Home Blog Page 85

ගැබිනි මවකට ඇතිවන මේ අපහසුතාවලට පිළියම් නැද්ද?

ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා

ගැබිනි සමයේ බහුතරයක් කාන්තාවන් බොහොමයක් අපහසුතාවලට මුහුණ දෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. සිරුරේ ඇති වන වෙස්කම් සමගම ඇති වෙන මේ තත්ත්වයන් නිසා ඇතැම් විට දෛනික ජිවිතයේ වැඩ කටයුතු බොහොමයක් වෙනස් වෙන අවස්තාවනුත් ඕනේ තරම් ඇති. ඉතින් අපි බලමු මේ වෙනුවෙන් පුංචිම හරි පිළියමක් නැද්ද කියලා. එහෙනම් අපි ඇද කතා කරමු ගැබිනි මවකට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතා සහ ඒවා අවම කර ගැනීමට යෙදිය හැකි පිළියම් පිළිබඳව.

ඔක්කාරය හා වමනය – Nausea & Vomiting

img-001

සිරුරේ හෝමෝන හා මව තුළ ඇති වන චිත්තාවේගීය වෙනස්කම් නිසා ඇති වන මෙම තත්ත්වය කාන්තාවන්ගෙන් 50% කට පමණ ගර්භනී සමයේ පළමු කාර්තුව එනම් භාවයට සති 4-16 දක්වා කාලයේදී ඇති වේ. HCG නම් හෝමෝනය (Human chorionic Gonadotropin) මුල් මාස 3 තුළ බහුලව පවතින අතර මීට අමතරව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මෙම උදා වමනයට බලපායි. ඔක්කාරය හා වමනය යන මේ තත්ත්වය බහුලව දැකිය හැක්කේ උදෑසන වුවත් දවසේ ඕනෑම වේලාවකදී ඇති වීමටද හැකියාව ඇත. කෙසේ වුවද ආහාරවල ගඳ සුවඳ, ආහාර පිසීමේදී ඇති වන සුවඳ මෙම තත්ත්වයන් වැඩි කිරීමට බලපායි.

ඔක්කාරය හා වමනය තත්ත්වය උග්‍ර වීම වැළක්වීමට,

  • නිදාගන්නා විට කොටට් කිහිපයක් තබා හිස දෙසින් එසවීම. දකුණට හැරී වැතිරීම.
  • උදෑසන අවධි වී ඇඳෙන් නොබැස කර කළ පාන්, සීනි අඩු බීම, මේදය හා ප්‍රෝටීන අඩු පහසුවෙන් දිරවිය හැකි ආහාරයක් ගෙන පැය ½ පමණ වැතිර සිට ඉන්පසු ඇඳෙන් බැසීම.
  • ගැබිනි මව ගන්නා ලද ආහාර සියල්ලම වමනය නිසා පිට වෙයි නම් ආහාර වේල් ගණන වැඩි කිරීම.
  • අධික කුළු බඩු සහිත ආහාර ගැනීමෙන් වැලකීම.
  • කිරි ආහාර ගැනීමට උනන්දු කිරීම.
  • මෙම තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රති ආම්ලික ඖෂධ (Antacid) ගැනීම.
අධික ලෙස ඛේටය ශ්‍රාවය වීම – Excessive Salivation/Ptyalism

img-002

මේ තත්ත්වය ගර්භයට සති අට පමණ වන විට දී හෝමෝනවල බලපෑම හේතුවෙන් ඇතිවන අතර මාස 3 පසු වූ පසු සාමාන්‍යයෙන් අඩු වීමක් සිදු වේ.

අඟුරු, හාල් වැනි දේ කෑමට රුචි වීම – Pica

මෙයට හේතුවක් නොදන්නා අතර හෝමෝන හා පරිවෘත්තීය වෙනස්කම් මීට හේතු වන බව විශ්වාස කෙරේ. මව ගන්නා දෑ දරුවාට හානියක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

මල බද්ධය – Constipation

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් බඩවැල් ක්‍රමාකුංචනය (හැකිලීම) අඩු කිරීම හේතුවෙන් බඩවැල් තුළ ඇති සිනිඳු පේශී ඉහිල් වීම නිසා මෙම තත්ත්වය ඇති වේ. විශාල වන ගර්භාෂය මගින් මහන්තක තුළට ඇති වන පීඩනය නිසා මෙම තත්ත්වය වැඩි වේ. ගර්භනීභාවයේදී ගන්නා යකඩ පෙති (Fersolate) නිසා ද මල බද්ධය ඇති වේ. මෙම තත්ත්වයන් මඟහැරීම සඳහා,

  • දියර වර්ග වැඩිපුර ගැනීම
  • කොළ පැහැති එළවළු, පළතුරු, ධන්‍ය වර්ග ආහාරයට එක් කිරීම
  • ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදීම
  • උදෑසන ආහාරයට හෝ කිරි වීදුරුවට පෙර උදෑසන උණුසුම් ජලය පානය කිරීම. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වීම නිසා ක්‍රමානුකූල චලන ඇති වේ. මළ හොඳින් පිට වේ
වෛද්‍ය A.M.S. පතිරණ හා හෙද නිලධාරිනී ගංගා කුමාරි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ දරුවාත් අනවශ්‍ය ලෙස උදාසීනද?

දරුවන් කියන්නේ හරිම ක්‍රියාශීලි පිරිසක්. එක විනාඩියක් එක තැනක ඉන්න බැරි තරමට සමහර දරුවන් හරිම දඟයි. ඒ අතරේ ඔබට ඉන්නේ කාටවත් හිරිහැරයක් නොකරන අහිංසක දරුවෙක් විය හැකියි. එය බොහොම සාමාන්‍ය දෙයක්. සෙල්ලමට හැරුණු විට පොත පතේ වැඩ සඳහා දරුවන් තරමක උදාසීන ගතියක් දැක්වීම එතරම් කලබල වියයුතු කාරණාවක් නොවුනත් ඔබේ දරුවා අනවශ්‍ය ලෙස උදාසීන නම් එය තරමක අවධානය යොමුකළ යුතු කාරණයක් බව මතක් කර සිටිය යුතුය.

එවැනි අවස්ථාවක දෙමව්පියන් ලෙස ඔබ වඩ වඩාත් දරුවන්ට ලංවෙමින් ඔවුන්ව තේරුම් ගැනීමට උත්සහ කරනවා විනා අනවශ්‍ය ලෙස තරවටු කිරීමෙන් පලක් නොවන බව වටහා ගත යුතුය. විශේෂයෙන්ම දරුවන්ට ව්‍යාජ ලෙස තරවටු කිරීමට යාමෙන් වැළකිය යුතුය. “කියන දේ ඇහුවේ නැත්තන් අද ටීවී එක බලන්න දෙන්නේ නෑ” යන්න නිරන්තරයෙන් දෙමව්පියන් පවසන අවස්ථා ඔබටත් ඇසී ඇති. නමුත් එය එසේ කියා ක්‍රියාවට නොනැගුණ විට දරුවන් එය කෙසේ කීවත් කිසිදා නොලැබෙන දඬුවම් ලැයිස්තුවට එකතු කරගන්නවා ඇත. එනිසා නැවත වතාවක් එයම පැවසීමෙන් කිසිදා ඔබට දරුවා අවනත කර ගැනීමක් කල නොහැකිය.එවැනි තරවටුවක් කළහොත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතු අතර රූපවාහිනියට, පරිගණකයට කාලය නොදීම ඒ අතරින් ලබා දිය හැකි හොඳම දඬුවම් ක්‍රම වේ. දරුවා සමග බහින් බස් වීම කිසිවිටකත් සිදු නොකළ යුත්තකි.

දරුවන් සැබවින්ම උදාසීන නොවේ. යම් මොහොතක ඔවුන් එලෙස අක්‍රීය වන්නේ යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ඇති වූ කේන්තියක් හෝ දෙමව්පියන් තුල බලපෑමක් ඇති කිරීමේ උවමනාවෙන් විය හැක. දරුවන් සමග ගණුදෙනු කිරීමේදී ඔවුන් කෙරෙහි නිත්‍ය පාලනයක් තබා ගත යුතු සේම සුදුසු සුළු දඬුවමක් ලබා දීමේ වරදක් නැති නමුත් උදාසීන දරුවන්ට කිසිවිටක බැන වැදීම් නොකළ යුතුය.

ඔබේ දරුවා උදාසීන වන විටක එකම දෙය නැවත නැවත ඉල්ලා සිටීමෙන්ද වැළකිය යුතුය. දෙමව්පියන් වරක් යමක් ඉල්ලා එයට දරුවන් එකවර ප්‍රතික්‍රියා නොදැක්වූ විට දෙවන වරක් ඉල්ලීමට පෙළඹෙයි. දෙමව්පියන් මෙලෙස එකම දෙය දෙවතාවක් ඉල්ලා සිටින්නේ එය වැදගත් යමක් වන නිසා බව සිතන දරුවන් ප්‍රතිචාර නොදක්වා සිටීමට පෙළඹෙන අවස්ථාද ඇත. එනිසා එම පුරුද්දෙන් වැලකී සෑමවිටම එක්වරක් පමණක් ඉල්ලීම් කර එතනින් නික්ම යන්න. දරුවා එක්වරම ඊට ප්‍රතිචාර නොදැක්වුවත් එහි ප්‍රතිපලයක් තිබිය හැකිය.

උදාසීන දරුවන්ව කිසිවිටක උපහාසයට ලක්කිරීමෙන් වැළකිය යුතුය. ඔවුන් සමග නිතර ළඟ රැඳෙමින් ආදරය දැක්විය යුතු අතර පාසලේදී ලබා දෙන ගෙදර වැඩ කිරීමට නිරන්තර සහයෝගය දෙන්න. ඒ අතරතුර එහි ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දීමක්ද කල හැක. දරුවාට පාසලෙන් නිවසේදී කිරීමට දෙන ගෙදර වැඩ සඳහා කාලසටහනක් නිර්මාණය කර දිය හැකිය. නියමිත වෙලාවක් වෙන්කර දී එම කාලය තුල වෙනත් ක්‍රියාකාරකමක නියැලීමට ඉඩ ලබා නොදෙන්න. ඒ වෙනුවෙන් දරුවා දිගින් දිගටම මැලිකමක් දැක්වුවත් කිසි ලෙසකින් වෙනත් ක්‍රියාකාරකමක් වෙනුවෙන් ඔවුන්ට අවස්ථාව ලබා නොදීමට වගබලා ගත යුතුය. ඒ සඳහා දෙමව්පියන් වශයෙන් ඔබෙන් ලැබිය යුතු සහයෝගය නොමදවම ලබා දෙන්න.

එලෙසම දරුවන්ගේ හොඳ වර්ණනා කිරීමට නිරන්තරව පෙළඹිය යුතුය. පාසලේ විෂයන් වෙනුවෙන් වැඩියෙන් ලකුණු ලබාගත් අවස්ථාවන් හිදී ත්‍යාගයක් ලබා දීමෙන් ඔවුන් තව තවත් දිරිමත් කරන්න. අසමත්ව්ම් වලදී  බැනවැදීම වෙනුවට දරුවා සමග රැඳෙමින් ඔවුන්ව දිරිමත් කරන්න. දරුවන් පාසලෙන් ලබාදුන් ගෙදර වැඩ කිරීමට මැලිවන අවස්ථාවන් වලදී එහි වගකීම දරුවන්ටම බාර දෙන්න. හොඳින් වැඩ කළහොත් ඉහල ලකුණු මට්ටම් වලට යා හැකි බවටත් එසේ නොමැති විට අසමත් වීමට සිදුවන බවටත් ඔවුන්ට වටහා දෙන්න. කැමති තීරණයක් ගැනීමට එහිදී දරුවන්ට අවස්ථාව ලැබෙන අතර අසමත් වීමට ඇති අකමැත්ත නිසා ඔවුන් වැඩ කිරීම වෙනුවෙන් පෙළඹෙනු ඇත.

ඔබ රැකියාවක යෙදෙන මවක් හෝ පියෙකු නම් සතියට දවසක් හෝ වේලාසන නිවසට ඒමට උත්සහ ගන්න. හැකි සෑමවිටම දරුවා සමග රැඳෙමින් කාලය ගත කිරීමට පෙළඹිය යුතුය. දරුවන් සමග ඇවිදින්නට යාම, ඔවුන් කැමති ක්‍රීඩාවක නිරත වීම, පරිගණකයේ රැඳී සිටීම හෝ රුපවාහිනිය නැරඹීම වැනි ඔවුන් ප්‍රිය කරන ක්‍රියාකාරකම්වලට යොමුවීමද වඩා වැදගත් වේ.

දරුවන් සමග ගනුදෙනු කිරීමේදී ආදරය සහ ඉවසීම මූලික කරගන්න. බැනවැදීම්වලින් තොර වී ආදරයෙන් කරුණු පහදා දෙන්න. නිරන්තරව දරුවා සමග රැඳෙමින් කටයුතු කිරීම ඔවුන්ගේ උදාසීන බව මග හරවා ගැනීමට නිසැක මගක් කරගන්න.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

බබා ලැබුනට පස්සේ කොන්දේ කැක්කුමක් ඇවිත්ද?

අලුත විවහාපත් ඕනෑම යුවලක් තම ආදරය තව තවත් ශක්තිමත් කරමින් පවුල අංග සම්පූර්ණ කරන්නට දරුවෙකු පැමිණෙන තුරු දහසක් බලපොරොත්තු සහගතව බලා හිඳි. දරු පැටියෙකු නිවසට කැන්දන සිහිනය ඉටු වූ දින අසීමිත සතුටකින් කිරි සුවඳකින් පිරෙන නිවස බොහොම සුන්දරයි. නමුත් ප්‍රසූතියෙන් පසු මවකගේ වැරදි ඉරියව් මේ සුන්දරත්වය විඳ ගන්නට බාධාවක් විය හැක්කේ සැබවින්ම නිවැරදි ඉරියව් පිළිබඳව ඇති අනවබෝධය නිසයි.

ගැබිනි මවක් නිවැරදි මග පෙන්වීම යටතේ ව්‍යායාමවල නිරත විය යුතු බව මින් පෙර ලිපිවලදීත් අපි ඔබව දැනුවත් කර සිටියා. ඒ දරු ප්‍රසූතිය පහසු වීම සහ නොයෙකුත් වේදනා නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමටයි. කෙසේ වුවද සාමාන්‍ය ප්‍රසූතියක් හෝ සිසේරියන් සැත්කම මගින් සිදු කෙරෙන ප්‍රසූතියක් වුවද සංකූලතාවන් නොවේ නම් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට ගැටළුවක් නොවේ. ඒ වගේම පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත යමින් ඉතාම සරල පහසු ව්‍යායාම කිහිපයක් සිදු කිරීම උචිතය.

ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඇතැම් විට ඔබ කෙතරම් නිවැරදි ඉරියව් යොදා ගත්තද කොන්දේ වේදනාව වැනි තත්ත්වයන්  ඇති විය හැකි අතරම සාමාන්‍ය ජිවිතයේ කාර්යබහුල බව මෙම වේදනාකාරී තත්ත්වයන් තවත් සංකීර්ණ කරවයි. එනිසා ප්‍රසූතියෙන් පසු දරුවන්ගේ කටයුතුවලදී මෙන්ම එදිනෙදා කටයුතුවලදීත් නිවැරදිම ඉරියව් යොදා ගැනීම මෙන්ම නිවැරදි ව්‍යායාමවල යෙදීමත් අත්‍යවශ්‍යය.

කිරි දෙන මවකගේ බෙල්ලේ සහ කොන්දේ ඇතිවන වේදනාව

ළදරුවා කිරි බීමට ආරම්භ කිරීමත් සමගම මව්වරුන් අනුගමනය කරන වැරදි ඉරියව් නිසා බෙල්ල කොන්ද වැනි ස්ථානවල වේදනාව ඇති විය හැකිය.

ඇඳ මත වැතිර ඇලයට හැරී මවගේ එක් අතක් ගෙල හා හිසට ආධාරකයක් සේ තබා ගැනීමේදී මවගේ ගෙල ප්‍රදේශය හා කොඳු ඇටපෙල අනවශ්‍ය ලෙස වකුටු වීම එතරම් සුදුසු නොවන අතර දරුවාට කිරි උරා බීමට පහසු වන සේ මවගේ ගෙලට හා හිසට ආධාර වන පරිදි තරමක උස කොට්ටයක් යොදාගැනීම වඩාත් පහසුය.  තවත් කොට්ටයක් දරුවාගේ ඇඟට යටින් සිටින සේ භාවිත කරන්නේ නම් දරුවාට මෙන්ම මවටද අපහසුවක් නොදැනෙන අතර මවගේ ගෙල සහ උරහිස ප්‍රදේශයේ වේදනාවක් හට නොගනියි.

img-001

එසේම වාඩිවී දරුවාට කිරි ලබාදීමේදී දරුවා වෙත නැඹුරු වෙමින් කොන්ද කුදුවන ආකාරයේ ඉරියව්වක සිටීම කිසිසේත්ම නිවැරදි ඉරියව්වක් නොවේ. මව දරුවා වෙතට නොනැමී මවගේ ළය පෙදෙසට දරුවාගේ මුඛය ලඟා කර ගත යුතුය.

කොන්දේ වේදනාව

දරුවා වඩා ගැනීමේදී – වර්ධනයත් එක්ක දරුවන්ගේ බර ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ. මව හෝ පියා ලවා වඩවා ගැනීමට හැම දරුවෙක්ම බොහොම ප්‍රිය කරයි. මෙසේ දරුවන් වඩා ගැනීමේදී වැඩිහිටි ඔබ අනුගමනය කරන වැරදි ඉරියව් ඔබට කොන්දේ වේදනා ඇති කරවන්නට සමත් වනු ඇත. දිනෙන් දින වැඩිවන දරුවන්ගේ බර පිළිබඳ තැකීමක් නොකොට වැරදි ඉරියව්වල සිට ඔවුන්ව එසවීම දිගින් දිගටම සිදු වෙද්දී වේදනාව මෙන්ම රෝග තත්ත්වය දෙගුණ තෙගුණ වේ.  මව්වරුන්ට ඇතිවන කොන්දේ වේදනාවට ප්‍රධාන හේතුවක් වන්නේද මේ තත්ත්වයයි. ඇතැම් මව්වරු මේ තත්ත්වය පිළිබඳව සිතන්නේ දරු ප්‍රසූතියෙන් පසු ඇති වන සාමාන්‍ය තත්ත්වයක් ලෙසටයි. නමු එය ප්‍රසූතියෙන් පසු ඔබේ වැරදි ඉරියව් හේතුවෙන් ඇති වන තත්ත්වයක් බව වැටහ ගත යුතුය. ඔබේ ඉරියව් නිවැරදි කර නොගෙන වේදනා නාශක ලබාගැනීමෙන් පමණක් තත්ත්වය සුව කරගත් නොහැක.

img-002

තොටිල්ලක හෝ ඇඳක සිට දරුවෙකු වඩා ගැනීමේදී –  මෙහිදී කොන්දෙන් නැමී පහත් වී දරුවා එසවීමේදී දරුවා මවට මදක් දුරින් සිටින නිසා මවගේ කොන්දට අනවශ්‍ය පීඩනයක් ඇති වේ. එය කාලයත් සමග කොන්දේ වේදනාකාරී තත්වයක් ඇති කිරීමට සමත් වේ. ඒ නිසා තොටිල්ලේ හෝ ඇඳ මත සිටින දරුවා වඩා ගැනීමේදී හැකි තරම් දරුවාට සමීප විය යුතුය. තවද දරුවා සිටින උසට ගැලපෙන ලෙස දණහිසෙන් නැමී කොන්ද කෙලින් තබා  දරුවා ගෙන නැවත සිටගැනීමේ ඉරියව්වට ආ යුතුය. එසේම දරුවා නැවත තබන විටත් උසට ගැලපෙන පරිදි දණහිසෙන් නැවී හැකි තරම් අදාල ස්ථානයට සමීප වී දරුවා තැබිය යුතුය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක, ශ්‍රී ලංකා වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

ඔබේ ගෙදර බේබි පෘෆ් ද? 2 කොටස

නාන කාමරය හා වැසිකිලිය දැන් හැම ගෙදරකම වගේ තියෙන්නේ නිවස තුලමයි. ඒ හැරෙන්නට ප්‍රධාන නිදන කාමරයට ඇඳු නාන කාමර දැන් බොහෝ ගෙවල් වල තියෙන නිසා දනගාගෙන යන,වැටි වැටි ඇවිදින ඔබේ සිගිත්තා නාන කාමරයට ඇතුළු වීම වළක්වාලන්න. ලිස්සා වැටි සිදුවන අනතුරුවලට වඩා බොහෝ අනතුරු නාන කාමරය ආශ්‍රිතව සිදුවෙන්න පුළුවනි. කොමෝඩ් එකට එබෙන්නට ගොස් සිදුවිය හැකි අනතුරු…. රස්නේ වතුරකරාමය  විවෘතකිරීම නිසා ඇතිවියහැකි පිළිස්සීම්…වතුර බේසම් වලට වැටීම් වැනි අනතුරුත් නාන කාමරයට ඇතුළුවීම වැළකීමෙන් නවතගන්නට පුළුවනි. මේ හැරුනාම නාන කාමරය කියන්නේ රසායනික ද්‍රව්‍ය බහුල ස්ථානයක්.පිරිසිදු කිරීම් සදහා යොදාගැනෙන රසායන ද්‍රව්‍ය බොහොමයක් ඔබේ දරුවට නිදහසේ අතපත ගන්නට හැකි තැනක්. මේ නිසා නාන කාමරය දරුවට තනිව ඇතුළුවිය නොහැකි තැනක් බවට පත් කරන්න.

ගෙදර භාවිතා කෙරෙන සියලු රසායනික ද්‍රව්‍ය , පිරිසිදු කිරීම් ද්‍රව්‍ය, ගම් වර්ග , ගෘහස්ත කෘමි නාශක , මදුරු විකර්ශන සියල්ල යතුරු ලන කබඩ් එකක උඩ තට්ටුවක අසුරා තබන්න.ගෙදර සියලු බෙහෙත්, කොලොන් වර්ග දරුවාට ලං වෙන්න බැරි උස කබඩ් එකක අසුරා තබන්න.

කුස්සිය කියන්නේ දරුවන්ගේ ඇස් දෙකට ඉමිහිරි ආකර්ශනීය ලෝකයක්. අඩි 1-2 අතර උසක සිට දකින විටදී  මේ අකර්ශනියත්වය තවත් දෙගුණ තෙගුණ වෙනවා.අම්මා දිය සහ ගිනි එක්ක යමා මහා පෙළහර පානවා දකින දරුවෙකුට කුස්සියට ඇතුල් වෙන්න ඇති කරවන්නේ නොඉවසිලි කුතුහලයක්. මේ නිසා කුස්සියේ දොරටුවට වැටක් හෝ ගේට්ටුවක් දැමිම ඉතා නුවණක්කාර වැඩක්.වැටක් තිබ්බත් නිතරම කුස්සියේ පිහි සහ ආයුද සියල්ල උඩ ලාච්චුවක දමා තබන්න. කෑම වළන් හොදි  භාජන, උණුවතුර ජොග්ගු සියල්ල counter ටොප් එකේ ඇඟ පැත්තට නොවන ලෙස තියන්න.

දන ගාගෙන ගිහින්, වැටි වැටි දුවගෙන ගිහින් කාමරේ දොරවහගන්න පුංචි දගයගේ චූටි ඇඟිලි දොරවල් වලට අහු නොවෙන්න දොරවල් දරුවට තනියම වහන්න බැරි වෙන රඳවුමක් මගින් දොර ඇර තබන්න. නැත්නම් කාමර දොරවල්වල එලිය පැත්තේ අගුලේ කුරුළු කොට්ට හෝ සොෆ්ට් ටෝයි ටිකක් දැමු බෑගයක් එල්ලන්න. පුංචි අය්යා දුවල ගිහින් මල්ලි එනවට කාමරේ දොර වහද්දි මල්ලිගේ හරි අය්යාගේ හරි චුටි ඇඟිලි දොරට අහුවෙන්න නැති වෙන්න එය උදව්වක් වේවි.

දරුවාට අනතුරු දායක තැන්වලට ලඟ විය නොහැකි වන පරිදි ගේට්ටු /වැටවල් දමන්න. තරප්පු පෙලට, නානකමරයට, කුස්සියට , ඉදිරිපසදොරටුවට ආදී ලෙසට ඔබේ නිවසේ පිහිටීම  අනුව ගලපා ගන්න.තියුණු දාර නැති සුමට නිමාවක් ඇති සිරස් අතට ගරාදි ඇති ,ඔළුව කකුල් සිර කරගත නොහැකිතරමේ පරතරය ඇති ගරාදි ඇති ගේට්ටු ගෙදරදී සාදාගෙන හෝ ළදරුවන්ගේ අවශ්‍යතා සඳහා ඇති වෙළඳ සලකින් මිලදීගන්න.

ඔබේ ගෙදර කාර් එක නවතා තබන ගරාජය ගෙදර ඉදිරිපස දොරටුවට අසලින් ඇත්නම් ප්‍රධාන දොරටුවට වැටක් දමන්න. මහත්තය උදේ ගෙදරින් පිටත් වෙද්දී ඔබ අලුත උපන් සිගිත්තට කිරිදිදී ඉන්නවා වෙන්න පුළුවනි. ඊයේ හවස සෙල්ලම් කරද්දී කාර් එක යටට විසිවුණු බොලේ දැකලා ඔබේ අවුරුදු 4 පුතා කාර් එක ලඟට දුවනවා අප්පච්චි උදේ පාන්දර කලබලේදී නොදකින්න පුළුවනි.පුතාලගේ අප්පච්චි හවස ගෙදර එනකොට අම්මා ගේට්ටුව අරින්න දුවද්දී අනිවාර්යයෙන්ම ගෙදර සියලු දරුවන් ප්‍රධාන දොරට යෙදු වැට ඇතුලෙන් තියලා ඉදිරිපස ගේට්ටුව අරින්න යන්න පුරුද්දක් ඇති කරගන්න.

සද්දේ එන කතා පොත් : සුබපැතුම් පත් , උත්සව සැරසිලි ,calculators,සෙල්ලම් බඩු , දුරස්ථපාලක වගේ දේවල් වල තියෙන බොත්තම් බැටරි ඉතා අනතුරුදායකයි.මේ බැටරි යෙදු දෑ ඉස්කුරුප්පු ඇණවලින් තදකොට වැසූ පියනක් සහිත නම් මිස පාවිච්චි කරන්න එපා. දිලිසෙන සුළු හුරුබුටි ස්වභාවය, බෙහෙත්පෙත්තක්/ කාසියක හැඩය ගැනීම නිසා දරුවා මෙලෙස ගැලවුණු බොත්තම් බැටරිය ගිලදමන්නට කන හෝ නහය තුලට දමාගන්නට පොළඹවන සුළුයි.මේ බොත්තම් බැටරි ශරීර ගත වුවිට විදුලිය කාන්දු වීමට හැකි නිසා එයින් දරුවට ඇති විය හැකි විපත ඉතා දැඩි වගේම ඉතා වේගවත්.බොත්තම් බැටරි පමණක් නොවෙයි ඕනෑම උපකරණයෙන් ඉහිල් වුන බැටරියක් දුටු විගස ඉවත් කරන්න. ඕනෑම බැටරි යෙදු උපකරණයක් දරුවාගේ පාවිච්චියට දෙනවා නම් ඒ ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටින්න.

බේබි පෘෆ් කරනවා කියන්නේ හුදෙක්ම උපායමාර්ග ස්ථාපනය කිරීමක් විතරක් නෙවි. ආරක්ෂාව සම්බන්ධව දරුවා තුළ පුංචි කලේ සිටම විනයක් පුරුදු පුහුණු කල යුතුවෙනවා. අපි හැමෝම අතින් වෙන ලොකු වරදක් තමයි ,”දරුවට තේරෙන්නේ නැහැ,”එපා” කියන එක තේරුම් ගන්න තරම් එයා පුංචි වැඩියි” කියා හිතන එක. ඒ නිසාම අපි බොහෝ දෙනෙක් භව්‍ය අනතුරුදායක අවස්ථාවලදීත් එයින් ඉවත් වෙන්න කියල කියා දෙන්නේ උත්සහ ගන්නේ නැහැ. ආරක්ෂාව වෙනුවෙන් උපාය මාර්ග ස්ථාපනය කරනවා වගේම පුංචිම කාලෙදිම දරුවට තේරෙන විදියට අනතුර ගැන කියා දෙන්න පටන් ගන්න. “පුතු ඒක දය්යා” “අල්ලන්න එපා මගේ පුතා ඌවා වෙයි” “එක අම්මගේ” වගේ දරුවට තේරෙන හැටියට කියල දෙන්න.ඔබ නොහිතුවට එය අනතුරු මග හරවා ගන්න උදව්වක්.එත් පුංචි හිත්වල තියෙන කුතුහලය නිසා දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔබේ නිරන්තර අවධානය තිබිය යුතුමයි.

දෙමාපියන් විතරක් නෙවි පව්ලේ සියලු දෙනාම මේ බේබි පෘෆ් සම්බන්ධයෙන් වගකීමෙන් විනයක බැදෙන්න.  පුතාලගේ අප්පච්චි සපත්තු පොලිෂ් කර කර ඉන්න වෙලාවේදී ඔබ තේ එක ගිහින් දුන්නාම… ඉස්සර වගේ සපත්තු පොලිෂ් කරලා ඉවර වෙනකල් ලඟට වෙලා ඉන්න වෙලාව නැත්නම්… ලිපේ හොද්ද බලන්න දුවන්න තියෙනවා නම් කිසිම වෙලාවක ළඟ තිබ්බ මේසේ උඩින් දුම් දාන තේ එක තියල එතනින් යන්න එපා… මේසෙට යන්තම් උස ඔබේ පුංචි පුතාට අම්ම ගෙනාව කෝප්පේ තියෙන්නේ මොනාද කියල බලන්න හිතෙන්නේ කොයි වේලාවේද කියලා ඔබටවත් ඔබේ මහත්තයටවත් හිතාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා ගෙදර ජිවත් වෙන හැමෝම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න හැම මොහොතකම හැම හැසිරිමකින්ම වගකීමෙන් බැදෙන්න.

කොයිතරම් උපායමාර්ගිකව ඔබේ ගෙදර බේබි පෘෆ් කළත් වැඩිහිටියකුගේ නිරන්තර සුපරික්ෂාව,දුර දැකීමේ නුවණෙහි තැන ගන්නට කිසිම බේබි ප්රුෆ් ක්‍රමෝපායක් සමත් වන්නේ නැහැ. ඒ නිසා හැම තත්පරයකම අනතුරක සේයාව දකින්න ඔබේ ඇස හුරුකරගන්න. එය ඔබේ රන්කැටියාට නිදහසේ හපන්කම් පාන්නටත් සුරැකිව වැඩෙන්නටත් රුකුලක් වෙවී.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


                

ඔබේ ගෙදර බේබි පෘෆ් ද? 1 කොටස

චුටියා දෝතට ලැබිලා… ඉස්පිරිතාලෙන් ගෙදර ආව දවසේ ඉඳන් කුක්කු බන්ඩිය පිරෙන්න කුක්කු දෙන ගමන් අම්මා  සිහින මවන්නේ පැටියා ඉක්මනට ලොකු වෙනවා දකින්න… හිනා කටක් පුරෝගෙන අම්ම එක්ක හිනා වෙනවා දකින්න… පුංචි අත් දෙක එකතු කරලා අත්පුඩි ගහනවා දකින්න…. බස බස ගාල දණ ගාගෙන යනවා දකින්න… අල්ලාගෙන හිට ගන්නවා දකින්න… අම්මගේ හීන වලට කෙළවරක් නෑ… ඒ තමයි අම්මගේ හැටි.

පැන්චා තොටිල්ලෙන් බිමට බැහැලා ගේ පුරාම රවුමක් යන්න සැරසෙද්දී පැන්චා වෙනුවෙන් ඔබ තැනු සුවැති උණුසුම් කැදැල්ල පැන්චාට ආරක්ෂාව සලසන්න සුදානම්ද? එහෙම නැතිනම් ඔබේ ගෙදර බේබි පෘෆ් ද? ඔබේ රන්කැටියට වැඩෙන්නට ඔබේ ගෙදර සුරැකි තැනක් ද? සුරැකි තැනක් බවට පත් කරන්න පටන් ගන්න ඕනේ කවද්ද?

පැන්චා දණ ගාන්න පටන් ගන්න කලින්ම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන ක්‍රමෝපායන් යොදන්න අරඹන්න.

නිදන කාමරෙන් පටන් ගනිමු.

පැන්චාගේ ඇඳුම් – බඩු දාන්න කබඩ් එකක් මිලදී ගනිද්දී ඒක ගොඩක්ම උස නැති හයිය… ඝනකම..පළල පතුලක් ඇති කබඩ් එකක්ද කියලා බලන්න. කබඩ් එක ගන්න ගියාම සාප්පුවෙදීම උඩම ලාච්චුව පොඩ්ඩක් වේගෙන් ඇරලා බලන්න ලච්චුවත් එක්ක කබඩ් එක ඉස්සරහට (ඔබ දෙසට) ඇදිල එනවද කියල. ලාච්චු අරිද්දි ලේසියෙන්ම ලාච්චුව වැටෙන්න බලනවද කියල. ඔබ ගන්න කබඩ් එකත් එක්ක එන ආරක්ෂක උපදෙස් මොනවද කියල බලන්න.කබඩ් එක ගෙනාවට පස්සේ…. කබඩ් එක “L ” බ්‍රකට් එකකින් බිත්තියකට හා පොළවට සවිකරන්න. කිසිම වෙලාවක කබඩ් එක උඩ ඔබේ පැංචාට උඩට නැගල/ ඇදිලා ගන්න හිතෙන… කොහොම හරි ලං වෙන්න හිතෙන ආකර්ශනීය දේවල් (සෙල්ලම්බඩු/ පාට පාට දේවල් )තැබීමෙන් වලකින්න. උඩම ලාච්චුවල බර දේවල් (වැඩිපුර රෙදි/ බඩු)පුරවා තැබීමෙන් වලකින්න.අම්මා පැය ගණනක් තිස්සේ නවපු ඇඳුම් දණ ගාගෙන ගිහින් වාඩි වෙලා ඇදලා ඇදලා එලියට දාන්න පැන්චා හරිම ආසයි.මේ ලාච්චු වලට පුංචි ඇඟිලි අහුවෙන්න පුළුවන් නිසා ඒවා අරින්න බැරි වෙන්න යතුරු ලෑමක් හෝ උපක්‍රමයක් ඇති කරන්න.ඇඳ ගාව බිමට එළපු බුමුතුරුණ ලිස්සනවද බලන්න. non ස්ලිප් මැට් එකක් දාන්න.අල්ලාගෙන හිට ගන්න පටන් ගනිද්දී ලිස්සන සුළු බුමුතුරුණු අනතුරු වැඩි කරාවි.

මැද සාලයේ ඇති කොෆි ටේබල්… ටීපෝ… කෑම මේස වගේ තියුණු දාර ඇති ගෘහ භාණ්ඩ දණ ගාගෙන යන පුංචි කඩියට… විසිවේවි වැටි-වැටි යන ඔබේ පුංචි ආච්චි අම්මට අනතුරුදායක දේවල්. තියුණු  දාර ඇති ගෘහ භාණ්ඩ නිතර දරුවා ගැවසෙන තැන්වලින් ඉවත් කරන්න. නැත්නම් බබල් රැප් වලින් ඒ දාර ඔතන්න. කබඩ් ,පොත් රාක්ක “L” බ්‍රකැට් වලින් බිත්තිවලට සවිකරන්න. pedestal ෆෑන් බඳ යමකට ගැට ගසා තබන්න. දණගාගෙන ගොස් ඇඟට පෙරලගැනීම වළක්වා ගන්නට එය උපකාරී වේවි.සියලු ස්ථාවර නැති(සෙලවෙන /වැනෙන ) ගෘහ භාණ්ඩ… සැරසිලි කලකට ඉවත් කර තබන්න. රුපවාහිනිය ටි වී ස්ටෑන්ඩ් එකට හෝ බිත්තියට සවිකරන්න. එය රුපවාහිනිය ඇඟට පෙරලගෙන සිදුකරගතහැකි ඛේදනීය සිදුවීම් වළකා ගැනීමට උපකාරී වේවි.

අම්ම රෙසිපි හොයලා මහන්සි වෙලා හදල දෙන රස බත් තලාපෙ තු ගාල එලියට දැම්මට.. .බිම තියෙන පෑන් විල්ලක්,සෙල්ලම් කාර් එකක ගැලවුණු රෝදයක් කටේ ඔබා ගන්න මේ පුංචි චණ්ඩියට ගතවෙන්නේ ඇසි පිල්ලමක් ගහන වෙලවක් විතරයි.

අහුවෙන ඕනෙම දෙයක් කටේ ඔබා ගන්න එක මේ වයසේ දරුවෙකුගේ ලොකුම ක්‍රියාකරකමක්. ඒ නිසා දරුවා බිම තියන්න කලින් මුළු ගෙදරම තියෙන දරුවා කටේ දාගන්න පුළුවන් කියල හිතෙන හැම පුංචි දෙයක්ම අයින් කරන්න. පුංචි අය්යෙක්  අක්කෙක් ඉන්නවනම් “මල්ලි මේවා කටේ දා ගෙන ලෙඩ වේවි පුතේ… එයා පොඩ්ඩක් ලොකු වෙනකල් අපි මේ ටික හංගලා තියමු” කියලා පුංචි සෙල්ලම් බඩු… Lego කෑලි අරන් තියන්න.සෙල්ලම් බඩු වල ගැලවෙන්න පුළුවන් කොටස් ගැන නිරන්තර අවධානයක් දෙන්න.

අම්මා කන්තෝරු ගිහින් ආවම…. අත්තම්ම මහගෙදර ඉඳන් නැත්නම් පන්සල් ගිහින් ආවම අත්බෑගය තියන්නේ කොහෙද? අත්බෑගයක් මේතරම් උවදුරු කාරකද කියල හිතුනෙම නැහැ නේද? බෙහෙත්, සිල්ලර කාසි, විලවුන් , ආලේපන, කොන්ඩ කටු, ආයකටු, විටමින් වගේ අත්බෑගයක් තුල ඇති හැමදෙයක්ම දරුවෙකුට විපත්තිකාරකයි. බොහෝ විට වයස්ගත අයගේ බෙහෙත් බහාලන බෝතල් (non-childproof) ඉතා පහසුවෙන් අරින්න පුළුවන් පරිදි සකසා තිබීම අනතුරට තවත් රුකුලක්. බෙහෙත් පමණක් නෙවි වැඩිහිටියන්ට දෙන විටමින් පවා දරුවෙකුට විස වෙන්න පුළුවනි.

පුංචි පැටව් හරි ආසයි ප්ලග් වලට දේවල් ඔබන්න, මේ ඔබන දෙය විද්‍යුත් සන්නායකයක් උනොත් ඔබේ දරුවා විදුලි සැර වැදීමකට ලක් වේවි. සියලු ප්ලග් වහන්න. අවශ්‍ය වෙලාවට ගලවා ඉවත්කළ හැකි ප්ලාස්ටික් පේණු තුඩු වෙලදපොලේ මිලදී ගන්න පුළුවනි. වාඩි වෙලා…හෙමින් සැරේ පොපියන විදුරු මසින් වයර් එකක් හප හපා ඉන්න බැරි වෙන්න බිත්ති අයිනේ බිම ඇති වයර් ටේප් වලින් වසන්න.නැත්නම් දරුවට ළඟා විය නොහැකි පරිදි ගෘහ භාණ්ඩ වලින් මුවා කොට තබන්න.

ඔබේ නිවස මහල් එකකට වැඩි නම් ඉහල මහල්වල දරුවට ළඟ විය හැකි ජනෙල් වල ජනෙල් පියන් අගුලු ලා තබන්න. නැත්නම් ඒ ජනේලවල ආරක්‍ෂිත ගරාදි සවිකරන්න. පුටු ,සෝෆා වැනි දෑ ජනේල වලට ඉතා ලංකොට තැබීමෙන් වලකින්න. උඩ නගින්න පටන් ගන්න වයසේදී ඒවාට නැගලා ජනේලෙන් එලියට පනින්නට හෝ වැටෙන්න පුළුවනි.

ගෙදරක් බේබි පෘෆ් කිරීම ගැන ලියන්න කාරණා අතිවිශාල ප්‍රමාණයක් ඇති නිසා ඒ කරුණු මීලග ලිපියෙන් ගෙනෙන්නම්. නොවැරදීම දෙවෙනි කොටස බලන්න.

 කතුවරිය ගැන


deepika-pro-picture දීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.


                

දරුවා නිදි කරවිය හැකි ක්‍රම පිළිබඳව ඔබ දැන සිටියාද?

නිදා ගැනීම වැඩිහිටියන්ට මෙන්ම ළදරුවන්ටද පුරුදු පුහුණු කරවිය හැකි ක්‍රියාවලියකි. දරුවාගේ නින්ද සඳහා මවගේ මානසිකත්වය ද බලපායි. සංසුන්, කලබල නොවන, ඉවසීම හා විඳ දරාගැනීමේ ශක්තිය ඇති මව්වරුන්ට දරුවාගේ නින්ද ගැටලුවක් විය හැකි ප්‍රවනතාවය අවමය. නිදාගැනීම සඳහා ළදරුවාට නිශ්ශබ්ද, සන්සුන්, විශ්වාසදායී පරිසරයක් සකස් කර දීම දරුවාගේ සුව නින්ද වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුත්තකි.

දරුවා නිදි කරවීමට පරිසරය සූදානම් කිරීම

සාම්ප්‍රදායික තොටිල්ල (ලීවලින් හෝ රෙදිවලින් සාදා ඇති) හෝ  කුඩා ඇඳක් ද මේ සඳහා යොදා ගත හැකිය. එසේම ආලෝකය පාලනය කළ හැකි වීම, උෂ්ණත්වය පාලනය කළ හැකි වීම මෙන්ම නිහඬ පරිසරයක් තිබීමද ඉතා වැදගත් වේ.

ඔබේ දරුවා නිදි කරවන හා නිදාගන්නා ස්ථානය යන දෙකම එකම ස්ථානයක් විය යුතු නිසා කර මත හෝ කිරි පොවන අතරතුර නිදි කරවීම නොකරන්න. වෙනත් ස්ථානයක නිදි කරවා ඇඳ මත හෝ තොටිල්ල මත දරුවා තැබූ විට හදිසියේ නින්දෙන් අවදි වුවහොත් නුපුරුදු පරිසරයක් බැවින් දරුවා බියවනු ඇත. සෑම මොහොතකම දරුවා ඇඳ මත/තොටිල්ල මත නිදි කරවන්නට පුරුදු කරගන්න. එවිට දරුවා ඇඳ මත හෝ තොටිල්ල මත තැබූ විට නිදි කරවීමට සූදානමක් ලෙස දරුවාට දැනෙන බැවින් දරුවා නින්දට සූදානම් වේ. දරුවාට නිදිමත ඇති වූ විගස නිදි කරවීම ඇරඹිය යුතු අතර අවදිව සිටින මොහොතක බලෙන් නිදි කරවීම නොකළ යුතුය. නින්දට පෙර දරුවා සමඟ අනවශ්‍ය ලෙස සෙල්ලම් නොකරන්න. එය දරුවාගේ නින්දට බාධාවක් වේ. සිංදුවක්, කතන්දරයක් කීම නින්දට පිටුවහලකි. දරුවාට නින්ද ගිය පසු කුඩා කොට්ට දරුවා වටේට තබන්න. ඉතා කුඩා කාලයේදී නම් රෙද්දක් ගෙන වළල්ලක් සේ සකසා දරුවා වටා තැබිය හැක. දරුවා කැමති සෙල්ලම් බඩුවක් පසකින් තබන්න. දරුවා හදිසියේ අවදි වුවහොත් ඇඳ මත තබාම නිදි කරවීම සිදු කරන්න. අතට ගැනීම නොකරන්න.

නිදි කරවීමට භාවිත කරන ක්‍රම

  • සෙමින් සෙලවීම : 
    මවගේ කකුල් මත හෝ තොටිල්ල මත තබා සෙමින් සොලවන්න. එවිට දරුවාට නින්ද යනු ඇත.
  • මවගේ කර මත හෝ ඇඳ මත :
    ඉන්පසු සෙමින් ඇඳ මත තබන්න. සෙමින් දරුවාට තට්ටු කරන්න. එවිට නින්ද යනු ඇත. එවිට සෙමින් ඉවත් වන්න. මෙය සිදු කළ යුත්තේ නිදාගන්නා ස්ථානය ආසන්නයේදී වේ.
  • දිගටම ඇසෙන සියුම් නාද රටා :
    මෙවැන්නකට කන් යොමුකරගෙන සිටින දරුවාට ඉබේ නින්ද යනු ඇත. (උදා:පටිගත කරන ලද සංගීත නාද, පිරිත් දේශනා, රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියා කරන විට ඇසෙන හඬ,මාළු ටැංකියේ මෝටරය ක්‍රියා කරන හඬ,කරකැවෙන විට ශබ්දය ඇති වන සෙල්ලම් බඩු)
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා ඒකකයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අලුත උපන් ඔබේ පැටියාගේ මලපහවලත් මේ වෙනස්කම් තිබෙනවාද?

අලුත උපන් කිරි කැටියෙක් කිරි පෙවීම නිසා දිනකට වැඩි වාර ගණනක් මලපහ කිරීම සිදු කරයි. සමහර දරුවන් සතියකට වරක් මලපහ කිරීම සිදු කරයි. තවත් සමහර දරුවන් දිනකට 7-8 වතාවක් මලපහ කිරීම සිදු කරයි. මල වියලි භාවය රහිත නම් දරුවාට අපහසුතාවයක් නොමැති නම් සතියක් පමණ යනතුරු මලපහ නොකිරීම කලබල විය යුතු තත්ත්වයක් නම් නොවේ.

ළදරුවන්ගේ මලපහ පිටකිරීම හා සම්බන්ධ ගැටලු වලදී දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳව අපි සාකච්ජා කරමු.

වැඩි වාර ගණනක් මළපහ වීම

ඇතැම් අවස්තාවලදී ඇතැම් ළදරුවන් වැඩි වාර ගණනක් මලපහ කරන අතරම එයට හේතුව වැඩි වාර ගණනක් ආහාර ලබාදීම නම් දරුවාගේ බර අධිකව වැඩි වීම, රාත්‍රියට මලපහ කිරීම අඩු වීම වැනි තත්ත්වයන් යටතේ හඳුනා ගත හැකි අතරම මෙහිදී වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වයි.

නමුත් මෙසේ වැඩි වාර ගණනක් දරුවෙකු මලපහ පිට කරන්නේ රෝගී තත්ත්වයක් නිසා නම් පහත දක්වා ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

  • දිනෙන් දින බර අඩු වේ.
  • මව වැඩිපුර ආහාර/කිරි ලබා නොදුන්නද මලපහ වීම සිදු වේ.
  • මලපහ වීමට අමතරව උදර වේදනාව, වමනය, උණ ආදී ලක්‍ෂණ ඇති විය හැක.
  • මල සමග සීදම් හෝ රුධිරය පිටවීම.

මෙවැනි තත්ත්වයකදී දරුවාට ප්‍රතිකාර ප්‍රතිකාර ලබාදීමට පෙර මල පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් (Stool for full report) ලබාගැනීම අවශ්‍ය වේ.

දරුවාට මල සමග සීනි පිටවීම

මෙම තත්ත්වය හේතු 2 ක් යටතේ සිදු විය හැකිය.

  • දරුවාගේ පෝෂණ අවශ්‍යතා සඳහා මව්කිරිවල සීනි අඩංගු වේ. අධික වාර ගණනක් කිරි පෙවීමෙන් මව්කිරිවලින් ලැබෙන සීනි ප්‍රමාණය දරුවාට ජීර්ණයට නොහැකි වේ. මේ නිසා මල සමග සීනි පිටවේ. මෙම තත්ත්වය හඳුනාගත හැකි වන්නේ දරුවා කොතෙක් මලපහ කළද බර ප්‍රමාණයෙන් වැඩි වීමය. ප්‍රතිකාර වන්නේ කිරි ලබාදෙන වාර ගණන අඩු කිරීමය.
  • දරුවාගේ ආහාර මාර්ගය තුළ සීනි ජීර්ණයේ ගැටලු ඇති නම් මෙම තත්ත්වය ඇති වේ. මෙහිදී දරුවාගේ වර්ධනය දුර්වල වන අතර දිනෙන් දින බර අඩුවේ. මෙය බහුලව දැකිය හැකි ගැටලුවක් නොවන අතර මන්ද පෝෂණ තත්ත්වයන් වුවද දැකිය හැක. ප්‍රතිකාර ලෙස වෛද්‍ය උපදෙස් මත සීනි අඩංගු නොවන පිටි කිරි වර්ග භාවිත කළ හැක.
දරුවාගේ මල කොළ පාට වීම

මෙම තත්ත්වය හේතූ 2 ක් නිසා ඇති වේ.

  • රෝග තත්ත්වයක් නිසා මල බුරුලට යාම ඇති වූ විට මෙම තත්ත්වය ඇති වේ. මීට අමතරව උණ, වමනය, උදර වේදනාව වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි.
  • අනවශ්‍ය ආකාරයට වැඩි වාර ගණනක් කිරි පෙවූ විට මෙම තත්ත්වය ඇති වේ. එවිට ආහාර මාර්ගය අධි ක්‍රියාකාරිත්වයට පත් වී ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් සිදු නොවී එයට එකතු වූ පිත මල සමග පිට වේ. පිත එකතු වීම නිසා මල කොළ පැහැයක් ගනී. මෙය පාලනය සඳහා කිරි පෙවීම සීමා කළ යුතු වේ.

සමහර දරුවන් මලපහ කරන විට ඇඬීම, තැටමීම, කෙඳිරි ගෑම සිදු කරයි. මලපහ කිරීමට ආසන්නයේ දැනෙන අපහසුව නිසා මෙසේ ඇති විය හැක. බඩ එළිය යාම රෝගයක් ලෙස වැළඳුන විටද සුපුරුදු ආහාර රටාවම ලබා දෙන්න. ආහාර ලබාදීම සීමා නොකරන්න.

මලපහ දියර වශයෙන් දිනකට සාමාන්‍යයෙන් පිටවන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් පිටවීම නිසා දරුවාගේ සිරුරෙන් අනවශ්‍ය ලෙස ජලය ඉවත් වේ. මෙම තත්ත්වය විජලනය ලෙස සරලව හැඳින්විය හැකි අතර එවිට දරුවා පහත ලක්‍ෂණ පෙන්වයි.

  • වියළි තොල්
  • ගිලුණු ඇස්
  • අධික පිපාසය
  • මුත්‍රා පිටවීම අඩුවීම
  • දරුවා නොසන්සුන් වීම
  • දරුවා මළානික වීම

වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙහිදී ප්‍රතිකාර ලෙස ජීවනී ලබාදීම ආරම්භ කරන්න. ඉතාම වැදගත් ප්‍රතිකාරයකි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා ඒකකයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ඔන්න, දරු පැටියා තුවායෙනුත් ආරක්ෂා කරගන්න වෙයි

පවුලක ළදරු දරුවාගේ තුවායට නම් ඉතාම වැදගත් තැනක් ලැබෙනවා. ඒ අම්මා තාත්තා දරුවාට තිබෙන ආදරය නිසයි. හදිසියේවත් විෂබීජයක් එහෙම නැත්නම් වෙනත් ආසාදනයක් ඇති වුනොත් කියන බිය නිසා දරුවාගේ තුවාය ගැන තිබෙන සැලකිල්ල පවුලේ සෙසු සාමාජිකත්වය වෙනුවෙනුත් දැක්වීම ඉතාම වැදගත්.

ඒ වගේම අපි සමහර අවස්ථාවලදී තුවාය ගැන යම් සැලකිලල්ක් දැක්වීමට උනන්දු අවස්ථා නැතුවා‍ත් නොවෙයි. අලුහම් හෝ සමේ වෙනත් ආසාදනයක් ඇති විට එහෙම නැත්නම් වෙනත් රෝග තත්වයක් තිබෙන විට පවුලේ සාමාජිකයාගේ වුනත් තුවාය වෙන් කර තැබීම සිදු වෙනවා. කුරුලෑ වගේම ඉන්නන් සිටින විටත් අපි තුවාය වෙන් කර ගැනීමට උනන්දු වෙනවා. ඒ වගේම පවුලේ වුනත් ඒ වගේ සමේ රෝග තත්වයන් තියෙන සාමාජිකයා පාවිච්චි කරන තුවාය ඈත් කර තැබීමට උනන්දුයි. අද දවසේ කතා බහ කරන විදිහට තුවාය කියන්නේ බැක්ටීරියාවන්ට ප්‍රවාහන මාධ්‍ය සපයන ආයතනයක්.  ඒ නිසාම තුවාය කියන්නේ විෂබීජ ආකරයක්.

අපි හිතන්නේ මුහුණ පිහින තුවාය ඉතින් කිලුටු වෙන්නෙත් නැති නිසා සතියකට වතාවක් සෝදා පිරිසිදු කර ගත්තාම මදැයි යන අදහස වුනත් එය සම්පුර්ණයෙන් වැරැදි සහගත අදහසක්. ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ මහාචාර්ය “පිලිප් ‍ටර්නෝ” සඳහන් කරන අන්දමට මුහුණ පිහින තුවාය කියන්නේ විෂබීජ ආකරයක්. මුහුණ පිහින තුවාය තෙතමනයෙන් තියෙන නිසා coliform වැනි බැක්ටීරියා වගාවීමට ඉතාහ හොඳ තෝතැන්නක් ඇති වෙනවා. ඒ නිසා බැක්ටීරියා ආසාදනයන්ට අපි නිරාවරනය වීමට තිබෙන අවස්ථාව තුවාය හරහා ඇති වීමට තිබෙන ප්‍රවනතාවය දහස් ගුණයකින් ඉහළ බැව් මෙම මහාචාර්යරයා පෙන්වා දෙනවා.

ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු නැසුවා ප්‍රජා රෝහලේ ආසාදිත සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය “ආරොන් ග්ලේට්” පෙන්වා දෙන අන්දමට මිනිසුන්ට විෂබීජ මගින් රෝග බෝවීමට ඇති අවදානම ඔවුන්ට පාලනය කර ගැනීම පහසුයි. ඒ වෙනුවෙන් වූ සුවපිලිවෙත් ගැන දැන් සමාජය බොහෝ සෙයින්ම දැණුවත්. ඒ වුනත් තමන්ගේ තුවාය මේ විදිහට ලෙඩ රෝග වෙනුවෙන් රෝග බීජ වපුරනවා නම් දැන් අපි තුවාය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්වීමට කාලය ඇවිත්.

සාමාන්‍යයෙන් තුවායක බැක්ටීරියා බිලියන පහක් පමණ ජීවත්වෙනවා. අපි තුවාය පාවිච්චි කළාම මේ ප්‍රමාණය බිලියන දහයටත් වඩා වැඩියෙන් ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ නිසා ඔවුන්ගේ උපදෙස වන්නේ තුවාය පාවිච්චියෙන් පසුව සෝදා  වියලා ගැනීම ඉතාම වැදගත් බවයි.

අපි කලබලයට තුවාය නානකාමරයේ තබා යෑමට පුරුදුව සිටිනවා. දරුවන් අතරත් මෙය ඉතාම බහුල සිරිතක්. ඒත් තුවාය තෙතමනය සහිතව මේ විදිහට තිබීම බැක්ටීරියා වගා වීමට හොද පරිසරයක්.

තුවාය සෝදන්න උපදෙස්

අයර්ලන්තයේ එනිස් ආසාදාන රෝග පාලන දෙපාර්තමේන්තුව විසින් තුවාය සෝදා ගැනීමට උපදෙස් කීපයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මුහුණ පිහින තුවාය සෙල්සියස් අංශක 60 ක උණුසුම් ජලයෙන් සෝදා ගැනීම මගින් බැක්ටීරියාවන්ගේ වගාව පාලනය කර ගැනීමට පුලුවනි. ඒ වගේම යාන්තම් තෙත ගියාම මදැයි කියනන්ත් එපා. අඩුම වශයෙන් විනාඩි 45 ක කාලයක්වත් තුවාය වියලා ගැනීම වැදගත්. අපි ඉතින් නිවසෙන් පිටත් වෙද්දී තුවායත් ගෙට දාලා යන්නේ හදිසියේ වැස්සොත් කියන අදහස නිසයි. හවසට ආවාම නැවත්ත මේ තුවායම පාවිච්චි කරද්දී සාමානයයෙන් වියලී තිබෙනන් පුලුවනි. ඒ වුනත් ඒ වියලීම මද පවනේ නිසා බැක්ටීරියාවන්ට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. අව්වේ වියලා ගැනීමට යොමු නොවන උදවිය රෙදි සෝදන යන්ත්‍රයේ වියලන කොටසේදී වුනත් හොදින් වියලා ගැනීම වැදගත්.

ඒ වගේම අපේ මුලුතැන්ගෙදයි තිබෙන අත්පිස්නාවලත් මේ විදිහටම අවදානම තිබෙනවා. තෙතමනය තිබෙන තැන්වල බැක්ටීරියාවන්ට හොඳ තෝතැන්නක් සපයනවා. ඒ නිසා කිසිම විටෙක අත්පිස්නාව තෙතමනයෙන් තබනන් එපා. ස්පොන්ජ් වුනත් නිතරම වියළිව තබා ගැනීමට උනන්දු වීම එබේම සෞඛ්‍යට හිතකරයි.

අ‍පි නොදැනීම විවිධ විෂබීජ පැතිරෙන තවත් ක්‍රමයක් තිබෙනවා. වැසිකිලි කොමඩ් එකට වතුර මුදා හරින විට එහි පියන වසා වතුර ටැංකිය ක්‍රියාත්මක කරනන්. එසේ නැති වුනොත් වතුර පහරේ වේගයට මේ විෂබීජ වැසිකිළියේ කොමඩ් එකේ සිට අවට පරිසරයට පැතිරෙන්න පුලුවනි. ඒ නිසා ටිකක් සැලකිලිමත් වීමත් වැදගත්.

C-net වෙබ් අඩවියේ Richard Nieva ගේ ලිපියක් ඇසුරිනි

 

අපිරිසිදු වාතයට නිරාවරනය වෙන දරුවන් මානසික අවපීඩනයට පත් වෙන්න පුලුවනි

අද කාලයේ බොහෝ දරුවන් අතර ශ්වසන ආබාධ ඉතාම සුලබයි. කැස්ස, පපුවේ හතිය එහෙම නැත්නම් මහන්සිය වැනි රෝගාබාධ ගැන පැමිනිලි සියල්ල එකතු වෙන්නේ  දූෂිත වාතය ශ්වසනය කිරීම කියන ගිණුමටයි.

ඒත් දූෂිත වාතය නිසා ඔය කියන අපහසුතාවයන්ටත් වඩා බරපතල රෝගාබාධයන්ට දරුවන් ගොදුරු විය හැකි බවට නවතම අධ්‍යනයන් සිදු වී තිබෙනවා. ලන්ඩනයේ රාජකීය කොලීජියේ  Helen Fisher විසින් මෙම අධ්‍යනය සිදු කරනු ලැබුවා. ඔහුගේ අධ්‍යනය වෙනුවෙන් දරුවන් 284 ක නියැදියක් තෝරා ගත්තා. ඒ අතරින් 25 %කම දරුවන් වයස අවුරුදු 12 ටත් අඩු කාලයක පටන් දූෂනය වුන පරිසර තත්වයක ජීවත්වුන දරුවන් මානසික රෝගී තත්වයේ ගොදුරු බවට පත් වීමයි.

තත්වය එතැනින් නැවතුනේ නැහැ. මේ අන්දමින් පරිසර දූෂනයට පත් කලාපයන්හි හැදුන වැඩුන දරුවන් පාසලේ ඉතාම හිරිහැරකාරී චරිත බවට පත් වුණා. මේ දරුවන් තමන්ගේ සම වයස් කණ්ඩායමේ දරුවන්ට අඩන්තේට්ටම් කිරීම වැනි හිංසාකාරී හැසිරීම් වෙනුවෙන් යොමු වුණා. පර්යේෂක “හෙලන් ෆිෂර්” සඳහන් කරන්නේ අපිරිසිදු වාතයේ පවතින විෂ රසායනයන් අපිට ශාරිරික ලෙසින් බලපෑම් ඇති කරන බව අපි දැනගෙන සිටියා. නමුත් දරුවන්ගේ මානසිකත්වයට මේ අන්දමේ දරුණු බලපෑමක් කරන බැව් අපි මෙතෙක් දැන සිටියේ නැහැ. දූෂිත රසායනයන් නිසා මොළයේ ඇති වෙන ඉදිමුම සහ දැවිලි ස්වභාවය සෘජු ලෙසින්ම දරුවන්ගේ මානසිකත්යට විශාල ලෙසින් බලපෑමක් ඇති කරන බැව් මෙම පර්යේෂිකාවගේ අදහසයි.

දූෂිත වාතයට වයස අවුරුදු 12 ක් වැනි ලාබාල කාලයේදී නිරාවරනය වෙන දරුවෙක් ඉතා පිරිසිදු පරිසරයක ජීවත්වුන දරුකෙවෙකුට සාපේක්ෂව බලන විට මේ අන්දමේ මානසික ව්‍යාධීන්ට ගොදුරු වීමට ඇති සම්භාව්‍යතාවය හතර ගුණයකින් ඉහළ බැව් ඇය මෙම අධ්‍යනය ඇසුරින් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කරමින් සඳහන් කරනවා.

දරුවෙක් වැඩිවියට පත් වෙනවා යනු සරල ජීව විද්‍යාත්මක සංසිද්ධියක්  නොවෙයි. වයසත් සමග වැඩෙන දරුවා වැඩිහිටි ලෝකයට සම්බන්ධ වීමත් සමග ඔහුට විශාල වගකීම් සමුදායක් ජීවිතයට එක් වෙනවා. ශාරිරික වශයෙනුත් දරුවන්ගේ හෝර්මෝන වෙනස්වීම් ඉදිරියේත් ඔවුන්ට ආගන්තුක අත්දැකීම් ලැබෙනවා. ඒ අතරම  ලෝකය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට සිද්ධ වෙනවා. විභාග මානසිකත්වයට මේ සියලල්ම අතික්‍රමණය කරනවා. එවන් පරිසරයකට මුහුණ දෙන දරුවෙකුගේ මානසික සෞඛ්‍යය ඉතා යහපත්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්. නමුත් බාල කාලයේ පටන්ම දූෂිත පරිසර තත්වයක ජීවත්වෙන දරුවෙකුගේ මානසික ගැටුම සමග බාහිර ලෝකයෙන්ද තමන්ගේ ජීවිතයට එක් වෙන මේ අභියෝග ඉදිරියේ ඉතාම අසරණතාවයකට පත් වීමේ දරුණු ඛේදවාචකයක් ගොඩ නැගෙනවා. මේ මානසික ගැටුම පිටුපසින් දිවෙන පසුබිම ගැන දරුවාටෙ සම්බන්ධව සිටින කිසිම කෙනෙක් දන්නේ නැහැ.

මේ තත්වයට ප්‍රතිකාර කිරීමත් අපහසුයි…

වායු දූෂණය පිලිබඳව මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යනයක් සිදු කළ අතර ඒ සඳහා අංශුමය පදාර්ථ සහ නයිට්ට්‍රජන් ඩයොක්සයිඩ් පාදක කර ගත්තා.  මානසික රෝග වෙනුවෙන් වැඩි දියුණු කරන ලද  ප්‍රතිකාර තිබුනත් පාරිසරික දූෂණය නිසා ඇති වෙන රෝග තත්වයන්හිදී එමොළයට ඇති වෙන බලපෑම  හඳුනා ගැනීමත් අපහසු බැව් මෙම පර්යේෂකයින් සදහන් කරනවා. ඒ වගේම ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය “රොබින් රසල් ජෝන්ස්” සඳහන් කරන්නේ දැනටමත් බ්‍රිතාන්‍යයේ පාරිසරික දූෂණය වැඩියෙන් සිදු වෙන ප්‍රදේශයන්හි මානසික ගැටලු තත්වයට පත්ව සිටින නව යෞවනයන්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවනතාවයක් පවතින බවයි.

Doctors Against Diesel ව්‍යාපාරයේ මහාචාර්ය Chris Griffiths සඳහන් කරන අන්දමට  මේ පාරිසරික ගැටළුව උග්‍ර වීම නිසා  අනාගත පරපුර මානසික රෝගීන් ලෙසින් සමාජගත වීමට ඇති ප්‍රවනතාවයට පිලියම් යෙදීම දැන් අත්‍යවශ්‍ය තත්වයක් බවට පත්ව ඇති නිසා මේ සංසිද්ධිය නොසලකා සිටිය යුතු නැති බැව් මහාචාර්යවරයාගේ අදහසයි. මෙම සිද්ධියට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු වුනත් ඒ ගැන රජය දක්වන උනන්දුව ඉතාම දුර්වල මටට්මක පවතින බව Medact, සෞඛ්‍ය සත්කාර ආයතනයේ  “රෙබෙකා ඩැනියල්” සදහන් කරනවා. මේ ගැන දැඩි උපහාසාත්මකව කරුනු දක්වන ඇය කියා සිටින්නේ එසේනම් රොබෝවරුන් ලවා හෝ මේ දූෂිත පරිසරය පිරිසිදු කර ගැනීම ට යොමු වීම බාල පරම්පරාව මුල් කර ගෙන යහපත් අනාගතයක් දකින හැම දෙනාගේම අපේක්ෂාව විය යුතු බවයි. මේ අධ්‍යනය සිද්ධ වුනේ මහා බ්‍රතාන්‍යයේ වුනත් අපේ දරුවන් පවා මේ අවාසනාවන්ත තත්වයේ ගොදුරු බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන් ජීවත් වෙන පරිසරය වායු දූෂන තත්වයන් හැකිතාක් දුරට වලක්වා ගැනීමට අපේ අවධානය යොමු වීම ඉතාම වැදගත්. විශේෂයෙන් වාහන මගින් නිකුත් වෙන දුම් විශාල ලෙසින් පාරිසරික ගැටළු ඇති කරනවා. ඒ නිසා මේ තත්වයට විකල්ප සෙවීමට නම් “මම” යන සංකල්පය නොව නොව අපි යනුවෙන් හැමදෙනාගේම දායකත්වය අවශ්‍ය වෙනවා.

Science advance –Nature Communication

 

ධාරණයට මගක්…

ඉගෙනගන්නා කටයුතු වල යෙදෙන හැම දෙනෙකුගේම මුවින් නික්මෙන පොදු පසුබෑමක් තිබෙනවා. ඒ තමයි, “කොච්චර පාඩම් කළත් මතක නැහැ…” පාඩම් කරනවාට වඩා එයින් අපි ධාරණය කර ගන්නා කොටස අනාගතයේ විභාග ජයග්‍රහණයට හේතු වෙන අන්දමේ අධ්‍යාපනට රටාවකට අපි හැම දෙනෙක්ම කොටු වී සිටිනවා. කොහොම වුනත් ධාරණය පිලිබඳ ගැටළු ඈත අතීතයේ පටන්ම පැවැතුනා. චුල්ල පන්ථක ස්වාමින් වහන්සේ ධාරණය පිලිබදව ගැටලුවලට මුහුණ දුන් අන්දම අපේ බෞද්ධ සාහිත්‍යය තුලින් මනාව පැහැදිලි වෙනවා.

ඒ නිසාම මතක තබා ගැනීමට මිනිසාගේ මොළයට ඇති අපහසුතාවය මුල් කර ගෙන 19 වන සියවසේ පටන්ම විවිධ අධ්‍යනයන් සිදු වුණා. ජර්මනියේ වාසය කළ දාර්ශණිකයෙක් වගේම මනෝවිද්‍යාඥයෙක් ලෙසින් කීර්තියට පත් “හර්මන් එබින්හව්ස් (Hermann Ebbinghaus)” මේ ගැන අධ්‍යනය කරමින් අලුත් අදහසක් සමාජයට ඉදිරිපත් කළා. ඔහු ඒ වෙනුවෙන් පාදක කර ගත්තේ දැණුම අවශෝෂනය හෙවත් මොළයට උරා ගැනීම සහ කාලය අතර පවතින අන්තර් සම්බන්ධතාවයයි. හර්මන් විසින් ඔහු ලබා ගත් දත්ත ප්‍රස්ථාරයක් මගින් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු විසින් පෙන්වා දුන් කරුණු අපිටත් වඩා අපේ දරුවන්ට ඉතාම වැදගත්. ඒ මොකද කිව්වොත් අපේ අම්මලාට අවශ්‍යතාවය තියෙන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතු ඔරලෝසු කටු අනුව ගණනය කිරීමටයි. “ඊයෙත් කලින් නිදා ගත්තා නේද…? මම බලද්දී හොදටම නිදි…” මේ වගේ චෝදනා  නැගුවත් ඕනෑම කෙනකුට දැනුම උරා ගැනීමේ හැකියාව කාලයට සමාන්තරව ගමන් කරනවා. ආයාසයෙන් වුනත් කාලය සමග මේ ගණුදෙණුව සිදු කලොත් පරිපූර්ණත්වයට පත් වුනත් නව දැණුම වඩාත්ම සාර්ථකව මොළයට ධාරනය වෙන්නේ මුල් පැය විස්සක කාලයේදී බව ඔහු විසින් පෙන්වා දුන්නා.

ඒ වගේම අලුත් දෙයක් අලුත් විදිහට…

තවත් සමීක්ෂණයකට අනුව අලුත් විෂයක් හෝ අලුත් හැකියාවක් වෙනුවෙන් ඉතා ම කාර්යක්‍ෂම ඉගෙනුම් කාලය වන්නේ, පළමු පැය 20 ට ඇතුළත් කාලයයි. කාලය සමග කාලයක් පුරා එක ම උත්තේජන නැවත නැවත හමුවීම තුළ මොළයේ ප්‍රතිචාරය ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග ශීඝ්‍රයෙන් අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය නැවතී යයි.

ඵලදායිතාවය වර්ධනය වන්නේ කෙසේද…?

ඵලදායිතාව වර්ධනය කළ යුත්තේ කෙසේදැයි උගන්වන ඇමෙරිකානු ජාතික ජෝෂ් කෆ්මන් (Josh Kaufman), මෙම මුල් පැය කීපයේ කෙරෙන උකහා ගැනීම කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇති පුද්ගලයෙක්. ඔහු විසින් ලබා ගත් තොරතුරු “පළමු පැය 20 (The First 20 Hours)” ග්‍රන්ථයට පාදක කර ගත්තා.

ධාරනයට පහසු මාර්ග

ජාතික ජෝෂ් කෆ්මන් විසින් ධාරනයට පහසු මාර්ගත් පෙන්වා දී තිබෙනවා. ඔහු පෙන්වා දෙන අන්දමට විෂය කොටස් කීපයකට බෙදෙනවා. ඊට පසුව දිනකට විනාඩි 45 බැගින් මේ සෑම දිනකම අධ්‍යනය කිරීම වැදගත්. එවිට විෂය ගැන විශ්වාසයක් ඔබේ හිතේ ඇති වෙනවා.

පැය පහේ රීතිය…

ඊට අමතරව ඔබට දිනකට පැයක් බැගින් සතියේ දින පහක් පුරා විෂය ගැන අධ්‍යනය යොමු කරන්න. එය “පැය පහේ රීතියයි”. අපි ඇත්තටම යම් විෂයක් කැමැත්තෙන් අධ්‍යනය කරනවා නම් එය ධාරණය කර ගැනීම එතරම් අපහසුවක් නැහැ. ඒ අන්දමට විෂයට ඉතා උනන්දුවෙන් සහ කැමැත්තෙන් කරුණු හදාරන ලද පුද්ගලයෙක් අතරට ‍”බෙන්ජමින් ප්‍රෑන්ක්ලින්ගේ” චරිතය ඉතා වැදගත්. බිල් ගේට්ස්, එලන් මස්ක්, වොරන් බුෆේ සහ  මාර්ක් සකර්බර්ග් වැනි අය සඳහන් කරන්නේ  උවමනාවෙන් කරන හැදෑරීම යනු විෂයට තමන්ගේ ඇති ඇල්මය.

තවත් ඉදිරියට යන්න පුලුවන්…

සාමාන්‍යයෙන් අපි යම් විෂයකට ඇල්මක් ඇති වුනොත් එතැනින් තවත් ඉදිරියට යෑමට පුලුවන්. උදාහරණයක් විදිහට අපි තාරකා විද්‍යාවට උනන්දුවක් ඇත්නම් එතැනින් ඔබ්බට තව තවත් තොරතුරු ගවේශනය කිරීමටත් පුලුවන්. විෂයට ඇති ඇල්ම අනුව මේ තත්වය නොදැනීම ඇති වෙනවා.

ඔබේ සාමාන්‍ය ජීවිතයේදිත් මේ තත්වය ඉතාම සාධාරණයි. ඔබ යම් කටයුත්තක් ඉතා කැමැත්තෙන් කරන විට කාලය ගෙවෙනවා වත් දැනේනනේ නැහැ. ඒත් ඔබ අසතුටු කටයුත්තක් කරන විට ඔබට කාලය ඉතා දිගු සේ දැනෙන්න පුලුවනි. ඒ නිසා නිතරම විෂය ගැනත් ඇල්මක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

සාර්ථක වීමට රහස් තිබෙනවාද…? මේ ලිපියේ සදහන් කරුණු ගැන අවධානය යොමු කලොත් අපිට සාර්ථක වීමට අවශ්‍ය කරුනු කීපයක් හදුනා ගැනීමට පුලුවනි.

  • ඉගෙණුම වෙනුවෙන් ආශාවක් ඇති කර ගන්න.
  • ඉලක්කයක් ගොඩ නගා ගන්න.
  • ස්වයංවිනයක් ගොඩ නගා ගන්න.

අම්මා තාත්තාගේ බලපෑමට නොව මගේ අධයාපනයේ අරමුණු මත පිහිටා මමම කටයුතු කරන බවට වූ ශික්ෂණය ගොඩ නගා ගන්න. ඒ අනුව යමින් කිසිවෙක් රැවටීමට නොව ඔබේ ජයග්‍රහණය ඔබට බව තේරුම් ගන්න. එවිට ධාරණය හෝ පොත පතට අවධානය දැක්වීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

– බී.බී.සී පුවත් ඇසුරිනි –