Home Blog Page 9

ලාදුරු රෝගයට භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍යමද?

ඉතිහාසය, වර්තමානයේදීත් නැවත නැවතත් අපිට අහන්න දකින්න ලැබෙන කොට ඇතැම් දේ ගැන ඒ කාලෙට වඩා අද හොඳයි කියලා අපට කතා කරන්න පුළුවන් බොහෝ දේ නොයෙක් රෝග තත්ත්ව සමග අපට හමු වෙනවා. ඒ වෛද්‍ය විද්‍යාවේ වගේම තාක්ෂණයේ දියුණුවත් නිසයි. අන්න එතැනදී ඉතිහාසයේදී බිය මුසු වුණු හැඟීමක් සමග කතා බහ කළ බොහොමයක් රෝග ගැන අද වන විට කිසිදු බියකින් තොරව කතා බහ කරන්නට තරම් අප වාසනාවන්ත වී සිටිනවා. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස ලාදුරු රෝගය දැක්විය හැකියි. නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් ලෙස නම් කෙරුණු ලාදුරු රෝගය වෙනුවෙන් කලා නිර්මාණ පවා බිහි වූවා. ලාදුරු නිසා මිනිස් සිරුර යම් ආකාරයක විරූපි බවකට පත් වන නිසා බොහෝ දෙනෙක් මේ රෝගයට විශාල බියක් දැක්වූවා. සුව කළ නොහැකි නිසාත් බෝ වන රෝගයක් නිසාත් ලාදුරු රෝගීන් වෙන් කොට ජීවත් වීමට සැලැස් වූ අතීතයක් ලොව පුරා පැවතුණා. 

ආචාර්යතුමනි, අදටත් ඒ තත්ත්වය එලෙසමද?

අතීතයේදී ලාදුරු රෝගය හැදුනට පස්සේ සුව කරන්න ප්‍රතිකාර තිබුණේ නැහැ. බොහෝ විට ලාදුරු රෝගය හැදුණු අයෙක් වගේම ඒ පවුලේ සාමාජිකයනුත් සමාජයෙන් කොන් වුණා. නමුත් අද වෙද්දී ලාදුරු කියන්නේ කල් තියා හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුව කළ හැකි රෝගයක්. ඒ බව අපේ සමාජයත් හොඳින් දන්නවා. අද වන විට අපි  ලාදුරු රෝගයට කිසිසේත්ම බිය විය යුතු නැහැ.

ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ මොනවද?

මයිකො බැක්ටීරියම් ලෙප්රේ කියන බැක්ටීරියාව හේතුවෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව සෙම සහ බිඳිති නිරෝගී පුද්ගලයෙකු වෙත ගමන් කිරීම නිසා ආසාදනය වෙන ලාදුරු රෝගයේදී මූලික රෝග ලක්ෂණය විදියට හිසේ හැර සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයක ඇති විය හැකි සංවේදනවලින් තොර සමේ පැහැයට අඩු පැහැයකින් යුත් ලප ඇති වීම දැක්විය හැකියි. ඒ පැල්ලම් ඇතැම් විට ඉස්සුණු/සමතලා වූ ස්වභාවයකින් යුක්තයි. සන්වේදන නොදැනීම හේතුවෙන් විශාල පෙස තුවාල ඇති වීම දැකිය හැකියි. 

අතීතයේදී බොහෝ දෙනෙක් සිතු පරිදි ලාදුරු රෝගය නිසා ඇඟිලි හැලී යන බව වුවත් එහිදී සිදු වන්නේ අවශෝෂණය වීමක් මිස ඇඟිලි හැලීමක් නොවෙයි. මේ තත්වය ඇස්වලටත් බලපෑ හැකියි. 

බැක්ටීරියාවකින් ඇති වන ලාදුරු රෝගය සඳහා භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් සැලසෙන්නේ කොහොමද ?

ලාදුරු කියන්නේ සමට වගේම ස්නායුවලටත් බලපාන රෝගයක්. ලාදුරු ඇති කරන බැක්ටීරියාව මගින් සිරුරේ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරනවා. ඒ අවස්ථාවේදී ස්නායු උත්තේජනය කරමින් යථා තත්ත්වයට පත් කිරීම භෞත චිකිත්සාව මගින් සිදු කරනවා. 

  • ස්නායු වල ගැටලු නිසා පේශි අගාධයට පත් වී නොයෙකුත් සංකූලතා ඇති වෙනවා. ‍නිසි භෞත චිකිත්සක ක්‍රම අනුගමනය කරමින් මේ තත්ත්වයන් මගහරවා ගත හැකියි. 
  • ස්නායු දිගේ විද්‍යුත් උත්තේජන දෙමින් ගමන් නොගන්නා පණිවිඩ කෘතිමව යැවීම මගින් ස්නායු උත්තේජනය ඇති කළ හැකියි
  • ව්‍යායාම හරහා පේශි දිග අරින්න, ශක්තිමත් කරන්න ස්නායුවල සමායෝජනය ඇති කිරීම කළ හැකියි
  • විකෘතිතා ඇති වීම වලක්වා ගැනීමට විශේෂ ආධාරක ඇති අතර (ඇඟිලි නැමෙන එක ඇඟිලි දිග ඇරෙන එක සිදුකරමින් ඇඟිලි ක්‍රියාත්මක කිරීම) කෘතිමව අදාල ක්‍රියාකාරකම් සිදු කිරීම කළ හැකියි.
  • දෑතේ මෙන්ම පාදවල ඇතිවන සියලුම ගැටලු සඳහා භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම යොදාගත හැකියි 
  • මුහුණේ ස්නායුව අඩපණ වූ විට මුහුණේ ස්නායු ශක්තිමත් කිරීමට එම ස්නායු උත්තේජන කරමින් ව්‍යායාම ලබා දීම හෝ සක්‍රීය ව්‍යායාම යොදා ගනිමින් මුහුණ වෙනස් නොවී පේශි ශක්තිමත්ව තබා ගත හැකි භෞතික චිකිත්සක ක්‍රම වෙත රෝගියා යොමු කරයි

ලාදුරු රෝගයේ මූලික අවස්ථාවේ සිටින රෝගියෙක් පවා භෞතික චිකිත්සක ක්‍රම වලට යොමුවීම අවශ්‍ය ද?

සංකූලතා ඇති වෙන්න පෙර රෝගය හඳුනා ප්‍රතිකාර වෙත යොමු වුවොත් භෞත චිකිත්සක ප්‍රතාකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ලාදුරු රෝගයේ අවස්ථා තුනක් තියෙනවා. පළමු මට්ටමේදී බැක්ටීරියාව ශරීරයේ තිබුණත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නවන්නේ නැහැ. නමුත් දෙවන මට්ටමේදී සිරුරේ කොහේ හෝ තැනක හිරිවැටීමක් හෝ පෙන්විය හැකියි. තුන්වන මට්ටම වන විට ලප කැලැල්වල සන්වේදන අඩු වීම දැකිය හැකියි. ඒ වන විට වත් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම භෞතික චිකිත්සකවරයෙකු හමුවෙලා ඉදිරියේදී සංකූලතා වැඩි විය හැකි නිසා ඒවා වළක්වා ගන්න උපදෙස් ලබාගන්න ඕනෑම රෝගියෙකුට හැකියාව තියෙනවා. වැදගත්ම දේ සංවේදන අඩු වන තුරු නොඉඳ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගෙන රෝගය වළක්වා ගැනීමයි.

ලාදුරු රෝගය නිසා ඇඟිලි/කන් හැලෙනවා කියන සමාජයේ තිබෙන අදහස ඇත්තක්ද?

ඇඟිලි/කන් හැලීමක් වෙන්නේ නැහැ. සිදු වෙන්නේ ඒවා ක්ෂය වී යාම. වෙලා යනවා හීන වෙලා යනවා .

ඒවා කුමන ක්‍රමයකින් හෝ නැවත යථා තත්ත්වයට ගැනීමට හැකියාව තිබෙනවාද?

කණගාටුවෙන් වුවත් ඇත්ත කිව යුතුයි, එවැනි තත්ත්වයට පත් වූ පසුව නම් යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු ක්‍රමයක් නැහැ. වාසනාවකට මෑත කාලයේදී නම් ඇඟිලි/කන් ක්ෂය වී යන තරමට සංකූලතා ඇති වූ රෝගීන් දකින්නට නැති තරම්. ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් සිදු කෙරෙන දැනුවත් කිරීම් හරහා ජනතාව දැනුවත් වන නිසා හෝ අද වන විට රෝගීන් ප්‍රතිකාර වෙත යොමු වීම සතුටක්.

වාර්තාවලට අනුව ලංකාවේ වසරකට දෙදහක් පමණ ලාදුරු රෝගීන් හමු වෙනවා. ඔවුන් භෞති චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වෙනවාද

ඔව්.. ඇතැම් අවස්ථාවල රෝගීන් දැනුවත් වෙලා එනවා. ඒ වගේම වෛද්‍යවරුන් හරහා වෙනවා .ඉතින් අපි ඔවුන්ට හොඳ සේවාවක් ලබා දෙනවා. අද වෙද්දී සංකූලතා අවමයි. මෑතකදී මේ වගේ සංකූලතාවයක් තියෙන කෙනෙක් දැකලම නැහැ. මොකද අපේ රටේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය ගැන උනන්දුයි. අන්න ඒ නිසාම සුවකිරීමට ඇති අවස්ථාව හැකියාව වැඩියි. සමේ ඇති වෙන ලපයක් දිහා බලලා අපිට කියන්න අමාරුයි ඒක ලාදුරු නිසාද නැත්නම් අළුහම් නිසාද කියන දේ. ඉතිං ඔවුන් පුංචි ලපයක් හරි පැල්ලමක් හරි ආවත් වෛද්‍යවරයෙක්ට කියල පරික්ෂා කරගන්න පෙළඹෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්.

භෞතික චිකිත්සක ක්‍රම මඟින් ප්‍රතිකාර ලබාගන්නට පුළුවන් මෙතැනදි බස්නාහිර පළාත විතරක් නෙමෙයි ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ රෝගීන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔවුන්ට අවස්ථාව තියෙන්නේ කොහොමද කියලා නැවත මතක් කරමු අපි වටින නිසා. කොළඹ විතරක් නෙමෙයි රිච්වේ ආර්යා රිජ්වේ ආර්යා ළමා රෝහලේ විතරක් නෙමෙයි මේක තියෙන්නේ කියන එක මතක් කරමු. 

යම් පුද්ගයෙකුට භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා ඔහු/ඇය යා යුතු කොතැනටද?

ලංකාවේ ඕනෑම මහ රෝහලක වගේම ඕනෑම දිස්ත්‍රික් රෝහලක භෞතික චිකිත්සක සායන තියෙනවා. වර්ග සැතපුම් දහයක් පහළොවක් ඇතුළත භෞතික චිකිත්සකවරයෙකු හමුවිය හැකි ආකාරයට ඒවා සැලසුම් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් මේ රෝග තත්ත්වය පාලනය කිරීමට විශාල මෙහෙවරක් ඉටු කරනවා. ලාදුරු රෝගය වසංගත තත්ත්වයකට පත්වන්නට ඉඩ නොදී වාළක්වාගෙන සිටීම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක් බව නිව යුතුමයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 


                

දරුවාට හොඳ අධ්‍යාපනයක් … ස්වාධීන පුද්ගලයෙක්…ඔබට අභියොගයක්ද?

ශාරීරික/මානසික ගැටලු හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අතහැරිය යුතුද?

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සම්බන්දව දෙමව්පියන් වන ඔබට ඇත්තේ විශාල බලාපොරොත්තුවක්. දරුවෙකුට නිසි අධ්‍යාපනයක් ලබාදීමට නම් ශාරීරික වගේම මානසික සෞඛ්‍යයත් බොහෝ වැදගත් වෙනවා. බොහෝ දෙමාපියන් ශාරීරික සෞඛ්‍ය ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත් වුවත් මානසික සෞඛ්‍ය සම්බන්ධව වැඩි තැකීමක් නැහැ. නමුත් ඉගෙනීම හරියාකාරව සිදුකරන්න නම් දරුවාගේ මානසික මට්ටම ඉතා උසස් මට්ටමක තිබිය යුතුයි. ඒ වගේම ඔබේ දරුවා සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකීම පැවරෙන්නේත් ඔබටමයි. 

වෛද්‍යතුමියනි, මනෝ වෛද්‍ය විද්‍යාත්මකව ඉගෙනීම කියන්නේ මොකද්ද? 

ඉගෙනීම කිවුවහම අපේ හිතට එන්නේ පාසලක වාඩිවෙලා අකුරු කියන දරුවෙක්. නමුත් මනෝ විද්‍යාත්මකව ගත් කල ඉගෙනීම කිය‍න්නේ මීට වඩා ගොඩාක් පුළුල් දෙයක්. මනෝවිද්‍යාත්මකව ඉගෙනීම කියලා කියන්නේ අත්දැකීම් එක්ක අපේ හැසිරීම් වල සිදුවන වෙනස්කම්. විෂය බාහිර ක්‍රියාකාරකම්, නැටුම් ,සෙල්ලම් කිරීම්, අනිත් අයත් එක්ක සම්බන්ධ වීම්, සමාජයේ ජීවත්වීම, තමන්ගේ දේවල් තනිවම කරගන්න ඉගෙනීම වගේ බොහෝ කරුණු ඉගෙනීමේ කොටස්. එතකොට ඒක අධ්‍යාපනයට සීමා වෙන්නේ නැහැ. අපි හිතන අධ්‍යාපනයට වඩා ඒක ගොඩක් පුළුල් දෙයක්. නමුත් අද වන විට බොහෝ දෙමව්පියන් බලාපොරොත්තු වෙන්නේ පාසල තුළ දරුවෙක් කෙතරම් හොඳට අධ්‍යාපනය ලබනවා ද කියන කාරණාව පමණයි. 

පාසැලක් තුළ ඉගෙනීම ලබන දරුවන්ට දෙමාපියන්ගෙන් ලැබිය යුතු සහයෝගය කුමක්ද

හොඳින් ඉගෙන ගන්නවා නම් දරුවෙකුට කාරණා කීපයක අවශ්‍ය වෙනවා. 

  • මොළය ප්‍රශස්ත මට්ටමින් පැවතීම – බුද්ධි මට්ටම, අවධානය තබා ගැනීමේ හැකියාව, ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වගේම මොලේ වර්ධනය යන කරුණු ඉතාමත් වැදගත් වෙනවා..
  • කායික සෞඛ්‍ය උසස් මට්ටමකින් පැවතීම
  • මානසික සන්සුන්භාවය – මානසික ආතතියෙන් ‍දැඩි පීඩනයකින් තොර වීම බතාම වැදගත් වෙනවා.
  • සංවේදන ගැටලුවලින් තොර වීම – දරුවාගේ ඇස්, කන් වල දුර්වලතා නොමැති වීඹත් වැදගත් සාධකයක් වෙනවා.
  • දරුවාගේ පරිසරයක් – නිවසේ දරුවාගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් දක්වන ප්‍රතිචාර, උනන්දුව පාසලෙන් ලැබෙන ප්‍රතිචාර මෙතැනදී ඉතා වැදගත් වෙනවා. ඒ වගේම පරිසරයේ නිස්කලංක භාවය දරුවාට නිදහසේ වැඩ කරන්න ලැබීම ඉගෙනීමට ඉතාමත්ම වැදගත් සාධකයක්.

වෛද්‍යතුමියනි, ඇතැම් දරුවෝ ඉගෙනීමට දුර්වලයි. ඇතැම් දරුවෝ දක්ෂයි. එය දරුවන්‍ගේ යම් යම් මානසික සංකූලතා හේතුවෙන් ඇති වෙන තත්ත්වයක්ද? සමාජ සම්බන්ධතා සමග අධ්‍යාපනය ලබා ගැනීම කියන කාරණාවට මනස කොතරම් දුරට නිරවුල්ව තබා ගැනීම වැදගත් වෙනවා ද?

විශේෂයෙන්ම කිව යුතුයි ඔබේ දරුවා තවත් දරුවෙක් එක්ක සැසඳීම අසාධාරණ බව අමතක කරන්න එපා. ඇත්තටම ඉගෙනීම අපහසු දරුවන් සුළු කොටසක් සිටිය හැකියි. එවැනි දරුවන් බුද්ධි මට්ටම අඩු දරුවන් සහ බුද්ධි මට්ටම සාමාන්‍ය වුවත් ගැටලු ඇති දරුවන් ලෙස කාණ්ඩ දෙකක් යටතේ දැක්විය හැකියි.

බුද්ධි මට්ටමේ ගැටලු ඇති දරුවන් – සමහර දරුවන් ඉන්නවා අවාසනාවකට ඒගොල්ලොන්ගෙ බුද්ධි මට්ටම සාමාන්‍ය දරුවකුගේ බුද්ධි මට්ටමට ඇවිත් නැහැ. නමුත් ඒ දරුවාට ඉගෙන ගැනීමට හැකි ප්‍රමාණය මෙපමණයි කියා එයින් කියවෙන්නේ නැහැ. ඒ දරුවාගේ මොළය වර්ධනය වුවත් එය සිදුවන්නේ ඉතා සෙමින්. මනස සෙමින් වර්ධනය වන බුද්ධි මට්ටම අඩු දරුවෙක් දියුණු තත්ත්වයකට පක් කිරීම සඳහා ඒ දරුවාට බාහිරින් ක්‍රියාකාරකම් බහුලව සිදු කරමින් උත්තේජනය ලබා දිය යුතුයි. මෙසේ අධ්‍යාපන මට්ටම පසුබෑමකින් තිපවතින දරුවන් ප්‍රමාද වී හෝ දියණු තත්ත්වයට පත් වෙනවා. 

බුද්ධි මට්ටම සාමාන්‍ය වුවත් ගැටලු ඇති දරුවන් – මෙවැනි දරුවන් පාසැලේදී යම් ගැටලුවක් විමසූ විට හොඳින් පිළිතුරු දෙනවා. නමුත් පාසලේ විභාගයේදී කිසිවක් ලියන්නේ නැහැ. එහෙමත් නැති නම් කොටසක් පමණක් ලියා තබනවා‍. ඉතිං මේ දරුවා දෙමවුපියන්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් බැට කනවා.

  • ඉගෙනීමේ සුවිශේෂී ගැටළු සහිත දරුවන් – මේ දරුවන්ගෙන් යම් ප්‍රමාණයකට ඉගෙනීමේ සුවිශේෂී ගැටළු සහිත මානසික තත්ත්වයක් ඒ කියන්නේ ඩිස්ලෙක්සියා කියන රෝගය තිබිය හැකියි. දරුවාට කියවීමේ අපහසුතා/අකුරු ලිවීමේ අපහසුතා/ව්‍යාකරණ වල ගැටලු/ගණිත කර්ම වල ගැටලු ඇත්නම් බුද්ධි මට්ටම සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය දරුවෙකුට උගන්වන ආකාරට මෙවැනි දරුවෙකුට ඉගැන්වීම සහ ඔවුන් ඉගෙනීමෙන් දියුණු තත්ත්වයට පත් කිරීම අපහසුයි. 
  • අධි ක්‍රියාකාරී අඩු අවධානය සහිත දරුවන් (attention deficit hyperactive disorder) – මේ දරුවන්ට අවධානය එක් තැනක රඳවා ගැනීම ඉතාම අපහසුයි. ඒ නිසා ඒ දරුවන්ගේ බුද්ධි මට්ටම සාමාන්‍ය වුණත් පාසලේ අධ්‍යාපන කටයුතු ගොඩක්ම පසුබෑමකට ලක් වෙලා තියෙන්න පුළුවන්.
  • ඔටිසම් තත්වයේ සිටින දරුවන් – මේ දරුවන් බොහෝ විට පෙළඹෙන්නේ තමන්ට අවශ්‍ය දේවල් කරන්න. ඇතැම් විට ඔවුන්ගේ බුද්ධි මට්ටම සාමාන්‍ය වුණත් ඉගෙනීම ගැන උනන්දුව අඩුයි. ඒ දරුවන් තමා කැමති දේ සමග කාලය ගතකරන්න වඩාත් කැමතියි. ඒ නිසා දරුවාගේ අධයාපන ක්‍රියාකාරකම් වලට ගැටලු ඇති විය හැකියි.

වෛද්‍යතුමියනි, මෙවැනි දරුවෙකුගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය ලබා දිය යුත්තේ කෙසේද?

මේ සඳහා දරුවෙකුගේ අධ්‍යාපනයට බලපාන යම් හේතුවක් මත අපිට විවිධ ක්‍රම යොදාගත හැකියි.

  • බුද්ධි මට්ටම අඩු  දරුවන් 

 දරුවාගේ මට්ටම හඳුනාගෙන ඒ දරුවා සමග වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඊට අමතරව දරුවාගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කුසලතාවයන් ලබාදිය යුතුමයි. මොකද ගොඩක් වෙලාවට අපි අධ්‍යාපනයට අවධානය දුන්නට දරුවාට ස්වාධීනව දරුවා ලොකු මහත් වෙලා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ ස්වාධීනව සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කුසලතා ලබා නොදෙන්න පුළුවන්. මොකද විශේෂයෙන් බුද්ධි මට්ටම අඩු දරුවෙකු ගැන දෙමව්පියන්ට අනුකම්පාවක් ඇතිවෙනවා. දෙමව්පියන් ඒ ගැන පසුතැවෙනවා. තාමාගේ වරදින් දරුවාට එසේ වූ බව දෙමාපියන් සිතනවා. ඒ නිසා දරුවාට හැමදේම දෙන්නත් හැමදේම කරලා දෙන්නත් දෙමාපියන් පෙළඹෙනවා. නමුත් ඒක දරුවාට දීර්ඝකාලීන වශයෙන් අපි කරන අකටයුත්තක්. අපි දරුවාව සමාජ ගත කරද්දී ආත්ම ශක්තිය ඇති ස්වාධීනව ජීවත් විය හැකි පුද්ගලයෙකු ලෙස සමාජගත කළ යුතුයි. ඒ නිසාම බුද්ධි මට්ටම අඩු දරුවෙකුගේ කුසලතා වර්ධනය ඉතාමත්ම වැදගත්. 

ඒ වගේම දරුවාගේ වෙනත් හැකියාවන් හඳුනා ඒ ඔස්සේ දරුවා ඉදිරියට යැවීමෙන් දරුවාගේ ආත්ම අභිමානය දියුණු වෙනවා. එසේ නැතිනම් දරුවා නව යොවුන් වියට පත්වෙද්දී අනිත් අය හා තමාව සන්සන්දනය කරමිනි තමා අසාර්ථක කිසිවක් නොහැකි අයෙක් ලෙස සිතා මානසිකව ඇද වැටෙනවා. අන්න ඒ නිසා දරුවාගේ ආත්ම අභිමානය දියුණු කරන්න දරුවා දක්ෂ දේකට අපි ඔහු/ඇය යොමු කළ යුතුයි.

සුවිශේෂී අධ්‍යාපන ගැටලු ඇති දරුවෙකු නම්, ඉගෙනුම් කටයුතු සාර්ථක කිරීමට සුවිශේෂී දේවල් කළ යුතුයි. සමහර දරුවන්ට ලියන්න අපහසු උනත් බුද්ධි මට්ටම ඉහළ නිසා වාචිකව යමක් හොඳින් වටහා ගෙන පිළිතුරු ලබා ‍දිය හැකියි.  ඒ නිසා විභාග වලදීත් දරුවා ඉදිරියට ගෙන යාම සඳහා විවිධ ක්‍රම යොදා ගත හැකියි. දරුවන්ගේ ආත්ම අභිමානය ඉහළ නංවන්න දරුවා දස්කම් පෙන්වන දේ වෙනුවෙන් යොමු කළ හැකියි. එසේ නොමැතිව ඉගෙනීමටම තල්ලු කරන්නට හැදුවොත් දරුවාටත් ඒක අපහසු නම් විශේෂයෙන් අපේ අධ්‍යාපන රටාව තුළ දරුවාටත් තරගකාරී බවට මුහුණදෙන්න අපහසු නම් දරුවා මානසිකව වැටෙනවා. ඒ නිසා අපි හැමවිටම දරුවාගේ දක්ෂතාවයන් වලට යොමු වෙන්න සහ දරුවාට සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගන්න දරුවාට සහය විය යුතුයි. 

ඒ ‍වගේම අඩු අවධානය සහ අධි ක්‍රියාකාරීත්වය තියෙන දරුවන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය හැකියි. ඔටිසම් තත්වය තියෙන දරුවෙකුටත් සුවිශේෂී ක්‍රම ඔස්සේ ඒ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් සහය විය හැකියි.

කෙසේ වුවද මෙවැනි දරුවන්ගේ සියලු කාර්යයන් සිදුකරදෙමින් ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය/හුරුව ලබා නොදීම දෙමාපියන් අතින් සිදුවන විශාල වරදක් බව අමතක නොකළ යුතුයි. ඔබ නැති දිනක දරුවා අසරණ තත්ත්වයට පත් නොවන්නට නම් ජීවත් වන ආකාරය දරුවාට හුරු කළ යුතුම බව වටහා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය

 

හිතු මනාපෙට හැම ක්‍රීම් එකම ගාන්න කලින් සම ගැන දැනගන්න

මොකද මේ මූණේ හැටි.. වෙනදා සුදට ලස්සනට හිටියනේ…

ඔව් අනේ.. මගේ හම දැන් ඉස්සර වගේ නැහැ.. ‍මේ  බබාලගේ වැඩත් එක්ක අව්වේ පාරේ එහෙට මෙහෙට යද්දි හම නාස්ති වෙනවා ඇති මම හිතන්නේ

ඉතිං ඔයා මුකුත් කරන්නේ නැද්ද?

කොහෙන්ද අනේ ඕවට වෙලාවක්…

එහෙම කියන්න එපා … පොඩි වෙලාවක් හරි ඒ වෙනුවෙනුත් වෙන් කරන්න

මේ වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඇතැම් විට මේ තත්ත්ව ඇති වෙන්නේ උපතින්. එහෙමත් නැත්නම් අප අවට පරිසරයේ යම් යම් සාධක නිසා වෙන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයට වුවත් අපි අපේ සම ගැන සැලකිලිමත් විය යුතුයි. සම කියන්නේ අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. ඉතිං සමේ ආරක්ෂාව ගැන වගේම සම නිරෝගීව පවත්වා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

නිරෝගී සමක් කියන්නේ මොකක්ද

අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන සම, සම, කෙස් හා නිය ලෙස කොටස් තුනක් යටතේ වෙන්වෙනවා. සම, කෙස් හා නිය යන තුනේම නිරෝගී බව නිරෝගී සම විදියට අපිට හඳුන්වන්න පුළුවන්. සමේ නිරෝගී බව ගැන කතා කරද්දී සමට අවශ්‍ය නියම පෝෂණය ලැබෙනවාද, සමේ ස්වභාවය එනම් සාමාන්‍ය, තෙල් සහිත, වියළි සමක්ද යන බවත් අප වටහා ගත යුතුයි. හොඳ වර්ණයකින් පවතිනවාද යන කරුණත් ඉතාම වැදගත් වෙනවා. හොඳ වර්ණයක් ලෙස අදහස් වන්නේ සම සුදු වීම ගැන නොවෙයි. සම සුදු/දුඹුරු හෝ කළු වුවත් පැහැදිලිව, පැහැපත්ව ඇත්නම් එය නිරෝගී සමක්. නිරෝගී සමක් සැමවිටම සුදු පැහැ විය යුතු නැහැ. 

නිරෝගී සමක් නම් සුදු විය යුතුයි නේද?

කිසිසේත්ම නැහැ. අපේ විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි කියන්නේ දුඹුරු පැහැ කාන්තාවක්. ඒ වගේම ලෝක රූ රැජිණ වගේම විශ්ව රූ රැජිණියන් ලෙස කිරුළු පැලඳුවා ජැමෙයිකානු සහ දකුණු අප්‍රිකානු කාන්තාවන්. කලු පැහැ දුඹුරු පැහැ කාන්තාවන් රූ රැජිණ කිරුළු දිනා තිබෙනවා. සමේ පැහැය ඔවුන්ට බාධාවක් වී නැහැ. නමුත් අද වෙද්දී බොහෝ කාන්තාවන් සුදු පැහැ සම ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. සම සුදු පැහැ වුවත් සම නිරෝගී නැත්නම් එය ඔබේ සුන්දරත්වයට බාධාවක් වෙනවා. 

වාඩාත් හොඳ සුදු හමද? දුඹුරු/කළු සමද?

ඝර්ම කලාපීය රටක ජීවත් වෙන මිනිසුන් විදියට හිරු එළියෙන් ආරක්ෂා වීමට අපිට සිදු වෙනවා. ඒ නිසා අපේ සමේ මෙලනින් වර්ණකය වැඩි වශයෙන් තිබිය යුතුයි. මෙලනින් වර්ණකය වැඩිවන තරමට හිරු එළියෙන් ආරක්ෂා වීමට වැඩි හැකියාවක් අපිට ලැබෙනවා. මෙලනින් කියන්නේ පිළිකා වලින් අපිව ආරක්ෂා කරන ඉතාම වැදගත් දෙයක් නිසා මෙලනින් වර්ණකය වැඩි වන තරමට සමෙහි පිළිකා හැදීමේ හැකියාවත් අඩු වෙනවා. 

සුදු පැහැ සම තරුණ වියේදී ලස්සන වුවත් අවුරුදු තිහ, තිස්පහ වන විට සුදු සම රැලි වැටීම ආරම්භ වෙනවා. නමුත් දුඹුරු/කළු පැහැ සම වයස් ගත වන්නේ ඉතාම සෙමින්. දුඹුරු/කලු සම රැලි වැටීමට පටන් ගන්නේ අවම වශයෙන් අවුරුදු 40ක් වත් ගත වූ පසුවයි. නමුත් දුඹුරු/කළු සමේ තුවාලයක් ඇති වුවොත් ඒ කැලල මැකී යාමට වැඩි කාලයක් ගත වන නිසා ප්‍රවේශම් විය යුතු අතරම කැලලක් ඇති වුවහොත් අව්වෙන් ආරක්ෂා විය යුතුයි.

සමේ නිරෝගී බව පවත්වා ගැනීමට කළ යුත්තේ මොනවාද?

සමබල ආහාර වේලක් ලබාගැනීම – අපි නිසි පෝෂණය ලබා නොගන්නවා නම් සමේ පෝෂණය නිසියාකාරව සිදු වන්නේ නැහැ. සම කියන්නේ සෑම දින 28 කට වරක්ම අලුත් වන අවයවයක්. කෙස් කියන්නේ ඉතා වේගයෙන් වැඩෙන අවයවයක්. මේවයේ වර්ධනයට දිගින් දිගටම නිසි පෝෂණය අවශ්‍යයි. ඒ සඳහා සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි. අපේ ශ්‍රී ලාංකීය ආහාර වේල ගැන කතා කළොත් වැඩිපුර බත් කන්නත් එළවළු අඩුවෙන් කන්නත් අපි පුරුදු වෙලා. සමට කෙස් වලට අවශ්‍ය වෙන්නේ ක්ෂුද්‍ර පෝෂක වර්ග වන විටමින් හා ඛනිජ ලවණයි. සමට, කෙස් වලට කාබෝහයිඩ්‍රේට් වලින් ලොකු උදව්වක් නැහැ වගේම අනිත් පැත්තට කාබෝහයිඩ්‍රේට් වැඩි වීම සමට නුසුදුසුයි. කාබෝහයිඩ්‍රේට් වැඩි උන ගමන් අපි මහත්වෙන්වා. මහත් වෙද්දී අපේ බෙල්ල, ඉකිලි වැනි නැමෙන තැන්, නළල දෙපැත්ත, කට වටේ, නහය දෙපැත්ත ඒ වගේ තැන් කළු වෙනවා. ඉතිං එහෙම උන ගමන් අපි මොන පාට උනත් ඒ කලුවීම අවලස්සනයි. ඒ වගේම ලිපිඩ වැඩි වීමත් නුසුදුසුයි. ඇත්තටම හැම අතින්ම බැලුවොත් සෞඛ්‍ය ගැන අපි මනා උනන්දුවකින් කටයුතු කරනවා නම් අපේ සම ඉබේම ආරක්ෂා වෙනවා.

ඇතැම් අය නොයෙක් විටමින් වර්ග ලබා ගන්නට උනන්දු වුවත් ආහාර වේල් හරහා ප්‍රධාන පෝෂක ටික ලබා ගත යුතුයි. සරලවම කිව්වොත් අපි සාමාන්‍ය ආසියානු ආහාර වේලක් ලබා ගැනීම ප්‍රමාණවත්. අපේ රටේ විවිධ වර්ගයේ එළවළු, පලා වර්ග තිබුණත් අද වෙද්දී අපේ දරුවෝ හුරු වෙලා ඉන්නේ එක ව්‍යාංජනයක් එකක් බත් කන්න. ඒ ආහාර වේලේ විවිධත්වය  අඩුයි. අපේ රටේ මොන තරම් ආහාර වර්ග තිබුණත් අපි ඒවා ලබා ගන්නේ නැත්නම් පෝෂණයේ අඩුවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ රටේ තියෙන එළවළු ටික පාවිච්චි කරනවා නම් එයම ‍ප්‍රමාණවත් බව කිව යුතුයි. අපි අපේ දරුවන්ට මේ දේවල් හුරු කළොත් ඔවුන්ට සම ගැන ගැටලු ඇති වීම අවම වෙනවා.

හොදින් ජලය පානය කිරීම – අපේ දරුවෝ වතුර බොනව අඩුයි. දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා වගේම සමෙහි සෞඛ්‍ය පවත්වා ගැනීමටත් ජලය පානය කිරීම අවශ්‍ය වෙනවා. 

නමුත් වතුර වැඩිපුර බීමෙන් පමණක් සම වියලි වීම වලක්වා ගත නොහැකියි.

සාමාන්‍යයෙන් අපේ ජනතාව ගත්තොත් 20% – 25% කට පමණ උපතින්ම හිමි වන්නේ වියළි සමක්. එවිට ඒ පිරිසට සමේ තෙතමනය රඳවා ගන්න වියළි සම සඳහා සැකසුණු තමාට සුදුසු යම් මොයිස්චර්රයිසර් සහිත ආලේපනයක් භාවිත කළ යුතු වෙනවා. එසේ නොමැතිව එය නොසළකා හැරියොත් සම කැසීම ඇති වෙලා දද ඇති විය හැකියි. එය අපි වළක්වා ගත යුතුයි.  

වියළි සම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නැද්ද?

ඔබ භාවිත කරන මොයිචර්රයිසර් සහිත ආලේපනයෙන් සහනයක් සැලසෙන්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි. ආලේපනයක් භාවිත කරන්න සුදුසුම වෙලාව වෙන්නේ සමේ තෙත ගතිය තියෙන අවස්ථාව. ඒ කියන්නේ ඇඟ සෝදලා/නාලා පිස දැමූ විගස ආලේපන ගැල්වූ  විට එය හොඳින් සමට උරාගන්නවා. 

මුහුණේ සමටත් ආලේපන අවශ්‍යද?

බොහෝ විට යොවුන් දරුවන් මුහුණට ආලේපන වර්ග මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙතැනදී කිව යුතු වැදගත්ම දේ තමයි යොවුන් විය කියන්නේ කොයි දරුවාත් ලස්සන වෙ‍න කාලේ. ඒ වයසේ දරුවන්ගේ සිදුවන හෝමෝන වෙනස්කම් එක්ක එයාල‍ කොහොමත් පැහැපත් වගේම සුන්දරයි. ඒ නිසා ඒ දරුවන් අමුතුවෙන් දෙයක් කළ යුතු නැහැ. එතැනදී අපි වැඩිහිටියන් ලෙස කළ යුත්තේ සාමාන්‍ය අඩුපාඩුවක් තිබේ නම් එය නිවැරදි කිරීම පමණයි. ඒ වගේම අපි ආලේපන  පාවිච්චි කරද්දී බොහෝ සැලකිලිමත් විය යුතුයි. 

සමහර ගැහැනු දරුවන්ගේ හිසේ ඉදිරි කොටසේ කොණ්ඩය නැහැ. මේක මෙය රෝග තත්ත්වයක්ද?

එව් ඇතැම් මව්වරු එහෙම හිතනවා. නමුත් මෙය සිදුවන්නේ හිස කේ තදින් පිටු පසට ඇඳලා කොණ්ඩය තදින් ගැටගහන නිසයි. අපි කොයි විදිහට ඇදලා ගෙතුවත් කොණ්ඩය වැවෙන්නේ මාසෙකට 1 cm වගේ ප්‍රමාණයක්. ඇදලා බැඳීම නිසා කොන්ඩේ කැඩිලා ඉස්සරහ කොන්ඩේ හැදෙන්නම නැහැ. ඒ ඇරෙන්න මේක රෝග තත්ත්වයක් නොවෙයි.

සමහර දරුවන්ගේ බෙල්ල කලුයි. ඒඇයි?

ඔව් අම්මලා කියන්නේ “අනේ ළමයෝ බෙල්ලේ කුණු, හොඳට අතුල්ලන්න” කියලා. ඒත් අතුල්ලන්න, අතුල්ලන්න බෙල්ල තවත් කළු වෙනවා. බෙල්ල කලු නම් මුලින්ම බලන්න ඕනේ දරුවා මහතද කියන එකයි. දරුවා මහත නම් ටිකක් බර අඩු කර ගැනීම අත්‍යවශ්‍යයි. නැත්තම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

අසාත්මිකතා නිසාත් සමේ ගැටලු ඇති වෙන්න පුළුවන් නේද?

අනිවාර්යෙන්ම.. සමහර අයට වතුරත් අසාත්මික වෙන අවස්ථා තිබෙනවා. ඉතිං අපට තේරුම් ගන්න පුළුවන් නේද ඕනම දෙයක් ආසාත්මික වෙන්න බැරි නැති බව. ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ්, ඩයි වර්ග කියන ඕනෑම දෙයකට ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. 

වැඩිහිටියන් විදියට අපි සම ගැන සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

ඇස් යට කළු වීම – වයසට යෑමත් එක්ක අපේ ඇස් යට කළු විය හැකියි. ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු යම් ආලේපනයක් ලබා ගත්තත් අපි එය මුළු මුහුණටම භාවිත නොකළ යුතුයි.

කුරුලෑ – මුහුණේ කුරුළෑ තියෙනවා නම් ප්‍රතිකාර ගත යුතුයි.

කාන්තාවන්ට මුහුණේ රෝම හට ගැනීම – මුහු‍ණේ යට කොටසේ රෝම වැඩි වෙන තත්ත්වයක් පවතිනවා නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. 

whitening cream එකකින් සුදු වෙන්න අවශ්‍ය අයට සුදු වෙන්න පුළුවන් නේද?

සාමාන්‍යයෙන් අපේ සායනයේ දොරෙන් ඇතුළු වෙද්දිම අපි රෝගීන්ගෙන් අහනවා මොනවද ගාපු වයිට්නින් ක්‍රීම් එක කියලා. මොකද වයිට්නින් ක්‍රීම් නිසා සුදු වුණු සමක් අපිට දැක්ක ගමන්ම හඳුන ගන්න පුළුවන්. whitening cream නිසා ඇතැම් විට සමේ එක් එක් තැන් පමණක් සිදු විය හැකියි. කිසිවෙක් මේ තත්ත්වයට පත් විය යුතු නැහැ. මෙවැනි තත්ත්වයට පත් වුණු කාන්තාවකගෙන් හෝ තරුණ දරුවෙකුගෙන් අපි ඇහුවොත් මීට වඩා පැහැපත් සමක් ඔබට කලින් තිබුණා නේද කියලා ඔවුන් පවසනවා එය සත්‍ය බව. ලප කැළැල් නැති දුඹුරු පැහැ සම, හානි වුණු සුදු පැහැ සමට වඩා කොයිතරම් වටිනවාද කියා ගොඩ දෙනෙක්ට වැටහෙන්නේ මේ තත්ත්වයට පත් වූ පසුවයි. 

දහවලට සහ රාත්‍රියට වෙන් වෙන් වශයෙන් ආලේපන වර්ග ගැල්විය යුතුද?

Day cream, night cream කියන වර්ග අපේ කාන්තාවන් භාවිත කරනවා. නමුත් Day cream එක අව්වට යන විට ආලේප කළත් ඒ සමහර ක්‍රීම් වර්ගවල ඇති සමහර සංඝටක වලින් අපිට ඉර එලියට තියෙන සංවේදීතාව වැඩි කරනවා.  එවිට සුදු පැහැ ලප ඇති වෙනවා. ඒ සඳහා ප්‍රතිකාර නැති නිසා එ් ලප ස්වභාවිකවම ඉවත් වන තුරු අපට බලා සිටින්නට සිදු වෙනවා. මොකද මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකුට වුවත් නිර්දේශ කළ හැක්කේ තව දුරටත් හිරු එළියෙන් හානි වීම වැළැක්වීම සඳහා හිරු ආරක්ෂක ආලේපනයක් පමණයි. ඇත්තටම මෙවැනි දේ  අවශ්‍ය නැහැ.

දිලීර ආසාදන නිසාත් සම අවලස්සන වෙනවා නේද?

ඔව්.. දිලීර පමණක් නොවෙයි වෛරස හේතුවෙනුත් අපේ සම අවලස්සන විය හැකියි. සම ගැලවී යන ලප ඇති අවස්ථාත් අපිට දැකිය හැකියි.  එවැනි තත්ත්ව ඇති වෙන්නේ බොහෝ විට දිලීර ආසාදන හේතුවෙන්. ඒ වගේම ඉන්නන් ඇති වන්නේ වෛරස හේතුවෙන්. ඉන්නන් බෝ වන සහ බෝ නොවන ලෙස වර්ග දෙකක් තියෙනවා. බෝ නොවන ඉන්නන් මැදි වයසේදී ඇති වන කළු පැහැ ඉන්නන් විශේෂයක්.

කොණ්ඩෙ කපන්න, ඇහිබම හදන්න, මුහුණේ රෝම ඉවත් කරන්න අපි සැලෝන් එකට යනවා. මේ බෝවන ඉන්නන් මුහුණේ එක් තැනක සිටියහොත් ත්‍රෙඩින් කළාට පසුව වෙනත් තැන් වලත් ඇති වෙනවා. ඒ බෝවන ඉන්නන් සිටි නිසා එහි වෛරසය මුහුණේ සැම තැනකම පැතිරීම නිසයි.  ඔබේ මුහුණේ ඉන්නන් සිටිනවා නම් එය බෝවන ඉන්නන්ද කියා වෛද්‍යවරයෙකු හමු වී සැක හැර දැන ගැනීම ඉතාමත් වැදගත්. නැතිනම් පැතිරීම වළක්වා ගන්න ඔබට වෛද්‍ය උපදෙස් පතන්නට සිදු වෙනවා. 

ඒ වගේම තමයි අද වෙද්දී අපේ තරුණ දරුවෝ අතර ප්‍රචලිත ටැටූ එක. ත්‍රෙඩින් කිරීමේදී වගේම තුවාලයක් වුණු ඕනෑම තැනක බෝ වන ඉන්නන් පැතිරීම දැකිය හැකියි. ටැටූ කිරීමේදීත් තුවාලයක් ඇති වෙන නිසා ඉන්නන් පැතිරීම සිදු වෙනවා. ටැටූවල අනෙක් ගැටලුව වන්නේ බොහෝ විට ඒ සඳහා යොදා ගන්නා රතු පැහැ වර්ණකය ආසාත්මික වී කැසීම, රතු වීම, ඉදිමීම ඇති විය හැකියි. අන්න ඒ නිසා අපි මෙවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුමයි.

මුහුණට හෝ සිරුරේ සමට ආලේපන වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

අනිවාර්යෙන්ම අපි සැලකිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. අඩංගු ද්‍රව්‍ය, නිශ්පාදකයා, නිෂ්පාදිත දිනය මෙන්ම කල් ඉකුත්වන දිනය අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුයි. 

ඇතැම් විට අපි නොදැනුවත්කම නිසා තෝරා ගන්නා අ‍ාලේපනවල ස්ටීරොයිඩ් අන්තර්ගත විය හැකියි. මෙම ක්‍රීම් වර්ගවල ඇති ස්ටීරොයිඩ් වලට ඇබ්බැහි වීමෙන් එය නතර කිරීමේදී කැසීම ඇති විය හැකියි.  කිසිදු ප්‍රමිතියක් නොමැති ආලේපන භාවිතය නිසා ඔබේ සම රෝගී විය හැකියි.

ඒ වගේම මුහුණේ ආලේප කරන ආලේපන සිරුරේවත් සිරුරට ලබා ගත් ආලේපන මුහුණේවත් ආලේප කිරීම නුසුදුසුයි. 

බොහෝ විට මම දකිනවා ලස්සන වෙන්න කියලා වැඩිපුර දේවල් කරන්නේ ඇත්තටම ලස්සන දරුවෝ. සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ දිහා බලන් ඉන්න හිතෙන තරම්ම ලස්සනයි. ඒත් ඔවුන් තෘප්තිමත් නැහැ. ඒ නිසා වැඩි දේ කරන්න ගිහින් ඔවුන් විහින් ඒ සුන්දර පෙනුම අහිමි කරගන්නවා. අන්න ඒ නිසාම මව්පිය වැඩිහිටියන් මේ දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 

 

 

 

 


                

දරුවන්ගේ නොහැකියාවන් ගැන කථා කළත් හැකියාවන් හඳුනා ගන්නේ ඉතාම අඩුවෙන්.

දරුවෙක් කියන්නේ සහජ හැකියාවන් සමූහයක එකතුවක්.  “ලොවින් එකෙකු එක දෙයකට වෙයි සමත ’.  කිව්වත් විවිධ පර්යේෂණයන් මගින් පෙන්වා දෙන අන්දමට දරුවන් තුළ බොහෝ හැකියාවන් තිබෙනවා. ඒ වගේම ඔබේ දරුවාටත් විවිධ හැකියාවන් තිබෙන්න පුළුවනි. මව්පියන් නිතරම දරුවන්ගේ නොහැකියාවන් ගැන කථා කළත් හැකියාවන් හඳුනා ගන්නේ ඉතාම අඩුවෙන්. එහෙමනම් ඔබගේ දරුවා තුළ ඇති හැකියාවන් ගැන මව්පියන් විදිහට දැන ගත යුතු කරුණු කීපයක් තිබෙනවා.

දරුවෙකුගේ භාෂාමය බුද්ධිය   ( Linguistic Intelligence)

 භාෂාවකින් දරුවෙක් චතුර්විධ කුසලතාවයක් ලබනවා. කියවීම, ලිවිම, ඇහුම්කන් දීම සහ කථනය යනු ඒ සතර විධ හැකියාවන් වේ.

 සමහර දරුවන් පොත් පත් කියවීම වගේම ලිවීම වැනි කටයුතු ගැන දක්වන්නේ ඉමහත් අප්‍රසාදයක්. නමුත් තවත් දරුවන් කොටසක් වැඩි වේලාවක් පොත් පත් කියවීම ලිවීම වැනි කටයුතුවල තමන්ගේම උනන්දුවෙන් යොමු වෙන අවස්ථා තිබෙනවා. එවැනි දරුවන් තුළ පවතින මේ හැකියාව අපි භාෂාමය බුද්ධිය වශයෙන් හඳුන්වනවා.සමහර විට ඔබේ දරුවාත් මේ කණ්ඩායමේ සිටින්නට පුළුවනි.

ඒ වගේම දරුවෙකු මව් භාෂාවෙන් ඉගෙනීමට හැකියාවන් පෙන්නම් කරන අතර තවත් භාෂාවන් ඉගෙනීමේ හැකියාව වඩාත් හොඳින්  බාල කාලයේදී පෙන්නුම් කරනු ලැබේ. එමෙන්ම තවත් සමහර විටෙකදී දරුවා තමාට ආවේනික සුවිශේෂී වචන භාවිතා කිරීමට යොමු වෙන අවස්ථාවන් ඇත. පාරක ගමන් ගනන්ා විටකදී විවිධ ප්‍රශ්න නගන දරුවා මාර්ගයේ ගමන් ගන්නා බස් රථ නාම පුවරු, දැන්වීම් පුවරුවල ඇති දැන්වීම් අකුරු එකතු කරමින් කියවන අවස්ථාවන් ඇත. එවැනි විටෙකදී ඒ වෙනුවෙන් දරුවාට කාලය ලබා දෙන්න. මව්පියන් ලෙසින් ඔබද දරුවාට වචන කියවීමට හවුල් වන්න.

රූපවාහිනිය දරුවන්ට තහනම් මාධ්‍යක් ලෙසින් අප සැලකුවත් ඔවුන්ගේ භාෂාමය හැකියාවන් වර්ධනයට වැදගත් මෙවලමක් වන අවස්ථාවන් ඇත. තිරයේ යන වචන උචච්චාරණයට… සාවධානව  ඇහුම්කන් දීමට වගේම කවි, ගීත ගායනීය ස්වරූපයෙන් ගායනයට දරුවා හුරුවක් ලබනු ඇත.

භාෂාමය හැකියාවක් ඇති ඔබේ දරුවා සමහර විට ගණිතය විද්‍යාව වැනි සංකල්පයන් ගැන එතරම් කැමැත්තක් දක්වන්නේ නැති විය හැක. ඒ වගේම ස්වභාව ධර්මයට දක්වන නැඹුරුතාවයත් ප්‍රශස්ත මට්ටමින් දක්නට නොමැති වීමටත් පුලුවන

ඔබේ දරුවාගේ  තාර්තික සහ ගණිතමය බුද්ධිය  (Logical Mathamatical Intelligence)

 සමහර විට ඔබේ දරුවා වෙතින් ඉහතින් දක්වන ලද භාෂාමය හැකියාවන් දක්නට නොලැබුනත් ඔහු සතුව ඊට වෙනස් වූ හැකියාවන් දක්නට ලැබෙනු ඇති. ගණිතමය වශයෙන් වගේම තාර්තික ඥානයෙන් මේ දරුවා පොහොසත් විය හැකියි. තාර්තික සහ ගණිතමය ඥානයෙන් පොහොසත් වුන දරුවා වෙතින් දක්නට ලැබෙන ගති ලක්ෂන කීපයක් මෙසේ පෙන්නුම් කරනු ඇත.

සමහර විට ගණිත චක්‍රය කට පාඩමින් ඉගෙන ගැනීමට අකමැති දරුවා සිතින් ඉලක්කම් නිවරැදිව එකතු කිරීම හැකියාවක් දක්වනු ඇත. විද්‍යාත්මක කරුණු ගැන වැඩි උනන්දුවක් දක්වන අතරම තමාට ඇසෙන සහ දකින දෙයින් නිගමන ලබා ගැනීමට දක්ෂ වේ. නිවසේ මවට පියාට අමතක දුරකථන අංක දරුවාට හොඳින්  මතකයේ ධාරණය වී තිබෙන්න පුළුවන් අතර සුදොකු වැනි ක්‍රිඩාවන්හිද දක්ෂතාවයන් දක්වනු ඇත.

අද බොහෝ මව්පියන් පසුගාමී බවක් දක්වන පරිගණක සහ සන්නිවේදන තාක්ෂනයේදී දරුවා ඔබට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔහු සතු තාර්තික සහ ගණිතමය බුද්ධිය නිසාය.

දරුවෙකුගේ සංගීතමය බුද්ධිය  (Musical Intelligence)

සමහර විට බාල කාලයේ පටන්ම  ඔබේ දරුවා යම් රිද්මයානුකුල චලනයන්ට යහපත් ලෙසින් ප්‍රතිචාර දක්වන, ලයාන්විතව කවියක් , ගීතයක් ගායනා කිරීමේ හැකියාවෙන් යුක්ත බව මව්පියන් වශයෙන් ඔබටත් දැන ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. ඒ වගේම වාදනයේදී ඇති හැකියාව නිසාම සමහර විට ගීත වාදනය ඇසෙන විටම එහි සෘතිය තේරුම් ගැනීමට තරම් හැකියාවක් ඇත.දරුවා දවස පුරා වුවද ගීත ශ්‍රවණයට කැමැත්තක් දක්වන අතර විවිධ තාලයේ ගීත ගායනට ඇලුම් කරයි. ඒ වගේම වැඩිහිටියන්ට වඩා ඉක්මනින් ගීතයක පද සහ තාලය ග්‍රහණය කර ගැනීමේ හැකියාවන් දරුවන් සතුව පවතී.

 එවැනි සංගීතමය බුද්ධිය ඇති දරුවෙකු වෙතින් දකින ගති ලක්ෂණ ඔබේ දරුවා වෙතින්ද දැක ගන්නට ලැබෙනු ඇති.

දරුවෙකුගේ  කක්ෂීය බුද්ධිය   (Intrapersonal Intelligence )

තමන් ගැන තමන්ට වඩා හොඳින් දන්නා තවත් අයෙකු නොමැත. ඒ වගේම සමහර දරුවන්ට තමාගේ හැකියාවන් වගේම නොහැකියාවන් ඉතා හොඳින් හඳුනා ගැනීමේ ශක්තියක් තිබේ. විටෙක නිදහස් චින්තකයෙකි. අනවශ්‍ය අන්දමින් කලබලයට පත් නොවන චිත්ත ඒකාග්‍රතාවයකින් කටයුතු කරන භාවනාවට සිත යොමු කරන සතිමත් දරුවෙකි.මෙවැනි හුදෙකලා ජීවිතයට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන අතර ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ මනස දියුණු කරන, මානසික සුවතාවය ඇති කරන දාර්ශනික පොත් පත් කියවීමටය. මේ අන්දමින් ලබා ඇති කක්ෂීය බුද්ධිය නිසාම දිගු කාලීන වාසි වෙනුවෙන් කෙටි කාලීන වාසි අත් හැරීමට සූදානමින් සිටිති.

දරුවෙකුගේ  කායික බුද්ධිය ^Bodily Kineasthetic Intelligence)

දරුවන් කියන්නේ බෙහෙවින් ක්‍රියාශීලි කණ්ඩායමකි. ඒ නිසාම ඔවුන් ගස් නැගීම. බයිසිකල් පැදිම, පිහිනීමට වැඩි කැමත්තක් දක්වයි. වාහනයන ගමන් ගනන්ා අතර වාරයේ පවා රියදුරු සමීපයේ ගමන් කරමින් රිය පදවන ශිල්පීය දැණුම ගැන විමසනන්ට යොමු වේ. යම් කාර්යක නිරත වන විට දක්වන පිළිවෙළ සහ ක්‍රමනුකූල බව කායික බුද්ධියෙන් යුක්ත දරුවෙකුගේ සුවිශේෂී ගති ලක්ෂනයකි. අවදානම් ක්‍රිඩාවක පවා නිරත වීමට සූදානමින් සිටිති. මෙම ක්‍රියාශීලී ගති පැවැතුම් නිසාම දරුවා ස්වයංක්‍රිය ලෙසින්ම ව්‍යායාම සඳහා යොමු වෙන කායික බුද්ධියෙන් සමන්විත දරුවෙකුගේ ගති පැවැතුම් පෙන්නුම් කරනු ඇත.

දරුවෙකුගේ අවකාශීය බුද්ධිය ^ Spatial Intelligence)

දරුවන්ගේ බුද්ධිය අප නොදකින ලෙසින් සැඟව තිබුනත් ඒවා අවදි වෙන අවස්ථාවන් හඳාුනා ගැනීමට නම් මව්පියන් දැනුවත් වීම මෙන්ම දරුවන් දෙස අවදියෙන් බැලීම වැදගත් වෙනවා. වෘත්තීය කැමරා ශිල්පියෙකු නොවුනත් නැමරා කාචය සෞන්දර්යාත්මක ලෙසින් හැසිරවීමේ හැකියාවක් දරුවෙකු තුළ  ඇති අවකාශිය බුද්ධිය පෙන්නුම් කරන අවස්ථාවකි. නුපුරුදු වුනත් දරුවන් ආගන්තුක පරිසරයට ඉතා ඉක්මනින් අනුගත වෙනු ඇත. දිසාවන් ගැන මනා වැටහීමක් මෙන්ම පරිසරයේ විවිධ හඳ රටාවන් වෙන් වෙන් වශයෙන් හඳුනා  ගැනීමට දක්ෂ වෙති. උදාහරණ ලෙස බසයක, බයිසිකලයක..ත්‍රිරෝද රථයක හඬ වෙන්ව තෝරා ගැනීමට හපනුන්ය. ප්‍රහෙලිකා ක්‍රිඩාවන්ට මෙන්ම චෙස් වැනි ක්‍රිඩාවන්ට සමත්කම් දක්වති.

සන්නිවේදන තාක්ෂනය සමග ගලපන විට මාර්ග සිතියම් කියැවීමේදී වැඩිහිටියන්ට වඩා බාල පරම්පරාව ඉදිරියෙන් සිටිති. සිතියම් කියැවීමට, සිතියම් භාවිතයට මෙන්ම සැලසුම් රූප ගත කිරීම අවකාශීය බුද්ධියෙන් යුක්ත දරුවන්ට ඉතාම සරල කටයුත්තක් වනු ඇත.

දරුවෙකුගේ  ස්වභාවික බුද්ධිය  (Naturalist Intelligence)

සමහර දරුවන් කුඩා කාලයේ  පටන්ම පරිසරයට බෙහෙවින් ඇලුම් කරති. මලක් පිපෙන හැටි. වලාකුලක් යන්නේ කොහාටද වැනි ප්‍රශ්න රාශියක් ඔවුන්ට ඇත. එවැනි දරුවන් බාල කාලයේ පටන්ම සොබා දහම හොඳින් හඳාුනන අතර වගා කටයුතු වෙත වැඩි නැඹුරුතාවයක් ඇත. සතුන්ට ආදරය කරන අතර  පරිසරයේ ඇවිදින්නට කුරුල්ලන් සහ වෙනත් සතුන් ගැන නිරීක්ෂනය කිරීමට කැමැත්තක් වැඩි උනන්දුවක් දක්වනු ලැබේ. උදාහරණ ලෙස බල්ලන්ට ක්‍රිඩාවන් සහ විිවධ ඉරියව් පුහුණු කිරීමට උනන්දුවක් දක්වති, ඔබේ දරුවා වෙතින්ද මෙවැනි ගති පැවැතුම් පෙන්නුම් කරනවා නම් ඔහු සොබා දහමට ආදරය කරන චරිතයකි.

දරුවෙකුගේ  අන්තර් පුද්ගල බුද්ධිය ^ Interpersonel Intelligence)

 

සමාජ ජීවින් වශයෙන් අපට කිසිම දිනක හුදෙකලාව ජීවත් වීම අපහසුය. නමුත් සමහර දරුවන් මව් පියන් හැර වෙනත් කිසිදු කෙනෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වීමට පවා අකමැති දරුවන් සිටිති. නමුත් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට කැමැත්තක් දක්වන දරුවෙකුගේ ගති පැවැතුම් ඔබත් හඳුනා ගන්න. මෙවැනි දරුවන් සමාජය ප්‍රිය කරන අතර කණ්ඩායම් වශයෙන් ක්‍රිඩාවන්ට කැමැත්තක් දක්වති. එම කණ්ඩායමේ නායකත්වයට යොමු වෙන අතරම පුද්ගලයන් වෙත බැලීමේදි පටු වාද භේද නැත. තවත් අයෙකුට උපදෙස් දීම පමණක් නොව ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කරන උපේක්ෂා සහගත සහ සංවේදී ගති පැවැතුම් වලින් යුක්ත වේ.

. ඒ නිසා හැදෙන ගහට නිදහසේ හැදෙන්න ඉඩ දෙන්න. නමුත් අවශ්‍ය මග සලසා දෙන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝෂිනී කරුණානායක මහත්මිය

 ශ්‍රි ජයවර්ධනපුර රෝහල


                

පුතා හරිම Smart

ඔබේ දරුවා සමාජයේ වටිනාකමක් ඇති එහෙම නැත්නම් ස්මාර්ට් දරුවෙකු ලෙසින්  හැම දෙනාගේම ආදරය සහ අවදානය දිනා ගන්නවා නම් මව්පියින් ලෙසින් එය ඔබටත් නිහතමානී ආඩම්බරයක්. එහෙමනම් බාල කාලයේ පටන්ම දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුනු කාරණා කීපයක් තිබෙනවා.

දරුවා පිරිසිදුව තබන්න…

සාමාන්ය කියමනටත් කියන සේ පිරිසිදු දරුවෙක් සෝදා ඒ වතුර පානය කරන්න පුලුවනි. ජනවහරේ පිරිසිදු බවට ලබා දුන් අලංකාර වාක්ය එයයි. ඉතින් ඔබේ දරුවා ගැනත් සමාජය ඒ අන්දමින් කතා බහ කරනවා නම් සැබැවින්ම එය ඔබ විසින් දරුවාට ලබා දුන් සුවිශේෂී වරප්රසාදයක්. දරුවෙක් පිරිසිදුව තබා ගැනීමට අතිරේකව මුදල් අවශ්ය නැහැ. ඔබ සතු ඇදුම් වලින්ම ඒ වැඩ කොටස ඉටු කරන්න පුලුවනි. තිබෙන ඇඳුම් කීපය වුනත් සෝදා පිරිසිදුව අන්දවන්න. නිතර මුහුණ සෝදා , දත කට මැද පිරිසිදුව තබන්න. එවිට ඔබේ දරුවා ගැන සමාජයේ පිළිගැනීමක් ඇති වෙනවා.

පිළිවෙල…

දරුවෙකුගේ පිළිවෙල බාල කාලයේ පටන්ම ගොඩ නැගිය යුතුයි.එසේ නැත්නම් දරුවා සමග ඔවුන්ගේ අපිලිවෙලත් වර්ධනය වෙනු ඇති. ගත් දෙයක් ඒ තැන තැබීමට, පොත පත පරිස්සමින් පාවිච්චි කරන්න, ආහාර ගැනීමේදී තවත් අයෙකුට අප්රසන්න වන පරිදි කටයුතු නොකිරීම, ආහාර ගැනීමෙන් පසු එතැන පිරිසිදු කිරීම වැනි පුංචි පුංචි වුනත් දරුවාට කළ හැකි කටයුතු ඔවුන් විසින්ම ඉටු කිරීමට ඉඩ දෙන්න. එවිට දරුවා කුඩා කාලයේ පටන්ම යම් පිලිවෙලකට තමන්ගේ වැඩ කටයුතු කිරීමට හුරු පුරුදු වෙනු ඇති.

දරුවන්ටත් විනෝදාංශයක් 

අද දවසේ අප විසින් ගෙවන යාන්ත්රික ජීවිතයේදී කොතැනකින් හෝ යම් සතුටක් ලබා ගැනීමට ඉඩක් තිබීම ඉතාම වැදගත්. ඒ නිසා දරුවන්ටත් බාල කාලයේ පටන්ම විනෝදාංශයක් වෙනුවෙන් යොමු වීමට අවසරයක් ලබා දීම ඉතා වැදගත්. අතීතයේදී නම් දරුවන්ට විනෝදාංශ යනු ඔවුන්ගේ ජීවිතයේම කොටසක් වුනා. සරුංගලයක් හදන්න…යවන්න…පොල්කොල, කොස් කොළ සෙල්ලම් බඩු හදන්න..පීනන්න.. කවි කියන්න..වැනි එදිනෙදා ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන් අවසර තිබුනා. නමුත් කාලයත් සමග ඒ වෙනුවෙන් ඉඩහසර නැතැත් දරුවන්ටත් කුමන හෝ ක්රියාකාරකමක යෙදෙන්න ඉඩක් ලබා දීම ඉතා වැදගත්. මල් හදන්න, සූප ශාස්ත්ර , අත්කම්, ගීත ගායනය..වාදනය…නර්තනය වැනි කුමන හෝ විනෝදාංශයක යෙදෙන්න අවසරය තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාටත් යම් විනදොංශයක යෙදෙන්නට ඉඩ ලබා දීම වැදගත්.

උදව් ඉල්ලන්න

දරුවන් යනු තවමත් ඔබගේ ආදරය වගේම මාර්ගෝපදේශය අවශ්ය පිරිසක්. ඒ නිසා ඔවුන්ට උදව් වෙන්න. දරුවෙක් උදව්වක් ඉල්ලූ විට ‘‘ මට දැන් බැහැ…වැඩ තිබෙනවා යැයි …“ දරුවාගේ ඉල්ලීම ප්රතික්ෂෙප කරන්න එපා. යමෙක් උදව්වක් ඉල්ලන විට ඒ තුළ යම් මනෝවිදයාත්මක පිලිගැනීමක් තිබෙනවා. මට අම්මා හෝ තාත්තා වෙතින් මේ උදව්ව ලබා ගත හැකිය යන විශ්වාස සිතින් එන විට දරුවා පලවා හරින්න එපා. සැබැවින්ම කාර්ය බහුල ජීවිතයේදී දරුවා විසින් ඉල්ලා සිටින උදව්ව ඔබට ඒ අවස්තාවේදී ලබා දීමට නොහැකි බව ඇත්ත. නමුත් ඔබේ වැඩ කටයුතු අවදාන වූ පසුව හෝ දරුවා විසින් ඉල්ලා සිටි උදව්ව ලබා දීමට පොරොන්දු වෙන්න. පොරොන්දු වූ අන්දමින්ම එය ලබා දෙන්න.

උදව් වීම…

දරුවා ඔබේ උදව් ඉල්ලා සිටිනවා වගේම පෙරලා අනිත් අයටත් උදව් කිරීමේ පුරුදු දරුවා තුළ ගොඩ නගන්න.එය එකම කාසියක දෙපැත්තක් විය යුතුය. නැත්නම් දරුවා ඒක පාර්ශවීය වශයෙන් උදව් ඉල්ලන සහ අනුන් මත යැපෙන චරිතයක් ලෙසින් ගොඩ නැගෙනු ඇත. ඒ නිසා උදව් ඉල්ලීම වගේම දරුවාට හැකි සෑම විටම උදව් ලබා දීමටත් පුරුදු වෙන්න. එවිට ඔබේ දරුවාගේ යහපත් ගති පැවැතුම් ගැන සමාජය විසින් කතා බහ කරනු ඇත.

සමාජශීලී වීම…

දරුවන්ගේ කුඩා කාලයේදී කුලෑටි නැති චරිත ලෙසින් සිටියත් කාලයත් සමග ඔවුන් සමාජය සමග ගනුදෙනු කිරීමට අකමැති චරිත බවට පත් වීමේ රටාවක් දැන් ගොඩ නැගී තිබෙනවා. ජංගම දුරකථන සහ අන්තර්ජාල නිසා මේ තත්වය ගොඩ නැගී ඇති බවට අපි චෝදනා කරනවා. ඒත්  සමාජය සමග ගනු දෙනු නොමැති හුදෙකලාගත චරිතයක් ලෙසින් ජීවත්වීම අනුමත කිරීමට නොහැකි අතර එය ප්රායෝගික  නොවේ. ඒ නිසා කොතරම් විද්යුත් මාධ්ය සමග ගණුදෙනු සිදු වුනත් නිවසට නෑ හිත මිතුරෙක් පැමිණි විට ඔවුන් සමග සුහද පිලිසදරක යෙදෙන්නට දරුවාටත් ඇරයුම් කරන්න. මේ තත්වය නොමැති නිසා අද පරම්පරාව සහ ලේ ඥාතීන් අතර පවා සම්බන්ධතාවයන් නොමැති පිරිසක් ලෙසින් නිර්මානය වෙන බවට අපි අනතුරු දැනුම්දීම් කළත් ඒ තත්වයෙන් මිදෙන්නට අවශ්ය කටයුතු සැලසුම් කිරීමට තවමත් ප්රමාද වී සිටිනවා. නමුත් ඔබේ දරුවාට සමාජය සමග කටයුතු කිරීමේ වැදගත්කම ක්රියාවෙන් අවබෝධ කර දුන් විට ඔවුන් වෙනුවෙන්ද සමාජයේ වටිනාකම් ගොඩ නැගීම අනිවාර්යෙන්ම සිදු වෙන්නකි.

සවන්දීමට පුරුදු කරන්න…

බොහෝ දරුවන් තුළ අද සවන්දීමේ පුරුදු සම්පූර්නයෙන්ම ගිලිහී ගොස් ඇත. කොටින්ම ඔවුන් සවන්දීම ගැන කථා කරන්නේත් ඉතාම අප්රසන්න ලෙසයි. ‘‘ මම මේ කණෙන් අහලා අනිත් කනින් පිට කරනවා..ඔවුන් උජාරුවෙන් එලෙස කිව්වත් සවන්දීම නිසා ඔවුන්ගේ ජීවිතයේ මානසික ඒකාග්රතාවය ගොඩ නැගෙනවා පමණක් නොව දරුවා අවධානයකින් සවන්දීම සිදු කරන විට දරුවා මුල් කර ගෙනත් සමාජයේ වටිනාකම් ගොඩ නැගෙනු ඇත.

ධනාත්මකව සිතන්න..

දරුවන්ටත් බාල කාලයේ පටන්ම ධනාත්මකව සිතන්න පුරුදු කරන්න. ඔව්..එය මට කළ හැකියි..යන විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දීමට හුරු කරන්න. එවැනි දරුවන් සමග ගනු දෙණු කිරීම සමාජයටත් ඉතා පහසු අතර එවැනි දරුවන් ගැනත් සමාජය බෙහෙවින් ප්රශංසාවෙන් කතා බහ කිරීම අනිවාර්යෙන්ම සිදු වෙන්නකි.

ඒ නිසා ඔබේ දරුවා දෙස බලා  අනේ ඔයාගේ පුතා හරිම  Smart කියන දිනයකදී එහි නිහතමානී අයිතිකරු ඔබ නොවේද..?

 

 

දරුවන්ට සලකන හැටි

දරුවන් කියන්නේ මව්පියන්ට සිටින වටිනාම සම්පතක්.  නමුත් දරුවන් හදා වඩා ගැනීමත් අප සිතන තරම් පහසු නැහැ. දරුවෙක් කායික වශයෙන් පෝෂනය කිරීම වගේම මානසික සුවතාවයකින් යුක්තව හදා වඩා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් කුස පිලිසිඳ ගත් පමණින්ම ඔවුන් බිහි කිරීමෙන් පමණක් ඔබ සැබෑ  දෙමව්පියෙක් යැයි සිතන්න බැහැ.. එහෙම නම් අපි දරුවෙකුට සැලකිය යුත්තේ කෙසේද….?

හැම පවුලක්ම එක වගේ නැහැ…

අපි හිතන විදිහට හැම පවුලක්ම සුන්දර නැහැ. ඒ වගේම හැම දෙමව්පියෙක්ම දරුවා කියන්නේ තමන්ට ලැබුන ඉහළම තෑග්ග විදිහට සලකන්නෙත් නැහැ. සමහර විට දරුවෙක් ලැබුනත් එය මව්පියන්ට අනවශ්ය වේලාවක වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අනාරාධිත හෙවත් යම් යම් අපයෝජනයක ප්රතිඵලයක් විය හැකියි. තවත් ලෙසකින් කිව්වොත් දරුවා ලැබීමෙන් පසු පියා පවුල හැර දමා ගොස් සිටින හුදෙකලා මවක් වීමට පුළුවනි. මෙවැනි මානසික පසුබිමක සිටින මව්පියන් ඇසුරේ හැදෙන වැඩෙන දරුවන්  මුල් කර ගත් විවිධ ගැටලු සහ ගැටුම් ඇති වෙන්න පුලුවනි.

දෙමව්පියන්ගේ මානසික ගැටලු සහ ගැටුම් දරුවන්ටත් බලපානවා…

සමහර විට දරුවාගේ උපතෙන් පසුව පියා පවුල හැර දමා යෑම එසේත් නැත්නම් මරනයට පත් වීම වැනි අනපේක්ෂිත සිදු වීම් සිදු වෙන්න පුලුවනි.එවැනි අවස්ථාවකදී අම්මා කියන ගැහැණු චරිතය දැඩි මානසික පීඩනකකට පත් වෙනවා. ඇය දරුවා මුල් කර ගෙන ජීවත් විය යුතු වුනත් සමාජයෙන් ලැබෙන අපවාද වගේම අනුකම්පාව නිසා මානසිකව දැඩි පිඩනයකින් ජීවත් වීමට පුලුවනි. ඒ නිසාම සමහර විට මේ පීඩනය දරුවා වෙතින් මුදා හැරෙන අවස්ථා තිබෙනවා. ඒ විදිහට මානසික ගැටුම දරුවා වෙතින් මුදා හැරෙන විට අනාගතයේදී දරුවන් තුළ විවිධ මානසික අසහනකාරී තත්වයන් ගොඩ නැගෙනවා.

සමාජයේදී හැසිරෙන ආකාරය…

දරුවා හැමදාම තොටිලි වැටේ සිටින්නේ නැහැ. ඔවුන් කවදා හෝ දිනක අත පය අලු ගසා නැගිටිනවා. ළදරු පාසල එහෙම නැත්නම් දිනපතා පාසලට ඇතුලු වීමෙන් පසුව දරුවාට සම වයස් කණ්ඩායම් තුළ මව්පිය සෙනෙහස විඳින දරුවන් දකින්න ලැබෙනවා. ඒ සමගම මේ දරුවා තුළ තමා ගැනම ඇති වෙන්නේ ආත්මානුකම්පාවක්. නමුත් ඔවුන් එය පිට කරන්නේ නැහැ. තනියම දරා ගෙන සිටියත් එහි පිපිරීම අතිශයින්ම දරුණුයි.

දෙමව්පියන්ට වෛර කිරීම…

හැම දෙමව්පියෙකුටම දරුවන් මුල් කර ගෙන ආර්ථික සැප සම්පත් ලබා දීමට නොහැකි බව ඇත්ත. නමුත් දරුවාට සෙනෙහස දැක්වීමට මිළ මුදල් අවශ්ය නැහැ. එහෙත් පවුල් ගැටුම් තුළ ඇති අසහනකාරී පසුබිම නිසා දමව්පියන් විසින් දරුවන්ට ආදරය, කරුණාව දැක්වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවා යටි සිතින් තම දෙමව්පියන්ට දෝෂාරෝපණය කිරීමට පටන් ගන්නවා. ඔවුන් ගැන වරදකාරී සිතුවිලි දරුවාගේ සිතේ ගොඩ නැගෙනවා. 

ඒ වගේම මෙවැනි ආදරය නොලද දරුවන් විසින් පංතියේ හෝ අසල්වැසි නිවෙස්වල නිවසන දෙමව්පියන්ගේ ආදරය ලබන දරුවන්ට වෛර කිරීමට පටන් ගන්නවා. එය දරුවා නොදැන ඔහුගේ මානසිකත්වය වෙතින් ඇති වෙන පසුබිමක්. එවැනි අවස්ථාවක ඔවුන්ට දොස් නැගීම හෝ දඬුවම් කිරීම කිසිසේත් කළ යුතු නැහැ.

ඔවුන් මුරන්ඩුයි…

බාල කාලයේ  මෙවැනි මානසික ගැටුම්කාරී පරිසර තත්වයන් තුළ හැදුන වැඩුන දරුවන් සැබැවින්ම මුරණ්ඩු ගති පැවැතුම්වලින් යුක්තයි.ඒ නිසා පංතියක මුරණ්ඩු හැසිරීම් ඇති දරුවෙක්  ඇත්නම් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ කොතැනක හෝ වරදක් සිදු වි තිබෙන්න පුළුවනි. ඒ නිසා නිතරම දරුවෙක් මුරණ්ඩු ගති පැවැතුම් ඇත්නම් දඩුවම් කිරීමට වඩා දරුවා මුරණ්ඩු ඇයි යන්න ගැන සිතන්න.

අවධානයක් නැති වීම…

බාලකාලයේ පටන්  විවිධ මානසික ගැටුම් මත ජීවත් වුන දරුවෙක් පාසල් අධ්යාපනය තුළ අවධානයක් නැති දරුවෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. එවැනි දරුවන් තුළ ඇති ඌන අවධානය නිසා ඉගෙනුම් කටයුතුවලදී පවා ඉතාම පසුගාමී දරුවෙක් වෙන්න පුලුවනි. ඊට බලපාන ප්රධාන හේතුව වන්නේ තොටිල්ලේ සිටින කාලයේ පවා නිවස මුල් කර ගත් ගැටුම්කාරී පරිසරයෙන් උකහා ගත් අමිහිරි අත්දැකීම්වල ප්රතිඵල බැව් මතුපිටින් අප නොදකින හේතුවක්.

මානසික ගැටලුවලින් හෙම්බත්…

ඔබ නොදැන බාල කාලයේ පටන් මව්පිය ගැටුම් නිසා ආදරය , සෙනහස අහිමි වුන දරුවන් පසුකාලයේදී විවිධ මානසික ගැටලු වලින් හෙම්බත් චරිත ලෙසින් සමාජගත වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ප්රාථමික පංතිවලදී මුරණ්ඩු සහ කලහකාරී චරිත වුනත් යම් වයසකට පැමිණෙන විට මෙම දරුවන් සමාජයේ හුදෙකලා චරිත ලෙසින් හෝ ආත්මානුකම්පාවට පත්ව මානසිකව විවිධ හැල හැප්පීම් වලට යොමු වීමට ඉඩ තිබෙනවා. සමාජයේදී තමා අවතැන්ය යන සිතුවිල්ල ඔවුන් විසින්ම ගොඩ නගා ගන්නවා.

මේ අන්දමට බලන විට දරුවෙක් බිහි වූ පමනින්ම ඔවුන් අනාගතයේදී යහපත් පෞරෂයකින් සමාජගත වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මව්පියන්ගේ ආදරය, අවධානය වගේම පවුලක් යනු සෙනහසේ නවාතැනක් යන සංකල්පය මුල් කර ගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත්. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබට විවිධ ආර්ථික , සමාජයීය සහ වෙනත් විවිධ ගැටලු තිබුනත් ඒවායේ පීඩනය දරුවන් මතින් පිට කිරීම කිසිසේත්ම සුදුසු නැති බව අමතක කරන්න එපා.

 

 

පහුගිය කාලේ ඔන්ලයින් කරන්න දරුවට දුන්නු ෆෝන් එක දැන් ගෙදරටම හිසරදයක් වෙලාද?

පසුගිය දුෂ්කර වසර කිහිපය තුළ ලෝකයක් ලෙසත් රටක් ලෙසත් බාල මහලු භේදයකින් තොරව ගත කළේ දුෂ්කර කාලයක් කිව්වොත් එහි වරදක් නැහැ. කොරෝනා රැලි එක පිට එක ලොව වටා ගමන් කරන අතරේම රටක් ලෙස මතු වුණු දුෂ්කරතා නිසාත් අපි ඉතා අසරණ තත්ත්වයකට පත් වූවා. වසර තුනකට ආසන්න කාලයක් නිවෙස්වලට කොටු වී යහළු යෙහෙළියන්ගෙන් දුරස් වී ප්‍රායෝගික අත්දැකීම් කිසිවක් නොලබා විද්‍යුත් කිරයට යොමුවන්නට දරුවන්ට සිදු වූයේ අවාසනාවකටය. අද වන විට දරුවන් පාසැල් ගොස් යහළු යෙහෙළියන් සමග කෙළිදෙලෙන් කාලය ගත කළත් ගත වුණු අදුරු කාලපරිච්ඡේදයේ කලු සෙවනැලි මෙන් විද්‍යුත් තිරයට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය මෙන්ම මානසික සුවය අහිමි කරගත් දරුවන් ගණන අසීමිතය. මේ තත්ත්වයේදී දෙමාපියන් ඉතාම අසරණ තත්ත්වයට පත් වුවත් මෙවැනි ප්‍රතිඵල ලැබීමට දෙමාපියන්ගේ නොදැනුවත් බවද බලපාන බව කිව යුතුමය.

දරුවාට නිදහසේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නොවන සේ මව්පියන් වෙනම ස්ථානයක් සකස් කර දෙන්නේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය නිසාමය. එයිනුත් යම් දරුවන් පිරිසක් එහි නිවැරදිව නිරත වුවත් යම් යම් හේතු මත ඇතැම් දරුවන් අනිසි ලෙස අන්තර්ජාල භාවිතයට මෙන්ම විද්‍යුත් තිර භාවිතයට යොමු වෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවෙකුට විද්‍යුත් තිර ලබා දීමේදී මව්පියන්ට පැවරෙන වගකීම අති විශාලයි. අන්න ඒ නිසාම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් අන්තර්ජාලය, විද්‍යුත් තිර ලබා දෙනවා නම් පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුමය. 

  1. දරුවා මාර්ගගත අධ්‍යාපනය ලබන තිරය නිවසේ මැද තියන්න – දරුවා ඔන්ලයින් අද්‍යාපනය ලබන මොහොතේ පමණක් නොව විද්‍යුත් තරයට යොමු වන ඕනෑම අවස්ථාවක එම තිරය නිවැසියන්ට පෙනෙන සේ තැබිය යුතුය. එවිට දරුවා නිරත වන්නේ කුමන කාර්යයකද යන්න නිවැසියන්ගේ ඇස ගැටෙන අතරම එය දරුවාට අනවශ්‍ය ඇබ්බැහි වීම් වෙත ළඟා වීමට ඇති මග අහුරයි. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවාට ලබා දීමට සුදුසුම උපාංගය වන්නේ ඩෙක්ස්ටොප් පරිගණකය බව හොඳින් මතක තබා ගන්න. දරුවා ඉගෙනුම් කටයුතුවල නිතරවන අවස්ථාවේදී ඔබේ නිදහස අහිමි වුවත් දරුවාට ඉගෙනුමට අවශ්‍ය නිදහස් වටපිටාවක් සකසා දීමට මව්පියන් කැප විය යුතුය.
  2. දරුවාට දින චර්යාවක් තිබිය යුතුය – උදාහරණයක් විදියට අවුරුදු දහයක දරුවෙක් ගැන අපි හිතුවොත් ඒ දරුවා උදෑසන ආහාරය ගන්නවා, යම් වෙලාවක් සෙල්ලම් කරනවා, පොත් පත්වල වැඩ කටයුතු සිදුකරනවා වගේ දවසේ ක්‍රියාකාරකම්වලට කොලේක සඳහන් කරලා රූප ඇඳලා බිත්තියේ එල්ලා තබන්න පුළුවන්. 
  3. විද්‍යුත් තිර, අන්තර්ජාලය ගැන මව්පියන් දැනුවත් විය යුතුය – උදාහරණයක් විදියට දරුවෙකු අනිසි දේ සඳහා යොමු වුවහොත් එයාලා මොනවද ඕවා ගැන නොදන්නේ, අපිට දැනුම නැහැ එයාලා කරන දේවල් සොයන්න වැනි වගකීම් විරහිත ප්‍රකාශ කිරීම මව්පියන්ට නිදහසට කරුණක් ලෙස දැක්විය නොහැකිය. දරුවෙකු අසනීප තත්ත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට මව්පියන් දෙවරක් නොසිතනවා මෙන්ම දරුවෙකු විද්‍යුත් තිරයට, අන්තර්ජාලයට විවර කරනවා නම් ඒ සම්බන්ධව නිසි ලෙස දැනුවත් වීමටත් මව්පියන් දෙවරක් නොසිතිය යුතුය. නව යොවුන් විය කියන්නෙත් තර්කානුකූලව සිතා බලා නිවැරදි තීරණ ගැනීමට නිසි හැකියාවක් ඇති වයස් සීමාවක් නොවන නිසා නොයෙක් දේ වෙත දරුවෙකු ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. දරුවා භාවිත කළ පසු අන්තර්ජාල ඉතිහාසය පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයකි. ඒ සඳහා මව්පියන් අනිවාර්යෙන්ම දැනුවත් වය යුතු අතරම නැතිනම් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් භාගත කර තබා ගත යුතුමය.
  4. සීමාමායිම් නම්‍යශීලී කිරීම – උදාහරණයක් විදියට දරුවෙකුට විද්‍යුත් තිරය යම් කාලයකට සාමාන්‍යයෙන් පැය භාගයකට ලබා දෙන අවස්ථාවකදී එයා තව තවත් කාලය ඉල්ලා සිටිනවා නම් එනම් සීමා මායිම් නම්‍යශීලි කිරීම සිදුකරනවා නම් එය සුදුසු දෙයක් නොවේ. පැය භාගයකට දරුවාට දෙන දේ විනාඩියක කාලයක් වැඩි වුණත් එහිදී දරුවාට වරප්‍රසාද අහිමි වන බව ඒත්තු ගැන්විය යුතුයි. උදාහරණ විදියට ඔයා අද අම්මා කියපු වෙලාවට වඩා වැඩි වෙලාවක් ටැබ් එක පාවිච්චි කළා. ඒ නිසා අම්මා හෙට දවසට ඔයාට ටැබ් එක දෙන්නේ නැහැ. අන්න ඒ විදියට දරුවෙකුට නියමිත කාලයට වැඩ කිරීමට හුරු කරවීම බොහෝ සෙයින් වැදගත්. 
  5. දෙමාපියන් දරුවන් ඉදිරියේ විද්‍යුත් තිර භාවිතය අවම කිරීම – අද වෙද්දී රැකියාවන් නිසාත් දෙමාපියන් මාර්ගගත ක්‍රම යොදාගන්නවා. ඊමේල් පරීක්ෂා කිරීම වැනි දේවල් දෙමාපියන්ටත් තිබිය හැකියි. නමුත් නිවසේදීත් විද්‍යුත් තිරය මත දෙමාපියන් වැඩි වේලාවක් සිටීමත් දරුවන් විද්‍යුත් තිරයට ඇබ්බැහි වීමට පූර්වාදර්ශයක් සපයනවා. එමගින් දරුවා විද්‍යුත් තිරය වෙත යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි.

ඇතැම් දරුවෝ මේ වෙද්දී ඔන්ලයින් අධ්‍යාපනය මුවාවෙන් මව්පියන්ට හොර රහසේ වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙලා. 

ඔව් මේ හා සම්බන්ධ බොහොමයක් අත්දැකීම් මට සායනවලදී ලැබී තිබෙනවා. දවසක් සායනයකට සහභාගී වුණු තාත්තා කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල වැඩි වුණු බවත් සොයා බැලූ පසුව එහි අංක ලබා ගෙන ඔහුගේ පුතා වීඩියෝ ගේම් මිල දී ගෙන ඇති බවත් පැවසුවා. අද වෙද්දි දරුවන්ට නුසුදුසු වීඩියෝ ගේම් බොහොමයක් තියෙනවා. ඔබේ දරුවන් මොන විද්‍යුත් ක්‍රීඩාවටද යොමු වී තිබෙන්නේ කියා ඔබ දැන ගත යුතුයි. දැනුවත් විය යුතුයි.

නුසුදුසු වීඩියෝ ගේම් මගින් දරුවන්ට ඇති වෙන බලපෑම් මොනවද?

  1. ප්‍රචණ්ඩතාවය කැටි වුණු වීඩියෝ ගේම් – ගහමරා ගැනීම්, වෙඩි තැබීම් සහිත වීඩියෝ ගේම් වලට යොමු වුණු දරුවන් ප්‍රචණ්ඩකාරී ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ ඒවායින් උකහා ගන්නවා. 
  2. අනවශ්‍ය ඉලක්ක වෙත දරුවන් යොමු කරන වීඩියෝ ගේම් – ඔබ මේ ඉලක්කයට යා යුතුමයි. නැතිනම් ඔබ ඔබටම මෙසේ හානි කරගත යුතුයි යන අනවශ්‍ය  පණිවිඩ දෙන ගේම් මගින් දරුවන් අසරණ තත්ත්වයටත් තමාටම හානි කරගන්නා තත්ත්වයටත් පත් විය හැකියි. 
  3. ඇබ්බැහි වීම් ඇති කරවන වීඩියෝ ගේම් – ඇතැම් වීඩියෝ ගේම් නිර්මාණය කර ඇත්තේ ඇබ්බැහි ‍වන ආකාරයටයි. එය මත්දුව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් මෙන් දරුවන්ට නැතිව බැරි විය හැකියි. එවිට දරුවාට පාලුව, කාන්සිය ඇති කරමින් දෛනික ජීවිතය බාධා පමුණුවයි. 
  4. දරුවන් අනවශ්‍ය පුරුදුවලට යොමුකරවන වීඩියෝ ගේම් – නව යොවුන් විය යනු වරදට වහා පොළඹවා ගත හැකි වියකි. අද වන විට අන්තර්ජජාලයේ පවතින ඇතැම් වීඩියෝ ගේම් මෙවැනි දරුවන් අනවශ්‍ය  වගේම වැරදි භාවිතයන් සඳහා යොමුකරනු ඇත. අනවශ්‍ය ඇසුරු ගොඩ නැංවීමට ද එවැනි වීඩියෝ ගේම් හරහා හැකියාව ඇත. 

බොහෝ සෙයින් ආවේගශීලී, ඉවසිලිමත් බව අවම, අඩු අවධානය ඇති දරුවන්ට වීඩියෝ ක්‍රීඩා ලබා දීම කිසිසේත්ම සිදුසු තත්ත්වයක් නොවේ. 

මව්පියන් මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද? 

අපි දරුවොත් එක්ක ඉන්නේ යාළුවෝ වගේ. ඉතිං අපි මේ දේවල් ඉවත් කලොත් දරුවා අපි එක්ක තරහා වෙයි. සමහර දෙමාපියෝ සිතන්නේ ඒ විදියට. දරුවොන්ට පාසැලෙන් පන්‍තියෙන් ඕනෑ තරම් යාළුවෝ සොයා ගන්න පුළුවන්. ඒත් දෙමාපයින් ඉන්නේ එච්චරයි. යාළුවෝ තරහා වුණාම මූණ ඇඹුල් කරගත්තා වගේ දෙමාපියන් ඒ ගැන දුක්විය යුතු නැහැ. මවුපියන්ගේ වගකීම එයින් තමන්ගේ දරුවා මුදා ගැනීමයි. තත්ත්වය දරුවාට පැහැදිලි කරලා, ඔහුගේ/ඇයගේ වරප්‍රසාද අවම කරලා මෙයින් මුදවා ගැනීමට මව්පියන් උත්සාහ කළ යුතුයි. එතැනදී අපි සැලකිලිමත් විය යුතු දෙයක් වන්නේ අධිකව ඇබ්බැහි වූ දරුවෙක් එයින් මුදවා ගැනීමට ළමා සහ නව වෙයාවුන් වයස පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ක්‍රියාත්මක වීම ඉතාම වැදගත් වෙනවා. නමුත් සුළු වශයෙන් ඇබ්බැහි වූ දරුවෙක් දෙයින් දරුවා ගලවා ගැනීමට දරුවාගෙන් ඈත්කරන දේ වෙනුවට යම් ආදේශකයක් ලබාදීම සම්බන්ධවයි. එනම් දරුවාගේ ඒ හිස්වන තැන පිරිවීමට යමක් දරුවා වෙනුවෙන් ලබාදිය යුතුයි. එය එය සමානම දෙයක් නොවුණත් ආදේශකයක් දිය යුතුයි. 

උදාහරණ ලෙස හිතේ ඇති වෙන පාළුව මකාගන්න ආදේශකයක් ලෙස කැරම් බෝඩ් එකක්, ගෙදර තාත්තා, අයියා එක්ක ක්‍රිකට් ගහන්න, බයිසිකල් පදින්න අවස්ථාවක් වශයෙන් ආදේශක ඇති කරමින් සිතේ ඇති වන සංකූලතා අවම කර ගනිමින් දරුවා එයින් මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා. 

ඒ වගේම අපි අපේ දරුවන්ට සමාජ වගකීම සම්බන්ධව පූර්වාදර්ශ සැපයීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට කසල බඳුනක වටේටම කොළ එකතු වෙලා තියෙන අවස්ථාවක මව්පියෙක් වැඩිහිටියෙක් විදයට එයින් එක කොළයක් ඇහිඳලා බඳුනට දමන්න ඔබට පුළුවන් නම් සමාජ වගකීම ගැන දරුවන්ට කියා දෙන්න එය හොඳම අවස්ථාවක්. එවිට අපි දරුවන්ට තමාට පුද්ගලික වාසි නොමැතිව යමක් කිරීමට දරුවාන්ව යොමු කිරීම ඉතාම වැදගත්. තමන්ට වාසියක් නැතිව සිදුකරන දෙයක් වුවත් වක්‍රාකාරව යම් දවසක පැමිණෙනවා. එය පාසලේදී ගෙදරදි අනිවාර්යෙන්ම දරුවන්ට කියා දුය යුතුයි.

අද පවතින ආර්ථික දුෂ්කරතා මැද පන්ති කාමරයක ආර්ථික දුෂ්කරතා මැද කුසගින්නේ පාසාලට එන දරුවෙක්ට උදව් කළ හැකි තවත් දරුවෙක් සිටී නම් ඒ දරුවාට ඒ අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. මෙවැනි දේ ප්‍රසිද්ධියකින් තොරව ගුරුතුමිය/වැඩිහිටියෙක් හරහා සිදුකරන්නට දරුවා හුරු කරවීමත් ඉතා වැදගත්. තවත් අයෙකුගේ යහපත උදෙසා යමක් කරන්නට දරුවෙකුට පූර්වාදර්ශයක් සැපයීම කළ හැකි නම් පවුලක් සමාජයක් රටක් ලෙස අපිට සාර්ථක ඉදිරි ගමනක් පවතිනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 


                

විද්‍යුත් තිරය හා අපේ දරුවන් ගැන අපි නොදන්න දේ …

අතීතයේදී දරුවන්ගේ අත්වල ජංගම දුරකතන දකින්න නොලැබුණත් අද වෙද්දී දුරකතනයක් අතේ නැති දරුවෙක් දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒත් ඒ තත්ත්වය සාධාරණීකරණය කරන්නට මෙන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පෙරට ඇවිත් තිබෙනවා. ඒ කොහොම වුණත් විද්‍යුත් තිරය දරුවෙකු වෙනුවෙන් ලබා දෙනවා නම් දෙමාපියන් ලෙස අප වෙත විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතුමයි. දුරකතනය, පරිගණකය වගේම රූපවාහිනියත් දරුවාට භාවිතයට දිය යුතු සීමාව වැඩිහිටි අප විසින් දැන සිටීම ඉතා වැදගත්.

ඇතැම් දෙමාපියන් පවසන පරිදි දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය නිසා දුරකතනයක් අරන් දුන්නත් දැන් දැන් දරුවා එයින් මුදවා ගැනීමට ඔවුන් අසමත් වී සිටිනවා. ඒ වෙනුවෙන් හේතු ලෙස ඇතැම් දෙමාපියන් ඔවුන් සතු තාක්ෂණික දැනුම මදකම වැනි හේතු ඉදිරිපත් කරන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙතැනදී දෙමාපියන් විසින් දරුවෙකුගේ මනෝමීය කුසලතා අවබෝධ කරගෙන නිවසේ පරිසරය එයට අනුව හැඩ ගැස්ස වීම සිදු කළා නම් එවැනි තත්ත්වයන් නිවෙස් තුළ ඇති වීමට තිබෙන ප්‍රවණතාවය ඉතා අවමයි. අපි අවශ්‍යතාවයට අනුව විද්‍යුත් තිරය භාවිත කළ යුතු ආකාරය, එය භාවිත කිරීමට සුදුසු කාල සීමාව දරුවාට අවබෝධ කරවීම ඉතාම වැදගත් වෙනවා.

හැම දරුවෙක්ම විද්‍යුත් තිරය භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙනවාද?

කිසිසේත්ම නැහැ. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා ලොව දරුවෝ ඕනෑ තරම් කුසලතා ලබාගන්නවා. උදාහරණයක් විදියට තමන්ගේ රටේ පහසුකම් නැති විෂය මාලා වෙනත් රටකට ගොස් අධ්‍යයනය කරන්න අපි හැමෝටම ආර්ථික හැකියාව නොමැති වෙන්න පුළුවන්. නමුත් ලොව වටා ඇති දැනුම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලබාගෙන තමන්ගේ ඉලක්ක සපුරා ගන්නා දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. කොහොම වුණත් විද්‍යුත් තිර භාවිතයේදී අයහපත් පැත්තට යොමු වෙන්න ප්‍රවණතාවය යැඩි පිරිසක් සිටිනවා. ඔවුන් විද්‍යුත් තිරය අසීමාන්තිකව ඇබ්බැහි වීම නිසා ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි දරුවෝ කාණ්ඩ කිහිපයක් සිටිනවා.

  • ආවේගශීලී පෞරුෂයක් ඇති දරුවෝ – දරුවෙකුට පුංචි කාලේ ඉඳලම සම්මා සතිය වැඩීමට ආනාපානසති භාවනාව හුරු කරලා, මාංෂ පේශී සැහැල්ලු කිරීමේ ක්‍රම හුරු කරලා නව යොවුන් වියට එළැඹීමට පෙර සිටම ඔවුන් වෙනස් කළ හැකි නම් නව යොවුන් වියට එළැඹෙන ඒ දරුවන් ආවේගශීලී පෞරුෂයන් ඇති දරුවන් බවට පත්වන්නේ නැහැ. එය දරුවෙක් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීම අඩු කරන්න සමත් වෙනවා.
  • අඩු අවධානය ඇති දරුවෝ – සාමාන්‍යයෙන් එක් දරුවෙක් පොතක් විනාඩි 20ක් කියවද්දි තවත් දරුවෙක්ට විනාඩි දහයක්වත් එහි රැඳී සිටීම අපහසු විය හැකියි. ඒ දරුවාට පිපාසය, කුසගින්න, නිදිමත වැනි අවශ්‍යතා ඇති විය හැකියි. සාමාන්‍යයෙන් පොතක් කියවද්දි අවම වශයෙන් විනාඩි 10ක්වත් අවධානය තිබිය යුතුයි. නමුත් වීඩියෝ ක්‍රීඩාවක යෙදීමේදී එතරම් කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. අන්න ඒ නිසා අඩු අවධාන ඇති දරුවන් විද්‍යුත් තිරය දෙසට යොමු වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාම දෙමාපියන් දරුවන්ගේ එවැනි තත්ත්ව හඳුනා කුඩා වියේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.
  • නිවසේ සීමා මායිම් නැති කම – උදාහරණයක් විදියට මව විසින් සකසා ඇති ආහාරය යම් දරුවෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඇතැම් මව්වරු ඉන්නවා දරුවා ඉල්ලන දේ හදලා දෙන. අන්න එතැනදී සිදු වෙන දේ අප හඳුන්වන්නේ සීමා මියිම් නැති දෙමාපියකරණය කියලා. එවැනි අත්දැකීම් සහිත නිවෙස්වල දරුවන් විද්‍යුත් තිරවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩියි. එය දෙමාපියන් අතින් සිදුවන වරදක්. අපි එය නිවැරදි කරගත යුතුමයි.
  • ඔරොත්තු දීමේ හැකියාව අඩු දරුවන් – ඉක්මනින් සිත රිදව ගන්නා, ඉක්මනින් කම්මැලි දැනෙන මානසික තත්ත්වයක සිටින දරුවෙක් විද්‍යුත් තිරය වෙත යොමු වෙන්නේ එවැනි හැඟීම් හමුවේ තමාට ඔරොත්තු දීමට ඇති හැකියාව අවම නිසයි. සින්දුවක් අහන්න, පරිසරය විඳින්න, ඇවිදින්න පුහුණුවක් නොමැති නම් ඔරොත්තු දීමේ නොහැකියාවත් එක්කම එවැනි දරුවෝ විද්‍යුත් තිර වෙත යොමු වෙන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසයි දරුවෙකුගේ මනෝමීය කුසලතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි නිවසේ පරිසරය වෙනස් කළ යුතුයි.

විශාදය තත්ත්වයේ සිටින නව යොවුන්විය දරුවන් – අද වෙද්දී දරුවන් සිය දෙනෙක් ගත්තොත් දහතුනත් දාසයක් අතර ප්‍රමාණයක් විශාදයට පත් වෙලා. ඒ දරුවෝ ජීවත් වෙන්නේ හරිම හිස් බවකින්, එපා වුණු ස්වභාවයකින්. මේ එපා වීම/හිස් බව පුරවගන්න එවැනි දරුවෝ විද්‍යුත් තිරවලට යොමු වීමේ ඉඩ කඩ වැඩියි. දරුවෙකුගේ හැසිරීම මත වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමෙන් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට මව්පියන්ට හැකියාව ලැබෙනවා.

අද වෙද්දි අවුරුදු පහට අඩු දරුවන් අතේ පවා දුරකථනයක් 

  • සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස වෙන්නේ අවුරුදු දෙකට අඩු දරුවෙක් ඇහැරිලා ඉන්නවා නම් නිවසේ රූපවාහිනිය පවා ක්‍රියාත්මක කරන්න එපා කියලයි. මොකද ඒ වයසේදී දරුවාගේ මොළය ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ස්නායු ජාලා වේගයෙන් වර්ධනය වෙනවා. මේ නිසා විද්‍යුත් තිරයක් වැනි සාමාන්‍ය පරිසරයේ නොමැති දෙයක් නිසා ඇති වෙන අධික උත්තේජනයෙන් දරුවාට විවිධ මනෝ සංකූලතා ඇති විය හැකියි. වයස අවුරුදු 2 – 5 අතර දරුවන්ට සාමාන්‍යයෙන් පැයක පමණ සුදුසු පරිදි විද්‍යුත් තිරය ලබා දිය හැකි වුවත් ඒ පසුගිය කාලය තුළ ඇති වූ වාතාවරණය වැනි තත්ත්ව මත පෙර පාසැලට ගොස් ගුරුවරිය සහ යාහළුවන් සමග ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව අහිමි වුවහොත් පමණයි. මොකද එවැනි තත්ත්වයකදී දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය නිසා අධ්‍යාපනය සම්බන්ධව විද්‍යුත් තිර කාලය ලබාදීමට සිදු වෙනවා. ඒ කාලයට අමතරව එවැනි තත්ත්වයකදී වුවත් දරුවෙකුට විද්‍යුත් තිරය ලබා දිය හැක්කේ පැයක පමණ කාලයක්ම පමණයි.
     
  • දරුවන්ට කෑම කවන්න ගොඩක් අම්මලාට අද දුරකතනය/ටැබ් එක නැතිව බැහැ

    අපි ආහාර ගනිද්දී සම්මා සතිය, ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. අපි යම් දෙයක් කරද්දී ඒක සාර්ථක කරගන්න නම් අවධානය ඒ කාර්යයේ යෙදවීම අත්‍යවශ්‍ය බව ඔබ අපි කවුරුත් දන්නවා. කෑම කද්දී වුණත් ඒ දෙය ඒ වගේම තමයි. ඒත් කෑම කවද්දී දරුවගේ අවධානය වෙන දෙයකට යොමු කරවලා බඩ පිරවීම අම්මාගේ අරමුණ වුවත් එය දරුවට යම් යම් ගැටලු ඇති කළ හැකියි. කෑම ගැන අවධානයකින් තොරව ආහාර ගනිද්දී දරුවා කෑම කෑවට එයාගේ කුස පිරිලද කියන එක ගැන දරුවාට අවබෝධයක් නොමැති වෙනවා. මොකද අවධානය නැතිකම නිසා දරුවාගේ මොළයට බඩ පිරුණු බවට සංඥාව ගමන් කරන්නේ නිවැරදි වෙලාවේ නෙවෙයි. දරුවාගේ කුස පිරුණු නිවැරදි වෙලාව සහ මොළයට පණිවිඩය ලැබී ආහාර ගැනීම නතර කරන වෙලාව අතර කාල පරතරය තුළ දරුවාට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් උදරයට ගොස් අවසන්. ඒ කියන්නේ අපි දරුවාට ලබාදුන් ආහාර ප්‍රමාණය වැඩියි. අම්මට සතුටු වුණත් දරුවා බොඩක් කෑම කෑවා කියලා එය ඉතා අහිතකර තත්ත්වයක්. දරුවන්ට විද්‍යුත් තිර පෙන්නලා කෑම කවන එකෙන් වෙන්නේ දරුවන් ලොකු වෙනකොට එමගින් අනවශ්‍ය ලෙස තරබාරු බව, අධික කොලෙස්ටරෝල් තත්ත්වය, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග අවදානම ඉහළ යෑමයි. දරුවන්ට පමණක් නොවෙයි මේ තත්ත්වය වැඩිහිටියන්ට වුවත් බලපෑ හැකියි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 


                

තරුණ දරුවන්ට මේ උපදෙස දෙන්න – බඩ අඩු කරන්න..ඇඟ හැඩ කරන්න… දුවන්න..

දරුවන්ගේ ජීවිතයේ අවසාන කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ට සම්බන්ධ වීමට සිදු වෙන අවාසනාවන්ත අවස්ථාවක් අනාගතයේදී එලැඹෙන බවට වෛද්‍ය විශේෂඥයින් විසින් පළ කරන ලද අනාවැකි අද වෙන විට සත්‍යක් බවට පත් වී තිබෙනවා. පසුගිය කාලයේදී වයස අවුරුදු 40 ට අඩු තරුණ ජීවිත කීපයක්ම  ඉතාම අවාසනාවන්ත විදිහට අහිමි වුණා. සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ධතාවයන් ඇති ඔබටත් මේ ගැන අසන්න සහ දකින්න ලැබෙන්න ඇති.

මේ අය ඇත්තටම නිරෝගිද…?

තරුණ ජවයෙන් ජීවත් වුන මේ පිරිස් අතරින් බහුතරයක් හිතා ගෙන සිටියේ ඇත්තටම ඔවුන් නිරෝගියි කියලා. එක අතකින් ඔවුන් එය සාධාරණ කර ගන්නේ අපි දියවැඩියාවට, හදවත් රෝග, එහෙම නැත්නම් කොලස්ටරෝල්වලට බෙහෙත් බොන්නේ නැහැ.නමුත් ඔවුන්ට වැරදුන තැන එතැනයි.

රුධිරගත සිනි, කොලස්ටරෝල් වැනි තත්වයන් අපේ සිරුරේ තිබෙන බව බොහෝ දෙනා දැන ගන්නේ හෘදයාබාධයක පෙර නිමිති එහෙම නැත්නම් දියවැඩියාව වැනි රෝග ලක්ෂණ ඇති වුනොත් පමනි. සමහර අය බොහොම උජාරුවට කියනවා මම නම් ජීවිතේට බ්ලඩ් ටෙස්ට් එකක් කර ගෙන නැහැ. ඒවා දැන ගත්තාම ඒකත් කරදරයක්. නමුත් ඔබත් මේ කොටසට අයත් නම් ඔබට වැරදුන තැන එතැනයි.

පශ්චාත් මරණ පරීක්ෂනයේදී ලැබෙන තීන්දුව…

ආඝාතය, හෘදයාබාධයක්  ^ acute myocardial infarction & නිසා සිදු වුන බවට මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනනවා. ගහක්, ගලක් වගේ උසට මහතට හිටිය අපේ දරුවට මොකද මේ වුනේ කියලා මව්පියන් විලාප නැගුවත් වරද තිබුනේ ඔවුන්ගේම දරුවා තුළ බැව් අවාසනාවන්ත මව්පියන් දන්නේ නැහැ.

ප්‍රතිකාර ගැනීමට වඩා නිවාරනය සුදුසුයි…

රෝගාබාධයකට පත් වෙලා එය නිදන්ගත තත්වයක් වුනාම ප්‍රතිකාර ලබනවාට වඩා රෝග තත්වයකට ගොදුරු නොවී සිටීමට සැබැවින්ම වාසනාවක්. එහෙමනම් අපි අවදානම ඉදිරියේ සූදානම් වෙන්නේ කොහොමද…? අපේ පරම්පරාවේ කාටවත්ම දියවැඩියාව, කොලස්රෝල් තිබුනේ නැති නිසා මටත් ඒ වගේ රෝග ඇති වෙන්නේ නැහැ යන ස්ථාවරය ඔබට ගොඩ නගා ගන්න බැහැ. අපේ අතීත පරම්පරාවේ උදවිය ගෙවූ ජීවන රටාවට වඩා අද අපි ගෙවන ජීවන රටාව වෙනස්

කොවිඩ් නිසා වුනාද දන්නේ නැහැ…

මේ තත්වය ඇති වීමට කොවිඩ් වැළඳීම වගේම එන්නත හේතු වුන බැව් බොහෝ දෙනාගේ සැකයක් තිබෙනවා. නමුත් ඒ ගැන විද්‍යාත්මක හේතු සාධක නැතුව තහවුරුවක් ලබා ගැනීමට අපහසුයි.කොහොම වුනත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව සමග ගණුදෙණුවක් ඇති වෙන නිසා නිදන්ගත රෝගීන්ගේ කොවිඩ් වෙනුවෙන් ඔරොත්තුදිමේ හැකියාව අඩු මට්ටමක පැවැතුණා. ඊට සමානව එන්නත ගැන ඛතා කලොත් තරබාරුව, දියවැඩියාව,  අධිරුධිර පිඩනය, කොලස්ටරෝල් ඇති පුද්ගලයන්ටත් එන්නත මගින් වැඩි සංකුලතාවයන් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

ආහාර පාලනය කරන්න…

බොහෝ තරුණ පිරිස් ගොඩ නගා ගත් අදහසක් තිබෙනවා. වයසත් එක්ක කොලස්ටරෝල්, දියවැඩියාව ඇති වුනාම කන්න බොන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තරුණ ජීවිතේ විඳින්න ඕන. කාලා බීලා ගෙවන්න ඕන. ඒ නිසා ඔවුන් ඉතාම අහිතකර විදිහට තමන්ගේ ආහාර රටාව අධික ලුණු, තෙල් සමග මේද ගබඩාවක් තෝරා ගන්නවා. නමුත් අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත ආහාර ගැනීම මගින් අධි රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය සහ කොලස්ටරෝල් මට්ටම පාලනය කළ හැකි බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක වෛද්‍ය රෝයි වෝල් ෆෝඩ් විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඒ නිසා විවිධාකාර  ඩයට් ප්ලෑන්.. Fasting වෙත යොමු වෙනවාට වඩා එළවලු. පළතුරු වැඩි පංගුවකින් ආහාරයට එකතු කර ගැනීමෙන් දරුවන්ගේ වගේම මව්පියන්ගේත් නිරෝගිබව ගොඩ නගා ගන්න පුළුවනි.

වැඩි වේලාවක් වාඩි වි සිටීම…

අතීතයේ පුද්ගලයන් ගෙවූ ක්‍රියාශීලී ජීවන රටාව වෙනුවට අද ඇත්තේ කිසිදු ලෙසකින් සිරුරට ව්‍යායාම නොලැබෙන ජීවන රටාවක්. කොවිඩ් කාලයේ සිදු වුන රට අගුලු දැමීම් අනුව මේ තත්වය තව දුරටත් වැඩි වුණා. ඔන්ලයින් නිසා පැය ගණන් එකම තැන වාඩි වි සිටින්නටත් සිදු වුණා.  2007 වසරේ මිසූරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සිදු කරන ලද අද්‍යනයකින් පෙන්වා දෙන්නේ දිගු වේලාවක් වාඩි වි සිටීම දුම්බීම තරමටම සිරුරට අහිතකර බවයි. දිනකට පැය හතරකට වඩා අඩුවෙන් වාඩි වී සිටින පුද්ගලයන් , දිනකට පැය හයකට වඩා වාඩිවි සිටින පුද්ගලයන්ට වඩා නීරෝගී බව කෙන්සාස් රාජ්‍ය සරසවියේ පර්යේෂකයින් ් විසින් සිදු කරන ලද අධ්‍යනයකන් පෙන්වා දී තිබෙනවා.

විකල්පයක් ඇත්තේම නැත්ද…?

අපි කරන රස්සාව අනුව දවසේ වැඩි වේලාවක් වාඩි වී සිටිනන් වෙනවා කියමින් ඔබ මෙය සාධාරණ කරාවි. ඒත් ඔබට ව්‍යායාම ලබා ගන්න සාර්ථක ක්‍රමයක් මම කියන්නම්.

හොඳ සපත්තු දෙකක් අර ගන්න. අඩුම තරමේ සතියකට දින තුනක් හෝ හතරක්වත් කිලෝමීටරයක දුර සෙමින් දුවන්න ^ jogging & දැන් ඔබේ උදරය අඩු කර ගැනීමට තෝරා ගත් ව්‍යායාම හතරක් හෝ පහක් කරන්න.

පරීක්ෂණ වාර්තා ඉතාම වැදගත්..

අපේ සිරුර අභ්‍යන්තරයේ පවතින ක්‍රියාකාරීත්වය දකින්න නම් අවුරුද්දකට වරක්වත් රුධිරගත සීනි, කොලස්ටරෝල් වගේම අක්මාව. වකුගඩු පරීක්ෂා කර ගන්න. ඒනෑම රෝගයක නිමිති මතු වෙන විට අවයවයන්ට සිදු විය හැකි හානිය සිදු වී අවසානයි. ඒ නිසා මෙවැනි වාර්තාවන් මගින් අනාගත රෝග තත්වය කල් තබා හඳාුනා ගන්න පුලුවනි. අපි උදාහරණයක් ගනිමු. අපි නොදැනුවත්ව අපේ රුධිරයේ අහිතකර  කොලස්ටරොල් ගිණුම ඉහලින් තිබුනොත් අනාගතයේදී හදවත් රෝග, කිරීටක ධමණී අවහිර වීම නිසා විවිධ ශල්‍ය කර්මයන්ට පවා යොමු වීමට සිදු වෙනවා. ඒ වගේම රුධිරගත සිනි මටට්ම හඳුනා ගැනීමට නොහැකි වුනොත් දියවැඩියාව නිසා වකුගඩු, ඇස්, වැනි අවයවයන් පවා දුර්වල වී පාද පවා අහිමි වෙන තත්වයකට පත් වෙන්න පුළුවනි.

ඒ වගේම මාස හයකට වරක්වත් අධි රුධිර පිඩනය මැන ගන්න. එය අනාගතයේදී ආඝාතය (stroke ) වැනි රෝග තත්වයන්ට ගොදුරු වීමට තිබෙන අවදානමින් ඔබ නිදහස් වෙනවා.

දරුවෙක් අහිමි වීම දරා ගැනීම අපහසුයි..

තමන්ගේ ලෙයින් මසින් උපන් දරුවෙක් අකාලයේ මිය ගියොත් එහි දරා ගැනීම ගැන විස්තර කිරීමට වචන නැහැ. ඒ වගේම මේ ශෝකය නිසාම මව්පියන්ගේත් ආයු කාලය කෙටි වෙන බැව් කෝපන්හේග්හි ඩෙන්මාර්ක් වසංගත පාලන මධ්‍යස්ථානය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.දරුවෙක් මියයෑමෙන් පසු මුල් වසර තුන ඉතාම අවදානම් බැව් ඔවුන්ගේ අදහසයි. ඒ වගේම වසර දහඅටක් තුල මවක් මිය යෑමට තිබෙන අවදානම 40% ක් බවත් වාර්තා වෙනවා. දරුවෙකුගේ මිය යෑමෙන්පසුව එළැඹෙන වසර තුනක කාලයේදීපියවරුන්ගෙන් 57 % ක් පමණ මරණයට පත් වීමේ අවදානමක්ද තිබෙන බැව් මෙම අධ්‍යනයෙන් පෙන්වා දුන්නා.

එහෙමනම් පවුල් සංස්ථාව තුල නිදුක් නිරෝගි වගේම සතුටින් ජීවත් වීමට නම් බඩ අඩු කරන්න..ඇඟ හැඩ කරන්න… දුවන්න..

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී රවින්ද උඩුගමගේ 

ගම්පහ දිස්ත්‍රික් රෝහල

 

 

 

 


                

දරුවන් නිවැරදි ඉලක්කය කරා නිවැරදිව මෙහෙය වන්නේ කොහොමද?

ජීවිතය පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුයි. නිදහසේ පාවෙන්න අපිට ඉඩ හසර තිබිය යුතුයි. ඒත් ඒ සැහැල්ලුවෙන් පාවෙලා අපි යන්නේ කොතැනටද කියා ඉලක්කයක් වගේම ඒ ගැන අදහසකුත් අපිට තිබිය යුතුයි. අපි අපේ ජීවිත නිවැරදි ඉලක්කය, අරමුණ කරා මෙහෙය වීම ගැන දැනුවත් විය යුතු වන්නේ අන්න ඒ නිසයි. 

සාර්ථකව ඉලක්ක වෙත යන්න සතුට නැතිව බැරි බව දරුවන්ට කියා දෙන්න

අපි කාටත් ජීවිතයේ ඉලක්ක, අරමුණු තියෙනවා. ඒ සඳහා ගමන් කළ යුතු මගත් ඇතැම් විට අපි දන්නවා. නමුත් ඇතැම් අවස්ථාවලදී මනසේ ව්‍යාකූල බව නිසාම ඒ අරමුණු, ඒ ඉලක්ක වෙත යෑමට අපිට නොහැකි වෙනවා. කෙසේ වුවත් අපි මතක තබා ගත යුතු මූලිකම කරුණක් වන්නේ අරමුණක් ජය ගන්න නම් සතුට සහ සැහැල්ලුව අත්‍යවශ්‍ය බවයි. ඔබ, තෝරාගන්නා ඔබේ ඉලක්කය සිහියට නැගෙද්දී දරාගන්න බැරි තරමක ආසාවක් සතුටක් ඔබ තුළ ඇතිවෙනවා නම් එය සාර්ථක ඉලක්කයක් බව කිව යුතුමය. ඔබේ ඉලක්කය ඔබේ සතුටට හේතුවක් නොවන්නේ නම් එය තරමක ගැටලුකාරී තත්ත්වයක් විය හැකිය. කිසිදු අරමුණක්, ඉලක්කයක් හෝ ජීවන අපේක්ෂාවක් සතුට සැහැල්ලුව නැතිනම් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට වීමට තියෙන මනෝ විද්‍යාත්මක බාධකය අවිඥානික මනස හෙවත් යටි සිතයි. ඔබේ යටි හිතේ තියෙන්නේ බය, සැකය, පරාජිත අත්දැකීම් ඔබේ මොළයේ ගබඩා වෙලා තියෙන තාක්කල් ඔබට ඔබේ අරමුණි කරා යා නොහැකියි. මෙය වැඩිහිටි අපට මෙන්ම අපේ දරුවන්ටද එලෙසම බලපානු ඇත.

අද වන විට බොහෝ පිරිසක් තමාට ඇති එකම විසදුම ලෙස විදෙස් ගත වීම තෝරාගෙන තිබෙනවා. නමුත් ඔවුන් ඒ තීරණයට එලැඹ ඇත්තේ විසදුමක් නැතැයි සිතන නිසා මිසක් කිසිදු ආසාවකින් හෝ කැමැත්තකින් නම් නොවේ. ඔබ යම් කිසි අර්බුදයකින් මිදීමට විදෙස් ගත වීම එකම ක්‍රමය ලෙස දකිනවා නම් එමගින් පැහැදිලි වන්නේ ඔබට නිසි මාර්ගෝපදේශයක් බලගැන්වීමක් නොමැති බවයි. අද වෙද්දී සමාජ මාධ්‍ය, රූපවාහිනිය, යහළු යෙහෙළයන් හමු වූ විට හැමතැනින්ම අහන්න දකින්න ලැබෙන බොහොමයක් දේ වේදනාත්මකයි. මේ ඍනාත්මක හැඟීම් මත බොහෝ පිරිසක් සිත්නේ රට හැර යාම මේ සියලු ගැටලුවලට ඇති එකම විසදුම බවයි.

ඒ නිසාම ඒ පිළිබඳව ඔවුන් සිටින්නේ දුකකින්. ආදරය කරන අය අතහැරලා, ඉඩකඩම් විකුණලා හිටි හැටියේ අරමුණකින් තොරව තබන මේ පියවරේදී ඕනෑම අයෙකුගේ යටි සිතේ වේදනාව, බිය සැක කැටි වීම සාමාන්‍ය තත්ත්වයකි. නිශ්චිත අරමුණත් නැතිව ඉලක්කයක් නොමැතිව ඔබ තබන අස්ථිර පියවර ගැන ඔබ දහස්වරක් කම්පා වනු ඇති. වේදනාව සැකය බය කියන්නේ ඍණාත්මක ප්‍රේරණයන්. ඍණාත්මක ප්‍රේරණයන් කියන්නේ අපිට යමක් ඉෂ්ට කරගැනීමට ඇති ලොකුම බාධයක්. ඔබ අලුත් ජීවිත අරමුණක් තෝරාගන්නවා නම් එය ඔබේ කුසලතාවයන් හා බද්ධ වූවක් විය යුතුමයි. අපිට, අපි නොසිතූ නොපැතූ දෙයක් කරන්න සිදු වෙනවා නම් එය අපිව   මානසිකව රෝගී කළ හැකි විශාල හේතුවක් වනු ඇත. අපේ සිත තුළ සතුට නොමැතිව බිය, සැක, දුක සහ කණස්සල්ල රජකරනවා නම් අපි මානසිකව සහ කායිකව සෞඛ්‍ය අතින් පිරිහෙනවා. එතැනදී අප වටහා ගත යුතු මූලික කරුණක් වන්නේ ප්‍රශ්නවලින් පලා යාම කිසිසේත්ම උචිත නොවන බවයි. අපි එයට මුහුණ දිය යුතුමයි. එය අපි අපේ දරුවන් වෙනුවෙන්ද පූර්වාදර්ශ සැපයිය යුතුය. 

දරුවන්ගේ අනාගතය ඔවුන්ගේ කුසලතා සමග ගොඩනංවන්න 

දුව/පුතා ලොකු වෙලා කවුද වෙන්න කැමති

පැසැලේදීත් නෑදෑ ගෙදරකදීත් අපේ දරුවන්ට යොමු වෙන පොදු ප්‍රශ්නයක්. අද අපි මොන කැපවීම දරුවන් වෙනුවෙන් ඉටු කළත් ඔවුන් අනාගතයේදී කුමන ආකාරයේ රැකියාවක් තෝරාගනීද යන්න පිහැදිලි අදහසක් දැන්ම අපට ලබා ගන්නට බැහැ. සාමාන්‍යයෙන් දරුවෙකු තම පරිසරය අනුව තමන්ගේ රැකියාව තෝරාගැනීමට පෙළඹෙන බව කියවුණත් ඇතැම් දරුවන් ආරයට අනුවද ඒ සඳහා යොමු වන බව පැවසෙනවා. 

උදාහරණයක් විදියට සංගීතයට, කලාවට හුරු නිවසක දරුවන තම වෘත්තීය ජීවිතයේදී ඒ විෂයයන් හා සම්බන්ධ වන ප්‍රවණතාවය වැඩි බවත් දෙමාපියන් වෛද්‍යවරු වන නිවෙස්වල දරුවන් ඒ සඳහා යොමු වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් පැවසෙනවා. ඒ දරුවා දකින දේ අනුවයි. කෙසේ වුවත් හොඳ වෘත්තීය පරිසරයක ඇතිදැඩි වන දරුවෝ හොඳ වෘත්තිය පදනමකට යොමු වීමට ඇති අවකාශය වැඩි බව කිව යුතුමය. යමෙකුගේ අනාගත රැකියාව කෙරේ ආරය බලපාන බව කියවුණත දරුවෙක් ජීවත් වන පරිසරය ආරයට වඩා වැඩි බලපෑමක් සිදුකරන බව පැවසෙනවා. කෙසේ වුවත් දරුවෙකුට අරමුණක් ඉලක්කයක් ඇති කිරීම දෙමාපියන් වන අපිට බලෙන් කළ හැක්කක් නොවේ. එය ඇති වන්නේ දරුවන්ගේ කුසලතාවය අනුවයි. අපි දෙමාපියන් ලෙස දරුවන්ගේ එම කුසලතාවයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. 

දරුවන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඔවුන්ට අවස්ථාව ලබා දීම අභිප්‍රේරණය කිරීම දෙමාපියන්ගේ මෙන්ම පාසැලේත් ගුරුවරුන්ගේත් වගකීමක් වන්නේ ඔවුන් එම ඉලක්ක කරා සතුටින් ගමන් කරවීමට වැඩිහිටි අපගේ එම දායකත්වය නොඅඩුව ලැබියය යුතු නිසයි. එක් දරුවෙක් සංගීතය/නර්තනය/චිතු අංශවලින් ද තවත් දරුවෙක් ගවේෂණයේ යෙදෙමින්ද තවත් දරුවෙන් විද්‍ය/ගණිත විෂයයන්වලින්ද තවත් දරුවෙක් ක්‍රිඩාවෙන්ද දස්කම් පාන්නේ නම් ඔවුන් අදාල කුසලතා අනුව දිරි ගැන්වීම අප මුළුමහත් සමාජයේම වගකීමක් බව සිහි තබා ගත යුතුය. ඒ වගේම ඔවුන්ට අවස්ථාව ලබා දීම සිදු විය යුතුයි. අත්පොලසන් දිය යුතුයි. එවැනි අවස්ථා, අගය කිරීම් නොමැතිව දරුවෙකුට අභිප්‍රේරණයක් හිමි වන්නේ නැහ. අභිප්‍රේරණය සකස් වෙන්නේ අගය කිරීමෙන්ම පමණයි. 

අම්මා/තාත්තා/පාසැල/ගුරුවරුන් දරුවන්ගේ නිරිමාණ අගය කොට අත්පුඩි ගසන්නේ නම් ඔවුන් තුළ ආත්ම අභිමානය ගොඩ නැගෙන අතරම එය දරුවෙකුගේ අනාගත වෘත්තිය කෙරේත් බලපානවා. අන්න ඒ නිසාම දරුවන්ගේ කසලතා ගුරු දෙගුරුන් සොයා බලා උනන්දු කවා සවියක් ලබා දිය යුතුමයි. අද වෙද්දි දරුවන්ට බොහොමයක් ක්‍රියාකාරකම් අවම වෙලා. ඔවුන්ගේ කුසලතාවන් එළිදක්වන්නට අවස්ථාවන් අවම වෙලා. මේ හේතු නිසා වෘත්තිමය අපේක්ෂාවන් බවා ගිලිහිලා. මොකද පසුගිය කාලය තුළ ඇති වී තත්ත්වයන් නිසා අන්තර්ජාලය හරහා ඉගෙනුමට දරුවන් යොමු වුණා. එවැනි දේ වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නඟන්න, ක්‍රියාකාරකම් අත්හදා බලන්න තියෙන අවස්ථා දරුවන්ට අඩු වුණා. පසු ගිය කාලය නව යොවුන් වියේ දරුවන්ට විශාල වශයෙන් බලපෑම් ඇති කළ තත්ත්වයක් වූවා‍. 

ඔබේ නව යොවුන් දරුවා ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න

ගෙවුණු දුෂ්කර කාල සීමාව තුළ බොහෝ අහිමි වීම් හමුවේ අපේ නව යොවුන් දරුවන් පත් වූවේ යම් අසරණ තත්ත්වයකට යැයි පැවසීම නිවැරදිය. ඒ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැකියාවන් සඳහා අවස්ථාවන් උදා නොවනු තරම් නිසාය. මෙවැනි අර්බුදය තත්ත්වයකදී එවැනි තරුණ දරුවෝ යහපත් මානසිකත්වයකින් තම අරමුණු කර‍ා යන්‍නය නැවත ආරම්භ කිරීම මව්පියන්ට ගැටලුවක්.

යොවුන්විය කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය විශාල ලෙස වෙනස් වන කාලයක්. හෝමෝනවල වගේම මොළයේ කලාපවල අර්බුද සිදුවෙන කාලයක්. මේ නිසා නිතැතින්ම ඔවුන් තුළ ආවේගශීලී හැගීම් ඇති වෙනවා. ඒ ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. මේ වයස වන විට පූර්ව ලලාට කන්ඩිකාව සංවර්ධන අවධියක ‍පසුවනු ඇත. මේ අවධියේ දරුවන් කිසිදෙයක හොඳක් නොදකින අතරම එය ඔවුන්ගේ වරදක් ලෙස පෙන්වා දිය නොහැකියි. මේ වයසේදී ඔවුන්ට දෙමාපිය අදහස්, දෙමාපියන්ගේ උපදෙස් වලංගු වන්නේම නැත. නමුත් අපිට කිසිසේත්ම අපේ දරුවන් අතහැරිය නොහැකි වන අතරම ඔවුන්ට අවශ්‍ය සහයෝගය ඉතා ඉවසිලිවන්තව ලබා දිය යුතුය. දෙමාපියන් වශයෙන් එය අපේ යුතුකම මේනම වගකීමද වනු ඇත. මන්ද එසේ නොවන්නට යම් යම් ඇබ්බැහි වීම් නිසා දරුවන් නිකරුණේ තම ජීවිත නාස්ති කරගනුනට වුවත් ඉඩ කඩ ඇති නිසාය. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් වන ඔබට තත්ත්වය නිරාකරණය කර ගැනීමට නොහැකි නම් මනෝ උපදේශකවරයෙකුගේ සහය පැතීම ඉතා අගනේය. මෙය මානසික රෝග තත්ත්වයක් නොවන අතර මනෝ උපදේශනය මගින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඔබට මෙන්ම දරුවාටද උපදෙස් ලැබෙනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor