Home Blog Page 76

ඔබත් දරුවාගේ හැසිරීම් රටා නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වනවාද?

”මගේ බබා හරිම දගයි. කෑගහනවා. අම්මට තාත්තලට වුනත් ගහනවා. කියනදේ අහන්නැනෙම නැහැ. සමහර වෙලාවට අපි දෙන්නත් මේවට රණ්ඩු  වෙනවා.  කොහේ හරි ගියත් වැඩිහිටි අය මගෙන් අහනවා මෙහෙමද ඔයා දරුවා හදන්නේ කියලා. අනිත් ළමයි  හොඳට ඉන්නවා. මෙච්චර දේවල් කරද්දීත් ඇයි මගේ දරුවා වගේ”. මේ අපේ අම්මලා බොහොම දෙනෙකුට ඇති වුනු ප්‍රශ්නයක් නිසාම මේ ගැන සාකච්ජා කිරීම වැදගත් කියලා හිතුණා.

අපි දෙමාපියන් විදිහට දරුවන්ට ලෝකය ගවේෂණය කරන්නට ඉඩ දිය යුතුයි. එසේ ඉඩ දෙන අතරේම අපි අපේ දරුවන් ආරක්ෂා කළ යුතුයි. මොකද දරුවන්ට වයස අවුරුදු  25 – 28 වනතුරු තනිව රැකෙන්න අපහසුයි. මිනිස්සුන්ගේ සුවිශේෂී හැකියාවන් (Executive Functions) විනිශ්චය කිරීමේ හැකියාව, තීරණ ගැනීම, සමාජයට අනුකූලව හැසිරීම, ආවේග පාලනය, අවදානම් සහගත දේවල්වලින් මිදීමේ හැකියාව, ලැබෙන්නේ දරුවන්ගේ මොළයේ ඉදිරි කොටස (Frontal lobe) වර්ධනය සම්පූර්ණ වීමත් සමගයි. Frontal lobe වර්ධනය හමාර වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 – 28 දීයි. මෙය ඇතම් දරුවන්ගේ කල්තියා සිදුවන අතර ඇතැම් දරුවන්ගේ ප්‍රමාද වී සිදුවේ.

මින් පෙර ලිපියේ මොළයේ වම පස බුද්ධියද දකුණු පසින් චිත්තාවේග ඇතිකරන බව සඳහන් කළා ඔබට මතක ඇති. මේ වම හා දකුණු පස යා කරන කොටස Corpus Callosum (CC) ලෙස හැඳින්වෙනවා. මව්කුස තුළ වැඩෙන සමයේ 12 සතියේදී පමණ එය වර්ධනය වීම ඇරඹෙනවා. මෙය වම දකුණ යාකරමින් තව දුරටත් වර්ධනය වෙන්නේ මෙලොවට බිහිවන දරුවා තම පරිසරයෙන් ලබන අත්දැකීම් සමගයි. සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත්තේ ළමා වියේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන්ගේ CC වර්ධනය පමා වන බවයි.

උදාහරණයක් විදියට වයස අවුරුදු 2 – 3 දරුවෙක්ගේ මේ කාලය තුළ මොළයේ වර්ධනය සිදුවෙන්නේ විශ්වය නිර්මාණය වෙනවා වගේ. මිලියන ගන්නින්  මොළයේ ස්නායු ඉපදෙනේවා, අවශ්‍ය නැතැයි කියලා මොළයෙන් වටහා ගන්නා ස්නායු මියැදෙනවා. අවශ්‍ය ස්නායු තව දුරටත් වර්ධනය වෙනවා. මේ සඳහා මොළයට මේ හැකියාව ලැබෙන්නේ දරුවාට තම දෙමාපියන්ගෙන් වගේම අවට පරිසරයෙන් ලැබෙන උත්තේජනයන් මගින්.  මෙය Pruning ලෙස හඳුන්වනවා. මේ pruning අවුරුදු 25 – 28 වෙනතුරුම ඒ කියන්නේ මොළය සම්පුර්ණයෙන්ම වර්ධනය වෙනතුරුම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය මගින් අපේ මොළයේ නිර්මාණය පවත්වාගෙන ගියත් ඉන් පසු ඒ හැකියාව යම්තාක් දුරට බාල වෙනවා. වයස් ගතවීමත් එක්ක මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරන්න දරුවෙක්ගේ චර්යාවන් වෙනස් කරනවට වඩා මහන්සියක් දරන්න ඕන කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසයි.

වයස අවුරුදු දෙකේ සීමාවේ දරුවන් ලෝකය දකින්නේ අත්හදා බැලිය හැකි තැනක් ලෙසටයි. උපතේ සිට අවුරුදු දෙක පමණ වන තෙක් දරුවෙකුගේ මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය මතයි. තමන්ට ඇවිදින්නයි, කතා කරන්නයි පුළුවන් වෙනකොටම මේ පැටවු චන්ඩි වගේ ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න වැයම් කරනවා. උදාහරණයක් විදියට සුපිරි වෙළඳ සලකදී මේ වයසේ දරුවෙක් කෑගහලා, පෙරලිකරනවා දැක්කම ඒ දරුවාව අපි දකින්නේ අම්මලාට ලැජ්ජා කරන පොඩි ත්‍රස්තවාදියෙක් විදියට නේද? ඔන්න ඔතනදි තමයි සමාජයෙන් අම්මට ” අනේ මෙහමත් අම්මල ඉන්නවනේ, ළමයි හදන හැටි” කියන චෝදනාව එන්නේ.

දරුවන්ගේ මේ හැසිරීම් රටා අසාමාන්‍යද?

නෑ… හරිම සාමාන්‍යයි. දරුවෙක් ඒ වගේ ලොකු පෙරලියක් කරනකොට වැඩිහිටි අපි නොදැනුවත්වම අපේ ළමාවියේදී, අපේ දෙමාපියන් මේවගේ වෙලාවට කියපු සහ කරපු දේවල් මනසට එනවා. මේ තත්ත්වය procedural නොහොත් implicit memory කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි සපත්තුවක ලේස් එක ගැට ගහන්ත්, බයිසිකලය පදින්න පියවරින් පියවරට හිතන්නේ නැහැ. පුංචි කාලේ ඉගෙන ගත්තට පස්සේ ඒ දේ ඉබේම සිදු වෙනවා. මෙන්න මේ දේම අපි දෙමාපියන් විදියට හැසිරෙද්දීත් අපේ දෙමාපියන් අපිව හදපු ආකාරයටම නොදැනුවත්වම අපි අපේ දරුවන් වෙනුවෙනුත් ක්‍රියා කරනවා. මෙන්න මේ හේතුව නිසා දරුවන්ගේ ඉතාම අහිංසක ආසාවන් අපේ මොලය තුළ දරුණු දෙයක් විදියට හඳුනා ගැනීම තුළින් දරුවාගේ අහිංසක අවශ්‍යතා වටහා ගැනීමට දෙමාපියන් ලෙස අපි අසමත් වෙනවා. මේ ගැන බොහොම පැහැදිලි ලෙස ” Circle of security parenting” හි පැහැදිලි කරනවා.

මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත් පසුව අපේ මොළයේ පෙර තිබූ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහවෙනවා. ඉන් පසුව ඇහෙන්නේ පෙන්නේන්නේ තමන්ගේ දරුවා, දරුවන්ගේ හඩ පමණයි. තමන්ගේ ළමාවියෙන්වත්, සමාජයේ ලැබෙන තීරණ මතවත් මේ තත්ත්වයේදී අපේ මනසට බලපෑම් කළ. නොහැකියි.

දරුවෙක්ගේ මෙවැනි හැසිරීම් රටාවකදී කළ යුත්තේ කුමක්ද?

උදාහරණයක් විදියට වයස අවුරුදු තුනක දරුවෙකුගේ කළහකාරී හැසිරීම් රටාවකදී මව්පියන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන අපි කතා කරමු.

  1. වැඩිහිටි ඔබ සන්සුන් වෙන්න
  2. 2. අතීතයෙන් ඔබේ මනසට එන මතක අවම කරගන්න (පෙර සඳහන් කර පරිදි මෙවැනි අවස්ථාවකදී කුඩා කල ඔබ ලැබූ අත්දැකීම්)
  3. වයස අවුරුදු තුනක මොළයකින් තම දරුවා සිය අවශ්‍යතාවය ඔබට කියන්නට සැරසෙන බව වටහා ගන්න
  4. දරුවා තනි නොකර සමීපයට ගන්න
  5. දරුවා ක්‍රමෙයන් සන්සුන් වන විට ”ඔයාට දුක හිතුනද, කේන්ති ගියාද පුතේ” කියා ආදරයෙන් විමසන්න. මේ ආකාරයෙන් දරුවාගේ හැඟීම් ඔබ වටහා ගනිද්දී දරුවා විසින් ඔබ තම හැඟීම් හඳුනා ගන්නා (emotional validation) බව වටහා ගනීවි.
  6. දරුවා සෙමින් සන්සුන් වන විට තුරුලට අරගෙන සිප වැළඳ ගෙන (දරුවා කතා නොකලත්) ඔහු/ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් වන තුරු සිටින්න

අපේ අතින් වන වරදක් තමයි දරුවෝ නොසන්සුන් හැසිරීම් පෙන්නුම් කරද්දී අපිත් කෝප ගැන්වෙන එක. එකෙන් දරුවාට යැවෙන පනිව්දය වෙන්නේ ”ඔයාගේ හැගීම් මට වටින්නේ නැහැ” කියන එක.  එහෙම උනාම අපි නොදැනුවත්වම ”emotional invalidation” තත්ත්වයක් ඇති වෙනවා.දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමෙන් දරුවා අනාගතයේදී දරුණු පෞරුෂ ආබාධයන්ට ලක්විය හැකියි.අපේ කාර්ය බහුල ජීවිතේ මේ දෙය සමහර වෙලාවට ඔබට මගහැරෙන්න බැරි නැහැ. නමුත් පසු අවස්ථාවකදී හෝ දරුවාට වටහා ගත හැකි අයුරින් සිදු වූ දෙය අවබෝධ කරවන්න.

”පුතාට කේන්ති ගියාට කාටවත් ගහන එක වැරදියි” කියලා ඔබේ දරුවාට ආදරයෙන් පහදා දෙන්න. කාලයාගේ ඇවෑමෙන් දරුවා එය වටහා ගනීවි. මිනිසා පරිණාමයෙන්ම තනිව යමක් අවබෝධ කරගන්න සත්ත්වයෙක් නොවේ. මිනිස් දරුවා සියල්ල උකහා ගන්නේ තම වැඩිහිටියාගෙනි. අන්න ඒ නිසාම දරුවා වටහා ගනීවි කේන්තියාම මනුස්ස ගතියක් බවත් අපි වටහා ගත යුත්තේ එය නිවැරදිව ප්‍රකාශ කිරීම බවත්. මේ විදියට දරුවා ඔබෙන් සන්සුන් වන්නට උගනී. එය co-regulation ලෙස හඳුන්වයි.

අපි දරුවන් ඔවුන්ගේ හැඟීම් අතර තනි කලොත් හෝ දඬුවම් කලොත් ඔවුන් තුළ දයානුකම්පාව( empathy), වැරදිවලින් ඉගෙනීම( learning from mistakes and reflective capacity) සහ තව කෙනෙක්ගේ කෝණයෙන් බලා තවකෙනෙක්ගේ දුක අවබෝධ කරගැනීමේ හැකියාව (mentalistaion capacity) නොමැති වනු ඇත.

දරුවෙක්ට තරහ යාම අසාමාන්‍යද?

තරහ යන එක සාමාන්යි දෙයක්, ඒක පාලනය කරන හැටි අපි දරුවට ආදර්ශයෙන් කියා දිය යුතුයි. අපේ අතින් වෙන විශාල වරදක් තමයි දරුවන්ට තරහගන්න එක සපුරා තහනම් කරන එක. අපේ තරහා අපිට කරන්නේ අනගි සේවයක් කිව්වොත් වරදක් නැහැ. මොකද අපි තමන්ට වන අසාදාරණ දේවල් හඳුනා ගන්නේ තමන්ට ඒවෙලාවට දැනෙන හැඟීම් වලින්. ඉතින් ඒ හැඟීම් පුංචි කලේම යටපත් කෙරුවොත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එහෙම සමහර අය පීඩාකාරී බන්දිම්වල හිර වෙලා සදහටම ගුටි බැට කකා දුක් විදිනවා. සමහර අයගේ පුංචි කාලේ යටපත් කරවන කේන්තිය වැඩිහිටි වෙද්දී පිට කරනවා. පුංචි කාලයේ කේන්තිය පාලනය කරන්න ඉගෙන නොගත් නිසා, සමහරවිට ක්ෂණික කෝපය පාලනය කරන්න බැරුව අයෙක් මරණ තත්ත්වයට පවා පත් විය හැකියි.

මෙන්න මේ විදියට අපි අපේ දරුවන්ට මග පෙන්නුවොත් එයාල නිසි මානසික සෞඛ්‍යයත් සමගම ඉදිරියට යාවි. නව යොවුන් වියට එළඹෙද්දී ඔබට වැටහේවි දරුවාට නිවැරදි මගපෙන්වන්නා ඔබ බව දරුවා වටහාගෙන ඇති ආකාරය. ඔබව විශ්වාස කරන බව.  නව යොවුන් වියේදී පවා ඔවුන්ට ඇතිවන  ලිංගික ගැටලු ඇතුළු ඕනෑම ගැටළුවක් ගැන පවා ඔබ සමග පැවසීමට තරම් දරුවා ඔබට සමීපව සිටිනු ඇත.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

රටට බරක් නැති දරුවෙක්….

දරුවන් කියන්නේ ලෝකයටම ආශිර්වාදයක්.ඒත් සමහර විට රටට බරක් බවට පත් වුන දරුවන්ද නැතුවාම නොවෙයි. අකමැත්තෙන් වුනත් අපේ රටේ පවා බාලාපරාධකරුවන් විදිහට හදුන්වන දරුවන් පිරිසක් සිටිනවා.ඒ විදිහට දරුවන් වර්ග වෙන්නේ ඔවුන් සමාජයට හිරිහැරකාරී විදිහට හැසිරීම සහ පවත්නා විනය නිති රීති වෙනුවෙන් අනුගත නොවන විටයි.ඒත් මේ දරුවන් රටට බරක් නොවන විදිහට බාල කාලයේ පටන්ම හැඩ ගසා ගත්තොත් ඔවුන් අනාගතයේදී රටටම ආශිර්වාදයක් වේවි.එහෙමනම් අපි අපේ දරුවන් රටට බරක් නොවන විදිහට හදා වඩා ගන්නේ කොහොමද….?

තරහ පාලනය කරන්න

අපේ වැඩිහිටියන් වගේම දරුවන් අතරත් තරහ පාලනය කර ගැනීමට අපොහොසත් දරුවන් සිටිනවා. ඔවුන්ගේ මේ හැසිරීම නිසා විවිධ විදිහට සමාජයට හිරිහැර සිදු වෙන්න පුලුවනි. පාසලක වුනත් ඇතැම් දරුවන්ගේ ආවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව නිසා විවිධ අන්දමින් ගැටුම් ගොඩ නගා ගන්නවා. තරහ ආවාම තමන් සිටින තැන, කවුද, මොකක්ද යන වග තේරුම් ගන්න බැරි වුනොත් අනාගතයේ විවිධ අන්දමින් සමාජයට හිරිහැරදායක වෙන්න පුලුවනි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ආවේග පාලනය කිරීමේ ගුනාංගය ගොඩ නැගීම ඉතාම වැදගත්.

අහිමිවීම් වලදී ශක්තිය ගොඩ නගා ගන්න..

අපේ ජීවිතය කවදාවත්ම අපට අවශ්‍ය විදිහට ගොඩ නගා ගන්න බැහැ. අට ලෝ දහම අපට විවිධ විදිහට බලපෑම් ඇති කරන්න පුලුවන්. ඒ නිසා දරුවන්ටත් යමක් අහිමි වුනාම එතැනින් නැගී සිටින්නට අවශ්‍ය ධෛර්ය ලබා දෙන්න.එහෙම නැති වුනොත් ඔවුන් ජීවිතයේදී ලබන අහිමිවීම් වලදී බොහොම බෙලහීන වීමට වගේම අනාගතය මුලුමනින්ම බිඳ ගැනීමට සිදු වෙනවා. අද කළ යුතු දේ අදම නොකලොත් හෙට දවසට සාර්ථකව මුහුණ දීමට බැහැ. ඒ හින්දා අහිමිවීම් මත තැවෙනවා වෙනුවට ශක්තියෙන් හෙට දවසට සූදානම් වීමේ වැදගත්කම ඔවුන්ට පහදා දෙන්න.

එකඟතාවය ගොඩ නගා ගන්න..

අද දරුවන් බොහෝ සෙයින් හුදෙකලාව සිටින නිසා ඔවුන්ට සමාජයක් නැහැ. ඒත් අතීතයේදී සමූහයක් විදිහට සෙලල්ම් කරද්දී පංචි වුනත් සමාජයක් තිබුනා. එහිදී ක්‍රිඩාව මුල් කර ගෙන ඔවුන් විසින් ගොඩ නගා ගත් එකගතාවයන් පසුකාලයකදී ජීවිතයටත් බොහොම ප්‍රෙයා්ජනවත්  වුනා. අද දරුවන් අතර  විවිධ ගැටුම් ඇති වෙන්නේ යම් දෙයක් වෙනුවෙන් එකඟතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසාම සමාජයේ අය අතර බොහොම අප්‍රසන්න චරිතයක් බවට නොදැනීම පත් වෙනවා. යම් දෙයක් වෙනුවෙන් එකගනොවන නිසා ඇති වෙන ගැටුම් නිසාම නීතියෙන් පවා දඬුවම් ලබන තරමටම තත්වය දරුණු අතට හැරේවි.

තමා ගැන තොරතුරු කියා දෙන්න.

අද ඇතැම් දරුවන් මවගේ නම, පියාගේ නම පවා නොදන්නා තරම් තමාගේ පවුල ගැන තිබෙන දැනුවත්බව අඩුයි. මේ නිසා හදිසියේවත් පාසලේ කටයුත්තකට දුරකථන අංකයවත් දරුවාගෙන් ලබා ගැනීමට අපහසුයි.හැබැයි නොදන්නා අයට මේ තොරතුරු ලබා නොදෙන විදිහටත් දරුවා දැනුවත් කිරීම වැදගත්.ඒ නිසා නොදන්නා අයට නම් තමා ගැන වැඩිමනත් කතා බහ නොකලාට කමක් නැති බවත් දරුවාට කියා දෙන්න.

වගකීම ගැනත් කියා දෙන්න

වගකීමේ සංකල්පය දරුවාට බාල කාලයේ පටන්ම වටහා දිය යුතු සංකල්පයක්. වගකීමකින් තොරව කටයුතු කරන දරුවා අනාගතයේදීත් මේ අන්දමින්ම කටයුතු කරන නිසා සමාජයට ඔහුගෙන් ඇති වෙන්නේ හිරිහැරයක්. ඒ නිසා බාල කාලයේ පටන්ම වගකීම ගැන දරුවාට කියා දෙන්න.

අනුන් මත වරද පවරන්න එපා

අද බොහෝ වැඩිහිටියන් පවා තමාගේ වරද පිලි නොගන්නා තරමටම දුර්වලයි. වරදක් වුනොත් එය නොපැකිලව පිළිගැනීම මහත්මා ගතියක්. එය වෙනත් අයට යොමු කිරීම එතරම් වටිනා ගුණයක් නොවෙයි.ඒ නිසා පුංචිකාලයේ පටන්ම තමන්ගෙන් වරදක් වුනොත් ඒ වරද තමාගෙන් වුන බව පිලිගැනම නින්දාවට කරුණක් නොවන ව දරුවාට කියා දෙන්න. සමහර විට ඔබේ කුඩාදරුවා නිවසේදී ඔහු අතින් සිදු වුන වරද පවා බාල හෝ වැඩිමහල් සහෝදරයන්ට පවරන අවස්ථා තිබෙන්න පුලුවනි. එවන් අවස්ථාවලදී තමන්ගෙන් වුන වරද අනුන්ට පවරනවාට වඩා එය තමා විසින් බාරගැනීම හොද දරුවාගේ හොඳ ගතිගුණයක් බැව් පෙන්වා දෙන්න.

අද ඔබේ සෙවනේ බොහොම කෙලි දෙලෙන් කාලය ගෙවුවත් හෙට මේ පුංචි දරුවා සමාජය සමග ගණුදෙනු කළ යුතුමයි. එවිට පිටුපසින් සිට මේ ම් අන්දමින් හැසිරෙන්න යැයි පෙන්වා දීමට කිසිවෙක් නැහැ. ඒ වගේම දරුවාට හැසිරෙන සම්මත ආකෘතියක් ගොඩ නගන්නත් බැහැ. අවස්ථාවෝචිතව ඔවුන් හැසිරිය යුතුයි. ඒත් ඒ හැසිරීම කිසිම දවසක සමාජයට බරක් නොවන විදිහට ගොඩ නැගී තිබුනොත් දෙමව්පියන් විදිහට ඔබ දිණුම්.

”මරණය” ගැන අවබෝධයක් දරුවන්ට තිබිය යුතුද? නැද්ද?

”මරණය” ලොකු පොඩි වෙනසක් නොමැතිව අපි කාටත් කොයි මොහොතේ මුණගැහේද කියා කිව නොහැකිය. අපේ සමීපතමයෙකුගේ මෙවැනි වෙන්වීමක්  වැඩිහිටියන් ලෙස අපි විඳ දරාගන්නට සමත් වුවත් දරුවන්ට එයට මුහුණ දීම පහු කටයුත්තක් නොවේ. ලොව පවතින දහමට අනුව මරණය අපි කාටත් පොදුය. අපි, අපේ දරුවන්ට ඒ ගැන අවබෝධ කරලීම වැදගත් වන්නේ ඒ නිසාමය. මවගේ/පියාගේ/මිත්තනියගේ හෝ සමීපතමයෙකුගේ වියෝව දරා ගැනීමට පුංචි දරුවෙකුගේ මනසට හැකියාවක් නැතත් මරණය ගැන දරුවාට අවබෝධ කරවීම ඉතා වැදගත් වේ.

සමීපතමයෙකුගේ මරණයක් සිදු වූ විට (දෙමාපියෙක්, ආච්චී/සීයා,) මේ සම්බධයෙන් දරුවාට පවසනවාද, පවසන්නේ කෙසේද, දරුවාට මරණය ගැන ඇති අවබෝධය කුමක්ද, දරුවා මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද, දරුවා අවසන් කටයුතුවලට සහභාගී කරගත යුතුද වැනි ප්‍රශ්න රාශියකට වැඩිහිටියන් වන අපට මුහුණ දීමට සිදුවේ.

දරුවන් තමාට සමීප කෙනෙකුගේ මරණයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

දරුවෙකුට මරණය ගැන ඇති අවබෝධය දරුවාගේ වයස අනුව වෙනස් වේ. එමෙන්ම, දරුවාට මිය ගිය පුද්ගලයා සමග ඉතා කිට්ටුව සම්බන්ධයක් තිබුණි නම්, මරණය අනපේක්ෂිත හදිසි මරණයක් නම් හෝ මරණයෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය බෙහෙවින් වෙනස්වුනි නම් (එනම් දරුවාගේ ‍රැකබලාගැනීම, දිනචර්යාව, ආර්ථික මට්ටම, පදිංචිය වෙනස් වුණි නම්) දරුවෙකුට මෙවැනි සිද්ධියකින් ඇතිවන මානසික බලපෑම වැඩිය.

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3 – 5)

  • මිය ගිය තැනැත්තා නැවත නොපැමිණෙන බව තේරුම් ගැනීමට නොහැකිය. එමනිසා නිතර නිතර මියගිය පුද්ගලයා කොහිදැයි විමසීමට හැකිය
  • තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බිය වීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
  • හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය

o          නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම

o          නැවත ඇඟිලි ඉරීමට පටන් ගැනීම

o          නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම

  • මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).

පාසැල් වියේ දරුවන් (අවුරුදු 6 ට වැඩි) හා නවයොවුන් වියේ දරුවන්

  • මියගිය පුද්ගලයා නැවත නො එන බව දනී
  • තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බියවීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
  • මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).
  • පවුලේ අනෙක් අයට මෙම මරණය බලපා ඇති ආකාරය ගැන හා ඔවුන්ට මෙය දරාගැනීමට හැකිවේද යන්න ගැන කල්පනා කරයි
  • පවුලේ අනෙක් අයව කනගා‍ටුවට පත්වේයයි බියෙන් තමාගේ හැඟීම් අන් අයගෙන් සඟවා සිටීමට උත්සහ කළ හැකිය
  • පාසල් වැඩ වලට ඇති අවධානය හා උනන්දුව අඩු විය හැක
  • මියගිය පුද්ගලයා ගැන කථාකිරීමට හෝ ඔවුන් සිහිවන දේවල් මඟ හැරිය හැකිය
  • හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය

o          නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම

o          නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම

o          යහළුවන්ගෙන් හා ගෙදර අනෙක් අයගෙන් ඈත්වීමට හැකිය

o          ඉක්මන් කේන්තිය/නුරුස්නා ගතිය

  • නින්දට බාධා ඇතිවිය හැකිය

දරුවාට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට උදවු කරන්නේ කෙසේද?

පෙර පාසැල් දරුවන්

  • දරුවාට මියගිය පුද්ගලයා මියගිය බවත්, නැවත නො එන බව වයසට ගැළපෙන වචනයෙන් කියා දෙන්න.
  • දරුවාට මරණය පිළිබඳ බොරු කීමෙන් වැලකී සිටින්න (උදා: මියගිය පුද්ගලයා රට ගියා, ඉස්පිරිතාලේ ගියා ආදිය).
  • දරුවාට සමීප අනෙකුත් පුද්ගලයන් දරුවා බලාගන්නා බවත්, ඔවුනට හානියක් නොවන බවත් පහදා දෙන්න
  • ඔබ දරුවාගෙන් වෙන්වී යන හැම මොහොතකම, ඔබ නැවත එන බව දරුවාට ඒත්තු ගන්වා යන්න
  • හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
  • මියගිය පුද්ගලයා නැවත නොඑන්නේ දරුවාගේ වරදකින් හෝ දරුවා සමඟ තරහා නිසා හෝ නොවන බව පැහැදිලි කරන්න
  • දරුවා ඉදිරිපිට නිතර නිතර හැඬීමෙන් වැලකී සිටීමට උත්සහ ගන්න
  • දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයා නැවත නො එන බව තේරුම් ගැනීමට උදවු වනු ඇත

අවුරුදු 6ත් – 12ත් අතර ළමුන් හා නවයොවුන් වියේ දරුවන්

  • දරුවාට මරණය පිළිබඳ සත්‍යම තොරතුරු වයසට ගැළපෙන අයුරින් පවසන්න
  • දරුවාට මරණය ගැන බොරු කීමෙන් වලකින්න
  • දරුවාට හැඬීමට අවශ්‍ය නම් එයට ඉඩ දෙන්න. හඬන්න එපා යැයි දරුවාට පැවසීමෙන් වලකින්න
  • මෙවැනි දෙයකට පසු දුක සිතීම සාමාන්‍ය දෙයක් බව දරුවාට පවසන්න
  • දරුවාට ප්‍රශ්න අසා තමාට ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අවස්ථාව දෙන්න
  • දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට බල කිරීමෙන් වලකින්න. නමුත්, දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට අවශ්‍ය නම්, එයට සවන් දීමට ඔබ සූදානම් බව පවසන්න. එයට අවස්ථාව දෙන්න
  • මියගිය පුද්ගලයා නැවත නො එන්නේ දරුවාගේ වරදකින් නොවන බව පැහැදිලි කරන්න. සිදුවූ දේ වැලක්වීමට දරුවාට කළ හැකිව තිබූ කිසිවක් නැති බව පවසන්න
  • දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයාට සමු දීමට උදවු වේ
  • හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
  • දරුවාගේ සිතට අනවශ්‍ය වගකීම් පැටවීමෙන් වලකින්න (උදා: දැන් තාත්තා නැති නිසා අම්මාවත් බලාගන්න තියෙන්නේ ඔයාට තමයි, දැන් හිත හදාගන්න ඕනෙ මොකද ඔයා තමයි දන් ගෙදර බර කරට ගන්න ඉන්නෙ වැනිදෑ කීමෙන් වලකින්න)
  • මියගිය පුද්ගලයාගේ වෙන්වීමෙන් පසු එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්කම් පිළිබඳ දරුවා දැනුවත් කරන්න (උදා: දරුවා දිනපතා පාසැල් ගෙන ගියේ තාත්තා නම් තාත්තාගේ වියෝවෙන් පසු මින්පසු දරුවා පාසැල් ගෙන යන්නේ කවුද යන්න පැහැදිලි කරන්න ආදිය).

බොහෝ දරුවන් මාස කිහිපයකට පසු වැඩිහිටියන්ගේ උදවු ඇතිව සාමාන්‍ය ජීවිතයට යළි හුරුවේ. නමුත් දරුවා දිගින් දිගටම අධික දුක, නුරුස්නා ගතිය/කේන්තිය, පාසැල් වැඩ දුර්වල වීම, නින්දට බාධා, කෑම අරුචිය වැනි ලක්ෂණ දක්වන්නේ නම්, මනෝ වෛද්‍ය සායනයකට ‍රැගෙන යන්න.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

කිරි දෙන අම්මා කෙනෙක් නම්….

බිලිඳු දරුවාට කිරි දෙන අම්මා කෙනෙක් ගැන එදා ජන සමාජයේ තිබුනේ පුදුමාකාර ආදරයක්. ඒ වගේම ගෞරවයක්. ඒ නිසාම ළදරුවාට කිරි දෙන අම්මා මුල් කර ගෙන බොහොම පිලිගැනීමක් තිබුනා. දරුවාට කිරි දීම බොහොම පූජණීයත්වයෙන් සැලකුවා. ඒ නිසාම කිරි දීම මුල් කර ගෙන විවිධ සම්ප්‍රදායන්ද නොදැනීම ගොඩ නැගී තිබුනා.

දොරකඩ සිටගෙන හෝ දොර පිළ මත හිඳගෙන දරුවාට කිරි පොවන්න අවසර තිබුනේ නැහැ.ඒ වගේම ඉදිකඩුල්ල පෙනෙන තැනක සිට කිරි දීම අනුමත කලේ නැහැ.

ඒ වගේම කිරි දෙන අම්මා දිය නෑම ඉර මුදුන් වීමට පෙරාතුව සිදු වෙන්න ඕන. ඒ වගේම මන්දාරම් සහිත නම් ඒත් ස්නානය ගැන දෙවතාවක් හිතන්න වුනා. දිය නෑවාට පසුව කෙස් විදාගෙන වගේම තෙත කෙස්වලින් යුක්තව හිඳ දරුවාට කිරි පෙව්වේත් නැහැ.

පිරිමි ඉදිරියේ කිරි දීම සිදු වුනේ නැහැ. මව පමණක් දරුවා සමග හුදෙකලාව හිඳ කිරි දෙනවා නම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගාලා ඉවත දැම්මා. දරුවා ලැබිලා මාස තුනක් ගෙවෙන තුරු ‘‘ වැදු ගෙයි කිල්ල“ විදිහට හැඳින්වුන නිසා අම්මාට කෙතේ වැඩට යන්නඅවසර නැහැ.ඒ නිසා ඇගේ කුඹුරු වැඩ ගමේ කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. මේ අත්තම හැදින්වුනේ ‘‘ කිරි නෙළුම “ විදිහටයි. වෙන දෙයක් තබා තමාගේ කුඹුරේ වැඩ කටයුතු කරන කාන්තාවන්ට ආහාර පාන වලින් පවා සංග්‍රහ කිරීමට ඇයට අවසර දුන්නේ නැහැ. කිරි දරුවෙක් ගෙදර ඉද්දී ආහාර පාන සකස් කිරීමට තිබෙන අපහසුතාවය  මේ අය දන්නවා.

සිංහල අලුත් අවුරුදු කාලයට කිරි දෙන කාන්තාවක් සිටිනවා නම් ඇගේ නිවසේ සියලු කටයුතු අසල්වැසි කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. නිවස පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම වගේම තෙල් වළං අසල සිටින්නවත් ඉඩ දුන්නේ නැහැ.අවුරුදු කැවිලිත් අසල්වැසි කාන්තාවන් විසින් සකස් කර දුන්නා. දරුවාට මාස හතර ගෙවෙන තෙක්ම ගමේ දාන, පිරිත් පිංකම් වෙනුවෙන් කිරි දෙන අම්මා සහභාගී නොවුනේ පැටියාගේ කටයුතු අතපසු නිසා වෙන්නත් ඇති.

කිරි දෙන්න පෙරාතුව ඇගේ පියයුරු හොදින් පිරිසිදුව සෝදා ගැනීම වගේම රෙදි කඩකින් වසා ගෙන කිරි දිමත් එදා අම්මා කෙනෙකුට පනවා තිබුන සමහර සම්ප්‍රදායන්.

කිරිදෙන අම්මා කෙනෙක් නිතරම සතුටින් සිටීමත් වැදගත්. කනගාටුදායක සිතුවිලිවලට නිරාවරනය වීමත් කිරිදෙන අම්මා කෙනෙකුට නුසුදුසුයි. වෙනිවැල්ගැට තම්බාගත් වතුර වගේම හොඳින් ජලය පානය කිරීමත් වගේම එළකිරි පානයත් එදා අමතක කළේ නැහැ.

කිරි දෙන අම්මාට ලබා දුන් ආහාර…

කිරි දෙන්න නම් හොදින් කිරි එරෙන්න ඕන. ඒ වෙනුවෙන් ගුණ ආහාරත් එපායැ. මේ නිසා කොස්, පොලොස් ව්‍යංජන, මැල්ලුම් වගේම කොස් තම්බලා දුන්නා. වෙන දෙයක් තබා කිරි දෙන අම්මා කෙනෙක් කොස් ගසක් යටින් ගියත් කිරි එරෙන බැව් විශ්වාස කලා.

නෙලුම් අල ව්‍යංජනයත්, සහ නෙළුම් අල කැඳ වලින් කිරි එරෙන බැව් පිලිගත් සත්‍යක්.

තම්බාගත් වට්ටක්කා වගේම රාජ අල,රතු බතල කිරි දෙන අම්මාවරුන්ට ඉතා ගුණදායක බැව් පිලිගෙන තිබුනා. කොටදිඹුලා ගෙඩිවලත් මේ ගුණයම තිබුනා.

අගුණ කොළ, කිරි අගුණ, ජපන් බටු කොළ, කිරිඇන්ද කොළ කිරි දෙන අම්මාට දුන් පලා වර්ග කීපයක්.

මුරුංගා කරල් සහ මුරුංගා කොළ, බතට හොඳ මාලු පින්නක් වුනා.

දිය නෑව දිනයේදී නම් අගුණ වුනත් කරවිල, තුඹ කරවිල නිසා කිරි පිරිසිදු කිරීමේ ගුනයෙන් යුක්තයි.කෙසෙල්මුව ආහාරයට ගත්තාම ප්‍රසවයේ ඇති වූ තුවාල වියලෙනවා වගේම මලබද්ධයත් නැති වෙනවා.

මාලු වර්ග අතරින් කිරිමෝරු, හාල්මැස්සන්,මඩු කරවල, හුරුල්ලන්, ආහාරයට ගත්තා.

කිරිදෙන මව ආහාරයට ගත්තේ කුරුට්ට සහිත හාල් වර්ගයි. මේවා බොහෝ විට පාරම්පරික සහල් වර්ගයි. ඊට අමතරව හබලපෙති, කොල්ලු, බාර්ලි, කුරක්කන් ආදියත් කිරිදෙන අම්මාගේ ආහාරයට යහමින් එකතු වුණා.

ඇයි මේ දරුවා අනිත් දරුවන්ව Bully කරන්නේ?

ලක්මාල් පාසැල ඇරිලා ගේට්ටුවෙන් එළියට එද්දිම අම්මාගේ ඇඟේ එල්ලිලා අඬන්න පටන් ගන්නවා. හැමදාම එයා කියන්නේ ”අනේ අම්මා හෙට නම් මට ඉස්කෝලේ යන්න බෑ. මම නම් මේ ඉස්කෝලෙට යන්න ආසම නැහැ. මාව වෙන ඉස්කෝලෙකට දෑන්නකෝ” කියලයි.

”ඉතිං හොයලා බැලුවේ නැද්ද ඇයි ලක්මාල් මේ විදියට අඩන්නේ කියලා.

මුලින්ම නම් අපි ගණන් ගත්තේ නැහැ. අපි හිතුවේ කම්මැලිකමට කියලා. එත් පස්සේ පස්සේ තේරුණා පුතා ගොඩක් බයෙන් වගේම දුකෙන් ඉන්නේ කියලා. ඒ නිසාම අපි එයා එක්ක නිදහසේ මේ ගැන කතා කළා.

ඉතින්, මොකද පුතා කිව්වේ,

එයාට පන්තියේ ළමයෙකුගෙන් ටිකක් කරදරයි කිව්වා.

ළමයෙක්ගෙන් කරදරයි කිව්වා…

මේ පුංචි ළමයි අනිත් ළමයින්ට මොන කරදර කරවද?

ඔව්.. අපිත් ඒක කල්පනා කළා. ඒත් පස්සේ තේරුනා පුතාට ඒකට මුහුණ දෙන්න බැරි නිසා තමයි මේ විදියට අඩන්නේ කියලා”

මොකද්ද මේ ලක්මාල්ට වෙලා තියෙන්නේ, පන්තියේ තවත් දරැවෙක නිසා ලක්මාල් හැම නිතරම පීඩාවට පත්වෙන්න අරගෙන. තවත් දරැවෙක් මේ විදියට හිරිහැරයට ලක්කරන්න ඒ ව‍යසේම තවත් දරැවෙක්ට හැකි වෙන්නේ මොන වගේ කරැණු නිසාද කියලා ළමා මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් සමග කතා කරන්න අපි හිතුවා.

ඇත්තටම මොකද්ද මේ ”bullying ” කියන්නේ ?

එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට තර්ජනය කිරීම හෝ අනතුරක් කිරීම හෝ අනතුරක් කරන බවට තර්ජනය කිරීම තමයි bullying විදියට හඳුන්වන්නේ. සරලව කිව්වොත් තවත් කෙනෙකුට හිරි හැර කිරීම මේ විදියට හඳුන්වන්න පුළුවන්.  මෙතැනදී පාර්ශව දෙකක් සිටිනවා. ඒ කියන්නේ හිරිහැර කරන පාර්ශවය සහ හිරිහැරයට ලක්වෙන පාර්ශවය ලෙසට. වැඩිහිටියෝ අතර, පවුලේ අය අතර, රැකියා ස්ථානවල, පාසැල්වල බොහෝ සෙයින් සිදුවෙන තත්ත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ සමීක්ෂණවලට අනුව හැම දරුවෝ 4 දෙනෙකුටම එක්කෙනෙක් මේ තත්ත්වයට මුහුණ දෙනවා.

සාමාන්‍යයෙන් කුඩා වියේ දරුවන් නම් පාසලේදී  උසුළු විසුළු, පැන්සල්/පෑන්.පොත් උදුරා ගැනීම වැනිදේ සිදු වුණත් නව යොවුන් වියේදී මෙය  සැලසුම් සහගතව සිදු කරනවා. උදාහරණ විදියට තවත් දරුවෙකුගේ අවස්තාවක් පහර ගැනීම වැනි දේ දැක්විය හැකියි. සාමාන්‍යයෙන් ගැහැණු දරුවන් නම් වාචිකව තම ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරන අතරම පිරිමි දරුවන් ශාරීරික ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනවා.

දරුවෙක් තවත් අයෙක්ට හිරි හැර කරන තත්වයට පත් විය හැකි හේතු මොනවාද?

මනෝ විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත්,

  1. දරුවෙකුගේ පවුල් පරිසරය, උදාහරණයක් ලෙස හැදෙන පරිසරය/අසල් වැසි පරිසරය ප්‍රචණ්ඩත්වයට වැඩි නැඹුරුවක් දක්වනවා නම් තවත් අයෙකුට තාඩන පීඩන සිදු කිරීම සාමාන්‍ය දෙයක් ලෙස දරුවාගේ මනසට කාවැදෙනවා. එවැනි දරුවෙක් අනික් අයට තාඩන පීඩන කිරීම සාමාන්‍ය දෙයක් විදියට ලෙසත් එය සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙසත් සිතනවා.
  2. සමාජ විරෝධී පෞරුෂත්ව ලක්‍ෂණ ඇති දරුවන් තුළ සහකම්පනය විරලයි. එවැනි දරුවන් තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හැඟීමක් හඳුනන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හඳුනා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔවුන් තුල නැහැ. එවැනි දරුවන් තවත් කෙනෙක්ව පිඩාවට පත් කිරීම සිදුකල හැකියි.
  3. ආත්ම අභිමානය, ආත්ම ශක්තිය අඩු දරුවන්. ඔවුන් සමාජය දකින්නේ තා දෙස වැරදියට දකින, තමන් පහත කර සලකන පිරිසක් ලෙසටයි. ඒ කියන්නේ ඒ දරුවන් තුළ කුඩා වියේ සිටම ආත්ම ශක්තිය වර්ධනය කරවන්නට දෙමාපියන් උත්සාහ කර නැහැ. එවිට ඔවුන් ආදරය කරුණාව දක්වන්න, තවත් අයෙකුට ගෞරව කරන්න දන්නේ නැහැ. එවැනි දරුවන් තවත් දරුවෙකු පීඩාවට පත් කල හැකියි.
  4. පුංචි කාලේ අපහරණයට ලක් වුණු දරුවෝ මේ කොටසට වැටෙන තවත් පිරිසක්. පවුලේම සාමාජිකයෙකු අතින් අපහරණය ලක් වූ දරුවෙකු එතැන් පටන් ලෝකය දෙස බලන්නේ අවිශ්වාසයෙන්. ඒ හේතුව මත දරුවෙකු තවත් දරුවෙකු පිඩනයට පත් කිරීමට යොමු විය හැකියි.
  5. අවධාන ඌනතා සහ අධි ක්‍රියාකාරී දරුවන්. මෙවැනි දරුවන් ඉතාම ආවේගශීලියි. මොවුන් ඉතා සුළු දෙයකින් පවා ඉතා ඉක්මනින් කෝප ගැන්වෙනවා,කලබලයට පත් වෙනවා. ඒ වගේ දරුවන් අනෙක් දරුවන්ට පීඩා ඇති කිරීමට යොමු විය හැකියි’
  6. ඇතැම් දරුවන් පාසැල තුළ කල්ලි වශයෙන් එක්කාසු වී සිටින අතරම දරුණු නායකයෙකු යටතේ මේ කල්ලිය පවතිනවා නම් කල්ලියේ අනෙක් සාමාජිකයන් එහි රැඳී සිටීමට වීරක්‍රියාවක් සේ අනෙක් දරුවන්ට හිරිහැර සිදු කල හැකියි. ඔවුන් බොහෝ විට මෙය සිදු කරන්නේ ප්‍රචලිත වීම වෙනුවෙන්ය. මෙවැනි තත්ත්ව ඉතා ඉක්මනින් වෙනස් කළ හැකිය.

තම දරුවා අනෙක් දරුවන්ට පීඩාවන ආකාරයෙන් හැසිරෙන බවට පැමිණිලි ආවත් දෙමාපියන් ලෙස බහුතරයක් එය පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එසේ සිටීම ඔබ, ඔබේ දරුවාටම සිදු කරන වරදකි. අන්න ඒ නිසාම විවිධ උපාය මාර්ග යොදමින් දරුවා මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔබ කටයුතු කල යුතුය. අවශ්‍ය නම් මනෝවෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට වුවද වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ සූදානම් විය යුතුය.

ගොඩක් දෙමාපියෝ පිළිගන්නේ නැහැ. අමාරැ වුණාම උදව් ගන්න උපදෙස් ගන්න මැලි වෙනවා. නමුත් නිසි මර්ගොදපදේශයක් දෙමාපියන් වන ඔබට හිමි වෙනවා නම් ගැටලුව නිරාකරණය කර ගැනීම වඩාත් පහසුවන බව තේරුම් ගත යුතුය.

ඔබේ දරුවා නිසා අනෙක් දරුවන් පීඩාවට පත් වෙනවා නම් දෙමාපියන් ලෙස ඔබ කල යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දෙමාපියන් ලෙස ඔබ කල යුතු වන්නේ සිද්ධ වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමයි. දරුවා මෙවැනි ක්‍රියා සිදුකරන්නේ පාසලේදීද, පන්තියේදීද, එසේත් නැතිනම් නිවසේදීද යන්න ඔබ වටහා ගත යුතුයි. ඒ වගේම ඇතැම් ගැහැණු දරුවන් ගැහැණු දරුවන්ට ද පිරිමි දරුවන් පිරිමි දරුවන්ටද මෙසේ පීඩා කරන අතරම දෙමාපියන් ලෙස ඔබ මේ ගැටලුවේ තීව්‍රතාවය වැටහ ගත යුතුය. එනම් තත්ත්වය කොයි තරම් දුර දිග ගොස්ද කියා වටහා ගත යුතුය. එනම් පීඩා කරන්නේ වාචිකවද එසේත් නැතිනම් ශාරීරික පීඩා සිදු කිරීමෙන්ද යන්න පිළිබඳව දැනුවත් විය යුතුය. මෙවැනි අවස්ථාවකදී කිසි විටෙකත් දරුවාට පහර දීමෙනේ පිළිතුරු සෙවීම නිවැරදි නොවන බව ඔබ වටහා ගන්න. එවිට සිදුවන්නේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සෙවීමයි. නමුත් වැඩිහිටියන් ලෙස ඔබ කල යුතුවන්නේ දරුවා මෙවැනි තත්ත්වයකට පත් වීමට හේතු සොයා බැලීමයි.

ඔබේ දරුවා තවත් දරුවෙකුට පීඩා කිරීමට හේතුව දරුවා වෙනත් දරුවෙකු නිසා ඒ තත්ත්වයට පත් වුනාද නැත්නම් වෙනත් මානසික  තත්වයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ වාද යන්න සොයා බැලිය යුතුය.

මෙවැනි අවස්ථාවකදී පළමුවෙන්ම,

ඔබේ දරුවාට අනෙක් යටත් දුක, වේදනාව, ලැජ්ජාව, බිය දැනෙන බව සරලව පහදා දෙමින් උපදෙස් ලබාදෙන්න. මේ සඳහා ඔබේ ආගමට අනුකුලව දරුවාට උපදෙස් ලබා දිය හැකියි. නැවත වරක් දරුවා අගන එවැනි පැමිණිලි ලැබුනොත් දරුවාට හිමි වරප්‍රසාද ලබා නොදෙන බවත් දරුවාට ආදරයෙන් පවසන්න.

උදා: ආයේ පැමිණිලි ආවොත් රුපවාහිනිය නරඹන්න ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් මෙවැනි උපදෙස් මගින් පාලනය කරගත හැකි වේ. එසේම වැඩිහිටි ඔබ දරුවා ඔබේ උපදෙස් පරිදි අනවශ්‍ය ක්‍රියාවලින් ඈත් වී නම් එය ඇගයීමද කල යුතු බව මතකයේ තබා ගන්න. මෙසේ සරල විසදුම් සමගින් තත්ත්වය පාලනය කල නොහැකි නම් සමාජ විරෝධී අදහස් පවතිනවා නම් මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතරම මෙතැනදී දෙමාපියන් වටහා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම යනු දරුවා මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට ඉඟියක් නොවන බවයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

පුංචි පැටියාට දෙමව්පියන්ගේ නිදියහන එපා…

පුංචි පැටියා අම්මාගේ කුසයෙන් මෙලොව එලිය දුටු දා පටන්ම මවගේ උකුල විතරක් නොවෙයි, නිදි යහනත් ඇගේ අලුත් කිරි සුවඳ වෙනුවෙන් වෙන් වෙනවා. මේ තත්වය බොහොම සාමාන්‍යයි. ඒ වෙනුවෙන් බලපාන හේතුත් තිබෙනවා.

පුංචි පැටියන් රාත්‍රිය පුරාවට වුනත් අඬන්න ලෑස්තියි. මාසයකට වඩා අඩු ළදරුවෙක් ඔවුන්ට ලබා දෙන කිරි ඕනෑම වෙලාවක බොන්න සූදානම්. ඒ වගේම ළදරු ආමාශයත් ඒ වෙනුවෙන් සූදානම්. මේ වේලාවට අම්මා හිතන්නේ බඩගින්නට අඬනවා කියලා ඇගේ දෙතනෙන් කිරි දීලා දරුවාගේ ඇඬිල්ල පරක් කර ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවන්ට දරුවා තමාගේම යහනේ සිටිනවා නම් අම්මාට බොහොම පහසුයි.

පෙරදිග සංස්කෘතියේ අම්මා සහ දරුවා අතර පවතින බැඳීම නිසා මේ විදිහට එකම යහන බෙදා ගෙන නිදා ගත්තත් බටහිර රටවල නම් කුඩා කාලයේ පටන්ම දරුවා  වෙන්ව තැබීම සාමාන්‍ය තත්වයක් වුනා. ඒත් දැන් දැන් බටහිර රටවලත් අම්මා දරුවා සමගම නිදි කරවා ගැනීමේ පුරුද්ද ඇති වෙලා තිබෙනවා.  ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ තත්වය 2000 වසරේ පටන් ඉහළ මට්ටමක පවතින බැව් සඟරාවේ සදහන්ව තිබෙනවා.

යහපත් දේ ලෝකයේ කොතැනක වුනත් ආදේශ කර ගත්තාට වරදක් නැති වුනත් මෑතකදී බොහෝ පර්යේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ දෙමව්පියන් සමග දරුවා එකට තබා ගෙන නිදා ගැනීම එතරම් සුදුසු නැති බවයි. ඒ අන්දමින් ඔවුන් කියා ඇත්තේ හේතු කීපයකුත් ඉදිරිපත් කරමිනුයි.

  • දෙමව්පියන් දුම්පානය හෝ මත්පැන් කරනවා නම්.

.දෙමව්පියන් ඉහත අන්දමේ නුසුදුසු කටයුතු වල යෙදෙනවා නම් එයින් දරුවාට ඇති වෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා. ඒ වගේම මේ අපුල ගඳ දරුවාගේ කිරි සුවදට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දරුවා සමග එකම යහන බෙදා ගැනීම අනුමත කළ නොහැකි බව මේ පර්යේෂකයින් කියා සිටිනවා.

  • ළදරුවා යට වෙන්න පුලුවන්…

හැබැයි තමන්ගේ දරුවා යහනේ සිටිනවා නම් දෙමව්පියන් බොහොම පරිස්සම්. ඒත් ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් නොදැනීම දරුවා යට වී මියගිය අවස්ථාවන් පෙර ඉතිහාසයේ තිබෙන නිසා ළදරුවන් සමග නිදා ගැනීම ගැන අනුමත කිරීමට බොහොම දෙනෙක් අකමැතියි.

  • මහන්සිය හෝ ඇතැම් ඖෂධ නිසා මේ තත්වය වුනොත්…

ළදරුවෙක් සමග කාලය ගෙවන දෙමව්පියන් සමහර විට දිවා කාලයේ රැකියාවක නිරත වෙන්නත් පුලුවන්. ඒ වගේම උදෑසනින් අවදි වෙන්නත්  වෙනවා.මහන්සිය සහ නිදිමත එකට එක් වුනාම ඔවුන්ට ඇඳට වැටුනාම තදින් නින්ද යන අවස්ථාවන් තියෙන්නත් පුලුවන්. ඒ වගේ නිදියහනේදී තමන්ගේ ළදරුවා යට වී අනතුරට පත් වුන අවස්ථාවන් ගැනත් පාදක කර ගෙන පර්යේෂකයින් විසින් මේ අදහස ඉදිරිපත් කරනවා.

  • නිදා ගන්නා විට පමණ ඉක්මවා ඇඳුම් අන්දවන්න එපා…

ඔබේ පුංචි පැටියා නිදිකරවන විට අනවශ්‍ය විදිහට ඇදුම් ඇන්දවීමට වඩා සැහැල්ලු ඇදුමක් අන්දවන්න. උණුහුම් කාලයදී ඇදුම් වැඩි වුනොත් දරුවාට එය අපහසුවක්. සීත කාලයදි නම් ඒ තත්වයට ඔරොත්තු දෙන විදිහට ඇඳුම් ඇන්දවීමට අවසරය තිබෙනවා.

  • කොට්ට ඈත් කරන්න…

අපේ අම්මලා දරුවා නිදිකරවලා කොට්ට වට කරනවා. ඊට අමතරව තුරුලු කොට්ටයකුත් තියනවා. ඒත් මේ කොට්ටය ළදරුවාට අහිතිකර විදිහට බලපාන්න පුලුවනි. කොට්ටය මුහුණට තබා ගෙන හිර වුනොත් එය ඉවත් කර ගැනීමේ දැනීම ළදරුවාට නැහැ. ඒ නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වුනොත් තත්වය බරපතල වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම දරුවා නිදිකරවන විට අනවශ්‍ය රෙදි, කොට්ට එතැනින් ඉවත්ව තබන්න.

මගේ දරුවා හැමදාම ”Bully” වෙනවා… මොකද මේකට කරන්නේ….?

අතීතයේදීට වඩා අද වන විට දරුවෝ අතර ගැටුම්කාරී තත්ත්ව දකින්නට ලැබෙන අවස්ථා වැඩි වී ඇති දැයි බහුතරයක් දරුවන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව සිතෙනවා. දරුවන් යනු හරි වැරැද්ද කුමක්ද යන්න
තර්කානුකූලව සිතීමට ඇතැම්විට අපහසු පිරිසක් වුවත් මෙවැනි ක්‍රියා හේතුවෙන් තවත් දරුවෙක් පීඩනයට පත්වීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට විශාල පහරක් වන නිසාම මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීම නුවණට හුරු නොවේ. දිනපතා ඔබේ දරුවා කුමක් හෝ දෙයක් ගැන ඔබට පැමිණිලි ගෙන එනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම දෙමාපියන් වන ඔබේ වගකීමයි.

”Bully” වෙන දරුවා වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දැනුවත් දෙමාපියන් ලෙස ඔබ කලබලයට පත්වීමට වඩා කළ යුතු වන්නේ තත්ත්වය පිළිබඳව දරුවා කරන පැමිණිල්ලට සාවදානව සවන් දීමෙන් මේ ගැටලුව දරුවාටම විසඳා ගත හැකි තත්ත්වයේ පවතිනවාද යන්න අවබෝධ කරගැනීමයි. දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව විසඳා ගැනීමට හැකිද යන්න තීරණය වන්නේ අදාළ දරුවාගේ ස්වභාවය අනුවයි.

යම් දරුවෙක් තම කාර්යයන් පිළිබඳව තනිව තීරණ ගැනීමට සමත් ස්වාධීන, ස්වඅභිමානයක් ඇති  විශ්වාසයක් ඇති එමෙන්ම තම කාර්යයන් තනිව කරගත හැකි දරුවෙක් නම් වැඩිහිටි ඔබේ මග පෙන්වීම හෝ ඉතා සුළු උපදෙසක් මගින් ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව ඔහු සතුය. නමුත් යම් දරුවෙක් බියසුලු, මෙවැනි අවස්ථා  මගහරින අතම ශක්තිට හීන දරුවෙක්  දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව නිරාකරණය කරගැනීම අපහසු නිසා වැඩිහිටි ඔබේ  සහයෝගය අත්‍යවශ්‍ය වේ. එසේ නොවන්නට එවැනි දරුවෙක් මෙවැනි තත්වයකට දිගින් දිගටම  මානසික ව්‍යාකුලත්වයකට වුවද පත් විය හැකිය. නමුත් මෙතැනදී වැදගත් වෙන තවත් කරුණක් වන්නේ එවැනි පෞරුෂත්ව ඌනතා ඇති දරුවෙක් මෙවැනි අවස්තාවක් තනිව කළමනාකරණය කර ගත හොත් එය ඔහුගේ ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයක් වන බවයි. මන්ද ඔහු ඒ හරහා ලබන අත්දැකීම තුලින් ඔහුට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩ නැගෙනු ඇත.

මෙවැනි තත්ත්වයක් පිළිබඳව ඔබේ දරුවා මැසිවිලි නඟන්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදා නොගන්නා ලෙස දරුවාට අවබෝධ කරවන්න. මෙවැනි තත්ත්වයක් ගුරුවරයා/පාසැල හෝ සමග ඉතා සහයෝගයෙන් විසඳා ගත යුතුයි.

සාමාන්‍යයෙන් ඇතැම් දරුවන් එනම් වින්දිතයා බවට පත්වන දරුවන් මෙවැනි අවස්ථා මග හැරගන්නට දක්ෂ වෙනවා. ඒ ඔවුන්ගේ සමාජ සන්නිවේදන හැකියාවන් ඉහල නිසයි. තමා bully වෙන අවස්ථාවකදී ඒ වෙනුවෙන් තම දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද කියා ඔවුන් වටහා ගන්නවා. එවිට ඔවුන් එවැනි අවස්ථාවකදී පෙරලා ලබා දිය යුතු ප්‍රතිචාරය පිළිබඳව දැනුවත්.  මෙවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වන ආකාර ක්‍රම තුනක් යටතේ විස්තර කල හැකියි. එනම් තමාට දක්වන පීඩාකාරී තත්වය හමුවේ,

  1. කිසිවක් නොකිරීම (Passive Approach)

මෙහිදී සිදුවන්නේ මොන දේ කීවත් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමයි. මේ ප්‍රතිචාරය හමුවේ පීඩා කිරීම නතර වන්නත්, අඩු වන්නත් වැඩි වන්නත් පුළුවන්. අසාර්ථක විය හැකි ක්‍රමයකි.

  1. ප්‍රචණ්ඩ වීම (Aggressive)

මෙහිදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම මගින් තත්ත්වයට විසදුමක් බලාපොරොත්තු විය හැකියි. මෙය සුදුසු ක්‍රමයක් නොවේ.

  1. Assertiveness

මෙවැනි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමට සුදුසුම ක්‍රමය ලෙස Assertiveness දැක්විය හැකියි.

” ඔයා ඔය වගේ දේවල් මට කරන එක ගැන මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ දේවල් නතර කරන්න”

මේ ක්‍රමය ප්‍රතිචාර දැක්වීමේදී සිදුවන්නේ වින්දිතයා විසින් අදාළ පුද්ගලයාගේ ඇස් දෙස ඍජුව එක එල්ලේ බලා, කොන්ද ඍජුව තබා ගනිමින් තම හැඟීම් පාලනය කරගනිමින් ස්ථාවරව උපේක්ෂාවෙන් බලයක් නොයොදා එක එල්ලේ අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමයි.

සාමාජ සන්නිවේදන හැකියාව ඉහළ මනා පෞරුෂයක් ඇති දරුවෙකුට මේ ක්‍රමය උපයෝගී කරගනිමින් මේ තත්ත්වය මගහරින්න පහසුයි. එවැනි දරුවන්ට වැඩිහිටි ඔබෙන් මානසික සහය මෙන්ම ආත්ම ශක්තිය නැංවීමට අවශ්‍ය සහය හිමි විය යුතුය.

ඇතැම් විට ඔබේ දරුවා මනා සමාජ සන්නිවේදන හැකියාවන් අවම දරුවෙකු නම් දෙමාපියන් වන ඔබට මෙවැනි තත්ත්වයකදී පැවරෙන වගකීම ඉහළයි. එවැනි අවස්ථාවකදී ගුරුවරයා/පාසැල මාර්ගයෙන් හෝ ගැටලුව නිරාකරණය කොට දී දරුවා මේ පීඩනයෙන් මුදවා ගත යුත්තේ මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදුවීම දරුවාගේ ජිවිතයට පවා බලපෑම් කල හැකි බැවිනි.

ඔබ, සැමවිටම ඔබේ දරුවාට සවන් දෙන්න. මන්ද ඔබ සමග දරුවා යමක් පවසන්නේ මව/පියා වන ඔබව දරුවා විශ්වාස කරන නිසාමය. ඔබෙන් යම් විසදුමක් තම ගැටලුවට ලැබෙන බවට විශ්වාසයක් දරුවා තුල තිබෙන නිසාමය. දරුවෙන් මව/පියා සමග යමක් පවසන්නේ තම හැඟීම් මුදා හැරීමටයි. ඒ හැඟීමට වටිනාකමක් ලබාදීම තුළින් ඔවුන් මව/පියා කෙරේ විශ්වාසයක් ගොඩනඟා ගන්නවා. එසේ නොවීමෙන් නව යොවුන් වියට එළඹීමත් සමගම දරුවන් තමාට විශ්වාසය ගොඩ නඟා ගත හැකි වෙනත් අයෙක් සොයා යාමට පෙළඹිය හැකියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

අයියෝ…අද හෝම්වර්ක් කෝ…?

පාසල අවසාන වෙලා ගේට්්ටුව ළගට දරුවා එන්නත් කලින් අම්මලා කට ඇරගෙන බලා ගෙන ඉන්නේ

‘‘ කෝ…අද මොනවද හෝම්වර්ක්…“  ගැන දැනගන්නයි.

සමහර විට හෝම්වර්ක් නොතිබුනොත් අම්මලාගේ හිතට ඒ තරම් සතුටක් නැහැ. ඔයාට අමතකද මොනවාද අද දුන්නේ…? එතැනිනුත් අවසාන නැහැ. ගෙදර ඇවිත් දරුවාගේ යාලුවාගේ ගෙදරට කතා කරල අහනවා. ඔන්න ඉතින්  එයාලගෙනුත් පිලිතුර ‘‘අද හෝම්වර්ක් දුන්නේ නැහැ…“ වුනොත් අම්මලා තවත් දුර්මුඛ වෙනවා.

අනේ බලන්නකෝ ගෙදරවැඩ මුකුත් නැහැ..

අපේ රටේ අධ්‍යාපනය  සමග සමාජගතව තිබෙන මේ සංකල්පය ළමා මනසට එතරම් යෝග්‍ය නොවන බැව් අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහසයි. පසුගිය දිනක ස්පාඤ්ඤයේ දෙමව්පියන්ගේ  මිත්‍ර සංගමය දරුවන්ටලබා දෙන දරා ගත නොහැකි හෝම්වර්ක් වලට එරෙහිමව වීදි බැස්සා.

ඒ අවස්ථාවේදී දෙමව්පියන්ගේ  මිත්‍ර සංගමයේ සභාපති ‘‘ ජෝන් ලුවී පැසෝ “ සදහන් කරන්නේ තොරතුරු තාක්ෂණය මත පදනම්ව තිබෙන අධ්‍යාපනය බෙහෙවින් විසිතුරු සහ විචිත්‍ර බවයි. ගෙදරවැඩ දීමෙන් දරුවා හෙම්බත් කරනවාට වඩා ස්වාධීනව තොරතුරු ගවේශනය කරමින් කටයුතු කිරීමට ඉඩ දීමෙන් දරුවා ඉතා නිර්මානශීලී වෙන බවයි.එහෙව් යුගයක් අප ඉදිරියේ තිබියදී ගිරවුන් මෙන් කටපාඩම් යුගයක් අනවශ්‍ය බැව් ඔහු සඳහන් කරනවා.

අධ්‍යාපනය පිලිබඳ විශ්ව පර්යේෂණ සංවිධානය මගින් 2012 වසරේ පවත්වන ලද වාර්තාවකට අනුව පාසල් දරුවන්ට වැඩියෙන්ම ගෙදරවැඩ ලබා දෙන රට රුසියාවයි. පිළිවෙලින් ගත් විට ඉතාලිය, අයර්ලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය පස්වැනි තැන දක්වා සිටිනවා.

ස්පාඤ්ඤය මේ තත්වයට එරෙහිව විරෝධතාවන් ආරම්භ කිරීමට දැන් සූදානමින් සිටිනවා. ඔවුන් පසුගිය අධ්‍යන වාර්තාවන්ද පාදක කර ගෙන පෙන්වා දෙන්නේ අනවශ්‍ය ගෙදරවැඩ දුන් පමණටම දරුවාගේ ප්‍රගතියක් ඇති නොවන බවයි. බරට බරේ ගෙදරවැඩ දුන්නත් තවමත් ස්පාඤ්ඤයේ දරුවන් ගනිතය, විද්‍යාව වැනි විෂයන්ගේ නිපුනතා මට්ටටමට පත්ව නැහැ.

ඇත්තටම රටක අධයාපනය ගොඩ නැගෙනන් අවශ්‍ය වෙන්නේ ක්‍රියාවෙන් අවබෝධය පදනම් කර ගෙනයි.ගනිතය වැනි සංකල්ප ඉතා නිර්මාණශීලීව දරුවාගේ බුද්ධියට ගැලපෙන අන්දමින් ලබා දීමට පුලුවන්.එහෙම නැතුව න්‍යාය්තමක බව පදනම් කර ගත්තොත් මේ සංකල්ප බොහොම ගොරෝසුයි. ඒවා දරුවාගේ මනසට ආකර්ශනය වෙන්නේ නැහැ.

පාසල් වාරාවසානයට දරුවාගේ බරට වඩා හෝම්වර්ක් ලැබුනාම ඔවුන්ට ඇතත්ටම නිවාඩුව නිදහසේ ගෙවනන් අවස්තාවක් නැහැ. අම්මලාත් පිටුපස සිටන් ‘ හෝම්වර්ක්…හෝම්වර්ක්…කියමින් දරුවාගේ මතකයට මේ පීඩාව නිතරම ලබා දෙනවා.

මේ නිසාම දැන් දරුවන්ට පාසල් නිවාඩුවත් පොත හා මේසය අතරේ ගෙවන්න වෙලා. නිතරම මේ තත්වය ඇති ුවනොත් දරුවා ඉතාම අක්‍රියශීලී බවට පත් වෙනවා. ඒ සමගම අනවශ්‍ය විදිහට තරබාරුව, සහ වෙනත් බෝනොවන රෝගාබාධයන්ගේ ගොදුරක් බවටඉතාම පහසුවෙන්  පත් වෙනවා. දරුවාට අලුත් යමක් හිතනන් බැහැ. ඔවුන් සෞන්දර්ය හදුනන්නේ නැහැ.

අද දරුවන් අතර සියදිවි නසා ගැනීම ඉතාම ඉහළයි.. මේ තත්වයට අධයාපනයට ඇගිල්ල දිගු වුනත් ඒ තත්වය ඇති නොවන තැනට කටයුතු කරන්නේ කොහොමදැයි කිසිම කෙනෙක් විසදුම් සෙවිල්ලක් නැහැ.විෂය දැණුම මත දුවන තරඟය මිසක ආත්මශක්තිය, ආත්ම සංවරය ගොඩ නැගීමක් අද නොමැති වීම මීට ප්‍රධාන හේතුවක්.දරුවන්ගේ සියුම් රසභාවයන් පුබුදුවන කිසිම කලාවක් අධ්‍යාපනයට සම්බන්ධ නැහැ.ඒ නිසාම දරුවන් සංවේදී පුද්ගලයන් විදිහට ලෝකයට එකතු වීමක් නැහැ. මේ නිසාම පරාජයන් ඉදිරියේ දරුවන් ඉතාම අසණ වෙනවා වගේම ඒවා මැඩගෙන ඉදිරියට ශක්තියක් ඇත්තේම නැහැ.

ජපානය වැනි රටවල මුල් අවුරුදු තුනේදී ලැබෙන්නේ ගුණධර්ම පෝෂණය පමණයි. වේලාවට වැඩ කිරීම,ආචාරශීලීත්වය,වැසිකිලිය පවා සෝදා ගෙන තමන්ග් පාසල…මේ අපේ වැඩ කොටස හොදින් සිදු වුනොත් පාසල පිරිසිදුයි යන පොදු සංකල්ප නොදැනීම ගොඩ නගනවා.

ඒ වගේම ඔවුන් දරුවන්ගේ අධයාපනයට සෞන්දර්යාත්මක රස වින්දනය වැඩියෙන් ලබා දෙනවා.කඩදාසි මත පින්සලෙන් අකුරු හැඩතල ලියන්න, කවි කථන්දර කියන්න, අහන්න, නටන්න, ගයන්න මේ හැම දෙයකින්ම දරුවන් පෝෂණය කිරීමට ජපනුන් සූදානම්. එහෙමනම් ජපන්නු වගේ අපේ දරුවොත් හපන්නු කිරීමට නම් ළමයාට ළමයෙක් විදිහට නිදහසේ ඉගෙනගන්න අවස්ථාවක් දෙමු නේද…?

දරුවාගේ මානසික සෞඛ්‍ය ගැන හිතද්දී ඔබට වැරදුනේ මෙතැනද?

මව්පියන්ගේ ආදරය දඋපතේ සිටම මිය යන මොහොත දක්වාම යමක් ඉගෙන ගන්නා අපි සර්වසම්පුර්ණ නොවන බව මින් පෙර ලිපියකදිත් සඳහන් කල බව ඔබට මතක ඇති. අන්න ඒ නිසාම කිසිම අයෙක් සර්ව සම්පුර්ණ මව්පියන් වීමේ හැකියාවක් නැහැ. මව්පියන් වශයෙන් අපි දැනුවත් වෙන්න වෙන්න සිදුවන්නේ දරුවන් කායිකව වගේම මානසිකවත් නිසි ලෙස වර්ධනය වීමයි. අපි ශාරීරිකව දරුවෙකුගේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන තැන මානසික සංවර්ධනයටත් ලබා දිය යුතු බව ඔබට බොහෝ තැනවලදී සිහිපත් කල බව මතක ඇති. ඇත්තෙන්ම කීවොත් වයස අවුරුදු 25, 28 තෙක්ම දරුවෙකුගේ මනස අපි කැමති හැඩයකට ඇඹිය හැකියි. එයට සුවිශේෂිව බලපාන්නේ දරුවන්ගේ අවට පරිසරය සහ පුද්ගලයන්ය. එතැනදී ප්‍රධාන වන්නේ දෙමාපියන්ය. නිරෝගී සමාජයක් වෙනුවෙන් තැබිය හැකි පළමු අඩිතාලම වන්නේ දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය ගැන දෙමාපියන් වන ඔබ නිවැරදිව දැනුවත් කිරීමයි.

උපතේ සිට මුල් අවුරුදු දරුවෙකුගේ මොලය විශ්වයක් වගේ නිර්මාණය වෙනවා. මිලියන ගනන් ස්නායු බිහිවෙන්නේ දරුවාට සිය දෙමාපියන්ගෙන් ලැබෙන උත්තේජනය( stimulation) මතයි. දරුවන්ට එවැනි උත්තේජන ලැබීමට නම්,

  • මුහුණට මුහුණ බලා කතා කිරීම
  • මුහුණේ ඉරියව් අනුගමනය කිරීම
  • දරුවා සමග නිතරම සිනාසීම
  • ඇස් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම
  • උණුසුම ලබාදීම
  • කුසගින්න/නිදිමත හෝ වේදනාවකදී අවශ්‍ය නිසි ප්‍රතිචාර දැක්විය යුතුයි.

දරුවෙකුගේ ජිවිතයේ මුල් අවුරුදු තුන ඇතුළත හිමි වන මේ ආදරය, උණුසුම, රැකවරණය පිරුණු මේ ප්‍රතිචාර මගින් ජීවිත කාලය පුරාම බැඳීමේ ස්වභාවය තීරණය කරනු ලබනවා.

” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ  ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ දේවල් අපේ වැඩිහිටියන් අතරෙන් ඔබටත් ඇහිලා ඇති.

ඒත් කලින් ලිපිවලත් සඳහන් කල පරිදිම ළදරැවෙක් කියන්නේ වැඩිහිටියෙකුගේ සහය, රැකවරණය නොමැතිව තනිව ගොඩනැගිය හැකි සත්ත්වයෙක් නොවෙයි. ළදරුවෙකුට මේ ලෝකේ තුල පවතින්න නම් බැඳීමක් තිබිය යුතු වන්නේ ඒ නොහැකියාව නිසයි. ළදරුවෙක්ට රැකවරණය නොලැබුණහොත් කායිකව මෙන්ම මානසිකවත් සිදුවිය හැකි විනාශ බොහොමයි.

දරුවෙක් හුරතල් කරන්න එපා, ඉඹින්න එපා කියන දුර්මතවලින් දරුවන් හා දෙමාපියන් අතර ඇති විය යුතු ආරක්‍ෂිත බැඳීම පලුදු වීම පමණක් බව ඔබට වැටහෙනවා ඇති. මේ තත්ත්වයට හොඳම උදාහරණයක් විදියට රුමේනියාවේ අනාථ දරුවන්ගේ කතාව දැක්විය හැකියි. ඒ දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් කර අනාථ නිවාසවල කිසිවෙකුගේ හෝ ආදරය, රැකවරණය නොමැතිව ඇති දැඩි වූවා. එහි ප්‍රතිපලයක් විදියට ඔවුන් තම හැඟීම් අවශ්‍යතා වගේම තවත් අයෙකුගේ දුකක් හෝ සතුටක් වටහා ගැනීමේ හැකියාවක් නොමැති පිරිසක් බවට පත් වූවා. මේ අනාථ නිවාසවල සේවයේ යෙදුණු පිරිස් පැවසු පරිදි මුලින් දරුවන් කොයිතරම් හඬා වැටුණත් කිසිවෙකුත් නොපැමිණි නිසා පසු කාලීනව ඔවුන් එය වටහා ගෙන හඬා වැටීම නතර කොට ඇත. මෙවැනි උදාහරණ අපේ ජිවිතවලට ලොකු පාඩම් කියා දෙන බව ඔබට වැටහෙන්නට ඇති. දරුවන් සහ දෙමාපියන් අතර බැදීම් (attachment) ආරක්ෂිත (secure) වගේම අනාරක්ෂිත (insecure) එකක් වෙන්නත් බොහෝ අවදානමක් තියෙන බවත් පොදුවේ අපේ සමාජය ගත් කළ පවතින බැඳීම් 60%ල ආරක්‍ෂිත වන අතරම 40 % අනාරක්ෂිතයි.

මොනවද මේ අනාරක්ෂිත බැදීම් ඒවා ඇතිවෙන්නේ කෙසේද?

උපතේ සිට අවුරුදු තුන වයස් සිමාවේ සිටින දරුවෙක් (බැඳීම්වල උපරිම වර්නධය සිදුවන කාලය) හඬන විට මව දරුවා අසලට නොයන්නේ නම් කාලයත් සමග දරුවා තම හඬා වැටීම නතර කර මව්වරුන්ගේ අර්ථ දැක්වීමට අනුව හොඳ දරුවෙක් බවට පත් වෙයි. එය එසේ වුවද මේ හරහා දරුවන් තුළ දුක, බිය, කේන්තිය, තරහ වැනි හැඟීම් යටපත් කිරීමට ඔවුන් හුරු වේ. එය සිය ජිවිත කාලය පුරාම ඒ ආකාරයටම සිදුවේ. මෙවැනි දරුවෙක් අනාගතයේදී තම සම්බන්දතා දෙස මෙන්ම ජීවිතය දෙසත් ඉතා හිස්බවකින් යුතුව බලන්නට හුරු වේ. එය ” avoidant attachment style ” ලෙස හඳුන්වනවා. මෙවැනි දරුවන් මානසිකව මෙන්ම පෞරුෂ වර්ධනයේදී නොයෙක් ගැටලු ඇති ය වන අතරම මත්පැන්, මත්ද්‍රව්‍ය වෙත යොමු වීමේ හැකියාව ඉහලයි.

එසේම මේ වයස් සිමාවේ දරුවෙක් වෙත යම් කිසි හේතුවක් නිසා සිය මව මනසින් දරුවා වෙත දක්වන අවදානය අඩුවෙනවා නම්, සමහර දරුවන් තම හැගීම් නොසලකා හරින්නත් ඇතැම් දරුවන් වැඩි අවධානයක් ගන්න පෙළඹෙන්නත් නැඹුරුතාවයක් ඇති විය හැකිය.

ප්‍රසුතියෙන් පසු මව්වරුන් මුහුණ දෙන Post Natal Depression (PND) තත්ත්වයේදී මවක් තම දරුවාගේ කායික සහ මානසික අවශ්‍යතාවන්ට දක්වන අවධානය අඩු විය හැකි නිසා (මෙහිදී මවක් තම දරුවාට දක්වන අවධානය අවම වන්නේ ඇය පත්ව සිටින මානසික තත්ත්වය නිසයි. PND යනු දරුණු රෝගී තත්ත්වයක් වන නිසාම ඇය මේ තත්ත්වයට පත්වනවා මිස දරුවා මගහරින්නේ හිතාමතා නොවෙයි. මෙහිදී සැමියා මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේ සහයෝගය ඇයට හිමිවීම අත්‍යවශ්‍ය වන අතරම මෙය නිසි ප්‍රතිකාර හමුවේ නිට්ටාවට සුව කළ හැකි රෝග තත්ත්වයකි) එවන් දරුවන්ගේ හිතේ ඇතිවෙන අවිනිශ්චිත සහ අනාරක්ෂිත ස්වාභාවය නිසා,         ” anxious ambivalent attachment style’ කියන තත්ත්වය ඇති විය හැකියි. වැඩි වෙලාවක් දුරකතනයේ රැඳී සිටින මව්වරුන් අතින් දරුවෙකුව මගහැරෙන්න තියෙන අවධානමත් PND තත්වය නිසා ඇතිවෙන අවධානමට සමානයි.

උදාහරණ විදියට මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් තාවකාලිකව දෙමාපියන්ගෙන් වෙන්වන අවස්තාවලදී (පෙර පාසැල වෙත යනවිට) දෙමාපියන්ගෙන් වෙන්වීමට අධික අකමැත්තක් දැක්විය හැකියි. ඒ වගේම වයසින්ද වැදුණු දරුවෙක් නම් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, වැඩිහිටි වූ පසු සහකරුට හෝ සහකාරියට අනවශ්‍ය ලෙස බාධාවන ආකාරයෙන් ඇලී ගැලී සිටීම වැනි තත්ත්වයන් දැක්විය හැකියි. මේ හේතු මත සම්බන්ධතා අතර ගැටුම් පවා ඇති විය හැකියි. එය ජිවිතයට අසතුට ලංවීමට හේතු විය හැකියි.

දරුවෙකුට අධි ආරක්‍ෂිතයා මෙන්ම ආදී අනාරක්ෂිතයා වෙන්නෙත් තම දෙමාපියන්ම නම් දරුවෙකුට එවැනි වැඩිහිටියන් සමග බැඳෙන්නට වන්නේ ඉඩ අවිනිශ්චිත බවක් සමගිනි. එය Dis organised Attachment ලෙස හඳුන්වන අතරම මේ තත්ත්වය ඇති වන්නේ බියට පත්ව සිතිඅ දෙමපියගෙන් සහ දුටු විට බිය දනවන දෙමපියන්ගෙනි. උදාහරණයක් ලෙස තම ස්වාමියට බියෙන් ජීවත් වෙන බිරිඳක් දකින දරුවෙක් වගේම, අම්මට ගහල කෑගහන තාත්ත කෙනෙක් දකින දරුවෙක්ට ඇති වෙන්නේ Dis organised Attachment එකක්‌. මෙය දරුණු ආකරගේ පෞරුෂ ආබාධ වලට මෙන්ම මානසික රෝග තත්ත්වයන්ට හේතු විය හැකි තත්වයක්.

දැන් ඔබට වැටහෙනවා ඇති ” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ  ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ අපේ වැඩිහිටියන් අතරෙන් ඔබට ඇහුනු දේවල් ක්‍රියාත්මක කලොත් ඔබේ දරුවා පත් වන්නේ කොයි තරම් දුක්ඛිත තත්ත්වයකටද යන වග. දෙමාපිය ආදරය විඳීමට ලැබෙන අවස්ථාව තුලින් දරුවෙකුගේ ජීවිතයට එලිය වැටෙනවා මිස වරදක් නොවන බව දැන් ඔබට වැටහෙන්නට ඇති.

ළමයෙක්ගේ මුල් ළමාවිය අතිශයෙන්ම වැදගත්. දැන් ඉඳන් හිතන්න, ඔබේ අතින් දරුවාගේ මානසික වර්ධනයට හානියක් සිදු වී ඇත්නම් අදම එය නිවැරදි කරගනිමින් ක්‍රියාත්මක කරන්න. පුංචි දරුවන් ඉන්න මව්පියන් විදියට ඔබටත් මටත් කාලය තව ඉතිරි නිසාම ඒ කෙටි කාලය තුල හෝ ආදරය දයාව රැකවරණය සමගින් ලොවට කායික මෙන්ම මානසික සුවතාවයෙන් යුතු දායාද කරමු.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

පිරිමි දරුවන්ටත් නිවසේ කටයුතු උගන්වන්න

හොනලුලු විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් අපුරු හදුනා ගැනීමක් තිබුනා. අද බොහෝ විවාහයක්ගේ පවුල් සංස්ථාවන් තුළ ඔවුනොවුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්ලු. ඊට හේතුව විදිහට පෙන්වා දී තිබුනේ නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් සහකරුගේ සහයෝගය නොලැබීම බව ඒ අධ්‍යනයේ පෙන්වා දී තිබුනා. ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යනය  මෙහෙවන ලද පර්යේෂකයන්ට පෙනී ගියේ  මේ අන්දමින් තම නිවසේ කටයුතුවලට සහයෝගයක් නොදක්වන ලද පිරිස් බොහොමයක්  බාල කාලයේදී තම නිවසේ වැඩකටයුතු වෙනුවෙන් කිසිම සහයෝගයක් නොදැක්වූ පිරිසක් වූ බවයි.

මේ වාර්තාව කියවන ලද ස්පාඤ්ඤයේ එක් විදුහල්පතිවරයෙක් මේ තත්වයට විසදුම් එතැනින් පටන් ගත්තා. ඔහු තම විදුහලේ  පිරිමි දරුවන් වෙනුවෙන් විෂය මාලා අධ්‍යනයට අමතරව ඉවුම් පිහුම්, ගෙදර දොර අතු ගෑම, රෙදි පිලි සේදීම වැනි කටයුතු වෙනුවෙනුත් අවස්ථාවක් ලැබෙන විදිහට පංතියේ කාලසටහන සැලසුම් කරනු ලැබුවා.

ඇත්තටම අද බොහෝ පවුල්වල මේ තත්වය ඇති නොවෙනවාම නොවෙයි. ඉස්සර කාලයේ නම් අම්මා කියන චරිතය නිවසේ වැඩ කටයුතු වෙනුවෙන්ම සීමා වුනත්  අද ඊට වඩා බොහොම විශාල භුමිකාවක ඇය සිටිනවා. ඒ නිසා කායික වශයෙනුත්  විශාල වෙහෙසක් දරන්න සිදු වීම සාමාන්‍යයි.

මේ වගේ වාතාවරණයකදී නිවසේ මවට බිරිඳට පවුලේ අය ගෙන් සහයෝගයක් ලැබෙනවා නම් විශාල ශක්තියක්. එවිට ඇයට තමන්ගේ වැඩ කොටස කර ගෙන යෑමේදී වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. වචනයටත් අපි කියනවානේ…උදව් නොකලත් කමක් නෑ…අඩුම ගනනේ වචනයෙන්වත් සහයෝගයක් නැහැනේ…මේ වගේ බොහොම දුක්බර කතා අපටත් හොදට හුරුපුරුදුයි.

අන්න ඒ වගේ තත්වයක් ඇති වෙලා පවුලේ සාමය , සමගිය බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කර ගැනීමට නම් පිරිමි දරුවන්ටත් බාල කාලයේ පටන්ම නිවසේ වැඩකටයුතු පුරුදු පුහුනු කිරීම වරදක් නැහැ. එහෙම වුනාම අම්මාට වැඩ බහුල වුනාම , අසනීපයක් හැදුනාම එහෙමත් නැත්නම් ගමනක් ගිය වෙලාවක පවුලේ පුතාට පුලුවන් වෙනවා බතට මාළුවක් හදා ගන්න….තේඑකක් හදාගෙන බොන්න…

  • ඉතින් මේ වැඩ උගන්නන්නේ කොහොමද….?

නිවසේ වැඩට පිරිමි දරුවන් දායක කර ගැනීමේ පුංචි තහංචි අප විසින්ම පනවා ගෙන තිබෙනවා. ඇයි ඉතින් පිරිමි දරුවන්ට ලොකු වටිනාකමක් ලබා දීලා තිබෙනවානේ. ඒ නිසා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් සින්න වෙන්නේ ගැහැණු දරුවන් විතරයි. අප අතර ඇති මේ අදහස ඇත්තටම වැරදියි. ගැහැණු වුනත්, පිරිමි වුනත් තමන්ට උවමනා දෙයක් පිලියෙල කරගන්න, නිවස පිලිවෙලකට තබා ගන්න හුරු පුරුදු කිරීම වරදක් නොවෙයි.

  • සැමියාගේ වැරදිවලට බනින්නේ කාටද…?

අම්මාට ගෙදර වැඩ වැඩි වුනාම කේන්ති යනවත් වැඩියි. ඒ අතරේ තාත්තාගේ අපිලිවෙල නිසා තවත් වැඩ වැඩි වෙනවා. තේ බීලා කෝප්පය එක තැනක…ඇඳේ රෙදි බිමටත් වැටිලා..කලබල උදෑසනකදී මේවා දැක්කාම ඉතින් කේන්ති යෑම සාධාරණයි. ඒ කේන්තියට ඉතිං පවුල් ගහත් බදා ගන්නවා.

එච්චරයි පුතෙක් හදලා තියෙන්නේ…රටේ ඉන්න අපි පව් ගෙවන්න ඕන…මේ වගේ කළකිරීමෙන් කතා කරන අම්මලා අපි අතර සුලබයි.

  • පුතාගෙන් වැඩ ගන්නවාට අම්මා කැමැතිත් නැහැ…

තවත් ලස්සන කතන්දරයක් තිබෙනවා.තමන්ගේ පුතා බිරිදට උදව් පදව් කරනවාට අම්මා කැමැති නැහැ. ඒ වුනාට දුවට උදව්වක් නොකරන බෑනා ගැන බොහොම දොස් නගන අවස්ථාවන් තිබෙනවා. දුව වුනත්, ලේලි වුනත් මේ දෙන්නාම කාන්තාවෝ…සමහර විට දෙන්නාම අම්මලා..දෙන්නාම රැකියාවක් කරනවා ඇති. එහෙම වෙලාවක දුවට එයාගේ සැමියාගෙන් උදව් නැති වුනාම අම්මාට දැනෙන දුක ලේලිට තමන්ගේ පුතා උදව් නොකරන විටත් දැනෙනවා නම් නේද වඩාත් හොඳ…

  • මතුපිටට නොපෙනෙන මානසික ගැටුමක්..

හොනලුලු සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමටම පවුලක ගැටුමට මුල පුරන මේ සිදුවීම් පැහැදිලිව පෙනේනේ නැහැ. ඒවා හිත යට පැසවලා නොදැනීම පුපුරා හැලෙන්නේ පවුල් සංස්ථාවටම වින කරමින්. ඉතිං තමන්ගේ පුතාගේ අනාගත විවාහ සංස්ථාව ආරක්ෂා කර ගැනීමට නම් අම්මලා මේ විදිහට කටයුතු කරනවා නම් අගෙයි.

  • පුතාටත් යම් යම් ගෘහ කටයුතු කියා දෙන්න.
  • උයන පිහන වේලාවට ඔහුගේ සහයෝගය ලබා ගන්න.
  • නිවස පිරිසිදුව තබා ගන්න , තමන්ගේ රෙදි සෝදා ගැනීමට බාල කාලයේ පටන්ම වගකීම ලබා දෙන්න.
  • නිවසක් වුනාම හැම කටයුත්තක්ම හැම දෙනාගේම මිසක ගැහැණු, පිරිමි විදිහට නිවසේ කටයුතු විහේෂීතකරණයක් නොකරන්න.

එහෙම වුනොත් ඔබේ පුතා අනාගතයේදී පවුලට ලැදියාවක් ඇති, පවුල තුළ සහයෝගයෙන් කටයුතු කරන සාර්ථක පියෙක්, සැමියෙක් බවට පත් වේවි.