Home Blog Page 98

ඔබේ බොරුවෙන් රැවටෙන්නේ ඔබමයි

පොසොන් පොහොයට දින දෙක තුනක් තිබියදී එක් දවසක් පුංචි දුවක් අම්මාට මෙහෙම කිව්වා.

“අපිට ඉස්කොලේ සිල්…”

“ඈ..” අම්මා ඇහුවේ විමතියෙන්,

“ඔව් අපි ඔක්කෝටම සිල් ගන්න කිව්වා…ළමාසාරිය ඇදගෙන උදේ හතට ඉස්කෝලෙට එන්න කිව්වා.”

“අනේ..මේ..” අම්මා කිව්වා.

“ඇයි..සිල්ගන්න ඕනා…නැත්නම් ටීච බනියි..”

“ඔයාට සනීප නැති වුනා කියන්න..මම ලියුමක් දෙන්නම් සනීප නැති වුනා කියලා…” අම්මා කිව්වා.

“හා…” දියණියත් එකඟ වුණා.

ඇත්තටම මවක් විදිහට ඇය තමාගේ කුඩා දියණිය නොමග යවන අන්දම ගැන ඇති වුනේ දුකක්. දරුවන් වෙනුවෙන් ශීල සමාදාන වැඩසටහන් පාසලේ පවත්වන්නේ අධ්‍යාපනය කියන්නේ අකුරු විතරක් නොවෙයි, සාරධර්මත් එකතුවීමක් බව පෙන්වා දෙන්න. ඒත් වැඩිහිටියන් විදිහට ඔවුන්ගේ දායකත්වය ගැන  නම් ඇත්තටම හිතෙන්නේ දුකක්.

බොහෝ දෙමව්පියන් පාසලේ පවත්වන ආගමික වැඩසටහන් වෙනුවෙන් දරුවන් සම්බන්ධ නොකිරීමට හේතු තිබෙනවා. එයින් එකක් තමා හැමදාම උදේ පාන්දර නැගිටලා එකාකාර රටාවක යෙදෙන ඔවුන්ට ඉඳහිට ලැබෙන දවසක නිදා ගැනීමට ලැබෙන වේලාව නිසා එය නැති කර ගැනීම විශාල පාඩුවක් විදිහට සිතීම.

අනෙක් හේතුව අවුරුද්ද ලබන විටම කැලැන්ඩරය බලලා දීර්ඝ නිවාඩුවක් ලැබෙන මේ වගේ පොහොය දිනයන්හි චාරිකාවන් සංවිධානය කර ගැනීම. මේ සිදුවීම් දෙකම ඔවුන්ගේ පැත්තෙන් ඇත්ත. ඒත් දරුවෙකුට පාසලකින් ලැබෙන මේ අත්දැකීම් උපයා ගැනීමට පරිසරය ලබා දීමත් ඉතාම වටිනා දෙයක්.

ඇත්තටම දරුවෙක් මේ කටයුතු වෙනුවෙන් මැලි බවක් දක්වනවා නම් අම්මා තාත්තා විදිහට ඔවුන්ට එහි වටිනාකම් ගැන කියා දී යොමු කිරීම මිසක දරුවාට ඒ අවස්ථාව අහිමි කරනවාටත් වඩා බොරු හේතුවක් පෙන්වා දීමෙන් ඇති වෙන අහිතකර තත්වය දෙයාකාරයකින් බලපානවා.

දරුවාට ගුණ දහම් ලැබෙන්නේ නැහැ

ශීල සමාදාන වැඩසටහනකින් ඇත්තටම දරුවන්ට යා යුතු මග නොමග කියා දෙනවා. පොදු වේ සිදු වෙන ආගමික වැඩසටහනකට වඩා පාසලේ එහෙම නැත්නම් දහම්පාසලේ සිදු වෙන ආගමික වැඩසටහනකදී දරුවන්ටම ගැලපෙන විදිහට සංවිධානය වීමක් තිබෙනවා. ධර්මදේශනයේ පටන් භාවනා වැඩ සටහන් පවා දරුවන්ගේ මනසට ගෝචර වන සේ සැලසුම් කිරීම මෙතැනිදී ඉතාම වැදගත්. අපි හිතන්නේ භාවනාව වියපත් වුන විට පරලොව වෙනුවෙන් පමණක් බව නම් ඒ අදහස වැරදියි. අද බාල කාලයේ පටන්ම දරුවන්ටත් භාවනාව වැඩීම අගැන විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා. ආනාපානාසති භවනාව වැඩීමෙන් දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙන බව දැනටමත් විවිධ අධ්‍යනයන් මගින් සනාථ වී තිබෙනවා. ඒ නිසා දරුවන්ට මේ අත්දැකීම් ලබා ගැනීමට පාසල් මට්ටමින් සිදු වෙන ආගමික වැඩසටහන් වෙනුවෙන් සහභාගී කිරීම ඉතාම වැදගත්.

අත්දැකීම් ලබා ගන්න අවස්ථාව අහිමියි

අම්මාගේ මේ තීරණ නිසා ඇති වෙන අඩු පාඩු බොහොමයක් තිබෙනවා. පුංචි දියනියට තමාගේ පාසල් අවධියේදී ලබා ගන්නා අත්දැකීම් වෙනුවෙන් ඇයට අවසරයක් නැති වුනා. අම්මාට මේ කටයුතු වෙනුවෙන් යොමු වීමට අපහසුතාවයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් කුමන හෝ විකල්පයක් අනුගමනය කළ යුතුයි. එසේ නැතුව දරුවාට ඒ වෙනුවෙන් ලැබෙන අවස්තාව කප්පාදු කිරීම එතරම් සුදුසු තිරණයක් නොවෙයි.

දරුවාට දඩුවම්

සිල් ගන්න නොපැමිනීම නිසා දරුවාට දඩුවම් ලැබෙන්නත් පුලුවන්. ඇතැම් පාසල්වල සිල් වැඩසටහනට නොපැමිනියොත් කවදා හෝ පාසලට එන දිනක දරුවා සිල් ගැනීමට යොමු කරනවා. එය දරුවාට මානසිකවත් ගැටලුවක්. ඇයි කිව්වොත් කණ්ඩායමක් විදිහට ලබා ගන්නා අත්දැකීම් වෙනුවට වෙන දිනයක එවන් කටයුත්තක යෙදීමෙන් ඇති වෙන්නේ මානසික හුදෙකලා බවක්. ඒ නිසා දරුවාට අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ කිරීමට අවස්තාව ලබා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්.

පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ

අපි දරුවෙක් පාසලට ඇතුලත් කිරීමෙන් බලාපො‍රොත්තු වෙන්නේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලඅධ්‍යාපනය ලැබීම පමණක් නොවෙයි. සාරදර්ම, විනය ආදි හැඩගැස්මක්ද  පාසල් අධ්‍යාපනය සමග බලාපොරොත්තු වෙනවා.නීති රීති වලට ගරු කිරීමට දරුවා ඉගෙන ගන්නේ පාසලෙන්. ඒත් පාසලේ විනය තුළ අම්මාගේ නොමග යැවීමෙන් දරුවා පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ.ඇත්තටම දරුවන් මැලි වුනත් දෙමව්පියන් විදිහට අපි ඔවුන් කෙසේ හෝ මේ කටයුතු වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්.

පාරාවළල්ලක්

අද අම්මාගේ පහසුව වෙනුවෙන් ඇය බොරුවෙන් ගුරුතුමිය මුලා කිරීමෙන් වගකීමකින් නිදහස් වුනා යැයි හිතන්න ඇති. එහෙත් මේ සිදුවීම අනාගතයේදී දියණිය වෙතින්ම පාරාවළල්ලක්  සේ ඇයට එල්ල වෙන්න පුලුවනි. මන්ද කිවහොත් අම්මා මේ අන්දමින් අද දවස් පංතියේ ගුරුතුමිය නොමග යැවීමේ ආභාෂයෙන් දියනිය උගත් පාඩමෙන් හෙට දවසේ ඇගේ මව නොමග යැවීම එතරම් අපහසුවක් නොවේ.

ඒ නිසා මව් පියන් වන අපි දරුවන් මුල් කර ගෙන පාසලේ පවත්වන බාහිර කටයුතු වලදී දරුවන් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්. යම් ලෙසකින් මේ වෙනුවෙන් අපහසුතාවයක් ඇත්නම් ඒ වෙනුවෙන් විකල්ප සොයනු විනා බොරු හේතු මවමින් ගුරුවරුන් මුලා කිරීමට උත්සහ ගන්න එපා. එහි අවසානයේදී ඔබ නොදැනම මුලාවට පත්ව ඇත්තේ දෙමව්පියන් බවත් අමතක නොකළ යුතුයි.

තොරතුරු තාක්ෂරතාවයෙන් දරුවන් සන්නද්ධ කරන්න පෙර

අපි තොරතුරු තාක්ෂර සන්නිවේදනයට මොනතරම් චෝදනා කළත් අනාගතයේදී මේ විද්‍යුත් ලෝකයෙන්  තොරව ඉදිරියට යෑම ඉතාම අපහසු තත්වයක් වෙනවා. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය සහ වෙනත් වෙබ් අඩවි වෙතින් සිදු වෙන ගණුදෙණුව තමන්ගේ අධ්‍යාපනයට පමණක් නොවෙයි සමාජ ජීවිතයට පවා අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඒ නිසා තොරතුරු සන්නිවේදන කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කෑම වගේ වැඩක්. බාල කාලයේ පටන් තොරතුරු වෙනුවට අනවශ්‍ය විදිහට සමාජ වෙබ් අඩවි පරිශීලනයට යොමු වුනොත් නොමග යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් වැඩියි. ඒ වගේම මේ වෙනුවෙන් තහංචි පනවලා දරුවන්ට තොරතුරු සන්නිවෙදනයට ඉඩ නුදුන්නොත් ඔවුන්ගේ ඒ හැකියාවන් වර්ධනයට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි දරුවන්ට තොරතුරු සන්නිනිවේදන හැකියාවන් දියුණු කර ගැනීමට ඉඩ දෙන්නේ කොහොමද කියල ටිකක් බලමු…

මව්පියන්ටත් දැණුමක් තිබෙන්න ඕන

අද තොරතුරුතාක්ෂණ හැකියාව මැදි වයසේ සිටින දෙමව්පියන්ට බොහාම අඩුයි.කාලයත් සමග ලැබුන මේ හැකියාවන් ඔවුන්ගේ බාල කාලයේදී නොලැබීම ඊට හේතුවක්. ඒත් අපි ඒ මත්තේම සිටින්න අවශ්‍ය නැහැ. දැන් වුනත් ඔබ ප්‍රමාද නැහැ. ඒ නිසා දැනුම වෙනුවෙන් තිබෙන මං බොහොම නිසා ඔබත් තොරතුරු සන්නිවේදන හැකියාවන්ගෙන් පොහොසත් වීම වැදගත්. එහෙම වුනාම දරුවන් කරන්නේ මොනවාදැයි ඔබටත් අධ්‍යනය කරන්න පුලුවනි. සමහර අම්මලා කියන මේ වගන්තිය ඔබටත් ඇහිල ඇති

“අනේ මං දන්නේ නෑ මොනවා කරනවාද කියලා…අපිට ඕවා තේරෙන්නේ නැහැනේ…” ඒත් මේ කියමන නිදහසට කරුණක් නොවෙයි. ඔබත් දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්නට නම් මුලින්ම මේ සාක්ෂතාවයෙන් පොහොසත් විම අද යුගයේ අවශ්‍යතාවයක්ව තිබෙනවා. එවිට දරුවාට යා යුතු මග නොමග ඔබට තේරුම් බේරුම් කර දෙන්න පුලුවන්.

වෙලාවක් කලාවක් දෙන්න

හැම දෙයකටම වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වෙනුවෙනුත් දරුවාට වෙලාවක් ලබා දෙන්න.දරුවාගේ කාලසටහනේ සෙල්ලම් කරන්න, පාඩම් කරන්න වගේම මේ ‍තාක්ෂණ මෙවලම් හසුරුවටත් වේලාවක් ලබා දීම ඉතාම වැදගත්. එහෙම නැතුව නිතරම දඑුවාට දොස් නගන්න එපා. කොච්චරවාත් ඕවා එක්ක තමයි වැඩ කියන්න එවිට අවශ්‍ය නැහැ. කාලසටහනේ දරුවාට ඒ වෙනුවෙන් ලබා දී තිබෙන කාලයෙන් ඔහුට තමන්ගේ හැකියාවන් දියුණු කර ගන්නා අතරම විනෝදයක් ලබා ගන්නත් පුලුවනි. ඒ අතරම කාලසටහනට එහාට කටයුතු කරනවා නම් දරුවාට ඒ ගැනත් අවවාද ලබා දීමට පුලුවනි.

අවශ්‍ය දේ සොයා දීම

දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දේ අන්තර්ජාලයෙන්  ලබා ගන්න පුලුවනි. කොටින්ම කිව්වොත් මේ තොරතුරු ලෝකයක්. ඒත් අපේ දරුවන් වගේම මව්පියන් හිතන්නේ ටාසන්, ස්පයිඩර් මෑන්, එහෙම නැත්නම් නයිට්රයිඩර් නැති ළමා සාහිත්‍යක් නැති බවයි. එහෙම නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය වගේම බාහිර දැණුම ලබා ගත හැකි වෙබ් අඩවි බොහෝ තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ “තක්සලාව” වැනි වැඩසටහන් දරුවන්ගේ දැණුම ගබඩාවට බොහෝ තොරතුරු ලබා දෙනවා. ඒත් අපි වගේම දරුවන්ච මේ ගැන දන්නේ නැහැ.ඊට අතිරේකව “විකිපීඩියා” වැනි වෙබ් අඩවි මගින්ද තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ලිපි ලේඛණවලටත් යොමු කරන්න

අන්තර්ජාලයේ තිබෙන්නේ චිත්‍රපට , ගීත  සහ වීඩියෝ දර්ශන පමණක්ම නොවන බවත් දරුවන්ට කියා දෙන්න. වාර්තා චිත්‍රපට වගේම යූ ටියුබ් ඔස්සේ අධ්‍යාපනයට වඩාත් සමීප වැඩසටහන් තිබෙනවා. මේවා පරිශීලනයෙන් දරුවන්ට බොහෝ දේ උගත හැකියි.

අලුත් දේ ලබා දෙන්න

දරුවන්ට අලුත් දැනුම අවශයයි. යල් පැන ගිය දැනුම නොව දින දින අලුත් වෙන දැණුම ගැන දරුවන් දැනුවත් විය යුතුයි. මේ වෙනුවෙන් වූ උපාංගයන් ලබා දීමට පුලුවනි. ඉංග්‍රිසි භාෂාව හැදෑරිමට “කින්ඩල්” වැනි උපාංගයක් බාල කාලයේදී ලබා දුන්නොත් ඔවුන්ට භාසාව පිලිබඳව හුරුවක් ලැබෙනවා. ශබ්දකෝෂ, විශ්වකෝෂ වුනත් මේ විදිහට වෙනත් උපාංග ලෙසින් ලබා ගැනීමට පුලුවනි.

පාලනයක් එපායැ…

දරුවන් මේ වෙනුවෙන් ඇබ්බැහි වීමට ප්‍රදානම හේතුව මුල් කාලයේදී ඔබ ඒ වෙනුවෙන් පාලනයක් ලබා නොදීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඇබ්බැහිවීමට පෙරාතුව දරුවාට පාලනයක් ලබා දීම ඉතාම වැදගත්. කොච්චරවත් ටැබ් එකේ…එහෙම නැත්නම් පෝන් එකේ කියනවාට වඩා ඒ වෙනුවෙන් හෙමින් සීරුවේම පාලනයක් මුල පටන්ම ආරම්භ තරන්න..එවිට දරුවාත් අනවශ්‍ය විදිහට යොමු වීමෙන් වලක්වා ගන්න පුලුවනි. විවෘතව මේවා බැලීමට ඇවැසි සේ පරිසරයක් ගොඩ නැගීමත් වැදගත්. පර්යේෂකයන් සඳහන් කරන අන්දමට කුඩා දරුවන් පරිගනකය පරිහරනය කරනවා නම් එය වැඩිහිටියන්ට විවෘතවන සේ තැබීම වැදගත්. ඩෙක්ස්ටොප් යුගයේදී නම් එය කළ හැකි වුනත් අද තත්වයේදී තිබෙන වෛවාරන උපාංග හමුවේ මෙය අපහසුයි. ඒ කොහොම වුනත් මුල පටන්ම තොරතුරු සෙවීම සහ පරිහරනය වෙනුවෙන් පාලනයක් ලබා දීම ඉතාම වැදගත්.

දෙල් වෙනුවෙන් තහංචි

කහපාටට පැහිලා තිබෙන දෙල් ගහේ ගෙඩි දැක්කාම ඇයට හිතුනේ දෙල් වෑංජනයක් කන්න ඇත්නම් තියන සිතුවිල්ලයි. ඒත් දරු පැටියාගේ මුහුණ දකින්න දැන් බොහොම ආසන්න කාලයක සිටින නිසා ඇයට දෙල් කන්න වැඩිහිටියන්ගෙන් අවසරයක් නැහැ.”දෙල් උෂ්ණයි…මේ දවස්වල කන්න හොඳ නැහැ….” ඒ වගේම මීට අවුරුදු තුනකට ඉස්සර ලොකු පුතාට කිරි දෙන කාලයේදීත් දෙල් කන්න අවසර තිබුනේ නැහැ. එතකොට කිව්වේ කිරි දෙන අම්මා දෙල් කෑවොත් දරැවාට රත ගෙඩි එන බවයි. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් දෙල් වෙනුවෙන් ගැබ්බර අම්මාට වගේම කිරි දෙන අම්මාටත් තහංචි තිබුනා. එදා දවසේ තිබුන මේ සම්මත අදහස් තුළ විදයාත්මක හේතු ඵල සම්බන්ධතාවයකුත් තිබුනා. ඒ නිසා එදා අම්මලාගෙන් ලැබුන තහංචි අපිට යල් පැන ගිය බව කියමින් ඉවත දාන්නත් බැහැ.කොහොම වුනත්…,

දෙල් වාරෙට දෙල් අගුණයක් නැතුව ආහාරයට ගන්නේ කොහොමද…?

අපි දෙල් තම්බලා ආහාරයක් විදිහට අනුභව කරනවා. මෙහිදී පොල් එකතු කරගන්නවා. එයින් දෙල්වල තිබෙන උෂ්ණ බව අඩුවෙනවා. ඒත් සමහර උදවිය මෙතැනදී එක් වැරැද්දක් කරනවා. ඔවුන් දෙල් ආහාරයට ගන්න කොච්චි සම්බෝලයක් හදා ගන්නවා. කටගැස්මක් විදිහට නම් බොහොම අපූරුයි. ඒ වුනාට කොච්චි යොදා ගත්තාම දෙල්වල ගිනියම් බව තවත් වැඩි වෙනවා. කටගැස්මක් විදිහට නම් ඉතාම රසයි.

දෙල්වල තිබෙන ගිනියම් බව අඩුකරගන්නේ කොහොමද…?

ඉස්සර කාලයේ පටන්ම දෙල් ව්‍යංජනයක් පිසින විට නිවිති කොළ එක් කර ගත්තා. නිවිතිවල සිරුර නිවන හැකියාව තිබෙනවා. ඒ වගේම දෙල් වෙනුවෙන් යහමින් කිරි එකතු කර ගැනීමත් හොඳයි. පොල්කිරි වලිනුත් දෙල්වල ගිනියම් බව අඩු වෙනවා. සමහර උදවිය දෙල් පිසගෙන එයට දෙහි යුෂ එක්කරගන්නවා. එයින් අපූරු රසයක් ලැබෙනවා වගේම දෙල් වල ගුණ අවශෝෂනය කර ගැනීම පහසුයි.

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල්

දෙල් ආහාරයට ගන්නා විට අකැප දේවල් කීපයක්ම තිබෙනවා.හැම ආහාරයක්ම අපි ලබා ගනිද්දී එහි අගුණ බව අඩුකරන්න, ගුණය වැඩි කරන්න විවිධ පිලිගැනීම් තිබෙනවා. දෙල් ව්‍යංජනයක් පිලියෙල වුනා නම් කෙලවල්ලෝ , බල, හුරුල්ලෝ වැනි උෂ්ණ මාලු ආහාරයට ගැනීම සුදුසු නැහැ.ගැස්ට්‍රයිටිස් තිබෙන අයට දෙල් නිසා රෝග තත්වය වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා පවුලේ අම්මා විදිහට දෙල් පිලියෙල කරනවා නම් අතුරු ව්‍යංජන මගින් දෙල්වල අගුණ නැති වීම වැදගත්.

දෙල් කල් තබා ගන්න පුලුවන්

දෙල් කල් තබා ගන්න පුලුවන්.දෙල් වාරයට ගස් පල්ලේ කුණුව යන දෙල් අවාරයට ආහාරයට ගන්නා විදිහට සකස් කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව කපලා ලුණු ස්වලපක් එක් කරලා වසා තබන්න. එය යාන්තමින් මෙලෙක් බවට පත් වුනාම හොදින් හිරු රැස් ලැබෙන අව්වක වේලාගෙන සුලං නොවදින සේ අසුරා තබන්න. අවාරයට මේවා පිස ගන්න පුලුවනි. උයන්න පෙරාතුව පොගවා ගන්න. ඊට පසුව සාමාන්‍ය විදිහට තුනපහ එක් කරල උයා ගන්න.

රසකැවිල්ලක් විදිහටත් දෙල් පිළියෙල කර ගන්න පුලුවනි. දෙල් සිහින්ව ලියා ගෙන තෙලෙන් බදින්න. ඊට පසුව සීනි උකු ද්‍රාවනයක් විදිහට උනු කර ගෙන මෙම බැදගත් දෙල් එහි දවටන්න. සුලං නොවදින විදිහට අසුරා ගෙන රස බලන්න පුලුවනි.

දරුවො එක්ක කතා කරද්දි සියවරක් සිතන්න

පුංචි දරුවෝ හමුවුනාම අපිට ඔවුන් කතාවට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුනාම අපි අහන පොදු ප්‍රශ්න කීපයක් තිබෙනවා.

“බබාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ…” එහෙම නැත්නම්, “බබාගේ අම්මා මොකද කරන්නේ…” මේ වගේ ප්‍රශ්න කිසිම වැරැද්දක් නැති බව ඇත්ත. ඒත් යම් සීමාවකදී අපි අහන ප්‍රශ්න නිසා දරුවාගේ හිත රිදෙන්න පුලුවන්. දරු හිත් ඉතාම සංවේදියි.

මේ වගේ ප්‍රශ්න දරුවන්ට ප්‍රශ්න වෙන්නේ මොන වගේ වෙලාවටද කියලත් අපි ටිකක් හිතුවොත්….. සමහර දරුවන්ගේ අම්මා හෝ තාත්තා මිය ගිහින්. එහෙම නැත්නම් ඔවුන් විවිධ හේතු නිසා වෙන් වෙන්ව ජීවත් වෙනවා. නැත්නම් දික්කසාද වෙලා.

ඒ පුංචි දියණිය පාසලේම ආදි ශිෂ්‍යාවකගේ දියණියක්. ඒ ආදි ශිෂ්‍යාවත් යාන්තම් උසස් පෙළ එක් වතාවක් පමණක් කරල ඉක්මනින්ම විවාහ වුනේ ආදර සම්බන්ධතාවයක් තිබුන නිසයි. කාලය බොහොම ඉක්මනින් ගෙවී යන නිසාම ඇගේ දියණිය අපේ පාසලටම ඇතුල් වුණා. පුංචි පැටියා අකුරු කරන්නත් දක්ෂයි. චිත්‍ර වගේම නටන්න ගයන්නත් හපන්. ඒ වුනත් විටින් විට මේ පුංචි දුව උදාසීනකමක් දක්වනවා. ඇගේ අම්මාට කිව්වාම කියන්නේ,”මේ දවස්වල සෙමට බේත් බොනවා…ඒ නිසා වෙන්නැති කියලයි..” දියණියගේ පියා විදේශගත රැකියාවක නිරත බවත් දන්නා නිසා ඇයට නිතරම අපි විහිලු කරන්නේ “තාත්තා සෙල්ලම්බඩු ගොඩක් ගෙනාවාම මටත් එකක් ගේන්න..හො‍දේ..” විදිහටයි. ඒ වෙලාවට ඇය අහිංසක විදිහට හිනාවෙලා ඉන්නවා මිස හා හෝ බැහැ කියන්නේ නැහැ.

හැබැයි තවත් දරුවන්ගේ තාත්තලා විදේශවල ඉන්න නිසා ඒ වගේ වෙලාවට පුංචි දරුවෝ අහන්නේ “ටීච මම ගේන්නම්..තාත්තා කතා කළාම කියන්නම්” විදිහට බොහොම උනන්දුවෙන්.

එක දවසක් ඒ පුංචි දුව මං ලගට ආවා.. “අපේ තාත්තා හොඳ නැහැ..මම එයාට ආදරේ නැහැ..”

“ඇයි…” මම ඇහුවා.

“එයා රට ඉඳල ඇවිත්… මං බලන්න ආවෙත් නැහැ. අත්තම්මලාගේ ගෙදරට වෙලා ඉන්නවා..”

“තාත්තා ඒවි.. එයාගේ අම්මත් එයා එනකම් බලාගෙන ඉන්න ඇති‍ නේ…” මං පුංචි හිත අස්වසනු රිසින් කිව්වා.

“එයා ඉතින් ආවත් එන්නේ සල්ලි ඉවර වුනාම..”

“ඉතින් ඔයාලට සල්ලි තියෙනවානේ..”

“අපිට නෑ..මාමා දෙන්නේ..අම්මත් ගාර්මන්ට් එකට යනවා.”

පුංචි හිත අවදිවෙලා තියෙන්නේ දැන් බව මට තේරුනා.

දරුවන් අතර මේ විදිහට විවිධ පීඩන තියෙන්න පුලුවන්. ඒ නිසා අපි ඔවුන් සමග ඉතාම සීරුවෙන් ගණුදෙණු කරන්න වෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන සමාජවිද්‍යාඥයින් කියන්නේ අපි කිසිම දවසක දරුවන්ගෙන් අම්මා..තාත්තා ගැන ඔවුන්ගේ රැකියාවන් ගැන අහන්න අවශ්‍ය නැහැ.

දැන් ඔබ මේ විදිහට කිව්වොත්.. අපි දරුවන් හඳුනාගන්නේ කොහොමද…?

ඒ වෙනුවෙනුත් අපි ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට පත්‍රිකා පුරවා ගන්නවා. එයින් අපිට දරුවන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්. එහෙත් නැත්නම් දරුවාටම නිදහස ලබා දෙමින් ඔයාගේ තොරතුරු කියන්නකෝ.විදිහට ආරාධනා කරනන් පුලුවන්.

මේ වගේ වෙලාවටත් හොඳ පවුල් පරිසරයක ජීවත්වෙන දරුවන් බොහොම හොදින් ඒ ගැන කිව්වත් මානසිකය යම් යම් වේදනාවන් තිබෙන දරුවන්ට ගිරව් වගේ ඒ ගැන කියන්න බැහැ.

පුංචි හිත්වලත් අහංකාරකම් තියෙනවා…

සමහර දරුවන් අම්මා තාත්තා නැතිවුනත්..ආර්ථික ප්‍රශ්න තිබුනත් තවත් කෙනෙකුගේ අනුකම්පාවට ලක් වෙන්න කැමැති නැහැ. අනේ පව්…කියල තවත් කෙනෙක් ඔවුන් ගැන අනුකම්පාවෙන් කතා කරනවාට කැමැති නැහැ. ඒ දරුවාගේ අභිමානය.. අපි ඉතින් අනේ පව් ඒ දරුවාගේ තාත්තා නැහැ… කියල කවමදාවත් ප්‍රසිද්ධියේ දරුවන් ගැන අනුකම්පාවෙන් කතා කළ යුතු නැහැ. ඒ තත්වයත් ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා.

හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න එපා…

මේ අධ්‍යනය තව දුරටත් ඉදිරියත් ගෙන යමින් සමාජ විද්‍යාඥයින් සඳහන් කරන්නේ අපිට හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න ගැන අනවශ්‍ය විදිහට කතා කළ යුතු නැහැ. “ඔයාට දරුවන් ඉනනවාද..?” සමහර විට ඇය හෝ ඔහු අවිවාහක වෙන්න පුලුවන්.

විවාහ වෙන වයසත් පසු කළ අයෙක් එහෙමත් නැත්නම් මුණුපුරන් ඉන්න පුලුවන් වයසක කෙනෙක් මේ නිසා දැඩි අසීරුතාවයට පත් වෙන්න පුලුවන්.

තවත් අය මේ වගේ ප්‍රශ්න අහන්නේ හදිසියේ හමුවුනත් සුහදතාවය ගොඩ නගා ගන්න මිසක ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන අවශ්‍ය නිසාම නොවෙයි.

ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් වයිෆ් මොකද කරන්නේ…?

මෙතැනදීත් ඒ පැනය ඉදිරියේ නිරුත්තර වෙන තැන් තිබුනොත් ඔබටත් හිතේවි අනේ මම අපරදේ මේ වගේ ප්‍රශ්න ඇහුවේ කියලා…

සමහර විට ඇගේ හෝ ඔහුගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා මියගොස් ඇති. එ‍සේත්… නැත්නම්…හැරදා ගොසින් හෝ දික්කසාද වී වෙන්නත් පුලුවන්. ඒ නිසා එවන් ප්‍රහ්නවලට පිලිතුරු දීමට වඩා එයින් ඇති වෙන මානසික ගැටුම දරාගැනීමත් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ නිතරම කතා කරන්න පෙරාතුව ටිකක් හිතා බලන්න. මේ වගේ සෘජු ප්‍රශ්න වෙනුවට වටගොසින් අවශ්‍ය තොරතුරු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඔබ සාමාන්‍ය කතා බහ ආරම්භ කරන්න. නිදහස් මානසිකත්වයක් තිබෙන කෙනෙක් නම් ඒ ගැන ගංගාව ගලනවා වගේ තොරතෝංචියක් නැතුව කතා කරන විට ඔය කියන ජීවිතයේ පැතිකඩ නොදැනම විවෘත වෙනවා. ඒත් විවිධ ගැටුම් අතර ජීවත්වෙන කෙනෙක් නම් ඒ ගැන නොදොඩාම ඉදීවි.

දරුවන්ට ඉටුකළ යුතු මේ යුතුකම් ඔබටත් මගහැරිලද?

පුංචි දරුවන්ව හැම නිතරම උපමා වෙන්නේ ලස්සන මල්වලට. හැම පොතකම, කවියකම, කතාන්දරයකම ඒ උපමාව යෙදෙනවා. ඔව්… ඇත්තටම පුංචි දරුවෝ මල් වගේම තමයි. සිනිඳු අතපය, දිලිසෙන ඇස්, පුංචි ඇඟිලි… හැම දරුවෙක්ම හරිම සුන්දරයි. එහෙම නම් ඒ මල්වල සුවඳ දසත පතරුවන මද පවන අපි. ඒ කියන්නේ වැඩිහිටියෝ. ඉතිං මෙන්න මේ පුංචි මල් වටා හමන සුළඟ ඒ කියන්නේ ඔවුන්ට ජීවිතය කියාදෙන වැඩිහිටි අපි කොතරම් සිසිල් විය යුතුද? ආදරණීය විය යුතුද? අවවාදාත්මක විය යුතුද? අන්න එවිටයි ලස්සන මල් කැකුළු මද පවනේ තාලයට ලෙල දෙන්න පටන් ගන්නේ.

දරුවන් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුමක් තේරුමක් නැති පිරිසක්. මනෝ වෛද්‍යවරුන් පවසන අන්දමට දරුවෙක් යමක් කමක් තනිව නිවැරදිව තේරුම් අරගෙන, සිතා බලා කටයුතු කරන්න, නිවැරදිම තීරණ ගන්න නම් ඇත්තටම අවුරුදු විස්සක්වත් සම්පූර්ණ විය යුතුයි කියලයි. මොකද ඒ තාක් දරුවන් කටයුතු කරන්නේ හැඟීම්වලින් පමණක් බවත් ඔවුන්ගේ මොළයේ සිතා බලා කටයුතු කිරීමට තීරණ ගැනීමට අවශ්‍ය කොටස සංවර්ධනය වී නොමැති බවත් ළමා මනෝවෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග මා සිදුකළ සාකච්ජාවකදී ඔහු පැවසු බව මට මතකයි.

ඔන්න ඉතිං කතාව පටන් ගන්නේ මෙතන ඉදලා. මේ මෑතකදී මම විවාහ මංගල උත්සවයකට සහභාගී වුණා. පුංචි දරුවන් ගැන ගොඩක් දේ කතාබහ කරන නිසාදෝ මට වැඩි අවධානය යොමු වුණේ එක් එක් දරුවන්ගේ හැසිරීම් පිළිබඳව. එතන දුවලා පුතාලා පස් හය දෙනෙක්ම සිටියා. ඉතිං එයාලා කාලය ගත කළේ බොහොම සතුටින්. දුවනවා, පනිනවා, නටනවා… ඔය වගේ ගොඩක් ක‍්‍රියාකාරකම් එයාලා කරා. මේ අතරින් දරුවන් කිහිප දෙනෙක් හැසිරුණු ආකාරය ඇත්තටම මගේ හිතට ගෙනාවේ ලොකු කණගාටුවක්. පුංචි දරුවන්ට හොඳ නරක කියන දේ ගැන අවබෝධයක් නෑ තමයි, ඒත් ඔවුන්ගේ වැඩිහිටියෝ ඒ ස්ථානයේ රැඳී සිටියා. දරුවන් කෑම මේසයට දෑත් ඔබමින් යම් යම් දේ ගන්නට පටන් ගත්තා. ඒ දේවල් ශාලාව පුරා විසි කරන්නට පටන් ගත්තා. මුව තුළ ඔබා ගනිමින් කන්නට පටන් ගත්තා. බලා සිටින්නට නොහැකි අවස්ථාවන්වලදී මම ඔවුන් වෙත ගොස් එසේ නොකරන ලෙසට ආදරෙන් කියා සිටියා. දරුවන් දෙස දෙමාපියන් බලා සිටින්නට ඇති. නමුත් ඔවුන් කිසිවෙකුත් ඒ ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමට හෝ දරුවන්ට අවශ්‍ය දේ පිළිවෙළට ලබා දීමට හෝ ඉදිරිපත් වුණේ නැහැ.

ඇත්තටම එවැනි අවස්ථාවන්වලදී කුඩා දරුවන් රැගෙන යන මාපියවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. දරුවන් අනෙක් අයගේ පිළිකුලට, අප‍්‍රසාදයට ලක්වීම වැළැක්විය හැක්කේ ඔවුන්ටයි. කුඩා දරුවෙකු  ඕනෑම අවස්ථාවක ක්‍ෂණිකව තම සිතට නැගෙන සිතිවිල්ල ක‍්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා. ඔවුන්ව ආදරණියව පාලනය කරමින් නිවැරදි දේ කියා දිය යුත්තේ වැඩිහිටියන් වන අපයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන් වෙත වගකීම පැවරෙනවා යැයි කීවද එයිනුත් වැඩි වගකීම පැවරෙන්නේ අම්මාටයි. දරුවන්ගේ ක‍්‍රියාකාරකම් දකින වටපිටාව සොයා බලන්නේ දරුවාගේ මව පිළිබඳවයි.

අම්මා නම් වූ උතුම් පදවිය අප වෙත පැවරෙන්නේ නිමාවක් නැති වගකීම් සමුදායක් ද සමගින් බව  අප නිරන්තරයෙන් කතා බහ කරන කාරණයක්. ඇත්තටම දරුවෙක් කියන්නේ “අපේ ජීවිතයම කැප කිරීමක්” කිව්වොත් නිවැරදියි. සැබවින්ම ඒ වගකීම් විශාල බරක් බව ද සැබවි. දරුවෙකු කුස හොවා දස මසක් පෝෂණය කර කප්පරක් වේදනාවන් දරාගනිමින් මොලොවට බිහිකරන්නට කාන්තාවකට හැකි නම් ජීවිත කාලය පුරාම තම දරුවා වෙනුවෙන් කැප වීම එතරම් විශාල කාර්යයක් නොවිය යුතුය. සැබවින්ම ආදර්ශය උතුම් යැයි කියන කියමනට අනුව අප සැමවිටම දරුවන් වෙත යහපත් ආදර්ශයන් ලබා දිය යුතුමය. මවක් සැම විටම දරුවාට ලබා දෙන අණ ආදරණීය විය යුතුයි. ඒ තුළින් දරුවකු පාලනය කරගැනීමට මවකට හැකියාව තිබිය යුතුය. ඇතැම් විට මවගේ එක් නුරුස්නා බැල්මකින් දරුවා පාලනය විය හැකිය. ඇතැම් විට දරුවාගේ නම කියූ සැනින් දරුවා පාලනය විය හැකිය. මල් වැනි පුංචි දරුවන් සමාජය තුළ පිළිකුල් වීමට ඉඩ නොතැබීම මව්පියන් වන අපේ වගකීමකි. එය එසේ වුවහොත් දරුවන් පිළිබඳව මව්පියන්ගේ වගකීම පැහැර හැරීමක් නොවේද?

මව පියා දේවත්වයෙන් පිදිය යුතු යැයි පැවසෙන්නේ මේ සියලු කරුණු හමුවේ නොවේද? දරුවන්ට සිය ජීවිතය වටහා දිය හැක්කේත් යහපත් අයහපත් දේ අවබෝධ කර දිය හැක්කේත් අම්මාටත් තාත්තාටත් පමණි. එතනිනුත් සුවිශේෂී වන්නේ අම්මාය. මන්ද දරුවන් සමග වැඩි වශයෙන් ගැටෙන්නේ අම්මා බැවිනි. ආදරණීය තර්ජන, ගර්ජන හමුවේ වුවද දරුවෙකු සවන යොමු කෙරෙන්නේ අම්මගේ හඬටමය. ඉතිං දරුවන්ට ඉගෙනීම පෝෂණය පමණක් උපරිමයෙන් ලබා දුන්නද එහි පලක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුමය. ඒ හා සමානවම දරුවෙකු වෙනුවෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැනත් ඔබේ අවධානය යොමු කළ හැකි නම් එය දරුවෙකුගේ ජිවිතයේ සාර්ථකත්වයට ඔබෙන් ලැබෙන මිල කළ නොහැකි ත්‍යාගයක් යැයි කීම නිවැරදිය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

කෑම නොකන පැටවුන් සන්සුන් කරන ට්‍රික්ස් 9ක්

පුංචි දරුවෙකුට කන්න බොන්න දෙන විට ඔවුන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වලින් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න පුලුවන් බව මානසික විද්‍යා පර්යේෂකයන් සඳහන් කරනවා. ඉස්සර කාලයේ දරුවන්ට බත් පිඟාන අතට ගද්දී වැඳලා ගන්න පුරුදු කරල තිබුනේ අපිට බත් විදිහට ලැබෙන ආහාරය වෙනුවෙන් වෙහෙස මහන්සි වුන බොහෝ පිරිසක් ඉන්න බව මතක් කරමින්. ඒත් අද ඒ හැගීම දරුවන්ට වගේම දෙමව්පියන්ටත් නැහැ.

දරුවන් කියන්නේ දඟ මලු. ඔවුන් එක් තැනක තියලා සීරුවට කන්න බොන්න දෙන එකත් ලේසි කටයුත්තක් නොවෙයි.සමහර දරුවන් මොනම දේ දුන්නත් සතුටු කරන්න බැහැ. පිඟානට වදිනවා වෙනුවට ඔවුන් කන්න බොන්න ගියාම අනවශ්‍ය විදිහට කලබල පටන් ගන්නවා.

01). මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…?

මොනවා දුන්නත් කරච්චලේ මොනවද ඉල්ලන්නේ…? මේ විදිහට පසුතැවිල්ලෙන් කතා බහ කරන දෙමව්පියන් අතරට ඔබත් එකතු වෙලා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ “ඩියුක්” විශ්වවිද්‍යාලය මගින් ආහාර මුල් කර ගෙන දරුවන් දක්වන අසාමාන්‍ය කලහකාරීත්වය ගැන අධ්‍යනයක් සිදු කලා. එහිදී වයස අවුරුදු 6 සිට 12 අතර දරුවන් 3000 ක් තෝරා ගත්තා.අධ්‍යනයේ ප්‍රධාණී “නැන්සි සූකර්” දත්ත විශ්ලේෂනයෙන් පසුව පෙන්වා දුන්නේ දරුවන් අතරින් 14% සිට 20% ක්ම කලහකාරී ප්‍රතිචාර දරක්වූ බවයි. ඔවුන් කනස්සල්ල, සංකාව සහ මානසික අවපීඩන තත්වයෙන් පසු වුනා. 18 % ක් සාමාන්‍ය විදිහට ආහාර ගත්තත් ඔවුන්ද විටින් විට කලහකාරී ගති පැවතුම් ‍පෙන්නුවා. 3 % ක් වෙනත් අය සමග සම්බන්ධතාවයක් නැතුව ආහාර ගත්තා.

02). දරුවන්ට මොන මානසික ප්‍රශ්නද…?

දරුවන්ට මොන මානසික ප්‍රශ්නද කියල ඔබ මේ හැසිරීම් ගැන නොසලක් ඉන්න එපා. අපි නොදැන හිටියට ඔවුන්ගේ මානසික් ගැටුම් ඉතාම විවිධයි. තේරුම් ගැනීමත් අපහසුයි. මේ ගැන නොසලකා හිටියොත් අනාගතයේදී ඔවුන් මානසික රෝග විතරක් නොවෙයි, ශාරිරික ආබාධයන්ටත් පත් වෙන්න පුලුවන්.

03). හැම කලබයක්ම මානසික රෝග නොවෙයි..

ඒත් කලබල වෙන්න එපා. දරුවන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මානසික රෝග තත්වයක් නොවෙයි. ඒ වෙනුවෙන් විවිධ හේතු තිබෙනවා.

04). සමහර ආහාර අප්‍රියයි

අපි වගේම දරුවන් අතරත් ආහාර වෙනුවෙන් ප්‍රිය සහ අප්‍රිය විදිහට වර්ග තිබෙනවා. ඔවුන් අප්‍රිය කරන ආහාර වෙනුවෙන් අම්මලා බලපෑම් කරද්දී ඔන්න ගැටුම පටන් ගන්නවා. අපි මෙහෙම හිතමු. ගොටුකොල කන්න අකමැති දරුවෙකුට ඒ වෙනුවෙන් බල කරනවා වෙනුවට සුප්, කොළකැඳ වැනි දෙයට ගොටු කොල මිටක් එක් කරන්න පුලුවනි.

05). හැමදාම එකම විදිහට

හැමදාම එකම විදිහට ආහාර ලැබෙන විටත් දරුවන්ට එයින් ඇති වෙන්නේ අප්‍රසන්නතාවයක්. ඒ නිසා හැමදාම ලැබෙන බත් වෙනුවට නූඩ්ල්ස්, පැස්ටා, එළවලු බත්, කහ බත් විදිහට විවිධ විදිහට ආහාර පිළියෙල කරන්න පුලුවන්. මේවාට එළවලු සහ මස් හෝ මාලු එකතු කරල පෝෂනය ලබා දෙන්නත් පුලුවන්. පලා වර්ග අකමැති පැංචන්ට නූඩ්ල්ස් වලදී නොදැනෙන විදිහට ඒවා එකතු කිරීමටත් අමමලාට අවස්තාව ලැබෙනවා.

06). ආහාර ගන්ධය

ඇතැම් ආහාර වලින් නිකුත් වෙන ගන්ධයට දරුවන් මනාප නැහැ. සමහර දරුවන් බිත්තර තම්බාගත් ගන්ධයට අප්‍රියයි. එහෙම අයට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරල එය නොදැනෙන විදිහට දෙන්න පුලුවන්.

07). හැමදාම එකම පිගාන

දරුවාට හැමදාම දෙන එකම පිගාන වෙනුවට පුංචි පොල්කොළ වට්ටියක්, එහෙම නැත්නම් කෙසෙල් කොලයක වැනි විවිධ දැවටුමක ආහාර දෙන්න. මේසයට පුටුව තියලා මෙතැනම කන්න ඕන කියනවා වෙනුට ඉඳහිට පැදුරක් වැනි දෙයක තබා ආහාර දෙන්නත් පුලුවනි. දණගාන දරුවන්ට නම් මෙය ඉතාම හොදයි. ඔවුන් දණගාමින් ඇවිත් බත් ඇට දෙක තුනක් හෝ ආහාරයට ගනීවි.

08). කෝටුව එපා

බත් කෑවේ නැත්නම් දඩුවම් කිරීමත් එතරම් සතුටුදායක නැහැ. දරුවා කෝටුවට බියෙන් ආහාර ගැනීම ඔවුන්ගේ මානසිකත්වට එතරම් ගුණ නැහැ. සමහර අම්මලා කියන්නේ උගුරෙන් පහලට ගියාම දිරවනවා. නොකා ඉදලා මන්දපෝෂනය වුනාම..? ඒත් මේ සංකල්පය එතරම් සුබවාදී නැහැ. ආහාර ගැනීම ප්‍රසන්න කටයුත්තක් මිසක දඩුවම් ලැබිය යුතු වරදක් නොවෙයි. දරුවාගේ පෝෂණය නිසා වදෙන් පොරෙන් හෝ දඬුවමෙන් ආහාර දීම කළ යුතු වුනත් ඒ නිසා ඇති වෙන මානසික ගැටුම සුලුපටු නැහැ.

09). අල්ලස් දෙන්නත් එපා

“බත් සේරම කෑවොත් අයිස්ක්‍රිම් දෙනවා…” එහෙම නැත්නම් සෙල්ලම් බඩුවක් අරගෙන දෙනවා. මේ විදිහට තෑගි බෝග ගැන විකල්ප ලබා දීමත් ඒ තරම් සුදුසු නැහැ. එවිට දරුවා ආහාර ගන්නා හැම අවස්ථාවකම තැග්ගක් බලාපොරොත්තු වේවි. ඒ වෙනුවට ආහාර ගැනීමෙන් දරුවාට ලැබෙන වාසි කියා දෙන්න.

ආහාරපාන ලබා දීම වෙනුවෙන් දරුවන් සමග අරගලයේ යෙදෙන දෙමව්පියන්ට දරුවන්ට කියා දිය යුතු හොඳ කතාවක් තිබෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ “උඩගිය බබා” කතාන්දරය ඇසූ අපි ළමා කාලයේ බත් නොකා ඉන්න බය වුනේ කතාවේ එන බබාට සිද්ධ වුන දෙය වෙයි කියන බයටයි. අද දරුවන්ටත් මේ කතාව සමහර විට සාධාරණ වෙන්න පුලුවනි. ඒ වගේ සම්‍යප්‍රයෝගයකින් මිසක් කෝටුව හෝ තෑගි ලබා දෙමින් ආහාර පාන ලබා දීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි. ආහාර මුල් කර ගෙන දරුවන් සහ සෙමව්පියන් අතර ඇති වෙන ගෝරනාඩුව දරුවන්ට මානසික ගැටුමකට මුල පුරන තැනටත් පත් නොවන්නත් වග බලා ගන්න වේවි.

නිරවුල් මනසකින් ජීවිතය දකින්නට දරුවන්ට කියා දිය යුත්තේ කවුද?

මොහොතින් මොහොත වෙනස් වෙන අපේ ජිවිතයේ එක් එක් මොහොතේදී අත්විඳින අත්දැකීම් එකකට එකක් වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. එකම දෙයක් සම්බන්ධව උනත් දෙවතාවක් වුනොත් අපට ලැබෙන්නේ අත්දැකීම් දෙකක්.

අම්ම කෙනෙක් විදියට අනෙක් අම්මල දරුවන්ගේ ගැටලුවලදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මමත් දැනගන්න කැමති එයාල වගේම මමත් දරුවන් දෙන්නෙක්ගේ වැඩ, අඩදබර වගේම එයාලගේ ආදරය මැද්දේ දවස ගෙවන නිසයි. සමහර අම්මලා දරුවන්ගේ හැකියාවන් අසාවන් එක්ක ඉදිරියට යන්න මග පෙන්වනවා. සමහර අම්මලා තමන්ගේ හීන දරුවන්ගෙන් සැබෑ කරගන්න වෙහෙස වෙනවා. මේ දෙවිදිය ගැනම පිටින් ඉඳගෙන දකින අපිට වරදක් කියන්න අමාරුයි. ඒත් දරුවෙක් අකමැත්තෙන් මව්පියන්ගේ අසාවන් වෙනුවෙන් වෙහෙස කරවනවා නම් ඒ දරුවාගේ අනාගතය එතරම්ම සාර්ථකත්වයට පත් වෙන්නේ නැති වෙයි කියන අදහසේ මම ඉන්නවා.

මෙන්න මේ වගේ ගොඩක් අදහස් එක්ක දරුවන් ගැන අම්මලා කියන කතා අහගෙන ඕනේ තරම් වෙලාවක් ගත කරන්න පුළුවන්. ඒ, ඒ කතා ඒ තරමටම සුන්දර නිසයි. මේ කතා අතරේ හොඳින් පාසැල් වැඩකටයුතු කරන දරුවෝ, අම්මලාට බොරු කතා ගොතන පුංචි කතා කාරයෝ, නාන්න ඇඟ සෝදන්න අදිමදි කරන දරුවෝ, උදේ පාන්දර අඩා වැටිලා මුළු ගෙදරම අපිළිවෙළ කරන දරුවෝ වගේම සිහින ලෝකවල හිනා වේවි දවස ගෙවන දරුවෝ ගැන අම්මලා කියන කතා හරිම රසවත් කියලත් මට හිතුණා.

නාන්න කම්මැලි දරුවෙක් බොරු ලෙඩක් අරගෙන ඒ අවස්ථාව මගඅරින්න හදන එක බොහොම සාමාන්‍ය දෙයක් විදියටයි මම නම් දකින්නේ. ඒ වගේම කෑම මේසෙට ආවාත් ස්පයිඩර් මෑන් වගේ එන්න උත්සාහ කරන දරුවන්, ටින්ක බෙල් වගේ පියාඹන්න බෑ කියලා මුළු දවසම දුකෙන් ඉන්න දරුවන් මේ පුංචි පැටවුන් අතරේ  ඕනෙ තරම් ඉන්නවා.

සමහරවිට කියවන ඔබටත් මේ අත්දැකීම්වලින් එක අත්දැකීමක් හරි තියෙනවා ඇති. ඒ වගේම තමයි දරුවන්ගේ මේ වගේ දේවල් මුළු දවසෙම වෙහෙස මහන්සි වෙලා ඉද්දි පුංචි කරදරයක් බවට පත්වෙන අවස්ථාත්  ඕනෙ තරම් තියෙනවා. ඉතිං එක අම්මා කෙනෙක් තරවටු කරන්න වගේම තවත් අම්මා කෙනෙක් දරුවාගේ අකමැත්ත නොසළකා දරුවා පාලනය කරන්න උත්සාහ කරන්නත් පුළුවන්. මේ කොයි ආකාරයෙන් වුණත් ඕනෙම අම්මා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව වෙන්නේ දරුවන්ගේ වැඩ කටයුතු උපරිම හොඳින් ඉටුකරන එක තමයි.

හැම අම්මා කෙනෙක්ම ළමා මනෝවිද්‍යව පිළිබඳව දන්නේ නෑ. කිසිම අම්මා කෙනෙක් දරුවන් ඇති දැඩි කිරීම හා සම්බන්ධ පාඨමාලා හදාරලත් නෑ. එක් එක් අවස්ථාවට අනුව උද්ගත වන ගැටලුවලට හොඳටම හොඳයි කියලා එයාට හිතෙන විසදුම යෙදීම තමයි බොහෝවිට අම්මා කෙනෙක් කරන්නේ. ඒ අනුව අම්මා කියන චරිතයට විවිධාකාර පැති හරහා ගමන්කළ හැකියි. ඒ කෙසේ වුවත් සෑම මවකගේම ඒකායන සිතිවිල්ල වන්නේ තමන්ගේ දරුවායි. නිමක් නැති වගකීම් සමුදායක් ඔස්සේ නිම වී ඇති අම්මාගේ ජීවිතයේ එකම පැතුම දරුවාගේ ජීවිතය සම්පූර්ණ කිරීමයි. එසේ සිතද්දී දරුවන්ගේ කටයුතු හමුවේ යම් මවකගේ තීරණය ගැලපෙනවාසේම තවත් මවකගේ තීරණය නොගැලපෙන්නක්ම විය හැකියි. අධ්‍යාපන මට්ටම ගතිගුණ හැදී වැඩුණු වටපිටාවට අනුව අම්මා කියන චරිතයත් නොයෙක් විදියට ක‍්‍රියාත්මක විය හැකියි.

ඒ වගේම මෙන්ම මෙහෙම හිතන අම්මලාත් අපි අතරේ  ඕනේ තරම් ඉන්නවා.

“මම නම් දුවට කියලා තියෙන්නේ, කොහොමහරි පන්තියේ පළවෙනියා වෙන්න  ඕනේ කියලා. එහෙම නොවුණොත් ගමේ ගියාම ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා අහන ප‍්‍රශ්නවලට ඔන්න මට නම් උත්තර දෙන්න බෑ කියලා. මාමලාගේ ළමයි හැමෝම යන්නේ ගමේ ඉස්කෝලෙට, ඔයා කොළඹ ඉස්කෝලෙකට ගිහිල්ලත් හරියට ඉගෙන නොගත්තොත් මටයි තාත්තටයි ඉඳලා වැඩක් නෑ. ගමේ අයට පේන්නත් එක්ක ඔයා හොඳට ඉංග‍්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න ඕනේ.  ඔන්න එහෙම කිව්වම නම් අපේ දුව පොත් අරන් වැඩ කරන්න පටන්ගන්නවා. එහෙම නැතිව මේසෙට වාඩි කරන්න බෑ අනේ. අනික ගමේ ගිය වෙලේ ඉඳන් හැමෝම බලන් ඉන්නේ ඔය ප‍්‍රශ්න ටික අහන්නනෙ අනේ” යැයි කියමින් ඇය සිනාසෙන්නට විය.

සැබවින්ම එය වැඩිහිටියන්ගේ ගැටලුවකි. දරුවා පන්තියේ පළවෙනියා විය යුතුමද? වයස අවුරුදු හය හත වන දරුවෙකු ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමට යොමු කිරීමට වෙනත් උපායක් මවකගේ සිතට නැගෙන්නේ නැතිද යන්න ගැටලුවකි. මෙවැනි මව්වරුන්ගේ උපදෙස් හමුවේ පුංචි සිත් කොයිතරම් නම් අසරණවනවා ඇතිද? මවක් කළ යුත්තේ දරුවාගේ තමා දකින යම් යම් දුර්වලතාවයන් හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් යෙදීම මිස කෙසේ හෝ දරුවා ලවා තම අභිමතයන් ඉටු කරවා ගැනීමට උත්සාහ කිරීමද? එසේ වුවහොත් ඉතා කෙටි කාලයක් තුළදී දරුවාට අධ්‍යාපනය පමණක් නොව නිවෙස තුළ වටපිටාව ද මව්පියන්ද පිළිබඳව කළකිරීමක් පමණක් ඉතිරිවන්නට ඉඩ ඇත. සැබවින්ම මවක් ලෙස යම් යම් අවස්ථාවලදී දරුවන් සම්බන්ධයෙන් ගත යුතු තීරණයන්හිදී තම අභිමතය මත එල්බ නොසිට, හැකි නම් ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකුගෙන් යම් අවබෝධයක් ලබාගැනීම වඩා වැදගත් වනවා යැයි මගේ මතයයි.

මා එසේ පවසන්නේ මාගේ රාජකාරි ජීවිතය තුළ වෛදවරුන් හා සම්බන්ධව සිදුකෙරෙන සාකච්ජාවන් හමුවේ ඇතැම් මව්වරුන්ගේ ඇතැම් ක‍්‍රියාවන් දරුවන්ගේ මනසට කිසිසේත්ම සුදුසු නොවන බව මට අවබෝධ වී ඇති හෙයිනි. දරුවන්ට දරුවන්ගේ ජීවිත ගත කරන්නට ඉඩ හැර ඔවුන්ට මගපෙන්වන්නෙකු වන්නට ඔබට හැකි නම් හොඳ නරක කියා දෙන්නට ඔබට හැකිනම් ඔවුන්ට රිසි සේ ජීවිතය තුළ සැරිසරන්නට ඉඩ ලැබෙනු ඇත. ඒ තුළින් නිරවුල් මනසකින් යුතු අනාගත පරපුරක් දැයට දායාද කළ හැකිය. මාපියන්ගේ නොයෙක් තාඩන පීඩන මත බලපෑම් මත ඇති දැඩිවන දරුවා තමා දෙස මෙන්ම තම වටපිටාව දෙසත් බලන්නේ වෛරයකිනි. ඔවුන් පීඩාවට පත්ව සිටී.

උපක‍්‍රමශීලී බව ආදරණීය බව මෙන්ම වරදකදී සුළු තරවටුවකින් දරුවා මෙල්ල කරගැනීමට මවකට ඇති හැකියාව ඉතා වැදගත් වනු ඇත. මාපියන්ගේ බලාපොරොත්තුවක් ලෙස දරුවකු මොලොවට බිහිවන්නේ දෙමාපියන්ගේ ආසාවන් මුදුන් පමුණුවීම උදෙසාම පමණක් නොවේ. නිරවුල් මනසකින් ජීවිතයට මුහුණ දෙන්නට දරුවන්ට මනා සවියක් විය හැක්කේ ඔබටයි. සෑම මවකගේම සිත් තුළ තිබිය යුතු එක් දෙයක් වන්නේය. ඒ ජීවිතය විඳින්නට දරුවන්ට මග කියන අපූරු චරිතය අම්මා නම් වූ ඔබ බවයි.

දරුවන්ගේ හැසිරීමට බලපාන මේ කරුණු ගැන ඔබ සිතුවාද ?

අපි සමහර දරුවන් දිහා බලලා මේ විදිහට කියනවා උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇඳ අරින්න බැහැ වගේ තමයි මේ ළමයා මොන විදිහටවත් හදන්න බැහැ. ඒ වගේම සමහර දරුවන් ගැන මේ විදිහටත් අදහස් කියැවෙනවා. අනේ පුංචි කාලේ මලක් වගේ හිටිය දරුවා දැන් විනාස වෙලා… ඉතිං මේ විදිහට දරුවන්ගේ ගති පැවතුම් අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ මේ විදිහටයි.

  • දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු
  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දරුවා මුල් කර ගෙන ඇති වෙන ගැටළු

දැන් අපි බලමු දරුවන්ගේ ගැටළු මොනවාද කියලා. අපි කියන්නා වගේ “ආරේ ගුනේ නෑරේ…” ඒ කියන්නේ ජානමය ස්වභාවයන් අනුවත් දරුවන්ගේ ගති පැවතුම් සකස් වෙනවා. සමහර විට මේ දරුවා මුල් කර ගත් ගැටලු ජානමය පාර්ශවයෙන් ඇති වෙන්න පුලුවන්. අපි වචනයට කියන්නා වගේ තාත්තා වගේම ආවේග තිබෙන්න පුලුවන්. ඒ නිසා ජානමය විදිහටත් දරුවන්ගේ ගැටළු ඇති වීම මෙහි එක් අවස්ථාවක්.

රෝග තත්වයන්

දරුවන් විවිධාකාර මානසික රෝග තත්වයන්ට පත් වුන විට ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. මෙතෙක් ඉතා සතුටින් සිටි දරුවාගේ හැසිරීම වෙනස්කම්වලට යොමු වෙන්න පුලුවන්. ඉස්සර වගේ විනෝදයෙන් සිටීම අඩුයි. නිතරම හුදෙකලා වීමට බලනවා. ඒ වගේම ආහාරපාන වෙනුවෙන් වූ උනන්දුව අඩුයි නම් දරුවා කුමන හෝ මානසික ගැටුමක සිටින බව අමතක කරන්න එපා.

බුද්ධිය අඩුවීම

පාසල් වයසේ යන දරුවන්ගේ හැසිරීමට බලපාන බොහෝ හේතුන් අතර ඔවුන්ගේ බුද්ධිය බලපානවා. සමහර දරුවන් බුද්ධියෙන් ඉතාම ඉහළ වුනත් තවත් පිරිසක් තුළ ඒ අන්දමින් බුද්ධිමත්බවක් නැහැ. පංතියේ කියවීම, ලිවිම, සවන්දීම , සහ කථනයේ ඇති වෙන අපහසුතාවයන් ඔවුන්ගේ හැසිරීමට ඉතා ප්‍රබල ලෙසින් බලපානවා. ඒ නිසාම දරුවාට ඉගෙණුම එපා වෙන තරමටම තත්වය බරපතල වෙන්න පුලුවනි.

  • සමාජය නිසා ඇති වෙන ගැටළු
දෙමව්පියන්

දෙමව්පියන්ගේ ගැටළුත් දරුවන්ගේ හැසිරීමට බලපානවා. එදා නම් දරුවන් මුහුණ දුන්නේ තාත්තා බීමත්ව ඇවිත් නිවසේ අම්මාට පහරදීම, දරුවන්ට තලා පෙලා හිරිහර කිරිම වැනි තත්වයන් පමණයි. ඒත් අද මේ තත්වය ඊට වඩා වෙනස්. මෑතකදී හොඳින් දන්නා හදුනන පවුලක තරුණ දියණියක් සිය දිවි හානි කර ගත්තේ ඇගේ මව නැවත ගැබ් ගැනීම නිසයි. මේ තත්වය අතීතයේදී නම් කිසිම විදිහකින් දරුවන්ට බලපෑමක් නොකලත් අද දරුවන්ගේ තිබෙන දරා ගැනීමේ ශක්තීන් නිසා මේ වගේ අවාසනාවන්ත තත්වයන්ට පත් වෙන බවත් අපි අමතක කළ යුතු නැහැ.

මව හෝ පියාගේ වෙන්වීම මරණය

දරුවා ආදරය කරන ඔහුගේ ආරක්ෂාව සලසන ආරක්ෂකයා අහිමි වීම නිසා දරුවා මානසිකව හුදෙකලාවට පත් වෙනවා. මව , පියා මරණයට පත් වීම පාලනය කළ නොහැකි තත්වයක් වුනත් සමහර පවුල් සංස්ථාවන්හි මව හෝ පියා පවුල හැර යෑම නිසා ඇති වෙන පසුබිමෙන් වඩාත්ම පීඩාවට පත් වෙන්නේ දරුවන් බව ඔවුන් අමතක කරනවා. ඒ නිසා දරුවාගේ හැසිරීම යහපත්ව පවත්වා ගැනීමට නම් දෙමව්පියන්ගේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අවශ්‍යයි.

මිතුරන් සහ සම වයස් කණ්ඩායම්

පාසල් යන වයසේ පසුවෙන දරුවන් හැසිරීමේ වෙනස්කම්වලට ඔවුන් මුහුණ දෙන අත්දැකීම් බලපානවා. පාසලේදී ඇති වෙන තර්ජන නිසා ඇති වෙන මානසික කම්පනය නිසා ඉතාම බියගුළු සහ පසුගාමී චරිත බවට පත් වෙනවා. ඉහළ පංතිවල පමණක් නොව සමවයස් කණ්ඩායම් විසින් මේ අන්දමින් තර්ජනය කිරීමෙන් ඇති වෙන බලපෑම දරුවන්ගේ හැසිරීම් රටාව මුලුමනින්ම උඩුයටිකුරු කිරීමට හේතු වෙනවා.

අපචාර

අද දරුවා අපචාරයන්ට පත් වීමට තිබෙන අවස්ථාවන් නිසා ඔවුන්ගේ හැසිරීම් බොහෝ සේ වෙනස් වෙනවා. පිටස්තරව නොවෙයි, නිවසේ ඇතුලත සිටින අයගෙන්ම දරුවා අපි නොදැනීම අපචාරයන්ටත් පත් වෙන නිසා ඔවුන්ගේ හැසිරීම වෙනස් වීමට පුලුවන්.

ඇබ්බැහිවීම

අම්මා තාත්තා වැඩ නිසා විවිධ දේ වෙනුවෙන් ඇබ්බැහි වීම. මත්ද්‍රව්‍යට පමණක් නොවෙයි, අන්තර්ජාලයට පවා මේ නිසා නිදහස් අන්තර්ජාල පහසුකම් සපයා දිය යුතු නැහැ. එපා. එය දරුවාට පාලනයක් නැහැ. එදා සිගරැට් වුනත් අද ගංජා පාවිච්චිය තදින්ම තිබෙනවා. පංතියේම දරුවන් පාවිච්චි කරන තරම්මට තත්වය වැඩියි. ඒ වගේම විවිධ ඖෂධ පාවිච්චි කිරීමෙන් මත් ද්‍රව්‍ය ආදේශක දරුවන් හොයා ගෙන ඉන්නවා. කැස්සට, මානසික රෝගවලට ලබා දෙන ඖෂධ වර්ග මේ වෙනුවෙන් භාවිතා කරනවා.

මලක් වගේ හිටිය දරුවාගේ ගති පැවැතුම් දැන් වෙනස්නම් දෙමව්පියන් විදිහ ඔබ දරුවා ගැන අවධානය දක්වන්න. ඔබ නොදැනම වුනත් දරුවාගේ වෙනස්කම් වෙනුවෙන් ඉහත දැක්වෙන හේතු බලපාන්න පුලුවනි.

දුවයි පුතයි දෙන්නම ඉඳලත් ගීතා කපූර්ට වුණු දේ

දෙමව්පියන්ගේ ජීවිතයේ හැන්දෑකාලය ගැන අනාවැකි කියන්න ඉතාම අමාරුයි. අපේ පිලිගැනීමේ හැටියට නම්  විවාහයෙන් දරු මුණුපුරන් ලැබුවාට පසුව අම්මා තාත්තාගේ ජීවිතයේ අවසාන කාලය ඔවුන්ගේ රැකවරනය යටතේ ජීවත්වීමට වාසනාව ලැබේවි කියලයි. ඒ වගේම දරුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් වුනොත් ඒ පිහිටත් මව්පියන්ට ලැබෙනවා. දරුවන්ට අත මිට තිබෙනවා නම් යහමින් අම්මා තාත්තාට සලකන්න පුලුවන්.

“මැනලද පුතේ කිරි දුන්නේ මං නුඹට” කිව්වත්…

ආර්ථිකව සවිබල ගැනුන දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් ලෝබ නැතුවම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුලුවන්. ඒත්.. මේ සිද්ධිය ඒ විදිහටම වෙනවාද..? බොලිවුඩ් තිරයේ දීප්තිමත්ම තාරකාවක් වූ “ගිතා කපූර්” පසුගිය දා අභාවයට පත් වුනේ මුම්බායි රෝහලේදී. ඒ වෙන විට ඇය ජීවත්වුනේ වැඩිහිටි නිවාසයකයි. මියයන විට ගීතාගේ වයස අවුරුදු 67 ක්. ඇය විවාහකව දරුවන් දෙදෙනෙකුගේ මවක වුනා. ඇයගේ පුත් “රාජා” නර්තන ශිල්පියෙක් වූ අතර දියණිය “මීනා” ගුවන් සේවිකාවක්. මේ දරුවන්ට අම්මාට නොසලකා සිටින්න තරම් ආර්ථික ප්‍රශ්න තිබුනේ නැහැ.

ගීතාට වයස අවුරුදු 57 ක් වෙද්දී ඇගේ පුතා විසින් අමුතු ආකාරයේ ඉල්ලීමක් කළා.

“අම්මා… වැඩිහිටි නිවාසයක නවත්වන්නම්..”

ඒත් ගීතා කිසිසේත්ම පුතාගේ ඉල්ලීමට එකඟ වුනේ නැහැ. දරුවන් දෙන්නෙක් ලෝකයට අතපය නොකඩා දායද කරල, ජීවත්වෙන මග කියා දීලා, මම මොකටද වැඩිහිටි නිවාසයකට යන්නේ… සමහර විට ඇය මේ විදිහට හිතන්නත් ඇති. සමහර අම්මලා තාත්තලා දරුවන් තමන්ට හැකි විදිහට සැලකුවත් වැඩිහිටි නිවාස සොයා ගෙන ගිහින් දරුවන් නොසලකන බව ලෝකයට කියා පාන කාලයක ගීතාගේ තීන්දුව ඉතා නිවරැදියි. ඇයට අවශ්‍ය වුනේ දරුවන් සමග ජීවත් වෙන්නයි. ආර්ථික වශයෙන් අම්මාට බලන්න ඔවුන්ට නොහැකියාවක් තිබුනේ නැහැ.

ඒත් පුතා අම්මාව වැඩිහිටි නිවාසයකට ඇතුලු කරන තීරණයේ ඉතාම දැඩිව සිටියා. ගීතාගේ තීරණය ගැන අමනාපයෙන් පසුවුන පුතා ගීතා නිවාස අඩස්සියයේ තබා ඇයට ආහාර දීම පාලනය කරන්න පටන් ගත්තා. මේ නිසා රුධිරපීඩනය අඩු වෙලා ගීතා  ක්ලාන්ත වුනාම පුත් රාජා විසින් ඇයව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර යන්න ගියේ රෝහල් බිල පියවන්න මුදල් රැගෙන එන්නම් යනුවෙන් ගීතාට සඳහන් කරමින් වුනත් ආයේ නම් පුතා ඒ රෝහල පැත්ත පළාතට ආවේ නැහැ. මේ අතර ඉන්දියාවේ බොලිවුඩ් තිරයේ උදවියට මේ ගැන ආරංචි වුනා. “අශෝක් පන්ඩිත්” (Ashoke Pandit) විසින් රෝහල් බිළ පියවා ඇය වැඩිහිටි නිවාසයකට ඇතුලත් කරනු ලැබුවා. ගීතාගේ රෝහල් බිල ඉන්දියානු මුදලෙන් රුපියල් ලක්ෂ 1.5 ක් වුණා.

වැඩිහිටි නිවාසයේදි ගීතාට හොදින් සැලකිලි ලැබුණා. පසුගිය උපන්දිනයත් මේ නිවාසයේදී ඉතාම උත්කර්ෂවත් විදිහට සිදු වුනා. ඒත් අම්මා කෙනෙක් විදිහට ඇගේ හිතේ තිබුන පාලුව, ශෝකය සහ ආත්මීය පසුතැවිල්ල දුරු කරන්න වැඩිහිටි නිවාසයේ අයට හැකි වුනේ නැහැ. ඇය හැම දවසක්ම පටන් ගත්තේ අද මගේ දුව හෝ පුතා ඇය බලන්න ඒවි යන බලාපොරොත්තුවෙන් බව එම නිවාසයේ පරිපාලනය සදහන් කරනවා. ඒත් මියයන තෙක්ම ඒ අම්මාගේ ආසාව ඉෂ්ට වුනේ නැහැ.

ගීතා කපූර් කුඩා කාලයේ පටන්ම නර්තනයට ප්‍රිය කළ අතර ඇය තමාගේ හැකියාවන් දියුණු කර ගත්තේ “ෆාරා භාන්” ගේ නැටුම් කණ්ඩායමට සම්බන්ධවයි. එතැනින් පසු ගීතා “කුච් කුච් හෝතා හෑ” චිත්‍රපටයෙන් ප්‍රෙක්ෂකයන් අතර ජීවත්වුනා. ඇය දායක වුන චිත්‍රපට සංඛයාව සියයකට අධිකයි. “පාකිෂා” චිත්‍රපටයේ ගීතා ප්‍රධාන චරිතය රඟපෑම නිසා රසිකයන් අතර ජීවත්වෙන්න පටන් ගත්තා.

ඒත් ජාත්‍යන්තර තලයේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ කාන්තාවක් වුනත් මවක් විදිහට ඇයගේ ජීවිතය අවසාන වුනේ ඉතාම අවාසනාවන්ත විදිහටයි. මේ ගැන අපිට පැතිකඩ දෙකක් තිබෙනවා. කොතැනක හෝ වැරදීමක් සිද්ධ වෙලා ඇති. සමහර විට දරුවන් මෙහෙම කියාවි… අම්මා කෙනෙක් විදිහට අපට ඇගෙන් ආදරය, ආරක්ෂාව සහ රැකවරණය ලැබුනේ නැහැ. ඒත් ඇය ඔවුන් මේ ලෝකයට බිහි කළ අම්මා බව නම් අමතක කිරීම කිසිසේත්ම සාධාරණීය කිරීමට බැහැ.

දරුවන් රජුන් කළත් දෙමව්පියන්ගේ ජීවිතයේ සැදෑකාලය මේ විදිහට ගෙවෙන්නත් පුලුවන්.

දරුවාගේ පැමිණිලි ඔබත් ඉස්මුදුනින්ම පිළිගන්නවාද?

තුන වසරේ ඉගෙනුම ලබන පුංචි පුතා උදෙන්ම අරගෙන ආවේ මේ විදිහේ පණිවිඩයක්…!

“අපේ නංගි ඉස්කෝලෙ එන්න බැහැ කියනවා… ටීච එයාට ගහනවාලු.. ඒ නිසා හැමදාම උදේට නංගි ඉස්කෝලේ එන්න බැහැ  කියනවා…” පුංචි පුතාගේ පැමිණිල්ල එයයි.

ඒත් ගුරුතුමියට මෙය තේරුම් ගන්න බැරි තරම් ගැටලුවක්. පංතියේදී කිසිම දරුවෙකුට ඇය දඬුවම් කලෙත් නැහැ. පංතියේදී කිසිම දරුවෙක්ගෙන් දඬුවම් කරන්න තරම් වරදක් වුනෙත් නැහැ. ඇය තනියම කල්පනා කලාය. උදේ පැමිණිල්ල සිදු කල පුතාගෙන් නම දැනගත් ගුරුතුමිය මේ චෝදනා නගන දියණියගේ පොත් පත් පරීක්ෂා කළාය. එහි කිසිම පසුගාමී බවක් තිබුනෙත් නැහැ. මේ දියණිය මෙසේ බොරුවට ගතු කියන්නේ ඇයිදැයි හිතා ගැනීමටත් නොහැකි තරම් ගැටළු සහගත විය.

“ඇයි දුවට පංතියේ වැඩ අමාරුද…?”

“නැහැ…”

“ඔයාට මොනව හරි තේරෙන්නේ නැත්නම් මට කියන්න.. මං ආයෙම කියල දෙන්නම්..” ගුරුතුමී කීව්වා.

ඒත් මේ පුංචි දියණිය තමාට අපහසුතාවයක් තිබෙන බව කිව්වේ නැහැ.

විවේක වේලාව තුළ අයියාට කතා කරන්නැයි ගුරුතුමී දියණියට කියා සිටියේ ඇය උදේට අඬන කාරණාව ගැන දැනගැනීමටයි. ඒත් දියණිය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි. කොහොම වුනත් එදා දවසේ පංතියේ ඇය ගැනම ගුරුතුමිය අවධානය යොමු කලේ මේ චෝදනාව නිසා ඇති වුන කම්පනයත් සමගයි.

දවස අවසානයේදී ඇය නැවත කුඩා දියණියට කියා සිටියේ අයියාව තමාට මුණ ගැසීමට කටයුතු කරන ලෙසයි. ඒත් ඇය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි.

“එහෙමනම් අපි යමුකෝ ගේට්ටුව ලගට අයියා එතනට ඒවි නේ..” ගුරුතුමිය දියණිය සමග පාසල් ගේට්ටුවව වෙත ගියාය. එතැනදීත් ඇය අයියාව ගුරුතුමියට මුණගැසීමට බාධා කරමින් හැසිරුනත් හදිසියේම එතැනට පැමිණියේ මේ කුඩා දියණියගේ මවයි. ඇය පංති බාර ගුරුතුමියගේ මිතුරියකි.

දැන් අම්මාට සතුටුයි. තමාගේ මිතුරියක් දියණියගේ පංති බාර ගුරුතුමිය වීම නිසා ඇයටත් අස්වැසිල්ලකි. ඒත් තමා වසර ගණනාවක් දන්නා හදුනනා පරිදි කුඩා දියණියට සැර පරුෂ ලෙසින් සලකන කුරිරු චරිතයක් තමාගේ මිතුරියට නොමැති බව ඇය හොඳාකාරවම දනී. ඒ වගේම මේ ගැන තමා විදුහල්පතිට හෝ වෙනත් අයෙකුට පැමිණිලි නොකිරීම මොන තරම් වටිනවාදැයි ඇය තනිවම සිතුවාය.

“මොකද දුව උදේට කලබල කරන්නේ..?” ගුරුතුමී ඇසුවාය.

දියණියගේ මව නිරුත්තර වුනේ පුතා මේ පණිවිඩය ගුරුතුමියට සඳහන් කළ වගක් ඇය නොදන්නා නිසාය. දියණියගේ චෝදනාවන් ගැන පැමිණිලි කිරීමට ඇය උනන්දු වූයේත් නැහැ.

“අනේ දන්නේ නැද්ද ඉතින්… මං ඒවා ගණන් ගන්නේ නැහැ… ඊටත් ඔයා ගැන මම දන්නේ නැතුවායැ…” ඇය කීවාය.

“ඔයා කොහොමද දන්නේ…”

“මට ඔයාගේ පුතා කිව්වා…”

“අනේ බලන්නකෝ… පණ්ඩිත වැඩ… මං නිකමටවත් එහෙම කියන්න කිව්වෙත් නැහැ..” ඇය කීවාය.

“නෑ එහෙම කියපු එක හොඳයි…”

ඇත්තටම පාසල, පංතිය, ගුරුවරුන් මුල් කර ගෙන දරුවන් කියනා ගතු සියල්ල හැම විටම සත්‍ය නොවේ. තමාගේ වාසිය මුල් කර ගෙන ඔවුන් ඉතා ලස්සනට ප්‍රබන්ධ ගෙතීමට සමර්ථයන්ය.මේ නිසා දරුවන් ගෙනෙන පැමිණිලි ගැන එකහෙලාම තීන්දු තීරණ ගැනීම එතරම් සාධාරණ නැත.

මුලින්ම වටපිටාවෙන් සොයන්න

පංතිභාර එහෙම නැත්නම් විෂය බාර ගුරුතිමිය හෝ වෙනත් අයගෙන් තමාට හිරිහැර සිද්ධ වෙන බවට ඔබේ දරුවාත් පැමිනිලි කරන්න පුලුවන්. එ වගේ අවස්ථාවකදී වටපිටාවෙන් ඒ ගැන විපරම් කරන්න. තවත් අය විසින් මකියන තොරතුරු මේ සිද්ධියට සාධාරණ නම් ඒ ගැන ඉදිරි පියවර ගැනීම ඇත්තටම සිද්ධ විය යුත්තක්.

පැමිණිල්ලට පෙර දෙවතාවක් හිතන්න

ඇතැම් දෙමව්පියන් ඉතා සුලු දෙයට පවා පැමිණිලි කිරීම සිරිතක් සේ කරන කටයුත්තක්. ඒත් ඔබ ඉක්මන් නොවන්න. පැමිණිලි කිරීමට පොතුව මේ සිදුවීම ඔබටම විසඳා ගන්න පුලුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් කියන දේ මතම යැපෙන්න එපා.

බොරුවේ ආදීනව දරුවාට කියා දෙන්න

දරුවන් තමාගේ කුමන හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් බොරු කීමට උනන්දු වන්නේ නම් එහි ආදීනව ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න.

තමාගේ දරුවා වුනත් නිවසට ගෙනෙන හැම පැමිණිල්ලක්ම සාධාරණ නැත. ඒ නිසා මේ ගැන දෙවතාවක් හිතන්න. ඔවුන්ට යම් යම් අපහසුතාවයක් එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති  වුනොත් ඒ ගැන විවිධ විදිහට චෝදනා නගන්න පුලුවන්. කිසිම විටෙක ඒ ගැන කලබල නොවී මධ්‍යස්ථ සිතින් එහි පසුබිම විමසා බලන්න. එවිට ඇත්ත සහ නැත්ත අතර තිබෙන පරතරය ඔබට අවබෝධ වේවි.