Home Blog Page 8

ලෙග් ක්‍රෑම්ප්ස් නිසා ගැබිනි ඔබ අපහසුවෙන්ද?

මොකද දුව අමාරුවෙන් වගේ ඇවිදින්නේ?

අනේ මන්දා අම්මේ.. රෑට කෙණ්ඩ පෙරලෙනවා. වේදනාව ඉවසගන්න බෑ

ඔය කාලෙට ඔහොම තමයි..

ඉන්න මම උණු වතුර ටිකකින් තවලා බාම් ටිකක් ගාන්න

ඔයා පේරන්ටින් වෙබ් සයිට් එක බැලුවේ නැද්ද? මේ ලෙග් ක්‍රෑම්ප්ස්වලට ෆිසියෝතෙරපි ට්‍රීට්මන්ස්  තියෙනවා කියලා ආටිකල් එකක් තිබුණා. අනික මේ කාලේ අනවශ්‍ය විදියට වේදනා නාශක ගන්න හොඳත් නෑනේ දුව..

අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි නේද අම්මේ

ඒක නම් ඇත්ත. මොනවද අම්මේ ඒ ආර්ටිකල් එකේ තිබුණේ…

ප්‍රෙග්නන්ට් අම්මලා ගොඩ දෙනෙක්ට මේ ලෙග් ක්‍රෑම්ප්ස් තියෙනවා තියලා ඒකේ තිබුණා. මට මතකයි ඔයා ලැබෙන්න ඉද්දිත් මටත් කෙණ්ඩ පෙරලුණා. මම දන්නවා වේදනාව කොයි තරම්ද කියලා. 

ගැබිනි කාන්තාවන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයක් වන මේ කෙණ්ඩා පෙරලීම සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවන් දහ දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකුට පමණ ඇති විය හැකියි. මාංෂ පේශීය කෙටි වීම සහ තද වීම නිසා මාංෂ පේශීවල ක්ෂණිකව ඇති වෙන තියුණු වේදනාව කෙණ්ඩා පෙරලීම නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් මේ වේදනාව තත්පර කීපයක සිට විනාඩි දහයක් පමණ ගත වන තුරු තිබිය හැකියි. 

ප්‍රෙග්නන්ට් අම්මලාටම වැඩි පුර මේක වෙන්නේ ඇයි? මේ කාලෙදි අපි ඉන්නේ කොයි තරම් අමාරුවෙන්ද අම්මේ…

ඒක ඇත්ත. ඒත් ඒ ආටිකල් එකේ තිබුණු විදියට බත් කෙණ්ඩ විතරක් නෙවෙයි කළව හරියේ වගේම බඩේ මාංෂ පේශීත් පෙරෙනවලු. වැඩි පුරම වෙන්නේ නම් බත් කෙණ්ඩේ කියලා තමයි තිබුණේ.

අනික අම්මේ රෑට කෙණ්ඩ පෙරලුණාම එතන ඉඳලා නින්දක් නැහැ, වේදනාව නිසා. ආයේ ආයේ කෙණ්ඩ පෙරලෙයි කියලම බයෙන් තමයි මම නම් ඉන්නේ.

ඔව් දුව දැන් ඔයා ඉන්නේ බබා ලැබෙන්න දින ළග පැත්තටනේ. ඉතිං වේදනාව තිබුණට මේ අත්දැකීම් සාමාන්‍යයි. ඉවසගෙන ඉන්නම වෙනවා. මොකද දැන් ඔයාගේ බර එන්න එන්නම වැඩි වෙන නිසා කෙණ්ඩ පෙරලෙන්න බලනවා වැඩි ඇති. අනික වමනේ නිසා කෑම එහෙමත් හරියට ඇඟට වැටුණේ නෑනේ.. වතුර පෙවුණත් අඩුයි.

දැන් නං මට කකුල තියලා කකුල ගන්නත් බයයි. 

එහෙම බෑ දුව.. හොඳට ඇවිදලා කරලා ඉන්න ඕනේ මේ කාලේ.

ගැබිනි සමයේ දෙවන හා තෙවන ත්‍රෛමාසිකය තුළ මව්වරුන් මේ වේදනාකාරී අත්දැකීමට බහුලව මුහුණ දෙනවා විය හැකියි. ගැබිනි කාන්තාවන් මේ තත්ත්වයට ඇති වීමට හේතු මොනවාද?

  • බර වැඩිවීම 

දෙවන හෝ තෙවන ත්‍රෛමාසිකය ගත කරන මව්වරුන්ගේ බර වැඩි වීමත් සමගම මෙසේ කෙණ්ඩා පෙරලීම ඇති විය හැකියි. එයට ප්‍රධානතම හේතුව වන්නේ එයයි. එනම් බර වැඩිවීමයි. මවගේ බර වැඩි වන කාලය තුළ ඇයගේ පාදයේ රුධිර නාල, මාංශ පේශීන් වල ස්නායු වලට විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා නිසා ආපස්සට රුධිර ගමන් කිරීම අවම වන අතරම ඒ අඩු වීමත් සමග කෙණ්ඩා පෙරලීම ඇති වෙනවා. 

  • විටමින් ඌනතා‍

මැග්නීසියම්, කැල්සියම් විටමින් B සහ විටමින් C දේ අඩු වීම කෙණ්ඩා පෙරලීමට හේතු වෙනවා.

  • අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වීම

ගැබිනි මවක් අනවශ්‍ය ලෙස සිටගෙන සිටීම/ව්‍යායාමවල යෙදීම/වැඩ කිරීම නිසා මේ තත්ත්වය ඇති වීමේ අවදානම වැඩියි. 

  • ක්‍රියාකාරී නොවීම

ගැබිනි සමයේ කාන්තාවන් එක තැනකට වී ක්‍රියාශීලී නොවන දිනචර්යාවක් තුළ කටයුතු කිරීම මේ තත්ත්වයට හේතුවක් විය හැකියි. 

  • විජලනය

ගැබිනි මව ලබා ගන්නා ජලය ප්‍රමාණය අවම වීම කෙණ්ඩා පෙරලීමට හේතුවන බව සැක කරනවා.

කෙසේ වුවත් මේ තත්ත්වයට නිශ්චිත හේතුවක් මෙතෙක් අණාවරණය වී නොමැති බව කිව යුතුමය.

ගැබිනි මවක් මේ තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

  • නින්දට පෙර බත් කෙණ්ඩ මාංශ පේශිය සඳහා දිග ඇදුම් ව්‍යායාම කරන්න
  • දිනකට අවශ්‍ය ජල පරිමාව ලබාගන්න
  • උණුසුම් ස්නානයක් ලබාගන්න
  • සමබල ආහාර වේලක් ලබාගන්න

මේ වේදනාව අඩු කරගන්න විදියක් ඒ ආටිකල් එකේ තිබුණේ නැද්ද අම්මා… 

ෆිසියෝතෙරපි ට්‍රීට්මන්ස්  ගැන තමයි කියලා තිබුණේ. අපිට පුළුවන් ෆිසියෝතෙරපිිස්ට් කෙනෙක් හමු වෙලා මේකට උපදෙස් ගන්න.

කෙණ්ඩා පෙරලීම හා සම්බන්ධව ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර මොනවාද?

ගැබිනි කාන්තාවන් කෙණ්ඩා පෙරලීම ගැන පැමිණිලි කරද්දී අපි ඔවුන්ට ඒ සඳහා කළ යුතු දිග ඇඳුම් ව්‍යායාම පිළිබඳව දැනුවත් කරනවා. ඊට අමතරව අදාල මාංෂ පේශිය පෙරලෙන අවස්ථාවේදී කළ යුතු දේ පිළිබඳව දැනුවත් කරනවා. ඇවිදීම ක්‍රමානුකූලව, ප්‍රමාණාත්මකව කළ යුතු ආකාරය ගැන දැනුවත් කරනවා. එසේම වේදනාව අවම කර ගැනීම සඳහා තාප ප්‍රතිකාර ක්‍රම වගේම අයිස් මගින් කරන සම්භාහන ගැන දැනුවත් කරනවා. 

ඒ ලිපියේ අන්තිමට තිබුණා, කෙණ්ඩේ වේදනාව රුධිර කැටියක් තියෙන බවට සාක්ෂියක් වෙන්න පුළුවන්ලු. හැබැයි රුධිර කැටියක් තියෙනවා නම් වේදනාව විනාඩි 10කට වඩා වැඩි කාලයක් තියෙනවත්ලු. ඊට අමතරව රතුවෙලා, ඉදිමිලා එතන රස්නෙයි නම්  වෛද්‍ය උපදෙස් ගන්න කියලා. උදර මාංෂ පේශී වල මස්පිඪු පෙරලෙන එක සාමාන්‍ය උනත් දිගටම තියෙනවා නං වෙන ලෙඩක් නිසා එහෙම වෙන්න පුළුවන් කියලා ඩොක්ටර්ව හමු වෙන්න කියලා තමයි තිබුණේ.

අනේ මන්දා අම්මේ මට නං බයත් හිනතනවා

අයියෝ දරරුවෝ මොකටද බය වෙන්නේ… එක පාරක් දෙකක් කෙණ්ඩ පෙරලෙන එක ඕනෙම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට වෙන්න බැරි නැහැ. 

ඒ නිසා අපි බය නැතිව අපි මේකට මුහුණ දෙමු. දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ. හිත ටිකක් ශක්තිමත් කරගන්න ඕනේ. තේරුණාද?

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

සුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි

කාසල් වීදිය කාන්තා රෝහල

කොළඹ 08

 

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබාදීමට ඔබ අකමැති මේ නිසාද?

පුංචි දරුවෝ මල් වගේ කියලා අපිට හිතුනට එහෙම නොහිතෙන පිරිසකුත් අපේ සමා‍ජයේ ඉන්නවා. අන්න ඒ නිසයි පුංචි මල් කකැළු පරවෙලා යන්න පටන් අරන් තියෙන්නේ. පසුගිය කාලය පුරාම දරුවන්ට අපයෝජනය ලක් කිරීම, අපයෝජනය කර මරා දැමීම් වාර්තා වුණා ඔබට මතක ඇති. අද වෙද්දී අන්න ඒ විදියට ළමා අපයෝජන අහන්න ලැබෙන අවස්ථා වැඩි වෙලා. ගැහැනු පිරිමි භේදයකින් තොරව අපේ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා, අපයෝජනයට ලක් වෙනවා. ඒ කෙසේ වෙතත් ඇතැම් දරුවන්ට තමා අපයෝජනයට ලක් වෙනවාද යන්න පිළිබඳවවත් දැනීමක් නැහැ. ඔවුන් ඒ බව දැනගන්නේ තමන් වැඩිහිටි වූ විටයි. තමන්ට සිදුවෙන දෙයක් අඩු තරමේ ගෙදර ඇවිත් අම්මා තාත්තා සමග කියන්නවත් දරුවෙක් ඒ දෙය නුසුදුසු දෙයක් බව දන්නේ නැහැ. මෙවැනි වටපිටාවක දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන්ට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වෙනුවෙන් දෙමාපියන් කළ යුත්තේ මොනවාද කියා සිතා ගත නොහැකි වුවත් දරුවන් අනාරක්ෂිත වෙන්න ඉඩ දී බලා සිටින්නත් නොහැකියි. මෙතැනදී දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් උනන්දු විය යුතුයි.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ද? එය දරුවන්ට ලබා දිය යුතුද ? 

ලිංගික අධ්‍යාපනය කියන්නේ වඩාත් පුළුල් පරාසයක් තුල පැතිරුණු බොහොමයක් පැතිකඩ ඇති විෂයක්. දරුවෙකුට නිවැරදි දැනුම ලබාදීමට වගේම දරුවාගේ ආරක්ෂාවටත් ලිංගික දැනුම ලබාදීම බොහොම වැදගත්.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ කොහොමද?

අපේ ඇතැම් වැඩිහිටියෝ ලිංගික අධ්‍යාපනය කියන වචනයටත් බයයි. ඒ විෂය අදාල වැඩිහිටියන්ට පමණක් බව සිතමින් ඔවුන් කටයුතු කරනවා. ඒත් තමන්ගේ පවුලේ සාරධර්ම වලට අනුව තමන් විශ්වාස කරන සංස්කෘතියට අනුව අපට පුළුවන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න. 

ලිංගික දැනුම සම්බන්ධව දරුවෙකුට අවබෝධ කළ යුත්තේ මොනවාද?

වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් ලිංගික අධ්‍යාපනය කුඩා වියේදීම දරුවාට ලබා දිය යුතුයි. දරුවාගේ වර්ධනයත් එක්ක අවුරුදු දෙක වෙද්දි තම ශරීරය අවයව හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේ සිට තමන්ගේ ශරීර අවයව, ලිංගික අවයව හඳුනා ගැනීම සිදු වෙනවා. වයස අවුරුදු තුන පමණ වෙද්දි තමන් ගැහැනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා දරුවාට අවබෝධ වෙනවා. සමාජ සම්මුතිවලට අනුකූලව අවුරුදු හතර, පහ වෙද්දි නංගි/මල්ලි කෙනෙක් ලැබුණොත් බබා ලැබෙන්නේ කොහොමද කියන ගැටලුව දරුවෙක්ට ඇති වෙනවා. 

මෙන්ම මේ විදියට දරුවෙක් නව යොවු වියට ළඟා වන විට ශරීරයේ වෙනස්කම්, හැගීම්, හැසිරීම් රටා ගැන දරුවෝ දැනුවත් වෙනවා. ඒ දැනුවත් වීමට නම් කුඩා වියේ සිටම දරුවෙක් තම ශරීරය හඳුනාගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම ගැන අවබෝධයක් ලබා සිටිය යුතුයි. 

ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීම ආරම්භ කරන්නේ කෙසේද?

දරුවෙකුට ලිංගික අධ්‍යාපනය ලබාදෙන පළමු ගුරුවරුන් වන්නේ දෙමාපියන්. අන්න ඒ නිසාම මූලිකවම දෙමව්පියෝ දැනුවත් විය යුතුයි.

ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීමේදී මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණු‍

  • දරුවාගේ වයස
  • සිතුම් පැතුම්
  • තේරුම් ගැනීමේ හැකියාව
  • දරුවා කුතුහලයෙන් සිටිනවාද යන්න
  • විවිධ වර්ධන අවධි වලදී දරුවට ඇති දැනුම
  • දරුවාට වටහා ගත හැකි පරාසය කුමක්ද 
  • තමාට දරුවා සමග මේ ගැන කතා කළ හැකිද යන විශ්වාසය 

මේ සඳහා විශේෂයෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර මනා සම්බන්ධයක් ගොඩ නැඟී තිබිය යුතු වන අතරම කුඩා වියේ සිටම අවශ්‍ය කරුණු පියවරෙන් පියවර දරුවා වෙත ලැබා දී තිබිය යුතුයි. එසේ නොමැතිව යොවුන් වියේ සිටින දරුවා සමග එක්වරම ලිංගික සංසර්ගය සම්බන්ධව කතා කළ නොහැකි බව දෙමාපියන් වටහා ගත යුතුයි. 

ඒ වගේම දෙමාපියන්ගේ තවත් වැදගත් වගකීමක් වන්නේ ආදර්ශමත්ව ජීවත් වීමයි. එහිදී,

  • සම්බන්ධතා රැකගන්නා ආකාරය
  • අන්‍යෝන්‍ය අවබෝධය සාර්ථක සම්බන්ධතාවයකට වැදගත් වන ආකාරය
  • දෙදෙනකු අතර ඇති විශ්වසනීය සම්බන්ධයේ වැදගත්කම
  • සුහදශීලී සම්බන්ධයක වටිනාකම වැනි කරුණු ආදර්ශයෙන්ම ඔබට පෙන්විය හැකියි‍. 

මෙවැනි වටපිටාවක් තුළ දරුවාට ඇති ගැටලු අනුව පිළිතුරු ලබා දෙන්න ඔබට හැකියි. උදාහරණයක් ලෙස අපි අවුරුදු පහක දරුවෙක් ගනිමු. 

අම්මා බබෙක් ලැබෙන්නේ කොහොමද?

ඔබ කලබල නොවී දරුවාගේ වයසට අනුව එය පහදා දෙන්න. මේ දරුවා ඔබෙන් අහන්නේ දරුවෙක් ලැබෙන්න පවත්වන සංසර්ග සම්බන්ධතාවය ගැන නොවෙයි. ‍මේ වයසේ දරුවෙක්ගේ කුතුහලය බබා කොතැනදී ඉන්නේ? එන්නෙ කොහොමද? යන ගැටලුවන අතරම එය දරුවාගේ වයසට සරිලන ලෙස ඔබට අවබෝධ කරවිය හැකියි. 

පෙර පාසැල් වයසේ දී නංගි හෝ මල්ලි ලැබෙද්දී ඒ ගැන දරුවන් විමසනවා. කිසිවිටෙක දරුවාට  බොරු නොකියා සරලව අවබෝධ කරවන්න. එතකොට අපිට පුළුවන් ඇයි එකපාරටම එහෙම ඇහුවේ.. පුතා/දුවගෙන් කවුරු හරි බබා ගැන ඇහුවද? කියලා දරුවාගෙන් අහන්න. ඒ අහලා දරුවාට තියෙන ගැටලුව අනුව වයසක සරිලන පිළිතුරු ලබා දෙන්න. අපි අපේ දරුවාට බොරු කිව්වොත් දරුවා එය දැන ගන්නවා. ඉන්පසුව අපිට හොර රහසේ වෙනත් මාර්ගවලින් තොරතුරු සොයා යෑමට පටන් ගන්නා අතරම එය අවදානම් තත්ත්වයක් බව සිහි තබා ගන්න.

වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ට සිරුරේ පෞද්ගලික කොටස් ගැන කියා දිය යුතුයි. එසේම,

  • කකුල් අතර, පපු පෙදෙස, පිටුපස පෙදෙස කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදෙන ලෙසත් 
  • තමාට අපහසුවක් දැනෙන ආකාරයේ ස්පර්ෂයක් ඇති වුවහොත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත්
  • අම්මා/තාත්තාට කිසිවක් නොකියන ලෙස පැවසුවොත් ඔවුන් අනිවාර්යෙන්ම දැනුවත් කරන ලෙසත් දරුවාට පවසන්න
  • පෞද්ගලිකත්වය රැක ගැනීමට දරුවාට හුරු කරන්න.

නව යොවුන් දරුවන්ට වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී වැදගත් වන කරුණු මොනවාද?

අපේ දරුවන් නව යොවුන් වියට පා නගද්දීම දරුවෙක්ට කතා කළ යුතු එකම මාතෘකාව ලිංගික සංසර්ගය නොවෙයි. ඉන් එහා තවත් බොහෝ දේ මේ ලිංගික අධ්‍යාපනය යටතේ දරුවෙකුට ලබා දිය හැකියි. මේ සියලු කරුණු පිළිබඳව දරුවෙකු දැනුවත් කිරීම දරුවාගේ ජීවිතය සාර්ථක කරවීමට මනා සේ සහය වනු ඇත. 

  • තමන්ගේ සිරුරේ සිදු වන වෙනස්කම් 
  • සාර්ථක සම්බන්ධයක් පවත්වා ගන්නා ආකාරය
  • අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා කිරීම
  • නිවැරදි/හොඳ තීරණ ගැනීම 
  • යමෙකුගේ අනාරක්ෂිත ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම
  • අන්තර්ජාලය/සමාජ මාධ්‍ය ජාලා ආරක්ෂිතව භාවිතය (උදාහරණයක් ලෙස අවුරුදු 14, 15 පසු වන විට විරුද්ධ ලිංගිකයෙක් සමග ඇති වන සම්බන්ධයකදී ඡායාරූප/වීඩියෝ එවන ලෙස ඉල්ලීම් කර ඒවා යොදා ගනිමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවලින් ආරක්ෂා වීම දැක්විය හැකියි)

කෙසේ වුවද වයස අවුරුදු 12, 13 කාල සීමාවේදී පාසැල් විෂය නිර්දේශයට අනුව විද්‍යාත්මක පසුබිමක් යටතේ ලිංගික සංසර්ගය, ගැබ් ගැනීම, ප්‍රසූතිය හා සම්බන්ධව යම් අවබෝධයක් ලබා දුන්නද එය වටහා ගැනීමට ඇතැම් විට දරුවන්ට අපහසු විය හැකියි. 

ලිංගික අධ්‍යාපයට හිමි වීම තුළින් සමාජයක් වශයෙන් අපට හිමි වන වාසි මොනවාද?

  • අඩු වයස් ගැබ් ගැනීම් අවම වීම
  • නිකරුණේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීම
  • දරුවන් අපයෝජකයන්ට ගොදුරු වීමට ඇති අවස්ථා අවම වීම
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වීමට හැකි වීම

අන්න ඒ නිසාම දෙමාපියන් දරුවන් සමග විවෘත වීම ඉතාම වැදගත් වේ. විවෘතව කතා නොකරන මේ මාතෘකාව සම්බන්ධව දරුවන් සමග විවෘතව කතා කිරීමට තරම් දෙමාපියන් තුළ විශ්වාසයක් තිබිය යුතුය. ශක්තියක් තිබිය යුතුය. එසේ නොවන විට දරුවා යහළුවන්/අන්තර්ජාලය/පිටස්තර වැඩිහිටියන් යන අනාරක්ෂිත ක්‍රම හරහා දැනුම සොයන්නට වෙහෙසෙන අතරම අපයෝජකයන් වෙත නොදැනුවත්වම ගොදුරු වීමට ඇති ඉඩකඩද වැඩිය. තමාගේ සිරුරේ ස්වභාවික ක්‍රියාවලින් පිළිබඳ දැනුවත් වීමට දරුවන්ට තිබෙන අයිතිය අප සුරක්ෂිත කළ යුතුයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය දුලංගි දහනායක මහත්මිය

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය

 

ගැහැණු අයට වැඩියෙන් ඔස්ටියෝ ආත්රයිටිස් තත්වය ඇති වෙන්නේ ඇයි…?

සන්ධියක් යනුවෙන් හැඳින්වෙන්නේ අස්ථි දෙකක එකට සවිවන ස්ථානයටයි. අස්ථි කෙළවරවල් සුමට මතුපිටක් ඇති නම්‍යශීලි පටකයකින් ආවරණය වී තිබෙන අතර එය “කාටිලේජ ” යනුවෙන් හැඳින්වෙනවා. කාටිලේජය මගින් අස්ථි එකිනෙක ගැටීම වලක්වනවා. අපේ සිරුරේ ක්‍රියාකාරම්වලදී ඇති වෙන වෙහෙස මේ කාටිලේජ් තරලය මගින් අවශෝෂණය කරනවා. යම් ලෙසකින් මේ කාටිලේජ් තරලය ගෙවී ගිය විට අපේ අස්ථිවලට ඇති ආවරණය අහිමි වීම නිසා අස්ථි  අතර ගැටීමක් ඇති වෙනවා. ඒ තත්වය බොහොම වේදනාකාරීයි. ඒ අන්දමට අස්ථි අතර ඇති කාටිලේජ් තරලය ගෙවී යෑම නිසා අස්ථි අතර ඇති වෙන ගැටීම “ ඔස්ටියෝ ආත්රයිටිස් ” යනුවෙන් හැඳින්වෙනවා. 

ඔස්ටියෝ ආත්රයිටිස් ඇති වෙන ස්ථාන

ඔස්ටියෝ ආත්රයිටිස් රෝග තත්වය ඇති වෙන්නේ අපේ සිරුරේ බර දරණ සන්ධිවලයි. කොටින්ම කිව්වොත් දණහිස, උකුල අස්ථිය සහ වළලුකර වැනි සිරුරේ බර දැනෙන සහ පීඩනයක් ඇති වෙන සන්ධිවල ඔස්ටියෝ ආත්රයිටිස් රෝග තත්වය ඇති වෙනවා.

ඔස්ටියෝ ආත්රයිටිස්  රෝග තත්වය ඇති වීමට හේතු

ඔස්ටියෝ ආත්රයිටිස් රෝග තත්වය ඇති වීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • වයස

අපේ වයසත් සමග කාටිලේජ් තරලයේ ගෙවී යෑමක් සිදු වෙනවා. තරුණ කාලයේදී නම් මේ තරලය ගෙවුනත් නැවත වර්ධනය වෙනවා. කාටිලේජ් තරලයේ ස්වභාවය එයයි. නමුත් ජෛව විද්‍යාත්මකව අපි වයසට යන විට ගෙවී යන කාටිලේජ් නැවත වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ගෙවෙන කාටිලේජ් නැවත වර්ධනය නොවීම නිසා ඔස්ටියෝ ආත්රයිටිස්  රෝග තත්වය ඇති වෙනවා.

  • ශරීරයේ බර

විශේෂයෙන් අපි තරබාරු වුනොත් අපේ සිරුරේ සන්ධිවලට මේ ධාරිතාවය දරන්න බැහැ.ඒ නිසා දණහිස, උකුල සහ වළලුකර ආදි ස්ථානයන්හි සන්ධි ආශ්‍රිත වේදනාව ඇති වෙන්න පුළුවනි.

  • සංස්කෘතික සහ ජීවන රටාව

අපේ සංස්කෘතික සහ ආගමික රටාවන් නිසා දණහිස , උකුල ආශ්‍රිත ස්ථානයන්හි වේදනාවන් ඇති වෙනවා. කාලයත් සමග මේ ස්ථානයන්හි ඇති වෙන වේදනාව නිසා අස්ථි ආශ්‍රිතව වේදනාවන් ඇති වෙනවා.

  • රැකියාවන්

නිතරම බර උසුලන, පියගැටපෙල්  නගින අයගේ කාටිලේජ් ගෙවීමේ ප්‍රවනතාවය වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ දණහිස , උකුල සහ වළලුකර ආශ්‍රිතව කාට්ලේජ් ගෙවී යෑමේ ප්‍රවණතාවය සාමාන්‍ය රැකියාවක යෙදෙන පුද්ගලයාට වඩා වෙනස්.

  • ජානමය බලපෑම

ඔස්ටියෝ ආත්රයිටිස් ඇති වීමට ජානමය බලපෑම් තිබෙනවා. මව, පියා ගෙන් මේ රෝග තත්වය පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාප්ත වෙන්න පුළුවනි.

ඔස්ටියෝ ආත්රයිටිස් තත්වය පාලනය කර ගැනීමට නම්…

වෙනත් රෝග මෙන් නොවේ ඔස්ටියෝ ආත්රයිටිස් තත්වය නිට්ටාවටම සුවපත් කිරීම අපහසුයි. නමුත් අපට යම්තාක් අන්දමින් රෝග තත්වය පාලනය කර ගෙන රෝගය සමග ජීවත් වීමේ හැකියාවක් තිබෙනවා.

  • ජීවන රටාව නවීකරනය කරන්න

අතීතයේදී ඔබ වසරකට දෙතුන් වතාවක් සිරිපාදේ කන්ද නගින්න ඇති. නමුත් දැන් ඔබට පුංචි කන්දක් වුනත් නගින්න හැකියාවක් නැතුව ඇති. නමුත් කනගාටු නොවන්න. ඔබට හැකි දුරක් ඇවිදින්න. අනවශ්‍ය අන්දමින් අස්ථිවලට පීඩනයක් ලබා නොදෙන්න. ඔබගේ එදිනෙදා කටයුතුවලදීත් අස්ථිවලට ඔබ නොදැනීම වෙහෙසක් ලබා දෙනවා ඇති. උදාහරණයක් විදිහට වන්දනාමාන කටයුතුවලදී අපහසුවෙන් දණ ගසා ගෙන සිටිනවා වෙනුවට පුංචි පුටුවක් භාවිතා කරන්න. රෙදි සෝදන විට, පොල් ගාන විට දණ ගසා සිටිනවා වෙනුවට ඔබට පහසු ඉරියව්වක් සකස් කර ගන්න.

කඳු නගින්න දැන් බැරි බව ඇත්ත…නොහැකි දේ ගැන ලතනොවී  හැකි දුරක් පමණක් ඇවිදින්න

  • සිරුරේ බර පාලනය

අපේ තරබාරුව නිසා අස්ථි වෙහෙසට පත් වීම ඔස්ටියෝ ආතරයිටිස්  රෝග තත්වය ඇති වීමට හේතුවක් බැව් දන්නා  නිසාම බර පිළිබඳව ඔබට ස්වයං පාලනයක් පවත්වා ගැනීමට පුළුවනි.ඒ නිසා නිතරම කාබොහයිඩ්ඩේ්්‍රට අඩුවෙන් පරිභෝජනය කරන්න. එළවලු සහ පළතුරු පංගු වැඩි කරන්න.

  • රැකියාව සමග රෝගය පාලනය කරන්න

ඔබ දවස පුරාම වාඩි වී රැකියාවක් කරන පුද්ගලයෙක් නම් විටින් විට කෙටි වේලාවක් ඒ ඉරියව්වෙන් මිදී විනාඩි කීපයක් ඇවිදින්න. රියදුරෙක් නම් වාහනය නැවත්වූ වේලාවක ටික වේලාවක් ඇවිදින්න.

  • අනවශ්‍ය අන්දමින් දණහිසට බැන්ඩේජ් එපා

බොහෝ රෝගීන් තමන්ගේ දණහිසේ ඇති වෙන වේදනාවට පිළියමක් ලෙසින් තදින් වෙළුම්පටි යොදනවා.නමුත් එය වැරදියි. එහෙම වුනාම අදාල ස්ථානයේ මාංශ පේශි වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අනාගතයේදී හදිසියේ හෝ දණහිසක් බද්ධ කිරීමටත් අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ගැහැණු අයට වැඩියෙන් ඔස්ටියෝ ආත්රයිටිස් තත්වය ඇති වෙන්නේ ඇයි…?

පිරිමින්ට සාපේක්ෂව ඉලන විට කාන්තාවන් අතර ඔස්ටියෝ ආත්රයිටිස් රෝග තත්වය බහුලව දක්නට ලැබෙනවා. ඒ වෙනුවෙනුත් බලපාන හේතු කීපයක් තිබෙනවා.

  • ආර්තවහරණය සමග කාන්තාවන්ගේ හෝර්මෝන පිළිබඳව ඇති වෙන ඌනතාවය නිසා  අස්ථිවල ඝනත්වය අඩු වීම.
  • දරුවන් ලැබීමෙන් පසු කාන්තාවන් තරබාරු වීමේ ප්‍රවනතාවය
  • කාලාන්තරයක් පුරා ජීවිතයේ බොහෝ කටයුතු වෙනුවෙන් වැරදි ඉරියව් භාවිතා කිරීම

ප්‍රතිකාර

  • අස්ථි ගැටීම නිසා ඇති වෙන වේදනාවට පිලියම් ලෙසින් වේදනා නාශක භාවිතා කිරීම.
  • කාටිලේජ් ගෙවීම නිසා ඇති වෙන ආසාදනයන් වෙනුවෙන් “ස්ටෙරොයිඩ් ” කාණ්ඩයේ එන්නත් ඖෂධ ලබා දීම.
  • දණහිස් බද්ධ කිරීම සහ ප්ලාස්මා ප්‍රතිකාර 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය නිළධාරී නාමල් විජේසිංහ මහතා

දිස්ත්‍රික් රෝහල, මීගමුව 

 

මහා ප්‍රාචීරයේ ඇති වන හර්නියා තත්ත්ව ගැන ඔබ දැනුවත් ද?

දරුවන්ට ඇති වන ඇතැම් රෝග තත්ත්ව පිළිබඳව අපිට අසන්නට ලැබෙන්නේත් අපේම හෝ අපේම හිතවතෙකුගේ දරුවෙක්ට වැලඳුණු අවස්ථාවකදී විය හැකියි. එවැනි අවස්ථාවලදී අපි පුදුමයට පත් වුවත් අපි කිසිසේත්ම අසා නොමැති තවත් බොහොමයක් රෝග තත්ත්ව ඇති අතරම ඒවාට මුහුණ දෙන දරුවන් නිසා පීඩාවට පත්ව මානසිකව ඇද වැටුණු මව්පියන් බොහොමයක් සිටින බව සැබෑවකි. ඇතැම් ඒවා උපතින්ම ඇති වන අතර ඇතැම් ඒවා යම් යම් හේතු මත උපතින් පසු ඇති වන රෝග තත්ත්ව විය හැකිය. මෙම ලිපිය හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ උපතින්ම දරුවෙකුගේ මහා ප්‍රාචීරයේ ඇති වන හර්නියා තත්ත්ව පිළිබඳවයි. 

මහා ප්‍රචීරයේ හර්නියා ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත් වී නැති නමුත් කලල අවධියේ මධ්‍ය ප්‍රාචීරයේ ඇති වන අසාමාන්‍ය වර්ධනය උපතින්ම ඇති වන තත්ත්වයට බලපෑ හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි. 

උරස් කුහරය හා උදර කුහරය අතර පිහිටි විශාල පේශියක් වන මහා ප්‍රාචීරය පිළිබඳව අපි කවුරුත් අසා තිබෙනවා. මහා ප්‍රාචීරයේ ඇති වන හර්නියා තත්ත්වයට ඒ මත ඇති වන සිදුරක් හේතු වේ. සාමාන්‍යයෙන් අන්නශ්‍රෝතය මහා ප්‍රාචීරය හරහා උදර කුහරයට පිවිසේ. එම ස්ථානයේ සිදුර විශාල වීම හේතුවෙන් උදර කුහරයේ අවයව (බඩවැල්, ආමාශය, අක්මාව) ආදී කොටස් මෙම සිදුර හරහා උරස් කුහරයට පැමිණ දරුවාගේ උරස් අවයව (පෙනහලු, හෘදය) වලට අවහිරතා ඇති කරයි. මෙය දරුවාට උපතත් සමඟ ඇති වන ආබාධයකි. මෙය වැඩි වශයෙන් දැකිය හැක්කේ දරුවාගේ සිරුරේ වම්පසයි. එසේම මේ තත්ත්වයේ සිටින දරු‍වෙකුගේ ආහාර මාර්ගය ඇතුළු උදර කුහරයේ අවයව වම්පසට ගොස් ඇති නිසා හෘදය දකුණු පසට වෙන්නට තිබිය හැකියි. 

උපතින්ම මහා ප්‍රචීරයේ හර්නියා ඇති වීමට අවධනම් සාධක ලෙස 

  • වර්ණ දේහ හා ජාන අසමාන්‍යතා 
  • පාරිසරික හේතූ
  • පෝෂණ ගැටලු
  • ආමාශය, බඩවැල්, හෘදය හා මුත්‍රාශය වැනි පද්ධතිය ආශ්‍රිත ගැටළු දැක්විය හැකිය

මහා ප්‍රචීරයේ හර්නියා ඇති විටදී පෙන්නුම් කරන ලක්‍ෂණ

මේ තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්‍ෂණ වල තීව්‍රතාවය එහි ප්‍රමාණය, එය ඇති වීමට හේතු වූ කරුණ හා උරස් කුහරය තුලට නෙරා ඇති අවයවය මත වෙනස් වේ. 

  • ස්වසන අපහසුව – පෙනහලු වර්ධනයට ඉඩ කඩ නොලැබීමෙන් එහි ආසාමන්‍ය වර්ධනය 
  • ස්වසන වේගය වැඩි වීම – පෙනහලු අඩු ඔක්සිජන් මට්ටමකට හුරු කරවීම සඳහා
  • සමේ නිල් පැහැය හෝ අවපැහැය – පෙනහලු වලින් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම නිසා 
  • පාද වෙව්ලීම (පාද ගැස්ම වැඩි වීම) – ශරීරය පුරා ඔක්සිජන් යැවීමට හෘදය වෙහෙස වන නිසා  
  • උරස් කුහරය ප්‍රදේශයේ අන්තක වල හඬ ඇසීම. 

මහා ප්‍රචීරයේ හර්නියා ඇති විට හඳුනා ගන්නේ කෙසේද?

  • උරස් කොටසේ අසාමාන්‍ය චලන
  • ස්වසන අපහසුව
  • දරුවා නිල් පැහවීම
  • උදරයේ කොටසක් හිස් ලෙස දැනීම 

මීට අමතරව X-කිරණ පරීක්ෂාව, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය, CT ස්කෑන් පරීක්ෂණ, MRI ස්කෑන් පරීක්ෂණ මගින් ද රෝග විනිශ්චය කළ හැකිය. මහා ප්‍රාචීරයේ ඇති වන හර්නියා තත්ත්ව සඳහා ලබා දෙන ප්‍රතිකාරය වන්නේ ශල්‍ය ප්‍රතිකාර ක්‍රමයි.

දරුවා ලැබෙන්න පෙර සිටම එනම් ගැබිනි සමයේදීම රෝග තත්ත්වය පිළිබඳ විනිශ්චය කොට සිටියේ නම් ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සහිත ශික්ෂණ රෝහලක් වෙත මව යොමු කරන අතරම මෙවැනි තත්ත්වයේ දරුවෙකුගේ පෙනහලු හොඳින් වර්ධනය වී නොමැති නිසා උපන් විගස යන්ත්‍ර ආධාරයෙන් අස්වාස ප්‍රශ්වාස කිරීමේ පහසුව සලසයි. මෙවැනි දරුවන් උපන් විගස සැත්කමට යොමු නොකරන අතරම දින දෙක තුනක් නිරීක්ෂණයෙන් පසුව ඒ සඳහා යොමු කරයි. 

උපතින්ම දරුවන්ට ඇති වන මේ මහා ප්‍රාචිරයේ ඇති වන හර්නියා තත්ත්වය ඉතා කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක් වන අතරම මව්වරුන් කිහිප දෙනෙකුගේ අත්දැකීම් හේතුවෙන් කළ ඉල්ලීම මත මේ ලිපිය සකස් වූ බවත් නිකරුණේ මේ සම්බන්ධව බිය විය යුතු නැති බවත් සිහි තබාගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක මහතා 

මහරගම අපේක්ෂා රෝහල

 

 

දරුවාට තමන් ඉදිරියේ තිබෙන දෙයින් සෑහීමට පත් වෙන මන්තරය කියා දෙන්න

අපේ දරුවන් නිතරම තමන්ට නැති දේ ගැන පසුතැවෙනවා මිසක්, තමන්ට ඇති දේ ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. අතීතයේදී නම් බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දැනමුතුකම් දුන්නේ ‘‘ ලද දෙයින් සැනසෙන්න ““…කියලා වුනත් අද ඒ වගේ අවවාද දරුවන්ට ලැබෙන්නෙත් නැහැ. ඒ විතරක් නොවෙයි, දරුවන්ගේ මව්පියන් වුනත් ලද දෙයින් සැනසෙන්න කියන අවවාදය දරුවන්ට ලබා දෙන්න තරම් සුදුසුකම් සපුරා නැහැ.

ඉතින්..ඔබ මේ කථාව අහලා තියෙනවාද..?

සපත්තුවක් නැතුව හඩන දරුවෙකුට කකුලක් නැති මිනිසෙකු දුටුවාලු. දරුවා එහිදී හැඬීම නවතා මේ විදිහට හිතුවාලු… සපත්තුවක් නැති වුනත් මට කකුලක් තියෙනවා…නමුත්..කොච්චර ලස්සන සපත්තු තිබුනත් මට කකුලක් නැති වුනා නම් දරුවාට හිතුනාලු…එතැනදී දරුවා යථාර්ථය තේරුම් ගත්තා.

ඉතින් ඔබේ දරුවා වෙතින්ද මේ වගේ ගති ලක්ෂණ නිරන්රතව මතු වෙනවා ඇති.

සමහර විට කුඩා කාලයේ පටන්ම ඔබේ දරුවා ලද දෙයින් සෑහීමට පත් නොවෙන චරිතයක් වෙන්නත් ඇති. එය දරුවා බාල කාලයේ සාධාරණ සිතුවිල්ලක් විදිහට හිතුවත් දරුවා සමග මේ සිතුවිලි වර්ධනය වීම එතරම් සුබවාදී නැහැ. දැන් ඔබට ඒ ඇයි කියලා හිතුනාද…?

නිතරම අසතුටින්…

ලද දෙයින් සෑහීමට පත් නොවන දරුවාව විතරක් නොවෙයි, ඕනෑම පුද්ගලයෙක් නිතරම නොසතුටින් පසු වෙන බව අමතක කරන්න එපා. කිසිම දවසක ඔවුන්ගේ හිතේ සතුටක් නැහැ. දරුවන්ගේ මෙවැනි සෘන සිතුවිලි ඔවුන්ගේ ආකල්ප සංවර්ධනයට පවා අහිතකර අන්දමින් බලපාන්න පුළුවනි.

හීනමානය…

තමන් පිළිබඳව සෑහීමකට පත් නොවන දරුවා නිතරම පසුවෙන්නේ හීනමානයෙන්. අනිත් හැම දෙනෙක්ම මට වඩා ඉහලින් සිටිනවා. ඔවුන්ගේ භෞතික සම්පත් මට ඇති දෙයට වඩා ඉස්තරම්. අපි කොටින්ම මේ විදිහට හිතමු. දරුවාට තමාගේ චෙස් පුවරුව , එහෙම නැත්නම් බැට් එක ගැන වුනත් සෑහීමක් නොවුන විට ඔවුන් සමාජයේ විවිධ  අවස්ථාවන්ට සම්බන්ධ වීම පවා ප්‍රතික්ෂෙපකරනවා.

මගේ චෙස් බෝඩ් එක තත්වයෙන් අඩුයි. …ඒ නිසා මම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අන්දමින් අනුන් උපමා කර ගෙන තමන්ගේ අවස්ථාවන් අහිමි කර ගැනීම නිසා දරුවා නිතරම පසු වෙන්නේ හීනමානයෙන්. ඒ නිසා ඔවුන්ට ඇති අවස්ථාවන් පවා තමා විසින්ම අහිමි කර ගැනීමට පවා සිදු වෙනවා.

ආත්ම විශ්වාසයක් නැහැ…

දරුවන්ගේ හිතේ ගොඩ නැගෙන මේ හීනමානය නිසාම ඔවුන්ගේ හිතේ ආත්ම විශ්වාසයක් නැති වෙනවා. අනේ මට ඒ දෙය කරන්න බැහැ. මම ඒ තරඟයට සුදුසු නැහැ. මේ විදිහට තමා මුල් කර ගෙන ඇති වෙන අවිහ්වාසය නිසා දරුවාට සමාජයේ ඉදිරියට යෑමට තිබෙන අපේක්ෂාවන් පවා නැති වෙනවා. ඒ නිසාම දරුවාගේ හිතේ නිතරම ඇති වෙන්නේ අපේක්ෂාභංගත්වයක්.

මේ විදිහට චරිත ස්වභාවයන් ගොඩ නැගෙන්නේ ඇයි…?

දරුවන් තුලින් මෙවැනි චරිත ලක්ෂණ ගොඩ නැගෙනන්ත් බලපාන හේතු තිබෙනවා. සමහර දෙමව්පියන්ද මේ ගැන වග කිව යුතුයි. ඔවුන් දරුවන්ගේ බාල කාලයේදී සෙසු දරුවන්ට වඩා තමන්ගේ දරුවා ඔසවා තබන්නට  වෑයම් කරනවා. බාල කාලයේදී එය අපහසුවක් නැහැ. මකන කෑල්ල  වුනත් ඉස්තරම් වර්ගයෙන් මිළට අරගෙන දෙන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ නිසා දරුවාගේ මානසිකත්වයත් හොදම දෙය මුල් කර ගෙන ගොඩ නැගෙනවා. දෙමව්පියන් ආදරයට මේ දෙය කළත් එයින් දරුවාගේ ති පැවැතුම් අනාගතයේදි ඔවුන්ටම කරදරයක් බවට පත් වෙනවා.

අවම පහසුකම් තුලින් උපරිම ඵලදායිතාවයක් ලබා ගන්න.

මේ නිසා නිතරම දරුවන්ට අවම පහසුකම් වෙතින් උපරිම ඵලදායිතාවයක් ගොඩ නගා ගැනීමට උනන්දු කරන්න. අතීතයේදී දරුවන් තමන්ගේ පැන්සල අතින් ලියන්න තරම් නොහැකි තත්වයට පත් වූ විට එහි පිටුපසට පෑන් බටයක් සවි කර ගන්නා. තමන්ගේ සම්පත්වලින් උපරිම ප්‍රෙයා්ජන  ලබා ගැනීමට දෙමව්පියන් දරුවන් හුරු කළේ ඒ විදිහටයි. මකනය වුනත් දෙකට කපලා එයින් එක් වතාවකට එක් කෑල්ලක් දුන්නා. අනිත් කොටස දුන්නේ මුල් කොටසින් මකන්න බැරි තරම් ගෙවී ගිය විටයි.නමුත් අද පංතියක දරුවන් තුළ මකනයේ, පැන්සල් කටරයේ පවා තියෙන්නේ විවිධත්වයක්, ඒ අරුමෝසම් ලෝකය තුළ දරුවන් අතර තරගයක් ගොඩ නැගෙනවා. නමුත් දරුවන්ට නිතරම අවම පහසුකම් තුලින් ඉදිරියට යැමේ කතාන්දරය කියා දෙන්න. එය සමාජයෙන් කොන් විමක් නොවෙයි.  අනාගතයේදී තමන්ගේ ජීවිතයේ ස්ථාවරත්වය වෙනුවෙන් ආයේජනයක් බැව් කියා දෙන්න.

නැති දේ ගැන ලතැවෙන්න එපා…

අද දවසේ දරුවන් බොහෝ විට නැති දේ ගැන ලතැවෙනවා. පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ අපි දැන් නැති දේ ගැන ලතැවෙනවාට වඩා විකල්ප සම්පත් ඔස්සේ ඉදිරියට යා යුතු යුගයක් බව අමතක කරක්ක එපා. දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන පවා හිගතාවයක් පවතින විට ඒ වෙනුවෙන් විකල්ප සොයා ගන්න ජපන් ජාතිකයන්ගේ දියුණුවට බලපා තිබෙන්නේ මේ ක්‍රමවේදයයි. ඔවුන් විවිධ උපකරණ පවා නැති අවස්ථාවන්හිදී ඒ ගැන ලතැවෙමින් තමන්ගේ කාර්යය අතපසු කරන්නේ නැහැ. විකල්ප සොයා ගෙන අවස්ථාවට ගැලපෙන පරිදි තමන්ගේ කාර්යය නිම කරනවා. උදාහරණයක් විදිහට අපි මේ විදිහට හිතමු. පංති කාමරයේ කුනු අදින ‘‘ ඩස්ට් පෑන් ““ එක කැඩිලා නම් ඊට විකල්පය අතු නොගා සිටීම නොවෙයි. කාඩ්බෝඩ් දෙකක් සොයා ගෙන අතුගාන ලද කුණු ඉවත් කිරීම නොවේද..? කුණු දමන කූඩය බිඳී ඇත්නම් පරණ තීන්ත බාල්දියක් හෝ කුනු දැමීමට ගැලපෙන කාඩ්බෝඩ් පෙට්ටියක් හෝ සොයා ගෙන හිස්තැන පිරවීම හැර අනේ කුනු දාන්න බාස්කට් එක නැතැයි මැසවිලි නැගීම නොවේ.

පසුගාමී වීම

නිතරම මේ අන්දමින් මට නැහැ…මට බැහැ.. මම කලුයි..මම කොටයි… එහෙම නැත්නම් මම උසයි යනුවෙන් තමා මුල් කර ගෙන විවිධ මානයන් ගොඩ නගා ගෙන පසුතැවිලි වීම නිසා දරුවාගේ පෞරෂය පවා බිදවැටෙනන්ට පුළුවනි. ඒ නිසා නැපෝලියන් බොනපාට් කී ලෙසින් නැහැ..බැහැ යන වචන දරුවන්ගේ ශබ්ද කෝෂයෙන් ඉවත් විය යුතුයි. එපමණක් නොව…අනිත් අයට සාපේක්ෂ කරමින් තමා නුසුදුස්සෙක්ය යන සිතුවිලි වෙතින් දරුවා දුරස් කිරීම ඉතාම වැදගත්.

ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ නිතරම දරුවාට තමන් ඉදිරියේ තිබෙන දෙයින් සෑහීමට පත් වෙන මන්තරය කියා දෙන්න එය ඔවුන්ගේ අනාගතයට ලබා දෙන ජීව හුස්මක් තරම් ප්‍රබල වෙනු ඇත.

 

 

බබා ලැබුණට පස්සේ බිරිඳ ඉන්නේ එපාවෙලා වගේ ද? තරහෙන් ද?

දරු උපතක් සිදුවීම යන්න සාමාන්‍ය සංසිද්ධියක් වුනත් එයට මුහුණ දෙන මව ලබන්නා වූ අත්දැකීම් වගේම මුහුණ දීමට සිදුවන සිදුවීම් ගත් කළ එය තරමක් දුරට අභියෝගාත්මක කාල සීමාවකි. මවකට එම අභියෝගයට මුහුණ දීමට ඇති ශක්තිය මත එම තත්ත්වයන් හමුවේ ගැටලු පැන නැගීමට බෝහෝ  ඉඩකඩ ඇත. එවන් වූ අවස්ථාවක පසු ප්‍රසව ආතතිය ඇති විය හැකි අතරම මෙය ඇති වී නැති වී යන්නටත් අර්බුදයක් කරා ගමන්කිරීමටත් අවස්ථාව තිබේ.  

දරු ප්‍රසූතියට මුහුණ දෙන මවට පවුලෙන් ලැබෙන රැකවරණය, ආදරය වගේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙතින් ලැබෙන සහාය සංරක්ෂණයත් හරිම වැදගත්. අම්මාට දරු ප්‍රසූතිය සඳහා දරන්නට වෙන වෙර වෑයම වගේම අපහසුතාවය විඳ දරාගන්නත් අලුත් අමුත්තා එක්ක ගනුදෙනු කරන්න හුරුවීමත් මේ සියලු අලුත් වගකීම් සම්භාරය මැද්දේ පුරුදු ලෙසින් නිවසේ මවක, ගෘහණියක ලෙසින් කරන්නට ලැබෙන සුපුරුදු කටයුතුත් පැවරෙන නිසාම පසු ප්‍රසව සමයේදී මවකට පැවරෙන වගකීම් සම්භාරය මෙන්ම මවට දැනෙන පීඩනය වැඩි වේ. නිවැසියන්ගේ සහයෝගය මගින් මවකට මේ ආතතිය යම්තාක් දුරකට පහව යා හැකි වුවත් යම් හෙයකින් දරාගැනීමේ සීමාව ඉක්මවා ගියහොත් එය මවට, දරුවාට බලපාන අන්දම ගැටලුකාරීය. මෙසේ හෙයින් මවකට ඇතිවිය හැකි ලක්ෂණ වගේම ඒ නිසා ඇතිවන ගැටලු හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. 

මේ වන විට ලංකාව තුළ මවුවරුන්ගේ පසු ප්‍රසව සමය තුළ මානසික තත්වයේ වෙනස්වීම් වලට හා එම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ ප්‍රමාණය වැඩි වීමක් දක්නට ලැබෙන අතරම එය හඳුනා ගැනීම පිළිබඳව දැන සිටීම මගින් මව්වරුන් ගේ ජීවිත අවදානම වළක්වා ගැනීමටත් දරුවන්ගේ පෝෂණය, ආරක්ෂාව සහ රැකවරණය සුරක්ෂිත කිරීමටත් හැකි වෙනවා. මවුවරුන්ගෙන් 50% කට පමණ පසු ප්‍රසව විෂාදය නම් වූ මානසික තත්ත්වය ඇතිවීම දැකිය හැකියි‍. 

පසු ප්‍රසව සමයේ මුල් සති දෙක තුළ ඇති වන අතර පසු ප්‍රසව විෂාදය තාවකාලික වේ. මෙවැනි තත්ත්වයකට පත්වූ මව්වරුන් තුළ හැඬීම, නුරුස්නා සුළු බව හා මානසික අවපීඩන තත්ත්වය ඇති වන අතරම මෙම රෝග ලක්ෂණ ඉක්මනින් පහව යයි. මේ සඳහා වැදගත් වන්නේ මව්වරුන්ට තම ස්වාමිපුරුෂයාගෙන් නිවැසියන්ගෙන් හා පවුලේ අයගෙන් දැඩි ආදරය, රැකවරණය, සහයෝගය හා කරුණාව ලැබීමයි. එවිට බොහෝ විට මේ තත්ත්වය පහව යයි. නවා මෙම තත්ත්වය postpartum blues ලෙසින් හැදින් වෙනවා මෙය සති දෙකකට වඩා පැවතුනොත් එය පසු  ප්‍රසව විශාදය හෝ පසු ප්‍රසව සයිකෝසියාව තත්ත්වයට පත්විය හැකි අතර මෙවන් තත්ත්වයකට පත්වුවහොත් මවට දරුවාට මෙන්ම පවුලේ අයට ද අපහසුතාවයට පත් වීමද සිදුවෙනවා. 

පසු ප්‍රසව සමය තුළ ඇතිවිය හැකි මානසික රෝග, මානසික වික්ෂිප්ත භාවය ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගෙන් 50% පමණ ඇති වේ.‍ ඒ අතරින් පසු ප්‍රසව විශාදය 10% – 15% පමණ ද පසු ප්‍රසව සයිකෝසියාව 0.1% – 0.2% පමණ ද දැකිය හැක. මේ තත්ත්වයන් දෙක හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මාතෘ මරණ පවා සිදුව ඇති හෙයින් පසු ප්‍රසව මානසික රෝග පිළිබඳ සෑම දෙනාගේම දැනුවත් වීම වැදගත් වේ.

පසු ප්‍රසව විශාදය තත්ත්වය නිසා මව්වරුන් සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පත් විය හැකි හෙයින් පවුල් ඒකකය තුළ මේ තත්ත්වයන් පිළිබඳ දැනුම නගා සිටුවීම වැදගත් වේ. පසු ප්‍රසව වික්ෂිප්ත භාවයේදී මවගේ හැඬීම, පවුලේ අය පිළිබඳ නුරුස්නා ස්වභාවය වැනි ලක්ෂණ මවක් පෙන්නුම් කරන අතරම මවට ඇති වගකීම් සමුදාය හා අලුත් ජීවිතයට මුහුණ දීමට සිදුවීම තුළින් සිතට ඇතිවන ආතතිය නිසා මේ තත්ත්වය ඇති වේ. පවුලේ සියලු දෙනාගේ අවධානය මගින් මග හරවා ගත හැකි වන අතරම රෝග ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

පසු ප්‍රසව විශාදය ‍

මෙය බරපතළ තත්ත්වයක් විය හැකි අතරම රෝග ලක්ෂණ දැකිය හැක්කේ ප්‍රසූතියෙන් සති හයක් ඇතුළයි. මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. මේ තත්ත්වයේදී මවට, දරුවාට හා පවුලේ සියලු දෙනාටම අපහසුතාවයට මුහුණ දීමට සිදුවේ. 

රෝග ලක්ෂණ

  • නිරන්තර කලකිරීම
  • විඩාවට පත්වීම 
  • දුර්වල යයි සිතීම
  • අවධානය අඩු වීම
  • නිතර නිතර තරහ යෑම
  • ආහාර රුචිය වෙනස්වීම්
  • නින්ද නොයාම 

මේවා මවගේ හැසිරීම් රටාව තුළින් හඳුනාගත යුතු අතරම මේ ගැටලු නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පීඩා අවම කරගත හැකිවේ. ප්‍රසූතියට මුහුණ දීම සාමාන්‍ය පරිදි සිදු වුවද දරු ප්‍රසූතියෙන් පසුව මවට ඇතිවිය හැකි මෙම තත්ත්වයේදී මවට, දරුවා පිළිබඳව හෝ සතුටින් සිටීමට නොහැකි වේ. මෙවැනි මව්වරු දරුවා බලා ගැනීම, සුරතල් කිරීම, සමහර විට මව් කිරි දීම පවා ප්‍රතික්ෂේප කළ හැකිය.එවැනි තත්ත්වයකදී එවැනි මවකට විශේෂ රැකවරණය මෙන්ම වෛද්‍ය උපදෙස් ලබා දීම කළ යුතු අතර ඖෂධීය ප්‍රතිකාර වල දී සෘජුව මැදිහත් වීමෙන් වෙලාවට ඖෂධ ලබාදීම කළ යුතු වේ.

පසු ප්‍රසව විෂාදය හේතුවෙන්

  • හිස පීරීම, පිළිවෙකට සිටීම පවා මගහැරී තමා ගැන පවා කිසිදු සැලකිල්ලක් නොදැක්වීම‍
  • අවධානය අඩුවීම නිසා දරුවා නොසලකා හැරීම
  • අමතක වීම
  • තීරණ වලට එළඹීමේ නොහැකියාව
  • තරහා ඇති වීම

වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් දරුවාට මවුකිරි දීම හා රැක බලා ගැනීම සම්බන්ධව ස්වාමි පුරුෂයාට මෙන්ම පවුලේ අයට විශාල වගකීමක් පැවරේ. 

එසේම තම ස්වාමිපුරුෂයා සමඟ පවා තරහ ඇති විය හැකි අතරම තමන් ආදරය කරන හා තමන්ට ආදරය කරන අයට පවා බැන වදින්නට/දඬුවම් කිරීමට පෙළඹිය හැකියි. මෙහිදී තමන්ගේ දරුවාට පවා මෙලෙස කළ හැකි බැවින් සුරක්ෂිත රැකවරණයක් අත්‍යවශ්‍ය වේ.

නින්ද සම්බන්ධව ගැටළු ඇති වීමේ හැකියාවක් ඇති හෙයින් වැඩිපුර නිදා ගැනීම හෝ නිදි නොමැතිව සිටීම දැකිය හැකි අතරම නිවසේ අනෙක් අයටද නිදි වර්ජිතව සිටීමට පවා සිදුවිය හැක.

ආහාර පිළිබඳ අවධානය අඩු/වැඩි විය හැකිය. ඇතැම් විට පාලනයකින් තොරව ආහාර ගැනීම දැකිය හැකි අතර එවිට පවතින අනෙකුත් දියවැඩියා, අධික රුධිර පීඩනය, කොලොස්ට්‍රෝල් වැනි රෝග තත්ත්වයන් වැඩි වීමට ඉඩ ඇත. තවද ආහාර ගැනීම අඩු වීම නිසා දුර්වල වී වෙහෙසට පත් විය හැකියි. එමෙන්ම බර අඩුවීමක් ද සිදුවිය හැකි නිසා මවගේ පෝෂණය සම්බන්ධව පවුලේ අයට වැඩි වගකීමක් දරා ගැනීමට සිදු වේ. 

මෙම රෝග ලක්ෂණ දිගින් දිගට පැවතීම නිසා මව තුළ ඇති ආත්ම ශක්තිය බිඳ වැටේ. මෙසේ හෙයින් දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ අනාගතය ගැන පවුලේ කටයුතු සිදු කිරීම ආදිය බිඳ වැටේ. එසේම තමන් වරදකාරියක ලෙස සිතන හැඟීමක් ද ඇති විය හැකියි. එසේම මෙවන් ලෙස අධික ලෙස චිත්ත පීඩාවට පත්වන මවුවරු තමන්ගේ ජීවිතය හානි කර ගැනීමට පවා පෙළඹිය හැකි වන අතරම දරුවාගේ ජීවිතයද අනතුරේ හෙළීමට හැකියි.

මෙසේ හෙයින් ගර්භනී කාලය තුළ තුල දහසක් විඳ දරාගැනීම් මැද ලබාගත් කිරි සිහිනය බොඳ නොවන්නට මවක් පිළිබඳ දක්වන ආදරය කරුණාව මෙන්ම සහයෝගය එකඟතා මනාව සැලසුම් කළ යුතුය. පසු ප්‍රසව සමයේ ඇති විය හැකි තත්වයන් පිළිබඳව ද හොඳින් දැන ගත් කරුණු වටහා ගෙන කටයුතු කිරීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

පාසැල්වලත් ලාදුරු රෝගීන්… ‍දරුවන් පාසැල් යවන්න ඔබත් බියෙන්ද?

ඉස්සර අපි පංචි කාලේ රොබින් හුඩ් බලද්දී මතකද ඔළුවේ ඉඳන් වහගනිපු මිනිස්සු අතේ පුංචි සීනුවකුත් අරගෙන එක පෙලට යනවා. එයාලගේ ඒ සීනුවේ හඬත් එක්ක ඈත තියාම මිනිස්සු ඒ පාරෙන් අයින් වෙනවා. ඒ මිනිස්සු ඉන්නේ එයාලටම වෙන් කරපු වෙනම තැනක. ඒ කාලේ මේ රෝගය ගැන අපිට අවබෝධයක් දැනුමක් තිබුණේ නැතත් ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ ලාදුරු රෝගය බවත් එය බෝ වෙන නිසාත් ප්‍රතිකාර නොමැති කම නිසාත් එවැනි රෝගීන් වෙන් කර තබන බව දැනගන්න ලැබුණා. ලාදුරු රෝගීන් ලංකාවෙනුත් වාර්තා වුණු ඒ කාලේ ඔවුන් වෙනුවෙන් වෙනම රෝහල් වෙන් වුණා. තවත් කාලයක් ගත වෙද්දී ලාදුරු ලංකාවෙන් තුරන් කළා කියලා දැන ගන්න ලැබුණා. අන්න ඒ මතකයත් එක්ක වෙන්න ඕනේ අපේ රටේ වැඩි පිරිසක් හිතා ගෙන ඉන්නේ ලාදුරු රෝගීන් දැන් අපේ රටේ නැහැ කියලා. පහුගිය කාලෙක ලාදුරු හැදුණු පාසැල් දරුවනුත් ඉන්නවා කියලා කතා වුණු අවස්ථාවලදී ලාදුරු දැන් නෑ නේද කියලා හැමෝම කතා වුණා. තවත් පිරිසක් ලාදුරු හැදුණු දරුවෝ ඉන්නවා කිව්වම පුදුම උනා. තමන්ගේ දරුවා පාසැල් යවන්නත් බය වුණා. 

වෛද්‍යතුමනි, දන්න නොදන්න කාටත් දැනගන්න අපි ලාදුරු රෝගයේ ඉතිහාසය ගැන ටිකක් කතා කරමුද?

ලාදුරු කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපෑ රෝගයක්. පුද්ගලයන් දහදාහකට වාර්තා වෙන්නේ එකට අඩු රෝගීන් සංඛාවක් නම් ලාදුරු ඒ රටෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කළා. 1995 වසර වෙද්දී අපිට ඒ සහතිකය හිමි වුණා. නමුත් අද වෙද්දී ඒ නිර්නායක වෙනස් වෙලා. අද වෙද්දී ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික වීමට නම් අපි පෙන්විය යුතුයි ළමා ලාදුරු රෝගීන් වසර පහක් පුරා වාර්තා වී නොමැති බව. අද වෙද්දී අපේ ඉලක්කය එයයි.

ඒත් අද වෙද්දී ලාදුරු රෝගය ලංකාව තුළ ව්‍යාප්ත වෙනවා නේද?

ඔව්.. 2000 සිට මේ වන තුරු වසරකට දළ වශයෙන් රෝගීන් 1500 – 2000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ අතරින් 10% ක් ළමා රෝගීන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 14ට අඩු දරුවන්. සාමාන්‍යයෙන් මේ රෝගීන් අතරින් 40% වගේ වාර්තා වෙන්නේ බස්නාහිර පලාතෙන්. අනෙක් රෝගීන් මඩකලපුව, කල්මුණේ, පුත්තලම, යාපනය, අනුරාධපුරය ඇතුළු පැති වලින් වාර්තා වෙනවා. 

අතීතයේදී මේ ලාදුරු රෝගීන් වෙනම රෝහල්වලට ඇතුළත් කළා. අද වෙද්දි එතරම්ම භයානක තත්ත්වයක් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. එ් ඇයි?

ලාදුරු කිව්වම අතීතයේදී මිනිසුන් බොහොම බය වුණා. අත් පා විරූපී වීම්, ඇඟිලි ගැලවී යාම් වැනි දේ සිදු වෙනවාට මිනිසුන් බියට පත් වුණා. මොකද ඒ වෙද්දී ලාදුරු රෝගයට ඖෂධ ප්‍රතිකාර තිබුණේ නැහැ. අද වන විට ලාදුරු නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තියෙනවා. අවශ්‍ය වෙන්නේ කල් තියා හඳුනා වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමයි. 

වෛද්‍යතුමනි, මේ ලාදුරු රෝගය ඇති වෙන්නේ කොහොමද?

ලාදුරු කියන්නේ බැක්ටීරියා ආසාදන තත්ත්වයක්. මයිකොබැක්ටීරියම් ලෙප්රේ කියන බැක්ටීරියාව නිසා ඇති වෙන මේ ලාදුරු රෝගයත් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. මේ රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ ආසාදිත පුද්ගයෙකුගේ බිඳිති සහ ශ්ලේෂමල හරහා. මේ ආකාරයෙන්ම බෝ වෙන කොවිඩ් රෝගයේදී අපි මුව ආවරණ පැලදලා, මීටරයේ දුර පවත්වාගෙන, දෑත් පිරිසිදු කරගනිමින් රෝගය බෝ වීම පාලනය කළා. නමුත් ලාදුරු ඒ ආකාරයෙන් බෝ වීම වලක්වන්න බෑ. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මත තමයි මේ රෝගය බෝවීම සහ නොවීම සිදු වෙන්නේ. ඒ කියන්නේ රෝගියෙක් ආශ්‍රය කළා කියලා හැම කෙනෙකුටම ලාදුරු බෝ වෙන්නේ නැහැ. 10%කට වගේ තමයි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන්නත් අවුරුදු 3 – 5 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ කාලය අවුරුදු 20ක් දක්වා වුවත් දීර්ඝ වෙන්න පුළුවන්. 

ලාදුරු රෝගියෙකු ස්පර්ෂ කිරීමෙනුත් බෝ වෙනවද?

නැහැ. ස්පර්ෂයෙන් ලාදුරු බෝ‍ වෙන්නේ නැහැ. ලාදුරු බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා පිටවන බිඳිති සහ ශ්ලේෂ්මල මගින් පමණයි. ලාදුරු රෝගියෙකු ළඟ හිටියා කියලා බෝ වෙන්නේ නැහැ

ලාදුරු රෝගයේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවාද?

මේ රෝගයේ මුල් අවස්ථාවේදී පෙන්වන රෝග ලක්ෂණ පීඩාවකින් තොරයි. අන්න ඒ නිසාම ඇතැම් අය ගණන් ගන්නේ නැහැ. පීඩාකාරී නැහැ කියලා කිව්වේ මේ රෝගයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සමේ හා පර්යන්ත ස්නායු පද්ධතියේ පමණයි. මොකද බැක්ටීරියාවකට සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක ඉන්න බැහැ. ශරීර අභ්‍යන්තරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 වගේ වුණාට සම මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 වගේ. ඉතිං මේ බැක්ටීරියාව ශරීරයේ ඇතුලත ඉන්නේ නැති නිසා අභ්‍යන්තරයට හානි වෙන්නේ නැහැ. ඒ වගේම අපේ හිසට රුධිර සැපයුම වැඩි නිසා උෂ්ණත්වය වැඩියි. ඒ නිසා හිසේත් මේ ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ.

මූලිකව ශරීරයේ සම මතුපිට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා‍.

  • සමේ පැහැයට වඩා අඩු පැහැ ලප (අලුහම් වැනි)

මේ ලප කිසිදු පීඩාවකින් තොරයි. යම් කාලයක් තුළ වැලමිටේ පිටුපස, බඩේ, පිටේ මෙන්ම අත් පාවලද දැකිය හැකියි. වැඩිහිටියෙකුගේ හෝ දරුවෙකුගේ ලපයක් ඇත්නම් ඒ ලපයේ පිටත සිට ඇතුළට බෝල්ට් පොයින් පෑන් තුඩකින් ක්‍රමයෙන් ස්පර්ෂ කරන්න. එවිට දැනීම ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්‍. එහෙමත් නැත්නම් නම් වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සැක හැර දැන ගත හැකියි. 

  • ලප ඇති ස්ථානවල සන්වේදනය අඩු වී යාම

කාලයත් සමග ලප ඇති ස්ථානවල සංවේදනය අඩු වීම අවදානම් සහගතයි. මොකද සංවේදනය අඩු වෙද්දී අනතුරක් සිදු වුණත් දැනීමක් නෑ. උදාහරණයක් විදියට උණු දෙයක් ඇල්ලීමේදී නොදැනීම නිසා සමට වගේම ස්නායුවලට හානි සිදු විය හැකියි. එවිට සම මත තුවාල ඇති වීම වගේම ඒ ස්නායු මගින් ක්‍රියාත්මක වන පේශී අක්‍රිය වීම සිදු වෙනවා. 

  • හිරි වැටීම

සාමාන්‍යයෙන් අත පය හිරි වැටීම වැඩිහිටියන්ගේ දුර්වල වීම් සමග ඇති වුවත් දරුවෙක් හිරිය ගැන පැමිණිලි කරනවා නම් නොසලකා හැරීම කිසිසේත්ම සුදුසු නැහැ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට උනන්දු වන්න. 

ලාදුරු හැදෙන්න වයස් භේදයක් නැද්ද?

බාල මහලු වැඩිහිටි භේදයකින් තොරව ලාදුරු රෝගීන් අපට හමුවෙනවා. රෝගීන් අතර අවුරුදු පහට අඩු දරුවන් කුඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ ‍වගේම වයස අවුරුදු 14ට අඩු දරුවන් 14% ක් පමණ ද ඉතිරි කොටස වැඩිහිටි පිරිස. රෝගය හොඳින් පාලනය කළ රටක් ගත්තත් 4% – 5% ක ප්‍රමාණයක් ළමා රෝගීන් සිටිනවා.

පාසැල් දරුවන් අතරත් ලාදුරු තියෙනවා නම් අම්මලා බය නැතිව දරුවෙක් පාසැලට යවන්නේ කොහොමද?

වාර්තා වී ඇති තොරතුරු වලට අනුව මේ රෝගයට දරුවෝ ගොදුරු වෙලා තියෙන්නේ පවුලේ සමීපතමයන් හරහා. පාසැල් හරහා දරුවන්ට මේ රෝගය පැතිරීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා පාසැල් එවන්න මව්වරු බිය විය යුතු නැහැ.

ලාදුරු රෝගීන් වෙනුවෙන් අපේ සෞඛ්‍ය පද්ධතිය මගින් ගෙන ඇති පියවර මොනවද?

  • නොමිලේ සායන

ඕනෑම රජයේ රෝහලක සමේ රෝග සායනය හෝ ජාතික රෝහලේ කාමර අංක 12 (සතියේ දිනවල උදේ 8 – සවස 4 දක්වා හතර දක්වාත් සෙනසුරාදා දින උදේ වරුවේ) වෙත ගොස් වෛද්‍යවරු හමුවිය හැකියි.

  • නොමිලේ ඖෂධ

ලාදුරු රෝගය සඳහා අවශ්‍ය ඖෂධ ලබාගත හැක්කේ රජයේ රෝහල්වලින්ම පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අප වෙත ලබා දෙන මේ ඖෂධ පෞද්ගලික අංශවලින් ලබාගැනීමට හැකියාවක් නැහැ. 

  • නව රෝගීන් හදුනා ගැනීම

වාර්තා වුණු රෝගීන්ගේ සමීපතමයන් පරීක්ෂා කරමින් ඒ හරහා නව ආසාදිතයන් හඳුනා ගැනීම. ඇතැම් පළාත් වල ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කර ඒ කණ්ඩායම් හරහා රෝගීන් සොයා ගන්න උත්සාහ කරනවා.

  • රෝගීන්ගේ මානසික සුවතාවය ගැන සැලකිමත් වීම

සාමාන්‍යයෙන් තමාට ලාදුරු කියලා දැන ගත්තම කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසාම පරීක්ෂා කිරීමේදී වුවත් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදියට ගමක එක් රෝගියෙක් වාර්තා වුණොත් මුළු ගමම පරීක්ෂාවට ලක් කරනවා. රෝගියාගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරකින්න අපි බැදී සිටිනවා. ඒ වගේම පාසැලක රෝගී දරුවෙක් හමු වුණොත් ඒ ශ්‍රේණියම පරීක්ෂා කිරීම සිදු වෙනවා. දරුවා පිළිබඳ ප්‍රසිද්ධ කිරීමක් සිදු වන්නේ නැහැ. 

ළමා ලාදුරු තත්ත්වය ව්‍යාප්ත වෙනවා නම් දෙමව්පියන් ඒ ගැන සැලකිලිමත් විය යුතුතේ කෙසේද?

ඇත්තටම කළ යුත්තේ බිය වීම නම් නොවෙයි. දරුවාගේ ලප කැලැල් තියෙනවා නම්,  හොඳට අකුරු ලියපු දරුවා ලියද්දි අත හිරි වැටෙනවා කියනවා නම්, හොඳට සෙල්ලම් කරපු දරුවා කකුල අද්දමින් දුවනවා නම් ඒ ලාදුරු වල මුල් අවස්ථාව වෙන්න පුළුවන්. අවධානයෙන් ඉන්න, සඟවන්න එපා. දරුවා ළඟම රෝහලේ සමයේ රෝග සායනයට රැගෙන යන්න. කල්තිය හඳුනාගෙන නිට්ටාවටම සුව කරගන්න. 

වාඩිහිටියෙක් වුණත් දරුවෙක් වුණත් තමා ලාදුරු රෝගියෙක් බව තහවුරු වුණොත් මානසිකව ඇද වැටෙනවා. එවැනි අයෙක් ජීවිතය යථා තත්ත්වයට පත්කර  ගන්නේ කොහොමද?

ඇත්තටම කිව්වොත් ලාදුරු ගැන කතා කරන සමාජයක් අපිට අවශ්‍යයි. ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් අපි සමාජය දැනුවත් කිරීම සිදුකරනවා. කිසිසේත්ම මේ ලාදුරු රෝගීන් කොන් නොකළ යුතුයි. ලාදුරු රෝගීන් මානසිකව වැටෙන එක නතර කරන්න අපි අලුතින් උපදේශන සේවාවක් සඳහා පිරිස පුහුණු කිරීම මේ වන විටත් ආරම්භ කර අවසන්. ඒ වගේම තමයි ඉස්සර ලාදුරු රෝගියෙක් බව තහවුරු වූ විට ලැබුණු වසර දෙකක නිවාඩුව අද වෙද්දී මාසයක් දක්වා කෙටි කර තිබෙනවා. ඒ මාසය ලබා දෙන්නේත් මානසිකව සමබර වෙන්න අවශ්‍ය නිසා. නැතිනම් මේ රෝගය සති දෙකක නිවාඩුවක් ප්‍රමාණවත්. මොකද සතියක් ඖෂධ ලබා ගත් විට රෝගය තවත් කෙනෙකුට බෝ කිරීමේ හැකියාවක් නැහැ.

වෛද්‍යතුමනි, ලාදුරු රෝගය සම්බන්ධයෙන් ඔබ සමාජයට ලබා දෙන උපදෙස් මොනවාද?

ඇත්තටම මම අපේ ජනතාවට කියන්න කැමතියි පෙර සඳහන් කළ ලක්ෂණ තිබෙනවා නම් කල් නොදා වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න කියලා‍. මොකද කල්තියා හඳුනා ගැනීමෙන් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් නොසැලකිලිමත් වීම නිසා අත් පා ඇඟිලි අහිමි වන තත්ත්වය තෙක් ගෙන යාම අපි අපටම සිදු කරගන්නා අපරාධයක්.  ඒ වගේම තමයි ලාදුරු රෝගීන් කොන් කරන්න එපා. ඔවුන්ටත් මේ සමාජයතුළ සම අයිතිවාසිකම් ලබා දිය යුතුමයි

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද ප්‍රසාද් රණවීර මහතා

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

 


                

ඔබත් දරුවනුත් ජීවිතය විඳිනවාද? විඳවනවාද?

විඳීම, විඳවීම ගැන අපි දන්නේ මොනවද? අපි කාටත් උරුම වෙලා තියෙන්නේ ලස්සන ජීවිතයක්. ඒ ජීවිතය අපි විඳිනවාද? විඳවනවාද ? අපි කොහොමද අපේ ජීවිතේ විඳින්නෙ ? කොහොමද විඳින ජීවිතයත් විඳවන තැනට පත් වෙන්නේ කොහොමද? විඳවන ජීවිතයක් විඳීමකට රැගෙන යන්නේ කොහොමද? මේ සෑම අවස්ථාවකදීම වගකීම රැ‍‍දෙන්නේ අප සතුවමයි.

එක් එක් පුද්ගලයා ජීවිතය එක එක විදියට විඳනවා. කෙනෙකුට පුළුවන් පොත්පත් කියවලා ජීවිතේ වින්දනය කරන්න. තව කෙනෙක්ට පුළුවන් මේ රට වටේම ඇවිදලා මේ ලෝකෙ වටේම ඇවිදලා ලස්සන තැන් බලලා ජීවිතය විඳින්න. තව සමහරු හොඳට කාල බීලා විනෝද වෙලා ජීවිතේ විඳිනවා. තවත් සමහරු පැත්තටකට වෙලා බොහොම පාඩුවේ ජීවිතේ විඳනවා. තව කෙනෙක් කෙනෙක්ටඋදව් කරලා ඒකෙන් සතුටු වෙලා ජීවිතේ විඳිනවා. 

මෙන්න මේ කොයි විදියට අපි ජීවිතය වින්දනය කළත් අපි හැම කෙනෙක්ම හරි ආසයි කලාව කියන දේට. කලාවෙන් ජීවිතය විඳිනවා කියලා කියන්නේ වෙනම කෝණයක්. සමහර වෙලාවට අපිට පුළුවන් ෆිල්ම් එකක් බලන්න යන්න, වේදිකා නාට්‍ය බලන්න යන්න, එහෙම නැත්තං තමන්ගේම ගෙදර රූපවාහිනී තිරයේ අපි කැමතිම ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන්. මේ කලා නිර්මාණ අතරින් ගීතය කියන්නේ අපේ ජීවිතේට තදින්ම දැනෙන නිර්මාණයක්. ගීත රස විඳින ඔබ සමහර විට විරහ ගීත, ආදර ගීත අහන්න පුළුවන්. ඒ වගේම ඒ ගීතයේ ඇති සංගීත රසය නිසා ඔබ එය විිනවා විය හැකියි. ඒකකෝ එහි පද මාලාව, එසේත් නැතිනම් ගායකයාගේ හෝ ගායිකාවගේ හඬ නිසා ඔබ එය විඳිනවා විය හැකියි.  මෙන්ම මේ වගේ කලා නිර්මණ ජීවිතයට සමීප කර ගනිමින් කලාවෙන් ජීවිතය වින්දනය කරන්නේන අපිට පුළුවන්. අපි කවුරු වුණත් අපි හැමෝටම තියෙනවා ආවේණික වින්දන ශෛලියක්. අපි ගීතයට විතරක් මූලික තැන දීලා කතා කරොත් විඳීම, විඳවීම කියන දෙකම මේ ගීතය තුළ තියෙනවා. ගීතයේ රසය අපි රස විඳිනවා.

රසය අපේ මනසට බලපාන්නේ කොහොමද?

රසය සැමවිටම මනසට සුවයක් කියලා අපි හිතනවා. ගීතයක්, නාට්‍යය නිර්මාණයක්, චිත්‍රයක් හෝ වේවා මේ හැම දෙයකම රස වින්දනය මනසට සුවය ගෙන දෙනවා. 

රස වින්දනය කියලා කියන්නේ මොකද්ද?

අතීතයට ගියොත් භරත මුනි පඬිවරයා ක්‍රිස්තු පූර්ව පළවෙනි දෙවැනි සියවසේදී නාඨ්‍ය ශාස්ත්‍රය පොතෙන් රස නමයක් ගැන කතා කරනවා මේක මූලික කරගන්නේ මෙරට නාට්‍ය හා රංග කලාව කියන විෂය තුළින්. නාට්‍ය කලාව අරභයා එතුමා හඳුන්වා දෙන රස පසුකාලීනව පොදුවේ සාහිත්‍යය, සංගීතය පොදු ධර්මතාවයක් බවට පත්වෙනවා. 

සදානන්ද කරවූ ඔබේ මධුර රාවේ – පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ – ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ

උදා වූ සුපෙම් දම් නුසුන් වී රැදේවා – මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා

මේ ගීත කණ්ඩවල පද, සංගීතය, සංගීත සුසංයෝගය, හඩ  එක්ක අපේ සමවැදීම සිද්ධ වෙන්නේ රසවින්දනයට අදාලව සියලු කරුණු ඒක රාශී වී ඇති නිසයි. අපි ගීත රස විඳින කොට අපේ මොළයේ සුවිශේෂ කලාපයක් මේකත් එක්ක බද්ධ වෙනවා. මේකට සම වැදුණොත් අතීතයේ විඳපු අවස්ථා මතක් වෙනවා. විප්‍රලංග ශෘගාරය කියලා අපි කියනකවා. අතීත ස්මරණය ඉතා වේගයෙන් උත්තේජනය කරලා උඩු හිතට ගෙන ඒමේ සුවිශේෂ ගුණයක් ගීතයේ තියෙනවා. ඒ ස්මර්ණ එක්ක තමා අපි ගීතය රසවිඳීම පටන්ගන්නේ. සංගීතය ඇතුළු අනෙක් කරුණු මගින් එයින් අප ලබන වින්දනය ඉහළ යනවා. මේක අපි හැමෝටම පොදුයි. මෙවැනි ගීත අහද්දී ඔබ ප්‍රේමාන්විත හැඟීමක් ඒ ඔස්සේ විදිනවා. එය අපි ඍජුවම අපේ අත්දැකීමක් සමග බද්ධ කරනවා. කිසිම නිර්මාණයක් අත්දැකීමකින් තොරව බිහිවෙන්නේ නැහැ. ඉහත දැක් වූ ගීතයට රැයක සවන් දෙන විට අපේ සිත් පිනා යනවා. ප්‍රේමය තව තවත් උද්දීපනය වෙනවා. එය අපට සතුටක්. 

ඒ වගේම අපි තව උදාහරණයක් ගනිමු.

කඳුළු හලා නෑඹිලියට සහල් ගරන අම්මා

මේ ගීතයට සමවැදුණම අම්මාගේ ආදරය දැනෙනාවා. අම්මා ජීවතුන් අතර නැතිනම් වේදනවා දරා ගන්න අමාරුයි. එවිට එහි රසය ශෝකී රසයයි. හෝකය වේදනාවත් අපි හැමෝටම පොදුයි. ඒත් ඒක අපි නිතරම මතු කරන්නේ නැහැ. මෙතැනදී සංගීතය වචන, නාද මාලාව හරහා අපේ දුක උත්තේජනය කරනවා. එතැනදී අපේ දුක රසයක් බවට පත් වෙලා. මෙතැනදී නිර්මාණකරුවා තම අතුදැකීම සිතුවිල්ල වචන බවට පත් කරලා පිටකරනවා. ඔහු ඒ පීඩාව මුදාහැර තම මානසිකත්වය සමබර කරගන්නවා. අතීතයෙන් ඉවත් වෙනවා. නිර්මාණය රස විඳින්නා නිතර නිතර එය අසමින් පසුතැවිලි වුණොත් එතැනදී විඳීමකට වඩා සිදුවන්නේ විඳවීමක්. විඳවීමකදී මොළයේ නියුරෝන සම්ප්‍රේෂණය වේගවත්ව අසමබර වෙනවා. වේදනාව දුක නිතර සිහිකරමින් හඩා වැටෙන විට අපේ හෝමෝන පද්ධතියත් මොළයේ රසායනික ස්වරෑපයත් අසමතුලිත වීම නිසා විෂාදය දක්වා වුවත් එය සංකීර්ණ විය හැකියි. කලාව, ගීතය වැනි නිර්මාණ සමබර වෙන්නෙත් අසමබර වෙන්නෙත් අන්න ඒ ආකාරයටයි.

ඒ කියන්නේ අපේ දරුවන් කලා නිර්මාණ හරහා යහමගට ගන්න පුළුවන් නේද?

ආගම දහමත් එක්ක බැඳී සිටීම මගින් දරුවන් තුළ ශාන්ත රසය ඇති කරන්න ඕනේ. භක්ති ගීත ඕනෑම ආගමක තියෙනවා. සරල ගීත නිර්මාණ තියෙනවා ඕනෑම ආගමකට සම්බන්ධව. එවැනි නිර්මාණ දරුවන්ට අසන්නට සැලැස්විය යුතුයි. දරුවාගේ ආවේග කළමනාකරණය පුරුදු කරන්න. දෙමාපියන් හෝ පාසැල විසින් මේවා දරුවන්ට හුරු නොකළොත් දරුවන්ට ඒවා හුරු වෙන්නට වෙන තැනක් නැහැ. දරුවෝ නිර්මාණය වෙන්නේ පරිසරය තුළින්.

මව්පියන් රසවත් හොඳ ගීත රස විදිනවා නම් දරුවා එයට පුරුදු වෙනවා. ඒක හොඳ ගුණයක්. යහපත් චර්යාවක් ඇති කිරීමට හේතුවක්. ඒ ව‍ගේම වීර රසය දරුවන් තුළ ඇති කරන්න නිර්මාණ හරහා හැකියාව ලැබෙනවා.

උඩඟු ලියන් ගොතා බඳින

නීල වරල සරසන්නට

මා පිපුණේ නැත මේ දෙරණේ

මේ ගීතවලින් ඇති වෙන්නේ වීරත්වය. ඒ හරහා දරුවන් තුළ තියෙන හැඟීමක් උත්තේජනය කොට ඒ ඔස්සේ හැසිරීමක් සඳහා දරුවා යොමු කරනවා. මනසට, කයට ලොකු බලපෑමක් වෙනවා. මනසට මූලිකව බලපෑම් කරන මෙවැනි හැඟීම් මගින් ශාරීරික උත්තේජනයක් හරහා හෝමෝන පද්ධතිය කළඹනවා. 

අද වෙද්දි ඉස්සරට වඩා බොහෝ යොවුන් දරුවෝ සියදිවි නසා ගන්න පෙළඹිලා. මේ රස වින්දනය හරහා දරුවෝ වෙනස් වීමක් වෙන්නේ නැද්ද? 

ඒකට මූලික හේතුව අවස්ථා අහිමි වීම‍. අද වෙද්දී දරුවන්ට පංචි කාලේ ඉඳලම ජීවිතයේ සංකීර්ණ තරගකාරී මානසිකත්වය ලබා දෙනවා. පුහුණු කරනවා‍. රස වින්දනය මොට වෙලා. ඒ ගැන මව්පියන් හෝ අදාල පරිසරනේ පුහුණ කරන්නේ නෑ. ඉතිං මේ දරුවන්ගේ රස වින්දනය වෙනත් පැත්තකට යොමු වෙනවා. මෙතැනදී දරුවන්ගේ වරදක් නැහැ. 

අද කාලේ සංකීර්ණ තරගකාරීත්වය තුළ ජීවින රටාවත් සංකීර්ණයි. දකින ලෝකය පුළුල් වෙන්න වෙන්න අවශ්‍යතා වැඩි වෙනවා වගේම ඒවා පසුපස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. රස විඳීමට කාලය, අවස්ථාව, පුහුණව නැති වෙලා යනවා. විශේෂයෙන්ම යොවුන් වියේ දරුවන්ගෙන් මේ අවස්ථා ගිලිහෙනවා. අද තියෙන විවිධාකර විද්‍යුත් උපකරණ මගින් අපේ යෞවනයාගේ රස වින්දනය වගේම ඒ සඳහා හිමි අවස්ථා අහිමි කරනවා. දෙමව්පියෝ ඒ අවස්ථා හදලා දෙන්න උත්සාහ කරන්නේ නෑ. පාසලෙනුත් ඒ අවස්ථා මගහැරෙනවා. පුහුණුවට අවස්ථා නැහැ. හොඳ නිර්මාණයක් රස විදින්න අවස්ථාවක් පුහුණුවක් අද වෙද්දී දරුවන්ට නෑ. එතකොට මේ අපේ දරුවෝ එයාලට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට ඇබ්බැහි වෙනවා. සමහර දරුවන්ගේ ඇති වෙන ‍ප්‍රචන්ඩකාරී හැසිරීම් වලට මේ තත්ත්වය හේතු වෙනවා. මොකද දරුවා ඇබ්බාහි වෙලා ඉන්නේ නුසුදුසු දේකට නම් ඒ මගින් අපේ නියුරෝන සම්ප්‍රේෂණය අසමබර කරලා හැසිරීම අසමබර කරනවා.

අද වෙද්දි බොහෝ දරුවෝ පිටරට වේග රිද්ම සංගීත ශෛලීන් වෙත නැඹුරුවක් දක්වනවා. ඒවා අපේ දරුවන්ට බලපෑම් කරනවාද?

කිසිසේත්ම වේග රිද්ම සංගීතයෙන් මානසික රෝග ඇති වෙන්නේ නැහැ. ලෝකේ කොයි රටක වේවා අහන සංගීත ශෛලියට දරුවා ඇබ්බැහි වෙනවා නම් එතැන තියෙන ගැටලුව ඇත්තේ ඒ ගීතය හරහා කෙරෙන යෝජනා තුලයි. ඒ කියන්නේ වචන වල. බොහෝ යෞවනයන් අසමබර වෙන්නේ සංගීතය තුළ නිතර දෙන වචන වලින්. රිද්මය, සංගීතය හොදයි. උත්තේජනය, කඩිසර බව ඇති වෙනවා. ඒත් මේ වේග රිද්ම ගීත ඇතුළේ ස්වයං යෝජනා බොහොමයක් ගැබ්ව තිබෙනවා. රැප් සංගීතයේ රිද්මයට යටින් එන වචන වල තියෙන්නේ අයහපත, අකාරුණික බව නම් වෙනත් චර්යා සඳහා මෙහෙයවන ඒවා නම් (මරන්න, කපන්න, ගහන්න) එ ය අහිතකර විදියට යෞවනයාගේ යටි හිත සහ මොළය අසමබර වීමට බලපානවා. එවිට දරුවා එවැනි චර්යා පෙන්වීමට ඉඩ වැඩියි.

දෙමාපියන් දරුවන්ගේ මානසික සමතුලිත බව ඇති කරන්නේ යොහොමද?

මානසික සමතුලික කාව අපේ හෘද ස්පන්දන වේගය එකත් එක්ක බැදිලා තියෙනවා.  එහි රිද්මයක් තියෙනවා. එය සමබර වෙන්නේ විලම්භ ලය එනම්, අඩු වේගයෙන්. විලම්භ ල, මධ්‍ය ලය ගීත, සංගීතය අපේ හෘද ස්පන්දන වේගය සමග සමතුලිත වෙනවා. සමාන වෙනවා. ඒකෙන් යටි හිත සමබර වෙනවා. හොඳ යෝජනා, පරිකල්පන ගොඩ නගාගන්න අපි දරුවාට සහය විය යුතුයි. වේදනාව, දුක, ඍණාත්මක සිතුවිලිවලින් දරුවා ඈත් කළ යුතුයි‍.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

 

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


                

දොස්තරලා අත්තම්මලා මැද්දේ හිර වෙන අලුත් බබාලගේ අලුත් අම්මලා….

අනේ අම්මා එහෙම කරන්න එපා. ඩොක්ටර් කිව්වා ඒක බබාට හොඳ නෑ කියලා.

අනේ දරුවෝ මාත් දරුවෝ හදපු අම්මා කෙනෙක්. මොකෝ දැන් ඔයාලට වරදක් වෙලා තියෙනවද? අපි ඔයාලව බලා ගත්තේ මෙහෙම තමයි. 

ඒ තමන්ගේ අම්මා වුණත් නිරාෂාට සාලින්දගේ අම්මාගෙන් ලැ‍බුණේ එහෙම ප්‍රතිචාරයක් නෙවෙයි. 

දැන් ඉන්න දොස්තරලටත් පිස්සු.. ළමයි හමුබුණු ගෑනුන්ටත් පිස්සු 

කියලා ඇය කිව්වම නිරාෂට දැනුනේ ඇගේ තිබුණු අපහසුකමුත් දෙගුණ තෙගුණ වුණා වගේ.  

දුවට/ලේලිට බබා ලැබුනම ඒ සතුට වගේම වැඩිහිටි සියලු දෙනාම පුල පුලා බලා සිටින්නේ පුංචි පැටියා ගෙදර එනකන්. ඔතන ඉදලම තමයි මත ගැටුම් ඇති වෙන්නේ. දරුවාගේ අච්චිලා සීයලා ගේදොර අස්පස් කරලා දරුවා තියන්න නිතර ඇස නොගැසෙන අන් අයගෙන් හුදෙකලා වුණු කාමරයක් සූදානම් කරනවා. මොකද එයාලා හිතවා දරුවට හුලං වදින්න හොඳ නෑ, එක එක්කෙනා ඇස ගැටෙන්න හොද නෑ කියලා. ආලෝකය අඩුවෙන් ලැබෙන කාමර තමයි ඔවුන් තෝරා ගන්නේ. එහෙම කරන්න අහිතකින් නම් නෙමෙයි, මට සිළුටු දරුවාව ආරක්ෂා කරන්න. අත්තම්මලා එයාලගේ කාලේ සිදුවීම් මතකයට නගා ගෙන ඒ අනුව කටයුතු කරන්න සූදානම් වෙන්නෙත් අහිතකින් නෙමෙයි.

ඒත් අද වෙද්දි එදාට වඩා තාක්ෂණය දියුණු වෙලා, නව සොයාගැනීම් වගේම අලුත් අලුත් දැනුම ලෝකෙට එක් වෙලා. අපේ රටෙත් සියලුම ප්‍රතිකාර සේවාවන් ඒ අනුව හැඩ ගැහිලා. අපේ වෛද්‍යවරු නිරන්තරයෙන් යාවත් කාලීන වෙමින් නව දැනුම යොදාගෙන කටයුතු සිදුකරනවා. වෛද්‍යවරු සතු මේ බටහිර විද්‍යාත්මක කරුණු ගැන දැනුම සහ පාරම්පරිකව පැවත එන දැනුම අතර මත ගැටුම් ඇරඹෙන්නේ ඔතනින්. මෙන්න මේ නිසා තමයි දොස්තරලා අත්තම්මලාගේ ක්‍රම වලට එතරම්ම ප්‍රසාදයක් නොදක්වන්නේ.

ඉස්සරට වඩා ලංකාවේ මාතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය අඩු වෙලා. එහෙම සිද්ධ වෙලා තියෙන්නෙ මේ බටහිර විද්‍යාත්මකව සොයා ගත් දැනුම යොදා සෞඛ්‍ය පද්ධතිය තුළ පුහුණු සෞඛ්‍ය සේවකයින් ගොඩනගලා ඒ දැනුම ප්‍රජාව අතරට ගෙනිහින් තියෙන නිසා. ඒ වගේම ඒවායේ සාර්ථකත්වයක් අත් දකින නිසා. ඒ නිසා වෛද්‍යවරු බහුතරයක් විශ්වාස කරනවා මේ තාක්ෂණිකව ගොඩනැගුණු ලෝකෙ ඇති වෛද්‍ය විද්‍යාත්මක දැනුම නිවැරදියි කියලා. ඒකේ වරදක් නැහැ. ඒත් මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අත්තම්මලාගේ මේ විශ්වාස, අදහස් මේ දැනුමත් එක්ක ගැලපෙන්න කොහොමද කියන එකයි. 

අතීතයේ මව්වරුන් බොහෝ ලෙස රෝගවලට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ තත්ත්වයන් නිසා මව්වරු මිය යාමත් වැඩියි. ඒත් අද මුල් කාලයේ ඉඳන්ම මව්වරුන්ට ලැබෙන දැනුම, සංරක්ෂණය නිසා ඒ රෝග තත්ත්ව පාලනය කර නීරෝගීව දරුවන් සමාජයට දායාද කරන්න හැකිවෙලා තියෙනවා. මෙන්න ඒ වගේම මේ රෝග වළක්වා ගැනීමේ හැකියාව තුලින් සුරක්ෂිත මාතෘත්වයක් ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සුරක්ෂිත මාතෘත්වයට අවශ්‍ය පසුබිම සකසා ගෙන යන්නේ නව තාක්ෂණය වගේම ඒවායේ සොයාගැනීම් මගින් වැඩි දියුණු කල බටහිර වෛද්‍ය ක්‍රමය, ඒ එක්කම අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආදී වූ දේශීය වෛද්‍ය ක්‍රමය මගිනුත් මේ සඳහා සුදුසු පසුබිම් සකස් කරනවා. ඒවායේ පවතින ක්‍රමවේද ජීවිතයට ගළපා ගැනීමේදීත් වැඩිහිටියන් හිස දරා සිටින පුරාණයේ පැවති යම්කිසි මිත්‍යා විශ්වාසයන් සමග වෛද්‍ය ක්‍රමවල ඇති පරස්පරතා නිසා මෙසේ මත ගැටුම් ඇතිවෙනවා. 

එසේම මේ වැඩිහිටියන් තදබල ලෙස මේ විශ්වාස අදහනවා. එසේ හෙයින් ඔවුන් විසින් අත්දැකීම් රහිත ඔවුනගේ බාල පරම්පරාවට මේ උපදෙස් දෙනු ලබනවා. එසේම ශ්‍රී ලාංකික සමාජ රටාව තුළ තදබල ලෙස වැඩිහිටියන් ඔවුන්ගේ මතිමතාන්තර බාල පරම්පරාවට එල්ල කරන්නේ අපේ කාලේ ඔය වගේ නෙවෙයි ලෙසයි. මෙසේ හෙයින් මේ පරම්පරා දෙක අතර ඇතිවෙන මත ගැටුම් හේතුවෙන් අලුත් බබා ලැබූ මව පියා අසරණ වෙනවා.

අම්මලාගේ අවවාද අහන්නත් ඕන… දොස්තර කියන දෙය අහන්නත් ඕන…

ඉතින් දුෂ්කර අවස්ථාවකට මුහුණ දීලා ඉන්න වෙලාවක මේ අලුත් අම්මා මානසිකව වැටෙන්න පුළුවන්. මේ හින්ද අම්මගෙ තත්ත්වය ගැන මේ දෙගොල්ලොම හිතන්න ඕන. සෑම විටම වෛද්‍යවරු උගත් දේ හා වෛද්‍ය විද්‍යාත්මක දැනුම මත පදනම්ව ගන්න තීරණ නිසා මෙසේ පරස්පර මත ගැටුම් ඇති වෙනවා. 

පූර්ව ප්‍රසව සමයේ පවත්වන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සඳහා මව හා පියා මෙන්ම රැකවරණය සලසන්නන් ද සහභාගී වීමට අවස්ථාව සැලසීම උචිත ය. අත්තම්මලා තමන්ගෙ ක්‍රම ගැන හිතන්නෙ එයාලගේ කාලයේ තිබුණු සෞඛ්‍ය පහසුකම් සමග ඔවුන් මුහුණ දුන් ආකාරයට අනුවයි. එසේ බැලූ කළ ඔවුන්ට වරදක් පැවසිය නොහැකියි. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් අනුව ඒ වෙනකොට පැවති සිරිත් විරිත් අනුව ඔවුන්ගේ උපදෙස් දෙන්නේ මෙතැනදී මවට හෝ දරුවාට හානියක් අඩුපාඩුවක් වෙයි කියන බිය නිසායි. ඒ වගේම නව දැනුම සමග පැරණි ක්‍රමවල ඇති අඩුපාඩු හේතුවෙන් දරුවන්ට යම් අයහපතක් වේ යැයි සිතන වෛද්‍යවරු අත්තම්මලාගේ පැරණි ක්‍රම අනුමත කරන්නේ නැහැ. මේ දෙපාර්ශවයම උත්සාහ කරන්නේ අම්මාටත් දරුවාටත් ගැටලු ඇති නොවී සුවපත් බවක් ලබා දීමයි. 

කෙසේ වුවද අද වන විට නවීන විද්‍යාත්මක ක්‍රමවේද මගින් අපි බොහෝ සෙයින් ඉදිරියට ඇවිත් ඇති නිසාම වෛද්‍යවරයාට ඇහුම්කන් දීම වඩාත් සුදුසු වන අතර ඒ දැනුම වැඩිහිටි යන් සමගද බෙදා හදා ගැනීම වටී. ඒ සඳහා වෛද්‍යවරු සහ වැඩිහිටියන් අතර සම්බන්ධීකරණයක් ගොඩ නැංවීමට හැකි නම් අලුත් බාබා සහ අලුත් අම්මා මෙන්ම අත්තම්මාද සතුටෙනි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවාගේ මානසික සතුටට…සුරතලුන්

පුංචි දරුවන් සුරතලුන්ට ආදරෙයි

පුංචි දරුවන් සුරතල් සතුන්ට ආදරෙයි. එය සැබැවින්ම අහිංසක ආදරයක්. සමහර විට දරුවන්ගේ මේ බැඳීම කොතරම් ඉහළ තත්වයක තිබෙනවාද කිවහොත් සුරතලාගේ වෙන් වීම දරා ගැනීම අපහසුයි. ඒ වෙනුවෙන් සැහෙන කාලයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා.ඉතින් පුංචි දරුවන් සුරතල් සතුන්ට මේ තරම් ආදරේ ඇයි කියලා ඔබ හිතුවාද…? මේ ගැන අධ්‍යනයන් සිදු කරන ලද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සහ හැසිරීම පිලිබඳ විශේෂඥයින් විසින් ඊට හේතුපාදක කරුනු කීපයක් අනාවරනය කර ගෙන තිබෙනවා.

සුරතල් සතුන් සමග දරුවාට ගැටුමක් නැහැ…

දරුවන් අතරත් පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා. පවුලේ සහෝදර සහෝදරියන් අතර වුනත් ඔවුන් ගැටෙනවා. ඒ වෙනුවෙනුත් හේතු තිබෙනවා. යම් යම් දේවල් බෙදා ගැනීමේදී…ඒ වගේම තමන් ඉස්මතු නොවන විට දරුවන් පවුලේ සාමාජිකයන් අතර අහිංසක ගැටුම් ඇති කර ගන්නවා. නමුත් නිවසේ සිටින සුරතල් බල්ලා හෝ බළලා සමග දරුවාට ගැටෙන්න අවශ්‍ය නැහැ. දරුවාගේ සම්පත් අතර තරගයක් මේ සතුන්ට නැහැ. ඒ නිසා අපි නොදැන හිටිය දරුවන්ගේ හිත් කියවන මනෝවිසදයාඥයින් පෙන්වා දෙන්නේ සුරතල් සතුන් සමග දරුවා කිසිම වේලාවක කිසිම අන්දමකින් ගැටුමක් ඇති කර ග්නනේ නැහැ. ඒ නිසාම දරුවන් සුරතල් සතුන්ට ඉතා දැඩි සේ ආදරය කිරීමට යොමු වී සිටිනවා.

ආදරය බෙදෙන්නේ නැහැ…

පවුලක සිටින සාමාජිකයන් අතර ආදරේ ගැනත් යම් යම් සැක තැන් ඇති වෙනවා. අම්මා මට වඩා මල්ලිට..එහෙම නැත්නම් අක්කාට ආදරෙයි කියන සිතුවිළි දරුවාගේ හිතේ ඇති වෙනවා. දරුවන් විදිහට එය බොහොම සාධාරණයි.නමුත්..මව්පියන්ගේ හදවතේ ඒ වගේ විවිධ මානයන් නැහැ. දරුවාට ඒ ගැන කියා දෙන්න ගියත් ඔවුන්ගේ එල්බ ගත් මතවාද වෙනස් වෙන්නෙත් නැහැ.

නමුත් නිවසේ සුරතලාට දරුවා ආදරය දක්වනු විනා දරුවාට හිමි ආදරෙන් පංගුවක් සුරතලා උදුරා ගන්නේ නැහැ. ඒ නිසා දරුවාට සුරතලා සමග ආදරය ගැනත් සැකක් හෝ බියක් නැහැ. දරුවන්ගේ යටි හිතේ නිදිගතව තිබෙන මෙවන් සිතුවිලි නිසාම ඔවුන් සුරතල් සතුන්ට වැඩියෙන් ආදරය කිරීමක් ඇත්තටම සිදු වෙනවා.

  • දරුවන්ගේ හිතමිතුරු වීම..

පවුල්වල දැන් සාමාජිකයන් බොහොම සිමිතයි. එය බොහෝ විට අම්මා..තාත්තා..දුව..පුතා විදිහට සීමා වෙලා. සිටින සාමාජිකයන් පවා ඔවුන්ගේ ලෝකවලට සීමා වෙලා. ඒ නිසාම දරුවාගේ පාලු හිතට තනි රකින්න කවුරුත් නැහැ. මේ නිසා නිවසක සුරතල් සතෙකු ඇති දැඩි කරනවා නම් එය දරුවන්ගේ හිතේ තනියට හොඳ අවස්ථාවක් බවත් අමතක කරන්න එපා.

  • දරුවාට ඉගෙන ගන්න…

සුරතල් සතෙකු සිටින විට දරුවා සුරතලාට ආහාර ලබා දීම වැනි පුංචි පුංචි වැඩ කටයුතුවලට දරුවන් සහභාගී වීමට අවස්ථාව ඇති වෙනවා.ඒ නිසාම දරුවාගේ ජීවිතයේ පුංචි පුංචි ක්‍රියාකාරකම් වෙනුවෙනුත් හිත යොමු වීම නොදැනීම සිදු වෙනවා. සුරතලාට යම් යම් ක්‍රියාකාරකම් ඉගැන්වීමත් දරුවාට සතුට ගෙන දෙන කාර්යක්. අතට අත දෙන්න…ඉඳගන්න…වලිගය වනන්න වැනි යම් යම් විධානයන්ට අනුව සුරතලාගේ ප්‍රතිචාර දැක්වීමට ඉගැන්වීම සමග දරුවාට බාල කාලයේ පටන්ම තවත් අයෙකුට යමක් කියා දීමේ හැකියාව ලැබෙනවා. සතුන්ට ආදරය කරන්න..සතුන් සමග ගණුදෙණු කිරීමට දරුවා හුරුව ලබනවා. ඒ වගේම සතුන්ගෙන් සිදු විය හැකි අනතුරු ගැනත් දරුවාට කියා දීම ඉතාම වැදගත්.

සුරතලයට වුනත් නිවසේ සතෙකු ඇති කරනවා නම් ඔවුන් එන්නත් කිරීම, මැක්කන් වැනි සතුන් බෝ නොවන සේ පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. ක්ෂිරපායී සතුන් විෂ සහිතයි. ඔවුන්ගේ සපා කෑම් පමණක් නොව සීරීමක් පවා ජලභීතිකා රෝග තත්වය ඇති වීමට බලපානවා. ඒ නිසා නිතරම සතුන් නිසා දරුවාට සිදු වීමට ඉඩ තිබෙන අනතුරු ගැනත් දෙමව්පියන්ගේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

දරුවාට වගේම සතුන්ටත් ව්‍යායාමයක්…

අපට වගේම සතුන්ටත් වයායාම අවශ්‍ය වෙනවා. බල්ලන් පවා ව්‍යායාම නොමැති විට තරබාරුවට පත් වෙනවා. ඒ නිසා නිතරම සතුන්ගේ ක්‍රිියාශීලීත්වය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. නිවසේ දරුවන් සිටින විට ඔවුන් සුරතලා සමග ක්‍රියාකාරී ලෙසින් කටයුතු කිරීමට සූදානම්. බෝල සෙල්ලම් කිරීම, බල්ලා සමග දිවීම වැනි කටයුතු සමග සුරතලාටත් දරුවාටත් ව්‍යයාම ලැබෙනවා.

 දරුවාගේ මානසික සතුට…

දරුවන්ටත් ජීවිතයේ මානසික ලෙසින් සතුටක් ලැබෙන කුමන හෝ විනෝදාංශයක් අවශ්‍යයි. නිවසේ සුරතලෙකු සිටින විට එයින් දරුවා අසීමිත සතුටක් ලබනවා.ඒ සතුට වෙනුවෙන් මිළ මුදල් වැය කිරීමට අවශ්‍ය නැහැ.සුරතලා කියන්නේ කථා නොකළත් හදවතට කථා කරන අපුරු සත්වයෙක්. ඒ නිසා සුරතල් සතෙකු කියන්නේ දරුවාට මහත් වූ සතුටක් ලබා දෙන්නෙක්.

වැඩිහිටියන්ටත් හොදයි…

සුරතල් සතුන් ඇති කිරීම නිසා ආතතියට සහනයක් ලැබෙනවා. හවුස්ටන් වේලෝ විහ්ව විද්‍යාලයේ ග්ලේන් ලෙවින් සඳහන් කරන අන්දමට සුරතල් සතුන් ඇති කිරීම නිසා ආතතියට සහනයක් ලැබෙන අතර කොලස්ටරෝල් සහ තරබාරුව පාලනය කරනවා. ඒ වගේම ඇමරිකානු හදවත් සංගමය විසින් හඳුනා ගත් අන්දමට නීරෝගි පුද්ගලයන් සතුන්ට ආදරය කිරීම ඔවුන්ගේ ගුනාංගයක් බවත් පෙන්වා දෙනවා.ඒ අතරිනුත් සුරතලයට බල්ලන් ඇති කිරීම විශේෂයි.

ග්ලේන් ලෙවින්ගේ හඳුනා ගැනීම අනුව ව්‍යායාමය හා ආතතියට සහනයක් ලැබීම මෙන්ම කායික නිරෝගිතාවයටත් බල්ලන් සමග ඇවිදීම වඩාත් සමීප හේතුවක් වී තිබෙනවා.සුරතල් සතුන් සමග යහපත් බැඳීමක් ඇත්න්ම් ඒ තැනැත්තා තමන් ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන අතර ඒ හේතු සාධකය මත එම පුද්ගලයාට දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනාව ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ.