Home Blog Page 78

යොවුන් දරුවන් අන්තවාදීන් නොකිරීමට දෙමාපියන්ගේ යුතුකම

පසුගිය දින කිහිපයේ රට තුළ උද්ගත වූ තත්ත්වය මත එක් එක් පාර්ශවයන් එක් එක් අදහස් දරන්නටත් ඒ අදහස් ගැටුම් ඇති කරගැනීම දක්වා දුර දිග ගෙන යන්නටත් පෙළඹුණු ආකාරය ඔබ දකින්න ඇති. තත්ත්වය කෙසේ වුවත් අනාගතයේ අපේ දරුවන්ට සාමකාමී රටක් නම් අත්‍යවශ්‍යමය. ඒ නිසාම රටේ අනාගතය වන අපේ දරුවන්ගේ මානසිකත්වය යහපත් කිරීමට අද සිටම දෙමාපියන් වශයෙන් අපි ක්‍රියාත්මක විය යුතුමයි . ඒ වෙනුවෙන් අපේ වගකීම වන්නේ අන්තවාදී, දැඩි මතධාරී අදහස් දරැවන්ගෙන් බැහැර කිරීමයි. අන්තවාදී, දැඩි මතධාරී අදහස් දරුවන් තුළින් ඉවත් කිරීම/අවම මෙහිදී වැඩිහිටි අපේ පළමු රාජකාරියයි.

මොකද්ද මේ අන්තවාදය කියන්නේ

පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්, වෙනත් කණ්ඩායමක් පහත් කරමින්, ඔවුන්ගේ මත ප්‍රතික්ෂේප කරමින් ප්‍රචණ්ඩකාරී හෝ අර්බුදකාරී තත්ත්ව ඇති කිරීම හෝ එයට උත්සාහ කිරීම තමයි අන්තවාදය කියන්නේ.

අන්තවාදී මනෝභාවය ඇති වන්නේ පියවරෙන් පියවරයි. ඒ පියවර මේ ලෙස දැක්විය හැකියි.

  • සමාජ පරිසරය මැන බලමින් තමාගේ ඉගෙනීමට, හැකියාවට සමාජයෙන් ලැබිය යුතු දේ ගැන සිතීම
  • අසාධාරණයක් වූවා යන සිතිවිල්ල සමගින් ඊට කළ යුතු දේ සිතීම, අවශ්‍ය දේ සෙවීම
  • ක්‍රෝධය ඇති වීම සහ මූලික ප්‍රචණ්ඩකාරී අදහස් ඇති වීම
  • ගැඹුරු චින්තනට නැඹුරු වීම සහ හිංසාවට අරමුණක් ගොඩනගා ගැනීම
  • අපිට එරෙහිව ඔවුන් යන සංකල්පය සහ ප්‍රචණ්ඩත්වයට සන්දර්භය ලබා ගැනීම
  • ත්‍රස්තවාදී ක්‍රියාවට අවතීර්ණ වීම

යොවුන් අන්තවාදී දැඩි මතධාරී පුද්ගලයින් වර්ග

  • අනන්‍යතාවය සොයාන්නා

එනම් ස්වඅභිමානය දුර්වල නිසා කණ්ඩායමක අනන්‍යතාවය ආරෝපණය කරගන්න පුද්ගලයන්ය.

  • සාධාරණය (වැරදි) සොයාන්නා

එනම් තමාට හෝ තම ජන කොටසට ආසාධාරණයක් වූ බව සිතන පුද්ගලයන්ය

  • වීරත්වය (අනිසි) සොයාන්නා

එනම්  හීනමානය සහ පුද්ගලික ගැටලු නිසා වීරයෙකු වීමට උත්සාහ කරන පුද්ගලයන්ය

  • ත්‍රාසය සොයාන්නා

එනම් පුරුෂ අධිපත්‍ය මතින් උද්වේගකාරී සහ වික්‍රමාන්විත ක්‍රියාවලට පෙළඹෙන පුද්ගලයන්ය.

යොවුන් සිතේ අන්තවාදය ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද?

  • දරුවන් තුළ ආත්ම – විශ්වාසය ගොඩනඟන්න

තමා පිළිබඳ විශ්වාසය සහ ආත්ම අභිමානය ගොඩනැගෙන ලෙස කටයුතු කළ යුතු අතරම දරුවන්ගේ සුළු ජයග්‍රහණ පවා අගය කරමින් දිරිමත් කළ යුතුය. පොතක ලිය වුණු දෙයකට එහාගිය සැබැ ලෝකයේ තතු  නිදසුන් සමගින්  දරුවාගේ හදවතට කා වැදෙන සේ කියා දිය යුතුය.

  • විවිධ ජනකොටස් සමඟ සම්බන්ධතාවලට ඉඩ දෙන්න

කුඩා කල සහ යොවුන් වියේ දී වෙනත් ජාතීන් සහ වෙනත් ආගම්වල දරුවන් සමඟ කාලය ගත කිරීමට ලැබීමෙන් අනෙක් විශ්වාස  සහ චාරිත්‍ර  ගැන දරුවන් තුළ ගෞරවයක් ඇති වේ. ඒ අතරම බහුවාර්ගික පාසැල් පරිසරයක ගුරුවරුන්ගේ අධීක්ෂණය දරුවන්ට හිමි විය යුතු අතරම සමාජය  තුළ දරුවා කොන්වීම් වළක්වා ගත යුතුය.

  • සැබෑ සමානාත්මතාවය කියාදෙන්න

තමාගේ  විශ්වාසය සහ ඇදහිලි නිසා තමන් අනෙක් අයට වඩා උසස් නොවන බවත්, වෙනස් මත දරන්නන් වැරදිකරුවන් නොවන බවත් දරුවාට ඒත්තු ගන්වන්න. දක්ෂතාවය සහ සමාජ තත්ත්වය තීරණය වන්නේ පිරිමි ගැහැනු බව නිසා නොව තම  හැකියාව නිසා  බවත් සතුන්ට පවා ශාරීරිකව හිරිහැර කිරීම මිනිසත්කමට නුසුදුසු බවත් කියා දිය යුතුය. කිසිදු විටෙක ප්‍රචණ්ඩත්වය අගය කිරීම නොකළ යුත්තක් බව මතකයේ රඳවා ගන්න

  • නම්‍යශීලී සිතුවිලි ජනනයට සහය වෙන්න

තමාගේ මතය  100‍% ක් නිවැරදි කියා සිතුන ද අනෙක් අයගේ අදහස්වලට සවන් දී ඒවා නුවණින් විමසීමට ද  දරුවන් හුරු කරවන්න. එසේම දිනෙන් දින ලැබෙන නව දැනුම සමගින් අදහස් වෙනස්  වන බව සමාජ අත්දැකීම් යොදා ගනිමින් දරුවාට අවබෝධ කරවන්න. තමුන්ගේත් අනෙක් අයගේත් හැඟීම් පිළිබඳ බුද්ධිය සහ සහකම්පනය ගැන කියාදෙන්න.

ඔබ සැමවිටම

ඔබේ දරුවා කතාබහ කරන අය, කතා බහ කරන දේ, අන්තර්ජාලයෙන් සම්බන්ධ වන දේ පිළිබඳව මනා අවධානයකින් සිටීම දරුවන් මෙවැනි කාලයකදී නොමගට යාම වළක්වා ගැනීමට බොහෝ සෙයින් වැදගත් වනු ඇත. සමාජ විරෝධී අන්තවාදී අදහස් දරණ යොවුන් දරුවන් අවශ්‍යා මනෝ වෛද්‍ය පරීක්ෂණ සහ අවධානම අධ්‍යයනයට යොමු කිරීමට වගබලාගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දියණියගේ වැඩි විය පැමිණිම උත්සවාකාරයෙන් සැමරීම ඇයට බලපාන්නේ කෙසේද?

දියණියකගේ මල්වර වීම ඇගේ ජීවිතයේ අලුත් ඇරඹුමක්. ඒ සතුට සමරන්න අපේ සමාජය තුළ නොයෙක් ආකාරයේ සැමරීම් අද වෙද්දී දැක ගන්න පුළුවන්. මංගල උත්සව මෙන් පවා ඇතැම් දෙමාපියන් මේ මල්වර වීම සමරන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඔබට හිතේවි ” වියදම් කරන්නේ අපි නම්, දරුවා අපේ නම් කාටවත් මොකද” කියලා. ඒත් ළමා මනෝවිද්‍යාවට අනුව වගේම දරුවාගේ ආරක්‍ෂාව පැත්තෙන් ගත්තත් මල්වර වීම් වෙනුවෙන් උත්කර්ෂවත් සැමරීම් සුදුසුද නුසුදුසුද කියා ඔබම මේ ලිපිය තුලින් වටහා ගන්න.

”මල්වර වීම” බොහොම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. වයස අවුරුදු 9 -12 අතර ගැහැණු දරුවන් මේ සංසිද්ධියට මුහුණ දෙනවා. මේ වයස් සිමාවේ දරුවන් කියන්නේ ශාරීරිකව වැඩිවියට පත් වුනත් මානසිකව පරිනත තත්ත්වයට පත් වුනු පිරිසක් නොවෙයි. ළමා මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තොත් දියණියගේ මල්වර වීම උත්සවාකාරයෙන් සැමරීම සුදුසු නොවන දෙයක්. දැනුවත් දෙමාපියන් විදියට මුළු රටටම අඬ බෙර නොගැහුවට අපේ සංස්කෘතියට අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් පවුලේ හිතවත්ම කිහිප දෙනෙකු එක්ක කැවුම්, කිරිබත් කාලා මේ මල්වර වීම බොහොම ලස්සනට සමරන්න අපිට පුළුවන්. මේ වෙනුවෙන් උත්සව පැවැත්වීමට වඩා දෙමාපියන් වන ඔබට පැවරෙන වගකීම් බොහොමයක් තිබෙන බව අමතක කරන්න එපා. මල්වර වුනු දියණියකගේ දෙමාපියන් දැනගත යුතුම කරුණු කීපයක් ගැන දැන් අපි කතා කරමු.

• දියණියට කියා දෙන්න
සාමාන්‍යයෙන් වැඩිවිය පැමිණෙන වයස් සීමාව වන 9 -12 කාලය තුළ මේ සිදුවීමත් එක්ක ගැහැණු දරුවෙක් ශාරීරිකව පරිණත වුණත් මනෝ විද්‍යාත්මකව පරිණත බවක් ලබලා නැහැ. වැඩිවිය පැමිණීම කියන්නේ ගැහැණු දරුවෙක් මවක් වීමට සුදුසුකම් ලැබීමක් වුනත් මේ වයස් සිමාවේ දරුවෙකුට එවැනි පරිණත බවක් නැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. අන්න ඒ නිසාම ඔබ, ඔබේ දරුවා දැනුවත් කරන්න. දරුවාට අවශ්‍ය මාර්ග උපදේශනය ලබා දෙන්න. මේ අලුත් සිදු වීමත් සමගම ඔබ දරුවාට අවබෝධ කල යුත්තේ මේ සිදුවීමේ ඇති ශාරීරික මෙන්ම මානසික වැදගත්කම පිළිබඳවයි. මෙය මෙතැන් සිට ජිවිත කාලය පුරා ඇදී යන තමන්ගේ ලිංගිකත්වය සහ දරුවෙක් දරා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේ ආරම්භය පමණක් බව සරලව දරුවාට කියා දෙන්න.

• දියණියට ආරක්ෂාව සලසන්න
”අපි කවදත් දරුවාව ආකරක්ෂා කළා” ඔබට එහෙම හිතේවි. නමුත් දැන් ඔබට පැවරෙන වගකීම වැඩියි. ඔබේ දියණියට ආරක්ෂා විය යුතු ආකාරය සරලව කියා දෙන්න. උදාහරණයක් විදියට අම්මා ලෙස ඔබට දියණිය ස්පර්ශ කළ හැක්කේ කොපමණ සීමාවක සිටද යන්නත් එතනින් එහාට වෙනත් පුද්ගලයන් ඇගේ ජිවිතයට සමීප විය යුතු සීමාවන් ඇයට අවබෝධ කරවන්න. තමා විසින්ම අරක්‍ෂා විය යුතු ආකාරය සරල දියණියට කියා දෙන්න.

• දියණිය ආනරක්ෂිත විය හැකි අවස්ථා ඔබ වටහා ගන්න
සමාජයේ සෑම පුද්ගලයෙකුම පිළිබඳව දැනුවත් බවක් අප තුල නැහැ. නව යොවුන් වියේ ගැහැණු දරුවන් මෙන්ම කුඩා දරුවන් සමග තම කාමුක ආශාවන් සංසිඳවා ගැනීමේ ආසාව ඇති පිරිමින් (Pedophile) අප සමාජයේ සිටිනවා. ඔවුන්ට කාමුක අදහස් ඇති වන්නේ දරැවන් සමගයි. එය මානසික රෝගී තත්ත්වයක්. දියණියකගේ මල්වර වීම පවුලේ කිහිප දෙනෙකු හැර වෙනත් පිරිස් දැන නොගන්නා ආකාරයට ඔබ ක්‍රියාත්මක වීමේ එක වැදගත්කමක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. මේ තත්ත්වයන් ඔබේ දරුවාගේ තේරුම් ගැනීමේ හැකියාවට අනුව ඔබ දරුවාට අවබෝධ කරවන්න. පුංචි කාලෙට වඩා වැඩියෙන් දැන් ඇය පරිස්සම් විය යුතු බව කියා දෙන්න. මේ දේවල් නිසා දරුවන් බියට පත්වෙතැයි ඔබ සිතුවත් නොදැනුවත්කම දරුවෙකු අනාරක්ෂිත වීමට එක හේතුවක් බවත් මතක තියාගන්න.

යම්හෙයකින් අනවශ්‍ය ලෙස පිරිමි පුද්ගලයෙකුගේ ස්පර්ශයක් සිදු වුවහොත් එවැනි අවස්ථාවක දරුවෙක් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වනවා. දරුවාගේ උඩු හිතට එය අමතක කළ හැකි වුවත් ජිවිතයේ කිසිදු දිනක මේ සිදුවීම යටි හිතින් ඉවත් වන්නේ නැහැ. වැඩිහිටි වියේදී හෝ පුංචි වයසේ වන අතවරවලට වඩා වැඩිවිය පැමිණි දියණියකට එනම් නව යොවුන් වියේදී ඇතිවන අතවරයකදී එය දරුවාට ජීවිත කාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක්. අන්න ඒ නිසාම දරැවාට මෙවැනි තත්ත්වයකට යම් හෙයකින් මුහුණ දීමට සිදු වුහොත් මව/නැන්දනිය/මිත්තනිය හෝ වෙනත් හිතවත් කාන්තාවක් ලවා හෝ උපදෙස් ලබාදෙන්න. ඇයට අවශ්‍ය මානසික සහයෝගය ලබා දෙන්න. බොහෝ මව්පියන් සිතන්නේ මෙවැනි දෙයක් දියණියට කැලලක් නිසා සගවා ගත යුත්තක් බව වුවත් එහිදී ඔබ කළ යුතු වැදගත්ම දේ වන්නේ දියණියගේ හිතේ කැකෑරෙන මේ සිදුවීම පිට කිරීමට අවස්ථාව ලබාදීමයි.

• මල්වර වූ දියණියට පිරිමි දකින්න හොඳ නැද්ද?
මෙය අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයක් වුවත් මනෝ වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තම මේ චාරිත්‍රය කිසිසේත්ම නිවැරදි දෙයක් නොවෙයි. මොකද නව යොවුන් වියේ දරුවෙකුට තමාව ඇයි මේ පිරිමි පාර්ශවයෙන් සඟවන්නේ කියන දේ අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. එවිට මේ වයසේ ගැහැනු දරුවන්ගේ මනසට කා වැදෙන්නේ ඇයට පිරිමි පාර්ශවය හානිදායකයි කියන අදහස පමණයි. එතකොට මේ දරුවන් ඔවුන්ගේ මානසික සංවර්ධනයට අවශ්‍ය පිරිමින් ලෙස හඳුන්වන්න පුළුවන් තාත්තා/මාමා/සීයා වගේ අයවත් ඇයට හානිදායක අය විදියට සිතනවා. එතැනදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් නිසා දරුවා මානසිකව අපහසුතාවය පත් විය හැකියි. ”අම්මා වගේම තාත්තත් මට ආරක්‍ෂව දෙනවා. මගේ දෙයක් තාත්තා එක්කත් කතා කරන්න බැරිද” කියන ගැටලුව එක්ක මේ වයස් සිමාවේ දරුවන් බොහෝ දුරට හිතන්න පෙළඹෙනවා. එය දරුවාග් මනසට සුදුසු තත්ත්වයක් නොවේ.

• වැඩිවිය පැමිණි දියණියට අසාධාරණ නීති එපා
පළවෙනි ආර්තවයත් සමගම සිදුවන ශාරීරික වගේම මානසික වෙනස්කම් ගැනත් දියණියට කියා දෙන්න. දියණියගේ සිරුරේ හෝමෝන වෙනස් වීමත් සමගම ඇය ලෝකය දෙස බලන ආකාරය වෙනස් වෙන බව පළමුව ඔබ වටහා ගන්න. උදාහරණයක් විදියට, පිරිමි දරුවෙක් ඇය දිහා හෝ ඇය පිරිමි දරුවෙකු දිහා බැලීම මේ හෝමෝන වෙනස් වීම් සමග බොහොම සාමාන්‍ය තත්වයක්. එය වැරද්දක් විදියට වැඩිහිටි ඔබ දැකිය නොයුතුයි. එය සාමාන්‍ය දෙයක් බව දරුවාට අවබෝධ කරවන අතරේම ඒවා ඔස්සේ ගමන් කිරීම නම් ඇයගේ අනාගතයට ගැටළු ඇති වීමට හේතු විය හැකි බවත් ඒ නිසා ඒවා ඔස්සේ ගමන් කිරීම නුවණට හුරැ නොවන බවත් දියණියට අවබෝධ කරවන්න. ඔබ මෙවැනි ක්‍රියාවකදී දියණියට කෑ කෝ ගසා දඬුවම් කිරීමට ගියොත් ඇය කිසිවක් ඔබට නොපවසා ඉඳීවි. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් එක්ක ගනුදෙනු කල යුත්තේ බොහොම සීරුවෙන් බව අමතක කරන්න එපා. එසේ නීති පැන වීම දියණියකගේ ජිවිතයට තවත් බලපෑම් ඇති කළ හැකියි. නිවස තුළ ඇයට කතා කිරීමට නිදහසක් නැති වූ විට අමතර පන්තියේදී හෝ වෙනත් ස්ථානයකදී හමුවන පිරිමි දරුවෙකුගේ අදහසකට ඇයගේ හිත ඇදී යෑමට ඇති ඉඩ කඩ වැඩි බව ඔබ මතක තබා ගන්න.

කෙසේ වෙතත් ඔබ, මව්පියන් විදියට ඔබේ දියණියට ජීවිතය ගැන කියා දෙන්න. ඇය දැන් ශාරීරිකව පරිනත වුනත් සහකරුවෙක් සොයා ගැනීමට, මවක් වීමට තවත් බෝහෝ දේ පිළිබඳව දැනුවත් විය යුතු බව කියා දෙන්න. ඔබ මවක් ලෙස අද සිටින තත්ත්වයට එන්නට සුදුසුකම් ලබා ඇත්තේ කොපමණ දේ පිළිබඳව දැනුවත් වූවාට පසුවද කියා ඇයට කියා දෙන්න. එය ලේසි පාසු නොවන කටයුත්තක් බව ඇයට කියා දෙන්න.

එසේම තවත් වැදගත් කරැණක් වන්නේ දැන් ඔබේ දියණිය වෙනදා නිවසේ සිටි සුරතලියම වුවත් ඇයට වෙදා මෙන්ම කුඩා දරුවෙකුට මෙන් සැලකීම නුසුදුසු බව අවබෝධ කරගන්න. ඇයට නිවස තුලින් ලැබිය යුතු තැන, ගෞරවය නිසි අයුරින් ලබා දෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

පෙර පාසල් යන්න පටන් ගත්තාම දරුවා වෙනස් වුනාද?

දරුවන්ගේ හිත් අම්මලාට තාත්තලාට කියවන්න පුලුවන් වුනත් සමහර වේලාවල් තිබෙනවා මොන විදිහටවත් දරුවාගේ හැසිරීම් තේරුම් ගන්න බැරි. විශේෂයෙන් දරුවාගේ පැවැති පරිසරය වෙනස් වුනාම මේ තත්වය ඇති වෙනවා. උදාහරණයක් විදිහට පෙර පාසල් යන්න පටන් ගත්තාම අර වෙනදා තිබුන සංයමය හුරතලය දරුවාගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. තේරුමක් නැතුව අඩනවා. ඇහුවාට හේතුවක් කියන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපට නොපෙනෙන හේතු නිසා දරුවාගේ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්. එහෙමනම් දෙමව්පියන් විදිහට දරුවාගේ අලුත් හැසිරීමක් ඇති වුනොත් ඒ පිටුපසින් තිබෙන විවිධ හේතු ගැනත් ටිකක් අවධානය දෙන්න. මේවා දරුවා ඔබට පැහැදිලිව නොකීවට, ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ ඒ අවශ්‍යතාවයන් වෙන්න පුලුවනි.

  • පැටියා කියන දේ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ.

සමහර වේලාවට තමන්ට අවශ්‍ය දෙයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් පැහැදිලිව දෙමව්පියන්ට සන්නිවේදනය නොවුනොත් දරුවාගේ හිත සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අඩන්න, හැපෙන්න පටන් ගන්නවා. එයින් පෙනෙන්නේ තමාගේ අවශ්‍යතාවය තවමත් ඉෂ්ට නොවුන බවක්. ඉතින් අම්මලා බොහොම යාප්පුවෙන් දරුවාගේ භාෂාව තේරුම් ගන්න ඕන. නැත්නම් ගෝරනාඩුව අවසාන වෙන්නේ නැහැ.

  • බඩගින්න

නිවසේ සිටියදී දරුවාගේ කටට මොනවා හරි දෙයක් අම්මලා දෙනවානේ. ඒත් ළදරු පාසල් ගියාම කන්න බොන්න වෙලාවක් තියෙනවානේ. ඒ නිසා දරුවාට බඩගින්න කියන සංකල්පය තේරෙන්නේ නැහැ. ඒ ගැන නම් දරුවන් ලොකු මහත් වෙද්දී අම්මලාටත් තේරෙනවා ඇති. ඉතින් මේ බඩගින්න කියන්නෙත් නැහැ. බඩගින්නට කන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුනාම විවිධ ගති පැවැතුම්වලින් ඒ බව පෙන්වන්න උත්සාහ ගන්නවා. අද ප්‍රාථමික පංතිවල බොහෝ විට පංතියේ වැඩ කටයුතු පටන් ගන්න ඉස්සරින් ආහාරවේලක් ලබා දෙන අවස්ථා තිබෙනවා. මේ තත්වය  නිසා දරුවා අඩන්නේ තේරුමක් නැතුව බව අපට පෙනුනත් ඔහුට හේතුවක් තිබෙනවා.

  • මහන්සියි…මට

ළඟම ළදරු පාසලක් තිබුනත් අපේ දෙමව්පියන් දරුවා රැගෙන නගරයට යන ගමනත් දැන් මහන්සියි. නිවසේ මලක් වගේ අම්මාගෙන් අත්තම්මාට මාරු වෙවී හිටිය දරුවා දැන් කිලෝමීටර් හතර පහක් දුරක් යන්න වෙලා. දහඩිය, ගමන මහන්සිය මේ සේරම එකතු වුනාම ඉතින් අඩනවා හැර වෙන මොනවා කරන්නද නේද…? ඒත් මහන්සිය නිවුනේ නැත්නම් තව තවත් දරුණු වෙන්න පුලුවනි.

  • යාළුවෝ කරදර කරනවා..

සමහර පොඩි දරුවෝ ළදරු පාසල් පරිසරයට ඉතාම ඉක්මනින් අනුගත වෙනවා. ඒත් සමහර දරුවන්ට අලුත් පරිසරයට අනුගත වෙන්න ඉක්මනින් බැහැ. ඒ නිසා මේ වගේ දරුවන්ට ළදරු පාසල මානසික වදයක් වෙන්න පුලුවනි. උදේට වදෙන් පොරෙන් එකතු කර ගෙන ගියාට පොඩි එකා කැමැත්තෙන් යන ගමනක් නොවෙයි. ඒ වුනත් දෙමව්පියන්ගේ අණසක නිසා නොගිහින් බැහැ. එහෙම බලහත්කාරයෙන් ළදරු පාසලට යන දරුවන් නොදැනීම විවිධ විදිහටට තමන්ගේ නොසතුට පෙන්වන්න පුලුවනි.

හිතේ හංගාගෙන ඉන්න දේ නිසාත්..

  • ළදරු පාසලේදී දරුවාගේ හිතටත් විවිධ සිතුවිලි ඇති වෙනවා. සමවයස් අතර තරගයක් තියෙනවානේ. සමහර විට ගුරුතුමිය වෙනදා පැටියාට දැක්වූ අවධානය දැන් අලුත් පුතෙක් වෙත යොමු වෙන්න පුලවනි. ඒ බව පැහැදිලිව කියා ගන්න බැරි වුනත් හැසිරීමේ රහස පිටිපසින් ඇත්තේ මෙන්න මේ හේතුව වෙන්න පුලුවනි.
  • අනුකරණය නිසාත්..

ළදරු පාසලක විවධ හැසිරීම් රටාවන් ඇති දරුවන් සිටිනවා. මේ අතරින් දරුවාගේ හිත යම් දරුවෙකුගේ හැසිරීමට ඇදී ගියොත් ඔහු එතැන් පටන් ඒ හැසිරීම් රටාවට යොමු වෙනවා. අපට දරුවන් වර්ග කරන්නත් බැරි නිසා ටිකක් හෙමින් කියා දුන්නොත් ඔය විදිහට හොද ළමයි හැසිරෙන්නේ නැහැ කියලා, එවිට දරුවාටත් ටිකක් හෝ තේරුම් යාවි. මේ තත්වය දරුවන්ම පමණක් නොවෙයි, වැඩිහිටියෙක්, රූපවාහිනියෙ චරිතයක් වෙන්නත් පුලුවනි. නමුත් හොඳට වඩා වැඩි වේගයකින් නරක දේ අනුකරණය වීම සාමාන්‍ය සිද්ධියක්.

  • කුතුහලය…

අපි නොහිතන තරම් දරුවන්ගේ කුතුහලය වැඩියි. ඒ නිසා ඔවුන් හැම විටම හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා යම් දෙයක් දරුවාගෙන් සගවන බවක් යාන්තමින් හෝ දැනුනොත් දරුවාගෙත් සීමාව පනින්න පුලුවනි. ඒ නිසා යම් යම් දේ ඔහුට නොදැනෙන සේ සගවනවා මිස , ඔහුට යාන්මින් හෝ දැනෙන සේ කිරීමට ගියොත් නම් වැඩ වරදිනවා.

තහංචි දැම්මොත් වැඩියි

පුතා…ඔතනට යන්න එපා…ඔය දේ කන්න එපා. ඔය දේ අල්ලන්න එපා… මේ වගේ නිශේධන නම් පුංචි අයට රුස්සන්නේ නැහැ. එහෙම වුනොත් මේ එපා කියන දේ ච්ිම පසු පසම හඹා යෑමට පටන් ගන්නවා.  එතැනදී අම්මා, තාත්තා තව තවත් එපා කිව්වොත් ඔන්න දෙපැත්තම යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.

ඇදුම් පැළදුම්..

දරුවන්ට නිතරම මෝස්තරය නොව සැහැල්ලු සහ පරිසරයට ගැලපෙන ඇදුම් ඇන්දවීම වැදගත්. ගිනි ගහන මද්දහනට දහඩිය උරා ගන්නේ නැති රෙදිවලින් නිම කළ ඇදුමක් අන්දවා තිබුනොත් එයින් දැනෙන අපහසුව නිසා දරුවා ආවේශ වෙනවා. ඒ වගේම මුදු, එල්ලෙන කරාබු වගේ දේවල් නිසාත් ඇති වෙන අපහසුතාවය විවිධ විදිහට ප්‍රකාශ කරන්න පටන් ගත්තාම අපි කියන්නේ මොන දේකට අඩනවාද මන්දා…කියල වුනත් ඔන්න ඇඬියාවට හේතුව.

අවධානයට…

ගෙදර පරිසරයේ එකා යකා වගේ ඉදල අලුත් අමුත්තෙක් විදිට පුංචි පැටියෙක් නිවසට ආවාම ලොකු දරුවා ගිලිහෙන ගතියක් ඇති වෙනවා. ඒ අනාදරයට නොවෙයි. අම්මාටත් දැන් අලුත් දරුවා ගැන යොමු වෙන්න එපායැ. දැන් ලොකු දරුවාටත් හොදින් හෝ නරකින් තමාට අවධානය ගන්න එපායැ. හොදින් ලැබෙන පාටක් නැති වුනාම තමාට අවධානය ගන්න දරුවා උත්සාහ කරන්නේ ඔන්න ඔය දඩබ්බර විදිහටයි.

ඉතින් දරුවෙකුගේ ගති පැවැතුම් වෙනස් වුනොත් ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුනවාට වඩා බොහොම සෙමෙන් සීරුවේ ඔය උඩින් තිබෙන ලැයිස්තුවේ හැටියට අඩුපාඩුව කොතැනද කියල බලන්නකෝ..

දරුවන්ගේ කෝපය පාලනය කරන්න හොඳම විදිය මොකද්ද ?

”අනේ මගේ පුතාට හරියට තරහා යනවා. මේකට මොකද කරන්නේ” මේ අපේ parenting.lk ෆේස් බුක් පිටුවට අම්මා කෙනෙක් යොමු කළ ගැටලුවක්. ඒ අම්මට නිවැරදිම පිළිතුර ලබාදීම අපේ වගකීම වගේම යුතුකම නිසාම අපි මේ ගැන දරුවන්ගේ මනස ගැන කතා කරන්න සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙක් ඇමතුවා. එතුමාගේ දැනුවත් කිරීම ලිපියක් විදියට සකස් කරලා මේ විදියට බෙදා ගන්න හිතුවේ බොහොමයක් අම්මලාට මේ ගැටලුව ඇති කියලා හිතුනු නිසයි. .

මොකද්ද මේ තරහ කියන්නේ

තරහ කියන්නෙත් අනෙත් හැඟීම් වගේම සාමාන්‍ය හැඟීමක්. සාමාන්‍ය  කෙනෙකුට තරහ කියන හැඟීම සම්පූර්ණයෙන්ම යටපත් කරන්න බැහැ. කොහොමත් දරුවන්ගේ හැඟීම් යටපත් කිරීම සුදුසු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ, දරුවාගේ තරහා තවත් කෙනෙකුට බාධාවක් නොවෙන විදියට මුදාහරින්න අවශ්‍ය මගපෙන්වීම දරුවට ලබාදෙන්නයි. සාමාන්‍යයෙන් දරුවෙකුට තරහ කියන හැඟීම ඇති වෙන්න  මනෝ විද්‍යාත්මක හේතූ බොහොමයක් තිබුනත් අධික තරහ තියෙන හැම දරුවෙක්ම මානසික ගැටලු  සහිත දරුවන් විදියට සලකන්න බැහැ. අධික තරහ විවිධ සමාජීය, මනෝ විද්‍යාත්මක හේතූන් නිසා ඇතිවෙන්න පුළුවන්.

ඒ හේතූ අතරින්

  • ආවේගශීලී බව
  • ස්ථාවර නොවන නිවසේ පරිසරය
  • දෙමාපියන්ගේ නිතර වෙනස්වන ක්‍රියා කලාපය
  • කම්පනය ඇති කරවන අත්දැකීම් ආදිය විශේෂ හේතු ලෙස සැලකිය හැකියි.

මේ තරහව අනෙක් අයට/තමාට/භාණ්ඩවලට හානිදායක නොවන තාක් දරුවා ප්‍රයෝජනවත් කටයුත්තක නිරත වීමට බාධාවක් නොවන තාක් තමාට අසාධරණයක් වූවා යැයි නොසිතෙන තාක් ගැටළුවක් නොවේ. නමුත් දරුවෙකු තුළ තම පිළිබඳව වූ විශ්වාසය අවම නම් ඔවුන් නිරන්තරයෙන් සිතන්නට පෙළඹෙන්නේ තමාට අසාධාරණයක් වූ ලෙසටයි. එවිට එවැනි දරුවන් ක්‍රියා කරන්නේ තරහව සමගයි. මෙන්න මේ නිසා දරුවෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට වැඩිහිටි අප ක්‍රියාත්මක වෙමින් සහයෝගය ලබාදිය යුතුයි.

දරුවෙකුගේ ආත්ම විශ්වාසය දියුණු කිරිම සඳහා

  • අනෙක් දරුවන් සමග ඔබේ දරුවා සැසඳීමෙන් වළකින්න
  • දරුවාගේ කටයුතු අගයන්න, නිතර ප්‍රසංසා කරන්න
  • දරුවාගේ වැරදි කිහිපයක් මත යමින් දරුවා පිළිබඳ සමස්ත තීරණවලට එළඹීමෙන් වලකින්න
  • දරුවා සමග ගතකරන කාලය වැඩිහිටි ඔබට විශාල සතුටක් බව හඟවන්න

දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,

වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙනි. නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බවත් මතකයේ රඳවා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම මෙහිදී වැදගත් වන තවත් කරුණු වේ.

ඔබේ දරුවා තරහෙන් කාලය ගත කරන්නේ නම්, ඔබ මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • දරුවා තරහ ගන්නේ නම් ඒ සඳහා රටාවක් තිබේද?
  • නිවස තුළ විනය ගැන පැහැදිලි මඟපෙන්වීමක් තිබෙනවාද?
  • නිවසේ සියලු වැඩිහිටියන් එක ලෙස කටයුතු කරනවාද?
  • පාසැලින් හෝ දරුවා යන එන තැන්වලින් දරුවාට පීඩනයක් තිබේද?

තරහා පාලනය කරගනිමින් සන්සුන්වීමට අපි දරුවාට සහය වෙමු

සෑම දරුවකුටම ගැලපෙන ක්‍රමයක් ඇති අතරම මෙය පුහුණු කිරීම සිදුකල යුත්තේ දරුවා සාමාන්‍ය තත්ත්වයේ එනම් තරහ නිවී ගොස් සිටින අවස්තාවේදීය.

දරුවාගේ තරහා පාලනය කරගැනීම සඳහා,

  • තරහව ඇති වන දෙයින් හෝ කෙනාගෙන් ඉවතට යාමට දරුවාට උපදෙස් දෙන්න
  • සිතින් 10 ට සෙමින් ගණන කිරීම පුහුණු කරවන්න
  • ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යොදවන්න
  • නිස්කලංක දැකුම්කළු ස්ථානයක් වෙත සිත ගෙන යාමට දරුවාට කියා දෙන්න
  • විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවකට දරුවා යොමු කරන්න
  • සෙමින් ඉහළ පහළ හුස්ම ගැනීම නප්‍රගුණ කරවන්න
  • සංගීතයට සවන්දීමට හුරු කරවන්න
  • කලින් පුහුණු කල භාවනාවක යෙදීම උනන්දු කරවන්න
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

මොනවා, පුංචි දරුවෙක්ට අංශ බාගේ හැදිලා?

පුංචි දරුවෙක්ට අංශ බාගේ හැදිලා .ඔබේ හිතටත් පොඩි තිගැස්මක් ඇති වුන නේද? ගේ පුරා ඉවරයක් නැතිව දුව පනින මේ පුංචි දරුවෙක් හිටි හැටියේ මේ වගේ තත්ත්වයකට පත්වුනොත් දෙමාපියන් විදියට කාටද මේ දේ දරා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන ඇහුවේ ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා හමුවෙන්න රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය අවස්ථාවක. මම එතනට යන මොහොතේ එතුමා ළඟ  වයස අවුරුදු තුනක විතර පොඩි දරුවෙක් ප්‍රතිකාර ලබමින් හිටියා. සාමාන්‍යයෙන්  දරුවෙක් ඒ විදියට ව්‍යායාම කරවද්දී සන්සුන්ව ඉන්නේ නැහැ. ඒ නිසාමයි මට ඒ ගැන අහන්න හිතුණේ. එතකොටයි දැ න ගත්තේ, මේ දරු පැටියා අංශභාග රෝග තත්වයට පත් වුනු දරුවෙක් බව.

 මොකද්ද මේ පුංචි දරුවන්ටත් පීඩා කරන අංශභාගය

අංශභාගය කියන්නේ සිරුරේ එක් අංශයක් පණ නැතිව යාම. මේ තත්ත්වය ඇති වෙන්නේ අපේ මොළයට සිදුවන හානිදායක තත්ත්වයක් නිසයි. නිවැරදි ප්ර තිකාර වෙත යොමු වුනොත් සුවකර ගත හැකි මේ අංශභාග රෝගය සුව වීමට ගත වන කාලය වගේම සුව වන ප්රිමාණය තීරණය වෙන්නේ මොළයේ  හානියට ලක්වූ ප්රයදේශය, හානියේ ප්ර්මාණය, අනතුරේ ස්වභාවය වගෙඅ රෝගියාගේ වයස යන කරුණු මත.

අංශභාගය ඇති වීමට හේතු

  • හිසට සිදුවන දරුණු අනතුරු
  • රුධිර කැටියක් හිර වීම
  • මොළයේ සෛල තුළට රුධිරය ලැබීම ඇන හිටීම/රුධිර වාහිනියක් පිපිරී සෛල තුළට රුධිර වහනය වීම
  • මොළයේ ඇති වන ගෙඩි
  • රිය අනතුරු වැනි අවස්ථාවලදී මොළයට දරුණු ලෙස අනතුරු සිදුවීම සිදු වන අනතුරුත්

මේ අංශභාගය තත්ත්වය නිසා වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේත් අත්පා  අසාමාන්‍ය ඉරියව්වකට යොමු වන අතරම ආබාධයට ලක් වූ අත, උරහිසෙන් ශරීරයට හේත්තු වී වැළමිට සන්ධියෙන් නැමී පවතින අතර පාදය දණහිසෙන් දිග හැරී පතුල පහතට කඩා වැටී තිබෙනු දැකිය හැකිය. මෙම තත්වයට පත් වූ අංශයේ අත්පා සෙලවිමේදී තද ගතියක් පෙන්නුම් කරයි.

අංශභාග තත්වයට පත් වූ දරුවෙකුට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ඖෂධීය ප්‍රතිකාර

ශල්‍ය ප්‍රතිකාර

භෞතචිකිත්සක ප්‍ර තිකාරද

අංශභාග තත්ත්වයට පත් දරුවෙකුට භෞතචිකිත්සක ප්‍රතිකාර අත්‍යවශ්‍යමද?

ඔව්..  භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවහොත් දරුවාට ඇතිව තිබෙන අසාමාන්‍යතා වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසාම සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත ආබාධිත ඉරියව්වලට විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී සිදු කරනු ලබන්නේ  පී.එන්.එෆ්. :ඡුගභගත්‍* නමින් හඳුන්වන ව්‍යායාම වන අතරම එමගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදන ගරාච  හක සහ ස්නායු උත්තේජනය කරයි.

එසේම රෝගී දරුවා සිහි නැතිව සිටින අවධියේදී පවා නිවැරදි ඉරියව්වල තැබිමට වගබලා ගත යුතු වන්නේ දරුවා ඉදිරියේදී ඇති විය හැකි දරදඬු  ඉරියව්වලට පත්වීම වළක්වා ගැනීමටයි. තවද මේ තත්වය මත දරුවෙකු එක්තැන් වී සිටියහොත් එම දරුවාට නිතර නිතර ශ්වසන ආබාධ හා ඇඳ තුවාල ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමටත් පියවර ගත යුතුය.

ශ්වසන ආබාධ වැළැක්වීමට

භෞතචිකිත්සාවේ උරස් චිකිත්සක ක්‍රම උපයෝගී කරගනී. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටින රෝගී දරුවෙක් නම් රෝගියාගේ උපකාරයක් නොමැතිවම  ශ්වසන ව්‍යායාම හා චූෂණ ක්‍රම මගින් උරස් චිකිත්සාව ලබාදෙන අතර සිහි ඇතිව සිටින රෝගී දරුවෙක් නම් ඔවුන්ගේ උදව් උපකාරයද ඇතිව ශ්වසන ව්‍යායාම ඇතුළත් උරස් චිකිත්සක ක්‍රම මගින් ශ්වසන ආබාධ වළක්වා ගැනීමට පියවර ගනී.

ඇඳ තුවාල වළක්වා ගැනීමට

රෝගී දරුවා මෙන්ම ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගත යුතුය. සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය අතරම පැය 1/2 කට වරක් වත් දරුවා හැරවීමෙන් ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීමට ඇති  ඉඩ කඩ වැළක්විය යුතුය.

මෙවනි රෝගී දරුවෙකු සුව අතට ගැනීමේදී වැදගත්වන තවත් කරුණු කිහිපයකි. මෙම රෝගී  දරුවා කතන අබාධ පෙන්නුම් කරනවා නම් කථන චිකිත්සකවරයෙකු වෙත යොමු කල යුතුය. එසේම දරුවාගේ සමබරතාව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යායාම, මොළයේ සෛල උත්තේජනය කරන ව්‍යායාමවලට අමතරව අංශභාග රෝගීන් පෙන්නුම් කරන විලාසය මගහරවා ගැනීමට අවශ්‍ය ව්‍යායාම මගින් මෙවැනි දරුවන්  එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම, සංවේදන ක්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගාසිටුවීම සහ ඇවිදීම පුහුණු කිරීම ද ඉතා වැදගත් වේ. මේ සඳහා සුදුසුකම් සපිරි පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ සේවය අත්‍යවශ්‍යය.

වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි. 

ප්‍රචණ්ඩකාරී සිදුවීමකින් පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කරන්නේ කෙසේද?

පසුගිය සමයේ අපේ රට තුළ ඇති උණු ප්‍රචණ්ඩකාරී මෙන්ම කළහකාරී වටපිටාව දරුවන්ට දරා ගැනීමට පහසු නොවන තත්ත්වයක් බව පෙර ලිපිය හරහා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එවැනි තත්ත්වයකදී එක් එක් වයස් සීමා වල දරුවන් පෙන්නුම් කරන ලක්ෂණ අනුව ඔවුන්ට ලබා දිය යුතු සහයෝගය කෙබදුද යන්න පිළිබඳවත් මව්පියන් වශයෙන් ඔබ දැනුවත් වීම ඉතා වැදගත් නිසාම මේ ලිපිය යටතේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට දරුවන්ට උදවු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ජා කරමු.

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

  • දරුවන් ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන්වලින් ඈත් කර තබන්න
  • දරුවා ඉදිරිපිට අනෙක් වැඩිහිටියන් සමග සිද්ධිය පිළිබඳ කතා කිරීමේදී දරුවා බිය වද්දන දේවල් පිළිබඳ කතා කිරීමෙන් වැලකී සිටීමට වග බලා ගන්න
  • දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • දරුවා වෙනදාට වඩා නිහඬ නම්, පැත්තකට වී සිටී නම්, ඔහුට/ඇයට හැඟිම් ප්‍රකාශ කිරීමට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දෙන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යැමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කතා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම) කරන්න
  • දරුවා නැවත ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගතහොත්, එය දරුවා උවමනාවෙන් කරන දෙයක් නොව, සිතෙහි ඇති අසහනකාරී තත්ත්වය නිසා සිදුවන දෙයක් බව තේරුම් ගන්න. දරුවාට එයට දඬුවම් කිරීමෙන් හෝ විහිළු කිරීමෙන් වළකින්න
  • ඔබට දරුවාගෙන් වෙන්වී යෑමට සිදුවේ නම්, දරුවාට එය දන්වා ඔබ නැවත එන බව තහවුරු කරන්න. සෑම විටම දරුවාව ඔහු/ඇය හොඳින් හඳුනන කෙනෙක් සමගම තබා යන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

පාසැල් වයසේ දරුවන් හා නව යොවුන් වයසේ ළමුන්

 බොහෝවිට මේ වයස් සිමාවේ දරුවන් රූපවාහිනිය, ගුවන්විදුලිය මගින් හෝ වැඩිහිටියන්ගේ කතාබහට සවන් දීමෙන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ යම් අවබෝධයක් ලබාගනී. එමනිසා දරුවා සමග සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ කතාකිරීම වැදගත් වේ. පළමුවෙන් දරුවා සිදුවූදේ පිළිබඳ දන්නේ මොනවාදැයි විමසා බලන්න. දරුවා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාගෙන් ඇතිදැයි විමසිලිවත් වන්න. දරුවා සිදුවූ ක්‍රියාවන් පිළිබඳ වැරදි තොරතුරු දන්නේනම් ඒවා සෙමින් නිවැරදි කරන්න. දරුවාගේ වයසට ගැලපෙන වචන මාලාවක් හා වයසට ගැලපෙන තොරතුරු පමණක් කියන්න.

  • දරුවාට ඇති ප්‍රශ්න ඔබෙන් අසා නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබාදෙන්න. දරුවා අසන ප්‍රශ්නවලට පිළිතුරු ඔබ නොදන්නේ නම් ඒ බව පවසන්න
  • දරුවන්ව සුරක්ෂිතව තබාගැනීමට ඔබ හා අනෙකුත් වැඩිහිටියන් නිරන්තරයෙන් කටයුතු කරන බව පැහැදිලි කරන්න. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරට පත්වූවන් සඳහා උදව් හා ප්‍රතිකාර ලැබෙන බව පැහැදිලි කරන්න.
  • දරුවන්ට ප්‍රචණ්ඩකාරී දර්ශන පෙන්වන රූපවාහිනී වැඩසටහන් නැරඹීම සීමා කරන්න
  • දරුවාගේ නින්දට බාධා ඇත්නම්, නින්දට යෑමට පෙර දරුවා සමග එක්වී සිත සන්සුන් වන ක්‍රියාවක් (උදා: දරුවා කැමති කතාන්දරයක් කීම, කථා පොතක් කියවීම, දරුවා කැමති සිංදුවක් ගායනා කිරීම/ ඇසීම) කරන්න
  • දරුවාට සිද්ධිය පිළිබඳ ඇති හැඟීම් ගැන කතා කිරීමට අවස්ථාව ලබාදෙන්න. දරුවාට ඔවුන්ගේ සුරක්ෂිතභාවය ගැන ගැටලු/ බියක් ඇත්දැයි විමසන්න. නමුත් කිසිවිටෙකත් දරුවාට ඒ පිළිබඳ කතා කිරීමට බල නොකරන්න
  • දරුවා පාසැල් යාමට බියක් දක්වයි නම්, පාසල සුරක්ෂිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දරුවා දැනුවත් කරන්න. ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා පාසැල සුරක්ෂිත ස්ථානයක් බව දරුවාට පැහැදිලි කරන්න.
  • දරුවාට වෙනදා පැවති දින චර්යාවම පවත්වා ගැනීමට උත්සහ කරන්න
  • මෙවැනි සිද්ධීන්ට පසුව දුක, කණගා‍ටුව, බිය ඇතිවීම සාමාන්‍යය දෙයක් බව දරුවාට කියා දෙන්න
  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී ඔහු/ඇය කළ දේවල් නිවැරදි බවත්, සිදුවූ දේවල් කිසිම ආකාරයකින් ඔහුගේ/ඇයගේ වැ‍රැද්දක් නොවන බවත් පහදා දෙන්න
  • සිද්ධියෙන් පසු දරුවාගේ හැසිරීමේ වෙනස්වීම් ඇත්දැයි විමසිලිවත් වන්න.

සැලකිය යුතුයි : දිගින් දිගටම දරුවාගේ හැසිරීමේ වෙනස්කම් දක්වන්නේ නම් හෝ හැසිරීමේ වෙනස්කම් නිසා දරුවාගේ එදිනෙදා ජීවිතයට බධා වන්නේ නම්, ළඟම ඇති මනෝ වෛද්‍යය සායනය වෙත යොමු කරන්න.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

ත්‍රස්තවාදී ක්‍රියාවලට දරුවෙකුගේ මනසට බලපෑම් ඇති කළ හැකිද?

පසුගිය කාලයේ රට තුළ සිදු වූ අකාරුණික සිදුවීම අපි කාගේත් මතකයෙන් තවමත් ගිලිහිලා නැහැ. වැඩිහිටියන් විදියට අපි පවා සසල වූ මේ සිදු වීම පෙළ දරුවන්ගේ මනසට කොයි ආකාරයෙන් බලපාන්නට ඇත්ද යන්න නොසලකා හරිය හැකි කරුණක් නොවෙයි. මේ තත්ත්වය මත දරුවෙක් පීඩනයට පත්ව සිටිනවා නම් අපි ඔවුන්ට සහයෝගය අවශ්‍ය පරිදි ලබා දිය යුතුයි. ඒ සියලු දේ වෙනුවෙන් මව්පියන් වන අපි මෙවැනි තත්ත්වයකදී දරුවෙක්ට ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි.

දරුවෙකු ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම සාධක කිහිපයක් මත රඳා පවතිනවා. දරුවා එම සිද්ධිය සිදුවූ ස්ථානයේ සිටියාද, සිද්ධිය සියැසින් දු‍ටුවාද, සිද්ධියෙන් තමා ළඟින් ඇසුරු කරන කෙනෙකුට කරදරයක් සිදුවුනාද යන්න එවැනි කරුණු කිහිපයක්. එමෙන්ම දරුවාගේ වයස, පෞරුෂය, දරුවා කලිනුත් බියජනක සිදුවීම්වලට මුහුණදී තිබෙනවාද යන්නත් දරුවා ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම කෙරෙහි බලපානවා.

බොහෝ දරුවන් ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී, එයට කෙළින්ම මුහුණ නොදුන්නේනම්, විශේෂ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. එසේ මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කළත්, එය බොහෝවිට තාවකාලිකයි. නමුත් දරුවන් බොහෝවිට කුතුහලය නිසා මෙවැනි අවස්ථා ගැන විමසිලිමත් වීමත්, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සාමාන්‍යය දෙයක්. ප්‍රචණ්ඩකාරී අවස්ථාවකට කෙළින්ම මුහුණ දුන් දරුවන් හෝ එවැනි දෙයක් නිසා තම පවුලේ සාමාජිකයින් අහිමි වූ දරුවන් බොහොමයක් මානසික අසහනකාරී තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍යය දෙයකි. නමුත් මෙවැනි බොහෝ දරුවන් කාලයත්, නෑදෑ හිතවතුන්ගේ සහයත් සමග සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම දරුවෙක්ගේ වයස අනුව ප්‍රචණ්ඩ ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන අන්දම වෙනස් වෙනවා. එක් එක් වයස් සීමාවන්ට අනුව

පෙර පාසැල් දරුවන් (අවුරුදු 3-6ත් අතර)

මේ වයසේ දරුවන්ට තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට අපහසුය. එමනිසා මේ වයසේ දරුවන්ගේ සිතෙහි ඇති නොසන්සුන්තාවය/බිය පෙන්නුම් කරන්නේ හැසිරීමේ වෙනස්වීම් වලින්. පෙර පාසැල් දරුවන් අතර ප්‍රචණ්ඩකාරී සිදුවීමකට මුහුණ දීමෙන් පසු පහත හැසිරීම් දක්නට හැකියාවක් තිබෙනවා.

  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • දෙමාපියන්ගෙන් වෙන්වීමට බිය වීම
  • වෙනදාට වඩා කතාව අඩුවීම, පැත්තකට වී සිටීම
  • කලින් මුත්‍රා/මලපහ පාලනයක් තිබූ දරුවෙක් නැවතත් ඇඳුමෙහි මුත්‍රා/මලපහ කිරීමට පටන් ගැනීම
  • සෙල්ලම් කිරීමේදී සිද්ධිය නැවත නැවත රඟ දැක්වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් දු‍ටු විට හෝ හමුවූ විට බිය වීම/ එවැනි දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • වෙනදා බිය නොවුනු දේවල් වලටත් බියක් දැක්වීම
  • වෙනදාට වඩා කේන්ති යාම

පාසැල් වයසේ දරුවන් (අවුරුදු 6-12 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැවත සිදුවේදැයි බිය වීම
  • තමාගේ හා තමා ආදරය කරන අයගේ ආරක්ෂාව පිළිබඳ බිය වීම
  • පාසැල් යෑමට/ නිවසෙන් පිටතට යෑමට යෑමට බියවීම
  • ශාරීරික අපහසුතා ඇතිවිම (උදා: හිසරදය, බඩේ කැක්කුම)
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • වෙනදාට වැඩියෙන් කේන්ති යාම
  • සිදුවූ සිද්ධිය පිළිබඳ නැවත නැවත කතා කිරීම/ප්‍රශ්න කිරීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම

නව යොවුන් වියේ දරුවන් (අවුරුදු 13-18 අතර)

  • සිද්ධියට කෙළින්ම මුහුණදුන් දරුවෙක් නම්, එම අවස්ථාවේදී තමා කළදේ/නොකළදේ පිළිබඳ පසුතවිලි වීම
  • පවුලේ අයගෙන්/ යහළුවන්ගෙන් ඈත්වීම / තනිව කාලය ගතකිරීම
  • වෙනදාට වඩා කේන්ති යෑම
  • නින්දට බධා ඇතිවීම (නින්ද නොයාම, නිතර නිතර අවදිවීම, බියකරු සිහින දැකීම)
  • අවධානය යොමු කිරීමට අපහසු වීම/ පාසැල් වැඩ කරගැනීමට අපහසු වීම
  • සිද්ධිය මතකයට නැගෙන දේවල් මඟ හැරීමට උත්සහ කිරීම
  • තමාටම හානි කරගැනීම

ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ දරුවෙකුගේ හැසිරීම රටාවේ මෙවැනි වෙනස්කම් ඔබත් දුටුවා නම් ඒ පිළිබඳව නොසලකා හැරීමට වඩා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට උදවු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමත් නිවැරදි ක්‍රමයට අනුව ක්‍රියාත්මක වීමත් ඉතා වැදගත් වේ. ඊලග ලිපිය මගින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පසු දරුවන්ට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට මව්පියන් වන ඔබ සහය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු විමසමු.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි

ඔබත් සාර්ථක පියෙකු නම් මේ ලක්ෂණ ඔබ තුළත් ඇති

දරුවෙකුගේ ජිවිතයට පියෙකුගෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැක්කකි. මුල් ළමාවිය සත්කාරය හා සංවර්ධනය සඳහා පියෙකුගේ දායකත්වය ලෙස කාන්තා සවිබලකරණය, හිංසා කිරීම වැළැක්වීම, නිවෙස තුළ සිදු කරන කටයුතු හා දරුවන් හදා වඩා ගැනීමේදී දක්වන සහයෝගය, ප්‍රජනන සෞඛ්‍ය කටයුතුවලදී දෙදෙනා එක්ව තීරණ ගැනීම, ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළැක්වීමට කටයුතු කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ්‍ය රැකගැනීම උදෙසා දක්වන දායකත්වය යන කරුණු ඉතා වැදගත් වනු ඇත. දරු සත්කාරයේදී පුරුෂ පාර්ශවය එනම් පියවරු සම්බන්ධ වීම තුලින් වඩාත් හිතකර ප්‍රතිඵල දැකිය හැකි බව ඇද වන විට පර්යේෂණවලින් පවා සනාථ කර ඇත. දරුවෙකුගේ ජීවිතයේ මුල් කාලයේ පියා ඔවුන් සමග වැඩි වශයෙන් අන්තර් සබඳතා ඇති කරගැනීම නිසා එවැනි දායකත්වයක් නොදක්වන පියවරුන්ගේ දරුවන්ට වඩා ඉහළ බුද්ධි ඵලයක් උරුම කරගැනීමට එම දරුවන් සමත් වී ඇත. දරුවන්ගේ මුල්ම දෙගුරුන් වනුයේ තම මව්පියන් බව සතුටින් හා ආදරයෙන් අවබෝධ කරගැනීමට දෙමාපියන්ට ඉඩ සැලසිය යුතුය. ළමා උත්තේජන සඳහා ශක්තිමත් වූ පරිසරයේ පවතින අවස්ථා හා ද්‍රව්‍ය හඳුනා ගැනීමට පියවරු සමත් විය යුතුය. වචනයෙන් මෙන්ම ක්‍රියාවන් මගින්ද ඔවුන් දරුවන් සමග අන්තර් ක්‍රියාවන්හි යෙදිය හැක. දරුවන් තුළ කුතුහලය, නිරීක්‍ෂණය, සිතින් මවා ගැනීම, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඇති කිරීම පියවරුන්ට කළ හැක.

ඔබ සාර්ථක පියෙක් නම් මේ ලක්ෂණ ඔබ තුළත් ඇති

  • ආරක්‍ෂිත බව

හොඳ පියෙකු පැහැදිලි සීමාවක් තුළ දරුවන් වඩා කැමති දේ පිළිබඳව උනන්දු වේ. වැරදි තේරීම් සිදු වන විට ඒ බව පැහැදිලි කරදෙමින් ක්‍රම ක්‍රමයෙන් චරිත සංවර්ධනයට දායක වේ.

  • සෙනෙහස

මව සිදු කරන ආකාරයට දරුවා සිප වැළඳ ගනී. ඔහුගේ සෙනෙහස මව් සෙනෙහසට අඩු නොවේ.

  • විශ්වාසනීයත්වය හා සුරක්‍ෂිතභාවය

තම පියා නිරන්තරයෙන් නිවැරදි බව විශ්වාස කරයි. ඔහු කිසිදා බොරු නොකියන බව දරුවාගේ හැඟීමයි. ඔහු කිසිදිනක විශ්වාසය කඩ නොකරයි. ඔහු කිසිදා දුෂ්කරතාවයකදී දරුවන් හැර නොයයි. මෙම විශ්වාසය දරුවා තුළ හොඳ පියෙකු ගොඩනැංවීමට ඉවහල් වේ.

  • උද්යෝගී බව

පියා සෑම විටම දරුවාගේ උත්සහාය, උද්යෝගයේ මූලාරම්භයයි. පාපන්දු තරගයකදී, විවාද තරගයකදී එම ස්ථානයට පියා පැමිණීම උසස් කොට සලකයි. විශ්වාසනීයත්වය ඇති කරයි. ඔවුන්ගේ ජයග්‍රහණයකද වඩාත්ම සතුටුවන පුද්ගලයා පියා වන අතර ඔවුන්ගේ අසමත් වීමකදී වඩාත් දුක්වන කෙනාද ඔහු වේ. පියාගේ වචන දරුවාට වෙනම ලෝකයක් තනා දෙයි. එසේම එම වචන දරුවා ඇති කිරීමට මෙන්ම කඩා වැටීමටද හේතුවක් වේ.

  • ඇහුම්කන් දීම

පියා කාලයක් ගත කර දරුවාට ඇහුම්කන් දෙයි. දරුවාට නොබෙදුන අවධානයක් ලබාදේ. ඔවුන්ගේ දෘෂ්ටිකෝණය පිළිබඳව යමක් තේරුම් ගැනීමට උත්සහ කරයි.

  • ජීවිතයේ අවශ්‍යතා ඉටුකරදීම

පවුලේ මූලිකයා ලෙස දරුවන්ට විටින් විට අවශ්‍ය වන ආහාර, නිවාස, අධ්‍යාපනය, ආරක්‍ෂාව අවධානය ලබාදීමට බැඳී සිටී

  • මවට හා දරුවන්ට ගරු කිරීම

දරුවා තම මව්පියන් එකතු වී වැඩ කරන ආකාරය දකින අතර හොඳින් එය ඉගෙන ගනී. හොඳ පියෙකු තම දරුවාට මවට ගරු කරන ආකාරය උගන්වයි. එය ක්‍රියාවෙන් කර පෙන්වයි. තම සහකාරියට ගරු කිරීම මඟින් දරුවන් ඉදිරියේ ඇයගේ අදහස්වලට ගරු කරන අතර කිසි දිනක ඇය සමඟ තර්ක නොකරයි. මෙම නිවැරදි පණිවිඩය දරුවාට ලැබේ. තම මාපියන් එකට එක්ව වැඩකරන බව හා දෙදෙනාටම සමානව ගරු කල යුතු බව ඔහු/ඇය අවබෝධ කරගනී.

  • දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීම

පියා ගෙදරසිටින විට එම දරුවන්ට එය විනෝදාත්මක කාලයක් වනු ඇත. ඔහු දරුවන් සමඟ සෙල්ලම් කරයි. උපායශීලී කෙටි ක්‍රම උගන්වයි. නිවසේ කටයුතු විනෝදජනක ලෙස කල හැක. රූපවාහිනිය, ලැප්ටොප්, දුරකථන තුල දරුවා රැඳී නොසිටිනු ඇත.

  • පියා හොඳ ගුරුවරයෙකි.

පියා අධ්‍යාපනික පැත්තටත් වඩා ජීවිතය පිළිබඳව පාඩම් කියා දෙයි. අසමත්වීමකදී හෝ බලාපොරොත්තු කඩවීමකදී ඊට මුහුණදෙන ආකාරය කියා දෙයි. ඔවුන්ගේ හැකියාවන්, ශක්තීන් හොඳ දේවල් සඳහා භාවිත කිරීමට හැකි බව උගන්වයි.

මව මෙන්ම පියාගේ දායකත්වය දරුවාගේ සත්කාර ක්‍රියාකාරකම්වලට එක්ව නිරතවීම තුලින් මෙම විවිධ අවශ්‍යතා සපුරාලීම පහසුවෙන් සිදුකල හැකිය. එමඟින් යහපත් වූ ළමා සංවර්ධනයක් ඇති වනු නොඅනුමානය.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

දරුවන්ගේ ආවේගයන් පාලනයට ඉදිරිපත් වන අකුරු හතරේ මන්තරය

කුඩා දරුවන් තුල ඇතිවෙන පාලනයකින් තොර කෝපය සහ කලකිරීම. ඔව්,,, මේ ස්වභාවය ඔයාලා දෙමව්පියෝ වශයෙන් තේරුම් ගන්නේ, අර්ථ දක්වන්නේ කොහොමද ? අවුරුද්ද ට අඩු දරුවන් විතරක් නෙමෙයි විශේෂයෙන් අවුරුද්දට වැඩි හෝ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් අතරත් මේ ලක්ශනය පොදුවේ දක්නට පුලුවන්. මම මෙහි කතා කරන්න යන්නේ වචන ගැට ගහ ගන්න පුලුවන් සහ හොදින් අදහස් හුවමාරු කර ගන්න පුලුවන් පැටව්ගේ පාලනයකින් තොර කෝපය සහ හැඩීම්, කලකිරීම් ගැනයි. මේ දරුවන් ගෙන් අපි දකින පොදු දේවල් නම් ඔවුන් දෙමව්පියන් නොරිස්සීම, දෙමව්පියන්ට හිත් රිදෙන දේවල් ප්‍රකාශ කිරීම වගේ සංවේදී කාරණා .. මේවා ඔබ තේරුම් ගන්නේ කෙසේද?
“මට ඔයාව පේන්න බැහැ “
“මට ඔයා එපා, යන්න මෙතනින්”
“ඔයා මහ නපුරුයි”
“මට වෙන අම්මෙක් ඕන”
මේ වගේ වචන විතරක් නෙමෙයි..
“දෙමව්පියන් දෙස රවා බැලීම”
“ගස්සාගෙන යාම”
“යමකින් දමා ගැසීම”
“එකට එක කීම”
මේ වගේ ක්‍රියාවල් ද නොඅඩුව දකින්න පුලුවන් කම තියෙනවා මේ වගේ පොඩ්ඩොන්ගෙන්..
මේ වගේ වචන ඔයාලට ඇහෙනකොට , මේ ක්‍රියාවල් දකින කොට ඔයාලට දැනෙන්නෙ කොහොමද ? ඔයාලා ඒවා අහල , දැකල දරුවා ගැන විනිශ්චය කරන්නෙ කොහොමද ? මේක හරිම සංවේදී තත්ත්වය ක් නේද? ඒත් අපි , දරුවා කියන මේ වචන මේ ආකාරයෙන්ම පෞද්ගලිකව ගත යුතුද? මම දන්න දේවල් ටිකක් මේ සම්භන්දයෙන් ඔයාලට කියන්නයි මම මේ ලිපිය ලියන්නේ ….
ඉහත මම සදහන් කල වචන ඇත්තටම පොඩ්ඩො කියන්නෙ , ඒ වගේ ආවේගශීලී වැඩ කරන්නේ ඔයාලා ගැන තරහින්ද? ඒ ගැන ඔබ දුක් වෙනවා නම් එය වහාම නවත්වන්න . මොකද බොහෝ දරුවන් මේ වගේ දේවල් කියන්නේ කරන්නේ තේරුමක් නැතිවයි. නමුත් දරුවන් කෙරෙහි දිවා රෑ නොබලා තම ජීවිතය කැප කර සිටින ඔබට මේ ගැන දනාත්මකව සිතන්න යොමු කරන්න උදව් වන පොඩි අකුරු 4 ක් ගැන මම ඔබට කියල දෙන්නම්. මේ සරල අකුරු 4 ට පුලුවන් ඔයාලව සංවේදී භාවයෙන් මුදවල බුද්දිමත් ව මේ ගැන සිතීමට පොළඹවන්න. ඒ වගේ ම ඔයාලගේ දරුවන්ට ත් එයාලා බලාපොරොත්තු වන දේ ලබා දී එයාලව සතුටින් තියන්න.
HALT
ඔව්. මතක තියාගන්න හරිම ලේසියි.
H – Hungry – බඩගින්න
A – Angry – තරහව
L – Lonely – තනිකම
T – Tired – මහන්සිය
ඉතින් හිතන්න අවස්තාව දැන් ඔයාලට තියෙනවා. ලොකු මිනිස්සු වගේ නෙමෙයි. පොඩ්ඩො හරිම නිර්මලයි. ඉතින් එයාලා යම් ආවේගයක් පෙන්නුම් කරන්නේ එයාට සාදාරණ හේතු සාදක සහිතව කියලයි මම නම් හිතන්නේ. ඉතින් ඉහත A අකුරෙන් නිරූපණය කල Angry එහෙම නැත්නම් තරහව නිසා පැටියයි දෙමව්පියනුයි රණ්ඩු වෙන අවස්තා තිබුනත් ඒ ඉතා අතලොස්සක් විය හැකි
බවයි මගේ අදහස. බඩගින්න, තනිකම සහ මහන්සිය යන කාරණා හේතුවෙන් පොඩ්ඩො එහෙම හැසිරෙන සම්භාවිතාවයන් වැඩි බව ඔයාලට ම තේරුම් යාවි මේ
ගැන ටිකක් දුරට කල්පනා කලොත්.
ගෙදර දරුවා යම් විටෙක ආවේගශීලී වේ නම් මුලින්ම ඔබ සන්සුන් වීම අත්‍යාවශ්‍ය වෙනවා. ඔබට තරහ ගියොත් හෝ දුක හිතුනොත් මුකුත් කර ගන්න බැරි වෙන නිසා; ඔයාට හිතන්න හිතේ ඉඩ නැතිවෙන නිසා. ඉන්පසු මේ සිදුවීම හිමීට අපේ H, L, T කියන කාරණා වලට අනුගත කරල බලන්න. ඔයාලටම වැටහෙයි දරුවාගේ
මෙම හැසිරීමට හේතු වූ සත්‍යම කාරණාව. ඉන්පසු එය හරහා පිලියම් සොයා දරුවා සැනසීම ඔබට ඉතා පහසු වේවි. මගේ දරුවන් තිදෙනාගේ හැසිරීම් වලින් මා අත්දුටු කාරණා කීපයක් සදහන් කරන්නම්. මගේ දරුවන් ඉතා පොඩි කාලයේ මෙසේ හැසිරුනේ මහන්සියට සහ බඩගින්නටයි. පස්සේ ටික ටික ලොකු වෙනකොට තනිකම කියන කාරණය ඔවුන් ඉදිරියට ආවා. ඉතින් මේ අවස්තාවල්
වලදී මමත් ඔවුනගේ ආවේගයන්ට සංවේදී වී දුක් වුනා. හැඩුවා. නමුත් කාලයත් එක්ක දරුවන් ව හදුනා ගන්න  වුවමනාවෙන්ම මහන්සි වූ නිසාවෙන් දැන් මෙවන් අවස්තාවල් වලට යම් තාක් දුරකට සාර්තකව මුහුණ දෙනවා. නමුත් තවමත් මම හොදින් HALT අද්‍යනය කරන්න පුරුදු වෙන ගමන් ඉන්නේ.
පොඩ්ඩොන්ගේ මේ පාලනය කල
නොහැකි ආවේගයන් ඇතිවීම වැලැක්වීමට හැකිනම් කෙතරම් අගෙයිද? එය ආවේගයන් පැමිණි පසු එය නවත්වන්න පිලියම් යොදනවාට වඩා වටින දෙයක්. ඉතින් අපිට සුලු හෝ
උත්සාහයක් ගන්න පුලුවන් මේ HALT හරහා ටිකක් හිතුවොත්.
Hungry හෙවත් බඩගින්න නිසා කලබල කරන පොඩ්ඩන්ව ඉන් වලක්වා ගන්න පුලුවන් කාල සටහනකට හෝ නිශ්චිත වේලාවකට අනුව නිසියාකාරව ආහාර ලබා දෙනවා නම්.  බඩ පිරුණු දරුවන් ඉන්නේ ඉතා සතුටින් හා ක්‍රියාශීලි වයි.
Lonely හෙවත් තනිකම ඇති වීම
වලක්වා ගන්න පුලුවන් දෙමව්පියෝ විදියට දරුවන් ට හොද අවදානයක් ලබා දෙනවනම්. දවසට වේලාව වෙන් කරගෙන ඔවුන් සමග සෙල්ලම් කරනවානම්. ඔවුන්ට රසවත් කතාවක් දෙකක් කියල දෙනවනම්.
Tired හෙවත් මහන්සිය නිසා ඇතිවන ආවේගයන් වලක්වා ගන්න පුලුවන් ඔවුන්ට සුවබර නින්දක් ලබා දී ඔවුන්‍ ට කායික මානසික සුවය සලසනවා නම්. ඒ වගේම දරුවා ලගට වෙලා හිස , පිට , කකුල් අතගා ඔවුනට පොඩි සනීපදායක කාලයක් සකසා දෙනවනම්. ඒ වගේම අද්‍යන කටයුතු වල නිරතවීමට අදික පීඩනය ක් දරුවන් වෙත ලබා නොදී ඔවුන් එක්ක සැහැල්ලු වෙන් පාඩම් කටයුතු නිම කිරීමෙන් අනවශ්‍ය කායික හා මානසික තෙහෙට්ටුවීම් වලට පුංචි දරුවා ලක් නොවීමට වග බලා ගන්නත් දෙමව්පියන්ට පුලුවන්.
අපි මෙහිදී වැඩි අවදානයක් යොමු නොකල Angry හෙවත් තරහව නිසා ආවේගශීලී වීම ගැන වෙනමම කතා කල යුතු වූවක්. අනපේක්ෂිත අවස්තාව න්ට මුහුණ දීම, අනපේක්ෂිත සිදුවීම් වලට ලක්වීම වගේ දෙවල් හේතුවෙන් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්. ඉතින් මේ ගැන මම මේ ලිපියේ කතා කරන්නේ නැහැ . නමුත් HALT අකුරු හතරේ H, L, T වලට පුලුවන් දරුවන් සමග ඇතිවන ගොඩක් ප්‍රශ්න අපිට මග හරවා දෙන්න. ඒ නිසයි කවුරුත් නොහිතන මේ ගැන විතරක් මම මේ ලිපියේ කතා කලේ.

බබාට කෑම හදමු 7 – පැණි කොමඩු වලින් බබාට කෑම

ලොකු පොඩි කවුරුත් ආස කරන , තිබහට කන්න කියාපු පළතුරක් තමයි පැණි කොමඩු කියන්නේ. ඒ වගේම මේක ලංකාවේ සුලභ පළතුරක්..නමුත් සමහර අම්මලා එච්චර සැලකිල්ලක් නොදක්වන පළතුරක් කියල කියන්නත් පුලුවන්. සමහරු මේවා බබාට සීතලයි කියමින් නොදී ඉන්න පෙළඹෙනවා. බලන්න​, එවන් අම්මලා කොච්චර ගුණ සහ වටින පළතුරක් ද මේ අත් හරින්නේ කියල මේ ලිපිය කියවල ඉවර වුනාම ඔයාලට තේරෙයි.

සමහර අය තවමත් විශ්වාස කරන්නේ කොමඩු කියන්නේ වතුර හා සීනි මිශ්‍රණයක් කියලයි. නමුත් කොමඩු ඔබ සිතනවාට වඩා වඩා සෞඛ්‍ය සම්පන්න, විටමින් වර්ග​, ඛණිජ ලවණ​, ප්‍රථිඔක්සිකාරක බහුල පළතුරක්.  කොමඩු වල වැඩි වශයෙන් තියෙන්නේ විටමින් ඒ, සී සහ කැල්සියම්. බීටා කැරොටින් වලින් පිරුණු, කොමඩු ළදරුවන්ගේ ප්‍රියතම ආහාර වලින් එකක් බවට පත්ව තිබෙන බව මේවා දෙන අම්මලා මේ වෙනකොටත් හඳුනාගෙන ඇති. අපේ ඇස්, හෘදය හා සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහාම හොඳ මේ පළතුර හෙඹිරිස්සාව​, කැස්ස​, උණ වගේ අසනීප හැදුනු දව්ස්වලට බබාට දෙනවනම් හොදයි කියල මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ විටමින් C හා ඔක්සිහාරක කොමඩු වල අඩංගු නිසයි. මම කියන නිසා ඔබ පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබට මේ පිළිඹඳව ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැන ගන්න පුලුවන්. මෙය සුදුසු නම් ඔවුන් නිර්දේශ කරාවි. මම බෙදා ගන්නේ මගේ අත්දැකීම් නිසා මෙය මගේ දරුවන් සුවපත් කරන පළතුරක් ලෙස මම හඳුන්වා දෙන්න කැමතියි.

කොමඩු සාමාන්‍යයෙන් බබාලට හදුන්වා දෙන්න කියන්නේ මාස 8 සිට ඉහලටයි. සමහර බබාලට කොමඩු වල තියෙන ආම්ලිකතාවය නිසා ආසාත්මිකතා අතිවීමට ඉඩ කඩ ඇති නිසයි එහෙම කියල තියෙන්නේ. නමුත් සමහර අම්මලා මාස 6 සිට කොමඩු දෙන අවස්තා තියෙනවා. කොහොම වුනත් කොමඩු මුල් වරට හඳුන්වා දෙද්දී දරුවාව හොදින් නිරීක්ශණය කරන එක වැදගත්.

දැන් මම කියන්නම් කොමඩු බබාලට කෑමට හදල දෙන්න පුලුවන් ක්‍රම කීපයක්. මේවා දැනටමත් හදල දෙන අම්මලා ඉන්නවනම් ඔයාලගෙ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා.

කොමඩු දෙන්න පුලුවන් මූලික ක්‍රම 2යි.

  1. කොමඩු යුශ​
  2. පොඩියට කපා ගත් කොමඩු කෑලි

කොමඩු යුශ කෙලින්ම කොමඩු කෑලි පොඩි කරල අරගන්න පුලුවන්. ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කරන්නත් පුලුවන්. ඒ වගේම කොමඩු පොඩි බබාලට අතින් අල්ලගෙන පහසුවෙන් කන්න පුලුවන් දෙයක්. ඒ නිස චූටි කොටු වගේ කෑලි කපල බබාට අල්ලගෙන කන්න පුරුදු කරන්න​. මතක තියාගන්න​, අම්මලා ලඟින්ම ඉන්න ඕන මේ වෙලාවෙදි.

කොමඩු දෙන්න පුලුවන් වෙනත් අලුත් ක්‍රම :-

මේවා නම් ඕන තරම් මට කියන්න පුලුවන්. නමුත් සරලව පහත ආකාරයට මම සඳහන් කරන්නම් ඔයාලට ටිකක් හිතන්න​.

  1. බත් සමග අනා කවන්න පුලුවන්

මගේ බබාගේ බත් එක ගොඩක් තද ගතියක් සහිත නම් මම සාමාන්‍යයෙන් උණු වතුර ටිකක් එකතු කර පදම සාදා ගන්නවා. නමුත් කොමඩු ගෙදර තියෙනවානම් අනිවාර්‍යෙන් කොමඩු යුශ තමයි මේ වැඩේට මම යොදා ගන්නෙ. රසයත් වෙනසක් වෙන නිසා මගේ බබා නම් ආසාවෙන් බත් ටික කනවා. බබා බත් කන්න හොරයි කියන අම්මලට මේක හොඳ ටිප් එකක් වෙයි.

  1. තවත් පළතුරු එකක් හෝ කීපයක් සමග මිශ්‍ර කර සාදා ගන්නා කෑම ජාති

කොමඩු වල වතුර ගතිය නිසා වෙනත් පළතුරු එක්ක මිශ්‍ර කරාම හොඳයිද කියල හිතන අය ඉන්නවනම් මේක අත් හදා බලන්න කියල මම ඉල්ලා සිටිනවා. කෙසෙල්, අඹ, අලිගැටපේර වගේ පළතුරු එකක් හෝ කීපයක් එක්ක කොමඩු එක් කලාම රසම රස පළතුරු ස්නැක් එකක් හදලා ඔයාලගේ බබාට කවන්න පුලුවන් වෙයි.

  1. කිරි, යෝගට් හෝ මුදවපු කිරි සමග එකතු කර සාදාගන්නා කෑම ජාති

මේ දේවල් එක්ක කොමඩු එකතු කලාම රසම රස පුරී (තලපයක්) එකක් හෝ ස්මූතී බීම එකක් හදා ගන්න පුලුවන්. ඒක අපි හිතනවට වඩා ගොඩක් රසවත්. මගේ ඤාති සොහොයුරියකුත් කොමඩු සහ රසකල උකු කිරි (condensed milk ) සමග රසම රස බීම එකක් හදනවා..ඒ නම් ලොකු බබාලට​..

  1. මස් සහ මාලු සමග මිශ්‍ර කර සාදාගන්නා කෑම ජාති

තම්බගත්ත මස් මාලු එක්ක කොමඩු එකතු කලාම රසවත් කෑමක් බබාට හදා ගන්න පුලුවන්. ඒ ආහාරයට යෝගට්, මුදවපු කිරි එකතු කලාම තවත් රසයි.

  1. පොප්සිකල් / අයිස් පැකට්

මේ නම් අපේ අයිස් ක්‍ර්‍රිම් කන්න පුලුවන් වයසේ බබාලට කදිම ක්‍රමයක්. අයිස් පැකට් සහ පොප්සිකල් ඉතා පහසුවෙන් ගෙදර හදා ගන්න පුලුවන්.

ඉහත කිවූ ආහාර ජාති කීපයක්ම මම හදල පෙන්වපු වීඩියෝ දෙකක ලින්ක්ස් දෙකක් පහත දක්වා තිබෙනවා. ඔයාලත් ඒවා බලලා අදහසක් අරගෙන බබාලට රසට කෑම හදල දෙයි කියල මම හිතනවා. මේ ලින්ක් වලින් ක්‍රම 7ක් ඔයාලට බලා ගන්න පුලුවන්.

පැණි කොමඩු වලින් බබාට කෑම​​ – Part 1

 

පැණි කොමඩු වලින් බබාට කෑම – Part 2

තවත් පොඩි දෙයක් සදහන් කරන්නම්. කොමඩු කපද්දී එහි පිට පොත්ත ඉවත් කරන විට ඇතුලේ ඇති සුදු පැහැති මද කොටසත් සමගම ඉවත් කරන්න එපා. සුදු මද කොටසේත් වැඩි විශේශ ගුණ අන්තර්ගත නිසා ඒ කොටසත් රතු පාට මදය සමගම එකතු කර ගන්න උත්සහ කරන්න​.

බබාට කෑම හදලා ඉතිරිවුන කොමඩු වල මාංශමය කොටස හොදින් වැසෙන සේ ආවරණය කර ශීතකරණයේ තැබීමෙන් වැඩි කලක් කොමඩු කල් තබා ගන්නත් පුලුවන්.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.