Home Blog Page 76

පිය සෙනහසත් කොන්දේසි විරහිත විය යුතුයි

තාත්තා කියන්නේ පවුලක විශිෂ්ට චරිතයක්. පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය මුල් කර ගත් භුමිකාවේ තාත්තා පවුලක ආධිපත්‍ය්‍ය දැරූ වීරයෙක් බවට පත් වුනා. නිවසේ මූලිකයා, බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂකයා , දරුවන් හික්මවනු ලබන්නා වගේම සදාචාර උපදෙස් ලැබුනෙත් තාත්තා ගෙන්. ඇයි ඉතින් මේ කාලයේ අම්මා කියන කාන්තාවට තිබුනේ හැඳිමිටේ නුවණ කියලා පැත්තකට කොටු කළ යුගයක්නේ…

  • කාලය සමග වෙනස් වුණා..

ඇත්තටම කාලය සමග පිතෘත්වයටත් යම් යම් වෙනස්කම් ලැබුනා. අම්මා ගැන වැඩිමනත් කතා බහ ආරම්භ වුනාම ‘‘පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි“ යනුවෙන් පියවරුන් ගැනත් යම් ආත්මානුකම්පාවක් ඇති වුනා. ඒ වුනත් තවමත් තාත්තා කියන චරිතය පවුලේ අභිමානය බව අමතක කරන්න එපා.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ කෘතියේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික තාත්තා කියන චරිතයට වඩා තාත්තා යනු දරුවන්ගේ ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් විය යුතු බවයි. ආර්. එල්. ග්‍රිස්වල් පෙන්වා දෙන විදිහට බටහිර රටවල් වෙතින් නම් මේ තත්වය හොඳින් දක්නට ලැබුනත් තවමත් ආසියාතික කලාපයට තාත්තා ඉහත සඳහන් කරන ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් වී නැති බවයි.

  • තාත්තාටත් මෘදු කුසලතාවයන් ඕන.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

ඇත්තටම තවමත් පවුලක දරුවන් හුරතල් කිරීම, ආදරය දැක්වීම වැනි බොහොම මෘදු කුසලතාවයන් දරුවන්ට ලැබෙන්නේ අම්මා ගෙන්. සමහර තාත්තලා හිතන්නේ දරුවන්ට මෘදු කුසලතාවයන් විදිහට කියන ආදරය දැක්වීම, සුරතල් කිරීම වැනි සමීපතාවයක් ඇති වුනොත් දරුවන් ‘‘ ගෝනි නැතුව කරේ යන්න“ පුලුවන් බවයි. ඒ කියන්නේ තාත්තලගේ හිතේ තමන්ගේ තරාතිරම ගැනත් යම් අභිමානයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මෘදු කුසලතාවයන් හෙවත් දරුවන්ට සමීපව කටයුතු කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

  • එහෙම වුනොත් මොකද වෙන්නේ..

ඔව් ඉතින් තාත්තාගේ සමීපතාවය පුංචි කාලයේ පටන්ම දුරස්  වෙලා. දරුවන්ගේ ලෝකයේ තාත්තා කියන්නේ උත්තම චරිතයක් කියන සංකල්පය ගොඩ නැගුනත් කාලය සමග දරුවා තාත්තාගෙන්  දුරස් වෙනවා පමණක් නොව සෘජු සන්නිවේදනයක් පවත්වා ගන්නත් බැරි තරම් කුලෑටි දරුවෙකු බවට පත් වෙනවා.

  • තාත්තාලා කොහෙද දරුවන්ට බත් කැව්වේ…ඇදුම් සේදුවේ…

අපි නම් හිතන්නේ එහෙම වුනත් තාත්තා කෙනෙක් අතින් මේ කටයුතු ඉටු වීම මනෝවිද්‍යඥයින්ගේ පැත්තෙන් නම් කිසිම වරදක් නැහැ. අම්මා පමණක්ම බත් කවන්න…ඇඳුම් සෝදලා අන්දවන්න කියන නියමයක් ඉහත නැහැ. ඒ නිසා දරුවන් ඉන්න තාත්තා කෙනෙකුට නම් මේවා අවතක්සේරුවක් වෙන කටයුතු නම් නොවෙයි.

  • තාත්තා දරුවන් සමීප වීමෙන් ලැබෙන වාසි….

තාත්තා දරුවන් සමග සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි කීපයක් තිබෙනවා. දරුවන්ට මුල් කාලයේදී භාෂාව ඉගෙනීමේ දායකත්වය ලැබෙන්නේ තාත්තාගෙන්.ඒ වගේම පුද්ගලයන් අතර සන්නිවේදනයන් ගොඩ නගා ගැනීමේ හැකියාවත් දරුවාට ඉබේටම ලැබෙනවා. අපි කොටින්ම මෙහෙම කියමු. තාත්තා සමග හොදින් අදහස් හුවමාරු කර ගන්නා දරුවා ගේ තිබෙන ශක්තිය නිසා ඔවුන්ට මාමා, බාප්පා  වැනි චරිත සමග වුනත් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගන්න පුලුවනි. ඔබ මේ විදිහට අහලා ඇති..

අපේ පුතා තාත්තාට හරිම බයයි. එයාට උවමනා දෙයක් වුනත් මං හරහා තමයි කියන්නේ…තාත්තාගේ භුමිකාවේ මේ පැත්ත ගැන ඒ විදිහට ගාම්භීරව හිතුවත් එයින් දරුවාගේ පෞරෂයට නම් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

  • දරුවා තුළ පියා ගැන අභිමානයක් ගොඩ නැගෙන්නේ මේ විදිහටයි..

රෝස් ඩි පාර්ක්  විසින් ඇගේ ‘‘පීතෘත්වය“නැමැති කෘතියේ සඳහන් කරන්නේ දරුවා නිතරම පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවාගේ භුමිකාවේ ආදරශ ආකෘතිය බවට තාත්තා කියන චරිතය පත් වෙනවා. මේ නිසා සම්ප්‍රදායිකව හිතුවාට වඩා අලුත් මානයක් පියා වෙනුවෙන් ගොඩ නැගෙනවා.

  • තාත්තා දරුවන්ට සමීප නම් අධ්‍යාපනය දියුණු වෙනවා…

ජීවිතය ජයගත් බොහොම දෙනෙක් තමන්ගේ අතීත ආවර්ජනාවන්හිදී ඔවුන්ට අත හිත දුන් අය ගැන සඳහන් කරනවා. මේ චරිත අතරට අම්මා, තාත්තා, වගේම ගුරුවරුන් අයත් වෙනවා. ඒ වගේම යුනෙස්කෝ මගින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ දරුවන් සමග සම්බන්ධතාවයන් ඉතා සමීපව පවත්වා ගෙන යන, තමා  රැකබලාගන්නා සහතිකය දරුවන්ට ලැබී ඇති විට දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ලැබෙන බවයි. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට බොහොම හිතකර පරිසරයක් සකස් වෙන බවත් දැන් පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.

  • සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නේ කොහොමද…?

අලුත උපන් දරුවන්ට සරල ක්‍රියාකාරකම් මගින් යම් යම් දේ ඉගෙන ගන්න පුලුවනි. තාත්තාගේ තුරුලට දරුවා වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් සමහර තාත්තාලා දරුවාට මාස තුන හතරක් ගෙවෙන තෙක්ම වඩා ගන්නේ නැහැ. රැවුල ඇනෙයි…දරුවාට රිදෙයි…හදිසියේවත් රිදුනොත් වැනි අධි ආරක්ෂිත හේතු නිසා මේ තීරණ ගත්තත් දරුවා පියාගේ තුරුලට කැමැත්තක් දක්වනවා.

උපත ලැබීමෙන් පසුව මුල් මාස තුනේ දරුවාගේ ඇස් පෙනීම ඉතාම දියුනුයි.මේ කාලයේදී වර්ණ වස්තු, ඡායාරූප ආදිය පෙන්වීම , දරුවාට සිනාසෙන්නට හැකි අන්දමේ ක්‍රිඩා කිරීමෙන් තාත්තාට දරුවාට සම්බන්ධ වීමට පුලුවනි.

මාස හයක් පමණ ගෙවුනාම තාත්තාට  ආහාර ලබා දෙන වේලාවටත් සම්බන්ධ වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවාට පියාගේ ආදරය දැනෙන විදිහට තාත්තා හැසිරෙන්න ඒන. තාත්තාගේ ආදරය කොන්දේසි විරහිත බව දරවාට ඒත්තු යෑම ඉතාම වැදගත්.

UNICEF පත්‍රිකාවක් ඇසුරිනි

පන්තියේ ටීචර් නිසා මගේ දරුවා Bully වෙනවා… මේකට විසඳුමක් නැද්ද?

ගුරුවරු කියන්නේ දෙමාපියන්ගෙන් පසුව දරුවන්ගේ ජිවිතයට මග පෙන්නවන්නට හමුවෙන දෙවන මව්පියන් කිව්වොත් නිවැරදියි. බහුතරයක් ගුරුවරුන් දරුවන්ට ඉතා ලෙන්ගතුව මග පෙන්වීම් කළත් සුළුතරයක් ගුරුවරුන්ට දරුවන්ගේ අනාගතය ගොඩ නැංවීම ගැන විශේෂ අවශ්‍යතාවයක් හෝ මේ මගේ දරුවා වැනිම තවත් දරුවෙකු ලෙස සිතීමේ හැකියාවක් නැති තරම්. මගේ දියණියන් දෙදෙනාම පාසැල් වයසේ පසුවන නිසාම වසර ගණනක මුළුල්ලේ සිටම ගුරුවරුන් පිළිබඳව විවිධාකාරයේ අත්දැකීම් ලබා ඇත්තෙමි. කෙසේ වුවද සතුටට කරුණ වන්නේ ඔවුන් දෙදෙනාටම දරුවන්ට ආදරය දක්වන ගුරුමව්වරුන් මුණ ගැසීමයි. මේ ලඟදී දිනක, මගේ වැඩිමල් දියණිය ඇයගේ එක ගුරුවරියක් පිළිබඳව පැවසුවේ, ” අම්මා, තිලිනි ටීචර් නම් බුදුහාමුදුරුවෝ වගේ… එයාට තියෙන්නේ පුදුම ඉවසීමක්, කරුණාවක්” කියාය. වයස අවුරුදු එකොළහක් වන ඇයට තමන්ගේ ගුරුතුමිය ගැන ඒ ආකාරයෙන් පවසන්නට ඇය මොවුන්ට මවක් මෙන්ම වන්නට ඇතැයි මට සිතුණි. මේ මගේ කතාව වුවත් මෑතකදී මගේ යෙහෙලියකගේ දියණියකට අත්වූ ගැටලුව නම් මෙයින් හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඇයගේ දියණිය තුන වසරේ ඉගෙනුම ලබන අතරම ගුරුවරියගේ අනිසි හිරිහැර නිසා පීඩාවට පත්ව ඇති අතරම මගේ යෙහෙළියත් ඇයගේ සැමියාත් මේ වෙනුවෙන් කල හැකි කිසිවක් නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටී. දරුවාගේ මානසික තත්වය සමතයකට පත් කිරීම වෙනුවෙන් කල හැක්කේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් ඒ පිළිබඳව සුවිශේෂී දැනුමක් ඇති ළමා මනොවෛද්‍යවරයෙකු සමග සාකච්ජා කිරීමටත් මෙවැනි තත්ත්වවලට මුහුණ දෙන තවත් දෙමාපියන් වෙනුවෙන් මේ සහටන සකස් කිරීමටත් මම සිතුවෙමි. මේ වෙනුවෙන් මට සිය දැනුම සහ උපදෙස් නොමසුරුව ලබා දෙන්නට දහසක් රාජකාරි මැද වුවද සිය වෙලාව වෙන්කර දුන් කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාගම ශික්ෂණ රෝහල ළමා සහ යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය  මියුරු චන්ද්‍රදාස මහතාට හදපිරි ගෞරවය සහ ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

ඔව්… ඇත්තටම ගුරුවරුන් නිසාත් දරුවන් මේ ආකාරයට පීඩාවට ලක්වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ගුරුවරුන්ට බිය නිසා හෝ දරුවාට තියෙන පීඩා තව තවත් වැඩිවෙයි කියා සිතා හෝ මෙවැනි තත්ත්වයකදී නිහඬව සිටීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙවැනි තත්ත්වවලදී දෙමාපියන් බොහෝසෙයින් අසරණ තත්ත්වයට පත්වෙනවා. ගුරුවරයා සමග කෙලින් මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පන්ති කාමරය තුල දරුවා තවත් අසරණ විය හැකි තත්වයක් නිසාම වක්‍රාකාරව මේ සම්බන්ධයෙන් කතා කිරීම ඔබට කල හැකියි. මෙවැනි හේතු මත දරුවන් පාසලෙන් ඉවත් කරගැනීමට පවා කටයුතු කරන දෙමාපියන් සිටිනවා. මෙතැනදී ඇති වන  ගැටළුවක් වන්නේ ගුරුවරයා යනු ශිෂ්‍යයෙකුට පරමාදර්ශී චරිතයක් බව ගුරුවරයා තුල අවබෝධයක් නොමැති වීමයි. ඔවුන්ගේ එක් ප්‍රතිචාරයක් දරුවෙකුගේ  අනාගතයට, ආත්ම අභිමානයට, ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට මෙන්ම පෞරුෂත්ව වර්ධනයට කෙතරම් බලපෑම් කරනවාද යන්න ඔවුන් දන්නේ නැහැ. මෙවැනි හේතු මත දරුවෙකුට ඇති වන මානසික බලපෑම නිසා විෂාදය වැනි තත්ත්වවලට පවා පත් විය හැකිය. දරුවා බියට පත්වීම, නින්ද නොයෑම, කලකිරුණු ස්වභාවය, ඉගෙනීම අත්හැරීම වැනි තත්ත්ව මෙන්ම තමා මුහුණ දෙන පීඩාකාරී තත්ත්ව විටින් විට සිහියට නැගෙන ආකාරයේ පසුකම්පන තත්ත්වවලට වුවද දරුවෙකු පත් විය හැකියි. ගුරුවරු කියන්නේ දරුවෙකුගේ මානසික සංවර්ධනයට විශාල බලපෑමක් කරන චරිතයක්. දරුවන්ගේ පරමාදර්ශී චරිත වන ගුරුවරු වැනි අයගෙන් හිරිහැර වෙන දරුවෙකුගේ ස්වාභිමානය ගොඩනැගෙද්දි විශාල පසුබෑමකට ලක්විය හැකියි.

මෙවැනි තත්වයකදී දෙමාපියන් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙන එක සාධාරණයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ දරුවාට ඇති වන මානසික බලපෑම හොඳින් මුදාහරින්න නිවසේදී දරුවාට අවස්ථාව ලබා දීමයි. දරුවාට සවන් දීම මෙතැනදී  බොහොම වැදගත් වෙනවා. නිවසේදී කිසිදු මානසික බලපෑමක් දරුවාට අත්විඳීමට සිදුනොවිය යුතු අතරම ඔබ දරුවාට ඇහුම්කන් දීම මගින් දරුවාට යම්තාක් දුරකට සහනයක් ලැබෙනවා.

මෙවැනි තත්ත්ව වලදී ඇතැම් දෙමාපියන් පාසලට ගොස් ගුරුවරයාට බැන වැදී ඉතා නොසන්සුන් ලෙස ආවේගශීලි ලෙස හැසිරෙන අවස්ථා තිබුනත් ඒක මේ ගැටලුවට හොඳ විසදුමක් නම් වෙන්නේ නැහැ. එයින් ඔබේ දරුවා තවදුරටත් පීඩාවට ලක්විය හැකියි.

මෙතැනදී ගුරුවරුන්ගේ තවත් සිතුවිල්ලක් වන්නේ, දිනපතා කටයුතුවලදී දරුවන්ට ලබාදෙන අවවාද, විධාන ඔවුන් ගන්නට නොගන්නා බවයි. එත් සමගම දරුවෙකු පීඩාවට පත්වන ආකාරයට හැසිරීම දරුවෙකුට බලපෑමක් ඇති කරවන බවක් ඇතැම් ගුරුවරු නොදන්නවා විය හැකියි. නමුත් සංවේදී දරුවෙකුට මේ අත්දැකීම නිසා තම ජිවිත කාලයටම බලපෑම් ඇති විය හැකියි/ උදාහරණය විදියට මෙවැනි පදිවකට ලක්වුණු දරුවෙක් සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වීමට පවා බිය විය හැකියි. එසේම රැකියාවක නියුතු වන විටත් ඉතාම බයාදු පෞරුෂත්වයක් සමගින් වින්දිතයාගේ චරිතය නිරුපණය කරන අතරම සමාජය එවැනි පුද්ගලයන්ගෙන් වාසි සහගත දේ ලබා ගැනීමට දෙවරක් සිතන්නේ නැත. මෙවැනි දරුවෙකුට වින්දිතයාගේ චරිතයෙන් මිදීම අතිෂය දුෂ්කර කටයුත්තක් වෙනවා.

මෙතැනදී දෙමාපියන් බොහොම සුක්ෂම විය යුතුයි. දරුවට එල්ල විය හැකි මානසික බලපෑම අවම වන ආකාරයට ක්‍රියාත්මක විය යුතුයි. ගුරුවරිය සමග වක්‍රාකාරව හෝ කතා බහ කොට ගැටලුව නිරාකරණය කර ගැනීමට සැලසුම් සහගත විය යුතුයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?

දරුවන් සම්බන්ධව මගේ අත්දැකීම් ගැන කියනවනම් ඒවා මගේම පුංචි දුවගෙනුත්, මගෙන් ප්‍රතිකාර ගන්න එන සාමාන්‍ය පවුල්වල ළමයින්ගෙනුත් , ළමා රක්ෂක සංවිධානය විසින් දෙමාපියන්ගෙන් වෙන් කරපු ළමයින්ගෙනුත්, නොයෙක් මානසික සහ කායික ලෙඩ තියෙන ළමයින්ගෙනුත් වගේම හිරේ ඉදගෙන හිරබත්කන ළමයින්ගෙනුත් ලබාගත්ත ඒවා වෙනවා.

අපි පොඩ්ඩකට ළමා ලෝකෙට යමුද?

මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව් හෝ වෙනත් ඕනම ළදරු සතෙක් උපන් දවසේ සිටම සතුන් දඩයම් කර ගෙන තමන්ව අරක්ෂාකර ගන්නවා. පරිණාමයේ ඉදිරියෙන්ම ඉන්න මනුෂ්‍ය දරුවා අවුරුදු 25 – 28 වනතුරුම ඉන්නේ යම්තාක් අනාරක්ෂිත තත්වයක.(vulnerable)

මනුෂ්‍ය දරුවා ස්වරැකවරණය සලසා ගත නොහැකි ජීවියෙක් වුයේ කෙසේද?

අනිත් සතුන් පසුකරමින් ලෝකයේ ඉදිරියෙන්ම අපේ තැන පවත්වා ගන්න නම් මනුෂ්‍ය දරුවා ශිෂ්ඨාචාරයෙන් සහ බුද්ධියෙන් ඉදිරියෙන්ම සිටිය යුතු අතරම ඒ සඳහා මනුෂ්‍ය දරුවාගේ මනස තමන්ගේ පරිසරයෙන් ඒ කියන්නේ වටපිටාව සහ තමා වටා වෙසෙන අනෙක් පුද්ගලයන්ගෙන් (වැඩිහිටියන්ගෙන්) ලැබෙන අත්දැකීම්  සමග වර්ධනය විය යුතුයි. මේ අතරින් දෙමාපියන්ගෙන් ඉටුවන මෙහෙය ඉතා වටිනා අතරම දරුවෙකුගේ මොළයට කල්පනාකාරී ලෙස තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වන තුරු ඔවුන් දරුවන්ව රැකගන්නවා.

වැඩිහිටියෙක් ලෙස ලොවට අවතීර්ණ වීම සඳහා අපේ මොළයේ වම් පැත්ත බුද්ධියෙන් ඉදිරියට යද්දී දකුණු පැත්ත පෞරුෂ වර්ධනය, හැඟීම් සහ ආවේග පාලනය කරමින් වර්ධනය විය යුතුයි. අපේ සමාජය බොහෝ විට අගයන්නේ දරුවෙකුගේ බුද්ධියයි. අපේ පාසල්වල තරග විභාග මගින් වුවත් සැමවිටම ප්‍රමුඛත්වය දෙන්නෙත් ගණිත හැකියාව, අකුරු ලිවීමේ හැකියාවට. නමුත් මෙතැනදී දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස සිදුවිය යුතු වර්ධනය මගහැරෙනවා.

දරුවෙකුගේ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපේ මොළයේ දකුණු පස වර්ධනය වෙන්නේ කෙසේද?

මෙහි වර්ධනය සිදුවන්නේ දෙමාපියන් හෝ දරුවා රැකබලාගන්නා වෙනත් වැඩිහිටියෙක් සමග දරුවන් ගොඩ නගා ගන්න සම්බන්දකම් මතයි. මෙන්න මේ

ආකාරයට දරුවන් දෙමාපියෝ සමග ඇතිකර ගන්නා  බැඳීම attachment  කියලා  පුළුවන්. මේ බැඳීමට දරුවා විතරක් නෙමේ, දෙමාපියොත් එක වගේම දායක විය යුතුයි. වැඩිහිටියෙක්ගෙන් ලැබෙන ආදරය, දයානුකම්පාව, නිවුණු සැනසුණු බව (calm), දරුවා ට දරුවෙක් ලෙස දක්වන පිළිගැනීම, කොන්දේසි විරහිත ගෞරවය (unconditional positive regard) යන කරුණු දරුවෙක්ට දෙමාපියන් සමග ආරක්‍ෂිත බැදීමක්(secure attachment) ඇතිකරගන්න බොහෝසෙයින් වැදගත් වේ. මෙලෙස ආරක්‍ෂිත බැදීමක් ඇතිකරගන්නා දරුවා ආත්ම විශ්වාසයෙන්, තමන්ට දක්වන ආදරයෙන් ගරුකිරීමෙන් වගේම අන්‍යයන්ටත් අනුකම්පාව, දයාව, ගෞරවය ලබාදෙමින් ජිවිතයේ ඉදිරියට ගමන් කරයි. එවැනි දරුවන් තම ආවේග මනාව පාලනය කරගන්නා අතරම දරුවන් ක්‍රමක්‍රමයෙන් වැඩිහිටි වයස කරා යනවිට ඉතා හොඳ මානසික සෞඛ්‍යයක් සහිත පුද්ගලයන් බවට පත් වේ. එසේම මත්ද්‍රව්‍ය, මත්පැන්, සියදිවි නසාගැනීම්, තමාටම හානි සිදුකරගැනීම් වැනි දේ වෙත මෙම තත්වයේ දරුවන් පෙළඹෙන්නේ අවම වශයෙනි. තවද මේ ආකාරයෙන් මනස ගොඩ නැගෙන දරුවෙකු අනාගතයේදී තම ජිවන සහකරු හෝ සහකාරිය සමග වුවද ගැටුම් ඇති කරගැනීම අවම වන අතරම ඔවුන් ඔවුන්ගේ දරුවන්ට යහපත් දෙමාපියන්ද වනු ඇත.

දරුවෙකුගේ මනසේ නිසි වර්ධනයට දෙමාපියන්ට පැවරෙන වගිකීම කොයි ආකාරද?

දරුවාගේ මනස සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබ දෙමාපියන් ලෙස සර්වසම්පූර්ණ වියයුතු නැති අතරම දෙමාපියන්ට දරුවන් සම්බන්ධයෙන් පැවරෙන වගකීම වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ බැරෑරුම් වගකීමකි. සමීක්ෂණ අනුව පවසන්නේ දරුවන්ට 30% ක හොඳ දෙමාපිය/රැකබලාගන්නාගේ රැකවරණයක් හිමිවීම දරුවෙකු සමග ආරක්‍ෂිත බැඳීමක් (secure attachment) ඇති කර ගැනීමට රමාණවත් බවයි. දරුවන් සමග නිසි ලෙස බැඳීම් සංවර්ධනය නොවුනහොත් Attachment Disorder තත්ත්වය ඇති විය හැකි අතරම ඒ හරහා අප පෙර සඳහන් කළ මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වීම, සියදිවි නසා ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට (Self-destructive) මෙන්ම  කායික රෝග තත්ත්ව වලටද හේතු විය හැකියි.

දෙමාපියන් දරුවන් සමග ආරක්‍ෂිත බැඳීමට (Secure attachment) වැඩිහිටි අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

කේන්තියෙන් කෑගහන පුංචි දරුවෙක් දිහා බලලා බොහෝ විට අපි හිතන්නේ මේ දරුවා මේ විදිහට හැසිරෙන එක කොපමණ වැරදිද කියලයි. මෙහෙම හිතන අම්මා කෙනෙක් සමහරවිට දරුවට කායිකව හෝ මානසිකව දඩුවම් කරන්නත් ඉඩ තියෙනවා. දරුවාගේ වයසට අනුකූලව සිදුවිය යුතු මානසික වර්ධනය ගැන අවබෝධයක් නැති කමින් අපේ අතින් බොහෝ විට දරුවා සමග ඇති කර ගත යුතු බැඳීමට බාධා (attachment  disruptions) ඇති විය හැකියි. එය ගෙදර මවගෙන් පමණක් නොව මෙවැනි දරුවන් සහ මව්වරුන් දෙස බලා  වෙන්න පුලුවන්. දැරුවන්ගේ අම්මල විතරක් නෙමෙයි දරුවා සහ අම්මල දෙස බලා හිතෙන හිතෙන විනිශ්චයන් ලබාදෙන සමාජයත් මෙතැනදී දරුවන්ට ඇති විය හැකි attachment disruptions තත්ත්වයට හේතු විය හැකියි. ඊට අමතරව දෙමාපියන් අතර ඇති වන රණ්ඩු සරුවල් (domestic violence), මත්ද්‍රව්‍ය, මානසික රෝගී තත්ත්වත් මේ තත්ත්වයට බලපානවා. ඒ වගේම දෙමාපියන් ඔවුන්ගේ දෙමාපියන් සමග බැඳුණු ආකාරයත් තමන්ගේ දරුවන් සමග බැඳීම් ඇතිකර ගැනීමේදී වැදගත් වෙනවා. දරුවන්ගේ මානසික අවශ්‍යතා දෙමාපියන්ට අවබෝධ කර ගන්න බැරිවීම නිසා දරුවෝ තමන්ගේ හිතේ ඇති පීඩනය දෙමාපිය/වැඩිහිටියෝ අනුමත නොකරන ක්‍රියාවලින් පිට කිරීමට උත්සාහ කරනවා.

සාමාන්‍ය  දරුවෙකුගේ මානසික වර්ධනය සිදුවන පියවර .

උපතේ සිට අවුරුදු දෙක දක්වා

මෙම සංවර්ධනයේ ආරම්භක අවධියේදී, දරුවන් තම සහජ කුසලතා සහ හැකියාවන් (බැලීම, උරා ගැනීම, ග්‍රහණය කර ගැනීම සහ සවන්දීම වැනි) පරිසරය පිළිබඳ වැඩිදුර උගනි. වෙනත් වචනවලින් කිව්වොත්, ඔවුන් ලෝකය අත්විඳින්න ඔවුන්ගේ සංවේදීතාවන් සහ චලනයන් තුළින් දැනුම ලබා ගනී. දරුවන් ඔවුන්ගේ පරිසරය සමග අන්තර්ක්‍රියා කරන විට, එයට සාපේක්ෂව කෙටි කාලයක් තුළ මොළයේ විශාල වර්ධනයක් කරා ගමන් කරයි.

උපතේ සිට මාස 12 දක්වා ළදරුවන් වැඩිහිටියන් විශ්වාස කළ හැකි බව ඉගෙනගන්නනා අතරම එය සිදුවන්නේ වැඩිහිටියන් දරුවෙකුගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතා සපුරාලන විටය. ළදරුවන්ගේ ජීවීතය සම්පූර්ණයෙන්ම ඔවුන්ව රැකබලා ගන්නන් මත රඳා පවතී. එබැවින් ළදරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන සහ සංවේදීව රැකබලා ගන්නන් තම දරුවාට විශ්වාසනීය හැඟීමක් වර්ධනය කර ගැනීමට උපකාරී වේ. ඔවුන්ගේ දරුවා ලෝකය ආරක්ෂිත ස්ථානයක් ලෙස දකින්නට පටන් ගනී. තම දරුවාගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති ප්‍රතිචාර නොදක්වන දෙමාපියන්ට දරුවන් තුළ දැකිය හැක්කේ කාංසාව, බිය සහ අවිශ්වාසය වැනි හැඟීම්ඇය. ඔවුන්ගේ දරුවන්ට ලෝකය අනාරක්ෂිත තැනක් ලෙස දිස් විය හැකියි. එය දරුවන් තුළ දරුණු ලෙස . එතකොට දරුණු කාංසාව (anxiety) හා සම්බන්ධ රෝග ඇති කල හැකියි. ළදරුවන්ට කුරිරු ලෙස සැලකුවොත් හෝ ඔවුන්ගේ අවශ්‍යතා නිසි ලෙස සැපිරුවේ නැත්තම්, ඔවුන් ලෝකයේ මිනිසුන් කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට පමණක් හුරු වන ඇත.

වයස අවුරුදු 2 සිට අවුරුදු  7දක්වා

මෙම අවධියේ දරුවන්ට තවමත් තාර්කික අවබෝධයක් නොමැති බවත්, මානසිකව තොරතුරු හැසිරවිය නොහැකි බවත්, අනෙක් පුද්ගලයින්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමට අපොහොසත් බවත් වැඩිහිටි ඔබ අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. ඒ නිසා මේ වයස් සීමාවේ ළමයින් Egocentric සහ narcissist වශයෙන්  සමහරු දකිනවා.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් තම ලෝකය ගවේෂණය කිරීමට පටන් ගන්නා විට, ක්‍රියාවන් පාලනය කිරීමට තමන්ගේ පරිසරය හසුරුවන්න ඉගෙන ගන්නවා. ආහාර, සෙල්ලම් බඩු සහ ඇඳුම් පැළඳුම් වැනි පරිසරයේ ඇතැම් අංග සඳහා ඔවුන් පැහැදිලි රුචිකත්වයක් පෙන්වන මෙම කාලය බොහෝ අය “terrible two” ලෙස හඳුන්වනවා.

නිදසුනක් වශයෙන්, අවුරුදු 2 ක් වයසැති දරුවෙක්‌  තෝරාගෙන ඇඳුම් ඇඳීමට කැමත්තක් පලකරනවා. ළමයා තෝරන ඇඳුම් ආයිත්තම් නුසුදුසු වුනත්, එවැනි මූලික තීරණවලට දරුවා ඇතුළත් කිරීම දරුවාගේ ස්වාධීනත්වය වර්නධය කිරීමට බලපායි. දරුවන්ට මේ අවස්ථා අහිමි වුවහොත්, තමන්ගේ හැකියාවන් සැක කළ හැකි අතර, එමඟින් ආත්ම අභිමානයට, පෞරුෂ වර්ධනයට  හානි විය හැකියි. ඉතින් කොච්චරවත් අවුරුදු දෙකක පොඩි දරුවෙක් “no,no,no,no” කිව්වා කියල බිය විය යුතු නැහැ. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක් වන තරම ඔබ කල යුත්තේ එය වෙනස් කිරීමට උත්සාහ නොකිරීමයි.

අවුරුදු 7 සිට 11 දක්වා

මෙම වයසේ දරුවන් විශේෂිත දේවල් පිළිබඳව වඩාත් තාර්කිකව සිතන්නට පෙළඹුනත් ඔවුන්ට තවමත් ව්‍යුක්ත අදහස් ( abstract thinking) නිසි ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැහැ. මුලපිරීම, අභිලාසය සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති වන්නේ දෙමව්පියන් විසින් දරුවෙකුට සීමාවන් තුළ ගවේෂණය කිරීමට ඉඩදී දරුවාගේ තේරීමට සහාය වන විටයි. එවිට දරුවන්ගේ ආත්ම විශ්වාසය හොදින් වර්ධනය වේ. මේ වයසේදි දෙමාපියන් දරුවන්ව අධික ලෙස පාලනය කිරීම දරුවන්ගේ මානසික වර්නධයට හානිකරයි.

අවුරුදු 12 සිට ඉහළට

දරුවන්ට ව්‍යුක්ත හා න්‍යායාත්මක සංකල්ප ගැන සිතිය හැකි අතර ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා තර්කනය භාවිත කළ හැකිය. තාර්කික චින්තනය, අඩු කිරීමේ තර්කනය සහ ක්‍රමානුකූල සැලසුම් කිරීම වැනි කුසලතා ද මෙම අදියරේදී මතුවෙයි.

මෙන්න මේ ආකාරයට දරුවන්ගේ මොළය වර්ධනය පියවරවලින් පෙන්වුයේ දරුවන්ට වැඩිහිටියන් මෙන් එක රැයින් තම අවේග සහ ක්‍රියාකාරකම් පාලනය කරගත නොහැකි බව අවබෝධ කරවීමටයි. සමහර වැඩිහිටියෝ බුද්ධියෙන් ඉදිරියට ගිහින් සමාජයේ ඉහළම රැකියාවල නිරත වුනත් අවුරුදු 7 – 11 දරුවන් මෙන් හැසිරෙන අවස්ථා ඔබ දැක ඇති. ඒ වයසින් මුහුකුරා ගියත් ඔවුන් වයස අවුරුදු 7-11 අතර වන මානසික සංවර්ධන පියවරේ (emotional development stage) අදටත් හිර වී සිටින නිසයි. එය සංවර්ධනය සිර කිරීම (development arrest) විදියට හඳුන්වන්න පුළුවන්. එයට හේතුව දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම/වටහා නොගැනීම කියන හේතු නිසයි. කුඩා වියේ එවැනි අවශ්‍යතා සපුරාගත නොහැකි වූ දරුවන් වැඩිහිටි වූ පසුවද . ඒ අවශ්‍යතා පොඩි කාලේ නොපිරීමෙන් ඒවා වයසින් මුහුකුරා යත්ම නුසුදුසු අවශ්‍යතා (unmet needs) බවට පත්වෙනවා. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙන්නේ එවැනි පුද්ගලයන්ගේ ජිවන සහකරු.සහකාරියන් සහ දරුවන්.

දඟ, අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කරන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් වගේම හැම දරුවෙක්ටම පවුල තුළත් සමාජය තුළත් ඔවුන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරා ගන්නට වගකීම් සහගත වැඩිහිටියන් ලෙස අපි සහය වෙමු.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

විද්‍යුත් උපාංග නිසා දරුවා හුදෙකලා වෙනවාද?

ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විශේෂඥ සංගමය දැඩි විදිහට කියා සිටින්නේ මාස 18 ට වඩා අඩු දරුවන්ට වුනත් ජංගම දුරකථන, රූපවාහිනිය වැනි විවිධ විද්්‍යුත් උපාංගයන්ට නිරාවරණය වීමට නම් අවස්ථාව නොදෙන්න යන පණිවිඩයයි. මේ කාලයේදී නම් කෙසේ හෝ මට්ටු කර ගැනීමට ලැබුනත් ටිකක් දැනුම් තේරුම් ඇති වෙන විට නම් දෙමව්පියන්ගෙන් මිදිලා..එහෙම නැත්නම් කන්නලව් කරලා හෝ මේ විද්යුත් මෙවලම් සමග එකතු වීම වලක්වන්න බැහැ.

එහෙම වුනොත් අපි මොකද කරන්නේ…

වෛද්‍ය විහේෂඥ සංගමය ප්‍රකාශ කරන විදිහට දරුවන් කිසිම විදිහකින් මේ උපාංග සමග හුදෙකලා කරන්න එපා. නිවසේ රූපවාහිනියක් එහෙම නැත්නම් ජංගම දුරකථනයක් තිබෙනවා නම් දරුවා ඒ සමග සම්බන්ධ වීම අපට වලක්වා ගන්න බැහැ. ඒ නිසා දෙමව්පියන්ද දරුවා සමග අන්තර් සහයෝගයෙන් මේ උපාංග පරිහරණය කරනවා නම් අගෙයි යන සංකල්පය ඔවුන් ඉදිරිපත් කරනවා.

ඒත් අපිට තියෙන වැඩ රාජකාරි සමග කොහොමද…?

ඒක ඇත්ත. උදේ හතරට පමණ අවදි වෙලා දවස පටන් ගෙන හැන්දෑවේ නිවසට ආ තැන පටන් රාත්‍රි ආහාර පිලියෙල කරන්න…උදේ ඉතිරි කරල ගිය දේවල් කරන්න..දහසකුත් එකක් ප්‍රශ්න මැද දරුවා සමග රූපවාහිනියට එහෙම නැත්නම් ජංගම දුරකථනය සමග ගණුදෙණු කරන්න පුලුවනෑ…

අපි උයන පිහින කම් මොකද ටිකක් බැලුවත්…

ඔව් ඔබටත් නිදහසේ ඉවුම් පිහුම් කරන්න පුලුවන්. නැත්නම් ඉතිං ළගින් ගියත් ඇහැක් නැතුවා වගෙයිනේ…ඒ වුනාට මේ විදිහට දරුවන්ට තිරය සමග හුදෙකලා වීමට ඉඩ දෙන්න එපාය යන සංකල්පය වෛද්‍යවරුන්් විසින් ඉදිරිපත් කරන්නේ නිකම්ම නොවෙයි. ඔවුන් සදහන් කරන අන්දමට දරුවා අපේ මුහුණ දිහා බලාගෙන හිටියාම අපිටත් දරුවා ගැන සෙනෙහසක් ඇති වෙනවා.ඒ නිසා අපි නොදැනීම දරුවාට ප්‍රතිචාර දක්වනවා. එය දරුවාට විශාල ආඩම්බරයක්. මොකද කිව්වොත් ඔහු වෙනුවෙන් දෙමව්පියන් සිටින බව දන්නවා.

නමුත් විද්‍යුත් උපාංගවලින් සිදු වෙන්නේ ඒක පාර්ශවික ගණුදෙනුවක්. දරුවා මොන තරම් වේලාවක් තිරය දිහා බලා ගෙන හිටියත් ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට කෙනෙක් නැහැ. ඒ නිසා දරුවා ගොඩ නගා ගන්නේත් ඒක පාර්ශවික සම්බන්ධතාවයක් මිසක පවුල කියන සංකල්පයෙන් නොදැනීම දුරස් වීමට පුලුවනි.

දරුවාට කිසිම ගැටලුවක් නැහැ..

රූපවාහිනිය එහෙම නැත්නම් ජංගම දුරකථනය දරුවා වෙනුවෙන් හැම මොහොතකම සූදානමින් සිටිනවා. බොත්තම එබූ තැන පටන් ලැබෙන දේ බොහොමයි. නමුත් සමාන්‍ය ජීවිතයේදී මේ සැහැල්ලුව නැහැ. ඒ හින්දා දරුවාට බොහොම කේන්ති යන්න පුලුවනි. ඉවසීම ඇත්තේම නැති වෙන්නත් පුලුවනි.

මේ විදිහට ගියොත්

දරුවා පවුලෙන් මිදී ඔවුන්ගේ ලෝකයම මේ උපාංග බවට පත් කර ගත් තැනදී නොදැනීම ඔවුන් මේ උපාංගයන්හි ගොදුරක් බවට පත් වෙනවා. ටිකක් දවස් ගෙවෙී දරුවා යම් වයසකට ආ පසුව මේ උපාංග සමග කාමරයේ හුදෙකලා වෙන්න පටන් ගන්නවා. කන්න බොන්න වුනත් උවමනාවක් නැහැ. ගමනක් යන්න කතා කලාට එන්නෙත් නැහැ. නොගොහින් බැරි නිසා පාසල් ගියත් හැමදාම විවිධ හේතු කාරණාවන් ඉදිරිපත් කරමින් නිවසේ රැදී ඉන්නමයි හිත.

කනවා…සැතපිලා මේ උපාංග ගනුදෙණුව පටන් ගන්නවා. කිසිම ව්‍යායාමයක් නැහැ.බොහොම උදාසීන සහ අලස චරිතයක් බවට පත් වෙනවා. එක තැනම සිටිමේ විපාකයට දරුවා අනවශ්‍ය විදිහට තරබාරු වෙනවා. මේ නිසා වයස අවුරුදු අදහ දොළහ වෙද්දීම දෙවන වර්ගයේ දියවැඩියා තත්වයේ ගොදුරක් වීම වලක්වන්නත් බැහැ.

දැන ගැනීමත් අවදානමක්…

සාමාන්‍යයෙන් දරුවන් තාක්ෂණය සමග ගොඩ නගා ගෙන තිබෙන ගනුදෙනුව ඉතාම යහපත්.ඒ නිසාම සමාජජාල සම්බන්ධතාවයනුත් ඉහලයි. මේවායේ කාලය ගෙවමින් සෙල්ෆි හෙවත් තමන්ගේ ඡායාරූප මුදා හරිනවා. මේ තත්වයත් එක්තරා ආකාරයක ‘‘ ස්වයං රූප කාමයක්““ විදිහට හැදින්වෙනවා. මේ නිසා ඉතාම අපචාරයන්ට පත් වුන වගේම තවත් අයගේ බියවැද්දීම් නිසා අසරණ වුන දරුවනුත් සිටිනවා. මේ සියල්ලටම මුල දරුවන්ට යා යුතු මග නොමග පැහැදිලිව කියා දී නැති කමයි.

ඇබ්බැහිය මතට විතරක් නොවේ…

ඇබ්බැහියක් කිව්වාම අපි හිතන්නේ මතට විතරයි කියලා. ඒ නිසා මතට තිත තිබ්බාම ප්‍රශ්න හමාරයි කියල අපිට හිතන්න බැහැ. මොනම දෙයක වුනත් සීමාවක් නැතුව ඒ හුරුව අත්හැර ගැනීමට අපහසු නම් එතැන තිබෙන්නේ ඇබ්බැහි වීමක්. ඒ විදිහට බැලුවොත් අපේ දරුවන් දැන් විද්යුත් උපාංගයන්හි ගොදුරක් වී අවසානයි.

ඔබත් දරුවාගේ හැසිරීම් රටා නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වනවාද?

”මගේ බබා හරිම දගයි. කෑගහනවා. අම්මට තාත්තලට වුනත් ගහනවා. කියනදේ අහන්නැනෙම නැහැ. සමහර වෙලාවට අපි දෙන්නත් මේවට රණ්ඩු  වෙනවා.  කොහේ හරි ගියත් වැඩිහිටි අය මගෙන් අහනවා මෙහෙමද ඔයා දරුවා හදන්නේ කියලා. අනිත් ළමයි  හොඳට ඉන්නවා. මෙච්චර දේවල් කරද්දීත් ඇයි මගේ දරුවා වගේ”. මේ අපේ අම්මලා බොහොම දෙනෙකුට ඇති වුනු ප්‍රශ්නයක් නිසාම මේ ගැන සාකච්ජා කිරීම වැදගත් කියලා හිතුණා.

අපි දෙමාපියන් විදිහට දරුවන්ට ලෝකය ගවේෂණය කරන්නට ඉඩ දිය යුතුයි. එසේ ඉඩ දෙන අතරේම අපි අපේ දරුවන් ආරක්ෂා කළ යුතුයි. මොකද දරුවන්ට වයස අවුරුදු  25 – 28 වනතුරු තනිව රැකෙන්න අපහසුයි. මිනිස්සුන්ගේ සුවිශේෂී හැකියාවන් (Executive Functions) විනිශ්චය කිරීමේ හැකියාව, තීරණ ගැනීම, සමාජයට අනුකූලව හැසිරීම, ආවේග පාලනය, අවදානම් සහගත දේවල්වලින් මිදීමේ හැකියාව, ලැබෙන්නේ දරුවන්ගේ මොළයේ ඉදිරි කොටස (Frontal lobe) වර්ධනය සම්පූර්ණ වීමත් සමගයි. Frontal lobe වර්ධනය හමාර වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 – 28 දීයි. මෙය ඇතම් දරුවන්ගේ කල්තියා සිදුවන අතර ඇතැම් දරුවන්ගේ ප්‍රමාද වී සිදුවේ.

මින් පෙර ලිපියේ මොළයේ වම පස බුද්ධියද දකුණු පසින් චිත්තාවේග ඇතිකරන බව සඳහන් කළා ඔබට මතක ඇති. මේ වම හා දකුණු පස යා කරන කොටස Corpus Callosum (CC) ලෙස හැඳින්වෙනවා. මව්කුස තුළ වැඩෙන සමයේ 12 සතියේදී පමණ එය වර්ධනය වීම ඇරඹෙනවා. මෙය වම දකුණ යාකරමින් තව දුරටත් වර්ධනය වෙන්නේ මෙලොවට බිහිවන දරුවා තම පරිසරයෙන් ලබන අත්දැකීම් සමගයි. සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත්තේ ළමා වියේ කටුක අත්දැකීම්වලට මුහුණ දුන් දරුවන්ගේ CC වර්ධනය පමා වන බවයි.

උදාහරණයක් විදියට වයස අවුරුදු 2 – 3 දරුවෙක්ගේ මේ කාලය තුළ මොළයේ වර්ධනය සිදුවෙන්නේ විශ්වය නිර්මාණය වෙනවා වගේ. මිලියන ගන්නින්  මොළයේ ස්නායු ඉපදෙනේවා, අවශ්‍ය නැතැයි කියලා මොළයෙන් වටහා ගන්නා ස්නායු මියැදෙනවා. අවශ්‍ය ස්නායු තව දුරටත් වර්ධනය වෙනවා. මේ සඳහා මොළයට මේ හැකියාව ලැබෙන්නේ දරුවාට තම දෙමාපියන්ගෙන් වගේම අවට පරිසරයෙන් ලැබෙන උත්තේජනයන් මගින්.  මෙය Pruning ලෙස හඳුන්වනවා. මේ pruning අවුරුදු 25 – 28 වෙනතුරුම ඒ කියන්නේ මොළය සම්පුර්ණයෙන්ම වර්ධනය වෙනතුරුම සිදු වෙනවා. මේ ක්‍රියාවලිය මගින් අපේ මොළයේ නිර්මාණය පවත්වාගෙන ගියත් ඉන් පසු ඒ හැකියාව යම්තාක් දුරට බාල වෙනවා. වයස් ගතවීමත් එක්ක මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරන්න දරුවෙක්ගේ චර්යාවන් වෙනස් කරනවට වඩා මහන්සියක් දරන්න ඕන කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසයි.

වයස අවුරුදු දෙකේ සීමාවේ දරුවන් ලෝකය දකින්නේ අත්හදා බැලිය හැකි තැනක් ලෙසටයි. උපතේ සිට අවුරුදු දෙක පමණ වන තෙක් දරුවෙකුගේ මුළු ලෝකයම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය මතයි. තමන්ට ඇවිදින්නයි, කතා කරන්නයි පුළුවන් වෙනකොටම මේ පැටවු චන්ඩි වගේ ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න වැයම් කරනවා. උදාහරණයක් විදියට සුපිරි වෙළඳ සලකදී මේ වයසේ දරුවෙක් කෑගහලා, පෙරලිකරනවා දැක්කම ඒ දරුවාව අපි දකින්නේ අම්මලාට ලැජ්ජා කරන පොඩි ත්‍රස්තවාදියෙක් විදියට නේද? ඔන්න ඔතනදි තමයි සමාජයෙන් අම්මට ” අනේ මෙහමත් අම්මල ඉන්නවනේ, ළමයි හදන හැටි” කියන චෝදනාව එන්නේ.

දරුවන්ගේ මේ හැසිරීම් රටා අසාමාන්‍යද?

නෑ… හරිම සාමාන්‍යයි. දරුවෙක් ඒ වගේ ලොකු පෙරලියක් කරනකොට වැඩිහිටි අපි නොදැනුවත්වම අපේ ළමාවියේදී, අපේ දෙමාපියන් මේවගේ වෙලාවට කියපු සහ කරපු දේවල් මනසට එනවා. මේ තත්ත්වය procedural නොහොත් implicit memory කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි සපත්තුවක ලේස් එක ගැට ගහන්ත්, බයිසිකලය පදින්න පියවරින් පියවරට හිතන්නේ නැහැ. පුංචි කාලේ ඉගෙන ගත්තට පස්සේ ඒ දේ ඉබේම සිදු වෙනවා. මෙන්න මේ දේම අපි දෙමාපියන් විදියට හැසිරෙද්දීත් අපේ දෙමාපියන් අපිව හදපු ආකාරයටම නොදැනුවත්වම අපි අපේ දරුවන් වෙනුවෙනුත් ක්‍රියා කරනවා. මෙන්න මේ හේතුව නිසා දරුවන්ගේ ඉතාම අහිංසක ආසාවන් අපේ මොලය තුළ දරුණු දෙයක් විදියට හඳුනා ගැනීම තුළින් දරුවාගේ අහිංසක අවශ්‍යතා වටහා ගැනීමට දෙමාපියන් ලෙස අපි අසමත් වෙනවා. මේ ගැන බොහොම පැහැදිලි ලෙස ” Circle of security parenting” හි පැහැදිලි කරනවා.

මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත් පසුව අපේ මොළයේ පෙර තිබූ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහවෙනවා. ඉන් පසුව ඇහෙන්නේ පෙන්නේන්නේ තමන්ගේ දරුවා, දරුවන්ගේ හඩ පමණයි. තමන්ගේ ළමාවියෙන්වත්, සමාජයේ ලැබෙන තීරණ මතවත් මේ තත්ත්වයේදී අපේ මනසට බලපෑම් කළ. නොහැකියි.

දරුවෙක්ගේ මෙවැනි හැසිරීම් රටාවකදී කළ යුත්තේ කුමක්ද?

උදාහරණයක් විදියට වයස අවුරුදු තුනක දරුවෙකුගේ කළහකාරී හැසිරීම් රටාවකදී මව්පියන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන අපි කතා කරමු.

  1. වැඩිහිටි ඔබ සන්සුන් වෙන්න
  2. 2. අතීතයෙන් ඔබේ මනසට එන මතක අවම කරගන්න (පෙර සඳහන් කර පරිදි මෙවැනි අවස්ථාවකදී කුඩා කල ඔබ ලැබූ අත්දැකීම්)
  3. වයස අවුරුදු තුනක මොළයකින් තම දරුවා සිය අවශ්‍යතාවය ඔබට කියන්නට සැරසෙන බව වටහා ගන්න
  4. දරුවා තනි නොකර සමීපයට ගන්න
  5. දරුවා ක්‍රමෙයන් සන්සුන් වන විට ”ඔයාට දුක හිතුනද, කේන්ති ගියාද පුතේ” කියා ආදරයෙන් විමසන්න. මේ ආකාරයෙන් දරුවාගේ හැඟීම් ඔබ වටහා ගනිද්දී දරුවා විසින් ඔබ තම හැඟීම් හඳුනා ගන්නා (emotional validation) බව වටහා ගනීවි.
  6. දරුවා සෙමින් සන්සුන් වන විට තුරුලට අරගෙන සිප වැළඳ ගෙන (දරුවා කතා නොකලත්) ඔහු/ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් වන තුරු සිටින්න

අපේ අතින් වන වරදක් තමයි දරුවෝ නොසන්සුන් හැසිරීම් පෙන්නුම් කරද්දී අපිත් කෝප ගැන්වෙන එක. එකෙන් දරුවාට යැවෙන පනිව්දය වෙන්නේ ”ඔයාගේ හැගීම් මට වටින්නේ නැහැ” කියන එක.  එහෙම උනාම අපි නොදැනුවත්වම ”emotional invalidation” තත්ත්වයක් ඇති වෙනවා.දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමෙන් දරුවා අනාගතයේදී දරුණු පෞරුෂ ආබාධයන්ට ලක්විය හැකියි.අපේ කාර්ය බහුල ජීවිතේ මේ දෙය සමහර වෙලාවට ඔබට මගහැරෙන්න බැරි නැහැ. නමුත් පසු අවස්ථාවකදී හෝ දරුවාට වටහා ගත හැකි අයුරින් සිදු වූ දෙය අවබෝධ කරවන්න.

”පුතාට කේන්ති ගියාට කාටවත් ගහන එක වැරදියි” කියලා ඔබේ දරුවාට ආදරයෙන් පහදා දෙන්න. කාලයාගේ ඇවෑමෙන් දරුවා එය වටහා ගනීවි. මිනිසා පරිණාමයෙන්ම තනිව යමක් අවබෝධ කරගන්න සත්ත්වයෙක් නොවේ. මිනිස් දරුවා සියල්ල උකහා ගන්නේ තම වැඩිහිටියාගෙනි. අන්න ඒ නිසාම දරුවා වටහා ගනීවි කේන්තියාම මනුස්ස ගතියක් බවත් අපි වටහා ගත යුත්තේ එය නිවැරදිව ප්‍රකාශ කිරීම බවත්. මේ විදියට දරුවා ඔබෙන් සන්සුන් වන්නට උගනී. එය co-regulation ලෙස හඳුන්වයි.

අපි දරුවන් ඔවුන්ගේ හැඟීම් අතර තනි කලොත් හෝ දඬුවම් කලොත් ඔවුන් තුළ දයානුකම්පාව( empathy), වැරදිවලින් ඉගෙනීම( learning from mistakes and reflective capacity) සහ තව කෙනෙක්ගේ කෝණයෙන් බලා තවකෙනෙක්ගේ දුක අවබෝධ කරගැනීමේ හැකියාව (mentalistaion capacity) නොමැති වනු ඇත.

දරුවෙක්ට තරහ යාම අසාමාන්‍යද?

තරහ යන එක සාමාන්යි දෙයක්, ඒක පාලනය කරන හැටි අපි දරුවට ආදර්ශයෙන් කියා දිය යුතුයි. අපේ අතින් වෙන විශාල වරදක් තමයි දරුවන්ට තරහගන්න එක සපුරා තහනම් කරන එක. අපේ තරහා අපිට කරන්නේ අනගි සේවයක් කිව්වොත් වරදක් නැහැ. මොකද අපි තමන්ට වන අසාදාරණ දේවල් හඳුනා ගන්නේ තමන්ට ඒවෙලාවට දැනෙන හැඟීම් වලින්. ඉතින් ඒ හැඟීම් පුංචි කලේම යටපත් කෙරුවොත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එහෙම සමහර අය පීඩාකාරී බන්දිම්වල හිර වෙලා සදහටම ගුටි බැට කකා දුක් විදිනවා. සමහර අයගේ පුංචි කාලේ යටපත් කරවන කේන්තිය වැඩිහිටි වෙද්දී පිට කරනවා. පුංචි කාලයේ කේන්තිය පාලනය කරන්න ඉගෙන නොගත් නිසා, සමහරවිට ක්ෂණික කෝපය පාලනය කරන්න බැරුව අයෙක් මරණ තත්ත්වයට පවා පත් විය හැකියි.

මෙන්න මේ විදියට අපි අපේ දරුවන්ට මග පෙන්නුවොත් එයාල නිසි මානසික සෞඛ්‍යයත් සමගම ඉදිරියට යාවි. නව යොවුන් වියට එළඹෙද්දී ඔබට වැටහේවි දරුවාට නිවැරදි මගපෙන්වන්නා ඔබ බව දරුවා වටහාගෙන ඇති ආකාරය. ඔබව විශ්වාස කරන බව.  නව යොවුන් වියේදී පවා ඔවුන්ට ඇතිවන  ලිංගික ගැටලු ඇතුළු ඕනෑම ගැටළුවක් ගැන පවා ඔබ සමග පැවසීමට තරම් දරුවා ඔබට සමීපව සිටිනු ඇත.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

රටට බරක් නැති දරුවෙක්….

දරුවන් කියන්නේ ලෝකයටම ආශිර්වාදයක්.ඒත් සමහර විට රටට බරක් බවට පත් වුන දරුවන්ද නැතුවාම නොවෙයි. අකමැත්තෙන් වුනත් අපේ රටේ පවා බාලාපරාධකරුවන් විදිහට හදුන්වන දරුවන් පිරිසක් සිටිනවා.ඒ විදිහට දරුවන් වර්ග වෙන්නේ ඔවුන් සමාජයට හිරිහැරකාරී විදිහට හැසිරීම සහ පවත්නා විනය නිති රීති වෙනුවෙන් අනුගත නොවන විටයි.ඒත් මේ දරුවන් රටට බරක් නොවන විදිහට බාල කාලයේ පටන්ම හැඩ ගසා ගත්තොත් ඔවුන් අනාගතයේදී රටටම ආශිර්වාදයක් වේවි.එහෙමනම් අපි අපේ දරුවන් රටට බරක් නොවන විදිහට හදා වඩා ගන්නේ කොහොමද….?

තරහ පාලනය කරන්න

අපේ වැඩිහිටියන් වගේම දරුවන් අතරත් තරහ පාලනය කර ගැනීමට අපොහොසත් දරුවන් සිටිනවා. ඔවුන්ගේ මේ හැසිරීම නිසා විවිධ විදිහට සමාජයට හිරිහැර සිදු වෙන්න පුලුවනි. පාසලක වුනත් ඇතැම් දරුවන්ගේ ආවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව නිසා විවිධ අන්දමින් ගැටුම් ගොඩ නගා ගන්නවා. තරහ ආවාම තමන් සිටින තැන, කවුද, මොකක්ද යන වග තේරුම් ගන්න බැරි වුනොත් අනාගතයේ විවිධ අන්දමින් සමාජයට හිරිහැරදායක වෙන්න පුලුවනි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ආවේග පාලනය කිරීමේ ගුනාංගය ගොඩ නැගීම ඉතාම වැදගත්.

අහිමිවීම් වලදී ශක්තිය ගොඩ නගා ගන්න..

අපේ ජීවිතය කවදාවත්ම අපට අවශ්‍ය විදිහට ගොඩ නගා ගන්න බැහැ. අට ලෝ දහම අපට විවිධ විදිහට බලපෑම් ඇති කරන්න පුලුවන්. ඒ නිසා දරුවන්ටත් යමක් අහිමි වුනාම එතැනින් නැගී සිටින්නට අවශ්‍ය ධෛර්ය ලබා දෙන්න.එහෙම නැති වුනොත් ඔවුන් ජීවිතයේදී ලබන අහිමිවීම් වලදී බොහොම බෙලහීන වීමට වගේම අනාගතය මුලුමනින්ම බිඳ ගැනීමට සිදු වෙනවා. අද කළ යුතු දේ අදම නොකලොත් හෙට දවසට සාර්ථකව මුහුණ දීමට බැහැ. ඒ හින්දා අහිමිවීම් මත තැවෙනවා වෙනුවට ශක්තියෙන් හෙට දවසට සූදානම් වීමේ වැදගත්කම ඔවුන්ට පහදා දෙන්න.

එකඟතාවය ගොඩ නගා ගන්න..

අද දරුවන් බොහෝ සෙයින් හුදෙකලාව සිටින නිසා ඔවුන්ට සමාජයක් නැහැ. ඒත් අතීතයේදී සමූහයක් විදිහට සෙලල්ම් කරද්දී පංචි වුනත් සමාජයක් තිබුනා. එහිදී ක්‍රිඩාව මුල් කර ගෙන ඔවුන් විසින් ගොඩ නගා ගත් එකගතාවයන් පසුකාලයකදී ජීවිතයටත් බොහොම ප්‍රෙයා්ජනවත්  වුනා. අද දරුවන් අතර  විවිධ ගැටුම් ඇති වෙන්නේ යම් දෙයක් වෙනුවෙන් එකඟතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසාම සමාජයේ අය අතර බොහොම අප්‍රසන්න චරිතයක් බවට නොදැනීම පත් වෙනවා. යම් දෙයක් වෙනුවෙන් එකගනොවන නිසා ඇති වෙන ගැටුම් නිසාම නීතියෙන් පවා දඬුවම් ලබන තරමටම තත්වය දරුණු අතට හැරේවි.

තමා ගැන තොරතුරු කියා දෙන්න.

අද ඇතැම් දරුවන් මවගේ නම, පියාගේ නම පවා නොදන්නා තරම් තමාගේ පවුල ගැන තිබෙන දැනුවත්බව අඩුයි. මේ නිසා හදිසියේවත් පාසලේ කටයුත්තකට දුරකථන අංකයවත් දරුවාගෙන් ලබා ගැනීමට අපහසුයි.හැබැයි නොදන්නා අයට මේ තොරතුරු ලබා නොදෙන විදිහටත් දරුවා දැනුවත් කිරීම වැදගත්.ඒ නිසා නොදන්නා අයට නම් තමා ගැන වැඩිමනත් කතා බහ නොකලාට කමක් නැති බවත් දරුවාට කියා දෙන්න.

වගකීම ගැනත් කියා දෙන්න

වගකීමේ සංකල්පය දරුවාට බාල කාලයේ පටන්ම වටහා දිය යුතු සංකල්පයක්. වගකීමකින් තොරව කටයුතු කරන දරුවා අනාගතයේදීත් මේ අන්දමින්ම කටයුතු කරන නිසා සමාජයට ඔහුගෙන් ඇති වෙන්නේ හිරිහැරයක්. ඒ නිසා බාල කාලයේ පටන්ම වගකීම ගැන දරුවාට කියා දෙන්න.

අනුන් මත වරද පවරන්න එපා

අද බොහෝ වැඩිහිටියන් පවා තමාගේ වරද පිලි නොගන්නා තරමටම දුර්වලයි. වරදක් වුනොත් එය නොපැකිලව පිළිගැනීම මහත්මා ගතියක්. එය වෙනත් අයට යොමු කිරීම එතරම් වටිනා ගුණයක් නොවෙයි.ඒ නිසා පුංචිකාලයේ පටන්ම තමන්ගෙන් වරදක් වුනොත් ඒ වරද තමාගෙන් වුන බව පිලිගැනම නින්දාවට කරුණක් නොවන ව දරුවාට කියා දෙන්න. සමහර විට ඔබේ කුඩාදරුවා නිවසේදී ඔහු අතින් සිදු වුන වරද පවා බාල හෝ වැඩිමහල් සහෝදරයන්ට පවරන අවස්ථා තිබෙන්න පුලුවනි. එවන් අවස්ථාවලදී තමන්ගෙන් වුන වරද අනුන්ට පවරනවාට වඩා එය තමා විසින් බාරගැනීම හොද දරුවාගේ හොඳ ගතිගුණයක් බැව් පෙන්වා දෙන්න.

අද ඔබේ සෙවනේ බොහොම කෙලි දෙලෙන් කාලය ගෙවුවත් හෙට මේ පුංචි දරුවා සමාජය සමග ගණුදෙනු කළ යුතුමයි. එවිට පිටුපසින් සිට මේ ම් අන්දමින් හැසිරෙන්න යැයි පෙන්වා දීමට කිසිවෙක් නැහැ. ඒ වගේම දරුවාට හැසිරෙන සම්මත ආකෘතියක් ගොඩ නගන්නත් බැහැ. අවස්ථාවෝචිතව ඔවුන් හැසිරිය යුතුයි. ඒත් ඒ හැසිරීම කිසිම දවසක සමාජයට බරක් නොවන විදිහට ගොඩ නැගී තිබුනොත් දෙමව්පියන් විදිහට ඔබ දිණුම්.

”මරණය” ගැන අවබෝධයක් දරුවන්ට තිබිය යුතුද? නැද්ද?

”මරණය” ලොකු පොඩි වෙනසක් නොමැතිව අපි කාටත් කොයි මොහොතේ මුණගැහේද කියා කිව නොහැකිය. අපේ සමීපතමයෙකුගේ මෙවැනි වෙන්වීමක්  වැඩිහිටියන් ලෙස අපි විඳ දරාගන්නට සමත් වුවත් දරුවන්ට එයට මුහුණ දීම පහු කටයුත්තක් නොවේ. ලොව පවතින දහමට අනුව මරණය අපි කාටත් පොදුය. අපි, අපේ දරුවන්ට ඒ ගැන අවබෝධ කරලීම වැදගත් වන්නේ ඒ නිසාමය. මවගේ/පියාගේ/මිත්තනියගේ හෝ සමීපතමයෙකුගේ වියෝව දරා ගැනීමට පුංචි දරුවෙකුගේ මනසට හැකියාවක් නැතත් මරණය ගැන දරුවාට අවබෝධ කරවීම ඉතා වැදගත් වේ.

සමීපතමයෙකුගේ මරණයක් සිදු වූ විට (දෙමාපියෙක්, ආච්චී/සීයා,) මේ සම්බධයෙන් දරුවාට පවසනවාද, පවසන්නේ කෙසේද, දරුවාට මරණය ගැන ඇති අවබෝධය කුමක්ද, දරුවා මෙයට කෙසේ ප්‍රතිචාර දක්වයිද, දරුවා අවසන් කටයුතුවලට සහභාගී කරගත යුතුද වැනි ප්‍රශ්න රාශියකට වැඩිහිටියන් වන අපට මුහුණ දීමට සිදුවේ.

දරුවන් තමාට සමීප කෙනෙකුගේ මරණයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

දරුවෙකුට මරණය ගැන ඇති අවබෝධය දරුවාගේ වයස අනුව වෙනස් වේ. එමෙන්ම, දරුවාට මිය ගිය පුද්ගලයා සමග ඉතා කිට්ටුව සම්බන්ධයක් තිබුණි නම්, මරණය අනපේක්ෂිත හදිසි මරණයක් නම් හෝ මරණයෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය බෙහෙවින් වෙනස්වුනි නම් (එනම් දරුවාගේ ‍රැකබලාගැනීම, දිනචර්යාව, ආර්ථික මට්ටම, පදිංචිය වෙනස් වුණි නම්) දරුවෙකුට මෙවැනි සිද්ධියකින් ඇතිවන මානසික බලපෑම වැඩිය.

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3 – 5)

  • මිය ගිය තැනැත්තා නැවත නොපැමිණෙන බව තේරුම් ගැනීමට නොහැකිය. එමනිසා නිතර නිතර මියගිය පුද්ගලයා කොහිදැයි විමසීමට හැකිය
  • තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බිය වීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
  • හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය

o          නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම

o          නැවත ඇඟිලි ඉරීමට පටන් ගැනීම

o          නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම

  • මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).

පාසැල් වියේ දරුවන් (අවුරුදු 6 ට වැඩි) හා නවයොවුන් වියේ දරුවන්

  • මියගිය පුද්ගලයා නැවත නො එන බව දනී
  • තමාට සමීප අනෙකුත් පුද්ගලයන්ද තමාට අහිමි වේයැයි බියවීමට හැකිය. එමනිසා වෙනදාට වඩා තමාට සමීප වැඩිහිටියන් අසලින්ම සිටීමට උත්සහ ගත හැකිය
  • මියගිය පුද්ගලයා නොපැමිණෙන්නේ තමාගේ වරදකින් යැයි සිතිය හැකිය (උදා: මම කියන දේ අහන්නේ නැති නිසා තාත්තා එන්නේ නැත්තේ).
  • පවුලේ අනෙක් අයට මෙම මරණය බලපා ඇති ආකාරය ගැන හා ඔවුන්ට මෙය දරාගැනීමට හැකිවේද යන්න ගැන කල්පනා කරයි
  • පවුලේ අනෙක් අයව කනගා‍ටුවට පත්වේයයි බියෙන් තමාගේ හැඟීම් අන් අයගෙන් සඟවා සිටීමට උත්සහ කළ හැකිය
  • පාසල් වැඩ වලට ඇති අවධානය හා උනන්දුව අඩු විය හැක
  • මියගිය පුද්ගලයා ගැන කථාකිරීමට හෝ ඔවුන් සිහිවන දේවල් මඟ හැරිය හැකිය
  • හැසිරීමේ වෙනස්වීම් දැක්විය හැකිය

o          නැවත ඇඳ තෙමීමට පටන් ගැනීම

o          නිතර හිසරදය, බඩේ කැක්කුම වැනි අසනීප ඇතිවීම

o          යහළුවන්ගෙන් හා ගෙදර අනෙක් අයගෙන් ඈත්වීමට හැකිය

o          ඉක්මන් කේන්තිය/නුරුස්නා ගතිය

  • නින්දට බාධා ඇතිවිය හැකිය

දරුවාට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට උදවු කරන්නේ කෙසේද?

පෙර පාසැල් දරුවන්

  • දරුවාට මියගිය පුද්ගලයා මියගිය බවත්, නැවත නො එන බව වයසට ගැළපෙන වචනයෙන් කියා දෙන්න.
  • දරුවාට මරණය පිළිබඳ බොරු කීමෙන් වැලකී සිටින්න (උදා: මියගිය පුද්ගලයා රට ගියා, ඉස්පිරිතාලේ ගියා ආදිය).
  • දරුවාට සමීප අනෙකුත් පුද්ගලයන් දරුවා බලාගන්නා බවත්, ඔවුනට හානියක් නොවන බවත් පහදා දෙන්න
  • ඔබ දරුවාගෙන් වෙන්වී යන හැම මොහොතකම, ඔබ නැවත එන බව දරුවාට ඒත්තු ගන්වා යන්න
  • හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
  • මියගිය පුද්ගලයා නැවත නොඑන්නේ දරුවාගේ වරදකින් හෝ දරුවා සමඟ තරහා නිසා හෝ නොවන බව පැහැදිලි කරන්න
  • දරුවා ඉදිරිපිට නිතර නිතර හැඬීමෙන් වැලකී සිටීමට උත්සහ ගන්න
  • දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයා නැවත නො එන බව තේරුම් ගැනීමට උදවු වනු ඇත

අවුරුදු 6ත් – 12ත් අතර ළමුන් හා නවයොවුන් වියේ දරුවන්

  • දරුවාට මරණය පිළිබඳ සත්‍යම තොරතුරු වයසට ගැළපෙන අයුරින් පවසන්න
  • දරුවාට මරණය ගැන බොරු කීමෙන් වලකින්න
  • දරුවාට හැඬීමට අවශ්‍ය නම් එයට ඉඩ දෙන්න. හඬන්න එපා යැයි දරුවාට පැවසීමෙන් වලකින්න
  • මෙවැනි දෙයකට පසු දුක සිතීම සාමාන්‍ය දෙයක් බව දරුවාට පවසන්න
  • දරුවාට ප්‍රශ්න අසා තමාට ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අවස්ථාව දෙන්න
  • දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට බල කිරීමෙන් වලකින්න. නමුත්, දරුවාට තම හැඟීම් ගැන කතා කිරීමට අවශ්‍ය නම්, එයට සවන් දීමට ඔබ සූදානම් බව පවසන්න. එයට අවස්ථාව දෙන්න
  • මියගිය පුද්ගලයා නැවත නො එන්නේ දරුවාගේ වරදකින් නොවන බව පැහැදිලි කරන්න. සිදුවූ දේ වැලක්වීමට දරුවාට කළ හැකිව තිබූ කිසිවක් නැති බව පවසන්න
  • දරුවාව අවසන් කටයුතු හා දානමය කටයුතුවලට සහභාගී කරවන්න්න. මෙය දරුවාට මිය ගිය පුද්ගලයාට සමු දීමට උදවු වේ
  • හැකිතාක් ඉක්මනින් මරණයට පෙර දරුවාට තිබූ දින චර්යාවට හා එදිනෙදා ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමු කරන්න
  • දරුවාගේ සිතට අනවශ්‍ය වගකීම් පැටවීමෙන් වලකින්න (උදා: දැන් තාත්තා නැති නිසා අම්මාවත් බලාගන්න තියෙන්නේ ඔයාට තමයි, දැන් හිත හදාගන්න ඕනෙ මොකද ඔයා තමයි දන් ගෙදර බර කරට ගන්න ඉන්නෙ වැනිදෑ කීමෙන් වලකින්න)
  • මියගිය පුද්ගලයාගේ වෙන්වීමෙන් පසු එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්කම් පිළිබඳ දරුවා දැනුවත් කරන්න (උදා: දරුවා දිනපතා පාසැල් ගෙන ගියේ තාත්තා නම් තාත්තාගේ වියෝවෙන් පසු මින්පසු දරුවා පාසැල් ගෙන යන්නේ කවුද යන්න පැහැදිලි කරන්න ආදිය).

බොහෝ දරුවන් මාස කිහිපයකට පසු වැඩිහිටියන්ගේ උදවු ඇතිව සාමාන්‍ය ජීවිතයට යළි හුරුවේ. නමුත් දරුවා දිගින් දිගටම අධික දුක, නුරුස්නා ගතිය/කේන්තිය, පාසැල් වැඩ දුර්වල වීම, නින්දට බාධා, කෑම අරුචිය වැනි ලක්ෂණ දක්වන්නේ නම්, මනෝ වෛද්‍ය සායනයකට ‍රැගෙන යන්න.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

කිරි දෙන අම්මා කෙනෙක් නම්….

බිලිඳු දරුවාට කිරි දෙන අම්මා කෙනෙක් ගැන එදා ජන සමාජයේ තිබුනේ පුදුමාකාර ආදරයක්. ඒ වගේම ගෞරවයක්. ඒ නිසාම ළදරුවාට කිරි දෙන අම්මා මුල් කර ගෙන බොහොම පිලිගැනීමක් තිබුනා. දරුවාට කිරි දීම බොහොම පූජණීයත්වයෙන් සැලකුවා. ඒ නිසාම කිරි දීම මුල් කර ගෙන විවිධ සම්ප්‍රදායන්ද නොදැනීම ගොඩ නැගී තිබුනා.

දොරකඩ සිටගෙන හෝ දොර පිළ මත හිඳගෙන දරුවාට කිරි පොවන්න අවසර තිබුනේ නැහැ.ඒ වගේම ඉදිකඩුල්ල පෙනෙන තැනක සිට කිරි දීම අනුමත කලේ නැහැ.

ඒ වගේම කිරි දෙන අම්මා දිය නෑම ඉර මුදුන් වීමට පෙරාතුව සිදු වෙන්න ඕන. ඒ වගේම මන්දාරම් සහිත නම් ඒත් ස්නානය ගැන දෙවතාවක් හිතන්න වුනා. දිය නෑවාට පසුව කෙස් විදාගෙන වගේම තෙත කෙස්වලින් යුක්තව හිඳ දරුවාට කිරි පෙව්වේත් නැහැ.

පිරිමි ඉදිරියේ කිරි දීම සිදු වුනේ නැහැ. මව පමණක් දරුවා සමග හුදෙකලාව හිඳ කිරි දෙනවා නම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගාලා ඉවත දැම්මා. දරුවා ලැබිලා මාස තුනක් ගෙවෙන තුරු ‘‘ වැදු ගෙයි කිල්ල“ විදිහට හැඳින්වුන නිසා අම්මාට කෙතේ වැඩට යන්නඅවසර නැහැ.ඒ නිසා ඇගේ කුඹුරු වැඩ ගමේ කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. මේ අත්තම හැදින්වුනේ ‘‘ කිරි නෙළුම “ විදිහටයි. වෙන දෙයක් තබා තමාගේ කුඹුරේ වැඩ කටයුතු කරන කාන්තාවන්ට ආහාර පාන වලින් පවා සංග්‍රහ කිරීමට ඇයට අවසර දුන්නේ නැහැ. කිරි දරුවෙක් ගෙදර ඉද්දී ආහාර පාන සකස් කිරීමට තිබෙන අපහසුතාවය  මේ අය දන්නවා.

සිංහල අලුත් අවුරුදු කාලයට කිරි දෙන කාන්තාවක් සිටිනවා නම් ඇගේ නිවසේ සියලු කටයුතු අසල්වැසි කාන්තාවන් විසින් ඉටු කර දුන්නා. නිවස පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම වගේම තෙල් වළං අසල සිටින්නවත් ඉඩ දුන්නේ නැහැ.අවුරුදු කැවිලිත් අසල්වැසි කාන්තාවන් විසින් සකස් කර දුන්නා. දරුවාට මාස හතර ගෙවෙන තෙක්ම ගමේ දාන, පිරිත් පිංකම් වෙනුවෙන් කිරි දෙන අම්මා සහභාගී නොවුනේ පැටියාගේ කටයුතු අතපසු නිසා වෙන්නත් ඇති.

කිරි දෙන්න පෙරාතුව ඇගේ පියයුරු හොදින් පිරිසිදුව සෝදා ගැනීම වගේම රෙදි කඩකින් වසා ගෙන කිරි දිමත් එදා අම්මා කෙනෙකුට පනවා තිබුන සමහර සම්ප්‍රදායන්.

කිරිදෙන අම්මා කෙනෙක් නිතරම සතුටින් සිටීමත් වැදගත්. කනගාටුදායක සිතුවිලිවලට නිරාවරනය වීමත් කිරිදෙන අම්මා කෙනෙකුට නුසුදුසුයි. වෙනිවැල්ගැට තම්බාගත් වතුර වගේම හොඳින් ජලය පානය කිරීමත් වගේම එළකිරි පානයත් එදා අමතක කළේ නැහැ.

කිරි දෙන අම්මාට ලබා දුන් ආහාර…

කිරි දෙන්න නම් හොදින් කිරි එරෙන්න ඕන. ඒ වෙනුවෙන් ගුණ ආහාරත් එපායැ. මේ නිසා කොස්, පොලොස් ව්‍යංජන, මැල්ලුම් වගේම කොස් තම්බලා දුන්නා. වෙන දෙයක් තබා කිරි දෙන අම්මා කෙනෙක් කොස් ගසක් යටින් ගියත් කිරි එරෙන බැව් විශ්වාස කලා.

නෙලුම් අල ව්‍යංජනයත්, සහ නෙළුම් අල කැඳ වලින් කිරි එරෙන බැව් පිලිගත් සත්‍යක්.

තම්බාගත් වට්ටක්කා වගේම රාජ අල,රතු බතල කිරි දෙන අම්මාවරුන්ට ඉතා ගුණදායක බැව් පිලිගෙන තිබුනා. කොටදිඹුලා ගෙඩිවලත් මේ ගුණයම තිබුනා.

අගුණ කොළ, කිරි අගුණ, ජපන් බටු කොළ, කිරිඇන්ද කොළ කිරි දෙන අම්මාට දුන් පලා වර්ග කීපයක්.

මුරුංගා කරල් සහ මුරුංගා කොළ, බතට හොඳ මාලු පින්නක් වුනා.

දිය නෑව දිනයේදී නම් අගුණ වුනත් කරවිල, තුඹ කරවිල නිසා කිරි පිරිසිදු කිරීමේ ගුනයෙන් යුක්තයි.කෙසෙල්මුව ආහාරයට ගත්තාම ප්‍රසවයේ ඇති වූ තුවාල වියලෙනවා වගේම මලබද්ධයත් නැති වෙනවා.

මාලු වර්ග අතරින් කිරිමෝරු, හාල්මැස්සන්,මඩු කරවල, හුරුල්ලන්, ආහාරයට ගත්තා.

කිරිදෙන මව ආහාරයට ගත්තේ කුරුට්ට සහිත හාල් වර්ගයි. මේවා බොහෝ විට පාරම්පරික සහල් වර්ගයි. ඊට අමතරව හබලපෙති, කොල්ලු, බාර්ලි, කුරක්කන් ආදියත් කිරිදෙන අම්මාගේ ආහාරයට යහමින් එකතු වුණා.

ඇයි මේ දරුවා අනිත් දරුවන්ව Bully කරන්නේ?

ලක්මාල් පාසැල ඇරිලා ගේට්ටුවෙන් එළියට එද්දිම අම්මාගේ ඇඟේ එල්ලිලා අඬන්න පටන් ගන්නවා. හැමදාම එයා කියන්නේ ”අනේ අම්මා හෙට නම් මට ඉස්කෝලේ යන්න බෑ. මම නම් මේ ඉස්කෝලෙට යන්න ආසම නැහැ. මාව වෙන ඉස්කෝලෙකට දෑන්නකෝ” කියලයි.

”ඉතිං හොයලා බැලුවේ නැද්ද ඇයි ලක්මාල් මේ විදියට අඩන්නේ කියලා.

මුලින්ම නම් අපි ගණන් ගත්තේ නැහැ. අපි හිතුවේ කම්මැලිකමට කියලා. එත් පස්සේ පස්සේ තේරුණා පුතා ගොඩක් බයෙන් වගේම දුකෙන් ඉන්නේ කියලා. ඒ නිසාම අපි එයා එක්ක නිදහසේ මේ ගැන කතා කළා.

ඉතින්, මොකද පුතා කිව්වේ,

එයාට පන්තියේ ළමයෙකුගෙන් ටිකක් කරදරයි කිව්වා.

ළමයෙක්ගෙන් කරදරයි කිව්වා…

මේ පුංචි ළමයි අනිත් ළමයින්ට මොන කරදර කරවද?

ඔව්.. අපිත් ඒක කල්පනා කළා. ඒත් පස්සේ තේරුනා පුතාට ඒකට මුහුණ දෙන්න බැරි නිසා තමයි මේ විදියට අඩන්නේ කියලා”

මොකද්ද මේ ලක්මාල්ට වෙලා තියෙන්නේ, පන්තියේ තවත් දරැවෙක නිසා ලක්මාල් හැම නිතරම පීඩාවට පත්වෙන්න අරගෙන. තවත් දරැවෙක් මේ විදියට හිරිහැරයට ලක්කරන්න ඒ ව‍යසේම තවත් දරැවෙක්ට හැකි වෙන්නේ මොන වගේ කරැණු නිසාද කියලා ළමා මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් සමග කතා කරන්න අපි හිතුවා.

ඇත්තටම මොකද්ද මේ ”bullying ” කියන්නේ ?

එක් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට තර්ජනය කිරීම හෝ අනතුරක් කිරීම හෝ අනතුරක් කරන බවට තර්ජනය කිරීම තමයි bullying විදියට හඳුන්වන්නේ. සරලව කිව්වොත් තවත් කෙනෙකුට හිරි හැර කිරීම මේ විදියට හඳුන්වන්න පුළුවන්.  මෙතැනදී පාර්ශව දෙකක් සිටිනවා. ඒ කියන්නේ හිරිහැර කරන පාර්ශවය සහ හිරිහැරයට ලක්වෙන පාර්ශවය ලෙසට. වැඩිහිටියෝ අතර, පවුලේ අය අතර, රැකියා ස්ථානවල, පාසැල්වල බොහෝ සෙයින් සිදුවෙන තත්ත්වයක්. ඇමරිකා එක්සත් ජනපදයේ සමීක්ෂණවලට අනුව හැම දරුවෝ 4 දෙනෙකුටම එක්කෙනෙක් මේ තත්ත්වයට මුහුණ දෙනවා.

සාමාන්‍යයෙන් කුඩා වියේ දරුවන් නම් පාසලේදී  උසුළු විසුළු, පැන්සල්/පෑන්.පොත් උදුරා ගැනීම වැනිදේ සිදු වුණත් නව යොවුන් වියේදී මෙය  සැලසුම් සහගතව සිදු කරනවා. උදාහරණ විදියට තවත් දරුවෙකුගේ අවස්තාවක් පහර ගැනීම වැනි දේ දැක්විය හැකියි. සාමාන්‍යයෙන් ගැහැණු දරුවන් නම් වාචිකව තම ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරන අතරම පිරිමි දරුවන් ශාරීරික ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරනවා.

දරුවෙක් තවත් අයෙක්ට හිරි හැර කරන තත්වයට පත් විය හැකි හේතු මොනවාද?

මනෝ විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත්,

  1. දරුවෙකුගේ පවුල් පරිසරය, උදාහරණයක් ලෙස හැදෙන පරිසරය/අසල් වැසි පරිසරය ප්‍රචණ්ඩත්වයට වැඩි නැඹුරුවක් දක්වනවා නම් තවත් අයෙකුට තාඩන පීඩන සිදු කිරීම සාමාන්‍ය දෙයක් ලෙස දරුවාගේ මනසට කාවැදෙනවා. එවැනි දරුවෙක් අනික් අයට තාඩන පීඩන කිරීම සාමාන්‍ය දෙයක් විදියට ලෙසත් එය සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙසත් සිතනවා.
  2. සමාජ විරෝධී පෞරුෂත්ව ලක්‍ෂණ ඇති දරුවන් තුළ සහකම්පනය විරලයි. එවැනි දරුවන් තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හැඟීමක් හඳුනන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක්ගේ දුකක් වේදනාවක් හඳුනා ගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔවුන් තුල නැහැ. එවැනි දරුවන් තවත් කෙනෙක්ව පිඩාවට පත් කිරීම සිදුකල හැකියි.
  3. ආත්ම අභිමානය, ආත්ම ශක්තිය අඩු දරුවන්. ඔවුන් සමාජය දකින්නේ තා දෙස වැරදියට දකින, තමන් පහත කර සලකන පිරිසක් ලෙසටයි. ඒ කියන්නේ ඒ දරුවන් තුළ කුඩා වියේ සිටම ආත්ම ශක්තිය වර්ධනය කරවන්නට දෙමාපියන් උත්සාහ කර නැහැ. එවිට ඔවුන් ආදරය කරුණාව දක්වන්න, තවත් අයෙකුට ගෞරව කරන්න දන්නේ නැහැ. එවැනි දරුවන් තවත් දරුවෙකු පීඩාවට පත් කල හැකියි.
  4. පුංචි කාලේ අපහරණයට ලක් වුණු දරුවෝ මේ කොටසට වැටෙන තවත් පිරිසක්. පවුලේම සාමාජිකයෙකු අතින් අපහරණය ලක් වූ දරුවෙකු එතැන් පටන් ලෝකය දෙස බලන්නේ අවිශ්වාසයෙන්. ඒ හේතුව මත දරුවෙකු තවත් දරුවෙකු පිඩනයට පත් කිරීමට යොමු විය හැකියි.
  5. අවධාන ඌනතා සහ අධි ක්‍රියාකාරී දරුවන්. මෙවැනි දරුවන් ඉතාම ආවේගශීලියි. මොවුන් ඉතා සුළු දෙයකින් පවා ඉතා ඉක්මනින් කෝප ගැන්වෙනවා,කලබලයට පත් වෙනවා. ඒ වගේ දරුවන් අනෙක් දරුවන්ට පීඩා ඇති කිරීමට යොමු විය හැකියි’
  6. ඇතැම් දරුවන් පාසැල තුළ කල්ලි වශයෙන් එක්කාසු වී සිටින අතරම දරුණු නායකයෙකු යටතේ මේ කල්ලිය පවතිනවා නම් කල්ලියේ අනෙක් සාමාජිකයන් එහි රැඳී සිටීමට වීරක්‍රියාවක් සේ අනෙක් දරුවන්ට හිරිහැර සිදු කල හැකියි. ඔවුන් බොහෝ විට මෙය සිදු කරන්නේ ප්‍රචලිත වීම වෙනුවෙන්ය. මෙවැනි තත්ත්ව ඉතා ඉක්මනින් වෙනස් කළ හැකිය.

තම දරුවා අනෙක් දරුවන්ට පීඩාවන ආකාරයෙන් හැසිරෙන බවට පැමිණිලි ආවත් දෙමාපියන් ලෙස බහුතරයක් එය පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එසේ සිටීම ඔබ, ඔබේ දරුවාටම සිදු කරන වරදකි. අන්න ඒ නිසාම විවිධ උපාය මාර්ග යොදමින් දරුවා මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔබ කටයුතු කල යුතුය. අවශ්‍ය නම් මනෝවෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට වුවද වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ සූදානම් විය යුතුය.

ගොඩක් දෙමාපියෝ පිළිගන්නේ නැහැ. අමාරැ වුණාම උදව් ගන්න උපදෙස් ගන්න මැලි වෙනවා. නමුත් නිසි මර්ගොදපදේශයක් දෙමාපියන් වන ඔබට හිමි වෙනවා නම් ගැටලුව නිරාකරණය කර ගැනීම වඩාත් පහසුවන බව තේරුම් ගත යුතුය.

ඔබේ දරුවා නිසා අනෙක් දරුවන් පීඩාවට පත් වෙනවා නම් දෙමාපියන් ලෙස ඔබ කල යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දෙමාපියන් ලෙස ඔබ කල යුතු වන්නේ සිද්ධ වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමයි. දරුවා මෙවැනි ක්‍රියා සිදුකරන්නේ පාසලේදීද, පන්තියේදීද, එසේත් නැතිනම් නිවසේදීද යන්න ඔබ වටහා ගත යුතුයි. ඒ වගේම ඇතැම් ගැහැණු දරුවන් ගැහැණු දරුවන්ට ද පිරිමි දරුවන් පිරිමි දරුවන්ටද මෙසේ පීඩා කරන අතරම දෙමාපියන් ලෙස ඔබ මේ ගැටලුවේ තීව්‍රතාවය වැටහ ගත යුතුය. එනම් තත්ත්වය කොයි තරම් දුර දිග ගොස්ද කියා වටහා ගත යුතුය. එනම් පීඩා කරන්නේ වාචිකවද එසේත් නැතිනම් ශාරීරික පීඩා සිදු කිරීමෙන්ද යන්න පිළිබඳව දැනුවත් විය යුතුය. මෙවැනි අවස්ථාවකදී කිසි විටෙකත් දරුවාට පහර දීමෙනේ පිළිතුරු සෙවීම නිවැරදි නොවන බව ඔබ වටහා ගන්න. එවිට සිදුවන්නේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සෙවීමයි. නමුත් වැඩිහිටියන් ලෙස ඔබ කල යුතුවන්නේ දරුවා මෙවැනි තත්ත්වයකට පත් වීමට හේතු සොයා බැලීමයි.

ඔබේ දරුවා තවත් දරුවෙකුට පීඩා කිරීමට හේතුව දරුවා වෙනත් දරුවෙකු නිසා ඒ තත්ත්වයට පත් වුනාද නැත්නම් වෙනත් මානසික  තත්වයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ වාද යන්න සොයා බැලිය යුතුය.

මෙවැනි අවස්ථාවකදී පළමුවෙන්ම,

ඔබේ දරුවාට අනෙක් යටත් දුක, වේදනාව, ලැජ්ජාව, බිය දැනෙන බව සරලව පහදා දෙමින් උපදෙස් ලබාදෙන්න. මේ සඳහා ඔබේ ආගමට අනුකුලව දරුවාට උපදෙස් ලබා දිය හැකියි. නැවත වරක් දරුවා අගන එවැනි පැමිණිලි ලැබුනොත් දරුවාට හිමි වරප්‍රසාද ලබා නොදෙන බවත් දරුවාට ආදරයෙන් පවසන්න.

උදා: ආයේ පැමිණිලි ආවොත් රුපවාහිනිය නරඹන්න ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් මෙවැනි උපදෙස් මගින් පාලනය කරගත හැකි වේ. එසේම වැඩිහිටි ඔබ දරුවා ඔබේ උපදෙස් පරිදි අනවශ්‍ය ක්‍රියාවලින් ඈත් වී නම් එය ඇගයීමද කල යුතු බව මතකයේ තබා ගන්න. මෙසේ සරල විසදුම් සමගින් තත්ත්වය පාලනය කල නොහැකි නම් සමාජ විරෝධී අදහස් පවතිනවා නම් මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතරම මෙතැනදී දෙමාපියන් වටහා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ මනෝ වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම යනු දරුවා මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට ඉඟියක් නොවන බවයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

පුංචි පැටියාට දෙමව්පියන්ගේ නිදියහන එපා…

පුංචි පැටියා අම්මාගේ කුසයෙන් මෙලොව එලිය දුටු දා පටන්ම මවගේ උකුල විතරක් නොවෙයි, නිදි යහනත් ඇගේ අලුත් කිරි සුවඳ වෙනුවෙන් වෙන් වෙනවා. මේ තත්වය බොහොම සාමාන්‍යයි. ඒ වෙනුවෙන් බලපාන හේතුත් තිබෙනවා.

පුංචි පැටියන් රාත්‍රිය පුරාවට වුනත් අඬන්න ලෑස්තියි. මාසයකට වඩා අඩු ළදරුවෙක් ඔවුන්ට ලබා දෙන කිරි ඕනෑම වෙලාවක බොන්න සූදානම්. ඒ වගේම ළදරු ආමාශයත් ඒ වෙනුවෙන් සූදානම්. මේ වේලාවට අම්මා හිතන්නේ බඩගින්නට අඬනවා කියලා ඇගේ දෙතනෙන් කිරි දීලා දරුවාගේ ඇඬිල්ල පරක් කර ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවන්ට දරුවා තමාගේම යහනේ සිටිනවා නම් අම්මාට බොහොම පහසුයි.

පෙරදිග සංස්කෘතියේ අම්මා සහ දරුවා අතර පවතින බැඳීම නිසා මේ විදිහට එකම යහන බෙදා ගෙන නිදා ගත්තත් බටහිර රටවල නම් කුඩා කාලයේ පටන්ම දරුවා  වෙන්ව තැබීම සාමාන්‍ය තත්වයක් වුනා. ඒත් දැන් දැන් බටහිර රටවලත් අම්මා දරුවා සමගම නිදි කරවා ගැනීමේ පුරුද්ද ඇති වෙලා තිබෙනවා.  ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ තත්වය 2000 වසරේ පටන් ඉහළ මට්ටමක පවතින බැව් සඟරාවේ සදහන්ව තිබෙනවා.

යහපත් දේ ලෝකයේ කොතැනක වුනත් ආදේශ කර ගත්තාට වරදක් නැති වුනත් මෑතකදී බොහෝ පර්යේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ දෙමව්පියන් සමග දරුවා එකට තබා ගෙන නිදා ගැනීම එතරම් සුදුසු නැති බවයි. ඒ අන්දමින් ඔවුන් කියා ඇත්තේ හේතු කීපයකුත් ඉදිරිපත් කරමිනුයි.

  • දෙමව්පියන් දුම්පානය හෝ මත්පැන් කරනවා නම්.

.දෙමව්පියන් ඉහත අන්දමේ නුසුදුසු කටයුතු වල යෙදෙනවා නම් එයින් දරුවාට ඇති වෙන අහිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා. ඒ වගේම මේ අපුල ගඳ දරුවාගේ කිරි සුවදට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දරුවා සමග එකම යහන බෙදා ගැනීම අනුමත කළ නොහැකි බව මේ පර්යේෂකයින් කියා සිටිනවා.

  • ළදරුවා යට වෙන්න පුලුවන්…

හැබැයි තමන්ගේ දරුවා යහනේ සිටිනවා නම් දෙමව්පියන් බොහොම පරිස්සම්. ඒත් ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් නොදැනීම දරුවා යට වී මියගිය අවස්ථාවන් පෙර ඉතිහාසයේ තිබෙන නිසා ළදරුවන් සමග නිදා ගැනීම ගැන අනුමත කිරීමට බොහොම දෙනෙක් අකමැතියි.

  • මහන්සිය හෝ ඇතැම් ඖෂධ නිසා මේ තත්වය වුනොත්…

ළදරුවෙක් සමග කාලය ගෙවන දෙමව්පියන් සමහර විට දිවා කාලයේ රැකියාවක නිරත වෙන්නත් පුලුවන්. ඒ වගේම උදෑසනින් අවදි වෙන්නත්  වෙනවා.මහන්සිය සහ නිදිමත එකට එක් වුනාම ඔවුන්ට ඇඳට වැටුනාම තදින් නින්ද යන අවස්ථාවන් තියෙන්නත් පුලුවන්. ඒ වගේ නිදියහනේදී තමන්ගේ ළදරුවා යට වී අනතුරට පත් වුන අවස්ථාවන් ගැනත් පාදක කර ගෙන පර්යේෂකයින් විසින් මේ අදහස ඉදිරිපත් කරනවා.

  • නිදා ගන්නා විට පමණ ඉක්මවා ඇඳුම් අන්දවන්න එපා…

ඔබේ පුංචි පැටියා නිදිකරවන විට අනවශ්‍ය විදිහට ඇදුම් ඇන්දවීමට වඩා සැහැල්ලු ඇදුමක් අන්දවන්න. උණුහුම් කාලයදී ඇදුම් වැඩි වුනොත් දරුවාට එය අපහසුවක්. සීත කාලයදි නම් ඒ තත්වයට ඔරොත්තු දෙන විදිහට ඇඳුම් ඇන්දවීමට අවසරය තිබෙනවා.

  • කොට්ට ඈත් කරන්න…

අපේ අම්මලා දරුවා නිදිකරවලා කොට්ට වට කරනවා. ඊට අමතරව තුරුලු කොට්ටයකුත් තියනවා. ඒත් මේ කොට්ටය ළදරුවාට අහිතිකර විදිහට බලපාන්න පුලුවනි. කොට්ටය මුහුණට තබා ගෙන හිර වුනොත් එය ඉවත් කර ගැනීමේ දැනීම ළදරුවාට නැහැ. ඒ නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වුනොත් තත්වය බරපතල වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම දරුවා නිදිකරවන විට අනවශ්‍ය රෙදි, කොට්ට එතැනින් ඉවත්ව තබන්න.