Home Blog Page 86

දරුවන් මුල් කර ගත් අපේ විශ්වාස…

බිලිඳු දරුවන් මුල් කර ගෙන ගොඩ නැගුන විශ්වාස අතීතයේදී අපේ වැඩිහිටියන් අතර බහුලව තිබුනා. මේ විශ්වාස අත්දැකීම් සමග තවත් ශක්තිමත් වුනා. නව ජන්ම දරුවෙකුගේ අතේ වදකහ කෑලි කපල වළල්ලක් වගේ නූල් පොටක අමුණලා දරුවාගේ අතේ ගැට ගහනවා. මේ කහ සුවඳට දරුවාට වැදුනාම බඩේ අජීර්ණ වගේම වෙනත් ආබාධ ඇති වෙන්නේ නැතැයි වූ විශ්වාසයක් අපේ අම්මලාගේ තිබුණා. තුනටිය ශක්තිමත් වීමට ඉන වටා කළු නූලක් හෝ පබළු වැලක් ගැට ගැහුවා.

දරුවෙක් බහ තෝරන කාලයේදී කොණ්ඩය කැපුවොත් කථා කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවාය යන විශ්වාසය තදින්ම තිබුණා. ඒ නිසාම උපන් මොහොතේම කෙස් ටිකක් කපා දැමුවා. යම් විදිහකින් එහෙම උපන් ගමන්ම කෙස් ටිකක් කපන්න බැරි වුනොත්  දරුවා හොදින් කථා කරන තෙක්ම කෙස් කැපුවේ නැහැ. ඒ නිසා සමහර පිරිමි දරුවන්ගේත් ගැහැනු දරුවන්ගේ වගේම කෙස් ගොතන තරම් දිගට වැවුනා. දහඩිය දාලා කැසීම්, උකුණෝ ඇති වුනත් බැරි වෙලාවත් මොන තරම් අපහසු වුනත් බැරි වෙලාවත් කෙස් නම් කැපුවේ නැහැ. ගැහැනු ළමයෙකුගේ උපත ලද හැටියේම කෙස් කැපුවොත් අක් බඹරු වගේ හොදින් වැඩෙන බවටත් විශ්වාසයක් තිබුණා.

බිළිදු දරුවන් නින්දේදී සමහර විට අඩනවා. ඒ වගේම හිනාවෙනවා. මේ හැම දෙයකටම පදනම් හේතු තිබුණා. ඒවා අම්මලා හොදින්ම දැනගෙනත් හිටියා. නින්දේ සිටින දරුවාට සුරංගනා‍වියෝ ඇවිත් මේ විදිහට කියනවාලු.

“අන්න…ඔබේ අම්මා පුංචි රන් කළයට රන්කිරි දොවාගෙන ගෙදර එනවා…” මේ විදිහට කිව්වාම පුංචි පැටියා හිනාවෙනවාලු..ඒ වගේම තවත් වේලාවකදී සුරංගනාවියෝ දරුවාට මේ විදිහට කියනවා.”අන්න ඔබේ අම්මා රන් කළයට කිරි දොවාගෙන එද්දී කිරි කොතලය ගගේ ගියා…” ඒ විදිහට කිව්වාම පුංචි දරුවා අඩන බවත් විශ්වාස කලා. පැටියා හිනාවෙන වේලාවට නම් අම්මත් බොහොම සතුටට පත් වෙනවා. ඒ වගේම දරුවා අඩනවාට අම්මා කැමැති නැහැනේ…ඉතින් හනිකට දරුවාට ලං වෙලා මෙහෙම කියනවා…”මගේ පුතුගේ අම්මා ළග ඉන්නවා…පුතුට දෙන්න කිරි මට තියෙනවා…” මේ විදිහට කිව්වාම දරුවාගේ ඇඩීම නවතිනවා. පුංචි පැටියාගේ සතුට අම්මාගේ සතුට බවට පත් වුණා වගේම දරුවාට හඩන්න ඉඩ දුන්නේ නැහැ.තවත් විශාවසයකට අනුව දරුවා හිනාවෙන්නේ පෙර ආත්මයේ තමා ඇසුරු කළ අය සිහිපත් වීම නිසා බවටත් විශ්වාසයක් තිබුණා.

දරුවාට ඉක්කා වැටුනාම කාටවත්ම නොකියා දරුවාගේ ඇඳුමෙන් නූල් පොටක් අරගෙන එය අම්මාගේ හෝ දරුවා සමග ඒ වේලාවට සිටින වැඩිහිටියාගේ කෙළ සමග මිශ්‍ර කරල දරුවාගේ නලලේ තියනවා.

දරුවාට මාස හතකට වගේ ආසන්න වෙද්දී පැටියා තමන්ගේම කකුල අරගෙන එහි මහපටැගිල්ල කටේ දමා උරනවා. අද නම් අම්මලා දරුවාගේ මේ පැවැත්මට බයයි. ඊට හේතුව ඇගිලි ඉරීමේ පුරුද්ද දරුවාට ඇති වෙන නිසයි. “අතේ මදිවට කකුලේ ඇඟිලිත් උරන්න පටන් අරගෙන…” අද අපේ අම්මලා කලබල වෙන්නේ එහෙමයි. ඒත් එදා අම්මලා දරුවා කකුලේ ඇගිලි උරද්දී හරිම සතුටින් මේ විදිහට කියනවා “දැන් අපේ දරුවාට කිරි කළ හත පෙවිලා…” අම්මලාගේ හිතේ සතුට ප්‍රකාශ වෙන්නේ ඒ විදිහටයි.

අපේ සංස්කෘතිය එදා සම්බන්ධව තිබුනේ කෘෂිකර්මාන්තය සමගයි. පුතෙක් කියන්නේ අනාගතයේ පියා සමග හරි හරියට කුඹුරු ගොවිතැන්වලට සහයෝගය දක්වන චරිතයක් වුනා. ඒ නිසාම මුලින්ම කුඹුර කෙටූ දිනයට, නගුලෙන් හෑවාම, වඩු කර්මාන්තයේ යෙදුනාම, මුලින්ම යම් භාණ්ඩයක් හැදුවාම වගේම වන්දනා ගමනක ගිහින් නිවසට පැමිණි විට අම්මා විසින් කැවුම් හදා ඒ උණු කැවුම්වලින් දරුවාගේ අතුල්, පතුල්, පිටි අතුල් සහ පිටි පතුල් තවනවා. අලුතින් යම් කාර්යක් කලාම එය කොඩුකාර වැඩක් විදිහට සලකනවා. මේ සමනල සිරිපා සමයේදි ඔබට කෝඩුකාරයා කියන සංකල්පය හොදින් පුරුදු ඇති. සිරිපාදේ මුලින්ම යන තැනැත්තා හැදින්වෙන්නේ “කෝඩුකාරයා” විදිහටයි.

ඉස්සර කාලයේ අම්මලා දරුවන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. ඔවුන් පමනට වඩා දරුවන් ආහාර ගන්නවාට කැමැති වුනේ නැහැ. නිතරම දරුවන්ට උපදෙස් දුන්නේ “ජුජක බමුණා වගේ හිස්මුදුනින් කටක් මවා ගෙන කන්න එපා…” කියලයි. වතුර බොන්නත් බඩෙන් කොටසක් ඉතිරි කර ගන්න කියල ඔවුන් උපදෙස් දුන්නා. දරුවා බාල කාලයේ පටන්ම අම්මලා ඔවුන්ගේ ආහාරයට යම් පාලනයක් පනවා ගන්න කටයුතු කළා. ඒ නිසා සිහින් නූලක් අරගෙන බඩේ බදිනවා. දරුවාට බත් කවන අතරවාරයේ නුල කැඩුනොත් දැන් දරුවාට බඩ පිරිලා කියන විශ්වාසය අම්මලාගේ හිතේ ඇති වෙනවා.

පිරිමි දරුවන්ට බත් පිසින වළදේ ඉතිරි වෙන දංකුඩ ආහාරයට ගැනීමට අවසර දුන්නේ නැහැ. දංකුඩ කැවොත් රැවුල එන්නේ නැතැයි වූ පිලිගැනීම තදින්ම පැවැති අතර රැවුල පිරිමි පෞරසයේ වැදගත් සංකෙත්යක් වුනා. පිරිමි දරුවාගේ මුලින්ම එන රැවුල “දැලි රැවුල” යනුවෙන් හැඳින්වුනා. පිරිමි දරුවන්ට වංගෙඩියේ වාඩි වීමට අවසර නුදුන්නේ වංගෙඩියේ වාඩි වුනොත් ඔවුන්ගේ වෘෂණ කෝෂ විශාල වෙන බවට තිබුන විශ්වාසය නිසයි. ඒ වගේම දරුවා නාවා අවසානයේදී නාවන තැනැත්තිය විසින් ගම්මිරිස් අට දෙක තුනක් විකා හිස්මුදුන,පෙකනිය, කම්මුල දෙපැත්ත,පියයුරු සහ පිරිමි දරුවන්ගේ ශිෂ්ණයට ගම්මිරිස් සැර තුන්වතාවක් පිඹිනවා.

දරුවන් වාඩිවෙන, දණගාන සහ හිටවැටෙද්දී වාරු නැතුව වැටෙන්න පුලුවනි. ඒ වුනාට මේ වැටීමෙන් ඔවුන්ට අනතුරක් නොවෙන බවට එදා තදින්ම විශ්වාසයක් තිබුණා. විද්‍යාත්මකව නම් මේ ගැන තියෙන අදහස වෙනස්. පුංචි දරුවන්ගේ අස්ථි මාංශපේශි මොලොක් නිසා වැටීමකදී අනතුරක් වීමට වගේම හදිසියේවත් අනතුරක් වුනත් නැවත යථා තත්වයට පත් කර ගැනීම පහසු බවයි. ඒ වුනාට අතීතයේදී නම් මේ සිදුවීමත් දෙවියන්ට බාර කලා. දරුවා වැටෙන විට දෙවියන් අත පාල වේගය බාල කරන බවට පිලිගැනීමක් තිබුනා.

(මේ තොරතුරු ඇසු සහ දුටු දේ ඇසුරින් සකසන ලදී.)

 

දක්ෂ දරුවෙක් වෙන ගති ලක්ෂණ නැති වුනොත්…

දරුවෙක් විදිහට දක්ෂ කියන ගති පැවැතුම් නැති වුනොත් මොනද වෙන්නේ…මේ ගැන මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා.

අධ්‍යාපනය අඩාලයි

දක්ෂ දරුවා හැමදාම පාසලට එන්න පෙරාතුව අද කළ යුතු දේ ගැන සොයා බලනවා. ඒ විතරක් නොවෙයි, ඊයේ උගන්නපු දේ ගැනත් ආවර්ජනය කරනවා. සමහර විට ඊයේ පාඩමේ ඔහුට නොතේරෙන දෙයක් තිබුනොත් ඒ ගැටළුවත් කොහොම හරි දන්නා කෙනෙක්ගෙන් අහගෙන හෝ නිරවුල් කර ගන්නවා. ඒ නිසා දරුවාට අද දවස කිසිම වෙහෙසක් නැහැ.නමුත් අදක්ෂ දරුවාට මේ සියලු ගැටලු සමග ඉදිරියට යෑම අපහසුයි. ඒ නිසාම ඔහු නොදැනීම පසුගාමී චරිතයක් බවට පත් වෙනවා.

අප්‍රසන්න චරිතයක්

ප්‍රසන්න චරිතයක් වීම ආලේපන වලින් බැහැ. තරහ නැති, ක්‍රෝධය අඩු, දුක නැති දරුවා ප්‍රසන්නයි. එතකොට මිනිස්සු ඒ වගේ දරුවන්ට කැමැතියි. මත්ද්‍රව්‍ය නිසා හම, තොල් කළු පැහැ ගැනෙවා. අද වෙන විට ‍මිනිසුන්ගේ ජීවිතයට බලපාන අහිතකර රසායන 4000 ක් පමණ හදුනාගෙන තිබෙනවා. සිගරට්වල තිබෙන “ෆෝමැන්ඩි හයිඩ්” රසායනයට නිරාවරන වුනාම හම රැලි වැටෙනවා…ඇස් බොර පාටයි…දත් දුඹුරුයි…පාසලේ කිසිම කෙනෙක් ප්‍රිය නැහැ. ඒ වගේම මේ දරුවන් අතර අනාගතයේදී ලිංගික බෙලහීනතාවයත් ඇති වෙනවා.

හැම දෙනාම අකමැතියි

ඉගෙණුමට උනන්දුව දක්වන දරුවාට ගුරුවරුන් ආදරෙයි. ගුරුවරයා වුනත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒත් ඉගෙනුමට උනන්දු නැති දරුවා පංති කාමරයෙනුත් ප්‍රතික්ෂෙප වෙනවා. විවාහයේදී වුනත් සහකාරියක් හොයා ගැනීම අපහසුයි.ඒ වගේ අයත් සමග ජීවිතය ඉදිරියට ගෙනයන්න බැහැ. ඔබේ ගතිතුණ වෙනුවෙන් සහකරු අකමැති නම් එතැන ගැටුමක්. ඒ වගේම නිතරම දුකින්, නුරුස්නාවෙන් ඉන්න චරිතයකට කිසිම කෙනෙක් ප්‍රිය නැහැ. දුමට , මතට ඇබ්බැහි වුනොත් අනාගතයේ බොහෝ දේවල් අහිමි වෙනවා.

හොඳ රැකියාවක් ලැබෙන්නේ නැහැ

රැකියාවක් වෙනුවෙනුත් ආකර්ශනය බලපානවා. අනාගතයේදී රැකියා වෙළඳපොළ බොහොම සීමිතයි. ඒ නිසා පුද්ගලික අංශයටත් යොමු වීමට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. පුද්ගලික අංශයේදී අධ්‍යාපන සුදුසුකම්වලටත් වගේම දක්ෂයාට වැඩි අවධානයක් දක්වනවා. ඒ නිසා අනාගත රැකියා වෙළඳපොළ වෙනුවෙන් වර්තමානයේ පටන්ම දරුවන් දක්ෂතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

පවුල් ජීවිතය අසාර්ථකයි

දරුවෙක් විදිහට දක්ෂයෙකුගේ ගති ගුණ ගොඩ නගා ගත්තොත් අනාගතයේදී පවුල් ජීවිතය සාර්ථකව ගෙවන්න පුලුවනි. එසේ නොහැකි වුනොත් පවුල් සංස්ථාවන් ඇතුලත ගැටුම් බොහොමයි. ඊට හේතුව පිරිමින් විසින් බිරිඳ පහත් සේ සැලකීමයි. විවාහය කියන්නේ ජීවිතයේ එක්වරක් පමණක් ගත යුතු වැදගත් තීරණයක්. විවාහය වෙනුවෙන් වූ තීරණය වයස අවුරුදු 18 ට කලින් ගත්තොත් ඒ තීරණය පවුල් ජීවිතයට ඉතාම අහිතකර විදිහට බලපානවා.

නිතර රෝගී වීම සහ මරණය ඉක්මන්

දක්ෂ විදිහට ජීවිතය ගොඩ නගා නොගැනීම නිසා දැන් ඔහුට වන්දි ගෙවන්නත් වෙලා. දරුවෙක් විදිහට ඉගෙන ගත්තේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ජීවිතය විනාශ කර ගත්තා. දැන් විවිධ ලෙඩ රෝගත් ඇවිත් ජීවත්වෙන්න තිබෙන බර මදිවාට ලෙඩ දුක් සේරමත් වැලඳිලා. හදවත් රෝග, අක්මාරෝග, පෙනහලු රෝග මේ වගේ මෙකී නොකී බොහෝ මාරාන්තික රෝගාබාධයන්ට ගොදුරක් වෙලා අවසානයි. ඒ නිසා මරණ වරෙන්තුව බොහොම කලින් ලැබෙනවා.

ඔබ දක්ෂ දරුවෙක් විදිහට ජීවිතය ගොඩ නගා ගන්න තවමත් ප්‍රමාද නැහැ.එහෙම නම් දක්ෂ දරුවෙක් වීමට යොමු වෙන්නේ කොහොමද…?

  • තමා ගැන හිතන්න. ඔබ ගැන ඔබ තරම් දන්නා කෙනෙක් නැහැ. ඒ නිසා ඔබේ ගතිගුණ ගැන හිතන්න.
  • ඔබේ දුර්වලතා දකින්න…ඒවා ඔබ විසින්ම දකින විට නිවරැදි කර ගැනීම ඉතාම පහසුයි.
  • දුර්වලතාවයන්ට හේතු ඔබේ හිතෙන් විමසන්න…එවිට ඒ වෙනුවෙන් වූ හේතු ඔබටම පෙනේවි.
  • දැන් මේ හේතු වෙනස් කරන්න උත්සාහ ගන්න.
  • එතැනින් නවතින්න එපා…වෙනස් කළ යුතු හේතු වෙනස් වුනා දැයි බලන්න.
දක්ෂ දරුවෙක් විදිහට අධ්‍යාපනයට යොමු වෙන්නේ කොහොමද…?

පාසල් දරුවෙක් ලෙසින් ඉගෙණුම ලබන කාලය තුළ ඔබ සාර්ථක චරිතයක් නොවුනොත් අනාගතය තුළ මුහුණ දීමට සිදු වෙන ගැටළු බොහෝය. ඒ නිසා අනාගතය මුල් කර ගෙන ඔබ වර්තමානයේ ඉගෙණුම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න.ඒ වෙනුවෙන් මේ පිලිවෙත් අනුගමනය කරන්න.

  • රූපවාහිනී නරඹන කාලය අඩු කරන්න.
  • විනාඩි දහයක් පමණ යොදවා දවසේ කළ යුතු දේ ගැන හිතන්න.
  • ඉගෙන ගන්නා වේලාවට ප්‍රශ්න අසා ඒ ගැන ඇති ගැටලු නිරවුල් කර ගන්න.
  • මාසයක් අවසානයේදී ගෙවුන මාසයේදී ඉගෙන ගත් දේ ආවර්ජනය කරන්න.
  • මත්ද්‍රව්‍ය, මත්පැන් ගැන අසන්න ලැබෙන යම් තොරතුරක් වෙතොත් ඒ බව වැඩිහිටියන්ට දන්වන්න.
  • එලවලු, පළතුරු , ධාන්‍ය ඇතුලත් සමබල ආහාරයක් වෙනුවෙන් යොමු වෙන්න.
  • පැණිබීම වෙනුවට වතුර, කැඳ වැනි පානවර්ග වෙත යොමු වෙන්න.
  • ක්‍රීඩා කරන්න.
  • පොත් කියවන්න.
  • වයස අවුරුදු 18 වෙන තෙක් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමග සබඳතාවයන් ගොඩ නගා ගැනීමෙන් වලකින්න.
  • තමන්ට ඇති වෙන අතවර හෝ අතවර පිළිබද යම් සලකුණක් දැනුනොත් දෙමව්පියන්ට, ගුරුවරුන්ට එසේත් නැත්නම් හිතවතෙකුට හෝ කියන්න.
  • දෙමව්පියන්ට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න. හොදින් සලකන්න.
  • දරා ගැනීම, තිරණ ගැනීමේ හැකියාවන් දියුණු කර ගන්න.
  • දරුවෙක් විදිහට අද දවසේ මේ ගුණාංග ගොඩ නැගුනොත් අනාගතයේදී දක්ෂ දරුවෙක් විදිහට ඔබ සමාජයට ආශිර්වාදයක් වේවි.

දරුවෙකුගේ ගති ලක්ෂණ

දරුවන් ගැන ලෝකයම කතා කරන්නේ බොහොම ආඩම්බරයෙන්. අද නොදරුවන් විදිහට හිටියත් හෙට ඔවුන් අනාගතය බාර ගනන්වා. ඒ නිසා අපි දරුවා පූර්ණ පෞරෂයකින්  යුක්තව නිර්මාණය නොකලොත් අනාගතයේදී ඔවුන්ට සමාජගත වීම අපහසුයි. එහෙම නම් දක්ෂ දරුවෙකුගේ ගති ලක්ෂණ මොනවාද.. ? මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා.

කොන්ද පණ ඇති

දරුවෙක් සමාජයේ හැසිරෙන විට ඔවුන් අනුන්ට අවශ්‍ය විදිහට හැසිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. බොහෝ විට දරුවන් නොමගට යෑමටත් මේ හේතුව බලපානවා. අද දරුවන් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට පෙළඹෙන්නේ පංතියේ එහෙම නැත්නම් වැඩිහිටි දරුවෙකුගේ බලපෑම නිසයි. විද්‍යානුකූලව වුනත් දරුවෙක් වයස අවුරුදු 18 ක් වීමට පෙරාතුව ඔවුන්ට තනි තීන්දු තීරණ ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා දරුවෙක් වුනාම තමන්ට දැනෙන සේ ප්‍රකාශ කිරීමට හැකියාව ගොඩ නගා ගැනීම වැදගත්. තමන්ට දැනෙන දේ අනිත් අයට ග්‍රහණය කළ හැකි විදිහට ප්‍රකාශ කරන්න. පංතියේ විෂය ගැන ගැටළුවක් ඇති විට ඒ ගැන කතා කරන්න පුලුවන් කොන්ද පණ ඇති දරුවෙකුටයි. දරුවාට ඒ හැකියාව නැති වුනොත් ඔහු ඉදිරියට යන්නේ මේ ගැටළුත් සමගයි.

දරා ගැනීම

දරුවන්ගේ ලෝකය පුංචි වුනත් ඔවුන්ට විවිධ හැලහැප්පීම් ඇති වෙනවා. දුක, තරහ, ලැජ්ජාව, බිය වැනි හැඟීම් ඉදිරියේ ඒවා දරා සිටීමේ හැකියාව අවශ්‍යයි. දරුවන් අතරත් තරහ යෑම වැනි හැගීම් දරා ගැනීමට බැරි නිසා විවිධ අනතුරු සිද්ධ වෙනවා. සමහර දරුවන්ට විභාග ප්‍රතිඵල දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි සිදු කර ගන්නවා. තවත් දරුවන් ලැබෙන ප්‍රතිඵලය ඉදිරියේ නොසැලී සිටිනවා. හැඟීම් සමග ගණුදෙණු කරන්න පුලුවන් නම් එය දියුණු ලක්ෂණයක්. එහෙම නොහැකි නම් ඒ දුර්වල ලක්ෂණයක්. වයස අවුරුදු 14 සිට 17 දක්වා අතර කාලයේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා හැගීම් සමග බුද්ධිමත්ව ගණුදෙනු කිරීම අවශ්‍යයි. ඒ හැකියාව නැති වුනොත් ජීවිතයම කණපිට හැරෙන තරම් විපාක දරුණුයි.

රැව‍ටෙන ගතිය

දරුවන් අතර තිබෙන නොදියුණු ලක්ෂණයක් විදිහට රැවටෙන ගතිය පෙන්වා දෙන්න පුලුවනි. කාටුන් වැනි චරිත නිසා දරුවන් රැවටෙනවා. මේ චරිත තමන්ට ආදේශ කර ගන්නවා. සමහර දරුවන් බොහොම ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න තරම් මේ කාටුන් චරිත වලට දරුවන් රැවටෙනවා. මත්ද්‍රව්‍යවලට වුනත් දරුවන් රැවටෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙනත් අය මවා පාන සුන්දර ලෝකය නිසයි. දක්ෂ දරුවෙක් මේ වගේ රැවටෙන ගතියට හසු වෙන්නේ නැහැ. අන්තර්ජාල, වට්ස්ඇප්, වැනි විද්‍යුත් මාධ්‍ය මගින් වුනත් දරුවන්ට ඇති කරන මායාවන් නිසා ඔවුන් ජීවත්වෙන්නේ මුලා වුන ලෝකයකයි.

උනන්දුව

දක්ෂ දරුවන් අතර උනන්දුව ඉතාම වැදගත්. ඔවුන් ජීවිතයේ විවිධ දේ වෙනුවෙන් උනන්දු වෙනවා. දරුවෙක් විදිහට අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. පාසල් අධ්‍යාපනය වසර 13 ක්. මේ කාලයේ අනන්දුවක් නැති නම් ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. උදේ නිවසෙන් පිට වෙද්දී අද දවස වෙනුවෙන් අරමුණක් ගොඩ නගා ගැනීම වැදගත්. “අද මම මේ පාඩම සම්පූර්ණ කරනවා…” දවස පටන් ගන්න පෙරාතුව විනාඩි දහයක් කාලය අරගෙන එය කළමනාකරණය කර ගන්න. මේ කළමනාකරණයෙන් ඇති වෙන සැලසුම ඉතාම ඵලදායී විදිහට ජීවිතයට ආදේශ කර ගන්න පුලුවනි. පාඩමට වගේම ක්‍රිඩාවටත් , පොත් පත් කියවීමටත් දරුවන් උනන්දු වීම වැදගත්.

සතුට

දක්ෂ දරුවන් අතර සතුටින් සිටීම ඉතාම වැදගත්. සතුට කියන්නේ දුක නැති කම නොවෙයි. හැම වෙලාවේම සතුටින් ඉන්න උත්සාහ කිරීමයි. සතුටින් සිටින හැම අවස්ථාවකදීම මොළය විවෘතයි. එවිට ධාරණය වැඩියි. දුක, තරහ වැනි සිතුවිලි නිසා අපේ සිරුරේ උත්තේජනය වෙන රසායනයන් ඉතාම අහිතකර විදිහට බලපානවා.

ආදරය

දක්ෂ දරුවා පවුලට ආදරෙයි. අම්මා තාත්තාට සමීපයි. දරුවන් උස් මහත් වෙද්දී ඔවුන්ගේ ආකල්ප අම්මා තාත්තාට ගැලපෙන්නේ නැහැ. දරුවන් හිතන්නේ ඔවුන් දක්ෂයි… දෙමව්පියන් අදක්ෂයි.. දරුවන් බිහි කරල, ඔවුන් රෝගාබාධයන්ගෙන් රැකගෙන, ශිල්ප උගන්වලා සමාජයට එකතු කිරීමට දෙමව්පියන් ඉදිරියේ තිබුන අභියෝගය   සුලුවෙන් සලකන්න බැහැ. දරුවන්ගේ ගෞරවය අනිවාර්යෙන්ම දෙමව්පියන්ට ලැබිය යුතුයි. ආදරය ඇති දරුවාට සමාජයට ගරුත්වය දැක්වීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඒ නිසා දෙමව්පියන් විදිහට සමාජයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්.

බත් වර්ග

වචනයට වුනත් අපි කියන්නේ බත් අපේ ප්‍රධාන ආහාරය බවයි. ඒක ඇත්ත. අද වෙන විට අපේ ජීවන රටාව විවිධ ක්ෂණික ආහාර වෙනුවෙන් ඇබ්බැහි වුනත් බත් ඉතාම ගුණදායක වගේම ශක්තිය ලබා දෙන ආහාරයක්. ඒත් අපි තවමත් බත් කී විට මතකයට නැගෙන්නේ සාමාන්‍යයෙන් ව්‍යංජන සමග බත් විදිහට ගන්නා වේල පිරිමහන ආහාරය ගැනයි.

ඒ වගේම අතීතයේදී බත් ඇටයක්වත් ඉවත දමන්න අපේ අම්මලා සූදානම් වුනේ නැහැ. බත් ඉවත දැමීම බොහොම පව් සිදු වෙන දෙයක් විදිහට ඒ අය සැලකුවා. ඒ විතරක් නොවෙයි, බත් පිරිමසින ආකාරය ගැන විවිධ ජනකතාවන්ද ප්‍රබන්ධ වී තිබුනා. ඒ නිසාම බත් පිරිමැස්ම ඔවුන්ගේ ජීවිතයේ විශාල අවධානයක් යොමු වුන පැවැත්මක් බවට පත්ව තිබුණා.

නානා ප්‍රකාර විදිහට බත් පිසින අන්දම ගැන අපේ අම්මලා හොදින්ම දන්නවා. දරුවන්ගෙන් ඇහුවොත් ඔවුන්ගෙනුත් පිලිතුරු වැලක් ලැබේවි. මේ හැම දෙයක්ම දන්නා අපේ තරුණ අම්මලා වගේම දරුවන් “හීල්බතේ” තිබෙන ගුණ දන්නවාද යන්නත් ගැටලුවක්. ඒක ඉතින් දරුවන්ගේවත් තරුණ අම්මලාගේවත් වරදක් නොවෙයි, බාල කාලයේ පටන්ම මේ අය ජීවත් වුන පරිසරයේදී හිල්බත් ගැන කිසිම දැණුවත් බවක් තිබුනේ නැහැ.

අතීතයේ අද වගේ හැම නිවසකම ශීතකරණය තිබුනේ නැහැ. ඒ නිසා දින ගණනක් අධි ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගැනීමක් සිද්ධ වුනෙත් නැහැ. ඒ විදිහට ආහාර කල් තබා ගැනීමේ පරිසරයට ගැලපෙන මුලුතැන්ගෙයක උපාංගත් තිබුනේ නැහැ. ඒ නිසා රාත්‍රියේ ඉතිරිවෙන බත් පසු දින උදයේ නැවත රත් කිරීමක් නොමැතිවම ආහාරයට ගත්තා. මේ හිල්බත බොහොම ගුණ ලබා දෙන ආහාරයක් වුනා.

රාත්‍රියක් පුරාම තිබෙන බතේ උපස්ථරය මතට යීස්ට් වැනි හිතකර ජීවින් එකතු වෙනවා. ඒ නිසා බත පැසවීමේ ක්‍රියාවලියට පත් වෙන අතර විටමින් “බි” සහ “සි” කාණ්ඩයේ සාන්ද්‍රණය ඉහල යනවා. බත් පිලුණු වුනා යැයි ඔබ කියන්නේ මේ ක්සුද්‍ර ජීවින්ගේ පැසීම කල් ඉකුත් වුන විටයි.

ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය මගින් විටමින් බී 12 ප්‍රභවයන් මිනිස් සිරුරට උරා ගැනීමේ හැකියාව තිබෙනවා. හිගන්නන්ට කොයින්ද උනුබත් කිව්වාට පෝෂණීය වටිනාකම අතින් හීල්බතට ඇති වැදගත්කම ඉතාම ඉහලයි. අපි නානා ප්‍රකාර නම් වලින් හැදින්වෙන බත් වර්ග වගේ තෙල් දැමීමක් නැහැ. විවිධ රසකාරක නැහැ. ඒ නිසා සිරුරට කිසිම අගුණයකුත් නැහැ. හීල්බත සකස් වෙන්නේ ජෛවීය විදිහට නිසා රෝග වෙනුවෙන් හේතුකාරක මේද ගබඩා විම, රුධිරගත සීනි, කොලස්ටරෝල් වැනි කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ.

හීල්බත පිසින්න අමුතු කාලයක් මුදලක් අවශ්‍ය වුනෙත් නැහැ. රාත්‍රියේ පිසින ලද බතේ වැඩි ප්‍රමාණය ඉවත ගියෙත් නැහැ. උදේ පාන්දර පාන්, බනිස් වෑන් එන තෙක් මග බල බලා වැලපෙන්න වුනෙත් නැහැ. උදේට පිළියෙල කර ගත්තු පොල්සම්බෝලයක් එහෙම නැත්නම් රාත්‍රියේ ඉතිරි වුන ව්‍යංජනයක් සමග ආහාරයට ගත්තා.

ඒ විතරක් නොවෙයි, දර හෝ ගෑස් විදුලිය වැනි බත පිසින්න යොදා ගන්නා ඉන්ධනත් නොදැනීම ඉතිරි වුණා. රාත්‍රියේ ඉතිරි බතෙන් උදේ වේල නොදැනීම පිරිමැසුන නිසා වැය පැත්තටත් වාසියක් ලැබුණා.

දියබත ගැන ඔබ අහල තියෙනවාද…?

දියබත් කියන්නේ  බොහොම ඖෂධීය ගුණ ලබා දෙන ආකාරයේ ඉතාම පහසුවෙන් පිළියෙල කර ගත හැකි බත් විශේෂයක්. රාත්‍රියේ බත් උයපු මුට්ටියේම බත් ටිකකට වතුර දමා තබනන්. මේ වෙනුවෙන් වඩාත් ගැලපුනේ කුරුට්ට සහිත තම්බාපු සහලින් පිසින ලද බත්.

පහුවදා උදයට මුට්ටියේ බත් ජලයත් සමගම භාජනයකට දමන්න. දැන් සිහින්ව ලියා ගත් රතුලූණු, අමුමිරිස්, උමම්ලකඩ, ලුණු ආදියත් මේ බත් මිශ්‍රණයට එක් කරන්න. සමහර උදවිය අමුමිරිස් වෙනුවට වියලි මිරිස් කරලක් එක් කරනවා. පොල් කිරි ස්වල්පයක් සමග දෙහි යුෂ දමා ආහාරයට ගනන්. අද දරුවන් අතර ඉතාම බහුලව තිබෙන ගැස්ට්‍රයිටිස් රෝග තත්වයට දියබත හොඳම ප්‍රතිකාරයක්. ඒ වගේම සිරුරේ දාහය නිවන ආහාරයක්.

කිරිබත්

සුබකටයුතු වලදී පඅනිවාර්යෙන්ම පිළියෙල වෙන වගේ නිවාඩු දිනයට උදේ ආහාරය වෙනුවෙන් පිළියෙල වෙන කිරිබත් පෝෂණීය ගුණයෙන් යුක්තයි. සිරුරේ ඇති වෙන දැවිලි සහගත බවට ගැස්ට්‍රයිටිස් තත්වයට, ගිලීමේ අපහසුතාවයන් ඇති විට කිරිබත් ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදු වුණා. කිරිබත මැදට පැණිපොල් තබා ගුලියක් සේ සකස් කර ගත් විට එය “ඉඹුල් කිරිබත්” එහෙම නැත්නම් “කොට්ට කිරිබත්” යනුවෙන් හැදින්වුණා.

සුන්සහල් බත්

අද නම් ගල් වැළි ඉවත් කළහාල් ගන්නා නිසා අපිට සුන්සහල් එකතු වෙන්නේ නැහැ. ඒත් සුන්සහල් ගරා ලිප තබා බත පිස එයට පොල් එකතු කර ගෙන කූරු ගා ගනන්වා. සමහර විට සීනි හෝ හකුරුත් එකතු කරන්න පුලුවනි. හැන්දෑවේ තේ වෙලාවට මේ බත ඉතා ජනප්‍රිය ආහාරයක් වුණා. හැබැයි පිරිමි දරුවන්ට නම් මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇති වෙනවාය යන විශ්වාසය නිසා සුන්සහල් බත් ආහාරයට දුන්නේ නැහැ.

පොංගොල් බත්

දෙමළ ජන සංස්කෘතියට සම්බන්ධ පොංගොල් බත පෝෂණීය ගුණයෙන් ඉහලයි. මෙය සාමාන්‍ය බත පිසින තරමට වතුර දමා පිස ගෙන එයට කිරි, තම්බා ගත් මුංඇට , කජු, හකුරු , මුද්දරම්පලම් ආදිය එකතු කරන්න. අවසානයටම මිටි කිරි එකතු කර පැසුන විට ලිපෙන් බා ගන්න.

ඉවතලන බත්

නිවසේ ඉවත ලන බත් වියලා කබලේ බැද ගෙන පැණි සහ පොල් එකතු කර අග්ගලා සාදා ගැනීමටත් පුලුවනි. කිසිම අගුනයක් නැහැ. රසකාරක නැහැ. අවශ්‍ය නම් ගම්මිරිස් ඇට දෙකක් එකතු කර ගන්න පුලුවනි.

ගැබිනි මවකට තහංචි ආහාර

ඉස්සර කාලෙය්දී කාන්තාවක් ගැබ් ගත්තාම ඇගේ ඇවතුම් පැවැතුම් පමණක් නොව ආහාර ගැනත් හැම දෙනාගේම සැලකිල්ල යොමු වුණා. විශේෂයෙන්ම ආහාරපාන ගැන නම් වැඩි සැලකිල්ලක් තිබුනා. ඒත් ගැබ්ගත් කාන්තාවට අවශ්‍ය විදිහට හැම දෙයක්ම ආහාරයට ගැනීමට එදා වැඩිහිටියන්ගෙන් අවසර ලැබුනේ නැහැ. ඔවුන් තුළ ඒ ගැන විද්‍යාත්මක දැණුමක් නොතිබුනත් කුමන හෝ ආශිර්වාදයකට එදා වැඩිහිටියන් තහංචි දමන ලද ආහාර ගැන අද විද්‍යාත්මකවත් යම් යම් හේතු සාධක සපයනවා.

අන්නාසි නම් ගැබිනි මවකට කිට්ටු කරන්නවත් දුන්නේ නැහැ. අනවශ්‍ය දරු උපතකදී බොහෝ දෙනා අන්නාසි ගැට ආහාරයට ගත්තේ ඒ දරු ගැබ ස්වභාවික ගබ්සාවක් බවට පත් කිරීමටයි. ඒ තරම් හේතු සාධක තිබියදී දරු පැටියෙක් ගැබ දරන අම්මාට අන්නාසි කන්න කොහොමටවත් අවසර ලැබෙන එකක් නැහැ. අද විද්‍යාත්මකවත් මේ අදහසේ සත්‍යතාවයක් තිබෙනවා. අන්නාසිවල අන්තර්ගත “ප්‍රොස්ටග්ලැන්ඩින්” සංයෝගයෙන් ගැබිණි මවගේ ගර්භාෂය සංකෝචනය වීමට පුලුවනි. ඒ නිසා එදා වැඩිහිටියන්ගේ උපදෙස වැරැදිමත් නැහැ.

උෂ්ණාධික මාළු විදිහට එදා සමාජයේ සැලකුන බල, කෙලවල්ලා වැනි මාළු වර්ග ආහාරයට තහනම් වුණා. “අපෝ…උෂ්ණ මාළු කන්න හොඳ නැහැ…” අම්මලාගේ උපදෙස වුනේ ඒකයි. මේ මත්ස්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් විවිධ ආසාත්මිකතාවයන් ඇති වීමටත් පුලුවනි. මේ මාලු වර්ගවල අන්තර්ගත “හිස්ටමින්” නිසා හිසරදය, සිරුරේ පලු ඇති විම, කැසිම, දැවිල්ල වැනි අපහසුතාවයන් ඇති වෙන්නත් පුලුවන්. එදා වැඩිහිටියන් මේවායේ අපථ්‍යතාවය ඉවෙන් වගේ දැන සිටියා.

ඉස්සො…දැල්ලෝ…කකුළුවෝ…කිට්ටු කරන්න එපා

මුලින් සඳහන් කළ මාත්ස්‍ය වර්ග සියලල්ම අධික උෂ්ණ බවට විහ්වාසයන් ඔවුන් අතර තිබුනා. ඒ නිසාම සාමාන්‍යයෙන් වුනත් මේවා පිළියෙල කරද්දී මුරුංගා කොළ එහෙම නැත්නම් නිවිති එක් කර ගැනීමට අමතක කළේ නැහැ. මේ මාළුවර්ග ප්‍රෝටීන් බහුල කාණ්ඩයට ඇතුලත්. ඒ නිසාම ආහාරයට ගැනීමෙන් පසුව දිරවීමේ අපහසුතාවයන්, හුස්ම ගැනීමේ අපහසුතාවයන් වගේම සමහර විට වමනය සහ සිරුර කැසීම වැනි විවිධ අන්දමින් අපහසුතාවයන් ඇති වෙන්න පුලුවනි. ඒ වගේම ගැබ්බර අම්මා මේ කාණ්ඩයේ ආහාර අනුභව කිරීමෙන් දරුවාට රත කුෂ්ට ඇති විය හැකිය යන පිලිගැනීමත් ඔවුන් අතර තිබුනා. වෛද්‍ය විද්‍යාත්මකවත් මෙහි අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා. මේවායේ ඇති අසාමාන්‍ය ප්‍රෝටීන ගැබ් දරණ අම්මාගේ මාර්ගයෙන් දරුවාටත් සම්ප්‍රේෂණය වීමට පුලුවන් නිසා හැකි තරම් මෙවැනි උෂ්ණාදික ආහාරවලින් දුරස් වුනොත් හොදයි.

අල වර්ග අතරත්  යම් යම් තහංචි තිබුණා. මඤ්ඤොක්කා වුනත් ආහාරයට නොදී සිටින්න ඔවුන් වග බලා ගත්තේ හදිසියේවත් වමනයක් ඇති වුනොත් ඉගුරු ඉස්ම ටිකක්වත් දෙන්න බැහැනේ… යන අදහස නිසයි. ඒ විතරක් නොවෙයි, කිරි අල යනුවෙන් හැඳින්වෙන අල වර්ගත් ආහාරයට දුන්නේ නැහැ.

පළතුරු කන්න එපා කියන්න බැරි වුනත් පැපොල්  ආහාරයට ගැනීමට නම් කොහෙත්ම අවසර ලැබුනේ නැහැ. මෙතැනදීත් පැපොල් ආහාරයට ගැනීමට අවසර නුදුන්නේ දරු ගැබට යම් අනතුරක් වීමට පැපොල් ආහාරයට ගැනීමෙන් සිදු වීමට ඉඩ ඇති බවට වූ පිලිගැනීම නිසයි. මේ කතාව අද සාධාරණ කර ගැනීමට හේතුත් තිබෙනවා. පැපොල්වල අන්තර්ගත “පැපේන්” නැමැති එන්සයිමය නිසා ගර්භණී කාන්තාවගේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන මටට්ම අසමතුලිතතාවයට පත් වෙන්න පුලුවනි. ඒ තත්වය දරු ගැබට අහිතකර විදිහට බලපානන් පුලුවනි.

නමුත් ගැබිනි කාලයේ ඇති වෙන මලබද්ධයට විසඳුමක් විදිහට වුනත් පැපොල් කුඩා මාත්‍රාවකින් දිනක් ඇර දිනක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වෙනවා.

තැඹිලි සහ දොඩම් වැනි පාන වර්ග ගැබිණි කාලයේදී වැඩියෙන් පානය කිරීමට ගැබිණි මව්වරුන් යොමු වෙනවා. ඒත් වැඩිහිටියන් මෙ පාන වර්ග වුනත් ලබා දුන්නේ වෙලාවක් කලාවක් අනුවයි. විශේෂයෙන් ස්නනාය කිරීමට පසුව මේ පාන වර්ග ලැබුනේ නැහැ. සමහර අවස්ථාවලදී ස්නානය කරනවා නම් මේ පාන වර්ග එදාට සම්පූර්නයෙන්ම තහනම් කලා. මධ්‍යහනය පහු වුනොත් ආයේ ඉතින් මේ පාන වර්ග ලැබෙනවා බොරු… එදා වැඩිහිටියන්ගේ විශ්වාසයට අනුව මේ පාන වර්ග සීතලයි. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව විතරක් නොවෙයි, විවිධ සෙම් රෝගවලට අවේලාවට සීතල පාන වර්ග ගැනීම අහිතකර වෙන්න තිබුනා.

ජාතිකාභිමානයෙන් පෙල ගැසෙමු…

වැදූ මවත් උපන් බිමත් තරම් වටිනා සංකල්පයක් අතීතයේ උදවියට තිබුනේ නැහැ. තමන්ගේ දෙමව්පියන්ට සමාන ආදරයක් ඇල්මක් ඔවුන් තමන්ගේ රටටත් දැක්වූවා. ඒ නිසාම “ලෝකෙන් උතුම් රට ලංකාවයි…” කියද්දී කිසිම කෙනෙක් කටක් ඇරල එහෙම නොවෙයි කියන තර්කය නැගුවේ නැහැ. ඒ උදවිය එතරම්ම ඇල්මක් ගරුත්වයක් තමන්ගේ රට වෙනුවෙන් දැක්වූවා.

නමුත්… 1980 දශකයෙන් පසුව සහ ඒ ආසන්නයේ උපන් බොහොම දෙනෙකුට දැන් අපේ රට අතහැර යන ස්ථාවරය ගොඩ නැගිලා තියෙනවා. ඔවුන්ගේ අදහස අනුව මේ ජීවත් වෙන්න ගැලපෙන රටක් නොවෙයි කියන තර්කය නිතරම නගනවා.

අම්මාට තාත්තාට… ආචිචිට.. සීයාට ජීවත් වෙන්න පුලුවන් වුනා නම් ඔවුන් මිනිසුන් විදිහට ආලෝකයක් අපේ රටේදී ලැබුවා නම් තුන්වැනි පම්පරාවට විතරක් රට නොගැලපෙන්න විදිහක් නැහැ කියන තැනදී මේ අලුත් පරම්පරාව කියන්න අම්මලා… අත්තම්මලා…ලෝකය  ගැරහීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. රටට ආදරයක් නැති පිරිසක් රටේ ජීවත් වෙනවා කියන්නේ ඒනෑම විනාශකාරී දෙයක් වෙනුවෙන් යොමු වීමට තිබෙන අවස්ථාවන් ප්‍රබලයි. රට රැකගැනීමේ කිසිම වගකීමක් මේ අයගේ හිතේ නැහැ. මේ දරුවන් ලොකු මහත් වෙලා පවුලක් විදිහට ගොඩ නැගිල රටේ අනාගතය බාර ගත් දිනකදී වුනත් හිතන්නේ… “මාවත් මගේ අඹුවත් රැකුනොත්” යන සංකල්පය පමණයි. සමහර විට අඹුවත් නොරකින තැනට පත් වීමට තරම් ඔවුන්ගේ ආත්මාර්ථකාමී සිතුවිලි වඩාත් දරුණු වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුංචි මල් වගේ ඉන්න අපේ දරුවන් තුළ රට , දැය සමය ගැනත් ඇල්මක් ඇති කිරීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද…?

රටට ආදරය කරන්න කියා දෙන්න…

අපි දැන් ජීවත් වෙන්නේ තොරතුරු ලෝකයක. ඒ වුනත් අපිට අද දෙපයින් මේ රටේ ජීවත්වීමට ඉඩ හසර ලබා දුන් අතීත මුතුන් මිත්තන් ගැන දරුවන්ට කියා දෙන්න. අද අපේ දවස වෙනුවෙන් එදා ඔවුන්ගේ ලේ, දහඩිය කඳුළුලින් මේ පොළව තෙත් වුන බව සිහියට නගන්න. අදටත් අපි ඒ වීරවර මුතුන් මිත්තන් වෙනුවෙන් ණය ගැති බැව් හදවතට දැනෙන සේ කියා දෙන්න.

දරු නැළවිලිවලදී ජාතිකාභිමානය …

දරුවන් නළවන නැලවිලි ගී මගින් ඔවුන්ගේ හදවතට මේ සිතුවිලි බොහොම සියුම් විදිහට ඇතුළු කරන්න පුලුවනි. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන්ගේ නැලවිලි ගී ගයන විට දරුවන්ගේ හදවතට මේ සිතුවිලි නොදැනීම ඇතුළු වේවි.

“ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ…”
“මුනි සිරිපා සිඹිමින්නේ – සමනොළ ගිරි පෙදෙසින්නේ,
මද සුළඟයි මේ එන්නේ – මගේ පුතා නැලවෙන්නේ..”

 

මෙවැනි දරු නැළවිල්ලකින් නැගෙන ස්වරය දරුවාගේ හදවතටත් නොදැනීම දැනෙන අතර එය ඔවුන්ගේ අනාගතයේ ජීවන ගීතය බවට පත් කිරීම එතරම් අපහසු නැහැ.

කථාන්දර කියා දෙන්න…

එදා අම්මලා අත්තම්මලා  තමන්ගේ දරුවන්ට නින්ද යන තුරු බොහොම ලස්සන කතාන්දර කියා දුන්නා. ඒ අතරේ විහාරමහදේවි, දුටුගැමුණු කුමාරයා වැනි වීර චරිත ගැනත් කියැවුනා. අද අම්මලාට කතන්දර කියා දෙන්න තරම් විවේක මනසක් නැහැ. අත්තම්ලා හිටියත් සමහර ඔවුන් එක වහලක් යට නැහැ. ඒ වගේම දරුවන්ගේ ලෝකය රූපවාහිනිය පමණයි. අත්තම්මලාත්  හරි හරියට මුනුපුරන් සමග රූපවාහිනියට වාඩිවෙනවා මිසක කතන්දර කලාවක් ඔවුන්ටත් නැහැ. ඒ නිසා දරුවන්ට අපේ ඉතිහාසයෙන් කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ.

මේ හොඳම කාලයයි…

71 වැනි නිදහස සමරන මේ වකවානුවේ දරුවන්ට අපේ ඉතිහාසය ගැනත් අපේ ජාතික අභිමානය ගැනත් කියා දීමට මනා පරිසරයක් නොදැනීම සකස් වෙනවා. හැම නිවසකම ජාතික කොඩියක් ඔසවන මේ කාලයේ එතැන් පටන්ම ජාතිකාභිමානය දැනෙන සේ කටයුතු කරන අන්දම දරුවන්ට පෙන්වා දෙන්න.

ජාතික කොඩිය ඔසවන විට එය නිවසේ ඉහළම තැනක ඔසවන්න කියා දෙනන්. සිංහයා උඩු යටිකුරු නොවන සේ අභිමානයක් සහ ජාතික කොඩියට ගරුත්වයක් ඇති වෙන අන්දමින් ඔසවා තැබිය යුතු බව දරුවාට කියා දෙන්න. ජාතික කොඩිය තිබෙන්නේ එල්වරසන් නැගීමට, ඇදගෙන දුවන්න, ස්ටිකර් විදිහට මුහුණේ අලවා ගැනීමට නොවන බැව් පුංචි දරුවන්ට කියා දෙන්න. අද වැඩිහිටි දරුවන් තරඟාවසානයේ ජයඝෝෂා නගන විට ජාතික කොඩියට නිගරු වන සේ හැසිරෙන අන්දමි. අනාගතය භාරගැනීමට පෙල ගැසී සිටින දරුවන්ට නොගැලපෙන බැව් පහදා දෙන්න. ජාතික ගීතය ගායනා කරන විට සිටගෙන සිටීමේ ඉරියව් සහ ඒ වෙනුවෙන් ගරු කරන අන්දම කියා දෙන්න.

ජාතිකාභිමානය යනු ජාතිවාදය නොවේ…

රට , දැය සමයට ආදරය කිරීම යනු ජාතිවාදයක් නොවේ. අපේ රටේ ජාතික හැඟීම ඇති වෙන්නනේ කුමන හෝ උනුහුම් අවස්ථාවක්  ඇති වුන විට පමණි. අපි උපන්නේ එකම රටක බැවින් අපි ලක්මාතාවගේ දරුවන් බැව් අමතකව යෑමට ගෙවෙන්නේ නිමේශයකි.

මේ පුංචි රටේ අපි කවදා කොතැනක හෝ හමුවෙන බව අමතක කළ යුතු නැත. ලංකාමාතාව යනු අපි උපන් රටයි. මේ රටේ විවිධ වර්ග, විවිධ භාෂාවන් ආමන්ත්‍රනය කරන පිරිස් සිටිය හැකියි. ඒත් අප හැමදෙනාගේම සිරුරේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. පටු වාද භේද අවශ්‍ය නැත. එකම මවකගේ කුසින් උපන් දරුවන් සේ ලංකාමාතාවගේ සෙවෙනේ සමගියෙන් සාමයෙන් ජීවත් වෙන පරිසරයක් ගොඩ නගා ගනිමු.

ඔබේ දරුවාට ආදරය හා රැකවරණය සමගින් එන “The Hope”

දරුවා යනු දෙමව්පියන්ට, පවුලට සහ සමස්ත සමාජයට ඉතාමත් වටිනා සම්පතකි. මව් කුස පිළිසිඳ ගත් පටන් දෙමව්පියන් තම දරුවා පිළිබඳ සිහින මවන්නට පටන් ගනියි. මෙලොවට බිහිවූ දා සිට යහපත් පුරවැසියෙකු ලෙස වැඩෙනවා දැකීමට පෙරුම් පුරයි. මේ ලෝ වාසී සෑම දෙමව්පියකුගේම ඒකායන ප්‍රාර්ථනය එයයි.

නමුත් වර්තමානයේ තරගකාරී ලෝකය තුළ මව සහ පියා යන දෙදෙනාම රැකියාවක් කිරීම තම පවුල් සංස්ථාව විධිමත් මට්ටමක රඳවා ගැනීමට අත්‍යවශ්‍ය  කාරණාවක් බවට පත් වී ඇත. එවැනි සමාජයක තම දරුවන් රැකබලා ගැනීම යනු ඇතැම් දෙමව්පියන්හට ප්‍රබල ගැටලුවක් වේ. ඇතැම් දෙමව්පියන් තම දරුවන් ආච්චි හෝ මෙහකාරියක් භාරයේ තබයි. නමුත් මෙවැනි පිළියම් කෙතරම් දරුවාහට ආරක්ෂිවතද යන්න සිතා බැලීම වැදගත් වේ.

වැඩෙන දරුවෙකු හට පෝෂණය, ආදරය සහ කිසියම් රැකවරණය යනු ඉතාමත් වැදගත් සාධක වේ. අනාගතයේ දරුවාගේ මනා ශාරීරික සහ මානසික වර්ධනය සඳහා එය පිටුවහලක් වේ. එපමණක් නොව දරුවාගේ සනීපාරක්ෂාරව සහ නිසි වයසේදී දරුවාගේ මොළයේ වර්ධනය නිසි පරිදි සිදු වීමට අවශ්‍ය අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදු කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි.

මේ සියලු දෑ හට පිළියමක් වශයෙන් මහනුවර ප්‍රදේශයේ දෙමව්පියන් වෙනුවෙන්ම “ද හෝප්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිටුවහලක් වන බව නොඅනුමානය.

දරුවාගේ මානසික වර්ධනයට අවශ්‍ය විධිමත් බාහිර සහ අභ්‍යන්තර පරිසරයක් එහි සතුය. වායු සමීකරණය කරන ලද නිදන කාමරය සහ දවස පුරාම ඔවුන්ගේ ආරක්ෂා ව අධ්‍යයන කිරීම වෙනුවෙන් CCTV  කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මක කර ඇත. දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂාක කිරීම උදෙසා ඉතා පිරිසිදු සෙල්ලම් බඩු සහ අධ්‍යාපනික උපකරණ විවිධ වයස් කාණ්ඩවලට අදාලව වෙන් වෙන්ව සපයා ඇත.

දරුවාගේ ආහාර යනු රැකියාවක යෙදෙන මවකට ඇති ප්‍රධාන ගැටලුවක් වේ. “ද හෝප්” ආයතනය මගින් දහවල් ප්‍රධාන ආහාර වේලට අමතරව උදෑසන සහ සවස කෙටි ආහාර වේල් ද ඉතාමත් පිරිසිදුව දිවා සුරැුකුම් මධ්‍යස්ථානය තුළ දී පිළියෙල කර ඔබේ දරුවාට ලබාදීම දෙමව්පියන්ගේ කාර්යබහුල දෛනික වැඩ පිළිවෙළ සඳහා සහනයක් වන බව නිසැකය. උදෑසන දරුවා භාර දුන් පසු සවස් වන තෙක්ම ඔබගේ දරුවාගේ සියලුම කටයුතු පිරිසිදුව සහ කාල සටහනකට අනුව ඉතා පිළිවෙළින් සිදු වේ. මධ්‍යස්ථානය තුළ සිටින ප්‍රාථමික පාසල් දරුවන්ගේ පාසල් වැඩ කටයුතු සඳහා ද සහයෝගයක් මෙම මධ්‍යස්ථානය මගින් සිදු වේ. මීට අමතරව මනා පුහුණුවක් ලද ගුරුවරු සහ අනෙක් සේවකයන් ඔවුන් සතු වේ.

දරුවන් 20 වැනි සිමීත ප්‍රමාණයක් බඳ වා ගැනීම සුවිශේෂී වන අතර සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානයක් ලබාදීමට හැකි වීම එහි අරමුණ වේ. උදෑසන 7 ට ආරම්භ කරන මධ්‍යස්ථාන සවස 5.30 වන තෙක්ම විවෘතව පවතින අතර දෙමව්පියන්ගේ පහසුව උදෙසා ඊට අමතර කාල පරාසයක්ද ඔබ හට සහනයක් වන ලෙස යොදා ඇති බව කිව යුතුය.

විවිධ වයස් සීමාවන්ට අදාලව මනෝ චාලක ක්‍රියාකාරකම් සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපයෝගී වන ක්‍රියාකාරකම්ද වැඩසටහන් ගත කර ඇත්තේ ඔබේ දරුවා වෙනුනේමය. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තුළ සාමාන්‍ය පරිදි සිදුවන කෑම, බීම, පිරිසිදු කිරීම, නිදාගැනීම යන කාරණාවලට අමතරව මෙවැනි සුවිශේෂී ක්‍රියාකාරකම් පෙර පාසලක් තුළ සිදුවන ලෙසම කාල සටහනකට අනුව සිදු කිරීම “ද හෝප්” ආයතනය තම දරුවා වෙනුවෙන් තෝරගැනීම සඳහා ප්‍රබල හේතුවක් වනු ඇත.

ඉතා කාර්යබහුල ඔබ සඳහා “ද හෝප්” යනු සහනයක් බව නිසැකය. නිදි යහනේ සිට “ද හෝප්” වෙත එන ඔබගේ දරුවාට මෙම මධ්‍යස්ථානය ඔවුන්ගේ දෙවෙනි නිවහන ලෙස හැඟෙනු ඇත. පැරණි මහනුවර – පේරාදෙණිය මාර්ගය සහ නව මහනුවර – පේරාදෙණිය මාර්ගය යන මාර්ග ද්විත්වයෙන්ම මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමේ හැකියාව සහිත වීම “ද හෝප්” ආයතනය සතු සුවිශේෂී වරප්‍රසාදයකි.

2019 පෙබරවාරි මස 03 වන දා සවස පුරාම “ද හෝප්”  දිවා සුරැකුම් මධ්‍යස්ථානය මහනුවර ඔබ සඳහාම විශේෂ විවෘත දියක් ලෙස යොදා ඇත. එදිනට පැමිණ මධ්‍යස්ථානය අධ්‍යයනය කරන ලෙස ඔබ සැම හට විවෘත ආරාධනයක් කරමු.

වැඩි විස්තර සඳහා,
අමතන්න : 0773178628 / 0814203646
ඊ මේල්  : thehope.childdev.kandy@gmail.com
ලිපිනය : 859/3/A, පේරාදේණිය පාර, මහනුවර (කිංග්ස්වුඩ් විද්‍යාලය අසල)

 

තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකනවා

විවාහ වෙන කලවයසට ආවාම දෙමව්පියන් පවා තමන්ගේ දූදරුවන් විවාහ කර දීමට විශාල උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ ඇවෑමෙන් තමන්ගේ දරුවන්ටත් ස්වාධීන ජීවිතයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය නිසයි. සම්ප්‍රදායික විදිහටම පැවැතෙන මේ සංසිද්ධිය අපේ පරම්පරාවේ පැවැත්ම කිව්වත් වරදක් නැහැ.

මේ නිසාම විවාහයකින් පසුව අපේ අපේක්ෂාව දරුවෙකුගේ කිරි සුවද දැකීමයි. බොහෝ දෙනෙකුට මේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වුනත් සමහර අයට ප්‍රමාද වී හෝ මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඒ මුලින් පමා වුනත් එයින් පසුව දරුවන් දෙතුන් දෙනෙක් බිහි කිරීමට තරම් ඔවුන් වාසනාවන්තයි. තවත් අයට කොටින්ම කිව්වොත් “හනිමුන් බේබි” ලා ලැබුනත් එතැනින් පසුව නැවත දෙවැනි දරුවෙක් වෙනුවෙන් මොන තරම් උත්සාහ ගත්තද ඒ බලාපොරොත්තුව ඉටු නො‍වෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. තවත් අයට නම් පැදුර පෑගුනත් ඇති කියන තැනට වගේ කිසිම අඩුවක් නැතුව දරුවන් හතර පස් දෙනෙක් වුනත් ලබන්න වාසනාව ඔවුන්ගේ පෙර පින් බලයෙන්ම ලැබිලා තිබෙනවා. මේ නිසාම සමහර අම්මලා වැලේ ගෙඩි වැලට බර නැතැයි යන සංකල්පයේ රැදී කුස පිලිසිඳ ගන්නා දරුවන් බොහොම සතුටින් බාර ගැනීමට සූදානම්. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුවත් අනේ දුක් විඳල හරි දරුවන් උස් මහත් කර ගත්තොත් “අපිට බැරි ගැහෙන දවසට බලයිනේ…” අදහසත් හිතේ නැතුවාම නොවෙයි.

ඒත් මෑතකදී බර්ලිනයේ සමාජ විද්‍යාව පිලිබඳ පර්යේෂක මාර්ෂල් රාබ් Marcel Raab විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔහුගේ ගැටලුව වුනේ දරුවන් රැසක් සිටි පමනටම මේ දෙමව්පියන්ට වියපත් වුන කාලයකදී රැකවරණයක් ලැබේවිද යන්නයි. ඔහුගේ මේ අධ්‍යනයට “බැම්බර්ග් විශ්ව විද්‍යාලයේ” හෙන්රිට් එන්ජෙල්ඩ්ට් සහ තෝමස් ලියෝපේඩ්ද සම්බන්ධ වුනා.

ඔවුන්ගේ මේ අධ්‍යනයට පවුල් 641 ක දත්ත සම්බන්ධ කර ගත්තා. එහිදී හදුනා ගත් කරුනු මේ වෙන විටත් Journal of Marriage and Family මගින් ප්‍රකාශයට පත් කර අවසානයි. දැන් ඔබ කැමැති ඇති නේද මේ අධ්‍යනයේ අවසාන වාර්තාව ගැන දැනගන්න.

අධ්‍යනය අවසානයේදි ඔවුන්ට ලැබුන නිගමනය වුනේ දරුවන් කීප දෙනෙක් සිටින දෙමව්පියන්ට වඩා තනි දරුවෙක් සිටින දෙමව්පියන්ට ඒ දරුවාගෙන් රැකවරණය නොඅඩුව ලැබෙන බවයි. මේ ගැනත් හේතු නැතුවාම නොවේ.

තනි දරුවාට අනිවාර්යෙන්ම  වගකීමක් තිබෙනවා…

දෙමව්පියන් නම් කිසිම දවසක දරුවන්ට වෙනසක් නැහැ. දරුවන් කී දෙනෙක් හිටියත් ඔවුන් හැම දෙනාටම ආදරෙයි. ඒ වගේම තනි දරුවාටත් තමන්ට තිබෙන යුතුකම වෙනත් අයෙකුට පවරා කර අරින්න බැහැ. ඔවුන් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් බැඳී සිටිනවා. එක පැත්තකින් ඒ නිසාමදෝ තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකන තත්වයට පත් වීම සාමාන්‍ය සිදුවීමක්.

දරුවන් අතරත් ගැටුම් ඇති වෙනවා…

දරුවන් කීප දෙනෙක් පවුලක සිටිද්දී පුංචි කාලයේ නම් වෙරලු ගෙඩිය හරි අටකට කපා ගෙන කෑම සාමාන්‍ය සිද්ධියක් වුනත් කර දඬු උස් මහත් වෙද්දී මේ තත්වය නොදැනීම අහෝසි වෙනවා. ඊට පසුව මුල් තැනට එන්නේ දේපල බෙදීමේදී අයියට… අක්කට… නංගිට… මල්ලිට ලැබුන පංගුව ගැනයි. එහෙම නැත්නම් බෙදූ වපසරියේ ඵලදායක කොටස් මුල් කර ගෙනත් විවිධ අමනාපකම් ඇති වෙනවා. මේ විරසක නිසා දෙමව්පියන්ගෙන් දුරස් වීමට එය ආසන්න වගේම ප්‍රබල හේතුවක් කර ගැනීමට දරුවන් පිරිසක් ඉන්න පවුල්වල සාමානයයෙන් සිදුවෙන දෙයක්.

දරුවන් දිහා බලන කණ්නාඩිය අනුව…

සමහර අවස්ථාවලදී නොදැන හෝ දෙමව්පියන් අතිනුත් සිදු වෙන වැරැදිත් ඔවුන්ගෙන් දරුවන් දුරස් වීමට බලපානවා. සමහර විටක දෙමව්පියන් එසේ නොකලත් දරුවන්ගේ හිතේ තමාට වඩා අයියට.. නංගිට… මල්ලි… අක්කට ආදරෙයි යන සිතුවිල්ල ඇති වෙන්න පුලවනි. දරුවාගේ හිතේ මෙවැනි සංකල්පයක් ඇති වුනොත් එය සාධාරණ සැකයක් බවට පත් කරමින් දෙමව්පියන්ද ඒ හැසිරීම මත සිටියොත් මේ දරුවන්ගේ හිතේ ඇති වෙන කලකිරීම යටි හිතේ තදින් තැන්පත්ව තිබිල කාලයක් ගිය පසුව අවදි වීමට පුලුවනි. “මට මොනවාද කලේ…වෙනස්කම් විතරයි…ඒ කාලේ ඇහේ මුහුණේ තියාගෙන හිටියේ…අයියා..” වැනි විදිහට කියමින් දෙමව්පියන්ගෙන් දුරස් වීමට ඒ හේතුව පසුබිම බවට පත් කර ගන්නා දරුවන් ගැනත් ඔබ අසා ඇති.

ඔබ බියවෙන්න එපා…

සමහර විට ඔබේ හිතේ මේ වගේ සංකල්පයක් මෙතෙක් තියෙන්න ඇති. පවුලක දරුවෝ හතර පස් දෙනෙක් හිටියා නම් එකෙක් නැතැත් අනිත් දරුවා හරි වතුර පොදක් දෙයි කියල අපිට සැහීමට පත් වෙන්න පුලුවනි. ඒත් එකා..යකා…කියන්නා වගේ මේ දරුවා අපිට අනාගතයේදී නොසලකා හිටියොත්…ඒත් මේ ගැන හිත කලබල කර ගන්න එපා..වගකීමෙන් මිදෙන්න බැරි කම හෝ වේවා.. තනි දරුවා දෙම්පියන්ට නොසලකා අත් නොහරින තැනක නවතීවි. මෙනවා වුනත් දරුවන් විදිහට තමන් හදා වඩා ගෙන පොලවේ පය ගසා ජීවත්වීමට ශක්තිය දුන් දෙමව්පියන්ට නොසැලකීම ගැන විවිධ හේතු පාඨ අවශ්‍ය නැහැ. තමන්ගේ ශක්ති පමනින් දෙමව්පියන්ට සැලකීම ඔවුන්ගේ හදවතට බැඳී තිබෙන යුතුකමක් බව සිහියේ තබා ගැනීම වැදගත්. ඒවා පෙන්වා දීමට ඒ ගැන අවවාද කිරීමට අවශ්‍ය නැහැ.

– science daily ඇසුරිනි –

 

ආහාර අනුකරණය අන්ධානුකරණයෙන් එපා…

අනුකරනය අපි අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් දක්වනවා. මේ රටාව බාල කාලයේ පටන්ම අපේ ජීවිතයට සම්බන්ධ සිද්ධියක්. ඒ වගේම මෑතකදී ඉදිරිපත් කරන ලද අධ්‍යන වාර්තාවකින් පෙන්වා දෙන්නේ මිනිසුන් අනුන් කන බොන රටාව බොහොම ඉක්මනින් අනුකරනය කරන බවයි.

මෙම අධ්‍යනය සිදු කරනු ලද්දේ තුර්කි විශ්ව විද්‍යාලයේ “ඩෝසෙන්ට් හැනා” විසින්. එම අධ්‍යනයට පවුල් 16, 500 ක දත්ත ලබා ගත්තා. මේ පිරිස අතරින් 7704 ක් පවුල් අදාල අධ්‍යනයට වසර හයක් ඇතුලත පදිංචියට පත් වූ අය වූ අතර සෙසු පිරිස මෑතකදී අදාල ප්‍රදේශයට පැමිණ පදිංචි වූ පවුල් වීමත් විශේෂයක්.

මෙම අධ්‍යනය අවසානයේදී පෙනී ගියේ බොහෝ දෙනා අනුන්ගේ ආහාර  රටාවන් අනුගමනය කරන බවයි. ඒ අතරින් මේ අන්දමින් අනුන්ගේ ආහාර වර්ග අනුගමනය කරන බොහෝ දෙනෙක් අඩු ආදායම්ලාභී සහ වැඩිදුර අධ්‍යාපනයක් නොලත් පිරිසක් වීමත් විශේෂයක්. මේ නිසාම ඔවුන් අතර අනුන්ගේ ආහාර වර්ග අනුකරණය කිරීම තාම තදින් සිදු වුණා. මේ අධ්‍යනයට ලබා ගත් දත්ත  අනුව විශේෂයෙන් පිෂ්ටය සහිත ආහාර සහ බාල වර්ගයේ මද්‍යසාර වර්ග අඩු ආදායම්ලාභී පිරිස් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වීමත් ඔවුන් හඳුනා ගත්තා. බාල වර්ගයේ මද්‍යසාර නිසා ඇතැම් අවස්ථාවන්හිදී මරණය පවා සිදුවීමට තරම් තත්වය බරපතල වී තිබුනා. ඇතැම් අවස්ථාවලදී ඇස් ඉදිරිපිට සාක්ෂි තිබුනත් බොහෝ දෙනක් මේ අනුන් අනුකරණය කිරීම මිස අහිතකර ආහාරවලින් දුරස් වීමට උනන්දු වෙන්නේ නැහැ.වතුකරයේ ජීවත්වෙන බොහෝ පිරිස් අතරත් මද්‍යසාර විෂ වීමෙන් විවිධ අවස්ථාවන්හිදී මරණ පවා සිදු වුන බවට වාර්තාවන් අපේ රටේත් අඩුවක් නැහැ.

ඒ වගේම තවත් පිරිසක් තමන්ට නැති සමාජ පංතිය ඇති කර ගැනීමටත් අනුන්ගේ ආහර රටාවන් අනුකරණයට පුරුදුව සිටිනවා. මේද, තෙල් සහිත බර්ගර්, පිට්සා, ආදිය නිතරම ආහාරයට ගන්නේ උසස් මධ්‍යම පංතිය යැයි හිතන ඔවුන් තමන්ද ඒ පංතියට පිවිසීමට නම් මේ ආහාර අනිවාර්යෙන්ම තමාගේ නිවසටත් ලැබීම දැඩි අවශ්‍යතාවයක් බව සිතන්නට තරම් මොළය නොමේරූ කොටස් අපේ ඇසුරු කරන අය අතරත් සිටිනවා. උදාහරණ විදිහට අල්ලපු ගෙදරට පිට්සා ‍බෙදා හරින වාහනය දුටුවොත් පහුවදාට තමන්ගේ නිවසටත් ඊටත් වඩා වටිනා පිට්සා ඇනවුම් කරන පිරිස් නැතුවා නොවේ. ඒ තරමටම අනුන් කන බොන පිලිවෙල අනුකරණයට අපි අතර ඇත්තේ විශාල නැඹුරුතාවයක්.

අපි හිතන විදිහට ආහාර වලට පංතියක් නැහැ. මේ සියල්ල විසින්ම ගොඩ නගා ගත් සංකල්ප පමණයි. අද වෙන විට බටහිර ලෝකයේ රටවල් තෙල් , සීනි සහ පිටි ආහාරවලින් දුරස් වෙන ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා. ඊට හේතුව මේ ආහාර සංස්කාතිය නිසා දියවැඩියාව, අධිරුධිරපීඩනය, පිලිකා, රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මටට්ම ඉහළ නැගීම වැනි මරණයට පවා හේතු වෙන බෝනොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මේ ආහාර සංස්කෘතියෙන් දුරස් වෙද්දී  අපේ දේශීය ඇවැතුම් පැවැතුම් සමග බද්ධව තිබෙන හිතකර ආහාර සංස්කාතිය පසෙක තබා මේ අහිතකර ආහාර සංස්කාතිය වැලඳ ගැනීමේ හිස්කම අපිට පාරාවලල්ලක් බවට පත්ව තිබෙනවා.

අපි කන්නේ ඇයි…

අපි ආහාර බුත්ති විදින්නේ ජීවත්වීමටයි. එසේ නම් ආහාර නිසා අපේ ජීවිතයේ නීරෝගී පැවැත්ම බිලිදීමට අවශ්‍ය නැත. ක්ෂනික ආහාර, පැණිබීම, ලුණු , අදික සීනි යෙදූ ආහාර එදා අප අතර තිබුනේ නැත. පළතුරු ගෙඩියක් හොදින් විකා අනුභව කළ අතර තෙල් දැම්මා නම් එයට නැවත මිටිකිරි යොදන්නේ නැත. බොහෝ විට පොල් අඹරා ගෙන ආහාර පිලියෙල කරනු ලැබුවේ ආහාර නිසා රෝගී වීමෙන් ආරක්ෂාවටයි. ඒත් අද ඇත්තේ අනුකරණයයි. සිරුරට අගුණ වුනත් ප්‍රශ්නයක් නැත අහල පහල හැම දෙනාම රාත්‍රි ආහාරය සපයා ගන්නේ නයිට් කඩවලින්ය. අපිත් එසේ නයිට් කඩයකින් රාත්‍රි ආහාරය සපයා ගැනීමට පටන් ගනිමු. මේ අන්දමේ අදහස් ඔබේ හිතට ආවත් ඒ ගැන දෙවරක් හිතන්න. අපි අනුන් කන බොන දේ වෙුවෙන් යොමු වී රෝගී වෙනවාද…? එසේ නැත්නම් අපේ පුරුදු ආහාර රටාව මත යැපී ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙනවාද…? විකල්ප අතරින් එකක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත.

මාර්ක් සකර්බර්ග් කියන අදහස…

මාර්ක් සකර්බර්ග් ලොවේ වාර්තා තැබූ බිලියනපතියෙක්. ඔහුට අවශ්‍ය විදිහට ඉතාම සුඛෝපභෝගී ආහාර රටාවක් අනුගමනය කිරීමට හැකියි. සමහර විට ඔහු අනුභව කරන ආහාර මුවාවෙන් ඉතා හොඳ වෙළද ප්‍රචාරනයන් ලබා ගැනීමටද අපහසු නැත. එහෙත් ඔහු  මේ ගැන කරන සදහන මදකට අසන්න… “අපි ඔය රූපවාහිනීවලින් දකින ජීවිත සැබෑ ලෝකයේ නැහැ. කෝපි බොන, දිනපතාම විශේෂ ආහාර පාන බුත්ති විදින, රෝස්ට් කරන ලද මස් සහ බාබකියු ආහාරයට ගන්නා පිරිස් ඇත්තේ රූපවාහිනී නාලිකාවන්හි පමනි.” මේවා දකින ඔබ නොසතුටට පත් වෙන්නේ අනේ “අපිට එහෙම ජීවිතයක්…” ඒත් මේ තත්වය ඔබට  ග්‍රහණය කර ගත නොහැකි ජීවිතයක් වෙනුවෙන්ය. මේ පෙන්වන සුඛෝපභෝගී ලෝකයට පිවිසීමට නම් අපි අඩුම වශයෙන් මේ විදිහට කන්න බොන්නවත් එපායැ.

ඒත් පෙන්වා ඇති ලෝකය මිථ්‍යාවකි. ඔබ ඒ මිථ්‍යාවට  හසු වෙන්න එපා.අනුන් අනුකරණය කළ යුත්තේ එයින් යහපතක් සිදු වෙනවා නම් පමනි. ආහාර වුවත් ප්‍රශ්නයක් නැත. එය ඔබේ ජීවිතයේ  යහපැවැත්මට හේතු වෙනවා නම් කිසිම ගැටලුවක් නැත ඔබට ඒවා අනුකරණයට කිසිම බාධාවක් නැත. එහෙත්… මේ ආහාර නිසා ඇතිවෙන්නේ අහිතකර ප්‍රතිඵලනම් ඔබත් මේ රැල්ලටට නතුව රෝගියෙක් ලෙස අනාගතය මේ වෙනුවෙන් කැපකරනවාද…?

ඔහු වීරයෙක්…

නවනාදන් රාමරාජ්  යටිනුවර වීදියේ රන් ආලේප කර්මාන්තයක නියැලී සිටියේය. පවුලක් වුනොත් එක්ව ජීවත්වීම වඩාත් සැපතක් වුනත් ආර්ථික ප්‍රශ්න නිසා මහනුවර වැනි ප්‍රදේශයක මේ සියලු දෙනාට එකම වහලක් සොයා ගැනීමේ ගැටලු තිබුන නිසාවෙන් ඔවුන්ට මෙසේ විතැන්ව ජීවත්වීමට සිදු විය.

එහෙත්… කුඩා පුතුන් තිදෙනාත් තරුණ බිරිඳ රාදිකාත් දුර බැහැර සිටීම ඔහුගේ හිතේ කනස්සල්ලට හේතුව බව දැනගත් සේවය කළ ආයතනයේ අධිපතිතුමා සිවුමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක දරුවන් සමග ගත කිරීමට අවසර දුන්නෙන් නවනාදන් රාමරාජ් බෙහෙවින් සතුටට පත් වූයේය. මේ වෙන විට ලොකු පුතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ අතර නවනාදන්  මහනුවර විවේකානන්ද පාසලේ විදුහල්පතිතුමා මුණ ගැසී ලොකු පුතා එම පාසලට ඇතුලත් කිරීමට අවශ්‍ය විධිවිධාන පවා සලසා ගත්තේය.

සිද්ධිය වුන දිනට පෙරදා නවනාදන් ත්‍රිරෝද රථයෙන් බන්ඩාරවෙල බලා ගොස් පුතුගේ අස්වීමේ සහතිකයත් ලබා ගත්තේය. එතැනින් නැවත මහනුවර පැමිනියේ දරු තිදෙනා සහ බිරින්දෑත් සමගයි. මහනුවරට පැමිනෙන විට රාත්‍රි එක පමණ වී තිබුනි. දරුවන් තුන්දෙනාම නින්දේය. මේ වෙන විට අසල වූ “චම්පා ස්ටෝර්ස්” ආයතනයේ ආරක්ෂක නිළධාරී ( ඔහු අන්කල් යැයි අමතන ) හමු වී “අන්කල්  පුතාලට නින්ද ගිහිං … මම හෙට උදෙන්ම අයින් කරනකම් වීල් එක මෙතැන පාක් කරන්නද…?” ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබුණි.

රාජු සහ බිරිඳ දරුවන්ද වඩා ගෙන ඔවුන්ගේ නවාතැන පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යත්ම වීඩියෝ ආයතනයේ කුමාර අයියාද සුව නින්දේ සිටිනු වීදුරුවෙන් දුටුවේය. ඔහු අවදි කිරීමටත් අවශ්‍යතාවයක් නැති නිසා ඔවුන් නිවසන කාමරයට ගොස් දරුවන් ඇඳ තබා මේ දෙන්නා දෙමහල්ලන්ද නින්දට සූදානම් විය.

පසුවදා උදෙන්ම අවදි වී නවත්වා තිබූ වීල් රථය පාක් එකට දැමීමට යන විට මුලින් නිදා සිටි කුමාර අයියා අවදිව එම ගොඩනැගිල්ලෙන් පිටව යෑමට සූදානමින් සිටියේය.

“ආ..රාජු..කීයටද ආවේ… මේ ඔයාට ප්ලේට් කරන්න බඩු වගයක් ගෙනැත් දීලා ගියා..” නවනාදන්ට හැම දෙනාම ආමන්ත්‍රණය කළේ “රාජු” යන කෙටි නමින්ය. ඔහු ඒ බඩුත් රැගෙන වීල් එකත් අදාල තැන නවත්වා නැවත මහල් ගොඩනැගිල්ලට පැමිනෙන විට එහි වූ තවත් ආයතනයක යමෙක් සිටිනු දුටුවේය. කෙසේ හෝ මෙම පුද්ගලයාගේ යම් අමුත්තක් දුටු අතර ඔහු දන්නා හදුනන අයෙක්ද නොවීය.

උඩුමහලට ගිය නවනාදන් ආයතනයේ අයිතිකරුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ ඔවුන්ගේ ආයතනයේ ආගන්තුකයෙක් සිටින බව දන්වා සිටීමටයි. ඒත් ප්‍රතිචාර ලැබුනේ නැත. ඔහු කුමාර අයියා යැයි ආමන්ත්‍රණය කරන පුද්ගලයා අමතා “කවුදෝ අපේ ගොඩනැගිල්ලේ බියුටි සැලුන් එක ඇතුලේ ඉන්නවා. කඩ ඇරලත් නැහැ. ඉක්මනට එන්න…” යැයි දන්වා සිටියේය. ගමන් මහන්සිය නිසාම නැවතත් ඇදේ ඇලවී බිරිඳ සමග කතා බහ කරමින් සිටියේ දරුවන්ගේ පාසල් ගමන ගැනයි. බිරිඳ උදේ ආහාර පිළියෙල කිරීමට අවදි වීමට සූදානම් වුනත් “ටිකක් ඉන්න ඔයාටත් මහන්සි ඇති.. පොඩි එවුනුත් තවම නිදි…අ පි හෙමින් මොනවා හරි හදමු..” යැයි කීවේය.

මේ අතර බිරිඳ එක් වරම “මේ ඔයාට සද්දයක් ඇහෙන්නේ නැද්ද….? හරි සද්ද කරන්න එපා… පොඩි අයත් බයවේවි…” ඔහු රාදිකාට කියා ගෙවුනේ සැනකි. විශාල දුමාරයකින් ගොඩනැගිල්ල පිරී ඇත. වහා පැන දරුවන්ද වඩා ගෙන පිටවෙන්නට උත්සාහ කළත් කිසිවක් පෙනේනේ නැත. මහල් නිවාසයෙන් පිටවීමට වෙන දොරටුවක්ද නැත.

දුමේ සැරට ජනේල පිපිරී යද්දී ඔහු දරුවන්ද වඩා ගෙන පාරේ සිටි මිනිසුන්ට ආයාචනා කළේ “අනේ මේ දරුවන් බේරා ගන්න…” යනුවෙනුයි.

එහෙත් ගින්න සමග කිසිවෙකුට ගනුදෙණු කිරීමට නොහැකිය. බලා සිටීමට සහ ජංගම දුරකථනයෙන් විඩියෝ කිරීම වෙනුවට හැම දෙනාම ජාති, කුල ආගම් භේද නොසලකා සැදී පැහැදී සිටියහ. රාජු මෙට්ටය බිමට වීසි කලේ දරුවන් ඒ මතට වීසි කිරීමටයි. ඒත් මෙට්ටය මත අතරමග රැඳී උත්සාහය නිරර්ථක  විය. ඔහු වෙනත් රෙදි පෙරදි බිමට දැම්මේය. මේ රෙදි දැලක් සේ එලා දරුවන් ඒ මතට විසි කිරීම ඔහුගේ උත්සාහය විය.

“අනේ තාත්තේ මට බයයි… විසි කරන්න එපා…” දරුවන්ගේ ආයාචනය එයයි. “පුතේ මෙතැන හිටියොත් අපි ඔක්කොම පිච්චලා මැරෙනවා… අතක් කකුලක් කැඩිලා හෝ ඔයාලා ජීවත්වෙන්න ඕන…” මේ අතර බිම සිටින පිරිසෙන් කොටසක් “දරුවන් දාන්න…” යැයි හඩ නගන අතර තවත් අය “එපා… දරුවන් බිමට දාන්න එපා” යැයි හඩ නගන්න වුහ. එහෙත් ගින්නට අනුකම්පාවක් නැත. දුමාරයෙන් පිරී ගොස් දැන් හුස්ම ගැනීමටත් අපහසුය.

ඔහු දෙවැනි දරුවා ගෙන බිමට වීසි කරත්ම ඔහු ඉලක්කයටට නොව එතැන සිටි තරුණයෙක් කෙසේ හෝ ර‍ඳවා ගැනීමට තරම් දරුවාගේ ජීවත්වීමේ වාසනාව ඉදිරියට පැමිණ ඇත. දැන් ඉතිරි දරුවන්ද විසි කලේ කිසිම තුවාලයක් හෝ සිදු නොවන තරම් ආශිර්වාදයෙන්ය. එක් දරුවෙක්ගේ පමණක් ඇස ළග පුංචි තුවාලයක් සිදු විය.

හාස්කමක මහිමයෙන් දරුවන් තුන්දෙනාම දැන් බේරී සිටිති. “රාදිකා අපි දැන් මැරැණත් කමක් නැහැ. දරුවන් ජීවත්වේවි…”

“එතකොට මේ අස්විමේ ලිපි ලේඛන…” රාදිකාගේ ගැටළුව එයයි. සියල්ල දැවී යද්දී තමන්ගේ ජීවිතය කොයි මොහොතකදීත් නොදැන තිබියදී ඇයට මේ ලිපිලේඛන සිහියට නැගුනේ ඔවුන් දරුවන් මුල් කර ගෙන මොනතරම් බලාපොරොත්තු තබා සිටියේද යන වග ඔබට සිතාගැනීමට පුලුවනි.

රාජු වීදුරුවක් කඩා ‍තුන්වැනි මහලට ඇතුලු විය. “මම පනින්නද…?” රාදිකා අසත්ම “එපා…ටිකක් ඉවසන්න.. දැන් කකුල ඉස්සර වෙලා දාන්න…” රාජු තුන්වැනි මහලේ බාල්කයක එල්ලී රාදිකා අල්ලා ගත්තේය. මේ වෙන විට ඔහුගේ අත වීදුරුවට කැපී ලේ ගලන තුවාලයකි. රාදිකා අල්ලා ගෙන සිටියත් බර සහ තුවාලයේ වේදනාව නිසා ඇය අත හැරී ගොස් කෙසේ හෝ පහළ සිටි පිරිස විසින් රැක ගෙන ඇත.

දැන් රාජු පමනක් මහල් නිවාසයේ ඉතිරිව සිටී. ඔහු කෙසේ හෝ මහලින් මහල වීදුරු කඩා ගෙන බිමිට පැමිණ ඇතැත් ඒ ගැන පැහැදිලි  මතකයක් ඔහුට නැත.

තවත් වාසනාවන්ත කරුණක් ඇත. පුංචි දරුවන්ටවත්, බිරිඳට හෝ කිසිදු පසු කම්පනයක් නැත.

“මහනුවර ඉන්නේ ඇත්තටම දෙවිවරු… මගේ පවුල ආරක්ෂා කර ගත්තා…මට එකක් සහතිකයි. අපි නැතැත් අපේ දරුපැටවුන්ට මහනුවර හැම දෙනාම දෙමව්පියෝ…” ඉවසීම, තැනට ගැලපෙන නුවණ සහ පවුලට තිබුන බැඳීමෙන් රාජු පමණක් නොව පවුලම නැවත එක් තැනක ජීවත්වීමට වාසනාව ලබා ඇත.