Home Blog Page 79

එකිනෙකාට ගරු කරන අනාගත ලංකාවක් බිහි කිරීමට නම්..

ජාතික හෝ වෙනත් කුමන හෝ ආපදාවක් ඇති වුන තැනදී අපි ජාතික සමගිය ගැන කතා කරනවා. කවි, ගීත ලියනවා. මාධ්‍ය ඔස්සේ දැනුවත්වීම් ලබා දෙනවා. ඒත් කාලය සමග ඒ සමගිය ගැන හැඟීම අවසාන වෙනවා. ඒත් ජාතික සමගිය ගැන හැඟීම බාල කාලයේ පටන්ම  දරුවන්ගේ මනසේ ගොඩ නගන්න පුලුවන් නම් අපිට කාලයෙන් කාලයට පමණක් මේ ගැන කතා කිරීමට සිද්ධ වෙන්නේ නැහැ.

තමන්ට ආදරය කරන්න

දරුවාට බාල කාලයේ පටන්ම තමන්ට ආදරය කරන්න පුරුදු කරන්න. ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ට ආදරය දක්වන්න. එවිට දරුවා ආදරය කියන්නේ කුමක්දැයි හදුනා ගනු ඇති. තමාට ආදරය නොකරන කෙනෙක් තවත් අයෙක් වෙනුවෙන් ආදරය දැක්වීම යනු අදහා ගැනීමටත් බැරි දෙයක්. සාපරාධී කටයුතුවල යෙදුන බොහෝ දෙනෙකුගේ බාල කාලය පවා ඉතාම අමිහිරි අත්දැකීම් මත ගෙවී තිබෙනවා. එයින් පෙනී යන්නේ ඔවුන් ආදරය ගැන කිසිම අත්දැකීමක් නොලද නිසා තමන්ට ආදරය කිරීමටවත් නොදන්නා බවයි.

හොඳ ගතිගුණ කියා දෙන්න..

දරුවන් කියන්නේ හෙට දවසේ නායකයන්. ඒ නිසා අපි ඔවුන් ලෝකයට දායාද කළ යුත්තේ වඩාත් හොඳ ගතිගුණ සමගයි. වෛරය නොව දයාව දරුවන්ට උගන්වන්න. මේ දිනවල වුනත් අනෙකාට වෛරයට වඩා දයාවෙන් සැලකීමට කියා දෙන්න. ඒ හැර අනෙකාට වෛර කිරීමේ බීජ වපුරන්න එපා. පසුගිය පාස්කු ඉරිදා සිදුවීම ගැන මහනුවර සියඹලාගස්තැන්න කතෝලික පල්ලියේ හෝක ප්‍රකාශ බැනරයේ වෙනත් ස්ථානයන්හි මෙන් කෘර, ම්ලේච්ඡ, අධම වැනි විශේෂණ පද නොවීය. තම සහෝදර අගමිකයන්ගේ වියෝවය වෙනුවෙන් වූ සටහන මෙසේය.

ස්වාමින්වහන්සේ දුන් සේක…ස්වාමින්වහන්සේ ගත් සේක..අපගේ සාතිශය ශෝකය..

මෙහි වෛරයේ ගිනිසිලු කිසිත් නැත. අපි දරුවන්ටත් විවිධ ජනවාර්ගිකයින් සමග ජිවත්වීමේදී වෛරය වෙනුවට දයාවෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ කලාව  පෙන්වා දීම ඉතාම වැදගත්.

සමාව දෙන්න පුරුදු කරන්න..

විශාල වරදක් කර සමාව ඉල්ලීම සාධාරණ නොවන බවට දැන් මත ගොඩ නැගුනත් දරුවන්ගේ මනසට එවන් සිතුවිලි වෙනුවට ඇවැසි තැන සමාව දීමේ ගුණය පුරුදු කරන්න.අපිටත් කවදා හෝ දිනක වැරදීමට හැකි බවත් අමතක කරන්න එපා. එදාට අපිත් කාගේ හෝ හව්හරණක් වෙනුවෙන් සහය පතනු ඇත. දැන් සිදු වූ ව්‍යසනය සිදුවී අවසාන නමුත් හෙට දවස බාරගන්නා දරුවන්ට සහජීවනයෙන් ජීවත්වෙන කලාව ඉගැන්වීම අවශ්‍ය වෙනවා. එය එක් පැත්තකින් පමණක් කිරීමට නොහැකියි. එය හැම අම්මා කෙනෙක් හැම තාත්තා කෙනෙක් විසින් තමාගේ දරුවන්ට කියා දිය යුතු පාඩමයි.

කිසිම කෙනෙක් පීඩාවට පත් කරන්න එපා..

අද පංතියේ පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා පවතින බියගැන්වීම, වධ දීම, මානසිකව බිද දැමීම වැනි  අප්‍රසන්න කටයුතු සමාජගත රැල්ලක්ව පවතී. ඒ නිසා පුංචි වයසේ පටන්ම තම සමවයස් කණ්ඩාමෙන් පවා එල්ල වෙන විවිධ අකටයුතුකම් නිසා දරුවන් මහත් පීඩනයට පත්ව සිටිති. ඒ නිසාම එහි ප්‍රතිචාර හෙට දවසේ සමාජයට ලැබෙන්නේ පලිගැනීම් ලෙසින්ය. ඒ නිසා නිතරම දරුවන්ට තවත් අයෙක් බියවැද්දීම, හිරිහැර කිරීම වැනි කටයුතු නොගැලපෙන බැව් තරයේ පහදා දෙන්න. සමාජගතව සිටින්නේ මිතුරන් මිස කිසිදු තරාතිරමක් දරුවන් ලෙසින් ඔවුන් අතර නොමැති බැව් පහදා දීම දෙමව්පිය ගුණයකි. එවිට හෙට දවසේ සමාජගත වෙන පරම්පරාවටවත් සහනයෙන් ජීවත්වීමට ඇවැසි පරිසරයක් නිර්මානය වෙනු ඇති.

ධනාත්මකව හිතන්න..

දරුවන්ට බාලකාලයේ පටන්ම ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ…කියනු වෙනුවට අපි නැවත නැගී සිටිය යුතුය යන ධනාත්මක බව හිතේ ආරෝපණය කිරීමට උනන්දු වෙන්න. ආයේ නම් ඉතින් අපිට ආත්මයක් නැතැයි දරුවන් ඉදිරියේ කීම වෙනුවට හෙට දවස යහපත් වේවි යන සංකල්පනාවෙන් ඔවුන් සවිබල ගන්වන්න.

පොඩ්ඩක් දන්න එක මුකුත් නොදන්නවාට වඩා භයානකයි කියලා කියනවා නේද?

සියත රේඩියෝවේ ”රෑ දහයයි ගී දහය” ඔබත් අහනවා ඇති. මමත් නොවරදවාම අහනවා. බොහොම ආදරණීය ගීත ගොන්නක් පැයක් ඇතුළත ලස්සනට කැටි වෙන්නේ ගීත තෝරන කෙනාගේ සුන්දර අත්දැකීම් හෝ රසවින්දන හැකියාවත් එක්ක. මේ මෑත දවසක මේ වැඩසටහනට සම්බන්ධ වුණා මගේ සරසවි මිතුරෙක්, මාලක වැලිගොඩපොල. බොහොම දක්ෂ රචකයෙක්, ජායාරුප ශිල්පියෙක්. හැමදේටම වඩා කතාවට බොහොම දක්ෂයෙක්. ඉතින් එදත් රෑ දහයයි ගී දහය බොහොම රසවත්. ඒ වැඩසටහනේ මගේ හිතට තදින්ම කා වැදුණු එක තැනක් තිබුණා. සුනිල් එදිරිසිංහයන්ගේ ”ඉස්සර මං ගිය පාසල ඇරිලා” ගීතය ඔහු තේරුවේ ඒ කතාවේ ඉන්න පුංචි දරුවා ඔහුගේ පුතා විදියට ඔහුට දැනිල තිබුණු නිසයි. ඔහු ඒ ගීතය තෝරද්දී ”අමූලික ඇත්ත” කතාවකුත් කිව්වා.

”මම දරු දෙදෙනෙක්ගේ පියෙක්. මගේ එක පුතෙක් බොහොම දඟකාරයි. අනිත් පුතා ඊට හාත්පසින්ම වෙනස්. ඔහු කටේ ඇඟිල්ලක් ගහගෙන ඔහේ බලාගෙන ඉන්න විදියේ චරිතයක්. දෙන්නට දෙන්නා හාත්පසින්ම වෙනස්. දැන් දැන් අපේ රටේ තියෙනවනේ දරුවෝ දිහා බලලා මෙයා හයිපරැක්ටිව් දරුවෙක්, මෙයා ඔටිසම් දරුවෙක් කියලා නිකන්ම නිගමනය කරන තත්ත්වයක්. අද වෙනකොට දරුවෙක්ව ලෙඩ රෝගවලින් විස්තර කරන්න පුරුදු වෙච්ච පරම්පරාවක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒක නම් හරි කරුමයක්

මේ කතාව කිව්වේ මුකුත් නිසා නෙවෙයි. අද වෙනකොට දන්න අයටත් නොදන්නා අයටත් වඩා වැඩියෙන් ඉන්නේ හැමදේම ගැන ටිකක් දන්න අය. ඉතින් මේ තත්ත්වෙත් එක්ක අපේ වටපිටාව ටිකක් විතර භයානකයි. මොකද අපි දැනුවත් වෙන්නේ හරි තොරතුරක් ඇතිව නොවන නිසා.  දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් උනත්, දරුවෙක් ලැබුණු අම්මා කෙනෙක් වුනත්, දරුවෙක් ගැන වුනත්, වැඩිහිටියෙක් ගැන වුනත් මේ විදියට ක්‍ෂණික තීරණ අරගෙන තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අද වෙද්දී අපේ වටපිටාව පසුබට නොවෙන්නේ තමන් හැමදේම දන්නවා කියන අදහස නිසා. ඇත්තටම කිව්වොත් අද වෙද්දී කිසිම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වුර්තිමය පළපුරුද්ද හෝ සුදුසුකම් සහිත පුද්ගලයන් අවශ්‍ය නැති තත්ත්වයක් ඇතිවෙලා. සමාජ මාධ්‍ය හරහා ඒ තරමටම සමාජය දැනුවත් වෙනවා. කිසිදු බියකින් තොරව තමන් දන්නා දේ හරි හෝ වැරදි වේවා පිරිස අතර බෙදා හරිමින් විශ්වසනීයත්වයෙන් තොර දැනුවත් කිරීම් ඇතැම් විට තවත් අයෙකුගේ ජිවිතයට තර්ජනයක් වෙන්න වුනත් බැරි නැහැ.

තමන් ලබපු අත්දැකීම් එක්ක වෛරය වපුරන්නත්, තව කෙනෙක් ලබන ආදර සැලකිල්ලක් දැක්කම ඒකට ඊර්ශියා කරන්නත් හෙළා දකින්නත් පසුබට වෙන්නේ නැත්තේ එක අතකින් තමාට හැර ආදරණීය අත්දැකීම් අනිත් අයට අකැප ලෙස සිතන නිසා හෝ ආදරණිය අත්දැකීම් තමාට නොලැබෙන නිසා හෝ විය හැකියි. අන්න ඒ නිසයි ”හබී මතම ඩිපෙන්ඩ් වෙන්න එපා” කියා ලියන අතම තමා දුන් උපදෙස් මාලාව මතකයේවත් නැතිව සැමියා නැතිව ගෙවන පැයක කාලය කොතරම් දිගුද කියා ලියන්නට නැවෙද්දී  ” ඔයාලට වගේ නෙවෙයි අනේ මට නම් එයා නැතිව බෑ” කියා පෙන්වන්නට දරන උත්සාහය අනෙක් කාන්තාවන් වටහා ගත යුතු වෙන්නේ. තමන්ගේ පවුල් ජිවිතය ගැන, දරුවන් ගැන කොටින්ම නිවසේ සිටින සුරතලා පිළිබඳව පවා ඉහළින් වර්ණනා කළත් තවත් හිතවතෙකුගේම හිත රිදවීමට දරුවෙකුගේ හෝ සැමියෙකුගේ අඩු පාඩු ගැන කතා කරන්න මෙවැනි පිරිස් පසුබට වෙන්නේ නැහැ. ”ඒක නම් මාර ෆැමිලි එකක්” කියා සිතමින් ඔවුන් වටේ රොක් වන බොහෝ දෙනෙක් නොදන්නා කරුණ වන්නේ සමාජය හදන්නට වෙහෙසෙන බව පෙන්වන වැඩි පිරිසක් තම පෞද්ගලික ජීවිතය තුළදී පිටතට ලබා දෙන උපදෙස් නම් සියයට දහයක්වත් පිළිනොපදින බවයි.

මෙවැනි චරිතයක යම් අඩුපාඩුවක් ඔබ පෙන්වා බලන්න, ඔබ ඔවුන්ව පිළිගත්තාක් මෙන් ඔබේ එක වචනයක් ඔවුන් පිළිගන්නවාද කියා. නැත. ඔබේ දරුවාගේ යම් තත්ත්වයක් ඔබ ඔවුන් සමග පවසා ඔවුන් දරුවාට ඔටිසම් බව තීරණය කළොත් වෛද්‍යවරුන් දහසක් නැත යැයි පැවසුවද ඔවුන් ඔබේ දරුවාට ඔටිසම් බවට ස්ථිරව නිගමනය  කරයි. අන්තිමේදී ඔවුන්ගේ දැනුවත් කිරීම් උපදෙස් මාලාවන් අවසන් වන්නේ ඔබවත් ඔටිසම් තත්ත්වයට පත් කරමිනි.

දරුවන්ගේ මානසික තත්ත්ව ගැන කිසි දැනුමක් තේරුමක් නැතත් මුහුණු පොතෙන් හෝ පුවත් පතකින් හෝ දකින දෙයක් අරඹයා යම් දරුවෙක් මානසික රෝගයකින් පෙළෙනවා කියන තැනට එනවා විතරක් නෙවෙයි බහුතරයක් ඒ පිළිබඳව දරුවා ඉදිරියේදීම ප්‍රකාශ කර සිටිනවා. නමුත් ඔබ වටහා ගත යුත්තේ එවන් පුද්ගලයින් වෙත ඔබේ දරුවා රැගෙන යාමෙන් වැළකීමයි. යම් ගැටලුවක් වේ නම් වෛද්‍ය උපදෙස් පැතීම මිස වටපිටාවෙන් හෝ මුහුණු පොතෙන් උපදෙස් පැතීම එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. එහි ප්‍රතිපලය වන්නේ ”අරයගෙ බබා ඔටිසම් අරයගෙ බබා හයිපරැක්ටිව්” කියා තැන් තැන්වල කතා වීම පමණි. ඒ, එතනින් එහා ඔවුන්ට කළ හැක්කක් නොමැති නිසා මිස ඔවුන්ගේ ඇති වෙනත් වරදක් නිසා නොවේ.

දරුවෙකුගේ එක් හැසිරීම් රටාවකින් ඒ දරුවා යම් මානසික ව්‍යාදියකින් පෙලෙන බව පවසන්න වෛද්‍යවරයෙකුට පවා අපහසු විය හැකි වුවත් අපේ සමාජයට නම් තමන්ගේ දරුවා හැර අනෙක් හැම දරුවෙක්ගේම අඩු පාඩු දහසක් රෝග දස දහසක් කල්තියා හඳුනා ගැනීමේ උපරිම හැකියාව හිමි වී ඇත. එක අතකින් බැලුවම අද වෙද්දී මිනිස්සුන්ට දැනුවත් වෙන්න තියෙන මාර්ග වැඩිද කියලා හිතීමේ වරදක්ද නැත. මොකද කෙනෙක් ලබන අත්දැකීමක් හැමටම පොදු එකම අත්දැකීම ලෙස සමාජයට බෙදා හැරීමෙන් එය කාගේත් හිත්වල සනිටුහන් වෙන්නේ ”පරම සත්‍යයක්” විදියට. ඒ කරුණුවල විශ්වසනීයත්වය, තමාට අදාලද නැද්ද යන වග කිසිවෙකුට වැදගත් නැහැ. මොකද අනවශ්‍ය තරමට සුන්දර වටපිටාවකට කැන්දන රචනාවලට ධ්‍යානයකට සම වැදී මෙන්  රොක් වෙන්න අද බොහෝ දෙනෙක් පුරුදු වී ඇත. ඒ වගේම පවතින රටාව හරි හෝ වැරදි වේවා අමුතු විදියට හිතල ඒවා පොදු මාධ්‍යයට බෙදා හරින අමුතු විදියේ චරිත වටා රොක් වෙන්න පටන් අරගෙන. තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන්නේ ”අමුලික අසත්‍යයක්” වුනත් ඔවුන් එයට ප්‍රතිචාර දක්වන්නේ සත්‍යයක් විදියට. මොකද එල්ල වෙන ප්‍රති ප්‍රහාරවලට බහුතරයක් බය නිසා. කොයි දේ කොහොම වුනත් අපේ පවුල, අපේ දරුවෝ කාටත් වගේම අපිටත් මේ මිහිපිට තිබෙන එකම සම්පත නිසාම නුවණින් අවබෝධයෙන් කටයුතු කරන්න. පොඩ්ඩක් දන්නා අය මුකුත් නොදන්නා අයට වඩා භායනක නිසාම හරියටම දන්න කෙනෙකුගෙන් ඔබට අවශ්‍ය දේ දැනගන්න.

රැකබලාගන්නා අන්දම අනුව දරුවාගේ හැසිරීම වෙනස් වෙයිද?

අද කාලයේ බොහෝ පවුල්වල අම්මා, තාත්තා දෙන්නම රැකියා කරනවා. ඒ නිසා ළදරු කාලයේ පටන්ම දරුවන් වෙනුවෙන් රැකවරණයක් ලබා දීමට ගැලපෙන කෙනෙක් පවුල් සංස්ථාවේ නැහැ. සමහර විට දරුවා යැපෙන්නේ අත්තම්මා, සීයා සමීපයේ, සේවිකාවක යටතේ හෝ මේ දෙකම නොමැති නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙන්න පුලුවන්. සමහර විට ආච්චි, සීයා සමග ගෙවන දරුවන්ට වඩා සේවිකාවක හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටින දරුවන්ගේ වෙහෙසකර තත්වය වැඩි වෙන්න පුලුවනි.ඊට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • දරුවාට ආදරයක් නැහැ

අත්තම්මා සීයා නම් දරුවාට තමන්ගේ ලේ සුවඳ සමග වූ බැඳීමක් තිබෙනවා. ඒ නිසා ඔවුන් දරුවා බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා. ‘‘ටයිම් “ සගරාවේ සඳහන් අන්දමට දූ පුතුන්ගේ දරුවන් බලා ගැනීම නිසා අත්තම්මලා , සීයලා තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නොසලකා සිටීම නිසා ඔවුන්ට හෘදයාබාධ වැළඳීමට තිබෙන අවදානම 55% කින් ඉහළ ගොස් ඇති බව කාන්තාවන් 55,000 ක් අලලා සිදු කරන ලද සමීක්ෂණයකින් හදුනාගෙන තිබෙනවා. ඔවුන් තමන්ගේ දිවි දෙවැනි කොට මුනුපුරන් රැක්කත් ඒ ආශිර්වාදය නැති වගේම අත්තම්මලා සීයලා සෙවනේ වුනත් දරුවාගේ මානසිකත්වය තේරුම් නොගතහොත් ඇති විය හැකි අවදානම බොහොම බරපතලයි.

ඒ නිසා දරුවන්ගේ හිතේ අම්මාට තාත්තාට කියනන්ට නොහැකිව හිර කර ගෙන සිටින සිතුවිලි නිසා ඔවුන් නොදැනීම මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

දරුවන්ට අඩන්තේට්ටම්..

සේවිකාවක යටතේ නිවසේ හුදෙකලාව හැදෙන වැඩෙන දරුවන් බොහෝ විට ඔවුන්ගේ අඩන්තේට්ටම්වලට පත් වෙනවා. සේවිකාවන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට අවශ්‍ය විදිහට දරුවා හසුරුවා ගන්නවා. ඒ නිසා දරුවාට නිදහසේ හැසිරෙන්න බැහැ.සමහර අවස්ථාවල දරුවා නිදි කරවීමට ‘‘පෙරිටන්“ වැනි සිරප් වර්ග පවා ලබා දුන් අවස්ථා ගැන වාර්තා වෙනවා. ඒ වගේම මව සහ පියා කාර්යාලයට ගියාට පසුව නිවසේ දරුවාද සමග නගරයට ගොස් සිඟමන් යැදි සේවිකාවන් ගැනත් තොරතුරු තිබෙනවා. ඒ නිසා මෙහෙකාරියන් යටතේ සිටින දරුවන්ගේ ගැන දෙමව්පියන් නිතරම අවදියෙන් සිටීම ඉතාම වැදගත්.

ලිංගික අපයෝජනබොහෝ අවස්ථාවන්හිදී මෙහෙකරැවන් විසින් දරුවන් ලිංගිකව අපයෝජනය කළ අවස්තා ගැනත් වාර්තා තිබෙන නිසා එහෙමදේවල් සිදු වීමට ඉඩක් නැත්තේමත් නැහැ.

  • අධ්‍යාපන කටයුතු ගැන බලන්න කෙනෙක් නැහැ…

දැනුම් තේරුම් ඇති අත්තම්මලා නම් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවා සේම මුනුපුරන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් විපරම් කරනවා. ඒ අවිදිහට නොබලන පරිසරයකදී නම් දරුවා පංතියේ පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවනි. ඔවුන්ට බාල කාලයේදි ඉගෙනුමට උදව්වක් නොලැබුනොත් දැන් පවතින තරඟය සමග ඉදිරියට යෑම අපහසුයි. ඒ නිසා පසුදිනට තිබෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය අතිරේක ඉගෙනුම් ද්‍රව්‍ය, පාඩම්, දැනුම් ද්‍රව්‍ය සොයා ගෙන එක්රැස් කර දෙන කෙනෙක් නැති වෙන්න පුලුවනි. රෑ බෝ වී නිවසට එන අම්මාට ,තාත්තාට මේ වෙනුවෙන් කාලයක් නොමැති නිසා දරුවාගේ ඉගෙනුම නොදැනීම පසුගාමී වීම සාමාන්‍ය දෙයක්.

  • මිතුරන් සමග නොමනා ඇසුර

දරුවන් නොදැනීම අත්වැල ලිහී ගිය තත්වයට පත් වුනොත් ඔවුන් කුමන හෝ විකල්ප විනෝදයන් සහ ඇසුරු ගොඩ නගා ගන්නවා. පාසල ඇරී කලට වේලාවට නිවසට නොපැමිනීමෙන්  පටන් ගන්නා මේ තත්වය නොදැනීම ඉතා දරුණු තත්වයට පත් වෙන්න පුලුවනි. බාල කාලයට වඩා මේ තත්වය ඇති වෙන්නේ නව යොවුන්වියේදීයි. එවිට දරුවා නිවසේ හුදෙකලාව රැඳෙන පරිසරයක් ගොඩ නැගී තිබෙනවා. හවස් කාලයම ඔහු ගැන සොයන විමසන කෙනෙක් නොමැති නිසා තමාගේම ලෝකයක අතරමං වීම නිසා මේ අන්දමේ පරිසරයක් ගොඩ නරක මිතුරන් සමග ඇසුරට ඉතාම පහසුවෙන් යොමු වීමට පුලුවනි.

  • දරුවා මුරණ්ඩු වෙන්න ඉඩ තිබෙනවා..

ආච්චි, සීයා යටතේ හැදෙන දරුවන් නිතරම ඔවුන් මට්ටු කර ගෙන තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ උපයා ගන්න තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ දරුවන් තුළ නිතරම ඇත්තේ මුරන්ඩු ස්වරූපයක්. ඔවුන් දෙමව්පියන්ටත් මෙල්ල නොවන තතත්වයට පත් වෙන්න පුලුවනි. ඒ වගේම දිවා සුරුකුම් මධ්‍යස්ථානයක එහෙම නැත්නම් සේවිකාවක යටතේ හැදෙන දරුවන්ට හිතේ සිරවී තිබෙන ආවේග මුදා හරින්න අවස්ථාවක් ලැබෙන්නේ දෙමව්පියන් ඉදිරියේදියි. ඒ නිසා දරුවන් තුළ පමණට වඩා මුරණ්ඩු ගති පැවැතුම් වගේම ආවේගශීලී හැසිරීම් රටාවන් ගොඩ නැගෙන්නත් පුලුවනි.

මේ සියල්ල ඇත්ත වුනත් දරුවයි, රැකියාවයි දෙකම එපායැ.  ඒ නිසා රැකියාවක නිතර දෙමව්පියන් තමන්ගේ දරුවා ගෙන අවධානය දක්වන්න ඕන. එහෙනම් නිවසට පැමිණි පසුව දරුවාගෙන් දවසේ ආගිය තොරතුරු ටිකක් අහන්න. කාර්යාලයේ සිටියත් දුරකථනයෙන් හෝ අමතන්න. නිවසට පැමිනීමට පෙරාතුව ඔහුට හෙට දිනයට අවශ්‍ය යමක් තිබෙනවාදැයි විමසා සිටින්න. ඒ වගේම දරුවා ඇසුරු කරන මිතුරන් ගැන ඔබත් දැගෙන සිටින්න.

ටයිම් සඟරාව ඇසුරිනි

විටමින් C පවුලටම ආරක්ෂාවට

පැටව් විටමින් C පෙති කන්න හරිම හපන්නු. එයින් දිවට දැනෙන මිහිරි රසයට ඔවුන් බොහොම ප්‍රියයි. විටමින් C මුත්‍රා මගින් පිටවෙන නිසා පොඩි අයට ඒ තරම් ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒත් කරල් පෙති මත යැපෙන්නේ නැතුව ආහාර මගින් විටමින් C උපයා ගැනීමට අපට තිබෙන අවස්ථාවන් අමතක කරන්න එපා.

හැබැයි ඔබට විටමින් C ගැන බොහොම හොඳ දැනුමක් තිබෙනවා. උදාහරණයක් විදිහට විටමින් C අන්තර්ගත පලතුරු මොනවාදැයි ඇහුවොත් දෙහි, දොඩම්, නාරං යන ලැයිස්තුවක්ම ඉදිරිපත් කරාවි. ඒ සියල්ලම ඇත්ත. නමුත් ඔබ විටමින් C මගින් පොඩි පැටියාට ලබා දෙන්න පුළුවන් නිරෝගීතාවයේ අත්වැල ගැනත් දැන සිටියොත් හොදයි..

විටමින් C ප්‍රතිශ්‍යාවට ගුණයි. මේ ගැන පුංචි පැටව් හොඳින්ම දන්නා නිසා ඔවුන් බොරුවටත් විටමින් C ඉල්ලා සිටින බව ඔබත් දන්නවා නේ. ඒක ඇත්ත. දැනට පවත්වා ඇති අධ්‍යයනයන් මගින් හඳුනා ගත් අන්දමට රෝග ලක්ෂණ පහළ වූ සැනින්ම දිනකට විටමින් C මිලිග්‍රෑම් 1000 සිට 6000 ක් අතර මාත්‍රාවක් ගත්තොත් ප්‍රතිශ්‍යාව පවතින කාලය 21% කින් අඩුකර ගැනීමට හැකියාවක් තිබෙනවා.

තුවාල සුව වෙන්න…

තුවාල ගැන නම් ඉතින් කියල අවසානයක් නැහැ. පාසල් යන වයසේදී විතරක් නොවෙයි, ළදරුපාසල් යන්න පටන්ගත් තැන පටන්ම ඔන්න වැටිලා, හීරිලා තුවාල ඉවරයක් නැහැ. සමහර විට මේ තුවාල පැසවලා පුංචි පැටියාට ලොකු වේදනාවක් වගේම අපහසුතාවයක් ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා මේ නිසා විටමින් C ගැන වැඩි අවධානයක් දක්වන්න පුළුවනි. විටමින් C වල තුවාල සුවපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ මෙහෙමයි. විටමින් C මගින් සියුම් රුධිර නහර ශක්තිමත් කරනවා. ඒ නිසා පැසවීමේ ක්‍රියාවලියට අවස්ථාවක් නොදී තුවාලය ඉක්මනින් සුවපත් කරනවා. ඒ නිසා කෙළවරක් නැතුව තුවාල කර ගන්නා පැටියාගේ තුවාල ඉක්මනින් සුවපත් කර ගැනීමට නම් විටමින් C වටිනා මෙහෙයක් ඉටු කරනවා.

විදුරුමස් රෝග..

”දත් කැකුළු පාලා” කිව්වට අද පුංචි පැටියන්ගේ දත් රෝග ගැන වාර්තාවන් බොහොමයක් ලැබෙනවා. කැකුළු දත් ආරක්ෂා කර ගත්තේ නැත්නම් එයින් ඇති වෙන ප්‍රතිඵල අනාගතයට බලපානවා. ලස්සන දත් දෙපෙලක් අහිමි වුනාම සමාජයේදී ඇති වෙන විවිධ ප්‍රශ්න නිසා දරුවා අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා දත් ආරක්ෂා කර ගැනීමට නම් පුංචි පැටියාගේ විදුරුමස් ගැනත් දෙමව්පියන්ගේ අවධානය වැඩිපුර යොමු කළ යුතුයි. ඒ නිසා විදුරුමස ආරක්ෂාවට විටමින් C අඩංගු අහාර වගේම විටමින් C කුඩු කර ගෙන ඒ කුඩුවලින් විදුරුමස මැදීමත් හොඳයි. ඔන්න අම්මලාට ඉතිං පුංචි පැටියාගේ විදුරුමස මදින්න විටමින් C පෙත්තක් සහය ලබා ගන්න පුළුවනි

කොලස්ටරෝල්…

”අනේ මේ කිරි දරුවන්ට කොහෙද කොලස්ටරෝල්…” ඔබ එහෙම හිතනවා නම් වැරදියි. අද දරුවන්ට ලැබෙන ආහාර වගේම ඔවුන්ගේ අලස සහ කිසිම ක්‍රියාකාරීත්වයක්, ක්‍රියාශීලීත්වයක් නැති ජීවිත නිසා කොලස්ටරෝල් ඇති වෙන අවදානම වයස අවුරුදු දහ දොළහ වෙද්දී වුනත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු දහයක් වෙද්දී කොලස්ටරෝල් ඇති වෙනවා කියන එක හෙම නොවෙයි. අපේ ජීවන රටාව නිසා බොහොම ඉක්මනින්ම කොලස්ටරෝල් වැලඳෙන අවදානම තිබෙනවා කියන එකයි.

විටමින් C කොහොමද විසඳුම් දෙන්නේ…

හදවත් රෝග වෙනුවෙන් එල්.ඩී. එල් හෙවත් අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම බොහොම ඉහළයි. ඒ වුනත් විටමින් C මගින් එල්.ඩී. එල් හෙවත් අහිතකර කොලස්ටරෝල් සඳහා ලබා දෙන ඔක්සිකරණ ආරක්ෂාව නිසා මේ තත්ත්වයෙන් අහිතකර බලපෑම් ඇති කරන්නේ නැහැ. කොලස්ටරෝල්වලත් හිතකර හෙවත් එච්. ඩී. එල් යනුවෙන් හැදින්වෙන විශේෂයකුත් තිබෙනවා. විටමින් C මගින් මේ හිතකර කොලස්ටරෝල් මටට්ම හිතකර විදිහටම තබා ගෙන හදවත් රෝගවලින් ආරක්ෂාවට වඩාත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

පිළිකා

”පිළිකාවට වයසක් ඇත්තේ නැහැ. අද මට නම් හෙට ඔබට” කියන තරමටම පිළිකා රෝගයේ ගොදුරක් වීමේ අවස්තාව කොතැනද කියල නැහැ. නමුත් විටමින් C ඔක්සිකාරකයක් විදිහට කටයුතු කරන නිසා නිදහස් ඛණ්ඩ හෙවත් free radicals මගින් සිදු වෙන හානියෙන් ඔබේ දරුවා විතරක් නොවෙයි, පවුලම ආරක්ෂා වෙනවා.

Reader’s digest

එක රැයකින් දරුවට හොඳ දේ පුරුදු කරන්න පුළුවන්ද?

මොනතරම් ගුණ වුනත්, රස වුනත්, වැදගත් වුනත් දරුවන්ට ඒවායේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. වටිනාකම අපි කියල දුන්නත් ඔවුන් ඒවා පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න තරම් පැසුණු බුද්ධියකින් යුක්තත් නැහැ. අපි පමණට වඩා පෙරැත්ත කලොත් මොන විදිහටවත් ඒ වෙනුවෙන් දරුවා යොමු කිරීමත් අපහසුයි.

අද බොහෝ ළමා මනෝවිද්‍යාඥයින් සඳහන් කරන අන්දමට දරුවාට යම් යම් තෑගි දෙන බවට පොරොන්දු වෙලා ඔවුන්ගෙන් විවිධ කාර්යන් කර ගැනීම එතරම් හොඳ නැහැ. එවිට දරුවන් හිතන්නේ මේ විදිහට බලපෑම් කරන්නේ එහි කුමන හෝ අඩුවක් ඇති නිසාම වෙන්නැති බවයි. ඒ නිසා සමහර විට ඔවුන් තෑග්ග දුන්නත් එය ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. එහෙම නැත්නම් නැවතත් තෑග්ගක් දෙනවා කියන වචනය දෙමව්පියන්ගෙන් නික්මෙන තුරු අදාල කටයුත්ත නොකර සිටින්නත් පුලුවන් බව ලන්ඩන් යුනිවසිටි කොලිජියේ මහාචාර්ය ”ජේන් වෝඩල්” සඳහන් කරනවා. එහෙම නම් අපි හොඳ දේ දරුවාට පුරුදු කරන්නේ කොහොමද…?

  • එක රැයකින් නම් බැහැ…

දරුවාට හොඳ දේවල් පුරුදු කිරීම එක රැයකින් කරන්න බැහැ. ඒවා දැනුම් තේරුම යාන්තමින් ලැබෙන දා පටන්ම සිදු විය යුතුයි. උදාහරණයක් විදිහට අපි දරුවන්ට පුංචි කාලයේ ඔවුන්ගේ කිරිවලට සීනි නොදමා දුන්නොත් ඔවුන් පසුකාලයේදී සීනි රස ඉල්ලමින් කලබල කරන්නේ නැහැ. ඒ ඇයි කිව්වොත් ඔවුන්ගේ දිව සීනි රසය දන්නේ නැහැ. අන්න ඒ වගේ හොද දේවල් දරුවාට බාල කාලයේ පටන්ම හුරු කිරීම වැදගත්. බෙදා හදා ගැනීම වැනි දේ පුංචි කාලයේදී දරුවාට ප්‍රායෝගිකව වටහා ගැනීමට ඉඩ නොදී පසුකාලයකදී ”අනේ දරුවා බෙදා හදා ගෙන කරන්න ඉගෙන ගන්න” කීවාට එය නිෂ්ඵල කාර්යක් වෙනවා.

  • අලුත් විදිහට පටන් ගන්න..

දරුවන් නිතරම අලුත් වෙන්න කැමැතියි. ඒ වගේම අලුත් අත්දැකීම් ලබනන් කැමැතියි. ඒ නිසා හොඳ දේ මෙයයි…නරක දේ මෙයයි…කියනවාට වඩා ඒවා අලුත් විදිහට දරුවාට දිශාගත කලොත් වඩාත් වැදගත් වේවි. ලන්ඩන් විශ්වවිද්‍යාල ආයතනයේ සිදු කළ පර්යේෂණ වාර්තාවක දැක්වෙන අන්දමට වයස අවුරුදු පහක් පමණ වයසේ පසුවෙන දරුවන් සෞඛ්‍යට හිතරක ආහාර දුටු පමනින්ම ඒවා රසයෙන් අඩු බව සලකා ප්‍රතික්ශේප කරන්න බොහොම හපන්නු. අන්න ඒ වගේම දරුවන් නිතරම හොද දේ ප්‍රතික්ශේප කරනවා වගේම නරක දෙයට යොමු වෙන වේගය වැඩියි. ඒ නිසා දරුවාට වඩාත් අගය කළ යුතු දේවල් අලුත් විදිහට ලබා දුන්නොත් ඔවුන් ඒවා අනුගමනයට දක්වන කැමැත්ත වැඩි වෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට උදේ පටන් හවස් වෙනතෙක් ”අනේ පිළිවෙළට වැඩක් කරන්න” කියනවාට වඩා පිළිවෙළකට තිබෙන ඡායාරූප, ඒ වගේ දරුවන් ගැන තොරතුරු අසන්න, දකින්න ලැබුනොත් දරුවා නොදැනීම පිළිවෙළට යොමු වෙන්න පුලුවනි.

  • දරුවන් අගය කරන්න

පුංචි වුනත් තමන් අගය කරනවාට දරුවන් කැමැතියි. ඒ සාමාන්‍ය මිනිස් ස්වභාවය. දරුවන් වෙතින් වුනත් මේ තත්වය වෙනස් වෙන්නේ නැහැ. තමන් කරන නරක දෙයට දොස් නගනවාට වඩා පුංචි වුනත් කරන හොද දෙයට ඇගයීමක් ලබා දෙනවා නම් දරුවන් බොහොම කැමැතියි. අපි නිතරම දරුවා යම් නොකළ යුතු දෙයක් කලොත් ඒ වෙනුවෙන් දොස් නගන්න නම් බොහොම කැමැතියි. සමහර විට ඒ තත්වය සීමාව ඉක්මවා යන තරම්ම දරුණුයි. නමුත් හොඳ දෙය වෙනුවෙන් ඒ තත්වය ඇති වෙන්නේ නැහැ.ඉතින් ඒ නිසා දරුවා පුංචි වුනත් හොඳ දෙයක් කලොත් ඒ වෙනුවෙන් ඔවුන් අගය කරන්න. ඒ ඇගයීම නැති වුනොත් දරුවාට තව තවත් හොඳ දේවල් කිරීමට එතරම් උත්තේජනයක් ඔවුන්ගේ හදවතින්ම ගොඩ නැගෙන්නේ නැහැ.

  • අවවාදයට වඩා ආදර්ශය උතුම්

ඒක ඉතින් අමුත්තක් නොවෙයිනේ.. අර කතාවට කියන්නා වගේ ඔබ හරහට ගොසින් දරුවා කෙලින් යන්න කිව්වාට වැඩක් තියෙනවායැ. ඒ නිසා කාලය පිරිමහින, අනුන්ට උදව් කරන, බෙදා හදා ගෙන වැඩ කරන කටයුතු ගැන ඔබ ආදර්ශයෙන් පෙන්නුම් කලොත් දරුවාත් නොදැනීම ඔබව අනුගමනය කරාවි. එහෙම වුනාම වචන දහස් ගණනකින් ඔබ දරුවාට ලබා දෙන අවවාදවලට වඩා මේ ආදර්ශය උතුම් වෙන්න පුළුවනි. එහෙම නැතුව ඔබ වැරැදි විදිහට කටයුතු කරමින් ”අනේ දරුවා තවත් කෙනෙකුට උදව්වක් වෙන්න පුරුදු වෙන්න” කියද්දී  ”හරි…මට කියන්න අම්මා…තාත්තා කාටවත් උදව් කරනවාද….?” මේ විදිහට ඇහුවොත් ඇත්තටම ඔබ නිරුත්තරයි නේද….?

ටෙලිග්‍රාප් පුවත් ඇසුරිනි

අඬන්න…සිනාවෙන්න…සින්දු කියන්න….. අවසර දෙන්න

ඇඬීම සහ සිනාසීම සිද්ධ වෙන්නේ මොළයේ එකම කොටසකින්. සිනාසීම ගැන නම් අපි බොහොම හොඳ ප්‍රතිචාර දැක්වුවත් ඇඬීම ගැන ඒ තරම් සුබවාදී අදහසක් අපි තුළ නැහැ. ඒ නිසා දරුවන් වුනත් සිනාසී සිටින විට අපේ දෙමව්පියන්ගේ හිතේ ඇති වෙන සතුට ඔවුන් අඬන විට කොහෙත්ම ඇති වෙන්නේ නැහැ.

ඒත් දරුවන් අඬන විට ඔවුන්ගේ චිත්තවේග පිටවෙනවා. මෙය ඉතා යහපත් තත්ත්වයක් බැව් ලෙරිඩාහි ස්නායු විශේෂඥ ජොඩී ඩි ලුකා සඳහන් කරනවා. කඳුළුවලින් දරුවාගේ ආතතිය දුරු වෙනවා වගේම අපේ අවධානයත් දරුවාට ඇති වෙනවා. දරුවා අඬන විට දෙමව්පියන්ට ඔවුන්ගේ චිත්තවේග හඳුනා ගන්න පුළුවන්. එතැනින් පසුව දරුවා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් වගේම දරුවාගේ අවශ්‍යතාවය ඉෂ්ට වීමටත් ඇඬීම බලපානවා. ඇඬීමත් ජානවලින්ම අපට උරුම වුන දෙයක් නිසා එය වළක්වන්න එපා. සමහර දෙමව්පියන් ”වහගනන්වා කට…හ්ම් කියන්නේ නෑ…” කියමින් ඇඬිම වැළක්වීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ වගේම ඕන දෙයටත් ..එපා දෙයටත් කිසිම වෙනසක් නැතුව නිතරම ඇඬියාවෙන් ඉන්න දරුවෙක් ගැනත් ටිකක් විමසිල්ලෙන් ඉන්න. සමහර විට නිකරුනේ අඩන දරුවන්ට කුමන හෝ මානසික ගැටුමක් තියෙන්නත් පුළුවන්.

සිනාව සතුට සමග බද්ධව තිබෙන බොහොම සුබවාදී දෙයක්. දරුවෙක් සිනාසෙන විට දෙමව්පියන්ට ඇති වෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. සිනාසෙන විට අපේ සිරුරේ ඇති වෙන වෙනස්කම් ඉතා යහපත් පරිදි අපේ නිරෝගිතාවයට බලපානවා.

ඉස්සර කාලයේ වැඩිහිටියන් ළදරුවන් නිතරම සිනා ගන්වන්න උත්සාහ ගත්තා. සමහර විට කුචු කවන්න, එහෙම නැත්නම් දරුවාට සිනා නැගෙන විවිධ ශබ්ද , එහෙම නැත්නම් ඉරියව් මේ විවිධ විදිහට ඔවුන් දරුවන් සිනා ගන්වන්න නිතරම උත්සාහ කළා. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විලියම් ෆ්‍රයි සඳහන් කරන අන්දමට සිරුරේ රුධිර සංසරණය වේගවත් වුනාම උදරයේ මාංශපේශින් හැකිලෙනවා. සියවාරයක් සිනාසෙන  විට විනාඩි දහයක් ව්‍යායාමයක නිරත වීමෙන් ලබා ගත් ප්‍රතිඵල ලැබෙන බැව් පෙන්වා දෙනවා.

සිනාව ආතතිය ජයගැනීමට මගක් බව සඳහන් කරන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ලී බර්ක් කියන්නේ විකට කාටුන් බලන විට සිනාසීම පවා  ආතති හෝමෝන අඩු කිරීමට හේතු වෙන බවයි. මේ තත්ත්වය හරියට හදවත් රෝගීන්ගේ රෝග තත්වයට ”බිටා බ්ලොකර්ස්” කාණ්ඩයේ ඖෂධ ලබා දීමට සමාන බවයි. එම ඖෂධ මගින් හදවතට රුධිරය සැපයීමේ ඇති අවහිරතාවයන්ට පිළියම් සලසන්නේ යම් සේද, සිනාසීම නිසාත් රුධිර සංසරණය යහපත් තත්ත්වයට ඉතාම පහසුවෙන් පත් කර ගැනීමට හැකියාව තිබෙන බැව් ඔහුගේ අදහසයි.

මේ වෙනුවෙන් ඔවුන් ලබා ගත් එක් අත්දැකිමකි මේ…

එස්ටින් යැබ්රාගේ වයස අවුරුදු 13 යි. හදිසියේ ඇති වුන අසනීප තත්වයක් වෙනුවෙන් ඔහුට ශල්‍ය කර්මයක් සිදු කිරීමට වුණා. ශල්‍ය කර්මයෙන් පසුව සිහිය ලැබෙන විට වේදනාව ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මේ පුංචි දරුවාටත් වේදනාව ඇති වෙන බව දැන සිටි නිසා සිනහව පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ බිල් මැක්ස් දරුවාගේ ඇඳ අසලට වී විහිළු කතා කියමින් සිටියා. බිල්ගේ විහිළු කතාවලට සිනාසෙමින් සිටි නිසා තමාට කිසිම වේදනාවක් දැනුනේ නැති බැව් එස්ටින් යැබ්රා සඳහන් කළේ ”ඇත්තටම සිනාව විස්මිත ඔසුවක්…. මට එය අත්දැකීමෙන්ම දැනුනා…” යනුවෙන් සදහන් කරමින්ය.

ඒ වගේම දරුවන්ට කටේ හිරි ඇරලා සින්දු කියන්න අවසර දීමත් ඉතාම වැදගත්. සින්දු කීම මගින් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ ඇති ප්‍රතිදේහ ක්‍රියාකරන ඉමියුනෝගොබ්ලින් සහ ප්‍රති-ආතති හෝමෝන ඉහළ යනවා. වෙන දෙයක් තබා දේව මෙහෙයක් වෙනුවෙන් සිදුවෙන පුහුණු කාලයක වුනත් මේ තත්ත්වය දැක ගත හැකි බව ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් විශ්ව විද්‍යාලයේ ගුවෙන්ත බැස්ටියන් විසින් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව පාදක කර ගෙන කියා සිටිනවා. මේ වාර්තාව බිහේවියල් මෙඩිසන් වෛද්‍ය සඟරාව මගින් ප්‍රකාශිතව තිබෙනවා.

රීඩර්ස් ඩයජස්ට්

නිරෝගීව ඉන්න ආහාරයට ගත යුතු එළවළු සහ පලතුරු මෙන්න

”දවසකට එළවළු සහ පලතුරු පංගු පහක් ආහාරයට ගන්න” මේ  අවවාදය ගැන අපි හැම දෙනෙක්ම දන්නවා. ඒත් මේ එළවළු සහ පලතුරුවලින් ලැබෙන ආරක්ෂාව ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්

ආහාරවලින් අපිට ලැබෙන ශාඛ රසායනයන් මගින් රෝගාබාධයන් වළක්වා ගන්න පුළුවනි. එහෙමනම් අපි ආහාරයට වැඩියෙන් එක් කර ගත යුතු ආහාර වර්ග මොනවාද…?

  • නිවිති

නිවිතවල අන්තර්ගත ”ලුටෙයින් (Lutein) සහ සෙක්සතින් (zexanthin)” ශාඛ රසායනයන්වල ස්වභාවයෙන්ම අන්තර්ගතව තිබෙන කොළ පැහැයෙන් ඇස් ආරක්ෂාවට මහත් පිටිවහලක් ලැබෙනවා. ඒ නිසා දිනකට එක් වේලකට හෝ නිවිති එක් කර ගැනීම වඩාත් හොදයි. දරුවන්ට වගේම නිවසේ සිටින වියපත් වැඩිහිටියන්ට වයස සමග ඇසේ ඇති වෙන අන්ධබාවයටත් (Macular Degeration ) නිවිතිවලින් ගුණ ලබා ගැනීමට පුළුවනි.

  • ගෝවා

ගෝවා කාණ්ඩයේ එළවළු වර්ග මගින් පෙනහලුවල නිරෝගී බව ආරක්ෂා කරනවා. ඒ නිසා දිනකට දෙවේලක්වත් ගෝවා එක් කර ගැනීම වඩාත් හොද බවයි ප්‍රකාශ වෙන්නේ. ගෝවා වර්ගයේ එළවළුවල ”ඉන්ඩෝල්,  කාබිනෝල්” වැනි රසායනයන් අන්තර්ගතයි. ඒ නිසා පියයුරු පිලිකා, ආමාශ සහ පෙනහලු පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. දැනටමත් නිව්යෝක් නගරයේ ”ස්ට්‍රේන්ජ්” පිළිකා මර්දන ආයතනය විසින් හඳුනා ගෙන ඇති අන්දමට ”කාබිනෝල්” රසායනයෙන් පිළිකාවට එරෙහි ශක්තිය පවතින නිසා ප්‍රති පිළිකා ඖෂධීය ගුණය ගෝවා කාණ්ඩයේ ආහාර මගින් උපයා ගැනීමට පුළුවන් බැව් පෙන්වා දෙනවා.

  • සුදුළූණු

අපේ දරුවන් නම් සුදුළූනුවලට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. එහි ඇති ගන්ධය ඔවුන්ට ප්‍රිය නැහැ. ඒත් අම්මා නම් කොහොම හෝ ව්‍යංජනවලට සුදුළූණු එකතු කරන්න අමතක කරන්නේ නැහැ. අම්මා හරි බව දරුවන්ට හිතෙන්නේ සුදුළූණු ගුණ දැගත්තාම තමයි.

ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ”මැන්ප්‍රෙඩ් කෝනර්” පෙන්වා දෙන අන්දමට සුදුළූණු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව වගේම පිළිකා සහ හදවතේ නිරෝගීතාවයටත් ඉතාම වැදගත්. Allium  කුලයට අයත් සුදුළූණු වල අන්තර්ගත ඇලිසින් (allicin) රසායනයෙන් කොලස්ටරෝල් මටට්ම හිතකර පරිදි පවත්වා ගත හැකි බැව් රසායනාගාර පරීක්ෂණ 16 කින් දැනට තහවුරු වී තිබෙනවා. දැන් ඉතින් දිනකට ගත යුතු මාත්‍රාව ගැන ගැටලුවක් ඇති. මේ පර්යේෂකයින් විසින් නිර්දේශ කරන්නේ දිනකට සුදුළූණු බික් කීපයක් පෙති ගසා හෝ පොඩිකර ආහාරයට ගැනීම ගුණ බවයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර උදවියට සුදුළූනු නිසා ගැස්ට්‍රයිටිස් තත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම අය අමුවෙන් නැතුව පිසන ලද ආහරවලට එකතු කර ගන්න උත්සාහ කළොත්…?

  • තක්කාලි

ස්වභාව ධර්මයෙන්ම අපුරු පැහැයක් ඇති තක්කාලිවල අන්තර්ගත ”ලයිකොපෙන්” ශාඛ රසායනය පෞරෂ ග්‍රන්ථි පිළිකාවට බොහෝ සෙයින් ගුණ බැව් තහවුරු වී තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් සතියකට තක්කාලි අඩංගු ආහාර වේල් දහයක්වත් ගැනීම බොහොම ගුණදායකයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා සංගමයේ සහ මෙම අධ්‍යයනයේ ප්‍රධානී ”එඩ්වඩ් ජිම්වනුසි” සඳහන් කරන්නේ තක්කාලි පෙනහලු සහ ආමාශ පිළිකාවන්ටත් ගුණදායක බවයි. ඒ අතර වසංගත රෝග පිළිබඳ විශේෂඥ  ලෙනෙරෙ ඇරබ් සහ කණ්ඩායම විසින් රටවල් දහයක් ඇසුරින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ තක්කාලි වැඩියෙන් ආහරයට ගන්නා පුද්ගලයන් අතර තක්කාලි ආහාරයට නොගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව හදවත් රෝග අවදානම අවම මටට්මක පැවැති බවයි.

  • මිදි

රතු මිදිවලින් ඇති වෙන ප්‍රසන්න වර්ණය හදවත් රෝගවලට ආශිර්වාදයක්. මිදි පොත්තේ ඇති ෆිනොලිකා (phenolics) රසායනයෙන් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් කරයි. ඒ නිසා දැන් වෛද්‍ය විද්‍යාවේ ඇති උද්‍යෝග පාඨය වන්නේ ”ඔබේ හදවත ආරක්ෂා කර ගැනීමට මත්පැන් පානයට  ඇබ්බැහි නොවන්න, ඒ වෙනුවට දම් මිදි හෝ රතු සහ කලු මිදි වැඩියෙන් ආහරයට ගන්න” ලෙසයි.

  • දෙහි කාණ්ඩයේ පළතුරු

දෙහි, දොඩම් කුලය ගැන වූ සඳහනත් සමග ඔබේ හිතේ ඇති වෙන්නේ විටමින් C බහුල පැඟිරි කුලයේ පළතුරුයි. මෙම පළතුරු මගින් Folate සහ තන්තු ලබා ගැනීමට හැකියාව ඇති වීම ඉතාම වැදගත්. මෙහි ඇති Limonen සංයෝග මගින් රසායනාගාර ආශ්‍රිතව සිටි මීයන්ගේ පවා වායු ගෙඩි තත්වයන් සුවය ලද බැව් අධ්‍යයනයන් මගින් සනාථව තිබේ. ලිමොනේන් (Limonen) මෙම පළතුරුවල පිට පොත්තේ අන්තර්ගතව තිබෙනවා. යුෂ මගින්ද මෙම පෝෂණයන් ලබා ගත හැකියි. ඒ නිසා මෙම දොඩම්, දෙහි යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම ඉතාම වැදගත්.

Readers digest ඇසුරිනි

අලුත් අම්මලා එක්ක කතා කරද්දී පරිස්සමෙන්

අලුත් අම්ම කෙනෙක් වෙනවා කියන්නේ ගැහැණියකගේ ජීවිතයේ තවත් අලුත් ඉපදීමක්. ගොඩක් බිරින්දෑවරු ආසාවෙන් ඉන්න ඒත් අම්ම කෙනෙක් වෙන්න ලං ලං වෙනකොට චුට්ටක් විතර බයක්, චකිතයක් ඇතිවන දෙයක්.. දරුවෙකු ලැබෙන්න ඉන්න කොට අපි නොයෙක් හීන දකිනවා..අනේකවිද සැලසුම් සකස් කරනවා..බබා හම්බුනාම මම මෙහෙම කරනවා..මෙහෙම වෙනවා..ඔය වගේ ගොඩක් දේවල්.. ඉතින් ඔහොම ඉදලා ඉදලා බබා ලැබුනට පස්සේ අලුත්ම අත්දැකීම් ගොඩකට මුහුන දෙන්න වෙනවා එක රැයකින්ම.
මේ වෙනස්වීම අලුත් අම්ම කෙනෙක්ට තදින්ම දැනෙනවා. එයාට ගැටලු ගොඩක් තියෙනවා මුල් වරට..තාම සැකසී නැති පියයුරු වලින් කිරි දීමේ ඉදලා, නොකඩවා නිදි වැරීම්, බබාගේ හැඩුම්, බබාගේ මල පහ කිරීම් වැනි එකී මෙකී නොකී බොහොම දේවල් ඇය මුල් වරට අත් විදිනවා. ඒ විතරක් නෙමෙයි දරුවා ලැබීමේ ක්‍රියාවලිය නිසා වෙනස්වුනු ඇයගේ සිරුරේ ක්‍රියාකාරීත්වය , රිදුම් සහ අපහසුතාවයන් වලටත් ඇය අලුත්.
 මේ සියලු දේයට ඇය දන්න අයගෙන් උපදෙස් පතනවා. සායනවලින් ලබා දෙන දැනුමට එහා ගිය තොරතුරු සොයන්න පෙලබෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ ඇයව දිරිමත් කිරීමක්. හිත ශක්තිමත් කිරීමක්. ඇය නොදන්නා හෝ ඇය තවම හැඩ ගැහෙමින් පවත්නා ජීවිතයේ ඇද කුද, දුර්වලකම් පැවසීම හෝ ඇය නොදන්නා කාරනා ගැන තොරතුරු පවසා ඇයගේ මනස වියවුල් කිරීම හෝ නොකල යුතු කාරණයක්. නමුත් අවාසනාවකට අද සමාජයේ සිදු වන්නේත් මෙයමයි. කෙනෙක් මුහුන දී ඇති යතාර්ථය මානුශිකව සහ සංවේදී ව තේරුම් අරගෙන වචන පරිහරණය කරන අය අද සමාජයේ ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඔබත් මේ ලිපිය අවසානයේ කල්පනා කර බලන්න, ඔබ කුමන වර්ගයේ කෙනෙක්ද කියා.
මම මේ ලිපියෙන් දරුවෙකු ලත් අලුත් අම්මා කෙනෙක් (අලුත් විතරක් නෙමෙයි දරුවන් ලද ඕනම අම්මා කෙනෙක්) අහන්න අකමැති වාක්‍යයන් කීපයක් සදහන් කරන්න හිතුවා. මේවා මගේ අත්දැකීම් පමණක් නෙවෙයි වෙනත් අම්මලාගේ අදහසුත් පදනම් කරගෙන තමයි ලියන්නේ…
*අම්මෝ හරියට මහත් වෙලා/ කෙට්ටු වෙලා නේද?
*බඩ නම් තාම බබා හම්බවෙන්න ඉන්නවා වගේ නේද?
*ඔයා හරියට කලු වෙලා නේද?
*ඇස් වටේ හරියට කලුවෙලා..ඒ මොකද?
*ඔයාගේ බ්‍රෙරෙස්ට් දෙක සයිස් දෙකක් නේද?
මේ ඉහත කාරණා ටික ඉතින් ඒ අම්මාත් හොඳටම දන්න සහ දැනෙන දේවල් නේද? ඉතින් අපි මොකටද  මේවා නැවත නැවත එයාට මතක් කරල දෙන්නේ..? මොකද ඒ අම්මාට වද වෙන්න ඊට වඩා වැදගත් කාරණා එමටයි. විශේශයෙන් එයාට ලැබුනු අලුත් බබා ගැන වද වෙන්න කාරණා ඕන තරම් තියෙනකොට අම්මා එයාගේ ඇග ගැන වදවෙන එක කල් දාලයි තියෙන්නේ…එහෙම නේද? ඉතින් ඔය ටික ඒ අම්මගෙන් අහන්නම ඕනද? ?
අලුත උපන් බබාට කිරි දෙන්න මහන්සි වෙන අම්මා කෙනෙක්ට අහන්න නුසුදුසුම දෙයක් තියෙනවා..
*”ඔයාට කිරි නැහැ වගේ නේද?” * කිරි එන්නේ නැහැ වගේ නේද?” * බබාට කිරි මදි , ඒකයි අඩන්නෙ “
මේවා ඇහෙනකොට ඒ අම්මලාගේ හදවතට ඉදිකටු අනිනවා වගේ. මටත් පෞද්ගලිකව මේ දේ වුනා. දරැවා ලැබුනු ගමන් සීසර් කරපු අමාරැවත් එක්ක කිරි දෙන්න දගලපු මට දිගටම මේ කාරණාව මන්තරයක් වගේ ඇහෙන්න ගත්තාම ආවේ දුකක් නෙවෙයි තරහවක්. මුල් වරට දරැවෙක් ලබපු අම්ම කෙනෙක්ගෙ පියයුරු දරැවාට පහසුවෙන් කිරි උරා ගැන්මට තරම් සැකසී නැහැ . ඒ වගේම දරැවාට කිරි උරන්නට සහයෝගයක් දෙන්න අලුත් අම්මා දන්නේත් නැහැ. එහෙත් ඇයගේ පියයුරැ වල කිරි පිරී තිබේ. බොහෝවිට දරැවාට සහ අම්මා ට මේ වෙලාවට උදව් කරන්නේ රෝහ⁣ලේ හෙද සොහොයුරියන් …අන්න එවන් ධෛර්යමත් කිරීමක් තමයි අලුත් අමමෙක්ට ඕන කරන්නේ..
මේ කාරණා වලට අමතරව අලුත් අම්මලා මුහුණ දෙන ව්ශාලම අභියෝගය තමයි දරැවා⁣ගේ එදිනෙදා කටයුතු සම්බන්දයෙන් එල්ල වන විවේචන. බබාව පිරිසිදු කිරීමේ කටයුතු වල ඉදලා බබාට කවන
පොවන දේවල් , ඒවා කවන ආකාරය වගේ දේවල් ගැන ඕන තරම් දේවල් කියන්න අය තමන්ගේ ගේ ඇතුලේම ඉන්නවා ඇති, එහෙම නේද ? දරුවාගේ සායනයේදී වගේම වෛද්‍යවරයා දුන්න උපදෙස් පරිදි
කටයුතු කරන්න අමාරු අම්මල ඕන තරම් මට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසි උපදෙස් ක්‍රියාත්මක කිරීමට යාමේදී තමන්ගේ මවගෙන් හෝ විශේෂයෙන් නැන්දම්මා ගෙන් එල්ලවන විවේචන සහ බලපෑම් නිසා අලුත් අම්මා හිත් රිදවීම් වලට මුහුණ දෙනවා විතරක් නොවෙයි; ඇයට කුමක්ද හරි විදිය කුමක්ද වැරදි විදිය යන්න තීරනය කර ගැනීමට නොහැකි ව තනිවම අතරමං වෙනවා. මෙවන් මව්වරු දරුවා සම්භන්දයෙන් වැරදි තීරන හුගක් ක්‍රියාත්මක කරන්න පෙලඹෙන අවස්තා ඕන තරම් මම දැක තියෙනවා. එවන් මව්වරු තමයි අවුරුද්දට අඩු දරුවන්ට ලුනු, සීනි දෙන්නේත්, තමන්ගේ රන් හා සමාන මව් කිරි දෙවනුවට තබා පිටිකිරි ( වඩා ගුණ යැයි සිතා) දීමට පටන් ගන්නේත්, දරුවා ඉපදී සති කීපයෙන් වතුර පෙවීමට යන්නේත්, මාස 2,3 පිරුණු දරුවාට ප්ලතුරු යුශ වැනි ආහාර දෙන්න පටන් ගන්නේත්…. ඒ නිසා ඔබ, මෙසේ මව්වරුන්ට සායන වලින් දෙන උපදෙස් අවතක්සේරු කරන කෙනෙක් නම්, ඔබ අනතුරේ හෙලන්නේ අර අහිංසක දරු පැටියෙකු නේද?
මේ කාරණා වලට අමතරව ඔබත් අලුත් අම්මා කෙනෙක්ට මේ වගේ කියමන් පාවිච්චි කරනවාද?
*ඉක්මණට ව්‍යායාම කරන්න; නැත්නම් ඇග කැතවෙයි
*ඔයා ආපහු ඔෆිස් යන්නේ කවද්ද?
*කොච්චර කාලයක් කිරි දෙන්න හිතාගෙන ඉන්නවද?
*දැන් ඊලග බබා හදන්න කාලය හරි .
*දැන් පුතෙක් නේ ඉන්නෙ; ඉක්මණින් දුවෙකුත් හදා ගන්න
*බබාව “ඩේ කෙයා” දාන්නෙ නැහැ හරි හමන් දෙමව්පියෝ. ඔයා මොකද කරන්න ඉන්නෙ..?
*අපරාදේ..බබා නිසා රස්සාවත් නැති වුනා නේද?
*ඔහොම තමයි, ගෑනු ලමයින් ගේ උගත් කම දරුවො ලැබුනට පස්සෙ වැඩක් නැති වෙනවා.
මේ මම ඉහතින් සදහන් කල ඒවා වගේ තවත් කියමන් ඕන තරම්. මේවා නම් ඉතින් සාමාන්‍ය   කියමන් නෙ ..මේවා කිව්වාම ඇයි කාටත් හිත රිදෙන්නෙ කියල අපිට හිතෙයි. මේවා සාමාන්‍ය වුනත් ඒ අදාල ප්‍රශ්නය ට මුහුණ දීලා ඉන්න අම්ම කෙනෙක්ට එයාගෙ සිත අදෛර්‍යමත් වීමට හේතුවක් වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස මම සදහන් කලොත් යම් අම්මා කෙනෙක්ට කුමක් හෝ සංකූලතාවක් නිසා නැවත දරුවන් ලැබිය නොහැකි අවස්තාවක “දැන් ඊලග බබා හදන්න කාලය හරි .” කියල ඔබ කිව්වොත්, කීයෙන් කී දෙනෙක් ඔබට ඇයගේ ප්‍රශ්නය විවුර්තව පවසයිද? කීයෙන් කී දෙනෙක් නිහඩව තමාගේ නොහැකියාව ගැන කදුලු සලයිද? ඉතින් මේ වගේ සාමාන්‍ය වාක්‍යයකට වුනත් කෙනෙක්ගේ හිත සසල කිරීමට පුලුවන් කියන කාරණය තමයි මම පිලිගන්න දෙය.
දැන් අපිටම හිතෙයි මෙහෙම ගියාම කිසිම දෙයක් කතා කරන්න බැහැනේ කියලා.කියන කියන හැම දෙයින්ම වැරැද්දක් ගනීවි කියලා. නමුත් මම හිතන්නේ අපි කවුරුත් අපි යමක් කියන්න කලින් ඒ දෙය අසන්න සූදානම් වන තැනැත්තාගේ සාක්කුවට බැහැලා එයා හිතන පතන විදිය ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වුනොත් ඒ තැනැත්තා එක්ක කතා කරන්න ලොකු අපහසුවක් අපිට දැනෙන එකක් නැහැ . සමහර විට දුර දිග නොබලා කියන වචන 10 කට වඩා අහන කෙනාගේ පැත්තෙන් හිතලා කියන වචන 2,3 කින් ඒ කෙනාගේ ඒ මොහොත සතුටින් පුරවන්න, එයාගේ සිත දිරිමත් කරන්න ඔයාට පුලුවන් වෙයි..
ඉතින්, මෙය කියවන ඔයාලගෙ මේ සම්භන්ද අදහස් සහ අත්දැකීම් දැනගන්න කැමති යි.

පරාජයට ඉඩ දෙන්න

දරුවන් මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයන් කරන්නට නම් ”ජය පරාජය සමසිතින් විඳගන්න හුරු කරන්න ”

”පරාජයට ඉඩ දෙන්න” ලිපියේ මාතෘකාව දකිද්දීම මේ මොකද්ද මේ කියන්නේ කියන සිතුවිල්ල එක්වරම ඔබේ හිතට ඇතුළු වුණා නේද? ඔව්.. ”ජය හා පරාජය” තුළින් දරුවෙකුගේ පෞරුෂත්වය ගොඩ නංවන ආකාරය ගැනයි මේ ලිපිය.

පෞරුෂත්වය කියන්නේ මොකක්ද?

යම් පුද්ගලයෙක් තමා සහ ලෝකය දකින විදිය මෙන්ම තමා සහ ලෝකය සමග ගනුදෙනු කරන ආකාරය  පෞරුෂත්වය ලෙස සරලව හැඳින්විය හැකියි.

ඔබ තුළ මෙන්ම ඔබේ දරුවා තුළත් මනා පෞරුෂත්වයක් ගොඩ නගා ගන්නේ කෙසේද?

සමාජයේ බොහෝ දෙනෙක් සිතන්නේ මනා පෙනුම එනම් උසට සරිලන මහතින් යුතු පෞරුෂවත් පෙනුම, නායකත්ව හැකියාව,හොඳින් කතා කිරීමේ හැකියාව ඇති අයෙක්   හොඳ පෞරුෂයක් ඇති අයෙකු ලෙසයි. ඒත් හොඳ පෞරුෂත්වයක ලක්‍ෂණ මොනවාද, ඔබ තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරන්නේ කොහොමද, ඔබගේ දරුවා තුළ හොඳ පෞරුෂත්වයක් වර්ධනය කරවන්න දිරිගන්වන්නේ කොහොමද කියලා දැනුවත් වීම බොහොම වැදගත් වනවා. මොකද විශේෂයෙන්ම හොඳ පෞරුෂත්වයක් ඇති පුද්ගලයෙක් ලෝකයා සහ තමා සමග ගනුදෙනු කරන විදිය ඉතාම ධනාත්මක වගේම සුබවාදිව සිදු වෙන්නක්. එවැනි පුද්ගලයෙක් හරහා අන්තර් පුද්ගල සබඳතා හොඳින් සිදු වෙනවා වගේම හොඳ පෞරුෂත්වයක් මිනිසුන් සතු වූ විට සමාජය තුළ සිටින අනෙක් පුද්ගලයන්ගේ අයිතීන්වලට සිදුවන හානියත් අවමයි. ඒ නිසාම ජීවිතය සරලයි

හොඳ පෞරුෂත්වයක ප‍්‍රධාන ලක්‍ෂණයක් විදියට,යම්කිසි පුද්ගලයෙක්ට  විවිධ මානසික තත්ත්ව ඒ කියන්නේ විවිධ හැඟීම්   (Emotions)  යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය හැකි නම් ඒ පුද්ගලයාට හොඳ පෞරුෂත්වයක් ඇති බව කියවෙනවා. ඒ කියන්නේ දුකේදී හා සතුටේදී යන දෙකේදීම නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි.

අපි සතුටින් සිටින අවස්ථාවක ධනාත්මක තීරණ ගැනීම හා ධනාත්මක ලෙස සම්බන්ධතා පවත්වා ගැනීම එතරම් අමාරු දෙයක් නොවෙයි. ඒත් ප්‍රශ්නේ එන්නේ අපේ මානසික තත්ත්වය අපිට තේරෙන සරල විදියට කිව්වොත් අපේ මූඩ් එක හොඳ නැති තත්ත්වයක පවතින විටයි. පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන් Compromised Empathy කියන ලක්‍ෂණය පෙන්නු කරනවා.  Compromised Empathy ලෙස හඳුන්වන්නේ මේ පුද්ගලයාට තමා සිටින මානසික තත්ත්වය අනුව තවත් අයෙකු දෙස දකින ස්වභාවය වෙනස් වීම ලෙස කිව හැකියි. එනම් එම පුද්ගලයා හොඳ මානසිකත්වයක සිටිය විට අනෙක් පුද්ගලයා හොඳ වන අතරම ඔහුගේ නරක මානසිකත්වය හමුවේ ඒ පුද්ගලයා නරක් වීමයි. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ සිතට දුක් සහගත සිතුවිලි පැමිණි විට කෙනෙක් පිළිබඳව ධනාත්මකව සිතීමේ හැකියාව ඔහුගෙන් ගිලිහෙනවා. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය තියෙනවා. ඕනෑම මානසික තත්ත්වයක් දරාගෙන ලෝකය දිහා කරුණාව සහ ධනාත්මක සහිත බව ඇතිව දකින්න හැකි නම් එම පුද්ගලයා සතුව හොඳ පෞරුෂයක් ඇති බව කිව හැකියි. මේ තත්ත්වයට Emotion diversity කියලත් හඳුන්වනවා.

ඕනෑම මානසික තත්ත්වයක් හමුවේ ධනාත්මකව සිතීමේ හැකියාව ඔබේ දරුවා තුළ වර්ධනය කරන්නේ කොහොමද?

අපේ සමාජයේ අනවශ්‍ය ලෙස  මුල් තැන දෙන්නේ ධනාත්මක හැඟීම්වලට. ඒක ලොකු දුර්වලතාවයක්. ඒ තුළින්  සෘණාත්මක හැඟීම් නවත්වන්න, යටපත් කරන්න උත්සාහ දරනවා. එයට හේතුව සෘණාත්මක හැඟීම් නුසුදුසුයි කියන සිතිවිල්ල. ඒත් සෘණාත්මක හැඟීම් කියන්නේ ඒ විදියට ඉවත් කළයුතු නරක සිතුවිලි ධාරාවක් නොවෙයි.   සෘණාත්මක හැඟීම් හරහා අපට උගන්වන දේ බොහෝයි.

බාහිර ලෝකයේ සිදුවන දෙය ඔබ තුළින් බලාපොරොත්තු වන දෙයට වඩා වෙනස් වූ විට ඔබ තුළ ඇති වෙන ප‍්‍රතිචාරය හැඟීම්ක් විදියට හඳුන්වනවා. බාහිර ලෝකයේ තියෙන දේ ඔබ බලාපොරොත්තු වන දෙය නොවේ නම් ඊට තරමක් අඩු දෙයක් නම් ඔබට තරමක දුකක් ඇති වෙනවා. ඔබට තරහව හරි දුක හරි පාඩමක් කියලා දෙන්න හදනවා. සමාජයේ ගොඩක් වෙලාවට දරුවන් තුළ මේ සෘණාත්මක හැඟීම්ක් නතර කරන්න දෙමාපිය වැඩිහිටියන් ලොකු උත්සාහයක් දරනවා.

උදා :  කෑගහන්න එපා, තරහගන්න එපා, ඉරිසියා කරන්න එපා

මේ ආකාරයේ සෘණාත්මක හැඟීම් නරක දෙයක් විදියට නම් කරලා යටපත් කරන්න උත්සාහ කිරීම නම් භයානක තත්ත්වයක්. මේ විදියට දරුවෙක් වර්ධනය වෙද්දී ඒ දරුවාට විවිධ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව සහ විවිධ මානසික තත්ත්වයන් යටතේ වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා. මොකද ඒ දරුවට ඒ හුරුව නැහැ. එවිට ඒ දරුවාට විවධ මානසික තත්ත්වයන් යටතේ හැඩගැහීමේ හැකියාව නැතිව යනවා. ඉතින් මේ දරුවා එයාගේ  හැඟීම් යටපත් කරගන්න, සඟවා ගන්න උත්සාහ කරනවා.

මෙයට හේතුව ලෙස මා දකින්නේ අපේ හැඟීම් තෝරාගෙන යටපත් කරන්න ඇති නොහැකියාවයි. දරුවෙක් තමන්ගේ නරක හැඟීම් යටපත් කරන්න හදනකොට ඔහුගේ හොඳ හැඟීම් ද යටපත් වෙනවා. එතකොට ඔහුට සතුට, ආදරයක් තව කෙනෙක්ට දන්වන්න බැහැ. ඒ වගේම තවත් කෙනෙකුගේ හැඟීම් අදුරගන්න අමාරුයි. මේ හැඟීම් නොතේරෙන දරුවෙක් වැඩිහිටි වියට එද්දී ඒ දරුවාගේ අන්තර් පුද්ගල සම්බන්ධතාවලට ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනවා” ලෙසයි.

දරුවෙකුගේ සෘණාත්මක හැඟීම් යටපත් කරන්න දෙමාපියෙක් ඉදිරිපත් වෙන්න මූලික වෙන්නේ සෘණාත්මක හැඟීම් සහිත වට පිටාවක ක්‍රියා කිරීමට දෙමාපියන් තුළ හැකියාවක් නොතිබීමයි. මොකද වැඩිහිටි ඔබට සෘණාත්මක හැඟීමක් ආ විට ඔබ හැසිරෙන ආකාරය කොහොමද කියලා ඔබම නොදන්නා නිසා ඔබ සෘණාත්මක හැඟීමකට ඉඩ දෙන්න අකමැතියි. ඔබට පුළුවන් නම් ඔබ තුළ වගා කරගන්න ”මට සෘණාත්මක හැඟීම ආපු වෙලාවට ධනාත්මක හැඟීමක් ආපු වෙලාවට තරම්ම නොවුණත් යම්කිසි මට්ටමකට මම මාව හසුරුවා ගන්නවා, දරාගෙන ඉන්නවා” කියන දේ එය ඔබේ දරුවාටත් ලබාදෙන්න.

ඔබේ දරුවාටත් සෘණාත්මක මානසික තත්ත්ව යටතේ ක‍්‍රියාත්මක වීමේ හැකියාව වර්ධනය කිරීමට නම් දරුවාට පරාජය වෙන්න ඉඩ දෙන්න. දරුවා පරාජයන්ගෙන් බේරගැනීමෙන් වලකින්න. සාමාන්‍යයෙන් දෙමාපියන් තම  දරුවන් පරාජයට ලක්වීම නතර කිරීමට ලොකු උත්සහයක් ගන්නවා. දරුවාට තමාගේ වැරදි තීරණවල ප‍්‍රතිඵල විඳින්න ඉඩ දෙන්න. නමුත් ඔබ දරුවාගේ පරාජයේදීත්, වැරදීමකදීත්  නොවෙනස්ව දරුවාට ආදරය දක්වන්න. අද වෙද්දී අපේ සමාජය තුළ දකින්න ලැබෙන බොහොමයක් කනගාටුදායක් සිද්ධීන්වලට මේ තත්ත්වය බලපා ඇති බව කිව හැකියි. දෙමාපියන් දරුවන්ට පරාජයට පත්වීමට ඉඩ නොදෙන විට ඒ දරුවා කවදාවත් තමා ගත්ත තීරණවල වැරදි ප‍්‍රතිඵල පිළිබඳව අත්දැකීමක් ලබන්නේ නැහැ. ඒත් අපේ තීරණවල වැරදි ප‍්‍රතිඵල හරහා අපේ තීරණ කොයි තරම්  ප‍්‍රබලද යන්න අපි වටහා ගන්නවා. මෙන්න මෙතැනදී අපේ තීරණවල ප‍්‍රබලතාවය දැනගන්න අපේ තීරණ වැරදෙන එක බොහොම වැදගත් වෙනවා. දරුවෙක් විවිධ මානසික මට්ටම් යටතේ හොඳ තීරණ ගැනීම අවශ්‍ය නම් කළ යුත්තේ දරුවාට පරාජය වෙන්න ඉඩ හැරීමයි. පරාජය දරාගැනීමට හුරු කරවීමයි. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු ලෙස ඔබේ දරුවා සමාජගත කිරීමට නම් ඔබ කළ යුත්තේ ඕනෑම මානසික මට්ටමක් යටතේ හොඳ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමයි. එසේම පරාජයේදීත් වැරදීම්වලදීත් ඔබ ඔබේ දරුවාට එක සේ අසීමිතව ආදරය දක්වන්න.

කිලිනොච්චිය මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

සර්ප්‍රා……..යිස්… මෙය දරුවන් වෙනුවෙන් සුදුසු දෙයක්ද?

දෙමව්පියන් විදිහට අපි විවිධ අවස්ථාවලදී දරුවන්ට විවිධ පොරොන්දු ලබා දෙනවා. සමහර විට අවස්ථාවට අනුව දරුවාගෙන් යම් යම් කටයුතු ඉටු කර ගැනීමට දෙමව්පියන් මේ වගේ පොරොන්දු ලබා දීම සාධාරණයි. ඒ වගේම මේ පොරොන්දු ඉටු කිරීමටත් දෙමව්පියන් බැදී සිටින්නත් ඕන. එහෙම නැත්නම් දරුවා සහ දෙමව්පියන් අතර පවතින සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. ඒත් මේ වගේ දවස්වල නම් අපිට දරුවන් වෙනුවෙන් වුනත් යම් යම් පොරොන්දු ලබා දීම අපහසුයි. කාලයේ තාලයට අනුවත් අපි හැඩගැසෙන්න ඕන. ඒත් දරුවන්ගේ මානසිකත්වය ගැනත් හිතන්න අවශ්‍ය කාලයක් එහෙම නම් අපි මේ ගනුදෙනුව සාර්ථකව කර ගන්නේ කොහොමද..?

මේ අධ්‍යයනය සිදු කළේ නොටින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසිනුයි. ඔවුන් සඳහන් කරන අන්දමට දරුවන්ට විතරක් නොවෙයි, අපි කාටත් හදිසියේ කොටින්ම කිව්වොත් සර්ප්‍රයිස් වෙන විදිහේ සතුටුදායක කටයුතු සිදු වෙනවා නම් එය ශාරිරික වගේම මානසික නිරෝගීතාවයට හේතු වෙන බවයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. හදිසියේම විනෝද චාරිකාවක් සංවිධානය වුනොත්…? එයින් ඇති වෙන්නේ සතුටක්. කාලයක් පුරා දින ගනිමින් සිටියාට වඩා ”අපි අද හවස ට්‍රිප් එකක් යමු…” කියන යෝජනාව දරුවන්ට බොහොම සතුටුදායක පණිවිඩයක්. ”සති අන්තයට පාර්ක් යමු” කියන සිටිනවාට වඩා ”පුතා…ලෑස්ති වෙන්න අපි පාර්ක් යමු” කිව්වාම දරුවාගේ ඉහේ මලක් පිපෙනවා. ඒ විතරක් නොවෙයි, මේ වේලාවේ දරුවාගේ සතුටට හේතු කරක හෝමෝන ශ්‍රාවය වෙන නිසා ඔහුගේ ශාරීරික නිරෝගීතාවයටත් එය හේතු වෙනවා.

ඉතින් ඒ එක් පැත්තක්…තවත් අතකින් මේ හදිසියේ ලබා දෙන අවස්ථාවන් දෙමව්පියන්ටත් වාසිදායකයි. ඒ ඇයි කිව්වොත් අපි කල් තබා දෙයක් සැලසුම් කළත් හදිසියේම අපේ රාජකාරි ජීවිතය වගේම වෙනත් පුද්ගලික හේතු හින්දා වෙනස් කරන්න වුනොත් එයින් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. මුලින්ම දරුවන්. වැඩිහිටියන්ට නම් මේ හේතු කාරනාවන් සාධාරණීය කර ගැනීමට පුළුවන් වුනත් දරුවන්ට ඒ විදිහට සාධාරණව හිතන්න අපහසුයි. ඔවුන් නිතරම හිතන්නේ තමන්ගේ පසුබිම මුල් කර ගෙනයි. ඒ නිසා ඔවුන් විසින් සිහින මවපු අවස්ථාවන් අහිමි වීමේ පසුතැවිල්ල හිතේ ගොඩ නැගනෙ නිසා එය දරුවාගේ මානසිකත්වයට එතරම් ගැලපෙන දෙයක් නොවෙයි.

දරුවා සහ දෙමව්පියන් අතර විශ්වාසය බිඳ වැටෙනවා…

දරුවාගේ බලාපොරොත්තු අනපේක්ෂිත අන්දමින් බිද වැටුනාම දෙමව්පියන් මුල් කර ගෙන එතරම් සුබවාදී සංකල්පයන් ඇති වෙන්නේ නැහැ. ”අම්මා…තාත්තා හැමදාම කියන්නේ බොරු…අපිව රවටනවා” වගේ සිතුවිලි දරුවාගේ හිතේ ගොඩ නැගෙන නිසා එය මව්පිය දූ දරු සම්බන්ධතාවය වෙනුවෙන් ඒ තරම් ගැලපෙන දෙයක් නොවෙයි.

හැබැයි සර්ප්‍රයිස් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නත් එපා..

ඔබ පවුල මුල් කර ගෙන මේ විදිහට හදිසියේ යම් යම් අවස්ථාවන් ගොඩ නඟා ගත්තත් ඒ වෙනුවෙන් පූර්ව සැලසුම් ගොඩ නඟා ගැනීම අවශ්‍යයි. විනෝද චාරිකාවක් හදිසියේ සංවිධානය කළත් ඒ වෙනුවෙන් හොඳ සැලසුමක් අවශ්‍ය වෙනවා. රෑ බෝවී වී පාරට බහින්න…රාත්‍රියේදී නවතින්න ආරක්ෂිත තැනක්…ආහාරපාන… මේ සියල්ල සමග වූ පූර්ව සැලසුමක් සමග සර්ප්‍රයිස් අවස්ථාවක් ගොඩ නඟා ගැනීම සිදු වෙන්නම ඕන. එහෙම නැතුව දරු මල්ලන් සමග කිසිම සැලසුමක් නැතුව පාරට බැසීමත් එතරම් සුදුසු දෙයක් නොවෙයි.

අනිත් අය අපහසුතාවයට පත් කරන්නත් එපා..

ඇතැම් අවස්ථාවන්හිදී ඔබ නිවසකට යනවා නම් යාන්තමින් හෝ ඔවුන් දැනුවත් කරන්න. එසේ නැතුව හදිසියේ ඔබ එම නිවසට යෑමෙන් දෙපාර්ශවයටම අපහසුතාවයන් ඇති වෙන්න පුළුවනි. සර්ප්‍රයිස් කිරීමට ඔබ හදිසියේ යන විට ඔවුන් නිවසේ නොසිටියොත්…ඒ වගේම ඔබ වෙනුවෙන් කිසියම් සංග්‍රහයක් කිරීමට මේ ගැලපෙන අවස්ථාවක් නොවුනොත් ඔබේ සමීපතයින් එයින් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා යාන්තමින් හෝ ඉගියකින් ඒ බැව් විමසා දැන ගැනීම වැදගත්.

”අපි මේ දුර ගමනක් යන්නයි ඉන්නේ…අද හවසට අපි යනවා…” දැන් ඔබට එතැනින් නැවතිය හැක. එසේ නොමැතිව ”අපි ගෙදර ඉන්නේ කොහෙවත් යන්න නම් තවම අදහසක් නැහැ” කී විට ඔබට තීරණයකට පැමිනිම එතරම් අපහසුවක් නැත.

එහෙම නම්…විශේෂයෙන් දරුවන් මුල් කර ගෙන යම් යම් විශේෂ දෙයක් සංවිධානය කරනවා නම් එය හදිසියේ කිරීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් ඔවුන්ගේ හදවතට බලාපොරොත්තු දී දරුවන් ඒ ඔස්සේ විවිධ සිහින මවන අවස්ථාවකදී ඔබට යම් වෙනසක් කිරීමට සිදු වුනොත් එයින් දරුවා මහත් සේ පීඩනයට පත් වෙනු ඇත. ඒ නිසා නිතරම දරුවන්ට යම් දෙයක් ලබා දෙන විට එය අපූර්වත්වයකින් ලබා දීම නිසා ඇති වෙන සතුටින් ඔවුන් මානසිකව ප්‍රබෝධයට පත්වෙන අතර ඒ තත්ත්වයම ශාරිරික නිරෝගිතාවයටත් හේතු වෙනු ඇත.