Home Blog Page 77

මගේ දරුවා හැමදාම ”Bully” වෙනවා… මොකද මේකට කරන්නේ….?

අතීතයේදීට වඩා අද වන විට දරුවෝ අතර ගැටුම්කාරී තත්ත්ව දකින්නට ලැබෙන අවස්ථා වැඩි වී ඇති දැයි බහුතරයක් දරුවන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව සිතෙනවා. දරුවන් යනු හරි වැරැද්ද කුමක්ද යන්න
තර්කානුකූලව සිතීමට ඇතැම්විට අපහසු පිරිසක් වුවත් මෙවැනි ක්‍රියා හේතුවෙන් තවත් දරුවෙක් පීඩනයට පත්වීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට විශාල පහරක් වන නිසාම මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීම නුවණට හුරු නොවේ. දිනපතා ඔබේ දරුවා කුමක් හෝ දෙයක් ගැන ඔබට පැමිණිලි ගෙන එනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම දෙමාපියන් වන ඔබේ වගකීමයි.

”Bully” වෙන දරුවා වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දැනුවත් දෙමාපියන් ලෙස ඔබ කලබලයට පත්වීමට වඩා කළ යුතු වන්නේ තත්ත්වය පිළිබඳව දරුවා කරන පැමිණිල්ලට සාවදානව සවන් දීමෙන් මේ ගැටලුව දරුවාටම විසඳා ගත හැකි තත්ත්වයේ පවතිනවාද යන්න අවබෝධ කරගැනීමයි. දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව විසඳා ගැනීමට හැකිද යන්න තීරණය වන්නේ අදාළ දරුවාගේ ස්වභාවය අනුවයි.

යම් දරුවෙක් තම කාර්යයන් පිළිබඳව තනිව තීරණ ගැනීමට සමත් ස්වාධීන, ස්වඅභිමානයක් ඇති  විශ්වාසයක් ඇති එමෙන්ම තම කාර්යයන් තනිව කරගත හැකි දරුවෙක් නම් වැඩිහිටි ඔබේ මග පෙන්වීම හෝ ඉතා සුළු උපදෙසක් මගින් ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව ඔහු සතුය. නමුත් යම් දරුවෙක් බියසුලු, මෙවැනි අවස්ථා  මගහරින අතම ශක්තිට හීන දරුවෙක්  දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව නිරාකරණය කරගැනීම අපහසු නිසා වැඩිහිටි ඔබේ  සහයෝගය අත්‍යවශ්‍ය වේ. එසේ නොවන්නට එවැනි දරුවෙක් මෙවැනි තත්වයකට දිගින් දිගටම  මානසික ව්‍යාකුලත්වයකට වුවද පත් විය හැකිය. නමුත් මෙතැනදී වැදගත් වෙන තවත් කරුණක් වන්නේ එවැනි පෞරුෂත්ව ඌනතා ඇති දරුවෙක් මෙවැනි අවස්තාවක් තනිව කළමනාකරණය කර ගත හොත් එය ඔහුගේ ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයක් වන බවයි. මන්ද ඔහු ඒ හරහා ලබන අත්දැකීම තුලින් ඔහුට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩ නැගෙනු ඇත.

මෙවැනි තත්ත්වයක් පිළිබඳව ඔබේ දරුවා මැසිවිලි නඟන්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදා නොගන්නා ලෙස දරුවාට අවබෝධ කරවන්න. මෙවැනි තත්ත්වයක් ගුරුවරයා/පාසැල හෝ සමග ඉතා සහයෝගයෙන් විසඳා ගත යුතුයි.

සාමාන්‍යයෙන් ඇතැම් දරුවන් එනම් වින්දිතයා බවට පත්වන දරුවන් මෙවැනි අවස්ථා මග හැරගන්නට දක්ෂ වෙනවා. ඒ ඔවුන්ගේ සමාජ සන්නිවේදන හැකියාවන් ඉහල නිසයි. තමා bully වෙන අවස්ථාවකදී ඒ වෙනුවෙන් තම දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද කියා ඔවුන් වටහා ගන්නවා. එවිට ඔවුන් එවැනි අවස්ථාවකදී පෙරලා ලබා දිය යුතු ප්‍රතිචාරය පිළිබඳව දැනුවත්.  මෙවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වන ආකාර ක්‍රම තුනක් යටතේ විස්තර කල හැකියි. එනම් තමාට දක්වන පීඩාකාරී තත්වය හමුවේ,

  1. කිසිවක් නොකිරීම (Passive Approach)

මෙහිදී සිදුවන්නේ මොන දේ කීවත් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමයි. මේ ප්‍රතිචාරය හමුවේ පීඩා කිරීම නතර වන්නත්, අඩු වන්නත් වැඩි වන්නත් පුළුවන්. අසාර්ථක විය හැකි ක්‍රමයකි.

  1. ප්‍රචණ්ඩ වීම (Aggressive)

මෙහිදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම මගින් තත්ත්වයට විසදුමක් බලාපොරොත්තු විය හැකියි. මෙය සුදුසු ක්‍රමයක් නොවේ.

  1. Assertiveness

මෙවැනි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමට සුදුසුම ක්‍රමය ලෙස Assertiveness දැක්විය හැකියි.

” ඔයා ඔය වගේ දේවල් මට කරන එක ගැන මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ දේවල් නතර කරන්න”

මේ ක්‍රමය ප්‍රතිචාර දැක්වීමේදී සිදුවන්නේ වින්දිතයා විසින් අදාළ පුද්ගලයාගේ ඇස් දෙස ඍජුව එක එල්ලේ බලා, කොන්ද ඍජුව තබා ගනිමින් තම හැඟීම් පාලනය කරගනිමින් ස්ථාවරව උපේක්ෂාවෙන් බලයක් නොයොදා එක එල්ලේ අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමයි.

සාමාජ සන්නිවේදන හැකියාව ඉහළ මනා පෞරුෂයක් ඇති දරුවෙකුට මේ ක්‍රමය උපයෝගී කරගනිමින් මේ තත්ත්වය මගහරින්න පහසුයි. එවැනි දරුවන්ට වැඩිහිටි ඔබෙන් මානසික සහය මෙන්ම ආත්ම ශක්තිය නැංවීමට අවශ්‍ය සහය හිමි විය යුතුය.

ඇතැම් විට ඔබේ දරුවා මනා සමාජ සන්නිවේදන හැකියාවන් අවම දරුවෙකු නම් දෙමාපියන් වන ඔබට මෙවැනි තත්ත්වයකදී පැවරෙන වගකීම ඉහළයි. එවැනි අවස්ථාවකදී ගුරුවරයා/පාසැල මාර්ගයෙන් හෝ ගැටලුව නිරාකරණය කොට දී දරුවා මේ පීඩනයෙන් මුදවා ගත යුත්තේ මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදුවීම දරුවාගේ ජිවිතයට පවා බලපෑම් කල හැකි බැවිනි.

ඔබ, සැමවිටම ඔබේ දරුවාට සවන් දෙන්න. මන්ද ඔබ සමග දරුවා යමක් පවසන්නේ මව/පියා වන ඔබව දරුවා විශ්වාස කරන නිසාමය. ඔබෙන් යම් විසදුමක් තම ගැටලුවට ලැබෙන බවට විශ්වාසයක් දරුවා තුල තිබෙන නිසාමය. දරුවෙන් මව/පියා සමග යමක් පවසන්නේ තම හැඟීම් මුදා හැරීමටයි. ඒ හැඟීමට වටිනාකමක් ලබාදීම තුළින් ඔවුන් මව/පියා කෙරේ විශ්වාසයක් ගොඩනඟා ගන්නවා. එසේ නොවීමෙන් නව යොවුන් වියට එළඹීමත් සමගම දරුවන් තමාට විශ්වාසය ගොඩ නඟා ගත හැකි වෙනත් අයෙක් සොයා යාමට පෙළඹිය හැකියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

අයියෝ…අද හෝම්වර්ක් කෝ…?

පාසල අවසාන වෙලා ගේට්්ටුව ළගට දරුවා එන්නත් කලින් අම්මලා කට ඇරගෙන බලා ගෙන ඉන්නේ

‘‘ කෝ…අද මොනවද හෝම්වර්ක්…“  ගැන දැනගන්නයි.

සමහර විට හෝම්වර්ක් නොතිබුනොත් අම්මලාගේ හිතට ඒ තරම් සතුටක් නැහැ. ඔයාට අමතකද මොනවාද අද දුන්නේ…? එතැනිනුත් අවසාන නැහැ. ගෙදර ඇවිත් දරුවාගේ යාලුවාගේ ගෙදරට කතා කරල අහනවා. ඔන්න ඉතින්  එයාලගෙනුත් පිලිතුර ‘‘අද හෝම්වර්ක් දුන්නේ නැහැ…“ වුනොත් අම්මලා තවත් දුර්මුඛ වෙනවා.

අනේ බලන්නකෝ ගෙදරවැඩ මුකුත් නැහැ..

අපේ රටේ අධ්‍යාපනය  සමග සමාජගතව තිබෙන මේ සංකල්පය ළමා මනසට එතරම් යෝග්‍ය නොවන බැව් අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහසයි. පසුගිය දිනක ස්පාඤ්ඤයේ දෙමව්පියන්ගේ  මිත්‍ර සංගමය දරුවන්ටලබා දෙන දරා ගත නොහැකි හෝම්වර්ක් වලට එරෙහිමව වීදි බැස්සා.

ඒ අවස්ථාවේදී දෙමව්පියන්ගේ  මිත්‍ර සංගමයේ සභාපති ‘‘ ජෝන් ලුවී පැසෝ “ සදහන් කරන්නේ තොරතුරු තාක්ෂණය මත පදනම්ව තිබෙන අධ්‍යාපනය බෙහෙවින් විසිතුරු සහ විචිත්‍ර බවයි. ගෙදරවැඩ දීමෙන් දරුවා හෙම්බත් කරනවාට වඩා ස්වාධීනව තොරතුරු ගවේශනය කරමින් කටයුතු කිරීමට ඉඩ දීමෙන් දරුවා ඉතා නිර්මානශීලී වෙන බවයි.එහෙව් යුගයක් අප ඉදිරියේ තිබියදී ගිරවුන් මෙන් කටපාඩම් යුගයක් අනවශ්‍ය බැව් ඔහු සඳහන් කරනවා.

අධ්‍යාපනය පිලිබඳ විශ්ව පර්යේෂණ සංවිධානය මගින් 2012 වසරේ පවත්වන ලද වාර්තාවකට අනුව පාසල් දරුවන්ට වැඩියෙන්ම ගෙදරවැඩ ලබා දෙන රට රුසියාවයි. පිළිවෙලින් ගත් විට ඉතාලිය, අයර්ලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය පස්වැනි තැන දක්වා සිටිනවා.

ස්පාඤ්ඤය මේ තත්වයට එරෙහිව විරෝධතාවන් ආරම්භ කිරීමට දැන් සූදානමින් සිටිනවා. ඔවුන් පසුගිය අධ්‍යන වාර්තාවන්ද පාදක කර ගෙන පෙන්වා දෙන්නේ අනවශ්‍ය ගෙදරවැඩ දුන් පමණටම දරුවාගේ ප්‍රගතියක් ඇති නොවන බවයි. බරට බරේ ගෙදරවැඩ දුන්නත් තවමත් ස්පාඤ්ඤයේ දරුවන් ගනිතය, විද්‍යාව වැනි විෂයන්ගේ නිපුනතා මට්ටටමට පත්ව නැහැ.

ඇත්තටම රටක අධයාපනය ගොඩ නැගෙනන් අවශ්‍ය වෙන්නේ ක්‍රියාවෙන් අවබෝධය පදනම් කර ගෙනයි.ගනිතය වැනි සංකල්ප ඉතා නිර්මාණශීලීව දරුවාගේ බුද්ධියට ගැලපෙන අන්දමින් ලබා දීමට පුලුවන්.එහෙම නැතුව න්‍යාය්තමක බව පදනම් කර ගත්තොත් මේ සංකල්ප බොහොම ගොරෝසුයි. ඒවා දරුවාගේ මනසට ආකර්ශනය වෙන්නේ නැහැ.

පාසල් වාරාවසානයට දරුවාගේ බරට වඩා හෝම්වර්ක් ලැබුනාම ඔවුන්ට ඇතත්ටම නිවාඩුව නිදහසේ ගෙවනන් අවස්තාවක් නැහැ. අම්මලාත් පිටුපස සිටන් ‘ හෝම්වර්ක්…හෝම්වර්ක්…කියමින් දරුවාගේ මතකයට මේ පීඩාව නිතරම ලබා දෙනවා.

මේ නිසාම දැන් දරුවන්ට පාසල් නිවාඩුවත් පොත හා මේසය අතරේ ගෙවන්න වෙලා. නිතරම මේ තත්වය ඇති ුවනොත් දරුවා ඉතාම අක්‍රියශීලී බවට පත් වෙනවා. ඒ සමගම අනවශ්‍ය විදිහට තරබාරුව, සහ වෙනත් බෝනොවන රෝගාබාධයන්ගේ ගොදුරක් බවටඉතාම පහසුවෙන්  පත් වෙනවා. දරුවාට අලුත් යමක් හිතනන් බැහැ. ඔවුන් සෞන්දර්ය හදුනන්නේ නැහැ.

අද දරුවන් අතර සියදිවි නසා ගැනීම ඉතාම ඉහළයි.. මේ තත්වයට අධයාපනයට ඇගිල්ල දිගු වුනත් ඒ තත්වය ඇති නොවන තැනට කටයුතු කරන්නේ කොහොමදැයි කිසිම කෙනෙක් විසදුම් සෙවිල්ලක් නැහැ.විෂය දැණුම මත දුවන තරඟය මිසක ආත්මශක්තිය, ආත්ම සංවරය ගොඩ නැගීමක් අද නොමැති වීම මීට ප්‍රධාන හේතුවක්.දරුවන්ගේ සියුම් රසභාවයන් පුබුදුවන කිසිම කලාවක් අධ්‍යාපනයට සම්බන්ධ නැහැ.ඒ නිසාම දරුවන් සංවේදී පුද්ගලයන් විදිහට ලෝකයට එකතු වීමක් නැහැ. මේ නිසාම පරාජයන් ඉදිරියේ දරුවන් ඉතාම අසණ වෙනවා වගේම ඒවා මැඩගෙන ඉදිරියට ශක්තියක් ඇත්තේම නැහැ.

ජපානය වැනි රටවල මුල් අවුරුදු තුනේදී ලැබෙන්නේ ගුණධර්ම පෝෂණය පමණයි. වේලාවට වැඩ කිරීම,ආචාරශීලීත්වය,වැසිකිලිය පවා සෝදා ගෙන තමන්ග් පාසල…මේ අපේ වැඩ කොටස හොදින් සිදු වුනොත් පාසල පිරිසිදුයි යන පොදු සංකල්ප නොදැනීම ගොඩ නගනවා.

ඒ වගේම ඔවුන් දරුවන්ගේ අධයාපනයට සෞන්දර්යාත්මක රස වින්දනය වැඩියෙන් ලබා දෙනවා.කඩදාසි මත පින්සලෙන් අකුරු හැඩතල ලියන්න, කවි කථන්දර කියන්න, අහන්න, නටන්න, ගයන්න මේ හැම දෙයකින්ම දරුවන් පෝෂණය කිරීමට ජපනුන් සූදානම්. එහෙමනම් ජපන්නු වගේ අපේ දරුවොත් හපන්නු කිරීමට නම් ළමයාට ළමයෙක් විදිහට නිදහසේ ඉගෙනගන්න අවස්ථාවක් දෙමු නේද…?

දරුවාගේ මානසික සෞඛ්‍ය ගැන හිතද්දී ඔබට වැරදුනේ මෙතැනද?

මව්පියන්ගේ ආදරය දඋපතේ සිටම මිය යන මොහොත දක්වාම යමක් ඉගෙන ගන්නා අපි සර්වසම්පුර්ණ නොවන බව මින් පෙර ලිපියකදිත් සඳහන් කල බව ඔබට මතක ඇති. අන්න ඒ නිසාම කිසිම අයෙක් සර්ව සම්පුර්ණ මව්පියන් වීමේ හැකියාවක් නැහැ. මව්පියන් වශයෙන් අපි දැනුවත් වෙන්න වෙන්න සිදුවන්නේ දරුවන් කායිකව වගේම මානසිකවත් නිසි ලෙස වර්ධනය වීමයි. අපි ශාරීරිකව දරුවෙකුගේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන තැන මානසික සංවර්ධනයටත් ලබා දිය යුතු බව ඔබට බොහෝ තැනවලදී සිහිපත් කල බව මතක ඇති. ඇත්තෙන්ම කීවොත් වයස අවුරුදු 25, 28 තෙක්ම දරුවෙකුගේ මනස අපි කැමති හැඩයකට ඇඹිය හැකියි. එයට සුවිශේෂිව බලපාන්නේ දරුවන්ගේ අවට පරිසරය සහ පුද්ගලයන්ය. එතැනදී ප්‍රධාන වන්නේ දෙමාපියන්ය. නිරෝගී සමාජයක් වෙනුවෙන් තැබිය හැකි පළමු අඩිතාලම වන්නේ දරුවන්ගේ මානසික සහ කායික වර්ධනය ගැන දෙමාපියන් වන ඔබ නිවැරදිව දැනුවත් කිරීමයි.

උපතේ සිට මුල් අවුරුදු දරුවෙකුගේ මොලය විශ්වයක් වගේ නිර්මාණය වෙනවා. මිලියන ගනන් ස්නායු බිහිවෙන්නේ දරුවාට සිය දෙමාපියන්ගෙන් ලැබෙන උත්තේජනය( stimulation) මතයි. දරුවන්ට එවැනි උත්තේජන ලැබීමට නම්,

  • මුහුණට මුහුණ බලා කතා කිරීම
  • මුහුණේ ඉරියව් අනුගමනය කිරීම
  • දරුවා සමග නිතරම සිනාසීම
  • ඇස් අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම
  • උණුසුම ලබාදීම
  • කුසගින්න/නිදිමත හෝ වේදනාවකදී අවශ්‍ය නිසි ප්‍රතිචාර දැක්විය යුතුයි.

දරුවෙකුගේ ජිවිතයේ මුල් අවුරුදු තුන ඇතුළත හිමි වන මේ ආදරය, උණුසුම, රැකවරණය පිරුණු මේ ප්‍රතිචාර මගින් ජීවිත කාලය පුරාම බැඳීමේ ස්වභාවය තීරණය කරනු ලබනවා.

” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ  ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ දේවල් අපේ වැඩිහිටියන් අතරෙන් ඔබටත් ඇහිලා ඇති.

ඒත් කලින් ලිපිවලත් සඳහන් කල පරිදිම ළදරැවෙක් කියන්නේ වැඩිහිටියෙකුගේ සහය, රැකවරණය නොමැතිව තනිව ගොඩනැගිය හැකි සත්ත්වයෙක් නොවෙයි. ළදරුවෙකුට මේ ලෝකේ තුල පවතින්න නම් බැඳීමක් තිබිය යුතු වන්නේ ඒ නොහැකියාව නිසයි. ළදරුවෙක්ට රැකවරණය නොලැබුණහොත් කායිකව මෙන්ම මානසිකවත් සිදුවිය හැකි විනාශ බොහොමයි.

දරුවෙක් හුරතල් කරන්න එපා, ඉඹින්න එපා කියන දුර්මතවලින් දරුවන් හා දෙමාපියන් අතර ඇති විය යුතු ආරක්‍ෂිත බැඳීම පලුදු වීම පමණක් බව ඔබට වැටහෙනවා ඇති. මේ තත්ත්වයට හොඳම උදාහරණයක් විදියට රුමේනියාවේ අනාථ දරුවන්ගේ කතාව දැක්විය හැකියි. ඒ දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් කර අනාථ නිවාසවල කිසිවෙකුගේ හෝ ආදරය, රැකවරණය නොමැතිව ඇති දැඩි වූවා. එහි ප්‍රතිපලයක් විදියට ඔවුන් තම හැඟීම් අවශ්‍යතා වගේම තවත් අයෙකුගේ දුකක් හෝ සතුටක් වටහා ගැනීමේ හැකියාවක් නොමැති පිරිසක් බවට පත් වූවා. මේ අනාථ නිවාසවල සේවයේ යෙදුණු පිරිස් පැවසු පරිදි මුලින් දරුවන් කොයිතරම් හඬා වැටුණත් කිසිවෙකුත් නොපැමිණි නිසා පසු කාලීනව ඔවුන් එය වටහා ගෙන හඬා වැටීම නතර කොට ඇත. මෙවැනි උදාහරණ අපේ ජිවිතවලට ලොකු පාඩම් කියා දෙන බව ඔබට වැටහෙන්නට ඇති. දරුවන් සහ දෙමාපියන් අතර බැදීම් (attachment) ආරක්ෂිත (secure) වගේම අනාරක්ෂිත (insecure) එකක් වෙන්නත් බොහෝ අවදානමක් තියෙන බවත් පොදුවේ අපේ සමාජය ගත් කළ පවතින බැඳීම් 60%ල ආරක්‍ෂිත වන අතරම 40 % අනාරක්ෂිතයි.

මොනවද මේ අනාරක්ෂිත බැදීම් ඒවා ඇතිවෙන්නේ කෙසේද?

උපතේ සිට අවුරුදු තුන වයස් සිමාවේ සිටින දරුවෙක් (බැඳීම්වල උපරිම වර්නධය සිදුවන කාලය) හඬන විට මව දරුවා අසලට නොයන්නේ නම් කාලයත් සමග දරුවා තම හඬා වැටීම නතර කර මව්වරුන්ගේ අර්ථ දැක්වීමට අනුව හොඳ දරුවෙක් බවට පත් වෙයි. එය එසේ වුවද මේ හරහා දරුවන් තුළ දුක, බිය, කේන්තිය, තරහ වැනි හැඟීම් යටපත් කිරීමට ඔවුන් හුරු වේ. එය සිය ජිවිත කාලය පුරාම ඒ ආකාරයටම සිදුවේ. මෙවැනි දරුවෙක් අනාගතයේදී තම සම්බන්දතා දෙස මෙන්ම ජීවිතය දෙසත් ඉතා හිස්බවකින් යුතුව බලන්නට හුරු වේ. එය ” avoidant attachment style ” ලෙස හඳුන්වනවා. මෙවැනි දරුවන් මානසිකව මෙන්ම පෞරුෂ වර්ධනයේදී නොයෙක් ගැටලු ඇති ය වන අතරම මත්පැන්, මත්ද්‍රව්‍ය වෙත යොමු වීමේ හැකියාව ඉහලයි.

එසේම මේ වයස් සිමාවේ දරුවෙක් වෙත යම් කිසි හේතුවක් නිසා සිය මව මනසින් දරුවා වෙත දක්වන අවදානය අඩුවෙනවා නම්, සමහර දරුවන් තම හැගීම් නොසලකා හරින්නත් ඇතැම් දරුවන් වැඩි අවධානයක් ගන්න පෙළඹෙන්නත් නැඹුරුතාවයක් ඇති විය හැකිය.

ප්‍රසුතියෙන් පසු මව්වරුන් මුහුණ දෙන Post Natal Depression (PND) තත්ත්වයේදී මවක් තම දරුවාගේ කායික සහ මානසික අවශ්‍යතාවන්ට දක්වන අවධානය අඩු විය හැකි නිසා (මෙහිදී මවක් තම දරුවාට දක්වන අවධානය අවම වන්නේ ඇය පත්ව සිටින මානසික තත්ත්වය නිසයි. PND යනු දරුණු රෝගී තත්ත්වයක් වන නිසාම ඇය මේ තත්ත්වයට පත්වනවා මිස දරුවා මගහරින්නේ හිතාමතා නොවෙයි. මෙහිදී සැමියා මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේ සහයෝගය ඇයට හිමිවීම අත්‍යවශ්‍ය වන අතරම මෙය නිසි ප්‍රතිකාර හමුවේ නිට්ටාවට සුව කළ හැකි රෝග තත්ත්වයකි) එවන් දරුවන්ගේ හිතේ ඇතිවෙන අවිනිශ්චිත සහ අනාරක්ෂිත ස්වාභාවය නිසා,         ” anxious ambivalent attachment style’ කියන තත්ත්වය ඇති විය හැකියි. වැඩි වෙලාවක් දුරකතනයේ රැඳී සිටින මව්වරුන් අතින් දරුවෙකුව මගහැරෙන්න තියෙන අවධානමත් PND තත්වය නිසා ඇතිවෙන අවධානමට සමානයි.

උදාහරණ විදියට මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් තාවකාලිකව දෙමාපියන්ගෙන් වෙන්වන අවස්තාවලදී (පෙර පාසැල වෙත යනවිට) දෙමාපියන්ගෙන් වෙන්වීමට අධික අකමැත්තක් දැක්විය හැකියි. ඒ වගේම වයසින්ද වැදුණු දරුවෙක් නම් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, වැඩිහිටි වූ පසු සහකරුට හෝ සහකාරියට අනවශ්‍ය ලෙස බාධාවන ආකාරයෙන් ඇලී ගැලී සිටීම වැනි තත්ත්වයන් දැක්විය හැකියි. මේ හේතු මත සම්බන්ධතා අතර ගැටුම් පවා ඇති විය හැකියි. එය ජිවිතයට අසතුට ලංවීමට හේතු විය හැකියි.

දරුවෙකුට අධි ආරක්‍ෂිතයා මෙන්ම ආදී අනාරක්ෂිතයා වෙන්නෙත් තම දෙමාපියන්ම නම් දරුවෙකුට එවැනි වැඩිහිටියන් සමග බැඳෙන්නට වන්නේ ඉඩ අවිනිශ්චිත බවක් සමගිනි. එය Dis organised Attachment ලෙස හඳුන්වන අතරම මේ තත්ත්වය ඇති වන්නේ බියට පත්ව සිතිඅ දෙමපියගෙන් සහ දුටු විට බිය දනවන දෙමපියන්ගෙනි. උදාහරණයක් ලෙස තම ස්වාමියට බියෙන් ජීවත් වෙන බිරිඳක් දකින දරුවෙක් වගේම, අම්මට ගහල කෑගහන තාත්ත කෙනෙක් දකින දරුවෙක්ට ඇති වෙන්නේ Dis organised Attachment එකක්‌. මෙය දරුණු ආකරගේ පෞරුෂ ආබාධ වලට මෙන්ම මානසික රෝග තත්ත්වයන්ට හේතු විය හැකි තත්වයක්.

දැන් ඔබට වැටහෙනවා ඇති ” ඔයා වැඩට යන්න හිතන් ඉන්නව නම්, ඔය දරුවාව වැඩිය හුරතල් කරන්න එපා, ඔය දරුවාව නිතර වඩාගෙන ඉන්න එපා, අතට පුරුදු වෙනවා, දරුවෝ  ඕනවට වඩා ඉබින්න, හුරතල් කරන්න එපා, ඔයාට මොන වැඩක්වත් කර ගන්න බැරි වේව්, ඔහේ අඬන්න දෙන්න, අඬලා අඬලා පුරුදු වේවි” මෙන්න මේ වගේ අපේ වැඩිහිටියන් අතරෙන් ඔබට ඇහුනු දේවල් ක්‍රියාත්මක කලොත් ඔබේ දරුවා පත් වන්නේ කොයි තරම් දුක්ඛිත තත්ත්වයකටද යන වග. දෙමාපිය ආදරය විඳීමට ලැබෙන අවස්ථාව තුලින් දරුවෙකුගේ ජීවිතයට එලිය වැටෙනවා මිස වරදක් නොවන බව දැන් ඔබට වැටහෙන්නට ඇති.

ළමයෙක්ගේ මුල් ළමාවිය අතිශයෙන්ම වැදගත්. දැන් ඉඳන් හිතන්න, ඔබේ අතින් දරුවාගේ මානසික වර්ධනයට හානියක් සිදු වී ඇත්නම් අදම එය නිවැරදි කරගනිමින් ක්‍රියාත්මක කරන්න. පුංචි දරුවන් ඉන්න මව්පියන් විදියට ඔබටත් මටත් කාලය තව ඉතිරි නිසාම ඒ කෙටි කාලය තුල හෝ ආදරය දයාව රැකවරණය සමගින් ලොවට කායික මෙන්ම මානසික සුවතාවයෙන් යුතු දායාද කරමු.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

පිරිමි දරුවන්ටත් නිවසේ කටයුතු උගන්වන්න

හොනලුලු විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් අපුරු හදුනා ගැනීමක් තිබුනා. අද බොහෝ විවාහයක්ගේ පවුල් සංස්ථාවන් තුළ ඔවුනොවුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්ලු. ඊට හේතුව විදිහට පෙන්වා දී තිබුනේ නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් සහකරුගේ සහයෝගය නොලැබීම බව ඒ අධ්‍යනයේ පෙන්වා දී තිබුනා. ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යනය  මෙහෙවන ලද පර්යේෂකයන්ට පෙනී ගියේ  මේ අන්දමින් තම නිවසේ කටයුතුවලට සහයෝගයක් නොදක්වන ලද පිරිස් බොහොමයක්  බාල කාලයේදී තම නිවසේ වැඩකටයුතු වෙනුවෙන් කිසිම සහයෝගයක් නොදැක්වූ පිරිසක් වූ බවයි.

මේ වාර්තාව කියවන ලද ස්පාඤ්ඤයේ එක් විදුහල්පතිවරයෙක් මේ තත්වයට විසදුම් එතැනින් පටන් ගත්තා. ඔහු තම විදුහලේ  පිරිමි දරුවන් වෙනුවෙන් විෂය මාලා අධ්‍යනයට අමතරව ඉවුම් පිහුම්, ගෙදර දොර අතු ගෑම, රෙදි පිලි සේදීම වැනි කටයුතු වෙනුවෙනුත් අවස්ථාවක් ලැබෙන විදිහට පංතියේ කාලසටහන සැලසුම් කරනු ලැබුවා.

ඇත්තටම අද බොහෝ පවුල්වල මේ තත්වය ඇති නොවෙනවාම නොවෙයි. ඉස්සර කාලයේ නම් අම්මා කියන චරිතය නිවසේ වැඩ කටයුතු වෙනුවෙන්ම සීමා වුනත්  අද ඊට වඩා බොහොම විශාල භුමිකාවක ඇය සිටිනවා. ඒ නිසා කායික වශයෙනුත්  විශාල වෙහෙසක් දරන්න සිදු වීම සාමාන්‍යයි.

මේ වගේ වාතාවරණයකදී නිවසේ මවට බිරිඳට පවුලේ අය ගෙන් සහයෝගයක් ලැබෙනවා නම් විශාල ශක්තියක්. එවිට ඇයට තමන්ගේ වැඩ කොටස කර ගෙන යෑමේදී වෙහෙසක් දැනෙන්නෙත් නැහැ. වචනයටත් අපි කියනවානේ…උදව් නොකලත් කමක් නෑ…අඩුම ගනනේ වචනයෙන්වත් සහයෝගයක් නැහැනේ…මේ වගේ බොහොම දුක්බර කතා අපටත් හොදට හුරුපුරුදුයි.

අන්න ඒ වගේ තත්වයක් ඇති වෙලා පවුලේ සාමය , සමගිය බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කර ගැනීමට නම් පිරිමි දරුවන්ටත් බාල කාලයේ පටන්ම නිවසේ වැඩකටයුතු පුරුදු පුහුනු කිරීම වරදක් නැහැ. එහෙම වුනාම අම්මාට වැඩ බහුල වුනාම , අසනීපයක් හැදුනාම එහෙමත් නැත්නම් ගමනක් ගිය වෙලාවක පවුලේ පුතාට පුලුවන් වෙනවා බතට මාළුවක් හදා ගන්න….තේඑකක් හදාගෙන බොන්න…

  • ඉතින් මේ වැඩ උගන්නන්නේ කොහොමද….?

නිවසේ වැඩට පිරිමි දරුවන් දායක කර ගැනීමේ පුංචි තහංචි අප විසින්ම පනවා ගෙන තිබෙනවා. ඇයි ඉතින් පිරිමි දරුවන්ට ලොකු වටිනාකමක් ලබා දීලා තිබෙනවානේ. ඒ නිසා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් සින්න වෙන්නේ ගැහැණු දරුවන් විතරයි. අප අතර ඇති මේ අදහස ඇත්තටම වැරදියි. ගැහැණු වුනත්, පිරිමි වුනත් තමන්ට උවමනා දෙයක් පිලියෙල කරගන්න, නිවස පිලිවෙලකට තබා ගන්න හුරු පුරුදු කිරීම වරදක් නොවෙයි.

  • සැමියාගේ වැරදිවලට බනින්නේ කාටද…?

අම්මාට ගෙදර වැඩ වැඩි වුනාම කේන්ති යනවත් වැඩියි. ඒ අතරේ තාත්තාගේ අපිලිවෙල නිසා තවත් වැඩ වැඩි වෙනවා. තේ බීලා කෝප්පය එක තැනක…ඇඳේ රෙදි බිමටත් වැටිලා..කලබල උදෑසනකදී මේවා දැක්කාම ඉතින් කේන්ති යෑම සාධාරණයි. ඒ කේන්තියට ඉතිං පවුල් ගහත් බදා ගන්නවා.

එච්චරයි පුතෙක් හදලා තියෙන්නේ…රටේ ඉන්න අපි පව් ගෙවන්න ඕන…මේ වගේ කළකිරීමෙන් කතා කරන අම්මලා අපි අතර සුලබයි.

  • පුතාගෙන් වැඩ ගන්නවාට අම්මා කැමැතිත් නැහැ…

තවත් ලස්සන කතන්දරයක් තිබෙනවා.තමන්ගේ පුතා බිරිදට උදව් පදව් කරනවාට අම්මා කැමැති නැහැ. ඒ වුනාට දුවට උදව්වක් නොකරන බෑනා ගැන බොහොම දොස් නගන අවස්ථාවන් තිබෙනවා. දුව වුනත්, ලේලි වුනත් මේ දෙන්නාම කාන්තාවෝ…සමහර විට දෙන්නාම අම්මලා..දෙන්නාම රැකියාවක් කරනවා ඇති. එහෙම වෙලාවක දුවට එයාගේ සැමියාගෙන් උදව් නැති වුනාම අම්මාට දැනෙන දුක ලේලිට තමන්ගේ පුතා උදව් නොකරන විටත් දැනෙනවා නම් නේද වඩාත් හොඳ…

  • මතුපිටට නොපෙනෙන මානසික ගැටුමක්..

හොනලුලු සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමටම පවුලක ගැටුමට මුල පුරන මේ සිදුවීම් පැහැදිලිව පෙනේනේ නැහැ. ඒවා හිත යට පැසවලා නොදැනීම පුපුරා හැලෙන්නේ පවුල් සංස්ථාවටම වින කරමින්. ඉතිං තමන්ගේ පුතාගේ අනාගත විවාහ සංස්ථාව ආරක්ෂා කර ගැනීමට නම් අම්මලා මේ විදිහට කටයුතු කරනවා නම් අගෙයි.

  • පුතාටත් යම් යම් ගෘහ කටයුතු කියා දෙන්න.
  • උයන පිහන වේලාවට ඔහුගේ සහයෝගය ලබා ගන්න.
  • නිවස පිරිසිදුව තබා ගන්න , තමන්ගේ රෙදි සෝදා ගැනීමට බාල කාලයේ පටන්ම වගකීම ලබා දෙන්න.
  • නිවසක් වුනාම හැම කටයුත්තක්ම හැම දෙනාගේම මිසක ගැහැණු, පිරිමි විදිහට නිවසේ කටයුතු විහේෂීතකරණයක් නොකරන්න.

එහෙම වුනොත් ඔබේ පුතා අනාගතයේදී පවුලට ලැදියාවක් ඇති, පවුල තුළ සහයෝගයෙන් කටයුතු කරන සාර්ථක පියෙක්, සැමියෙක් බවට පත් වේවි.

ආසාත්මිකතාවයන් කියන්නේ මොනවාද..?

නිවසක අලංකාරය එහි තිබෙන විවිධ වටිනාකම් එක්රැස් කරන භාණ්ඩවලින්ම තක්සේරු කරන්න බැහැ. මොනතරම් වටිනාකම් ප්‍රදර්ශනය වුනත් දූවිලි වලින් පිරුන පරිසරයක් වුනොත් එයින් ඔබට පමණක් නොව නිවසේ නිවැසියන්ටත්, දරුවන්ටත් ඇති විය හැකි ආසාත්මිකතා රෝග ගැන දෙමව්පියන් විදිහට ඔබත් දැනුවත්ව සිටියොත් වඩාත් අගෙයි.

දූවිලි නැති නිවසක් ගැන ප්‍රායෝගිකව හිතන්න නම් ටිකක් අපහසුයි. ඒත් දූවිලි නිසා ඇති වෙන අවදානම ගැන දැන හිටියොත් අපහසුවෙන් වුනත් නිවසේ ජීවත්වෙන අයගේ සුව පහසුව ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් උනන්දු වේවි.

දණගාන, හිටවැටෙන පුංචි පැටව් සිටින  නිවසක නම් මේ තත්වය බොහොම බරපතලයි. හැමතැනම දණගාන, බඩගාන ඔවුන් දූවිල්ලට නිරාවරණය වීම වැඩියි. ඒ නිසා නිතරම පුංචි පැටවුන්ට ආසාත්මික රෝග වැලඳෙන්න තිබෙන අවදානමත් ඉහලයි.

ආසාත්මිකතාවයන් කියන්නේ මොනවාද..?

දූවිලි තුළ අපට නොපෙනෙන අපිරිසිදු ද්‍රව්‍ය අන්තර්ගතයි. ඒවා ඉතාම සියුම් නිසා ශ්වසනය ඔස්සේ නාසය , පෙනහලු කරා ඇතුලු වෙනවා. පුංචි පැටියා නිතරම කැස්ස, හෙම්බිරිස්සාව, සොටු දියර ගැලීම වගේම උගුරේ අපහසුතාවයන්ගෙන් පසු වෙනවා නම් අම්මලා නිවසේ දූවිලි තත්වය ගැනත් දැනටත් වඩා  උනන්දු වුනොත් හොදයි.

පුංචි අයට විතරක් නොවෙයි…වැඩිහිටියන්ටත් දූවිලි අපලයි. 

ලෙඩරෝග වලට ලොකු පුංචි වෙනසට වඩා බලපාන්නේ  ශරීර ප්‍රතිශක්තියයි. ඒ කියන්නේ සමහර අයගේ සිරුර රෝගාබාධයන්ගෙන් වැලකී සිටින හැකියාව එහෙම නැත්නම් ප්‍රතිශක්තියෙන් යුක්ත නිසා ඔරොත්තු දීගෙන සිටියත් සමහර වැඩිහිටියන්ටත් මේ වාසනාව නැහැ. ඒ වගේ උදවිය බොහොම ඉක්මනින් දූවිලි නිසා විවිධ ආසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ ඉඩ කඩ යහමින් තිබෙනවා.

ලක්ෂ බාගයක් දීලා ගත්තේ..

දූවිලි නිසා ඔබේ වටිනා ගෘහ භාණ්ඩ වගේම වෙනත් විද්්‍යුත්  උපාංගත් අපිරිසිදු වීම, ක්‍රියාවිරහිත වීම වගේම පාවිච්චියට නොගැලපෙන විදිහට නිරපරාදේ නාස්ති වෙන්න පුලුවනි. ලක්ෂ බාගයක් දීලා සොෆා සැටියක් ගත්තත් දූවිලි වලින් අපිරිසිදු වුනොත් එය සාලයට නොගැලපෙන තත්වයට පත් වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම දූවිලි ගැනත් විමසිලි ඇසින් සිටීම වැදගත්.

දූවිලි නැති පරිසරයක් ගැන…

  • නිවසට ආලෝකය වගේම වාතාශ්‍රය ඕන. ඒක් ඇත්ත. ඒත් පාරට විවෘතව තිබෙන ජනේල මගින් නිවස ඇතුලතට දූවිලි ඇතුලු වෙන වේගය වැඩියි. ඉතින් මේ ගැන තීරණය කිරීමත් අවශ්‍ය වෙනවා.
  • අපිට විදුලි පංකාව දැන් අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව තිබුනත් ඔන්න මෙයා තමයි නිවසට දූවිලි අරගෙන එන වාහකයා බවට පත්ව ඉන්නේ. ඒ නිසා නිතරම විදුලි පංකාවේ පෙතිවල රැඳී තිබෙන දූවිලි පිසදා පිරිසිදු කරන්න අවශ්‍යයි.
  • නිවසේ වායු සමීකරණයක් තිබෙනවා නම් දූවිලි අංශු වායුසමීකරනයේ පෙරණයේ රැදී නැවත අපිටම හිරිහැර කරන්න ඉඩ තිබෙනවා. ඔන්න ඒ නිසා මාස තුන හතරකට වතාවක් කාර්මික හිල්පියෙකු ලවා මේ දූවිලි ඉවත් කර ගෙන සුද්ධ පවිත්‍ර කර ගැනීමටත් දෙමව්පියන් විදිහට වගකීමක් තිබෙනවා.
  • දැන් කාලයේ දොර ජනේල රෙදි බොහොම බරපතලයි. අලංකාර කිරීමටත් නිවසේ හැටියට ලක්ෂ ගනනක වැය බරක්. හැබැයි ම්වා පිරිසිදු නොකලොත් එහි රැදී තිබෙන දූවිලි අංශු වාතය ඔස්සේ අපේම ශ්වසනයට ඇවිත ගෙදර සියලු දෙනාම නිතර නිතර ලෙඩ කරන්න පුලුවනි.
  • නිවස අතුගානවා වගේම මොප් කිරීමෙන් දූවිලි කරදරයෙන් දුරස් වෙන්න පුලුවනි. දූවිලි වාතයේ සැරිසරලා අන්තිමට තැන්පත් වෙන්නේ බිම. අපි ඉතින් වැඩියෙන්ම ගෙබිමත් සමග සම්බන්ධ නිසා නිරන්තර අතු ගා පිරිසුදු කිරීමට අමතරව දින දෙකක්ට වරක් හෝ මොප් කිරීමත් අවශ්‍යයි.
  • ඒ වගේම වැකුම් ක්ලිනරයක ආධාරයෙන් දූවිලි ඉවත් කිරීම ඉතාම පහසුයි.
  • පාපිස්ස නිසි තැන ස්ථානගත කලොත් දූවිලි වලක්වා ගන්න පුලුවනි. පාපිස්ස වැකුම් කිරීම වගේම උස තැනක තබා හොදින් ගසා ගැනීමෙන් දූවිලි ඉවත් කර ගන්න පුලුවනි දෙසතියකට වතාවක් හෝ සෝදා පිරිසිදු කර ගැනීමත් වැදගත්.
  • හැබැයි කාපට් එකේ නම් දූවිලි නවාතැන් ගන්නවා. බොහොම ගාම්භීර වුනත් කාපට් එකේ දූවිලි හරි විදිහට ඉවත් නොකලොත් ලෙඩ රෝග ඉල්ලා වැළඳ ගැනීමට සමානයි.

එහෙමනම් පුංචි පැටියයි, පවුලේ උදවියයි විතරක් නොවෙයි, නිවසේ බඩු භාන්ඩවලටත් කරදර පමුණුවන දූවිලි නැති පරසරයක් ගොඩ නගා ගැනීම ගැන උනන්දුවෙන් කටයුතු කළොත් කවදාවත් වරදින්නේ නැහැ.

හිතුවොත් සල්ලි හොයන්න ඇයි බැරි?

ජීවිතේ කියන්නේ ලියලා ඉවර කරන්න බැරි පොතක්  වගේ. හැම දවසක්  ආරම්භයේම අලුත් පිටුවක් ලියන්නට පටන් ගන්න අපි දවස අවසානයේ  ඒ පිටුව ලියලා අවසන් කරන්නේ තවත් දවසකට මතු සම්බන්ධයක් තියලා. ් වෙලාවකට තිත්ත වෙලා වහකදුරු වගේ හිතෙන යන මේ ජීවිතය වෙලාවකට ආදරෙන් විඳින්න හිතෙනවා නේද? ඉතින් අපි හැමෝගෙම ජීවිත ඇදගෙන යන්න අපි දරන්නේ පුංචි පහේ මහන්සියක්ද නේද? ඔය අස්සේ පෝසත් ,දුප්පත්, ටිකක් දුප්පත් ,දුප්පත්ම දුප්පත් ජීවිත සමාජය තුල බොහොමයි. මම මේ කියන්න යන්නේ නම් සල්ලි නිසා ඇති වෙන දුප්පත්කම ගැන . විශ්වාස කරන්න දුප්පත්කම අපිම තමයි ළං කරගන්නේ. ඒ කොහොමද?

සල්ලි අපේ ජීවිත වල සතුට නිර්මාණය කරන අපූරූම දේයි. ඉතින් ඒ අපූරූ දේ නිකන් ඔබේ දෝතට වඩියි කියලා බලා හිටියට පලක් නැහැ. සල්ලි ඔබේ අතට එන මාර්ගයක් එළි පෙහෙලි කරගන්න ඕනී.  ඇත්ත කතාවක් කියන්න යන්නෙ

ඔන්න ඉන්නවා කිරි එළදෙන්නු කිහිප දෙනෙක් සහ හරක් කිහිප දෙනෙක්ගෙ අයිතිකාරයෙක්. කිරි දොවලා විකිණීම තමයි රැකියාව. ඉතින් මේ ගව ගාල පිටිපස්සෙ තියෙන්නෙ පුරන් වුණ වෙලක්. ගව ගාලේ ගොම සේරම කඳු කඳු ගොඩ ගහලා. මේ මනුස්සයට පුතාල දෙන්නෙකුත් දුවෙකුත් තමයි ඉන්නෙ. එක පුතෙක් රැකියාවක් කරනවා. අනිත් පුතා ගවගාලේ වැඩ. උදේට කිරි දෙව්වට පස්සෙ හවස් වෙන කල් එයාලාට වැඩක් නැහැ. මේ මිනිස්සු දුප්පත්. ඇත්තටම මේ මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ කම්මැලිකම නිසා නේද? කඳු ගහගෙන ඉන්න ගොම ටික වේලලා පැකට් කලොත් හොඳ ආදායමක් උපයන්න පුලුවන්. අර පුරන් වුණ කුඹුරෙ එළවලු ටිකක් පලා ටිකක් වැවිවොත් එදිනෙදා පරිභොජනයට ගන්න පුලුවන්. ඒත් ඒ ගැන වගක් නැති මේ මිනිස්සු දුප්පත් වෙලා ඔහෙ දුක් විඳිනවා.

අපි හැමෝටම උපයන්න මොකක්ම හරි මාර්ගයක් සොයා ගන්න පුලුවන්. මගේ යහලුවෙක් සිටියා. ඉගෙන ගන්න කාලේ එයා එයාගේ වියදම හොයා ගත්තේ රෑට පීට්සා ඩිලිවර් කරන්නෙක් විදිහට වැඩ කරලා. ඔයාලා දන්නවද අද එයා පිළිගත් විගණන ආයතනයක හිමිකරුවෙක්.

මේ කියන්න යන දේ ගැන නම් ඇත්තටම ඔයාලා ටිකක් විතර පුදුම වේවි. මේ දරුවගෙ වයස අවුරුදු නමයයි. මගේ පුතා ඒ කියන්නෙ තරුකගේ වයසම එයාගෙම පන්තියෙ ඉගෙන ගන්නේ. දන්නවද පොඞ්ඩා බිස්නස් එකක් කරනවා. කඩදාසී භූමරංග රුපියල් 10, කඩදාසී රොකට් රුපියල් 5, කඩදාසී හුලං කාක්කො රුපියල් 5. දවසක් මේ නිර්මාණ තුනම අපේ පුතා ගෙදර අරගෙන ආවා. හැබැයි ඉතින් නොමිලේ දීලා තිබුනෙ ව්‍යාපාරය කරගෙන යන්න මේවයේ මිල ගණන් තීරණය කරලා දිලා තිබුණෙ අපේ පණ්ඩිතයා නිසා. මම ඉතින් පහුවෙනිදම මේ ව්‍යයාපාරිකයා හමුවෙන්න ගියා.”හැමදේටම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි ඉල්ලන්න බැහැනේ. පොත් ගන්න, බිස්කට් කන්න අයිස්ක්‍රීම් කන්න මට මේ සල්ලි වලින් පුලුවන්. ආ තව මම ගෙදර එකතු වුණ මගේ පරණ පොත් වලිනුත් බෑග් හදලා විකුණන්නත් හිතාගෙන ඉන්නෙ. ඒ අදහස නම් දුන්නෙ තරුක”.ව්‍යාපාරිකයා මට අදහස් දැක්වුයේ ඒ විදිහට. ඇත්තටම මේ පොඩ්ඩා දවසක හොඳ ව්‍යාපාරිකයෙක් වෙයි කියලා මට හිතුනා.මේ පොඞ්ඩගෙන් අපේ ජීවිත වලට ගන්න පුලුවන් පාඩමක් තියෙනවා නේද? පුංචි වුනක් සිතුවිලි පුංචි නැති පොඞ්ඩෙක්.

දුප්පත්කමට සාප කර කර නැති බැරිකම කිය කියා හඬා වැලපෙන වෙලාවේ දුප්පත්කම එළවන්නට පුලුවන් සල්ලි හොයන මාර්ගයක් ගැන සිතන්න අපි පුරුදු වුණොත් හොඳයි නේද? උදේ ඉඳන් ටෙලිවිෂනයේ රන් පැයවල් ඔබෙන් උදුරාගන්නේ ඔබේ වටිනා කාලයයි.

 “ව්‍යාපාර පටන් ගන්න ලොකු මුදලක් වැය කරන්න වෙනවා.”

ඔව් ඇත්ත ඒත් ඔබ ඔබ ලඟ ඇති සම්පත් වලින් පෝසතෙක් වන්නට ආරම්භ කරන්න. ගෙවත්තෙ ඉඩ කඩ ඇත්නම් එළවලු පලතුරු වවන්න. ඔබේ පරිභෝජනයට වගේම අතිරික්තය විකුණා ආදායමක් සරි කරගන්නට හැකිය. පේපර් කුයිලින්ග් කලාව කියන්නෙ මේ වන විට වෙළෙඳ පොලේ හොඳ ඉල්ලුමක් ඇති කලාවකි.ඔබ නිර්මාණශීලී නම් සුභ පැතුම්පත් නිර්මාණය කරන්නට හැකියි. ඇඳුම් මසන්නට දක්ෂ නම් ඔබට අඩු මුදලක් වැය කොට කුඩා ඇඳුම් මසන්නට හැකිය. ඔබට කටට රසට උයන්නට හැකි ආහාර පැකට් කර නම් විකිණිය හැකිය. විශේෂයෙන්ම කල් තබා ගෙන කන්නට හැකි අච්චාරු,පොළොස්, කැකිරි. සීනී සම්බල්, වැනි දෑ පිරිසිඳුව සකසා බෝතල් කොට විකිණිය හැකිය. මේ දැක් වූයේ උදාහරණ කිහිපයක් පමණි.

කොහොමද වෙළෙඳ පොළ හදාගන්නෙ. අද වන විට විකල්ප බොහෝමයක් ඇත. ඔබ නිතරම සැරිසරන මුහුණු පොත FB එක තුලම ඔබේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොලක් සකසා ගත හැකිය. ඔබ දන්නන කියන අයට කියන්නට හැකියි. ඔබේ නිවසට යාබද කඩ වලට ඔබේ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. සිත ඇත්නම් කල නොහැක්කේ කුමක්ද? සල්ලි නෙමේ ජීවිතය යැයි කීවාට සල්ලි නැතිව ජීවත්විය නොහැකි බව තේරුම් ගන්න. රූප පෙට්ටියේ රඟන නිළියන්ගේ ප්‍රශ්න ගැන සන්තාප නොවී ආර්ථික වශයෙන් ශක්තිමත් වන්නට ඔබ කල යුත්තේ කුමක්දැයි මේ මොහොතේම මේ දැන්ම තීරණය කරන්න.

බබාට දෙන්න ලුනු රහිත චීස් වර්ගයක් හොයනවද්? එහෙනම් මෙන්න “පනීර්”

පනීර් – සමහරුන්ට නම් අලුත් කෑමක නමක් වගේ දැනෙනවා ඇත්තේ එයාලා මේවා භාවිතය නැති නිසා වෙන්න පුලුවන්. මම මුලින්ම කියන්න ඕන මම නම් ආසම ආහාර වර්ගයක් තමයි පනීර්. මේවා ඉන්දියන් කෑම වල රස බලන්න කැමති අය නම් ආස කරන කෑමක්. පනීර් කරි එක එක විදියට හදන්න පුලුවන්..ඒ කරියක් එක්ක උනු උනු චපාති, නාන් වගේ රොටී කන්න පුලුවන් බඩ පැලෙනකන්. මෙතරම් පනීර් ලෝලියෙක් වෙච්ච මට​, අපේ පොඩ්ඩොන්ට පනීර් හරිම ගුණ බවත්, එක එක ජාතියේ කෑම පනීර් වලින් පොඩ්ඩොන්ට හදල දෙන්න පුලුවන් බවත් දැනගතතේ අපේ බබාට අවුරුද්දකටත් කිට්ටු වෙන්න ආව කාලේදීයි. එදා ඉදන් අද වෙනකන් මම හැකි හැම වෙලාවේම පනීර් බබාගේ කෑමට එකතු කරනවා.

“මොනවද මේ පනීර් කියන්නේ?” කෙනෙක් කල්පනා කරනවා ඇති. “අපෝ ඔය ඉන්දියන් ජරාවල් අපේ ලමයින්ට මොකටද ? මේ ලංකාවේ මෙච්චර කෑම වර්ග තියෙද්දී” තවත් කෙනෙක් කියයි. එහෙම කියන්නේ මේ ආහාරය ගැන තියෙන , මෙහි රස සහ විශේෂයෙන් ගුණ ගැන නොදන්නා කම නිසයි. එහෙනම් මම දන්න කරුණු කීපයක් ඔයාලට කියන්නම්.

පනීර් කියන්නේ ගෙදරදි වුනත් ඉක්මනට හදා ගන්න පුලුවන් සරල චීස් වර්ගයක්. ලංකාවේ සුපිරි වෙළද සල් වලින් පහසුවෙන් ලබා ගැනීමටත් පුලුවන්. නැවුම් එළකිරි වලට එළවලු හෝ පළතුරු වලින් ගන්නා අම්ලයක් (ලෙමන් යුශ වැනි) එක් කර ගැනීමෙන් සකසා ගන්නා, දිය නොවන සුලු චීස් වර්ගයකි. වෙනත් චීස් වර්ග මෙන් මුහුන් එකතු කර දීර්ඝ කාලයක් බලා සිටීමට ද අවශ්‍ය නොවේ. මෙම චීස් කිරි රසයෙන් යුතු අතර එහි තද කුට්ටි ගතිය නිසා නොයෙක් සුප් හෝ ව්‍යංජන සාදා ගන්න පුලුවන් අතර ඒවා රසයෙන් ද ඉහලයි. මෙහි එතරම් ලුනු අඩංගු නොවන නිසාවෙන් පොඩි දරුවන්ට ලුනු රහිත චීස් වර්ගයක් ලෙස දීමට පුලුවන්. මෙය චීස් වර්ගයක් නිසා මේදය ඉහල වන අතර පොඩ්ඩොන් ගේ බර වැඩි කර ගන්නත් උදව් වෙනවා.

පනීර් සෑම විටම භාවිතයට පෙර බැදීමට හෝ පිසීමට අවශ්‍ය නොවේ. එය නැවුම් ලෙස ආහාරයට ගත හැකිය. ඒ නිසා ඔයාලගේ බබාලට ඉක්මණින් හදා ගන්න පුලුවන් කෑම වර්ග රැසක් පනීර් එකතු කර නිමවා ගන්න පුලුවන් වේවි.

පනීර් වියදම අඩුවෙන් ලේසියෙන්ම ගෙදර සාදා ගන්නත් පුලුවන්. මම ඉතා කෙටියෙන් මේවා සාදා ගන්න ක්‍රමය සදහන් කරන්නම්.

  • මේ සදහා ඔබට නැවුම් එළකිරි ලීටර් 1ක්, දෙහි හෝ ලෙමන් යුශ එහෙම නැත්නම් විණාකිරි මේස හැදි 1 ක් සහ පිරිසිදු තරමක් ලොකු රෙදි කැබැල්ලක් පමණයි අවශ්‍ය වෙන්නෙ.
  • මුලින්ම කිරි ටික භාජනයක දාලා රත් වෙන්න තියන්න​. සැරින් සැරේ කිරි උතුරණ කල් හැදි ගාමින් රත් කරන්න​.
  • කිරි ටික බුබුලු දමමින් උතුරන විට ලෙමන් යුශ හෝ විණාකිරි ටික එකතු කරන්න​.
  • යම් අවස්තාවක කිරි කැටි වෙන් වීමට පටන් ගෙන පැහැදිලි වතුර ක් සෑදෙන තෙක් හොදින් හැදි ගාන්න​. පසුව ලිප ගින්දර වසා දමන්න​.
  • දැන් මේ දියරය පිරිසිදු රෙදි කෑල්ල භාවිතයෙන් පෙරා රෙදි කෑල්ලට කිරි කැට ටික එකතු කර හිමින් මිරිකා ගන්න​.පසුව රෙදිවලින් ඔතා ඇති චීස් පැය 2-3 ක් චීස් වතුර තව දුරටත් බේරෙන්න උඩින් එල්ලා තබන්න.
  • දැන් පනීර් එක ලෑස්තියි. ශීතකරණයේ හොදින් ආවරණය කර තබා ගන්න​.

පනීර් බබාලට හඳුන්වා දෙන්න පුලුවන් මාස 8, 9 ක් වගේ කාලයේදී. මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ ලබා දී බබා එයට හුරු වූවායින් පසු තරමක ලොකු කෑල්ලක් බැගින් කෑම වලට එකතු කර ගන්න පුලුවන්. සතියකට 2-3 වතාවක් දුන්නාට කමක් නැහැ.

දරුවන්ට පනීර් ලබාදීමේ වාසි බොහෝ තියෙනවා. මම කෙටියෙන් කිහිපයක් මෙසේ සඳහන් කරන්නම්.

  1. පනීර්හි විවිධ ප්‍රමාණවලින් විටමින් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ලබා දීමේදී මේවා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි.
  2. අස්ථි කාටිලේජ සෑදීමේදී විටමින් බී ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරයි. එය පනීර්හි ඉතා හොඳ ප්‍රමාණයකින් පවතින බැවින්, එය ළදරුවාගේ ශරීරය තුළ ගොඩනැගීමේ ක්‍රියාකාරිත්වයට සහාය වේ.
  3. පනීර් හි ප්‍රෝටීන් සහ මේද හොඳ ප්රමාණයකින් පවතින බැවින් ළදරුවාගේ වර්ධනයේ මුල් වසරවලදී අවශ්‍ය සියලුම තීරණාත්මක පෝෂණය ලබා දීමට මෙය උපකාරී වේ.
  4. පනීර් හි කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ ප්‍රෝටීන වැනි ඛනිජ විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එය අතිශයින්ම පෝෂ්‍යදායී වේ.
  5. දරුවන් ගේ සම සහ හිසකෙස් වල පෝශණයට අව්ශ්‍ය වන පෝශණය පනීර් වලින් ලබා දේ.

ඔන්න දැන් තමයි ඔයාලා බලාගෙන හිටපුම මාතෘකාවට එන්නෙ..කොහොමද බබාලත පනීර් දෙන්නේ? ඔව් ආකාර ගොඩක් තියෙනවා.. හැමදාම කියනවා වගේ අලුතින් ටිකක් හිතුවොත් රෙසිපි ඕන තරම් හදා ගන්න පනීර් උදව් වේවි. මම ඔයාලට යම් අදහසක් දෙන්නම්..

  1. පනීර් බත් සමග 

සාමාන්‍ය විදියට බබාට බත් උයද්දී බත ඉදිලා අවසානයේ ලිපෙන් බාගන්න කලින් පොඩි කෑලි වලට කපා ගත් පනීර් ටිකක් එකතු කර ගන්න පුලුවන්. නැත්නම් පනීර් වල තද ගතිය නිසා බබාට කන්න අමාරු නම් ටිකක් බ්ලෙන්ඩ් කරල බත් එකට එකතු කර ගන්නත් පුලුවන්.

  1. තම්බගත්ත එළව්ලු එකක් හෝ කීපයක් සමග​

කෝලිෆ්ලවර්, කැරට්,අල, බ්‍රොකොලි වගේ එලවලු ජාති එක්ක පනීර් එකතු කරගත්තම හරිම රසයි. බ්ලෙන්ඩ් කරල හරි පුංචියට ග්‍රේට් කරගෙන හෝ කපාගෙන තඹපු එලවල්‍ය් එක්ක පොඩි කරල කවල බලන්න​.

  1. පළතුරු සහ පනීර්

ඇපල්, පෙයාස්, අඹ, කෙසෙල් , ගස්ලබු වගේ පළතුරු පනීර් එක්ක හොදට ගැලපෙනවා. තවත් ඕන තරම් ඇති පළතුරු ජාති. ඔයාලා අත් හදල බලන්න

  1. නිවිති සමග පනීර්

මේ විදියට නම් ලොකු අයත් කනවා. හරිම රස කරි එකක් හදා ගන්න පුලුවන් නිවිති සහ පනීර් එකතුවෙන්. බබලටත් සරලවම මේ දෙක එකතු කරල දෙන්නයි තියෙන්නෙ.. පොඩ්ඩක් දෙක එකට තෙම්පරාදු කලොත් වඩා රසයි.

  1. පනීර් කරියක් ආකාරයෙන් සාදා රොටී හෝ බත් එක්ක​

මම කෙටියෙන් සදහන් කලොත් ලොකු අපිට වගේ නෙමෙයි පොඩ්ඩොන්ට කුලුබඩු අපි දාන්නේ අඩුවෙන්. මම මගේ පොඩි රෙසිපි එකක් දෙන්නම් කරි එකකට​. ඔයාලා නාන්, චපාති වගේ පොඩි රොටියක් මේ කරි එකත් එක්ක බබාලට කවල බලන්න​. බත් එක්කත් හොදයි.

මේකට ඕන වෙනවා : –

  • පොඩියට කපාගත් හෝ ලියාගත් පනීර් ටිකක්
  • එළකිරි හෝ උකු පොල් කිරි
  • කජු ගෙඩි කීපයක් අඹරලා හදා ගත්ත පේස්ට් චුට්ටක්
  • තක්කාලි ගෙඩි 1/4 හෝ 1/2 ක්
  • ලූනු ගෙඩියක් හෝ භාගය්ක්
  • සුදුලූනු සහ ඉගුරු පොඩ්ඩ පොඩ්ඩ​

මුලින්ම ලූනු, ඉගුරු, සුදුලූනු එකට බ්ලෙන්ඩ් කරගන්න​. වෙනම තක්කලිත් බ්ලෙන්ඩ් කරගන්න​. තෙල් ටිකක් හට්ටියකට ලිප තියලා ලූනු පේස්ට් එක තෙම්පරාදුවට දාන්න​.කජු පේස්ට් එකත් පොඩ්ඩක් දාන්න​. පස්සේ තක්කාලි පේස්ට් එකත් දාන්න​.  ටිකක් වෙලා උකු වෙනකන් උයා ගන්න​. පස්සෙ පනීර් ටිකත් එකතු කරන්න​. ටිකක් ඉව්වට පස්සෙ එළකිරි හෝ උකු පොල්කිරි ටික ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් එකතු කරගෙන කරි එක උකුවට හදා ගෙන ලිපෙන් බාන්න​. බබාට වයස අනුව අවශ්‍ය නම් ලිනු සහ මිරිස් කුඩු එකතු කරන්න (කිරි එකතු කරන්න කලින්) ​

දැන් ඔයාලට පනීර් කියන්නේ තවත් එක අමුතු කෑමක් නොවෙයි කියල මම හිතනවා. මම පුලුවන් විදියට මම දන්න දේවල් ගොඩක් මෙහි සදහන් කලා. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල පහත රෙසිපි කීපයක් සදහා සබැදි කීපයකුත් මෙතනටම අමුනනවා. ඔයාලාට වඩාත් හොද පැහැදිලි කිර්‍රීම් සහිතව තව අලුත් කෑම රෙසිපි කීපයක් බලා ගන්න පුලුවන් වේවි.

අඹ සහ පනීර්:-

නිවිති එක්ක පනීර්

13+ දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද කියා හරියටම දන්නවාද?

මත්ද්‍රව්‍ය ගැන ඉතිහාසය අදින් වසර දහස් ගනනාවක් තරම් දුර අතීතයකට අයිතියි. ඊජිප්තුව, චීනය වැනි රටවලත් වසර හත්දහසකට පමණ අතීතයකදී මත්ද්‍රව්‍ය  භාවිත කළ බවට වාර්තාවන් තිබෙනවා. ඉන්දියාවේ වසර 2700 කට පමණ පෙරාතුව මත්ද්‍රව්‍ය  භාවිත කර තිබෙනවා. ඔවුන් ඒවා සකස් කර ගත්තේ හාල් සේදූ ජලයෙන්. ඒ වගේම බැබිලෝනියාවේ ”සුරා දෙව් දුව” පිදීමේ චාරිත්‍රයක්  පවා තිබී තිබෙනවා.

චීන ජාතිකයන්ට අබිං හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය විශාල උත්සාහයක් ගත්තා. ඒ නිසා ඔවුන්ගේ රටේ ධනය බ්‍රිතාන්‍යයට ඇදී ගියා පමණක් නොවෙයි, රටේ ජනතාවයත් අබිං නැමැති මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුනා. මේ කාලයේ සිටි ‘‘තවෝ තුවං “ අධිරාජ්‍යයා විසින් චීනයේ අබිං භාවිතය තහනම් කිරීමට උත්සාහ කලා පමණක් නොව ඔහු 1839 වසරේදී  බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට විවෘත ලිපියක් යවමින් විමසා සිටියේ ”අපි බ්‍රිතාන්‍යට තේ, පිඟන්මැටි වැනි වෙළඳ භාණ්ඩ ලබා දෙන විට අපට මේ අන්දමට විෂ මත්ද්‍රව්‍ය  ලබා දීම සාධාරණද යන්නයි…

මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද?

මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන, මානසික ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන සහ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කරන නීති විරෝධී දේ මත්ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුලුවනි.

මත්ද්‍රව්‍ය විදිහට හදුන්වන්නේ…

  • මද්‍යසාර- අරක්කු, බියර්, කසිප්පු
  • මරිජුවානා
  • පාලනයක් යටතේ පාවිච්චි කරන ඖෂධ
  • දුම්කොළ
  • සිගරට්
  • හෙරොයින්
  • අබිං
  • හසිස්

මීට අමතරව නම් ප්‍රසිද්ධ නොවූ බොහෝ දේවල් තිබෙන්න පුලුවනි. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය පෙති, කරල්, කුඩු, විටමින්, ටොපි, චුයින්ගම්, මුද්දර විදිහට බුලත් විට සහ එන්නත් විදිහටත් පාවිච්චි කරනවා.

මත්ද්‍රව්‍ය ගැන පුරසාරම් දොඩන දරුවන් ඒ ගැන කියන්නේ…

  • පාඩම් මතක හිටිනවා
  • අමුතු වින්දනයක්
  • සැහැල්ලුවක් දැනීම
  • ශක්තිය ලැබෙනවා…

මේ විදිහට ඔබේ දරුවා අතරම සිටින තවත් මතට යොමු වුන දරුවෙක් ඒ ගැන ආලවට්ටම් කතා කියන්න පුලුවන්. එහෙම කියන්නේ ඔබේ දරුවාත් මතට ගොදුරක් කර ගැනීමේ අදහසින්. ඒ වගේම මතට ඇබ්බැහි වුන දරුවන් සෙසු දරුවන්ට නින්දා කිරීමට පටන් ගන්නවා. බලහත්කාරයෙන් ලබා දෙනවා. මේ නිසාම දරුවන් නොදැනීම මතට ගොදුරක් බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ විවෘතව දරුවන් සමග කතා කරන්න. මතට යොමු වුනොත් සැබෑවටම ලැබෙන්නේ ඔවුන් කියන  නොව ලැබෙන  ආදීනව ඉතා දරුණු බව දරුවාගේ හිතට තදින්ම දැනෙන විදිහට කියා දෙන්න…

මත්ද්‍රව්‍යවලට යොමු වුනොත් මොකද වෙන්නේ?

ශාරිරික ලෙසින් මේ අවයවයන්හි දුර්වලතාවයන් ඇති වෙනවා.

  • වකුගඩු
  • අක්මාවමොළය
  • හදවත
  • පෙනහලු සහ ශ්වසන රෝග
  • මොළය

සමාජයීය වශයෙන්-

  • ප්‍රචණ්ඩයි.
  • ආවේගශීලියි.
  • නිරන්තර ගැටලු ඇති කර ගැනීම

පුද්ගල  සංවර්ධනයට ඇති බාධා-

  • සන්නිවේදන දුර්වලයි.
  • සංවේදන නැහැ
  • කිසිම උනන්දුවක් එහෙම නැත්නම් අබිප්‍රේරණයන් දුර්වලයි.
  • ඉච්චාභංගත්වයෙන් පසුවෙනවා.
  • මානසිකව බිඳවැටීම
  • හුදෙකලාව ප්‍රියකරනවා.

ආර්ථික වශයෙන්

  • තමාට ලැබෙන ආදායම තුළ මත්ද්‍රව්‍ය සදහා විශාල කොටසක වැය බරක් තිබීම.
  • මෙවැනි පුරුදු ඇති දරුවන් විවාහයෙන් පසුව වුනත් තමන්ගේ පවුලට වඩා මත්ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කිරීමට යොමු වෙනවා. දැනට හදුනා ගත් තෙරතුරු අනුව මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පද්ගලයෙක් ඔහුගේ ආදායමෙන් තුනෙන් එකක් පමණ මත්ද්‍රව්‍ය සඳහා වැය කරනවා. සමහර අයගේ මේ තත්වය ආදායමෙන් 50% ක් පමණත් වෙන්න පුලුවනි. ඒ වගේම මත්ද්‍රව්‍ය සදහා යොමු වුන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට රජයටත් විශාල වියදමක් දැරීමට සිදු වී තිබෙනවා.

වැඩිහිටියන් විදිහට දරුවාට සමීප වෙන්න පුලුවන් විධි

මත්ද්‍රව්‍ය වැනි අලුත් අත්දැකීමක් වෙනුවෙන් දරුවන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ඉහලයි. ඒ නිසා ගමක, පංතියක වැනි පුංචි සමාජයකින් මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන් පටන්ගැනීම ඉතාම වැදගත්.

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍ය ගන්නා අය ලස්සන වීරයන් විදිහට පෙන්නුවත් , මේ නිසා ඔවුන් අනාගතයේදී බන්ධනාගාරවල වගේම පුනරුත්තාපන මධ්‍යස්තානවල දුක්විදින බව අනිවාර්යෙන්ම පහදා දීම.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වීරයන් නොව, මනස දුර්වල මෝඩ චරිත බැව් කියා දෙන්න.

ඒ වගේම අපේ දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන වෙළදපොළ සපයන්නේ අමානුෂික වැඩිහිටියන්. සමහර විට පාසල ආසන්නයේ තියෙන පුංචි හෝ ලොකු වෙන්නත් පුලුවන් කඩ, ජංගම රථ මගින් අලෙවි කරන ටොපි, හෝ බුලත් වැනි දේ මත්ද්‍රව්‍ය විය හැකි බව කියාදෙන්න. ඒ වගේම පාසලේ දරුවන් ආරක්ෂා කරන සංගමයක් ගොඩ නගා ගැනීමත් ඉතාම වැදගත්. ඒ නිසා විදුහල්පති පෞරෂයත් මෙතැනට ඉතාම වැදගත්.

පාසලේ උත්සවයන්හිදී සහ බිග්මැච්වලදී මත්ද්‍රව්‍ය නිවාරනයේ වැදගත්කම ඉස්මතු කරන්න.

දරුවාට හෝ ඔහුගේ මිතුරෙකුට යම් කෙනෙක් මත්ද්‍රව්‍ය සේ සැලකෙන දෙයක් දුන්නොත් ඒ ගැන වහාම වගකිවයුතු කෙනෙකුට දැනුම් දෙන්න.

 මතින් නිදහස් රටක්- පත්‍රිකාව ඇසුරෙන් මහවැලි ජාතික අධ්යාපන විද්යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්යා චාන්දනී සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

දරුවෙක් මතට යොමු වුනොත් එයින් මුදවා ගන්න බැරිද?

අද බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සමාජයේ අප්‍රසාදයට  පත්ව සිටිනවා. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සීඝ්‍ර‍යෙන් සිද්ධ වෙනවා. දරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනාම අපි ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු හදුනා ගන්නවා.

  • අම්මා හෝ තාත්තා විදේශගත වීම
  • තාත්තාගේ බීමත්කම
  • නූගත් පරිසරය

මේ විදිහට විවිධ හේතුපාඨ ගොඩ නගා ගත්තත් ඇත්තටම දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙන්නේ ඇයි…මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා..ඔහු මේ සංවාදයට මුප පිරුවේ මෙහෙමයි..

අපි පුංචිකාලයේ පන්දු ගහද්දී මුලින්ම නීති රීති ගොඩ නගා ගන්නවා. ඒත් හදිසියේම පන්දුව පිට්ටනියේ සීමාව පැනලා ඇලට වැටුනොත් අපි අයියාගෙන් එහෙම නැත්නම් මාමාගෙන් අහමු කියල වැඩිහිටි උපදෙසක් ලබා ගෙන ගැටුම එතැනින් අවසාන කරනවා.

අද දරුවන්ට…

අද දරුවන්ට තිබෙන වටපිටාව බොහොම යාන්ත්‍රිකයි. කිසිම ස්වාධීනත්වයක් නැහැ.අම්මා, අප්පච්චිගේ උවමනාවට හැසිරෙනවා මිසක දරුවාගේ නිදහසට කිසිම ඇගයීමක් නැහැ. අඩුම වශයෙන් දරුවාට උවමනා විෂය ධාරාවටවත් යොමු වෙන්න අයිතියක් දෙන්නේ නැහැ. අම්මාට අප්පච්චිට උවමනාව තියෙන්නේ දරුවා ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් දොස්තර කෙනෙක් කරන්න. ඒක බොහොම සාධාරණ සිතුවිල්ලක් වුනත් දරුවාට අවශ්‍ය ආදරය ආරක්ෂාව නොමැති වුනාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වීම වැනි සමාජ විරෝධී කටයුතුවලට යොමු වෙනවා.

ආර්ථිකයෙන් ශක්තිමත් පවුල්වල දරුවන් අතර මත්ද්‍රව්‍යවලට යොමු වීම …

මත්ද්‍රව්‍යවලට යොමු වෙන්නේ ආර්ථික අපහසුතාවයන් සහිත නූගත් දෙමව්පිය පරිසරයේ හැදෙන වැඩෙන දරුවන් කිව්වට එය නිවරැදි මානයක් නොවෙයි. අද මත්ද්‍රව්‍ය ගන්නා දරුවන් බොහොම ශක්තිමත් පවුල්වල දරුවන්. දෙමව්පියන් ඉතාම උගත්.අද මේ ඛේදවාචකය  ද මොන තරම් අවාසනාවක්ද කිව්වොත් පුතාට කුඩු ගන්න අම්මා සල්ලි දෙන තරමටම පිරිහුනු සමාජයක් ගොඩ නැගිලා. අම්මා මේක කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ඒත් පුතාට කුඩු නැතුව ජීවත්වෙන්න බැරි බව අම්මා දන්නවා.

මේ තත්වයෙන් දරුවා මුදවා ගන්නේ නැත්තේ ඇයි….?

සමහර දෙමව්පියන් තමන්ගේ දරුවාගේ වැරදි සසමාජයට පෙන්වන්න කැමැති නැහැ.පුතා කුඩ්ඩෙක් කියලා රටේ ලෝකයේ අය හංවඩු ගහයි කියලා බයයි. මේ හිතේ අහංකාරය නිසා දරුවා තව තවත් වැරැද්දේම පැටලෙනවා. දරුවන් කොතැන හෝ වැරැද්දකින් මත්ද්‍රව්‍යවලට යොමු වෙලා අවසානයි. දැන් තියෙන්නේ දරුවා එතැනින් මුදවා ගන්න. ඒක දෙමව්පියන්ගේ වගකීමක්. නමුත් දෙමව්පියන්ගේ හිතේ තිබෙන පුහු සංකල්ප නිසා දරුවා මේ අවාසනාවන්ත තත්වයේම ජීවත් වෙනවා.

මව්පියන් දරුවාට සමීපව හිටියොත්…

දරුවන්ට තමන්ගේ ගැටලු බෙදා හදා ගන්න පිරිසක් අවශ්‍යයි. තමන්ට ආදරය කරන පිරිසක් ඇති බව දරුවා තේරුම් ගන්නවා. ගැටලුවක් ඇති වුනාම කතා බහ කරල හිත නිදහස් කර ගන්න පුලුවනි. ඒත් අද හැම නිවසකම ලොකුම ගණුදෙනුකරුවා විද්‍යුත් නාලිකාවන් සහ අන්තර්ජාලයයි. දරුවන් හුදෙකලා චරිත වීම ඉතාම භයානකයි.

දුෂ්කර ගම්මානයක අවුරුදු 13 ක පිරිමි දරුවෙකු විසින් අවුරුදු 11 ක ගැහැනු දරුවෙකු දූෂණය කරනු ලැබුවා. මේ අපයෝජනයේ හේතු හොයද්දී පිරිමි දරුවා කිව්වේ තාත්තා බලපු සී.ඩී තැටියකින් මේ විදිහේ දේවල් උගත් බවයි. ඇත්තටම ඒ පියා නියම පිතෘත්වයෙන් හැසිරුනා නම් අර ගැහැනු දරුවා විනාශ වෙන්නේ නැහැ.

තාත්තා කියන චරිතය බොහොම ගාම්භීර වෙන්න ඕන. අම්මා වුනත් එහෙමයි. ඉස්සර කාලයේ කියන්නා වගේ ඔවුන් තැන්පත් චරිත විය යුතුයි. තැන්පත් බව සමග දරුවන් වෙනුවෙන් තිබෙන යුතුකම් සහ වගකීම් හදුනා ගන්නවා. දරුවන් හුස්ම ගන්නා හැටි පවා තමන්ට දැනෙන තරමටම ඔවුන් දරුවන්ට සමීපයි. එතකොට වැරදි හැසිරීමක් වෙනුවෙන් දරුවන් යොමු වෙන්නේ නැහැ.

අද මව්පියන්ගෙන් මේ තත්වය ගිලිහෙන්නේ..

අතීතයේ තිබුන ජීවන රටාව අද නැහැ. ඒ තත්වය වෙනස් කරන්නත් බැහැ. කාර්යබහුල මේ ජීවන රටාවට අපි අනුගත වෙන්න ඕන. ඒ වුනත් අද දෙමව්පියන්ගේ ලොකුම අවධානය තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන පමණයි. අධ්‍යාපනය අවශ්‍යයි.

ජීවිතය තියෙන්නේ සිලබස් එකේ නොවෙයි…

කටපාඩම් කර ගත්තු විෂය කරුණු ගොනු කරලා විභාගය සමත් වුනා කියන්නේ ජීවිතය ජයගත්තා නොවෙයි. ඉගෙනුම සමග හැදියාව බද්ධ වෙන්න ඕන. අද මව්පියන් තරඟයට දරුවන් යොමු කරනවා මිසක එතැනින් එහාට කිසිම දෙයක් නැහැ. දරුවා දිහා බලන්නේ විභාග රාමුව ඉලක්ක කර ගෙනයි. මොන විදිහට හෝ විභාගය සමත් කිරීම මිසක ජීවිතය විදින්න දරුවාට අවසරයක් නැහැ.

මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන දරුවෙකු ගැන කටයුතු කරන්නේ…

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුන දරුවන් මුදවා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.

  • ආයතනගත
  • සමාජගත

ආයතනගත කිරීමේදී ඒ වෙනුවෙන්ම වූ ආයතන තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා යොමු වුන දරුවන් පුනරුත්තාපනය කිරීම මෙහිදී සිද්ධ වෙනවා.

සමාජගත කිරීමේදී දරුවා නිවසේ අය හෝ පවුලේ සමිප අයෙකුගේ නිවසේ සිටියදී සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන යමින් ඔවුන් ඒ කටයුතුවලින් මුදවා ගන්නවා.

ලෝකයට අවශ්‍ය වෙන්නේ සුචරිත දරුවෝ. ඔවුන් අද නොමග ගියත් හෙට සුචරිත පිරිසක් විදිහට සමාජයට එක් කර ගත යුතුයි. මේ නිසා දෙමව්පියන් විදිහට ඔබ හිතන්න. දරුවාගේ ජීවිතය තිබෙන්නේ විෂය මාලාවේ නොව අම්මා අප්පච්චි නම් වූ බලගතු චරිත වෙතයි.

මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

තිත තැබිය යුත්තේ මතටද? මතට යොමු වීමටද?

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒත් යාන්තම් හය හතර තේරෙන්නත් කලින් මේ අහිංසක දරුවන් මත්ද්‍රව්‍යවලින් ඔවුන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා වගේ අවාසනාවක් තවත් නැහැ. ඒ නිසා මතට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරනවාට වඩා මතට යොමු නොවන විදිහට අපි දරුවන් රැක බලා ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විහේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මියයි.

මත්පැන් වෙනුවෙන් ඇති වෙන ඇබ්බැහි වීමට බොහෝ සෙයින් බලපාන්නේ මධ්‍යසාර නිසා මොලයෙන් නිදහස් වෙන ‘‘ ඩොපමින් “ රසායනයයි. මේ රසායනය නිසා ඇති වෙන සතුටට පුද්ගලයන් නොදැනීම ඇබ්බැහි වෙනවා. මුලදී නොදැන මද්‍යසාර ගත්තත් අන්තිමට මත් ද්‍රව්‍ය නැතුව ජීවත් වෙන්න බැරි තැනට පත් වෙනවා.

මත් ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වෙන්නේ ඇයි…?

දරුවන් අතරත් විවිධ පෞරැෂයන් තිබෙනවා. සමහර දරුවන් වැරදි කටයුතුවලට යොමු නොවී තමන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන්ගේ අවවාද අනුව ජීවිතය හැඩ ගසා ගන්නවා. ඒත් සමහර දරුවන් නොදැනීම මත් ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙනවා. එතැනින් පසුවත් ඔවුන්ගේ ඇබ්බැහියෙන් මිදෙන්න බැරි තරම් දුර්වල පෞරැෂයකින් යුක්තයි.

ආදීනව දැනගත්තොත්..

මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන ආදීනව බොහාමයි. තරුණ අවධිය අත්හදා බැලීම් වෙනුවෙන් යොමු වෙන කුණාටු කාලයක්. සම වයස් කණ්ඩායම් නිසා ඇති වෙන අහිතකර හැසිරීම්වලින් ඔවුන් මුදවා ගන්න ඕන. වස බෝතලය සගවා තබන්නත්…මත්පැන් බෝතලය ගාම්භීර විදිහට ඔසවා තබන්නත් හේතුව වෙන්නේ සමාජයෙන් මත්පැන් වෙනුවෙන් ලබා දී තිබෙන වටිනාකමයි. මගුලට සතුට සමරන්න මත්පැන් යොදා ගන්නවා..අවමගුලේදී දුකට..මහන්සියට..මත්පැන් යොදා ගන්නවා. නමුත් මත්පැන් මුල් කර ගෙන ගොඩ නැගී තිබෙන මේ මිථ්‍යාවෙන් දරුවන් මුදවා ගැනීම ඉතාම වැදගත්.

මත්පැන් නැත්නම් දියාරුයි..

මත්පැන් නිසා උත්සවයේ සතුට, පිළිවෙළ නැති වෙනවා. එක් පුද්ගලයෙක් මම බොහොම සමීපව ඇසුරු කරන ආර්ථික වහයෙන්ද ශක්තිමත් අයෙක්. ඒත් ඔහු විවාහ මංගල්‍ය උත්සවයට මත්පැන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මේ ගැන අදහස් දක්වපු ඔහු කිව්වේ මත්පැන් තිබුණා නම් මේ උත්සවයේ තිබුන සතුට, සංවරය දකින්න ලැබෙන්නේ නැති බවයි.

පාසල් දරුවන් මතෙන් මුදවා ගන්න නම්…

දරුවන්ට ලබා දෙන අවවාද මගින් ඔවුන්ගේ ආකල්ප හැඩ ගැසිය යුතුයි. සමවයසේ මිතුරන්ගෙන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනා ලැබෙන්න පුලුවනි. ඒ වුනාට ඒවා ප්‍රතික්ෂේප කරන ශක්තිය ගොඩ නගා ගැනීමේ වටිනාකම ඔවුන්ට බොහොම පැහැදිලිව කියා දෙන්න ඕන. නොදැන හෝ මේ තත්වයට වැටුනොත් එයින් මිදීම අපහසු බව දරුවන්ට අවධාරනයෙන්ම කියා දෙන්න. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනාවක් ලැබුනොත් එය ප්‍රතික්ෂේප කරන අන්දම කියා දෙන්න. ජපානයේ නම් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප කරන ඉතාම නිර්මාණශීලී සන්නිවේදන තිබෙනවා. අද ගෝලීයකරණය තුළ මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින යොමු වීම වැඩියි. දරුවන් අනුකරණයට වඩාත් නැඹුරුයි. ඒ නිසාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්න අපහසුයි.

ගැටලු හදුනා ගන්න.

දරුවා මතට හෝ වෙනත් අකටයුත්තක් වෙනුවෙන් යොමු වීමට ඔවුන්ගේ මානසික පසුබිම බලපානවා. මානසිකව ඇතිවෙන හිස්කමට පිළිතුරු සොයන රැල්ල තුළ මේ ඇදී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ගේ කාලය නිකරුනේ ගත කරනන් දෙන්නත් නරකයි. ඔවුන් කුමන හෝ දෙයක නිරත කරවීම අවශ්‍යයි.

දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව දැනගන්නේ…

දරුවාගේ හැසිරීම් රටාවේ වෙනදා නැති වෙනස්කම් ඇති වෙනවා. නිතරම වෙන්ව ඉන්න බලනවා. ඇස් රතුයි. මත්වෙලා වගේ ඉන්න පුලුවනි. ඔහු සිටින තැන අලුත් මාදිලියේ දැවටුම් තිබෙන්න පුලුවනි. මේ විදිහට ඉතා සියුම් අන්දමින් දරුවාගේ හැසිරීම් රටාව අවබෝධ කර ගන්න පුලුවනි.

මතට ඇබ්බැහි දරුවෙක් හදුනා ගත්තොත්…

මේ දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ මානසික සුවතා ඒකකය පිහිටුවා තිබෙනවා. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන කෙනෙක් ප්‍රතිකාර ගැනීමට ලැජ්ජා විය යුතු නැහැ. අදාල පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් වෙනුවෙන් පවුලේ අයෙකු හෝ සහභාගී වෙලා උපදෙස් ලබා ගන්න පුලුවනි. මේ නිවාරණ වැඩසටහන් වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර, ක්‍රම දෙකකට සිද්ධ වෙනවා.

  • උපදේශන
  • ප්‍රතිකාර

උපදේශන මගින් ප්‍රතිඵල නොලැබෙන විට ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඇබ්බැහි වූ පුද්ගලයාට වගේම පවුලේ අයටත් මේ පුද්ගලයා සමග ඉදිරියට ගනුදෙනු කරන අන්දම ගැන කියා දෙනවා. සුවය ලැබුනාට පසුව දරුවා මානසික සුවතා ඒකකය සමග සම්බන්ධ වෙන්න අකමැති නම් පවුලේ උදවියට අපෙන් උපදෙස් ලබා ගෙන දරුවා ගැන අවධානය දක්වන්න පුලුවනි. මත්ද්‍රව්‍ය  භාවිතය නැවැත්වූ අයගේ සායනයක් හා හමුවක් මාසයකට වරක් පැවැත්වෙනවා. ඒ සඳහා පවුලේ බාරකරුවන්ද පැමිනීම අවශ්‍යයි.

මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කරැණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.