Home Blog Page 77

ආසාත්මිකතාවයන් කියන්නේ මොනවාද..?

නිවසක අලංකාරය එහි තිබෙන විවිධ වටිනාකම් එක්රැස් කරන භාණ්ඩවලින්ම තක්සේරු කරන්න බැහැ. මොනතරම් වටිනාකම් ප්‍රදර්ශනය වුනත් දූවිලි වලින් පිරුන පරිසරයක් වුනොත් එයින් ඔබට පමණක් නොව නිවසේ නිවැසියන්ටත්, දරුවන්ටත් ඇති විය හැකි ආසාත්මිකතා රෝග ගැන දෙමව්පියන් විදිහට ඔබත් දැනුවත්ව සිටියොත් වඩාත් අගෙයි.

දූවිලි නැති නිවසක් ගැන ප්‍රායෝගිකව හිතන්න නම් ටිකක් අපහසුයි. ඒත් දූවිලි නිසා ඇති වෙන අවදානම ගැන දැන හිටියොත් අපහසුවෙන් වුනත් නිවසේ ජීවත්වෙන අයගේ සුව පහසුව ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් උනන්දු වේවි.

දණගාන, හිටවැටෙන පුංචි පැටව් සිටින  නිවසක නම් මේ තත්වය බොහොම බරපතලයි. හැමතැනම දණගාන, බඩගාන ඔවුන් දූවිල්ලට නිරාවරණය වීම වැඩියි. ඒ නිසා නිතරම පුංචි පැටවුන්ට ආසාත්මික රෝග වැලඳෙන්න තිබෙන අවදානමත් ඉහලයි.

ආසාත්මිකතාවයන් කියන්නේ මොනවාද..?

දූවිලි තුළ අපට නොපෙනෙන අපිරිසිදු ද්‍රව්‍ය අන්තර්ගතයි. ඒවා ඉතාම සියුම් නිසා ශ්වසනය ඔස්සේ නාසය , පෙනහලු කරා ඇතුලු වෙනවා. පුංචි පැටියා නිතරම කැස්ස, හෙම්බිරිස්සාව, සොටු දියර ගැලීම වගේම උගුරේ අපහසුතාවයන්ගෙන් පසු වෙනවා නම් අම්මලා නිවසේ දූවිලි තත්වය ගැනත් දැනටත් වඩා  උනන්දු වුනොත් හොදයි.

පුංචි අයට විතරක් නොවෙයි…වැඩිහිටියන්ටත් දූවිලි අපලයි. 

ලෙඩරෝග වලට ලොකු පුංචි වෙනසට වඩා බලපාන්නේ  ශරීර ප්‍රතිශක්තියයි. ඒ කියන්නේ සමහර අයගේ සිරුර රෝගාබාධයන්ගෙන් වැලකී සිටින හැකියාව එහෙම නැත්නම් ප්‍රතිශක්තියෙන් යුක්ත නිසා ඔරොත්තු දීගෙන සිටියත් සමහර වැඩිහිටියන්ටත් මේ වාසනාව නැහැ. ඒ වගේ උදවිය බොහොම ඉක්මනින් දූවිලි නිසා විවිධ ආසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ ඉඩ කඩ යහමින් තිබෙනවා.

ලක්ෂ බාගයක් දීලා ගත්තේ..

දූවිලි නිසා ඔබේ වටිනා ගෘහ භාණ්ඩ වගේම වෙනත් විද්්‍යුත්  උපාංගත් අපිරිසිදු වීම, ක්‍රියාවිරහිත වීම වගේම පාවිච්චියට නොගැලපෙන විදිහට නිරපරාදේ නාස්ති වෙන්න පුලුවනි. ලක්ෂ බාගයක් දීලා සොෆා සැටියක් ගත්තත් දූවිලි වලින් අපිරිසිදු වුනොත් එය සාලයට නොගැලපෙන තත්වයට පත් වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම දූවිලි ගැනත් විමසිලි ඇසින් සිටීම වැදගත්.

දූවිලි නැති පරිසරයක් ගැන…

  • නිවසට ආලෝකය වගේම වාතාශ්‍රය ඕන. ඒක් ඇත්ත. ඒත් පාරට විවෘතව තිබෙන ජනේල මගින් නිවස ඇතුලතට දූවිලි ඇතුලු වෙන වේගය වැඩියි. ඉතින් මේ ගැන තීරණය කිරීමත් අවශ්‍ය වෙනවා.
  • අපිට විදුලි පංකාව දැන් අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත්ව තිබුනත් ඔන්න මෙයා තමයි නිවසට දූවිලි අරගෙන එන වාහකයා බවට පත්ව ඉන්නේ. ඒ නිසා නිතරම විදුලි පංකාවේ පෙතිවල රැඳී තිබෙන දූවිලි පිසදා පිරිසිදු කරන්න අවශ්‍යයි.
  • නිවසේ වායු සමීකරණයක් තිබෙනවා නම් දූවිලි අංශු වායුසමීකරනයේ පෙරණයේ රැදී නැවත අපිටම හිරිහැර කරන්න ඉඩ තිබෙනවා. ඔන්න ඒ නිසා මාස තුන හතරකට වතාවක් කාර්මික හිල්පියෙකු ලවා මේ දූවිලි ඉවත් කර ගෙන සුද්ධ පවිත්‍ර කර ගැනීමටත් දෙමව්පියන් විදිහට වගකීමක් තිබෙනවා.
  • දැන් කාලයේ දොර ජනේල රෙදි බොහොම බරපතලයි. අලංකාර කිරීමටත් නිවසේ හැටියට ලක්ෂ ගනනක වැය බරක්. හැබැයි ම්වා පිරිසිදු නොකලොත් එහි රැදී තිබෙන දූවිලි අංශු වාතය ඔස්සේ අපේම ශ්වසනයට ඇවිත ගෙදර සියලු දෙනාම නිතර නිතර ලෙඩ කරන්න පුලුවනි.
  • නිවස අතුගානවා වගේම මොප් කිරීමෙන් දූවිලි කරදරයෙන් දුරස් වෙන්න පුලුවනි. දූවිලි වාතයේ සැරිසරලා අන්තිමට තැන්පත් වෙන්නේ බිම. අපි ඉතින් වැඩියෙන්ම ගෙබිමත් සමග සම්බන්ධ නිසා නිරන්තර අතු ගා පිරිසුදු කිරීමට අමතරව දින දෙකක්ට වරක් හෝ මොප් කිරීමත් අවශ්‍යයි.
  • ඒ වගේම වැකුම් ක්ලිනරයක ආධාරයෙන් දූවිලි ඉවත් කිරීම ඉතාම පහසුයි.
  • පාපිස්ස නිසි තැන ස්ථානගත කලොත් දූවිලි වලක්වා ගන්න පුලුවනි. පාපිස්ස වැකුම් කිරීම වගේම උස තැනක තබා හොදින් ගසා ගැනීමෙන් දූවිලි ඉවත් කර ගන්න පුලුවනි දෙසතියකට වතාවක් හෝ සෝදා පිරිසිදු කර ගැනීමත් වැදගත්.
  • හැබැයි කාපට් එකේ නම් දූවිලි නවාතැන් ගන්නවා. බොහොම ගාම්භීර වුනත් කාපට් එකේ දූවිලි හරි විදිහට ඉවත් නොකලොත් ලෙඩ රෝග ඉල්ලා වැළඳ ගැනීමට සමානයි.

එහෙමනම් පුංචි පැටියයි, පවුලේ උදවියයි විතරක් නොවෙයි, නිවසේ බඩු භාන්ඩවලටත් කරදර පමුණුවන දූවිලි නැති පරසරයක් ගොඩ නගා ගැනීම ගැන උනන්දුවෙන් කටයුතු කළොත් කවදාවත් වරදින්නේ නැහැ.

හිතුවොත් සල්ලි හොයන්න ඇයි බැරි?

ජීවිතේ කියන්නේ ලියලා ඉවර කරන්න බැරි පොතක්  වගේ. හැම දවසක්  ආරම්භයේම අලුත් පිටුවක් ලියන්නට පටන් ගන්න අපි දවස අවසානයේ  ඒ පිටුව ලියලා අවසන් කරන්නේ තවත් දවසකට මතු සම්බන්ධයක් තියලා. ් වෙලාවකට තිත්ත වෙලා වහකදුරු වගේ හිතෙන යන මේ ජීවිතය වෙලාවකට ආදරෙන් විඳින්න හිතෙනවා නේද? ඉතින් අපි හැමෝගෙම ජීවිත ඇදගෙන යන්න අපි දරන්නේ පුංචි පහේ මහන්සියක්ද නේද? ඔය අස්සේ පෝසත් ,දුප්පත්, ටිකක් දුප්පත් ,දුප්පත්ම දුප්පත් ජීවිත සමාජය තුල බොහොමයි. මම මේ කියන්න යන්නේ නම් සල්ලි නිසා ඇති වෙන දුප්පත්කම ගැන . විශ්වාස කරන්න දුප්පත්කම අපිම තමයි ළං කරගන්නේ. ඒ කොහොමද?

සල්ලි අපේ ජීවිත වල සතුට නිර්මාණය කරන අපූරූම දේයි. ඉතින් ඒ අපූරූ දේ නිකන් ඔබේ දෝතට වඩියි කියලා බලා හිටියට පලක් නැහැ. සල්ලි ඔබේ අතට එන මාර්ගයක් එළි පෙහෙලි කරගන්න ඕනී.  ඇත්ත කතාවක් කියන්න යන්නෙ

ඔන්න ඉන්නවා කිරි එළදෙන්නු කිහිප දෙනෙක් සහ හරක් කිහිප දෙනෙක්ගෙ අයිතිකාරයෙක්. කිරි දොවලා විකිණීම තමයි රැකියාව. ඉතින් මේ ගව ගාල පිටිපස්සෙ තියෙන්නෙ පුරන් වුණ වෙලක්. ගව ගාලේ ගොම සේරම කඳු කඳු ගොඩ ගහලා. මේ මනුස්සයට පුතාල දෙන්නෙකුත් දුවෙකුත් තමයි ඉන්නෙ. එක පුතෙක් රැකියාවක් කරනවා. අනිත් පුතා ගවගාලේ වැඩ. උදේට කිරි දෙව්වට පස්සෙ හවස් වෙන කල් එයාලාට වැඩක් නැහැ. මේ මිනිස්සු දුප්පත්. ඇත්තටම මේ මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ කම්මැලිකම නිසා නේද? කඳු ගහගෙන ඉන්න ගොම ටික වේලලා පැකට් කලොත් හොඳ ආදායමක් උපයන්න පුලුවන්. අර පුරන් වුණ කුඹුරෙ එළවලු ටිකක් පලා ටිකක් වැවිවොත් එදිනෙදා පරිභොජනයට ගන්න පුලුවන්. ඒත් ඒ ගැන වගක් නැති මේ මිනිස්සු දුප්පත් වෙලා ඔහෙ දුක් විඳිනවා.

අපි හැමෝටම උපයන්න මොකක්ම හරි මාර්ගයක් සොයා ගන්න පුලුවන්. මගේ යහලුවෙක් සිටියා. ඉගෙන ගන්න කාලේ එයා එයාගේ වියදම හොයා ගත්තේ රෑට පීට්සා ඩිලිවර් කරන්නෙක් විදිහට වැඩ කරලා. ඔයාලා දන්නවද අද එයා පිළිගත් විගණන ආයතනයක හිමිකරුවෙක්.

මේ කියන්න යන දේ ගැන නම් ඇත්තටම ඔයාලා ටිකක් විතර පුදුම වේවි. මේ දරුවගෙ වයස අවුරුදු නමයයි. මගේ පුතා ඒ කියන්නෙ තරුකගේ වයසම එයාගෙම පන්තියෙ ඉගෙන ගන්නේ. දන්නවද පොඞ්ඩා බිස්නස් එකක් කරනවා. කඩදාසී භූමරංග රුපියල් 10, කඩදාසී රොකට් රුපියල් 5, කඩදාසී හුලං කාක්කො රුපියල් 5. දවසක් මේ නිර්මාණ තුනම අපේ පුතා ගෙදර අරගෙන ආවා. හැබැයි ඉතින් නොමිලේ දීලා තිබුනෙ ව්‍යාපාරය කරගෙන යන්න මේවයේ මිල ගණන් තීරණය කරලා දිලා තිබුණෙ අපේ පණ්ඩිතයා නිසා. මම ඉතින් පහුවෙනිදම මේ ව්‍යයාපාරිකයා හමුවෙන්න ගියා.”හැමදේටම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි ඉල්ලන්න බැහැනේ. පොත් ගන්න, බිස්කට් කන්න අයිස්ක්‍රීම් කන්න මට මේ සල්ලි වලින් පුලුවන්. ආ තව මම ගෙදර එකතු වුණ මගේ පරණ පොත් වලිනුත් බෑග් හදලා විකුණන්නත් හිතාගෙන ඉන්නෙ. ඒ අදහස නම් දුන්නෙ තරුක”.ව්‍යාපාරිකයා මට අදහස් දැක්වුයේ ඒ විදිහට. ඇත්තටම මේ පොඩ්ඩා දවසක හොඳ ව්‍යාපාරිකයෙක් වෙයි කියලා මට හිතුනා.මේ පොඞ්ඩගෙන් අපේ ජීවිත වලට ගන්න පුලුවන් පාඩමක් තියෙනවා නේද? පුංචි වුනක් සිතුවිලි පුංචි නැති පොඞ්ඩෙක්.

දුප්පත්කමට සාප කර කර නැති බැරිකම කිය කියා හඬා වැලපෙන වෙලාවේ දුප්පත්කම එළවන්නට පුලුවන් සල්ලි හොයන මාර්ගයක් ගැන සිතන්න අපි පුරුදු වුණොත් හොඳයි නේද? උදේ ඉඳන් ටෙලිවිෂනයේ රන් පැයවල් ඔබෙන් උදුරාගන්නේ ඔබේ වටිනා කාලයයි.

 “ව්‍යාපාර පටන් ගන්න ලොකු මුදලක් වැය කරන්න වෙනවා.”

ඔව් ඇත්ත ඒත් ඔබ ඔබ ලඟ ඇති සම්පත් වලින් පෝසතෙක් වන්නට ආරම්භ කරන්න. ගෙවත්තෙ ඉඩ කඩ ඇත්නම් එළවලු පලතුරු වවන්න. ඔබේ පරිභෝජනයට වගේම අතිරික්තය විකුණා ආදායමක් සරි කරගන්නට හැකිය. පේපර් කුයිලින්ග් කලාව කියන්නෙ මේ වන විට වෙළෙඳ පොලේ හොඳ ඉල්ලුමක් ඇති කලාවකි.ඔබ නිර්මාණශීලී නම් සුභ පැතුම්පත් නිර්මාණය කරන්නට හැකියි. ඇඳුම් මසන්නට දක්ෂ නම් ඔබට අඩු මුදලක් වැය කොට කුඩා ඇඳුම් මසන්නට හැකිය. ඔබට කටට රසට උයන්නට හැකි ආහාර පැකට් කර නම් විකිණිය හැකිය. විශේෂයෙන්ම කල් තබා ගෙන කන්නට හැකි අච්චාරු,පොළොස්, කැකිරි. සීනී සම්බල්, වැනි දෑ පිරිසිඳුව සකසා බෝතල් කොට විකිණිය හැකිය. මේ දැක් වූයේ උදාහරණ කිහිපයක් පමණි.

කොහොමද වෙළෙඳ පොළ හදාගන්නෙ. අද වන විට විකල්ප බොහෝමයක් ඇත. ඔබ නිතරම සැරිසරන මුහුණු පොත FB එක තුලම ඔබේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොලක් සකසා ගත හැකිය. ඔබ දන්නන කියන අයට කියන්නට හැකියි. ඔබේ නිවසට යාබද කඩ වලට ඔබේ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. සිත ඇත්නම් කල නොහැක්කේ කුමක්ද? සල්ලි නෙමේ ජීවිතය යැයි කීවාට සල්ලි නැතිව ජීවත්විය නොහැකි බව තේරුම් ගන්න. රූප පෙට්ටියේ රඟන නිළියන්ගේ ප්‍රශ්න ගැන සන්තාප නොවී ආර්ථික වශයෙන් ශක්තිමත් වන්නට ඔබ කල යුත්තේ කුමක්දැයි මේ මොහොතේම මේ දැන්ම තීරණය කරන්න.

බබාට දෙන්න ලුනු රහිත චීස් වර්ගයක් හොයනවද්? එහෙනම් මෙන්න “පනීර්”

පනීර් – සමහරුන්ට නම් අලුත් කෑමක නමක් වගේ දැනෙනවා ඇත්තේ එයාලා මේවා භාවිතය නැති නිසා වෙන්න පුලුවන්. මම මුලින්ම කියන්න ඕන මම නම් ආසම ආහාර වර්ගයක් තමයි පනීර්. මේවා ඉන්දියන් කෑම වල රස බලන්න කැමති අය නම් ආස කරන කෑමක්. පනීර් කරි එක එක විදියට හදන්න පුලුවන්..ඒ කරියක් එක්ක උනු උනු චපාති, නාන් වගේ රොටී කන්න පුලුවන් බඩ පැලෙනකන්. මෙතරම් පනීර් ලෝලියෙක් වෙච්ච මට​, අපේ පොඩ්ඩොන්ට පනීර් හරිම ගුණ බවත්, එක එක ජාතියේ කෑම පනීර් වලින් පොඩ්ඩොන්ට හදල දෙන්න පුලුවන් බවත් දැනගතතේ අපේ බබාට අවුරුද්දකටත් කිට්ටු වෙන්න ආව කාලේදීයි. එදා ඉදන් අද වෙනකන් මම හැකි හැම වෙලාවේම පනීර් බබාගේ කෑමට එකතු කරනවා.

“මොනවද මේ පනීර් කියන්නේ?” කෙනෙක් කල්පනා කරනවා ඇති. “අපෝ ඔය ඉන්දියන් ජරාවල් අපේ ලමයින්ට මොකටද ? මේ ලංකාවේ මෙච්චර කෑම වර්ග තියෙද්දී” තවත් කෙනෙක් කියයි. එහෙම කියන්නේ මේ ආහාරය ගැන තියෙන , මෙහි රස සහ විශේෂයෙන් ගුණ ගැන නොදන්නා කම නිසයි. එහෙනම් මම දන්න කරුණු කීපයක් ඔයාලට කියන්නම්.

පනීර් කියන්නේ ගෙදරදි වුනත් ඉක්මනට හදා ගන්න පුලුවන් සරල චීස් වර්ගයක්. ලංකාවේ සුපිරි වෙළද සල් වලින් පහසුවෙන් ලබා ගැනීමටත් පුලුවන්. නැවුම් එළකිරි වලට එළවලු හෝ පළතුරු වලින් ගන්නා අම්ලයක් (ලෙමන් යුශ වැනි) එක් කර ගැනීමෙන් සකසා ගන්නා, දිය නොවන සුලු චීස් වර්ගයකි. වෙනත් චීස් වර්ග මෙන් මුහුන් එකතු කර දීර්ඝ කාලයක් බලා සිටීමට ද අවශ්‍ය නොවේ. මෙම චීස් කිරි රසයෙන් යුතු අතර එහි තද කුට්ටි ගතිය නිසා නොයෙක් සුප් හෝ ව්‍යංජන සාදා ගන්න පුලුවන් අතර ඒවා රසයෙන් ද ඉහලයි. මෙහි එතරම් ලුනු අඩංගු නොවන නිසාවෙන් පොඩි දරුවන්ට ලුනු රහිත චීස් වර්ගයක් ලෙස දීමට පුලුවන්. මෙය චීස් වර්ගයක් නිසා මේදය ඉහල වන අතර පොඩ්ඩොන් ගේ බර වැඩි කර ගන්නත් උදව් වෙනවා.

පනීර් සෑම විටම භාවිතයට පෙර බැදීමට හෝ පිසීමට අවශ්‍ය නොවේ. එය නැවුම් ලෙස ආහාරයට ගත හැකිය. ඒ නිසා ඔයාලගේ බබාලට ඉක්මණින් හදා ගන්න පුලුවන් කෑම වර්ග රැසක් පනීර් එකතු කර නිමවා ගන්න පුලුවන් වේවි.

පනීර් වියදම අඩුවෙන් ලේසියෙන්ම ගෙදර සාදා ගන්නත් පුලුවන්. මම ඉතා කෙටියෙන් මේවා සාදා ගන්න ක්‍රමය සදහන් කරන්නම්.

  • මේ සදහා ඔබට නැවුම් එළකිරි ලීටර් 1ක්, දෙහි හෝ ලෙමන් යුශ එහෙම නැත්නම් විණාකිරි මේස හැදි 1 ක් සහ පිරිසිදු තරමක් ලොකු රෙදි කැබැල්ලක් පමණයි අවශ්‍ය වෙන්නෙ.
  • මුලින්ම කිරි ටික භාජනයක දාලා රත් වෙන්න තියන්න​. සැරින් සැරේ කිරි උතුරණ කල් හැදි ගාමින් රත් කරන්න​.
  • කිරි ටික බුබුලු දමමින් උතුරන විට ලෙමන් යුශ හෝ විණාකිරි ටික එකතු කරන්න​.
  • යම් අවස්තාවක කිරි කැටි වෙන් වීමට පටන් ගෙන පැහැදිලි වතුර ක් සෑදෙන තෙක් හොදින් හැදි ගාන්න​. පසුව ලිප ගින්දර වසා දමන්න​.
  • දැන් මේ දියරය පිරිසිදු රෙදි කෑල්ල භාවිතයෙන් පෙරා රෙදි කෑල්ලට කිරි කැට ටික එකතු කර හිමින් මිරිකා ගන්න​.පසුව රෙදිවලින් ඔතා ඇති චීස් පැය 2-3 ක් චීස් වතුර තව දුරටත් බේරෙන්න උඩින් එල්ලා තබන්න.
  • දැන් පනීර් එක ලෑස්තියි. ශීතකරණයේ හොදින් ආවරණය කර තබා ගන්න​.

පනීර් බබාලට හඳුන්වා දෙන්න පුලුවන් මාස 8, 9 ක් වගේ කාලයේදී. මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ ලබා දී බබා එයට හුරු වූවායින් පසු තරමක ලොකු කෑල්ලක් බැගින් කෑම වලට එකතු කර ගන්න පුලුවන්. සතියකට 2-3 වතාවක් දුන්නාට කමක් නැහැ.

දරුවන්ට පනීර් ලබාදීමේ වාසි බොහෝ තියෙනවා. මම කෙටියෙන් කිහිපයක් මෙසේ සඳහන් කරන්නම්.

  1. පනීර්හි විවිධ ප්‍රමාණවලින් විටමින් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ලබා දීමේදී මේවා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි.
  2. අස්ථි කාටිලේජ සෑදීමේදී විටමින් බී ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරයි. එය පනීර්හි ඉතා හොඳ ප්‍රමාණයකින් පවතින බැවින්, එය ළදරුවාගේ ශරීරය තුළ ගොඩනැගීමේ ක්‍රියාකාරිත්වයට සහාය වේ.
  3. පනීර් හි ප්‍රෝටීන් සහ මේද හොඳ ප්රමාණයකින් පවතින බැවින් ළදරුවාගේ වර්ධනයේ මුල් වසරවලදී අවශ්‍ය සියලුම තීරණාත්මක පෝෂණය ලබා දීමට මෙය උපකාරී වේ.
  4. පනීර් හි කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ ප්‍රෝටීන වැනි ඛනිජ විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එය අතිශයින්ම පෝෂ්‍යදායී වේ.
  5. දරුවන් ගේ සම සහ හිසකෙස් වල පෝශණයට අව්ශ්‍ය වන පෝශණය පනීර් වලින් ලබා දේ.

ඔන්න දැන් තමයි ඔයාලා බලාගෙන හිටපුම මාතෘකාවට එන්නෙ..කොහොමද බබාලත පනීර් දෙන්නේ? ඔව් ආකාර ගොඩක් තියෙනවා.. හැමදාම කියනවා වගේ අලුතින් ටිකක් හිතුවොත් රෙසිපි ඕන තරම් හදා ගන්න පනීර් උදව් වේවි. මම ඔයාලට යම් අදහසක් දෙන්නම්..

  1. පනීර් බත් සමග 

සාමාන්‍ය විදියට බබාට බත් උයද්දී බත ඉදිලා අවසානයේ ලිපෙන් බාගන්න කලින් පොඩි කෑලි වලට කපා ගත් පනීර් ටිකක් එකතු කර ගන්න පුලුවන්. නැත්නම් පනීර් වල තද ගතිය නිසා බබාට කන්න අමාරු නම් ටිකක් බ්ලෙන්ඩ් කරල බත් එකට එකතු කර ගන්නත් පුලුවන්.

  1. තම්බගත්ත එළව්ලු එකක් හෝ කීපයක් සමග​

කෝලිෆ්ලවර්, කැරට්,අල, බ්‍රොකොලි වගේ එලවලු ජාති එක්ක පනීර් එකතු කරගත්තම හරිම රසයි. බ්ලෙන්ඩ් කරල හරි පුංචියට ග්‍රේට් කරගෙන හෝ කපාගෙන තඹපු එලවල්‍ය් එක්ක පොඩි කරල කවල බලන්න​.

  1. පළතුරු සහ පනීර්

ඇපල්, පෙයාස්, අඹ, කෙසෙල් , ගස්ලබු වගේ පළතුරු පනීර් එක්ක හොදට ගැලපෙනවා. තවත් ඕන තරම් ඇති පළතුරු ජාති. ඔයාලා අත් හදල බලන්න

  1. නිවිති සමග පනීර්

මේ විදියට නම් ලොකු අයත් කනවා. හරිම රස කරි එකක් හදා ගන්න පුලුවන් නිවිති සහ පනීර් එකතුවෙන්. බබලටත් සරලවම මේ දෙක එකතු කරල දෙන්නයි තියෙන්නෙ.. පොඩ්ඩක් දෙක එකට තෙම්පරාදු කලොත් වඩා රසයි.

  1. පනීර් කරියක් ආකාරයෙන් සාදා රොටී හෝ බත් එක්ක​

මම කෙටියෙන් සදහන් කලොත් ලොකු අපිට වගේ නෙමෙයි පොඩ්ඩොන්ට කුලුබඩු අපි දාන්නේ අඩුවෙන්. මම මගේ පොඩි රෙසිපි එකක් දෙන්නම් කරි එකකට​. ඔයාලා නාන්, චපාති වගේ පොඩි රොටියක් මේ කරි එකත් එක්ක බබාලට කවල බලන්න​. බත් එක්කත් හොදයි.

මේකට ඕන වෙනවා : –

  • පොඩියට කපාගත් හෝ ලියාගත් පනීර් ටිකක්
  • එළකිරි හෝ උකු පොල් කිරි
  • කජු ගෙඩි කීපයක් අඹරලා හදා ගත්ත පේස්ට් චුට්ටක්
  • තක්කාලි ගෙඩි 1/4 හෝ 1/2 ක්
  • ලූනු ගෙඩියක් හෝ භාගය්ක්
  • සුදුලූනු සහ ඉගුරු පොඩ්ඩ පොඩ්ඩ​

මුලින්ම ලූනු, ඉගුරු, සුදුලූනු එකට බ්ලෙන්ඩ් කරගන්න​. වෙනම තක්කලිත් බ්ලෙන්ඩ් කරගන්න​. තෙල් ටිකක් හට්ටියකට ලිප තියලා ලූනු පේස්ට් එක තෙම්පරාදුවට දාන්න​.කජු පේස්ට් එකත් පොඩ්ඩක් දාන්න​. පස්සේ තක්කාලි පේස්ට් එකත් දාන්න​.  ටිකක් වෙලා උකු වෙනකන් උයා ගන්න​. පස්සෙ පනීර් ටිකත් එකතු කරන්න​. ටිකක් ඉව්වට පස්සෙ එළකිරි හෝ උකු පොල්කිරි ටික ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් එකතු කරගෙන කරි එක උකුවට හදා ගෙන ලිපෙන් බාන්න​. බබාට වයස අනුව අවශ්‍ය නම් ලිනු සහ මිරිස් කුඩු එකතු කරන්න (කිරි එකතු කරන්න කලින්) ​

දැන් ඔයාලට පනීර් කියන්නේ තවත් එක අමුතු කෑමක් නොවෙයි කියල මම හිතනවා. මම පුලුවන් විදියට මම දන්න දේවල් ගොඩක් මෙහි සදහන් කලා. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල පහත රෙසිපි කීපයක් සදහා සබැදි කීපයකුත් මෙතනටම අමුනනවා. ඔයාලාට වඩාත් හොද පැහැදිලි කිර්‍රීම් සහිතව තව අලුත් කෑම රෙසිපි කීපයක් බලා ගන්න පුලුවන් වේවි.

අඹ සහ පනීර්:-

නිවිති එක්ක පනීර්

13+ දරුවන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය කියන්නේ මොනවද කියා හරියටම දන්නවාද?

මත්ද්‍රව්‍ය ගැන ඉතිහාසය අදින් වසර දහස් ගනනාවක් තරම් දුර අතීතයකට අයිතියි. ඊජිප්තුව, චීනය වැනි රටවලත් වසර හත්දහසකට පමණ අතීතයකදී මත්ද්‍රව්‍ය  භාවිත කළ බවට වාර්තාවන් තිබෙනවා. ඉන්දියාවේ වසර 2700 කට පමණ පෙරාතුව මත්ද්‍රව්‍ය  භාවිත කර තිබෙනවා. ඔවුන් ඒවා සකස් කර ගත්තේ හාල් සේදූ ජලයෙන්. ඒ වගේම බැබිලෝනියාවේ ”සුරා දෙව් දුව” පිදීමේ චාරිත්‍රයක්  පවා තිබී තිබෙනවා.

චීන ජාතිකයන්ට අබිං හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය විශාල උත්සාහයක් ගත්තා. ඒ නිසා ඔවුන්ගේ රටේ ධනය බ්‍රිතාන්‍යයට ඇදී ගියා පමණක් නොවෙයි, රටේ ජනතාවයත් අබිං නැමැති මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුනා. මේ කාලයේ සිටි ‘‘තවෝ තුවං “ අධිරාජ්‍යයා විසින් චීනයේ අබිං භාවිතය තහනම් කිරීමට උත්සාහ කලා පමණක් නොව ඔහු 1839 වසරේදී  බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට විවෘත ලිපියක් යවමින් විමසා සිටියේ ”අපි බ්‍රිතාන්‍යට තේ, පිඟන්මැටි වැනි වෙළඳ භාණ්ඩ ලබා දෙන විට අපට මේ අන්දමට විෂ මත්ද්‍රව්‍ය  ලබා දීම සාධාරණද යන්නයි…

මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද?

මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන, මානසික ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන සහ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කරන නීති විරෝධී දේ මත්ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුලුවනි.

මත්ද්‍රව්‍ය විදිහට හදුන්වන්නේ…

  • මද්‍යසාර- අරක්කු, බියර්, කසිප්පු
  • මරිජුවානා
  • පාලනයක් යටතේ පාවිච්චි කරන ඖෂධ
  • දුම්කොළ
  • සිගරට්
  • හෙරොයින්
  • අබිං
  • හසිස්

මීට අමතරව නම් ප්‍රසිද්ධ නොවූ බොහෝ දේවල් තිබෙන්න පුලුවනි. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය පෙති, කරල්, කුඩු, විටමින්, ටොපි, චුයින්ගම්, මුද්දර විදිහට බුලත් විට සහ එන්නත් විදිහටත් පාවිච්චි කරනවා.

මත්ද්‍රව්‍ය ගැන පුරසාරම් දොඩන දරුවන් ඒ ගැන කියන්නේ…

  • පාඩම් මතක හිටිනවා
  • අමුතු වින්දනයක්
  • සැහැල්ලුවක් දැනීම
  • ශක්තිය ලැබෙනවා…

මේ විදිහට ඔබේ දරුවා අතරම සිටින තවත් මතට යොමු වුන දරුවෙක් ඒ ගැන ආලවට්ටම් කතා කියන්න පුලුවන්. එහෙම කියන්නේ ඔබේ දරුවාත් මතට ගොදුරක් කර ගැනීමේ අදහසින්. ඒ වගේම මතට ඇබ්බැහි වුන දරුවන් සෙසු දරුවන්ට නින්දා කිරීමට පටන් ගන්නවා. බලහත්කාරයෙන් ලබා දෙනවා. මේ නිසාම දරුවන් නොදැනීම මතට ගොදුරක් බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ විවෘතව දරුවන් සමග කතා කරන්න. මතට යොමු වුනොත් සැබෑවටම ලැබෙන්නේ ඔවුන් කියන  නොව ලැබෙන  ආදීනව ඉතා දරුණු බව දරුවාගේ හිතට තදින්ම දැනෙන විදිහට කියා දෙන්න…

මත්ද්‍රව්‍යවලට යොමු වුනොත් මොකද වෙන්නේ?

ශාරිරික ලෙසින් මේ අවයවයන්හි දුර්වලතාවයන් ඇති වෙනවා.

  • වකුගඩු
  • අක්මාවමොළය
  • හදවත
  • පෙනහලු සහ ශ්වසන රෝග
  • මොළය

සමාජයීය වශයෙන්-

  • ප්‍රචණ්ඩයි.
  • ආවේගශීලියි.
  • නිරන්තර ගැටලු ඇති කර ගැනීම

පුද්ගල  සංවර්ධනයට ඇති බාධා-

  • සන්නිවේදන දුර්වලයි.
  • සංවේදන නැහැ
  • කිසිම උනන්දුවක් එහෙම නැත්නම් අබිප්‍රේරණයන් දුර්වලයි.
  • ඉච්චාභංගත්වයෙන් පසුවෙනවා.
  • මානසිකව බිඳවැටීම
  • හුදෙකලාව ප්‍රියකරනවා.

ආර්ථික වශයෙන්

  • තමාට ලැබෙන ආදායම තුළ මත්ද්‍රව්‍ය සදහා විශාල කොටසක වැය බරක් තිබීම.
  • මෙවැනි පුරුදු ඇති දරුවන් විවාහයෙන් පසුව වුනත් තමන්ගේ පවුලට වඩා මත්ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කිරීමට යොමු වෙනවා. දැනට හදුනා ගත් තෙරතුරු අනුව මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුන පද්ගලයෙක් ඔහුගේ ආදායමෙන් තුනෙන් එකක් පමණ මත්ද්‍රව්‍ය සඳහා වැය කරනවා. සමහර අයගේ මේ තත්වය ආදායමෙන් 50% ක් පමණත් වෙන්න පුලුවනි. ඒ වගේම මත්ද්‍රව්‍ය සදහා යොමු වුන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට රජයටත් විශාල වියදමක් දැරීමට සිදු වී තිබෙනවා.

වැඩිහිටියන් විදිහට දරුවාට සමීප වෙන්න පුලුවන් විධි

මත්ද්‍රව්‍ය වැනි අලුත් අත්දැකීමක් වෙනුවෙන් දරුවන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ඉහලයි. ඒ නිසා ගමක, පංතියක වැනි පුංචි සමාජයකින් මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන් පටන්ගැනීම ඉතාම වැදගත්.

මාධ්‍ය මගින් මත්ද්‍රව්‍ය ගන්නා අය ලස්සන වීරයන් විදිහට පෙන්නුවත් , මේ නිසා ඔවුන් අනාගතයේදී බන්ධනාගාරවල වගේම පුනරුත්තාපන මධ්‍යස්තානවල දුක්විදින බව අනිවාර්යෙන්ම පහදා දීම.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වීරයන් නොව, මනස දුර්වල මෝඩ චරිත බැව් කියා දෙන්න.

ඒ වගේම අපේ දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන වෙළදපොළ සපයන්නේ අමානුෂික වැඩිහිටියන්. සමහර විට පාසල ආසන්නයේ තියෙන පුංචි හෝ ලොකු වෙන්නත් පුලුවන් කඩ, ජංගම රථ මගින් අලෙවි කරන ටොපි, හෝ බුලත් වැනි දේ මත්ද්‍රව්‍ය විය හැකි බව කියාදෙන්න. ඒ වගේම පාසලේ දරුවන් ආරක්ෂා කරන සංගමයක් ගොඩ නගා ගැනීමත් ඉතාම වැදගත්. ඒ නිසා විදුහල්පති පෞරෂයත් මෙතැනට ඉතාම වැදගත්.

පාසලේ උත්සවයන්හිදී සහ බිග්මැච්වලදී මත්ද්‍රව්‍ය නිවාරනයේ වැදගත්කම ඉස්මතු කරන්න.

දරුවාට හෝ ඔහුගේ මිතුරෙකුට යම් කෙනෙක් මත්ද්‍රව්‍ය සේ සැලකෙන දෙයක් දුන්නොත් ඒ ගැන වහාම වගකිවයුතු කෙනෙකුට දැනුම් දෙන්න.

 මතින් නිදහස් රටක්- පත්‍රිකාව ඇසුරෙන් මහවැලි ජාතික අධ්යාපන විද්යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්යා චාන්දනී සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

දරුවෙක් මතට යොමු වුනොත් එයින් මුදවා ගන්න බැරිද?

අද බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සමාජයේ අප්‍රසාදයට  පත්ව සිටිනවා. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සීඝ්‍ර‍යෙන් සිද්ධ වෙනවා. දරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනාම අපි ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු හදුනා ගන්නවා.

  • අම්මා හෝ තාත්තා විදේශගත වීම
  • තාත්තාගේ බීමත්කම
  • නූගත් පරිසරය

මේ විදිහට විවිධ හේතුපාඨ ගොඩ නගා ගත්තත් ඇත්තටම දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙන්නේ ඇයි…මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා..ඔහු මේ සංවාදයට මුප පිරුවේ මෙහෙමයි..

අපි පුංචිකාලයේ පන්දු ගහද්දී මුලින්ම නීති රීති ගොඩ නගා ගන්නවා. ඒත් හදිසියේම පන්දුව පිට්ටනියේ සීමාව පැනලා ඇලට වැටුනොත් අපි අයියාගෙන් එහෙම නැත්නම් මාමාගෙන් අහමු කියල වැඩිහිටි උපදෙසක් ලබා ගෙන ගැටුම එතැනින් අවසාන කරනවා.

අද දරුවන්ට…

අද දරුවන්ට තිබෙන වටපිටාව බොහොම යාන්ත්‍රිකයි. කිසිම ස්වාධීනත්වයක් නැහැ.අම්මා, අප්පච්චිගේ උවමනාවට හැසිරෙනවා මිසක දරුවාගේ නිදහසට කිසිම ඇගයීමක් නැහැ. අඩුම වශයෙන් දරුවාට උවමනා විෂය ධාරාවටවත් යොමු වෙන්න අයිතියක් දෙන්නේ නැහැ. අම්මාට අප්පච්චිට උවමනාව තියෙන්නේ දරුවා ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් දොස්තර කෙනෙක් කරන්න. ඒක බොහොම සාධාරණ සිතුවිල්ලක් වුනත් දරුවාට අවශ්‍ය ආදරය ආරක්ෂාව නොමැති වුනාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වීම වැනි සමාජ විරෝධී කටයුතුවලට යොමු වෙනවා.

ආර්ථිකයෙන් ශක්තිමත් පවුල්වල දරුවන් අතර මත්ද්‍රව්‍යවලට යොමු වීම …

මත්ද්‍රව්‍යවලට යොමු වෙන්නේ ආර්ථික අපහසුතාවයන් සහිත නූගත් දෙමව්පිය පරිසරයේ හැදෙන වැඩෙන දරුවන් කිව්වට එය නිවරැදි මානයක් නොවෙයි. අද මත්ද්‍රව්‍ය ගන්නා දරුවන් බොහොම ශක්තිමත් පවුල්වල දරුවන්. දෙමව්පියන් ඉතාම උගත්.අද මේ ඛේදවාචකය  ද මොන තරම් අවාසනාවක්ද කිව්වොත් පුතාට කුඩු ගන්න අම්මා සල්ලි දෙන තරමටම පිරිහුනු සමාජයක් ගොඩ නැගිලා. අම්මා මේක කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ඒත් පුතාට කුඩු නැතුව ජීවත්වෙන්න බැරි බව අම්මා දන්නවා.

මේ තත්වයෙන් දරුවා මුදවා ගන්නේ නැත්තේ ඇයි….?

සමහර දෙමව්පියන් තමන්ගේ දරුවාගේ වැරදි සසමාජයට පෙන්වන්න කැමැති නැහැ.පුතා කුඩ්ඩෙක් කියලා රටේ ලෝකයේ අය හංවඩු ගහයි කියලා බයයි. මේ හිතේ අහංකාරය නිසා දරුවා තව තවත් වැරැද්දේම පැටලෙනවා. දරුවන් කොතැන හෝ වැරැද්දකින් මත්ද්‍රව්‍යවලට යොමු වෙලා අවසානයි. දැන් තියෙන්නේ දරුවා එතැනින් මුදවා ගන්න. ඒක දෙමව්පියන්ගේ වගකීමක්. නමුත් දෙමව්පියන්ගේ හිතේ තිබෙන පුහු සංකල්ප නිසා දරුවා මේ අවාසනාවන්ත තත්වයේම ජීවත් වෙනවා.

මව්පියන් දරුවාට සමීපව හිටියොත්…

දරුවන්ට තමන්ගේ ගැටලු බෙදා හදා ගන්න පිරිසක් අවශ්‍යයි. තමන්ට ආදරය කරන පිරිසක් ඇති බව දරුවා තේරුම් ගන්නවා. ගැටලුවක් ඇති වුනාම කතා බහ කරල හිත නිදහස් කර ගන්න පුලුවනි. ඒත් අද හැම නිවසකම ලොකුම ගණුදෙනුකරුවා විද්‍යුත් නාලිකාවන් සහ අන්තර්ජාලයයි. දරුවන් හුදෙකලා චරිත වීම ඉතාම භයානකයි.

දුෂ්කර ගම්මානයක අවුරුදු 13 ක පිරිමි දරුවෙකු විසින් අවුරුදු 11 ක ගැහැනු දරුවෙකු දූෂණය කරනු ලැබුවා. මේ අපයෝජනයේ හේතු හොයද්දී පිරිමි දරුවා කිව්වේ තාත්තා බලපු සී.ඩී තැටියකින් මේ විදිහේ දේවල් උගත් බවයි. ඇත්තටම ඒ පියා නියම පිතෘත්වයෙන් හැසිරුනා නම් අර ගැහැනු දරුවා විනාශ වෙන්නේ නැහැ.

තාත්තා කියන චරිතය බොහොම ගාම්භීර වෙන්න ඕන. අම්මා වුනත් එහෙමයි. ඉස්සර කාලයේ කියන්නා වගේ ඔවුන් තැන්පත් චරිත විය යුතුයි. තැන්පත් බව සමග දරුවන් වෙනුවෙන් තිබෙන යුතුකම් සහ වගකීම් හදුනා ගන්නවා. දරුවන් හුස්ම ගන්නා හැටි පවා තමන්ට දැනෙන තරමටම ඔවුන් දරුවන්ට සමීපයි. එතකොට වැරදි හැසිරීමක් වෙනුවෙන් දරුවන් යොමු වෙන්නේ නැහැ.

අද මව්පියන්ගෙන් මේ තත්වය ගිලිහෙන්නේ..

අතීතයේ තිබුන ජීවන රටාව අද නැහැ. ඒ තත්වය වෙනස් කරන්නත් බැහැ. කාර්යබහුල මේ ජීවන රටාවට අපි අනුගත වෙන්න ඕන. ඒ වුනත් අද දෙමව්පියන්ගේ ලොකුම අවධානය තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන පමණයි. අධ්‍යාපනය අවශ්‍යයි.

ජීවිතය තියෙන්නේ සිලබස් එකේ නොවෙයි…

කටපාඩම් කර ගත්තු විෂය කරුණු ගොනු කරලා විභාගය සමත් වුනා කියන්නේ ජීවිතය ජයගත්තා නොවෙයි. ඉගෙනුම සමග හැදියාව බද්ධ වෙන්න ඕන. අද මව්පියන් තරඟයට දරුවන් යොමු කරනවා මිසක එතැනින් එහාට කිසිම දෙයක් නැහැ. දරුවා දිහා බලන්නේ විභාග රාමුව ඉලක්ක කර ගෙනයි. මොන විදිහට හෝ විභාගය සමත් කිරීම මිසක ජීවිතය විදින්න දරුවාට අවසරයක් නැහැ.

මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන දරුවෙකු ගැන කටයුතු කරන්නේ…

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුන දරුවන් මුදවා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.

  • ආයතනගත
  • සමාජගත

ආයතනගත කිරීමේදී ඒ වෙනුවෙන්ම වූ ආයතන තිබෙනවා. මත්ද්‍රව්‍ය සඳහා යොමු වුන දරුවන් පුනරුත්තාපනය කිරීම මෙහිදී සිද්ධ වෙනවා.

සමාජගත කිරීමේදී දරුවා නිවසේ අය හෝ පවුලේ සමිප අයෙකුගේ නිවසේ සිටියදී සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන යමින් ඔවුන් ඒ කටයුතුවලින් මුදවා ගන්නවා.

ලෝකයට අවශ්‍ය වෙන්නේ සුචරිත දරුවෝ. ඔවුන් අද නොමග ගියත් හෙට සුචරිත පිරිසක් විදිහට සමාජයට එක් කර ගත යුතුයි. මේ නිසා දෙමව්පියන් විදිහට ඔබ හිතන්න. දරුවාගේ ජීවිතය තිබෙන්නේ විෂය මාලාවේ නොව අම්මා අප්පච්චි නම් වූ බලගතු චරිත වෙතයි.

මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මුලස්ථාන පරිවාස නිළධාරී ගාමිණී විජේරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

තිත තැබිය යුත්තේ මතටද? මතට යොමු වීමටද?

දරුවන් කියන්නේ මල් වගේ සුන්දර වස්තුවක්. ඒත් යාන්තම් හය හතර තේරෙන්නත් කලින් මේ අහිංසක දරුවන් මත්ද්‍රව්‍යවලින් ඔවුන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා වගේ අවාසනාවක් තවත් නැහැ. ඒ නිසා මතට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරනවාට වඩා මතට යොමු නොවන විදිහට අපි දරුවන් රැක බලා ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විහේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මියයි.

මත්පැන් වෙනුවෙන් ඇති වෙන ඇබ්බැහි වීමට බොහෝ සෙයින් බලපාන්නේ මධ්‍යසාර නිසා මොලයෙන් නිදහස් වෙන ‘‘ ඩොපමින් “ රසායනයයි. මේ රසායනය නිසා ඇති වෙන සතුටට පුද්ගලයන් නොදැනීම ඇබ්බැහි වෙනවා. මුලදී නොදැන මද්‍යසාර ගත්තත් අන්තිමට මත් ද්‍රව්‍ය නැතුව ජීවත් වෙන්න බැරි තැනට පත් වෙනවා.

මත් ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වෙන්නේ ඇයි…?

දරුවන් අතරත් විවිධ පෞරැෂයන් තිබෙනවා. සමහර දරුවන් වැරදි කටයුතුවලට යොමු නොවී තමන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන්ගේ අවවාද අනුව ජීවිතය හැඩ ගසා ගන්නවා. ඒත් සමහර දරුවන් නොදැනීම මත් ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වෙනවා. එතැනින් පසුවත් ඔවුන්ගේ ඇබ්බැහියෙන් මිදෙන්න බැරි තරම් දුර්වල පෞරැෂයකින් යුක්තයි.

ආදීනව දැනගත්තොත්..

මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන ආදීනව බොහාමයි. තරුණ අවධිය අත්හදා බැලීම් වෙනුවෙන් යොමු වෙන කුණාටු කාලයක්. සම වයස් කණ්ඩායම් නිසා ඇති වෙන අහිතකර හැසිරීම්වලින් ඔවුන් මුදවා ගන්න ඕන. වස බෝතලය සගවා තබන්නත්…මත්පැන් බෝතලය ගාම්භීර විදිහට ඔසවා තබන්නත් හේතුව වෙන්නේ සමාජයෙන් මත්පැන් වෙනුවෙන් ලබා දී තිබෙන වටිනාකමයි. මගුලට සතුට සමරන්න මත්පැන් යොදා ගන්නවා..අවමගුලේදී දුකට..මහන්සියට..මත්පැන් යොදා ගන්නවා. නමුත් මත්පැන් මුල් කර ගෙන ගොඩ නැගී තිබෙන මේ මිථ්‍යාවෙන් දරුවන් මුදවා ගැනීම ඉතාම වැදගත්.

මත්පැන් නැත්නම් දියාරුයි..

මත්පැන් නිසා උත්සවයේ සතුට, පිළිවෙළ නැති වෙනවා. එක් පුද්ගලයෙක් මම බොහොම සමීපව ඇසුරු කරන ආර්ථික වහයෙන්ද ශක්තිමත් අයෙක්. ඒත් ඔහු විවාහ මංගල්‍ය උත්සවයට මත්පැන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මේ ගැන අදහස් දක්වපු ඔහු කිව්වේ මත්පැන් තිබුණා නම් මේ උත්සවයේ තිබුන සතුට, සංවරය දකින්න ලැබෙන්නේ නැති බවයි.

පාසල් දරුවන් මතෙන් මුදවා ගන්න නම්…

දරුවන්ට ලබා දෙන අවවාද මගින් ඔවුන්ගේ ආකල්ප හැඩ ගැසිය යුතුයි. සමවයසේ මිතුරන්ගෙන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනා ලැබෙන්න පුලුවනි. ඒ වුනාට ඒවා ප්‍රතික්ෂේප කරන ශක්තිය ගොඩ නගා ගැනීමේ වටිනාකම ඔවුන්ට බොහොම පැහැදිලිව කියා දෙන්න ඕන. නොදැන හෝ මේ තත්වයට වැටුනොත් එයින් මිදීම අපහසු බව දරුවන්ට අවධාරනයෙන්ම කියා දෙන්න. මත්ද්‍රව්‍ය වෙනුවෙන් ආරාධනාවක් ලැබුනොත් එය ප්‍රතික්ෂේප කරන අන්දම කියා දෙන්න. ජපානයේ නම් මත්ද්‍රව්‍ය වෙනුවෙන් ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප කරන ඉතාම නිර්මාණශීලී සන්නිවේදන තිබෙනවා. අද ගෝලීයකරණය තුළ මත්ද්‍රව්‍ය වෙනුවෙන් පවතින යොමු වීම වැඩියි. දරුවන් අනුකරණයට වඩාත් නැඹුරුයි. ඒ නිසාම ඔවුන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වීම වලක්වා ගන්න අපහසුයි.

ගැටලු හදුනා ගන්න.

දරුවා මතට හෝ වෙනත් අකටයුත්තක් වෙනුවෙන් යොමු වීමට ඔවුන්ගේ මානසික පසුබිම බලපානවා. මානසිකව ඇතිවෙන හිස්කමට පිළිතුරු සොයන රැල්ල තුළ මේ ඇදී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ගේ කාලය නිකරුනේ ගත කරනන් දෙන්නත් නරකයි. ඔවුන් කුමන හෝ දෙයක නිරත කරවීම අවශ්‍යයි.

දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව දැනගන්නේ…

දරුවාගේ හැසිරීම් රටාවේ වෙනදා නැති වෙනස්කම් ඇති වෙනවා. නිතරම වෙන්ව ඉන්න බලනවා. ඇස් රතුයි. මත්වෙලා වගේ ඉන්න පුලුවනි. ඔහු සිටින තැන අලුත් මාදිලියේ දැවටුම් තිබෙන්න පුලුවනි. මේ විදිහට ඉතා සියුම් අන්දමින් දරුවාගේ හැසිරීම් රටාව අවබෝධ කර ගන්න පුලුවනි.

මතට ඇබ්බැහි දරුවෙක් හදුනා ගත්තොත්…

මේ දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ මානසික සුවතා ඒකකය පිහිටුවා තිබෙනවා. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන කෙනෙක් ප්‍රතිකාර ගැනීමට ලැජ්ජා විය යුතු නැහැ. අදාල පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් වෙනුවෙන් පවුලේ අයෙකු හෝ සහභාගී වෙලා උපදෙස් ලබා ගන්න පුලුවනි. මේ නිවාරණ වැඩසටහන් වෙනුවෙන් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර, ක්‍රම දෙකකට සිද්ධ වෙනවා.

  • උපදේශන
  • ප්‍රතිකාර

උපදේශන මගින් ප්‍රතිඵල නොලැබෙන විට ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඇබ්බැහි වූ පුද්ගලයාට වගේම පවුලේ අයටත් මේ පුද්ගලයා සමග ඉදිරියට ගනුදෙනු කරන අන්දම ගැන කියා දෙනවා. සුවය ලැබුනාට පසුව දරුවා මානසික සුවතා ඒකකය සමග සම්බන්ධ වෙන්න අකමැති නම් පවුලේ උදවියට අපෙන් උපදෙස් ලබා ගෙන දරුවා ගැන අවධානය දක්වන්න පුලුවනි. මත්ද්‍රව්‍ය  භාවිතය නැවැත්වූ අයගේ සායනයක් හා හමුවක් මාසයකට වරක් පැවැත්වෙනවා. ඒ සඳහා පවුලේ බාරකරුවන්ද පැමිනීම අවශ්‍යයි.

මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ.බී අරඹේපොල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කරැණු අනුව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිනි පුන්‍යා චාන්දනී ද සිල්වා මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

යොවුන් දරුවන් අන්තවාදීන් නොකිරීමට දෙමාපියන්ගේ යුතුකම

පසුගිය දින කිහිපයේ රට තුළ උද්ගත වූ තත්ත්වය මත එක් එක් පාර්ශවයන් එක් එක් අදහස් දරන්නටත් ඒ අදහස් ගැටුම් ඇති කරගැනීම දක්වා දුර දිග ගෙන යන්නටත් පෙළඹුණු ආකාරය ඔබ දකින්න ඇති. තත්ත්වය කෙසේ වුවත් අනාගතයේ අපේ දරුවන්ට සාමකාමී රටක් නම් අත්‍යවශ්‍යමය. ඒ නිසාම රටේ අනාගතය වන අපේ දරුවන්ගේ මානසිකත්වය යහපත් කිරීමට අද සිටම දෙමාපියන් වශයෙන් අපි ක්‍රියාත්මක විය යුතුමයි . ඒ වෙනුවෙන් අපේ වගකීම වන්නේ අන්තවාදී, දැඩි මතධාරී අදහස් දරැවන්ගෙන් බැහැර කිරීමයි. අන්තවාදී, දැඩි මතධාරී අදහස් දරුවන් තුළින් ඉවත් කිරීම/අවම මෙහිදී වැඩිහිටි අපේ පළමු රාජකාරියයි.

මොකද්ද මේ අන්තවාදය කියන්නේ

පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, වෙනත් කණ්ඩායමක් පහත් කරමින්, ඔවුන්ගේ මත ප්‍රතික්ෂේප කරමින් ප්‍රචණ්ඩකාරී හෝ අර්බුදකාරී තත්ත්ව ඇති කිරීම හෝ එයට උත්සාහ කිරීම තමයි අන්තවාදය කියන්නේ.

අන්තවාදී මනෝභාවය ඇති වන්නේ පියවරෙන් පියවරයි. ඒ පියවර මේ ලෙස දැක්විය හැකියි.

  • සමාජ පරිසරය මැන බලමින් තමාගේ ඉගෙනීමට, හැකියාවට සමාජයෙන් ලැබිය යුතු දේ ගැන සිතීම
  • අසාධාරණයක් වූවා යන සිතිවිල්ල සමගින් ඊට කළ යුතු දේ සිතීම, අවශ්‍ය දේ සෙවීම
  • ක්‍රෝධය ඇති වීම සහ මූලික ප්‍රචණ්ඩකාරී අදහස් ඇති වීම
  • ගැඹුරු චින්තනට නැඹුරු වීම සහ හිංසාවට අරමුණක් ගොඩනගා ගැනීම
  • අපිට එරෙහිව ඔවුන් යන සංකල්පය සහ ප්‍රචණ්ඩත්වයට සන්දර්භය ලබා ගැනීම
  • ත්‍රස්තවාදී ක්‍රියාවට අවතීර්ණ වීම

යොවුන් අන්තවාදී දැඩි මතධාරී පුද්ගලයින් වර්ග

  • අනන්‍යතාවය සොයාන්නා

එනම් ස්වඅභිමානය දුර්වල නිසා කණ්ඩායමක අනන්‍යතාවය ආරෝපණය කරගන්න පුද්ගලයන්ය.

  • සාධාරණය (වැරදි) සොයාන්නා

එනම් තමාට හෝ තම ජන කොටසට ආසාධාරණයක් වූ බව සිතන පුද්ගලයන්ය

  • වීරත්වය (අනිසි) සොයාන්නා

එනම්  හීනමානය සහ පුද්ගලික ගැටලු නිසා වීරයෙකු වීමට උත්සාහ කරන පුද්ගලයන්ය

  • ත්‍රාසය සොයාන්නා

එනම් පුරුෂ අධිපත්‍ය මතින් උද්වේගකාරී සහ වික්‍රමාන්විත ක්‍රියාවලට පෙළඹෙන පුද්ගලයන්ය.

යොවුන් සිතේ අන්තවාදය ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද?

  • දරුවන් තුළ ආත්ම – විශ්වාසය ගොඩනඟන්න

තමා පිළිබඳ විශ්වාසය සහ ආත්ම අභිමානය ගොඩනැගෙන ලෙස කටයුතු කළ යුතු අතරම දරුවන්ගේ සුළු ජයග්‍රහණ පවා අගය කරමින් දිරිමත් කළ යුතුය. පොතක ලිය වුණු දෙයකට එහාගිය සැබැ ලෝකයේ තතු  නිදසුන් සමගින්  දරුවාගේ හදවතට කා වැදෙන සේ කියා දිය යුතුය.

  • විවිධ ජනකොටස් සමඟ සම්බන්ධතාවලට ඉඩ දෙන්න

කුඩා කල සහ යොවුන් වියේ දී වෙනත් ජාතීන් සහ වෙනත් ආගම්වල දරුවන් සමඟ කාලය ගත කිරීමට ලැබීමෙන් අනෙක් විශ්වාස  සහ චාරිත්‍ර  ගැන දරුවන් තුළ ගෞරවයක් ඇති වේ. ඒ අතරම බහුවාර්ගික පාසැල් පරිසරයක ගුරුවරුන්ගේ අධීක්ෂණය දරුවන්ට හිමි විය යුතු අතරම සමාජය  තුළ දරුවා කොන්වීම් වළක්වා ගත යුතුය.

  • සැබෑ සමානාත්මතාවය කියාදෙන්න

තමාගේ  විශ්වාසය සහ ඇදහිලි නිසා තමන් අනෙක් අයට වඩා උසස් නොවන බවත්, වෙනස් මත දරන්නන් වැරදිකරුවන් නොවන බවත් දරුවාට ඒත්තු ගන්වන්න. දක්ෂතාවය සහ සමාජ තත්ත්වය තීරණය වන්නේ පිරිමි ගැහැනු බව නිසා නොව තම  හැකියාව නිසා  බවත් සතුන්ට පවා ශාරීරිකව හිරිහැර කිරීම මිනිසත්කමට නුසුදුසු බවත් කියා දිය යුතුය. කිසිදු විටෙක ප්‍රචණ්ඩත්වය අගය කිරීම නොකළ යුත්තක් බව මතකයේ රඳවා ගන්න

  • නම්‍යශීලී සිතුවිලි ජනනයට සහය වෙන්න

තමාගේ මතය  100‍% ක් නිවැරදි කියා සිතුන ද අනෙක් අයගේ අදහස්වලට සවන් දී ඒවා නුවණින් විමසීමට ද  දරුවන් හුරු කරවන්න. එසේම දිනෙන් දින ලැබෙන නව දැනුම සමගින් අදහස් වෙනස්  වන බව සමාජ අත්දැකීම් යොදා ගනිමින් දරුවාට අවබෝධ කරවන්න. තමුන්ගේත් අනෙක් අයගේත් හැඟීම් පිළිබඳ බුද්ධිය සහ සහකම්පනය ගැන කියාදෙන්න.

ඔබ සැමවිටම

ඔබේ දරුවා කතාබහ කරන අය, කතා බහ කරන දේ, අන්තර්ජාලයෙන් සම්බන්ධ වන දේ පිළිබඳව මනා අවධානයකින් සිටීම දරුවන් මෙවැනි කාලයකදී නොමගට යාම වළක්වා ගැනීමට බොහෝ සෙයින් වැදගත් වනු ඇත. සමාජ විරෝධී අන්තවාදී අදහස් දරණ යොවුන් දරුවන් අවශ්‍යා මනෝ වෛද්‍ය පරීක්ෂණ සහ අවධානම අධ්‍යයනයට යොමු කිරීමට වගබලාගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දියණියගේ වැඩි විය පැමිණිම උත්සවාකාරයෙන් සැමරීම ඇයට බලපාන්නේ කෙසේද?

දියණියකගේ මල්වර වීම ඇගේ ජීවිතයේ අලුත් ඇරඹුමක්. ඒ සතුට සමරන්න අපේ සමාජය තුළ නොයෙක් ආකාරයේ සැමරීම් අද වෙද්දී දැක ගන්න පුළුවන්. මංගල උත්සව මෙන් පවා ඇතැම් දෙමාපියන් මේ මල්වර වීම සමරන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඔබට හිතේවි ” වියදම් කරන්නේ අපි නම්, දරුවා අපේ නම් කාටවත් මොකද” කියලා. ඒත් ළමා මනෝවිද්‍යාවට අනුව වගේම දරුවාගේ ආරක්‍ෂාව පැත්තෙන් ගත්තත් මල්වර වීම් වෙනුවෙන් උත්කර්ෂවත් සැමරීම් සුදුසුද නුසුදුසුද කියා ඔබම මේ ලිපිය තුලින් වටහා ගන්න.

”මල්වර වීම” බොහොම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. වයස අවුරුදු 9 -12 අතර ගැහැණු දරුවන් මේ සංසිද්ධියට මුහුණ දෙනවා. මේ වයස් සිමාවේ දරුවන් කියන්නේ ශාරීරිකව වැඩිවියට පත් වුනත් මානසිකව පරිනත තත්ත්වයට පත් වුනු පිරිසක් නොවෙයි. ළමා මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තොත් දියණියගේ මල්වර වීම උත්සවාකාරයෙන් සැමරීම සුදුසු නොවන දෙයක්. දැනුවත් දෙමාපියන් විදියට මුළු රටටම අඬ බෙර නොගැහුවට අපේ සංස්කෘතියට අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් පවුලේ හිතවත්ම කිහිප දෙනෙකු එක්ක කැවුම්, කිරිබත් කාලා මේ මල්වර වීම බොහොම ලස්සනට සමරන්න අපිට පුළුවන්. මේ වෙනුවෙන් උත්සව පැවැත්වීමට වඩා දෙමාපියන් වන ඔබට පැවරෙන වගකීම් බොහොමයක් තිබෙන බව අමතක කරන්න එපා. මල්වර වුනු දියණියකගේ දෙමාපියන් දැනගත යුතුම කරුණු කීපයක් ගැන දැන් අපි කතා කරමු.

• දියණියට කියා දෙන්න
සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණෙන වයස් සීමාව වන 9 -12 කාලය තුළ මේ සිදුවීමත් එක්ක ගැහැණු දරුවෙක් ශාරීරිකව පරිණත වුණත් මනෝ විද්‍යාත්මකව පරිණත බවක් ලබලා නැහැ. වැඩිවිය පැමිණීම කියන්නේ ගැහැණු දරුවෙක් මවක් වීමට සුදුසුකම් ලැබීමක් වුනත් මේ වයස් සිමාවේ දරුවෙකුට එවැනි පරිණත බවක් නැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. අන්න ඒ නිසාම ඔබ, ඔබේ දරුවා දැනුවත් කරන්න. දරුවාට අවශ්‍ය මාර්ග උපදේශනය ලබා දෙන්න. මේ අලුත් සිදු වීමත් සමගම ඔබ දරුවාට අවබෝධ කල යුත්තේ මේ සිදුවීමේ ඇති ශාරීරික මෙන්ම මානසික වැදගත්කම පිළිබඳවයි. මෙය මෙතැන් සිට ජිවිත කාලය පුරා ඇදී යන තමන්ගේ ලිංගිකත්වය සහ දරුවෙක් දරා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේ ආරම්භය පමණක් බව සරලව දරුවාට කියා දෙන්න.

• දියණියට ආරක්ෂාව සලසන්න
”අපි කවදත් දරුවාව ආකරක්ෂා කළා” ඔබට එහෙම හිතේවි. නමුත් දැන් ඔබට පැවරෙන වගකීම වැඩියි. ඔබේ දියණියට ආරක්ෂා විය යුතු ආකාරය සරලව කියා දෙන්න. උදාහරණයක් විදියට අම්මා ලෙස ඔබට දියණිය ස්පර්ශ කළ හැක්කේ කොපමණ සීමාවක සිටද යන්නත් එතනින් එහාට වෙනත් පුද්ගලයන් ඇගේ ජිවිතයට සමීප විය යුතු සීමාවන් ඇයට අවබෝධ කරවන්න. තමා විසින්ම අරක්‍ෂා විය යුතු ආකාරය සරල දියණියට කියා දෙන්න.

• දියණිය ආනරක්ෂිත විය හැකි අවස්ථා ඔබ වටහා ගන්න
සමාජයේ සෑම පුද්ගලයෙකුම පිළිබඳව දැනුවත් බවක් අප තුල නැහැ. නව යොවුන් වියේ ගැහැණු දරුවන් මෙන්ම කුඩා දරුවන් සමග තම කාමුක ආශාවන් සංසිඳවා ගැනීමේ ආසාව ඇති පිරිමින් (Pedophile) අප සමාජයේ සිටිනවා. ඔවුන්ට කාමුක අදහස් ඇති වන්නේ දරැවන් සමගයි. එය මානසික රෝගී තත්ත්වයක්. දියණියකගේ මල්වර වීම පවුලේ කිහිප දෙනෙකු හැර වෙනත් පිරිස් දැන නොගන්නා ආකාරයට ඔබ ක්‍රියාත්මක වීමේ එක වැදගත්කමක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. මේ තත්ත්වයන් ඔබේ දරුවාගේ තේරුම් ගැනීමේ හැකියාවට අනුව ඔබ දරුවාට අවබෝධ කරවන්න. පුංචි කාලෙට වඩා වැඩියෙන් දැන් ඇය පරිස්සම් විය යුතු බව කියා දෙන්න. මේ දේවල් නිසා දරුවන් බියට පත්වෙතැයි ඔබ සිතුවත් නොදැනුවත්කම දරුවෙකු අනාරක්ෂිත වීමට එක හේතුවක් බවත් මතක තියාගන්න.

යම්හෙයකින් අනවශ්‍ය ලෙස පිරිමි පුද්ගලයෙකුගේ ස්පර්ශයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක දරුවෙක් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වනවා. දරුවාගේ උඩු හිතට එය අමතක කළ හැකි වුවත් ජිවිතයේ කිසිදු දිනක මේ සිදුවීම යටි හිතින් ඉවත් වන්නේ නැහැ. වැඩිහිටි වියේදී හෝ පුංචි වයසේ වන අතවරවලට වඩා වැඩිවිය පැමිණි දියණියකට එනම් නව යොවුන් වියේදී ඇතිවන අතවරයකදී එය දරුවාට ජීවිත කාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක්. අන්න ඒ නිසාම දරැවාට මෙවැනි තත්ත්වයකට යම් හෙයකින් මුහුණ දීමට සිදු වුහොත් මව/නැන්දනිය/මිත්තනිය හෝ වෙනත් හිතවත් කාන්තාවක් ලවා හෝ උපදෙස් ලබාදෙන්න. ඇයට අවශ්‍ය මානසික සහයෝගය ලබා දෙන්න. බොහෝ මව්පියන් සිතන්නේ මෙවැනි දෙයක් දියණියට කැලලක් නිසා සගවා ගත යුත්තක් බව වුවත් එහිදී ඔබ කළ යුතු වැදගත්ම දේ වන්නේ දියණියගේ හිතේ කැකෑරෙන මේ සිදුවීම පිට කිරීමට අවස්ථාව ලබාදීමයි.

• මල්වර වූ දියණියට පිරිමි දකින්න හොඳ නැද්ද?
මෙය අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයක් වුවත් මනෝ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තම මේ චාරිත්‍රය කිසිසේත්ම නිවැරදි දෙයක් නොවෙයි. මොකද නව යොවුන් වියේ දරුවෙකුට තමාව ඇයි මේ පිරිමි පාර්ශවයෙන් සඟවන්නේ කියන දේ අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. එවිට මේ වයසේ ගැහැනු දරුවන්ගේ මනසට කා වැදෙන්නේ ඇයට පිරිමි පාර්ශවය හානිදායකයි කියන අදහස පමණයි. එතකොට මේ දරුවන් ඔවුන්ගේ මානසික සංවර්ධනයට අවශ්‍ය පිරිමින් ලෙස හඳුන්වන්න පුළුවන් තාත්තා/මාමා/සීයා වගේ අයවත් ඇයට හානිදායක අය විදියට සිතනවා. එතැනදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් නිසා දරුවා මානසිකව අපහසුතාවය පත් විය හැකියි. ”අම්මා වගේම තාත්තත් මට ආරක්‍ෂව දෙනවා. මගේ දෙයක් තාත්තා එක්කත් කතා කරන්න බැරිද” කියන ගැටලුව එක්ක මේ වයස් සිමාවේ දරුවන් බොහෝ දුරට හිතන්න පෙළඹෙනවා. එය දරුවාග් මනසට සුදුසු තත්ත්වයක් නොවේ.

• වැඩිවිය පැමිණි දියණියට අසාධාරණ නීති එපා
පළවෙනි ආර්තවයත් සමගම සිදුවන ශාරීරික වගේම මානසික වෙනස්කම් ගැනත් දියණියට කියා දෙන්න. දියණියගේ සිරුරේ හෝමෝන වෙනස් වීමත් සමගම ඇය ලෝකය දෙස බලන ආකාරය වෙනස් වෙන බව පළමුව ඔබ වටහා ගන්න. උදාහරණයක් විදියට, පිරිමි දරුවෙක් ඇය දිහා හෝ ඇය පිරිමි දරුවෙකු දිහා බැලීම මේ හෝමෝන වෙනස් වීම් සමග බොහොම සාමාන්‍ය තත්වයක්. එය වැරද්දක් විදියට වැඩිහිටි ඔබ දැකිය නොයුතුයි. එය සාමාන්‍ය දෙයක් බව දරුවාට අවබෝධ කරවන අතරේම ඒවා ඔස්සේ ගමන් කිරීම නම් ඇයගේ අනාගතයට ගැටළු ඇති වීමට හේතු විය හැකි බවත් ඒ නිසා ඒවා ඔස්සේ ගමන් කිරීම නුවණට හුරැ නොවන බවත් දියණියට අවබෝධ කරවන්න. ඔබ මෙවැනි ක්‍රියාවකදී දියණියට කෑ කෝ ගසා දඬුවම් කිරීමට ගියොත් ඇය කිසිවක් ඔබට නොපවසා ඉඳීවි. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් එක්ක ගනුදෙනු කල යුත්තේ බොහොම සීරුවෙන් බව අමතක කරන්න එපා. එසේ නීති පැන වීම දියණියකගේ ජිවිතයට තවත් බලපෑම් ඇති කළ හැකියි. නිවස තුළ ඇයට කතා කිරීමට නිදහසක් නැති වූ විට අමතර පන්තියේදී හෝ වෙනත් ස්ථානයකදී හමුවන පිරිමි දරුවෙකුගේ අදහසකට ඇයගේ හිත ඇදී යෑමට ඇති ඉඩ කඩ වැඩි බව ඔබ මතක තබා ගන්න.

කෙසේ වෙතත් ඔබ, මව්පියන් විදියට ඔබේ දියණියට ජීවිතය ගැන කියා දෙන්න. ඇය දැන් ශාරීරිකව පරිනත වුනත් සහකරුවෙක් සොයා ගැනීමට, මවක් වීමට තවත් බෝහෝ දේ පිළිබඳව දැනුවත් විය යුතු බව කියා දෙන්න. ඔබ මවක් ලෙස අද සිටින තත්ත්වයට එන්නට සුදුසුකම් ලබා ඇත්තේ කොපමණ දේ පිළිබඳව දැනුවත් වූවාට පසුවද කියා ඇයට කියා දෙන්න. එය ලේසි පාසු නොවන කටයුත්තක් බව ඇයට කියා දෙන්න.

එසේම තවත් වැදගත් කරැණක් වන්නේ දැන් ඔබේ දියණිය වෙනදා නිවසේ සිටි සුරතලියම වුවත් ඇයට වෙදා මෙන්ම කුඩා දරුවෙකුට මෙන් සැලකීම නුසුදුසු බව අවබෝධ කරගන්න. ඇයට නිවස තුලින් ලැබිය යුතු තැන, ගෞරවය නිසි අයුරින් ලබා දෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

පෙර පාසල් යන්න පටන් ගත්තාම දරුවා වෙනස් වුනාද?

දරුවන්ගේ හිත් අම්මලාට තාත්තලාට කියවන්න පුලුවන් වුනත් සමහර වේලාවල් තිබෙනවා මොන විදිහටවත් දරුවාගේ හැසිරීම් තේරුම් ගන්න බැරි. විශේෂයෙන් දරුවාගේ පැවැති පරිසරය වෙනස් වුනාම මේ තත්වය ඇති වෙනවා. උදාහරණයක් විදිහට පෙර පාසල් යන්න පටන් ගත්තාම අර වෙනදා තිබුන සංයමය හුරතලය දරුවාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. තේරුමක් නැතුව අඩනවා. ඇහුවාට හේතුවක් කියන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපට නොපෙනෙන හේතු නිසා දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්. එහෙමනම් දෙමව්පියන් විදිහට දරුවාගේ අලුත් හැසිරීමක් ඇති වුනොත් ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු ගැනත් ටිකක් අවධානය දෙන්න. මේවා දරුවා ඔබට පැහැදිලිව නොකීවට, ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඒ අවශ්‍යතාවයන් වෙන්න පුලුවනි.

  • පැටියා කියන දේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ.

සමහර වේලාවට තමන්ට අවශ්‍ය දෙයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් පැහැදිලිව දෙමව්පියන්ට සන්නිවේදනය නොවුනොත් දරුවාගේ හිත සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අඩන්න, හැපෙන්න පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ තමාගේ අවශ්‍යතාවය තවමත් ඉෂ්ට නොවුන බවක්. ඉතින් අම්මලා බොහොම යාප්පුවෙන් දරුවාගේ භාෂාව තේරුම් ගන්න ඕන. නැත්නම් ගෝරනාඩුව අවසාන වෙන්නේ නැහැ.

  • බඩගින්න

නිවසේ සිටියදී දරුවාගේ කටට මොනවා හරි දෙයක් අම්මලා දෙනවානේ. ඒත් ළදරු පාසල් ගියාම කන්න බොන්න වෙලාවක් තියෙනවානේ. ඒ නිසා දරුවාට බඩගින්න කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඒ ගැන නම් දරුවන් ලොකු මහත් වෙද්දී අම්මලාටත් තේරෙනවා ඇති. ඉතින් මේ බඩගින්න කියන්නෙත් නැහැ. බඩගින්නට කන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුනාම විවිධ ගති පැවැතුම්වලින් ඒ බව පෙන්වන්න උත්සාහ ගන්නවා. අද ප්‍රාථමික පංතිවල බොහෝ විට පංතියේ වැඩ කටයුතු පටන් ගන්න ඉස්සරින් ආහාරවේලක් ලබා දෙන අවස්ථා තිබෙනවා. මේ තත්වය  නිසා දරුවා අඩන්නේ තේරුමක් නැතුව බව අපට පෙනුනත් ඔහුට හේතුවක් තිබෙනවා.

  • මහන්සියි…මට

ළඟම ළදරු පාසලක් තිබුනත් අපේ දෙමව්පියන් දරුවා රැගෙන නගරයට යන ගමනත් දැන් මහන්සියි. නිවසේ මලක් වගේ අම්මාගෙන් අත්තම්මාට මාරු වෙවී හිටිය දරුවා දැන් කිලෝමීටර් හතර පහක් දුරක් යන්න වෙලා. දහඩිය, ගමන මහන්සිය මේ සේරම එකතු වුනාම ඉතින් අඩනවා හැර වෙන මොනවා කරන්නද නේද…? ඒත් මහන්සිය නිවුනේ නැත්නම් තව තවත් දරුණු වෙන්න පුලුවනි.

  • යාළුවෝ කරදර කරනවා..

සමහර පොඩි දරුවෝ ළදරු පාසල් පරිසරයට ඉතාම ඉක්මනින් අනුගත වෙනවා. ඒත් සමහර දරුවන්ට අලුත් පරිසරයට අනුගත වෙන්න ඉක්මනින් බැහැ. ඒ නිසා මේ වගේ දරුවන්ට ළදරු පාසල මානසික වදයක් වෙන්න පුලුවනි. උදේට වදෙන් පොරෙන් එකතු කර ගෙන ගියාට පොඩි එකා කැමැත්තෙන් යන ගමනක් නොවෙයි. ඒ වුනත් දෙමව්පියන්ගේ අණසක නිසා නොගිහින් බැහැ. එහෙම බලහත්කාරයෙන් ළදරු පාසලට යන දරුවන් නොදැනීම විවිධ විදිහටට තමන්ගේ නොසතුට පෙන්වන්න පුලුවනි.

හිතේ හංගාගෙන ඉන්න දේ නිසාත්..

  • ළදරු පාසලේදී දරුවාගේ හිතටත් විවිධ සිතුවිලි ඇති වෙනවා. සමවයස් අතර තරගයක් තියෙනවානේ. සමහර විට ගුරුතුමිය වෙනදා පැටියාට දැක්වූ අවධානය දැන් අලුත් පුතෙක් වෙත යොමු වෙන්න පුලවනි. ඒ බව පැහැදිලිව කියා ගන්න බැරි වුනත් හැසිරීමේ රහස පිටිපසින් ඇත්තේ මෙන්න මේ හේතුව වෙන්න පුලුවනි.
  • අනුකරණය නිසාත්..

ළදරු පාසලක විවධ හැසිරීම් රටාවන් ඇති දරුවන් සිටිනවා. මේ අතරින් දරුවාගේ හිත යම් දරුවෙකුගේ හැසිරීමට ඇදී ගියොත් ඔහු එතැන් පටන් ඒ හැසිරීම් රටාවට යොමු වෙනවා. අපට දරුවන් වර්ග කරන්නත් බැරි නිසා ටිකක් හෙමින් කියා දුන්නොත් ඔය විදිහට හොද ළමයි හැසිරෙන්නේ නැහැ කියලා, එවිට දරුවාටත් ටිකක් හෝ තේරුම් යාවි. මේ තත්වය දරුවන්ම පමණක් නොවෙයි, වැඩිහිටියෙක්, රූපවාහිනියෙ චරිතයක් වෙන්නත් පුලුවනි. නමුත් හොඳට වඩා වැඩි වේගයකින් නරක දේ අනුකරණය වීම සාමාන්‍ය සිද්ධියක්.

  • කුතුහලය…

අපි නොහිතන තරම් දරුවන්ගේ කුතුහලය වැඩියි. ඒ නිසා ඔවුන් හැම විටම හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා යම් දෙයක් දරුවාගෙන් සගවන බවක් යාන්තමින් හෝ දැනුනොත් දරුවාගෙත් සීමාව පනින්න පුලුවනි. ඒ නිසා යම් යම් දේ ඔහුට නොදැනෙන සේ සගවනවා මිස , ඔහුට යාන්මින් හෝ දැනෙන සේ කිරීමට ගියොත් නම් වැඩ වරදිනවා.

තහංචි දැම්මොත් වැඩියි

පුතා…ඔතනට යන්න එපා…ඔය දේ කන්න එපා. ඔය දේ අල්ලන්න එපා… මේ වගේ නිශේධන නම් පුංචි අයට රුස්සන්නේ නැහැ. එහෙම වුනොත් මේ එපා කියන දේ ච්ිම පසු පසම හඹා යෑමට පටන් ගන්නවා.  එතැනදී අම්මා, තාත්තා තව තවත් එපා කිව්වොත් ඔන්න දෙපැත්තම යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.

ඇදුම් පැළදුම්..

දරුවන්ට නිතරම මෝස්තරය නොව සැහැල්ලු සහ පරිසරයට ගැලපෙන ඇදුම් ඇන්දවීම වැදගත්. ගිනි ගහන මද්දහනට දහඩිය උරා ගන්නේ නැති රෙදිවලින් නිම කළ ඇදුමක් අන්දවා තිබුනොත් එයින් දැනෙන අපහසුව නිසා දරුවා ආවේශ වෙනවා. ඒ වගේම මුදු, එල්ලෙන කරාබු වගේ දේවල් නිසාත් ඇති වෙන අපහසුතාවය විවිධ විදිහට ප්‍රකාශ කරන්න පටන් ගත්තාම අපි කියන්නේ මොන දේකට අඩනවාද මන්දා…කියල වුනත් ඔන්න ඇඬියාවට හේතුව.

අවධානයට…

ගෙදර පරිසරයේ එකා යකා වගේ ඉදල අලුත් අමුත්තෙක් විදිට පුංචි පැටියෙක් නිවසට ආවාම ලොකු දරුවා ගිලිහෙන ගතියක් ඇති වෙනවා. ඒ අනාදරයට නොවෙයි. අම්මාටත් දැන් අලුත් දරුවා ගැන යොමු වෙන්න එපායැ. දැන් ලොකු දරුවාටත් හොදින් හෝ නරකින් තමාට අවධානය ගන්න එපායැ. හොදින් ලැබෙන පාටක් නැති වුනාම තමාට අවධානය ගන්න දරුවා උත්සාහ කරන්නේ ඔන්න ඔය දඩබ්බර විදිහටයි.

ඉතින් දරුවෙකුගේ ගති පැවැතුම් වෙනස් වුනොත් ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුනවාට වඩා බොහොම සෙමෙන් සීරුවේ ඔය උඩින් තිබෙන ලැයිස්තුවේ හැටියට අඩුපාඩුව කොතැනද කියල බලන්නකෝ..

දරුවන්ගේ කෝපය පාලනය කරන්න හොඳම විදිය මොකද්ද ?

”අනේ මගේ පුතාට හරියට තරහා යනවා. මේකට මොකද කරන්නේ” මේ අපේ parenting.lk ෆේස් බුක් පිටුවට අම්මා කෙනෙක් යොමු කළ ගැටලුවක්. ඒ අම්මට නිවැරදිම පිළිතුර ලබාදීම අපේ වගකීම වගේම යුතුකම නිසාම අපි මේ ගැන දරුවන්ගේ මනස ගැන කතා කරන්න සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙක් ඇමතුවා. එතුමාගේ දැනුවත් කිරීම ලිපියක් විදියට සකස් කරලා මේ විදියට බෙදා ගන්න හිතුවේ බොහොමයක් අම්මලාට මේ ගැටලුව ඇති කියලා හිතුනු නිසයි. .

මොකද්ද මේ තරහ කියන්නේ

තරහ කියන්නෙත් අනෙත් හැඟීම් වගේම සාමාන්‍ය හැඟීමක්. සාමාන්‍ය  කෙනෙකුට තරහ කියන හැඟීම සම්පූර්ණයෙන්ම යටපත් කරන්න බැහැ. කොහොමත් දරුවන්ගේ හැඟීම් යටපත් කිරීම සුදුසු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ, දරුවාගේ තරහා තවත් කෙනෙකුට බාධාවක් නොවෙන විදියට මුදාහරින්න අවශ්‍ය මගපෙන්වීම දරුවට ලබාදෙන්නයි. සාමාන්‍යයෙන් දරුවෙකුට තරහ කියන හැඟීම ඇති වෙන්න  මනෝ විද්‍යාත්මක හේතූ බොහොමයක් තිබුනත් අධික තරහ තියෙන හැම දරුවෙක්ම මානසික ගැටලු  සහිත දරුවන් විදියට සලකන්න බැහැ. අධික තරහ විවිධ සමාජීය, මනෝ විද්‍යාත්මක හේතූන් නිසා ඇතිවෙන්න පුළුවන්.

ඒ හේතූ අතරින්

  • ආවේගශීලී බව
  • ස්ථාවර නොවන නිවසේ පරිසරය
  • දෙමාපියන්ගේ නිතර වෙනස්වන ක්‍රියා කලාපය
  • කම්පනය ඇති කරවන අත්දැකීම් ආදිය විශේෂ හේතු ලෙස සැලකිය හැකියි.

මේ තරහව අනෙක් අයට/තමාට/භාණ්ඩවලට හානිදායක නොවන තාක් දරුවා ප්‍රයෝජනවත් කටයුත්තක නිරත වීමට බාධාවක් නොවන තාක් තමාට අසාධරණයක් වූවා යැයි නොසිතෙන තාක් ගැටළුවක් නොවේ. නමුත් දරුවෙකු තුළ තම පිළිබඳව වූ විශ්වාසය අවම නම් ඔවුන් නිරන්තරයෙන් සිතන්නට පෙළඹෙන්නේ තමාට අසාධාරණයක් වූ ලෙසටයි. එවිට එවැනි දරුවන් ක්‍රියා කරන්නේ තරහව සමගයි. මෙන්න මේ නිසා දරුවෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට වැඩිහිටි අප ක්‍රියාත්මක වෙමින් සහයෝගය ලබාදිය යුතුයි.

දරුවෙකුගේ ආත්ම විශ්වාසය දියුණු කිරිම සඳහා

  • අනෙක් දරුවන් සමග ඔබේ දරුවා සැසඳීමෙන් වළකින්න
  • දරුවාගේ කටයුතු අගයන්න, නිතර ප්‍රසංසා කරන්න
  • දරුවාගේ වැරදි කිහිපයක් මත යමින් දරුවා පිළිබඳ සමස්ත තීරණවලට එළඹීමෙන් වලකින්න
  • දරුවා සමග ගතකරන කාලය වැඩිහිටි ඔබට විශාල සතුටක් බව හඟවන්න

දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,

වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙනි. නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බවත් මතකයේ රඳවා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම මෙහිදී වැදගත් වන තවත් කරුණු වේ.

ඔබේ දරුවා තරහෙන් කාලය ගත කරන්නේ නම්, ඔබ මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • දරුවා තරහ ගන්නේ නම් ඒ සඳහා රටාවක් තිබේද?
  • නිවස තුළ විනය ගැන පැහැදිලි මඟපෙන්වීමක් තිබෙනවාද?
  • නිවසේ සියලු වැඩිහිටියන් එක ලෙස කටයුතු කරනවාද?
  • පාසැලින් හෝ දරුවා යන එන තැන්වලින් දරුවාට පීඩනයක් තිබේද?

තරහා පාලනය කරගනිමින් සන්සුන්වීමට අපි දරුවාට සහය වෙමු

සෑම දරුවකුටම ගැලපෙන ක්‍රමයක් ඇති අතරම මෙය පුහුණු කිරීම සිදුකල යුත්තේ දරුවා සාමාන්‍ය තත්ත්වයේ එනම් තරහ නිවී ගොස් සිටින අවස්තාවේදීය.

දරුවාගේ තරහා පාලනය කරගැනීම සඳහා,

  • තරහව ඇති වන දෙයින් හෝ කෙනාගෙන් ඉවතට යාමට දරුවාට උපදෙස් දෙන්න
  • සිතින් 10 ට සෙමින් ගණන කිරීම පුහුණු කරවන්න
  • ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යොදවන්න
  • නිස්කලංක දැකුම්කළු ස්ථානයක් වෙත සිත ගෙන යාමට දරුවාට කියා දෙන්න
  • විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවකට දරුවා යොමු කරන්න
  • සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම නප්‍රගුණ කරවන්න
  • සංගීතයට සවන්දීමට හුරු කරවන්න
  • කලින් පුහුණු කල භාවනාවක යෙදීම උනන්දු කරවන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය