික්කන් සමග සෙල්ලම් කරද්දී වගේම සෙල්ලම් ගෙවල් නිර්මානය කරන විට ඔවුන්ට නොදැනෙන සේ මොහොතක් සවන් දෙන්න. ඔවුන් වෙතින් සම්පූර්නයෙන්ම පිලිඹිමු වෙන්නේ ඔබේම නිවසේ හැසිරීම් රටාව බැව් ඒ ඇසිල්ලකින් තේරුම් ගැනීමට ඔබට හැකියාවක් ලැබේවි.

ප්‍රතිචාරත් දරුනු වෙන්න පුලුවනි…

සමහර විට ඔබේ දියනිය වගේම පිරිමි දරුවනුත් මේ සෙල්ලම් ගෙදරට සහභාගී වෙනවා.එතැනදී පියාගේ භුමිකාවත් මේ පුංචි සෙල්ලම් ගෙදර තුළ නිර්මානය වෙන්න පුලුවනි. අපේ බාල කාලයේදී අසල්වැසි නිවසක ගැහැණු දරුවන් සෙල්ලම් ගෙයක් නිර්මානය කරමින් පැය ගණනක් සෙල්ලම් කරනවා. ඔවුන්ගේ සෙල්ලම් ගෙය හැමදාම අවසාන වුනේ මත්පැන් බී නිවසට එන පිරිමි දරුවා විසින් නිවස කඩා දැමීමෙන්. මේ සිදුවීම අසල්වැසි පවුලේ සාමාන්‍ය රටාවක්. ඔවුන්ගේ පියා හැන්දෑවට නිවසට  පැමිනෙන රටාවට අනුවම මේ දරුවන් විසින් ඔවුන්ගේ සෙල්ලම් ගෙදර නිර්මානය කරනවා.ඒ අතර බෝනික්කන්ට පහර දෙනවා. නිවසේ මව ලෙසින් භුමිකාව නිරූපනය කරන මවටත් පහර දෙනවා. මෙම මානසිකත්වය විශේෂයෙන්ම ගැහැණු දරුවන් සමග ඔවුන්ගේ අනාගතයටත් බලපානවා.

මම හොයන්නේ අපේ තාත්තා වගේ සැමියෙක්…

පවුලක් තුළ ඉතාම යහපත් ලෙසින් ගනුදෙනු කරන පියෙකු සිටිනවා නම් දියනියක විසිනුත් ඇගේ අනාගත සහකරු වෙතින් තම පියා වැනි ගතිගුණ ඇති සහකරුවෙක් දැකීමට කැමැත්තක් දක්වනවා.ඒ වගේම බාල කාලයේ පටන්ම පවුලක් ලෙසින් ජීවත් වෙන අනාගත ආශාවක් ඇගේ යටි හිතේ ගොඩ නැගෙනවා.

හදිසියේවත් තාත්තා වගේ නොවුනොත්..?

ඒ වගේම බාල කාලයේ පටන්ම අපේක්ෂා කළ තම පියාගේ චරිතය සහකරුගෙන් නුදුටුවොත් ඇයට මානසිකවත් යම් ගැටුම්කාරි තත්වයකට පත් වෙන්න පුලුවනි. ඒ නිසාම නිතරම තම පියා වගේම තම මවගේ චරිතය අනාගතයේදී තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙතින් අපේක්ෂා කිරීම එතරම් සුදුසු නැහැ. නිතරම තම මව/ පියාට සමාන කර සිතන්න සහ ඒ හැසිරීම් රටාවම අපේක්ෂා කිරීමත් එතරම් සුදුසු දෙයක් නොවේ.

එහෙම නම් මොකද කරන්නේ…?

සමාජයේදී පුද්ගල හැසිරීම් එකිනෙකනාට වෙනස්. නමුත් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී අපි ඒ හැම දෙනාටම ගැලපෙන පරිදි හැසිරෙන්න අවශ්‍යයි. විවාහ සංස්තාවේදී මේ වටපිටාව තවත් සංකීර්ණයි. සමහර අවස්ථාවලදී විවාහයක් සිදු වෙන්නේ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු අතර වෙන්නත් පුලුවනි. ඒ නිසා තමන්ගේ මව හෝ පියාගේ චරිතය ඔවුන්ගෙන් අපේක්ෂා කරන්න බැහැ.ඒ නිසා තරුණ දරුවන්ට අනාගත පවුල් ජීවිතයේදී පුද්ගලයන් සමග ගනුදෙනු කරන ආකාරයත් පැහැදිලිව කියා දීම ඉතාම වැදගත්.

හැබැයි…තම පියා පවුල තුළ ඉතාම පීඩාකාරී චරිතයක් වුනොත් විශේෂයෙන්ම දියනිවරුන්ට අනාගතයේදී විවාහ වීමට තිබෙන අපේක්ෂාවන් නොදැනීම ගිලිහී යෑමට ඉඩ තිබෙනවා. ඇතැම් දියනිවරැන් පියා මුල් කර ගෙන පවුල තුළ විදින විඳවන මව ගැන ඇති වෙන සංවේදී සිත නිසාම අනාගතයේදී විවාහ නොවී තනිකඩව සිටින්නට තරම් තීන්දු තීරණ ගත් අවස්ථාවන් ගැන නිහඩ වාර්තා තිබෙනවා. ඇතැම් දියනිවරුන්..අපේ අම්මා විඳින දුක දැක්කාම මට නම් විවාහයක් ගැන හිතන්නත් බැහැ. ඒ තරමටම කලකිරෙනවා..

පවුල ප්‍රසන්න විය යුතුයි..

ඒ නිසා නිතරම දරුවන්ට පවුල වූ කලි ප්‍රසන්න නිවසක් කරන්න.ඔවුන් අනාගතය මුල් කර ගෙන තමන්ගේ මානසිකත්වය ගොඩ නගා ගන්නේ අද දවසේ තම දෙමව්පියන් විසින් ගෙවන ජීවිතය අනුව විය හැක.ඒ නිසා නිතරම පවුලක් තුළ අඹු සැමියන් අතර පවත්නා සමගිය ආදර්ශ කර ගෙන විශේෂයෙන් දියණිවරුන් තමාගේ අනාගත පවුල් ජීවිතය ගැන අපේක්ෂාවන් ගොඩ නගා ගනිති. ඒ නිසා දරුවන් කුඩා කාලයේ පටන් පවුල යනු ප්‍රසන්න ඒකකයක් වීම ඉතාමත් වැදගත්.

 

මාසික ඹසප් වීම

 මාසික ඔසප් ගැන දැණුවත් බවක් නොතිබුනොත්  ගැහැණු ළමයින් තැති ගන්නවා..

දියණියක් මල්වර වීම සමග අති උත්කර්ෂවත් අවස්ථාවක් ලෙස සැමරුවත් සැබැවින්ම දියනියක දණුවත් කළ යුතු බොහෝ දේ ගැන අම්මලාට අමතකයි.නමුත් දෙමව්පියන් විදිහට හැම දෙනෙකුගේම අවදානය දියණියට යොමු වීම වගේම ඔසප් චක්‍රයේ ආරම්භවීමත් සමග ඇගේ ජීවිතයේ ඇති වෙන වෙනස්කම් ඉදිරියේ මුහුණ දිය යුතු ආකාරය ගැනත් ඇයට වටහා දීම ඉතාම වැදගත්.. 

මල්වර වීමෙන් පසුව නැවත මාසිකව ඔසප්වීම සාමාන්‍ය සංසිද්ධියක් වුනත් මේ වයසේ දැරියන් ඒ ගැන බියට පත් වෙනවා.ඒ නිසා දෙමව්පියන් විසින් මෙවැනි ජීව විද්‍යාත්මක සිදුවීම් ගැන තමන්ගේ දරුවන්ට පැහැදිලිව කියා දීම වැදගත්. මවක විසින් මේ සිදුවීම් දියණියට පැහැදිලිව තේරුම් කිරීම අවශ්‍යයි.

මාසික ඹසප් වීමේ වේදනාකාරී අත්දැකීම විඳින්න වෙනවා..

දැරියක් මල්වර වීමෙන් පසු මුල් කාලයේදි ඔසප් වීමේ වේදනාවන් ඒ තරම් දරුනු නැහැ.සාමාන්‍ය වේදනාවක් එය සුළු වේදනා නාශකයකින් පාලනය කර ගන්න පුලුවනි.නමුත් ඇතැම් කාන්තාවන්ට ඉතා දරුණු විදිහට මාසික ඔසප් වීම වේදනාකාරීව බලපාන්න පුලුවනි. ගර්භාෂගත විවිධ රෝග නිසා මෙවැනි තත්වයන් ඇති වෙන්න පුලුවනි. නමුත් වයස අවුරුදු 25 ට අඩු නව යොවුන් වයසේ ගැහැණු දරුවන්ට එවැනි ගර්භාෂගත සංකුලතාවයන් අඩුයි.

ඒ වගේම ඔසප් චක්‍රය සමග බැදී තිබෙන මිථ්‍යාවන් කීපයක් අදටත් අපේ දෙමව්පියන් අතර පවතිනවා.

  • අපේ පැරණි මතයන්ට  අනුව අන්නාසි, පැපොල් වැනි දේ ගැබිණි මව්වරුන්ට දෙන්නේ නැහැ.ඒ වගේම මාසික ඔසප් අවස්ථාවන්හිදී පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීම නිසා රුධිරය වැඩියෙන් පිටවෙන බවට තිබෙන විශ්වාසය තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස..

ඉහත පළතුරු වර්ග සහ ඔසප් රුධිරය පිටවීමේ ධාරිතාවය අතර කිසිදු සත්‍යතාවයක් නැහැ.

  • බිත්තර,මස්,කරවල ආහාරයට ගැනිමෙන් ඔසප් රුධිරය අප්‍ර`සන්න ගන්ධයකින් තිබෙනවාද..?

ඔසප් තරලයේ පවතින ගන්ධයට ආහාර වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔසප් දිනයන්හි මස්,මාළු, කරවල, බිත්තර ආහාරයට ගැනීමෙන් ඔසප් තරලයේ විශේෂ දුර්ගන්ධයක් ඇති වෙන්නේ නැහැ.

  • අපේ විශ්වාසයන්ට අනුව ඔසප් රුධිරයට අදෘශ්‍යමාන අහිතකර බලවේග ආකර්ශනය වෙතැයි වූ පිලිගැනීම නිසා තනියම දිය ස්නානය කරන තැන් වල සිටීම ගැන ඇති සත්‍යතාවය…

ඔසප් දිනයේ ස්නානය කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.පොදු ස්ථානවල ස්නානය කිරීමේ යම් ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන් නාන තටාක වැනි තැන්වල මේ දිනයන්හි ස්නානය කිරීමෙන් අපිරිසිදු රුධිරය නාන තටාකයට එකතු වෙන්න පුලුවනි.

ඒ වගේම ඔසප් වීම නිසා පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් නීරක්තියට ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙනවා.මාසිකව සිදු වෙන ඔසප් වීම නිසා සිදු වෙන රුධිරය පිට වීම නීරක්තියට බලපානවා.

නීරක්තියට පත් වීමේ ලක්ෂණ

  • සුදුමැලිබව
  • මහන්සිය
  • හිසරදය
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • අවධානය සහ මතක තබා ගැනීමේ අපහසුතාවය
  • ඉගෙනීමේ උදාසීන බව

බොහෝ දෙමව්පියන් ගැහැණු දරුවන්ගේ ආහාර පිලිබඳව පෝෂණය ගැන දක්වන අවධානය අඩුයි.අතීතයේදී පවා වැඩියෙන් ආහාර පංගුව ලැබුනේ පවුලේ පිරිමි දරුවාටයි. නමුත් ගැහැණු දරුවන්ගේ ආහාරයේ යකඩ පිළිබඳව වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.නීරක්තියට පත් දරුවන්ට යකඩ අතිරේක ලබා දීම සහ  දිනපතා පෝෂණීය ආහාර පිලිබඳව වැඩි අවධානයක් දැක්වීම වැදගත්. 

යකඩ අඩංගු ආහාර අතරට එක් වෙන්නේ…

සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අපට හොඳින් හුරු පුරුදු ආහාර අතර 

  • මස්
  • මාළු වර්ග
  • රනිල කුලයේ එළවළු- බෝචිං , මුං ඇට , කව්පි , සෝයා
  • තද කොළ පැහැති පලා වර්ග- නිවිති , කංකුං 
  • පළතුරු

ඒ වගේම යකඩ අවශෝෂනය නොවන විදිහට අපේ ආහාර රටාව හැඩ ගැසී තිබීමත් යකඩ ඌනතාවයට හේතුවක්. ප්‍රධාන ආහාර වේලෙන් පසුව  තෙක් තේ , කෝපි  පානය කිරීම නුසුදුසුයි. එවිට යකඩ අඩංගු ආහාර මොන තරම් ගත්තත් සිරුරට යකඩ අවශෝෂනය අවශ්‍ය පරිදි සිද්ධ වෙන්නේ නැහැ.

ප්‍රධාන ආහාර වේලට පසුව විටමින් ක්‍ අඩංගු පළතුරු ආහාරයට ගත්තොත් ඉක්මනින් යකඩ අවශෝෂනය  පහසු වෙනවා. මේ නිසා ආහාරයෙන් පසුව දොඩම් , දෙහි  , පේර වැනි විටමින් ක්‍ බහුල පළතුරක් හෝ යුෂ ආහාරයට ලබා දිය හැක.

කොකු පණු රෝගයත් නීරක්තියට හෙතුවක් දැන් මේ රෝගය බොහොම අඩුයි. නමුත් වසරකට වරක් පණු බෙහෙත් ලබා දීම ප්‍රමාණවත් වුනත් අවදානම් කලාපවල දරුවන්ට මෙම කාලසීමාව වසරකට දෙවතාවක් ලෙසින් නිර්දේශිතයි. ඊට අමතරව ආහාරයට පෙර සහ , වැසිකිළි යෑමෙන් පසු අත් සේදීම, පළතුරු සෝදා ආහාරයට ගැනීම වැනි ප්‍රාථමික සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කිරීමත් අවශ්‍යයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි විශේෂඥ පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ නාරි සහ ප්‍රසව රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති  ( 2016 ) ගාමිනී පෙරේරා මහතා 

 

 

 


 

බුද්ධිමත් දරුවෙක් බිහි කරන හැටි

බුද්ධිමත් දරුවෙකුගේ සිහිනය සෑම දෙමව්පියෙකුටම පොදුයි. ඒ වගේම දරුවෙකුගේ බුද්ධියෙන් 80% ක්ම වර්ධනය වෙන්නේ මුල් අවුරුදු පහ තුළ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවා ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.දරුවෙකුගේ බුද්ධිමත්බව තීරණය කරන සාධක කීපයක් තිබෙනවා…

ජාන- බොහෝ විට දරුවෙකුගේ බුද්ධිමත්බව සදහා ජාන වලින් බලපෑමක් ලැබෙනවා.ජාන තිබුන පමනින්ම දරුවා බුද්ධිමතෙකු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ මග පෙන්වීම ඉතාම වැදගත්.

පෝෂණය

බුද්ධිමත් දරුවෙක් නිර්මානය වීමට පෝෂණයත් ඉතා වැදගත් නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ ශාරිරික පෝෂණය ගැන දක්වන උනන්දුවත් ඉතාම වැදගත්.

ගුණාත්මකබව

 පුංචි කාලයේ පටන්ම දරුවා තුළ ගුණාත්මක ගති පැවැතුම් ඇති කිරීමත් ඉතා වැදගත් බොහෝ විට දරුවා උස් මහත් වෙද්දී ගති පැවැතුම් ගොඩ නගන්න පුලුවන් කියලා හිතුවත් ඒ ආකල්පය වැරදියි. දරුවාගේ බුද්ධිය තහවුරු කරන අන්දමේ ගුණාත්මක පරිසරයක් බාල කාලයේ පටන්ම ගොඩ නැගීමත් වැදගත්.

අධ්‍යාපනය

දරුවාගේ මුල්ම ගුරුවරු වෙන්නේ දෙමව්පියන්. ඒ නිසා දරුවාගේ බාල කාලයේදී අධ්‍යාපනය වෙනුවෙන් ඇවැසි පරිසරයක් ගොඩ නැගීමත් ඉතාම වැදගත්. මුල් අවුරුදු පහක කාලයේදී දරුවාගේ බුද්ධිමත් බව වෙනුවෙන් වූ තීරනාත්මක සාධකයක් විදිහට අධ්‍යාපනයත් වැදගත් නිසා  දෙමව්පියන් විදිහට දරුවාගේ පුංචි කාලයේ පටන් අධ්‍යාපනයක් ලබා දීම වැදගත්. හැබැයි මෙතැනදී අධ්‍යාපනය විදිහට අර්ථවත් වෙන්නේ අකුරු කියවන ලියන හැකියාව නොවෙයි.

පුංචි දරුවාට යම් යම් දේ තේරුම් ගැනීමේ හැකියාව බාල කාලයේ පටන්ම නිවස තුලින් ගොඩ නගන්න පුලුවන්.ඒ වගේම තර්කානුකූලව හිතන අන්දම ගැන රුකුල් දෙමව්පියන් වෙතින් ලබා දුන්නොත් එය සැබෑ අධ්‍යාපනයක් වෙන බවත් අමතක කරන්න එපා.

මව්පියන්ගේ බලපෑම

බුද්ධිමත් දරුවෙකු නිර්මානය කරන තෝතැන්න නිවස කිව්වොත් එය නිවරැදියි. දරුවා ජීවත් වෙන නිවස සැබැවින්ම ප්‍රසන්න විය යුතුයි. ඒ නිවසේ ආකෘතියෙන් හෝ භෞතික සම්පත්වලින් නොවේ. මේ නිවසේ නිවැසි දෙමව්පියන්ගේ බලපෑම බුද්ධිමත් දරුවෙකු නිර්මානය කිරීමට විශාල පිටුවහලක් වෙනවා.බොහෝ දෙමව්පියන් දරුවාගේ මානසිකත්වය ගැන නොසිතා කරන කියන ඇතැම් ක්‍රියාකාරකම් නිසා දරුවාගේ හැකියාවන් උපන්ගෙයිම මොට වී යනවා.බොහෝ දෙමව්පියන් දරුවාගේ බුද්ධිමය හැකියාව තේරුම් ගන්නේ නැහැ. හැදෙන ගහ බාලකාලයේ පටන්ම හොදින් දැන හදුනා ගැනීමට පුලුවන්. ඒ හැකියාව සැබැවින්ම ඇත්තේ දෙමව්පියන්ටයි. ඊට හේතුව දරුවා සමග වැඩියෙන්ම සමීප සම්බන්ධතාවයක් ඇත්තේ දෙමව්පියන්ට නිසා මේ ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

අද ලෝකය දිනූ බොහෝ දරුවන්ගේ අතීතාවර්ජනයන් ගන බලන විට ඔවුන්ගේ හැකියාවන් හදුනා ගැනීමට දෙමව්පියන්ගෙන් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. සමහර විට ඔබේ දරුවාටත් මේ අන්දමින් සුවිශේෂී හැකියාවන් තිබෙන්න පුලුවන්. ඒ වුනත් එම හැකියාවන් හදුනා ගැනීමට නම් දෙමව්පියන් විදිහට ඹබ දරුවා සමග වඩාත් සමීපයෙන් සිටීම ඉතාම වැදගත්.

මාධ්‍ය

එදා දරුවන් ඩිජිටල් තිරයට නිරාවරණය නොවුන නිසා ඔවුන් පරිසරයෙන් බොහෝ දේ දැන ඉගෙන ගත්තා. ඒ නිසාම දරුවන්ගේ තර්ක බුද්ධිය හොදින් මුවහත් වුණා. අද දරුවන්ට ඒ වාසනාව ඇත්තෙන්ම ගිලිහී තිබෙන බව ඇතත්. ගහක්, කොලක්, නිලක් නැති පරිසරයක කොන්ක්‍රිට් වනාන්ත අතර සිරවුන නිසාම එය හේතුපාඨයක් කර ගෙන දරුවන් විද්‍යුත් නාලිකාවන් සමග අනවශ්‍ය විදිහට ඇබ්බැහි වෙලා. ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු පහට අඩු දරුවන්ට විද්යුත් මෙවලම් සමග ගණුදෙණු කිරීමට අවසර දීම හැකිතාක් සීමා වෙනවා නම් වඩාත් සුදුසු බව සදහන් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය රජපවුලේ දරුවන්ට විද්්‍යුත් මෙවලම් භාවිතා කිරීමට කේට් විසින් අවසරයක් දෙන්නේම නැති බව දැන් ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා එබේ දරුවා අනාගතයේදී බුද්ධිමත් දරුවෙක් ලෙසින් දකින්න රිසි නම් අද දවසේදී ඔවුන්ට සැබෑ ලෝකය අත්විදින්න අවසර දෙන්න.

සෙල්ලමට ඉඩ දෙන්න

බොහෝ දෙමව්පියන් දරුවාට සෙලල්මට නම් ඉඩක් දෙන්න වැඩි කැමැතත්ක් නැහැ. ඊට එක් හේතුවක් විදිහට දෙමව්පියන් හිතන්නේ සෙල්ලමට හිත ගියොත් අනාගතයේදී ඉගෙනුමට තිබෙන උනන්දුව දරුවාගෙන් දුරස් වීමට ඉඩ ඇති බවයි. ඒ හින්දා පුංචි කාලයේ පටන් සෙල්ලමට අවසර දෙන්නේ නැහැ. ඒ වුනත් දරුවෙකු සෙල්ලම් කරන විට මොළයට හොදින් ඔක්සිජන් සැපයුමක් ලැබෙන නිසා ඔවුන්ගේ මොලයේ ඇති වෙන නීරෝගීතාවය බුද්ධිමත් දරුවෙකුගේ පැවැත්මට වඩාත් හොද අත්වැලක් සපයනවා.

රූපවාහිනියටත් සීමාවක් දෙන්න

රූපවාහිනායට දරුවන් ඉතාම කැමැතියි. එයින් දරුවන්ගේ හිත ආකර්ශනය කරන විවිධ වැඩසටහන් නරඹන්න පුලුවන්. තවත් අතකින් රූපවාහිනිය ඉගෙනුම් මාධ්‍යක්. ඒ වුනත් පමණට වඩා රූපවාහිනියට දරුවා යොමු වුනොත් බුද්ධිමත් දරුවෙකුගේ හැඩ තල නැති වීමට පුලුවන්. ඒ නිසා රූපවාහිනය දරුවාට විනෝදය, ඉගෙනුම ලබා දෙන මෙවලමක් ලෙසින් භාවිතයට ඉඩ සලසා දෙන්න.. දරුවාගේ ඇබ්බැහි වීම අනිවාර්යෙන්ම මුදවා ගත යුතුයි.

එසේ නම් ඔබේ දරුවා අනාගතයේදී බුද්ධිමත් දරුවෙකු ලෙසින් නිර්මානය කිරීමට නම් අද දවසේ දරුවාගේ මොලයේ සංවර්ධනයට අවශ්‍ය උත්තේජන ලබා දීම ඉතාම වැදගත්. එසේ නම් ඔබ දරුවා ගෙවෙන පරිසරය වෙතින්ම මේ පහසුකම් ලබා දුන්නොත් හෙට දවසේ ඔබේ දරුවා බුද්ධිමතෙකු ලෙසින් සමාජගත කිරීම හැකියාව නොදැනීම ලැබෙනු ඇති.

 

 

කොවිඩ් වසංගත සමය දරුවන්ට බලපාන්නේ කොහොමද…?

කොවිඩ් වසංගතය සමග ඇති වුන සංචරන සීමාවන් වගේම දිගු නිවාඩුව දරුවන්ට බලපාන්නේ කොහොමද..? මේ ගැන කතා කරද්දී එක් එක් දරුවන්ගේ වයස් කාණ්ඩයට අනුව බලපෑමේ ස්වභාවය වෙනස් වෙන්න පුලුවනි.

පුංචිම දරුවන්ට නම්..

පුංචිම දරුවෝ ඉන්න අම්මලාට නම් මේ නිවාඩුව නිසා තමන්ගේ දරු පැටවුන් සමග කාලය ගෙවන්න පුලුවනි. වෙනදා වගේ සතියේ දවස් පහක් දැන් කන්තෝරු යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දරුවන් සමග කාලය ගෙවන්නත් දැන් අවසරයක් තිබෙනවා.ඒ නිසා දෙමව්පියන්ට ලැබුන මේ අවස්ථාවෙන් දරුවන්ට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට නිවසේ පරිසරය නිර්මානය කර ගැනීමත් ඉතාම වැදගත්.

අම්මයි- තාත්තයි- නිතර ගැටෙනවා නම්..

වෙනදාට වඩා වැඩි කාලයක් අම්මයි තාත්තයි නිවසේ කාලය ගෙවන නිසා නිතරම ගැටුම් ඇති වෙනවා නම් පුංචි මනසට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. වෙනදා නම් දරුවන් ඉදිරියේ නිතරම ගැටුම් ප්‍රදර්ශනයට ඔවුන්ට වෙලාවක් තිබුනේ නැහැ. දැන් වැඩි කාලයක් නිවසේ රැඳී සිටින නිසා ගැටුම් ඇති වීම දරුවන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නැහැ. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ නිවසේ ගෙවන මේ කාලය දරුවන්ට ප්‍රියජනක ලෙසින් ගෙවන්න අමතක කරන්නත් එපා.

ළදරු පාසල් වයසේ දරුවන්ට…

දරුවෙකු වයස අවුරුදු පහ සම්පුර්ණ වූ විට දිනපතා පාසලට යෑම අනිවාර්යයි. ඊට පෙරාතුව ළදරු පාසල දරුවාගේ පූර්ව ළමා විය සංවර්ධනයට වඩාත් වැදගත්. ජීවිතයේ දෙවතාවක් මේ කාලය ලැබෙන්නේ නැහැ. නමුත් වසංගත සමය නිසා ළදරු පාසල් යන දරුවන්ට ඒ අත්දැකීම ලබා ගන්න තිබෙන අවස්ථාව ගිලිහෙනවා. ඒ ගැන කළ යුතු දෙයකුත් නැහැ.වසංගතයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනුගමනය කරන වැඩ පිළිවෙල සමග මෙවැනි අනපේක්ෂිත පරිසරයක් ඇති වීම සාමාන්‍යයි.දරුවන්ට සාපේක්ෂව බලන විට ඔවුන්ගේ පූර්ව ළමා විය සංවර්ධනයේදී අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට , දිනපතා පාසලට හුරුව ලැබීමට සහ ස්වාධීන ජීවිතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරය වසංගතය නිසා ඔවුන්ට අහිමි වීමේ අවස්ථාවක් තිබෙනවා.

වයස අවුරුදු 5 සිට 10 අතර දරුවන්ට…

පාසල් අධ්‍යාපනයේ ආරම්භයේ පටන් හතර , පහ පංති දක්වා දරුවන් සෙල්ලමට බොහොම ප්‍රියයි.ඔවුන්ගේ ළමා කාලය අපි දරුවන්ට ලබා දීම වැදගත්. අද අතිරේක පංති සහ තරඟකාරී විභාග නිසා දරුවන්ගේ සෙල්ලම් කාලය දෙමව්පියන් විසින් උදුරා ගත්තත් එය දරුවන්ගේ අයිතියක්.ඇතැම් දෙමව්පියන් දරුවන්ට සෙල්ලමට බාධා නොකළත් අද කොවිඩ් වසංගත තත්වය නිසා දරුවන්ට තමන්ගේ මිතුරන් සමග කණ්ඩායමක් විදිහට ක්‍රිඩා කරන්න, මිතුරු සමාගම් පවත්වා ගන්න සහ අවම වශයෙන් උපන් දිනයකටවත් එකතු වීම අපහසුයි. අද අපටම ස්වයං වාරන පවත්වාගෙන හුදෙකලාව ජීවත් වීමට සිදු වී තිබෙන යුගයක්.ඒ නිසා කොවිඩ් සමග ඇති වුන සීමාවන් මේ කාණ්ඩයේ දරුවන්ටත් යම් විදිහකින් බලපෑමක් ඇති කරනවා.

වයස අවුරුදු 10 සිට ඉදිරියට..

මේ වයසේ සිටින දරුවන්ටත් සමාජ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථාව කාලය විසින් අහිමි කරනවා.ඒ වගේම අධ්‍යාපනයේ රටාවත් වෙනස් වුණා. අද ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීමට සිදු වී තිබෙනවා.

මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයේ ගැටළු..

කාලයත් සමග බොහොම ආගන්තුක සහ අනපේක්ෂිත අවස්ථාවක ඔන්ලයින් ක්‍රමයට අධයාපනය ලැබීමට අපේ දරුවන්ට ලද අවස්ථාව නිසාත් යම් යම් ගැටලු ඇති වී තිබෙනවා.

  • ස්මාර්ට් දුරකථන නැති වීම.
  • අවශ්‍ය පහසුකම් සහ මුදල් පිලිබඳ ගැටලු
  • මෙම පහසුකම ඔස්සේ සම්බන්ධ වීමට දැණුවත්කමක් නැති වීම
  • ඇබ්බැහි වීම

මාර්ගගත අධ්‍යාපනය නිසාත් දරුවන් මුලින් සඳහන් කළ අන්දමේ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. එවැනි තත්වයන් සමහර දරුවන්ට මානසිකවත් ගැටලු සහගත වෙන්න පුලුවනි.

ඒ වගේම බොහෝ දරුවන් අන්තර්ජාලය සමග දිගු කාලයක් රැදී සිටීම නිසා යම්යම් රෝග තත්වයන්ටත් පත් වෙනවා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්..

වයස අවුරුදු 18 ට අඩු පිරිස අපි දරුවන් විදිහට සැලකෙනවා. නව යොවුන් වයසේ පසුවෙන මේ කාණ්ඩය හෙටක් ගැන යම් අවබෝධයකින් පසු වෙනවා. ඒ වගේම ඔවුන් මේ කාලය වෙන විට ජීවිතයේ අරමුනු සහ ඉලක්ක ගොඩ නගා ගන්නවා. නමුත් අද කොවිඩ් වසංගතය සමග පාසල, අතිරේක පංති, පැවැත්වීමට අවස්තාවක් නැහැ. අදාල විභාග අදාල දිනයන්ට පැවැත්වීම අපහසුයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයේ කාලරාමුව අද පවතින තත්වය සමග ගලපා ගැනීම අපහසුයි.විභාග කල් යෑම නිසා උසස් අධ්‍යාපනය, රැකියා අවස්ථා ආදි සියලු කටයුතුවල ඇති වෙන ප්‍රමාදය ගැන සෘනාත්මකව සිතන මානසිකත්වයක් ගොඩ නැගීම දරුවන් ලෙසින් එතරම් සුබවාදී නැහැ.

එහෙමනම් මොකද කරන්නේ..?

එක් පැත්තකින් වසංගත තත්වය..තවත් පැත්තකින් අනාගත බාරකරුවන්…මේ අතර මැද සිටින දෙමව්පියන්.වසංගතයෙන් වගේම දරුවන්ගේ පෞරෂය බිද වැටෙන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත්. 

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවා සමග ගණුදෙණු කරන්නේ කොහොමද..?

  • මේ ගෝලීය වසංගතයක් බැව් ඔවුන්ට පැහැදිලිව කියා දෙන්න. අතීතයේදීත් විටින් විට මෙවැනි ගෝලීය වසංගත තත්වයන් ඇති වූ බවත් ඒවා කාලය සමග දුරු වී ගොස් ජනජීවිතය යථා තත්වයට නැවත පත් වූ අන්දම ගැන පැහැදිලිව කියා දෙන්න.
  • ලැබුන විවේකය ආශිර්වාදයක් සේ සිතන්න…වසංගතයක් නිසා හෝ ලද විවේකයෙන් අතපසු වුන කටයුතු ඉටු කර ගැනීමට උනන්දු කරන්න. නැවත මෙවැනි විවේකයක් නොලැබෙන බවත් ලැබුන අවස්ථාව අපතේ නොයවන ලෙසින් සැලසුම් කිරීමට උපදෙස් දෙන්න.
  • විනෝදාංශයක් වෙනුවෙන් යොමු කරන්න.
  • සංචරනයට අවස්ථාව නැති බව ඇත්ත…ඒත් නිවස තුළ තිබෙන වපසරියේ ගෙවතු වගාවක් වැනි කටයුත්තක නිරත වෙන්න.
  • කාලය පිලිබඳ ප්‍රශ්න නිසා වෙනදා නොහැකි වුනත් දැන් ලැබුන කාලයේදී දරුවාගේ පෝෂණය ගැන උනන්දු වෙන්න.
  • ශාරිරික ව්‍යායාම වෙනුවෙන් දරුවන් උනන්දු කරන්න.

මේ අන්දමින් වසංගතය ගැනම දුක් නොවී වසංගතය නව ජීවන රටාවට අපේ ජීවිත අනුගත කර ගැනීමේ කලාව දරුවාට කියා දෙන්න.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහනුවර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ අරඹේපොල මහත්මිය

 

 

 


                

ඔටිසම් තත්වය සහිත දරුවෙකු ට අවශ්‍ය චිකිත්සාවන් පිළිබඳ දැනුවත් වෙමු.

දෙමව්පියෙකු  වශයෙන් තම දරුවා හට ඕටිසම්  තත්ත්වය ඇති බව ට විනිශ්චයක් ලැබෙන විට දෙමව්පියන් හට ඇතිවන ගැටලු ප්‍රමාණය අතිමහත්ය. අතර මේ සඳහා බෙහෙත් තිබේද? දරුවා සාමාන්‍ය දරුවෙකු  බවට පත් වේ ද? අපට කළ හැකි දේවල් මොනවාද? චිකිත්සන සේවා මොනවාද? ආදි බොහෝ දේ ඒ අතර වේ. අද අප සාකච්ඡා කරන්නේ  මෙම ගැටළු වලින් එක් ගැටලුවක් පිළිබඳවයි. එනම් ඔටිසම් තත්වය සහිත දරුවකු හට අවශ්‍ය චිකිත්සාවන් හඳුනා ගැනීම පිළිබඳවයි.

ඔටිසම් තත්වය  සහිත දරුවන් හට ලබාදෙන විවිධ චිකිත්සක සේවා අද වන විට ලංකාවේ ද ප්‍රචලිතව පවතී. ඒවා නම්,

  • කථන හා භාෂා චිකිත්සාව 
  • වෘත්තීය චිකිත්සාව 
  • සංවේදන චිකිත්සාව 
  • අධ්‍යාපන චිකිත්සාව 
  • චර්යාමය ප්‍රතිකාරයි. මෙම එක් එක් චිකිත්සක  ප්‍රතිකාර වල අවශ්‍යතාවය දරුවා පෙන්නුම් කරන ගැටළු අනුව වෙනස් වේ.
  1. කථන හා භාෂා චිකිත්සාව ( Speech and Language Therapy ) යනු කුමක්ද?

ඔටිසම් තත්වය සහිත දරුවන්  පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ පෙන්නුම් කරන කථන හා භාෂා ප්‍රමාදය හා සන්නිවේදන ගැටළු යි. එම නිසා  ඔටිසම්  තත්ත්වය සහිත දරුවන් හට බොහෝ කතාව, භාෂාව හා සන්නිවේදනය ආශ්‍රිත ගැටලු පවතී. උදාහරණ ලෙස පැහැදිලි ශබ්ද, වචන ප්‍රකාශනයක් නොමැති වීම, භාෂා අවබෝධයේ ගැටළු, පුනරුච්චාරණය, ඇතැම්විට වාචික කථනයක් තිබුණ ද එය භාවිතයේ  ගැටලු ප්‍රධාන වේ.

කථන චිකිත්සාව තුළින් සිදුවන්නේ මෙම දරුවන් තුළ පවතින සියලුම කතාවභාෂාව හා සන්නිවේදනය ආශ්‍රිත ගැටලු වලට අවශ්‍ය චිකිත්සක ක්‍රම උපයෝගී කර ගනිමින් ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ කතාව භාෂාව සන්නිවේදනය වර්ධනයට අවශ්‍ය කටයුතු සලසා දීමයි.

  1. වෘත්තීය චිකිත්සාව (Occupational Therapy) යනු කුමක් ද?

වෘත්තීය චිකිත්සාව තුළින් දරුවා එදිනෙදා ජීවිතය කටයුතු වල දී ස්වාධීන පුද්ගලයකු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලබයි. වෘත්තීය චිකිත්සාව තුළින් වඩාත් අවධානය යොමු කරන්නේ,

  • දරුවාගේ ජීවන කුසලතා ( life skills)  එනම් ආහාර ගැනීම, ඇඳුම් ඇඳ ගැනීම, වැසිකිළි භාවිතය ආදී
  • චාලක කුසලතා (සියුම් /දළ ) එනම් පැන්සල ඇල්ලීම, කුඩා දේවල් ඇල්ලීම ආදී 
  • සංවේදන  ගැටලු ආදිය යි.

එම නිසා දරුවා වර්ධනයත් සමග  සාර්ථක ලෙස සමාජ ගත කිරීම හා එදිනෙදා ජීවිතයේ කටයුතු වල දී ස්වාධීන කර වීමටත්, සංවේදන ගැටලූ වලට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කර ගැනීමටත් වෘත්තීය චිකිත්සාව ඔටිසම් දරුවන් සඳහා අත්‍යවශ්‍ය වේ.

  1. සංවේදන චිකිත්සාව (Sensory Integration Therapy) හදුන්වා දෙන්නේ කෙසේද?

මෙම චිකිත්සාව වෘත්තීය චිකිත්සාව එක් අදියරක් ලෙස හඳුන්වා දිය හැකිය. බොහෝ ඔටිසම්  තත්ත්වය සහිත  දරුවන් හට විවිධ ශබ්ද වලට, ආලෝකයට, ස්පර්ශයට, විවිධ රස වලට ආදී  සංවේදන ආශ්‍රිත ගැටලු පවතී. මෙම එක් එක් සංවේදන වලට වැඩි සංවේදී (hypersensitivity) හෝ අඩු සංවේදී (hyposensitivity) විය හැකි . එහිදී දරුවා සංවේදන වලින් ඈත් වීම හෝ  මෙම සංවේදන සොයා ගෙන යාම සිදුකරනු ලබයි. මෙම සංවේදන ගැටළු මග හරවා ගැනීමත් ඒවා හඳුනා ගෙන ආදේශක හඳුන්වා දීමත් සංනිවේදන චිකිත්සාව තුළින් සිදු කරනු ලබයි.

  1. අධ්‍යාපන චිකිත්සාව ( Educational Therapy) යනු කුමක් ද ?

ඔටිසම් තත්ත්වය සහිත දරුවන් හට අධ්‍යාපන කුසලතා වල ද ගැටලු ඇති කරනු ලබයි. එහිදී ඔවුන්ට සාමාන්‍ය පංති කාමරය හුරුකර වීම යනු මහත් අභියෝගයකි. එහිදී මෙම දරුවන් හට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු කිරීම අභියෝගාත්මක විය හැකි අතර ඒ සඳහා මැදිහත් වීම අධ්‍යාපන චිකිත්සාව හරහා සිදු කරනු ලබයි .

අධ්‍යාපන චිකිත්සාව තුළින් දරුවන් හට ඇස අත සමායෝජනය, පැන්සල ඇල්ලීම, ලිවීම, අකුරු ඉලක්කම්  හදුන්වා දීම ආදි ක්‍රියාකාරකම්  සඳහා උදව් දෙන  සුවිශේෂී චිකිත්සක ක්‍රමයක් ලෙස  හඳුන්වා දිය හැකි ය. 

  1. චර්යාත්මක ප්‍රතිකාර ( Behavioural Therapy) වැදගත් වන්නේ ඇයි?

ඔටිසම් තත්වය සහිත දරුවන් හට විවිධ වූ චර්යාත්මක ගැටලු පැවතිය හැකිය. උදාහරණ ලෙස නොගැළපෙන ලෙස සිනාසීමඇඬීම , සමාජානුයෝජනය ආශ්‍රිත ගැටලු, හැඟීම් තේරුම් ගැනීම ආශ්‍රිත ගැටලු ආදී බොහෝ චර්යාත්මක ගැටලු ඇති විය හැකිය. එමනිසා මෙම චර්යාත්මක ප්‍රතිකාර තුළින් දරුවා හට නිසි මඟ පෙන්වීමක් සිදු කරනු ලබයි.

  1. මීට අමතරව වෙනත් චිකිත්සක ක්‍රම පවතිනවා ද ?

ඉහතින් සවිස්තරාත්මකව විස්තර කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් පවතින හා ඔටිසම් දරුවන් සඳහා අත්‍යවශ්‍ය චිකිත්සක ක්‍රම කිහිපයකි. මීට අමතරව සංගීත චිකිත්සාව, Art Therapy,  රංග චිකිත්සාව ආදී බොහෝ කුසලතා සංවර්ධනය පදනම් කරගත් චිකිත්සාවන් වර්තමානයේ දැකගත හැකිය.

  1. මෙම චිකිත්සාවන් ලබා ගත හැක්කේ කුමන ස්ථාන වලින්ද?

වර්තමානය වන විට බොහෝ රජයේ රෝහල් වලින් කථන හා භාෂා චිකිත්සාව,  වෘත්තීය චිකිත්සාව, චර්යා ප්‍රතිකාර ආදිය ලබා ගත හැකි අතර පෞද්ගලික රෝහල්, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන සායන හා ආයතන හරහා මෙම චිකිත්සාවන් ලබා ගැනීමේ හැකියාව පවතී.

  1. මෙම චිකිත්සාවන් අතරින් දරුවාට අවශ්‍ය වන චිකිත්සාවන් හඳුනා ගන්නේ කෙසේද ?

දරුවෙකු  තවත් දරුවෙකුගෙන් සම්පූර්ණයෙන් වෙනස් වෙයි. වගේම ඔටිසම් තත්වය සහිත දරුවන් එකිනෙකට වෙනස් වේ. ඔවුන් පෙන්නුම් කරන ලක්ෂණ, ඔවුන් ගේ  ඔටිසම් තත්ත්වයෙහි පරාසය       ( levels of autism ) වෙනස් වන බැවින් ඔවුන්ට අවශ්‍ය කරන චිකිත්සාවන් වෙනස් වනු ඇත.නමුත් ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයකු විසින් සිදු කරනු ලබන ඔටිසම් තත්වය පිළිබඳ විනිශ්චයක දී එම වෛද්‍යවරයා විසින් අවශ්‍ය කරන චිකිත්සාවන් වෙත යොමු කිරීම සිදුකරනු ලබයි. තව දෙමව්පියන් වශයෙන් ඔබේ දරුවා පෙන්නුම් කරන ලක්ෂණ අනුව ලැබිය යුතු චිකිත්සාවන්  හඳුනා ගැනීම ඉතා වැදගත් වේ .

තව ඔබ විසින් සේවාවන් ලබාගන්නා චිකිත්සකවරුන් දරුවන්ට අවශ්‍ය අනෙකුත් චිකිත්සාවන් හඳුනා ගැනීමට දෙමාපියන් හට මග පෙන්වනු ලබයි.

  1. ඔටිසම් තත්වය සහිත දරුවන් හට චිකිත්සාවන් ගේ ඇති අවශ්‍යතාවය කෙබඳු ද ?

වර්තමානයේ ඔටිසම් තත්වය සහිත දරුවන්ගේ විවිධ කුසලතා සංවර්ධනය අරමුණු කර කරගෙන මෙම චිකිත්සාවන් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මන්ද හරහා දරුවාගේ සාධනීය වර්ධනයක් කරා ළඟා වීමට හැකියාව පවතීදරුවා වැඩෙත්ම සමාජයේ සාර්ථක ලෙස  ජීවත් වීමට, ඔවුන් යහපත් ලෙස සමාජානුයෝජනය කිරීමට (quality of life ) මෙම චිකිත්සාවන් සඳහා යොමු වීම හා අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

  1. දෙමාපියන්ගේ කාර්යභාරය කෙබඳු ද ?

ඔටිසම් තත්ත්වය සහිත දරුවකු සිටින දෙමාපියන් යනු ඉතාමත් සුවිශේෂී කාර්ය භාරයක් සහිත දෙමව්පියෙක් බව කිව යුතුමය. සාමාන්‍ය දරුවකු මෙන් නො මෙම තත්ත්වය සහිත දරුවෙකු හට සුවිශේෂී අවශ්‍යතා පවතී. ඒවා හඳුනා ගැනීම, දරුවා අවබෝධ කර ගැනීම, චිකිත්සාවන් ලබා ගැනීම, නිවසේ දී දරුවා සමග එම ක්‍රියාකාරකම් නිතර නිතර පුහුණු වීම ආදී බොහෝ සුවිශේෂී කාර්ය භාරයක් මෙම දෙමව්පියන් හට පවතී.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබව දැනුවත් වෙමු

අපි කවුරුත් දන්නා විදිහට ස්ත්‍රී ප‍්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙන්ම පුරුෂ ප‍්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් දරුවෙකු බිහිකිරීමෙහිලා ඉතා වැදගත් කර්ය භාරයක් ඉටුකරනවා. ඇතැම් අවස්ථාවලදී දරු පිළිසිඳ ගැනීමට බාධා ඇති කිරීමට මේ පුරුෂ ප්‍රජනන පද්ධතියේ ඇතැම් තත්ත්ව හේතු විය හැකියි. එනම් කාන්තාවන් මෙන්ම ඇතැම් විට පුරුෂයන්ද මද සරුබවට ගොදුරු වී සිටිය හැක. මේ ලිපියේ අරමුණ වන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව ඔබව දැනූවත් කිරීමයි.

පුරුෂ ප‍්‍රජනක පද්ධතියේ වෘෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පිරිමියෙකුගේ ශුක‍්‍රාණු නිපදවන  ස්ථානයයි . පිරිමින් සතු මේ වෘෂණ කෝෂ  මලූ හැඩති ආකාරයෙන් සිරුරෙන් බාහිරව පිහිටා ඇත. ඒ ශුකාණු නිපදවීම සදහා  අවශ්‍ය වන්නේ ශරීර  උෂ්ණත්වයට  වඩා අඩු උෂ්ණත්වයක් නිසයි. සිරුර අභ්‍යන්තරයේ නොපිහිටා මෙලෙස වෘෂණ කෝෂ ශරීරයට බැහැරින් පිහිටීම නිසා මෙම අවශ්‍යතාවය ඉටුවේ. වෘෂණ කෝෂ  තුළ උණුසුම ශරීර  උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 20 කින් අඩුය. 

වෘෂණ කෝෂ දිගින් 5 mm පමණ වේ. එය වටා වූ ආවරණය දැඩිව ශරීරය හා පටකයන් ලෙස  සම්බන්ධ වී ඇත. වෘෂණ තුළ මැදිරි ලෙස වෙන් වූ පිණ්ඩිකා රැසක් ඇත. සෑම පිණ්ඩිකාවකම කූඤ්ඤ හැඩැති අවකාශයකින් නාලිකා රාශයක් වේ.  මේවා ශුක‍්‍රධර නාලිකා වශයෙන් හදුන්වනු ලබන අතර මෙම නාලිකා අතර වූ පටකය අන්තරාල පටකය ලෙස  හදුන්වයි.  අන්තරාල පටක තුළ වූ සෛල ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝමෝනය නිපදවයි. පිටියුටරියෙන් ශ‍්‍රාවය වන ලූටෙයිනීකාරක හෝමෝන(Luteinizing Hormone – LH) මෙම සෛල  උත්තේජනය කරයි. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුකාණු නිපදවීම කෙරෙහිත්, පිරිමින්ගේ ද්විතීයික ලිංගික ලක්‍ෂණ (කටහඩ ගොරෝසුවීම, ලිංගික පෙදෙසේ රෝම ඇතිවීම, ශුකාණු මෝචනය) ඇතිවීම කෙරෙහිත් බලපායි. 

මෙහිදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුක‍්‍ර නාලිකා තුළ වූ ශුකාණු මාතෘ සෛල  උද්දීපනය කර ශුකාණු නිපද වීම සිදු කරන අතරම මෙසේ  නිපදවෙන ශුකාණුවලින් ශුක‍්‍රධර නාලිකා පිරී යයි. ඒවා ශුක‍්‍ර නාලිකා තුළට විවර වීම සිදුවේ. මේ ශුක‍්‍ර නාලිකා වෘෂණ වෙතින් නික්ම දඟර ගැසුණු තනි නාලයකට එකතු වේ. එය වෘෂණය ලෙස හඳුන්වයි. වෘෂණය තුළ නිපදවෙන ශුකාණු තාවකාලිකව තැන්පත් කොට තබන්නේ මෙම අපවෘෂණය තුළය. අපිවෘෂණයේ කෙලවරින් ශුක‍්‍ර නාලය ඇරඹේ. මෙලෙස ඇරඹෙන ශුක‍්‍ර නාල යුගල පසුව මුත‍්‍ර මාර්ගයට සම්බන්ධ වේ. මේ සම්බන්ධ වන තැනට මදක් ඉහළින්ද සම්බන්ධ වන ස්ථානයේද ඊට මදක් පහළින්ද පිළිවෙලින් ග‍්‍රන්ථි 3 ක් පිහිටා ඇත.

1) ශුක‍්‍ර ආශයකාව (Seminal Vesicle)

2) පුරස්ථි ග‍්‍රන්ථිය (prostate gland)

3) කූපර් ග‍්‍රන්ථිය (Cooper gland)/ බුම්බූල මූල ග‍්‍රන්ථිය (bulbo urethral gland)

වෘෂණයේ නිපදවෙන ශුකාණුවක්, මෙම ග‍්‍රන්ථි තුනේ ශ‍්‍රාවයනුත් එක් වීමෙන් සුදු පැහැති උකු තරලයක් නිපදවෙන අතරම මේ  තරලයේ වැඩි වශයෙන් ඇත්තේ ශුක්‍ර ආගයිතා නම් ශ්‍රාවයකි. ශුකාණුවල  චලනය සදහා ශක්තිය සපයන්නේ මෙම සීනි මගිනි. එනම් ශුකාණු සදහා පෝෂණය එමගින් සැපයේ. ශුකාණුවලට එහා මෙහා චලනය වීම සඳහා පරිවහන මාධ්‍යයක් ලෙස ඉහත ග‍්‍රන්ථින්ගේ ශ‍්‍රාවයන් උදව් වෙනවා. සාමාන්‍යයෙන් පිරිමියෙකු එක්වරකට පිටකරන ශුක‍්‍ර තරල ප‍්‍රමාණය 2.5 -3.5 ml පමණ වෙනවා.. ඉන් එක් මිලි ලීටරයක අඩංගු ශූක‍්‍රාණු ප‍්‍රමාණය මිලියන 100 ක් පමණ වේ.

පිරිමින්ගේ  ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ මුත‍්‍ර මාර්ගය පිළිබඳව මෙහිදී අප දැන ගැනීම වැදගත්. මුත්‍ර මාර්ගය මෙහිදී කාර්යයන් දෙකක් ඉටු කරයි.  එනම් මුත‍්‍රා පිටකිරීම හා ශුක‍්‍ර තරලය පිට කිරීම යන කාර්යන් දෙකයි.  

ශිෂ්ණය මුදු මොළොක් අවයවයක් වන අතරම ලිංගික උත්තේජනය ලද විගස ඊට රුධිරය සපයන ධමනි ප්‍රසාරණය වීමක් සිදුවේ. එහි ඇති ස්පොන්ජී පටක රුධිරයෙන් පිරෙයි. ශිරා හැකිලේ. ඒ නිසා ශිෂ්ණයෙන් පිටතට රුධිරය ගලා යාම අවහිර වේ. ස්පොන්ජී පටක අවකාශය තුළ රුධිරය පිරීගොස් ශිෂ්ණය සෘජු වේ. ලිංගික උත්තේජනය නොමැතිව ද එනම් මුත‍්‍රාශ‍්‍රය පිරීයාම (බොහෝ විට උදෑසන අවදිවන විට කුඩා දරුවන්) වැනි අවස්ථාවලදීද ශිෂ්ණය ඍජු විය හැකිය.

පුරුෂ ප‍්‍රජනක පද්ධතියේ මූලික කොටස් 

  • වෘෂණ (Tester)
  • අපිවෘෂණය (Epididymis)
  • ශුක‍්‍ර නාල (Ductus deferenc)
  • ශුක‍්‍ර ආගයිත (Seminal vesicle)
  • පුරස්ථි ග‍්‍රන්ථි (Prostate gland)
  • විසර්ජක නලය (Ejaculatory duct)
  • ශිෂ්ණය (Penis) 

ශුක‍්‍ර නාලය – වෘෂණයේ සිට යටි බඩ ප‍්‍රදේශය දක්වා ගමන් කර මේ ශුක්‍ර නාල  උදර කුහරයේ පහත පිහිටි ශ්‍රෝණි කුහරය වෙත ඇතුළු වේ. ශුක‍්‍ර නාලයේ අවසාන කොටස ශුක‍්‍ර ආගයිතාව සමග එක් වී විසර්ජක නලය බවට පත්වේ. විසර්ජක නලය පුරස්ථි ග‍්‍රන්ථිය තුලින් ගමන් කර මුත‍්‍ර මාර්ගයට විවෘත වේ.

ශුක‍්‍රාණු – ශුක‍්‍රාණු සෛල ලෙස හදුන්වන්නේ හුදෙක් ශුක‍්‍ර තරලයේම  කොටසක්. ඇලෙන සුළු ධවල පැහැති ලිංගික සංසර්ගයේදී මුදා හැරෙන ශුක‍්‍ර තරලය තුළ ශුක‍්‍රාණු සෛල ගිලී පවතිනවා. ශුක‍්‍ර තරලයේ පෘක්ටෝස් මෙන්ම ප්‍රෝටියෝලිටික් එන්සයිම පවතී. ඒ තුළ ගිලී පවතින ශුක‍්‍රාණුවල චලනය වීමේ හැකියාව  නියම විදිහට  පවත්වා ගැනීමට මෙම රසායන හේතූ වෙනවා. සෑම ශුක‍්‍රාණුවක්ම එක් වගේ නොවන අතරම ඒවාගේ හිසෙහි, බදෙහි වගේම  වල්ගයෙහිද එකිනෙකට වෙනස්කම් තිබිය හැකියි. ඒවා ඇතැම් විට හිස් දෙකක්, වලිග දෙකක්, දඟර ගැසුණු බවක් ආදී ලෙස යම් යම් විකෘතිතා පෙන්නුම් කළ හැකියි. මේ ආකාරයේ විකෘතිතා රැසක් සහිත ශුක‍්‍රාණු මේ මෝචනය වන ධාතු කොටස් වල තිබිය හැකියි. ශුකාණු සහ ඒ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් ඉදිරි ලිපියකදී බලාපොරොත්තු වන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ඔබටත් මේ අතේ වේදනාව තියෙවද?

බොහොමයක් රෝග තත්ත්ව සඳහා සුදුසු භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අප වෙබ් අඩවිය මගින ඔබව දැනුවත් කළා. අද එලෙසම වූ පීඩාකාරී රෝග තත්ත්වයක් පිළිබදව දැනුවත් කිරීමටයි මේ සූදානම. එනම් පේන්ෆුල් ආක් සින්ඩ්‍රෝමය (Painful arc syndrome) යන තත්ත්වයයි. මේ තත්ත්වය කුමක්ද යන්න බොහෝවිට වටහා ගැනීම අපහසු වන නිසාම රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වීම වුවද වුය හැකියි.

පේන්ෆුල් ආක් සින්ඩ්‍රෝම තත්ත්වයේදී රෝගියාගේ අත ශරීරයෙන් ඉවතට ඔසවන විට මැද පරාසය තුලදී වේදනාවක් හට ගැනීම දැකිය හැකියි. එනම් අත ශරීරයෙන් ඉවතට ඔසවන චලනයේ ආරම්භයේත් එම චලනයේ අවසානයේත් වේදනාව හට නොගනී. මෙම රෝගයේ විශේෂත්වය එයයි. 

පේන්ෆුල් ආක් සින්ඩ්‍රෝමය ඇති වීමට හේතු

සාමාන්‍යයෙන් අපේ අත ශරීරයෙන් ඉවතට එසවීමට ආරම්භය ලබාදෙන්නට උපකාරි වන්නේ සුප‍්‍රා සපයිනේටස් පේශියයි. පහත සඳහන් හේතූ නිසා අත ශරීරයෙන් ඉවතට ඔසවන විට මැද පරාසය තුලදී වේදනාව හට ගනී. 

  • සුප‍්‍රා ස්පයිනේටස් පේශියේ කණ්ඩරාවේ ආසාධනය (supra spinouts tendinitis)
  • සුප‍්‍රා ස්පයිනේටස් පේශියේ කන්ඩරාව කැල්සීනීභවය
  • සබ් ඇක්රෝමියල් බර්ස
  • ව්‍යුහය ආසාධනය
  • ප්‍රගණ්ඩස්ථියේ ගේ‍්‍රටර් ටියුබරෝසිටි අනතුරට පත්වීම (Grater tuberosity of Humerus) යනාදිය පෙන්වා දිය හැක. 

මෙම තත්ත්වය ඇති රෝගීන් භෞතචිකිත්සකවරු වෙතට යොමු කෙරේ. එවිට ඔවුන් රෝගියා ඇගයීමකට ලක් කොට, කළ යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාර තීරණය කරයි. එම ප‍්‍රතිකවලදී ප‍්‍රථමයෙන් තාප ප‍්‍රතිකාර ලබාදේ. ඒ සඳහා කෙටි තරංග (short waves), අධෝරක්ත කිරණ (Infa Red) ලබාදීම ප‍්‍රතිකාර ලෙස යොදා ගනී. බොහෝ විට යොදාගන්නේ කෙටි තරංග (short waves) ක්‍රමයයි. මෙමගින් ශරීරය අභ්‍යන්තරයට තාපය ලබාදේ. එම තාපය මගින් එම පේශියේ වේදනාව සහ තද ගතිය නැතිව යයි. 

මේ තත්ත්වයේදී යොදා ගන්නා භෞතචිකිත්සක ක‍්‍රම අතර වැදගත්ම ක්‍රමය වනුයේ අල්ට‍්‍රා සවුන්ඩ් (ultra sound) ප‍්‍රතිකාරයයි. අධි ධ්වනි ශබ්ද තරංගයක් වන මෙමගින් සුප‍්‍රා ස්පයිනේටස් පේශියේ කන්ඩරාවේ ආසාධනය හෝ කැල්සනීභවනය වී ඇති තත්ත්වය නැති කරගත හැක. මිනිස් කනට ඇසෙන ශබ්ද තරංග වල පරාසය වන්නේ  20 හර්ට්ස් වල සිට හර්ට්ස් 20000 (20Hz 20000Hz) ය. මෙහිදී යොදා ගන්නා ශබ්ද තරංගය හර්ට්ස් 20000 ට වැඩි අධි ධ්වනි තරංග යයි.

යාන්ත‍්‍රීකරණ තරංගයක් වන මෙමගින් කණ්ඩරාවේ ඇති නොයෙකුත් බැඳීම්, අපද්‍රව්‍ය බිඳ දමයි. රෝගියාට සහනයක් ලැබේ. වේදනාව නැතිව යයි. බෙහෝ භෞතචිකිත්සකයන් මේ වේදනාව නැති කිරීමට TENS (Transcutaneous vagus nerve stimulation/Electrical Nerve Stimulator) යන්ත‍්‍රයද උපකාරී කර ගනියි. මෙහිදී කුඩා ඉලෙක්ට්‍රෝන දෙකක් රෝගියාගේ උරහිසේ අලවා එමගින් කුඩා විද්‍යුත් ධාරාවක් ශරීරයට ලබාදී වේදනාව නැති කර දමයි. මේ කිසිවක් හානිකර දේ නොවේ. 

තවදුරටත් රෝගියාට සන්ධි චලනය කරවන ව්‍යායාම (Mobilizing exercises) කඝ යුතුය. තවද දුර්වල වූ පේශියට පේශී ශක්තිමත් කරවන ව්‍යායාම (strengthening exercises) දිය යුතුය. 

යම් කිසි බලයකට එරෙහිව අත ශරීරයෙන් ඉවතට එසවීමෙන් එය කළ හැක. දිවයින පුරා ව්‍යාජ භෞතචිකිත්සකයන් විශාල ප‍්‍රමාණයක් සිටින බැවින් ඔබගේ භෞතචිකිත්සකවරයාගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය විමසන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

ඔබත් පුතාට වැඩි සැලකිලි දක්වන අම්මෙක් ද?

ජීවිතයට ඇවැසි බොහෝ දේ අපේ අත්දැකීම් තුලින්ම ඉගෙනීමට හැකියි. අපි ජීවිතය අත්දැකිය යුතුයි. අත්විඳිය යුතුයි. ඒ වගේම ඉගෙන ගත් දේ අනුකූලනය කළ යුතුයි. 

මනෝ චිකිත්සකවරියක් වන මට, මුහුණ පොත හරහාත්, ඊමේල් වගේම යූ ටියුබ් හරහාත් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා අසන්න ලැබෙනවා. ඒ අතර මට නිතර අසන්නට ලැබුණු ගැටලු බොහොමයකට හේතුවක් වී තිබුණේ දරුවන්ගේ ජීවිත මාපියන් විසින් ගොඩනැංවීමේදී සිදුවන අඩුපාඩු මත ඇති වන ගැටලු බවයි. ශ‍්‍රී ලංකාවේ අපේ සංස්කෘතිය තුළ දුවෙකුට වඩා සුවිශේෂී තැනක් පුතෙකුට හිමි වීම මත යම් දිනක වැඩිහිටියන් වන දරුවන්ගේ ජීවිත තුළ ගැටලුමතු විය හැකි බව ඔබත් සිතන්නට නැතිව ඇති. අපි අද ඒ ගැන කතා කරමු.

දුවෙක් වුණත් පුතෙක් වුණත් දරුවෙක් කියන්නේ සම්පතක්. සුදු ඇත් පොව්වෙක් ගීතය ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අහලා ඇති. සිරිමා බෝ සාමිනේ, මං පිරිමි පුතෙක් පැතුවා කියන ගීතයත් ඔබ අසා ඇති. දුවෙක් වේවා පුතෙක් වේවා දරුවෙක් පතන අම්මලා වගේම තමාට පුතෙක්ම ඕනේ යැයි දෙවියන්ගෙන් යදින මව්වරුන්  අපේ මව්වරු අතර ඉන්නවා. 

ඇයි අම්මා කෙනෙක්ට පුතෙක්ම ඕනේ 

මේ ගැන හිතලා බැලුවොත් අපේ සංස්කෘතියට අනුව නම් පරම්පරාව ගෙනියන්න, පවුලට ශක්තියක් ධෛර්යක් දෙන්න, අපි නැති කාලේක අපේ නම ගෙනියන්නට යන දේවල් ගොඩක් අපේ සංස්කෘතිය තුළ ගොඩනැගිලා තියෙනවා. 

ඉතිං ඔබටත් ඕනේ පුතෙක්මද?

අපි මේ තුළ මීට වඩා වෙනස් දෙයක් දැකිය යුතුයි. දුවෙක්ද පුතෙක්ද කියනවට වඩා වැදගත් වෙන්නේ දුවෙක් වුණත් පු‍තෙක් වුණත් දරුවෙක් යන හැඟීමයි. ඒ වගේම මව්පියන් ලෙස අපි ඒ දරුවා ගොඩනඟන ආකාරයයි. පුතා  සංකල්පයක් ලෙස ගත්තොත් ඒ චරිතය අපි ගොඩනගන ආකාරය බොහෝ සෙයින් වැදගත් වෙනවා. පුතෙක් කියන චරිතය හදන ආකාරය, ඒ චරිතයට ආකල්ප රූපණය කරන ආකාරය පිළිබඳව දෙමාපියන් ලෙස අපි බොහොම සැලකිලිමත් විය යුතුයි. අපේ සිතුම් පැතුම් යම් ආකාරයකින් වෙනස් විය යුතුයි. අපි ගෙදර වැඩක් පුතෙකුට කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. 

”ආ.. පුතේ ඔයා යන්න, ඔයා සෙල්ලම් කරන්න.. කොල්ලෝ ගෙදර වැඩ කරන්න ඕනේ නෑ”

ඒත් දුවෙක් ඉන්නව නම් උයන්න පිහන්න ඕනෑ. ගෙදර වැඩ කටයුතු ඉගෙන ගන්න ඕනේ. ඇතැම් නිවෙස්වල අම්මලා පළවෙනි බත් හැන්ද බෙදන්නේ ගෙදර තාත්තට, එහෙමත් නැත්නම් පුතාට. මොකද ඒකේ තියෙනවලු යෝධ බත් ඇටය කියලා එකක්. නමුත් විද්‍යානුකූලව හිතුවොත් ගැහැණියක් දරුවෙක් බිහි කරන්නට  ඕනෑ. ඇය තුළ ශාරීරික ශක්තිය තිබිය යුතුයි. විද්‍යාත්මක කරුණු එසේ වුවත් අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ඒ ආකාරයේ අදහස් මූලික කරගෙනයි. 

මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මට අහන්න ලැබුණු කතාවක්…..

එක අම්මා කෙනෙක් පුතාගේ ගෙදරට දුරකතන ඇමතුමක් ලබා දී පුතාව විමසුවාම පුතාගේ බිරිඳ ඔහු මුළුතැන් ගෙය පිරිසිදු කරන බව කියා තිබුණා. නමුත් ‍මේ පුතාගේ මව පුතාගේ බිරිඳට බැන වැදී තිබුණේ දරුවා හැදුවේ වලං සෝදන්න නොවන බව පවසමින්.

නමුත් සිදු විය යුත්තේ එය නෙවෙයි. මාගේ පෞද්ගලික අත්දැකිම්වලට අනුව කිව්වොත් මගේ නිවසේ නම් මම කාර්යබහුල වූ විට මගේ සැමියා නිවසේ වැඩ ක‍ටයුතු නොපැකිලව බාරගන්නවා. අපි හරිම අවබෝධයෙන් යුතුව ඒ කාර්යයන් ඉටුකරගන්නවා. ඒක ලැජ්ජාවට කරුණක් නොවේ. දරුවෙක්ගේ ඩයපර් එකක් මාරු කරන්න, කැත කුණු අතගාන්න පියෙක් ලැජ්ජ විය යුතු නැහැ. එය පියාගේ මවට කණගාටු විය යුතු කරුණක්ද නොවේ. දරුවෙක්ව ලෝකයට ගේන්නේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම එක්ව. ඉතිං මේ වගකීම් විතරක් ගැහැණියට පමණක් සීමා විය යුතු නැහැ. අපේ පුතුන්ට අපි ඉගැන්විය යුත්තේ එයයි.අන්න ඒ නිසාම අපි අපේ දරුවා දුවෙක් වේවා, පුතෙක් වේවා නියමාකාරයට ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කළ යුතුයි. දරුවන් අනවශ්‍ය විදියට බොලඳ මානසිකත්වයක් ඇතිව අපිට හුරු වචනයෙන්ම කියනවා නම් තොත්ත බබාලා නොකර සිටීමට වගබලා ගත යුතුයි.

දුවට වගේම පුතාටත් ජීවිත්විය යුතු ආකාරය පහදා දිය යුත්තේ ඇයි?

ඔව්. සරලම උදහරණයක් ගත්තොත්, අද වෙද්දී ගොඩක් දරුවෝ ඉගෙනීමට, රැකියා සදහා විදේශ රටවලට යනවා. එතැනදී තමන්ගේ වැඩකටයුතු තමන් විසින්ම ඉටු කරගත යුතුයි. මොකද ගෙදරින් වෙන්වෙලා විදෙස් රටකට ආවම අම්මා තාත්තා අත ළඟ නෑ, සේව‍ක‍යෝ නෑ. ඉතිං තමා විසින්ම තමාගේ කටයුතු ඉටුකර ගත යුතුමයි.

මෙන්න මෙතැනදී අසරණ වෙන තත්ත්වයට අපි අපේ දරුවෝ නොහැදිය යුතුයි. දුවෙක් වේවා පුතෙක් වේවා අපි අපේ දරුවන්ට ජීවිතය ගැන වගේම ජීවත් වෙන ආකාරය ගැනත් අවබෝධ කරවිය යුතුයි. විශේෂයෙන්ම පිරිමි දරුවන්ට අපි මේ දේවල් හුරු කළ යුතුයි. ඒක පුංචි කාලේ පමණක් නෙවෙයි ඔවුන් විවාහ ජීවිතය තුළත් සාර්ථක වීමට බොහෝ සෙයින් උදව් වෙනවා. මොකද අපි විවාහ වෙද්දී පොරොන්දුවක් දෙනවා, දුකේදී සැපේදී හැම අවස්ථාවකම එකට ඉන්නා බවට. උයන පිහන එක, ගෙයක් දොරක් අතුගාන එක, පවුල් සංස්ථාව තුළ තමන් තුළ තියෙන දෙයක් බෙදා හදා ගන්න එක සාමාන්‍ය දෙයක්. අපි අපේ දරුවන් ඒ ජීවිතයට හුරු කළ යුතුයි.

අපිට පුළුවන් ගැහැනු පිරිමි භේදයකින් තොරව නි‍වසේ වැඩකටයුතුවලට අපේ දරුවන් සම්බන්ධ කරගන්න. ඒක දරුවන්ටත් විනෝදයක්. ඒ වගේම අම්මා තාත්තා එක්ක යම් කාලයක් ගත කරන්නත් අවස්ථාවක්. ඒ වගේම ලස්සන වගේම වටිනා අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි දරුවෙක්ට ලොකු ජයග්‍රහණය මුසු වුණු හැඟීමක් එකතු කරවන මොහොතක්.

ඔබත් මෙහෙම හිතන්න. මට ඉන්නෙ වයස අවුරුදු 7ක පුතෙක්. අපි ගෙදර පරිප්පු හොද්දක් හැදු‍වත් එයත් ඒකට දායක වෙනවා. අපි එයාව එකතු කරගන්නවා. මොකද මම හිතනවා, එයා ඉගෙන ගන්න අපෙන් දුරකට ගියොත් එහෙමත් නැත්නම් විවාහයෙන් පස්සේ හරි එයාගේ ජීවිතයට මේ අත්දැකීම් බොහොම වැදගත් වේවි කියලා. 

මතු දිනක ඔහු විවාහයක් වූ පසු දරුවොත් එක්කලා හැම තිස්සේම ඔහුගේ බිරිඳට උයන්නට බැරි වේවී. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තියේවි. අන්න ඒ නිසා පුතෙක් වුණත් ඕනෑම ජීවන රටාවකට හුරු කළ යුතුයි. ඒ නිසයි අපි විවෘත මනසක් ඇති දරුවෙක් හැදිය යුත්තේ. 

පුතුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වන ඔබෙන් පුතුට සිදුවන්නේ යහපතක්ද?

පුතුන්ට සුවිශේෂ සැලකිලි දක්වමින් ඇතැම් මව්පියන් මේ කරන දේ තුළ, ඔවුන්ගේ ජීවිත අසාර්ථකත්වය කරා ගෙන යාමට එය හේතු විය හැකි බව ඔබ සිතිය යුතුමයි. අතට පයට හැමදේම සපයලා දීලා ඔවුන් විවාහ වූ දිනක මව මෙන් ඇතැම් විට ඔහුගේ බිරිඳ අතට පයට සියල්ල සම්පූර්ණ කිරීම නොකළ හැකියි. එවැනි අවස්ථා දිගින් දිගටම සිදුවන විට ඒ කුල ගෙය දෙදරා නොයයිද? ඒ කුල ගෙය සාර්ථක වෙයිද ? කියා ඔබ සිතන්න. තමන්ගේ ආදරණීය පුතාගේ ජීවිතයේ අසාර්ථකත්වය ඔබ වගකිව යුතු නොවේද?

සැමියාට ආදරනේ තේ කෝප්පය ගෙනත් දීම, ඔහුගේ වැඩ කටයුතු ඉටු කර දීම ආදරයෙන් බිරිඳක් විසින් කළත් ඒ අන්‍යෝන්‍ය අවබෝධය වගේම ආදරය යන කරුණු මතයි. නමුත් තමන් ගැන හැඟීමකින් කටයුතු නොකරන සියලුම වැඩ තමා මතම පටවන සැමියෙකුට එවන් ආදරණීය බිරිඳක් සිටීම පුදුමයකි. එකිනෙකාගේ ආශාවන් හඳුනාගෙන ඒ සඳහා උදව් උපකාර කළ යුතුයි.

ජීවිතය යනු,

අත් අල්ලා යා යුතු ගමනක් මිස එක් අයෙක් පමණක් හැල්මේ දුව යා යුතු ගමනක් නොවේ. පවුල යන සංකල්පය එයයි. පවුලක සාර්ථකත්වය සඳහා විවාහයක සහකරුවන් දෙදෙනාම සිටිය යුතුයි. නිදහස, සාමකාමී බව, ආදරය, අවබෝධය, ගෞරවය ඇති පවුලක සැබෑ සතුට බාහිර ඕනෑම අයෙකුට දැක ගත හැකියි.

මෙතැනදී පුතෙකුට පැවරෙන වගකීම වැඩියි. අන්න ඒ නිසාම පුතුන් ඉන්න මව්පියන් තමන්ගේ පුතා ඇතිදැඩි කිරීමේදී ලොකු මහත් වූ පසුත් නොවෙනස් වන අයුරින් ඔවුන්ගේ භූමිකාව ගොඩනැංවිය යුතුයි. ඔබ, ඔබේ පුතා මිනිසෙකු ලෙස ගොඩනැංවිය යුතුයි. එය පුංචිම පුංචි වයසේ සිට ආරම්භ කළ යුතුයි.

ඔබේ පුංචි පුතාටත් කියා දෙන්න,

පුතේ ජීවිතේ කියන්නේ මෙන්න මේකයි. අපි ඉස්සරහදී මෙන්න මේ දේවල් කළ යුතුයි. ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයා බලන්න. වත්තක් කොටන කොට දුවෙකුටත් වත්ත කොටන්න පුළුවන්. වගා කරන්න පුළුවන්. ඒ වගේම උයන්න පිහන්න දුවෙකුට පුළුවන් නම් ඒක පුතෙකුටත් පුළුවන්. මේවා සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතා. ඔබ කනවා බොනවද? ඔව් එහෙම නම් පුතාටත් උයන්න පුළුවන්. ඔබ ඇදුම් අඳිනවාද? එනෙම් පුතාටත් රෙදි ටික හෝදගන්න පුළුවන්. ඒ නිසා දුවෙක් වුවත් පුතෙක් වුවත් ඔවුන් තුළ අනාගතයට මුහුණ දිය හැකි සාර්ථක චරිතයක් ගොඩ නැංවීම දෙමාපියන් ලෙස අප මත පැවරෙන විශාල වගකීමක් බව අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

බලපත‍්‍රලාභී සායනික මනෝචිකිත්සක සුගන්ධිකා සුභවික‍්‍රම

ඇමරිකා එක්සත් ජනපදය